16 December 2011

සුන්දර කන්නෙලිය...හා විශිෂ්ඨ මාර්ගෝපදේශකයා...

වැඩ රාජකාරි දාහක් තිබුනත් මේක නොලියා කොහොමද..? ඊයේ දවසමත් ගමනේ යෙදිලා රෑ ගෙදරට කඩං පාත් උනා...අද උදේම වැඩට ආවා..ආයෙත් හෙට පාන්දරම කොහේ හරි ගමනක් යන්න වෙනවා..දවස් දෙහෙක... ඒ ගිහින් එන්න වෙන්නේ ඉරිදා රාත්‍රියේ...

දැන්නං හොඳටම දැනෙනවා ජීවත් වෙනවා කියලා... මේ මාසේ නියම මාසයක්... ගමන් බිමන් දස අතේ... මුලින්ම කටු ගේ.. ඊට පස්සේ ගාළු.. ඊයේ යාපහු.. හෙට කොහේ යන්න වෙයිද මංදා... තවම මාසෙන් බාගයයි ගෙවුනෙත්... ඔන්න වැඩේ හැටි... හරි එහෙනං අපි නවත්තමු තැනින් පටන් ගමු...

...............................

කොහොම කොහොම හරි උදේ නවය විතර වෙනකොට අපි කන්නෙලිය ජාතික වනෝද්‍යානයට යහතින් ඇතුළු උනා... එයට ඇතුළු වීමට ඇති සුන්දර දිය පහර හරහා වැටී ඇති පාලමට මෙපිටින් ඇති රථගාලේ අපි ගිය රථය නවතා තබා.. ගමන් මළු දෙකකට අපිට ගමනට අවශ්‍ය වන කෑම හා වතුර බෝතල් ආදියත් දමාගෙන පාලමින් එගොඩව ඇතුලට ගියයි කියමුකෝ..ආ ඔය ඉන්නේ ඒ පාලමෙන් ඇතුලට යන්න සූදානම් වූ අපි කස්ටිය තමා...

ඇතුලට ගිය ගමන්ම වම් පස ඇති කවුන්ටරයෙන් අපට අවශ්‍ය චාරිකාවට ප්‍රවේශපත්‍ර ආදිය ලබා ගන්නට යෙදුනා... මට මතක හැටියටනම් වැඩිහිටි ප්‍රවේශපත්‍රයක් රුපියල් 28 කුත්.. ළමයකු සඳහා රුපියල් 16 කුත් වගේ තමා අය කරන්නේ..ඊට අමතරව විදේශිකයකු සඳහා නම් රුපියල් 550ක් වගේ අය කරන වගක් මතකයි...

හැබැයි මෙතනදී පොඩි විශේෂයක් තියෙනවා...

ඒ තමා යන සෑම පිරිසක් විසින්ම එම ගමනට මාර්ගෝපදේශකයකු රක්ෂිතයේ පාලනාධිකාරියට මුදලක් ගෙවා ලබා ගත යුතු වීම... එම මාර්ගෝපදේශක වරු ලබා දෙන්නේ ප්‍රධාන ගමන් මාර්ග 3කට බෙදලා තමයි ඕං..

1.අනගිමලේ ඇල්ල දක්වා මාර්ගය..-රුපියල් 250/=යි
2.අනගිමලේ ඇල්ල හා නාරංගස් ඇල්ල දක්වා මාර්ගය...-රුපියල් 500/=යි
3.කම්බලේ කන්ද දක්වා වූ මාර්ගය...-රුපියල් 600/=යි

ඔන්න ඔය ආකාරයට... අපි ඔතනින් තෝරාගත්තේ දෙවෙනි මාර්ගය..ඒ කියන්නේ අංක එක සහ දෙකම ආවරණය වන ගමන... ඔයින් තුන්වෙනි මාර්ගයේ යෑමට ආයෙමත් අපි දවසක යන්න තීරණය කරගෙනයි ආවේ...

ප්‍රධාන කාර්යාලයට මුදල් ගෙවා අවසන් වූ වහාම ඔවුන් විසින් අපට අවශ්‍ය අවසර පත් හා මාර්ගෝපදේශකයකු ලබා දෙනවා... ඒ සමඟම ගමන ආරම්භ කිරීම තමා කල යුත්තේ...

ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ එකෙක් එතන කැටයං දාන්න ගත්තේ... ඒ තමා අපේ නඩයේ දැවැන්තයා..අර තඩි ඉබ්බා...

අපි කට්ටිය ටිකට් ගන්න යන අතරේ මේකා කැමරාවත් මානාගෙන ඒ අසලම තිබුන ප්‍රදර්ශණ කුටියට ඔළුව දානවා මං බලං උන්නේ..ඒත් ටික වෙලාවක් යනකොට මේකා ඒක ඇතුලේ පොටෝ ගහලා ඉවර වෙලා එළියට ඇවිත් දෙන දේශණයක්..කාටද..? අපිටද..? නැහැ...

අපි ටිකට් කවුන්ටරේ අසල ඉද්දිම කම්බලේ කන්ද මාර්ගයේ ගමන් කරන්න ගිය නඩයක හිටිය ගෑණු ලමිස්සියෝ කිහිප දෙනෙක්ම හූ තියාගෙන පහලට දුවගෙන ආවා...

"බුදු අම්මෝ..අපිට යන්න බැරියෝ..කූඩැල්ලෝ..ඕඕඕ..." කියාගෙන...

අපි ඉතිං ඕක ගණන් ගත්තේ නැහැ... ඒත් තත්පර ගානක් යනකොට මෙන්න ඒ ගෑණු ළමයි ටිකයි..තවත් කාන්තාවෝ බර ගානකුයි වටකරගෙන අපේ ඉබ්බා හෙන දේශණයක් දෙනවා..මේ කන්දේ අසිරිය ගැන හා ජෛව විවිධත්වය ගැන..අරුනුත් කටවල් හායි කියලා ඇරං අහගෙන ඉන්නවා හරියට නිකං විද්‍යාඥයෙක් ගොඩ බැහැලා දෙන දේශනයක් කියලා හිතාගෙනද කොහේද.. මං හිතන්නේ උන්දලා හිතන්න ඇත්තේ ඉබ්බා මේ වනෝද්‍යානයේ වැඩ කරන පොරක් කියලද කොහේද..? මං ඉතිං මේක දැක්ක ගමන් දඩි බිඩි ගාලා ඒක පොටෝවකට ගහගත්තා...
ඔය ඉන්නේ කහ පාටට බැබලෙමින් ඉබ්බා දේශනය පවත්වමින්...

ඒත් එක්කම අපේ මාර්ගෝපදේශක මහත්මා අපිට ඉස්සර වෙමින් ගමන ආරම්භ කල හින්දා අපිත් ඒ පස්සේ වැටුනා... ඒත් ඉබි උපදේශකයා එන හැඩක් නැහැ...

"ඉබ්බෝ එහෙනං ඔහේ හිටු අපි යනවා කන්ද බලන්න කියලා අපි යන්න පිටත් උනාම තමා මූට උතුර දකුණ මාරු උණේ... මෙන්න මේකා අත පය හතරම ගසා බසා දාලා අපි පස්සේ දුවන්න ගත්තා..දුවනවා කිව්වට ඉතිං මොන දිවිලිද..අර ගොජපි සරීරෙත් එක්ක... දුවනවා වගේ හති දාගෙන අපි පස්සේ බඩ ගෑවා..

අර‍ මෙච්චර වෙලා විශිෂ්ඨ දේශනයකට සවන් දෙමින් හිටිය ගෑණු දරුවෝ ටික අඤ්ඤකොරොස් වෙලා බලාගෙන හිටියා තමුන් මේ දේශනාව අහලා තියෙන්නේ කැලෑ ගැන තියා වල් පඳුරු ගැනවත් හරියට නොදන්න ගං ඉබ්බෙක්ගෙන් කියලා තේරිලා..පව් ඒ ළමයි...

......................................
ගමන ගැන කියනකොට නොකියම බැරි කාරණාවක් තමා අපට හම්බ උන මාර්ගෝපදේශක "චිත්‍රසේකර මහත්මා..."

ඇත්තටම ඔහු මෙහි නිල මාර්ගෝපදේශකයෙක් නෙවෙයි..ඔහුගේ රකියාව මෙහි ආරක්ෂක සේවාවටයි සම්බන්ධ.. වසර විසි අටක සේවා කාලය නිසාම ඔහු මේ වනයේ ගහක් ගලක් ගානේ බොහෝම හොඳින් හඳුනනවා... ඇත්තටම කිව්වොත් ඔහු අපිත් එක්ක ආවේ එදා මාර්ගෝපදේශකයින්ගේ හිගයක් පැවති නිසයි..රාත්‍රී සේවා මුරය නිමවෙලා ගෙදර යන්න ඉද්දි මාර්ගෝපදේශකයින් හිඟ බැවින් අපේ වාසනාවට ඔහුව අපේ ගමනට සම්බන්ධ උනා...

අපේ වාසනාවට කියලා කිව්වේ තවත් අපි වැනිම නඩ සමග ගිය බොහෝම මාර්ගෝපදේශකයින්ව අපිට ගමන අතර මගදී හම්බ උන නිසයි.. ඒ අය ඇත්තටම ඔහේ සුපුරුදු පාරෙන් අර යන අයව අරං ගියා මිසක් වෙන කිසිම කතාවක් බහක් නැහැ.. විස්තර කිරීමක් නැහැ.. එකම අරමුණ යන ගමන වේගවත් කරලා දෙවෙනි නඩය රැගෙන යාමදෝ කියලා හිතෙන තරමට පිරිසත් අරං ඔවුන් දුවනවා..

ඒත් ඇත්තෙන්ම අපේ මග පෙන්වන්නා වූ චිත්‍රසේකර මහත්මා කියන්නේ කන්නෙලිය රක්ෂීතයේ වටිනාම සම්පත කියලා කියන්න පුළුවන් තරං මනුස්සයෙක්...
ගමන පටන් ගත්ත තැන ඉඳන්..හමුවන සෑම ගහක් කොලක් ගානෙම නැවතිලා..එහි නම..විස්තර.. වටිනාකම්..සුවිශේෂත්ව.. ඒ ඒ ශාක වල ප්‍රයෝජන.. ක්‍රියාකාරීත්වය.. ලංකාවේ අනිකුත් වනාන්තර වල ඒ ශාඛයන්ට ඇති තැන ආදී දේ පමණක් නෙවෙයි සෑම ගහක කොලයකම උද්භීද නාම පවා පුදුමාකාර මතකයකින් අපිට විස්තර කරලා දෙන්න පටන් ගත්තා...

ඇත්තටම පුදුමාකාර මනුස්සයෙක්..ගමන පුරාවටම අතර මගදී හමුවන ටොපි කොළයක්..ඉටි බෑගයක්..කඩදාසි කැබැල්ලක් දැක්කත් එය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා... ඒ විතරක් නෙවෙයි එක පාරක් වෙනත් නඩයකින් ගිය මැදිවියේ කාන්තාවක් බාඳුරා ගොටුවක් කඩං බෑග් එකේ දාගන්නවා දැකපු මුන්නැහේ ආවේස වෙලා වගේ බැනගෙන යන හැටි අපි පමණක් නෙවෙයි ඒ නඩේ උදවියද බලං හිටියේ පුදුමයෙන් වගේ.. ඒ තරමටම ගහට ‍කොලට.. වනාන්තරයට ආදරේ කරන වනයේ විශිෂ්ඨ මුරදේවතාවෙක්...

ඔහුගේ උදව්වෙන් අපි බොහෝමත්ම හිමින් ගමනේ යෙදුනා... අපේ නඩේ අය අඩියෙන් අඩියට නැවතෙමින් ගස් කොලන් ඡායාරූපගත කරමින් ඒවා පිළීබඳව විස්තර අසමින් යෑම කිසිසේත්ම කරදරයක් කියා නොසිතා බොහෝම කැමැත්තෙන් අපිත් එක්ක ගිය චිත්‍රසේකර මහත්මා ඇත්තෙන්ම අපි ගමන උනන්දුවෙන් යන එකක් බව දැනගැනීමෙන් පසුව වඩ වඩාත් අපිට හැම දේම විස්තර කලේ පුදුමාකාර ආසාවකින්...

පසුව දැනගත් පරිදි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් හා විදේශීය පර්යේෂණ කණ්ඩායම් පැමිණී විට ඒ අය සමඟ වැඩ කිරීමට හැර නිතරම අන් අයට මග පෙන්වන්නට යන අයකු නොවන බවත්... විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම් පැමිණීමේදී නිතරම ඔවුන්ගේ සහයට ලබා දෙන්නේ ඒ මහත්මාව බවත් අපහට දැන ගන්නට ලැබුනා... එසේ පැමිණෙන කණ්ඩායම් සමඟ දීර්ඝ කාලයක් වැඩ කිරීම නිසාම ඒ මහත්මාගේ දැනුමත් විශිෂ්ඨ මට්ටමක ඇති බවත් නොකියාම බැහැ... ඇත්තටම ඔහු ඉන්න ඕන විශ්ව විද්‍යාලයකයි.. මොකද ඔහුත් ඇවිදින විශ්ව විද්‍යාලයක් වගේ නිසා...

.................................

කොහොම හරි අපේ නඩේ මුලින් පටන් ගත්ත තැන ඉඳන්ම පටන් ගත්තා පොටෝ ගැහිල්ල... අනේ ඒත් ටික වෙලාවක් යනකොට අර මුලින් මුලින් එක ගහකට පොටෝ දහයක් විතර ගහන එක නැවතිලා අතරින් පතර වැදගත්ය කියා හිතෙන ගස්වලටත්..සතුන්ටත් යොමු වෙන්ට පටන් ගත්තා.. ඒ අතරේ මුලින්ම අපේ මැඩම් හිට්ලර් ලොකු පොතක් එහෙමත් අරං ගහෙන් ගහට නම් ලිය ලිය යන ආකාරයත් අපි දැක්කා උනාට..ගමන අතර මගදී ඒ පොතට වෙච්ච දේ අපි දන්නෙත් නැහැ..හැබැයි හොඳ වෙලාවට එහෙම උනේ..නැත්තං තාමත් අපි කන්නෙලිය මැද.. ගස් ගාවට වෙලා නම් ලියනවා...

ඉතිං ගමන අතරතුරදී අපට හමුවූ විශේෂ ගස් වැල් ගැන එකින් එක විස්තර කරන්න තරං මගේ මතකය සුපිරි තත්වයක නැති වීමත්... ගිහින් තමන්ගේම දෑසින් දැක බලා ගන්න එක තරං වෙන කිසිම දෙයක් නොවටිනාත් නිසා ඒ සෑම දෙයක් ගැනම මං වචනයෙන් වචනයට කියන්නට නොයා ඉන්නම්...ඒත්...

සුන්දර අනගි මල ඇල්ලත්...
නාරංගස් ඇල්ලත්...
ආපස්ස වැළුත්...
යෝධ පුස් වැලත්...
කූඹි විශේෂ 15ක් පමණ එක්ව වාසය කරණු ලබන සොබාවික නිවස ගැනත්...
වන රාජ..ඉරු රාජ... ආදී කුඩා ශාඛ ගැනත්...
වසර 400ක් පමණ පැරණී යෝධ නවඳ ගසත් ආදී දේ ගැන නොකියා කොහොමද..?

මතක තියා ගන්න කන්නෙලිය කියන්නේ සිංහරාජයට වඩා විශාල වනාන්තරයක් කියන එක...
සිංහරාජය හෙක්ටයාර් 20000ක් වෙද්දී..කන්නෙලිය හෙක්ටයාර් 29000ක් වෙනවා...

අනගි මල ඇල්ල කියන්නේ වනයේ ඇති සුන්දරම ස්ථානය කිව්වොත් මං නිවැරදියි..වෙන මුකුත්ම ඕන නැහැ එතනට වෙලාම හරි දවස ගෙවන්න පුළුවන්... ආරම්භක ස්ථානයේ සිට කිලෝ මීටර් 3ක් පමණ ගිය පසුව මෙම ඇල්ල හමුවෙනවා.. වචනයෙන් කියනවට වඩා පින්තූරයක් දාන එක මට පහසුයි...
නාරංගස් ඇල්ලත් එහෙමමයි... සම්පූර්ණ ගමනේ අවසානය මෙතනයි..ඇත්තටම එතන දෙපසකින් එන ඇලි දෙකක් ප්‍රධාන දිය පහරට එකතු වෙනවා..අනිත් ඇල්ල මට මතක හැටියට රත්මල් ඇල්ල වෙන්න ඕන... මෙතනට යන්න පහසු නැහැ තරමක් දුෂ්කර ගමණක් වැටිලා තියෙන්නේ ඇළවල් දොළවල් හරහා යා යුතු.. වගේම විශාල කන්දකුත් නැගීමෙන් පසුව...ඒත් කොයි තරම් අමාරුවෙන් උනත් ගියාට පාඩු නැහැ...

ආපස්ස වැල්.. මෙය අගල් දෙකක් තුනක් පමණ විශ්කම්භයකින් යුතු විශාලව වැඩෙන වැල් වර්ගයක්... මෙයට සුදු වෙල්ලංගිරිය කියාත්.. ආපස්ස වැල් කියාත් හඳුන්වනු ලබනවා..එම ආපස්ස වැල් යන නම එයට ලැබී ඇත්තේ එහි නිතර දැකිය නොහැකි කොළ සහිත සිහින් වැල්වල සෑම කොළයක් ගාවින්ම පිහිටා ඇති කටුව නිසයි..එය අසාමාන්‍ය අන්දමකට ආපස්සට වක්‍රව පවතිනවා.. ආන්න ඒ නිසා ආපස්ස වැල් යනුවෙන් පහසුවෙන් හැදින්නුවත් එහි නියම නම සුදු වෙල්ලංගිරි කියන නමයි.. මෙහි විශේෂත්වය තමා මේ වැල තුල ඇති අධික ජල ප්‍රමාණය...

අපට චිත්‍රසේකර මහත්මා විස්තර කර දුන් පරිදි එම වැලේ හොඳින් වැඩුනු ස්ථානයකින් අඩි තුනක පමණ කැබැල්ලක් කැපූ විට එයින් ලීටර් එක හමාරක් වැනි ප්‍රමාණයක ඉතාමත් පිරිසිදු ජලය ලබා ගත හැකි වීම... එම ජලය සාමාන්‍ය ජලයෙන් කිසිසේත්ම වෙනස් නොවන..පානය කල හැකි කිසිදු රසයකින් වෙනසක් නැති ජලය බවත්..වනාන්තර වල අතරමං වී ජලය නොවැති වූ විට වහාම ජලය සොයා ගැනීමට ඇති පහසුම මාර්ගය මෙම ‍සුදු වෙල්ලංගිරි වැලක් සොයා ගැනීම බවත් සඳහන් කරන්නට යෙදුණා...


ඒ වගේම ගසේ අත්තේ තැනින් තැන තරමක් ඉල්පී ගොස් මහත් වූ බටයක් වැනි කුහර නිවසේ එක් කොනකින් ඇති මිලි මීටරයක් තරම් කුඩා සිදුරක් වූ දොරින් ඇතුළුව එහි සාමූහිකව වාසය කරන කූඹින් සිටින ශාඛයත් සොබා දහමේ අපූර්වත්වය අපිට කියාදෙන විස්මය උපදවන නිර්මාණ... කරුමෙට වගේ මට එහි නම මතක නැහැ...

ඊ ළගට නවඳ ගස.. කන්නෙලි ගියොත් බැළිය යුතුම දෙයක්..සුවිශාල කඳත්..එම ක‍ඳෙහි හට ගත් කෝටි ගණනක් වූ කුඩා ශාක විශේෂත් නොදකින දෑස් කුමටද..?

හොඳම විහිළුව...
වන රාජ හා ඉරුරාජ වැනි "රාජ" යනුවෙන් හඳුන්වනු ලබන පැලෑටී වල හඳුනා ගැනීම...

අපි සමඟ ගිය අයගෙන් චිත්‍රසේකර මහත්මා විමසා සිටියේ

"ඔයාලා දැකලා තියෙනවද වන රාජ..?"

එයට පිළීතුරු ලෙස පූස් තඩියා තමුන්ගේ ගෙදර හෝ අවට නිවසක ඇති ඉරුරාජ ගැන කිව්වට පස්සේ තමා අපිට නියම ඉරුරාජ උන්නැහේ විසින් පෙන්නුවේ..ඒ නිකං නෙවෙයි සෑහෙන විස්තරයක් ඒ පිළීබඳව අපට කියා දෙමින්...

ඇත්තටම ඉරු රාජ..වන රාජ හෝ සඳ රාජ ආදී එම පැලැටි වර්ගය පොළවෙන් අඟල් දෙහෙකට වඩා ඉහළට නොවැවෙන අති සුන්දර කුඩා ශාක විශේෂයක්..එහෙත් අපේ ගම් පළාත්වල ගෑණු උදවිය රවටා විසිතුරු පැලෑටි අලවි කරන්නන් ලොකු පඳුරු සහිත විශාල කොළ ඇති ශාකයක් විකුණන බව කියවන අය දන්නවා ඇති.. ඒත් ඇත්තටම ඒ ඉරු රාජ හෝ වන රාජ නොවන බව කන්නෙලියට ගොස් සියැසින්ම එම පැළැටි දැක ගැනීමෙන් ඔබට අවබෝධ කර ගත හැකියි...

එතකොට යෝධ පුස් වැල...
තනි මුලකින් හට ගෙන එම මුල වටා අක්කර පහක් හයක් පමණ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති යෝධ පුස් වැලත් දැකිය යුතුම දෙයක්... සියවස් ගණනාවක් තුලදී දශමෙන් දශමය වැඩී ආරක්සා වී ඇති මේ අනගි දේවල් තම වැඩීම කොයි තරම් අසීරුවෙන් කරගත්තත්..අපේ මිනිස්සුන්ට ඒ හැම දෙයක්ම වනසන්න යන්නේ විනාඩි ගණනයි... ඇත්තටම අර වාගේ සුවිශාල ප්‍රදේශයක් පුරා වැලක් ඇදෙන්නට කොයි තරං කාලයක් යන්නට ඇතිද..? හිතා ගැනීම ඔබට බාරයි...

මෙන්න මේ වගේ සුවිශේෂී අත්දැකීම් රැසක් ලබා ගත් අපගේ චාරිකාව අතර මැදදී කිහිප වරක්ම අපිට දොළ පාරවල් හරහා වතුරේ බැහැගෙන යාමටත් සිදු උනා.. ඒ වගේම ගමනේ දුෂ්කරම දේ තමා කූඩැල්ලන්... අපරාදේ කියන්න බැහැ මගේ ටිං ටිං කිට් එකට පින් සිද්ධ වෙන්නයි..සාක්කුවේ දාගෙන ගිය දුම් කොලේට හින්දයි මං කොහොම හරි පරිස්සමට ගෙදර ආවා... ඇත්තටම ගෙදර ඇවිත් බලනකල්ම මටත් විශ්වාසයක් තිබුනේ නැහැ මොනවා වෙලාද කියලා.. ඒත් අන්තිමේ බලද්දී එකම එක කූඩැල්ලෙකුවත් මාව වළඳලා තිබුනේ නැහැ...

දුම් කොලේ නේද දැන් ගැටළුව... ඇත්තටම දුම් කොළ වලට කූඩැල්ලන් පහසුවෙන් ගලවන්න පුළුවන්... නැත්තං ඇග දිගේ ඉහල නගින කූඩැල්ලන්ව ගලවන්න ගියාම ඌ අපේ අතට මාරු වෙලා අත කනවා..ලේසියෙන් ගලවන්න බැහැ...ඒත් දුම් කොලෙන් පොඩි කෑල්ලක් කඩලා කූඩැල්ල එකෙන් අල්ලපු ගමන් ඌ ඇකිලිලා ඒකට එනවා.. අර වෙන වෙලාවලදී වගේ දැගලිලි නැහැ... පටස් ගාලා ඌව විසි කරන එකයි තියෙන්නේ... තව ඉතිං සබන් වතුර..ඩීසල් වගේ දේවල් විතරක් නෙවෙයි මේ පාර අපේ අය ගාගෙන ගිය පැඟිරි තෙල් උනත් සෑහෙන්න ප්‍රතිඵල දායකයි..ඒත් අනිත් හැම කෙනොටම මදි නොකියන්න හම්බවෙලා තිබුනා.. විශේෂයෙන්ම අපේ පූසාට සහ ඒකාගේ ගෑණු සතා වෙච්ච පූසිට.. අන්තිමට ආපහු එද්දි උන් දෙන්නටම අධික රුධිර වහනය..වාහනයේ බිම ලේ එකයි... පූසට කලන්තේ දාලා බොහෝම අමාරුවෙන් තමා එක්ක ආවේ... අනික කොහොමටත් උගේ ඇගේ ලේ නැතිගානයි... එහෙවු ‍එකේ තියෙන ටිකෙනුත් ඔහොම ගියාම කොහොම ඉන්නද..?

ආ එතකොට එක පාරක් අපේ අයට ඔය ඇහැටුල්ලෙක්.. ඒ කියන්නේ විෂ අඩු කුඩා සර්පයෙක් එහෙමත් අත පත ගාන්න අවස්ථාව අරං දුන්නා අපේ මාර්ගෝපදේශක තුමා... හැබැයි ඉතිං ඒ සර්පයත් අපේ මැඩම් හිට්ලර්ගේ අත ගෑවුනා විතරයි බියෙන් සලිත වෙලා පැනලා දුවන්න ලෑස්ති උනා කකුල් කඩාගෙන.. බොහෝම අමාරුවෙන් තමා අල්ලලා නවත්ත ගත්තේ... ඔය ඇහැටුල්ලා හිටියේ බට පඳුරක..අපිටනං කවදාවත් පේන එකක් නැහැ ඒකව..ඒත් අපේ චිත්‍රදේකර මහත්මයගේ දෑස කොයි තරම් වනයට තියුණුයිද කියනවනං එක පාරින්ම ඌව අපට පෙන්නුවා.. ඒකාව විතරක් නෙවෙයි හැම දේම දකින තියුණූ දෑසක් එතුමට තියෙනවා.. බිම වැටිලා තියෙන වියළි කොල රොඩු අතරින් යන්තමට මතු වෙන කුඩා පැල වර්ග රාශියක් අපට පෙන්නවන්න උන්නැහේ කටයුතු කලේ එ පෙනීමට අනුව තමයි...

ඉතිං කොහොමින් කොහොම හරි යන්නයි එන්නයි සම්පූර්ණ ගමන කිලෝ මීටර් පහලොවක් විතර උනා... ඒත් ඒ ගමනින් ලැබුන දේවල් එක්ක බලනකොට ඒ දුර ඇවිද්දට ණය නැහැ...
අතර මග දොල පාරක් ළග නැවතිලා අපි අරං ගිය පාන් එහෙමත් කොටා බාලා අපි ගෙනියපු හැම දෙයක්ම ආපසු අරං ඇවිත් අපි අපේ ගමන අති සාර්ථකව නිමා කලා..ගමන පුරාවටම අපේ මාර්ගෝපකරණ අරං ගිය බෑග් දෙක මාත් පූසාත් කර තියං ගිය අතරේ.. අපේ පූසගේ පූස් කෑල්ල වෙච්ච පූසි අර අපිට පාන් කන්න අරං ගිය පරිප්පු මල්ලත් බොහෝම පරිස්සමට අරං ගියා... උන්දෙන්නා බෑග් අරගෙන පරිප්පුත් උස්සගෙන ජීවිත ගමන එකට යනවා වගේ ගිය ගමනත් බොහෝම සිත් කළු දර්ශණයක්... කලින් කියලා තිබියදීත් කෑලේ පෙනුමට ගැලපෙන පාට ඇඳන් වරෙවු කියලා..මුං දෙන්නා තොම්සන් ඇන්ඩ් තොම්සන් ඩබල වගේ එකම පාට එකම විදියට ඇඳගෙන තමා මේ ගමන ගියේ.. ඔය පේන්නේ නැද්ද ඉඳිකටු දෙක වගේ යන අපූරුව...
ඉතිං අපේ ගමනට නායකත්වය දායකත්වය මෙන්ම අනුග්‍රහකත්වය දුන් "මැඩම් හිට්ලර්ටත්.." මොන තරං බැන්නත් විහිළු කලත් පාඩුවේ ඒවා අහගෙන හිනා වෙවී අපිත් එක්ක ආව ගිය අපේ "ඉබ්බා තුමාටත්"... ඉඳි කට්ටයි නූලයි වගේ එකට ටැපලිලා අපිත් එක්ක ගමන් කරපු අපේ "පූස් ජෝඩුවටයි".. අපට මග පෙන්වමින් මහත් සේ උපකාර කල "චිත්‍රසේකර මහත්මයටයි" ස්තූතිවන්ත වෙමින් මං මේ චාරිකා සටහන නිමා කරන්නයි සූදානම...

එ‍වෙගේම ඊයේ ගිය "යාපහුව..රැස් වෙහෙර..නිල්ලග්ගම..කයිකාවල" චාර්කාව ගැනත්..හෙට යන "තන්තිරිමලේ හෝ උඩ වළවේ හෝ මීමුරේ" චාරිකාව ගැනත් ඉදිරියේදී ලියන්නම්...


අවසාන වශයෙන්...

කොහොම හරි කැලෙන් එළියට එද්දී හවස 4ට විතර ඇති..කොළඹට එද්දී රෑ අටට පමණ ඇති... කොළඹීන් අපි කට්ටිය විසිර ගියා..මම රෑ නවය හමාර විතර වෙද්දී වාසස්ථානයට වාර්ථා කලා...

පැය හයක් හතක් පමණ අපි කැලයේ හිටියා... ජීවිතයේ අමතක නොවනම පැය කිහිපයක් තමා ඒ... සම්පුර්ණ ජීවිත කාලය පැය වලින් ගත්තොත් කොයි තරම්ද..? ඒත් ඒ පැය දහස් ගාණින් මේ වගේ පැය කිහිපයක් ගෙවන්න අපිට වෙලාව නැත්තං අපි මොන තරම් අවාසනාවන්තද..?

35 comments:

  1. ඇයි අර මූණවල් කපලා?ඇදුරගනී කියලද?

    ReplyDelete
  2. @නදී...

    මගේ මූණ පෙන්නුවට හැමෝමවම පෙන්න එක හරි නැහැනේ...
    (ඇත්තම කාරණේ මගේ තරං එයාලා ලස්සන නැහැ නදී..ඒකයි...:D)

    ReplyDelete
  3. මූණවල් වහලා ඇයි ??? ඉස්සරහට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්නවත්ද ඉන්නේ ???

    ReplyDelete
  4. මූ මගේ රස්සාවට කෙලියි වගේ.....

    ReplyDelete
  5. හුරේ.... අද හය මම..... :D

    ReplyDelete
  6. @Hasitha...

    නදීට කිව්ව ටිකමයි මලයට කියන්න වෙන්නෙත්...

    @අභීත...

    :P

    @සෝරෝ...

    හිටිං තාම තෑගී පාර්සල් කරනවා...

    ReplyDelete
  7. @අභීත අය්යා-ඔයා කොහොමද එක වෙන්නෙ මමයි එක හෙහ් :)

    ReplyDelete
  8. අර මුණ වහන් ඉන්න නෝන දැන් ටිකක් මහත් වෙලා නේද ඉස්සරට වඩා :D

    ReplyDelete
  9. මොකද්ද මාරයෝ මේ දවස්වල ලබල තියන ග්‍රහය ? හිටු කියල ට්‍රිප් යන්නේ. මට පේන්නේ 2012 ලෝක විනාසෙට කලින් මුළු ලංකාවම කවර් කරන්න වගේ යන්නේ. ඔහොම යං ඔහොම යං. ඔය කාලේ ඇවිදින් නැතුව නාකී වෙලා ඇවිදින්නයැ.

    ReplyDelete
  10. :( මම එක නෙවෙයි නේද? අඩු ගානෙ ලකී තාම ඇවිත් නැත්නම්, ඒත් ඇති...

    ReplyDelete
  11. @Gimhani...

    අපොයි නැහැ..ඉස්සර හිටි ගානමයි...

    (අම්මපා මේ ගෑණු ළමයි හොයන්නෙම මෙව්වනේ..?)

    @Pisakkaatuwa...

    හෙනහුරු මාරුවෙන් පස්සේ හැම දේම හොඳ අතට හැරුනා නෙව...

    @නලිනි චන්දිමා...

    ම්හූ..ලකියා පේන තෙක් මානෙක නැහැ...

    ReplyDelete
  12. කන්නෙලිය පාගමන අවසන් කරලා, ගද යන්නත් එක්ක නෑවේ එහෙම නැතිද. ලස්සන නාන තොටුපලක් තියෙනවානේ කාර්යාලය අසලින් වනය‍ට ඇතුළුවන තැනම.

    ReplyDelete
  13. කොහොමටත් රස්සාවට මග පෙන්වන අයට වඩා තමන්ගේ රැකියාව වෙන එකක් උනත් වනාන්තරයත් සමග නිරන්තරයෙන් ගැවසෙන අයට ඒ ගැන දැනුම වැඩියි.

    ඔය කොටු දාන වැඩේ නවත්තල ගොඩක් කල්. දැන් බොට තියෙන්නෙ 'මේ පින්තූරෙ ඉන්න එක්කෙනා එයාම නෙමෙයි' කියල යටින් මැසේජ් එකක් දාන එකයි.

    ReplyDelete
  14. ෂහ් ! මාර ගමනක් !
    කන්නෙලිය කියන්නේ ඇත්තටම හරිම සුවිශේෂි තැනක් බලන්න හොඳ. ඔය වනය තමයි කාලයක් ගිංතොට තුනීලෑලි සංස්ථාවට ගස් සැපයුවේ. වනය මැදින් තාර දාල හදල තියෙන පාර තිබුනේ කොටන් පටවන් යන ලොරිවලට යන්න.කොහොම නමුත් කාලෙකදි ඒ වැඩේ නැවතුනා.
    මාර්ගය පෙන්වන කට්ටියගෙ වටිනාකමනම් කියල වැඩක් නෑ. ඔවුන්ගේ සේවය අගය කිරීම ගැන මට හරි සතුටුයි. දවසක් මාත් ඔහොම යනකොට තඩි පොළගෙක් වගේ සර්පයෙක්ගෙන බේරුනා එයාල හින්දා. එයාලට ගානක් නෑ. දන්ඩක් අරන් විසික් කලා අහකට. සර්පයොත් වනේම කොටසක්නෙ කියල ඔහු හිනාඋනා.
    මේක වනාන්තර තුනක එකතුවක්. මගේ හිතේ හෙක්ටයාර 5000ක් විතර.

    ReplyDelete
  15. අන්න කේන්දර බලාගන්න ආපු කට්ටිය පෝලිමේ....

    ReplyDelete
  16. අම්මෝ...මෙයත් යන ගමන්...

    ReplyDelete
  17. උඹ අර රු. 16/ ටිකට් එකක් අරන් නේද ගියේ.

    ReplyDelete
  18. නියම ට්‍රිප් එකක්, මට දිරවන්නෙ නැත්තෙ කූඩැල්ලො තමා, ඇත්තටම ඔය වගේ ට්‍රිපක් යන්න සාමාන්‍ය යෙන් වියදම කීයක් විතර යනවද, පැහැදිලි විස්තරයක් ඕන .......

    ReplyDelete
  19. // ඒත් ඒ පැය දහස් ගාණින් මේ වගේ පැය කිහිපයක් ගෙවන්න අපිට වෙලාව නැත්තං අපි මොන තරම් අවාසනාවන්තද..?//

    මම වාසනාවන්තයි

    ReplyDelete
  20. මටනම් මේක කියවලම මහන්සියි. තව කොහෙද ගමන ගියානම්. 15km? විනාඩි 5 ක් ඇවිද්ද ගමන් මම බිම, ෆ්ලැටේ ෆ්ලැට්. තව ඔය කූඩැල්ලො...බ්ර්ර්ර්... හෆෝයි බැහැ!!!! O_o

    ඔබේ ගමන් තොරතුරු, පින්තූරු බලා සෑහීමකට පත්විමි. එයද එක්තරා වාසනාවකි. ඩැන්කියු මෙයා! :)

    ReplyDelete
  21. අෆ්ෆෙ.. ඔය අංකල් ගැන මං හොදට දන්නවා.. :)
    ඔහොම උන්නට හරි වසයි :D

    ReplyDelete
  22. මාත් යන්න හරිම ආසාවෙන් ඉන්නෙ...
    ඒත් ඉතින් බැරි වෙයි :/

    ReplyDelete
  23. අම්මෝ ඔය කුඩල්ලලෝන්ටනම් මාත් මාරම බයයි.

    ReplyDelete
  24. ලංකාවට ආවම ගිහින් එන්න යන්න ඕන..

    ReplyDelete
  25. මාරයා අයියේ ඔය ට්‍රිප් විස්තර ටික දාල ඉවර උනාම අර ජුංඅල ගේ කතාවකුත් දාන්නකෝ.
    ෂා මාරයියට ලස්සන නමක්නේ තියෙන්නේ මම ඊයේ තමයි මූණු පොතේ දැක්කේ.

    ReplyDelete
  26. මඩ කෝටියයි...
    ඒ මදිවට මාර පුත්‍රයින්ටත් රාහු ලබනවග දැනුයි දන්නේ
    ලංකාව ඇමරිකාව සයිස් විතර උනානම් මාරෙ අයිය කොහෙන් නවතිය්ද
    කියල හිත ගන්න බැරි වෙයි. ^_^ බොහොම අගේ ඇති විස්තරයක්....

    ReplyDelete
  27. අනේ අර විස්තර කරපු රත්මලේ ඇල්ල, පුස් වැල, සඳ රාජ, හිරු රාජ වගේ ගස්වල පින්තූර ටිකකුත් දාන්නකෝ.....

    ReplyDelete
  28. ගමනේ විස්තර ටිකනම් අපුරුයි
    මමත් ගොඩ කාලෙකට කලින් ගියත් මෑතකදී කන්නෙලියේ යන්න බැරි උනා
    කන්නෙලියේ විතරක් නෙමෙයි දැන් හැම කැලෑවකම වගේ යද්දී ගයිඩ් මහත්තුරු එක්ක යන්න ඕනේ

    ඇහැටුල්ලා මදවිෂ සහිත සර්පයෙක් නෙමෙයි "විෂ රහිත" සර්පයෙක්...

    වර්ග ප්‍රමාණ සම්බන්ධව කරපු විස්තරයේ වැරද්දක් තියෙනවා
    සිංහරාජයට වඩා කන්නෙලිය විශාල නැහැ
    සිංහරාජය ආසන්න වශයෙන් හෙක්ටයාර 22,000 ක් පමණ තියෙනවා කියල මම අහල තියෙනවා
    කන්නෙලිය, දෙදියගල ,නාකියාදෙනිය යන වනාන්තර තුනම (KDN) සලකන්නේ එකක් විදිහට
    එහෙම සැලකුවත් සිංහරාජය තරම් ලොකු නැහැ...
    කන්නෙලිය ආසන්න වශයෙන් හෙක්ටයාර 5300 ක් පමණ විශාලයි
    (පහල තියෙන ජායාරුපය කන්නේලියේදී ගත්තු එකක්)

    http://i44.tinypic.com/34tbwud.jpg

    නමුත් කන්නෙලිය ශාක විවිධත්වය(Diversity) අතින් ඉදිරියෙන් ඉන්නවා සිංහරාජයට වඩා
    සිංහරාජය ඉදිරියෙන් ඉන්නවා ආවේනික/ඒකදේශිකත්වය(Endemicity) අනුව බැලුවොත්

    ReplyDelete
  29. චෙහ්... කූඩැල්ලන්ට හරි ලේ ටිකක් දන් දීමේ මහා පුන්‍ය කර්මයකට සහභාගි වීම මහත් ඵල මහානිසංස දෙනු ඇත..

    ReplyDelete
  30. සමස්ථයක් ලෙස මෙයින් කන්නෙලිය ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. නොගිහිපු කබ්බලේ කන්ද ඇරෙන්න. මෙහි අඩවි වන සංරක්ෂන නිළධාරී මහතා ගැනත් ලීවා නම් තමා හොද. මොකද මේ කැලේ ඔහුගෙ පණ වගේ රකින්න ඔහු අනූපමේය සේවාවක් කරනවා, සින්හරාජයටත් වඩා මෙහි ඇති ලස්සන ඔබත් දකින්න ඇතිනේ. අතර මගදි ගිමන් නිවන්න හදපු නිර්මාණශීලි නිවහන් වලින් ස්වාභාවිකත්වය තවත් ඔප නැන්වෙන හැටි, මෙවැනි තවත් ලස්සන තැන් කිහිපයක්ම තියෙන්නෙ කබ්බලේ කන්දෙ පැත්තෙ. මේ ඔක්කොම ඔහුගෙ නිර්මාණ. අනගිමල ඇල්ල බලන්න ලස්සන වේදිකාවක් පවා තිබුනා ඒක ඇලේ වතුර වැඩි වෙලා ඒක කැඩුනා.

    ආ කියන්න අමතක උනා මේකෙ උපරිම වින්දනේට රැයක් නවතින්න පුලුවන්.... කන්න අවශ්‍ය දේවල් අරන් ගියාම උයල දෙන්න කෙනෙක් ඉන්නවා... ඒකත් මැක්ස් .... ඉස්සරහට යන්න ඉන්න අය ඒ විදියට ඇරේන්ජ් කරන්න....

    ReplyDelete
  31. තව පින්තූර ටිකකුත් දැම්ම නං පෝස්ට් එක නියමයි...

    ඔහොම යං...

    ReplyDelete
  32. අනෙ අම්මෝ කූඩැල්ලෝ..... මතක් කළත් හිරි වැටෙනවා... මොනා උනත් මරු ට්‍රිප් එක...

    ReplyDelete
  33. ඇයි මේ කස්ටියගෙ මූණු වහල, අපි අදුන ගනී කියලද?

    ReplyDelete