22 December 2011

නිල්ලග්ගම බෝධිඝරය... පාඩම් පොතට සීමා වූ අපේ උරුමය...

පාසල් යන කාලේ ආසාවෙන් කියවන්න තිබුනේ අච්චු පොත් දෙක තුනයි...පොත් කිව්වට ඒ පොත්වලත් එක එක කොටස්.. සිංහල අච්චු පොතේ කතා හා කවි පාඩම් ටිකත් බුද්ධ ධර්මය පො‍තේ කතන්දර ටිකත් වගේම ඔය ලොකු පංතිවලට එනකොට විද්‍යාව පොතේ පාඩමක් එහෙමත් හිතට අල්ලලා යන විත්තිය ඉස්කෝලේ ගිය උන්දලට පරණ මතකය අවුස්සනකොට සිහියට එනවා ඇති නෙව...

ඔය කිව්ව පොත්වලට හා පාඩම්වලට අමතරව මගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ මතකයක් තමා එක්තරා ස්ථානයක් ගැන මතකය..ඒ ස්ථානය මට දකින්න හම්බ වෙලා තිබුනේ පාඩම් පොතකින් විතරම තමා... ඒකත් බුද්ධ ධර්මය පොතේද..එහෙමත් නැත්තං ඉතිහාසය හා සමාජ අධ්‍යයනය පොතේද කියලා මට හරියටම මතකයක් නැහැ.. ඒත් ලංකාවේ ඓතිහාසික ස්ථාන යටතේ කොහේ හරි පාඩමක තිබුනා "නිල්ලග්ගම බෝධිඝරය" කියලා සඳහනක්...

ඔය සටහන මොනම හේතුවක් හින්දා හරි මගේ ඔළුවේ තැන්පත් වෙලා තිබුනා බොහෝම තදින්.. ඉතින් මේ ඊයේ පෙරේදා අපි කස්ටියක් හිටු කියලා දුවන අපේ චාරිකා ගොන්නට තව චාරිකාවක් එකතු කරන්න කරුණු එකත් කර කර ඉන්නකොට මගේ ඔළුවට ඔය මතකය ආවා... අපේ කට්ටිය යාපහු රාජධානිය නරඹන්න යන්න කියලා යොදාගෙන ඒත් සමඟින් නරඹන්න පුළුවන් තව ඒ අවට වැදගත් ස්ථාන ගැන හොයා බලද්දී මට එකපාරටම මතක් උනේ නිල්ලග්ගම..

නිල්ලග්ගම කිව්වට ඒක කොයි හරියෙද කියන්න මං දැනං උන්නේ නැහැ..ඒත් යාපහුවට කිට්ටුවග අර පාඩම් පොතේමද කොහේද සඳහන් වෙලා තිබුනා.. ඒ ගමන මං ඕක මතක් කලාට පස්සේ අපේ කෙනෙක් බොහෝම මහන්සි වෙලා ස්ථානය හොයාගෙන..ඒකට යන මාර්ගයත් සෑහෙන්න හොයලා කරලා පැහැදිලි කරගෙන ඒකත් ඇතුලත් කරගත්තා අපේ ගමනට...

ඉතිං අන්තිමේදී අපේ චාර්කාව සැලසුම් උනේ මුලින්ම නිල්ලග්ගම..එතනින් යාපහුව රාජධානිය..අවසාන වශයෙන් කයිකාවල පුරාණ රජ මහා විහාරය කියන අන්දමට.. ඒත් ලස්සනම වැඩේ තමා නිල්ලග්ගම බලලා අපි යාපහුවට යන්න කියලා යද්දී එක පාරටම අතර මග හන්දියක තිබුනා බෝඩ් එකක්...

"රැස් වෙහෙරට කිලෝමීටර් 18යි" කියලා..

ඕක දැකපු ගමන්ම එක්කෙනෙක් හිනා වෙලා අපි දිහා බලලා පොඩ්ඩක් ඇඹරිලා "රැස් වෙහෙරට 18යිළු නේද" කියලා කියපි... ඒ කිව්වේ ඉතිං මොකක්ද කියන එක පටස් ගාලා තේරුම් ගත්ත අනිත් පිරිස එක හඩින්ම "යං යං ඕන මගුලක් වෙන්න කියලා යං" කියලා.. ඉතිං ආන්න එහෙම තමා අර ගමනට රැස් වෙහෙරත් හිටි හැටියේ එකතු උනේ...

ඉතිං මං මේ කියන්න යන්නේ ලිපිය ලියන්න හිතපු නිල්ලග්ගම ගමන ගැන තමා...

මුලින්ම මාර්ගය ගැන කියනවනං මං මේ සිතියමේ දාලා තියෙන්නේ කුරුණෑගල සිට නිල්ලග්ගමට යන හැටි.. ඒත් කොළඹ පැත්තේ ඉඳන් නිල්ලග්ගමට යන කෙනෙකුටනං කොළඹ නුවර පාරේ පස්යාල හන්දියෙන් වමට දාලා මීරිගම හරහා ගිරිඋල්ලටත්..ගිරි උල්ලෙන් නාරම්මලටත් නාරම්මලින් කුරුණෑගල පාරේ ටික දුරක් ගිහින් කළුගමුව හන්දියෙන් වමට හරවා අළුදෙනිය/බමුණාකොටුව හරහා වාරියපොලට දාලා වාරිය පොලින් වම් පැත්තට ගිහින් පාදෙනිය හන්දියෙන් දකුණට දාලා ඔය සිතියමේ ආකාරයටම යන්නත් පුළුවන්...

ඒක මේ පැත්තෙන් යන අයට කෙටි පාර උනාට එච්චර පාරවල් ගැන මතක තියාගන්න බැරි අය කුරුණෑගලට දාලා ගියාම පහසුයි...

කොහොම ආවත් පාදෙනිය හන්දියේ ඉඳන් අපි යන්න ඕන ගල්ගමුව දක්වා...පාදෙනියෙන් හැරුනට පස්සේ හම්බවෙන දළදාගම හන්දියෙන් කෙලින්ම යන්නයි තියෙන්නේ..යාපහුවට හරි කයිකාවලට හරි යනවනං දළදාගම හන්දියෙන් දකුණට දැම්මම හරි...ඒත් අපි යන්නේ දැන් නිල්ලග්ගමටනේ ඒ හින්දා කෙලින්ම..එහෙම ගිහින් අපි වැටෙනවා අඹන් පොලට..එතනින් දකුණු පැත්තට..එහෙමත් නැත්තං ප්‍රධාන මාවත ඔස්සේම යන්න ඕන ගල්ගමුව නගරයට...
ගල්ගමුව නගරයේ දුම්රිය ස්ථානයට පොඩ්ඩක් මෙහායින් තියෙනවා දකුණට පාරක් විකන්දෙනිගම පාර කියලා..ආන්න එකේ හැරිලා කිලෝ මීටර් කිහිපයක්...මට මතක හැටියට කිලෝමීටර් 7කට ආසන්න දුරක් පමණ ගියාම වම්පැත්තට තියෙනවා පොඩි වැලි පාරක්..
ඒ හරියේ කාගෙන් ඇහැවුවත් පාර කියනවා..කොහොමත් ඒ වැලි පාරේ යද්දි පාර අහගෙන තමා යන්න වෙන්නේ මොකද කැලෑව වගේම පොඩි පොඩි පාරවල් එහෙට මෙහෙට තියෙනවා... පොඩි අවුලකට තියෙන්නේ අහන්න කෙනෙක් හොයාගන්න ලේසි නැති එක..මොකද ගෙවල් දොරවල් එහෙමට නැහැ ඒ හරියේ..ඒත් අතරින් පතර හම්බවෙන අය ඉන්නවා..එහෙම කෙනෙක්ගෙන් ඇහැවුවාම කිසිම කරදරයක් නැතිව පාර අහගත්තෑකි... අර ප්‍රධාන පාරෙන් හරවලා කිලෝ මීටර් තුනක විතර ගමනක් තියෙනවා නිල්ලග්ගම බෝධීඝරයට... ආන්න එහෙම ගියාම මෙන්න මෙහෙම අපට පේනවා ඔය කියන තැන...
බොහෝම ලස්සන තැනක්... එකපැත්තකින් නිල්ලග්ගමවැව..

අනිත් පැත්තෙන් බෝධිඝරය..
ඒ දෙකට මැදින් වැව් බැම්ම මතින් දිව යන වැලි පාර... ඇත්තටම හරිම නිස්කලංක සුන්දර ස්ථානයක්...
ඒ ගියහම මෙන්න මෙහෙම බෝඩ් ලෑල්ලක් තිබුනා..අපි දුවගෙන ගිහින් බැළුවා මේ ස්ථානය ගැන සඳහනක් ඇති කියලා..ම්හූ නැහැ..ඒකේ තියෙන්නේ මේ වැව ගැනයි ගම ගැනයි...
ඊටත් පස්සේ මෙහෙම බෝඩ් ලෑල්ලක් තිබුනා...එකෙත් හරි හමන් විස්තරයක් නැහැ...

ඊට පස්සේ විස්තර හෙවිල්ල නවත්තලා අපි මේ ස්ථානේ නැරඹුවා...
මේ පහතින් තියෙන්නේ ඇතුළු වෙනකොට මෙතන පේන හැටි...
පොඩ්ඩක් පැත්තෙන් බැළුවම මෙහෙ පේනවා...
ඇතුළු වීමේදි සඳකඩ පහණක් එහෙමත් තියෙනවා ගලින් හදපු..ඒත් අපි දකින හුගාක් ඒවායේ වගේ මේකේ කිසිම රූපයක්නං නැහැ...හැබැයි හුගාක් කඩතොළු වෙලා..කාලෙත් එක්ක තිබුන දේවල් විනාස වෙලාද මංදා..
ප්‍රාකාරයේ පිටුපස පෙනෙන ආකාරය..මේ පිටත බැම්මේ කැටයම් අඩුයි...ඒත් පහතින් ලස්සන ඇත් පවුරක් දිව යනවා...ඊටත් පහළීන් නෙළුම් පෙති මෝස්තරයකුත් දිවෙනවා...
මේ තියෙන්නේ ඇතුළත ඇති බෝධිඝරය..අර කලින් දැක්කේ මේ වටා ඇති ආරක්ෂීත ප්‍රාකාරය...එක එක කැටයං ජාති ගොඩයි නෙව...
ඔය තියෙන්නේ ඒකේ එක පැත්තකින් තිබුන මල් ආසනයකුත්..මෙහෙම හතරක්ම තිබුනා හතර පැත්තෙන්..හැම දේම කළු ගලින්...
මේ ඉන්නේ මේ බෝධීඝරයේ ඉන්න සිංහ රූප දෙකෙන් එක වර්ගයක සිංහයෙක්...
මේ අනිත් සිංහ රූපය...
ඔය තියෙන්නේ පිටත ප්‍රාකාරයේ ඇත් පවුරේ ඇති ඇත් රූපයක්...
ආ මේ ඉන්නේ මං...
ඕක දැම්මේ වෙන එකක් හින්දා නෙවෙයි... මං ඔතනට ගියාමයි කියලා ඔප්පු කරන්න සාක්කිත් එපෑ.. මොකද සමහරු මේ දවස්වල මූණු පොතේ එක එක පිංතූර දානවා... සීනිගම දේවාලේ ලග පොටෝ දාලා යාපනේ ගියයි කියනවා.. යාපනේ පොටෝ දානවා මනුස්සයින්ගේ එක රූපයක්වත් නැතිව... ඒ කරලා කියනවා අපිත් ගියා යාපනේ කියලා..ඒත් ඉතිං ඒ පොටෝ එකම දාලා මටත් කිව්වැකි මාත් ගියා කියලා..ඇයි ඉතිං කවුරු ගියාද නොගියද කියලා ඒවයින් කිව්වැකිද..යාපනේ මිස එහෙ ගිය එවුන් ඒකේ නැහැනේ...

ඔය අතරේ අරාබි මතකය ගැන පොටෝ දාන අයත් ඉන්නවා... ඒ ගැන මං කතා නොකර ඉන්නංකෝ...
(අදත් එක වෙයිද දන්නේ නැහැ ඔය කිව්ව අරාබි මතකය පෙන්නන හාදයා...)

පසු සටහන්..-
මෙම ලිපියෙහි බලවත් අඩුපාඩුවක්ව ඇති නිල්ලග්ගම බෝධිඝරය සම්බන්ධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික කරුණු සම්බන්ධව මනා විස්තරයක පහළින් ඇති ප්‍රතිචාර තීරුවෙහි හසිත හා ඉන්දික යන සොයුරන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් එම විස්තර දැන ගැනිමට කැමැත්තෝ එම ප්‍රතිචාරයන් කියවා බැලීම මැනවි...

41 comments:

  1. අපි නම් වෙයි එක,,හහ්

    ReplyDelete
  2. නිලක්කගම බෝධි ඝරය ගැන වටිනා විස්තරයක්. අච්චු පොත්වල තිබ්බ කලු සුදු ෆොටෝ එකක්නේ.

    පහුගිය කාලෙක මහාචාර්ය ඔස්මන් බෝපේආරච්චි මහතා ජාතික රූපවාහිනියේ කරපු වැඩසටහනක මේ ගැන හොඳ විස්තරයක් කළා

    ReplyDelete
  3. උයලා කනවාට වාඩා මේවා කොච්චර හොඳට දිරවනවද :DDDD

    ReplyDelete
  4. මේකෙ විශේෂත්වය ගැන ටිකක් මතක් කරල දෙන්න පුලුවන්ද ? ඉස්කෝලෙ ගිහින් නැති අපි වගේ අය වෙනුවෙන්..

    අර පළවෙනි සිංහ රූපෙ නම්....හපොයි ඒක කොටපු එකා....

    ReplyDelete
  5. ලස්සන වටිනා තැනක්. මෙතන ඉතිහාසය ගැන විස්තරයක් දැනගන්න තිබුනනං තවත් වටිනවා. මේ විදිහට පෝස්ට් එකේ පින්තුර ගොඩක් දැම්මාම එතනට ගියාවාගේ තමයි. මොකද " පාඩම් පොතට සීමාවූ අපේ උරුමය" කියල දැම්මේ. මෙතන විනාශ මුකයට ගිහිල්ලද ?

    ReplyDelete
  6. මේ කෝ බන් අර නූතන සිංහයා.. උගේ ෆොටෝ එක නෑ නේ..

    ReplyDelete
  7. මාරයියේ මේ තැන ගැන පුලුවන්නම් තව විස්තර ටිකක් දාන්නෝ

    ReplyDelete
  8. මමත් ගියා වගේ තමයි දැන්...... නියමයි මචෝ .....

    ReplyDelete
  9. නුතන සිංහයා කොහොම වෙතත් නුතන නරියා නම් පොටෝ එකක ඉන්නවා

    ReplyDelete
  10. අර ගොඩක් දෙනෙක් බොට ෆොටෝෂොප් බෑ කියන හින්ද මේ කතාව ඇත්ත කියල පිළිගන්න පුලුවං.
    නැත්තං ඔය වගේ එකක් ෆොටෝ එක දාලත් හදාගත්තහැකි.

    කොහොම උනත් නියම විස්තරයක්.

    ප.ලි. හැමදාම එක වෙන්න හොඳ නෑනෙ.

    ReplyDelete
  11. සිංහ රූප කැටයම් හා සඳකඩ පහනේ ස්වරූපය අනුව නම් පෙනෙන්නේ පූර්ව අනුරාධපුර යුගයට අයත් එහෙමත් නැත්නම් මුල් කාලීන අනුරධපුර යුගයට අයත් කැටයම් වගෙයි. ඒ කියන්නේ බොහෝම ඈත ඉතිහාසයක් ඇති තැනක් වෙන්න ඕනෙ. කියලා තියන විදියටනම් පොළොන්නරුව යුගයට පොඩ්ඩක් ඈත බව තමයි හිතෙන්නේ. ඒත් මේ ගැන හරියටම හොයන්න මටත් හිතුනා. ඔය ඉසව්ව පරාක්‍රමබාහු මහ රජතුමාගේ උපන් ප්‍රදේශයට කිට්ටුයි වගේ මට පේන්නේ. කොහොමත් යම් ඉතාම ඈත ලක්ෂන මේ කැටයම් වලින් පේන නිසා මටනම් හිතෙනවා වටිනා ඉතිහාස කථාවක් ඇතෙයි කියා. හොයන්න බලමු.

    ReplyDelete
  12. අඩේ ඉස්කෝලේ පොතේ මේවගේ එකක් තිබ්බ මතකයි. ඒත් මේතරම් විස්තරයක් නැතිව ඇති. උබ නම් සිරා බං. අපේ මිනිස්සු කොච්චර දක්ෂද කියලා පේන්නේ මේව දැක්කම. මාර ටුවර් එකට ජය වේවා..

    ReplyDelete
  13. බොහෝම ස්තුතියි අයියේ විස්තරයට, අයියා බුදුරුවගල ගිහින් තියෙනවද?

    ReplyDelete
  14. හොඳ විස්තරයක්. විශේෂයෙන් මාර්ග විස්තරය. මාරයියා තවත් රැල්ලකට මුල පුරලා වගේ. කොහොමින් හරි කමක් නැහැ, මේ වගේ තැන් ගැන දැනුවත් කිරීම් බොහොම වටිනවා..

    ReplyDelete
  15. බෝධි ඝරය කියලා හඳුන්වන්නේ බෝධීන් වහන්සේ නමක් වටා ඉදි කරන පියස්සක් සහිත ගොඩනැගිල්ලකට.

    මේ ගොඩනැගිල්ලේ මැද කොටස විවෘතව තියෙනවා බෝධීන් වහන්සේට හිරු එළිය වැටෙන්න වගේම අතු විහිදෙන්න. නමුත් වටේට පියස්ස සහිත ගොඩනැගිල්ල නිසා බෝධිය වන්දනා කරන වන්දනාකරුවන්ට අව්වෙන් වගේම වැස්සෙන් ආරක්ෂා වෙලා බෝධිය වන්දනා කරන්න පුලුවන්කම ලැබෙනවා.

    වර්තමානය වෙද්දී බෝධිය වටා ප්‍රාකාරයක් ඉදි කිරීමයි දැකගන්න පුලුවන්. ඒකෙන් බෝධියට ආරක්ෂාවක් ලැබුණත් පෙර තිබුණු බෝධිඝරය එහෙමත් නැත්නම් බෝගෙයින් වුණු සේවය ඉටුවෙන්නේ නැහැ....

    මාරයා ගිය නිල්ලග්ගම බෝධිඝරය තමා දැනට ඉතාමත්ම හොඳ තත්වයෙන් තියෙන බෝධි ප්‍රකාරය විදිහට ලංකාවෙන් හමුවෙලා තියෙන්නේ. අතීත කාලයේදී අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටාත් මේ විදිහටම බෝධිඝරයක් තිබුණා කියා දැක්වෙතත් අද වෙද්දී දැකගන්න පුලුවන් වෙනෙන බෝධි ප්‍රාකාරයක්.

    මේ නිල්ලග්ගම බෝධි ඝරයේ ඇති බොහෝ කැටයම් පල්ලව ආභාෂයෙන් නිර්මාණය වුණු ඒවා. විශේෂයෙන් බෝධි ප්‍රාකාරය වටා තිබෙන සිංහ රූ මේකට හොඳ නිදසුනක්.

    ලංකාවට පල්ලව ආභාෂය ලැබෙන්න පටන් ගන්නේ ක්‍රි.ව 700 පමණ ඉදන්. ඒ මානවම්ම රජතුමා ක්‍රි.ව 691 දී පල්ලව ආධාර ඇතිව රාජ්‍ය බලය ලබාගැනීමත් එක්ක.

    ඒ නිසා නිල්ලග්ගම බෝධි ඝරය ක්‍රි.ව 7 වන සියවසේ හෝ ඊට පසුව ඉදි කරපු එකක් විදිහට සලකන්න පුලුවන්

    ReplyDelete
  16. රායිට්... ගින්දර ඈ...

    ReplyDelete
  17. Hasitha,

    "නිල්ලග්ගම බෝධිඝරය තමා දැනට ඉතාමත්ම හොඳ තත්වයෙන් තියෙන බෝධි ප්‍රකාරය විදිහට ලංකාවෙන් හමුවෙලා තියෙන්නේ"

    මේක හමු උන විදියෙ පින්තූර දැක්කනම් මේ මොකද්ද කියලවත් හිතා ගන්න බෑ. පරණවිතාන මහත්තයටයි එයාගෙ ගෝලයො ( කම්කරුවො )න්ටයි පින් සිද්දවෙන්න අවුරුදු දෙකක විතර මහන්සියෙන් තමයි ආයි මේ නිල්ලක්ඝම බෝධිඝරය ප්‍රතිනිර්මාණය වෙලා තීන්නෙ! ( වැඩි විස්තර "පුරාවිදු පර්යේෂන 2 - සෙනරත් පරණවිතාන" පොතේ තීනව.

    ReplyDelete
  18. //ගල්ගමුව නගරයේ දුම්රිය ස්ථානයට පොඩ්ඩක් මෙහායින් තියෙනවා දකුණට පාරක් විකන්දෙනිගම පාර කියලා//

    මේක ඇහැටුවැව/සාලියගම පාර කිව්වනම් තමයි කවුරුත් දන්නේ....
    ඒ පැත්තේ තව ලස්සන තැන් ‍බොහොමයක් තියෙනවා... ඒත් ගමන චුට්ටක් අවදානම්. මොකද හවසට විතරක් නෙමෙයි දවල්ටත් හිටපුගමන් වල්අලි පාරේ යනවා.

    වටිනා විස්තරයක්. මාර චාරිකාවේ ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න.....

    ReplyDelete
  19. ඉන්දික උපශාන්ත,

    සමාවෙන්න අයියා. ස්තුති පෙන්නලා දුන්නට. වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ "ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතාමත්ම හොඳ තත්වයෙන් ප්‍රතිසංස්කරණය බෝධිඝරය වන්නේ නිල්ලග්ගම බෝධිඝරය" කියලා.

    මා ගාවත් පුරාවිදු පරියේසන පොත තියෙනවා. පරණවිතානයන් පුරාවිදු පරියේසණ පොතේ 13 වෙනි පරිච්ඡේදය වෙන් කරලා තියෙන්නේ නිල්ලග්ගම බෝධිඝරය ගැන කරුණු දක්වන්න. නැවතත් ස්තුති අයියා කරුණු මතක් කළාට

    ReplyDelete
  20. ඉන්දික අයියා කිව්ව නිසා ඒ පොතෙන් තමා මේ කරුණු දක්වන්නේ....

    නිල්ලග්ගම බෝධිඝරයේ බස්නාහිර දොරටුවට වම් පස තියෙන අත්තිවාරම් ගලේ සිංහල අක්ෂරවලින් කොටපු පාඨයක් දැකගන්න පුලුවන්. ඒකේන් මෙය ඉදිකළ වර්ෂය වගේම කරවපු පුද්ගලයා ගැනත් දැනගන්න පුලුවන්.

    ඒ අක්ෂර ක්‍රි.ව 8 හෝ 9 සියවසට අයිතියි කියලා තමා පුරාවිදුවන් නිගමනය කරන්නේ. සෙල්ලිපි පාඨය තමා "මොනරගල් බුද්මි මෙ දසඇතුන් කරවා මහබොයි පිදූ පිනින් අනුත්තර සම්මා සම්බුදු" කියලා.

    එහි අර්ථ ගන්වලා තියෙන්නේ "(මම) මොනරගල් බුද් වෙමි. මේ දස ඇතුන් කරවා මහ බෝධියට පූජා කළ පිනෙන් සම්මා සම්බුදු බව ලබම්වා" කියලා

    මේ දස ඇතුන් කියලා දක්වන්නේ මේ සෙල්ලිපි පාඨයට ඉහළින් තියෙන ඇත් රූ දහය.

    ReplyDelete
  21. එලස්.. පෝස්ට් දාපු මාරයාටත්, විස්තරේ දුන්නු හසිතටත් පිං..

    ReplyDelete
  22. හොඩක් හොද විස්තරයක් අයියේ... තව ටිකක් මේකේ ඉතිහාසේ ගැන දැම්මනම් නේද හොද..

    "සීනිගම දේවාලේ ලග පොටෝ දාලා යාපනේ ගියයි කියනවා.."

    ඒ කතාවනම් සහතික ඇත්ත...

    ReplyDelete
  23. ගියා කියලා ඔප්පු කරන්න පින්තූරෙ දාපු එක හොඳයි. ගිහින් බලන්න වටින තැනක්. මමත් දැක්කනෙ අර යාපනෙ ගියා කිව්ව පොටෝ. අරාබි මතකයක් ගැන කිව්වට මොකෝ අපි දැකලම නැහැ එහෙම තැන් මෙහෙ. මොකෝ අපිත් ඉන්නෙ මෙහෙ නෙ :D :D

    ReplyDelete
  24. රට වටේ යන එක මගේ ජොබ් එකේ කොටසක්නේ. ඒත් ඕක නම් මට තාම යන්න බැරි උන තැනක්. කුරුණෑගල පැත්තේ ගිය වෙලාවක පොඩි විසිට් පාරක් දාන්න ඕනේ. ටැන්කිව් මාරයියා විස්තරේට.

    ReplyDelete
  25. ගිහින් නැති යන්න ආස තැනක්. ස්තුතියි මාරේ අයියා විස්තර ටිකට.

    ReplyDelete
  26. @ Hasitha, ඔයාගේ විස්තරය මාර වටිනවා. හසිතටත්, මාරයාටත් ස්තුතියි !

    ReplyDelete
  27. වටිනා විස්තරයක්... ස්තූතියි ෙම් විස්තරය දැම්මට..

    ReplyDelete
  28. හ්ම්ම්ම් මටත් ඔය තැන ඉස්කෝලෙ පොතක තිබ්බයි කියලා මතකයි..මාරයාගෙ පිහිටෙන් අපිත් ඒ තැන බලා ගත්තා ඕන්..

    ReplyDelete
  29. මමත් මෙතනට ගිහින් නැහැ... :(
    බොහොම ස්තුතියි මාරයා මේ වගේ තැන් අපිට හොයල දෙනවට
    හසිතටත් බොහොම ස්තුතියි වැඩිදුර දැනුම බෙදල දෙනවට

    ReplyDelete
  30. ඕක තිබුනේ ඉතිහාස පොතේ.. මටත් මතකයි..

    හුරේ. අද මම තිස්සෙක.... :D

    ReplyDelete
  31. ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාට බෝහෝමත්ම ස්තූතියි.. ඒ අතරේම මෙම පොස්ටුවේ ප්‍රභල අඩුපාඩුව වූ මෙහි ඇති ඓතිහාසික වටිනාකම හා විස්තර ගැන වූ අඩුව පිරවීමට තැත් කල හසිත මලයටත්..ඉන්දික උපශාන්තටත්..වගේම ඒ සඳහා උත්සහයක් ගත් අපේ වෙද මහත්තයටත් බොහෝම ස්තූතියි...

    ඇත්තටම මං ඒ ගැන ලියන්න කැමති උනත් මට අවශ්‍ය පැහැදිලි විස්තරයක් ලැබුනේ නැහැ.. එතනට ගිහිල්ල බැළුවත් ඒ තැනේවත් මෙහි අති වටිනාකම් හා විස්තර සඳහන් පූවරුවක්වත් නැති එක අති විශාල අඩුපාඩුවක්.එතනට කිසිම ආරක්ෂාවක්වත් මේ වෙනකොට නැති උනත් ඉතාමත් හොඳින් මෙය දැනට තියෙනවා කියන දේත් කියන්න ඕන.

    කොහොම උනත් හසිත කල උදව්ව හුගාක් වටිනවා..මේ පෝස්ට් එක හසිතත් ඉන්දිකත් හින්දා ගානට සම්පූර්ණ උනා.

    @හරී - පිණිපළස...

    අක්කට ඔය පැත්තේ හිටියා ඇති වෙලාද..? අන්න එහෙකුට යකා නැගලා අරාබිය පුරා කරක් ගහනවළු ඔටුවෙක් හොය හොයා..එකට ඉඳන් පොටෝ එකක් ගන්න...

    ReplyDelete
  32. දැන් එහෙමනම් ඉස්සරහට තුෂර ජ්‍යොතිෂය කාර්යාලයේ සාදර අනුග්‍රහයෙන් නිල්ලග්ගම බෝධිඝරය ගැන විස්තර තියෙන බෝඩ් එකක් හයිවෙයි නේද :p

    ReplyDelete
  33. මාහෝ ඩිපෝවෙ වැඩ කොරන කාලෙ ඔය පැත්තෙ කරක් ගහල තිබ්බට මෙතනට නං ගිහින් නෑ.

    ReplyDelete
  34. අා ... අෙප් ෙග් ඉස්සරහින්ෙන ගිහිං තිෙයන්ෙන්. (විකාදණිගම පාර)

    ReplyDelete
  35. ට්‍රිප් ලෝකයක් නෙ... අනේ වාසනාවන් ...

    ReplyDelete
  36. හොද ඡායාරූප පෙලක් හා විස්තරයක්.

    ReplyDelete
  37. විස්තර දාපු මාරයාටත්, හසිත ඇතුළු අනිත් අයටත් බොහොම ස්තුතියි... දැන් අපි යන දවසක විස්තර දැනගෙනමයි යන්නෙ.... එහෙම යනකොට ගොඩක් හොඳයි... ආස හිතෙනව ඒ කියපු දේවල් ඇස් දෙකෙන්ම දැක ගත්තම....

    ReplyDelete
  38. හූ හූ ලකී එක නෙවෙයි. :D

    ReplyDelete
  39. හසිත,

    විභාගෙන් පස්සෙ "ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැත" උනාද? :DD

    මාරය,

    යූ ආර් වෙල්කම් කිව්ව. පුළුවන්නම් ඔය කුරුණෑගලම තීන අරංකැලේ පැත්තෙත් ගිහින් බලන්න. තවත් එතරම්ම අවධානයට ලක් නොවෙච්චි සුන්දර ආරාම සංකීර්නයක්.

    ReplyDelete
  40. තෑන්ක්ස් මාරයා, ගොඩාක් වටිනා ලිපියක්.ඒ වගේම හසිතත් හොඳ කොමෙන්ට්ස් දාලා තිබුනා.ඇත්තටම ඒවා කොමෙන්ට්ස් වලටත් වඩා ලිපියට පසු වදනක් වගේ.ඉන්දිකත් එහෙමයි. ඒ වගේම ලංකාවේ පුරා විද්‍යාත්මක වටිනාකම් තිබෙන එහෙත් අප්‍රසිද්ධ තැන් හොයාගෙන රට පුරා කරක්ගහපු අපුරු සංචාරක සටහන් ගොන්නකුත් එක්ක එක්ක ලගදීම හමු වෙන්නම්.

    ReplyDelete