31 December 2011

රතිඤ්ඤා...පොඩි හිටි කාලේ සහ වැඩිහිටි කාලේ වෙනස...

එහෙං මෙහෙං රතිඤ්ඤා පත්තු වෙනවා... ඉස්සරනං අපිත් ඔහොම තමා..ඒත් මතක ඇති කාලෙකින් රතිඤ්ඤයක් පත්තු කරලා නැහැ..අනේ මංදා මිනිස්සු ලොකු වෙනකොට පොඩි කාලේ ආසාවෙන් කල දේවල් අහක් වෙලා යන්නේ මොකද කියලා මටම තේරෙන්නේ නැහැ...

පුංචි කාලේ අනිත් මගේ වයසේ හුග දෙනෙක් වගේ මාත් රතිඤ්ඤා පත්තු කරන්න.. අහස් කූරු අරින්න..බමර චක්‍ර පත්තු කරන්න බොහෝම කැමතියි..ඒත් නිලාකූරු වලටනං ඒ හැටි මනාපයක් නැහැ.. ඒ හින්දා අද වෙනකල්ම මං කවදාවත් නිලා පත්තු කරලත් නැහැ..එහෙම කරන්න හිතිලත් නැහැ...

ඒ දවස්වල ආසම එක තමා අහස්කූරු යවන එක..ඒත් ඒක ටිකක් භයානක වැඩක්... ඒක හොඳටම මට තේරුනේ දවසක් අපේ මල්ලි අහස් කූරක් පත්තු කරන්න ගිහින් නළල පුච්ච ගත්ත දවසේ.. මිනිහා අහස් කූර ඔළුවෙනුත් ඉහළට කරලා තියං පත්තු කරා..ඒත් එක්කම එයින් විසිඋන ගිනි පුපුරුවලට නළලත් කෙස් රොදකුත් පිච්චිලා අවට පැතුරුනේ ගෙන්දගම් මිශ්‍ර පුළුටු ගඳක්.. එදා ඇත්තටම මම විතරක් නෙවෙයි අපේ තාත්තත් හුගක් බය උනා.. දවස් ගානක් යනකල්ම මල්ල්ගේ නළලේ අර කැළල තිබුනා කළු ගැහිලා.. ඊට පස්සේ කිසිම වෙලාවක අපිට අතින් අල්ලගෙන අහස්කූරු යවන එකට තාත්තාගේ අනුමැතිය ලැබුනේ නැහැ... ගේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තිබුන වත්ත දිගේ තිබුන මලකඩ කාපු කටු කම්බි වැටේ අතරින් පතර ඉතිරි වෙලා තිබුන කටු කම්බියක අහස් කූර තියලා ඒක පත්තු කරන එකයි කරන්න උනේ..ඒත් ඉඳහිට තාත්තා එහාට මෙහාට වෙනකල් ඉඳලා අපි අතේ තියං පත්තු කරන වෙලාවළුත් තිබුනා... කිව්වා නාහන උන්නේ...

අනිත් ආසම දේ තමා චීන පටස්... සව් කරදහියේ එතුව කුඩා ගල් කැබළි සමඟ මුසු කල වෙඩි බෙහෙත් සහිත කුඩා ගුලිය.. වෙර යොදා පොළවේ ගැසූ විට ශබ්ද නගා පුපුරා යන ආකාරය පොඩි උන් උන අපිව කුල්මත් කලා... අවුරුදු කාලෙට චීන පටස් දෙක හතුරක් පහක් කලිසම් සාක්කුවල පුරවගෙන හවස් අතේ පාර පැත්තට ගිහින් තාර පාරේ ගහලා විනෝද වෙන එක මට වගේම අනිත් අයටත් ලොකු සතුටක් උනා... ඇත්තටම අවදානම් විදියට ඒවායින් සෙල්ලම් කලා කියන එකත් කිව යුතුම කතාවක්..කොළු කමට බ්‍රේක් නැහැ නෙව... සද්ද නැතිව ගිහින් තව එකෙක්ගේ කකුල් ගාවම චීන පටසයක් ගහලා පුපරලා යනකොට අර හිටිය එකා බය වෙලා උඩ පනිනවා බලන්න ආසාවට එහෙම කලා උනත් අපිටත් එහෙම වෙච්ච වෙලාවට තමා ඒකේ රඟ තේරෙන්නේ..ඒත් අපි හැදෙන උන්යෑ..එකට එක..තකට තක...

රතිඤ්ඤා වලට තිබුනේ තුන්වැනි මට්ටමේ කැමැත්තක්..අහස්කූරු හා චීන පටස්වලට පස්සේ... ඒත් එයින් තව සෙල්ලමක් කරන්න ඉගෙන ගත්තට පස්සේ රතිඤ්ඤත් සෑහෙන වැඩක් ඇති දෙයක් උනා..ඒ තමයි හදුන්කූරු පොල්කටු සීන් එක...

දැල්වූ හඳුන් කූරක රතිඤ්ඤා කරලේ වෙඩි බෙහෙත් නූල ගෑවෙන්න සලස්සලා හදුන්කූරටත් රතිඤ්ඤයටත් බාධාවක් නොවන සේ එය පොල් කටුවකින් වහලා ඈතට වෙලා බලා ඉඳිම.. මේක හරිම විනෝද ජනකයි.. ටයිම් බෝම්බ කියලයි ඒ දවස්වල අපි ඒකට කිව්වේ... හදුන් කූරේ දිග කොට ප්‍රමාණය අනුව එය පත්තු වීමට යන කලා වේලාව තීරණය වෙන්නේ... හිටි හැටියේ අර හඳුන්කූර දැල්වෙලා ඇවිත් සේව නූලට ගිනි අරං එය දැල්වී රතිඤ්ඤය පුපුරනවාත් සමග පොල් කටුව අහසට වීසි වෙලා යන හැටි බලං ඉන්න එක කාලයක් යනකොට පාර අයිනේ ඔහොම බෝම්බ සෙට් කරන එක දක්වා දුර දිග ගියා... ඒක නැවතුනේ කාගෙන් හරි හොඳට කුණු හරප ටිකක් අහගන්න උන දවසකද කොහේද..?

කොහොම උනත් ඒ දවස්වල අපිට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා සල්ලි නැතිකම... තාත්තා අරං දෙන රතිඤ්ඤා ටික අපේ සෙල්ලම් වලට හොඳටම මදි..මට විතරක් නෙවෙයි අපේ නඩේ හැම එකාටම ඔය ප්‍රශ්නේ තිබුනා... ඒ දවස්වල අපේ අතේ සල්ලි නැහැ නෙව... කජු වාරයක් අවසානයේදී නම් සමහර කාලවලට සල්ලි ටිකක් තියෙනවා.. ඒත් ඒකෙනුත් කරන්න කොයි තරං දේවල් තියෙනවද..? උදේ හවස එකතු කරලා වේලපු කජු දෙතුන් දාහක් විකුනලා අතට ගන්න සොච්චම රතිඤ්ඤාවලටම යට කරන්න පුළුවන් කමක් නැහැ..ඒ සල්ලි ටික අර ගත්තාම කරන්න දාහක් දේවල් තියෙනවා... ඒත් කීයක් හරි රතිඤ්ඤා වලටත් තියා ගන්නවා... ඒ උනාට ඒක මදි හැමදාම... ඉතිං හිතන්නෙම ඉක්මනට ලොකු වෙයංකෝ රස්සාවක් කරලා සල්ලි හොයලා රතිඤ්ඤා අරං පත්තු කරන්න හිතේ හැටියට කියලා...

දැන්නං අපි හැමෝම ලොකුයි... රස්සාවලුත් කරනවා..ඕනනං රතිඤ්ඤත් ගතෑකි හිතේ හැටියට..ඒත් මොනවා නමුත් වෙනසක් අපිට වෙලා.. දැන් ඉස්සර තිබුන ඒ ආසාවට මොකද වෙලා තියෙන්නේ..?

33 comments:

  1. දැන් ඉතින් වෙන වෙන වැඩ තියනවනෙ...ඔතන රතිඤ්ඤයක් දාලා බැලුවනම් වැඩේ තේරෙයි

    ReplyDelete
  2. කාලෙකට පස්සේ යාන්තම් දෙක උනා..... ගෑනු ළමයෙක් නිසාද මංදා මං ඔව්වට කැමතිම නෑනේ..... සමහර විට අයියා නොදෙන නිසා වෙන්නත් පුලුවන්.........

    අයියට චටස් පටස් සුභ අළුත් අවුරුද්දක් වේවා තව පැය 2කින් විතර.....!!!!

    ReplyDelete
  3. සිංහල අවුරුද්දට විතරයි මම නම් පොඩි කාලේ රතිඤ්ඤ පත්තු කලේ. අපි රතිඤ්ඤ වලට සල්ලි හොයාගත්තේ ගොයම් කපලා ඉවර උනාම වෙලේ තැනි තැන වැටිලා තියන ගොයම් කරල් එකතු කරලා ඒවයේ වී ටික වෙන් කරගෙන කඩේට විකුණලා. ඉස්කෝලේ ඇරිලා කාපු ගමන් කොල්ලෝ සෙට් එකක් එක්ක දුවන්නේ වෙලට. උපරිම ඉතින් වී කිලෝ එකක් දෙකක් තමා එකතු කරගන්න වෙන්නේ.. ඒත් රතිඤ්ඤ දැන් වගේ එච්චර ගණන් නැති නිසා ඒකෙන් ලැබෙන ගාණ හොඳටෝම ඇති සිංහල අවුරුද්දට...

    ReplyDelete
  4. ඔය හඳුන්කුරු ටයිම් බොම්බේ මම වතාවක් පන්සලක ඇටෙව්වා.. ඒ සුපුරුදු ටියුෂන් ශාලාව ගංවතුරට යට වෙලා, තාවකාලිකව ළඟ පන්සලක පන්ති තියෙන අතර තුරේ.. කොන්ක්‍රීට් වලින් වහපු කානුවක් ඇතුලේ එක පුපුරන කොට තිබුනේ සද්දේ විශිෂ්ටයි..

    ReplyDelete
  5. අපිනම් ඔවා අවුරුද්දටත් වඩ පත්තු කලේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසට.. ආයෙ පටන් ගද්දි අපි ඉස්සෙලම ඉහල උසාවියේ...

    ReplyDelete
  6. ගැහැණු ළමයි නොවැ, අපිත් ඕං නිලා කූරු සහ චක්‍ර තමයි පත්තු කරේ. අනිත් එව්වට මාර බයක් තිබ්බෙ. දැනටත් එහෙමයි, රතිඤ්ඤ පත්තු වෙනකොට ඇස් දෙක තද කරලා වහගන්නව :/

    ReplyDelete
  7. මාත් රතිඥ්ඥා පෙට්ටියක් එහෙම ගෙනත් තියාගේන සූජානම් වෙලා ඉන්නවා පත්තු කරන්න කියලා.

    මාරේ අයියටත් සුබම සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  8. mama nam me nila kuru paththu karala iwara una vtharai.
    suba aluth auruddak wewa

    ReplyDelete
  9. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  10. මරේ අයියට සුබම සුබ අලුත් මෙවුව එකක් වේවා

    ReplyDelete
  11. සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  12. මම නම් පත්තු කරලමයි මේ කමෙන්ට් එක දාන්නේ

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා මාරයියා!

    මාත් හදනවා ඔය බෝම්බෙ ඉස්සර හරීයට....

    ReplyDelete
  14. ඔය ටයිම් බෝම්බ අපි හැදුවෙ ඉස්කෝලෙ ඉස්ට්‍රයික් කරන දවස්වල.
    මාරයට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  15. ඇත්තම කියනව නම් මම තාම බයයි රතිඤ්ඤා පත්තු කරන්න..

    යකෝ "රතිඤ්ඤා" ටයිප් කරගන්න බැරිව මම කොපි පේස්ට් පාරක් දැම්මේ :)

    ReplyDelete
  16. අපිත් ඔය හැම ඒවායින්ම විනෝද වෙලා තියෙනවා... දැන් නම් ඉතින් එහෙම හිතුනු හැටියෙ ඔව්ව කරන්න බෑ නෙව.... පාටි පොපර්ස් කියයි... අරව කියයි... මේව කියයි.... කිසි ගතියක් නෑ....

    ලැබුවා වූ අළුත් අවුරුද්ද මාරයාට සුභම සුභ අවුරුද්දක් වේවා කියල පතනවා....!!

    ReplyDelete
  17. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  18. අපිත් ඉතින් නිලා කූරු සහ බඹර චක්කර කොම්පැණියේ තමා... මාරයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ඕන්..

    ReplyDelete
  19. සුබ නව වසරක් වේවා මාරයා සහ සමාගමට!

    ReplyDelete
  20. සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  21. ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  22. වෙනි අයියෙ කම්මැලියෙක් නොවී නැවුම් සුභ පැතුමක් ලියපන් බන්..ඊයෙ ඉඳලා මම මේක සිය සැරයක් විතර කියෙව්වා....මට ඇති වෙලා තියෙන්නෙ

    ReplyDelete
  23. ළඟදීම එනවා....ඔබා SSC විබාගෙට රතිඥ්ඥ පත්තු කොරපු හැටි.

    මාරයට බොක්කෙන්ම තෑන්ක් යූ...පෝස්ට් එකකට කාරණාවක් මතක් කොලාට.

    මාරයට,උගේ බ්ලොගේ කියවන්නන්ට සහ කොමෙන්ට් දාන පුඟුලන්ට, පුඟුලියන්ට, සුභ 2012 ක් වේවා...!!!

    තාම අලුත් අවුරුද්ද සමරනව...හික්...

    ReplyDelete
  24. පොඩිකාලේ නම් පිස්සු හැදිලා වගේ නොකා නොබී උදේ ඉඳන් රෑ වෙනකන් හිටු කියල ඕව පත්තු කරාට දැන්නම් නිකන් බයයි බයයි වගේ .

    මරේට මාරම මාර සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  25. සුබ නව වසරක් වේවා! මාරේ අයියේ

    ReplyDelete
  26. මාරයාට නව වසරට ශුභ පැතුම්!

    ReplyDelete
  27. මරයා අය්යාට සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  28. නව වසරට සුභ පැතුම්!

    ඉතින් ඊයෙ රතිඤ්ඤා පත්තු කළාද?

    ReplyDelete
  29. ගිණි කෙළි වලට නං අපි තවමත් කැමතියි...

    මාරයියට සුභම සුභ නව වසරක් වේවා...!!! කරන්න හිතන් ඉන්න දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  30. මම නම් මේ අවුරුද්දෙ හිතේ හැටියට රතිඤ්ඤායි අහස් කූරුයි පත්තු කොළා..කිඹුලාපිටියෙන්ම ගෙනාපු හින්දා ඒ හැටි වියදමක් ගියෙත් නෑ...
    අපේ පැත්තෙ සමහර සල්ලි තියෙන ඇත්තො නම් දහස් ගණන් වලින් තමයි පත්තු කරන්නෙ..මේ නත්තලට රෑ දොලහෙ ඉඳන් 12.30 විතර වෙනකන් එකදිගටම සද්දෙ තිබුනා නවතින්නෙම නැතුව...
    මොනව වුනත් අපරාදෙ ඔය පුච්චන සල්ලි..

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  31. නව වසර වෙනුවෙන් සුභ පැතූ සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි..ඒ ව‍ගේම සියළු සයිබර්වාසී සිංහල බ්ලොග්වාසීන්ටත් ලැබුවා වූ අවුරුද්ද සාමකාමී නිදහස් අර්ථවත් වසරක් වේවායි ඉත සිතින්ම පතමි..!

    ReplyDelete
  32. එසේම වේවා ඔබ සියලු දෙනාටමත්... :)

    ReplyDelete
  33. aluth awurudde lagna palapala wistharayak danawada ?........

    ReplyDelete