31 January 2011

ඔරුව පෙරළුනෝ...

හරී ෂනීපයි..ඩයලොග් එකේ නැන්දිලා මාමලා මගේ අජරාමර කොනෙක්ෂොන් එකට කෙළලා...
මොනවා කොරන්නද..?වෙලාවට කලාවට බිල් නොගෙවීමේ ආනිශංෂ තමයි මං හිතන්නේ..උදේ යාංතං පෝස්ට් දෙකක් දාගන්නකං පණ ඇද ඇද දිව්වා..දැන්නං ඒකත් හුටාරිස් වෙලා...

මොනවා කොරන්නද..?බිල ගෙවන්න වෙන් කොරපු චූටි සුපියල් දාහා පුස් කකා මුදල් පසුම්බියේ තියෙනවා උනත් දැන් තැපෑලෙන් දාන්ටයෑ..
වෙනදානං කලට වෙලාවට ඕවා ගෙව්වා..ඇයි ඉතින් දවස් තුනකට හතරකට සැරයක් අනිවාර්යයෙන්ම යක්කල පැත්තේ කරක් ගහන හින්දා ඒ ගමන්ම ගම්පහට ගෙහුං ඕක ගෙවනවා...

ඒත් ඉතිං දැන් ඒ ගමන නැවතුනායින් පස්සේ ඔන්න මට ඇති වෙලා තියෙන පුරස්න..
දැන් පුළුවන් තරං යක්කල අහලකින්වත් නොයන්ට මංතුමා වග බලාගන්නවා නෙව..ආයේ ඉතිං දේවාලේ දැක දැක අහක බලං යන්ට හොඳ බැතිමතෙකුට පුළුහංයෑ...
ඒත් ඉතිං ඒ ගමන් බිමං නැවැත්තුවාම සිද්ධ වෙන අලකලංචිත් තියෙනවා..

කවුද මේවට වගකියන්නේ..?

ඔන්න කවුරු කවුරුත් දැන කියා ගන්නවා හොඳයි. ඕවා නැවැත්තුවාමත් සෑහෙන කරදර මිනිහෙකුට එනවා...එහ්නං...

ඒත් ඉතිං දැන් මෙක නැතුව ආයේ උහුලං ඉන්ට ඇහැකියෑ මට..
කල්පනා කරලා බැළුවා..මොකක්ද කොරන්ට ඇහැකි කියලා...

එක විසඳුමක් තියෙනවා...සුදු හාමිනේ..ඒ කියන්නේ අපේ පුංචි අම්මාගේ බාල දූ..මගේ හිච්චි නගා..අර මං පහු ගිය දොහේ බයිසිමොටෝ පුරුදු කරවන්ට පටන් ගත්ත දැරිවි තමා...

ඒත් ඉතිං කාගෙන්වත් උදව්වක් ඉල්ලන්ට දිව නැමෙනවා හොරයි..කම්පනා කොරලා කොරලා අන්තිමට ගත්තා කොල් එකක්...

අප්පද බොල මොකෙක්ද ගැටයෙක් සීපදයක්ද කොහේදෝ කියනවා...හරි අපූරු සීපදේ...ටික වෙලාවක් යන්ට මත්තෙන් අරකි කෝල් එකට ආමණ්තරණය කරපු හින්දා ඒ පදේ අහ ගන්ටත් අමාරු උනා..හැබැයි ආයිබෝං ඒ කිව්ව එක වචනයක්වත් මට තේරුනෙත් නැහැ..මතකත් නැහැ..ඌ මොන මොනාදෝ දෙඩෙව්වා..මං අහගෙන හිටියා...

හරි කොහොම හරි අනිත් පැත්තෙන් කතා කොරනවා ඇහෙනවා...

"අයියේ ඇයි..?"

"ආ සුදූ..ඔයා කොහේද ඉන්නේ..?"

"ආ මං වැඩට ආවා..ගම්පහ..............එකේ ඉන්නේ...ඇයි..?"

"නෑ සුදූ මට පොඩි උදව්වක් ඕන වෙලා..ඔයාට පුළුවන්ද දන්නෙ නැහැ... "

"අනේ අයියේ ඕන දෙයක් කියන්ඩ මං කරනවා..."(හෆෝයි..මං මුංට සලකනවා මදි..)

"නෑ සුදූ මගෙ ඩයලොග් බිල ගෙවන්ඩ වෙලා..කනෙක්ෂන් එක කපලානේ..දැනුයි දන්නේ..දැන් ගෙවන්න යන්න විදියක් නැහැ..අද මම වැඩ දවසනේ...ඔයා ගාව සල්ලි තියෙනවද වැඩිපුර රුපියල් දාහක් විතර..."

"තියෙනවා අයියේ කියන්ඩ.. "

"ඔයාට පුළුවන්ද ඩයලොග් එකට ගිහිල්ලා මගේ අයි ඩී නම්බර් එකට ගෙවන්න..."

"හරි අයියේ මං කරන්නං..."

යාන්තං ඉතිං ඕන කොරන විස්තර ටික කිව්වා...කෙල්ලට පුදුම සංතෝසයක් තියෙන්නේ මං උදව්වක් ඉල්ලූවට...
දැන් ඉතිං තව ටිකකින් ඒක ගෙවයි..ඒත් ඉතිං ඩයලොග් එකේ උත්තමයෝ ටික තව කොච්චර වෙලා ගනීද දන්නේ නැහැ ඕක දීලා දාන්ට...එතකං හුළං...අනිත් එක බිලම නෙවෙයිද දන්නේ නැහැ හේතුව..මගේ භාවිතාවත් බොහෝම සැරයි නෙව...

මං ගත්තේ 2GB සම්බන්ධතාවයක් නෙව..යාන්තං ඒක GB දක්වා ඉහලට දාලා මේ මාසේ ඉඳලා..අපරාදේ කියන්ඩ බැහැ ස්පීඩ් එකනං මල් හතයි...මාසෙටම ගෙවන්ඩ ඔන රුපියල් 907 යි.
ඒත් ඉතිං තව 1GB එහෙම ඕනනං තවත් රුපියල් 390ක් විතර ගෙවලා ගත්තෑකි...
මේ මාසෙත් එහෙම අරන් තියෙන්නේ...

හැබැයි ඉතිං ඔය ලිමිට් එක පැන්නහම ස්පීඩ් එක අඩු වෙනවා නහුතෙට..ඒත් හිමින් හිමින් ගාට ගාට ඇද ගෙන ගියහැකි...
මූණු පොතේ එල්ලිලා ඉන්ට..බ්ලොග් එකක් දෙකක් කියවන්ට...බ්ලොග් පෝස්ට් එකක් පබිලිස් කොරලා දාන්ට...
ඕවාට පුළුවන් කම තියෙනවා...යාන්තං ජීමෙල්ලූවේ වැඩ ටිකත් කොර ගත්තෑකි..හැබැයි හොඳ ඉවසීමක් තියෙන්ට ඕන..
අමාරුම වැඩෙ බස් පදින එක තමා..ඒත් ඉතිං ඒ අමාරුකං මැද්දේ මං කොයිතරංනං මේ බස් කරුමාන්තතේ රැක ගන්ට මහන්සි වෙනවද කියලත් දන්න කට්ටිය ඉන්නවනේ..
අම්මපා මං මේ නහින නැහිල්ල දන්නවනං අර ගැමුණු විෙජ්රත්න ගොයියට පයිං ගහලා එලෝලා දාලා මට දෙනවා අර මොකක්ද සංගොමේ සභාපති කොම ඒකේ එකාලා..ඒ තරං මගේ කැපවීම..සහ ඉවසීම...කට්ටිය දන්නවනේ හිටි හැටියේ මං කතා කොරන එක නැතිව යනවා නෙව බස් අස්සේ ඒ ඉතිං මක්කොරලවත් බස් එකේ නැග ගන්ට බැරි වෙන තරමට මගේ වේගේ අඩු වෙන හින්දා තමයි කියලා දැන් තේරුං ගත්තහැකිනේ...

ඒ වගේම තමයි අර දැන්වීම් පූවරු..එතනින් ගියහම කපුටෝ කුරුල්ලෝ පියාඹන..එතකොට අර පෝලිමේ හිනාවෙන රවුං රවුං මූණු තියෙන වැඩ කෑලි නාවාපු බ්ලොග් හතර මායිමේ නොයන්ටත් මං වග බලා ගන්නවා ඔය තත්වේ හින්දා...
කිසිම වැඩි වැඩ නැති සරල සාමාන්‍යය බ්ලොග් වල විතරක් සැරිසරන්ට මං පුරුදු වෙලා ඉන්නේ ඔන්න ඔය දේවල් හින්දා තමයි...නැති බැරි කොමට ජීවත් වෙන්ට පුරුදු උනහම එහෙම තමයි මොනවා කොරන්ටද..ඒ කෙන් ඉතිං මට හුගාක් ලිපි මගහැරෙනවා තමයි..ඒත් ඉතිං මොනවා කොරන්ටද..?ලියුං කියවන්ටයි කුරුල්ලෝ එළවන්ටයි දෙකක් බැහැ නෙව...

අනිත් දේ තමයි මං ඉස්සර මොබිටෙල් සතියට සීයේ වැඩ සටහන යටතේ නෙට් එකේ රවුං ගහපු එකා නෙව..ඒ හින්දා මට ඔය වේගේ අඩුයි කියන එක ඒ හැටි ගාණක් නැහැ..මොකද ඩයලොග් එකේ අවම වේගයයි මොබිටෙල් එකේ උපරිම වේගයයි දෙකම සමානයි මටනං..හිහ්..ඉතිං තව මොන කතාද....

අර අපි තේ කොළ ටිකක් තේ මණ්ඩියට දාලා තේ වක්කොරන්ට ගියහම මුළින්ම එනවනේ කහට ඇති බදං..අපි කොරන්නේ එයින් කහට ටිකක් දාගෙන පදම හරියන්ට උණු වතුර අමුවටම දාන එක නෙව..ඒත් වැඩි තේ ගාණක් හදන වෙලාවට අර මණ්ඩියේ තේ කහට එන ප්‍රමාණේ ටිකෙන් ටික අඩු වෙලා යන්නැහේ මෙකත් එහෙම වෙනවා...හැබැයි ලා කහට එනවා වගේ මෙකත් නවතින්නේම නෑ...කොහොමින් කොහොම හරි මෙ මාසේ වෙනකොට මගේ අර සාධාරණ භාවිතාව කොච්චරද කියලා මෙතන ලියන්ට බැහැ...ඒක හරි අනතුරු දායකයි...

යකෝ මං ඩයලොග් එකට කඩේ ගිහිල්ලා නේද..?

අනේ ඉතිං උන්දලට මං මේ කොරපු කඩේ යෑම සලකලා බලලවත් මගෙ කොනෙක්ෂන් එක ඉක්මනට ගොඩ දාලා දෙනවනං...

අනේ සුදු හාමිනේ ඉක්මන් කොරලා මට පිහිට වෙයං..මං උඹට ඊ ළග දවසේ ඉඳලා පැයක් පුරුදු කරන එක පැය දෙක ගානේ පුරුදු කොරෝනවා...

හරි ඔය ඇති..හැම දෙයක්ම හොඳටයි කියලා හිතලා..අද ඉතිං කොරන්ට තියෙන්නේ හැකි තාක් ලියන එක තමයි...
මේ බස් පැදිලි හින්දා මගේ ලිවීමටත් කෙළ වෙලාද මංදා...
යාන්තං මෙහෙම වෙච්ච හින්දාවත් බලමු ලියන කියන දේට තැනක් දෙන්ට...

පෙරළුනාට මොකෝ ඔරුවේ මේ පැත්තත් හරි අපූරුයි නෙව...

බස් පළුවන්ගේ කතාව...6


ඉතින් ඔන්න අදනං කොහොම හරි මෙක ඉවර කරලා දාන්ට වෙනවා..මොකද බස් සතියත් ඉවරයි.

ආයේ ඉතිං පස්සෙන් පහු ඒවා කොහු කොහු වෙන්ට කළින් මතක හැටියට මේ අණ්ඩර දෙමළෙ ඉවර කරමු...

................................

ඉතිං අද පටන් ගන්නේ අර ඕළු ගංතොට ඉස්පිරිතාලෙන් තමයි..

හරියටම 1979 අවුරුද්දේ වෙසක් මාසේ හරියටම වෙසක් පෝය දවසේ රාත්තිරියේ පහුවදාට එළි වෙන්ට ඔන්න මෙන්න කියලා තිබියදී... ඔය ඉස්පිරිතාලෙදී අර මහ බස් පළුවටයි උන්නැහේගේ ඇඹෙණියටයි පැටියෙක් හම්බු උනා...

ආන්න ඌ..ඒ කිව්වේ අර පැටියා ඇවිල්ලා නිකං පැටියෙක් නෙවෙයි..ඌ මාර පැටියෙක්...

ආන්න ඒ මාර පැටියා තමයි අද මෙ උගේ අප්පාගේ බස් පළු ජීවිතේ ගැන පලූ ඇර ඇර ලියන්නේ...

ඉතිං අටුවා ටීකා නැතිව කොටින්ම කිව්වොත් මංතුමා මෙලොව එළිය දුටු කතන්දරේ තමයි ඒ..

.............................

ඉතිං කොහොම හරි මංතුමත් ලොකු මහත් වෙලා..ඔය එකක්ය කියලා නැතුව දාහකුත් එකක් රස්සාවල් කොර කොර ඉන්න අවදියේ හදීසි අවශ්‍යතාවයක් මත මංතුමාටත් බස් පළු ජීවිතේ දොරටු පියන්පත් ඇරුණා...

එච්චර කලක් මංතුමාට පට්ට යනකල් බැන බැන උන්නු අපේ මහ උන්දැත් එදානං කිසි සද්දයක් නැතිව උන්නා..

මං පස් පළුවෙක් වෙච්ච හැටි මීට කළින් කතාන්දර වලදිත් කියලා තියෙනවා උනාට සුළුවෙන් හරි මෙතනත් කියලා දාමු..එහෙම හොඳයිනේ...?

ඔය කාලේ ඇවිල්ලා මට මතක හැටියට එකදහස් නවසිය අනූහයේ අවුරුද්ද වෙන්ට ඔන..අපේ එළෆවුසි ඇමටිතුමා පොරවාහන ඇමති හැටියට හිටිය යුගේ...

හදිසියේ ආවෙ නැතෑ බස් වර්ජනයක්...ඒ අවු අස්සේ බස් වර්ජනේ වෙලාවේ ඒ වර්ජනේ අතිසාර්ථක විදියට කඩාකප්පල් කිරීමට ලැබුණු අවසරයක් මත අපි කස්ටියකුත් ගියා බස්වල වැඩ කොරන්ට..මල විකාර ලෝකයයි..ඕන ඕන එවුං බස් අරගෙන දුවනවා..මෙලෝ තේරුමක් නැහැ..ඒත් පාරවල්වල බස්...වෙනදටත් වඩා ඇති පදං..ඇයි යකෝ අර පුංචි පුංචි ලෙඩ හින්දාත් දුවන්නේ නැතුව අහක් කොරන්න දාලා තියෙන බස් හිටං එහෙං මෙහෙං අමුණගෙන දුවනවා..ඇයි ඉතිං හදිසියේ කඩං පාත් එවුවෝ දන්නවයෑ මෙවෑ ලෙඩ කියලා..ඉස්ටාට් කොරගන්න පුළුවන්නං බස් එක පාරේ...ඇංජිම නැතත් කමක් නැහැ.ගියර් වැටෙනවනං එච්චරයි...

කොහොම හරි එදා හවස වෙන කොට වෙනදාට වඩා බස් දුවලා කියලා තමයි ආරංචිය...
දවසෙන් ඉස්ට්‍රයික් එක ඉවරයි...

ඉතිං ඕක අස්සේ එදා හවස අපිට කිව්වා වර්ජනේ වෙලාවෙ දුන්න සහයෝගෙට ඉස්තුතියක් හැටියට...වයස් සීමාවට ගැලපෙන..සාමාන්‍ය පෙළ සමත් හැමෝටම ඩිපෝවෙ රස්සාව දෙනවා කියලා...හැබැයි පුහුණුවකින් පස්සේ...

ඉතිං අපි විස්සක් විතර තමයි අන්තිමට ඕකට සෙට් උනේ...

ඉතිං දැන් සති දෙකක් විතර අපි පුහුණුවේ...
රියදුරු උන්නැහේලාවනං බස් එකක දාගෙන යනවා පුහුණුවට..ඉතිං අපි..ඒ කියන්නේ මේ අභිනව බස්පළු පුහුණු ඇත්තෝ මොකද කොරන්නේ...

ඔය ඩිපෝව ඇතුලේ තියෙනවා පරණ බස් එකක්.
එකේ රෝද එහෙම මුකුත් නැහැ..බස් සැකිල්ල සහ බොඩිය විතරයි...

කනු හතරක් උඩ තියලා ලස්සනට තීන්ත එහෙම ගාලා..ඇතුළ එහෙම හොඳට තියෙනවා..මං හිතන්නේ මුළු ඩිපෝ එකේම තියෙන බස්වලින් සීට් ටික එහෙම හොඳටම අඩු පාඩු නැතිව තියෙන්නේ ඒ බස් එකේ තමයි...
ඉතිං ඒක තමයි අපේ පුහුණු මධ්‍යස්ථානේ...

අපි දහ දොළොස් දෙනෙක් ඕකට නැගලා දැන් පුරුදු වෙනවා.
අපේ ගුරුතුමා ඉතිං පරණ බස් පළුවෙක් වෙලා ඉඳලා දැන් පුහුණු නිලධාරියෙක් හැටියට ඉන්න කෙනෙක්...
හැබැයි ඩිපෝවෙ කන්තෝරු ඇතුලෙත් උන්නැහේට රාජකාරි තිබ්බා..

මට මතක හැටියට දෙමළ මනුස්සයෙක්..නම නං හරියටම මතක නෑ දැන්..ඉතිං මේ ගුරුතුමාත් බොහෝම හොඳ මනුස්සයා..අපිට ඉතිං කියා දෙනවා හැම දේම..ඇත්තටම පුහුණුව කිව්වට මුළු සතියම වගේ අර බස් එක ඇතුලට වෙලා කුණු හරුප කියන එක තමයි කර කර හිටියේ...
ඒ අස්සේ ඉතිං වැඩ ටිකත් පුරුදු උනා අඩුවක් නැතුව...

මුළින්ම පුරුදු කරන්නේ වේ බිල් එක මාක් කරන්න...

ඔය හැමෝම අපේ සිටීබී බස්වල ගිහින් ඇතිනේ එහෙනං දැකලා ඇති අර බස්පලූ උන්නැහේ සැරින් සැරේ උඩ සාක්කුවෙන් කොළයක් අරගෙන ඒකේ මොන මොනවද ලියනවා..ආන්න ඒක තමයි වේ බිල් එක...
දෛනික මාර්ග සටහන් විස්තරය...

මුළින්ම කියා දෙන්නේ ඕක පිළි වෙලකට නමන විදිය...ඒකත් හරි අපූරු රටාවකට නවන්න ඔන..නැත්තං ලියන්න බැහැ කරදරයි..
එහෙම නවලා ඒ බිලට හරි මැද්දෙන් කාඩ් බෝඩ් තීරුවක් තියා ගන්න ඕන..එතකොට ඒක හරි..ඊ ළගට ඒක පුරවන හැටි...
හැමදාම උදේට වැඩට ගියහම බස්පළු තැනට බස් එකක් හම්බ උනාම ඒ බස් එකට අදාලව ලොකු යකඩ පෙට්ටියක් දෙනවා..ඔයාලා දැකලා ඇති ඒකත්..අර බස්වල බැස්ටි පෙස්ටිය ලගින් තියලා තියෙන්නේ..අර අර බස්පළු උන්නැහේ සැරෙන් සැරේ ඇවිත් ටිකට් රෝල් එහෙම අර ගන්නේ..අර යකඩ පෙස්ටිය අනේ..ආන්න ඒක..
ඉතිං ඔය පෙස්ටිය ඇතුලේ තියෙනවා...

වේ බිල් එකයි
ටිකට් මැෂින් එකයි
ටිකට් පොත් එකක් හෝ සමහර විට දෙකක්.
කාබන් කොල දෙක තුනක්
ටිකට් රෝල් දෙකක් විතර

ඔන්න ඔය බඩු පෙස්ටිය ගත්ත ගමන් අපි අර වේ බිල් එක පුරවන්ට ඔන..අපේ නංගං විස්තර දාලා..බස් අංක දාලා..

ඊට පස්සේ හරියට නවලා තමුන් ගාව නිතරම තියෙන කාඩ් බෝඩ් තීරුව තියලා අර වේ බිල් එක දා ගන්නවා උඩ සාක්කුවට

ඊ ළගට මැෂින් එක පරීක්ෂා කොරලා බලන්ට ඕන..ඒක හරි නැත්තං එවෙලෙම කියලා මැෂිම මාරු කර ගන්ට ඔන..මැෂිමේ තියෙන කවුන්ටර් පරීක්ෂා කරලා ඒවායේ විස්තරත් අර වේ බිලේ ලියා ගන්ට ඕන ආරම්භක තොරතුරු හැටියට...
අළුත් ටිකට් රෝලක් ලෝඩ් කර ගන්ට ඕන...
ටිකට් පොත් වල පිටු පරීක්ෂා කරලා බලන්ට ඕන..

හරි මේ ටික හරිනං ඉතිං ඊ ළගට රියදුරාත් හොයාගෙන ගෙහුන් බස්එක පාරට දාන්ට තමයි තියෙන්නේ..තෙල් ගැහිලි ආදිය රියදුරු උන්නැහේ හොයලා කරගන්ට ඕන...

ඉතිං පුහුණුවේදී ඔය වැඩ ටික කර ගන්න හැටි ලස්සනට කියා දෙනවා...

ඊට පස්සේ ලංකාවේ මාර්ග වල සෙක්ෂන් කැඩෙන හැටි..ඒ කිව්වට ඉතිං හැම පාරම කියා දෙන්ට වෙන්නේ නැහැ..ළග ලග පාරවල් කිහිපයක් කියා දෙනවා..අනිත්වා ඉතිං ගිහිංම පුරුදු වෙන්ට ඔන...

ඊ ළගට සෙක්ෂන් වලට අදාලව බස් ගාස්තු කැඩෙන හැටි...

ඒ දවස්වල මූලික බස් ගාස්තුව රුපියල් දෙකයි..එතන ඉඳලා මෙන්න මෙහෙම වැඩි වෙනවා..

02.00
02.50
03.00
03.50
04.50
05.00

ඔන්න ඔහොම...

සෙක්ෂන් කැඩිල්ලත් එහෙම තමයි

කඩවත සිට මහර හන්දියට එකයි.. (රු. 2යි)
මහර හන්දියේ සිට කිරිබත්ගොඩට එකයි (රු. 2.50යි)
කිරිබත්ගොඩ සිට දළුගමට එකයි (රු. 3.යි)
දළුගම සිට බුළු ගහ හන්දියට එකයි (රු. 3.50යි)
බුළු ගහ හන්දියේ සිට හතරෙ කනුවට එකයි (රු. 4.50යි)
හතරෙ කණුවෙ සිට පාලම උඩට එකයි ( රු. 5.යි)
පාලම උඩ සිට ඔරුගොඩ වත්තට එකයි (රු. 5.50යි)
ඔරු ගොඩ වත්තේ සිට දෙමටගොඩට එකයි (රු. 6.යි)
දෙමට ගොඩ සිට පුංචි බොරැල්ලට එකයි (රු. 6.50යි)
පුංචි බොරැල්ලේ සිට ඇස්වාට්ටුවට එකයි (රු. 7.යි)
ඇස් වාට්ටුවෙ සිට පුරහලට එකයි (රු. 7.50යි)


ඔය තියෙන්නේ මට නමෝ විත්තියෙන් හම්බු වෙච්ච රූඩ් එක..ඒ කියන්නේ 193 කඩවත පුරහල රූඩ් එක...ඒ කතාවත් පහල ලිය වෙන්නැතෑ...

ඉතිං ඔය විදියට තමා වැඩෙ සිද්ධ වෙන්න ඕන...

ඒ අතරේ සෑම සෙක්ෂන් එකක් අවසානේම යන ගමන්ම අර වේ බිල් එක අරගෙන ඒකේ ලියන්න ඔන
අර මැෂිමේ කවුන්ටර් වල අගයන්...

කවුන්ටර් තුනක් තියෙනවා...

එකක් රුපියල් කවුන්ටරේ..අනික ශත කවුන්ටරේ..ඊලග එක සීරියල් නම්බර් කවුන්ටරේ...
ඊට අමතරව අපි කළින්ම ලියා ගන්නවා ගමන ආරම්භ වෙන්න කලින් සෙක්ෂන් ටික...

අන්තිමට ගමන් වාරය අවසන් උනහම ඒ ගමනේ ආදායම..කැඩුනු මුළු ටිකට් ප්‍රමාණය එහෙමත් ලියන්ට ඕන...

හ්ම්..ලිපිය දිග වැඩි වේගන එනවා..ඒ හින්දා මෙතනින් නවත්තලා ඉතුරු ටික පස්සේ ලියමු...

උඹට මතකද..?

අපි මුළින්ම දැන අඳුර ගත්තෙ මීට බොහෝම කාලෙකට ඉස්සර උඹට මතකද..?
ඒ මගේ විකාර කියවන්න උඹ නිතරම ආපු ගිය දවස්වල...

උඹ ඇවිල්ලා නිකං හිටියේ නැහැ...
මොනවා හරි සටහනක් තියලම යන්න පුරුදු වෙලා හිටියා...
මාත් උඹෙ කුරුටු ගී බලන්න නිතරම ආවා ගියා..

මෙ කතාවේ අතර මැද්දට තව එක්කෙනෙක් හිටියා ...උඹට මතකයි මං දන්නවා උඹට අමතක නැහැ කියලා..ඒ දිල් නගා..උඹෙ දිල් අක්කා...

අපි හැමෝම වගේ පිස්සුවෙන් ලියා ගෙන ගිය කාලේ ඒක...
ඇත්තටම ලියන කියන දේ හැර ඉන් එහාට අපි කතාවට බහට ගියේ නැහැ...

ඒ අතරේ දවසක් මං මගේ ගැටළුවක් මගේ බ්ලොග් එකේ ලිවුවා..උඹට මතකද..?
මගේ හැදුනුම්පත හදා ගැනීම ගැන..නුවර මල්වත්ත පන්සලෙන් ලිපියක් ගැනීම තමයි මට උවමනා වෙලා තිබුනේ...
ඒත් මං ඒක ලිවුවෙ උදව්ගන්න කවුරුවත් මෙ අවකාශයේ ඇති කියලා හිතාගෙන නෙවෙයි...
මගේ ප්‍රශ්න එක්කම ඒකත් මං ලිව්වා...

එදා උඹ මට වඩා ඒ ගැන උනන්දුවෙන් සටහනක් දාලා තිබුණා...

"අයියේ මට උදව්වක් කරන්න පුළුවන් කියලා හිතෙනවා..මං කොහොම හරි කරන්න බලන්නං කියලා"..හැබැයි මෙ වෙලාවෙ පොඩි බාදක වගයක් තියෙනවයි කියලාත් උඹ කිව්වා..ඒක හින්දා චුට්ටක් කල් ගියත් කොහොම හරි මගේ වැඩෙට උදව්වක් කරන්නම් කියලයි උඹ කිව්වේ...

ඒ දවස්වල උඹත් එක්ක වගේම අතීතයෙන් මතක අහුලපු දිල් නංගි මාත් එක්කත් සහෝදරත්වයෙන් කතා බහ කරන කාලේ..
පස්සේ දවසක් මමයි දිල් නංගියි කතා කර කර ඉන්න වෙලාවක උඹ ගැන කතාවක් ඇදිලා ආවා..

මං දිල්ට කිව්වා මෙන්න මෙහෙම උදව්වක් කරන්නං කියලාත් මට කිව්වා කියලා..ආන්න ඒ වෙලාවේ දිල් මට කිව්වා උඹට ටිකක් මේ දවස්වල සනීප මදි ඒ නැත්තං ඒකා කොහොම හරි ඔයාට උදව් කරාවි කියලා...

මම ඇහැවුවට දිල් මට කවදාවත් කිව්වෙ නැහැ අසනීපේ මොකක්ද කියලා...ඒක කාටවත් නොකියන්න උඹට පොරොන්දු වෙලා තිබ්බා ඒකී..ඒ හින්දා මං ඒ ගැන අහන්න ගියෙත් නැහැ..උඹෙන් අහන්න ගියෙත් නැහැ...

ආයෙමත් කාලෙකින් මගේ සටහනකදී උඹම මතක් කරලා තිබ්බා මගේ වැඩේ ගැන...ඒ වෙනකොට මටත් ඒ ගැන වැඩි කල්පනාවක් තිබුණේ නැහැ...ඒත් උඹට උඹ වෙච්ච පොරොන්දුව ගැන හොඳ මතකයක් තිබ්බා...

කොහොම හරි උඹ දන්නවා මම මගේ වැඩේ කරගත්තා කියලා...
ඒ වැඩේදී උඹට මට උදව් කරන්න බැරි වෙච්ච එක උඹ කණගාටු උනා..
මට බං වැඩෙට වඩා උඹේ හිත හොඳකම වටිනවා...ඒ ඇති..කවුද කින්ද මන්ද කියලා අඳුරන්නේ නැති එකෙක් වෙනුවෙන් උඹේ හිතේ තිබ්බ ඒ බැඳිම..මට වටිනවා ඒක හැම දේටම වඩා...
අද මම දන්නවා... උඹ ඒ දේ මට කරන්න පොරොන්දු උනේ මොන වගේ තත්වයක ඉඳගෙනද කියලා..මට උඹ ගැන එදාට වඩා අද බැඳිමක් තියෙන්නේ ආන්න ඒ හැගීමත් එක්කමයි.
.......................................

මේ වගේ වෙලාවක උඹ වෙනුවෙන් මං කරන්න ඕන දේ කරනවා කියලා මම අමුතුවෙන් කියන්න ඔුන නැහැ..ඒක පැත්තකින් තියමු..ඒත් ඇයි බං උඹට මෙච්චර කල් ගියේ මේ දේ කියන්න..මට තියෙන් ගැටළුව ඒකයි.
අඩුම ගැනේ අර වෙලාවේ දිල් වත් මට කිව්වනං..අද..?
දිල් එයාගේ පොරොන්දුව අකුරටම රැකිකා ඒක හරියටම හරි..

අද බං රටේ ලෝකේ මිනිස්සු ලෙඩ විකුණගෙන කන විත්තිය අපි දන්නවා..මිනිහෙකුට රුපියලක් දෙන්න කළින් දෙපාරක් හිතන්න මිනිස්සු පෙළඹිලා ඉන්නේ ඒකයි...ඒක වැරදි නැහැ..ඒත් ඒ අස්සේ උඹලා වගේ එවුන්ට වෙන අසාධාරණේ...?

උඹත් හිතන්න ඇති අපි උඹවත් ඒ ගොඩට දායි කියලා..නේද..?
එහෙම වෙන්නේ නැහැ බං...මේ බ්ලොග් ලියන එවුන් හරක් නෙවෙයි...
සැක කරාවි..ඒත් ඒ හැම සැකයක්ම නැති කරන්න බැරි කමක් නැහැ..අපිට පුළුවන් කමක් තිබ්බා හොයලා බලලා ලෝකෙට කියන්න...උඹ වෙනුවෙන් අපිට ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි...

අද උඹට පේනවද මොකද වෙන්නේ කියලා...?
හැම එකාම...හැම එකාම අද උඹ වෙනුවෙන් අත් අල්ලන් ඉන්නේ...

ඒ හැම කෙනෙක් අතින්ම සුළු හෝ දායකත්වයක් උඹ වෙනුවෙන් තියෙනවා...
චවන වලින් විතරක් නවතින්නේ නැති දායකත්වයක්...
ඉලක්කය ටිකක් ඉහළ මට්ටමේ තිබුනත් අපි බලමු මේක බැරි වෙන්නේ නැහැ...
හැකි ඉක්මනින්ම මම එනවා උඹව බලලා යන්න.

............................................
මේ වෙනුවෙන් කැප වෙලා ඉන්න හැමෝටම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා...
ඒ වගේම පුළුවන් තරං වචනවලට වඩා දෙයක් කරන්න අපි බලමු.

30 January 2011

යක්ෂයා...

අළුත් දවසක්..ඒත් පැරණි මතකයන් ගොන්නක් එක්ක..හිත පුපුරු ගගහා තියෙන වෙලාවක උනත් පටන් ගත්ත වැඩෙ ඉවරයක් දකින්න ඕන හින්දම ලියන්න කියලා ගොඩ උනේ..රටාව බිඳ වැටෙන්න ඇති හැකියාව උපරිමයි..ඒත් බලමු...අත හැරලා බැහැ.

ඊයේ දවස එහෙම පිටින්ම අන්ධකාර දිනයක් වෙන්න ගිය එක..යාන්තං නැවත්තන්න එකම එක පුංචි ළමයෙකුට පුළුවන් උන හින්දම අද මේ තරමින් ඔළුව කෙළින් තියාගෙන උන්නා උනත් ඒ හැම දෙයක්ම බිමටම සමතලා වෙලා කැඩිලා යන්න මහ වෙලාවක් යන එකක් නැති වෙන්නත් පුළුවන්...

ජීවිතේ බොහෝම දුරක් ආව උනත්..මම තාමත් අඳුරේ අත පත ගාන පොඩි එකෙක් වගෙයි කියල මටම හිතෙන වෙලාවල් අනන්තයි..අප්‍රමාණයි..ඒත් ඒ මෝඩකමට මං කැමතියි..ඔළුව ලොකු ලොකු බරපතල දේවල් වලින් පුරෝගෙන බකපණ්ඩිතයෙක් වගේ ජීවත් වෙනවට වඩා මෝඩයෙක් වගේ මෝඩ වැඩම කරකර හිනාවෙන් ජීවිතේ ගත කරන එකට මට දැන් අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ...

පුරා වසර දෙක හමාරකටත් වැඩි කාලයක් ඇතුලේ මම හැම දේම කලේ හිත හදා ගන්න..මේ බ්ලොග් එක ඒ උත්සහයේ එක පුංචි පියවරක් විතරයි...අනිත් පැත්තෙන් මත්වතුර මට මහා සහනයක් වෙලා හිටියා ඒ උත්සහයේදී..
ඒ හැම දේකින්ම මට පුළුවන් උනා ජීවිතේ ගැට ගහගන්න...

පුංචිම පුංචි බලාපොරොත්තුවක් හරි හිතේ ඉතිරි වෙලා තිබුණු හින්දම ජීවිතේ යාන්තමින් රැකුනා උනත් ඒ හැම වෙලාවකම මම දැනන් උන්නා හැමදේම බිඳ වැටිලා යන මොහොතක් එනවා කියලා..ඒත් ඒක මෙ විදියට මා සොයාගෙන ඒවි කියලා මම හිතුවේ නැහැ..

ඒත් හැම වෙලාවෙම වගේ සිතු දේ තිබියදී නොසිතූ දෙයම වන ස්වභාවයම අද මට නැවතත් මගේ ඇස් ඉස්සරහම දකින්න ලැඛෙනවා...

වේදනාව ටිකෙන් ටික ගෙවී යමින් තිබුණු මොහොතක..මත් වතුරට දුන්න අවස්ථාව අඩු කරගනිමින් හිටිය අවස්ථාවක...
ආයෙමත් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න තරම් සැහැල්ලූවක් හිතේ පුරවගෙන ආව කාලයක් මෙ අන්තිම දවස් ටික...

පුළුවන් තරම් සැහැල්ලූවෙන් ජීවත් වෙන්න මම ටිකෙන් ටික හුරු වෙමින් හිටියේ...
ඔළුවේ තිබ්බ බර ටිකක් සැහැල්ලූ කරගෙන...මා තුළ ජීවත් වෙච්ච ඒ සැහැල්ලූ කොල්ලව හොයන්න මං ආයෙමත් පටන් ගත්තා...ඒකව මට මීට අවුරුදු දහතුනකට විතර කලින් නැති වෙලා හිටියේ...
ජීවිතේ බර දැනෙන්න දැනෙන්න ඒකා මගෙන් හැංගිලා ගිහින් හිටියේ...අන්තිමට අවුරුදු ගාණකට පස්සේ මට පුළුවන් උනා ඌව ආයෙමත් හොයාගන්න.. මම ආයෙමත් හිනාවෙන්න පටන් ගන්න අරගෙන තිබ්බේ...

මෙයිට අවුරුදු ගාණකට කළින් හිටිය ඒ කොළුවා...
සරලව සැහැල්ලූවෙන් ජීවිතේ ගත කරපු ඒ කොළුවා...
උදයක රැයක වෙනස අඳුරන්නේ නැති..සීමා මායිම් නැති..නීති රීති නැති..සිහින ලෝකයක පාවෙලා ගිය...මිතුරන් අතරේ විනෝද වෙමින් හිටි... කෙල්ලන්ගේ ආදර ගංගාවන්වල පාවෙවී හිටිය ඒ පිස්සව මම ආයෙමත් අල්ලා ගත්තා...

කොයි තරම් හොඳට ඌට පණ ආවද කිව්වොත් මීට දවස් ගාණකට කළින් ආයෙමත් අර ඉස්සර කරන දගකාර වැඩක් කරන්න ඌ පෙළඹුනා...
ඒ කියන්නේ ආයෙමත් ඉස්සර වගේම කෙල්ලෙක් ඉස්සරහ...
ප්‍රතිඵලය මොකක් උනත්...අන්තිමට මට ආයෙමත් ඉස්සර වගේම අපූරුවට වචන හොයාගන්න පුළුවන් උනා...
වේලිලා තිබුණු ස්වර උපදවන්න මට පුළුවන් උනා...

පිස්සුවෙ තරම කොච්චරද කිව්වොත්..ඉස්සරහා හිටිය දැරිවිට වයස දාසයයි...
ඔන්න පිස්සගේ තරම..ඌට සීමා නැහැ...

කොහොම හරි ජීවිතේ යන පාරෙන් ගොඩ ගන්නට තරං හිත හදාගෙන එන වෙලාවෙම..ඊයේ වැහි නැතිවම අකුණක් පිපුරුවා...අර හැම දේම සසල වෙලා ගියා..අත්තිවාරම දෙදෙරලා යනවා මට දැනුනා...

මම ආවේස උනා...වචන වේගයෙන් ගලාගෙන යනවා මට තේරුනා..ඒත් මම නැවැත්තුවේ නැහැ..නවත්තන්න ඕන කමකුත් නැහැ...ටිකක් විතර හිත සැහැල්ලූයි...ඊලගට ඒ මදි කියලා තේරුනාම බිත්තිවලට ඇනගෙන ඇනගනෙ ගියා...ඒත් මදි..ගියා ෂවර් එක යටට ඔළුව අල්ලගෙන හිටියා ගලාගෙන යන වතැරට..කොයි තරම් වෙලාවක් එහෙම හිටියද කියන්න මං දන්නෙත් නැහැ...

හිස තෙමාගෙන ඇස්වලින් පනින කඳුළු කැටත් එක්කම හේදිලා යනවා...ඒ එක්කම ඒ වතුරෙම අතීත මතක මතු වෙවී..දිය වෙවී යනවා...
අන්තිමට මට වමනෙට ආවා...එකත් කලා...එක්කෝම ඉවර වෙලා ඇවිත් බැළුවා මොනවද ලියලා තියෙන්නේ කියලා..සැරයි..ඒත් ඒ හැම වචනයක්ම හරි කියලා මම දන්නවා...ඒ මගේ වචන ඒ හැම වචනයකටම මම සාධාරණයක් කල යුතුයි...හැමදාමත් වගේ...

ඒ අතරෙ කිහිපදෙනෙක්ම කලබල වෙලා..ෆෝන් එක එක දිගට කෑ ගහනවා...යන්තං දෙන්නෙකුට විතරක් කතා කලා... උස්සලා වචන දෙකක් කියලා කට් කරලා දැම්මේ වැරදි වටහා ගැනීමක් වෙන්න පුළුවන් කියලා හිතුන හින්දයි..නැත්තං ඒ තරමටවත් හිතට නිදහසක් නැහැ...
හුගාක් ඒවා ඔහේ තියෙන්න ඇරියා..එකක් දෙකක් නිකංම කට් කරලා දැම්මා...
බර ගාණක් තරහා වෙන්න ඇති..ඒත්... අකුණු ගහපු තැනට ආයේ වෙන මොනවා වෙන්නද..?

අන්තිමට එකෙක් මාව අල්ලා ගත්තා මුණු පොතෙදී..හුගක් රෑ වෙලා...
විස්තරේ කිව්වා... නැත්තං කවුරුවත්ම දන්නෙ නැති හින්දා..එක සාක්කියක් හරි ඉතිරි කරන්න ඕන හින්දා...

ඒ අතරෙ තව පොඩි දරුවෙක් පැය ගානක් මාව අතඅරින්නේ නැතිව අල්ලගෙන හිටියා...රෑ වෙනකල්ම..අන්තිමට ආයෙමත් පාන්දර දෙකේ ඉඳලා උදේ එළිය වැටෙනකල්ම...ඇත්තටම තනියම කල්පනා කරන්නේ නැතිව ඒ විදියට අල්ලගෙන හිටිය එකෙන් හුගාක් ගොඩ එන්න පුළවන් උනා..අපූරු පොඩි එකෙක්...පැය ගාණකට කළින් දුං විසි වෙවී හිටිය මාව අන්තිමට හිනස්සලා නැවැත්තුවේ...පුදුම දරුවෙක්...පැහිලා හොඳටම...

ජීවිතේ අපි මොන තරං විඳලා විඳෝලා තියෙනවා උනත්..මොන මොන දේ දන්නවා උනත්...සමහර වෙලාවට අපි පොඩි එවුන් වගේ වෙනවා..ඒ වෙලාවට හුගාක් බරපතල වචන වලින් ඒ වෙලාවට වැඩක් වෙන්නේ නැහැ...
ඊයෙත් ඒ වගේ දවසක්...
හැබැයි පොඩි උනාට..කියන්නෙ පොඩි දේවල් උනාට ඒ හැම දෙයක්ම හරි තදේට හිතට වදිනවා...
කොහොමින් හරි දැන් වෙනකොට කරන දෙයක් හරියට කර ගන්න තරං නිදහස් ගතියක් දැනෙනවා..පටන් ගත්තේ මාතෘකාව දාලා...බස් පළුවන්ගේ කතාව...6 කියලා..ඒත් ඒක ඊ ළග ලිපිය වෙවී..ඔළුව නිදහස් කරගන්න මේ ඇති...

29 January 2011

බස් පළුවන්ගේ කතාව... 5

සුපුරුදු ආකාරයටම මට මේකත් දැන් එපා වේගන එන්නේ..ඒත් ඉකිමනට කෙටි කොරලා හරි ඉවරයක් කොරන්ට ඕන...
ලියන්න දේවල් දාහක් ජාති තියෙද්දී ආයෙ මොකටද කෑලි ඉතුරු කොරන්නේ පස්සෙ ලියන්ට...

කොහොම හරි අපේ තාත්තණ්ඩි අර බස් වල ටිකැට් කඩ කඩා රට වටේ යන්ට අරගෙන හුගාක් කාලයක් ගියා..ඔය අතරේ දන්නෙම නැතු උන්දැගේ කල වයසත් ගෙවී ගෙන ගෙවී ගෙන ගියා...ඒ ගෙවුණු කාලය අතරේ තමුන්ගෙන් ගෙදරට වෙන්න ඔන යුතුයුතුකං එහෙම ඉස්ට සිද්ධ කොලාට උන්නැහේට මගුලක් කොරගන්ට ඇහැකි වෙලා නැහැ..හැබැයි ඉතිං ඔය අස්සේ ගමෙම හිටිය උන්දැට නෑදෑ කොමක් තිවුණ ගෑනු දැරිවයක් එක්ක පුංචි පහේ පටලැවිල්ලක් තිබිලා තියෙනවා..ඒත් ඒකට අපේ ආච්චි අම්මා..ඒ කියන්නේ තාත්තගේ අම්මා සහ ඥාති පිරිස ටිකක් විරුද්ධ වෙලා තියෙන හින්දා උන්දෑ ඒකත් හිතෙං යටපත් කොරගෙන ඉඳලා තියෙනවා...

හැබැයි අපේ අම්මා තාත්තත් එක්ක දවසක් පොඩි නෝක්කාඩුවක් වෙච්ච වෙලාවක කියවුන කතාවක් අල්ල ගත්තහම තමයි තේරුනේ තාත්තණ්ඩිත් නරකම නැහැ කියලා...

ඒ කිව්වේ ඉතිං අර මනාපෙන් හිටි ගෑණු දැරිවි වෙන දීගෙක ගියාට හෙම පස්සේ ඒ ජෝඩුවම අපේ තාත්තට බොහෝම හිතවත් කොමින් ඉඳලා තියෙනවා...

කොහොමින් කොහොමින් හරි ඔය පළ හිලව් අස්සේ උනේ..අපේ තාත්තා ගම්පහ නගරය ආසන්නයේම අරගෙන තිබුණු අක්කර බාගයක ඉඩමක් හෙම අර ඇත්තිට ලියලාම දීලා තිබුණු එකයි...
අම්මා ඉතිං අඩපාලි කියැව්වේ අපිට අයිති වෙන්ට තිබුණු දේවල් එක එක්කෙනාට දොල දන්දීලා කියලා තමයි..ඒ දවස්වලනං ඉතිං අපිටත් ඔවා අහන කොට ටිකක් හිත්වල අමනාපකං ඇති නොවුනා නෙවේ..

ඒත් ඉතිං දැන්නං මං හිතන්නේ තාත්තණ්ඩිට දොස් කියන්ට බැහැ...

මොකද ඉතිං ඒ ගොංකම්ම උනත් බොහෝම පිළිවෙලකට මාත් කොරලා තියෙන හින්දා...පහුගිය කාල සීමාව පුරාවටම හම්බ කොරගත්ත ලස්ස දෙක තුනත් මාත් පිළි වෙලකට දීලා දාලා මේ ඉන්නේ යස අගේට..මොකුත් නොවුනා වගේ..ඒ හින්දා තාත්තණ්ඩිත් ඔය මොනවා කිව්වත් බොහෝම හොඳ පෙම් කුරුල්ලෙක් වෙලා ඉන්ට නැතෑ...

අනික ඉතිං බස් කෙරුවාව කියන්නේ දවස ගානේ අළුත් අළුත් ස්ත්‍රී පරාණ නිතර දෙවෙලේ මුණ ගැහෙන කතා බස් කොරන්ට ලැඛෙන රස්සාවක් කියලා මාත් හොඳටෝම දන්නවනේ...

කොහොම හරි ඔය වගේ කාලය ගලා ගෙන ගියා...
තාත්තා බස් පළුවෙක්ව ඉඳලා අන්තිමට ටයිම් කීපර් කෙනෙක් වෙලා...ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නෙක් හැටියට ඒ කියන්නේ ටික්කෙක් වෙලා..ඔන්න ඔය විදියේ ගමනකින් පස්සේ අන්තිමට ටයර් පරීක්ෂක කෙනෙක් උනා...

ඔය ටයර් පරීක්ෂක කොම ගැන අපේ ඔබ්සවර් මහතැන් නං මාත් එක්ක තළබණුවෙන් කතාබස් කොළ වෙලාවේ විස්තර හුගාක් කිව්වා...සමහර විට අර මගේ අනිත් කතා අග්ගිස්සට අටුවාවල් වලින් සම්බන්ධ උනා වගේ ඒ ඇත්තා මේක අගටත් ඒ විස්තරේ අමුණන්ට ඉඩ තියේ...

ඉතිං කොහොම හරි තාත්තාට වයස 42 ක් විතර වෙනකල්ම මේ මං වගේ තනිකඩ ජීවිතයක් ගෙවලා තියෙනවා...

අන්තිමට ඉතිං මොන දේ කොළත් කරුමෙ කියන එක වලක්කන්ට සක්කරයාටවත් බැහැ කිව්වා වගේ උන්දැට කෙළියෙ නැද්ද මල්සරා මල්ටි බැරල් එකකින්ම...

අනේ ඉතිං ඒ මල්ටි බැරල් ප්‍රහාරයට එහෙම මුහුණ දීපු උන්දෑ..42 දී කොරගත්තා මංගල්ලයක්..ඒ ඉතිං උන්දෑට වඩා අවුරුදු 18 ක්ම බාල අපේ අම්මණ්ඩිව තමා ඕං...

මනමාලයාට 42 යි..මනමාලි 24 යි... අවුරුදු හතක් අටක් වයස කාලේ ටිකට් නොගෙන බස් එකේ යන්ට දැගළුව ඉස්කෝලේ යන පුංචි කෙලියි.. එක මගියෙක් නෑර ටිකට් කඩලා කොහොම හරි රස්සාව හරියාකාරව කොරන්ට දගලපු අර බස්පළු තෙමෙයි..ඊට අවුරුදු දහසයකට හද හතකට පස්සේ කසාද බඳිනවා..ඕං...

ඒ දවස්වල අපේ අම්මා ඔය කොහේදෝ ගෝනි සංස්ථාවකද කොහේද වැඩට යනවාළු නෙව..ඔය අස්සේ තමයි අපේ තාත්තාත් බස් වලදී මුණ ගැහිලා තියෙන්නේ..හැබැයි ඉතිං ඒ වෙනකොට උන්නැහේ බස්පළු ජීවිතේ හමාර කොරලා ටිකක් ඊට වඩා ඉස්සරහට ගෙහුං..කොහොම හරි අනිවාර්යයෙන් බස් එකේ සීට් එකක් දිනපතාම උන්දෑ යන බස් එකේ බස්පළු උන්නැහේ විසින් වෙන් කරලා තියාගෙන එන තත්වයක් යටතේ සමහර විට තාත්තා මහ ලොක්කෙක් කියලා අපේ අම්මා හිතුවද දන්නෙත් නැහැ..කොහොම හරි අපේ තාත්තා අර කෙළිට ඇහැ දාලා..බහ දීලා...කොහොමින් කොහොම හරි වැඩෙ සෙටොල් ඩවුන් කොරගෙන...

හැබැයි මේ වෙනකොට අපේ තාත්තට කියලා බිං අගලක් ඉතිරි වෙලා නැහැ ගමේවත්..

මොකද ඒ වෙනකොට තාත්තගේ උරුමය හැටියට තිබුණු අක්කරේක ඉඩම උන්දැගේම වැඩිමහළු සහෝදරයා විසින් පුංචි නූල් සූත්තරයක් දාලා ඩැහැගෙන තිබ්බේ...

උන්දෑ ඉස්කෝල ගුරා වෙච්චි...මොකක්දෝ ණයක් අනුමත කොරගන්ට කියලා ඉඩම ලියෝගෙන ඊට පස්සේ ඒක එහෙමම තියාගෙන ඉතින් අපේ අප්පාත් මගේ ජාතියේම කියලා කිව්වනේ..මම මගේ නමට තිබ්බ සකලමනාවම අපේ මලයට දීලා ගෙයින් එළියට බැස්සා වගේ උන්දැත් ඔවා අමතක කරලා දාලා රස්සාව කොරගෙන හිටියා රණ්ඩු සරුවල් වලට නොගෙහුං....

අර උන්දෑ සල්ලි වලට ඇන්න තිබුණු ඉඩමට වෙච්ච දේත් දන්නවනේ..
ඉතිං කොහොමින් හරි ඔන්න ඔය වගේ හේතු උඩ තාත්තා බැන්දාට පස්සේ ගමට එනවා වෙනුවට ගියා ගේ කෑල්ලකුත් කුලියට අරගෙන බළංගොඩ දිහාවට...

ඉතිං තාත්තාගේ පත්වීම තිබුණේ එක ඩිපෝවකට නෙවෙයි..ඩිපෝ තුනක රාජකාරි උන්දෑ බලන්ට ඕන...

රත්නපුරය
බළංගොඩ
ඇඹිළිපිටිය

ඔන්න ඔය කියන ඩිපෝ තුනේම ටයර් පරීක්ෂක නිලධාරියා හැටියට රාජකාරි කොරන ගමන් ඔය තුන් දිසාවටම යන්ට එන්ට පහසු වෙන්ට තමයි ස්ථාන තුනේම මැද්දෑවට වෙන්ට තිබුණු බළංගොඩ නවතින්ට උන්දෑ තීරණය කොලේ..බළංගොඩ කල්තොට කියන හරියේ පංචි කඳු ගැටයක් උඩ තිබුණු පුංචි ගෙයක්...

ඔන්න ඔය කාලේ තමයි මේ කතාවේ වැදගත්ම සිද්ධිය සිද්ධ වෙන්නේ...හිතා ගත්තැකිනේ...

සිද්ධිය වෙන්නේ බළංගොඩට ආසන්නයේම තියෙන ඕළුගංතොට කියන ප්‍රදේශයේදී තමයි...

අර රාම රාවණ කතාවේ අන්තිමට රාවණා රජ්ජුරුවෝ තමුන්ගේ මල්ලිගේ නීච පාවාදීම හේතු කරගෙන සටනින් පැරදුණු වෙලාවේ...රාම විසින් දුන් ප්‍රහාරයක් හේතු කරගෙන රාවණ රජ්ජුරුවන්ගේ හිස..එහෙමත් නැත්තං ඔළුව ගෙහුං වැටුනාය කියනවානේ ස්ථානෙකට..අන්න ඒ ප්‍රදේශය තමයි ඕළු ගංතොට හැටියට හඳුන්වනවායි කියලා කියන්නේ..
ඉතිං අන්න ඒ ඕළුගංතොටදී සිද්ධ වෙච්ච කතාව ඊ ළග ලිපියෙන් බලමු...

28 January 2011

බස් පළුවන්ගේ කතාව... 4

"පුංචි අම්මේ...මේ බලන්ඩකෝ..."

කොළුවා හති මුනින් දමාගෙන දුවගෙන එන්නේ මොකක්දෝ යමක් අතේ රුවාගෙන බැව් කුස්සියේ උයමින් සිටි ඇය දුටුවාය...

කොළුවාගේ දෑස් දීප්තිමත්ය..එය සතුටින් පිරී ඇත...තවමත් වයස අවුරුදු දහ හතර ඉක්මවා නැති කොල්ලා තම මවටත් වඩා පුංචි අම්මාට සහ බාප්පාට ලෙන්ගතුය...
උගේ තාත්තා මිය ගොස් කලක් ඉක්ම ගොස් ඇත..ඒද සර්ප දශ්ඨනයකිනි...
සර්ප දශ්ඨනය කෙසේ වෙතත් ඒ මරණය හා බැඳුණු කටකතා වලින් නම් අඩුවක් නැත්තේ මිය ගිය සිරුරටත් දින ගණනාවක් පිළියම් කොට අවසන බැරිම තැන අවසන් කටයුතු කරන්නට යෙදීම පමණක්ම නොවීය..වැඩිමහළු සහෝදරයා හා බැඳුණු හදි හූනියම් ආශ්‍රිත කටකතා ගොන්නක් නිසාම කොළුවාගේ පියාගේ මරණය අදටත් ගම් තොටෙ ප්‍රසිද්ධය...

පොළගා කාපු ඉස්කෝලේ මහත්තයාගේ පුතා...ඒ ඔහුව හදුනා ගත හැකි ප්‍රසිද්ධ තේමාවය..
ඒ එතනකින් නොනැවතී පොළගා කාපු ඉස්කෝලේ මහත්තයාගේ මල්ලීගේ දරුවන් හැටියට ඔහුගේ බාල සොයුරාගේ දරුවන්ට වූවද පළාතේ ඕනෑම තැනක පහසුවෙන් අනන්‍යතාවය හෙළි කල හැකි විය..එය අදටද වලංගුය..

"මොකද වෙනුර පුතේ..මොකක්ද ඔය අරගෙන ඇවිත් තියෙන්නේ.." කොළුවාගේ දෑතේ රැදී ඇති දේ පිළිබඳව අවධානය යොමු කරමින්ම කොළුවාගේ පුංචි අම්මා විමසයි..

"මේ බලන්නකෝ පුංචි අම්මේ අපේ තාත්තාගේ ෆොටෝ එකක්..අද මම තාත්තාගේ පොත් අල්මාරිය ඇද ඇද ඉන්නකොට හම්බඋනේ..."

කොළුවා නිධානයක් ලැබුනා හා සමානව මෙතෙක් සිය සුරතේ රුවාගෙන හුන් කුඩා ඡායාරූපය සිය පුංචි අම්මාගේ අතේ තබයි...

තරමක් අව පැහැ ගැන්වී ඇතද කුඩා කළු සුදු වර්ගයේ ඡායාරූපය තාමත් ඉතා හොඳ තත්වයේ ඇත.
පුංචි අම්මා ඡායා රූපය දෙස බැළුවේ ඒ තරංම අවධානයකින් නොවුනද..සුළු මොහොතකදී ඇගේ දෑස් විමතියෙන් පිරී යනු කොළුවාටද පෙනුනි...

"තාත්තාත් මං වගේ නේද පුංචි අම්මේ..."කොළුවා විමසයි...

"අනේ මංදා පුතේ..ඒකනං ඒ වගේ තමයි..ඒත් මේ මනුස්සයාව මං අඳුරනවනේ..."

"ඒ කොහොමද පුංචි අම්මා බාප්පාව බැඳලා මෙහෙ එනකොට තාත්තා මැරිලනේ..එතකොට මාත් පුංචියිනේ..."

මෙතෙක් වෙලා වෙනත් වැඩක යෙදෙමින් සිටියද කොළුවා හා පුංචි අම්මා අතර සංවාදය අසා හුන් බාප්පාද ඒ අසලට ආවේ සිය දෙවන සහෝදරයා..එසේත් නැතිනම් තමුන් වැඩියෙන්ම ආදරය කළ සහෝදරයාගේ ඡායා රූපය දැක ගැනීමට ඇති වූ ඇල්ම නිසාමය...

"කෝ දීහල්ලා බලන්න..කොයි කාලේ ගත්තු එකක්ද කියලා බලන්න.."

ඡායා රූපය අතට ගත් හෙතෙම මදක් ඒ දෙස බලා හිඳ..

"ඈ ඕයි තමුසේ කොහොමද මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව අඳුරන්නේ මීට කළින්..."

මෙවර නම් පුංචි අම්මා සිය හඩ අවදි කලේ තරමක් සැර ස්වරූපයකිනි...

"මං දන්නෙ නැද්ද..? මේ මනුස්සයත් තමුසෙ වගේම බස් රස්සාව කොරලා තියෙනවා කියලා මීට කළින් කියලා තියෙනවා නේද.."

"ඔව් ඔව් බස් රස්සාව නම් කොළා නේන්නම්... "

"ඒකනේ මං කිව්වේ..ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ බස් එකට නැග්ගම අපේ පස්සෙන් එළවලා සත පහේ ටිකට් එක කඩන මනුස්සයව මට මතක නැද්ද..
අපි මේ හදන්නේ ඒක හංගන් ගිහින් කඩල කන්න..කොහෙද මේ මනුස්සයා මොන ලෝකේ හිටියත් හොයාගෙන ඇවිත් ටිකට් කඩනවානේ.. මට විතරක් නෙවෙයි ඒ දවස්වල අපේ කෙල්ලෝ එකෙකුටවත් මෙයාව පෙන්නන්න බැහැ... ඇයි යකෝ ඉස්කෝලේ යන කෙල්ලෝ එකෙක්වත් මෙ මිනිහට පෙන්නන්න බැහැනේ... "

පුංචි අම්මාගේ නොක්කාඩුවට කොළුවාට හිනා යයි..

ඒ නඩුව අසාගෙන සිටි බාප්පා හිනාවෙමින්ම පුත්තරයා දෙසට හැරී..

"ඈ වෙනුර කොහේ තිබිලද මෙක උඹට හම්බ උනේ.."

"බාප්පේ තාත්තගේ පරණ ලියුම් මිටියක් අස්සේ තිබුණේ...
තව මොන මොනවද හුගක් ඒවා තිබුණා..මම මේක දැක්ක ගමන් අරං ආවේ බාප්පලට පෙන්නන්න..."


"ඇයි බං උඹ තාත්තාගේ ෆොටෝ මීට කළින් දැකලා නැතුවයෑ..."

"දැකලා නැතුව නෙවෙයි බාප්පේ බලන්ටකෝ මෙ කොල්ලා කාලේ එකක්නේ...
ගෙදර තියෙන්නේ එක්කෝම ඊට වඩා පස්සෙ ගත්තුවනේ..."


"හ්ම්ම්.."

කොළුවාට හිමින් තට්ටුවක් දමනා ගමන්ම බාප්පා කට හඩ අවදි කරයි...

"උඹ ඉතිං ඒ කාලේ තාත්තාව දැකල නැහැ නේන්නම්..."

කියමින්ම සිය ඇඹේණිය දෙසට හැරෙමින් මෙසේ කියයි...

"උඹේ තාත්තත් මේ වගේම තමයි කොළුවෝ..ඒත් මේ ඉන්නේ නම් මම..
මීට හුග කාලෙකට කළින් ගත්තු එකක්..ඕක අයියා ගාව තිබුණට මම හිතුවේ නෑ තාමත් ඇති කියලා..."

"උඹලගේ තාත්තයි මායි කියලා වෙනසක් නැහැ බං අපි එක අච්චුවේ එවුන්නේ..."

"මොනවා.."

පුංචි අම්මාගේත්..කොළුවාගේත් දෑස් නළලට යන්නේ එකම මොහොතේය...

"ඇත්තටම මේ තමුසෙද ඕයි..?"

"නැතුව ඉතිං වෙන මොකාද.."

සිනා සෙමින් ඔහු පිටව යයි...

කොළුවාට සිනාව නවතා ගත නොහැක...

"මදෑ පුංචි අම්මා අපේ තාත්තට බැන්නා... "

...............................
( පිරිසිදුම සත්‍ය සිදුවීමකි. පුංචි අම්මා මගේ මව වන අතර..බාප්පා මගේ පියාය... වෙනුර නම් වූ කොළුවා..දැනට නවසීලන්තයේ ජීවත්වන මගේ එදා මෙදාතුර පුරෝගාමී චරිතය වන අයියාය.. ඌ ගැන ලියන්නට හැමදාමත් බලන් හිටියට ලිය වෙන්නේම නැත..ඒ වෙන එකක් නිසා නොව..ඌ ගැන ලියන්ට දෙයක් ඇත්තේද නැත..නැත්තේද නැත..කොටින්ම කිව්වහොත් ඌ මාරයාගේ අනිත් පළුවය...ඒ සමාන කම කොතරම්ද යතහොත් අදටත් ඌ මා වාගේම පිස්සු නටමින් සිටිනවා විනා පවුලක් පන්සලක් ඇති එකෙක් නොවේ...මෙහෙම ලියන්නට ගියහොත් වරහන් ඇතුලේම තව පෝස්ට් එකක් ලියවෙනවාට සැක නැත.එහෙයින් ඔයින් නවතිමි...ආ... එම ඡායාරූපය දැනට අපේ ගෙදර ඇල්බමයක් තුල තිඛෙ...)

26 January 2011

දුටු මහ අරුමයකි මනුසත් ලොව ඉපිද..

මිනිසුන් නොමිනිසුන් අතරේ කලක් වැස..
මිනිසත් කමේ ගුණ සුවඳද විඳ නිතොර..
මිනිසුන් නොමිනිසුන් වනයුරු වරින් වර..
දුටු මහ අරුමයකි මනුසත් ලොව ඉපිද..

සිටිනා යකුන් සහ මල ගිය පෙරේතයන්..
කාපාළුවන් සහ නා නා පිසාචයන්..
සගවාගෙන මුහුණු ගෙන නෙක විලාසයන්..
ඉන්නේ සුපින්වත් පිරිසුදු මුහුණු බැඳන්..

ගුණදම් යට යතිය මතුවෙති කුරිරු හැගුම්..
පාඩුව ලගදි බොසත්කම් නොවෙති රැගත්..
මතුවේ මෙතෙක් කල් නොදුටුව අමුතු වෙසක්..
එතකින් අවසන්ය මෙතුවක් රැගුනු රැගුම්..

බස් පළුවන්ගේ කතාව 3...

වෙනදා වගේම අදත් ඔන්න කොල්ලා ගෙදර...
ඊයේ දවසම වැඩ පොළට වෙලා බස් පැදලා පැදලා දැන් ඉතිං අදත් බස් පළුවන් හැටියට කොල්ලටයි කොල්ලගේ මහ එකාටයි තිබුනු අතීතය පට්ටා ගහන්ට සූජානං වෙන මොහොත...

කොහොමින් කොහොම හරි මගේ තාත්තණ්ඩි බස් පළුවෙක් උනයි කියමුකෝ...
ඉතිං එදා ඉඳන් බොහෝම උනන්දුවෙන් මහන්සියෙන් වැඩෙ කොරගෙන ගෙහුන් තියෙනවා...ඒ අතරතුර කාලයේ ලංකාව වටෙ ඩිපෝ හැට හුට හමාරක රාජකාරිය කොරලාත් තියෙනවා...
අපේ අප්පුච්චටත් මට වගේම මේ කුලී ලෙවල්..බෝඩිං කාමර ආදිය මහ අමුතු තැන් නෙවෙයි..
ඉතිං ඒ අස්සේ වෙච්ච කතන්දර ගාල ගෝට්ටි අප්පරමාණ උනත් ඒ කියාපු දේවල් අතුරින් බොහෝම සුවල්පයක් තමයි මෙ වෙන කොට මටත් සිහියේ තියෙන්නේ...

තව එකක් කියන්නංකෝ ඔන්න එය කතාවක් කියාගෙන යද්දී දවසක් තාත්තා ආවා බියර් ගැන කියන්ට...
ඉතිං එදා තමයි මං මුළින්ම බියර් බෝතලයෙන් වීදුරුවට වක් කරන හැටි දැන ගත්තේ...
ඒ විතරක් නෙවෙයි බියර් බොන්න තියෙන්න ඕන හොඳම බයිට් එක හොඳ වර්ගයක චීස් කියන එකත් උන්දැම තමයි කියා දුන්නේ..
ඕං තාත්තලා පුතාලට කියා දෙන ඒවා නේද..?
ඇත්තටම ඕවා හරිනං කියා දෙන්ට ඹ්න තාත්තලාම තමා..නැත්තං පිට එව්වන්ගෙන් ඕවා අහගන්ට ගියාම හම්ඛෙන තරමක් හම්ඛෙන්නේ වැරදි උපදෙස්ම තමයි..අන්තිමට අපි නොමග යනවා නෙව...

ඉතිං ඔය බියර් කතාව කිව්වේ වෙන කතාවක් අස්සේ...
ඒ ඇවිල්ලා ඔය නුවර එළිය හරි හේවා හැට හරි වගේ පළාතක තිබුනු ඩිපෝ එකක රාජකාරි කොරන කාලේ වෙච්ච දෙයක් කියන්ට ගෙහුං...

එදා තාත්තලා බොන්ට කියලා හවස් අතේ ගෙහුං තියෙන්නේ අළුතින් එහාට ආව බස් පළුවෙකුත් එකතු කොරගෙන තමයි...
කොහොමින් කොහොම හරි වැඩෙ නැගලා යන අතරේ අර අළුත් බුවාට ඔන වෙලා තියෙනවා පොඩි ශාරීරික අවශ්‍ය තාවයක් ඉස්ට සිද්ධ කොරගන්ට..ඉතිං බුවා අර බොන්න සෙට් උන පොට් එකේ ඒ සඳහා අඳාළ ඉස්ථානේ එහෙම තියෙන තැන අහගෙන ගෙහුං තියෙනවා...
හැබැයි යන්ට කළින් තාත්තාලා කියලා තියෙනවා..ඔය ඇතුලෙ එකට වඩා එළියේ තියෙන එක හොඳා එහෙට පලයං කියලා...
ඒත් කොහේද අර බුවා ඇතුලේ එකටම ගෙහුං..
ටිකක් වෙලා ගියා අර මෑන්ස් තාම නැහැ...
ම්හු..තව ටිකක් වෙලා ගියා..ඒත් නැහැ..
දැන් නං සෑහෙන වෙලාවක්..හරියන්නේ නැහැ කට්ටිය ගියා බලන්න...

අඳාල ඉස්ථානේ ඇතුළින් කිසිම සද්දයක් නැහැ...
දොරට තඩි බාලා බාලා..කොහොම හරි ඇර ගත්තා කියමුකෝ..
හත් ඉලව්වට ගහපු කලාබරේ..ඇතුළ යුද්ධ පිට්ටනියක් වගේ නෙව...
මොකැයි වෙලා තියෙන්නේ..?

අර බොන්න සෙට් වෙච්ච බාර් එකේ ඇතුළින් වගේම පිටතිනුත් වැසිකිළි පද්ධති දෙකක් තිබුනා උනාට පිටත එක සාමාන්‍ය පෝච්චියක් හයි කොරාපු එකක්..
ඒත් ඇතුලේ එක නවීන පන්නෙට කොමඩ් එකක් හයි කොරාපු එකක්...
ඔය ඉතිං හැටෙ දශකේ නෙව...හැම තැනම ඔව්වා තියෙන එකක්යෑ..
ඊටත් අර ගංතුලානෙන් ආපු හාදයා ඔව්වා දන්නා එකක්යෑ...
උන්දෑ කල්පනා කොරලා කොරලා නැගලා නේද අර කොමඩ් එක උඩටම...
කොමඩ් එක හයි කොරාපු බාස් ළගේ හොඳකොමට හරි..කොමඩ් එකේ හොඳ කොමට හරි මෙකා අරකත් කඩාගෙන බිඳගෙන වැටිලා නෙව...
මූට ඇති වෙච්ච විළිලැජ්ජාවටයි ඒ සංතෝසෙටයි..අර කොරන්න ආපු රාජකාරියත් කොරන්න ඔන නැති වෙලා..අර පෙරළිලා කඩා වැටිලා තිබුනු කොමඩ් එක දිහා බලාගෙන උන්දෑ අහස පොළොව ගැටළමින් ඉඳලා දැන් මක්කැයි කොරන්නේ කියලා..

අනේ ඉතිං වෙච්ච දේට මක්කා කොරන්නද...
තාත්තලගේ වියදමින් අර ඉස්ථානේ අළුත් වැඩියා කොරලා දෙන්ට පොරොන්දු වෙලා අර බුවත් අරන් ආපහු ඩිපෝ...

....................................

ඊ ළගට කතන්දරේ රත්නපුරේ නගරයේම කඩෙක උඩ තට්ටුවක පදිංචි වෙලා හිටි සංදියේ කතාවක්...
මේ හැම එකක්ම පුංචි පුංචි එව්වා තමයි...

මෙ කඩෙ යට තට්ටුවේ වෙළහෙළදාං කොරගෙන ඉඳලා තියෙන්නේ මුස්ලිම් මනුස්සයෝ ටිකක්...

තාත්තයි තවත් යාළුවෝ දෙන්නෙකුයි තමයි උඩ තට්ටුව කුළියට අරන් උයා පිහාගෙන කාලා ජීවත් වෙලා තියෙන්නේ...
ඉතිං දවසක් මේ තුන් කට්ටුවටම නිවාඩු දවසක දවාලේ...බත් මුට්ටියකුයි කරවල හොද්දකුයි තවත් මොනවාදෝ වෑංජනේකුයි එහෙම උයලා තියලා තුන්දෙනා ගොහින් ගගට නාන්ට කියලා...

ඔය නානවා කිව්වාට මොකද..අපේ තාත්තණ්ඩිට කොරන්න බැරිම රාජකාරි දෙකෙන් එකක් තමයි පීනිල්ල...
මොන ගගට ගියත් උන්දෑ නාන්නේ බාල්දියෙන්...
ඒ විතරක් නෙවෙයි කවදාවත් වතුරේ ගැඹුරටනං යන්නේ නැහැ...

අපේ අම්මා ඒ දවස්වල විහිළුවටත් කියන්නේ..

"මෙයාට ඉතිං විළුඛෙන් උඩට වතුර තිබ්බත් හරි ගැඹුරුයිනේ" කියලා..

ඒ කියන්නේ ගොඩ ඉඳන් කොහොම හරි පනිට්ටුවෙන් අරගෙන නානවා මිසක්..දණිස්ස ළගටවත් උන්දෑ නෙවෙයි ගගකට බහින්නේ..
අනිත් බැරි කෙරුවාව තමයි ගස් නැගිල්ල...
"ගහක් කපලා බිම දාලා දුන්නත් ඒක දිගේ යන්ට බැහැ"..

ඒකත් ඉතිං අපි නෙවෙයි අපේ අම්මාම තමයි හිනා වෙවී කියන්නේ...
හැබැයි ඉතිං ඒ කතාවත් ඇත්ත..

ඕවා කියලා විහිළු කලාට උන්දෑ හිනා වෙලා අම්මා දිහා බැළුවා මිසක කවදාවත් උත්තර බඳින්න ගියේ නැහැ...

ඉතිං දැන් තුන් දෙනත් එක්ක නාගෙන කොරගෙන ආපහු ඇවිත් තියෙන්නේ කන්ට බලාගෙන තමයි...

හිතා ගත්තැකිනේ කට්ට අවුව දවසක හොඳට ගගකින් වතුර ටිකක් නාගෙන ආවාහම තියෙන තත්වෙ...
උණු පිට බතකුයි පොල් සම්බෝලෙකුයි තිබ්බත් ඇති..යකෙක් කන්ට ඇහැකි බඩ ගින්නක් හැදෙනවා නෙව...

ඉතින් අපේ තුන් කට්ටුවත් ඇරලා දාලා ඇවිත් තියෙන්නේ බුරිය උල් වෙන්ටම නෙලන්ට කියලා..

අප්පද බොල..කාලා තියෙයි...

බත් මුට්ටියයි අර හට්ටි මුට්ටියි හූරාගෙන කාලා..ආසාවට එක දංකුඩයක් නැහැ...
හිතා ගත්තෑකිනේ දැන් මෙ තුන් දෙනා සද්ධර්මෙන්ම දේශනාව දෙන ආකාරය...
රත්න පුරේ ටවුන් එක පුරාවට ඇහෙන්ට දෙසාබානවා...

තත්පර ගානයි ගෙහුන් තියෙන්නේ..මෙන්න දුවගෙන එනවා උඩට..කවුද..
අර යට තට්ටුවෙ උන්න බඩ තඩි තම්බි මුදලාලියි ගෝලයින්ගෙන් එකෙකුයි...

"මාත්තියලා..ෂ්..ෂ්..කෑ ගාන්ට එපා..කෑ ගාන්ට එපා"...
එහෙම කියලා ඒ දවස් වල හැටියට කීයක්දෝ මංදා තාත්තාගේ අතේ තියලා පිටට තට්ටුවකුත් දාගෙන බැහැලා ගෙහුං...

මක්කෙයි වෙලා තියෙන්නේ..අරුන්දලා නොම්බි අල්ලලා ඉඳලා තියෙන්නේ..
ඒ අස්සේ අපේ මහ එව්ං ටික සුවඳ ගහන්න කරෝල ඉව්වම ඉතිං...කොහොම ඉන්ටද..
තාත්තලා ගගට යන්ට ගියාට පස්සේ ඉවසන්ටම බැරි තැන මුදලාලියි ගෝල බාල ඇත්තනුයි හීන් සීරුවෙ උඩට නැගලා අර හට්ටිවල එවුවා බත් මුට්ටියටම හලාගෙන දීලා ඇදලා...

මොනවා කොරන්ද තාත්තලත් අර දුන්න ගානෙන් ටවුමෙ කඩෙකට ගෙහුන් හොඳට බඩ කට පුරා කාලා හවස හීනියට දෙකකුත් නෙලලා...

හැබැයි ඉතිං එදා ඉඳන් තාත්තලා නොම්බි කාලෙට හැමදාමත් හත් අට දෙනෙකුට සෑහෙන්ට උයලා තියෙනවා...

අර මිනිස්සුත් අපරාදේ කියන්ට බැහැ මෙ තුන් දෙනාට රජවරුන්ට වගේ සලකලා තියෙනවා...

මං හිතන්නේ තාමත් ඒ මුස්ලිම් කට්ටිය රත්නපුරේ ටවුමෙ වෙළහෙළදාං කරනවා..
මොකද පහු කාලෙක..ඒ කියන්නේ අනූ හතරේ අනූ පහේ වගේ කාලෙත් අපේ තාත්තා රත්නපුරේ ගිය වෙලාවක තාත්තාව දැකලා බොහෝම සංතෝෂෙන් තාත්තාව එක්කගෙන කඩෙට ගෙහුං හොඳට සලකලා එවලා තිබුණා...

හුම් අදට මදැයි...

25 January 2011

බස් පළුවන්ගේ කතාව 2...

ඔන්න ඉතිං කළිං කිව්වැහේ..අපේ තාත්තත් හා හා පුරා කියලා බස් පළුවෙක් එහෙමත් නැතිනං කොන්දොස්තර උන්නැහේ කෙනක් උනා කියමුකෝ...
ඉතිං මං මේ කියන කාලේ ලංකා ගමනා ගමන මණ්ඩලය..එහෙමත් නැත්තං අපි කෙටි කරලා කියන ලංගම ය ඒ කියන්නේ සීටීබී නොහොත් සිලොන් ටකරං බස් සේවය ස්ථාපිත කොරලා තිබුනේ නැහැ.

ලංකාවේ හිටිය බොහෝම වත් පොහොසත් කං ඇති මුදලාලිලා කිහිප දෙනෙක් අත තිබුනු ව්‍යාපාරයක් හැටියට තමයි මෙ බස් කරුමාන්තේ පැවතුනේ..

ඉතිං ඔය යුගය ගැන බොහෝම රස කතන්දර වරින් වර අපේ තාත්තා අපිත් එක්ක කියලා තිබුණත් ඒ එකක්වත් හරියටම විස්තර ඇතිව කියන්න තරං මතකයක් මෙ වයසක මංතුමාට දැන් අඩුයි නෙව..

කොහොම උනත් බස් සේවය මුදලාලිලාට සහ ගෝල බාලයින්ට ඕන හැටියට විනා මගීන්ට ඒ හැටි සලකාපු යුගයක් නොවන වගනං ඔය කියුං වලින් අපේ පුංචි ඔළු ගෙඩිවලට වැටිලා තිබුණා කිව්වොත් ඒක නිවැරදියි..

ඔය සමහරු කියනවා ඔයාලා උනත් අහලා ඇති..කවුරු හරි බස් එකේ යන්න ඕන මනුස්සයෙක් බාබර් සාප්පුවෙ කොණ්ඩෙ හරි රැවුල හරි කප කප හිටියොත් අර මනුස්සයා එනකල් උනත් බස් එක නවත්තාගෙන ඉන්න යුගයක් කියලා..ඒ කොණ්ඩෙ කපන මනුස්සයගේ පැත්තෙන් ගත්තොත්නං වැඩේ හොඳා තමා..ඒත් ඉතිං අර බස් එකට වෙලා ලගා ගහං බලං ඉන්ට ඕන ඇත්තන්ගේ තත්වය ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ..

අද වාගේ කාලෙකනං කොහොමට හිටීද..?

ඉතිං අපේ පියාණෝත් ඔන්න ඔය වගේ තමුන්ගේ රස්සාවත් කොරගෙන පවුලේ උදවියටත් සලකාගෙන..බොහෝම දුක සේ කාලය ගත වෙන කොට තමයි..අපි කවුරුත් අහලා තියෙන 56 යුග පෙරළිය ඇති වෙන්නේ...

.....................................

80 දශකයේ අග භාගයේ වගේ දවසක් අපේ තාත්තා හොඳට ඇඳපැළඳගෙන උදැහැනැක්කෙම කොහේදෝ පිටත් වෙලා ගියා මට මතකයි..අපේ ඉතිං අම්මත් ඒ වෙන කොට රට ගිහිල්ලා හිටිය හින්දා..ඔය ළගපාත අපි නිතර ගැවසෙන ගෙදරකට වෙලා උන්නා උන්දෑ එනකල්...
හවස් ජාමේ වෙනකොට මෙන්න තාත්තණ්ඩි එනවා අඩි දෙකක් විතර පළල..අඩි තුනක් විතර උස අගලක විතර ඝනකම ඇති මොකක්දෝ එකක් පාර්සල් කරගෙන..බොහෝම සද්ධාවෙන්..
හරියට නිකං මාළිගාවේ කරඩුව ගෙනියන ඇතා සේ..බොහෝම උජාරුවට උන්දෑ ආපු ඒමට අපිට තේරුනා මොකක් නමුත් වටිනා කියන දෙයක් තමයි මේ කියලා..

ඇත්තටම ඉතිං ඒ සන්ධියේද අපිට වටිනාම දේවල් උනේ කන බොන ජාති සහ ඔය අළුත් අළුත් ගැජමැටික්ස් ජාති තමා..

තාත්තා අපිවත් අර හිටිය ගෙදරින් එක්කාසු කොරගෙන ඉක්මන් ගමණින් ගෙදරට ආවා..

අපිත් දැන් හරි ආශාවෙන් බලං ඉන්නවා මේ මොකක්ද කියලා දැන ගන්න..හැබැයි මේකේ හැඩේට අනුව කන්නනං බැරි දෙයක් වග අපි දෙන්නට..ඒ කියන්නේ මටයි මලයණ්ඩිටයි තේරිලා තිබ්බේ..ඒත් ඊට වඩා වටිනා කියන මොනවා හරි දෙයක්නං කියලා අපිත් ඉක්මන් කොරලා ආවා...

තාත්තා කලේ ආපු ගමන්ම ඉක්මනට මිටියකුයි ඇණේකුයි අරගෙන ආව එකයි..
අර ඇණේ ගෙදර බිත්තියේ හොඳට ඉඩ කඩ ඇති තැනක ටිකක් ඉහළට වෙන්න ගහලා කිරලා තමයි තාත්තා අර පාර්සලේ දිග ඇරියේ ඕං...

හොඳට රාමු කොරාපු චිත්‍රයක්...

වටින කියන විදියට පිටුපස පැත්තටත් වැනිස්ට්‍රා බෝඩ් එහෙම දාලා හොඳ වීදුරුවක් එහෙම දාලා රාමු කොරාපු මේ චිත්‍රය තනිකරම පැන්සල විතරක් භාවිත කරලා ඇඳපු එකක්.

ඇත්තටම මම මේ වන තෙක් දැකපු හොඳම චිත්‍රය ඒකද මන්දා...
ඒකේ හිටියේ බණ්ඩාරනායක මහත්තයා...
බොහෝම සියුම්ව අඳුර හා ආලෝකය වෙන් කරගෙන ඇඳලා තියෙන චිත්‍රයේ එක තැනකවත් කිසිම වරදක් කියන්න නැහැ..මම පහු කාලීනව බලද්දී මට පෙනුනේ අර හෙවණැලි එහෙම මතු කරගෙන තිබුණේ පැන්සලෙන් තිත් තිත් තියලා විතරයි...පැන්සල කොහේවත් අතුල්ලලා නැහැ..ඉතාමත් සියුම් තිත්...
යටින් ලියලා තිබුණා එහි නිර්මාණ ශිල්පියාගේ නම..මට මතක හැටියට..අමුණුගම ජයසේන...

මම ඒ චිත්‍රයට ටිකක් හෝ ළගින් යන නිර්මාණ කිහිපයක් මේ දවස්වල දැක්කා අපේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්මාගේ කටු සටහන් අතරින්...

ඉතිං එදා ඉඳලා මේ චිත්‍රය අපේ ගෙදර වැඳුම් පිඳුම් ලබන දෙයක් බවට පත් උනා...

මේ චිත්‍රය බොහෝම පැරණි එකක්...ඒ කියන්නේ 1959 වර්ෂයේ දිහාවේදී අපේ තාත්තයි තවත් මිතුරකුයි හවුලේ ගෙවලා මේක අන්දවගෙන තිබ්බේ..ඒත් රාමු කරන්න අරන් ගිය චිත්‍රය ආයෙමත් තාත්තට ලැබිලා නැහැ අර යාළුවා අරන් ගිහින්..ඒත් ඔහුගේ මරණය හෝ වෙන මොනයම්ම හේතුවක් මත ආයෙමත් 80 දශකයේ අවසාන භාගයේදී තාත්තාට මේක ආපහු ලැබුනා...

ඉතිං එදා ඉඳලා තාත්තාගේ පුදපූජා මැද මේ චිත්‍රය වැජබුනා උනත්...
පහු කාලීනව ඔහුගේ ගෙදරට තිබුණු වගකීමට වඩා දේශපාලනයට තිබුණු කැපවීම මත අපට ඇතිවන කේන්ති පිට කරන්න එකම මාධ්‍ය උනේ ඔය චිත්‍රයම වීමත් ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීමක්...

ඒ පිය පුතු ගැටුම් උගව තිබුණු අවධිය...

මාත් මල්ලීත් පමනක් නොව අම්මාත් එක් පැත්තකින් සිටියදී...තාත්තා තනිවම පෙරමුණක් හදාගෙන අප වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් නහින කොට ඇති උන කේන්තිය පිට කරන්න මේ චිත්‍රය හොඳම මෙවළමක් උනා...

අද ඒ පිළිබඳව කණගාටුවක් ඇතත් ඒ දිනවල අප විඳී මානසික අසහනයන් මත එවැන්නක් නොවූවානම් තත්වය ඊට වඩා දරුණු වීමට වූවද ඉඩ තිබි හෙයින් එසේ හෝ අපගේ කේන්තිය පිට කිරීමට මගක් ලැබීම ඇත්තෙන්ම විශාල සහනයක් බව හිතට එකගව නොකියා බැහැ.

ඇත්තටම ඇයි තාත්තාට තමුන් කියන වචනයකටත් වඩා අර චිත්‍රයට කරන අගෞරවය බර පතළ ලෙස හැගුනේ...

.........................................

නිදහස් රටක් වූවද ඒ නිදහස නිසි ලෙස භුක්ති විඳීමට අවකාශයක් නොවුන තත්වයක් යටතේ...ඉතාමත් අනුකම්පා විරහිත මුදලාලිලාගේ බස් කරුමාන්තයේ සිට එහි වෙහෙස..නින්දා අපහාස දරාගෙන..නිසි වැටුපක් රහිතව...
සේවකයාගේ අවම පහසුකම්වත් නොසැලසෙන මට්ටමේ සිටි බස් පළු ජීවිතය වඩාත් සුවදායී තත්වයකට හැරවූ ඒ යුග වෙනස සිදු කරන්නට මූලික වූ පුද්ගලයාහට දේවත්වයෙන් වැදුම් පිඳුම් කිරීමට තාත්තා සහ ඔහු ඇතුළු සමගාමී සමාජයේ විසූ පීඩිත ජනයා පෙළඹීම මහා පුදුමයක් නොවන්නේ කොම්පැණි යටතේ විඳි දුක දන්නේ ඔව්න්ම පමණක් වන නිසාවෙනි.

ඒ යුගය නිමවා...සියළුම බස් සහ එහි සේවය කරන සේවකයින්ද ඇතුළුව රජයට පවරාගෙන පැවතියාට වඩා විශිෂ්ඪ සේවයක් මෙන්ම...සේවකයාට හිතකර පරිසරයක් සලසා දීම හරහා ඔවූහු සිය දිවි හිමියෙන්ම බණ්ඩාරනායක අගමැතිවරයාට ලෙන්ගතු වූහ...

බණ්ඩාරනායක පාලනය ගැන විවිධ මතිමතාන්දර අද සමාජයේ ඇත..
විශේෂයෙන්ම දෙමළ ඛෙදුම්වාදී ගැටළුව ගැන කතා කරන සෑම විටම ඔහු විත්තිකූඩුවට නංවා කතා කරනු මම ඕනෑ තරම් අසා ඇත..ඒ කතා කෙසේ වෙතත් ඔහු යටතේ සිට ජීවිතය සකස් කරගත්තවුන්ගේ සාදා නොවෙනස් ආදරය කිසි දින ඔවුන්ගේ හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ සිත් සතන් තුළින් මැකිය නොහැක...

...............................................

මෙතැන් පටන් උදා වන්නේ ලංකා ලමනා ගමන මණ්ඩලයට අඳාළ බස් කරුමාන්තය වේ...
මුදල් ඇමති ඇන් ඇම් පෙරේරාගේද සැකැස්මවල් යටතේ ලංගමයේ සිදු වූ මහා වෙනස එතැන් පටන් වරින් වර තාත්තාගේ මුවින් නිකුත් වූ ආකාරය අප අසා සිටියෙමු...

ඒ සියළුම දේ අතරතුර තාත්තා සිය රැකියාව ඉතාමත් හොඳින් තෘප්තිමත්ව ගත කලා යන්න අමුතුවෙන් කිවයුතු නැත...
බස් පළුවාගේ ජීවිතය සතුටින් ගලා යයි...
ඔහුගේ සොහොයුරෝ හොඳින් ඉගෙනුම ලබති...මවට බස් පළුවාගේ සහය හරහා පවුලේ බර සැහැල්ලූ කරගන්නට හැකි වේ...

අධික වගකීම් නිසාම ජීවිතයේ සුන්දර අවදියේදී විවහා වීම මග හැරී ගියද..ඔහු ඒ ගැන ලත වූයෙකු බව මා අසා නැත...
ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල ඩිපෝ රැසක රාජකාරි කරමින් ජීවිතය ගෙවූ ඔහු..ඒ සෑම තැනක් පිළිබඳවමත් ලංකාවේ සෑම පළාතක් පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතුව සිටියෙකි.

ලංකාවේ ඕනෑම තැනක විස්තරයක් පැවසූවහොත් ඒ තැනට ආසන්න ඕනම පාරක වග විස්තර ඔහු මතකයෙන් කියයි.

විශේෂයෙන්ම මා බස්පළුවකු වූ මුල් අවදියේ දුර සේවා බස් රථ වල සේවයට වැටුනු පසු සමහර මාර්ග වල මුදල් අය කරනා අයුරුවත් සෙක්ෂන් කැඩෙන්නේ කොතැනින්ද යන්නවත් එක්වරම අවබෝධ කරගත නොහුනු කල..රාත්‍රියේ පැමිණ තාත්තාට කිවූ පසුව ඔහු ඒ සෑම මාර්ගයකටම මුදල් ගණනය කර පෙන්වා දෙයි...

මතකයේ ඇති සියළුම මං සලකුණු ගෙන හැර දක්වමින් සෙක්ෂන් කැඩෙන තැන් කියා දෙයි...
කොටින්ම කිවහොත් පුත්තලම හරහා අනුරාධ පුරය දක්වා වැටී ඇති නොම්මර 4 දරන මාර්ගයේ ඇති රැස්ස ගස් වැල් පවා ඔහු මං සලකුණු වශයෙන් පිළිවෙලට මා හට කියා දී ඇත...
පසුවදා වැඩට යන මා ඒ සෑම මංසලකුණක් ඔස්සේම මාගේ කටයුත්ත නිවැරදිව කරගන්නා අතරම තාත්තාගේ මතකය හා අත්දැකීම් පිළිබඳව විස්මයට පත් නොවුනාද නොවේ...

ඔහුට වසර තිහකටත් වඩා කලක මතකය නිවැරදිව අවධි කල හැකි වෙතත් දැන් සිහි කරනා කල්හී මා හට වසර පහලොවකට එහා මා ගෙවූ බස් පළු ජීවිතයේ මතක සටහන්ද නිවැරදිව සිහිපත් කළ නොහේ...

පරම්පරා දෙකක වෙනස හා..ඔවුන්ගේ දුෂ්කර ගමන් මාර්ගය ඔවුන් සවිමත් කර ඇති අයුරු...

24 January 2011

බස් පළුවන්ගේ කතාන්දරේ...

ඔන්න ආයෙමත් පරණ සීන් කෝන් ටිකක් ඇද ගන්නයි සූජානම..

හැබැයි ඉතිං මෙව්වාගේ හිනා කෑලි..අටුවා..එතනින් ගියහම ගැට පඳ විවරණ.. ඔය මෙලෝ කෙන් ගෙඩියක් නැහැ..නිකංම නිකං පැරණි මතකය අවුස්සා ලීමක් විතරයි...

විශේෂයෙන්ම අදනං ලියන්නේ මාත්තුරුකාව මුලින් දාගෙන..ඔය උඩින් තියෙන්නේ ඒක තමයි..මොකද මම වෙනදට ලියන්නේ මාත්තුරුකාවක් නැතිව..ලියලා අන්තිමට තමයි බලන්නේ මොකක්දෑ දාන මාත්තුරුකාව කියලා..ඉතිං අතට අහු වෙන කොතනින් හරි වචන දෙක තුනක් පටලෝලා දැනවා මුලට...මගේ මාත්තුරුකා මෙලෝ රහක් නැති මාත්තුරුකා බවට පත් කිරීමේ රහස ඔකයි...

ආ මාත්තුරුකා ගැන කිව්වහම මතක් උනේ...මෙ ඊයේ පෙරෙදා ලියාපු නිවිති වැලක කතන්දරයක් හින්දා..මගේ බ්ලොග් එකට දැන් වැල බලන්න එන කට්ටියත් සැට් වෙන බව කව්දෑ මන්දා ලියාලා තියාලා ගෙහුන් තිබ්බා...
කාටද දෙයියනේ ආඩම්බර...?
ඔන්න මාත්තුරුකා හින්දා මට ගිය කලක්...
අන්තිමට මාත් සුනිල් ටී ලා..ලූවී වැන්ඩා...අප්පා මට ඒ නම ලියන්න බැහැනේ..දන්න අය දන්නවා මං කවුරු ගැනද කියන්නේ කියලා...ආන්න ඒ වගේ උන්දලාගේ ගොඩට වැටිලා තමයි නවතින්නේ..මේ බ්ලොග් කෙරුවාවකට ගෙහුන් මගේ නිකැළැල් චරිතයත් සෙත්තපෝච්චි..

..........................

හරි ඒ සුකුරුත්තං පැත්තකින් තියලා අපි පටන් ගම්මු මාත්තුරුකාවට අනුකූල වෙන්ට...

ඉතිං අපේ වැප් කොළු..අර මරණයා එක්ක එක්කාසු වෙලා බස් වලින් බ්ලොග් වලට තල්ලූවක් දෙන්ට කියලා වැඩ සටහනක් පටන් අරං නෙව..ඉතිං ඒක ආරම්භ කරලා තියෙන්නෙත් උන් බානම බස් කතා ලියලාම තමයි...
ආයේ ඉතිං ඔව්වා දැක්කහම මංතුමාටත් කට තියාගෙන ඉන්ට බැහැනේ..අර කටකහන මුදියන්සේලාගේ දුමියාගේ වගේ මගේත් කහනවා..හැබැයි ඇගිලි අග්ගිසි තමයි..ඉතිං ඒ කැහිල්ල අඩු කොරගන්ට කියලා මේ ලැප් මල්ලියාගේ යතුරු උඩ ඇගිළි අග්ගිසි ටික කොට කොට ඉන්න කොට තමයි මේ පරණ අහු මුළුවල තිබිච්ච පුස්කාපු මතකය ආයෙමත් නැගිටලා එන්නේ...

ඉතිං බස් ගැන කිව්වහම මටත් තියෙනවා නෙව හරි අපූරු බස් ඉතිහාසයක්...
කොටින්ම කිව්වොත් අපේ තාත්තගෙන් තමයි මේ බස් කතන්දර පටාන් ගන්නේ...

උන්දෑ ඉතිං හිච්චි එකා කාලෙම එක එක රස්සාවල් කොරන්ට පාරට වැටිච්ච උන්දෑ වෙච්චි..

තාත්තාගේ පවුලේ කොල්ලොම පහයි..තාත්තා ඔතනින් හතර වැනියා...
ඒත් ඉතිං මුල් කාලේ ඉඳලාම ආච්චි අම්මාගේ ළගින්ම ඒ කිව්වේ තාත්තාගේ අම්මාගේ ළගින්ම ඉඳගෙන ඔය උයන පිහන වැඩපල වලට..එතනින් ගියහම පොල් අතු වියන වැඩ පොල වලට..ආයේ තව අර දුනුකේ ගාල් කපලා පදං කොරලා පැදුරු වියන වැඩ එහෙම..කොටින්ම කිව්වොත් කෙල්ලෙක් නැති පවුලේ ගෑනු ළමයෙක් වගේ අම්මා ගාවට වෙලා බොහෝම කීකරුව හැදිච්ච කොල්ලා තමයි අපේ තාත්තා..අපේ තාත්තා හයේ කැලෑසියේ ඒ කියන්නේ තාත්තට අවුරුදු දොළහක් විතර වෙනකොට තමයි සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා නැති වෙලා තියෙන්නේ..
ඉතිං එදා ඉඳලා ආච්චි අම්මට මුළු පවුලම ඇදගෙන යන්ට උදව් කොරලා තියෙන්නේ තාත්තා..කොහොමින් කොහොම හරි ඇස් ඇස් සී පන්තිය පාස් වෙනකල් ඉසකෝලේත් යන ගමන් මොන මොනවා හරි කොරලා ගෙදරට හරි හම්බ කොරලා දීලා තමුන්ට වඩා ඉගෙනීමට දස්ස වෙච්ච අයියලා දෙන්නෙකුටයි මල්ලිටයි ඉගෙන ගන්ට එහෙම උදව් කොරලා තියෙන්නේ උන්දෑ...
උන්දැගේ උදව් උපකාර ගත්තු ඒ උන්නැහේලානං ගොඩ ගියා...
වැඩිමහල් මහප්පා ඉස්කෝල ගුරෙක්..
දෙවැනියාත් එහෙමයි..
තුන් වැනි මහප්පා පුංචි සන්ධියේ ඉඳලා ලෙඩා දුකා...තනිකඩව ඉඳලා මේ දැනට අවුරුදු පහ හයකට කළින් මියෑදිලා ගියා...
අන්තිමට බාප්පා ගිරාමසේවක...

ඔන්න ඒ කෙරුවාව..
හැබැයි ඔය ලොකු මහප්පලා දෙන්නත් මුල් කාලේ ඇච් ඇස් සී පාස් කොරලා ගෙහුන් තියෙනවා බස්වල රස්සාවට..ඒ කියන්නේ බස් පළුවෝ හැටියට..ඔය කොන්දොස්තර නෙවෙයි කියනවනේ නියම ආරිය සිංහල වචනේ..හරි වචනේ බස් පළුවා...ළු...
ඒකත් නරකම නැහැ...

ඉතින් අපේ තාත්තා අයියලා දෙන්නාට ඒ රස්සාවෙන් අහක් වෙන්ටය කියලා තමුන් අර රස්සාවට බැහැලා අරුන්නැහේලාට ඉගෙන ගන්ට විය පැහැදං කොරලා තියෙනවා..
ඒ හින්දා මහප්පලා දෙන්නා ගුරු විජ්ජාලේ ගෙහුන් ගුරුවරු හැටියටත්...
පාප්පණ්ඩි ගිරාම සේවක කෙනෙක් හැටියටත් රස්සාවල් අරන් තියෙනවා...
තාත්තා කාලාන්තරයක් තිස්සේ බස් පළුවා වෙච්චි...

ඉතිං මුළින්ම කාලේ රස්සාවක් කොරන්ට වයස එහෙම මදි හින්දා මුළින්ම කොරලා තියෙන්නේ සමූපාකාරයක බඩු කිරාපු එකයි කියලා.. ඔං ඒ දවස්වල අපිත් එක්ක කියලා තියෙනවා..කොහොමින් කොහොම හරි යාන්තං දන්නා අදුරන අයගේ මාර්ගයෙන් ඒ දවස්වල තිබුනු කොම්පැණි බස් සමාගමක වැඩට යන කොට දහටත් නැතිළු..ඒ කියන්නේ එකදහස් නවසිය පනස් දෙකේ වරුසයේ වගේ තමා...

ඉතිං ඒ සමාගමේ කැළණිය ශාඛාවේ තමයි මුළින්ම වැඩ කොරලා තියෙන්නේ...

ඒ කියන්නේ දැන් ඔය කැළණිය ඩිපෝ එක තියෙන්නේ එතන තමයි...

ඉතිං මුළින්ම දවස් ටිකේ කොරලා තියෙන්නේ බස් ටික අතුපතු ගාගෙන..හෝදගෙන ඉන්න වැඩ...
රෑට කොහේ හරි බංකුවක් උඩට වෙලා බුදියා ගන්නවා... තියෙන හැටියකට කාලා..ලැඛෙන දෙයක් නාස්ති නොකර ගෙදර උන්දලාව ජීවත් කොරනවා...

ඔය කතා මතක් වෙද්දිත් මට ඇස් දෙකට දැනුත් කඳුළු පිරෙන එක වලක්කන්ට මට බැහැ...ඒකට කමක් නැහැ...

අදටත් මට උනත් බංකු ලෑල්ලක් උඩ නිදා ගන්න වෙන අවස්ථා ඕන තරං...
සිකුරුටි ජීවිතේ කියන්නේ ආයේ සුව පහසු එකක් නෙවේනේ..ඒත් ඒ කෙරුවාවෙදී..යන්තං හරි බංකු ලෑල්ලක් හරි බිම කාඩ්බෝඩ් කෑල්ලක් හරි එලාගෙන පොඩි නින්දක් දානකොට මට හැමදාමත් තාත්තාගේ ඔය කතන්දර සිහියට එනවා..
ඒ වෙලාවට මටත් එහෙම නිදා ගන්න එකේ අමාරුවක් කවදාවත් දැනිලා නැහැ.
අඩි හයක් දිග තියේනං...අගල් දහයක් හෝ දොළහක් පළල තියේනං බංකු කෑල්ලක් කියන්නේ අදටත් මට හොඳ සුව පහසු යහනාවක්...
තාත්තලා වින්ඳ දේ අපිත් වින්දට මොකද..?

ඉතිං ඔන්න ඔහොම තමයි තාත්තා මුළින්ම බස් කොම්පැණියට යන්නේ...
හැබැයි තාත්තාගේ තිබ්බ කීකරු කොමයි අහිංසක කොමයි හින්දා බොහෝම ඉක්මනට තාත්තාව කොම්පැණියේ අයිතිකාර උන්නැහේගේ අවධානයට ලක්වෙලා තියෙනවා..මට මතක හැටියටනං ඇම් ෙජ් පෙරේරා වෙන්ට ඕන..ඉතිං බොහෝම ඉක්මනින්ම තාත්තට උසස් වීමක් හම්බු වෙලා තියෙනවා අපේ පරම්පරාවටම ආවේනික බඩ රස්සාවට..ඒ තමයි බස් පළුවෙක් වෙන එක...

ඉතිං ඔන්න ඔහොමයි බස් පළුවාගේ කතාව ආරම්භ වෙන්නේ..ඇත්තටම මම ලියන්ට පටන් ගත්තේ මෑත කාලීන සිද්ධියක් කියලා පටන් ගන්න උනත් මගේ අකීකරු ඇගිලි අග්ගිසි ටික මාව අරන් ගෙහුං තියෙන්නේ ඈත කාලයකට..
ඒත් මං හිතන්නේ ඒකෙත් වරදක් නැහැ කියලයි..මොකද හිතෙන්නේ...
බස් පළුවන්ගේ කතන්දර ටිකත් පිළි වෙලකට මුල ඉඳලා කියාගෙනම එන්ටද..නැත්තං ඊ ළග ලිපියෙන් කෙටි කොරලා අහවරක් කොරලා දාන්ටද..?

22 January 2011

ආයෙ බොනකන්..

පුරා විසි දෙදිනක්..
සුරැකි සීලය අදින් අවසන්..
නැවතත් හෙට ඉඳන්..
රකින්නෙමි සිල් ආයෙ බොනකන්..



වියළුනු කෙතක් සේ පාළුව ගිය මසිත..
නැවතත් පණ ගසයි පොද වැස්සට හසුව..
කලෙකින් නොදුටු මිතුරා මුණ ගැසේ අද..
ඒ සතුටටයි මෙ කවි පද උනේ ලිය..

21 January 2011

Box Broken ToDay...මගුල් කතාවක්...

ඉතිං ඔන්න අදත් මංතුමා වැඩ..ඒ කියන්නේ ආරක්ෂක රාජකාරියේ තමා..

උදේ වැඩට ආවා...
අට විතර වෙනකොට කරුමාන්තශාලාව එහෙම විවෘත කොරලා දීලා..නං ගං ටික සලකුණු කොරලා..ආ එතකොට අර මගේ කබඩ් රාජයාට සරනේරු එතනින් ගිහාම කොණ්ඩි පට්ටං එහෙමත් හයි කොරලා..දැම්මා ඉබ්ඛෙකුත්..

දැන් ඉතිං ඒ ඔක්කෝමත් අහවරයි...තේත් බිව්වා.

(විශේෂයෙන් දුමී සඳහා...අද ඉව්වේ නැත. නිදා ගන්න හිතුනා..ඒ හින්දා හය හමාර වෙනකල් නිදා ගත්තා.කෑම කඩෙන් තමා..)

හරි දැන් ඉතිං කොල්ලා ලෑස්ති වෙන්නේ මොනවා නමුත් කුරුටු ගාන්ට තමා...

ම් ම්...කොතනින්ද පටන් ගන්නේ...

හරි අද කියමු මගුල් කතාවක්..මෙක ටිකක් පොඩි එකක්.
හුගාක් අය කැමතියිනේ පුංචි එව්වට...

......................

එතකොට ඉතිං මංතුමාට වයස..හ්ම්ම්ම්..ඔව් එතකොට මට දහ අටකට විතර ඇති...
මේක මේ මගුල් කතාවක්.

මගුලක් උනහම අනිවාර්යයෙන් ඉන්න ඕන දෙන්නෙක් ඉන්නවනේ..
ඒකෙන් පළවැනියා තමයි අපේ මිත්තරයා..ඒ කියන්නේ මනමාලයා...
අපි කියමුකෝ නම පාල කියලා..
මිනිහා ටිකක් වයසක හාදයා..ඒ කිව්වේ එතකොට හතළිස් හතරක් විතර ඇති..රැකියාව තුන්රෝද රථ රියදුරු...

මං ඉතිං පුංචි එකා සන්ධියේ ඉඳන්ම මුල පීදිච්ච එකා වෙච්චි හින්දා මට ඒ දවස්වල මේ වගේ යාළු මිත්තරයෝ තමයි හිටියේ..ඔය කියන කාලේ මං මකබාස් වැඩ පුරුදු පුහුණු වෙන කාලේ තමා ඕං...
ඉතිං මාත් වැටිලා හිටියේ ටිකක් ලොකු නඩේක සාමාජිකයෙක් හැටියට...

මේ සැට් එකට වයස් සීමාවක් නැහැ...අපේ ජුං උනත් අපිත් එක්ක සැට් වෙලා හිටියා..මොකද මෑන්ස්ගේ ගේ ගාවනේ අපේ කස්ටිය වල බහින්නේ..

ඉතිං මේ පාල අයියා තමා අපේ නඩේ හිටිය තලත්තෑනිම හාදයා..
මෑන්ස් අපිට සෙට් උනේ මිනිහගේ තුන් රෝද රිය අළුත් වැඩියා කටයුතු සඳහා ඒ පැත්තේ ඇවිදින්ම තමයි..කොහොම උනත් බුවාත් අපිටම හරියන හාදයා..

පොර ටිකක් එක විදියක්...හැමෝමත් එක්කම කතා බහට යන්නේ නැහැ..ඒත් ෆිට් උනාට පස්සේ ගිරවා වගේ...
කොහොමින් කොහොම හරි පොරගේ කල වයසත් පැන ගෙන යන කාලේ තමයි අපිට සැට් උනේ..
මෑන්ස්ගේ ඥාති වර්ගයා හිටියට ඒ කිසි කෙනෙකුට බුවාව පිළිවෙලක් කොරන්න හම්බු වෙලා නැහැ...

පොරත් ඉතිං කුලෑටි හාදයා..
අර උන්දැලත් ඉතිං ඔවාට උනන්දු වෙලා නැහැ..

ඒත් ඉතිං මිනිහා ඉඳලා ඉඳලා අහු උනේ අපේ නඩේටනේ..
ආයේ ඉතිං ඕකට අහු උනාම ඉරිසින්නාන්සෙලටත් මගුල් ජෝඩු කොරන ජාතියේ එවුවෝ ටිකක් තමයි අපේ හිටියේ...

කොහොමින් කොහොම හරි මෑන්ස් එපා එපා කියද්දිම අපේ අයියලා ටික මිනිහට මගුලකුත් කතා කෙරුවා...

බෑ බෑ කිව්වට අන්තිමට මිනිහත් බොහෝම මනාපයි මේකට...

මනමාලි ඔය පස්යාල පැත්තේ ගමක අවුරුදු තිස් අටක විතර නාඹර ගැටිස්සී...
අපි දෙතුන් ගොල්ල දැන් ගමන් කීපයක් එහෙම එහෙ මෙහෙ ගෙහුං ඔන්න වැඩේ සෙටාර්..

ආයේ ඉතිං කල් යවන්නේ අහවල් එකටදෑ..මොකද මුං දෙන්නට බලන් ඉන්න කියලා මහ කාලයක් තියෙන එකක්යෑ...
එහෙම බැළුවනං ඉතිං මගුලට පෝරු ගහන්න වෙන්නේ අත්වාරු දෙකකුත් දෙපැත්තෙන් දාලා තමයි...

කොහොමින් කොහොම හරි දැන් මගුලට කස්ටිය රෙඩි...

ඔය අස්සේ අපේ එව්වෝ හදන්නේ යාළුවට මාව දාන්න...
මල මගුල් දා හතයි..යකෝ මගේ ඒ කාලේ හරි හමන් විදියකට උඩු රැවුලවත් නැහැ කියහංකෝ..මනමාලයගේ අතරින් පතර කළු කෙස් ගස් දෙක තුනක් තියෙද්දී අනිත් ඔක්කෝම ඉඳිලත් එක්ක...

අන්තිමේදී කොහොම හරි අපේ වෙන බුවෙක්ව වැඩේට සැට් කොලා..
හැබැයි ඉතිං අපේ නඩේ ඊට කළින් තිබුනු මගුලකට මාව තමා මුං ටික යාළුවට අන්දලා දැම්මේ...
ඒ වග විස්තරේ ටිකක් විතර මං අපේ ජුං අලගේ කතාවකදී මෙයිට කළින් දෙසා බාලා තියෙනවා මගෙ හිතේ..
මට මේ ඊයේ පෙරේදා ඒ මගුලේ ගත්තු පොටෝ වලින් අප්සැට් ගිය පොටෝ එකක් තිබිලා හම්බු උනා..පස්සෙන් පහු වෙලාවක මූණු පොතට දාන්නංකෝ..කස්ටියට බලා කියා ගන්නත් එක්ක...

හරි ඉතිං කොහොම හරි දැන් මගුල් දවසත් ආවයි කියමුකෝ...

අපි සැට් එකත් දැන් වැදගත් මහත්හොරු වගේ ඇඳ පැළඳගෙන ගෙහුං මූලික වටේ වැඩ ටික කොරලා අවසන් උනා..
ඒ කිව්වේ ඉතිං පළවෙනි දවසේ මනමාලියගේ ගෙදරනේ සෙල්ලම තියෙන්නේ ඒ කිව්වේ මේ පෝරුවේ කටයුතු එහෙම..

ඉතිං ඒ හැම දෙයක්ම යහතිං කෙරුණා..හැබැයි ඉතිං මල ආතල්..අපේ වැඩේ අරුන්දැව හිනා ගස්සවන එක තමයි...
මං හිතන්නේ පාල අයියා වගේ හිනා වෙවී පෝරුවේ නැගලා හිටිය එකෙක් ආයේ නැතුව ඇති..ඒ තරමට ආතල්...

ඇයි යකඩෝ මනමාලයා හතළිස් හතරයි..මනමාලි තිස් අටයි..මනමාලිගේ යාළුවාටත් තිහක් විතර ඇති..අපේ එකාගේ යාළුවාට විසිතුනයි..අපේ වැඩේ දැන් මුං හතර දෙනාවම බයිට් කරන එක තමයි...
ඔක්කෝටම එහා යාළුවාට අර යෙහෙළිය පෙන්නලා ගන්න ආතල් එක..
අන්තිම හරියේදී හිනාව උහුල ගන්න බැරිව මායි අපේ තුන් හතර දෙනෙකුයි පැන්නා එළියට..ඇයි ඉතිං අර අෂ්ඨක කියන උන්නැහේ අපිව දවා හළු කරලන අන්දමේ රාස්ස බැළුම් හෙලනවා නෙව..හැබැයි ඉතිං දෙපාර්ශවේ ඥාතීන්ගෙන් නං අපිට ආරෝවක් නැහැ..ඇයි යකෝ උන්නේ දන්නේ මේ හුටං දෙක පූට්ටු කොරන්න අපි දර දිය ඇද්ද තරමක්...
හැබැයි ඔය අතරේ හිටියා තවත් අපිට ඔරවන බුවෙක්..

ඒ තමා පාල අයියගේ වැඩිමහළු සොහොයුරා...
අපිනං ඉතිං කියන්නේ තට්ට සුමනේ කියලා තමයි..ආයේ බොරු මොකටද..
මෑන්ස් අති පණ්ඩිතයා...දෙන තරමක් දෙන්නේ පොර ටෝක්ස්...
අපිට පාන්ද..? අපි බුවාව මයිලක තරම ගනන් ගන්නේ නැහැ...මොකද බුවාලට පුළුවන් උනායෑ තමුන්ගේ මලයට දීගයක්වත් සැට් කොරලා දෙන්න...

හැබැයි ඉතිං ඕවායේ අපි නොහිතන පැතිත් තියෙනවා..කවදා හරි අරුන්දැට අයිති දේවළුත් තමුන්ගේ දරුවන්ටම අයිති වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන් ඔය වැඩේට කර ඇර ඇර හිටියේ...

මොකද අපි බැහැලා වැඩ කරද්දී පොර එන්නෙම අඩු පාඩු හොයන්න..
මිනිහා ඉතිං ඔය ගමේ සමිති සමාගං වලත් නිලධාරී මණ්ඩලේට එහෙම පැනලා ඉදිරිපත් වෙන හාදයා..හැබැයි මෙලෝ රහක් නෑ..කොරන වැඩකුත් නැහැ..අනිත් උන්ට කරන්න දෙන්නේත් නැහැ..
දන්නේ නැද්ද ඉතිං අපෙත් වයසේ වැරැද්දනේ..අපිත් කොරන තරමක් හරහාට තමයි වැඩ...

ඉතිං එන්න ඔය වගේ හරි අපූරු පරිසරයක් මැද්දේ දැන් වැඩ ටික කෙරුණා යස අපූරුවට...
දවල් කෑම බීම එහෙමත් සප්පායං වෙලා දැන් ඉතිං අර මගුල් ගෙවල්වල තියෙන එපාම කොරපු හරියට ඇවිල්ලා තියෙන්නේ..

ඒ කිව්වේ අර වැද්දෝ බන කියන වෙලාව..දන්නවනේ කවුරු කවුරුත්...
එකෙක් කවි කතා පවත්වනවා..තව එකෙක් වි වා හ ය අකුරු එක්ක ඔට්ටු වෙනවා...

මයික් ටයිසන්ලා ගොඩයි..ඒ අස්සේ මයික් ගැටින්ලා...හරියට නිකං අර අපේ එස් බී යූ එකේ හමුවීම වගේ...

කොහොම හරි ඔය අස්සේ අපිට පේනවා මිදුලේ කොනකට වෙන්න මොනවා නමුත් පෝරියල් එකක් සෙට් වෙනවා වගේ..

දඩි බිඩි ගාලා අපිත් පැන්නා එතනට...

මෙන්න බොලේ තට්ට සුමනේ පත්තු වෙලා..කියවනවා හතර පස්දෙනෙක් වට කරගෙන...

"මුංගේ අම්මලට...මුං මොක්කු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ...
මෙහෙමත් වැඩ කරනවද අසමජ්ජාතියෝ...වල් බල්ලෝ..."


මල මගුලයි..බැළුවා මොකක්ද කියලා සීන් කෝන් එක...
කට්ටිය දන්නවනේ ඉතිං ඔය මගුල් කාර් සැරසිලි ගැන...
ඉතිං අර වැදි බන සභාව අතරේම අපේ අයියලා දෙන්නෙක් අර මංගොල රථෙට පොඩි ඩැකරේෂොන් පැරක් දීලා...
ටිං ඛෙලෙක්ක ටිකක් එල්ලලා...කොළ අතු ගහලා...ඕවා ඉතිං මහ දේවල්යෑ..
හැබැයි බුවාට මල පැනලා තියෙන්නේ ඒකේ සිග්නල් දත් ඛෙහෙත් උපයෝගී කොරගෙන ලියලා තිබුනු වදන් වැල් වලට තමා...

වැඩි දෙයක් ලියලා තිබුනේ නැහැ...

"ගල් මෝල හෙට සිට වසා ඇත."
"box brokan today"
"ලෑලි විකිණිම අනිද්දා සිට.."


ඔන්න ඔච්චරයි..දැන් මේ තට්ට බුවා කෑ ගහන්නේ අර සිංහලෙන් ලියපු දෙකට නෙවෙයි..
ඉංගිරීසියෙන් ලියාපු එක අල්ලගෙන තමා...

ඔන්න ඔය අස්සේ ඔතනට ආවා තවත් උන්නැහේ කෙනෙක්...
ඒ උන්දෑ ඉතිං අපේ ගම් පැත්තේ ටිකක් වැදගත් උන්නැහේ කෙනෙක්..වයස අසූවකට විතර කිට්ටු ඇති..
ඉන්දරදාස මහත්තයා කිව්වම ඉතිං කවුරුත් දන්නවා. මිනිහා උගතා..
ගමේ හිටපු පැරණි පරම්පරාවේ උපාධිදාරියෝ සුවල්පය අතරින් මුල් කකුලක්.
ඉතිං ඒ දවස්වල මෑන්ස්ව අපේ ගමේ කොයි තැනක මගුලක් උනත් එක්කාසු කොරගෙන යනවා..වෙන මොකටවත් නෙවෙයි අර සාක්කියට අත්සන් කොරවන්ටයි..එතනින් ගියහම අර වැදි බණ ටයිම් එකට පොරයෝජනේට ගන්ටයි.

මිනිහත් ඉතිං ටිකක් අති පණ්ඩිත..ඒත් ඉතිං කොල්ලොත් එක්ක කොකු දා ගන්නවා අඩුයි...ඒ හින්දා අපි මෑන්ස් එක්ක වැඩි ආරෝවකුත් නැහැ...

දැන් උන්නැහේත් තමුන්ගේ කතා වාරය නිම කොරලා එහෙම හිටිය හින්දා මේ පැත්තට එන ගමන් එක පාරටම මේ කේස් එකට අත දැම්මා..

"මොකද මොකද සුමනේ...
මොකද මේ කෑ ගහන්නේ...?"


"බලන්නකෝ ඉන්දරදාස මහත්තයෝ මේ වල් හැත්ත කරලා තියෙන වැඩේ...
මං අහන්නේ මෙව්වා ලියනවද මේ වගේ දවසක මේ වාහනේ...
මහත්තයවත් බලන්නකෝ මේවා හරි වැඩද..මං අහන්නේ හරි වැඩද..?"


හරිනේ වැඩේ දැන්නං අපි හිතා ගත්තා අපිට ඔරිමජිනල් බණ ටිකක් අහගන්ට තමයි මේ සුවිශේෂී අවස්ථාව උදා වෙලා තියෙන්නේ කියලා..මොකද ඉතිං මේක අපි කාගේ කාගේත් සම්මාදං වැඩක් කියලා කවුද නොදන්නේ..
ඕක විතරක්නං මදෑ..
පාල අයියගේ හනිමොන් දා රෑට අදින සරම එහෙමත් මායි අපේ බුවෙකුයි මගුල අස්සෙම ගෙහුන් ටේලර් ෂොප් එකකට දීලා දඩි බිඩි ගාලා දස අතේ මැහුං ගස්සවලා එහෙමත් ගෙනල්ලා නේ තිබුනේ...සරම විතරක් නෙවෙයි ඉතිං උන්දෑගේ අනිත් වටිනා කියන එළියට නොපෙනෙන ඇගළුං වලටත් ඒ සෙතේම තමයි..
ඇයි දෙයියනේ..මුං දෙන්නට රැයක් එළි වෙනකල් කොරන්න වැඩක් තියෙන්නත් එපැයි...අඩු ගානේ මැහුං ලෙහන ගමන් කයියක්වත් ගහං ඉන්නේ නැතැයි.

නැත්තං ඔය වගේ වටින කියන දවසකත් ගොරොද්දේ ඇද ඇද නිදන්ට දෙන්ට හොඳයෑ...?
තව ඉතිං ඔය ඇඳුං බෑග් එකට විනාකිරි බෝතලේකුයි හුළං විස්කෝතුවකුයිත් පාර්සල් කොරලා දාන්ට හිතලත්..කට්ටියගේම නිර්දේශය මත ඒ වැඩේ අපි නවත්තලා දැම්මා හරි නැහැනේ...( දැන් අහංට එපා ඒවා මොකටද කියලා..දන්නෝ දනිති...)

ඉතිං මේ වගේ පසුබිමක් යටතේ අපි කවුරු කවුරුත් දැන් දොහොත් මුදුන් තියාගෙන අනුමෝදන් වෙන්ට තමයි සූජානම..ඇයි යකඩෝ සුමනේ ආචාරියතුමාගෙන් වරං ගත්ත ඉන්දරදාස ප්‍රවීනාචාරියතුමා අපිට දෙයිද කොහොම දීමක්...

ඔන්න ඉතිං ඉන්දරදාස මහත්තයත් තමුන්ගේ අර උපැස් යුවළ එහෙම එහෙම දාගෙන හොඳට බැළුවා මේ වාක්කිය රචනා දිහා...

සුමනෙත් අරින්නේ නැහැ..

"බලන්න ඉන්දරදාස මහත්තයෝ..හොඳට බලන්න..
මං අහන්නේ මේක හරි වැඩක්ද..?"


බොහෝම බැරෑරුම් විදියට ඔළුව හොල්ලලා එහෙම අපේ ඉන්දරදාස මහත්තයා කියනවා මෙන්න මෙහෙම...

"ඇත්ත සුමනේ..එහෙං පිටිංම වැරදියි..එහෙං පිටිංම වැරදියි..
කවුරු කොලත් මේ වැඩේනං වැරදියි..
කවුද මේක කොලේ..?
දන්නැත්තං අහගන්ට ඕනේ දන්න කෙනෙක්ගෙන්..
දැන් බලමු.මේ මෙතන අකුරක් වැරදියිනේ..මෙතන A අකුර නෙවෙයි එන්න ඔන E අකුරනේ..
එහෙං පිටින්ම වැරදියි...ඔක ලියන්න ඔන BROKAN නෙවෙයි BROKEN කියලානේ..."

20 January 2011

දුක නැතිවාමත් නොවේ...

වයස...16 යි..
එක්කෙනෙක් ඉන්නවනේ...
හිනාවේ අරුත...ඇය දන්නේත් නැත...
ඔයින් ගියා මදෑ...

................................

එක් දෙයක් පිළිබඳව සතුටු විය හැක...
ආයෙමත් වතාවක් හිත වෙනතක දිවවීමට උත්සහ කර බැලීමට හෝ හැකි වීමය...
මතකය ඇදුම් කන්නේ වූවද... මඳකින් හෝ එයින් මිදීමට හැකි බව වැටහීමද සහනයකි.

අද ජනවාරි 20 වැනිදා...

එක දිගට නොබී හිටපු 20 වෙනි දවස..

අද...නැහැ ඕන නැහැ.

එහෙම පිටින්ම නවත්තනවද..? අපෝ නැහැ..ඉඳලා හිටලා හරි ටිකක් ගන්න..එහෙමත් නැත්තං හිත හුගාක්ම රිදෙන වෙලාවට හිත හිරිවට්ටලා ගල් කරවලා දාන්න ඕන උනහම..ආන්න ඒ වෙලාවට නීති රීති එක්ක විඳවන්න ඕන නැහැ..ඒ හින්දා බීම අත ඇරලා නැහැ..ඒත් කොමාවක් දාලා තියෙන්නේ...
නැවතීමේ ලකුණු අනවශ්‍යයි...

19 January 2011

අටුව කැඩුවෙත් නැත..පුටුව හැදිල්ල කෙසේ වෙතත්...නිවිති වැල සහ මාරයා...

අද දවසත් ඔහේ ගෙවිලා ගියා...
දවසම තනියම..ඒත් පාළුවක් නැහැ..තනියට තනි රකින්න මතකය හැමදාමත් මාත් එක්ක...

අහස පොළොව වට පිටාව හරිම හිස් තැනක්...

ඒ උනත්.. ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්..කිව්වළු..

ඇයයි ඔබයි මමයි අපි තුන්දෙනෙක් නම්...තනි කමක් අහලකටවත් එයියෑ...

...........................

උදෙන්ම නැගිටලා උයා පිහාගෙන නාලා කාලා බත් එකත් බැඳගෙන වැඩට ආවා...
දැන් වෙනදට වඩා ටිකක් කළින් නැගිටිනවා...උදෙන්ම උයාගෙන එන හින්දා..අදත් පහයි කාලට නැගිට්ටා...

හයයි හතළිස් පහ වෙද්දී උයලා ඉවරයි..ඊට පස්සේ රැවුල කපලා නෑවා..උදේම නාන එක දැන් ජීවිතේම කෑල්ලක් වෙලා..මොකද නැත්තං වැඩට ගියහම දවල්ට නා ගන්න වෙන්නේ නැහැ...ඉස්සර තැනදීනං නාද්දී හැමදාම රෑ නවය පහු වෙනවා..
සමහර දවස්වලට නාද්දී රෑ එකොළහයි..ඒත් ඉතිං නා ගත්තේ නැත්තං රෑට කන ටික ඇගට අල්ලන්නේ නැහැ නැහැ වගේ...

අදනං පෝය දවස හින්දා දවල්ට නා ගත්තහැකි ඒත් පුරුද්දට වගේ අදත් නෑවා...
..............................

වැඩට එනකොට අද බඩු ගොඩයි...

අඩු, මිටි, නියන්, වර්ග කිහිපයකින් ඇන, ඇලිස් කටු, එතකොට මුළු මට්ටම, පැන්සල් කොටේ..
ජිග්සෝ එක...දැන් කාලෙක ඉඳලා මට කියතින් කපනකොට උරිස් ඇටෙ පොඩි රිදිල්ලක් එනවා.. සීමාවකින් තොරව බෝල ගැහීමත්..අඩු වයසෙන් වැඩි වැඩ කිරීමත් ආදී හේතුවල ප්‍රතිඵල තමයි ඉතින්..ඒ හින්දා මම දැන් පුංචි ජිග්සෝ එකක් පැවිච්චි කරනවා කියත වෙනුවට..ඒක පහසුයි..සමහරක් වෙලාවට ගැලපෙන්නේ නැති උනත්.

ඔය ඔක්කෝමත් එක බෑග් එකක,ලැප් එකත් එකට අයිති බෑග් එකේ..ඒ දෙකම කරේ එල්ලගෙන පිට පැත්තට දා ගත්තා...
ඒ මදිවට කෑම එකයි..තේ බොන්න ගන්න ක්‍රීම් කැකර් ටිකකුයි, අද රෑට කෑම එකක් ගෙන්න ගන්න කවුරුවත් නැති උනොත් කියලා මැගී නූඩ්ල්ස් පැකට් දෙකකුයි,ඒ ටික වෙනමම බෑග් එකක දාගෙන අතේ එල්ල ගත්තා..ඔන්න මාර පුතා හඳට යන්නැහේ ගෙදරින් පිටත් උනා...
අද එන්නේ පොඩි ගේමකට...?

.........................

උදේ හතයි තිස් පහ වෙද්දී මංතුමා රාජකාරි ඉස්ථානෙට වාර්ථා කොළා...
මගේ සගයාගෙන් රාජකාරිය බාර අරගත්තා...

"අද කවුරුවත් නැද්ද වැඩ පලේ..?"

" ඉන්නවා ජයා ඉන්නවා..."


ජයාව දන්නවා අපේ තිස්ස අයියානං..මතකද මංදා...අර එදා අපිට තේ බොන්න කතා කල සුන්දර මනුස්සයා...හරි හොඳ මනුස්සයා...

..........................

මම වැඩට එන්නේ හැමදාමත් යුනිෆෝම් එක ඇඳගෙනම තමා..උඩින් ජැකට් එක දා ගත්තාම අවුලක් නැතිව ආවෑකි..
ඉතිං පොත් පත්වල රාජකාරි එහෙම අහවර කොරලා යුනිෆෝම් ගලවලා දාලා බැහැ ගත්තා වෙන කළිසමකට..
හොඳ තේ කහට එකකුත් හදා ගෙන බීලා එහෙම බැස්සා වැඩට...

ආයතනය පිටි පස්සේ තියෙනවා ලට්ට ලොට්ට ගොඩක්..ඔය පිට රටවල් වලින් කෑලි බෑලි ගේනකොට ඒවා ගෙනාපු පෙට්ටිවල ලෑලි කෑලි එහෙමත් ටිකක් තියෙනවා..
හුගාක් එව්වා දිරලා ගිහින් වැස්සට තෙමිලාම...

පරිස්සමට ඉතුරු වෙච්ච ලෑලි පටි ටිකක් හොයාගෙන ගෙනාව ගාඩ් රූම් එකට...
දැන් තමයි ගේම පටාන් ගන්නේ...

කපනවා..ඉරනවා...මනිනවා..අඳිනවා..යාන්තං කෑලි බෑලි තෝරලා කොරලා..බොහෝම මහන්සියෙන් උදේ නවයට විතර පටන් ගත්ත වැඩේ දවල් දෙක මහාර විතර වෙද්දී හමාර කොළා..හ්ම්ම්...
ඔය තියෙන්නේ යන්තං පකිස් පෙට්ටියක් වගේ පුංචි කබඩ් කෑල්ලක්....

..............................

කළින් හිටිය තැන ගාඩ් රූම් එක මෙලෝ රහක් නැහැ..ඒත් ප්‍රධාන ආරක්ෂක නිලධාරී උන්නැහේ හැටියට මංතුමාට පියන් තුනේ කබඩ් එකක් තිබ්බා නෙව...හැබැයි දෙපැත්තේ දොරවල් තිබුනට මැද කෑල්ලේ පියන නැහැ..ඉතිං ඒකේ සීනි කිරි පිටි වගේම අපේ ගෝල බාලයන්ගේ පොඩි පොඩි කෑලි බෑලි දාගන්න දීලා තිබුනේ..හොඳට තිබුනු දෙකෙන් එකක් මා ළගට ඉන්න ස්ථානභාර නිලධාරී උන්නැහේට දීලා තිබුනේ...හැබැයි පරණ පොත් ටිකත් ඒකේ තමයි තිබුනේ...
අනිත් එක ඉතිං මං මගේ පුද්ගොලික පරිහරණයට තියාගෙන උන්නේ...
ඊට අමතරව මං ඒ දවස්වලත් තව ගෝලයෙක්වත් අල්ලගෙන තව කබඩ් එකක් හදලා දුන්නා අපේ ගෝල උන්නැහේලට..උන්නැහේලාගේ වටිනා කියනා දේවල් පරිස්සමට තියා ගන්න කියලා...

කොහෝමටත් එහෙ හිටපු කාලේ නිවාඩු දවස්වලට මං කොරන්නේ මොනවා හරි පරණ ලෑලි කෑලි ටිකක් අරගෙන මොන මොනවා හරි හදන එක තමයි..හැබැයි අපරාදේ කියන්න බැහැ එහෙ හිටිය එකවුන්ටන්ලා දෙන්නම මට ඉල්ලන පරක්කුවට ඔය පරණ ලෑලි..පැලට් එහෙම ගන්න අවසරේ දෙනවා...
එකවුන්ටන්ලා දෙන්නා කිව්වේ කොම්පැණි දෙකක් නේ..
එකක් එකවුන්ටන් කොල්ලෙක්..නියම බුවා...මිනිහා ආවත් හරි කොම්පැණියට හරි ගියා...හැම දේම හොයලා බලලා කරනවා..ලොකුකං ගෑවිලාවත් නැහැ...පුදුම සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් හාදයා...

අනිත් පැත්තේ නං එකවුන්ටන්ලා කීප දෙනෙක්ම හිටියා..එනවා යනවා...හැබැයි වැඩි හරියක් කාන්තා පාර්ෂවේ අය..දැනුත් ඉන්නේ හොඳ තරුණ පහේ කෙනෙක් තමා..ඊට කළිනුත් හිටියා කෙනෙක් එයත් එහෙමමයි..ඒ අයත් නරක නැහැ..හොඳට කතා බහ කරලා වැඩ කරගෙන යන්න පුළුවන්..ඒ කළින් හිටිය කාන්තා පාර්ශවේ එකවුන්ටන්ට කියලා තමයි මම අපේ ගාඩ් රූම් එකට සිවිලිම ගහන්න බෝඩ් ටික ඉල්ල ගත්තේ..
අපි යනකොට ඒකේ තිබුනේ වහලෙට කාඩි බෝඩ් ගහලා..කෑත කියන එකේ උපරිම...මම පස්සේ ඒවා ගලවලා දැම්මා...ඒ දවස්වල කන්ටෙනරයකින් ආපු බඩු වගයක් පැක් කරලා එවපු අටයි හතරේ වැනිස්ටා බෝඩ් බර ගානක් තිබුනා කිසිම පළුද්දක් නැති...කට්ටිය හුගාක් ඇහැ ගහගෙන හිටියේ ඔය ටිකට වැඩේ දෙන්න..
ඒත් මං ගිහින් අර එකවුන්ටන්ට කාරුණාව කියලා ඉල්ලූවා ඒ ටික...ඒ දවස්වල මං අපේ ගාඩ් රූම් එක ගාව වවලා තිබ්බා නිවිති වැලක්..ඒක නිකංම නිකං නිවිති වැලක් නෙවෙයි..අට පට්ටමට දාන්න ඇහැකි තාලේ එකක්...අඩි හතළිස් ගාණක් දිග එකක්..එකකුත් නෙවෙයි..එක ගානටම යන වැල් තුනක්...මම ඒකට ඔන්චිල්ලා බැදලා වගේ මැහි බැඳලා කරකවා කරකවා ලස්සනට යවලා තිබුණේ...

මං අපේ කළිං හිටිය ගෝලයෙකුට කියලා ගෙන්නගෙන හිටෙව්වේ ඔක..පස්සේ අපේ සරා ගොයියා බොහෝම උදව් පදව් කලා මට ඕක ලොකු මහත් කොරලා දෙන්ට...උදේ හවහා වතුර දානවා..ආයතනය ඇතුලේ හරකෙක් බඳිනවා මනුස්සයෙක් ඒ මනුස්සයාට කියලා ගොම ගෙන්නවගෙන දානවා...
සරාත් ඇවිල්ලා ගහට කොළට ළමයින්ට වගේ සලකන්නේ...
ඕකේ ඇට හැදුනාම ඒ ඇට වැටිලා පැල වෙනවා පුංචි පුංචි පැල දාස් ගාණක්..අපි දෙන්නගේ විනෝදාංශේ තමයි ඒ පැල ගලවලා ඛෙදලා දෙන එක...
හැබැයි අපි දෙන්නම මේ වැලේ කොළ කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ..ඒක තදබල නීතියක්..මොකද අපි ඒක වැව්වේ මල් ගහක් විදියට...

කොළ වලට බැල්ම දාන හැමෝටම ගිහින් හිටවගෙන කන්න කියලා පැල අහුරක් ගලවලා දෙනවා..

ඔය නිවිති වැල ගැන කියන්න ගියහම මට කියන්න දේවල් අප්පරමාණ හිතට එනවා..ඒ තරං පුදුමාකාර මිනිස්සු අපේ ඉන්නේ...
සමරුන්ට කොහොම හරි ඕකෙන් කොළයක් දෙකක් හොරෙන් කඩන එක තරං විනෝදයක් තවත් නැහැ..
කැඩුවට කෑවට ප්‍රශ්නයක් නැහැ..ඒත් ගහක කොළයක් උනත් ගහට හානියක් නොවෙන්න කඩන ක්‍රමයක් තියෙනවා..ඒත් මේ මිනිස්සු කොලෙත් කාලා ගහත් මරලා යන්න වගේ වැඩ තමයි කරන්නේ..
මම හැම ඉරිදටම ඔන්චිල්ලා ටික ලිහලා වැල බිම දිගේ දිග ඇරලා සාත්තු කරනවා...ඉඳුනු කොල පුංචි පිහියකින් කපලා අහක් කරලා...ඇට කිනිති හුගාක් තියෙනවනං.. ගහට පෝර දාලා තියෙන ගානට ඔරොත්තු දෙන තරමට විතරක් ඉතිරි කරලා ඒ ඇට කිනිතිත් අහක් කරනවා... හොඳම ඇටකිනිති ඉතිරි කරලා...

ඔය සාත්තුව දෙන්න ගියහම තමයි අහු වෙන්නේ මිනිස්සු හොරෙන් හදිසියට ඉති කඩලා තියෙන හැටි..අඹරවලා තලලා..ආයේ ඒ තැන් වලින් ඉත්තක්වත් දැන්නේ නැහැ..වැල වේලෙන්න අරගෙන...ඉතිං ඒ තැනුත් තනි කැපුමකින් ශුද්ධ කරලා ආයෙමත් ඔන්චිලි බැඳලා වැල එල්ලනවා..ඊට පස්සේ මුළු වැලේම තියෙන කොළවල දුවිලි යනකල් වතුර ඉහලා හෝදනවා...

ඉතිං ඔය නිවිති වැල අර එකවුන්ටන් නොනා මහත්තයාටත් අල්ලලා ගිහින් තිබුනේ..ඒ හින්දා මම ඉල්ලන පරක්කුවට අර බෝඩ් ටික මට හම්බ උනා...විකුණුවනං රුපියල් හත් අට දාහක බෝඩ්...

කොහොම හරි මම ඒ බෝඩ් ටික අරගෙන නිවාඩු දවසක ඇවිල්ලා කපලා කරලා සිවිලිමත් ගැහැව්වා...

ඔය විදියට..පොත් තියන්න වගේම රෑට පොඩි දිගැදුම් ව්‍යායාමයක් කරන්න ඇහැකි විදියට පොත් මේසයක් එහෙමත් දිගට ගහලා තිබ්බා නෙව...

ඔය වගේ මගේ හුට්ටප්පර ඇටවීමේ කලාවක් තිබ්බා...
ඉතිං දැන් ඒ ඔක්කෝමත් අතීතයට එකතු වෙලා ඉවරයි...

දැන් ඉතිං මෙතන ඉස්තීර පදිංචියට ලක ලෑස්ති වෙන්න එපැයි...
මෙහේ හරි හමන් කබඩ් කෑල්ලක් නැහැ නෙව..යන්තං තුංහුලස් මොකක්ද එකක් තියෙනවා..ඒක අනිත් හාදයා පාවිච්චි කරනවා..මං නිලයෙන් උඩිං හිටියට ඒ මනුස්සයා දැන් කාලයක ඉඳලා මෙතන පදිංචි කාරයා..හැබැයි ඊට කළින් මගේ කළින් තැන මගේ යටතේ හිටිය බොහොම හොඳ මනුස්සයා..මංමයි කියලා උසස්වීමක් එහෙම දීලා තිබ්ඛෙත්..
ඒත් පස්සේ පොඩි පොඩි සීන් කෝන් ටිකක් හින්දා අපි මනුස්සයාව මෙහෙට එව්වා..
මෙතන මිනිහාගේ ගෙවල් ළගමයි...ඉතිං මිනිහාට නරකක් නැහැ...
දැන් කාලයක් තිස්සේ මෑන්ස් මෙතන පදිංචිය..ඉතිං මං මට අවශ්‍ය කොරන දේවල් හදා ගන්න එක හොඳයි නෙව...

ඒ හින්දා ඔන්න අද යාන්තං කබඩ් එකක් හදා ගත්තා...තනි පියනේ දොර..ඇතුලේ තට්ටු දෙකයි උස අඩි දෙක හමාරකට ටිකක් වැඩියි.පළල අගල් විස්සයි..දිග අඩි දෙකයි...හොඳ හයිය හත්තිය...හුම්..

තව එකක් ඉතුරුයි..මං අදම මේක අහවර කොරන්න හම්බ වෙයිද කියලා දන්නේ නැති හින්දා සරනේරු දෙකකුයි කොණ්ඩි පට්ටමකුයි ගෙනාවේ නැහැ..අද හාඩ්වෙයාරුත් වහලා නෙව..
ඉතිං අනිද්දට එනකොට ඒ ටිකත් ගෙනල්ලා හයි කොරන්ට ඕන...
ඊට පස්සේ වැඩේ සම්පූර්ණයි...ලෑලි ටික යතු ගාලා තිබ්බානං පංකාදු පහයි..ඒත් ඉතිං ඔයත් මදැයි...

ඔන්න ඔහොමයි අද දවස ගෙවුනේ...නාලා කරලා දවල්ට කද්දී තුනත් පහු වෙලා...
හවස් වරුව සැපට හිටියා... බ්ලොග් බල බලා...
බයික් එක හෝදන්න ගිහිල්ලත් ආපහු ආවා..ඉරිදටම හෝදනවා කියලා හිතලා...
ඒ අස්සේ තවත් කරදරයක්...
කකුලේ තැනක් පැලිලා..ඉන්ඩ බැහැ දනවා..ඔය කකුල් පැලිල්ලත් එක්ක මට මතක් වෙන තව කතාවක් තියෙනවා..ඒක පස්සේවත් ලියන්න බලමු...

17 January 2011

ගලාපන් සුරා විත..දවා මගේ හදේ දුක...

දන්නෙහිද නුඹ මිතුර..
නුඹ නොමැති ලොව අඳුර..
හැඩක් නැති..රසක් නැති..
දුක පිරුණ තැනක් වෙති..

අතැර යන්නට සිතා..
නුඹ දුරස් කෙරූවද..
නුඹ නොමැති අඩුව මට..
රැය පුරා දැනේමය..

අද දිනේ නැති උවද..
හෙට දිනේ එන්න ඔබ..
විකල් වූ සිතේ දුක..
දවා හළු කරන්නට..

පුරා විත සුරාවෙන්..
දරා අත නුරාවෙන්..
නුඹ සමග ගෙවන රැය..
යළි පහන් උනාවෙන්..

බිඳුනු පෙම් සිහිනයේ..
රුදුරු මතකය මකා..
සිතට සැනසුම ගෙනා..
මගේ සුමිතුරු සදා..

නුඹ නොමැති රාත්‍රිය..
බිහිසුණුය බියකරුය..
වහ වහා දිව ඇවිත්..
මගේ තනි මකනු මැන..

අතීතේ මා සමග..
බැඳි ආ නොම බිඳී..
නුඹ පමණි ළග රැඳී..
සදා සුමිතුරු මගේ...

දෙයියෝ දනී..සමහර විට මාත් දනී...

හොඳායි...ඊ ළග එකත්...
අද ඉතිං ලියනවා ඇර වෙන මක්කා කොරන්නද..?
උදේ ඉඳන් මේ වෙන කොට පෝස්ට්
1
2
3 ක් දැම්මා නෙව...

දැන් ඊ ළග එක

මම ඊයෙද කොහේද බාගයක් කියාපු කතාවක් තියෙනවා නෙව අහවර නොකරාපු..
දැන් ඒකට අත ගහමු.
බැළු වේ නැත්තං මුල කෑල්ල බලලා ඉන්ටත් වෙයි..

හරි මම නැවැත්තුවේ දොළොස් වෙනිදට එළි වෙන්න නෙව..

කොහොමින් හරි එදාත් ගියා වැඩට මම යන්නේ අටටනේ..අර කළින් දවසේ මුලින්ම හින්දා ඒ ළමයි අටට ආවට අද ඉඳලා හතට වැඩට එන්න එපැයි..ඉතිං මං යන කොට පෙරහැර ගිහින් ඉවරයිනේ..

ඒ මදිවට මං වෙනුවට අළුතින් එවන හාදයත් ඇවිත් හිටියා ඉතිං උන්දෑව පුහුණු කොරන්නත් එපැයි...
ඒ ඔක්කෝමත් අතරේ වැඩ පල කප්පරකට..තනි මිනිහෙකුට කරන්න අමාරුයි...ඇස් හයකුයි..
අත් හතර පහකුයි..ඒ විතරක් නෙවෙයි ඇහෙන ඒවට යොමු කරන්න හිත් තුන හතරකුත් එපැයි..

කොහොම හරි යාන්තං දවල් දොළහට ඔන්න මෙන්න තියලා ටිකක් විතර ඉස්පාසුවක් තියෙනවා වගේ දැනුනු හින්දා කස්ටියට වැඩෙ බාර දීලා ගියා මං ගියා ආයතනය අභ්‍යන්තරය පරීක්ෂා කොරලා බලනවා කියන බොහෝම බැරෑරුම් රාජකාරිය කොරන්ට...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට ඔනයෑ...
ගියේ ඉතිං පැකින් අංශයට...

ආ මම මෙච්චර කල් කිව්වේ නැහැනේ මං හිටපු තැන මොනවද කොරන්නේ කියලා...
දැන් ඉතිං මං එතන නැති හින්දා කියලා දාමු..හැබැයි අපේ රංගයටනං මං එදා බ්ලොග් කරුවන්ගේ හමුවේදී ටිකක් විතර කිව්වා...

මෙතන නොහදන්නේ ළමයි විතරයි..ඒකත් නැතුවාම නොවෙයි..ඒත් ටේ‍රඩ් මාක් එක වෙනස් නෙව..හරියටම නිෂ්පාදකයා කවුද කියලා හොයා ගන්ට බැහැ..

මෙක ප්‍රධාන වශයෙන් කොම්පැණි දෙකක් හැටියට තිබිලා දැන්නං එක ආයතනයක් විසින් අනිත් ආයතනයත් අල්ලා ගත්ත හින්දා එක අයිතිකාරයකු යටතේ දුවනවා.

ඊට කළින් තිබ්බේ දෙකක් හැටියට..

එක පැත්තක ඔය ඇසුරුම් වැඩට ඕන කරන ගම් ටේප්..ස්ටේ‍රපින් පටි...පොලිතින් බෑග්..කාඩ්බොඩ් පෙට්ටි වගේම කොම්පියුටර් ෂීට් වගේ දේවල් හදනවා..අනිත් පැත්තේ ආයතනයේ භාණ්ඩ එක් රැස් කරලා ඛෙදා හැරීමේ ව්‍යාපාරයක් සහ මදුරු කොයිල් නිෂ්පාදනය කරනවා...
අර භාණ්ඩ ඛෙදා හැරීමේ අංශයට හුගාක් දේවල් තියෙනවා...
මදුරු කොයිල්..සැමන්..ටොයිලට් ක්ලීනර්..විනාකිරි..සබන්..සෝයා මීට්...එයාර් ෆ්රෙෂ්නර්...කාර් ෂැම්පු..ග්ලාස් ක්ලීනර්..ඩිෂ් වොෂ් පව්ඩර්, ලික්විඩ්..ජෙලි ආශ්‍රිත කෑම වර්ග..ටිපි ටිප් වර්ග..තව ඉතිං ඔය කාන්තාවන්ටම අවශ්‍ය තරන සුවිශේෂි නිෂ්පාදනයක් එහෙමත් තියෙනවා..ඔය කතිව්වාට වඩා පුංචි පුංචි කෑලි බර ගාණක් තියෙනවා..

ඉතිං අපේ ළමයා අනිවාර්යයෙන් වැටෙන්නේ පැකින් සෙක්ෂන් එකට.. ඒ කිව්වේ මදුරු කොයිල් අසුරුම් අංශයට..කරන්න තියෙන්නේ ඛෙල්ට් එක දිගේ එන කොයිල් පැකට් එක කාඩ් බෝඩ් පෙට්ටියට දාලා ඒ වගේ ඇසුරුම් සීයයක් ලොකු කාඩ් බෝඩ් පෙට්ටියකට අසුරලා ටේප් ගහලා වහන්න..

ඉතිං මාත් අර කියාපු රාජකාරී ස්වරූපයෙන්ම ගියා ඔතනට යනකල්...

එතනට යනකොටම ඉතිං ඛෙල්ට් එකේ හිටපු කාන්තා පාර්ෂවයේ ඇත්තියෝ ටික පටාන් ගත්තේ නැද්ද විලාපේ..
පොච්චියේ මං යන විත්තිය උන්දලා දැනගෙනනේ...

මෙච්චර දවසක් ඉතිං මොන තරං කස්ටියට සද්දේ දාගෙන හිටියා උනත් ඔය කාන්තා පාර්ශවේ අය මට බොහෝම ලෙන්ගතුයි නෙව...
මොකද ඉතිං ඕන කුණුහරපයක් කැත නැතිව කියන්න පුළුවන් කටක් මට තියෙනවා නෙව...

ඔය ගෑණු උදවියත් හරි ආසයි නෙව ඒවා අහන්ට...අර මං කළින් වතාවකත් කිව්ව නමේ අරුතේ කතාව වගේ තමයි..

ඉතිං ඒ හින්දා මාත් එක්ක ඔය උන්දලා ටික බොහෝම ෆිට්.
හැබැයි රජෝ අපේ නීති පොත් වලට අනුව ඒ තරං ළගින් අපිටයි එයාලටයි ඇසුරු කොරන්න බැහැ..ඒත් ඉතිං අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නොවෙන්න ඒ හැම දේම බැලන්ස් කරගෙන මංතුමා හිටියා..

ඔතනදී මට තිබුණු වාසිය තමයි මොන මොන හරුප කිව්වත් මං ඔය උන්දලත් එක්ක අනවශ්‍ය සම්බන්ධකං හදා ගන්ට නොයා සිටීම...

විවාහය කල් යන්ට යන්ට ගෙවල් වලින් බර බරේ වැටුනු ලමිස්සියෝ දෙන්නෙක් තුන් දෙනෙක් විතර මට ලයින් දැම්මට..මං ඉතිං ෂේප් න්‍යායෙන් වැඩේ කරගෙන ගියා..

දැන්නං උන් දන්නවා මං උන්ට පටලැවෙන්නේ නැහැ කියලා..ඒත් ඉතිං අනේ වස්තුවේ කියලා කතා කොරන අයනං නැතුවා නොවේ..අර මං කළින් කවියකුත් ලිව්වේ එහෙම එක්කෙනෙක් ගැන..

හැබැයි කතාව විතරයි..වෙන කචල් නැහැ..කට්ටිය හිනස්ස හිනස්ස ඉන්නවා ඇර...ඒ හින්දා ඒ අයත් දැන් බුදු ෆිට්...

ඒත් එක්කම මං දැක්කා ළමයා ඉන්නවා ඛෙල්ට් එකේ කවුරුවත් නැති පැත්තෙන් හිටගෙන තනියම කොයිල් පැක් කර කර...හප්පද බොල පළවෙනි දවසේ මම දකිද්දී හිටියේ බොහෝම චාම් විදියට මල්ටි කලර් සායකුයි..ලා රතු පාට ටීෂර්ට් එකකුයි ඇඳලානේ..හරියටම කිව්වොත් ටිකක් ගොඩේ පාටයි කියමුකෝ..ගොඩේ කියන එක නරක දෙයක් නෙවෙයි..ඒකත් කියලා හිටින්න එපැයි..අපිත් අමුම අමු ගොඩයෝ නෙව...

ඒකටත් එක්ක...
අද බලන්න එපැයි...ඩෙනිමකට බැහැලා..ලස්සන රෝස පාට කඩා හැලෙන බ්ලව්ස් එකකුත් ඇඳලා..කොණ්ඩෙත් ඊයේ වගේ දිගට කඩා දාලා නෙවෙයි..පෝනියක් දාලා...මට මොනවද ඉතිං කෙළින්ම මතක් උනේ අරයාව නෙව..
ඒ ගැස්සිල්ලමයි...ඒ ෂේප් එකමයි...හැබැයි එයාගේ ෆේස් කට් එක නෙවෙයි..ඇස් නං ඒ ඇස් වලට ළගින් යනවා...
කෙල්ල මාව දැක්කා මෙන්න අර පඩත්තල හිනාව..ඒත් ඊයෙට වඩා ටිකක් හොඳයි වගේ...
මාත් ඉතිං ඒ දිහාටත් ඇස් යන්තං යවන ගමන් අපේ ඇත්තියෝ එක්ක කතා බහ කොරනවා...

ඉතිං කොහොම හරි මම අර උන්දලත් එක්ක කතා කොර කොර ඉන්නඑක මැෂින් වල සද්දේ හින්දා පුංචි එකීට ඇහෙන්නේ නැහැ..
මං ඉතිං එයාට කියන්නයෑ..

මම අදින් පස්සෙ මෙහෙ නැහැ ළමයෝ..ඇත්තටම ඔයා කවුද? කියනවකෝ..කියලා...

කොහොම හරි එතැන ටික වෙලාවක් ඉඳලා හැම කෙනාටම ආයිබෝං කිය කිය වටේම ගියා...ඒත් අර දරුවා ඇර...

ඊට පස්සේ මං එතනින් ගියා..ආපහු එනකොට දවල් කෑම වෙලාව..මම ආවා මා ළග තිබුණු යතුරු වගයක තොරතුරු මානව සම්පත් නිලධාරිනියට දෙන්න කියලා..මෙන්න මෙ ළමයයි අනිත් මෑන් පවර් එකෙන් වැඩට දාපු ගෑනු ළමයි දහ දොළොස් දෙනක් එතන..ආයෙමත් ඇස් මං ගාව..හිනාව තොල් අග...

මටත් දැන් මේකි දකින දකින වාරයක් ගානේ තනියම හිනා යන මට්ටමට ඇවිල්ලා...

කොහොම හරි එයාලාත් එක්ක කතාව නවත්තලා අර නිලධාරිනිය මාත් එක්ක කයියට සෙට් උනා..ඒ අතරේ මං යන්න කළින් අහගන්න තියෙන තොරතුරු මගෙන් අහගෙන කොම්පීතර උන්නැහේට බාර දෙනවා..අරුන් ටික මං දිහා බලං ඉන්නවා..පව් හත්දෙයියනේ මුන්ගේ කෑම වෙලාව..මාත් පුළුවන් තරං කතාව කෙටි කරලා ආපහු ආවා...

එච්චරයි...ආයේ එදා දවසටම දකින්න හම්බ උනේ රෑ හතට එයා වැඩ ඇරිලා යනවා..විතරයි..ඒත් යන්තං බලනවා ඇර..මට කතා කරන්න තියා හුස්ම ගන්නවත් බැරි තරමට වැඩ...
යතුරු බාර ගන්න..ඒවා පොත් වල ලියවන්න...කට්ටිය කාඩ් ගහන එක හරියට කරනවද කියලා බලන්න...ෂෆ්ට් එක ඕෆ් වෙලා එළියට යන දෙසීයක් විතර කට්ටියව හරියට පරීක්ෂා කරනවද කියලා බලන්න...
ඒ අතරේ ඩිලිවරි ගිහින් ආපු වාහනත් ඇවිත්..ඒවායේ රිටන් බඩු පරීක්ෂා කරවන්න...
බ්ල් වලට ගෙනාපු බඩු හරියට තියෙනවද කියලා චෙක් කරන්න...
මල කෙළි දාහතයි...

අනේ ඉතිිං අරයත් ඒ අස්සෙම මාරු වෙලා ගිහින් එයාලගේ වෑන් එකෙන් වාඩි උනා..මං වැඩ...

දැන් පහුවදා උදේ..?ඒ කියන්නේ දහතුන් වැනිදා උදේ...

කෙල්ල ආවා..පොත අස්සන් කරන්න මං ඉස්සරහට එන්න එපැයි...

මේ වෙනකොට මං අපේ ගේට්ටුව භාර උන්නැහේට නිකං කියලා තිබුනේ මේ දැරිවි ගැන..
හැබැයි මං කිව්වේ කෙල්ලගේ මොකක් හරි අමුත්තක් තියෙනවා...ඒත් මොකක්ද මංදා සරෝ කියලයි..(හරි හොඳ මනුස්සයා වයස පනස් ගානක්..ඒත් කොල්ලා වගේ..)

මෙන්න ගත් කටටම කියපි

මොනවද සර්..බලමු ට්‍රයි කරලා..කියලා..මගෙ රෙදි නැහැ..ඇයි යකෝ මං කවද්ද කෙල්ලන්ට ට්‍රයි කලේ..?

කොහොමත් මෑන්ස් මට පිළිවෙලක් කොරන්න බොහෝම මහන්සි වෙන හාදයා...
මිනිහත් ඉතිං ආයතනයෙන්ම කිහිප දෙනෙක් එක්කම පිළිවෙලක් වෙලා හිටියේ..මං ඉතිං ඕවට සයිඩ් සපෝට් දෙනවා..නොදන්න ගානට..ඒ හින්දා බුවා බලාගෙන ඉන්නේ මං වැඩකට අත ගහන්නේ කවදද කියලා..අනික මගේ පරණ කතා ඔක්කෝමත් මෑන්ස් දන්නවා

ඒ හින්දා නිතරම මට වැඩිහිටි උපදෙස් සරාගෙන් තමයි...ඒත් අප්පා මට නිකං දැන් ලැජ්ජයි ලැජ්ජයි වගේනේ..
හේතුනං ඉතිං අප්පරමාණයි...

කොහොම හරි මෑන්ස් කෙල්ලව බලා ගත්තා..ඒත් වැඩි ප්‍රතිචාරයක් නැහැ..මට හිතුන දේම උන්දැටත් හිතුනා වෙන්න ඇති...

ඉතිං ඒ දර්ශනය එතනින් අහවරයි...
ආ..මං ඉතිං පොත අස්සන් කරන්න ආවාම ගම අහ ගත්තා...
නමනං ඉතිං පොතෙන් බලා ගත්තා...කෙල්ල අහන ඒවට උත්තර දෙනවා හිනා වෙවී..මං නිකං බයිට් ගෝනියක් වගේ පේනවද මංදා..?

කොහොම හරි මම ආයෙමත් දැක්කේ නැහැ දරුවව...

හ්ම්ම්ම්..අනේ මන්දා..දෙලොවක් අතර සිරවීම කියන්නේ මාර අවුලක්...

මේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ.
මට ඒ ළමයා හුරුයි වගේ දැනෙනවා වගේ ඒ ලමයටත් මං ගැන මොනවා හරි මතකයක් තියෙනවාද..?
ඇත්තටම මට අමතක උනාට එයා මාව දන්න කෙනෙක්ද..?
අනේ මන්දා...?

දැන් තියෙන ගැටළු..?

ඇත්තටම මම ආයෙමත් ආදරයක පැටලෙන්න එනවද..?
එහෙමත් නැත්තං මොනවා හරි මතකයක් මාව අවුල් කරලද..?

කොහොමටත් එ ළමයට අවුරුදු දහ අටකට වඩා වෙන්න බැහැ

මට තිස් එකක් දැන්..ඒ හින්දා ආදරයක් ගැන හිතන්න මට ලේසි නැහැ...

ඒ වගේම අපිට ආයෙමත් හම්බ වෙන්න ලේසි නැහැ.
මොකද මට අපේ ආයතනය අවට සැරි සරන්න බැහැ වැඩ ඇරෙන වෙලාවට..මොකද එතකොට කට්ටියම දැන ගන්නවා මොකක් නමුත් සෙමාරිස් වැඩක් තමයි කියලා...
අනික එතකොට අර මං කළින් කිව්ව මට ලයින් එකේ ඉන්න අය මොන වගේ ගේමකට සෙට් වෙයිද දන්නේ නැහැනේ..මොකද ප්‍රතික්ෂේප කළ ගැහැනුන්ගේ වෛරය මොන වගේද කියලා මම දන්නවා...

කොයි තරම් හොඳින් හිටියත් තමුන්ට කැමති නොවී වෙන කෙනෙකුට කැමතියි වගේ පෙනුනොත් අර යට වෙලා තියෙන ඊරිසියාව මතු වෙනවා...

ඉතිං වැඩි කැටයම් දාන්න යන්න බැහැ.

එකම දෙයයි තියෙන්නේ..මෑන් පවර් එකේ අයිතිකාර අයියාගේ වයිපරේ...
උන්දෑත් මාත් එක්ක ෆුල් ෆිට්..කට්ටිය වැඩට දාන්න ඇවිත් කතා බහ කරලම..
ඒත් එයාලගේ ව්‍යාපාරයට සම්බන්ද කරුණකට මැදිහත් වෙන්න කියන එක ඒ තරම් හරි නැහැ...

ඔන්න ඔය වගේ ප්‍රශ්න හුගාක් හින්දා මං දැන් ඉන්නේ වැට උඩ...

මම හිතනවා වැඩිදත් මන්දා..
ඒත්දැන් ඉස්සර වගේ බැහැ..පොඩි කාලේ කරපු දේවල් තරන්න මම දැන් මම වයස වැඩියි...
මීට අවුරුදු දහයකට දොළහකට කළින්නං මම දෙපාරක් හිතන එකක් නැහැ.
ඕනනං විනාඩි දහයක් කතා කරන්න වෙයි...

ඒත් දැන් මට හිතන්න හුගාක් දේවල් තියෙනවා...

කොහොම උනත් මං හැම දේම අනාගතේට බාර දීලා බලාගෙන ඉන්න කැමතියි.
වෙන්න තියෙන දෙයක්නං මොන අවුල ආවත් කෙරෙයි..නැත්තං ඕන මගුලක්...
හැබැයි ඔය කිව්වට හෙට උදේට මොනවා වෙයිද කියලා දන්නේ දෙයියොම තමයි...?

හිමේ නැග්ම 2 සහ මාරයාගේ පිරිත් කතා...

ඔයින් මෙයින් මම පිළි වෙලකට හිමේ නැග්ගේ මහණ වෙන්න කළින් අවුරුද්දේ තමයි...
ඒ දවස්වල මම පන්සලේ ගිහියෙක් හැටියට හිටිය කාලේ නෙව...
අපේ පන්සල පිහිටි ප්‍රදේශයේ පිහිටි පන්සලක හිටිය හාමුදුරු කෙනෙක් වර්ෂයකට වතාවක් සිරීපාදේ පිරිතක් ලෑස්ති කරනවා..දෙසැම්බර් 31 වෙනිදා තමයි දවස...

ඉතිං ඒ හාමුදුරු ගොල්ලත් එක්ක වන්දනාවේ යන්න මටත් හම්බු උනා...
හාමුදුරු ගොල්ලට ඇප උපස්ථාන කොරගෙන වැඳ පුදාගෙන බොහෝම හොඳින් වන්දනාව කොරගෙන ආවයි කියමුකෝ...

ඔන්න ඊට පස්සේ තමයි වැදගත්ම වන්දනා සමය ආවේ..
එතකොට ඉතිං මම මහණ වෙලා...

ආයෙමත් අර වාර්ෂික පිරිත...ඉතිං පිරිත් දේශකයාණන් වහන්සේ නමක් හැටියටත් තුන් පාරක්ම හිමේ නැග්ග හින්දා
දැන් මටත් බය නැතිව ඊ ළග මුරේ පද්මේ වඳින්න ගියොත් අර ඝණ්ඨාරේ ලෝභ නැතිව හත් පාරක් නාද කොරන්න ඇහැකි...

ඔය පිරිත් දෙසුමට ගිය මුල වංගියේනං මං ටිකක් සූදානං ශරීරෙන් ගියේ වැඩි පුර සිවුරක්..විශේෂයෙන්ම දෙපට සිවුරක් එහෙමත් අරං ගියා..මොකද ගිහියා කාලේ වගේ සAවීටර්..ජැකට් දාගෙන යන්නයෑ...

සිව්රු පෙරවද්දී ඩංස මකස වාතාතප සිරිංසප සම්පස්සානං පටිඝාතාය..කියලා ප්‍රත්‍යවේක්ෂා කොලාට කවද්ද ඉතිං සීතල සිව්රෙන් මුවා කොරන්ට සිද්ධ උනේ..මේ පළවෙනි වතාව නෙව..

කොහොමටත් මකර තොරණ ළග තියෙන පන්සලෙත් ඒ දවස්වල වැඩ හිටියේ අපේ බොහෝම හිතවත් හාමුදුරුනමක්.
ඉතිං උන්වහන්සේගේ ආගන්තුක සත්කාරත් විඳගෙනම අපි නඩේම නැග්ගා හිමේ...

අපි ඔක්කෝම හාමුදුරුවරු දහ නමයි...තව මේ වැඩේට අත හිත දෙන කොළඹ බෞද්ධ කවයක තරුණ කොල්ලෝ කෙල්ලෝ විස්සක් විතර තමයි ඔක්කෝම නඩය..අපරාදේ කියන්න බැහැ උං ටිකනං හරිම හොඳ දරුවෝ ටිකක්..පුදුම කැපවීමක් තියෙන්නේ...
මං හිතන්නේ අදටත් ඔය වැඩේ කෙරෙනවා.අර කොල්ලෝ කෙල්ලෝ ටිකේ උත්සහය හා උනන්දුවත් අපේ හාමුදුරුවන්ගේ කැපවීමත් මත...

ඉතිං සාමාන්‍යයෙන් අපි පිරිතකට දොළොස් නමක් විතර සූදානං කර ගන්නවා...
සුයළුම හාමුදුරුවරු මහ පිරිත කියලා..ඊ ළගට දෙනමක් පොත කියවනවා..ඒ ඒ කියන්නේ දසධම්ම සූත්‍රයේ ඉඳන් ඉසිගිලියට යනකල්...

ඊ ගාවට තවත් දෙනමක් සූත්‍ර දේශනාවට වඩිනවා...ඔය මහා සමය..කසීභාරද්වාජ..ආලවක..එතනින් ගියහම ධම්මචක්ඛප්පවත්තන සූත්‍රය ඇතුළු සූත්‍ර (මට මතක විදියට හයක් වෙන්න ඕන..හතක් කියලත් යටි හිත කියනවා...)
කිහිපයක් තමයි සූත්‍ර දේශනාවට අයත් වන්නේ..ඒත් අපේ අය අතර ඕක ප්‍රසිද්ධ ධම්මචක්කේ කියනවා කියලා තමයි...

ඉතින් ඊට පස්සේ හමාර දේශනාව එහෙමත් නැතිනම් ආටානාටිය සූත්‍රයේ පළමු භාගයට හතර නමකුත්..දෙවන භාගයට හතර නමකුත් වශයෙන් අට නමක් ඕන කරනවා.
දැන් එතකොට ගාන හරිනේ..

පොත කියවන්න දෙනමයි
සූත්‍ර වලට දෙනමයි..
ආටානාටිය පළමු භාගයට හතරනමයි
ද්වීතිය භාගයට හතර නමයි..ඔක්කෝම දොළොස් නමයි...

ඒත් ඉතිං පිරිත්වලට දක්ෂ වැඩිහිටි හිමිවරුනට හිමේ නැගීමේ තියෙන අපහසුතාවයත්..
නගින්න පුළුවන් උනාට පිරිතට හරියන්නේ නැති හයිය හත්තිය තියෙන හිමිවරුන් හිටියත්..
එහෙම පිරිස වැඩි වීම ගමනට බාධාවක් වීම හැර වෙන ප්‍රතිඵලයක් නැති නිසා සීමිත පිරිසක් තමයි ගමනට තෝරා ගන්නේ...

කොහොම හරි මාත් ඉතිං මුලින් මුලින් පොතේ පදිංචි උන හාදයා නෙව..
ඒ කියන්නේ අර මුළින්ම පොත කියවනවා කියන කොටසේ ස්ථීර පදිංචි කාරයෙක් උනා...
ඒ කොටස තමයි පිරිත්වල තියෙන ටිකක් පහසු කොටස..
ඒකෙත් දක්ෂ එක හාමුදුරු කෙනෙක් හිටියත් ඇති අනිත් කෙනාට තියෙන්නේ නිදා ගන්නේ නැතිව අග අල්ලගෙන යන්න තමයි..මාත් ඉතිං මුළිං මුළිං ඔහොම අග අල්ලන්නෙක් බවට පත් උනා...
ඊට කළින් මට ගිහි පිරිත් පිළිබඳව පොඩි පළ පුරුද්දක් තිබුනා උනත් ගිහි පිරිතට වඩා සාංඝික පිරිත බොහෝම රසවත්..
අද වෙන කොට සමාජයේ මොන මොන මතවාද තිබුණා උනත් අදටත් මටනං ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා...

මොකද මාත් ඉස්සර හිතුවේ කවුරු කිව්වත් පිරිත්නේ කියලා..
ඒත් අද වෙනකොට මං අත්දැකීමෙන් දන්නවා දෙකේ වෙනස...
ඉතිං පොතේ පදිංචිවෙලා ඉඳලා කොහොමින් කොහොම හරි පොතේ මුල කියන්නා හැටියට ටික කාලයකින් පත් වෙන්න ඇහැකි උනාට පස්සේ මං උත්සහ කලේ සූත්‍ර දේශනාවට...

ඒත් ඒක මට හරි ගියේ නැහැ..මොකද ඔය දසධම්ම සූත්‍රයේ වගේම ධම්මචක්කෙත් තියෙනවා බොහෝම සිරු මාරුවට ඇදලා කියන තැන්..හරි හමන් විදියට බින්දුවක් අහුඋනහම සමහර හාමුදුරුවරු අදිනවා ඇදිලිලක් මට තුන් පාරක් හුස්ම අල්ලලත් බැහැ අර හාමුදුරුවෝ එක හුස්මට අදින ඇදිල්ලේ භාගයක්වත් අදින්න.
ඉතිං මම එතනින් ටිකක් බැහැර උනා..

ඇත්තටම පිරිතක හොඳම හරිය තමයි සූත්‍ර දේශනාව..ඒක් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..මගේ පස් අවුරුදු මහණ ජීවිතේටම මට හමුවෙලා තියෙන්නෙත් අතේ ඇගිළි ගාණටත් වඩා අඩුවෙන් තමයි සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරු.

හැබැයි ඉතිං සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරුන්ට පුදුම ඉල්ලූමක් තියෙන්නේ පන්සල් වලින්..හැතැම්ම විස්ස තිහ උනත් දුර ඉන්න හාමුදුරු කෙනෙකුට බේරිලා ඉන්න නැහැ..හැමදාමත් වගේ කොහේ හරි පිරිතක් යෙදෙනවමයි..
එක පැත්තකින් හොඳ වගේම තමයි..කවදාවත්ම හරි හමන් නින්දක් නැති වෙන වැඩක් ඒක...

සාමාන්‍යයෙන් පිරිතක පිරිත පුරන්නෙත් ඔය සූත්‍ර දේශනාවට දක්ෂ හාමුදුරුවරු දෙන්නම තමයි...
පුරනවා කියන්නේ අර ජයමංගල ගාථා එහෙම කියලා මහ පිරිතට කළින් ඉඳලාම මුල අල්ලන එකට නෙව...
ඉතිං පිරිත් කාණ්ඩෙ ඉන්න හොඳම හාමුදුරුවෝ තනිවම වාගේ එක පැත්තකටත් අනිත් හැමෝම අනිත් පැත්තටත් හැටියට තමයි පිරිත පිරීම වෙන්නේ...

හා දැන් අපි යමු සූත්‍ර වලින් පස්සේ එන කොටස..ඒ කියන්නේ මාරයා උන්නාන්සේ පස්සෙන් පහු කාලේ ස්ථීර පදිංචියට ගිය හරියට..

ඒ කියන්නේ ආටානාටිය සූත්‍ර දේශනාවට...

ඔය ආටා නාටිය සූත්‍රය බණවර දෙකකින් යුක්තයි...ධම්මචක්කේ ගාවට තියෙන හොඳම හරිය තමයි ඒක..
ඕකෙත් මුළින් මුළින් අග අල්ලන්නෙක් විදියට කටයුතු කොරලා..පස්සෙන් පහු මුල් පෙළත් නියෝජනය කොරන්ට ඇහැකි උනා කියමුකෝ...ඉතිං සාමාන්‍යයෙන් පළමු බණවර හතර නමක් විසින් දෙන්නා දෙන්නා වශයෙන් ඛෙදිලා කියනවා..දෙවන බණවරත් එහෙමයි..ඔය දෙවන බණවරට අහුවෙන හතර නමම තමයි අවසානෙට පිරිත හමාර කොරළා සෙත් පිරිත් එහෙම කියලා පිරිත් හුය අකුලලා පිරිත් පැන් ඛෙදලා..පිරිත් නූල් ගැට ගහන්නත් ඕන...

පිරිතේ මොන කොටසට නැතත් මුල කාලේ ඉඳලම මාරයා උන්නාන්සේට ඔය සෙත් පිරිතටයි අවසන් කටයුතු හමාර කොරන එකටයි සෑහෙන ඉල්ලූමක් තිබ්බා..ආයේ ඉතිං වෙන එකක් හින්දා නෙවෙයි..

අර එකම ගාථාව නොනවත්වාම කියවා කියවා පිරිත් පැන් ඛෙදන්ටයි..නූල් ගැට ගහන්ටයි බොහෝම වේගෙන් පිරිත් නූල් පන්දුව අවශ්‍ය ප්‍රමාණයට කැඩීමේ ඇති හැකියාවයි හේතු කොටගෙන තමයි...

ඉතිං කොහොම හරි මේ කියන කාලේ මම පොතේ ගුරා වෙලා හිටිය කාලේ...
ඒ කියන්නේ පොත කියවීමේ අවධියේ තමා...

ඉතිං ඒ උනාට මෙදා වංගියේ ගියේ දහ නමයි නෙව..ඒ හින්දා දෙනමක අඩුවක් තිබුණා නෙව..
දැන් ඉතිං ඒකට පිළියම තමයි අර කළින් කියපු කට්ටියෙන් නැවත වතාවක් දෙනමක් මණ්ඩප්පෙට වඩමවන එක...
ආයේ ඉතිං කියන්න ඕන නැහැනේ..ජූනියර් මෑන්ලට කොහොමත් බකට් එක සෙට් වෙන වග...

ඉතිං දෙයියනේ කියලා පොතේ ගුරු වගේම.. අවසාන හමාර සහ සෙත් පිරිතට මම නැවතත් මණ්ඩපයට නියම වෙලා හිටියේ..දැන් මෙහෙම කිව්වට ඒ දවස්වල මම පැනලා යන්නේ..මොකද අතර මැදදී මහණ උන අපි වගේ අයට බණ දහම්..පිරිත් ආදිය පුහුණු වෙන්ට වැඩි කාලයක් නැති හින්දා නිරන්තර පුහුණුව බොහෝම වැදගත්..ඉතිං වෙලට බැහැලා ඉන්ටම එපැයි ගොයමේ හැටි දැන ගන්ට..මාත් අරින්නේ නැහැ...ඕනම එකකට නැහැ බැහැ නොකියා යනවා..අන්තිමට ඉතිං අවුරුද්දක් ඇතුළත සියළුම අංශ ආවරණය කරගනිමින් පන්සල කරගෙන යන්න හැකියාව ලැබුණේ ඒ පැන පැන දීම හින්දම තමයි.

ඉතිං කොහොම හරි ගමන යනකොටම මට වැඩේ බාර දීලා තිබුනේ...මාර උන්න්න්සේ පොත හමාර කොරලා..ආයෙම වංගියක් දෙවෙනි හමාරටයි සෙත් පිරිතටයි වඩින්ට ඕන කියලා...

ඉතිං මං මුළින්ම කිව්වා නෙව මං ගියේ සීතලට සූදානං සරීරෙන් කියලා...

ඉතිං මං මොකදෑ කොලේ සාමාන්‍යයෙන් අඳින සිවුර පැත්තකින් තියලා පෙරවා ගත්තා නෙව අර මං ඇන්න ගිය දෙපට සිවුර...

ආ තව එකක් කියන්ට එපැයි මං ඉතිං මහණ වෙලා හිටියේ සියම් නිකායේ නෙව..ඔය සියම් නිකායේ හාමුදුරු ගොල්ල බොහෝම අඩුවෙන් තමයි දෙවුර පොරවලා අඳින්නේ...අමරපුර රාමඥ්ඥ නිකායවල හාමුදුරුවරු තනි උරෙ වැහෙන්න සිවුර පොරවනවා අඩුයි..ඉතිං මටත් මටත් මුල් කාලේ ඔය දෙවුර පෙරවිල්ල ඒ තරං හුරු නැහැ...ඒත් යන්තං මගේ යාළු හාමුදුරු කෙනෙකු ලවා ඉගෙන ගත්තා ඒකත්...ඒ උන්නාන්සේ සියම් නිකායේ නෙවෙයි..ඒත් පස්සේ නැවතිලා හිටියේ සියම් නිකායක පන්සලක..මං මහණ වෙන්න කළින් ඉඳලම අපි දෙන්නා බොහෝම හිතවත්...

ඉතිං කෝකටත් කියලා මං අර දෙපට සිවුර දෙවුර පොරවලාම ගියා මණ්ඩප්පයට...

හරි දැන් ඉතිං වැඩේ යනවා ලතාවකට...
පිරිතත් පුරලා හමාර වෙන්ට එනවා...
මට දැන් ටික ටික තේරෙනවා උෂණත්වයේ වෙනසක්...
මණ්ඩපය ඇතුළ මම හිතුව තරංම සීතල නැහැ නෙව බොලේ...
හප්පච්චියේ ටික වෙලාවක් යනකොට දානවා නේද දාඩිය පොල්ලක්..මට නේද..දැන් උතුර දකුණත් නැහැ...

මට විතරක් නෙවෙයි අනිත් අයටත් එහෙමයි..ඒ අය දෙවුර පොරවලා නැති උනාට සිවුරු දෙක දෙක පොරවාගෙන ඇවිත් හිටියේ...
මොනවා කියලා කොරන්ටද..?
ටික වෙලාවක් යනකොට සීත ගගුල ඇගට උඩින් හැරෙව්වා වගේ දාඩිය දානවා...කාලා වරෙංකෝ දැන්...
මහ පිරිත ඉවර වෙන්ටත් තව වෙලාව තියෙනවා..කොහොම හරි මහ පිරිත ඉවර වෙනකල් අල්ලන් හිටියත්..ආයෙමත් පොත කියවන්ටත් වෙන්නේ මටම නෙව..

ආයේ ඉතිං මක්කා කොරන්ටද යාන්තං මහ පිරිත අහවර වෙනකල් ඉඳලා අනිත් හාමුදුරුවරු නැගිටලා යන කොට යුගාසනේට නගින ගමන්ම එක උරයකින් සිවුර පන්නලා ඇඳගත්තා දඩි බිඩි ගාලා...
අන්තිමට තනි උරේට සිවුර පොරවලා උනත් දෙපට සිවුරේ තරම මට තේරුනේ තවත් පැයක් විතර ඉඳලා පොත හමාර කොරද්දී තමයි...

ඒකත් එහෙමයි කියමුකෝ...

අන්තිමට පොත කියවලා හමාර වෙලා රෑ දොළහට විතර ගෙහුන් ආයෙමත් හමාර දේශනාවට පාන්දර හතරට ආවා මණ්ඩපයට...

හැබැයි අර දෙපට සිවුර නවලා තියලා තනි පට සිවුරත් තනි උරයට පෙරවගෙන තමයි...
දැන් ඉතිං ඔක්කෝම හරිනේ...

මොන පිස්සුද...
ටොපිය කෑවේ එතනදී තමයි කියමුකෝ...

මුලින් අච්චර රස්නයක් දැනුනත්..ආවාසේ ඇතුලේ රස්නේ හින්දා හීතල ඒතරම්ම දැනුනේ නැතත්..අන්තිමට පාන්දර වෙන කොට මණ්ඩපේ ඇතුළ පට්ට හීතලයි නෙව...දෙවුර පොරවලා ඉද්දී පටස් ගාලා තනි උරේට සිවුර සකස් කර ගන්න ඇහැකි උනාට තනි උරේට පොරවලා ඉඳලා දෙවුර පොරවන්ට මක් කොරලවත් බැහැ නෙව..ඒක වෙනම කෝස් එකක්.

මොනවා කොරන්නද..කොරපු මෝඩකං දෙන්නට සරියේ..මෙහෙම මොඩකං නොකරං මරියේ කියලා හිතාගෙන...
ගැහි ගැහි පිරිත හමාර කොලා...මිසක්...

ඔන්න හිමේ පිරිත් කියන්ට ගෙහුං මං අත්විඳපු ගැහැටක තරම...

හැබැයි ඉතිං තවත් දෙවංගියක් මං ගෑටුවා ඔය පිරිත දෙසන්ට හිමගිර මුදුනට..එහ්නං...

හිමේ නැග්ම සහ පැරණි කථා...

මුළින්ම කියන්ට ඕන මෙ ලියන්නේ තවත් එකෝමත් එක කතාවක්නං නොවෙයි..

අද මේ අපේ තිස්ස අයියා දාලා තියෙන අර සිරීපාදේ ගැන කතන්දරේ කියෙවුවහම මට මතක් උන සිද්ධි තමයි...

මේ ඉතිං සිරීපාදේ වන්දනා සමය නෙව...
අර අපේ හාවා ඇතුළු සෙට් එකත් හිමේ ගොහින් ඇවිත් හිටියේ..

ආ ඒත් එක්කම කියන්ට ඕන ඔය වාරෙට වගේම අවාරෙට සිරීපාදේ යන රැල්ලකුත් ආවානේ පහුගිය කාලේ..මංනං ඉතිං ආන්න ඒකට ඉංතේරුවෙම්ම විරුද්ධයි...

අපේ සුළු විනෝදයක් නිසා හෝ..අවදානමට ඇති කැමැත්ත හින්දා..යාන්තංවත් පරිසරයට ලැඛෙන විවේකය උදුරාගන්න අපිට අයිතියක් නැහැ.

කොහොමටත් වාරෙටත් අපි කරන්නේ නිසංසලේ තියෙන්න ඔන පරිසර පද්ධතියකට බලහත්කාරෙන් ඇතුළු වෙලා ඒකට කොරන්න තියෙන ඔක්කෝම හතුරුකං කොරලා එන එකනේ..

අඩුම ගානේ අවාරය හැටියටවත් හම්බවෙන සැනසිල්ල විඳ ගන්න සිරීපාද අඩවියේ ගහ කොළට සතා සීපාවට අපි දෙන්න ඕන..ඒකත් අපි කීපදෙනෙකුගේ ආශාවන් හින්දා නැති කොරන එක ජාතික අපරාදයක්...

......................................

ඉතිං මං මුළින්ම සිරීපාදේ ගිහිං තියෙන්නෙනං පුංචිම කාලෙද කොහේද..? අපේ තාත්තා එහෙම කියාපු කතාවක් මට යාංතං මතකේ තියෙනවා..ඒ කියන්නේ මට වයස අවුරුද්දක් විතර ඇති කාලෙද කොහේද..?

ඒ ගැන කියන්න ඉතිං මට මතක නැහැ නෙව..

මට මතක කාලයක මම මුළින්ම සිරීපාදේ ගියේ මට වයස දහ හතක් දහ අටක් විතර කාලෙදී තමා...

එකම වාරෙදි දෙපාරක් වගේ තමයි මතක...කොහොමත් ඒ කාලේ මට වන්දනා ගමන්..විනෝද චාරිකා වලින් අඩුවක් තිබුනේ නැහැ...
වෙන එකක් හින්දා නෙවෙයි..තාලය..සෘතිය කෙසේ වෙතත් නොනවතින සිංදු මැෂිමක් බවට පත් වෙලා හිටිය කාලේ ටිකක් විතර ඉල්ලූමක් තිබුනා නෙව ගමනට බිමනට...අපරාදේ කියන්න බැහැ..දවස් දෙක තුනක ගමනක් යනකල් එනකල් එකම සිංදුව දෙපාරක් කියන්නේ නැතිව ඇදගෙන යන්න තරං මෙමරිය හොඳට තිබුණු කාලේ...

තාමත් මං ගාව තියෙනවා මගේ අත් අකුරින්ම ලියාපු මොනිටර් එක්සයිස් පොත් දෙකක් සිංදු වලින් පුරෝපු...හෙට ගෙදර ගියහම ඒකේ පොටෝ කෑල්ලක් දෙකක් අරං දාන්ට තිබ්බනං හොඳයි කියලාත් හිතෙනවා.මං හිතන්නේ මගේ අත් අකුරු ටිකක් හරි පිළි වෙලක් උනේ ඔය සිංදු ලිවිල්ල හින්දා තමයි...

ආ තව එකක් තියෙනවා..
මගේ පුංචි කුමාරිගේ නාට්‍ය හා රංගකරණය සම්පූර්ණ නෝට්ස් ටිකම තඩි පොතක් පිරෙන්න ලියලා දීපු එකත් ඒකට හේතුවක්..අපොයි මාත් කොරලා තියෙන දේවල්...

...................................
ආපහු මුලට...දැන් දැන් මට ආයෙමත් පරණ ලෙඩේ හැදී ගෙන එනවා..මාතෘකාවෙන් පිට පනින එක..


ඉතිං මම ඔය කිව්ව මුල්ම ගමන් දෙකම ගත්තොත් මතක් කොරලා සතුටු වෙන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නේ...

ගමන් දෙකම එහෙම පිටින්ම දුරාචාරය රජ කරපු ගමන් දෙකක්..තනිකරම නොහික්මුණු කාලේ නෙව...
යන එනකල් බීපු එක වතාවකුයි...
නගිනකල් බහිනකල් රෝස කරත්තයක් දක්කපු තවත් වතාවකුයි කියලා කෙටියෙන්ම කිව්වහැකි.

...........................................

කට්ටිය තරහා අවසර මම මෙතනින් මේක කඩනවා..මොකද ලිපිය දැන් බොහෝම දිග්ගැස්සිලා තියෙන්නේ..මෙතැන ඉඳන් තියෙන්නේ මගේ පිළිවෙළකට හිමේ නැග්ග කතාව...කාට කාටත් යමක් කමක් දැන ගන්න ඇහැකි හරියක් වේවි කියලා මං හිතනවා..අපි ඉතිං මේ ටික කියවලා ඉම්මුකෝ මුළින්ම..සෙස්ස පස්සට..හොඳා නෙව...
(ආයේ ඉතිං ලිපි දිග වැඩියි කියලා අහගන්ට ඕනෑයෑ..)

............................

අළුතින්ම පටාන් ගන්නයි යන්නේ...

ඔන්න ඉතිං සෑහෙන දවසකින් ටිකක් නිවාඩු පාඩුවෙ ලියන්න හම්බ උනයි කියමුකෝ...
අද ඉඳන් මම මෙතෙක් කලක් රාජකාරි කරාපු ස්ථානය වෙනස් කරලා අළුත් තැනක ඉඳන් වැඩ පටන් ගත්තා..අළුත් කියලා කිව්වට අළුත්මත් නැහැ ඉතිං මොකද මම මුළින්ම මෙ සිකුරුටි රස්සාව පටන් ගත්තෙත් මෙතනින්ම තමයි.
ඒ මීට අවුරුදු දෙක හමාරකට විතර උඩදි...

ඒත් මට මෙතන ඉන්න හම්බ උනේ ඉතාමත් සුළු කාලයයි.

මම ඔය පහුගිය දොහේ රාජකාරි කරාපු ඉස්ථානෙට මට යන්න උනා බොහෝම ඉක්මනින්ම...

ඒ ඉස්ථානේ කලින් හිටපු සිකුරුටි සේවය ඉවත් කරලා අපේ සේවයට භාර දුන්න හින්දා එතන අපිට අළුත්ම තැනක්..
යස අගේට මම මෙතනට වෙලා පාඩුවේ ඉද්දී අපේ පරිපාලන නිලධාරී තෙමේ මංතුමාව අමතලා ඇහැව්වේ නැද්ද

"මිස්ට මාරයා..අපි අළුත් පොයින්ට් එකක් ගත්තා වාරණ පන්සල කිට්ටුව...ඔයාට පුළුවන්ද එතන අපිට ටිකක් හදලා දෙන්න..."
කියලා..

මාත් ඉතිං වැඩි හෙවිල්ලක් බැළිල්ලක් නැතුව එතනට යන්න පොරොන්දු උනා.මොකද තව හේතුවක් තිබුණා ඒකට..

මං මෙතනට එන්න කළින් වැඩ කරපු වයසක පහේ නිලධාරීතුමා අසනීප තත්වය මත සේවයෙන් ඉවත් කරපු හින්දා තමයි මට මෙතන ලැබුනේ..ඒත් මං ඇවිත් මාසයක් විතර යනකොට උන්නැහේ ටිකක් විතර සනීප වෙලා ඇවිත් කං කෙඳිරි ගාන්න අරගත්තා ආයෙත් වැඩට එන්න ඇහැකිද කියලා බලන්න..ආං ඒ හින්දත් මං හිතුවා මං ගියොත් උන්නැහේට ජොබ් එක ආයෙමත් හම්බු වෙන්නේ නැතෑ කියලත්...

ඒත් උන්දෑ ඇවිත් මසයක් විතර කොරලා ආයෙමත් යන්න ගියා..අන්තිමට මට මෙතනට එන්න උනෙත් නැහැ..උන්දෑ මෙතන හිටියෙත් නැහැ.

ඒත් උන්දෑ ගියාට පස්සේ මම ආයෙමත් අහලා බැළුවා මට මෙතනට එන්න බැරි වෙයිද කියලා...

ඒ ගමන අපේ පරිපාලන නිලධාරී උන්නැහේ කිව්වේ නැද්ද..

"අනේ මිස්ට මාරයා...තව ටිකක් ඔතන ඇදලා දෙන්න..මාස තුනක් විතර ගිහින් ඔතන කෙළින් කටින් හිටියට පස්සේ ආයමත් අතනට මාරුව දෙන්නං" කියලා...

අන්තිමට මාස තුන ඇදුනා ඇදිල්ලක් අවුරුදු වලින්...
දැන් අපේ පරිපාලන නිලධාරීතුමත් අපේ සේවයේ නැහැ...
මං අතනමයි...
ඒ අතරේ හදිසියේ මොකක් හරි ගේමක් හින්දා මට ගිය අවුරුද්දේ දිහාවේ මාසයකට විතර මාරුවක් හම්බු උනේ නැතැයි ආයෙමත් මෙතනට...ගේම දුන්න ඈයෝ කොහොම ආතල් ගත්තත් මට මොකෝ මගේ වැඩෙ කෙරිලනේ කියලා මාත් ආවා බොහෝම සන්තෝෂෙන්..

හෆොයි..හරියටම මාසයකට පස්සේ ආයෙමත් මාව කැඳවලා නෙව ඉහළින්ම...

මක්කා කොරන්නද ගියා ආපහු අතනටම...
ආයෙමත් ගොනා සේ ඇදපංකෝ බර...

කොහොමින් කොහොම හරි මේ ඊයේ පෙරේදා වෙනකල්ම ඔහේ ඇදගෙන ආපි.

ඒත් අන්තිම දවස් ටිකේනං මට එපා තිත්ත වෙලයි හිටියේ...
වැඩවල ඉවරෙකුත් නැහැ...ඇති හොඳකුත් නැහැ...

අන්තිමට මම ඇද්දා බාල්දිය...
එක්කෝ මාරුව..නැත්තං පෙබරවාරි වෙනකොට පුතා අස්වෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ කියලා...

යාන්තං වැඩේ ගොඩ මං මෙහේ...
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි.

ඉතිං පහුගිය දවස් ටිකේම ගෙවල් හොයන්න ඇවිද්දා...ම්හූ..තාමත් හරි හමන් තැනක් හම්බ උනේ නැතුවා...

මම දැන් ඉන්න ගෙදර උඩ තට්ටුවක් කියලා දන්නෝ දනිති නෙව..ආතල් පොට් එක..කිසි කරදරයක් නැහැ..පාඩුවේ ජීවත් උනහැකි.
කාමරනං දෙක තුනක්ම තියෙනවා..ඒත් ඉතිං ඒවා හුගාක් හිස්..ආයේ මගේ කියලා මහ ගොඩක් බඩු මුට්ටු තියෙන එකක්යෑ...
උයා පිහා ගෙන කන බඩු මුට්ටු ටිකයි...
මංතුමාම හදාගත්තු ටෙම්පරි ඇඳ පොඩ්ඩයි..ඒ වගේම අටෝ ගත්තු මෙස කෑල්ලයි..ෆෑන් එකයි...පුටු දෙක තුනයි නෙව..
ආයේ ඉතිං බරකට කියලා තිබ්බේ ඔය කොම්පීතර උන්නැහේ තමයි..ඒත් ඉතිං උන්දෑ දීලා මේ ලැප් මල්ලියාව ගෙනාවට පස්සේ ඒ බරත් දැන් නැති ගාණයි.
ඔය ඔක්කෝම බඩු මුට්ටු ටික හයිඑස් වෑන් එහෙක දාගෙන යන්න ඇහැකි...
ඒත් ඉතිං ගෙයක්ම කුළියට ගත්තේ මට පාඩුවේ ජීවත් වෙන්න ඕන හින්දා තමයි.

හවුලේ ජීවිතේ මහා අවුලක් අප්පා...
මට ඕන වෙලාවට යන්න එන්න ඇහැකි..කැමති විදියට අඩියක් පුඩියක් ගහලා පාඩුවේ ඉන්න ඇහැකි...
නාන්න කරන්න පොලිමේ ඉන්න ඕන නැති..
කැමති දෙයක් කැමති වෙලාවට උයා පිහා ගන්න ඇහැකි..ආන්න ඒහෙම ඉන්ටනං පුංචියට හරි ගේ කෑල්ලක් තමයි ඕන...

ඉතිං මගේ පොට් එක ඒ අතිංනං මල් මසුරං..ඒත් ඉතිං දැන් ඉන්න තැනට වැඩට යන්න එන්න එතන ඉඳලා ටිකක් දුර වැඩියි.
කළින් තැනටනං වැස්සකට කුඩයක් ඉහළං හරි යන්න ඇහැකි..මොකද එතන ඉඳලා ඒ වැඩ පොලට හරියටම කිලෝ මීටරයක් වගේ තමයි තිබ්බේ..හැබැයි ඉතිං කවදාවත් වැස්සකටවත් කුඩ ඉහළං පයින් ගියේ නැහැ..වැස්සෙම තෙමීගෙන බයිසිමොටෝ එකේම ඇද්දා මිස..ඒත් එහෙම උනත් යන්න ඇහැකි..

ඒත් දැන් තැනටනං එතන ඉඳලා කිලෝ මීටර් හත අටක් තියෙනවා...
ඒ හින්දා අළුත් නවාතැනක් මේ අහල පහළිනං හොයාගන්න එක හොඳා...නැත්තං ගෙවල් කුලියට අමතරව තව අමතර පැස්ටෝල් වියදමකුත් මට එනවා නෙව...ජීවිතේ බරයි වියදම සැරයිළුනේ..ඒ හින්දා එක වියදමක් හරි කපා දාන්ට ඕනේ...

ඉතිං මේ ටිකේම මාරයා වාසස්ථානයක් හොයන්ට බොහෝම මහන්සි ගන්නවා...
මාර භවනක් කිව්වොත් හරියටම හරි...

මාරභවනක් හොයන එකත් ලේසි නැහැ...

පාඩුවේ ඉන්ට ඇහැකි වෙන්ටත් ඕන..
නාන්න කොරන්න ඇහැකි විදියට පහසුකං තියෙන්ටත් ඕන..
උයා පිහා ගන්න ජල පහසුකං ඇති වෙන්ටත් ඕන..
ටිකක් හරි මිනිස්සු යන එන තැනක පාරක් අයිනේ වෙන්ටත් ඕන..
නෝනට හරියන්න පාට තියෙන්නත් ඕන...ආ නෑ නෑ..එහෙම ඕන නැහැ..පාටනං නැතත් කමක් නැහැ.

ඔය ඔක්කොමටත් වගේම මගේ ආර්ථීක සැලසුමට ගැලපෙන්ටත් ඕන..දැන් ඉන්න තැනටනං මාසෙට තුන්දාහයි..
ආන්න ඒ වගේ වෙන්ටත් ඕන...

ඉතිං ඔන්න ඔය වගේ හේතු කාරණා හින්දා වැඩේ ලේසි නැහැ...
නිට්ටඹුව..වතුපිටිවල..රංපොකුණුගම වගේ හරියෙන් දැන් ඉතිං මාර භවන් හොයන එක ලේසි පහසු නැහැ..ඒත් ඉතිං හොයන්ටත් එපැයි...

ආ තවත් එකක් ඔය කනතු අයිනේ..එතකොට භූත බංගලා එහෙමත් මාරයට යා දෙනවා...

මීට ටික කාලයකට කළිනං මාරයා හිටියා නෙව බෝඩිමක..ඒ බෝඩිමේ ලොකුම කාමරේ හම්බු උනේ මාරයාට තමයි..මොකද අනිත් කවුරුවත් ඒකේ වාසය කොරන්ට කැමති නැහැ..මොකක්ද කේස් එකක් හින්දා ඉස්සර මිනී මැරුමක් උන කාමරයක් කියලයි බෝඩිමේම උන්නැහේ කෙනෙක් කිව්වේ...
මයේ මොකෑ..මාරයාට මොන කැටයංද..මාත් ඔන්න ඔහේ හිටියා..කිසි අවුලක් නැහැ...
හැබැයි අනිත් එවුංනං දවල්කටවත් එඛෙන්නේ නැහැ ඒ කාමරයට...

ඒ වගේ බෝඩිමක්නං ආයේ හම්බුවෙන්නේ නැහැ.
ආයේ ඉතිං බෝඩිංවල ඉන්නත් බැහැ.

ඉතිං දැනට අළුත් තත්වය ඔන්න ඔහොමයි...
දැන් ඉතිං වැඩ කරන දවස්වලට පලූ යනකං ලියන්නයි තියෙන්නේ...

හැබැයි ඉතිං පොඩි කොස්සකට තියෙන්නේ ආයෙමත් අතනටම කැඳවීමක් ලැඛෙයිද කියන එකයි..
ඊයෙත් එක ගෝලතුමෙක් කතා කරලා කියනවා මගේ යටතේ හිටිය තවත් ගෝලතුමෙක් පෙරේදා දවල් ඩියුටිය අස්සෙම යන්න ගිහින් කියලා ඕ අයි සී උන්නැහේ එක්ක වැඩ කරන්න බැහැ කියලා...
ඇත්තටම මටත් ඒ දාලා ගිය උන්නැහේ එක්ක වැඩ කොරන එක එපා වෙලා හිටියේ..ඒත් මං උන්දෑගේ වැඩ ටිකත් කවර් කොරගෙන මගේ වැඩත් ඇදගෙන තමයි ආවේ...

අළුතින් ආපු ඕ අයි සී තැන ඉතිං ඕවා දන්නවයෑ..උන්දැට වැරදි කියන්න බැහැ.
දාලා ගිය උන්දෑගෙම තමයි පරහා...

ඒත් ඉතිං ඔය වගේ කේස් හින්දා ආයෙමත් කොහු කොහු ගාණට වැඩේ ගියොත් මාරයාට කැඳවීමක් ලැඛෙනවා..ඒත් ඉතිං එහෙම උනොත් දින විසි හයක් කල් දීලා අස්වීම දීලා මාරතුමා ගෙදර යනවා ටක්කෙටම...ඕං කිව්වා...
මේං ගියා...

16 January 2011

හමුවන්නට පෙර සමුදෙමි ඔබ හට..

ඇය වෙනුවෙන් දුක් කවි පද ලියුවට..
වින්දෙමි සුවයක් ඈ ගැන සිහි කොට..
නන්නාදුනනා එකියක් හොරෙන්ම ආවට..
කවි සිත පෙර මෙන් නොවේවි විකසිත..

දුකටම හුරු වූ රිදුම් දෙවන සිත..
තවත් වරක් යළි රිදවා ගැනුමට..
බියක් දැනේ මා සලිතව මුළු ගත..
තෙරක් නොමැති කළුවරක් දැනේ මට..

හෙටක් ගැන යළිත් පැතුම් පතන්නට..
නොහැක ඉතිං මට ජීවත් වන්නට..
නන්නාදුනනා පුංචි කුමාරිය..
හමුවන්නට පෙර සමුදෙමි ඔබ හට..

15 January 2011

හිත හීලෑ නැහැ...ජීවිතේ මගේ..100 වැනි ලිපිය..

එපා කරපු දවස් දෙක තුනක් අතරේ ආයෙමත් කීබෝඩ් එක අතරේ ඇගිළි දුවවන්න හිත හදා ගත්තත්..ඇගිළි වලට හරියන විදියට හිත දුවන්නේ නැහැ.
හැම දේම අමුතුයි වගේ.

මොනවා වෙන්න එනවද මන්දා...

........................................................

දැන් සෑහෙන දවසක ඉඳන් මට රස්සාව එපා වෙලා හිටියේ...කොහොම හරි මගේ සීමාව පැනලා තිබුනු එකේ ප්‍රතිඵලයක් හැටියට අස්වෙන්න ඔන්න මෙන්න කියලා හදද්දී කතා කරලම මට මාරුව හදලා දුන්නා...
පුදුම සැනසීමක්...ඒත් ඒ සැනසීම දවස් දෙකකින් ඉවර වෙයි කියලා හිතුවේ කවුද..?

අනිවාර්යයෙන්ම 17 වෙනිදා ඉඳන් මගේ මාරුව ස්ථීරයි කියලා දැනුම් දුන්න වෙලේ තිබුණු සතුට පැය හතළිස් අටක් යන්න කළින් හුළගේ ගහගෙන යයි කියලා මං හිතුවේ නැහැ...ඒත් අන්තිමට උනේ ඒකම තමයි.
මොනවා කරන්නද හිනා වෙලා බාරගන්නවා ඇර.
හිත කම්මර වෙලා තියෙන තරමට දැන් මට හිතක් නැද්ද මංදා...?

මාරුව හරි කියලා දැන ගත්ත දවසට පහුවදා ඒ කියන්නේ 10 වෙනිදා මම පුරුදු විදියට රාජකාරිය කලා...
නව වෙනිදා තමයි මට මාරුව හරි ගියේ...
ඉතිං දහවෙනිදා වැඩ කරලා ඉවර වෙලා එකොළොස් වෙනිදා උදේ ගෙදර එන්න ලෑස්ති උනා..වෙලාව අටයි දහයට විතර ඇති.

මගේ සගයාට රාජකාරිය බාර දීලා යන්න ලෑස්ති වෙලා..ආයෙමත් කාර්යාලයට ගිහින් ආවේ අමතක වෙච්ච වැඩක් හින්දයි.
ඒ වැඩේ ඉවර කරලා මම ඉක්මනට ඇවිත් ජැකට් එක දා ගන්න ගමන් ගාඩ් රූම් එකේ කවුන්ටරය ඉස්සරහා බැළුවේ නිකමට වාගෙයි...

අළුත් ළමයි වගයක් ඉස්සරහා පිරිලා...අපේ ආයතනයට තාවකාලික පදනම මත සේවකයින් සපයන ආයතනයකින් අළුතින්ම ගෙනාපු කට්ටියක්...
සාමාන්‍යයෙන් මෙහෙම කට්ටිය සැරෙන් සැරේට එනවා යනවා.
හුගාක් වෙලාවට ඒ ගෙන අයට කෙළින්ම සේවයට බැඳීමට බැරි ප්‍රශ්න තියෙනවා...
සමහර අයට වයස වැඩියි.ඒ හින්දා ආයතනයට බඳවාගන්නේ නැහැ.
තවත් කොටසටක අවශ්‍ය කරන සහතික එහෙම නැහැ...හුගාක් වෙලාවට ඈත පළාත් වළින් ආව අයට ඒ වගේ තත්වයන් තියෙනවා...
ඒ අතරම තවත් කොටසක් ඉන්නවා...ඒ තමයි තවමත් දහ අට සම්පූර්ණ නැති අය...ඉතින් වයස සම්පූර්ණ වෙනකල් ඒ අය මෑන් පවර් ආයතනයක් හරහා තමයි වැඩට එන්නේ...

කොහොම හරි මම දැලෙන් එළිය බැළුවෙත්...ඒ වෙනකොට මෑන්පවර් ආයතනය මගින් ආරක්ෂක අංශයේ තබා ඇති පොත ලියමින් හිටිය පුංචි කෙල්ල මා දිහා බැළුවෙත් එකම වෙලාවටයි...

අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...මං ඉවර උනා.

ඇත්තටම මම බය උනා..මොකක්දෝ දැන අඳුරන ගතියක් ඒ ඇස්වල තිබුණා...
හුගාක් පැතිවල කරක් ගහලා තියෙන හින්දා මට එක පාරටම හිතා ගන්නවත්... මතක් කරගන්නවත් බැරි උනා..ඒත් මම ඒ ළමයාව දන්නවා කියන එක හොඳටම මට විශ්වාසයි.

මාව දැක්ක ගමන් ඒ ළමයටත් අමුතුම හිනාවක් ගියා..ඇත්තටම ඒක මහ අලූගුත්තේරු හිනාවක්.
මට ඊට වඩා ඒ ගැන කියන්න තේරෙන්නේ නැහැ...පැහිච්ච අම්මණ්ඩියෙක් පොඩි එකෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා හිනා වෙන ගමන්ම ඒ හිනාව හංගා ගත්තා.

මං නේද...?හ්ම්ම්ම් කරකවලා පොලොවෙ ගැහැව්වා වගේ...
මොනවා කියන්නද කියලා මතක් උනේ නැහැ..ඒත් තත්පර ගාණක් ඇතුළත මම ඇහැව්වා...

"ඔයා කළින් මෙහෙ වැඩට ඇවිල්ලා තියෙනවා නේද..?"

ආයෙමත් අර ඔලොක්කු හිනාව...

"නැහැ.."

"මට ඔයාව මතකයි වගේනේ..."

එහෙම කියවෙන කොටම තමයි මට මතක් උනේ ඔය වචන සෙට් එක කෙල්ලන්ව කතාවට අල්ලගන්න ඔනම කොල්ලෙක් මුළින්ම දාන වචන සෙට් එක කියලා..ඒත් මං මොනවා කරන්නද..?කියවිලා ඉවරයි..අනික ඇත්තමනේ කිව්වේ...

ආයෙමත් මගේ දිහාවේ හිනා වෙවී බලලා මුකුත්ම නොකියා ඉන්නවා නෙව...

මම යන්න ලෑස්ති වෙලා හිටිය හින්දා ජැකට් එකට උඩින් ලැප් එකත් කරේ එල්ලගෙන හෙල්මට් එක අතට අරගෙන ආවා ගාඩ් රූම් එකෙන් එළියට...

ඒත් එක්කම ගේට්ටුව ගාවින් එබුනේ නැද්ද ඇතුළට ඇණයක්...අවුරුදු හතළිහක් පණහක් විතර ඇති මුනුස්සයෙක්..දැන් දවස් කීපයක ඉඳලා මෑන්ස් සැරෙන් සැරේට ගේට්ටුව ගාව කැරකෙනවා...කාරණේ මොකක්ද කියලා මට මීටර් උනේ කළින් දවසේ තමයි.
මිනිහා හිරේ ඉඳලා ඇවිත් තියෙන්නේ..මෑන් හිරේ යන්න හේතු උන ගෑනු කෙනෙක් ආයතනය ඇතුලේ වැඩ...
මිනිහා ඒ ගනු දෙනු බේරගන්න එන්නේ ගේට්ටුව ගාවට...පහුගිය ටිකේම මෑන්ස් එක එක කතන්දර කිය කිය හිටියේ..ඒත් කළින් දවසේ මට වැඩෙ ආරංචි වෙලා තිබුනේ මාත් බල බල හිටියේ බුවාව අල්ල ගන්න.

යන්න කියලා ගාඩ් රූම් එකෙන් එළියට බැහැලා බයික් එක ගන්න ගරාජ් එකට යන්න යනකොටම තමයි මෑන්ස් මගේ මූණ ඉස්සරහින් මතු උනේ...

ඔක්කෝමත් හරි රාජකාරි උණ ඇගට ආවේ තත්පරයෙන්...

"තමුසේ මොකද මෙතන කරන්නේ...කරුණාකරලා යනවා එළියට...ආයේ මෙතන ඉඳලා මට අහු වෙන්න එපා...තියෙන ප්‍රශ්නයක් ගෙවල් වලදී බේරගන්නවා... මෙතනට ගේන්න එපා..."
මගේ අර යක්ෂ වොයිස් එක පැනපි එළියට...මෑන්ස් කෙළින්ම එළියට විසි උනා...මම ආපහු හැරුනා.

මළ කෙළියයි අරුන් ටික බලන් ඉන්නවා නේද..?යකෙක් දිහා වගේ...ඉතින් ආයෙමත් කොහේද දන්න එකෙක් උනත් මාත් එක්ක කතා කරන්නේ...

මම සද්ද නැතිව ගිහින් බයික් එක ගත්තා..හිමීට බැළුවා අර ළමයි ටික දිහා අරකි මං දිහා බලං ඉඳලා එක පාරටම ඇස් අහකට ගත්තා..ආයෙමත් අර කැත හිනාව..මට පොළොව පලන් යන්න තරම්...

මේකි බය වෙනවා තියා ගාණක්වත් නැති ගාණට ඉන්නවා.ඒ මදිවට අනිත් ළමයි එක්ක කතා කරන ගමන් ඇස් කොණ මා ළග...ඇත්තටම කෙල්ල මාව දන්නවා..මට හිතෙන්නෙම එච්චරයි.
මාත් ඒකිව දන්නවා...ඒත්..අනේ මන්දා මොන ලෝකෙද කියලා මට මතක නැහැනේ...?කොහොමද හරියටම දැන ගන්නේ..තව එක දවසයි මට රාජකාරි කරන්න තියෙන්නේ...ඒ අන්තිම දවස...

12 වෙනිදායින් පස්සේ මට ආයෙමත් මෙතන රාජකාරියක් නැහැ.

ගෙදර ඇවිත් වැඩ පල කරන අතරේම හිතුවා හිතුවා...ම්හ්..මතකයට එන්නෙම නැහැ..පේන්නෙම අරකිගෙ අර ඔලොක්කු හිනාව...ඒත් ඒ හිනාවට යටින් තියෙන කතාවට මං ආසා උනා කිව්වොත් ඒක වැරදි නැහැ.

දොළොස් වෙනිදා උදේ වැඩට ගියේ දාහකුත් එකක් සිතුවිලි හිත ඇතුලේ යකා නටන අතරතුරේම තමයි.