28 February 2011

නිහැඩියාව...

හදවත සසල කරවාලන බව සත්තයි..
නුඹ නැති රැයේ ජීවිතයද මට තිත්තයි..
මග හැර සිටින බව මට දැනෙනව ඇත්තයි..
හේතුව කුමක්දැයි නොදනිමි මම සත්තයි..

හදවත පලා උණු රුහිරෙන් පුදන්නද..
ගලනා ගගක හෝ මුහුදක පනින්නද..
කියනා තැනක මම එල්ලී මැරෙන්නද..
සිත දිනුමට තවත් මොනවා කරන්නද..

සැගවී ඇති ලයේ රහසක් නොදන්නෙද..
දැන දැන නොදන්නා සේ ඔබ හිඳින්නෙද..
හදවත මගේ ගැයු දුක් ගී ඇසෙන්නෙද..
දැන්වත් කියන් නුඹ මාගේ නොවන්නෙද..

කොල්ලෙක් කුණු ගොඩේ...

උදෙන්ම වැඩට දුවන් ආවා..ඒ එනකොටත් බොසා ඇවිල්ලා..ඒ කියන්නේ මගේ අනිත් සගයා ආයතනය විවෘත කරලා හමාරයි.මට ඇවිත්කරන්න දෙයක් නැති හින්දා වේල පහින්ම ඇද ගත්තා ලැප් උන්නැහේව එළියට..

නැත්තං වෙනදා කාල සටහනට අනුවනං මුලින්ම තියෙන්නේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම..ඊට පස්සේ ඉතිං ඇතුලට එන කස්ටියගේ නං ලකුණු කිරීම..ඔය ටික ඉතිං අට හමාර නවය අතර විතර වෙනකොට අහවරයි.
අන්න ඉතිං නවය වෙනකොට මං නිදහස් කොළුවකු බවට පත් වෙනවා..

අදනං බොස්තුමා 7.40 ට විතර ආගමනය කොරලා..ඒ හින්දා දැන් තියෙන්නේ නං ටික දාගන්න එක විතරයි.
....................................
හරි අදත් බණ කතාවම ගෙනියමු ඉස්සරහට..නැත්තං මේක අතර මග නවත්ත ගත්තාහම මටමයි කරදරේ...

අපි දැන් මුලින් වෙච්ච සංගදි ටික දන්නවා නෙව..
මිනිහෙක් මැරිලා බල්ලෙක් උනා...
බල්ලා මැරිලා දෙයියෙක් උනා..
දැන් තියෙන්නේ දෙයියා චුත වෙලා කවුරු උනාද කියලා බලන්න තමයි...

මෙන්න දැන් අපි එනවා බුදු හාමුදුරුවෝ ලොකේ පහළ වෙච්ච කාල සීමාව හරියට...බුදු හාමුදුරුවෝ කිව්වේ ඉතිං අපේ ගෞතම බුදු හාමුදුරුවෝ තමයි ඕං.
ඉතිං මෙන්න මේ කාලය ආසන්නයේදී කොසෑඹෑ නුවර හිටිය එක්තරා කාන්තාවකගේ කුසේ තමයි අපේ මේ කතා නායකතුමා උපදින්නේ...

කාන්තාවක් කිව්වට මොකෝ මේ කාන්තාව ටිකක් සමාජයේ සුවිශේෂී කාන්තාවක්...
ඒ කියන්නේ වෛශ්‍යාවක්..එහෙමත් නැත්තං ගණිකාවක් කියලා හදුන්වන්ට ඇහැකි..තව ඉතිං මං නොකිව්වට ඕන තරං ඕකට සමාන වචන අද සමාජයෙන් හොයාගන්ට ඇහැකි..

මෙතනදී මතක් කරන්ට ඕන මේ අපේ බණ කතා බොහෝමයක් අද අපේ වර්ථමාන සමාජයේ කෙරෙන දේවල්වලට බොහෝම සමීපයි..ඒත් බණක් කියන්ට ගියහම ඔය සමහර වචන භාවිතා කිරිමේදී යම් යම් ගැටළු මතුවෙයි කියලාදෝ හුගාක් බණ කතා එළියට එනවා අඩුයි.

බණ පොත් අතරින් ගත්තාම ජාතක පොත්වහන්සේ‍ගේ ඇතුලත් කතා හුගාක් තියෙනවා තනිකරම අද දවසේ වෙන දේවල්ම තමා..නං ගං පළාත් නාම වෙනස් උනාට ආයේ දෙකක් නැහැ අද ඔය දෙයියෝ සාක්කි වගේ පත්තර තීරු වල යන කතා සැට් එකක්ම ඕකේ තියෙනවා.

සමහර කතා දැන් තියෙන වැඩිහිටියන්ට පමණයි චිත්තර පටිවලටත් වඩා සැරයි.ඒත් ඉතිං මහා ජනකායක් ඉස්සරහා ඕවා කියන්ට ගියහම මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්ට අමාරු හින්දා ඒ කතා එළියට එනවා අඩුයි.

හැබැයි ඉතිං අද තියෙන පවුල් අවුල් එතනින් ගියහම ඔය සමාජ විෂමතා හැටියට ගැනෙන වංචා දූෂණ ..ඒ විතරක්ද කොටු පැනීම්..අනියම් සබඳතා..ඔය හැම එකක්ම වගේ ඔය කතාවල තියෙනවා..බොහෝම අපූරුවට..ඒත් එළියට එනවා අඩුයි.

මොකද ඉතිං එහෙම බණක් ඇදලා අරං කිව්වොත් අපේ උපාසක අම්මලා උනත් හරියට බබාලා වගේ..අනේ මේ මොනවද හාමුදුරුවෝ කියන වල් කතා කියලා බලයි.
ඒ තරමට නිවිච්ච උදවියනේ ඉන්නේ..ඒ බව දන්න හින්දාම ඒවා කියවෙනවා බොහෝම අඩුයි.
එහෙම නැතිව ජාතක පොත් වහන්සේ කියන්නේ සුරංගනා කතා පොතක්වත්..මිත්‍යා කතා මාලාවක්වත් නෙවෙයි. මේ ලෝක ධාතුවේ..කාලෙන් කාලෙට කැරකීගෙන එන චක්‍රයේ එක් එක් අවස්ථා බොහෝම ලස්සනට ලියවිලා තියෙන තැනක්...

හරි අපි ආයෙමත් කතාවට එමු.

ඉතිං මේ ගණිකා වෘත්තීය කියන්නේ ඒ කාලේ බොහොම සරුවට පැවතුන ව්‍යාපාරයක්.
ආවේ ගියේ පොඩි පහේ බඩු නෙවෙයි..රාජ රාජ මහාමාත්‍යවරු..අනික තමයි ඉතිං බොහෝමත්ම වෙලාවට රටේ තොටේ ඉන්න ලස්සනම ගෑනු උදවියට හුගාක් වෙලාවට නවතින්න උනේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරයේ..ඒ හැරුනු කොට මේ වගේ වෛශ්‍යා වෘත්තියටත් එහෙම අයට තිබුණු අවස්ථාව වැඩියි.හැබැයි ඉතිං ඒ වෘත්තියත් සමාජය පිළිගත්ත වැදගත් වෘත්තීයක් ඒ කාලේ හැටියට...ඒ වෘත්තීය කල අයටත් සෑහෙන බලයක් තිබුනා යම් යම් ආකාරයේ..ඇයි ඉතිං ලේසි පහසු අයයෑ ආස්සරය කරන්නේ..ඒ විතරක්ද ඒ ගණිකා නිවාසවලම උපදින ගෑණු දරුවෝමනේ ආයෙමත් ඒ වෘත්තිය දිගටම අරගෙන යන්නේ.. එයාලත් ඉතිං රටේ තොටේ ලොක්කන්ටම දාව උපදින අයනෙව..සෙල්ලංද..?

කොහොම හරි අපේ දිව්‍ය පුත්තරයත් කෙළින්ම ගෙහුං ආන්න ඒ වගේ කොසඹෑ නුවර එක්තරා ගණිකාවකගේ කුසේ උපන්නා...දැන් කට්ටියට මතකයිද මන්දා මේ කොසඹෑ නුවර..?

ඇයි අර උදේනි රජ්ජුරුවෝ..ආන්න හරි දැන් ටිකක් මතකයිනේ..

හරි ඉතිං මේ ගණිකාවට අර ළමයා හම්බ වෙච්ච ගමන් මොකද කලේ..?
බැළුවා සරමක්ද චීත්තයක්ද කියලා හිටං..ඒ කිව්වේ මේ ස්‍ත්‍රී පුරුෂ භාවය...

මේකා කොල්ලෙක් නෙව...
ඉතිං මොකදෑ උනේ...
කෙලින්ම ගෑනු මනුස්සයෙකුට කොල්ලව දුන්නා ගෙහුං කුණු ගොඩකට දාන්ට කියලා..මොකද කාරණාව..ගණිකා නිවාසවල කෙල්ලෙක් උපන්නොත් ඒ කෙල්ලට කන්න බොන්න දීලා ලොකු මහත් කලාට අවුලක් නැහැ..කවදාහරි ව්‍යාපාරයට හොඳ ආයෝජනයක් නෙව...ඒ කියන්නේ කෙල්ලෙක්නං කවදා හරි ඒ ගණිකා නිවාසෙම තවත් ගණිකාවක් බවට පත් වෙනවා.

ඒත් කොල්ලෙක් ඔය ගෑණු අස්සේ ලොකු කලාට ඇති වැඩක් නැහැ..අන්තිමට එතන ඉන්න කෙල්ලෝ ටිකත් බේරගන්ට බැරිව යනවා ඒකාගෙන්..ඒ හින්දා තමයි කොල්ලන්ට ඉල්ලුමක් නැත්තේ..

ඉතිං ඔන්න ඔය හේතුව හින්දා අන්තිමට අපේ දිවිය පුත්තරයා වෙලා හිටිය උන්දැත් මෙන්න කොසඹෑ නුවර කුණුගොඩක දැන්...කොහොමද සංසාරේ..?

දැන් කෙනෙක් අහන්ට පුළුවන් එහෙම උනේ මක්කදෑ කියලා..හරි අපි බලමු ඒකටත් හේතුවක් තියෙන්ට එපැයි..
ඔයාලට මතකද මං අර මුළින්ම කතාව පටන් ගද්දී අර මනුස්සයා දරුවව කැලේ දාලා ගිය කතාවක් කිව්වා..මතකයිනේ...මේ මතක නැති අය ගෙහුං බලලා එන්ට..මට මේ ලින්ක් දාන එකනං එපා වෙන වැඩක් ඒ හින්දා අකුරෙන් අකුරට ලින්ක් දාන්න යන්නේ නැහැ ඕං..මගේ ඔය බණ කතා කියන ලේබලය දිගේ ගියහම ඔය කොයි කොයි කතාවත් මුල ඉඳලාම බැළුව හැකි.

හරි ඉතිං ඒ සංසාරේ දවසක්දා පුංචි කාල සීමාවකට කරාපු එක වරදක් හින්දා තමයි මුන්දැට අද මෙහෙම උනේ..මේ කරුමේ පටිසන් දෙන එක මෙතනින් නවතී කියලා හිතන්ට එපා..තව ඉස්සරහට බොහෝම ඇබැද්දි ගොඩක් තියෙනවා මේ උන්නැහේට මුහුණ පාන්ට සිද්ධ වෙන..අපි ඒවාත් බලමුකෝ...

26 February 2011

දෙව්ලොව මරණ...

හොඳයි ඉතිං අපි දැන් මේ බණ කතාව තව ටිකක් ඉස්සරහට අරං යමු..

ලියන්න ගත්තට එක විදියකට වැඩි වෙලා වාඩි වෙලා ඉන්න බැරි විදිහට මංතුමා ටිකක් අසනීප වෙලා ඉන්න හින්දා සැරින් සැරේට නැගිටලා ටිකක් වටයක් ඇවිදලා ඇවිල්ලා තමයි වංගියෙන් වංගියට මේක ලියන්ට වෙලා තියෙන්නේ..ඒ හින්දා හුගාක් දිගට ලියන්ට වෙන එකකුත් නැහැ අද..ඒත් අපි බලමු කොයි තරං කියාගන්ට ඇහැකි වේවිද කියලා...

...........................................
ඉතිං අපි දැන් දන්නවනේ අපේ අර බළු නාම්බා දෙව්ලෝ ගිය ගමන...
දැන් මේ දෙව් පුත්තරයා බොහෝම සතුටෙන් දෙව්ලියන් පිරිවරාගෙන සැපසේ ඉන්නවා...
හැබැයි ඒ හැටි කාලයක්නං උන්නාන්සේට ඒ සැප විඳිම කොරන්ට වෙන්නේ නැහැ ඕං...

මේ දිව්‍ය ලෝකවල ගිය අයනං දන්නවත් ඇති..ඒත් ඉතිං මතක නැතිව ඇතිනේ..ඒ කිව්වේ මේ දිව්‍යලෝකවල දෙවිවරු මිය පරළව යන්නේ නැහැනේ..වෙන්ට තියෙන්නේ චුත වෙන එක තමයි...

ඉතිං ඒ විදියට චුත වෙන විදි හතරක් තියෙනවා...

එකක් තමා ඔය හුගාක් පිං කරලා දෙව්ලෝ ගිය ඇත්තෝ කල්ප කාලාන්තරයක් ඒ ඒ දෙව්ලෝ වලට වෙලා..සැපයෙන් සනීපෙන් වැඩ වාසය කරලා හිටං අර තමං කොරාපු පින ඉවර නැති උනත් ඒ තමං උපත ලබාපු දෙව්ලෝකෙට අයිති උපරිම ආයුෂය ගෙවී ගියහම සිද්ධ වෙන චුත වීම නැත්තං අපේ වදනෙන්නං මැරෙන එක ..ඒත් ඒ මරණෙයි මේ මරණෙයි පටලවා ගන්ට එපා ඕං..
හැබැයි පින ඉවර නැති හින්දා..නැවත වතාවක් ආයෙම දිව්‍ය ලෝකෙකම උපදිනවා..බොහෝම හර බර විදියට පිංපෙත් කොරාපු ඈයෝ මෙන්න මෙහෙම උපරිම ආයුෂ විදලා චුත වීමට ආයුක්ෂය මරණ කියලා කියනවා..

දෙවෙනි කොරමේ තමා..
මොන විදියකින් හරි පිනක් කොරලා දිව්‍යලෝකේ ගියාට මොකෝ ඒ කොරාපු පින අර උපන් දිව්‍යලෝකේ උපරිම ආයුෂ විඳින්ට තරං බලවත් නැති උනහම සිද්ධ වෙන මරණය..ආන්න කුසලක්ෂය මරණය..හරිනේ..

ඊ ළගට තුන්වැන්න...සිහි කල්පනාව නැති වෙලා සිද්ධ වෙන චුත වීම..ඇත්තටම එතනදී වෙන්නේ කන්ට බොන්ට අමතක වීම තමා..
ඒ කියන්නේ ඉතිං හිතන්ටකෝ මේ හත් අවුරුද්දකින් බත් කටක් කන්ට හම්බ උනේ නැති එකෙකුට බත් කල්දේරමක්ම ලැබුණම වෙන දේ..කාගෙන කාගෙන යනවා මිස වෙන දෙයක් ගැන මතකයක් නැහැ නෙව...
අන්න ඒ වගේ ඉතිං මේ මනුස්ස ලෝකවල වේලී වේලී ඉඳලා දිව්‍ය ලෝකවල ගියාට පස්සේ අර දිව්‍ය අප්සරාවෝ ලැබුනම ඉතින් ආයේ කන්ට බොන්ටවත් කල්පනාවක් නැතිව කම්සැප හොයන්ට යනවානේ...
ආයේ ඉතිං ඇති පදං දිව්‍ය අප්සරාවොත් නැතෑ..
ඕකට හොඳ උදාහරණයක් මං කියන්ටද..?
අර රැලේ යන කාලෙට අපේ ගෙවල්වල ඉන්න බල්ලෝ හොයන්ටත් නැහැ නේද..?
අඩු ගානේ කන වෙලාවටවත් බල්ලා නෙවෙයි ගෙදර එන්නේ..කොහේ හරි යන බැල්ලියෙක් පිටිපස්සේ වැටිලා ඌ යන යන අතේ යනවා මිස..අනිත් දවස්වලටනං බල්ලා වෙලාවට කෑම එක ලගනේ..

අන්න ඉතිං ඒ වාගේ මේ දෙවිවරුත් ඉන්නවා නෙව ආයේ මෙලෝ සිහියක් නැහැ අහවල් එකටම පණ ඇරලා..අන්තිමට වෙන්නේ මොකද ඇගපත වැහැරිලා මලානික වෙලා..කලන්තේ අල්ලලා..උන්දලත් සුවාස් තමා..
ඒකට කියනවා ආහාරක්ෂය මරණය කියලා...

හතර වෙනි එක තමා...
කෝපය නිසා..ඒක වෙන්නේ මෙහෙමයි..
දැන් ඔය අපේ ඈයොත් ඉන්නේ..තමුන්ට තියෙන දේ පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැතිව අනුන්ගේ එකටම හොම්බ දාන..
ආන්න ඒ වගේ සමහර දෙවිවරුත් ඉන්නවා..තමුන්ට වඩා සැප සම්පත් ලැබිලා සුවසේ ඉන්න අනිත් දෙවිවරු දිහා ඔරොප්පු මූඩ් එකෙන් බැල්ම දාන..හැබැයි අපේ උන්දලට වගේ නෙවේ දිවිය ලෝකවල ඒ සෙල්ලම් ඔට්ටු නැහැ...එහෙම ටිකක් කේන්ති ගත්ත ගමන් හිත දූෂණය වෙන එකම හේතු වෙලා උන්දෑත් මරණයට පත් වෙනවා.

ඔන්න ඔය කොරම හතරට තමා දෙවිවරු චුත වෙන්නේ...

ඉතිං දැන් අපේ මේ දිවිය පුත්තරයත් ඔන්න ඔය කිව්ව තුන්වැනි කොරමෙට ටිකක් බර වැඩි හාදයා..ඇයි ඉතිං ගියෙත් බළු කුලේ ඉඳලා නෙව...

ඒ හින්දදෝ මංදා උන්දැත් දිගට හරහට අඳාළ කාරිය කොරගෙන කොරගෙන ගෙහුල්ලා වෙලාවට කන බොන ටික ගන්ට අමතක වෙලා හිට උන්දැටත් එක පාරම අර දිවිය ලෝකෙන් චුත වෙන්ට වෙනවා...

ආන්න එහෙම හිටි හැටියේ දෙව්ලොවින් චුත වෙන්ට වෙච්ච අපේ කතා නායකයට ඊ ළගට සිද්ධ උනේ මොකක්ද...?

24 February 2011

බල්ලෙක් දෙවියෙක් වෙයි...

ඊයේ නිදාගත්තා මදිද කොහේද..?
තාම නිදිමතයි.
ඒත් ඉතිං මොනවත් නොලියත් බැහැනේ..ඒ හින්දා අදත් බණ කතාවේ ඉතිරිටික බලමු.
..........................................

ඔන්න ඉතිං අර උස්මුරුත්තාවට එනකල් කිරිබත් කෙළලා අර ගොබිලා එදා රාත්තිරියේ අවසන් ගමන් යනවා..
පහුවදා උදැහැනක්කෙම මෙ වෙලා තියෙන විපත දැකපු උන්දැගේ බාරියාව බොහෝම විස්සෝප වෙනවා මේ වෙච්ච අකරතැබ්බෙට...ඒත් ඉතිං මක් කොරන්ටද..?

ඉතිං කොහොමින් හරි අර ගෙදර ගොපළු උන්නැහේගේ උදව් උපකාර මත අර දේහයේ අවසන් කටයුතු එහෙමත් අහවර කොරලා දාලා..දැන් මේ ගෑණු මනුස්සයා තීරණයකට එනවා මේ නිවසේම නවතින්ට.

කොහොමටත් උන්දැට ආයේ යන්ට එන්ට තැනක් නැහැ නෙව..ඒ මදිවට අර දරුපැටියෙකුත් එක්ක කොහේ කියලා යන්ටද..ඒ හින්දා අර ගෙදර උන්නැහේලාගෙනුත් අවසර අරගෙන හිටං ඒ ගෙදරම වැඩක් පලක් කොරලා දීලා ලැබෙන දෙයක් කාලා වැටිලා ඉන්නවයි කියලා හිතාගෙන හිත හදාගත්තා...

මේ අතරේ ටික දවසකින් අර ගෙදර හිටිය බැල්ලි පැටවු ගහනවා..
පැටවු කිව්වට මොකද ආයේ බර ගාණක් නැහැ..එකම එකයි.ඒ තමා අර මැරිච්ච හාදයා..දැන් පැහැදිලියිනේ...

ඉතිං මේ බලු පැටියටත් අර ගෙදර උදවියගෙන් හරි සැලකිලි.හොඳට කන්න බොන්න..එතකොට එළකිරි පාරක් එහෙම ඇදලා දාන්ට ලැබෙන හින්දා මේකත් දැන් පුස්ඌරා වගේ ආරනවා...
කොහොමින් කොහොම හරි දැන් බල්ලත් තරමක නාම්බෙක්.

ඉතිං මෙහෙම කලය ගතවෙලා යනවා..ඒ අතරේ මේ ගොපළු නිවසේ නිතරම වාගේ කෙරෙන දෙයක් තියෙනවා..ඒ තමයි අර මං මුළින් කිව්ව පසේ බුදු හාමුදුරුවන්ට දානය පිළිගැන්වීම...
මේ පසේ බුදු හාමුදුරුවනුත් දැන් සෑහෙන කාලයක ඉඳලා මේ ගොපළු නිවසට ආසන්න කැලයේ තිබුණු පුංචි ආරණ්‍යයක වැඩ වාසය කොලේ...
ඉතිං අර ගොපළු උන්නැහෙත් පුළුවන් හැම වෙලාවෙම වගේ ගෙහුං අර පසේ බුදු හාමුදුරුවන්ට ආරාධනා කොරගෙන ගෙදරට වඩමවාගෙන ඇවිත් දානේ පිළිගන්වනවා..

ඉතින් අපේ මේ පසේ බුදුහාමුදුරුවොත් මොකදෑ කොරන්නේ දිනපතාම මේ ගෙදරට දානෙට වැඩියම එක බත් මිටක් අනලා අර බළු පෝතකයට දෙනවම තමා..මේ බත් මිට කන බලු තඩියා දැන් මේ බුදු හාමුදුරුවන්ට පුදුම විදියට ලෙන්ගතුයි...

ඉතිං මෙහෙම යනකොට දවසක් අර ගෙදර ගොපළු උන්නැහේ බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා..ඒ කිව්වේ...
දැන් හැමදාම දානෙට වඩම්මන්ට තමුන්ට එන්න බැරි වෙන දවස්වල තමුන් වෙනුවට මේ ගෙදර ඉන්න බලු නාම්බව පන්සලට එවන්ටත්..ඒ බලුතඩියා පන්සලට ආවම ඒ ඉගිය තේරුං අරං බුදුහාමුදුරුවන්ට තියෙන්නේ දානෙට වඩින්ටත් තමයි..ඔන්න ඔහොම බුදු හාමුදුරුවොත් එක්ක කතා බස් කොරගන්නවා..

බල්ලෙක් උනාට මොකද මේ බල්ලට පුදුම දැනීමක් තියෙනවා...ඌට අර ගොපළු මනුස්සයා යම් දෙයක් කීවම ඒක හරියටම තේරුං අරං ඒ අනුව කටයුතු කොරන්ට තරං හොඳ අවබෝධයක් තියෙනවා නෙව...

ඉතිං දැන් ඒ විදියට වැඩේ කෙරෙනවා..
එහෙම කිව්වට මේක ‍ලේසි පාසු ඩියුටියක් නෙවේ..
මොකද ඔය පන්සලේ ඉඳන් මේ ගෙදරට ටිකක් දුර එන්ට ඕන..ඒකත් කැලේ මැදින් තියෙන අඩි පාරක..
ඔය පාරේ සත්තු සරුපයි පිරිලා..ඉතිං අර ගොපළු උන්නැහේ පසේ බුදු හාමුදුරුවන්ව වඩමවන්ට යද්දිත් එද්දිත් ටිකක් ෂුවර් නැති තැන් වලින් යද්දී.පොල්ලක් එහෙම කඩාගෙන ඒ ඒ තැන්වලදී ටිකක් හයියෙන් සද්දයක් එහෙම දාගෙන යන්නේ..එතකොට ඉතිං මූණට මුලිච්චි වෙන්ට ඉන්න සතෙක් උනත් හිමිං සීරුවේ වෙන පැත්තකින් මාරුව දාලා යනවා...

ඉතිං දැන් හැමදාම මේ කෙරුවාව බලන් ඉඳලා අපේ බලුතඩියත් දන්නවා අහවල් තැනදී ටිකක් සද්දේ දාන්ට ගොරවන්ට එහෙම ඕන කියන කතන්දරේ..
ඉතිං ඌත් දැන් අර බුදු හාමුදුරුවෝ වඩම්මාගෙන එන ගමන් අර වගේ මාර්ග බාධක එන්ට ඇහැකි තැන්වලදී බුදුහාමුදුරුවන්ට ඉස්සර වෙලා ඇවිත් හතර වටේට බුරනවා හිටු කියලා..තත්වය යහපත් කියලා හිතුනම තමයි බුදු හාමුදුරුවන්ට ඒ හරියෙන් යන්ට හම්බවෙන්නේ...නියම විදියට රෝඩ් ක්ලියර් කරලා ආරක්ෂාව තහවුරු කොරලා තමයි ගේන්ට ඕන..

ඉතිං මේ බලු නාම්බා තමුන්ගේ ඩියුටිය ටිප් ටොප් එකටම කරගෙන යනවා...
ඒ අතරේ සමහරක් දවස්වලට බලුතඩියා මොනවද කොරන්නේ කියලා බලන්ට අපේ පසේ බුදුහාමුදුරුවෝ පාර වැරදිලා වගේ වෙන පාරකින් එහෙම යන්ට හදන වෙලාවළුත් තියෙනවා...

ආන්න එහෙම වෙච්ච ගමන් බලුතඩියාට තේරෙනවා යන්නේ කැලේ තමා කියලා..ඌ දුවලා ගෙහුං අර පසේ බුදු හාමුදුරුවන්ගේ සිවුර කටින් හපාගෙන හරි පාර පැත්තට අඳිනවා..නියම පාරට එනකල් ඌ නෙවෙයි සිවුර අතාරින්නේ...

ඉතිං මෙහෙම කාලය යද්දී..අපේ පසේ බුදුහාමුදුරුවන්ට පොඩි ගැටළුවක් එනවා..ඒ තමයි තමුන්වහන්සේ දැනට පොරවන සිවුර අබලන් වීම...සෑහෙන කාලයක් පාවිච්චි කරලා...ඒ මදිවාට අර බලු තඩියා අදින්ට ගිහිං ඉරිලා..ඔන්න ඔහොම අලකලංචි හින්දා දැන් අඵුත් සිවුරක අවශ්‍යතාවය දැනෙන කාලය...
කොහොම හරි මේ බව දැනගෙන අර ගොපළු උන්නැහේ සිවුරක් සකස් කර ගන්න සෑහෙන තරමේ රෙදි කෑල්ලක් උන්නාන්සෙට පූජා කොරනවා...
අන්න ඊට පස්සේ අපේ පසේ බුදුහාමුදුරුවෝ අර ගොපල්ලට කියනවා සිවුර සකස් කොරන්ට මෙතන ඉඳන් අමාරුයි..ඒ හින්දා ඒකට පහසු තැනක් වෙච්ච හිමාල අඩවියේ තියෙන "ගන්ධමාදන" පරුවතයට වැඩම කොරන්ට වෙනවා කියලා...

ඉතිං දැන් අපේ ‍බුදු හාමුදුරුවෝ ගන්ධමාන පරුවතයට වැඩම කොරන්ට තමයි සූදානම..හැබැයි ඉතිං ඒ යන වැඩේ අහවරක් කොරං ආපහු මේ ඉස්ථානයටම වඩින්ට උන්නාන්සේ පොරොන්දු වෙනවා...

ඉතිං එදා මොකද පින්වතුනි උනේ...?ඔන්න බලන්ට...

අනේ කවදාවත්ම තමුන් නැතිව ආපහු නොවඩිනා බුදු හාමුදුරුවෝ...එදා තනියම වඩිනවා..ඒකත් බිමින් නෙවෙයි අහසින්...අපේ බලු නාම්බා බලාන ඉන්නවා ඒ දිහා..
මොකෝ ඌත් පස්සෙන් පියාඹලා යන්ට කියලෑ..
උන්වහන්සේ යන විදියෙන්ම බලු තඩියට තේරෙනවා..මේ නං යන්නේ අයේ ලේසියෙන් එන ගමනක්ය නෙවේ කියන එක..
ඌ බුර බුරා බලන් ඉන්නවා...ඈත අහසේ පුංචි තිතක් වෙලා අර බුදුහාමුදුරුවෝ නොපෙනී යනකල්ම ඌ බලා ඉන්නවා පින්වතුනි...
තිරිසන් සතා උනාට පින්වතුනි..මුං අපි වගේ නෙවෙයි..හරී හිතෛෂී ජාතියක්...තද උනානං හපා කෑවා..ෆිට් උනානං ලෙවකෑවා...වලිගේ වනන වැනි‍ල්ලෙන් කීවෑකි උගේ හිතේ තියෙන සතුටේ තරම...
ඒක තමයි උන්ගේ ගතිය..ආයේ හිතේ එකක් තියං කටෙන් තව එකක් කියන අපේ ඈයෝ වගේ නෙවෙයි...

මේ කවුරුත් දැකලා ඇතිනේ..මළ ගෙවල්..ඒ මලගෙවල්වලදී කොහොමද අපේ අය ෆුල් වොලියුම් ඇරලා අඩන්නේ..
"අනේ..මාව දාලා යන්න එපෝ..."
"යන තැනකට මාවත් අරං පලෝ..."
"මට ඉන්න බෑ දෙයියනේ..."
"ඇයි මාවත් අරං යන්නෙ නැත්තේ..?"

අහලා ඇතිනේ...
මිනිය වලලන්ට හදන වෙලාවට පස් කන්ට හදනවා..වලට පනින්ට හදනවා..එක යුද්ධයයි..ඒ ඔක්කෝට දුකට වෙන්ටත් පුළුවන් එහෙමත් නැත්තං ෂෝ එකට වෙන්ටත් පුළුවන්...
හැබැයි විහිළුවටවත් "ආ මෙන්න තියා ගනිල්ලා මිනිය"..කියලා බැරිවෙලා හරි ආපු අය යන්න ගියොත් තමා වැඩේ බලන්න වෙන්නේ...එහෙමත් නැත්තං..
"ආ එහෙනං වල ගාවට වෙලා ඉන්නකෝ" කියලා දාලා ආවොත්...
අපිට කළින් ඇඩුව උදවිය ගෙදරට එයි..ආන්න එහෙමයි...

මං දන්න කියන තැනක ගෙදරක තාත්තා නැති උනා...
ඒ ගෙදර ළමයි හතර දෙනයි..තුන්දෙනෙක් මර ලතෝනි දුන්නා මරණේ වැඩ කටයුතු කොරන වෙලේ...මිනිය කන්ට හැදුවා..එක දුවෙක් විතරක් එක කඳුලක් හැළුවේ නැහැ..කතාවක් බහක් නැතිව බලාගෙන හිටියා..හැම දේම තමුන්ට පුළුවන් හැටියට හොයලා බලලා කරලා දැම්මා..කොටින්ම ටිකක් හරි සිහියෙන් හිටියේ ඒකි විතරයි...හැබැයි ගෙදරින් හරිහමන් විදියට ඉගෙන ගන්න හම්බ උනේ නැත්තෙත් ඒ ඇත්තිට විතරයි...
අනිත් අය අද රටේ ලොකේ ලොකු තැන්වල ඉන්නවා...

කොහොම උනත් මං කියන මේ මළගේ වෙලා දැන් අවුරුදු අටක් විතර ඇති..
අර එදා මිනිය කන්ට හැදුව උං ටික තාත්තගේ දානෙකට එන්නෙත් බොහොම කලබලේට අන්තිම මොහොතේ...ඒ ඇවිල්ලත් දුවනකං ඉවසිල්ලක් නැහැ...දානේ දීලා පිං දෙනවෙලාවට නං ලිස්ට් එක කියවද්දී නම ටිකක් ලොකුවට කියෝගන්ට හිතාගෙන දානේ බෙදන තැනට පැනලා හෙන කැටයං පාරක් දානවා..ඒ අස්සෙම නායක හාමුදුරුවරුන්ට කිට්ටු කරලා අලි පම්පෝරිය.. නොකියා කියනවා තමුන්ගේ ලොකුකං ටික කොහොම හරි අනුමෝදනා බනේදී කියවාගන්ට බලාගෙන..

හැබැයි අර අනිත් දැරිවි සද්ද නැහැ පාඩුවේ දානේ බෙදනවා..
අවුරුද්දක් තිස්සේ මහන්සියෙන් හම්බු කොරලා අදටත් අවුරුද්දක් ගානේ දානේ ලෑස්ති කරනවා තමුන්ට ඇහැකි විදියට...ඒත් අන්තිමටම අර අනිත් උදවිය මෙ දැරිවිට දොස් කියන්ට තියා ගත්තෙ නැද්ද හැම අවුරුද්දෙම දානේ ලෑස්ති කරගත්තම එන්ට යන්ට අමාරුයි කියලා...

ඔන්න මිනිස්සුන්ගේ නියම තත්වේ...

මං මේ ටික කිව්වේ කාටවත් අපහාසයක් කොරන්ට නෙවෙයි..පොඩ්ඩක් හිතන්ට දෙයක් දෙන්ට එපෑ මේ බණ අහන උදවියටත්..අපිත් එහෙමද කියලා කල්පනා කරලා බලන්ට..පොඩ්ඩක් තම තමුන්ගේ හිත්වලට තට්ටු කරලා බලමුකෝ...මොනවද ඇහෙන්නේ කියලා..හැබැයි ඇහෙන දේවල් කාටවත් කියන්න යන්ට එපා..ලැජ්ජා හිතෙයි..ඒ හින්දා ඕනනං කියන්න "අනේ මංනං එහෙම නැහැ කියලා"...හරි ලේසියි...
නිවන ඕං මේං පේනවා වගේ පෙන්නන්ට ඒක හරි නම්බුයි...නැද්ද මං අහන්නේ..?(මාත් එහෙමයිනේ..)

හරි අපි ආයෙමත් එමු කතාවට...

දැන් පින්වතුන් දන්නවා අවස්ථාව දුක්බරයි කියන එක...
දිනපතා තමුන්ට කන්ට බත් මිටක් දුන්න හිතවත් හාමුදුරුවෝ..
තමුන් බොහෝම ආදරයෙන් ආරක්ෂා කොරගෙන එක්ක ආව ගිය හිතවත් හාමුදුරුවෝ..
තමුන්ට නොතේරේන කොහේදෝ යනවා
ඒකත් අහසින්..ටික දුරක් හරි ඒ පස්සෙන් එළවගෙන හරි යන්ට විදියක් නැහැ..උන්නාන්සේ යන්නේ අහසින්..
ඉතිං මොකදෑ කොරන්නේ...හිතට හරි වේදනාවයි..අර ඈත අහසේ..පුංචි තිතක් වෙලා උන්නාන්සේ නොපෙනී යනකල්ම බුරා වැටෙනවා ඇර අර අහිංසක බළු තඩියා මොනවා කොරන්ටද පින්වතුනි...
අවසානයේ නොපෙනී යනකල්ම එක සීරූ බිරුව මේ බළු නාම්බා ඒ දුක ඉවසාගන්ට බැරිව හෘදය වස්තුව පැලිලා වේදනාවෙන් මිය පරලොව යනවා පින්වතුනි....

ඔන්න අවසානය...
......................................
හැබැයි පින්වතුනි..කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ...
මලාඋනත් පිනක් දහමක් ඇතිව මිය ගිය එකෙක් මේකා...
අර බුදු හාමුදුරුවන් ගැන අප්‍රමාන හිතේ පැහැදීමක් දයාවක් ඇල්මක් මේ බළු තඩියගේ හිත තුළ තිබ්බා...
අන්න ඒ පැහැදීමම ඒ බළුතඩියට සුගතියකට යන්ට හේතුවක් උනා...

බල්ලෙක් හැටියට මේච්චර කාලයක් ගත කොරාපු තිරිසන් ආත්මය නිමා කොරලා...
තාවතිංසය..එහෙමත් නැත්තං තව්තිසා දෙව් ලොව මහා විමානයක් සහිතව දෙවියෙක් හැටියට උත්පත්තිය ලබනවා...
අන්න ඉතිං මේ දෙයියා කොයි දෙයියාද?
මේ දෙයියා තමයි පින්වතුනි..."ඝෝෂක දිව්‍ය පුත්‍රයා" ලෙසින් අපි හදුන්වන්නේ...

ඇයි මේ ඝෝෂක කියන නම ලැබුනේ..?
තමුන්නැහේලාට මතකයි නෙව අර බුදු හාමුදුරුවන්ට ආරක්ෂාව සලසමින් ගිය ගමනෙදි සත්තු සරපයින්ව එලවන්ට අර බළු තඩියා උපරිම සද්දේ දාලා බිරුවා කියන කතාව..ආන්න ඒ හින්දා මේ දෙවියටත් ආසාවටවත් රහසක් කියන්ට බැහැ...හැතැම්ම ගණන් ඈතට ඇහෙනවා...ඔන්න වැඩේ..ඉතිං මේ ෆුල් වොලියුම් කේස් එක හින්දා තමයි අපේ දිව්‍ය පුත්තරයාට ඝෝෂක කියන නාමය හිමි වෙන්ට හේතු උනේ...
ඔන්න අදට කතාව අහවරයි..ඉතිරි ටික අපි ඊ ළග ලිපියකින් බලමු...ඝෝෂක දෙවියන්ගේ ඊ ළග පිම්ම...
.....................................
දෙවි කතන්දරේ කෙසේ වෙතත් පුංචිකාලේ මටත් හුග දෙනෙක් කිව්වේනං ඝෝෂකයා කියලා තමයි...
හිතාගන්ට ඇහැකිනේ හේතුව..?හැබැයි මාත් බල්ලෙක් වෙලා හිටියාද දන්නේ නැහැ..හපොයි සංසාරේ...

21 February 2011

අළුත්ම ප්‍රතිඵලය...සිතුදේ නොම වෙයි...නොසිතු දෙයක් වෙයි...300යි




මෙ සංසාරෙක හැටි..ඊයේ මං අද දවස ගැන හදාගෙන තිබ්බ වැඩ සටහන ගැන කවුද නොදන්නේ...
ඒත් වෙන්න තියෙන දේ වලක්වන්න කාටද පුළුවන්...
අපි මොන තරං ප්‍රාර්ථනා පොදි බැඳගෙන ආවත් අන්තිමට අපිට දවසක යන්න වෙන්නේ ඒ කිසිම දෙයක් ඒ අපි හිතපු විදියටම කරන්න පුළුවන් වෙලා නෙවෙයි..දවසක අර ගෙනාපු හැම එකක්මත් ආයෙමත් පොදි බැඳගෙන තවත් තැනකට යන්න වෙනවා...

ගමන මිසක නැවතීමක් නැහැ...ප්‍රාර්ථනා..ආශාවල් ඇර ඒවාගේ අවසානයක් නැහැ.

..........................................................

අද හරිනං මම මේ වෙලාවේ ඉන්න ඕන මේ විදියට නෙවෙයි...පුටුව දිග ඇරගෙන වාඩි වෙලා කකුල් දෙකත් උඩින් තියාගෙන සුරුට්ටුවකුත් පත්තු කරං ඒකේ දුමත් හිමි හිමිහිට අඳින ගමන් බැහැගෙන යන ඉර දිහා බලාගෙන කල්පනා සාගරේ කිමිදිලා...
ඇත්තටම මම ඊයේ සැලසුම ගහං හිටියේ එහෙමයි...
ඉර දිහි බලන්නනං අද කොහොමවත් වෙන්නේ නැහැ..හොඳටම වහිනවා...

ඒත් මගේ ඒ වෙනුවට දෙවෙනි සැලැස්මකුත් තිබ්බා...
මැච් එකක් බලන ගමන් සුරුට්ටු දුමක් අඳින්න...
ඒත් දෙවෙනි සැලැස්මට අවශ්‍ය දේවළුත් මං ගාව නැහැ...

කතාව කෙටියෙන් කිව්වොත් මෙච්චරයි...

අද දවල් දොළහ හමාරට විතර මං ගෙදරින් ගියේ වැඩ කීපයක් කරන් එන්න හිතාගෙන...මුළින්ම කිරිඳිවැල ලංකා බැංකුවෙන් පෝලිමේ ඉඳලා ඉඳලා ඉලංදාරියා වෙනුවෙන් මගෙනුත් පුංචි මුදලක් ඉලංදාරියාගේ ගිණුමට තැන්පත් කලා..ඒක හරි.

ඊ ළගට තිබුණේ පරණ මොනිටර් කෑල්ලක් හොයා ගන්න...ඒත් ඊට කළින් මං ගියා පරණ යාළුවෙක් හම්බ වෙන්න...

ඒ ගිහිල්ලා ටික වෙලාවක් කතා කරලා එන්න හිතං හිටියට දන්නෙම නැතිව පැය දෙකක් විතර එහෙම හිටියා කඩේ දාගෙන...
ඊට පස්සේ මං ආපහු එන්න කියලා බයිසිකලෙත් අරගෙන පාරට ආවා...බොරළු පාර ගේ ගාවින් පාරට දාලා අඩි විස්සකින් විතර එල් හැඩේට වංගුව...මාත් ටිකක් විතර පාර මැද්ද අල්ලලා ගත්තේ...අයින ෂුවර් නැහැ..වංගුව කෙළින් කලා විතරයි..මෙන්න එනවා නේද කොල්ලෝ දෙන්නෙක් ඇරලා දාලා බයික් එකක පාර මැද්දෙම...
මං අයිනට බයික් එක නවලා ආයෙම පද්දලා කෙළින් වෙන්න ඇරියා..කිසි අවුලක් නැහැ අර බයික් එක වදින්නේ නැතිව ලතාවට ආවා..ඒත් අරුං දෙන්නා කලබල වෙලා බ්රේක් ගහන්න ගිහින් වැඩේ වල් උනා...තත්පරයක් යන්න කළින් උන් දෙන්නා පෙරළුනා පාර මැද්දේ...

අච්චර අමාරුවෙන් බ්රේක් නොකර බයික් එක බේර ගත්ත මට එක පාරටම උන් දෙන්නා වැටෙනවා දැක්කම බ්රේක් පෑගුනේ නැද්ද..?මම ලේසියකට බ්රේක් කරන්නේ නැහැ ලිස්සන තැන්වල..බොරළු පාරවල්වල...වාහාලා තෙමුනු කාපට් පාරවල් උඩ...

ඒත් අරුන් වැටෙනවා දැක්කට පස්සේ මට ඕන උනේ ඉක්මනටම බයික් එක නවත්තලා උන් දෙන්නා ගැන බලන්න...

විපතක මහත...බ්රේක් පාර වැදුනා විතරයි..මගේ බයික් එකත් පැත්තට ඇල උනා..හිතන්නවත් වෙලාවක් නැහැ..ඔය යන්නේ ලිස්සලා..දඩ බඩෝරියං...මාත් බිම...දකුණු අත පොලොව දිගේ ඇදිලා ආවා...බයික් එක කකුල උඩ...තත්පර පහක් විතර යනකොට මට තේරුනා හරි මටත් බඩු තමා කියලා...
අමාරුවෙන් කකුල ඇදලා ගත්තා...
නැගිට්ටා වැලි පිහ දැම්මා...
ඒත් බයික් එක කෙළින් කරන්න හිතුනේ නැහැ...
ඒ එක්කම අනිත් බයික් එකේ වැටුන උන් දෙන්නත් නැගිට ගත්තා..ඒකේ පිටි පස්සේ ගිය කොල්ලාට අවුලක් නැහැ ඌ දුවලා ඇවිත් මගේ බයික් එක කෙළින් කරන්න හදනකොට තමා මට මතක් උනේ බයික් එක බිම නේද කියලා...
ඒ ගමන..
හරි මල්ලි මම බයික් එක ගන්නම් කියලා ඒක කෙළින් කලා...ඒත් එක්කම මම මෙච්චර වෙලා හිටිය ගෙදර කට්ටියයි තව අහල පහල අයයි දුවගෙන ආවා..
අපි දෙගොල්ලගේම වරද හින්දා ඒකෙක්වත් නීති රීති කතා කරන්න ගියේ නැහැ...

මං හිතන්නේ පැදං ආපු කොල්ලට ලයිසන් නැහැ..ඌ බය වෙලා...

"මොකද අයියේ ඔයාට කියලා මගෙන් අහනවා..."

"මට අවුලක් නැහැ ඔයාලට මොකෝ..."

"ගානක් නැහැ.."

"ආ එහෙනං කමක් නැහැ.."

"අපි යන්නද අයියේ..."

"හරි මල්ලිලා යන්න..."

උං හිනා වෙලා අතත් වනාගෙන ගියා..පව් ඉතිං පෙරේදා වෙනකල් මාත් ලයිසන් නැතිව පැද්ද එකානේ...
බොරුවට උංට ලෙඩ දාන්න ඕනයෑ...මුල මතක තියෙන්න එපැයි...

ඒත් දැන් අත තුවාල වෙලා...
අර ගෙදර අය කලබල වෙලා බේත් දාන්න කතා කරනවා...
මට ටිකක් තුවාල උනාට ඇත්තටම ඒ හැටි ගානක් නැහැ...සාමාන්‍ය මට්ටමට වඩා වේදනාවක් උහුලන්න පුළුවන් කමක් ඉස්සර ඉඳලම තිබ්බ හින්දා ඕවා ඒ හැටි ගණන් ගන්න දේවල් නෙවෙයි..ඒ හින්දා ගිහින් ටැප් එකකට අලල්ලා අත හේදුවා..එතනත් තව මගුලක්..ටැප් එක ඇරලා තත්පර දහයෙන් වතුර ඉවරයි...මටයි අරකිටයි හිනා ඒකට...
ආ අරකි කිව්වේ ඒ ගෙදර හිටිය ලොකු කෙලී තමයි...මගේ යාළු පිට් එකක්.
ඒ ගමන ඒකි දිවුවා වතුර මෝටරේ ඔන් කරන්න...
ආයෙමත් වතුර ආවා..ඒ පාර හොදට අත හේදුවා...බොරළු කෑලි හිටං අතේ ඇනිලා...

ඒ ඉවර වෙච්ච ගමන් අරකි ආයෙමත් තුවායකුත් උස්සං එනවා පිහදාගන්න කියලා..
අළුත්ම අළුත් තුවායක්..මට දුකේ බැහැ...ඒකිගේ තුවාය තමා..මං යනකොට නාලා ඔළුව පිහ පිහ හිටියේ...

"ඕන නැහැ ළමයා තුවාය තියාගන්නවා කිව්ව.."
එහෙම කියලා මං යන්න හදන කොට..බලහත්කාරයෙන් වගේ පුළුන් ගොඩක් ගෙනත් ඔක්කෝම තුවාල ටික පිහ දැම්මා...
"ඇති යකෝ..කිව්වම අහලා නිකං හිටිං..ඕක ඒ හැටි දෙයක් නෙවෙයි.."
ඒ කියලා මං උන්ගේ අම්මත් එකක් වැඩේ වෙච්ච හැටි කියන අතරේ මෙන්න ආයෙමත් මට දැනෙනවා අත හීතල වෙලා යනවා..බැළින්නං මෙන්න මේකි මොනවද මංදා බෙහෙත් ටියුබ් එකක් උස්සං ඇවිත් ඇගිල්ලකින් අර තුවාල උඩ ගානවා..මට පව් කියලා හිතුනා..

මං යන්න ලෑස්ති වෙලා ඒකිව බයිට් කර කර හිටියේ...කොහොමත් අපි දෙන්නා අහු වෙච්ච තැන ඇර ගන්නවා වලි කාපර්ලා...විනාඩි ගානකට කළින් ඒකිගේ නංගිත් එක්ක එක්කහු වෙලා අම්බානක බයිට් කර කර හිටිය කෙල්ල අතේ ලේ ගැවෙද්දිම ඇගිල්ලකින් බෙහෙත් ගානවා දැක්කම ඕන්න ඉතිං අර දුක කියන එක පහළ වෙන්න පටන් ගත්තා...
"ඔය ඇති බං..මං දැන් යනවා..."
කියලා මං ආවා..එන ගමන් බයික් එක ගරාජ් එකකට දාලා හැන්ඩ්ල් එක එහෙම කෙළින් කරගෙන සයිඩ් කණ්නාඩි එහෙම පිළිවෙලක් කරගෙන ආවා.
ගෙදර ඇවිත් නෑවා අර බෙහෙත් ඔක්කෝමත් එක්කම ගිහං තුවාල ටික සුද්ද වෙන්නම හේදුවා රෙදි ටිකත් පොගන්න දැම්මා...එන ගමන්ම බිස්කට්,නූඩ්ල්ස්,සව්බරෝ තෙසෙල් ගෙඩි එහෙම අරං ආවා..ඇයි ඉතිං දැන් මං ලෙඩානේ..මාව බලන්න කවුරුවත් එන්නේ නැති හින්දා මංම මට මොනවා හරි අරං එන්න එපෑ..
දැන් ඉතිං ඒවත් ටික ටික කකා මම මේ පුටුව උඩ දිගෑදිලා ඉන්නවා...

මොනිටර් ගෙනාවෙත් නැහැ..සුරුට්ටු ගෙනාවෙත් නැහැ...

දැන් ඉතිං හෙට උදේට වැඩට යන්න තමයි ටිකක් අමාරු වෙන්නේ..ඒත් කොහොම හරි යා ගත්තට පස්සෙනං ඒ හැටි අවුලක් වෙන එකක් නැහැ...
උදේට ඇගේ අමාරුවට උණ ගැනෙන්නේ නැති උනොත් එච්චරයි...
ලොකුම අමාරුව දැන් අකුරු ටයිප් කරන එක තමා...
දකුණු අත කොහේවත් ගෑවෙන්න දෙන්න බැහැ...ඒ හින්දා ඒක සිරුමාරුවට තියාගෙන වම් අතින් වැඩි හරියක් කොටන්න ගියහම සංසාරේ එපා වෙනවා....
මං හිතන්නේ මම අද තරං වෙලා අරගෙන ලිපියක් ලියලම නැද්ද මංදා...

......................................................
ඒ කියන කොටයි මතක් උනේ..මේ මම ලියන්නේ මගේ 300 වැනි පොස්ට් එක..මං ඉතිං ඒක ලියන්න හිතාගෙන හිටියෙත් මෙහෙම නෙවෙයි..හැමෝවම මතක් කරලා ස්තූති කරලා..ලින්ක් හැටක් හැත්තෑවක් විතර දාලා..ටිකක් කැටයං ඇතුව...
ඒත් ඉතිං අන්තිමට ලියන්න උනේ මෙහෙම...

ඕකනේ කියන්නේ සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි කියලා.
මම මේක පටන් ගත්තේ අළුත්ම ප්‍රතිඵලය කියලා හෙඩිමක් දැගෙන..දැන් ඉතිං ඒක‍ට තව එල්ලන්න දේවල් තියේ...
......................................................

‍අවසාන වශයෙන්..මෙච්චර කාලයක් මගේ හෝරාව සමග රැඳී සිටි ඔබ සෑම සියළු දෙනාටම ස්තූතියි.
ලිපි තුන්සීයක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි..ලියන එකේ අමාරුව මම දන්නවා...ඒ ලිපි ටික කියවන්න ඔයාලා වින්ද අමාරුව ඊට වඩා වැඩි ඇති මං හිතන්නේ...

මගේ අ‍‍‍ඳෝනා කවි...පල් හෑලි...විලාප...කන බොන විස්තර...රාජකීය බූට් වහන්සේලා අනුභව කිරීමේ තොරතුරු...අතරේ රස්සාවල් අතරේ චාටර් උන මාරයාගේ කතා කියවලා සෑහෙන වඳයක් වින්ද සියල්ලන්ටම මාගේ හද පිරි ස්තූතිය...

ඒ වගේම කියන්න ඕන මගේ බ්ලොග් එකේ ලියන ඒවා නිසා හෝ...කාගේ හෝ ලිපියකට මම යොදන කොමෙන්ටුවක් නිසා හිත් රිදීමක් අමනාපයක් වෙච්ච අය කවුරු හරි ඉන්නවනං ඒ තරහා මරහා අමතක කරලා දාන්න..සීයයට සීයයක් හැම කෙනාගෙම හිත් පිනවන්න මට බැහැ..මට නෙවෙයි අපි කාටවත් බැහැ..මං ආස දේට ඔබ ආසා නොවෙන්න පුළුවන්..ඔබගේ මතයට මා අකමැති වෙන්න පුළුවන්..ඒත් ඒ කිසිම දෙයක් වෙනස් කරන්න අපිට බැහැ...

කාට උනත් තමන් කැමති විදියට කැමති දෙයක් ලියන්න කියවන්න පුළුවන්...ඒ හින්දා හැම කෙනාටම තියෙන ඒ අයිතිය මාත් පාව්ච්චි කරනවා..හැබැයි ඒ කාටවත් රිදවීමේ අරමුණින් නෙවෙයි. හුදෙක් මාගේ සිතැගිවලට අනූකූල නිසාවෙන්..ඒ හින්දා කවුරුවත් හිත් අමනාපකං ආරෝවල් තියා ගන්ට එපා ..අල්ලලා දාන්ට...මාත් එහෙමයි...

සියළු දෙනාටම සුභ අනාගතයක්...!

20 February 2011

හෙට හවසට...කොල්ලා රජ වෙයිද..?


ඔන්න ඉතිං ආයෙමත් ලියන්න කියලා පටන් ගත්තා...
අද ලියන්න ගත්තට ලියන්න කිසිම දෙයක් තාම ඔළුවට ඇවිත් නැහැ..අද බණ කතාව ලියන්නත් කම්මැලියි වගේ...ඒ හින්දා ඒක පස්සේ ලියනවා..

අද ඉරිදා..හැමෝටම වගේ නිවාඩු දවසක්..ඒත් ඉතිං අපි වගේ උදවියට එහෙම නිවාඩු නැහැනේ..ඒ හින්දා මං අද වැඩ...
ඒත් ඉතිං ඉරිදා වැඩවල කිසි අවුලක් නැහැ..ඇවිත් පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ...
පුංචි වැඩක් කරන්න හිතං ඉන්නවා..ලෑලි කෑලි ටිකක් කපලා පොඩි මේස ලෑල්ලක් වගේ එකක් හදන්න.
මේක ලියලා ඉවරවෙලා තමයි ඒක කරන්න වෙන්නේ...උදේ පාන්දර ලී කුඩු නාගන්න කම්මැලියි වගේ..

අද ඉතිං ඒ වැඩෙත් කරලා බයිසිකලෙත් ටිකක් හෝදලා දාලා රෙදි ටිකත් හෝදලා නාලා කරලා ඉන්න තමයි තියෙන්නේ..පොඩ්ඩ්ක් හෝව්..තේ කොල ටිකක් උණුවතුරට දාලා ආවේ තැම්බෙන්න..දැන් හරි ඇති..
............................................
හරි..ප්ලේන්ටියකින් ලැබෙන කික් එක අනන්තයි අප්‍රමාණයි...ඉග්‍රරු කෑල්ලකුත් තිබ්බනං පංකාදු පහයි...

ආ මට පොඩි ආසාවක් ආවා අද උදේ...වෙන මොකටවත් නෙවෙයි සුරුට්ටුවක් බොන්න...

අර සිරීපාදේ යන වෙලාවට බොන ජාතියේ වගේ එකක්...සිගරට් වලටනං මම ඒ හැටි කැමැත්තක් නැහැ...ඒත් බීලා තියෙනවා කීප වතාවක්...ඒ ඉතිං ඔය ඒ දවස්වල සංගීතයක් බලන්න එහෙම ගිය වෙලාවක තමයි..ඒ ඇරුනාමනං සිගරට්වලට මගේ මනාපයක් නැහැ...
පුංචිම කාලේනං බීඩිත් බීලා තියෙනවා හොරෙන්..අපේ ගෙදර කඩේ ඉතිං ඕවා තියෙනවනේ..මායි මල්ලියි එක පාරක් බීඩි දෙකක් අරං බිව්වා..මල සංසාරේ..කහිනවා ඇර ඒකේ ඇති මෙලෝ දෙයක් නැහැ...
ඊට පස්සේ කාලෙකත් එක දවසක් මේසන් වැඩකට අත් උදව් දීදී ඉන්න තැනකදී බිව්වා..කසඩ රහ ඇරුනාම ඒකේ ඇති දෙයක් නැහැ.

සුරුට්ටු සුවඳටනං මං පොඩි කාලේ ඉඳලාම බොහෝම කැමතියි...
සුරුට්ටු සුවඳට..පෙට්රල්වලින් තිනර් වලින් එන සුවඳටත් මගේ නැහැය බොහෝම ප්‍රිය කරනවා...
ඒත් සුරුට්ටු කොටයක් මුලින්ම බිව්ව දවසෙනං ඒ සුවඳ තරං සුරුට්ටුවේ රහක් නැති විත්තිය මට තේරුනා..
ඒ බිව්වෙත් මේසන් බාස් අපේ තාත්තත් එක්ක කයියක් ගහං ඉන්න කොට බිබී හිටිය සුරුට්ටුව බිත්ති කණ්ඩියක් උඩිං තියපු වෙලාවක පොඩ්ඩක් බාසුන්නැහේ එහෙ මෙහෙ වෙනකල් ඉඳලා...
පොඩි කාලෙනේ..දන්නැද්ද ඒ දවස්වල තියෙන ආසාවල්...

ඒත් ඒකත් ඒ හැටිම අල්ලලා ගියේ නැහැ...

අන්තිමට හිතේ හැටියට සුරුට්ටුවක් හා හා පුරා කියලා බොන්න හම්බ උනේ දවසක් සිරී පාදේ ගිය වෙලාවක තමයි...ඒ දවස්වලනං ඒවා විකුණුවේ අගල් අටයි මළුවට එකයි කිය කියාද කොහේද..?

හැබැයි ඒ සුරුට්ටුව බොන එකත් ඒ හැටි ලේසි නැහැ..නිතරම නිවෙන්න බලනවා..හුගාක් දිග හින්දා කොච්චර ඇද්දත් දුම එනවා මදි...ඒ හින්දා ඒ සුරුට්ටුව දෙකට කඩලා බොන එක තමයි හොඳම විදිය..ඒත් මුලින්ම අපිට ඕක කල්පනාවට ආවේ නැහැ...අයියලා වගේ පන්දම පිටින් දිගට දිගේ අදින්න හදනවා මිසක්...හකු දෙක ඇදුං කනවා ඒක අදින්න ගෙහුං...

හැබැයි මොනවා උනත් ඒ සුරුට්ටුව නරක නැහැ...ඒත් ඉතිං ආයේමත් ගෙදර ආවට පස්සේ ඕවා අදින්න යන්නේ නැහැනේ...

අද උදේම හම්බ උන පිංතූරයක් දැකලා තමයි මට මේ ආසාව ආවේ...
මං අහලා තියෙන්නේ නං හොඳම සුරුට්ටු හදන්නේ කියුබාවේ කියලයි... හවානා කියලා ජාතියක් ගැන අහලා තිබ්බට කවදාවත් දකින්නවත් බොන්නවත් අඩුම ගානේ ඒ සුරුට්ටුවේ සුවඳ කොහොමද කියලවත් අත් විඳින්න හම්බ වෙලා නැහැ...
ලංකාවේ ඉතිං තියෙන්නේ කළු සුරුට්ටු..පෙට්ටි සුරුට්ටු..එහෙමත් නැත්තං වැනිලා සුරුට්ටු එහෙමනේ...

ඇත්තටම සුරුට්ටුවක් බොන්න කලින් සුරුට්ටුවල විස්තර ටිකක් හොයා ගන්න තිබුණනං ටොප්..ඒත් ඉතිං කවුද ඉන්නේ ඔය ගැන අහ ගන්න..ඔන්න අපේ අරුණි අක්කාට සිතක් පහල උනොත් සුරුට්ටු ගැන ලියන්න..ආන්න එ‍තකොටනං සුරුට්ටු ගැන අලගිය තැන් මුලගිය තැන් ඇතුව අහගන්න තිබුණා..

එහෙමත් නැත්තං අපේ වැම්පා මලයට සුරුට්ටු ආස්සරේ කොරන්න ලැබිලා තිබුනනං ඒ ගැන ...ඒ කිව්වේ සුරුට්ටු පාවිච්චි කරන නියම ක්‍රමය ගැන එහෙම දැන ගන්න තිබ්බා...

සුරුට්ටු ගැන කිව්වම මතකෙට එන තව දෙයක් තමයි අර සුරුට්ටුවල කෙලවර කපන්න භාවිතා කරන පුංචි කටර් එක..ආන්න ඒකනං මං දැකලා තියෙනවා බයිස්කෝප් වල..හැබැයි ඒ සුරුට්ටු කපන්න නෙවෙයි කාගේ හරි ඇගිල්ලක් කපන්න තමයි ඒක වැඩි හරියක් පාවිච්චි වෙන්නේ...
අර අපේ ටොම් කෲස් මලයා හිටිය මිෂන් ඉම්පොසිබ්ල් චිත්තර පටියේ එහෙමත් ඔය ඇගිළි කේස් එකක් ගියා මට මතකයි...

ඔය සුරුට්ටුව කපන උපකරණය ගැන මට මුළින්ම කියවන්න ලැබුනේ ෂර්ලොක් හොල්ම්ස් ගේ අභිරහස් පරීක්ෂණ පොතකින් කියලා තමයි මතකයේ තියෙන්නේ...

ඔය හැම එකක්ම මේ පින්තූරේ දැකපු වෙලාවේ මගේ හිතේ ඇඳිලා ගියා නිකං හීනෙකින් වගේ...
දැන් ඉතිං මට තියෙන ආසාව තමයි ආන්න ඒවගේ හොඳ වර්ගයේ සුරුට්ටුවක් අරගෙන ටිකක් ඇගිළි වලින් සුරුට්ටුව තද කරලා අර වගේ කටර් එකකින් අග්ගිස්ස සියුම්ව කපලා...ඒක පත්තු කරගෙන..හවස් වරුවක ඉර බැහැගෙන යන වෙලාවක ගේ ඉස්සරහ වෙල් යාය දිහා බලාගෙන ඇලට් එකක් දාගෙන නිවී හැනහිල්ලේ සුරුට්ටුව බොන එක...

මේක නිකං පිස්සු අදහසක් උනත් මං දන්නවා ඒකෙන් මට හිතේ සැහැල්ලුවෙන් මොහොතක් හරි ගත කලෑකි කියලා...

දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕකට අවශ්‍ය කලමනා හොයාගන්න එකයි...

අර පින්තූරවල තියෙනවා වගේ සුරුට්ටු මෙහේ හොයන්න වෙන එකක් නැහැ..ඒත් ටිකක් ඇවිද්දොත් ටිකක් විතර අවුලක් නැතිව බොන්න පුළුවන් මොනවා හරි සුරුට්ටුවක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.

කටර් එක වෙනුවට හොඳ දැලි පිහි පාරක් දෙනවා...අනිත් ටිකනං ඉතිං බැරියෑ..

හ්ම්..හෙට සඳුදා...උදේම බැංකු යන්න තියෙනවා මේ ටිකේම පඩිය අතට ගත්ත උනාට බැංකු වහලා හින්දා ඉලංදාරියට දෙන්න තියෙන සප් එක දීගන්න උනේ නැහැ...
ඒ වැඩෙත් කරගෙන සුරුට්ටුවකුත් හොයාගෙන..ආ තව වැඩක් තියේ කීයකට හරි පරණ මොනිටර් කෑල්ලක් හොයං එන්න ඕන..
මගේ කොම්බෝ බොක්ස් එක මාට්ටු කරගෙන වර්ල්ඩ් කප් එක බලන්න...
මගේ තිබුණු ඔක්කෝම කොම්පියුටර් ගැජමැටික්ස් ටික සුදු නංගිට දීලා දැම්මට පස්සේ මට ටීවී බලන්නත් නැහැ දැන් මාස ගාණකින්..ඇත්තටම ටීවී එකක් නැති එකනං පුදුම සහනයක් ජීවිතේකට..මං දැන් කාලෙකින් ටීවී බලලා නැහැ..ඒ උනාට එහෙම නැහැයි කියලා කිසි අවුලකුත් නැහැ...
ඒත් වර්ල්ඩ් කප් මැච් ටික බලන්න හිතේ තියෙනවානේ...හැමදාම නැතත් දවසක් ඇර දවසක් ගෙදර ඉන්න ටිකේවත්...
ලැප් එකේ කොම්බෝ බොක්ස් එක සම්බන්ධ කරන්න පුළුවන් විදියේ ස්ලොට් එකක් තිබුනට..මෙකෙන් ටීවී බලන්න බැහැ..මාර කරුමයක් තමයි..නැත්තං දෙයියනේ කියලා මට වැඩට ඇවිල්ලත් මැච් බලන්න තිබුණා...

මං කැමති නැහැ බඩු මුට්ටු වැඩි කරගන්න..තව මොනිටරයක් කියන්නේ මගේ සංචාරක ජීවිතේට අනවශ්‍ය බරක්..කොයි වෙලේ හරි බෝඩිම මාරු කරන්න ඕන කියලා හිතුන වෙලාවට තමයි බඩු වැඩි වීමේ කරදරය තේරෙන්නේ...

ඒත් දැන්නං වෙන විසඳුමක් නැහැ...අපේ ලැප්ටොප් විශාරද ප්‍රියන්ත උන්නැහේත් කිව්වේ ලැප් එකට කොම්බෝ බොක්ස් එක ගහලා ටීවී බලන්න බැහැයි කියලා නෙව...ඒ හින්දා දැන් හිත හදාගෙන මොනිටර් කෑල්ලක් උස්සං එන්න වෙනවා...

ඉතිං හෙට දිහාවේ ඔය ඔක්කෝම කර ගත්තනං හොඳයි...

ෂෙහ්..දැන්නේ මතක් උනේ..මට ඉර බහිනවා බලාගෙන විතරක් නෙවෙයි කොහොම හරි කොම්බො බොක්ස් එකට මොනිටරයත් පටල ගත්තානං සුරුට්ටුවකුත් ඇද ඇද මැච් එකක් බලන්නත් තිබ්බා...මීට වඩා තවත් මොනවද.. මං හිතන්නේ බැරක් ඔබාමා ගොයියටවත් මට තරං ආතල් එකේ ඉන්න ලැබෙන්නේ නැතිව ඇති...

හරි මොන විදියෙන් හරි හෙට දෙන්නං ජම්බු...

19 February 2011

පාසල් දිවිය...

ළපටි කැකුළු වියේ පටන්..
පොත් මිටියත් පිට බැඳගෙන..
ගමේ පුංචි ඉස්කෝලෙට ගියපු එකා මං..

පහේ කැලෑසිය සමත්ව..
ඉගෙන ගන්ට තවත් හොඳට..
සිදාදියේ කොලීජියට දාපු එකා මං..

හීනී කෙසග පරඩලක්ව..
ලොකු ලොකු ගස් අස්සේ වැනුන..
අකලට පරවී ගියාපු එකා උනෙත් මං..

අන්තිමේට කිසිත් නැතිව..
ආපහු ගම් දොරට ආව..
අනාත අසරණ ගැටයා උනා නේද මං..


*නිම්ශා නංගිගේ කවියකට ප්‍රතිචාරයක් හැටියට ලියඋන මුත් මෙය හොඳම හැඳින්වීමක් ලෙස මට වැටහුනේ ඒ දෙස බලා ඉද්දී නිසා මෙසේ පල කිරීමට සිත් විණි...

ඝොෂක සිටු පුත්තරයාගේ කතාව...අනේ මෙහෙම ආසාවක්...

යාන්තං ඊයේ මංතුමා කාලෙක ඉඳන් කොරගන්ට බලං හිටිය දෙයක් කොරගත්තා නෙව...
ඒ කියන්නේ මේ රියදුරු බලපත්තරය ගත්තා නෙව...
මට ඉතිං අවුරුදු දහයක් විතර පරණ පලපත්තරයක් තිබුණා..හැබැයි ඒකෙන් කොරන්ට පුළුවන් තුන්සක රථ පදවන්ට විතරයි..ඒත් දැන් එකෙන් බයිසි මොටෝ වගේම හෑල්ලු රථ වාහනත් දක්කන්ට ඇහැකි...
බර වාහන එළවිල්ලට මගේ කොහොමත් මනාපයක් නැති හින්දා එහෙම බලපත්තරනං ඕනා කරන්නේ නැහැ...
දැන් ඉතිං හදිස්සියකට ඕන උනොත් පුංචි පහේ රියදුරු රස්සාවක් හෙම උනත් කොරන්ට මාරයාතුමාට ඇහැකි නෙව..
පාරට බැස්සම අතට අහුවෙන ඕනම රස්සාවක් කොරන්ට පුළුවන්වීම හිතට හරි හයියක්..විශේෂයෙන්ම බොහෝම හුදකලාව..තනියම ජීවත් වෙන්ට හුරුඋන මං වාගේ එකෙක්ට හොයලා බලලා කරන්ට කවුරුවත් නැති හින්දාම ජීවිතේ රැක ගන්ට මොනවා නමුත් දෙයක් හැමදාමත් කරන්ට වෙනවා...

හදිසියකටවත් කියලා රස්සාවක් නැතිව ගෙදර ඇවිත් වැටිලා ඉද්දී කන්ට දෙන්ට අම්මා තාත්තා හරි වෙනයම්ම කවුරු හරි නැති හින්දා නිතරම සූදානමින් ඉන්ට ඕන මොනවා නමුත් කොරලා පනං හතරක් හොයාගෙන වේල සරි කොරගන්න..ඒ අතරම අනාගතේ ගැනත් ටිකක් හරි හිතන්ටත් වෙනවා..කොහොමත් මං දැන් ටිකක් ඒ ගැන හිතන්ට පටන් ගන්ට කියලා හිතාගෙන ඉන්නේ...

මං බය නැතිව මෙහෙම ජීවත් වෙන්ට හුගාක් හේතු උනේ...මට පාරට බැස්සම කරන්ට ඇහැකි රස්සා ඕන තරං තියෙන හින්ද කිව්වොත් වැරදි නැහැ...

බේකරියක පාන් මෝලිය අල්ලන්ට..බස් එකක කොන්දොස්තර කොමක් කොරන්ට...මේසන් වැඩ පොලක වැඩ කොරන්ට..වඩු මඩුවක වැඩ කරන්ට..ගරාජ් එකක මජං නාගෙන වැඩ කොරන්ට..හෝටලේක කුස්සියට හේත්තු වෙන්ට උනත් මං මනාපයි..

ඒ මගේ හිතට දැනෙන වැඩ..ඒ අතරට දැන් ඉතිං වාහන කෑල්ලක් කරකවන්ට උනත් අයිතියක් හම්බු උන එක තවත් හිතට හයියක්...
හරි ඒ බයිලා නවත්තලා අපි යමු අර කියාගෙන ආපු බණ කතන්දරේට...

......................................................

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි දවස් ‍ගාණක් ගාටලා ගාටලා අර දෙන්නා දෙමහල්ලෝ තමුන්ගේ පැටියවත් ඇන්න ගොඩ උනා අර ගොපළු ගෙදරට...අද එතැන් සිට..

මේ උන්දලා එහෙට ගොඩ වෙනකොට ඒ කියාපු ගොපළු ගෙදර පුංචි පහේ උත්සවයක් තිබිලා අහවර උනා විතරයි...
ඒ උත්සවයත් ඉතිං අර ඒ ගෙදර ඇති දැඩි කරන කිරි හරක් සම්බන්ධව කෙරුණු තෝත්තරයක් නිසාම කෙරුණු එකක්..හැබැයි ඉතිං ඒක ටිකක් දානමය පිං කමක් විදියටයි කෙරුණේ...

මොකදෑ කිව්වොත් මේ ගෙදර පොරධානියා එහෙමත් නැත්තං ගෘහ මූලිකයා වෙච්ච උන්නැහේ ඒ කාලේ ඒ නිවසට ආසන්න ස්ථානයක වැඩ වාසය කරාපු පසේ බුදුවරයාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ඇප කැප වෙලා ඇප උපස්ථාන කොල උපාසක මහත්තයෙක්..

ඉතිං මේ පසේ බුදුවරු ගැනත් කියන්ට දේවල්නං සෑහෙන්ට තිබ්බා උනත් කතාව ටිකක් ඉක්මන් කොරන්ට ඕන හින්දා ඒ විස්තර වෙන දවසක කියන්නංකෝ..

ඉතිං එදාත් අර පසේ බුදුන් වහන්සේ වෙනුවෙන් බොහෝම සාර සුභාවට දානේ පිළියෙල කොරලා උන්වහන්සේව වළදවලා හමාර වෙච්ච වෙලාවට තමයි අපේ මේ ඩබලත් එතනට ඇන්ටර් උනේ...
ඉතිං අර ගොපළු උන්නැහේ..මේ ආව දෙන්නටත් සප්පායං වෙන්ට කියලා මහා විශාල කිරිබත් පලගානක් දීපි..

අනේ ඉතිං අර ගෑනු මනුස්සයා මොකද කොලේ..
තමුන් ටිකක් කන ගමන් තමුන්ගේ මනුස්සයට වැඩි කොටහා ගිල්ලෙව්වා වැඩි ආදරේට කියලා...
ඒ උන්දැත් දමලා ඇරියා කිඹුලා කිරිමැටි ගිලින්නැහේ අර කිරිබත් තළිය..ඒ ගිල දාන අතරෙම උන්දැට පේනවා තවත් සීන් කෝන් එකක්..ඒ තමා අර ගෙදර ලොක්කාත් කිරිබත් කනවා ඉස්සරහාහින් වාඩි වෙලා..ඒ කන අතරෙම එතන ඇදක් යටට වෙලා ඉන්න බැලි කික්කියෙකුට ලොකු ලොකු බත් කටවල් කන්ට දෙනවා..අර කික්කිත් නැට්ට වන වනා බොහොම සතුටින් කිරිබත් ගිලිනවා...

දැන් මොකද වෙන්නේ..අර කිරිබත් ගිලින අතරෙම මේ මනුස්සයා කල්පනා කොරනවා..අනේ අර බැල්ලිට තියෙන සැපක්..දවස ගානෙම මෙහෙම බත් ගිල ගිල ඉන්ට මූ කොයි තරංනං පිනක් කොරලා තියෙන්ට ඕනද.?අපිට කොහේද ඔහොම සැපක්..අනේ අම්මපා මටත් මෙහෙම තැනක ඉපදිලා ඔන්න ඔහොම සැපට ගිල ගිල ඉන්න තිබ්බානං කියලා...

ආයේ ඉතිං එහෙම හිතෙන එක අහන්ටත් දෙයක්යෑ අපිට උනත් සමහර වෙලාවට ඔය බලු නාම්බෝ දැක්කාම හිතෙන්නේ අනේ ඉතිං බල්ලෙක් උනානං මීට හොඳයි කියලා..හැබැයි ඉතිං එහෙම හිතුවා වගේ නෙවෙයි..බලුනගුටෙක් වෙලා උපන්නට ඒ බලුනාම්බන්ට වගේ අපිටත් හුරතලේට හැදෙන්ට ඒ බලු නාම්බන්ට සැලකුම් සත්කාර කොරන අක්කලා නංගිලා හම්බ වෙයිද කියලා කොහොමද දන්නේ..ඒ හින්දා එහෙම හිතන එක හරි බයානක වැඩක්...
ඒ හින්දා ඒ සැප නැතුවට කමක් නැහැ කියලා හිත සකස් කොරගන්ටත් ඕන නැත්තං ඉතිං සිද්ධ වෙන දේ බලන්ටකෝ...

ඉතිං මේ උන්දැත් අර බැල්ලිට තියෙන සැප ගැන හිත හිත අර කිරිබත් පලගානට වැඩේ දුන්නයි කියමුකෝ..ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ...

එදා රාත්තිරියේ අර කාපුවා දිරෝ ගන්ට බැරුව අර මනුස්සයා පරලෝ යනවා නෙව..ඇයි ඉතිං බඩ ගින්දරේ දවස් ගාණක් වේලි වේලි හාමත් වෙලා ඇවිත් නෙලලා ඇද්දම අර වාගේ..උහුලන්ට ඇහැකියෑ...උන්දෑ සෙත්තපෝච්චි...
හැබැයි වැඩේ එතනින් අහවර උනේ නැහැ..අර දවාලේ අර බළු නෑම්බි බත් ගිල දාන එක දිහා බලලා හිතේ ඇති කොරගත්ත කල්පනාව හින්දයි..ආයේ අමුතුවෙන් කොරාපු පිනක් නැති කමයි හින්දා ගෙහුං උපන්නා නෙව අර බැලි කික්කිගේ කුසේ බළු කුකූරුවෙක් වෙලා...එහ්නං...

ඔන්න ඕකයි වැරදි ආසාවල් හින්දා මිනිස්සුන්ට වෙන දේ...
කවුරුත් හිතට ගන්ට ඕන දකින දකින හැම දේටම ලෝබ හිතන්ට ගියහම අපිටත් වෙන්නේ ඕක තමා කියලා..ඒ වගේම තමයි තම තමුන්ගේ ගෙවල්වල..විතරක් නෙවෙයි ඇහැ ගැටෙන අල්ලපනල්ලේ ඉන්න සතා සීපාවට උනත් කරුණාවෙන් සලකන්ට හිතට ගන්ට ඕන..බොහෝමයක් වෙලාවට ඒ ඉන්නේ අපේම නෑදෑයෙක් මිත්තරයෙක් වෙලා ඉඳලා මිය පරලව ගෙහුං අපිව දාලා යන්ට බැරි කොමට හරි..
ජීවත්ව ඉන්න කාලේ හරි හම්බ කොරගත්ත දේ දාලා යන්ට බැරි හින්දා හරි..
උන්දලාගෙන් අපිට වෙන්ට තිබ්බ යුතුකං ටික හරි හමන් විදියට ඉස්ට කොරන්ට බැරි උනා කියලා හිතාගෙන විස්සෝපයෙන් මියෑදිලා අපි අතරම ඉපදුන අපේම ඈයෝ වෙන්ට පුළුවන්...

ඒ හින්දා සතෙකුට ගහන්ට හිරිහැරයක් කොරන්ට එහෙම හිතුන වෙලාවට දෙපාරක් හිතන්ට මේ සමහර විට මගේම කෙනෙක් වෙන්න පුළුවන් නේද කියලා...
අපි හිතන්න අකමැති උනත් ඒ ඉන්නේ අපේම අම්මා තාත්තා උනත් වෙන්ට ඇහැකි...
ඉතිං එහෙම කෙනෙක්ට අපේ අතින්ම හිසාවක් පීඩාවක් වෙනවනං ඒක කොයි තරං අකුසලයක්ද..?
ඒ හින්දා හැම වෙලේම ඒ ගැන හිතන්ට පුරුදු වෙන්ට නැත්තං දවසක ඒ අකුසලයෙන්ම අපිටත් අපේ ගෙවල් අහල පහලම මොකෙක් හරි තිරිසනෙක් වෙලා ඉපදිලා අපේම දූ දරුවන් හිතවතුන් අතින් ගුටි බැට හිරි හැර විඳින්ට වෙයි...

ඒ හින්දා හැම වෙලාවෙම කල්පනා වෙන් වැඩ කරන්ට හිතට ගන්ට...
විශේෂයෙන්ම සත්වයා මේ සංසාර චක්කරේ ඉපදි ඉපදී මැරි මැරී යන අපූරු ගමනේ ගති සුභාවය මේ කතා පුවතින් අපිට හිතාගන්ට පුළුවන් වෙනවා..හොඳ සිහි කල්පනාවෙන් කියෝගෙන යන ගමන් තමුන්ගේ සංසාර ගමන ගැනත් සිහි කොරගන්න එක හොඳයි..ආන්න ඒ පණිවිඩේ හොඳටම දෙන කතන්දරයක් තමයි මම මේ කියන්ට පටන් අරං තියෙන්නේ ..ඒ හින්දා විහිළු තහළු කරනා අතරම ටිකක් විතර ගැඹුරිනුත් හිතන්ට හැමෝම හිතා ගන්ට ඹ්න..හපෝයි ඕවා නිකං කතන්දර විතරයි කියලා හිතලා අහක දාන්ට කැමති අයට එහෙම කොරන්ට නිදහස තිබුණා උනත් මේ කියන සංසාර චක්කරෙන් ගැලවෙන්ටනං බැහැ ඕං...

එහෙනං ඉතිං අපි ඊ ළග කතාවෙන් බලමු මේ බලු පෝතකයගේ වැඩ කිඩ...
.................................................
කෝ ඉතිං සංගරායක් කොරන්ට තාම කවුරුවත් ඉදිරි පත් උනේ නැහැ නෙව...
කට්ටිය නිස්සද්ද කොරලා විනය ආරක්ෂා කොරන වැඩේනං හා උපාසක අම්මා තිතටම කොරන බව පේනවා..හිටි හැටියේ සද්දේ දාලා දේශකයා වෙච්ච මංතුමාවත් නිහඬ කොරෝනවා...

උන්දැට ඉතිං මේ මාර අඩවියේ පූර්ණ සාමාජිකත්වය හා විධායක බලතල තියෙනවා නෙව..එදා පටන්ම...
ඒ උපාසක අම්මා වගේම තව කිහිප දෙනෙක්ම ඉන්නවා නෙව යාවජීව සාමාජිකත්වය ලබාගෙනම රැඳී ඉන්න උදවිය..

විශේෂයෙන්ම අර නම ලියද්දී අන්තිමට දෙමළ න යන්නෙන් අහවර කොරන ප්‍රසන්න උපාසකත් දැන් සෑහෙන කාලෙක ඉඳලා එකක් නෑර මාර සටහන් වලට ප්‍රතිචාර දක්වමින් මාරයාගේ ලියන කියන දේට ගැම්මක් දෙන උදවියට මං ඉතිං යාව ජීව සාමාජිකත්වය දීලා තියෙන්නේ...
මේ ඉතිං ඒ හැමොගෙම උදව්ව උඩ යන මාර ගමනක් නෙව....

17 February 2011

සිත වෙහෙසට පත් වී ඇත...

හ‍ඳේ දොරගුළු දමා
වසා ඇති මුත් තදින්..
නොදැණුනිද ගලා යන
සිහිල් මඳ පවන් රැල්..

ඔබේ සිත් කව්ළුවෙන්
එබී බලනා සැණින්..
කෙසේ නම් නොහැඟේද
හදේ ආදර හැඟුම්..

අවසරද කියන් මට
අරින්නට පියන්පත්..
ඔබේ හද මන්දිරේ
අඟුළු ගලවා ලමින්..

ඉඳින් අවසර ලදින්
නම් ඔබේ මද හසින්..
සනසන්න මෙමා හද
සතපවා ආදරෙන්..

දුකින් පිරි හදවතත්
රැගෙන මා මාවතේ..
බොහෝ දුර ඇවිද ඇත
යන මගක් නොම හැඳින..

ජීවිතේ බොහෝ දුර
තවත් යන්නට නොහැක..
බොහෝ දුබලව තිබේ
විඩාපත් මගේ සිත...

බණ කතාවක් අහමු...සරණාගත ඩබලක්...

හොඳයි එහෙමනං..පින්වතුනි..ආයෙමත් වතාවක් මාරයා උන්නැහේ..පටන් ගන්නයි හදන්නේ බණ කතා පොඩ්ඩක් කියන්ට කියලා..
ආන්න ඒ හින්දා මේ පින්වතුන් දැන් සූදානං වෙන්ට ඒ බණ කතන්දරේ අහන්ට...

අහනවා කිව්වට ඉතිං මාරයාගෙන් බණ අහපු උදවිය ඉන්නවනං දන්නවා ඇති මේ බණ මේ ආවට ගියාට..පැයෙන් දෙකෙන් අහවර වෙන ඒවා එහෙම නොවෙන විත්තිය..ඒ හින්දා බණ අහන්ට ලෑස්ති වෙනකොට මාස දෙක තුනකට හරි තප්පලං දාගෙන ඉන්ට ලෑස්ති වෙලා තමයි ඕං සූජානං වෙන්ට ඕන..සමහර විට මේ කතාව කියලා ඉවරවෙන කොට මෛත්‍රී බුදු හාමුදුරුවොත් මේ ලෝක ධාතුවේ පහළ වෙලා හිටින්ට පුළුවන්..ආන්න ඒ වගේ මාර ස්පීඩ් එකකින් තමා මාරයා බණ කියන්නේ..තේරුණා නෙව..

හරි..මේකත් ඉතිං මං අර පහුගිය දොහේ කිය කිය උන්නු බණ කථාවෙම එතැන් සිට කතාව තමා...
මෙකත් ඇවිල්ලා මෙගා සීරිස් එකක්..හොඳ වෙලාවට අපේ මේ ධර්මසේන හාමුදුරුවෝ ඉන්න කාලේ මේ දැන් ඉන්න ටෙලි නාට්ටිය කාරයෝ හිටියේ නැත්තේ..නැත්තං දෙකක් නැහැ උන්නාන්සෙව මුංදලා අල්ල ගන්නවා මෙගා ලියන්ට..

ඉතිං ඒවයින් වැඩක් නැහැ අද මේ උතුම් පුර පසලොස්වක පෝය දිනයේ බණ ඩිංගිත්තක් අහන්ට මාර භවනට ඇදුන කාට කාටත් කියන්නේ අර මං කළින් කිව්ව බණ කතා ටිකත් මතක් කොරගන්ට ඕන නැත්තං අවසානෙදී මං මේ කතා ටික ඔක්කෝම එකතු කරලා කියන අවසන් කතාව පැහැදිලි මදි වෙන්ට පුළුවනි...

.....................................................

හොඳයි පින්වතුනි..දැන් ගිය පාර බණටනං අපේ සොඳුරු සිතැත්තී උපාසිකාව බොහෝම මහන්සියෙන් අනග්‍රහය දැක්කුවා..උන්දැගේ අර කෝපි කෝප්පේ එහෙම බීපු අයට ඒ විත්තිය මතක ඇති මයෙ හිතේ...
යාන්තං තුන් මාසෙකට විතර පස්සේ තමයි කෙළින් කටින් හිටින්ට ඇහැකි උනේ..ඒ තරමට අපූරු කෝපි එක..

ඉතිං මේ වංගියෙත් එහෙම දාන මාන..සැලකිලි සත්කාර කොරන්ට කටිටිය ඉන්නවනං ඒ ඒ දේවල් කොරන්ට පින් අතේ වැඩ නෙව....

......................................................

ඕන්න ඉතිං පින්වතුනි...
ඉස්සර කාලේ ඔය දඹදිව කොසඹෑ නුවරට ටිකක් ආසන්නයේ තිබුණා පුංචි පහේ ගමක්..
මේ ගමේ හිටියා ටිකක් කම්මැලි පහේ ගොයියෙක්..උන්දෑ උන්දෑගේ තනි නොතනියටත් එක්ක ගෑනු පරාණයකුත් සහේට අරගෙන ඉන්න කාලේ...

මෙන්න මෙහෙම කාලේ ගත වෙනකොට මොනයම්ම විදියකින් හරි අර දෙන්නා දෙමහල්ලන්ට පුත්තරයෙකුත් හම්බ උනා කියමුකෝ..දැන් ඌ කිරි සප්පයා...

ඉතිං මේ කාලෙදිම මේ ගමට හරි භයානක රෝගයක්..ඒ කිව්වේ මේ වසංගත රෝගයක් බෝ වෙනවා...

බණ පොතේ තියෙන්නේ ඔය රෝගයේ නම "අභිවාතක" කියලා තමයි..මේ අභිවාතක රෝගේ හැදුනාම ඒ ගෙදර ඉන්න පුංචි පුංචි සත්තු මියෑදෙනවා...ඊළගට ටිකක් ලොකු සත්තු මියෑදෙනවා..අන්තිමට නිවසේ ඉන්න බාල එකාගේ පටන් වැඩිමහල්ලා දක්වා රෝගය පැතිරිලා ඒ අයත් මියෑදෙනවා..

ඉතිං මේ අභිවාතක රෝගය බෝවේගන එනවා කියලා දැන ගත්තාම ඒකෙන් මිදෙන්ටනං කරන්ට තියෙන්නේ එකම දෙයයි..ඒ තමයි අර පදිංචි ගෙදර මුදුන් යටලීයට යටින් බිත්තිය කඩලා ආන්න එතැනින් එළියට පිටත් වෙලා..ඒ පළාතෙවත් ඉන්නේ නැතිව පැනලා යන එක...

ඉතිං දැන් මේ ගමටත් ඔය රෝගය බෝවේගන එනකොට අර දෙන්නා දෙමහල්ලොත් තමුන්ගේ අළුත උපන් කිරි සප්පයත් අරං කොහොම හරි ගමෙන් පිටතට පැන ගත්තා...

දැන් මේ දෙන්නා වෙහෙස මාන්සිය නොබලා යනවා..කොහාටද..?
ආන්න පින්වතුනි මේ දෙන්නත් මේ අපේ ගංවල ඉන්න උදවිය කොළඹ රටටම ඇදෙනවා වාගේ..උන්දලත් ඇදෙන්නේ උන්දලා දන්න ලොකුම නගරය..එහෙමත් නැත්තං ලොකුම රාජ්ජය වෙච්ච කොසඹෑ නුවරටම තමයි..දැන්නං ඉතිං කොළඹට ඇදෙන එක නැවතිලා..හෙට අනිද්දට අපිටත් හම්බන්තොට යන්ට වෙනවා උනත්..උන්දලාට යන්ට වෙන අහක් තිබුනේ නැහැ...

ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ නෙව..අද කාලේ වගේ නෙවෙයි..ගමන පයිං..කැලෑ මැදින්..තමයි..

බොහෝම දුෂ්කරයි...
ඉතිං මුන්දලා දෙන්නා අර දරුවත් කර පින්නං දැන් යනවා යනවා යනවා..ඉවරයක් නැහැ..දැන් දෙන්නට පාං කියා ගන්ටත් බැරි තරං..ඒත් ඉතිං මොනවා කොරන්ටද..යන්ටම එපැයි..

ඒත් දැන් අපේ මේ කතා නායකයාට එහෙමත් නැත්තං අර පවුලේ මනුස්සයාට අර දරුවත් කරේ තියං ගිහිල්ලා එපා වෙලා තියෙන්නේ..ඒ හින්දා මේ යන අතරේ පොඩි යෝජනාවක් දාලා බලනවා අර තමුන්ගේ බාරියාවට...

"මේ ඇහුනද..ඕයි මටනං දැන් හරි මහන්සියි..මෙහෙම ගියොත් අපි දෙන්නත් මහ මගම මැරෙනවා..මේ දරුවත් අරං මේ ගමන යන්ට අමාරුයි..අපිට දරුවෝනං ආයේ හදා ගන්ටත් බැරියෑ..ඊට වඩා වටාන්නේ අපි දෙන්නා බේරිලා ඉන්න එකනේ.. ඒ හින්දා අපි මේ දරුවව මග දාලා යන් යන්ට" කියලා...

බලන්ට ‍පින්වතුනි මේකාගේ තරම...

හැබැයි ඉතිං එහෙම කිව්වට මොකෝ..ඒවට කොහේද අර අම්මණ්ඩි කැමති වෙන්නේ..අර යෝධයටත් හොඳවැයින් දෙකක් කියලා..අර දරුවත් අරගෙනම යනවා...
දෙතුන් වතාවක්ම මේ විදියට මුට්ටිය දාලා බැළුවට වැඩේ හරියන්නේම නැහැ..ඒත් දැන් මේ මනුස්සයට මේ වැඩේ ඇති වෙලා තියෙන්නේ...

ඉතිං කොහොමින් කොහොම හරි මෙහෙම යනකොට අර දරුවට නින්ද යනවා නෙව...
ඉතිං ආන්න එහෙම වෙලාවක් බලලා අර යෝදය මොකද කොරන්නේ..අනේ අර දරුවව ගෑනු මනුස්සයට නොපෙනෙන්න කැලේ ගහක් යට කොල ටිකක් කඩලා ඒ කොල උඩින් තියලා එනවා එන්ට...
මෙහෙම ටික දුරක් ගිහිං අර ගෑනු මනුස්සයා ආපහු හැරිලා බලන කොට අනේ..කෝ දරුවා..දරුවා නැහැ..අර ගොබිලා දෑත වන වන ඔහේ එනවා දකිනවා...

ඔන්න පින්වතුනි කෙළිය..එතන එක යුද්ධයයි... දරුවා ගැන අහපුවාම අර මනුස්සයා කියනවා තමුන් කොරාපු පජාති වැඩේ..
ඒක අහලා අර ගෑනු මනුස්සයා එක සීරුවට විලාප දෙනවා මිස..උන්දෑ නෙවෙයි එතනින් හෙල්ලෙන්නේ තව එක අඩියක්වත්...
අන්තිමට ඉතිං අර ගොබිලට සිද්ද වෙනවා ආපහු ගෙහුං අර දරුවා තියාපු තැනින් උස්සාන එන්ට...ඊට පස්සෙනං අර අම්මණ්ඩි නෙවෙයි දරුවව අරුන්දැට උස්සාන යන්ට දුන්නේ..මොන අමාරුවෙන් හරි තමුන්ම කර පින්නං යනවා ඇරෙන්ට...

ඔන්න..ඉතිං ඔහොම ‍ගෙහුල්ලා ගෙහුල්ලා..අන්තිමට මෙ දෙපලට යාංතං කෑලැව හමාරකොරලා පුංචි පහේ ගම්මානයකට යා ගන්ට ඇහැකි වෙනවා...
ඒ ගිය ගමෙන් උන්දලට මුළින්ම යාගන්ට වෙන්නේ එක්තරා ගොපළු ගෙදරකට තමා ඕං...
ගොපළු ගෙයක් කිව්වහම දන්නවා නෙව.. අර කිරි හරක් හදන ගෙයක්..ඒ දවස්වල ඉතිං තිබුණු ලොකුම කරුමාන්තයක් නෙව ඔය ගවයින් ඇති දැඩි කිරීම..ඉතිං මුන්දලත් ගෙහුං ලගා ගහ ගත්තේ ආන්න එහෙම ගෙදරක තමා..
ඉතිං එතන ඉඳන් මොකද උනේ කියලා අපි ඊ ළග කතාවෙන් බලමු...
දැන් ඇහැකි කට්ටියට පොඩි විවේකයක් ගන්ට...

16 February 2011

මේ හීනය නුඹටම පමණයි...

සිහින විමන් ඉදි කරවා
නුඹේ නමට පුදන්නයි..
සොඳුරු සිහින තුල රඳවා
නුඹ සැමදා තබන්නයි..

සිහින් සේල වළා යහන්
නු‍ඹ වෙනුවෙන් තනන්නයි..
ඒ යහනේ නුඹ සතපා
කව් ගී වැල් කියන්නයි..

මල් පෙතිවල පාට අරන්
නුඹට තිලක තියන්නයි..
පාට පාට දේදුන්නෙන්
නුඹට රටා වියන්නයි..

මහද විමන් කවුළු දොරින්
නුඹට මගක් තනන්නයි..
ඒ හීනේ සැමදාමත්
අපි එක්වී ගෙවන්නයි..

පරණ මතකයේ අහුමුළු...හරි ගිය අනාවැකිය...

හීතල උහුලන්නත් බැරි තරං...
කොයි තරං දැඟළුවත් පත්තර පිටු පොරවාගෙන සීතල වැලැක්විය නොහැක..
එළි වන්නට තව පැය කීපයක්ම ඉතිරව ඇත...කෙසේ හෝ එම කාලය ගෙවා ගත යුතුය..ගෙදර තිබෙන පුංචි ඇඳ විටින් විට සිහියට නැගීම උහුලාගත නොහැක..මටත් පිස්සු මොකට ආවාද මේ ගමන..ඒත් නෑවිත් කොහොමද..?

නාවල පිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ කණුවක් මුල පත්තර පිටු කිහිපයක් එළාගෙන තවත් පත්තර පිටු කිහිපයක් ඇගේ ඔතාගෙන මා දරන උත්සහය ඒ තරම් සාර්ථක නොවුනද..මෙම දැඩි සීතලේදී ඕනෑම මිනිසකුට ගත හැකි අන් ක්‍රියා මාර්ගයක් නොමැත...

කොහොමත් මා දුර ගමනක් යන විට පත්තරයක් මිලදී ගැනීම අනිවාර්යයෙන් කරනු ලබන ක්‍රියාවකි..
ගමනේ කාන්සිය මකා ගැනීම සදහා කියවීමට වඩා එයින් ගත හැකි ප්‍රයෝජන ඇත..
මෙය මා මුළින්ම ඉගෙන ගත්තේ එක් වරක් බිබිල බස් නැවතුම් පලේ රාත්‍රිය ගත කරන්නට වූ දිනය...

එදින රාත්‍රි අම්පාර බසයක ගොස් බිබිල බස් නැවතුමෙන් බැස ගන්නා විට රාත්‍රි දෙකට පමණ විය..මා එතරම් වෙලාසනින් එහි යෑමට හැකි වෙතැයි කළින් නොසීතු බැවින් ඉතිරි පැය කිහිපය ගෙවා ගැනීම ගැටළුවක් විය..

හොද වේලාවට එක් කුඩා කඩයක් විවෘතව තිබු නිසා එයට ගොඩ වැදී වට පිට බලන විට එහි පැත්තක පත්තර ලෑල්ලක්ද තිබිණි...එයින් මිලදී ගත් පත්තර පිටු කිහිපයක් එළාගෙන එදින රාත්‍රියේ බස් නැවතුමේ වූ ගරා වැටුනු ආසනයක් සුව යහන කොට ගෙන නිදා ගතිමි..එයින් පසු ඕනෑම ගමනකදී පත්තරයක් රැගෙන යාමට මා අමතක නොකලේ සැම විටම රාත්‍රි කඩ තුලින් පත්තර හොයා ගැනීමට නොහැකි වන බව දැන සිටීම නිසාමය...

අදත් ඒ පුරුද්දට ගෙන ආ පත්තරයේ පිහිටෙන් රාත්‍රිය ගත කල යුතුව ඇත...

මා මෙන්ම තවත් කිහිප දෙනෙක්ම අවට පරිසරයේ රැඳී සිටිති.ඔවුන්ද දැඩි සීතලෙන් පීඩා විඳින බව නොකිව මනාය..එක් තැනක පාර අයිනට වන්නට එක් මිනිසකු කාඩ් බෝඩ් කැබලි කිහිපයකට ගිනි දල්වාගෙන එහි උණුසුම විඳිනු පෙනේ...ඔහු හැරුනු කොට තවත් කිහිපදෙනෙකුම තැන් තැන්වල වැටී සිටිති.

නමුත් ඔවූහු සියල්ලන්ම පාහේ මෙම ස්ථානයට අමුත්තන් නොවන වග ඔවුනගේ හැසිරීමෙන් කිව හැක...
විශේෂයෙන්ම ඔවුනගේ ඇඳුම් පැළඳම් සීතට ඔරොත්තු දෙන අන්දමින් සැකසී තිබිණි..මා පමණක් ඩෙනිම් කලිසම හා ටීෂර්ටයකින් සැරසී පත්තර පිටුවල උණුසුම ලබන්නට තැත් කරයි...

නිදා ගන්නට උත්සහ කලද නින්ද අහලකටවත් නොයෙන ආකාරයකි...
සවස ඇසූ අරුම පුදුම කතාවෙහි අරුත ගැන සිතමින් සිත එහෙ මෙහේ දුවයි...

..................................................................

කළු පැහැති මිටි මිනිසා මා දැක ඇති අන්දමේ සාස්තර කරුවෙකු නොවීය...
පැරණිවීම නිසාම පාට පිච්චී ගිය කලිසමත්..එයටම සරිලන සේ හැඳ සිටි කොටු කොටු කමිසයත් බාටා සෙරෙප්පු දෙකත් කිහිල්ලේ ගසාගත් දිනපොතකුත් ඇතිව ඔහු සාස්තර කියයි.
එක්කෙනෙක්ගෙන් විස්සයි...
වැඩි වෙලා නැහැ එක් අයකුට මිනිත්තුවකට වඩා විස්තර කියන බවක් නොපෙනේ..
නමුත් ඒ කියන දේ අසන මිනිසුන්ගේ ඇස් නළලට යන ආකාරය මා කිහිප විටක්ම පැහැදිලිවම දුටුවෙමි..එය මා සිත තුළ මේ මිනිසා තුල යම් දෙයක් ඇතැයි යන අදහස ජනිත කිරීමෙහි ලා සමත් විය..

කාර්යාල දුම්රිය පිටත් වීමට ආසන්න වූ බැවින් වට වී සිටි අය කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය..අවසන ඔහු සෑහෙන තරමේ ආදායමක් ඇතිව සිය කාර්ය නිම කරන ලදි..මුදල් සියල්ල පැරණි දිනපොත තුලට එක් රැස් විණි..
මා ඔහු අසලටම ගියේ එම මොහොතේදීය..

"මටත් කියන්නකෝ බලන්න"..රුපියල් විස්ස අතට ගනිමින් ඔහු මාගේ මුහුණ දෙස බලා නැවත අත අල්ලා බලන ලදි...තත්පර හතක්..අටක් පමණ ගත විණි..නැවතත් අත හකුළුවා මාගේ අත මුදා හැර..

"මහත්තයා හරක් මස් කනවද..?"

"ඔව්..හැමදාම නෙවෙයි..ඔය කොත්තුවක් එහෙම කද්දී.."

"ඒක නවත්තන්න...ඒක ගැලපෙන්නේ නැහැ..ලැබෙන්න තියෙන හුගාක් දේ නැති වෙලා යාවි..දැනටමත් එහෙම වෙච්ච පාටයි..."

"දැන් යන්නෙත් බලාපොරොත්තු හුගාක් හිතේ තියාගෙන යන ගමනක්..
ඕක හරියන්න ඉඩක් නැහැ..ඒත් කමක් නැහැ යන්න.."

"පුදුම දිවිල්ලක් මේ ටිකේ දුවනවා නේද..?
හැබැයි ඔය හැම දිවිල්ලක්ම තව ටික දවසයි..හැම දේම අතඅරිනවා..
රාජ්‍ය නායකයින්ගෙන් හිටං වැඳුම් ලබන්ට වාසනාව තියෙන අතක් ඕක..."

"තව අවුරුදු දෙකක් යනකොට අද ඉන්න මහත්තයා නෙවෙයි ඉන්නේ...
එච්චරයි.."
ඔහු සිනාසී නිහඩ විය.මා හට ඇසීමට ප්‍රශ්න රාශියක් ඇතත් ඔහුගේ අවධානය තව දුරටත් මා කෙරේ නොමැති හෙයින් මම ආපසු හැරුනි...

.............................................................
සීතල මැද ගත කල කටුක රාත්‍රිය අවසන් වූයේ බොහෝ ප්‍රමාදවය...
මෙයට පෙර දියතලාවේ පුහුණු වෙන අවදිය තුල සීතලට ඇඟ හුරු වී තිබුණු මුත්...එහිදී නිදා ගන්නා ටික හොදින් පොරවා ගැනීමට ලැබෙයි..අපහසුවකට තිබෙන්නේ උදෑසන හතරට අවදිව කොට කලිසම හා බැනියම පිටින් පුහුණුව සඳහා ගිනි අවිය ලබා ගැනීමට ආමරියට යන ගමනයි..

ආමරිය තනිකරම කළු ගල්වලින් බැඳි බිත්තිවලින් සමන්විත විය..පෝලිම් ගැසී බිත්තිය අයිනේ සිටියදී හිටගෙනම නින්ද යයි...නොදැනීම වාගේ සිරුර ඇලවී කළුගල් බිත්තියට හේත්ත වේ..නිරුවත් බාහුව කළු ගලේ ස්පර්ශ වීම යනු ඇසිඩ් ප්‍රහාරයකට වඩා දරුණු තත්වයකි...අනික් පසට ඇළවී ගියහොත් පින්නෙන් වෑස්සී ඇති ත්‍රෝටන් පඳුරුය..එය ඊටත් වඩා භයානකය..

අවසන මා මෙයට විසඳුමක් සොයා ගතිමි..අපහසුවෙන් හෝ හතරට විනාඩි දහයක් පහළවක් තබා අවදි වී අඳුරේම ඇඳ පාමුල ඇති බාස්කට් එක හා තුවායත් රැගෙන මීටර් සීයක් පමණ වත්ත පහලට වන්නට ඇති ජල ටැංකිය වෙත දිව ගොස් හනිකට වතුර බාල්දි කිහිපයකින් නා ගැනීමයි...

ඒ වන විට ටැංකියට වතුර පිරෙන්නට පටන් ගෙන ඇත...උදෑසන තුන හමාරේ සිට පහමාර වෙනතෙක් හා සවස හතර හමාරේ සිට හය දක්වා පමණක් වතුර ලබා දීම සිදු වෙයි..එයින් පසු ආසාවටවත් වතුර නැත..ඒ පිරෙන වේගයට වඩා කොල්ලන් වතුර ටැංකි හිස් කරන නිසා..වතුර සැපයුම අවසන් වන විට ටැංකිවල වතුරද අවසන් වීම සිදුවේ...අවසානයේ සබන් පෙට්ටි පියනෙන්ද වතුර එකතු කර නාන්නට සිදු වෙයි...

හිමිදිරි පාන්දරක පළමු බාල්දිය අතිභයංකර වූ මුත් එතැන් පටන් එතරම් අවුලක් නොදැනේ..කොහොමටත් වතුර අවට පරිසරයේ උණූමට වඩා තරමක් උණුසුම්ය...හනික ඇග පිසදාගෙන පැමිණෙන මා ආමරියට යාමට සූදානම් වෙයි...

එයින් පසු නින්ද අහලකවත් නැත...ආමරිය අසල කෙළින් සිටගෙන සිටීම ගැටළුවක් නොවේය...
.......................................................
උදෑසන මිනිසුන් එකා දෙන්නා දුම්රිය පලට එක්වන්නට වූ පසු මෙතෙක් වෙලා බිමට එලාගෙන සිටි හා ඇග වටටා දවටාගෙන සිටි පත්තර පිටු ටික එකතු කොට මුළු රැයක් මුළුල්ලේම යම් යම් දෑ ගෙනවිත් අවුලවා ගිනි තපිමින් සිටි මිනිසාගේ ගිනි ගොඩටම එකතු කර දුම්රිය ස්ථානයේ ඇති ජල කරාමයකින් මුහුණ කට දොවාගෙන මම ගමන ආරම්භ කලෙමි..දහවල් දවස පුරාවට ගම්පොල..නාවල පිටිය..නුවර එළියට ආසන්න ප්‍රදේශවල..කැප්පෙටිපොළ ආදී තැන් වල සැරී සරා මට අවශ්‍ය මිල ගණන් සෙව්වෙමි..

හිතූ තරම්ම වැඩේ පහසු නොවුනත්..යාන්තම් වැඩේට මුල් ආරම්භයක් ගැනීමට තරම් අවශ්‍ය අහු කොන් අසු විය...අවසන රාත්‍රී අඳුරත් සමගම මා නුවර එළියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට වී නින්දත් නොනින්දත් අතර ගමනකින් කොළඹ බලා පැමිණියෙමි...
.......................................................

ඇත්ත වශයෙන්ම ආරම්භ කිරීමට සිතූ වෙළදාම කර ගැනීමට නොහැකි වන තත්වයේ බාදාවන් එක පිට එක පැමිණෙන්නට විය...
ඊට අමතරව අනිත් පැතිවලින් ලැබෙමින් තිබූ ආදායම් සාමාන්‍ය වශයෙන් ස්ථාවර වෙමින් පැවති නිසා එළවළු වෙළදාමට යෙදවීම සඳහා වෙන්කර තිබූ මුදලත් උපයෝගී කරගෙන මේවන විට මා සතු වූ වෑන් රථයට හා ත්‍රීරෝද රථයට අමතර තවත් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට මා හට සිදුවිණි..එළවළු වෙළදාම කිසිදා ආරම්භ නොවූ සිහිනයක් බවට පත් විණි...
එයින් වසරක් ගත වන්නටත් ප්‍රථමයෙන් මා නිවසින් පිටව ගියේ මා සතුව තිබූ සෑම දෙයක්ම මල්ලීහට සම්පූර්ණයෙන් භාරදීය...
වාහන පමණක් නොව මා වෙනුවෙන් වෙන්ව තිබූ තවත් ඉඩමක අයිතිය පවා ඔහුහටම භාරදී මා නිවසින් පිටව ගියෙමි..එතැන් පටන් කතාව පන්සලේ කතාව තුළින් ඔබ මේ වන විටත් කියවා ඇත...
අවසන වරථමාන රාජ්‍යනායකයා වෙතින් එක් වරක් වැඳුම්ද ලබමින් අර අනාවැකියේ සියළු කාරණා සම්පූර්ණ විය...

15 February 2011

අතීතය අවුස්සන විට හම්බ වෙන දේවල්...

අඳුර වැටීමට ඉතාමත් ආසන්නය..මිනිසුන් කලබලකාරී අන්දමින් එහෙ මෙහෙ දිවයනු පෙනේ...එය එසේ විය යුතුය..මන්ද මා සිටිනුයේ පිටකොටුවේ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට වීම නිසාය..හිරුටත් කළින් අවදිව ගෙවල් දොරවල් වලින් එළියට පැන ගත් මිනිස් සමූහයා බැස යන හිරුට පසුපසින් ගෙවල් වලට කූඩු වීමට දුවති...

අඩුම ගානේ ගෙවල්වල ඉන්නා පොඩි පැටවුන් නිදා ගැන්මට කළින් වචනයක් හෝ උන්හා දෙඩීමට ඇති ආශාව විය යුතුය...
නොනවතින ජීවන ගමනක යෙදෙන අතරතුරම..ඒ සදහා විශාල ජීවන සටනක නියැළෙන ඔවුනට විවේකයක් කියා දෙයක් ඇත්තේ නැත...

මේ අවදිය මාගේද එවැනිම වූ නොනවතින ජීවන සටන ඉදිරියට ඇදී ගිය සමයයි...
සෑම අතින්ම පිරිහී තිබු පවුලේ ආර්ථිකය යහපත් අතකට ගෙන ඒමෙහි ලා නිරන්තර උත්සහයෙන් පිස්සු බල්ලෙකු සේ මුදල් පසුපස හඹා ගිය කාලයයි..
ඒ දෙදහස් දෙකේ වර්ෂයේ ආරම්භක සමය යැයි මා හට මතකය...

සවස පහට පහමාරට පමණ මා සිටියේත් ජීවිතය ගොඩ දැමීමේ වැඩසටහනට අයත්ම වැඩකට යනෙනා අතරතුරය..
නමුත් අවට පරිසරයේ දිවයන්නා වූ මිනිසුන් හා දිව යෑමට තරම් මාහට අවශ්‍යතාවයක් නොවීය..
එහෙයින් මා දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටගෙන අවට සිදුවන දේ පිළිබඳව පාඩුවේ බලා සිටින්නට විය.

මා යන්නට බලා පොරොත්තු වන්නා වූ දුම්රිය පිටත් වීමට තව වේලා ඇත..එතෙක් කෙසේ හෝ කාලය කා දැමිය යුතු හොයින් පරිසරයත් එහි වෙසෙන්නා වූ ජීවින් සමූහයත් දෙය නෙත් හෙළාගෙන සිටිමි.

දකිනා සියළු දසුන් අතරේ එක් ස්ථානයක යම් වෙනස්ක් විය..මිනිසුන් පොදි කකා එක් තැනක ඇති වූ වෙනස දැකීමට මා දෙපා නිරායාසයෙන්ම ඉදිරියට ඇඳුනි...

"හරි හරි කට්ටිය කල බල වෙන්න එපා..හැමෝටම පුළු පුළුවන් හැටියට කියනවා"..යි කියමින් තරමක් හඬින් පවසමින් තමා වටේ රැස් කන්නා වූ පිරිස පාලනය කර ගැනීමට සැරසෙන පුද්ගලයෙකි..
ඔහු වටා සෙනග මී මැසි පොදියක් සේ පොරකති...
.........................................

මේ මා පවසන්නට යෙදුණේ මෙයින් වසර නවයකට පමණ ඉහතදී සිදු වූ සිදුවීමකි.
එදින මා සිටියේ උඩරට මාර්ගයේ යන දුම්රියක් බලාපොරොත්තුවෙනි..
අරමුණ වී තිබුණේ අළූතින් ව්‍යාපාරයක් ඇරඹීම සඳහා තොරතුරු රැස් කර ගැනීමයි..
එළවළු මිල සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිණි කැරට් කිලෝව ඉතිහාසයේ පළමු වතාවට රුපියල් අසූවද ඉක්මවා ගොස් සීයයට ආසන්න වී තිබිණි..එහෙයින් අප පෙදෙස් වලට උඩරට එළවළුවල හිගයක් දැනෙමින් පැවති හෙයින් මාගේ අරමුණ වූයේ එවකට මා සතුව තිබූ වෑන් රථය උපයෝගී කරගෙන සුළුවෙන් හෝ උඩහා සිට එළවළු ටිකක් ගෙනවිත් අලවි කිරීමට හැකියාවක් ඇද්දැයි සොයා බැලීමටය...

සාමාන්‍යයෙන් කෙරෙන කඩ වෙළඳාමට වඩා මා ප්‍රිය කල වෙළදාම වූයේ තරමක් ගෙවල් වැඩිපුර තිබෙන ප්‍රදේශවලට ගෙන ගොස් වාහනයේම තබාගෙන භාණ්ඩ අලවි කිරීමයි..
ඒ වන විටද ඒ සඳහා මට තරමක පළපුරුද්දක් විය...

ගමේ සිටි අත්ට්‍රැක්ටරයක් හිමි පුද්ගලයකු සමග මම සෑහෙන වතාවක් පොල්,මඥ්ඥොක්කා, කෙසෙල් මුව, පොළොස් ආදිය වරින් වර ගෙන ගොස් මේ ආකාරයෙන් අලවි කොට ඇත..
එවකට කිරිබත් ගොඩ ආශ්‍රිත නිවාස සංකීර්ණ භූමියක් අපගේ ප්‍රධාන අලවි ස්ථානයක් විය..

ගමන ආරම්භ කල තැන සිටම හමුවන ඕනෑම කෙනෙකුට අප භාණ්ඩ අලවි කරනු ලැබීය..ගෙන ගිය තොගය කෙසේ හෝ විකුණා මිස ආපසු හැරීමක් නොවීය...

මට උත්පත්තියෙන්ම ලැබී තිබූ ලොකුම දායාදය වූයේ මගේ හැකර කටය..
එය වෙළදාමට මනාව ගැලපිනි..විශේෂයෙන්ම මහ හඩින් බෙරිහන් දී කෑ ගසා..නිවෙස් තුල සිටින මිනිසුන් පාරට ගෙන්වා ගැනීම ඒ හැටි අපහසු දෙයක් නොවීය..මෙබැවින් මා රැගෙන වෙළදාමේ යාමට අත්ට්‍රැක්ටර් හිමියාද බොහෝ සේ ප්‍රිය කරනා ලදි...

මා මේ මෑතකදී අන්තර්ජාලයෙන් බගත කොට ගෙන සුජීව ප්‍රසන්නආරච්චිගේ බොඳමීදුම් නවකතා පෙළ කියැවූයෙමි.
මෙයට ප්‍රථම මා ඒ පොත් පෙල කියවා තිබුණද..නැවත වතාවක් එය කියවීමට මා හට අපුලක් නොවීය..

බොළඳ නවකතා ගොන්නට දමා ප්‍රබුද්ධයින් විසින් ඉවත ලන්නට උත්සහා දැරූ මුත් මා හට ඒවායේද වරදක් නැත...
සුජීව ජීවිතය පට්ටා ගැසීමට උත්සහ ගත්තද ඔහු ජීවිතය ඒ තරම්ම විඳ නැති බව මා හට පසක්වන කරුණු අනන්තව පොත් තුළින් හමුවී ඇති මුත් මා ඒවාට සිනහා නොවෙමි...
ඔහුගේ පොතේ මඥ්ඥොක්කා මාස තුනෙන් අල බැස මෝරයි..මා දන්නා ඒවානං ඊට වඩා කල් යයි...
මේසන් බාස්ලාට අත් වැඩ දීමත් ඒ හා ඇතිවන වේදනාවත් ඔහු පට්ටා ගසයි..නමුත් ඒ පට්ටා ගැසීමට වඩා එම වේදනාව සිය දහස් ගුණයකින් වැඩි බව මා දනිමි.
නමුත් ඔහු ලියනා දේ මම අගය කරමි..මිනිසකු ලියන්නා වූ සෑම දෙයක්ම තමා විසින්ම අත් විඳ තිබිය යුතුයැයි නීතියක් නැත..

මා මෙසේ පවසන්නට යෙදුණේ ඔහු ලියූ කතාවල අත්දැකීම් සැබෑ ජීවි‍තයේ එයට තරමක් ආසන්නයෙන් විඳ ඇති නිසා සමහර විට මා කියනා දේවල් ඔහුගේ පොත්වලින් උස්සා ගත් ඒවා යැයි කාට හෝ සිතීමට ඉඩ ඇති බැවිනි...මන්ද සමහර විට මටද ඔහුගේ පොත් තුල මා හමුවන අවස්ථා තිබුණු නිසාය...
..........................................
එදින මා ගියේද කෙසේ හෝ ගොවියන් අතින්ම එළවළු මිලට ගෙන ගම් පළාතට ගෙනවිත් වෙළදාම් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහාය...
අඩු මිලට ගෙනවිත් වෙළඳ පොලට වඩා දැනෙන අඩු මිලකට දිය හැකිනම් වෙළදාම අසීරු විය නොහැක...

මඥ්ඥොක්කා පිරවූ අත්ට්‍රැක්ටරයක් මා හට වරුවක් තුළ අවසන් කිරීමට හැකියාව තිබිණි..සවසට උගුර දන්නට පටන් ගත්තා වූවද එක සීරැවට හඩ තැලීම හමා දෙයක් නොවීය...ඒ වෙනකොට උයන්න නොදන්නා මුත් උයනා හැටි පිළිබඳව පාරිභෝගික කතුන්ට විශේෂඥ උපදෙස් ලබා දෙමින් ගෙන යන ඕනෑම දෙයක් විකිණිම මගේ පුරුද්ද විය..

අත්ට්‍රැක්ටර් හිමියා මුව අයාගෙන බලා ඉන්නා නමුත් බඩ අල්ලාගෙන හිනාවෙන්නේ බඩු ගැනීමට පැමිණි සියල්ලන්ම ගිය පසුවය...

.............................................
කතාව කියන්න පටන් ගත්තට..දැන්ම ඉවර කරන්න වෙන්නේ නැහැ..දැන් මං ඕෆ් වෙන්න ඕන..අද ගෙදර ගිහින් ලියන්න වෙන එකකුත් නැති වෙයි..
කාලෙකින් මට නෑදෑ පිරිවර ඇතුළට යන්න වෙලා තියෙනවා..
පුංචිලාගේ ගෙදර අද දානයක්..දැන් මාස දෙකකට විතර කළින් මට කියලා තිබුණට මට අමතක වෙලා තිබුණේ..
ඊයේ රෑ ලොකු නංගී කතා කලා..අනිවාර්යයෙන්ම මට ඕක අමතක වෙනවා කියලා උං දන්න හින්දා තමයි ඒ ආයෙත් මතක් කරන්න අරගෙන තියෙන්නේ..අද ඉතිං මුළු නඩේම ඔතන..
අම්මත් ඇවිත් ඉන්නේ කියලා නංගි කිව්වා..ඒ කියන්නේ අද ඉතිං කොයි වෙලාවේ හරි කට්ටියගේ ධර්ම දේශනා සමුහයකට මුහුණ දෙන්න මට සිද්ධ වෙනවා.
ආන්න ඒකට තමයි මං අකමැතිම..ඒත් ගමන නොගිහිං බැහැ..යංතං හරි මාව අපේ පරපුරට ඇඳලා තියාගෙන ඉන්නේ පුංචි අම්මයි නංගිලා තුන්දෙනයි..ඒ හින්දා උන්ගේ හිත් නරක් කරන්න හොඳ නැති හින්දා ගිහිං එක මාක් කරන්න වෙනවා..
ඇවිල්ලා බලමු..හැබැයි ඩොන්ගලෙත් අරං යන හින්දා පුළුවන් උනොත් සුදු නංගී ගාව තියෙන මගේ පරණ කොම්පීතර මල්ලි අල්ලගෙන ඉතුරු ටික ලියන්නත් බැරිවෙන එකක් නැහැ..ඒක ඉතිං බලන්න වෙන්නේ දානේ ගෙදරට ගිහිං එතනට මගෙන් කෙරෙන්න දෙයක් නැත්තං විතරයි.

13 February 2011

ඔන්න පුතේ දවස ඇවිත්...

වෙළෙන්දන්ට ලාභ ගන්න..
රෝස මළුත් විකුණ ගන්න..
කොල්ලන් බල්ලන් කරවන
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

අතේ තියෙන තුට්ටු දෙකත්..
චොකොලට් වල දිය කරන්න..
මෙන්න ඉතිං අපේ උන්ගෙ
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

කවදාවත් නැති තරමට..
දෝත පුරා තෑගි දෙන්න..
අතේ සතේ නැති කරවන
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

හදේ නොමැති ආදරයක්..
මුදල් මතින් මවාපාන..
මුදලාලිලා ගොඩ දාන්න
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

හරි ලේසියි පෙම් කරන්න..
අනෙකා හට අන්දවන්න..
තෑගි වලින් හැම වරදම
වැහිල ගිහිල්ලා..දිනය ඇවිල්ලා...

ආයේ දිනක් මෙහෙම නැතේ..
තව වසරක් ඉන්න වෙතේ..
ඒ හින්දා ඉක්මන් කර
තෑගි දියල්ලා...දිනය ඇවිල්ලා...

ටීවී පත්තර ගානේ..
කඩයක් කඩයක් ගානේ..
වැලන්ටයින් මැජික් එකෙන්
වැහිල ගිහිල්ලා...දිනය ඇවිල්ලා...

12 February 2011

ඇයි..?

රුදුරු මරුවැල් අතර රැ‍‍‍ඳෙමින් ජීවිතේ මං පෙත සරා..
විටක දැවෙමින් විටක තැවෙමින් දුක් සුසුම් සැම විඳ දරා..
පැමිණි මං පෙත අතර තුරදී ලැබුනු ගැරහුම් මා කරා..
සිතුනි නොකලේ මන්ද එලෙසින් නොදැම්මේ ඇයි මා මරා..

තිත්තයි...ඒත්...

උඹට මට කියන්න දෙයක් තියෙනවා...

මොකක්ද..?

යංකෝ ගෙදර...

............................

හරි දැන් මොකක්ද අර දේ..?

ඔය ඉස්කෝලේ ඇදුං ගලවලා දාලා බත් කාලා හිටිං...
............................

හරි අර මොකක්ද කියන්න තියෙන දේ...

හ්ම්...උඹ දැන් පොඩි නැහැ..අටේ පංතියේ..අවුරුදු දහතුනක් වෙනවා..කොහොමත් උඹ අනිත් උන්ට වඩා දෙයක් තේරෙන එකා..

හරි හරි කියන්නකෝ...

දැන් උඹ මේවා දැනගෙන ඉන්න ඕන...
අද නැතත් කවදා හරි දැන ගනී..මේක මේ ගමෙන් දන්නේ උඹේ අම්මයි මායි විතරයි...
අපේ නෑදෑයොවත් දන්නෙ නැහැ...

මොකක්ද..?

උඹේ අම්මා මාව බඳින්න කළිං කසාඳ බැඳලා හිටිය කෙනෙක්..
ඇයි උඹ ඇස් පුංචි කරගත්තේ..?

නැහැ මුකුත් නැහැ, කියන්න..

මට එයාව හම්බ වෙන කොට ඒ කසා‍ඳේ කැඩිලා හිටියේ..එයාට තව ළමයෙක් ඉන්නවා..ඒ කියන්නේ උඹට තව අයියා කෙනෙක් ඉන්නවා..

ඉතිං කෝ එයා..?

ඒ ළමයා ඒ ළමයාගේ තාත්තා ගාව...ඒ මිනිහා මහ මරුමුස් මිනිහෙක්.ඊට කළිනුත් ළමයෙක් හම්බ වෙන්න ඉඳලා ඒත් උපදිනකොටම ඒ ළමයා මැරිලා ඉඳලා තියෙන්නේ..කෙල්ලෙක්..අම්මට ඒ ළමයා හම්බ වෙන්න හිටිය කාලේ හුගාක් කරදර කරලා තියෙනවා ඒ හින්දයි එහෙම වෙලා තියෙන්නේ ඊට පස්සේ තමයි ඔය ළමයා හම්බ වෙලා තියෙන්නේ..ඒ ළමයාව අම්මාගෙන් උදුරං ගිහිං..

හ්ම්...

ඊට පස්සේ තමයි මට අම්මව හම්බ උනේ.. මට හම්බ වෙනකොට ආයෙත් මහ ගෙදර ඇවිත් රස්සාවකට යනවා..
ඒ අතරේ තමයි මට හම්බ උනේ...අම්මා හුගාක් දුක් විඳලා තියෙනවා..ඒ වෙනකොටත් හුගාක් පුංචියි..
පස්සේ තමයි මාත් එක්ක හිතවත් උනේ..මං ඊට පස්සේ අම්මලගේ ගෙදරිනුත් අහලා තමයි කසාඳ බැන්දේ...
එයිට කළින් දික්කසාද නඩු දාලා අම්මව මම ඒ කසාදෙන් නිදහස් කර ගත්තා...

හ්ම්...

ඊට පස්සේ...මම ගමට එන්නේ නැතිව මාරුවක් හදාගෙන *****ගියේ...
එහෙදි තමයි උඹව හම්බ උනේ...

හ්ම්ම්ම්....එච්චරද..?

ඔව්..එච්චරයි...

හා.

හිතන්නෙපා බොරුයි කියා ඔබ රැවටේවී...

දිනය-මාසයකට පමණ ඉහතදී..
වේලාව- සවස් කාලයක්..

දුරකථනය නද දෙන්නට වෙයි...
හ්ම් අණ්ඩපාල ගෙන්..

"හලෝ මොකද අණ්ඩේ.."

"නැහැ බං නිකං..උඹ සනීපෙන්ද..?"

"ඔව් මො‍කද එක පාරට මගෙ සැප හොයන්න හිතුනේ..?"

"නැහැ බං නිකං..(වල්පල් රැසක්.....)"

"හරි බං නිකංනේ ගත්තේ නිකං බිල යවාගන්න ඕන නැහැ දැං ඕක තියහං..."

"නැහැ බං නිකංමත් නෙවෙයි මට පොඩි උදව්වක් කරහංකෝ..."

"ඔය මං කිව්වේ..තොපිනං අපිට කතා කරයි නිකං..හා කියහංකෝ.."

"මේ අර සොබනිගේ විස්තර ටිකක් කියහංකෝ..."

"ඒ මොකටද..?අනික මං දන්නැහැ බං ඕවා.."

"අනේ බොරු කියන්න එපා බං..මං දන්නවා උඹ ඒකිගේ කෙන්දරෙත් බැළුවා කියලා..."

"හරි ඉතිං බං ඒ උනාට ඒවා උඹට කියන එක හරි නැහැනේ..වෘත්තීය ගරුත්වයද මොකක්ද එක රකින්න එපැයි මං.."

"හරි බං ඒ උනාට උඹට මං වෙනුවෙන් එහෙම දෙයක්වත් කරන්න බැරිද..?"

"වෙන දෙයක් කියහං බං..අනික උඹට මොකටද ඕවා..උඹලා පවුල්කාරයෝනේ..."

"හරි හරි බං..හා උඹට බැරිද..?"

"බැහැ බං..."

"**************ඉඳහංකෝ උඹට මං..."

...............................................

දිනය- දැනට දින කිහිපයකට ඉහතදී...
වෙලාව - උදෑසනම..

තවත් දුරකථන ඇමතුමක්...

"මචං උඹ කොහේද ඉන්නේ..?"

"මං අද වැඩ බං..ඇයි?"

"චික් විතරක්..බලහං බං..."

"ඇයි..උඹට මොකද වෙන්න ඕන..."

"වැඩක් නැහැ බං උඹට දැන් එන්න බැහැනේ...මට මාර අවුල...@$$#@&#$#^&@$@%(දීර්ඝ විස්තරයකි..)
අන්තිමට පිටින් ලොක්කරලා බං..චික් විතරක්.."

.........................................

ඔන්න ඔහොමයි උනේ...

11 February 2011

බස් පළුවන්ගේ කතාව...15

හරි..ඕන්න යාංතං අපි එක කතාවක අවසානයට ඇවිත් තියෙනවා...

මං හිතන්නේ මං ලියාපු කයි කතන්දර වලින් මොන විදියකින් හරි ඉවර කොලේ මේ කතාව විතරමද මංදා..

ජුං අලයා තාම හිච්චි එකා සංදියේ...
පන්සල තාම අනාථ අවදියේ..
බණ කතා..හපොයි ඒවා මෙතේ බුදුන්ගේ කාලෙටවත් කියයිද මංදා..

මේ හැම එකක් අස්සෙම තමයි මේක ලියන්ට ගත්තේ..අදවත් ඉවර කොරන්න උනොත් ලොකු දෙයක්..
ඒ අස්සේ මේ වැපාගේ බස් එකෙත් එල්ලිලා නෙව ඉන්නේ..

මේ බස් කතා ලියන්ට හේතු වෙච්ච මූලිකම කාරැණාව තමා වැප් ගොයියා..උන්දැගේ බස් සතියට සමගාමීව තමයි මේක පටන් ගත්තේ..
ඇත්තටම බස් කෙරුවාවා..ඒ කිව්වේ මේ ගූගල් බස් කෙරුවාව හින්දා බ්ලොග් කරුමාන්තේ අභාවයට යනවා වගේ පෙනිච්ච වෙලාවක බස් එක හරහාම බ්ලොග් වලට තල්ලුවක් දෙන්න වැප් ගොයියා කරපු වැඩේ බොහොම සාර්ථකයි මං හිතන විදියටනං..

අනිත් ඒවා කෙසේ වෙතත් අඩු ගානේ මං වත් ඒකෙන් ටිකක් එක පාරකට වැටුනා...

ඒ වගේම තමයි අපේ කතන්දර උන්නැහේගේ පහේ කාසි කතන්දරේ..අන්න ඒ වේලාවෙත් මට ඔය බස් කතා මතක් උනා..
ඉතිං ඒ දෙකතුනම එක්කාසු කොරගෙන තමයි මේ බස් පළුවා කතා කියන්ට පටන් ගත්තේ..

කොහොම උනත් මහ බස් පළුවා..ඒ කිව්වේ මයේ අප්පුච්චාගෙන් පටන් අරං මගේ ගාවට ඇවිත් දැන් ඒ බස් කරුමාන්තෙන් මාත් අහක් වෙච්ච ඒ අපූරු හේතුව කියලා මං මේක අහවර කොරන්ටයි සූජානම...

ඒත් ඉතිං මං ඊයේ කට්ටියට තෑගි දෙන්ටත් බලාගෙන ඔය හේතුව හොයන්ටයි කියලා කිව්වට මොකද මේ වෙනකල් කිසිම පුතයෙක් මට ඕකට නිවැරදි පිළිතුර දුන්නේ නැහැ නෙව..

නැත්තං ඉතිං නොමිලේම කේන්දරේ විතරක් නෙවෙයි අතත් බලා කියාලා දෙන්ටයි මං හිතං උන්නේ..
කොහෙද ඉතිං ඒ වැඩේ කාටවත් මීටර් උනේ නැහැ..
ඒ හින්දා ඒ අවස්ථාව මේ ලිපිය පළවූ මොහොතේ ඉදලා අවලංගුයි...ඕං කිව්වා..

.......................................

කොහොම හරි දැන් මාස ගාණක් මං මේ බස්පළුවෙක් හැටියට රස්සාව කොරගෙන යනවා...
හැමදාමත් කියන්නැහේ..උදේ පාන්දර නැගිටලා... ඩිපෝවට ගෙහුං රාජකාරි බාර අරං..උදේම පාසල් සේවය කිරියාත්මක කොරලා..ඊ ළගට ඩිපෝ ඇවිල්ලා..
ආයෙමත් කොළඹ ගෙහුං..
ඊට පස්සේ කුරුණෑගල බලා ධාවනය..
ආයෙමත් හවස් අතේ කුරුණෑගල ඉදලා කොළඹට ලෝඩ් එකත් අරං ඇවිත්..
අන්තිමටම කොළඹ ඉදලා ඩිපෝවට එනකල් බරපතල ලෝඩ් එකකුත් ගහගෙන එනවා...කට කපලා..
ආදායම ඉතිං බොහෝම සරුයි..පන්දාහට අඩු වෙන්නේ එහෙමත් දවසක තමයි..

ඊට අමතරව සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අමතර සේවාවන් හිටන් වැටෙනවා..
ඒ කියන්නේ සිකුරාදා කුරැණෑගල ගෙහුං ආවාට පස්සේ ආපහු ඩිපෝ එනවා බොරු..

එහෙමම දානවා රාත්තිරි සේවාවක්..එක්කෝ මාතර නැත්තං නුවර...
ඈත පළාත්වල යන උදවියට..
අනේ ඉතිං පාං කියා ගන්න බැරුව ඉන්න අපි පලයංකෝ..

ඒ ගමන එන්ට වෙන්නේ පහුවදා පාන්දරට තමයි..ඒ ඇවිත් ආයේ ගෙදර එන්න නැහැ පැය දෙක තුනක් බස් එකේම නිදා ගන්නවා..
විවේක කාමර තිබුනට ඒවායේ ඇදන්වල මකුණෝ පිරිලා..එක දිගට දවස් තුනක් ඒවායේ නිදා ගත්තොත් ඊ ළගට නීරක්තිය වගේ ලෙඩක් ෂුවර්...ඒ හින්දා අමාරැවෙන් හරි මදුරු කොයිල් එකකුත් පත්තු කොරං බස් එකේ පිටි පස්සේ සීට් එකේම ඇල වෙනවා...

පහුවදාට උදේ පාසල් සේවය නැති හින්දා බස් එක හයට පාරට දාන්න ඕන නැහැ..ඒත් අට වෙනකොට පාරට දාන්න ඕන ආයෙමත් කොළඹ යන්න..
ඒ ගියාම අනිවාර්යයෙන් අපිට සෙට් වෙන්නේ හැටන්..නුවර..මාතර..අනුරාධ පුරේ එහෙම තමයි...එහෙමත් දවසක තමයි කුරුණෑගල යන්න වෙන්නේ..ඉතිං එදාට ආපහු එනකොට රෑ දෙකවත් වෙනවා...
දවස් දෙකකින් හරි හමන් නින්දක් නැතිව ඉන්න හින්දා කීයට ආවත් නිදි මරගාතෙම ගෙදරට පදිනවා..
ඒ ඇවිත් කොහොම නිදා ගත්තත් ඉරිදා අනිවාර්යෙන් මම පොලේ යන දවස..
උදේ නවයට දහයට විතර නැගිටලා ඒකත් කරනවා..
ආයෙමත් නිදියනවා...
ඉතිං ඉරිදත් ඉවරයි..ආයේමත් වැඩ..

ඒ අතරේ තව ගැටළු..
අර ටිකට් මැෂින් එක අල්ලගෙන ඉන්න ගිහින් ඒකේ බරටයි..ඒ මදිවට ඒකේ තියෙන ඇණ වගයක් අතට තෙරපීම හින්දයි අතේ කැක්කුමක් අල්ලන්ටත් තියා ගත්තා...
ඒකටත් ඉතිං බෙහෙත් එහෙම ගත්තා..ඒත් උදේට අත හිරි වැටෙනවා..ඒ එක අවුලක්..

ඊ ළගට ඉතිං පැණි පෙරන වයස නෙව...
ඒ කාලේ ඉතිං සෑහෙන දවසක ඉදන් පෙරුමන් පුරන දැරිවියක් හිටියා නෙව..
නිකං ඉන්න දවස්වලට මං ඉතිං එයාලැයි ගෙදරම තමයි පදිංචිය..මොකද උන්දැගේ අයියණ්ඩි මගේ ප්රාණසම මිත්තරයා..ඌට ඉතිං මොන දේටත් මං නැතිව බැහැ..මේ රස්සාව හින්දා මට ඒ අහ යන්ට වෙලාවක් ඇත්තෙත් නැහැ..

තුන් වැනුව..
මගේ රස්තියාදු ජීවිතේට සම්පූර්ණම තිත..ඒ මදිවට මැච් එකක්වත් බලන්ට විදියක් නැහැ..
ආසාවට බැට් එකක් අතිං අල්ලන්ට තියා ක්රිකට් ගහන අහල පහලකින් යන්ට හැටියක් නැහැ..කොල්ලෝ ටිකත් අනාථ වෙලා..ටීම් එක සී සී කඩ..අමාරුවෙන් ගොඩ නගාපු දේවල් ඔහොම වෙනවා කාටද අප්පා උහුලංට පුළුවන්...ඒ මදිවට හැම සෙනසුරාදාම ගම්පහ හරි කිරිබත්ගොඩ හරි ගෙහුං බලන නවයයි තිහේ ෂෝ එක..
මේ හැම දෙයක්ම දැන් මට අහිමි වෙලා..

ඒත් ඉතිං මං මේ හැම දෙයක්ම හිතේ තියාගෙන කොහොම හරි රස්සාවත් කොරගෙන ඉන්නවා...

ඔන්න ඔය අතරේ තමයි මං කියන මේ අපූරු සිද්ධිය සිද්ධ උනේ...
දවසක් දා පාන්දර මං වැඩට යන්න ලක ලෑස්ති වෙලා කණ්නාඩිය ඉස්සරහට වෙලා ඔළුව පීරනවා..

මොකක් නමුත් අමුතු දෙයක් මට පෙනිලා නොපෙනිලා යනවා මම දැක්කා..ඒත් මට ඒ ගැන හොයන්න වෙලාවක් තිබුනේ නැහැ..මං වැඩට ගියා..ඊට පස්සේ ආපු ඉරිදා දවසේ මම නිදහසේ ගෙදර ඉන්න ගමන් අර එදා පාන්දර දැක්ක අමුත්ත මතක් වෙලා ආයෙමත් ගියා කණ්නාඩිය ලගට...පනාවත් අරගෙන..
ටිකක් බැළුවා එහෙට මෙහෙට පීරලා...

හත් දෙයියනේ...ඇත්ත නේන්නං...
කළු පාටට ලෂ්ෂනට තිබුනු මගේ කෙස් වැටිය අෂ්ෂෙන්..රිදී පාටට එකම එක කෙෂ් ගෂක් වැජඹෙනවා...

දෙයියනේ...තාම වයස 18යි...තවම පෙළවහක් කොර ගත්තෙත් නැති ගැටයා වෙච්ච මයේ ඉහේ කෙස් ගහක් ඉදිලා...කාට කියන්නද..?
ඒත් මං හැකි ඉක්මනින් කිව්වා තාත්තට...
තාත්තත් බොහෝම උනන්දුවෙන් බැළුවා...

ඇයි බං මහ රෑ දෙකට තුනට නාද්දී ඔහොම නොවී තියෙයිද..?

ඒ තාත්තාගේ නිගමනය...

නැතිව ඉතිං නාන්නේ නැතිව නිදා ගන්ට පුළුවන්ද දවසම දූවිලි කාලා..
මේ රස්සාව කරනතාක් කල් මට නාන්ට වෙන්නේ ඔහොම තමා..

අන්තිමට මම කල්පනා කොලා...

රස්සානං ඕන තරං හොයා ගත්තෑකි..හත් දෙයියනේ..එහෙමද කෙස්ස පැහුනොත් පරස්ථාවක්..?

බුදු සන්තෝ..තාත්තේ ඒ රස්සාව කොලා ඇති...

හුම් හුම්..උඹේ කැමැත්තක්..මොනවා උනත් උඹ ඔහොම හරි මං කොරපු එක කොලානේ...

අන්න එහෙමයි මගේ රස්සාවට තිත තියන්න උනේ..
මායි තාත්තයි ඇර කවුරුවත් හරි හේතුව දැනං උන්නේ නැහැ..
මොකද හැමෝටම කියන්නයෑ මගේ කෙස්ස පැහෙන්න එනවයි කියලා..
ඒ හින්දා ඔය මොන මොනවා හරි වැලු බයිලා ගගහා හිටියා ඒ ගැන අහන හැමෝටම..දෙන්න උත්තරද අපිට නැත්තේ...

..........................................

මඛාදේව රජ්ජුරුවෝ..සුදු කෙසක් දැකලා රජකම අතහැරලා කැලේට ගිය එකේ..
මට බැරිද රස්සාව අත ඇරලා ගෙදර යන්න...හිහ් හිහ්...

10 February 2011

පාළු කපන්නට...

රෑ වේගන එනවා..ඒත් කරන්න දෙයක් නැහැ..හෙනට කම්මැලි හින්දාම එල්ලුනා මොනවා හරි කුරැටු ගාලා දාන්ට කියලා..
අම්මපා මේ බ්ලොග් කෙරුවාව හොයා ගත්තු එකානං දෙයියෙක්..
නැත්තං මේ වගේ වෙලාවක වෙන මොනවා කොරන්නද..?
එක අතකින් මෙහෙම පාඩුවේ ලියන්ට හම්බ වෙන එකත් හොදයි..ඉස්සරනං මං ලියන තරමක් ලිවුවේ මේ වගේ හෑලි තමයි..ඒත් ඒක හිතට හරි සහනයක්..
ඒ උනාට දැන් හුග දවසකින් නිදහසේ ලියන්න බැරි උනා..මොකක් හරි පරණ කතන්දරයක් අල්ලන් ඒක පට්ට ගහන්ට ගියහම ඒකත් හරියට නිකං යකා බැද ගත්තා වගේ වැඩක් තමයි..

ඒ වගේ තැනකට කොටු නොවී මෙහෙම හිතු මනාපෙට තනියම දොඩවන්ට මං බොහෝම මනාපයි..
දොඩෝනවා කිව්වට මේ කරන්නෙත් හිතට එන විකාර ඇගිළි තුඩු හරහා අකුරු වලට හරවන එක තමයි..

කොහොම උනත් ඒකත් එක අතකින් ලොකු සහනයක්...

මේ සහනය හින්දාම මං පහුගිය කාලේ හිතේ තිබුණු හුගාක් බර සැහැල්ලු කරගත්තා..අදටත් එහෙමයි..
නැත්තං තිබුණු අවුල්වල හැටියට මං කල්පනා කරලම පිස්සෙක් වෙන්ටත් ඉඩ තිබුනා..

දැන් පිස්සෙක් නෙවෙයි කියන්නනං මට හරියටම සහතිකයක් දෙන්න බැහැ..
ඔන්න ඉතිං හිත දුවනවා ආයෙමත් බණ පොත් පැත්තට..සබ්බේ සත්ථා උම්මත්තකා...

හා හා හිත හැරියං මෙහාට..බණ එපා..බණ එපා..

යන්තං ටිකක් නිදහසේ ඉන්න වෙලාවට ඔය හර බර දේවල් ඔළුව අස්සේ දාගෙන අර තියෙන සැහැල්ලුව නැති කර ගන්නේ පිස්සුවටයෑ..
............................................

ඔය උඩින් තියපු තිත් පේළිය තිබ්බහම මට නිකං හිතෙනවා.අළුතින් හුස්මක් ගත්තා වගේ කියලා..ඒ අළුත් හුස්මත් එක්කම මෙච්චර වෙලා කිය කිය හිටිය දෙයින් පිටට පැනලා වෙනම දෙයක් ලියන්න මට හිතට ගැම්මක් එනවා..
ඔව් ඒ හින්දා මං ආයෙමත් තියනවා තව තිත් පේළියක්.

............................................

මගේ හිතට සහනයක්නං..අනුන්ට හානියකුත් නැත්තං තිත් තියන එකේ වරද මොකක්ද..?

............................................

හා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ...
අද උදේ අටට වැඩට ආවේ..නියම විදියටනං මං හෙට උදේ අටට ඔෆ් වෙන්න ඕන..ඒත් හෙට දවල් වරුවත් මං මෙතනම රාජකාරි කරන්න ඕන..
මොකද මට 12 වෙනිදා දවල් වැඩකට යන්න තියෙනවා...ඒ හින්දා හෙට හවසට ඔෆ් වෙලා ආයෙත් මං වැඩට එන්නේ 12 වෙනිදි රෑ වැඩ මුරයට..ආයෙමත් දහ අට වෙනිදටත් මේ වගේම නිවාඩුවක් ගන්න තියෙනවා...

මේ දවස් දෙකේම නිවාඩු හදා ගත්තේ මගේ රියදුරු බලපත්තරේ ගැනීමේ වැඩට..

අනිද්දා ඒ සදහා ඉතිරි මුදල් බදින්නයි..තව උපදෙස් ටිකක් දෙන්නයි එන්න කියලා තියෙනවා මං ලැයිසොමට ඉල්ලුං පත්තරය දාපු රියදුරු පුහුණු පාසලෙන්...
ඒ හින්දායි ‍අනිද්දා දවල් නිවාඩුව ඕන උනේ..

ට්රයල් පෙන්නන්න තියෙන්නේ 18 වෙනිදා..
එදාට ඉතිං මොටර් සයිකලේට වගේම සැහැල්ලු වාහනවලටත් ට්රයල් එකක් පෙන්නන්න වෙනවා...

බයිසිකලේනං හා කියමුකෝ..

ඒත් සැහැල්ලු වාහන..
නයි කයිද රෝස්පාං..මම 18 වෙනිදට වෑන් එකකින් ට්රයල් දෙන්ට ඕන නේද..?
යකෝ ට්රයල් පෙන්නනවා තියා මම අවුරුදු ගාණකින් රෝද හතරක් කරකවලා නැහැ..
අන්තිමට මම මගේ වෑන් කට්ට එලෙව්වේ 2001 විතර..ඒ කියන්නේ ගෙඩි පිටින්ම අවුරුදු දහයක්...

ඕවා කියන්නේ මොකටද ට්රයල් බලන උන්නැහේට..
ගිහින් කරකවලා දානවා..වෙන මගුලක් වෙන්නේ නැතෑ...

හැබැයි ඕං මං ගම්පහ පැත්තේ ඉන්න ඔක්කෝටමයි මේ කියන්නේ 18 වෙනිදාට කොහේවත් නොගිහිං ගෙවල් වලට වෙලා හිටු..එහෙමත් නැත්තං 17 වෙනිදා හවසම ගෙවල්වලින් පිටවෙලා ගෙහුං 18 රෑ වෙලා ආපහු ආවත් කාරි නැහැ..පස්සේ ඕං මං නොකීවා කියන්න එපා..
හැබැයි පුතෝ කීයටවත් පාරෙනං ඉන්ට එපා...

හිතා ගත්තෑකිනේ පුරා දසවසරකට පස්සේ වාහනයක් එළවන්ට ගියහම වෙන්ට ඇහැකි දේවල්..
ඊටත් ලැයිසොං ගන්නට එළවන එළවිල්ල නෙව..

අරිනවා දොඹෙන් යන්ට...එක්කො දෙයි..නැත්තං ආයෙමත් මුද්දර ගහලා වෙන දවසක් හරි දෙවෙනි පාරටත් ට්රයල් දෙන්ට බැරියෑ..

හා..දැන් නිකං ඇති වගේ..මගේ බෙල්ල රිදෙනවා..රෑට බොන්ට කියලා අර බෙහෙත් ගන්ට ගිය තැන උන්න කෙලි පොඩ්ඩ දුන්න පෙති කරල් ටික මං එනකල් බලාන ඉන්නවා..
අච්චර ලීලේ පාලා අර කෙලි පොඩ්ඩ දුන්න බේත් අහක දාන්ටයෑ...
අම්මපා වහ උනත් කමක් නැහැ මං බොනවා..
හා ඔන්න මං ගියා...

බස් පළුවන්ගේ කතාව...14

මේ සටහන් ටික ඒ කිව්වේ මේ බස් පළුවන්ගේ කතාව ගැන මම ලියන්න ගත්ත සටහන් ගොන්නේ අවසානය දැන් බොහෝම ළගයි..
කොහොමත් එක දිගට එකම දෙයක් ගැන ලියාගෙන යන එක මහා එපා වෙන වැඩක්..
ඒ හින්දා ඉක්මනට ඉවර වෙන තරමට මගේ හිතට හරි සැහැල්ලුයි...
ඒත් සමහර අවස්ථා වලදී ඉක්මනට ලියලා ඉවර උනාට පස්සේ..ආයෙමත් තව එකක් කියන්න බැරි උනා නේද කියලා හිතෙන වෙලාවළුත් නැතිවා නෙවෙයි..ඒ උනාට ආයෙත් ඒවා අස්සෙන් ගහලා දාන්න කියලයෑ..
ඒ හින්දා ඔන්න ඔහේ ඒක ඕන නැහැ කියලා හිත හදා ගන්නවා ඇර වෙන කරන්න දේකුත් නැහැ..අන්න ඒ හින්දා තමයි මේ තරංවත් හිමිහිට ලියන්න උත්සහ කරේ...

කොහොම උනත් දැන් මට ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ නිදහස තියෙන එකත් ලොකු පහසුවක් උනා මේ ලිපි ටික ලියාගෙන යද්දී..
ඒකට හේතුව මගේ ස්ථාන මාරුව...
දැන් ඉස්සර වගේ නැහීගෙන දගලන්න දෙයක් නැහැ...
උදේ අටට විතර ඇවිත් රාජකාරිය බාර ගත්තා..ඒ එක්කම වගේ ආයතන ප්රධානියා එනවා..ගිහිල්ලා කරමාන්තශාලාවයි කාර්යාලයයි ඇරලා දෙනවා...ඔක්කෝම දොරවල් හයයි... ඊට පස්සේ උදේ වැඩට එන හැමෝම එන වෙලාව සටහන් කරනවා...ඒකත් ඒ හැටි ගාණක් නැහැ..
සේවකයින් සහ නිලධාරීන් බොහෝම ටිකයි මෙතන ඉන්නේ...
අද ඔක්කෝම සේවක මහත්වරුන් 14 දෙනයි..
නිල මඩුල්ලේ උදවිය 09 දෙනයි.. ඒ කියන්නේ ඔක්කෝම විසි තුනයි...ආ තව පුහුණුව සදහා ආධුනිකත්ව මණ්ඩලයෙන් එවපු පොඩි කොල්ලෝ හතර දෙනෙක් ඉන්නවා...ඒ අය සටහන් කරන්න දෙයක් නැහැ..ඔච්චර තමයි ඔක්කෝම...කිසි අවුලක් නැහැ...

ඉතිං ඊට පස්සේ උදේට ගෙනාව දෙයක් කාලා ප්ලේන්ටියක් හදාගෙන ඒක බීලා කාරිය ඇදලා ගන්නවා ලැප් එක ඊට පස්සේ ඉතිං ඒක හරි බරි ගස්සගෙන දැන් මේ මම කරන වැඩේ කරන්න පටන් ගන්නයි තියෙන්නේ...

අතරින් පතර මොනවා හරි කාරණයකට එළියට යන කෙනෙක්ගේ යන එන වේලාව සටහන් තැබීමත්..ලියුම් ආවාම ඒ ටික ඊට අදාල පොතේ පිළිවෙලකට ලියලා ඒ ටික බාර දීලා එන්නත්..පොඩ්ඩක් එළියට බැහැලා වට පිටේ තත්වය ගැන ඇහැ දාන එකත් ඇරුනාම වෙන දෙයක් නැහැ...
........................................

හරි ඉතිං මෙතන ගැන කියන්න ගියාම කියන්න ආව දේ කියවෙන්නෙත් නැහැනේ...

දැන් මේ වෙන කොට කට්ටිය දන්නවනේ බස්පළුවෙක් හැටියට මම වැඩ කොරගෙන යන හැටිය...
අද තියෙන්නේ බස්වල ආදායම් තත්වය වගේම අපේ ආදායම් තත්වය ගැන තමා ඕං...

ඇත්තටම බස් රස්සාව කියන්නේ ඉතාම හොද ආදායම් මාර්ගයක්...
විදින දුක අනන්ත උනත්..ආදායම අතින් නං කිසි වරදක් නැහැ..
මම ගණන් හිලවු කියන්නේ අද පවතින තත්වයට අනුව නෙවෙයි..මොකද දැන්නං බස්වල යනවා හරි අඩුයි..මට මතක ඇති කාලෙකින් බස් එකක ගිහින් නැහැ..සමහර විට මං බස් එකක අන්තිමට ගියේ ගිය අවුරුද්දේ අප්රියෙල් වලද කොහේද..?

ඒ ඉතිං මට හරි ගිහිං නෙවෙයි..මොන දේටත් ඉතිං බයික් එකේම යන්න පුරුදු වෙලා දැන් බස් එකක යන්න හිතෙන්නේම නැති තරං
ඒකට හේතුව ඉතිං රස්තියාදුවට තියෙන අකමැත්ත..පැය බාගේ ගමනට පැය දෙකක් ගත කරන්න කවුද කැමති...ඒ හින්දා අද වෙනකොට බස් ගාස්තු ගැන මට ඒ හැටි අවබෝධයක් නැහැ..මං හිතන්නේ දැන් බස් එකක අවම ගාස්තුව රුපියල් හයක් හතක් විතර වෙනවා..ඒත් මං කියන කාලේ අවම ගාස්තුව රුපියල් දෙකයි..
මං මේ කියන්නේ එක්දහස් නවසිය අනූ හතේ අවුරුද්ද විතර කාලය ගැනයි.

ඉතිං ආසන්න වශයෙන් මං කියන ගණන් මිණුම් තුනෙන් විතර වැඩි කරලා ගත්තනම් අද තියෙන ගනන් වලට ගලපන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා...

මම මගේ වැටුපෙන්ම පටන් ගන්නං...
මගේ මුල්ම පඩි කවරේ මං ඇරලා බැළුවාම ඒකේ තිබුණා මට මතක හැටියට රුපියල් හත්දහස් අටසිය දහ අටක්..තව ශත ගාණකුත් තිබ්බා වගේ මතකයි...
ඒ මගේ ආරම්භක වැටුප..අද කාලේ හැටියට ගත්තොත් විස්ස පැනලා...
ඒ වෙනකොටත් මාසෙට රුපියල් දහ හත්දාහක් විතර ගන්න බස්පළු උන්නැහේලාත් හිටියා..

මං ඉතිං අළුත් එකා හින්දා අපිට ඉතිං මූලික වැටුප හෙම හුගාක් අඩුයි නෙව..
ඒත් ඉතිං මේ ගත්තු වැටුප මට හොදටම ඇති..හොදටම ඇති කියන්නේ මං ඒ පඩි කවරේ එහෙම්මම අරං ගිහින් බැංකුවේ දැම්මා...

මොකද මට ඒ වෙන කොට වියදං හුගාක් අඩුයි...ගෙදර තත්වෙත් කවර් කරගෙන..මටත් ජීවත් වෙලා පිරි මහගෙන වැඩ ටික කරගෙන යන්න එදිනෙදා හම්බ වෙන මුදල සෑහෙනවා...

දවස අන්තිමේදී ගනන් හිලව් බේරුවාට පස්සේ සෑහෙන මුදලක් අතේ ඉතිරි වෙන හින්දා ඒ තරම් අමාරුවක් නැහැ.

ඒ දවස්වල කෙටි මාර්ගයක සීයට හතරේ ටාගට් එක උපරිම වශයෙන් 2800 ක් වගේ තමයි..ඒත් මගේ කුරැණෑගල මාර්ගයේ 3400ක් විතර උනා...
ටාගට් එක යාන්තං කවර් කරලා තව සීයක් දෙසීයක් වැඩි උනානං ඇති හොදටම..හුගාක් අය කලෙත් ඒකයි..ඒත් මං හැමදාම හාරහසත් පන් දහසත් අතර මුදලක් කවුන්ටරයට බාර දෙනවා...
ඒ කියන්නේ උපරිම ආදායමක්..
ඒත් එක්කම මටත් රුපියල් දෙසීයක විතර ටාගට් මුදලක් හිමියි...
ඒ දවස්වල දවසේ කුලියට වැඩ කරන කෙනෙකුටත් හම්බ උනේ 150ක් 175ක් වගේ තමයි..ඉතිං මට මේ මුදල හොදටම ඇති කියන එක ගැටළුවක් නෙවෙයිනේ...

කෑම බීමත් වැඩි හරියක් නොමිලේ..ඉතිං බර සෑහෙන්න අඩුයි...

නියම බස් පළුවෙක් නං කළින් දවසේ කොච්චර මුදලක් ගෙදර ගෙනිච්චත් පහුවදා උදේට අතේ සතේ නැති එකෙක් වෙන්න ඕන..

උදේ පාන්දරම තේ එක සිගරට් එක ණයට අරගෙන හවසට ගණන් බේරන ජාතියක් තමයි බස්පළු උදවිය..බොහෝම අල්පයක් තමයි ඔය තත්වෙට වඩා වෙනස් උනේ..මාත් ඒ අතළොස්සක් අතර එකෙක්..

හැමදාම මම උදේට එදා වියදමට කියලා රුපියල් සීයක් වෙනම අරගෙන යන්නේ..
ඊට අමතරව ශත පණහේ කාසිවලින් රුපියල් තිහක් ගෙනියනවා..ඒ කියන්නේ කාසි හැටක්.

උදේ පාන්දරම මාරු නැහැ කියලා මිනිස්සුන්ගේ හිත් කිළිටි කරන එක මට යාදෙන වැඩක් නොවිච්ච හින්දාම පුරුද්දක් හැටියට ඔය ගාණ හැමදාම උදේට මගේ කලිසම් සාක්කුවේ අරගෙන යන එක මගේ අනිවාර්ය පුරුද්දක්...

හැබැයි සමහර වෙලාවට ඕක මදි වෙන වෙලාවළුත් නැතිවා නෙවෙයි..උදේ පාන්දරම සීයේ කොල පණහේ කොළ..විස්සේ දහයේ කොළ පෝලිමේ ආවොත් මං සල්ලි අච්චු ගහන්නයෑ..

ඉතිං කොහොම කලත් ඕය ශත පණහේ ඒවායින් දවස අන්තිමට ඉතිරි වෙන ගාණක් තියෙනවාමයි...
මම උපරිම විදියට ගනන් බේරුවත් දවසක අවසානයේ සෑහෙන මුදලක් ඉතිරි වෙනවා...

ඒහෙම ඉතුරු වෙන මුදල හැදෙන්නේ ප්රධාන වශයෙන් ශත පණහේ ඒවායින් විතරක් නෙවෙයි..
ඔය බොරැල්ල බම්බලපිටිය අතර යන අය එහෙම දන්නවා ඇති හුගාක් තද බද වේලාවට කොයි තරම් උත්සහ කලත් ටිකට් කඩන්න තියා සල්ලි ගන්නවත් වෙලාවක් නැහැ..
හුගාක් අය මේ හෝල්ට් එකෙන් නැගලා පුට් බෝඩ් එකේම ඉදගෙන රැපියල් දෙක අතේ තියලා බස් එකෙන් දඩි බිඩි ගාලා පැන ගෙන යනවා..ආයේ ටිකට් කඩනවා තියා ඒ මනුස්සයාගේ මුහුණ බලන්නවත් වේලාවක් නැහැ...

ඉතිං අන්න එහෙම ඉතුරු වෙන මුදළුත් අර ගොඩටම එකතු වෙනවා..
කාට හරි හිතන්න පුළුවන් ඇයි ඉතින් ඒ මුදල් ආයෙමත් මුළු මුදලට එකතු කරන්න පුළුවන්නේ කියලා..හැකි සෑම වෙලාවකම එහෙම කලත් සමහර විට සෙක්ෂන් මාරු වෙද්දී අපි එවෙලේට තියෙන මුදල වේ බිලේ යොදලා ඉවරයි..ආයෙම එකතු කරන්න ගියොත් පැටලිවිලි ගොඩයි..

කරන්න පුළුවන් බස් එක නවත්තගෙන පැය කාලක් විතර ඉන්නවනං..ඒත් එහෙම වෙලාවල් නැහැ..ඊ ළගට හදිසියේ හරි ටික්කෝ පැන්නොත් ඒ වෙනකල් වේ බිල හරියට ලියලද කියලා බලනවා..පස්සේ ගණන් හදලා දාන්න කියලා වේ බිල නියම තැනදී මාක් කරලා තිබුණේ නැත්තං ඒක අනිවාර්ය වංචාවක් බවට පත් වෙනවා..ඒ හින්දා නිතරම වේ බිල මාක් කරන්න ඕන...

ඊ ලග එක තමයි මං බුදු වෙලා නැහැ කියන එක...ඒ හින්දා ඉබේම වාගේ එකතු වෙන මුදල අමාරුවෙන් ගණන් හද හද ආයෙමත් අර මුළු මුදලට එකතු කරන්න තරංනං මං මහන්සි උනේ නැහැ..ඒත් හිතට එකගව එහෙම වාසියක් ලබන්න බලාගෙන මං කවදාවත් කටයුතු කරලා නැහැ..

මට ගෙදර ඇවිත් නිදා ගන්න ගියහම මට හිතට දැනෙන්න ඕන මං හිතා මතා වංචාවක් කලේ නැහැ කියන එක..මං ඒ මට්ටම තියා ගන්න හැමදාම වැඩ කලා..උපරිම විදියට මගීන්ට වංචාවක් නොකර සතේට ගණන් බේරලා..හැකි උපරිම විදියට ටිකට් කඩලා ඒ ආදායම ඩිපෝවට ලබා දුන්නා...

ඒ හැම දේමත් කරලා අන්තිමට තවත් ඉතිරි වෙන එකට මට මාව වැරදි කාරයෙක් කර ගන්න ඕන උනේ නැහැ.

ඉතිං ඔය හැම දේටම අනුව දවස අවසානයේ ජීවත් වෙන්න අවශ්‍ය මුදල මට ඉතුරු වෙනවා..වැඩියත් එක්ක...

ඉතිං මට ටාගට් මුදල හැටියට රුපියල් දෙසීයක් හා තවත් අමතරව රුපියල් සීයක් දෙසීයක් තියෙනවා

සමහරු දවසට දහා පන්නලා ගෙදර යන වග මම ඒ වෙනකොට දැන ගෙන හිටියත් ඒ වගේ මුදලක් කවදාවත් මං උපයන්න උත්සහ කරලා නැහැ..

ඔය මුදල මම හැමදාම වෙන් කර ගන්න විදියකුත් තියෙනවා...
ඒ තමයි ශත පණහේ කාසි වලින් රුපියල් තිහක්..කොළ වලින් සීයේ කොල දෙකක්..එයින් එකක් ගෙදරට අනික මගේ පහුවදා වියදමට...අනිත් හැම මුදලක්ම රුපියල් පහේ කාසි වලින්...

ඉතිං රෑට ගෙදර යද්දී මගේ සාක්කු පහේ කාසි වලින් බර වෙලා...

ගෙදර ගිහින් ඔය කාසි ටික මගේ ඇද අයිනේ ජනෙල් පඩිය උඩින් පිළි වෙලකට අහුරනවා...ඒ ජනේලය කවදාවත් ලේසියකට අරින එකක නෙවෙයි..ඒ හින්දා ආරක්ෂාව ගැන ගැටළුවක් නැහැ..කාමරේ තිබුණු අනිත්
පුංචි ජනේලේ තමයි මං නිතරම ඇරලා තියන්නේ...

ඊ ළගට ඉතිං මගේ කාමරේ හැමදාමත් වහලා තියන්න මං පුරුදු වෙලා හිටියා...
මං ඇරුනම කවුරුවත්ම ඒකට යන්නේ නැහැ...මං ගෙදර නැත්තං නිතරම ඒක වහලා..යතුර නිතරම මගේ සාක්කුවේ..අනිත් යතුර ගෙදර තියලා තියෙන තැන දන්නේ මායි තාත්තයි විතරයි..ඒත් තාත්තවත් කවදාවත්ම මං නැති වෙලාවට ඕක අරින්නේ නැහැ...
මල්ලි උනත් කවදාවත්ම මගේ දේවල් වලට අත තියන්නේ නැහැ..මිනිහට මොනවා හරි ඔන උනාම තාත්තට කියනවා..මටත් ඇහෙන ගාණට...ඉතිං ඒ ඕන කරණ ගාන මම කොහේ හරි යන්න කලින් සාලේ ටීපෝ එකෙන් තියලා යනවා කියලා ඌ දන්නවා හොදටම..මං ආපහු එනකොට සල්ලි එතන නැහැ..
ඉතිං ඌ මගෙන් අරගෙනත් නැහැ..මං ඌට දීලත් නැහැ...
ඒ වගේ තත්වයක් උඩ මෑන් මගේ සාක්කුවලට බහින්නේ නැහැ කවදාවත්ම..ඒ හින්දා ගෙදර ආරක්ෂක තත්වේ බොහෝම හොදයි

ඔන්න ඔය වගේ තත්වයක් මැද ඉතිං මගේ පහේ කාසි එකතුව බොහෝම ජයට නැගලා ගියා..සමහර දවස්වලට ඕවා අහුර අහුර ඉන්න බැරි තරං මහන්සි දවසට මගේ ඇදේ මෙට්ටෙ කවරෙ තිබුණු සිදුරකින් දානවා මෙට්ටේ ඇතුලට..නිදා ගන්න පැත්තට නෙවෙයි අනිත් පැත්තට..

ඉතිං ඔන්න ඔහොම තමයි ඒ දවස්වල ආදායම නිතරම ගෙදර වියදමට අර මං ගේන රුපියල් සීයක් වගේම අර පහේ කාසි වලිනුත් වියදං කලා...හැමදාම ඉරිදාට නිවාඩු දවසට මං පොලේ යන්න ඕන..ඒ ගිහින් ගෙදරට ඕන හාල් තුන පහ එළවළු හැම දෙයක්ම ගෙනත් දාන්නේ මම..ඒවාට අර මුදල් පාවිච්චි කරනවා..

ඒත් අන්තිමට මං බස් කරුමාන්තෙට ආයි බෝං කියලා ගෙදර හිටි මාස හය රෝල ගහගෙන ජීවත් වෙන්න තරං මට අර පහේ කාසි කන්ද උදව් උනා කිව්වොත් ඒක තමයි ඇත්ත...

මට මේ ළගදී අපේ කතන්දර මහතැන් ලියාපු පහේ කාසි කතන්දරේ දැක්ක වෙලාවේ තමයි මටත් ඔය කතාව ලියන්න මතක් උනේ..ඔන්න ඉතිං පහේ කාසිවල වටිනාකම..

රියදුරු මහත්තයාටත් අර මට වගේම ටාගට් මුදලයි කෑමට නවත්වන කඩෙන් යනකොට එනකොට දෙන මුදලයි හිමියි..ඒ මුදලින් අපිට සතයක්වත් ලැබෙන්නේ නැහැ..ඊට අමතරව ඉතිං අතර මගදී බුලත් විටක්..සිගරට් එකක් තේ එකක් බොද්දිත් මගේ අතින් තමයි දෙන්නටම ගෙවන්නේ...

කොහොම උනත් අපි දෙන්නම එක හා සමාන මුදලක් හැමදාමත් ගෙනියනවා...

.............................................

ඔය මගේ අත්දැකීම්..මීට අමතරව..මැෂින් එකෙන් වංචා කරනවා කියලා කිව්වට මංනං ඒ ගැන හරියටම දන්නේ නැහැ...මං කවදාවත් ඕකට අත තියන්න ගියේ නැහැ..
ඒ වගේම තමයි ටිකට් පොතෙන් කඩද්දී කාබන් එක නොතියා ලියලා..පස්සේ ටිකට් කොපිය කාබන් එක තියලා අඩු ගණන් වලට ලියලා කරන වංචාවන් එහෙමත් තියෙනවා..ඒ වගේම දුර ගමන් වාර වලදී බස්පළු උන්නැහේ ළගින්ම ඉන්න මගීන් කිහිප දෙනෙක්ට ටිකට් නිකුත් නොකර යෑම වගේ දේවලුත් තියෙනවා..හදිසියේ හරි ටික්කෝ පැන්නොත් අර අයට දඩි බිඩි ගාලා ටිකට් කඩනවා.. නැත්තං ඉතිං ඒ ටිකට් වලට අදාල මුදල මාටියා තමයි...

ඒ වගේම ඔය එළවළු ගෝනි වගේ දේවල් පටවද්දී ඒවාට අඩු ගණන් දාලා ටිකට් කඩලා නියම්ත මුදලම අය කිරීම..මොකද ඒවාට ගාස්තු නියම කිරීම බස්පළු උන්නැහේට කරන්න වෙන්නේ බර බලලා නෙවෙයි පිටින් බලලා තමයි..ඉතිං ඇග බේරෙන විදියට ඒ දේ කරන්න පුළුවන්..ඔන්න ඔය වගේ ක්රම කිහිපයක් හරහාම අයථා ආදායම් උපයන්න හැකියාව තියෙනවා..

මේ හැම දේටම වඩා තවත් කෙරෙන දේවල් තමයි..ඩීසල් ඇදීම...ඒ දේ කරන අයත් අතරින් පතර ඉන්නවා..

ඔය හැම දේටම වඩා හෙන ගහන අපරාදත් බස් කරුමාන්තෙදී අහන්න ලැබෙනවා..ඒකටනං හැබැයි හුගාක් අය සම්බන්ධයි..ඒ තමයි බස්රථවල කොටස් මාරු කිරීම..ඒ දේටනං ඔය ඉංජිනේරු අංශවලත් සපෝට් එක ඕන කරනවා..එහෙම නැතුව රියදුරාට බස් පළුවට ඕන හැටියට ඒවා කරන්න බැහැ...
මොකද ඔය හයි කරලා තියෙන හැම කෑල්ලක් ගැනම නියම වාර්ථාවක් උන්නැහේලා ලග තියෙන හින්දා...
ඉතිං ඒකට ඒ අයගෙත් සහය තියෙන්න ඕන..
එදිනෙදා කීයක් හරි මාටියා ගහනවාට වඩා කන්න හම්බ කරගන්න බස් එකට එහෙම අපරාධයක් කරන්න හිත හදා ගන්නේ කොහොමද කියලා තමයි හිතා ගන්න අමාරු..ඒත් ඉතිං ඒවගේ දේවළුත් නොකෙරෙනවා නෙවෙයි..
ඉතිං ඔන්න ඔය වගේ දේවල් තමයි අහන්න දකින්න ලැබෙන වංචාවල්...

හරි දැනට මේ ඇති...
ඊ ළග කතාවෙන් අපි බලමු මංතුමා ඒ අපූරු බස්පළුවාගේ රාජකාරියෙන් සමු ගන්නා ඒ හිනායන හේතුව..
සුළු සුළු හේතු හුගාක් තිබ්බත්...ඒකට ඇත්තටම මුල් උන හේතුව දන්නේ මාත් තාත්තාත් විතරයි...
ඒක තමයි මං ඊ ලගට කියන්නේ...මොකක් කියලාද හිතන්නේ..?
හරියට උත්තරේ දෙන්න පුළුවන් කෙනෙකුට තෑග්ගක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා ඕං...මං දෙන තෑගි ගැන දන්න අය ඉන්නවනේ...හරි එහෙනං උත්සහ කරලා බලන්න...

මාරයා තුමා බස්පළු රැකියාවෙන් ඉවත් වූ හේතුව කුමක්ද..?
අන්න ඒක තමයි ගැටළුව...

කට්ටිය ජාතක කතා එහෙම අහලා තියෙනවද..?

09 February 2011

බස් පළුවන්ගේ කතාව...13

ඕන්න නැවතත් වතාවක් ටිකට් මැෂිමත් කිහිල්ලේ ගහගෙන මං ගොඩ උනා නෙව බස් එකට..හරි යං..
තාමත් නිදි මතයි අම්බානකට..
ඊයේ මේ මළ ගෙදරක ගිහින් නිදා ගන්නත් නැති උනා නෙව..
ඒකත් මේ සුළු පටු කෙනෙක්ගේ අවමංගල්ලයක් එහෙම නෙවී..බොහෝම ඉහළ තැනක ඉන්න කෙනෙක්ගේ..
අවමංගල කටයුතු කෙරුනෙත් ඉතිං ඒ වගේම ඉහළ තැනක තමා..
කොහොම හරි අන්තිමට අපි දෙතුන් දෙනෙකුත් ලොකුකං බලන්නේ නැතුව මල ගෙදරට ගොඩ උනා..අන්තිමට නිදා ගන්න කොට කුකුලා අඩලනවා..

........................................................

හරි දැන් අපි ඉන්නේ නියම රූඩ් එකට වැටිලා... හා ඔය "රූඩ්" එක කිව්වම මතක් උනේ..අපේ මේ කතන්දර මහත්තයා මට මතක් කොලා හරි වචනේ ''රූඩ් ''නෙවෙයි ''රූට්'' කියන එක..බොහෝම ඉස්තූයි ඒකටත්..
ඒත් ඉතිං අපේ වචන සැට් එකටනං ඉතිං ''රූඩ්'' තමයි දිවට හුරු...
ඒ හින්දා කවුරැත් අමනාප වෙන එකක් නැහැනේ හුරු විදියටම ඇදගෙන ගියාට..හරි.

ඒ කතාවට ගෙහුං..ඔය වගේම තව වචනයක් මතක් උනා ආයිබෝං..

ඒ තමයි "සාම් මහත්තයා" පොලොසියේ ඉන්න කාලෙදී නිතරම ඇහෙන වචනයක් ඕක..මං හතර අතේ බලනවා කවුද මේ සාම් මහත්තයා කියලා..

"ගිහින් සාම් මහත්තයට කියන්න..සාම් මහත්තයා ඉන්නවද..?සාම් මහත්තයා කතා කලා"..අයියෝ මල විකාරයයි..
මම ඉතිං හොයනවා "සාම් මහත්තයාව"...

පස්සෙනේ දන්නේ මුං මේ සාම් සාම් කියන්නේ සාජ් එහෙම නැත්තං සාජන් මහත්තයා කියන එකට කියලා..
කොහොම හරි දවස් දෙකතුනක්ම ගෙහුං තමයි මට "සාම් මහත්ත"යා හම්බු උනේ..

හරි ඒ කතාවත් පැත්තකින් තියමුකෝ...

ඉතිං මුලින්ම මං කියන්නං අර කළින් ලිපියේ කොමෙන්ටුවල කියලා තිබුණා වගේ..
දුර ගමන් සේවාවල බස් රථ තේ බොන්න බත් කන්න කඩවල් වල නැවැත්තුවාම සිද්ධ වෙන වැඩ පිළිවෙල...

ඔය දුර ගමන් ගිහිං තියෙන හුගාක් දෙනා දන්නවනේ අපි ඔය බස්රථවල යද්දී..‍වරින් වර අතර මග නවත්තනවා තේ බොන්න..එතකොට බත් කන්න..ඒ වාගේම ඉතිං ඔය හිර කොරගෙන සිංදු කතන්දර කීමේ අවශ්‍යතාත් ඉස්ට සිද්ධ කොරගන්ට ඇහැකි වෙන විදියට...

ඉතිං බොහෝම දුරට ඔහොම බස් එක නවත්තන්නේ හැමදාමත් පුරුදු උන කඩයක් ගාවම තමයි..
ඒ කඩවල උදවිය උනත් දන්නවා අහවල් වෙලාවට අහවල් බස්රථය මෙතනට එනවා කියන කාරුණාව..ඒ හින්දා නිතරම ඒ අය සූදානමින් ඉන්නේ ඒ ඒ බස් රථවලට තමුන්ගේ සේවාව සපයන්න...

ඔය වගේ බස් නවත්තන කඩ හැම තැනමත් නැහැ..ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච කඩ ඒ කියන්නේ හෝටල් අදාල මාර්ග අයිනේ පිහිටලා තියෙනවා..

ඒ වගේම තමයි බස් කාරයෝත් ඔය තියෙන තියෙන හැම කඩේම නවත්තන්නේ නැහැ..තමුන්ට හුරු පුරුදු..
ඒ වාගේම හොදින් සලකන හෝටල් වලට තමයි බස්එක අල්ලන්නේ...

ඉතිං මේ වගේ දුර සේවා බස්රථ තම තමුන්ගේ කඩ ගාව නවත්තා ගන්න මේ හෝටල් හිමියන් බොහෝම උනන්දුයි..මොකද ඉතිං එක පාර සීයක් හමාරක් ඉන්න බස් රථයක් තමුන්ගේ කඩේ ගාව නැවැත්තුවාම අඩුම ගානේ ඒ බස් එකේ ඉන්න ඈයින්ගෙන් බාගයක්වත් බැහැලා ඇවිල්ලා තේ කහට එකක් හරි බොනවානේ..

කොහොමටත් ඒ වගේ හෝටල් වලට බස්වල උදවිය හැරුනු කොට වෙන පාරිභෝගිකයින් එනවා අඩුයි..ඉතින් කොහොම හරි වැඩි බස්රථ ප්රමාණයක් තමුන්ගේ වෙළද සැලට ගෙන්වා ගන්න ඒ අය අතරේ බොහෝම ලොකු සටනක් තියෙන්නේ...

ඉතිං මේ තත්වය යටතේ තමුන්ගේ හෝටලය අසල නවත්වන බස්රථවල රියදුරාට සහ බස් පළුවාට බොහෝම ඉහළින් සංගරහා සත්කාර කොරන්නට මේ අය වග බලා ගන්නවා...

සෑම කඩයකම ‍අනිත් අයට වැඩිය පේන්නේ නැති තැනක පොඩි කාමරයක් තියෙනවා..ලස්සනට මේසයක් දාලා පුටු හතර පහක් තියලා හුළං පෙත්තක් එහෙම කිට්ටු කොරලා...
ඒ වගේමයි ඒ කාමරේ සේවය සදහාම විශේෂ සේවක මහත්තයෙක් පත් කොරලා තියෙනවා..ඒ වගේමයි ඒ වැඩේට යොදවන සේවකයා හෝටලේ මුදලාලිට බොහෝම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන කියන කාරණාවත්..අනික වැරදිලා හරි ඒ සේවකයා නැති වෙලාවට හෝටලේ අයිතිකාරයාම හරි ඇවිල්ලා අර කාමරේ ගැන බලනවා..අනිත් සේවකයින්ව උනත් ඒකට යවන්න වැඩිය කැමති නැහැ..
හේතුව තමයි..

අනිත් අයගේ සුළු අඩුපාඩුවක් නිසා හෝ අර බස් අරං එන රියදුරු මහත්තුරැන්ගේ මල් වගේ තියෙන අහිංසක ළපටි හිත් රිදෙයි කියන බය...

ඇයි ඉතිං පොඩි අවුලක් හින්දා හරි උන්දලා බස් එක එතන නවත්තන්නේ නැතිව වෙන තැනකට අල්ලන්න පුරුදු උනොත්..කීයක් නං කියලා මුදලාලිට පාඩුද..?
ඒ හින්දා හරිම ගරු සැලකිලි ඇතුව රියදුරු මහත්වරැන්ට..බස් පළු මහත්තුරුන්ට සලකන්න ඒ අය හරිම සැලකිලිමත්...

ඉතිං කොහොම හරි අපි ගෙහුං බස් එක නවත්තලා බස් එකෙන් බැහැලා කඩේට ගොඩ වෙද්දිම වගේ මුදලාලිම ටිකක් මගට ඇවිත් අතින් අල්ලගෙනම වගේ..
යං යං ඇතුළට කියලා ඔන්න අපිව බාර දෙනවා අර තමුන්ගේ විස්වාසවන්ත සේවක උන්නැහේට..එතන ඉදන් ඕන්න අපිත් නිකං දෙවිවරැ වගේ...

බත් කනවනං..බත්
තේ බොනවනං තේ..
ඕන දෙයක්..

ඔය දුර ගමන් බස්වලින් මට හුරැ වෙච්ච ජරා පුරුද්දක් තිබුණා ඒ කාලේ...
ඒ තමයි කෑම කන ගමන් කොකා කෝලා බොන එක..
ඇයි ඉතිං නිකං දෙන එකනේ...අතිං පයින් යන එකක්යෑ...
ඉතිං වාඩි වෙච්ච හැටියේම අපිට ඕන මොනවද කියලා අහලා ඒ දේවල් කිසි අඩුවක් නැතිව සපයනවා..

අපි හිතමුකෝ බත් කනවා කියලා...

දුම් දම දමා බත් පළගාන් එක්ක හොදම මස් මාළු වෑංජන මේසෙට පුරෝනවා..විශේෂයෙන්ම හෝටලයේ තියෙන මසක් මාළුවකට වැඩි දෙයක් අනිවාර්යයෙන් තියෙනවා...
හුගාක් දුරට මුව මස් ගෝන මස් එහෙමත් ඕය මේසෙට එන අවස්ථා වැඩියි..

මේ ඔක්කෝටමත් කළින් හිමීට කනට කරලා අහන වාක්කියකුත් තියෙනවා..

"මුකුත් කරනවද..?"

උත්තරේ..
"නැහැ"නං...

"හීනියටවත්"

ඒත් උත්තරේ

"ම්හූ..එපා.." නං..එතන ඉදලා කෑම බීම සපයනවා..
කොකා කෝලා බොතල් දෙක අනිවාර්යයෙන් කඩලා ලගින් ති‍යනවා...

අර පුශ්නෙට උත්තරේ..

"කරමු" නං..

තත්වය වෙනස් වෙලා..පුංචි නැටුං තෙල් වඩියකුත් ළගටම ලැබෙනවා..
හුගාක් රියදුරු මහත්වරු ඔය තෝරා ගැනීම නොකලත්..ඒක අනිවාර්යයෙන් කරන උදවියත් ඉන්නවයි කියන එක අමත.ක කරන්න එපා..ඒ හින්දා විශේෂයෙන්ම ඔය වගේ බත් කන්න නැවැත්තුවට පස්සේ තමුන්ගේ බස් රථයේ රියදුරැ මහත්තයා අමුතුයි වගේනං..යන උදවිය ටිකක් සූදානං සරීරෙන් යන එක නුවණට හුරුයි..ආයේ මං නොකීවා කියලා එහෙම කියනවා හෙම නෙවෙයි..

හරි ඉතිං දැන් කෑම ටික කන අතරෙත් අඩු පාඩු බෙදිල්ල බොහෝම හොදින් කෙරෙනවා..නිකමට හරි කිව්වොත් රතුළුණු ගෙඩියක් තිබ්බනං හොදයි කියලා..පටස් ගාලා අර ඉන්න උන්දෑ පුංචි පිහියක් අරං රතුඵණු ගෙඩි හත අටක් සුද්ද කරලා හෝදලා පුංචි පීරිසියක තියලා අපිට කිට්ටු කොරනවා..
බිත්තරයක් බැද ගන්න හිතුනත් තප්පර ගාණක් ඇතුලත ඒ දේ කරලා දෙන්න ඒ අය හරිම සැලකිලිමත්...

ඉතිං ඔය දේවල් ඔය විදියට කරලා..ඒ කියන්නේ හොදව බත් ටික කාලා තව ඉතිං ඇම්බුං හරි කෝලි කුට්ටු ගෙඩියක් එහෙමත් නැත්තං යෝගට් එකක් එහෙමත් දීලා ඇදලා සිගරට් එහෙම බොනවනං එකක් පත්තු කොරගෙන තව එකක් සාක්කුවෙත් දාගෙන එළියට බහිනවා..ඒ අතරේ තව එක දෙයක් අර සේවක මහත්තයා අතින් කෙරෙනවා..ඒ තමයි තමුන්ගේ සාක්කුවේ නිතරම තියෙන මුදලක් අර රියදුරු මහත්තයාගේ උඩ සාක්කුවට දාලා පිටට පොඩි තට්ටුවකුත් දාන එක..

හෝටලේ අයිතිකාරයා නිතරම විශ්වාසවන්ත අයෙක් ඔය වැඩෙට දාන්නේත් ඔය කාරණාව හින්දාම තමයි..මොකද නැත්තං අර මුදල රියදුරු මහත්තයාට නොදී එක පිල්ලි ගහන ගෝලයෝ හින්දා තමුන්ට බස් රථ අහිමි වෙලා යන්න ඉඩ තියෙන එක...

ඉතිං ඔන්න ඔය විදියට අපිත් හැමදාම බත් කන කඩයක් තිබුනා වරකාපොල ඉසව්වේ...

යන ගමන් බත් කාලා..එන ගමන් තේ බොන්නත් අපි මෙතන නවත්තනවා...

තේ බීලා ඉවර වෙලා එනකොට අර හැම දේටමත් අමතරව තව පුංචි පාර්සලයකුත් ගෙනත් බස් එකේ ඩෑෂ් බෝඩ් එක උඩින් තියන්නත් අර සේවක මහත්තයා අමතක කරන්නේ නැහැ...
ඒ පාර්සලේ තියෙන්නේ වෙන වෙනම පුංචි උර දෙකක්...

රෝල්ස්, කට්ලට්, එළවළු රොටී,වගේ දේවල් තුන හතරක් ඕකේ තියෙනවා..අපි කැමතිනං ඒ වෙනුවට බනිස්, කේක්, තල කැරළි වගේ දේවල් උනත් මෙහෙම දෙන එක පුරැද්දක්...

ඒ එද්දිත් අර කළින් වගේම මුදලක් රියදුරු උන්නැහේට අයිතියි..

ඉතිං ඔය විස්තරේ ඔය වගේ තමයි..තව සුළු සුළු වෙනස්කං උනා උනත් මූලික කිරියා පටිපාටිය ඕක තමයි...

හුගාක් දිගට ලියන්න අමාරුයි..උණ ගැනිලා ඉන්නේ..බෙහෙත් ටිකක් ගන්නත් යන්න වෙයි වගේ...
චුට්ටක් නිදා ගන්නත් ඕන..ඒ හින්දා අපේ ආදායං තත්වය සහ මාටියා ගැසීම ගැන ඊ ළග ලිපියෙන් කතා කරමු...

රායිට් යාං...