30 March 2011

මාරයාගේ ජෝතිෂ්‍යයට අනුව ලෝක කුසලානය දිනන්නේ කවුරුන්ද..?

කොහොමද කස්ටිය..?හොඳින් ඉන්නවා ඇති නේද..?ඊයේ හවස මැච් එක බලලා..බඩ පපුව දාලා පිච්චිලා ගිහිල්ලා..අන්තිමටම සමරවීර කොළුවගේ ඥාතීන්ට පින්දීගෙන වගේ එහෙම එනකොට..යාන්තං ගොඩ ගියාට පස්සේ නේද හැමෝටම හුස්මක් ගන්න පුළුවන් උනේ..?

හරි අපි අද මාතෘකාවට බහිමු.මුලින්ම කියන්න ඕන අද තමා මම කාලෙකට පස්සේ ලියන්න කලින් මාතෘකාවක් දැම්මේ..නැත්තං සාමාන්‍යයෙන් මම කරන්නේ ඔහේ ලියාගෙන ගිහිල්ලා අන්තිමට ලියවිලා තියෙන එක අනුව ඔය මොනවා හරි නමක් දාන එක තමයි.

ඒත් අද මම හිතුවා මුළින්ම මාතෘකාව දාලා ඊ ළගට ලියන්න ඕන කියලා.

ඒත් ඉතිං මට අමාරුම දේ තමා ඔය මාතෘකාවට‍ අනුව ලියන එක..කමක් නැහැ සුද්ද අන්කලුත් කිව්ව එකේ ට්‍රයි කරලා බලමු...

.................................................

මට මේ මාතෘකාව ගන්න හිතුනේ..මේ දැන් මම කියවපු ලිපියක තිබුනු දෙයක් දැකලා..ඒකේ තිබ්බනේ ඔය සිරස කියන වහංතරාවේ..
(හා හා දැන් ඉතිං පටන් ගන්න එපා..ඇයි සිරස විතරද වහංතරාව..අනිත්වා එහෙම නැද්ද කියලා...සිරස නෙවෙයි අප්පා මම නං ඔය එක වහංතරාවක් වත් බලන්නේ නැහැ..හේතුව..මට ටීවී එකක් නැති එක..හරිනේ ෂෝක් උත්තරේ නේද..? මං කලින් ටීවී බැළුවේ කොම්බෝ බොක්ස් එකක් හරහා මගේ කලින් කොම්පීතර උන්නැහේගේ මොනිටරය හරහා නෙව..ඒත් ඒක දීලා දාලා..මේ තියෙන ලැප් මල්ලිව ගත්ත දවසේ ඉඳලා මට ටීවී නැත..ඒත් එය ගාණකුත් නැත.. තියෙද්දි උනත් මම ඒ හැටි බැළුවේත් නැත..)

ඉතිං කියන්න ගියේ..ඒ ප්‍රවෘත්තියට අනුව සිරසේ කවුද මංදා ජෝතිෂ්‍යවේදිනියක් ගෙන්නලා කරපු වැඩසටහනකදී ලෝක කුසලානය පිළිබඳව කරපු කතා වගයක් ගැන ලියලා තිබ්බා...

ඒ අනුව කියවිලා තියෙන්නේ "අවසන් තරගය තියෙන දවස අපිට හොඳ නැතය" කියන කාරණාව තමා...

ඉතිං ඕක දැක්ක ගමන් මට මතක් උනා මීට අවුරුදු ගානකට කලින් ඔය දෙර‍ණ ටීවි එකෙත් ඔය වගේ පිස්සු කෙලිල්ලක් තිබුනු බව..අර අපි දන්න කියන කාගේත් සුන්දරී නගා හායි හූයී..චීං වූයි... ගාන ගමන් කළ වැඩසටහන..කාටත් මතක ඇතිනේ...පාර කියන තාරුකාද මොකක්ද අටමගලයක්..

අනේ ඉතිං කිව්වට මොකද මාත් ඕක ඉස්සර මුලින් මුලින් ටිකක් බැළුවා...ඒ බැළුවේ ජෝතිෂ්‍යයට මගේ තිබුනු උනන්දුව නිසා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබේවි කියන පරම පවිත්‍ර වේතනාවෙන් තමා..

ඒත් ටික දවසක් යනකොට මට මගේ ඒ පරම පවිත්‍ර චේතනාව අහක් කරගන්න උනා..ඒ කියන්නේ ඒ උලව් වැඩසටහනෙන් මිනිහෙකුට ඉගෙන ගන්න මේ ලෝකේ දෙයක් නැහැ..ඇත්තටම ඔය පියසේන රතුවිතාන මහත්තයා..එතකොට අර හෝමාගම ඇල්බට් සුදසිංහ මහත්තයා..තව අර පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්තයා...ආන්න ඒ උදවිය කරන වැඩසටහනකදී අල්ලගන්න හුගාක් දේවල් තියෙනවා..ඒ අතරිනුත් රතුවිතාන මහත්තයා කියන්නේ ගුරු දෙවියෙක්...

මම මේ කියන දේ ඔයාලා හැමෝටම තේරෙන්නේ නැතිව ඇති.ඒත් ජෝතිෂ්‍යය ගැන මූලික දැනුමක් තියෙන අයට මම කියන දේ තේරෙනවා...අපි දන්න දේට අළුතින් යමක් එකතු කරගන්න..විශේෂයෙන්ම කේන්දර රාශියක් පරිහරණය කිරීමෙන් ලැබූ පළපුරුද්ද හා ජෝතිෂ්‍යය ගැන ලබා ඇති හසල දැනුම හා පුහුණුව හරහා ඒ මහත්වරු කියන දේට සාධක හා මූලාශ්‍ර ඉදිරිපත් කරනවා..ඒ ඒ අනාවැකියට පදනම් කරගත්තේ කුමන ග්‍රහ පිහිටීම්ද කියන දේ තර්කානූකූලව ඉදිරිපත් කරනවා.

ඒක අපි වගේ අයට බොහෝම ප්‍රයෝජනවත්...

ඔය මම නම් කිව්ව තිදෙනාගෙන්ම මම විශේෂයෙන්ම ප්‍රශාන්ත් මලවිගේ මහත්මාගේ අනාවැකි සම්බන්ධව හුගාක් විශ්වාස කරනවා..සමහර ඒවාට පදනම් වෙච්ච සිද්ධාන්ත ඉදිරිපත් නොවුනා උනත් ඒ කියන දේවල් ගැන මටත් එකඟ වෙන්න පුළුවන් මට්ටමේ අනාවැකි හා කරුණු ඒ මහත්මයා ඉදිරිපත් කරනවා.
විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහනකදී කාගේ හෝ කේන්ද්‍රයක් ඉදිරිපත් උනහම මමත් ඒ කේන්ද්‍රය දළ විදියට ඇඳගෙන ඒ මහත්වරු කරන විග්‍රහ බොහෝම උනන්දුවෙන් අහන ගමන්ම මමත් ඒ කරුණු කොහොමද කියලා මම උගත් දෙයට අනුවත් කිරා බලද්දී..හරිම ශාස්ත්‍රීය විදියට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බව පැහැදිලි වෙනවා නිතරම...

ප්‍රශාන්ත මලවිගේ මහත්මා තරම් සෘජු තීරණ තීන්දු දෙන්නේ නැති උනත් රතුවිතාන මහත්මයා හරිම සාස්ත්‍රානුකූල විදියට කරුණු විග්‍රහ කරනවා...

මේ ජෝතිෂයේදී ජෝතිර්වේදියකු සම්බන්ධව තියෙන කරුණු තුනක් තියෙනවා..ඒ තමා තුන් ජාතියක පිරිසක් ඉන්නවා..

1- මේ ශාස්ත්‍රය පරතෙරට ඉගෙන ගත්..ඒ ඉගෙන ගත් දේට අනුවම ඒ හරහා අනාවැකි කියන්නන්...
2-ශාස්ත්‍රය සාමාන්‍ය මට්ටමකට ඉගෙන ගත් සාස්ත්‍රානූකූලව පමණක් නොව තමන්ගේ අත්දැකීම් මතත් පිහිටා අනාවැකි කියන්නන්..
3- ශාස්ත්‍රය යන්තම් උඩින් පල්ලෙන් අත ගා හිතට එන ඕනම දෙයක් කියන්නන්..

ඔය රතුවිතාන මහත්මයා හුගාක් දුරට පළවෙනි කාණ්ඩයට අයත් ඒ හින්දාම සමහර වෙලාවට අවසාන තීන්දුව දීමට එතුමාට ටිකක් අපහසු ගතියක් පේන්න තියෙනවා වගෙත් මම දැකලා තියෙනවා.ඒක වෙන්නේ..සැම වෙලාවේම එක කරුණක් තව දේකින් වෙනස් වෙලා යන හැටි පේන්න ගන්න හින්දා...උදාහරණයක් මම දෙන්නම්...

ඔන්න මිනිහෙක් ගෙදරින් පිටත් වෙලා යන්න හදන කොට මට පේනවා මිනිහට ගහන්න පාරේ කවුරු හරි සෙට් වෙලා ඉන්නවා..දැන් මම අනාවැකිය කියන්න ඕන
"අද ගමන ගියොත් උඹ කනවා පුතේ" කියලා..

ඒ මට පේන තරම..ඒත් මට පෙනුනොත් අර ගහන්න ලෑස්ති වෙලා ඉන්න එකාටත් තව එකෙක් ඒ වෙලාවෙම ගහන්න සෙට් වෙනවා වගේ..

ආන්න එතකොට මට අර මං මුලින් කියන්න ගිය දේ කියන්න බැරිව යනවා..එතකොට මට කියන්න වෙන්නේ..
"අද ගමන ගියොත් උඹට කන්න සෙට් වෙන්නම ඇවිල්ලා යාන්තං ගැලවෙන්න පුළුවන් වෙනවා" කියලා තමයි

අන්න එහෙම මට කියන්න පුළුවන් වෙන්නේ මට කලින් වතාවට වඩා දැන් දුර පේන හින්දයි..ඒත් ඔහොම දිගින් දිගටම පේන්න ගත්තහම මොකද වෙන්නේ..

ඒ කිව්වේ අර ගමන යන කෙනාට ගහන්න ඉන්න කෙනාටත් තව කෙනෙක් ගහන්න ඉන්නවා පේනිලා නවතින්නේ නැතිව..ඒ අර අපේ මනුස්සයට ගහන්න හදන මිනිහ නෙලන්න සෙට් වෙන බුවාට ඒ වෙලාවට තත්පරයක් තියෙද්දී වාහනේක හැප්පෙන්න තියෙනවා වගේ පෙනුනොත්..අවුල් ජාලයක් නේද..?

ඔන්න මම කිව්ව දේ තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ..ඒත් මම මේ දුන්නේ පුංචිම පුංචි සරල උදාහරණයක් විතරයි..
ජෝතිෂ්‍යයේදී අනාවැකියක් කියනවා කියන්නෙත් ඔය වගේ දෙයක්...

හැම වෙලාවකම එක් ග්‍රහ පිහිටීමකට තවත් ග්‍රහයෙක් හින්දා බාදක අවස්ථා ඇතිවෙන්න පුළුවන්...ඔය වගේ හුගාක් සිද්ධි රාශියක් අතරේ..අපිට පුළුවන් වෙන්න ඕන තෝරලා බේරලා හැකි උපරිම විදියට අනාවැකිය කියන්න.

මම මෙතනදී යෝග..පරිවර්ථන..උච්ච නීච තත්ව..බාධක රාශි හා ග්‍රහයින්..ග්‍රහ දෘෂ්ටි..ග්‍රහ යුද්ධ..රාශි,භාව,ග්‍රහ ඵල.. ඔය විෂයට අදාල නම් සෙට් එක දාගෙන නෙවෙයි බොහෝම සරලව මේ කියන්න උත්සහ කරන්නේ..සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක බලන අයගේ පැහැදිලි අවබෝධය සඳහායි..මම මේ කියන දේ අපේ ජෝතිෂ්‍ය මිත්‍රයා JOTHISHAYALANKA ට නම් අරුමයක් නෙවෙයි.

ඉතිං ඔය විදියට බලපුවාම අර පරතෙරටම ඉගෙන ගත්ත කෙනාට යම්කිසි නිශ්චිත තීන්දුවකට එන්න ටිකක් අමාරු වෙනවා..මොකද සෑම වෙලාවෙම..තව තවත් ඉදිරියට පේන්න ගත්තහම ඒක අවුලක් වෙන හින්දා.

ඒ වාගෙම තමයි යන්තං ඔය ගානක් දෙකක් හදාගෙන මොන මොනවා හරි දොඩවන අයත් ඉන්නවා..ඒ අයටත් ඔය වැඩේ ටිකක් අමාරුයි..මොකද එයාලට පේන්නේ මිනිහා ගෙදරින් එළියට යනවා විතරයි.. පාරේ මිඳුම වගේ කියලනං පේනවා..ඉතිං එයාලා කියන්නේ මෙන්න මෙහෙම අනාවැකි..

"ඔව් අද ඔබතුමා ගමනක් යනවනං ටිකක් කල්පනාවෙන් විමසිල්ලෙන් යන්න..අතර මගදී එල්ලවෙන සුළු සුළු බාදක තියෙන්න පුළුවන් උනත් ඹබට අද දවස වාසනාවන්ත කරගන්න පුළුවන්කම තියෙනවා..ගෙදරින් යන්න කලින් මේ ගාථාව සිහි කරන්න..නිතරම සාමකාමීව කටයුතු කරන්න...මොනවා හරි අනතුරක් වගේ පේන්න තියෙනවනං ඉක්මනින්ම එතන මග හැරලා යන්න බලන්න^$%$^$%$&^......."

ඔන්න ඔය වගේ හුගාක් ජාති කියන්න පුළුවන්කම තියෙනවා..
ටිකක් බලන්නකෝ ඒ හැටිම අවුලක් නැහැ නේද..?ගැහැවුත් බේරිලා..ගුටි කෑවත් බේරිලා..නිකංම ගෙදර ආවත් බේරිලා...

ඔන්න අද ජෝතිෂ්‍ය අනාවැකි කියන සමහරු කියන විදිය..

ඔයාලට මතකද මම අර මුලින්ම කිව්ව දෙරණේ වැඩ සටහන..ඒ දවස්වල තිබුනු මැච් වගයකටත් අරගෙන ආවා..අර හුරතලියි ඒ වැඩ සටහන කරපු ජෝතිෂ්‍යවේදියා කියලා කියන කෙනයි...
සමාවෙන්න මම මෙතන මේ ජෝතිෂ්‍යවේදියා කියන කෙනා කියලා යෙදුවේ හිතාමතාම තමයි..මොකද මට ඔහුට කෙළින්ම ජෝතිෂ්‍ය වේදියා කියලා කියන්න පුළුවන්ද කියලා මටම තාම හිතා ගන්න බැහැ..

ඉතිං දැන් මෙන්න තර‍ඟේ පටන් ගන්න කලින් මෙයාලා කැට ගහනවා..කොල පෙරළනවා..මල් කඩනවා..එක කෙලියයි..අන්තිමට කියනවා රටේ හැමෝටම පහනක් පත්තුකරලා ඒකට වැඳගෙන කියන්න කියලා යාතිකාවක්...එහෙම කලාම මුළු රටේම මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව ශක්තියක් වෙලා..ඒක ජයසූරියගේ අත් දෙකට ලැබිලා ඒ දෑත ශක්තිමත් වෙලා..බොලේ පැලීමේ හැකියාව ලාබෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ...
ඒක තමා කතාව

ඔය වෙලාවට මට කල්පනා වෙනවා..වැරදිලාවත් ඉන්දියවේ කස්ටිය එහෙම ඕවා කරන්න ගත්තොත් අපිට කවදාවත් ඉන්දියාවට ගහලා දිනන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා..?

අපිට නෙවෙයි දැනට ටෙස්ට් ගහන එක රටකටවත් ඉන්දියාවට අත තියන්න වෙන්නේ නැහැ..යාන්තං කවදා හරි චීනේ ජාත්‍යන්තර මට්ටමට ඇවිත් ක්‍රිකට් ගැහැවුවොත් මිසක්..මොකද යකෝ හැට කෝටියක් පහන් අස්සේ අපි මොන ලබ්බක් කරන්නද..?

අනික ජෝතිෂ්‍ය කියන්නෙත් අපිට වඩා ඉන්දියාව ඉදිරියෙන් ඉන්න විෂයක් හින්දා ඒ අතින් උනත් අපිට කළින් මේ පහන් කෙලිය උං දැන ගෙන ඉන්න එපැයි...

ඉතිං මම මේ වැඩ සටහන අර පරම පවිත්‍ර චේතනාවෙන් බලන එක නවත්තලා..මොනවා උනත් අර කෙලී පව්නේ කියලා ඒකිගේ මළ කොළං දිහා විතරක් බලන් ඉන්න පුරුදු උනා...හිතටත් ෂනීපයිනේ අප්පා..අර උන්දැගේ බහුබූත අහලා මොලේ කොලොප්පං කරගන්නවට වඩා..

ඉතිං ඒ වගේ වැඩ සටහන් අදටත් ඔය රූපවාහිනී නාලිකාවල යනවා ඇති..ඔය මම කිව්ව මේ පාර ලෝක කුසලානේ අවසන් තරගේ ගැන කිව්ව ජෝතිෂ්‍යවේදිනියත් ඔය කියන්න ඇත්තේ ඔය වගේම අනාවැකියක් වෙන්න නැතෑ..ඒ ගැන මම විග්‍රහ කරන්නේ නැහැ.

....................................
හරි දැන් වැදගත්ම හරිය..කට්ටිය මෙච්චර වෙලා බලන් ඉන්න ඇත්තේ මම කියන අනාවැකිය ගැන නේද..?

ඊට කලින් මේ ටිකත් අහන්නකෝ...
ලෝකේ හුගාක් ජෝතිෂක්‍රම හා ඒවායෙන් විවිධ ආකාරයට වැඩ ගන්න ජෝතිෂ්‍ය වේදීනුත් ඉන්නවා...
මමත් ඉතිං ඒ අතරින් එකෙක් විතරයි...

සමහරුන්ට මේ තරඟය තියෙන දවසේ තිබෙන සුළු ග්‍රහ පිහිටීමක් ගැන බලලා ඔය අනාවැකිය කියන්න පුළුවන් වෙන්න පුළුවන්..හැබැයි මට එහෙම බැහැ..

සමහරු මේ රටවල් වලට තියෙන කේන්දර සටහන් වලට අනුව එදා දවසේ වැඩි වාසිය තියෙන රට තෝරාගන්න පුළුවන්..අර ඉහත කිව්ව අනාවැකියත් එහෙම එකක් වෙන්න ඇති..ඒත් මට පකිස්ථානේ කේන්දරයක් හොයා ගන්න බැරි උනා..ඒ විතරක් නෙවෙයි අපේ ඔය තියෙන ලංකා කේන්ද්‍රය කියන කුම්භ ලග්නයට අයත් කේන්ද්‍රයත් මටනං අවුලක්..ඒක ‍විතරක් නෙවෙයි ජනරජ කේන්ද්‍රය කියලා එකකුත් තියෙනවා..ඕක ගැන බෙල්ලන ඥාණවිමල නායක හාමුදුරුවොත් එක පාරක් සෑහෙන විග්‍රහයක් කරලා තිබුනා මට මතකයි..ඒ කියන්නේ කේන්දර දෙකක් තියේ..එකක් රටට නිදහස ලැබුන වෙලාවේ..එක අනික ජනරජ දිනයට අදාලව හදපු කේන්ද්‍රය..මටනං ඔය දෙකම ගැන කියන්න බැහැ මොකද ඔය දවස් දෙකේම නෙවෙයිනේ ලංකාව ඉපදුනේ..

ඉතිං හරි හමන් කේන්දරයක් නැතිව මම කොහොමද ඕක කියන්නේ..

හරි ඊ ලගට තව විදියක් තියේ..ඒ තමා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජන්ම කේන්දර ටික...

වැඩිය නැහැ 22යි නේ තියෙන්නේ..අපේ 11යි අද තරගේ දිනන අයගේ 11යි..ඒ උනාට එ ටික හොයාගන්නවත් විදියක් නැහැනේ..
ඉතිං මොකද කරන්නේ...ඔය විදියට බලපුවාම මට කියන්න තියෙන්නේ මටනං ඕක කියන්න හැටියක් නැහැ කියලා තමයි...

අඩුම ගානේ නායකයින් දෙදෙනාගේ හරි පුහුණු කරුවන් දෙදෙනාගේවත් තිබ්බනං එහෙමනං ටිකක් හරි උත්සහ කරන්න තිබුනා..

ඉතිං දැන් මොකද කරන්නේ..?මේ වෙනකොටත් අර පොල් කියන බූවල්ලා මිය ගිහින්..මැාරන්න කලින් ඉඳලම ඒ අහින්සක සතාව මරන්න හුගාක් අය ලෑස්ති උනා..
ඊයේ පෙරේදා දවසක ඉන්දියාව පරදිනවයි කිව්ව ගිරවෙක්ව අවසන් ගමන් යවලා කියලත් මම ප්‍රවෘත්තියක් දැක්කා..
එහෙම තත්වයක් යටතේ මමත් මොකටද ඉල්ලන් කන්නේ..
අනික ඉතිං ඕවා ජෝතිෂ්‍යයටම හරියට කියන්න පුළුවන්නං මැච් ගහන්න කාලේ නාස්ති කරන්න ඔනත් නැහැ..කෙළින්ම රටවල් දෙකේ හොඳම ජෝතිෂ්‍යවේදීන් දෙන්නෙක් ගෙනාව..වැඩේ තීරණය කලා කුසලානේ දුන්නා ..ගේම ෆිනිෂ්...

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමත් ජෝතිෂ්‍යය භාවිතා කරන..එයට හුගාක් ගරු කරන..විශ්වාස කරන කෙනෙක්..ඒත් ජෝතිෂ්‍යයේ ඇති සීමා හා අපේ දැනුමෙහි ඇති සීමාවන් අපි අඳුරගෙන කටයුතු කරන්න ඕන..

ඒ හින්දා මම කියන්නේ මෙච්චරයි..

අනේ මමනං දන්නේ නැහැ ඔය ලෝක කුසලානේ කවුරු ගනීද කියලා...ඒක දන්න කෙනෙක් ඉන්නවනං..ඒක මට කියන්නත් එපා..මොකද මට එදාට මැච් එක හොඳට බලලා ඒක විඳින්න ඕන..කලින් ප්‍රතිඵලේ දැනගත්තොත් මට ඕක බලද්දි මෙලෝ රහක් නැති වෙයි...ඔන්න කිව්වා...අල බහිනකල් හිටිය මට ඕක තැම්බෙනකල් ඉන්න බැරිද..?

*පසු සටහන...

බණ්ඩක්කා...බණ්ඩක්කා...ලාබයි..ලාබායි...ගන්නවද..?



29 March 2011

සීමාවට පිටතින් සිට...

අද ටිකක් වෙනස් දවසක්..ඒ කියන්නේ වෙනදනං මම මේ වෙලාවට එක්කෝ වැඩට යන්න හදනවා..එහෙමත් නැත්තං වැඩ කරන තැන ඉඳලා ගෙදර එන්න ලෑස්ති වෙනවා..

ඒත් අදනං ඒ දෙකම නෙවෙයි.මම ඊයෙත් ගෙදර හිටියේ..අදත් ගෙදර ඉන්නවා.ඒකට හේතුව ඉතිං මම කලින් වැඩි පුර ඩියුටියක් ඇදලා තිබ්බ හින්දා ඒකට හිලව් වෙන්න මට දවසක නිවාඩුවක් ගන්න පුළුවන්කම තිබීම හින්දයි..

ඉතිං අද මම ගෙදර...
ඇත්තටම මෙහෙම නිවාඩු දවස්වල මට ටිකක් නුහුරුම වෙලාව තමා මේ..ඒ නියන්නේ මේ වැඩට යන හෝ ආපහු එන්න නියමිත වෙලාව ගෙදර ඉන්නකොට ඒක මට දැන් මහ නොසන්සුන් කාලයක් වගේ දැනෙන්නේ...දැන් එහෙම උනාට ඉස්සරනං මම කැමතිම වෙලාව තමා මේ..දවසේ හොඳම වෙලාව..

මුළු රැයක් පුරාවට නිසලව තිබිලා පින්නට තෙමිලා..කලින් දවස පුරාම ගිනියම් වෙලා තිබුණු ලෝකය හොඳටම නිවිලා තියෙන වෙලාව..ආයෙමත් ලෝකය ගිනියම් වේගන එන්න පටන් ගන්න හදන වෙලාව..හැම මිනිහෙක්ම..හැම සතෙක්ම තම තමන්ගේ දවස ආරම්භ කරන්න හදන වෙලාව...

ඔය වෙලාවට අවට සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න එක හිතට අමුතුම හැගීම් ඇතිකරවන දෙයක්.ඒත් අද ඒ දිහා බලාගෙන ඉන්න..මොහොතක් හරි නිසංසලේ ඒ දේවල් විඳගන්න කාටද වෙලාවක් තියෙන්නේ..වෙලාවක් තියෙන මිනිස්සු උනත් එහෙම විඳින්න දන්නවා අඩුද මංදා..

කොහොම උනත් කමක් නැහැ..දැන් ඉතිං දවස පටන් ගන්න එපැයි..අද ටිකක් දවල් වෙනකල් නිදා ගන්නවා කියලා හිකලා ඊයේ රෑ නිදාගත්තෙත් පරක්කු වෙලා..රෑ කිව්වට පාන්දර තුනට වගේ තමා නිදාගත්තේ..
පහු ගිය දවස්වල මට අමතක උන දේවල් අතැරුන දේවල් ආයෙමත් ටිකක් මතක කරගන්න හිතලා ඊයේ දවසම පොත්පත් අතරේ කාලය ගත කලා...දවල් දවසම ලැප් එකට.. නෙට් එකට ..ෆෝන් එකට..අතවත් තිබ්බේ නැහැ..හැම දේම ටිකක් ඈතින් තිබ්බා.

කොහොමටත් මම පෙරේදා රාත්‍රියේ හිතුවා මේ ජංජාල ආගමනය ටිකක් අඩු කරන්න ඕන කියලා...ටිකක් අමාරුයි වගේ කියලා හිතුවට ඒක ඒ හැටිම අමාරුවක්ඇති වැඩක් නෙවෙයි කියලා ඊයෙයි පෙරේදයි දවස් දෙක ඇතුලත මට තේරුණා.

කොහොමටත් ඕන කමක් තියෙනවනං මට කරන්න බැරි දෙයක් නැති වග මම බොහෝම ඉස්සර ඉඳලම දන්නවා...හැබැයි ඒ ඕනකම මට ඇති වෙන්නේ නැති එක තමයි පරහා...හැම දේටම එක වෙලාවක් එනවා..ඒ වෙලාව එනකල් මම කල් මරන්න පුරුදු වෙලා..පිටතින් කවුරු කොහොම කිව්වත් මම ඒවා අහනවා අඩුයි.ඒත් මටම මං දෙයක් කියාගත්තොත් ඒක කරන්න මහ අමාරුවක් නැහැ..

අනේ මංදා මුරණ්ඩුකම කියන්නේ හොඳ දෙයක් නොවුනත් මම හැමදාමත් මුරණ්ඩු මිනිහෙක්.ඒක පොඩිකාලේ ඉඳලම එහෙමයි..කවුරු හරි එපා කිව්වොත් ඒක කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.
මගේ ඔය ගතිය තේරුම් ගත්ත එකම කෙනයි හිටියේ..එයා ඒ හින්දා කවදාවත් මට දෙයක් එපා කියන්න ගියේ නැහැ.අදටත් මං ඒ කෙනාට මේ තරම් හිතින් බැඳිලා ඉන්න ඒක හේතුවක් වෙන්න ඇති.

කොහොම උනත් දැන් මගේ අමාරු කාලෙදී..ඒ කිව්වේ පහුගිය වසර දෙක තුන තමා..ඒ කාලය තුල මා ළග ඉඳිමින් මාව ආරක්ෂා කල යාළුවෝ දෙන්නම මගෙන් ගිලිහෙන ස්වභාවයක් තමා මට පේන්න තියෙන්නේ...

පලවෙනි කෙනා අරක්කු..ඕක කවුරු නවත්තන්න කිව්වත් නවත්තන්න් මට හිතුනේ නැහැ.ඒත් මොනම හේතුවකට හරි මට මේ අවුරුද්ද මුලදී නවත්තන්න හිතුනා..මුල දී අතරින් පතර ටිකක් ගත්තත්..අද වෙනකොට මං හිතන්නේ මම ඒක නවත්තලා කියලා තමයි...ජිවිතේ හැටි කියන්න බැහැ..ඒ හින්දා සමහර වෙලාවට තව ටික කාලයක් මම ජීවත් උනොත් ආයෙම මම බොන්න උනත් ඉඩ නැතිවා නෙවෙයි..ඒත් මෑතකදීනම් ආයෙමත් මම බොන්න හිතන එකක් නැහැ.ඒත් බියර් එකකට ඉඳලා හිටලා යොමු වෙන්න හිතුනොත් ඒක කරනවා..ඒ උනත් සමහර වෙලාවට ඒකත් කෙරෙන්නේ නැති වෙයි..

දෙවෙනි යාළුවා තමයි මේ ජංජාලගත වීම...
ඇත්තටම මට මගේ හිත නිදහස් කරගන්න මේ ජංජාලේ පුදුම විදියට පිහිට උනා.
ඒකත් මේ බ්ලොග් එක හරහා..මුලදී මුලදී තනියම දොඩවනවා වගේ කියලා හිතුනත් ටික කාලයක් යනකොට මාව කියවන පිරිසක් එකතු උනා.

වරින් වර එකතු වෙලා වෙන් වෙලා ගිය අය වගේම..මුල දවස්වල ඉඳලා අද වෙනකල්ම මාත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා..ඒ වගේම අතර මගදී එකතු වෙලා..අදටත් නොනැවතීම මාත් එක්ක එන කට්ටියක් ඉන්නවා..
සමහරු නිහඩව කියවනවා..සමහරු හැමදාමත් වචනයක් හරි ලියලත් යනවා..

ඒ ලියලා යන වචනය දෙක හරහා ඇති උන බැදීම් හුගාක් තියෙනවා අද වෙනකොට...සමහරු සුදුද කළුද කියලවත් මම දන්නේ නැහැ. ඒත් අපි කතාබස් කරනවා මේ ජංජාලේ හරහාම..මුලදී මුලදී බ්ලොග් එකට විතරක් සීමා වෙලා තිබුනත්..පස්සේ ඒක මූණු පොත දක්වාම වර්ධනය උනා..එතනදී හුගාක් අය මාව දැක ගත්තා වගේම..මාත් හුගාක් අයව දැක බලාගත්තා...

තුන් වෙනුව මෑතකදී සිට ගූගල් බස් හරහාත් හුගාක් වෙලාවක් විකාර දොඩව දොඩව ඉන්න මට්ටමට ඒ දැන හදුනා ගැනීම් දිවගියා...ඇත්තටම මට මගේ සේවා ස්ථානයේ මාරු වීමත් සමගම ලැබුනු කියන්න බැරි තරම් නිදහස යොමු කරන්න හොඳම තැනක් උනේ බස් එක කිව්වොත් ඒක හරි...

ඒත් අන්තිමට මට තේරුන දෙයක් තමයි එතනට මම ඇබ්බැහි වෙනවා වැඩියි වගේ කියන එක...
අඩුම ගානේ බ්ලොග් එක ලියන්නේත් බොහෝම අඩුවෙන් වගේම කොමෙන්ටුවලට පිළිතුරු ලිවීමත් මගෙන් වෙනවා අඩු උනා..ජාලගත වෙලා..ටැබ් දෙකක් හරහා බස් එකටත් මූණු පොතටත් දවසම හිර වෙලා ඉන්නවා ඇර වෙන කෙරෙන දෙයක් නැති ගානයි.

මේක හරියන දෙයක් නෙවෙයි වගේ කියලා මට හිතුන හින්දා මම තීරණය කලා ඔය හැම දේම ටිකක් අතඇරලා දාන්න.
ඒ කියන්නේ ආයෙමත් කටුව අස්සට රිංගන්න ඕන...එළියට ආවා වැඩියි.

අවසාන වශයෙන් තුන් වැනිදා තියෙන අවුරුදු උත්සවයට මම එන්න තිබුනු ඉඩකඩ බොහෝම අඩුවෙන් තිබුනේ..ඒත් දැන්නම් ඒකට එන්න තියෙන සම්භාවිතාව ටිකක් ඉහළ ගිහින් තියෙන්නේ..ඒත් ඒ පැමිණිමෙන් පස්සේ ආයෙමත් එවැනි වැඩවලටවත් නෑවිත් ඉන්න තමයි මගේ කල්පනාව...

ඒ හින්දා අවසන් වතාවට මම ඇවිත් යන්න ඉඩකඩ තියෙනවා...
එයින් පස්සේ ටිකක් නිහඩව කාලේ ගෙවන්න ඕන...

28 March 2011

නැවතත් පෙරසේම...

හීනයක් එක හීනයක්..
දුටුවෙමිය මම කාලයක්..
ගීතයක් කවි පදවැලක්..
ලෙසින් දුන් නව තාලයක්..

ගලායන දිවි මං තලේ..
සිහින් හඬකින් මුමුණනා..
ඔබේ සිහිලැල් මියුරු වදනින්..
මගේ හදවත සැනසුනා..

ගී හඩත් වියැකී..තාලයත් වැරදී..
කවි පදත් ගිලිහී..සිහිනයත් නිමවී...

27 March 2011

කිමද මේ අරුමේ..?

අද ලියන්න නෙවෙයි හිතාගෙන හිටියේ..ඒත් දැන් හදිසියේම මම දැක්කේ බ්ලොග් එකට අද දවසේ ආව ගිය පිරිස එක වරම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා..
ඒ කියන්නේ උදේ දැන් බලන කොට 640ක් වෙලා..අද දවසට...

සාමාන්‍යයෙන් ලිපියක් දාපු දවසකටනං ඒ හැටි අවුලක් නැහැ..කොහොමත් දවසකට අටසීය පන්නලා පිරිසක් එනවා. ඒත් ලිපියක් නොදාන දවසට ඔක 400 ට විතර බහිනවා..ඊ ළග දවසෙත් ලිපියක් නැති උනත් 300ක් විතර එනවා..කොහොමත් ලිපියක් නැතිව දවස් 3ක් 4ක් ගියත් අඩුම ගානේ දවසකට 200ක් විතර කොහොමත් නිකමට හරි ගොඩ වෙලා යනවා..මේ කියන්නේ මම යන එන ඒවා නැතිව...මේ බ්ලොගර්ලාගේම Stats කවුන්ටරයට අනුව තමා...

ඒත් අදවත් ඊයේවත් මෙලෝ දෙයක් නැති මෙන්න එක පාරට 640ත් පන්නගෙන යනවා..ඒකට හේතුව කුමක්ද කියලා මම මේ කල්පනා කරන්නේ..කවුරු හරි දන්න කෙනෙක් මාව දැනුවත් කරනවනං බොහෝම පින්.


24 March 2011

මාර විචාර...පූසාගේ නිවාඩුව...


හොඳයි එහෙනං දැන් මම අමුතුවෙන් මගේ මේ විචාර කලාව ගැන හඳුන්වලා දෙන්ට උවමනා නැහැනේ..
කළින් වංගියේ මම ඒ ගැන කිව්වා නෙව...ඒ හින්දා අද මම කෙළින්ම මේ ඉහත දක්වලා තියෙන පොටෝව ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ...

ඇත්තටම මේ පොටෝව හිමි අපේ මේ වීදුරු ගෙවල් බ්ලොග් එක ලියන සුදු පූසා මල්ලිට තමා...
විශේෂයෙන් කියන්ට ඕන මගේ විචාර කලාව ගැන දැනගත්තට පස්සේ මේ පූස් මල්ලිට පුදුම උවමනාවක් තිබ්බේ තමුන්ගේ මේ ඡායාරූපයක් සඳහා මංතුමා ලවා වචන කීපයක් ලියවගන්න..ඉතිං ටික දවසක් හරි ප්‍රමාද වෙලා හරි මම මේ වැඩේටත් අත ගැහැවුවා..මොකද මේ වගේ උනන්දුවෙන් කටයුතු කරන දක්ෂ පූසන්ට අපි අත හිත දෙන්ට ඕන නිසාම...

ඉතිං මං මේ විචාරය කොරන පොටෝවට මේ පූස් මලයා දීලා තිබුනු හැදින්වීම තමා

"පුංචි විවේකයක්" කියන නම...ඉතිං මේ ඡායාරූප කලාවේ යෙදෙන නවක ප්‍රවීන කොයි කාටත් තම තමුන්ගේ ඡායාරූප නාමකරණයේදී සැලකිලිමත් විය යුතුම කරුණු කිහිපයක් ගැන මම මෙහිදී ගැඹුරින් සාකච්ඡා කරන්නට යෙදුනා.

ඔය පහත දැක්වෙන්නේ ඒ මා විසින් කරන්නට ලැබුනු උසස් ඝණයේ විචාරය වන අතරම..
ඊටත් පහළින් දක්වා ඇත්තේ මගේ විචාරය පිළිබඳව මහත් වූ අමන්දානන්දයට පත් වූ අපේ තවත් බ්ලොග් සගයකු වන Charmi sam නැමැති මිතුරා විසින් කරන්නට යෙදුනු ප්‍රකාශ කිහිපයක් හා පසුව මා විසින් එම මිතුරා හට කරන්නට යෙදුනු දැනුවත් කිරීම් කිහිපයක්..

හා හා වැඩි කතා ඕන නැහැ බලලම ඉමුකෝ කොහොමද විචාරේ කියලා...

........................................................
මල්ලි..මම මුලින්ම ඔයාට කියන්න ඕන මේ පොටෝ එකේ කිසි අවුලක් නැහැ..ඔය ඔක්කෝම හොදට පේන්ට තියෙන්නේ..අර සමහරු කරනවා වගේ කලුවර කෑලි..බොඳ වෙච්ච තැන් මුකුත් නැහැ..ආන්න එහෙමයි පොටෝ ගන්ට පුරුදු වෙන්ට ඕන..ඒකටත් එක්ක මේ අපේ බනියලා බුද්ධියලා..උන් පොටෝ ගන්ට හදන්නෙම අන්දකාර තැන්වල..ටිකක් ඉර පායනකල් හිටුකෝ..කළුවරෙම පොටෝ ගන්ට ඔය හැටි නැහෙන්නේ අහවල් එකටද..ආන්න ඒහෙම බැලුවාම උඹේ මේ පොටෝ එක හොඳම තත්වේ පොටෝ එකක් කියලා මම පැහැදිලිවම කියන්න කැමතියි..

ඊ ළග දේ තමයි මට පේන මේ අඩුපාඩුව..මල්ලි වැඩිය හිත අමනාප කරගන්ට එපා..මම මේවා කියන්නේ මල්ලිලාට හැදෙන්ට..අනික ඉතිං මං වගේ මෙහෙම වටිනා කියන උපදෙස් ඔය කිසිම කෙනෙක්ගෙන් උඹට ලැබෙන එකක් නැහැ..ආන්න ඒ හින්දා මේවා බලලා හැදෙනවා මිස තරහා වෙන්ට කාරි නැහැ..තරහා උනත් ඉතිං උඹටම තමා පාඩු..මොකද මං වගේ ශ්‍රේෂ්ඨ විශ්ලේෂකයෙක්ගෙන් උසස් ගණයේ විචාරයක් නොමිලේම ලබන්ට උඹට තියෙන අවස්ථාව අහිමි වෙන එකයි ඒකෙන් වෙන්නේ..ආන්න ඒ හින්දා මම මේ ඊ ලගට කියන කාරණාවට උඹ හොඳින් ඇහුං කන් දෙන්ට ඕන හරිද..?

මල්ලි මේ පොටෝ එකේ ඔක්කෝම හොඳයි..ඒත් බලහං මේකට දාලා තියෙන නම.."පුංචි විවේකයක්"..පොඩ්ඩක් කල්පනා කොරහංකෝ උඹේ ඔය උකුණු මොලෙන්..මේ කට්ට අවුවේ අර දිරච්ච ලෑලි මැස්සේ දපන්ට ගත්තාම මොන විවේකයක්ද බං මිනිහෙකුට..එහෙනං ඌ පිස්සෙක් වෙන්ට ඕන..ඒ මදිවට තව කොහේ හරි යන නසරාණි ටිකක් ඇවිත් වොලි බෝල් කෙලින්ට තියා ගත්තොත්..මං කියන්නේ නැහැ ඉතිං ඒ හරිය..පොඩ්ඩක් හිතහං බං මීට වඩා..මොකද ඔය පින්තූරෙකට දාන නම හරි වටිනවා..දැන් ඔය සමහර අයත් මොන මගුලක් හරි පොටෝ ගහලා ඒකට දානවා මහා පරිමාණයේ නමක්..අන්තිමට පොටෝ එක නැගලා යනවා..හැබැයි ඒකට හොඳයි කියන අය නම බලලා මිස පොටෝ එකේ ඇති මගුලකට හොඳයි කියනවා නෙවෙයි..ඒ හින්දා උඹත් ආන්න එහෙම මොකක් හරි දාන්ට පුරුදු වෙයං..

දැන් මේ ගිනි ගහන අව්වේ අර ලෑලි මැස්සේ දපලා ඇණයක් හරි ඇනුනොත් මොකක්ද වෙන්නේ..ආන්න ඒ වගේ ටිකක් තර්කානුකූලව..සහ නිර්මාණශීලීව හිතලා මේකට නමක් දාන්න බලහං..උදාහරණයක් මං දෙන්නං.."පිට ගැස්මට පෙර" එහෙමත් නැත්තං "එන්න කරවෙන්න" ලෑලි මැස්සේ දුක්බර ජීවිතය"..ඔන්න..ඔය තියෙන්නේ නම්..ආන්න එහෙම පුරුදු වෙයං මීට පස්සේ නං දානකොට..උඹට හොඳ පිලිගැනීමක් ඇති ඡායාරූප ශිල්පියෙක් වෙන්ට ඇහැකි..හැබැයි කවදා හරි උඹ එහෙම එකෙක් වෙච්ච දවසට මතක තියා ගනින් උඹට ඒ වගේ අනාගතේකට මග කියලා දුන්නේ මේ මාරයා අයියා කියන එක..හරිද..?එහෙනං මං කැපුනා..උඹෙන් සමුගන්නා මා විශේෂඥ ජායාරූප විචාරක -අතිගරු මාරයා තුමා...
....................................................

*Charmi sam...
යකෝ මේවනෙ විචාර..........
මාරයෝ පුලුවන්නං අන්න අර බුද්දියවත් මනුස්සයෙක් කරල ගනිංකො
අම්මපා ඔය කලුවරේ පොටෝගන්න උං දෙතුං දෙනෙක් මාත් දන්නවා. උංට මේවා ප්‍රින්ට් කොරලා දෙන්ඩ වටිනවා.

....................................................

*නැවතත් මංතුමා...
බුද්ධියාට තමයි මං ඊළගට මගේ කරුණාබර දෑස් යොමු කරන්නේ..මං වංගියක් යොමු කොලා ඒත් ඌ හැදෙන පාටක් නැහැ.මේ වතාවේ ටිකක් සැරේට දෙන්ට වෙයි වගේ..ඔන්න ඒකටත් එක්ක බනියා..ඌනං හැදුනා..අනිකා ඕනයා..දැන් උං දෙන්නම පොටෝ ගහන්ට කලින් මගේ අවවාද සිහිපත් කොරලා හිටං තමයි වැඩෙට අත ගහන්නේ...

මාර සරණිය... චිලී පේස්ට්...



හම්මේ ඔන්න යාන්තං එක දිගට දවස් හතරක් රාජකාරි කොරලා කොහොමින් කොහොම හරි ගෙදරට කඩන් පාත් උනා...
අදනං උයන්නේ නැහැ අම්මේ මුත්තේ කිව්වත්..ඒ තරමට වැඩ තියේ කරන්න...දැන් මේක ඉක්මනට ලියලා දාලා ගම්පහ යන්න ඕන...වැඩ කිහිපයක්ම කරන්න තියේ...

සොෆ්ට්ලොජික් එකට ගිහින් ඩයලොග් බිල ඒ කිව්වේ මේ අන්තර්ජාල බිල ගෙවන්න ඕන..බිල ආවේ 5 වෙනිදා..දැන් 24 වෙනිදා මෙච්චර දවසක් වෙලත් ගෙවන්න බැරි උනා.. මේ පාර බිලත් අඩුපාඩුවක් නැතිව 1500ක් විතර තියෙනවා..ඒ ඉතිං අපේ ක්‍රිකට් ටීම් එකට පින් සිද්ධ වෙන්න තමයි..වෙනදනං ඉතිං 1000න් ෂේප්..කමක් නැහැ ඉතිං අපි වෙනුවෙන් හොරු කියලා හිතාගෙන ඒකත් ගෙවමුකෝ..

ඊ ළගට ලයිට් බිල..මම සාමාන්‍යයෙන් ඒකනං මාස තුනකට හතරකට සැරයක් ගෙවන්නේ කොහොමටත් මට මාසෙකට 250 ක විතර බිලක් එනවා මාස හතරකට සැරයක් 1000 ක් දාපුවහම ඒකත් හරි.. මේ මාසේ වෙනකොටනං තාම 1000ක් වෙලා නැහැ..හරිනං ලබන මාසේ තමා ඕක ගෙවන්න ඕන ඒත් අවුරුදු මාසේ වියදං වැඩි හින්දා ඕක ලබන මාසෙට තියා ගත්තහම හෙන ඇනේ..ඒ හින්දා අදම ඒකත් ගෙවන්ට ඕන...

තව ඉතිං පොඩි පොඩි බඩු වගයක් ගන්නත් තියේ.. විශේෂයෙන්ම මං දැන් වැඩ කරන තැනට මට උයාගෙන එන්න බැරි උන දවසට කඩෙන් කෑම එක ගෙනත් දෙන වයසක ගෑණු මන්සුසයෙක් ඉන්නවා.. ඒ මනුස්සයට මොනවා හරි රෙදි කෑල්ලක් හරි කුඩයක් හරි මොනවා හරි අරං දෙන්න ඕන.. අර කාස්ටක අවුවේ පයින් බඩ ගාගෙන ඇවිත් මට කන්න ටික ගෙනත් දෙන එකට එහෙමවත් දෙයක් කරන්ට එපැයි...

තව කේන්දරෙක වැඩකට ජා ඇල කිට්ටුවට යන්ටත් තියෙනවා..ඒත් ඒක යනවද නැද්ද කියලා තාම මම මේ කල්පනා කරනවා..

ආ ඒ අතරේ අපේ හිතවත් කොළු ගැටයෙක් කැන්ගරු දේසේ ඉඳලා ලංකාවට කඩං පාත් වෙලා තියෙන හින්දා උන්නැහේවත් පුළුවන් උනොත් මුණගැහෙන්ටත් හිතේ තියෙනවා...

ඒ කවුද කියලා ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ..මොකද දැන් ටික කාලයක් ඉඳලා මගේ ඔය කොමෙන්ටු තීරය බදු අරගෙන ඉන්න හිතිං තරුණ ගැටයා ගැන කව්ද නොදන්නේ..මේ දවස්වල උන්නැහේ කොමෙන්ට් තීරයේ පේන්ට නැති වෙයි මගේ හිතේ..ආයෙමත් ගියාට පස්සේ තමා පේන්ට හිටියොත්...

ඒ ඇරුනාම දෙස් විදෙස්හී සුපතල නාමයක් ඇති විශේෂඥ වෛද්‍යාචාර්‍ය තුමෙකුත් අද යක්කල පැත්තේ එන වග කියලා තිබුනා.. සමහර විට අහම්බෙන් හරි මෑන්වත් මුණ ගැහෙන්ට ඉඩ තියේ..ඒත් ඉතිං ඊට පස්සේ මට යහතින් එන්ට ලැබෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි..

මොකද මෑන්ස්ට මාත් එක්ක බොහෝම කේන්ති ගෙහුං ඉන්න වග තමා දැන ගන්ට තියෙන්නේ...
ඒකට හේතුව මෙතන ලියන්ටනං බැහැ..එහෙම උනොත් උදේට පාන් කෑව දත් ටික නැතිව තමයි අද මට දවල්ට බත් කන්ට වෙන්නේ...ඒ හින්දා එි ගැන නොලියා ඉම්මු...

හරි අද මේ ලෑස්ති උනේ විශේෂ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ට..මේක දැන් පොරොන්දු වෙලා දවස් තුන හතරක් වෙනවා..ඒත් ගෙදර එනකල් මට මේක ලියන්ට බැරිව හිටියේ කිරුම් මිනුම් ප්‍රශ්නයක් හින්දා...

ඒ හින්දා මේක ලියන්ට පරක්කු උනාට මට නොසෑහෙන්ට බැනුං අහන්න උන වගනං මං මේකේ ලියන්ට කැමතිම නැහැ...

හරි කෙටියෙන් කියන්නං හදන්ට යන්නේ චිලී පේස්ට්..හරිනේ..කොහොමත් මං උඩින් මේ නම දාලානේ ඇත්තේ...

හුගාක් වෙලාවට චිලී පේස්ට් කියන්නේ දැන්නං කවුරු උනත් හොඳට දන්න කියන කන්න ආසාම කෑමක්..
ඒත් හදාගන්ට දන්නේ නැතිව ලත වෙන දෙයක්..මාත් ඉස්සර දන්නේ නැහැ..ඒත් මං සැරෙන් සැරේට මේක හදන්ට උත්සහ කලා ඒ හැම වෙලේම මොනවා හරි අවුලක් උනා..ඇත්තටම මට නියම පදම ගන්ට බැහැ..හේතුව මේකට මම එකතු කරපු හැම දේම මගේ හිතේ හැටියට දැම්මේ..

මං ඕකට දාන දේවල් අහගන්ට කෙනෙක් හිටියේ නැහැ නෙව..ඒත් ඉතිං ඔය ප්‍රයිඩ් රයිස් එකක් එහෙම ගෙනාව වෙලාවට ඒකත් එක්ක ලැබෙන චිලී පේස්ට් ටික මම බොහෝම සීරු මාරුවට පරීක්ෂා කොරලා බලනවා..ඊට පස්සේ එයින් ටිකක් දිවට තියලා රසයන් හදුනා ගන්න උත්සහ කරනවා..එහෙම කරලා තමා මම පදම අල්ලන්න බැළුවේ..ඒත් මොනවා නමුත් අඩුවක් මේකේ තියෙනවාමයි..

ඒත් අන්තිමට මට මේකේ පදම අල්ලලා දුන්නේ අද මා ළග නැති අරයා තමා..ඒ කවුද කියලා මගේ බ්ලොග් එක කියවන අය දන්නවා නෙව..ඔව් ඔව් දැන් මේ පිස්සු නට නට හිනා වෙවී හිටියට පහු ගිය කාලයක් තිබ්බානෙව මං දුක් අ‍ඳෝනාම මේකේ ලිය ලිය හිටිය කාලයක්. කවියක් ලිව්වනං එකම අඩෝවැඩියාවයි..කතාවක් ලිව්වනං එකම ශෝකාලාපයයි..

අම්මපා කොහොමද මන්දා මේක කියවපු කට්ටිය ඉවසගෙන හිටියේ කියලත් මට දැන් හිතෙනවා..මොනවා උනත් අමාරුවෙන් හරි ඒවා කියව කියව මාත් එක්ක හිටිය හැමෝටම බොහෝම ස්තූතියි...ඒ වගේම ඒ කාලයේ මට බොහොම පිහිට උපකාර වෙච්ච මගේ අප්‍රාණවාචී නමුත් පාවිච්චි කලාට පසු ප්‍රාණය රසගන්වන මගේ හිත මිතුරාටත් පින්...(හෝව් හෝව් ඔය බනින්න කියලා පුටු වලින් නැගිටින්න හදන කට්ටිය ඔහොමම වාඩි වෙන්න..දැන් යාළුවා දකපු කාලයක් මතක නැහැ..හරිනේ..)

ඉතිං කොහොම උනත් එයා තමා මට මේ වැඩේ නිරාකරණය කරලා දුන්නේ..දවසක් අපි දෙන්නා දවල් කෑමට කොහේ හරි ගිය වෙලාවක මට ඔය චිලී පේස්ට් කතාව කිය උනා...අනේ අපරාදේ කියන්න බැහැ ඊට දවස් දෙකකට පස්සේ මෙන්න මෙයා හෙන බඩු මල්ලකුත් කරේ ගහගෙනම බයික් එකට ගොඩ උනා..

ගෙදර ආවට පස්සේ තමා මට තේරුනේ චිලී පේස්ට් පාඩම තමා කියලා..ඒත් ඉතිං මං එදා ඕක හරියටම ඉගෙන ගන්න ගියේ නැහැ..මොකද ඉතිං මං හිතුවේ දැන් ඕක හදන්න ඉගෙන ගන්න ඕන නැහැ..ජීවිත කාලේ පුරාවටම මෙයාම මට ඕවා හදලා දෙයිනේ කියලනේ...හිනත් යනවා නේද..? අන්තිමට මටම තමා තාමත් චිලී පේස්ට් හදාගන්න වෙලා තියෙන්නේ..ආන්න එතකොටනං ඇඩෙනවා...

කොහොම උනත් එදා මට අහු උනා මෙච්චර දවසක් මට අඩු පාඩු වෙලා තිබුනේ මොනවද කියලා..
ඒ තමා සුදුළුණු... මම සුදු ළුණු දැම්මා උනාට මම දාපු ප්‍රමාණය මදි...ඒකයි මගේ වැඩේ අප්සෙට් ගිහින් තියෙන්නේ...ඇත්තටම චිලී පේස්ට් එකේ වැඩි අන්තර්ගතය විය යුත්තේ සුදුළුණු..අපි හිතනවයෑ ඕකක්. අපි හිතන්නේ මිරිස් සහ සෝස් කියලනේ...

ආ මෙතනදී සෝස් වර්ග ගැනත් කියන්න ඕන..
චිලී පේස්ට් එකේ රස වෙනස් කරන්න සෝස් බොහෝම වැදගත් කාර්යයක් ඉෂ්ට කරනවා..
විශේෂයෙන්ම චිලී පේස්ට් සඳහා..

සොයා සොස්
තක්කාලි සෝස් වගේම චිලී සෝස් උනත් යොදා ගැනෙනවා..

ඒත් මම නම් කැමති තක්කාලි සෝස් පමණක් භාවිතා කරන්න...ඒත් චිලී පේස්ට් එක කල් තියා ගන්න කාලේ වැඩිනම් සෝයා සෝස් පමණයි හොඳ..

චිලී සෝස්නං ඒ හැටිම වැඩක් නැහැ..ඒත් සමහරු ඒක පාවිච්චි කරනවා..මංනං කියන්නේ අල්ලලා දාන්න කියලයි..

හරි මෙන්න මේ බඩු ටික ලෑස්ති කරගන්නකෝ..

කෑලි මිරිස් 100 g
ආ තව එකක් කෑලි මිරිස් කිව්වහම ඉතිං කඩේ තියෙන ඒවාට වඩා වේලිච්ච මිරිස් ටිකක් අවුවේ කර කරලා තමන්ම බ්ලෙන්ඩ් කරගන්නවනං හරි අපූරුයි..හොඳට සැර හිටිනවා..

සුදු ළුණු 100 g
බය වෙන්න එපා සුදුළුණු වැඩි වෙන්නේ නැහැ.. මේක හොදට පොඩි කර ගන්න ඕන..බ්ලෙන්ඩරයක දාලා ක්‍රීම් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරන්න ඕන. තව දෙයක්..එය සුදුළුණු පොතු දෙක තුනකුත් මේකෙම ඇඹරුණාට කමක් නැහැ..ඇත්තටම ඒකෙන් හොඳ සුවඳක් වගේම රසයටත් ලොකු වාසියක් වෙනවා..
අඹරා ගත් සුදුළුණු අමු ඉඟුරු මිශ්‍රණය...

අමු ඉඟුරු පොඩි කෑල්ලක්
අඟලක විතර කෑල්ලක් මදෑ..ඒකත් සුදු ළුණු එක්කම අඹරගන්ට..

උම්බලකඩ 20 g
මෙකත් සියුම්ව කුඩු කරගත්ත ඕන..

වියළි ඉස්සන් හෝ කූනිස්සන් 50 g
කූනිස්සන්නං ටොප්..ඒත් හොයා ගන්න කරදරනං ඉස්සන් උනත් කිසි අවුලක් නැහැ..ඒකත් හොඳට සුද්ද කරලා කුඩු කරන්න ඕන. මතක තියා ගන්න ඉස්සාගේ පිට පොත්තත් එක්කම කුඩු කරගන්න.කූනිස්සෝනං වැඩිය කුඩු කරන්න යන්න එපා පොඩ්ඩක් කෑලි උනහම ඇති..
කුඩු කර ගත් උම්බලකඩ සහ කූනිස්සන් මිශ්‍රණය...


තක්කාලි සෝස් මේස හැඳි 5ක් පමණ..
කැමතිනං සෝයා සෝස් හැන්දකුත් මේකටම එකතු කරාට කමක් නැහැ

සීනි මේස හැඳි 2ක් 3ක් පමණ..

අජිනමොටෝ තේ හැඳි කාලක්

ලුනු කුඩු තේ හැදි බාගයක්

එළවළු තෙල් හෝ පොල් තෙල්..
කණගාටුයි මටනං මේකට ප්‍රමාණයක් කියන්න බැහැ..මොකද තෙල් මැනලා මම මේක කරලා නැහැ..ඒත් මං විස්තර කරන කොට ඕන කරන ප්‍රමාණය තේරුම් යාවි.(කෝකටත් කියලා තෙල් ලීටර් 5ක්වත් ලෑස්ති කරගන්නකෝ..:P )

විශේෂයෙන් මතක තියා ගන්න මේක හදලා ඉවර උනාට පස්සේ රස බලලා තව ලුනු ටිකක් එකතු කරන්න වෙයි...ඒත් ඒක කරන්න ඕන චිලී පේස්ට් එක නිවුනට පස්සේ..මොකද රස්නෙත් එක්ක දිවට දැනෙන රස නිවුනට පස්සේ වෙනස් වෙනවා..සීනි ගැනත් ඒ විදියටම කටයුතු කරන්න.

................................
හරි මෙහෙමයි වැඩේ..

මුලින්ම කියන්න ඕන ඕන කරන බඩු ටික ලිපට කිට්ටුවෙන් තියා ගන්න එහෙ මෙහෙ දුව දුව මේක හදන්න බැහැ පොඩ්ඩක් හරි එක ජාතියක් හරි වැඩියෙන් කර උනොත් මේක නිකංම විනාස වෙලා ගිය තවත් එක් කුස්සියේ මෙහෙයුමක් බවට පත් වීමේ හැකියාව ඇත...

මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒක රත්වෙනකොට තෙල් ටිකක් ඒකට දාලා රත් වෙන්න අරින්න..මෙකෙදි තෙල් දාද්දී අර මිරිස් කැලී ටික බැදගන්න ඕන තරමට දාන්න..අතර මගදී තෙල් මදි උනොත් වැඩේ අප්සට් යන හින්දා ටිකක් වැඩි පුර තෙල් තිබ්බට කමක් නැහැ..

තෙල් රත් උනහම කෑලි මිරිස් ටික ඒකට දාලා තත්පර ගානක් බැදගන්න..හොදට හැදි ගාන ගමන් බැද ගන්න වැඩි වෙලා එපා බොහෝම චුට්ටයි..කළු වෙන්න දෙන්න එපා..යන්තං රතු පාට පිච්චෙනවා වගේ පේන කොටම මිරිස් ටික තාච්චියෙන් අහක් කරගන්න..මෙතනදී තෙල් එක්කම එක පාරට ඉවත් කරගන්න එක හොඳයි නැත්තං ටික ටික අහක් කරන්න යද්දි තාච්චියේ තියෙන මිරිස් ටික කර වෙන්න පුළුවන්..

තාච්චියෙන් අහකට ගත්ත මිරිස් ටික තෙල් බෙරෙන්න තෙල් පෙරන හැන්දක හෝ භාජනයකට දාලා නැවතත් තාචිචියට තෙල් මේස හැදි තුනක් හතරක් වගේ දාලා ඒක රත් වෙද්දී අර සුදුළුණු ටිකත් බදින්න..මේකෙදිත් හරි පරිස්සම් වෙන්න..අඩිය අල්ලන්න පුළුවන්, කර වෙලා තිත්ත වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්..ඔය හැම දෙයින්ම පරිස්සම් වෙලා හොඳට හැදිගාමින් ඒ වගේම සුදු ළුණු තලිය හැන්දෙන් පොඩි කරමින් ටිකක් රන්වන් පැහැයකට හැරෙනකල් බඳින්න..රත්තරන් පාට වෙන කොට ඒ ටිකත් බාන්න...

දැන් අවසාන මෙහෙයුම..නැවතත් තාච්චිය ලිපේ..තෙල් පොඩ්ඩක් ආයමත් ඒකට දාන්න දැන් අපි හදන්නේ අර ඉස්සෝ සහ උම්බලකඩ කුඩු ටික බදින්නයි..මේකට වැඩිය තෙල් ඕන නැහැ මොකද අපි මෙක අවසානයේ තෙල් පෙරන්න යන්නේ නැහැ..
ඉතිං තෙල් රත්වෙද්දී ඒකට උම්බලකඩ කුඩු ටික දාලා ඊට තත්පර 30කට විතර පස්සේ ඉස්සෝ හෝ කූනිස්සෝ ටිකත් දාලා ඒක කර වේගන එනකොටඒකටම දාන්න අර සෝස්..අජිනමොටෝ..ලුනු කුඩු කියන දේවල් ටික..සෝස් ටික රත් වෙලා බුබුළු දාලා නටන්න ගත්තහම අපි කළින් බැදගත්ත සුදුළුණු ටිකත් මිරිස් ටිකත් එකතු කරන්න..ඒ ටික හොදට කලවම් ‍කරලා ඊට උඩින් සීනි ටිකත් ඉහලා ලිප නිවලා හොදට කලවම් කරන්න...

සීනි ටික අපි අන්තිමට දාන්නේ සම්පූර්ණයෙන්ම දිය නොවෙන්න හින්දයි..යාන්තමට වගේ සීනි ඇටයක් දෙකක් හැපෙන කොට මාරම රසයක් එනවා..
හරි දැන් වැඩේ ඉවරයි..මේකේ නියම පදම ආවානං ටිකක් තෙල් වැඩියෙන් වගේ පේන්න ඕන..එහෙම තෙල් ටිකක් වැඩි උනහම ඕක හරි රසයි ඒත් මං නොකිව්වට දන්නවනේ තෙල් කියන්නේ අදකාලේ අපේ විනාසේ කියලා..ඒ හින්දා මමනං ඕක හදනකොට හුගාක් දුරට තෙල් අඩු කරලා අවසාන ප්‍රතිඵලය බොහෝම වියළි චිලීපේස්ට් එකක් ගන්න තමයි බලන්නේ..ඒත් ඒක ටිකක් අවදානම්..ඒකට හේතුව තෙල් අඩුවෙන් කරන්න ගියහම..කර වෙන්න.. පිච්චෙන්න.. අඩිය අල්ලන්න තියෙන අවදානම වැඩියි..ඒත් ඇගට හොඳයි...
වරදින්න තියෙන හැකියාව වැඩියි.

අපි කඩෙන් ගන්න චිලී පේස්ට් එකේ රසය පෙනුම හොඳින් තියෙන්නේ ඒ අය තෙල් පාවිච්චියේදී ඒ හැටි බය වෙන්නේ නැති හින්දා තමයි..මොකද කන්නේ අපිනේ..ඒත් අපිම හදා ගන්න යද්දී ටිකක් පරිස්සම් වෙන්න..
මොකද චිලී පේස්ට් කියන්නේ තනිකරම තෙල් ගොඩක්..ඒකටම මිරිස් ගොඩකුත් ආවම ආයේ මම කියන්න ඕන නැහැනේ..කවුරු හොයාගත්තත් චිලී පේස්ට් කියන්නේ ආමාශයට ඇසිඩ් ගහනවා වගේ වැඩක්..
ඒත් ඉතිං අපිත් කැමති කටට රසට කන්න නෙව..එතනදීනම් චිලී පේස්ට් වලට තියෙන්නේ ඉහළ තැනක්..වෙන මොනවා නැතත් චිලී පේස්ට් එක්ක බත් ටිකක් පාන් කෑල්ලක් බඩට බස්සන්න පුළුවන් දෙයියනේ කියලා...

මම නං ඉතිං චිලී පේස්ට් එක්ක කැකුළු බත් කන්න කැමතියි..ඒකෙන් රසය ව‍ගේම චිලී පේස්ට් එකේ තියෙන අධික සැර ගතිය අඩු කරගන්නත් පුළුවන්..දිවට දැනෙන රසයත් උපරිමව තියා ගන්න ගමන්ම...

හරි දැන් වෙලාව දහය හමාරත් පැන්නා..මම යනවා ගම්පහ යන්න..ඔයාලත් කැමතිනං හදලා කරලා මටත් දන්නන්ටකෝ...







23 March 2011

කාලා වරෙංකෝ හරී ෂනීපයි...

ඔන්න මදැයි මම අද ගෙදර යන්න බලං හිටියා...
දැන් දවස් තුනක් තිස්සේ මම රාජකාරියට අහු වෙලා හිටියේ..පොතේ හැටියටනං අද උදේ ගෙදර යෑමට පුළුවන් වෙන්න එපැයි..ඒත් කොහේද කෙලියා තාප්පෙටම..දැන් ඉඳහංකෝ හිපාටුවා වගේ අදත් මෙතනටම වෙලා...

සාමාන්‍යයෙන් අපේ මේ සිකුරිටි ජොබ් එකේ නිවාඩු කියලා වෙනම ජාතියක් නැහැ.කොහොමටත් අපි සාමාන්‍ය සේවා මුර දෙකක් ඒ කියන්නේ පැය දොළහේ සේවා මුර දෙකක් එකට අදින්න ඕන..එතකොට පැය විසි හතරක්..පැහැදිලි සිංහලෙන්නං දවසක්..

ඉතිං අපි වැඩට ඇවිත් දවසක් එක දිගට ඇදපුවාම අපේ අනුප්‍රාප්තිකයා..ඒ කියන්නේ රාජකාරි සගයා අනිත් දවස අදිනවා..ආයෙමත් ඊ ළග දවස මට..ඔන්න ඔහොම තමයි වැඩේ යන්නේ...

ඉතිං පොතේ හැටියටනං මට මේ මාසේ සියළුම ඉරට්ටේ දවස් ටික මටත්..අනිත් සගයා වෙච්ච "ගුණේ අයියා"ට ඔත්තේ දවස් ටිකත් හැටියට තමයි යෙදිලා තිබුනේ...

ඒත් ඉතිං ගුණේ අයියා ලොකු මහත් වෙච්ච දූ දරුවෝ ඉන්න මනුස්සයා..උන්දැට කොල්ලෝ දෙන්නයි එක ගෑණු දරුවයි..මේ ළගකදී ඔය කෙලීව දීග දුන්නා..දැන් ඉතිං පුද්ගලයා හැම මාසෙම දැරිවි බලන්න යනවා තමුන්ගේ බාරියාවත් එකක..ඒ ගියහම දවසක් දෙකක් ඉඳලයි එන්නේ..

ඉතිං පහුගිය කාලේනං එහෙම ගියහම මෙතන රාජකාරිය කරන්න වෙන කවුරු හරි එන්න ඕන..ඒ දවස්වල ඉතිං මම මෙතන නෙවෙයිනේ හිටියේ..අර කලින් රාජකාරි කරපු තැනනේ..ඒ හින්දා මම එහෙ දවසක් ඇදලා..මෙහෙ තව දවසක් ඇදලා ආයෙමත් මම එහෙ වැඩට යනවා..එහෙම කරලා අපේ ගුණේ අයියාගේ නිවාඩුව කවර් කරලා දෙනවා..
මාත් එහෙ ඉද්දී නිවාඩුවක් ඕන උනහම ගුණේ අයියත් ඇවිදින් එහෙ ඇදලා දෙනවා..එහෙමයි අපි ඉතිං නිවාඩු ගන්නේ..

මේකේ හොඳක් තියෙන්නේ එක දවසක් නිවාඩු ගත්තහම එක දිගට දවස් තුනක් නිචාඩු හම්බ වෙන එක..
ඒ කිව්වේ දැන් මම මේ මාසේ ඉරට්ටේ දවස්වල වැඩ හින්දා..මට කොහොමත් ඔත්තේ දවස් නිවාඩු..ඉතිං මම 22 දෙවෙනිදා නිවාඩු ගත්තනං කොහොමත් 21 වෙනිදයි 23 වෙනිදයි මගේ නිවාඩු දවස් එක්ක ගත්තහම මට 21..22..23.. කියන දවස් තුනම නිවාඩු...

හැබැයි ඉතිං ඔය එකක්වත් පඩි සහිත නිවාඩු නෙවෙයි මොකද අපිට ගෙවන්නේ වැඩ කරන පැය දොලහේ සේවා මුර ගානට වීමයි...උදාහරණයක් විදියට පැය 12කට රුපියල් 500 ක් ගෙවනවනං දවසක් වැඩ කලාම රු.1000යි මාසේකදී දවසක් ඇර දවසක් වැඩ කරන හින්දා දවස් 15 වට රු. 15000 යි.
ඔන්න ඔහොමයි අපේ පඩි හැදෙන්නේ...

දැන් ඉතිං මගේ පඩියත් ඕනද..?
ඒක ඔයිට වඩා ඩිංගක් වැඩියි..අපේ ආරක්ෂක සේවයේ වැටුප් ගෙවන්නේ මෙන්න මේ විදියට...

JSO (කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී) - රු.375 සිට 400 දක්වා..
SSO (ජේෂ්ඨ ආරක්ෂක නිලධාරී) - රු.400 සිට 425 දක්වා..
STGO (විශේෂ ආරක්ෂක නිලධාරී) - රු 450 සිට 475 දක්වා..
OIC (ස්ථානභාර නිලධාරී) - රු 475 සිට 515 දක්වා..
CSO (ප්‍රධාන ආරක්ෂක නිලධාරී) - රු 525 සිට 550 දක්වා..

(පැය 12ක සේවා මුරයක් සඳහා පමණි)

දැන් ඉතිං හරිනේ..අපේ සේවා ආයතනය බොහෝම පුංචි එකක්..ඒත් දැන් අවුරුදු 12ක් විතර මං හිතන්නේ මේක පරණයි... කොහොම උනත් දැනට මං විතරයි මේකේ ඔය අන්තිමට දාලා තියෙන ජාතියේ එකෙක් ඉන්නේ..තව එක්කෙනෙක් හිටියා අවුරුදු 10කි විතර පැරණ..දැන්නම් මෑන්ස් නැහැ මිනිහව මේ ළගකදී අස් කලා කියලා ආරංචියි හේතුවක්නං මම දන්නෙත් නැහැ.
ඉතිං දැන් මේ වෙනකොට මංතුමා පමණක් ඉතිරි වෙලා ඉන්න එකම එකා..හැබැයි ඉතිං ඔය දාලා තියෙන පඩියට වඩා මට විතරක් තව චූට්ටං දීමනාවක් පඩියට අමතරව එල්ලලා තියේ..ඒ ඉතිං මං අස්වෙලා යයි කියලා බය වෙච්ච වෙලාවක මහ තැනින්ම ආපු නියෝගයක් හින්දා...

අපේ රස්සාවල් ඉතිං ඔහොම තමා..තව ඉතිං මීට වඩා ගෙවන තැන් තියෙනවා..ඒත් ඒවාට යනවාට වඩා මේ ගෙවන ජීවිතේ සෑහෙන්න හොඳා...
කොහොමටත් මගේ ජීවිතේ මහා හුගාක් බලාපොරොත්තු නැති වීමත්..අල්පේච්ඡ විදියට ජීවිතේ ගෙනියන්න ඇති හැකියාවත් හින්දා මට ඔය ඇති..මදි පාඩුවක් වගේ දැනුන ගමන් පටස් ගාලා බලලා දීලා කීයක් හරි හොයාගන්න නිතරම මගේ බෑග් එකේ කේන්දර සටහන් කීපයක් තියෙනවා...

ඉතිං මුදල් අඩුපාඩුවක් ආව ගමන්..දැම්මා අත ගත්තා එයින් එකක් දෙකක් බැළුවා..ලිව්වා A4 සයිස් එකේ කොලයක දෙපැත්ත..දැම්මා කෝල් එකක්..

"ඔන්න අරක මං බලලා තියෙන්නේ ඇවිත් අරං යන එකයි"

කොහොමටත් ඔය වචන ටික මගේ කටින් පිට වෙනකල් බලාගෙන තමා උන්දලා ඉන්නේ..මොකද මං වැඩ බාරගන්න කොටම කියලා තියෙන්නේ මට කරදර කරන්න එපා..මට හිතුන වෙලාවට මම බලලා දෙන්නං එතකොට ඇවිත් ‍ගෙනියපල්ලා කියලා...

අපරාදේ කියන්න බැහැ මගේ අතලොස්සක් වූ පාරිභෝගික ජනතාව කියන විදියකට කරන්න සැදී පැහැදිලා ඉන්නවා..

ඉතිං ඔය වගේ බයක් නැතිව ජීවත් වෙන්න කොරමයක් තියෙන හින්දා මට දැනට ඔය ලැබෙන වැටුප කිසි අවුලක් නැහැ.

ඕනවට වඩා මුදල් පස්සේ දුවපු කාලේ මං විඳපු දුක මම හොඳටම දන්නවා..ඒ හින්දා හිතේ සැනසීම මට හුගාක් වටිනවා මුදල් වලට වඩා..මං දන්නවා මේ වගේ හිතනවා කියන්නේ මේ තියෙන ලොකෙත් එක්ක බැළුවම මං දිහා පිස්සෙක් ගානට දාලා බලන්න හුගාක් අය පෙළඹෙනවා කියලා...

ඒත් ඒ කවුරු කොහොම හිතුවත් මට මේ විදිය හරි සැනසීමයි...මැරෙන දවසට ලෝකෙට ණය නොවී...වගේම..
ඉතිරි කරපු දෙයකුත් නැතිව මැරෙන එක තමා මට ලබන්න පුළුවන් ලොකුම සතුට...

කාලයක් තිබ්බා..මාත් ඔය නොනවතින රැල්ලේ කෑල්ලක් වෙලා හිටිය...ඇත්තටම ඒ කාලය හරි වේගවත්...සල්ලි හම්බ කලා..වියදම් කලා..තව තව සල්ලි හම්බ කලා..වාහනයක් දෙකක් එහෙම අරගෙන තව තවත් ආදායම් මාර්ග පස්සේ පිස්සු බල්ලෙක් වගේ ඉව අල්ල අල්ල ගියා...එහෙම කාලයක් මටත් තිබ්බා...ඇත්තටම ඒ කාලේ මම සාර්ථකයි භෞතික ලොකේ මිනිහෙක් හැටියට..ඒත් මම ඒ කාලේ හුගාක් මානසිකව පිරිහුණා..වාහන මිදුලේ නවත්වලා මට කවදාවත් එක රැයක් සැනසීමෙන් නිදා ගන්න හම්බ උනේ නැහැ...කිසිම දේක ඇති වීමක් තිබුනේ නැහැ...මොන විදියකවත් සැනසීමක් නැහැ...

ඒත් ඒ හැම දේම අතඇරලා ගියාට පස්සේ මම ජීවිතයේ සැනසීම කියන දේ අත්වින්දා..පලමු වතාවට...
එදා ඉදලා මට පුළුවන් උනා මගේ සැනසීම හොයාගන්න..දැන්නං මට කොහෙත්ම ඕන නැහැ ඒ සැනසීම නැති කරගන්න.

ඉස්සරහට දුවන ලෝකයේ මම අනිත් පැත්තට යන එකෙක් වෙන්න ඇති..ඒ හින්දම තමා මට හුගාක් වෙලාවට මේ ලොකේ මගේ නෙවෙයි කියලා හිතෙන්නේ..වෙලාවකට හරිම නුපුරුදු ස්වභාවයක් තියෙනවා...

කොයි වෙලෙත් විහිළුවක් කරගෙන හිටියට මං දන්නවා ඒ හැම දේටම යටින් මගේ හිතේ මහා හිස් බවක් තියෙන විත්තිය..

හ්ම්ම්ම්..මම මේ කොහේද යන්නේ...? හුටා..

මං කියන්න ගියේ එකක්..කියඋනේ වෙන එකක්.
කොහොම උනත් මෙච්චරයි වැඩේ..

අර අපේ ගුණේ අයියා දූව බලන්න යන්න කියලා දවස් 3ක නිවාඩුවක් ගන්න ලෑස්ති උනා.ඉතිං මාත් ඒකට කැමති වෙලා ගුණේ අයියත් එක්ක කතා කරලා එයාට කළින් මමත් දවස් 3ක නිවාඩුවක් ගත්තා.. ඒත් මේ අළුත් අවුරුද්දට මටත් අපේ ගෙදර අයට මොනවා හරි දෙයක් කරන්න ඕන වෙච්ච හින්දා..

ඉතිං කාලෙක ඉඳන් මට කියලා කරවගන්න හිටිය යනුතරයක වැඩක් මම බාර අරගෙන අර දවස් 3නේම ඒක කලා..කරලා ඒ වැඩේ ඉවර වෙච්ච ගමන් සල්ලි ටික අරං කිරිබත්ගොඩ තිලකවර්ධනේට ගෙහුං ගෙදර උදවියට ඇඳුම් පැලඳුම් අරගත්තා..එන ගමන්ම ඒ ටිකත් ගෙදරට දී ගෙනම ආවා..දැන් ඉතිං අවුරුද්දට ඔන්න මෙන්න තියලා කන බොන ජාති ටිකකුත් ගෙහුං අත ඇරලා ආවම හරි...

ඒ ටික ඉවර කරලා තමයි මං දැන් මේ ගුණේ අයියගේ නිවාඩුව කවර් කරන්න ගත්තේ..ඉතිං 20..21..22..තමා උන්දෑ නිවාඩු ඉල්ලුවේ..ඒ හින්දා තමයි මම අද ලෑස්ති වෙලා හිටියේ ගෙදර යන්න..අට වෙනකොට ලැප් එක එහෙම බෑග් එකේ දාගෙන බඩු මුට්ටු ටික අස්පස් කරලා ඔක්කෝම කරගෙන දත කට මැදගෙන හිටියට..ම්හූ..කෝ නැහැනේ...අට හමාරත් පැන්නා..මටම අදත් ෆැක්ට්‍රිය අරින්න උනා..නවයත් උනා..ඒත් නැහැ..පස්සේ මම කෝල් එකක් ගත්තට පස්සේ මෙන්න කියනවා..

"අනේ තාමත් ගෙදර එන්න බැරි උනා..මම හෙටම වැඩට එන්නද..?" කියලා

ඉතිං මැරෙන්නයෑ..හා හා කියලා මම හිත හදාගෙන ලෑස්ති උනා අද දවසත් අදින්න...
දැන් ඉතිං හෙට තමා ගෙදරට යන්ට වෙන්නේ...

ඔක්කෝමත් හරි බඩ ගිනියි අම්බානට..ඒ ගමන මෙහෙ කඩේ යන්ට ඉන්න අයියලා දෙන්නාගෙන් එක්කෙනෙකුට කියලා උදේට කන්නත් ගෙන්නගෙන..දවල්ට මම කෑම ගන්න තැනට කෝල් එකක් දාලා දවල් කෑමත් ලැබෙන්න සලස්සලා..දැන් මේ මොකාද එකා වගේ බලං ඉන්නවා...

ටිකක් වේලපහම කිව්වනං තව එකක්..එහෙනං මං හිත හදාගෙන ඔහේ ඉන්නවා..ඒත් ගෙදර යන්න හිත හදාගෙන හිටියම ඒක ටිකක් අමාරුයි..ඒත් ඉතිං දැන් මැරෙන්ටයෑ..

ඇදපං..ඇදපං මාරයෝ..බෙල්ල කඩාගෙන ඇදපාං.................
උඹට හොඳ වැඩේ..ඇදපාං..............

22 March 2011

අද වගේම හෙටත්...

මේ දවස් ටිකේම මගේ ලිවීමේ වේගය බාල වෙලාදෝ කියලා හිතෙනවා..ඒත් ඒකට පැහැදිලි හේතුවක් දක්වන්න මට බැහැ. කොහොම උනත් මං මේ දවස් ටිකේ හොඳින් ඉන්නවා කියන දේනං මට තේරෙනවා...
ගලාගෙන යන ගඟක් වගේ මගේ ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා..ඒකේ නැවතීමක් නැහැ...

සමහර කාල වලට මහා වේගයෙන් පහතට කඩාගෙන බිඳගෙන වේගයෙන් ගලන මේ ජීවිත ගඟ..ආයමත් කාලයකට බොහෝම නිසලව ගලනවා...වෙලාවකට ගල් පර්වත අස්සෙන් බොහෝම අසීරුවෙන් ගලාගෙන ඇවිත් ආයෙමත් වතාවක් ලස්සන ගස් කොළන් සහිත මිටියාවත් මැදින් බොහෝම සීරු මාරුවට ඇදීගෙන යනවා...

හැබැයි කොයිම වෙලාවකවත් නැවතීමක් නැහැ...සමහර තැනකදී ඉවුරු හෝදගෙන බොර වෙලා ගලන මේ ගඟම තවත් වෙලාවකට නිල් අහස වගේ පැහැදිලියි...

සමහරු මේ ග‍ඟෙන් බොහෝම පුයෝජන ගත්තා... ගඟ කිසිම කොන්දේසියක් නැතිව ඒ හැම දෙනාටම පිහිට උපකාර උනා..ඒ අයගේ ජීවිත සරුසාර කරගෙන ගලන අතරෙම ඒ ගැන බොහෝම සතුටෙන් ගඟ නොනැවතීම ගලාගෙන ගියා...

ඒත් ගඟ දන්නවා ගලාගෙන ආව කාලය තුල සමහරුන්ට ගඟ නිසා විසාල හානිත් සිදු උනා කියලා...
මහා වරුසා කුණාටුවලට හසු වෙලා ගඟට උහුලාගන්න බැරි තරං දුක් වැහි කඩාගෙන වැටිලා ගඟ පිරිලා උතුරලා ගියේ ගම් බිම් ගේ දොර යටකරගෙන...
ඒත් ගඟට කරන්න දෙයක් තිබුණේ නැහැ..මොකද ගඟ ගලන්න ඕන..නොනවත්වාම ගඟ ඉදිරියට ගලාගෙන යන්න ඕන..ඒ බව ගඟ දැනගෙන හිටියා...ආයේ නවතින්නවත්...එකතු වෙලා තියෙන මහා වතුර කන්දරාව අත හැරලා යන්නවත් ගඟට පුළුවන් කමක් තිබුනේ නැහැ..

ඒ හින්දා ගඟ නොනවත්වාම ගැළුවා...
හුගාක් අයට ප්‍රයෝජනවත් වෙන අතරේම සමහර ජීවිතවලට හානි කරගෙනම ගඟ ගැළුවා...
ඒත් ගඟට ඒ කිසිම දේකින් වෙච්ච ප්‍රයෝනයක් තියේද කියලා තාමත් ගග දන්නේ නැහැ..සමහර විට කවදාවත්ම දැන ගන්න එකකුත් නැහැ...

හුගාක් කාලෙක ඉඳලා ගලාගෙන එන ගඟ..අද වගේම හෙටත් ගලාවි..ඒ ගමනෙදි පුංචි පුංචි අතු ගංගා..ඇළ දොළ මේ ගඟට එකතු උනා..ඒ වගේම සමහර වෙලාවට ගඟ දෙකට තුනට බෙදිලා අර එකතු උන ඇළ දොළ ආයෙමත් වංගියක් ග‍ඟෙන් වෙන් වෙලා යන හැටිත් ගඟ බලාගෙන හිටියා..පුංචි දුකකුත් එක්කම...සමහර විට ඒ වගේ වෙලාවට ගඟ තවත් වේගයෙන් ගැළුවා..කිසිම සිහි කල්පනාවක් නැතිව ගැළුවා..

එදා ඉඳලා මේ වෙනකල් ආව ගමන වගේම තවත් සෑහෙන දුරක් ගඟට ගලාගෙන යන්න තියෙනවා..ඒත් තාමත් ගඟ දන්නේ නැහැ මේ කොහාටද යන්නේ කියලා..ඒ කොහාට ගියත් දැන් ආව දුරත් එක්ක ගඟට තේරුම් ගිය දෙයක් තමා...ගඟට ඕන ඕන විදියට ගලන්න ගඟට හැකියාවක් නැති විත්තිය..ඒක තීරණය වෙන්නේ ගඟට එකතු වෙන අතු ගංගා වගේම ගලාගෙන යන පොලොවේ හැඩතලවලට ඕන විදියට...

ඉතින් දැන් ගඟ ඔහේ ගලාගෙන යන්න ඇරලා බලාගෙන ඉන්නවා ඇර කිසිම විදියකින් කිසිම දෙයක් වෙනස් කරන්න උත්සහ කරන්නේ නැහැ...

ඊයේ වගේම අදත් ගඟ ගලනවා..හෙටත් ගලාවි..කවදා හෝ මේ ගමන නිමාවෙන දවස එනතාක් කල්ම ගලාවි...ඒ ගමනෙදී විඳින්න ‍උන..විඳිමින් පවතින..ඉස්සරහට විඳින්නට වෙන කිසිම දෙයක් ගැන දැන් ගඟට වැඩක් නැහැ...ඒ කිසිම දේකින් ගඟ තමන්ගේ ගමන වෙනස් කරන්නේ නැහැ...

ඉතිං...මොහොතකට හෝ නොනැවතිම ගලන මගේ ජීවිත ගඟ හෙට කොහාට ගලාවිද..?

ඒක මම තවමත් දන්නේ නැහැ..ඒත් මං එකක් දන්නවා..මේ මොහොතේ ඒක හරිම නිශ්චලයි..පුදුමාකාර තරමින් නිශ්චලයි...මට ඒ ඇති...










20 March 2011

මාරයාගේ විචාර කලාව..මුචාගේ හඳ සහ පොල් අත්ත...


හොඳයි අද ඕං මං අළුත් වැඩකට අත ගහන්ටයි යන්නේ..අළුත් කිව්වට ඉතිං මේවා බොහෝම පරණ වැඩ..ඒත් මේ මගේ බ්ලොග් එක හරහා අද තමයි මං මුළින්ම මේක එළිදක්වන්ට හිතුවේ..

කට්ටිය දන්නවනේ ඉතිං මාරයාතුමා වෙච්ච මට ඔය එකම දේ හැමදාම කොර කොර එකතැන පල්වෙන්ට හරි අමාරුයි කියන එක..ඕකට කියන්නේ අළුත් අළුත් දෑ සොයාගෙන යාම කියලා..ඒ උනාට ඉතිං සමහරුන්ට මේකේ වටිනාකම තේරුං ගන්ට ඇති හැකියාවක් නැතිකම හින්දාම සමහර විට මට මූණටම හෙමෙත් කියලා තියෙනවා..

"අනේ බං උඹට කවදාවත් එක වැඩක් එක දිගට කරගෙන යන්ට බැහැ නේද..?"

ඔන්න ඔහොම මට අනන්තවත් කට්ටිය කියලා තියෙනවා..ඒත් ඉතිං මං දන්නවා ඒ මගේ මේ හැකියාව ගැන ඊරිසියාවෙන්..මාව වට්ටන්න කියන කතා කියලා..මං සැලෙයි ඔව්වට..පුහ්..අම්මට තාත්තට හදන්න බැරි වෙච්ච එකා..ආයේ ඉතිං රටේ ලොකේ උන්දලාට හදන්ට ඇහැකිද..?කොටින්ම අපේ තාත්තා මට කියලා තියෙනවා නෙව..

"තෝවනං මකලවත් හදන්ට බැහැ" කියලා..

ඉතිං එහෙවු එකේ..ආයේ වෙන කුමන කතාද..?

හරි ඒවායින් වැඩක් නැහැ..දන්නෝ දනිති මා ගැන..ඉතිං මං මේ බ්ලොග් කෙලිය උනත් කොරන්නේ එහෙමම තමා...ආයේ ඉතිං මේකේ හිටි හැටියේ කතා ලියනවා..කවි ලියනවා..ආයේ වංගියක් ජුං අලයා ගෙනත් කට්ටිය අවුස්සනවා.. ඒ අතරේ කේන්දර බලනවා..ඇයි උයන පිහන වැඩ..ඒවත් කොරනවා.. ඒ අස්සට මට මතකයි මං හරි අපූරුවට ගීත දෙකකුත් ගායනා කල විත්තියත්...ඇයි අමතකද බණ කියන එක..හපොයි එකක් කියලද..?

ඉතිං ඔය ඔක්කොම අස්සේ මට දැන් මේ දවස්වල ගූගල් බස් සෙල්ලමටත් හිත ගෙහුං තියෙන්නේ..මං ඔය පහුගිය දවසක බස් එකේ කතාවකුත් බ්ලොග් එකේ දැම්මේ..

ඉතිං ඒ අව්අස්සෙම මට හිතුනා තවත් දෙයක් කොරන්ට..ඒ තමයි මං දැන් ටික දවසක ඉඳලා මූණු පොත එහෙමත් නැත්තං අර ෆේස්බුක් එක හරහා කරගෙන එන සමාජ සත්කාරමය සේවාවත් මේ බ්ලොග් එකට ඈඳලා දාන්ට...

ඔන්න මගේ අළුත්ම වැඩේ..ඔයාලා ඉතිං දන්නවනේ..මංතුමා කොරන තරමක් කොරන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කියලා..ආයේ ඉතිං ඔය දෙකයි පණහේ වැඩ නැහැ මං ගාව..කලොත් ඉතිං තුනයි වීසි පහේ ඒවා මිසක්...

හරි මොකක්ද දැන් මේ අළුත් නාඩගම...

ඒ තමයි මගේ අතිවිශිෂ්ඨ හැකියාවක් වෙච්ච මගේ විචාර කලාව..ඇත්තටම මේක සැගවුන හැකියාවක් කිව්වොත් හරි..මං ඉතිං ඔය දන්න කියන හැම දේම දාන්නේ නැහැනේ එළියට..ඉතිං මේකත් ‍එහෙමම හංගලා තිබ්බ හැකියාවක්..තව ඉතිං ඉස්සරහට මොන මොන එව්වා එයිද මංදා..බලං ඉන්ටකෝ..

ඉතිං මේ දවස්වල මම මූණු පොතේ අපේ දන්න කියන ඈයින්ගේ පොටෝ වලට විචාර සැපයීමේ සේවාවක් කොරගෙන යනවා නෙව..
මොකද පහුගිය දවස්වල අපේ බනියා කොළුවා..ඒ කියන්නේ අර සුප්‍රසිද්ධ වල් හාවා මලයා කැමරා කෑල්ලක් අටවගෙන පොටෝ ගන්ට පටන් ගත්තා..ඒ මදිවට අපේ බුද්ධියා නොහොත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මහත්තයාත් ඕකම පටන් අරං..
ඔය අවු අස්සේ තව තවත් චායාරූප ශිල්පියෝ වැහැ වැහැලා..දැන් මූණු පොත තනිකරම චායාරූප ප්‍රදර්ශනයක් වගේ වීගෙන එනවා..ඉතිං මං කල්පනා කොලේ..හැම උන්දැම පොටෝ ගහලම හරියන්නැනේ..

ආන්න ඒ හින්දා මං තීරණය කොලා..මං අර පාරක් අයිනේ කොළ කැඳ විකුණන එකෙක්ව දැකලා තවත් එකෙක් එතනම කොළ කැඳ විකුනන්ට හදනවා වගේ නොවී.. වෙන පාරක් තෝරාගන්ට..

ආන් ඒ අනුව මං මගේ 31 වසරක අඛණ්ඩ චායාරූප පිළිබඳ අත්දැකීම්..උපයෝගී කරගෙන...(දැන් අහන්ට එපා..මට කොහෙන්ද එහෙම අත්දැකීම් කියලා..එහෙම අත්දැකීම් මට හරියට තියෙනවා..ඕනනං කවුරු හරි අභියෝග කලොත් මං සාක්කි සාධක ඇතුව ඔප්පු කරලාම පෙන්නනවා හරිද..?)

ඉතිං අර කිව්වත් වගේ මගේ ඒ අසීමිත අත්දැකීම් තුළින් මං උකහාගත්තු හැකියාව උපයෝගී කරගෙන..මේ චායාරූප සඳහා හොඳ විචාරයක් දෙකක්..එතනින් ගියහම උපදෙස් ටිකක් දෙන්ට ඕනෑය කියන කාරණාව...

ඉතිං මේ ටිකේම සුළු සූළුවෙන්..පුළුපුළුවන් විදියට මං ඕක කරගෙන ගියා...
ඉතිං ඕවාට ගියහම කෙලවෙන්නේ මගේ මේ බ්ලොග් කටුවට නෙව..ඇයි ඉතිං මේක ලියන්න තියෙන වෙලාවනේ ඒවාට යන්නේ..ඒත් ඉතිං අන්තිමට අද මට කල්පනා උනා මේ විචාර කිහිපයක් බ්ලොග් එකෙත් දාලා දැම්මනං..බබිත් සුං බබීගේ මමිත් සුං නේද කියලා..( උපහැරනෙනං හරිද මංදා..)

ඉතිං මං මුළින්ම මේකේ දාන්නේ මං අද ලිව්ව විචාරේ...මොකද මං බොහෝම ආසාවෙන් බලන පිංතූර රාසියක්ම තියෙන මූනු පොතේ ඉන්න හාදයෙක් තමා අපේ මුචලින්ද උන්නැහේ..මොකක්ද මංදා තව ලස්සන නමකුත් තිබ්බා ඒකාට..ඒත් ඉතිං බ්ලොග් අවකාසේ උන්දලා දන්නේ මුචා කිව්වහම තමා...

ඉතිං හා හා පුරා කියලා ඔන්න අද මං මෑන්ස්ගේ පොටෝවකින්ම මේ වැඩේ පටන් ගන්නවා..මේ සඳහා මුචා කොළුවා මට ඒකාගේ පූර්ණ කැමැත්තත් දුන්නා..ඒ හින්දා ඔන්න බලන්ටකෝ ඔය උඩ තියෙන පොටෝ කෑල්ල..ආන්න ඒක තමා අද දවසේ මගේ විචාරයට ලක්වෙන වාසනාවන්ත පොටෝව...
මෙක තියෙන තැනට ඉතිං මෙන්න මේ අඩිපාර දිගේ යන්ටත් ඇහැකි..මෙන්න මෙතන ඔබලා බලන්ට ඕනනං...

ඉතිං ඒ උඩ පොටෝව හොඳට බලලා මේ යට තියෙන විචාරෙත් බැළුවනං..ඔන්න ඉතිං හැදෙන කට්ටියට හැදෙන්ට ඇහැකි..මේවා ආයේ ලේසියෙන් කෙනෙක් කියා දෙන ඒවා නෙවෙයි...

හා හා වැඩි කතා මොකටද..බලලාම ඉමු..
..................................................................
හම්මේ සෑහෙන දවසක ඉඳලා මේ පොටෝව ගැන මම හිත හිත හිටියේ..ඒත් තාම වෙලාවක් හම්බ උනේ නැහැනෙව විචාරයක් කොරන්ට..අදනං කොහොම හරි ඒකත් කරන්ට වෙනවා..

දැන් මම මුලින්ම රචියා මල්ලිට කියන්ට ඕන..මම මල්ලි ගැන හොඳට දන්නවා ටික කාලයක හිටන්..ඒ වගේම මලයාගේ ඔය පොටෝ අමාරුව ගැනත් මට යං තරමක අවබෝදයක් තියෙනවා.ඒත් මල්ලි..මේ පොටෝව දැක්ක වෙලේ ඉඳන් මගේ හිත මට කියනවා...මල්ලි වැරදි පාරක යනවා කියලා..ආන්න ඒ හින්දා තමයි මම මේ මුලින්ම මේ ගැන මල්ලිව දැනුවත් කොරන්ට කියලා හිතුවේ..

දැන් බලන්ට මල්ලි මේ පොටෝ එකක් අපි ගන්නේ මොකටද..?ආන්න ඒ මුලික සිද්ධාන්ත මල්ලිට දැන් දැන් අමතක වේගන එනවා...
මල්ලි ඇත්තටම අපි මොනවා හරි පොටෝ එකක් ගන්නේ පස්සෙන් පහුකාලෙක ඒක දිහා බලලා අපේ මතකය අළුත් කරගන්ට..ඒ වාගෙම යම් දෙයක් අපිට අමතක නොකර ඉන්ට..එතනින් ගියහම යම් දෙයක් වෙනස් උන දවසක..කලින් මේක තිබ්බේ මෙහෙමයි කියලා මතක් කරගන්ට..
දැන් මල්ලිම බලන්ට මේ පොටෝවෙන් අපිට ඒ මූලික සින්ධාන්ත හරියාකාරව ඉස්ට සිද්ද වෙනවාද කියලා..
පිළිතුර තමයි "නැහැ" කියන එක..හරි අපි දැන් බලමු ඇයි ඒක එහෙම නොවෙන්නේ කියලා

දැන් බලන්න මල්ලි..මල්ලිගේ මේ පොටෝ කෑල්ලේ අංග දෙකක් තියෙනවා...එකක් පොල් අත්ත..අනික හඳ..හරිනේ..ඒත් දැන් බලන්ට මල්ලි මේ පොටෝවට ඔයා කරලා තියෙන අසාධාරණය..ඇත්තටම කණගාටුයි මල්ලි..ඇත්තටම කණගාටුයි...
ඔයාට මේක මෙහෙම කරන්ට වටින්නේ නැහැ.ඔයා මේ පොටෝවේ ප්‍රධාන අංග දෙකටම අසාධාර්‍ණයක් කරලා තියෙන්නේ..

දැන් මේකේ හඳ අපි අරගම්මුකෝ මුලින්ම..
දැන් මට තියා වෙන කාට හරි මේ හඳ හරියට පේනවද..නැහැනේ මලයා..අර උලව් පොල් අත්තට වැහිලා..කොයි තරංනං වැරදි වැඩක්ද..?
මං අහන්නේ ඔයාට තිබ්බේ නැද්ද තව ඩිංගක් වම් පැත්තට වෙලා ඕක ගන්ට..මොකද වම් අත පැත්තේ නයගරා දිය ඇල්ලවත් තිබුනද මලයාව කඩාගෙන වැටෙන්න..නැහැනේ..සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම..ඒකෙන් අන්තිමට උනේ මේ අපිට හඳ හරියට බලාගන්න නැතිවෙච්ච එක...

හරි ඒක අපි පැත්තකින් තියමු..ඊ ළගට බලන්ට අර පොල් අත්ත දිහා..ඔයාට ඕන උනේ ඔය පොල් අත්තේ දර්ශනයක් ගන්ටනං ඕයාට තිබ්බා ඩිංගක් එළිය වැටෙනකල් ඉවසන්ට..හරියට හෙට ඉර පායන්නේ නැහැ වගේ කියලා හිතාගෙනද ඔයා මේක රෑම ගන්ට දැඟළුවේ..අපරාදෙනෙ මල්ලි..හරි අපි හිතමුකෝ හෙට ඉර පායන්නේ නැහැ කියලා හරි අද රෑම මේ පොල් අත්තට හෙන ගහනවා කියලා..ආන්න එහෙමනං අපි මේක කොහොම නමුත් ගන්නට ඕන..ආන්න එතකොට අපිට තියෙනවා ඒකටත් කරන්ට ක්‍රම සහ විදි..

මල්ලිට තිබුනා මෙකට අනිත් පැත්තෙන් ගෙහුං මේ පොටෝව ගන්ට..ආන්න එතකොට හඳ එළිය මේක උඩට වැටිලා..ඒ එළියෙන් මල්ලිට යාන්තමට හරි ඔය පොටෝ කෑල්ල ගන්ට තිබ්බා..හැබැයි ඉතිං ඔය කැමරාවේ අර ෆ්ලෑෂ් බලුප් එකක් නැති එකක් හින්දා වෙන්ට ඕන මෙහෙම ගත්තේ..ඒ හින්දා අඩුම ගානේ හඳ එළියවත් හරියට පාවිච්චි කරන්ට මල්ලි දැනගෙන උන්නනං මේක මෙහෙම වෙන්නේ නැහැ. මොනවා කරන්ටද ඉතිං මල්ලි මේවා ගැන මගෙන් කළින් ඇහැවුවෙත් නැහැනේ..නැත්තං මං ඕක කියා දෙනවා ආයේ ගුරුමුෂ්ඨී තියා ගන්නෙම නැතිව

එහෙමත් නැත්තං අපි හිතමු හඳ එළියට මේක පේනවත් මදිනං..ටෝච් එකක් ඇත්තෙත් නැත්තං..මල්ලිට අඩුම ගානේ මන්නා පිහියක්වත් හොයා ගන්ට තිබුනා නෙව..

දැන් බලයි මන්නා පිහිය කොහොමද චායාරූප ගැනීමට උපකාර වෙන්නේ කියලා..ආන්න එතනදී තමා මලයා මලයාට මේ මං වගේ විශේෂඥ ජායාරූප විචාරකයෙකුගේ උදව්ව ඕන වෙන්නේ...මේවා මල්ලි අපි සෑහෙන කාලයක් දුක් විඳලා හොයා ගත්ත ක්‍රම..වෙන කෙනෙක්නං මේවා කියා දෙන්නෙත් නැහැ..ඒත් මේ අයියා ‍එහෙම නැහැ..හරිද..පොඩි එවුන්ට අත දෙනවා.

දැන් මල්ලී බලන්ට මන්නා පිහියක් උදව් කරගෙන මේ චායාරූපය ගන්නේ කොහොමද කියලා..මල්ලිටනං එක පාරටම මේක අමාරුත් වෙන්ට පුළුහං..මොකද මං මල්ලිගේ සාරිරික සවුක්කිය තත්වේ ගැන තරමක් දන්න හින්දා..ඒත් මල්ලි එක වටිනා කියන පොටෝ එකක් වෙනුවෙන් හොඳ චායාරූප ශිල්පියෙක් තමන්ගේ පණ උනත් දෙනවා..දැන් මේ අපි ගන්ට යන එකත් ඒ වාගේ "ලොවක් මවිත කරවන" අන්දමේ චායාරූපයක් හරිද..?

ආන්න ඒ හින්දා මල්ලි දැන් බැරි අමාරුකං බලන්නේ නැතිව කොහොම හරි ඔය අත්ත පාත් කරලා අත්ත මුලින්ම එක මන්නා පාරෙන්ම කපා ගන්ට ඕන..දෙතුන් පාර ඕකට කොටන්න ගියොත් අත්ත මැද්දෙන් පුපරලා අත්ත විනාස වෙන්ට ඇහැකි..ආන්න ඒ නිසා මලයා මෙක හරි පරිස්සමට කරන්ට ඕන හරිද..අමතක කරන්ට එපා අපි මේ ගන්ට යන්නේ "ලොවක් මවිත කරවන" සුළු පොටෝවක් කියන එක..
හරි ආන්න එහෙම හිතලා පරිස්සමට මේ අත්ත කපාගෙන ඇවිදිං..ආන්න ඊට පස්සේ අපිට පුළුවන් මේක අපේ ගෙයි මැද සාලේ හරි වෙන හොඳට එළිය තියෙන තැනක තියලා ඔයාට කැමති ඕනම විදියකට මේ පොල් අත්තේ පොටෝ කෑල්ලක් ගන්ට..බලන්න මල්ලි..කොයි තරං අපූරුවට තියෙයිද..නේද..?

ඔන්න මල්ලි මම මගේ වෙලාව ගැන හිතන්නේ නැතිව ඔයාට රත්තරං වගේ වටින අදහස් කීපයක් දුන්නා..මං හොඳටම දන්නවා මං වගේ මල්ලිට කවුරුවත් මේ වගේ උපදෙස් දෙන එකක් නැහැ කියලා..ඒත් මල්ලි අද අපි මේ වගේ තැනක ඉන්නේ බොහෝම අමාරුවෙන්..ඒ ගමන අපි ආවේ මල්ලි..රබර් සෙරෙප්පු දෙක සාක්කුවේ දාගෙන මහ දවාලේ තාර පාරේ පයින් ඇවිදගෙන..සමහර වෙලාවට අපි ආවේ පුට් සයිකලේ හැතැම්ම ගණන් පැදගෙන..ඒකෙත් ටයර්වල ටියුබ් තිබ්බේ නැහැ මල්ලි..ආන්න එහෙම අපි වින්ද දුක උඹලට විඳින්ට වෙනවට අපි කැමති නැහැ..ඒ හින්දා ආයේ ලෝබ නැතිව මම මේ උපදෙස් ටික ඔයාට දුන්නේ..මං හිතනවා මල්ලි මීගාවට ගන්න පොටෝව මගේ මේ රටක් වටින උපදෙස් වලට අනුකූලව අරගෙන මේ පොටෝ කලාවේ නවමංපෙත් විවර කරගෙන දීර්ඝ ගමනක් මේ ඔස්සේ යයි කියලා..මල්ලි බය නැතිව ඒ ගමන යන්ට මේ අයියාගේ ආශිර්වාදය මල්ලිට තියෙනවා..එහෙනම් මේ විචාරාත්මක උපදෙස් මාලාව මෙතනින් නිමයි..මල්ලිට සුභ පොටෝ අනාගතයක් වේවා..!

.........................................................

ඔන්න වැඩේ ඉවරයි..දැන් ඉතිං කට්ටිය පොරකනවා එහෙම නෙවෙයි මගේ විචාර ලබා ගන්ට..මං ඕවා ආවාට ගියාට කොරන දේවල් එහෙම නෙවෙයි තේරුනානේ...




18 March 2011

කොහේදෝ සිට පැමිණිලා ඔබ...

සිහිනයක රැඳි සිතුවමක් සේ..
බොඳව යන හිමිදිරි පැයේ..
කොහේදෝ සිට පැමිණිලා ඔබ
සැගව ගියෙ ඇයි මේ ලෙසේ..

ගලා ගිය නිසසල දිවිය පෙර..
නිමා වූ දින මතක ඇත තව..
පුංචි ඔය දඟකාර නෙත් මත
මගේ දිවියම එදා සිරවිය..

සොයා ඇවිදුනු මග අනන්තය..
නිමාවක් මේ වන තුරුත් නැත..
අහම්බෙන් මෙන් යළිදු දෙදෙනා
මුණ ගැසුණු සැටි තවත් පුදුමය..

ඇරඹුමක් සටහන් කරන්නද..
එසේ නැතිනම් මේ නිමාවද..
සිතාගන්නට නොහැකි හින්දා
මගේ හදවත සසල වී ඇත..

17 March 2011

තත්පරයක්..එකම එක තත්පරයක්...එච්චරමයි.

දකින්නට කිසි ලෙසක හිමි නැති..
වචනයක් හෝ නොම දොඩා ඇති..
සිහිනයෙන් පමණක් රැඳීලා..
ඔබ මගේ මුළු ලොවම වීලා...

දිනක් ගත වී යළිත් ඉපදෙන..
අරුණු යාමේ ලොවම පිබිදෙන..
ඔබේ වදනක් ඔබේ සුසුමක්..
නොමැති කල මුළු ලොවම කඳුලක්

දකින්නට සුව සිහින ගඟුලක්..
රැ‍ඳෙන්නට ඔබ අසල මොහොතක්..
අසුරු සැණකින් හෝ ලැබේ නම්..
එයත් මට සිතුවමකි මනරම්..

16 March 2011

ඊයේ..අද සහ...මගේ නිදිමත...

පටන් ගන්නම වෙන්නේ නිදි මතයි කියලා තමයි..ඊයේ රෑ නින්ද ගියා මදිද මංදා..හේතුව ඉතිං ලැප් එකත් ඇ‍ෙඳෙන්ම තියාගෙන එක ඇහැක් වහගෙන අනිත් ඇහෙන් ඒක දිහා බලාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

ඒ මොකක්ද ඒ ක්‍රමේ කියලා ඇහැවුවා...?

ආ හරි හරි මං කියඤ්ඤං...මේකනේ..දැන් මට ඊයේ රෑ තදබල විදියට නිදි මතක් ආවා..ඒත් නිදා ගන්න හැටියක් නැහැ..මේ බලන්න බැරි වෙච්ච බ්ලොග් වගයක් බල බල උන්නේ..මොකද ඊයේ දවල් මට ඕවා බලන්න උනේ නැහැනේ..

ඒ පාර ඒ මොකද කියලා ඇහැවුවා..?ඉතිංන් ඕකනේ වෙලා තියෙන්නේ..එකක් කියලා ඉවර කරන්ට වෙන්නේ නැහැ තව පුරස්නයක් අහනවා..අනේ හැබෑට..ඊට පස්සේ මට බනිනවා කියන්න ගියේ එකක් අන්තිමට කියලා තියෙන්නේ වෙන එකක් කියලා..මොන මගුලක්ද මංදා..හා හා ඒකත් කියමුකෝ...

ඉතිං මං පෙරේදා හවස් අතේ කාලෙකට පස්සේ මගේ කේන්දරේ බලන්ට කියලා අතට ගත්තා නෙව..ඒ අරගෙන චුට්ටක් බලාගෙන බලාගෙන යනකොට මට පොඩි අපලයක් පෙන්නුං කොරනවා.. ඉදිරි දවස් කීපය ඇතුලත නීතිමය කටයුත්තකට පැට ලැවෙන්ට හරි..ආරෝග්‍ය ශාලාවක පිහිට පතන්ට හරි වගේ තමා..ඒ ඇර තව එකක් පෙන්නුම් කොලා..ඒකටනං මං ඒ හැටි අකමැත්තක් නැති හින්දා..මගේ අවධානය යොමු උනේ "
මේ විපතින් ගැලවෙන්නේ කොහොමද කියලා"

ඉතිං මං ටිකක් විතර ඔය ගැනත් හිතේ සිහිය පිහිටුවාගෙන පහුවද උදේ..ඒ කියන්නේ ඊයේ උදේ රාජකාරිය එහෙම නිමා කොරලා ගෙදරට සැපැත් උනා..මෙන්න බොලේ මට දුරකථන ඇමතුමක්..

බැලින්නං අර මං පහු ගිය දොහේ ලැයිසොම ගත්තානේ..ආන්න ඒ ලැයිසොම ගන්ට මං ඇප්ලිකේසොම දැම්මේ ලර්නස් එකක් හරහා නෙව..ඒ ලර්නස් එකේ අයිතිකාර අංකල් බුවා තමා මේ කතා කොලේ..පොඩි දුක් සීන් එකක් කියන්ට කියලා..

දුක් සීන් එක මොකක්ද කිව්වොත් මගේ අයදුම් පත්‍රයේ පොඩි අඩුපාඩු වගයක් තියෙනවා කියලා..හැකි ඉක්මනින් එන්ට කිව්වා ඒක හරි ගස්සන්ට...මාත් ඉතිං ඔන්න ඔහේ ගියා බලන්ට මේ මොන හුට්ටප්පරයක්ද යකෝ කියලා බලන්ට...ගෙහුං ලර්නස් එකට ගියහම එතන පොර නැහැ හිටියේ අර උදේ සුපිපුන මලක් වගේ ඉන්න හීන් හුරතල් ගෑනු දැරිවි විතරයි..මං ඉතිං ගිය කාරණාව කිව්වට ඒ දැරිවි ඒ ගැන හාංකවිසියක්වත් දන්නේ නැහැ..

ඒ මදිවට කෙල්ල අර ලොක්කා බුවාට කෝල් එකක් අරං කියන්නත් බයේ වගේ ඇඹරෙනවා මගේ සීන් එක..මට තේරුනා මොකක් නමුත් අවුලක් කියලා..

"මොකෝ නංගි..උදේම බර බරයක්වත් දැම්මද අංකල්...? "

අනේ බලන්න එපැයි කෙලීගේ මූනේ මතු වෙච්ච හිනාව...ඇස් පුංචි කරලා ඔළුව වනලා

"ඔව්නේ" කිව්වා..

මගේ පපුව හෝස් ගාලා පත්තු උනා..ඇයි හත් දෙයියනේ මොන හිතකින්ද එහෙම කොරන්නේ මේ කෙලීට...
අනේ ඉතිං ඒ පාර මම ඒ දැරිවිගෙත් හිත හදලා..

"කමක් නැහැ නංගියේ මංම හොයා ගන්නංකෝ අංකල්ව.."

කියලා ගියා කච්චේරිය දිහාවට...( හිතනං එතන නැවතුනාද මංදා..)

හරි මෙන්න ඉන්නවා බුවා..මාව දැක්ක ගමන් මේකා ඇන්නේ නැද්ද මගේ බඩට එකක්..පොර අර කෙලිට බැන්නා උනත් හිත හොඳ ජොලි ගුඩ් අංකල් කාරයා...කොහොම හරි මෑන් එක්ක ගෙහුං බලද්දී...මම අර ඇප්ලිකේසොමට අමුණලා තිබ්බ වෛද්‍ය වාර්ථාව හරියට පුරවලා නැතිළු..

ඒක කියන ගමන් ඇප්ලිකේසොම බල බල හිටිය අර ඇස්සැමිනර් මහත්තයා අහනවා..

"කවුද මේ ඩොක්ටර්..මේකේ ඇස් පෙනීම කන් ඇසීම ගැනවත් පුරවලා නැහැනේ..ගිහින් බයින්නයි තියෙන්නේ" කියලා

මාත් ඉතිං ටිකක් එබිලා බැළුවා..
හත්ඉලව්වේ හැබෑ නේන්නං...

ඒ මොකවත්ම පුරවලා නැහැ නෙව...
මට ඒ වෙලාවේ ආව කේන්තියක්..මම හිතිං බයින්න කියලා එක පාරටම දොස්තරව සිහි කලා...

හුටස්...

ඒක හරියන වැඩක් නෙවේ..මොන හිතකින් ඒ කෙල්ලට බනින්නද..?මට එවෙලෙනේ මතක් උනේ ඕකේ වරදත් මගේම තමා කියලා..

ඇයි දෙයියනේ..එදා මම ඔය කොලේ පුරවගන්න යක්කල ගෙහුනං ඩොකෙක් හෙව්ව වෙලෙ හම්බ උනේ අළුතින් දාපු චැනල් ස්පොට් එකක් නෙව..

මං ඔක ගෙහුන් දීලා එතන හිටිය අර බොලේ වගේ හිටිය නරස් නංගි කෙනෙකුට මගේ උවමනාව කිව්වම..ඒ දැරිවි මාව දැම්මා දොස්තර ගාවට...

අනේ මේ මොන දොස්තර කෙනෙක්ද..?

හුරු බුහුටි සුදු හීන්දෑරි පිච්ච මලක් වගේ කෙලි පොඩ්ඩක් නෙව...
මට හිනාත් ගියා..මේකි ලොකු අම්මණ්ඩියෙක් වගේ පේන්ට තව චූට්ටං කණ්නාඩි දෙකකුත් දාගෙන..තව ඒ දෙකට යටිනුත් මා දිහා බලන්ට හදනවා..මට ඒකට තවත් හිනා...

ඒ ළමයා දැක්කා මට හිනා ගිය විත්තිය..ටිකක් විතර මූණ අමුතු කරගෙන වාඩි වෙන්න කියලා මට ඉස්සරහා පුටුව පෙන්නුවත් මට වාඩි වෙන්න හිතුනේ නැහැ..
මං මෙහෙම කිව්වා..

"මට ඕන මේක M.B.B.S. ඩොක්ටර් කෙනෙක් ලවා සහතික කරගන්ට.."(මං කියන්ට ගියේ නැහැ ඉතිං මාත් එම් බී බී ඇස් කියලා..මොකෝ මගේ සීල් එක ‍ඕකට හර යන්නේ නැහැනේ..)

"ඉතිං..????"

"ඉතිං ඔයා එහෙම එක්කෙනෙක්ද.?"
කෙල්ල ටිකක් අමුතුවට තොල් උල් කරලා එහෙම..

"ඔව්..ඇයි එහෙම ඇහැව්වේ..?"

"නැහැ නැහැ..නිකං..ඔයා හරි චූටියි නෙව..හිතන්ට අමාරුයිනේ..තාම නිකං ඉස්කෝලේ යවන්ට ඇහැකි පෙනුමක්නේ තියෙන්නේ"
හපොයි බලන්ට එපැයි කෙලීගේ හිනාව...මෙච්චර වෙලා අර අමාරුවෙන් හදාගෙන හිටිය බැරෑරුම් මූණත් තහඩුව පැත්තකින් තියලා දාගත්තා නිකං මනීෂා කොයිරාලගේ වගේ හරි සුවීට් මූණත් තහඩුවක්..

"කෝ දෙනවා දෙනවා මෙහාට ඕක..හැබැයි මමනං ඕවා මෙච්චර කාලෙකට පුරවලත් නැහැනං තමයි"

"ආ ඒකට කමක්නැහැ..ඔන්න ඔකේ තියෙන දෙයක් බලලා පුරවලා මොකක් හරි කමක් නැහැ MBBS කියලා අකුරු හතර තියෙන සීල් එකක් ගහලා දෙන්ටකෝ ඒ මදෑ.."

ඉතිං මේ ළමයත් අර ෆෝම් කොලේ අරං දැන් පුරවනවා..මාත් ඒකටම එබීගෙන වැඩේට උදව් කරනවා...

"ඔයාට මුකුත් ලෙඩ එහෙම තියෙනවද..?"
එයා මගේ ඇස් දිහා බලාගෙන අහනවා..

"මොන පිස්සුද අනේ..මේ ඉන්නේ මොකාද එකා වගේ..ආයේ ඉතිං මේ දොස්තර කෙනෙක් බලන්ට ආවෙත් සෑහෙන කාලෙකට පස්සේ.."
මාත් ඒ ඇස් දිහා බලාගෙනම කියලා දානවා...

කොහොමින් කොහොම හරි අපි වල් පල් දොඩෝන ගමන් මේකිත් මොන මොනවද පිරෙව්වා..මාත් ඔය ජෝක් කර කර හිටියා...අන්තිමට අර සීල් එකත් අරං ෆෝම් එක උඩ ගහලා අත්සනුත් කලා..මාත් ඉතිං තව මොනවාද මංදා ටිකක් දොඩවලා කවුන්ටරේට රුපියල් සීයකුත් දීලා එන්ට ආවා...
ඔච්චරයි...

ඔන්න වෙලා තියෙන වැඩේ...අච්චර මගේ ඇස් දිහා බලන් හිටිය කෙලීට මගේ ඇස්වල පෙනීම සඳහන් කරන්ට අමතක වෙලා..ඕකට ඉතිං ඒ ඇත්තිට ආඬපාලි කියන්ට ඇහැකියෑ..

මං ඉතිං අර ඇස්සැමිනර් මහතැන්ට කිව්වා..

"කොරන්ට දෙයක් නැහැ..අළුත් ළමයෙක් ඕක පිරෙව්වේ...ඒ ළමයා දන්නෙත් නැහැ..මාත් ඔය එන එන හැටියය කියලාමයි පුරවා ගත්තේ...ඕක මටම තමා මිස් වෙලා තියෙන්නේ"
කියලා..පොරත් හිනා වෙලා නිකා හිටියා..

ඊට පස්සේ මං ආයෙමත් වංගියක් අළුත් ෆෝම් කොලේකුත් ඉල්ලගෙන අර අංකල්ගේ උපදෙස් මත සමූපාකාර රෝහලට ගියා මේ වංගියේවත් හරියට වැඩේ කොරං එන්ට කියලා හිතාගෙන...

හප්පා එතන පෝලිම..ඒත් ඉතිං කොහොම හරි එතන හිටිය බටු ඇටයක් විතර නර්ස් නොනා කෙනෙක්ව චැනල් කරලා මං ගියා දොස්තර ගාවට..හොඳ දොස්තර නෝනා මහත්තයා..කැටයං මඬුවක් එහෙම පිටින්ම..වෛද්‍ය උපාධියට අමතරව රෑපලාවන්‍ය ඩිප්ලෝමාවකුත් කරලාද කොහේද..ඒ තරමට මේකප් පාර..ලස්සන කඩා හැලෙනවා...ඒ අතරට තව ගෝතයෙක් ඇවිත් හිටියා ඒ වැඩේම කරගන්ට කියලා..ඒත් මෑන්ස් බ්ලඩ් ගෲප් එකවත් දන්නේ නැහැ...

ඉතිං අර දොස්තර නෝනා ඇහැව්වා එකත් ඕන නේද කියලා..මෑන්ස් දන්නැහැ එහෙම වගක්..ඒ පාර මං කිව්වා ඒකත් අනිවා අමුනලා යවන්ට ඕන කියලා..නැත්තං අර මෑන්ස් දොස්තර නෝනාට උගන්වන්ටයි ලෑස්ති උනේ..මම දන්නවානේ වැඩ පිළිවෙල..මොකද මං දැන් ලැයිසොම ගත්ත එකානේ...
ඉතිං මගේ පිහිටිං අර මෑන්ස්ට කාරනේ අවබෝධ කරවලා දුන්න දොස්තර නෝනා මෑන්ස්ව යැව්වා බ්ලඩ් එකක් චෙක් කොරවන්ට..එහෙම කරලා තමයි මගේ වැඩේ කරලා දුන්නේ..
අපරාදේ කියන්ට බැහැ ගත්තා කොලේ..සිස් සිස් ගාලා පුරෝලා දැම්මා...සීල් එකත් ගහලා මගේ අතට දුන්නා..අර නර්ස් නගාටත් ඇහෙන්ම යන්නාං..කියාගෙන මාත් ආවා..

කොහොම හරි ඒ වැඩෙත් කරලා දාලා ගෙදර ආවා...

ඊට පස්සේ තමා මට සිහි උනේ කොහොම හරි මට නීති වැඩයි ඉස්පිරිතාලේ බඩගෑමයි දෙකම එක පාරින්ම කරන්ට උනා නෙවද කියලා...දැන් ඉතිං හිතට ඒකත් ටිකක් විතර සතුටක් දනවන කාරණාවක් නෙව..

ඉතිං ඊට පස්සේ මම ඊයේ නෙට් එකට එන්නේ නැතිව පොඩි සාත්තුවක් දුන්නා ලැප් මල්ලිට...ඔය හාඩ් එක ටිකක් සුද්ද පවිත්‍ර කරලා..පයිල් ටික පිළිවෙලකට අඩුක් කොරලා.. එහෙම ඒ ටික කරලා ඉවර කොරන කොට හුගාක් හවස් වෙලා...

ඒත් ඊට පස්සෙවත් හරි හමන් විදියකට නෙට් එකේ රැ‍ෙඳෙන්න උනේ නැහැ..ගෙදරින් කෝල් එකක් ඇවිත් එහෙ යන්ට උනා...

ඊටත් පස්සේ කොහොම හරි ඔක්කෝම වැඩ අහවර කොරලා නෙට් එකට නිවී හැනහිල්ලේ ඔළුව එබුවේ රෑ නවය හමාරත් පහු වෙලා..ඒත් ඉතිං මෙන්න ඒ පාර මට නිදි මතයි...

ඒත් දෙයියනේ එහෙමයි කියලා මට ඇහැකිද නිදා ගන්ට එහෙං බ්ලොග් ටික බලන්ට බැරි උනා..මම ඔවා ටික නොබැළුවොත් ලොකේ විනාස වෙන්ටත් ඇහැකි..ඒ හින්දා ඒවා බලන්ටත් ඕන..

ඒ මදිවට මම මේ දවස්වල අළුතෙන්ම අත ගහාලා තියෙන විචාර කලාව..ඒ කිව්වේ මේ අපේ හුගාක් එවුං මේ දවස්වල කැමරා අටෝගෙන දිගට හරහාට පොටෝ ගහලා ඒවා මුණූ පොතේ බිත්තිවල අලොනවා..අලවන්ට කට්ටිය බොහෝම හිටියට ඔවා බලලා හර බර විචාරයක් දෙන්ට කට්ටිය හරි අඩුයි නෙව...ඉතිං මං ඇවිල්ලා කවදත් සමාජ සේවෙට පණ ඇරලා වැඩ කොරන බුවා වෙච්චි..මට ඇහැකිද ඇහැ කන පියාගෙන නිදා ගන්ට...

ඉතිං මම මේ දවස්වල ඒ ආධුනික ඡා‍යාරූප ශිල්පීන්ට හරවත් බර බර වචන වලින් හොඳ විචාරයන් ලබා දෙනවා..
කොටින්ම කිව්වොත් මගේ විචාරයක් නැත්තං ඒක පොටෝ එකක් නෙවී ඕං...

ඉතිං ඒ වැඩත් කොරන්ට ඕන..ඔය අතරේම ඉතිං බස් පදින්ටත් ඕන..

මගේ ලිපි වලට ආව කොමෙන්ටුවලට උත්තර බඳින්ටත් ඕන..ඒ විතරක්යෑ..පුංචි පුංචි මල් පැල..පෝච්චිවල හිටොපු ක්‍රෝටන් ගස් වගේ ඒවා නඩත්තු කොරන්ට..වතුර ටිකක්..පෝර ටිකක් දාන්ට..හප්පේ..තනි මටනං කියලා මෙහෙමත් රාජකාරි කොලහැකිද..ඒ හින්දා ඉතිං මං කොහොමද නිදා ගන්නේ...

ඒත්..ඊයේ රෑනං ඉවසන්ට බැරි තරමටම නිදි මතයි...

අන්තිමට මම ගත්තා තීරණයක්..ඒක ක්‍රියාත්මක කලා...

මොකක්ද ඒ..
ලැප් එක ගත්තා ඇඳ උඩට...
හැරෙවුවා පැත්තකට තිබ්බා සයිඩ් එකෙන්..දැන් හරි ඒක ආරක්ෂිතයි සුරක්ෂිතයි..පැත්තට හැරිලා නිදා ගත්තාම මට හොඳට පේනවා..හිමි හිමිට තනි අතින් වගේ අකුරුත් කෙටුව හැකි ටිකක්...

ඊ ළග අදියර වහ ගත්තා වම් ඇහැ..එයාට නිදා ගන්ට කිව්වා...
දැන් මං දකුණු ඇහෙන් බලනවා බ්ලොග් ටික...

ටික වෙලාවක් යන කොට මෙන්න දකුණු ඇහැටත් නිදි මතයිළු..ඒ පාර මං වම් ඇහැ ඇහැරෙව්වා..දකුණු ඇහි නිදි කෙරෙව්වා...
දැන් ඔය යස අගේට වම් ඇහැ බලන්නේ බ්ලොග්...

ඔන්න ඔහොම සෑහෙන වෙලාවක් වැඩේ කරගෙන ගියා...

අන්තිමට මොනවා උනාද කියලනං මම දන්නේ නැහැ..ඒත් මට මතකයි පාන්දර තුනට විතර මට ඇස් දෙකම ආපහු ඇරලා බලන්න උනා..ඒ කියන්නේ එකෙක මගෙන් අහන්නේ නැතිවම නිදා ගෙන..මම තාම හොයනවා..කොයි එකාද හරියට අනිත් ඇහැට ඩියුටිය බාර දෙන්නේ නැතිව හොරෙන්ම නිදා ගත්ත එකා කියලා...

ඔන්න ඔහොමයි මට තාමත් නිදිමත තියෙන්න හේතුවක් හැදුනේ..
ඇයි ඉතිං මගේ ඇස් දෙකම සැරෙන් සැරෙට ඇහැරිලා ඉඳලා..ඒ දෙන්නටම හරි හමන් නින්දක් නැහැනේ...

හ්ම්ම්..දැන් ඔය ඇති ලිව්වා...බලමු ලිපිය මුල ඉඳලා කියවලා..යන ගමනත් ගෙහුං මල්ලේ පොළුත් දමාගෙනම ගමන ඇවිත්ද කියලා...

14 March 2011

මාර සරණියේ තවත් පියවරක්...බිත්තර ඔම්ලට්...




මේකත් අර පහුගිය දොහේ සෝයා මීට් වෑංජනේ දැම්ම ගොඩටම දාන්ට වෙන එකක්.
ඒ කිව්වේ ඉතිං උයන පිහන ගොඩටම තමා...

පෝස්ට් එකක් හැටියට නොදැම්මත් මේ පොටෝ කෑල්ලත් මූනු පොතේ දැම්මට පස්සේ ආව ඉල්ලීම් ටිකක් හින්දා තමයි මෙහෙම දාන්ට හිතුනේ..

හැබැයි මේකට කියලා අමුතුවෙන් පෝස්ට් එකක් ලියන්ට මම මහන්සි වෙන්නේ නැහැ..මොකද අද දවල් මම මේ හදන විදිය අපේ තවත් බ්ලොග් සාමාජිකයෙකුට ලියලා තැපැල් කලා..මිනිහත් හැරෙන තැපෑලෙන් මේක ටිකක් වෙන්ස විදියකට හදලා මට ගුණාගුන දැන්නුවා..

පව් අහිංසකයා..මේ දවස්වල අම්මා ගෙදර නැහැ..දැන් මේ කොළු පැටියා හරි හමන් කෑමක් බීමක් නැතිව ඉන්න දවස් ටිකක්..මේ දවස් දෙකට ඒ කොළුවගේ සරීර කූඩුවත් නිකං ඉඩෝරෙට අහු වෙච්ච ඉපනැල්ල ගානයි..ඒ තරමටම කැහැටු ගැහිලා ගෙහුන්..ඉතිං මට ඉවසන්ට ඇහැකියෑ ඔහොම දුකක් කවුරු හරි විඳිනකොට..ඉතිං මම මහන්සි නොබලා සම්පූර්ණ විස්තරේ ඇරියා උන්දැට..මොනවා උනත් පිං අතේ වැඩ නෙව..දැන් ඉතිං අපේ ඒ තරුණ මහත්මා හදාපු එකෙත් පින්තූරයක් මුණු පොතේ පල වෙලා ඒකටත් හරි හරි ප්‍රතිචාර දැක්වෙමින් පවතිනවා...

ඉතිං අද මම මේ හදන හැටි දාන්නේ වෙන මොකවත් එහෙම නෙවෙයි බිත්තර ඔම්ලට් එකක්...

මේකට ඒ හැටි වද වෙන්ට කාරියක් නැහැ. බිත්ත‍ර ටික හොඳට බීට් කරලා අවශ්‍ය කලමනා එකතු කරලා තව ටිකක් බීට් කරලා හොඳට පෙපැත්ත බැද ගන්ටයි තියෙන්නේ..ඒත් මේ හදපු ක්‍රමයේ වෙනසක් තියෙනවා..සහ එළවළු ටිකක් එකතු වෙලා තියෙනවා..හා හා වැඩි පුර විස්තර ඕන නැහැ..මේ තියෙන්නේ මම අද දවාලේ අර අපේ යාළුවට ඇරිය ඊමේල්ලුව..ආයෙමත් සැරයක් වෙනමම ලියන්ට ඕන නැහැ..ඒකම කොපි කරලා මෙතන අතඅරිනවා..සිම්පල් ප්ලෑන් එකක්.එහෙම හොඳයිනේ..

ඔය ඉතිං මගේ ආමණ්ත්‍රනය එහෙම වැඩිය ගණන් ගන්ට එපා..යාළු මිත්තර කොමට කතා කොරන හැටි නෙව...
හා බලමු වැඩේ කොහොමද කියලා..
ආ තව එකක් කියන්ට ඕන මගේ අර කලින් දාපු සෝයා මාළුවනං මේ වෙනකොටත් දෙන්නෙක්ම අති සාර්ථක විදියට හදලා රසත් බලලා මට උත්තරත් බැන්දා..ඒ විතරක්යෑ එක් කෙනෙක් හරි අපූරුවට ඒක පොටොත් ගහලා එවලා තිබ්බා..
ඇත්තටම ඉතිං මටත් ඒවා දැක්කාම හරි සංතෝසයි...
ඉතිං තමුන්නැහේලාත් මේක හදලා බලලා ගුණ දොස් කියන්ටකෝ...

මේන් කොරමේ...
.............................................
වැඩේ ලේසියි මල්ලි..
බිත්තර දෙකයි..වැඩියම බීට් කරන්න එපා.ඒකට ලුණු කුඩු තේ හැන්දෙන් කාලක් දාපං කොත ගහලා නෙවෙයි හරිද?
ගම්මිරිස් කුඩුත් එයිට වඩා ඩිංගක් දාපං.
ඒ දෙකත් එක්ක බිත්තර දෙක යන්තමට ගහලා පැත්තක තියපං..

ඊ ලගට අමුමිරිස් ටිකක් ලොකු කරලක්..
රතු ලූනු ගෙඩි දෙකක්
සුදු ලූනු ගෙඩියක්
පුංචි කැරට් අලයක්
ගෝවා කොලයක්
ලීක්ස් කොලයක්
බෝංචි කරල් දෙකක්
කරපිංචා කොල පහක් (ඉති නෙවේ කොල හරිද)

ඔන්න ඔය ටික හීනියට කපාගනින්...

සොස්පෑන් එකක් ලිපේ තියලා රත් වෙන කොට තෙල් ටිකක් දාලා සෝස් පෑන් එක ටිකක් කරකවපං තෙල් ටික විසිරෙන්න..තෙල් වැඩිය එපා සෝස් පෑන් එක් පුරා ලාවට තෙමෙන ගානට ඇති..
තෙල් ටික රත් වෙද්දී අර එළවළු ටික ඒකට දාලා දෙපැත්ත පෙරලලා කෑලිමිරිස් තේ හැන්දයි ලුණුකුඩු තේ හැදි කාලයි පහේ කුඩු තේ හැදි කාලයි ඕනනං විතරක් කහ කුඩුත් ඇබින්දක් විතර දාලා තෙම්පරාදු කරහං.
ටිකක් පියනකින් වහලා තිබ්බනං එළවළු ටික තැම්බෙනවා නියමෙට..
එළවළු ටික කරවෙන්න පටන් ගන්නකොට හැන්දකින් එළුවළු ටික තුනී කරහං සෝස් පෑන් එක පුරාවට ගානට හිටින්න.
අර බිත්තර දෙක වක්කරපං ලස්සනට රවුමට ගලාගෙන යන්න.ඉක්මනට ආයෙමත් පියනකින් වහපං.
හොඳට බිත්තරේ තැම්බෙනකල් සම්පූර්ණ අරින්න එපා..යංතං පැත්තකින් උස්සලා බලහං තැම්බිලාද කියලා..සම්පූර්ණ බිත්තර සාරුව තැම්බිලා වගේනං පියන ඇරලා පැතලි හැදි දෙකක් අරගෙන පරිස්සමට අනිත් පැත්ත පෙරලපං..පෙරලන්න කලින් මුළු ඔම්ලට් එකම යටින් ගානට බුරුල් කරගෙන හිටිං..
අනිත් පැත්ත පෙරලලා චුට්ට වෙලාවක් තියලා බාහං..එච්චරයි..

එකපාරින් අනිත් පැත්ත පෙරලන්න බයයි වගේනං සෝස් පෑන් එක ඇල කරලා ඔක පීරිසියකට බාලා..ආයෙමත් යංතං තෙල් ටිකක් සෝස් පෑන් එකට දාලා අර පීරිසිය පිටින් අරගෙන එක පාරින් දාපං සෝස් පෑන් එකට..

මං හිතන්නේ පැහැදිලියි කියලා කිව්ව විදිය...අවුලක් උනොත් කියහං

...........................................
හරිනේ අනිත් කට්ටියටත් පැහැදිලි ඇති නේද..?

13 March 2011

බසයක කථාවක් ඔබ හමුවට...එක් ඇත්ත කතාවක්...

මේ ලියන කතාව ඇත්තටම මම බ්ලොග් එකේ පල කරන්න හිතුව එකක් නෙවේ...මේ 2011-03-13 වන දින රාත්‍රී කාලයේදී ගූගල් බස් නම් වූ අපූරු සංවාද මාවතේ සිදු වූ කතා බහක් පමණි...
නමුත් කතාව අවසානයේ සිදු වූ ඉල්ලීමක් මත මෙය මෙසේ පල කරන්නට සිදු විය...එයට මූලිකම බලපෑම එල්ල කල තැනැත්තා කවුදැයි යන්න මෙය අවසානයේදී කියවන ඔබටම තේරුම් ගත හැකිවනු ඇත.
අහක ගලාගෙන යාමට නියමිතව තිබූ තමත් එක් අතීත සැමරුමක් මේ ආකාරයෙන් පල කිරීම සඳහා දිරිදුන් ඔවුනට මගේ ප්‍රණාමය...
මෙම සංවාදය තුලදී කතාවේ ගලා යාමට අවශ්‍යම මාගේ නොවන කමෙන්ටු කිහිපය ඉතිරි කොට හැකි තාක් දුරට කතාවට අඳාළ නැති කමෙන්ටු ඉවත් කරන ලදි...
මේ සඳහා සංවාදයට එකතු වූ සියළුම දෙනා හට මෙහි වරදක් ඇතොත් පෙන්වා දෙන මෙන් කාරුණිකව මතක් කර සිටිමි.


මෙම කථාව ආරම්භ වූයේ අප සිව් දෙනෙකු පමණක් බසය තුල එනම් සංවාදය තුල රැඳී සිටි අවස්ථාවකදී මා විසින් මේ හතර දෙනාගේ කතා අගුණ බැව් පවසා එයට හේතු වූ මාගේ අතීතය කතාව ඉදිරිපත් කිරීම තුළින් බව කියවන ඔබගේ පහසුව තකා ප්‍රකාශ කර සිටිමි.

බලන්න අගක් මුලක් තේරෙනවද කියලා...

A- ආ,,,ඔන්න මාරයියේ වෙලාව අපි 4 දෙනා විතරයි ඉන්නේ7:53 pm
මාරයා ... - ආපෝ මගේ මතකය ඇදී යනවා එක්දහස් නවසිය බර ගනන් වලට7:53 pm
මාරයා ... - ඒ කතාවත් කියන්ටද?7:54 pm
B - හොඳයි හොඳයි...7:54 pm
C - අනේ ඔන්න ඇදිලා යනව නම් පරෙස්සමෙන් අයියේ7:54 pm
B - ඔව් ඔව් කියන්න7:54 pm
මාරයා ... - එතකොට මං ඕ ලෙවල් ලියලා ගෙදර ඉන්න කාලේ7:54 pm
A- ඉතින් ඉතින්7:55 pm
මාරයා ... - ගම් පලාතේ එක මල ගෙයක් අත අරින්නේ නැහැ7:55 pm
මාරයා ... - එක පාරක් මම දවස් විසිගානක් මල ගෙවල්වල හිටියා එක දිගට7:55 pm
B - හික් හික්... පුදුමයක් නොවෙ නේ7:55 pm
C :-o :-o :-o eka digata7:55 pm
B - හපොයි...7:56 pm
මාරයා ... - උදේ හතට විතර ඇවිත් පැය දෙකක් විතර නිදාගෙන ආයෙමත් ලෑස්ති වෙලා 10 ට විතර යනවා7:56 pm
B- එච්චර මිනිස්සු මැරුනේ ඇයි? වසන්ගතයක් වත්ද?7:56 pm
මාරයා ... - සමහර දවස්වලට ඉතිං මල ගෙදරටම වෙලා බිත්ති කණ්ඩියක් උඩ හරි පුටු දෙකක් උඩ හරි නිදා ගන්නවා7:57 pm
මාරයා ... - ඇයි B අපේ ගම්වල කියමනක් තියෙනවා අහලා නැද්ද අර මරණ හතේ කතාව7:57 pm
B- ඒ ගේවල් වල මිනිස්සුත් භය වෙන්න ඇති...7:57 pm
A - මළ ගෙවල් පාලුවෙක් විදිහට වැඩ කරන කාලේ නේ මේ කියන්නේ7:57 pm
මාරයා ... - හරි හමන් එකෙක් මලාම එක දිගට ගම වටෙන් හතක් යනවා..බඩුම තමා7:58 pm
B- ඔව් ඔව්.. අහලා තියෙනවා... හප්පා...7:58 pm
A- මමත් විශ්වාස කරනවා ඒ මරණ් හතේ කතාව7:58 pm
මාරයා ... - අන්න හරි මල ගෙවල් පාළුවා කාලේ7:58 pm
මාරයා ... - අන්තිමට මට නමකුත් වැටුනා සංවිධායක කියලා7:59 pm
මාරයා ... - මොකද ඉතිං එක් දෙක වෙලා..තුන්වෙනි මල ගෙදර විතර වෙනකොට ඒවායේ කෙරෙන්ට ඕන හැම වැඩක්ම මම දන්නවා..ඉතිං මම බැහැලා වැඩ7:59 pm
B - මරන සංවිධයකද?8:00 pm
මාරයා ... - මල ගෙවල් සංවිධායක8:00 pm
මාරයා ... - ඉතිං ඔය අතරේ එකපාරට හිඩසක් ආවා.8:00 pm
මාරයා ... - ඒ කිව්වේ මල ගෙදරක හත් දවසම ගහලා ඉවර උනාම ආයේ යන්ට මල ගෙයක් නැහැ..එකෙක්වත් මැරෙන පාටක් නැහැ8:01 pm
මාරයා ... - දැන් මේ අටවෙනි දවස...අද රෑ ඉතිං යන්න අතක් නැතිව මම දහ අතේ කල්පනා කරනවා8:02 pm
මාරයා ... - මාර ප්‍රශ්නේ..කොහොම හරි ඔහොම හවස් උන ගමන් මට චාන්ස් එකක් ආවා8:02 pm
B- මැරුනද මිනිහෙක්?8:03 pm
මාරයා ... - අපේ ටිකක් නෑදෑ වෙන අයියා කෙනෙක් මාව හොයං ආවා..
උංගේ අම්මා පණ අදිනවා ගෙදර කවුරුවත් නැහැ රෑට ටිතත් නිදි මරන්ට වරෙං කියලා
8:03 pm
B - අප්පා...8:03 pm
A- වීසා ඉල්ලලා ඉන්න ගමන් ඒ කියන්නේ8:04 pm
මාරයා ... - මාත් ඉතිං ඔන්න ඔහේ ගියා..ඒ උනාට මල ගෙයක් නෙවෙයිනේ..හිතට කිසිම ෆිට් එකක් නැහැ8:04 pm
මාරයා ... - අන්න හරි, වීසා දෙන්න වගේ ආවාට දෙන්නේ නැහැ..එම්බසියේ අවුලක්8:04 pm
මාරයා ... - ඒ අම්මට හොඳටම අමාරුයි..
පණ යන්න ඔන්න මෙන්න...ඒත් යන්නේ නැහැ..පැය කාලකට විතර සැරයක් හිටි හැටියේ ආහ් කියලා එක පාරක් හුස්ම අල්ලනවා
8:05 pm
මාරයා ... - නැත්තං ඉතිං මැරිලම තමා..8:05 pm
B- අනේ පව්...
8:05 pm
A- වීසා රිජෙක්ට් කරනවා,කොල අඩුවක් නේ8:05 pm
මාරයා ... - කොහොම හරි දැන් මේ මනුස්සයට අර හුස්ම අල්ලන වාරයක් ගානේ හැන්දකින් දෙළුම් ඉස්ම ටිකක් තොලේ ගාන්න ඕන8:06 pm
මාරයා ... - දැන් දවල්ටනං මේ අම්මගේ අනිත් දරුවෝ හැත්ත බුරුත්තම ඉන්නවා ඔය ඩියුටිය කරන්ට..ඒත් රෑට නැහැ8:07 pm
මාරයා ... - රෑට ඕක කරන්නේ ඒ අම්මගේ මිණිබිරියෝ දෙන්නෙක් තමා.8:07 pm
මාරයා ... - ඉතිං දැන් මගේ ඩියුටිය තමා උන් දෙන්නට තනි රකින එක8:07 pm
මාරයා ... - හොඳයි නේද..එක කෙල්ලෙක් මගේ වයසේ..අනිත් එකී ඒ කාලේ 8 වසරේ...8:08 pm
B- නරකම නෑ එහෙනම්8:08 pm
A - ළාමක ටිං ටිං8:08 pm
මාරයා ... - අනේද කියන්නේ..8:08 pm
මාරයා ... - මටත් 16යිනේ8:09 pm
මාරයා ... - කොහොම හරි ඔය වැඩෙට තවත් බුවෙක් හේත්තු උනා අර අයියාගේ ඉල්ලීමකට..8:09 pm
මාරයා ... - හා දැන් ඉතිං අපි හතර දෙනයි..8:10 pm
ඉ - මලා.... මාරයට කෙල වුනාද?8:10 pm
මාරයා ... - ඒකා එක අතකින් හතුරෙක්..ඒකා මාත් එක්ක පොඩි කාලේ ඉඳලාම මොනවා හරි එහෙකට තරහයි8:10 pm
මාරයා ... - අපි කවදාවත් අද වෙනකල් කතා කරලා නැහැ.8:10 pm
මාරයා ... - මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල්8:11 pm
මාරයා ... - ඒත් බලන්න පින්වතුනි8:11 pm
මාරයා ... - මේ වගේ තැන්වලදී කොල්ලෝ වෙන අපි මොන තරං සංයමයකින් වැඩ කරනවද කියලා8:11 pm
මාරයා ... - අපි දෙන්නා කිසිම අවුලක් නැතිව වචනයක්වත් කතාත් නොකර කෙල්ලෝ දෙන්නා බෙදා ගත්තා ලතාවකට8:12 pm
මාරයා ... - ඌට ලොකු එකී..
මට පොඩි එකී
8:12 pm
A- අන්න කොල්ලෝ8:12 pm
මාරයා ... - අර මැරෙන්න යන අම්මාට පිරිමි දරුවෝ දෙන්නයි8:13 pm
මාරයා ... - ගෑනු දරුවෝ 4යි8:13 pm
මාරයා ... - වැඩිමල්මත් කොල්ලෙක් බාලයත් කොල්ලෙක්8:13 pm
මාරයා ... - බාලම පුතා තමා මගේ යාළුවා..ඒ උනාට ඒකා මට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල්8:14 pm
මාරයා ... - දැන් අර ලොකුම පුතාගේ එක දුවෙක් තමා මෙතන ඉන්න ලොකු කෙල්ල..ඒ කිව්වේ මගේ වයසේ කෙල්ල8:15 pm
මාරයා ... - අර හිච්චි එකී අර අම්මාගේ තුන්වෙනි ගෑනු ළමයගේ දෙවෙනි දූ..8:16 pm
මාරයා ... - දැන් නෑදෑ කම් පැහැදිලියි නේද..?8:16 pm
මාරයා ... - ඔය හිච්චි කෙල්ලගේ අක්කා තමයි මං මේ තාක් කාලෙකට මේ මුළු තුන් ලොකෙම දැකපු ලස්සනම කෙල්ලEdit8:17 pm
B - අනේ... හවු සුවීට්...8:17 pm
මාරයා ... - කරුමෙට ඒකි මට වඩා අවුරුද්දක් වැඩිමල් උනා8:17 pm
A- තවත් කොස්සක්8:18 pm
B- වයස අවුලක් නෑ නේ8:18 pm
මාරයා ... - අයිස්වර්යාව මම අදටත් ගණන් ගන්නේ නැහැ බං..ඒකි ඉස්සරහා අයිස්වර්යා ඇවිල්ලා මට වැඳිරියෙක්8:18 pm
B- ඒ වුනාට මම ලස්සනයි නෙ ඊට වඩ මාරයියේ?8:19 pm
මාරයා ... - වැඩක් නැහැ බං ඒදවස්වල මම පුංචි එකා..අර අක්කාව බඳින්න කොල්ලෙක් ආවා ගියා..ඒත් ඒකි දන්නවා මම ඒකිට හුගාක් මනාපයි කියලා..ඒකිත් මොනවා උනත් මටත් ආදරෙයි8:19 pm
මාරයා ... - මගේ බුදු ෆිට් එක ඒ අක්කා..
ඇත්තටම ඒකිත් හෙන අප්සෙට් මං ගැන..ඒ තරමටම ඒකිට මාව දකින කොට අප්සෙට් යනවා
8:20 pm
A- අපරාදේ වයස් හුට්ටප්පරේ8:21 pm
මාරයා ... - හරි ඉතිං කතාව අහපල්ලාකෝ..නිකං කම්මැලියි වගේ නැහැ නේද?8:21 pm
A - නෑ නෑ8:21 pm
B - අපේ නෑ8:21 pm
මාරයා ... - හරි...ඉතිං දැන් වැඩේ නැගලා යනවා අපි හතර දෙනා අර අම්මටත් සාත්තු කරන ගමන් එළි වෙනකල් කැරම් ගහනවා8:22 p
මාරයා ... - මං දැන් මේ කතාව කියන්න පටන් ගත්තේ උඹලා 4 දෙනෙක්ගේ කතාව ඇදලා ගත්ත හින්දනේ8:22 pm
මාරයා ... - ඔන්න මගේ ජීවිතේට මුලින්ම කණ කොකා හැඩළුවේ ඔය හතර දෙනෙක් එකතු වෙලා මගුල් නටාපු හන්දා තමා8:23 pm
මාරයා ... - දැන් කොහොම හරි අර කොල්ලයි මායි නිහඩවම සම්මුතියකට ඇවිල්ලා දෙන්නා දෙන්නාට පෙරනවා එකසිය ගානට8:24 pm
මාරයා ... - ඒත් ඉතිං ගව් ගනන් වටෙන් තමයි කතාව යන්නේ8:25 pm
මාරයා ... - මාත් පොඩි එකානේ බං..කකුල් දෙක ගැහෙනවා එකසිය ගානට8:25 pm
මාරයා ... - ඒත් ඉතිං කෙල්ලෝ දෙන්නත් ලතාවකට වැඩේට එන්ටර්8:26 pm
මාරයා ... - කොහොම හරි අර අම්මා දවස් අටක් විතර පණ ඇදලා යාන්තං වීසා එක ගහගත්තා8:26 pm
මාරයා ... - ඒත් අපි ජෝඩු දෙකම තාම දණ ගානවා...8:27 pm
මාරයා ... - ඒත් ඉතිං මළ ගේ උනාට පස්සේ හැට හුට හමාරක් පිරුනනේ මල ගෙදරට..
ඊට පස්සේ රෑට රෑට අපේ කතාව අනිත් උන්ට ලීක් උනා
8:27 pm
මාරයා ... - ආදරයක් ප්‍රකාශයට පත් කරගන්න තේරෙන්නේ නැහැ..ඒත් දෙන්නා දෙන්නා පැල් බැඳගෙන කතාව8:28 p
A- උබලගෙම කටවල් වලින් තමා ලීක් වෙන්නේ එහෙනම්8:28 pm
මාරයා ... - නැහැ බං අපේ ඇස් කතා කරනවානේ...ඒකෙන් වැඩේ මාට්ටු8:29 pm
මාරයා ... - කොහොම හරි අන්තිමට ලොකු ලොකු අය අතරට මේක ගියාම වැඩේ බකල්..8:29 pm
මාරයා ... - ඒත් අනිත් කොල්ල වෙනුවෙන් මටම අර ලොකු කෙල්ලගෙන් වැඩේ අහන්න උනා..මං ඒකත් අහලා උන් දෙන්නව සෙට් කලා..8:30 pm
මාරයා ... - අන්තිමට මගේ එක අහන්න විදියක් නැහැ..එහෙං කෙල්ල බලන් ඉන්නවා මං දැන් අහයි දැන් අහයි කියලා..ඔය අත‍රේ මහ කස්ට්ය මේක දැනගෙන කෙල්ලට දීලා අනතුරු ඇගවීමක්..8:31 pm
මාරයා ... - කෙල්ල එතකොට ඉස්කෝලේ ගියේ ඔය xxxx පැත්තේ ඉස්කෝලෙකට..මම දවසක් කට්ට කාගෙන ඉස්කෝලේ ගාවටම ගෙහුං ඇහුවා ඕන මගුලක් කියලා..
ම්හූ ..මෙන්න මේකි හිනා වෙනවා විතරයි..මෙලෝ උත්තරයක් නැහැ..
8:33 pm
මාරයා ... - කොහොම අනත් අන්තිමට මගේ වැඩේ හරි ගියේ නැහැ..මං හිතන්නේ කෙල්ල මට අන්තිමට දීපු ලියුම තාම මං ගාව එය කොහේ හරි ඇති8:33 pm (
මාරයා ... - දුක් සීන් එක8:34 pm
A - ලියුම් යන්න තරම් දුර දිග ගිහින් නේ8:34 pm
මාරයා ... - උඹ දන්නවද අපේ ආදරේට බධාව උනේ මොකක්ද කියලා8:34 pm
A - හතුරා8:35 pm
මාරයා ... - ඔන්න අහගන්න ..මාරයා අයියාට මුලින්ම කෙල උන හේතුව..8:35 pm
මාරයා ... - නැහැ යකෝ ඒකියි මමයි එකම උස8:35 pm
B - හික් හි...8:35 pm
මාරයා ... - අනිවා තව ටික දවසක් යනකොට ඒකි මට වඩා උස යනවා..ඒ තරමට දඩු කෙල්ල8:35 pm
මාරයා ... - හැබයි පුතේ අන්න ඇස් දෙක..තාම මාව සීතල වෙලා යනවා ඒක මතක් වෙනකොට8:36 pm
මාරයා ... - ඉතිං මට කොන්දේසි විරහිතව අකුලගන්න උනා8:37 pm
Hipo ,, - හික් හික්... heels දාන්න...8:37 pm
මාරයා ... - දැන් වගේනං මං දනී ඕක ගොඩදාගන්න විදිය..ඒ දවස්වල ඉතිං මට පළ පුරුද්දක් නැහැනේ ඔය කෙල්ලෝ සම්බන්ධව8:37 pm
මාරයා ... - දැන්නං ඉතිං ඕක මහ වැඩක් නෙවේ..මවලා පෙන්නන්න බැරියෑ වදන් වලින්8:39 pm
Anushka (Bunny) - මොකක්ද මොකක්ද මාරයියේ ? වලියක්ද මරණයක්ද ? උබට කොක්කක්ද ? මට කියාපං.. ඇඩෝව්..!!8:39 pm
wap Nishantha - ඇ මරණයක් මරණයක් කෝ කෝ8:39 pm
මාරයා ... - කොහොම උනත් ඒ වැඩේ ගස්..ඔන්න ඕකයි මම අකමැති හතර දෙනාගේ කේස්වලට..හතර අගුණයි මට8:39 pm
මාරයා ... - ඔකේ පසු කතාවකුත් තියේ..ඒකත් කියන්ටද?8:40 pm
A- කියමු8:40 pm
B - කියන්න කියන්න8:40 pm
මාරයා ... - අන්තිමට කාලෙකට පස්සේ අර අනිත් ජෝඩුව ඒ කියන්නේ අර මගේ වයසේ කෙල්ලගේ නංගි තමයි මාත් එක්ක යාළු උනේ8:41 pm
මාරයා ... - චූටි බටු ඇට කෙල්ල..මම ඒකි ගැන බ්ලොග් එකේ සෑහෙන්න ලියලා ඇති8:41 pm
මාරයා ... - ඒකි මුලින් මට අරක දාගන්න සප් එක දුන්නා හිටන්8:42 pm
මාරයා ... - ඒත් මම කෑව කට්ට දැකලා..ඒකි මට පණ ඇරලා ආදරේ කලා8:42 pm
මාරයා ... - කොහොම හරි කාලයක් යනකොට මට තේරුනා ඒකි මට හුගාක් ආදරෙයි කියලා..ඒ ගමන මම ඒකිගේ හිත රිද්දන්නේ නැතිව ඒකිට කැමති උනා8:43 pm
මාරයා ... - ඒ කි දන්නවා මගේ මගෝඩි වැඩ ඔක්කෝම..8:44 pm
මාරයා ... - එතකොට තව එකක් කියන්නං..අර මට සෙට් නොවුනු කෙල්ල ගැන8:44 pm
මාරයා ... - ඒක සෝකාන්තයක්8:44 pm
මාරයා ... - ඒ කෙල්ල පස්සෙන් පහු ටිකක් දාංගලේ වැඩි උනා..8:45 pm
මාරයා ... - ඇත්තටම ඒකි මට ආදරේ කරපු බව මගේ පස්සේ කෙල්ල කිව්වා..මට අකමැති උන එක තමා ජීවිතේ කල ලොකුම වරද කියලා8:45 pm
මාරයා ... - උන් දෙන්නත් අක්කලා නංගිලානේ..ඒ හින්දා ඕන දෙයක් කතා බස් කර ගන්නවා8:46 pm
A- ඒ කියන්නේ පොට වරද්දගෙන ඉවරයි කෙල්ල එතකොට8:46 pm
Anushka (Bunny) - ඔහ්.. පුල්රොමැන්ටික් .... :'(8:46 pm
මාරයා ... - පස්සේ කාලෙක මම ගමේ හිටිය නැති අතරේ8:46 pm
සුදු පූසා - බ්ලොග් එකේ ලියන්න හොඳ කතා මේකේ මොකට ලියනවද o_O8:47 pm
B- යන්න පුසො යන්න8:48 pm
A- මායි B විතරය් හිටියේ,,උබලා ඇවිල්ල කට වහන් ඉදපල්ලකෝ8:48 pm
මාරයා ... - ඒ කෙල්ල අන්තිමටම අපේ ගම කිට්ටුව ලොකු ෆැක්ට්‍රියක අයිතිකාරයෙක් එක්ක සෙට් වෙලා තිබුනා..මිනිහා ලංකාවේ ටිකක් නම ප්‍රසිද්ද එකෙක්8:49 pm
මාරයා ... - ඌ කෙල්ලගේ තාත්තගේ වයසේ..8:49 pm
සුදු පූසා - මාරයියේ මම සිරාවට කියන්නේ. මේකේ ලියපු ටිකම හරි කමක් නෑ කොපි කරලා අරගෙන බ්ලොග් එකේ දැම්මනම් මරු කතාව :)8:49 pm
මාරයා ... - මේකි අර මිනිහාගේ සල්ලි වලින් පිස්සු නැටුවා..ඌත් මෙකිව හැම තැනම දක්කගෙන ගියා8:50 pm
මාරයා ... - ඒ කෙල්ල විනාසම උනා..ගෙදර අයයි නෑදැයොයි ඔක්කෝම තරහා උනා8:50 pm
මාරයා ... - දැන් මම දන්නේ නැහැ ඒකිට මොනවා උනාද කියලා8:51
මාරයා ... - දැන් සමහර විටක කොළඹ හරි කොහේ හරි ඇති8:51 pm
B - අනේ පව්..... මාරයියගේ වැරැද්ද...8:51 pm
මාරයා ... - හුගාක් දුරට ගණිකා නිවාසෙක තමයි කෙල්ලගේ අවසානේ වෙන්නේ8:51 pm
A- නෑ ඒක ඒකි ජීවිතේ ගෙනියන්න ගෙනාපු විදිහ8:52 pm
B- පව් අප්පා8:52 pm
මාරයා ... - මම වරදක් කලේ නැහැ නංගී මම මාරම කට්ටක් කෑවා ඒකි වෙනුවෙන්..ඒ තමයි මම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න උපරිම කෑව කට්ට සහ8:52 pm
මාරයා ... - මට යාළු වෙන්න අහලා යාළු වෙන්න බැරි උන එකම කෙල්ල8:53 pm
Anushka (Bunny) - ඔබේ දෑස...දැක ගත්තෙමි..සැදැකලේක ලදුනේ.. ලදුනේ...8:53 pm
මාරයා ... - ඒත් අදටත් මම මූනු පොතට ගියහම එයාව හොයනවා සැ‍රින් සැරේට8:53 pm
A - ඒකි යාලු උනා නම් සමහර විට කතාව මේක නොවෙන්න තිබුනා8:53 pm
මාරයා ... - කොහේ ගියත් මගේ ඇස් දෙක තාම ඒකි දකී කියලා බලාපොරොත්තුවක් තියෙනවා8:54 pm
A- අපේ රට පොඩි රටක් කවදා හරි දකී8:54 pm
wap Nishantha - මාරයා මේ බස් එක බ්ලොග් පොස්ට් එකක් විදිහට හදලා දාපන් ............. නවමු අත් දැකිමක් වෙයි ..පාඨකයට8:54 pm
මාරයා ... - ගණිකා නිවාසෙක හිටියත් ආයෙමත් අහු උනොත්නං මම එකක් එනවා කනට දෙකක් දීලා හරි8:54 pm
මාරයා ... - මේක බ්ලොග් එකේ ලියන්න බැහැ බං..හෙන දිග කතාවක්8:55 pm
මාරයා ... - මේ උපරිම කෙටි කරලා කිව්වේ8:55 pm
A- හිතේ කොනක තාම ඒ ආදරේ තියනවා8:55 pm
wap Nishantha - ඒක තමයි මේ සංවාද ශිලි විදිහ හරිම අපූරියි බන් ......ස්ට්ටක් එඩිල් කරලා දාපන් ......සිලාවට කියන්නේ ........අලුත් ඇත් දැකිම්ක් බලන අයට8:55 pm
මාරයා ... - අප්පා වැප් උඹ මාව දාන අමාරුවක්..Edit8:56 pm
මාරයා ... - ඔන්න හතරදෙනෙක්ගේ කතාව ඉවර වෙච්ච තැන 8:56 pm
wap Nishantha - දාන අමාරුවක් නෙමෙයි යකෝ ........මේවා තමයි විදි .............8:56 pm
-A ඒක තමා8:56 pm
මාරයා ... - හ්ම්ම් බලමු වැප්..8:57 pm
A - මම බස් වලින් අහපු පලමු කතාව8:57 pm
Anushka (Bunny) - පාඨකයින්ගේ දැඩි ඉල්ලිම මත හෙට මාරයාගේ ප්‍රේමකතාව බ්ලොග් ගත කෙරෙණු ලැබේ...8:57 pm
A - බස් වලට ආදර්ශයක් මේක8:57 pm
මාරයා ... - මගේ කතා පොත තාම ඉවර නැහැ බං..ඕවා කවදා කියලා ඉවර කරන්න පුළුවන්ද මංදා8:57 pm
wap Nishantha - බලන්න එපා යකෝ .......මේක සුට්ටක් එඩිට් කරපන් ...........ඒ ඇති එ කිව්වේ ඔය A ගේ කමෙන්ට් අයින් කරලා දාපන්8:57 pm
මාරයා ... - ආ ඔව් බලමු එහෙමවත්Edit8:58 pm
B- මගෙ කොමෙන්ට් තියන්න8:58 pm
සුදු පූසා - අයියා ඉස්සර බ්ලොග් එකේ ලිව්ව ඒවා හැටියට මේවා මොනවද?8:58 pm
wap Nishantha - කට්ටයිම ඉල්ලපියව් යකුනේ8:58 pm
මාරයා ... - ඔය එකක්...
ඕකත් එක්ක මම දැන් තුනක් කියලා තියෙනවා
8:58 pm
wap Nishantha - එකායි දෙකායි තුනයි ...........ඉල්ලපියව්8:58 pm
A- මමත් කියනවා කතාව පටන් ගත් සිටම හිටිය නිසා,බ්ලොග් එකට දෙමු මේක8:58 pm
මාරයා ... - ඔක්කෝම 24ක් කතා තියෙනවා බොලව් කියනවානං8:58 pm
D- දියවූ...................!!8:59 pm
Anushka (Bunny) - ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං8:59 pm (edited 8:59 pm)
wap Nishantha - දියව් දියව්8:59 pm
B - දාමු බ්ලොග් එකට...8:59 pm
මාරයා ... - හ්ම්ම්ම් හරි හරි දාන්නං8:59 pm
wap Nishantha - කෝ අර A යා ......ඉල්ලපිය යකෝ හුමිටි තියලාහරියන්නේ නැහැ8:59 pm
Anushka (Bunny) - දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......8:59 pm
සුදු පූසා - ඉතින් පටන්ගමු අලුත් කතා සෙට් එකක් මාරයියගේ ලව් කතා9:00 pm
wap Nishantha - ඉල්ලිම් ලැබුනා කට්ටය සතුටින් විසිර ගියා9:00 pm