හරි අපි අද මාතෘකාවට බහිමු.මුලින්ම කියන්න ඕන අද තමා මම කාලෙකට පස්සේ ලියන්න කලින් මාතෘකාවක් දැම්මේ..නැත්තං සාමාන්‍යයෙන් මම කරන්නේ ඔහේ ලියාගෙන ගිහිල්ලා අන්තිමට ලියවිලා තියෙන එක අනුව ඔය මොනවා හරි නමක් දාන එක තමයි.
ඒත් අද මම හිතුවා මුළින්ම මාතෘකාව දාලා ඊ ළගට ලියන්න ඕන කියලා.
ඒත් ඉතිං මට අමාරුම දේ තමා ඔය මාතෘකාවට අනුව ලියන එක..කමක් නැහැ සුද්ද අන්කලුත් කිව්ව එකේ ට්‍රයි කරලා බලමු...
.................................................
මට මේ මාතෘකාව ගන්න හිතුනේ..මේ දැන් මම කියවපු ලිපියක තිබුනු දෙයක් දැකලා..ඒකේ තිබ්බනේ ඔය සිරස කියන වහංතරාවේ..
(හා හා දැන් ඉතිං පටන් ගන්න එපා..ඇයි සිරස විතරද වහංතරාව..අනිත්වා එහෙම නැද්ද කියලා...සිරස නෙවෙයි අප්පා මම නං ඔය එක වහංතරාවක් වත් බලන්නේ නැහැ..හේතුව..මට ටීවී එකක් නැති එක..හරිනේ ෂෝක් උත්තරේ නේද..? මං කලින් ටීවී බැළුවේ කොම්බෝ බොක්ස් එකක් හරහා මගේ කලින් කොම්පීතර උන්නැහේගේ මොනිටරය හරහා නෙව..ඒත් ඒක දීලා දාලා..මේ තියෙන ලැප් මල්ලිව ගත්ත දවසේ ඉඳලා මට ටීවී නැත..ඒත් එය ගාණකුත් නැත.. තියෙද්දි උනත් මම ඒ හැටි බැළුවේත් නැත..)
ඉතිං කියන්න ගියේ..ඒ ප්‍රවෘත්තියට අනුව සිරසේ කවුද මංදා ජෝතිෂ්‍යවේදිනියක් ගෙන්නලා කරපු වැඩසටහනකදී ලෝක කුසලානය පිළිබඳව කරපු කතා වගයක් ගැන ලියලා තිබ්බා...
ඒ අනුව කියවිලා තියෙන්නේ "අවසන් තරගය තියෙන දවස අපිට හොඳ නැතය" කියන කාරණාව තමා...
ඉතිං ඕක දැක්ක ගමන් මට මතක් උනා මීට අවුරුදු ගානකට කලින් ඔය දෙරණ ටීවි එකෙත් ඔය වගේ පිස්සු කෙලිල්ලක් තිබුනු බව..අර අපි දන්න කියන කාගේත් සුන්දරී නගා හායි හූයී..චීං වූයි... ගාන ගමන් කළ වැඩසටහන..කාටත් මතක ඇතිනේ...පාර කියන තාරුකාද මොකක්ද අටමගලයක්..
අනේ ඉතිං කිව්වට මොකද මාත් ඕක ඉස්සර මුලින් මුලින් ටිකක් බැළුවා...ඒ බැළුවේ ජෝතිෂ්‍යයට මගේ තිබුනු උනන්දුව නිසා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබේවි කියන පරම පවිත්‍ර වේතනාවෙන් තමා..
ඒත් ටික දවසක් යනකොට මට මගේ ඒ පරම පවිත්‍ර චේතනාව අහක් කරගන්න උනා..ඒ කියන්නේ ඒ උලව් වැඩසටහනෙන් මිනිහෙකුට ඉගෙන ගන්න මේ ලෝකේ දෙයක් නැහැ..ඇත්තටම ඔය පියසේන රතුවිතාන මහත්තයා..එතකොට අර හෝමාගම ඇල්බට් සුදසිංහ මහත්තයා..තව අර පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්තයා...ආන්න ඒ උදවිය කරන වැඩසටහනකදී අල්ලගන්න හුගාක් දේවල් තියෙනවා..ඒ අතරිනුත් රතුවිතාන මහත්තයා කියන්නේ ගුරු දෙවියෙක්...
මම මේ කියන දේ ඔයාලා හැමෝටම තේරෙන්නේ නැතිව ඇති.ඒත් ජෝතිෂ්‍යය ගැන මූලික දැනුමක් තියෙන අයට මම කියන දේ තේරෙනවා...අපි දන්න දේට අළුතින් යමක් එකතු කරගන්න..විශේෂයෙන්ම කේන්දර රාශියක් පරිහරණය කිරීමෙන් ලැබූ පළපුරුද්ද හා ජෝතිෂ්‍යය ගැන ලබා ඇති හසල දැනුම හා පුහුණුව හරහා ඒ මහත්වරු කියන දේට සාධක හා මූලාශ්‍ර ඉදිරිපත් කරනවා..ඒ ඒ අනාවැකියට පදනම් කරගත්තේ කුමන ග්‍රහ පිහිටීම්ද කියන දේ තර්කානූකූලව ඉදිරිපත් කරනවා.
ඒක අපි වගේ අයට බොහෝම ප්‍රයෝජනවත්...
ඔය මම නම් කිව්ව තිදෙනාගෙන්ම මම විශේෂයෙන්ම ප්‍රශාන්ත් මලවිගේ මහත්මාගේ අනාවැකි සම්බන්ධව හුගාක් විශ්වාස කරනවා..සමහර ඒවාට පදනම් වෙච්ච සිද්ධාන්ත ඉදිරිපත් නොවුනා උනත් ඒ කියන දේවල් ගැන මටත් එකඟ වෙන්න පුළුවන් මට්ටමේ අනාවැකි හා කරුණු ඒ මහත්මයා ඉදිරිපත් කරනවා.
විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහනකදී කාගේ හෝ කේන්ද්‍රයක් ඉදිරිපත් උනහම මමත් ඒ කේන්ද්‍රය දළ විදියට ඇඳගෙන ඒ මහත්වරු කරන විග්‍රහ බොහෝම උනන්දුවෙන් අහන ගමන්ම මමත් ඒ කරුණු කොහොමද කියලා මම උගත් දෙයට අනුවත් කිරා බලද්දී..හරිම ශාස්ත්‍රීය විදියට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බව පැහැදිලි වෙනවා නිතරම...
ප්‍රශාන්ත මලවිගේ මහත්මා තරම් සෘජු තීරණ තීන්දු දෙන්නේ නැති උනත් රතුවිතාන මහත්මයා හරිම සාස්ත්‍රානුකූල විදියට කරුණු විග්‍රහ කරනවා...
මේ ජෝතිෂයේදී ජෝතිර්වේදියකු සම්බන්ධව තියෙන කරුණු තුනක් තියෙනවා..ඒ තමා තුන් ජාතියක පිරිසක් ඉන්නවා..
1- මේ ශාස්ත්‍රය පරතෙරට ඉගෙන ගත්..ඒ ඉගෙන ගත් දේට අනුවම ඒ හරහා අනාවැකි කියන්නන්...
2-ශාස්ත්‍රය සාමාන්‍ය මට්ටමකට ඉගෙන ගත් සාස්ත්‍රානූකූලව පමණක් නොව තමන්ගේ අත්දැකීම් මතත් පිහිටා අනාවැකි කියන්නන්..
3- ශාස්ත්‍රය යන්තම් උඩින් පල්ලෙන් අත ගා හිතට එන ඕනම දෙයක් කියන්නන්..
ඔය රතුවිතාන මහත්මයා හුගාක් දුරට පළවෙනි කාණ්ඩයට අයත් ඒ හින්දාම සමහර වෙලාවට අවසාන තීන්දුව දීමට එතුමාට ටිකක් අපහසු ගතියක් පේන්න තියෙනවා වගෙත් මම දැකලා තියෙනවා.ඒක වෙන්නේ..සැම වෙලාවේම එක කරුණක් තව දේකින් වෙනස් වෙලා යන හැටි පේන්න ගන්න හින්දා...උදාහරණයක් මම දෙන්නම්...
ඔන්න මිනිහෙක් ගෙදරින් පිටත් වෙලා යන්න හදන කොට මට පේනවා මිනිහට ගහන්න පාරේ කවුරු හරි සෙට් වෙලා ඉන්නවා..දැන් මම අනාවැකිය කියන්න ඕන
"අද ගමන ගියොත් උඹ කනවා පුතේ" කියලා..
ඒ මට පේන තරම..ඒත් මට පෙනුනොත් අර ගහන්න ලෑස්ති වෙලා ඉන්න එකාටත් තව එකෙක් ඒ වෙලාවෙම ගහන්න සෙට් වෙනවා වගේ..
ආන්න එතකොට මට අර මං මුලින් කියන්න ගිය දේ කියන්න බැරිව යනවා..එතකොට මට කියන්න වෙන්නේ..
"අද ගමන ගියොත් උඹට කන්න සෙට් වෙන්නම ඇවිල්ලා යාන්තං ගැලවෙන්න පුළුවන් වෙනවා" කියලා තමයි
අන්න එහෙම මට කියන්න පුළුවන් වෙන්නේ මට කලින් වතාවට වඩා දැන් දුර පේන හින්දයි..ඒත් ඔහොම දිගින් දිගටම පේන්න ගත්තහම මොකද වෙන්නේ..
ඒ කිව්වේ අර ගමන යන කෙනාට ගහන්න ඉන්න කෙනාටත් තව කෙනෙක් ගහන්න ඉන්නවා පේනිලා නවතින්නේ නැතිව..ඒ අර අපේ මනුස්සයට ගහන්න හදන මිනිහ නෙලන්න සෙට් වෙන බුවාට ඒ වෙලාවට තත්පරයක් තියෙද්දී වාහනේක හැප්පෙන්න තියෙනවා වගේ පෙනුනොත්..අවුල් ජාලයක් නේද..?
ඔන්න මම කිව්ව දේ තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ..ඒත් මම මේ දුන්නේ පුංචිම පුංචි සරල උදාහරණයක් විතරයි..
ජෝතිෂ්‍යයේදී අනාවැකියක් කියනවා කියන්නෙත් ඔය වගේ දෙයක්...
හැම වෙලාවකම එක් ග්‍රහ පිහිටීමකට තවත් ග්‍රහයෙක් හින්දා බාදක අවස්ථා ඇතිවෙන්න පුළුවන්...ඔය වගේ හුගාක් සිද්ධි රාශියක් අතරේ..අපිට පුළුවන් වෙන්න ඕන තෝරලා බේරලා හැකි උපරිම විදියට අනාවැකිය කියන්න.
මම මෙතනදී යෝග..පරිවර්ථන..උච්ච නීච තත්ව..බාධක රාශි හා ග්‍රහයින්..ග්‍රහ දෘෂ්ටි..ග්‍රහ යුද්ධ..රාශි,භාව,ග්‍රහ ඵල.. ඔය විෂයට අදාල නම් සෙට් එක දාගෙන නෙවෙයි බොහෝම සරලව මේ කියන්න උත්සහ කරන්නේ..සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක බලන අයගේ පැහැදිලි අවබෝධය සඳහායි..මම මේ කියන දේ අපේ ජෝතිෂ්‍ය මිත්‍රයා JOTHISHAYALANKA ට නම් අරුමයක් නෙවෙයි.
ඉතිං ඔය විදියට බලපුවාම අර පරතෙරටම ඉගෙන ගත්ත කෙනාට යම්කිසි නිශ්චිත තීන්දුවකට එන්න ටිකක් අමාරු වෙනවා..මොකද සෑම වෙලාවෙම..තව තවත් ඉදිරියට පේන්න ගත්තහම ඒක අවුලක් වෙන හින්දා.
ඒ වාගෙම තමයි යන්තං ඔය ගානක් දෙකක් හදාගෙන මොන මොනවා හරි දොඩවන අයත් ඉන්නවා..ඒ අයටත් ඔය වැඩේ ටිකක් අමාරුයි..මොකද එයාලට පේන්නේ මිනිහා ගෙදරින් එළියට යනවා විතරයි.. පාරේ මිඳුම වගේ කියලනං පේනවා..ඉතිං එයාලා කියන්නේ මෙන්න මෙහෙම අනාවැකි..
"ඔව් අද ඔබතුමා ගමනක් යනවනං ටිකක් කල්පනාවෙන් විමසිල්ලෙන් යන්න..අතර මගදී එල්ලවෙන සුළු සුළු බාදක තියෙන්න පුළුවන් උනත් ඹබට අද දවස වාසනාවන්ත කරගන්න පුළුවන්කම තියෙනවා..ගෙදරින් යන්න කලින් මේ ගාථාව සිහි කරන්න..නිතරම සාමකාමීව කටයුතු කරන්න...මොනවා හරි අනතුරක් වගේ පේන්න තියෙනවනං ඉක්මනින්ම එතන මග හැරලා යන්න බලන්න^$%$^$%$&^......."
ඔන්න ඔය වගේ හුගාක් ජාති කියන්න පුළුවන්කම තියෙනවා..
ටිකක් බලන්නකෝ ඒ හැටිම අවුලක් නැහැ නේද..?ගැහැවුත් බේරිලා..ගුටි කෑවත් බේරිලා..නිකංම ගෙදර ආවත් බේරිලා...
ඔන්න අද ජෝතිෂ්‍ය අනාවැකි කියන සමහරු කියන විදිය..
ඔයාලට මතකද මම අර මුලින්ම කිව්ව දෙරණේ වැඩ සටහන..ඒ දවස්වල තිබුනු මැච් වගයකටත් අරගෙන ආවා..අර හුරතලියි ඒ වැඩ සටහන කරපු ජෝතිෂ්‍යවේදියා කියලා කියන කෙනයි...
සමාවෙන්න මම මෙතන මේ ජෝතිෂ්‍යවේදියා කියන කෙනා කියලා යෙදුවේ හිතාමතාම තමයි..මොකද මට ඔහුට කෙළින්ම ජෝතිෂ්‍ය වේදියා කියලා කියන්න පුළුවන්ද කියලා මටම තාම හිතා ගන්න බැහැ..
ඉතිං දැන් මෙන්න තරඟේ පටන් ගන්න කලින් මෙයාලා කැට ගහනවා..කොල පෙරළනවා..මල් කඩනවා..එක කෙලියයි..අන්තිමට කියනවා රටේ හැමෝටම පහනක් පත්තුකරලා ඒකට වැඳගෙන කියන්න කියලා යාතිකාවක්...එහෙම කලාම මුළු රටේම මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව ශක්තියක් වෙලා..ඒක ජයසූරියගේ අත් දෙකට ලැබිලා ඒ දෑත ශක්තිමත් වෙලා..බොලේ පැලීමේ හැකියාව ලාබෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ...
ඒක තමා කතාව
ඔය වෙලාවට මට කල්පනා වෙනවා..වැරදිලාවත් ඉන්දියවේ කස්ටිය එහෙම ඕවා කරන්න ගත්තොත් අපිට කවදාවත් ඉන්දියාවට ගහලා දිනන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා..?
අපිට නෙවෙයි දැනට ටෙස්ට් ගහන එක රටකටවත් ඉන්දියාවට අත තියන්න වෙන්නේ නැහැ..යාන්තං කවදා හරි චීනේ ජාත්‍යන්තර මට්ටමට ඇවිත් ක්‍රිකට් ගැහැවුවොත් මිසක්..මොකද යකෝ හැට කෝටියක් පහන් අස්සේ අපි මොන ලබ්බක් කරන්නද..?
අනික ජෝතිෂ්‍ය කියන්නෙත් අපිට වඩා ඉන්දියාව ඉදිරියෙන් ඉන්න විෂයක් හින්දා ඒ අතින් උනත් අපිට කළින් මේ පහන් කෙලිය උං දැන ගෙන ඉන්න එපැයි...
ඉතිං මම මේ වැඩ සටහන අර පරම පවිත්‍ර චේතනාවෙන් බලන එක නවත්තලා..මොනවා උනත් අර කෙලී පව්නේ කියලා ඒකිගේ මළ කොළං දිහා විතරක් බලන් ඉන්න පුරුදු උනා...හිතටත් ෂනීපයිනේ අප්පා..අර උන්දැගේ බහුබූත අහලා මොලේ කොලොප්පං කරගන්නවට වඩා..
ඉතිං ඒ වගේ වැඩ සටහන් අදටත් ඔය රූපවාහිනී නාලිකාවල යනවා ඇති..ඔය මම කිව්ව මේ පාර ලෝක කුසලානේ අවසන් තරගේ ගැන කිව්ව ජෝතිෂ්‍යවේදිනියත් ඔය කියන්න ඇත්තේ ඔය වගේම අනාවැකියක් වෙන්න නැතෑ..ඒ ගැන මම විග්‍රහ කරන්නේ නැහැ.
....................................
හරි දැන් වැදගත්ම හරිය..කට්ටිය මෙච්චර වෙලා බලන් ඉන්න ඇත්තේ මම කියන අනාවැකිය ගැන නේද..?
ඊට කලින් මේ ටිකත් අහන්නකෝ...
ලෝකේ හුගාක් ජෝතිෂක්‍රම හා ඒවායෙන් විවිධ ආකාරයට වැඩ ගන්න ජෝතිෂ්‍ය වේදීනුත් ඉන්නවා...
මමත් ඉතිං ඒ අතරින් එකෙක් විතරයි...
සමහරුන්ට මේ තරඟය තියෙන දවසේ තිබෙන සුළු ග්‍රහ පිහිටීමක් ගැන බලලා ඔය අනාවැකිය කියන්න පුළුවන් වෙන්න පුළුවන්..හැබැයි මට එහෙම බැහැ..
සමහරු මේ රටවල් වලට තියෙන කේන්දර සටහන් වලට අනුව එදා දවසේ වැඩි වාසිය තියෙන රට තෝරාගන්න පුළුවන්..අර ඉහත කිව්ව අනාවැකියත් එහෙම එකක් වෙන්න ඇති..ඒත් මට පකිස්ථානේ කේන්දරයක් හොයා ගන්න බැරි උනා..ඒ විතරක් නෙවෙයි අපේ ඔය තියෙන ලංකා කේන්ද්‍රය කියන කුම්භ ලග්නයට අයත් කේන්ද්‍රයත් මටනං අවුලක්..ඒක විතරක් නෙවෙයි ජනරජ කේන්ද්‍රය කියලා එකකුත් තියෙනවා..ඕක ගැන බෙල්ලන ඥාණවිමල නායක හාමුදුරුවොත් එක පාරක් සෑහෙන විග්‍රහයක් කරලා තිබුනා මට මතකයි..ඒ කියන්නේ කේන්දර දෙකක් තියේ..එකක් රටට නිදහස ලැබුන වෙලාවේ..එක අනික ජනරජ දිනයට අදාලව හදපු කේන්ද්‍රය..මටනං ඔය දෙකම ගැන කියන්න බැහැ මොකද ඔය දවස් දෙකේම නෙවෙයිනේ ලංකාව ඉපදුනේ..
ඉතිං හරි හමන් කේන්දරයක් නැතිව මම කොහොමද ඕක කියන්නේ..
හරි ඊ ලගට තව විදියක් තියේ..ඒ තමා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජන්ම කේන්දර ටික...
වැඩිය නැහැ 22යි නේ තියෙන්නේ..අපේ 11යි අද තරගේ දිනන අයගේ 11යි..ඒ උනාට එ ටික හොයාගන්නවත් විදියක් නැහැනේ..
ඉතිං මොකද කරන්නේ...ඔය විදියට බලපුවාම මට කියන්න තියෙන්නේ මටනං ඕක කියන්න හැටියක් නැහැ කියලා තමයි...
අඩුම ගානේ නායකයින් දෙදෙනාගේ හරි පුහුණු කරුවන් දෙදෙනාගේවත් තිබ්බනං එහෙමනං ටිකක් හරි උත්සහ කරන්න තිබුනා..
ඉතිං දැන් මොකද කරන්නේ..?මේ වෙනකොටත් අර පොල් කියන බූවල්ලා මිය ගිහින්..මැාරන්න කලින් ඉඳලම ඒ අහින්සක සතාව මරන්න හුගාක් අය ලෑස්ති උනා..
ඊයේ පෙරේදා දවසක ඉන්දියාව පරදිනවයි කිව්ව ගිරවෙක්ව අවසන් ගමන් යවලා කියලත් මම ප්‍රවෘත්තියක් දැක්කා..
එහෙම තත්වයක් යටතේ මමත් මොකටද ඉල්ලන් කන්නේ..
අනික ඉතිං ඕවා ජෝතිෂ්‍යයටම හරියට කියන්න පුළුවන්නං මැච් ගහන්න කාලේ නාස්ති කරන්න ඔනත් නැහැ..කෙළින්ම රටවල් දෙකේ හොඳම ජෝතිෂ්‍යවේදීන් දෙන්නෙක් ගෙනාව..වැඩේ තීරණය කලා කුසලානේ දුන්නා ..ගේම ෆිනිෂ්...
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමත් ජෝතිෂ්‍යය භාවිතා කරන..එයට හුගාක් ගරු කරන..විශ්වාස කරන කෙනෙක්..ඒත් ජෝතිෂ්‍යයේ ඇති සීමා හා අපේ දැනුමෙහි ඇති සීමාවන් අපි අඳුරගෙන කටයුතු කරන්න ඕන..
ඒ හින්දා මම කියන්නේ මෙච්චරයි..
අනේ මමනං දන්නේ නැහැ ඔය ලෝක කුසලානේ කවුරු ගනීද කියලා...ඒක දන්න කෙනෙක් ඉන්නවනං..ඒක මට කියන්නත් එපා..මොකද මට එදාට මැච් එක හොඳට බලලා ඒක විඳින්න ඕන..කලින් ප්‍රතිඵලේ දැනගත්තොත් මට ඕක බලද්දි මෙලෝ රහක් නැති වෙයි...ඔන්න කිව්වා...අල බහිනකල් හිටිය මට ඕක තැම්බෙනකල් ඉන්න බැරිද..?
*පසු සටහන...
බණ්ඩක්කා...බණ්ඩක්කා...ලාබයි..ලාබායි...ගන්නවද..?





