30 April 2011

මහ වන මැදදී හමු වූ තනි අලියා... සුනාමි ආධාර දීමට යන අතර මගදී...

ගමන ආරම්භ වී මඳ දුරක් යන විටම කොළු නඩය සිය වැඩ ආරම්භ කරනු මා බලා සිටියේ සිනාසෙමින්ය...
පාරේ තොටේ සිටින ලමිස්සියන් ගැටිස්සියන් දුටු කල ඈත සිටම ඔවුනගේ ක්‍රියා කාරකම් ආරම්භ වේ..නමුත් රථය එම ගැහැණු පරාණ රථය පස් කර ලද්දී ඒත් සමගම සියල්ලගේම දෑස් කැරකැවී විත් නතර වන්නේ පිටු පස රථයේ සිට ඔවුන් දෙස බලා හිඳින මාගේ දර්ශනයෙන්ය...

කොල්ලන්ටත් මටත් සිනහ නැගෙන්නේ එකම විටය..ඊටත් වඩ මෙම ක්‍රියාවෙන් සතුටක් ලබන පුද්ගලයා වූයේ රථය රැගෙන යන කළු අයියාය...

"ඔන්න ඔන්න හාමුදුරුවනේ..ආයෙම වතාවක් කෑ ගහන්න හදන්නේ..ආ..ආ...ඔන්න බැළුවා හාමුදුරුවෝ බලාගෙනද කියලා..අන්න ඔළු ටික සටස් ගාලා හැරෙනවා ඉස්සරහට.."

මෙය අප දෙපිරිසටම විනෝදයක් ගෙන එන්නා වූ ක්‍රියාවක් විය...

අඳුර වැටෙන තාක් කල්ම හැංගි මුත්තම සිදු විය..නමුත් ඒ අතරම කොල්ලෙකුගේ සාක්කුවෙන් ඇදෙන කුඩා තුංඩු කැබැල්ලක් බස් නැවතුම් පලවල් ආසන්නයේදී සුළගේ යන ආකාරයත් ඇසට අසු වෙනවාම නොවේ...එහෙත් එය නොදුටුවා සේ සිටින්නට මා වග බලා ගත්තෙමි...පාරේ යන උදවියට අනවශ්‍ය ලෙස කෑ ගසා ඔවුන්ගෙන් මාපිය උපහාර වන්දනාව නොලබා ගමන යාම පමණක් සෑහුණී..ඒ හැර කොල්ල‍න්ගේ විනෝදයට අකුල් හෙළිය යුතු නොවේ

ගමනකදී කොළු ගතිය ඉස්මතු වීම අරුමයක් නොවේ..නමුත් නිදහස වැඩිපුරම ලද විට යාළුවන්ගේ තරම මා හොඳින්ම දැන සිටියෙමි. එබැවින් මාගේ අවධානය ඇති තෙක් පමණ ඉක්මවා යාමක් ඔවුන්ගෙන් සිදු වන්නේ නැත..
ගමනට අවශ්‍යම යැයි සිතා එක්කාසු කරගත් බාස් යුවළ පිළිබඳව මා හොදින් දැන සිටියෙමි.වඩු උපකරණ මල්ල රථයට පටවද්දීත් එහි ඇති අධික බර ගතිය මා නෙතට අසුව තිබිණි...එහෙයින් ඔවුන් හා කොළු ගැටයින් හට රිසි ලෙස මුහු වීමට දීමෙහි අවසන් ප්‍රතිඵලය මා හෙඳින්ම දැන සිටියෙමි...

කෙසේ හෝ රාත්‍රී අඳුර වැටෙනා තෙක්ම ඔවුන් අමුත්තක් නැතිව ගමන් කරනා ලදි...

.......................................................
සවස දෙකට ආසන්නව පන්සලෙන් පිටත් වූ අපට පලමු අවශ්‍යතාවය වූයේ කෙසේ හෝ සවස හයේ කණිසමට කලින් උඩ වළවේ ජලාශය අසලට පමිණීමටය...
එයට හේතුව වූයේ රාත්‍රී කාලයේ ජලාශයේ බැම්මට උඩින් වාහන ගමනා ගමනයට ඉඩ නොදෙන වග මා හට ඒ පිළිබඳව දන්නා අයකු පවසා තිබීමය...

දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේම ගමන යායුතු ගමන් මාර්ගය සොයා ගැනීමද මවිසින් පූර්වයෙන්ම කරගෙන තිබුනි..අදටත් කොහේ හෝ දුර ගමනක් යාමට ප්‍රථමයෙන් සිතියම් පොතත් මා විසින් බොහෝ කාලයකට පෙර පිටකොටුවේදී සුළු මුදලකට මිලදී ගෙන තිබූ ලංකාවේ මාර්ගයන්හී දුර සටහන් කර ඇති පොත් පිංචද උපයෝගී කොට ගෙන ගමන් මාර්ගයත් එහි දුර පිළිබදව අවබෝධයත් ඒ අනුව ගමනට වැය වන ඉන්ධන පිළීබඳව අනුමාන අය වැයක්ද සාදා ගැනීමට හුරුව සිටිමි.

ඒ අනුව එම ගමනට ප්‍රථමයෙන්ද එසේම සටහනක් සාදාගෙන සිතියමට අනුව ගමන් කල යුතු මාර්ග හා හැරෙන්නට ඇවසි තැන් කුඩා කොලයක සටහන් කරගෙන තිබිණි..අදනම් ගූගල් මැප් ආධාරයෙන් එම කටයුත්ත ඉතා පහසුවෙන් කර ගත හැකි මුත් පරිගණකයක්වත් අත පත ගා නොතිබූ එකල්හී එකම පිහිට ලේක්හවුස් සිතියම් පොත පමණක්ම වීය...

කෙසේ වෙතත් මාර්ගයේ අපහසුවත්..රැගෙන යන භාණ්ඩවල බරත් මෙන්ම පරිස්සමට ගෙන යායුතු වූ මුදුන් උළු කැට ටිකත් හේතුවෙන් ගමන ඒ හැටිම වේගවත් නොවීම මත..උඩ වළවට එනවිට හයයි කාල පමණ වී තිබුණි..නමුත් එහි ආරක්ෂක අංශය වෙත ගොස් කරුණු පැහැදිලි කර දී බැම්ම මතින් යාමට අවසර ලබා ගත් අතර එසේ නොවුනා නම් තවත් අමතර කිලෝමීටර පහළවක් විස්සක් පමණ වන වටයක් ගසා එම ගමන යාමට අපට සිදු වේ...

උඩ වළව ජලාශයේ ඈත කෙලවරින් හිරු බැස ගොස් තිබුනද අහසේ ආලෝකය රැදී තිබිණි...එම දසුනද සිත් අලවාගෙනම අප දිගටම ධාවනය කලෙමු...කෙසේ හෝ බෝදා ගම හන්දිය හරහා තණමල්විල පාරට ගොස් එයින් පසුව සියඹලාණ්ඩුව දක්වා පැමිණි අප ඉඩ කඩ ඇති ස්ථානයක නවත්වා රැගෙන ආ බත් පාර්සල් ටික අහවර කොට නැවතත් ගමන් අරඹන විට සෑහෙන වේලාවක් ගතව තිබිණ...

ක්‍රමයෙන් අප ආසන්න වූයේ ලාහු ගලටය...ඒ වන විට මධ්‍යම රාත්‍රිය උදා වී තිබිණ..ඊට ප්‍රථම හසු වූ මාර්ග බාධක වලදී ඔවුන් විසින් අපට රාත්‍රී ගමන භයානක බැවින් නොයන ලෙස උපදෙස් දුන්නද..කෙසේ හෝ එළිය වැටීමට ප්‍රථමව අපගේ ගමනාන්තයට යායුතු වූ හෙයින් අප එම ස්ථාන වලින් කෙසේ හෝ පැමිණ සිටියද...ලාහුගලදී නම් එයට අපට අවසරය නොලැබිණී...ඉදිරියේ වූයේ මහ වනයයි...ඒ වන විටත් නැගෙනහිර පළාතේ වනාන්තරවල කොටි ත්‍රස්ථවාදීන්ගේ ක්‍රියාකාරකම් තිබුනු වග ඔබ අප හොඳින්ම දන්නා කරුණකි...

ඊටත් වඩා අනතුරු දායක වූයේ වල් අලින්ගේ ගැවසීමයි...මාර්ග බාධකයේ රාජකාරි භාරව සිටි හමුදා සැරයන් වරයාගෙන් අපට බුරුලක් නොලැබිණ.

ගමන පිටත් වීමට පෙර සිටම ගමනට එක් වීමට බලාගෙන සිටි කිහිප දෙනෙකුම ගමන අතහැර දැමුවේ මෙම අලි තර්ජනය හා නැගෙනහිර කොටි ප්‍රශ්නය නිසාවෙනි..ඒ කිහිප දෙනාම පාහේ වැඩිහිටියන් වූ අතර එක් කොළුවකුද විය..කොළුවාට ඒමට උවමනාව ඇතත් දෙමාපියන් එයට විරුද්ධ වීම හරහා ඔහු අපට අතහැරුනි..පැමිනි දරුවන්ගේ මා පියවරුත් තරමක් බියෙන් නමුත් කොල්ලන්ගේ උනන්දුවත් මා හට ඇති පක්ෂපාතීත්වයත් නිසාම දරුවන් මේ සඳහා එන එක වැලැක්වීමට උත්සහ කලේ නැත...

අප පැමිණි රථ දෙකෙහිම රියදුරු මහතුන්ගෙන් රාත්‍රි ගමනට බියක් හෝ අකමැත්තක් නොවීය.. කොල්ලන් පිළිබඳව අමුතුවෙන් කියන්නට උවමනාවක් ඇතියි මා නොසිතමි...ඕනෑම දෙයකට සූදානම් කොළු රෑන නිසා මගේ තිරණ වලට යම් පහසුවක් විය...

කෙසේ හෝ රාත්‍රි දොළහේ සිට පැය කිහිපයක් ලොරි රථ ලාහුගල මුර කපොල්ලේ නවතාගෙන අප සියළු දෙනාම කෙටි නින්දකට වැටිනි..අදුර නිසා ඒ හැටි යමක් නොපෙනුනද..එම ස්ථානයේ තිබූ කටු මැටි ගෙය මට තවමත් මතකයේ ඇත...සමහරු එම ගේ පසෙක වූ මැටි පොලොවෙත් සමහරු ගෙන යන කොට මත්තෙත් මා සිටි අසුනේමත් ආදී ව‍ශයෙන් නිදා ගත්තෙමු...

කෙසේ හෝ පාන්දර හතරට ආසන්න වද්දී ශබ්දයක් ඇසී මා නිදමින් සිටි අඩ නින්දෙන් අවදී බැළු විට මුර කපොල්ල ආසන්නයේ යම් වෙනස් කමක් වන ආකාරය දුටිමි..එතෙක් වේලා සිටි මුර කණ්ඩායම රාජකාරියෙන් මිදී වෙනත් කණ්ඩායමක් එම ස්ථානයේ රාජකාරිය භාර ගන්නා බව කතා බහින් තේරුම් යන්නට විය...

රථයේ තිබූ වතුර බෝතලය ගෙන කට සෝදා වතුර උගුරු කිහිපයක් බී යාන්තමින් මුහුණත් සෝදාගෙන නිදාගෙන සිටි පිරිසට කතා කල සැණින් සියල්ලෝම අවදි වූ අතර..නැවත වතාවක් මුර කුටිය ආසන්නයට ගොස් අළුතින් රාජකාරිය භාර ගත් පිරිසේ ප්‍රධානියාව කතාවට අල්ලා ගතිමි... විනාඩි දහයක පමණ කතා බහකින් පසු යාන්තම් එතැනින් පිටත්ව යාමට අවසරය ලබා ගත හැකි වූයේ ඉන් පසුවය...

නැවතත් සියල්ලන්ම වාහන වලට ගොඩ වූ අතර මෙවර මා අනිත් වාහනයට මාරු වී එම වාහනය ඉදිරියෙන් ධාවනය කරවන්නට කිවෙමි...

මා මෙතෙක් වේලා පැමිණී රථයේ රියදුරු හා හිමිකරු වූ කළු අයියා ඕනම දේයකට ඔට්ටු හදිසියකදී කල බල නොවන අන්දමේ අයකු විය..නමුත් අනික් රථයේ රියදුරා මටත් වඩා ලා බාල තරුණයකු වූ අතර ඔවුන් වෙනම යැවීමත් පිරිස අතැර මා තනිවම ගමන් කිරීම ඒ හැටි සුදුසු නොවන වගත් සලකා එම රථයට නැගී අනික් රථය පිටු පස තබාගෙන ධාවනය ආරම්භ කලෙමි.හදිසියක් වූවහොත් හැකි තරම් වේගයෙන් පසු පසට හෝ අනතුරින් ඉදිරියට පැන ගත්තේ නම් ඉදිරියටම හෝ ධාවනය කරනා ලෙසත්...කිසි විටකත් අනිත් වාහනය සමග වාහනය එකට නතර නොකරන ලෙසත් මා විසින් කළු අයියාට පවසන ලදි

අප කිසිවකුටවත් වල් අලින් සැරි සරන්නා වූ මාර්ගයක ගමනා ගමනය පිළීබදව ඒ හැටි අවබෝධයක් නොතිබූ අතර මා වල් අලින් දැක තිබුනේ හමුදා පුහුණුව අවසාණයේ කැලෑ සටන් පුහුණුව සඳහා සතියක් තිස්සේ බුත්තල කැලයක් මැද්දේ කල පුහුණුවේදී පමණි..ඒද රාත්‍රී මුර සේවයක් සඳහා ගසක් උඩට වී ආරක්ෂක රාජකාරි වැටුන අවස්ථාවකදීය...එදින නම් අප සිටි ගසට අඩි විස්සක් තිහක් ඈතින් ඇදී යන අලි රංචුවක් දෙස ශබ්ද නොනගා බලා සිටීමට මාත් ඇතුළු සිව් දෙනෙකුගේ කණ්ඩායමට හැකියාව ලැබී තිබුණී

ඒ හැර අලින් හමු වූ විට කරන්නේ කුමක්දැයි අපට අත්දැකීමක් නොවීය කල හැකි එකම දේ වූයේ හැකි උපරිම වේගයෙන් ධාවනය කිරීමත් වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් හැකි තාක් ඉදිරියේ පාර දෙස විමසිලිමත්ව බලාගෙන යෑමත්ය...නමුත් අතර මගදී තැනකදී දෙකකදී පිටු පස සිටි කොළුවන්ගේ ශබ්දය එක් වරම වැඩි වීම නිසා බලන විට මාර්ගය මැද නොවුනත් මාර්ගය අයිනේ ගස් කොලන් අස්සේ සිටින වල් අලි කිහිපදෙනෙකු පසු කර අප පැමිණි බව දැන ගතිමු. පැති වීදුරුවෙන් ඔළුව එළියට දමා

"බොලවු මොනවා දැක්කත් කෑනොගහා හිටු" යැයි

කියා ඔවුන්ව නිහඩ කරන්නට වූයේ අප පසුපසින් එන රථයේ ආරක්ෂාවත් සලසා ලිය යුතු නිසාය...
කෙසේ හෝ අධික වේගයෙන් ගමන ගියත් මාර්ගයේ වූ අබලන් කම අපට බොහෝ සෙයින් බාධාවක් විය...

සෑහෙන දුරක් ගිය පසුව එක් විටම අප බලාපොරොත්තුව සිටි දර්ශනය අපගේ නෙත් මානයේ පෙනුනි මා මෙන්ම රියදුරු තරුණයාද එය එක්වරම දැක තිබිණී වාහනය එක තැනම නවතින සේ වැදුන ‍බ්රේක් පහරින් සියල්ලන්ම අන්ද මන්ද වී තිබුණී...අප පිටුපසින් පැමිණි කළු අයියාද ඒ හා සමගම වාහනය නවතා ගෙන තිබුණි...වහාම ලයිට් එළිය නිවා දමන ලදි...

සියල්ලෝම ඉදිරිය බැළු අතර කිසිවක් නොපෙණීනි..කළු අයියාගේ රථයේ ගොඩ වී සිටි මේසන් බාස් උන්නැහේ හිමිහිට එයින් බැස අප අසලට පැමියේය...

"මොකද හාමුදුරුවනේ..."

"අලියා..."

"කොතනද.."?

"අපිට අඩි හතලිහක් විතර ඉස්සරහා...කළු අයියට කියන්න වාහනේ කෝකටත් පස්සට ගන්න කියලා ඉක්මනට.."

හිමිහිට පාර දෙසම බලා සිටි ඔහුත් පාර මැද්දටම වී සිටි අලියාව දුටු අතර ඒ වහාම ඔහු ආපසු පිටුපස රථයට ගිය අතර පැමිණියාට වඩා වේගයෙන් අදුරේම වාහනය පිටිපසට ගැණිනි..අපත් ඒ සමගින්ම රථය පිටුපසට ඇද්දවූ මුත් කළු අයියාගේ වේගයට සම කරන්නට අපට නොහැක..

කෙසේ වෙතත් වාහන දෙකම තිබු තැනින් අඩි සියයක් පමණ පසු පසට ගත් පසු දෙපිරිසම කතා බස් කරන්නට වූයේ දැන් කුමක් කල යුතුද යන්නයි...

නමුත් අපට එලෙස වැඩි වේලා කතා බස් කරන්නට නොලැබුනි..එක් වරම අප නොසිතූ දෙයක් සිදු වූයේය...

29 April 2011

සුනාමිය සොයා ගමනේ යා... මාර පන්සල් කතාවේ ඉදිරි පියවර...

සුනාමිය පැමිණියේ 26 වැනිදාවකය...
එයින් පසු දිනය බොහෝ සෙයින් කාර්ය බහුලව අවසන් කරන්නට යෙදුණි.

උදා වූයේ 28 වැනිදා නම් වූ ව්‍යසනයෙන් තෙවැනි දවසයි...මේ වන විට සිදුවීමෙන් පැය "44" ක් පමන ගෙවී තිබුණි...

.............................................

පන්සලේම වැටී නිදා සිටි කොළු ගැටවුන් අතරින් සමහරක් උදෑසනම ගෙවල් වලට ගොස් මුහුණ කට සෝදා පැමිණි අතර..සමහර අයවළුන් හැකි අන්දමට පන්සලේම සිටිමින්ම එම කටයුතු සිදු කරගෙන උදෑසනින්ම නැවතත් ගස් කැපීමට යන්නට සූදානම් විණී...
කිසිවෙකුටත් ආහාර පිළිබඳ ගැටළුවක් නොවීය..පෙර දින සැලසුම් කල පරිදි කෑම බීම ටික නියමාකාරයෙන් භාර ගත් උදවිය විසින් ගෙන එන ලදි..

මෙයටම තවත් කාරණාවක් එක් කල යුතුය...
පන්සල් කෙරුවාවේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණක් නම් පේරු දානයයි...
මොන දේ කලත් දවසේ දාන වේල් දෙක හරියාකාරව ලැබීම සිදුවනවාද යන්න සොයා බැලිය යුතු අතර..කිසිදු හේතුවක් නිසා දානය ගෙන එන වේලාවට දානය භාර ගැනීමටත් බුද්ධ පූජාව තැබීම..පින් වාක්‍යය කිවීම වැනි දේදී හිමිනමක් පන්සලේ වැඩ සිටිය යුතුමය...

නොඒසේ නම් දානය ගෙන එනු ලබන දායකයාගේ හිත නරක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ...

මෙතනදී මා දැක ඇති ආකාරයට බොහෝ හිමිවරුන්ට "මොනවා උනත් දින පතා ගෙන එන දානයනේ" යැයි සිතා මෙම පේරු දානය පිළිබඳවවත් එය ගෙන දායකයාගේ මහන්සිය හෝ සිතුවිලි පිළිබඳව වත් ඒ හැටි අවබෝධයක් නොමැත..

නමුත් අපට දිනපතා ලැබෙනවා වූවද..දායකයාට ඒ සඳහා අවස්ථාව ලැබෙනුයේ සෑහෙන කලක් බලාගෙන සිටීමෙන් පසුය...සමහර විට එය මාසයකට එක් දිනක් වන අතරම..තවත් තැනක වසරකට එක් දිනක් විය හැක.

(අප විහාරස්ථානයේද මා යන විට මාසයකට දිනක් ලෙස තිබුණද..පසු කාලීනව..එනම් මාගේ පැවිද්දෙන් වසරක් පමණ යන විට එය මාස තුනකට දිනක් ලෙස වෙනස් වී..අවසාන කාලය වන විට එනම් පැවිද්දෙන් වසර පහක් පමණ යද්දී සමහරුන් හට වසරකට දිනක් පමණ වන දානද තිබුණි..)

එබැවින් මොන යම්ම හේතුවක් නිසාවත් දායකයා මහන්සියෙන් ගෙන එනු ලබන දානය පිළිබඳව අවධානය නිතරම තබා ගත යුතුමය...

නමුත් මෙහිදී පන්සලේ පැත්තෙන් සිතීමට දායක මහත්වරුනුත් හැඩ ගැසිය යුතුය..
උදාහරණයක් ලෙසින් මා විහාරස්ථානයෙහි වැඩ සිටියේ තනිවමය...
මටය කියා පෞද්ගලික කටයුතු කිසිවක් නොතිබූ මුත් නිරන්තරයෙන්ම එහා මෙහා ඇවිදිමින් කල යුතු බොහෝ කටයුතු රාශීයක් පැවිදි වී නොබෝ කලකින්ම මා කර මතට වැටුනි...

එවන් තත්වයක් යටතේ සෑම දිනකම උදෑසන 6 සිට 7 දක්වා වූ උදෑසන දාන වේලාවටත්..දහවල් 11 සිට 12 පමණ වන තෙක් දහවල දානය ගෙන එනු ලබන වේලාවත් පන්සලේ නිරන්තරයෙන්ම රැඳී සිටිම අභියෝගාත්මක කටයුත්තකි.

එය එක් අතකින් බැළු විට වරදක් කල පසු උසාවියෙන් ඇඟ බැඳ ඇති මිනිසකුගේ තත්වයට සමාන නොවන්නේද..?

සමහර විට කෙනෙකුට මෙසේ කියන්නට සිත් විය හැක..

"ඇයි ඉතිං දානෙ ගේන වෙලාවට වෙන මොකක් හරි වැඩක්නං කලින් දවසේ කිව්වනං හරිනේ දානේ නවත්වන්න කියලා.."

එය කල හැකි වැඩකි..නමුත් මොහොතක් සිතන්න..ඔබ දායකයා නම්..එම දිනය ඔබ ලබාගෙන ඇත්තේ කුමන හෝ ඔබට වැදගත් අරමුණක්..සමහර විට ඔබේ මිය ගිය ඥාතියකු සිහිකර හෝ..දුවගේ හෝ පුතාගේ උපන් දිනයක් අරභයා නම්..?

එසේ කලින් දැනුම් දී හෝ ඔබට කලකට පසුව ලැබෙන අවස්ථාව මග හැරීමට ඔබ කැමතිද..?ගැටළුව ඇත්තේ එතනය..?මොන විදියකින් හෝ ඔබේ දානය පිළි ගැනීමට හාමුදුරුවන් පන්සලේ සිටිය යුතුමයි කියා ඔබට නිකමටවත් සීතී නැද්ද..?

බොහෝවිට මෙම කාරණා නිසා දානය දීමත් පිළි ගැනීමත් යන කාරණා වලදී දෙපාර්ශවයම අවුලකට පත්වේ...

හිමිවරුන් කිහිප නමක් වැඩ වාසය කරන්නා වූ පන්සල් වලටනම් මෙහිදී යම් සහනයක් ඇත.නමුත් මා සිටියේ තනිවමය...කලයුතු වැඩ කොටස සීමා රහිතය...

ඇත්තෙන්ම සමහර විට පැවිද්දෙකු වශයෙනුත් විහාරස්ථානයක භාරකරුවකු හැටියටත් මා හට ලෙහෙසියෙන් අනිත් හිමිවරුනට නොලැබිය හැකි අවස්ථාවන් රාශියක් හිමිවිණි...

ඒ අතරින් පැවිදි වූ දින පටන්ම විහාරාධිකාරී ධූරයක් හිමි වීම සුවිශේෂී මෙන්ම අභියෝගාත්මක අවස්ථාවකි.

භික්ෂුවක් හැටියට කල යුතු සියල්ල තනිවම ඉගෙන ගැනීමටත්...දායකයින්ගේ අවශ්‍යතා පිරි මැසීමත්...යන අංශ දෙකම සමබරව කල යුතුව තිබිණි. මෙහිදි ගෘහස්ථ ජීවිතයේදී මා වරින් වර ලද්දා වූ අත්දැකීම් මාහට මනාව පිටුවහල් වූ බවද සඳහන් කල යුතුය.

මා හට වාසිදායක පැතිද තිබිණි...

එනම් කාලයක් තිස්සේ අරාජිකව පැවති විහාරස්ථානය මට උවමනා අන්දමට සකස් කර ගැනීමට ඇති බාධක අවම වීමයි. බොහෝ අවස්ථා වලදී තනි මතයට වැඩ කරන්නට පුරුදු වී සිටි මට එය සෑහෙන නිදහසක් විය..එම නිදහස මා හැකි සෑම මොහොතකම භුක්ති විඳි අතර සෑම තැනකදීම කරන කාර්යයේ වේගය වැඩි වීමට එය හේතු විය.

ඊට අමතරව පන්සලේ දියුණුව ඇවසි නම් මට උදව් කරනවා විනා කකුලෙන් ඇදීමට සූදානම් නොවන සේ මා වරින් වර කරන්නට යෙදුණ සිහි කැඳවීම් ඔවුන් මනා කොටම පිළි ගත් අන්දමත් වාසියට හේතු විය...
(මහණවූ පසු මා පළමුවෙන්ම කල දේ වූයේ දායක සභාව විසුරුවා හැරීමයි...එතැන් පටන් නැවතත් එම පන්සලේ දායක සභාවක් නොවූ අතර...අවසානයේදී මා පිටත්ව ඒමට මඳ කලක් තබා දායක සභාවක් මාගේ මුල් වීමෙන්ම පිහිටුවා දෙන ලදි)

පන්සලේ දාන මාන වලදීත් මා සිටිනා තත්වය අවබෝධ කරගත් අය වූහ...

එහිදී මා සැබෑ තත්වයම ඔවුනට ප්‍රකාශ කරන්නට යෙදුණි.

"උපාසක අම්මේ හෙට මට පන්සලේ ඉන්න හැටියක් නැහැ.මම පොතුවිල් යනවා ළමයි ටිකත් එක්ක එන වෙලාවක් කියන්නත් බැහැ..ඒ හින්දා හෙට දානේ නවත්තන්න වෙයි..මොකද කරන්නේ..?"

"ඒක නේන්නං හාමුදුරුවනේ..අපිට ආරංචියි යන ගමන..අපිත් කතා උනේ මොකද කරන්නේ කියලා..දෙන්න හිතපු දේ නොදිත් හිතට හරි නැහැ"

"එහෙනං උපාසක අම්මා කැමතිනං මට වෙන යෝජනාවක් කරන්න පුළුවන්"

"මොකක්ද අපේ හාමුදුරුවනේ කියන්න.."

"මෙහෙමයි උපාසක අම්මේ අපි අද හවස එක දෙක වෙනකොට යන්නයි හිතං ඉන්නේ..උපාසක අම්මලට කරදරයක් නැත්තං විතරක් ඔය දානෙට ලක ලෑස්ති කරපු කලමනා වලින් අපිට අද හවස ගමන යද්දි අරං යන්න බත් පාර්සල් දෙක තුනක් බැඳලා දෙන්න පුළුවන්ද..?"

"ආ හාමුදුරුවනේ ඒකනං මහ වැඩක්යෑ..කී දෙනෙක් යනවද දැන් ඔය ගමන..?"

"ඒකනං දැන්ම හරියටම කියන්න අමාරුයි උපාසක අම්මේ..කොහොමටත් පහළවක් වත් එක්කාසු වෙයි වගේ..උපාසක අම්මලා එච්චර කරදර වෙන්න එපා..පුළුවන් ප්‍රමාණයක් කියන්න මං අනිත් ටික ලෑස්ති කර ගන්නං.."

"අනේ හාමුදුරුවනේ ඕක මොකක්ද..අපි එහෙනං බත් පාර්සල් විස්සක් බැඳලා දෙන්නං.."

"එච්චරම මහන්සි වෙන්න ඕන නැහැ උපාසක අම්මේ..මොකද අපේ අර වරුසවිතාන රාළහාමිත් මගෙන් ඇහැවුවා මොනවද කෙරෙන්න ඕන කියලා..අපි උන්නැහේටත් කොටහක් බාර දෙමු..එතකොට දෙගොල්ලන්ටම පින් සිද්ධ වෙනවා නෙව..අනික ඉතිං වැඩි පිරිසක් සම්මාදං වෙන තරමටනේ පිනත් වැඩි දියුණු වෙන්නේ.."

"ඒකත් එහෙමයි නේන්නං..හා හොඳමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කැමැත්තක්"

ඔවැනි ආකාරයට කතා බස් කර පසුවදා දාන මාන රාත්‍රී දානයක් බවට පත් කර ගනිමින් දෙපාර්ශවයේම උවමනා එපාකම් පිරි මසා ගනිමින් කටයුතු කිරීම සිද්ධ උනි.

පසුවදා උදේ දානය දීමට නියමිත අය විසින් හවස බේකරියෙන් බාන ලද ගමන් පාන් මල්ලක් ගෙනවිත් බාර දුන්නේ පහුවදා උදෑසනට හෝ ගන්නට කියාය...මුහුදු කරයේ කෑම සොයා ගැන්මේ බලාපොරොත්තුවක් තබා ගත නොහැක. හෙට දින දහවලට බතක් උයා පරිප්පු ටිකක් උයා පොල් සම්බෝලයක් තනා ගැනීමට අවශ්‍ය අඩුම කුඩුමද තවත් නිවෙසකින් ලැබිණි...

උදෑසනම අවදි වී සිදු කලේ අහාර ප්‍රශ්න විසඳාලීමයි..ඉන් අනතුරුව නැවතත් ගස් කපන පිරිස එයට යොමු කර..තවත් දෙතුන් දෙනෙකු ලී මෝලට යවන ලද්දේ ඉරා ඇති ලී ටික පන්සලට ගෙන ඒමටයි...ලී මෝල අසලම සිටි අයකුගේ වාහනයකින් ඒම කටයුත්ත කර දීමට එම වාහනයේ හිමිකරු විසින් මා හට පොරොන්දු වී තිබිණ.

අනතුරුව තවත් අයකු සමග ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසැලකට ගොස් මා සිතා සිටි අන්දමේ තාවකාලික නිවසකට අවශ්‍ය තහඩු මුදුන් උළු..යකඩ ඇන..දොර ජනෙල් සඳහා කොන්ඩිපට්ටම්..සොයිබ සරනේරු හා ඒවාට අවශ්‍ය ඇණ වර්ග බ්ලොක් ගල් සිමෙන්ති කොට්ට කිහිපයක් ආදියද මිලදී ගෙන එම ද්‍රව්‍යද අත්ට්‍රැක්ටරයක පටවා පන්සලට එවන ලදි..පෙර දින වට වන්දනාවෙනුත්..අද දින උදෑසනම ආරංචියට දුව ගෙන ආ දායකයින්ගෙනුත් ලද මුදල් ඒ සඳහා පිරි මසා ගත් හැකි විය.

ඉහත සඳහන් ද්‍රව්‍ය අතරින් මුදුන් උළු කැට වලටනම් නිරුපද්‍රිතව පොතුවිල් යෑමට නොහැකි වූ වගද සඳහන් කිරිමට සිදු වන්නේ..ගමනේදී ඒ සියල්ලම පාහේ බිඳී ගිය බැවිනි...

කෙසේ හෝ දහවල් දොළහට ආසන්න වන විට සියළුම භාණ්ඩ පන්සල් මිදුලේ තිබූ අතර තව දුරටත් සිදු වූයේ ලී කඳන් වල සකස් කිරීම් පමණි..

මන්ද සැලැස්ම සකස් කරන්නට යෙදුනේ පොතුවිල්වලදී කාලය උපරිම ලෙස ඉතිරි කර ගෙන ගෙය සෑදීමටය...

එබැවින් මෙහි සිටම හැම දේම සූදානම් පිට ගෙනයාම ඇවැසි විය...

අවසන දහවල් එක පමණ වන විට කතා බස් කරගත් පරිදිම ලොරි රථ දෙක පන්සල් මිදුලේ විය..පිරිසද අඩුවක් නැතිවම සිටි අතර මාත් සමගම පිරිස දහ අටක් පමන විය...

ලොරි රථ දෙක පැමිණි පසු සූදානම් කරගත් සියළුම දේ ඒවාට පටවන්නට වූ අතර පන්සල් මිදුලත් ඒ සමගින්ම ශුද්ධ කොට දැමිණි.දාන ශාලා අස් කර සියළු දෙනාටම කන්න බොන්න දී දහවල් දෙකට විනාඩි දහයක් තිබියදී අප ගමනාරම්භ කලෙමි.එනම් සුනාමියෙන් පසු පැය 52 ක් වැනි කාලයක් අපට ගත වී තිබිණි.

මා නැගගත් රථයට උපරිම ලෙස භාණ්ඩ පටවා අනිත් රථයට පැටවෙන භාණ්ඩ පුමාණය අඩු කොට එයට අපේ නඩයට නගින්නට සැලැස්ස වූ අතර...එම රථය අපගේ රථයට ඉදිරියෙන් ධාවනය කිරීමට උපදෙස් දුනිමි..එහි රියදුරු තරුණයෙක් වූ බැවින් රට තොට පාරවල් පිළීබඳව ඒ හැටි දැනුමක් නොවිණි.එබැවින් අතර මගදී මාර්ගය තෝරා ගත යුතු අවස්ථෘවලදී පමණක් වේගය අඩු කොට අපගේ රථයට ඉස්සර වීමට දෙන ලෙසත්..නැවතත් නිසි මාර්ගයට පිළිපන් විට අපට ඉදිරියෙන් ධාවනය කරන්නටත් සකස් කරන ලදි...

මේ උපදෙස් මාලාවේ අරමුණ කොල්ලන්ට වැට හෙන්නට වූයේ ගමන ආරම්භ කර මඳ දුරක් යන විටය...
ඒ වන විට ඔවුන් පැරදී හමාරය...

28 April 2011

වේගවත් වැඩ සටහනක්...මාර සුනාමියේ අත්දැකීම්...

නැවත ඇමතීමක් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් නොතිබි උන්වහන්සේ මාගේ ඇමතීමෙන් සතුටට පත් වූ අතර...මා විසින් උන්වහන්සේ හට දැනට තිබෙන තත්වය පවසා වැඩේ කෙරෙන හැටි පිළිබඳව කතා කලෙමි...

"ලොකු හාමුදුරුවනේ..මම දැන් මේ ගමේ ටිකක් ඇවිදලා ආව ගමන්..මං හිතන්නේ මට පුංචියට හරි එක ගෙයක් හදලා දෙන්න පුළුවන් වෙයි..හැබැයි ඉතිං ඒ හැටි කාලයකට නෙවෙයි මාස කීපයකට හරි යන විදියට ලෑලි වලින් තමා..."

"අනේ අපේ හාමුදුරුවනේ..මේ වෙලාවේ හැටියට පොල් අතුවලින් හරි කමක් නැහැ මඩුවක් ගහලා දුන්නත් ඇති..ඒ තරමට මිනිස්සුන්ට වෙන්න තියෙන විපත් ඔක්කෝම වෙලා තියෙන්නේ..."

"හොඳයි හාමුදුරුවනේ එහෙනම් මම එනවා..ඒ වෙලාව දැන්ම කියන්න බැහැ..ඒත් මේ ටික හරිගස්සගෙන මම හැකි ඉක්මනට එනවා..."

"හොඳමයි අපේ හාමුදුරුවනේ..ලොකු දෙයක්"

එතැන් පටන් පටන් ගත්තේ කාලය සමඟ සටනකි.මුලින්ම පරීක්ෂා කලේ එදින සහ පසුවදා දාන මාන හිමියන්ගේ සටහනයි..ඔවුන්ගේ ආර්ථික මට්ටම් පිළිබඳව මා හට තිබූ අවබෝධය අනුව..තවත් අතිරේක දාන මාන දීමට මේ වන විට ඉල්ලුම් කර තිබූ කිහිපදෙනෙකුට කතා කොට අද සහ හෙට දින වලදී පන්සලට කෑම බීම ටිකක් යහමින් ගෙන්වා ගන්නට සලස්වා අනතුරුව තවත් දන්නා හඳුනන දායකයින් කිහිප දෙනෙකු හමුවන්නට යායුතු බැවින් පන්සල අවට සිටි අයකුගේ තුන්රෝද රථයක් සූදානම් කරගෙන වට වන්දනාව පටන් ගතිමි.

ගමන අවසානයේ සෑහෙන ප්‍රතිඵලයක් ලැබී තිබිණි අවශ්‍ය පමණටත් වඩා ගස්ද.. සිමෙන්ති..මුදල් පමණක් නොව ගස් ටික නොමිලේම ඉරා සකස් කරදීමට ලී මෝලක හිමිකරුවකු පොරොන්දු වූයේ ඉමහත් සතුටිනි.

වටය ගසා පන්සලට එන විට කැති මන්නා පොරෝ රැගත් කොළු හමුදාව සූදානම්ව සිටි අතර වහ වහා ඔවුන් සමඟ ඊ ළග වටය ආරම්භ කලෙමි...

අපගේ නිවාස වැඩපිළිවෙලට ගස් පූජා කල උදවියගේ වතු පිටිවලට ගොස් එම ගස් කැපීම පහසු කටයුත්තක් නොවීය..අඩි හැට හැත්තෑවකට වඩා උසැති ගස් කපා බිම හෙළීම පල පුරුදු අය විනා අන් අය කරන්න කරන්නට යෑම පහසු කටයුත්තක් නොවීය..කෙසේ හෝ අහල පහල උදවියත් කොළු පිරිසත් එකතු කරගෙන සෑහෙන තරමේ ගස් කිහිපයක්ම බිම හෙළා ගැනීමට අපහට හැකි වූ අතර අප එහිදී අපට ලැබී තිබූ ගිනි සපු ගස් ටික මුලින්ම බිම හෙළා දැමීමට ක්‍රියා කල අතර දන්නා කියන අයකුගේ ට්‍රැක්ටරයකටඑම ගස් පැටවූ අතර..එම ගස් අතර මැරී ගිය කොස් ගසක කොටයක්ද තිබීම නිසා ට්‍රැක්ටර් හිමිකරුවා තරමක් බියක් දක්වන්නට වූයේ එය ප්‍රවාහනයට තහනම් ගසක් වූ හෙයිනි...එහෙත් හැකි ඉක්මනින් මා තුන් සක රියේම පොලිසියට ගොස් ස්ථානාධිපතිතැන හමු වී මෙම කාරණය කියූ විට..

"හරි හාමුදුරුවනේ..ඔබ වහන්සේ වැඩේ කරගන්න..පිටින් පොලිසියකින් අතර මගදී නැවැත්තුවොත් හැර වෙන බාධාවක් මෙහෙන් නැහැ..එහෙම බාධාවක් ආවත් මට කියන්න ඉක්මනට.."

යැයි පවසා සිටි අතර එම ගැටළුද නිරාකරණය කරගත් පසු ගස් ටික ලී මෝල කරා ගෙන විත් ඒ වේලාවේ සිටම ඉරන්නට පටන් ගත් අතර..එම ලී ටික බලා ගැනීමට ළමුන් දෙනෙකු නවත්වා නැවතත් ගස් කැපූ තැන්වලට ගොස් ඉතිරි ගස් කැපීම කරගෙන යන ලදි..අපට හරහට හිටියේ රෑ බෝවීමයි..ඒ වන විට සුනාමිය පැමිණ පැය 30ක් ඉක්මවා තිබිණි. රෑ බෝවූ බැවින් වැඩය නවතා දමන්නට අපට සිදු වූ අතර කපා ගත් ගස් ටික ට්‍රැක්ටරයේම පටවා විහාරස්ථානයට ගෙන එන ලදි...

පන්සල අසල නිවෙස් දෙකකට දන්වා යැවූ පරක්කුවෙන් ඔවුන් විසින් රාත්‍රියට මඤ්ඤොක්කා තම්බා දීමට සූදානම්ව තිබූ අතර පන්සලට ගෙන ආ කොටන් ටික පොතු ගසා ශුද්ධ කර ඒවායේ කප්පිලි කැපීමත් රාත්‍රී කාලය පුරා සිදු උනේ තැම්බූ මඤ්ඤොක්කා ලුනු මිරිස් සමග උණු උණුවේ ගිල දමනා අතරතුරදීමය...
කෙසේ හෝ රාත්‍රි 1 පමණ වන විට ගෙනවිත් තිබූ සියළුම කොටන් ටික අවශ්‍ය මට්ටමට සකස් කර අවසන් විය...

දැන් ඉතිරිව තිබුනේ ‍ඉතිරි ගස් කිහිපය කපා ගෙනවිත් මදි පාඩු කනු දෙක තුනක් සකස් කර ගැනීම හා සි‍මෙන්ති ගල් හා සෙවිලි තහඩු පිළිබඳව සොයා බැලීමත්ය... එදින රාත්‍රියේදීම ළමයින් විසින් කනු සකස් කරන අතර ඔවුනට කොටන් මැන දී කැපිය යුතු තැන් හා කැපිය යුතු ආකාරය කියා දී නැවත වතාවක් ගම වටා වටයක් ගියෙමි...

එම රාත්‍රී සංචාරය තුලදී හෙට දින කෙසේ හෝ ගමන යෑම සඳහා වාහන සොයා ගැනීම අරමුණ විය...

ඒ අනුව ගමේම අළුතින් නැගීගෙන ව්‍යාපාර කිහිපයක හිමි කරු වූ කළු අයියා විසින් තමන් විසින්ම ඩීසල් ගසාගෙන තමාට අයත් කැන්ටර් රථය රැගෙන ගමනට එකතු වීම බොහෝම සතුටින් කරන ලදි... ඊට අමතරව දායක ප්‍රදේශයේ කෙලවරක සිටි තවත් අයකුගෙන් තවත් ටිපර් රථයක් ඩීසල් අප විසින් සපයා ගැනීමේ පොරොන්දුව මත ලබා ගන්නට හැකි විය...

අනතුරුව ගමේ සිටි වඩු බාස් වරයකු හා මේසන් බාසුන්නැහේලා කිහිප දෙනෙකු සොයා යන්නට වූයේ කරුමාන්තය දන්නා අය රැගෙන යාම පහසුවක් වන බැවිනි..මන්ද ගමේ සිටියදී නම් මා වහලවල් උඩ නැගගෙන වැඩ කිරීම දායකයින්ට ඒ හැටි අමුත්තක් නොවූ අතර නිතරම විහාරයේ ගොඩනැගිලි වල වහල පිළිසකර කටයුතු වලදී මා සිටියේ වහලවල් උඩටම වී බාසුන්නැහේලා සමගම හරි හරියට වැඩෙහි යෙදෙමින් බව ඔවුන් හොඳින් දන්නා කාරණයක් වූවද පිටත තැනකට ගොස් එසේ උස්තැන් වල නැග වැඩ කිරී‍මෙන් අප පිළිබඳව නොදන්නා උදවියට වැරදි අදහස් සිත් තුල ජනිත කරවාලීම සුදුසු නොවන බැවිනි.

ඒ අනුව වඩු බාස්වරයකු හා ඔහුගේ ගෝලයාද..මේසන් වැඩ කරමින් නිතරම පන්සලේ වැඩවලදී පැමිණ උදව් කරන තරුණ මේසන් බාස්වරයකුද ගමනට සූදානම් කර ගන්නා ලදි.ඇත්තෙන්ම මේ සූදානම් කර ගත් වඩුබාස්වරයා හා ඔහුගේ ගෝලයා ඇර මේගමනට එක්වූඅන් සියළු දෙනාම තරුණයින් හා කුඩා කොල්ලන් විය. නමුත් එම වැඩිමහල්ලන් දෙදෙනා රැගෙන නොගියානම් කොයි තරම් හොඳදැයි මා හට අවබෝධ වූයේ පසුවය...

කෙසේ හෝ අවශ්‍ය පිරිස කතා බස් කරගෙන මා පන්සලට පැමිණ නැවතත් පැමිණ කොළු පැටවුන් විසින් කරගෙන යන කාරිය අතරදීම හෙට දින කරන්නට නියමිතව ඇති වැඩ පිළිවෙල විස්තර කරදී දුරකථන ඇමතුමක් මගින් මුහුදු මහා විහාරයේ ලොකු හාමුදුරුවන්ටද පැහැදිලි කර දෙන ලදි...

සැලැස්ම බොහෝ සරලය..පසුදින සවස ගමන් ආරම්භ කොට අනිද්දාට එළි වෙන්නට පොතුවිල් කරා ගොස් එදා දහවල් කාලය අතරතුරදී අපගේ කටයුත්ත සිදු කොට රෑ වෙන්නට කලින් එයින් පිටත්ව එන්නට සැලැස්ම සකස් කලෙමි. මෙසේ වූ පැහැදිලි කිරීම් රාශියක් අවසන සියළු කටයුතු එදිනට අවසන් කොට කොල්ලන් සියළු දෙනාම පන්සලේ තැන තැන වැටී නිදා ගත් අතර කිහිප දෙනෙක් නිවෙස් බලාද පිටත්ව යන ලදි...මාද නින්දට වැටිණි

එලෙසින් සුනාමියට පසු දිනය නිමා වී ගියේය...

27 April 2011

අමතක නොවන තිළිණයක් ලදිමි...


ජීවිතය දෙස ආපසු හැරි බලන සෑම විටම අතීතයේ සිදු වූ බොහෝ දේ..මාගේ මතකයට එන බැව් කිව යුතුය.
ඒ මතක බොහෝමයක් දුක් කඳුළු තැවරුන ඒවා බවත්..අතරින් පතර එකක් දෙකක් සතුට තැවරුන ඒවා බවත් අමුතුවෙන් කිව යුතු නොවේ...

ඒ අතරින් යම් යම් දේ මා අත පත් වූ අවස්ථාවල මසිතට දැනුන සතුටු දායක හැගීම් සමුදාය මා අදටත් වින්දනය නොකරනවා නොවේ...

මට මතක ඇති කාලයකදී මුලින්ම මට ලැබුන වටිනාම තෑග්ග වූයේ තාත්තා විසින් මට බාගේ බයිසිකලයක් අරන් දුන් අවස්ථාවයි..ඒ තෑග්ග හිමි වූයේ පහේ ශිෂ්‍යත්වය වෙනුවෙනි..නමුත් එය මට ලැබුනේ විභාගය ලියන්නටත් ටික දවසකට කලිනි. ඒ විභාගය ගැන මටත් වඩා තාත්තාට විහ්වාසයක් තිබූ බැවිනි.

එබැවින් තෑග්ග කලින් ලබා තෑග්ගට සුදුසුකමද මා විසින් ඔප්පු කොට සිටියෙමි..එදා ඒ තෑග්ග මට මහ මෙරක් සේ වටිනාකමක් ඇත්තක් විය...

අම්මා තාත්තා ඇරුන කොට මා කුඩා කල මට ඉඳ හිට හෝ පොතක් පෑනක් තෑගි දුන්නා නම් ඒ මගේ දෙවන මහප්පාගේ වැඩිමහළු දියණිය වූ අක්කා පමණි...එම මහප්පාගේම දෙවන දියණිය වූ අනිත් අක්කා විසින් මට වරක් ටී ෂර්ටයක් ලැබුනි..ඒ මා ඥාතීන් වෙතින් ලද එකම තෑගි ටික විය..

ලබා ඇති තිළිණයන් සීමිත වීම නිසාම මා හට එම සෑම දෙයක්ම අදටත් ඉතා හොඳින් මතකයේ ඇත.

ඒ හැරුන කල පසු කාලීනව නම් මා බොහෝ සෙයින් ආදරය කල ගැහැණු දරුවා විසින් මා හට උපන් දිනයකට ටී ෂර්ටයක් මා හට තිළිණ කරන ලදි...
එයින් පසුව මෑත කාලීනව නම් පසු ගිය කාලයේ මගේ ජීවිතය වී සිටි ඇය විසින් මට වරින් වර කුඩා කුඩා තෑගි බොහෝමයක් දෙනු ලැබූ අතර..විශේෂයෙන්ම ඇඳුම් පැලදුම් තෝරා ගැනීමට මට ඇති දුර්වලතාවය හොඳින්ම දත් ඇය නිතරම මා හට එවැනි දෑම තිළිණ කරනු ලැබීය...

ඔය මාගේ අතීතයේ මාගේ ඥාති සම්බන්ධතා හා ප්‍රේම සම්බන්ධතා මත මට හිමි වී ඇති සම්පූර්ණ තෑගි ලැයිස්තුව වේ...

....................................
මා අන්තර්ජාලයට ගොඩ වී දැන් වසර පහක් පමණ ගෙවී ගොස් ඇත..එයිනිදු බ්ලොග් කියවීමට එක් වී වසර දෙකක් පමන ගෙවී ගොස් ඇත.
මා බ්ලොගයක අකුරු ඇමිණීමට පටන් ගෙන අද වන විට වසර එක හමාරක් පමණ කාලයක් ඉකුත් වී ඇත...

මේ කාල සීමාව තුලදී මා හට බ්ලොග් කරණය හරහා දැන අඳුනාගත් අයගෙන් ඊයේ වන විට අවස්ථා කිහිපයකදී තිළිණයන් හිමිව ඇති අතර..එයින් එක් තිළිණයක් මා වෙත තිලිණ කල කෙනා..ඒ වෙනුවෙන් හරි අපූරු බැනුම් ටිකකටත් උරුම කම් කියන ලදි. (මට දැන් පේනවා මේක බලලා ඔහු හරි අපූරුවට හිනාවෙන ගමන් මට නෙද්දකින් කියලා බනින හැටිත්..)

මෙයට ටික දිනකට ඉහතදී මා විසින් බ්ලොගයට ලියන ලද ලිපියක් දුටු තවත් සිංහල බ්ලොග් අතර සරන්නා වූ අප දන්නා කියන තැනැත්තියක් විසින් එහි මා සඳහන් කල මගේ පුංචි ආසාවක් පිළිබඳව සටහනට අවධානය යොමු කර ඒ සඳහා යම් දෙයක් තමාට කල හැකි බව දන්වා සිටි අතර ඒ හරහා මා හට ලැබෙන්නට උරුම වූයේ මාගේ සයිබර් ජීවිතය තුලදී මා ලබන්නා වූ තවත් අපූරුතම තිළිණයකි..ඇත්තෙන්ම එහිදී වරින් වර මා වෙත පනිවිඩ එවමින් ඇය විසින් මා හට එම තිළිනය ලබා දීම වෙනුවෙන් බොහෝ සේ ඇප කැප වී කටයුතු කරනු ලැබීය...

එහි අවසාන ප්‍රතිඵලය සේ අද දින මා හට කොළඹ විශ්ව විද්‍යාලයට පය ගැසීමට සිදු වූ අතර මහ වැස්ස මැදම තෙමීගෙන එහි ගොස් එම තිළිණය මා අතට ලබා ගන්නට මට හැකි විණි...

තිළිණය පමණක් නොව ජීවිතයේ පළමු වරට විශ්වවිද්‍යාල භූමියකට පය ගහන්නටද මට ඒ හරහා අද වාසනාව උදා වූ අතර වංක ගිරියක් බඳු වූ විශ්ව විද්‍යාල ගොඩ නැගිල්ල නිර්මාණය කල අය හෝ අයවළුන් නම් සෑහෙන්න මගෙන් බැනුම් අසා ගත් බවද කිව යුතුමය...

බොහෝම අමාරුවෙන් අතරමං නොවී අඳාල තැනින් මට එවා තිබූ තිළිණය මා අත පත් වූ පසුව තවත් හොඳ වරුසාවක් මැදම යාන්තමින් අද දහවල් වන විට ගෙදරට ආපසු ඒමට හැකි වූ අතර..එයින් පසු ත්‍යාගය පිරික්සා බලන විට එකක් වෙනුවට තුනක්ම ලැබී තිබුණි...

දැන් මේ වන විට නම් එයින් එකක් ඉතා සීරු මාරුවට පැයකට ආසන්න කාලයක් ලබා ගෙන මා විසින් හමාර කරන්නට යෙදුණ අතර...එයින් මා ලද වින්දනය ඉමහත් බවත්...එම වින්දනයටත් වඩා තිළිණයක් එය හිමි වූ නිසා ලබන සතුට හරහා මා විසින් භුක්ති විඳිනා බවද මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි...

අරුණි අක්කේ ඔබට ස්තූතියි..!


පවසා ගත නොහේ මුව ඇත ගොළු වීලා..

හිතුවක්කාර නුඹ ගාවදි නැවතීලා..
නන්නත්තාර විය මා අසරණ වීලා..
යනතක් නොදැන තවමත් මා තනිවීලා..
පවසා ගත නොහේ මුව ඇත ගොළු වීලා..

පෙර දින හමු උනා ගමනක අතර මැද..
හමු වී හිනැහුනා දහසක් පැතුම් මැද..
යළි අප වෙන් උනත් තනිවී කතර මැද..
තවමත් නොමැත අවසානය සසර මැද...

26 April 2011

හදිසියේම ගත් තීරණයක්...මාර සුනාමිය...

අළුත් දිනයක් ආරම්භ වී තිබූ මුත්..සිත තාමත් ඇත්තේ පෙර දිනයේ සිදු වීම පිළිබඳවය..අවදි වූ වහා රූපවාහිනිය ක්‍රියාත්මක කරවා එතැන් පටන් වෙනත් කාර්යයන් සිදු කරනා අතරම විටින් විට සුනාමි රළ පහරින් විපතට පත් වූවන්ගේ හා විනාසයට පත් වූ ස්ථාන පිළිබඳව විස්තර නරඹමින් කාලය ගත කරනා අතරම නැවතත් කල යුතු යමක් ගැන සිතන්නට විය...

දකින දකින රූපවාහිනී චැනලයන් ඔස්සේ පෙන්වමින් තිබුනේ දකුණු පළාතට වැඩි අවධානයක් දෙවන්නා වූ පුවත්මය...එතකොට කෝ අනිත් පැති ගැන විස්තරයක්..මා සිතන්නට වීමි...

උතුර පිළිබඳව තොරතුරු ලබා ගැනීම පහසු නොවන වග එවකට පැවති ත්‍රස්ථවාදී යුද්ධය අද යන්තමින් හෝ මතක අය හට නම් ගැටළුවක් නොවනු ඇති...

එහෙයින් මා හට උවමනා වූයේ නැගෙනහිර ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කිරීමටය..
ඒ අනුව එම පැත්තේ සම්බන්ධතාවයක් සොයමින් කල්පනා කල මා හට මා සතුව තිබූ දිනපොතේහි මුල් පිටුවල මුද්‍රණය කර තිබෙන පොදු තොරතුරු ලයිස්තුවකින් නැගනහිර පළාතේ රජයේ ආයතන කිහිපයක දුරකථන අංක ලබා ගතිමි.

උදෑසන නවය පමණ පසුවන විට බොහෝ උත්සහ කිරීමෙන් පසුව මා හට එක් ඇමතුමක් ලබා ගන්නට හැකි විය..ඒ නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයේ අංකයකි..මට මතක හැටියට එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විය යුතුය. කතාවට එකතු උනේ පිරිමි අයෙකි...

මා ඔහුට මා පිළිබඳව කෙටි හැදින්වීමක් කලෙමි..අනතුරුව මේ මොහොතේ කුමක් හෝ කාර්යයක නිරත වීමට මා ඇතුළු ප්‍රදේශවාසී තරුණයින් සූදානම් බැව්ද..ඒ සඳහා යම් මග පෙන්වීමක් කරනා මෙන්ද ඔහුගෙන් ඉල්ලා සිටියෙමි...

ඇත්තෙන්ම එදා එහා පැත්තෙන් කතා කලේ කවුදැයි මා නොදන්නා මුත් ඒ මොහොතේ හැටියට එවැනි අයෙක් දුරකථනය අතට ගැනීම මම අදටත් අගය කරමි..ඇතිව ඇති තත්වය පිළිබඳව මා හට කෙටියෙන් දැනුම් දුන් ඔහු... මේ මොහොතේදී ඔවුන් හට උදව් අවශ්‍ය මුත් ඒ පිළිබඳව හරි හැටි සංවිධානය වීමක් හෝ...නිසි සම්බන්ධීකරණයක් කල නොහැකි බවත් මා හට ඉතා පැහැදිලිව විස්තර කර දී එසේ වූවත් අවස්ථාවේ හැටියට කුමක් හෝ කල හැකිනම් එය බොහෝ සෙයින් වටිනා දෙයක් බව පළාතේ විපතට පත් වූවන් සියළු දෙනාම වෙනුවෙන් මා හට දැන්වීමට කැමති බවත් දන්වා සිටිනු ලැබීය...

වෙන කල හැකි යමක් නොවුන තැන මා විසින් අවසානයේදී එක් උදව්වක් කරනා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි..

එනම් නැගෙනහිර පළාතේ මුහුදට කිට්ටු කුමක් හෝ විහාරස්ථානයක දුරකථන අංකයක් ලබා දෙන මෙන් පැවසීමි.

වහා ක්‍රියාත්මක වූ ඔහු විසින් මා හට යම් අංකයක් ලබා දෙන ලදි...

"මුහුදු මහා විහාරය" පොතුවිල්...එම විහාරය විය...

පසුව එම අංකයට කතා කල විට මා හට එම විහාරස්ථානයේ නායක හිමියන් ඇමතීමට හැකියාව ලැබුනු අතර..මා විසින් උන්වහන්සේට මා ඇතුළු පිරිස විසින් කල යුතු දෙයක් ගැන අදහසක් ලබා දෙන මෙන් ඉල්වනු ලැබීය...

එවිට උන්වහන්සේ විසින් මා හට දැනට එම ප්‍රදේශයේ තත්වයත් ඉදිරිපත්වීම පිළිබඳව සිය සතුටත් ප්‍රකාශ කරනා අතරතුරදීම දැනට විය යුතු කාර්යයන් කිහිපයක්ම මා හමුවේ තබන ලදි..ඉන් බරපතලම දේ වූයේ විපතට පත්ව සිටි අයගේ නිවාස විනාශ වීම නිසා ඔවුන්ට අත්ව ඇති තත්වයයි...

මෙවන විට මා පැවිදිව වසර එක හමාරක් පමණ බව මා මීට පෙර සඳහන් කර ඇත්තෙමි..ඇත්තෙන්ම ඒ කාලය තුල ටිකෙන් ටික පන්සලේ දියුණුවට වැඩ කරගෙන ඒම හරහා කාලයක් තිස්සේ විහාරස්ථානයෙන් ඈත්ව සිටි පිරිස ක්‍රමක්‍රමයෙන් නැවත පන්සල වටා එක් ‍රොක් කරගනිමින් මා විසින් ගමනක් යන්නට මුල පිරූ අවස්තාවක් විය..පන්සලේ කලකදී සිටි මහා දායකයින් පන්සල අතැර දමා තිබූ අතර තවමත් ඔවුන් තුල විශ්වාසයක් ඇති කර ලන්නට මට අවස්ථාවක් නොලද බැවින් විශාල දෙයකට අත ගැසීම තරමක් බරපතල කරුණක් විය...

අනිත් කාරණය නම් පෙරදින ලැබූ ප්‍රතිචාර හරහා කුමක් හෝ පටන් ගන්නා කටයුත්තකට අවශ්‍ය තරම් ප්‍රතිපාදන සොයා ගැනීමට පහසු නොවන බව දැන සිටීමයි..විශේෂයෙන්ම ගමේ වැඩකට මිස ගමෙන් පිටත කෙරෙන දේකට උදව් කිරීමට ගම්මුන් ඉදිරිපත් වේවිදැයි හරියටම කිව නොහැකි විය..එහෙයින් මඳක් කල්පනා කල මා අද දින ඇතුලත කුමක් හෝ කටයුත්තක් සංවිධානය කරගෙන උන්වහන්සේට කතා කරනා බව කියා දුරකථනය තැබිමී...

තරමක් දහවල් වන විට පෙරදා පිරිසෙන් කිහිපදෙනෙකු පැමිණී අතර ඔවුන්ට මෙම අළුත් කාරණාව කියා ඔවුන්ද එකතු කරගෙන පන්සලෙන් පිටත පාරට පිවිසියේ දන්නා කියන ගෙවල් දෙක තුනක ඇවිද මේ වන විට මා සිත තුල ඇති වෙමින් තිබූ කාරණාවට යම් උදව්වක් ගත හැකිද යන්න දැන ගැනීමටය...

ඒ අනුව කොයි වේලාවෙත් පන්සල හා බැඳී සිටි උපාසක යුවලක් හමු වීමට මා ගියේ ඔවුන්ගෙන් ලැබෙන අබ ඇටයකින් පවා ආරම්භ කරනා ඕනෑම කටයුත්තක් ඉතා හොඳින් කර ගැනීමට හැකියාව ඇති බව පසුගිය කාලය තුලදී කෙරුණු වැඩ වලදී අවබෝධ කරගෙනසිටි නිසාමය...

ඔවුන් සමග කතා වේදී මා පවසන තෙක්ම මා සමඟ ගිය ගැටවරයින් පවා එහි ගිය අරමුණ නොදැන සිටියේය...
මම මෙතෙක් දක්වා තත්වය උපාසක යුවලට කියා..මුහුදු මහා විහාරයේ නායක හිමියන්ගේ ඉල්ලීමද පවසා සිටි..පසුව අපට හැකි අන්දමකින් තාවකාලික කුඩා නිවහනක් ඉදිකරලන්නට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නට මෙහි ආ වගත් පවසා සිටි අතර..ඒ සඳහා සිතේ ඇති සැලැස්ම ඔවුනට මට හැකි උපරිම අන්දමින් පැහැදිලි කර දෙන ලදි.

කටයුත්තට ඔවුනගේ උපරිම සහය ලැබෙන බව ඉතා සතුටින් පවසා සිටි එම යුවල වහාම නිවසින් පිටතට මා කැඳවාගෙන ගොස් ගේ පිටිපසට වන්නට හොඳින් වැඩී තිබූ ඇට්ටෝනියා ගස් කිහිපයක් පෙන්වා..

"අපේ හාමුදුරුවන්ට ඕන ගහක් කපා ගන්න..ඔය මහ ගස් තුනම කැපුවත් කමක් නැහැ" යනුවෙන් පවසන ලදි...

"නැහැ උපාසක මහත්තයා..මට එක ගහක් හොඳටම ඇති..අනිත් අයවත් සම්මාදන් කර ගන්න ඕන"

අප මේ ගස් වදුල දෙස බලමින් කතා කරනා අතර තුර ඊට අල්ලපු වත්තේ සිටි පන්සලේ දායිකාවක්ද එතනට ඉක්මන් ගමනින් පැමිණි අතර කරන්නට යන කාරිය අපෙන් අසා දැනගෙන

"අපේ හාමුදුරුවනේ අපේ වත්තේ මායිමෙත් ගහක් තියෙනවා..ඒත් වැට මැද්දට අහුවෙලා ඒකට අපේ මල්ලිලායි අපියි අතරේ ටිකක් අයිතිවාසිකං ගැන අවුලකුත් ඇති වෙලා තියේ..අපේ හාමුදුරුවනේ මම මගේ පංගුව අතාරින්නං අපේ මල්ලිටත් කතා කලානං.."

"ආ බොහෝම හොඳයි උපාසක අම්මේ..මම උන්නැහේට කතා කරන්නං"

"ආ ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනේ ඒ ගහ කොහොම උනත් මේ ගෙට එහා පැත්තෙන් තියෙන ගස් දෙකෙනුත් එකක් කපා ගන්න"

"එහෙම ඕන නැහැ උපාසක අම්මේ මට අරක ගන්න පුළුවන් වෙයි ඒ මදෑ.."

"හොඳමයි හාමුදුරුවනේ එහෙම බැරි උනොත් ආයේ දෙකක් නැහැ අර ගස් දෙකම හරි කපා ගන්න"

"හරි හරි උපාසක අම්මේ අපි ඒක දෙවෙනුව බලමුකෝ"

ඒ පැවසූ පරිදිම වැට සීමාවේ තිබූ ගස ඉතා කැමැත්තෙන්ම අනිත් පාර්ෂවයද මැදිහත්ව අපට ලබා දෙන ලද අතර...පැයක දෙකක ගමනකින් පසුව මා පන්සලට එන විට අපේ අනිත් නඩය මා ගිය අතක් නොදැන පන්සලේ මිදුලේ තැන් තැන් වල වාඩි ලාගෙන උන්නෝය...

හරි හමන් විදියේ පැහැදිලි සැලැස්මක් නැතිව පාරට බැස්ස මුත් මේ වන විට අතර මගදී හමු වූ අය හා කතා බහින් හා මා සමඟ පැමිණි කොළුවන්ගේ අදහස් සියල්ල ඒකරාශී කරගෙන මේ වන විට කල යුතු දේ පිළිබඳව මා විසින් නියම ආකාරයේ සැලැස්මක් සකස් කරගෙන තිබිණි..ඒ සඳහා ගැටවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව දෙවරක් සිතිය යුතුව නොතිබිණි... මැරෙන්න යන්න කතා කලානං එයටද ඒමට සූදානං කොල්ලන් පිරිස අම්පාරේ ගමනක් හා ඒ හා සම්බන්ධ පින්කමකට සම්බන්ධ වීම යන කාරණා දෙකට ඉහටත් උඩින් කැමති විය...

එපමණක් නොව...පැය කීපයකට පෙරදී කිසිවක් නොතිබූ නමුත් දැන් මේ වන විට සැලැස්මක්..එයට එකතු උන තරුණ පිරිසක් හා ගම් වැසියන්ගේ නොමසුරු සහයද ලැබෙමින් පැවතෙමින් තිබිණි.

මිදුලේ සිටි පිරිස වහ වහා යවා අවශ්‍ය කරන ආයුධ ගෙනෙන්නට පිටත් කල අතර මා නැවතත් මුහුදු මහා විහාරය ඇමතීමි.


සැලැස්ම වෙනස් වීම...පන්සල් දිවියේ සුනාමි අත්දැකීම...

අද මේක ලියන්න ගත්ත උනාට..එක දිගටම ලියන්න වෙන්නේ නැහැ..සැරින් සැරේ වෙන දේකටත් යොමු වෙන්න වෙනවා..ඒත් ඊයේ ලිව්වෙත් නැති හින්දා අද කොහොම හරි ලියන්නත් එපැයි...

අළුත් අවුරුද්දේ අළුතින්ම දෙයක් පටන් ගන්න ඕනයි කියලා හිතිලා තියෙන්නේ...දැන් ඉතිං ඉස්සර වගේ කිසිම දේකට පන්නගෙන යන ගතියක් නැති හින්දා ලොකුවටම නැති උනත් පුංචියට හරි වැඩේ පටන් ගන්න ඕන කියලා හිතුනා.වෙන දෙයක් නෙවේ ඉතිං මගේ කේන්දර වැඩේම තමා...

ඒකට මම මේ දවස් ටිකේ තැනක් බලනවා...අදත් ඒ හින්දා තැනක් හොයා ගන්න එකට පොඩ්ඩක් දඟලන්න ඕන...ඒකට හරියන දෙතුන් දෙනෙක් අල්ලගන්න තමා අද මේ බලන් ඉන්නේ...

මට ඕනම තැනකින් තමයි තැනක් ගන්න හදන්නේ..ඒ හින්දා ටිකක් වැඩේ ලේසී වෙන්නේ නැහැ.
ඒත් වෙන තැනකට වඩා එතනට මම කැමතියි..ඒ වගේම මට ගැලපෙනම තැනක්...
ගාන කීයක් වෙයිද දන්නේ නැහැ..ඒ වගේම අත්තිකාරම් මුදල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන...ඕන කරන මේස පුටු උපකරණ ආදියට යන වියදම..ආදී ඔය හැම දේම මට සහනදායී විදියට සෙට් උනොත් ජීවිතේ 32 වන අවුරුද්දේ ආරම්භයට මම මුහුණ දෙන්නේ වෙනස් විදියකට වෙන්න පුළුවන්...
බලමු.........

...........................................................

සවස් වන විට සෑම අතින්ම ගෙන එනු ලැබූ ආධාර ද්‍රව්‍යය පන්සල තුල එක් රැස් වන්නට විය...
ගෙන් ගෙට යමින් ආධාර එක් කල අය මෙන්ම ආරංචියට සංවේදී වූ ඇතැම් අය විසින් පන්සලට ගෙනවිත් භාර දුන් භාණ්ඩද ඒ අතර විය...
ආධාර එකතු කල අයද ක්‍රම ක්‍රමයෙන් පන්සලට එකතු වන්නට විය... පැය දෙකක් වැනි කාලයක් තුල ඔවුන් සෑහෙන කාරියක් කොට තිබුණද...තත්වය ඒ තරම්ම යහපත් නොවීය...

එනම් අප විසින් මුලින්ම සිතූ පරිදි වාහනයක් රැගෙන ගෙන ගොස් බෙදා දීමට තරම් දෙයක් එහි නොවිණි...

හාල් මිටි තුනකට මදක් වැඩි ප්‍රමාණයක්ද..පරිප්පු.. ළුණු සීනි ආදී දේද ඒ තරම්ම එකතු වී නොතිබිණ..ඒ වෙනුවට වැඩි පුරම එකතු වී තිබුණේ ඇදුම් පැළඳුම්ය...ඇදුම් නම් ලොරි දෙකක් පමණ පිරවීමට හැකි පමණ තිබුණි..ඇත්තෙන්ම මේ ඇඳුම් දෙස බැළු විට අප සියළු දෙනාටම මිනිසුන් ගැන ඇති වූ සිතුවිලි ගැන මෙහි ලිවීම ඉතා අපහසු කතාවකි...

පෙර ලිපියේදී මා සඳහන් කල පරිදිම මෙය මහා විකාරයක් බඳු කරුණක් විය...

එකතු වූ ද්‍රව්‍ය පන්සලේ කාමර හා ඉඩ ඇති සෑම තැනම රැස් කර තිබූ අතර උහුලාගත නොහැකි අන්දමේ මහා දුර්ගන්ධයක් මතු වෙමින් තිබිණි...ඊට හේතුව අර මහා ඇඳුම් කන්දය...

මෙවැනි අවස්ථාවලදී බොහෝ විට කරන්නාක් මෙන් බොහෝ උදවිය තම තමන්ගේ ගෙවල්වල අල්මාරි කුනු බාල්දි අහු මුළු සෑම තැනම පුරවා තිබු කුණු ගොඩවල් රැසක් අස් පස් කොට තිබුණි...මනුස්සයෙකුට අදින්නට තබා සිතන්නටවත් නොහැකි කුණු ගද ගහන කිළිටි රෙදි වැඩි ප්‍රමාණයක් අතර අතරින් පතර භාවිතා කල හැකි අන්දමේ රෙදිත් නොතිබුණාම නොවේ..එහෙත් විපතකදී වූවද මිනිසකු විසින් තවත් තමන්ම වැනි වූ මිනිසෙකුට දිගු කරනු ලබන පරිත්‍යාගශීලී දෑතකින් දිය හැකි අන්දමේ ඇගළුම් ඒවා අතරබොහෝ අල්ප විය...

අපගේ ඉල්ලීම වූයේ තමන් පාවිච්චි කර ඉවත් කල පාවිච්චි කල මට්ටමේ ඇති ඇගළුම් වූවත්, පාවිච්චි කල නොහැකි..අඩුම තරමේ ඉවත ලෑමේදී සෝදා පිරිසිදු කරවත් නොතිබූ හඩු ගද ගසන පට්ට ගිය ඇදුම් රාශියක් මෙම එකතුවෙහි විය...

මෙහිදී මිනිසුන් ක්‍රියා කොට ඇති ආකාරය හා ඔවුනගේ සිතුම් පැතුම් පිළිබඳව දීර්ඝ ලෙස විග්‍රහ කිරීමට යාමට මා බලා පොරොත්තු නොවන්නේ.. මෙය බොහෝ අයට වෙනස් වෙනස් අන්දමෙන් දැකිය හැකි කාරණයක් වන නිසාවෙනි..

විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී අතට අහු වෙන කොයි දේ හරි දෙන එක ලොකු දෙයක් නොවේදැයි කෙනෙකු ට ප්‍රශ්න කල හැකි බව මා දනිමි.

එසේම දෙන දේ හොඳ හිතින් දෙනවානං මොනවා දුන්නම මොකෝ යනුවෙන් ප්‍රශ්න කල හැකි බවද මා දනිමි.

නමුත් හෘද සාක්ෂියට එකඟව තමුන් මේ ඇත්තටම දෙනවාද නැත්තං හිත්වල තියෙන ලෝබ කම නිසා මෙතෙක් කලක් කුණු ගොඩට හෝ විසීකරන්නට අකමැත්තෙන් තිබූ දෙයක් පින් පිණිසයැයි කියා සිතට කියා ගනිමින් නොදී බැරි කමට දෙනවාදැයි තම තමන්ම විමසා ගත යුතුය.

මේ දේවල් අප දෙන්නේ අප වැනිම වූ තවත් ආත්ම ගරුත්වයක් ඇතිව සිටින මිනිසකු සඳහාම නොවේදැයි මොහොතක් හෝ කල් පනා කරන්නේ නම්...?
....................................................

අවසන අපට සිදූ වූයේ ලැබූ තිබූ දේ වර්ගීකරණය කිරීමයි...

මුදල්..
වියළි ආහාර ද්‍රව්‍ය
හා ඇදුම් පැළදුම් මේ අතර විය...

මුදලින් ඒ හැටි ප්‍රමාණයක් එකතු වී නොතිබිණ..මට මතක ඇති අන්දමට රුපියල් තුන් දහසත් හාර දහසත් අතර ප්‍රමාණයක් විය...
එහිදී කිව යුතු තවත් දෙයක් නම් ලේඛණ වල සඳහන් මුදල් ප්‍රමාණයට වඩා ලැබී තිබු මුදල වැඩි වී තිබීමයි...
එසේ වන්නට හේතු වී තිබුනේ සමහරක් අය තම නම ගම සඳහන් නොකර සිටින්න යැයි කියමින් මුදල් ආධාර දීමයි... එහි අරමුණු දෙකක් ඇත..ඇත්තෙන්ම සමහර උදවිය තම නම ගම ප්‍රසිද්ධ කර ගැන්මට නොව අවංක සිතින් ආධාර කිරීමට බලා පොරොත්තු වීම නිසා එසේ පවසන අවස්ථා බොහෝය...

නමුත් ඔවුන් වැනි අය නිසාම සමහර වංචාකාර උදවියට ආධාර මුදල් වංචා කිරීමට අවස්ථාවක් උදා වෙයි..එබැවින් එසේ කරනු ලබන්නා වූ පින්වතුන් ඒ කරුණ ගැන සිතා කටයුතු කිරීමත් යෙහෙකි.

දෙවන පිරිස නම් තමන් දුන් මුදල අන් අය දැන ගැනීම හරහා තමන් හට සමාජයේ ඇතැයි කියා තමන්ම සිතා සිටින නම්බුව යැයි කියා මමන් විසින්ම කියා ගනු ලබන දෙයට හානි වීම වලක්වා ගැනීමයි...එබැවින් තමන් දෙනු ලබන මුදලට වඩා යමක් සමාජයට තමා විසින් දිය යුතුව තිබුණා යැයි සිතන ඔවූහූ විසින්ම තම ආධාරය පහත් කොට සිතා මෙසේ ක්‍රියා කරති...

මෙහිදී ඔවුන් බලා පොරොත්තු වන තවත් දෙයක් ඇත..එනම් තමා දුන් මුදල ආධාර එකතු කරන්නට ආ අය විසින් යටි මඩි ගසනු ඇතැයි යන්නයි..එසේ වීම හරහා තමාගේ ආධාරය පිළිබඳව කිසිවකුට හෝ පැවසීමට එම ආධාර එකතු කරන අය නොපෙළෙඹේවී යැයි සිතා එවැනි දේ කරනු ලබයි...ඇත්තෙන්ම ඔවුන් ගේ අදහස ක්‍රියාත්මක වන අවස්ථාව බොහෝ බහුල බවත් කිව යුතුය...

එහෙත් එවැනි අරමුණු ඉෂ්ට වීමට නම් ආධාර එකතු කරන්නන් වංචාකරුවන් වීම අනිවාර්ය විය යුතුය.
නමුත් ආධාර එකතු කරන්නට ගිය පොඩි උන් විසින් අවසානයේදී දෙකට තුනකට නවන ලද කොල කැබලි කිහිපයක් මා වෙත ඉදිරිපත් කරන ලදි..එහි සදහන්ව තිබුනේ එවැනි ප්‍රධාන ආධාර පත්‍රයට බැහැරින් ආධාර කල අයගේ නාම ලේඛනය විය...
පොඩි උන් සමග පොදු වැඩවලදී කටයුතු කිරීමෙන් ලද හැකි යහපත් ප්‍රතිඵල මෙවැනි සිදු වීම් හරහාම තේරුම් ගත හැකිව තිබිණි...

දෙවැනිව තිබූ වියළි ආහාර ප්‍රමානය වෙන් කිරීම ඒ හැටි අපහසුවක් නොවීය...

අපහසු කාරණය වූයේ ඇඳුම් පිළිබඳව කටයුතු කිරීමේදීය..එහෙත් සෑම දෙනාම සුළු මොහොතක කතා බහකින් පසුව ගත හැකිව තිබූ හොඳම තීරණය ගැනීමට පසුබට නොවූහ...

ඒ අනුව නාස් අකුලා ගනිමින් බොහො අමාරුවෙන් රෙදි පිළී වර්ග කිරීමටත් සුදුසු ඒවා පිළි වෙලකට නවා තබා ඇසුරුම් කිරීමටත් කටයුතු යෙදිණි...අවසානයේ යහපත් ඇදුම්වලට වඩා වැරහැලි ඇදුම් ප්‍රමාණය අධික විය...
මෙම ඇදුම් වලට කල හැකි යමක් නොවීය..නැවත සොයා බලා ආපසු භාර දීම හෝ..ඒවා අනුන්ට පෙනෙන සේ තැබීමද කල නොහැකි විය...එසේ යැයි කියා පන්සල ඇතුලත ඒවා තැබීමත් කල නොහැකිය...

එබැවින් ආවාසය පිටුපස තැනක ඒවා ගොඩ ගසා තැබුනු අතර ඒ සඳහා සුදුස්සක් කිරීම පසුවට කල් තබන ලදි...
පසුව කල එකම කටයුත්ත වූයේ මදක් රෑ බෝ වූ පසුව ඒසේ වූ මහා කුණු ගොඩකට අප විසින් ගිනි ලෑම පමණි... පසුව දැන ගන්නට ලැබුණු ආකාරයට සෑම ආධාර එකතු කල කණ්ඩායමටම මෙම අත්දැකීමට මුහුණ පාන්නට සිදුව තිබූ අතර..ඔවුන්ගේ ක්‍රියාවලියත් අපගේ ක්‍රියාවලියට වෙනස්ව තිබුණේ නැත.

කෙසේ හෝ සවස හතර පමණ වන විට මෙම භාණ්ඩ සියල්ල සූදානම්ව තිබුනද ඉන් එහාට කල යුතු දේ පහසු නොවීය...

වාහනයක් සොයා ගැනීමත් තරමක අසීරු කරුනක් වූයේ..වෙන දිනකදී නම් පහසුවෙන් සපයා ගත හැකිව තිබූ සියළුම වාහන බොහෝ අය විසින් තම තමන්ගේ නෑදෑ මිතුරන් සෙවීම සදහාත් සිදුව ඇති විපත දැක ගැනීම සඳහා රැගෙන යාමත් නිසාය.

එසේ වූවද කෙසේ හෝ වාහනයක් සොයා ගැනීමත් කල හැකිව තිබුනු මුත්..වාහනයකට සෑහෙන ආකාරයේ භාණ්ඩ රැස්ව නොතිබිණ...

එසේ වූවද එක්ව සිටි ගැටවුන්හට කෙසේ හෝ අදාල දේ දැක ගැනීමට යාමට දැඩිව උවමනා වී තිබිණි.
නමුත් මා ඔවුනට වඩා වගකීමක් ඇතිව කටයුතු කල යුතුව තිබිණි... වේලාවේ හැටියට අදාල දේ දැක ගැනීම පෞද්ගලික වශයෙන් අපහට අමුතු අත්දැකීමක් විය හැකිව තිබූ මුත් ඉන් අපට හෝ විපතට පත්ව උන් අයට අත්වන සෙතක් නොමැත.

එහෙයින් එක්ව සිටි කොළු ගැටවුන්ට තිබෙන තත්වය අසීරුවෙන් මෙන් පැහැදිලි කර දෙන්නට මා හට සිදු විණි...

මේ මොහොතේදී කල යුත්තේ අප එහි ගොසින් දැක සෑහීමට පත්වීමට වඩා එපිටින් ගිය දෙයක් බව ඔවුනට අවබෝධ කරදීම තරමක වෙහෙසක් දරා හෝ අවසන මා හට හැකි විණි..නමුත් බලාපොරොත්තු කඩ වීම හරහා කීප දෙනෙකුගේ මුහුණු බිමට බරව තිබිණ...

ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ දෙයක් මෙන්ම ඒ හරහා ඇතිව තිබූ තත්වය යටතේ අප විසින් කල යුතුව තිබෙන කටයුත්තට වැඩි අරුතක් දීමත් කල යුතුව තිබිණි.

ඒ පිළිබඳව කටයුතු කිරීමට ප්‍රථමව දැනට එකතුව තිබෙන දේ පිළිබඳව කල යුත්තක් කල යුතුව තිබිණි..ඒ අනුව කොළු ගැටවුන් කිහිප දෙනෙකු යවා අසල පන්සල් විමසීමි. මේ වන විට දුරකථන මාර්ග හරහා සම්බන්ධතා ගොඩ නැගීම අසීරුව තිබිණි...තිබුනත් පන්සලේ තිබූ අපූරූ දුරකථනය වූ "රංකතා" නැමැති දුරකථනය හරහා කතා කිරීමට වඩා පයින් ගොස් පණිවිඩය කියා ඒම පහසු විය..පන්සල හා බැඳි මෙම දුරකථන පිළිබඳව වෙනම කතාවක් ඇතත් එය මෙ‍හි සඳහන් කිරීමට යෑම මෙය සුනාමි කතාව නොව අරාබි නිසොල්ලාසය වීමට හේතු වන්නක් බැවින් එය පසෙකින් තබමි.

ඒ අනුව අසල පන්සලක මේ වන විටත් සකස් වෙමින් පැවති බත් පාර්සල් බැදීමේ ක්‍රියාවලිය සඳහා සියළුම වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයත් එම පන්සලෙන්ම පිටත්ව යන්නට නියමිතව තිබූ ආධාර බෙදා දීමේ පිරිස අත‍ට අනිකුත් සියළුම ආධාර ද්‍රව්‍යත් භා කලෙමු..ඒ සඳහා එම පන්සලෙන් අප වෙත රථයක් එවා තිබූ අතර අප සියල්ලන්ම එකතුව අප සතුව තිබූ ආධාර ද්‍රව්‍ය සියල්ලම එයට පටවා දුන්නෙමු.

භාණ්ඩ රැගත් රථය පන්සලෙන් පිටත්ව යද්දී කොළුවන්ගේ මුහුණු මලානිකව ගොස් තිබිණි... ඔවුන් බලා පොරොත්තු වූ ආකාරයට මුහුදු කරයේ සවාරියක් යෑම ඔවුනට අහිමි වීම එම මලානික වූ මුහුණු යට තිබූ කතාව විය...

සියළුම ආධාර ද්‍රව්‍ය අසල පන්සලට භාර දී අවසන මා අත ලැබී තිබූ මුදල් ආධාර ඉතිරිව තිබිණ...
මැලවී ගිය මුහුණු මා ඉදිරියේ තිබියදී අත ඉතිරිව ඇති රුපියල් හාර දහසකට ආසන්න මුදල දෙසත් බලා කුමන හෝ දෙයක් කල යුතුය යන සිතිවිල්ල සිතේ ඇති කරගත්තෙමි...ඒත් සමගින්ම මා ඔවුන් හා කතාවට වැටුනෙමි...

"මොකද මල්ලිලා නිකං මැල වෙලා ගිහින් වගේ..."

"මැල වෙලා නොයා තියෙයිද හාමුදුරුවනේ..මදැයි අපි වැඩේ බලන්න යන්න හැදුවා..ගෙවල් වලින් අපිව යවන්නේ නැති හින්ද තමයි හාමුදුරුවොත් සෙට් කරගෙන යන්න අපි මේකට අත ගැහැව්වේ මදැයි කොලා..."

ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වීම වචන හරහා පිටට පැමිණෙමින් තිබුණි...

"ඒක ඇත්ත බං කොල්ලනේ..ඒත් තේරුමක් නැති දෙයක් කරලා මොකටද..?"

"ඒ උනාට හාමුදුරුවනේ..දැන් ඉතිං අපි කොහොමද මේක බලන්න යන්නේ..?"

"අනේ බං අපි බලන එකේ නෙවේ වැඩේ තියෙන්නේ..අපි කරන දේ..ඒත් උඹලට මේ වැඩේ ගැන හිතට හරි නැහැ තමයි..අපි බලමු මොනවා හරි කරන්න..හෙට උදෙන්ම වරෙල්ලා කට්ටියම..අපි ඒක හෙට බලමු..කොහොම හරි උඹලට වෙලා තියෙන දේ පෙන්න ගෙන ඒ එක්කම තව මොනවා හරි දෙයක් කරමු..."

එතැනින් කතාව අවසන් වූ අතර රාත්‍රිය පුරාම මා සිතන්නට වීමි. මෙහිදී ඇතිව තිබෙන විපතේදී කටයුතු කිරීම මෙන්ම පන්සලේ දියුණුව රැදී තිබූ අනාගත දායක පිරිසගේ සිත් නොතලා කටයුතු කිරීමත් අප විසින් කල යුතුව තිබිණ...රැය පුරාවට සිත වෙහෙසවා කල හැක්කක් ගැන සිතා ගත නොවූ තැන හෙට උදෑසන වන විට ඇති තත්වය පිළිබඳව සොයා බලා සුදුස්සක් කරන අදහසින් සිතීම අතැර දැමුවෙමි.

පසු දිනට එළි විණි...

24 April 2011

පැන පැන දෙන කැත පුරුද්ද... සුනාමියේ මාර අත්දැකී‍ම්‍...

කාලයක් තිස්සේ බ්ලොග් එක ලියලා ලියලා යාන්තං 350 කුත් ගහලා ආයෙමත් සුපුරුදු ලිවීම ආරම්භ කරන්න සූදානම් වෙන මොහොත...

ටිකක් නිදිමතයි..මොකද ඊයේ රෑත් නිදිමරලයි අදත් වැඩට ඇවිල්ලා ඉන්නේ...ඒ හින්දා ඉක්මනට මේක ලියලා ටිකක් ඇස් දෙක පියාගෙන හරි පුටුව උඩම ඉන්න ඒන..ඒ තරමට වැඩේ අමාරුයි...

...........................................................
ඔබත් මමත් අප කවුරුත් දන්නා සුනාමිය හිටි හැටියේ පැමිණ වැඩි වේලා නොරැඳි පිටව ගොසින් තුබුණේ තමාගේ එම හදිසි පැමිණිම අප සියල්ලන්ගේම හදවත්වල නොමැකෙන සටහනක් සේ ඉතිරි කර තබමින්ය යන්න මා පැවසුවහොත් එය ඔබ සියල්ලන්ටම එකඟ විය හැකි කරුණකි...

නමුත් එහිදී අප කටයුතු කල ආකාරය අනුව එම මතක සටහන් එක එක්කෙනාට වෙනස් විය හැකි බවත් කිව යුතුය...
බොහෝ දෙනෙකුට සිය ජීවිත කාලයතුලදී නැවත වතාවක් සිහි කර සිතේ සැහැල්ලුවක් ඇතිකර ගත හැකි ක්‍රියාවන් වල එම මොහොතෙහිදී නිරත වූවත් සුනාමි ආධාර වංචාකාරයින් හටනම් සිය ජීවිත කාලයතුලදීම පිටින් නොපෙන්නුවත් හදවතින් සියදහස්වාරයක් මැරි මැරි උපදින්නට හැකි තරමේ පාපක්‍රියාවක අඳුරු මතක සටහන්ද ඇති වෙන බව නිසැකය...

කෙසේ වෙතත් සිදුවූ ස්වාභාවික විපත්තිය පිළිබඳව ඇති අසුන්දර මතකය සිතේ එක් පසෙක තිබියදී..අනික් අතින් සිහි කරනු ලබන මොහොතක් පාසා සිතට යම් සැනසීමක් ඇති කරලන්නා වූ සුළු අන්දමේ හෝ කටයුත්තකට යොමු වන්නට මෙම සුනාමි ව්‍යසනය ඇති වූ අවස්ථාව මා ඇතුළු කිහිප දෙනෙකුටම ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත... මෙතැන් පටන් දිග හැරෙනුයේ එම කටයුත්ත සිදු වූ ආකාරයයි...

.......................................................

සුනාමිය රට තුලට කඩා වැදී පැය කීපයක් ඉක්ම ගොසින් තිබිණි...පන්සලට පැමිණි පිරිස අතර වූ මගේ සමීපතමයන් පිරිස වූ කුඩා දායක පිරිස අතර මෙම විපතේදී කුමක් හෝ වැදගත් කාර්යයක නිරත වීමේ අවශ්‍යතාවය ඉස්මතුව තිබිණි..ඒ අනුව කුමක් හෝ අන්දමේ ක්‍රියාදාමයක් හරහා මේ සඳහා ඉදිරිපත් වීමට උවමනා වූ ඔවූහු ඒ සඳහා මාගේ මැදිහත්වීම අපේක්ෂා කලේ ඒ වන විට පන්සලේ මෙන්ම ගමේ තිබූ සෑම සමිති සමාගමකම වාගේ කටයුතුද ටිකෙන් ටික මාවෙත පැවරෙමින් තිබූ අවදියකය...

රකින්නට පවුලක් නොතිබි මට නොපැමිනි අනාගතයක් වෙනුවෙන් වස්තුව පොදිගසන්නට උවමනාවක්ද නොවිණි..ඒ නිසාම මේ වන විටත් යම් යම් දේ හරහා මාවෙත ලැබෙන සෑම දෙයක්ම පන්සලේ මෙන්ම ගමේ පොදු කටයුතු වෙනුවෙන්ම ඒ ඒ වෙලාවේදීම බෙදී යාම නිසා..තමන් පුදන සෑම සතයක්ම ඊට වඩා කිහිපගුනයකින් වටිනා අන්දමට වියපැහැදම් වන ආකාරය දුටු මිනිසුන්ගේ නිරන්තර උදව් උපකාර ගලා එන්නට ටිකෙන් ටික හුරු වෙමින් පැවති කාලයයි මේ...

එවැනි වකවානුවක මෙවැනි කටයුත්තකදී මාත් සම්බන්ධ කරගෙන කුමක් හෝ කිරීමට යාම වඩා පහසු බව ඔවුන් විශ්වාස කරන ලදි...

ඒ අනුව ඉල්ලීම ආ සැනින්ම එය මා විසින් බාර ගනු ලැබිණි. විශේෂයෙන්ම මෙහිදී කිවයුතු එක් කරුණක් ඇත...

එනම් ඒ දිනවලදී ලැබෙන සෑම අවස්ථාවකටම මම හිස පොවමින් සිටි අවදියක් බවය..අප මෙයට පොදුවේ කියන නමක් ඇත..එනම් "පැන පැන දෙනවා" ලෙසින් කියන කියුමයි...

ඇත්තටම මම මේ වන විට පැන පැන දෙන්නෙකු වීමි...සමහර විට මෙය කියවන ඔබට පැන පැන දෙන්නෙකු පිළිබඳ සිතේ මැවෙන චිත්‍රය ඒ තරම් යහපත් නොවන බව මා දනිමි...මන්ද යනු මා හටද මාගේ ජීවිත කාලය තුලදී හමු වී ඇති පැන පැන දෙන්නන් බොහෝමයක් පිළිබඳව ඇත්තේද එවැනි චිත්‍රයන් වන නිසාමය..ඒ අතර ඉතා ස්වල්පයක් පිරිස මාගේ සිතේ නො‍මැකෙන මතකයන් වී ඇත්තේ..ඔවුන්ගේ එම පැන පැන දීම හරහා අන් අයට සිදු වූ සේවාවන් සිහිපත් කරලීමේදීය...

සමහරුන් පැන පැන දෙන්නේ කැපී පෙනීම හා ලකුණු දමා ගැනීමට පමණි...නමුත් තමා පැතූ ගරු නම්බු නාම ඒ පරිද්දෙන්ම නොලැබී යන අන්දමක් දකින්නට වූ කල ඔවුහූ එම කරන්නට ගත් ක්‍රියාව හිමිහිට අතහැර දමනු ලබයි.

එසේම තවත් සමහරු පැන පැන දීමට පටන් ගත් ක්‍රියාවට උපරිම ලකුණු සහ වෙනත් විවිධ වාසී ලබා අවසන් වූ වහාම එය අතැර වෙනත් දේකට පනින්නට උත්සහ දරනු ලබයි.. මෙවැනි අය නිසා අද සමාජයට වී ඇති විපත නම් වචනයෙන් විස්තර කරලිය නොහැකි තරම්ය.

මන්ද යත් ඔවුන් වැනි ක්ෂණීක ජනප්‍රියත්වය උදෙසා වැඩට ඉදිරිපත් වන්නන් නිසා ඇත්තෙන්ම වැඩෙහි දක්ෂතාවය හා නිපුණත්වය ඇති..එහෙත් පැන පැන දෙන්නට තරමක් මැලි අයගේ සේවය රටට සමාජයට නොලැබී යාමයි.

ගමක හෝ වේවා රටක හෝ වේවා... පොදු කටයුතු වලදී මනා සංවිධාන ශක්තියක් ඇති මෙන්ම ඒ සඳහා වඩාත් දක්ෂ අන්දමින් කටයුතු කල හැකි පුද්ගලයින් පාගා දමමින් එම වැඩට කිසිසේත්ම නුසුදුසු හැකියාවක් හෝ දක්ෂතාවයක් නැති අය පොරකමින් ඉදිරිපත් වනු දැකිය හැක..ඒ හරහා එම වැඩය කල හැකි අය එම සමාජයෙන් හැලී යන අතරම එම හේතුව නිසාම අර කරන්නට නියමිත කාරිය විනාස වී යාමද වන බව නොරහසකි. මේ සඳහාත් මා විසින් වැඩි උදාහරන පෙන්විය යුතු නොවේ...

රට පැත්තකින් තියා ගමේ චන්දය ලෙස ඔබ දන්නා ප්‍රාදේශීය සභා චන්දය පිළිබඳව සලකා බැලීමම සෑහෙන බව මගේ විශ්වාසයයි..එහිදී ජය පරාජය වූ අය පිළිබදව නොව ඒ සඳහා තරග වැදීමට සෑම පැත්තකින්ම පාහේ ඉදිරිපත්ව ඇති අයගේ හැකියාවන් පිළිබඳව සලකා බැලීමම වටී...

මිනිසුන් දහ දෙනෙකු ඒක රාශි කරගෙන ගමක නාන ලිදක් ශුද්ධ පවිත්‍ර කිරීම වැනි දෙයක්වත් කල නොහැකි මට්ටමේ උදවිය ගම හදන්නටත් රට නගන්නටත් කතා කරති... අහල පහල කොල්ලන් කෙල්ලන් එක්කාසු කරගෙන ලිද ශුද්ධ කරන අහිංසක ගැමි තරුණයින් තමන්ගේ පාඩුවේ ජීවිත ගෙවති.ඔවුන් දන්නා හෝ නියැළෙන දේශපාලනයක් නැත.ගම නැගුම සඳහා සක්‍රීය දායකත්වය දෙන ඔවූහු අහසින් කඩා පාත් වී ගම නගන්නට කතා කරන පුස්සාටම චන්දය දී ගෙදර පැමිණ අත් දෙක පිසදා ගනී...

එවැනි තත්වයක් මත පැන පැන දෙන්නන්ගෙන් රටට විය හැකි විපත බොහෝ බව මා නොකීවාට නිදහස ලැබුනු කාලයේ පටන් රට පාලනය කල ඇත්තන්ගෙන් රටට සිදුව ඇති "මහා මෙහෙය" දෙස බලද්දී ඔබටම අවබෝධ වනු ඇත.

තත්වය මෙසේ වන අතරම ඉඳ හිට තැනක පැන පැන දෙන්නන් හරහා ගමට රටට වන යහපත් ප්‍රතිඵලද නැතිවා නොවෙයි...අතින් වියදං කරගෙන ගොස් රටට අස්වද්දන ඔවූහු නිතරම තමන්ගේ වර්ගයා අතර අවමානයට හා ගැරහුමට ලක්වන්නා වූ පිරිසකි.

මෙවැනි දෙපිරිසක් අතරේ හිදි මමද හොඳ පැන පැන දෙන්නෙකු වූ බව කිව යුතුමය...
ඒ නිසාම ගමේ අය විසින් ගෙන එන ඕනම ගැටළුවකට, පොදු වැඩකට..ඒ තබා රණ්ඩු සරුවල් අතර මැදට පවා මා මැදිහත් වීමි.මෙසේ ගම වෙනුවෙන් සොය සොයා කටයුතු කරන්නට මා නිතරම පෙළඹිණි...ඒ හරහා මා හට ඇවසි වූයේ මිනිසුන් සියළු දෙනාහටම පන්සල පොදු කේන්ද්‍රස්ථානයක් කරවාලන්නටය...මන්ද යත් පන්සල වැටී තිබූ තත්වයෙන් ඉහලට ගෙන ඒමට නම් මිනිසුන් පන්සල වටා එක් රොක් විය යුතු බව මා විස්වාශ කරනු ලැබූ හෙයිනි.එසේ එක් රොක් කරගැනීමට නම් ඔවුන්ගේ සෑම කටයුත්තකදීම පැන පැන දීම කල යුතුව තිබිණි...

කටින් කියන වචන දාහකට වඩා ඔවුන් අතරට වැදී කරනු ලබන සුළු ක්‍රියාවත් වඩාත් ප්‍රතිඵල දායක වන බව කිවයුතුමය...

ඒ අනුව මෙහිදී ලද ආරාධනාවත් බාර නොගෙන සිටින්නට මට කිසිදු හේතුවක් නොවිණි..එක් අතකින් උදා වී තිබූ තත්වය යටතේ එය එවැනි මොහොතක මා විසින් කල යුතුම කාර්යයක් විය...

..........................................................

"හරි අපි මොනවා හරි කරමු..දැන් මොනවද අපිට කරන්න පුළුවන් සහ ඔයාලාට කරන්න පුළුවන් දේ කියලා හිතෙන්නේ..?" සුපුරුදු අන්දමින්ම කටයුත්තට එක් වී සිටන පිරිසගේ අදහස් විමසා සිටියේ එම අදහස් සියල්ලත් ඒක රාශී කරගෙන පොදු සැලැස්මක් හැකි ඉක්මනින් ගොඩ නැංවීමටය..

පිළිතුරු සියල්ලම බොහෝ සේ එක සමාන විය...පොදුවේ ගත් කල එය මෙවැන්නකි...

"හාමුදුරුවනේ අපි ආධාර පත්‍රයක් ලියාගෙන ගමේ අයගෙන් ආධාර එකතු කරලා වාහනයක දාගෙන ගිහින් ඒ අයට බෙදා දෙමු"

ඇත්තටම වඩා සංකීර්ණ දේ සිතීමට වඩා එම ‍යෝජනාව වේලාවේ හැටියට හොඳම ආරම්භය වන බව අප කාටත් වටහා ගත හැක. සමහර තැන් වලදී කුමක් හෝ වැඩක් පටන් ගද්දීම මහා පරිමාණ යෝජනා එන්නට පටන් ගැනීම හරහාම කරන්නට ගිය වැඩේ තිබියදී..එම යෝජනා පිළිබඳව වාද විවාද කර කර සිටින්නට වැඩි කාලයක් ගත වීම හරහාම අවසන එකදු කාර්යයක් හෝ නොවනා තැනට පත්වීම සාමාන්‍ය සිද්ධියකි..එහෙයින් මේ අවස්ථාවේදී වැඩි යෝජනා හොයන්නට නොගොස් මූලික යෝජනාව ක්‍රියාත්මක කලෙමි...

වහාම කොල කිහිපයක් ගෙනවිත් මාගේ අත් අකුරින්ම ආධාර පත්‍ර කිහිපයක් කෙටියෙන් ලියන්නට වූ අතර..තවත් ළමයකුට හිස් කොල ටිකක් රූල් ගසන්නට දුන්නේ ලැබෙන ආධාර පිළීබඳව විස්තර සටහන් කරලීම සඳහාය...

එසේ විනාඩි කිහිපයකින් සකස් කරනු ලැබූ මා විසින් කරනු ලැබූ ඉල්ලීමේ ලිපි හතරකට රූල් ගැසූ කොල කිහිපය බැගින් තබා අමුණා.. පැමිණි සිටි පිරිස කණ්ඩායම් හතරකට බෙදා වෙනත් වෙනත් පැති වලට යවන ලද අතර තවත් කොළු ගැටවුන් දෙතුන් දෙනෙකු පන්සලේ රඳවා ගන්නා ලදි.පැමිණ සිටි අයගේ පාපැදි කිහිපයක්ද පන්සලේම තිබූ අතර එසේ පන්සලේ රැඳී සිටි අයගේ කාර්යය වූයේ මාරුවෙන් මාරුවට පාපැදි වලින් ගොස් අර ආධාර එකතු කරන පිරිස් අත තියෙන දෑ පන්සලට ගෙන ඒමයි...

පැය දෙකක් යන්නට කලියෙන් පන්සලේ කාමරයක් හා ආවාසයේ ඉදිරිපස නොයෙකුත් බඩු භාණ්ඩ වලින් පිරී යන්නට විය...ප්‍රමාණාත්මක වශයෙන් කොතරම් ලැබුනද මෙවැනි අවස්ථාවකදී සිදුවන තවත් අපූරු කරුණක්ද සිදුව තිබිණි...

21 April 2011

350 යි... මාරයාගේ හෝරාවේ තවත් තත්පරයක් මෙසේ සනිටුහන් වේ...

හ්ම්ම්...
අමුතුවෙන් කිව්වේ නැති උනාට උඩ තියෙන බෝඩ් ලෑල්ල දැක්කහම ඕන කෙනෙකුට හිතා ගත්තෑකිනේ මොකක්ද ෂීන් කෝන් එක කියලා...

වැඩි කතා ඕන නැහැ..ඕන්න මාත් 350ක් ගැහැව්වා...

.........................................................................
මුලින්ම 50 ක්
ඊ ලගට 100 ක්
තුන්වෙනුව 150 ක්
ආයෙත් ඉතිං 200 ක්
එතනින් පස්සේ 250 ක්
අන්තිමට මේලගදී 300 ක්
ගහලා ඔන්න අද තමා 350 ට අත තිබ්බේ...

හැමදාමත් ඉතිං මෙහෙම සැතපුම් කනු පන්නන වෙලාවට මම රටේ තියෙන වැල් බයිලා ගහනවනේ..ඒ හින්දා


කවදද පටන් ගත්තේ?
මොකටද පටන් ගත්තේ?
කොහොමද පටන් ගත්තේ..?
මම බ්ලොග් එකක් ලියන්නේ ඇයි?

ඔය දේවල් ගැන...
අදත් ලියන්න ඕන නැහැ..
ඒවා දැනගන්න ඕනත් නැහැ..
ඕනමනං හොයා ගන්න බැරිත් නැහැ...

කොහොම උනත් මම අද බ්ලොග් එකක් ලියනවා...ඒක කියවන අයත් දන්නවා...ඒක මට හරියට වටිනවා...
කොහොම උනත් මේකේ මම ලිව්වේ මගේ ජීවිතේ ගැන...එදා ඉඳලා මේ වෙනකල් මම දැකපු අහපු..විඳපු හැම දේම අකුරු හරහා මෙය කියවන ඔබ සැමගේම නෙත් හරහා හිත් ඇතුලට ගමන් කලා කියලා මම දන්නවා...

එහෙම හිත ඇතුලට ගිහින් ඒ හිත් ඇතුලේ පුංචිම පුංචි ඉඩක් හරි මේ වෙනුවෙන් වෙන් කරන්න ඉඩ දුන්න ඔය හැමෝම අද මේ 350 වැනි ලිපිය ලියන වෙලාවේ බොහෝම ආදරයෙන් ගෞරවයෙන් මම සිහිපත් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මේ ගමන තුලදී පාඨක ප්‍රතිචාර වගේම දැනට බ්ලොග් අවකාශයේ නැති ටැබූ විසින් කරනු ලැබූඇගයීමෙන් හා රාජකීය විදුහල් සාහිත්‍යය උළෙලින් ලද ඇගයීමත් පිළීබඳව විශේෂයෙන් සඳහන් කරන්නටත් ස්තූති කරන්නටත් ඕන...

හ්ම්ම්..තව මොනවද අප්පා මෙකේ ලියන්නේ..ලියන්න කියලා ඒ හැටි දෙයක් ඔළුවට එන්නේ නැහැනේ...

සාමාන්‍යයෙන් ඉස්සරනං විශේෂ අවස්ථාවකදී මට ඔය කතා පවත්වන්න ගියහම ඇඩෙනවා හිටන්..
මට මතකයි මම පන්සලේ චෛත්‍යය කර්මාන්තය ඉවර වෙලා ඔක්කෝම පින්කම් අහවර කරලා වෙනමම පුණ්‍යානුමෝදනාවක් කලා හවස්වරුවක..එදා පින් දෙන ගමන් මටත් ඇඩුනා..ඒක දැකලා මාත් එක්කම මුළු ගමමත් ඇඩුවා...ඒ නං ඉතිං කරපු පින්කමයි..මම ආපු ගමන් මගයි...පන්සල මම බාරගත්ත වෙලේ තිබුනු තත්වෙයි ආදී හුගාක් දේවල් මතක් වෙලා...

ඒත් අදනං එහෙම ඇඩෙන තරං දෙයක් නැහැ.
හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මට මේක වැදගත් නැහැ කියලා..ඇත්තටම මට අද වෙනකොට මේ බ්ලොග් එක බොහෝම වැදගත්...අද මට තියෙන එකම අදහස් ප්‍රකාශ කල හැකි තැන මෙතන..තවත් කෙනෙක් එක්ක කතා කරනවට අන්තර්ජාලය හරහා චැට් කරනවට..එහෙමත් නැත්තං බස් පදිනවට වඩා..බොහෝම නිවී හැනහිල්ලේ හිතට එන හැම දේම සීරුමාරුවට එළියට දාන තැන මෙතන විතරයි...

මේක ලියද්දී මම සතුටු වෙන ලොකුම දේ තමා මම රාමුවකට කොටු නොවී ලිව්වාය කියලා මගේ හිතේ ඇති දැඩි විශ්වාසය...මේක උඩින් රාමුවෙන් එහාට කියලා හරි රාමු නැති කියලා හරි නම දා‍ගත්තේ නැති උනාට මං හිතනවා මට රාමුවක් නැතිව මේ දෙකරන්න පුළුවන් උනා කියලා...

මොකද මමමේක ඇතුලේ මගේ ජීවිතේ එදිනෙදා ගෙවන හැටි..
මම කන බොන හැටි ලිව්වා..
හිතට එන සමහර දේ කවි කරලා ලිව්වා...
බණ ලිව්වා...
මඩ ගැහුවා...
මම කරපු රැකියා හා ඒ අත්දැකීම් ගැන ලිව්වා...
විශේෂයෙන්ම මගේ පැවිදි ජීවිතේ ගැන ලිව්වා...

ඒ විතරක් නෙවෙයි මම හිතනවා හුගාක් වෙලාවට මම මගේ ජීවිතේ හංගන්නේ නැතිව මෙතන ලිව්වා...
එක දිගට කියවපු අය දන්නවා මං ඉන්නේ කොතනද..කන්නේ බොන්නේ කොහොමද...මගේ රස්සාව මොකක්ද...ඒ තියා මගේ මාසේ පඩිය උනත් දන්න අය හුගාක් ඉන්නවා..මං ඒ කිසිම දෙයක් හංගන්න උත්සහ කලේ නැහැ...හැම දේම හිතට එන හැටියට ලියාගෙන ගියා...

ඒ වගේම මුල් කාලෙදි නොදන්නවා උනාට අද සිංහලෙන් බ්ලොග් ලියන හුග දෙනෙක් මාව දන්නවා අදුරනවා..මගේ නම ගම දන්නවා...ඒ වගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය මගින් පවත්වන්නට යෙදුණ හමුව තුලින් වගේම මෑතකදී පැවති සයිබර් සිහින උළෙල නම් වූ අවරුදු උත්සවය හරහාත් හුග දෙනෙක් මාත් එක්ක කතා බහ කරලා දැන අදුරගෙන තියෙන්නේ...

එහෙම බැළුවහම මම තවදුරටත් සැගඋන චරිතයක් නෙවෙයි බ්ලොග් අවකාශ තුල..
ඒ උනත් එහෙම විවෘත උනහම ටිකක් ලිවීමේදී ගැටළු නොඑනවමත් නෙවේ..ඒත් මම අදටත් උත්සහ කරන්නේ කොහොම හරි පාලනයකින් හා වාරණයකින් තොරව හිතට එන දේ ඒ විදියටම මෙහි සටහන් තබන්නටම තමයි.

ඇත්තෙන්ම මම මිනිස්සු ගැන හිතන විදිය කාටවත් අඳාළ නැහැ..ඒක මගේ පෞද්ගලිකත්වය..

ඒ වගේම මිනිසුන් මං ගැන හිතන විදිය මම දන්නෙත් නැහැ..ඒකත් මට අඳාල නැහැ..ඒක ඒ අයගේ මතය...

මං හිතන හැටි ගැන මිනිස්සු හිතන විදිය ගැනත් මට ගැටළුවක් නැහැ..ඒකත් මට අදාළ නැහැ මොකද මම කාගෙන්වත් ගරු නම්බු බලාපොරොත්තු වෙන්නේ නැහැ

මිනිස්සු මං ගැන හිතන විදිය ගැන මට හිතෙන දේ...ඒකත් ඇත්තටම අඳාල නැහැනේ...මොකද මම ඒ දේ දන්නේ නැහැ...

හරිනේ ඉතිං..අවසාන ප්‍රතිඵලය තමා කවුරු කොහොම කොයි විදියට හිතුවත් මට ඒ කිසිම දෙයක් අඳාළ නැහැ...එහෙනං අහවල් එහෙකටද මං ලියද්දී බාධක දා ගන්නේ..මං ලියනවා එච්චරයි...

එහෙනං මෙච්චර කාලයක් ලිව්වා වගේම හෙටටත් මං ලියාවි...ඔබලා බලාවි...සමහරු බලලා නිහඩව සිටීවි..තවත් අය නිහඩව නොසිට තමාට දැනුන දේ මෙහි පුංචියට හරි සටහනක් බවට පත් කරලා යාවි.
නිහඩව ගියා උනත් මට දවසකට කී දෙනෙක් ආවා ගියාද කියලා අර මේකට හයිකරලා තියෙන කවුන්ටරයත්..ඊට අඳාළ තොරතුරු සවිස්තරාත්මකව දැනුම් දෙන වෙබ් පිටුවයි හරහා දැන ගන්න පුළුවන්...

එහෙම බලනකොට මට තේරෙනවා අද මේ තරං පිරිසක් මාව කියවලා කියන එක...ඒක සිතට යම් හයියක් දෙනවා..තව ටිකක් ඉස්සරහට ලියාගෙන යන්න.
ඒ වගේම ඊටත් එහා ගිය හයියක් මට දෙනවා මෙහි පුංචියට හරි සටහනක් තියලා යන අය...

ඇත්තටම ඒ හැමෝටම..විශේෂයෙන්ම නිතිපතා මාව කියවන අනිවාර්ය පිරිසටත්... හැම ලිපියකටම පාහේ කොමෙන්ටුවක් ඇතුලත් කරලා යන කිහිප දෙනාටත් බොහෝම ස්තූතයි..නං වශයෙන් නොලිව්වාට අමනාපයක් වෙන එකක් නැහැ මගේ හිතේ..දන්නවනේ නං ලියන්න ගිහිං එකක් හරි අතෑරැනොත් ඒක මගේ හිතට හරි නැහැ...

පහුගිය කාලේ දිහා හැරිලා බැළුවම මගේ එකම එක කවි පංතියක් තිබුනා... එකම එක කොමෙන්ටුවක්වත් නොලැබුන..බොහෝම පරණ එකක්...
ඇත්තටම මට ඒක දකිද්දිත් හරි සතුටුයි..එහෙම එකක් හරි තියෙනවා නේද කියලා හිතලා..ඒත් දැන්නං ඒකටත් වැඩේ හරි..ඒ ගැනත් මට සතුටුයි..මෙච්චර කාලයක් ගිහිල්ලා හරි ඒකටත් කොමෙන්ටුවක් වැටුනා නේද කියලා...

ඒ වගේම මගේ වැඩිම කොමෙන්ට් ප්‍රමාණයක් ඇති සටහන මොකක්ද කියලා...
ඇත්තටම මම මෑතකදී බොහෝම තෘප්තිමත් උන සටහනක් ඒක...මහා දිග සටහනක් නෙවෙයි එකම එක පුංචිම පුංචි කවියක් හැබැයි ඉතිං ඔය හැම ලිපියකටම යටින් මගේත් සෑහෙන ප්‍රති උත්තර බැඳිළි තියෙනවා...
ඒකට හේතුව හැකි සෑම වෙලාවකම මට ප්‍රතිචාරයක් සටහන් කල අය වෙනුවෙන් වෙන වෙනම පිළිතුරක් කෙටියෙන් නමුත් ලියන්න මම උත්සහ කිරීම තමයි...

ඇත්තටම අපි වෙනුවෙන් කාලය මිඩංගු කල අයට එහෙමවත් වටිනාකමක් දෙන්න අපි උත්සුක වෙන්න ඕන කියන එකයි මගේ හැගීම..එහෙම නොකෙරුණ තැන් නැතුවා නෙවේ..ඒත් හැකි සෑම විටදීම..මම ඒ දේත් බොහෝම ආසාවෙන් කලා..ඒ හැම දෙයක් හරහාම අද වෙනකොට මාත් එක්ක මේ බ්ලොගය හරහා සමීප වෙච්ච අය බොහොමයක් ඉන්නවා...

ඉතිං දැන්නං ඇති නේද මේ ලිව්වා...?ලියන්න ගියාම මාගල් වගේ ලියන එක මට දැන් පුරුද්දට ගිහිල්ලා..ඒ වගේම මතකනේ මගේ ලිවීමේ ඇති සුවිශේෂී ලක්ෂණය... "මල්ලේ පොල්".. ඔව් හැමදාමත් වගේ මම යන්නේ කොහේවත් ඒත් අන්තිමට මල්ල පිරිලා ඒ පොල් වලින්...
ඉතිං අද කියලා ඒක වෙනස් වෙන්න ඕනද..?


හාමුදුරුවෝ සහ ගෝල බාලයෝ...මාරයාගේ පන්සල් දිවියේ පණ්ඩිත කනාවක්

නැවත වතාවක් පන්සල් කතාවටම එකතු කොට ලිවීමට ආරම්භ කරනු ලැබූ ලිපි මාලාවේ තෙවැන්න මෙයයි.මෙහි පළමු ලිපිය වූ...
නැගෙනහිර වෙරළේ පන්සල් කතාවක්... යන ලිපිය මේ වන විට බොහෝ දෙනා කියවා ඇති අතර,එහි දෙවැන්න වූ...
ඒ බිහිසුණු මතකය... යන ලිපිය තවමත් සැම දෙනා අතරටම ගොස් නැති අතර එයට හේතුව වී ඇත්තේ එම ලිපි‍ය පලවීමේදී මා අතින් ඇතිවූ යම් අතපසුවීමක් හරහා එය සිංහල සින්ඩිකේටරයන් තුල පෙල ගැසීමේදී වූ වරදක් බව ලාංකීය සිතුවිලි සින්ඩියේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ වැප් නිශාන්ත මලයා විසින් මා හට සවිස්තරාත්මකව පහදා දෙනු ලැබූ අතර..දැන් එම අතපසුවීම නැවත නිවැරදි කල නොහැකි බැවින් එම ලිපිය අතපසු වූ අයට එය සොයා ගැනීම පහසුවීම පිණිස මෙසේ ලින්ක් ලබා දෙන ලදි.

පෙරදින නැවැත්වූ තැන සිට නැවතත් ආරම්භය සනිටුහන් කරමි...
.......................................................................

මේ වන විට මා පැවිදිව වසර එක හමාරක් පමණ ගත වී තිබූ අතර එම කාලය තුලදී ඉතාමත් වේගයෙන් පන්සලේ අභිවෘද්ධිය උදෙසා කටයුතු රාශියක් කිරීමට මා පදනම දමාගෙන තිබූ අතරම...දහම් පාසලේ කුඩා කොළු ගැටවුන් හරහා එම වැඩ බොහෝමයක් මෙහෙයවමින් තිබීම නිසා..මේ වන විට මෙම ගැටවරයින් පිරිස පළාතේ අන් සම වයස් පිරිසට වඩා බොහෝම ක්‍රියාශීලී පිරිසක් විය...

දහම් පාසලේ නවය දහය පංතිවල කොල්ලන් සියළු දෙනාගේම පාහේ අත් වල කරගැට දමා රළුව ගොසින් තිබුනේ පන්සලේ පස් කඳු කැපීම කොන්ක්‍රීට් ඇනීම ආදී දේ හරහාම විණි..ඒ සෑම කාර්යකදීම ඔවුන් ඉතාමත් උනන්දුවෙන් එයට දායක වූ අතර සිදුවන සෑම දෙයින්ම පන්සලේ හා ගමේ දියුණුව අපේක්ෂා කල දෙමාපියන් විසින් ඒ සඳහා කිසිදු බාධාවක් නොකර සිටීමත් වැදගත් විණි...

ඇත්තෙන්ම ඒ වන විට කලක් මුරණ්ඩු යැයි සම්මතව සිටි කොල්ලන් හත් අට දෙනෙකුම මේ වන විට මාගේ නිරන්තර ඇසුරට යොමුව තිබිණි. විභාගයක් ආසන්න වද්දී රෑ බෝවන විට පන්සලට ඇදෙන ඔවුනට රාත්‍රී ආහාරයේ සිට තේ වතුර ටික පවා පන්සලේ සූදානම් විණි..කොල්ලන් ටික එකතු වී උයා පිහා ගෙන විහිළුවෙන් විනෝදයෙන් එම කටයුතු කර නිමවා පාඩම් වැඩ කටයුතු පටන් ගනී...කාල සටහන මගෙනි...

අනිවාර්යයෙන් රාත්‍රී දොළහා වන තෙක්ද නැවත පාන්දර හතරට අවදි වී හය වන තෙක්ද පාඩම් කල යුතුය...
මා විටින් විට බණ මඩුවට යන්නේ ලොකු වතුර බෝතලයත් රැගෙනය...
ටික දිනක් යන විට මහ රෑ හිස මතට ඇද හැලෙන දිය දහරාවෙන් බේරී සිටීමට ඇති එකම ක්‍රමයට ඔවුහූ පුරුදු විය..එනම් නිදි කිරා වැටීම නවතා කෙසේ හෝ පාඩම් කිරීමට උත්සහවන්ත වීමය...

සමහර දිනවල රාත්‍රී කාලයට බණ මඩුවම ව්‍යායාම් ශාලාවක් බවට පත් වේ...
භික්ෂුවක්ව සිටියද පෙරදින ගත කල මිල්ටරි ජීවිතය හරහා දිවියට ඇතුලත්ව තිබූ විනය පිළිබඳ පාඩම් මාලාව ගැටවුන්ටද ගලා යමින් තිබිණි...

මෙතෙක් කලක් හුරුව තිබූ දිවි පැවැත්මට වඩා වෙනස් ආකාරයකට හුරුවන්නට ඔවුනට ඒ හැටි කාලයක් ගත නොවිණි... මෙය කියවන සමහර කෙනෙකු අනුමත කලද නැතද මා ඉතාමත් දැඩි නීති රීති මෙන්ම දඩුවම්ද භාවිතා කල බැව්ද කිව යුතුය. වරදේදී දෝත පුරවා කණ හරහා වදින පහර පිළිබඳව දැන සිටි කොළු පිරිස ටික කලකින්ම ඔවුනගේ දෙමාපියන්ටද සිතාගත නොහැකි තරමේ හික්මුණු චරිත ඇත්වුන් බවට පත් වෙමින් තිබුණි...

දඩුවම් කොතෙකුත් සැර වූවද එකම දරුවකු හෝ මා කෙරෙහි උරණ නොවූ බව කිව යුතුමය.. මා විහාරස්ථානයෙන් පිටමංව විත් අදට වසර තුනක් පමණ ගෙවී ඇති මුත් මේ කොළු රැල අදටත් මා සමඟ නිරන්තවම බැඳී සිටින බැව්ද කිව යුතුමය...

එයට හේතු බොහෝය..දඩුවම් කරනා වෙලාවට එසේ වූවද අන් සෑම වෙලාවේදීම මා ඔවුනගේ සහෝදරයකු යහළුවකු මෙන් විමී...

ඔවුනගේ බොහෝ ගැටළු වලට විසඳුම් ලැබුණේ මා හරහාය... වෙනත් තැන්වලදී මෙන් නොව විශේෂයෙන්ම යොවුන් වයසේ බොහෝමයකට ඇතිවන පොදු ගැටළු ඕනෑම දෙයක් කිව හැකි හිතවත් හාමුදුරුනමක් ඔවුනට ලැබී තිබිණි..

අහල පහල කොහේ හෝ පිරිසක් සමග ගැටුමක් ඇති වූ විට එම පිරිසට අදාල පන්සලේ හිමියන් සම්බන්ධ කරගෙන දෙපිරිසම සමථයකට පත් කරවීම වැනි දේ මෙන්ම කෙල්ලන් සම්බන්ධ කාරණාවලදීද ප්‍රතිඵල දායී උපදෙස් දෙන්නෙකුද වීමත්... එවැනි කටයුතු වලදී නිවෙස් වලින් එල්ලවන විරෝධතා වලදී අතරමැදිහත්කරුවකු වී සියල්ලම බලා ගැනීමට වගකීම ගන්නා මිතුරකුද ඔවුනට විය...

විනය විරෝධී හැසිරීම් නිසා පාසල් වලින් අස් කරන්නට සූදානම් වූ විට දෙමව්පියන් නොව ඔවුන් වෙනුවෙන් ගොස් විදුහල්පතිවරුන් හමුවන්නේද ඔවුනගේ හිතවත් හිමිනම විය.එය වඩා ප්‍රතිඵල දායී වූ අතර..අද වන විට එසේ සාමාන්‍ය පෙල විභාගය පෙනි පෙනී පාසල් ජීවිතය අහිමි වන්නට ගිය කිහිප දෙනෙකුම එම පාසල්වලම උසස් පෙළද නිමවා යහපත් රැකි රක්ෂාවල නිරත වන අය බවට පත්ව සිටීමය...

මෙවැනි කාරණා රාශියක් හරහා ඔවුන් ඒ වන විටත් මා වටා බොහෝ සෙයින් ලෙන්ගතුව සිටි අතර... හිටි හැටියේ වරදකදී වදින කනේ පහරත්..හිස පුරවා ලැබෙන ටොකු පහරත් සිනහවෙන්ම පිළි ගත්තෝය...

විශේෂයෙන්ම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා ප්‍රතිසංවිධාන කාර්යයන්හීදී පිල් බෙදී සිටි පැරණි දායක සභාවල මුල්පුටු රත් කල වැඩිහිටියන් සමඟ වැඩ කිරීමට වඩා පොඩිඋන් සමඟ එම ගමන යාම බොහෝ වේගවත්ය...මන්ද යත් ඔවුනට පොදු කටයුතුවලදී ඇතිවන පෞද්ගලික අරමුණු අවම වීමය...

නමුත් වැඩිහිටියන් එම සෑම කටයුත්තකදීම කුමන හෝ යටි අරමුනක් ඇතිවම වැඩ කරනු දක්නට ලැබීම මාහට ඒ වන විට සාමාන්‍ය අත්දැකීමක් බවට පත්වී තිබිණි...
විහාරස්ථානයක පිංකමක් හෝ වේවා..ගමක මරණයක් හෝ වේවා..අවුරුදු උත්සවයක් දන්සැලක් හෝ වේවා..කටයුත්ත කෙබඳු වූවද..අරමුන වියයුතුව ඇති දේ කොතරම් උසස් වූවද ඔවුනට එයට වඩා වැදගත්වන වෙනත් දෑ ඇත...
උදාහරණයක් ලෙස දේශපාලන අරමුනු ප්‍රධාන කොට දැක්විය හැක...
ගමේ මිනිසුන් තම වෙහෙස මහන්සිය මතින් උපයාගත් මුදල් සම්මාදන් කොට පවත්වන අවුරුදු උත්සවයටද ඔවුනට දේශපාලකයෙකු ඈදාගත යුතුමය...

එහිදී දැනට පවතින ලාංකීය දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකේ කාඩරයන් විසින් මූලිකවම පිල් බෙදා ගැනීමක් හරහා අර කරන්නට ගිය කටයුත්ත පසෙක ලා..තම තම පිල්වලට මුල්පුටු අල්ලන්නට කැස කවයි..ඒ අතර වාරයේ තුන්වෙනි බලවේගය හැටියට එදා තිබූ..අදවන විට කී වන බලවේගයදැයි ඔවුනටවත් සිතාගත නොහැකි පිලේ සිටි දෙතුන් දෙනා අර පිල් දෙකටම බැනවදිමින් තවත් පාරක යයි...

මේ එක් කරුණක් පමණි..නමුත් මෙයට යටින් ඇත්තටම දිවයන්නේද..දේශපාලන අරමුණු පමණක් නොවේ...තම ගමේ කෙරෙන පොදු කටයුත්තක මුල් පුටුව තමා බැල මෙහෙවර කරන පක්ෂයේ දේශපාලකයෙකුට පවරා ඒ හරහා ඔහු සතුටු කර තම තමන්ට එම දේශපාලකයා හරහා ලබාගත හැකි පෞද්ගලික වාසි පිළිබඳව ඔවුන්ගේ අරමුනු යොමුව ඇත.

ඇත්ත වශයෙන්ම සුනාමි ව්‍යසනයේ පසු කියවීම තුල අප සියල්ලන්ම දුටු කරුණක් වූයේ..මූලිකව එම වේලාවේ සෑම දෙනාම එකාවන්ව අත්වැල් බැඳගෙන පොදුවේ සිතා කටයුතු කල මුත් පසුව එම කටයුත්තට දේශපාලනය හා බඩගෝස්තරවාදය එකතුවීම තුලින් එම උතුම් ඒකරාශීවීම දිය වී ගොස් මහා අවුලක් නිර්මාණය වූ බව පමණි.

මෙය සමාජයේ සෑම ස්ථරයකදීම පවතින තත්වයක් බව ඒ සෑම ස්ථරයක්ම වෙන වෙනම ඇසුරු නිසුරු කරන්නෙකු හට බොහෝ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණකි.ගමේදී නගරයේදී කියා එහි වෙනසක් නැත.
නමුත් යම් යම් වයස් කාන්ඩ වලදී මෙම තත්වයේ පැහැදිලි වෙනස්වීමක් දක්නට ලැබේ...
කුඩා උන්ගේ ලෝකයේදී උන් නිතර බාහිර වශයෙන් අපිරිසිදු වන්නට පෙලඹේ..කුනු නාවර පෙරා ගැනීමට රුසියෝ වෙති. ඒ නමුදු ඔව්නගේ අභ්‍යන්තරය ඉතා පිරිසිදුය...ක්‍රමක්‍රමයෙන් ඔවූහූ ලොකු මහත් වන්නට වන්නට බාහිර පිරිසිදු කම පෙරට වඩා ඇති කර ගැනීමට උත්සුක වන අතර එතෙක් කලක් තිබූ අභ්‍යන්තර පවිත්‍රතාවය ඔවුන් වෙතින් ගිලිහී යන්නේ ඔවුනටද නොදැනීමය...

මෙයට වැඩි උදාහරණ අනවශ්‍යය...
විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ගේ දේශපාලනයත්..ඉන් පිටව යන උගතුන්ගේ දේශපාලනයත් තේරුම් ගැනීමම හොඳටම සෑහේ...

අද සමාජය හදන්නට මොර දෙන ඔවූහූ හෙට දිනයේ මිය යන්නවූන්ද..නැත.
අද ඔවුන් සාධාරණත්වය ඉල්ලා මොර දුන්නද..හෙට වන විට ඔවුනගෙන් සාධාරනත්වය ඉල්ලා මොරදීමට ඊ ලග පරම්පරාවට සිදුව ඇත...

මෙම තත්වය ගමක වෙසෙන සාමාන්‍ය මිනිස් සමූහයාටද පොදු කරුනකි. කෙටියෙන් කිවහොත් මහ උන් එක්ක වැඩ කරනවාට වඩා පොඩිඋන් එක්ක වැඩ කිරීම ඊට වඩා සියදහස්වාරයක් පහසුය...

උවමනාවට වඩා විනාශකාරීවන්නට උත්සහ දරණ තැන්වලදී අවවාද හා දඩුවමත්..ඒ හැරුන කල අන් සාමාන්‍ය තත්වයන්හීදී නිදහස්ව සිතන්නට ලෝකය දකින්නට ලෝකයට ආදරය කරන්නට..ලෝකයට අමුතුවෙන් වැඩක් නොකලත් තමන් කරන වැඩ හරහා ලෝකයට වන හානිය අවම කරන්නට පුරුදු පුහුණු වෙමින් වැඩෙන්නට හැරීමත් දරුවනට දිය හැකි හොඳම දේ වෙයි.එබැවින් ඔවුන් හා මා අතර සම්බන්ධය විටෙක අනුශාසක මට්ටමෙන්ද..විටෙක මිතුරකු මට්ටමේද විය...

මෙසේ ඇසුරු කිරීමේදී හිමිනමක් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය...
ඒවා අතර සාසන ගරුත්වය රැකීම ප්‍රධාන කරුණකි.

බොහෝ පන්සල්වල ආවාසය තුල රැ‍‍ඳෙන පන්සලට සමීප කොළුවන් සමහර විට සිටිනුයේ තම හිතවත් හිමිවරුන් සමග එකට එක පුටුවේ එක ඇදේ වාඩිවී ගත් ගමන්මය...කන බොන දේ එකටම කති බොති...

එසේ වූ කල ටික කලකින්ම අර කොළුවන්ට සාසනය ගැන ඇති ගෞරවයක් හෝ අමුත්තක් නැතිව ගොසින් පන්සල් ගෙවල් බවට පත්වීමට ඒ හැටි කාලයක් ගත නොවේ...

ඊටත් වඩා සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ අද සමාජයේ ඉහළින් කතා බහට ලක් නොවෙතත් සෑම විටම යටි මට්ටමේදී කතා බහට ලක්වන පන්සල් හා බැඳුන ලිංගික අපචාර සම්බන්ධ කතා බස් පිළිබඳවය...

යොවුන් සමාජය හා ඇසුරේදී එවැනි සිදුවීම් වලට ඉඩ නොතැබීම මෙන්ම..එවැනි දෙයක් පිළිබඳව චිත්‍ර මවාගන්නට උත්සහ කරන කුණු රසයටම ලොල් වූ මිනිසුන්හට එවැනි දේට ආධාර අනුබල සැපයෙන කිසිවක් නොසැපයීමත් වැදගත්ය...

ඊට අමතරව සාංඝිකය කෑම පිළිබඳව දරුවන් හට නිසි අවබෝධය ලබා දිය යුතුය...නොඑසේනම් පාපකර්මයන් රැස් කරගැනීම පමණක් නොව..පන්සල් යනු පිනට කන්න තියෙන තැන්ය යන වැරදි සිතුවිල්ල ඔවුනගේ සිත් තුල තැන්පත් වී ඒ හරහාම පන්සල් විනාශ වී යාමට අඩිතාලම වැටීමයි..මන්ද අද එසේ සිතිවිලි සකස් කර ගන්නා දරුවා..හෙට දිනයේ පන්සලේ දායකයා වන බැවිනි.
මෙම කරුණ නිසා පන්සලෙන් කන බොන දෙයට පවක් නැතිවීම පිණිස බුදුන්ට සංඝයාට උපස්ථාන කිරීමට ඔවුනව නිතරම යොමු කරවීමද කල යුතුම දෙයකි.

මෙවැනි කරුණු රාශියක් නිසා ඔවුනව මා ඇසුරු කරනු ලැබූයේද බොහෝම කල්පනාකාරීව බව කිව යුතුය.

ඇවැසි තැන දඩුවමත්..ඇවසි තැන උපරිම මිතුරකු ලෙසත් ඔවුන් සමග සමීපව කටයුතු කරනාතුරම තබාගත යුතු නියම දුර පිළිබඳව සෑම විටම සිහියෙන් සිටීමත් අනිවාර්ය අංගයන් විය...

මෙසේ කටයුතු කිරීම හරහා මෙම කාලය වන විට මා මේ සඳහන් කරන්නට යෙදුණ ගැටවර වියේ පසුවන බොහෝ පිරිසක් මා හා පන්සල වටා ඉතාමත් ලෙන්ගතුව බැඳී සිටි බව කියන්නට යෙදුනේ මෙතැන් පටන් සිදුකල සියළුම දේට එම දරුවන්ගෙන් ලද විශිෂ්ට සහය සහ කිසිසේත්ම වැඩිහිටියන්ගෙන් නොදැකිය හැකි අවසානය දක්වාම ඇති නොපසුබට වීර්යයත් පොදු අරමුණෙන් කිසි විටකත් බැහැර නොවී ඔවුන් කටයුතු කල ආකාරය ගැන ඔවුනට කලයුතු උපහාරය දැක්වීම පිනිසත්ය...

20 April 2011

පන්සල් දිවියෙන් අතර මැද කතාවක්...ඒ බිහිසුණු මතකය...

උඩ දාගෙන ලියන්න ගත්තට මොකද..පට්ට කම්මැලියි දැන් ලියන්නත්...උදේ හත හමාරට විතර මේක ලියන්න කියලා පටන් ගත්තත් ඊට කලින් සිංදුවක් අහලා ඉන්න කියලා ගිහිල්ලා අන්තිමට වික්ටර් රත්නායකයන්ගේ ගීත ගොන්නක පැටළුනා...

යාන්තං ඒවායෙන් මේවායෙන් මිදිලා ආයෙමත් ලියන්න කියලා පටන් ගන්න යනකොට මම ලියලා පල කරලා නොතිබූ කවි වගේ පද වැල් වගයක් හම්බ උනා..නිකා ඉන්න එකේ ඒකත් පෝස්ට් කරලා දැම්මා...

ඊට පස්සේ ආයෙමත් ඒ මේ අත සැරි සරලා දැන් මේ බලන්නේ දැන්වත් මේක ලියන්න පුළුවන් වෙයිද කියලා...
......................................................................
ඔය උඩ ලියලා තියෙන විදියට පටන් ගත්තට මොකද ඊයේත් මේක අතර මගදි නැවතුනා දැන් ආයෙමත් ලියන්නයි හදන්නේ

......................................................................

මා කලින් ලිපියෙන් කියා සිටි ආකාරයෙන්ම අහම්බෙන් මෙන් පෝදා දින උදෑසන රූපවාහිනිය නරඹන්නට ගිය මා හට ඇසුනු පුවත අන් කිසිවක් නොවේ..ඒ ඔබ සෑම දෙනාම දන්නා වූ මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ සිදුවූ විශාලම ඛේදවාචකයේ ආරම්භක තොරතුරුය...

නමුත් ඒ වන විටත් තත්වය දරුණු නොවීය..පුවතින් කියවෙන්නට වූයේ බස්නාහිර පලාතේ මොරටුව හා පානදුර අතර මුහුදු තීරයේ මුහුදේ කැළඹිම් ස්වභාවය පිළිබඳවය...එය පසුව අපහට අසන්නට ලැබුනු කරුණු හා සසඳා බලද්දී ඒ තරම්ම දරුණු නොවීය...

එම පුවතද සාමාන්‍ය පුවත් ගනයටම ලා සලකනු විනා ඉන් එහාට ඒ පිළිබඳව උනන්දු වීමට මා හ‍ට ඉඩක් නොවුනේ, වැඩි වේලාවක් එම පුවතට අවධානය යොමු කිරීමට නොහැකි වූ නිසාය..පන්සලට පැමිණෙන දායක පින්වතුන් එකා දෙන්නා පැමිණ යම් යම් කරුණු කාරණා සම්බන්ධව විමසීම් කරනා අතරම සිල් ඇත්තන් පිළිබඳව කරන්නට වන නිරන්තර සොයා බැලීම් මැද කාලය ගත විය...

නමුත් දහවල් එකොළහට පමණ ආසන්න වන විට කවුරුන් හෝ පැමිණ

"හාමුදුරුවනේ මුහුද ගොඩ ගලනවා නේද..?" දැයි මා විමසූ අතර උදෑසන දුටු ප්‍රවෘත්තිය පිළිබඳව මා දන්නා තරමින් පවසා
"ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි නේද..?" දැයි පෙරලා විමසීමි.

"නැහැ හාමුදුරුවනේ දැන් බැළුවේ නැද්ද..?වැඩේ හුගාක් දරුණුයි කියලා ආරංචියි..හුගාක් මැරිල කියලයි කියන්නේ.."

ඒ හා සමගම නැවත වතාවක් ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කොට එහි විටින් විට එම සිදුවීම පිළිබඳව තොරතුරු වලින් පිරී යන්නට වූ අතර... එදා ඒ වන විට කිසිදා නොඅසා තිබූ "ත්සු නාමි" නම් වූ අද වන විට ඔබ මා සියළු දෙනාම හොඳින් දන්නා වූ "සුනාමි" නම් ව්‍යසනයේ මහා භයංකාර පුවත් එකින් එක මා හටද දැන ගන්නට ලැබිණි..

එතැන් පටන් එදින සිල් සමාදන් වීමට පැමිණි සිටි පිරිස අතරද පන්සලට යන එන සියල්ල අතරද මුවෙන් මුව රැඳී තුබුණේ වෙන අන් යමක් නොව මෙම සිදුවීම පිළිබඳව වූ අතර..තත්වයේ උපරිම භයංකාර සිද්ධීන් පිළිබඳව අප නොදැන සිටියද මිනිස් සිත් සතන් කම්පා කරවන්නට තරම් සෑහෙන තොරතුරු රාශියක් ඒ වන විටත් අප අත පත්ව තිබුණි...

මෙතැන් පටන් එදා ලාංකීය සමාජයේ සියල්ලන්ම මෙන් අපද මෙම තත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින්නට වීමු...එදින සාමාන්‍ය ජන ජීවිතයේ තත්වය පිළිබඳව මෙය කියවන ඔබ සෑම දෙනාම අත්දැකීම් ලබා ඇති හෙයින් ඒ පිළිබඳව අමුතුවෙන් මා විසිනු කිව යුතු නොවේ...

සෑම දෙනාම උනන්දු වූයේ අනතුරෙහි ස්වභාවය පිළීබඳව මෙන්ම තමන්ගේ කිසියම් හෝ ඥාතියකු හිතවතකු මෙයට ගොදුරුව යම් විපතකට පත්ව ඇත්දැයි සොයා ගැන්මටය...

පන්සලේ දායකයින් වූ බොහෝ දෙනෙකු මුහුදු බඩ පුදේශවල විසූ තම නෑදෑ හිත මිතුරන් පිළිබඳව මෙන්ම..එදින ගමන් බිමන්වල යෙදී සිටි සමීපතමයින් පිළීබඳවද සොයා වෙහෙසෙන්නට වූවෝය...

පසුව දැන ගන්නට ලැබුනු ආකාරයට නම් අප දායක ප්‍රදේශයේ කිසිවකු හෝ..ඔවුනගේ සමීපතමයින් කිසිවකුට හෝ එම විපත්තියෙන් කිසිදු බලපෑමක් නොවූ බවද සඳහන් කල යුතුය...

නමුත් ලාංකීය භික්ෂූ සමාජයේ අති මහත් ගෞරවාදරයට ලක්ව තිබූ ශ්‍රේෂ්ඨ පැවිදි පඬි රුවනක් වූ "මීගොඩ පඥ්ඥාලෝක" හිමියන් දැ‍යට අහිමි වීම පිළිබඳව නම් අප පළාතේ සියළුම භික්ෂූන් වහන්සේලා කම්පාවට පත්ව තිබූ බව කිව යුතුමය...
කුමන කාල වකවානුවකට අයත් වූවද..ලෝකයේ කොතනක වැඩ විසූවද..කුමන ජාතියකින් සාසනයට පිවිස සිටියද..භික්ෂූවක් යනු සෑම අනිකුත් භික්ෂුවකගේ සාසනික ඥාතියකු වන බැවින් උන්වහන්සේගේ අපවත්වීම හරහා අපට නම් ඥාති හානියක් සිදුව තිබිණ..ඒ විනා අන් කිසිදු දන්නා කියන කුමන හෝ දායක පින්වතකුගේ ඥාති සමූහයාට හෝ..හිතෛෂීන් කිසිවකුටද වෙන කුමන අන්දමේ හෝ විපතක් සිදු නොවීම එක් අතකින් බලනා කල තරමක හෝ සැනසීමකට කරුණක් විය...

තත්වය මෙසේ වද්දී සවස් කාලය වන විට රට පුරා දුරකථන ජාල පද්ධතීන් බිඳ වැටී තිබිණි...එයට හේතුව දුරකථන මාර්ගවල වූ අධික භාවිතාව හරහා ඇති වූ තදබදය බව පසුව දැන ගන්නට ලැබිණි...පණිවිඩ හුවමාරුවේ බිඳ වැටීම හරහා බොහෝ දෙනා අසරණව සිටුනු දක්නා ලැබුනු අතර..හැකි සෑම දෙනාම කුමන හෝ අන්දමේ ගමන් පහසුකම් සොයාගෙන මුහුදු බඩ පෙදෙස් කරා ඇදීමට උත්සුක වූයේ..එසේ හෝ තොරතුරු සොයා ගැනීමේ අභිලාෂය ඇතිවය...

සන්ධ්‍යා යාමය වන විට එසේ එම පළාත් වලට යන්නට පිටත් වූ අයගෙන් සමහරක් නැවත ආපසු පැමිණ තිබූ අතර ඔවුන් හරහා සිදුව ඇති විපතේ සැබෑ තොරතුරු අප වෙත ලැබෙමින් පැවතිණ...

තත්වය අප සිතුවාට වඩා බොහෝ දරුණුව තිබිණි...

මුළු මහත් සමුද්‍රාසන්න වෙරළ තීරයම මුළුමනින්ම විනාශ වී පැවති අතර බලන බලන අත තැන තැන වැටී තුබූ මෘත ශරීර වන බව එසේ පැමිණි අයගෙන් දැන ගන්නට ලැබුණු අතර ඔවුහූද ඉමහත් භීතියට පත්ව සිටියෝය...

විපත්තිය පිළිබඳව මීට වඩා වැඩි විස්තරයක් ඔබ හට කීමට ඇවැසි නොවනුයේ..ඒ සියළුම දේ අද වන විට ඔබ සියළු දෙනාම මා වාගේම දැන ගෙන සිටිනා බැවින්ය...

මෙතැන් සිට ඇරඹුණේ වෙනස්ම කාල පරිච්ඡේදයකි...

ලෝකයේ තිබෙනා රටවල් අතුරින් ඉතාම කුඩා රාජ්‍යයක් වන අපගේ දේශයේ සිටිනා වූ මිනිසුන්ගේ හදවත් වල ඇති උතුම් ගුණාංගයන්හී විශාලත්වය මැනවින් පෙන්නුම් කරන්නා වූ යාමය උදාවිය...

ගමක් ගමක් පාසා..නගරයක් නගරයක් පාසා සෑම තැනම මිනිසුන් එකාවන්ව ඒක රාශී වන්නට වූයේ තම සහෝදර ජනයාගේ විපත්ති දායක අවස්ථාවේදී ඔවුනට විය හැකි උපරිම ශක්තිය හා පිළිසරණ වීමටය...

මෙහිදී විහාරස්ථාන මූලික කොටගෙන බොහෝ දෑ සිදුවිණි...
උදෑසන දහයට ආසන්නව ආරම්භ වී පැය කිහිපයක් ඇතුලත සිදු වූ මහා විපතින් අවතැන් වූ ජනයාගේ දුක සැප සොයා බැලීමට මුළු මහත් රට වැසියන්ම උනන්දු වූ බව නොකිව මනාය...

එහිදී පලමු අවධානය වූයේ අවතැන් ජනයාගේ කුසගිනි නිවාලීමය...මුහුදු කරයට සැතැප්ම විස්සක් තිහක් අතර දුරකින් සිටි අප ප්‍රදේශයේ මෙන්ම දිවයිනේ සෑම තැනකම පාහේ ලහි ලහියේ ආධාර එකතු කිරීමත්...හැකි ඉක්මනින් එම ආධාර වෙරළ තීරයන් කරා ගෙන යාමත් සිදු විණි...

විහාරස්ථානය හා නිබඳවම සම්බන්ධ වී සිටින තරුණයින් කිහිප දෙනෙකු සවස තුනට පමණ ආසන්නව පැමිණ මා හමු වී ඇති වී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සිටියෝය...ඔවුන් තරුණයින්යැයි මා කීවද ඇත්ත වශයෙන්ම වයස අවුරුදු දහසයත් දහ නවයත් අතර යෞවන වියේ පසුවන්නන් විය.

සාකාච්ඡාව ක්‍රම ක්‍රමයෙන් හැරුනේ මෙම අවස්ථාවේදී අප විසින් ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳවය...
සෑම දෙනාටම කුමක් හෝ කිරීමේ අවශ්‍යතාවය තිබිණි..නමුත් ඒ කුමක්දැයි ඔවූහු මෙන්ම මා හටද වැටහීමක් නොවීය..මෙවන් තත්වයකට මින් පෙර මුහුණ දී නොතිබීම ඊට හේතුව විණි.

"හාමුදුරුවනේ අපි මොකද කරන්නේ..?"

"මටත් දැන්ම කියන්න බැහැ ඒත් අපිත් මොනවා හරි කරන්න ඕන මේ වෙලාවේ"

"ඒක තමයි අපිටත් ඕන..ඒත් කොතනින් පටන් ගන්නද කියලා තමා හිතා ගන්න බැරි..හාමුදුරුවන්ට බැරිද ඔය අනිත් වැඩ වලදී වගේම මේකට කර ගහන්න"

එම ඉල්ලීමත් සමඟින්ම මෙතෙක් වෙලා පැවති සාකච්ඡාව අළුත් පැත්තකට යොමු වූ අතර ඇති වී තිබූ ව්‍යසන අවස්ථාවේදී අප සියළුම දෙනා එක්ව කරන්නට යෙදුණු පින්වත් සත්කාරයක ආරම්භය එතැනින් ඉපදිණි...


19 April 2011

සමාන්තර...

දෑසින් දෑසට ලංව බලාගෙන..
දෑගිළි තුඩගින් අත් පටලාගෙන..
කිසිදා එක් නොවනා බව දැන ගෙන..
ගමනක් යමු අප දුක ඉවසාගෙන..

සිතින් මෙන්ම හදවතින් බැඳී ඇති..
ඒ මුත් කිසිදා අපට උරුම නැති..
ආදර සිහිනය ගිලිහී යද්දී..
හඩා වැටෙමු දුක් කඳුළු දරාගෙන..

මා ලොව ඈතයි එය හරි කටුකයි..
නුඹ දකිනා සුව සිහිනය නොම වෙයි..
ඒමුත් නුඹ සිත මා සිත ගාවයි..
හඩා වැටෙන මගේ සිත මුමුණා යයි..

අපට උරුම නැති අපේ ලොවක් ගැන..
සැමදා සිතමින් හඩා වැටෙනු ඇර..
සුවිසල් මාළිග මැඳුරු තනන්නට..
ඒ ලොව කිසිදා අපට ඉඩක් නැත..

දිනයෙන් දිනයට සෙනෙහස පිබිදී..
මොහොතින් මොහොතට මැරි මැරි ඉපදේ..
එක්වීමක් කිසි දිනක නැති ලොවේ..
වෙන්වී යන්නට උරුම වූ මෙසේ..

දෙදෙනා යන මුත් එකට එක මගේ..
හමුවීමත් සිහිනයක් සේ හැගේ..
අනන්තයට යන රේල් පීලිසේ..
එක්නූනත් යායුතුය එක මගේ..

බ්ලොග් එකේ ලිපි ටික ආපහු බලාගෙන යනකොට මේක හම්බ උනේ පරන ඩ්‍රාෆ්ට් එකක් හැටියට..ඒත් මේක පල කරලා නැත්තේ ඇයි කියලා මට හරියට මතක නැහැ...කලින් මම මේක දාලත් නැහැ කියලා ලිපි ටික පරීක්ෂා කලහම තේරෙනවා..ඒ හින්දා දැන් ඔන්න ඔහේ පල කරලා දානවා...මේක මම ලියපු එකක් වෙන්න එපෑ...නැත්තං මෙතන තියෙන්න විදියක් නැහැනේ.

18 April 2011

නැගනහිර වෙරලේ පන්සල් කතාවක්...මාරයාගේ පන්සල් දිවිය

හුග දවසකින් ටිකක් පිළි වෙලකට බ්ලොග් එක ලියන්න කියලා හිතුනා...ඒකත් පොඩි වෙනසක් එක්කම..
ඒ තමයි මෙච්චර දවසක් හමස් පෙට්ටියට දාලා තිබ්බ ලේබලයක් යටතේ නැවත ලියන්න හිතුන එක..‍මොකක්ද ඇහැවුවා ‍ඒ ලේබලය..ඔව් ඉතිං මගේ තියෙන තරං ලේබල් ඔක්කෝම හමස් පෙට්ටියට දාපුවා නේන්නං...ඒත් මේක ටිකක් වෙනස්ම ලේබලයක්..


කාලයක් තිස්සේ කියවන හුගාක් අය බොහෝම උනන්දුවෙන් කියවපු ලේබලයක් තමයි...ඒත් බොහෝම දුරට හිතලා හිතලා අන්තිමට ඒක ලියන එක මම නවත්තලා දැම්මා...

ඒ තීරණය ඒ හැටි පහසු තීරණයක් උනේ නැහැ මට...ඒත් මගේ පහසුවට වඩා හිතන්න හුගාක් දේ තිබුනා ඒ වෙනකොට...

ඒ හින්දාම මම ඒ කතා මාලාව නවත්තලා දැම්මේ හුග දෙනෙක්ගේ නෝක්කාඩුවට ලක් වෙද්දිමයි...ඒත් ඒ වෙලාවේ මට හිතන්න හුගාක් දේ තිබුනා...

ඒ පිළිබඳව ලියන්න ගියොත් දැන් මට මේ ලියන එකත් ලියන්න සෑහෙන වෙලාවක් ගන්න වෙනවා...ඒ හින්දා දැනට අපි යන රූලේම යමු...
.................................................

අදත් ඇත්තටම මම මේ ලෑස්ති වෙන්නේ මම නවත්තපු තැනින් පන්සල් කතාව පටන් ගන්න කියලා හිතන්න එපා.ඇත්තටම මට ඕන උනේ අතීතයේ තවත් පිටුවක් මගේ මේ බ්ලොග් එකට එකතු කරන්න විතරයි..ඒත් ඒ අතීත පිටුව තියෙන්නේ පන්සලේ දිවි ගෙවපු වකවානුවේම නිසා මං ඒ කතාවත් අර න්සල් දිවිය කියන ලේබලයටම එකතු කරන්න හිතුවා...

මොකද කවදා හරි දවසක මේවා බලන කෙනෙකුට මේ ඔක්කෝම කතා ටික එක තැනකින් බලන්න තියෙන්න ඕන කියලා මම විශ්වාස කරන නිසා...හරි අපි යං කතාවට

..................................................

ඒ දෙදහස් හතර වර්ෂයේ දෙසැම්බර් මාසයයි...එකවට මා පැවිදි දිවියට ඇතුළත්ව වර්ෂ එක හමාරක් පමණ ගෙවී ගොස් තිබිණි...කාලය කෙටි වූවද එම සුළු කාලය තුලදී වූවද පන්සල හා ගම අතර වූ සම්බන්ධය ඉතා හොඳින් ඇති කරලීමට හැකියාව ලැබී තිබිණි. ‍

පුර පසලොස්වක පොහෝ දිනයක් වූ එදින පන්සලට තරමක් අවිවේකී දිනයකි...

පන්සල බාරගන්නා සමයේ දිනකට දහයක් දොළහක් විතර පැමිණි සිල් ඇත්තන් පිරිස මේ සමය වන විට සීයයකට ආසන්නව තිබිණි...එහෙයින් කල යුතු දෑ බොහෝමයක් විය..මෙම කාලය වන විටද මා පන්සලේ සියළු දෑ තනිවම කර ගත යුතුව තිබූ හෙයින් උදෑසන යනු එකම යුධ සමයකි.

හීල් දානය බාර ගැනීම අතරම සිල් සමාදන් වීම පිණිස පැමිණි ඇත්තන්හට සිල් සමාදන් කරවා උදෑසන බුද්ධ වන්දනාව සහ බුද්ධ පූජාව පැවැත්විය යුතුය..ඒ අතරම පන්සලේ පිරිසිදු කිරීම් කටයුතුත් නිසි පරිදි කරවිය යුතුය...
උදේ සිට සවස් වන තුරාම වරින් වර පැමිණෙන අය විසින් නොයෙක් දෑ සොයනු ලබයි...

"හාමුදුරුවනේ..වැඩිපුර ඉදල් නැද්ද..?"
"හාමුදුරුවනේ ගිලන්පස තියන කෝප්ප ටික ගන්න ඕන.."
"උපාසක ඇත්තන්ගේ පිගන් ටික කොහේද දන්නේ නැහැ.."
"හාමුදුරුවනේ හීටර් එක නැද්ද.."
"අනේ හාමුදුරුවනේ බණ මඩුවේ ප්ලග් පොයින්ට් එකේ කරන්ට් එක එන්නේ නැහැනේ.."

එපමණකින් නොනවතී...පිරිසක් භාවනා කරද්දී තවත් පණ්ඩිත උපාසකවරයෙක් එයින් අහකට පැන මා සොයා එන්නේ ඔහු හට එම භාවනාව අමතුවෙන් ප්‍රගුණ කල යුතු නොවන බවත් ඔහු ඊට වඩා උසස් තත්වයකට පැමිණ ඇති බවත් මා සමඟ කියා මානසික සහනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි..මෙවන් අය ඕනෑම පන්සලක දායකයින් අතර අඩුවක් නැතිව සිටී...

ඔවුන් හා ගනුදෙනුව ඉතා ප්‍රවේශමෙන් කල යුත්තකි...

මන්ද යත් ඔවුහූ විසින් සාදාගෙන ඇති මනෝරාජිකය බිඳවැටෙනවා දකින්නට ඔවුහූ අකමැත්තෝය...ඔවුනට අවශ්‍ය වන්නේ තව දුරටත් ඔවුනගේ බොරුව අප විසින් පෝෂණය කරනවා දකින්නටය...

ඒ හැර ඔවුන් සිටින මවාගත් ලෝකයේ සළු තිර ඉවත් කරනු ලැබුවහොත් දැඩි සේ උරන වන අතරම එතැන් සිට මුළු කාලයම වැය කරන්නේ තමාගේ සීතාම්බර සළුපටවල් ගැලවූ අය කෙරේ වූ වෛරය පිරිමැසීම පිණිසමය...

මේ බව නොදැන ඔවුන් හා ගනුදෙනුවට යාම වනාහී...විහාරස්ථානයක් පාලනය කරන්නා වූ භික්ෂුවකට සියතින් ගෙල සිඳගන්නාක් හා සමාන ක්‍රියාවක් වනු නොඅනුමානය...

පොහෝ දිනට පැමිණෙන පිරිස අතර මෙවැන්නන් කිහිප දෙනෙකු සිටින්නේමය..මොවුන්ගේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් කිසි විටක එක්ව නොපැමිණීමත්..පන්සලේ සිටින ස්වාමීන් වහන්සේ තනිවන මොහොතක් බලා එතනට කිට්ටු වී තමාගේ වගාඩම්බරය ගෙන හැර දැක්වීමත්ය..ඉතින් දිනකට මෙවැනි මාර්ගඵල පේන තෙක් මානයේ වන උපාසක උපාසිකාවන් හතර පස් දෙනෙකු ආවාසය පැත්තට පැමිණිම යනු දවසේ වැඩි ප්‍රමාණයක් අපතේ යැවීමක් බව කිව මනාද..?

එවැනි අය හා කතාවේදී මුල් අවදියේදී මා විසින් ඔවුන්ගේ මතවාද විමසුමට ලක් කලද පසුව මා හට හැගී ගියේ..එය පලක් නොවන දෙයකු බැව්ය... විශේෂයෙන්ම ඔවුනට යමක් අවබෝධ කරදීමට නොහැකිවාක් මෙන්ම ඔවුන් කියන අමුතු මාර්ගඵල මා හටද අවබෝධ නොවන තැන තව දුරටත් ඔවුන් හා ඒ පිළිබඳව සංවාද තැනීමට වඩා ඔවුනට උවමනා දේ කියන්නට හැර මුනිවත රැකීමෙන් ඔවූහු මහත් සේ සතුටට පත්වන දුටු පසු..
ඔවුනගේ සතුට එසේම තබා ගන්නට හැරීම කාලයේ හැ‍ටියට කලහැකි හොඳ දේ බව හැගී යන ලද හෙයින් එසේ සිටීමට මා පසුව පුරුදු විණි..ඒ හැර ඔවුන් බොරුවෙන් මුලා කිරීම හෝ..ඔවුනට එරෙහිව ගොස් සිත් තැළිමට හෝ යාම දෙපසටම අවැඩදායක විණි...

ඒ නමුත් දෙදෙනෙකු අතර කතාවක් නොව..ඔවුන් විසින් ඔවුන්ගේ සමත්කම් කියෑපෑමට ගන්නා කාලය හරහාද මාහට දවසින් සෑහෙන කාලයක් අපතේ යවන්නට සිදුව තිබිණී..ඒ මුත් ඔවුන් හා සංවාදයක් ගොඩ නැගීමෙන් අපතේ යන කාලයට වඩා යම් තරමක් හෝ කාලය එයින් ඉතිරි කරගැන්මට මට හැකි වන බැවින් එසේ සිටීම වඩා ඵලදායී විය...

මා මේ කියන්නට යන්නා වූ කතාවට අදාළ නැති වූවද..පන්සල් දිවිය ගැන ලියනා සෑම ලිපියකදීම මෙන්ම සිදුවීමට අදාළ පරිසරයේ තත්වය යම් තරමකින් හෝ පැහැදිලිව ඉදිරිපත් කිරීමට මා තරමක් උනන්දු වන්නේ එයින් එක් අයකුට හෝ තමුන් මෙතෙක් නොදුටු පැත්තක් දැකීමට හැකි වෙතැයි යන බලාපොරොත්තුව ඇතිව නිසා..ලියවිල්ල දීර්ඝ වීම හරහා කිසියම් පාඨකයෙකුට යම් අලස ස්වභාවයක් ඇති වූයේ නම් මා කෙරෙහි උරණ නොවෙත්වා...

නමුදු මට මේ මොහොතෙහිදී කිව යුතු දේ නැවත කියන්නට අවස්ථාවක් නොලැබී යාමටත්..සමහර විට ඒ දේවල් මාගේ මතකයෙන් ගිලිහී යාමටත් හැකි බැවින් හැකි සෑම අවස්ථාවකදීම සිහියට නැගෙන්නා වූ පන්සල හා එහි අවට සමාජය පිළිබඳව වූ මාගේ කියවීම් හැකි පමණින් මෙහි දැක්වීම පිළිබදව පාඨකයින් මා හට කමත්වා...
.....................................................

එදිනත් වැඩ කටයුතු අධික වෙමින් පැවති පුන් පොහෝ දිනයකි...
පෙර කී පරිදිම උදෑසන වතාවත් නිමවා පෙරවරු අට පසුවී පමණ උදෑසන දානය වළඳා එතැන් පටන් දවසේ කාල සටහනට අනුව වැඩ රාජකාරි සිදු කරමින් සිටියෙමි...

බොහෝ දෙනාගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එදිනත් වැඩ කටයුතු සිදු වෙමින් පැවති අතර උදෑසන කෙටි දහම් දෙසුමක්ද පවත්වා මා ආවාසයට පැමිණ මඳක් විවේකීව සිටින්නට උත්සහ කල අතර කාමරයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කලේද එම මොහොතේය...

සාමාන්‍යයෙන් පොහෝ දිනවල රූපවාහිනීයේ හෝ වේවා..ගුවන් විදුලියෙහි හෝ වේවා සුදුසු දහම් දෙසුමක් හෝ ධර්ම සාකච්ඡාවක් යයි නම් කාමරයේම තබා තිබූ ඈම්ප් එක හරහා එය බණ මඩුවෙහි සිටින උපාසක උපාසිකාවන් වෙත ශ්‍රවණය කිරීමට හැකි ලෙස සැලැස්වීමට මා නිතර කටයුතු කරන ලදි..යම් කිසි නියමිත වැඩ සටහනක් නොමැති සෑම වේලාවකදීම එවැන්නක් කිරීම හරහා සිල් ඇත්තන්ට තමන් කැමති ස්ථානයක සිට නිවී හැනහිල්ලේ ශ්‍රවණයට සුදුසු යමක් සලසා දීම එහි අරමුණ විය...

සමහර දිනවලදී උදෑසනින්ම උපාසක ඇත්තන්ම මා හට දැනුම් දෙනු ලබන කාරණා වෙති...

"හාමුදුරුවනේ අද දහයට අහවල් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහවල් සේවයේ ප්‍රචාරය වෙනවා" යි පවසමින් ඔවුන් මා දැනුවත් කරනු ලබන අතර..මා විසින් එම වේලාවට වෙනත් යමක් සැලසුම් නොකොට එම ධර්ම දේශනාව විකාශයට කටයුතු සලස්වා දෙනු ලැබීමි.

විශේෂයෙන්ම කිව යුතු තවත් දෙයක් ඇත...

පෝ දින වැඩ සටහන්යැයි කියමින් මහා විශාල අංග රාශියක් ඇතුලත් කොට කාලසටහනක් මාතින් කිසිදිනෙක පිළියෙල නොවූ බවය...

එනම්..පැයක කාලයක් හිමි නමක් වඩමවා හෝ මා විසින්ම පැවැත්වූ දහම් දෙසුමක් සූදානම් කලානම් එතැන් සිට පැයක් පමණ යන තෙක් වෙනත් විශේෂ ක්‍රියාකාරමක් සැලසුම් නොකරමි...එයට හේතුවක් තිබිණී...

සිල් ගැනීමට එන බොහෝ දෙනා වයස්ගත උදවිය වන අතරම එයින්ද බොහෝ දෙනා වයසට ගියත් තවමත් ගෘහ ජීවිතයේ අනන්ත වූ වැඩ කටයුතුවල නිරත වන මහළු අම්මලා වෙති. ඔවුහූ වැඩි පිරිස පෝ දිනට පන්සලට ඇදෙන්නේ නිවන් දැකීමටම නොවන බව මා දනිමි.

මේ ප්‍රකාශය කිසියම් අයකුට ගැටළුවක් වූවද..ඔවුන් හා කල් ගෙවූ කාල සීමාව තුල මා දැනගත් දෙයක් නම්..එසේ පැමිණෙන වැඩි දෙනා පුරා මාසයක් තිස්සේ තම දරුවන්ගේ දරුවන් බලා හෙම්බත්ව..මඳක් හෝ නිවී හැනහිල්ලේ දවසක් ගත කරන අපේක්ෂාවෙන්ම මෙසේ පන්සල් එන අය වෙති...

ඉඳින් එසේ පැමිණෙන අය හට මුළු දවසටම කාල සටහන් සකස් කර සිය අබල දුබල වූ ශරීර එක් ලෙසක තබා ගනිමින් බොහෝ අපහසු ඉරියව්වලින් දවස ගත කිරීම බොහෝ දුෂ්කර ක්‍රියාවකට ඔවුනව ඇද දැමීමක් ලෙස මා හට පෙනී ගිය කරුණක් වූ බැවින්..අනිකුත් අයටත් අසාධාරණයක් නොවන සේ හැකි තරම් සරලව වැඩ කටයුතු සකස් කලෙමි...එසේ අකමැති කිහිප දෙනෙක් ලංකාව පුරා වූ අසපු සොයා ගොස් විවිධාකාර වූ නිමක් නොමැති දහම් අභ්‍යාස වල යෙදුණු අතර..ඉන්ද හෙම්බත් වී නැවත පුරුදු පන්සල කරා පැමිණි අයද විණි..

මා පෙර සඳහන් කල මග ඵල පෙනෙන තෙක් මානයේ වූ සිල් ඇත්තන්ද බොහෝ දෙනා එසේ අසපු වලින් හැළුනා වූ අය වෙති...

පෙර මා කී අබල දුබල සැදැහැතියන් විවේක කාලයක් වැනි වේලාවකට ශබ්ද විකාශන යන්ත්‍රය හරහා තරමක් හඩ අඩු කොට ප්‍රචාරය කරනු ලබන දහම් වැඩ සටහනකට ඔවුනට පහසු අන්දමකින් සිටිමින් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීම පිලිබඳව ඔවූහු සෑහෙන ලෙස තෘප්තිමත්ව උන්නාහුය.

එදිනත් එසේ සුදුසු වැඩ සටහනක් සොයනා අතර තුරදී මාහට යම් කිසි පින්කමක රූපරාමු පෙලක් දිස්වන්නට වූයේ මා හට මතක හැටියට නම් ස්වාධීන රූපවාහිනී නාලිකාව හරහා විය යුතුය.එම වැඩ සටහනට මාගේ අවධානය මඳකට යොමු වූයේ එම පින්කම පැවතියේ ඒ වන විට දෙතුන් වතාවක් යම් යම් ආගමික වැඩකටයුතු කිහිපයක් සඳහා මා විසින් වැඩමකොට තිබූ විහාරස්ථානයක වීමය...

එම විහාරස්ථානයේ ‍අභිනව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා වූ මුල්ගල් තැබීමේ පින්කමක දර්ශන දෙස මා බලා සිටි අතරේම සිරස නාලිකාවට යොමු වූයේ එහි ඇති වැඩ සටහන් දැන ගැන්මටය..නමුත් ඒ මොහොතේ එහි විකාශය කරමින් තිබූ වැඩ සටහන හිටි හැටියේ නවතා දමා හදිසි ප්‍රවෘත්ති විකාශයක් ඇරඹීණී...

17 April 2011

අතීත මල් සුවඳ දැනී...

නිමාවූ ජීවිතේ..
රළු බොරළු මාවතේ..
බොහෝ දුර ආ ගමන
අද නැවතිලා ඇතේ...

ඒ නමුත් ඒ මගේ..
දෙපස පිපිලා තිබූණු..
මල් වලින් ලද සුවඳ
තවම මතකයෙ ඇතේ...

තව කුමට මේ ලෙසේ..
ඇවිද යන්නේ මෙසේ..
නවතින්න අවසරයි
නිම නොවූ ජීවිතේ...

මා නැතත් මාවතේ..
තවත් මල් පිබිදේවි..
ඒ නමුත් එහි සුවඳ
මට යළිඳු නොදැනේවි...


15 April 2011

"ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච" කිව්වළු...

අළුත් අවුරුද්ද ලැබුවා..ඒ ඊයේ..හැම දේම හොඳනි් සිද් උනා..මාත් අපේ බස් යාළුවෝ ටිකත් එක්ක වෙනදා වගේම දවස ගත කලා.හැම දේම හොඳින්..හැමෝම සතුටින්..මාත් සතුටින්...

අවුරුද්ද උනත් මගේ රැකියාවේ හැටියට අපිට නිවාඩු නැහැ.ඒත් ඒක ඒ හැටි මට ගාණනක් උනේ නැත්තේ ගෙදර හිටියත් මට මහා වෙනසක් නැති හින්දයි.

කොහොම හරි ඊයේ මට ඕෆ් වෙන්න තිබුනේ හවස හයට විතර තමා..හැම දේම අනිත් පැත්ත හැ‍රුනේ අන්න එතන ඉඳලා...

මගේ අනිත් රාජකාරි සගයා..ගුණේ අයියා හය විතර වෙනකොට ආවා..මම යන්න සූදානම් උනා.වෙනදා වගේම නිල ඇඳුමට උඩින්ම ජැකට්ටුව දමාගෙන ලැප් එක සහිත බෑගයත් පිටේ එල්ලාගෙන හෙල්මට් එකත් දා ගන්න ගමන් ගියා බයික් එක ගාවට...හුටා..කෙළියා තාප්පෙට...

බයික් එකේ පිටුපස රෝදයේ හුළං බිංදුවක්වත් නැහැ..දැන් මොකද කරන්නේ..මේ වෙලාවට පාරේ බස් කොහේ..අවුරුදු දවස...ත්‍රීවීලයක්වත්..ම්හූ..පාර සොහොන් පිට්ටනිය වගෙයි..ගෙදරට කිලෝමීටර් 7ක් විතර..

හුගාක් කල්පනා කලා..අනික හෙට ටිකක් කලින් එන්නත් ඕන ගුනේ අයියට ගෙදර වැඩක් හින්දා..

බයික් එකේ ටියුබ් එක ටිකක් නරක තත්වයක තමයි තිබුනේ..ඒත් මම ඒක දාන්න හිටියේ මේ මාසේ ඉවර වෙලා බයික් එකේ යාපනේ යන්න හිතාගෙන හිටිය හින්දා ඒ ගමනට කළින් තමයි..ඒත් දැන් ඒ වෙනකල් ඉන්න බැහැ..කොහොමත් මේහෙමම ටයර් කඩේකට ගියානං මේක ගොඩ දාගත්තෑකි පැච් එකක් දාලා..ඒත් දැන් ඒ වගේ විසඳුමකට යන්න වෙලාව නෙවෙයි.

අන්තිමට විනාඩි දෙකක් විතර කල්පනා කලා..තීරණයකට ආවා..යනවා රිම් එකෙන්..ඒ කියන්නේ අනිවා ටියුබ් එක දාන්නම ඕන..ඒක අවුලක් නැහැ..මොකද කොහොමත් මම ඒක කරන්න හිතාගෙන හිටි හින්දා...
ඒත් එහෙම ගමනින් ටයරයට කෙලවෙන්න ඇති අවස්ථාවත් වැඩියි..එහෙම උනොත් වැඩේ ටිකක් පාඩුයි...

මොකද ටයර් එක දාලා මාස හතක් වගේ හින්දා..ඒත් දැන් කරන්න දෙයක් නැහැ..මම ගන්න ඕන තීරණේ ගත්තා..ආවා හිමි හිමිහිට රිම් එකෙන්ම..ගමන ටිකක් අමාරුයි..ඒත් ගානක් නැහැ..රෑවෙලා හින්දා අවුල ටිකක් අඩුයි..මොකද නැත්තං හුග දෙනෙක් මේ දිහා බලනවා..ඒත් රෑ කියලා නැහැ හතර දෙනෙක් විතර පිටි පස්සෙන් එලවගෙන ඇවිත් කියනවා..

"මල්ලි පිටිපස්සේ රෝදේ හුළං නැහැ"

මං ඉතිං හිනාවෙලා..

"දන්නවා අයියේ..අද ඕක හදන්න තැනක් නැහැ..හෙට ටියුබ් එකක් දානවා" කියලා එනවා...

කොහොම හරි ගෙදරට ආවා..දවස් දෙකකින් හරියට බත් කටක් කාලා නැහැ..ඒ ගමන ඉක්මනට බත් මිටක් උයලා තියලා නා ගත්තා..උයාපු බත් ටිකත් ගිලලා ආයෙමත් නෙට් එකේ ඉන්න කොට තමයි ගෙදරින් කෝල් එක ආවේ...

අම්මට සනීප නැහැ..රාගම ඉස්පිරිතාලේ නවත්තලා...

මල්ලි බැඳලා ඉන්න නංගී තමයි ළග ඉන්නේ..පපුවේ අමාරුවක්...

කොහොමත් අම්මා පහුගිය කාලෙම ලෙඩ ගානේ හිටියේ..පහු ගිය 11 වෙනිදා මම ගෙදර යනකොටත් අම්මා මල්ලී එක්ක ග්‍රාමීය රෝහලේ ක්ලිනික් එකට ගිහිල්ලා හිටියේ..

ඒ පාර මම කෙලින්ම එතනට ගිහින් මල්ලිව ගෙදර එවලා..අම්මගේ බෙහෙත් ටිකත් ෆාමසියෙන් අරන් දීලා එක්ක ආවා...ඒ මම අවුරුද්දට ගෙදර ගිය දවස..මල්ලිට නංගිට පුතාට..අම්මට අවුරුද්දට ගෙනියන දේවළුත් අරන් එදා මම ගියේ..

කොහොමත් මම අපේ ගෙදර අයව අතහැරලා ඉන්න කෙනෙක්..ඒක දිග කතාවක්..ඇත්තටම ඒ අය හින්දා මට මගේ ජීවිතේම නැති උනා කිව්වොත් හරි..ඒත් මම අදටත් කොහොම හරි මට පුළුවන් හැටියට එයාලට බලනවා..ඒ දේට එයාලා සුදුසු නැති උනත්...

කොහොම හරි එදා ගිහින් එන වෙලාවේ අම්මට කියන්න අමාරුවක් තිබුනේ නැහැ.
ඒත් හදිසියේ මෙහෙම පණිවි‍ඩේ ආවාම මට කර කියාගන්න දෙයක් නැති උනා.
මහ රෑ..බයික් එකත් කැඩිලා..පාරේ වාහනයක් හොයාගන්න නැහැ..

කරන්න දෙයක් හිතා ගන්නවත් නැහැ.

කොහොම හරි පහුවදා වෙනකල් ඉන්න වෙනවා..ඒ අතරේ වෙලා තියෙන දේ කෙටියෙන් උනත් කිව්ව ගමන් හිතට පුදුම හයියක් වෙන්න ඉදිරිපත් උනේ තිස්ස අයියා.. ඊට අමතරව ජනනී නංගී...ඒත් ජනනීට මං කිව්වා කාටවත් කියන්න එපා කියලා..මොකද ඒ වෙලාවේ බස් එකේ කට්ටිය බොහෝම සතුටින් හිටියේ..ඒ සතුට නැති කරලා දාන්න අකමැති හින්දා මම එයාට මේ වගක් කියන්න එපා කිව්වා උනත් මගෙන් පිට වෙච්ච එක වචනයක් හරහා තිස්ස අයියා මාව අල්ලගෙන ඇහැවුවා...

කොහොම හරි අද උදේම ටයර් කඩේට ගියා බයික් එකත් අරං..එතන පුදුම යුද්දයක්..සෑහෙන වෙලාවක් දගලලා ටියුබ් එකකුත් දාගෙන අම්මට ගෙනියන්න කරවිල ඉස්ම හදා ගන්න ඕන කියලා මල්ලි කතා කරලා කිව්ව හින්දා යක්කල ෆුඩ් සිටියට ගිහින් කරවිලයි..තව ගෙනියන්න ඕන දේවළුයි අරන් ගෙදර ගියා..

මල්ලීගේ තත්වේ මට හපන්..මිනිහා උදේ බයික් එකේ ඉස්පිරිතාලේ ගිහින් එද්දී ගනේමුල්ල පාර ගාවදී බයික් එකේ මගේ වගේම පිටිපස්සේ රෝදේ පැච් එකක් ගිහින්..ඊට කලින් රාගමදී ඉස්සරහා රෝදේ පැච් එකක් ගිහින් ඒක දාගෙන එද්දී තමා මේක වෙලා තියෙන්නේ..ඒ පාර බයික් එක එතන කඩයක් ගාව දාලා ත්‍රීවීල් එකක් අරං ඇවිල්ලා...

ඒ පාර කරවිල ටිකත් බ්ලෙන්ඩර් කරලා නංගී හදලා දුන්න අඩුම කුඩුමත් අරං මල්ලිවත් දාගෙන ගියා බයික් එක තිබ්බ තැනට...ගෙදරින් අරං ගිය ආයුධ වලින් රෝදේ ගලවලා එතනින් හැතැම්ම දෙකක් විතර දුර යන්තං ඇරලා තිබ්බ ටයර් කඩයකට දාලා අපි දෙන්නා ගියා ඉස්පිරිතාලේ...

අම්මාගේ නංගි කෙනෙක් වෙච්ච කිරි පුංචී අද උදේ ඉඳලා අම්මා ගාවා..කොහොමත් අම්මා අසනීප වෙච්ච හැම වෙලේම උන්දෑ තමයි කඩාගෙන එන්නේ..ඊයේ රෑ නංගි ඉඳලා තියෙන්නේ...අද රෑටත් ආයෙමත් නංගී යයි නවතින්න...

ඊයේනං අම්මාට හුගාක් අමාරු වෙලා..ඔක්සිජන් හිටන් දීලා තමයි ගොඩ ඇවිත් තියෙන්නේ..ඒත් මම යනකොට අම්මා ඇ‍ඳේ වාඩි වෙලා කතා කරන්න පුළුවන් තරමට ඇවිල්ලා...ඒත් තාම කන්න හොඳ නැහැ බොන දේවල් විතරයි.

ඒ හැටිම දැන් කලබල වෙන්න දෙයක් නැහැ.ඒ ගමන පුංචි කිව්ව දේවල් ටිකත් ගෙනත් දීලා අපි ආපහු ආවා.

මේ දෙවෙනි පාර හැදුන පපුවේ අමාරුව..අම්මම කියනවා ඊ ළග එකෙන් ඉවරයි කියලා..මාත් ඒක දන්නවා...

ඒක අදද හෙටද කියන්න මම දන්නේ නැහැ..ඒත් උපන් හැමෝටම අයිති දේ අම්මටයි මටයි කියලා වෙනස් වෙන්නේ නැහැ.ඒ ගැන කියලා මට අමුතු දුකක් දැනෙන එකකුත් නැහැ.කවදා හරි ඔය ගමන අපි හැමෝටම යන්න වෙනවා..ඒත් එතකං අනුන්ට කරදරයක් නැතිව තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නයි අපි කවුරත් කැමති.

අම්මට අමුතුවෙන් බණ දහම් කියා දෙන්න ඕන නැහැ..ඒ හින්දා එයා උනත් දවසක මරණයට සැහැල්ලුවෙන් මුහුණ දේවී..එයාලගෙන් මට වෙච්ච දේවල් වලට මම එයාලට සමාව දෙනවා කියලා මම දැන් මාසෙකට විතර කලින් ගෙදරට හදිසියේ ගොඩ උන වෙලාවක එයාට කියලා තිබුනේ...

එයා උනත් එයින් පස්සේ හිත හදාගෙන ඉන්නේ කියලා මම 11 වෙනිදා ගිය වෙලාවේ මට තේරුණා.දැන් හැම දේම නිරවුල්.

කොහොමටත් දැන් ඉතිං වෙච්ච දේවල් අමතක කරලා දාලා මාත් මේ වෙලාවේ එයාලාට ටිකක් බලනවා.අදත් කරන්න තියෙන හැම දේම කරලා මල්ලිටත් අතට වියදමට මුදලක් දීලා තව මදිපාඩුවක් ඇතොත් කියහං කියලා ආවේ..

ඒ ඇවිත් ඉක්මනට උයලා බත් කටක් කාලා රෑටත් බත් බෙදාගෙන මම හවස වැඩට ආවා.

දැන් ඉතිං ආයේ හෙට හවස සමහර වෙලාවට ගෙදර යන්න පුළුවන් වෙයි..එතකන් තත්වය ඔච්චරයි.

14 April 2011

මාරයාගෙන් ඔබට අවුරුදු පැතුම්...

ලැබූ වසරෙහි ජයම වේවා..!
දිනෙන් දින දියුණුවම වේවා..!
පතන පැතුමන් ඉෂ්ඨ වේවා..!
සියළු දන හට සෙතක් වේවා..!

කම්හලේ අවුරුද්ද...

ඇස් පියන් විවර කොට..
බලන කල මා අවට..
දැනුනි වෙනසක් මෙමට..
වෙනදාට වඩා අද..

පාළු වී ඇතේ අද..
ඇසට අසු වෙනා ඉම..
වෙනදාට මෙහි සරන..
කිසිවෙකුත් අද නොමැත..

කම්හලේ වැඩ බිමේ..
යන්තරේ හඩ මැකී..
මෙතෙක් කල් මෙහි නොවූ..
පාළුවක් මට දැනේ..

ජීවිතය ගැට ගසනු..
නියාවෙන් මෙහි පැමිණි..
යාන්ත්‍රික මිනිස් රූ..
අද නොවේ මේ බිමේ..

සිටිය මෙහි බොහො දෙනා..
අද පිටව ගොසින් ඇත..
මෙතෙක් කල් කඹුරලා..
සරි කරපු දේ රැගෙන..

වසරකට එක් වරක්..
පැමි‍ණෙනා අවුරුද්ද..
සමරන්න ගොසින් ඇත..
ඔවුනගේ ගම් දොරට..

ඔවුන් යළි එනතුරා..
පාළුවී ඇති මෙබිම..
රැක බලා ගනු පිණිස..
මා සිටිමි අද තනිව..

ඇස ගැටෙන මායිමේ..
අසල ඇති කම්හලේ..
මුරකුටිය තුල සිටී..
මා මෙන්ම තව අයෙක්..

අප මෙන්ම කම්හලේ..
යන්තරත් තනි වෙලා..
බලා ඉන්නේ නැවත..
ඔවුන් පැමි‍ණෙන තුරා..

අවුරුද්ද සමරලා..
ගම් දොරින් පිටවෙලා..
ඔවුන් යළි එනතුරා..
අප සිටිමු මෙහි බලා..

යළි නැවත මතු දිනේ..
පැමිණි පසු බොහො දෙනා..
අද පෙනෙන දසුන් යළි..
නොපෙනෙනා බව දනිමි..

කම්හලේ දුම් බටය..
නැවත පණ උපදාවි..
රෑ දවල් එක විලස..
යන්තරත් වැලපේවී..


13 April 2011

කිරිබත් නැති අවුරුදු දා...

ඔන්න ඉතිං පරණ අවුරුද්දට මං ලියන අන්තිම පෝස්ටුව...

හවස පොද වැස්ස මැද්දෙම වැඩට ආවා...
දැන් ඉතිං දෙයියනේ කියලා පාඩුවේ ඉන්නවා..වැඩ කිව්වට ඉතිං වැඩි දෙයක් නැහැනේ..ආවා ලයිට් ටික දැම්මා..වටේ ඇවිදලා බැළුවා, දැන් ඉතිං සුපුරුදු විදියට ලැප් එක දිග ඇරගෙන මම ඔන්න නෙට් එකේ...

ඉතිං..අද පරණ අවුරුද්ද..කියන්න ලැජ්ජයි මං ජොතිෂ්‍යය අතේ වැඩ කලාට මොකද..තාම අවුරුදු නැකැත් සීට්ටුවවත් බැළුවේ නැහැ..එක අතකින් ඒක බලලා මට ඇති වැඩකුත් නැහැ.
මොකද මං ඒවා ඉෂ්ඨ සිද්ධ කරන්න කියලද..?

අද හවස වැඩට ආව මම ඕෆ් වෙන්නේ හෙට හවස 6ට විතර..ඉතිං ඒ වෙනකොට අවුරුදු නැකත් ඉවර වෙන්න ඕන මට හිතෙන හැටියට...

.....................................

මම අන්තිමටම අපේ ගෙදර අයත් එක්ක එකට වාඩි වෙලා අවුරුදු කෑවේ මං හිතන්නේ 1997 විතර වෙන්න ඕන..ඊට පස්සේ අද වෙනකල් මට ඒක කරන්න උනේ නැහැ..ඒ මගේ රස්සාව හින්දා...

98 අවුරුද්දේ ඉදලා මම ගුවන් හමුදාවේ...
මට මතකයි මුලින්ම මම අවුරුද්දකට ගෙදර නැති උනේ ඒ අවුරුද්දේ තමයි...
ඒත් එදා මම හිටිය කටුනායක කෑම්ප් එකේ උදේ කන්න තිබුනේ කිරිබත්..ඒත් මට මතකයි එදා කිරිබත් ලුනුමිරිස් විතරක් නෙවෙයි හරක් මස් වෑංජනේකුත් තිබුනා..ඒකටනං එදා මගේ හිත ටිකක් ගැස්සුනා..

මං මේ ලියන්නේ ටිකක් බීලා තමයි.ආයේ බොරු කියන්න ඕන නැහැනේ..හැබැයි සැර ජාති දැන් නවත්තලා..ගෙදරින් එන්න කලින් බියර් එකක් බීලා ආවා..දැන් ඒකේ දෙවෙනි එක..ඒකත් ටික ටික හිස් වේගන යනවා.අවුරුද්දට ඉතිං ඔයිට වඩා වෙන දෙයක් නැති එකේ කට්ටිය මට බනින්න එපා.ඕං කිව්වා...

ඉතිං එදා කටුනායකින් පටන් ගත්තු ගමන තාමත් මට අවුරුදු නැහැ..හැමදාමත් මං අවුරුද්දේ කොහේ හරි වෙන වැඩක...

හැබැයි ඒ හැමදාමත් මට කිරිබත් ටිකක් වැරදුනේ නැහැ.

අවුරුද්දයි කිරිබතයි අතර තියෙන සම්බන්ධය ගැන මම ලියන්න ඕන නැහැනේ..ඕන උනත් ඒකට මගේ ඇගිළි තුඩු මට උදව් කරනවා මදි..මේ ලියන වචනයක් පාසා මට වරදිනවා..ඒත් ආයෙමත් දගලලා ඒවා හරි ගස්ස ගස්ස තමයි මේ ලියන්නෙත්..එහෙවු එකේ ආයේ වැඩි අරුමෝසං කොරන්න මට දැන් බැහැ.

හැබැයි ඒ හැම අවුරුද්දකම නැකතට නැතත් ටිකක් පරක්කු වෙලා හරි මට කිරිබත් කටක් හම්බ උනා.

පන්සලේ ඉද්දී පවා...
ගිය අවුරුද්දේ මම හිටියේ මං කලින් රාජකාරිය කල තැන..නැකත් වෙලාවටම නැතත් ඊට පස්සේ හරි මට කිරිබත් උතුරන්න...ඒත් අද මං ඉන්න තැන බොහෝම පාළුයි..තව දවස් ‍තුන හතරක් යනකල් බල්ලෙක්වත් මෙතන නැහැ. ඉතිං මොන කිරිබත්ද..?

කොහොම උනත් හෙට අවුරුදු නැකත් ඉවර උනාම මට ගෙදර යන්න පුළුවන් වේවී..ඒත් මං කිරිබත් උයන්නේ නැහැ..මට විතරක් මොන කිරිබත්ද..?

හෙටත් ගෙදර ගිය ගමන් අනිත් බෝතල් දෙක කඩා ගත්තහම මේ අවුරුද්දත් ඒ හැටි අමාරු වෙන එකක් නැහැ...

ලබන අවුරුද්ද කොහොම වෙයිද මං දන්නේ නැහැ..සමහර විට මම හිටී..සමහර විට මං නොහිටී..ඒ කොහොම උනත් අවුරුදු තියේවී...කිරිබතුත් තියේවී...

අප්පා මීට වඩා මොනවා ලියන්නද..මට බැහැ.

කොහොම උනත් ඔය හැමෝටම ලබන්නා වූ නව වසර සුභ නව වසරක් වේවා..!
හිත්වල තියෙන යහපත් චේතනා පමණක් ඉෂ්ඨ වේවා..!