30 May 2011

දානය..පිරිකර..හා විකුණාගෙන කෑම...

වර්ෂ 2003 ක්වූ ජූලි මස එක්තරා දිනයකදී...
ගරා වැටෙමින් තිබූ අරාජික විහාරස්ථානයකදී...
පළාතේ විසූ වයෝවෘද්ධ..නායක හිමිවරුන් කිහිප දෙනෙකුගේ මෙහෙයවීම යටතේ...
එය සිදු විය...

ඔව් මේ වෙන කිසිවක් නොව මාගේ පැවිදි ජීවිතයේ ආරම්භයයි.
ජීවිතයේ කිසිදිනක නොසිතූ පරිදි දෛවය විසින් මා රැගෙන ගිය තවත් මංසන්ධියකදී මම මාර්ගයක් තෝරාගත යුතුව තිබුනි..එදා ඒ වේලාවේ මා යා යුතුම මඟක් සේ සලකා එම මාවත තෝරා ගතිමි.අදටත් මා එදා ඒ තෝරාගත් මාර්ගය පිළිබඳව සතුටු වෙමි..ඒ හරහා මට අහිමි වූ දේට වඩා මට හිමි වූ දේ බොහෝය...

ඒ නමුත් මා සූදානම් වන්නේ ඒ ලද නොලද දේ ගැන කියන්නට නොවේ..අද දින අහම්බෙන් මෙන් කියවන්නට ලැබුණු බ්ලොග් පෝස්ට්ටුවක් හරහා ලිවිය යුතුයැයි සිතේ මතු වූ කාරණාවක් ලිවීමටය...

ඔබේ වටිනා කාලය ගැන නොසිතා හැකිනම් මෙන්න මෙතනින් ගොස් අඳාළ ලිපිය කියවා එන්නේ නම් එය මේ කතාව ලිවීමේදී මට පහසුවකි....
....................................

අපි ආයෙත් යමු මම අර මුලින් සඳහන් කල දවසට...

කල යුතු වත් පිළීවෙත් අවසාන වීමෙන් පසු මාද සාංඝික සමාජයේ තවත් එක් පුරුකක් බවට පත් වී තිබිණි. සියළු විධී ක්‍රම අවසන් වීමෙන් පසුව මා ධර්ම ශාලාවේ වාඩි කරවා දුන් යම් නිවේදනයක් අනුව පැමිණ සිටි බොහෝ දෙනා මා වෙත පැමිණ නොයෙක් අන්දමේ පුද පරිෂ්කාර පිළිගන්වන්නට විය..සමහරු අත මුදල් කවර විය..ඒවා මා අත ගැසෙන්නට නොදී එතන හිටි වෙනත් තරුණ භික්ෂුවක් විසින් භාරගත් අතර අනිකුත් ද්‍රව්‍යයමය දේ මා විසින් පිළීගෙන මා හිදි තැන් පසෙකින් තබන්නට වීමු.

ටිකෙන් ටික එම පිරිකර ගොඩ විශාල වෙත්ම ලොකු හාමුදුරුවන්ගේ විධානයක් අනුව කිහිප දෙනෙකු විසින් ඒවා ආවාසය වෙත රැගෙන යන ලදි...ඒ ගෙන යන තරමටම තව තවත් භාණ්ඩ ගොඩ ගැසෙන්නට විය...

කෙසේ හෝ එම කටයුත්තද හමාර වී..දහවල දානමය පින්කමද අවසානයේ බොහෝ පිරිස විසිර ගිය පසු මා ආවාසයට ගිය විට ආවාසයේ තිබූ විශාල කාමරයේ ඇඳමතත් එහි බිමත් අර පිරිකර වලින් වැසී ගොස් තිබිණී...

ඉතිරිව සිටියේ හිමිවරුන් දෙතුන් දෙනෙකු පමණි...

පිරිකර ගොඩ දෙස බලා ඔවුනගෙන් පල වූයේ විවිධ අන්දමේ අදහස්ය...

"අවුරුද්දකට මේ මදෑ.."

"හැමදාම මෙහෙම ලැබුනොත් ආයේ පන්සල හදන්න බැරියෑ මාස හයෙන්.."

"තව ටිකක් ප්‍රචාරේ දුන්නනං මීටත් වඩා පිරිකර ගොඩ ගැහෙනවා.."

ඒ ඔවුනගේ වදන්ය..
ඒ අතරතුර පැමිණ සිටි තරුණ භික්ෂුවක් එහි තිබූ භාණ්ඩ අතපත ගා තමාට සුදුසු දෑ තෝරමින්..

"මේකනං මට හොඳයි..මං ගන්නද පොඩි හාමුදුරුවෝ..?"

මට ඒ භාණ්ඩ ගැන එවෙලේ ඒ හැටි නිනව්වක් නොවීය..

"මංනං දන්නේ නැහැ..ලොකු හාමුදුරුවන්ගෙන් අහලා ඕන එකක් ගන්න.."

ඒ සමඟින්ම ලොකු හාමුදුරුවන් කියූ කුමන හෝ වදනක් නිසා අතට ගත් දේ නැවතත් අත හැර එහිමියන් නිහඩ විය..(නමුත් මා පසුව උන්වහන්සේ හට සවස පිටත් වන්නට පෙර අඳාල දේ පිරිනැමීය..)

"..........................(මාගේ පැවිදි නාමය...) ඔය පිරිකර ටික අස්පස් කරලා තියනවා"

එම විධානය ලොකු හාමුදුරුවන්ගෙනි..එම විධානය අනුව මා විසින් එම භාණ්ඩ සවස් වරුවේ වෙන් වෙන් වශයෙන් බෙදා ඊට සුදුසු තැන්වල ගබඩා කොට තැබුවෙමි... මුදල් කවර මා හට නොලබුන අතර ඒවා ලොකු හාමුදුරුවන් විසින් ගැන බලා ගිය වියදම් වලට හිලවු කරනවා යැයි කියා පිටත්ව යන ලදි...

මේ මා පැවසුවේ මා හට ලැබුන පළමු පිරිකර පූජාවයි...එයින් පසුව මා පැවිදි කිරීමේ පින්කම් රැසකටම සහභාගී වී ඇති අතර ඒ කිසිම පින්කමකදී පැවිදිවන හිමිනමට නොලැබුන තරමේ පූජාවකින් මා මාගේ පළමු දිනයේදී පිදුම් ලැබූ බව විශ්වාසයෙන් යුතුව කිව හැක.

කෙසේ වෙතත් එම ලද පිරිකර වලින් සීනි කිරිපිටි වැනි දේ හැර අන් සියළුම දෑ වසර එක හමාරකටත් අධික කාලයක් තිබූ තැන්වලම තිබුනා විනා නැවත එළියට පැමිණියේ නැත..එයින් එකම එක වට අත්තක් පමණක්නම් මා භාවිතයට ගන්නා ලදි...

මා පැවිදිව දින තුනක් යන්නටත් මත්තෙන් මා හට පිරිත් පින්කමකට සහභාගී වන්නට සිදුවිය..පළාතේ තිබූ රජ මහා විහාරයකින් පින්කම මෙහෙයවන ලදි.. මා ගිහි පිරිත් පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබුනද සාංඝික පිරිතක් ගැන මෙලෝ හසරක් ඒ වන විට දැන සිටියේ නැතත් මණ්ඩපය පුරවාලීමට අවශ්‍ය නිසා මාත් ඔහේ කට හොල්ලමින් පිරිත් පොත කියවමින් රැදී සිටියේය..පසුවදා උදෑසන දානය වෙලාවේ පිරිකර පූජාවක් විය..සියළු දෙනාටම කුඩය බැගින් පිරි නැමුනු අතර..රාජ මහා විහාරාධිපති හිමියන් විසින් මා හට කවරයක දමා යම් මුදලක් දෙනු ලැබීය..එය මා විසින් ප්‍රතික්ෂේප කළද...

"ආව පළවෙනි පින්කම..එහෙම යවන්න බැහැ..මේකත් අරං යන්න" යැයි පවසා එය මා හට දෙන ලදී..මා එයත් රැගෙන ආවෙමි.

ඒ මාගේ දෙවන පිරිකර හා සම්බන්ධ අත්දැකීම වේ...

...............................................

පළමුව සඳහන් කල භාණ්ඩ සෑහෙන කලක් ආවාසයේ ගොඩ ගසා තිබූ අතර වසර එක හමාරකට පමණ පසුව දහම් පාසලේ සිසු සිසුවියන් දිරිමත් කිරීම සඳහා මා විසින් යම් යම් දේ සංවිධානය කරන්නට විය...

පිරිසිදුව හැඳ පැළඳ එන ළමුන්...
දහම්පාසල් දින වලදී නොකඩවා පැමිණෙන සිසුන්..
හැමදාම මල් ගේන සිසුන්...
බෙදා දී ඇති ආකාරයට පන්සල් බිම හොඳින්ම පිරිසිදු කරන ළමුන් ආදී වශයෙන් විවිධ දේ හරහා දහම් පාසලේ සෑම ළමයකුම කුමන හෝ අංශයකින් තෝරා එයට අඳාළව තෑගි දෙන්නට වූ අතර..ඒ සඳහා අර තැන්පත් කර තිබූ දේ මෙන්ම එතෙක් කලක් මා විසින් දාන මාන වලට ගොස් ලැබූ විවිධාකාර පිරිකර උපයෝගී කර ගන්නට විය...

සබන්.. දත් බෙහෙත්.. තුවා..දත් බුරුසු...සිද්ධාලේප...පැනඩෝල් කාඩ්..කොපි පොත්..පමණක් නොව දුප්පත් ළමුන් උදෙසා පාංශුකූල වලට ලැබුනු සුදු රෙදි පවා දුන්නේ නිල ඇඳුම් මසා ගැනීම සඳහාය..තෑග්ගක් ලැබෙන්නට කිසිම ආකාරයේ සුදුසු කමක් නැතිව සිටි ළමුන්ට උදෑසන රැස්වීමේදී තෑගි නොලැබුණත් දහවල් වන විට කුමන හෝ වැඩක් දී එයින් පසුව තෑග්ගක් දී සෑම දරුවකුම සිත් සතුටු කර යන ලෙස වග බලා ගත්තෙමි...

එහි ප්‍රතිඵල ලෙස පසුව බොහෝ ජයග්‍රහණ දහම්පාසල පැත්තෙන් ලද අතර ඒ පිළීබඳව මෙතනදී වැඩිදුර ලිවීම ඇවසි නොවේ...

ඊට අමතරව තවත් ඉතිරිව තිබූ පිරිකර විය..ඒ සිවුරු..අඳන..කුඩ..වට අතු...ආදියයි...

ඒවා ළමුන්ට තෑගි දිය හැකි අන්දමේ ඒවා නොවීය... පසු කාලීනව එම භාණ්ඩ මා විසින් අපගේ පන්සලට කිලෝමීටර් 10ක් පමණ දුරින් වූ වෙළෙන්ඳකු හට අලෙවි කරන්නට ක්‍රමයක් යොදා ගත්තෙමි...

එය සිදු වූයේද අපූරු හේතුවක් මතය...

දිනක් මා විසින් ලක්බිම හෝ රිවිරැස වැනි පුවත්පතක් බලමින් සිටි වේලාවක හදිසියේ දුටු පුවතක් විය...

එනම් දෙහිවල ඇන්ඩර්සන් මාවතේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධීපති "කිරම විමලජෝති"නාහිමියන් විසින් වර්ෂ 2500 බුද්ධ ජයන්තිය උදෙසා වරින් වර මුධණය කරන්නට යෙදුණ පාලි සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ නැවතත් මුද්‍රණ ද්වාරයෙන් පිට කරන්නට සූදානම් වන කතාවයි..එයට අනුව ඒ සඳහා පොත් 57ක් ඇත.

නමුත් තවමත් මුද්‍රණය සඳහා අවශ්‍ය තරම් මුදල් නොමැතිකම නිසා පොත් මුලින් ඇණවුම් කරන අය හට රුපියල් 35000 කට ආසන්න මුදලකට එම පොත් ලබා දීමේ පොරොන්දුවක් මත මුලින් මුදල් ලබාගෙන පොත් මුද්‍රණය කිරීමට උන්වහන්සේ ක්‍රමයක් යොදා තිබූ අතර..පසුව මිලදී ගන්නේනම් තව සෑහෙන මුදලක් මිල වැඩි වන බවද දක්වා තිබිණී...

එම විස්තරය තිබූ පත්තර පිටුවෙහිම තවත් පුවතක් තිබිණී...

එය "හෙන්රි ජයසේන" මහතා විසින් කරනු ලබන වකුගඩු සම්බන්ධ පින්කමක් වැනි යමකි. මිය පරළව ගිය මානෙල් ජයසේන මැතිණියට පින් පිණිස පිහිටවා ගත් සංවිධානයක් හරහා එම කටයුත්ත සිදු වෙමින් පැවතිණ..

මාගේ අවධානය මෙම පුවත් දෙකටම යොමු විණී.

ත්‍රිපිටක පොත් පිළීබඳව පුවතින් මා බොහෝ කොටම අසරණ වූ බව කිවයුතුය...
මන්ද ඒ වේලාවේ 35000ක් යනු මා හට සිහිනයක්ම පමණකි. එම කාලය වන විට මා විසින් පැරණි බුදු මැදුරෙහි කැඩී බිඳි තිබු සිමෙන්ති තටුටු ඉවත් කර බුදු ගෙයි කොටස් දෙකක් සම්පූර්ණයෙන්ම පිඟන් ගඩොල් අතුරා අවසන් වූවා පමණි..බුදු ගෙයි කපලාරුවද නැවත කරවන ලද්දේද එයත් සමගමය..එහි වහළයේ පැරණි උළු ටික බිමට බා..නැවත ශුද්ධ කර පිළීවෙලකට තබන්නට සිදු විය..ඒ බුදු ගෙය නිතරම වර්ෂාවට තෙමෙන නිසාය.

මෙම කටයුත්තට සෑහෙන මුදලක් වියදම්ව තිබුණු අතර..පුදේශවාසීන් ඒ වෙනුවෙන් බොහෝ ආධාර උපකාර කර තිබුණී..

ඒ පිටටම තවත් මෙවැනි පොත් සම්බන්ධව යෝජනාවක් ගෙන එම කල හැක්කක් නොවීය... මිනිසුන් නිතරම ඉල්ලන හාමුදුරුවරුන් පිළිපඳ දරන ආකල්ප මා හොඳින් දැන සිටියෙමි..එබැවින් මේ වෙනුවෙන් වෙන යමක් කල යුතු විය...

මන්ද යත් මේ වන විටත් මා හට පිරිවෙනක ඉගෙනුම ලබන්නට අවස්ථාව ලැබී නොතිබුණී..කියවන්නට කියා පන්සලේ ඇති බණ පොතක්ද නැති.ඉගෙනුමක් ලබන්නට හැකි කවර හෝ මගක් නොතිබිණී..එහෙයින් ත්‍රිපිටක පොත් ටික ලබා ගත්තේ නම් එය මගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් මහත් පිටිවහලක් බැව් මා සිතුවෙමි...

ඒ වස්ථාවේ මට සිතුන එක් කාරණයක් පිළිබඳව සත්‍යය තොරතුරක් මෙසේ කිව යුතුය...

අර මා සඳහන් කල හෙන්රි ජයසේන මහතාගේ පදනමට කතා කරන්නට මා සිතුවෙමි..ඒ අන් යමක් නිසා නොව..ඔවුන් දන්නා වකුගඩු රෝගියකු සම්බන්ධ කරගැනීමටය... ඇත්තටම මා අදහස් කලේ යමක් කමක් තියෙන රෝගියකු සම්බන්ධ කර ගැන්මටය... කාරණාව සැගවිය යුතු නොවේ...මට අරමුණක් තිබිණී ඒ 35000 ක මුදලක් සෙවීමටය...තව දුරටත් ඒ පිළීබඳව ඔබට විස්තර කරලීමට අවශ්‍ය වේයැයි මා සිතන්නේ නැත...

කෙසේ වෙතත් ඒ සඳහා දුරකථන අංකයක් සොයමින් හෝ දුරකථනයේ සිග්නල් නොමැති වීම හෝ නිසා මා මදක් පමා වන අතරේ පන්සලට මා දන්නා කියන ත්‍රීරෝද රථ හිමියකු පැමිණියේය..ඔහු සමග වචන කිහිපයක් කතා කරනා අතරතුරේදී මට අදහසක් පහළ විය.. වකුගඩු කතන්දරය කරන්නට කොහොමත් කල් යන අතර ඊට ප්‍රථමව අත්තිකාරම් මුදල් බැඳිය යුතුය..ඒ සඳහා තිබුනේ සීමිත දින ගනනකි..එබැවින් මේ වේලාවෙදී ණයක් වී හෝ අත්තිකාරම් බැඳ වකුගඩු සම්බන්ධ අදහස පසුපස දිවිය හැකියයි මා සිතුවෙමි..

ඒ අනුව එවෙලේම අර තුන් සක් රියේ නැගී මා මගේ නිවස පිහිටි ගමට පිටත් විය...ඒ මා දන්නා අදුරන තරමක ධනවතෙකු හමු වීමටය...

සිතූ පරිදිම ඔහු හමු වූ මට යම් අතමාරුවක් කර ගැනීමට හැකිවිණී..එය මා හට මතක හැටියට රුපියල් දස දහසක් වැනි මුදලකි.ඒද ඒ වෙලේහි ඔහු අත තිබූ මුදල පමණක්ම විය..එය හැකි ඉක්මනින් බේරන පොරොන්දුව මත නැවත පන්සලට ආ පස්..තවත් මුදලක් අඩු පාඩු විය..මට මතක හැටියටනම් අත්තිකාරම් ලෙස 14000ක මුදලක් බැඳිය යුතුව තිබිණී...

ඒ අවස්ථාවේදී මෙතෙක් කලක් පන්සලේ තිබූ පිරිකර තොගය සිහිපත් වූ මා විසින් නැවතත් තුන්සක් රියේම ගොස් මා පෙර කී වෙළෙන්දා හමුවීමි.

එයද කලින් දන්නා හදුනන කමක් උඩ නොව පන්සලෙන් ටිකක් දුර නගරයකට ගොස් හමු වූ පළමුවැනිම පිරිකර කඩයයි.

කෙසේ වෙතත් ඔහු විසින් මා ගෙන ගිය පිරිකර වලට හොඳ මිලක් ගෙවනු ලැබූ අතර එයින් මා හට මාගේ අවශ්‍යතාවය පිරි මසා ගන්නට හැකියාව ලැබිණී...මා සමඟ ගිය තුන්රෝද රථයේ හිමිකරු සමග මේ වන විට මා විසින් වකුගඩු සම්බන්ධ කතාව කියා තිබුණු අතරම අනිකුත් සිදු වූ දේ ඔහු විසින්ම දෑසින් දකින ලදි..

අවසානයේ ඔහුත් සමගම බොහෝ දුරක් ගෙවාගෙන දෙහිවලට ගොස් අත්තිකාරම් මුදල බැඳීමද එදින සවස් කාලයේදී කරන්නට මා හට හැකිවිණී...

එම කටයුත්ත අවසන් කර එන විටදී තුන් රෝද හිමියා විසින් මා හට කියන ලද්දේ වකතුගඩු කතාව පැත්තක තබා මේ කාරණාව දායකයින්ට කියමු යන්නයි...පොතක මිල රුපියල් 600ක් 700ක් පමණ වන නිසා පොත් 57 සඳහා දායකයින් සොයා ගැනීම අසීරු වන එකක් නැතැයි පවසා ඔහු හටම එක් පොතක දායකත්වය දෙන ලෙස දන්වා සිටියේය..ඒ අනුව පන්සලට පැමිණ මා විසින් ලේඛණයක් පිළියෙල කර දාන ශාලාවේ පමණක් අලවා තැබුවෙමි...

එහි කාරණාව සඳහන් කර පළමු පොත සදහා ආධාර කරන පෙර කී රියදුරු මහතාගේ නමද සඳහන් කර තැබීමි. ඒ හැර කිසිම විටකදී මේ කාරනාව සදහා කිසිවකුටත් මා විසින් කියන්නට නොගියෙමි..දානය රැගෙන ආ අය විසින් එය කියවා බලා ඒ පිළීබඳව විමසුවහොත් පමණක් එය ගැන විස්තර කර දෙන්නට වීමි... ඒ හැර එක් කටයුත්තක් කර වෙහෙසට පත්ව සිටි දායකයින් පෙළීමට මා උත්සහ කලේම නැත..

එහෙත් ප්‍රතිචාරය යහපත් විය...මාසයක් යන විට පොත් 57ම වෙන් වී අවසන්ව තිබුණි.එයට අර දායක මහත්මාගේ කැපවීමද බල පෑවේය..ඔහු විසින් දන්නා අඳුරන කිහිප දෙනෙකුටම මා විසින් දවසක් ඇතුලත නටන ලද නැටුම විස්තර කර තිබුණී. ඒත් සමඟම වකුගඩු කතන්දරේද කියා ඇති වග කිහිප දෙනෙකු විසින් කල කතා බහෙන් මා හට දැනගන්නට ලැබුණී..කෙසේ හෝ අවසානයේදී එම පොත් වහන්සේලා ධර්ම ගෞරව සහිතව පෙරහැර කොට පන්සලට වඩමවාලීමට මා හට හැකියාව ලැබුණී. (මුලින් ගත් අතමාරුවද ඉක්මනින්ම පියවා ලන්නට හැකි විණි..ඒ මා මා වෙනුවෙන් නොවුනද මිනිසකුට ණය වූ පළමු වතාවයි..)කියවන්නට කියා පොතක් පතක් නොතිබූ පන්සලට ත්‍රිපිටකය වැඩමවීමට ලැබීම මහත් භාග්‍යයක් විය..

මා කියන්නට ගියේ එහිදී මා හට පිරිකර විකිණීම සම්බන්ධව වූ පළමු අත්දැකීමයි...

ඊට අමතරව පැවිදි වී වසර තුනකට ආසන්න වූ කල මා හට දඹදිව වන්දනාවේ යෑම ගැන අදහසක් පහළ වී ඒ සදහා වරින් වර පිරිකර විකුණා ලැබෙන මුදල් වලින් ටික ටික එකතු කර තැබීමි..ඒ සඳහා විදේශ ගමන් බල පත්‍රය පවා සෑදුවෙමි..නමුත් අද වනතුරුත් ඒ බලාපොරොත්තුව මා හට ඉටු කරගන්නට නොහැකිවිණී..තවමත් ම සතුව ඇත්තේ පැවිදි නමට සෑදු ගමන් බලපත්‍රයම වන අතර ඒ සඳහා රැස් කල මුදල මා විසින් ආරම්භ කල චෛත්‍යය කර්මාන්තයේ සුළු වියදම් උදෙසාම වියදම්ව යන ලදි.

එම මුදල රුපියල් 70000 කට වැඩි මිසක් අඩු නොවේ..නමුත් එය අයවැයට ලියවෙන කියවෙන මුදලක් නොවීය..උදාහරණයක් වශයෙන් චෛත්‍යයේ කොත භාරගත් අය ඒ සඳහා 65000ක මුදලක් පිරි නැමූවද එය සකස්කිරීමට භාරදීමට පිළීමතලාවේ යෑමටත් නැවත සෑදු කොත රැගෙන ඒමට යාමටත් වියදම් කරන්නට වූයේ මා හටය..මෙවැනි වියදම් බොහෝ විය..ඒවා සදහා චෛත්‍යය අරමුදලින් මා වියදම් ලබා ගත්තේ නැත..අවසානයේ දඹදිව ගමන කෙසේ වෙතත් චෛත්‍යය කර්මාන්තය ඉතා උසස් අන්දමින් කරලන්නට මා හට හැකි විණී. ඒ සඳහා මා අතින් වැය වූ මුදල්ද මා හට ලැබුනේ පිරිකර විකිණීමෙනි.

................................................

පිරිකර ලැබීම මෙන්ම පිරිකර විකිණීම පිළිබඳවද මා හට ඇති අත්දැකීම් ගොන්නෙන් කිහිපයක් මෙසේ කියන්නට සිදු වූයේ ඉහත සඳහන් ලිපියේ අන්තර්ගතය නිසාය...

එහිදී සාකච්ඡෘවට භාජනය වනේනේ හිමිනමක් විසින් ලැබූ පිරිකර පිළීබඳව එම හිමිනම දක්වන ප්‍රතිචාරය වූවත් ඒ පිළීබඳව වැඩි දුරට සටහනක් දැමීම සඳහා මෙම කරුණු කිහිපය සඳහන් කලෙමි...

මෙම ලිපිය දැනටම දිග වැඩි නිසාවෙන් කියන්නට ගිය දේ ඊ ළග ලිපියෙන් ඉදිරිපත් කරන්නවාට කවුරුවත් අමනාප වෙන එකක් නැහැ නේද..?

කතාවක අවසානය...

මොකක් හරි එහෙක අවසානයක් තියෙන්නම එපැයි..නැත්තං ඕවා ඇදි ඇදි වැල් වැල් වෙවී යනකොට අප්පරසන්න වෙනවා..ඒක ලියන මට විතරක් නෙවෙයි කියවන අයටත් මල ඇනයක් වෙන්න ඒ හැටි කාලයක් යන්නේ නැහැ..

ඒ හින්දා මං හිතුවා මේක ඉවරයක් කරලා දාන්න...
............................................

පළමු වතාවට ජීවිතයේ ලද අමුතුම ආකාරයේ අත්දැකීමක් සමගින් ගම් රටවල් බලා ආ පිරිසට එම අත්දැකීමට තවත් යමක් එකතු කර ගැනීමට උවමනා වූයේ ආපසු පැමිණ දිනක් ගතවන්නටත් පෙරදීය...

පළමු නිවස සාදා දී පැමිණ නින්දක් ලබාගත් පිරිසේ එකා දෙන්නා ගෙවල් වලට ගොස් නැවත සන්ධ්‍යා යාමයේ විහාරස්ථානයට එකතු වූයේ ගමන පිළිබඳව නැවත සිහිපත් කර සිදු වූ අඩුපාඩු මෙන්ම අනිකුත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමටය...

ඇත්තෙන්ම සියල්ලන්ටම මෙය තම ජීවිතවලට අමතක නොවන අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ..එයට සහභාගී වූ අය හැර අප පැමිණ ඇති බව දැනගත් තවත් දායක දායිකාවන් පිරිසක් සවස්කරේ පැමිණියේ ගමනේ විස්තර අසා දැන ගැන්මටය...

එහිදී තවත් කාරණාවක් මතුවිය..එනම් අපට ගස් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි උපාසක අම්මා කෙනෙකු තරමක් දුකින් යුතුව තමාගේ පරිත්‍යාගය කිරීමට පසු වූ නිසා මෙයට දායක වීමට නොහැකි වීම ගැන විස්සෝප වන්නට විය...

"බලන්නකෝ හාමුදුරුවනේ මට බැරි උනානේ මේකට සම්මාදන් වෙන්න..කොහේද මං මේ අපේ පුතාලගෙන් අහ අහ ඉන්න අතරේ හාමුදුරුවෝ මේ සේරම ලක ලෑස්ති කොරන් ගිහිනුත් ඇවිත්නේ.."

"මොනවා කරන්නද උපාසක අම්මේ..වෙලාවේ හැටියට බල බල ඉන්න තරං කාලයක් තිබුනේ නැහැ..බඩු ටික ලෑස්ති වෙච්ච පරක්කුවට අපි ගියා.."

"ඒක නේන්නං මටත් දැන් හිතට මොකක්ද වගේ..දෙන්න ලෑස්ති උන දේ දී ගන්න බැරි වෙච්ච එකට..ඔන්න ආයේමත් පන්සලේ වැඩකට හරි ඕන උනොත් අර අපේ ගේ පිටිපස්සේ තියෙන් ගස් තුනම ඔබ වහන්සේ මුලින්ම කපා ගන්න ඕන..ආයේ මගෙන්වත් අහ අහ ඉන්න ඕන නැහැ..ඒ ටික මං හිතින් දීලා ඉවරයි.."

"හොඳයි උපාසක අම්මේ..පොඩ්ඩක් ඉන්ඩකෝ බලන්න අපිට තව මොනවා හරි කරන්න පුළුවන් වෙයිද කියලා බලන්න..මොකද අපි එන ගමනුත් එහෙ හාමුදුරුවන්ට කියාගෙන ආවේ පුළුවන් උනොත් තව එකක් හදන්න අපි එන කතාව.."

"අනේ එහෙමනං කොච්චර දෙයක්ද..? ආයේ වංගියක් යනවනං මගේ පිංකමත් මට ඉක්මනටම කර ගතෑකි"

වටේ සිටි කොළු රෑන මගේ මුහුණත් මං ඔවුනගේ මුහුණුත් බැළුවේ එක් විටමය..සියළු දෙනාගේම මුහුණු සිනහවෙන් පිබිදී යන්නට විය..

ආයේ වැඩි සාකච්ඡාවක් උවමනා නොවුනි..තීරණය ගැනීමට විනාඩි දෙකක්වත් ගත නොවිණී.

"හාමුදුරුවනේ තව එකක් හදමුද..?"
පැනය කලින් වතාවේ වැඩේට උදව් කල මුත් ගමනට එකතු වීමට නොහැකි වූ කොළුවකුගෙනි..

"කට්ටිය ලෑස්තිනං මං හා"

"මේ මොනවා අහනවද අපි ලෑස්තියි.."

අයේ තවත් මොනවා කතා කරන්නද නැවතත් සංවිධානය වන්නට විය..උපාසක අම්මා පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට වූවාය..

"ඔන්න දැන් හරිනේ උපාසක අම්මාගේ ඉල්ලීම හින්දාම තමයි මේක මෙහෙම ඉක්මන් උනේ..ඒ පිනත් උපාසක අම්මාටම තමා.."

.....................................

පෙර වතාවේ මෙන් කටයුත්ත පහසු නොවන බව මා දැන සිටියෙමි..මන්ද සිංහල මිනිසා වනාහී..වහා ගිනි ඇවිලෙන සුළුය..එහෙත් ඒ සැණීන්ම නිවි යන්නාහුය...

මුලදී සුනාමිය ගැන කම්පා වූ ඔව්න් අතේ පයේ තිබූ දේ පවා ගලවා දීමට වූවද සුදානම් වන මුත් කල් යන්නට යන්නට පෙර තරම් පරිත්‍යාගශීලී වන්නේ නැත..හේතුව ඒ වන විට රජයෙන් මෙන්ම විදේශ ආධාරද මහා පරිමාණයෙන් ලැබෙනා බව පැතිරයාමත් සමගමය..එහෙත් මේවන විටත් තත්වය එතරම් නරක් වී තිබුනේ නැත...

නමුත් කලින් වතාවේ උදව් කල අය ලගට මෙවර යෑම සුදුසු නොවේ...එහෙයින් අපහට අතෑරුන අය සොයා යෑමට කතාබස් කරගත්තෙමු.

එහිදී පෙර වතාවේ මෙන්ම තරුණ පිරිස සහයෝගය දැක්වූ අතර ගස් කපා දීමටත් ගස් ලබා දීමටත් තව තවත් අය ඉදිරිපත් විය...

මේ අතර වාරයේ සියදිවි නසා ගැනීමෙන් මරණයට පත් වූ දායක මහතකුගේ බිරියක් පන්සලට පැමිණියේ එම මරණයේ තුන්මාසයේ දානය පිළිබඳව සාකච්ඡා කරගැනීමටය...

ඒ අතරවාරයේම අපගේ නිවාස සෑදීම ගැනත් කතාව ඇදී ආ අතරම..ඇගේ නම්‍යශීලීත්වය මත මා විසින් ඇයට යෝජනාවක් කරන ලද්දේ දානය සුළුවට පවත්වා එයට වැය කරන මුදලින් අප සාදන්නට යන නිවසේ වහලයට ඇවසි තහඩු ලබාදිය හැකිද යන්නයි.

කිසිදු විරෝධයකින් තොරවම ඇය එයට එකඟ විය..ඒ අනුව ඇය විසින්ම මා ලබා දුන් ලයිස්තුවේ ආකාරයට අවශ්‍ය තහඩු ටික මිලට ගෙන පන්සලටම ප්‍රවාහනය කර දුන්නාය.

තවත් එවැනිම පින්කම් දෙකක් සම්බන්ධව පැමිණි අය හා කතාබස් කොට වාහනයේ ඉන්ධන ගැටළුවත් අනිකුත් උපකරණත් පිළිබඳ ගැටළුත් විසඳාගතිමි...

පෙර නිවස සාදා සති දෙකකට පමණ පසුව අප නැවතත් නැගෙනහිර බලා පිටත් වූ අතර..මෙවර කිසිදු අපහසුවකින් තොරවම ගමනේ යෙදීමට අපහට හැකියාව ලැබුණි.
උඩවළවේ ඩෑම් එක මතින් රාත්‍රී කාලයේ ගමන් කරන්නට නොදෙන නීතිය පවා අප හට බලපැවැත්වූවේ නැත..මන්ද පෙරවතාවේ අපගේ ගමන ගැන දැන සිටි ආරක්ෂක අංශයේ හිතවතුන් මෙවර අපට කිසිදු බාධා කිරීමකින් තොරව ඒ මතින් යන්නට ඉඩ හලෝය...

ලාහුගල වනය මැද තනි අලියාද එසේම අපට යන්නට ඉඩ හැරි අතර පෙර වතාවට වඩා සෑහෙන පහසුවක් අපට අවසානයේ ලැබුනේ පොතුවිල් කරා ගිය පසුවය...

එනම් මේවර යන විට කලපුව හරහා යාත්‍රා කිරීමට අපට උවමනා නොවීය..ඒ වෙනුවට හමුදාව විසින් කලපුව වටා කි‍ලෝමීටර 15ක විස්සක පමණ දුරකින් යුත් අළුත් පාරක් කපා තිබුණි...තරමක් ගමන් කිරීමට අපහසු වූවද කලපුව තරණය කිරීමට වඩා එය සෑම අතින්ම පහසු විය...

එවරද නායක හිමියන්ගේ උපදෙස් මත දරුවන් තිදෙනෙක් ඉන්නා මවකට නිවස සාදා දුන් අතර පෙර වතාවක වඩා ඉක්මනින්ම වැඩය හමාර විය..කොළු රැල පලපුරුද්දෙන්ම කියන්නටත් කලින් වැඩ ටික කරන්නට වූ අතරඑකම අපහසුවකට වූයේ බිම වලවල් හෑරීම පමණකි.

එයට හේතුව වූයේ එම නිවස සෑදු තැන කලින් ඉස්සෝ පැටවු බෝ කරන ලද ටැංකි කිහිපයක් තිබීම නිසා පොළව කොන්ක්‍රීට් කරතිබීමය...කොන්ක්‍රීට් කැඩීම පහසු නොවූවත් කෙසේ හෝ එම කටයුත්තත් කරනා ලදි...

අවසානයේ එම නිවසත් සාදා දී අවසන් විය...

මෙම ගමනේදී එම නිවස සෑදූ තැනට මෙහායින් වූ හන්දියේ කුඩා බුදු මැදුරක් හමුදාව විසින් තනමින් සිටි ආකාරය අප විසින් දක්නා ලදි. එය තිබුනේ ආරම්භක අවස්ථාවේ විය..නමුත් පසුව එම බුදු මැදුර නිසා විශාල ආන්දෝලනයක් රට පුරාම ගිය අන්දම සමහර විට ඔබට සිහියේ ඇතැයි සිතමි. එයට විරෝධය පෑ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විශේෂ බලකා සෙබළුන් හා ගැටෙන්නට වූ අතර එම පිළිමය එතැනින් ඉවත් කරන්නට ගත් උත්සහයක් හරහා එම තත්වය ඇති වී තිබිණි.

රටකට ගිය කල..?

කෙසේ හෝ අවසානයේ පොතුවිල්හී මුහුදු මහා විහාරයේ නායක හිමියන්ගේ පින්දීම් මැද අප ආපසු ආවෙමු..මෙම ගමනේදී තවත් පින්කමක් කරගන්නා ලදි..එනම් විහාරස්ථානයේ වැඩ සිටි කුඩා හිමිවරුන්හට ඔවුනගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන සේ මැසූ සිවුරු අඳන හා බඳ පටි කට්ටල 6ක් ගෙනගොස් පූජා කිරීමයි...

(ඈත පන්සල්වලට පූජාවන් කරන්නට සිතන අය හට මෙම කාරණාව විශේෂයෙන් සඳහන් කර සිටිමි..ඔවුනට පොත්පත් පෑන් පැන්සල් සේම කුඩා සිවුරු කට්ටල ලබාදීමට උනන්දු වන්න..මන්ද පොඩි සිරුරුවලට නොගැලපෙන විශාල සිවුරු පරිහරණයට වඩා ඔවුනට ගැලපෙන සිවුරු පරිහරණය ඔවුනට සෑම අතින්ම පහසු බැවිනි.කුඩා ප්‍රමානවල පාවහන්ද එසේම පූජා කිරීමට අගනා දේ බව සටහන් තබන්නේ එවැනි පින්කම් සඳහා උනන්දු වන අයගේ දැනුවත් වීම සඳහාය...)
.............................................

එම ගමනත් එසේ නිමා විණී...වැඩි පුර විස්තර කිරීමට අවශ්‍ය නොවූයේ පෙර ලිපිවලින් එම ගෘහකර්මාන්තය පිළීබඳව ඇති තරම් විස්තර කර ඇති නිසාවෙනි...

මේත් සමගස සිහියට නැගෙන තවත් එක් කාරණයක් සමඟන් මෙම සටහන නිමා කරමි..මෙය මෙතන යෙදීම සුදුසු දැයි මා විසින් කිහිපවිටක්ම කල්පනා කලත් අවසානයේ සිතුනේ..මේ සටහන් හා මතකය කවදා හරි ඉතිරි වන්නේ මෙම බ්ලොග් පිටු අතරම වන බැවින් සෑම කුඩා සිදුවීමක්ම මෙහි සටහන් තැබීම වැදගත් වන බවයි. එය කිසිවකුට හෝ කරන අගතියක් නොව වැඩක් කරන්නට යන අයහට පාඩමක් ලෙසිනි.

...........................................

පළමු නිවස තනා දී අවසන දෙවන නිවසට භාණ්ඩ එක් රැස් කරමින් ඉන්නා අතරවාරයේ එක් දිනක් රාත්‍රී අසල පන්සලකට සම්බන්ධ දායක නිවසක පිරිත් පින්කමකට සහභාගී වීමට ගොස් සිටි අතරවාරයේ ලද විවේකයකදී මහ රාත්‍රියේදී මා හා තවත් පළාතේ හිමිවරුන් කිහිප දෙනෙකු කතා බහේ යෙදී සිටි අවස්ථාවේදී මේ නිවාස තැනීමත් සුනාමියත් පිළිබඳව කතාව ඇදී ආවේය...

එහිදී මා විසින් මෙවැනිම වූ නිවාස කිහිපයක් සාදා දීමට හැකිනම් ඒ සඳහා මා හටත් උන්වහන්සේලාට උදව් කරන්නට සූදානම් බව දන්වා සිටි අතර..මාගේ නිවාස සෑදීමේ ක්‍රියාවලිය පැසසුම් ලැබුවේ මෙසේය...

".........................(මාගේ පැවිදි නාමය) ඔය ලෑලි ගෙවල් හද හද ඉඳලා හරියන්නේ නැහැ..අපි හිතාගෙන ඉන්නේ සම්පූර්ණ ගෙයක් හොඳට හදලා දීලා ඒ ගෙට ඕන කරන හිරමනේ හැන්දේ ඉඳලා ඔක්කෝම බඩු මුට්ටු අරන් දෙන්න..ආන්න ඒකට උදව් කරනවා..නැතිව ඔය පිස්සු වැඩ කර කර ඉඳලා වැඩක් නැහැ.."

අන් කිසිවකු නොව මේ මාගේ ගුරුවරයාම විය. එය අනුමත කරමින් තවත් අයකු කතා කල අතර..මා කියා සිටියේ මං පටන් ගත්ත වැඩේ අවසානය දක්වාම කරනා බවත් ඔවුන් විසින් සාදන්නට යන නිවසේ විදුලි පද්ධතිය හා ජලනල පද්ධතිය මා විසින් කර දෙන් බවත් පමණී..එයින් එහාට ඒ පිළිබඳව කතා කරන්නට ගියේ මා නොවේ..නමුත් අද වෙනතුරුත් මා විසින් වූ පොරොන්දුව පරිදි එම නිවස වයරින් කර දීමට හෝ..ජලනල එළීමට මා හට නොහැකි විණි..ඒ මාග් වරදක් නිසා නොව..තාමත් ඒ ගෙය සෑදී නැති නිසාවෙනි...

මේ අසිරිමත් ලංකාවේ හැටිය...කිසිවකුත් කලකිරෙන්නට ඇවසි නොවේ...

වැඩක් කරන්නට යන සෑම දෙනාම "අනගාරික ධර්මපාල"තුමාගේ ජීවිත කතාව හා එතුමා විසින් දුන් අවවාද සිහියේ තබා ගැනීම ඉතා අගනේය...

"සිංහල මිනිස්සු හරි පුදුම ජාතියක්...ඔවුන් වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..වැඩ කලහම වැඩියෙන් බනිනවා..ඒ හින්දා වැඩක් කරන්න යනවනං බැනුම් අහගෙනම ඒක කරන්න යන්න ඕන"

ඕන්න ඔහොම තමා එතුමා කියලා තියෙන්නේ මට මතක හැටියට...ඇත්තටම ඒ කතාව අතීතයට වර්ථමානයට වගේම අනාගතයට එකසේම වලංගු ප්‍රකාශයක්..එච්චරයි මට කියන්න තියෙන්නේ..ඒ මගේ අත්දැකීමෙන්ම තමයි.

27 May 2011

අවසර කල් රහස් තැන...

මන දොල සනසවා වියළුනු කතර මැද..
තුනු විල කළඹවා නුඹ සියොළග ගැවස..
හද මන මත් කරයි නම් කිති කවා සොඳ..
නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද..

අකලට ඇද හැළුන පොද මල් වැසි සේමා..
වියළුන දෙතොල් පොගවා මුව රස කළතා..
නුඹ ගත සනසවා දෙවමින් ගත වෙහෙසා..
අද පමණක්ය හෙට හිමි නැත මෙම සැපතා..

හෙට හිරු නැග එද්දි දිව සැප අවසන්ද..
යළි කෙදිනකදී හෝ අප මෙහි හමුවෙද..
ඒ දින තෙක්ම නුඹ මේ දුක ඉවසාද..
අනියම් නිසා නුඹ මට හිමි නැතිවේද..

අහෝ..මෙසේ සිදු වූයේ ඇයි මිතුර..?

පෙරදින මා ගතේ සිටියා දැවටීලා..
මතකයි අද වගේ ඒ උණුසුම් ලීලා..
අද ඔබ නොමැත මා සිටිනෙමි තනි වීලා..
ඔබ මා නොමැති යහනේ ඇත සැතපීලා..

උණුසුම ඇවසි විට එය මට ගෙන ආව..
සිසිලක අඩුව සැම විටකම පිරි මැසුව..
සුසිනිදු මුදු මොලොක් සුවයක් පිරි නැමුව..
අද ඔබ නැතිව මා ඉන්නෙමි සෝ බරව..

දිනයක් ඇර දිනක් මා ගත දැවටීලා..
එක්වී විසුව ඒ කාලය නැවතීලා..
යළි කෙදිනකද අප එක්වන්නේ කියලා..
මම දින ගනිමි ඔබ සුව ලබනට වෙලිලා..

තනි යහනේ ඔබ සිටිනා අයුරු දැක..
මේ කව ලියන්නේ රැඳි හදවතිනි දුක..
හෙට දින රැයේ හෝ ඔබගේ රුව නොදැක..
ඉන්නේ කෙලෙස වාවාගෙන සිතේ දුක..

නුඹ හා වෙලී ඉන්නට පෙර කල සිටිසේ..
හෙට දින හැකි වේද කියනට බැහැ පෙරසේ..
ඒ මුත් පතන්නෙමි නුදුරෙම දිනක එසේ..
ඉන්නට වරම් ලැබියන් මට මා සිතුසේ..

කැතටනං හිතන්න එපා ඕං...

25 May 2011

සිංහල බ්ලොග් වලට පුංචි තල්ලුවක්...මං කියවන බ්ලොග්...

හුග දවසක ඉඳන් කරන්න කියලා හිතං ඉන්න වැඩක් තියෙනවා..ඒ තමයි අපේ අනිත් බ්ලොග් සගයන්ට තල්ලුවක් දෙන්න ඕන කියන එක...

ඇත්තටම දැන්නං ඉස්සරට වඩා සිංහල බ්ලොග් සෑහෙන ප්‍රමානයක් අපිට දකින්න තියෙනවා..ඉතින් ඒක එහෙමම වෙන්න එපැයි..ඒකට සමානව අද වෙනකොට සිංහල බ්ලොග් වෙනුවෙන් බිහි උන සින්ඩිකේටරුත් සෑහෙන ප්‍රමානයක් තියේ..

මම බ්ලොග් එක පටන් ගන්නකොට තිබුනේ මම දන්න සින්ඩි දෙකයි..එකක්


අනික කොත්තු නමින් හදුන්වන සින්ඩිය..හැබැයි ඉතිං අදටත් මම ඔය කොත්තුවේ නැහැ..මොකද මට ඒකට මගේ බ්ලොග් එක දාගන්න ඒ දවස්වල තෙරුනේ නැහැ..ඉතිං දගලලා දගලලා අන්තිමට මම ඒක අත ඇරලා දැම්මා. ඒත් සිංහල බ්ලොග් කියවනයේ මම යාන්තං එල්ලුනා...

එහෙම කාලයක් යනකොට තමයි ලාංකීය සිතිවිලි සින්ඩිකේටරය බිහි උනේ..මම ඒකෙත් එල්ලුනා...

ඊට පස්සේ හත් මාළුව වගේ සින්ඩිත් අඹ ගහයට වගේ බ්ලොග් ආකාරයේ කියවනයනුත් ආවා..අද වෙනකොටනං මං හිතන විදියට සින්ඩි කේටර් දහයක් ඉක්මවලා තියෙනවා අපි වෙනුවෙන්..ඒත් මං ඕවා හුගක ලියා පදිංචි වෙලා නැහැ..ඒත් හුගාක් සින්ඩිවල අය හොයලා බලලා මගේ එකත් ඒවායේ ඇතුලට අරං තියෙනවා..ඒක හොඳ දෙයක්...

මම ඔය ටික කිව්වේ මං බ්ලොග් එක පටන් ගත්ත කාලේ අපිට බ්ලොග් එක මිනිසුන් අතරට ගෙනියන්න තිබුන ප්‍රධාන මාර්ග ගැන කියන්නයි.

ඊට අමතරව තිබුන මාර්ගයක් තමා අනිත් අයගේ බ්ලොග්වල කොමෙන්ට් කිරීම..හැබැයි ඒක මට මුල දවස්වලදී තේරුනේ නැහැ..ඒත් කාලයක් යනකොට මට තේරුනා මේ අය මාව හොයාගෙන තිබුනේ මම අනිත් අයගේ බ්ලොග් වල දාපු කමෙන්ට් හරහා තමා කියලා...

කොහොම උනත් අපි හැමෝම කැමතියි අපි ලියන දෙයක් අනිත් අය කියවනවා දකින්න..ඒකනේ මේ හිට් කවුන්ටර් හයි කරගෙන දගලන්නේ...

ඒ වගේමයි කොමෙන්ට් කිරීමත් හොඳ උත්තේජනයක්..හැබැයි මුලින්ම මම ඇත්තම කාරණාවක් කියන්නං..මට මුල්ම දවස්වල එහෙම දෙයක් ඔළුවේ තිබුනේ නැහැ..ඒ වෙන දෙයක් නිසා නෙවෙයි මං ඒ දවස්වල හිටියේ පිස්සෙක් ගානට වැටිලා වීම නිසයි. ආදරයක් හින්දා ජීවිතේම අල්ලලා දාලා ඔහේ හිටිය කාලයක් ඒක..මට කතා කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉන්න අයත් එක්කත් මට මගේ හිතේ පුපුරු ගහන දේවල් එළියට දාලා කතා කරන්න පුළුවන් තරං අය හිටියේ නැහැ..ඉතිං ඇත්තටම මට මේක හොද තැනක් උනා මගේ විකාර කියවන්න.

ඒත් ටික දවසක් යනකොට එක්කෙනා දෙන්නා මෙතනට එකතු වෙනවා මං දැක්කා..මම බලාගෙන හිටියා ඒ දිහා..ඒත් එක්කම මම හුරු උනා ඒ එන අයත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්න..

ඒ වගේම දන්න අය දන්නවා ඒ දවස්වල මම වැඩි හරියක් වෙලාවට හිටියේ බීගත්ත ගමන්..කන පැලෙන්නම නෙවෙයි..ඒත් නිතරම මත්වීම මගේ ඇගේ තියාගෙනයි මම හිටියේ..ලිමිට් එක අඩු වෙනකොට ආයෙමත් බොනවා..ගානකට ඉන්න පුළුවන් කියලා තේරෙනකොට ඒ මත් වීමත් එක්ක මම ලියන්න පටන් ගන්නවා.ඇත්තටම ඒක මගේ ලිවීමට හුගාක් උදව් උන කාරණාවක් අද වෙනකොට මම කවි ලියනවා අඩුයි කියලා සමහර විට ඔයාලට තේරෙනවා ඇති..ඒකට හේතුව බොන එක නැවැත්වීමම තමයි...

ඉතිං මම කියන්න ආවේ ඒක නෙවෙයි..ඔහොම කාලයක් යනකොට මම ලියන්නේ හිතේ දුකට..කාන්සියට විතරක් නෙවෙයි කියවන අය වෙනුවෙනුත් බව මට ටික ටික තේරුනා.ඉතිං මං ලිව්වා..දිගටම ලිව්වා...එක දිගටම ලිව්වා..මං ලියන්න ලියන්න ඒවා කියවන අයත් එන්න එන්නම වැඩි උනා...කමෙන්ට් වැඩි උනා...ෆලොවර්ස්ලා වැඩි උනා...හිට්ස් වැඩි උනා...

ඇත්තටම අද වෙන කොට මං තෘප්තිමත්... හෙට මං මලත් මං මට අයිති තැනක් හොයා ගත්තා කියලා මට තේරෙනවා..අදින් පස්සේ එකම ලිපියක්වත් නොලිව්වත් මං මේ ලියපු ටිකත් ඇති..ඒ වගේම බ්ලොගර්ස්ලා පිස්සුවක් නොකෙලියහොත් මේ ලිපි ටික සෑහෙන කාලයක් මේ බ්ලොග් අවකාශයේ තියේවී..අළුත් අයත් කවදා හරි මේවා බලාවී..ඒ අයටත් පොඩි හරි තල්ලුවක් ලැබෙයි බ්ලොග් එකක් ලියන්න ඕන කියලා..

කවදා හරි දවසක සිංහල බ්ලොග් අවකාශය දැනට තියෙන අනිකුත් මාධ්‍ය වලට වඩා ඉදිරියට ඇවිත් මුල් තැන ලබන දවසක් තියෙනවා..ආන්න එදාට මේකේ මුල්ම සාමාජිකයෝ නොවුනත් මැද්දෙන් ඇවිල්ලා හරි මොනවා හරි මතක සටහනක් තියලා යන්න පුළුවන් උන කෙනෙක් හැටියට මටත් සතුටු වෙන්න පුළුවන් දවසක් එයි..ඇත්තටම අවසානෙට අපිට ඉතිරි වෙන්නේ අන්න ඒ හිතේ සතුට විතරයි...

ඒ සතුටට හේතුව මං ලියපු දේවල්වල වගේම බ්ලොග් එකේ ෆලොවර්ස්ලා අතෙත් කමෙන්ට් අතරෙත් තියෙනවා...හිටිස් වලත් ඒ සතුට තැවරිලා තියෙනවා...මුකුත්ම නැතිවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙනවා...

ඇත්තටම මේ ගානකට බ්ලොග් එකක් කරගෙන එන එක ලේසි නැහැ...අර මං මුලින් කිව්වා වගේ එක්කෙනා එක්කෙනා එකතු වෙලා කියවන්නන් කමෙන්ට් කරන්නන් වැඩි කරගෙන මේ ගමන එන්නත් සෑහෙන කාලයක් යනවා. විශේෂයෙන්ම ලංකාව වගේ පුංචි රටක..ලොකේ වෙන තැනක භාවිතා වෙන්නේ නැති භාෂාවක් උපයෝගී කරගෙන බ්ලොග් එකක් කරද්දී අපිට ලොකු වටපිටාවක් නැහැ බ්ලොග් එක ප්‍රචලිත කරවන්න..සින්ඩි..හරහා කමෙන්ට් කරපු ලින්ක් හරහා..මුල් කාලයේදී ප්‍රචාරය වෙලා..දැන්නං මූනු පො‍ත..ටුවිටරේ..වගේම ගූගල් බස් හරහාත් ඒ ප්‍රචාරය ලබා ගන්න පුළුවන් කම තියෙනවා..

මෙතනදී බස් එක හරි වැදගත්..මේ ලගකදී බස් කරුවන් අතර සාකච්ඡා කෙරුනු කාරණාවක් උනේ..අද වෙනකොට බ්ලොග් එකක් ඉස්සරට වඩා කියවන්නන් අතරට ගෙනියන්න පහසුයි කියන එක..ඇත්තටම අද බ්ලොග් එකක් හදාගෙන ඒක බස් එකකට ගෙනාවනං පැයක් ඇතුලතදී කමෙන්ට් විස්සයි ෆලෝවර්ස්ලා විස්සයි හදා දෙන්න තරං අපේ බස් සංගමේ කාරුණිකයි...

ඒ වගේ ආව බ්ලොග් කිහිපයක්ම පහුගිය දවස්වල කල එළි බැස්සා...ඒක ඒ අයට හොඳ තල්ලුවක්..හැබැයි ඒ වගේම ඒකේ ලොකු අභියෝගයකුත් තියෙනවා..ඒ තමයි අපි පටන් ගත්ත දවස්වල අපිට කමෙන්ට් වැටුනේ ෆලෝවර්ස්ලා එකතු උනේ බොහෝම හිමින් නිසා අපි බොහෝම ඉවසීමෙන් ඒ දේ බාර ගන්න පුරුදු උනා..ඒ වගේම එන්න එන්න වැඩි උනා මිසක් අඩු වීමක් කඩා වැටීමක් උනේ නැහැ..
ඒත් අර වගේ මුලින් එන දවසින් කමෙන්ට් බර ගානක් ලැබිලා ෆලොවර්ස්ලා සැලකිය යුතු පිරිසක් එකතු උන අයට ඊට වඩා අභියෝගයක් තියෙනවා..ඒ තමයි මුලින් ලද තල්ලුව එක දිගටම ලබා ගැනීම සම්බන්ධව...

අද කොමෙන්ට් විස්සක් ලැබෙන කෙනොට හෙට කමෙන්ට් දහයකට බැහැලා අනිද්දට පහකට බහින්නත් පුවවන් ඒ ක්‍රමයට අනුව..ඒ තත්වෙන් මිදෙන්නනං ඒ අය තමන්ගේ උපරිමය යොදාගෙන ලියන්න ඕන..එහෙම නැතිව මුල් දවසේ ලැබුන දේ නැතිව යද්දී ටිකක් කලකිරෙන්න ඉඩ තියෙනවා...

ඒත් හොඳට ලියන කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ.එයාලට පුළුවන් කියවන්නන්ගේ අවධානය හැමදාම තමා වෙත රඳවාගන්න...

අනිත් කාරනාව තමයි කියවන්නන්ගේ අරමුණු විවිධයි..රුචිකත්වය විවිධයි...කියවන්න තියෙන කාල වේලාවේ අඩු වැඩිකම් තියෙනවා..ඒ හින්දා කොහොම උනත් අන්තිමට ඉතිරි වෙන්නේ අපේ රටාවට කැමති අය විතරයි..අනිත් අය අපේ පැත්තට එනවා අඩු වෙනවා..ඒක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒත් කාලයක් යනකොට තමාටම ආවේණික රටාවකට ලියන අයට ඒ රටාවට හිත ගිය කියවන්නන් සමාජයක් බිහි කරගන්න පුළුවන්...ඒ අය බොහෝ දුරට ස්ථාවරයි...එතකොට තමන්ට හිතේ විශ්වාසයෙන් මෙන්ම සතුටින් ලියන්න පුළුවන් පරිසරයක් සකස් වෙනවා..එහෙම ලියනකොට අළුත් අළුත් දේවල් උනත් වරින් වර කරලා බලන්න අත්හදා බැළීම් වලට උනත් ඉඩක් එනවා...

මං ඔය කිව්වේ අද වෙනකොට බ්ලොග් ලියන අයට තියෙන සුවිශේෂී තත්වයන් සහ වාසි අවාසි ගැන බොහෝම කෙටියෙන්..ඒත් අද වෙනකොටත් අර ඉස්සර අපි පටන් ගත්ත දවස්වල වගේ සද්ද නැතිව ගමනක් යන බ්ලොග් අනන්තවත් තියෙනවා...ඉතිං ඒහෙම එකක් දැක්කම එතනට ගිහිල්ලා ලිපියක් කියවලා කමෙන්ට් එකක් දාලා ඒ බ්ලොග් එක ෆලෝ කරන්න පටන් ගන්න එක මං වගේම හුගාක් අයගේ පුරුද්දක්..ඔය හොද පුරුද්ද අපිට කියා දුන්නේ දුකා..සහ බිගුවා...අද ඊයේම නැති චුට්ටක් හරි පරන බ්ලොග් එකක් අරං බැළුවහම ඒවායේ මුලින්ම ෆලෝවර්ස්ලා අතර වගේම කමෙන්ට් කරපු අය අතර ඔය මං කිව්ව ඩබල ඉන්නවාම තමා.

බිගුවනං දැන් ටිකක් දකින්න අඩු උනත් මං හිතන්නේ දුකානං තාමත් එහෙමම තමා.ඇත්තටම දුකයි බිගුවයි ඒ කාලේ ඒ කරපු දේ ලොකු සේවයක්..ඒ හරහා හුගාක් ලියන්නන්ට ලොකු තල්ලුවක් ලැබුන බවත් කියන්න ඕන...

ඒත් එක්කම මතක තියාගන්න අකමැත්තෙන් උනත් මේකත් කියන්න ඕන..දුකාලා බිගුවලා එහෙම කරද්දී..තවත් අය ඉන්නවා අළුත් කෙනෙක් ආවම ගිහින් ඒ අයව වට්ටන්න උත්සහ කරන..ඒක වෙන්නේ ඒ අය ටිකක් ගානකට ලියාගෙන එද්දී... නමක් හදාගනිද්දී වගේ තමා...එහෙම නැතිව මුලින්මනං නෙවෙයි.
ඒ මට්ටමට ආවා කියන්නේ ලියන කෙනා තේරුං ගන්න ඕන දැන් මම ගානකට ඇවිත් තියෙනවා කියන දේ...

ඒ අතරේ තවත් අහන්න ලැබෙන දෙයක් තමා.. තමන් විසින්ම කමෙන්ට් දාගන්න එක..ඒ තමන් දාගන්න කමෙන්ට් වලින් කරන්නේ බොහෝ විටම බ්ලොග් එකේ අවුලක් හදන එක..ඒ කිව්වේ කුණුහරප වලින් පුරවන එක..එතකොව ඒ වගේ බ්ලොග් වලටත් කෙටිකාලීනව හරි කට්ටිය ඇදෙනවා මොකද මෙතන වෙන්නේ කියලා බලන්න...ඒත් ඒ ප්‍රසිද්ධිය තාවකාලිකයි.

තවත් කට්ටියක් ඉන්නවා ටිකක් ප්‍රසිද්ධ බ්ලොග් වලට ගිහින් එකම කමෙන්ට් එක දාන ගමන් තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක ඒ කමෙන්ට් එකේ දානවා..ඇත්තටම ඒකත් එක විදියක හොද උත්සහයක් උනත් ඊට වඩා හොදා ලින්ක් දැමිල්ල පැත්තකින් තියලා ඒ ලිපියට අදාලව හොද කමෙන්ට් එකක් දැමීම..මොකද කමෙන්ට් එක කියවන අය ඒ කමෙන්ට් එක හොදයිනං ඒක ලියපු කෙනාව අනිවාර්යයෙන්ම හොයාගෙන එනවා. එහෙම නැතිව ලින්ක් එක දැම්ම පලියටනං හොයාගෙන එනවා හුගාක් අඩුයි. පෞද්ගලිකව මං උනත් එහෙම අමු අමුවේම ලින්ක් එක දාලා යන අයගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් දානවා අඩුයි..මොකද ඒක නරක පුරුද්දකට යන්න අපිත් සම්මාදන් වීමක් බවට පත් වෙන නිසා..එහෙම කලොත් හෙට අනිද්දා වෙනකොට අපේ හැමොගෙම බ්ලොග්වල අළුත් බ්ලොග්වල ලින්ක් විතරක් තියේවි..ඒකට කවුරුවත් සතුටු වෙයි කියලානං හිතන්න අමාරුයි.

කවුද කැමති තමන්ගේ බ්ලොග් එක දැන්වීම් පිටුවක් කරන්න..?ඇත්තම කිව්වොත් මමත් කැමති නැහැ.මං එහෙම ලින්ක් දාපු කිහිප දෙනෙකුටම ඒ බව කියලාත් තියෙනවා..ඒ වගේම කියන දේ නාහන කීප දෙනෙක් එහෙම දාපු ලින්ක් මකලත් තියෙනවා...

ඒක ටිකක් දැඩි තීරණයක් උනත් මගේ අවබෝධයේ හැටියට ඒක අනාගතය වෙනුවෙන් ගත්ත හොද තීරණයක් කියලා මං හිතනවා.බ්ලොග් එකක් කරන කෙනෙකුට හොද ඉවසීමක් තියෙන්න ඕන..ඒ වගේම අනිත් අයගේ මත ඉවසන්න ටිකක් හරි පුළුවන් වෙන්නත් ඕන..ඒත් ඒවාට විරුද්ධයිනං ඒ වෙනුවෙන් බය නැතිව කතා කරන්න පුළුවන් වෙන්නත් ඕන...

හරි මං මේ ටික ලියාගෙන ආවේ අද ඉඳලා ඉස්සරහට පුළු පුළුවන් විදියට කරන්න හිතාගෙන ඉන්න වැඩක් ගැන කියන්නයි..ඒ තමයි අළුත් බ්ලොග් වගේම පරණ බ්ලොග් ගැනත් යම් ප්‍රසිද්ධියක් දෙන්න.ගොඩාක් නැති උනත් මේ වෙන කොට මගේ බ්ලොග් එක කියවන අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අඩුම ගානේ ඒ අය අතරටවත් මං කියවන බ්ලොග් ගෙනියන්නයි මං හිතන් ඉන්නේ.

වතාවක් මෙහෙම තල්ලුවක් ටැබූ විසින් දුන්නා අපිට ඔයාලා හුග දෙනෙකුට මතක ඇති..ටැබූට තරං අපිට කියවන්නන් නැති උනාට දෙයක් කරන්න ඔය ඉන්න ටිකත් මදෑ..දැන් සාමාන්‍යයෙන් මං අළුත් ලිපියක් දාපුවාම පැය විසි හතරක් ඇතුලත ඒක පන්සීය දෙනෙක් වගේ පිරිසක් කියවනවා...මාසයක් යනකොට ඒක හත්සියක පිරිසක් අතරට යනවා...ඉතිං මට ඒ ඇති..මං මේකේ දාන බ්ලොග් හුග දෙනෙකුට අළුත් නැති උනත් එක්කෙනෙක් හරි අළුතින් ඒ බ්ලොග් එක දැක්කනං මට ඒත් මදෑ...

අනේ තව එකක් කියන්න ඕන..මෙතනදී මම දාන්නනේ මම කියවන සහ කියවපු බ්ලොග් විතරයි..මට මග ඇරුන බ්ලොග් හුගාක් ඇති...එතනිනුත් මට සුවිශේෂී කියලා හිතෙන බ්ලොග් තමා වැඩි පුර දැමෙන්නේ.

මේකත් හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... එක්කෙනෙක් හරි තරහා වෙන්නත් ඉඩ තියේ..ඒත් හොඳ වැඩක් වෙනුවෙන් පොඩි අවධානමක් ගන්න එක නරක වැඩක් නෙවී කියලා හිතෙන හින්දා එන්න මං ඔන මගුලක් කියලා මේකටත් අත ගහනවා.

..................................
අද මුලින්ම මේ හදුන්වලා දෙන්න යන බ්ලොග් එක අද උදේම අපේ අභීත විසින් අපිට මතක් කල එකක්.(ස්තූතියි අභියා උඹට) මාත් ටික දවසක ඉදලා කියවන බ්ලොග් එකක් ඒත් මට අද අභිත මතක් කලාම තමා හිතුනේ මේකෙන් තමා මම පටන් ගන්න ඕන කියලා..ඒ තරම්ම සුවිශේෂී බ්ලොග් එකක් මේක...අළුත් බ්ලොග් එකක් කරන්න හිතන කෙනෙකුට ගන්න සෑහෙන දේවල් තියෙනවා මේ බ්ලොග් එක ඇතුලේ..මම තාම මේක ලියන කෙනාව ඒ තරං දැන අදුරන්නේ නැහැ..ඒත් ඒක බාධාවක් නෙවෙයි මේ හදුන්වා දීමට..තේරෙන හැටියටනං දොස්තර නෝනා කෙනෙක් වගෙයි...

හරි අපූරු භාෂා රටාවක් වගේම කට වහරක් උපයෝගී කරගන්නවා ලිවීම සඳහා..සරලයි..ඒත් හිතන්න දේවල් බො‍හෝමයි... ඇත්තටම කිව්වොත් ම හම්බ උන කාන්තා බ්ලොග් ලියන්නියන් අතර හොඳම ලියන්නිය කියලා උනත් කියන්න පුළුවන්... (ඔන්න මං බර ගාණක් එක වාක්කියෙන් තරහා කරගත්තා) ඒ තරං අපූරු ලියමනක් තියෙන බ්ලොග් එකක්..මං වැඩිය කියන්න ඕන නැහැ ඔයාලම ගිහින් බලන්න...


...................................

ආ තව එකක්..අද මේකට කවුරු හරි කමෙන්ට් එකක් දානවනං..කරුනාකරලා තමන්ගේ බ්ලොග් එකේ නමයි ලිපිනයයි එක්කම දානවනං හොදා..මොකද අද දැන්වීම් සඳහා විවෘතයි...එහෙම දැන්වීම් දාන්න ඕන නැහැ කියලා හිතලා නොදා ඉන්න එපා..මොකද එහෙම කලහම තව කෙනෙකුට තමන්ගේ එක දාන්න නිකං චකිතයක් වගේ ඇති වෙන්න පුළුවන්..ඒ හින්දා ලොකු පුංචි කවුරු උනත් කමක් නැහැ ලින්ක් එක දාන්න..එතකොට මටත් අත ඇරුන ඒවා තියෙනං කියවලා බලලා හොදයිනං ඊ ලග ලිපියකින් දාන්න බැරියෑ ඒ ගැනත්...

23 May 2011

දඩි බිඩි නිවස...සුනාමියේ නැගෙනහිර වෙරලේ කතාව...

මුලින්ම සමා වෙන්ට ඕන පහුගිය දවස්වල එක පිට එක වැටුන වැඩ රාජකාරි හින්දා මේ කතාව අතර මගදී නවත්තන්න උන එක සම්බන්ධව...

මගේ අළුත් වැඩ කටයුතුයි..ඒ අස්සෙම ආව අසනීප තත්වයි..දිළුම්ගේ අවසන් කටයුතු සඳහා පිටත්වීමයි..මේ හැම එකක්ම හින්දා එක දිගට පැයක් අරගෙන නිදහසේ ලියන්න තරං ‍හැකියාවක් තිබුනේ නැහැ නෙව ...


ඒත් පුළුවන් වෙච්ච ගමන් මේක ලියන්න ඕන කියලා තමයි හිත කිව්වේ..ඒ හින්දා ඔන්න ආයෙමත් අර පරණ පන්සල් කතාවටම අඳාළව ලිය වෙන සුනාමිය සහ නැගෙනහිර වෙරලේ විස්තරය පිළිබඳ කතාවට අදත් මම යනවා...

............................................


හිමිදිරියේම පොතුවිල් හී පිහිටි මුහුදු මහා විහාරයට අප ආ සැටි ඔබට මේ වන විට මතකයේ ඇතැයි සිතමි..එසේම ඉන් පසුව සඳහන් කරන්නට යෙදුණේ අප එන විට විහාරයේ හා අවට පරිසරයේ ඇති තත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක්ය..දැන් ආරම්භ වන්නේ අපගේ ගමනේ මූලික අරමුණ කරා අප ගමන් කල ආකාරය පිළිබඳව වූ විස්තරයයි...


විහාරයට පැමිණි අප සියළු දෙනාම එහි පිටුපස වූ ජල කරාමයෙන් මුහුණ දොවා ගැනීමටත්..වැසිකිලි යාමේ අවශ්‍යතා ඉටු කර ගැනීමත් මාරුවෙන් මාරුවට කර ගන්නා අතරම කිහිප දෙනෙකු එකතු වී ගෙන ආ කලමනා වලින් අවශ්‍ය දේ රැගෙන විහාරයේ තිබු කුස්සියට වී පරිප්පු හොද්දක් පිළියෙල කරන්නට විය..පෙර දින අප පිටත් වීමට ආසන්න වෙද්දී ලොරියට පැටවූ පාන් මල්ලක් වූ බැවින් එය උදේ ආහාරය සඳහා ගැනීමට පරිප්පු හොද්ද සකස් කරන්නට යෙදුණි. කෙසේ හෝ උදෑසන හත හමාර පමණ වන විට අප සියළු දෙනාම කාබී අවසන්ව යළිත් ගමන ආරම්භ කිරීමට සුදානම් වූ අතර මෙතැන් සිට අපට මග පෙන්වීම නියමිත වූයේ එහි විහාරාධිපති හිමියන් හටය..උන් වහන්සේ නියම කරන කිසියම් පවුලකට අපගේ නිවාසය ඉදිකර දීමටය සැලසුම් කර තිබුනේ...


අප පිටත් වන්නට පෙරම උන්වහන්සේ පා ගමනින්ම පිටත්ව ගිය අතර අපට එන්නට අවශ්‍ය මාර්ගයක් පෙන්වන ලදි. ඒ අනුව කා බී අවසන් වූ වහාම අප සියළු දෙන රථයන් දෙකට ගොඩ වී එම පෙන්වූ දිශාවට ධාවනය කරන ලදි..මෙහිදී කිවයුතු තවත් දෙයක් වූයේ ප්‍රදේශය පුරාම වූ වැලි සහිත පසේ ලොරි රථ ධාවනයේ ඇති අපහසුවයි..ඒවා අඩියෙන් අඩිය එරෙන්නට පටන් ගනී...කොළු නඩය ඒ සෑම විටම බිමට පැන රථ දෙකම තල්ලු කරමින් එම ස්ථාන වලින් ගොඩ ගනිමින් ගමන් කරන්නට විය.


අවසානයේ අප පැමිණියේ ආරුගම්බේ කලපුවට උඩින් අනික් පසට යාමට තිබෙන ආරුගම්බේ පාලම තිබූ තැනටය...නමුත් මේ වන විට එහි පාලමක් නොවීය..අප සිටිනා තැන පාලමක ආරම්භක කොටස යැයි කිව හැකි පාදමක් සහ දෙපස විශාල ගරාදි වැටක් පමණක් ඉතිරි කොට තබා සෙසු සියල්ල සුනාමියට ගසාගෙන ගොස්ය...


මෙම පාලම සුළු පටු පාලමක් නොවීය...කලපුව මුහුදට සම්බන්ධවන මීටර් දෙසීයක පමණ කලපු විවරයත් පාලම නියමිත උසකට එනතෙක් තවදුරටත් ගමන් කල යුතුව තිබූ නිසා අනික් පසින් ගොඩ බිමට උඩින්ද වැටී තිබුනු සෑහෙන දුරකින් යුත් පාලමකි..මාගේ මතකයේ හැටියට එය අවම වශයෙන් මීටර් 300 කට එහා ගිය පාලමකි..නමුත් මේ වන විට එහි ඉතිරිව තිබුනේ මීටර් දහයක පමණ කොටසක් පමණි...

පාලමට පිවිසෙන තැන දකුණු පස කුඩා බෝධියක් සහ බුද්ධ මන්දිරයක් විය...අර පැමිණි රළ පෙල යකඩ කඳකින් තැනූ මහා විශාල පාලමත් අවට පරිසරයේ තිබු බොහෝදෑත් තූ තූ කොට විනාස කර තිබියදී..අර බෝධීන් වහන්සේත්..බුද්ධ මන්දිරයත් නිරුපද්‍රිතව තිබෙන ආකාරය අප සියළු දෙනාම මවිත කරන්නට සමත් වූ වග නොකියා බැරිය...අඩුම තරමේ බුදු මැදුරේ වීදුරුවකට හෝ හානි වී නොතිබුණි..එහෙත් එයට හතර වටේම තිබු ගොඩ නැගිලි සියල්ලම විනාශයට පත්ව තිබිණි.සුනාමිය අවස්ථාවේ සිදු වූ මෙවැනි ආශ්චර්යමත් දේ ගැන බොහෝ දෙනා කතා මේ වන විට ඇති පදමට කතා කොට ඇති නිසා මා ඒ පිළිබඳව අමුතුවෙන් ලියන්නට උවමනා නැතැයි මා සිතමි...මා දුටු මෙම දසුනට අමතරව මාතර බෙලිවත්තේ මුහුද ආසන්නයේම ඇති මා හිත මිතුරු හිමි නමකට වර්ථමානයේ භාරකාරීත්වය හිමිව ඇති විහාරස්ථානයේත් බුදු පිළීමය සහ පස්වග මහණුන්ගේ පිළිම ඉතිරිව තිබියදී..එහි බිත්ති පවා මුහුදට ගසාගෙන ගොස් තිබූ අයුරුද මා පසුව සියැසින්ම දුටු කරුණුය...


අප සිටි පැත්තෙන් පාලමට පිවිසීමට තිබූ තැන එක් වරම පොලොව ඉහලට ඔසවා සකස් කල තැනක් විය...දැන් එයට පිවිස පලක් නැත...එගොඩට යායුතුව ඇත්තේ බෝට්ටු මගිනි.මෙය දුටු අප සිතුවේ අප ගෙන ගිය බඩු බාහිරාදිය ටික ටික පටවා සැරින් සැරේට එගොඩ කරන්නටම දවස ගත වනු ඇති බවය...


පාලමට වම් පසින් මුහුද පැත්තට වන්නට බෝට්ටු සේවයක් පවත්වාගෙන යන්නේ නාවික හමුදාව විසිනි...එම බෝට්ටු වලට වරකට පහළවකට පමණ පිරිසක් එතෙර කරවීමේ හැකියාවක් විය...එහෙත් අප ගෙන ගිය කොටන් වල බර එම බෝට්ටු වලට දරන්නට හැකිදැයි සිතා ගත නොහැක..එක් කොටයක් ඔසවා ලීමටත් අවම වශයෙන් හය දෙනෙකුටත් අපහසුය...එවැනි මහ කනු නවයක් විය..කුඩා කණුත් හයක් පමණ විය..අනිකුත් දෑ..යටලී..පරාල..රීප්ප..ලෑලි..බඩු කන්දරාවකි. අප ඉදිරියේ ඇත්තේ මහා ගැටළුවකි..ඒ කෙසේ වෙතත් දැන් කොට වතුරට දමා ඒවා සමග පීහිනා හෝ එගොඩට ගෙන යායුතුය...


ස්වල්ප වේලාවකින් අප සිටි තැනට විහාරාධිපති හිමියන් පැමිණී අතර උන්වහන්සේ සමග හමුදා නිලධාරියකු විය...එම නිලධාරී මහත්මා ගේ උපදෙස් මත අපගේ ලොරි රථ දෙක මිනිසුන් සදහා බෝට්ටු සේවාව පවතින පාලමේ වම් පසින් නොව දකුණු පසින් ඇති වැලි තලය මතට ගමන් කරවන්නට වීමු. එය ඉතා අපහසු කටයුත්තකි..රථ දෙකම පොලවේ එරී ගිය අතර සියළු දෙනාම එකතු වී තල්ලු කලත් ඒවා සෙලවිය නොමැකි විය...


ගත වූයේ තත්පර ගාණකි...ඒ සැණින්ම එතනට දිව ආවේ ඇමරිකානු මැරීන් සෙබළුන් කිහිප දෙනෙකි...පාලමට වම් පසින් ඔවුන්ගේ කූඩාරම් කිහිපයක් සහිත කුඩා නැවතුම් පලක් වූ අතර..ඔවුන් ඔවුනගේ රටින්ම ගෙනවිත් තිබූ රථ වාහන කිහිපයක් ඒ අසල විය..එපමණක් නොව බෝට්ටු කිහිපයක්ද විය..නැගනහිර වෙරලේ විපතට පත් වූවන්ට ආධාර පිණිස මෙහි පැමිණ සිටි එම සෙබළුන් බොහෝ කාර්යක්ෂමව කටයුතු කරනා අන්දම ඇත්තෙන්ම බලා සිටීමට ප්‍රිය උපදවන්නා වූ දර්ශනයකි...


අපගේ රථයන් එරී ගිය බව දුටු වහාම ඔවුන් එතැනට ආවේ ඉතා වේගවත්වය..අපට සිතා ගන්නටවත් යමක් නොතැබූ ඔවුන් වහාම ඔවුන් සතු අමුතු ආකාරයේ කඹයක් ගෙවිත් අපගේ රථයට සම්බන්ධ කොට වෙරලේ නවතා තිබූ ජීප් රථයක් ගෙනවිත් එයට සම්බන්ධ කොට අදින්නට විය..නමුත් එම කඹය අප දන්නා ආකාරයේ එකක් නොවීය..රථය ඇදෙනු වෙනුවට වූයේ කඹය ඇදීමට පටන් ගැනීමය..නමුත් එක්වරම අපගේ රථය දුන්නකින් විද්දාක් මෙන් ඉදිරියට පැන නැවතිනි..අපේ රථයේ රියදුරු තැන අන්ද මන්ද වී සිටිනු අපට දැක ගත හැකි විය..ඒත් සමගම කඹයේ අපූරුව ඔහු මැනවින් තේරුම් ගන්නා ලදි..එසේ කිහිප විටක් ඇදීමෙන් පසුව අපට අවශ්‍ය තැනට රථය ගෙන ඒමට හැකි විණි..


පසුව එගොඩහ සිට එතනට විශාල පාරුවක් නාවික හමුදා සෙබළුන් විසින් පැදගෙන එනු ලැබීය..එය කඩක බැරල් ව්ස්සක් පමණ එක් කොට එය මතට ලෑලි දමා සාදන ලද විශාල එකකි. උස්සා තැබිය හැකිනම් ලොරිය වූවත් එගොඩ කිරීමට එයට හැකියාව ඇත... අපගේ නඩය යුහුසුළුව රැගෙන ගිය භාණෟඩ එය මතට පටවන්නට වූ අතර..අප ගෙන ගිය මුදුන් උළු කැට සියල්ලම බිඳී ඇති වග එහිදී දැන ගත හැකි විය...වල් අලින්ට බියේ ලාහුගල පාරේ ආ වේගවත් ගමන එයට හේතු වී තිබිණී.


සියළු භාණ්ඩ එයට පැටවූ පසුව නාවික හමුදා සෙබළුන් විසින් පාරුව ‍එගොඩට පදවන්නට වූ අතර අප පාලමේ අනික් පසින් වූ බෝට්ටුවක නැගී කලපුවේ අනිත් සීමාව කරා යාත්‍රා කරන්නට වීමු...අපගේ පිරිස බොට්ටු දෙකටම බෙදී ගිය අතර වෙනත් සාමාන්‍ය වැසියන්ද අප සමග ගමන් ගන්නා ලදි.


අප එගොට යන විට පාරුව එහි ගොස් තිබූ අතර හමුදා සෙබළුන් විසින් භාණ්ඩ බෑම ආරම්භ කොටද තිබුණි..වහාම අපගේ නඩයද එයට එක් වී සියළුම දෑ ඉක්මන් කොට බා ගන්නා ලදි...මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් සියළුම දේ පිළිවෙලකට කතා බස් කරගෙන තිබුණි...බඩු ටික බා අවසන් කර විනාඩි දහයක් ගත වන විට එතැනට විශේෂ කාර්ය බලකායට අයත් ට්‍රැක්ටර් රථයක් එහි සෙබළකු විසින් පදවාගෙන ආ අතර අපහසුවෙන් හෝ ගෙන ගිය සියළු දෑ එයට පටවාගෙන සියළු දෙනාම එහි ගොඩ උන අතර විහාරාධිපති හිමියන් සහ මා ට්‍රැක්ටරයේ දෙපස මඩ්ගාඩ් දෙක මතට නැගුනෙමු...කලපුව අසල සිට තවත් මීටර් පන්සීයයක් පමණ අපට යායුතුව තිබිණි...පාලම තිබූ මග ඔස්සේ ඉදිරියට ගොස් ප්‍රධාන මාවතෙන් වම් පැත්තට එනම් නැවතත් මුහුද පැත්තට හැරී ගමන් කරන්නට විය.මෙම හැරෙන මංසන්ධිය පසු කාලීනව රටේ තරමක් ප්‍රසිද්ධියට පත් වූ මං සන්ධියකි..ඒ පිළිබඳ කතාව පසුවට තබමි...


කෙසේ හෝ නැවතත් අප පැමිණ තිබුනේ මුහුදු වෙරලටමය...එහි නිවාස රාශියක් තිබූ බවට සලකුණු පමණක් ඉතිරි වී තිබිණි... ඒ හැර කිසිවක් නොවූ අතර..ඉතිරිව තිබූ එකම ගොඩ නැගිල්ල වූයේ එක් ටැම් ගෙයක ආකාරයෙන් තනා තිබූ විදේශිකයෙකුට අයත් කුඩා සංචාරක නිකේතනයක් පමණි...


අප ගෙන ගිය භාණ්ඩ සියල්ල බෑමෙන් පසුව අපගේ හිතවත් හිමියන් විසින් එතැනට එක්තරා පිරිසක් කැඳවාගෙන එන ලදි.ඒ අය නම් අප විසින් සාදා දීමට යන නිවසට හිමිකම් කියන්නට යන උදවියයි...

එය සිංහල දෙමළ මිශ්‍ර වී සෑදුන පවුලකි..වැඩිහිටි යුවළත් ඔවුනගේ දරුවන් සිවු දෙනාගේ පවුල් හතරත් එකතු වූ විට එහි සාමාජික සංඛ්‍යාව දහ හතක් පමණ විය... පෙරදී ඔවුන් නිවාස දෙකක දිවි ගෙවූවද දැන් අප විසින් සාදන්නට යන එක නිවාසයේ සිටීමට බොහෝ කැමැත්තෙන් සිටියෝය...


දැනට සියළු දෙනාම රැඳී මිටියේ ඒ ආසන්නයේ සකස් කල තාවකාලික කූඩාරම් වලය... එසේ තැනූ කූඩාරම් දකින දකින අත විය.එම ජීවිතය පහසු නැත.එබැවින් පොල් අතු වලින් හෝ පැලක් අටවා ගෙන එහි විසීමට සියල්ලෝම රිසි වූහ...


ඔවුන් හා කතා බස් කොටගෙන කටයුත්ත ආරම්භ කරනා විට දහවල් දහය හමාරට ලංව තිබිණි.මෙතැනදී අප සිතාගෙන ගියාට වඩා යම් පහසුවක් අප හට සැලසිණි..එනම් අප සිතාගෙන ගියේ නිවස සකස් කර බිමට කටු සිමෙන්ති දමා දීමටය..නමුත් බිත්ති ගැලවී ගොස් ඉතිරි වී තිබූ නිවාස වල පාදමත්..බිම තිබූ සිමෙන්ති පොලවත් දුටු පස්ව මා ඔවුනගෙන් විමසා සිටියේ ඔවුන්ගේ නිවස තිබූ තැනම ඒ මතම අපේ නිවාසය ඉදි කරදෙන්නටදැයි කියාය..එයට ඔවුන් බොහෝ සේ සතුටට පත් විණී...


ඒ අනුව මා විසින් රැගෙන ගිය ටේප් පටිය ගෙන අදාල ගෙබිම මත දිග පළල මනිනා අතරවාරයේම අපේ කොළු රෑන එහි වූ සුන් බුන් ඉවත් කිරීමේ යෙදුණි... එයත් පහසු කටයුත්තක් නොවිණි..කඩා වැටුන බිත්ති කොටස්..ලී දඩු වැලි පස්..සුන් බුන් වලින් වැසී තිබුණු බිම බොහෝ වෙමෙසක් දරා සුද්ධ පවිත්‍ර කර අවසන්ව මා සලකුණු කර දුන් තැන්වලින් සිමෙන්ති පොලව මත වලවල් කැණ ඒ මත කණු මිටවා සිමෙන්ති අනා කණු මුලපුරවා සිටවූ කණු නොසෙල්වෙන සේ මුක්කු තැබීමට වූයේ ඒවා මත නැගී වහල ගැසීමට තිබූ නිසාවෙනි.


ගැටළුව ආරම්භ වූයේ මෙතැන් සිටය..ඒ අප ගෙන ගිය වඩු බාස් සහ ගෝලයා නිසාය..කොල්ලන්ගේ වේගයට අසලකින්වත් ඔවුන් වැඩ කරනා බවක් නොපෙණුනි.අප බිම සුද්ද කරන්නට ගත් වේලාවේදීම මා ඔවුනට දන්වා සිටියේ අනිත් අය වැඩේ කරනා අතර වාරයේ වහලය ගැසීමට අවශ්‍ය දැව දඩු කපා පුරුද්දා ගන්නා මෙන්ය..දහවල් එක පමණ වන විටත් ඔවුන් දෙදෙනා එකම එක යට ලීයක් පමණක් පුරුද්දා සිටි අතර ආම්පන්න මල්ලේ සගවාගෙන පැමිණි මත්පැන් බෝතලයක් විටින් විට බිඳ වැටුන නිවසක ඉතිරිව තිබූ කොට බිත්ති කැබැල්ලකට මුවා වී පැනය කිරීම නම් සිදුව තිබුණි...මේ වන විට බිම සුද්ධ කර මුදුන් කණු හා දෙපස කණු සියල්ල සිටුවා සිමෙන්ති යොදා ඒවා සවිකර නොසෙල්වෙන සේ මුක්කු ගසා දෙකේ දෙකේ ලී වලින් කණුවලට ඈදා උළුවහු පවා සකස් කරමින් තිබිණි..නවුත් මේ මක බාසන් දෙදෙනා ඒ මුළු කාලය තුලදීම ලී දණ්ඩක් පමණක් පුරුද්දා ඔහේ ඕනෑවට එපාවට වැඩේ කරගෙන යනු දකින්නට ලැබිණි...


මේ අතරතුර අප රැගෙන ආ ආහාර ද්‍රව්‍යය අප සකස් කරන නිවසේ හිමිකරුවන් විසින් බාරගෙන අප වෙනුවෙන් දහවල් බත පිළියෙල කොට තිබිණි.දහවල් බතට සැරසෙන වේලාවේදීය අර බාසුවරුන්ගේ වැඩය ගැන මට සොයා බැළීමට හැකි වූයේ..මන්ද යත් ඔවුනට අවශ්‍ය ලී දඩු සපයා මා ඉල්ලා සිටියේ අඩි 40 කට පමණ ආසන්න වන සේ යට ලී තුනක් පුරුද්දා දෙන ලෙසට පමනී...ඒ පිළිබඳව සොයා බැලීමට වෙලාවක් නොවූයේ අන් සියළුම දේ පිළීබඳව ළමුන්ට උපදෙස් දීමට මා හට සිදුව තිබූ නිසාය... කොල්ලන් දඟකාරය..නිතර විමසිල්ලෙන් නොසිටියහොත් විහිළු තහළුවටත් කතාවටත් ගොස් වැඩේ ප්‍රමාද විය හැකි බැවින් එක තත්පරයක් හෝ ඔවුන්ගෙන් දෑස් මිදවීමට හැකියාවක් නැත. එහෙයින් ඔවුන් සමගම එකට වැටී වැඩ කිරීමට මා පෙළඹුනේ බාස්වරුන් වැඩිහිටියන් නිසා අමුතුවෙන් ඔවුනගේ වැඩට ඇගිලි ගැසීමට අවශ්‍ය නොවේයැයි සිතාය..නමුත් අවසන වී තිබුනේ වැඩිහිටි දෙපල හරක් පැටවුන් සේ කටයුතු කර තිබීමයි... අනිත් වැඩ අවසන්ව කෑමට පෙර ඔවුන් ගැන අවධානය යොමු කරනා විට සිදුව ඇති දේ අප සියළු දෙනාහටම වැටහිණී..වැඩේ කෙසේ වෙතත් ඇස් රතුවන්නට දෙදෙනාට වැදී තිබිණී.


මා හට යක්ෂයා ආරූඪ වීමට මෙයට වඩා තවත් දෙයක් ඇවසි නැත...වචන දෙක පිට වද්දීම කොල්ලන් කිහිප දෙනෙකු බාස්ලා දෙදෙනාට එතැනින් පිට වන්නට සංඥාව දී ඔවුන් එයත් බාර ගන්නා ලදි. බාස්ලා දෙදෙනා ඉන් පසුව මා දුටුවේ ආපසු යෑමට සැරසෙන අවස්ථාවේදීය...


කෙසේ හෝ දහවල් ආහාරය ගෙන අවසන් වූ වහාම යළිත් වැඩට බැසීමට සියළු දෙනාම යුහුසුළු වූ අතර විනාඩි පහකවත් විවේකයක් නිවස සාදා අවසන් වන තුරුම කිසිවකුත් විසින් ගනු නොලැබීය...කෑමෙන් පසු පැයක් යන විට යට ලී සකස් කර ඒවා වහල මතට ගෙන සවිකර පරාල සවි කරද අවසන් කල හැකි විය.කෙසේ හෝ සවස පමට ආසන්න වන විට නිවසේ කටයුතු සියල්ල නිමා කිරීමට අප සමත් විය.


දිගින් අඩි 35කට පමණ ආසන්නව පළලින් අඩි විස්සකට මදක් වැඩි වන්නටත් නිවස තැණිනි.කනු සිටවා යටලී ඇද..පරාල හා හරස් රීප්ප ගසා..ටකරං තහඩු සවිකර මුදුන් උළු වෙනුවට වැඩි පුර ගෙන ගිය තහඩුම යොදා මුදුන් සකස් කර නිවසේ බිත්ති වලට එකක් මත එකක් ආකාරයට ලස්සනට ලෑලි ගසා ප්‍රධාන උළුවහු දෙකක් හා ජනේල තුනක්ද යොදා..ඇතුලේ කාමරයක් හා පිටුපස කුස්සියක් සේ යාලත්තක් බා සකස් කර දොර පියන් ජනේල පියන් සරනේරු වලින් සවි කොට..ඉබි යතුරු දැමිය හැකි පරිදි සකස් කර දී අවසන් කර තිබුණී...


වැඩේ අවසන් වූ වහාම නිවසේ හිමි කරුවන් හට නිවස බාරදී අප වහ වහා මුහුදු වෙරළ ඔස්සේ නැවතත් බෝට්ටු සේවය තියෙනා තැනට යාමට පටන් ගතිමු.ඒ අවස්ථාව වෙනකල් සැග වී සිටි බේබදු බාස්ලා දෙදෙනා වැනි වැනී වෙරළ දිගේ අප පිටුපස ගාටන්නට විය...


නැවතත් කලපුව අසලට පැමිණෙන විට බෝට්ටු සේවය නිමා වීමට ආසන්නව තිබිණි.එහෙත් අප විසින් පෙර කල දැනුම් දීම නිසා අප වෙනුවෙන් එක් බෝට්ටුවක් බලා සිටිනු දක්නා ලදි..පැවති ආරක්ෂක තත්වය හමුවේ සවස පහෙන් පසු බෝට්ටු සේවය පවත්වන්නේ නැති නිසා අප කෙසේ හෝ ඊට කලින් පිටත්ව යායුතුව තිබිණි.හරියටම පහට විනාඩි පමක් තිබියදී දුවගෙන මෙන් ඇවිත් අප වෙනුවෙන් තිබූ බෝට්ටුවට නැගී සියල්ලෝම යළි මෙගොඩට ආවෙමු.


නැවතත් අපගේ ලොරි රථ ඇද දීමේ කටයුත්ත ඇමරිකානු මැරීන් සෙබළුන් විසින් කර දෙනු ලැබීය...මුහුදු මහා විහාරයට ගොස් එහි හිමියන් හමුව..කටයුත්තේ අවසානය පිළීබඳව දැනුම් දී නැවතත් හැකියාවක් ඇතොත් එහි එන බව පවසා දඩි බිඩියේම සවස හයට ආසන්න වෙද්දී අප පොතු විල් වලින් පිටත් වීමු....


‍පෙර අත්දැකීම් ඇතිව සිටීමත් කල යුතු අන් කිසිවක් නැති හෙයිනුත් හැකි උපරිම වේගයෙන් ආපසු ලාහුගල තෙක් ගමන් ගත් අප ලාහුගල වන තෙක් කිසිදු බාධා කිරීමකින් තොරව පැමිණි අතර ඉන් පසුව සාමාන්‍ය වේගයෙන් නැවතත් ආපසු එන්නට වීමු... නමුත් ආපසු ඒමේදී අපට උඩ වළවේ වැව් කණ්ඩිය මතින් ඒමට අවසර නොලැබිණී..එබැවින් වට රවුම් පාරකින් තවත් සෑහෙන දුරක් ගමන්ගෙන පැමිණී අතර පසුදා හිමිදිරියේ හිරු නැග ඒමට පැය දෙකක් පමණ තිබියදී නැවතත් අපගේ ගම් ප්‍රදේශයට පා තැබීමට අපට හැකියාව ලැබිණී.


කොල්ලන් ටික පන්සලේ වැටුන වැටුන තැන නිදා ගත් අතර මාද එලෙසින්ම නින්දට වැටුනේ..සුනාමිය ආ දිනයේ සිට මේ දක්වාම එක දිගටම වැඩ කර ඇතිව තිබූ වෙහෙස මේ වන විට උසුලා ගත නොහැකිව තිබූ නිසාමය...


තව එක ලිපියකින් මෙම කතාව අවසන් වන බව දන්වා සිටිමි...ඒ අපගේ ඊ ළග ගමන පිළිබඳව වූ කෙටි සටහනකිනි...

21 May 2011

මාතලේ බලා...

වැඩි දෙයක් ලිය ලිය ඉන්ට වෙලාවක් නැහැ..දැන් වෙලාව උදේ 7.25 යි..තව ටිකකින් ඒ කියන්නේ උදේ 08.00 ට මම ගෙදර යන්න ඕන..ඒ කියන්නේ තාමත් මේ රාජකාරි කොරන ගමන්..

ගෙදර ගියා නාලා කරලා බඩට මොනවා හරි දා ගත්තා..ලෑස්ති උනා නිට්ටඹුවට ආවා..දිමා නොහොත් තුසිත ජයසිංහ නැමැති ගොබිලාවත් සැට් කොරගත්තා..දෙන්නාම කන්ද පැත්තට බයිසි මොටෝ දෙකෙන්ම ගමනේ යා...

අපේ අනිත් සැට් එකනං මේ වෙනකොට බස් එකක එල්ලිලා මාතලේ පැත්ත බලා ධාවනයේ යෙදෙනවා තමා..ඒත් ඔය බස් එකේ යෑම මේ වෙලාවේ මට ‍කොරන්ට අමාරුයි මගේ අසනීප තත්වෙත් එක්ක...

ඒ හින්දා බයිසි මොටෝ එකෙන්ම ගමන යාම වඩා හොඳයි කියලා හිතුනා..ඒත් බලමු පස්සෙන් එළවලා හරි බස් එක අල්ලගෙන සමාන්තර ධාවනයේවත් යෙදෙන්ට...

මේ ගමන ගියා වගේ නෙවෙයි.. මගේ තත්වෙත් ඒ හැටිම හොඳ නැහැ... නිතරම ඇන්ජිම කූල් කරන්ට මගේ රේඩියේටරේට වතුර දාන්ට ඕන..එහෙම උනාම ආයෙත් ඉක්මනටම ඕෆ්ලෝ වෙන්ට බලනවා එතකොට පටස් ගාලා ඔය අයිනක් අල්ලලා ඇන්ජිමේ වතුර අහක් කොරලා යන්ට ඕන..කොහොමටත් ගෙදරින් යන්න කලින් වතුර බෝතලයක්වත් බීලා යන්ට ඕන..උදේ ඉඳලා මේ වෙනකොට වතුර බෝතල් දෙකක් බිව්වා..දැන් හොද ගණන්...

ආයේ බයිසි මොටෝ එකත් ලගකදී සර්විස් කරලා නැහැ..ඒ තියා හොදලත් නැතෝ..හපෝ..සංසාරේ..මගේ තත්වෙයි බයිසි මොටෝ එකේ තත්වෙයි දෙකම එකයි..ඒත් ඉතිං කොහොම හරි කන්ද තරණය කොරන්ට එපැයි..එහෙනං ගෙහුං එඤ්ඤං...

19 May 2011

නිවන් දක්නා තුරා...

ඉපදී මෙසිරි ලක මාතලයට ................නුදුරේ
අප හමු උනා සයිබර් ලෝකය ............අතරේ
සසරක අරුම පහදා දී භව ................කතරේ
යළි වෙන් උනා නොවේදෝ ඔබ මා .....මිතුරේ

යළි කිසි දිනක හමු නූවත් භව ..............කතර
තරහක් හිතේ රැදිලා නැහැ අප ..............අතර
දිනයක නැවත හමු වේවා මැද ..............සසර
මෙ අයුරකින් නොම යේවා අප ...........අතැර

උප නූපන් සසරේ ඔබ මතු .................දිනක
මෙවන් දුකක් නොම වේවා කිසි ........කලෙක
ජාතිය ජරාවක් නොදකින සුර ..........ලොවක
සැප සම්පත් විඳ යනු නිවනට ...........කලෙක


අසංවේදී නරුමයා...

දුක...

ඔය අකුරු දෙකේ පුංචි වචනය තේරුම් කරන්න තරං මම දන්න හරිය හොදටම මදි කියලයි මට හිතෙන්නේ...බුදු බණේ ඕක විවිධාකාරයට විග්‍රහ කරලා තියෙනවා...මම බණක් කියන්න ලෑස්ති වෙනවා නෙවෙයි.

සාමාන්‍ය විදියට බැළුවාමනං අපි කවුරුත් ඔය දුක කියන දේ ජීවිතය පුරාවටම විවිධ අවස්ථාවලදී විවිධ ස්වරුපයන්ගෙන් විදලා තියෙනවා.ඉපදීම දුකක් කියලා බණේදි කිව්වට ඕක අපිට එක පාරටම තේරෙන්නේ නැහැ..ඒකට හේතුව උපදින අවස්ථාවේ අපි වේදනාවක් විඳගෙන ආපු බව දැන් කාටද මතක තියෙන්නේ.

ඒත්මේ ජීවත් වෙන හැමදාම විඳින හැම දුකටම මුල ඉපදුන එක කියලා කිව්වහමනං ඕක හැමෝටම වගේ ටිකක් ඔළුවට එනවා..ඇත්ත නේන්නං කියලා...

වයසට යෑමත් දුකක්..කවුද කැමති තරුණ විය ඉක්ම ගිහින් කෙස් ගස් එක දෙක සුදු වෙලා..දත් හැලෙන්න ගත්තහම..හැමදාම උදේ කැඩපතක් ඉදිරියෙන් හිට ගත්තම තමාව දිරලා යන හැටි තමාටම ටිකෙන් ටික පෙනෙද්දී මොන පුතයද ඒක ඉවසන්නේ..කොහොම කිව්වත් අපි හැමෝම කැමතියි එක දවසක් හරි තරුණ පෙනුමින් ඉන්න..ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්ද..?

ඉතිං දුක නැත්තේ කාටද..?

ලෙඩදුක්..හම්මේ මතක් කරන්න එපා..මටනං ඔය හැම එකටම වඩා ඕක දැනෙනවා මේ දවස්වල...ලෙඩක් හැදුනමම තමා ඒකේ රඟ තේරෙන්නේ...අපේ ශරීරය අපිටම පාලනය කරගන්න බැරි වේදනාවකින් පෙලෙන කොට කොහොමද ඉවසන්නේ..අනේ දන්න දවසේ ඉඳලා පුළු පුළුවන් හැම වෙලේම මොන මොනවා හරි කලේ මේ සරීර කුඩූව හොදින් තියන්න නේද..?මේක සරසන්න නේද..?මේකට සැපක් දෙන්න නේද..?එහෙව් සරීරේ නිකං ලනුව කඩා ගත්ත හරකා වගේ අපේ පාලනයෙන් මිදිලා ගින් අනතුරු කර ගන්නවා දකින කොට...ඔන්න ඉතිං දුකේ තරම...


මරණය ගැනනං කොහොමටවත්ම කියන්න මං දන්නේ නැහැ.මරණ මංචකයේදී මිනිස්සු පණ අදින හැටි..බය වෙන හැටි...නොමැරී ඉන්න උත්සහ කරන හැටි මම කිහිප විටක්ම දැකලා තියෙනවා..සමහරු ලතෝනි දෙනවා..තවත් අයගේ සරීර කූඩු වෙව්ලලා යනවා..සමහරු අතට අහුවෙන මොනම දේ උනත් තද කරලා මිරිකලා අල්ල ගන්න තැත් කරනවා..හරියට ඒ අල්ලා ගන්නා දේ නිසා තමාට ජීවිතය අල්ලා ගන්න පුළුවන් කියලා හිතලා වගේ..ඒ වගේ දරුඹන ඇර වෙන වේදනාවක් මම නං තාම දන්නේ නැහැ..ඒත් ඒ දැකීම් හරහා හිතන තරං මරණය සුවපහසු නැතිව ඇද්දෝහෝයි හිතෙනවා..


ඒක ශාරීරිකව දුකක් නොවෙන්නත් පුළුවන්..ඒත් මිනිස්සු මේ ජීවත් වෙන ටික කාලෙට අල්ලගෙන ඉන්න දේවල් අතෑරලා යන්න වෙන එකටයි වැඩියම දුක කියලයි මට හිතෙන්නේ. දුක් මහන්සියෙන් වගේව වංචාවෙන් හරි තමුන් ගොඩ නගාගත්ත දේපල..ධනය..කාලයක් තිස්සේ ඇති කරගත්ත බැදීම්..දූදරුවන්..ස්වාමි පුරුෂයින්..භාර්යාවන්..නෑදෑයින්..දෙමව්පියෝ..මේ හැම දේම තව ක්ෂණික මොහොතක් තුල අතෑරලා යන්න වෙන වග දැනුනම...දුක කියන අකුරු දෙක ඇතුලේ තියෙන දේ නෙවේද ඉස්මතු වෙන්නේ...

ශරීරයේ කැපීමක් කෙටීමක් උනහම..එයින් හට ගන්නා වේදනාව...හිතේ යම් අමනාපයක් ගොඩ නැගුනහම..මොනවා හරි දේකට තමාටත් නොදැනිම සුසුම් හෙලන්න උනහම...වෙච්ච වරදක් මතක් වෙලා හිත පශ්චාත්තාපයට පත් වෙද්දී...කිසියම්ම හේතුවක් නිසා හඩලා දොඩලා අවසන් වෙලත් තවමත් හිතේ මහා පාළු හිස් ගතියක් පවතින කොට..ඒක වචනයට විස්තර කරලා තවත් කෙනෙකුට කියන්නත් බැරි තරං සිත වෙහෙසට පත් උනහම..මොන තරං දුකක් හිතේ ඇති වෙනවද..?


අපේ අම්මා තාත්තා..නෑදෑයෝ මිත්‍රයෝ..මේ කවුරු හරි මොන යම්ම හේතුවක් නිසා හරි..ඒ කිව්වේ..දුර ගමනක් වෙන්න පුළුවන්..ඒ වගේම සමහර විට ඒ අය මැරෙනවා වෙන්න පුළුවන්..ආන්න එහෙම දෙයක් නිසා එයාලගෙන් ටික කාලෙකට හරි සදහටම හරි වෙන් වෙන්න උනොත්...

ඒ විතරක්ද..? අපි අකමැතිම කෙනෙක් හෝ පිරිසක් සමග...එකට ඉන්න උනොත්..ඒ අය තමන්ට හුගාක් අප්‍රසන්න අය වෙන්න පුවවන්..සමහර විට ඒ බාහිර ස්වරූපය මත වෙන්න පුළුවන්..ඒ කියන්නේ අපිරිසිදු කම..ලෙඩ රෝග..දද කුෂ්ඨ ආදිය තියෙන් අය හෝ සමහර විට බාහිරව නොවන කරුණු මත..එයාලා තමා සමග ඊර්ෂ්‍යාවෙන් සිටින අය වෙන්න පුළුවන්නං..තමන්ට හතුරු කම් කල මදි පුංචි කම් කල..තමාගේ වරදක්ම හොයන අය වෙන්න පුළුවන්..එහෙම අයත් එක්ක අපිට එකට ඉන්න වෙන අවස්ථා එනවා..සමහර ඥාතීන් අතර ඉද්දී උනත් අපිට මේ තත්වය ඇති වෙනවා...කොයි තරං නෑදෑයින් උනත් අපිට අහිතවත් අය නම්..මොනයම්ම හෝ හේතුවක් මතවත් ඕවුන් හා එක්ව විසුම හරි අමාරු කාර්යයක්...ඉතිං එහෙම ඉන්න උනහම හිතේ ඇතිවන නොරිස්සුම වේදනාව..අප්‍රසන්නතාවය..ඒකත් එක්තරා ආකාරයක දුකක්.


අපි මොනතරං දේවල්වලට ආසා කරනවාද..?මොන තරං දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාද..තමා සතුව තියෙන සමහර දේවල්වලට මොන තරං ආසාවක් තියේද..? යම් කිසි මොහොතක ඒ තමන් සන්තකයේ තිබූ දෙයක් හෝ..තමා ප්‍රාර්ථනා කල දෙයක් තමන්ට අහිමි වෙනවා කියලා දැනුනම..? පැතූ දේ තමාට නොලැබී යනවා කියලා දැනුනම...සමහර විට ඒ ඔබ පතන රැකියාවක් වෙන්න පුළුවන්..එහෙමත් නැත්තං ආදරය කරන්න තෝරගත්ත ගැහැණූ ළමයා හරි පිරිමියා හෝ වෙන්න පුළුවන්..ඒ දේ තමන්ට හිමි නැති බව තේරුනහම...වෙන දෙයක් ඕන නැහැ..අඩු ගානේ කන බොන දේ උනත් තමන්ට රිසි දේ නොවී..ප්‍රිය නොවන දෙවල් නම් ලැබෙන්නේ..අපි මොන තරං වේදනාවට පත් වෙනවද..?මොන තරං ප්‍රාර්ථනාවන් අපි හිත් ඇතුලේ ගොඩ ගහගෙන තියෙනවද..? ඒ හැම දේම අපිට නැති වෙද්දී..එතන ඇති වෙන්නේ දුකක් නෙවේද..?


අපේ ඉන්ද්‍රියන් නිතරම සූදානම් වෙලා ඉන්නේ රිසි දේ ලබන්න..නොරිසි දේ ඈත් කරන්න.කවුද කැමති අමිහිරි දෙයක් ආහාරයට ගන්න..කවුද කැමති අසුන්දර දසුන් දකින්න..තවුද කැමති කණට කඨෝර ශබ්දයන් අහන්න..කුණු ගඳ ගහන දේ ආඝ්‍රාණය කරන්න..රළු ගොරහැඩි දේවල් ස්පර්ෂ කරන්න... ඒ වගේ දේවල් හරහා අපිට උපදින්නේ වේදනාවක්..කලකිරීමක්..අප්‍රසන්න තාවයක්...අපේ ඉන්ද්‍රීයන් හොයන දේ නැතිව අකමැති දේ ලබන්න වෙන එක දුකක් නෙවෙයිද..?


අපි නිතරම සැප කැමති අය...ඒත් ඒ දේවල් ඒ විදියට නොලැබෙන කොට අපිට ඉතිරි වෙන්නේ දුකක් විතරයි..පොදුවේ ගත්තහම මේ අඩි හයක් විතර ශරීරය ඉල්ලන දේවල් අසීමිතයි..එහෙත් ඒ අතරින් අපට ලැබෙන දේවල් ඉතා සීමිතයි..එහෙම බැළුවහම අපිට ඒ හරහා ඇති වෙන්නේ සතුටක්ය කියලා කොහොමද කියන්නේ..අපි තව දුරටත් හති දමමින් ඒ සැප හොයාගෙන යනවා..ඒ කියන්නේ තව තවත් දුක් අපේ ජීවිතයට ලං කරගන්නවා..ඇයි..අපි කොච්චර එලෙවුවත් අපි පතන හැම දේම අපිට ලැබෙන්නේ නැති හින්දා..ඔන්න ඔහොම දේකටයි දුක කියන්නේ...ඔය සරලව...

ජීවිත කාලය තුලදී අපි විඳින දේ හරහා අපට වැඩි පුරම ලැබෙන්නේ සැපක් සතුටක්ද..?එහෙමත් නැත්තං දුකක් වේදනාවක්ද කියලා මම ඇහැවුවොත් ඒකට උත්තරය කොහොම වෙයිද..?අනිවාර්යයෙන් එක උත්තරයයි හම්බ වෙන්නේ...ඒක ඕබ දන්නවා.

අපේ ජීවිතයේ වැඩිම දුක් උන දවස මොකක්ද..එහෙමත් නැත්තං වැඩිම සතුටු උන දවස මොකක්ද..? ඔය දෙකට උත්තර හොයන්න ලේසිත් නැහැ..කාටවත් කියන්න යන්න ඕන නැහැ තමන්ම මතක් කරගෙන නිකා ඉන්න.ඒත් අවසානයේදී තේරෙයි එහෙමටම කියලා කෙලින්ම කියන්න අමාරු දෙයක් කියලා..මොකද අපි විදින දුක සතුට දෙකම හරියටම අඩු වැඩි කරලා කියන්න බැහැ කියලා අපිට තේරුම් යනවා ඒ වෙලාවට..එක දෙයක් හොදම සතුට තමන්ට ගෙනාවා කියලා හිතෙන කොටම තවත් දෙයක් මතක් වෙලා ඒක් ඊට වඩා සතුටුදායකයි නේද කියලා හිතෙයි..ඒත් ඊටත් වඩා සතුටක් ඇති කරපු දෙයක් ඒ ඇසිල්ලෙම සිතට එන්න පුළුවන්..ඒ විදියට ඕක හරි තීරණයකට එන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ..


දුක ගැන ගත්තත් එහෙම තමා..


ඇයි මට මේ උදේ පාන්දර මේ දේවල් හිතෙන්නේ...?

ඒ ඒකට හේතුවක් තියෙන හින්දා.ඊයේ රෑ අහන්න වෙච්ච පණිවිඩයක් නිසා...ඒ පණිවිඩය අහපු වෙලාවේ මට මහා වෙනසක් දැනුනේ නැහැ.මහ හිස් කමක් විතරයි.මං ඒ ගැන හිතුවා..ඇයි එහෙම වෙන්නේ. හරිනං මං ඒ ගැන දුක් වෙන්න ඕන නේද..?ඒත් ඇයි මට එහෙම හැගීමක් එන්නේ නැත්තේ..?මගේ කාලකණ්නි කමක්ද..?මං සංවේදී නොවන පුද්ගලයෙක්ද..? හිතේ ඇතිවන හැගීම් මරා දාලා හරි එහෙම කරන්න හදපු හරි එකෙක්ද..?


අනේ මම දන්නේ නැහැ.මට මගේ තාත්තගේ මරණය ගැන ආරංචි උනේ මරණය සිද්ධ වෙලා මාස තුනකටත් කිට්ටු උන වෙලාවේ...එදා මං සෑහෙන්න කල්පනා කලා..ඒ ඇති උනේ දුකක්ද කියලානං මට ඒ හැටිම තේරුමක් නැහැ..ඒත් මං කල්පනා කලා මට මතකයි...අවසානයේ කල්පනාව ඉවර උනේ..ඒ මරණය ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කියලා හිතිලා..මොනවා උනත් තාත්තා මැරිලා ඉවරයි..හෙට මාත් මැරෙන්න පුළුවන්..සමහර විට අම්මාගේ මරණයේ ආරංචිය තව සුළු මොහොතකින් මට ඇහෙන්න පුළුවන්.ඒ තමා මේ ලෝකේ හැටි.මං ඒකට දුක් උනා කියලා ආයේ ඒ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.


ඉතිං ඇයි මං දුක් වෙන්නේ..?අනේ මංදා..මම මහා කාලකණ්නියෙක්ද කියලා..මට ඇයි අනිත් මිනිස්සු එක්ක එකතු වෙලා අඩන්න..එහෙමත් නැත්තං ඒ දේවල් ගැන දුක හිතෙනවා වගේ කතා කර කර ඉන්න බැරි...මිනිස්සු එහෙම නේද කරන්නේ ඒ වගේ වෙලාවක..ඒත් ඇයි මට එහෙම කරන්න බැරි.මරණයක් ගැන අහන කිසිම වෙලාවක මට එහෙමට කියලා දුකක් හිතෙන්නේ නැද්ද මංදා...මට ඈතින් ඉන්න පුද්ගලයින් පැත්තකින් තියලා ළගින් ඉන්න අය ගැන බැවවත් ඔච්චරම තමා...


කොටින්ම කිව්වොත් අම්මාගේ හරි මල්ලීගේ හරි වෙන කාගේ හරි හෝ වේවා..මරණයේ පණිවිඩය මාව සලිත කරන්නේ නැති වග මම දන්නවා..මං දැන් හිතන්නේ මගේ මරණයේ පණිවිඩය ගැන මට දැනගන්න ලැබුනොත් ඒ වෙලාවටවත් මං දුක් වෙයිද කියන එක..ඒක මට තාම තේරුම් ගන්න බැහැ.දාලා යන්න බැරි දේවල් තව කොච්චර ඉතිරි වෙලා තියේද..?හ්ම්ම්..එහෙමටයි කියලා දෙයක් නං නැහැ..ඒත් මැරෙන්න කලින් එකම එක දෙයක් විතරක්නං කරන්න කැමැත්තක් තියෙනවා..ඒ තමා මේ ලැප් එකේ තියෙන යම් යම් දේවල් ටිකක් මකලා දාලා තියන්න..එයින් එකක් තමා මම ආදරය කරපු මට ආදරය කරපු කෙනාගේ ඡායාරූප ගොන්න..ඒවා තාමත් ඇයි මං තියාගෙන ඉන්නේ කියලා මං දන්නේ නැහැ..ඒත් ඒවා මා ළග අදටත් තියෙනවා..තණ්හාවේ හැටි තමා..හුගාක් දේවල් අත ඇරියත් මේ වැදගැම්මකට නැති දේවල් තියං ඉන්නවා...


හෙට මගේ මරණයේ පණිවිඩය එන්න පුළුවන් ඒ හින්දා අද මං ඒ හැම දේම මකලා දානවා.එතකොට ඒකත් ඉවරයි.හ්ම්ම්..ඊට පස්සේනං ඉතිං වෙන දාලා යන්න බැරි තරං දෙයක් තව නැද්ද මංදා..?ඔව් ඒ වගේනං තමා...

කොහොම උනත් ලැබුන ආරංචියට මාත් සුදු කොඩියක් දානවා..ඒ සමාජ ක්‍රමයට අනුචිත වෙන්න.පැතුමකුත් පතනවා..ඒ හදවතින්ම...ඒත් මං අවංකව කියන්න ඕන මගේ හිතට ඒ හරහා දුකක් දැනිලානං නැති වග..

මං මහා නරුමයෙක්ද..?


16 May 2011

අද නිදහස්...ඌරන්ට මොන ‍සවුක්කියද බොලවු..?

යාන්තං ඔන්න ඊයෙයි අදයි ටිකක් මට විවේක..විවේකයක් කිව්වට මේක බලෙන් ගත්ත විවේකයක්...

පහුගිය දවස් දෙක තුනේම එක සීරුවට වැඩ කලා නෙව...හවස හය හමාර විතර වෙනකොට මම මුර රස්සාවට යනවා... එතනට ගෙහුන් එළි වෙනකල් ඉඳලා පහුවදා උදේ හත හමාර විතර වෙනකොට අනිත් සගයා ආවාම ඩියුටිය බාර දීලා ගෙදරට දුවනවා..වැඩ පොලේ ඉඳන් ගෙදරට කිලෝ මීටර් 6ක් 7ක් තියේ..
ඒ ගිය ගමන් පහල කඩෙන් උදේට කෑමට මොනවා හරි අරගෙන නැග්ගා උඩ තට්ටුවට ‍මගේ කුලී නිවහනට...ඉක්මන් කරලා රෙදි ටික හෝදලා දාලා නාගත්තා..ඊට පස්සේ දඩි බිඩි ගාලා ගෙනාව දේ කෑවා..ආපහු ලැපත් එල්ලගෙන බයික් එකේ නැගලා යනවා මගේ කාර්යාලයට..ඒක තියෙන්නේ ඉිතං දැන් මං වැඩ කරන තැනට මීටර් පන්සීයක් හයසීයක් දුරින් තමා..ඒත් ආපහු ගෙදර ඉඳන් කිලෝ මීටර් 6ය 7තේ දුර ආපහු යන්න ඕන...

එතනත් උඩු මහලක් තියෙන්නේ..ඉක්මනට බයික් එක පහල ගරාජ් එකට දාලා උඩට නැගලා කාර්යාලේ විවෘත කරලා අතු පතු ගාලා බිම දූවිලි ගතිය නැති වෙන්න අර මොප් එක කියලා තියෙන උලව්ව පොගවලා හොදට පිහදාලා කරලා ඔක්කෝම සැට් බැට් කරලා ලැපත් පිළියෙල කොරගෙන වාඩි උනහම ආයේ එක දිගටම එකත් වෙලා තියෙන කේන්දර ටික බලන්න ගන්නවා...

තාම අළුත් තැන නං එහෙමට කියලා වැඩ එන්නේ නැහැ..ඒක ඇරලා දෙවෙනි දවසේ තමයි පළවෙනි වැඩේ ආවේ...ඒකත් හරි හුරුබුහුටි ගෑනු දැරිවියකුයි මෑණීයැන්දයි තමා...

කොහොමටත් මාස දෙක තුනක් යනවා ටිකක් වැඩේ පිළියෙල වෙලා එන්ට ඒ ඔය රස්සාවේ හැටි..මං ඉතිං ඕක හොදට දන්නවා නෙව...එක්කෙනෙක් ආවාම ඒ කෙනා හරහා තව අය එන විදියට තමා ඕක දුවන්නේ..ඒත් හරියට පදම් උනහම හුස්ම ගන්න බැරි වෙන කේස් එකක් තමා..ඒකමයි මම ඕක දවසින් දවස පස්සට දදා උන්නේ.කවදා හරි දවසක වයසට ගියාට පස්සේ එක තැනකට වෙලා පාඩුවේ කීයක් හරි හොයා කොරාගෙන මගේ පාඩුවේ ජීවත් වෙන්ටය කියලා...

ඒත් මොකක්දෝ මගේ කරුමයකට මේක ටිකක් ඉස්සර කොරන්ට හිතුනා...දැන් ඉතිං මේ කන්නේ එ තීරණයේ කට්ට තමා.

කොහොම හරි දවල්ට කෑම වෙලාව එනකල් මම කේන්දර බලනවා..ආ දැන් බලයි එතනට තාම වැඩ ඒ හැටි එන්නේ නැත්තං මොන මගුලක්ද මූ බලන්නේ කියලා...?

ඇයි මගේ පරණ කස්ටෝ ටික..උන්දලගෙන් සෑහෙන ප්‍රමාණයක් මම දැන් අත ඇරලා උනත් කිහිප දෙනෙක් මං යන යන තැන හොයාගෙන විඩින් විඩේ මට වැඩ පංගාර්තු කොරනවා නෙව... ඒ ඇරුනාම මම දැන් රස්සාව කොරන තැනිනුත් මට කේන්දර ප්‍රමාණයක් හම්බ වෙනවා. එක්කෙනෙක් එකක් බලා ගත්තම ඒක ගෙදර ගෙනිහින් බලලා ගෙදර අනිත් අයගේ ඒවත් ගේනවා..ඊට පස්සේ සැරින් සැරේට අහල පහල ගෙවල්වල අයගේ ඒවත් ගේනවා. ඔහොම තමා ඒ වැඩේ වෙන්නේ...

මම හිටපු හැම තැනින්ම ඔහොම එකතු වෙච්ච පාරිභෝගික ජනතාවක් මට ඉන්නවා නෙව..ආන්න එහෙම ලැබෙන ඒවා තමයි දැන් ඔය ලතාවකට බලාගෙන යන්නේ...පහු ගිය කාලේ කම්මැලි කොමට හිටිය හින්දා එකතු වෙච්ච ඒවා එහෙම දැන් හිටු කියලා අල්ලලා දානවා..

එහෙම ඉඳලා දවල් එකට විතර කාර්යාලේ වහලා දාලා දුවලා ගෙහුන් ළග තියෙන මම කෑම කන පොට් එකෙන් දවල් බත් එහෙම කාලා සුටුස් ගාලා දුවලා එනවා..ආයෙමත් දිගටම වාඩි වෙලා වැඩේ කරගෙන යනවා...

ඊට පස්සේ හවම පහයි හතළිස් පහට විතර දඩි බිඩි ගාලා පොට් එක වැහැවුවා..ආයෙමත් දුවනවා ගෙදර..නෑවා..යුනිෆෝම් එක දාගත්තා කෙලින්ම රාජකාරියට වාර්ථා කරනවා..හය හමාර හත වෙද්දී...ආයෙත් මම එතන වැඩ..පහුවදා උදේට ආයෙමත් මගේ තැන වැඩ..මේක දැන් නොනවතින චක්‍රයක් වෙන්නයි එන්නේ..අනේ ඉතිං කොහොම හිටිය මංද..?

ඒත් ඉතිං මේ අස්සේ මට තව අබග්ගයකත් උනා නෙව...මේ පහුගිය සෙනසුරාදා දවසේ උදේ පාන්දර හතරට විතර ඇති..බුදු අම්මේ මගේ බණ්ඩිය දිහාවෙන් ඉන්ට බැරි කැක්කුමක් අල්ලන්ට තිබා ගත්තා නෙව...මක් කොරලවත් ඉන්ට බැහැ. කොහොම හරි කාගෙන එළි වෙනකල් හිටියා උඩ පැන පැන..පස්සේ ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගෙහුන් අත් බේතක් එහෙම කොලාට ම්හූ හරි යන්නෙම නැහැ...සිමෙන්ති පොලවේ වැටිලා පැත්ත හැරිලා දොයියනකල් සනීපයි..නැගිට්ට ගමන් ආයෙමත් ඉන්ට බැරිව යනවා.

පස්සේ ඉන්ටම බැරි තැව කෝකටත් කඩේ අරින්නත් එක්කලා කියලා දහයට විතර වෙද්දී ගියා..ගිහින් බෑග් කාරියාගේ ඇතුලෙන් තියලා ගියා බෙහෙත් ගන්ට කියලා...ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පෙනි පෙනී එතනම තියෙන පෞද්ගලික එහෙකට රිංගුවා..අතන පෝලිමේ හිටියනං මං මැරෙනවා.මලත් කමක් නැහැ දැන්නං උහුලන්ට බැහැ.

කොහොම හරි අතනට ගිය පමාවට වැඩේ පරීක්ෂා කොරලා බලලා පටස් ගාලා ඇදක දොයි කරවලා රොකට් එකක් ගහපි..විළි ලැජ්ජාවේ බැහැ..චූටි නර්ස් කෙනෙක්..මට දුකත් හිතුනා..ඒත් ඒ ළමයා හොඳ වෘත්තීය පුහුණුවක් තියෙන ළමයෙක්... ඊට පස්සේ සේලයින් එකකුත් දීපි...කොහොම හරි පැයක් විතර ඉද්දී ටිකක් විතර ගානකට හුස්ම ගන්න ඇහැකි උනා..හැබැයි අර සේලයින් එකනං විනාඩි විසි පහෙන් ඉවරයි...

කොහොම හරි ආයෙමත් එතනින් එළියට ආවේ දුන්න බෙහෙත් ටිකත් අරගෙන..එදා ඉතිං ආයේ කේන්දර බැළිල්ල කරන්න ගියේ නැහැ මම ගෙදර ආපි ඇවිත් බෙහෙත් ටික බීලා මලා වගේ වැටිලා උන්නා.දවල්ට කන්නත් නැහැ..යාන්තං ගෙදර තිබුනු බිස්කට් වගයක් හපලා වතුර බීලා හිටියා...ඒත් හවස හතර විතර වෙද්දී මට යන්තං සනීපයි වගේ දැනුනා... ඒ ගමන හිමින් සීරැවේ බත් ඩිංගක් උයලා පරිප්පු හොද්දකුයි කරවල තෙල් දාලයි බත් ටිකක් කාලා ලෑස්ති වෙලා වැඩට ආවා.

ඔන්න ඔයකෙලිය හින්දා දැන් මේ ටිකේ මගේ රස්සාව වතුර බොනවා ආයෙමත් පිට කොරනවා තමයි.ලෙඩේ මුත්‍රාශයේ ගල් වෙන්න ඇති කියලා තමයි කියන්නේ..ආයෙම හෙට අනිද්දට යන්න ඕන ඇක්ස් රේ එකක් ගන්ට. ඊට පස්සේ තමා කෙලිය කොහොමද කියලා බලන්ට වෙන්නේ...

කොහොම උනත් මං දැන් දවසකට වාඩි වෙලා ඉන්න පැය ගාන වැඩි වගේ හින්දයි..වතුර බොනවා හුගක් අඩු හින්දයි..සහ සමහර විට අලක්කු නොබොන හින්දයි වෙන්න ඇති ශරීර කූඩුව මෙහෙම අප්සැට් යන්න ඇත්තේ...කොහොම උනත් ඒ හින්දා මම මේ දවස් ටිකේ ටිකක් වාඩි වෙලා ඉන්න එක අඩු කරලා වත්ත වටේ ඇවිදින්නයි වරකට පහලව බැගින් දවසට දහ පාලොස් වතාවක් ඩිප්ස් පාරක් එහෙම දාලා ටිකක් ඇඟට වියායාම දෙන්නත් අරගෙන තියෙන්නේ..ඒ හින්දා ඊයෙයි අදය් ලියන කියන කටයුතු වලට ටිකක් කොමාවක් දාලා ඇගට දැනෙන්න ජීවත් වෙන්ට ගත්තා.

ඊයේ හවස වැඩට ආව ගමන් අද ඕෆ් නොවී හිටියේ ඒකයි...මගේ විවේකය තියෙන්නේ වැඩ පලේ තමා ඉතින් හොදටම.ආයෙමත් හෙට උදේ තමා ගෙදර යන්න හිතන් ඉන්නේ..ඊට පස්සේ ගෙහුන් කාරියාලේ ඇරියත් වාඩි වෙලානං ඉන්නේ නැහැ පහලට බැහැලා පාර පුරා ඇවිද ඇවිදවත් ඉන්නවා..

කොහොම උනත් බාර ගත්ත යන්තර කිහිපයක වැඩත් එකතු වෙලා තියෙන හින්දා මට මේ විවේකය ඒ හැටි දවසක් ගන්ට වෙන්නේ නැහැ...ඒ හින්දා මේ දවස් දෙක තුන උපරිම නිදහසේ ඉන්ටයි මගේ කල්පනාව...හොඳා නේද..?

13 May 2011

බ්ලොගර් කාරයාගෙන් මාරයාට උපන් දින තෑග්ගක්..ඒත් එක්කම තවත් එකක්...

"දිනයක ජය ගන්න දිරියෙන් පා නගන..
නංගෝ නුඹෙ හිත තැනූනේ වානෙන්ද..
මුවහත් වෙමින් වදිනා සැම පහරින්ම..
සවිමත් වෙයන් දුර යන්නට ඇත බෝම.."

මේ කවිය මම දැනට හුග කාලකට කලින් එක්තරා බ්ලොග් එකක කමෙන්ටුවක් හැටියට සටහන් කල කවියක්..ඇත්තටම යකඩ හිතක් තියෙන සුන්දර කෙල්ලෙක්ගේ ජීවිතේ ගලාගෙන ආපු හැටි..ඒ කෙල්ල හිතන පතන හැටි බොහෝම අපූරුවට වචන බවට හැර උන අඩවියක් ඒක...
..............................................

ඊයේ මගේ 32 වන උපන් දිනය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...මාරයා වයසට ගියා කියලා කවුරුත් දන්නවා නෙව...අපරාදේ කියන්න බැහැ සුභ පැතීම්නං කෙලවරක් නැහැ..දැන් මේ ලියන වෙලාව වෙනකොටත් නැවතිලානං නැහැ..ඒ හැමෝටම බොහෝමත්ම ස්තූතියි..විශේෂයෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් වෙන් වෙලා ගෙවන ජීවිතේ මෙහෙම සුභ පැතීම් රාශියක් දවසක් ඇතුලත හම්බ උනහම හිතන තරංම මම තනි වෙලා නැහැ කියලා හිතෙනවා..

ඉතිං ඔය අතරේ ඊයේ රෑ තමා මට මගේ උපන් දිනේට ලොකුම තෑග්ග හම්බ උනේ. ඊයේ උදෙත් මට තෑග්ගක් හම්බ උනා..ඒක ඉතිං මංම මට දීගත්ත තෑග්ගක්..ඒ තමා මගේ අළුත් ජෝතිෂ්‍ය කාර්යාලේ...
මම මං වෙනුවෙන් කල ආයෝජනයක් නෙව ඒක...හැබැයි ඉතිං දැනටනං ඒකේ ඒ හැටි දෙයක් නැහැ..ඒත් කාලයත් එක්ක ඉදිරියට ඕක පිළිවෙලක් වෙලා එයි.

ඒ ඇරුනහම මට වෙන මොන තෑගිද..?
ඒත් ඊයේ රෑ එක පාරටම නොදන්නා අංකයකින් මට දුරකථන ඇමතුමක් ලැබුනා...එහා පැත්තෙන් ඇහෙනවා කවදාවත් අහලා නැති බොහෝම අහිංසක කට හඩක්..ගෑණු දරුවෙකුගේ...මුලින්ම මට උපන් දිනේට සුභ පැතුවා උනත් මේ දැරිවි තමුන්ගේ නම කියන්නේ නැතිව මාව වටේ යවන්න තියා ගත්තනේ...

මාත් ඉතිං ඔය ගෑණු දරුවන්ගේ ඇමතුම් වලට හරි කල්පනාවෙන් කතා කරන්නේ...මොකද මේ ළගකදී මට හිරු FM එකේ ගෑණු දරුවෙකුත් කතා කරලා වෙච්ච සංගදියක් එහෙම තියෙන හින්දා...

ඇත්තටම හිතා ගන්න බැරි උනත් අන්තිමට යාන්තං ඔන්න කියලා දැම්මා මේ කවුද කියලා...ඒ තමයි අපේ අතීතයෙන් අහුලන මතකයන් ලිය ලිය ඉඳලා අතීතයටම යට වෙලා නොපෙනී ගිහින් හිටිය දිල් නගා...

ඇත්තටම නැතිවෙලා හිටිය පවුලේ සාමාජිකයෙක් ආපහු හම්බ උනා වගේ..පුදුම සතුටක් දැනුනේ...ඒ තරං කාලෙකට පස්සේ මෙහෙම කතා කල එකට...

මුලින්ම මම ඇතුළුව කිහිප දෙනෙක්ම බ්ලොග් ලියන්න ආපු මුල් කාලෙම වගේ බ්ලොග් හරහාම දැන අඳුරගෙන බ්ලොග් එකේ කමෙන්ට් තීරයන් හරහාම කතා බස් කරලා බොහෝම හිතවත්කමින් කතා බස් කරමින් ගත කල යුගයක් තිබුනා නෙව...ඒ කාලේ අපි බොහෝම විනොදයෙන් හිටියේ මෙන්න මේ විදියට තමා...ඒකට ඕන්නං මේකාගෙන් සාක්කි ගතෑකි...

ඒ කාලේ අපි ළගින්ම හිටිය දිල් නගා තමන්ගේ ජීවිතේ නව වෙනසක් එක්කම අපිට හොය ගන්නවත් නැතිව හිටියේ... ඒත් අපි කවුරුත් වගේ නිතරම එයා ගැන විටින් විටි හොයලා බැළුවත් හරියට සම්බන්ධ කර ගන්න බැරි උනා...

ඒත් මීට දවස් දෙක තුනකට කලින් අපේ හිතුවක්කාර හිත ලියන නිම්ශා නගා මට එක පාරටම කතා කරලා කිව්වා අන්න දිල් අක්කා ඇවිල්ලා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා කියල..

නිම්ශා නගා එහෙම කියන්න හේතුව එයා එක්කත් මම දිල් නගා ගැන කියලා තිබ්බ...මොකද නිම්ශා කෙලිත් ඔය දිල් නගා වගේම තමා පුංචියට හිටියට හෙනට පැහිලා... මොනවා හරි අවුලක් වෙලාවට කතා බස් කරලා අවුල ලිහා ගන්න ඔය පුංචි එකිත් මට හරියට උදව් කරනවා.

ඉතිං ‍කොහොම හරි ඔය කමෙන්ට් එක දැකපු ගමන් මම එහෙට මෙහෙට පණිවිඩ තියලා යාන්තං දිල්ගෙන් මේල් එකක් ගෙන්නව ගන්න හැකියාවක් ලබා ගත්තා...

ආන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා අවසානයේ දිල් නගා මට උපන් දිනේට සුභ පතන්න කතා කලේ...
කොහොම උනත් ඒක මට ලැබුන ලොකුම උපන්දින තෑග්ගක් වගේ තමා...

ඉතිං මට මේ උපන් දිනේට තෑගි දෙකක් ලැබිලානේ හිටියේ..එකක් ම‍ගෙන් මටම..අනික දිල්ගෙන්...

ඔහොම හිතාගෙන මේ පෝස්ට් එක ලියාගෙන ගියාට..ඔන්න දැන් තමයි මේක අද ආයෙමත් අවසන් කරන්න හදන්නේ..ඒ කියන්නේ ඔය කලින් ලැබුනු තෑගි දෙක ගැන ලිව්වේ අද උදහැනැක්කේ..ඒත් කවුරුත් දන්නවනේ අපේ බ්ලොගර් මස්සිනා බුල කෙලලා ඊයේ ඉඳලා අද මේ හවස් ජාමේ වෙනකල්ම අපිට බ්ලොග් එක්ක ගනුදෙනුවක් කරන්න බැරිව හිටියා ‍කියලා..ඒ හින්දා මං ඔය කලින් ටික ලියලා තිබ්බේ මගේ මේල් එකවුන්ට් එකේ...ඒත් දැන් ආයෙමත් බ්ලොගර් මස්සිනා යථා තත්වයට ආව හින්දා ඔන්න මේක ඉවර කරන්න කියලා බලද්දීනේ දැක්කේ..
මට ලොකුම තෑග්ග දීලා තියෙන්නේ බ්ලොගර් මස්සිනා කියලා..

ඒ තමා මම ඊයේ උදේ මගේ උපන්දිනෙයි අළුත් කාර්යාලේ විවෘත කිරීමයි ගැන කියලා දාපු පුංචි පෝස්ට් එක උන්දෑ අරගෙන ගෙහුං..එකේ තිබුනු සුභ පැතීම් කොමෙන්ටු තොගයත් එක්කම...

මදැයි ඔයින් ගියා..ඒකේ කොමෙන්ට් කරපු උදවියටනං සෑහෙන අසාධාරණයක් තමා උනේ..ඒත් ඊට කලින් ලියපු අර මාගලක් වගේ ලිපියට එහෙම කෙල උනානං මං මොන දෙයියන්ට කියන්නද..?
මොකද ආයේ ලියන්න කියලාද..?

ආන්න ඒ හින්දා තිබ්බ අමාරුවේ හැටියට ඔයින් ගියා මදැයි කියලා හිත හදගෙන ඉන්න එකයි ඇත්තේ...

ඒත් මං හිතන්නේ මට ආව සුභ පැතීම් ටික දැකලා බ්ලොගර් මස්සිනා ඒවා පරිස්සං කරලා තියන්න ඕන හින්දා වැඩි පරිස්සමට අරං තියන්න ඇති කියලා තමා මගේ විශ්වාසේ...එහෙම බලනකොට උන්දෑ තමා මට ලොකුම තෑග්ග දීලා තියෙන්නේ..අනේ අපේ මස්සිනා...

12 May 2011

32 කියන්නෙත් වයසක්ද..?

නැතිව ආයේ..වයසක් තමා...

ඒ උනාට මං හිතන් ඉන්නේ ඒක එහෙම නෙවේ කියලනේ..කොහොම හරි ඔන්න 32ත් උනා...
එන්ට එන්ටම වල පල්ලට කිස්ටු කරනවා..ආයේ ඉතිං වෙන මක්කද..?ඒත් ඉතිං ඒහෙමයි කියලා වයසට නොයා ඉන්නද..?මැරෙනකල් මේ සරීර කුඩුව පරිස්සං කොරගෙන ඉන්ට එපෑ..

අද උපන්දිනේ දවසේ වෙනසක් කරන්න මට හිතුනේ මීට ටික දවසකට කලින්..කරන්න දෙයක් හිතුවම ආයේ ඉතිං ඒක මොන විදියකින් හරි නොකර ඉන්න බැරි මහ අමුතු උණක් මට තියෙනවා නෙව..ඒ හින්දා දඩි බිඩි ගාලා තැනකුත් හොයාගෙන ඒකත් මුදල් බැඳලා වෙන්කරගෙන..ඒ ස්ථානේ ටිකක් සුද්ද බුද්ද කරලා..මට සෑහෙන විදියට සකස් කරගෙන දඩි බිඩියෙම ඔන්න අද මං මගේ අළුත් ජෝතිෂ්‍ය කාර්යාලේ විවෘත කරනවා...

දවසක් ඇර දවසක් රස්සාවට යන ගමන් ඉතිරි වෙලා තිබ්බ දින දෙක තුනෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන කොහොම හරි තැනත් යන්තං අටවගෙන දැන් ඔන්න මෙතන ඉඳලා ලියන පළවෙනි පෝස්ට් එකත් ලිව්වා කියමුකෝ..ඒත් වැඩි සෙල්ලං දදා ඉන්න වෙලාවක් නැහැ. තව වැඩ ටිකක් තියේ..

කොහොම උනත් තව මෙතන තීන්ත ගාන්න හැඩ වැඩ කරන්න හුගාක් දේවල් කරන්න තියේ..ඔක්කෝටම කලින් ඔළුව රිංගවගෙන ඉන්න එපැයි..ඒ හින්දා දැනට මෙහෙම හරි වැඩේ පටන් ගත්තා...සෙස්ස පස්සට...

මේ විත්තිය දැනගෙන මට උදව් කරන්න උත්සහ කල..උදව් කල..සුභ පැතුව...හොයලා බලලා සතුටු උන හැමෝටම බොහෝමත්ම ස්තූතියි..ඉස්සරහට මෙතන ටිකක් පිළිවෙලක් උනාට පස්සේ මං කියඤ්ඤංකෝ වැඩි විස්තර...

එහෙනං හැමෝටම ආයිබෝං කිව්වා...

11 May 2011

සම්බුද්ධත්ව ජයන්තිය හා ඔබ...අගට වන්නට වැසිකිළි කතාවකුත් ඇත...

හෙට අනිද්දාට එළඹෙන්නට ඇත්තේ සුවිශේෂී දිනයකි...
අද අප ගත කරන්නේ බුද්ධ වර්ෂ 2554 වැනි වර්ෂයයි. එය මේ එළඹෙන පුර පසලොස්වක පෝදිනයත් සමගම වර්ෂ 2555 සේ වෙනස් වනු ඇත...
ඒ බුදු රජානන් වහන්සේගේ පිරිනිවනේ සිට මේ දක්වා ගත වූ කාලයයි...

නමුත් සෑම අතම ඇහෙන්නට තිබෙන්නේ බුද්ධ ජයන්ති වර්ෂයක කතාවකි...සමහරුන්ට මෙය මහා ගැටළුවක් වී ඇත..ගතවන වර්ෂ පිළිබඳව ක්‍රිස්තු වර්ෂයෙන් හැර අන් ක්‍රමයකින් නොදන්නා අයට එය එතරම් ගැටළුවක් නොවන්නේ මොන ජයන්තිය කීවද එය කුමක්දැයි කියා සොයා බලන්නට නොදන්නා නිසාවෙනි..නමුත් සමහරු ඉතා හොඳින් මේ පිළිබඳව දනිති..එහෙයින් ඔවුනටද මෙහි ගැටළුවක් නැති...

එහෙත් තවත් පිරිසක් මේ අතර සිටිති..ඔවූහූ බුද්ධ වර්ෂ පිළිබඳව දනිති මෙ ගෙවෙන්නේ 2555 වැනි වර්ෂය බව දන්නා ඔවුන් මේ කියනා බුද්ධ ජයන්තිය කුමක්දොහෝයි විපරම් කරනු දකින්නට ඇත.
එයට හේතුව සමහර විට බුද්ධ ජයන්තිය පිළිබඳ කියනා වැඩිදෙනෙකු මේ කුමන ආකාරයේ බුද්ධ ජයන්තියක්දැයි හරියාකාරව පැහැදිලි නොකරනු බලන හෙයිනි..

නමුත් මාධ්‍ය මගින් ඒ පිළිබඳව සදහන් කරනා බොහෝ වෙලාවල් වලදී එය හරියාකාරව උච්ඡාරනය කරයි..මුද්‍රණය කරයි..එයද සමහරුන්ගේ ඇසට පෙනුනද මනසට ග්‍රහණය නොවූ ආකාරයකි.

"සම්බුද්ධත්ව ජයන්තිය"

මෙම පද දෙකහි පැහැදිලිව සඳහනක් ඇත..
"සම්බුද්ධ ජයන්තිය නොහොත් අප දන්නා බුද්ධ ජයන්තියට වඩා අක්ෂර කිහිපයක වෙනසක් මෙහි ඇත..
එනම් "සම්බුද්ධ+ත්ව" යන්නයි..

ඇත්තෙන්ම මේ ප්‍රකාශ කරන්නේ පිරි නිවනේ සිට අද දක්වා ගත වූ කාලය පිළිබඳව නොවේ...
"ජයන්තිය" යන යෙදුම මෙහිදී අප භාවිතා කරන්නේ සියක් වසරක පරිපූර්ණත්වයක් සම්බන්ධවය...එය සියය..දෙසීයය ආදී වශයෙන් සියයේ ගුණාකාර වලදීද එලෙසින්ම භාවිතයට ගන්නා අකාරයකි. ඒ ආකාරයෙන් බුද්ධ වර්ෂ 2500යේදී සම්බුද්ධ ජයන්තිය ක්‍රිස්තුවර්ෂ 1956දී සැමරූ ලක් වැසියන්හට නැවත සම්බුද්ධ ජයන්තියක් සමරන්නට නම් 2056 වන තෙක් බලා සිටිය යුතුය...

එහෙත් මෙම වර්ෂයේදී මේ සමරන්නට සැරසෙනුයේ ඒ කියනා සම්බුද්ධ ජයන්තිය නොව එදා සිදුහත් තවුසානන් බෝමැඩ හිදී සියළු කෙලෙසුන් නසා නොඑසේනම් ක්ලේෂ පරිනිර්වාණය කරනු ලැබූ..එසේත් නැතිනම් ඔබ අප භාවිතා කරන බුදුවීම සිදු වූ දවසේ සිට මේ දක්වා ගත වූ කාලය සම්බන්ධවයි...

උන්වහන්සේ සිය 29 වැනි වසරේදී ගිහිගෙය අතැර ගොස් පුරා සය වසක් නොයෙකුත් ධර්මයන් අත් හදා බලමින් අනන්ත දුක් පීඩාවන් විඳිමින් කාලය ගත කොට අවසන ඒ සියළුම අත්හදා බැලීම් ඉගෙනීම් පසෙක ලා මැදහත් සිතින් සිහියට එළඹ ක්‍රමයෙන් සිත දියුණු කොට අවසන සිත්හී උපදින සියළුම ලොභ ද්වේශ මෝහාදී ක්ලේෂ නැත්තටම නැති කර දමමින් සසරෙහි අවසානය හෙවත් නිවීම ලබා ගන්නා ලදි...
එවකට උන්වහන්සේට වයස වසර 35ක් විය.

එතැන් පටන් ලෝක ශාසන සේවාවෙහි යෙදෙමින් සමාජයේ නොයෙක් මට්ටම්වල ජනී ජනයා අතරින් ඇවිද යමින් ලොව ඇති යථා ස්වභාවය ඔවුනට අවබෝධ කරවාලමින් පුරා හතළිස් පස් වසක් ගත කරනා ලදි..අවසන සිය අසූවැනි ජන්ම දිනය එළඹෙන්නා වූ වෙසක් පුර පසළොස්වක පුන් බොහෝ දිනයේදී ස්කන්ධ පරිනිර්වාණය හෙවත් හතළිස් පස් වසකට පෙරදී ක්ලේෂ නැති කොට දමා ලද නිවන තව දුරටත් සාක්ෂාත් කරමින් ඉතිරිව තිබූ තම ශරීර ධාතුවෙන්ද පිරිනිවීමට පත් වන ලදි...

එසේ බුද්ධත්වයට පත් වූ දිනය හෙවත් ක්ලේෂ පරිනිර්වාණය කල දිනය හා ස්කන්ධ පරිනිර්වාණය අතර වූ කාලය පුරා පන්සාළිස් වසරකි..හෙවත් හතළිස් පස් වසරකි.

දැන් ගත වන 2555වන බුද්ධ වර්ෂයට අර මා කී හතළිස් පස් වසර එකතු කල විට අපට ලැබෙනුයේ 2600 යන වර්ෂයයි..එනම් ක්ලේෂ පරිනිර්වාණය කොට වර්ෂ 2600 ක් ගත වීමෙන් එළඹෙන්නාවූ බුද්ධ ජයන්තිය හෙවත් "සම්බුද්ධත්ව" ජයන්තියයි...

....................................................................
මේ දිනවල නිතර ඇහෙන්නට ඇති වදන් පෙළක් ඇත...

"පිළිවෙතින් පෙළ ගැසෙමු"

අර්ථය නම් බොහෝ හොඳය...නමුත් මා දකිනා ආකාරයටනම් මෙවරත් වන්නේ අප හැමදාම දකිනා ආකාරයට පිළිවෙත පසෙක ලා... ආටෝප සාටෝප සහිත බුදු මඟුළකටය...ඇත්තටම මට කියන්නට ඕනෑ වූ නියම වචනය නම් බුදු වෙඩිම යන්නයි..මඟුළ යන වදන බොහෝකොටම එයට ගැලපෙන්නේ නැත...

අද සමාජයේ..මා දකිනා පරිදි බොහෝ විට විවහා මංගල්ලයකදී කෙරෙන්නේ එක හා සමාන කාර්යයකි...මගුලක් නැත්නම් එවන් වෙඩිමකදී කරන්නේ තමාත් රැවටී..අනුන්වත් රවටන ක්‍රියාවලියකි.

වසර ගණනක් තිස්සේ කීය කීය හරි එකතු කරගත් මුදල් විය පැහැදම් කර වෙඩිමක් කියා දෙයක් ගනිති.
එහිදී පැය කීපයකට මනාළියගේ මූනත් තහඩුව පොලිෂ් කොට සුකුරුත්තං එල්ලීමට ඇන්දවීම යනුවෙන් කෙටියෙන් කියනු ලබයි..දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ අප අන්දනවා යනුවෙන් අදහස් කරන කෙනෙකුව රවටා ඉහළ තැනකින් තැබීමත් මෙම ඇන්දවීමත් අතර කිසිදු වෙනසක් නැත...

මනාළිය වියදම් කරගෙනම ඇඳ ගනී..ඒසේ ඇද ගත් මනාලිය ඉන් පසුව පැමිණෙන නෑදෑ හිතවතුන්ව අන්දන්නට පටන් ගනී..මෙතෙක් දවසක් කළුවට සිටි මනාලිය සුදුවට සිටිනු දකින ඥාතීහූ ඇඳ ගනිති...එසේමමනාල පාර්ශවයෙන් පැමිණෙන මීට පෙර ඇය දැක නොමැති අයද හොඳට ඇඳ ගනිති...සමහර වෙලාවට මනාලයාද ඇඳ ගන්නා අවස්ථා නැතිවා නොවේ..ඒ යෝජිත විවහාවලදීය..කඩි මුඩියේ යෝජනා ස්ථීර වීමෙන් කෙරෙන වෙඩිමකදී එසේත් විය හැක...

මෙකී නොකී බහුරූ කොලං වෙඩිමකදී දත හැක...කවදාවත් කෝට් බෑයක් ඇඳ නැති බුවාලා බොහෝ දුක සේ කුලියට ගත් පත කොට් බෑයකින් ශරීරය හිරකරගෙන අනාගතයේ තමන්ට විඳින්නට නියමිත දඩුවමට පෙර පුහුණුවීමක් ලෙස එදින ගෙවා දමනු ලබයි..පොටෝ කාරයින් දස අතේ පොටෝ ගසති...හැකි සෑම විටම වෙඩිමේ සැලැස්ම ඔවුනට ඕනා පරිදි වෙනස් කරති..ඒ වැඩකට ඇතුවාටම නොව ඒ හරහා ඔවුන් වෙහෙසෙන ආකාරයක් පෙන්නා දීමටය...

බතක් උයා මසක් මාළුවක් හොදි වෑංජනයක් එක්ක කෑම වේලක් රසවත්ව ගුනවත්ව ලාබෙට කල හැකි වූවද එදිනට එක පිගානක මිල දිළිඳු පවුලක සතියක වේල පිරිමසන්නටත් සෑහේ...

ගෙවල් දොරවල්වල හුණු ටිකක් උලා වත්ත පිටිය සුද්ද කර මඩුවක් අටවා මගුල් කෑම සිද්ධ වූයේ අපි කුඩා කලදීය..අද ඒ සඳහා උත්සව ශාලා හිමියන්ට ජාති ණය ගෙවිය යුතුය...මා කුඩා කල උත්සව ශාලාවක මඟුලක් ගන්නවා යනු පහත් ක්‍රියාවකි...එසේ කරන්නේ ඉන්නට හිටින්නට තැනක් නොමැති අය සේ සැලකීම එයට හේතුව විණි..

නමුත් අද ගෙදරක උත්සවය ගැනීම අවමානයකි...අවසාන වශයෙන් මේ ආකාරයේ වෙඩිමකින් ලාභ ලබන්නෝ බොහෝය...කාර් කුලියට දෙන අය..අන්දන අය..පොටෝ ගන්නා උදවිය..උත්සව ශාලා හිමියන්..ආහාර සපයන්නන්..බාර් කාරයන්... ඇයි ඒ විතරක්ද..?කේක්..

කේක් කියනකොට මට මතක් උනේ මේ ඊයේ පෙරේදා අපේ නංගි කෙනෙක් කියපු කතාවක්..එයා වෙඩින් කේක් ඇනවුම් බාර ගන්නවා...මං ළගකදී එහෙ යනකොට හෝ ගාලා වැඩ..ඉතිං මං නිකමට වගේ ඒවායේ ගණන් හිලවු අහන කොට දන ගත්තේ නගාට ඒ එක කේක් කෑල්ලකට රුපියල් 35ක් ලැබෙනවා කියන එක..නමුත් එයත් පාඩු වගයි කියන්නට යෙදුනේ..ඒ තිස්පහ අර පෙට්ටි මුකුත් නැතිව කේක් කෑල්ලට විතරයි..ඔය වගේ බැළුවහම පෙට්ටියත් එක්ක එද්දී හතලිහක් පණහක් වෙයිනේ..ඒ ඔඩරය කෑලි 600කට කිව්වා..එතකොට එතනම තිස්දාහකට ආසන්න මුදලක්..හනේ ඉලවුවේ... මේපුංචි කේක් කෑල්ලක් මිනිස්සුන්ට කවන්න මුංදලා වියදං කරන සල්ලියක්...අනිත් ඒවට කොහොම ඇද්ද..?

ඉතිං මං කිව්වත් වගේ ඔය හැම එකකම අවසානය කොහේවත් නැති මුදලාලිලා ටිකක් පොහොසත් වෙන එක තමා..ඇත්තටම වෙඩිම ගන්න අය බලන් ඉන්නේ වෙඩිමට එන අය දෙන මුදලින් ලාභ ලබන්න..ඒත් එහෙම වෙනවද කියන එකනං මං හරියටම දන්නේ නැහැ..වෙඩිමට යන අයත් රුපියල් දෙසීයක් නොවටිනා කෑම එකක් කාලා දාහා හමාර පූජා කරලා එනවා..ඒත් ඒ සල්ලි වැඩි හරියක් යන්නේ අර මං කිව්ව මුදලාලිලාට මිසක් මනාල යුවල අතටනං නෙවෙයි..

අන්තිමට කාපු වෙඩිමකුත් නැහැ අතේ සල්ලිත් නැහැ...බැඳලා අවුරුද්දක් යනකල්ම ණය ගෙවපංකෝ...
ඊට එහා වෙඩිමට යන උන්ට වෙන දේ...මාසෙකට ඔහොම වෙඩිමක් දෙකක් සෙට් වෙනවා කියන්නේ සාමාන්‍ය පවුලකට දෙයියන්ගේම පිහිටයි කියන එක තමා...

අළුතින් කමිසයක් කලිසමක් සාරියක් පොඩි උන්ට කන්න දෙයක් ..ඒ මුකුත්ම නැතිව බොහෝම අමාරුවෙන් රෝල ගහන උන්ට අරෙහෙම වෙඩිමක් දෙකක් සෙට් උනහම ඇති වෙන සෙතේ මං කියන්න ඕනද..?

ඔන්න දැන් තියෙන වෙඩිං...

මං මේ කියන බුදු වෙඩිමත් එහෙම වැඩක්...

වෙනදා වගේම වෙසක් කාඩ් එකේ පටන් වෙසක් කූඩු..කොඩි...බලුබ් වැල්..තොරණ්... දන්සැල්...ඒ විතරක්ද බණ මුදලාලිලා මෙහෙයවන ධර්ම දේශනා... මෙකී නොකී සෑහෙන දේවල් කෙරෙවි.ගමේ උදවියගෙන් බලෙන් මෙන් එක් රැස් කෙරෙන ආධාර මුදල් විය පැහැදම් කොට අල්ලපු ගමේ දන්සැලට වඩා මාළු පිණී වැඩි දන්සැලක් දෙන්න සංවිධායක කමිටු පොරකාවී...එදාට..ඒ කියන්නේ දන්සැල දවසට ගමේ ගෙදරක එක බත් හැළියක්වත් නොයිදේවී...හැමෝම දන්සැලට පැමිණ සිත් පුරා කා..අත්පුරා පාර්සල් බැඳගෙන ගෙවල්වලට ගෙනියති..සමහරුනං ශිතකරණවල දමාගෙන පහුවදාටත් රත්කරගෙන කති...

තවත් අය වට කරගෙන කූඩුවක් ගහගෙන ටිකට් කඩා පොලිමේ සෙනග ගෙන්නවා කූඩුව පෙන්නාවි... තොරන් ගාව තරගයට කවි කියවමින් පැමිණෙන අයගේ තුට්ටු දෙක ඩැහැ ගැනීමට සැරසේවි.

පොඩි අප්පු සිංඥෝ
සත පණහක් දුඤ්ඤෝ
ඒ පින ලැබ ගඤ්ඤෝ
නිවන් පුරට යඤ්ඤෝ

එසේ අසා ගැනීමට රිසි බොහෝ දෙනා අල්ලපු ගෙදර දරුවන් වෙසක් සැරසිලි බලන්නට යන්නට වත්කමක් නොමැතිව සිටිනු දැක දැක ඔවුන් අතැර දමා පැමිණ තොරනට මුදල් ආධාර දෙති..නම් කියවා ගනිති...

පිනට දහමට සතයක් වැය නොකරන මුදලාලිලා මුලින් තමන් අතින් ආයෝජනය කොට තොරන ගස්සවා..පසුව ආධාර මුදල් හරහා වියදම් පියවාගෙන තමාගේ සද්ගුනවත් නාමයද රක්ෂා කර ගනිති.

වෙසක් කලාප රට පුරා ඉඳි වනු ඇත. සැම තැන තොරණ විකුනනු ඇත... දන්සැල් පෙරලගෙන කති. ඒ අවසන හවසට ඔළු බක්කෝද නටනු ඇති...මුදල් ගෙවා මුචලින්ද නාග දරණය..මැටි පහන් කූඩුව නරඹනු ඇති...පැයකට රුපියල් දස දහසේ සිට ඉහළට අය කරනු ලබන ධර්ම භාණ්ඩාගාරිකලා වෙසක් දින දෙකේ පැය කිහිපය උපරිම ඉහළ ගණන්වලින් අලවි කරනු ඇති...

මිනිසුන් බුදු වෙඩිම ගන්නේ මෙසේය... පිළිවෙත මොන බම්බුවක්දෑයි සිතෙනු ඇත..ඊට වඩා මෙය කොතරම් ආතල්දැයි සිතනු ඇත...පෝයදාට මස් මාළු නැති හෙයින් පෙරදින සවසම හැකිනම් මස් මාළු ටික ගෙනවිත් ශීතකරණයේ තැන්පත් කර ගනිති. බෝතල් පිළීබඳව කතාවද එසේමය...

මේ මා කියන්නට යෙදුණේ තිත්ත නමුත් අද පවතින ඇත්ත කතාවය...
ඔබත් මාත් ඇතුළු සියළුම දෙනා කරන්නේ සම්මාදම් වන්නේ මෙයට නොවේද..?

මේ අතර තුරදී වෙනදා මෙන් පෙහෙවස් සමාදන් වන උවසු උවැසියෝද වෙනසක් නැතිවම කරගෙන ආ පින් දහම් එලෙසින්ම කරනු ලබන අයද නැත්තාහු නොවෙති. නමුත් වැඩිමත්ම සිදු වන්නේ ඔය මා කී ටිකම පමණි.

.......................................................

විය යුත්තේ එයද..? 2555 පහට 45ක් එකතු කර හෝ හදා ගත් 2600 යේ සම්බුද්ධ ජයන්තිය සමරන්නට මීට වඩා ක්‍රමයක් ඇත්තේම නැද්ද...?

එක දවසක මගුල් ගෙයකට ලක්ෂ ගණන් වියදම් කරන අපි...පුංචි කේක් කෑල්ලකට තිස් හතලිස් දහ වියදම් කරන අපි... තොරණ් ගසා දන්සැල් කියා තමුන්ම උයාගෙන තමුන්ම කන ආකාරයේ වැඩ කරන අපි..ඒ හැම දේටම වඩා හරයක් ඇති දෙයක් කරන්නට සිතන්නටම බැරිද..?

මෙතැන් පටන් මම ඔබට කිසිවක් යෝජනා නොකරමි...ඔබ සියල්ලන්ම බුද්ධිමත් මිනිසුන්ය..හිතන්නට මොළයක් ඇතිව සිටිනා අයවළුන්ය...

දහස් ගනන් දුගී දරුවන් ඉගෙනුමට වියපැහැදම් නැතිව අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නා රටක..

වේලක් කෑවොත් ඊළග වේල ලැබෙනකල් විශ්වාස නැති අසරණයින් ඉන්නා රටක...

ළමයා හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ඇතුල් කල ගෑනු මනුස්සයට අවශ්‍ය යැයි ඉස්පිරිතාලෙන් දෙනු ලබන චීත්ත බෙඩ් ජැකට් ඉටි කොල සිරින්ජර ආදී බඩු ලැයිස්තුව ගන්න අතේ සතේ නැතිව ඉස්පිරිතාලේ බංකුවට වෙලා දහ අතේ කල්පනා කරන මිනිසුන් ඉන්නා රටක...

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දුන්න බෙහෙත් තුණුඩුවේ ෆාමසියෙන් ගත යුතුව ඉතිරි වූ බෙහෙත් ටික ගන්නට බැරිව සුසුම්ලන මිනිසුන් ඉන්නා රටක...

තමන්ට කියා ඉන්න හිටින්න තැනක් නැතිව පාර අයිනේ අටවාගත් නිවසක ජීවිත ගෙවන මිනිසුන් ඉන්නා රටක...

වැදූ දරුවා රැක ගැනීමට නොහැකිව මහ මග දමා යන අම්මලා ඉන්නා රටක...

පාරක් පාරක් ගානේ යමින් එමින් මිනිසුන්ගේ පොළු මුගුරු පහරවල් කනවා හැර වෙනත් යමක් කෑමට නොලැබෙන බලු කුරුවන් අපමණ සරණා වීදි ඇති රටක...

මට ඔබට මෙය කරන්න මෙය කරන්න යැයි කියා අමුතුවෙන් සිහිපත් කල යුතුයැයි මා නොසිතමි..එය ඔබට භාරය...

අවසාන වශයෙන් මෙයට ප්‍රථමව මා ලියු ලිපියේ තැනක සඳහන් කරන්නට යෙදුණු කරුණකට සම්බන්ධ කතාවක් මම කෙටියෙන් පවසන්නම්...

ඒ මෙයට වසර 4කට පමණ ඉහතදීය...
ස්ථානය ඇඹිළිපිටිය නගරයට කිලෝමීටර කිහිපයක් මෙහාට වන්නට ඇති කොබ්බෑ කඩුව හන්දියෙන් හැරී පනාමුරේට යන පාරේ මද දුරක් ගමන් ගන්නා විට හම්බ වෙන ගල් අමුණ නම් ගම්මානයක කෙලවර වූ කුඩා පන්සලකි.

මමත් අප පළාතේ නායක හිමි නමකුත් තුන් රෝද රියකින් ගල් අමුණ බලා වැඩම කරන්නට යෙදුණේ එහි ඊට පසුවදා දිනයෙහි පැවති දානමය පින්කමකට සහභාගී වීම පිණිසය...එම දානමය පින්කම පැවතියේ නායක හිමියන්ටත් මටත් හිතවත් වූ මේසන් බාසුන්නැහේ කෙනෙක්ගේ නිවසෙහිය...

පින්කමට ප්‍රථම දිනයෙහි එහි ගිය අප හට එම නිවසෙහිම නවතින්නට යැයි කීවද හතර දෙනෙකුටවත් හැරෙන්නට ඉඩක් නැති නිවසෙහි අප රැඳී සිටීම ඔවුනගේ කටයුතුවලට බාධාවක් බැව් හොඳින්ම වැටහිණි.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ ගමන් කිහිපයක්ම මීට ඉහතදී අප දෙදෙනා විසින් ගොස් තිබූ පළපුරුද්ද නිසාවෙන් හැකි සෑම විටම අප යන තැනට නුදුරෙන් ඇති පන්සලක නැවතීම අප දෙදෙනාගේම පුරුද්ද විය.

ඒ අනුව අප එදිනත් අසල පන්සලක නැවතිය හැකි බව කියා අප පැමිණී රථයටම එම නිවසින් මග පෙන්වන්නකුද ගොඩ කරවාගෙන ගියේ රථය නැවතත් නිවසට එවා අප එහි ලැගුම් ගැනීමේ අරමුණීනි...

කළුවරේම ගිය පාරක් ගැන මට වැටහීමක් නොතිබිණී..නමුත් පාරකට වඩා අගලකට සමාන මාර්ගයක් ඔස්සේ විනාඩි විස්සක් පමණ හෙමි හෙමින් ගමන් ගත් අප අවසානයේ යාන්තම් පහන් එළියක් දැල්වෙන තැනකට ලගා වීමු.එම පහන් එළියට මීටර් පණහක පමණ දුරකින් රථය නවතා ගන්නට වූයේ එතැනින් එහාට ගමන් කිරීමට නොහැකි බැවිනි.
අප පන්සලට ගොඩ උන පසු රථය ආපසු හරවා යැවිණි...

එහි සිටියේ එක් හිමි නමක් පමණි...ආවාසය කොටසක් ඉලුක් හා මුදුනට ආසන්න කොටස උළු හෙවිල්ලා සකස් කල කෑලි දෙකකින් සමන්විත එකකි. ආවාසයට ඉදිරිපසින් ඇතුල් විය යුත්තේ හිස බිමට නවාගෙනය නැතිනම් වහලයේ වූ ඉළුක් මුහුනෙහි ඇනෙයි...

ඇතුල් වූ විට පැරණි පිල් කණ්ඩියක් වැනි කොටසත්..ආවාසයේ ඇතුලත එකම කොටස කබඩයක් තබා දෙකට බෙදාද තිබුණි...අප ආ විස්තරය කියා නවාතැන් ඉල්ලා සිටි අතර වැඩ උන් හිමි නම බොහෝ අසරණව
"ඉන්නනං බැරියෑ..හැබැයි ඉතිං ඒ හැටි පහසුකමක් නං නැහැ"
යනුවෙන් පවසන ලදි.

එය අපට ගැටළුවක් නොවුනෙ අප දෙදෙනාම මෙවන් දුෂ්කර ගමන්වලට හුරුව සිටි බැවිනි.
පන්සල පුරාවටම කුප්පි ලාම්පු දෙකක් විණි..එයින්ද එකක් නිතර දල්වනු ලැබුවේ නැත..ඒ තෙල් පිරිමසා ගැනීම සඳහාය..දල්වා ඇති කුප්පි ලාම්පුව සැමට ආලෝකය සැපයිය යුතු විය...අප ගොස් මඳ වේලාවකින් මුහුනෙහි වීදුරුව බිඳුනු කුඩා විදුලි පන්දමක් රැගත් හිමිනම ගමේ මළ ගෙයකට ගොඩ වී යන බව පවසා ගියේ අමාරුවෙන් කන්න ටික දෙන උන්ගේ මලගෙදරට ගොඩ වෙලා හෙට වැඩ ටික කෙරෙන හැටි කතා කරගෙන එන්නනට ඕනෑ..උන්ට මෙහෙ එන්න වෙලාවක් නැහැ යනුවෙන් පවසාය..ඇත්තෙන්ම අප ආ මගෙහි නිවෙසක මළ ගෙයක ලක්ෂණ තිබුණි...

උන් වහන්සේ ගිය පසු අප ආවාසයේ ඉදිරි පස හා පසුපස කුප්පි ලාම්පුවේ ආධාරයෙන් විපරම් කර බැළුවෙමු..පිටුපස දොරින් එළියට බැසි විට හමු වන්නේ ආවාසයටම අල්ලා බාන ලද ඉළුක් හෙවිලි කල පැලැල්ලකි..එහි බිම කළු ගල් තුනක් තබා සැදි ලිපක් වූ අතර එය පත්තු කල කාලයක්නම් සිතා ගත් නොහැක...
ඒ හැර පැරණි ‍තේ පෝච්චියක් එහි තිබූ භාණ්ඩ විය...
ආවාසය තුල තත්වයද එසේමය..වසා දැමූ තරමක් උස පැරනි අල්මාරියක් වැනි කබඩයකින් එය වෙන් කොට තිබිණී..ආවාසයෙහි එක් ඇඳක් හා බූරු ඇඳක් විය..පැදුරු කිහිපයක් පසෙක විය...

පිටතට ගිය හිමිනම පැය බාගයකින් පමණ පසුව ආපසු ආවේය..ඒ එන විට උන්වහන්සේ අත කුඩා ගොටුවක් වැනි යමක් විය..ඒ තේ කොල හා සීනි ඇබින්දකි... ඒ අප වෙනුවෙන් තේ කහට ටිකක් වත් කරන්නටය..

එහි ඇති තත්වය මනාව අවබෝධ කරගෙන උන් අපි උන්වහන්සේ ඒ සඳහා නොවෙහෙසවා නිදා ගන්නට ඇත්නම් ඒ මැනවැයි යනුවෙන් පවසා උන්වහන්සේගේ ඇඳ උන්වහන්සේටම තබා නායක හිමියන් බූරු ඇදෙහිත් මා බිම එළාගත් පැදුරු කඩමාල්ලකත් නිදා ගතිමි...

පසුවදා පාන්දරට එළඹිණ...අපගේ උර මල්ලේ වූ දත් බුරුසු අතට ගෙන එළියට ගිය විට පිටුපස දොරට මීටර් හයක් පමණ ඈතින් බිම සිමෙන්තියෙන් බැඳි කුඩා ටැංකියක් හා එයට වතුර ගලාගෙන එන අගල් බාගේ බටයකින් සමන්විත ජල කරාමයක් තිබුණු අතර ප්‍රධාන ජල ටැංකියක් හෝ අන් යමක් නොවූ හෙයින් ඒ පිළිබඳව විමසා සිටි පසු උන් වහන්සේගේ පිළිතුර වූයේ එම ජලය මෙහි එනු ලබන්නේ සැතැප්ම ගණනක් එපිටින් සිට බවත්..එයත් මීට ප්‍රථමව අප කිහිප විටක්ම දැන උන් ව්‍යාපෘති කිහිපයකම නියමුවාණන් වූ "ඕමල්පේ සෝභිත" හිමියන්ගේ මැදිහත් වීමෙන් දුෂ්කර පන්සල් සඳහා ලැබෙන තවත් එක් සේවාවක් බවය...

නායක හිමියන් දත් මදිනා අතරෙහි..මා වට පිට බැළුවේ වැසිකිළිය තිබෙන තැන සොයා ගැනීමටය..එවිට පන්සලේ වැඩ සිටි හිමියන් ඊට පාර පෙන්වීය...ආවාසයේ සිටඑහි පිටුපස කැලය මැදින් මීටර් විස්සක් පමණ බටහිර දෙසට ගොස් තවත් මීටර් විස්සක් පමණ වම් පසට ගිය විට වැසිකිළියක් හමු වේ...

ඒ යන අතර වාරයේ කැප්පෙටියා ගාල් ඇග පුරා දැවටේ...රෑ පුරා බැන්ඳ මකුළු දැල් අතරින් යා යුතුය..මා ජීවිත කාලෙටම පියවි ඇසින් දැක ඇති විශාලම මකුළු දැල එදා දුටුවෙමි...රිටිගල රක්ෂිතයේ ඇතුළු වීමට තහනම් සීමාවෙන් ඉහළට එක් වරක් ගමන් ගත් දින කඳු මුදුනෙහිදී හමු වූ දැල එයට වඩා තරමක් කුඩාය..

වාසනාවට දැල තිබුනේ මාර්ගය හරස්කොට නොවුන බැවින් එයට හානියක් නොවන ආකාරයෙන්වැසිකිළිය කරා ගියෙමි...වැසිකිළිය වල වැසිකිළීයකි..එහි වැසිකිළි පෝච්චි නැත.ඇත්තේ බිමට දැමූ කොන්ක්‍රීටය හරි මැදට වන්නට ඇති සෘජුකෝණාස්‍ර හැඩැති කුඩා කටකුත් එහි සෙපස ඇති පා රැඳවිය හැකි සිමෙන්ති කට්ටා දෙකකුත්ය... මෙය මට එතරම් නුහුරු අත්දැකීමක් නොවේ..ඒ අපගේ නිවසේද මා කුඩා කල තිබුනේ එවැනි වැසිකිළියක් වීම නිසාය..යාන්තම් මට වයස දහයකට පමණ ආසන්න වද්දීය එය වෙනුවට වැසිකිළි පෝච්චියක් සවිකල ජල මුද්‍රිත වැසිකිළියක් අපට සාදා ගැනීමට හැකියාව ලැබෙනුයේ...

වැසිකිළිය ඉදිරි පිට පොඩි මුට්ටියක් ඇත..ඔබ කවුරුත් දන්නා හදුනන බෝධිය නැහැවීමට පැන් ගෙන යන කුඩා පැන් කලයකි එය..
එයත් රැගෙන ආපසු ජල කරාමය වෙත පැමිණ වතුර එකක් පුරවාගෙන වැසිකිළීයට ගියෙමි...
එක් වරම කලබල වූ වවුලන් කිහිප දෙනෙකු වැසිකිලි වල තුල හිඳි පිටතට පියාඹා යන ලද්දේ මාගේ පශ්චාත් භාගයේම හැපීගෙනය..
මෙය කියවන ඔබටනම් එය සිනහා වීමට හේතුවක් විය හැකි මුත් මා එහි ගත කල විනාඩි කිහිපය ගත කලේ කෙසේදැයි මට අදටත් සිතා ගත් නොහැක. ඒ තවමත් වල තුල රැදී සිටිමින් ඉවතට පියඹා යන්නට සැරසෙන වවුලන් කිහිප දෙනා පිළිබඳව වූ විචිකිච්ඡාව මතය...ඇත්තටම එය මට අමතක නොවන අත්දැකීමකි... සිතුවිලි සමඟ පොරබදිමින් යාන්තං ගිය වැඩේ කර අවසන් කල මා ඉවතට ආවේ ඉන්දියාව අත්පත් කරගත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මානසික තත්වයට සමානවය...

ඒ සමගින්ම කල බල වූ විශාල හොටයක් සහිත කෑදැත්තෙකු මහා භයංකාර ශබ්දයක් නංවාලමින් මා හිසට ඉහළින් පියාඹා ගස් අතරින් නොපෙනී යන ලදි...ඔය මා එක දිනකදී ලද අත්දැකීමය... එහි වෙසෙන ස්වාමීන් වහන්සේ දින පතා මුහුණ දෙන අතවරය කෙසේ විය හැකිද..?

උදෑසනින්ම පැමිණි තුන්රෝද රියෙහි නැගුණූ අප උන්වහන්සේට ස්තූති කොට අප සතුව තිබූ යම් මුදලක්ද පිරි නමා එයින් පිටව ආ අතර ඊට පෙර පන්සලේ බණ මඩුවද දැක ගතිමි.එය මැටියෙන් කොට බිත්ති ගසා වල් ලී කණු සිටුවා වහලට දිරාපත් වූ ටකරං තහඩු හා ඉටිකොල කලවමේ හෙවිල්ලා ඇත්තකි..තවත් පසෙක තරමක් දිගට අත්තිවාරමක් දමා තිබුනේ ධර්ම ශාලාවක් හා බුදු මැදුරක් සඳහා එකම ගොඩ නැගිල්ලක් තැනීමටය.. බෝධීන් වහන්සේ අනිකුත් ගස් වැල් අතරම සැගවී තිබූ අතර වෙනසකට තිබුනේ ඒ ඉදිරි පිට කණුවක ලෑල්ලක් ගසා තිබීමය..එය අප කුරුල්ලන්ට කෑම දෙන්නට සාදන ලෑල්ලක් වැනිය...මුළු පන්සලේම තතු ඔපමණය...

මා එයට වඩා කතාව නොකියමි...
සම්බුද්ධත්ව ජයන්තිය හෙට අනිද්දාට එළඹෙනු ඇත...
එය බුදු වෙඩිමක් කරන්නට ඔබට හැක..නමුත් එය ඊට වඩා හරවත් යමක් බවට හැරවීමට ඔබට හැකිදැයි ඔබ සිතනවාද..?

................................................
පසු සටහන..
මෙහෙම දිගට ලියන එක කියවන්න කරදරයක්නං ඉතිං මට ඒකට කරන්න දෙයක් නැතිවා..දෙකට කඩන්න ඇහැකි තැනක් මට හිතා ගන්නත් බැහැ.අනේ මංදා...