29 June 2011

මාරයාගේ 400...කොමෙන්ට්..ෆලෝවර්ස්ලා සහ හිට්ස්...

ආයේ ඉතිං අටුවා ටීකා ටිප්පණී අනවශ්‍යයි...
කාරණේ මෙච්චරයි...
අවුරුද්දයි මාස අටක්..එහෙම නැත්තං මාස විස්සක් විතර වෙන මගේ මේ බ්ලොග් රාජයාගේ 400 වෙනි ලිපිය තමා මේ...

මුලදී පටන් ගත්තේ මෙන්න මෙහෙමයි...

"ඉතින් අද ඉදලා මාරයා වන මම මටම වෙන් වූ හෝරාවෙ මෙ විදියට ඔබ හමුවට එනවා. මෙ අවස්ථාව සලසා දුන් කාලිංග මහත්මා ඇතුළු සිංහල බ්ලොග් කරුවන්ට මගේ ප්‍රණාමය...
ඇත්තටම මම තාම කල්පනා කරලා නැහැ මෙ සටහන මොන විදියට ලියනවද කියලා. කොහොම උනත් කාටවත් කරදරයක් නැතිව මෙය කරගෙන යාමට හිතාගෙන හිටියත් මම හරියි කියලා හිතන දෙවල් පිළිබදව දිගින් දිගට වාද විවාද කරනන් මම කැමතියි. ඒ කියන්නෙ මම කියන හැම දේම මමම හරියි කියනවා නෙවෙයි. මම වැරදි නම් එ වැරද්ද නියම විදියට ඔප්පු කලොත් එ වරද හදා ගන්නත්, මම නිවැරදි නම් එ දෙ අනුන්ටත් විශ්වාස කරවීමත් තමයි මගේ කාර්යය. කොහොම උනත් එදිනෙදා සමාජයේ ගැටළු පිළිබඳව මාත් සංවෙදී පුද්ගලයෙක්. ඒ වගෙමයි මට මම විශ්වාස කරන දේශපාලන මතයක් තියෙනවා. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා.සමහරු කියන්නා වගේ මම කිසිම දෙශපාලන පක්ෂයකට නැහැ කියලා බොරු කියන්න මට ඔන නැහැ. හැබැයි මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි.අපි කවුරුත් දේශපාලනික සත්වයිනේ...නැද්ද?"

ඔහොම පටන් ගත්ත බ්ලොග් එකේ පලමු කමෙන්ටුව පෝස්ට් එක වැටිලා දවසකට පස්සේ පල උනා මෙන්න මෙහෙම

"

කිසිම භයානක ගතියක් නෑ. හැබෑටම මාරයාමද? එහෙනම් බලමුකො මාරයා මොන පක්ෂෙද කියල.



අනේ මේ verification එක අයින් කරමු

28 June 2011

සුභ රාත්‍රියක් වේවා...!

ඔන්න අද මං හොඳ ළමයෙක් උනා...
උදෙන්ම බලය ජවය ශක්තිය ගැන කියල හෙම පටන් ගත්ත දවස බොහෝම සාර්ථකයි..පහු ගිය දවස්වලටත් එක්ක හරියන්න අද හොඳටම වැඩ කලා... හෙටට කරන්න කියලා ප්ලෑන් කරගෙන හිටිය වැඩත් අදම ඉවර කරලා දාන්න ඇහැකි උනා නෙව...

පහු ගිය දවස්වල මං හිතුවේ මේ බ්ලොග් එක ලියන එකයි අනිත් පිස්සු වැඩයි අඩුම කරලා වැඩම කරනවා කියලා..එහෙම කරලා විවේකයක් හම්බ උනාම විතරක් මේක ලියනවාකියලා..ඒත් ඒ ක්‍රමයේ මොනවද මංදා අවුලක් තිබුනා..ඇත්තටම දැන් මට බ්ලොග් එක ලියන එකත් කනවා බොනවා නිදියනවා වගේම දෙයක් වෙලා වගේ..

කොටින්ම බලාගෙන ගියහම මේක ලිව්වම තමා මට අමුතු පණක් එන්නේ..මට ඕක හිතුන හින්දම අද උදේම අර පරණ ක්‍රමේටම පටන් ගත්තා මගේ හෑලි ලියන ක්‍රමේටම ලියන්න.ලිපියේ දෙයක් ඇතා නැතා මං ලියවෙන අතේ ලියන්න ගත්තා..කොහොම හරි උදේම එක පෝස්ට් එකක් දාලා දාන්න ඇහැකි උනා...

අන්තිමට ඒ කරලා ඉවර වෙලා වැඩ පොලෙන් ඇවිත් මං මගේ කාර්යාලයට ඇවිත් වැඩ පටන් ගත්තා..යකඩෝ මෙන්න වැඩ කෙරෙනවා එකසිය ගාණට..අදට මං බෙදලා දාං හිටිය වැඩයි හෙටට දාපුවයි ඔක්කෝමත් කරලා අන්තිමට පහු ගිය දවස්වල මට මග ඇරිච්ච ලොකුම දෙයක් කරන්නත් හම්බ උනා..ඒ තමා මගේ බොලොගෙට වැටෙන කොමෙන්ට් වලට උත්තර බදින එකයි...හීනියට මඩක් එහෙම ගහන එකයි..

දෙයියනේ කියලා ඒකත් කෙරුනා..පහු ගිය දවස්වල ඔය වැඩේ බොහෝම කැත විදියට මට මග ඇරුනනේ..අද ඒ අතිනුත් දවස හොඳයි..කොහොම හරි අද ඔය විදියට වැඩ ටික පිළිවෙලක් කරලා අහවර උනාම මට හිතුනා තව වෙනසක් කරන්න...

ඒ තමා අද මං රෑට දොයියන්නේ මගේ කාර්යාලෙම තමා ඕං..හවස 5ට මේක වහලා මගේ කාමර පොජ්ජට මංදො කොරලා නාලා කොරලා ආපහු මේ අහට ගෑටුවා..නිකං නෙවෙයි කන්න බොන්න දේවළුයි මදුරු කොයිල් එහෙකුත් අරගෙන..මොකද මෙතන මදුරුවෝ ඉන්නවද නැද්ද කියලවත් මං දන්නේ නැහැනේ තාම..හැබැයි එකක් අඩුයි අද..? ඒ තමා මගේ හුලං පෙත්ත..මට හුළං පොදක් නොවැදී නිදා ගන්ට හරි අමාරුයි බොලල්ලා... දාඩිය දැම්මොත් නං දවස කම්මුතුයි..නිදා ගෙනත් අහවරයි..

ඒත් ඕන වෙඩිමක් කියලා අද මං මෙහෙ ඉන්නවා..මොකද තව වැඩක් ටිකක් කරලා දාන්ටත් ඇහැකි මෙහෙම හිටියම...අනිත් එක මෙහෙට හොදට සිග්නල් කාරිය එහෙම තියෙන හින්දා නෙට් එකෙත් ටිකක් කරදරයක් නැතිව එල්ලිලා හිටිය හැකි..අනිත් දේ තමා මං හිතං ඉන්නේ මෙතනම පදිංචියට එන්න නෙව..ඉතිං මෙතන තත්වේ කොහොමද කියලා තීරණය කොරන්ටත් එක්ක අද රෑ මෙතන ඉඳලා බලන්න ඕන...

බස් හෝල්ට් ගානේ බුදියපු එකාට මේක මොන කජ්ජක්ද..? දාඩිය දැම්මොත් පැදුරක් එළාගෙන නිදියනවා පිටිපස්සේ තියෙන කොරිඩෝ එකේ..එච්චරයි විසඳුම...

ඉතිං ඔන්න ඕකයි අද මේ වෙනකොට තත්වේ...
හෙට උදේට බලමු ඉතිරි විස්තරේ..

එහෙනං හැමෝටම සුභ රාත්‍රියක් වේවා කිව්වා..!

දවස පටන් ගන්න..බලය ජවය..ශක්තිය සමඟින්...මාරයාගේ රහස්...

වෙලාව හතට කාලක් විතර ඇති...
මං දවස පටන් ගන්නයි හදන්නේ..මූණ කට හෝදලා තේ එකක් එහෙමත් හදාගෙන බිව්වා..මං සාමාන්‍යයෙන් තේ බොනවා අඩුයි..විශේෂයෙන්ම උදේ පාන්දරම...ඒත් සමහර දවස්වලට හිතුනම බොනවා..ඒත් කිරි තේනං බොන්නෙම නැහැ. එක්කෝ කෝපි..නැත්තං සීනි ටිකක් වැඩි කරලා ප්ලේන්ටි..බඩගිනි වැඩියි වගේනං අර දවස පටන් ගන්න කියන මොකක්ද එක..ඒත් ඒක දැන් ඉස්සර වගේ රසත් නැහැ..සුවඳත් නැහැ..

අදනං ගහලා ඇරියේ සීනි ටිකක් වැඩි ප්ලේන්ටියක්..උදේම හිස් බඩට බොන ප්ලේන්ටියට සීනි චුට්ටක් වැඩි කරන්න මං පුරුදු වෙලා ඉන්නේ..නැත්තං කහට ගතියට බඩේ දැවිල්ලක් වගේ අල්ලන්න පුළුවන් හින්දයි...එතකොට බඩේ අවුලක් නැහැ...

තව ටිකකින් ඒ කිව්වේ අටට විතර මෙතනින් ඕෆ් වෙලා ගිහින් මේ ළග තියෙන රජරට කඩෙන් උදේට බත් පිගානක් නෙලලා ඇරියම තමා ඕන්න දවස දුවන්න හයිය හම්බ වෙන්නේ..නැතිව ඔය කිරි පිටි ගහලානං මට හරියන්නේම නැහැ...

අර කිරිවල ඌරු තෙල් කතාවනං මං දන්නේ නැහැ..ඒත් මේ පැතිවල කිරි එකතු කරන තැන්වලිනුත් කිරිවල යොදය ටිකක් හරි අහක් කර ගන්නවා...මං ඕක හොඳටම දන්නේ මොකද ඒ එකතු කරන අයගේ පවුල්වල උදවියව මං ටිකක් දන්නවා..ඉතිං එහෙම යොදය අහක් කරන කිරිවලට කිරි එකතු කර ගන්නා සමාගම් මොනවා එකතු කරනවද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඔය කියන්නේ අපේ රටේ කිරි පිටි ගැන නෙවෙයි වෙන්නත් ඇහැකි..

හැබැයි මං එකක් දන්නවා දැන් තියෙන කිරි පිටි වලනං මොකක්ද මංදා ලොකු අවුලක් තියෙනවා..ඉස්සර තිබුන කිරි සුවඳ දැන් අඩුයි කියන එකනං කවුරුත් දන්න දෙයක්නේ.. ඒත් මං දැකපු තව දෙයක් තමා කිරි එකක් හදලා තියලා පැයක් විතර ගියාම ඒක උඩ යොදය මිදෙනවා...ඒක ඉස්සරත් මං දැකලා තියෙනවා..ඒත් දැන් තියෙන කිරිවල උඩ මිදෙන තට්ටුවනං අර ඉස්සර කිරි යොදයට සමාන කරන්න බැහැ..ඕනනං කරලා බලන්න..කිරි වීදුරුවක් අහක ගියාට ලොකු පාඩුවක් වෙන එකක් නැහැ.

මං කලින් වැඩ කරපු තැන උදේට හැමදාම ඉන්න හතර දෙනාට කිරි හදන්නේ මම..මොකද මට අනිත් අය හදන පදිමට බොන්න අමාරු හින්දා..එක්කෝ කිරි වැඩියි..එක්කො කහට වැඩියි..නැත්තං අඩියා..සීනි කවදාමත් එක පදමකට නැහැ..ඔය අවුල හින්දා මං ලොකුකම පැත්තක තියලා හැමෝටම කිරි තේ එක හදනවා... අනිත් සෙට් එකතු ඕකට බොහොම කැමතියි මොකද පදම හැමදාම එක ගානට හින්දා...

පන්සලක අවුරුද්දක් හිටියත් ඔය කිරි..කිරි කහට..ප්ලේන්ටි..කහට..ඔය හැම එකකම පදම නි‍යමෙට අල්ල ගන්න ඇහැකි. මොකද ඔය අපේ ලොකු හාමුදුවරුන්ට තේ හදන එක තරං අමාරු වැඩක් තවත් නැහැ..උන්නාන්සෙලට තියෙන අසනීප තත්ව හින්දා ඒ ඒ අයට තේ එක පවා හදන්න ඕන ඒ ඒ අනුවයි..මට ඉතින් ඉස්සර පලාතේ හිටිය ඔය කොයි හාමුදුරුවන්ගේ පදමට උනත් තේ එක හදන එක හොඳට පුරුදුයි..ඊට අමතරව වැඩි දෙනාට හරියන පොදු පදමත් වෙනමම දැන ගන්න ඕන මගේ පල පුරුද්ද ඉතිං අවුරුදු 6ක්නේ...


ඉතිං සමහර දවස්වල උදේට ඔය කිරි එක හදලා ඒ ඒ අයගේ කොප්ප වලට දානවා..අස් පස් කිරීම භාජන හේදීම ගොල බාලයෝ ටික කරනවා...

ඒත් සමහර දවස්වලට කට්ටියටම තේ හැදුවට සමහරුන්ට බොන්න වෙන්නේ නැහැ..එක්කෝ ලයිට් ඔෆ් කරන්න ගිය හාදයා එහෙමම නාගෙන කරගෙන එන්නේ..නැත්තං වෙන කතාවකට අහුවෙනවා..ඔහොම උනහම උන්දැගේ තේඑක හීතල වෙලා මේස උඩම තියෙනවා..මගෙ අප්පේ ඔන්න ඔහොම උන වෙලාවට බලන්න එපැයි අර තේ එකේ උඩ මිදෙන ඝණ තෙල් තට්ටුව..ඒ මදිවට වහුකුණු ගඳ... ඔන්න මට කිරි එපා වීමට මුල...දවසක් දෙකක්ම මේ දේ දැක්කට පස්සේ මම කිරි භාවිතය අත ඇරලා දාලා නිකං හිටියා..අදටත් ඉතිං කිරි අරහං...

එහෙමයි කියලා මට ඔය ‍කොළ කැඳ වැඩෙත් කරන්න අමාරුයි...නැත්තං මං ඉන්න මේ ලගම වගේ හොද පිරිසිදුවට කොළ කැඳ හදන අය ඉන්නවා..ඒත් කොල කැඳ බොන්න මං ඒ හැ‍ටි ආස නැහැ..ඒ හින්දා දැන් මං කරන එකම දේ උදේම බඩ පිරෙන්න බත් කන එකයි...ඉස්සර කුරුළු හමුදාවේ ඉද්දි උදේ හයට බත් කාපු මට ඕක මොකක්ද..ඇත්තටම උදෙන්ම බත් මිටක් පොල් සම්බෝලයක් එක්ක හරි බඩට වැටුනම දැනෙන සනීපේ...

ඉතිං දැන් දන්නවනේ ඔයාලා මගේ මේ යෝධ බල යෝධ හයියේ රහස...

ඔව් ඔව්..මං දන්නවා අදින් පස්සේ මේක බලන එකෙක්වත් උදේට බත් කන්නේ නැහැ කියලා...

(ඒත් ගණන් ගන්න එපා..මාත් දවස ගානේ බත් කන්නේ නැහැ උදේට..සතියකට දවසක් තියේ උදේට බිත්තර රොටී දෙකයි පරාට තුනයි නෙලන...කිරි පිටි කෙසේ වෙතත් පාන් පිටි දිනේවා..!)

27 June 2011

තවත් එක් මරණයක්...සිය දිවි නසා ගැනීම මොන වගේද..?

අද පෝස්ට් එකක් ලියන්න මගේ තුන් හිතකවත් තිබුනේ නැහැ. ඇත්තටම පහුගිය ටිකේම එහෙට මෙහෙට දුවලයි එක දිගට වැඩ කරලයි මට ජීවිතේ තිත්ත වේගන ආවේ..ගිය මාසේ හිටි හැටියේ ජීවිතේ වෙනසක් කරන්න හිතුනා..ඒ වෙනස් කරන්න ගිහින් මුළු ජීවිතේම වෙනස් උනා..

ඉන්න තැන..කන බොන විදිය..අළුත් රස්සාව..මේ හැම එකක්ම වෙනස් උනත් ඒ හරහා මෙච්චර කාලයක් නැවතිලා වගේ තිබුණ ජීවිතය දෙගුණයක් වේගයෙන් දුවන්න ගත්තා..මුලදි මුලදි ඒක මට අවුලක් නැති උනත් පස්සේ පස්සේ පුදුම ඒකාකාරී ගතියකුත් එන්න ගත්තහම තමයි තේරුනේ මං හොයන ජීවිතේ මේකත් නෙවෙයි නේද කියලා..?

ඒත් දැන් ආපස්සට අඩියක් තියන්න හොඳ වෙලාවක් නොවන හින්දා තව ටික දවසක් මෙහෙමම දුවන්න අමාරුවෙන් හරි හිත හදා ගත්තා... හැබැයි මුලට වඩා ටිකක් විවේකය ගැන බලන්න පටන් ගත්තා..මොකද මට සල්ලි පස්සෙම ජීවිතය ගෙවන එක කරන්න අමාරු හින්දා...

පහු ගිය ටිකේ මං පැයක වටිනාකම පන්සීයයි කියලා දිව්වා දිවිල්ලක්..හැබැයි ඒක ආර්ථික අතින්නං වේගවත් ගමනක්..ඒ හරහා පහුගිය කාලේ මට කරගන්න ඕන වෙලා තිබුන ඒත් ආර්ථිකේ හයිය නැති හින්දම නැවතිලා තිබුන ලොකු වැඩ දෙකක් කර ගන්න අවස්ථාව හම්බ උනා. ඒ තමයි මං මීට කලින් කාලයක් මාසයක් ගානේ කරපු පොඩි ශිෂ්‍යත්ව දෙක තුනක් ආයෙමත් ඉදිරි අවුරුදු දෙකකට විතර සෑහෙන්න පිළිවෙලක් කරලා දාන එක...සහ පෞද්ගලිකව මං මටම පොරොන්දුවක් දීලා තිබුනා මං දන්න කියන තැනකට උදව්වක් කරන්න. දෙයියන්ගේ පිහිටෙන් ඒකත් පිළිවෙලක් කරන්න පුළුවන් උනා.

ඔය කාරණා දෙක මට හිතට බොහොම වද දුන්න කාරනා දෙකක්.දැන්නං නිවන් ගියා වගේ..ඒත් ඒ කාරනා දෙක ඉෂ්ඨ උනාට පස්සේ ආයෙමත් අර පරණ විදියටම ජීවත් වෙන්න තිබුනනං කියලා හිතට හිතෙන වාර අපමනයි..ඒ හින්දා දැන් ටිකක් වැඩ කරන ස්පීඩ් එක අඩු කරලා ආයෙමත් හිමිහිට හුස්මක් අරං වැඩ කරගෙන යන්න ටික ටික හුරු වෙනවා..මට මේල් එවලා උත්තර පරක්කුයි වගේ කට්ටිය ගනන් ගන්න එපා ඒවට පිළිවෙලකට උත්තර හම්බ වෙයි. මොකද තියෙන වැඩ ඉවර වෙන පිළිවෙලට තමා අළුත් වැඩ වලට පණිවිඩ යවන එක කරන්න හදන්නේ.

මේ ගාණකට වැඩ කරන කල්පනාව හින්දම පහුගිය ටිකේ ටිකක් වැඩ අතරෙම ඔළුවේ අවුල හරියන්න කාත් එක්ක හරි කතා කර කර ඉන්නත් පටන් ගත්තා..ඔය මේ දවස්වල මාත් එක්ක කතාවට අහු වෙලා දවසෙන් වැඩි හරියක් නාස්ති කර ගන්න අය මට සමා වෙන්ට ඕන..මොනවා කොරන්නද පිස්සො කරේ දාගත්තම ඔහොම තමා.

ඒ හින්දම ඊයේ දවසේ මං ඔක්කෝම වැඩ පැත්තකින් තියලා උදේම පටන් ගත්තා දවසම බස් පදින්න...
ඊයේ දවසේ බස් පැදපු අය ඒ ගැන දන්නවා... කොහොම හරි කේන්දර බස් තුනක් කඩලා දාන්න ඊයේ හැකියාව ලැබුනා..මං හිතන්නේ මේ දවස්වල බස්වලට ලබලා තියෙන හෙනහුරු දසාව ඊයේනං නැති වෙලා ගියා.

දවල් දවස සාර්ථක හින්දා රෑ තව ටිකක් හොදින් ඉන්න කියලා හිතලා ගිහින් බාර් එහෙකට වෙලා ස්ට්‍රෝන් බියර් බෝතල් දෙකක්..(දෙකක් කිව්වට ලොකු එකයි බඩියයි) ගැහැව්වා...ඒකත් ටිකක් වෙනසක්..මොකද මං ගෙනල්ලා කාමරේට වෙලා සද්ද නැතිව බොනවා මිසක් බාර් වලට බොන්න යන්නේ නැහැ.ඒත් ඊයේ මට ගෙනත් බොන්න හිතුනේ නැහැ..මොකද මං දැන් ඉන්නේ කුළියට කාමරයක හින්දා එතන බොන එක හරි නැහැ වගේ දැනුන හින්ද..ඒ හින්දා ගිහින් අර විදියට ඒකත් කරගෙන ආවා..බාර් එකට වැඩි දුරකුත් නැති හින්දා එහෙම කලාට මොකද ආයේනං ඒක කරන්නේ නැහැ..මොකද බීලා බයික් එකට අත තියන එකට මං කැමති නැති හින්දා.. ඒ හින්දා ඒ බාර් යෑම ඊයෙන් අවසන්...

හැබැයි කොහොම උනත් ඊයේ දවස හොඳයි..මං කාලෙකින් හරි නිදහසේ උන්නා...ඒ විතරක් නෙවෙයි හුග කාලෙකට පස්සේ රෑ නවය විතර වෙද්දී මට නින්ද ගියා..මට මේ වේල පහ නින්ද යන්නේ නැති අවුල හින්දා ඇත්තටම පුදුම වදයක් විදින්නේ..ඊයේ ඒකත් හරි.. අද උදේ දවස පටන් ගත්තේ පුදුම සැහැල්ලුවකින්...

වැඩට යන්න පාරට බැස්සේ අද වැඩ සෑහෙන්න කරන්න ඕන කියලා හිතේ තියාගෙන..ඒත් ඔන්න මට කෙල වෙච්ච තැන...

පාරට බයික් එක දාලා මීටර් දෙසීයක් එන්න උනේ නැහැ කෝල් එකක්...මගේ සිකුරුටි ආයතනයේ බොසා...

"මිස්ටර් මාරයා..කොහේද ඉන්නේ..?"

"ආ සර් මං මේ වැඩට යන ගමන්.."

"අනේ මිස්ටර් මාරස්..බැරිද පොඩ්ඩක් අද අර පරණ තැන උදේ වරුව විතරක්වත් කවර් කරලා දෙන්න.."

මට නේද යක්ෂයා ආරූඪ උනා..මං ඔතනට ආයේ යවන්න එපා කියලා මං උන්දැට කිහිප වතාවක්ම කියලා තියේ..අන්තිම පාර කතා කර වෙලාවේ මං කිව්වා මං යන්නං හැබැයි එතන HR ගොයියා දැන් ඉන්න උන්ට දාන පාට් මට දාන්න ආවොත් මිනිස්සු ඉන්න තැනකටම ඇදලා ඕකට ගහනවා කියලා..මොකද ඒකා මං ඉන්න කාලේ නැති නීති හෙනට දාලා අපේ මිනිස්සුන්ට..උන් හරක් වගේ බර අදිනවා දැන් එතන...මං එතන දිවුවේ ඌට ඕන විදියට වහලෙක් වගේ නෙවෙයිනේ...ආයේ මට බැහැ ඒකට ඕන පද වලට නටන්න.

හැබැයි අපේ බොසා හොඳ හාදයා..මෑන් හිනා වෙලා එහෙම හරි හරි මාරයා මං මෑන්ට කතා කරලම කියන්නං මාරයත් එක්ක කේස් දාගන්න එපා..මොනවා හරි තියේනං මට කතා කරන්න කියලා..එහෙම පොරොන්දු වෙලා තමයි අන්තිම දවසේ ගියේ..ඒත් අදත් මෙන්න මාව කන්න හදනවා..

ආව කේන්තියට මෑන්ට මං කියාගෙන ගියා ටිකක් තදේට...අහ්..දැන් බලයි නේද මූ මොන බුවෙක්ද ලොක්කට එහෙම කතා කරන්න කියලා...

ඇත්තටම ඒක ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි..මොකද ඒ මගේ සාමාන්‍ය පිළිවෙල..බාර ගත්ත වැඩේ පිළීවෙලට කරනවනං ඊට එහා රෙද්දවල් මං කරන්න ලෑස්ති නැහැ..හැබැයි කරන දේ හරියටම කරනවා කාටවත් වැරැද්දක් අල්ලං මාව නෝන්ඩි නොකරන්නම. ඔය ප්‍රතිපත්තිය හින්දා මං කොතන වැඩ කලත් මෙච්චර දවසකට මට කවුරුවත්ම වචනයක් කියලා නැහැ. මෙතනදිත් ඔය විදියම තමා වෙන්නේ..අපේ බොසත් හොඳ මනුස්සයා..මෑන් දන්නවා මගේ වැඩ කොහොමද කියන එක..ඒ හින්දම වැඩිය මුකුත් කියන්න එන්නේ නැහැ.

ඒත් අද උදේ පටන් ගත්තානේ නහයෙන් අඩන්න..අතන ඕ අයි සීට ලොකු හදිසියක්ය..ගෙදර අවුලක් හින්දා වරුවක්වත් කොරලා දෙන්නය කියලා..පස්සේ මං දවල් දොලහ විතරක් වෙනකල් කියලා පොරොන්දු වෙලා ගියා එහෙට..

මං ඇතුලට ගිහින් ගාඩ් රූම් එකට ඔළුව දානකොටම මෙන්න අර මං කිව්ව HR බුවත් ඒක ඇතුලට ආපි..මං හිතුවේ අද මොනවා හරි උදේම ලොකු ගේමක් තමයි කියලා...මොකද මෑන්ට කාව හරි දැක්කත් මොනවා හරි ප්‍රශ්නයක්..

ඒත් එතන තත්වය ටිකක් අමුතු වගේ හින්දා මං මෑන්ගේ මූන දිහා බලලා අපේ ඕෆ් වෙන්න හදන ඔ අයිසී බුවා දැහා බැළුවා..කට්ටියගෙම මූණූ ඩිම් වෙලා..HR බුවා මාත් එක්ක හිනා වෙලා අර අපේ මෑන්ට මොනවද කියලා පට ගාලා ගිහින් කාර් එහෙක නැගලා තව කට්ටියක් එක්ක පිටත් උනා..

"කොහේද අර යන්නේ කඩාගෙන..?"

"හෙන කේස් එකක්නේ...අපේ එකවුන්ටන් මහත්තයා එල්ලිලාළුනේ.."

"මොකක්..? XXX XXX මහත්තයා..? මැරිලද..?"

"ඔව්..මැරිලම තමා.."

ඔන්න උදේම මට අහන්න වෙච්ච නිව්ස් එක...

දවසම එතනින් අප්සට්...මරණයක් කියන දේ මහ ලොකු දෙයක් නෙවෙයි..සිය දිවි හානි කරගන්න එකත් මහ ලොකු දෙයක් නෙවෙයි..ඕවා දැන් සෑහෙන සුලභ සිද්දිනේ..

ඒත් මං මේ දවස් දෙක තුනකට කලින් එකෙක් එල්ලිලා මැරුන එක ගැන ලිව්වා විතරයි..මෙන්න තව එකක්...මේකත් අර කලින් එක වගේම අදහාගන්න අමාරු සීන් එකක් තමා...

ඔය එකවුන්ටන් ඒ හැටි වයසක් තියෙන කෙනෙක් නෙවෙයි...දැන් 27ක් විතර ඇති.
හැබැයි වයසට වඩා පුදුම දක්ෂතා තිබුන කොල්ලෙක්..ඒ වගේම කාටවත් වරදක් නැති හරි කැපවීමෙන් රාජකාරිය කරන මනුස්සයෙක්...

මම ඒ ආයතනයට ගියේ 2008 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා..ඒත් එතනට යනකොට ඒක එකම අවුල් ජාලයක්..හොර ගුහාවක්..උඩ ඉදලා පහලටම වංචාව දෝර ගලනවා..මෙලෝ පිළිවෙලක් නැහැ එතන..
මට ඔතන බාර දුන්නට පස්සේ මගේ ක්‍රමයට වැඩ බෙදලා මං මගේ ටීම් දෙක පිළීවෙලකට වැඩ කෙරෙවුවට ආයතනයේ ඉහල තැන්වලින් කිසිම උදව්වක් අපිට තිබුනේ නැහැ..ඒත් හොඳ වෙලාවට මං ගිහින් අවුරුද්දක් විතර ගියාට පස්සේ එතන හිටපු එකවුන්ටන්ව මාරු කලා..ඒ මාරුව යටත් ලොකු කේස් එකක් තිබුනා..ඒකට අදාල ලිපි ගොනු එහෙමත් ඒ දවස්වල මං ගාව තිබුනේ..කොහොම හරි මෑන් ඒවා ටික අරගෙන කේස් එක යට ගහන්න දගලද්දි මං ඒවා ගෙදර ගෙනිහින් වැඩට එනකොට ගෙන්න ගත්තා..අවසානයේදී හිටිය එකවුන්ටන් වෙන ෆැක්ට්‍රියකට මාරු කලා..අස් කරන්නේ නැතිව..මොකද බුවා අස් කලොත් පස්සේ අහුවෙන වැරදි වලට අල්ලගන්න මෑන් නැති වෙන හින්දා..ඒත් එක්කම තමා අපිට ඔය අළුත් එකවුන්ටන්ව එව්වේ...

පොඩි කොල්ලෙක්..හීන්දෑරි උස හාදයා..කතාව බහ බොහොම පිලීවෙලකට..කිසිම වෙලාවක බැහැ කියන වචනේ නැහැ..හැම දේම සේවකයින්ගේ පැත්තෙන් බලලා කරලා දෙන්න පුදුමෙට උනන්දුයි.ඒ වගේම කර්මාන්ත ශාලාවේ අහක යන එක දෙයක්වත් අහක යන්න නොදී මුදල් බවට හරවන්න පටන් ගත්තා..පෞද්ගලිකව මාත් එක්ක බොහෝම ලගින් කටයුතු කරන්න ගත්තා..ඒත් එක්කම කලින් මේ ආයතනයෙම වෙනත් අංශයක වැඩ කරලා ඉවත් වෙලා ගිහින් හිටිය එක්කෙනෙක් ගබඩා පාලකවරිය හැටියට බඳවාගෙන හිටිය කම්මැලි ගබඩා පාලකවරයව ප්‍රධාන කාර්යාලයට යවලා දැම්මා..එදා ඉඳලා අපි තුන්දෙනා නිතරම සම්බන්ධ වෙලා වැඩ කලා..අන්තිමට මම එතනින් එනකොට නූල් කෑල්ලක දෙයක් කාටවත් හොරෙන් ගෙනියන්න බැරි තරමට වැඩ ටික ගානට කරන්න අපි තුන් දෙනාට පුළුවන් කම ලැබුනා..

මං මෙයිට කලින් දින කිහිපයකට කලින් ලියූ ලිපියේ හිටියේ ඒ ගබඩාපාලකවරිය තමා...එයා ඉද්දිම එයාගෙ සහයට තව තරුණියක් අරගෙන තිබුනා..මම මෙහෙ ඇවිත් ටික දවසකට පස්සේ ගබඩාපාලක වරිය හැටියට හිටි කෙනා අස් උන කතාව මම කලින් ලිපියේ ලියලා ඇති..ඒත් එක්කම සහයට හිටිය තරුණිය ප්‍රධාන ගබඩා පාලක වරිය බවට පත් උනා...අපේ කතාව එච්චරයි...

ඒත් දෙවෙනි කතාව ගලා යන්නේ අපේ තරුණ එකවුන්ටන් මහත්මය අර තරුණියත් සමඟ ආදර සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් පසුවයි...ඒ පිළීබඳව වැඩි දුර තොරතුරු ඇත්තටම මා දන්නේ නැති නිසා කාටවත් ඇගිල්ල දික් කරන්න මට අයිතියක් නැහැ..ඒත් මං දන්න එක දෙයක් තිබුනා...

මේ කොල්ලා හෙන අහිංසක චරිතයක්..වෘත්තීය වශයෙන් හරි කාර්යක්ෂමයි..මං හිතන්නේ මම එයා ගැනත් කොහේ හරි ලියලා තිබුනා...වැඩිය සමාජයෙන් තැලිලා පොඩි වෙච්ච මනුස්සයෙක් නෙවෙයි..ඒ වගේම මිනිස්සුන්ට වැඩ කරගෙන යන්න හොද සහයක් දුන්නා..අනිත් ලොකු මිනිස්සු වැඩ නොකෙරෙන්න හේතු හොයද්දි..මේ කොල්ලා වැඩේ කරන්නමයි උදව් කලේ...රැයක් දවාලක් නැතිව ආවා ගියා..හැම ෆැක්ට්‍රියකම කොයි වෙලෙත් ඇවිද්දා කලා...සෑම පුංචි දෙයක් ගැනම හරිම සැලකිලිමත්..අවුරුදු ගානක් පාඩු ලැබූ කොම්පැණිය..පළමු වතාවට එක් අංශයෙන් අංශය ලාභ බෙදන තැනට ආවේ මේ කොල්ලගේ උත්සහය හින්දයි..අවසානයේදී මේ වෙනකොට ඔහුට බාර දී තිබූ ‍ෆැක්ට්‍රි පහෙන්ම ලාභ උපදවන්නත් ඔහුගේ කැපවීම හේතු වෙලා තිබුනේ...

ඒ දක්ෂතා හින්දම ආයතන භුමියේම තිබු එකම අයිතිකාරයට අයත් උනත් වෙනත්ම පරිපාලනයකින් යුතුව තිබූ පාඩු ලබන දැවැන්ත ව්‍යාපාරයේත් එකවුන්ටන් තනතුර දැනට මාස කිහිපයකට පෙර මොහුටම පවරන්නට ආයතනයේ භාරකාරත්වය කටයුතු කලා..ඇත්තටම මම වැඩ කරල තියෙන කිසිම තැනක මෙච්චර වගකීමක් මේ තරං පොඩි කොල්ලෙකුට පවරල තියෙනවා මං දැකලා නැහැ...ආයතනයේ හුගක් නිලධාරීන්ට කාර් වෑන් දීලා තියෙද්දිත් මොහු තමාට ආයතනයෙන් ආරම්භයේදී දීලා තිබුන බයික් එක තමයි අද වෙනකල්ම පාවිච්චි කලෙත්... කිසිම ලොකු කමක් නැතිව හිටිය..වටිනා කියන කොල්ලෙක්...

ගැහැණු ළමයා ගැනත් ඔවුන් අතර තිබුණ දේවල් ගැනවත් මම දන්නේ නැහැ..ඒත් මීට කලින් මෙම ප්‍රදේශයේම පිරිමි ළමයෙක් එක්ක තිබුන සම්බන්ධතාවයක් අමු අමුවේ නවත්තලා දාලා තිබුන විත්තිය නම් ආයතනයේ සේවය කල එම තරුණියත් කලින් පෙම්වතාත් අතර අතරමැදියකු වූ ආයතනයේම තරුණ සේවක මහතකු ප්‍රසිද්ධියේම කියා තිබුන අතරම ඒ දිනවල ඇයගේ මුහුනටම ඔහු විසින් ඇනුම් පද කියනවාත් මා දැක තිබෙනවා...

කොහොම උනත් ඊයේ ඉරිදා දවසේත් ඔවුන් දෙදෙනාම සේවයට පැමිණ තිබෙනවා..කොහොමටත් නිවාඩු දවස්වලත් කරන්න තරං වැඩනං දෙන්නටම තිබුනා... එහෙම දවස්වලට ඉස්සරත් නිවාඩු දවස්වලට කිහිප දෙනෙක් කාර්යාලයන්ට පැමිණ වැඩ කරනවා..

කොහොම උනත් මේ යුවල පොත් පත්වලට අනුව ඊයේ සවස 17.50 ට පමණ පිටව ගොස් ඇති ආකාරය පොත් පරීක්ෂාවේදී මම දුටුව කරුණක්...

අවසානයේ දහවල් වන විට මරණ ගෙදරට ගිය නිලධාරීන් පැමිණ පැවසූ පරිදි උදෑසනම ඔහුගේ අක්කාව වැඩට යෑම පිණිස බයික් එකෙන් මහ පාරටත් ගෙනවිත් තිබෙන අතර උදෑසන හයට පමණ මෙම දිවි නසා ගැනීම සිදු කරගෙන තිබෙනවා...

කතාව මෙපමණයි..මෙයින් ඉදිරියට මෙම කතාව කොයි අතට යයිද කියන්න මම දන්නේ නැහැ..මෙහි නොසිතූ පැත්තක් තියෙන්න පුළුවනි..ඒත් ඒක දන්නේ කවුද..?මමනං දන්නේ නැහැ..?

ඔන්න ඔහොමයි අද දවසේ මට උනේ..අන්තිමට 12 කෙසේ වෙතත් එකත් පැනලා මං එන්න ආවා..ඒත් ඒ වෙනකොටත් අර අනිත් යෝධයා ඇවිත් නැහැ..මං බොසාට කතා කරලා 12 කෑලි නැති විත්තිය කියලා දුන්නා...

ඒ පාර උන්දෑ අරුන්දැට කතා කරලා මට කිව්වා දැන් යන්න මෑන් තව ටිකකින් එයි කියලා..අන්තිමේදී මම එන්න ආවා..ඒ ඇවිත් මෙතනත් ගෙදර යන්න මනුස්සයෙක් බලං ඉන්නවනේ..කෙලින්ම මෙහෙට ආවා කෑම එකකුත් අරගෙන...

ඊයේ අච්චර හොඳට දවස ගෙවලා..අද තව උනන්දුවෙන් වැඩක් කරන්න කියලා හිතං පාරට බැස්සට අන්තිමේදී ඒ හැම දේම වෙනස් වෙනස් අතේ ගියා..ඊට පස්සේ මං මොකද කොලේ සේරම පැත්තක දාලා මේක ලිව්වා.. දැන් ටිකක් ඔළුවේ තිබුන අවුල් ගතිය ගියා..එහෙනං මං නවතින්නං...

හෙට කාගේ මරනය අහන්න වෙයිද..?

26 June 2011

අනේ මංදා...

සීතල දැනෙනා ලොකු වීදුරුවක
පුරවා මීවිත මුවට ගෙනෙන සුව..
පාවෙන පදමට මසිත ඇදෙන විට..
ජීවිත ගමනේ රසය දැනේ මට..

පාළුව තනිකම පළවා හරිනා..
නුඹ හැර වෙන අය කොයින්ද මිතුරා..
ජීවිත ගමනේ විඩාව මකනා..
රන්වන් පානය නුඹමය සැමදා...

හදවත රිදවා පැන ගිය ඇය වෙත..
පෙර දින පිදු පෙම දැන් නැත හදවත..
දුක සොව විරහව ඉවසන තරමට
නුඹයි මගේ සිත තැනුවේ මෙලෙසට...



24 June 2011

කැරපොත්තන් සමඟ බියකරු රැයක්... තවත් අද්භූත කතාවක්

ඒ මා ගෙවල් දොරවල් හැර දමා පියා ගොස් පන්සලේ ජීවත් වූ යුගයයි...

ඒ වන විට මා පැවිදිව සිටියේ නැත.පන්සලේ අතු පතු ගෑමේ සිට..ඉවුම් පිහුම් වැඩත්..වත්ත පිටිය සුද්ද කිරීමත් කරමින් කාලය ගත කල අවදියයි.

පන්සලේ වැඩ සිටි හිමිවරුන් පැවිදි දිවියට සමු දීමට ඈත මෑත බලමින් සිටින ලදි..ඒ අනුව පළමු කොටම වැඩ සිටි පන්සල භාර හිමිනම අපගෙන් වෙන්ව ඔහුගේ සිහිනය කරා නික්ම යන ලදි..අනිකුත් පිටතින් වැඩම කල හිමිවරුන්ද අප හැර දමා ගොස් මාත් කුඩා හිමි නමකුත් පමණක් අවසානයේ ඉතිරි වූ වකවානුවයි...

තත්වය මෙසේ තිබියදී..දිනක් එම වැඩ සිටි කුඩා හිමියන්ද මා පන්සලේ රඳවා තබා උන්වහන්සේගේ හිතවත් හිමිවරුන් රැඳී සිටි පන්සල් වල ඇවිඳින්නට පටන් ගත් අතර..බොහෝ වේලාවට මා පන්සලේ තනි වී සිටියෙමි.

මෙම සිදුවීම සිදු වූයේත් එවන් දිනක මහ රාත්‍රියේදීය...

ඒ වන විට මා පරිහරනය කරනු ලැබුවේ පන්සලේ ආවාසයේ තිබු ඉදිරිපසම වූ කාමරයයි.එය කුඩා කාමරයකි..එහි දෙපස ගරා වැටුන ඇඳන් දෙකක් තිබූ අතර ඒ දෙක මැද ඇති හිස් ඉඩෙහි බිම මා පැදුරක් එළාගෙන නිදා ගනෑමට පුරුදුව සිටියෙමි...දෙපස වූ ඇඳන් දෙකටම සිවුරු එළා තිබූ හෙයින් ඒවාට අතක්වත් නොවැදීමට මා වග බලා ගතිමි.

කාමරයේ ඉහලින් සිවිලිම වෙනුවට පැරණි සිවුරු දෙකක් උපයෝගී කොටගෙන සිවිලිමක් වැනි ආවරනයක් යොදා තිබුනු අතර එම සිවුරු දෙකෙහි තැනින් තැන මැහුම් ලිහී කුඩා හිස් තැන් සිදුරු ආදිය ඇති වී තිබිණී...

සුපුරුදු ලෙසින්ම එදිනත් මා පන්සලේ අස්පස් කිරීම් අහවර කොට රාත්‍රී නවය පමණ වන විට ආවාසයේ පිටතට ඇති දොරටු වසා විදුලි පහන් නිවා දමා මා සිටි කාමරයේ බිම ඇල උනේ කුමක් හෝ පැරණි පත්තරයක් කියවන්නටය...කාමරයේ විදුලි පහන තිබුනේ කාමරයේ හරි මැදටම නොව තරමක් පැත්තකින්ය..සිවුරු රෙද්දට අස්සෙන් කුඩා සිදුරක් තනා ඒ තුලින් එළියට ගත් වයරයකට සවි කල හෝල්ඩරයකට බල්බය සවි වී තිබිණි..

මා එලෙස පැයක් හෝ එක හමාරක් පමණ කාලයක් කියවමින් සිටි අතර..මඳින් මඳ නිදිමත දැනෙමින් තිබූ අතර වෙනත් වෙනසක් නොතිබුණී...

එහෙත් මෙසේ සිටින අතරම කිසියම් වෙනස් වීමක් කාමරයේ සිදු වෙමින් තිබිණි...

කාමරයේ ඉහළ සිවුරු රෙද්ද අතරින් කැරපොත්තන් කිහිප දෙනෙක් විත් කාමරය පුරා ඉගිලෙන්නට විය..උන් මා අසලටම නාවත්..වරින් වර ඇගට ඉහලින්ද පියඹ යන්නට විය..ඒ පියඹා යෑමේ අමුත්තක් මට දැනෙමින් තිබිණි..උන්ගේ ශබ්දය සාමාන්‍ය කැරපොත්තෙකු පියාඹා යාමේදී ඇතිවන ශබ්දයට වඩා වෙනසක් තිබිණී..එපමණක් නොවේ...උන් පියඹා ගොස් කොතැන හෝ නැවතුනත් උන්ගේ තටු සොලවමින් අමුතු සර සර නදක් නගන්නට විය...මුලින් එකෙක් පැමිණි අතර..පසුව දෙදෙනෙක් බවට පත් විය...මඳ වේලාවකදී..සිවුරු රෙද්ද ‍ෙ ඉහළින් වහළයෙහි තවත් කිහිප දෙනෙක් ඉන්නා වග තටු ගසන ශබ්දයෙන් මට වැටහිණ..

මට සිදු වූ ලොකුම වරද සිදු වූයේ මේ අතරේය..මෙතෙක් වේලා එහාට මෙහාට පියාඹමින් සිටි කැරපොත්තන්ට මගේ අවධානය හොදින් යොමු වී තිබිණී..මන්ද මා උන්ට ආසා නැති බැවින්..කොයි වේලේ හෝ උන්ගෙන් එකෙක් මාගේ ඇගට වැටෙන්නට හැකියයි මට ඇති වූ සිතිවිල්ලය....

අවසානයේ එය සිදු විය...

එහෙ මෙහෙ පියාඹා ගොස් සිටි එකෙක් අමුතුම වියරුවකින් මෙන් මගේ ඇගට වැටුනි..ඒත් සමඟින්ම මා තදින් ප්‍රතික්‍රියා දැක්වීමි..මා අත එතෙක් තිබු පත්තරයෙන් ගසා කැර පොත්තා ඇගෙන් ඉවතට විසි කලෙමි...මා අසල සිමෙන්ති පොලොවේ තරමක් ඈතට වැටුන සතා..නැවතත් හැරී මා වෙතට වේගයෙන් ඇඳී එන්නට විය..මා නැවතත් පත්තරයෙන් උ්ව ඈතට තල්ලු කලත් කැරපොත්තා වියරු වැටුන ආකාරයෙන් මා සොයාම එන්නට වූ අතර..එවන් අවස්ථාවකදී මා පත්තරය නවා එල්ල කල තද පහරකින් උගේ අවසන් ගමන් යාම සිද්ද විය..ඇත්තටම මරන්නටත් වඩා..මේ වන විට මා හ‍ට මෙය පුදුම තරමේ කරදරයක් මෙන්ම හිරිහැරයක් වෙමින් තිබිණි...

තත්වය භයානක වූයේ මෙයින් අනතුරුවය..කැර පොත්තන් එකා දෙන්නා සිවිලිමේ සිවුරු රෙදි අස්සෙන් ඈත් මෑත් වෙමින් කාමරය පුරා පියඹන්නට විය..

කරන්නට දෙයක් නැත..අද මෙම කාමරයේ නිදා ගැන්මට නොවන බව නම් මා හට පැහැදිලිය..මා කලේ පැදුරත් කොට්ටයත් ගෙන කාමරයෙන් ඉවතට ගොස් සාලයේ නිදා ගැනීමට උත්සහ කිරීමයි..එහෙත් සුව වේලාවකින් සාලයේත් කැර පොත්තන් පියඹා යෑම ඇරඹින...එය මහා අමුතුම තත්වයකි.

අවසානයේ මා කලේ නැවතත් පැදුරත් කොට්ටයත් ගෙන කරඬුව තිබෙන කාමරයට ගොස් දොර වසා ගැනීමයි...එම කාමරය ආරක්ෂීතය..ආවාසයේ තිබූ හොඳම කාමරයයි..එහි තරමක් ඉඩ පාඩු තිබිණි...සිවිලිම හොදින් ගසා තිබිණී..ජනෙල් දොරවල් වැසූ පසු එයට පිටතින් සුළං පොදක් හෝ එන්නේ නැත..ඒ සඳහා ඉඩක්වත් නැත...

කාමරය තුලට වී පැදුර එළා ගත්තද මට දැන් නින්ද නොයන්නා සේය...ඇස් පියා ගත්තද මට නොයෙක් ආකාරයේ ශබ්ද ඇසෙන්නට විය...මා සිතුවේ මේ මාගේ හිතළුවක් බවය..එහෙත් ඉවසා සිටිය නොහෙන තරමටම ශබ්ද වැඩි වන්නට වූ කල මා කලේ නැගිට ගොස් කාමරයේ විදුලි පහන දැල්වීමය...

විශ්වාස කරන්න...

කාමරයේ වසා තිබු දොරට යටින් වූ මිලි මීටර් දෙකක් පමණ සිහින් විවරයෙන් කාමරය තුලට කැරපොත්තන්ගේ හිසේ ඇති අඩු දහස් ගණනක් පැමිණ තිබුණි..උන් කාමරයට එන්නට පොර කමින් සිටියෝය...

එහෙත් ඒ සඳහා දොර යට වූ විවරය නොසෑහිනි...මා බියපත්‍ නොවූවාය කිවහොත් එය පට්ටපල් බොරුවකි..එහෙත් නිරවුල්ව සිතිය හැකි තරමට මනස සකස් කර ගන්නට බැරි කමක් නොවීය...මෙයට පෙර දිනක් කනත්තක මිනී වලක් මුර කරන්නට මා හට සිදු විණී..එදාවත් බියක් නැතිව පැදුරු කඩමාල්ලක් එලාගෙන කනත්තේ අළුත කැපූ වලක් තුල පාන්දර ජාමයේ සැනසිල්ලේ නිදා ගත් මා හට එම සිදුවීම හරහා විශාල සිතේ සවියක් ඇතිව තිබිණ..

මේ මොහොතෙත් එම මතකය මා සවිමත් කරන ලදි... ඒ නොවුනේ නම් එදින රාත්‍රියේ කුමකින් කුමක් වේදැයි මා හට සිතා ගත නොහැක...

අවසානයේ සෑහෙන වේලාවක් මා අවදිව සිටි අතර නිදා ගන්නා විට පාන්දර 3ත් පසුව තිබිණ...පැය දෙකක් තුනක් පමණ කැරපොත්තන් එක සීරුවට කාමරයේ දොරට යටින් එන්නට තැත්ත කල අතර..අවසානයේ එකා දෙන්නා සිය අඩු ඉවතට ඇද ගන්නට විය.. එසේ කරදරය අඩු වන්නට වූ පසුව මා නින්දට වැටුනි..පසුවදා උදේ අවදි වී කාමරය විවෘත කලද කිසිදු අමුත්තක් නොවීය...

පසුව කාලයකදී මා පැවිදි වූ පසුව කාමරයේ සිවුරු වලින් ගසා තිබුන සිවිලිම ඉවත් කොට ලුණුමිදෙල්ල ලෑල්ලෙන් සිවිලිමක් ගසන ලදි..මා දිගටම භාවිතා කලේද එම කුඩා කාමරයම විය..

ඉහත සිදුවීම සිදු වී දින කිහිපයක් යන තෙක්ම සිතේ කිසියම් තිගැස්මක් තිබුනද..පසුව එය මග හැරී යන ලදි..එහෙත් එම රැය මගේ මරණය තුරාවටම මා හට අමතක නොවන බව කිව යුතුමය...

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී...

හදිසි තරුවක් ලෙසක දිනකදි සිහිනයක් තුල දුටුව ඔය රුව..
සිතුවමක් ලෙස ජීවමානව මගේ නෙතු අද්දර රැඳී අද..
පැතුව මුත් එක් දිනක් රහසින් ලොවට නෑසෙන ලෙසින් ගයමින..
නුඹේ සිත් අහසේ තරුව ලෙස පායලා සේ දැනේ අද මට...

දහසකුත් ඇති මුත් අපට ලොව රැඳුන බාධක මග හරස් කොට..
සිහිනයන් ‍පිරි හදවතින් ඔබ එක් වරක් හෝ පතයි නම් අද..
සියළු බැමි සිඳ බිඳ පසෙක ලා මරණයෙන් මුත් නැවත අවදිව..
ඔබේ සිහිනයේ තරුව වන්නට එන්න අවසර දෙන් ළදේ අද...

මරණයෙන් පසු බැන්ද දෙවොලේ දෙවිඳු වීලා කිසි පලක් නැත..
ඉන්න දා ගිලිහෙන මුවින් ඔය එකම වදනින් සිතට වේ සුව..
ලංව ඉන්නට නොහැකි විලසට බැන්ද බාදක දුරින් දුරු කොට..
එක්ව ඉන්නට මෙලොව දවසක් හෙට දිනේ නැති වේද අප හට..

22 June 2011

මරණයේ නොකිය උන පැත්ත...අවසන් ලිපි දෙක...

මාතෘකාව දැකලා ලොකු බලාපොරොත්තුවක් ඇති කර ගන්න එපා මේකේ මහා දෙයක් තියෙයි කියලා...

මේක බොහෝම කෙටි සටහනක්..ඇත්තටම කිව්වොත් කලින් ලියපු අද්භුත මරණයට හේතුවක් හෝ ඒ ගැන එතැනින් එහාට කිසිවක් සටහන් නොවීම කීප දෙනෙකුට ගැටළුවක් උනානේ..ඇත්ත ඒක එහෙම නවත්තන්න උනෙත් මේ වගේ මරණයකදී රට්ටු කොයි තරං කතා කියනවද කියන එක ඔබටම තේරුං ගන්නයි..ඒත් ඇත්තටම සිදු උන කතාවෙදි ඉතිරියත් දැන ගන්න ඕබට අයිතියක් තියෙනවා කියලා මං හිතන හින්දා ඒ ඉතිරි ඩිංග මෙහෙම ලියන්නං...

පාන්දර කළුවරේම මරණයට පත් වූ පුද්ගලයා හඳුනා ගන්න ලැබුනා...ඒ තමයි ඒසී සමන් කුමාර...අම්පාරේ ඉඳලා ආව බල ඝණයේ හිටිය වයස්ගතම සෙබළා..බොහෝම නිවිච්ච හාදයා...අහිංසක මනුස්සයා..කාටවත් වචනයකින්වත් වරදක් නොතිබුන කෙනා...මං මෙහෙම කියාගෙන යනකොට කට්ටියට හිතෙයි මං මේ අවමංගල සභාවේ කතාවක් කරනවාද කියලත්..මොකද අපේ ඉතිං කවුරු මලත් ඔය ටික කියන එකනේ පුරුද්ද..කොයි තරං වැරදි කල කෙනා උනත් එදාට සත්ගුණවත්..ඒකේ වරදක් නැහැ..මොකද මැරිච්ච මිනිස්සුන්ට අවමන් නොකරන්න අපේ සමාජය විසින් අපිව පුහුණු කරලා තියෙන හින්දා...

ඒත් ඇත්තම තත්වයනං අවමංගල සභාවේ වර්ණනාව යන අතරේ පිටි පස්සේ අහගෙන ඉන්න මිනිස්සු හිනා වෙන එක...සමහර විට මිනියටත් හිනා යන්න ඇහැකි ඒ කියන ඒවා අහං ඉඳලා..ඒ තරමට වනනවා වැනිල්ලක් අපේ කට්ටිය..

අහල තියෙනවද අර මයිකල් පීරීස් කියන

"ගුණ ගී වරුසා..පැසසුම් ඝෝෂා...රැව් දෙන්නේ මරණින් පස්සේ..
කී දොස් නැවතී..එතුවක් පැවතී..හොඳ මතු වේ මරණින් පස්සේ.."

කියන ගීතය...සමහර විට අහලා ඇති..හුගක් අයනං අහලා නැතිව ඇති..ටිකක් හොයලා අහලා බලන්න...තමන්ගේ මරණ ගේදර තත්වයත් හිතේ මවාගෙනම අහලා බලන්න..යම් තරමක දෙයක් ඕබටත් දැනේවී...

හොඳයි මං අර වගේ වචන වලින් වනාගෙන ගියාට කිසි වරදක් නැහැ..මොකද ඒක ලෝක චාරිත්තරේ හින්දා නෙවෙයි..ඇත්තටම ඔය කිව්ව වචන වලට ඒසී සමන් කුමාරට අයිතියක් හැබෑවටම තිබුණ හින්දා...

අවසානයේදී දන්වන්න ඕන තැන්වලට දන්වලා..ඒ තැන් වලින්තු ඇවිදින් පරීක්ෂා කරලා..ඒත් මිනිය බෑවේ දවල් වෙලා..අධීකරණ නිලධාරීන්..වෛද්‍යය නිලධාරීන් සිවිල් පොලිසිය එහෙම ආවට පස්සේ තමා ඒ කටයුතු සිද්ධ උනේ..

සමන් කුමාර එල්ලිලා මැරිලා තිබුනේ ඔහුගේම ඇඳ ඇතිරිල්ලෙන් හදා ගත්ත තොණ්ඩුවක් භාවිතා කරලා...මරණ පරීක්ෂණයෙන් කිය උනෙත් මේක සිය දිවි හානි කර ගැනීමක් කියලයි...ඒකට තවත් හේතුවක් තිබුනා..ඒ තමයි මැරෙන වෙලාවේ ඇඳගෙන හිටිය කොට කලිසමේ සාක්කු දෙකේ තිබුන ඔහු විසින්ම ලියපු ලිපි දෙක...

ඒක ලියලා තිබුනේ එදා රෑම තමා..ඒසී සමන් කුමාර නිදියන තැන මට පේන විදියට නෙවෙයි තිබුනේ..මොකද බිලටි එක කෙරවලේ තට්ටු ඇඳන් හතරක් දාන්න පුළුවන් කෙරවලේම ‍වූ බිත්තියකින් ආවරණය වූ කොටසේ තමයි ඔහු ඇතුළු සීනියර් සෙබළු ටික හිටියේ...එතන හිටිය එක සෙබළෙක් සාක්කි දුන්නා..අනිත්මට ඔහු නින්දට යද්දිත් සමන් කුමාර ඉටි පන්දමකුත් පත්තු කරගෙන ලිපියක් ලිය ලිය හිටි වග..කොහොමටත් ඔහුට අනිත් අයගේ තිබුණ ගෞරවය හින්දාම ඔහුගෙන් කවුරුවත් වැඩිය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ...ඉතිං ඔහු එදා රාත්‍රියේ මාත් එක්ක අවසන් වතාවට කතා කරලා..ගිහින් තමන්ගේ පාඩුවේ ලිපියක් ලිව්වා..එච්චරයි අපි දන්නේ....

දැන් ගැටළුව ඒ ලිපි දෙක නේද..?

ඔව් එයින් එකක් ඔහු සිය මෑණීයන්ට ලියලා තිබුනේ..අනිත් එක අට අවුරුද්දක් තිස්සේ ඔහු සමඟ ආදරෙන් බැඳිලා හිටිය ගමේ හිටිය පෙම්වතියට ලියලා තිබුනේ...ඒත් ඒවායේ ඔහු මැරෙන වගක් ලියලා නොතිබුණ බවත්..ඔහුට සමා වෙන්න පමණක් කියා ලියා තිබුණ බවත් සඳහන්..මොකද ඇත්තටම ඒ ලිපි මටවත් අපේ සගයෙකුටවත් කියවන්න හම්බ උනේ නැහැ...

අපේ බල ඝණය භාර සාජන් වරයා..ඔහුත් සමන් කුමාර කෙනෙක්..ඔහු තමා අපිට කිව්වේ..

"ඒ ලියුංවල දෙයක් නැහැ බං...උගේ කෙල්ලට වෙන කාව හරි බැඳලා සතුටෙන් ඉන්න කියලයි..මෙච්චර කාලයක් ලව් කරලත් බඳින්න බැරි වෙච්ච එකට සමා වෙන්න කියලයි..ඔන්න ඔහොම විකාර වගයක් බං.."

ඔන්න ඔහොමයි ඒ ලිපි ගැන කතාව නිම උනේ..පස්සේ දැන ගත්ත හැටැයට ප්‍රේම සම්බන්ධයේ කියන්න තරං අවුලක් තිබිලත් නැහැ..ඒත් ආර්ථීක අපහසුකම් සහ පවුලේ බර හින්දා මේ දෙන්නගේ කසාදේ දවසින් දවස පරක්කු උන කතාවක්නං කියඋනා..ඒ හැර වෙන දෙයක් නැහැ...

ඉතිං...ඒච්චරයි...මේක මෙලෝ රහක් ඇති කතාවක් නෙවෙයි...
ඒත් මේකත් එක කතාවක්...

21 June 2011

හදිසියේ ආ අදිසි මාරයා...

මාරයා නමින් ලියන මටම මාරයාගේ තවත් හිතාගත නොහැකි කෙරුමක් කියන්න වෙච්ච එක තමා කරුමේ...
මීට කලින් මං මේ කතාව ලිව්වද නැද්ද කියලනං මට මතක නැහැ..එහෙම ලිව්වනං ඒක මතක් කරලා දෙන්න හිටිය සෙට් එකෙන් එකෙක් අද වෙනකොට බ්ලොග් එකක් බලන්නවත් වෙලාවක් නැති තරමට කාර්ය බහුල වෙලා තියෙන එක ලොකු අවුලක්..ඒ තමා අපේ නිශ් ගොයියා..අනේ කොළුවා උන්නද මලාද නැහැ.. ඒ තරමට වැඩ රාජකාරි කියන්නේ...

ඒත් තව අපේ පොරසන්න උන්නැහේ එහෙම ඉන්න හින්දා සමහර විට මේක ලියලාද කියලා මට කියාවි..ඒත් මට හරියටම නිච්චියක් නැති හින්දා ඕන්න ඔහේ ලියලා දාඤ්ඤං...

මේක ලියන්න හිතුනේ ආයෙමත් වංගියක් මගේ කුරුළු හමුදාවේ මතකය ඇවිස්සුන හින්දයි.ඒ අර කලින් ලිපිය ලියන්න ගිය වෙලාවේ..

..........................................................

මෙම සිද්දියට පසුබිම් වූ කාලය වනාහී..එදා මෙදා තුර ජීවිතයේදී මා විසින් ගෙවූ හොඳම කාල වකවානුවයි... ඒ තරමටම සුන්දර සමයක් වූ එකල..තිබූ එකම කළු පැල්ලම මෙය බැව් කිව යුතුය.

දියතලාව මූලික හමුදා සටන් පුහුණුව සය මාසයක කාලයක් වළඳා අවසන අපව එවන ලද්දේ කටුනායක මූලික වෘත්තීය පුහුණු පාසලටය...අක්කර දෙසිය පණහකට අධික කටුනායක කඳවුරු බිමේ පිහිටි සිත්කළු බිම් කඩෙක එය පිහිටා තිබුණි...පෙනෙන පෙනෙන අත ඇති පොල් ගස් හැර වෙනත් යමක් නොවීය...අක්කර ගණනක් විශාල ඉඩමේ අතරින් පතර පමණක් ගොඩනැගිලි පිහිටා ඇත.එම ගොඩනැගිලි ආසන්නයේ පමණක් පොල් නොවන ගස් වර්ග තරමක් පිහිටා ඇතද..වැඩි හරියක්ම ඇත්තේ පොල් ගස්ම පමණී.

අප හට මෙම කඳුවුරේ නියමිතව තිබුනේ හය මාසයක පුහුණු කාල සීමාවක් වූවද..කඳවුරු රාජකාරීන් නිසා අවසානයේ එහි වසරකටත් එහා ගිය කාලයක් රැඳී ඉන්නට අපට සිදු උණි...නමුත් ඒ පිළීබඳව අප කිසිවෙකුටත් පසු තැවිල්ලක් නම් නොවීය..මන්ද යත් ඒ තරමටම අප එම භූමියට ඇළුම් කිරීම නිසාය.

අපව එයින් මාරු කර ඒකල කඳවූරට යවා සතියක් ඉක්ම යෑමටත් පෙර කටුනායකට එල්ල වූ දැවැන්ත කොටි ත්‍රස්තවාදී ප්‍රහාරය දා එය දැනගත් මොහොතේ අපේ සහෝදර සෙබළුන් හඩා වැටුන අන්දම මට අදද සිහි වේ. අපේ ගෙදරට ගලක් ගසන තරහා කාරයා පිළීබඳව අපගේ සිතේ ඇති වන තරහට වඩා සිය දහස් ගුණයක තරහවත් කෙන්තියත් ඒ සැමටම වඩා හට ගත් දුකත් නිසා එදා අප සැවොම හඩා වැටුනෙමු..අප එතරම්ම කටුනායක කඳවුරු භූමියට ඇළුම් කලෙමු.

මෙම සිද්දියත් සිදුද වූයේ එසේ අප කටුනායක ගත කල කාල සී‍මාවේදීමය...ඒ වන විට අප කඳවුරට පැමිණ මාස හයක් පමණ ගත වී තිබිණී... කඳවුරක පළමු මාස හය යනු අසීරුම කාලයයි. මන්ද යත් අප නවකයන් වන නිසාවෙනි. විනය පිළීබඳව සීයයට සීයක අවධානය ඇත..එසේම අණ පිළීපැදීම මෙන්ම අවංකකමත්..කාර්යශුරත්වයත් නිතර සොයා බලයි..තමාට පැවරෙන වගකීම් අකුරටම ඉටු කල යුතුය. ඒ පිළීබඳව සොයා බලන්නේ අපට වඩා ජේෂ්ඨ සෙබළුන්ය...

අප එහි ගිය දින පටන් හය මාසයක් යන තෙක් උපරිම කට්ටක් කෑවෙමු..මුල් මාස දෙකෙහි හැරෙන හැරෙන අතේ කනේ පහරවල්ය... නමුත් එම පහරවල් වලට හේතු වූයේ අපගේම වැරදිම විය.අපේ සිරිත සීනියර් බුවාලට ඇරීමය.. උන්ගේ සිරිත කෙසේ හෝ අරින එකා අල්ලා කන හරහා දීමය... සමහර විට සීනියර් බුවාලා අපට කන හරහා දෙන ගමන් මූන රළු පෙනුමක් ගෙන තිබුනද ඇතැම් විට අපේ උන් දෙන බූරු පිළීතුරු වලට උන්ටද සිනහා වී සිටිය නොහැක. නමුත් සිනහා වීම අපට තහනම්ය. වැරදිලාවත් සිනහා ගියහොත් වහාම සිනාව කැපිය යුතුය..සිනහව කැපීම සඳහා වෙනම ඩ්‍රිල් මූමන්ට් එකක් ඇත. එය අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගෙන් ඇහැවුවොත් කියා දෙනු ඇත.උන්දෑ කියා නොදුනහොත් පසුව කියා දෙන්නට සිතමි.

කෙසේ හෝ මෙවැනි කාලයක් අවසන දිනක් අප සියළු දෙනා පෝලිම් කල ජේෂ්ඨ සෙබළුන් විසින් අපහට විශේෂ දැනුම් දීමක් කරනු ලැබීය..එනම් අපගේ පනිෂ්මන්ට් සීමාව හෙටින් අවසන් වන බවයි..ඊට හේතුව වූයේ අපෙන් පසුව එන නවක සෙබළුන් හෙට දින කඳවුරට වාර්ථා කිරීමට නියමිතව තිබීමයි...

හෙටින් පසුව එන නවක සෙබළුන් පිළී ගැනීමත්..මෙතෙක් දවස් සීනියර් බුවාලා විසින් අප පාලනය කල ආකාරයටම හෙට සිට අප විසින් නවකයින් පාලනය කල යුතු බවත්..අදින් පසුව අප නිදහස් පිරිසක් බවත්..සෑම විටම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් කටයුතු කල බවත්..අපට පහළින් සිටින නවකයින් පාලනය කිරීමට නොහැකි වීම හෝ ඔවුන් නිරන්තරව විනය විරෝධීව හැසිරෙන්නේ නම් එහි වගකීම අප සතුවන බවත් පවසා අවසාන රාත්‍රියට සැරසෙන සේ දන්වනු ලැබීය...

කෙලිය තිබුනේ එදා රාත්‍රියේය...එහි තොරතුරු කියන්නට අවශ්‍ය නැත...මමත් එදා රාත්‍රියේ හොඳ පිරිසිදු ජල ටැංකියේ දිය කරනු ලැබූ ‍අවුසද වර්ග මුසු ජලය ස්නානය කොට ඒ අසල අඹ ගසකට වී රැය පහන් කලෙමි.අති සුන්දර රැයක් එසේ සනිටුහන් විය..පසුදායින් පසුව කිව්වාත් වාගේ අපට සීනියර් උන්ගෙන් කිසිදු බලපෑමක් නොවූ අතර ඔවුන් ඔවුනගේ පාඩුවේ පාඩම් වැඩවල යෙදී සිටින ලදි. පාලනය අප සතු විය..මෙම අවදිය වන විට මා මෙහි පරිපාලන කටයුතු සඳහා යොමුව සිටියෙමි..සෑම පුහුණු බලඝණයකින්ම එක් අයකු බැගින් තෝරාගෙන එම බල ඝණයට අයත් සෙබළුන්ගේ ලිපි කටයුතු සඳහා යෙදවීම සාමාන්‍ය කඳවුරු සිරිත විය.

ඒ අනුව එම අවස්ථාව මා හට හිමිව තුබුනේ මීට පෙරදීද එම කටයුත්තම දියතලාවේදීද මට පටලැවී තිබු නීසාය... මෙහිදී අපගේ බල ඝණ තුනක් තුබූ අතර එම එක් බල ඝණයකට 50 බැගින් වූ බල පංති තුනක් ඇතුලත් විය..ඒ අනුව 150ක බල ඝණයක සම්පූර්ණ ලිය කියවිලි වැඩ මා සතු රාජකාරීන් වී තිබුනේ පුහුණු කටයුතු කරනා අතරවාරයේදීමය. භටයින්ගේ නිවාඩු ලේඛන සැකසීම... දින පතා පෙරඩ් ස්ටේට්ස් සකස් කිරීම.. සෑම සති අන්තයකම කඳවුරු ආරක්ෂක රාජකාරියට පුහුණූ පාසලෙන් දිය යුතු වූ 150ක භට පිරිස සඳහා ආයුධ ගබඩාවෙන් ලබා ගත් යුතු ආයුධ ‍ලේඛණය සකස් කිරීම..සති අන්තයේ ඉතිරිවන සෙබළුන් කඳවුරු පිරිසිදු කිරීම් සඳහා කණ්ඩායම් වෙන්කොට ලබා දීම..එම කණ්ඩායම් වල තේ එක පවා ලබා දීම ගැන ‍කටයුතු කල යුතු විය.

මෙහි අසිරූම තත්වය වූයේ අපගේ බල ඝණය මෙන්ම වූ තවත් බල ඝණ දෙකක් තිබිණී..අප අයත් වූයේ දෙවන බල ඝණයට වූවත් පළමු දෙවන හා තුන්වන ආදී වශයෙන් සම්පූර්ණ බල ඝණ තුනකි. ඒ සෑම බල ඝණයකටම එක් අයකු බැගින් පරිපාලන කටයුතු සඳහා භටයකු වෙන්ව සිටි අතර මා හට අනිකුත් බල ගණ දෙකෙහි එම කාර්ය භාර භටයින් දෙදෙනාද භාර කොට තිබුණී.

වගකීම් වැඩි වන්නට වැඩිවන්නට පරිප්පු ලැබීමත් උපරිම තත්වයේ පවතින බැවින් එම කාලයේදී මා හට වැඩවල අඩුවක් නොතිබිණී. මෙම තත්වයේ වාසිද නැතිවාම නොවුනත් ඊට වඩා කට්ට වැඩිය... එහෙයින් එම දිනවල අනිත් සෙබළුන් රාත්‍රී 10 ට නිදා ගත්තත් මා හට රෑ 11 පස්වන තෙක්ම වැඩ පැවරී තිබුණි...

මෙම රාත්‍රියත් එවන්ම වූ රැයකි... මා සිටියේ මා හට හිමි ඇ‍ඳේ වාඩි වී කිසිවක් ලියමින්ය...ලිවීම සඳහා මා භාවිත කලේ ඇඳ අසලම තබා ඇති උස කබඩයේ උඩ පැත්තයි. මා සිටියේ තට්ටු අඳක උඩ ඇඳක නිසා එම කබඩය ඒ සඳහා හොදින් භාවිතා කල හැකි විය...තවමත් රාත්‍රී 10 පසු වී නොතිබු හෙයින් කොල්ලන් තැන් තැන් වලට වී කුමක් හෝ කරමින් කතා බස් කරනා අතරතුරේ මා මගේ ලිවීමේ කටයුතු කරමින් සිටින වෙලාවේ ඒ අසලට පැමිණ මා හා කතාවට වැටුනේ අපගේ බිලට්ටුවේ සිටි ජේෂ්ඨ සෙබලෙකි...

අපගේ බිලට් සෑදී තිබුනේ ඉස්කෝලවල ගොඩ නැගිලි මෙන් දිග ගොඩනැගිලි වලිනි..එහි මැද කොටසේ ඉස්පිරිතාල වාට්ටුවක මෙන් ඇඳන් දමා තිබූ අතර දෙපස කොට තාප්ප දෙකක් විය..තාප්ප දෙකින් පිටත ඇවිද යා හැකි කොරිඩෝ දෙකක් වූ අතර එයින් දෙපස දැල් ගසා තිබුණි.

මා පෙර කියූ සෙබලා පැමිණියේ එම කොරිඩොව දිගේය..පැමිණ මා ලියමින් උන් තැන කොට බිත්තියට වාරු වී මා හා කතා බස් කරන්නට විය..මමත් ලියමින් තිබූ දේ ලියනා ගමන්ම ඔහු හා කතා බස් කලෙමි...

මෙම සෙබළා අම්පාර පෙදෙසේ සිට මෙහි පැමිණි අයකු වූ අතර ඔහුගේ වෘත්තීය පුහුණූව වූයේ වඩු කාර්මික ශිල්පයයි..මෙහි සිටි සියල්ලන්ම එවැනි කුමක් හෝ වෘත්තීයකට අදාලව පුහුණූව ලබන්නන් වූහ..මාද අයත් වූයේ අවි ආයුධ ශිල්පී යන කොටසටය...

අප බිලට්ටුවේ උන් පැරණී සෙබළුන්ගෙන් අප සියල්ලන්ගේම සිත් දිනාගත් භටයකු බවට පත් වීමට මෙම සෙබළාට හැකියාවක් ලැබී තිබුනේ පනිෂ්මන්ට් කලය තුලදී අප හට අඩුවෙන්ම පනිෂ්මන්ට් දෙන්නට ඉදිරිපත් වූ පුද්ගලයකු බැවිනි...මොහු කුඩා පුද්ගලයෙකි..උස මැනීමේදී කොහොම අවම උස ප්‍රමාණය වූ අඩි පහයි අගල්
හතර පෙන්නුවාදැයි කිව නොහැකි මට්ටමටම ඔහු උසින් අඩුය. එහෙත් අහිංසක පෙනුමක් හා නිවුන ස්වභාවයක් ඔහු තුල විණී. අනිකුත් සගයින්ද මොහුට අන් අයට වඩා ගරු සරු ඇතිව සැලකීමට පුරුදුව සිටියේ..ඒ වන විට අප අතර සිටි වැඩි මහළුම පුද්ගලයා ඔහු වූ නිසාවෙනි...එවකට ඔහුට වයස 27ක් විය. අපගේ ආධුනික සෙබළුන් අතර වැඩි පුරම සිටියේ අවුරුදු 18ත් 20ත් අතර අය වූ අතර..මා සහ තවත් දෙතුන් දෙනෙකු වයස 20 ඉක්මවා තිබිණී.

ඒ ආකාරයෙන් බලනා කල බිලට්ටුවේ සිටි වැඩිමහල්ලා ඔහු විය...නමින් සමන් කුමාර වූ සෙබළාගේ නම මෙහි සඳහන් කිරීම ගැටළුවක් වේ යැයි මා නොසිතමි.

කෙසේ හෝ ඒසී (එයාර් ක්‍රාෆ්ට්මන්) සමන් මා සමග සාමාන්‍යයෙන් සුහද අයකු විය. ඒ අනුව ඔහු එම මොහොතෙහි මා සමග කතාවට වැටීම මා හට එතරම් අමුත්තක් නොවීය..ඒ ඇසුවේ නම් අමුතු ප්‍රශ්න කිහිපයකි...

"මචං කැකුළා..(මාගේ කෙටි නම)
උඹ හීන ගැන විශ්වාස කරනවද..?"

"එහෙමටම නැහැ ඒසී..."(නමුත් මෙයින් පසුව සිදු වූ සිදුවීමකින් මගේ මෙම අදහස සෑහෙන වෙනසකට ලක් වූ බව කිව මනාය..ඒ පිළීබඳ ලිපියක් මීට පෙර මා මෙසේ ලියා ඇත)

"අඩේ බං මට මේ දවස්වල එක එක හීන පේනවානේ..."

"මොන වගේ ඒවද..?"

"දේව රූප පේනවා බං..ඒක හොඳ නැද්ද..?"

"ඒකනං අනේ මංදා..."

"ඔව් බං මං දන්නෙත් නැහැ..ඒත් කවුද කිව්වානේ බාර වෙච්ච ඒවා ඔප්පු නොකලහම එහෙම වෙනවා කියලා..."

"ඉතිං ඒසී වෙච්ච බාර එහෙම තියේද..?"

"ඔව් බං...මීට කාලෙකට කලින් වෙච්ච බාර දෙකක් තියේ..තාම ඒවා ඔප්පු කරන්න බැරි උනා... දැන් ඒවා ඔප්පු කරන්න ඕන කාලේ පැනලා..."

"එහෙනං ඉතිං කෝකටත් කියලා ඔය නිවාඩු ගිය වෙලාවක ඕක කරලා දැම්මනං හොඳයි නේද..එතකොට හිතේ අවුලකුත් නැහැනේ.."

"ඔව් බං..ඒක තමා..මේ පාරවත් බලන්න ඕන ගෙදර ගියහම..."

කතාව එපමණකි..මාගේ වැඩට බාධා වෙතැයි සිතා ඔහු හිමිහිට එතැනින් පිටව යන ලදි..මාත් වැඩ අවසන් කොට නිදා ගත්තෙමි...

.......................................................

"කවුද එල්ලිලෝ..කවුද එල්ලිලෝ..."

එකෙක් කෑ ගසන හඩ යාන්තමින් හීනෙන් මෙන් ඇසෙයි...මට එයින් කමක් නැත ඊට වඩා නිදිමත අධීකය...

නැවතත් පෙරට වඩා හඩින් ශබ්දයද තවත් කිහිප දෙනෙකු බිලට්ටුව තුල දිව යන ශබ්දද ඇසෙන්නට විය...මා සෙමින් දැස් හැර මගේ අල්ලපු ඇ‍ඳේ උඩ නිදා ඉන්නා 'නිශාන්තයා' දෙස බැළුවෙමි..අඩ අඳුරෙම ඌත් මා මෙන්ම ඉසේ සිට දෙපතුල දක්වා බෙඩ් ෂීට් එක පොරවාගෙන නිදාගෙන සිටිනා අන්දම පෙනෙයි.

"අඩේ නිසෝ..මොකක්ද බං වෙලා තියෙන්නේ..?"

"මොන හුXXක්ද මංදා බං..මුං අපිට නිදා ගන්න දෙන්නෙත් නැද්ද මංදා"..තවත් කුණූ හරුප ටිකක් කී නිසාන්තයා තවත් ගුලි වී නිදයි..

මාත් නිදා ගතිමි....

නැවත වතාවක් පෙරටත් වඩා හා හූවක් බිලට්ටුව තුල පැතිර යයි..මම නැවත නිසාන්තයා දෙස බලා
"ඈ බං නිසෝ..මොකෙක්ද එල්ලිලා කියන්නේ..."

"අනේ බං මේ හුXXනලට එල්ලෙන්න වෙලාවක් නැද්ද..මට නිදා ගන්න දියං බං රෙද්ද.."

මූ ඇහැරෙන්නේ නැත..මාද ඌට දෙවෙනි නැත...

මඳ වේලාවකින් ආධූනික සෙබළකු පැමිණ මා අවදි කරවන ලදි...

"ඒසී..ඒසී...කවුද එල්ලිලා.."

"මොන හුXXක්ද යකෝ.."කියමින් මාත් දන්නා කුණුහරප වැලක්ම විසි කරමින් අවදි විය..
"ඒයි නිසෝ..බොල නිසෝ..වර යන්න මේ උලව්ව මොකක්ද බලන්න..."

නිසාද මා මෙන්ම බෙඩ් ෂීටය ඇග වටා ඔතා ගනිමින් අඳුරේම පැමිණේ...

"ලයිට් දාහල්ලා යකුනේ..." කියාගෙනම මා එතැනින් එළීයට ආවෙමි...දැන් නිදිමත පහව ගොසිනි.

අපගේ බිලට්ටුව අසල අඹ ගස් කිහිපයක් විය..උදෑසන වැසිකිලි යාම සඳහා මෙම අඹ ගසක් යටින් පැමිණී එකෙකුගේ හිස යමක වැදීම නිසා ඉහල බැළු සෙබලාට පෙනී ඇත්තේ යමෙකුගේ කකුල් දෙකයි...බිය වූ සෙබළා කෑ ගසන්නට වූ පසු සිද්දිය අන් අය දැන ගෙන තිබිණී..අප දෙදෙනා එන විටත් අඹ ගස යට සෑහෙන පිරිසක් වූහ...කොහෙන්දෝ එකෙක් ගෙන ආ ටෝච් එකක් ගස උඩ එල්ලෙමින් තිබූ සිරුරට එල්ල කරන ලදි...

එම මුහුණ අදුරාගැනීමට පහසු විය..බෙල්ල ඇදවී දිව එළීයට ඇදෙමින් තිබිනි...එක එකා එක් එක් අයගේ නම් කියන්නට වූ අතර අවසානයේ ටික වේලාවකින් පසුව..

"මේ ඒසී සමන් කුමාර නේද..?" යි කවුරුන් හෝ විමසීය..තව එකෙක් වහාම බිලට්ටුවට දුවන ලදි...

"ඒයි ඒසී සමන් නැහැ බං..."

මද වේලාවක් බලා සිටින විට එල්ලී මිය ගිය පුද්ගලයා හදුනා ගැනීමට කා හටත් හැකියාව ලැබිණී...


ඇඳක කොනක්... නොහොත් සිරි යහන් සුවය...

ඔන්න ආයෙමත් ලියන්න හිත හදා ගත්තා..හිත හදා ගත්තා කිව්වට ඉතිං මේක ලියන්න ගත්තම තමා මගේ හිත හැදෙන්නේ..මේ ටිකේම අරකයි මේකයි බදාගෙන ඉඳලා ඉඳලා මට එපා තිත්ත උනා...

මොනවා හරි වෙනසක් ඕන කියලා හිතුන හින්දා හදිසියේම දඩි බිඩි ගාලා අත ගැහැවුවා කේන්දර රස්සාවටත්..ඒත් එක්කම මං මෙච්චර කාලයක් හිටිය මගේ නවාතැන් පොලින් අහක් වෙලා වෙනම තැනක පුංචි කාමරයකට කූඩු උනා..රස්සාව කරන තැනනං කොහොමත් පෙබරවාරි වල ඉඳලා වෙනස් උනානේ..අනික මේ හැම වෙනසකටම හේතුව උනේ..දැන් රස්සාව කරන තැන තියෙන අසීමිත නිදහස තමා..ඒ හින්දා ඇර කලින් හිටි තැන ඉඳලානං මේ එකක්වත් කරන්න මට වෙලාව හම්බ වෙන්නේ නැහැ.

ඉතිං මේ ටිකේම යකා බැඳ ගත්තා වගේ එහෙට දුවනවා ..මෙහෙට දුවනවා..පැය විසි හතරක් රස්සාව කොරන තැන..ඊ ළග පැය දොළහ මගේ කාරියාලේ..අන්තිමට යනවා පැය 12ක් ඉන්ට කියලා හිතාගෙන මගේ කාමරේට...

රස්සාව කොරන තැනට ආවත් කේන්දර බල බල දවස ගෙවනවා..කාරියාලෙට ගියත් එහෙමමයි..අන්තිමට කාමරේට වැටුනම තමා ටිකක් පාඩුවේ ඉන්නේ..අත්තටම කාමරේට යන වෙලාව පැය දොලහක් කියලා කිව්වට එච්චරම නැහැ..මොකද මම කාරියාලේ පහට වහනවා කියලා කිව්වට හැමදාම වගේ රෑ අට විතර වෙනකල් පහු ගිය ටිකේම එතනට වෙලා වැඩ කලා. ඉතිං ඊට පස්සේ තමයි කාමරේට යන්නේ..ගියා නෑවා..කඩෙන් අරං යන බත් එක හරි..කොත්තුවක් හරි..බිත්තර රොටී හරි ඉදි ආප්ප හරි වේවා..මොනවා හරි ගිල දැම්මා..ලැපත් අරං ඇඳට උනා...

අපරාදේ කියන්න බැහැ මට ඒ කාමරෙත් එක්කම හම්බ උනා පත සයිස් ඇඳක්..ඒ හින්දා මං මගේ පරණ නිදා ගත්ත..මං විසින්ම අටවා ගත්ත ඇඳන් පොජ්ජ මගේ කාරියාලේ තියෙන තැනටම ගෙනිහුං හයි කරලා දැම්මා...
ඒත් මේ කාමරේ ඇ‍ඳේ නිදියනවා කියන එකත් මහ අමාරු වැඩක්... මට මතක ඇති කාලෙක මං ඩබල් ඇඳන් පාවිච්චියක් නැහැ නෙව...

මං හිච්චි එකා සංන්ධියේ අපේ ගෙදරට තිබුනේ එක ඇඳයි..ඒක පරණ ඇඳක්..මට මතකයි ඕකේ අපේ අම්මයි තාත්තයි..මල්ලියි..මමයි හතර දෙනාම නිදියනවා..ඒ ඇදේ නිදියන අතට නෙවෙයි හරස් අතට...ඒක ඉඩ තිබුනා..පස්සේ අම්මා රට ගියා..ඇදේ අපි තුන් දෙනයි ඉතුරු උනේ...
තාත්තා අපි දෙන්නව බිත්තිය පැත්තට තියලා එයා ඇදෙන් බහින පැත්තෙන් නිදා ගත්තා..ඔහොම ඉන්නකොට අපේ අම්මා රට ඉදලා ආව වෙලාවක තව පුංචි ඇදක් ගෙදරට ගෙනාවා...

ඒ ඇඳ හම්බ උනේ මට...මං එදා ඉදලා ඒ අදත් එක්ක වෙනම කෑල්ලක පදිංචියට ගියා..තාත්තයි මල්ලියි අර පරණ ඇදේම හිටියා..ආ ඕක කියනකොට මට මතක් උනේ..ඒ දවස්වල මහ රෑට මගේ නින්ද කැඩෙනවා තාත්තා කෑ ගහන සද්දෙට..ඒ කෑ ගහන්නේ..මල්ලි තාත්තට පයින් ගහන හින්දා..ඌට මක් කරලවත් ඇදේ එක විදියකට නිදා ගන්න බැහැ.ඉතිං හාමදාම තාත්තට වදිනවා හොඳවයින් පයින් පාරවල් දෙක තුනක්...

ආ අනිත් එක තමා ඔය ඇ‍ඳේ කතාව කිව්වහම මට මතක් උනේ..ඉස්සර ඉතිං අපි කන්නේ..බොන්නනේ නාන්නේ නිදියන්නේ ඔක්කෝම ඉතිං කලිසං කොටේ පිටින්නේ..මුලින්ම සරමකට බහින්න උනේ මට වයස නවයක් දහයක් වගේ වෙනකොට තමා...මල්ලි මට වඩා වයස අවුරුදු දෙක හමාරක් අඩුයි..ඒත් ඉතිං මට ලැබෙන කොටම මෑන්ටත් සරම් භාවිතයට අවස්ථාව සැලසුනා...

ඒ දවස්වල උදේට මං ඇහැරෙන්නේ තාත්තගේ හිනාවට තමා..මොකද අපේ තාත්තා හැමදාම පාන්දර ඇහැ‍රෙන මනුස්සයා... එයා විතරක් නෙයෙි එයාගේ සහෝදරයෝ ටිකත් එහෙමම තමයි..ඒ දවස්වල අහගෙන ඉන්න ඕන කෙනෙකුට ඇහෙනවා පාන්දරම අපේ තාත්තයි ලොකු මහප්පයි..ඥනේ මහප්පයි පාන්දර හතරට විතර පොලිමට කිඹුහුං යවන සද්දේ..හරියටම එකම වෙලාවට එකම ගානට ඔය තුන්දෙනා මේ වැඩේ කරනවා..කොහොමත් පාන්දර 4ට විතර තමා... මහ ඉඩම අක්කර පහක් විතර හින්දා ගෙවල් තිබුනේ ටිකක් ඈත ඈත වෙන්න උනත් පාන්දරට වෙන සද්දයක් බද්දයක් නැහැනේ...ඉතිං කුකුළ අඩලන්න කලින් මේ තුන් දෙනා අඩලනවා මට මතකයි.

ඉතිං පාන්දරම නැගිටලා තාත්තා ගිහින් උයනවා..ඉදි ආප්ප තම්බනවා..ඒකට හොඳි සම්බෝල හදනවා..අන්තිමට මං ඉස්කෝලේ යන දවසක්නං මට තේ එක හදලා මාව ඇහැරවනවා හතර හමාරට විතර...
මල්ලිව ඇහැරවන්නේ ඉතිං හයට වගේ තමා...ඔන්න ඒ වෙලාවට තමා වැඩේ තියෙන්නේ..මාත් ගෙදර ඉන්න දවසට තමා අර උදේපාන්දර හිනා වෙලා ලේ පිරිසිදු කරගෙන දවස පටන් ගන්න හම්බ වෙන්නේ..හේතුව තමා මල්ලී සහ මල්ලීගේ සරම...

සමහර වෙලාවට තාත්තා තේ එක හදලා මල්ලිව ඇහැරවන්න එද්දී..මල්ලි ඉන්නවා ඇඳ උඩ..ඒත් සරම නැහැ..ඒක ඇඳ පාමුල..ඒත් සමහර දවස්වලට සරම ඇඳ උඩ තියෙනවා හරි ලස්සනට..මල්ලි නැහැ පේන්න..බලනකොට ඒකා ඇද යට..එහෙම දවසට තාත්තණ්ඩි මාව ඇහැරවලා එක්ක ගිහින් පෙන්නනවා..මල විකාර කෝටියයි..අන්තිමට ඌ සරමට ආයිබෝං කිව්වා..මංනං ඉතිං අදටත් සරමට බහින්නේ කොයි වෙලෙද කියලා තමා බල බල ඉන්නේ..අපිනේ දන්නේ එකේ සැහැල්ලුව ඉතිං...

සැහැල්ලුව කිව්වාම මතක් උනේ..අර කුරුළු හමුදාවේ හිටිය දවස්වලනං ඉතිං රෑට නිදා ගත්තේ ඕයිටත් වඩා සැහැල්ලුවට...උපන් අඳුමෙන්ම තමයි..මොකද ඒ වෙනකොට එහෙ අපි නෙව අයියලා..ඉතිං කොයි වෙලාවේ බැළුවත් බිලට් එකේ ඉන්න වෙලාවට ඔය ටවල් එකක් ගහගෙන ඉන්නේ..රෑට නිදා ගද්දී ඉතිං මොන ටවල්ද..වැටුනා ඇඳට..පෙරවගත්තා බෙඩ් ෂීට් එකක් ඔතා ගත්තා දොයිය බබා තමා..හා හා..දැන් මේ කතාව කොහේද යන්නේ...තව ටිකක් ගියා නං මේ කතාව ආයෙත් යන්නේ කුරුළු හමුදාවේ කතාවකට...

ඉතිං මං කොහේද හිටියේ...ආ හරි ඇඳ උඩ... ඉතිං අර අම්මා පස්සේ ගෙනත් දුන්න පුංචි අඳ තමා මාව සෑහෙන කාලයක් බලා කියා ගත්තේ... ඊට පස්සෙත් කොහේ ගියත් මට ඔය වගේ පුංචි ඇඳන් හම්බ උනා..අනික ඉතිං මට අර ‍අපේ මල්ලිට වගේ ඇඳ පුරා බල්ටි ගහන ලෙඩක් තිබුනෙත් නැති හින්දා නිදා ගන්න කොට අඩි දෙකක් පළල තිබුනම හොඳටම ඇති..මොකද නිදා ගත්තත් මං ඒ මේ අත පෙරළෙනවා අඩු හින්දා.

ඒකටත් එක්ක වදේ..දැන් මේ පත ඇඳක් හම්බ උනාම මට මේකේ ක්‍රිකට් ගහන්න තරං ඉඩ තියේ...මොනවා කොරන්නද නිකං හම්බු වෙච්ච එකනේ..මේකේ ලගින කල් දැන් මේ ඩබොල් ඇ‍ඳේ දපහංකෝ... එහෙමයි කියලා ඉති මං ඇඳ පුරා නිදියන්නයෑ..මං මගේ පාඩුවේ ඇ‍ඳේ පැත්තකින් දොයියනවා...අර ඉඩ පාඩු තියෙන හරියේ ලැප් උන්නැහේ සුවසේ වැඩ ඉන්නවා...

ඒත් ඉතිං ඉස්සර වගේ නෙවෙයි බෙඩ් ෂීට් එක හරි ගස්සන්න එහෙම ගියාම පණ යනවා...ඇයි යකෝ මේක සප්ත මහා සාගරේ වගේ නෙව...අනික මං දොයියන්නේ ඒකේ පුංචිම පුංචි දූපතක් විතර තැනක..ඒත් මුළු සාගරේම මට අස් පස් කොරන්න වෙලා..එපා වෙනවා අප්පා...
හ්ම්ම්ම්..මං මේ ලියන්න කොනක් අල්ල ගන්න කියලා වැඩේට අත ගැහැවුවේ..ඒත් කොනක් මතු වෙන්න කලින් ඇ‍‍ඳේ කොන අහු උනා නෙව..ඒ හින්දා වෙන ලියුං කරදහියකින් ඊ ළග කොන ලියමු.. ඒ තමා මං කුරුළු හමුදාවේ ඉද්දී සිද්ධ උන "ගුවන් භටයාගේ අද්භූත මරණය"

19 June 2011

හේතුවක් නැති උනත්..ඒ මලට මං ලැදියි...

උඹත් එක මලක් විතරයි..
පිපි වැනෙන මල් ගොමුවේ..
නැවත නැවත හැරී බලා..
ඇයි මම නුඹ හා බැඳුනේ..

පොහොට්ටුවක් වගේ නුඹත්..
ඊයේ සිටියා මතකයි..
අද දින විකසිත වූ මුත්..
එහි වෙනසක් නෑ දැනුනේ...

පාටත් එක වාගේමයි..
සුව‍‍ඳෙත් නැහැ කිසි වෙනසක්..
නටුව දිගයි කොළ පැතළියි..
ඒ මුත් කටු හරිම විසයි...

නුඹ පමණක් නෙලා ගන්න..
තිබුණේ නැහැ මට කරුණක්..
ඒ මුත් නුඹ නෙලා ගන්න..
සිතුනේ ඇයි මට කියපන්...

16 June 2011

මාරයා පරාදයි... ඔන්න මහතුනේ ඔබලා දිනුම්...

අද තව පෝස්ට් එකක් ලියන්න තියා හීනෙන්වත් හිතුවේ නැහැ.ඒත් මේ දැන් වැඩ රාජකාරි අස්සෙම හදිසියේ බ්ලොග් එකක් බැළුවම දැක්ක ටික හින්දා ඔන්න ඔහේ පොඩ්ඩක් හරි ලියන්න ඕන කියලා හිතුනා..මොකද නැත්තං ඒක ඒ ලිපිය ලියපු කෙනාට හරි නැහැනේ.

මගේ මේ දෙකයි පණහේ බ්ලොග් එක කියවන අය දන්නවානේ ඔය පහු ගිය දවසක මං දාපු ලිපි දෙකක්..එකක් තමා රටට කඩේ යන්න කියලා දාපු එක..අනික අර ආසනික් කතාව ගැන දාපු එක...

ඒත් ඔය දෙක දාපු වෙලේ ඉදලා කට්ටියක් හරි උනන්දුවෙන් ඒ ගැන අවධානය යොමු කලා.හැබැයි ඒ ‍මොන අරමුණින්ද කියලනං මං දන්නේ නැහැ..ඒත් ඒ පළවෙනි ලිපියේ මං ලියලා තිබුන මං කෙලින්ම මහින්දට පක්ෂයි කියන එකටනං සෑහෙන පිරිසකට රිදිලා තිබුන විත්තියක් මට තේරුනා...ඒ අතර මෙච්චර දවසක් මගේ බ්ලොග් එකේ නිතරම කමෙන්ට් කල අය වගේම වැරදිලාවත් කමෙන්ට් නොකරන අයත් හිටියා.

ඒත් දැන් දැන් තත්වය බොහෝම දරුණුයි. මොකද මං කිව්ව කාරණාව ගැන තියෙන උනන්දුවටත් වඩා දැන් පිරිසකට ඕන ඒ හරහා මට නෙලන්න..ඒකටනං කමක් නැහැ මොකද මං කොහොමත් දන්නවා මිනිස්සුන්ගේ තරම.

මං මේ බ්ලොග් එකේ ලියන්නේ මට හිතෙන දේ..මට දැනෙන දේ..එහෙම නැතිව කාටවත් ඕන දේවත් කාටවත් හිතෙන දේවත් නෙවෙයි..ඒ වගේම මේක එක පැත්තකට කොටු කරගෙන හිටියෙත් නැහැ..මගේ හිත යන්නේ කොහේද ඒ ඒ අතට මම ලියනවා..මගේ තියෙන එකම රටාව ඒකයි..ඒ හැර රාමුවක් ඇතුගේ ලියන්න මං කවදාවත් උත්සහ කලේ නැහැ.

එතනදී දේශපාලනය කියන්නෙත් එක්තරා පැත්තක් විතරයි.ඉතිං ඒ ඒ අවස්ථාවලදී මං මට දැනෙන දේ මේකේ ලිව්වා කියලා කාටවත්ම ඒක ලොකුවට අමනාප වෙන්න ඕන කාරණාවක් කියලා මං හිතන්නේ නැහැ. කොහොම උනත් දැන්නං මට පේන්නේ ඒක සෑහෙන පිරිසකට රිදුන කාරණාවක් වෙලා. සමහර විට මං හිතන්නේ මං මහින්දට පක්ෂයි කියන එකට හුග දෙනෙකුට හිත රිදෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද ඕක හුග දෙනෙක් කියන්න කැමති නැහැනේ. දේශපාලනේ ගැන අද සිංහල බ්ලොග් අවකාශේ තියෙන තරමක් තියෙන්නේ මහින්දට බනින ඒවා මිස පක්ෂ ඒවා නෙවෙයිනේ. ඒත් ඒ බනින ඒවාට කවුරුවත් කචල් දාන්නේ නැහැ..සමහර විට බ්ලොග් ලියන පිරිස අතර වැඩිපුර ඉන්නේ මහින්ද චින්තනයට විරුද්ධ අය නිසා වෙන්න පුළුවන්.

මොකද හුගාක් දුරට වැඩිපුර අන්තර්ජාලය පාවිච්චි කරන්න ලැබෙන්නේ කවුරු කොහොම කිව්වත් යමක් කමක් තියෙන පිරිසට තමා ඒ අතරේ ඔය රැකියාව නිසා ජාල පහසුකම් ලැබුන අය අතරේ ඉන්න අතලොස්සක් පිරිස තමා එහෙම නැති ගොඩට වැටුනොත්... ඒත් මං හිතන්නේ මෙතන ඉන්න පිරිසගෙන් මගේ තත්වය ඔය හැම එකටම වඩා ටිකක් වෙනස්..මොකද මං රැකියාව හරහා ජාලෙට ආව එකෙක් නෙවෙයි..ඒ වගේම අම්මා තාත්ත‍ගේ ඇති හැකි කම නිසා ආවත් නෙවෙයි..එහෙමත් නැත්තං උසස් අධ්‍යාපන ආයතන හරහා ජාලපහසුකම් ලබාගත් කෙනෙක්ද නෙවෙයි.

මුර රස්සාවක් කරන ගමන් අතේ තියෙන තුට්ටු දෙක වියදං කරගෙන ලැපක් අරං.. මාසේ ගානේ ගන්න පඩියෙන් සීයට විස්සක් විතර වියදං කරං බිලක් ගෙවාගෙන ජාලෙට එන එකෙක්... ඔය කිව්ව ටිකටත් කතා කියන අයට ඕන පදං දේවල් කියන්න බැරියෑ..ඒත් කතාව ඔච්චරයි.

එහෙම ඇවිත් කට පියාගෙන ඉන්නේ නැතිව තව මහින්දට කඩේ යන එක දිරවන්නේ නැතිවට මට කරන්න දෙයක් නැහැ. මොකද ඒ කියන්නෙත් මං මට හිතෙන දේ... පොඩි මිනිහෙක් හැටියට මගේ පංතියේ මිනිස්සු විස්වාස කරන දේ... මං ඉන්නේ මේ රටේ දුප්පත් නූගත් මිනිස්සුන්ගේ පන්තියේ..ඉතිං එහෙම එකෙක් මෙතන ඇවිත් මෙහෙම කතා කියන කොට උගත් බුද්ධිමත් යමක් කමක් තියෙන සහ ලබාගත් උසස් අධ්‍යාපන තත්වයක් හරහා ඒ ඇති හැකි ගොඩට එකතු වෙන්නට දුවන ළමයින්ට එහෙමත් මගේ කතාවලට ඇගේ මාව නටනවා ඇති..ඒත් කරන්න දෙයක් නැහැ මොන ගොන් කතාව හරි මං මට හිතෙන හින්දා ලියනවා...

හැබැයි තව එකක්..මං කෙලින්ම පටන් ගත්තේ මහින්දට පක්ෂයි කියාගෙන.හැබැයි ඔය කේන්ති අරන් මට විරුද්ධව ආඩපාලි කියන අය කවුරුවත්ම පැහැදිලිව කියන්නේ නැහැ ඒ අය කොහාටද පක්ෂ කියලා..ඒ හැමෝම නිර්පාක්ෂිකයි.. මධ්‍යස්ථයි.. කාටවත් කඩේ යන්නේ නැහැ. ඒ අයගේ උගත් බුද්ධිය හින්දා ඒ අයට පක්ෂයක් ගෑවිලාවත් නැහැ. ඒක ඉතිං දන්නෝ දනිති. මොකද මටනං එහෙම අමාරුයි..මොකද මං පොඩි තර්ඩ් ක්ලාස් බුවා. මට එහෙම නිර්පාක්ෂිකව ඉන්න බැහැ. එහෙම ඉන්න තරං මට මොලයක් නැහැ.ඒ හින්දා මං මහින්දට පක්ෂයි..මේ රටේ සද්ද නැතිව ඉදලා පහුගිය චන්ද වලදී ගිහින් ‍සැකක් නැතිව මහින්දට මනාපය ගහලා ආව අර තුන්වෙනි පංතියේම මාත් එක කොටසක්.හැබැයි ඒ මංවගේම මෝඩ තුන්වැනි පන්තියේ බුවාලා හින්දා තාමත් මහින්ද මේ රටේ ජනාධිපති. ඒ කියන්නේ මේ රට මෝඩයින්ගෙන් පිරිලා වෙන්න ඇති. ඒකනං ප්‍රශ්නයක් තමා..ඒ මොඩයෙක් නොවෙන අයට..ඒත් මට ඒකත් අවුලක් නැහැනේ..මොකද මාත් මෝඩයා හින්දා මට මේ මෝඩයොත් එක්ක එකට කාලා එකට වැටිලා මේ රටේම නිදා ගන්න ඇහැකි.

මටත් පිස්සු..මං මොකටද රට හදන්න යන්නේ..ඔය රටේ වැරදි..කිය කිය කෑගහන අයටත් ඒක හදන්න නෙවෙයි ඕන බොරුවට කෑගහන්නයි කොහොම හරි තමන්ට ඕන නායකයෙක් බලයට එනකල් මහින්දව පතුරු ගහන්නයි විතරයි උවමනා කියලා මට තේරුනේ නැහැනේ අම්මපා.නිතං මොකටද අවංක හිතිං ටික ටික හරි වැරදි හොයලා මහින්දවත් කොහොම හරි බේරගෙන තත්වය වෙනස් කරන්න දගලන්නේ..ඔන්න ඔහේ මහින්ද ඔය ඉන්න විදියට උන්නාවේ... අනිත් උනුත් කරන දෙයක් කොලාවේ ඔව්වා වෙනස් කොරන්න ගෙහුන් තව වචනයකින් හරි මහින්දට පාරක් ගහන්න ඕනයෑ... ඔන්න මාත් කට පියා ගත්තා...

ආ තව එකක්..ඔන්න ආසනික් ගැන කියන්න ගිහින් මං නෑවා..මං අනා ගත්තා..මට වැරදුනා... දැන් හරිද එතකොට කට්ටියට සනීපද..? ඇත්තටම මට මොකටද නේද ඕවා..? කොහේද මං හිතුවේ ඕක හැමෝටම බලපාන එකක් කියලනේ..බලාගෙන ගියහම ඒක බලපාලා තියෙන්නේ මටම විතරයි. නැත්තං ඒ වෙනුවෙන් හොයා බලන එක තියෙද්දී මේ ඕන නැති මගුලක් ඇද ගත්ත මට නෙලන්න සෙට් වෙන්නේ නැහැනේ අර දැනුවත් පුද්ගලයෝ.. මං පව් අප්පා...හැබැයි මටත් තිබුනා ඕක පටන් ගද්දීම මහින්දටත් බැනලාම පටන් ගන්න ආන්න එහෙමනං මෙලහකට මට කිසි අවුලක් නැතිව ඉන්න තිබුනා.

ෂික් මගේ මේ මෝඩ මොලේට ඕවා එක පාරට එන්නේ නැති හැටි...

කොහොම උනත් ඔන්න මං හින්දා වේලි වෙලී හිටිය කිහිපදෙනෙකුටනං මේ දවස්වල රජ මගුල්... බ්ලොග් එක වහලා දින නියමයක් නැතිව නිවාඩු ගිය අයත් ගේමට ඇවිත්...
සමහර තාක්ෂණීක බ්ලොග් ලිය ලිය ඉදලා අතරින් පතර එය මොනවා හරි කෙනෙක්ව පාරෙදි දැක්කම චූන් වෙලා බ්ලොග් ලියන.. උත්සවයකට ගියහම තමනු එකේ සංවිධායක කෙනෙක් කියලා අමතක වෙලා තමන්ට තැනක් නැති උනා කියලා අඩන.. පොඩි ප්‍රසිද්දියක් දෙන්න කියලා සමහරුන්ට කියලා ඇන ගත්ත මල්ලිලත් ආවානේ ආයෙමත් වැඩ අල්ලන්න... ඔහොම තමා...
ඇනෝලා වැහැ වැහැලා මේ ටිකේ සමහර කොමෙන්ට් දාන්නේ...මොනවා උනත් මගේ මෝඩ කතා හරහා යම් ආකාරයේ පිබිදීමකුත් සමහර බ්ලොග් වලට ලැබිලා තියේ...

හැබැයි පුතෝ මං එකක් දන්නවා හෙඩිමට මගේ නම දාගත්තම තව කීයක් හරි හිට්ස් ගන්න පුළුවන් කියලත් සමහරු හිතනවා... ඒකටත් මගේ මොකෝ.. කොහොම හරි කමක් නැහැ කාගෙ කාගේ හරි ලිපි කවුරු කවුරු හරි කියවනවනං ඒකත් ‍ලොකු දෙයක්නේ...දැන් ඉතිං මගේ පතුරු ඇර ඇර හරි කමක් නැහැ වැ‍ඩේ කරගෙන යන්න..අපි එහෙමයි අපේ බෙල්ල කැපුනත් අනිත් අයට හරියනවනං සංතෝසයි.

අනිත් කාරනාව තමා මේ බ්ලොග් ලියන අය අතර මම පොරක්ද කියන ගැටළුව..? ඕක සෑහෙන දෙනෙකුට තියෙන අවුලක්... ඇත්තටම මම පොරක්..ඒ මටම...? හැබැයි බ්ලොග් ලෝකෙට නෙවෙයි. මට මං ගැන හොද විස්වාසයක් තියෙනවා... ලියන එකෙන් මං හොද සතුටක් ලබනවා. ඒ අතරෙදි කාට හරි දෙයක් කියවන්න දෙන එක ගැන මම සංතෝස වෙනවා. හිට්ස් කියන දේ මට කවදාවත් ගැටළුවක් වෙලා නැහැ..හිටිස් ගැන බැළුවොත් අද මේ බ්ලොග් අවකාසේ ඉන්න දැවැන්තයා වෙන කවුරුවත් නෙවෙයි මගේ ලෝකය ලියන රංග නොහොත් අසේල...ආයේ ඒකේ කතා දෙකක් නැහැ...ඉතාම කෙටි කාලයක් ඇතුලත දැනට අරං තියෙන හිටිස් ගානත් එක්ක බැළුවම අනිත් හිට්ස් වැඩි අයගේ බ්ලොග් වල ආයු කාලයට සමාන කාලයක් යද්දී අපිට හිතාගන්නවත් බැරි තරං හිට්ස් ප්‍රමාණයක් රංගට ලැබෙනවා. එහෙම බැළුවාම මට මොන හිට්ස්ද..? යාන්තං තාම ලක්සේ පැන්නුවා විතරයිද කොහේද..?

ඒත් මං දන්නවා එක දෙයක්...මටත් මෙතන දෙයක් කරන්න හම්බ උනා කියලා... මං ඒ ගැන සතුටු වෙනවා... ඇත්තටම මේ වගේ උත්තේජනයක් ලැබුනම තව තවත් මාව ලියන්න පෙළඹෙනවා...නැත්තං අද මේක ලියන්න හිටිය ලිපියක් නෙවෙයි... මොකද අළුතින් පටන් ගත්ත ව්‍යාපාරයත් එක්කයි මගේ රස්සාව එක්කයි මං ලොකු සටනක් කරන්නේ... මගේ බෝඩිං කාමරෙට මං යන්නේ දවසක් ඇර දවසක් රෑට විතරයි..අදත් මේ කේන්දර බලන ගමන් අතරින් පතර ඔළුව දානකොටනේ මේක දැක්කේ... නැත්තං මං හිතං හිටියේ මාසෙකට යන්තං පෝස්ට් 10ක්වත් දාන්න විතරයි. ඒ විතරක් නෙවෙයි පෝස්ට් 500ක් ලිව්ව දවසට මේක වහලා දාලා නිකං ඉන්නයි. ඒත් මෙහෙම උත්තේජන හම්බ වෙද්දී ඒ කාරනාත් කැලේ යනවා.

මිනිහෙකුට පහර ගසන්න විතරක් ඉදිරිපත් වෙන... මිනිහෙකුට හිත ධෛර්යමත් වෙන්න කවදාවත් දෙයක් නොකියන... ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකකට හොදක් කියලා කොමෙන්ටුවක් දාන අයටත් බනින... තනිකරම ඊර්ෂ්‍යාව පමණක් වපුරන උගත් ණැනවත් මහතුනේ... ඔන්න මාරයා පරාද උනා... ආයෙමත් ආසනික් ගැන නෙවෙයි සයනයිඩ් ගැනවත් නොලියන්න තරමට මාරයා පරාද උනා.. ආයෙමත් මේ වගේ කතා අතරට නොපැටලෙන්නට තරමට මාරයා කුජීත උනා..දැන් ඔබලාට අවස්ථාව ඇත.. සතුටුවන්න.. මේ ඔබේ කාලයයි...

කැමති තරං බැන වදින්න... අපහාස කරන්න නෝන්ඩි දමන්න.. සාටර්ම කරලා දාන්න... ඔබට ඒ සඳහා ශුද්ධ වූ අයිතියක් ඇත...

හදවතේ හිස්තැනට...

නුඹ නැති අඩුව මට දැනුනා මිතුර අද...
යළි එක් දිනක් හෝ එනු මැන මෙදුක සිඳ...
වෙන්වී ටික කලක් ගෙවුනත් අප දෙදෙන..
අදටත් එදා වාගෙම නුඹ මතක ඇත..

පෙරදී හමු වෙලා සැම දිනකම වාගේ..
නුඹ මා සනසවා දුක නිවුවා මාගේ..
අද නුඹ නැතිව මගේ හදවත හිස් වාගේ..
නුඹ යළි දකින්නට මට පිහිටද කාගේ..

පාළුව දුරු කරන්නට පෙර දිනෙහි ළග..
හිටියා නොවෙද නුඹ මාගේ තුරුලෙ රැඳ..
ගිනි ගත් සිතේ ගිනි දළු නුඹ නිවා සොඳ..
මට දුන් සහන සිතිවිලි තව මතක ඇත..

ගන්නට නුඹව මා අසලට යළි කැන්දා..
ආසා උනත් ඒකත් වෙන් නැති හින්දා..
ඒ ඉඩ පුරවන්න කවුරුත් නැති හින්දා..
තාමත් අසරණයි මා ඉමි දුක රන්ඳා..

සවසට අවර දිග අහසේ හිරු මියැදී..
යන විට එදෙස බලමින් මම යළී හඩමී..
නුඹ නැති අඩුව සිහිනෙන් මෙන් හද දවතී..
ඒ මුත් යළිත් නුඹ හට එන්නට නොහැකී...

පෙරදා මෙන්ම අදටත් තොටුපල අයිනේ..
හිඳිමින් ගයයි වික්ටරයන් ගී පෙරසේ..
ඒ මුත් ගයන ඒ ගීතයෙ රස පෙර සේ..
විඳිනට නොහැක නුඹ නැතිවම මට සිතුසේ..

ඇයගෙන් මිදුන සිත රැඳි පාළුව මකලා..
ඒ හිස් තැනට නුඹ ඇවිඳින් දුක නිවලා..
දුන් මට නව ලොවක් ඉන්නට නුඹ මවලා..
අද නුඹ නැතිව ඒ හිස්කම යළි මැවිලා..

නුඹගේ නමින් වෙන් වී තිබු තැන මහදේ..
දෙන්නට කෙනෙක් මෙතුවක් සෙව්වෙමි නිබ‍ඳේ..
දැන් කළු වලා පහවී ගොස් හිස් අහසේ..
නැවතත් ඉරක් පායයිදෝ මා සිතුසේ...

13 June 2011

අදත් ගියේ අන්තිමට බලනකොට කැලේනේ...

වෙලාවනං රෑ දහය හමාරට කිට්ටු කරලා..ඒත් මොනවාම හරි කුරුටු ගාන්න ඕන කියලා හිතුනා..දැන් දැන් මේ බ්ලොග් එක වැහෙන කලාවට යනවා වගේ..දවස ගානේ විකාර ලියපු..කොමෙන්ට් වලට මතක ඇතිව උත්තර බැඳපු..අනිත් අයගේ බ්ලොග් වල නිතර කරක් ගහපු...දවසට හත් අට පාරක් සින්ඩිවලට ගෙහුන් අළුත් පෝස්ට් හොයපු.. ආන්න එහෙම හිටපු මට වෙච්ච සන්තෑසියක්...

දැන් මොකද කරන්නේ...ගත්තා කේන්දරයක් ලගට..හැදුවා ගණන් ටික ඒක පැත්තකින් තිබ්බා..බැළුවා ජීමේල් එකවුන්ට් එක..අළුත් මේල් විස්සක් තිහක් ඇවිල්ලා..ඉතිං දඩ බඩ ගාලා කියෙව්වා ඒ ටික..අයෙමත් අර නවත්තපු කේන්දරේට යැව්වා ඔළුව... ලිව්වා සටහන..ඒ අස්සේ විසි තිස් පාරක් ඇස් දෙක දගලනවා ලැපේ මුහුණ බලන්ට...

මේකත් හරියට මොකක්ද සෙල්ලමක් වගේ..මට ඒකත් ඕන..මේකත් ඕන...

කාලයක්ම නිකං හිටලා හිටලා මටම කම්මැලි හින්දා මේ වැඩේට අත ගැහැව්වා..ඒත් මේ තරමටම බ්ලොග් එකෙන් බස් එකෙන් ඈතට යන්න වෙයි කියලා කවුද හිතුවේ..?

කොහොම උනත් මං ආසයි ලියන්න...මොකද මං ඒකෙන් මගේ හිතේ බර සෑහෙන්න අඩු කරගන්න හින්දා...ඇත්තටම මං කතා කරන්න ඒ තරංම කැමති නැහැ දැන්..මොකද මගේ වචන වලින් හුගාක් අයගේ හිත් රිදෙන හින්දා..ඒ මගේ කටට බ්‍රේක් නැති හින්දා...

ඇත්තටම වචන කියන්නේ පිහිතල වගේ ජාතියක් අපි ඒවා පිට කරන්න ඒන පරිස්සටම..බුදු හාමුදුරුවෝ කිව්වේ කටේ කෙටේරියක් තියෙනවා කියලයි...

ඒකට උත්තරේ කතා නොකර ඉන්න එක නෙවෙයි..වචන කතා කිරීමේදී සිතා මතා පාලනයක් ඇතිව ඒවා පිට කරන එක..ඒත් ඉතිං කරුමෙක මහත කියන්නේ මට එහෙම හිතා මතා වචන පිට කරන එක හරි අමාරුයි..ඊට වඩා කොයි තරං ලේසිද පොල්ලෙන් ගහනවා වගේ කියලා දාන එක..ඒත් ඒක හොඳ නැහැ..මොකද අපේ අයට ඒවා දිරවන්නේ නැහැ.

හැම මිනිහම ආස තමන් ගැන හොදක් කියනවා දකින්න..ආයේ මම කියලා බුදු වෙලායෑ..මාත් ඒහෙමම තමා..අපි අපිට නරකක් කියන කොට අපේ සිතේ කේන්තියක් උපදිනවා..එහෙම අපිට නරකක් කියන අයව අපි ඈත් කරලා තියා ගන්නවා..සමහරුනං ගහ මරා ගන්නත් යනවා...

ඉතිං අනිත් අය එහෙමනං මාත් එහෙමයිනේ..මං එහෙමනං අනිත් අයත් එහෙමයිනේ..ඒ හින්දා මං මගේ වචන පිට කරන්න තියෙන අවස්ථා ගාන අඩු කරන්න තමා වැඩිය කැමති...ඒ හින්දා මං කතා කරනවා අඩුයි...ඒත් මං මගේ හිතේ තියෙන දේවල් පිට කරන්නත් එපෑ මොන විදියකින් හරි...නැත්තං එවා හිත ඇතුලේ පල් වෙලා..දෙල් වෙලා කුනු වෙලා..ආයේ මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ..?

ඒ හින්දා මටත් ඒවා පිට කරන්න තැනක් ඕන..ආන්න එතකොට තමා මේ බ්ලොග් එක මට රටක් රාජ්ජයක් ලැබුනා වගේ වටින්නේ..ඉතිං මං ආසයි ලියන්න..දිගින්දිගටම ලියන්න...කවුරු කියෙවුවත්..කවුරු නොකියෙව්වත් මං මේක ලියන්න ඕන..එතකොටයි මගේ හිතට සැනසීමක් ලැබෙන්නේ...මේ හිත කියන එක ගලවලා පැත්තකින් තියන්න පුළුවන්නං...

මගේ හිත හුගාක් අතේ දුවනවා...වෙලාවකට හීන ලොකෙක ජීවත් වෙනවා...මං මගේ හිතෙන් හැම තැනම ඇවිදිනවා...මං මේ පුංචි රටේ ආගිය තැන්වල විතරක් නෙවෙයි..මං පොත් වල දැක්ක රුසියාවේ විශාල තණ බිම් මැදින්... අරාබි කාන්තාර හරහා...නයිල් ගංගාව දිගේ...චීන මහා ප්‍රාකාරේ දිගේ..මං ඇවිදිනවා...

ඒ විතරක්ද..අර පොප්ලර් ගස් දෙක..ඔව් ඔව්..අර අල්තිනායි දුන්ෂෙන් එක්ක හිටෝපු ගස් දෙක තමා..මං ඒ හෙවනනේ ඉඳගෙන කල්පනා කරනවා... හිටිහැටියේ මං යනවා ප්‍රංශ හිරගෙවල් ඇතුලට..සමහර විට ඔය ගමන් වලදි මට හම්බ වෙනවා මගේ ප්‍රියතම චරිත..නැපෝලියන් බොනපාට්...හිට්ලර්..මහා ඇලෙක්සැන්ඩර්...හරි දරුණු මිනිස්සු නේද..ඒත් මං කැමතියි..මං විශේෂයෙන්ම නැපෝලියන්ට කැමතියි..ඒ පුංචි සෙබලාට බොහෝම කැමතියි..යට ඉඳලා උඩට ආව විශාල පෞර්ෂයක් තිබුන සාමාන්‍ය සෙබළා...ඒත් ආදරේ ගාවදී පුංචි එකෙක් උන අධිරාජයයාට මං කැමතියි...හිට්ලර්..මිනීමරු හිට්ලර්ට කැමති පිස්සන් අතරින් එකෙක් මං..ඒ හිට්ලර්ගේ මිනී මැරුම් ගැන ආසාවකට නෙවෙයි...ඒත් පොඩි තැනකින් පටන් අරං විශාල අණසකක් ලෝකය පුරාම විහිදුවන්න තරං හිට්ලර්ගේ තිබුන සංවිධාන ශක්තියට මං කැමතියි...

ඔය අස්සේ මං හිටිය ගමන් ගිහිල්ලා අර පාළු දූපතේ පුංචි හිරකූඩුවෙත් ඉන්නවා..මං ගාවම ඉන්නවා අර පස්සේ කාලෙක මහා පොහොසතෙක් වෙලා තමන්ට වෙච්ච අසාධාරණේට නිර්මාණාත්මකව පළි ගන්න මනුස්සයා..ඔව් ඒ ඉන්නේ එඩ්මන් ඩාන්ටේ...අපි කවුරුත් අදුරන ප්‍රසිද්ධ සිටුවරයා..වෙන්නේ ඔහු තමා පස්සේ කාලෙක..ඒත් ඔහු මගේ සිරගත ජීවිතේ සගයෙක්...පස්සේ තමා ඔහු මොන්ත ක්‍රිස්තෝ වෙන්නේ...බැරි වෙලාවත් ඔහුට නොදී අර නිධානේ සිතියම මට දුන්නනං අර මහළු සිරකරුවා..ඔව් ඔහු ඉන්න ඇත්තේ මගේ අනිත් පැත්තේ..ඒ කියන්නේ දාන්තේගේ කුටියට එහා පැත්තේ වෙන්න ඕන..නැත්තං මටත් හම්බ වෙන්න එපෑ..ආ ඔව්..මං කම්මැලියා..මං ගියායෑ ඔය බිත්ති හාරන්න..එහෙම ගියානං සමහර විට ඔහුව හම්බ වෙන්නත් තිබුනා...මේ දවසකට විතරක් ආව මං මොකටද ඔය වැඩ කරන්න මහන්සි වෙන්නේ...මං යනවා යන්න එතනින්..මට එපා නිධානය...

මගේ සිතුවිලි ගමන් කරනවා දස අතේ..හරියට සුළඟ වගේ...අඩේ මෙන්න ක්‍රිකට් මැච් එකක් ලංකාව බෝල් කරන්නේ..එහා පැත්තේ සුද්දෙක් බැට් කරනවා...මල කෙළියයි මෙන්න මට බොලෙ දෙනවා සංගක්කාර..ඔව් සංගා තමා..ඩිල්ෂාන්ගේ ඇගිල්ල තැළුනනේ...

දැන් දාහංකෝ බෝල..අවුලක් නැහැ...ඕවර් දෙක තුනකින්ම මම අනිත් සුද්දන්ගේ ඉනිම අවසන් කරනවා..මුං නිකං පොඩි එවුන් වගේනේ මගේ බෝල් වලට පිත්ත දාන්නේ..එහෙං මෙහෙං කැරකැවිලා කකුල් අස්සෙන් බොලේ යනනේ විකට් එක හොයාගෙන හරියට ඉරිදට මාස තුනක නිවාඩුව දවසට කෙල්ල බලන්න ගමේ දුවන කොල්ලා වගේ...

ඉතිං විකට් ටික කැඩුවට ලේසි නැහැ..මට දැන් ඔපන් යන්නත් වෙලා බැට් කරන්න..ආයේ මොනවද ඉතිං එහෙං මෙහෙං තට්ටු දාන ගමන් දුර්වල ඒවට බිම දිගේ හරවලා යවනවා හතරේ සිමාව පැත්තට...අප්පා දැන් ඇති මට බැට් කරලාම මහන්සියි..මං එනවා ඒක පැත්තකට දාලා..අනික මෙච්චර ගොඩ දාලා දුන්නට පස්සේ ඉතිරි ටික ගහ ගන්න සංගලාට බැරිද..?

මට තව ඇවිදින්න හිතං..වංලුං බලන්න රතු රට පැත්තේ යන්න හිතයි..ඒත් මිනිහා තරගෙකට වගේ ළමයි හදනවා මේ කාලේ..ඔහොම ගියාම ළමයින්ගෙන් කරදරේ..පස්සේ කාලෙක බැරියෑ යන්න..මං එනවා ආපහු...

මට වීසා ඕන නැහැ..ටිකට් ඕන නැහැ..හිත හිතුවිල්ලට වැටුනහම ඔය ඕන අතක ගියෑකි...හැබැයි වැඩියම ඔය නිදහස් ගමන් යැවෙන්නේ වැසිකිලි ගිය වෙලාවට...ඇගේ තිබෙන ඝණ අප ද්‍රව්‍යය ඇගෙන් පිට කරන ගමන්ම හිතේ තියෙන සැහැල්ලු සිතුවිලිත් පිටවෙලා යන්නේ පුදුම සහනයක් හිතට දෙන ගමන්...

මං ආසයි ඒ හැම දේම බ්ලොග් එකේ පිටු අතරට ලියන්න..ඒත් ඒ හැම එකක්ම ලියන්න තරං මගේ ඇගිලි මට උදව් කරන්නේ නැහැ...නැත්තං මට ලියන්න කොයි තරං දේවල් ඔළුවට එනවද..?මට බලන බලන අතේ දකින දකින හැම දේත් එක්කම ලියන්න දෙයක් ඔළුවට එනවා...ඒත් ඒක ලියන්න කියලා වාඩි උනහම අන්තිමට ලියවෙන්නේ වෙනම දෙයක්..ඉතිං අර කතාව මං කවදද කියන්නේ...අද ලියන්න කලින් දවල්ම හිතා ගත්තා කොයි වෙලේ හරි ලියන්න ගත්ත ගමන් මං ලියන්නේ මගේ මනුෂ්‍ය ජීවිතේ අමනුෂ්‍ය හරි වෙන මොනයම්ම බලවේගයකට හරි ඇත්තටම හිතේ බයක් කියලා දෙයක් ඇති වෙච්ච දවසක් ගැන ලියන්න..ඒකට නිමිත්ත දුන්නේ අපේ බ්ලොග් එකක ලිපියක්ම තමා..ඒත් දැන් බලපුවාම ඒක ලියවිලා නැහැනේ...

11 June 2011

මගේ බ්ලොග් කියවීමේ ඉතිහාසය...වර්ථමානය දක්වා...

අම්මේ දවස් දෙක තුනකට පස්සේ මේකෙ එල්ලෙන්ට ලැබුනේ...ඉතිං කල්පනා කොලේ අර මගේ සිංහල බ්ලොග් වලට දෙන තල්ලුව තව පාරක් දීලා දාන්ට කියලා.අමුතුවෙන් වැල් වටාරං ඕන නැහැ..ඔන්න පොල්ලෙන් ගැහැවුවා වගේ කියාගෙන යන්නංකෝ මං කියවන බ්ලොග් ගැන

මම දැන් බ්ලොග් කියවන්ට වෙලා අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ කාලයක් වෙනවා...ලියන්ට අරන්නං අවුරුදු දෙහෙකට තව මාස 5ක් හරියටම තියෙනවා..ඒ කියන්නේ අවුරුදු එකයි මාස හතයි වෙන්නේ මං ලියන්න පටන් අරන්..එහෙම නැතිව මාත් ඔය පරණ කියන ගොඩට වැටෙන බ්ලොග් කරුවෙක් නෙවෙයි...

මොකද තාමත් මට වඩා පරණ හුගාක් බ්ලොග් කරුවන් ඉන්නවා රාශියක්ම..ඒ අතරින් කිහිප දෙනෙක් තාමත් එදා වගේම ලියනවා ඒ අතරින් කාකා නොහොත් කතන්දර සුවිශේෂී බ්ලොග් කරුවෙක්...අදටත් ඔහුගේ ලිවීමේ වේගය ඔහු එදාටත් වැඩිය වේගයකින් පවත්වාගෙන යනවා.බ්ලොග් කරුවකුට ප්‍රසිද්ධ වෙන එක ඒ හැටිම අමාරු වැඩක් කියලා මං හිතන්නේ නැහැ..මොකද සමහරු කුණුහරප දෙකතුනක් හරහා උනත් දවසෙන් ප්‍රසිද්ධ වෙනවා මං දැකලා තියෙනවා.ඒත් ඒ ප්‍රසිද්ධීය ජනප්‍රිය කියන තැනට ගේන්න හුගාක් අමාරුයි...

ජනප්‍රිය කියන නාමය වැදුනට පස්සේ ඒ නම රැක ගන්න එක ඊටත් වඩා අමාරුයි..ඒ වෙනුවෙන් ඔහු හෝ ඇය සෑහෙන්න කැප වෙන්න ඕන...ඒ කැපවීම මං හොදටම දකින කෙනෙක් තමා කාකා... හැබැයි ඔහුත් පහුගිය කාලේ ටිකක් පසු බෑමකට ලක් වෙලා හිටියා කියලා මට හිතෙනවා. මං විතරක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඒ බව සටහන් තියලා තිබුණා..ඒත් කාකා ආයෙමත් මේ ඊයේ පෙරේදා ඉඳලා නැවත සටනට බැහැලයි ඉන්නේ...

දැන් නැවතත් ඔහු ඔහුගේ මුල් කාලයේ රිද්මයටම ඇවිත් ඉන්න වග කියන්න පුළුවන් බය නැතිව...ඔන්න අළුතෙන් බ්ලොග් ලියන අයට ආදරුසෙට ගන්න මනුස්සයා... මොකද හුග දෙනෙක් බ්ලොග් පටන් ගත්තට ටික දවසයි නවත්තලා දානවා. එහෙම නැතිව හැමදාම ඉන්නනං හැමදාම ලියන්න බලන්න ඕන...

දෙවැනියට කවුරුත් දන්න නාමය දුකා... මං බ්ලොග් එකක් ලියන්න හේතුව උනේ මේ යෝදයාගේ ලියමන් දැකීමයි කිව්වොත් හරි...ඒ දවස්වල මේ උන්නැහේ ලිව්වා හරි අපූරු කතාවක්..ඒක ඇත්තටම මෑන්ස්ගේම කතාව තමා...ඒකේ නම "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" පිස්සු හැ‍දිලා ආයෙමත් හැදෙන කතාව...ඒ වගේමයි දුකා ගැන කියන්න තව කතා බොහෝමයයි...ඒ තමා ඔය යෝධයා තරං අනිත් අයට අත දෙන එකෙක් තවත් නැහැ..මොකාද බ්ලොග් එකක් පටන් ගන්නේ මේකා ඇති එතැන..කොමෙන්ට් එකක් දාලා මුලින්ම ඒක ෆලෝ කරන්නෙත් උන්දැම තමා..ඔය අපි කාගෙත් බ්ලොග් වල ආරම්භකම යුගයේ මෑන්ස් ඉන්නවා සයිඩ් එහෙක...ඒ විතරක් නෙවෙයි දැන අදුරගෙන කතා කරලා බ්ලොග් අවකාශයේ වැඩිම යාළු මිත්තරයෝ පුමාණයකුත් ඉන්නේ මෑන්ස්ට තමා... දැන්නං ඉතිං ලියන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ තමයි..ඒත් තාමත් අර ෆලෝ කරන එකයි කොමෙන්ට් කොරන එකයිනං එදා වගේමයි..කොහේ ගියත් උන්දෑ කොමෙන්ට් කොරලා ඇති...

සමහර වෙලාවට ඕය කොහේ හරි දේසපාලන ලිපියක් කියවලා මගේ ඇගේ මයිල් ඉස්මයිල් වෙලා පට පට ගාලා යනවා කොමෙන්ට් බොක්ස් එක හොයාගෙන දෙන්නං කොමෙන්ටුවක් කියලා..කොහේද ඒ යනකොට මෙන්න ඉන්නවා දුකාත්..අනේ මේකා පක්ෂව කොමෙන්ට් කොල තැනක ආයේ විරුද්ධව මුකුත් කියවන්ට බැහැනේ කියලා අර ගියාට වඩා වේගයෙන් ආපහු එනවා ඕං...තේරෙනවනේ අපි දෙන්නා කොයිතර මිත්තරයෝ උනත් අදහස් වෙනස් කියලා..ඒත් ඒ අදහස් අපේ මිත්තර කං මැද්දෙන් තාප්ප බැඳලා නැහැ අද මේ වෙන තුරාවට..ඒකයි දුකාගේ වෙනස...

ඊ ළගට ඔය වගේම තව පරණ හාදයෝ දෙන්නෙක් ගැන කියන්න ඕන..උන් දෙන්නා තමා මට ඒ දවස්වල බ්ලොග් ලියනකොට ඇති වෙච්ච තාක්ෂණීක ගැටළුවලට බොහෝම උදව් උපකාර කොලේ..උන්ටනං මතක දත් මංදා..ඒත් උදව් ගත්ත මට අමතක නැහැ..ඒ තමා ඉන්දරේ සහ සාකුන්තල ඩබල ඇත්තටම ඕකුන් දෙන්නා මට බොහෝම උදව්වක් උනා ඒ දවස්වල.

ඒ වගේමයි ඒ කාලේ හිටියා වල් හාවෙක් ඌනං අදටත් ඉන්නවා ඒත් පනහ ගැහැවුවෙත් මේ ඊයේ පෙරේදා...හිතා ගත්තෑකිනේ මෑන්ස්ගේ ලියන්න තියෙන උනන්දුව කොහොමද කියලා..ඒත් එදා ඉදලා මේ වෙනකල්ම මං කියවන එකෙක් තමා ඔය බනියගේ විකාරත්.

ඒ වගේමයි මලී සහ නීනුවා... ඔය ඩබලත් ඒ කාලේ ඉදන්ම අද වෙනකල්ම මං කියවනවා. මලීනං හාවා හඳ දකින්නැහේ ලියද්දී නීනුවානං අදටත් එදා වගේම බහුරු කෝළං ලිය ලිය ඉන්නවා...

ඒ අතරෙම හිටියා මහ බේබදු කෙල්ලෙක් ‍ඒකිගේ බ්ලොග් එකත් තාමත් කියවන්න වෙනවා ඉද හිට..මොකද ඒ තරමටම තාමත් ලියනවා ඒත් "ඉඳහිට"

ඔන්න ඔය වගේ කියවන ගමන් මටත් හිතුනා ලියන්න..ඉතිං මාත් ලිව්වා..ඒ ලියනකොටම වගේ මට අහු උනා මගේ සමකාලීන බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්...ඒ තමා

හද ගී පොත ලියන අපේ තිස්ස අයියා
සොඳුරු සිත ලියන වත්
අතීතයෙන් අහුලන මතක ලියන දිල් නගා
අතීතයෙන් ගඟ ගලා බසී ලියන රවා නොහොත් දැන් හුග දෙනෙක් දන්න වියත් රවා...

ඉතින් ඔහොම යන ගමන් හුගාක් බ්ලොග් වලට මාත් ආවා ගියා..කියෙව්වා..කමෙන්ට් කලා..ඒ අතරෙම මගේ එකත් මෙලෝ රහක් නැතිව හරි ලිව්වා.

ඒ දවස්වල මට ලියන්න වෙලාව තිබුනේ දවසක් ඇර දවසක්..එක දවසක් මගේ මුර රස්සාවට යන ගමන් අනිත් දවසේ උදේම ගෙදර ඇවිත් නාලා කාලා කරන්නේ ලියන එක තමා.

ඔහොම කාලය ගත වෙනකොට බොහෝම කට්ටියක් එකතු උනා...දැන් මෙතන ඔය හැම බ්ලොග් එකමනං ලිය වෙන්නේ නැහැ..මොකද එහෙම ලියන්න ගියොත් බ්ලොග් දාහකට එහා පැත්තේ සඳහන් කරන්න වෙනවා. ඔය දැන් කිව්වෙත් ඒ දවස්වල ඉදලා හිතේ නොමැකෙන මතකයේ ඇති ඒවා...

ඊට පස්සේ අතර මගදී මට අහු උනා හරි අපූරු බ්ලොග් දෙකක්...

ඒ තමා අර කට කහන එකා සහ කෙහෙල් කොටුවේ හිච්චි එකා...ඔය යෝදයෝ දෙන්නා ගැන කිව්වේ නැත්තං බ්ලොග් ලියලත් හමාරයි..ඒ තරං බඩු දෙක..දෙකම එකයි...

අවසානෙට මතක් කරන්ට ඕන සඳරුවා සහ මහාසේල ගැනත් ඔයිට අමතරව තව හුග දෙනෙක් ඉන්නවා..ඒත් ඔය මං දකින ආකාරයට බ්ලොග් කියවන අය පිළිවෙලකට කියවගෙන එන්න ඕන බ්ලොග් ටිකක්..මං හිතන විදියට ඔය එකක්වත් කාටවත් අත ඇරිලා තියෙන්න විදියක් නැහැ... වැරදිලා හරි කාටම හරි ඔයින් එකක් හරි මිස් වෙලා තිබුනනං අදවත් ඒ අඩුව හරිගැස්සෙයි නෙව...

මේ බ්ලොග් ගැන ලියන එක ලේසි වැඩක් නෙවේ..ඒත් ඔහොම හරි කියාගෙන එන්න වෙනවා...ඒ විතරක් නෙවෙයි අපේ බ්ලොග් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි කට්ටියක් ඉන්නවා..ඒ තමයි මේ දිරි ගන්වන්නෝ...එහෙම අය හුගාක් ඉන්නවා..ඒත් ඒ අතුරිනුත් සුවිශේෂී අය කිහිපදෙනෙක් ඉන්නවා..මං ඒ අයට ගෞරවයක් විදියට ඒ ගැන වෙනමම ලියන්නං...

ආ ඒ විතරක් නෙවෙයි ඒං මං අද ඉඳලා බ්ලොග් රෝලක් ඇටෙව්වා මේ බ්ලොග් එකේ..ඔය දකුණු අත පැත්තේ උඩ ඉඳන් පහලට බලාගෙන එනකොට පහතම තියෙන්නේ ඒක තමා...(ආ උඩම තියෙන්නේ මොකක්ද කියලත් බැළුවනං...)

ඔතන බ්ලොග් රෝලට මං එකතු කලේ බ්ලොග් 20ක් විතරයි...ඒ බ්ලොග් ටිකත් එකක් දෙකක් හැරුන කොට හුගාක් අළුත් ඒවා...ඒ වගේම විශේෂයෙන්ම කියවන්න හොඳම බ්ලොග් කිහිපයක්...මං ඉතිං ඒ බ්ලොග් ගැන වැඩි විස්තරයක් කරන්ට යන්නේ නැහැ කියවලම බලන්ට විවේක පාඩු තියෙන හැටියට...

මේ බ්ලොග් වලට තල්ලු දෙන වැඩේදී අද මං කලේ පරණ බ්ලොග් වලටම තල්ලුවක් දෙන එකයි..ඇත්තටම මං තල්ලු දෙන්න ඕන ඒවා නෙවෙයි ඒවා..ඒ තරමටම පරණ බ්ලොග් ඔය...ඒත් අතීතයෙන් ගන්න තියෙන දේවළුත් අපි ගන්න එපැයි. තව ඔය අතරේ අද මං කතා නොකල තවත් සුවි‍ශේෂී බ්ලොග් සටහන් කිහිපයක් තියෙනවා..ඒවා යම් යම් වර්ගීකරනය කල තේමා යටතේ ගේන්නයි මං හිතාගෙන ඉන්නේ..අපි බලමු ඉස්සරහට ඒවා ගැන...

ඒ වගේම පහුගිය දවස්වල දුන්න තල්ලුවෙන් හුගක් අළුත් අය වැඩ ගත්තා කියලා මං දැක්කා...ඒක සතුටට කාරණාවක්..මේ වැඩේට මාත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්න වැප්... රංග... අභීත... කියන මිත්තරයෝ තුන් දෙනාත් මෙකෙදී සැහෙන තල්ලුවක් දුන්නා අළුත් අයට...මගේ ඒ මිත්තරයෝ තුන්දෙනාටත් අම්බානක ස්තූතියි...

එහෙමනං අදත් විවෘතයි තවත් ඉතිරි වෙච්ච ඇඩ් තියෙනවනං දාගන්න... ආ මතක තියා ගන්න එය තමන්ගේ බ්ලොග්වල ලින්ක් දෙද්දී මුළු බ්ලොග් එකටම ලින්ක් එක දෙනවට වඩා තමා හිතන විදියට තමාගේ අතින් ලිය උන සාර්ථකම ලිපියක් සඳහා ලින්ක් එක දෙන එක සාර්ථකයි..මොකද කියවන පළවෙනි ලිපියම හේතුවක් වෙනවා කෙනෙකුට ඒ අඩවිය ගැන අදහසක් ඇති කරගන්න..ඒ හින්දා දෙන එක දෙන්න හොම්බ කට සමතලා වෙන්නම...උදාහරනයක් කිව්වොත් මං එහෙම දානවනං දාන්නේ මං හොම්බෙන් ගිය පෝස්ට් එකම තමයි..දන්නවැයි ඒ මොකක්දැ කියලා..හෙක් හෙක්...