මාරයා නමින් ලියන මටම මාරයාගේ තවත් හිතාගත නොහැකි කෙරුමක් කියන්න වෙච්ච එක තමා කරුමේ...
මීට කලින් මං මේ කතාව ලිව්වද නැද්ද කියලනං මට මතක නැහැ..එහෙම ලිව්වනං ඒක මතක් කරලා දෙන්න හිටිය සෙට් එකෙන් එකෙක් අද වෙනකොට බ්ලොග් එකක් බලන්නවත් වෙලාවක් නැති තරමට කාර්ය බහුල වෙලා තියෙන එක ලොකු අවුලක්..ඒ තමා අපේ නිශ් ගොයියා..අනේ කොළුවා උන්නද මලාද නැහැ.. ඒ තරමට වැඩ රාජකාරි කියන්නේ...
ඒත් තව අපේ පොරසන්න උන්නැහේ එහෙම ඉන්න හින්දා සමහර විට මේක ලියලාද කියලා මට කියාවි..ඒත් මට හරියටම නිච්චියක් නැති හින්දා ඕන්න ඔහේ ලියලා දාඤ්ඤං...
මේක ලියන්න හිතුනේ ආයෙමත් වංගියක් මගේ කුරුළු හමුදාවේ මතකය ඇවිස්සුන හින්දයි.ඒ අර කලින් ලිපිය ලියන්න ගිය වෙලාවේ..
..........................................................
මෙම සිද්දියට පසුබිම් වූ කාලය වනාහී..එදා මෙදා තුර ජීවිතයේදී මා විසින් ගෙවූ හොඳම කාල වකවානුවයි... ඒ තරමටම සුන්දර සමයක් වූ එකල..තිබූ එකම කළු පැල්ලම මෙය බැව් කිව යුතුය.
දියතලාව මූලික හමුදා සටන් පුහුණුව සය මාසයක කාලයක් වළඳා අවසන අපව එවන ලද්දේ කටුනායක මූලික වෘත්තීය පුහුණු පාසලටය...අක්කර දෙසිය පණහකට අධික කටුනායක කඳවුරු බිමේ පිහිටි සිත්කළු බිම් කඩෙක එය පිහිටා තිබුණි...පෙනෙන පෙනෙන අත ඇති පොල් ගස් හැර වෙනත් යමක් නොවීය...අක්කර ගණනක් විශාල ඉඩමේ අතරින් පතර පමණක් ගොඩනැගිලි පිහිටා ඇත.එම ගොඩනැගිලි ආසන්නයේ පමණක් පොල් නොවන ගස් වර්ග තරමක් පිහිටා ඇතද..වැඩි හරියක්ම ඇත්තේ පොල් ගස්ම පමණී.
අප හට මෙම කඳුවුරේ නියමිතව තිබුනේ හය මාසයක පුහුණු කාල සීමාවක් වූවද..කඳවුරු රාජකාරීන් නිසා අවසානයේ එහි වසරකටත් එහා ගිය කාලයක් රැඳී ඉන්නට අපට සිදු උණි...නමුත් ඒ පිළීබඳව අප කිසිවෙකුටත් පසු තැවිල්ලක් නම් නොවීය..මන්ද යත් ඒ තරමටම අප එම භූමියට ඇළුම් කිරීම නිසාය.
අපව එයින් මාරු කර ඒකල කඳවූරට යවා සතියක් ඉක්ම යෑමටත් පෙර කටුනායකට එල්ල වූ දැවැන්ත කොටි ත්‍රස්තවාදී ප්‍රහාරය දා එය දැනගත් මොහොතේ අපේ සහෝදර සෙබළුන් හඩා වැටුන අන්දම මට අදද සිහි වේ. අපේ ගෙදරට ගලක් ගසන තරහා කාරයා පිළීබඳව අපගේ සිතේ ඇති වන තරහට වඩා සිය දහස් ගුණයක තරහවත් කෙන්තියත් ඒ සැමටම වඩා හට ගත් දුකත් නිසා එදා අප සැවොම හඩා වැටුනෙමු..අප එතරම්ම කටුනායක කඳවුරු භූමියට ඇළුම් කලෙමු.
මෙම සිද්දියත් සිදුද වූයේ එසේ අප කටුනායක ගත කල කාල සීමාවේදීමය...ඒ වන විට අප කඳවුරට පැමිණ මාස හයක් පමණ ගත වී තිබිණී... කඳවුරක පළමු මාස හය යනු අසීරුම කාලයයි. මන්ද යත් අප නවකයන් වන නිසාවෙනි. විනය පිළීබඳව සීයයට සීයක අවධානය ඇත..එසේම අණ පිළීපැදීම මෙන්ම අවංකකමත්..කාර්යශුරත්වයත් නිතර සොයා බලයි..තමාට පැවරෙන වගකීම් අකුරටම ඉටු කල යුතුය. ඒ පිළීබඳව සොයා බලන්නේ අපට වඩා ජේෂ්ඨ සෙබළුන්ය...
අප එහි ගිය දින පටන් හය මාසයක් යන තෙක් උපරිම කට්ටක් කෑවෙමු..මුල් මාස දෙකෙහි හැරෙන හැරෙන අතේ කනේ පහරවල්ය... නමුත් එම පහරවල් වලට හේතු වූයේ අපගේම වැරදිම විය.අපේ සිරිත සීනියර් බුවාලට ඇරීමය.. උන්ගේ සිරිත කෙසේ හෝ අරින එකා අල්ලා කන හරහා දීමය... සමහර විට සීනියර් බුවාලා අපට කන හරහා දෙන ගමන් මූන රළු පෙනුමක් ගෙන තිබුනද ඇතැම් විට අපේ උන් දෙන බූරු පිළීතුරු වලට උන්ටද සිනහා වී සිටිය නොහැක. නමුත් සිනහා වීම අපට තහනම්ය. වැරදිලාවත් සිනහා ගියහොත් වහාම සිනාව කැපිය යුතුය..සිනහව කැපීම සඳහා වෙනම ඩ්‍රිල් මූමන්ට් එකක් ඇත. එය අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගෙන් ඇහැවුවොත් කියා දෙනු ඇත.උන්දෑ කියා නොදුනහොත් පසුව කියා දෙන්නට සිතමි.
කෙසේ හෝ මෙවැනි කාලයක් අවසන දිනක් අප සියළු දෙනා පෝලිම් කල ජේෂ්ඨ සෙබළුන් විසින් අපහට විශේෂ දැනුම් දීමක් කරනු ලැබීය..එනම් අපගේ පනිෂ්මන්ට් සීමාව හෙටින් අවසන් වන බවයි..ඊට හේතුව වූයේ අපෙන් පසුව එන නවක සෙබළුන් හෙට දින කඳවුරට වාර්ථා කිරීමට නියමිතව තිබීමයි...
හෙටින් පසුව එන නවක සෙබළුන් පිළී ගැනීමත්..මෙතෙක් දවස් සීනියර් බුවාලා විසින් අප පාලනය කල ආකාරයටම හෙට සිට අප විසින් නවකයින් පාලනය කල යුතු බවත්..අදින් පසුව අප නිදහස් පිරිසක් බවත්..සෑම විටම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් කටයුතු කල බවත්..අපට පහළින් සිටින නවකයින් පාලනය කිරීමට නොහැකි වීම හෝ ඔවුන් නිරන්තරව විනය විරෝධීව හැසිරෙන්නේ නම් එහි වගකීම අප සතුවන බවත් පවසා අවසාන රාත්‍රියට සැරසෙන සේ දන්වනු ලැබීය...
කෙලිය තිබුනේ එදා රාත්‍රියේය...එහි තොරතුරු කියන්නට අවශ්‍ය නැත...මමත් එදා රාත්‍රියේ හොඳ පිරිසිදු ජල ටැංකියේ දිය කරනු ලැබූ අවුසද වර්ග මුසු ජලය ස්නානය කොට ඒ අසල අඹ ගසකට වී රැය පහන් කලෙමි.අති සුන්දර රැයක් එසේ සනිටුහන් විය..පසුදායින් පසුව කිව්වාත් වාගේ අපට සීනියර් උන්ගෙන් කිසිදු බලපෑමක් නොවූ අතර ඔවුන් ඔවුනගේ පාඩුවේ පාඩම් වැඩවල යෙදී සිටින ලදි. පාලනය අප සතු විය..මෙම අවදිය වන විට මා මෙහි පරිපාලන කටයුතු සඳහා යොමුව සිටියෙමි..සෑම පුහුණු බලඝණයකින්ම එක් අයකු බැගින් තෝරාගෙන එම බල ඝණයට අයත් සෙබළුන්ගේ ලිපි කටයුතු සඳහා යෙදවීම සාමාන්‍ය කඳවුරු සිරිත විය.
ඒ අනුව එම අවස්ථාව මා හට හිමිව තුබුනේ මීට පෙරදීද එම කටයුත්තම දියතලාවේදීද මට පටලැවී තිබු නීසාය... මෙහිදී අපගේ බල ඝණ තුනක් තුබූ අතර එම එක් බල ඝණයකට 50 බැගින් වූ බල පංති තුනක් ඇතුලත් විය..ඒ අනුව 150ක බල ඝණයක සම්පූර්ණ ලිය කියවිලි වැඩ මා සතු රාජකාරීන් වී තිබුනේ පුහුණු කටයුතු කරනා අතරවාරයේදීමය. භටයින්ගේ නිවාඩු ලේඛන සැකසීම... දින පතා පෙරඩ් ස්ටේට්ස් සකස් කිරීම.. සෑම සති අන්තයකම කඳවුරු ආරක්ෂක රාජකාරියට පුහුණූ පාසලෙන් දිය යුතු වූ 150ක භට පිරිස සඳහා ආයුධ ගබඩාවෙන් ලබා ගත් යුතු ආයුධ ලේඛණය සකස් කිරීම..සති අන්තයේ ඉතිරිවන සෙබළුන් කඳවුරු පිරිසිදු කිරීම් සඳහා කණ්ඩායම් වෙන්කොට ලබා දීම..එම කණ්ඩායම් වල තේ එක පවා ලබා දීම ගැන කටයුතු කල යුතු විය.
මෙහි අසිරූම තත්වය වූයේ අපගේ බල ඝණය මෙන්ම වූ තවත් බල ඝණ දෙකක් තිබිණී..අප අයත් වූයේ දෙවන බල ඝණයට වූවත් පළමු දෙවන හා තුන්වන ආදී වශයෙන් සම්පූර්ණ බල ඝණ තුනකි. ඒ සෑම බල ඝණයකටම එක් අයකු බැගින් පරිපාලන කටයුතු සඳහා භටයකු වෙන්ව සිටි අතර මා හට අනිකුත් බල ගණ දෙකෙහි එම කාර්ය භාර භටයින් දෙදෙනාද භාර කොට තිබුණී.
වගකීම් වැඩි වන්නට වැඩිවන්නට පරිප්පු ලැබීමත් උපරිම තත්වයේ පවතින බැවින් එම කාලයේදී මා හට වැඩවල අඩුවක් නොතිබිණී. මෙම තත්වයේ වාසිද නැතිවාම නොවුනත් ඊට වඩා කට්ට වැඩිය... එහෙයින් එම දිනවල අනිත් සෙබළුන් රාත්‍රී 10 ට නිදා ගත්තත් මා හට රෑ 11 පස්වන තෙක්ම වැඩ පැවරී තිබුණි...
මෙම රාත්‍රියත් එවන්ම වූ රැයකි... මා සිටියේ මා හට හිමි ඇඳේ වාඩි වී කිසිවක් ලියමින්ය...ලිවීම සඳහා මා භාවිත කලේ ඇඳ අසලම තබා ඇති උස කබඩයේ උඩ පැත්තයි. මා සිටියේ තට්ටු අඳක උඩ ඇඳක නිසා එම කබඩය ඒ සඳහා හොදින් භාවිතා කල හැකි විය...තවමත් රාත්‍රී 10 පසු වී නොතිබු හෙයින් කොල්ලන් තැන් තැන් වලට වී කුමක් හෝ කරමින් කතා බස් කරනා අතරතුරේ මා මගේ ලිවීමේ කටයුතු කරමින් සිටින වෙලාවේ ඒ අසලට පැමිණ මා හා කතාවට වැටුනේ අපගේ බිලට්ටුවේ සිටි ජේෂ්ඨ සෙබලෙකි...
අපගේ බිලට් සෑදී තිබුනේ ඉස්කෝලවල ගොඩ නැගිලි මෙන් දිග ගොඩනැගිලි වලිනි..එහි මැද කොටසේ ඉස්පිරිතාල වාට්ටුවක මෙන් ඇඳන් දමා තිබූ අතර දෙපස කොට තාප්ප දෙකක් විය..තාප්ප දෙකින් පිටත ඇවිද යා හැකි කොරිඩෝ දෙකක් වූ අතර එයින් දෙපස දැල් ගසා තිබුණි.
මා පෙර කියූ සෙබලා පැමිණියේ එම කොරිඩොව දිගේය..පැමිණ මා ලියමින් උන් තැන කොට බිත්තියට වාරු වී මා හා කතා බස් කරන්නට විය..මමත් ලියමින් තිබූ දේ ලියනා ගමන්ම ඔහු හා කතා බස් කලෙමි...
මෙම සෙබළා අම්පාර පෙදෙසේ සිට මෙහි පැමිණි අයකු වූ අතර ඔහුගේ වෘත්තීය පුහුණූව වූයේ වඩු කාර්මික ශිල්පයයි..මෙහි සිටි සියල්ලන්ම එවැනි කුමක් හෝ වෘත්තීයකට අදාලව පුහුණූව ලබන්නන් වූහ..මාද අයත් වූයේ අවි ආයුධ ශිල්පී යන කොටසටය...
අප බිලට්ටුවේ උන් පැරණී සෙබළුන්ගෙන් අප සියල්ලන්ගේම සිත් දිනාගත් භටයකු බවට පත් වීමට මෙම සෙබළාට හැකියාවක් ලැබී තිබුනේ පනිෂ්මන්ට් කලය තුලදී අප හට අඩුවෙන්ම පනිෂ්මන්ට් දෙන්නට ඉදිරිපත් වූ පුද්ගලයකු බැවිනි...මොහු කුඩා පුද්ගලයෙකි..උස මැනීමේදී කොහොම අවම උස ප්‍රමාණය වූ අඩි පහයි අගල්
හතර පෙන්නුවාදැයි කිව නොහැකි මට්ටමටම ඔහු උසින් අඩුය. එහෙත් අහිංසක පෙනුමක් හා නිවුන ස්වභාවයක් ඔහු තුල විණී. අනිකුත් සගයින්ද මොහුට අන් අයට වඩා ගරු සරු ඇතිව සැලකීමට පුරුදුව සිටියේ..ඒ වන විට අප අතර සිටි වැඩි මහළුම පුද්ගලයා ඔහු වූ නිසාවෙනි...එවකට ඔහුට වයස 27ක් විය. අපගේ ආධුනික සෙබළුන් අතර වැඩි පුරම සිටියේ අවුරුදු 18ත් 20ත් අතර අය වූ අතර..මා සහ තවත් දෙතුන් දෙනෙකු වයස 20 ඉක්මවා තිබිණී.
ඒ ආකාරයෙන් බලනා කල බිලට්ටුවේ සිටි වැඩිමහල්ලා ඔහු විය...නමින් සමන් කුමාර වූ සෙබළාගේ නම මෙහි සඳහන් කිරීම ගැටළුවක් වේ යැයි මා නොසිතමි.
කෙසේ හෝ ඒසී (එයාර් ක්‍රාෆ්ට්මන්) සමන් මා සමග සාමාන්‍යයෙන් සුහද අයකු විය. ඒ අනුව ඔහු එම මොහොතෙහි මා සමග කතාවට වැටීම මා හට එතරම් අමුත්තක් නොවීය..ඒ ඇසුවේ නම් අමුතු ප්‍රශ්න කිහිපයකි...
"මචං කැකුළා..(මාගේ කෙටි නම)
උඹ හීන ගැන විශ්වාස කරනවද..?"
"එහෙමටම නැහැ ඒසී..."(නමුත් මෙයින් පසුව සිදු වූ සිදුවීමකින් මගේ මෙම අදහස සෑහෙන වෙනසකට ලක් වූ බව කිව මනාය..ඒ පිළීබඳ ලිපියක් මීට පෙර මා
මෙසේ ලියා ඇත)
"අඩේ බං මට මේ දවස්වල එක එක හීන පේනවානේ..."
"මොන වගේ ඒවද..?"
"දේව රූප පේනවා බං..ඒක හොඳ නැද්ද..?"
"ඒකනං අනේ මංදා..."
"ඔව් බං මං දන්නෙත් නැහැ..ඒත් කවුද කිව්වානේ බාර වෙච්ච ඒවා ඔප්පු නොකලහම එහෙම වෙනවා කියලා..."
"ඉතිං ඒසී වෙච්ච බාර එහෙම තියේද..?"
"ඔව් බං...මීට කාලෙකට කලින් වෙච්ච බාර දෙකක් තියේ..තාම ඒවා ඔප්පු කරන්න බැරි උනා... දැන් ඒවා ඔප්පු කරන්න ඕන කාලේ පැනලා..."
"එහෙනං ඉතිං කෝකටත් කියලා ඔය නිවාඩු ගිය වෙලාවක ඕක කරලා දැම්මනං හොඳයි නේද..එතකොට හිතේ අවුලකුත් නැහැනේ.."
"ඔව් බං..ඒක තමා..මේ පාරවත් බලන්න ඕන ගෙදර ගියහම..."
කතාව එපමණකි..මාගේ වැඩට බාධා වෙතැයි සිතා ඔහු හිමිහිට එතැනින් පිටව යන ලදි..මාත් වැඩ අවසන් කොට නිදා ගත්තෙමි...
.......................................................
"කවුද එල්ලිලෝ..කවුද එල්ලිලෝ..."
එකෙක් කෑ ගසන හඩ යාන්තමින් හීනෙන් මෙන් ඇසෙයි...මට එයින් කමක් නැත ඊට වඩා නිදිමත අධීකය...
නැවතත් පෙරට වඩා හඩින් ශබ්දයද තවත් කිහිප දෙනෙකු බිලට්ටුව තුල දිව යන ශබ්දද ඇසෙන්නට විය...මා සෙමින් දැස් හැර මගේ අල්ලපු ඇඳේ උඩ නිදා ඉන්නා 'නිශාන්තයා' දෙස බැළුවෙමි..අඩ අඳුරෙම ඌත් මා මෙන්ම ඉසේ සිට දෙපතුල දක්වා බෙඩ් ෂීට් එක පොරවාගෙන නිදාගෙන සිටිනා අන්දම පෙනෙයි.
"අඩේ නිසෝ..මොකක්ද බං වෙලා තියෙන්නේ..?"
"මොන හුXXක්ද මංදා බං..මුං අපිට නිදා ගන්න දෙන්නෙත් නැද්ද මංදා"..තවත් කුණූ හරුප ටිකක් කී නිසාන්තයා තවත් ගුලි වී නිදයි..
මාත් නිදා ගතිමි....
නැවත වතාවක් පෙරටත් වඩා හා හූවක් බිලට්ටුව තුල පැතිර යයි..මම නැවත නිසාන්තයා දෙස බලා
"ඈ බං නිසෝ..මොකෙක්ද එල්ලිලා කියන්නේ..."
"අනේ බං මේ හුXXනලට එල්ලෙන්න වෙලාවක් නැද්ද..මට නිදා ගන්න දියං බං රෙද්ද.."
මූ ඇහැරෙන්නේ නැත..මාද ඌට දෙවෙනි නැත...
මඳ වේලාවකින් ආධූනික සෙබළකු පැමිණ මා අවදි කරවන ලදි...
"ඒසී..ඒසී...කවුද එල්ලිලා.."
"මොන හුXXක්ද යකෝ.."කියමින් මාත් දන්නා කුණුහරප වැලක්ම විසි කරමින් අවදි විය..
"ඒයි නිසෝ..බොල නිසෝ..වර යන්න මේ උලව්ව මොකක්ද බලන්න..."
නිසාද මා මෙන්ම බෙඩ් ෂීටය ඇග වටා ඔතා ගනිමින් අඳුරේම පැමිණේ...
"ලයිට් දාහල්ලා යකුනේ..." කියාගෙනම මා එතැනින් එළීයට ආවෙමි...දැන් නිදිමත පහව ගොසිනි.
අපගේ බිලට්ටුව අසල අඹ ගස් කිහිපයක් විය..උදෑසන වැසිකිලි යාම සඳහා මෙම අඹ ගසක් යටින් පැමිණී එකෙකුගේ හිස යමක වැදීම නිසා ඉහල බැළු සෙබලාට පෙනී ඇත්තේ යමෙකුගේ කකුල් දෙකයි...බිය වූ සෙබළා කෑ ගසන්නට වූ පසු සිද්දිය අන් අය දැන ගෙන තිබිණී..අප දෙදෙනා එන විටත් අඹ ගස යට සෑහෙන පිරිසක් වූහ...කොහෙන්දෝ එකෙක් ගෙන ආ ටෝච් එකක් ගස උඩ එල්ලෙමින් තිබූ සිරුරට එල්ල කරන ලදි...
එම මුහුණ අදුරාගැනීමට පහසු විය..බෙල්ල ඇදවී දිව එළීයට ඇදෙමින් තිබිනි...එක එකා එක් එක් අයගේ නම් කියන්නට වූ අතර අවසානයේ ටික වේලාවකින් පසුව..
"මේ ඒසී සමන් කුමාර නේද..?" යි කවුරුන් හෝ විමසීය..තව එකෙක් වහාම බිලට්ටුවට දුවන ලදි...
"ඒයි ඒසී සමන් නැහැ බං..."
මද වේලාවක් බලා සිටින විට එල්ලී මිය ගිය පුද්ගලයා හදුනා ගැනීමට කා හටත් හැකියාව ලැබිණී...