28 July 2011

මුර කරුවාගේ දුක...රාත්‍රි මුර සංචාරය...


මේ පෝස්ට් එක දාන්න හිතං හිටියේ දැන් ටික දවසක ඉඳලම. ඒත් කොහොම කොහොම හරි පරක්කු උනා..ඒත් දැන් හදිසියේ මතක් උනේ මේකත් දාන්න ඕන නේද කියලා...

මේ පින්තූරේ තියෙන්නේ මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ඡායාරූප තුනක් කපලා එකතු කරලා හදපු එක ඡායාරූපයක්...මොකද මං වෙන වෙනම මේ ඡායාරූප අප්ලෝඩ් කරන්න ගියානං මේ ටික පිළී වෙලට ගන්න බැහැ..එහෙම පිළි වෙලට ගන්න විදිය මං තාම දන්නේ නැහැ..ඒ හින්දා දාන්න ඕන පිළී වෙළට මං එකතු කලා..

මේ ළගදී දවසක මං කලින් වැඩ කරපු තැන රාජකාරියකට මට යන්න උන විත්තිය මං මෙයිට කලින් පෝස්ට් එහෙක දාලා ඇති..මේ එදා රෑ එහෙදී ගත්ත පොටෝ කෑලි ටිකක් තමා...

අපේ ආරක්ෂක අංශයේ සේවයට අළුතින් ගත්ත ආරක්ෂක නිලධාරී මහත්තයෙක් විසින් එම ස්ථානයේ ඇති රාත්‍රී මුර සංචාර පොතේ දාලා තිබුනු සටහන් දෙකක් තමා මේ...නිකං ඉන්න ගමන් පොත්පත් ටික පරීක්ෂා කරනකොට මට අහු උනේ...එය වගේ සටහන් හරියට අහුවෙනවා උනත්..මේ ඊයේ පෙරේදා ආව උන්නැහේ ටිකක් අමුතුම ආකාරයකට මේක ලියලා තියෙනවා දැක්කම මට හිතුනා මේක කට්ටියට පෙන්නන්න හොඳ සටහනක් කියලා...ඒකයි අරගෙන ආවේ...

ඒ ආයතන භූමිය අක්කර ගානක් තියෙන තැනක්..ඉතිං රෑට පැයෙන් පැයට වටේ යන්න ඕන..ඒ එක වටයක් කිලෝ මීටරයක් විතර තියෙනවා..නිකං නෙවෙයි වේලා සටහන් යන්ත්‍රය නැත්තං සිංහලෙන් පන්චින් මැෂින් එක කියලා අපි කෙටියෙන් අදුන්වන පොඩි පෙට්ටියක් වගේ එහෙකුත් අරං තමා යන්නේ..

ඒ පෙට්ටියේ තියෙනවා යතුරු කටක්..ඒ කටට හරියන යතුරු හත අටක් ආයතන භූමිය වටා තැන් තැන් වල ස්ථාවරව සවි කරලා තියෙනවා..ඉතිං අර වටේ යන හාදයා ඒ හැම යතුරක්ම ඔය වටේ යන ගමන් පිළීවෙලට මේ යන්තරේට දාලා කරකවන්න ඒන..එතකොට යන්තරේ ඇති කඩදාසි පටියක ඒ යතුර කරකවාපු දිනය..වේලාව..යතුරු අංකය එහෙම සටහන් වෙනවා..

ඉතිං පහුවදාට ඔය කඩදාසි පටිය අහක් කලහම බලා ගත්තෑකි රෑ තිස්සේ මුර සංචාරේ ගිය අය හරියට වැඩේ කරලද කියලා...ඒ විතරක් නෙවෙයි ඒ යන හැම වාරයක් ගැනම මං ඔය කිව්ව රාත්‍රී මුර සංචාර පොතේ සටහනක් දාන්න ඕන..ඉතිං මේ මුර සේවයේ තියෙන ලස්සන කතා කිහිපයකටම ඔය මුර සංචාර පොත හේතුවක් වෙලා තියෙනවා..මං පස්සේ වෙලාවක ඒ කතාවක් එහෙමත් කියන්නං...

මේ දාලා තියෙන්නේ එහෙම මුර සංචාරයේ යෙදුන ප්‍රනාන්දු නම් වූ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී උන්නැහේගේ පැමිණිල්ල තමා..ඇත්තටම මේ තමා මේ ජොබ් එකේ තියෙන දුක...

කොහොම උනත් ලබන මාසේ පළවෙනිදයින් එතන හිටිය අපේ අයගේ දුක ඉවර වෙනවා..ඒත් ඊට වඩා දුකක් තමුන්ට ඇවිල්ලා..ඒ කියන්නේ මේ මාසේ 31 වෙනිදයින් පස්සේ ඒ ආයතනය සමඟ අපේ ආරක්ෂක සේවයේ තිබුනු කොන්තරාත්තුව අවසන් කරලා තියෙනවා.. ඒ හින්දා අපේ අට දෙනෙකුට රස්සා නැති වෙන එක තමා සිද්ධ වෙන්න නියමිත දේ...

27 July 2011

අති බිහිසුණු නඩයක් සමඟ වව්නියාවට ගමනේ යා...

මට මතක් වෙනවා මේ අවුරුද්දේ..ඔව් ඒ කියන්නේ මේ 2011 අවුරුද්දේ ජනවාරි මාසේ දිහාවේ දවසක්...

එදා තමා කාලෙකට පස්සේ මම ආයෙමත් මේ පොයින්ට් එකේ ස්ථීර වශයෙන් පදිංචියට ආවේ...කලින් වැඩ කල තැන හතර දෙනෙක්ගේ විතර වැඩ තනියම කරලා කරලා නැහිලා පුරුදු වෙලා හිටි මට එහෙම ආවට පස්සේ හරියට නිකං අපායෙන් පිටුවහල් කොරලා සුරලොවට ටිකට් එක දුන්නා වගේ උනා...එහෙ එක පැයකදී කරන වැඩවත් මෙහෙ මුළු දවසටම නැහැ..ඉතිං මං බලං උන්නා...

මං එහෙම වට පිට බලන් ඉඳලා කල්පනා කලා මොකද කරන්නේ කියලා..ආයේ ඉතිං දෙකක් නැහැනේ..මං දන්න හොඳම දේ..ලිව්වා බ්ලොග් පෝස්ට් එකක්...එහෙම ලියලා පබ්ලිස් කොරලා දැම්මා..දැන් මං ආයෙමත් බලන් ඉන්නවා..ම්හූ..හරියන්නේ නැහැ..ලිව්වා තව එකක්..ඒකත් දැම්මා..නැහැ එතනින් නැවතුනේ නැහැ..තුන් වැන්නත් ලිය උනා..අවසානේදී හතර වැන්නත් ලියලා පෝස්ට් කලා...එක දවසට පෝස්ට් හතරක්..මාගල්ද සමඟ

ඒත් දවස ඉතිරියි...ඒත් අන්තිමට අපේ ඔබාමා අයියාද කොහේද හෙන කොම්පෙලේන් එකක් කොලා..
"යකෝ උඹ මෙහෙම ලියන්න ගියාම අපි කියවන්නේ කොහොමද..?"

කාලා වරෙංකෝ..ඒකත් ඇත්ත..අනික ලියනවා කියලා ඔහොමත් ලියන්න හොඳයෑ..ඒ හින්දා මං බැළුවා වෙන මොකක් හරි අට මගලයක් කරන්ට..වෙන එහෙකට නෙවී..නිකං කාලේ ගෙවා ගන්ට...ඒ පාර මං බස් පදින්ට තියා ගත්තා..ටික දවසක් යනකොට බස් වල පැය 24න් වැඩි හරියක් ස්තීර පදිංචි ගොන්නෙන් එකෙක් බවට පත්වීම ගත්තා...

ඒත් මෙහෙම කාලේ යද්දී මට ආයෙමත් වෙනසක් ඕන උනා..මං හුගාක් දේවල් කලා..හුඟාක් දේවල්...ඒත් මගේ අර කොයි වෙලෙත් තියෙන මෙව්වා එකට ඒ කිසි දේකින් කිසිම ෆිට් එකක් ලැබුනේ නැහැ..

කොහොම හරි යන්තං ඊයේ වෙනකොට පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක හිතට පොඩි මෙව්වා එකක් දැනීගෙන එනවා..ඒ තමා මගේ ස්ථාන මාරුව..දැන් ඉතිං අපේ අංකල් රොනීගේ පිහිටෙන් මං මේ මස 25 වෙනිදා සිට අළුත් නවාතැනකට සැපැත් උනා...ලේසි නැහැ පදිංචිය වෙනස් කරනවා කියන එක..තියෙන ලට්ට ලොට්ට තවියම ඇදගෙන අස්පස් කොරගෙන එන්ට එපැයි..කොහොම උනත් දැන් ඉස්සරහට මට නැවතත් ඉස්සර වගේම උයා පිහාගෙන කාලා බීලා ටිකක් නිදහසේ ජීවිතේ වින්දැකි...

ඒ විතරක්ද...අලි මදිවට කොටි වලස්සු කියන්නැහේ..මට සංචාරයකුත් සැට් උනා නෙව...

ඉතිං මේ මාසේ 29 වැනිදා හවස් අතේ මගේ කල්පනාව වැව්නිමාව නොහොත් වව්නියාව පෙදෙස බලා යකඩ යකාගේ නැගිලා ගාටන්ට තමා..දවස් දෙක හමාරක ගමනක්..මොනවයින් මොනවා වේවිද කියලා කියන්ට අමාරු අති බිහිසුණු ගමනක්..

ආ ආ..කස්ටිය කලබොල වෙන්ට දෙයක් නැහැ..මේක බිහිසුණු කිව්වේ වව්නියා යන හින්දා නෙවෙයි..ඒ අහ දැන් ඉස්සර වගේ කොටි හපුයියෝ හක්කලං කොරන්නේ නැහැ නෙව..ඒත් මට මේ ගමන යන්ට වෙලා තියෙන්නේ ඒ කොටි හපුයියන්ට හපන් ඈයො ටිකක් එක්ක..කොටි හොඳා කියලා හිතේවිද මංදා....

කොහොම හරි ඒ ගමන ගෙහුන් ඉරිදා රාත්තිරයේ ඇවිත් තවත් රාජකාරියකට පහුවදා උදහැනැක්කෙම ඇඹිළිපිටියට ගෙහුන් එන්ටත් යෙදිලා තියේ..ඒකනං බයිසි මෝටෝ එකේ.. ඒ ගමනෙ නං ලියන්ට දෙයක් නැති වෙයි..ඒත් අපේ අනුරාධපුරය හරහා වව්නියා බලා යන අති බිහිසුණු ගමන ගැනනං ලියන්ට බොහෝමයක් දේ තියේවි මං හිතන්නේ.. ඒත් ඒ කෝකටත් මං මේ වලස්සු රැලක් එක්ක ගෙහුන් පරිස්සමට එන්ටත් එපෑ...

ඉතිං ආයි බෝං ඒ ගමන ගෙහුන් ඇවිත්ම බලමු මොනවා ලිය වෙයිද කියලා...ආ තව එකක් මේ ගමනට තොරතුරු හොයද්දී මට සෑහෙන්න උදව් කොල ගෙහාන් චන්දික නොහොත් අපේ යකඩ යකා විරුදාවලී ලත් කෝච්චියා මහතාට මාගේ ප්‍රමාණය හො‍ඳේ...

24 July 2011

අංකල් රොනී...

කාලෙකට පස්සේ අපේ පරණ බ්ලොගයක් ආයේ පණ ගහලා ඇවිත් තියෙනවා දැක්කා.. ඒත් එක්කම මට මතක් උනා පහු ගිය දවසක මං ලියන්න කියලා හිතං හිටි..ඒත් මට අමතක උන කාරණාවක්..ඉතිං අපේ මිත්තර මගේ මරණය උන්නැහේටත් පින් දීලාම ඒ කතාවත් ලියලා දාන්ට කියලා කල්පනා කොලා...

මේක සිද්ධ වෙලා වැඩි කාලයක් නැහැ..දැන් සති දෙකක් විතර ඇති...

කස්ටිය දන්නවනේ පහු ගිය ටිකේ මං හිටියේ සංසාරෙයි චක්‍රාවාටෙයි මන්දාකිණියි ඔය හැම දේ ගැනම කලකිරිලා කියන කාරණේ..ඒකට හේතු උනේ මගේ ජීවිතේ තිබුන නිදහස මට නැති වීම කියන කාරනාව තමා...

මං ඉතිං පහුගිය කාලේම ගත කලේ කුරුල්ලෙක් වගේ නිදහසේ නෙව..ඒත් හදිසියේ හිතිලා පටන් ගත්ත වියාපාරික කටයුතුත් එක්ක මාව නිකං කරකෝලා පොලොවේ ගැහැවුවා වගේ උනා...

ඔන්න දවසක් උදේ 8 ට යනවා වැඩට..පහුවදා උදේ 8 වෙනකල් එතන වැඩ..පහුවදා උදේ 8ට ඕෆ් උන ගමන් ආයේ එහෙමම යනවා මගේ වියාපාරික ස්ථානෙට..එතනට වෙලා වැඩ කරනවා හවස හය පහු වෙනකල්ම..ඊට පස්සේ යනවා මගේ බෝඩිං කාමරේට...ගිහින් නාලා කරලා යන ගමන් ගෙනිච්ච මොනවා හරි ගිලලා ආයෙමත් නෙට් එකට ඇවිල්ලා දවල් දවස තිස්සේ ලියපු මේල් ආයෙම වතාවක් චෙක් කොරලා වැරදි හරි ගස්සලා ඒවා මේල් කරනවා.. ඊට පස්සේ ජාලේ තුල එහෙ මෙහෙ සැරිසරලා රෑ 1 ට 2ට විතර දොයියනවා..ආයෙම උදේ නැගිටලා ලෑස්ති වෙලා වැඩට යනවා..

ඕක නිකං රෝදයක් කැරකෙනවා වගේ වෙලා තිබුනේ...මට එපා වෙලා හිටියේ...

ඒ වැඩ පිළීවෙල ඇතුලේ ආර්ථික තත්වෙනං හොඳටම හොඳයි..ඒත් වියදමත් එහෙමම තමා...පළමු මාසේ ඇතුලත මං පහුගිය කාලේ හෙව්ව ගාන වගේ තුන් ගුණයත් පන්නලා හෙව්වයි කියමුකෝ... ඒ වගේම තමා මගේ වියදමත් තුන්ගුණයකින් වැඩි උනා...මං හොඳට අඩියක් ගහලා ආතල් එකේ ගත කරපු කාලෙත් මගේ වියදම මෙහෙම උනේ නැහැ. හැබැයි ඒ දවස්වල මං හොඳට උයා පිහාගෙන කාලා හරි සංතෝසෙන් හිටියා නෙව..

ඒත් ඒකටත් එක්ක දැන්... උදේට කෑ‍වේ එක තැනකින්..දවල්ට තවත් තැනකින්..රෑට වෙනම පොට් එහෙකින්..තෙල් මිරිස්..මිරිස් තෙල්... රහක් ගුණක් මෙලෝ දෙයක් නැහැ...කොයි වෙලෙත් අප්පිරියාවෙන් වගේ ඉන්න වෙලා තිබුනේ..මං ටිකක් කඩ කෑම වලට ආසා තමයි..ඒත් ඒක තුන් වේලම මාසේ දවස් 30ම කරන්න උනහමනං එපාම වෙලා යනවා..

ඉස්සර වගේ බත් ටිකක් උයලා..පොල් සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තෙල් දාගෙන කන්න...
අලයි, හාල්මැස්සොයි, තක්කලියි,මාළු මිරිසුයි එකට දාලා හොඳට හොද්දක් හදලා හොඳට කලමනා දාලා බිත්තර ඔම්ලට් එකක් දාලා..රතුළුණූ..අමු මිරිස්..දෙහි ඇඹුල් ටිකක් වැඩි කරලා ගොටු කොල සම්බෝලයක් හදලා..පපඩමකුයි මිරිස් කරල් දෙහෙකුයි බැදලා දමලා අරින්න..අනේ..ඕවා මතක් වෙනකොට පපුව වාවන්නේ නැහැ...

කොටින්ම මේ දවස්වල එළවළු කඩ ගාවින් යද්දී ඒවායේ අර ලස්සනට අහුරලා තියෙන එළවළු ජාති..පලා මිටි..ඒ මදිවට මේ දවස්වල කඩ බක්කිවල නෝකොල් රාබු එහෙම හරි ලස්සනට අහුරලා..මං ටික දවසක ඉඳන් ඔය ජාති දෙක කන්ට මනාපෙන් උන්නේ..ඒත් කොහේද..අපිට ඕන දේවල් හදනවයෑ කඩ කාරයෝ..හැමදාම අල තෙලට..පරිප්පු මිරිසට..බෝංචි තෙලට..මාළු මිරිසට...ඉතිං කඩවල්වල එළවළු දකිද්දී එහෙම ඇඩෙන්නේ නැති ටික විතරයි..කොහොම හි‍ටිය කොල්ලටද මෙහෙම උනේ...?දුක්ඛිතයි...

ඔව්ව ඔය දේවල් හින්දා තමා අවසානෙදි මං තීරණය කලේ මං මට උයාගෙන කාලා ඉන්න ඇහැකි තැනකින් කාමරයක් ගන්න ඕන කියලා..එහෙම හිතලා එක දවසක් උදේ මං බයිසිමොටෝ එකත් අරන් පාරට බැස්සේ..අදනං හරි හමන් තැනක් හොයාගෙන මිස ආපහු නොඑමි කියලා මටම කියාගෙන...

ඉතිං ඔන්න මං දැන් පාරක් පාරක් ගානේ ඇවිදිනවා...හෝටල්..තේ කඩ..සැලුන්..පත්තර ලෑලි..එළෝළු කඩ..ඔය වගේ තැන් වලින් වගේම ත්‍රීවීල් පාක්වල ඉන්න උන්දලගෙනුත් අහ අහ මං වරුවක්ම ගත කොලා..ඒත් තැන් හත අටක් බැළුවත් මගේ ගානටයි..මගේ හිතටයි අල්ලන තැනක් හම්බ වෙන පාටක් නැහැ..ඔහොම ඉද්දී තමා මං මගේ බයිසි මොටෝ එක මේ පැත්තේ තියෙන නිවාස යෝජනා ක්‍රමයක් ඇතුලට හැරෙව්වේ...

ඒ කැරකුනත් පැයක් විතර යනකල් මට කිසි සතුටුදායක මෙව්වා ‍එකක් නැහැ...

ඔහොම ගෙහුන් අන්තිමට ඒ නිවාස යෝජනා කොරමයේ ඇතුලේ ත්‍රීවීල් පාක් එහෙක බුවෙක්ව අල්ලගෙන පොඩි කතාවක් දැම්මා..මෙන්න බොලේ බුවා තමුන්ගේ තුන් සකේ එතනම තියලා මගේ බයිසි මොටෝ එකේ එල්ලුනා..හරි අයියා යං අපි හොයමු කියලා..ඒ අම්මේ බුවාට හයර් එහෙකුත් ආවා..මෑන්ස් එකත් තව පොරකට පංගාර්තු කොරපුවාම මං දැන ගත්තා මේ හොඳම මස්ටමේ අතරමැදියෙක් එහෙමත් නැත්තං තැරැව් කාරයෙක් අර හිංගලෙන් කියන විදියට බ්‍රෝකර් බුවෙක් තමා කියලා...

ඒත් කමක් නැහැ..මගේ වැඩේ හරියට කෙරෙනවනං බ්‍රෝකර් කෙනෙකුට ගානක් ගෙව්වත් මොකෝ කියලා මං දැන් පොරවත් දාගෙන යනවා තැන් දෙක තුනක් බලන්ට..ම්හූ..ඒ ගියාට පොර ඒ හැටි සමර්ථයෙක් නොවන වගනං මට පැහැදිලි උනා.. පොර එක්කං යන තැන්වල බුවාලා පොරව දන්නෙත් නැද්ද මංදා...

මේක හරියන මඟුලක් නෙවේ වගේ හින්දා මං කිව්වා අපි යං මේක අල්ලලා දාලා පස්සේවත් බලමු කියලා..ආන්න ඒ වෙලාවේ මෑන්ස්ට තේරුනා දැන් පො‍රගේ කාල සීමාව ඉවරයි කියන එක..ඒ ගමන මෑන්ස් ආපහු මගේ ෆෝන් එකත් ඉල්ලගෙන කෝල් එකක් දුන්නා කාටදෝ මංදා...

"අලෝ.. රොනී අංකල්..මං මේ කතා කරන්නේ සුරංජිත්..ඔව් ඔව් පාක් එකේ සුරංජිත් තමා...මේ පොඩි වැඩකට..මේ ‍එක්කෙනෙක් ගෙයක් හරි කාමරයක් හරි හොයනවා..පොඩ්ඩක් හොයලා දෙන්නකෝ මං දැන් එයාව එක්ක එන්නං අහවල් කඩේ ගාවට...මොනවා හරි කරමු.."

ඔන්න ඔහොම කියලා මාව එක්ක ගියා පොට් එහෙකට..

මෙන්න කොහේදෝ කඩයක් අස්සේ ඉඳලා ආවා මෑන්ස් කෙනෙක්..වයස 55ක් 60ක් විතර ඇති..කළුයි..අඩි පහක් විතර උසයි..කඳ ටිකක් මහතයි... ඉපැරණි කුරුළෑ වලවල් ටිකක් එහෙම මුහුනේ තියෙන ටිකක් මාළු මුදලාලි ටයිප් එකේ ලොක්කෙක්..අතේ පොඩි දින පොතක්...අනිත් අතේ අර පරණ කාලේ තඩි ඔරලෝසුවක්...පරණ කාකිපාට දිග කලිසමයි..උඩ සාක්කුවක් තියෙන ටිකක් පරණ වෙච්ච ටී ෂර්ට් එකයි..ගෙවිච්ච හං සෙරෙප්පු කුස්ටමයි දාගෙන... ඇස් ටිකක් ගිලිලා.. කොණ්ඩේ ඩයි කරලා ඒත් ඩයි පාර සේදිලා... කකුල ටිකක් නුහුරට තියලා ඇවිදින ගමන් ඇස් දෙක වට පිට හැම තැනටම යන ගතිය...

"රොනී අංකල්..මේ අයියාට තමා මේ පොට් එකක් හොයන්නේ..මාත් දන්න කියන තැනක් දෙකක් බැළුවා..ඒත් සැටිස් නැහැ..අංකල් පොඩ්ඩක් බලන්නකෝ.." කියලා මාව අර පුද්ගලයට අදුන්නලා දෙන ගමන්

"අයියා මේ අංකල් හොඳ පොට් එකක් හොයලා දෙයි බය වෙන්න දෙයක් නැහැ.." කියලා මටත් කියපි...

ඒ අස්සෙම අංකල් බුවා මගේ අතකින් අල්ලගෙන..

" මොනවද ඕන..ඕන දෙයක් කියන්න..ඕනම තාලෙක ගෙයක්ද කාමරයක්ද..මොනවා උනත් හොයලා දෙන්නං..කිසිම අවුලක් නැහැ..මේ පැත්තේ මං තමා ඔය දේවල් බලා ගන්නේ..මේ වෙන කොට මං ගාව තියෙනවා ගෙවල් දෙසීයකට වැඩිය..මං කියන විදියට තමා ඒවා කුලියට දෙන්නේ.."

හම්මේ පාරට්ටුව..අහං ඉන්න කම්මැලි කොමක්නං නැහැ..

ඒ අස්සෙම මාව එක්ක ආව බුවයි..අංකල් කාරයයි තව කතාවක්..මට තේරුන හැටියට කලින් දෙන්නත් එක්ක කරපු ගණු දෙනුවක් ගැන..අංකල් බනිනවා..

"ඒ ජාතියේ එවුන් එක්ක එන්න එපා බං..බලහං ඌ ගියේ අපි දෙන්නවත් කොටවලා..අනිත්මට අපිට සල්ලිත් නැහැ..යාළු කනුත් නැහැ.."

ඔය කතාව ඒ වෙලාවේ මට හරියටම මීටර් උනේ නැතත් පස්සේ දවසක තමා හරියටම මීටර් උනේ...

ඒත් ඉතිං මගේ වැඩේ කෙරෙනවනං මගේ මොකද..? දැන් ඔන්න මං අංකල් රොනී වත් දාගෙන යනවා මට උයං කන්න ඇහැකි තැනක කාමරයක් ගංට බලන්ට...ඒ යන අතරෙම අංකල් උන්නැහේගේ හැකියාව අඩු නැතිව කියවනවා..

අන්තිමට ඔන්න අපි ගියා තැනක් බලන්ට.. ඒක කාමරයක්..දිග අඩි 8යි පළල අඩි 5යි..මල කෙලියයි..ඊට හොඳා හිරේ යනවා...එලියේ පැත්තක උයන්ට ඇහැකි වගේ..පැත්තකින් නා ගන්ට ෂවර් එහෙකුත් තියේ...අපි ඒ ගෙදරට යනකොටම ආවේ නැද්ද කාන්තා පරාණයක්..වයස 50ක් විතර ඇති..ඒත් දන්නවනේ අර වෙන්ට ලමිස්සියෝ ඉන්නේ ආං එහෙම කෙනෙක්...

"හානීඊඊඊ..රොනීඊඊඊඊ පලාන්ටකෝ අනීඊඊඊ..ඔයා මට‍ මීඊඊ කාවද ගෙනාත් දැම්මීඊඊඊ..ඔයා කවදද එයාව මිහින් යවන්නීඊඊඊ අනීඊඊඊඊ.."

මල විකාර කෝටියයි...බැළින්නං දැනටත් ඒ කාමරේ එකෙක් ඉන්නවා..ඒත් අරුන්දැට මෑන්ස්ව එපා වෙලා..ඒ බුවාව ගෙනත් බාර දීලා තියෙන්නෙත් ‍අපේ කතානායකතුමාම තමා..ඒත් දැන් පොරව එළවන්ට නෝටිස් දීලා..ඒත් බුවා යන්නේ නැති පාටක්... ඒ පාර අපේ අංකල් රොනී..අර වෙන්ට ලමිස්සිව හොඳට නළවලා ගත්තා...

"බය වෙන්ට එපා මිසිස්....... මං එයාව මේ මාසේම යවනවා..ඔව් ඔව්..දන්නවනේ මේ රොනී ගැන..ඒ ගැන බය වෙන්ට එපා..එයාව යවලා මෙයාව අපි නවත්තමු..මේ ඉන්නේ මගේ පුතෙක් වෙන කෙනෙක්.."

ඇහ්..මල සේකයි මහ රජ කිව්වළු... මෙන්න මං නොදන්න මගේ අංකල් කෙනෙක්ද කොහේද..?

"ආනීඊඊඊ ඇත්තද රොනීඊඊඊඊ...ඒත් පලන්ටකෝ අනීඊඊඊ මේ ඉන්න මනුස්සයා හරි නොටීඊඊඊ"

මල ඇඩියාවේ ඉවරයක් නැහැ...අංකල් රොනීත් අරින්නේ නැහැ..උන්දෑ නරි නාවලා පව්ඩර් දාන්ට හොඳ දස්සයා කියලා මට තේරුනා විනාඩි දෙක තුනක් යද්දිම... කොහොම හරි කතාවේ හැටියට දැන් ඉන්න බෝඩිං කාරයා අර වෙන්ට ලමිස්සිට ලයින් එක දානවළු..වෙන්ට ලමිස්සි ඒකට හරි අකමැතීඊඊඊළු..

"හා හා මිසිස්............ මේ අපේ පුතා හරි වැදගත් කෙනෙක්..නියම ජෙන්ටල්මන් කෙනෙක්..අපි මෙයාව නවත්තමු කිසි අවුලක් නැහැ ඕන දේකට මං වග කියනවා.."

"අනීඊඊඊ රොනීඊඊඊඊ මෙයානං හොඳයි වගේ තමා අනීඊඊඊ ඒත් මේ ඉන්න වදකාරයා යවන්ටකෝ අනීඊඊඊඊ.."

කතාව ඇදිලා යනවා ඉවරයක් නැහැ..යාන්තං ඔහොම ගිහින් ගිහින් අන්තිමටම මගෙන් ඇහැව්වා මොකද කියන්නේ මෙතව හොඳද කියලා..යන්තං ඇති උන් දෙන්නට මාව මතක් උනා..?

ලැබිච්ච පළවෙනි අවසරෙන්ම මං මෙතන මට ඉඩ කඩ මදි කියලා ටක් ගාලා කියලා දැම්මා...හනෙ අම්මේ...

කොහොම හරි එතනින් එළියට පැනගත්තයි කියමුකෝ.. උන්දෑ තව දෙපොලකට විතර මාව අරන් යද්දී මට උන්දැත් එක්ක ගෙවල් හොයන එකත් ඇති උනා... පොරගේ බොරුවල ඉවරයක් නැහැ...යන යන තැනට මාව අදුන්වලා දෙන්නේ මේ උපන් දවසේ ඉඳන් මාව දන්නවා වගේ..මං නොදන්න මගේ හොඳ ගතිගුණත් පොර දන්නවා කියමුකෝ..හික්...මං හිතන්නේ මෑන් තමා මට ඔය තරං හොඳ කිව්ව බුවෙක් ජීවිතේටම හම්බ උනේ..

උන්දෑ කියන විදියට මං තරං නිර්මල චරිතයක් ඇති..විනීත ගති පැවතුම් ඇති...සුන්දර සුකුමාල..අවංක වැදගත් බුවෙක් තුන් ලෝකෙටම නැද්ද කොහේද..මේකා බොරු විදිනවා යන යන තැන..මටම පුදුමයි..මෙච්චර හොඳ ගතිගුණ මං ගාව මෙච්චර දවසක් තිබුනා කිව්වම...අම්මපා අපේ නෑදෑයෙකුටවත් මේ මනුස්සයා වගේ හිතන්ට බැරි හැටි..

උන් ඔක්කෝම මාව දන්නේ අළුගුත්තේරු කතා කියන..හිතුවක්කාර..දඩබ්බර..කිව්වා නාහන...මහ එපා කරපු නොසංඩාලයෙක් හැටියට..මට ටික වෙලාවකට හිතුනා මට දැනට ඉන්න නෑදෑයෝ එක්කෝම අස් කරලා..මේ අංකල් රොනීව මගේ එකම නෑදෑයා කොරගන්ටත් ඒ තරං හොඳ කිව්වා නෙව මං ගැන...

අන්තිමේදී මං දමලා ගහලා එන්ට හදනකොට උන්දෑ මාව ගෙනිච්චා තව එකම එක තැනක් බලමු කියලා...

යාන්තං ඇති..එතනනං මං කාලයක් තිස්සේ හෙව්ව විදියේ තැනක්...

ඒකේ ලොකු නිදන කාමරයක් බාත්රූම් එකකුත් සමගම..ඒ විතරක් නෙවෙයි චූටි කුස්සියක් තියේ මගේ උයන පිහන වැඩවලට කියාපුම විදියට... තව පුංචි කාමරයකුත් තියේ..ඒක හොඳයි මගේ ලට්ට ලොට්ට ගොඩ ගහලා තියන්ට..හොඳම දේ ඒක නෙවෙයි..මෙන්න ඒකෙම ඉස්සරහ පැත්තේ ඒකටම අල්ලලා තව කඩ කාමරයක් තියේ..කලින් කමියුනිකේෂන් එකක් කරපු තැනක්..ඉස්සරහට වීදුරු දාලා දොරවල් දාලා..කළු පාටින් ටින්ටඩ් කරලා... ඒ මදිවට ෆෑන් එහෙකුත් දාලා ඒසීත් කරලා...ඒසී එකත් ඕනනං රෙපෙයාර් කොරලා දෙන්නං කියපි..ගාණත් අවුලක් නැහැ..මාසෙකට 5000යි..ඒත් එක පාර මාස 6ක ගාන ඉල්ලනවා..ඒ පාර මං ගේ අයිති කෙනත් එක්ක කතා බස් කරගත්තා...මගේ තත්වේ ගැනත් කියලා..මට කරන්න දරන්න පුළුවන් ගණනත් ගැන කියලා 3 මාසෙක මුදලින් වැඩේ ගොඩ දාගත්තා..

අනික් දේ තමා ඒ වෙලාවේ මට හිතුනේ..නවතින්න විතරක් නෙවෙයි මගේ වියාපාරෙත් සාමාන්‍ය මට්ටමෙන් කරගෙන යන්න එතන හොඳටම හොදයි කියන එක..මං ඒ වෙලාවෙම තීරණය කලා ඒ හැම දේම අස් කරගෙන මෙතනට ගේනවා කියලා...එහෙම හිතලා ඒ වැඩේ ස්ථීර කර ගත්තා..දැන් ඔන්න මට සංතෝසයි...

ඒ කතා බස් ඉවර කරලා අපි දෙන්නා ආයෙමත් ආවා පාරට...දැන් අපේ ගණු දෙනුව...

සාමාන්‍යයෙන් ඔය වගේ ගනුදෙනුවකදී බ්‍රෝකර් ගාස්තුව එක මාසෙක කුලියට සමානයි කියන දේ ඔය ගෙවල්..කාමර හොයන අය දැනගෙන හිටියොත් හොඳයි..ඒ අනුව මේකෙත් ගාස්තුව 5000යි... ඒත් තාම ගණු දෙනුව අහවර නැහැ...

පාරට ඇවිල්ලා අපි දෙන්නා කතා කලා...ඇත්තටම කතා කලේ මං තමා...

"අංකල් මෙහෙමයි වැඩේ..මෙතනට මං කැමතියි..ඒත් මං ඉන්න තත්වේ අනුව මට ඔයාට 5ක් ගෙවන්න බැහැ..මං 3ක් දෙන්නං...මොකද කියන්නේ..?"

ඔන්න ඒ පාර මෑන්ස් කියනවා මේක මේ අද වෙන කෙනෙකුට කතා කරන්න හිටිය තැනක්ය..ඒත් ඔයාට හින්දය මෙහෙම හරි කලේ කියලා..වැල් බයිලා කෝටියයි...ඔහොම ටිකක් කතා කරලා අවසානේ මං 4ක් දෙන්න පොරොන්දු උනා...හරි ගේම ෆිනිෂ්...

ඒ ගානට පොරොන්දු උනාට පස්සේ මෑන් කියනවා..

"පුතා ඔයා අර ඔයාව මට අදුන්නලා දීපු සුරංජිත් ඇහැවුවොත් කියන්න මේ පොට් එකේ ගාන මාසෙට 3000 යි කියලා..එහෙම කියලා ඔයා මට දෙන්න පොරොන්දු උනෙත් 3 ක් කියලා කියන්න..දන්නේ නැද්ද..මං මහන්සි වෙලා ඒකට බාගයක්ම දෙන්න බැහැනේ..නේද පුතා.."

"ආ හරි හරි මගෙන් ඇහැවුවොත් මං එහෙම කියන්නං..මං සල්ලි දුන්නට පස්සේ ඒවා ඔයාලා කොහොම බෙදා ගත්තත් මට මොකද.."

ඔන්න ඔහොම කියලා එදා කතාව ඉවර කලා..ඊට පස්සේ මං අර ගෙවල් අයිතිකාරයට වෙන දවසක සල්ලි බඳින්න ගියා..ඒ ගිය දවසේ තමා අංකල් රොනීටත් මුදල් දෙන්න තිබුනේ..මං ඉතිං ආයේ දීපු වචනේ හැටියට අර ගනු දෙනුව ඉවර වෙලා පාරට ඇවිත් රුපියල් හාරදහක් උන්දැගේ අතේ තියන්න හදනකොට මෙන්න මෑන් කියනවා..

"පුතා අර සුරංජිත්ව ඔයාට හම්බ උනාද..?"

"නැහැ අංකල් මට හම්බ උනේ නැහැ.."

"එහෙනං පුතා එයාව හම්බ උනොත් එයාට කියන්න මට ඔයා දුන්නේ 2000 යි කියලා..හොඳද පුතා..කමක් නැහැනේ..නේද..?"

කොහොමද ගේම...මුලින් අර යකාට 1500ක් දෙන්න හිත හදා ගත්ත බුවා..දැන් ඒකත් වැඩියි කියලා 1000ක් දෙන්නයි කල්පනාව...මටත් තිබුනා ආ එහෙනං මාත් අඩු කරන්නං කියලා තව දාහක්වත් අඩු කරලාම දෙන්න..ඒත් මං ඒ වෙනකොට උන්දැට දෙන්න හිටිය 4000 ගැන මගේ හිතේ ආසාව අත ඇරලා හිටියේ..ආයේ මොකටද ඕකෙන් ගණන් අඩු කරන්නේ..මං හාර දාහම උන්දෑ අතේ තියන ගමන් හිනා වෙලා..

"හරි අංකල් මං එහෙම කියන්නං" කියලා එන්න ආවා...

මං ඒ එන අතර මගදී අර අනිත් යෝධයා මග රැකගෙන උන්නා මාව අල්ලගන්න බලාගෙන..මං උන්දැටත් අර කිව්ව විදියටම දෙදහක් දුන්න කතාව කියලා එන්න ආවා... මොකටද ඒ දෙන්නව අවුල් කරවන්නේ... ඒ වෙලාවේ තමා මට හොඳටම තේරුනේ අර මුලින්ම දෙන්නා කතා උන කොටවන කතාව මොකක්ද කියලා...

ඔන් අපේ රොනී අංකල්ගේ ක්‍රියාන්විතය.. මොනවා උනත් ආස්සරේ කරන්ට වටින මනුස්සයා...

20 July 2011

කොට්ටෝරු.lk..කුනුහරප කොමෙන්ට් දැමූ පොල් බූරූවෙක් මාට්ටු විය...



මේ ටිකේ පෝස්ට් එකක් ලියන්න තුන් හිතකවත් තිබුනේු නැහැ..එහෙව් අවු අස්සේ ඕන්න එක බූරු පුතෙක් හින්දා මෙහෙම ලිපියක් ලියන්න උනා.

අද මං උදේ ටිකක් නෙට් එකේ සැරි සරලා..ඊට පස්සේ මගේ වැඩපල කර කර ඉදලා මේ රෑ වෙන්ට ඇරලා ආයෙහත් ආවේ මේ පැත්ත බලන්ට..ඒ ඇවිත් පුරුදු විදියටම මගේ ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන් බොක්ස් එකේ තියෙන මේල් බලන්ට ගත්තා අන්න ඒ වෙලාවේ තමා මේ කියන කෙලිය උනේ...

ඒ මේල් අස්සේ මගේ බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් (ලින්ක් එක දුන්නට ඕක බලන්න යන්න එපා ඕකේ දැනට මුකුත්ම නැහැ) එකට දාපු කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුනා..ඒක දාලා තිබුනේ ඇනෝ කෙනෙක්..අන්තර්ගතය කුණුහරප... මං ඉතිං ඕක ගණන් ගත්තේ නැහැ..ඔය වගේ දේවල් කොහොමටත් ඉඳ හිට මීට කලිනුත් වෙලා තිබුන හින්දා වගේම මේ දවස්වල මාව අපුල්ලන සෙට් එහෙකුත් ඉන්න හින්දා..මං කලේ මගේ බ්ලොග් එකේ සෙටින්ග්ස් වලට ගිහින් ඒක ස්පෑම් ලෙස සලකුණු කරලා හංගපු එකයි..

එහෙම කරලා ඇවිල්ලා ආයෙමත් මේල් චෙක් කරනකොට මෙන්න බොලේ ඊට කලින් මගේ මේන්න මේ පෝස්ට් එකටත් (ආ ඕක බැළුවට කමක් නැහැ ඒකේ තියෙනවා සාක්කිවලින් කෑල්ලක්) අර කොමෙන්ට් එකම දාලා..හැබැයි අර අනිත් එක වගේ නෙවෙයි ඒකනං දාලා තියෙන්නේ පහුගිය දවස්වල මේ බ්ලොග් අවකාශේ හැමෝටම ඇනයක් වෙලා තිබුන බ්ලොග් එහෙක අයිඩී එහෙකින්..මං පටස් ගාලා ඒ පෝස්ට් එකට ගිහින් බැළුවා..ඒ යනකොට ඒ කොමෙන්ට් එක දාපු කෙනා විසින්ම මකලා..ඒත් එතන තියෙන කමෙන්ට් කරපු බ්ලොග් එකේ ලින්ක් එක දිගේ ගියාම ආයේ වෙන කොහේවත් නැතිව අඳාල බ්ලොග් එකටම ගියහැකි.

මොකද ඒකත් මං බැළුවේ..සමහරු වෙන අයගේ බ්ලොග්වල නම් පාවිච්චි කරලා ඒ වගේම පේන විදියට අනුන්ගේ බ්ලොග්වල කොමෙන්ට් කරන බවකුත් පහුගිය කාලේ මං දැකලා තිබුන හින්දයි... ඉතිං නිවැරුද්දේ කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න කලින් හරියට තහවුරු කර ගන්න එපායි..

අනේ ඇස්වහක් කටවහක් නැහැ..අර කිව්ව බූරු පුත්තු ටිකක් කරන බ්ලොග් එකෙන්ම තමා කොමෙන්ටුව වැටිලා තියෙන්නේ.. මං ඉතිං ඔය ටිකත් බලාගෙන අදාල දර්ශනවල ස්ක්‍රීන් ෂොට් ටිකක් එහෙමත් අරගෙන ගියා ගූගල් බස් එකට මේ ගැන පොඩ්ඩක් කට්ටියට කියන්න..එහෙම කරලා බස් එකක් දාලා පොඩ්ඩක් පහත බැළුවා අනිත් බස්වල තත්වේ බලන්න..

හුටා ජලා..යකෝ මට විතරක් නෙවෙයි අද හුග දෙනෙකුට මේ යෝධයා මේ කොමෙන්ටුව දාලා තියෙන වග එතන දාලා තියෙන බස් වලින් දැන ගත්තා..අනිත් අයගෙනුත් ඒ අයට දාලා තියෙන කමෙන්ටු ගැන ඇහැවුවම මේ කොමෙන්ටුවම තමා හැමෝටම ඇවිත් තියෙන්නේ...නයි කයිද රෝස් පාන්..?

ආයේ ඉතිං කතා දෙකක් නැහැ වැඩේ කිරි ගහට මල්ටි බැරල් ගැහැවුවා වගේ තමා...

ඇත්තටම ඔය බූරු පුතාලගේ බ්ලොග් අඩවිය ගැන පහුගිය කාලේ මහ හිරිකිත පුචාරණයක් දීගෙන ගියා..හැබැයි ඒ කරගෙන යන ප්‍රචාරණයේ තිබුණ මෝඩ ගතිය හින්දම මට තේරිලා තිබුන දෙයක් තමා ඒක කරන ළමයි එක්කෝ අවුරුදු 12-13 වගේ පොඩි උන් ටිකක් වෙන්න ඒන..එහෙමත් නැත්තං ඇඟ මොරපු ගානට මොලේ මෝරපු නැති බූරු පුතාලා ටිකක් වෙන්න ඕන කියන කාරණාව...

කොහොම හරි අද උන්දලා ටික කොටාගෙන කොටාගෙන ගෙහුං කොටලා තියෙන්නේ කෙහෙල් ගහකට...ඔයිට කලින් ඔය වගේ කොමෙන්ට් කරන අය හිටියා..ඒත් ඒ එකෙක්වත් ලේසියට මෙච්චර මෝඩ විදියට මාට්ටු උනේ නැහැ...මේ මෝඩ පුත්තු ටිකනං ආයේ නැති වෙන්නම මාට්ටු උනා කියලා විතරයි මට කියන්න තියෙන්නේ...

ඊ ළග දේ තමා මෙහෙම අයට මොකක්ද කරන්න පුළුවන් කියලා හොයලා බලන එක...කාටවත් දඩුවම් දෙන්න මං ලොක්කෙක් නොවුනත්..කුණු හරප කොමෙන්ටුවක් දැමීම නිසා අගතියට පත් වෙච්ච පාර්ශවේ කෙනෙක් හැටියට මගෙත් ඉල්ලීමක් තියෙනවා මේ සඳහා ඉල්ලීමක් කරන්න...ඒ අනුව මගේ තියෙනවා යෝජනා කිහිපයක්ම...අනිත් අයත් එකඟයි නම් සහ කල හැකිනම් ඒ දේවල් කරන්න බලන්න..

1.පළමු දේ තමා කෙනා මොකාද කියලා දැන ගත්ත පලියට ඒ බ්ලොග් එක බලන්න යන එකෙන් වලකින එක..

2.තම තමන්ගේ බ්ලොග් රෝල් වල ඉන්නවනං ඉවත් කරලා දාන එක..එහෙමත් නැත්තං ෆලෝ කරන එක නවත්තන එක..

3."කාරණාව හොයා බලා තහවුරු කරගෙන" සින්ඩිවල පාලකවරුන්ට හැකි නම් අඳාළ බ්ලොග් එක සින්ඩි වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම.

4.සමූහයක් වශයෙන් එකතු වෙලා හැකි නම් බ්ලොග් එක රිපෝට් කරන්න උත්සහ ගැනීම...

මේ බ්ලොග් අවකාශේ එකතු වෙලා වැඩ කරන එක ලේසි නැති උනත්..බැරි කමකුත් නැහැ... තීරණය අනිත් අයගේ අතෙයි තියෙන්නේ...

කොහොම උනත් අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරු වංශික බූරු පුතාලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

"අනේ බුරූ පුතේ... මීට පස්සෙවත් දෙයක් හරියට කරන්න බැරිනං නොකර නිකා හිටිං..ඒක නම්බුයි..නැත්තං පව් උඹලගේ ගෙවල්වල ඉන්න අර අම්මලා තාත්තලා.."




17 July 2011

කසිප්පු බීම පමණක් තහනම් ඇයිද... වැටේ සුදා නුඹේ නමට...

සිටු මාළිගා රජ මැදුරේ රැඳී නැතී..
ධනවතුනගේ මුව පහසේ උරුම නැතී..
උගත් වියත් අය හට දැකුමත් නොමැතී..
එහෙත් බොහෝ දන නුඹ හා කල් යවතී..

විසිතුරු නේක කැටයම් කල ඇසුරුමක..
දිලිසෙන පැහැය ඇති හැඩ වැඩ පෙට්ටියක..
නොයෙකුත් හැඬැති මන බඳිනා මේසයක..
නුඹ සිටි බවක් නම් නැත මගේ මතකයක..

අවන් හලක මකරුන් සිටිනා තැනක..
ගිමන් හලක තරු පහ හය රැඳුන තැන..
විසල් ලැඟුම් හල් දිලෙනා ඇති නේක..
කිසිත් කලෙක එහි පහසක් නුඹට නැත..

වෙදුන් බනිති නුඹ ගැන කිසි හොඳක් නැත..
ලිපිත් ලියති නුඹටම එරෙහිව සැවොම..
පොලිස් අතත් ගෙන දෙන නුඹටම ගැහැට..
උතුම් නීතියත් නුඹටම කපයි වල..

කියනා කිසිත් අගයක් නැත නුඹ ගාව..
ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
තවමත් නුඹ සිටී නොසැලී අප ගාව..

දාහක් දෙනා හඬ නැගුවත් විරුද්ධව..
ලෝකයේ කිසිත් අගයත් නැතුවත් නුඹට..
ඒ කිසි දොසක් ගැන නොම වී අමනාප..
පොඩි මිනිහාගේ දුක නිවනා හැටි තාම..

වත්තේ කොනේ බඩ වැටීයේ සැග වීලා..
දොළ පහරේ ඇළ අයිනේ නිපදීලා..
සමහර විටක සති ගානක් පල් වීලා..
නුඹ ඉපදෙනා හැටි ඇත රහසක් වීලා..

යකඩ බැරලයක් පෙරලා පැත්තකට..
එහි උඩ පැත්තේ කට කපලා ගානකට..
සීනිත් සමඟ ඊසුත් මුසු කොට යසට..
වතුරත් යොදා පැසවති හොඳ පදමකට..

මහ ගණ වනේ හෝ නිවසේ කුස්සියක..
ලිං මිදුලේ සඳ ඇති දින මහ රැයක..
දර ගිනි ගොඩේ හෝ වෙනයම් හෝ ලිපක..
දැල් වෙන ගින්න මත රත්වනු ඇත දිනක..

තඹ බටයෙන් සැදි දඟරය තුලින් යවා..
ගිනි රස්නය සීතල වතුරෙන් නහවා..
හුමාලයන් පිණී බිඳු සේ යළි හරවා..
බිඳුවෙන් බිඳුව ඉස්පිරිතුව එක් කරවා..

පදමට සරිලනා සේ වතුරත් මුහුව..
අඩු වැඩි නැතිව බූලිය තුල වී සිරව..
සඟවා තැනින් තැන බොහො රැකවල් ඇතිව..
අවසන විකුණනා අඩු මිලකට නිමව...

මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
මොන තරමකින් හෝ නොවෙතිය දෙවැනි තැනක්..
රසවතුනගේ මන පිනවන බොහොම කලක්.
දුප්පතුනගේ සිත පිනවන දිව ඔසුවක්..

නසනා දුක සෝක ඇඟපත ඇති වෙහෙස..
නිවනා සිතේ ගිනි ගිනි වතුරෙන් සවස..
ගෙවනා ජීවිතේ රැ‍ඳෙමින් ළග ගැවස..
මිනිසුන් දුක නසයි නුඹ නැතිකර පවස..

රජවරු සිටුවරුන් අතරේ පමණක්ද..
දුප්පත් දනා හට මත්බව අකැපයිද..
සල්ලිය බාගේ නැති කම මහ වරදක්ද..
කසිප්පු බීම පමණක් තහනම් ඇයිද..

-ලියන්න අදහස දුන්න මාගේ මිතුරාට ස්තූතිය...


16 July 2011

ඇයි මට මෙහෙම කලේ..?

සේකර උඹනං හරි වස නපුරා..
ලියන්න හිටි මං බොහොම හිතාගෙන..
හැම කවියක්මත් උඹ ඇත ලියලා..
ලියන්න දේවල් දැන් නැත ඒ හැර.
උඹ කල විපතක මහතක් මේ මට..

මීවිත ගෙනෙනා රස සුව අගනා..
ඒ ගැන දැනටත් උඹ ඇත ලියලා..
එතෙකින් නොනැවත මහ කිවි හතුරා..
බියර් ගැනත් ඇත කවි පද ලියලා..

මරණය නම් වූ අපූරු මිතුරා..
දිවියේ අවසන සැනසුම ගෙනෙනා..
ඒ ගැන ලියනට සිතු සිත සපුරා..
එකෙත් ඇති සුව උඹ ඇත ලියලා..

ඉතින් කියාපන් කරනෙම් මොනවා..
ලියන්න කිසිවක් දැන් මට නැතිවා..
මේ කල විපතට සරිලන විලසා..
නුඹට දෝස් මුර තබනෙමි මෙලෙසා..

14 July 2011

රාහුල...

මට තේරෙන්නෙ නැහැ මේක මං උඹට කොහොමද කියන්නෙ කියලා... උඹට මං කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලවත් මම දන්නෙ නැහැ..සමහර විට උඹ තේරුම් ගනීවි..ඒත් අද නෙවෙයි.. තව හුග කාලෙකට පස්සෙ...

ඇත්තටම මට ඕන උනේ නැහැ උඹව ගේන්න..උඹව මේ ලෝකෙට ගේන්න...ඒත් උඹ ආවා..මගේ කැමැත්ත ගැන කිසිම හෙවිල්ලක් බැළිල්ලක් නැතිව උඹ ආවා..මං දන්නවා මේක උඹ තනියම කරපු දෙයක් නෙවෙයි කියලා..මේකට අනිවාර්යෙන්ම අර ගෑනි සම්බන්ධයි..ඔව් වෙන කවුරුවත් නෙවෙයි උඹේ අම්මා..

මං ඔය මනුස්සයට කිව්වා...හොදාකාරවම කිව්වා...ඒත් මං කියපු දේවල් ඒකි තඹේකට මායිම් කරලා නැහැ.නැත්තං අද උඹ මෙතන නැහැනේ...

නැහැ නැහැ මේක උඹත් එක්ක මගේ පෞද්ගලික තරහක් නෙවෙයි..උඹ කවුද කියලවත් මම දන්නෙ නැහැ..උඹ කොහෙන් ආවද කියලවත් මම දන්නෙ නැහැ.. එහෙම තියෙද්දි මං උඹව තරහ කාරයෙක් හැටියට සලකන්නෙ නැහැ...ඒත් ඒත් බං... මං කැමති නැහැ. කොට්න්ම කිව්වොත් මට ඕන උනේ නැහැ මං වගේ තවත් එකෙක් මේ ලෝකේ උලා කන්න ගෙනත් දාන්න...

මං දන්නෙ නැහැ මං හරිද වැරදිද කියලා ඒත් මං විශ්වාස කරනවා දෙයක්..ඒ තමයි මේ මිනිහා කියන සතා ගෙන් මේ ලෝකෙට කිසිම වැඩක් නැහැ කියන එක.. ඌ කරන තරමක් කරන්නේ විනාස..බලහං මේ තනි මං හින්දා මේ ලොකේ කොයි තරංනං දේවල් මේ වෙන කොට විනාස වෙලා තියෙනවද...

මගේ බඩ කට පුරවන්න..ඔව් දවසකට තුන් වේලක්..යන්තං කෑම ටික ටික බඩට වැටෙන්න ගත්ත දවසේ ඉඳලා දවසින් දවස මං බඩට දාන ප්‍රමානය වැඩි උනා..අද වෙනකල්ම මං ඒ බඩ පුරවනවා..ඒ වෙනුවෙන් කොයි තරංනං ගස් කොලං..ගෙඩි..ඇට..පලතුරු.. නොයෙකුත් ජාති.. ඇයි ඒ විතරක්ද..? මං හින්දා කී තරමක්නං සත්තු මැරිල ඇද්ද..? හරක්..ඌරෝ..එළුවෝ.. ඔව් උන්නං ඒ හැටිම නැතිව ඇති..ඒත් එයින් එකෙක් හරි මං හින්දා මැරිලා තියෙනවා.. එතකොට කුකුලෝ..සෑහෙන්න මැරිලා ඇති...

ඒ විතරක්ද මගෙන් වැඩිම හානිය අර මහ මුහුදේ ඉන්න මාළුන්ට..උන් මට කොයි තරං ඈතින් හිටිය උනත් අන්තිමට මා වෙනුවෙන් මැරෙන්න වෙනවා...ඔතනින් අර පුංචිම එවුන්... ඔව් හාල්මැස්සෝ තමා..මේ වෙනකොට දහස් ගාණක් මා හින්දා උන්ගේ පණ නැති කරගෙන තියෙනවද..? හිතා ගන්නත් බැරි තරං..තව ඉස්සරහට මං වෙනුවෙන් මැරෙන්න කොයි තරංනං මාළු ලෑස්ති වෙලා ඉන්න ඕනද..?එහෙම බැළුවම මගෙන් මේ ලෝකේට වෙච්ච එක හොදක්වත් මට හිතා ගන්න බැහැ...

බම්බුව තමා...මහ ලොකුවට මිනිස්සු කියන්නෙ නං මිනිහෙක් උනහම ලෝකෙට සේවය කරන්න පැටියෙක් හදන්න ඕන කියලා..ඒක තමාළු මිනිහෙකුට මේ ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය කියලයි උන් කියන්නේ.. උන් මෙච්චර දවසක් කරලා තියෙන සේවේ මදිවටද දන්නෙ නැහැ..? රෙද්ද තමා..උන් කරන තරං විනාස මේ ලෝකෙට කරලා..තව ඒක කරන්න පැටවුත් හදලා තියන එක මහ ලොකු සේවයක්ද..?

මිනිහා තරං මේ ලොකේට හානිකර එක සතෙක්වත් මං දැකලා නැහැ... තිරිසන් සත්තු ගහකට කොලකට හානි කලත් ඒ කරන්නේ උන්ගේ බඩ පුරවගන්න විතරයි..ඒත් උන් කිසිම දවසක ගස් වැල් මුලින්ම කපන්නෙ නැහැ...හාවෙක් එළුවෙක් කොල ටිකක් කෑවට..අලියෙක් අතු ටිකක් කඩල කෑවට..හරකෙක් බිම උලා කෑවට උන් ඒ දේවල් නැත්තට නැති කරන්නේ නැහැ..ඒත් මිනිහා...

මිනිස්සුන්ට ගස් කොලන් පෙන්නන්න බැහැ..ලොකු කඳ බඩ මහත ගහක් දැක්ක ගමන් උන්ට පේන්නේ උළුවහු..අල්මාරි..දොර ජනෙල්..යට ලී බාල්ක...මොන මගුල හරි කරලා ඒ ගහ කපලා කුට්ටි කරනවා...

සත්තු කවදාවත් මේ මහ පොළොවට ඇළට දොළට ගංගාවට බලපෑමක් කරන්නේ නැහැ..උන් වතුරකට බැස්සොත් වතුර ටිකක් බොයි..ඔය අලියෙක් වගේ එකෙක් නං ඕනනං වැඩිම උනොත් වතුර ටිකක් බොර කරලා යයි..ඒත් ඒක පැයකින් දෙකකින් හරියනවා..ඒත් මිනිස්සු..?

ඇළක් දොළක් ගංගාවක් පේන්න බැහැ..පතුල හූරනවා..ටිකක් දිලිසෙන ගල් කෑලි ටික මහ ලොකු වටින දේවල් වගේ අරං බෙල්ලෙයි අත පයවලයි එල්ල ගන්නවා..ඊට පස්සේ වැලි ටික ගොඩ දා ගන්නවා.. වතුරට දාන්න තියෙන වස විස හැම දේම දානවා...කාලකණ්ණි ජාතිය...

පොලොවේ පස් ටිකට තියෙන්න දෙන්නෙ නැහැ..වතුර දාලා අනලා..හතරැස් කොරලා පුච්චලා ගෙවල්වල බිත්ති වලට හිර කරනවා..කළු ගලක් පේන්න බැහැ ඒක පුපුරවලා කෑලි කරලා ගෙනත් ගෙවල්වල අත්තිවාරමට යට කරනවා...ගස් කොලන් යට ලී බාල්ක කරවනවා..කොටින්ම කිව්වොත් එක මිනිහෙක් වෙනුවෙන් කොයි තරංනං මේ මහ පොළවට අයිති දේවල් විනාස වෙනවද..? එහෙම කරන එකද මුන් කියන මහ ලොකු සේවේ..බම්බුව...

ලොකේ තියෙන හැම දේම මුන් හූරං කනවා...වතුර ටික විතරක් නෙවෙයි තෙල් ටිකත්...ලෝහ වර්ග ටික..මේ හැම දේම...මුංගෙන් බේරිච්ච කිසිම දෙයක් මේ ලොකේ නැහැ..කවදා හරි දවසක මේ ලොකේ කොල පාට නිල් පාට අහක් වෙලා තනිකරම හම ගැහැව්ව ටෙනිස් බෝලෙක පාටට එනකල්ම මේ කාලකණ්ණි හැත්ත මේකට අර මොකක්ද එක කරනවා..ඔව් උන් ඒකට කියන්නේ දියුණු කරනවා කියලා..ඒක කරන්න හරි අපූරු සාත්තරයකුත් උන් හොයා ගෙන තියෙනවා..ඒකට කියන්නේ විද්‍යාව කියලා....ඒ විද්‍යාව කියන අපූරු සාස්තරේ දවසින් දවස අළුත් කර කර මුං ඒකෙන් මේ ලොකේ දියුණු කරනවා..මගුල තමා..මුළු ලෝක බෝලෙම මුන් වනසනවා..අනේ මුං කරන දියුණුව...

කැලේ සතෙක් බඩ ගින්නට තව සතෙක් මරං කන එක ඇත්ත..ඒත් මේ මිනිස්සු කියන ජාතිය එහෙමද..?උන් සතා සීපාවා මරලා නවතින්නේ නැහැ උන්ගේම ජාතියත් කිසිම වග විභාගයක් නැතිව දහස් ගණනින් මරලා දාන්නේ...එහෙම තමන්ගේ ජාතිය මරන්නම උන් හදලා තියෙනවා අහස් යාත්‍රා..නැව්.. සබ්මැරීන්.. යුධ ටැංකි..කාල තුවක්කු.. බෝම්බ.. තුවක්කු..කඩු..කිණිසි වගේ හුගාක් ජාති.. මං හිතන්නේ මේ ලෝකේ වැඩිම මහන්සියක් අරං මුං හදලා තියෙන්නෙම මිනිස්සුන්වම මරන්න ඕන දේවල්...

වෙඩිතියලා බෝම්බ දාලා මරන්න බැරිනං වස දීලා හරි මරනවා..ඒක කෙලින්ම බැරිනං කන බොන දේ හරහා හරි කරවනවා.. බෙහෙත් කියලා දෙන දේවල් හරහා හරි කරනවා...මොන විදියකින් හරි අනිත් උන්ව මරන්නමයි මුං හදන්නේ..ඒත් කතා කරන්නේ මිනිසාට සේවය කිරීම සහ ඒ වෙනුවෙන් තව තවත් මිනිස්සු උපද්දවන එක..ඇයි හත් ඉලව්වේ ඔය ඉන්න උන්ව මරන එක නවත්තලා ඉඳපල්ලාකෝ තව අළුතින් හදන්න හදන වෙලේ..එහෙව් කාලකණ්නි ජාතියක් අපි...

එහෙම ලෝකෙකට තවත් එකෙක් ගේනවා කියන්නේ ඊට වඩා කාලකණ්නි කමක් තවත් නැහැ. ඔව් උඹට මේවා කිව්වට මේ අනිත් මිනිස්සුන්ට මට මේවා කියන්න බැහැ.උන් ඒ ගැන හිතන් ඉන්නේ හරි උජාරුවට..හරියට ලොකේ තියෙන අමාරුම වැඩේ කොරලා වගේ... සමහර විට ඔතන ඇත්ත දන්න උන් ඉන්නවා ඇති..ඒත් උන් කියන්නේ නැහැ..ඒත් සමහර වෙලාවකටනං මට එහෙම එකෙක් දෙන්නෙක් හම්බ වෙලා තියෙනවා..

"අනේ බං සොමියට ගැහැව්වා අන්තිමේට හිටියා..දැන් ඉතිං මොනවා කරන්නද..?" එච්චරයි උන් කියන්නේ..

තවත් සමහරුනං "අපි වයසට ගිය දවසක වතුර ටිකක්වත් දෙන්න එකෙක් ඉන්න එපෑ.." අන්න ඇත්ත කියවෙනවා..උන් පැටවු හදන්නේ උන්ගෙම වැඩ කරවගන්න..නැතිව ලොකේට අර අහවල් එක කොරන්නවත්... ළමයින්ට ඇති අමුතු ආදරයකටවත් නෙවෙයි..හැබැයි මුං හරි ආදරෙයි පාටවුන්ට..ඒක උන්ගේ කතාවල් වලින් බේරෙනවා...ඒත් උන් ඒ කරන්නේ හෙන බොරුවක්ද මංදා...නැත්තං පැටවුන්ව නිකං මැෂින් වගේ හිර කරලා හදයියෑ..

අහවල් එක කොරලා පැටියෙක් හදා ගත්තට පස්සේ මහ එවුන් දෙන්නගේ වැඩේ ඒකාව නොමරා මරන එකයි..ඌට උගන්නනවා කියලා දස වදයක් දෙනවා..හරියට අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්න ආව එකෙක් වගේ හිතාගෙන...අන්තිමට උගේ ජීවිතෙන් බාගයක් ඉවරයි මහ උන් දෙන්නගේ ඕනෑ එපාකං වලට හරියන විදියට ඉගෙන ගන්න ගිහිල්ලම...පුදුම ආදරයක්...වෙන මොකවත් නෙවෙයි අර පැටියට ලොකු රස්සාවක් අරං දෙන්න..එතකොට ඌ ලොකු සල්ලියක් හොයලා මහ උන් දෙන්නව බලා ගනීනේ අන්තිමට..ඕක තමා අරමුණ..ඒත් කියන්නේ වෙන මල විකාර...

බැරි වෙලා හරි එහෙම හදන එකා මහ උන් දෙන්නට නොසලකා ඇරියම තමා බලා ගන්න පුළුවන් සෙල්ලමේ ලස්සන..එක අතකින් එහෙම වෙන එකමයි කාරිය..අර පැටියට පොඩි කාලේ ඉදලා ‍ආදරේ කිය කිය දෙන දස වදවල හැටියට...

ඒ වගේම මං හිත රවට්ට ගන්න කැමති නැහැ බොරුවට මං මහ ලොකු සේවයක් කලා කියලා මේ ලෝකෙට..උඹ උපන්නයින් මගේ අතින් වෙලා තියෙන්නේ මේ ලෝකෙට බරපතල හානියක්...හරියට මාව මේ ලෝකෙට ආවා වගේම හානියක්...උඹ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන සතා සීපාවුන්ගෙන් සෑහෙන ගණනකගේ මරණ වරෙන්තුවත් අරගෙනයි මේ ඇවිත් තියෙන්නේ...උඹ වෙනුවෙන් ගස් වැල්..ඇලදොල..හුගාක් විනාස වෙයි...ඒක සේවයක්නං..උඹත් මේ ලෝකේට සෑහෙන සේවයක් කරයි..ඒ වගේම උඹත් මේ ලෝකේ දියුණු කරයි...

උඹ ආවයින් පස්සේ මගේ ජීවිතෙත් වෙනස් වෙයි.අර ගෑනිට මං ආදරේ කියලා මොකක්ද කෑදරකමක් දක්වනවා. ඒ හින්දා ටිකක් හරි ඒකි කියන දේ අහන්න වෙනවා...මෙච්චර කලක් කලා වගේ ඒකිව බලා ගන්න ඕන..ඒත් ඒකි දැන් උඹව බලා ගන්න හින්දා මටත් ඒක කරන්න වෙනවා...ඒත් ඒකිත් එක්ක මුලින්ම නිදිවදින දවසෙත් මං කිව්වා මට බැඳීම් වැඩි කරවන්න එපා කියලා..ඒකිත් ඒකට කැමැති උනා...

ඇත්තටම ඒකිත් ඉස්සර හිතුවේ මං හිතන විදියටම තමා...අපි දෙන්නා ජීවත් උනෙත් එහෙමම තමා...ඒත් අන්තිමට ඒකි වෙනස් උනා.රටේ ලෝකේ ඉන්න අම්මණ්ඩිලා ඒකිගේ ඔළුවට විස පෙව්වා මං හිතන්නේ..කොහොම හරි ඒකිත් ඒ ලණුව කෑවා..මෙච්චර දවසක් ඇඳ පුටුවලට..අල්මාරිවලට භෞතික දේවල්වලට කෑදරකමක් නැතිව හිටිය එකී උඹ බඩට ආවත් එක්කම ටික ටික වෙනස් උනා..

මුලින් පටන් ගත්තේ උඹට ඇඳුම් එකතු කරන්න..ඊට පස්සේ තව මොන මොනවද හුගාක් දේවල් එකතු උනා..දැන් දැන් ගෙයි හිස්ව තිබුන තැන් දිහා බල බල මොනවදෝ කල්පනා කරනවා..මෙච්චර දවසක් මේ ගෙදර ඕනවට වඩා දේවල් තිබුනේ නැහැ..හරිම හිස් කමක් තිබුනේ..ඒත් ඒ හිස් කම මගේ හිතට ලොකු සහනයක්..උඹේ අම්මත් ඉස්සර ඒ හිස් කමට කැමැත්තෙන් හිටියේ..ඒත් දැන්නං මට තේරෙනවා ඒකිගේ හිත මොනවා නමුත් වෙනසකට පත් වේගන යන විත්තියක්..

උඹේ අම්මයි මමයි එකට හිටියට අපි අතර එකඟතාවයක් තිබුනා..ඒ තමා දෙන්නට මේ සම්බන්දේ ඇති කියලා හිතුන දවසට දෙන්නටම වෙන්වෙලා යන්න අයිතියක් තියෙන්න ඕන කියලා.... ඒ හින්දමයි අපි දෙන්නා සෑහෙන කාලයක් එක ගෙදර හිටියත් නීතියෙන් විවාහ වෙලා නොහිටියේ..ඒත් උඹ බඩට ඇවිල්ලා මාස තුනක් යද්දී නීතී පොත්වල අත්සන් තියන්නත් මට සිද්ධ උනා..ඒක මං කලේ අකමැත්තකින්මත් නොවුනට බලපං උඹ හින්දා මාව උඹ උපදින්නත් කලින්ම බැඳීමකට ලක් උනා..තව ඉස්සරහට මෙහෙම ගියොත් මොනවා වෙයිද..?අර ගෑනි ගෙයි හතරකොන් දිහා බල බල කල්පනා කරද්දී මං දන්නවා මට නිකං ඉන්න බැරි වෙයි..මේක මහ අවුලක් බං...

යුතුකං හා වගකීම් කියලා කියන දේ එක පැත්තක..අනිත් පැත්තෙන් මගේ ප්‍රතිපත්ති හා නිදහස..මේ දෙක අතරේ මං දෝලනය වෙනවා... සත්‍ය සොයා යනවා වගේ ලොකු වැඩක් කරන්න ම‍ගේ හිතේ කල්පනාවක් නැති හින්ද සිද්ධාර්ථ කරපු දේ මට අද රෑ කරන්න වෙන එකක් නැහැ...ඒත් එදා සිද්ධාර්ථ හිතපු දේවල් කොයි වගේද කියලා මගේ හිතට අදයි කල්පනා වෙන්නේ..උඹ මාත් එක්ක තරහා වෙන්න එපා මෙහෙම කියනවට..ඒත් ඇත්තටම උඹ මගේ ජීවිතේට ආව මහා බැදීමක්..දැන් ඉතිං මං ලොකු බැම්මකට අහු උන මිනිහෙක්...

මගේ හෙට දවස ගැන මට කියන්න බැහැ...අද රෑම මේ බැඳීම් අත ඇරලා පිට වෙනවද..නැත්තං තව ටිකක් ඉවසලා බැරි උන දවසට පිට වෙනවද..එහෙමත් නැත්තං හැමදාමත් කර බාගෙන මේ බැඳීම් ටිකත් කර පින්නගෙන ජීවත් වෙනවද..? ඒ කිසිම දෙයක් මට හිතා ගන්න බැහැ..

ඒ කොහොම උනත් කමක් නැහැ දැන් ඉතිං අද ඉඳලා උඹත් පටන් ගනින් මේ ලෝකේ උලා කන්න...
ඉතිං උඹට තේරෙනවද මං කියන්නේ මොකක්ද කියලා... මට උඹව ඕන නැහැ...උඹ ආවා උනත් මට කරන්න දෙයක් නැහැ...මං නිදහසේ ඉන්න කැමති මිනිහෙක්..මට ඹ්න පුළුවන් තරං බැඳීම් අඩුවෙන් ජීවත් වෙන්න..මං දන්නවා මං වගේ උන්ට ලෝකේ ඉන්න උන් කියන්නේ "ආත්මාර්ථකාමියා" කියලා.. ඒ තමන් ගැන විතරක් හිතන හින්දා කියලයි උන් කියන්නේ..උන් වගේ අනිත් උන් ගැනත් හිතන්න ඕනළු..එතකොටයි පරාර්ථකාමියෙක් වෙන්න පුළුවන්..අනේ උන් කොහොම කිව්වම මට මොකද..මං උන් කියන විදියට ආත්මාර්ථකාමි විදියටම ඉන්න නැමතියි.ඒත් බලපං දැන් උඹ ඇවිල්ලා මට කරපු දේ..?


10 July 2011

ධනපාල කතා වස්තුව... ජීවිතේ අතරමගදී...

"ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදෙන්..උතුම් වූ දළදා සමිඳු පිහිට ආරස්සාවෙන්..සමන් දෙවි රැකවරණයෙන්..ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආනුභාවයෙන්...තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරස්සාවෙන්..සතර වරම් දෙවි රජවරුන්ගේ ඇල්මෙන්..බැල්මෙන්..දයාවෙන් කරුණාවෙන්...විෂ්ණූ කතරගම විභීෂණ..සිද්ධ පත්තිනි දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව බැල්මෙන්...

මේ දුන්නා වූ දෙයට නිවන් දකිනාතුරා..මතු උප නුපන් ජාතියක් ජාතියක් පාසා..මට වන් දුකක් නොවී.. උසස් උසස් රාජ රාජ මහාමාත්‍යාදී කුලයන්වලම ඉපිද..වස්තු සම්පත්..රූප සම්පත්..නිරෝගී සම්පත් ඇතිව..දුටු දුටුවන් පිත් පිනනා මන වඩනා සෝබමාන දේහ සම්පත් ඇතිව........"

ඔහු කියවා ගෙන යයි..මොහොතක්දු නොනැවතී කියවාගෙන යයි...අසන්නා මුලින්ම තරමක් වික්ෂිප්ත වූවත් තත්පර ගණනකදී එම ස්වභාවය පහව ගොස් අර හෑල්ල අසා සිටීමට කාට වූවද සිත්දේ... එය එතරම්ම සිත් ඇඳ ගන්නා සුළු වූත් ප්‍රිය උපදවන්නා වූත් පින් දීමකි...

..............................................

ධනපාලව මා මුලින්ම හඳුනා ගන්නේ වර්‍ෂ 2002 අග භාගයේදී පමණය...සමහර විට එය 2003 මුල් කාර්තුවද විය හැක...

මා උන්නේ පන්සල් මිදුලේ තිබූ වල් පැල උගුලවමිනි... කුඩා ප්ලාස්ටික් බාස්කට් එකක් පසෙකින් තබාගෙන අතරින් පතර වැලි අතරින් දළු දාගෙන ඉහලට ඇදීගෙන එන ලා තණ පත් මුලින් අල්ලා සීරු මාරුවට උගුල්ලමින් බාස්කටයට දමමින් පැයක් දෙකක් පමණ කාලයක් පන්සල් මිදුලේ ඇති ගස් කොලන්වල හෙවණට මුවා වී මෙම කාරිය කිරීම මා සිත් ගත් දෙයක්ය..එය එක් අන්දමකින් භාවනාවක් වැනි දෙයකි. නමුත් තවත් පසෙකින් සත්ව ඝාතනයක් මෙන්ම සිත කම්පා කරවන්නකි.

තැනින් තැන ඇති තණ පත් එකින් එක ගැලවී මිදුලේ කොටසින් කොටස වැලි පමණක් සහිත පිරිසිදු දසුන මතු වී පෙනෙනා විට ඒ හා සමගම සිතේ ඇති වල් පැලද ඉවත් වී සිත යම් පිරිසිදු තත්වයකට..සැහැල්ලුවකට එනවාක් මෙන්ම....

ඇතැම් තැනක අගලක්..තවත් තැනක ඊටත් වඩා වැඩි ඝණකමකින් යුක්ත වූ වැලි තට්ටුව පසා කරගෙන බොහෝ අසීරුවෙන් ඉහළට ඇදී ආ පලාවන් පැහැ ගත් පත්‍ර එකක් දෙකක් හෝ ඇතැම් විට තුනකින් සමන්විත තෘණ ශාකය මුලත් සමග උදුරා දැමීම තවත් පණක් නසනවාක් වැනිම හැගීමක්ද සිතට ගෙන එනවා නොවෙද..?එහෙත් පන්සල් බිම වල් වැදී යනු බලා සිටීමත් කන වේලක් ගානේ ණයකරුවෙකු වෙනවා මෙන් දැනෙන හැඟීම වලකා ගනු පිණීසත් කල යුතු දේ කරන්නට සිදුව ඇත..

මෙවන් හැගුම් අතර සිත බැඳී තිබූ මොහොතක යාන්තමින් ඇස් කොනින් මෙන් මා පිටිපස කිසිවකු සිටිනවා මෙන් දුටු බැවින් කරමින් තිබූ වැඩය මඳකට නවත්වා එදෙස හැරී බැලිමී...

අඩි පහකට පමණ ආසන්න උසකින් යුත් වයස හතලිහක් හතලිස් පහක් පමණ වන හිස කෙස් තරමක් දිගට වැවී තිබූ..දින දෙකකින් පමණ නොකැපූ අන්දමේ රැවුලකින් යුතු.. සරමකින් කමිසයකින් සැරසුන මිනිසකු මා දෙස බලා හිස පසෙකට ඇල කර බුලත් කහටින් අව පැහැව ගිය දසන් දක්වා සිනාසෙමින්...

"නායක හාමුදුරුවෝ නැතෙයි..?"යනුවෙන් විමසා සිටින ලදි...

"මොන නායක හාමුදුරුවෝද..?"

"මේ පන්සලේ නායක හාමුදරුවෝ.."

"ආ මේ පන්සලේ නායක හාමුදුරුවොනං මං දන්න තරමින් ඉන්නේ පිට රට..ඒත් උන්වහන්සේ දැන් අවුරුදු ගාණකින් මෙහෙට වැඩම කරලා නැහැ..ආයේ කවදා වැඩම කරයිද දන්නෙත් නැහැ"

"ආ එහෙමද..? එහෙනං කවුද දැන් ඉන්නේ..? මට කාව හරි කමක් නැහැ දැන් ඉන්න හාමුදුරුකෙනෙක් හම්බ උනානං ඇති"

"ආ ඉන්න එහෙනං"

කරමින් තිබූ වැඩේ අවසන් කිරීමටත් කාලය ලගා වී තිබූ හෙයින් බාස්කටයත් රැගෙන ආවාසය දෙසට ගමන් කරනා අතරම.. මෙම කතා බහ ඇසී ආවාසය තුල වැඩ හුන් පොඩි හාමුදුරුවන් ආවාසයෙන් පිටතට වැඩම කරනා බව දුටු බැවින්..

"පොඩි හාමුදුරුවනේ මෙන්න මේ කෙනා හාමුදුරුවන්ව හම්බ වෙන්ට ඕනයි කියනවා"

කියමින් මා එතනින් පිටව ගොස් ගලවන ලද වල් පැල ආවාසය පිටුපස කුණු ගොඩට දමා තුවායත් රැගෙන ගොස් ඇඟපත සෝදා ගතිමි.

මා එනවිට පැමිණී අමුත්තා දක්නට සිටියේ නැත. එහෙත් පොඩි හාමුදුරුවන් විසින් ඔහු පිළිබඳව මා හට දැනුම් දෙන ලදි.

"හිඟන මනුස්සයෙක්..හැබැයි නම්බු ඇතිව"

"හ්ම්ම්..මොකද කලේ..?"

"මොනවා කරන්නද දෙන්න දෙයක් තියේයෑ.."

"ඒකත් ඇත්ත"

පොඩි හාමුදුරුවන් කියන කතාවේ වරදක් නැත. මේ අවදිය වන විට පන්සලේ තත්වය අන්ත දුක්ඛිත විය. එක් දාන වේලක් පැමිණි පසුව ආයේ දාන වේලක් ලැබෙන වෙලාවක්..දිනයක් පිළීබඳව හරියාකාරව කීමට හැකියාවක් නොතිබිණී... පන්සල් භූමිය තුල ඇති සම්පත් සීමිත විය... සීනි තේ කොල ටිකත් හිග පාඩු මට්ටමින් පැවතිණි...රුපියල් දහයත් ලොකු මුදලක් ලෙස දැනෙනා අවස්ථාවන් එමටය...

එම කතාව එතැනින් අවසන් විණි...

...................................

මා පැවිදි වූයේ වර්‍ෂ 2003 ජූලි මාසයේදීය...පැවිදිව මාස කිහිපයක් ගත වූ තැන මට නැවතත් පෙර කී පුද්ගලයා මුණ ගැසිණි..උදෑසන 10ට පමණ ආසන්න වේලාවකදී මා ආවාසය ඉදිරිපිට ඇති පුටුවක වාඩි වී පිරිත් පොත පාඩම් කරමින් හුන් අවස්ථාවේදී ඉදිරි පස පාරෙන් සෙමෙන් සෙමෙන් ඉහලට එසවී ආ ඔහුගේ රුව මා ඉදිරිපිට නැවතිණි...ඔහු පිළීබඳ යන්තම් මතකයක් ඒ වන විටත් මා සතුව තිබිණී...

"අපේ හාමුදුරුවනේ..පුංචි ආධාරයක් බලාපොරොත්තුවෙන් ආවේ.."ඔහු හඩ අවදි කරයි..

"මොකදෑ වෙන්න ඕන උපාසක මහත්තයට..?"

"අනේ හාමුදුරුවනේ මං මේ ටිකක් දුර ඉඳලා ආවේ..මගේ මේ අතේ අමාරුවක් හින්දා මට මොනවත් වැඩක් පලක් කර ගන්ටත් අමාරුයි..ඒ මදිවට මට වලිප්පුව හැදෙනවා..ඉස්සරනං මං වඩු වැඩ කලා..ඒත් මේ අසනීපේ හින්දා මාව දැන් කොහේවත් වැඩකට ගන්නේ නැහැ..මැෂින් වලට වැටිලා මොනවා හරි වෙයි කියලා බයට..ඒත් මං එපෑ හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි බලා ගන්ට..ඒ මදිවට මැරිච්ච අයියගේ දරුවෝ දෙන්නත් අපේ ගෙදර.. අයියගේ පවුල වෙන මිනිහෙක් එක්ක ගිහින්......"

දීර්ඝ විස්තරයකි.ඇත්ටම දුක හිතෙන ආකාරයටත් ඔහු පිළීබඳව තරමක විශ්වාසයක් ගොඩ නැගෙන පරිදිත් එම විස්තරය ඉදිරිපත් කිරීමටත් ඔහු සමත්ය...මේ වන විටත් පන්සලේ තත්වය එතරම්ම විශාල ලෙස ගොඩනැංවී නැතත් මේ මිනිසා ආපසු හරවා යැවීම යුතු නැත...

"පොඩ්ඩක් ඉන්නකෝ බලන්න.."

"එහෙමයි අපේ හාමුදුරුවනේ.."

ඇත්තටම දීමට තරම් දෙයක් හෝ මුදලක් නැතත් මිනිසාට ප්‍රයෝජනවත් යමක් පිළීබඳව සිතේ යම් අදහසක් තිබිණී..එනම් දුම්කොල මල්ලයි...

පන්සලට ඉඳ හිට හෝ දානය ගෙන ආ පෙර දිනවලදීත් ගිලන් පස රැගෙන ඒමේදී ඇතමෙක් බුලත් අතක් දුම්කොලයක් සීනි තේකොල ඇබින්දක් ගෙන ඒමට හුරුව සිටියහ.. එසේ ලැබෙන සීනි තේකොල පාවිච්චියට ගන්නා අතරම බුලත් අතත් වැඩ සිටි හිමිවරුන් මෙන්ම ආ ගිය ගිහි අයගේ විටට ගන්නා ලදි..එහෙත් බුලත් තරම් දුම්කොල වැය නොවන බැවින් අතරින් පතර දුම්කොලයක් හැර අන් සියල්ල මල්ලක එකතු කරන්නට මා හුරු වී තිබිණි. පෙර දිනවලදී නම් පන්සලේ රැඳී සිටි අරුණ නැමැත්තා දුම්කොල වලින් ප්‍රයෝජන ගන්නා ලදි..

එනම් දුම්කොලය මදක් රත්කොට සිහින් තීරු ඉරා එය හීනියට ඔතා පත්තු කර දුම් ඉරීමයි..එයට ඔහු හට මනා හැකියාවක් තිබිණී...නමුත් මේ වන විට ඔහු පන්සලට ආවේ ගියේ නැති අතර..පෙර මෙන් නොව දැන් දිනපතාම දානය රැගෙන එන්නට උපාසක ඇත්තන් සිටීමත් හරහා දුම්කොල එකතු වීමත් හොඳින් කෙරුනි..අවට පන්සල්වල හිමිවරුන් පැමිණි විට මෙයට අත දමා හොද දුම්කොලයක් දෙකක් විට පිණීස ගෙන ගියද සෑහෙන දුම්කොල ප්‍රමාණයක් එහි ඉතිරිව තිබිණි.

ඒ වන විටත් එහි දුම්කොළ තිහක්වත් තිබෙන්නට ඇත...එයත් රැගෙන ආවාසයෙන් එළියට ආ මා...

"උපාසක මහත්තයා දෙන්න කියලා මහ ලොකු දෙයක් නං නැහැ..ඒත් මෙන්න මේ දුම්කොල උරය අරන් යන්න..වෙලාවේ හැටියට මට මීට වඩා යමක් දෙන්න විදියක් නැහැ..තාම මේ පන්සල ටික ටික ඔළුන උස්සනවා විතරයිනේ..මෙතන දුම්කොල ටිකක් තියෙනවා..මේ ළගපාත කඩයකට නොදී ටිකක් දුරකට ගිහින් මේක විකුණ ගන්න කීයක් හරි ගන්න බැරිවෙන එකක් නැහැ"

එසේ කියමින් දුම්කොල උරයේ කට බඳිමින් ඔහු අත තැබීමි...දොතින්ම එය අතට ගත් පුද්ගලයා එක් වරම තරමක් ශබ්ද නගමින් මා ඉහතදී සඳහන් කල පින් වාක්‍යය කියවන්නට විය...

ඇත්තෙන්ම විනාඩි තුනක් පමණ කාලයක් හුස්මක්වත් නොගෙන මෙන් කියාගෙන යන පින් වාක්‍යය ඔහුට බොහෝ සෙයින් කටට හුරුව ඇත..එහි අර්ථය නම්..මොහුට මෙම සිගමන හොඳින් හුරු වූවක් බවයි..ඉන්මට ඇති වැඩේ කිම..?එහෙත් පින් වාක්‍යය අසා සිටි මට තව වචන කිහිපයක් ඔහු හා කතා කරන්නට රිසි විය... ඒ

"හරි අපූරුවට පින් දෙනවා නෙව..මහණ වෙලාවත් හිටියද.."

මන්ද යත් මහණ වූ අපට නම් පින් වාක්‍යය කීම අප හසු නොවේ..

"ඉච්ඡිතං පත්විතං තුහියං..
ඛිප්ප මේව සමිජ්ජතු..
සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා
චන්දෝ පණ්ණරසී යථා..."

ආදී වශයෙන් පටන් ගෙන දුන්නා වූ දානයේ ආනිසංස වර්ණනා කොට දිව්‍යය ලෝක පෙන්වා..අනතුරුව මනු ලොවට ගෙනවුත් එහි සැපත් වින්දවා..අනතුරුව මෛත්‍රී බුදුනුත් පෙන්වා බණත් අස්සවා නිවන් දක්වනා අන්දමින් එම පින් වාක්‍යය සකස් කොට ඇත...

ධනපාලගේ පින්වාක්‍යයත් එයට දෙවැනි නොවේ..ඔහු සමස්ථ දේව මන්ඩලයම පොළවට ගෙනවිත් දනය දුන් තැනැත්තාගේ වටා සිටුවා ආරක්ෂාව තහවුරු කරයි.

"ධනපාල" ඔව් ඒ ඔහු විසින් මා හට කියනු ලැබූ නාමයම වේ... දැන් මෙය කියවන ඔබගේ සිත ඇදී යන්නේ කොතනටදැයි මා හොඳින්ම දනිමි..ඒ "සන්ෆ්ලවර්" කන්ඩායමේ අර ජනප්‍රිය ගීතය වෙතයි... අහම්බයක් වූවත් නොවූවත් ඇත්තෙන්ම මේ ධනපාලගේ කතා වස්තුවයි...

මෙසේ කිහිප වරක්ම මාගේ පස් අවුරුදු පැවිදි සමය තුලදී මා හට ධනපාල හමු විණී... ධනපාල නරක අයකු නොවේ..නිතර නොපැමිනේ..එහෙත් මාස තුනකට සැරයක් අනිවාර්යයෙන්ම පැමිණේ...එය යම් ආකාරයක බදු එකතු කිරීමක් මෙන් වූවත් ක්‍රම ක්‍රමයෙන් පන්සලේ තත්වය දියුණු කිරීමට මා හට හැකි වී තිබූ නිසා ඔහුගේ පැමිණීම මා හට ගැටළුවක් නොවිණි... ඔහුගේ සිත සපුරා ආපසු යැවීමට හැකි තත්වයක් පස්සෙන් පහු ඇති වී තිබිණි...

........................................

දිනක් මා සිටි පන්සලට තරමක් දුරින් තිබූ නගරයකට කිසියම් උවමනාවක් සඳහා යාමට මට සිදුව තිබිණි.මට මතක හැටියට නම් කිසියම් මුද්‍රණ කටයුත්තක් පිණිස විය යුතුය. මා මගේ කාර්යය නිම කොටගෙන නැවත එම නගරයේ වූ ප්‍රධාන බස් නැවතුම්පලට පැමිණ මගේ පන්සල පිහිටි ප්‍රදේශයට ගමන් ගන්නා බස් රථයකට ගොඩ උනෙමි...කුඩා ඉසුසු තනි දොර බස් රථයක් වූ එහි පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්ව තිබූ අසුන කරා මා ගියද ඒ වන විට එහි යම් අයෙකු වාඩි වී සිටියේය...එහි වූ අනිත් අසුන මත විශාල එළවළු බෑගයක් තබා ඒ මත තම අතද තබාගෙන දුම් වැටියක්ද දල්වාගෙන සිටියේ අනිකකු නොව "ධනපාල"ය...

මා ඔහු දෙස බැළුවත් ඔහු මා නොදුටුවා සේ දුම් වැටිය උරන්නට විය.. බස් රථයේ පසුපස තවත් ආසන හිස්ව තිබූ මුත් ඒවායේ වාඩි වීම පෞද්ගලිකව මට අපහසුවක් නොවූවද චීවරයට කරන්නා වූ යම් නිගරුවක් බැවින් එම බසයෙන් බැස ඊ ළග බසයෙන් යාමට තීරණය කල මා බසයෙන් බසින්නට සූදානම් වෙත්ම ධන පාල වාඩි වී සිටි අසුනට සමාන්තරව අනික් පසින් තිබූ තනි ආසනයේ වාඩි වී සිටි අයකු ඉන් නැගිට..

"මෙතනින් වාඩි වෙන්න අපේ හාමුදුරුවනේ"

යනුවෙන් පවසන ලදි...තනි දොර බසයේ දොරට ඉිදිරි පසින් තිබෙනා ආසනයේ වාඩි වී යාම තරමක් අපහසු වන්නේ එහි පාද තබා ගැන්මට වන්නේද තරමක් ඉහළිනි..එහෙත් අපහසුතාවය ගනනකට නොගෙන එහි වාඩි වී ටිකට්ටුව සඳහා මුදල් අතට ගෙන සිටියේ කොන්දොස්තර තැන මා වෙත එනතුරුය...

ධනපාල සිගරට්ටුව බොන අතරම මා දෙස බැලීය..එහෙත් නාඳුනනා බැල්මකි...මා සිනාසුනෙමි... මුලින් නාදුනන සේ සිටි පුද්ගලයා යන්තමින් මා හා සිනා සිණි...

"කොහොමද ධනපාල..කොහේද මේ යන්නේ..?"

සිතා ගැන්මටවත් කාලයක් නොවීය..සිගරට්ටුව අතින් ගුලි කරගත් ධනපාල එළවළු බෑගයත් රැගෙන තත්පර දෙකක් වැනි කාලයක් තුලදී බසයෙන් බැස සෙනග අතරෙ නොපෙනී යන ලදි...බසයෙන් බැස්සා නොව පැන්නා යයි කිවහොත් නිවැරදිය... මා හට ආසනය දුන් පුද්ගලයා මාහා සිනාසී

"හාමුදරුවෝ දන්න කෙනෙක්ද.."

"ඔව් ටිකක් විතර"

"පුදුම මිනිස්සුනේ..මුලින් හාමුදුරුවන්ව දන්නෙවත් නැති විදියටනේ උන්නේ.."

මා සිනා සී නිහඩ වීමි...

....................................................

එයින් මසකට පමණ පසුව මා ආවාසය තුල සිටියදී කිසිවකු මා අමතනවා ඇසී ඇඳ සිටි අඳනයට උඩින් සිවුර පොරවමින් එළියට එන විට ධනපාල ආවාසය ඉදිරි පිට සිටගෙන සිටිනු දක්නට ලැබිණී...

"අපේ හාමුදුරුවනේ මං මේ.."

"ආ ධනපාල සෑහෙන දවසකින් නේද..? මොකද එදා .................දී මා කතා කලාම බස් එකෙන් පැනලා දිව්වේ..?"

ධනපාල උඩ බිම බලන්නට විය...

"ඈ..කොහේදීද හාමුදුරුවෝ මාව දැක්කේ..?"

"ඇයි ධනපාල අර බස්එකේ වාඩි වෙලා එළවළු මල්ලත් තියාගෙන සිගරට් එකක් එහෙම බිබී හිටියේ..අර මං අනිත් සීට් එකේ වාඩි වෙලා කතා කල ගමන් පැනලා දිව්වේ.."

තවත් කිසිවක් කියන්නට නොතබාම ආපසු හැරුනු ධනපාල අඩියට දෙකට දිව යන ලදි...

"ධනපාල ඔහොම ඉන්නවා මනුස්සයෝ.."

"ආ ආ හරි හරි හාමුදුරුවනේ..මං එන්නං.."

කියමින්ම නැවත ආපසු නොහැරීම පිටත්ව ගිය ධනපාල එදායින් පසුව මා දුටුවේ නම් නැත...

08 July 2011

මැද පමණයි.. මුලත් නැත..අගත් නැත...

ලියන්නේ කෙලෙසින්ද මා මෙය..
කියන්නට හැකි වේද මට එය..
දකින්නට නොම හැකිය සිහිනය..
ඉතින් අවසන් වේද සැමදෙය..

වදන් වැල් අවසන්ද මා සතු..
සිතුම් සිරවී යයිද මා සිතු
නිරන්තරයෙන් තෙමා මා නෙතු..
නොදන්නෙමි වෙන්නේ කිමද තතු..

දිනෙන් දින ගත වෙලා යනවා..
මුවෙන් මුව ගොළු වෙලා යනවා..
සිතෙන් සිත නොනැවතී යනවා..
අප වටා මුළු ලොවම යනවා...

05 July 2011

හැම දෙයක්ම හොඳින්...

ඊයේ දවස පටන් ගත්ත හැටි මං කිව්වනේ...

එහෙම පටන් ගත්ත දවස අන්තිමට ඉවර උනේ බොහෝම සාර්තක විදියට. මේ ටිකේම ඔළුව අවුල් කරමින් හිටි ගැටළු වලට සෑහෙන්න හොඳ උත්තර ටිකක් ඊයේ ලැබුනා.

දැනට ඉන්න තැන් දෙකම මට ඒ හැටි හිතට සහනයක් ගෙනාවේ නැහැ..බෝඩිම් කාමරයට සිග්නල් මදි..කෝල් එකක් ගන්න හිතන්නවත් බැහැ..නෙට් එකේ එල්ලෙන්නෙත් කැඩි කැඩි.. ඒ හින්දම මට රෑ වෙලා වැඩක් පලක් කරන්න විදියක් තිබුනෙම නැහැ..

කාර්යාලේ තිබුන තැන නවතින්න පහසුකම් නැහැ...එතන පහසුකම් මදි හින්දා එතනට එන්න විදියකුත් නැහැ...ඔය දෙකටම උත්තර හොය හොය ඉන්න අතරේ ඊයේ උදේ ඕන එකක් කියලා පාරට බැහැලා ඇවිද්දා. හැම තැනම රවුං ගහලා ගහලා..එක එක්කෙනාගෙන් අහ අහ ගිහිල්ලා අන්තිමට ලෝක අමාරුකාරයෙකුට මාට්ටු උනා..නියම බ්‍රෝකර් කෙනෙක්...රටේ වෙදෙක්...

ඒත් මගේ වැඩේ කෙරෙන්නත් එපැයි..ඔන්න ඔහේ පොරවත් දාගෙන හැම තැනම හක්කලං කොලා...තැන් හතරක් පහක්ම බලා අන්තිමට මට මගේ හිතේ තිබුන තැනට හරියනම තැනක් අහු උනා...

මුලින් මං හිතං හිටියේ නවතින්න තැනක් විතරක් හොයනවා කියලා උනත් එතනට ගියහම මම මීට කලින් හිතන් හිටිය විදියටම තැන සෙට් උනා..ඒත් තවම හැම දේම පිළිවෙල වෙලානං නැහැ..හෙට උදේ තමා අවසන් තීන්දු ටික..ඒ කිව්වේ මුදල් බැඳිලි.. ගිවිසුම් අත්සන් කිරිලි එහෙම ඒ වෙනකොට වෙනසක් උනේ නැත්තං මේ වැඩ ටිකනං නියම විදියට කෙරෙයි.එහෙම උනොත් මට ආයෙමත් සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි.

තැන තියෙන්නේ මේ ළග පාතම තමයි..හුගාක් සෙනග ගැවසෙන තැනක්..මං මීට කලිනුත් ඔය හරියේ තැනක් හෙව්වට හම්බ උනේම නැහැ... ඒත් මේ පාරනං වැඩේ ගොඩ..

එතන කලින් කමියුනිකේෂන් එකක් කරපු තැනක් නියමෙටම තියෙනවා.. අඩි 15*17 වගේ කාමරයක්.. ඒසී මැසිමක් හිට තියේ කියහංකෝ... ඒකත් හදලා දෙන්නං කිව්වා දැනට වැඩ නැහැ කියලා..මං ඒත් කිව්වා අනේ එපා කියලා..ඕවා වැඩි කරගත්තා වගේද ලයිට් බිල් එනකොට...

එක පිටි පස්සේ දිගට පිහිටන විදියට පොඩි කාමරයක්..පුංචියට හදපු අළුත් හුරුබුහුටි කුස්සියක් ඊට පස්සේ ලොකු නිදන කාමරයක් ඒකටම අල්ලලා හොඳ තත්වයේ තියෙන අපූරු නාන කාමරයක්..

කියලා වැඩක් නැහැ මල් හතයි... මට ඔයිට වඩා මොනවද ඕන... මගේ කාර්යාලයත් දාගන.. උයා පිහාගෙන..කාලා බීලා... සැපට නිදා ගන්නත් ඇහැකි.හිම දේම තිතට...

ඉතිං ඔය ටික කතාබස්කරගෙන ඇවිත් අනිත් ටික පිළිවෙලක් කලා...
ඒත් තවම මගේ කඩ අයිති උන්නැහේ හම්බ උනේ නැහැ..උන්දෑ ඊයේ කොහේද ගෙහුන්..උන්දැට දැනුම් දෙන්න ඕන ලබන මාසේ මං අහක් වෙනවා කියලා. එතකොට උන්දෑ ලග තියෙන මගේ අත්තිකාරම් මුදල එහෙමත් අර ගතෑකි නෙව.. අතනට එච්චරම අත්තිකාරමක් දෙන්න ඕන නැහැ..මං පොරොන්දු කර ගත්තේ මාස තුනකට සැරයක් එකපාර ගෙවනවා කියලා.මාසෙ කුලියනං දැන් ඉන්න තැන ගානමයි. ඒත් වෙනම නවතින්න කාමර හොයන්නවත් ඒවට ගෙවන්නවත් නැහැනේ.. ඒ හින්දා එතන ලාබයක් තියේ.. ඒ වාගෙම උයාගෙන කන්න ගත්තම මගේ ඇගටත් හොදයි..ආර්ථිකේටත් හොදයි...

ඊට පස්සේ ගැටළුව මගේ සේවිකාව... ඒකටත් සරලම උත්තරයක් තිබුනා...මං දන්න කියන ටේලර් ෂොප් එකක් කරන ළමයෙකුට අත් උදව්වට කෙනෙක් ඕන වෙලා හිටියේ... එයාට කතා කලාම ඒක හරි ගියා. මං මාස බාගෙට දුන්න ගාන දෙකෙන් වැඩි කලාම එන ගානට පොඩ්ඩක් අඩුවෙන් එයා පඩිය දෙන්න කැමති උනා මාසෙට.. ඊට පස්සේ ඒක කියන්න අර ළමයගේ ගේ හොයාගෙන ගියා..මොකද ළමයගේ ටැලිෆෝන් නොම්මරයක්වත් මං ලග තිබුනේ නැති හින්දා..එහෙම කරලා ගෙහුන් ළමයට මාස බාගෙක පඩියත් ගෙවලා..අර රස්සාවත් සැට්ල් කරලා දීලා... මං එන්න ආවා..

දැන් ඔක්කොම හරි... මට තියෙන්නේ සාමකාමී ජීවිතයක් ගෙවන ගමන් දෙයියනේ කියලා රවුමක් ගහලා හොදින් ජීවත් වෙන්නයි. ඔක්කෝම ගණන් හදලා බැළුවම ආර්ථික තත්වෙත් මං දැනට මාස දෙකකට කලින් මේක පටන් ගන්නකොට හිටිය මට්ටමට වඩා චුට්ටක් ඉස්සරහින් ඉන්නවා...

පහු ගිය දවස්වල ගිය වියදම්වල හැටියටයි. වෙච්ච නාස්තියයි වගේම කරපු වැඩකට ඇති වැඩයි එකක් බැළුවම මං සතුටු වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා.

දැන් තියෙන්නේ හෙට දවස ඇතුලත අනිත් වැඩ ටික පිළිවෙලක් කරලා..මේ මාසෙත් ඔය ගෙවපු විදියටම ගෙවලා..මාසේ අන්තිමට අළුත් තැනට පියාඹන්න තමයි.. ඊට පස්සේ ලබන මාසේ මුල ඉඳලා මට ආයෙමත් නිදහසේ ජීවිතයක් ලැබේවා...

හෙටින් මේ කචල් ටික ඉවරයක් වෙලා මං හිතන විදියටම වැඩ ටික කෙරුනොත් අනිද්දා ඉඳලා අපි ආයෙමත් මගේ මතක පොත අවුස්සමු... ඒකේ තියෙන ලට්ට ලෙට්ට..කුණු ටික පෙරලගෙන හොයමු මොනවා හරි වැඩක් ඇති දෙයක් තියේද කියලා...අහ් ඒ කියන කොටම මතක් උනා එකක් දෙකක්..හැබැයි ඒවා මහ වල් කතාද මංදා.. මං වගේ ළපටි කැකුළු මලක් වගේ කොළුවෙකු එහෙම කතා කියන්න ගියාම මේ අය මං ගැන මොනවා නොහිතාවිද...?

04 July 2011

හීන..ඒත් හරියටම මතක නැති ඒවත් තිබුනා

ඊයේ රාත්තිරියේ මොන මොනවද මංද හීන වැලක් දැක්කා වගේ මතකයි..ඒත් ඒ හැම එකක්ම හරියට මතකත් නැහැ..හීන පේනවා අඩු මට ඔහොම දවසට හෙනම අප්සෙට්...

ඒත් එකම එකක්නං මතකයි යන්තං..ඒ මොකද ඒකත් එක්ක මගේ නින්ද අහවර උනා පාන්දර 4ට විතර...

ටිකක් ලොකු කාමරයක්..මං හිතන්නේ ශීතාගාරයක්...

ඇළුමීනියම් වගේ දිග මේස කෑලි උඩ මල මිනී.. ඒ නිකනුත් නෙවෙයි හම ගහලා සුද්ද කරලා..හරියට අර කඩවල් වල විකුණන්න දාලා තියෙන සුද්ද කරපු කුකුල්ලු වගේ..සුදු මැලි වෙලා..ගල් ගැහිලා..තැනින් තැන වේළුනු රතු පාටකුත් තියේ..

ඒ අස්සේ කවුද මංදා එයින් එකක් හම ගහන හැටිත් මට කියා දුන්නා..මාත් බලන් හිටියා... ඊට පස්සේ තව කවුද ලොක්කෙක් වගේ කෙනෙක් ඇවිල්ලා මට දේශනයක් දුන්නා..හරි මට මතකයි.. ඒ අර මේ දවස්වල හැම තැනම තියෙන "හුචක්කුව" වීඩියෝ එකේ ඉන්න මහතැන් තමයි.. මං හිතන්නේ සරත් විජේසූරිය මහ ඇදුරුතුමා..

කාමරේටම උන්නේ මං විතරක් උනාට උන්දෑ හෙන දේසනයක් මහ හයියෙන් කියවගෙන ගියා හරියට බර ගානක් ඉන්න තැනක කරනවා වගේ.. සමහර විට මිනි ගොඩක් තිබුන හින්දා ඒවටත් එක්කද මංදා...උන්නැහේ කියා දුන්නේ මල මිනී කල් තියා ගන්න විදියක්ද කොහෙද..ඒකට ගන්න මොකක්ද සංයෝගෙකුත් කිව්වා..ඒත් ඒක මට මතක නැහැ..

පාඩම ඉවර වෙන්නේ නැතිවම උන්නැහේ ටික ටික ඈතට ගිහින් කාමරෙන් යන්න ගියා..මං තනියම අර හම ගහලා මස් ඉවත් කරලා වගේ තිබුන මිනී දිහා බල බල හිටියා... ඒවයේ එක එක ස්වරූප තිබුනා...

ඒත් එක්කම මං නින්දෙන් ඇහැරුනා... අත ගාව තියාගෙන හිටිය ෆෝන් එක අරගෙන බැළුවා වෙලාව..පාන්දර 03.56 යි... ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා..ම්හූ..හරියන්නේ නැහැ..ඇයි මේ මිනී කාමරයක් පෙනුනේ..මට පේන්න වෙන දේවල් ඇත්තෙම නැද්ද කියලා කල්පනා කරන්න ගත්තේ ඇත්තටම ටිකක් කනගාටුවෙන්... මොකකටදෝ මංදා මට දුක හිතිලා තිබුනේ...

ඒත් එක්කම මට මතක් උනේ මේ ඊයේද පෙරේදද දැක්ක දිවයින පත්තරේ තිබුන ලිපියක් ගැන..ඒක හාල්මැස්සන්ගේ ඔළු කැඩීම ගැන කතාවක්..ඇත්තටම කිව්වොත් කමටහනක්..

ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න සාමණේර නමකට දානයේ ඇති අඩුපාඩුවක් සපුරාලන්න ලොකු හාමුදුරුවරු විසින් හාල්මැස්සන් බැදුමක් සකස් කරන්න බාර දුන්නොත් ඒ පොඩි හාමුදුරුවන්ට ඒ ගැන අහිතක් හිතන්න එපා කියන කාරණාව ලගින් තමයි ලිපියේ උපදේශය පටන් ගන්නේ...

තමන් නිර්මාංශික උනත්...මේ කරන්න ලැබුන වැඩේ ගැන අහිතක් හිතන්නේ නැතිව ඒ ඔළු කඩන හාල් මැස්සා ගානේ භාවනාවක් වඩන විදිය පිළිබඳවයි ඒ කමටහන..ඇත්තටම ඒක වටිනා ලිපියක්...

මේ හීන කතන්දර අස්සේ මගේ හිතට ආවේ ඒක... මාත් දකුණු ඇලයට හැරිලා දකුණු අත ඔළුවට යටින් තියාගෙන කකුල් දෙක වක ගහගෙන අනිත් අත කකුල් දෙක අස්සේන් දණහිස හරියට හිරකරගෙන නිදා ගන්න බල බල උන්නේ...

අර මලමිනියි..හාල්මැස්සන් කමටහන පිළිබඳ ලිපියයි..මං මේ ඉන්න ඉරියව්වයි ඔක්කෝම ගැන මට කල් පනා වෙන්න පටන් ගත්තා... එතන ඉඳලා පාන්දර පහ වෙනකල්ම සිහිය තියාගෙන මල මිනී එක්ක මගේ ශරීරය සමාන කරමින් මං මගේ වැඩේ පටන් ගත්තා... කොහොම හරි මට මගේ මිනියත් හම ගහ ගන්න සෑහෙන දුරට පුළුවන්කම ලැබුනා... කාලෙකින් ජීවිතේ සැහැල්ලුව අත් වින්ද පැයක්...ඒක නින්දක් නෙවෙයි..බාවනාවක්මත් නෙවෙයි... ඒත් හුස්ම ගන්න මල මිනියක් වගේ මට මගේ ශරීරය දැක ගන්න එක ඒ හැටි අමාරු උනේ නැහැ..

අවසානේ දවස පටන් ගත්තේ පිළිකුල වඩාගෙනම තමා... ඒත් දැන්නං ඒ ගැන ඇති වෙන්නේ බොහෝම පහන් හැගීමක්.. උදේ පාන්දරම අර වගේ හීනයක් දැකලා හිතට දුකක් ආවා උනාට ඒ දැක්ක හීනේ අපතේ ගියා කියලා මං හිතන්නේ නැහැ... ඇත්තටම මට මේ පහුගිය කාලේ අත හැරුන දේ බොහොමයි.. ඒ ගැන දුක් වෙනවට වඩා ආයෙමත් ඒ දේවල් ගොඩ නගා ගන්න එක වැදගත් වගේ...

බලමු..කොයි දේත් වෙන්නේ හොඳටම තමා...

03 July 2011

මෙලෝ රහක් නැති උනත් සරල සුගම ජීවිතේ... සැලසුමක් නොවුන 3 වන අංකය...

කලින් ලිපි දෙකෙන් කිව්වේ මගේ දැනට ගෙනව ජීවිතේ තව තවත් සංකීර්ණ කර ගන්න වෙන විදියේ සැලසුමකුත්..
දැනට ගෙවන ජීවිතේට වඩා සරල..එහෙත් අභියෝගයක් තියෙන මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති දෙවන සුලසුමකුත් ගැනයි...

ඇත්තටම මම කවුද කියන එක මටම වෙලාවකට මහ ප්‍රශ්නයක්... එක අතකින් මම මොකා උනහම මොකද කියලත් හිතෙනවා... එහෙම හොයන්න තරං ඇති දේකුත් නැහැ බලං යද්දි.. ඔහේ ඉන්නං වාලේ ඉඳලා අනිත් මිනිස්සු වගේම රස්සාවක් කරලා කීය කීය හරි ඉතිරි කරන ගමන් වටේට ලෝන් ගහලා හරි ඉඩං කෑල්ලක් අරගෙන ඒකේ ගේ පැලක් අටවං.. කොහෙන් හරි ගෑණියෙකුත් ගෙනත් ලමයි බමයි හදාගෙන ඉන්න ජීවිතේකට යන්නත් ඇහැකි..

ඒත් මොන කරුමයකට හෝ වාසනාවකට හෝ මට ඒ දේ හිතෙන්නේ නැහැ...

හැම වෙලෙ‍්ම මොනවා හරි මම නොදන්න දෙයක් ගැන දැන ගන්න මට කුතුහලයක් තියෙනවා... ඒ වගේම බැඳීම් වැඩි වෙනවා වගේ පේන කොට මට ඒ හැම දේම අත ඇරලා දුවන්න හිතෙන ගතිය වැඩියි.

මං මේ දවස්වල හරියට හිතනවා... සමහර වෙලාවට හිතන එක නවත්තලා අහල පහල ශබ්ද වලට ඇහුන් කං දීගෙන සාමාන්‍ය විදියට ඉන්නවා...

පහුගිය කාලේ නිකංම හිටිය හින්දා මට වෙනසක් කරලා බලන්න හිතිලා දඩි බිඩියේ හැම දේම පිළි වෙලක් කරගෙන ඇරියා කාර්යාලයක්...ඇත්තටම ආදායං අතින් නං ඒක නරක නැහැ..ඒත් ඒ හරහා මට මගේ විවේකය නැත්තටම නැති වෙලා යන මට්ටමක් ආවේ..ඒ වගේම මුදල් ලැබෙනකොට මට මං හිතන් හිටිය තරං ජීවිතේ විදින්න තියෙන ඉඩ කඩ අහිමි වෙන ස්වභාවයත් මාව අවුල් කලා..

මිනිස්සු මේ මහා ව්‍යාපාර ගොඩ නංවගෙන ඒවා හැම දේම බලා කියාගෙන කොහොම ඉන්නවද මංදා... එක්කෝ ඒ අය මටත් වඩා පීඩනයකට ලක් වෙන්න ඕන... නැත්තං මට විතරක් මේක හරියන දෙයක් නොවෙන්න ඕන...

ඒ අනුව කල්පනා කරලා ආයෙමත් ජීවිතේ සැහැල්ලුව නිදහස අත් විඳින්න ඕන කියලා හිතලා තමයි මං සැලසුම් කිහිපයක් ගැන හිතුවේ...

එයින් පලවෙනි එක ගැන බැළුවහම ඒකට බාධක වැඩියි..ඒ වගේම ඒක සාර්ථක වෙන්නනං අවට පුද්ගලයින්ගේ හිතිවිලි හා කැමැත්ත අකමැත්තත් බලපානවා...

උදාහරණයක් වශයෙන් වතුර මොටරේ ක්‍රියාත්මක කරවන ‍ෆාමසියේ හිමිකරු මගේ යෝජනාවට කැමති වීම හෝ නොවීම...

තමන්ගේ කඩය පිහිටි බිල්ඩිමේ කවුරු හරි නැවතී සිටීම හරහා තම තමන්ගේ කඩවලට ඇති ආරක්ෂාව ගැන අනිත් කඩ හිමියන්ට ඇතිවන ගැටළු..

එක් කෙනෙකුට නවතින්න දුන්නහම අනිත් අයත් ඒදේම කරන්න ගියොත් ඇතිවන ප්‍රශ්න ගැන කඩ හිමිකරුට ඇතිවන ගැටළු...

ඔය වගේ දේවල් කිහිපයක් වගේම මට උනත් ඒ ජීවිතය ඒ හැටිම සුවදායක නොවන වග නම් හිතුනා. ඒ හින්දා පළමු සැලසුම මාව උපරිම විදියට හිරවෙන අන්දමට සැලසුම් කලත් ඒ ගැන ගැටළු රාශියක් තියෙනවා.

දෙවන එක නම් මමත් ආසයි..කරන්න ඒ හැටි අමාරුවකුත් නැහැ..ප්‍රායෝගිකව ගැටළු නැතිවා නෙවෙයි... එකක් අතරමගදී බයික් එක ආපදාවකට ලක් වීම...ඒක ඒ හැටිම අවුලක් නෙවේ..බයික් එකක් පදින නෙවෙයි සුවපහසු වාහනයක් පාවිච්චි කරන කෙනෙකුට උනත් ඔය ගැටළුවට මුහුණ පාන්න වෙනවා...මං උනත් පාර තොටේදී ඔය ප්‍රශ්න දැනට උනත් සෑහෙන වතාවක් අත් විඳලා තියෙනවා..ඒත් ඒ වෙලාවට හොඳ හුස්මක් අරගෙන වෙච්ච දේට ගත හැකි හොඳම දේ කරනවා ඇර..අඬ අඬ ඉඳලා නැහැ...

ආරක්ෂාව..ඔව් ඒ ගැනනං ගැටළු තියේ..මගේ පුද්ගලික ආරක්ෂාවනං නෙවෙයි..බයික් එක එළිමහනේ පාක් කිරීම වැනි ගැටළු..

කාලගුණය..වැස්ස..

ඔව් වැස්සනං බොහෝම තදින් බලපානවා ඔය ගමනට..එක දිගට මාස ගණන් වහින අපේ රටේ වැස්සනං සෑහෙන බාදකයක්... එහෙමනං වැස්ස නැති කාල වල විතරයි මට ඇවිදින්න වෙන්නේ...වැස්ස හරහා මට සෑහෙන ආර්ථික අපහසුකම්නං එන්ට පුළුවන්...

ඊ ළග දේ ලෙඩ රෝග..ඒකත් ඉතිං කාටත් උරුම දෙයක්නේ...ඒක ඒ ඒ වෙලාවේ හැටියට තමා බලන්න වෙන්නේ...

ඔය වගේ දේවල් තිබුනා උනත් ඒක හොඳ සැලසුමක්...

අන්තිමට තියෙන්නේනං බොහෝම සරල දෙයක්..අමුතුවෙන් සැලසුම් කරන්න දෙයකුත් නැති තරං...

ඔය කාර්යාලේ වහලා දාලා මේ රස්සාව කරගෙන පාඩුවේ හිටියා කලින් වගේම..කරන්න තියෙන්නේ ආයෙමත් මට ‍මේ අවටින් කීයක් හරි අඩුවට පුංචි ගේ කෑල්ලක් හොයා ගන්න එකයි...

පරණ විදියටම උයාගෙන කාලා..දවසක් ඇර දවසක් බ්ලොග් එක ලියාගෙන..මාසේ පඩිය අතට අරං..කලින් වගේ පුංචි මුදලකුත් ඉතිරි කරන ගමන් නිවිහැනහිල්ලේ ඉන්න එක..ඒක තමා ලේසිම දේ... හිතටනං ඒ ගැන හිතනකොටත් පවන් ගහනවා වගේ...

ඒත් මට තියෙනවා දැන් ගැටළු කිහිපයක්..ඒ තමයි අනාගතේ...

ඕනවට වඩා අනාගතේ ගැන මහ දෙවල්නැති උනත් මගේ එක අරමුණක් තමා වයසට යනකල් හිටියොත් අතේ කීයක් හරි ඉතිරි කරගෙන වැඩිහිටියන් සඳහා වූ නිවාසයකට යෑම... ගෙවලා නැවතිය හැකි තැන් දැනටත් තියෙනවා..ඒ වගේම අනාගතේ වෙනකොට ඔය වැඩිහිටි නිවාස සංකල්පය ලොකු ව්‍යාපාරයක් වෙන වගනං මං හොදටම දන්නවා..ඒ හින්දා ඒකට සූදානම් උනානං හරි.

ඒ වෙනුවෙන් මුදලක් ඉතිරි කරන ගමන්ම... රට තොට බලන්න යන්න තියෙන නොනවතින ආසාවටත් තැනක් නොදී බැහැ...

මගේ පලවෙනි සැලසුම ටිකක් සංකීර්ණ...මුදල් පසුපස හඹා යාම වැඩි..බරපතල එකක්...

දෙවෙනි එක සරල..එහෙත් අවදානම් වැඩි..අනාගතය පිළිබඳව සෑහෙන ගැටළුවක් ඇති කරන එකක්.

තුන්වෙනි එක ඔය එකක්වත් නැති කම්මැලි එකක් විතරයි..ඒකෙත් ඇති දෙයක් නැහැ...

මට දැන් ඕන කරන්නේ මැද මාවතේ සැලසුමක්... ඒ කියන්නේ හැම දේම මිශ්‍ර වෙච්ච සිව්වෙනි සැලසුමකට මං යන් ඕන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි මට්ටමේ...

ඒ සැලසුම ඇතුලේ මෙන්න මේ දේවල් තියෙන්න ඕන...

1.දැනට කරන රස්සාව බේරිලා තියෙන්න හෝ...එයට සමාන වන නිදහසක් ඇති රැකියාවක් තියෙන්න ඕන...

2.සෑම මාසයකටම දවස් 5ක්වත් එක දිගට නිවාඩු ගන්න තියෙන්න ඕන..දැන් තියෙන එකේ මට ඒක කරන්න පුළුවන්..එක දිගට දවස් 5ක් ඩියුටි ඇද්දම මටත් දවස් 5ක් ගත්තැකි..

3.සෑම මසකම දවස් 5ක් ගන්න නිවාඩුව ඇතුලේ මට ලංකාවේ කොහේ හරි ඇවිදින්න යන්න දා ගන්න ඕන දවස් හතරකට සීමා වෙච්ච..මොකද ගිහින් ආව ගමන් පහුවදාට වැඩ කරන්න ලේසි නැහැනේ..

4.ගමන් බිමන් යන්න..අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන්න..දැනට ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය තරමට මුදල් තියෙන්න ඕන...

5.පුංචි ගෙයක් කුලියට ගන්න ඕන..වැඩ පලට ළග පාත වගේම මුලික පහසුකම්..ඒ කිව්වේ උයන්න පුළුවන් තැනක්..වතුර ටැප් කරලා ඇති පුංචි හෝ නාන කාමරයක් ඇති කාමර දෙකක් විතර තියෙන තැනක්.. කැලයක්මත් නොවන.. එහෙත් අනිත් අයට කරදරයක් නැති අසල්වාසීන් ඉන්න තැනක.

ඔය කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕන...

එතකොට රස්සාව ගැනනං දැන් තියෙන එක නරකමත් නැහැ.. නැත්තං රස්සාවට රට වටේ යන්න වෙන ඒ ගියහම හැරෙන තැපෑලට ආපහු එන්න වෙන්නේ නැති රස්සාවක් හොයන්න ඕන..
යන්න තැන්නං කෙයි තරං තියේද..?
මුදල් හොයන එකත් ඒ හැටිම ගැටළුවක් වෙන එකක් නැහැ... දැනට මට නෙට් එක හරහා එන වැඩ ටික හිමිහිට කරගෙන යාම හරහා ලැබෙන ආදායමෙන් මට මාසෙකට සැරයක් ගමනක් යොදා ගන්න පුළුවන්... අනිත් දේ තමා දැන් මගේ කාර්යාලේ දැම්මට පස්සේ එතන නැති දවසට මං ඉන්න වැඩ පල ගාවටම එන්න සමහරු පුරුදු වෙලා මේ හරියේ ටික ටික දැන් මාව අදුරනවා.. ඒ හරහාත් වැඩ ටිකක් එනවා..අමුතුවෙන් කාර්යාලයක් දාගෙන එතනට දවසක්ම හිර වෙලා ඉන්න එක තේරුමක් නැහැ...

ඔහොම බැළුවම මේ විදියට වැඩ කරගෙන යාම පහසුයි...

රස්සාවත් කරගෙන ලගට ලැබෙන වැඩ විතරක් කරගෙන ගෙයක් අරගෙන උයාගෙන කාලා..මාසයකට සැරයක් රවුමක් දාලා.. නිදහසේ ජීවත් වෙන ගමන්ම කීයක් හරි ඉතිරි කර ගන්නත් ඇහැකි...

තුන් වෙනි සැලැස්ම නොහොත් මෙලෝ රහක් නැති සැලැස්‍මට දෙවෙනි සැලැස්මේ ගමන් බිමන් ටික එකතු කරලා.. පලවෙනි සැලසුමෙන් ආර්ථීක තත්වයට විතරක් සපෝට් එකක් අරන් ඔන්න ඔහොම එකක් හදා ගත්තම මං හිතන්නේ මට ටිකක් සැනසීමක් ලැබේවි වගේ...

........................................

කලින් ලිපි දෙකට හැමෝම දාපු කමෙන්ට් මම බොහෝම උනන්දුවෙන් කියෙව්වා ..ඇත්තටම ඒ හරහා හුගක් දේවල් ගැන හිතන්න වගේම..මට මග ඇරුන තැන් ගැනත් අවබෝධයක් ගන්න පුළුවන් උනා.. ඒ වගේම අර ඕනයා කිව්ව පෙට්ටි ගැන විස්තර බැටරි චාජර් ගැන අදහස් හරියට වටිනවා... ඒ විතරක්යෑ..අපේ සනත් අයියා නොහොත් ඔබා අයියා මට සංචාරේ යනවනං ඒකට අනුග්‍රහය දක්වන්න වැඩ පිළීවෙලක් ගැනත් හිතන්න අරගෙන..බොහෝම ස්තූතියි සනත් අයියේ..එච්චර අනුග්‍රහයක්නං ඕන කරන එකක් නැහැ ඒ වචනෙත් ඇති මටනං..ඒ විතරක්යෑ මේ උපදෙස් හා යෝජනා ටිකත් සෑහෙනවා...

හුග දෙනෙක් ඒ ඒ අයගේ පැති වලට ආවොත් කතා කරන්න කියලත් කියලා තිබුනා... ඒ හැම දේම හරි වැදගත් මගේ සැලසුම් වලට...

පුංචි හරි ස්ථාවරත්වයකුත් තියාගෙන රස්තියාදුවකුත් දාගෙන..හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදියට සංචාරක සටහන් ටිකක් ලියන්නත් ඇහැකි වෙන විදියට මං මේ දේ ලෑස්ති කරන්නයි කල්පනාව.. මොකද හිතන්නේ...

ආ තව එකක් කැමරා ගැන දන්න කියන අය පොඩ්ඩක් ඒ පිළීබඳව විස්තරත් දෙනවනං හොඳයි..මොකද කැමරාවක අගය මතු වෙනවා මේ ගමනෙදි..

ඒත් මං වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසාත් ඔය බර පතල කැමරා ගැන හීනෙන්වත් හිතන්න මට හැකියාවක් නැති නිසාත්.. පොඩ්ඩක් මං වගේ කෙනෙකුට දරන්න ඇහැකි වෙන අඩුම මිල ගණන් යටතේ තියෙන තරමක් හෝ කොලිටියක් තියෙන විදියට පොටෝවක් ගන්න ඇහැකි කැමරා ගැන කියනවනං හොදයි...

තව එකක් අර කිව්ව ජාතියේ බයික් වලට හයි කරන පෙට්ටි තියෙන තැන් ගැන දන්න කවුරු හරි සිටී නම් ඒ ගනත් දැනුවත් කරන්න.. මොකද ඒක කර ගන්න ඕන ඉක්මනටම...

02 July 2011

මෙන්න අංක 2...මාරයා රට වටේ...

කලින් වංගියේ මං මගේ සැලසුම් අංක 1 ගැන කියලා..අහන්ට තියෙන තරං නරක කයි කතන්දර සෑහෙන්න අහ ගත්තා නෙව..

ඒත් ඉතිං මේ දෙවෙනි සැලසුමත් කෙටියෙන් නමුත් ලියලා දාන්ට ඕන.. මේක මං දැන් සෑහෙන කාලෙක ඉඳලා ටික ටික හිත හිත ඉන්න වැඩක්... එක අතකින් අවදානම් පැත්තකුත් තියේ අනිත් අතින් හරි සැහැල්ලුවකුත් තියේ..ඒත් මං කවදත් ආස කල මගේ හීනයේ ආසාම පැත්ත...

මොකද හිතන්නේ සංචාරක ජීවිතයක් ගැන... හරියට අහිකුණ්ටිකයෙක් වගේ..එහෙමත් නැත්තං අර හිපියොද මොක්කුද කියන්නැහේ... (අපේ බ්ලොග් ලියන හිපියා මෙව්වා දැකලා වහ බොන එකක් නැහැ මගේ හිතේ...)

මේක ටිකක් එක විදියක් තමා..ඒත් මට දැන් හුග කාලෙක ඉදන් රට වටේ ඇවිදින්න තියෙන්නේ ලොකු ආසාවක්..ඒත් ඇත්තම කාරණය දන්නවනේ... රස්සාව කරන්නයි..රට තොට බලන්න ඇවිදින්න යන්නයි කියන දෙකම එක විඩේ කරන්න හරි අමාරුයි..

රස්සාව අත ඇරලානං ඕක කලහැකි...ඒත් එතකොට කන්න බොන්න දෙන්නේ පොලිසියෙන්යෑ... ඒ හින්දා ඕක හිතන තරං ලේසි වැඩක් නෙවෙයි...ඒත් අපි බලමු මගේ සැලසුම් අංක දෙක යටතේ ඕක සාර්තක කර ගන්න තියෙන ඉඩ කඩ ගැන...

මුල්ම දේ බර සැහැල්ලු කර ගන්න එක...දැනට තියෙන සීමිත උනත් බඩු භාන්ඩ ටික අත ඇරීම...

මං ළග ලොකු දෙයක් නැහැ අත අරින්න කියලා...ගෘහ භාණ්ඩ හැටියට තියෙන ඔය මේස කෑලි..එතකොට මගේ ඇඳන් පොජ්ජ එහෙම මංම අටෝපු මගේම නිර්මාණ..ඒවා මුදලේ වටිනාකම අතින් ගත්තොත් බොහෝම අඩු අගයක් ගන්නේ... මං ඔය හැම දේම හදද්දි වැඩි වියදමක් නැතිව මගේ මහන්සිය විතරක් යොදලා හදපුවා..වැඩි වටිනාකමක් නොදී ඕවා හදන්න හේතුව උනෙත් මගේ මේ මහා සංචාරේ ගැන හැමදාම මයෙ හිතේ කොනක තිබුන හින්දම තමා.

කවදා හරි දාලා යන්න වෙන බව දැන දැන මොකටද ස්ථීර දේවල් සහ වටින දේවල්..අනික වටිනාකම වැඩි උනහම මගේ හිතෙත් සමහර විට තණ්හාව වැඩි වෙලා ඕවා දාලා යන්න බැරි උනොත් එහෙම කියන හේතුව හින්දම ඒ දේවල් ඕන වෙලාවක අත අරින එක අවුලක් නැහැ...

මගේ බෙඩ් කබඩ් එක..ෆෑන් එක..උයන පිහන බඩු ටික.. ‍පොත් පත් ටික...

ඔය ටිකෙන්මල්ලිට වාහනේ අරන් ඇවිත් අරන් පල කියලා පොත් ටික ඇර ඔක්කෝම දීලා දැම්ම හැකි. ඌට පොත් දීලා වැඩක් නැහැ.. අනිත් දේවල් ටිකනං ඕන මගුලක් කර ගන්නේ නැතෑ..ඌට එපානං ඒවා ඔය තියෙන තැන්වලම තියලා ඒ තැන්වල අයිතිකාරයින්ටම ගන්න කියලා යන එකත් ඒ හැටිම අවුලක් නෙවෙයි...ඒ දේ ඔය පිළීවෙලවල් දෙකටම කලහැකි.

පොත් ටික...

මං මෙයිට කලින් අවුරුදු දෙහෙකට විතර කලින් මං කලින් වැඩ කරපු තැන සරත් අයියා කියලා මනුස්සයෙක් හිටියා... උන්දෑ මගේ වග විස්තර දන්නවා..ඔය කතාව මං උන්දැට කිව්ව වෙලාවේ කිව්වේ සර්ට ඕනනං අපේ ගෙදර තියන්න මං ගාව රට ගිහින් එනකොට ගෙනාව යකඩ පෙට්ටි තියෙනවා..එයින් එහෙක දාලා ලොක් කරලා යන්න ඕන දවසක ඇවිත් ආපහු ගන්න කියලා...

ඒක ඇත්තටම හොඳ වැඩක්.. මොකද මිනිහා මට හිටිය හොදම විස්වාසවන්ත මනුස්සයෙක්.ඒ වගේ කෙනෙකුට මේ ටික බාර දුන්නට කමක් නැහැ..මට ආපහු එන්න හිතුනොත් හරි..ආවොත් හරි ආයෙම ගන්නත් පුළුවන්..එහෙම නැති උනොත් මිනිහාගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා හොදට මොලේ තියෙන.. කවදා හරි දවසක එයින් එක්කෙනෙක් ඒ පොත් වලින් ප්‍රයෝජනේ ගනී..

ඔන්න එහෙම කලාට පස්සේ තියෙන බර ඉවරයි...

මං මේක ලියන ගමනුත් කල්පනා කලේ මේ ඩිංග දවසටත් මං හදාගෙන තියෙන බැඳීම් ටිකත් ලේසි පාසු නැහැනේ නේද කියලා... මිනිස්සු මැරෙන්න උනහම ඔහොමද දාලා යන්නේ...

හැබැයි ඉති ඒ කැමත්තෙන්ම දාලා යනවා නෙවෙයිනේ..මේ නං කැමැත්තෙන් යන ගමනක්.

එතකොට ඉතිරි වෙන්නේ කෑලි දෙක තුනයි..මොටෝ සයිකලේ... ඒක මගේ ගමනට...
ලැප් එක... ඒක මගේ මඩ වියත රැක ගන්න...

මෙහෙමයි සැලැස්ම...

බයික් එකේ පිටිපස්සේ සයිඩ් දෙකෙන් අර පොලිස් බයික් වල තියෙනවා වගේ පෙට්ටි ‍දෙකක් හයි කර ගන්ට ඔන.. ඒක ඒ හැටිම දෙයක් වෙන එකක් නැහැ..මොකද දැන් හුග දෙනෙක් එහෙම ඒවා පාවිච්චි කරනවා මම දැකලා තියෙන හින්දා..මට එහෙම පෙස්ටි දෙකක් හොයා ගන්ට බැරි වෙන එකක් නැහැ කීයකට හරි.. එතකොට ඔය පෙස්ඩි දෙකේ තමා මගේ සීමිත බඩු භාණ්ඩ ගෙනියන්නේ...

ඇදුම් කෑලි දෙක තුනක්..
දත් මදින රැවුල කපන බඩු ටික..(රැවුල ගැන තව අදහසකුත් තියේ)
රබර් සෙරෙප්පු දෙකක් වගේ දේවල්..

ඔය ගැන කිසි අවුලක් නැහැ..ඉස්සර අපි ට්‍රේනින් කරන කොට පිටේ එල්ලගෙන යන කිලෝ 25හේ පැක් එක ඇතුලේ මනුස්සයෙකුට ජීවත් වෙන්න ඕන හැම දේම තියෙනවා..දවස් දෙක තුනකට කෑමත් එක්ක..මං කෑම උස්සන් යන්න ඕන නැති හින්දා අර එක පෙට්ටියකට මගේ සියළුම අවශ්‍ය කරන දේවල් දාතහැකි.

අනිකට මගේ ලැප් එක ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් විදියටත් සීමිත පොත් කිහිපයකුත් පෑන් පැන්සල් වගේ මගේ රස්සාවට ඕන කරන දේවළුත් තව ස්ක්‍රීන් ප්‍රින්ට් කරපු රෝල් කරපු පොඩි බැනර් එහෙකුත් ඔබන්නයි තියෙන්නේ...

ආ ලැප් එකේ දැන් තියෙන අස්පට් බැටරිය වෙනුවට හොඳ බැටරියක්නං මාරු කර ගන්න ඕන...

ඔය ටික කර ගත්තම මං ගමනට සූදානං...මුල්ම කාලේ ටිකක් ගැටළු එයි ඒත් දැන් රටේ ආරස්සාව එහෙම හොද හින්දා එච්චරම අවුලක් වෙන එකක් නැහැ...

ඔළුව හැරිච්ච අතක ගමන් කරන එකයි ඇත්තේ...

සිද්ධස්ථාන...දිය ඇළි...කඳු..පර්වත.. මුහුදු වෙරළවල්.. විවිධ පළාත්.. සුන්දර දර්ශන.. විවිධාකාර දේවල්..අපේ රටේ බලන්න තියෙන හැම අගලක්ම බලන්න යන්න මට ඇහැකි ඊට පස්සේ...

වියදම හොයා ගන්න එකනේ ප්‍රශ්නේ..ඒක කරන්නේ මෙහෙමයි...

ඔය යන ගමන අතර මගදී ටිකක් සෙනග ගැවසෙන තැනක් අහු උනහම සහ මට මගේ වැඩේට හරියනවා කියලා හිතුන තැනකදී හෙවනක් අල්ලලා බයික් එක නවත්තලා මගේ ලැප එහෙම එලියට අරගෙන..අර මං කිව්ව බැනර් එක අරගෙන බයික් එකේ පැත්තකින් එල්ලනවා කාටත් පේන විදියට..ඒක ඒ හැටි ලොකු එකක් නෙවෙයි..ඒකේ මෙච්චරයි තියෙන්නේ..

"විනාඩි දහයයි..රුපියල් සීයයි..ජීවන පලාඵල"

හොඳයි නේද..?

ඔය පොලක් අයිනේ නවත්ත ගත්තත් මට මගේ වැඩේ කරගෙන ගියහැකි.පොළවල් අයිනේ..මහ පාරේ අත්ට්‍රැක්ටර්වල ගෙහුන් පොල්..මඤ්ඤොක්කා කෙහෙල් මුහ වික්ක මට ඕක මහ දෙයක් නෙවෙයිනේ.

බැනර් එක දාලා ලැප් එකත් දිග අරගෙන පුංචි නෝට් බුක් එහෙකුයි පෑනකුයි පවතින අවුරුද්දේ පංචාංග ලිතයි තියා ගත්තම මට බයික් එකේ පැත්තකට වාඩි වෙලාම ඔය දේ කලෑකි. කිසි ගින්නක් නැතිව.

ආයේ පිටු ගණන් ලිය ලිය ඉන්නේ නැහැ.. පැය ගණන් කාලේ කන්නේ නැහැ..පට පට ගාලා කිව්වා සල්ලි ගත්තා... පොඩි සද්දයක් එහෙම දාලා කස්ටිය ගෙන්න ගන්න එකත් මට ඒ හැටිම අමාරු නැහැ...

දවසකට හොද තැනක් අල්ලලා ටික වෙලාවක් හිටියහම මට දවසකට දෙහෙකට වියදම හොයා ගතෑකි...ඊට පස්සේ ගමනේ යා..රෑ වෙනකොට පුංචි නවාතැන් පොලක් අල්ලලා කාමරයක් ගත්තහම නාලා කාලා නින්දක් දාලා ‍ලැප් එකේ බැටරිය එහෙමත් පණ ගන්වගෙන ආයෙමත් පහුවදාට යන එකයි ඇත්තේ.. වැඩිය ජනාකිර්ණ නැති පැති වලදී ඔය පන්සල් වල උනත් මට නවතින්ට ඇහැකි.

මේක ටිකක් පිස්සු වගේ උනත් ප්‍රායෝගිතව කරන්ට ඇහැකි..මොකද මං පන්සලෙන් ආව මුල්ම දවස්වල වැඩ කලේ ලංකාවේ තියෙන ටිකක් ප්‍රසිද්ද සමීක්ෂණ ආයතනයක.. මං ඒකේ වැඩ කල කාලේ හුගක් තැන්වල ඇවිද්දා නෙව.. ඒ යනකොටත් මං නිකමට වගේ පංචාංග ලිත අරගෙන ගියා අර සමීක්ෂණ පත්‍රිකා වලට අමතරව...

සමීක්ෂණ වැඩ අස්සෙම ගෙවල්වල උදවිය පංචාංගේ දැක්ක ගමන් විස්තර අහලා සමීක්ෂනේ පැත්තකින් තියලා කෙන්දර බලා ගන්නවා..ඒ දවස්වල ඉතිං දවසේ කෑම බීම වියදම හොයා ගත්තේ ඒකෙන්..මං ඒකටම උනත් බහිනවා..ඒත් ප්‍රායෝගික ගැටළු තිබුනා..

ඒ තමයි හදාපු කේන්දරයක් බලනවා ඇර..එවෙලේ කේන්දරයක් හදලා බලලා දෙන්න බැරිකම..මොකද එහෙමනංමං හැම අවුරුද්දෙම පංචාංග ලිත් ටික අරං ඇවිදින්න ඕන..ඒක රකන්න බැහැනේ..

ඒත් දැන් මං ගාව සාමාන්‍ය මට්ටමේ හොද මෘදුකාංග කිහිපයක්ම තියේ...කේන්දරයක් හදා ගන්න එක ඒ හැටිම අමාරුවක් නැහැ... තත්පර ගාණකින් දළ කේන්දරයක් හදාගෙන ඒකට අනුව විනාඩි ගාණකදි පලාපල කියලා අහන ප්‍රශ්න දෙක තුනකට උත්තර දුන්නා ගන්දෙනුව ඉවරයි..මං පැයකදී සෑහෙන හරියක් කලෑකි..කොහොමටත් ඔය ලියන්න යනවට වඩා මං එහෙම විස්තර කරන්න කැමතියි. ලියන එක මහ එපා වෙන කාරියක්...දැනටත් ඔය මගේන් කේන්දර බලා ගත්ත අය දන්නවා ඇතිනේ අච්චර දිග හෑල්ලක් ලියන්න ගියහම කොහොමද අමාරුව කියලා...ඒ හැම එකක්ම වචන හයසීයකට එහා ගිය රචනා වගේ ඒවා..

අර වගේ කරද්දි මටත් හොද ෆිට් එකක් එනවා හිතට..වැඩෙත් කෙරෙනවා..මට මුදළුත් ලැබෙනවා වියදමට..මගෙ ගමනත් කෙරෙනවා... වැඩි පුර ලැබෙන දෙයක් ඉතිරි කර ගන්නත් ඇහැකි.කැමරාවකුත් තිබ්නනං පස්ට පොටෝ කෑලි ටිකක් එහෙමත් අල්ලන්ට තිබ්බා...ඒ යන ගමන් රෑට නවතින තැන් වලදී මට මගේ සංචාරක සටහන් ලියන්නත් තිබ්බා..

කොච්චර ෂෝක්ද නේද ඈ..?හොඳ නවාතැන් පොලක් හම්බ උනහම දවසක් දෙකක් හරි නැවතිලා ඒ අවට බලලා විවේකයෙන් හිටලා..ආයෙමත් ගමන යනවා...දෙයියනේ කියලා ලෙඩක් දුකක් කරදරයක් නැති තාක් කල් රට තොට බලලා ඇවිදලා එන්න මේක තමා ක්‍රමේ...අනික සැහැල්ලුව..නිදහස...ඇයි වටිනම දේ අත්දැකීම්...

මෙකේ ප්‍රායෝගික ගැටළු එන්න පුළුවන්... ඒත් ඉතිං මං හිතන විදියටනං මේ දේ කරන්න බැරිම වෙන්නේ නැහැ...

ඔය තමා මගේ සැලසුම් අංක දෙක සහ මගේ කැමතිම සැලසුම... අර පලවෙනි එක තමා මං අකමැතිම සැලසුම...

තුන් වෙනි සැලසුම නං හරිම ලේසියි..ඒත් ඒක මෙලෝ රහක් නැහැ...

හරි මං දන්නවා මේකටනං අර කලින් වතාවේ කිව්වා වගේ කටවල් වල ගැටි කැඩෙන කතා කියන්නේ නැහැ කියලා...කස්ටිය මොකද හිතන්නේ මේ ගැන...? මට මේකෙදි එන ගැටළු මොනවද..?

ආ තව එකක් එතකොට මට රට වටේම ඉන්න බ්ලොග් ලියන අයවත් විනාඩි ගානකට හරි හම්බ වෙලා යන්නත් පුළුවන් වෙයි...මාරයා එයි ඔබ සොයා...

01 July 2011

මාර සැලසුම් අංක 1...

අනේ අම්මේ..වෙලාව දෙකත් වෙලා... අදත් මං හොඳ ළමයෙක් උනා නෙව. උදේ ඉඳලා එක හුස්මට වැඩ කරගෙන ගියා..දැන් තමා අද ටාගට් එක කවර් කලේ.

පෙරේදා වැඩට ආපු මට ඊයේ දවල් වරුවත් ඇදලා තමා ආයේ ඕෆ් වෙන්න උනේ...මගේ අනිත් සගයාගේ ගෙදර වැඩක් වැටිලා කියලා ඊයේ දවාලත් ඇදල දෙන්න බැරිද කියලා ඇහැවුවා.. මිනිහ තේ පැල වගයක් කාගෙන්ද මන්දා ඉල්ලලා තියේ කියලා මීට ටික දොහකට ඉස්සෙල්ලා මාත් එක්ක කියල තිබ්බ නෙව.

කොහොම හරි ඊයේ උදේම ඒක ලැබෙනවා කියලා මෑන්ට පණිවිඩේ හම්බු වෙලා..ඒ පාර මගෙන් ඇහැව්වා මොකදෑ කොරන්නේ කියලා..මොනව උනත් ඒ දේවළුත් කෙරෙන්ට එපැයි.. ඒ ගමන් මං දවල් කාලෙත් ඉන්ට බාර ගත්තා..කොහොම හරි ඊයේ හවස ගෙදර ගෙහුන් වැඩි වෙලා ඉන්ට උනේ නැහැ මං දන්නෙම නැතිව මට දොයිය ගෙහුන්.. මොනවා හරි භාවිතා නොකර ඔහොම නින්ද යනවා අඩුයි නේ..එහෙම බැළුවහමනං ඊයේ මං එහෙම නින්ද ගිය එකත් ලොකු දෙයක්..ඒත් ඉතිං කරුමෙට කකුල් හතරයි කියන්නැහේ..මොනවා කොලත් අයේ රෑ දොළහ විතර වෙද්දි මාව ඇහැරුනා නෙව..එතැන ඉඳලා ඔහෙ හිටියා එහෙ මෙහෙ පෙරලි පෙරලි සෑහෙන වෙලාවක්..කොහොමින් හරි ආයෙම වංගියක් පාන්දර දොහේ නින්ද ගෙහුන් තිබුනා..

දෙවෙනි වතාවෙනං හය හමාර විතර වෙද්දී ඇහැ ඇරුනා...

ඊයේ හවස ඔෆ් උනත් අද උදෑහැනැක්කෙන්ම ආයෙම ආවා වැඩට..මොකද අද දවල් වරුව ඊයෙට අහු වෙන්න නිවාඩු ගත්තහැකි උනත් ඒක පස්සේ ගන්ට තියා ගත්තා.. මාසේ මැදට වෙන්ට කොරන්ට කියලා හිතාගෙන උන්න වැඩ දෙක තුනක් තිබ්බ හින්දා තව ටිකක් පහු වෙලා ඒක ගන්නවා..

පහු ගිය ටිකේ කොච්චරවත් හිතන් උන්න දැන් ඉන්න කඩ කෑල්ලේ ඉතිරි වැඩ ටිකත් පිළීවෙලක් කොරගෙන ජූලි මුල ඉඳලම ඒකෙම පදිංචියට එනවා කියලා..මොකද දැන් මං කඩේ කුලියයි..කාමරේ කුලියයි..වැඩට ඉන්න ළමයගේ පඩි නඩියි..මගේ කෑම බීමයි..තව එතනින් ගියහම..පැස්ටෝල්..ෆෝන් කාඩ්..ඉන්ටර් නැට් බිල් එහෙම එක්කාසු වෙලා එනකොට මාසෙකට හොද ගානක් වියදං.. මේ ලගදී අර පරන තැනට වැඩට ගිය වෙලාවේ ඔය විය හියදං ගැන කිය කිය ඉන්න අතරෙ අපේ ඇල් ඇස් ඕ කෙනෙක් කියනවා අර එකවුන්ටන් මහත්තයා යෑ බෙල්ලෙ වැල දාගන්ට ඕන අපේ සී ඇස් ඕ මහත්තයනේ කියලා... (එදාම තමා අර ළමයා එල්ලිලා කියලා ආරංචිය ඇවිත් තිබුනේ..) කාරණාව ඇත්ත තමා..ආයේ මට කෙල උනොත් බෙල්ලෙ වැල නෙවෙයි වහ ටිකක් කලා ගගේ මූදේ පැනලා නැවකට බෙල්ල තියන්න වෙනවා...

මගේ තනිකඩ වියදම උන්දලාගේ හතර දෙනෙක් ඉන්න පවුලේ මාසික වියදමට බොහොම සමානයි.. ඒ හින්දා මං හිතං උන්නේ වියදං කපා හැරීම යටතේ කාමරයෙන් කඩේටම සේන්දු වෙන්ට..ඒත් එතන හුගක් වැඩ තියෙ තව කර ගන්ට...

පහල තියෙන වැසිකිලි පේලියෙන් කවුරුවත් පාවිච්චි නොකරන එකක් තියේ..ඒක ඇතුල අදුරු වැඩියි..දොරවල් එහෙම ගැලවිලා..ඒ හින්දා මං ඉන්න තට්ටුවේ ඉඳලා ඒකට වයර් ඇදලා බලුප් එකක එහෙම දාලා..දොරවල් අළුත් වැඩියා කොරලා..ඒකට වෙනම ටැප් ලයින් එකක් දාලා සුද්ද පවිත්‍ර කොරලා ලෑස්ති කොරන්ට ඕන. ඒ අංක එක..

දෙවැනුව උඩ තට්ටුවේ පිටිපස්සේ මගේ කෑල්ලට සමාන්තරව තියෙන කොරිඩෝ එක දෙපැත්තෙන් බිත්ති දෙකක් වගේ හිටින්ට මොනවා හරි හොඳ විදියකට වෙන් කරලා ඒක ඇතුලේ නාන්ට කරන්ට ඇහැකි විදියට හදා ගන්ට ඕන..එතන පලල අඩි 3 ක් විතර තියේ දිගත් අඩි 8ක් විතර තියේ ඒ ඇති හොදටම... වතුර ලයින් එකනං උඩින් යනවා..කරන්ට තියෙන්නේ ටී සොකට් එහෙකින් කඩලා ලයින් එකක් අරගෙන ෂවර් එකක් ටැප් එකක් එහෙම හදා ගන්ටයි..

ඒ වගේම වතුර බහින්න අගල් දෙකක හරි දෙක හමාරක හරි පයිප්ප ලයින් එකක් දාන්ට ඕන..ඒකට අර කොරිඩෝවේ බිත්තිය හිල් කොරලා පහලට බට අදින්ටයි..සිමෙන්තියෙන් ඒ බට වටේ හොදට සීල් වෙන්ට බදින්ටයි..කොරිඩෝ එක ඇතුලේ වතුර දෙපැත්තට නොයන්ට පුංචි බැමි දෙකක් දාන්ටයි..බිත්තිවල වතුරට ඔරොත්තු දෙන පේන්ට් එකක් ගාන්ටයි..වැඩ කන්දරාවක් තියේ..

ඊට අමතරව බිත්තිය හිල් කොරලා කාමරේ ඇතුලටත් ටැප් ලයින් එකක් අරං පුංචි සින්ක් කෑල්ලක් හයි කොරන්ට ඕන...

ඒ විතරක්යෑ..කඩ කාමරේ අඩි අටක් පලලයි අඩි තිහක් දිගයි..ඔකෙන් මං දැනට අඩි දහයක් වගේ තමා වෙන්කොරලා තියෙන්නේ ඉස්සරහ මගේ වියාපාරේ සඳහා..
ඉතිරි අඩි විස්ස ඇතුලේ ආයෙමත් ගානට වෙන් කොරන්ට ඕන පුංචි කාමරයකුයි..අවසානම හරියේ හිමිහිට උයන්ට ඇහැකි වෙන විදියට කෑල්ලකුයි එන විදියට...

එතනින් නවතීද..නැහැනේ... දැනට අපේ ගොඩ නැගිල්ලේ වතුර මෝටරය ක්‍රියාත්මක කොරන්නේ පහල තට්ටුවේ ඉන්න ෆාමසියේ මහත්තයා නෙව..උන්දැත් එක්ක සාම සාකච්ඡාවක් තියලා ඔය මෝටරේ සුවිච් එක එළියට දා ගන්ට ඕන..මොකද උන්නැහේ නැති වෙලාවට මට මෝටරය දා ගන්ට තියෙන්ට එපැයි..එහෙම කරලා එක්කෝ ලයිට් බිලට වැඩි පුර එන ගාන මම ගෙවන්ට හරි..එහෙමත් නැත්තං කෙලින්ම මගේ කෑල්ලෙන් ලයින් එකක් ඇඳලා මොටරේට කෙලින්ම දෙන්ට හරි යොදා ගන්ට ඕන... අර ඔක්කෝමත් හරි මට හෙන අවුල ඕක කතා කොරන්ට යන්ට තමා...

මොකද මෙතන හිටියට මං තාම උන්නැහේ එක්ක වචනයක් දොඩාලා නැහැ. කොහොමටත් මං පදිංචි වෙලා ඉන්න තැන්වල අහල පහල උදවිය එක්ක හරි අඩුවෙන් බජනෙට යන්නේ.. ඒක උන්දලට විතරක් නෙවෙයි මටත් හිරි හැරයක් හින්දා. ඒ හින්දා මෙච්චර දවසක් මං හිටිය ඔය හැම තැනකින්ම මට මේ වෙනකල් නරකක් කිව්ව කවුරුවත් නැහැ..සමහරු මං කියලා එකෙක් හිටියද කියලා දන්නෙත් නැහැ.

ඉතිං ඔය වැඩ ටිකට අමතරව තව හිතං ඉන්නවා වැඩක් ඒ තමා තාම මං මේ වැඩ පටන් ගත්තට කඩ කාමරේ ඉස්සරහ හායි ගාලා ඇරලා දාපු ගමන්..ඕක හින්දා ඉස්සරහ පැත්ත වීදුරු දාලා ඇළුමීනියම් වලින් පාටිෂන් කරලා දොරක් එහෙම දා ගන්ට ඕන..අනිත් වැඩනං ඔක්කෝම මං දන්න කියන කරුමාන්ත..මට තවම ඔය ඇළුමීනියම් පාටිෂන් වැඩක් කොරන්ට අහු වෙලාම නැති හින්දා ඕකනං වෙන කාට හරි පවරන්ට වෙනවා..මොකද වෙන එකක් බලාගෙන කොරන්ට උනත් මං ගාව ඒකට හරියන ආයුධ නැති හින්දා..පොප් රිවට් ගන් එකක්නං හොයා ගන්ටත් බැරි නැහැ... ඒත් වීදුරු කැපිල්ල කොරන්ට වෙන්නේ නැහැ..ෆ්‍රේම් එක ගහලා ඒ ගානට වීදුරු කපාගෙන එන්ට ඇහැකි උනත් පොඩි හරි වෙනසක් උනොත් හෙන කට්ටක් කන්ට වෙනවා..ඊට මීට හොදයි ඒක වෙන කාට හරි බාර කොරනවා කියලා හිතා ගත්තා..

කොහොමත් එතන පදිංචියට එනවනං ඒ දේත් කර ගන්න වෙනවා..නැත්තං හැම වෙලාවෙම අර උස්සන්න පහත් කොරන්න තියෙන මහ දොර වහන්න ඇහැකියෑ...

ඉතිං ඔය හැම දේම කොරගෙන එන්න හිතං උන්නත් එහෙම එහෙකටවත් කෝ මට වෙලාවක්...
ඒ හින්දා වියදං කපා හැරීමේ යෝජනා යටතේ තියෙන පළමු යෝජනාව වෙච්ච බෝඩිං කාමරයෙන් පිටමං වීම තාවකාලිකව ඉස්සරහට කල් දාන්න උනා...

ඒ හින්දා අද උදහැනැක්කෙන්ම මගේ පර්ස් පොජ්ජේ පිළීවෙලකට නවලා අහුරලා තිබුන ‍බෝඩිං ගාස්තු සඳහා වෙන් කල මුදල ගෙදර අයිති මලයා ඉන්න කඩේට ගෙහුන් දීලා දැම්මා... පලවෙනිද උදේම මුදල් අතට හම්බ වෙන කොට මිනිස්සුන්ගේ මුහුණේ ඇදෙන හිනාව බලන්න මං බොහෝම මනාපයි...

සමහරු පළවෙනිදට මුදලක් වියදං කොරන්ට වෙනවට කැමති නැහැ..ඒත් මං කරන්නේ හැමදාම දෙන්ට තියෙන මුදල් පලවෙනිදට දීලා උන්දලගේ මුහුනේ පිපෙන හිනාව බලන එක තමා...

ඒත් අනිත් මුදල් ගෙවන්ට අද වෙලාව මදි උනා..ඒ හින්දා අදත් වැඩට ආපි..දැන් හෙට උදේම කඩ අයිතිකාර උන්නැහේට මාසේ කුලිය දීලා උන්දැගේ ආශිර්වාදෙත් අරගෙන එන්ට ඕන...

ඒ කරලා ලබන මාසේවත් මෙතන ස්ථීර පදිංචියට එන්න කටයුතු යොදා ගන්නයි මට ඕන...
ඊට අමතරව ආදායං තත්වය ස්ථීරව පවත්වාගෙන යාම හරහා ගානකට පීල්ලට වැටිලා හැකි ඉක්මනට මගේ රස්සාවටත් ආයුබෝං කියලා අතනටම පැන්නනං ආයෙමත් මට උයා පිහාගෙන කාලා නිවිහැනහිල්ලේ මගේ වියාපාරේ කටයුතුත් කොරගෙන මාසෙකට සැරයක් නිවාඩුවක් දාලා රට තොට ඇවිදින්ට යන්ටත් ඇහැකි...

ඔය තමා මගේ අනාගත සැලසුම් අංක එක...
හා ඔව් ඔව්..අංක දෙකකුත් තියේ...

(දැන් කියහල්ලා කට කැඩිච්ච කතා...ෂිහ්...)