31 August 2011

ප්‍රේක්ෂිකාවකගෙන් මාර සරණියට ලැබුණ ලිපියක්...


අද ලියන්න හිටියේ වෙනම ෂීන් එකක් ඒත් අන්තිමේදී මට කම්මැලි හිතුනා..ඒ හින්දා කල්පනා කලා වෙන මොනවා හරි ලියලා ඇඟ බේරගන්න... ඒත් දෙන එක දෙන්න එපෑ කට්ටියට වැඩක් ඇති දෙයක්.. ඒ හින්දා අද මං තෝර ගත්තා මට මගේ බ්ලොග් එක කියවන්නියකගෙන් ලැබුන වටිනා ලිපියක්. ඇත්තටම මෙයා මගේ බ්ලොග් එක බලලා ඒකේ තියෙන හුඟාක් දේවල් ගැන මට ගුණ දොස් කියන කෙනෙක්.(එහෙම කිව්වට තාම දොස්ම තමා..ගුණයක් කිව්ව දවසක මං ඒකත් කියන්නං..)
ඉතිං මේ ළගදී මම ලියපු ආහාර පාන සම්බන්ධ ලිපි ටික දැකලා මෙයාටත් ඕන උනා ඒ වගේ දෙයක් කරලා බලන්න.ඇත්තටම කියන්න සතුටුයි දැන් එයා හරි දියුණුයි.කොටින්ම කිව්වොත් ඊයේ හවස මං කියා දීපු විදියට බිත්තරත් තම්බලා.. හිතලා බලන්නකෝ කොයි තරං දක්ෂකමක් තියෙන්න ඕනද කියලා බය නැතිව මේ කියා දෙන දේවල් එක පාරින්ම හරියටම අල්ලගෙන ඒ කෑම හදාගන්න.. ඒකත් අමාරුම දෙයක්නේ කරලා තියෙන්නේ..මට හරි සංතෝෂයි ඒ ගැනනං.
ඒ විතරක් නෙවෙයි..මෙයා මේ ළගදී දවසක මට ලිපියක් එවලා තිබුනා එයාත් දන්න සුපිරි කෑමක් හදා ගන්න විදිය ගැන..ඒකත් ලේසි නැහැ..ඒත් හරි රසවත් ඔයාලම කියවලා බලන්නකෝ කොහොම ඒක කියලා..හැබැයි කියෙව්වට ඒකට වැඩිය ලකුණු දාන්න යන්න එපා..එහෙම උනොත් එයා එයා දන්න අනිත් කෑම බීම ගැනත් ලියයි. ඔයාලා ඒ බ්ලොග් එකෙන් උයන හැටි ඉගෙනගෙන මගේ කෑම අමතක කරයි.. ඒ හින්දා මට දුක හිතෙන දේවල්නං කරන්නම එපා...
ආ තව එකක් මේ ලිපිය දාන්නේ එයාගේ පූර්ණ අවසරය මත...ඒත් මේක දානකොට දාන්නේ කාගෙන් ලැබුන එකක්ද කියලා මං කල්පනා කරලා බැරිම තැන එයාගෙනුත් ඇහැව්වා.. ඒ කියන්නේ ගුවන් විදුලියකට සම්බන්ධ දෙයක්නම් ඒ ගුවන් විදුලියේ ශ්‍රාවිකාවක් කිව්ව හැකි..ටැලිවිෂොන් එකේ දෙයක්නං ප්‍රේක්ෂිකාවක් කිව්ව හැකි. ඒත් බ්ලොග්..පත්තර..පොත් වගේ දේවල් කියවන පිරිමි අය අපි හඳුන්වන්නේ පාඨකයා කියලනේ..ඒත් මට තාමත් ඒකේ ස්ත්‍රී ලිංග වචනය හොයා ගන්න බැරි උනා.."පාඨිකා" කියලා දාන්නද..?"පාඨවිකාවියක්" කියලා දාන්නද.." හරි පුස්නේ..ඒකට උත්තර එයා ලග තිබුනෙත් නැහැ.. ඒ හින්දා තමා මාත්තුරුකාව අර විදියට දාන්න උනේ..පුළුවන් කෙනෙක් ඉන්නවනං ඕකට හරියන වචනයකුත් හොයලා දෙන්ට... මගේ කරුමෙට අහුබුදු මහත්යා සුර ලොව වැඩියේ...
හරි හරි වැල් බයිලා ඇති..මෙන්න ලිපිය...ආ තව එකම එක සුට්ටං කාරණයක්..කරුණාකරලා මේ ලිපිය...ඒ කිව්වේ මගේ කොහ නෙවෙයි ඇගේ කොටහා කියවලා බලලා ඒකේ තියෙන අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂයක් හොයලා දෙන කෙනෙකුට මං මගේ ගානේ විශේෂ තෑග්ගක් දෙනවා.. මොකද මෙයාගෙන් හරි කරදරයි අපේ අක්ෂර වින්‍යාස දෝෂ වලට සහ ව්‍යාකරණ වැරදි වලට... ඒ හින්දා මට කරන උදව්වක් හැටියට එහෙම එකක් හොයලා දෙන කෙනෙකුට පින් අත්වෙනවා..ඇත්තමයි..
ආ තව එකක්.. බලන්න නිකං මෙයා මගේ කෑම බීම ගැන ලියවෙන ලිපිවල රටාවම කොයි තරං හොදට අනුගමනය කරලා තියෙනවද කියලා... අතිවිශිෂ්ඨයි... ඇත්තටම මං මේ ලිපියට හුඟාක් කැමතියි...
එහෙනං මෙන්න ලිපිය...
____________________________________

වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනෙ කියන වටිනා කියමන අපේ පැරැන්නො කිව්වෙ නිකමට නෙවෙයි. ඉතින් මටත් හිතුණා, මගේ ආහාර පිළියෙල කිරීමේ දැණුම බෙදාගන්න. වැඩිය කාටවත් ආහාරයට ගන්නට නොලැබෙන, එහෙත් ඉතාම රසවත් ආහාරයක් සකසා ගන්න ආකාරය තමයි කියා දෙන්න හදන්නෙ.
පුංචි කාලෙ මගෙ ප්‍රියතම පොතක් තිබුණා. ඒකෙ නම "Cooking with mother." මම මේ පොතට ආස වෙන්න විශේෂ හේතුවක් තිබුණා. මම චෙස් තරගවලට යනකොට අරන් යන්නෙ මේ පොත. ඒකට හේතුව තමයි, ඒ දවස්වල අපේ තරග පැවැත්වුණේ හුඟක් වෙලාවට පාසල්වල. චෙස් පුවරුව තබා ගැනුණෙ කුඩා ඩෙස්ක් මත. ඒ උඩ තවත් මොනවත් තබා ගැනීමට ඉඩක් තිබුණෙ නෑ. ඉතින් තරගය වාර්තා කරගන්නවනම්, කොළේ අතේ තියාගෙන තමයි ලියන්න ඕනෙ. අර මං ඉහතින් කිව්ව පොත චූටියි. ඒ නිසා ගෙනියන්න පහසුයි. ඒ වගේම ඒකෙ කවරෙ ගණකමයි. ඒ හින්දා අතේ තියන් ලිව්වට ඉලක්කම්/ අකුරු පැහැදිලිව ලියවෙනවා. අන්න ඒ නිසයි මං ඒ පොතට එච්චර ආස.
දවසක් ඔය පොත අතට අරන් බලපු අය්යා කෙනෙක් "කුකිං මදර්? යකෝ, මෙන්න මේකි අම්මව උයන් කන්න හදනවා" කිව්ව හැටි මට තාම මතකයි. අනේ ඒ රසවත් ළමා කාලය.
ඉතින් අර මං කියන්න යන කෑම ඒ පොතේ තිබුණු එකක්නම් නෙවෙයි. ඒක ඉංග්‍රීසි පොතක්නෙ. මං කියන්න යන්නෙ දේශීය කෑමක් ගැන.
රෝස් පාන්.
අහලත් නැතුව ඇති සමහරුනම්. ඒත් මේ හොඳ දේශීය ආහාරයක්. ඒ දවස්වල අපේ ගම්වල බේකරිවල හදපු ආහාරයක්. මං කියලා දෙන්න යන්නෙ රසටත් ගුණටත් රෝස් පාන් හදා ගන්න හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය:
රෝස් පාන්- අවශ්‍ය පමණ
බටර්- රසයේ පදමට
පිහියක්- රෝස් පාන් දෙකට කපා ගැනීමට සහ බටර් ගෑමට
ඉතින් මුළින්ම කරන්න තියෙන්නෙ රෝස් පාන් ගෙඩියක් අරන්, ඒක පිහියෙන් දෙකට පළා ගන්න එක.
ඊට පස්සෙ ඒ පිහියෙන්ම හරි බටර් පිහියකින් හරි, බටර් අරගෙන රෝස් පාන් ගෙඩියෙ අර පළා ගත් මතුපිටවල තැවරිය යුතුයි. මේ තවරන ආකාරය හා ගන්න බටර් ප්‍රමාණය මත තමා මේ සුවිශේෂ ආහාරයෙ රසවත් බව රඳා පවතින්නෙ. ඉතින් හුඟක් පරිස්සම් වෙන්න ඕනෙ මෙතනදි.
ඕගොල්ලොත් කාලා බලලා කියන්නකො.

29 August 2011

හිරු නැගෙන තුරා රැය.. පුරාවට හඬමි මම...

මිය යමින් ජීවිතය
පවතීවි තව දිනක්
අරමුණක් හෝ කිසිත්
නොමැත එහි ජීවයක්...

පලා යන සැම දෙයින්
නිමක් නැති මාවතේ
තවත් එක් දිනයකින්
ගමන් මග නිමා වේ...

හෙටත් හිරු පායාවි
ඒ නමුත් පලක් නැත
නැවත එය හවස් කල
සැ‍ගවෙනා බව දනිම්...

ගත වෙනා සැම දිනම
හිස් බවක් රැඳී ඇත
හිස් කමින් ජීවිතය
පුරවමින් තව හිඳිමි...

රැයේ ඝණදුර අතර
සඟවමිය දුක් සුසුම්
නිමාවක් දකින තුරු
යනෙන මේ ගමන් මග...

ගමන් මග අතරතුර
ගිමන් හල් සෙවන ලැබ
යන ගමන අමතකව
සිටිය මඟියා මමය...

ඒ නමුත් හෙට නැවත
යායුතුව ඇත පිටව
ගිමන් හල අතැර දා
පිටව යා යුතුව ඇත...

බිත්තර තම්බන හැටි සහ ඔම්ලට් වලට වද දීම...


මොකද හිතෙන්නේ මාත්තුරුකාව දැක්ක ගමන්..?

ඔව් මං දන්නවා අනේ මූට පිස්සු..දැන් ලියන්න ඒවා නැතිව මේකා මේ බිත්තර තම්බන හැටි අපට කියා දෙන්න එනවා කියලා නේද හිතුවේ..?

රයිටෝ නෝනාවරු මහත්වරු එහෙම හිතුවනං මට හෙම කොරන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් ඒකත් හරි වගේ හින්දා.. ඇත්තටම ලියන්න දෙයක් නැහැ.ඒත් නොලියත් බැහැ.

ලියන්න දෙයක් නැහැයි කිව්වේ මගේ කතා පොත ඉවර වෙලා කියන එක නෙවෙයි... ඒවා තාම ඉස්ටොක් එකේ තියෙනවා..අප්පා එහෙම කිව්වාමයි මතක් උනේ බණ කතාවක් පටන් ගත්තා ඒක කොට උඩ..ජුංඅලයා මලාද මංදා.. ඒ එකක්වත් ලියලා ඉවර කලේ නැහැනේ. මට වෙන්නේ ‍ඔහොමම තමා..හැම අට්ටාලෙම බදාගෙන පටන් ගන්නවා අන්තිමේදී අවසානයක් නැහැ..ඒත් ඉතිං ඔය ආයෙමත් ලියන්ට දෙයක් නැතිවම ගිය වෙලාවක ඇදලා ගන්ට බැරියෑ..

ඉතිං ඔන්න කිව්වා මට ලියන්ට ඒවා නැතිවත් නෙවෙයි..ඒත් ඒ එකක්වත් ලියන්ට තරං මට කිසි ඇවිස්සිල්ලක් උනේ නැහැ..අර සිංහලෙන් කියන්නේ ගෝ එකක් නැහැ කියලා..ආන්න එහෙම එකක් තමා.

මට ඉතිං මොනවා හරි ලියන්ට හිතෙන්නේ බොහෝමයක් දුරට ඔය අතට අහු වෙන එවෙලේ හිතට එන ඒවා ගැන තමා. මෙනවා හරි තොලේ කටේ ගෑවුනම කවි නොහොත් අ‍ඳෝනා සහ විලාප ලිය වෙනවා වගේ ඒ ඒ දේවල් ලියන්ට වෙන වෙනම වෙලාවක් කලාවක් තියෙනවා.ආයේ අමුතුවෙන් ලියනවා කියලා හිත හිත ලියන එක හරි අමාරු වැඩක්. ඒ වගේ ඉතිං අදත් මේ හදිසියේ බ්ලොග් එකක් බල බල ඉද්දී මේ ගැන ලියන්ට හිතුනේ...

ඒ බ්ලොග් එකේ තිබුනේ බිත්තර ගැන පෝෂණ පාඩමක් ඉතිං ඒක බලද්දී හිතුනා ලියන්ට ඕන අද බිත්තර ගැන කියලා... එහෙම හිතිලා තමා මාත්තුරුකාව දැම්මේ... ඉතිං බලමු මට මොනවද බිත්තර ගැන ලියන්ට තියෙන්නේ කියලා..ආ ආ අමතක කරන්න එපා මං ඔය පෝෂණය ගැන වත් බිත්තර ඇති වෙන හැටි ගැනවත් ඔය සම්බන්ධව විද්‍යාත්මක ලිපිවත් ලියන්ට හදනවා නෙවෙයි..මං ඕවා දන්නෙත් නැහැ..මට ඒවා ගැන ඒ හැටි උනන්දුවකුත් නැහැ. ඒ කිව්වේ ඔය පෝෂණේ ගැන නෙවෙයි..අනිත් දේවල් ගැන.

ඉතිං අපි අද බලමු බිත්තර වලට දෙන්න පුළුවන් වද කිහිපයක්..ඒ කිව්වේ බිත්තර කෑමට සකස් කර ගන්න ඇහැකි ක්‍රම ගැන..

පළවෙනි එක හරි පහසුයි...

ඉස්සර අපේ තාත්තා අපි හිච්චි උන් සන්දියේදී බිත්තරයක අර කටුව ටිකක් මුදුන් වෙලා තියෙන තැනක් හිල් කරලා අපිට දෙනවා බිත්තර බොන්න කියලා. මාත් කිහිප වංගියක් එහෙම බීලා තියෙනවා..ඒත් මටනං ඒක ඒ හැටි සැටිස් නැහැ.අනික පස්සේ කාලෙක කියවපු ලිපියක තිබුනා බිත්තර කටුවේ තියෙන විෂ බීජ එහෙමත් ශරීරෙට ඇතුළු වෙන්න පුළුවන් කියලා ඔය ක්‍රමයෙන්..ඒ විතරක් නෙවෙයි අමු බිත්තරවල ඔය මොකක්ද මගුලක් තියේළු අපිව ලෙඩ කරවන..මං දන්නේ නැහැ ඒවා..කොහොම හරි රහ ගැන මට පැහැදීමක් නැති හින්දාම මං ඒක නැවැත්තුවා.

අංක දෙක තමා ඉතිං තම්බන එක...

ඕකට ඉතිං කුකරි ක්ලාස් යන්ට ඕනද නේද..?නටන වතුරේ දාලා ටික වෙලාවක් රත් කොලහම ඕක තැම්බෙනවනේ.. තව ඉතිං තම්බපු බිත්තරේ කටුව ගලවන්න පහසු වෙන්න ඔය බිත්තර‍ තම්බන වතුර එකට ලුණු කැට කිහිපයක් දාන සිරිතකුත් තියේ..එතකොට කටුව ගලවද්දී පහසුයි..නැත්තං කටුවත් එක්ක බිත්තරයේ මාංශකොටසුත් ගැලවෙනවා.

අංක තුන තමා හාෆ් බොයිල්...

මහ ගේමක් නැහැ මේකත් අර වගේම වතුරෙන් තම්බනවා ඒත් ඒ හැටි වෙලාවක් නෙවෙයි යන්තම් බාගෙට තම්බලා අරගෙන බිත්තරය දෙකට කඩලා හැන්දක් ආධාරයෙන් අර ඇතුලේ තියෙන බාගෙට තැම්බුන බිත්තර කොටස් ටික පොඩි භාජනයකට අර ගන්න තමා තියෙන්නේ... මේකෙදී ඇත්තටම බිත්තරය හොඳට සවි වෙලා නැහැ..අර්ධ මාශ..අර්ධ ද්‍රව ගතියක් තියෙන්නේ.. කහ මදේ එහෙම තැම්බිලා නැති තරං.. ඉතිං එහෙම තියෙන බිත්තරයට ල්‍රණු කුඩු..ගම්මිරිස් කුඩු පොඩ්ඩක් දාලා රස්නේ පිටම හැන්දකින් අරගෙන කන්න පුළුවන්.. හරිම රසයි ඕකනං.. පාන් කන්න එහෙමත් ටොප්.

ඔය උණ ගැනිලා එහෙම කන්න අප්පිරියාවෙන් ඉන්න වෙලාවට රෝස්ට් කරපු පාන් පෙති දෙකක් එක්ක බිත්තරයක් බාගෙට තම්බලා ගත්තම කරදරයක් නැතිව කන්ට ඇහැකි.

අංක හතර වෙන්නේ බිත්තර බැදලා...

ඒ කියන්නේ සිංහලෙන්නං බුල්ස් අයි.. ඕක ඉංග්‍රිසියෙන් කියනකොටනං කියන්න වෙන්නේ හරක් ඇහැ කියලා තමා.. කොහොම හරි ඔය නම වැටෙන්න ඇත්තේ මේකෙදි සුදුපාට බිත්තරේ මැදට කහ පාටට කහ මදය එන්න බැද්දම එන පෙනුම නිසා වෙන්න ඕන.. එත් සමහර අය බඳින බිත්තර වලදීනං ඔය දෙකම කලවං වෙලා මොන ඇහැක්වත් නැහැ..නිකං සුද මතු උන ඇහැක් වගේ වෙනවා.. ඒත් ටිකක් විතර බොකුටු තාච්චියක් ඒ කිව්වේ මේ ආප්ප හදන තාච්චියක වගේ එහෙකදීනං ඔය කහ මදේ මැදට එන විදියට බිත්තර බදින එක සිම්පල් වැඩක්...ඔන්නං මං බැඳපු බිත්තරයක පින්තූරත් මෙතන එල්ලන්නංකෝ..


බිත්තර බුල්සායි දාලා ඒකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දෙහි ඇඹුල් චුට්ටක් දාලා ගත්තම පංකාදු පහයි..ආයේ මං ඕවා කියන්න ඕන නැහැනේ...බිත්තර බැඳලා කාලා නැති අය නැහැනේ...

අංක පහ වෙන්නේ බිත්තර හොඳි...



සමහරු බිත්තර තම්බලා ඒක කිරි හොද්දට දාලා ගන්නවා..ඒකත් බිත්තර හොදි තමා..ඒත් මං කියන්නේ ඒක නෙවෙයි..එහෙමත් නැත්තං ඔය මුරුංගා උයද්දී එහෙම නටන හොද්දට බිත්තරයක් කඩලා දැම්මම ඒ හොද්ද රස වගේම ටිකක් උකු වෙන ගතියක් තියෙනවනේ..මේ කියන්නේ ඒකත් නෙවෙයි..

බිත්තර වණ්ඩුවේ තම්බලා අරං හොදි හදන හැටි ගැන...මේකෙදි කරන්නේ බිත්තර සාරුව හොදට ලුණු කුඩු.. පහේ කුඩු..මිරිස් කුඩු.. හීනියට ලියපු කරපිංචා..අමුමිරිස්..රතුළුණු.. එහෙම දාලා කලවං කරගෙන..ඒ කිව්වේ අර අපි ඔම්ලට් හදන්න යනකොට වගේ.. එහෙම කරලා ඒ බිත්තර සාරුව ස්ටීමරයකින් තම්බ ගන්න ඕන... ඉස්සර අපේ තාත්තනං ඕක තැම්බුවේ හොදට සිදුරු නැති කැන්ද කොලයක් අරං ඒක ගොටුවක් වගේ ගහලා ඒකට බිත්තර සාරුව දාලා ඒ ගොටුව ඉඳිආප්ප තම්බන මුට්ටිය උඩින් පෙරලෙන්නේ නැති විදියට තියලා හොදට අර ඉදිආප්ප තම්බද්දී වහන එකෙන්ම වහලා තමා..දැන්නං ඕක කරදරයක් නැතිව පොඩි භාජනයකට දාලා ස්ටීමරයක් ඇතුලෙන් තියලා සුටුස් ගාලා තම්බ ගන්න ඇහැකි නෙව..

එහෙම තම්බ ගත්තට පස්සේ ඕක හරි විසාලෙට හැදිලා එනවා..ඊට පස්සේ ඒක කෑලි වලට කපලා කිරි හොද්දකට දාලා උයා ගත්තම පුදුම රසයි. ආන්න ඒකටයි බිත්තර හොදි කියලා කියන්නේ..නැතිව කිරි හොද්දට බිත්තර තම්පලා දාලා නෙවෙයි.

දැන් අංක හයට යං..බිත්තර තම්බලා බැදලා...

ඇහ් හිතුවා නේද මට මඤ්ඤං කියලා..අනේ නැහැ එහෙමත් විදියක් තියේ..ඒ කියන්නේ මුලින් බිත්තරය තම්බලා කටු ඉවත් කරලා අරගෙන ගැඹුරු තෙලෙන් බදිනවා..එතකොට බිත්තරේ පිට පැත්ත රත්තරං පාටකට හැරෙනවා.. පිටතින් ටිකක් රැළි රැළි වෙන්න වගේත් බලනවා..ඇතුලත හොද ගණකම ගතියක් එනවා..ඒකත් හොද රසවත් කෑමක්...

සමහරු බිත්තරේ තම්බලා කෑලි කපලත් බදිනවා..සමහරු එහෙං පිටිංම බිත්තරත් බදිනවා.. කොහොම කලත් රසයි..හැබැයි ඕක හොදම විදිය තමා ගැඹුරු තෙලේම බැද ගත් අලත් එක්ක කලවමට දාලා කෑලි මිරිස් ටිකක් එහෙම දාලා තෙල් දාලා ගත්තම...දන්නවනේ අර අල තෙල් දාන විදිය..ආන්න එහෙම.. පුදුම රස කෑමක් තමා ඒකනං...

තව හුගාක් විදි තියෙනවා බිත්තර කෑමට ගන්නා..ඔය බිත්තර ආප්ප..බිත්තර රොටී එහෙම වගේ..ඒත් මං දැන් මේක අවසන් කරන්නයි යන්නේ තව එක විදියක් කියලා..

හත්වන ක්‍රමය බිත්තර ඔම්ලට්...

මෙන්න මංනං ආසාම විදිය...
ඔම්ලට් හදන එක එක පැත්තකින් බැළුවම අමාරුනං නැහැ..ඒත් එහෙම හදන හැම ඔම්ලට් එකක්ම රසත් නැහැ..ආන්න ඒක මතක තියා ගන්න ඕන...

මං මොකද ඔහොම කියන්නේ මං වතාවක් දෙවතාවක් සමහර තැන්වලින් කාපු ඔම්ලට් ඒ වගේ මෙලෝ රහක් නැති ඒවා..ඒ අතරින් එක ඔම්ලට් එකක් දාලා දුන්නේ මං ආස්සරේ කරන කතෝලික ගෙදරකින්. ඒ ගෙදර අම්මා බොහෝම රසට කෑම හදන කෙනෙක්. කොහොමත් ඔය මස් මාළු වර්ග රසට උයන්න පිහන්න බොහෝමයක් කතෝලික අයට පුළුවන්..මං එහෙම කියන්නේ අත්දැකීමෙන්ම තමා. ඉතිං එක දවසක් අර දිහායින් අපට බිත්තර ඔම්ලට් එකක් දාලා දුන්නා පොඩි කට ගැස්මක් විදියට..

ඇත්තටම ඒ අළුත් අවුරුදු දවසක බියර් බෝතලයකට සම්මාදන් වෙලා ඉද්දී... අනෙ හත් ඉලව්වේ ඒ ඔම්ලට් එකනං මෙලෝ රහක් නැහැ..නිකංම බිත්තරෙකට ලුනු මිරිස් කුඩු දාලා බැදලා දීලා වගේ... ඔය වගේම වැඩක් උනා මේ දැන් මාස කිහිපයකට කලිනුත් මං බියර් එකක් බොන්න කියලා මේ ළග පාත රෙස්ටොරන්ට් කියලා බෝඩ් එකක් ගහලා තියෙන තැනකට ගියහම.. ඔම්ලට් එක රුපියල් 80 ක් ඒත් මටනං රුපියල් පහක් වටින්නේ නැහැ.මෙලෝ රහක් නැහැ...

හැබැයි ඔහොම කිව්වම අපේ රංගයා කියයි ඌට අහු වෙච්ච හොඳ ඔම්ලට් එකක් ගැන ඒත් මේ යක්කල ලෙටෝනා එකේ බියර් එකක් බොන්න ගිය වෙලාවක ඌට අහු වෙච්ච.. ඌනං ඒකට පුදුම විදියට වහ වැටිලා කියලා මට තේරුනේ අපි වෙන තැනකට බොන්න යන වෙලාවකත් මූ අරකෙන් ඔම්ලට් එකක් අරං ඇවිත් තිබුන හින්දයි.. ඒ කතාව ඒකා කියයි...

ඉතිං අවසාන ක්‍රමය සහ මං ආසම ක්‍රමය වෙච්ච බිත්තර ඔම්ලට් එකක් හදන හැටි සහ ඒකට කරන්න පුළුවන් වෙනස් කම් කිහිපයක් ගැන කියන්නං...

සාමාන්‍ය ඔම්ලට් එකක් හදන්නේ මෙහෙමයි...

බිත්තරයක් කඩලා අරගෙන එකේ සාරුව හොඳට බීට් කර ගන්න ඕන... ඔයාලටනං බීටර් එහෙමත් ඇතිනේ.. ඒත් මට එව්වා නැහැ.. මංනං කරන්නේ ගෑරුප්පුවකින් හොඳට ගසා ගන්න එක තමා.. බිත්තර සාරුව පෙන දානකල්ම ගසා ගන්න ඕන... හොදට මිශ්‍රණය හැදුනම ඒකට ලුණු කුඩු තේ හැදි කාලක් විතර වෙන්න දාන්න.. එහෙම දාලා ආයෙත් හොදට බීට් කරන්න.. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැදි කාලක් දාලා ආයෙත් බීට් කරන්න..

කහ කුඩු තේ හැන්දෙන් 8 න් 1 ක් විතර.. ඒකිව්වේ යන්තං ප්‍රමාණයක්.. තුන පහ කුඩු තේ හැදි කාලකට පොඩ්ඩක් වැඩි වෙන්න.. මිරිස් කුඩුත් තේ හැදි කාලක්.. කෑලි මිරිස් තේ හැදි බාගයක් එහෙමත් දාලා හොදට බිත්තරේ ගසා ගන්න... දැන් ඒ ටික හරි ඒක පොඩ්ඩක් පදම් වෙන්න තියලා මේ ටික කරන්න..

ලොකු රතුළුණු ගෙඩි දෙකක්
හොඳවැයින් අමු මිරිස් කරලක්
ටිප් ටොප් කරපිංචා කොල හත අටක්
ටොම්බ සයිස් සුදු ළුණු බිකක්

මෙන්න මේ ටික අරගෙන හීනියට ලියා ගන්න..සුදු ළුණු නං හොදටම පොඩි වෙන්න ඕන...අර කලින් ගසාගත්තු බිත්තරේට මේ ටිකත් එකතු කරලා හොදට ගසා ගන්න..දැන් හරි...

ඊට පස්සේ මේක බැඳ ගන්න සුදුසු භාජනයක් ලිපේ තියලා රත් කරන්න.. ඒ භාජනේ පතුල මට්ටම් එකක්නං තමා හොඳ..තාච්චිවල එහෙම ටිකක් හරියන්නේ නැහැ..

භාජනේ රත් වෙන කොට ඒකට තමන් පාවිච්චි කරන බැදීමට සුදුසු තෙල් වර්ගයකින් තේ හැන්දක විතර ප්‍රමාණයක් දාන්න..තෙල් වැඩි උනත් බැහැ..මදි උනත් බැහැ..ඒක මතක තියා ගන්න.

තෙල් ටික රත් වෙලා එනකොට අර භාජනය ටිකක් කරකවලා තෙල් ටික භාජනයේ පතුල පුරාම තැවරෙන විදියට ගලා යන්න සලස්වන්න..

ඊට පස්සේ එක පාරින්ම අර රත්වෙච්ච භාජනේට බිත්තර මිශ්‍රණය දාන්න..දාපු ගමන්ම බිත්තරේ බැදෙන භාජනෙත් ටිකක් අර ආප්ප තාච්චිය කරකවනවා වගේ කරකවලා බිත්තරේ හොද රවුමට හැඩේ එන විදියට හදා ගන්න...(අර මං උඩින්ම දාලා තියෙන එකේ හැඩේ පොඩ්ඩක් අප්සෙට් නේද..? ඒ කැරකවීම පිළිබඳ ගැටළුවක් එහෙම නෙවෙයි..බිත්තරේ උඩ දාලා අනිත් පැත්ත ගහන කොට එක කොනක් නැවිලා හිටලා..) ඊට පස්සේ හුමාලය පිට නොවෙන විදියට භාජනේ වහන්න..ගින්දර යන්තමට තියන්න තත්පර 30ත් විනාඩියත් අතර කාලයකදී වැහුම් ඇරලා බලන්න බිත්තරේ යන්තම් තැම්බිලාද කියලා..ඒ කියන්නේ අර ගලාගෙන යන සාරු ගතිය නැති වෙන මට්ටමට තැම්බිලාද කියලා..

ඇත්තටම බිත්තරේ වහන්නේ නැතිව බදින්න ගියහම තමා තෙල් වැඩිය යන්නේ..අඩිය අල්ලන්නේ..කර වෙන්නේ..ඒත් බිත්තරේ ඉක්මනටම වහපුවාම ඇතුලේ ඇතිවන හුමාලයෙන්ම ඒක තැම්බෙන්න ඇරියම බිත්තර‍ය අඩිය කර වෙන්න කලින් තම්බ ගන්න පුළුවන්.
ඊට පස්සේ තැමතිනම් බිත්තරය අනිත් පැත්ත දා ගන්න පුළුවන්..නැත්තං දෙකට නවන්න පුළුවන්..එහෙමත් නැත්තං එක පැත්තක් විතරක් කර වෙලා..අනිත් පැත්ත සාමාන්‍ය විදියට තියෙන විදියට ලිපෙන් බා ගන්න පුළුවන්.. ඒක තමුන් කැමති ආකාරයට තමා..මංනං සාමාන්‍යයෙන් දෙපැත්ත දානවා..ඒත් මුලින් දාපු පැත්ත තරමටම අනිත් පැත්ත කර වෙන්න දෙන්නේ නැහැ..මොකද ඒ පැත්තේ ළුණු අමු මිරිස් වගේ දේවල් ඕනවට වඩා කර උනොත් රස වෙනස් වෙන හින්දා..මේ තියෙන්නේ අද උදේ මං හදාගෙන එන බත් මුලට තියන්න මං හදාපු ඔම්ලට් එකේ පොටෝ කෑලි දෙකක්..ඔන්න බිත්තරේ දෙපැත්තම පේන්ට තියෙනවා..ඔය විසාලෙට පේන්න තිබුනට ඕකට මං පාවිච්චි කලෙත් එකම එක බිත්තරයක් විතරයි..


ඔන්න වැඩේ අහවරයි..


දැන් කියන්ට යන්නේ ඔම්ලට් එකේ වෙනසක් කරන්න පුළුවන් විදි ගැන.. එහෙම වෙනසක් කරලා හැදුව ඔම්ලට් එකක් ගැන විස්තරයක් මං කලිනුත් දාලා තියෙනවා සමහර අයට මතකත් ඇති.

ඒ වගේම වැඩ අපිට කරන්න පුළුවන්...
බිත්තර ඔම්ලට් එකට උම්බලකඩ කෑලි මේ ස හැන්දක් විතර එකතු කරන එක..මෙහෙම හැදුවමත් බොහෝම රසයි..විශේෂයෙන්ම කට ගුස්මක් විදියට ඔම්ලට් එකක් හදද්දී උම්බලකඩ ටිකක් දාන්නම ඕන..එතකොට ටිකක් කටට රසට වගේම හැපෙන්නත් තියෙනවනේ..වැඩේ අති සාර්ථකයි.

ඒ වගේම කූනිස්සන් ටිකක් හරි කැබළි කර ගත්ත ඉස්සන් හරි කලින් බැදලා අරං මිශ්‍රණයට එකතු කිරීම..

බැදලා කුඩාවට කඩා ගත්ත කුකුළු මස් හෝ මාළු කැබලි එකතු කිරීම...

ලොකු ඉති ඉවත් කරගත් මුරුංගා කොල මිටක් මිශ්‍රණයට එක්කාසු කිරීම...

කරපිංචා වලට සමාන ප්‍රමාණයකින් කතුරුමුරුංගා කොල සිහින්ව ලියා එකතු කිරීම...

ඔන්න ඔය වගේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන් ඔම්ලට් වලට... ඒ වගේම මිශ්‍රණයට දෙහි ඇඹුල් එකතු කිරීමනං හොද නැහැ..එහෙම කලාම බිත්තරය සෙට් වෙන්නේ නැහැ..කැඩෙන්න බලනවා..ඒ හින්දා දෙහි අඹුල් එකතු කරන්න ඕන බිත්තරේ බැදලා අහවර වෙලාම තමයි.

බිත්තර මිශ්‍රණයට පාන් පිටි තේ හැන්දක් එකතු කිරීම හරහාත් ලොකු වෙනසක් දකින්න පුළුවන්..එහෙම හදනකොට බිත්තරේ කැඩෙන්නේ නැතිව හොදට ගලවගන්න පුළුවන්..මතක තියා ගන්න වෙන වෙන දේවල් එක්කාසු කරද්දි අපි මේකට දාන ලුණු ගම්මිරිස්වල වෙනස් කම් කරන්නත් ඕන කියන එක..උදාහරනයක් හැටියට එළවළු එකතු කරද්දි ලුණු ටිකක් වැඩි කරන්න ඕන වගේම..මාළු හරි ඉස්සෝ හරි දාද්දි එකතු කරන ලුණු යන්තමට හරි අඩු කරන්න බලන්න ඕන.. අනිත් කලමනා ගැනත් හොද අවධානයෙන් වැඩේ කරන තරමට අපට හොඳ ඔම්ලට් එකක් දා ගන්න ඇහැකි වෙනවා..

එහෙනං ඔන්න මං මට මතක් වෙච්ච හැටියට ඔය ටික කිව්වා... තව ඉතිං ඔය දොඩම් වලට එකතු කරලා වගේම කෝපිවලට දාලා බොන විදි එහෙමත් තියෙනවා..දන්නේ නැත්තං අහන්ට ඒවත් කියඤ්ඤං...

බිත්තර තැම්බිල්ලේ සිට තව තව වල් පල් ටිකක් කියලා ඔන්න මං තවත් පෝස්ට් එකක් ගොඩ දා ගත්තා..මේක කියවලා තමුන්නැහේලට ගන්ට දෙයක් තිබ්බද නැද්ද කියලනං මං දන්නේ නැහැ ඕං...

28 August 2011

රත්තරං ඔබා අයියේ...

අනේ බං ඔබා අයියේ උඹ දුමියගේ බ්ලොග් එකට ගිහින් සති 5කින් පෝස්ට් නැහැ කියලා පළු යන්න බැන්නා වගේ දැකලා සුවල්ප වෙලාවකින් ඕනයගේ එකටත් ගිහින් බැන්නා නේද..? ඒක දැක්කම මට තේරෙනවා ඔහොම ගිහින් අසේලයටත් බැනලා මේ පැත්තටත් හැරෙන්න ඉඩ තියෙන වග..ඒ හින්දා මේක ලියන්න ගත්තේ අවධානමට පෙර අවධානය යොමු කලා කියලා කියන්නයි..

අනේ බං අයියේ මට හරියට වැඩ මේ දවස්වල..ඉස්සර තිබුන රස්සාවේ වැඩට අමතරව ඔය කීයක් හරි හොයා ගන්න කෙන්දරයක් දෙකක් බලන එකයි ඇරුනාම උයන පිහන වැඩයි..ගෙවල් අස් පස් කොරන වැඩයි විතරක්නං මදෑ.. මේ පාප මිත්තරයෝ ටිකක් එක්ක රට වටේ හක්කලං කොරන්නත් වෙලා...අනේ සුදු අයියේ ඒ යස්ස පැටවු හින්දා තමා මට වෙලාවක් ඇත්තේම නැත්තේ මෙව්වා ලියන්ට.

එක්කෝ ඉස්කයිප්පුවේ පාළු මකන්න වෙනවා..නැත්තං බුකියේ මඩ ගහන්න වෙනවා..එහෙමත් නැත්තං ජීටෝක් එකේ හරි මල් කඩ කඩ ඉන්න වෙනවා..අනේ අයියේ මට පැය 24 මදි මේවට..ඒ හින්දා හැකි ඉක්මනට මොනවා හරි ලියනකල් සද්දේ දාන්නේ නැතිව හිටිං රත්තරනේ...

කොහොමටත් මං දවස් දෙක තුනයිනේ මුකුත් නොලියා ඉඳලා..බාගෙට ලිව්ව පිරිතක විස්තරයක් තියෙනවා ඒකවත් කොම්පීලීට් කොරලා දානකල් ඉවසහං දෙයියා...

23 August 2011

මේ කවි ලියන්නේ මට ඇති තරහාට...

කියනා දෙයක් නාහන හිතුවක්කාර..
කොමකට බෙහෙත් ලෝකේ තව නැහැ නේද..
හොයනා බලන එකටත් දොස් පවරාද..
එබැවින් සිටින්නෙමි මුළු ගැන්වී මෙහෙම..

කොයි ලොව ගියත් යන තැන කියලා නොයන..
ඇමතූ නමුත් නොදකින විලසින් සිටින..
මෙහෙමත් කෙනෙක් මට හමුවී නැහැ තාම..
මේ කවි ලියන්නේ මට ඇති තරහාට..

මට නොම ඇමතුවත් එයටද නැත තරහා..
ඒ මුත් අනිත් එහෙකුට හරි කීම මනා..
අනිකත් බයේ ඉන්නව කෙල පොදක් නොලා..
ඉන්නේ මමත් යක්ෂයා ආරූඬ වෙලා

ස්තූති කිරීමක්...!


වැඩි කතා නැහැ මෙන්න මේ පොටෝ ටික බලන්නකෝ...





මේ ඊයේ පෙරේදා මාව හම්බ වෙන්න ආව අපේ බ්ලොග් මිතුරෙක් විසින් මට දීපු වටිනාම තෑග්ගක් තමා මේ තියෙන්නේ...

මෙයිට කලින් වතාවකුත් ඇවිත් මාව හම්බ වෙලා තියෙන මේ හාදයා..දැනට සතියකට විතර කලියෙනුත් ආයෙම වංගියක් ආවා මාව බලන්ට. ඒ ආවේනං මං වැඩ කරන ඉස්තානේ ගාවටම තමා..

ඇවිදින් කතා බහ කොරලා බොහෝම අපූරු තෑගි දෙකක් මට දීලා ගියා නෙව..එයින් එකක් නං පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් එකක්.මට උවමනාම කරලා තිබුන...

අනිත් එක තමා මේ... මගේ බ්ලොග් එකේ කාලයක් ලියාපු පන්සල් කතාව මුද්‍රණය කොරලා ඒක එක්කාසු කොරලා බයින්ඩින් කොරලාම ගෙනත් දුන්න එක...

සෑහෙන්න මහන්සියක් දරලා කොරපු වැඩක්. බ්ලොග් පිටු එක ගානකට සයිස් කරලා ලස්සනට පිළිවෙලට එන විදියට සකස් කරලා වැඩේ කරලා තියෙනවා...

විශේෂයෙන්ම තමන් මම ලියපු දෙයක් කඩදහියක මුද්‍රණය වෙලා මගේ අතට ලැබුන පලවෙනි වතාව මේ...

මං හොඳටම දන්නා විදියට දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ පිටරට ඉඳලා මෙහාට කඩං පාත් වෙන්න ඉද්දී උමේ මේ පුංචි යාළුව වෙනුවෙන් මහන්සි වෙලා කරපු මේ වැඩේට වචනයකින් දෙහෙකින් ස්තූති කරලා මදි කියලා මං දන්නවා... ඒත් වෙන මොනවා කොරන්ටද..ඒ හින්දා මෙන්න මෙහෙම මේකත් බ්ලොග් එකේම දාලා ස්තූති කරන්න හිතුවේ...

බ්ලොග් එකේ කමෙන්ට් තීරුව හරහා දැන අඳුරාගත් හිතවත් Luckey නුඹට බොහෝම ස්තූතියි..!

_______________________________

(ලබන වංගියේවත් උඹේ බඩ සුද්ද වෙන්න කෑම ටිකක් දෙන්න හිතාගෙන ඉන්නවා..ඊට පස්සෙවත් මෙහෙම වැරදි නොකර උඹ හොඳ ළමයෙක් වෙයි කියලා මං හිතාගෙන ඉන්නේ..:D)

21 August 2011

ෆ්රයිඩ් රයිස් ගෙදරදී හදමු...ඉරිද දවසකට හොඳ වැඩක්...




මාත්තුරුකාව දැක්කනේ... ඔව් අද හදන්න යන්නේ චීනාගේ බැදපු බත්...

ඇත්තටම මට මේක දාන්න හිතුනේ මේ ඊයේ පෙරේදා මම මාව බලන්න ආව අපේ යාළුවෝ ටිකකට ගිල්ලවන්ට මේක හදපු හින්දා තමයි.

ඔව් ඔව්..උන් ඉතිං අපේ මේ බ්ලොග් අවකාසේ..එතකොට මූණු පොතේ..විතරක් නෙවෙයි ඉස්කයිප්පුවෙත් මාව මරං කන උන් ටිකක් තමා...කොහොම හරි පස් දෙනෙකුගේ නඩයක් ගෙදරට කඩං පාත් උනා... දැක්කම දුක හිතෙනවා..නැන්දා මාමා බලන්න යනවා වගේ හාල් මුට්ට කර ගහං.. කවදාවත් ගෙදරට සීනි පන්සීයක් ගෙන්න කඩේ යන්නේ නැති එව්වෝ හරියට පවුල්කාරයෝ පඩි දවසට ගෙදර එනවා වගේ අතින් කටින් උස්සන් මාව බලන්න ඇවිත් ඉන්න හැටි දැක්කමනං මට දුකත් හිතුනා..ඒත් ඒ දුක වැඩි වෙලා තිබුනේ නැහැ..මුං මට සුපුරුදු විදියට වද දෙන්ට පටන් ගත්තා...

ගේ එකම පිස්සු මඩුවක් කොලා... මාව වැනසුවා..අර කලින් වතාවේ ඕමන්තේ යන ගමනෙදී යන්තං මුං ටික ගලවලා ඉවර වෙද්දි..අතරින් පතර ඉතිරි වෙලා තිබුන බූල් ගස් ටිකත් ගලවන්ට ගත්තා..ආ ඔව් ඔව්..මේ ආවෙත් ඒ ගමන ගිය නඩේම තමා... ඒත් ඒ ගමන ගිය උන්ගෙන් අර අහිංසක කුහුඹුවා ආවේ නැහැ..ඒත් ඒකට හරියන්න වෙන හයේ හතරේ එකෙක් ආවා...

කොහොම හරි ඉතිං මුං ටික එන බව දන්න හින්දා මං වේලපහම කෑම ටික ලෑස්ති කලා... චිකන් ෆ්රයිඩ් රයිස්..පරිප්පු..බිත්තර... චිලී පේස්ට්... ඔය ටික තමා හැදුවේ... තව ඉතිං පිපිඤ්ඤා සලාදයක් හදලා පපඩම් ටිකක් බඳින්නත් තමා සැට් කොරං උන්නේ..ඒත් මුං ටික ආව වෙලේ ඉඳලා මාව නැති බංගස්ථාන කොල හින්දා ඒවා කෙරුනේ නැහැ... අන්තිමට මුංට අර ටිකත් එක්කම දීලා අදින්න උනා...

ඔය ටික හදන්නත් මං කාල වේලාවත් එක්ක ලොකු සටනක් දුන්නා... ඒ මදිවට එක එක නීති..ගමන එන්නත් කලින් මුං ටික කෑම එකේ මෙනු එක හැදුවා...එකෙකුට පපඩම් තෙල් නැතිව බැඳලා ඕන..තව කුකුල් කකුලක් ඕන..ඒ අස්සේ බිත්තර රොටී ඉල්ලනවා.. එළවළු සැලඩ් ඉල්ලනවා..ෆෘට් සැලඩ් ඉල්ලනවා... තව කෙනෙකුට පරිප්පු ඕන..හැබැයි ඇට පේන්න තියෙන්න ඕනළු...නැත්තං කන්නේ නැහැළු... මල විකාර කෝටියයි...

කොහොම හරි මං අවසානයේ නිවේදනය කලා..දෙන දෙයක් කාපියව්..තොපි ඉල්ලන කිසිම දෙයක් මං දෙන්නේ නැත කියලා..යන්තං එහෙම කියලා බේරුනා...

කොහොම හරි අන්තිමට මං යන්තං මුංට කන්න දීලා අතක් පයක් නොකැඩී බේරුනා.. මං ඒත් හිතුවේ මුං කාලා අන්තිමට මට තව නෝන්ඩිත් දාලා යයි කියලා..ඒත් මොන පුදුමෙකටද මංදා කස්ටියම කෑම ටිකනං හොඳයි කියලා කිව්වා.. ඒකත් මදෑ...

ඉතිං ඔය අවු අස්සේ මං අර වෙලාවත් එක්ක කරපු හටන හින්දා මට හිතේ හැටියට පොටෝ ටිකක්නං ගහන්ට හම්බ උනේ නැහැ. මුලදී එකක් හදන කොටම ගත්තත් පස්සේ අමතක උනා..අන්තිමේදී ඔය දාලා තියෙන කෑම පිඟාන ගත්තේ ඒ ආව එක ගොබිලෙක්.. එතකොටයි මට මතක් උනේ පොටෝ ටිකක් ගහන්ට බැරි උනා නේද කියලා..ඒ වෙලාවේ ගහන්ට හැටියකුත් නැහැ..මගේ අතේ මැටි කෝප්පේ පුරෝලා බත් එකක්..ඉතිං පොටෝ ගහන එකට වඩා කන එක වැදගත් හින්දා මං කාලා හිටියා..ඒකයි හරි හමන් පොටෝවක් නැත්තේ..ඒකට සමා වෙන්ට ඕන...

හරි ඉතිං අපි බලමු මේක හදා ගන්න විදිය..ඇත්තටම මේකනං හුග දෙනෙක් හදන්න දන්න..හදලා තියෙන දෙයක් කියලයි මං හිතන්නේ..ඒත් ඉතිං නොදන්න එ‍ක්කෙනෙක් හරි හිටියොත් ගොඩ යන්නේ නැතෑ කියලා හිතලා මං මේකත් දාන්නං.. අනික හැමදාමත් අපේ කෑම ගැනම ලියන එකේ ටිකක් වෙනසකටත් එක්ක චීන්නුත් නොදන්න චීනාගේ බැදපු බත් ගැන ලියන එකත් හොඳයි නෙව...

මං මේක කොටස් දෙක තුනක් හැටියට කියන්නං ඔයාලා ගලපගෙන වැඩේ ගොඩ දා ගන්ට..


උවමනා දේවල්...

බත්... (හාල් කිලෝ එකක)
මං මේක හැදුවේ හය දෙනෙකුට විතර උනත් ඇත්තටම හදලා ඉවර වෙනකොට අට දෙනෙකුටත් සෑහෙන ගානට ආවා..මොකද හාල් ගත්තේ හයදෙනෙකුට සෑහෙන්ට උනත් එළවළු මස් එහෙම එනකොට තව හුගාක් මේක ලොකු උනා නෙව..ඉතිං මං හාල් කිලෝ එකක් තමා ගත්තේ..ආ හාල් ගැන කියනකොට කියන්ට ඔන කාරණා කිහිපයක් තියෙනවා..
කවුරුත් දන්නා පරිදි මේකට ගන්නේ බාස්මතී හාල් තමා..ඒත් මංනං බාස්මතී රයිස් එකට වඩා සම්බා රයිස් එකට කැමතියි.ඒත් ඔයාලා කැමති විදියක් කරන්ට..මං මේක සුදු කැකුළු සම්බා වලිනුත් හදලා තියේ..පුදුම රසයි..ඇත්තටම බාස්මතී හාල මෙලෝ රහක් නැහැ...නිකං පිදුරු කන්නැහේ...(දැන් අහපල්ලා මං පිදුරු කාලා තියේද කියලා..)
එදානං මං මේකට පාවිච්චි කලේ කීරි සම්බා තමා.. කීරි සම්බා බතත් රහයි.. ඒ වගේම බත් ඇට පුංචියි...හැබැයි බත උයා ගනිද්දී කල්පනාවෙන් කරන්ට ඕන..බතට වතුර තියද්දී සැලකිලිමත් වෙන්ට ඕන..නැත්තං බෙරි වෙලා මල හත්ඉලව්වක් වෙන්ට ඇහැකි.මංනං හාල් එක ලිපේ තියාලා ඒකට වැන්දත් එක්ක මේක ගානට ඉදියං කියලා..ආයේ බොරු එහෙමනං නෙවෙයි..ඇත්තටම කොලා..ඇයි වදේ කෙලිය කෙල උනොත් මහ එකෙන්ම කාට කියන්ටද..මගෙ පටි රෝල් නෙව...

ඉතිං බාස්මතී උයද්දිනං හාල් හෝදලා ටිකක් පෙගෙන්ට තියන්න ඕන. වතුර ලොකු භාජනයක් රත් කරලා ඒක නටන කොට ඒකට අර පොගවපු හාල් ටික දාලා තැම්බෙනකොට වතුර පෙරලා ගන්ට ඕන..නිකං බත් උයනකොට වගේ වතුර හිදිලා බත් එක ගන්ට හිටියොත් කම්මුතු වෙන්ට ඇහැකි..මොකද බාස්මති හරි ගානට ඉදුනේ නැත්තං බෙරි වෙලා කිරි මැටි වගේ වෙන්ට ඇහැකි.අනික එතකොට බත් එකේ කැටිත් හිටිනවා..

හරි මං ඒ ගැන කිව්වේ කාට හරි බාස්මතී වලින් මේක හදන්න හිතුනොත් කියලා විතරයි..ඒත් මං දැන් කියන්නං මං මගේ සිස්ටම් එකට මේක හදන හැටි... මාත් කැමති කීරි සම්බා උනත් අර වගේ වතුර පෙරලා බත් ටික ගන්ට උනත්..දන්නවනේ අච්චර ලොකු බතක් පෙරන්ට මං ගාව භාජන අනන් මනන් නැහැ.. ඉතිං මං කලේ වතුර හිදිලා සාමාන්‍ය විදියටම බත උයා ගන්න එක..ඒකයි ඉතිං මේක ගොඩ දාගන්න බත් එකට වැන්දේ..නැතුව වෙන එහෙකට එහෙම නෙවෙයි..අර විදියට කරනවනකං බත් ඇට ටික ගානට ආව ගමන් වතුර ටික පෙරන එක මහ කජ්ජක් නෙවෙයි..

ඉතිං හාල් සෝදලා ඒ හාල් වලට අපි වෙනදට බත් උයන්න තියන වතුර ප්‍රමාණේම එකතු කරලා ඒකටම කහ කුඩු තේ හැදි කාලකුයි..ලුනු කුඩු තේ හැන්දකුයි..ලොකු කුරුඳු පොත්තකුයි..රම්පේ කොල කෑල්ලකුයි..කරඳමුංගු ඇට හතරකුයි..කරාබු නැටි හතරකුයි වගේ දාලා බත් එක ඉදෙන්න අරින්න ඕන...ආ තව මතක ඇතිව පොල් තෙල් හරි..එළවළු තෙල් හරි තේ හැන්දක් විතර එකතු කරන්න..එතකොට බත් එකේ පොලිෂ් ගතියක් එනවා වගේම ඇලෙන ගතිය අඩු වෙනවා...

ඔය විදියට උයලා ඉවර වෙන බත් එක ඊ්ට පස්සේ ටිකක් විතර නිවෙන්න දෙන්න ඕන..නිවුනට පස්සේ බත් එක වෙන භාජනයකට ටික ටික හැන්දකින් ගන්න ගමන් ඒ හැන්දෙන්ම කැට පොඩි කරගන්නත් ඕන... කඩවලනං ඔයාලා දැකලා ඇති අර ලොකු යකඩ හැන්දකින් ලිපේ තියෙද්දිම කැට පොඩි කරනවා..ඒත් ඊට වඩා මෙහෙම පහසුයි...ඒ කැට පොඩි කරන ගමන්ම අර බත් එක උයනකොට දාපු රම්පේ,කුරුදු, කරාබු නැටි,කරඳමුංගු අහක් කරලා දාන්න..දැන් ඒවා වැඩක් නැහැ අපිට..ඒවායේ රසය සහ සුවඳ බත් එකට අල්ලගෙන තියෙන්නේ...

ඔන්න ඔහොම හොඳට සුවඳට..පාටට... උයා ගත්ත කැට පොඩි කරලා ඇට හැලෙන ගානට බත් ටික තියෙන්න ඕන..හාල් ලිපේ තියද්දී වතුර තියන ගාන ගැන සැලකිලිමත් වෙන්න..මංනං බත් බෙරි කරලා කන්න කැමති නැති හින්දා මං වතුර තියන ගාන හරියටම හරි..ඒත් සමහර ගෙවල්වල මං දැකලා තියෙනවා බත් පොරි වෙන ගානටම බෙරි කරනවා..එහෙම ගෙවල් වල අය ඉන්නවනං මතක ඇතිව වෙනදා තියන ගානට වඩා වතුර ටිකක් අඩුවෙන් හාල් ලිපේ තියන්න..නැත්තං වතුර ගොඩාක් තියලා බත් ඇටේ මැද අමු නැති වෙන ගානට එනකල් තැම්බුන ගමන් වතුර ටික පෙරලා ගන්න...

මස්...(කටු ඉවත් කර ගත් මස් ග්‍රෑම් පන්සීයක්)

මේකේ මුලින්ම කරන්ට ඕන දේ තමා මස් ටික හදා ගන්න එක...කඩවල් වලනං කරන්නේ ලොකු කුකුල් මස් කුට්ටි බැදලා පස්සේ ඒවා හීන් තීරු තීරැ ඉරන එක...ඒත් මංනං එහෙම කරන්න කැමති නැහැ.එතකොට මස්වල ඇතුලට රස වදින්නේ නැහැ..ඒ හින්දා මං කලේ වැඩේ පටන් ගන්න කලින්ම මස් ටික හෝදලා කෑලි නොකපාම ඒකට කහ කුඩු තේ හැන්දයි.. ගම්මිරිස් කුඩු තේ හැදි දෙකයි..ලුනු කුඩු තේ හැඳි එක හමාරයි..සියඹලා ඉස්ම මේස හැන්දයි තව ලොකු ගොරකා කෑලි දෙහෙකුත් එක්කම දාලා හොඳට අතගාලා පැත්තකින් තියන එක..එහෙම තියලා බත් එකේ වැඩේ එහෙම කරලා එළවළු සුද්ද කරලා ඉවර වෙනකොට අර මස් කුට්ටි ටික වතුර අහක් වෙලා හොදට හයි වෙනවා..හොඳට ලුනු ඇඹුල් අල්ලනවා..

ඊට පස්සේ අර තවරපු දේවල් හේදිලා යන්න යන්තමට වගේ වතුරෙන් හෝදගන්න..මොකද රස අල්ලන්න මිසක් එච්චර කුළු බඩු ඕකට දාන්න ඕන නැහැ.ඊට පස්සේ ඕක පුංචියට කෑලි කපන්න.ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලාමස් ටික රන්වන් පාටට වඩා ටිකක් විතර දුඹුරු පාටක් එනකල් බැඳ ගන්න..තෙල් බේරෙන්න තියන්න.. දැන් මස් ටිකත් ලෑස්තියි...පින්තූරේ මස් ටික තියෙන හැටි පේනවා නේද...?
ඕකට කුකුළු මස්..හරක් මස්..එළු මස් සහ ඕනනං ඌරු මස් උනත් ගන්න පුළුවන්..මං ගත්තේ කුකුළු මස් උනාට...

එළවළු...

එළවළු කිව්වම මංනං වතාවෙන් වතාවේ අත්හදා බලන්න ඕකට එක එක ජාති දාලා තියෙනවා..ඔය මෑ කරල්..දඹළ වගේ දේවල් හිටන්..ඒවායෙත් හරි අමුතුම රසයක් තියෙනවා..ඒත් අපි මේක සාමාන්‍ය විදියටම හදමු.ඒ හින්දා කැරට් ගෑම් 200ක්..ලීක්ස් ග්‍රෑම් 150ක් වගේ වෙන්න හීනියට කපා ගන්න..ඔය උඩ පින්තූරේ ඒ එළවළුත් තියෙනවා..ඕනනං ගෝවා ග්‍රෑම් 50ක් විතරත් එකතු කරන්ට පුළුවන්..ඒත් එකෙන් සමහර විට බත් එකේ වියළි ගතිය අඩු වෙලා තෙත ස්වභාවයක් අල්ලන්ට බලනවා..ඒ හින්දා මං ගෝවා එකතු කලේ නැහැ...

බිත්තර හයක්...
මෙන්න මේ බිත්තර ටික කඩලා භාජනේකට දාලා ඒකට ලුණු කුඩු තේ හැඳි බාගෙකුයි..ගම්මිරිස් තේ හැඳි බාගෙකුයි..කෑලි මිරිස් තේ හැන්දකුයි..කහ කුඩු ඇබින්දකුයි දාලා හොදට ගසා ගන්න ඇහැකිනං රසය වැඩි වෙනවා... එහෙම කර කර ඉන්න කම්මැලිනං නිකංම බිත්තර ටික කඩලා දැම්මත් කමක් නැහැ..හැබැයි උයනකොට මං ඔය පොඩි පොඩි දේවල් ගැන හරියට බලන හින්දා මංනං ඔය විදියට කලින්ම හදා ගන්නවා..

කරපිංචා...
ඉති දෙකක විතර කොල...

අමුමිරිස්...
කරල් තුනක් හීනියට ලියලා...

තලා ගත්ත ලොකු සුදුළුණු බික් හයක් විතර...

පොඩි කරගත් අමු ඉඟුරු අගල් දෙකක පමණ කැබැල්ලක්...

හීනියට ලියා ගත්ත ලොකු ළුණු ගෙඩියක්...හෝ රතුළුණු ගෙඩි හත අටක්...

කුරුඳු පොතු පොඩි කෑල්ලක්...

කෑලි මිරිස් මේස හැඳි තුනක්...

කහ කුඩු...
තේ හැඳි කාලක්...

ලුණු...
තේ හැඳි එකක් දෙකක් අතර ප්‍රමාණයක්...

ඇත්තටම ලුණු දාද්දී රසය බලලා එකතු කරන්න ඕන..මොකද මේ වෙනකොට බත්..මස්..බිත්තර කියන හැම එකටම අපි කල් ඇතිවම ලුනු එකතු කරලා තියෙන හින්දා..

මෙයට අමතරව අපිට මේ චීනාගේ බැදපු බත් හදද්දී මං නිතර භාවිතා නොකරනවා උනත් මේකටනං ඕන කරන කෘතිම ආහාර කියන ගොඩට වැටෙන දේවල් ටිකකුත් ඕන වෙනවා...

සෝයා සෝස්...
මේස හැදි දෙකක් විතර

තක්කාලි සෝස්...
මේස හැදි තුනක් විතර

අජිනමොටෝ තේ හැන්දක්...
(මංනං දාන්නේ නැහැ..ඒත් දැම්මොත් රසයි)

චිකන් කියුබ් එකක්..
අර කඩේ තියෙන්නේ knorr chicken cubes කියලා ආන්න එයින් කැටයක්...හැබැයි ඕක ඕන නැති වෙන්නත් මං දෙයක් කියන්නං..ඒ තමා අර අපි පුංචියට කපලා මස් බැද්දා උනාට..ඕනනං ඒ මස් කුට්ටි පිටින්ම තම්බලා ඒ මස් ටික එහෙමම බැඳලා කෑලි කඩන්න පුළුවන්..එහෙම තමා හෝටල්වලනං කරන්නේ..එහෙම මස් තම්බලා ඉතිරි වතුරෙන් අර බත් එක උයා ගත්තනං ඔය සුප් කැට ඕන නැහැ..පැහැදිලිනේ...මං එක වංගියක් ඔය වැඩේ කොරලා සාර්ථක ප්‍රතිඵල තියෙනවා.ඒත් ඒක කරදර වැඩක්.සහ මස් වල නියම ගතිය නැතිව යන වැඩක්.

සීනි මේස හැඳි දෙකක්...

පොල්තෙල් හෝ..එළවළු තෙල්...
මං නං ගත්තේ පොල් තෙල්...තෙල් මේස හැදිපහක් හයක් විතර ඕන...


හරි ඔන්න අපි අවසන් මෙහෙයුමට සූදානං...

මුලින්ම ලොකු භාජනයක් ලිපේ තියලා..ඒක රත් වෙද්දී ඒකට තෙල් ටික දාලා රත් වෙන්න අරිනවා..තෙල් ටික රත් වෙද්දී ඒකට කරපිංචා..අමු මිරිස්..ඉඟුරු..සුදුළුණු..රතු ළුණු..කුරුදු පොතු.. ටික එකතු කරලා ටිකක් බැදෙන්න අරිනවා..ඒ ටික යන්තං දුඹුරු පාට වෙන්න බලනකොටම ඒකට එකතු කරනවා ගසා ගත් බිත්තර ටික..බිත්තර එකතු කරලා බිත්තර ටික තැම්බෙනකොටම හැන්දකින් හොදට බිත්තර ටික කෑලි කැඩෙන විදියට හැඳි ගාන්න ඕන...ඒකත් හරි ගානට වෙනකොටම අපි මේකට එළවළු ටිකයි..කෑලි මිරිස් ටිකයි..කහකුඩු..ලුනු කුඩු එකතු කරලා හොඳට අර කලින් බැදෙමින් තිබුන දේවල් එක්ක කලවං කරලා පියනකින් භාජනේ පොඩ්ඩක් වහලා තියන්න ඕන..

ඇත්තටම හරිනං කෙරෙන්න ඕන තෙල් ගොඩාක් ලිපේ තියලා ඒ තෙල් වලින්ම එළවළු තැම්බෙන එක උනත්..මං වැඩිය තෙල් නාවලා කෑම හදන්න කැමති නැහැ..ඒ හින්දා තෙල් අඩුවෙන් දාලා..අර එළවළු රත්වෙනකොට ඒවායින් නැගෙන ජල වාශ්පයෙන්ම එළවළු ටික තැම්බෙන්න අරින එකයි කරන්න ඕන..භාජනේ ඇරලා තිබුනොත් එළවළු තැම්බෙන්න කලින් වතුර ටික ඉවත් වෙලා මිශ්‍රණය කර වෙන්න අඩිය අල්ලන්න බලනවා...

එහෙම වෙන්න නොදී යන්තමට එළවළු ටික තැම්බුනාට පස්සේ වැස්ම ඉවත් කරලා හොදට හැදි ගාන්න ඕන..එතකොට මේකේ තියෙන වතුර ගතිය ඉවත් වෙලා ටිකක් බැදෙන ගතියකට එනවා..මිශ්‍රණය වියළියි..ඔන්න ඔය ගානට ආව මිශ්‍රණයට අපි එකතු කරනවා මස් ටිකයි..සෝස් වර්ග දෙකයි..සීනි ටිකයි..අජිනමොටෝ සහ චිකන් සුප් කැටය..

ආන්න එ‍් ටික එකතු උන ගමන් අර වියළි ගතිය ටිකක් අඩු වෙලා යන්තමට තෙත ස්වභාවයක් ගන්නකොට හොදට මේ මිශ්‍රණය දෙතුන් වතාවක් හැදි ගාලා බත් ටික එකතු කරන්න පටන් ගන්න ඕන...

මේ වෙනකොට ලිපේ ගින්දර හුගාක් අඩු කරන්න..යන්තං වගේ රස්නේ තිබුනම ඇති..මොකද අපට බත් එකතු කිරීම එක පාරම කරන්න අමාරු වෙන්න පුළුවන් හින්දා...

බත් එකතු කරද්දී මුලින්ම අර බත් වලින් කාලක් විතර දාලා හොදට කලවම් කරන්න..සම්පූර්ණ බත් ටිකම දා ගත්තොත් භාජනේ ඉඩ මදි වෙලා ඒක කලවං කරන එක අපහසු වෙන්න පුළුවන්..ඒ වගේම එහෙ මෙහෙ පෙරලන්නත් අමාරුයි..මුල්ම බත් කොටස එකතු කරලා ඒ ටික හොදට කලවම් වෙනකොට තව ටිකක් එකතු කරලා කලවං කරන්න... මෙහෙම ‍තුන් හතර වතාවකට ආදී වශයෙන් බත් එකතු කරන කොට නියම ගානට පහසුවෙන් බත් ටික කලවම් කර ගන්න ලේසියි...

අවසානයේ බත් ටික කලවං කරගෙන ඉවර‍වෙනකොටම බත් එක අඩිය අල්ලන්න නොදී ලිප නිවලා දාන්න..
ඔච්චරයි..මෙහෙයුම අවසන්..දැන් තියෙන්නේ කැමති විදියකට කන එක තමා...

කිසි අවුලක් නැහැ හොඳ රසට තියේවී... හරියට පදම අහු උනානං කඩේ ගිහින් කන ඒවා ආයේ කන්නේ නැති වෙයි. ඒතරමට නියම විදියට ඕක හදා ගන්න පුළුවන් වෙයි...

හැබැයි තව එකක් කියන්න එපෑ..මාත් ඔය හුගාක් අවස්ථාවලදී සමහර අය ගෙදරදී හදපු ෆ්රයිඩ් රයිස් කාලා තියෙනවා..ඒත් මොන හේතුවක් හින්දා හරි ඒ කිසිම තැනකදී ඕක කඩේ හදන එක වගේ කොලිටි නැහැ..මොනවා නමුත් අවර පදමක් හිටිනවා.. ඒත් ඔය විදියට හදා ගත්තම කිසි අවුලක් නැහැ ටොපේ ටොප්ම තමා...අත්දැකීමෙන් කියන්නේ...

ඒ වගේම ඉතිං ඕක කන්න මටනං වෙන මුකුත් ඕනත් නැහැ..ඒත් ඉතිං එහෙමම බැහැනේ හැමෝටම ඒ හින්දා චිලී පේස්ට් ටිකක්..තක්කාලි සෝස් ටිකක් එක්ක කෑවත් හොඳයි..ඔය පහළ තියෙන්නේ ඔය රයිස් එක කන්න මං හදාපු චිලී පේස්ට් එක තමා... මීට කලින් වංගියක මං ඒ ගැන ලියලා ඇති..ඒත් එතකොට මට පිංතූරයක් තිබුනේ නැති හින්දා මේ පාර හදපු එකේ පින්තූරේ එතනටත් ආයෙම වංගියක් ගෙනිහුං දැම්මා..

ඒ වගේම තමා චිලී පේස්ට් අනන් මනන් නැත්තං..සැරට උයාපු මස් කරියක් එක්ක පිපිඤ්ඤා සලාදයක් තිබුනනං ඔය බතට හොඳටම ගැලපෙනවා...පිපිඤ්ඤා සලාදේ වෙනුවට ඕනනං අර වෙජිටබල් චොප්සි කියන දේත් එක්ක මස් කරිය සෙට් උනත් හොඳයි..හැබැයි මං තාම ඔය චොප්සිනං හදලා නැහැ.. ඉස්සරහට ඒකත් හදලා බලන්න ඕන ක්‍රමේ හොයාගෙන... එදාට මං කියන්නං ඒකත් හදන හැටි..එතකං තියෙන හැටියකට කාලා බලන්ටකෝ...ආ තව ඕක කන්ට වියළි හතු වලින් හොඳ ඩෙවල් එකක් දාන හැටිත් මං වෙලාවක කියා දෙඤ්ඤං..ඒකත් ටොප්...

අද ඉරිදා..මේ වෙනකොට දවල් වෙලනං අපේ ලංකාවේ ඉන්න අයට පහු වෙලා ඇති..ඒත් රෑට එහෙම බඩු ටික හොයං ඕක හදන්න බැරි කමකුත් නැහැ..කොහොමටත් ඉරිදා වගේ විවේකී දවසක තමා පවුලේ අය ඔක්කෝටම සෙට් වෙලා කන්ට මේක හදන එක හොඳ...

ඉතිං මංනං ඕක හදලා කස්ටියට කවලා..හොඳත් අහලා..බේරුනා..ඒ අයත් ඒක කාලා පැය විසි හතරක් යනකලුත් කිසිම අතුරු ආබාධයක් නැතිව ඉඳලා..මේ වෙනකොටත් යහතින් ඉන්නවා...

එහෙනං..තව ‍පුරස්න එහෙම තියේනං අහන්ටකෝ..ඕං මං නැවතුනා...

ආ ඉවරයි කිව්වට ඉවරම නැහැ..ඔයාලට මතකනේ අර වෙජිටේරියන් ගෝරිල්ලා..අනේ ඉතිං ඒකත් ඔකේ මස් කෑලි ටික අහක් කර කර ලග ඉන්න උන්ට දීලා අර උම්බලකඩ සහ කූනිස්සන් දාලා හදපු චිලීපේස්ට් එක එක්ක කිසි අවුලක් නැතිව බත් ටික කෑවා...ඔන්න හොඳ වෙජිටේරියන් කෙනෙක් වෙනවනං ආදර්සෙට ගන්න හොඳ ගෝරිල්ලෙක්...




18 August 2011

පෞද්ගලික ලිපියක් ප්‍රසිද්ධීයේ දැමීම...කියවීම ඔබට බාරයි...

මචං Beetle...

‍මං ඊයේ මෙන්න මෙහෙම පෝස්ට් එකක් ලිව්වා මචං..උඹ ඒකට අද උදහැ‍නැක්කේම, ඒ කිව්වේ පට්ට පාන්දර එක පහුවෙලා විනාඩි පනස් හතරක් ගිය තැන මෙන්න මෙහෙම කොමෙන්ටුවක් දමා තිබුනා...

"මාරයා, පාලිතගේ පැත්තෙනුත් කතාවක් ලිව්වොත් නියමයි... තමන්ගේ තාත්තා තමන් හංගපු සල්ලි උස්සලා බූරුවා ගහලා කියලා දැනගෙන, උඹලට මූන දෙන්න බැරුව මඟඅරින පාලිත කෙනෙක් ගැන... :)"

අද උදේ මං මේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කොමෙන්ට් බලාගෙන යනකොට මගේ ඔළුවට වැදුනේ ඔය උඹ දාපු කොමෙන්ටුව තමයි මචෝ...

ඇත්ත හුගාක් වෙලාවට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්..එහෙම වෙලාවකට අපි හොයන්නේ බලන්නේ නැතිව කෑ ගහන එකත් හරි මදි...ඒත්..ආ ඊට කලින් මං කියලා ඉන්නංකෝ මේක...මේ කතාවට අනුව ගත්තොත් නං කුලී වැඩ කලාට..කසිප්පු ටිකක් වික්කට පාලිතගේ තාත්තා කවදාවත් බූරු ගහන්න ගිය මිනිහෙක්වත්..වෙන වරදක් තිබුන කෙනෙක්වත් නෙවෙයි...ඇත්තටම පාරක තොටක උනත් එහෙමට ගැවසෙන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ඔය කියන කාරණාව අඳාළ නොවෙනවා උනත්...මං හිතුවා උඹ දුන්න පාර ඔස්සේ පොඩ්ඩක් හරි කතා කලොත් හොඳයි කියලා...

මචං බීට්ල්...

මේ තත්වෙම උඹට උනොත්..ඒ කිව්වේ උඹ පාලිත කියලා හිතහං..ඔය උඹ කිව්ව විදියට තාත්තා හරි සහෝදරයෙක් හරි උඹ ගෙදර ගිහින් තියන සල්ලි ටික උස්සනවා..එහෙමත් නැත්තං හවස කඩේ යන්න බලන අම්මා ඒක අරං ගිහින් ලාම්පුතෙල් බෝතලේකුයි කරවල හාල් ටිකකුයි ගෙනත් රෑ වේල උයනවා..එහෙමත් නැත්තං රස්සාවක් නැතිව ඉන්න අක්කා ඕකෙන් කීයක් හරි අරගෙන රෙජිස්ටර් තැපෑලෙන් රැකියා කිහිපයකට අයදුම් පත් අරිනවා..ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්...මිනිස්සුන්ට ඔහොම දේවල්ද වෙන්නේ..නේද..?

හරි මචං..ඒත් එහෙම උනාමයි කියමුකෝ..පාලිතගේ පැත්තෙන් ඌ අසරණයි...ලැජ්ජා වෙන්න සිද්ධ වෙන කාරණයක්..මොකද තමන්ට අයිති නැති මුදලක් තමන් අතින් වියදම් වෙලා..හිතා හෝ නොහිතා..සමහර විට එදා රෑ බත් කනකොට වෙනද සූප්පු කරන කරෝල කට්ට වෙනුවට කේඬෑරි සාලයෙක් හරි වෙන මොකක් හරි මාළු කූරියෙක් හරි පිඟානේ ඉන්නකොට අම්මගෙන් ඇහැවුවාම කොහෙන්ද අද මාළු ගන්න සල්ලි කියලා..අම්මා කිව්වොත් ඇයි පොඩි එකෝ උඹේ කොට්ටේ යට තිබ්බ සල්ලි වලින් මං ගත්තා කියලා..අතට ගත්ත බත් කට ඉස්මොල්ලේ යන්න පුළුවන්... ඒවා මහ අමුතු දේවල් නෙවෙයි...ඒත් ගැටළුව තියෙන්නේ මචං ඒක නෙවෙයිනේ...

අපි ඌට ඒ සල්ලි දුන්නේ විශ්වාසෙටනේ බං..අපි ඌව යාළුවෙක් හැටියට විශ්වාස කලා...අනික ඌ අපට වඩා වැඩිහිටියෙක්...යමක් කමක් දන්න එකෙක්...සමාජයේ ටිකක් හරි අපට වඩා තෙම්පරාදු වෙච්ච එකෙක්...හොඳ නරක අඳුරගන්න පුළුවන් මට්ටමේ එකෙක්...අපි හිතමුකෝ ඌ වංචාවක් කරන්න බලාගෙනම ඒ සල්ලි වලින් කමිසයක් කලිසමක් ගත්තා කියලා..එහෙමනං ඌ අර වගේ මග අරින එක වෙන්න පුළුවන්..ඒත් අපි මෙතනදී හිතන්නේ එහෙම නෙවෙයි සැබෑම අසරණ කමක් නිසා ඌ මග අරිනවා කියලනේ..ඒත් මචං ඒකද උත්තරේ...

බලහං අදට අවුරුදු විස්සකට විතර එහාදි සිද්ද වෙච්ච දෙයක් ඔය..ඒත් එදා පොඩි එකෙක් වෙච්ච මට අදටත් මගේ හිතේ තදින් කා වැදිලා තියෙන සිදුවීමක් ඕක..අද පාලිත පොලිසියේ සාජන් කෙනෙක් මට්ටමට එන්න කාලයයි වයසයි හරි ඇති මං හිතන්නේ..ඒත් ඌ සාජන් නෙවෙයි සමහර විට එස් අයි වෙලා එතනිනුත් ඉහලට ගිහින් බැරිවෙලාවත් හෙට පොලිස්පති උනත් ඌ මට අමතක වෙන්නේ නැහැ... මොන විදියෙන් තත්වෙකට ආවත් මං ඌව විශ්වාස කරයිද බං... ඒ විතරක්ද අද මේ බ්ලොග් එකේ ලිව්වා.. මීට කලින් පොදු වැඩ වලදී යම් යම් දේවල් වෙන කොට දන්න කියන උන්ට මං ඔය කතාව වචනයෙන් කිව්වා.. හෙට වෙනකොට මට ඕක පත්තරේ දාන්නත් හිතෙන්න පුළුවන්...

එතකොට මොකක්ද අර මනුස්සයට වෙන්නේ...ඒකගේ ළමයින්ට..ගෑණිට..?හිතහං මචං අපි කරන එක වැරදි වැඩක් හින්දා මොන තරම් දේවල් වෙන්න පුළුවන්ද..?

අපි හිතමු අර උඹ කිව්ව විදියටම..උගේ වරදක් නැහැ පවුලේ උන් ඒක කාලා..ඒත් ඒකට උත්තරේ හැංගෙන එකද බං..?ඇයි අපි යක්කුද..?අපි හොඳටම දන්නවා උගේ පවුලේ තත්වේ..දුප්පත් කම..මොකද අපි හිටියෙත් ඒ මට්ටමේ ගෑවි නොගෑවී හින්දා නැති බැරිකං බැරි අමාරුකං නොදන්න එවුන් නෙවෙයි මචං...එහෙම තියෙද්දී ඇවිල්ලා

"මල්ලිලා පොඩි අවුලක් උනා බං...අපේ ගෙදර අය මං නැති අතරේ අර සල්ලි අරං වියදං කරලා...අනේ බං මං පස්සේ වෙලාවක හරි ඒක එකතු කරලා දෙන්නං"

ඔය වචන ටික කියන්න හුගාක් අමාරු වෙයිද බං..?වැරදිලාවත් අපි ඔය සල්ලි ටික ගැන හිතාගෙන වෙන වැඩකට අත ගහලා හරියටම වැඩේ හෙටයි කියලා අද සල්ලි ඉල්ලුවනං මොකද වෙන්නේ..ඌ පත් වෙන අපහසුතාවය විතරක්ද මචං..ඇයි අපි කරන්න ගිය වැඩේ හබක් උනාම අපි පත්වෙන අපහසුතාවය...?

ගමේ මිනිස්සු අපෙන් ඇහැව්වනං කෝ ඉතිරි මුදල් කියලා..?

අරකා ඒ ගැනත් ටිකක් හිතන්න ඕන නේද බං..?

උඹට කියන්න බං ඇත්තටම මං ඊයේ ඔය පෝස්ට් එක ලියන වෙලාවේ මං ලොකු හිත් කලකිරීමකින් උන්නේ..යාළු‍වෝ ගැන..මිනිස්සු තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ යාළුවන්ව කැත විදියට පාවිච්චි කරන එක ගැන..එහෙම පාවිච්චි කරලා අවසානයේදී යහළුවන්ව අසරන කරවන එක ගැන.ඒ ඔක්කෝමත් අවසානයේදී තමන්ගේ වරද නොදැක්කා වගේ යාළුවටම බනින එක ගැන...

උඹ හිතයි මූට පිස්සුද යකෝ කියලා මේ දාපු පොඩි කමෙන්ට් එහෙකට පතරංග ජාතක වගේ පෝස්ට් ලියන්නේ උත්තර විදියට කියලා..ඒත් මචං උඹ මට කලේ කියලවත් කරගන්න බැරි උදව්වක්..අද උදේ උඹේ කමෙන්ට් එක දැක්කම මට හිනා ගියා..ඔන්න පොට කියලා..උඹට දැන් හිතා ගත්තෑකි නේද මං උඹේ කොමෙන්ටුවට ආස උනේ ඇයි කියලා... ඔව් මචං කියා ගන්න අමාරු කතාවක් කියා ගන්න උඹ මට පොඩි ඉඩක් හදලා දුන්නා...ඒකට උඹේ නම පාවිච්චි කරන්න උනාට ප්‍රසිද්ධියේම මං උඹෙන් සමාව ඉල්ලනවා..මට සමා වෙයං මචං... මේක උඹට විතරක් දුන්න උත්තරයක් නෙවෙයි මචං..

මේ සයිබර් අවකාශයේදී අපි දැන අඳුරගෙන බොහෝම ටික කලයි..ඒත් ඒ ටික කාලය ඇතුලතදී අපි උඹලා බොහෝම කිට්ටු යාළුවෝ වගේ කතා බහ කරනවා..තමන්ගේ ප්‍රශ්නයක් උනහම ඒක අනිත් උන්ට කියනවා..තරහා ගියහම බනිනවා..තරහා වෙනවා යාළු වෙනවා..ඔය ‍විදියට ගොඩ නැගුන මිත්තරකං ජාලයක් මෙතන තියෙනවා...ඒ යාළු මිත්තරකං අපි සාමාන්‍ය සමාජයේදී පවත්තවපු යාළු මිත්තරකං වගේම තමයි...හොඳම උදාහරණය ඉලංදාරියාගේ අසනීපය...

ඒ වෙලාවේ මෙතන ඉන්න කීදෙනෙක් එකට එකතු උනාද..?මොන මොන විදියේ දේවල් කලාද ඒකව ගොඩ ගන්න...අවසානය මොන විදියකට සිද්ධ උනත්...සයිබර් මිතුරන්ගේ එකමුතුව හරි අපූරුවට පෙන්නුම් කල අවස්ථාවක් ඒක...කී දෙනෙක්නං ඒකෙදි දුවලා පැනලා මහන්සි උනාද..?එහෙ මෙහෙ ගියාද..?එක එක ආකාරයෙන් මුදල් එකතු කලාද..? ඒ වෙනුවෙන් සැලැස්මවල් හැදුවද..?ඒ ගැන මං ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

ඇත්තටම මං දැන් සාමාන්‍ය සමාජයේදී යහළුවෝ ඇසුරු කරනවා අඩු කෙනෙක්...ඒකට හේතු ගොඩක් තියෙනවා..ඒ අතරින් ප්‍රධානම දේ මට හිතට අල්ලන උන් හොයාගන්න අමාරු වීම..අනිත් දේ තමා මං අනිත් උන්ට හිතට අල්ලන චරිතයක් නොවීම... ඔය වගේ කාරනා රාශියක් හින්දා මං ටිකක් වෙනම පැත්තක් අල්ලං ඉන්නේ.. එහෙම ඉන්න මං වගේ එහෙකුට මේ සයිබර් මිත්තරකං හරි තදින් දැනෙනවා.. මං ඒක අඬ අඬ මෙතන කියන්න නොගියට.. අනිත් උන් එක්ක කතා කරද්දී ඒක වචනෙන් පෙන්නුම් කරන්න නොගියට අද මේ වෙනකොට මට යාළුවෝ කියලා ජාතියක් ඉන්නේ මෙතන විතරයි.

එතනදීත් මං එකට කෑව බීව.. කතා බහ කල.. ගමන් බිමන් ගිය අය.. නිතර දුරකථනයෙන් අමතන අය.. දුක සැප හොයා බලන අය ආදී වශයෙන් තරමක් ලගින් ආස්සරේ කරන කොටසක් ඉන්නවා.එහෙම අය වෙනුවෙන් උදව්වක් කරන්න..ඒ අයගේ වැඩකට පලකට උදව් වෙන්න මං පස්ස ගහන්නේ නැහැ.. දුකකදී කතා බහ කරලා වචනයකින් හරි හිත හදන්න.. සතුටකදී හදවතින්ම සුභ පතලා හිනා වෙන්න..මං කැමතියි. මචං යාළුකං වලට පැහැදිලි කිරීම් නැහැ.. ඒකත් අර මොකක්ද වගේ සීමාවක් නැති දෙයක්... අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් සමහර අයව අතේ දුරින් තියා ගන්න හැදුවත් සමහර අයව අපි අපේ ළගට ගන්නවා..ඒ විශ්වාසය කියන පදනම උඩ...

හිතලා බලහං මචං ඒ විශ්වාසය උඩයි අපි ආස්සරේ කරන්නේ.. කතා බහ කරන්නේ.. අපේ දේවල් බෙදා හදා ගන්නේ.. පාලිතත් හිටියේ එහෙමම තමයි මචං.. (උඹ හිතුවද දන්නේ නැහැ මට දැන් පාලිතව අමතක වෙලා කියලා.. එහෙම නැහැ මචං ඌ සීන් එකේ ඉන්නවා අන්තිම වෙනකල්ම..)

හිතලා බලහංකෝ මචං එහෙම එකට හිටිය යාළුවෙක් අර වගේ පොල්ලක් තිබ්බම දැනෙන වේදනාව.. කලකිරීම... එපා වෙනවා නේද මචං යාළුවෝ ආස්සරේ කිරිල්ල.. එහෙම උනහම අපිට හිතෙන්නේ නැද්ද බං ඌ අපිත් එක්ක සෙල්ලම් කරන්න ඇවිත් තියෙන්නේ..එතකොට අවුරුදු උත්සව තියන්න ලෑස්ති උනේ අපිට කෙලින්නමයි කියලා... එහෙමත් නැත්තං ඌ උගේ උවමනාවන් වෙනුවෙන් අපිව පාවිච්චි කලා කියලා.. කොටින්ම කිව්වොත් ඌ අපිව කඩේ ඇරියා කියලා හිතෙනකොට මචං අපට දුකක් හිතෙන්නේ නැද්ද..? ඌට අඩුම ගානේ එහෙම හිතලවත් අපිට ඇත්ත කියන්න බැරිද මචං...

එහෙම දෙයක් අපිට කියන්න බැරි තරං ඔළුව ඉදිමිලානං අපි ඌට බැන්නත් අවුලක් නැහැ නේද බං.. එහෙම නැත්තං හිතා මතාම ඌ අපිව කඩේ ඇරියනං අපි නොබැන කොහොමද බං..

උඹට සමහර විට හිතාගන්න අමාරු වෙයි ඒක කොයි වගේද කියලා..ඒ හින්දා හිතහංකෝ මෙහෙම...

අපි මෙතන සයිබරයේ යාළුවෝ හදාගෙන ඉන්නවා..අපේ දුකක් කරදරයක් උනහම අපි අපේ යාළුවන්ට කියනවා... වෙන කතා ඕන නැහැ බං මාත් ජීවිතේ පළමු වතාවට ණයක් ගත්තේ මේ සයිබර් යාළුවෙකුගෙන්.. උඹ දන්නවා ඇති‍නේ අර මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා..ඇත්තටම ඒක පටන් ගන්න වෙලාවේ මං හිතුවට වඩා ගානක් යට කරන්න උනා.. ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ.. ලැබෙන පඩියෙන් කාලා බීලා අඩියක් ගහලා රස්තියාදුවක් දාලා ඉන්න මං මහ ගාණනක් ඉතිරි කරපු එ‍කෙක් නෙවෙයි කියලා..

ඉතිං ඒ වැඩේට අත ගහද්දී මට පොඩි හිරවෙන ගතියක් ආවා..ඇත්තටම අතේ කීයක්වත් ඉතිරියට නැති වෙන මට්ටමක්.. මගේ වැඩෙට සල්ලි ඇති.. ඒත් හදිසියකදිවත් වැඩිපුර කීයක්වත් අතේ නැති උනා.. ඒ පාර මං කල්පනා කලා මේ වැඩේ අත අරිනවද නැද්ද කියලා.. ඒත් වැඩේ කරන්න තියෙන ආසාව වැඩි හින්දම මං තීරනය කලා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න... මට මතක් උනේ එකම එකාවයි..මොකද මනුස්සයෙක් හැටියට බය නැතිව ආස්සරේ කරන්න පුළුවන් කියලා හිතට තේරෙන..පපුවට දැනෙන උන් අඩු උනත් එහෙම උන් ඉඳ හිට අපට හම්බ වෙනවා.. එහෙම එකෙක් මාත් දැන හඳුනන් උන්නා.. අවසානයේදී මං ඒකට පණිවිඩයක් තිබ්බා..

ආයේ මගේ උවමනාව කියන්න විතරයි මට ඕන උනේ හැරෙන තැපෑලට ඇහැවුවේ ඕන කීයක්ද කියලා විතරයි.. මං ඉල්ලුවේ රුපියල් විසිදාහක්... අද කාලේ හැටියට මහ ලොකු ගානක් නොවුනත්.. මට ඒක ලොකු මුදලක්.. ඒ වගේම තමන්ගේ දරුවන් වෙනුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බ කරපු සල්ලි.. දහඩිය මහන්සියෙන් සාධාරණව හම්බ කරන සල්ලි.. එහෙම මිනිහෙකුට තමන් හම්බ කරන හැම සතේම වටිනවා..

පහුවදා වෙනකොටම මට ඉල්ලුව දේ ලැබුනා..ආයේ ඒ ගැන කතා කලේවත් මට උදව් කල කෙනානං නෙවෙයි.. ඇත්තටම ආපහු වෙන විදියක්වත් අපි කතා උනේ නැහැ.. කොහොම නමුත් මගේ බිස්නස් එක සාමාන්‍ය මට්ටමෙන් ගොඩ ගිය හින්දා මාස දෙකක් යනකොට මට ඕන උනේ අර ගත්ත දේ ආපහු දෙන්න.. ඒත් ප්‍රශ්නේ ඇති උනේ එතනදී...

සල්ලි දුන්න හාදයා දැන් ඒක ගන්න අදි මදි කරන එක..මක් කරලවත් ඒකා මට උගේ බැංකු ගිනුම් අංකයක් දෙන්නේ නැහැ.. අන්තිමේදී ණය දීපු එකා නෙවෙයි ණය ගත්තු එකා වෙච්ච මටයි සිද්ධ උනේ අරකට බනින්න.. බැනලා..අඩලා..රටේ තියෙන කතා කිව්වට පස්සේ ඒක කොටස් දහයකට මාසේ ගානේ දීපං කියලා තව කොන්දේසියක්... හා හා එහෙම හරි කමක් නැහැ දියං කිව්වත් ඌ නෙවෙයි මේ වෙනකල් මට බැංකු ගිණුම් අංකයක් දුන්නේ... අවසානේදී තාමත් ඒ මුදල මා ගාව..අවසානයේදී අපි අළුත් ගිවිසුමක් ගැහැවුවා.. වෙන මොනවා හරි දේකට ඒකා වෙනුවෙන් වියදම් කරන්න අවස්ථාවක් ආවොත් උන්දැ කියන විදියට මං ඒක වියදං කරන්නයි ඒන..එහෙම හරි කමක් නැහැ කියලා මට දැන් වෙලා තියෙන්නේ ඒ මුදලත් තියං බලං ඉන්න...

ඔන්න බලහං මචං මිනිස්සු... එහෙම යාළුවෝ ටිකක් ඇති වෙච්ච තැන උඹ හිතනවද යාළුවෙක් තවත් යාළුවෙකුට පොල්ලක් ති‍යන එක සාධාරණයි කියලා මොන වගේ තත්වයක් යටතේදී උනත්... වැරදිලාවත් මගේ බිස්නස් එක කොට උඩ ගිහින් මට අර ණය ගෙවා ගන්න බැරි තත්වයක් ඇවිල්ලා.. මං අර මනුස්සයට මුහුණ නොදී.. කතා නොකර මාරු වෙනවනං මට හෙන ගහයි නේද මචං... අඩුම ගානේ ඌට කති කරලා "මචං මං පොඩ්ඩක් හිර උනා.. ඇත්තටම මට දැන්ම ඒ මුදල දෙන්න විදියක් නැහැ.. මං උඹට අහවල් කාලේ වෙනකොට දෙන්නං" කියන වචන ටික කියන එක අමාරුද බං.. මටනං නැහැ...

මිනිස්සු උනහම ප්‍රශ්න එනවා..කරදර එනවා..සමහර ඒවා නොවැලැක්විය හැකි ඒවා..සමහර ඒවා අපි විහින් හදාගන්න ඒවා.. අපේ වැරදි තීරණ.. වැරදි පුරුදු.. ලොකු ආසාවල් හින්දා කරන්න යන දේවල් හරහා අපට වරදින්න පුළුවන්.. එහෙම වැරදුනාම ඒකට පලි අර මට ණය දුන්න එකාද බං.. ඇයි මට හිතන්න බැරි ඌ ම‍ට සල්ලි ටික දුන්නේ තියෙන කමකට නෙවෙයි.. යාළුවෙකුට උදව් නොකර මඟ අරින එක මනුස්ස කමක් නොවෙන හින්දා කියලා.. අනික මං දන්නවද බං ඒ මට දුන්නේ ලබන මාසේ ගෙදර වියදමද..? පොඩි උන්ට බේත් ගන්න.. ගෙවල් කුලී ගෙවන්න.. අම්මට තාත්තට බෙහෙත් ටික ගන්න.. දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවන්න.. උන් මාසේ කන්න තියෙන සල්ලිද කියලා.. එහෙම තියෙද්දී මට පුළුවන්ද බං ඒ සල්ලි අරගෙන දන්නේ නැහැ වගේ ඉන්න...

මචං මං තනිකඩයා..සමහරු හිතන තරං මේ තනිකඩ ජීවිතේ වියදං අඩු නැහැ.. හරියට වියදං.. මං දන්නවා අපේ සමහර නෑදෑයොත් හිතන්නේ අරූ තනිකඩයා.. ඌට මොන වියදංද.. අපිටනේ වියදං තියෙන්නේ.. ඒ හින්දා ඌ උගේ ලග තියෙන සල්ලි අපි ඉල්ලුවහම අපිට දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.. අපි වෙනුවෙන් වැඩ පල කරලා දෙන්න ඌට පුළුවන් වෙන්න ඒන කියලා... ඒත් මං දන්නවා මේ ජීවිතේ ඇති වියදම කොහොමද කියලා.. මට තියෙන වැඩ කොච්චරද කියලා...

එහෙම මං ගැන දන්න මං අනිත් මිනිහා ගැන හිතන්න ඕන නේද මචං.. අනිත් උන්ටත් ප්‍රශ්න තියෙනවා... දරුවෝ ඉන්නවා.. ඒ නැතත් මට මේ දුන්න සල්ලි ටික මොනවා හරි දේකට තියං හිටිය සල්ලි නේද..? මං ඒක ඌට දෙන්න ඕන නේද ඌ ඉල්ලනකල් නොහිට.. ඌ සල්ලි දුන්නේ මගේ උවමනාවට මං ඉල්ලලනං මගේ යුතුකමක් නේද ඌ මාව හොයන්න එනකල් නොහිට ඌව රස්තියාදු නොකර උට මේ ටික ගිහින් දෙන්න ඕන නේද කියලා.. නැත්තං ඒකා සල්ලි නැතිව එක වේලක් බඩගින්නේ හිටියොත්.. ගෙවල් කුලී ගෙවාගන්න බැරි උනොත්... බයික් එකට තෙල් ටික ගහන්න සල්ලි නැතිව බස් එකේ යන්න උනොත්.. ගෙදර ළමයට කිරි පිටි එක වැරදුනොත්.. උන් එක වේලක් හරි බඩගින්නේ හිටියොත්..

හිතලා බලහං එහෙම උනොත් මං කාලා ඇති වැඩක් තියේද බං.. මගේ ගෙදර උන්.. ගෑනූ දරුවෝ.. අම්මා තාත්තාට මං කවන්නේ තව එහෙකුට ගින්දර දීලා නේද කියලා හිතුනොත් උඹ හිතනවද මචං ඒ කන එක බත් කටක්වත් අපේ ගෙදර උන්ට.. මට යාදෙයිද කියලා... මට සාප වෙයි නේද මචං...

අඩුම ගානේ මට පුළුවන් වෙන්න ඕන නේද ඌට කතා කරලා කියන්න..මචං මට ඇත්තටම අහවල් වෙලාවට දෙන්න බැරි වෙන හැඩයි... මං කොහොම හරි අහවල් දවස වෙනකොටවත් දෙන්න බලන්නං මචං කියලවත්..එහෙම උනොත් අඩුම ගානේ අර අනිත් එකා ඒ වෙනකල් වෙන කාගෙන් හරි කීයක් හරි ඉල්ලගනී..වෙන මොකක් හරි අතක් බලා ගනී නේද මචං..අර සල්ලි ටික හම්බ වෙනකල් බලං නොහිට...

එහෙම නැතිව මචං මං කරන්න ඕන "ආ හරි හරි මචං.. මේ දෙනවා.. දැන් බැංකුවට දානවා.. දවල්ට චෙක් එකක් ලැබෙනවා.. හෙට උදේට සල්ලි ෂුවර්.. අහවල් තැනට වරෙං මං එනවා.. වගේ බොරු කියලා අර අනිත් එකාව රස්තියාදු කරන එකද මචං.. මට හෙන ගහයි නේද බං එහෙම කලොත්...

ඇත්ත කියන්න කොන්ද පණ නැති කම හින්දා හරි මගේ තියෙන කුහක කම හින්දා හරි... ආත්මාර්ථකාමී කම හින්දා හරි.. එහෙමත් නැත්තං මං ගොඩ නගාගෙන ඉන්න බොරු ආටෝපේ ගැලවිලා වැටෙයි කියලා හරි හිතලා මං ඇත්ත නොකියා අර මට නැති බැරි වෙලාවේ උදව් කරපු එකාව රස්තියාදු කරනවනං.. ඌව අන්දනවනං උම හිතන්නේ මට බල්ලෙක් කියලවත් කියන්න පුළුවන් තත්වෙක මං ඉන්නවද මචං...

මං ඔය කිව්වේ මචං මට මගේ සයිබර් යාළුවන්ව වටින හැටි.. මට නොවුනත් මගේ යාළුවෙකුට හරි කවුරු හරි එහෙම කරද්දි මට ඉවසන්න පුළුවන්ද මචං..? අපි ඔක්කෝම එකා වගේ ඉද්දි ඒ අතරින් එකෙක් යාළුකම උගසට තියලා මගේම යාළුවන්ව.. මාව රවටනවනං මට ඉවසන්න පුළුවන්ද මචං.. අඩුම ගානේ එකෙකුට හරි කියන්න ඕන නේද ඇත්ත තත්වේ.. එහෙම නැතිව එක බොරුවක් වහගන්න තව බොරු දාහක් කියනවනං.. ණය කාරයන්ව මග අරිනවනං.. ණය ඉල්ලුවහම බණිනවනං.. ණය දුන්න එකාටම අපහාස කරනවනං.. උඹ හිතන්නේ මොකක්ද මචං එතන තියෙන සාධාරනේ...

එහෙම එකෙක් ආස්සරේ කරනවට වඩා හොදයි නේද මචං අත ඇරලා දානවා... ඕකයි මචං තත්වේ.. ඇත්තටම දුකයි අපි යාළුවෝ කියලා හිතන උන් අපිට එහෙම කරනවනං.. අපේ අනිත් උන්ට එහෙම කරනවනං.. අනිත් උන් සද්ද නැතිව කට වහගෙන යාළුකම වෙනුවෙන් ඉවසන එක දුර්වල කමක් කියලා හිතලා තව තවත් ඒ වැරැද්දම කරනවනං සමාවක් දෙන්න පුවවන්ද මචං.. උඹ මට කියන්නේ ඒකගේ පැත්තෙන් බලලා ලියන්නද..? මං කොහොමද මචං එහෙම කරන්නේ..?

අපේ යාළුකම කියන්නේ කාටවත් අපිව පාවිච්චි කරන්න දුන්න ලැයිසමක්ද මචං..? හිතලා බලහං උඹ මොනවා හරි කාරනයක් සම්බන්ධව උඹේ බ්ලොග් එකේ ලිපියක් දානවා..එකෙන් අපි හිතමු වෙන කෙනෙක් ගැන මොනවා හරි වැදගත් දෙයක් කිව්වා කියලා... ඊට පස්සේ උඹ හිතන්නේ ඒ ලිපියෙන් කිය වෙච්ච කෙනා ගාවට මං ගිහිල්ලා පොර ටෝක් දෙන්න හදන එක හරිද.. "මං කියලා තමයි අරූ ඕක ලිව්වේ කියලා..?" එහෙම කතාවක් මං කිව්වනං උඹට කේන්ති යන්නේ නැද්ද මචං..උඹ ලියන්නයි මං පැනලා දීලා ලකුනු දාගන්නයි යනවනං.. හිනා යනවා නේද බං.. මං කොච්චර බොළඳ එකෙක්ද කියලා උඹ හිතන්නේ නැද්ද බං.. එහෙම එකෙක් හැටියට උඹ කැමතිද මචං තව දුරටත් යාළුවෙක් හැටියට මාව ආස්සරේ කරන්න..?

මං මේ කිව්වේ මචං යාළුකං කියන්නේ මොනවගේද කියලා කියන්න.. මිනිහෙකුගේ අසරන කමක් කියන්නේ එකක් මචං.. කුහකමක කියන්නේ වෙන එකක්. හොඳ යාළුවෙක්නං අසරන කමකදී ඒක කියන්න බය වෙන්න ඕනද.. එහෙම නොකියා ඉන්න එක හරහා අනිත් කෙනා පත්වෙන අසරණකම එක්ක ගත්තම අර වැරැද්ද කල කෙනාට විරුද්ධව වචනයක් හරි ලියන එක වරදක්ද මචං.. දැන් මං ලියන්න ඕන පාලිතගේ පැත්තෙන්ද මචං.. මං මොනවද බං ලියන්නේ තවත්..? මාව රවට්ටන.. මගේ යාළුවෝ රවට්ටන.. අපිව කඩේ යවන පාලිත වෙනුවෙන් මං ලියන්න ඕනද බං...

මට පුළුවන් එක දෙයයි මචං.. ඒ තමා පාලිත ගැන ලියන එක.. ඒකෙන් අඩුම ගානේ පාලිත ගැන මිනිස්සු දැන ගනී.. පාලිතට අහු නොවී ඉඳි..මෙච්චර කාලයක් පාලිතගේ ලණු කාලා සද්ද නැතිව ඉන්න..තමන්ට විතරයි පාලිත එහෙම කලේ කියලා හිතාගෙන හැංගිලා ඉන්න එක මිනිස්සු නවත්තයි..එහෙම නැත්තං මට පුළුවන් පාලිත ගැන නොලියා ඉන්න... ඒත් මචං මට බැහැ පාලිතගේ පැත්තෙන් ලියන්න..

මං එහෙම ලියනවා මගේ හිතට එකඟව මෙතනදී පාලිත වැරදි නැහැ කියලා හිතන්න එකම එක හේතුවක්වත් තිබුනනං..අඩුම ගානේ පාලිත අපිට ඇත්තම කතාව කිව්වනං... එහෙම නැතිව මං කොහොමද බං පාලිත ගැන ලියන්නේ... මං බුදු වෙලා නැහැනේ මචං...

ඉතිං මචං ඔහොමයි ජීවිතේ.. එහොමයි මිනිස්සු... පාලිත මට මං පුංචි කාලෙම ලොකු පාඩමක් ඉගැන්නුවා මචං.. දැන් ඒ පාඩමම මං ඒක අහන්න කැමති අයට කියා දෙනවා මචං... ඒකෙදී උඹව මං පාවිච්චි කලා කියලා හිතනවනං උඹ මට දහස්වාරයක් සමා වෙයං මචං.. ඒත් ඒ දේ කලේ මගේ වාසියකට නෙවෙයි මචං අපි කාගෙත් යහපත උදෙසා මචං..

ඒ වගේම පාලිත ගැන කතාව කියද්දී ඒකට දේශපාලනේ ඇදලා ගන්න දඟලන අය සමහර විට මේ පාලිතලා ගැන නොදැන වෙන්න ඇති එහෙම කලේ.. එහෙම නැත්තං තමනුත් මේ වෙනකොට පාලිතගේ ගොදුරක් වෙලාද කියලා හරියටම නොදැන වෙන්න ඇති මේක කරන්න ඇත්තේ.. ඒකට කමක් නැහැ බං.. සමහර විට හෙට උදේ වෙනකොට පාලිත හොඳ වෙලා මං නරක් වෙන්නත් පුළුවන්..ඒක තමයි මචං මේ ලෝකේ හැටි..ඒත් එහෙමයි කියලා මං කට වහගෙන ඉන්න එක මගේ හිතට හරි නැහැ මචං.. ඒ හින්දා මේක මෙහෙමවත් උඹලගේ දැන ගැනීමට ලියන්න හිතුවේ.. ඉතිං උඹ ආයේ මට කියන්න එපා මචං පාලිතගේ පැත්තෙන් ලියන්න කියලා.. ඒක මට අයිති වැඩක් නෙවෙයි...

එහෙනං මචං දැනට මං නවතින්නං.. ආයෙමත් වතාවක් සමා වෙයං උඹව මේකට ඇදලා ගත්තට..

මෙයට හිතවත්
-මාරයා-

17 August 2011

ජීවිතයට පාඩමක් ඉගැන්වූ අයෙක්...අතීතයෙන් තව පිටුවක්...

ඒ එක්දහස් නවසිය අනූවත් අනූපහත් අතර කාලයයි..මට මේ වන විට ඒ කුමන වර්ෂයදැයි නිශ්චිතව කීමට නොහැක..සිදුවීම් පෙල මිසක් කාලය හරි හැටිම මතකයේ නැතත් මා සිතනා අන්දමට ඒ වන විට වයස 12-13ත් අතර යැයි සිතමි..එසේ වූවහොත් එය 1991 හෝ 1992 වසර විය හැක...

අප කුඩා උන් වීමු... කුඩා වයසට හිමි දැඟළිල්ල.. කුතුහලය.. සෙල්ලක්කාර ස්වභාවය අඩු නැතිවම තිබූ අවදියයි...

මාගේ ගේ පිහිටා තිබුනේ බොහෝම නිසංසල පරිසරයක විය...ගෙට පිටුපස පැත්තෙන් එනම් සම්මත දකුනු දිශාවෙන් නැවත ගෙයක් සෙවීමටනම් මීටර් හත් අට සීයයකටත් එහා දුරක් යා යුතු විය...

ගේ ඉදිරිපසින් පිහිටි වෙද බාප්පාගේ නිවසටත් මීටර් තුන්සීයක පමණ දුරක් තිබුණී...ගෙයින් බටහිර පැත්තේ පිහිටි මහප්පලාගේ නිවසට මීටර් දෙසීයක් පමණ විය..එසේම නැගනහිර දෙසට වූ බෑවුම මීටර් සීයයක් පමණ වූ අතර එයින් අනතුරුව තිබුනේ පළලින් මීටර් සියයක් එකසිය විස්සක් පමණ වූ වෙල් යායයි..වෙල් යායට එපිටින් නැවතත් නැගෙනහිර දෙසට කන්දක් පිහිටා ඇති අතර එයත් මීටර් සීයයකට පමණ වූ අතර එය අවසානයේ තාර දැමු මහ පාර පිහිටා තිබුණි...

මේ ආකාරයෙන් කෙසේ බැළුවත් ගෙයට කිට්ටුවෙන් නිවසක් පිහිටා තිබුනේ නැත.

අපගේ ගේ මුහුණලා තිබුනේ උතුරු දිශාවට වූ අතර නිවස ඉදිරියෙන් වැටී තිබුනේ ගම් සබා පාරයි...ප්‍රධාන මාවතේ සිට අපගේ ගේ ඉදිරිපිටින් දිවෙන බොරළු පාර ගෙට සමන්තරවම වැටී තිබූ අතර එයින් එහා පැත්තේ වූයේ පටු ඉඩම් කට්ටියකි.

එම ඉඩම දිගින් මීටර් දෙසීයක් පමණ වූ අතර වැඩිම පළල් හරිය වූ ඉඩමේ පහළ කොටස මීටර් තිහක් තිස් පහක් පමණ විය...එය උඩහට වන්නට බොහෝ සෙයින් සිහින් විය...මෙම ඉඩමත් තවත් අවට තිබූ පාළු ඉඩම් කිහිපයක්ම අයත්ව තිබුනේ අපේ නිවෙස්වලට තරමක් දුරින් ජීවත් වූ පවුලකටය...

ඔවුන් මෙම ඉඩම් වලින් පල නොලැබූ අතර එම ඉඩම් වල හරි හමන් ආකාරයකින් වැටවල්ද නොවිණී..තැනින් තැන තිබූ පැරණි වී ගිය ලී කොටන් හා මල කා කළුව ගිය කටු කම්බි පොටවල් පැරණි වැටක සලකුණු කියා පෑවද මා කුඩා කල වන විට තැනින් තැන විනා එක දිගට එම වැට නොතිබුණි...

පටු ඉඩම් තීරයක් වූ ඉඩම පුරා පොල් ගස් සෑහෙන ප්‍රමාණයක් වූ අතර ඒවා කිසි කලෙකවත් පොහොර මිටකින් සංග්‍රහ නොලැබූ ඒවා වීම කරන කොටගෙන පලදාවත් බොහෝ දුප්පත් විය.

මෙම කණාටු පොල් ගස් මැද අප බාල කල ක්‍රිඩා පිටිය තැනී තිබිණි...

අහල පහල කොළු කුරුට්ටන් හත් අට දෙනෙකු එකතුව මාත් මල්ලීත් මෙහි ක්‍රිකට් ගැසීමට පටන් ගත්තේ මෙම සිදුවීම සිදුවන්නට වසර දෙකකට පමණ කල් සිටය...

පාසල් කාලයට සවස තුන හතර වන විට පටන් ගන්නා සෙල්ලම.. අඳුරෙහි ගිලී බෝලය සොයා ගැන්මට නොහැකි වන තුරුම පැවතුනු අතර...

නිවාඩු දිනක නම් උදෑසන හත වන විට ආරම්භ කෙරී දවස නිමා වන තෙක්ම පවතී..වරින් වර එකා දෙන්නා පිටත්ව ගොස් කෑම කා එන අතර..කිසිදු හේතුවක් නිසාවත් අතර මගදී ක්‍රීඩාව නවතින්නේ නැත.එසේ නැවතුනානම් ඒ අධික වර්ෂාවකටම පමණී...වර්ෂාව අධික වීමත් සමගම සියල්ලන්ම ගොස් පහල වූ අම්බලම ළිඳට පැන සිත් සේ නෑවෙමු...

මේ ලෙසින් කාලය ගත වද්දී එක් වසරක අළුත් අවුරුදු කාලය ළගා විණී...

අවුරුදු කාලය කිට්ටුවත්ම එතෙක් අප සමඟ ක්‍රීඩා කිරීමට නොපැමිණෙන චරිතයක් අප හා එක් විය...හේ නමින් පාලිත යැයි අප හඳුන්වමු...

පාලිත යනු ගමේ සිටි බොහෝම දුප්පත් පවුලක දරුවෙකු වූ අතර ඔහුගේ පියා දිවිරැක ගත්තේ එදිනෙදා ලැබෙන කුලී වැඩ කිරීමෙනි...ඔවුන්ගේ නිවස පිහිටා තිබූ ඉඩමටම යාබදව තිබූ අක්කර ගාණක පොල් ඉඩමක් වූ අතර දවස් තුන්සිය හැට පස් දවසෙන් වැඩි දවසක්ම එහි මොනවා හෝ කුලියක් තිබිණි..ඊට අමතරව වරින් වර හොර මත් පැන්(වැටේ සුදා) අලවි කිරීමද ජීවනෝපාය මාර්ගයක් විය...

දරුවන් හතර පස් දෙනෙකුම වූ පවුලේ බාලයා පාලිත විය..හෙතෙම මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් අයකු විය...මා සිතන්නේ අප අතර වයස් පරතරය වසර 5ක් පමණ වන්නට ඇත කියාය...

කෙසේ වූවද ඉගෙනීමට තරමක් දක්ෂතා තිබූ මොහු ආස්සරයට හොඳ අයකු සේ හඳුනාගෙන තිබූ බැවින් ඔහුගේ මේ හදිසි ආගමනය අප හට එතරම් ගැටළුවක් වූයේ නැත...ආස්සරයට හොඳ යැයි කියූවේ ඔහුගේ තිබූ වෙනත් ගුණයක් නිසා නොව..අපත් සමඟින් හොදට පෑහෙන්නට හා පිස්සු කෙලින්නට ඔහු හට හොඳින් හැකි විය..

ඒ හැර කිව හැකි යහපත් ගතියක් නම් ඔහු තුල නොවූ බව අද ඔහු පිළීබඳව කල්පනා කරන මා හට වැටහේ...මා ජීවිතේ එක්ම එක් වතාවක් පන්ස‍ලකින් බුද්ධ පූජාව හොරෙන් කන්නට යෙදුනේද මොහුගේ මග පෙන්වීමකිනි.

ඒ අප සියළු දෙනාම ගමේ තිබූ දානයකදී බුද්ධ පූජාව රැගෙන පන්සලට ගිය අවස්ථාවකදීය...වැඩිහිටි පිරිස බුද්ධ පූජාව තබා ආවාසයට ගිය අතරේ අප දෙතුන් දෙනෙකු කැඳවාගෙන බුදු ගෙට ගොස් බුද්ධ පූජාවට තබා තිබූ දේ අතුරින් හොඳ හොඳ දෑ රැගෙන කමින් අපටද ඒවා බෙදා දුන් අතර..රසවත් දෙයට ඇති පොඩි උන් තුල ඇති ආශාව විසින් පව් වැඩ ගැන වැඩිහිටියන් දී තිබූ අවවාද යටපත් විණී...

කෙසේ හෝ අප සමඟ ක්‍රිඩා කරන්නට ආ පාලිත වෙනසක් නැතිවම අපත් සමඟ සිටිනා අතර වාරයේ අපත් සමඟම සිටි තවත් වැඩිහිටි කොල්ලකු වූ ජිනසිරි නම් වූ මෙතෙක් නොකියූ ඉදිරියේදී ලියවෙන්නට ඉඩ ඇති සුවිශේෂී කතා රැසකම කතානායකයා විසින් අළුත් යෝජනාවක් කරන්නට යෙදුණි...

"අවුරුදු උත්සවයක්"
ඔව්... අපිත් අවුරුදු උත්සවයක් තියමු යන්නයි.

මේ වන විට ගමේ වාර්ෂිකව පැවැත්වෙන මහා පරිමාණ අවුරුදු උත්සවයක් තිබූ අතර එයට අමතර තැනින් තැන පැවති කුඩා අවුරුදු උත්සවද අළුත් අවුරුදු සමයට අඩුවක් නැතිවම තිබුණි...

මොනවා හෝ අළුත් දෙයක් කරන්නට ඇති අප තුල ඇති ආසාව නිසා කියන්නටත් කලින් යෝජනා ස්ථීර වූ අතර අප සියළු දෙනාම ඒ සඳහා සංවිධානය වන්නට විය...

අප අතර සිටි වැඩිහිටියා ජිනසිරි වූවද ඔහු එතරම්ම ලොකු වැඩකට උරදිය හැකි අන්දමේ අයෙකු නොවූ මුත් ඕනෑම දේකට මැරෙන්නට හෝ ඉදිරිපත් වන අයෙකි.අප කුඩා උන් වීමු..එහෙත් යමක් කමක් කරන්නට හැකි විය..එහෙයින් ජිනසිරිත් පාලිතත් හට මෙහි ප්‍රධානත්වය හිමි වූ අතර අපත් අපගේ මට්ටමට සෑහෙන තනතුරු වලට පත් විය... අවසානයේ අප අතරින් සංවිධායක මණ්ඩලයක් පිහිටුවා ගත් අතර එහි භාණ්ඩාගාරික ධූරය පාලිත හට හිමි විය...

මෙම අවුරුදු උත්සවයට ආධාර එක්කාසු කිරීම පොඩි උන් වූ අප විසින් ඉතා කැමැත්තෙන් කල අතර පාලිත විසින් ආධාර පත්‍රයක් ලියා දී තිබූනි. රුපියල් පහ දහය ආදී වශයෙන් ලැබුන ආධාර අතරට ඉඳ හිට සීයයක් දෙසීයක්ද ලියවෙන්නට විය...කෙසේ හෝ අවසානයේ රුපියල් පන්දහසකට ආසන්න මුදලක් රැස් වූ බව මතකයේ ඇත.

තරඟයේ ජයග්‍රාහකයින්ට තෑගි ගෙන ඒම ජිනසිරි හා පාලිත අතින් සිදු විය... අප කලේ ඉඩම සුද්ද පවිත්‍ර කිරීම පුවක් ගස් කපා සුද්ද කර ග්‍රීස් ගෑම ආදී අවශ්‍ය දේ සූදානම් කිරීමය...ස්ටේජ් සඳහා හට් මඩු ආදිය කුලියට ගැනීම..ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට ගැනීම ආදී සෑම දෙයක්ම කෙරුනේ පාලිතගේ හිතේ ආකාරයට වූ අතර අපට ඒවා සම්බන්ධව ඒ තරම්ම දැනුමක් හෝ අවබෝධයක් නොවූ නිසා ඕන දෙයක් පාලිතට කරගන්නට හැර අපේ කොටස කරන්නට මහන්සි ගත්තෙමු...

අවසානයේදී අවුරුදු උත්සවය පැවත්විණී...ගෙවල් අහල පහල සෑහෙන පිරිසක් ඊට සහභාගී වූ අතර පාලිත විසින් ජයග්‍රාහකයින්ට බෙදා දීම සඳහා සහතික පත් වගයක්ද මුද්‍රණය කොට තිබුණි...තෑගි සඳහා වැඩි වශයෙන්ම තිබුනේ ප්ලාස්ටික් බඳුන් හා පොත් පත්ය...

තරඟවලට ඉදිරිපත් වන අයට රුපියලක ටිකට්පතක් නිකුත් කල අතර ආරාධිත අමුත්තන් අතින්ද මුදල් ලැබිණී...

කෙසේ හෝ අවසානයේ කිසිත් අඩුවක් නැතිවම අවුරුදු උත්සවය නිමාවට පත් විණී...ජයග්‍රාහකයින්ට තෑගි හා සහතික ප්‍රධානය කොට ඉඩමද අස්පස් කොට අවසන් වී ආදායම් වියදම් බලනා තැනට එළඹිණී...

පාලිත විසින් කොටු රූල් කොල කිහිපයක ලියූ ගණන් හිලව් වගයක් ඉදිරිපත් කෙරිණී.හොඳින්ම පැහැදිලි නැතත් එහි ආදායම් වියදම් වගන්ති ආකාරයෙන් ලියා තිබූ අතර මා හා තවත් කිහිප දෙනෙක් ඒවා වෙන වෙනම එකතු කර බලන ලදි.

අවුරුදු උත්සවයෙන් සියළුම කටයුතු අවසානයේදී රුපියල් එක්දහස් පන්සීයයකට මදක් වැඩි ගණනක් ඉතිරි වී තිබිණී...මගේ මතකයේ හැටියට එය රු.1567/=ක් වැනි මුදලකි.(අයහපත් අත්දැකීම් පිළීබඳ ඇති දැඩි මතකය..)

එම ඉතිරි වූ මුදලට කරනා දෙය ගැටළුවක් විය.දැන් කාලයේ හැටියට මහ ලොකු මුදලක් නොවූවත් ඒ කාලේ හැටියට එය අප වැනි පොඩි උන්ට සුළු මුදලක් නොවීය...එකල පාන් ගෙඩිය රුපියල් 3ක් වත් නැති තරම්ය..ඒ අනුව මුදලේ වටිනාකම ඔබට සිතා ගත හැකි වනු ඇත...

මා හා තව කිහිප දෙනෙකු කියා සිටියේ අපට ක්‍රීඩා කරන්නට ක්‍රීඩා භාණ්ඩ ගැනීමක් හෝ ඉදිරියේදී එන වෙසක් පොහෝ දිනයට එයින් දන්සලක් දෙමු කියාය..එහෙත් පාලිතගේ යෝජනාව වූයේ ලබන වසරෙත් අවුරුදු උත්සවය පවත්වමු යනුවෙනුත් මෙම ඉතිරි මුදල ඒ සඳහා තබා ගමු යනුවෙනුත්ය. එය එතරම්ම නරක යෝජනාවක් නොවූ හෙයින් සියල්ලන්ම පාහේ එයට කැමති වූවත් එය තබන්නේ කවුරුන් භාරයේද යන්න ගැටළුවක් විය.අප කිසිවකුටත් බැංකු ගිණුම් සම්බන්ධව කටයුතු කල හැකි වයසක් නොවූ අතර ජිනසිරිට එම හැකියාව තිබූ නමුත් අවසානයේදී කෙසේ හෝ මුදල පාලිත භාරයේම තබා ගන්නට කතාව සකස් උනි.

ඒ අනුව සියල්ල යහපත් අයුරින් විසඳාගෙන කාර්යය නිමා විය...එහෙත්

එදායින් පසුව අප හා නැවත ක්‍රිඩා කරන්නට ආවේ පාලිත නම් නොවේ...අප කිසිවකු හෝ දුටු විට හෙමින්ම මඟ හැර යන පාලිත ටික කලකදීම අපව නාඳුනන සේ හැසිරුණි...එයින් කාලයකට පසුව අප සමඟ වරින් වර කතා බහ කලද අර අවුරුදු උත්සවයේ මුදල ගැන කතා නොකිරිමට ඔහු වග බලා ගන්නා ලදි.කාලයත් සමඟම එය අපට ටිකෙන් ටික අමතකව ගියෙන් ඒ පිළීබඳව සොයා බැලීමක් එයින් පසුව සිදු වූයේ නැත...

පසු කලෙක පොලිසියට බැඳුන පාලිත මේ වන විට කොහේ රාජකාරි කරන්නේද යන්න මා නොදනිමි. දැන් දශකයකටත් එහා කාලයකින් පාලිත මට හමු වී නැත...එහෙත් එම මතකය මා සතුව ඇත...

එයින් පසුව ගෙවුන ජීවිත කාලයේදී මා විසින් පොදු වැඩ රාශියකට සම්බන්ධව කටයුතු කරන්නට වූ අතර එයින් වැඩි හරියක ප්‍රධානත්වයද දරන්නට සිදු විය.එහෙත් ඒ සෑම කටයුත්තක් ආරම්භ කරනා අවස්තාවකදීම මට සිහියට නැගෙන පළමු දේ නම් මෙම පාලිත හා අවුරුදු උත්සවය සම්බන්ධ පුවතයි. එහෙයින් ඒ සෑම කටයුත්තකදීම විවෘත අයවැය ලේඛනයක් පවත්වාගෙන යාමටත් මුදල් භාවිතය උපරිම විනිවිද පෙනෙනා අයුරකින් සිදු කිරීමටත් කටයුතු කරනා ලදි..විශේෂයෙන්ම පන්සලේ සිටි කාලයේදී ලක්ෂ ගණන් මුදල් අත පත ගෑමටද සිදු විණී... එහෙත් ඒ කිසිම තැනකදී වංචාවක් ගැන කිසිදු චෝදනාවක් ඇසීමට නොවන අන්දමෙන් කටයුතු කරන්නට පාලිතගේ සිදුවීම සෑමදාම මට හේතුවක් වූ බව කිව මනාය...ඒ පාලිත මට දුන් පාඩමය...

_____________________________

මිනිසුන් යනු අරුම පුදුමාකාර සත්ව කොට්ඨාශයකි.කිසි ලෙසකින් තේරුම් ගත නොහැකි සත්ව විශේෂයකි.ඇතැම් විට ඒ සඳහා කාලය යෙදවීමත් නිරර්ථක දෙයක් වීමට ඉඩ ඇත.
සාමාන්‍ය සමාජයේ ජීවත් වන විට අපට නිතරම මේ මනුෂ්‍ය කියන සත්වයින් සමඟ ගැටෙමින් වෙලෙමින් කටයුතු කල යුතුව ති‍බේ.. එහිදී අපගේ හැසීරීම් රටාව හා ගති සිරිත් නිසා අනිකාගේද.. අනිත් අයගේ එවැනිම වූ දේ හරහා අපගේද සිත් රිදෙනා.. බි‍ඳෙනා අවස්ථාවන් අපමණය... සමහර සිදුවීම් අප ජීවිතවලට හොඳ පාඩම් උගන්වනු ලබයි. මිනිසුන් සැක කරමින් ජීවත් වීම වනාහී පුදුමාකාර වෙහෙසක් ගෙන දෙන්නා වූ කටයුත්තකි. එහෙත් මිනිසා විසින්ම මිනිසාව සැක කිරීමට අපව පොළඹවාලයි...

මිනිහෙකුගේ සමාජ තත්වය..අධ්‍යාපනය..ජන්මය.. මේ කිසිවක් මත මිනිසා පිළීබඳව තීරණය කල නොහැකි වීම මත ඹ්නෑම කෙනෙකුට විවිධආකාරයෙන් මේ සමාජය හමුවේ පෙනී සිටිය හැක.. එහෙත් ටික දිනකින්ම පොරවාගෙන සිටිනා නේක වර්ණ සළු පිළි ගිලිහී ගොස් සමාජය හමුවේ නිරුවත් වීමට සෑම කෙනෙකුටම සිදු වෙයි.එදාට අප එතෙක් සඟවාගෙන සිටි කුණු එළියට පැමිණීමත්.. පෙන්වාගෙන සිටි විසිතුරු දසුන් බොඳව යාමත් එකටම සිදු වන කල්හී... තවදුරටත් සමාජයේ රැඳී සිටීමට අපහසු වන බව කිව යුතුද..?

එහෙයින් හැකි සෑම විටම සැබෑ ස්වරූපයෙන් සමාජය හමුවේ පෙනී සිටීම අප කාගේත් සුභ සෙත පිණීස හේතු වන බව මටත් ඔබටත් සිහිපත් කරමු...බොරුවට ආයුෂ අඩුය..වංචාව සෑමදාම සෑම තැනදීම කල හැකි නොවේ...අනුන් රැවටීම යනු දිනෙක තමාව තමා විසින්ම රවටා ගැනීමක් බව අමතක නොකරන තාක් කල් ජීවත් වීම අපහසු නොවේ...