30 September 2011

කේන්දර ගැන ඉදිරියට.. දසා ගෙවෙන හැටි...

ඔන්න මං දැන් පටන් ගන්න යන්නේ කලින් නවතපු තැනින්...

අපි දැන් බලමු ඇයි කේන්දරේ දසා ශේෂය ලියන කොට එක එක ගණන් එන්නේ කියලා...

දැන් මං කලින් ලිපියෙදි කිව්වනේ යම් කිසි දසාවක් තීරණය කරන්නේ එම ජන්මියා උපත ලබන කොට සඳු ගමන් කලේ කුමන නැකතේද කියලා බලලා කියලා... ඒ අනුව අපි හිතමු යම් කිසි කෙනෙක් අද (2011/09/30) දහවල් 12.00ට උපදිනවා කියලා.

එතකොට අපි බලනවා අද සඳු ගමන් කරන්නේ මොන නැකතේද කියලා..
අද උදේ 08.04 ඉදලා හෙට උදේ 05.50 විතර වෙනකල් සඳු ගමන් කරන්නේ විසා නැකතේ.. එතකොට කලින් ලිපියේ දක්වා ඇති ආකාරයට බැළුවම ඔයාලට පේනවා ඇති විසා නැකත අයිති ගුරුට එහෙමත් නැත්තං බ්‍රහස්පතීට කියලා... ඒ කියන්නේ අද දවල් 12 ට උපන් කෙනාට අයිති ගුරුට හිමි විසා නැකත.. පැහැදිලියිනේ...

එතකොට අපි දන්නවා ගුරු වර්ෂ 16ක් දසා කාලය හිමියි කියලා.. එතකොට අපි අද දවල් 12ට උපන් කෙනාගේ කේන්දරේ ලියනවද මෙම දරුවාට උපතේ සිට වර්ෂ 16ක් ඉදිරියට ගුරු මහ දශාව පවතී කියලා.. නැහැ..

ඇයි ඒ නැහැයි කියන්නේ..?

ඔන්න අද උදේ 08 04න් පස්සේ විනාඩි දෙක තුනක් ඇතුලත උපන්නනං එයාට 16 අවුරුද්දම වගේ මහ දසාවත් ලැබෙනවා.. ඒත් දවල් දොලහ වෙනකොට නැකත ලබලා පැය කිහිපයක් ගෙවිලනේ... හරියටම බැළුවොත් පැය තුනයි විනාඩි පනස් හයක් වගේ ගෙවිලා...

අපි මෙතනදී කරන්නේ මෙච්චරයි.. දරුවා උපන් නැකතේ සම්පූර්ණ කාලය හොයනවා..ඒක හරි පහසුයි..අද උදේ 08.04 ඉදලා.. හෙට උදේ 05.50 වෙනකල් කාලය නේ.. ඒ කියන්නේ පැය 21 යි විනාඩි 46ක් වගේ කාලයක්.. ඒත් අපි මෙතන විස්තර කිරීමේ පහසුවට සම්පූර්ණ නැකත පැය විසි හතරක් පවතින එකක් කියලා සලකලා කටයුතු කරමු... ඒක ඔයාලට තේරුම් ගන්න පහසුවක් වෙනවා..


එතකොට පැය 24කට අවුරුදු 16ක් නං.. දැන් මේ ළමයා ඉපදුනේ අර පැය 24න් පැය 4ක් ගෙවුනට පස්සෙනං තව ඉතිරි පැය 20යි නේ... පැය 4ක් කියන්නේ 24න් නං හයෙන් එකක්.. ඒකියන්නේ සම්පූර්ණ නැකතෙන් හයෙන් එකක් දැන් ගෙවිලා ඉවරයි..එහෙමනං අපි කරන්නේ අර ගුරුට අයිති අවුරුදු 16ක දසා කාලයෙනුත් හයෙන් එකක් අහක් කරන එකයි.

අවුරුදු 16 බෙදනවා හයෙන් ඒ කියන්නේ අවුරුදු දෙකයි මාස අටක් වගේ කාලයක්...එතකොට අර අවුරුදු 16න් අවුරුදු දෙකයි මාස අටක් අහක් කලාම තව ඉතුරුයි අවුරුදු දහ තුනකුත් මාස හතරක්...

ඒ කියන්නේ මේ අද දවල් දොලහට උපන් දරුවට උපතේ ඉදලා අවුරුදු 13 කුත් මාස 04 ක් ඉදිරියට ගුරු මහ හසාව තියෙනවා.. පැහැදිලිද..? නැත්තං නැවත වතාවක් හිමිහිට කියවලා බලන්න.

දැන් මං ඔය කිව්වේ සරල විදියට ඕක හැදෙන හැටි.. ඒත් නක්ෂත්‍ර ගණිතයේදී ඔයිට වඩා සියුම් විදියට ඔය ගණිතමය කොටස් ටික භාවිත කරලා වැඩේ ගොඩ දාගන්න ඕන..දැන්නං ඕවට වගු චක්‍ර වගේ පහසු කම් වගේම පරිඝණක මෘදුකාංග එහෙමත් ඕන තරං තියෙනවා නෙව.. ඒ හින්දා ඒ හැටි අමාරු නැහැ.. ඒත් නියමිත ක්‍රම වේදය නක්ෂත්‍රය හදාරන අයත් එය පාවිච්චි කරන අයත් ඉගෙන ගන්ට ඕන..

මොකද ඇතැම් වෙලාවල් වලදී අපි ගාව ඔය කිසිම පහසුකමක් නැති වෙන්ට ඇහැකි.. ඒ වෙලාවට අහස බලලා හරි කියන්ට පුරුදු වෙන්ට එපෑ.. ඉස්සර හිටිය උදවිය මේවා කොහොම ගොඩ දාගත්තද කියලා මට කල්පනා වෙන්නේ දැනට අවුරුදු හත අටකට කලින් මං මාස ගානක් නිදි මරාගෙන අහසේ තාරුකා රටා දිහා බලාගෙන ඒවා හඳුන ගන්න දඟලපු කාලේ තමා.. අහස හිතින් කොටස් වලට කඩාගෙන ඒ පැත්ත මේ පැත්ත බල බල කල්පනා කර කර දවල් කියෝපු පොත පතේ සඳහන් කරුණු සිහි කර කර ඔය වැඩේ කරන එක හරි අපූරු වැඩේ... ඒත් පණ යනවා...හරි ඒ කතා පැත්තකට දාමු...

දැන් ඔයාලට තරමක අවබෝධයක් තියෙන්ට ඕන කොහොමද මේ දසා ශේෂය වෙනස් වෙන්නේ කියලා...එතකොට එතැනින් ගත්තාම කරන්ට තියෙන්නේ.. තමා උපන් දසාවේ ශේෂය උපන් දිනයට එකතු කරලා ඒ දසාව අවසන් වෙන දිනය හොයාගෙන.. එම දසාවට පසුව තියෙන දසාවේ අවුරුදු ගාන ගෙඩිය පිටින්ම එකතු කරලා ඊ ලග දසාව සොයා ගැනීම..

ඒක මෙහෙමයි දැන් කලින් කිව්ව විදියටම අද උපන් කෙනාගේ උපතට අර දසා ශේෂය එකතු කරනවා.. ඒ කියන්නේ 2011/09/30ට අවුරුදු 13 යි මාස 04ක් එකතු කලාම එනවා 2025/01/30 කියලා...

එතකොට අපි මේ කතා කලේ ගුරුගෙන් උපන් ළමයෙක් ගැනනේ... ගුරුට පස්සේ තියෙන්නේ සෙනසුරු මහ දසාවේ අවුරුදු 19 ය නෙව..එතකොට 2025/01/30 ඉදලා ඒ ළමයට අවුරුදු 19ක් යනකල්ම තියෙන්නේ සෙනසුරු මහ දසාව... ඊට පස්සේ බුධගේ අවුරුදු 17... පැහැදිලියි නේද හොඳටම..? අපැහැදිලිනං කියන්ට...
.................................

ඔන්න ඔය විදියට මහ දසා ගත වෙද්දී ඒවා ඇතුලේ තවත් බෙදීම් සිද්ධ වෙනවා... ඒ කියන්නේ ගුරුගේ ගුරු අතුරු දසාව.. ගුරුගේ සෙනසුරු අතුරු දසාව.. ගුරුගේ බුධ අතුරු දසාව ආදී වශයෙන් පොඩි පොඩි කොටස්වලට කැඩෙනවා.. ඒකත් සිද්ධ වෙන්නේ යම් කිසි අනුපාතයකට අනුවයි...ඒකත් දැන් කියන්ට ගියොත් මේ කිව්ව ටිකත් පැටලෙන්ට ඇහැකි. ඒ හින්දා ඔය මදෑ...

පඬි කතා.. පොර ටෝක්... ඕනනං මෙන්න...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට ඕන නැහැ මේ පහළින් දාන්නේ ඊයේ රෑ 08.30 ට "බස් රේඩියෝව" තුළින් විකාශය වූ මාරයාතුමා නොහොත් මංතුමාගේ අර සුමිහිරි හඩ (එක එකානං ඔය අනං මනං කියනවා නිකං බැරල් එකක් ඇතුලේ ඉඳන් කෑ ගහනවා වගේ කියලා..මං දන්නවා ඒ පැහැදිලි ඉරිසියාවට කියලා..:D) සහිත කතා බස් වැඩ සටහන...

ඇත්තටම මේ සඳහා මාව දායක කරගත්ත සියළුම බස් රේඩියෝ සැට් එකටත් බොහෝම ස්තූතියි.. ඒ වගේම අමාරුවෙන් අහගෙන හිටිය හැමෝටමත්.. ඒ වෙනුවෙන් "මරණයා"තුමා විසින් දුවවන ලද "බස් රථයේ" ගමන් කරමින් හතර අතට මඩ ගහපු සියළුම දෙනාටත්... ස්තූතියි.

ඒ වගේම විශේෂයෙන්ම අපේ නිවේදකතුමා වෙච්ච "වැප් මහතා"ට අමාරුවෙන් මේ කතා බහ අහං හිටිය එකට වෙනමම ස්තූති කරන්න ඕන... ඇත්තටම උන්නැහේ හොඳ නිවේදක මහත්තයකුගේ ගති ලක්ෂණ ඔක්කෝම මැනවින් විදහා පානවා... කොහොමත් තව අවුරුදු 30ක් විතර ගියාම හොඳම හොඳ නිවේදකයෙක් වෙයි කියලා ටක්කෙටම කියන්ට ඇහැකි. ඒත් මට පොඩි දෙයක් අමතක උනා ඔය කතා බහේදී කියන්ට... ඒක මෙහෙමවත් කියලා දාමුකෝ..නැත්තං ආයේ වැප් මහත්තයා මාත් එක්ක තරහා වෙයි... වෙන දෙයක් නෙවෙයි වැඩ සටහන පටන් ගන්ට කලින් වැප් මහත්තයා කිව්වා

"අනේ මචං මේක අස්සෙම කියහං මං ගැන වෙනම ටිකක්.. දන්නෙ නැද්ද ඔය මං හොදයි..මං හොදයි.. මං හොදයි.. වගේ ටිකක්... ඔය මාත් එක්ක කතා නොකර ඉන්න ගෑණු ළමයි එහෙම බය නැතිව කතා කරන්ට හිතෙන ජාතියේ ටිකක් කියහං කියලා"

කොහේද මට ඒක මිස් උනා.. ඒ තරහටද මංදා ඔය බස් රේඩියෝ වැඩ සටහන යන අස්සේ වැප් මහත්තයා දෙතුන් වතාවකදීම රේඩියෝවේ මීටරේ එහෙ මෙහෙ කැරකෙව්වා..ඒත් උන්දෑ කිව්වෙනං මේ මොකක්ද සර්වර් අවුලක් කියලා.. ඒත් මං ටක්කෙටම දන්නවා අර තරහා පිරි මැහුවා කියලා.. ඒත් ඉතිං වරද මගේනේ.. මට බැරි උනානේ අර ටික කියන්න.. ඒ හින්දා ඔන්න මං දැන් කියනවා...

"මං හොඳයි.. මං හොඳයි.. අහ් නැහැ වැරදුනා.. වැප් හරි හොඳයි..හරිම හොඳායි.. ඔය වැප්නි අයියත් එක්ක මෙච්චර කාලයක් කතා නොකර ඉන්න ගෑණු ළමයි එහෙම ඉන්නවනං අදම එයාට කතා කරලා දැන හඳුන ගන්න ඒ තරමට එයා හොඳයි.. ආ කතා කරන විදියද.. ඒක හරි පහසුයි..මට කතා කරලා එයාගේ නොම්මරේ ඉල්ල ගන්න..:D"

ඒ වගේම මේක පටිගත කිරීමෙන් සහ එය කැපීමෙන් කෙටීමෙන් ඔය එක එක හට්ටි මුට්ටි පෙර ලෙනවා වගේ සද්ද බද්ද එකතු කිරීමෙන් සහය වූ "දුලාන්"ටත්... මට කෙලවීමේ පරම පවිත්‍ර වේතනාවෙන් අච්චර සුවීට් පුරස්න හදාපු "බීටල්" (පස්සේ වෙලාවක මං උන්දෑ ගැන බලා ගන්නං..) මහත්මාටත් මගේ අවංක ආදර ස්තූතිය...

මෙන්න එහෙනං ඒ කතාව....


ආ අවසාන වශයෙන් තවත් දෙයක් කියන්ට ඕන... අර මං කලින් වතාවක දාපු කෙටිකතා තරඟයෙන් අපේ "සිත්ආර" බ්ලොගය ලියන නලිනි චන්දිමා සහෝදරිය විසින් ඉදිරිපත් කරපු "අබූත" කෙටි කතාව ජනප්‍රියම කෙටි කතාව හැටියට තේරිලා තියෙනවා... එම තරඟය සංවිධානය කරපු "පොත් කියවන අයගේ ෆේස් බුක් එකතුවේ" සියළුම දෙනාට තව තවත් මෙවන් වටිනා වැඩ සටහන් කරන්නට ශක්තිය ධෛර්යය පතන අතරේම... ජයග්‍රාහිකාවට මගේ උණුසුම් සුභ පැතුම්...!

29 September 2011

මොන දසාවද ගෙවෙන්නේ..? කේන්දර කතාවක්...

මේකත් සෑහෙන කලක ඉඳලා ලියන්න ඕන කියලා හිත හිත හිටි ලිපියක්..ඒත් මතක් උනේ නැහැ..මේ ළගදී අපේ මකරාත් මගෙන් ඔය සම්බන්ධව පුරස්න කිහිපයක් අහපු වෙලාවක හිතා ගත්තා සුළුවෙන් හරි ලියලා දාන්ට..ඒත් කොහේද වල් පල් ලියනවා ඇර එහෙම එකක් ලියන්ට හරි කම්මැලියි නෙව...

හරි මං මේ කියන්ට යන්නේ සුළු පැහැදිලි කිරීමක්... ඒ තමයි අපේ කේන්දර වල තියෙන මහ දශා පිළිබඳව...

හැමෝටම ඇහිලා ඇති මෙන්න මේ වගේ කියමන්...

"මගේනං දසාව හොඳටම නරකයි වගේ.."
"මොකක්ද බං උඹට ලබනා තියෙන දසාව..?"
"හෙනහුරු දසාව ලබලද මංදා..?"
"කෙහෙත ලැබුවම ඔහොම තමා.."
"මේකට සිකුරු දසාවක් ලබලද කොහේද.."

ඉතිං අහලා ඇතිනේ ඔය කතා ටික..ඇත්තටම හුඟ දෙනෙක් ඔය දසා ක්‍රම ගැන දැනුවත්..ඒත් සමහර අය ඉන්නවනේ ඒ ගැන නොදන්න..ආන්න ඒ අයට මං පොඩි පැහැදිලි කිරීමක් කරන්නං...

ජ්‍යොතිෂයේදී දශා ක්‍රම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා...පංචෝත්තරී දසා..අෂ්ටෝත්තරී දසා..කාල චක්‍ර දසා..යෝගිනී දසා..ගුලික දසා..ප්‍රාණ දසා.. ඔන්න ඔය වගේ නම් අටෝ රාසියක් තියෙන දසා තිබුනා උනත් මං මේ කතා කරන්ට යන්නේ අපි දැනට භාවිතයට ගන්නා වූ විංශෝත්තරී දශා ක්‍රමය සම්බන්දවයි... ඇත්තම කිව්වොත් මං ඔය නං වලින් දැනං හිටියට අනිත් දසා ක්‍රම වැඩි දුරට හදාරලත් නැහැ...ආයේ බොරු මොකටද..?

හරි දැන් අපි බලමු මේ දසා ක්‍රමය සකස් වෙන්නේ කොහොමද කියලා...

මේක ඇත්තටම අපේ ජීවිත කාලය යම් ක්‍රමවේදයක් අනුව එක් එක් ග්‍රහයින්ට අදාල කාල වකවානුවලට බෙදා දක්වන ක්‍රමයක්.සාමාන්‍ය මනුස්සයකුගේ ආයුෂ කාලය 120ක් වනවා යැයි සලකා බලා තමා මේක බෙදලා තියෙන්නේ.. ඒ මෙහෙමයි...

රවිට අවුරුදු 06 යි
සඳුට අවුරුදු 10 යි
කුජට අවුරුදු 07 යි
රාහුට අවුරුදු 18 යි
ගුරුට අවුරුදු 16 යි
සෙනසුරුට අවුරුදු 19 යි
බුධට අවුරුදු 17 යි
කේතුට අවුරුදු 07 යි
සිකුරුට අවුරුදු 20 යි

ආදී වශයෙන්.. ඒ වගේම ඕක යන්නෙත් ඔය සඳහන් පිලි වෙලට.. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් කේතු මහ දසාවේ උපන්නා කියලා.. එයාට කේතු ගෙවුනට පස්සේ ලබනවා සිකුරු..සිකුරු ගෙවුනහම රවි.. ඊට පස්සේ සඳු.. ඔන්න ඔය ආදී වශයෙන්...

දැන් ඊ ළගට බලමු කොහොමද කෙනෙක්ට උපතේදී තමන්ට හිමි දශාවක් අයිති වෙන්නේ කියලා...

අපි උපත ලබන වෙලාවෙදී සඳු..එහෙම නැත්තං චන්ද්‍රයා ගමන් කරන නැකතට අනුව තමා මේක තීරණය වෙන්නේ.. අපේ අහසේ තියෙනවා නැකැත් තරු වලල්ලක්.. ඒ නැකැත් තරු වලල්ල කොටස් 27කට බෙදලා තියෙනවා ඒ එක එක කොටසට අදාල නැකතක් තියෙනවා. අහලා ඇතිනේ.. අස්විද..බෙරණ.. කැති.. රෙහෙන..ආදී වශයෙන්...

ඉතිං මේ එක නැකතක් පහු කරන්න චන්ද්‍රයාට පැය විසි හතරකට ආසන්න කාලයක් යනවා... එක එක නැකතට පොඩි පොඩි වෙනස්කං තියෙනවා..කොහොම උනත් මාසයක් වගේ කාලයක් ඇතුලත මේ නැකැත් වලල්ල වටේ සඳුට රවුමක් ගහන්න පුළුවන්කම තියෙනවා... ඉතිං ඒ අනුව බලපුවම ඕනම වෙලාවක සඳු මොන යම්ම හරි නැකතක තමා ඉන්නේ.. ඒක තමා අපි ඔය සාමාන්‍ය වශයෙන් නැකතක් කියලා හදුන්වන්නේ...

ඉතිං සඳු ගමන් කරන නැකත තමා ඒ වෙලාවේ නැකත..උදා හරණයක් හැටියට කිව්වොත් මං දැන් මේ ලිපිය ලියන වෙලාවේ(2011/09/29 වෙනිදා දහවල් 12ට පමණ...) සඳු ඉන්නේ "සා" නැකතේ.. අද උදේ 10.44ට විතර තමයි සඳු ඒ නැකතට ඇතුළු උනේ.. හෙට උදේ 08.04ට වගේ සඳු "සා" නැකැත් කොටසෙන් ගමන් කරලා ඉවරවෙලා ඊ ළග නැකත වෙච්ච "විසා" නැකතට යනවා.. එතකොට ඒ වෙලාවේ ඉඳන් නැකත තමා "විසා" නැකත.. පැහැදිලිනේ...

ඉතිං මේ නැකැත් විසි හත එක එක ග්‍රහයින්ට බෙදිලා තියෙනවා.. මං දැන් පහත දාන්නේ නැකැත් තරු තියෙන පිළිවෙලයි.. ඒ ඒ නැකත අයිති කාටද යන හැටියි... ඔන්න බලන්න නැකැත් 27.. ග්‍රහයින් නව දෙනා අතර බෙදෙන විදිය...

1.අස්විද.............කේතු
2.බෙරණ..........සිකුරු
3.කැති .............රවි
4.රෙහෙණ........සඳු
5.මුවසිරස.........කුජ
6.අද.................රාහු
7.පුනාවස.........ගුරු
8.පුෂ................සෙනසුරු
9.අස්ලිස..........බුධ
10.මා..............කේතු
11.පුවපල්.......සිකුරු
12.උත්‍රපල්......රවි
13.හත............සඳු
14.සිත............කුජ
15.සා.............රාහු
16.විසා...........ගුරු
17.අනුර..........සෙනසුරු
18.දෙට...........බුධ
19.මූල............කේතු
20.පුවසල.......සිකුරු
21.උත්‍රසල.......රවි
22.සුවණ.........සඳු
23.දෙනට........කුජ
24.සියාවස......රාහු
25.පුවපුටුප.....ගුරු
26.උත්‍රපුටුප....සෙනසුරු
27.රේවතී.......බුධ

වැඩේ පැහැදිලියි නේද..?

එතකොට ඔයාලා දැකලා ඇති තම තමුන්ගේ කේන්දර වල අවසානේ තියෙනවා මෙන්න මෙහෙම කෑල්ලක්...

"...............හිමි විංශෝත්තරී මහ දශාව උපතේ සිට වර්ෂ.........මාස.........දින.... පවතී." කියලා...

එකේ නැහැනේ මං කලින් කිව්වා වගේ හරියටම ගුරු මහ දශාව අවුරුදු 16ක් ඉදිරියට පවතී කියලා.. එහෙම නැත්තං සිකුරු මහ දසාව අවුරුදු 20ක් උපතේ සිට ඉදිරියට පවතී කියලා...

ආන්න එහෙම වෙන්නේ ඇයි කියලා අපි ඊ ළග ලිපියෙන් බලමු...


28 September 2011

මෙන්න විශේෂ දැනුවත් කිරීම් දෙකක්...

වැඩි කතා නැහැ සුළු දෙයයි තියෙන්නේ මේ බ්ලොග් අවකාශේ සිද්ධ වෙන සුපිරිම සහ පීචංම වැඩ දෙකක් ගැන එක පාර ඔබ තමුන්නාන්සේලාව දැනුවත් කරන්නයි මට සිද්ධ වෙලා තියෙන්නේ..

මුලින් සුපිරි එක...

යන්ට මේ ලින්ක් එක දිගේ..ගිහින් කම්මැලි නැතිව කියවන්ට එතන තියෙන ටික ඔක්කෝම..අකුරක් නෑර..ඊට පස්සේ තමුන් කරන්ට ඕන දේ තේරුම් ගනී කියලා මං හිතනවා...

මෙන්න දෙවැනි එක... කියන්න කණගාටුයි.. ඒ ගැනනං මුකුත්ම තීරණය නොකර ඉන්න එක හොඳයි.. ඒ තරමටම කුජීත වැඩක් ඒක...

හරිනේ ලින්ක් දෙකටම ගිහින් බැළුවනං ඉතිරි ටික ඔබ තමුන්නාන්සේලාටම බාරයි.. ඔන්න මං කැපුනා... මේක මගේ කෙටිම පෝස්ට් එකද මංදා.. ආ නැහැ නැහැ වවුලා තමා කෙටිම එක...

එය ඔබ සතුයි...

කියන්නට කතාවක් මට ඇත. එහෙත් එයට යොදන්නට ඊට සුදුසු මාතෘකාවක් මා සතුව නැත.එහෙයින් එය කියවන ඔබට බාර කොට මා කතාව කියමි. ඇතැම් විට එය "අමනයා" වැනි වදනක් විය හැක.. එසේත් නැතිනම් "චපල සිතැත්තා" විය හැක.. සමහර විටක "පරාජිතයා" යනුවෙන්ද ඔබට එය නම් කල හැක... එය කෙසේ වූවත් මා හට කම් නැත.. මන්ද යත් ඔබ එයට යොදන නමින් මාහට විශාල රිදවීමක් නොවන බැවිනි.ඒ ඊට වඩා වැඩි ගුණයකින් මෙම සිදුවීම මේ වන තෙක්ම මා රිදවා ඇති බැවිනි...

මිනිසුන් තුල දෙවියකු මෙන්ම යක්ෂයකු ඇති බව මා මෙයට පෙර කිහිප විටක්ම ඔබට කියා ඇත්තෙමි. ඇතැම් විට ඔබ එයට විරුද්ධ වන්නට පුළුවන..එසේ නැතිනම් එයට එකඟ වන්නටද පුළුවන.. සමහරක් විටක ඒ පිළීබඳව කුමන හෝ අදහසක් ඔබ සතුව නැතිවා වන්නටද පුළුවන.. එහෙත් ඒ පිළීබඳව මා හට හැඟීමක් ඇත.. මන්ද යත් මා එම දෙවියා හා යක්ෂයා යන දෙදෙනාම මා ඇසුරු කොට දැක ඇති බැවිනි... මම මා තුළින් දෙවියන් දැක ඇති වාර ගණනට වඩා යක්ෂයා දැක ඇත්තෙමි. දෙවියන්ද දැක ඇත්තෙමි. එහෙත් එම දැක්මෙන් සතුටු වනවාට වඩා දස දහස් වාරයකින් යක්ෂයාගේ දැකුම සිහි වී සිත කම්පා වෙන අවස්ථා වැඩිය...

මිනිසකුට තම චරිතය සුදු චරිතයක් කොට හුවා දැක්වීමෙහි ලා අපමණ වෙහෙසක් ගත යුතුය.. එහෙත් එය කළු චරිතයක් බව දැක්වීමට එතරම්ම වෙහෙසක් ගත යුතු නොවෙයි. එහෙත් මිනිසුන් නිතරම කරන්නට උත්සහ කරන්නේ අසීරු කාර්යයි... ඒ මන්දැයි මට තවමත් හරියාකාරව තේරුම් ගත නොහැක. මම ද එසේ කොට ඇත්තෙමි. එහෙත් එයින් මා හට ලැබෙන දේ කුමක්දැයි මම විටෙක කල්පනා කරමි. අනිකුන්ගේ හොඳ නම...? එපමණක්ද ලැබිය හැක්කේ..? මා හට පිළීතුරු නැත... ලිවීම හරහා මා යම් තත්වයකට ඔසවා තබා ඇත. ඒ මා ඔබට පෙන්වූ ස්වභාවයයි. ඔබ එම මතුපිට ආවරනය දැක..එය ස්පර්ශ කොට මා අවබෝධ කරගෙන ඇත්තාහුය.. එහෙත් එය මායාවක් පමණකි. සැබෑව පවතිනුයේ ඊට බොහෝ ඈතිනි... මඳක් උත්සහ කලහොත් ඔබට එය දකින්නට අපහසු නොවනු ඇතැයි සිතමි... මේ එයට ඔබ හට දෙනු ලබන කුඩා උපකාරකයකි...

...................................................................

ඒ එක්දහස් නවසිය අනූපහත්.. අනූ අටත් අතර වර්ෂයක දිනයකි. හරියටම කාල වකවානුව සොයා කියන්නට තරම් සිත වෙහෙසවීමට මා සූදානම් නැති හෙයින් එපමණකින් සෑහීමකට පත් වීම මැනවි... ස්තානය මාගේ ගම්පළාතේ තිබෙනා මහ විදුහල ඉදිරිපිට ඇති බස් නැවතුමයි... තුන්මන් හන්දියක් වූ බස් නැවතුම පිහිටි ස්ථානයේ මා සමඟ රැඳී සිටියේ එවකට මා සමඟින් නිතර රැඳී සිටි මගේ හොඳම මිතුරන් කිහිප දෙනා අතරින් එක් අයෙකි. වෙනත් අයකු මෙය කියූවා නම් ඔහු හොඳම මිතුරා යැයි හඳුන්වා දීමට හැකියාවක් ඇති මුත්. මා හට අද වන තෙක්ම හොඳම මිතුරා හමු වී නැත. හමු වී ඇත්තේ හොඳ මිතුරන් පමණකි. එහෙයින් ඔහුද එවැන්නන් අතර සුවිශේෂී අයෙකි.

පාසල නිමවීමට තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබිණි.. අප රැඳී සිටියේ එම මොහොත උදා වනු තුරුය... පාසල් අධ්‍යාපනය නිමවා සිටි හෙයින් අපගේ ජීවිතයේ එම වකවානුවේ සෑම දිනක්ම පාහේ ගෙවී ගියේ මෙලෙසිනි. සතියේ දිනයන් තුල පාසල ඇරෙන වේලාවට මෙම ස්ථානයට එන්නට අපහට හේතු බොහෝ තිබිණි. ඒ සෑම හේතුවකම කෙලවර සිටියේ ගැහැණු ළමයින් හැර අන් කිසිවකුත් නොවේ.. යෞවන මතින් ඔඳ වැඩී සිටි අප නිතරම ආදර සබඳතාවයන් කෙරෙහි අපගේ නිරන්තර අවධානය යොමු කොට සිටි කාල වකවානුවකි මේ...

පාසලක් ඇරී හෝ.. සවස පන්ති ඇරී හෝ ගැහැණු ළමෝ වීදී පුරා පිරී ඇති කලට අප එය හඳුන්වනු ලැබුවේ "පාර මෝරන ටයිම්" එක ලෙසිනි. "පාර මෝරන" විට අපගේ "ඇස් වලට සැප" ය... "ඇහැට දා ගැනීම" සිදු කරන්නේ එවැනි අවස්ථාවලදීය... ඇහැට දාගත්ත දේවල් හැම දේම "හිතට දා ගන්නේ" නැත... එය ඊට වඩා දුර දිග යන කතාවකි. "ඇහැට දා ගත් පසු වැරදීමකින් හෝ හිතට දා ගැනීමත් වූවහොත් එතැන් පටන් ඇරඹෙන්නේ "බඩුවක් පරවනවා" යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන අතරම.. අප දකිනා අන් අය විසින් "අන්න අරුන් සෙම හලනවා" යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාදාමයයි... එ පහසු නැත.. ඒ සඳහා සෑහෙන්නට "කට්ට කන්නට" සිදු වේ... කටු දහසක් හෝ කා අවසන "බඩුව දමා ගැනීම" පහසු නැත.. ඊට අපමණ වූ "බාල්දි..ඇණ..කොකු.. පොළු.." ආදිය ඇත.

අප මේ වන විට සිටියේ මූලික අවස්ථාවේ මිස අවසාන අවස්තාවේ නොවේ...එනම් මේ අප බලා සිටින්නේද ඇහැට දා ගැනීමටයි...

ඇහැට දා ගන්නට පාර මෝරන්නට නම් තව වේලාව ඇත.. එහෙත් මේ අවස්තාවේ අප බලා පොරොත්තු නොවූ යමක් සිදු විය... අප සිටි බස් නැවතුම් පල පිහිටියේ තුන්මං හන්දියෙන් පාසල පැත්තට මීටර් කිහිපයක් වන්නටය.. පාසල පිහිටියේ අපට වම් පසිනි..එනම් තුන්මං හන්දිය පිහිටියේ අපගේ දකුණු පසිනි. එක් වරම අපගේ දකුණු අත පැත්තේ වූ මාර්ගයෙන් යුවතියක් මතු වූවාය... ඇය සන්සුන් ගමනින් ඇවිද එන අතරම අප දෙසටද නෙත් යොමු කලාය... අපද ඈ දෙස බලා සිටිනවා දුටු ඇගේ මුව අග සිහින් සිනහවක් ඇඳී ගිය අතර..අප දෙනොම ඇයට පෙරළා සිනහ වීමු... සිනහව අවසන අප දෙනොම එකිනෙකා ගේ මුහුණින් මුහුණ බලා ගතිමු.

"මොකද බං අරකි හිනා වෙන්නේ..?"

"අනේ මංදා..මටත් තේරුනේ නැහැ.."

"ට්‍රයි එකක් දුන්නොත් වැඩේනං අතේ මචං.."

"මටත් හිතෙනවා..ඒත් උඹටද මටද ඒකි හිනා උනේ..?"

"අනේ මංදා බං.. මට හිතා ගන්නත් බැහැ.."

"කෝකටත් කවුරු හරි එකෙක් අහමු..මොකාට හරි වැටුනොත් මොකද..?"

අවසන තීරණය එසේ විය.. එපමණක් නොව අසන්නට සිදු වී ඇත්තේ මටය.. ඒ මා සඳහා නොව මිතුරා සඳහාය.. හිතේ ඇති තරම් ශක්තිය එකතු කොට ගෙන ඈ පසු පස ගොස් ඇසීමට මා සූදානම් වූ අතර මා මිතුරා සිය පාපැදියට ගොඩ වී එහි හරස් පොල්ල මත මා වාඩි වූ සැණින් ඇය හැරී ගිය අප ඉදිරිපස වූ මාවත බලා පදින්නට විය.

තරමක් ඉදිරියේ ඇය යමින් සිටියාය... මා ඇය අසලින් බයිසිකලය යනවාත් සමඟම බයිසිකලයෙන් බිමට පැන ගත් අතර මිතුරා සෙමින් සෙමින් ඉදිරියට බයිසිකලය පදවාගෙන යන්නට විය. මා ඇය සමඟ තනි විය.

ඇත්තෙන්ම ඇය මා නාඳුනන තැනැත්තියක නොවේ... ඇයත් මමත් අසල ඇති මහ විදුහලෙහිම කුඩා කල එකට අකුරු කොට ඇත්තෙමු. ඇය මට වඩා වසරක් වැඩි මහල්ය.. දෙකේ පංතියේදී හෝ තුනේ පංතියේදී වසරක් ෆේල් වීම නිසා අපගේ පංතියට වැටුනු ඇය ඉන් පසුව අප හා අධ්‍යාපනය ලබන ලදි. පහ වසරින් පසු මාගේ කොළඹ යෑමත් සමඟින් අනිකුත් සඟයින් සමඟින්ම මැයද මට අතෑරුනු පිරිස අතර විය. දැන් මේ අප කතා කරන්නට සූදානම් වනුයේ වසර හත අටකට පමණ පසුවය...

එකල එතරම් හැඩකාරත්වයක් හෝ විශේෂත්වයක් හෝ ඈ කෙරෙන් දිස් නොවූවද මේ වන විට ඇය පිරිපුන් යුවතියක් බවට පත් වී තිබුණි. ඉතා උස් නොවූ සිහින් සිරුරත්.. දණ හිසටත් පහළට යොමු වූ දිගු කේශ කලාපයත්.. අවිහිංසක සිනහවත් ඇයටම ආවේණික සුන්දරත්වයක් මුසු කොට තිබිණි. පෙර දැන හැදුනුම්කම නිසාම ඇයත් සමඟින් කතා කිරීමට මා හට එතරම්ම අපහසුවක් නොවිණි...

"කොහොමද කාලෙකින් දැක්කේ.."

"ඒක නේන්නං.."

"දැන් මොකද කරන්නේ..?"

"මුකුත් නැහැ ආච්චියි සීයයි බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.."

ඇත්තෙන්ම ඇය අහිංසක කෙල්ලකි..එපමණක් නොව කුඩා කලම කුමන හෝ හේතුවක් මත දෙමාපියන්ගෙන් වෙන් වූ හෝ වෙන් කරනු ලැබූ කෙල්ලකි. හැදුනේ වැඩුනේ ආච්චි අම්මා හා සීයා ලෙසින් ඇය හඳුන්වනු ලැබූ වයස්ගත යුවළක් සමඟිනි.. ඔවුනට දරුවන් නොමැති බව මා හොඳින් දනිමි.ඒ ඔවුන් දෙපල මා හටද යම් තරමක් ඈතින් ඥාතීන් වන නිසාවෙනි. එහෙයින් අප දන්නා තරමින් මැය හදා ගන්නට ගත් දරුවෙකි. මේ කිසිවක් ගැන හෝ එම අවස්ථාවේදී මා විසින් කල්පනා නොකිරීම බලවත් වරදකි. එහෙත් දැන දැනම මා එම වරද සිදු කරනු ලැබූවෙමි... තරමක් දුරට යන තෙක් ආ ගිය වල්පල් දොඩවා..ඇයගේ නිවසට ආසන්න බැවින් එක් විටම මා ආ කාරණය ගැන විමසුවෙමි...

"ඒක නෙවෙයි.. අර *** ගැන මොකද හිතන්නේ..?"

"මොනවා හිතන්නද..? මට තේරුනේ නැහැ.." ‍

"මොනවත් නෙවෙයි ඔයාට තේරෙන්නේ නැද්ද මං අහන දේ..?"

"තේරුනා..ඒත් මං එයාට නං කැමති නැහැ.."

උත්තරය මා බලා පොරොත්තු වූ අන්දමට නොව තරමක් වෙනස් විදියට ලැබීම හරහා මාගෙන් එක් විටම පිට වූයේ වෙනස් ආකාරයේ පැනයකි.

"එහෙනං කාටද කැමති මටද..?"

කිසිවක් නොකියූ ඈ අහක බලමින් සිනහසුනාය...

"කියන්නකෝ මට තේරුනේ නැහැ.."

"ඔව්..."

කුමක් කිව යුතුදැයි මා හට සිතාගත නොහැකි විණි... සිත තුල සිහින් සතුටක් මෝදු වූවායැයි නොකියා බැරිය... උත්සහයක් නැතිවම කෙල්ලකගේ සිත මා විසින් දිනා ගනු ලැබ තිබිණි. එහෙත් මා ආවේ එයට නොවේ.. මෙය මිත්‍රද්‍රෝහී ක්‍රියාවකි... එහෙත් මා දැන දැනම ඇගේ කැමැත්තට විරුද්ධව කිසිවක් හෝ නොකියා තවත් වචන කිහිපයක් කතා බස් කොට එන්නට ආවේ පසු දිනයකදී මුණ ගැසෙන්නම් යැයි පොරොන්දුවක් ඇය හට ලබා දීය...

එමින් ගමන් සිදු වූ දේ වචනයක් හෝ නොසඟවා මිතුරාට කිවූ අතර එයට ඔහුගෙන් කිසිදු විරුද්ධත්වයක් පැන නැංගේ නැත...

"කරහං බං..අත අරින්න එපා.." ඒ ඔහුගෙන් ලද අනුග්‍රහයයි... එහෙත්...

එයින් දින කිහිපයකට පසුව සන්ධ්‍යා සමයක ඇගේ නිවස ඉදිරි පිට වූ ගේට්ටුව අසලට වී අප දෙදෙනා විනාඩි කිහිපයක් කතා බස් කලෙමු.එහෙත් එම කතා බහ එතරම්ම අර්ථයක් ඇති දෙයක් නොවීය..එයින් පසුව මා එම පැත්ත පළාතේවත් නොගියෙමි. මිතුරාද ඒ පිළීබඳව මා හට වැඩි යමක් නොකියූ අතර ඇයද මා සෙවූ බවක් ආරංචි නොවීය.. එහෙත් ඇයට එවන් සෙවීමක් කල හැකි තරමේ හැකියාවක් නැති බවද මා හොඳින්ම දැන සිටියෙමි. ඇය හුදකලා චරිතයකි.

කාලය වේගයෙන් ගලා යමින් තිබිණි... එයින් වර්ෂ කිහිපයකට පසුව දිනයක් එළඹිණි...

ඒ වන විට මා සිටියේ ගුවන් හමුදා සේවය අත හැර පැමිණ මා හටම අයත් ත්‍රිරෝද රථයක් හයර් කරමිනි. දිනක් සවස් කලක මා ත්‍රීරෝද රථය එය නිතර නවතා තබන කුලී රථ අංගනය තුල නවතාගෙන සිටියදී එහි පිටුපසින් පැමිණි කිසිවකු එයට ගොඩ වෙමින් ගමනක් යෑමට මා හට කතා කල අතර මා පසු පස හැරී බැලීමි... කෙසඟ පෙනුමකින් යුතු අහිංසක මුහුණක් ඇති තරුණයකු සමඟින් මෙම කතාවේ කතානායිකාවද සිටියාය.. මා දුටු වහාම ඇගේ මුහුණේ ඇඳී ගිය සිනහවත්..කණගාටුවත් මුසු බැල්ම මට අදටද විස්තර කර දැක්වීමට නොහැකිය...

ත්‍රී රෝද රථය පණ ගන්වමින්ම කොහාටද..? යන්න මා විමසා සිටි අතර එවර උත්තරය දුන්නේ ඇයයි...

"අපේ ගෙදරට.."

කිලෝ මීටරයක් පමණ දුරක් නිහඬව ගමන් ගත් අතර පසුව මා කට හඬ අවදි කලෙමි.

"හුඟ දවසකින් නංගිව දැක්කේ.."

"ඔව් අයියේ..." ඇයද වෙනසක් නොදක්වා පිළීතුරු දිනි..

ආ ගිය තොරතුරු කිහිපයක් අවසන ඇය විසින් මා හට අනිකා හඳුන්වා දිණි.

"මං බැන්දනේ අයියේ ඊයේ.. මේ එයා..."

පසුපස හැරී බලා සිනහසුනු මා ඔහුත් සමඟත් කතා බස් කලෙමි.. ඔහුත් පෙනුමේ ස්වභාවයට සරිලන තරම්ම වූ අහිංසක තරුණයෙකි.. වෘත්තීයෙන් හේ පෙදරේරුවකු විය... ඔහුටද එතරම් නැදෑ පරපුරක් නොමැති බවක්ද කියැවිණි...

ගමනාන්තයේදී ඔවුන් බස්සවා මා පිටත්ව ආ අතර ගමන සඳහා වූ කුලිය ගැනීමට මා හට සිත් දුන්නේ නැත. තරුණයාගේ පෙරැත්තය තිබුණද.. මංගල්ලය සඳහා දන්නා කියන කෙනෙකුන්ගේ සුළු තුටු පඬුරක් හැටියට මෙම ගමන මතක තියා ගන්නා මෙන් පවසා මා නික්ම ආවෙමි... ආපසු එන්නට පෙර එක් වතාවක් ඇය දෙස බැළු මට ඒ මුහුනෙහි වූ සිහින් අවිහිංසක සිනහව තුලින් "මං තරහා නැහැ.." යැයි පවසනවාක් මෙන් මට හැඟිණි...

..........................................
අරක්කු "මත" මා කවියකු.. රචකයකු බවට පත් කරවන ලදි.. එය මෙම වර්ෂය ආරම්භයේදී නවතා දමන ලදි.. එහෙත් බියර් "මත"ද යම් තරමකින් මා මාගේ ලිවීම රඳවා ගතිමි.. ගත වූ ඊයේ දිනයෙන් එයටද සමු දුන් අතර අද දින ඇති වූ බලවත් සෙම්ප්‍රතිශ්‍යාව මැඩලීම පිණිස ගන්නා ලද පිරිටන් පෙති දෙක විසින් ඇති කරවූ නිදි"මත" ද මාගේ රචනයට යම් රුකුලක් දෙන බැව් මට හැ‍ඟේ... එයද නරකම නැත... අවශ්‍ය කෙරෙනුයේ සන්සුන් මනසක් හා වේදනාවෙන් තොරවූ සිතකි... එයට පිරිටන්ද නරකම නැත...

26 September 2011

තේරුමක් ඇද්ද නැද්ද..?

මටත් පිස්සු.. හිතට එන හැම එකම කියන්න හොඳ නැහැ. හරි හෝ වැරදි හෝ වේවා... තමන්ට දැනෙන..තමන්ට හැගෙන හැම දේම ඔහේ ඉවක් බවක් නැතිව ගෙඩිය පිටින් අතාරින්න ගියහම වෙන්නේ මිනිස්සු අමනාප වෙන එකයි. මිනිස්සුන්ට කියලත් හැමදාම මේ වදේ ඉවසියෑකිද..? මං මිනිස්සුන්ව පරීක්ෂා කරනවා වැඩිද කියලත් වෙලාවකට මට හිතෙනවා.

මිනිහෙකුට හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න සෑහෙන කාලයක් යනවා. සමහරු උවමනාවෙන් එහෙම කරන අතරේම.. තවත් සමහරු උත්සහ නොකරම එහෙම ගොඩ නගා ගන්නවා.. ඔය දෙක අතරින් වටින්නේ දෙවෙනි කොටස..මොකද පළවෙනි කාණ්ඩය කරන්නේ එක්තරා ආකාරයක මවා පෑමක්. එතන පෙන්නන හැම දේම ඇත්ත නොවෙන්න ඉඩ කඩ වැඩියි.

ඒත් දෙවෙනි කොටස ප්‍රතිරූපය ගැන හිතලා වැඩ කරන අය නෙවෙයි.. ඒත් ඒ අය තුල තියෙන සැබෑ යහපත්කම මතම ගොඩනැගෙන ප්‍රතිරූපය හරිම සවිමත්. ඒක නිර්ව්‍යාජ ප්‍රතිරූපයක්...

ඔකේ අනිත් පැත්ත ගත්තහම ..ඒ කියන්නේ නරක ප්‍රතිරූප... මං මෙතනට සාපේක්ෂ කියන වචනය ඈඳා ගන්න බලන්නේ නැහැ.. මොකද මේ කියන දේත් එක්ක ඒක පැටළුනාම මේක සංකීර්ණ වැඩි වෙනවා.

අපි පොදු සමාජයේ ජීවත් වෙනකොට දකින කළු චරිත ගැනයි මං කියන්නේ... එතනත් ඉන්නවා මං කලින් කිව්ව ජාතියේම කොටස් දෙකක්.

එකක් තමා උවමනාවෙන් හා මවාපෑම මත කළු චරිතයක් එහෙම නැත්නම් නරක චරිතයක් පෙන්නන අය.

ඒ වගේම ස්වභාවයෙන්ම කළු චරිත... ඒ අයට මවා පාන්න දෙයක් නැහැ..සැබෑවටම කළු...

දැන් ප්‍රධාන කොටස් හතරයි...

1.හොඳ චරිත ලෙස හුවා දක්වන මුත් ඒ සැබෑවම නොවන අය
2.හුවා දැක්වීමක් හෝ අන් යම් ඉස්මතු කිරීමක් නොකලත් පැහැදිලි ලෙසම හොඳ චරිත
3.නරක අය ලෙස හුවා දක්වමින් එන සැබෑවටම නරක නොව අය..
4.ස්වභාවයෙන්ම නරක චරිත..

ඊ ළඟට...

මොනවද මං මේ ලියන්නේ... නිකං පණ්ඩිතයෙක් වෙන්න හදන්නේ නැතිව හිටිං යකෝ... තෝ දැන් හැදුවේ ඕක ආයෙම බෙදලා පෙන්නන්න නේද..? තොට අභිධර්මය බැහැ. ඒක තේරුං ගනින් මෝඩයා...

25 September 2011

අජිනමොටෝ..අසැබි වදන්...බ්ලොග් ලිවීම...

අජින මොටෝ යනු කෑම රසවත් කරන්නට යොදාගන්නා ජාතියකි. මා දන්නේ එසේය... විවිධ අවස්ථාවලදී මා විසින්ද පාවිච්චි කරනු ලබයි.

අජිනමෝටෝ යන වදන මා හට අසන්නට ලැබුනේ මා කුඩා අවදියේදීය. එහෙත් අපේ තාත්තා ඒවා පාවිච්චි ‍කලේම නැත. අජින මොටෝ යෙදූ ආහාර මුලින්ම මා රස බැළුවේ මහප්පලගේ ගෙදරදීය..ලොකු අම්මා අජිනමෝටෝ පාවිච්චි කරන්නට ගත්තාය.. ඒ හරහා අජිනමොටෝ රස බැළුවද එහි ඇති මහ අමුත්තක් මට නොවැටහිණි.. ඒ සමහරක් විට හැම දේටම අජිනමොටෝ ගැලපෙන්නේ නැති නිසා විය යුතුය.

වෙළෙන්දානං කියන්නේ කෝකටත් දැමිය හැකි රසකාරකයක් ලෙසය.. ඒ වෙළෙන්දංගේ උපන් හැටිය.. ඒවා අප විසින් ගණන් ගත යුතු නැත.ඌ කෙසේ කීවත් අප සුදුසු දේ තෝරා බේරාගෙන පාවිච්චි කල යුතුය. එහෙයින් දැනටද සුදුසු ආහාරයකදී පමණක් මා විසින් අජිනමොටෝ පාවිච්චි කරනු ලබයි... (බුකියේ මාවිසින් දැමූ කුස්සි රාක්කයේ පින්තූරයේ ඇති පුංචි කුප්පියේ රහස කුමක්දැයි කිහිප දෙනෙකුම මගෙන් මීට පෙර අසා ඇත..) ඒ බොහෝ විට චීනාගේ බැදපු බත් වැනි ආහාරයක් සඳහාම පමණි. එසේ නැතිව පරිප්පු හොද්දටයි.. අල හොද්දටයි.. කතුරුමුරුංගා මුල්ලුමටයි ආදී ලෙස හැම එකටම නොයොදමි.

තාත්තා කිසි විට නොදැමු..
ලොකු අම්මා හැම එකටම දැමූ..
මා විසින් සමහරකට පමණක් යොදන අජින මොටෝ...
.................................

බ්ලොග් ලිවීම යනුත් උයනවා වගේම දෙයකි. මොකක් හරි දන්න එකා හැම දේම විග්‍රහ කරන්නට යන්නේ ඌ දන්නා දේ හරහාය... ගස් නගින මනුස්සයෙක් මෙය විග්‍රහ කරන්නට වූවහොත් බ්ලොග් ලිවීමත් ගස් නගිනවා වැනි යැයි කීවොත් එහි වරදක් නැත.

එසේ හෙයින් මා දන්නා ආකාරයටම උයන පිහන දේ හරහාත් මට මෙය යම් ආකාරයකට විග්‍රහ කල හැක.

අපි කෑමක් බොහෝ විට හදන්නේ අපගේ ආහාරය පිණිසය.. මුලින්ම එයින් තෘප්තිමත් විය යුත්තේ අපය... එය සකස් වන්නේ අප උයන්නට දන්නා ආකාරයටය.අපගේ රුචිය පරිදිය...

දෙවෙනුව අපට අනිකුත් අය වෙනුවෙන්ද උයන්නට නොවෙනවාම නොවේ... එසේ ඉවීමේදී අප අප වෙනුවෙන් උයනවාට වඩා යමක් කල යුතු වේ. මක් නිසාද යත් අපගේ රුචියම අනෙකාට නොවිය හැකි බැවිනි. එසේ වූ විට යම් තරමකින් හෝ අනෙකාගේ රිසි නොරිසි දේ ගැනද සිතා උයන්නට වේ... එහිදීද යම් තාක් දුරකට සොයා බලා කටයුතු කල හැකි වේ.

විශාල පිරිසක් උදෙසා ආහාර සකස් කිරීම යනු කිසිසේත්ම පහසු නැත. විවිධ ආකාරයේ පිරිසකගේ මන දොළ සපුරාලනු වස් ඉවීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. එවන් විටකදී කල හැක්කේ හැමෝටම රස වීම කෙසේ වෙතත් නීරස නොවන ලෙස උයන්නට උත්සහ කිරීමයි. මෙයත් පහසු වැඩක් නම් නොවේ.

ඉවීමේදී අප අපහටම ආවේණික ක්‍රම මත පිහිටා කටයුතු කරනවා මෙන්ම වරින් වර විවිධ ආකාරයේ අත්හදා බැලීම්ද කල යුතු වේ.. එසේම නිතරම එකම කෑම ඉවීමද සුදුසු නැත. කොතරම් ගුණ වූවත් එක දිගට සුදුළුණු මාළුවම කෑ හැකිද..? විවිධත්වයක් තිබිය යුතුය.

ආහාර සකස් කිරීමේදී පවතින සම්මත ක්‍රම මෙන්ම අළුත් අළුත් අත්හදා බැලීම්ද කල යුතු වේ.. පබිලිස් සිල්වා පොරක් වන්නේ එසේ කල නිසාය.

එසේම අළුත් අළුත් දේ යැයි කියා හෝ වෙනස්ම කෑමක් යැයි කියා හෝ අත්තනොමතික ලෙස ඉවීමද එතරම් සුදුසු නැත.පොල් කටු හොදි හදන්නට.. සෙරෙප්පු සුප් හදන්නට යාම සුදුසු නැත. ඒවාට අමුතුවෙන් කවුරුවත් උපදෙස් දියයුතු නොවේ.

ලොකු අයට උයන තරමට මිරිස් තුනපහ දමා පොඩි උන්ට කෑම සකස් කල හැකි නොවේ... ඒවා උන්ට සැර වැඩිය... එසේම පොඩි උන්ට උයනා දේවල් වැඩිහිටියන්ටද රසවත් නැත. ඔවූහු එවැනි කෑමවලට අතවත් තබන්නට කැමති නැත.

කතුරුමුරුංගා කොල..අගුණ කොල තරමක් තික්ත රසකින් යුක්තය... එසේ වූවද ඒවාත් ඉඳ හිට හෝ ආහාරයට එක් කරගත යුතුය... පෝෂණයේ වෙනසත්... රසයේ විවිධත්වයත් අත්දැකීමට එවැනි දේ හේතු වෙයි...

එසේම සීනි යොදා සකස් කරන ආහාර තිබුනා වූවද එවැනි කෑම වැඩි පුර කෑමද එතරම්ම ගුනදායි නැත.

අජින මොටෝ ගැන කතාවද එසේමය... ඇතැම් ආහාරවලදී පමණක් ඉතාමත් සුළු වශයෙන් යොදා ගත්තාට වරදක් නැත. එහෙත් වැඩි වූවහොත් එම කෑමේ රසයක් ඇත්තේම නැත.

මට වයස අවුරුදු 16දී 17දි වගේ කාලෙදී පත්තරයක දුටු ලිපියක් ඇසුරන් නිවසේදීම තක්කාලි සෝස් හදන්නට තැත් කලෙමි.සියල්ල නිසි පරිදි සිදු කලද තක්කාලි සෝස්වල රසය අමුතු විය. පැණි රසක් ඇත්තේම නැත..ඒ වෙනුවට මහ මොකක්දෝ අමුතු රසයක් ඉස්මතු විය. නියමිත ප්‍රමාණයට සීනි දමාත් පැණි රස මතු නොවීම නිසා නැවතත් සීනි එකතු කලෙමි..එහෙත් පැණි රස වෙනුවට මතුව ආවේ පෙර කී කට හාරවාගෙන යන රසයය..එය පෙරටත් වඩා තදින් දැනුනි..

කිහිප විටක්ම මෙසේ කොටත් හරි නොයනා තැන අම්මා විසින් පැමිණ සොයා බැලීමේදී මා විසින් සීනි වෙනුවට යොදා තිබුනේ අම්මා රට ගොස් එන විට ගෙනවිත් තිබූ අජන මොටෝ තොගයකි. එක වගේ වූ බෝතල්වල දෙකම දමා තිබූ හෙයින් එම වරද සිදූ වී තිබුනි. ලොකු තක්කාලි ගෙඩි හයක් පමණ නිරපරාදේ නාස්ති වී යාමෙන් මගේ තක්කාලි සෝස් සෑදීම අවසන් වන ලදි...

අජින මොටෝ සුළු වශයෙන් යෙදීම රසවත් වූවත් වැඩි වූ විට නම් ඕනෑම නැත. අනිකුත් කොයි දේත් ඔහොම තමාය...වෙලාවකට මට සිතෙන්නේ අජිනමොටෝත් දෙපිට කැපෙන අසැබි වදන් ලෙසය...

කුනු හරපත් නරකම නැත ඇතැම් විටකදී නිසි අවස්ථාවට පමණක් නිසි මාත්‍රාවෙන් යෙදුවාට වරදක් නැත. ඒ එයින් ලිවීමේ රසවත් භාවයට යම් ආධාරයක් වනවානම් පමණි.මමත් ඉඳහිට අජිනමොටෝ දමමි.

අපේ තාත්තා උයනකොට අජිනමොටෝ නොදැම්මා කියා කෑමවල අවුලක් අඩුවක් තිබුනේ නැත. එහෙම කල්පනා කරනකොට කුණු හරප..දෙපැත්ත කැපෙන වචන නැතිවම ලියුවා කියා කිසිම හානියක් නැත.

එහෙත් ලොකු අම්මා කල ලෙසින් හැම එකටම අජිනමොටෝ දාන්ට ගියහම වෙන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ...

මේ අහල පහල තියෙන ආපන ශාලාවලද අජින මොටෝ පිස්සුව උග්‍ර වූ ඇතැම් කෝකීන් සිටිති. දවසක් දෙකක් යන විටම අජිනමොටෝ වල සැර ගතිය දිව හාරවාගෙන යන්නට පටන් ගත් කල මුලදී රස කර කර කෑ පාරිභෝගිකයින් ඉබේම පැමිණීම අඩු කරනු ලබයි. ඊට පසු මොනවා ඉව්වත් පලක් නැත..පාරිභෝගිකයින් අතර ප්‍රසිද්ධවී ඇත්තේ අජිනමොටෝ වැඩියෙන් දාන කඩ හැටියටය...

අජිනමොටෝ අපට මොටෝ වෙන්නේ එවැනි අවස්ථාවලදීය.. එහෙයින් උයනා විට අජිනමොටෝ දැමීම ප්‍රවේශමෙන් කල යුතුවාක් මෙන්ම ලිවීමේදී එයට උචිත වදන් යෙදීමත් තෝරා බේරා නොකළහොත් අවසාන ප්‍රතිඵලය එතරම්ම හොඳ නැත...

ඉවීම ගැන තව තවත් කිව හැක..අවසානයක් නැත... බ්ලොග් ලිවීමත් ආන්න එහෙම වැඩකි.මං හිතන්නේ එහෙමය...

තෝ කොහොම හිතුවත් අපට මොකෝ කියා හිතුවත් මට මොකෝ...

කුජ මාරුව ගැන පොඩි කෑල්ලක්...

පහුගිය දවස්වල මගේ කොමෙන්ට් තීරු හරහා කීප දෙනෙක්ම මේ කේන්දර ගැන මොන මොනවද මංදා පුරස්න වගයක් අහලා තිබුනා උනත් ඇවිත් තිබුනේ ඇනෝලා හැටියට හින්දා මං ඒ ගැන වැඩිය අවධානය යොමු කරන්න ගියේ නැහැ. ඒත් මට හිතුනා මොනවා හරි පොඩ්ඩක් කිව්වත් වරදක් නැහැනේ කියලා.. ඒත් ඕවා ලිය ලිය ඉන්න කම්මැලි හින්දා මං පොඩි පොතක් පෙරලන්න හිතුවා..

ඒ තමයි මේ ලගදී මං දාපු කේන්දර බස් එකේ බෝඩ් එකට මං දාපු වචන ටිකම මෙතන ගෙනත් අත අරින එක. ආයේ අළුතින් ලිය ලිය ඉන්නවට වඩා ඒක කොයි තරංනං සිම්පල් ප්ලෑන් එකක්ද නේද..?

මේ බස් එක විතරක් නෙවෙයි එදා බස් දෙක තුනක්ම ඔය ක්‍රජ මාරුව හරහා අපට සිද්ධ වෙන හොඳ නරක ගැන කතා කර කර දිවෙව්වා.. විස්සකට විතර ආසන්න පිරිසකගේ කේන්දර වලට අනුකූලව ඒ ඒ අයට මේ මාරුව කොහොම බලපායිද කියන එක ගැනත් යම් යම් අදහස් ලබා දුන්නා... බස් ගැන දන්න අයනං මේ ගැන හොඳටම විස්තර දන්නවා.. ඒත් නොදන්න කවුරු හරි හිටියොත් ඒ අයට හරි වැඩක් තියේවිනේ..ඔන්න එහෙනං ගෙඩිය පිටින්ම කොපි කරලා දානවා මෙතන...

"කුජ මාරුව ඔබට කොහොමද..?

2011/09/09 සිට 2011/10/30 දක්වා ඇති විය හැකි වෙනස්කම් දැන ගන්න අද එක්වන්න මාර කේන්දර බස් සේවය සමඟින්...
-නිතර බස් පදිනා අයට වැඩි ප්‍රමුඛතාවය දෙනු ලබන බැව් කාරුණිකව සලකන්න -

දැන් මතක තියා ගන්න ඕන මේ කියන්නේ දීර්ඝ කාලීන පලා ඵල නොවන වගත්..ඔය උඩින් දාලා තියෙන කාල සීමාවට අදාල කාලය තුලදී විය හැකි දේවල් කියනා එකත් මුලින්ම මේ ටික කවුරු කවුරුත් අවධානයට ලක් කර ගන්න...

කුජ මෙච්චර කල් හිටියේ මිථුන රාශීයේ...දැන් මේ පහුගිය නව වැනිදා ආවේ කටක රාශීයට..කටකයේදී කාගේ කේන්දරයට කොහොම වුනත් කුජ නීච වෙලා තමයි ඉන්නේ..ඒක අපි කාගෙත් කේන්දර වල එහෙමම තමා.. ඒ අතින් බලපුවාම මේක එච්චර හොද තත්වයක් නෙවෙයි..

සාමාන්‍ය වශයෙන් ගත්තොත් කුජ නීච වීම පාලක පක්ෂයට එච්චර හොඳ දෙයක් නෙවෙයි...කම්කරු ආරවුල්.. තමන්ගේ බලය අඩුවීම්.. පොඩි පොඩි පීචං වීම් සිද්ධ වෙන්න පුළුවන්.මෙතනදී පාලක පක්ෂය කිව්වේ රජය විතරක් නෙවෙයි.. ඕනම තැනක නායක කාරකාදීන්ටත් ආයතන පාලකයින්ටත් ගෘහ මූලිකයින්ටත් ආදී වශයෙන්තමා..

ඒත් මෙතනදී තව පැත්තක් තියෙනවා ඒ කියන්නේ අපි හිතන්න පුළුවන්නේ ලොක්කට නරකයිනං පොඩි එකාට හොදයි කියලා... ඒත් ඒ අය අතරත් අසමඟිකං හින්දා හුගාක් පාඩු සිද්ධ කර ගන්නවා.. ඒ වගේම ලේ වැගිරීම් වැඩි හරියක් සිද්ධ වෙන්ටත් ඇහැකි කාලයක්.එතනින් ගියාම ඔය වෛද්‍යවරු උනත් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන ටිකක්..මොකද ඒ අය අතින් සිද්ධවන සැත්කම් ආදිය වරදින්න ඉඩ තියෙනවා..අනිත් අතින් රථවාහන අනතුරු..කම්හල්වල සිදුවන අනතුරු..රසායනික ද්‍රව්‍ය වලින් වන හානි.. ගිනි විපත් ආදිය වගේම කාර්මික ක්ෂේත්‍රයේ විය හැකි අනතුරු සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යන්න පුළුවන්..
විශේෂයෙන්ම පාරතොටේ යද්දී..අවි ආයුධ එක්ක කටයුතු කරද්දී..යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කරද්දී කවුරු උනත් සිහි කල්පනාවෙන් ඒ වැඩ කරන්ට ඕන.හරි ඔය ටික මුලින් කවුරුත් හිතට අරගන්න.. ඒ හින්දා මේ කාල වකවානුව ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම පොඩ්ඩක් ආරංචි කරලා බලන්න මේ දවස්වල දන්න කියන අයගේ මරණ වැඩි වෙන්න පුළුවන්..දැනටමත් මට මරණ 8ක් ගැන ආරංචි ලැබිලා තියෙනවා. දෙන්නෙක් ප්‍රසිද්ධ කලාකරුවෝ. දෙන්නෙක් බ්ලොග් හිතවතුන්ගේ පියවරු..අනිත් හතර දෙනත් දන්න කියන ආස්සරේ කල අයගේ.. ඒ හැමෝම වගේ වැඩක් ඇති යමක් කල අය..

ඒ හින්දා කස්ටියටම කියන්න තියෙන්නේ අනේ හොඳ අහන්න ආසාවෙන් ආවානං අද ඒකට බස්එක නෙවෙයි.. ඒ හින්දා එහෙම අය කරුණාකර තම තමන්ගේ නම් ඉවත් කරගන්න.පස්සේ හිත රිදෝ ගන්නවට වඩා ඒක හොදයි...."

ඔන්න ඉවරයි...
‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍..........................හත් ඉලව්වයි සිකුරු මාරුව ගැනත් බස් එකක් දාන්න එපැයි...(කරුණාවෙන් සලකන්න ඔය බසය දමනා විට අලව්වේ දුම්රිය අනතුර සිදු වී තිබුනේ නැති අතරම ජෝ අබේවික්‍රම මහත්මාද ජීවතුන් අතර සිටින ලදි..)

ගල විකුණගෙන කන්න හැදූ දොස්තරයා...

මදැයි අද උදේ ගෙදර යන්ට බලං හිටියා...

දැන් දවස් 4ක් එක දිගට මෙතන ඩියුටි. පහුගිය බදාදා ආව ගමන තාමත් එහෙමමයි. මගේ අනිත් සගයා ගියා බදුල්ලේ මඟුල් ගේක යන්ට කියලා... මාත් ඔය පොත් ප්‍රදර්ශන බලන්ට යන්ට එහෙක කියලා දවසක් දෙකක් නිවාඩු ගත්ත හින්දත්.. එක දිගට දවස් හතරක් ඇද්දම ආයෙමත් මාසේ අන්තිමට තව දවසක් දෙකක් නිවාඩුවක් ගන්ට ඇහැකි නිසාත් මාත් ඉතිං අකමැත්තක් නැහැ මෙහෙම අදින්ට..ඒත් යන්ට හිතං හිටිය වෙලාවට යන්ට නැති උනාම තමා යක්ෂයා ආරූඬ වෙන්නේ...

මං ඉතිං උදේම නාලා කරලා ඊයේ රෑ හෝදලා දාපු යුනිෆෝම් එක එහෙමත් මැදලා තියලා සිවිල් පිටම හිටියා උදේම යන එකනේ කියලා..මොන උදේ අටත් පහුවේගන ආවා.. ඒ පාර කොල් එකක් දාලා බැලුවම බුවා තාම මග එනවළු... ආවට පස්සේ එන්නද නැත්තං රෑටම වැඩට එන්නද කියලා අහනවා... ඔය කිව්වට දවල් කීයට එයිද කවුද දන්නේ... එහෙම උනාම වෙන්නේ මට කඩේට කෑම එකක් ගේන්න ඕඩරයක්වත් දාන්න හැටියක් නැති එකයි. අද උදේට කන්නත් නැහැ තාම..ඇයි ඉතිං මේ මනුස්සයා එයි කියලා හිතාගෙන මං හිටියේ ගෙදර ගිහින්ම කනවා කියලා.. නැත්තං උදේම කඩේට ගිහින් මොනවා හරි ගේනවා කන බොන දෙයක්. අද ඉතිං ඒකත් ජලා හුටං.දැන් ඉතිං හිටංකෝ ඔටුවා වගේ කවුරු හරි කඩේ යන්ට එනකල් මොනවා හරි ගෙන්න ගන්ට...

එතකං හිතේ කේන්ති යන්ටත් එක්ක මොනවා හරි ලියන්ටයි හදන්නේ...බලමු අද මල්ල හාරා අවුස්සලා මොනවද අහු වෙන්නේ කියලා...?

........................................

හැම තැනම දොස්තරලා ගැනයි විස්සවිජ්ජාල ගැනයි. මෙඩිකොල් ෆැකොල්ටි ගැනයි කතාව නෙව. ඔය අහු අස්සේ මට මතක් උනේ මං මේ ලියන්න හිතං හිටිය පුංචි කතාවක් මට අතෑරුනා නේද යකෝ කියලා...

ලිව්වද කියලා මතකත් නැහැ..ඒත් ඒක හොයන්න පරණ ලියාපුවා පෙරල පෙරල ඉන්න හැටියකුත් නැහැ... ඒ හින්දා ඕන කෙංගෙඩියක් කියලා ලියලා දාඤ්ඤංකෝ...

ඔය කස්ටිය දන්නවනේ පහුගිය දවස්වල මංතුමා ටිකක් අසනීප උනා කියලා... ඒ කියන්නේ මැයි මාසේ මුලදී වගේ... මුලින්ම ඕක උනේ වැඩ පොලේ ඉන්නකොට..උදේ හයට හතට වගේ යටි බඩ පැත්තෙන් කැක්කුම අල්ලගෙන එනකොටම මං දැනගත්තා ලෙඩේ මොකක්ද කියලා..මොකද මට ඕක මීට අවුරුදු හතරකට පහකට කලියෙන් හැදිලා තියෙනවා...

ලෙඩේ තමා මුත්‍රාශයේ ගල් සෑදීම.. දැන් මේ කැක්කුම් අල්ලන්නේ එහෙම හැදුන ගල් කෑල්ලක් කොහේ හරි හිර වෙලා වගේ කේස් එහෙකට තමා... මේකේ භයානක කම තියෙන්නේ කැක්කුම අල්ලලා පැයක් යනකොට ඉන්න හිටින්න බැරි තත්වෙකට පත් වෙනවා... එතකොටනං මැරෙන එක හරිම සැපයි..මෙහෙම විඳවනවට වඩා..

කොහොම හරි ඩියුටි මාරු වෙන්නත් පැයක් විතර තිබුන හින්දා මං පුදුම අමාරුවකින් හිටියේ... හිටගෙන හිටියා... වාඩි වෙලා හිටියා... ඩියුටි හින්දා නිදාගන්න හැටියක් නැහැනේ..මිදුලට බැහැලා ඇවිද්දා.. දිව්වා..උඩ පැන පැන හිටියා.. එක විකාරයයි.. ඉන්න බැහැ කැක්කුම.

මුත්‍රා කරන්න ඕන වගේ දැනුනට මුත්‍රා පිට වෙන්නෙත් නැහැ. බඩ පිපෙනවා වගේ දැනෙනවා..ඉන්න හිටින්නම බැහැ..කොහොම හරි පැයක් වගේ මෙහෙම මැරි මැරි ඉන්නකොට අනිත් කෙනා ආව හින්දා මං දඩ බඩ ගාලා ඩියුටිය බාර දීලා ගෙදර ගියා ඒ මනුස්සයටවත් කියන්න ගියේ නැහැ ඉන්නේ අමාරුවෙන් වග.

කොහොම හරි ගෙදර ගිහින් ඇඟ පොඩ්ඩක් හෝදගෙන ඇදුමක් දාගෙන ඉස්පිරිතාලේ යන්න කියලා හිතුවට මට දැන් කෙලින් ඉන්නවත් හැටියක් නැහැ. නාන කාමරේට ගිහින් ඇඟ හෝදගන්න හැදුවට එක විදියකටවත් ඉන්න බැහැ.. ඒ පාර එතනම වැටිලා පැත්තකට හැරිලා නිදා ගත්තා නාන කාමරේ සිමෙන්ති පොලවේ අමු නිරිවස්තරෙන්..ආයේ ඉතිං මොකාට පේනවා කියලද..?

ටිකක් වෙලා කෙඳිරි ගගා පැත්ත වැටිලා ඉන්නකොට අර බිම තියෙන සීතල ගතියට පොඩි පහසුවක් දැනෙන්න ගත්තා. ඒ පාර පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතිව එහෙමම හිටියා..හෙල්ලුනොත් හරි ආයේම වේදනාව වැඩි වෙයි කියන බයටමයි එහෙම හිටියේ. කොහොම හරි මට එතනම නින්ද ගියා පැයක් විතර..පස්සේ දවල් දහයට විතර කිට්ටුවෙලා නැගිටලා නාගෙන කරගෙන ලෑස්ති වෙලා ගියා බෙහෙත් ගේන්න කියලා..

දැන් ආයෙමත් ටික ටික වේදනාව අල්ලනවා මට තේරෙනවා...

ගෙදරින් හිතාගෙන ආවේ වතුපිටිවල ඉස්පිරිතාලේ කිට්ටුව තියෙන පෞද්ගලික රෝහලට යන්න උනත් අතර මගදී වතුපිටිවල ඉස්පිරිතාලේ ගාවම නවතින්න උනා පොඩ්ඩකට... ඉස්පිරිතාලේ ඉස්සරහමනේ මං මගේ කාර්යාලය දාලා තිබුනේ. ඉතිං කඩේ දොර ඇරලා මගේ ලැප් ටොප් එක ඇතුලෙන් තියලා දොර වහලා එළීයට එනකොට එතනම තිබුන රෙදි කඩේ අක්කා ඇහැවුවා

"මොකද මල්ලි අද කඩේ අරින්නේ නැද්ද..?" කියලා..

ඒ පාර පොඩ්ඩක් නැවතිලා මං කිව්වා මෙන්න මෙහෙම අසනීපයක් හැදිලා ඉන්නේ..ඒ හින්දා ගිහින් අහවල් තැනින් බෙහෙත් අරං එන්න ඕන කියලා... ඒ පාර උන්දෑ කියපි අනේ මල්ලියේ එතනට යනවට වඩා මේ වෙලාවේ ඔයා යන්න ඉස්පිරිතාලෙට... අතන මේ වෙලාවට හොඳ දොස්තරලා නැහැ..මෙහෙ ඉන්න අයමනේ හවසට එතනට යන්නේ කියලා... ඒ පාර බයික් එක එහෙමම තියලා ගියා ඉස්පිරිතාලේ ඇතුලට...

එහෙං මෙහෙං විපරං කරලා තුණ්ඩුවක් ගත්තා උනත් මට දැන් ඉන්න බැරි තරං අමාරුයි.. ඒ අස්සේ ලෙඩ්ඩු පෝලිම මීටර් දහයක් විතර දිගට.. අමාරුවෙන් දිව හපාගෙන විනාඩි විස්සක් විතර හිටියත් පෝලිම හෙල්ලෙන පාටක්වත් නැති හින්දා බැරිම තැන ඉස්සරහට ගිහින් යන්තං වගේ දොස්තර ඉන්න කාමරයට ඔළු දාලා බැළුවම එතන වෙන සාකච්ඡාවක්.. දොස්තරගේ හිතවතෙක් හරි වෙන මොකෙක් හරි ඇවිත් එයාලා ආගිය කතා කතා කරනවා වගේ දැක්කේ..මට තේරුනා මේ මඟුල හරියන්නේ නැති විත්තිය..

ඔයිට කලින් වංගියක ගම්පහ සමූපාකාර රෝහලට මං ගියානේ අර රියදුරු බලපත්‍රයට වෛද්‍ය අනුමැතියක් ගන්න..ඒ වෙලාවෙත් මං දැක්ක දෙයක් තමා ලෙඩුන් බල බල හිටිය දොස්තර වරිය හම්බවෙන්න ආව වෙද නලාවකුයි තඩි පොතකුයි අතේ තියෙන පොරක් හෙන අයියා වගේ ගිහින් මේ ඒ හැටි බරපතල නොවන ආගිය තොරතුරු කිය කිය අර වෛද්‍යවරියගේ කාලේ කාපු හැටි. එච්චර වෙලා හොදට ලෙඩ්ඩු බලපු උන්දැත් හරියට සල්මන් ඛාන් දැක්ක ලංකාවේ කෙල්ලෙක් වගේ දපනේ දාගෙන එතන තොදොල් වෙන්න ගත්තා.. ලෙඩ්ඩු අනාථයි.

ඉතිං ඔය අත්දැකීමත් තියෙන හින්දා මං තීරණය කලා මෙතන තව ගත කරන එක විනාඩියත් අපරාදේ කියලා.. ඒ පාර මං ආයෙමත් බයික් එකත් අරං අර කිව්ව පෞද්ගලික රෝහලට ගියා...

අපරාදේ කියන්න බැහැ මුල් ටිකනං... යනකොට හුගක් ලෙඩ්ඩු හිටියේ නැහැ.. එතන ඔපීඩී එකට ගිහින් විනාඩි දහයක් විතර යනකොට ඇතුලට යන්න හම්බ උනා. හිටියේ මැදි වයසේ දොස්තරවරියක්.. බොහෝම කාරුණිකයි..ඉක්මනට විස්තරේ අහලා බලලා එතනම ඇතුලේ තියෙන ඇදක් සූදානම් කරවලා මට සේලයින් එහෙකුත් දෙන්ට සලස්වලා තව අපි රෝකට් කියලා හඳුන්නවනු ලබන සිහින් බෙහෙත් කූරක් ගුද මාර්ගය හරහා ඇතුල් කෙරෙව්වා. ඒ කරලා මට ටිකක් විවේකීව ඉන්න සැලැස්සුවා..ඇත්තටම ඔන්න යාන්තං පැයක් විතර යනකොට මං සාමාන්‍ය තත්වයට ආවා..

ඊට පස්සේ බෙහෙත් වගයක් ලියලා දීලා එක්ස්රේ එකකුත් අරං එන්න ලියලා දුන්නා. ඒක ගන්න කිව්වේ පහුවෙනිදා...

ඉතිං ඔය එක්ස්රේ එක ගන්න එන්න කිව්ව දවසේ පාන්දර බඩ සුද්ද වෙන්න බෙහෙත් එහෙම බීලා ආවත් එදා එක්ස් රේ මැෂිම කැඩිලා. කොහොම හරි දෙවෙනි පාරටත් බඩ සුද්ද වෙන්න බෙහෙත් බීලා ඊට දවස් දෙහෙකට පස්සේ ගත්තා එක්ස්රේ එක.

ඒ ගත්තු එකත් අරගෙන ආයෙම ගියාම අර දොස්තරතුමිය ගාවට එතුමිය කියනවා මේක හවසට මොකාටද මංදා පෙන්නන්නළු... මල මඟුලයිනේ.. ඇයි මේ උන්දෑ එතකොට පාස්කරලා තියෙන්නේ දොස්තර විභාගේ නෙවෙයිද..? සාමාන්‍යයෙන් එක්ස්රේ එකක් බලලා මුත්‍රා ගල් සම්බන්ධව බෙහෙතක් හේතක් ලියා ගන්නවත් බැරි.. අඩුම ගානේ ඒ සම්බන්ධ සුළු හෝ දැනුමක් නැති කෙනෙක්ද..?

මාත් ඉතිං හාකෝ කියලා එළියට ඇවිත් අර කිව්ව මොකද්ද මංදා ඉංග්‍රිසී අකුරු වලින් කියපු හාදයා හම්බ වෙන්න සල්ලි බැඳලා රිසිට් එහෙකුත් අරගෙන ආපහු ගිහින් හවස ආවා.

මගේ රිසිට් එකේ වෙලාව තිබුනේ හවස හය කියලා උනත් අනිත්මේදී හත විතර වෙලා තමා මට ඒ ඉංගිරිසි අකුරු උත්තමයව හම්බ වෙන්න ඇහැකි උනේ.

ඒ ගියාම මගේ නම වයස එහෙම අහලා ලියාගෙන අසනීපේ ඇහැවුවම මං කිව්වා විස්තරේ.. ඒ පාර බඩ එහෙම ඔබලා.. හුස්ම ගන්න එහෙමත් කියලා ටිකක් කල්පනා කරලා කියනවා මේක මෙහෙම බලන්න බැහැ එක්ස්රේ එකක් ගන්න ඕන කියලා... මං පටස් ගාලා දුන්නා ආ මෙන්න තියෙනවා ගත්ත එක්ස්රේ එක කියලා..ඒක මෙච්චර වෙලා මේ මනුස්සයට පෙනිලා නැතිවද කොහේද...

ඔන්න උන්දෑ ගත්තා එක්ස්රේ එක අතට..අපරාදේ කියන්න බැහැ ඕන පිංගුත්තරයෙකුට ඒකේ පැහැදිලිව පේන්න තියෙනවා මුත්‍රාශයේ ගලක් තියෙන විත්තිය සහ ඒකේ පැහැදිලි සටහන...(මටත් පෙනුනේ..)
ඔය තියෙන්නේ..ඔයාලටත් පේනවා නේද..?

ඉතිං උන්දෑ බැළුවා මේක ගත්තා අතට පෑන.. මොනවද මංදා ලියන්න වගේ ගිහින් ආයෙමත් නැවතුනා.. හැරුනා මගේ පැත්තට...

"ඔව් එක්ස්රේ එකේ හැටියටනං ගලක් තියෙනවා තමා..ඒත් අපි තව කෝකටත් ස්කෑන් එහෙකුත් කරමු.."

මං ඉතිං මොනවා කියන්නද ඔහේ උගුඩුවා වගේ බලං ඉන්නවා..අර මනුස්සයා මොන මොනවද ලියලා මගේ අතට දුන්නා කොලයක්...දීලා කියනවා...

"ආ මෙන්න මේ ස්කෑන් එක කරගන්න. ඒක කෙරෙන හැටි රිසෙප්ෂන් එකෙන් කියයි. ඊ ළගට මෙන්න මේ මුත්‍රා පරීක්ෂනයත් කරං එන්න..මං දැනට බෙහෙත් කිහිපයක් ලියලා තියෙනවා ඒකත් පාවිච්චි කරන්න"

මං ඒ ටිකත් අරගෙන අර කිව්ව විදියටම තවත් දවසක හවස් වරුවක් කාගෙන ස්කෑන් එකත් කරගෙන..කලින්ම කරගත්තු මුත්‍රා පරීක්ෂණයේ රිපෝට් එකත් අරගෙන ආවා මේ ටික පෙන්නන්න කියලා...

කොහොම හරි එදත් පැයක් එක හමාරක් පෝලිමේ ඉඳලා කොහොම හරි ගියා ඇතුලට. ගිහින් කිව්වා මං ආවේ එදා අර කියපු පරීක්ෂණ වාර්ථා ටික පෙන්නන්න කියලා...

ලොක්කා ගත්තා ඒ පාර මුත්‍රා පරීක්ෂණ වාර්ථාව..බැළුවා ටිකක්.තිබ්බා ඒක පැත්තකින්..ගත්තා ස්කෑන් එකේ රිපෝට් එක... බැළුවා ඒකත්... ඊට පස්සේ ඒක ආයමත් දෙකට තුනට නවන ගමන් කියනවා මෙහෙම...

"හ්ම්ම්ම් මුත්‍රාශයේ පොඩි ගල් කෑල්ලක් තියෙනවා... ඒක මුත්‍රා මාරගයේ පහලට වැටිලා හිර වෙලා තියෙන්නේ.. අපි කෝකටත් එක්ස් රේ එකක් අරගෙන බලමු.."

මුගෙ අම්මට හු** ගන්න ඔන්න මට යකා නැග්ග වෙලාව... අම්මපා කේන්ති යන එක කේන්ති ගියා උපරිම...

"ඇයි මං කලින් එක්ස්රේ එක පෙන්නුවේ..ඒක බලලා මදි කියලා නේද ස්කෑන් එකක් කරන්න කිව්වේ..දැන් මොකටද ආයෙමත් එක්ස්රේ එකක් කරන්නේ..?" තද වෙච්ච පාර මං එහෙමම කිව්වා විතරයි..

"ආ ආ ඇත්තද..හරි හරි එහෙමනං මං බෙහෙත් ටිකක් ලියලා දෙන්නං.." කියලා ඔන්න ලියපි දිග තුණ්ඩුවක්...

ඒක එහෙම මගේ අතට දීලා ආයමත් වංගියක් මෙන්න පොර මට දෙනවා අනුශාසනාවක්...

"මේ බෙහෙත් ටික ගන්න.. ඒ ගමන්ම ඔය සිංහල බෙහෙත් ටිකකුත් කරන්න. මේ වගේ දේවල් වලට හොඳ සිංහල බෙහෙත්. ඒවායින් ඔය ගල් දිය කරන්න පුළුවන්...දන්නවනේ ඔය අක්කපාන..කැකිරි වගේ ජාති එහෙම.."

ඒකනං ඇත්ත තමා..මොකද මං කලින් වංගියෙත් අක්කපාන කොළ සම්බෝලෙන්ම තමා ගොඩ ආවේ..ඒත් ඉතිං ඒවයින් ගොඩ යන්නනං මොන එහෙකටද මේ බෙහෙතුත් ලියන්නේ.. තේරුං ගන්න අපහසු වගේම මෙතන මංනේ ලෙඩා.. කියලා මතක් උන හින්දා මං ඔළුව වනලා ඇවිත් අර බෙහෙතුත් බොන ගමන්ම අක්කපාන කොල සම්බෝලත් කාලා යන්තං එක්තරා උදෑසනකදී ඔය කිව්ව ගල් කෑල්ල එළියට පන්න ගත්තා...

කොහොම හරි වැඩේ ඉවර වෙනකොට මට ඔය පුංචි ගල් කෑල්ල සෑහෙන ගානකට තට්ටු කරවලයි තිබුනේ.. ඒත් ඒ ගල් කෑල්ලට වඩා ගානකට අර දොස්තරයා තට්ටු කරන්නයි ලෑස්ති උනේ... ලෑස්ති උනා නෙවෙයි ඇත්තටම ඌ ඒ වෙනකොටත් තට්ටු කරලා තිබුනේ. තව ඩිංගෙන් තවත් තට්ටු කරනවා...

..........................................

ඇත්තටම මේක ලියන්න උනේ කාලකණ්නි දොස්තරලාගේ හැටි ලියන්න මිසක් අතරින් පතර අහු වෙන හිත හොඳ මනුස්සකං දන්න දොස්තරලාගේ හිත රිදවන්න නෙවෙයි කියන කාරනාවත් කියන්න ඕන. මොකද මුදල් ගැන හිතන්නෙ නැතිව මට උදව් උපකාර කරපු දොස්තරවරු කිහිපදෙනෙක්ම මගේ මතකයේ ඉන්නවා... පිඹුර ඉස්පිරිතාලේ ඩී ඇම් ඕ මහත්තයා වගේම වතුපිටිවල ඉස්පිරිතාලේ හිටිය මුස්ලිම් තරුණ වෛද්‍යවරියක් එහෙම ඒ අතරින් සුවිශේෂයි. ඒත් එහෙම අය බොහෝම අල්පයක් තමා ඉන්නේ. වැඩි හරිය ඉන්නේ මං ඔය කලින් කිව්ව ජාතියේ දොස්තර මුදලාලිලා... උන්ට එහෙම කියන්න මං පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ..

උන් තමා වෛද්‍ය වෘත්තීය වේසකමේ යවන්නේ... එහෙම උන්ට හෙන ගහපං කියලා කියනවා ඇර වෙන මොනවා කියන්නද..?

අනිත් දේ තමා එහෙම උන්ට වැරදිලාවත් දොස්තර මහත්තයා කියන චවනේ පාවිච්චි කරන්න මං කැමති නැහැ... ඒත් බල්ලෝ මී හරක්..බූරුවෝ කියලා කියන්නත් බැහැ ඒක ඒ කාටවත් වරදක් නැති අහිංසක සත්තුන්ට කරන අපහාසයක්.. උන් ඒ තරමටම හොඳයි මුං එක්ක බැළුවම...

.........................................................

මට තියෙන අනිත් ප්‍රශ්නේ තමා ඉගෙන ගන්නවා වැඩි වෙන්ට වෙන්ට වෛද්‍යවරු බබාලා වෙනවද කියන එක. පුංචි ලෙඩේටත් විශේෂඥ වෛද්‍යවරුම ඉන්ට ඕන අහවල් එහෙකටද..? සාමාන්‍ය එම් බී බී එස් වෛද්‍යවරුන් කියන්නේ මුත්‍රා ගල් වැනි රෝගී තත්වයක් ගැනවත් ප්‍රතිකාර කරන්න දන්නේ නැති අත දරුවොද..? අම්මප ඔය එම් බී බී එස් කියන්නේ අර මං බාස් කොරපු එම් බී බී එස් එක වගේම ඇති කයලත් මට වෙලාවකට හිතෙන්නේ ඔය වගේ වෙලාවට තමා...

අනේ ඉතිං හිච්චි එකා කාලේ ඉඳලා මගේ ලෙඩ දුක් වලට බෙහෙත් හේත් කල ගොඩ වෙදෙක් වෙච්ච අපේ මාමාට නිවන් සුවම අත් වෙන්න ඕන...

අදටත් උන්දැගේ තෙල් බෙහෙත් සාත්තුවලට පින් සිද්ධ වෙන්න තමා මගේ හතර හන්දි මෙහෙමවත් තියෙන්නේ...ඉපනැල්ල ගලවලා ගහ ගන්ට ගිහින් පස් කුට්ටියක්ම ඇහැට ගිහින් මාව නැත්තටම නැති වෙච්ච වෙලාවේ කොහොඹ දළු..රතුළුණූ..නිදිකුම්බා මුල් වගේ දේවල් වලින් බෙහෙත් කරලා ඇස් දෙක සනීප කලේ නැත්තං අද මං එකැස් බුවෙක්..හන්දි වෙදකං කරන ගමන්ම ඇස් වලටත් බෙහෙත් කරන්න තරං දක්ෂ උන මාමාගේ හැටියට බලපුවාම මේ එම්බීබීඑස් ලට වඩා මාමාගේ ගොඩ වෙදකං හොඳයි කියන තත්වෙට මාව පත් කලේ උන්දැලම මිසක් වෙන කවුරුවත් එහෙම නෙවෙයි ඕං...

එක මකුණෙක් කෑවම ඉතිං ගේම දෙනවනේ රැලටම නේද..? මගේ කැත පුරුදු..ෂික්
(අන්න අරහේ ප්‍රමිතියක් ගැනත් කවුද මංදා මොනවද දොඩවනවා ඇහුනා..)

24 September 2011

බුවාගේ මිරිකීමෙන් අපට සැප...

හරි රට වටේ ගියා මදෑ..අදවත් එමු හරි පාරට...

මං කිය කිය හිටියේ අර "නිල" අල්ලන සර් එක්ක තවත් කෙනෙක් පංතියට එක පාරටම ආව හැටිනේ.. එයිට තත්පර ගානකට කලින්නේ අපේ බුවා පංතියට කඩං ඇවිත් වාඩි උනේ... ඔන්න දැන් ඉන්නවා මෑන් හොර පූසා ලුක් එක දාගෙන... මූණ රතු වෙලා.. ආ මට කියන්න බැරි උනානේ..මේකා සුදු කොළුවා..ලෝක ඇම්ඩා.. දවසකට එකක් හරි මැන්ටල් වැඩක් නොකර ඉන්නෙත් නැහැ.. හැබැයි ඕනම වෙලාවක මූ හොරයක් වංචාවක් කරපු ගමන් මුගේ මූණ දිහා හරියට බැළුවොත් කියන්ට ඇහැකි. මොකද මුගේ කන් දෙක රතුම රතු වෙනවා බොරු කියද්දී.. ඒත් ඉතිං ඒක දන්නේ අපිනේ.. ගුරුවරු දන්නවද ඕවා...

හරි අපි දැන් අනිත් කෙනාගේ පැත්තට හැරෙමු... ඒ කිව්වේ "නිලේ" සර් එක්ක ආව අනිත් කෙනා.. ඔව් ඔව් ඔයාලට හැරෙමු කියලා මං දැන් කිව්වට අපිනං එයා පංතියට ආව වෙලේ ඉඳලා ඒ පැත්තටම හැරිලා තමා හිටියේ... නිකම්ම නෙවෙයි ඇස් උඩ ගිහින්.. කන් පාත් වෙලා..කට ඇරිලා.. එක විකාරයයි... එහෙම නොවී තියේද ඉතිං ගහක් කොලක් නැති කාන්තාරයක ඉඳ හිට තියෙන තුත්තිරි ගස් කොලන් අතරට පිණී ජම්බු ගහක් වගේ එකක් ආවම...

ආයේ ඉතිං කියන්නත් දෙයක්ද මේ තමා අපේ ඉක්කෝලෙට අළුතින් ආව ගුරුතුමිය... හරි ප්‍රියමනාප පෙනුමක් සහිත... ගුරු භවතිය... ඉගැන්නුවේනං මොනවද මංදා..මට යන්තමට මතක හැටියට ඉංග්‍රිසි හරි විද්‍යාව හරි තමා... වයස ඉතිං තිහත් හතළිහත් අතර විතර ඇති.. ඒත් ඉතිං ගමන බිමන.. ඇල්ම බැල්ම.. කතාව බහ.. සිනහ මල්ල..හපොයි..කොහොමනං වර්ණනා කරන්ටද..ආයේ ඉතිං දැක්ම හිතෙන්නේ දහ අටයි විස්සයි කියලා ඒ තරමට කොමලේ...

ඇත්තම නොකිව්වොත් ඒක අඩුවක්නේ... බොරු මොකටද අපි සෙට් එකම ඉතිං ඒ දවස්වල පික්ෂු වැටිලා තමා හිටියේ... ඒත් අපේ කරුමෙට ඒ ලස්සන සූටි ටීචර්.. ආ සූටි කිව්වට ඉතිං සූටිමත් නැහැ උසයි රතුයි පිරුණු දේහේ ඒ උනාට ලොකු ලොකු කැටපිලර් අස්සේ කිරි බවුසර් සූටියිනේ... ඉතිං මේ සූටි ටීචර් අපිටනං උගන්නන්ට යෙදුනේම නැහැ.. අපිට ඉතිං වෙනදා වගේම අර දැකලා පුරුදු කරමලේ සුදුම සුදු උදවිය තමා... අපි ඉතිං ඒ ගැන විස්සෝප වෙවී ඉන්න දවස්වල එක පාරට මේ වගේ හදිසි ආගමනයක් උනාම කලබල නොවී තියේද..?

ඒත් ඉතිං අපට වඩා එයා කලබලයි.. දාඩිය දාලා.. රතුවෙලා... කේන්ති ගිහින්..වෙව්ල වෙව්ල..එක පාරටම පන්තිය පුරා බැල්මක් හෙළලා...

"ඔය ළමයා මොකද ඔළුව හංගගෙන උස්සනවා ඔළුව.." කියලා ඇඟිල්ල දික් කලා.. අපිත් ඉතිං සුළු මොහාතකට ටීචර්ගේ සිරි නරඹන එක නවත්තලා තියලා ඒ සූටි ඇඟිල්ල දිගු වෙච්ච දිහාවට සරල රේඛීයව ඇස් ගෙනිච්චා... හුටා.. මෙන්න මේ නාම්බා අර සරල රේඛාවේ කෙලවර.. ඔව් ඉතිං අර මං කලින් කිව්ව බුවා තමා...අරුත් හිමිහිට වෙව්ල වෙව්ල ඔළුව ඉස්සුවා...ඒත් එක්කම...

"ඔව් සර්..මෙයා තමා..මෙයා තමා.. මෙයාම තමා ඒ..." කියලා අර සියුමැලි තොල්වලින් ගොරහැඩි වදනින් කියඋනා...

ඒත් එක්කම අපේ නිලේ සර්..
"ඒයි නැගිටහං බලන්න.." කියලා තර්ජනාත්මකව කිව්වා.. උන්දෑ එහෙම කිව්වම අපේ බුවා විතරක් නෙවෙයි අපිවත් නිකම්ම නැගිට්ටෙනවා.. ඒ තරමට අපි උන්දැට බය නෙවෙයි බියයි...

ඔන්න හොඳම වදන් පෙළ නිකුත් උනේ ඒ වෙලාවේ තමා... අපේ බුවා නැගිට්ටා හිමිහිට..හරියට හුඹහින් ඇදෙන තලගොයා වගේ.. ඒ නැඟිටින ගමන්ම මූ කියනවා..

"අනේ සර් මං නෙවේ..මං නෙවේ.." කියලා...

සර්ට විතරක් නෙවෙයි ඉතිං අපිටත් හිනා ගියා කියහංකෝ.. මං නෙවේ කියන්න උනේ මොකක්ද කියලවත් අපි දන්නෙත් නැතිව මූ කොහොමද මං නෙවේ කියලා කියන්නේ...

"හා හා උඹ නෙවේ වගේ තමා.. එහෙනං කවුද කලේ..? මොකක්ද කලේ කියලා දැන ගන්න වරෙංකෝ යන්න එළියට.." කියලා ඔන්න යන්තං කොළුවව මරන්න ගෙනියන හරක වගේ අරං අර ජෝඩුවම පිටත් උනා...
එතනින් එහාට කිසිම තොරතුරක් දැන ගන්න හැටියක් නැහැ..ඒත් හැමෝටම විශ්වාසයි මොනවා නමුත් මගෝඩි වැඩක් අරකා කරලානං තමා කියලා... කොහොම හරි ඉවසා වදාරාගෙන පැය බාගයක් විතර ඉඳලා අපේ උන් දෙන්නෙක් ගියා හොර බළල්ලු වගේ පහල පැත්තට මූට මොකද උනේ කියලා දැන ගන්න... ඒ ගිය දෙන්නා ඊට විනාඩි කිහිපයකින් ආපහු ආවා බඩවල් අල්ලං හිනා වෙවී...

"අඩේ මොකද බං වෙලා තියෙන්නේ...?" ප්‍රශ්නය අපෙන්... උත්තරය උන්ගෙන්...

"අන්න ඉන්නවා භූ**ගේ ඔෆිස් එක ඉස්සරහ දණ ගහගෙන.."

(මෙහි භූ** යනු අපේ අංශභාර විදුහල්පති තුමා බව කාරුණිකව සලකන්න. හිටි හැටියේ නොසිතූ තැන්වලින් ප්‍රාදූර්භූත වීමේ එතුමාගේ ඇති හැකියාවට අප විසින් ලබා දුන් නම්බු නාමයක් විනා එතුමාට කිසිසේත්ම අපහාස කිරීමේ අරමුණකින් දැමූ නමක් නොවන බවත් සලකන්න..මක් නිසාද යත් එච්චර මනුස්සකං තියෙන ගුරුවරු ඇත්තටම දකින්න ලේසි නැති නිසා.. කොයිරං බැන්නත්.. දණ ගස්සවනවා වගේ දඩුවම් දුන්නත් කවදාවත් කාත් එක්කවත් තරහක් තියා ගන්න අයකු නොවේ... අද දඩුවම් කල සිසුවා වූවද හෙට නැවත ගොස් කුමක් හෝ කියා සිටි විට කිසි විටකත් පෙර වැරදි ගැන අබමල් රේණුවකවත් සිහිපත් කිරීමකින් තොරව සිසුන්ගේ කරුණුකාරණා සම්බන්ධව ඇප කැප වී ක්‍රියා කල අයකු වේ..)

"මොකක්ද බං ඌ කරලා තියෙන්නේ..?"

"මොනවද ඉතිං අර අළුත් මැඩම්ගේ පු* මිරිකලා දුවලනේ බං.."

"නෑ..."

"නෑ නෙවෙයි බංස්ලා.. මූ පස්සෙන් ඇවිත් එක පාරට මිරිකලා දුවනකොටම මැඩම් මුගේ අතින් අල්ලගෙන..මූ අත ගසා දාලා දුවලා..ඒත් මැඩම්ට මූණ පෙනිලා...මූ පස්සෙන්ම පන්නගෙන ඇවිල්ලා..කරුමෙට "නිලේ"ත් අතර මඟදී සෙට් වෙලා... අන්න ඉන්නවා පහළ..ඕනනං උඹලත් ගිහින් අහලා බලහල්ලා.."

කොහොම කොහොම හරි ඉතිං අපි හැමෝම මාරුවෙන් මාරුවට ගිහින් ෂේප් එකේ විස්තර අහගන ආවයි කියමුකෝ.. කතන්දරේ ඇත්ත..මුලින් මුලින් මේකා ඇඹරි ඇඹරි කිව්වට මොකද ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකොට කිසිම අවුලක් නැතිව හිටියා... එයිට පස්සෙත් දවස් කිහිපයක්ම බුවාගේ රාජකාරිය උනේ උදේට ඉස්කෝලේ ඇවිත් පොත් බෑග් එක පන්තියෙන් තියලා ගිහින් අතන දණ ගහගෙන ඉන්න එකම තමා... හැබැයි හිතන්න එපා ඌනං ලැජ්ජාවෙන් හිටියා කියලා..පොර නිකං හිටියේ ඇමරිකාවට ගහපු බින් ලාඩන් වගේ ෆුල් ආතල් එකේ.. ඇයි යකෝ ලේසි පාසු වැඩක්ද මූ කෙරුවේ...?

හැබැයි ඔය කතාවම ඔයිට කලිනුත් මුගේ අතින් වෙලා තිබුනා..ඒ අපේ උං ටිකක් සීගිරියේ විනෝද චාරිකාවක් ගිය දවසක.. ඒකට මටනං ඉතිං යන්න උනේ නැහැ..දන්නවනේ ඉතිං මගේ ආර්ථිකේ.. පුළු පුළුවන් උං ටිකක් ගිහින් ආවා.. ඒ ගිහිල්ලත් සීගිරියෙදී සුද්දියෙකුටත් ඔය දේම කරලා දුවලා අනූ නවයෙන් තමා බේරිලා ඇවිත් තිබුනේ... ඒ කතාව දන්න හින්දා අර නිව්ස් එක අපිට ඒ හැටිම පුදුම වෙන්න දෙයක් උනේ නැහැ..අපි දන්නවනේ යාළුවා කවුද කියලා...

..................................................................

ඔකේ හොඳම වැඩේ තමා දවසක් දෙකක් යනකොට මූ නිකං අංශභාර විදුහල්පතිතුමාගේ පියන් වගේ වෙච්ච එක... දණ ගහගෙන ඉන්න ගමන් මොනවා හරි දේකට කොහේට හරි යවන්න කෙනෙක් නැති උනාම භූ** තුමා මූව නැගිටවලා ඒකට යවනවා.. බුවාටත් මොකද ඉතිං කොහොමත් රස්තියාදු ගහන එකානේ..ආසාවෙන් ඒ හැම තැනම යනවා..අන්තිමට මේකා හරිම ආසාවෙන් ඉස්කෝලේ එන්න ගත්තා... ඇයි ඉතිං දැන් අංශභාර විදුහල්පතිගේ දකුණු ආසියාව භාර නිත්‍ය නියෝජිත වගේනේ...

ඔය අස්සේම මේකා තවත් පිංකමක් කර ගත්තා.. ඒ තමා අපේ පැමිණීම එහෙම නැත්තං සීයයට අසූව හදලා දීම...

අපි ඉතිං ඉස්කොලේ ගියේ අවාරෙට කජු වැටෙන්නැහේ නෙව... ඒත් සාමාන්‍යපෙළ විභාගෙට පෙනී ඉන්නනං පැමිණිම සීයයට අසූව ඉක්මවලා තියෙන්න ඕන.. මගේ එහෙම ගණන් හදලා බැළුවම තිබුනේ සීයයට 65ක් වගේ තමා.. හැබැයි ඒ පංතියේ නාම ලේඛණයට අනුව. ඒත් විභාගයට අවසර දෙන්න ගණන් බලද්දී ඒ ප්‍රමාණයට අපේ ප්‍රගති වාර්ථා පොත්වල තියෙන ප්‍රමාද වී පැමිණීමේ සීල් ප්‍රමාණය ගැනලා ඒකත් එකතු කරනවා.. ඔය සීල් එක හැමදාම උදේට ශිෂ්‍ය නායකයින් විසින් ගේට්ටුව ගාවදී පරක්කු වෙච්ච උන්ගේ රිපෝට්වලට ඊට අඳාල පිටුවේ මාක් කරලා අහවර වෙලා ගෙනත් තියන්නේ අංශභාර විදුහල්පතිතුමාගේ මේසය උඩින්..

දැන් හිතා ගතෑකිනේ.. සිද්ධ වෙන දේ.. අපේ බුවා ඔය හැම දේම මීටරේට දාගෙන අපේ එක එකාගේ රිපොට් කාඩ්වලට ඔෆිස් එකේ කවුරුවත් නැති වෙලාව බලලා අර සීල් එකේ දින මාරු කර කර ගහලා කොහොම කොහොම හරි පැමිණීම සීයයට අසූව හදලා දුන්නා... එහෙම බැළුවම මං විභාගෙට ලිව්වෙත් ඔන්න ඔය බුවාතුමාට පිං සිද්ධ වෙන්න කිව්වොත් ඒකේ වරදක් නැහැ ඕං...

ඉතිං කොහොමද කටක් ඇරලා ඌට කියන්නේ "කැත වැඩ කරන්න එපා මචං" කියලා... ඒ හින්දම පස්සේ අපි ඉතිං අහන්නේ "ආයේ මිරිකන්න එහෙම එකක් අහු උනේ නැද්ද බං..?" කියලා තමා...මොකද ඉතිං බලාගෙන යද්දී ඒ මිරිකීම හරහා අපටනේ සැප ලැබුනේ..

දැන් ඉතිං මේක බලන උදවියත් සැප ගන්න කියලා ඔය එක එක ඒවා මිරිකන්න යනවා එහෙම නෙවෙයි...සමහර විට සැප කනේ හිටින්නත් බැරි නැහැ...ඕං වේලපහම කිව්වා...

....................................................

මේවා ඉතිං මහා ලොකු කතා නෙවෙයි තමා..ඒත් ඉස්කෝල කාලේ සිද්ධ වෙච්ච දේවල් අතර අදටත් අමතක නොවී තියෙන කතා ගොන්න අතරේ තියෙන පුංචි පුංචි මතක කෑලි නෙව... අමිහිරි මතකයන් ගොඩක් අස්සේ තියෙන පුංචිම පුංචි දේ උනත් කොයි තරං වටිනවද..?

22 September 2011

නිල අල්ලන වීරයෙක්...ඉස්කොලේ කතාවේ දෙවැනි භාගේ...

අපොයි ඔන්න මං ආවා... හැබැයි ඊයේ නාන්ට ගිය වෙලේ ඉදන් නනා හිටිය කියලා එහෙම හිතන්ට එපා..තව තව කොයිතරංනං වැඩ රාජකාරිද මට..? රෑ 12ට විතර බ්ලොග්වල ටෙම්ප්ලේට් හදන්නයි..ආයේ පාන්දරට නැගිටලා බලලා රෑ පැය දෙකතුනක් හදපු එක උදේම අනිත් බාසුන්නැහැ විසින් වාස්ප කොරලා කියලා මර නින්දේ ඉන්න අයට කතා කරලා කියන්නයි.. ඔය වගේ වැඩ එමටයි මට...

ඊයේ ඉතිං යන්තං වැඩ ටික පිළිවෙලක් කොරලා නාගන්නට සෙට් උනාට පස්සේ මේක ලිය ලිය ඉන්ට හිතුනේ නැහැ..මොකද ඒ වෙනකොටත් පතරංග ජාතකයක් ලියවිලා තිබුන හින්දා...
අනික ඉතිං ඔච්චර මෙගා බලන අපේ රටේ උන්දලට මේ අහිංසක මං වෙනුවෙන් දවසක් ඉවෂන්ට බැරිද..? හා නැද්ද මං අහන්නේ..?

හරි ඒ කතා වැඩක් නැහැ අපි පටාන් ගනිමු ඊයේ නවත්තාපු තැනින් ආරම්භය ගන්ට... අමුතුවෙන් කියන්ට දෙයක් නැහැනේ දැන් ඔන්න අපේ බුවා හොර පූෂා වගේ යටැසින් බැළුම් හෙල හෙල ඉන්නකොටම පැන්නා දෙන්නෙක් පංති කාමරයට... එක්කෙනෙක් සැමදාමත් අපේ සුපුරුදු භිතිකාව... නොහොත්... විනය භාර ආචාරිය උතුමා වෙච්ච නිලවීර මැතිතුමා... හපොයි උන්නැහේ ගැනත් මොනවාම හරි කියන්ට එපැයි...

අපරාදේ කියන්ට බැහැ උන්නැහේ උගන්නනවානං දකින්ට හරි අමාරුයි..මට මතක හැටියට සිංහල හා බුද්ධ ධර්මය වගේ විෂයන්ද කොහේද තමා ඉගැන්නුවේ..ඒත් ඉතිං උගන්නන්ට කොහේද එතුමට වෙලාවක්..පුරස්න පුරස්න.. ඇයි හත් ඉලව්වෙ මේ අපි වාගේ දැහැමින් සෙමින් ඉගෙන ගන්නවායෑ ඔය කොඹළ ඉස්කෝලවලට යන හැම එකාම.. උන් පීරියඩ් කට් කරනවා.. ඉස්කොලෙන් පනිනවා.. කොහේ හරි අහු කොනකට වෙලා ලස්සන ලස්සන කතා රූප එහෙම තියෙන පත්තර බලනවා.. ගහ මරා ගන්නවා.. ඕවා හොයන්ටත් ඕන එතුමා නෙව.. ඒ විතරක්යෑ.. කොන්ඩ වවාගෙන එන උන්.. මාල පළන්දාගෙන එන උන්.. එකෙක් දෙන්නෙක් කියලද..? ඒ විතරක්ද පොඩ්ඩ ඇත්තං පන්ති කාමරවල ගෝසා කොරන උන් එමටයි... ඉතිං ඔය දේවල් බලන්ට අපේ නිලවීර ගුරු මහත්මයට සිද්ධ වෙලා තිබුනේ...

සුදු වේට්ටිය ඇඳලා..අත් දිග කමිසේ ඇඳලා..හංකඩ ගැහුනු නිල්පාටට හුරු ගමන්මල්ලක් වගේ එකක් එක කිහිල්ලක ගහගෙන..අනිත් අතින් දිගම දිග දාර සයිස් වේවැලත් අරගෙන.. බුලත් විටක් එහෙම හප හපා වත්ත වටේ ඇවිදින එක ලේසි වැඩක්ද..?

ඒ කිව්වාම මතක් උනේ මේ ගුරුමහතැන් නමේ හැටියටම තමා ඉතිං වැඩත් අපරාදේ කියන්ට බැහැ... නිල ඇල්ලීමේ විශාරදයෙක් තමා ඕං... කොච්චර දක්ෂ නිල වෙදකම දත් අයෙක්ද කිව්වොත් මට මතක් වෙනවා එක වංගියක් මාත් උන්දැගේ නිල වෙදකමේ රග සොභාව අත්දැකපු හැටි...

එතකොටනං අපි හිටියේ දහය වසරේ... තාප්පය අයිනටම වෙන්න හදාපු තට්ටු දෙකේ බිල්ඩිමක උඩ තට්ටුවේ පංති කාමරයක.. තාප්පෙන් එහා පැත්තේ තිබුනේ තරමක් විශාල තට්ටු දෙකක බංගලාවක්.. ඔය බංගලාවේ ලේසියෙන් කෙනෙක් ඉන්නවා දකින්ටනං නැහැ... ඒ හින්දා අපිත් ඔය පැත්ත බලනවා හරි අඩුයි.. ඒත් දවසක් දා අපේ ගණීතය විෂය භාර ගුරුතුමිය අපිට උගන්න උගන්න ඉන්නකොට මොනවා හරි දේකට උත්තර දෙන්ට අපේ පන්තියේ හිටිය අප්පයියා බාල ක්‍රිෂ්ණන් යන ආරූඪ නාමයෙන් පිදුම් ලද පෝරිසාදයාට සිද්ධ උනා.. ඌ නැගිටලා උත්තර දුන්නා උනත් ඒක වැරදුන නිසාද කොහේද දැන් ඒකට වාඩි වෙන්ට තහනං..දඩුවම සිටගෙන සිටීම...

ඔහොම යනකොට ටික වෙලාවකින් අපිට පේනවා මුගේ මොනවා නමුත් විපරියාසයක්... උගේ ඇස් දෙක දැන් තියෙන්නේ බිත්ති කණ්ඩියට එහායින් අල්ලපු වත්ත දිහාවේ.. ආයේ ඉතිං කියන්ට ඕනද..අපි දන්නවනේ සතාගේ තරම... ඕකා ඔච්චර උනන්දුවෙන් බලයිද තොරනක් දිහා මිස වෙන මොන යම්ම හෝ දෙයක් දිහාවේ.. ඉතිං හිමිහිට අහනවා..

"මොනවද යකෝ එබි එබි බලන්නේ..?"

අනේ මූත් කියනවා

"කිය කිය ඉන්න බැහැ යකෝ හෙන ආතල් සීන් එක නැගිටලා බලපියවු"

දැන් මක්කා කොරන්නද එකා දෙන්නා හිමි හිමිහිට ඉස්සිලා විපරං කොරනවා..මොකද ඉතිං මාත් කියලා නිකං හිටීයෑ.. බැළුවා ඉස්සිලා.. හත් ඉලව්වයි... එහා පැත්තේ අඩනිරුවත් දරුශනයක් නේද බොල...

අර කවදාවත් සෙනඟ පුළුටක් දකින්න නැති බංගලාවේ සඳළු තලයේ කවුද මංදා කාන්තා රත්නයක් යට ඇඳුම් පිටින් වෙන කොහේදෝ බලං ඉන්නවා කියහංකෝ...

මේක ඉතිං කටින් කට ගිහින් ඇහින් ඇහැට යන්ට තත්පර ගානක් යන්ට ඇති ඕනනං.ආයේ ඉතිං කියන්ටත් ඕනද..? හත් අවුරුද්දකින් කෑම නැතිව ඉඳලා හිටි හැටියේ වතුරට දාන පාන් කෑලි කන්ට මැණික් ගගේ බට්ටො මාළු උඩ පනින්නැහේ අපිත් එකා එකා නැගිටිනවා ඉඳ ගන්නවා.. ඒ අතරේ සමහර උන්ට දර්ශනය අඛණ්ඩව ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙලා..ගුරුතුමියගෙන් අහනවා

"මං උත්තර දෙන්නද ටීචර්..මං උත්තර දෙන්නද..?" කියලා...

බලහල්ලාකෝ තියෙන උනන්දුවක තරම... හැබැයි නැගිටින එකෙක්වත් හරි උත්තරේනං කියන්නේම නැහැ..වෙනදට එකෙන්ම කප් එක ගහන උනුත් දෙන්නේ මේ අපි වගේ උන් විසින් දෙන්න නියමිත උත්තරමයි.. රහස තමා ඉතිං උත්තරේ වැරදුනහම හිටෝලා තියනවනේ... දැන් ඉතිං පංතියෙන් බාගයක් හිටගෙන..ඒත් ඩිංග වෙලාවක් යනකොටම ගුරුතුමීට සීන් එක මීටර් උනා කියමුකෝ.. එතුමියත් ඉතිං පොඩ්ඩක් ඇඹරිලා කරලා කාරිය..

"හා හා.. වාඩි වෙනවා ඔක්කෝම.." කියලා කිව්වේ නැද්ද..?

අනේ ඉතිං එහෙම කිව්වට හරියනවද..? මෙච්චර දුර්ලභ දර්ශනයක් ටිකට් නැතිවම යන වෙලාවේ... අපි තාමත් අර මාළු බල්ටි ගහනවා වගේ නැගිටිනවා වාඩි වෙනවා..දැන්නං ගුරුතුමියගේ පුෂ්ප කදම්භයම විකසිත වෙලා.. මෙන්න බොලේ හිටි හැටියේ දුන්නා නේද අපිට අඤ්ඤකොරොස්වෙලා යන්නම පෝරියල් එකක්...ඇත්තටම දුන්නා නෙවෙයි දෙවුනා...

මේ කොහේවත් නැති අල්ල පනල්ලේ හිටි හැටියේ අපේ පන්තිය ගාවින් ගියේ නැද්ද මං කලින් කිව්ව ජාතික වීරවරයා.. මල විකාරයයි...නිලවීර සර්...

"මිස්ටර් නිලවීර.... පොඩ්ඩක් ඉන්නකෝ..." කියාගෙන අපේ ටීචර් ගියේ නැද්ද එළියට.. ගිහින් කුටු කුටු ගෑවා උන්නැහේ එක්ක...

ඒත් ඉතිං මේ දර්ශනයෙන් මන්මත් වෙලා ඉන්න අපි සැලෙයිද ඕව්වට... අනිත්ම අවස්ථාවේ හරි තව එකම එක පාරක් හරි ඇහැට දාගන්න ඕන කියලා හිතලා මාත් ඉස්සුනා දඩං ගාලා... හුට්ටාරේ....

නිලවීර සර් ඇසිල්ලකින් පංතිය ඇතුලේ...

"ඔන්ඩු පකං.."
"රෙණ්ඩු පකං..."
"මූණු පකං... "
"නැගිටපියවු ප** තුන්දෙනාම... තොපි මොකද කරන්නේ ආච්චිගේ ත* කිරි හොයනවද..? මෙහෙට වරෙවු ගස් බල්ලෝ තුන් දෙනාම" කිය කිය අපි තුන්දෙනෙකුටම ආරාධනා කලේ නැද්ද..?

අපිට නිකං බැන බැන වගේ උනත් මොකද උන්නැහේටත් හිනා මේ වැඩේට.... අපේ ගුරුතුමී පොලොව හාරගෙන යන්න තැනක් හොයනවා.. නිලවීර සර් අර ගුරුතුමියත් ඉන්න තැනම හරි ලස්සන භාෂාවකින් අපිව අමතනවා.. මොනවා කොරන්නද උන්නැහේව පන්තියට වැඩැම්මෙව්ව වරදට ගුරුතුමිත් ඉවසා වදාරා ඉන්නවා...

කොහොම හරි මං උතුමාත් ඇතුළුව තුන්දෙනෙක්ම දැන් මාට්ටු කියමුකෝ මේකට...

අපි දන්නවනේ කොටියගේ තරම.. දැන් නිකං බයේ ගැහි ගැහි යනවා පන්තියේ ඉස්සරහට... කකුල් දෙක මැණ්ඩලීන් ගහනවා... මොකද අපි දන්නවා මෙවුන්දැගේ දඬුවම්වල ගති සොබාව... ඒත් පොඩ්ඩක් හිත සැනසෙන දෙයක් උනා.. ඒ තමා අතේ තිබුන වේවැල මේසය උඩින් තිබ්බ එක.. ඒ කියන්නේ වේවැල් පාර වදින එකක් නැහැ..බුදු අම්මෝ.. ඒත් එක්කම සිහි උනේ කනේ පාර... හරි තමා දැන්නං හම්බ වෙන්න යන්නේ මදි නොකියන්නම..අද කනට තෙල් සාත්තුවක් දෙන්න වෙනවා...

ඒත් කවදාවත්ම නැතිව උන්නැහේ අපිට ආදරෙන් අමතන ගමන් හිනා වෙවීම මෙහෙම කියනවා...

"ඕක වයසේ වැරැද්ද..උඹලට ගහලා වැඩක් නැහැ.. ඒත් මොනවා හරි දඬුවමක් දුන්නේ නැතොත් උඹලා ඊ ළග දවසේ මාව පඩේකටවත් ගනන් ගන්නේ නැහැ ඒ හින්දා මං තොපි තුන්දෙනාට දෙන්නං පොඩි ඉන්ජෙක්ෂන් එකක්.."

එහෙම කියලා අපේ එකෙක්ගේ අත කෙලින් කරලා අල්ලගෙන අනිත් අතින් හරියටම වැලමිට ගාව ඇතුල් පැත්ත තද කරලා ඇල්ලුවා..හරියටම මාපටැගිල්ල වැලමිටේ නැමෙන තැන ඇතුලට කිඳා බහින විදියට..එහෙම තද කරලා අල්ලගෙනම දැන් අරකගේ අත නවනවා දිග අරිනවා... ඔහොම විසි තිස් පාරක් කරලා අතෑරියා..දෙවෙනියට මට..තුන් වැනියට අනිත් එකාට.. එහෙම කරලා ඉවර වෙලා සර් තුමා එළියට යන ගමන් කියාගෙන යනවා..

"දැන් ඕන තරමක් බලාගනියවු.. ඒත් බලන තරමට වැඩක්නං නැති වෙයි.." කියලා..

වැඩේ ඉවරයි..දැන් අපි ඉන්නවා නිකං සුපර්මෑන් තුන් කට්ටුව වගේ..ඇයි යකෝ මුන්නැහේගේ අතටම මාට්ටු වෙලත් කනත් බේරගෙන වේවැලෙනුත් අවුලක් වෙන්නේ නැතිව ඉන්නවා කියන්නේ ලේසිද..? ටීචර් තුමියත් නිකං අස්පය මැරිච්ච සෝරෝ.. අහ් නැහැ.. අස්පය මැරිච්ච ජොකියා වගේ හේබාලා ඉන්නවා...

දැන් ඉතිං නැවතත් පාඩමට..සහ ඒ අස්සේ කතා බහ...

"මොන මඟුලක්ද බං..අරකට පිස්සුද..කිසි අවුලක් නැහැනේ..මොකක්ද ඒ ගත්ත ආතල් එක..?"
"ඒක නේන්නං..මං හිතන්නේ මෑනුත් අපිට අනුග්‍රහය දක්වලා ගියාද කොහේද.."

වැඩේට මාට්ටු උන අපි පුරසාරං කියන අතරේ තවත් අහක හිටිය උනුත් අර අපිට කරපු දේ තමන්ම කරගෙන බලනවා මොකද වෙන්නේ කියලා..

"කෝ බං මුකුත් නැහැනේ" උනුත් කියනවා.. සර්ට පිස්සුද කොහේද කියලා හිතාගත්ත අපි දැන් සංවර ළමයි හැටියට නැවතත් ඉන්නවා නොකර සද්දෙන්..

ඔක්කෝම හරි කියමුකෝ... පීරියඩ් දෙකක් විතර ගත වෙලා ගියා...අනෙ අම්මේහ්... අර වෙලාවේ නොදැනුනාට මොකද දැන්නං අපට තේරෙනවා මොනවා නමුත් අවුලක් තමා කියලා...දැන්නං නිකං අත අපේ නෙවෙයි වගේ...ටිකෙන් ටික අත හිරි වැටෙනවා..රතු වෙනවා..සුට්ටක් විතර ඉඳිමෙනවා... දැන්නං බයත් හිතෙනවා...

කොහොමින් කොහොම හරි එදා ඉස්කොලේ ඇරෙන වෙලාව වෙනකොටනං අපි තුන්දෙනාටම හොඳ ගණන්... එකෙක්ටවත් ඒ අතින්නං කිසිම වැඩක් කරගන්න බැහැ... අපි තුන්දෙනානං බැරියෑ.. ඒක මොකක්ද කියලා කරලා බලන්න ගිය උනුත් කිහිප පොලක්ම ඔය ඉන්නේ හරි සනීපෙට... නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන...

අනේ ඉතිං එදා හවස ගෙදර යද්දී බස් එකේ පොල්ලක් වත් අල්ලං යන්න අර අතින් බැහැ... බොහෝම අමාරුවෙන් වම් අතින් බස් එකේ සීට් එකක් අල්ලගෙන ගියා ගෙදර පහුවදා එළි වෙනකොටත් අර කැක්කුමනං ගිහින් තිබුනේ නැහැ... එළි වෙන ජාමෙට තමා මට තේරුනේ අර සර් තුමා පංතියෙන් එළියට යන ගමන් කියාගෙන ගිය හරුපේ තේරුම...

..............................................

කැඩුවා කැඩිල්ලක් බෙල්ල සාක්කුවට වැටෙන්නම ඕං..අර කිය කිය හිටිය කතාවේ ඉතිරි ටික ඊ ළග ලිපියෙන් හරිද..?

21 September 2011

දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා...

ඉතිං ඔන්න රෑ ජාමෙට මොනවා හරි ලියන්ට කියලා හිතුන හින්දා එහෙමවත් කොරලා බලන්ටයි කල්පනාව. පටන් ගත්තට මොනවා ලියන්ටද මංදා...

අද ඉඳන් දවස් 4ක් මංතුමා එක දිගට රාජකාරි..බොහෝ විට දවස් 4 දවස් 5ක් වීමේ හැකියාවත් තියෙනවා...මගේ වෘත්තීය සඟයා මඟුලේ ගියා නෙව. මඟුලේ කිව්වේ උන්නැහේගේ ඥාතියෙකුගේ වෙඩිමකට බදුළු ගියා කොහොම හරි ඉරිදට වැඩට එන්නං කියලා ගියා උනත් මට ඒ හැටිම ෂුවර් නැහැ..ඒ හින්දා ඕන එකක් කියලා දවස් පහක්ම එක දිගට අදින්න හිත හදාගෙන මං වැඩට ආවා...අනිත් එක මටත් ඊ ළගට මාසෙ අන්තිමට දවස් දෙකක් හෝ තුනක් එක දිගට නිවාඩු ගන්ටත් ඇහැකි මෙහෙම ඇද්දම.. ඒ හින්දා ඔන්න හිත හදාගෙන අඳිනවා..ඒත් කරුමෙට කකුල් හතරයි කිව්වා වගේ වැඩකුත් තියේ ඔය අස්සේ...

ඒ තමා මෙච්චර දවසක් වැඩක් පලක් හරි හමන් විදියට නැති හින්දා ඔහේ ඇදි ඇදි ගිය වැඩ පොලේ අළුත් ඕඩරය ගහන්න අදම පටන් ගත්ත එක..ඇත්තටම ඕඩරේ ඇවිත් ටික දවසක් උනාට අමුද්‍රව්‍ය වල සැපයීමේ අඩුවක් හින්දා වැඩේ ඇදි ඇදි තිබ්නේ..ඒත් අද හවස 6ට විතර බඩු ආවා.. දැන් ඉතිං ලබන මාසේ දහ වෙනිදා වෙනකොට සප්ලයි කරන්න ඕන ඇණවුමේ පලමු කොටස වෙනුවෙන් මේක ඉවරයක් නැතිව වැඩ..අදත් රෑ දහය වෙනකල්..සමහර විට තව හිර උනොත් රෑ දෙක වෙනකල් අදී..

මොනවා කොරන්නද දුක තමා ඇදහංකෝ.. දැන් ඉතිනං නාන්න කන්න නැතිව ඔටුවා වගේ බලං හිටු 10 වෙනකල්... වැඩ කොච්චර තිබුනත් ඒ එකක්වත් කරන්න හිතෙන්නෙත් නැහැ..මේ දවස්වල මට පුදුම කම්මැලි කමක් ගහලා තියෙන්නේ..කොහේ හරි ඇවිදින්න යන්න විතරයි යන්තං හරි කම්මැලිකමක් නැත්තේ... ඒත් ඉතිං මේ දවස් දෙකතුනේ එව්වා සුම්මා...ඔන්න ඔහොමයි පුතේ මෙ දවස්වල අපේ තත්වේ කිව්වළු...

හරි ආව එකේ මොනව හරි කොටලා යමුකෝ...

එහෙම කිව්වට මොනවද අප්පා කොටන්නේ...පරණ මාත්තුරුකා..ම්හූ..එපා මටම අප්පරසන්නයි..කෑම බීම..චැහ් මට බැහැ...අනිත් ඒවත් ඔහොමම තමා... මට පහුගිය කතාවලින් මොනවද ලියන්ට බැරි උන අංස තියෙන්නේ.. හිටු ටිකක් මීටරේ වයින් කොරලා ගන්ට...

..............................................

හරි දෙන්නං ජම්බු... මං අඩුවෙන්ම හෝ ලියලම නැති අංසයක් වෙන්න ඕන ඉස්කෝල ජීවිතේ.. ඔව් බොහොම්යක් අය පස්ට ගගහා ලියන පාසල් කාලය.. ඔව් ඔව් අර ඔය කවුරුත් වාගේ ආපහු වංගියක් යන්ට ආසායි කියන කාලේ තමා..මොකක් ඇහැවුවා..මං ආස නැද්ද කියලා ඇහැවුවා නේද..?

බුදු අම්මේ මටනං එපා... ඒ සුන්දරත්වය යකාට ගියාවේ..මටනං මේ හොඳා... උදේ පාන්දර හතර හමාරට නැගිටලා පහට ගෙදරින් පිටත් වෙලා..හැතැම්ම දෙකක් පට්ට කරුවලේ බයිසිකල් පැදලා.. එතන ඉදන් බස් අල්ලන්නට අමු කට්ටක් කාලා.. ඉස්කොලෙට ගියාය කියමුකෝ... නැති බැරිකං හින්දා එහෙට මෙහෙට විසි වෙවී... තේරෙන්නේ නැති දේවල් අහගන්ට විදියක් නැතිව ඔය අතට අහුවෙන විදියට ඉගෙන ගත්තු කාලේ..හවසට ආයෙම වංගියක් සීටීබී බස් අල්ලගෙන එන්ට ට්‍රයි කොර කාලේ..

ඇයි වදේ රුපියල් 60ක් වෙච්ච මාසික වාර ප්‍රවේශ පත්තරේට ප්‍රයිවෙට් බස්වල අපිව එක්ක යනවයෑ.. ඒ මදිවට ඔය කාලේ පුරාවටම අර දෙමටගොඩ ගුවන් පාලම හදනවා..මං ඉස්කෝලේට ගිය දවසේ ඉඳන්..මං ඉස්කොලෙන් අයින් වෙනකලුත් ඔය මඟුල හැදුවා නෙව.. දැන්නං ඉතිං ඒක උඩිං යන වාරයක් වාරයක් ගානේ ඒ සිද්දි මතක් වෙනවා..අමාරුවෙන් අල්ල ගන්න සීටීබී එකේ දෙමටගොඩට වෙනකල් ආවත් එතන ඉදන් බස්එක යන්නේ පැයකට මීටර් දහයේ වේගෙට..කොයි වෙලේ බැළුවත් ට්‍රැෆික්...

අපි මොකද ඉතිං කරන්නේ බස් එකෙන් බැහැලා ඇවිදගෙන එනවා ඉස්සරහට... අනන්තවත් වාර වලදී පාලම උඩට එනකල්ම පයින් ඇවිත් තියෙනවා.. ඒ එනකොට තමා බස් එක යාන්තං මතුවෙන්නේ.. ඊ්ට පස්සේ ආයෙම වංගියක් ඒකේ එල්ලිලා එනවා..සමහර දවස්වලට පාලම උඩට එනකොට ගම්පහ කොලඹ සීටීබී එකක් අහු වෙනවා..අපි ඉතිං සීසන්නේ ඒකේ එල්ලිලා එන්ට එනවා... කොහොම හරි ගෙදර එනකොට හවස හතරහමාරත් පැනලා... හිතලා බලන්ටකෝ එක හමාරට ඉස්කෝලේ ඇරිලා පැය තුනක් තිස්සේ පාරේ කට්ට කාලා එනකොට... ගෙදර ඉදලාම ඉස්කෝලෙට තිබුනේ කිලෝ මීටර් 25ක් වගේ දුරක්... ඔය කිලෝ මීටර් 25 වෙනුවෙන් මං කාපු කට්ටක්...

ඉතිං ආයේම වංගියක් මොකට කනවද ඔය කට්ට..මට මෙහෙම හොදා...

ඉතිං මං මේ කියන්ට යන්නේ අපි එකොළහ වසරේ වගේ හිටිය සංදියේ වෙච්ච සීන් කෝන් එකක්...මේකේ කතානායකයා මේ හෝමාගම පැත්තේ පොරක්.. එළ කොල්ලෙක්.. මාත් එක්කම එකට පන්තියේ අන්තිම පේළීයේ සදාකාලිකව ස්ථීර පදිංචියට ගිය එවුන්ගෙන් එකෙක්...

බුවා උසයි... සුදු කොල්ලා..කට පුරා නළ දත් කියමුකෝ... වමත් කාරයා... අවුරුදු ගානක් එකට වැටිලා එකට කාලා හිටිය හින්දා එහෙම හිටිය කිහිප දෙනාව මට කට පාඩං.. අනික් ඉතිං ඌත් මැට්ටා..මාත් මැට්ටා... අපි දෙන්නා අතර තරගයක් තිබුනනං ඒ පන්තියේ අන්තිමයා වෙන එක වගේ එහෙකට තමා... ඒත් ඉතිං තව අපිට වඩා හොඳ වැඩර්ලා කිහිප දෙනෙක් හිටිය හින්දාම අපි දෙන්නට අගින්වත් කප් එක ගහන්ට ලේසි උනේ නැහැ..හැමදාම 40ක් ඉන්න පන්තියේ මං 35 නං ඌ 36..ඌ 35නං මං 36 වගේ තමා... හැබැයි ඉතිං ප්‍රතිඵලේ කොහොම උනත් ඌට ඇති ගානකුත් නැහැ මට ඇති ගානකුත් නැහැ... අපේ නෙවෙයි වගේ අපි ආතල් එකේ හිටියා...

අපරාදේ කියන්ට බැහැ ඔය චිත්තර සංගීත වගේ විෂයන් වලදී එකටම පංති කට් කරන්ටයි... එතනින් ගියාම පුළුවන් හැම වෙලාවෙම ඉස්කොලෙන් එළියේ පරිසරයේ සිරි නරඹන්ට යන්නයි.. වගේ දහසකුත් එකක් දේවල් කොරන්ට අපි දෙන්නා නිතරම සහයෝගයෙන් වැඩ කොලා කිව්වොත් හරියටම හරි... උගන්නන වෙලාවල් වලදී උනත් ඔළුවේ කැක්කුමක් කියලා පොඩි නින්දක් දාන්ට උනත් අපි දෙන්නම දක්ෂයෝ...

කොහොම හරි ඉතිං දැනට මේ මදෑ ඒකා ගැන විස්තර... උගේ නම මේකේ දාන්ට හැටියක් නැහැ..මොකද මෑන් මේ සයිබර් අවකාශයේ සැරිසරනවා..ඒ හින්දා කොයි වෙලේ හරි තොගේ අ**ට හු** පුතෝ කියලා සුන්දර වචන මාලාවකින් සංග්‍රහ ලබන්ට ඉඩ කඩ වැඩි හින්දා මං ඒ නම භාවිතා නොකර ඉන්නං... මොකද ඌයි මමයි දෙන්නම ඒ කාලේ එය අපේ භාෂාවෙන් ගිලිහී යන සුන්දර වචන සමුදායක ගිලි පිහිනා නාන ගමන් ඒ වචන උපයෝගී කරගෙන ඉතා විශිෂ්ඨ නිර්මාණ ලොවට හඳුන්වලා දීලා තියෙනවා...

සමහර විට සමහරු විශ්වාස කරන එකක් නැහැ... ඒත් ඔය සනත් නන්දසිරි මහත්තයගේ ඔබේ සුවඳ පිරුනු පුංචි කාමරේ කියන ගීතය අපේ ඉස්කෝලෙන් මුලින්ම නවීකරණය කලෙත් විශේෂඥ පදමාලා රචකයින් දෙපලක් හැටියට ඒ වන විටත් නම් දරා සිටි අපි දෙන්නාම තමා... පස්සේ ඒක ඉස්කෝලේ පුරාම ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් උනත් එහි නිර්මාපකයින් වෙච්ච අපි දෙන්නව කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියා නෙව.. තාමත් කටේ වැලි...චිහ්...

පහු කාලෙක අපේ ගීතයම වගේ ගිතයක් මුළු මහත් ලංකාව පුරාම පැතිරිලා ගියත් මට කියන්න බැහැ ඒ අපේම නිර්මාණය කියලා..මොකද අපි වගේම හිතන්න පුළුවන්..පද බඳින්න පුළුවන් කොල්ලෝ තව කොච්චර ඇද්ද රටේ... ඒත් අපි දෙන්නා ඔය නිර්මාණ කාර්යයට අත ගහනකොට ඒ ගීතයට ඔහොම සුවිශේෂී වෙනත් පදමාලාවක් අපේ බජාර් එකට ඇවිත් තිබුනේ නැහැ කියන එක බොහෝම වගකීමෙන් මට කියන්න ඇහැකි. හැබැයි ඉතිං අදටත් මට ඔය නිර්මාණ වැනසීමේ හැකියාව තියෙන බවනං කියන්ට ඕන..අරූටත් එහෙමම ඒ හැකියාව ඇති කියලා හි‍තෙනවා...

කොහොම හරි ඔන්න එක දවසක් අපේ පන්තියේ උගන්නන්ට කිසිම ගුරුවරයෙක් නැහැ... අදාළ ගුරුවරයා ඇවිත් නැතිවා හරි මොකක් හරි පුස්නයක්. අපිත් ඉතිං ඉගෙන ගන්ට නැති වීම පිළීබඳ අප්‍රමාණ ශෝකයෙන් යුතුව බජව්වක් දාගෙන ඉන්න වෙලාව.. පන්තියේ කොල්ලන්ගෙන් බාගයක්වත් පේන්ට හිටියෙත් නැහැ..උන් කොහේ කොහේ හරි ගෙහුන්... අපි ටික ඉතිං අපේ මේ ශාස්ත්‍රෝද්ග්‍රහණයට ඇති වී තිබූ බාදාව ගැන හද පුපුරා නැගෙන සෝකය තුනී වෙන්ටත් එක්ක පුංචි පහේ සිංදුවක් දෙකක් වේදනාත්මක ස්වර ඉස්මතු වෙන අන්දමට ගායනා කරමින් ඉන්න වෙලාව...

මෙන්න මේ වෙලාවේ තමා එක පාරටම අපේ බුවා පංතියට කඩාගෙන බිදගෙන දුවගෙන එන්නේ... මං හිතන්නේ ඌ ගිහින් හිටියේ වතුර බොන්න.. ඒකට යන්ට එපෑ පහළටම අපි ඒ දවස්වල හිටියේ තට්ටු තුනේ බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ කෙලවරකට ආසන්න පංතියක... ඉතිං පඩං පෙල බැහැලා..එළියට ගොහින් අංශබර විදුහල්පති කාර්යාලයේ ඉස්සරහින්ම හුරේ රන් එකක් දීලා හෝ වැදගත් අහිංසක මුහුණක් මවාගෙන ගාම්භිර ලෙස ගමන් කොට තරණය කල යුතුයි... දිව්වොත් අල්ලන්ට ලේසි නැහැ..බයක් සැකක් නැතිව වැදගත් විදියට යනකොට අහන්නට එකෙක් නැහැ..ඔය දෙවිදියෙන් එම මාරක ස්ථානය තරණය කරලා එන්ට ඕන..

කොහොම හරි මෙච්චර වෙලා පංතියේ හිටියේ නැති යාළුවා එක පාරටම දුවගෙන ඇවිත් පංති කාමරය ඉස්සරහ බ්රේක් පාරක් ගහලා වංගුව අරගෙන කෙලින්ම පංතියට හරවලා කඩාගෙන ගිහින් පිටිපස්සේම පේලියේ කට්ටිය අතර ආසනයක වාඩි වෙලා හති අරින ගමන්ම මූණත් නිකං හොර පූසාගේ වගේ කොරගෙන ඉන්නවා.. මූත් එක්ක එකට හිටි සඟයා හැටියට මංනං දන්නවා මූ හොර බළලා වගේ ඉන්නේ මොනවා හරි ගොබ්බ වැඩක් කරලා විත්තිය..ඒත් ඌ ඉන්න තත්වේ සලකලා බලලා මාත් නිහඩවම හිටියා...

ඒත් ගත උනේ විනාඩියකටත් අඩු කාලයක්... මේන් බොලේ පංතියේ දොරකඩින් තවත් මුහුණු දෙකක් මතු උනා...ඒ මුහුණු දෙක දකිනකොටම අපේ බුවාගේ ඇස් නළලට යනවා වගේම මූණ හංගගන්න වගේ වෙනත් පැත්තක් බලන හැටිත් මට හොදටම නිරීක්ෂණය උනා...ඇත්තටම එයින් එක මුහුණක් දැක්කමනං අපේ ඇසුත් ඉහළට යන එක නවත්තන්න ලේසි නැහැ.. ඒ තරං මාරාන්තික දර්ශනයක් තමා ඒ... අනිත් මුහුණනං එහෙමට මාරාන්තික නැති උනත්... ඒ දැක්කත් ඉහළ යනවා...

..................................................
කට්ටිය ඔෆ් වෙලා ගියා..මං දැන් නාලා කාලා ඉන්ට ඕන... ඉතිරි ටික පස්සේ කියඤ්ඤං...

20 September 2011

ඇයි අපිට තහනංද..?


මල මඟුලක්නේ යකෝ... මුං එහෙං පොටෝ දානවා.. මෙහෙං පොටෝ දානවා... එක කෙලියයි...
ඔහොම කලාම අපිට පැහැදිලි ඊරිසියාවක් එනවනේ.. ඕන මගුලක් කියලා මටත් ඕන උනා.. ඒත් ඉතිං කවද කාපු ටකරංද..? තනියම යන්ටත් මහ මෙව්වා එකයි... ඒ මදිවට 21 වෙනිදා ඉඳන් 25 වෙනිදා වෙනකල්ම අඛණ්ඩ රාජකාරියකුත් වැටිලා... ආයේ කවදා යන්ටද..?

අනේ ඉතිං එහෙම හිතලා "මටත් ඕන අරක බලන්න යන්න.."කිව්වම යන්තං එක්කෙනෙක් සෙට් උනා වැඩේට...
"ආ වර... අපිත් ආසයි පින් දහං කරන්න" කියලා ඔන්න මාවත් ඇන්න ගියා මේක බලන්ට...

කොහොම හරි අද දහවලේ ගොහින් කකුල් කඩිත්තුව හැදෙනකල්ම හැම තැනම බඩ ගාලා..ඇති වෙනකල් බලලා..අතගාලා.. පිටින් බලලා ඇතුලින් බලලා.එහෙට මෙහෙට පෙරල පෙරල බලලා යන්තං අත වන වන එන්නේ නැතිව එකක් දෙකක් ඇන්නත් ආවා...

හුගාක්ම සංතෝස අවුරුදු ගානක හීනයක් ඉස්ට වීම ගැන...
ඔය දොස්තර උන්නැහේගේ එක මං කාලෙක ඉඳන් හෙව්ව එකක්... මෙයිට අවුරුදු හයකට විතර ඉහතදී කොලඹ ජාතික පුස්තකාලය ගාව තිබුන ප්‍රදර්ශනයකදී මට අහම්බෙන් මුණ ගැහුනට ඒ වෙනකොට අතේ තිබුන හත් අට දහම වැය කරලා වෙන වෙන ඒවා අරගෙන හිටියේ.. ඒ පාර බොහෝම දුකෙන් තියලා එන්න ආවා.. ඒත් මේ පාරනං ගියේ වෙන එකක්වත් එපා ඕකමයි ගේන්නේ කියලා.. ඒත් මගේ අම්මේ ඕක හොයන්න කාපු කට්ටක්..තව පොඩ්ඩෙන් මං අතරමං වෙනවත් එක්කලා...

කොහොමින් කොහොම හරි ඒක මට හම්බ උනා... කොච්චර හිත තදකරගෙන ගියා උනත් ඕක විතරයි ගේන්නේ කියලා..තව දෙකක් තුනක් ගන්න උනා... ගෙනාව වගේ නෙවෙයි දැන් කියවහල්ලාකෝ...

කොහොම උනත් හිතුවට වඩා ලාබයි... ඒ වගේම අවුරුදු ගානකින් ඉස්ට වෙච්ච බලාපොරොත්තුව ගැන අප්පරමාණ සංතෝෂයි...

ඉතිං කොහොම හරි ඔය ටිකත් බලලා කරලා රටේ තියෙන තරං කඩ චෝරුත් ගිලලා ආපහු එන්ට ආවා...අයිස් කිරිං.. නූඩ්ල්ස්.. පොප්කොන්.. පැණි බීම... අරකද මේකද නානාප්‍රකාර විකාර...

ඒ ඔක්කෝමත් හරි... ජීවිතේ පලවෙනි වතාවට පීට්සා කෑවේ අදයි කියමුකෝ... මෙච්චර දවසක් කාලා නැති විත්තිය දැනගෙන හිටන් මට පීට්සා ගිල්ලෙව්ව කෙනාටත් බොහෝම පින්... උන්දැට උපදින උපදින ආත්මයක් පාසාම පීට්සා.. පාන් බනිස් හා රෝස්පාන් අඩු නැතිවම ලැ‍බේවා..!

18 September 2011

පියාසර සෙබළාගේ කතා වස්තුව...


ආවේ මං වෙඩි තියන්න..
ප්ලේන් එකෙන් උඩින් යන්න..
ඒ උනාට සිද්ධ උනේ
ප්ලේන් එකක් මුර කරන්න..

තුවක්කුවට ආස උනත්..
එයින් එකක් මට ලැබුනත්..
අවසර නැහැ මට ඒකෙන්
ආසාවට ගිනි බිඳින්න..

යුනිෆෝමය ඇඟ දවටං..
බුට් දෙකක දෙපා ඔබං..
බෙල්ටය බඩ මැද සිර කර
හුස්ම ගන්න නොහැක ඉතිං..

රස්සාවට ආව උනත්..
මාසෙ අගදි පඩි ලැබුනත්..
හිරකරු මුරකරු දිවියක්
උරුම උනා අපොයි මටත්..

16 September 2011

වැරදි කාලෙක උපන් වරදට...

දිසාපාමොක් ඇඳුරුතුමියෙනි..
ඔබේ දූ මට මනාපයිනං..
මමත් ඒකිට ආදරෙයිනං..
කිම්ද මේ හැටි දෙන්නෙ මට වද..?

මනා කොට සිල්පය උගත්තෙමි..
සියළු විදමන් හොඳින් දත්තෙමි..
සියළු දේ සපුරා සිටින්නෙමි..
දූ නොදෙන කාරන නොදන්නෙමි..

පෙර කලෙක දඹදිව උපනි නම්
මෙහෙම දුක් මට නොවෙයි එහෙනම්..
ඔබම කැඳවා ඇය බාර කොට
අපට ආසිරි පතනවා ඇත..

උපන්නට පහු වෙලා මම මෙහි
දඹදිවින් සිරි ලකට වැටුනට..
එදා තිබු ඒ වටින පිළීවෙත්
නොකරන්ට ඇයි උනේ කාරණ..?



15 September 2011

මගේ ලෝකය පෝෂණය කල. ඔබට නිවන් සුව අත්වේවා..!


අද දවසම එහෙ මෙහෙ දුවලා.. මහ වරුසා කීපයකටම අහුවෙලා.. තෙත බරියන් වෙලා ඇවිදින් හවස් අතේ ගෙට ගොඩ වෙලා.. යන්තං නාලා කරලා නෙට් එකට ඇවිත් ටික වෙලාවකින් දකින්න හම්බ උනේ ඔබේ වියෝව..

අදහාගන්නට බැරි උනේ නැහැ.. මං දැනගෙන හිටියා ඔබ දැන් වයස්ගතයි කියන එක.. ඒත් ඉතිං එක පාරට දැක්කම හිතට දුකක් නොදැනුනේ නැහැ.. ඒක දුකක් උනේ ඔබේ මරණය නිසා නෙවයි..උපන්නොත් කවුරු උනත් මැරෙන්න එපැයි.. ඒත් ඉස්සරහට ඔබ නැති අඩුව පුරවන්නට කවුරුවත් නැහැ නේදෝයි කියලා හිතෙන කොට පොත පත කියවන උන් ගැන.. අපි ගැන.. දුකයි.

මට හුගක් මහන්සියි වගේම..දැන් රෑ වෙලා.. ඒ මදිවට එළියේ හොඳටම වහිනවා... නැත්තං මං නෑවිත් ඉන්නේ නැහැ.. කන්නි මහරට ඒ හැටි දුරක් නැහැ මෙහෙ ඉඳලා ඕනනං ගේ හොයා ගන්නත් එක්ක විනාඩි හතළීස් පහක් යයි... ඒත් මගේ තියෙන කාලකණ්නි කමට මට දැන් ගෙයින් එළියට බහින්න හිතෙන්නෙම නැහැ. හෙට වැඩට යන්නේ දවස් තුනක් එක දිගට ඩියුටි අදින්න බලාගෙන... ඒක කලින් ඉඳලම මගේ අනිත් සඟයා ඉල්ලලා තිබුන නිවාඩුවක් ඔහුට ලබා දීම වෙනුවෙන්..නැත්තං මට හෙට දිහාවේවත් ඇවිත් යන්න එන්න තිබුනා... ඒත් ඒකත් වෙන්නේ නැහැ.. මොනවා කරන්නද..?

පුංචි කාලේ ඉඳලා බොහෝම ආසාවෙන් කියෙව්ව ඔබේ පොත පත ඇසුරෙන් මට මගේ ජීවිතයට ලැබුන දේ කොච්චර විශාලද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.. ඒත් මං දන්නවා මං වැඩිම කැමැත්තෙන් කියවපු සිංහල ගත් කතුවරයා ඔබයි... මං දන්නේ නැහැ මං ඔබේ පොත් කොච්චර ප්‍රමාණයක් කියවලා තියෙනවද කියලා..ඒත් ඒ ප්‍රමාණයයි..ඔබ ලියා ප්‍රකාශයට පත් කල ප්‍රමාණයයි අතර වැඩි වෙනසක් තියෙන්න බැහැ.. ඒ තරමටම මං හොය හොය කියවපු කෙනෙක් ඔබ...

අද මං ලියන්න හිතාගෙන හිටියේ මගේ මේ බ්ලොග් එකේ 450 වැනි ලිපිය. ඒකට කටු සටහනක් හිතෙන් ගහගෙන හිටියට හවස දුටුව පුවතින් පස්සේ ඒ කටු සටහනට මොනව උනාද මංදා... ඒ 450 පැත්තකින් තියලා ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරලා මේ ලිපිය දාන්න තීරණය කලේ මට මගේ බ්ලොග් එකේ ලිපියකට වඩා සිය දහස් ගුණයකින් ඔබව වටින නිසයි..

අද මම ලියන අකුරක් ගානේ මම ඔබටත් ණයගැතියි කිව්වොත් ඒක වැරදි නැහැ... මගේ ළමා කාලය පෝෂණය කරන්න ඔබෙන් ලැබුන දායකත්වය අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්වලා කියන්න පුළුවන් කමක් නැහැ... ඒ තරමට ඔබෙන් මා ලද දේ අපමණයි..

ගමේ හිඳිමින්.. ගම ගැන ලියමින්.. ගමේ චරිත අපට පෙන්වූ වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගැමියෙකු වූ ඔබ... ඔබේ ගමටම.. මුළු මහත් සිංහල ග්‍රන්ථකරණයටම.. ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයටම විශාල ආලෝකයක්... අද ඔබේ සමු ගැනීමෙන් ඒ ආලෝකය නිවී යෑම පිළිබඳව මට දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ..

ඒ දුක වෙනුවෙනුත්.. ඔබට උපහාරයක් පිණිසත්.. මේ වචන කිහිපය මම මේසේ ලියා තබන්නම්...

කේ ජයතිලක නම් වූ ජාතියේ මහා ගත්කතුවරයාණෙනි..

ඔබට නිවන් සුව අත් වේවා..!

14 September 2011

බ්ලොග් එක ලියන එක අතාරිනවද..?

පහු ගිය දවස්වල දැක්ක බ්ලොග් පෝස්ට් වගයක් හින්දා මේකත් ලියන්න ඕන කියලා හිතුනා...

දැන් සෑහෙන්න බ්ලොග් අළුතින් පටන් ගන්න කාලයක්නේ... සින්ඩියක් දිහා බැළුවම කියවන්න ලිපියක් තෝර ගන්නත් අමාරුයි..ඒ තරං ලිපි...

ඇත්තටම මං මුලින්ම බ්ලොග් එක ලියන්න කලින් බ්ලොග් කියව කියව හිටිය කාලේ මං කියවන වේගෙට බ්ලොග් ලියවෙනවා හුගාක් මදි වගේ කියලයි මට දැනුනේ... ඉතිං විඩෙන් විඩේ ගිහින් එබිලා බලලා එනවා අළුත් එකක් ඇවිත්ද කියලා... නොබලන බ්ලොග් එකක් නැහැ.. දෙමල පත්තරේ හරි කමක් නැහැ කියවන මට්ටමේ හිටියේ... ඒත් අද වෙනකොට තත්වය එහෙම නෙවෙයි... ඒක කාටත් පේනවනේ... දවස ගානේ හතු පිපෙනවා වගේ සිංහල බ්ලොග් බිහි වෙන්නේ... ඒ ඔක්කෝම කියවන්නනං ඉතිං තනි මිනිහෙකුට ලේසියෙන් බැහැ...

හැබැයි ඒ අතරෙම දකින්න තියෙන දෙයක් තමා.. පටන් ගත්තට හුගාක් දෙනෙක් අතර මඟදී නවත්තනවා කියන එක.. එහෙම නැත්තං ලිපි ලිවීමේ වේගය අඩාල වෙනවා කියන එක...

සමහරු නං ප්‍රසිද්ධීයේම අඩන්න පටන් ගන්නවා හිට්ස් නැහැ කමෙන්ට් නැහැ කියලා... අන්න ඒ දේවල් හින්දයි මට හිතුනේ මේ ටික ලියලා දාන්න...

මාත් දැන් සෑහෙන දවසක ඉඳලා බොහෝම අමාරුවෙන් බ්ලොග් එකක් ලියන එකෙක්නේ... මුලදිනං මං මේක ලිව්වේ තනිකරම මගේ දින පොත ලියනවා වගේ තමා... (අදටත් ඒ ලක්ෂණ ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා..) මං මගේ අ‍ඳෝනා ලියන්න.. හිතට එන කවි වගේ එවුවා ලියන්න.. පරණ මතක සටහන් අළුත් කරන්න.. ඒ වගේ දේවල්වලට මේක පාවිච්චි කලේ... හිට්ස් කමෙන්ට් වගේ දේවල් ගැන අවබෝධයක්වත් තිබුනේ නැහැ... ඒ විතරක් නෙවෙයි ඔය ෆලෝවර්ස්ලා කියලා ඉන්න කට්ටිය වැඩි වීම ගැන හොයන්නවත් ගියේ නැහැ.එහෙම තත්වයක් තිබුනේ... ඒ දවස්වල ආව ගිය අය ගැන හිතලා මේක නවැත්තුවනං මං හිතන්නේ ලිපි දහයකින් පහළවකින් නවතින්න හොඳටම ඉඩ තිබුනා...
ඒත් නැවතුනේ නැහැනේ... මං ලිවුවා... අදටත් ලියනවා...

හිතනවද ඒ මට හිට්ස් තියෙන හින්දා කියලා... එහෙම හිතනවනං ඒක වැරදියි...

හිට්ස් ගැන බලපුවාම මගේ හිට්ස් ඉහළ යන්නේ බොහෝම අඩු වේගයකින්... මේ වෙනකොට 175170 ක් තියෙනවා... ඒක ඒ හැටි ලොකු ගානක් නෙවෙයි මං බ්ලොග් එක ලියන කාලයත් එක්ක සලකා බැළුවම සහ.. ලිපි ලියලා තියෙන ප්‍රමාණය බැළුවම... ලිපි 448 කට 175170 ක් කියන්නේ එක ලිපියකට 391 ක වගේ සාමාන්‍යයක් තමයි එන්නේ.. එහෙම බැළුවම මේක මොකක්ද..? අද ඉන්න බ්ලොග් පාඨක පිරිසේ විශාලත්වයත් එක්ක බැළුවම මගේ බ්ලොග් එක කියවෙන්නේ ඉතාම සීමිත පිරිසක් අතරේ පමණයි. ඔය 391 කතාව සමස්ථ බ්ලොග් කාලයටම උනත් දැන්නං දවසකට එයිට වඩා පිරිසක් එනවා... සාමාන්‍යයෙන් දැන් දාන ඔනම ලිපියකට සතියක් ඇතුලත 600-700ත් අතර පිරිසක් එනවා. දවසකට 500 ක වගේ සාමාන්‍යයකින් යුතු පිරිසක් ඇදෙනවා.. ඒ වගේම තවම මගේ ලිපි අතරින් හිට්ස් 1000ට වඩා පන්නලා තියෙන්නේ ලිපි 3යි කිව්වොත් ඒක බොරුවක් කියලා හිතෙනවද..?..

නැහැ ඒකත් ඇත්ත හරියටම ලිපි තුනයි 1000 න් එහාට ගිහින් තියෙන්නේ... ඕක තමා සැබෑ තත්වය...

වැඩිය ඕන නැහැ මෙන්න මේ පින්තූරය බලන්නකෝ...


මොකද හිතෙන්නේ.. බොහෝම වැටි වැටි නැඟිටමින් ආව තත්වයක්.. ඒත් අදටත් ලොකු ඉලක්කං නැහැ..

ඇත්තටම අර අකුරු බ්ලොග් එක ලියන බීටල් උන්නැහේ මේ ලගදී කිව්වා හරි අපූරු වචනයක්..ඒ තමා ඉලක්කං පොල්ල..

ඉතිං මේ ඉලක්කං පොල්ල දිහා බල බල ලියන්න ගියානං අද වෙනකොට මං වගේ එකෙක් මෙහෙමවත් විකාර ලිය ලිය මෙතන ඉඳීද..?

මට තිබුනේ එකම අරමුණයි.. ඒ තමා හිත ඇතුලේ පුපුරු ගහන දේවල් එළියට ඇඳලා දාන්න තැනක් විතරයි. මං ඒක එදත් කලා..අදටත් කරනවා... මං ඒ හරහා ලොකු ලොකු දේවල් ලෝකෙට දෙන්න බලා පොරොත්තු උනේ නැහැ...

ආදර්ශමත් කතා ලියන්න..
බර බර මාත්තුරුකා අරගෙන සංවාද ගොඩ නගන්න..
සමාජය යහපත් කරන්න..( ආසනික් කතාව වගේ ලේ රත් උනාම ලියන ඒවාත් තිබුනා හැබැයි..)
සිංහල භාෂාවට සේවයක් කරන්න..
බ්ලොග් අවකාශය දියුණු කරන්න..
බ්ලොග් අවකාශය වඩාත් යහපත්.. ගුණාත්මක.. හරවත් තැනක් කරන්න..

ඔන්න ඔය වගේ දේවල් මගේ හිතේ තිබුනේ නැහැ..මං කලේ ලියන එක විතරයි... පන්සලයි බණ කතන්දරයි ගැන ලියන ගමන්ම අරක්කු ගැනයි බේබදු කමයි ගැනත් මං ලියලා ඇති...

මං කොහොම ලිව්වත් ඒක හරහා යමක් ගත්ත අය වගේම නොගත්ත අයත් හිටියා. මොනවා හරි වැඩක් ගත්තනං ඒකට සතුටුයි වගේම නොගත්තනං ඒක ගැන ප්‍රශ්නයකුත් නැහැ.

මේ ආපු ගමනෙදි ප්‍රශංසා වගේම කුණු බැනුන් හිටං මං ඕන තරං අහලා තියෙනවා... ඒත් ඒක මට ගානක් උනේ නැත්තේ මගේ සාමාන්‍ය ජීවිතේදී මං එයිට වඩා ඔය අත්දැකීම් දෙකම විඳලා තියෙන හින්දයි.

මහණ වෙලා හිටිය කාලේ ලංකාවේ ජනාධිපතිගෙන් පටන් අරගෙන පාරේ හිඟන මනුස්සයගෙන් පවා වැඳුම් ලබපුවා වගේම පොදු වැඩ කරන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහපු අවලාදත් අනන්තයි. ඒ වගේම නිකරුනේ වගේම කාරණා ඇතුවත් මිනිස්සුන්ගෙන් ලබපු අපහාස ඕන තරං තියෙනවා.. එහෙවු මට මේ වචන කිහිපයක් හරහා කවුරුවත් මොනවත් කිව්වට දැනෙයිද..? එවෙලෙට හිනා උනා අතෑරියා.. කේන්ති ගියත් ඒ තත්පර ගානකට විතරයි. ආයේ පරණ දේවල් එක්ක මතකය අළුත් කරන කොට ඒ කෙන්තිය හිනාවකට පෙරලෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ...

තව දෙයක් තමා කමෙන්ට්ස්...

මේ වෙනකොට කමෙන්ට්ස්නං 13728ක් හැටියට සඳහන් වෙලා තියෙනවා.. ඒත් ඕකෙන් බාගයකට විතර කිට්ටු වෙන්න මාත් දාපුවා වෙන්න ඕන.. මොකද මං කමෙන්ට් වලට උත්තර බඳින කොට බොහෝම වෙලාවට එකින් එකට වෙනම උත්තර බඳින හින්දා.. ( දැන් බනින්න එපා..ඇයි තෝ මෙලෝ රිප්ලයි එකක් නැතිව මාරුවෙන පෝස්ට් කොච්චර තියෙනවද කියලා..)

කොහොම උනත් ඔය ගානත් පෝස්ට් ගානෙන් බෙදලා බැළුවම කමෙන්ට් 30ක් වගේ තමා එක පෝස්ට් එහෙකට වැටෙන්නේ... එකෙනුත් මගේ ඒවා ඇරියම ඕනනං 20ක් තියමුකෝ...

දැන් මොකද හිතෙන්නේ කමෙන්ට් ගැන... කමෙන්ට් 20ක් කියන්නේ ලොකු ගානක්ද..?මංනං හිතන්නේ නැහැ...

ඊ ළගක ෆලෝවර්ස්ලා...

මටත් ඉන්නවා 468ක්ද කොහේද.. මගේ පෝස්ට් ගාන හැටියට බැළුවම එකකට එක්කෙනා ගානේ වගේ කියලා හිතන්න පුළුවන්... ඒකත් මහ ලොකු ගානක්ද..?

එහෙනං ඇයි තාමත් මං බ්ලොග් එක ලියන්නේ..?

ඒ තමා මං ඔය දේවල් බලාගෙන බ්ලොග් එක ලිව්වේ නැති හින්දා.. එහෙම ලිව්වනං අද මාරයෙක් නැහැ බ්ලොග් ලියන්න. ලිපියකට එක ගානේ ෆලෝවර්ස්ලා එකතු වෙන.. ලිපියකට හිට්ස් 400ක් වගේ ලැබෙන.. ලිපියකට කමෙන්ට් 20ක් වගේ ලැබෙන.. මට්ටම ගැන අද බිහිවෙන බ්ලොග් කරුවන්ගේ තත්වයත් එක්ක සංසන්දනය කලාම මං ඉන්නේ ගව් ගානක් පහළින් කියලා කියන්න ඕන නැහැනේ... ඒක තමා හැබෑම තත්වය.. ඒත් මං තාමත් ලියනවා... ලිපි ලියන වේගය තාමත් සාමාන්‍ය මට්ටමක තියාගෙන ඔහේ පිස්සුවෙන් වගේ ලියාගෙන යනවා... කට්ටිය එනවා.. හොඳ කියනවා..බනිනවා.. මාත් උත්තර දෙනවා.. උත්තර නොදී ඉන්නවා.. ඒ මොන දේ උනත් මං ලියනවා.. ඒ ලියන එක විතරයි මං වැදගත්ම දේ හැටියට සලකන්නේ.


අද මාව දන්න හුඟ දෙනෙක් මාව දැන ගත්තේ මේ ලිවීම හරහා... අවුරුදු දෙකක් විතර කාලයක් බ්ලොග් එක ලියලා අවසානයේ සෑහෙන කට්ටියක් මාව දන්නේ මේක හින්දා.. මම මුල දවස්වලම කමෙන්ට්ස්.. හිට්ස්.. ෆලෝවර්ස්ලා ගැන හිතලා මේක අල්ලලා දාන මට්ටමේ හිටියනං අද වෙන කොට ඒ කවුරුවත් මං අඳුරන්නේ නැහැ... ඒත් ලිවීම හරහා මං අද සතුටෙන් ඉන්නවා කියලා කිව්ව හැකි.. අඩුම ගානේ මට කේන්ති ගියාම... දුකක් ආවම ඒක කවියක් වගේ පෙරලලා ලියලා දාන්න මට මගේම කියලා බිත්තියක් තියෙනවා.. ඒ මදෑ.. එයිට වඩා දේවල් මේකෙන් මං හොයන්නේ නැහැ.

මේ ටික ලිව්වේ කාරණා කිහිපයක් හින්දා.. ප්‍රධාන දේ තමා අර කිව්ව අළුත් බ්ලොග් ලියන අය ගැන කතාව.. මට කියන්න තියෙන්නේ කමෙන්ට්ස් ඉල්ලලා අඩන්නවත් ෆලෝ කරන්න කියලා අනිත් අයට වද කරන්නවත් එපා කියන එකයි. ඕනනං කලත් කමක් නැහැ මොකද මං කියන දේවල්යෑ මෙතන වෙන්න ඕන..

ඒත් එකම දෙයක් කියන්න ඕන.. පුළුවන් තරං ලියන්න... දවසින් දවස අපට කියවන්න දේවල් ලියන්න... ඒවායේ මොනව ඇතත් නැතත් කමක් නැහැ..වැඩක් ඇති අය කියවයි..නැති අය මග ඇරලා යයි. කොහොම උනත් කිහිප දෙනෙක් හරි අපි ලග ඉතිරි වෙයි... එක්කෙනෙක් හිටියත් සතුටු වෙන්න.. මොකද අද තමන් කියන දේ අහන්න කවුරුවත් නැති නිසා ගෙවල් ඇතුලේ කොටු වෙලා ඉන්න අම්මලා තාත්තලා.. බිරින්දෑ වරු දහස් ගානක් මේ ලෝකේ ඉන්නවා.. එහෙම ලොකෙක එකෙක් හිටියත් මදෑ...
.................................................

තව එකක් ලියන්න ඕන.. ඒ තමා මේ ළගදී අභීත එදිරිසිංහ මහත්මයා දාපු ලිපියකට ඇනෝලා දාලා තිබුන කමෙන්ට්ස් වගයක්... මේ තියෙන්නේ ඒවා..

1-"අභීත නිකං බොරු කතා කියලා නිකං නොන්ඩි වෙලා යන්න හදන්න එපා. කතන්දර කියන්නේ කොහොම කෙනෙක්ද? කොහොමද ඔයා කතන්දර වගේ කෙනෙකුට ඔහොම චෝදනා කරන්නේ?කතන්දර කියන්නේ මේ බ්ලොග් ලොකේ මාරයා ගාවට ඉන්න සුපිරිම තරුව. එහෙම කෙනෙකුට කතා කරන්නවත් ඉගෙන ගන්න. ඔයාගේ අර මෙලෝ රහක් නැති ටුවරිසම් බ්ලොග් එකට ප්‍රචාරණ විදියක් විදියට මෙහෙම පෝස්ට් දානවා නේද? යන්න මෙයා යන්න."
2-ඇනෝනිමස්4ට-
"වැරදි තීන්දුවක් නේද බොස්.
මාරයා 1නං ‍2ක සදරු 3නේ ඉන්නේ ඩොක්ටර් නලිනි. කතන්දර ඔය අහලකවත් නැහැ.මගේ ලෝකය ලියන රංග ඉන්නෙත් කතන්දරට වඩා ගව් ගානක් ඉහලින්. එතකොට සිහි සටහන්,මහ වෙදනා,බින්දි,දිනේශ් දීපාල් ඔය වගේ කීදෙනෙක් ඉන්නවද කතන්දරකාරයට වඩා ඉස්සරහින්. තව ඕනනං ලිස්ට් එකක්ම දෙන්නං."


ඔන්න ඔය ටික දැක්ක වෙලාවේ මට ඇත්තටම මහ මඤ්ඤං ගතියක් හිතට දැනුනා... මිනිස්සු අපි ගැන තීරණය කරන්නේ කොහොමද කියලා.. සමහර විට මේක දැක්කාම ඒ කමෙන්ට් එක දාපු අයගේ හිත් රිදේවි.. ඒත් ඇත්ත තත්වය ඕක තමා... මගේ බ්ලොග් එක කවුරුවත් හිතන තරං ලොකු එකක් නෙවෙයි. ඔය ඉහතින් දාලා තියෙන තොරතුරු ඔයාලා දන්න කියන අනිත් බ්ලොග් එක්ක සංසංදනය කරලා බලන්න එතකොට තේරේවි මං කොහේද ඉන්නේ කියලා... මං ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්නේ..

ඒ හින්දා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය එක රෙද්දක් හින්දවත් ලියන්න යන්න ඕන නැහැ.. තමන්ට ලියන්න පුළුවන්නං..හිතේ සතුටෙන් ලියන්නයි තියෙන්නේ.. එච්චරයි.