30 November 2011

බණනං බණ..කියුංනං කියුං... තව ඕනනං අතින් පයිනුත් දෙඤ්ඤං...


මේ දවස්වල හරි හරියට කතාවෙන දෙයක්නේ මේ බණ දහං ගැන.. එක එක හාමුදුරුවරුන්ගේ සුපිරි බණ ගැන.. එක එක තැන්වල එක එක වාද.. මංනං කරන්නේ දැක්ක ගමන් මාරුවෙන එක... ඇයි යකෝ ඔය අහන පුරස්න වලට උත්තර දෙන්න පුළුවන්නං මාත් පටන් ගන්නවනේ ගිහි බණ කිය කිය ඇවිදින්න.. බණ කියපු කාලෙනං කට පාඩං කරගෙන හරි පොත් පත් හොය හොය කියෝලා හරි.. දන්න කියන උදවියගෙන් අහලා කරලා නිවැරදි දේ හොයා දැනගෙන හරි ඔව්වා කිව්වා උනාට දැන් මේ බණ පොතක් අතින් අල්ලන්නේ නැති කාලේ ඔය පුරස්නවලට උත්තර දුන්නැකිද..?

දෙන්නත් පුළුවන්..ඒත් එහෙම දුන්නට පස්සේ ඒවා නිකංම්ම දීලා වැඩක් නැහැ..නියම විදියට ත්‍රිපිටකයේ කොයි තැනද ඒක සඳහන් වෙලා තියෙන්නේ..ඇයි ඒ දේ ප්‍රකාශ කරන්නට යෙදුනේ..එතකොට එහි ඇති පාලි පාඨවල පදරුත් ගැනීමේදී මූලික පාඨවල අර්ථය බිඳී ඇද්ද..කාරණා ගොඩයි.. එහෙම නැතිව මං පඬියා වගේ ඕවාට කට දාලා නිකං වරිගේ නහ ගන්නවට වඩා හොඳයි ගොනා සේ දෙන දෙයක් කාලා..වෙන දෙයක් බලං ඉන්න එක..

ඒත් කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව ඕවා ගැන හොයා බලද්දී මගෙන් ඇහැවුවොත් මං නිර්දේශ කරන්නේ එකම එක දෙයයි...එහෙම නැතිව ඔව්වට කට දාන්න යන එක අති භයානකයි.

ඒත් ඉතිං මට සමහර තැන්වලදී කට පියාගෙන ඉන්නම බැරි තැන් තියෙනවා..එහෙම අවස්ථාවක් මේ ඊයේ පෙරේදාත් උදා උනා...

ඉස්තානය මේ අහල පහල තියෙන රජයේ රෝහල...හරියටම තැන කියනවනං ඉස්පිරිතාලේ ලේ බැංකුව... ඔහේලාට මතක ඇතිනේ ගිය වංගියේ මං ලේ දෙන්ට ගොහින් මට කෙල උනා..ලේ බර නැහැයි කියලා මාව හැරෙන තැපෑලෙන් ආපහු එව්වානේ.. ඉතිං මං මොකද කලේ දුටු ගැමුණූ රජ්ජුරුවෝ සේනා සංවිධානේ කොලා වගේ..එදා පටන් ටික ටික කාලා බීලා මගේ අර අවරෝහණ පරිනාහ දේහය පෝෂණය කොලා..මොකද මට එහෙං කිව්වේ කොළ කන්ට..ඇට කන්ට..කිරි බොන්ට..මස් මාළු කන්ට කාලා හැදෙන්ට කියලනේ...

ඒත් ඉතිං කියන්ට කණගාටුයි පහුගිය මාස කිහිපයකට කලින් මට හරි හමන් විදියට උයා පිහාගෙන කන්ටවත් හැටියක් නොතිබුන හින්දා ආයෙමත් අර සද්ධන්ත සරීරය නිකං විස්කිරිඤ්ඤේ වගේ තත්වෙකට ආවා..ඒත් ඉතිං කාරණාව බුදු වෙන්ටම ඕන හින්දා..මාත් ඇරියේ නැහැ...ආයෙම වංගියක් මුල හිටං උය උය කාලා බොහෝම අමාරුවෙන් සරීර කූඩුව යම් කිසි තත්‍තෙකට අරං ආවා.. එහෙම අරං ඇවිත් හිතා ගත්තා මේ පාරනං දෙන එක දෙනවම තමා කියලා...දැන් ඔය මෙච්චර දවස් මගේ කෑම දැකලා දෙස් දෙවොල් තියාපු අය දන්නවනේ..මං ඒ හැම දේම කොලේ මේ ගේම ගොඩ දාගන්න කියලා..ඒ හින්දා ඔන්න පව් නෑ ආයේ හරිය...?

ඉතිං කොහොම හරි දැන් මේ දවස් දෙක තුනකට කලියෙන් මං රාත්තිරී වැඩ මුරේ අහවර කොරලා ගෙදර ගොහින් ‍කබඩ් එහෙක ලාච්චුව අවුස්සලා හෙව්වා මගේ පරණ ලේ දන්දීමේ පොත් පිංච..ආන්න බලන්න පින්වතුනි සොයන්නාට සම්භ වේ...ඉතිං මට විතරක් හම්බ නොවී තියෙන්ට හැටියක් නැහැනේ..ඒත් කියන්ට කණගාටුයි මට හම්බ උනේ නැහැ..ඇයි ඒ...?

ඇයි ඒ කියන්නේ ඒක ලාච්චුවේ දාලා තියෙන්ට එපෑ හම්බ වෙන්ට..මං ඒක දාලා තිබිලා තියෙන්නේ මගේ වෙනම තියෙන ලියුං කියුං බෑග් එකේ..ඒකේ තමයි ඉතිං ඔය බයිසිමොටෝ එකේ ලිපි ගොනුවයි.. මගේ විස්තර සහිත ලිපි ගොනුවයි.. එතනින් ගියාම එක්දහස් නවසිය බර ගණන්වල ඉඳන් මට ලැබුන ලියුම් කියුම් කිහිපයක් අතරින් වැදගත්ම කියලා හිතෙන ලියුං එහෙමයි දාලා තියෙන්නේ..දැන් ලෑස්ති වෙන්ට එපා ඒ මල්ල හොයන්ට එන්ට...

මොකද මං හිතං ඉන්නවා හෙට අනිද්දට ඇහැකි උනොත් ඒ ලියුං වලින් කිහිපයක් හරි මේ බ්ලොග් කටුවට අමුණන්ට..ඒකේ තියෙනවා හරි අපූරු ලිපි කිහිපයක් පල කොරන්ට පුළුවන් තරමට නිවිච්ච...

එයින් එකක් තියේ මගේ යාළුවෝ ටික මං පොලෝසියට ගිය වෙලාවේ මට එවාපු සමූහ ලිපියක්... එහෙං පිටිංම මඩ..තව එකක් තියේ ඒ පොලීසි ගමණින් පස්සේම අපේ මහප්පලගේ දූරු දෙන්නයි පුතණ්ඩියයි.. ඒ කිව්වේ අපේ අක්කයි නංගියි අයියයි ලියලා එවපු රෑප සටහන් සහිත ලිපිය... තවත් එහෙක තියෙනවා "අවංක මා සැමදා දුකේ" කියලා ඔය පදිය පැලැල්ල පැත්තේ ගැහැණු දැරිවියක් එහෙම ලියාලා එවාපු ලිපියකුත්.. මොනවා කොරන්ටද.. දැක්කෙත් එක දවසයි.. එදා ඒ මහ පට්ට පාන්දර යන්තං ඇඩ්රස් එක බස් ටිකට් එකේ ලියලා ‍කෙල්ලගේ අතේ ගුලි කොරලා ආවට මොකද කෙල්ල බලන්න නුවර යන්න කියලා ගත්ත නිවාඩුව කැන්සල් උනාට මං මක්කොරන්නද අප්පා..කෙල්ල දුකේ..මාත් දුකේ..ඒ ලව් එකත් එතනින්ම කැලේ... ඇයි යකෝ ඒ කෙල්ලත් පට්ට පාන්දර ඇහැරිලා දත කට මැදගෙන ගෙදරටත් ලොකු නයෙක් ඇරලා... නුවරට එනකල්ම පදිය පැලැල්ලේ ඉඳන් ඇවිත් පැය ගානක් කට්ට කාපුවාම තද නොවී තියේද..?මං කියලත් ඉතිං මක් කොරන්නද..හෙටයි කියලා අද නිවාඩු කැන්සල් කලාම..මොකද දැන් වගේ පෝං කිරිල්ලක් කරන්න පුළුවන් කාලයෑ ආයිබෝං...ඉතිං ඒක අති සාර්ථක විදියට ලියුං විස්සක තිහක සමරු සටහනකින් අහවර උනා...

හුටස් අදත් යන්නේ රෝං සයිඩ්..වර බස් එක පාරට...

ඉතිං කොහොම හරි මං කබඩ් එකෙන් පස්සේ හෙව්වා ඔය බෑග් එකේ..හප්පට සිරි ඔය තියෙන්නේ බඩු..එකක්නං මදෑ පොත්ම හතරක්... හැම එහෙකම එක වතාවයිද කොහේද... ඇයි ඉතිං පාරෙදි යනකොට අහම්බෙන් හරි දැක්කොත් ලේ දන්දීමක් තියෙනවා මං කරන්නේ යන වැඩේ නවත්තලා ඒකේ පෝලිමට හේත්තු වෙන එක.. ඒ යද්දී ඔය පොත් අරං යනවයෑ.. ඉතිං අළුත් පොතක්.. ආයේ පාරක් යද්දිත් ඔහොමම තමා.. ඉතිං එකම එක පොතකද කොහේද දෙවංගියක් ලිය විලා තිබුනදත් මංදා.. මට මතක නැහැ හරියටම වාර ගණන. ඉතිං කොහොම හරි එයින් හොඳයි කියලා හිතිච්ච එක පොතක් අරං සාක්කුවේ දාං මාත් ගෑටුවා ඉස්පිරිතාලෙට..

ඔයිට කලින් වතාවක් ගෙහුන් රිටන් වෙලා ආව හින්දා තැන දන්නවනේ.. අහ අහ ඉන්ට දෙයක් නැහැ ගියා තට්ටු කොලා දොරට...ඊට පස්සේ ඉතිං ආව කාරණේ කිව්වම පටස් ගාලා කොළයක් පුරවන්ට දීලා.. අර බර බලන තරාදිය උඩට නග්ගලා බරත් කිරුවා..කිලෝ 61 යි..හත් ඉලව්වේ වැස්ස දවසේ ඩෙනිමක් ගහං ගියේ ඒකත් තෙමිලා.. ඒ මදිවට අර ගෝනියක් වගේ ටී ෂර්ට් එකක්..ඒකත් තෙමිලා..මට ෂුවර් කිලෝ හැට ආවේ නං ඒ දෙකේ බරට..මගේ ගානේ එක කිලෝ එකක් තියෙන්ට ඇති ඕනනං... ඒත් ඉතිං මීට සති ගානකට කලින් කිලෝ 62ක් තිබුන එකා වෙච්චි හිත හේ බාලා ගියා..අදත් බඩුම තමාද මංදා කියලා..සාමාන්‍යයෙන් මගේ බර හිටින්නේ කිලෝ 58 සීමාවේ තමා..හොඳට කාලා කාලා තමා යාන්තං 62 කරගන්නේ..එයිට එහානං සුම්මා...

ඒත් ඉතිං අර මීසී නෝනා කෙනෙක් ඇවිත් ඇගිල්ලට කට්ටකින් ඇනලා ලේ බින්දුවක් එහෙම අරගෙන ගිහින් කිව්වා "ආ ලේ බර හොඳයි" කියලා..හම්මේ දැනුන සනීපේ... ඊට පස්සේ ඉතිං අර ඇඳකට ගොඩ කොරවලා ප්‍රෙෂර් බලන ගැජ මැටික්ස් එහෙමත් හයි කොරලා හීනි කටුවක් නහරයක් දිගේ සීරුවට බස්සලා ඔන්න පටන් ගත්තා ලේ ගන්ට...ලේටික ඇදිලා එන්ට පහසු වෙන්ට කියලා මිරික මිරිකඉන්ට බෝලයක් වගේ එහෙකුත් දුන්නේ නැතෑ අතට..මාත් මොකද ඔහේ මිරික මිරික හිටියා ඕං... මිරිකන්ට මිරිකන්ට හොඳයි..සනීපෙට ලේ ටික එනවා... ඔන්න ඔය අස්සේ තමා කාරණාව ඇදුනේ...


මගේ ලේ ටික ඇදෙනකල් මිසී නෝනලා පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා..කතාව පොත් ගැනයි පුස්තකාලයක් ගැනයි..පොත් කිව්වමයි පුස්තකාල කිව්වමයි ඉතිං මටත් කට පියං ඉන්ට ඇහැකියෑ... මාත් ඇහැව්වා කොහේද පුස්තකාලේ කියලා...?

බැලින්නං ඉස්පිරිතාලේම පුස්ථකාලයක් දාලාළු..ඉතිං මිසී නෝනලා ඇරු කියලා පොත් පත් කියවන්ට පටන් අරං.. මොනවා උනත් වැඩේ කරපු උදවිය බොහෝම වටින වැඩක් කොරලා තියෙන්නේ.. අඩුම ගානේ කියෙව්වත් නැතත් දැන් මිසී නෝනලා පොත් ගැන කතා බහ හරි කරනවානේ.. ඒත් මට තේරුන විදියට උන්දලා පොත් කියෝනවා වගේත් තමා...

කොහොම හරි ඔය අතරේ කතා උනා එක්තරා සඟරාවක් ගැන..සඟරාවක්මත් නෙවෙයි ඒක මාසික ප්‍රකාෂයක්...පත්තරයක් වගේ එකක්...

අනේ ඒක ගැන කියවන ගමන් එතන හිටිය මිසීලා තුන්දෙනාගේම අදහස උනේ ඒක කියෙව්වාම මනස තවත් අවුල් වෙන වග තමා..මාත් ඕක යන්තං උඩින් පල්ලෙන් වතාවක් දෙකක් කියෝලා තිබුන හින්දා මටත් ඒ කියමනේ ලොකු අමුත්තක් දැනුනේ නැහැ.. ඒ පාර ඉතිං මං හැමදාම කාට කාට උනත් දෙන උපදේසේ ඒ අය කෙරෙහිත් කරුණාවෙන් දීලා එන්ට ආවා...

ආන්න ඒක තමා මේ කියන්ට යන්නේ...

ඔය කවුරු කවුරු උනත් බණ දහං ගැන ඉගෙන ගන්ට ආසයි නං..ප්‍රායෝගිකව තමන්ට සෙතක් කරගන්ට විනා අරයට මෙයාට හරඹ දක්වන්ට උවමනා කමක් නැතිනං බය නැතිව කියවන්ට අපේ හිටපු අති උත්කෘෂ්ඨ සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වන "අති පූජ්‍ය රේරුකානේ චන්ද විමල නාහිමියන්ගේ" බණ දහං පොත් ටික... ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ රත්තරං පෙරාපු බණ ටික. අමුතු අමුතු තේරුං ගන්ට අපහසු දේවල් පටලලා නැහැ.. අමු අමුවේම පදෙන් පදේට ත්‍රිපිටකේ පෙරලන්ට ගිහින් අර්ථය වනසපු දේවල් නැහැ.. උන්වන්සේ සිය ජීවිත කාලය තුල ත්‍රිපිටකය හදාරමින්..ඒවා ප්‍රායෝගිකව අත් හදා බලමින්..අනුන්ට කියා දෙන්ට කලියෙන් තමන් තේරුං අරං ඉන්ට දරාපු උත්සහයක අග්‍රඵලය තමා ඒ පොත් වල අකුරක් අකුරක් ගානේ තියෙන්නේ..


දැන් හුගාක් තැන්වල තියෙන බණ පොත් දිහා බැළුවම අපිවත් මඤ්ඤං වෙලා යනවා... ඒවා කියවන වෙලේටනං හොඳයි වගේ තමා.. ඒත් අවසානෙට ඉතිරි වෙච්ච දෙයක් නැහැ..හරියට පිටකොටුවේ හාමුදුරුවන්ගේ බණ වගේ... මං ඔය හාමුදුරු ගොල්ලන්ගේ නං ගං වැඩිය ගාව ගන්නේ නැතිව ඉන්ට අදහස් කලත් ඔය නම ගෑවුනාට අමනාප වෙන්ට එපා.. ඒකට දෙන්ට තියෙන පහසුම උදාහරණේ තමා ඔය...

ඒ වගේමයි සමහරු අමු අමුවේම රේරුකානේ හිමියන්ගේ පොත් කොපි කර කර ලියාපු පොතුත් මං අතරින් පතර දැකලා තියෙනවා.. ඒකත් අවුලක් නැහැ..ඒක් එහෙං පිටංම කොපි කලානං..ඒත් වෙලා තියෙන්නේ කොපි කරන ගමන්ම කොපි නොකලා වගේ පේන්ට අතරින් පතර වෙනස් කරලා තියෙන දේවල් තමා.. ඒ කියන්නේ ඔබාපුවා... ආන්න ඒවයින් අර කරපු කොපියේ වටිනාකමත් ගිහින් ඒවත් එහෙං පිටිංම අවුල් ජාල වෙලා තියෙනවා.. ඔන්න ඔය වගේ දේවල් හින්දා පිං කැමති උදවියට දහම පටලවාගන්නේ නැතිව සරල සිංහලෙන් තේරුං බේරුං කරගන්ට ඕනනං ආන්න වටින කියන පොත් ටික...

දැන් රට වටේ ඕනම පොත් සාප්පුවක මේ පොත් කිහිපයක් හරි තියෙනවා මං දැකලා තියෙනවා.. ඊට අමතරව නොවරදින තැන තමා දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි "කිරම විමල ජෝති හිමියන්ගේ සිංහල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානේ අලවි හල" එකක් නෑර පොත් ටික ඔතන තියෙනවා... තමන්ට කියවන්ටත්..දන්න කියන කෙනෙකුට තෑගි දෙන්ටත්.. දානයකදී මානයකදී පිරිකරකට දෙන්ටත් ඔය පොත් ටික හරිම වටිනවා... කැමැති කෙනෙක් සොයා බලා කියවන්ට..

ඔන්න කාටත් ලේසියට මේවා තියෙන ලින්ක් එහෙකුත් තියෙනවා..හොරකමක් කරනවා කියලා නොහිතා බාගෙන බලන්ට..මොකද පොකුණූවිට තියෙන රේරුකානේ හිමියන්ගේ පොත් ප්‍රචාරණය කරන අයගේ අදහසත් හැකි තාක් මේ දහම් පොත් ප්‍රචලිත කිරීම මිස අයිතිය තියාගෙන හම්බ කරන්ට නොවන හින්දා...

29 November 2011

අදනං බඩුම තමයි...

හෙන හුට්ටප්පරයයි...
උදේ රාජකාරිය ඉවර වෙලා ගෙදර ආවේ වැඩ කෝටියක් විතර කරන්න හිතාගෙන..ඒත් කෙලලා තියෙන්නේ තාප්පෙටම...

ගෙදර ආව ගමන් හාල් ටිකක් හෝදලා ලිපේ තියලා හදා ගත්තා මෝල්ටඩ් මිලික් එකක් ඔව් ඉතිං නැට්ටමොල්ට් එකක් තමා... කිරිං කැකර් දෙක තුනකුත් එක්ක ඒක බොන ගමන් ලැප් එක බෑග් එකෙන් අරං ඒකත් ඔන් කොරං වාඩි උනා ටිකක් වට පිටාවේ කියුං කෙරුං බලන්න...

ඒ කරලා ඉවර වෙලා ගියා කුස්සියට මොනවා හරි උයන්ට කියලා හිතං...අනිච්චේ දුක්ඛේ..කපලා නේද වතුර..කාලා වරෙංකෝ...

ඒ මදිවට තව මඟුලක්..ඒක උනේ පෙරේදා රාත්තිරියේ...
ඕං ඉතිං මං පෙරේදා රාත්තිරියේ ගං කබරයා වගේ දපලා දොයි.. ඔහොම දොයිගෙන දොයියගෙන යනකොට මට එක පාරටම වෙනසක් දැනිලා ඇහැ ඇරුනා..එක පාරට හිතා ගන්න බැහැ මොකක්ද ෂීන් කෝන් එක කියලා...මුකුත්ම පේන‍්නේ නැහැ..

ඇත්තනේ මේ රෑනේ..ඒ පාර අන්ධයා හැරමිට්ටෙන් ඇන ඇන යනවා වගේ මගේ ශ්‍රී හස්තය ඇඳ දිගේ අත පත ගාගෙන යවලා යාන්තං ටේබොල් ලෑම්ප් එකේ සුවිච් එක ගාවට යවලා ඒක ඔන් කොලා..හප්පා ඇහැට හෙන ගැහැව්වා වගේ... කලින් දවසේ එකේ මං මගේ පැත්තට හරවලා මොනවද පොතක් කියෝලා එහෙමම ඕෆ් කරපු ගමන්..ඒ පාර අඩවන් දෑසින් යන්තං ඇහැ කරකෝලා බැළුවා ඔරලෝසුව දිහා.. පට්ට පාන්දර තුනයි කාලයි..හයියෝ දෙයියනේ දොයිය ගත්තෙත් රෑ එකොලාමාරට වගේ..ඇයි මෙහෙම ඇහැරෙන්නේ...

මොනවා නමුත් වෙනසක් මට තේරුනා..ඔව් බෙල්ල හීතල වෙලා වගේ..හුටස් දාඩිය දාලා.. ඒක වෙන්ට බැහැනේ මෙච්චර ෆෑන් එකක් ඇඳ පාමුල තියං ඒකේ හුළං වැදි වැදි නිදියන මංතුමාට.. ඇහ් හුට්ටප්පරිජාලං... කෝ යකෝ හුළං.. ෆෑන් එක නැවතිලා නේද... ලයිට් එක පත්තු වෙනවනං කොහොමද ඒක නවතින්නේ..?

අමාරුවෙන් කෑලි බෑලි ටික අවතන කොරගෙන බැළුවා මක්කද වෙලා තියෙන්නේ කියලා...කරන්ට් එකත් තියෙනවා...සුවිච් එකත් දාලා..කිසිම වරදක් කියන්ට නැහැ...දැන් මොකද කරන්නේ..?නැගිටලා ඇගේ දැවටි දැවටි තිබුන සරං කෑල්ලත් එහෙං මෙහෙං ගැට ගහගෙන ගියා අනිත් කාමරේට..මගේ ආයුධ මල්ල අවුස්සලා ටැස්ටරේ අරං ආවා..ගැලෙව්වා බලන්න ෆෑන් එකේකෑලි බෑලි.. මල විකාරයයි සමහර ඒවා මල් ඉස්කුරුප්පුවෙන් ගලවන්ට ඕන ඒවා.. ඒ පාර ගොහිං ඒකත් ගෙනාවා.. ගැලෙව්වා කොනක ඉඳන්.. ප්ලග් පොයින්ට් එක ගාවින් පටන් අරං ෆෑන් එකේ මෝටරේට එනකල්ම...කරන්ට් එක එනවා..ටයිමර් සුවිචුත් කිසි අවුලක් නැහැ..අවුල තියෙන්නේ එක්කෝ කැපෑසිටර් එකේ..නැත්තං මෝටරේ.. කෑපෑසිටර් එකෙත් රත් වෙච්ච ගතියක්වත් කර ගඳක්වත් නැති හින්දා ඒ හැටිම අවුලක් වෙන්ට බැහැ මොකද ලේසියට ඕක පිච්චෙනවා අඩුයි.. මෝටරෙත් බෙයාරින් අව්ලක් නැති හැඩයි.. ෂුවර්ම නැත්තේ කොයිල් එක..?

මල උලව්ව දැන් ඉතිං හදන්නයෑ...ඒ පාර හතර විතර වෙලා කාමරේ දොර ටිකක් ඇරලා දාලා නිදා ගන්ට බැළුවා..ෆෑන් එක මස් කල ගමන්ම තියලා...මොන නින්දක්ද දාඩිය දාලා ඒ මදිවට දැන් මේකට මොකද කරන්නේ කියලා හිතෙනවානේ අප්පා..ෆෑන් එකේ කාලෙනං හරි..එක පාරකුත් මං ඕකට මෝටරේ පිච්චිලා වෙන මෝටරයක් ගෙනත් දැම්මා..ඕවට කොයිල් ඔතලා දාලා හරියන්නේ නැහැ හැමදාම අවුල...මේ පාරනං එහෙම මගුල් කර කර ඉන්න හිතකුත් නැහැ ඒ පාර තීරණය කලා මොන මගුල හරි අළුතින් ෆෑන් එකක් ගේනවා කියලා... මේ ටිකේ බැංකු පොතෙත් රුපියල් විසි තිස් දහක් කැරකි කැරකි තියෙනවා කරන්න දෙයක් නැතිව..සාමාන්‍යයෙන් මට ඔය සල්ලි එක්කහු කිරිල්ල හරි අමාරු වැඩක්... කීයක් හරි එකතු උන ගමන් මොනවා හරි මගුලක් කරන්නමයි හිත..

අවුලක් නැහැ ගේනවා අළුතින් එකක්.. දානවා මේ මස් ගොඩ අනිද්දට කුනු ටැට්ටරේට.. ආයේ මොකටද ඕක හයි කර කර ඉන්ට මගේ කාලේ නාස්ති කරන්නේ.. යන්තං ඔන්න ටිකක් නින්ද ගියාද කොහේද.. ඒත් එක්කම ගැස්සිලා ඇහැරුනා.. උදේ හයයි.. ඉතිං ඊට පස්සේ නැගිටලා උයලා පිහලා බත් බැදගෙන නාලා කරලා ගියා වැඩට.. අද උදේම ආවේ උයලා තියලා ගිහින් ෆෑන් එකක් ගේන්ටයි.. ලයිට් බිල් වතුර බිල් ගෙවලා එන්ටයි කියලා හිතාගෙනයි... දැන් ඉතිං ඔය කරලා තියෙන්නේ..බත් විතරක් කෑහැකියෑ.. වතුර බෝතල් දෙකත් අරං වැඩ පොලටවත් ගිහින් ඒක පුරෝලා ගෙනත් තිබ්බහම බොන්ට වතුරනං මදෑ... උදේ වැඩ පොලෙන්ම නාලා ආව හින්දා ඒකත් අවුලක් නැහැ හවස් වෙනකල් ඉවසං හිටියෑකි.. ඒත් දැන් මේ කාස්ටකේ පලකෝ නිට්ටඹු.. ඒ ගිහින් ඇවිත් දාඩිය පොල්ල දාපුවහම ඇග හෝදගන්ටවත් නැතිව හිටපංකෝ ඌරා වගේ හවස් වෙනකල් ටැප් එක දිහා බලං...

දැන් ඉතිං කොතනින්ද පටන් ගන්නේ...
ෆෑන් එකක් ගේන්ට ඕන...වතුර ගේන්ට ඕන.. බිල් ගෙවන්ට ඕන... බැංකු යන්ට ඕන... කේන්දර බලන්ට ඕන...
ඒ අස්සේ මේ උයාගත්ත බත් එකට මොකද කරන්නේ...හපෝයි සංසාරේ...


28 November 2011

පුළුවන්නං හඳුන ගන්න...

දැන් මෙහෙම හිතන්නකෝ..
ඔන්න අපි ඉන්නවා..අපි කිව්වේ අපි.. ඒකියන්නේ අපි හොඳද..

ඒත් අපි කිව්වට එතනින් කියවෙන්නේ මං..ඔයාලටනං ඔයාලා හරිනේ දැන් තේරුනානේ..

ඉතිං අපි මෙහෙම ඉන්නකොට නිකංම ඉන්නේ නැහැනේ මොන මොනවා හරි කර කර මේ සමාජේ ඉන්නවා.. ඒ ඉන්නකොට අපිට යම් යම් වෙලාවල්වලදී කාගෙන් හරි උදව් ඕන කරන වෙලාවල් තියෙනවා.. ඒ වගේම යම් යම් අය දැන අදුරගන්නත් ඒ අය එක්ක ආස්සරය කරන්නත් වෙනවා..

ඒත් ඒ අදුරගන්න අය හැමෝම අපිත් එක්ක හිතවත් වෙන්නෙත් නැහැනේ..සමහරු ඔහේ ඉන්නං වාලේ ඉන්නවා..සමහරු හොදින් ඉන්නවා වගේ ඉදන් හෙන ගේම් දෙනවා..තවත් සමහරුනං හොයලා බලලා උදව් කරනවා..සමහරු අපිට එක එක දේ තෑගි කරනවා.. ඔන්න ඔහොමයි කතාව...

......................................

හරි අපි හිතමුකෝ අපි ගමේ ඉද්දි අපිට දැන අදුරගන්න වෙන සුවිශේෂී කට්ටිය...

පන්සලේ හාමුරුවෝ..ගමේ වෙද මහත්තයා..ඉස්කෝලේ විදුහල්පති තුමා ගුරුවරු වගේ අය..තැපැල් මහත්තයා..ගිරාම සේවක.. පත්තර බෙදන කෙනා.. ඔය වගේ එක එක අය ඉන්නවා අපට දැන අදුරගන්න වෙන..

ඉතිං ඔය අඳුර ගන්න අය අතරේ ඉන්නවා සමහර විට ගමේ ඉන්න චණ්ඩි වගේ අය..එතකොට එක එක ජාතියේ කස්ට පොරවල්... ඉතිං ඔය කොයි කෙනාත් අපිට වැදගත් වෙන වෙලාවල් තියේ...

දැන් බලයි හැබිචෝල් පොරවල් අපට මොටෝ කියලා.. ඒත් එහෙමමත් බැහැ එහෙම උන්වත් දැන හදුනගන්න වෙනවා...

දැන් හිතලා බලන්නකෝ හදිසියේදී හරි අපිට කාගෙන් හරි කොක්කක් ඇදෙනවා... කන එක ෂුවර්ම තමා... ඉතිං අපිට මේකට තනියම බහින්නත් බැරිනං අපිට සිද්ධ වෙනවා දන්න කියන කෙනෙක්ව මේකට හෙල්ප් එකට අල්ල ගන්න...

දැන් මේක පස්ට වලියක්..නිකං පුංචි පහේ ගේමක් නෙවෙයි...ඉතිං අපි කාවද මේකට අල්ලගන්නේ..?

යාළුවෝ ටික..ම්හ්..උන්ටත් කන්ට්‍රෝල් නැති අසප නඩයක් එක්කනං ගේම සෙට් වෙලා තියෙන්නේ උන්ගෙන් මේක පිරි මහ ගන්න අමාරුයි... ඉස්කොලේ මහත්තයා..මොන විකාරද..උන්නැහේ එක්ක ගිහින් අර නෙලන්න ඉන්න පෝරිසාදයින්ට ගණීතය විද්‍යාව උගන්නන්නද..?
හාමුදුරුවෝ..?......අරුං බණ අහන උන්නං හොඳයි එහෙම නොවුනොත්...

ගිරාම සේවක..?.........එවෙලෙටනං ෂේප්..ඒත් පස්සේ නෙලයිද කවුද දන්නේ...

ඔන්න ඔය වගේ වෙලාවට තමා හන්දියේ බෝක්කුව උඩ ඉන්න පච්ච ගුණේ අයියා එක්ක පොඩි ෆිට් එකක් තිබ්බනං හොදයි කියලා හිතෙන්නේ...ඒමනං පොරට කියලා අරුංට පොඩි සද්දයක් දාතහැකි..කවුද කැමති එහෙම බුවෙක් බැස්ස ගේමක් ඇදං යන්න...නිකං දැළිපිහි පාරවල් කන්නේ අහවල් එකටද..වැඩේ ෂේප්..

ආන්න ඒකයි උන්දලත් ඉන්න ඕන කියන්නේ...හදිසියකට ලොකු පෝරියලක් සෙට් වෙච්ච වෙලාවට ඔය අර්තෙන් දර්මෙන් දෙන අයවැඩක් නැහැ..ඒකට ඉන්න ඕන ඒකට හරියන බුවාලා.. පැහැදිලියිනේ...
..............................

එතකොට අපි එහෙම ඩස්ප පොරවල් එක්ක ෆිට් එකේ ඉද්දී උනුත් අපෙන් කීයක් හරි ඉල්ල ගන්න වෙලාවල් තියෙනවා...නොදී බැරි හින්දා හරි පස්සේ එක දෙක කරලා ලැබෙයි කියලා හරි හිතලා අපිත් දෙනවා.. ඒ විතරක්ද උන්දලත් සමහර විට හිත සංතෝස වෙච්ච වෙලාවක එක එක දේවල් දෙනවා. ඔය අර්තෙන් දරුමෙන් දෙන අය වැඩි හරියක් දෙන්නේ තවුසන් ටෝක්නේ... ඉදලා හිටලා ඕනනං ඔය කොපි පොතක් පැන්සලක් බණ පොතක් දෙයි.. ඕනනං කෑමක් බීමක් දෙයි... බෙහෙත් ටිකක් දෙයි..නැතිව නෙවෙයි..ඒවත් යහපත් දේවල් ජීවිතේට...

ඒත් ඒ වගේ දේවල් නෙවෙයි අර පොරවල් අපිට දෙන්නේ..හොරෙන් උස්සපු නිධානෙකින් ගත්ත භාණ්ඩයක්...හොරකං කරපු ඒවයින් උනත් මිල මුදලක්.. යම් යම් ආකාරයේ වටින කියන දේවල්...එහෙමත් නැත්තං අහල පහල උන්ටත් පෙන්නලා ටිකක් බය කරන්න පුළුවන් ජාතියේ ආයුධයක්..ඒ විතරක්ද සමහර වෙලාවට අඩියක් පුඩියක් ගහලා කාලා බීලා නටලා ජොලියක් දාලා යන්න පුළුවන් තැනකට සෙට් කිරිල්ලක්..
සමහර විට ඉස්කෝලේ විභාගේ කටේ තියලා පේපර් එකක් එහෙම උස්සලා දෙන්නත් බැරි නැහැ... එහෙම පොරවල් සෙට් උනාහම කරන්නේ නැති දෙයක් නැහැ..ඕනනං පේපර් බලන උන්ට තග දාලා ලකුණු ටික වැඩි කරලා හරි දෙන්නත් ඇහැකි..

ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවල්වලට එහෙම අස්ප ඩයල් එක්ක ගියාම ඔය ගෑණූ පරාණ හිටං සෙට් වෙනවා..මොකද උන් යන්නේ එහෙමත් ගෑණූ ගාවටනේ..සිංහලෙං කිව්වොත් කංසැප හිටං සෙට් වෙනවා ඔහොම පොරවල් එක්ක ලගින්න ගියාම...හොඳ හෝ වේවා..නරක හෝ වේවා ඒවා තමයි උන්ගෙන් අපිට ලැබෙන දේවල්..මොකද ඉතිං උන් දෙන්නේ උන් ගාව තියෙන ඒවානේ..එහෙම නැතිව අර්තෙන් දර්මෙන් දෙන්නයෑ...

ඉතිං ඒ විතරක් නෙවෙයි හැබැයි ඔහොම බුවාලා ආස්සරේ කරන්න ඕනත් පරිස්සමට..ඒ ඇයිද කියලා කිව්වොත් හිතන්නකෝ පන්සලේ හාමුරුදුරුවෝ අපිත් එක්ක තරහා උනා කියලා.. ඒත් කවදාවත් එන්නේ නැහැනේ කියා දීපු බණ ආපහු ඉල්ලන්න...එහෙමත් නැත්තං දහං පාසලෙන් දීපූ සහතික උදුරං යන්න..

ඉස්කොලේ මහත්තයා එයිද ගියපාර පලවෙනියා වෙච්ච වෙලේ දීපු තෑගි කට්ටලේ ඉල්ලගෙන..එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්..මොකද උන්දලා දැන උගත් සීලාචාර උදවිය...

ඒත් පුතෝ මෙහෙම ඩයල් ආස්සරේ කරන්න ගියාම සහ උන්ගෙන් උදව් ගත්තට අපි ටිකක් පරිස්සමෙන් ඉන්න ඕන..මොකද කොච්චර හොඳින් හිටියත් පොඩ්ඩ ගැස්සිච්ච ගමන් බඩුම තමා..සමහර විට ඇවිත් දුන්න දේ උදුරං යනවා විතරක් නෙවෙයි පිහි පාරකුත් දීලා යන්න පුළුවන් තෑග්ගක් හැටියට..

ආන්න ඒ හින්දයි එහෙම බුවාල එක්ක ආස්සරේ කරන එක ලේසි නැත්තේ.. එහෙම බලාගෙන ගියාම උන්ගෙන් ගන්නවට වඩා හොදයි නොගෙන හිටියනං කියලත් හිතෙන්ට ඇහැකි.හැබැයි අමතක කරන්නට එපා කලින් කිව්වා වගේ දෙන්ට ගත්තමත් අපේ හිත පුරෝලා දෙන්ටත් උන් දස්සයෝ..මොකද උන්දලා ගාව තියෙන දේවල් ලේසියෙන් නුදුන්නට අර ඉස්කෝලේ මහත්තුරු ගාව තියෙන දේවල්වලට වඩා සාමාන්‍ය පෘතග්ජනයෝ වෙච්ච අපිට හිත යන දේවල් තමා එහෙම බුවාලා ලග තියෙන්නේ...එව්වාට අපේ හිත යනවා වැඩී... අර හොඳ අය අපිට දෙන දේටත් වඩා...

....................................

ඔන්න කතාව ඉවරයි...
හෙනහුරා..අඟහරුවා..එතකොට රාහුවා එහෙම අඳුරනවද ඔය අය..?

27 November 2011

වෙදකං අතර මැද සකෘදාගාමී... පන්සල් කතාවක් නැවතත්...

"චන්දාලෝක..තමුන්ට බැරියෑ මේ ධම්මරතන උන්නාන්සෙට උදව්වක් කොරන්ට..."

"මාත් ඒක තමා ලොකු හාමුදුරුවනේ කල්පනා කලේ..ඒත් ඉතිං දන්නවනේ පන්සලේ තත්වේ...ඒ හැටි පහසුකමක් නැහැනේ... නැත්තං මට පුළුවනි සුමන තිස්ස වෙදමහත්තයා ගාවට මේ හාමුදුරුවන්ව එක්ක ගිහින් පෙන්නලා බෙහෙත් හේත් ටික අරං දීලා ඒවා ටික වෙලාවට කලාවට කරලා දෙන්ටනං..."

"මොන පහසුකමක්ද උන්නාන්සේ..මේ මුන්නාන්සෙලත් අපි ඔහේලා වගේම තමා අමුතු පහසුකමක් මොනවටද..? එහෙම නේද ධම්මරතන..?"

මෙතෙක් වේලා අප දෙදෙනාගේ සංවාදය බලා සිටි ධම්මරතන හිමියන් මදෙස බලා මිත්‍රශීලී සිනහවක් සිනහවක් පා...

"චන්දාලෝක හාමුදුරුවන්ට මාව කරදරයක් වෙයිද දන්නේ නැහැනේ ලොකු හාමුදුරුවෝ..එහෙම නැත්තං මට ඉතිං ලෙඩේ හොඳ වෙනවනං කොහේ උනාම මොකෝ" යැයි කියන්නට යෙදුණි...

"අනේ මටනං මොන කරදරයක්ද එහෙනං ඕන වෙලාවක එහෙ නවතින්ට එන්න...හැබැයි මට සතියක් කලින් කියන්න වෙද මහත්තයට කියලා තියන්න.."

කතාව එතැනින් අවසන් උනි...

..............................

ධම්මරතන හිමියන් යනු විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක හිමිනමක් වූ අතර මා හට එහිමියන් මුණ ගැසුනේ අප පළාතේ තරමක් ප්‍රධාන විහාරස්ථානයක පින්කමකට සහභාගී වූ අවස්ථාවේදීය... එය පන්සලේම පැවති දානමය පින්කමක් වූ අතර එම විහාරස්ථානයේ අධීපති හිමියන්ගේ දැන හැදුනුම් කම මත ධම්මරතන හිමියනුත් දුර බැහැර සිට එහි වැඩම කොට තිබුණි...එසේ වැඩම කලත් උන්වහන්සේ නිතරම කායික අපහසුතාවයකින් පෙලෙමින් සිටි නිසා වැඩි වේලා එක් තැනක රැඳී නොසිටින ලදි.

අපහසුතාවය වූයේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයකි.වසර කිහිපයකට කලින් සිදු වූ කුමන හෝ දෙයක් නිසා එම තත්වය ඇති වී තිබූ අතර වරින් වර එම වේදනාවෙන් උන්වහන්සේ පෙලෙන්නට වී තිබුණී... එහෙත් වේදනාව සමනය වන තෙක් කුමන හෝ වෙදකමක් කලත් ඉගෙනීමත් අනිකුත් ශාසනික වැඩකටයුතුත් නිසා පිළීවෙලකට බෙහෙත් ටික කරගන්නට ලැබී නොතිබීම කරණ කොටගෙන උන් වහන්සේ මේ වන විට දැඩි අසාධ්‍ය තත්වයේ පසු විණි...

උන්වහන්සේ මා හට මුණ ගැසෙන අවධිය වන විට නැවත වතාවක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියද කිසිදු ගුණයක් නොමැති තත්වයක් ඇතිව තිබුණි... එසේම අංශභාග තත්වයක් හෝ තුනටියෙන් පහළ පණ නැතිව යන ආකාරයේ තත්වයක් ඇති වීමේ දැඩි අවධානමක් ඇතිබවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම් ලැබ තිබූ හෙයින් රෝගයේවේදනාවත් ඉදිරි අනාගතය ගැන බියත් උන්වහන්සේ දැඩි සේ පීඩාවට පත් කොට තිබිණී...එසේ කලකදීය අප හමුවීම වූයේ...

"සුමන තිස්ස වෙදමහතා" යනු මා තරමක් දන්නා කියන වෛද්‍යවරයෙකි... කීර්තිමත් වෙද පරපුරකට අයත් වූ එතුමා මැදි වියේ පසූ වූ ඉතා දක්ෂ වෛද්‍යවරයෙකි.. කැඩුම් බිඳුම් වෙදකම් අංශයේ සුපතල කීර්තියක් ඔහු සතු විය... මා වැඩ සිටි පන්සලේ සිට එතුමා සිටි ග්‍රාමයට කෙටි මගක් තිබූ අතර එතුමා හමු වී ප්‍රතිකාර ලැබීමට යන බොහෝ ස්වාමීන් වහන්සේලා නිතරම අපවිහාරයටද ගොඩ වී ගිලන්පස කෝප්පයක් හෝ දානයට සුදුසු වේලාව නම් තිබෙනා හැටියකට දානය වැළදීමටත් පුරුදුව සිටියහ...

ඉහත සඳහන් කල පින්කම කෙරුණ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් මා හා සුමන තිස්ස වෙද මහතාගේ දැන ඇඳුනුම්කම දැනසිටි හෙයින්ද.. ධම්මරතන හිමියන්ගේ තත්වයේ බැරෑරුම් කම නිසා දුර බැහැර සිට නිතර වැඩම කොට ප්‍රතිකාර පිණීස ඒම යාමත් රෝගයේ දියුණුව පිණීස හේතු වේ යැයි සිතූ හෙයින්ද යෝජනා කලේ වෙදමහතාට නුදුරු තැනක නැවතී ප්‍රතිකාර ගැනීම යෝග්‍ය බවයි. එයට සුදුසුම ස්ථානය මාගේ විහාරය වූ නිසා එසේ මගෙන් ඉල්ලීම කරන්නට යෙදුණී. මේ අවදිය වන විට මාත් විහාරස්ථානයේ තනිවම වැඩ වාසය කල අතර කොහෙන් හෝ පැමිණෙන භික්ෂූන්ට නිතරම පන්සලේ දොරටු විවෘතව තැබූවෙමි. එයට හේතුව වූයේ ඒ වන විට නිතරම විහාරස්ථානයේ කටයුතු වෙනුවෙන් මා හැම තැනම ආ ගිය හෙයින් නිතරම පන්සල වසා දමා යනවාට වඩා කවුරුන් හෝ ඉන්නවා නම් වඩා යහපත් බැවිනි.

ධම්මරතන හිමිනම තරුණ හිමි නමකි..වයසින් මා හට වඩා වසර කිහිපයක් වැඩිමහළු වූ අතර මැනවින් බණ දහම් උගත්තෙකි. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබනා අතර වාරයේම අධ්‍යාපන දෙපාර්ථමේන්තුව හා සහ සම්බන්ධව කටයුතු කල එහි යම් යම් ව්‍යාපෘතීන්හී තාවකාලික පදනම් යටතේ එකතුව වැඩ කල අයෙකි.උන්වහන්සේගේ මුල් පන්සල දකුණුකරේ මුහුදු තීරයේය... මෙරටට සිදු වූ සුවිශාලම ස්වාභාවික විපත්තිය වූ සුනාමියට උන්වහන්සේගේ විහාරස්ථානයත් ගොදුරු වූ අතර එයින් උන්වහන්සේගේ ගුරු හිමියන්ද අපවත් විණී..එහෙත් මෙම වෛද්‍ය ප්‍රතිකාර කරන්නට යෙදුන කාල සමය වන විට එම විපත සිදුව නොතිබිණ...

ඉගෙනීම පිණිස කොළඹ පැමිණි ධම්මරතන හිමියන්ට මේ වන විට අවසාන විභාග පරීක්ෂණ ආසන්නව තිබුනු අතර විභාග සඳහා සූදානම් වීම පිණීස තරමක නිවාඩු කාලයක් වැනි යමක් ලැබී තිබීම නිසා එම කාලය නැවතී පාඩම් කටයුතුත් කරනා අතරවාරයේම ප්‍රතිකාර ගැනීමට උවමනා වී තිබුණි.

කෙසේ හෝ මුල් කතාව සිදුව සති දෙකක් ඉක්ම යන්නට ප්‍රථම උන්වහන්සේ ප්‍රතිකාර පිණීස වැඩම කරන්නට යෙදුනාහ...

සුමන තිස්ස වෙද මහතාගේ පරීක්ෂාවෙන් අනතුරුව අවම වශයෙන් මාස තුනත් හයත් අතර කාලයක් බෙහෙත් බඳින්නට සිදුවන බවත් තත්වය පෙර කී ලෙසින්ම නරක බවත් දැනුම් දුන් අතර එදා සිටම ප්‍රතිකාර ඇරඹීණ... පන්සලේ නිත්‍ය දායකයකු වන රූපරතන අයියාද මෙම වැඩේට උදව් කරගත් අතර ඔහු විසින් ගම පුරා ඇවිද අමු කොල මුල් ගෙඩි ආදිය සොයාගෙන එන ලදි.. පසුව අප දෙදෙනා විසින් පන්සල පිටුපසක ගලක එම බෙහෙත් අඹරා චූර්ණකොට එළකිරි බෝමී යුෂ හා බෙහෙත් වතුර මුසු කොට වළඳක තබා උනූ කොට පත්තු සෑදීමත්.. පත්තුවට පෙර කොන්ද සකස් කිරීම සඳහා යොදන මැල්ලුම් ආදිය සකස් කිරීමත් හුමාලයෙන් තම්බා තැවීම පිණීස පොට්ටනි බැඳීමත් ආදිය එක සීරුවට කලෙමු...

මුලින්ම විනාඩි ගණනක් හුමාලයෙන් රත් කල පොට්ටනි දෙකක් මාරුවෙන් මාරුවට උපයෝගී කොටගෙන පිට තැවීමත්.. අනතුරුව වෙද මහතා විසින් ලබා දුන් පළාතේම ප්‍රසිද්ධ "කැඩුම් බිඳුම් තෙල" මඳක් රත් කොට පිටේ තවරා එය එක අතකට සියුම්ව අතගා... එයින් පසුව මැල්ලුම් යොදන සමයනම් මැල්ලුමද.. නැතහොත් පත්තුවද කෙසෙල් කොලයක ආධාරයෙන් කොන්දේ තැන්පත් කර එය රෑරා හැලීම වැලකීම පිණිස බෙහෙත් යොදන පෙදෙස පහන් තිර මෙන් අඹරා සකස් කල දළ රෙදි වැටි තබා කුඹුරක ලියද්දක් මෙන් වට කොට පත්තුව එක්ව රැඳී සිටීම පිණීස ඊට උඩින් හතරැස්ව කපාගත් සුදු රෙදි කඩක් අලවා එයින් පසුව යාර කිහිපයක් දිගට සකස් කර රෝල් කර කපා ගත් රෙදි තීරුව උපයෝගී කොටගෙන තරමක් තදින් හිරවන සේ ඇඟ වටා ඔතන්නෙමු.

පිට කොන්දත්.. පපුවත් හිරවන සේ මෙසේ රෙදිකඩ ඔතනා අතර වාරයේදී පොටවල් කිහිපයක් ඔතා නැවතත් ඝණකම් කාඩ් බෝඩ් කැබැල්ලක්ද බෙහෙත් යෙදූ තැනට සිටිනා සේ තබා නැවතත් පොටවල් කිහිපයක් වන සේ රෙද්දෙන් වෙලනු ලබන අතර එයින් පසුව නොගැලවෙන පරිදි ගැටයක් යෙදිය යුතුය..

මුලදී මුලදී ‍මෙම ගැටය ශරීරයේ ඉදිරිපසට වන්නට යෙදූවද දින කිහිපයකට පසුව එය පිට පැත්තටම සිටින සේ යොදන්නට සිදු විය.එයට හේතු වූයේ පපුව හිරවන්නට බෙහෙත් බැඳ ටික වේලාවක් යන විට ඇතිවන අපහසුතාවය නිසා ධම්මරතන හිමියන් විසින් වරින් වර ගැටය බුරුල් කොට පහසුවෙන් සිටීමට සැරසීමයි.. එහෙත් එයින් වන්නේ බෙහෙත් ටික රූරා හැලීමත් ශරීරයේ සෘජු හැඩය වෙනස් වීම නිසා කොඳු ඇට පෙළ ඇඳ වීමට බැලීමත්වැනි අහිතකර තත්වයන් නිසා ධම්මරතන හිමියන්ට අතට අහු නොවන සේ පිටුපසට වන්නට ගැටය යොදන්නට විණී.එයින් පසුව උන් වහන්සේ බෙහෙත් බැඳගෙන අප දෙස බලමින් නොක්කාඩු කියමින් හිනාවීම බලමින් සිටීමත් එක්තරා අන්දමක විනෝදයක් ගෙනදුන් ක්‍රියාවක් විණි...

කෙසේ හෝ දින කිහිපයකින් එම අපහසුව දරාගෙන සිටීමට උන්වහන්සේ හුරු වූ බැවින් බෙහෙත් බැඳීම නිසි ආකාරයෙන් සිදු කෙරෙන්නට විය. උන්වහන්සේ පැමිණ සති දෙකක් පමණ යනවිට උන්වහන්සේව බැලීමට පැමිණී මිත්‍ර හිමි නමක් හා සිවුරු හැර ගොස් තවමත් උපාදිය පිණීස ඉගෙනුම ලබන අයකුත් පසුව උන්වහන්සේගේ තනි නොතනියටත් පාඩම් කිරීම පිණීසත් පන්සලේ ලැගුම් ගත්තේද මාගේ අවසරය මතය...

අප සියළු දෙනාම විහිළුවෙන් තහළුවෙන් කල් යවමින් තම තමන්ගේ අදාල කාර්යයන් කරගෙන යන්නට විය...
ඔවුන් තිදෙනා පාඩම් කිරීමත්... මා පන්සලේ දියුණුව පිණීස හා දායකයින්ගේ උවමනා එපාකම් සොයා බලා ආගමික කටයුතු කර දීමත්..කරගෙන ගිය අතර...ධම්මරතන හිමියන්ට බෙහෙත් බැඳීම මා අතින් සහ රූපරතන අයියාගේ අතින් පමණක් සිදු විණී... පැමිණ සිටි අනිත් මිතුරු හිමිනම පන්සලේ වූ බෝධීපූජා බණ දානමාන ආදියට මා හට මනා සහයක් ලබා දුන් අතර ඒ හරහා මටද පහසුවක් අත්විණී...

මෙසේ කල් යන අතරවාරයේදී දිනක් රාත්‍රී කලෙක අප කිහිප දෙනා පන්සලේ ඉදිරිපිට වාඩි වී සිටි අවස්ථාවකදී නිතරම කෙරෙන්නාක් මෙන් නොයෙක් දහම් කරුණුද..අතරින් පතර ඔවුනගේ විශ්ව විද්‍යාල ජීවිතයට අදාළ කතාද..පන්සල් කතාද එළීයට ඇඳි එමින් තිබුණි.. ඉගෙනීමට ගුරුවරුන් නොමැති වූ මාහට නිතරම පිහිටට සිටියේ මෙසේ වරින් වර ලද මනා මිත්‍ර සම්පත්තියම වූ හෙයින් මෙවන් දිනවලදී මා හට ඇති නොයෙකුත් ගැටළු ඔවුන් වෙත ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස් දැක්වීම් ලබා ගතිමි. ඔවුන්ද ඉතා උනන්දුවෙන් වාද විවාද කරමින් මා අසනා දේට මනාව සොයාබලා කරුණූ දැක්වීම් කරන ලද්දාහ.

එවකට රටේ මහා දහම් ප්‍රබෝධයක් ඇති වෙමින් පැවති යුගයකි...ප්‍රසිද්ධියට පත් වූ ධර්ම කථීකයින් කිහිප දෙනෙක්ම රට වටා නොයෙක් ආකාරයේ දහම් ප්‍රචාරයන්හී යෙදෙමින් සිටි අතර එක් විටෙක අපගේ අවධානය යොමු වූයේ ඒ ඒ හිමිවරුන් විසින් යම් යම් අවස්ථාවලදී දේශනා කරන්නට යෙදුණ දහම් කොටස්වල නිවරද්‍යතාවයන් පිළීබඳවයි.. එවැනි අවස්ථාවක එළියට ඇදුන යටි පෙලෙහි වූ කතාවක් අද වැනි දිනක වැදගත් වේයැයි සිතමි...

කුමන හෝ දහම් කොටසක් තරමක් විකෘතියකින් යුක්තව දේශනා කල හිමිනමක් ගැන මාතෘකාව වී තිබුණු අවස්ථාවේ මා විසින් එම ප්‍රසිද්ධ හිමියන්ගේ අධ්‍යාපන තත්වය ගැනත් උන්වහන්සේගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිත ධර්ම දේශනාවන්ගේ රටාවත් ගැන උන්වහන්සේලාගෙන් විමසා සිටියෙමි. ඇත්තටම උන්වහන්සේට එවන් දැනුමක් නොඑසේනම් විද්‍යා උපාධියක් ඇද්ද යන්නත් එසේ උගත් හිමිවරුන් සසුනට ඇතුළු වීම සාසනයේ ඉදිරියට කොතරම් දිරියක් දැයි යන වගත් කතා කල විට මා මිත්‍ර හිමිවරුන් දෙදෙනාත් අනික් සඟයාත් සිනහ විණී... එම සිනහවේ සැග වී ඇති අරුතක් තිබූ හෙයින් නැවත ඒ පිළීබඳ විචාල විටය මට මෙම කරුණ උන්වහන්සේලා අතින් දැන ගන්නට ලැබුනේ...

එනම් දහම ගැන ආසාවක් හෝ සසුනට සේවයක් කිරීම පිණීස නොව අදාළ හිමිනම තවත් ගිහි උපාධි අපේක්ෂකයින් හය දෙනෙකු සමඟ එක්ව සසුන්ගතව ඇත්තේ හදිසියේ ලැබුන ප්‍රංශයට යමේ අවස්ථාවක් සලසා ගනු පිණීසය. ධර්ම ප්‍රචාරක සේවාවක් සඳහා යන මුවාවෙන් වීසා ලබාගෙන ප්‍රංශයට යා හැකි අවස්ථාවක් ගැන හෝඩුවාවක් ඔස්සේ එම සසුන්ගත වීම සිදු වූ අතර එයින් කිහිප දෙනෙකුට අදාළ අවස්ථාව හිමි වූවද පෙර කී හිමිනමටත් තවත් අයකුටත් අවස්ථාව ගිලිහී ඇත.

එහෙත් අවස්ථාව ගිලිහී ගියද එක්වරම උපැවිදි වීම දන්නා හදුනන අයගේ ගැරහීමටත් අපහාසයටත් කාරණාවක් වේයැයි සිතු දෙදෙනා තව ටික කලක් එසේ සිට සිවුරු හැරීමට තීරණය කොට තිබුණි.අදාල අනික් පුද්ගලයා එසේ ස්වල්ප කලකින් සිවුර හැර ගියද අපගේ ප්‍රසිද්ධ හිමිනමට ඒ වන විට සිවුර රහ වැටී තිබිණ.. ඒ උන්වහන්සේට අහම්බයෙන් මෙන් ලැබුන ධර්ම දේශනා කිහිපයක් හරහා ඇති වූ සුළු ප්‍රසිද්ධිය නිසාය... අවසානයේදී ප්‍රංශ ගමන වැලකුනද වෙනත් මාර්ගයක් පෑදීම හේතුකොටගෙන දිගටම සිවුරේ සිටීමට පෙළඹුන උක්ත හිමි නම ගැන විශ්ව විද්‍යාලයේ හිතවත් කිහිප දෙනෙකු හොඳින් දැන සිටි අතර භික්ෂූනේවාසිකාගාර වාසී අපගේ මිතුරු හිමිවරුන්ද එක් වසරක කණිෂ්ඨභාවයකින් යුතුව අඳාළ හිමිනම තරමක් ලගින් ඇසුරු කල අය වූහ...

සාසනයට සේවය කිරීම පිණීස හෝ තම ආධ්‍යාත්ම සුවය පිණීස නොව විදෙස්ගත වීමට කෙටි මාර්ගයක් ලෙස සසුන්ගත වූ හිමියන් වර්ථමානයේදී කෙටි මගකින් සකෘදාගාමීව ඇති බව නම් ප්‍රසිද්ධය.. ඒ ගැන එයින් එහාට කතා ඇවසි නැත. දහම වනසන්නේ පිටතින් එන්නවුන් නොව සාසනික ස්වරූපය දරාගෙන එන්නා වූ අභ්‍යන්තරයෙන්ම පහළවන්නා වූ මිසදිටුවන් අතිනි.

..........................................
සියල්ල අවසානයේදී අප සිතුවාටත් වඩා ඉක්මනින් ප්‍රතිකාර කිරීම අවසන් කරන්නට හැකියාව ලැබිණ.. පුරා මාස දෙක හමාරකින් පසුව ප්‍රතිකාර නැවැත්විය හැකි තත්වයටම කොන්දේ ආබාදය නිට්ඨාවටම සුවවී තිබූ නිසා සුමන තිස්ස වෙදැදුරු තුමන්ගේ ඉමහත් සතුට මධ්‍යයේම ධම්ම රතන හිමියන් ප්‍රතිකාර අවසන් කොට නැවතත් කොළඹ බලා වැඩම කරන්නට යෙදුනි.

පසු කාලීනව සුනාමි විපතට ලක්ව උන්වහන්සේගේ විහාරය මුළුමනින්ම මූදු බත් වූ අතර විශ්මයජනක ලෙසින් විහාරගෙයි පිළීම වහන්සේලා පමණක් කිසිදු හානියකින් තොරව ආරක්ෂා වී තිබුණි...පිළීම වට කොට තිබූ එකමඑක බිත්තියකුඳු ඉතිරිව නොතිබූ අතර වහලේ උළු කැටයකුඳු සොයා ගත් නොහැකි විණී.. එහෙත් පිළීමවහන්සේලා කාන්තාරයක නැගි පර්වතයන් සේ නිරුපද්‍රිතව වැඩහුන් සේක...

මෙම ආශ්චර්යයත් සමඟින්ම එම විහාරයටද කොළඹ දානපතියන්ගේ නිරන්තර අවධානය හිමි වූ අතර ඒ හරහා අද වන විට එදා තිබුනාටත් වඩා දර්ශණීය අන්දමට විහාරස්ථානය ගොඩනගන්නට ධම්මරතන හිමියන් සමත් වී ඇත. මිතුරුදමෙහිත් කලගුණ සැලකීමෙහිත් ප්‍රමාද නොවන හිමියන් විසින් එම විහාරස්ථානය ගොඩනංවා අවසන උන් වහන්සේට එහි වැඩ ඉන්නට ඉඩක් නොමැති හෙයින් හැකිනම් විහාරස්ථානය බාරගෙන කටයුතු කරන මෙන් මා වෙතින් ඉල්ලීමක් කලද එය සුහදව ප්‍රතික්ෂේප කරන්නට යෙදුන හෙයින් අවසන එහි ගොඩනැංවූ ආවාසයෙහි උඩු මහලෙහි ඕනෑම වේලාවක පැමිණ ලැගුම් ගෙන වැඩ වාසය කරන්නට යයි කියා මා නමින් කාමරයක් වෙන් කොට තබන්නට කාරුණික වූහ... සත් පුරුෂයෝ එසේ වන්නාහ...

25 November 2011

අනාගතය වෙනුවෙන්...අළුත් බ්ලොග් අඩවියක්...

කතා කරන්න දෙයක් නැහැ පුදුමාකාර සතුටක් දැනුන මොහොතක්... දැන් කාලෙක ඉඳන් බල බල හිටිය දෙයක් ඔන්න යාන්තං හරි ගිහින්..කොටින්ම කිව්වොත් මං දන්න කියන මල්ලි කෙනෙක් බ්ලොග් අඩවියක් ආරම්භ කලා... මං හිතන්නේ අදට වඩා ඉදිරියේදී මේ ගැන කතා කරන්න බොහෝ දේවල් අපට තියේවී...


හදවත පතුලෙන්ම සුභ පැතුම් මල්ලියේ... මීට වඩා කියන්න දෙයක් නැහැ...ඉතිරි ටික කියන එක උඹට බාරයි.බලවත් හතුරන්ට වඩා මෝඩ මිතුරන් තමා හා එකතුව අන් අය හා වාද කරන්නට යාම උඹටත් විපතක් වෙන්නට පුළුවන් හින්දා මං සද්දේ වහලා ඉන්නං..ඒත් හැමදාමත් උඹත් එක්ක මාත් ඉන්නවා...

කාලෙකට කලින් "පොෂ් වෙන්නේ කොහොමද" කියලා කියා දීපු ලිපියක් අන්තර්ජාලය හරහා අපි හුග දෙනෙක් කියෙව්වා මතක ඇති..මමත් ඒ ලිපියට ඇති වූ කැමැත්ත මතම දින කිහිපයක් මගේ බ්ලොග් එකෙත් එහි හිමි කරුවාගේ අවසරය මතම පල කරන්නට යෙදුනා..එය රස විඳ ඇති අය වේ නම් ලේඛනයෙහි හා අදහස් පල කිරීමෙහි ලා ඔහුට එම ලිපියේ හිමිකරුට ඇති අපූරු හැකියාව තේරුම් ගොස් ඇති.. මේ වෙන කවුරුවත් නොව මෙම බ්ලොගයේ හිමිකරුයි...

24 November 2011

කොළුවාගේ කතාව...ඇස් ඇස් සී දක්වා...

එක්දහස් නවසිය තිහේ දසකයේ මැද භාගයේදී සියනෑ කෝරළයේ උපත ලද කොළුවෙකි. හෙතෙම පවුලේ හතරවැනි පිරිමි දරුවා වූ අතර ඔහුට වැඩිමහළු වූ තිදෙනාද කොල්ලන්ම විය. කොළුවාගේ උපතින් පසුවත් පවුලට දවත් දරුවකු එක් වූ අතර ඒකාත් කොළුවෙක්ම වීම නිසා පවුලේ පිරිමි දරුවන්ම පස් දෙනෙක් විය...අක්කර පහක පමණ ඉඩම් කට්ටියක හිමිකරුවන් වූ කොළුවාගේ පියා රැකියාව පිණිස වරින් වර සිල්ලර වෙළඳාමත් ස්තීර ලෙසම වගාවත් කරනු ලැබූ පළාතේ කොයි කා අතරත් ගෞරවය දිනා ගත් හතර රියන් පුද්ගලයෙකු විය...විටෙක බොහෝම නිවී සැනසුන අයකු වූ කොළුවාගේ පියා තවත් වරෙක සැඩ පරුෂ චණ්ඩියෙක් විය. ගම් තුලානේ කිසිවකුටත් හිස නොනැමූ ඔහුට වෙළඳාම එතරම් පිහිටියේ නැතත් ගොවිතැනත් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙහි සුළු පිහිටීමකුත් විය... එවකට පමණක් නොව අදටත් ඔහුගේ නම ගම් තුලානේ පැරැණ්නන් හොදින් හඳුනයි. ඔහුගේ දරුවන්ගේ දරුවන්ටත් අද අහවලාගේ මුණුපුරාලා කියනා සැණින් හඳුනන තරමට නමක් ඇතිව දිවි ගෙවූ අයෙකි.

අපගේ කතා නායක කොළුවා අනිකුත් සහෝදරයින්ගෙන් තරමක් වෙනස් විය. ඒකා පොඩි එකා සංදියේ සිටම මවගේ වටාම කැරකැවෙමින් ජීවත් වන්නට හුරු විය..අනිකුත් කොළුවන් ගමේ ගොඩේ කොළුකුරුට්ටන් හා කෙලි සෙල්ලමට යන විටත් මේ කොළුවා කලේ සිය මවත් සමඟ ඇය යන යන තැන පස්සෙන් එල්ලී යාමයි.ඇය ළිඳට ගියද.. පොල් අතු වලට ගියද.. කොහිල ගාලට ගියද.. පලා නෙලන්නට ගියද කොළුවා ඇගේ සෙවණැල්ල මෙන් විය...

කොළුවා කුඩා කලදීම එක්තරා වන්දනා ගමනක් යන්නට අවස්ථාව සැලසිණී ඒ වන විට ඒකාට වයස අවුරුදු දහයක්වත් නොවීය..ගමන යෙදී තිබුනේ සිරිපාදේ යෑමටය... කොළුවා වන්දනා නඩයත් සමඟ ගියේ නොගිහින්ම බැරි කමටය..කෙසේ හෝ ගෙදරින් පිටත්ව ගිය පළමු ගමන නිමවා නැවත පැමිණී කොළුවාට එම ගමනටත් එහා ගිය අමතක නොවන සිදු වීමකට මුහුණ දෙන්නට සිදු විය.. ඒ ඒකාගේ පියාගේ වියෝවයි..සිරීපාදේ ගොස් පැමිණී කොළුවාට දැක ගන්නට ලැබුනේ යන විට ඉතා හොඳින් සිටි පියාගේ නිසල දේහයයි.. ඒ කොළුවාට පිට ලැබුන දෙවන අමතක නොවන අත්දැකීම විය...

එතැන් පටන් කොළුවා තව තවත් මවට සමීප විය.කෙල්ලන් නොසිටි නිවසේ සෑම දෙයක්ම සොයා බලා කලේ අපගේ කතානායක වන මෙම කොළුවායි...විටෙක අමුඩ කෙටියක්ද..තවත් විටෙක සරං කඩමාල්ලක් කෙටි වන්නටද හැඳගත් හෙතෙම සිය මවට උදව් උපකාර වෙමින් ගෙදර දොර වැඩ සියල්ලක්ම ඉගෙන ගන්නට විය..ගමේ පන්සලේ තිබූ රජයෙහ් පාඨශාලාවට අකුරු කරන්නට ගිය කොළුවා එය නිමවූ සැණීන් ගෙදර දුව එන්නේ නිවසට උවමනා වතුර ඇදීමට..ඉවුං පිහුං කටයුතු කරන්නට..දර සොයන්නට... පොල් අතු වියන්නට ආදී දෙයටයි.

පියා මිය ගිය දින පටන් මවත් සමඟ එකතුව වත්ත පුරා නොයෙක් බව බෝග සිටුවා වැඩි මහළු සහෝදරයින් දෙදෙනාට අධ්‍යාපන කටයුතු රිසි සේ කරගෙන යාමට සැලසීම කොළුවා බොහෝ කැමැත්තෙන් කල දේවල් විය වැඩි මහල්ලන් දෙදෙනා සහ බාලම සහෝදරයා ඉගෙනීමට දක්ෂයින් විය.. කොළුවාට කලින් ඉපදුන දරුවා හෙවත් පවුලේ තුන් වැනියාට බාල කලදීම හිසට පොල් ගෙඩියක් වැටීම නිසා ඔහු ආබාධීතයකු විය.එම අනතුරෙන් පසුව කිසිදාක හරි හමන් ලෙස ශ්‍රවණ තත්වයක් නොවූ අතරම වරින්වර කාලවලදී යම් කිසි උමතු ගති ලක්ෂණද පෙන්වන්නට වූයෙන් ඔහුද පවුලේ අයට විශාල බරක් විය.

ඉගෙනුමට දක්ෂ සහෝදරයින් තිදෙනාත්..ආබාධිත සොයුරාත් වෙනුවෙන් කරන්නට තිබූ සෑම දෙයක්ම නොපිරි හෙලා ඉටුකරමින් අපගේ කොළුවා ටිකෙන් ටික උස් මහත් වන්නට විය. ඇස් ඇස් සී පන්තියට ඉගෙනුම ලබන සමයේදීම හෙතෙම ගමට හැතපුම් හතරක් පරණ දුරින් පිහිටි සමූපාකාරයක අත් උදව් කරුවකු ලෙස සේවයට ගියේය. එය ස්ථීර රක්ෂාවක් නොවූ අතර එදිනෙදා ලැබෙන දෙයක් රැගෙන ගෙදරට පැමිණෙන කොළුවා හැකි විදියකින් ඉගෙනීමද ලැබීය.. අවසන ඇස් ඇස් සී විභාගය සාමාන්‍ය මට්ටමින් සමත් වන්නට ඒකාට හැකියාව ලැබිණී...
______________________

කොළුවාගේ මී ළග පිම්ම ළඟදීම බලාපොරොත්තු වන්න...
..................................................

(පොත් කොට ලියන්නට යැයි සිතා කරුණු ගොනු කොටගෙන සිටි කතා තුනෙන් එකක් මා විසින් අමු අමුවේම විනාස කරමින් සිටිමි...)

23 November 2011

මාර කෑම.. කිරි කොස් ...


හරි අද ලියන්ට යන්නේ හුග දෙනෙක් කැමතිම වගේම හුග දෙනෙක් අකමැතිම කෑමක්...ඇත්තටම ඔයාලට කියන්ට මේක බොහෝම රස කෑමක් වගේම සමහරුන්ටනං තඹ සතේක රහක් නැති කෑමක්.. ඒත් ඉතිං කෑවා නොකෑවා මයෙ මොකෝ... නැද්ද හා...

මේකත් මේ පාඨක ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමක් තමයි ඕං..ඒ කිව්වේ මගේ මූණූ පොතේ යාළුවන්ගේ ඉල්ලීම මත පල කරන ලිපියක්... මුලින්ම කිව්වා මේක අරාබි ඔටුවොන්ට නරඹිම තහනම්..නැත්තං උන් ටික බලලා කරලා අහක් වෙලා මට බැණ අඬ ගානවා...ආයේ මොටද මෙව්වා ලියලත් මේ අහිංසක මං මේකලාගෙන් මෙහෙමත් කතා අහන්නේ..එකෙක් බලන්නේ නැහැ ඕං කිව්වා...

හරි වැඩි කතා අනවශ්‍යයි..විස්තරේ අවශ්‍යයි..එහෙනං අපි බලමු මේක හදන්නේ කොහොමඳ කියලා...

මුලින්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා හොඳින් පැසුණු කොස් මඳුළු..ඔව් ඔව් ඔයාලට ඉතිං මෙව්වා මෙහෙම කිව්වට පොස් මදි හින්දා මං කියන්නංකෝ අපිට ඕන වෙනවා ජැක් මඳුළුස්... ප්‍රමාණයනං ඉතිං තම තමුන්ගේ ගෙවල්වල කොටා බාන්ට ඉන්න උන්දලාගේ තරමට තමා..මංනං මෙතනදී සාමාන්‍යයෙන් හතර පස් දෙනෙකුට ඇති වෙන්ට උයලා තියෙනවා... මොකද මං කොස් හා කිරි කොස් කන්ට ගියාම කන්නේ ඒ හැටි වැදගත් තාලෙට නෙවෙයි... බත් වලට වඩා කොස්වලට මං මනාපයි නෙව..ඉතිං දමලා අරිනවා කිරි කොස් පිඟන් ගානට.. ඒ හින්දා තමා මෙහෙම ටිකක් වැඩිය හිටින්ට උයන්නේ...

හරි එහෙනං ඔයාලා දැන් කොස් හොයා ගත්තනං ඒවායේ ගම්..ඔව් ඔව් ජැක්වල හරියට ගම්නේ මෙයාලා.. ඉතිං ඒ ගම් ඔයාලගේ ඔය හුරුබුහුටි අත්වල ගාගන්න එපා... කොස් සුද්ද කරද්දි අත් දෙක ඇල් වතුරෙන් තෙමාගෙන කොස් සුද්ධ කරලා අවසානෙදී කොකනට් ඔයිල් ටිකක් අත්වල ගාගෙන ‍වියලි රෙදි කැබැල්ලකින් අත් දෙක හොදට පිහ දා ගත්තම ඔය ගම් ගතිය යනවා හොදේ... ආන්න එහෙම පොතේ හැටියටම වැඩේ කරගෙන කොස් මදුළු ටිකක් සුද්ද කරලා ඒවායේ ඇට ඉවත් කරලා මදුළු ටික දිග අතට ලියා ගන්න..අපි කොස් තම්බනකොට වගේ හරස් අතට ලියන්නේ නැහැ කිරි කොස්වලට කොස් ලියද්දී ඒවා දිග අතටයි ලියන්නේ.. ඉතිං ආන්න එහෙම කොස් මඳුළුත් ලියාගෙන ඒ මඳුළු වලින් ඉවත් කර ගත්ත කොස් ඇටස් ටිකත් සුද්ද කරලා ඒකටම එකතු කර ගන්ට ඕනි.. කොස් ඇටස් සුද්ද කරන එකත් ඒ හැටි දෙයක් නෙවෙයි..ඒවායේ සිබිඩි අහක් කරලා ඔය අතට අහුවෙන මොකක් හරි බර දේකින් දෙතුන් පාරක් තැළුවනං ඊට පස්සේ කොස් ඇට පොතු යවන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි..ඉතිං ඔය තියෙන්නේ එහෙම සුද්ධ කර ලියා ගත්තු කොස් මඳුළු හා කොස් ඇටස් තමා හරිය...



ඉතිං එහෙම ලියා ගත්ත කොස් වලට මෙන්න මේ කලමනා ටික එකතු කරන්න...
රම්පේ
කරපිංචා
රතුළුණූ
සුදුළුණු
අමු මිරිස්
කුරුඳු පොතු
උළුහාල්
ගම්මිරිස්
කහ කුඩු
මිරිස් කුඩු
තුනපහ කුඩු

පේනවා නේද පින්තූරේ.. ඔය විදියට දාපුවම හරි..මෙතනදී මං ගම්මිරිස්නං කුඩු පොඩ්ඩක් එකතු කලේ..ඒත් ඇත්තටම ගම්මිරිස් ඇට දෙකක් තුනක් එකතු කරන එක තමා හරිම විදිය..ඒත් ඉතිං ගෙදර තියෙන ඒවා එපෑ දාන්න නේද..?මං කිරි කොස් හදන්න ගත්ත වෙලේ ගම්මිරිස් ඇට තිබුනෙත් නැහැ වේලිච්ච මිරිස් කරල් තිබුනෙත් නැහැ..ඒත් ඉතිං මං සැලෙයිද ඕවට...
හරි ඊ ළගට පොල් කිරි එකතු කලා තිබුබා ලිපේ තැම්බුවා...මතක ඇතිව ලෝස් නැතිව කිරි එකතු කරන්න..ඒත් ඉතිං පොල් කිරි නිකං රත්තරං වගේ පලාත්වලඉන්න අය ඕකට මිටි කිරිම නොදා දිය කිරෙන් ලිපේ තියලා හොදට කොස් තැම්බෙනකොට මිටි කිරි ටිකක් දැම්මත් අවුලක් නැහැ.හැබැයි මං එක පාරක් වතුරෙන්ම තම්බලා අන්තිමට කිරි ටිකක් එකතු කරලා කිරි කොස් හදපු වෙලාවළුත් තිබුනා..පොඩිම වෙනසක් ඇරෙන්න මහ අවුලක් නැහැ.. ඒ හින්දා පොල් හිග පළෘත්වල අය වැඩියම බය වෙන්න එපා..හරිනේ...
ඉතිං කිරි කොස් එක හොදට ලිපේ තැම්බිලා නටලා නියම ගානට ආවට පස්සේ ඒක පොඩි තෙම්පරාදුපාරක් දාගන්න ඕන... මෙන්න මේ විදියට තෙල් ටිකක් වෙනම ඇතිලියක රත් වෙන්න ඇරලා ඒකට අබ..කරපිංචා..රතුළුණූ..සුදුළුණූ..සහ මතක ඇතිව වේලිච්ච මිරිස් කරලක් එහෙම කඩලා දාලා ඒ ටික බැදෙන කොට අර උයා ගත්ත කිරි කොස් ටික ඒකට හිමිහිට එකතු කරලා හොඳට හැදි ගාග්තතනං හරි...


මේ පින්තූරේ මිරිස් නැති උනේ මේක හදනකොට ගෙදර මිරිස් නොතිබ්බ හින්දා කියලා මං කලින් කිව්වනේ..ඒත් ඉතිං මට ඒක හිතට මදි වගේ..පස්සේ මං ඔක්කෝම කරලා ඉවර වෙලා කඩේට දුවලා මිරිස් කරල් ටිකක් ගෙනාවා..කොහොමත් කිරිකොස් එක්ක බත් කන්න මිරිස් බැදුමකුත් එපෑ.. ඉතිං ඒ ගෙනත් බැද්ද මිරිස් කරල් දෙකක් මේකට කඩලා උඩින් දැම්මා..

වැඩේ ගොඩ.. ඔය තියෙන්නේ ලස්සනට...

ඔය ඔක්කෝම කරලා අනිත් කලමනාත් හරි ගස්සලා අන්තිමට ඊයේ දවල්ට බත් ඩිංගකුත් එක්ක කිරි කොස්..ගොටු කොල සම්බෝල.. සහ මං ආසම විදියට කර වෙන්න බැදපු හාල් මැස්සනුයි මිරිස් කරලුයි එක්ක දමලා ඇරියා මදි නොකියන්නම...

22 November 2011

අපෙත් කතාවක් ඇත...

මේ ලිපිය කොතනින් පටන් ගන්නද කියලානං මටත් තේරුමක්නැහැ..ඒ වගේම කොහෙන් පටන් අරන් කොහෙන් කෙලවර වෙයිද කියන්නත් මට තේරුමක් නැහැ.. ඒත් මටත් කියන්න කතාවක් තියෙනවා.. ඒ තමා මගේ වගේම මගේ පවුලේ හා ඒ හා සමාන හුගාක් පවුල්වල කතාව...

මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා සමහර වෙලාවට මේ වගේ දේවල් ලියන්න පටන් ගත්තට ලියාගෙන යද්දී හිතේ ඇතිවෙන දහසකුත් එකක් සිතිවිලි එක්ක ලියන්න හිතුව දේ මට ලියවෙන්නේ නැති එක...අන්තිමේදී පටන්ගන්න කොට මං ලියන්න හිතුව දේ නෙවෙයි මට ලිය විලා තියෙන්නේ..ඒත් බලමු පුළුවන් තරං හෙමිහිට ඒ දේ කරන්න...

හවස බ්ලොග් බල බල ඉන්නකොට අපේ බනිය මලයගේ ලිපියක් හම්බ උනා කියවන්ට... කොහොමත් මං බනියගේ ලිපි කියවන්න කැමතියි... ඒකාත් වැඩි කැටයං නැතිව ඔහේ හිතට හිතෙන දේවල් ලියාගෙන යන විත්තිය මං දන්න හින්දා අහු වෙන හැම වෙලේම මං ඒකගේ ලිපි කියවනවා. ලිපි ගාන අඩු උනත් වැඩි අඩ බෙර ගැහිලි නැති උනත් බනියා කියන්නෙත් මේ බ්ලොග් අවකාශයේ පරණම පොරක් සහ මගේ දැකීමේ හැටියට මටනං පොරක්...

අපි ලියන්න පටන් ගන්නකොටත් බනියා බ්ලොග්වල හතර අතේ කැරකි කැරකි හිටිය හාදයා.. ඒ වගේම මුල් කාලේ ඉඳන්ම මාවත් දැන හදුන ගත්ත එකෙක්...ඌ ගැන කියන්නං දේවල් හුගාක් තියෙනවා උනත් ඕවා කියලා ඕකාව උඩ දාපුවම බිමට බස්සගන්නත් ආයෙම මං තව පෝස්ට් දෙක තුනක්වත් ලියන්න ඕන හින්දා ඒ ගැන වැඩිය නොකියා ඉම්මු..කෙටියෙන්ම කියනවනං හොඳ කොල්ලෙක්..

ඉතිං මේකා දාලා තිබුනේ චිත්‍රපටයක් ගැන කතාවක්..ඒත් චිත්‍රපටය හරහා ඒකා කියලා තිබුනේ දේශපාලන කතා වගයක් තමා... ඒත් ඇත්තටම ඌ ඒ ලිපිය ආරම්භ කරපු විදිය දැක්කම මට ඌ ගැන ඇති උනේ ගෞරවයක්... වටේ යන්නේ නැතිව කෙලින්ම තමුන්ගේ දේසපාලන කැමැත්ත ගැන ලියලා ඒ අනුව ඉස්සරහට ගිහින් තිබුනා. ඒ අතරේ විස්තර කරලා තිබුනා ඇයි බනියා ඒ දේසපාලනයට කැමති උනේ කියන කාරණාව... මහා ලොකු දේවල් නැති උනාට ඒ අතරේ තිබුන දේ තමයි බනියාගේ පවුල් පසුබිම... එයට දේශපාලනය ගෑවෙන්නේ කොහොමද කියන එක... ඒක කියව කියව ඉන්න වෙලාවේ මට එක පාරටම ඇහැ ගිය තැනක් තමා බනියට කැමරාවක් අරං දෙන්න තාත්තට හැකියාවක් නැති වීමේ කතාව...ඒක ඇත්තටම ටිකක් සංවේදී විදියට ඒකා ලියලා තිබුනා...

"මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!"

ඒත් ඒ කොටස දැක්කම මට මං ගැනයි මගේ තාත්තා ගැනයි මතක් වෙන එක අහන්නත් දෙයක්ද..? මං ඒ ගැන එතන කෙටියෙන් කියලා එන්න ආවා උනත් තාමත් හිත ඇතුලේ ඉතිරි වෙච්ච කතාවක් තියෙනවා...බනියටයි බනියගේ තාත්තටයි වගේම මටයි මගේ තාත්තටයි කතාවක් තියෙනවා...
.............................................

මා උපන්නේ වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ නවයේදීය...එහෙත් උත්පත්ති අවධියත් ඒ හා සබැඳුන කිසියම්ම හෝ මතකයක් මා සතුව නැත... මාගේ මතකයේ ඇත්තේ එක්දහස් නවසිය අසූ තුනත් අසූ හතරත් ආසන්න සමයේ සිට ඉදිරියට ගලා එන්නා වූ මතකයක් පමණි...

ඒ මතකය අතරේ තිබුනේ වැඩි පුරම දුකත් වේදනාවත් පිරි මං සලකුණු පමණි. දරිද්‍රතාවයත් ඒ හා වෙලුන අත්දැකීම් සමුදායකුත් අදටත් සිහියට නැගෙන්නේ සිත පුරාම ගලා යන තුනී වේදනාවක්ද සමඟිනි...

පර්චස් විසි පහේ ඉඩම් කැබැල්ලේ තනා තිබු නිවස ප්‍රධාන කාමර දෙකක් පමණක් විය. එහි සාලය කෑම කාමර ආදි කිසිවක් නැත නිවස පල දෙකකින් යුතු වූ අතර කාබොක් ගලින් බැඳ කපලාරු කොට රට උළු හෙවිලි කොට බිමට සිමෙන්ති දමා රතු පැහැයෙන් මැද තිබුනි.නිවසටම වූයේ කාමර දෙකක් පමණී. මුදුන් බිත්තියේ වූ නිවසේ ඉදිරිපස දෙරටුවෙන් ඇතුළු වූ විට නිවසේ පළමු කාමරයටත්.. ප්‍රධාන දොරටුව කෙලින්ම වැටුන් මැද බිත්තියේ දොරින් ඊ ළග කාමරයටත් පිවිසිය හැකි අතර එම කාමරයේත් පිටුපස උළුවස්සක් පිහිටා තිබූ අතර එයින් නිවසින් එළියට යා හැකිව තිබුනි.. කෙටියෙන් කිවහොත් උළුවහු තුනක් එක කෙලින් පිහිටා තිබූ නිවසේ කාමර දෙකට අමතරව තිබුනේ ඉදිරි පසත් පසුපසත් මිදුලේ කනු සිටවා දෙපැත්තට බා තුබූ යාලතු දෙක පමණි.පසුපස යාලත්ත කුස්සිය සේ භාවිතා කල අතර ඉදිරිපස කෑල්ල යන එන අයට සෙවන පිණීස විය.


මෙම කාමර දෙකින්ද ඉදිරිපස කාමරයේ තාත්තා විසින් සිල්ලර බඩු කඩයක් පවත්වා ගෙන ගිය අතර වරින් වර කාල වලදී එය වසා දමන අතර..නැවතත් කීයක් හෝ හොයා ගත් විට නැවතත් ආරම්භ කරනු ලැබූ ආකාරයේ එදා වේල කඩයක් විය. ඒ අනුව ගෙදර හතර දෙනාටම ජීවත් වන්නට තිබුනේ එකම එක කාමරයක් පමණී..එයද අඩි12*10 වැනි ඉඩක් තිබූ එකකි.

නිවසටම තිබුනේ එකම එක ඇඳකි. අල්මාරි ආදිය එයි නොවුන අතර මේසයකට කියා තිබුනේ කඩේ මේසය පමණී.නිවසටම ආලෝකය සැපයූවේ භූමිතෙල් ලාම්පු වලිනි... කඩේටත් අප ජීවත් වූ කාමරයටත් චිමිනි ලාම්පු දෙකක් වූ අතර කුස්සිටය පාවිච්චි කලේ කුප්පි ලාම්පුවකි... මෙයට අමතරව තාත්තා සතුව කොහෙන්දෝ ගෙන ආ පැට්‍රෝල් මැක්ස් එකක් විය..එහෙත් එය පත්තු කිරීම පහසු දෙයක් නොවීය..එයි තිබූ භූමිතෙල් කාන්දු හේතුවෙන් එය දැල්වීම යනු අධීක වියදම් යන කාරියකි.එහෙත් නිවසේ විශේෂ අවස්ථාවලදී එය වරින් වර දැල් උනා මට මතක ඇත. එවන් විශේෂ අවස්ථා රාශියක් නොවූ අතර වැඩි පුරම සිදු වූ දේ නම් තාත්තා ඉතා සමීපව ඇසුරු කල දේශපාලකයකු හා ජනප්‍රිය නළුවකු වූ විජය කුමාරණතුංග හා ඔහුගේ ඇඹේණීය පැමිණෙන අවස්ථා ආදිය පමණී. එවන් දිනවල වේල පහම ලාම්පුව සුද්ධ කොට තෙල් තමා අළුත් මැන්ටලයක් සවිකර හුලං ගසා එය සූදානම් කර කළුවර වැටෙන විටම එය දල්වයි.චිමිනි ලාම්පු එළියට වඩා දීප්තිමත් එළියක් වූ එම එළියට එවකට පොඩි උන් වූ මාත් මල්ලීත් මහත් සේ ඇළුම් කලෙමු.එහෙත් හැමදාම එය එසේ දැල්විය නොහැක්කේ මන්දැයි අපට වූ ගැටළුවට මා හට පිළීතුරු ලැබුනේ පසු කාලයකදීය.. එය වියදම පිළීබඳව වූ ගැටළුවකි.

කුස්සියේ බිම කළු ගල් තබා සකස් කල දර ලිප් වල ඉවුම් පිහුං වැඩ කල අතර මැටි කලයක පිරවූ වතුර නිතර බීමට ගන්නා ලදි. ගෙයින් අඩි විස්සක් පමණ දුරින් වැසිකිලිය පිහිටා තිබූ අතර එය වල කක්කුස්සියක් විය. ළඳ තිබුනේ ගෙය ඉදිරි පස වූ හෙයින් වැසිකිලි යාමට උවමනා වූ කල්හී ලිදේ සිට වතුර පනිට්ටුවක් රැගෙන වැසිකිලියට යාමට තිබූ දුර පොඩි එකෙකු වූ මා හට එකල දැනුනේ සැතපුම් වලිනි.

මේ මාහට මතක ඇති මුල්ම කාලයේදී අපගේ නිවසේ පැවති තත්වයයි... අහල පහල අයට වඩා අප හට නැති බැරිකම් වැඩි බව තේරුනේ ඒ ඒ අයට ඇති ඉඩ කඩම් හා ගෙවල්වල ඇති ලොකු පුංචිකං අනුවය...එහෙම බලනා කල අප හිටියේ බොහෝම පහළ තැනක වූ අතර දන්නා කාලයේ පටන්ම මේ ජීවිතය ගැන මා තුල වූයේ බලවත් දුකකි. එහෙත් ඒ දුකට හේතුව මා දැන සිටියේ නැත.. එහෙයින් එයට හේතු සෙවීමට හැකි සෑම විටම උත්සහ කලෙමි...

"ඇයි තාත්තේ අපිට සල්ලි නැත්තේ..?"
"ඇයි තාත්තට රස්සාවක් නැත්තේ..?"

එවකට මැදි වසයත් පසුකොට සිටි තාත්තාට අපේ පැන වලට දීමට පිළීතුරු නොවීය.. එහෙත් වරින් වර නැගෙන ප්‍රශ්න හමුවේ තාත්තා වෙනුවට ඒවාට උත්තර බැන්දේ අම්මාය...

"උඹලගේ තාත්තටත් හොඳ රස්සාවක් තිබුණා පුතේ..ඒත් කොහේද මේ දේශපාලනයක් හින්දා ඒකත් නැති කර ගත්තනේ..නැත්තං මෙහෙමද ඉන්න තිබුනේ?"

ඔය ටික කිය වෙන විට තාත්තා කොහේ හෝ සිට පැමිණ එයට උත්තර දෙන්නට පටන් ගනී...ඔහුට අනුව වරද ඔහුගේ නොවේ..වරදකාරයා "ජේ ආර්"ය... "ජේ ආර්" විසින් හිත් පිත් නැතිව දහස් ගණනක් දෙනාව රැකියා විරහිත ගොඩට ඇද දැමීම හරහා අසරණ වූ පවුල් රාශියකින් එකක් බවට මාගේ පවුලද පත්ව තිබිණ...

එය 81 වර්ජන සමයේම සිදු වූ දෙයක් වූ අතර කෙලින්ම වර්ජනය හා සම්බන්ධ ඉවත් කිරීමක් නොවන බව මා තේරුම් ගත්තේ පසු කාලීනවය... පතනක් මගින් ලංගම සේවකයින් ඉවත් කිරීමකදී එයින් ඉවත් වෙනවා හැර වෙන කල හැකි දෙයක් නොවූ තැන තාත්තා විසින් ගත් තීරණයකි. නමුත් ඉවත් වූ ඔහුත් ඇතුළු සේවකයින් රැසක් වෙනුවෙන් ලංගමයට සුවිශේෂී පුද්ගලයකු වූ "අනිල් මුණසිංහ"යන්ගේ මෙහෙයවීමෙන් නඩුවක් පවරා තිබූ අතර එය ජය ගැනීමට සේවකයින් සමත්ව තිබිණ..ඒ අනුව එහි තීන්දුව වූයේ නැවත රැකියාව හෝ නිසි වන්දියක් සේවකයින්ට ලබා දිය යුතු වූවත් නැවත කිසිම දිනකදී ඔවුනට රැකියා ලබා දීමක් නොවීය...

ඒ වෙනුවට වන්දි ගෙවීමට රජය තීන්දු කලද එය කෙදිනකවත් නොලැබෙන වන්දියක් බවට පත්ව තිබී වර්ෂ එක්දහස් නවසිය අනූ හතරෙන් පසුව පැමිණි චන්ද්‍රිකා රජයෙන් ඒ පිළීබඳ සොයා බලා වන්දි ගෙවීමට යෙදුණි. එය ලැබෙනා විට එක්දහස් නවසිය අනූ හත වසරද එළඹී තිබිණී... එක් දනස් නවසිය අසූ දෙකෙදී නිගමනය වූ වන්දි මුදල වූ රුපියල් එක් ලක්ෂ විසි දහසක් වැනි වූ විශාල මුදල ඒ වන විට නිකංම නිකං බාල්දූ වූ මුදලක් වී තිබිණ.

මෙවැනි කරුණු හරහා ජේ ආර් හා ඔහුගේ රජය සමඟ මාගේ සිතෙහි වෛරයක් ඇති වීම මහා පුදුමයක්ද..? ඒ ආරම්භය විනා අවසානය නොවීය..රැකියාව නැති තාත්තා ජීවත් වීම පිණිස කුඩා කඩයක් දැමූවත් නිතරම ණයට බඩු ගැනීමට පැමි‍ණෙන මිනිසුන් නිසාත්..එන කිසිවකුව හෝ හිස් අතින් අරින්නට අකමැති කම නිසාත් තාත්තාට කඩ කෙරුවාව යා දුන්නේ නැත...කඩයෙන් පමණක් දිවි ගෙවීම අපහසු බව වැ‍ට හීම නිසා තාත්තා තව බොහෝ දේ ජීවත් වීම පිණීස කරන්නට යෙදුණී.

සිල්ලර කඩයට අමතරව තේ කඩයක් කිරීම එයින් එකකි. හිමිදිරි පාන්දරම අවදිව කිලෝ ගනන් පිටි අන අනා ඉඳි ආප්ප තම්බමින්..රොටී පුච්චමින්..තෝසේ හදමින් ඔහු අපමණ වෙහෙසක් දරන අන්දම අප බලා සිටියෙමු.හවස් වරුවේ පිටි තම්බමින්..වඩේ සෑදීමට පරිප්පු අඹරමින් නැහෙන අන්දම අපි බලා සිටියෙමු. එයින්ද මහා ලාභයක් නැති වූ කල කාඩ් බඩු සෑදීමට පටන්ගත් තාත්තා ඒ සඳහා සෑහෙන මහන්සියක් දැරීය...
ඇත්තෙන්ම එතරම් වෙහෙසක් තනි මිනිහෙකුට කෙසේ නම් දැරිය හැකිදැයි මට අදටත් සිතා ගත නොහැක.

උදෑසනම අවදිව කඩයප්පං හදන ඔහු සවස බාගෙට බැඳ තිබූ වඩේ තොගය නැවත වතාවක් බැඳ උදෑසනම බයිසිකලයත් පැදගෙන ගොස් පළාතේ තවත් කඩ වලට දමා එයි.. පාපැදියෙන් ඔහු ගිය දුර පිළීබඳව එවකට මට වැටහීමක් නොවුනද පසු කාලයකදී මා තේරුම් ගත්තේ එම දිනවල උදෑසනම හැතැම්ම අටක් පමණ වටයක් ගසා එන බවයි. එසේ පැමිණෙන තාත්තා එතැන් පටන් උදේ කඩේට එන අයට කෑම බීම තේ වතුර සපයයි.

පාරිභෝගිකයින්ගේ පැමිණීම තරමක් අඩු වන උදෑසන නවය පමණ වන විට නැවතත් පාපැදියේ පිටුපස ඇති ලැගේජයට ලොකු ලෑලි පෙට්ටිය බැඳ ගන්නා ඔහු එයට කාඩ් බඩු පුරවාගෙන ගෙදරින් පිට වී ගොස් නැවත පැමිණෙන්නේ හවස තුන හතර වෙද්දීය... ඒ පැමිණි වහා බත් ඩිංගක් කා දමා නැවතත් වඩේ සඳහා පරිප්පුත්..ඉඳි ආප්ප සඳහා පාන් පිටිත් සකස් කරයි... දවසක් තුලදී ඔහු කොතරම් දුරක් බයිසිකල් පඳිනවාද යන්න සිතාගත නොහැක තරම්ය.. පැමිණි පසුව කියනා ගම්වල නංගං එවකට මා දැන නොසිටියත් පසු කාලීනව දැන ගත් පසු මා පුදුම විය.. ඒ අනුව ඔහු මුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරාවටම පාරවල්වල බයිසිකල් පදිමින් කඩ වලට බඩු දැමීම කර ඇත. එක් දිනකට හැතැම්ම විස්ස තිහ බයිසිකලය පැද ඇත...

එවකට අප නිවසේ රාත්‍රි ආහාරය ගනු ලැබූයේ හවස හයත් හය හමාරත් වැනි කාලයකදී වූ අතර එයින් පසුව කුඩා උන් වූ අප නිදි මරගාතේ වැටුන වැටුන තැන නිදියන අතර ඇතැම් දිනවලදී පමණක් තරමක් රෑ වන තෙක් ඇහැරී සිටියෙමු. අප නිදා ගත්තත් තාත්තාට එවන් නින්දක උරුමය නොතිබිණී... රෑ කෑමෙන් පසුව එදිනෙදා ගනන් හිලවු බලා අවසන ඔහු රාත්‍රී සේවා මුරයට සූදානම් වෙයි... හවස අනා සකස් කල පරිප්පු ටික සකස් කර වඩේ බැඳීමත්... තැම්බූ පාන් පිටි කැට පොඩි කර හැලීමත් කල යුතුම රාජකාරි විය..

ඒ ටික ඉවර වන්නේ කීයටද එතැනින් පසුව ආරම්භ වන්නේ කාඩ් බඩු සෑදීමයි...

තොග මිලට ගෙන එන ගම්මිරිස්..එනසාල්..කරඳමුංගු..ගොරකා..රබර් බෑන්ඩ්...නිල් කුඩු...හූණු බිජු...ආදී බොහෝ දෑ ඒ අතර විය..සැමදාම රාත්‍රියේ පැය කිහිපයක් මේ සඳහා වැය විණී...

ලොකු කාඩ් බෝඩයකින් කපා ගත් අඟල් අටක් පමණ පළල අඟල් විස්සක් පමණ උසැති කාඩ් බෝඩ් වල ඉහලින්ම කුඩා විස්තර ඇති පත්‍රිකාවක් තබා එයට හතර පැත්තකින් ස්ටෙප්ලර් කටු ගසයි..එම දැන්වීම තිබුනේ මල්ලිගේ නමටය... **** නිශ්පාදන යනුවෙන් සටහන් වූ මුද්‍රිත කොලයේ භාණ්ඩ වර්ගය.. ප්‍රමාණ මිල ගණන් ආදිය පෑනකින් සටහන් තැබිය යුතු විය.එසේ කාඩ් සකස් කර ගෙන අවසන එයට කුඩා පොලිතින් කවරවල ඇසිරූ භාණ්ඩ පැකට් පේළි දෙකකට සිටින සේ ස්ටෙප්ලර් කටු වලින් සවිකර ගත යුතුය. මෙය කරනවා තබා බලා සිටීමත් වෙහෙසකර වැඩකි.. කම්මැලිය.. ඒකාකාරීය.. එහෙත් තාත්තා කිසිදු හඬක් නොනඟා මෙය එක දිගට කරගෙන යයි...

කාඩ් වල සවි කිරීමට භාණ්ඩ පැකට් කිරීමත් කල යුතු විය... අගල් තුනේ සෙලෝෆේන් රෝලක් දිග ඇරගෙන ඒ තුලට දැමිය යුතු ද්‍රව්‍ය දමා ඉටි පන්දමක් දල්වාගෙන කියත් පටියක් ආධාරයෙන් කවර සීල් තැබීමත්..කතුරකින් එම පැකට් වෙන් කිරීමත් එක සීරුවට නොනවත්වා කරගෙන යන ඔහු දවසේම විඩාව නිවා ගත්තේ වෙළඳ සේවයේ විකාශය වන ගුවන් විදුලි නාට්‍ය ආදියට සවන් දීමෙන් පමණී.. වෙනත් විනෝදයක් ඔහුගේ ජීවිතයේ තිබුණා යැයි කිව නොහැකි තරම්ය.. ඔහු එතරම්ම දුකක් ජීවිතය වෙනුවෙන් විඳිමින් සිටියේය... මේ වසර කිහිපයක්ම ඔහු ජීවිතය ගත කල ආකාරයයි...

මේ ඔහුගේ ජීවිතය පමණි... තවත් දාහස් ගනනක් පිරිස ඒ කාලයේදී මේ හා සමානව දුක් විඳිමින් සිටියේය... ඒ 81 වර්ජනයට සම්බන්දව එක රැයින් එළියට දැමූ සේවකයින්ගේ පවුල්වල උදවියයි... ඇතැමි විට තාත්තා දන්නා හදුනන රැකියා අහිමි වූවන් තාත්තා සොයා පැමිණි විටකදී ඔවුන්ගේ ජීවිත ගෙවෙනා ආකාරය ගැන ඇස්වල කඳුළු පුරවාගෙන තාත්තා සමඟ කියනු මා අසා ඇත.එයින් ඇතමෙකු තාත්තා මෙන්ම බයිසිකල්වල නැගී පාරක් පාරක් ගානේ යමින් වෙළ හෙළදාම් කල අය විය..තාත්තා කාඩ් බඩු ගෙන යන අතර තවත් අය කරවල..තේ කොල.. දුම්කොළ ආදී වෙළඳාමට බැස තිබිණී..අපගේ නිවෙස් පැත්තෙන් යන විට පැමිණ තේ කහට එකක් බී වචනයක් කතා කර යන්නට ඔවුන් අමතක කලේ නැත... ඒ අතර තුර ඇතිවන කතා බස් අසා සිටින මා හට අප විඳින දුකත්..අප මෙන්ම තවත් දහස් ගණනක් විඳින දුකත් අවබෝධ නොවන්නේ කෙසේද..?
..............................................................
මේ ආරම්භයයි...ඉතිරියත් අද දක්වාම පැතිර ඇත... හැකියාවක් ඇතොත් ඒ ඉතිරියත් ලියන්නට සිතා සිටිමි...

21 November 2011

කට්ලට් හදමු නේද..?

වැඩි විස්තර කියන්න ඕන නැහැ බොහෝම ලේසි පහසු රසවත් කෑමක්.. ඔය ගෑණු දරුවන්ට එහෙම ගෙදර ඉන්න වෙලාවට කරලා බලන්ට ඇහැකි ලේසිම දෙයක් මේක.. අම්මලා තාත්තලා මහන්සි වෙලා හම්බ කරලා ගෙදරට ගෙනත් දාන එළවළු පහේ ටිකටයි..අල මාළු එතකොට තෙල් ටිකට එහෙම කෙලවලා දාන්ටයි මේක මරු වැඩේ..ඒත් ඉතිං ඒ වගේද ඒ අය මහන්සි වෙලා එද්දී උණු උණූවේ හදපු කට්ලට් එහෙකුත් එක්ක දුං දාන ඉඟුරු ප්ලේන්ටියක් දුන්නම දැනෙන සංතෝසේ.. නේද..? ඒක ඔය අල ගෙඩියකට තෙල් ටිහකට සමාන කොරන්න පුළුවන්ද..?නැද්ද මං අහන්නේ...

දැන් එතකොට මේක ගෑණු දරුවන්ට විතරක්මද..ඇයි කොල්ලන්ට නාකද..? නැහැ නැහැ ඔය තේ එකක් බොන්ට වගේම වෙනින් දෙයක් බොන වෙලාවකට උනත් මේක මල් මසුරං කෑමක් නෙව.. ඒ හින්දා උන්දලටත් දැන කියා ගත්තට පාඩුවක් නැහැ...

හරි මං කෙටියෙන් කියාගෙන යන්නං... මේක කියන්න ඒ හැටි අමාරු නැහැ මොකද මං ඊයේ කට්ලට් හදන ගමන් ඇති වෙන්න පින්තූර ගත්තා..

මෙන්න එහෙනං පින්තූර ආශ්‍රයෙන් පැහැදිලි කිරීම...

තම්බා ගත් ලොකු අර්තාපල් අල දෙකක්.. තම්බා ගත් මාළු කැබැල්ලක් හොඳින් පොඩි කර මිශ්‍ර කර ගන්න..ඔතනදී අර්තාපල් වෙනුවට සමහර අයනං කිරි අලත් ගන්නවා ඒත් කලවමට අර්තාපලුත් ඕන මං හිතන්නේ.. මාළු වෙනුවට සැමන් ගන්නත් පුළුවන් තම්බ තම්බ ඉන්න ඕනත් නැහැ.. ඕනනං කටු ඉවත් කර තම්බා ගත්ත මස් වර්ගයක් උනත් ගතෑකි.. ඒත් නැත්තං තම්බපු බිත්තර උනත්...

තලාගත් ඉඟුරු..සුදු ළුණූ... ටිකක්..හීනියට කපා ගත් කරපිංචා..අමු මිරිස්..රතු ළුණු..කුරුඳු පොතු..කරඳමුංගු(එනසාල්)..කරාබු නැටි..ඔය තියෙන ගානට වගේ...

හීනියට ලියා ගත්ත කැරට් අල බාගයක්....ගෝවා කොළ දෙකක්..ලීක්ස් කොල දෙකක්...බෝංචි කරලක්...

හරි දැන් ඔය ටික ලෑස්ති කරගෙන මුලින්ම භාජනයක් ලිප තියලා රත් වේගන එද්දී ඒකට තෙල් ටිකක් දාලා..ඒ තෙල් රත් වෙද්දී අර අමු මිරිස් සුදු ළුණු තියෙන පීරිසියේ තියෙන කලමනා ටික තෙලට දාලා ටිකක් විතර කර බැදගන්නවා..ඒ ටික ටිකක් පාට වැටීගෙන එද්දී එළවළු දීසියත් එකතු කරනවා..ඒ ටික හොදට තෙම්පරාදු වෙන්න ඇරලා ඒකටම අපි දාන්න ඕන මෙන්න මේජාති...

ලුණු කුඩු තේහැන්දක්...(තම තමන්ගේ හැටියට අඩු වැඩි කර ගන්න..)
ගම්මිරිස් තේ හැදි බාගයක්..
තුනපහ කුඩු තේ හැඳි බාගයක්..
කහ කුඩු තේ හැදි කාලක්...

කැමතිනං විතරක් මිරිස් පොඩ්ඩකුත් එකතු කලාට වරදක් නැහැ.. ඒත් ගම්මිරිස් විතරක් උනත් ඇති ඕකට...

හරි දැන් මේ ටික නියම ගානට තෙම්පරාදු වෙලා ආවම ඒකට එකතු කරනවා කලින් තම්බා පොඩි කර ගත් අල සහ මාළු මිශ්‍රණය...

දැන් බලාගෙන යන්න පහලට තොරණේ සිත්තර ටික...











හරි තොරණේ සිත්තර මෙතනින් ඉවරයි.. ඊට පස්සේ තියෙන්නේ තොරණේ විස්තරේ...

ඔන්න ඔහොම හදා ගත්ත මිශ්‍රණය ටිකක් නිවෙන්න ඇරලා ඕකටම දෙහි බෑයක ඇඹුල් එහෙමත් එක්කාසු කරලා ඊට පස්සේ කුඩා බෝල හෝ තමන් කැමති හැඩයකට..කැමති ප්‍රමාණයකට ගුලි සකස් කරගන්න...

ඊට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර සුදු මදයක්..ඒක හදා ගන්න දන්නවනේ..බිත්තරයක් කඩලා දීසියකට දාලා.. එකෙන් කහ මදේ අහක් කරගන්න එච්චරයි..

ඊටපස්සේ අර ගුලි කරගත්ත කට්ලට් බෝල ටික බිත්තර සාරුවේ යන්තමට තවරලා ඒත් එක්කම දා ගන්න ඕන බිස්කට් කුඩු දාලා තියෙන පිඟානකට... බිස්කට් කුඩු කිව්වට ඉතිං ඔය කඩවල්වල දෙන්නේ පාන් කුඩුනේ..එව්වා තමා ඕන..ඉතිං අර බෝල බිත්තර සාරුවේ දවටලා ඊ ලගට බිස්කට් කුඩු වල එහාට මෙහාට ටිකක් පරිස්සමට පෙරලලා හොදට කුඩු තැවරෙන්න ඇරලා ඒ ගුලි ගැඹුරු තෙලේ බැඳ ගන්න ඕන... ඒ ටිකනං කියන්න දෙයක් නැහැනේ...තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල්තෙල් හෝ තමන් කැමති තෙල් වර්ගයක් ඒකට දාන්න ඕන..මේකටනං තෙල් ටිකක් දාලා හරියන්නේ නැහැ...මොකද කට්ලට් එකම ගිලිලා යන්න තෙල් ඕන...

ඉතිං එහෙම තෙල් දාලා..ඒ තෙල් හොදට රත් උනාම කට්ලට් බෝල ඒවාට දාලා හොදට බැඳ ගන්නයි තියෙන්නේ..ඒ ඉවර උනාම අපිට ලැබෙනවා අර ඉහලම තියෙන්නේ පින්තූරයක්..ආන්න ඒ වගේ ලස්සනම ලස්සන..සුවඳම සුවඳ..රසම රස.. කට්ලට්...

දැන් ඒක කන හැටිත් මං කියන්න ඕනද..?

ස්තූති දෙකක් සහ නැවතත් "ස"...

වෙලාව රෑ දොලහත් පහු වෙලා..සාමාන්‍යයෙන් මේ මම ලියන වෙලාව නෙවෙයි.ඒත් අදනං අකුරක් හරි ලියලා යන්න ඕන කියලා හිතුනා..මොකද මේ ටිකේම මුකුත්ම ලියන්න තරං වෙලාවක් හොයා ගන්න මට බැරි උන හින්දා.

500 වෙනි පෝස්ට් එක දැම්මා දැම්මමයි මාව වැඩ කප්පරක හිර උනා...ඉතිං ඒ ටික ඉවර කරලා නිදහසේ කමෙන්ට් වලට උත්තර දෙනවා කියලා හිත හිත හිටියට මොකද ඒක කරන්න තරං වෙලාවක් ලැබෙන පාටක් නැහැ..ඉතිං අන්තිමට තීරණය කලේ මෙහෙමවත් අකුරක් ලියලා දාන්ට ඕන කියල...

500 වෙනි ලිපියත් කියවලා ඒකට කමෙන්ට් කරපු..සුභ පතපු සහෘද ඔබ සැමටම බොහෝම ස්තූතියි..වෙන වෙනම ආමන්ත්‍රණය නොකලට අමනාප වෙන්ට එපා ඕං..කොළුට මේ දවස්වල හරි අවිවේකයි... වැඩ කටයුතු අතරේ ඩිංග වෙලාවකට හිත හෑල්ලු කොර ගන්ට ඕන උනාහ ඔය මූණු පොතට එහෙමත් නැත්තං ගූගල් බස් එහෙකට ගොඩ වෙලා මොන මොනවා හරි දෝඩෝලා ගියාට එක දිගට මොනවා හරි ලියන්න තරං නිවනක් තිබුනේ නැතුවා... දැනට යන හැටියට හෙට දවස හිතං ඉන්න විදියට වැඩ කරගත්තෝතින්නං අනිද්දා ඉඳන් සාමාන්‍ය විදියට ලියන්ට ඇහැකිවෙයි..ඒත් ඒ කිසිම දෙයක් ගැන හරියට කියන්ට විදියක් නැහැ...

ඉතිං කොහොමින් කොහොම හරි වැඩ කටයුතු අටෝරාසියක් මැද්දේම උනත් අද මං මගේ තිබුන ආසාවක් ඉස්ට සිදධ කොර ගත්තා.. ඒ තමා අර මීට කලින් වංගියකත් මං කිව්ව "ස" ප්‍රසංගය නැරඹීම..

කලින් වතාවේ මං නෝන්ඩි වෙලාම ගියේ ඔය "ස" බලන්න ගිහින්නේ... ඒත් යන්තං අවුලක් නැතිව මෙදා පාර වැඩේ කෙරුණා. ස බැලිල්ලට අවස්ථාව සලසා දුන්න උන්දැටත් බොහෝම පිං ඕං...

අහ් එහෙම කිව්වම කියන්ට තව කාරණයක් තියේ නෙව...මට ඉතිං නොවැම්බර් මාසේ 20 වෙනිදා "ස" බලන්න දන්න කියන කෙනෙක් ටිකට් අරං දුන්නා කියලා මං කලින් කිව්වද කොහේද නේද..? ඉතිං වැඩේ කියන්නේ දෙන්න ගත්තම දෙයියෝ බඩ කට පුරෝලම දෙන්නැහේ මේ 20 වෙනිදා "ස" බලන්න හිතං ඉන්න මට 09 වෙනිදත් "ස" බලන්න ටිකට් දෙන්න හැදුවා නෙව අපේ වෙනියා..‍. වෙනියා කිව්වේ ඉතිං අර අභ්‍යාස කතා ලියන වෙනියා තමා..ඉතිං ඒකටත් මං කෙරෙහි දයානුකම්පාව පහළවීම කරණ කොටගෙන ඒකාට ලැබුන අවස්ථාවක් මට දෙන්ට හැදුවා නෙව..ඒත් එකම මාසයක් ඇතුලත දෙපාරක් "ස" බලනවා කියන එක රසයට හොඳ නැහැ වගේම මට නිවාඩු නැති වීම හින්දා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට උනා..

ඉතිං කොහොම උනත් අද හැන්දෑ වරුවේ බොහෝම නිවී හැනහිල්ලේ "ස" ප්‍රසංගය බලන්න මට හැකියාව ලැබුනා.. මේ බ්ලොග් බලන කියන උන්දලත් හිටියනං "ස" බලන්න ගෙහුං... අර අන්තිම වෙනකොට විසිල් ගගහා "ස" බැළුවේ මාරයා එහෙමනං නෙවෙයි ඕං...

13 November 2011

500ක්..සහ දෙවර්ෂයක්...

මේක හරි යන්නේ නැහැ..දැන් තුන් පාරක් ලිව්වා...ආයේම මැකුවා... ටිකක් ලියාගෙන යනකොට මට හිතෙනවා මං හෙන පඩි ටෝක් දෙනවා නේද කියලා... ඒ ගමන දෙපාරක් නොහිතා කන්ට්‍රෝල් බට්න් එකත් එක්ක ඉංගිරිසි ඒ අකුර ඔබනවා.. ඩිලීට් බට්න් එක ඔබනවා..තුන් පාරක්ම දැන් මේක කලා... මට දැන් ඇති වෙලා..

කොටින්ම කිව්වොත් මේ ලියන්නේ මාරයාගේ හෝරාවේ 500 වෙනි සටහන.. මේක ලියන්න මං පටන් ගත්තේ 2009 අවුරුද්දේ නොවැම්බර් මාසේ 8 වැනිදා.. ඒ කියන්නේ දැනට අවුරුදු දෙකයි දවස් 5ක් විතර වෙනවා...

අවුරුදු දෙකක් ඇතුලත ලිපි 500ක් ලියපු මට අද මේ 500 වෙනි ලිපිය දිගට ලියාගන්න බැරි ගතියක් තියෙනවා.. ඒ හින්දා මං මේක කෙටියෙන් දැන් අවසන් කරනවා... මාගල් වගේ ලිපි ලියපු මට මෙහෙම වෙලාවට මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නැහැ... ඔය දේම මට කලින් වතාවකත් උනා.. ඒ පන්සලේ චෛත්‍යය හදලා හැම පින්කමක්ම ඉවර කරලා අවසානයේ සතියකට විතර පස්සේ ඉරිදා රෑක තිබ්බ පුණ්‍යානුමෝදනා ධර්ම දේශණය..

ඇවිත් හිටිය විශාල පිරිස පංච ශිලයේ පිහිටවලා ආරම්භය අරගෙන විස්තර සහිතව වචනයක් කියන්න කියලා පටන් ගත්තා විතරයි මට වචන හොයා ගන්න බැරි උනා... ඒ තරමට හිතේ සතුට දෝර ගලා ගියා.. මං කලේ චෛත්‍යය දිහාත් ඇවිත් හිටිය අයත් දිහා මාරුවෙන් මාරුවට බල බල හිටිය එකයි... මට තේරුණා එදත් ඇස් වලින් පැනපු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන යනවා..මුලින්ම තරමක් උණුසුමටත්..පහලට එන්නට එන්නට හීතල වෙමිනුත්...

ඇත්තටම මට එදා ඇඩුනා.. මං දිහා බලං හිටිය පේන තෙක් මානෙක හිටිය දායක දායිකාවොත් කඳුළු වගුරවන්න පටන් ගත්තා.. මට එයිට වඩා කියන්න දෙයක් තිබුනේ නැහැ.. අන්තිමේදී බොහෝම අමාරුවෙන් වචන හොයාගෙන මං කිව්වා හැම දෙනාටම බොහෝම පිං කියලා... වචන පටල පටලා...වෙනදට පැය දෙක තුන එක දිගට කිසිම පැකිලීමකින් තොරව බණ කියන මට එදා කියාගන්න වචන හොයා ගන්න පුදුමෙට අමාරු උනා...මිනිස්සු හැම දෙනාම කදුළු අතරින් එක දිගට සාධුකාර දෙන්න ගත්තා..හරියට මුහුදු රැල්ලක හඩ වගේ.. විනාඩි ගාණක් එක දිගට.. අඩුවේගන වගේ ඇවිත් ආයෙම පටන් ගන්නවා... මං බලාගෙන හිටියා.. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. ඒ තමයි මං උපන්නට පස්සේ ඒ උපන් හේතුවට සාධාරණයක් කල වටිනාම අවස්ථාව වගේම එහෙම කාර්යයකට ලැබුන ලොකුම ත්‍යාගය...

එදා වචන හිර උනා වගේ අදත් මට කියන්න වචන නැහැ.. මේ තමා මං ජීවිතේ කල දෙවන ලොකුම කාර්යය... ඒ කාරියේදී ඒක ඇදගෙන යන්න උදව් උන හැම දෙනාටම බොහෝම පිං... එයිට වඩා මට කියන්න දෙයක් අද නැහැ...

ස්තූතියි...

මාරයාගේ හෝරාව ලියූ මාරයා නොහොත් කැකුළාවල විදානේලාගේ චතුෂ තුෂර කුමාර කැකුළාවල වන මාගේ අවංක ආදර ස්තූතිය මෙතෙක් කලක් මා හා රැඳී සිටි ඔබ සැමට මෙසේ පුද කරමි...

හෙනහුරාගෙන් මටයි කරදර...මෙන්න එහෙනං මිථුන...

යකඩෝ මං හිතුවේ මං දැන් සීහෙන හරියක් ලියලා ඉවරයි කියලා මේ ලග්න ගැන.. ඒත් ගණන් හදලා බැළුවම තව තුනෙන් එකක්ම ඉතිරියි වගේනේ... ඒ හින්දා ඔන්න හුදී ජන ලාම්පු මෙව්වා එක සඳහා තව ටිකක් ලියනවා.. හැබැයි ඊ ළග ලිපියෙන්නං ඉතිරි ඒවා ලියන්ට වෙන්නේ නැහැ ඊ ළග එක ටිකක් වැදගත් ලිපියක්..සහ වැදගත් අවස්ථාවක් නෙව...

හරි අපි බලමු මිථුන ලග්න කාර‍යින් එක්ක හෙනහුරාගේ කොටු පැනිල්ල කොහොමට හිටීද කියලා...

ඔව් මිථුන හාදයින්ටත් මේක ටිකක් විතර හොඳ අතකටයි කැරකැවෙන්නේ.. ඒත් හොඳටම හොඳයි කියලනං කියන්ට අමාරුයි..ඇත්තටම කිව්වොත් මෙච්චර කල් තිබුන කරදර නිමා වෙලා ඊට ටිකක් වෙනස් කරදර ටිකක් මතු වෙන්ට ඇහැකි වගේ ගතියක් ගැන තමා මං මේ කියන්නේ.. මොකද මෙච්චර දවසක් මේ හෙනහුරු තෙමේ හිටියේ උන්දලගේ හතරවැන්නේ.. ඒ කියන්නේ ගෙදර ගැන..අම්මා ගැන එහෙම කියවෙන ඉස්තානේ.. දැන් උන්දෑ මෙතන හොඳ දේ වෙන්නේ හෙනහුරා පහට ආවම ලැබෙන පොරතිපල වලටත් වඩා ඔය කිව්ව හතර වැන්නෙන් අහක් වෙච්ච එක තමා..මොකද හතර වැන්නේ හෙනහුරා ඉන්නවා කියන්නේ ටිකක් කරදර වැඩක්... ගෙදර ඉන්න එක එපා වෙන.. කොහේ හරි යන්ට හිතෙන හෝ යන්ට වෙන.. සමහර අයටනං උන් හිටි තැනුත් නැති වෙන දෙයක්..

ඒ වගේමයි මිථුන ලග්න කාරයින්ගේ අම්මලාට.. ගෙවල්වල ඉන්න අනිකුත් අයට.. පහුගිය කාල වලදී ටිකක් කරදර හිරිහැර ඇති වෙන්ට ඇහැකි... ඒ විතරක්ද වංචාවල් වලට අහුවෙන්ට වගේම අනුන්ට වංචා කරන්ටත් සිද්ධ වෙන්ට ඇහැකි කාලයක් තමා ඒ.. ඒ වගේම තමන්ගේ තිබුන හොඳ නමට ටිකක් හරි කැළලක් වෙන කාල සීමාවක්.. කරන කියන දේවල් රුයිතෙට හිටින්ටත් ඇහැකි. විවහා වෙලා හිටි අයත් එක්ක නොයෙකුත් අඩ දබර ආදිය වෙන්ටත් ප්‍රේම සම්බන්ධතා වල ගැටළු මතු වීමටත් හැකියාව තිබුන කාලයක්.. එතනින් ගියාම පපුවටත් ඒ හැටි හොඳක් නැහැ.. මංමේ කිව්වේ පහුගිය අවුරුදු දෙකක විතර කාලේ ගැන තමා ඕං..

ඒත් මේ එළැඹෙන පාලොස් වැනිදා දිහාවේ හෙනහුරු උන්දෑ ඔතනින් මාරුව දාලා පැන්නහම ඔය තිබුන කරදර දුරු වෙලා බාධක මග ඇරිලා..ආයෙමත් ගෙදර දොරේ පය ගහලා ඉන්න තරමේ පරිසරයක් උදා වෙන්ට ඇහැකි...

එතකොට අපි බලමු මේ පස් වැන්න වූ තුලාවට උන්දෑ ගියාම සිද්ධ වෙන්ට ඇහැකි දේවල් ගැනත් ඩිංගිත්තක් විතර...දැන් ඔය කලින් කිව්ව කරදර එහෙම පහව ගියාට මොකද මෙතැන ඉදලා ටිකක් ඔළුවට හරි නැති වෙන්ට ඇහැකි.. ඒ කියන්නේ හිතන පතන විදිය..කල්පනා කරන විදිය එහෙම තමන්ටත් නොදැනි වෙනස් වෙන කාලයක්...හැම කෙනාම තමන්ට හරහා ට හිටිනවා වගේ පේන්ටත්..අනිත් උන්දලා නෙවෙයි තමන් තමා හරි කියලා හිතෙන්ටත් ඇහැකි... ඒත් මතක තියා ගන්ට තමන් හිතන හැම එකම ඒ හැටි හරිනං නැති වෙන්ට ඇහැකි කියලා..

එතකොට ඔය ඉගෙන ගෙන ආව දේවල් වල වෙනසක් වෙන්ටත්... සමහර අයනං ඒ ඒ දේවල් අතෑරලා දාන්ටත්..එහෙමත් නැත්තං කරගෙන ආව විෂය මාලාවට සම්පූර්ණයෙන්ම පට හැනි හෝ වෙනස් විෂයන් ඉගෙනීමටත් යොමු වෙන්ට ඇහැකි.

අම්මලා තාත්තලා වෙලා ඉන්න අයටනං තමන්ගේ දරුවන් සම්බන්ධව ගැටළුත් මතු වෙන්ට ඇහැකි. එතකොට ටිකක් විතර අසනීප කරදර.. බඩේ ලෙඩ...වගේම වේලක් දෙකක් බඩගින්නේ ඉන්ටත් වෙන කාලයක් තමා...

ඒත් ඔය අස්සේ හොඳ කට්ටියකුත් ඉන්නවා.. ඒ තමා දේශපාලකයෝ... අන්න මිථුන ලග්න කාර දේසපාලකයින්ටත්..පොදු වැඩට..සමාජ වැඩට බැහැලා ඉන්න අයට වගේම ඒ හා ආශ්‍රිත රැකියාවන් හී නියුතු අයටත් මේක හොඳ කාලයක්...ඒ වගේ අයට සමාජ ප්‍රසාදය හිමි වෙන යම් යම් තනතුරු ආදිය හිමිවෙන කාලයක්.. එතනින් ගියාම මිථුන ලග්න කාරයින්ට මේ කාලයේදී ජීවිතේදී අමතක නොවන අන්දමේ ගමන් බිමන්..අත්දැකීම් වලට මුහුණ දෙන්ටත් සිද්ධ වෙයි.. පින් දහං කර ගන්න වගේම වටිනා කියන උසස් අයව අඳුරගන්න..ආස්සරය කරන්න එහෙම වගේම ඒ වගේ අයගෙන් සුළු සුළු උදව් උපකාර එහෙමත් හිමි වෙන ගතියක් තියෙනවා... ඒ වගේම පවුලට හෝ තමාට සම්බන්ධ වැඩිහිටි අයගේ මරණයක් හෝ වෙන්ව යාමක් වැනි දේවල් වගේම වැඩිහිටියන්ගේ උරුමයන් තමාට හිමි වීමේද හැකියාව පෙන්නුං කරනවා...

ඔය ඔක්කෝම අතරේ තමුන් කියන කරන දේවල් හරහා මහා පච පප්පලා කියලා අනිත් අයගෙන් අහගන්ටත් හැකියාව ලැබෙන හින්දා කියන දේවල් ගැන දෙපාරක් හිතන්ටනං ඕන..

ඉතිං ඔන්න ඔහොම කාලයක් තමා එන්ට තියෙන්නේ...

ඉතිං දුක් කරදර අඩු කරගෙන හොඳින් ඉන්න අයට කරන්න තියෙන්නේ වැඩ කිහිපයක් තමා...
පුළුවන් තරං වැඩිහිටි උදවිය ආස්සරය කරන්ට.. ඒ අයගේ අවවාද අනුශාසනා ලබා ගන්ට..නිතරම තමන් හරි නොවෙන්න පුළුවන් කියලා හිතලා අනිත් අයගේ මතය විමසන්න.ඒ අයගේ අදහස්වලට කන් දෙන්න..අනිත් අයට ගරු කරන්න.හැකි තාක් පාරතොටේ යන එනකොට පවා අනුන්ට උදව්වක් කරන්ට බලන්ට..පරිසරය පිරිසිදු කරන්ට... ශ්‍රමයෙන් දායක විය හැකි සෑම දෙයකදීම එහෙම කරලා සමාජයට උදව්වක් උපකාරයක් කරන්ට...කට පරිස්සං කර ගන්ට...කිසිම විදියකින්වත් වැඩිහිටියන්ට උගතුන්ට..සමාජයේ මොනයම්ම හෝ ආකාරයකින් කැපී පෙනෙමින් ජීවත්වන අයට වැරැද්දක් කියන්ට යන්ට එපා..අනුන්ට ගරහන්ට එපා.. එහෙම කරන අයට ඔය කිව්ව අපල ටික අඩුවක් නැතිවත්.. එහෙම නැතිව හොඳින් ඉන්න අයට ඔය කිව්ව කරදර අඩුවෙලා ගිහිල්ලා දියුණුවත් සැලසෙයි.. ඕන් මං ඒක අහවර කලා...

හරි දැන් කා ගැනද ඊ ගාවට ඕන.. පැහැදිලිව කියන්ට.. මොකද මං හිතං ඉන්නේ 11ක් කියලා 12 වෙනියට ඉතිරි වෙන එක නොකියා ඉන්ට.. මොකද කරන ඕනම වැඩක පළුද්දක් තියන එක මගේ විනෝදාංශයක්.. එහෙම නොකර වැඩක් කලාම මට නිකං හොඳ ළමයෙක් උනා වගේ මහ ලැජ්ජාවක් ඇති වෙන කාරණාවක්.. ඒ හින්දා අතෑරෙන එක ඔයාලා තීරණය කරගන්ට...

11 November 2011

ගෝනුස්සන්ට එළුවන්ට හෙනහුරාගෙන් අපලයිද..?

මේකත් නිකං යකා බැඳ ගත්තා වගේ උනා නෙව... ඒත් ඉතිං තව දෙකක්වත් කියලා දාන්ටයි මේ කල්පනාව...

ගෝනුස්සෝ නොහොත් අර වෘශ්චික ලග්න කාරයෝ ටික..මගේ අත්දැකීම්වල හැටියට ජීවිත කාලේ පුරාවටම නොනවතින සටනක ඉන්න ඉවරයක් නැති ඈයෝ ටික... එවුන්දලට කරදර හිරිහැරවල ඉවරෙකුත් නැහැ..ඒත් ඒවට මුහුණ දීලා ලේසියකට සැලෙන්නෙත් නැහැ... අනිත් ලග්න කාරයෝ වගේ නෙවෙයි ඕනම කට්ටක් කන්න ලෑස්ති දරාගැනීම උපරිම උන්දලා ටික...

ඉතින් උන්දලාට කියන්ට තියෙන්නෙත් තව ටිකක් පටි තද කොරගෙන ඔය හිටියා වගේ ඉමු කියලා තමා... මොකද එහෙම කියන්ට කාරණාව..?

දැනට උන්දලගේ කේන්දරවල හය වැන්නේ ගුරු ඉන්නවා.. ඒකත් ඒ හැටි ගුණ මදි.. එතකොට ලග්නයේ..එහෙමත් නැත්තං ඔළුවේ රාහු.. කෙලින්නේ පිස්සු ඉන්නේ පාරේ..යන්නේ කොහේද උන්දලම දන්නේ නැහැ..හතේ කේතු මේ හොදට ඉන්න එවුන්ව නිකංම තරහා කරගන්නවා අහක යන තමුන්ට අයිති නැති බැනුං නොමිලේම අහ ගන්නවා..

ඔහොම ඉන්න අස්සේ මෙච්චර දවසක් එකොළහේ හිටිය හෙනහුරාගෙන් එහෙමටම කරදරයක් උනේ නැති උනත් මෙදා පොටේ උන්දෑ පනින්නේ වෘශ්චික ලග්න කාරයින්ගේ දො‍ලොස්වැනි කොටුවට.. ඒ කියන්නේ ලග්න ඒරාෂ්ඨකේ ආරම්භ උනා... දැන් ඕක තියෙනවා අවුරුදු හත අටක් ඉස්සරහට.. ඒත් දැන්මම බය වෙන්ට කාරි නැහැ..මොකද ලබන්නේ ඒරාෂ්ඨකේ උනත්..පැන්නේ වැයස්ථානය උන 12ට උනත් මේ තුලාව නෙව.. ඒ කියන්නේ හෙනහුරාට උච්ච රාසිය..එහෙම තියෙනකොට නරක අස්සේ හොඳයි කියන්ට ඇහැකි දේවළුත් පොඩ්ඩක් විතර වෙන්ට දෙවනවා.. හුගාක්ම ඉතිං පිනට දහමට පොදු වැඩට යන්ට වෙන එක තමා වෙන්නේ..එව්වත් ඉතිං නරක නැහැනේ.. හැබැයි තේරුං ගන්ට ඕන දෙයක් තමා මේ ඉස්සරහ අවුරුදු දෙකක විතර කාලේ ඇතුලත පින් දහං කරන..පොදු වැඩ සමාජ වැඩට යොමුවෙන අයට අපල අඩුයි.. ඒ හින්දා නිතරම හැකි විදියට ඒ වගේ දේවල්වලට යන එක හොඳා..

එහෙම නැතිව තමුන්ගේ පොට්ටනිය බලාගෙන ආත්මාර්ථකාමී විදියට ඉන්න අයටනං බඩුම තමා ඔන්න නොකිව්වයි කියන්ට එපා අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවෙලා..මිනිස්සුන්ගේ කුණු බැනුනුත් අහං.. නඩු හබත් පටලං ඒවත් පැරදිලා රටේ තියෙන තරං කයි කතන්දර අහගෙන සනීපෙට හිටියෑකි.. එහෙමනං එහෙමයි...අරෙහෙමනං අරෙහෙමයි..මට පුළුවන් කියන්ට විතරනේ.. කොරගන්න එක තමුන්නැහේලාගේ වැඩක්නේ..විශේෂයෙන්ම මතක තියාගන්ට පොදු වැඩ කරනවා වගේම කිසිම විදියකට මේ ඉස්සරහා කාලේ ඇතුලත පොදු දේපලට අනුන්ගේ සම්පත් වලට හානියක්නං කොරන්ට හීනෙකින්වත් හිතන්ට එපා එක දෙක වෙලා රිටන් එක ලැබෙන්නේ....

කොහොම උනත් ඉස්සරහ මාස හය හතක් ඇතුලත පවුලට හෝ තමන්ට සමීප ඥාතීයෙක්ගේ හිත‍වතෙක්ගේ වැඩිහිටි සමීපතමයෙකුගේ මරණයක් වැනි දෙයක් අහන්ටත් ඉඩ කඩ තියෙනවා.. ඒ වගේම හය මාසයක් ඉක්ම ගිය තැන ඉඳන් අවුරුද්දක් වගේ කාලයක් හිටි හැටියේ වදින මංගල යෝගත් තියෙනවා... කොහොම උනත් මෙතැන් හිටන් 2014 මැද්දෑව වෙනකල්ම රාහුගෙන් කේතුගෙන් උනත් කරදර හිටින හින්දා ඔය හැම දෙයින්ම බේරිලා කරලා ඉන්ටනං හැකි තාක් අවංක වෙන්ට..සාධාරණ වෙන්ට.. හොරකං නොකර ඉන්ට.. මේ කාලය තමුන්ගේ අවංකකම ගැන පරීක්ෂාවට ලක්කරන කාලයක්ය කිව්වොත් මං හිතන්නේ මං හරි...

එහෙනං දැන් බලමු මේස ලග්නේ එහෙමත් නැත්තං එළුවන්ට යන කල දසාව...

මේස ලග්නෙන් උපන් අයගේ මෙච්චර දවසක් හයේ කොටුවට වෙලා හිටි මේ හාදයා උන්දලට ඒ හැටිම වදයක් දුන්නේ නැහැ..ඒත් පොඩි පොඩි අසනීප වගේ දේවල්..විශේෂයෙන්ම හයට අහුවෙන ප්‍රදේශවල..අසනීප ආදිය කොර කොර හිටියානං තමයි..ආ එහෙම කිව්වම මතක් උනේ..මතකැයි පහුගිය දොහේ මටත් කෙල වෙලා හිටියා අර මුත්තරා ගල් එහෙම හැදිලා... ඔන්න රහස...ඒකට ඉතිං ඔය හෙනහුරා වගේම රාහුවාත් දායක උනා..

ඉතිං මෙදා පොටේ හෙනහුරා යන්නේ කේන්දරේ හත් වැන්නට.. කොටින්ම කිව්වොත් හෙනහුරා හතේ...

හැබැයි ඒ හැටිම ගණන් ගන්ට එපා..උත්පත්ති කේන්දරේක හෙනහුරා හතේ හිටිල්ලයි..මෙහෙම පැන පැන එන හෙනහුරා හතට ඒමයි දෙක එකිනෙකට වෙනස්... ස්වභාවයෙන්ම හත් වැන්න කියන්නේ හෙනහුරාට නියම පොට් එක.. ඒ කිව්වේ කොටුවලින් බලවත්ම කොටුව හත වගේම රාශිවලින් බලවත්ම රාශීය තුලාව..එතකොට ඔන්න ඔය කියන වාසිය අනිවාර්යයෙන්ම මේස ලග්නකාරයට අඩුවක් නැතිව ලැබෙනවා...

ඒත් මතක තියා ගන්ට ඕන මේ දවස්වල රාහු ඉන්නේ 8වැනි කොටුවේ.. ගුරු ඉන්නේ ලග්නයේ එහෙමත් නැත්තං ඔළුවේ... උත්පත්ති කේන්දරයක එකේ ගුරු ඉන්න එක හොද උනාට කොටු පැන ගෙන යන ගමනෙදි ගුරු එකට එන එක ඒ හැටිම හොද නැහැ... එහෙම උනාම ලග ලග තීරණ වෙනස් කරනවා..රස්සාවල් වෙනස් කරනවා.. මේ කිව්ව එක නෙවෙයි මේ කරන්නේ.. තමුන්නැහේලට නියම මේස ලග්න කාරයෙක් මේ දවස්වල දගලන්නේ කොහොමද කියලා දැක බලාගන්ට ඕනනං ටිකක් එහෙ මෙහෙ බලන්ට..තේරුං ගත්තෑකි...

ඉතිං කොහොම උනත් සෙනසුරු හතට පනින එක නරකක් නෑ වගේම දැනට එකේ ඉන්න ගුරු ලබන අවුරුද්දේ මැද්දෙදි දෙකේ කොටුවට පැන්නම ඔය දැනට පිළීවෙලක් නැතිව වගේ ඉන්න අයට ටිකක් පිළීවෙලකට ඉන්ට හිතෙයි.. ආදායං පැත්ත උනත් හොද වෙලා..දැනට අවුරුද්දකට එක හමාරකට කලියෙන් අනුන්ට දීලා ගන්නට බැරිව තිබුන ණය තුරුස් එහෙමත් හිටු කියලා ලැබිලා එක විදියකට පිළීවෙලක් වේවි.. ඒ වගේම තමා දැනට හෙනහුරා හතේ ඉද්දි රාහු ගොයියාත් ලබන අවුරුද්ද මැද්දෑවෙදි ආපස්සට කොටුවක් පැනලා හෙනහුරා එක්කම හතේ ඉන්ට ගත්තම තමා සෙල්ලම තියෙන්නේ... ඕක කියලත් බැහැ නොකියත් බැහැ.. ඒත් අහක යන මගුලක් හරි කරේ කඩං වැටිලා බර ගානක් මේස ලග්න කාරයෝ හිර ජීවිතේට කොටු වෙන්ට හොදටෝම හැකියාව තියේ.. ඒ වගේම සමහර විට කසාද බැදලා ඉන්න මේස ලග්න කාරයොත් වෙන වෙන කොටු හරි පනින්ට තියා ගනී.. ඒ හින්දා ඔන්න දැන්ම තියා කිව්වා ගෙවල්වල උන්දලා තම තමුන්ගේ මේස ලග්න කාර සහකරුවන්ව සහකාරියන්ව දෙපට ලනුවකින් හරි බැදලා තියා ගනියවු ඉස්සරහ කාලෙදි...ආයේ මං නොකිව කියන්ට එපා...

හැබැයි තව එකක් මේ පැනිල්ල තරමක් හොඳ උනාට ඊ ළග පැනිල්ල ඒ කියන්නේ 2014/11/03 වැනිදා හෙනහුරා පනින්නේනං 8වැනි කොටුවට..කෙලින්ම අෂ්ඨම ඒරාෂ්ඨකේ.. ආන්න එතන ඉඳන් අවුරුදු දෙකකට වඩා ටික කාලයක් හොඳ කට්ටක් කන්ට වෙනවායි කියලත් මතක තියා ගන්නවා හොඳයි...

හරි ඔන්න දෙකක්ම ඉවරයි..දැන් මට මඟ ඇරුන ඒවට තියෙන්නේ මිථුන ලග්න කාරයෝ විතරයිද..? එහෙනං ඒක ඊ ළග ලිපියකින් ඉවර කරලා දාලා මං බේරෙන්නං..කතාව ඉවරයිනේ...

හෙනහුරාගෙන් දුනුවායන්ට...

හරි මේක අතෑරිලා යන හින්දා මේ අවු අස්සේ කොහොම හරි තව එකක් දෙකක් කියා දාන්ට බලමු...

ධනු ලග්නය කියන්නේ ලෝකායතන කේන්ද්‍රයේ එහෙම නැත්තං ඔය මේෂ රාශියෙන් ආරම්භ වෙන කේන්ද්‍රයේ නව වැනි රාශිය නෙව...පෞද්ගලිකව මං බොහෝම කැමති රාශියක් ඕක මොකද මට හම්බ උන හුගාක් ධනු ලග්නකාරයෝ අනිත් උන්ට සාපේක්ෂව බොහෝම හොඳ අය වීම..

හරි එහෙනං බලමු කොහොමද දුනුවායන්ට මෙදා මේ සිද්ධ වෙන්ට යන මාරුව බල පවත්තන්නේ කියලා...

ඇත්තටම කිව්වොත් මේ උන්දලටත් මේ සිද්ධ වෙන්ට යන මාරුව බොහෝම හොඳට බලපාන්ට ඇහැකි කියලා තමයි කියන්ට තියෙන්නේ... ඒ කිව්වේ මෙදාපොටේ හෙනහුරා යන්ට යන්නේ ධනු ලග්න කාරයින්ගේ කේන්ද්‍රයේ එකොළොස්වැන්න වෙච්ච අයස්ථානයට... කොහොමටත් ඔය පාප ග්‍රහයෝ වෙච්ච හෙනහුරු රාහු වගේ අයට මේ එකොළොස්වැන්න බොහෝම පල දෙන තැන්..ඉතින් එකොලොස් වැන්නට හෙනහුරා උච්ච වෙලාම ගියාම කොහොමද නරකක් වෙන්නේ..?

මේක බොහෝම හොඳ ආදායං එහෙම ලැබෙන කාලයක්..ඒ වගේමමේච්චර කාලයක් සරීරය පුරා තිබුන වෙහෙස මහන්සිය අඩු වෙන.. දුක් පීඩා සමනය වෙන..රැකි රක්ෂාවල අවුල් ලෙහෙන..ඒ වගේම අසනීප කරදර අඩු වෙලා යන කාල සීමාවක් තමා උදා වෙන්ට යන්නේ කියල කිව්වෑකි...

ඒ වගේම තමන්ගේ බලය වැඩි වෙන..ලොකු ලොකු පොරවල් ආස්සරේට ලැබෙන වගේම ඒ ඒ අයගේ සැලකීම් ලැබෙන..ආගිය තැන කැපී පෙනෙන ගතියක් ඇති වෙන කාල වකවානුවක් වෙන්ට ඇහැකි. එතනින් ගියාම ආදායං තත්වය වර්ධනය වෙනවා වගේම මෙච්චර කාලයක් පරක්කු වෙවී තිබුන පඩි වැඩි වීම් ආදියත් නිසි පරිදි සකස් වෙයි.පරණ ඉඩං නඩු..බූදල් නඩු එහෙම තිබුනනං ඉදිරි කාල සීමාව තුලදී ඒවායේ තීන්දු තමන්ට වාසිදායක වෙන විදියට ලැබෙයි..

හැබැයි මතක තියා ගන්න තාමත් තමුන්නැහේලාගේ රාහු ඉන්නේ 12 වැන්නේ..කේතු ඉන්නේ හය වැන්නේ.. ඒ හින්දා ඔය කිව්ව හැම දේම එක පාරට ගෙඩිය පිටිං ඔඩොක්කුවට කඩං වැටෙන එකක් නැහැ.. ලබන අවුරුද්දේ මාර්තු අග විතර වෙනකොට ටික ටික හොඳ අතට හැරිලා මැයි ජූනි වෙනකොට නියම ආකාරයෙන් ඒ ඒ දේවල් ලැබෙන්ට පටන් ගනී.. ඒත් අමතක කරන්න එපා ගුරුන්නාන්සේ දැනට පස් වැන්නේ ඉදීම හරහා දැනටත් යම් තරමක යහපත් දේවල් හිමි වෙන්ට පුවවන්කම තියෙනවා උනත් රාහු කේතු නරක තැනින් හොද තැනකට පනිද්දී ගුරුන්නාන්සේ යන්ට හදන්නේ පස් වැන්නේ ඉදලා හය වැන්නට.. එහෙම බැළුවම ලබන අවුරුද්ද මැද්දෑවේ ඉදලා තමන්ට දැනෙන වෙනස්කං කිහිපයක්ම සිද්ධ වේවී. හොඳ වැඩියෙනුත් නරක අඩුවෙනුත් ආදී වශයෙන්..

හරියටම කිව්වොත් තමන්ගේ හැම දේම අර ඉහත කිව්වා වගේ හොඳ අතට හැරෙද්දී..වාසි ආදායං ලැබෙද්දි.. තමා අවට ඉන්න අයට ටිකක් අසනීප කරදර මතු වීම නිසා හිතේ යම් කිසි කණස්සල්ලකුත් ඇති වෙන්ට පුළුවන්කම තියෙනවා ඕං.

ඒත් මෙන්න මේ කාලය මතක තියාගන්ට..ඒ කිව්වේ
2013 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලා අවුරුද්දක් විතර කාලයක් ඉස්සරහට...

ආන්න ඒ කාලේ ධනු ලග්න හිමියන්ට උත්පත්ති කේන්දරයේ කියන්ට තරං ලොකු අවුලක් නැත්තං හොඳටම හොඳ වාසනාවන්ත හිතන පතන හැම දේම ඒ විදියටම සිද්ධ වෙන කාලයකින් උදාවෙන විශේෂයෙන්ම මංගල කටයුතු සඳහා හීන මව මව ඉන්න උදවියට හොඳටම හොඳ කාලයක් කියන එක සිහියේ තියා ගන්ට..

ඕං මං කැපුනා...

10 November 2011

හදනවනං ඇඹරැල්ලා.. මෙන්න මෙහෙම කරපල්ලා...


හරි ඔන්න ටුඩේ ඉස්පැෂොල්... ඔව් ඔව් කන බොන එව්වා තමා... ආ නැහැ බොන්න නෙවෙයි කන්න විතරයි.. ඕනනං ඉතිං හොද්ද බිව්වැකි.. ඒත් ඒ හැටිම හොඳි හිටින්නේ නැහැ නෙව...

ඊයේ උදහැනැක්කේ මට ඇඹරැල්ලා ගෙඩියි දළුයි දෙකම හම්බු උනා නෙව... ගෙඩි කිව්වට පොඩි ගෙඩි හතරක් තමා.. ඉතිං දළු ටික ඊයෙම සම්බෝල හැදුවා... ඒකත් ටිප් ටොප් එකට හිටියා... ඊට පස්සේ ඊයේ රෑ ඇඹරැල්ලා ටික ඉව්වා..ඒ අද බත් එකට ගෙනියන්න ගන්න කියලා හිතාගෙන...

ඉතිං ඔහේලා දන්නවනේ මං ඔය මොනවා හරි අමුතු ජිගිරිමයිට් එකක් උයද්දී ඔහේලව සිහිපත් වෙච්ච ගමන් ඒ හදන එකේ පොටෝ කෑලි ගන්නවා කියන එක..ඉතිං මේකෙත් මං දිගට හරහාට පොටෝ ගගහා තමා වැඩේ කලේ.. හොඳ වෙලාවට ගෙදර මං විතරක් ඉන්නේ..නැත්තං තව කවරු හරි දැක්කනං හිතනවා මූට පිස්සු කියලා.. ඇයි යකෝ උයන පිහන අස්සේ හැම වෙලාවෙම කලිසං සාක්කුවේ තියෙන ෆෝන් එක අරං හැම අතටම පොටෝ ගගහා ඉන්න හැටි දැක්කම වෙන මොනවා හිතන්නද..?

හරි මුලින්ම කියන්න ඕන මේකත් මගේ කුළුඳුල් නිෂ්පාදනයක් කියන වග.. ඒ කියන්නේ මේ තමා මං මුලින්ම ඇඹරැල්ලා වෑංජනයක් හදපු දවස.. මෙයිට කලින් කාලා තියෙනවා උනාට උයලා නැහැ. ඉතිං කෝකටත් කල්පනා කර කර වෙනදා වගේම ඇඹරැල්ලා වෑංජන වල රස මතක් කර කර තමා කලමනා එකතු කර කර වැඩේ කලේ.. ඉතිං එහෙනං අපි බලමු වැඩේ කොහොමද ගොඩ දාන්නේ කියලා...

....................................

මුලින්ම ඇඹරැල්ලා ටික පොතු ඇරලා සෝදලා ඒවායේ පිට පැත්තට ගෑරුප්පුවකින් එහෙම ටිකක් ඇනලා හිල් ටිකක් එහෙම හදලා කැපුවා හතරට.. ඔය හිල් හැදුවේ ලුණු රස මිරිස් තුනපහ රස එහෙම අල්ලන්න පහසුවක් විදියට තමා... එහෙම නොකලයි කියලත් අවුලක් නැති වෙයි.. ඒත් මං දැකලා තියෙනවා ඇඹරැල්ලා දෝසි හදනකොට ඔය වැඩේ කරනවා.. මාත් ඉතිං කරලා දැම්මා.. දොසි මොකද වෑංජන මොකද කියලා හිතලා..මොකද අතින් පයිං යන එකක්යෑ.. ඉතිං ඒහෙම කපා ගත්ත ඇඹරැල්ලා වලට රම්පේ..කරපිංචා..කුරුඳු පොතු... උම්බලකඩ..රතු ළුණූ.. කොච්චි මිරිස්..සේර කෑල්ලක්..උළු හාල් ඇට දෙක තුනක්.. එහෙමත් එක්කාසු කර ගත්තා මෙන්න මේ වගේ...
ඊට පස්සේ ඇතිළියක් ලිප තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැන්දක් විතර දාලා ඒ තෙල් ටික රත් වෙනකොට ඒකට දානවා අබ ඇට ඇබින්දක්.. තලා ගත්ත සුදු ළුණු බිකක්..කරපිංචා කොලයක් දෙකක්.. හීනියට ලියා ගත්ත රතු ළුණු අමුමිරිස් ඩිංගක්.. තියෙනවනං අමු ඉඟුරු පෙත්තක්..එහෙම මේ තියෙන්නේ ඒ ඩිංග...

ඉතිං ඒක තෙම්පරාදු වෙලා එනකොට ඒකට දමලා අතාරින්නයි තියෙන්නේ අර කලින් ලෑස්ති කරගත්ත ඇඹරැල්ලා ටික..
ඒ ටික දාලා මෙන්න මෙහෙම හොදට ඒ අත මේ අත පෙරළලා තෙල් තැවරෙන්න අරිනවා...ඊට පස්සේ හොඳට වහලා විනාඩියක් දෙකක් විතර තැම්බෙන්න අරිනවා..
ඊට පස්සේ පෙනුම මෙහෙමයි...
ආන්න එහෙම පෙනුමට ආවම අපි ඒකට එකතු කරනවා මෙන්න මේ විදියට බැද ගත්ත පහේ කුඩු ටිකක්..කහ කුඩු..මිරිස් කුඩු.. ලුණු කුඩු ටිකක්...සීනි මේස හැඳි බාගයක් විතර එහෙම...
ඊට පස්සේ හොදට ආයෙමත් මේ ටික කලවං කරලා ඕකට එකතු කරනවා මිටි කිරි ටිකක්..
ඊට පස්සේ ඉතිං මඳ ගින්දරේ ඉ‍ඳෙන්න අරින්න තමා තියෙන්නේ...අවසානෙට අපට ලැබෙනවා මෙන්න මෙහෙම වෑංජනයක්...

කොහොමද පෙනුම... දැක්කම හිත පිරෙනවා නේද... අපරාදේ කියන්ට බැහැ ගැවුන තැන කතෑකි... කොටින්ම කිව්වොත් ඔය වෑංජනේ අර උඩම තියෙන විදියට වෙනම බාජනේකට අස් කරලා මං ඔය උයාපු ඇතිළියට ඊයේ රාත්තිරියේ බත් මිටක් දාගෙන පිහගෙන කෑවා.. මගේ අම්මෝ ඒකෙ රස...
.................................

ඉතිං ඔන්න මං වැඩේ අහවර කලා...දැන් එහෙනං පුළු පුළුවන් අය පුළු පුළුවන් විදිහට හදලා.. කරලා.. කාලා.. බලලා.. අපිටත් ලියලා.. කියලා.. එවලා.. දාන්ටයි තියෙන්නේ...