31 December 2011

රතිඤ්ඤා...පොඩි හිටි කාලේ සහ වැඩිහිටි කාලේ වෙනස...

එහෙං මෙහෙං රතිඤ්ඤා පත්තු වෙනවා... ඉස්සරනං අපිත් ඔහොම තමා..ඒත් මතක ඇති කාලෙකින් රතිඤ්ඤයක් පත්තු කරලා නැහැ..අනේ මංදා මිනිස්සු ලොකු වෙනකොට පොඩි කාලේ ආසාවෙන් කල දේවල් අහක් වෙලා යන්නේ මොකද කියලා මටම තේරෙන්නේ නැහැ...

පුංචි කාලේ අනිත් මගේ වයසේ හුග දෙනෙක් වගේ මාත් රතිඤ්ඤා පත්තු කරන්න.. අහස් කූරු අරින්න..බමර චක්‍ර පත්තු කරන්න බොහෝම කැමතියි..ඒත් නිලාකූරු වලටනං ඒ හැටි මනාපයක් නැහැ.. ඒ හින්දා අද වෙනකල්ම මං කවදාවත් නිලා පත්තු කරලත් නැහැ..එහෙම කරන්න හිතිලත් නැහැ...

ඒ දවස්වල ආසම එක තමා අහස්කූරු යවන එක..ඒත් ඒක ටිකක් භයානක වැඩක්... ඒක හොඳටම මට තේරුනේ දවසක් අපේ මල්ලි අහස් කූරක් පත්තු කරන්න ගිහින් නළල පුච්ච ගත්ත දවසේ.. මිනිහා අහස් කූර ඔළුවෙනුත් ඉහළට කරලා තියං පත්තු කරා..ඒත් එක්කම එයින් විසිඋන ගිනි පුපුරුවලට නළලත් කෙස් රොදකුත් පිච්චිලා අවට පැතුරුනේ ගෙන්දගම් මිශ්‍ර පුළුටු ගඳක්.. එදා ඇත්තටම මම විතරක් නෙවෙයි අපේ තාත්තත් හුගක් බය උනා.. දවස් ගානක් යනකල්ම මල්ල්ගේ නළලේ අර කැළල තිබුනා කළු ගැහිලා.. ඊට පස්සේ කිසිම වෙලාවක අපිට අතින් අල්ලගෙන අහස්කූරු යවන එකට තාත්තාගේ අනුමැතිය ලැබුනේ නැහැ... ගේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තිබුන වත්ත දිගේ තිබුන මලකඩ කාපු කටු කම්බි වැටේ අතරින් පතර ඉතිරි වෙලා තිබුන කටු කම්බියක අහස් කූර තියලා ඒක පත්තු කරන එකයි කරන්න උනේ..ඒත් ඉඳහිට තාත්තා එහාට මෙහාට වෙනකල් ඉඳලා අපි අතේ තියං පත්තු කරන වෙලාවළුත් තිබුනා... කිව්වා නාහන උන්නේ...

අනිත් ආසම දේ තමා චීන පටස්... සව් කරදහියේ එතුව කුඩා ගල් කැබළි සමඟ මුසු කල වෙඩි බෙහෙත් සහිත කුඩා ගුලිය.. වෙර යොදා පොළවේ ගැසූ විට ශබ්ද නගා පුපුරා යන ආකාරය පොඩි උන් උන අපිව කුල්මත් කලා... අවුරුදු කාලෙට චීන පටස් දෙක හතුරක් පහක් කලිසම් සාක්කුවල පුරවගෙන හවස් අතේ පාර පැත්තට ගිහින් තාර පාරේ ගහලා විනෝද වෙන එක මට වගේම අනිත් අයටත් ලොකු සතුටක් උනා... ඇත්තටම අවදානම් විදියට ඒවායින් සෙල්ලම් කලා කියන එකත් කිව යුතුම කතාවක්..කොළු කමට බ්‍රේක් නැහැ නෙව... සද්ද නැතිව ගිහින් තව එකෙක්ගේ කකුල් ගාවම චීන පටසයක් ගහලා පුපරලා යනකොට අර හිටිය එකා බය වෙලා උඩ පනිනවා බලන්න ආසාවට එහෙම කලා උනත් අපිටත් එහෙම වෙච්ච වෙලාවට තමා ඒකේ රඟ තේරෙන්නේ..ඒත් අපි හැදෙන උන්යෑ..එකට එක..තකට තක...

රතිඤ්ඤා වලට තිබුනේ තුන්වැනි මට්ටමේ කැමැත්තක්..අහස්කූරු හා චීන පටස්වලට පස්සේ... ඒත් එයින් තව සෙල්ලමක් කරන්න ඉගෙන ගත්තට පස්සේ රතිඤ්ඤත් සෑහෙන වැඩක් ඇති දෙයක් උනා..ඒ තමයි හදුන්කූරු පොල්කටු සීන් එක...

දැල්වූ හඳුන් කූරක රතිඤ්ඤා කරලේ වෙඩි බෙහෙත් නූල ගෑවෙන්න සලස්සලා හදුන්කූරටත් රතිඤ්ඤයටත් බාධාවක් නොවන සේ එය පොල් කටුවකින් වහලා ඈතට වෙලා බලා ඉඳිම.. මේක හරිම විනෝද ජනකයි.. ටයිම් බෝම්බ කියලයි ඒ දවස්වල අපි ඒකට කිව්වේ... හදුන් කූරේ දිග කොට ප්‍රමාණය අනුව එය පත්තු වීමට යන කලා වේලාව තීරණය වෙන්නේ... හිටි හැටියේ අර හඳුන්කූර දැල්වෙලා ඇවිත් සේව නූලට ගිනි අරං එය දැල්වී රතිඤ්ඤය පුපුරනවාත් සමග පොල් කටුව අහසට වීසි වෙලා යන හැටි බලං ඉන්න එක කාලයක් යනකොට පාර අයිනේ ඔහොම බෝම්බ සෙට් කරන එක දක්වා දුර දිග ගියා... ඒක නැවතුනේ කාගෙන් හරි හොඳට කුණු හරප ටිකක් අහගන්න උන දවසකද කොහේද..?

කොහොම උනත් ඒ දවස්වල අපිට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා සල්ලි නැතිකම... තාත්තා අරං දෙන රතිඤ්ඤා ටික අපේ සෙල්ලම් වලට හොඳටම මදි..මට විතරක් නෙවෙයි අපේ නඩේ හැම එකාටම ඔය ප්‍රශ්නේ තිබුනා... ඒ දවස්වල අපේ අතේ සල්ලි නැහැ නෙව... කජු වාරයක් අවසානයේදී නම් සමහර කාලවලට සල්ලි ටිකක් තියෙනවා.. ඒත් ඒකෙනුත් කරන්න කොයි තරං දේවල් තියෙනවද..? උදේ හවස එකතු කරලා වේලපු කජු දෙතුන් දාහක් විකුනලා අතට ගන්න සොච්චම රතිඤ්ඤාවලටම යට කරන්න පුළුවන් කමක් නැහැ..ඒ සල්ලි ටික අර ගත්තාම කරන්න දාහක් දේවල් තියෙනවා... ඒත් කීයක් හරි රතිඤ්ඤා වලටත් තියා ගන්නවා... ඒ උනාට ඒක මදි හැමදාම... ඉතිං හිතන්නෙම ඉක්මනට ලොකු වෙයංකෝ රස්සාවක් කරලා සල්ලි හොයලා රතිඤ්ඤා අරං පත්තු කරන්න හිතේ හැටියට කියලා...

දැන්නං අපි හැමෝම ලොකුයි... රස්සාවලුත් කරනවා..ඕනනං රතිඤ්ඤත් ගතෑකි හිතේ හැටියට..ඒත් මොනවා නමුත් වෙනසක් අපිට වෙලා.. දැන් ඉස්සර තිබුන ඒ ආසාවට මොකද වෙලා තියෙන්නේ..?

පිස්සු නැත්තං ෂෝක්...

වෙලාව උදේ හය හමාරයි... ඊයේ හවස හයට විතර මං වැඩට ආවේ..මේ කරන්නේ මේ අවුරුද්දේ අන්තිම රාජකාරී මුරය... පොතේ හැටියටනං අද උදේ අට වෙනකොට මං ඩියුටිය ඉවර කරලා ගෙදර යන්න ඕන..ඒත් මගේ අනිත් සගයා අද තව වැඩි පුර පැය බාගයක් හෝ පැයක් පමණ ප්‍රමාද වෙලා එන්නද කියලා ඊයේ හවස ඇහැවුවේ ගෙදරට හාල් පොල් මුට්ටි වගේ දේවල් ටිකක් ගෙනත් දාලා එන්න ඕන කියලයි.. හෙට අළුත් අවුරුද්දේ කිරිබත් උයන්ට...

මං ඉතිං ඒකට හා කියලා කිව්ව හින්දා අද නවය වෙනකල්වත් අදින්න වෙනවා... ඒ කියන්නේ වැඩ අතරෙම උදේම මොනවා හරි ලියලා දාන්න වෙලාව තියෙනවයි කියන එකයි...

ගත වෙච්ච අවුරුද්ද ගැන හැරිලා බලන්න දෙයක් නැහැ..ඒක හොඳයි... හොඳටම හොඳයි... මං හිතන්නේ සෑහෙන කාලෙකින් මං සතුටෙන්ම හිටිය අවුරුද්දක්..හෙනට කලබල අවුරුද්දක්... ගිය අවුරුද්ද ඇතුලත පදිංචිය දෙපාරක් වෙනස් කරන්නත්... අළුතින් ආදායම් මාර්ගයක් ඇති කරගන්නත් පුළුවන්කම ලැබුනා...ආදායම හොඳ පැත්තට එනකොට කලින් කරගෙන ඇවිත් හිර වෙලා හිටිය පිං අතේ වැඩ දෙකක් හිතේ හැටියට ගොඩ දාන්නත් පුළුවන්කම ලැබුනා.. ඒ මදිවට අවුරුද්ද අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා නොනවතින චාරිකා කිහිපයක අත්දැකීමත් හරහා අමතක නොවන අන්දමට වසර අවසන් කරන්න ලැබුනා...

ඒ හැම දේටමත් වඩා මේ වසර වැදගත් වසරක් හැටියට හිතේ රැඳිලා හිටින්න මට උදව් කල මගේ හිතවතුන් කිහිපදෙනා සිහිපත් කරන්නත් ඕන..ඔවුන් නිසා වසරේ අවසන් කාලය බොහෝමත්ම සුන්දර කාලයක් උනා. ඒ වගේම ඒ හැමදේකටම මුල් උන මගේ හිතමිතුරිය..මේ බ්ලොග් අවකාසේ හරහාම ඇති වූ මිතුදම මාව හුගාක් වෙනස් තැනකට අරං ගියා කිව්වොත් නිවැරදියි... මට වගේම අම්බානකට යකා නගින කෙනෙක් උනත්..මට කේන්ති යන වෙලාවට ඒක තේරුම් අරං නොකර සද්දෙන් මං කියවන දෙයක් අහගෙන ඉන්නත්..ඊට පස්සේ වෙලාවක අල්ලගෙන හොඳටම දෙහි කපන්නත්... බූරුවා.. මීමා.. වගේ සුන්දර නම් වලින් නිතරම මා අමතන්නත්... පොඩ්ඩ වරදිනකොට හිටු කියලා බනින්නත්.. මොනවට හරි තද උනාම මාව බුකියෙන් අහක් කරලා කතා නොකර ඉන්නත්.. පස්සේ ආයෙම එකතු කරගන්නත් ආදී වශයෙන් දාහකුත් එකක් ගෝරනාඩු අස්සේ හැමදාමත් සුහදතාවය ආරක්ෂා කරගෙන අනිත් උන් ටිකත් එක්ක මං පොඩ්ඩ ඇත්නං දාගන්න වලි වලදි මැදට වෙලා බේරුම්කාරිණියක් විදියට කටයුතු කරන්නත් සමත් නුඹට දහස් වරක් ස්තූතියි...

ඒ වගේම පසුගිය වසර පුරාවටම මගේ පාළුව නැති කර ගන්න මං ඔහේ ලියාගෙන ගිය මේ බ්ලොග් එක කියවමින් ඒ ඒ අවස්ථාවලදී සුදුසු පරිදි ප්‍රතිචාර දක්වමින් මගේ දුක සැප බෙදා හදාගත් සමස්ථ සිංහල බ්ලොග් රචකයින් හා කියවන්නන් සියළු දෙනාටමත් බොහෝමත්ම ස්තූතියි...

හරි දැන් ඒ කතා ඉවරයි..ඕනනං අසා සිටි ඔබ සැමට ස්තූතියි කියලත් කිව්වා කියලා හිතා ගන්න...

එතකොට අළුත් අවුරුද්ද.. ඔව් ඒකත් හෙට ඒවී.. ඔය පහුගිය අවුරුදු වගේම ඔහේ ගෙවිලා යාවී... ලබන අවුරුද්දේ දෙසැම්බර් අවසානයෙත් මං ජීවත් වෙලා හිටියොත් සහ සිංහල බ්ලොග් අවකාශයේ හිටියොත් මේ වගේම ලිපියක් ලියාවි... ඔච්චරයිනේ... ඊට වඩා වෙන මොනවද..?

ආ තව එකක් මෙච්චර දවසක් යනවා යනවා කියලා හිතං හිටියට යා ගන්න බැරි උන මගේ මෝටර් සයිකල් චාරිකාව...යාපනය බලා ගමන නම් ලබන ජනවාරි මාසයේ යන්නම තමා හිතං ඉන්නේ.. ඒ හින්දම ඔන්න ඊයේ දවාලේ බයිසිමොටෝ එකට දුන්නා හොඳ සාත්තුවක්... පහුගිය දවස්වල තිබුන පොඩි පොඩි ලෙඩ ටික ගැන හොයලා බලලා ඒවා හදලා කරලා සර්විස් පාරක් දීලා... ඒ මදිවට දුම් පරීක්ෂාවත් කරලා අළුත් අවුරුද්දට ලැයිසොම එහෙමත් අරගෙන ආවා..කොහොම හරි ඊයේ දවසට ගෙඩි රුපියල් හත් දාහක් විතර මේකට යට කොලා... ඒත් දැන් හිතට පොඩි ෆිට් එකක් තියේ..හිතුනොත් අද හෙට යනවා පංචිකාවත්ත පැත්තේ බයික් එකට හයි කරන්න පොඩි පෙට්ටි කෑල්ලක් හොයා ගන්න.. ඒකත් හරි ගියානං කොල්ලා ගොඩ... දැන් එතකොට තියෙන්නේ මගේ සගයත් එක්ක කතා බස් කරලා දවස් තුන හතරක නිවාඩුවක් හදා ගන්න තමා...

ඒත් ඉතිං එකම එක අවුලක් තියේ... ඒ තමා ඉහලින් එන තර්ජන...

"තෝ අපිව දාලා තනියම යාපනේ ගියොත්..අපි තෝව දාලා යනවා ට්‍රින්කෝ.."

ඔන්න තියෙන අවුල.. ඔයාලා අහලා තියෙනවා නේද අර පිස්සන්කොටුවේ කිතුලට නැග්ග පිස්සට වෙච්ච දේ..? අර දවසක් පිස්සෙක් පිස්සන් කොටුවේ තිබුන කිතුලට නැගලා ඒකෙන් බහින්නේ නැති වෙලාවේ එතනට ආව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින්..හෙද හෙදියන්.. නෙවෙයි අවසානයේ දොස්තරලත් කොච්චර කිව්වත් පිස්සට බහින්න කියලා..පිස්සා නෙවෙයි බැස්සේ..ඒත් ඔය අතරේ එතනට ආව එක පිස්සෙක් පොරවකුත් අරං ගහ කපන්න කලින් බැහැපිය කියලා එක පාරයි කිව්වේ අර උඩ හිටිය පිස්සා කෙලින්ම බිමට බැහැපි.. අවසානයේ ඔය ගැන අහපු දොස්තර කෙනෙකුට අර පිස්සා කියලා තිබුනේ "සර්ලා වගේද සර්..අරූ පිස්සෙක්නේ.. ගහ කපන්නම ඉඩ තියෙනවා" කියලයි...

එතනනං පිස්සව ෂුවර් නැති හින්ද අරූ බිමට බැස්සා කියමුකෝ.. ඒත් මෙතනදීනං පිස්සු නැතත් අර ආව තර්ජනේ ගැන පොඩි සැකයක් තියෙනවා...

28 December 2011

බිත්තර රොටී වගේ රොටී...

හරි බොහෝම කෙටියෙන් කියන්න යන්නේ බිත්තර රොටී හදන විදිය.. ඊට කලින් කියන්න ඕන අපි කඩෙන් කන බිත්තර රොටියට වඩා මෙව්වයේ හැඩේ සහ තවත් සුළු සුළු වෙනස්කං ටිකක් තියෙනවා.. ඒත් ඇත්තටම කඩේ තියෙන බිත්තර රොටී වලට වඩා උපරිම රසයි මේක.. හරි අපි බලමු මුලින්ම රොටිය සාදා ගැනීම ගැන...

පාන් පිටි ග්‍රෑම් දෙසිය පණහයි...
සීනි තේ හැන්දයි...
ලුණු තේ හැදි බාගයයි...
පොල් තෙල් හෝඑළවළු තෙල් මේස හැදි තුනක්..වතුර කෝප්ප තුන් කාලක් පමණ...

මුලින්ම කරන්න තියෙන්නේ පාන් පිටි ටික පෙනේරයක් ආධාරයෙන් හොඳින් හලා ගැනීමයි.. ඊට පස්සේ පිටි ඇනීමට සුදුසු භාජනයකට පිටි ටික දාලා..එයට ලුණු කුඩු හා සීනි එකතු කර හොදින් මිශ්‍ර කිරීම කල යුතුයි. ඊටත් පස්සේ තෙල් ටිකත් එකතු කර පදම බලමින් ටිකෙන් ටික වතුර එකතු කරමින් අතේ නොඇලෙන හා මෘදු ස්වභාවයකට එන තෙක් පිටි ටික හොදින් අනා ගැනීම කල යුතු වෙනවා...හොඳින් ඇනුන පසුව එම මෝලිය වටා හොදින් පොල්තෙල් තවරන්න ඕන.. හොදින් ඇනුන පිටි ගුලිය ලන්ච් සීට් එකකින් වසා තැබිය යුතුයි..

නියම විදියටනං එහෙම පැය දෙකක්වත් තියන්න ඕන.. එයින් පස්සේ නැවතත් අතේ තෙල් ස්වල්පයක් තවරගෙන අර පිපිලා තියෙන පාන් පිටි මෝලිය කුඩා කැබලිවලට කඩමින් ඒවාත් ගුලි කල යුතුයි.. මේ තියෙන්නේ එහෙම කොටස් කර ගත්ත පාන් පිටි කොටස්..හැබැයි මේවෑ නියම ෆිනිෂ් එක නැහැ..ඒකට හේතුව මං ඔය පාන් පිටි මෝලිය පදම් වෙන්න ඒ හැටි කාලයක් තිබ්බේ නැති එකයි..හරියටම පැය කාලෙන් මං මෝලිය කැඩුවා... මොකද හදිසි හින්දා...

ඉතිං එහෙම කෑලි කඩලා වෙන් කරපු ගුලි වලත් හොදින් මතු පිට තෙල් තවරන්න ඕන..එහෙම තවරලා ඒ කුඩා ගුලි ටිකත් තව පැයක් එක හමාරක්වත් තියන්න ඕන පිපෙන්න සහ පදම් වෙන්න..


හරි පිටි සකස් කිරීමේ මූලික කටයුතු ඉවරයි..දැන් අපි යං බිත්තර සකස් කරන්න... ඔය පහත තියෙන්නේ පේනවනේ..

බිත්තර දෙකයි..
කැරට් අලයයි..
ලීක්ස් ගහයි..
මාළු මිරිස් කරල් දෙකයි..
රතුළුණූ ගෙඩි දෙකයි..
සුදු ළුණු බික් තුනයි.
කහකුඩු තේ හැදි කාලයි..
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයයි..
ලුනු කුඩු තේ හැදි බාගයයි..
පහේ කුඩු තේ හැදි කාලයි.

ඔන්න ඔය ටිකෙන් බිත්තර ටික ගසාගෙන අනිත් දේවල් එයට එකතු කල යුතුයි..එළුවළු සහ ළුණු ආදිය සිහින්ව ලියා ගත යුතු බව කියන්න දෙයක් නැහැනේ...
හරි වැඩේ එච්චරයි... පිටි ගුලි ලෑස්තියි..බිත්තර මිශ්‍රණය ලෑස්තියි... දැන් තියෙන්නේ හදන්ට... අපි ගාව නැහැනේ අර කඩවල් වල වගේ හිතේ හැටියට රොටිය කරකවලා ගන්න තරං ලොකු ඇළුමීනියම් තහඩු ගහපු මේස..නැත්තං අපිටත් තිබුනා එහෙම කරකෝලා අරං හීනියට ගෝදම්බ රොටිය හදාගන්ට..මං ඔය කලින් හිටිය තැනේදි නං ඇළු මීනියම් සීට් අඩි තුනක් ගෙනත් කොන්ක්‍රීට් මේස ලෑල්ලකට හයි කරලා තිබුනා රොටී ගහන්ටම කියලා... ඒත් දැන් ඉන්න තැන එහෙම නැති හින්දා කලේ ලොකු සාස්පාන් පියනක තෙල් ගාලා ඒක උඩින් අර පිටි බෝලයක් තියලා අතින්ම තලලා ටිකක් තුනීකරලා රොටිය හදපු එකයි.. ඒත් ඒක කඩේ ගෝදම්බ රොටිය තරං තුනී වෙන්නේ නැහැ..ඒක අවුලක් කරගන්න එපා..

කරන්න තියෙන්නේ පුළුවන් තරමට තුනී කරලා ඒ මැදට අර හදා ගත්ත බිත්තර මිශ්‍රණයෙන් කොත ගහලා පුරෝපු මේස හැන්දක් අරං තියලා..පට පට ගාලා හතර පැත්තෙන් නවලා වහන එකයි... එතකොට නිකං ලොකු පිටි බෝලයක් වගේ පෙනුනත් ඒකත් ගණන් ගන්ට එපා.. දැන් කරන්න තියෙන්නේ තැටියක් රත් වෙන්ට තියලා ඒකටත් තෙල් ස්වල්පයක් ඉහලා ඒ තැටිය උඩින් අර හදාගත්තු පුරෝපු පිටි බෝලේ තියලා ඒක තැටිය උඩ තියෙද්දිම අතින් තලලා හරි ගස්සන එකයි.. රොට්ය පිච්චිලා හයි වෙන්න කලින් රත්වෙන තැටිය උඩදිමී අපිට පුළුවන් ඒක තලලා තුනී කරගන්ට...ආන්න එහෙම ගානට තුනී කර ගත්තාම කිසිම අවුලක් නැතිව අපිට ඔය පහත තියෙන ආකාරයේ රොටී හදාගන්ට පුළුවන්...හොඳිට දෙපැත්තම කර උනාම රොටී දෙක තුනක් එකට හේතුතු කරලා කෙලින් අතට තියලා පැත් ටිකත් රත් කර ගත්තාම නියමෙටම හිටිනවා... වැඩේ අති සාර්ථකයි... මං ඔය කියාපු ප්‍රමාණයෙන් එළවළු යොදපු හොඳ සරුසාර බිත්තර රොටී හයක් හැදුවා... එයින් දෙකක් කෑවම එක්කෙනෙකුට වේලකට හොඳටම ඇති...
පේනවා නේද හරහට කැපුවම තියෙන ලස්සන...ලස්සන වගේම තමා රසෙත්..උපරිමයි...
එහෙනං ඔන්න හදලා බලලා අපිටත් කියන්ට ඈ...

රෝල්ස්.. චීනෙත් නැති චීන කෑම...

මං මේ ළගකදී රෝල්ස් හැදුවනේ..ඔව් ඔව් අර චෛනීස් රෝල්ස් කියලා කියන කෑම තමා..ඒත් ඕවා චීනේ තියෙනවද කියන්නනං මං දන්නේ නැහැ ඕං...රෝල්ස් විතරක් නෙවෙයි මං ඊයේ රාත්තිරියේ බිත්තර රොටිත් හැදුවා..ඒ ගැනත් මං ඊ ළගට පෝස්ට් එකක් දාන්නං.. ඔය දෙකම මගේ ප්‍රියතම ආහාර නෙව...

ඒත් පොඩි අවුලක් තියෙනවා.. ඒ තමා මේකෙදි මට පින්තූර ගැනීම ගැන පොඩි ගැටළුවක් මතු වීම..දන්නවනේ ඉතිං මගේ ඉවුම් පිහුං වලදී ඒවාට අඳාල පොටෝ ගන්නේ මගේ ජංගම දුරකථනයේ ඇති කැමරාව ආධාරයෙන් මංතුමාම විසින් කියලා.. ඒත් අනිත් කෑම හදද්දී වගේ නෙවෙයි මේවා හදනකොට එක්තරා අවස්ථාවකදී ෆොටෝ ගන්න බැරි තත්වයකට පත් වෙනවා... ඒ කියන්නේ අදාල ආහාරය සකස් කරන විට අත් දෙකම උපයෝගී කර ගන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ කියන්නේ බිත්තර රොටී හදනකොට රොටිය ඇදලා සකස් කලාට පස්සේ ඒක පරිස්සමට ගලවලා අරං රත්වෙලා තියෙන තැටිය උඩට දානකොට තනි අතෙන් කරන්න බැහැනේ මලාට..ඉතිං ඒ වෙලාවට අතේ තෙල් වතුර සහ පිටි තැවරෙන්න අවස්ථාව වැඩියි.. ඉතිං කොහොමද ෆෝන් එකෙන් පින්තූර අල්ලන්නේ..ආන්න ඒ වගේ කේස් හින්දා මට ඔය කෑම දෙකේදීම ෆොටෝ කෑලිවලට වැඩි අවස්ථාවක් දෙන්න බැරි උනා.. ඒ හින්දා හැම අවස්ථාවක්ම පෙන්නන්න විදියක් නැහැ...ඒත් අපි බලමු තියෙන හැටියට වැඩේ ගොඩ දාන්න...

අවශ්‍ය ද්‍රව්‍ය...

තම්බා පොඩි කරගත් අල සහ මාළු
හීනියට ලියා ගත් එළවළු
තම්බාගත් බිත්තර
ලියාගත් රතුළුණූ/සුදු ළුණු/අමු ඉඟුරු/අමු මිරිස්/කරපිංචා/රම්පේ/
කරාබු නැටි දෙක තුනක්
කුරුඳු පොතු
ලුනු කුඩු
කහ
ගම්මිරිස් කුඩු
පහේ කුඩු
මිරිස්කුඩු
දෙහි
----------
පාන් පිටි
සීනි
කිරි (පොල් කිරි හෝ එළ කිරි..)
----------
බිත්තර සුදු මද
බිස්කට් කුඩු
තෙල්
(ඔය ජාතිවල අවශ්‍ය ප්‍රමාණ ඒ ඒ තැන්වලදී කියලා ඇති...)
ඔය තියෙන්නේ හොඳින් තම්බා පොතු ඇර පොඩි කරගත් අර්තාපල් අල සහ එසේම තම්බා කටු ඉවත් කර පොඩි කර ගත් මාළු... මේකට සාමාන්‍ය තරමේ අල ගෙඩි තුනකුත් මාළු ග්‍රෑම් 100 කුත් වගේ මම ගත්තා ඒත් අවසානයේ පිරවුම හදලා ඉවර උනාම හෙන ගොඩක් ආවා... ඒ හින්දා රෝල්ස් දහයක් විතර හදන්න හිතන අය අල ගෙඩි දෙකකුත් මාළු ග්‍රෑම් 60කුත් වගේ ගත්තනං ඇති.
ලීක්ස් ගස් බාගයයි කැරට් අලයයි හීනියට කැපුවා...
බිත්තර තුනක් තම්බලා ගත්තට මොකද ඔච්චර ගියේ නැහැ ඕක තව හීනියට කපන්න උනා අන්තිමේදී මං රෝල්ස් හදන ගමන් බිත්තර එක හමාරක්ම කාලා දැම්මා...ඒ කියන්නේ රෝල්ස් දහයකට හීනියට කැපුව බිත්තර දෙකක් හොඳටම ඇති.මොකද බිත්තර එක හමාරකින් මං හැදුවේ ‍අටක් වගේ හින්දා...
ඕවනං ඉතිං ටික ටික ඒ කියන්නේ රතුළුණු ගෙඩි තුනක් සුදු ළුණු බික් දෙකක් අමු මිරිස් කරලක්..අමු ඉගුරු අගල් බාගයක විතර කෑල්ලක්..කරපිංචා කොල හත අටක්..රම්පේ අගලක විතර කෑල්ලක් හීනියට ලියලා ගත්තම මදෑ...



මුලින්ම භාජනයක් ලිප තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැදි දෙකක් විතර දාලා ඒකට ඔය ඉහත දක්වපු හැම දේම ටික ටික එකතු කරලා පිරවුම සකස් කර ගන්න ඕන.. එතනදී අල අන්තිමටත්..ඊට කලින් මාළුත්..මාළු වලට කලින් එළවළුත්..එළවළු වලට කලින් අනික් කලමනා ඔක්කෝමත් දාගන්න ඕන...එළවළු දාන්න කලින්ම ඕකට කහකුඩු තේ හැදි කාලක්/පහේ කුඩු තේ හැදි බාගයක්/මිරිස්කුඩු තේ හැදි කාලක්/ගම්මිරිස් තේ හැදි බාගයක්/ලුණු කුඩු තේ හැදි එකක් විතර එකතු කරන්න...අලත් එකතු කරලා අවසන් උනාට පස්සේ දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න..දෙහි බෑයක් වැඩිත් එක්ක...

ඊ ළගට තියෙන්නේ රෝල්ස් එකේ දවටනය හදා ගන්න... ඒකට හලා ගත් පාන් පිටි ගෑම් දෙසිය පණහකට සීනි තේ හැන්දයි..ලුණු කුඩු තේ හැදි තුන්කාලක් විතරයි..කිරි කෝප්ප එක හමාරක් විතරයි වගේ දාලා ඔය පෙන්නලා තියෙන පදමට දියාරුවට මිශ්‍රණයක් හදාගෙන තැටියක් රත් කරලා ඒකට තෙල් ස්වල්පයක් දමලා අර මිශ්‍රණයෙන් ටික ටික දාලා අර තෝසේ හදනවා වගේ හැන්දෙන්ම තුනී කරලා ඔය පේන ආකාරයට දවටනය හදා ගන්න ඕන.. ඕකට කහ ටිකක් එකතු කරලා හැදුවනං පෑන්කේක් එකේ දවටනයම තමා...ඔහොම දවටන දහයක් විතර හදා ගත්තට පස්සේ අපිට ගියෑකි අවසන් අදියරට... ඒත් එකේ පොටෝ මට ගන්න උනේ නැහැ..ඒත් මං කියන්නං ඒක ගැන ඒ හැටි අමාරු කේස් එකක් නෙවෙයි...

ඉතිං එහෙම හදාගන්න රොටිය වගේ දවටනය මැදින් අර අපි හදපු මිශ්‍රණයෙන් ටිකකුත් හීනියට කපාගත්ත බිත්තර කැබලි දෙහෙකුත් දිග අතට තියලා රොටියේ දෙපැත්තෙන් ඇතුලට නවලා රෝල් කරගෙන ඒ රෝල් එක ගසා ගත් බිත්තර සුදු මද වල තවරලා එයින් පස්සේ බිස්කට් කුඩුවල දවටලා ගැඹුරු තෙලේ බැඳ ගන්නයි තියෙන්නේ.. එයිට පස්සේ තමා ඔන්න ඔය ආකාරයේ රෝල්ස් අපිට දැක බලා ගන්න වෙන්නේ...
රසය ගැන කියන්නනං ඒවා කාලම බලන්න ඕන... මේවා කාපු අයනං තාමත් යහතින් ඉන්නවා වගේම නරකක් කිව්වේ නැහැ...

27 December 2011

රිටිගල... යනවනං ඔන්න තැන්...

ආයෙමත් චාරිකා සටහනක්..කට්ටියට එපා වෙලා බනිනකල්ම දාන්න තරං ගමන් විස්තර තිබුනත් මං මොටද බැනුං අහන්නේ..ඒ හින්දා වැඩියමත්ම නෙවෙයි එකක් දෙකක් තව දාන්නං..එහෙම නැතිව පහුගිය ටිකේ ගිය ගමන් ගැන ලියන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙලාවක් අහු වෙන එකක් නැහැ...

හරි මේ පාර කියන්න යන්නේ රිටිගල ගැන... අහලා තියෙනවද රිටිගල ගැන... මෙතන බොහෝම සුන්දර තැනක් වගේම ඓතිහාසික වටිනාකම් විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක වැදගත්කමක්ද ඇති තැනක්...ඒ විතරක් නෙවෙයි ජනප්‍රවාදවලටත් සම්බන්ධ තැනක්...

ඇත්තටම මේක කන්දක්..සාමාන්‍යයෙන් විශාලව පැතිරී ඇති රජරට පෙදෙසේ ඇති ශේෂ කඳු අතරින් ඉතාමත් සුවිශේෂී තැනක් මේ රිටිගලට හිමිවෙනවා..අපි බලමු මේ වැදගත් කම් කොහෙන්ද ආරම්භ උනේ කියලා...

ඒකට අපි මුලින්ම යන්න ඕන රාමායනයට..අහල ඇතිනේ අර රාම රාවණා යුද්දේ..අහලා නැති අය කරුණාකරලා රාමායනය හොයාගෙන කියවන්න බොහෝම ලස්සන කතාවක්..හැබැයි ඒක බලලා මදි.. ඊට පස්සේ අපේ අරිසෙන් අහුබුදු මහත්තයගේ සක්විති රාවණ නාට්ටියත් බැළුවනං තමා වඩාත්ම හොද.. මොකද රාමායනය තනිකරම ඉන්දියාව හෝදලා ලංකාව කුණූ ගොඩක් ගානට දාන කතාවක්..

දැකලා ඇතිනේ අර හින්දි ෆිල්ම්වල හිටනං ඉන්දියානුවෝ මූණූ දහයකින් යුක්ත ලොකු පඹයෙකුට දුනුවලින් විදලා හෙන උත්සවයක් ගන්නවා අවුරුද්දකට සැරයක්..ඒ මේ රාමායන කතාව අදටත් උන්දලා සමරලා ගන්න ආතල් එක තමා... ඒත් ඕකේ ලාංකීය වර්ෂන් එක අපේ අරිසෙන් අහුබුදු මහත්තයා ලියනවා හරි ලස්සන විදියට..හැබැයි ඉතිං රාමායනය වගේම තමා ඒකත්..නෙලනවා රාමට..නග්ගනවා රාවණව ඉහලට..ඔය දෙකම කතා විතරයි. මං කිව්වේ එක එක්කෙනා එකම ෂීන් කෝන් එක තම තමන්ට ඕන හැටියට ලියන විදිය ගැන උදාහරණයක් තමා ඔය රාමායනයත්..සක්විති රාවණත් කියන්නේ..හරියටම කිව්වොත් දැන් මේ අපේ ජනමාද්දියකාරයෝ කියන උදවිය ප්‍රවෘත්ති ලියන විදියටම තමා...

ඒ කිව්වේ අද වැරදිලාවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියනං ඕක හඩ්සන් සමරසිංහලා මහින්ද අබේසුන්දරලා ලියන්නේ බුදු හාමුදුරුවෝ වැඩියේ ජනාධිපති මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නයි කියලා නෙව.. ඕනනං කියන බණ පදවල වොයිස් කට් එකක් අරං අහිතකර කොටස් කපලා ඕන ටික අරං ඒකටම හරියන්න වොයිස් කට් එහෙකුත් දායි..

එයාලා එහෙම කරනකොට සිරසෙන් සහ ඔය උපුල් ජෝසප් උන්නැහේලා ඒක ලියන්නේ පෙන්නන්නේ වෙන විදියකටනේ.. බුදු හාමුදුරුවෝ වැඩියේ මෙහෙ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ තියෙන හින්දා ඒ ගැන හොයා බලන්න සහ රජයට අවවාද කරන්න කියලනේ..අර කලින් වගේම එයාලත් වොයිස් කට් දෙයි ඒකට හරියන විදියට..

ආන්න එහෙම තමා මේකත්...

හරි ඉතිං කියන්න ගිය කතාවට යමුකෝ.. ඔය රාමායනේ එන සුප්‍රසිද්ධ රාම රාවණ යුද්දේ අස්සේ ඊතල පාරක් කාලා පැත්ත වැටුන රාමට බෙහෙත් කොරන්ට ඕන උන වෙලේ වෙද පප්පා දීපු වට්ටෝරුවට අනුව හනුමා යනවා හිමාලෙට.. ඉතිං ඒ ගියාට මොකද හනුමාට වට්ටෝරුව අමතක වෙනවා.. හනුමත් අරින්නේ නැහැ ඒකා ඒ වංගියේ කොරන්නේ හිමාල කන්දේ ඔය කියපු ‍‍ඖෂධ තිබුන හරියේ කන්දක් පිටිං ගලවං කරේ තියාගෙන මෙහෙට එනවා පිම්මක් ගහලා අහසින්...ඒ ඇවිත් ඕන කරන බෙහෙත් ටික අරගෙන ලෙඩා ගොඩ දාගත්තට පස්සේ ආයෙම වංගියක් අර කන්දත් අරං යනවා තිබුන තැන හයි කොරලා එන්ට කියලා.. ඒක ඒ විදියටම කොලාට මොකද ඔය පිම්ම ගහලා යන එනකොට අර කන්දෙන් ඇබින්දං කෑලි දෙකක් ගැලවිලා වැටෙනවා බිමට..ආන්න ඒ කෑලි දෙකම වැටෙන්නේ ලංකාවෙම තැන් දෙහෙකට..තුන් වැනි කොටසක් ගැනත් මට කියවන්න ලැබිලා තියෙනවා මොකාක් හරි නමුත් පොතකින්..ඒත් ඒ කොටහ වැටුනේ මහ මුහුදට වෙන්න ඕන..

ඉතිං මේ වැටුන කෑලි දෙක තමා අද අපි රිටිගල සහ රූමස්සල කියලා හඳුන්වන්නේ..ඔන්න ඔහොමයි ජනප්‍රවාදයේ එන්නේ...(හැබැයි රූමස්සලනං රිටිගල අහලකින්වත් තියන්න බැහැ..ඒත් රූමස්සලත් ටිකක් විතර හොඳයි.)

ඉතිං මේ රිටිලත් තියෙන්නේ හිතාගන්න බැරි අමුතුම ගතියක්... අර අපි දන්න සාමාන්‍ය අනුරාධපුරේ පැත්තේ කාස්ටක ගතිය මේ රිටිගල නැහැ..ඒකේ මුදුනට යන්න යන්න නුවර පළාතේ ගියා වගේ තමා... ඒ වගේමයි බෙහෙත් හේත් පැලෑටි වර්ගත්... ඔය වගේ දේවල් හින්දා ඇත්තටම හිතෙන්නේ මේකනං වෙන කොහෙන් හරි ගලෝලා ගෙනත් මෙතන හයි කලා වගේ කියලා තමා...ඒ තරමටම මේ රිටිගල කන්දේ පළාතට වෙනස්ම වූ ලක්ෂණ තියෙන්නේ...

අනිත් පැත්තෙන් මේක ප්‍රසිද්ධ වෙන්නේ මහසෝනා නිසා..දන්නවනේ කවුද කියලා..අර ගෝඨයිම්බරගේ ෆ්ලයින් කික් එකෙන් බෙල්ල ගලෝගත්ත හාදයා.. රිටිගල ජයසේන.. අන්න උන්දෑ.. මේ රිටිගල කියන්නේ ආන්න ඒ ජයසේනගේ වාස භූමිය.. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ආදි යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් තමා මේ රිටිගල.. එතනින් ගිහාම දැන් නැති උනත් සුද්දන් ලංකාවට එන විටත් රිටිගල ආශ්‍රිතවත් වැද්දන් සිටි බව කියවෙනවා.. පස්සේ පස්සේ ඒ අය මහියංගණය පොල්ලේ බැද්ද ආදී ප්‍රදේශවලට මාරු උනාට රිටිගලත් වැද්දන්ගේ වාස භූමිවලට අයත් කොටසක්..රිටිගල..තෝනිගල..රතුගල වගේ හුගක් නං ගං වැදි ජනයාගේ උරුමයත් එක්ක බැඳිලා තියෙන තැන්...

එතනින් ගියාම මේක යක්ෂ ගෝත්‍රික ජනාවාසයකට පසුව රහතන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයක් බවටත් පත් වෙලා තියෙනවා..ලංකාවේ පළවෙනි මහරහතන් වහන්සේ වෙච්ච "අරිට්ඨ මහරහතන් වහන්සේ" වැඩ සිටි ආරාමයත් මෙතනයි කියලයි කියවෙන්නේ.. මේ ආදී වශයෙන් අති විශාල වැදගත්කමක් ඇති තැනක් තමා රිටිගල...

අද එහෙට යන අපිට මොනවද බලන්න තියෙන්නේ..ඔව් ඇත්තටම මං ගිහින් තියෙන පුරාවිද්‍යාත්මක බිම් වලින් හොඳම තැනක් තමා රිටිගල.. ඒ තරමටම ලස්සනට පැරණී නටඹුන් ආරක්ෂාවෙලා තියෙන හොඳින් සංරක්ෂණය කරමින් සිටින තැනක් මෙතන..ඉපැරණී ආරාම සංකීර්ණය අදටත් පැහැදිලිව දැක ගන්නටත්..එහි තිබූ ලැගුම් ගෙවල්..පුස්තකාලය.. රෝහල.. දාන ශාලා.. භාවනා සංකීර්ණ..පෙත් මළු..ඒ වගේම සුන්දර "බන්දා පොකුණේ නටඹුන්‍‍..හැම දෙයක්ම පුදුමාකාර විදියට ආරක්ෂා වෙලා තියෙන තැනක් මේ..

ඒ වගේමයි අනුරාධපුරේ පොළොන්නරුවේ වත් දකින්න ලේසි නැති ආකාරයේ කළු ගල් ඔප දැමීමක් මෙතන දකින්න පුළුවන්..ඔබ කෙදිනක හෝ ගිය විටක එහි ආරාම සංකීර්ණයේ ඉහළම මළුවට ගිය විට බලන්න එහි ඇති හතරැස් අත්තිවාරමක් වැනි කොටුව දිහා.. කළු ගල් පූවරු 4කින් කොටු කරලා ඇති තැන..එක ගල් ලෑල්ලක දිග සහ තනි ගල කොහොමද එතනට එච්චර ලස්සනට ගෙනත් හයි කලේ කියලා හිතලා බලන්න.. ඇත්තටම විශ්මිතයි.. එහි නිමාව බලන්න... අර සුනිල් එදිරිසිංහ මහත්තයා කියන අවුකන ගල් සියුමැලි කල ගල් වඩුවා මෙතනදී රිටිගල ගල් වඩුවාට පරදිනවා කියලා ඔබට නොසිතුනොත් ඒක පුදුමයක්...

ඉතිං වැඩි විස්තර ඕන නැහැ..මං කියන්නම් ගමන් මාර්ගය...ඔබ කොළඹ සිට යනවනම් ඔබ මුලින්ම යායුතුයි දඹුල්ලට...

දඹුල්ලේ සිට පාරවල් තුනක් තියෙනවා මෙහි යන්න...
1-දඹුල්ලේ සිට ත්‍රිකුණාමල පාරේ ගොස් හබරණීන් වමට හැරී මරදංකඩවල දෙසට යන විට කිලෝ මීටර් 13ක් පමණ යද්දී හමුවන රිටිගල මාර්ගයේ දකුණට හැරී යාම...(කහ පැහැති මං සලකුණු)

2-දඹුල්ලේ සිට අනුරාධපුර ඒ-9 පාරේ කැකිරාවට ගොස් කැකිරාවෙන් දකුණට ඇති ගනේවල්පොල පාරේ ගොස් ගනේවල්පොල හන්දියේදී ඔබට හමුවන මරදංකඩවල හබරණ පාරේ දකුණූ පසට හැරී ගොස් කිලෝ මීටර් තුනක් හෝ හතරක් වගේ දුරකදී හමුවන රිටිගල මාර්ගයේ වමට හැරී යාම..(තදනිල් පැහැ මං සලකුණු සහ අහස් නිල් පැහැ සලකුණු...)

3.දඹුල්ලේ සිට අනුරාධපුරය දක්වා ඒ-9 පාරේම ගොස් කැකිරාවෙන් හැරෙන්නේ නැතිව දිගටම ගිය විට හමුවන මරදංකඩවලින් දකුණු පැත්තට හරවා කිලෝමීටර් 12ක් පමණ හබරණ පැත්තට ගොස් රිටිගල මාර්ගයට වමට හැරී...(තදනිල් පැහැ මං සලකුණු...)
ඔතනින් පලවෙනි මාර්ගය හරහා රිටිලගට ගියාම රිටිගල කියලා සඳහන් ලොකු නාම පූවරුවක් හම්බ වෙනවා..එතනින් හැරෙන්න තියෙන්නේ දකුණට.. අනිත් දෙකෙන් කොහොම ගියත් වැටෙන්නේ ඒ නාම පූවරුව ගාවටමයි..හැරෙන්න වෙන්නේ වමට..එච්චරයි..හරිම ලේසියි හොයාගන්න...

එහෙමනං මං මෙතැන් පටන් විස්තර කියන්නම් ඡායාරූප වලින්...ඒක පහසුයිනේ... මං මේකට ඡා‍යාරූප එකතු කරන්න ගිහං බොහෝම කට්ටක් කෑවා..මොකද ඇත්තටම දාන්න ඕන පින්තූර 50ක් විතර තිබුනා..ඒත් එච්චර දැම්මොත් මේ පොස්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යන හින්දා අමාරුවෙන් කපලා කපලා 22කට ගෙනාවා...අපි ඒ ටික බලමු...

ඔය තියෙන්නේ රිටිගල කන්ද එයට නුදුරු වෙල් යායක් ලගදී අපට පෙනුන ආකාරය...
අතර මගදී හමු වූ කුඹුරක තිබූ පැලක්..මේ පැතිවල වගාවට අලින්ගෙන් බොහෝම බාධා තියෙනවා..අලින්ට මිනිස්සුන්ගෙන් බාධා..ඒත් අනතුරු අඩුයි...වගා පාළු හැර...
රිටිගල පිවිසුම..මෙතනට යනකල්ම ඔබට වාහනයකින් යන්න පුළුවන්..මෙතැනදී ඔබට පුළුවන් මාර්ගෝපදේශකයකුගේ උපකාරය ලබා ගන්නට...
බන්දා පොකුණ...විශාල භූමියක් පුරා පැවති ජලාෂයක්..
ඔය තියෙන්නෙත් බන්දා පොකුණම තමා..දැන් ඒක නැවත සකස් කරගෙන යනවා වතුර පිරවීම පිණීස..මේ කාලෙම ගියොත් මිස ආයේ කවදාවත් වතුර පිරෙව්වට පස්සේ ඔකේ අඩිය දකින්න ඔබට නොහැකි වේවි...
ඇතුළු වද්දී හමුවන ගල් පාලමක්..එයට උඩින් අප යා යුතුයි...
ආරාම සංකීරණයේ පිවිසුම් පියගැට පෙළ...
ආරාම සංකීර්ණයේ අභ්‍යන්තර ගමන් මාරුගයේ ඇති පැරණී ගිමන්හලක පාදම...ස්ටාර්ගේට් ෆිල්ම් එකේ අර අපූරු දොරටුව සිහිපත් උනා මටනං...
සම්පූර්ණ ආරාම සංකීර්ණයම මෙහෙම ගල් ඇතුරූ මාර්ග පද්ධතියකින් එකින් එක සම්බන්ධයි..
ඔය තියෙන්නෙත් අර කලින් කියාපු මාර්ග පද්ධතියේම කොටසක්..
මෙතන ඇති ලස්සන මං කොහොම කියන්නද..? ගිහිංම බලන්න...
මේ තියෙන්නේ ඔය මාර්ග පද්ධතියේ බිම ගල් සවි වී ඇති ආකාරය.. පුළුවන්නං හොයාගෙන බලන්න මේ වගේම පිරිද්දීමක් මං දැකලා තියෙනවා ඉපැරණී ඉන්කා සහ මායා වරුන්ගේ නටඹුන් බිම්වලින්.. ගල්වල එක් එක් හැඩයන්ට අනුව අනිත් ගල් පිරිද්දීම පහසු නැහැ...ඔය ආකාරයේ පිරිද්දීම් සෑහෙන ප්‍රමාණයක් මෙහිදී දැක ගත හැකියි... ඇත්තෙන්ම අපූරුයි...
මේ තියෙන්නේ රෝහල... බෙහෙත් ඔරුව වගේම බෙහෙත් පොකුණ..එතකොට උණුවතුර ටැංකිය..බෙහෙත් ඇඹරුම් ගල්... රෝගීන්ට ප්‍රතිකාර කරන ගල් ආසන... හුගාක් දේ මෙතන තියෙනවා ඒ වගේම විශේෂ දෙයක් තමා ඖෂධ පොකුනේ ජලය බැස යාම සඳහා ඇති කානු පද්ධතිය...
මේ තියෙන්නේ එම කානු පද්ධතිය..බලන්න අද වගේමයි නේද කියලා... අර ඉස්සරහින් පේන්නේ කානුව පිරිසිදු කිරීම සඳහා ගල් ලෑලි වලින් වැසූ කුඩා කුටීර...
පුස්තකාලය... ලගටම ගිහින් බැලිය යුතු පුදුමාකාර ස්ථානයක්..මෙහෙම කිව්වට වැඩක් නැහැ...
පුස්තකාල ගොඩනැගිල්ල තුල ඇති ගල් කොට්ටය... මේකට හේත්තුව දාගෙන සනීපෙට හිටියැකි...
ආරාම ගොඩනැගිලි.. මේවා ගැනත් කියන්න විදියක් නැහැ..ගිහින් බලන්නම තමා තියෙන්නේ.. ඒ තරමටම සුවිශේෂී නිර්මාණ රාශියක් මේ ගොඩනැගිලිතුල තියෙනවා...
භාවනා මධ්‍යස්ථාන යැයි සිතියහැකි ශාලා...මෙයට සමාන්තරව හොඳින් සකස් කල සක්මන් මළුවක්ද දැකිය හැකියි...
සුවිශේෂී නිර්මාණයක්.. කැසිකිලියක්... බලන්න ඒකත් හදලා තියෙන අපූරුව..අනික්වා කොහොමට ඇද්ද මේක මෙහෙමනං..

එහෙමනං ආයේ කියන්න තියන්න එපා...ඊ ළග නිවාඩුවටම යන්න උත්සහ කරන්න.. අවශ්‍ය කරන ඕනම උපදෙසක් ලබා දෙන්න මම කැමතියි.ඒ වගේම එහි සිටින මාර්ගෝපදේශකයෙක් සම්බන්ධ කරදීමටත් ඒ හරහා පහසු නවාතැන් ආදිය වූවත් සකස් කර ගැනීමට අවස්ථාව සලසාගැනීම ඔබට කල හැකියි...

ඒ වගේම මට අතෑරුන තැන් ගැන විස්තර සපයන මෙන් අපේ හසිත මලයා ඇතුළු හිත මිතුරන්ටත් මතක් කර සිටිනවා...බොහෝමත්ම ස්තූතියි මෙච්චර දිග එකක් කියෙව්වට...

26 December 2011

මේ පිළීරූ දැක නැති දෑස් කුමටද..?

කොළඹ නිදහස් චතුරස්‍රයේ ඇති‍මේ පිළීරූ ඔබ දැක තිබේද..? මෙතෙක් කලක් එම පිළී රූ දකින්නට ඔබට හැකියාවක් ලැබී නැත්නම් මට කියන්නට ඇත්තේ ඔබේ දෑස තවමත් පිං කර නැත.. එසේනම් මෙහෙමවත් මේවා දැක බලා ඔය දෑස පින්වන්ත කරගනු මැනවි... ස්තූතිනං නැති උනත් මෝකෝ...








මාරයි නේහ්..?

22 December 2011

නිල්ලග්ගම බෝධිඝරය... පාඩම් පොතට සීමා වූ අපේ උරුමය...

පාසල් යන කාලේ ආසාවෙන් කියවන්න තිබුනේ අච්චු පොත් දෙක තුනයි...පොත් කිව්වට ඒ පොත්වලත් එක එක කොටස්.. සිංහල අච්චු පොතේ කතා හා කවි පාඩම් ටිකත් බුද්ධ ධර්මය පො‍තේ කතන්දර ටිකත් වගේම ඔය ලොකු පංතිවලට එනකොට විද්‍යාව පොතේ පාඩමක් එහෙමත් හිතට අල්ලලා යන විත්තිය ඉස්කෝලේ ගිය උන්දලට පරණ මතකය අවුස්සනකොට සිහියට එනවා ඇති නෙව...

ඔය කිව්ව පොත්වලට හා පාඩම්වලට අමතරව මගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ මතකයක් තමා එක්තරා ස්ථානයක් ගැන මතකය..ඒ ස්ථානය මට දකින්න හම්බ වෙලා තිබුනේ පාඩම් පොතකින් විතරම තමා... ඒකත් බුද්ධ ධර්මය පොතේද..එහෙමත් නැත්තං ඉතිහාසය හා සමාජ අධ්‍යයනය පොතේද කියලා මට හරියටම මතකයක් නැහැ.. ඒත් ලංකාවේ ඓතිහාසික ස්ථාන යටතේ කොහේ හරි පාඩමක තිබුනා "නිල්ලග්ගම බෝධිඝරය" කියලා සඳහනක්...

ඔය සටහන මොනම හේතුවක් හින්දා හරි මගේ ඔළුවේ තැන්පත් වෙලා තිබුනා බොහෝම තදින්.. ඉතින් මේ ඊයේ පෙරේදා අපි කස්ටියක් හිටු කියලා දුවන අපේ චාරිකා ගොන්නට තව චාරිකාවක් එකතු කරන්න කරුණු එකත් කර කර ඉන්නකොට මගේ ඔළුවට ඔය මතකය ආවා... අපේ කට්ටිය යාපහු රාජධානිය නරඹන්න යන්න කියලා යොදාගෙන ඒත් සමඟින් නරඹන්න පුළුවන් තව ඒ අවට වැදගත් ස්ථාන ගැන හොයා බලද්දී මට එකපාරටම මතක් උනේ නිල්ලග්ගම..

නිල්ලග්ගම කිව්වට ඒක කොයි හරියෙද කියන්න මං දැනං උන්නේ නැහැ..ඒත් යාපහුවට කිට්ටුවග අර පාඩම් පොතේමද කොහේද සඳහන් වෙලා තිබුනා.. ඒ ගමන මං ඕක මතක් කලාට පස්සේ අපේ කෙනෙක් බොහෝම මහන්සි වෙලා ස්ථානය හොයාගෙන..ඒකට යන මාර්ගයත් සෑහෙන්න හොයලා කරලා පැහැදිලි කරගෙන ඒකත් ඇතුලත් කරගත්තා අපේ ගමනට...

ඉතිං අන්තිමේදී අපේ චාර්කාව සැලසුම් උනේ මුලින්ම නිල්ලග්ගම..එතනින් යාපහුව රාජධානිය..අවසාන වශයෙන් කයිකාවල පුරාණ රජ මහා විහාරය කියන අන්දමට.. ඒත් ලස්සනම වැඩේ තමා නිල්ලග්ගම බලලා අපි යාපහුවට යන්න කියලා යද්දී එක පාරටම අතර මග හන්දියක තිබුනා බෝඩ් එකක්...

"රැස් වෙහෙරට කිලෝමීටර් 18යි" කියලා..

ඕක දැකපු ගමන්ම එක්කෙනෙක් හිනා වෙලා අපි දිහා බලලා පොඩ්ඩක් ඇඹරිලා "රැස් වෙහෙරට 18යිළු නේද" කියලා කියපි... ඒ කිව්වේ ඉතිං මොකක්ද කියන එක පටස් ගාලා තේරුම් ගත්ත අනිත් පිරිස එක හඩින්ම "යං යං ඕන මගුලක් වෙන්න කියලා යං" කියලා.. ඉතිං ආන්න එහෙම තමා අර ගමනට රැස් වෙහෙරත් හිටි හැටියේ එකතු උනේ...

ඉතිං මං මේ කියන්න යන්නේ ලිපිය ලියන්න හිතපු නිල්ලග්ගම ගමන ගැන තමා...

මුලින්ම මාර්ගය ගැන කියනවනං මං මේ සිතියමේ දාලා තියෙන්නේ කුරුණෑගල සිට නිල්ලග්ගමට යන හැටි.. ඒත් කොළඹ පැත්තේ ඉඳන් නිල්ලග්ගමට යන කෙනෙකුටනං කොළඹ නුවර පාරේ පස්යාල හන්දියෙන් වමට දාලා මීරිගම හරහා ගිරිඋල්ලටත්..ගිරි උල්ලෙන් නාරම්මලටත් නාරම්මලින් කුරුණෑගල පාරේ ටික දුරක් ගිහින් කළුගමුව හන්දියෙන් වමට හරවා අළුදෙනිය/බමුණාකොටුව හරහා වාරියපොලට දාලා වාරිය පොලින් වම් පැත්තට ගිහින් පාදෙනිය හන්දියෙන් දකුණට දාලා ඔය සිතියමේ ආකාරයටම යන්නත් පුළුවන්...

ඒක මේ පැත්තෙන් යන අයට කෙටි පාර උනාට එච්චර පාරවල් ගැන මතක තියාගන්න බැරි අය කුරුණෑගලට දාලා ගියාම පහසුයි...

කොහොම ආවත් පාදෙනිය හන්දියේ ඉඳන් අපි යන්න ඕන ගල්ගමුව දක්වා...පාදෙනියෙන් හැරුනට පස්සේ හම්බවෙන දළදාගම හන්දියෙන් කෙලින්ම යන්නයි තියෙන්නේ..යාපහුවට හරි කයිකාවලට හරි යනවනං දළදාගම හන්දියෙන් දකුණට දැම්මම හරි...ඒත් අපි යන්නේ දැන් නිල්ලග්ගමටනේ ඒ හින්දා කෙලින්ම..එහෙම ගිහින් අපි වැටෙනවා අඹන් පොලට..එතනින් දකුණු පැත්තට..එහෙමත් නැත්තං ප්‍රධාන මාවත ඔස්සේම යන්න ඕන ගල්ගමුව නගරයට...
ගල්ගමුව නගරයේ දුම්රිය ස්ථානයට පොඩ්ඩක් මෙහායින් තියෙනවා දකුණට පාරක් විකන්දෙනිගම පාර කියලා..ආන්න එකේ හැරිලා කිලෝ මීටර් කිහිපයක්...මට මතක හැටියට කිලෝමීටර් 7කට ආසන්න දුරක් පමණ ගියාම වම්පැත්තට තියෙනවා පොඩි වැලි පාරක්..
ඒ හරියේ කාගෙන් ඇහැවුවත් පාර කියනවා..කොහොමත් ඒ වැලි පාරේ යද්දි පාර අහගෙන තමා යන්න වෙන්නේ මොකද කැලෑව වගේම පොඩි පොඩි පාරවල් එහෙට මෙහෙට තියෙනවා... පොඩි අවුලකට තියෙන්නේ අහන්න කෙනෙක් හොයාගන්න ලේසි නැති එක..මොකද ගෙවල් දොරවල් එහෙමට නැහැ ඒ හරියේ..ඒත් අතරින් පතර හම්බවෙන අය ඉන්නවා..එහෙම කෙනෙක්ගෙන් ඇහැවුවාම කිසිම කරදරයක් නැතිව පාර අහගත්තෑකි... අර ප්‍රධාන පාරෙන් හරවලා කිලෝ මීටර් තුනක විතර ගමනක් තියෙනවා නිල්ලග්ගම බෝධීඝරයට... ආන්න එහෙම ගියාම මෙන්න මෙහෙම අපට පේනවා ඔය කියන තැන...
බොහෝම ලස්සන තැනක්... එකපැත්තකින් නිල්ලග්ගමවැව..

අනිත් පැත්තෙන් බෝධිඝරය..
ඒ දෙකට මැදින් වැව් බැම්ම මතින් දිව යන වැලි පාර... ඇත්තටම හරිම නිස්කලංක සුන්දර ස්ථානයක්...
ඒ ගියහම මෙන්න මෙහෙම බෝඩ් ලෑල්ලක් තිබුනා..අපි දුවගෙන ගිහින් බැළුවා මේ ස්ථානය ගැන සඳහනක් ඇති කියලා..ම්හූ නැහැ..ඒකේ තියෙන්නේ මේ වැව ගැනයි ගම ගැනයි...
ඊටත් පස්සේ මෙහෙම බෝඩ් ලෑල්ලක් තිබුනා...එකෙත් හරි හමන් විස්තරයක් නැහැ...

ඊට පස්සේ විස්තර හෙවිල්ල නවත්තලා අපි මේ ස්ථානේ නැරඹුවා...
මේ පහතින් තියෙන්නේ ඇතුළු වෙනකොට මෙතන පේන හැටි...
පොඩ්ඩක් පැත්තෙන් බැළුවම මෙහෙ පේනවා...
ඇතුළු වීමේදි සඳකඩ පහණක් එහෙමත් තියෙනවා ගලින් හදපු..ඒත් අපි දකින හුගාක් ඒවායේ වගේ මේකේ කිසිම රූපයක්නං නැහැ...හැබැයි හුගාක් කඩතොළු වෙලා..කාලෙත් එක්ක තිබුන දේවල් විනාස වෙලාද මංදා..
ප්‍රාකාරයේ පිටුපස පෙනෙන ආකාරය..මේ පිටත බැම්මේ කැටයම් අඩුයි...ඒත් පහතින් ලස්සන ඇත් පවුරක් දිව යනවා...ඊටත් පහළීන් නෙළුම් පෙති මෝස්තරයකුත් දිවෙනවා...
මේ තියෙන්නේ ඇතුළත ඇති බෝධිඝරය..අර කලින් දැක්කේ මේ වටා ඇති ආරක්ෂීත ප්‍රාකාරය...එක එක කැටයං ජාති ගොඩයි නෙව...
ඔය තියෙන්නේ ඒකේ එක පැත්තකින් තිබුන මල් ආසනයකුත්..මෙහෙම හතරක්ම තිබුනා හතර පැත්තෙන්..හැම දේම කළු ගලින්...
මේ ඉන්නේ මේ බෝධීඝරයේ ඉන්න සිංහ රූප දෙකෙන් එක වර්ගයක සිංහයෙක්...
මේ අනිත් සිංහ රූපය...
ඔය තියෙන්නේ පිටත ප්‍රාකාරයේ ඇත් පවුරේ ඇති ඇත් රූපයක්...
ආ මේ ඉන්නේ මං...
ඕක දැම්මේ වෙන එකක් හින්දා නෙවෙයි... මං ඔතනට ගියාමයි කියලා ඔප්පු කරන්න සාක්කිත් එපෑ.. මොකද සමහරු මේ දවස්වල මූණු පොතේ එක එක පිංතූර දානවා... සීනිගම දේවාලේ ලග පොටෝ දාලා යාපනේ ගියයි කියනවා.. යාපනේ පොටෝ දානවා මනුස්සයින්ගේ එක රූපයක්වත් නැතිව... ඒ කරලා කියනවා අපිත් ගියා යාපනේ කියලා..ඒත් ඉතිං ඒ පොටෝ එකම දාලා මටත් කිව්වැකි මාත් ගියා කියලා..ඇයි ඉතිං කවුරු ගියාද නොගියද කියලා ඒවයින් කිව්වැකිද..යාපනේ මිස එහෙ ගිය එවුන් ඒකේ නැහැනේ...

ඔය අතරේ අරාබි මතකය ගැන පොටෝ දාන අයත් ඉන්නවා... ඒ ගැන මං කතා නොකර ඉන්නංකෝ...
(අදත් එක වෙයිද දන්නේ නැහැ ඔය කිව්ව අරාබි මතකය පෙන්නන හාදයා...)

පසු සටහන්..-
මෙම ලිපියෙහි බලවත් අඩුපාඩුවක්ව ඇති නිල්ලග්ගම බෝධිඝරය සම්බන්ධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික කරුණු සම්බන්ධව මනා විස්තරයක පහළින් ඇති ප්‍රතිචාර තීරුවෙහි හසිත හා ඉන්දික යන සොයුරන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් එම විස්තර දැන ගැනිමට කැමැත්තෝ එම ප්‍රතිචාරයන් කියවා බැලීම මැනවි...