06 January 2012

බ්ලොග් ලිවීමෙන් ලැබුන දේවල්...

මේ පෝස්ට් එක ලියන්න කියලා හිත හිත හිටියට මට ඒකට වෙලාවක් ලැබුනේ නැහැ පහුගිය දවස් දෙක තුනේ... ඒත් නොලියත් බැරි හින්දා කොහොම හරි වෙලාව අරං ලියන්නත් එපැයි.

මම බ්ලොග් ලියන්න පටන් අරං දැන් අවුරුදු දෙකක් පැනලා තියෙනවා... ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙව.. ඒ කාලේ ඇතුලත මට ඇත්තටම බොහෝමයක් දේවල් ලැබිලා තියෙනවා... මේ කියන්න යන්නෙත් එහෙම ලැබීමක ප්‍රතිඵලයක් ගැන...

මං මුලින්ම බ්ලොග් ලියන්න පය ගහන කාලේ මට ෆේස් බුක් එකවුන්ට් එකක් තිබුනේ නැහැ.. ඒ වගේම ගූගල් බස් ගැන ඒ දවස්වල කිසිම කතාවක් නැහැ..අඩුම ගානේ මගේ නොදැනීමේ තරම කියන්නේ ඔය ඊමේල් එකවුන්ට් එක හරහා තියෙන චැට් පහසුකම මං දැන ගත්තේ හුග කාලෙකට පස්සේ... සයිඩ් එකෙන් අනන් මනන් තිබුනට මං නෙවේ ඔය නොදන්න බොත්තං ඔබන්න යන්නේ.. ඕවා ඔබලා මොනවා වෙයිද කවුද දන්නේ... ඉතිං හරිම පරිස්සමට තමා කටයුතු...

ඉතිං එහෙම ඉන්න කාලේ බ්ලොග් එකේ කමෙන්ට් තීරුව හරහා තමයි මට හුග දෙනෙක්ව දැන හඳුනගන්න ලැබුනේ... ඒ වගේම එතැනින්ම තමා ඒ ඒ අයත් එක්ක කතා බහ කරන්නත් මට ඉඩ කඩ ලැබුනේ..එහෙම කතා බහ කරලා කාලෙකට පස්සේ තමා ඊමේල්..චැට් හරහා කතාවට බහට යන්න දැන ගත්තේ.. එහෙම නොදන්න හින්දා හුග කාලයක් යනකල්ම කමෙන්ට් තීරුව අපේ කතා බහට තෝතැන්නක් වෙලා තිබුනා... අද වෙනකොට ඒ තත්වය ටිකක් අඩු වෙලා අනිකුත් සමාජ ජාලා හා චැට් බොක්ස් හරහා කතා බහට යොමු වෙලා ඉන්න හින්දා ඉස්සර වගේ දැන් කමෙන්ට් තීර හරහා හුගාක් දිගින් දිගට කතා බස් කෙරෙනවා අඩු උනත් තාමත් ඒ පරණ පුරුද්දට දන්න කියන අය මාත් එක්ක කතා කරන්නේ ඔතනින්ම තමා... (සමහරුන්ට ඕක හෙන ප්‍රශ්නයක්..:D:D:D)

ඉතිං කොහොම උනත් ඔය බ්ලොග් එක කියෙව්වට ඒකේ කමෙන්ට් නොකරන හුගාක් හිතවත් අය ඉන්න විත්තිය මට තේරුනේ පස්සෙන් පහු කාලෙක ගූගල් බස් හා ෆේස් බුක් හරහා දැන හදුනාගත්තට පස්සේ තමා..ඒ අය කියවනවා උනාට කමෙන්ට් කරන්න වෙනම ප්‍රොෆයිල් හදාගෙන නැහැ... ඒත් නිතරම මූණු පොත හා ඊමේල් හරහා තම තමුන්ගේ ප්‍රතිචාර මට එවන්න පුරුදු වෙලා ඉන්නවා... විශේෂයෙන්ම ඔය ආහාර වර්ග ගැන පොස්ට් එකක් ගියාට පස්සේ ඒ ගැන හොඳම කමෙන්ට් එන්නේ ඊමේල් ගිණුමට.. ඒ කෑම වර්ග දැකලා එහෙමම ඒවා හදලා මට පින්තූර එවන වෙනම කොටසක් ඉන්නවා... ඕනනං මේ තියෙන පින්තූරේ බලන්නකෝ...
ඔය තියෙන්නේ මං මේ ඊයේ පෙරේදා හදපු බිත්තර රොටී පොස්ට් එක බලලා එක නැගණියක් හදාපු බිත්තර රොටීවල පින්තූරයක් තමා.. ඔය කියන නගා මීට පෙරත් පොළොස් වෑංජනේ..එතකොට අර මම මුලින්ම කාලේ දාපු සෝයා මීට් හදන විදිය එහෙමත් බලලා ඒවා හදලා මට හැරෙන තැපෑලට පින්තූර එවන කෙනෙක්.. ඔය වගේ කිහිප දෙනෙක්ම ඉන්නවා ඒ ඒ දේවල් වල ගුණ දොස් කියන...

ඉතිං මං මේ කියන්න ලෑස්ති උන කාරණාවත් ඔය බිත්තර රොටී හදාපු කෙනා ගැනම තමා... දැනට විදේශගත වෙලා ඉන්න ඔය නගා බ්ලොග් අවකාසේ පේන්න නොහිටියට හුගාක් හොඳ බ්ලොග් රසිකාවියක්.. ඒ වගේම ආදරණීය මවක්..යහපත් බිරින්දෑවක්.. ඒ වගේම මට හොඳ සොහොයුරියක්..මං වගේම තවත් බ්ලොග් ලියන කියවන අපි කිහිප පලකගේ සුහද මිතුරියක්...

ඉතිං මේ මෑත කාලෙක කොහොම කොහොම හරි කතා බස් කරන්න හම්බ වෙච්ච වෙලාවක මං කරපු මොනවා හරි දෙයක් ගැන කියපු එකක් අහලා ඔය නගාටත් ඕව උනා තමුන්ගේ ශක්තියෙන් උපයා සපයාගත්ත දේ විය පැහැදං කරලා ඒ වගේ සමාජයට වැඩක් ඇති යහපත් ක්‍රියාවක යෙදෙන්න... ඒ ගැන මට කිව්වට පස්සේ මං පොරොන්දු උනා ඒ යහපත් අදහසට මං මට හැකි උපරිම ආකාරයෙන් උදව් කරන්නම් කියලා... ඒ අනුව තමා මං ඇයට සෙතක් සැලසිය හැකි අන්දමේ තැනක් සොයන්නට උනේ..

එහෙම හොයන වෙලාවේ මගේ හිතවතකුගේ මාර්ගයෙන් මං හොයාගත්තා එක්තරා පුංචි දියණියක්ව... ඇත්තෙන්ම මේ බ්ලොග් අඩවිය ඇය හෝ ඇයට සම්බන්ධ කිසිවකුට හෝ කියවන්න වෙන එකක් නැහැයි කියලා හිතෙන හින්දා මං ඇය ගැනත් ටිකක් කියන්නම්...

ඇය ගිය අවුරුද්දේ දෙක වසරේ ඉගෙන ගත්ත කුඩා දියණියක්.. මේ දියණියගේ කතාව ටිකක් වෙනස්... ඇයට ඉන්නේ මව විතරයි... ඇත්තටම ඒ මවත් මේ දියණියව දරුකමට හදාගන්න මවක්... ඒ මවත් ඇයගේ ස්වාමියත් දරුවන් නැතිව සෑහෙන කාලයක් දුකින් හිටිය යුවළක්..අවසානයේදී මේ දෙදෙනා දරුවකු හදාගන්නට ගන්නවා.. ඒත් ඒ දරුවා පවුලට එකතු වෙලා වසරක් වැනි කාලයක් ඇතුලත අර යුවලේ පිරිමියා වියෝ වෙනවා.. අවසානයේ අර ගැහැණු මනුස්සයයි මේ කුඩා දරුවයි බොහෝම අසරණ තත්වයකට තමා පත් වෙන්නේ... මට මේ අය හමුවෙන විටත් ඒ අම්මට රැකියාවක් කරන්න විදියක් නැහැ..එක අතකින් මේ දරුවා දියණියක් වීම නිසා එහෙ මෙහෙ දාලා යන්නත් බැහැ.. දාලා යන්න තැනකුත් නැහැ... ඊට පෙර රැකියාවක් කරලා හුරුවක් තිබුන අයෙකුත් නෙවෙයි.. ස්වාමියාගේ රැකවරණය අහිමි උනාට පස්සේ සිය අසල්වාසීන්ගේ ආධාර උපකාර මතත්..වයස්ගත දෙමාපියන්ගේ උදව්වත් මතයි අදටත් ජීවිතේ ගෙනියන්නේ.. එයිට අමතරව ළග පාත තේ කඩයකට උදේ වරුවේ අත් උදව් දීලා කීයක් හරි හොයා ගන්නවා..ඒ අර දරුවා පාසල ඇරෙන වෙලාව එනකල් විතරයි...

ඔන්න ඔහොම ජීවත් වෙන දරුවා ගැන මට ලැබුන ආරංචියට අනුව මම ගියා ඇය සොයාගෙන... ඇත්තටම උපකාර ලැබිය යුතු දරුවෙක්... දෙවෙනි ශ්‍රේණීයේ විභාගයෙන් පන්තියේ දෙවෙනි තැන අරං තිබුන දරුවා ඇත්තටම ඉගෙනීමට හුගක් දක්ෂයි... ඒ වගේම බොහෝම ප්‍රිය මනාපයි... ගේ දොර තාම හදාගෙන යනවා..හදාගෙන යනවා කිව්වට ආයේ කවදාවත් කාලෙකට ඒවා හැදෙන එකක් නැහැ.. මොකද ඒවා කරන්න දැන් කවුරුවත් නැති නිසා... අර අම්මටත් ටිකක් වයසයි දැනටත්... මං හිතන්නේ හතලිස් පහක් පණහක් අතර වගේ..හැබැයි උන්දෑ දරුවට බොහෝම ආදරෙයි සහ ඇය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනවා කියන දේ පේන්න තියෙනවා.. මේ හැම දේම දැන ගත්තට පස්සේ ඇය පෙරකී නැගනියගේ උපකාරය ලැබීමට සුදුසු කෙනා හැටියට හිතලා ඒ සම්බන්ධව සම්බන්ධීකරණය කරන්නට මට හැකියාව ලැබුණා...

අවසාන ප්‍රතිඵලය තමා මේ වසරේ සිට අර කුඩා දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට අපේ හිතවත් නගා අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වීම ඒ අනුව වර්ෂය ආරම්භයේදීම අර කුඩා දියණියට ඇවසි සියළුම පාසල් උපකරණ ඇයට ලබා දෙන්නටත්..මාසිකව රුපියල් දහසක වැනි මුදලක් ඒ දියණියගේ අධ්‍යාපන කටයුතු වලට ලබා දෙන්නටත් සැලසුම් කෙරුනා.. මේ තියෙන්නේ ඒ ක්‍රියාවේ මතක සටහන්..තව ඔතනට එක දෙයක් අඩුයි.. ඒ ඇයට දෙන්නට නියමිත පාට ඇදුම්..ඒවා ඇත්තටම තාම මහලා ඉවර නැහැ... ඒ ටික ලැබෙනකල් හිටියොත් කෙලීට ඉස්කොලේ පටන් ගන්න කලින් පොත් ටික දෙන්න වෙන්නේ නැති හින්දා මූලික දේවල් ටික දීලා අනිත් ඇදුම් ටික 8 වෙනිදට දෙන්නට තීරණය කලා.. ඉතිං ඔන්න අනිත් හැම දේම...




ඔය තියෙන්නේ පොත් පත් ටික...
තුන වසරට යන පොඩි කෙලීගේ අළුත් පොත් බෑගය...
සපත්තු මේස්...


මේ ලිපිය ලිව්වා වගේ නෙවෙයි හෙට උදේට මැසේජ් එකක් මට එනවා සත්තු වත්තක නම් කියලා... ඒත් පස්සේ ආයේ අයියේ කියලා කතා කරලා යයි.. ඒ හින්දා බය නැතිව ඔන්න මේක දැම්මා...

හිතවත් නැගණිය ඔබගේ යහපත් ක්‍රියාවට මගේ පුංචි ආචාරය මෙන්න...

ආ මේ ඉන්නේ පොඩි එකී... පේනවද හිනාව...

ඒ හිනාව දැක්කම දැනෙන සතුට ඇති නේද අනිත් හුගාක් දේවල්වලට වඩා... ඔන්න බ්ලොග් ලියලා මට ලැබුන දේවල්...

46 comments:

  1. මං එක. ;-)

    මේ විදිහෙ දේවල් ගැන කතා කළ යුතුයි. මොකද, හැමදාම හැම කෙනාගෙම, හැම දේකම වැරදි විතරක් හොයන්න පුරුදු වෙලා ඉන්න සමාජයක, කෙනෙක්ගෙ හොඳක් පෙන්නලා අගය කරන එකමත් වටිනවා. ඒ වගේම, තමන් කළ යුත්තෙ මොන වගේ වැඩද කියන එක ගැනත් බ්ලොග් කියවන අයට වැටහීමක් එනවා. එක දරුවෙකුගෙ හරි අධ්‍යාපනය හරිහැටි කරගන්නට උදව් කරන ඒ නංගීට මගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. හොඳම දේ ළමයින්ටයි........

    ReplyDelete
  3. සමහර වෙලාවට ප්‍රථම ස්ථාන දෙකක් තියෙන වෙලාවලුත් තියනවා.

    මොනා උනත් ගොඩක් හොද වැඩක් උන්ගෙ කරුමෙ කියලා අහක බලාගන්නවා වෙනුවට . කරන්න පුලුවන් දෙයක් කරන එක වටිනවා. ඒ පිනෙන් උබ ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙවා.. :D

    ReplyDelete
  4. එල කිරි වැඩක් මාරයියේ....!

    ReplyDelete
  5. නියමයි අයියේ.. ඒ සොයුරියටත් අයියගේ උනන්දුවටත් පිං සිද්ද වෙන්නේ අද පොඩි කෙල්ලෙක් හිනා වෙනවා.. ඒකම මදිද...

    ReplyDelete
  6. මේවා තමා බ්ලොග් හරහා කරන්න පුලුවන් නියම වැඩ.

    ReplyDelete
  7. එලකිරි වැඩක් මාරේ අයියේ. . . :)

    ReplyDelete
  8. අගේ කලයුතු බොහෝම වැදගත් වැඩක්. ඒ සොයුරියට බොහෝමත්ම පිං. මෙවැනි යහපත් දේවල් අගේ කිරීම සමාජමය වගකීමක්, ඒ වෙනුවෙන් අකුරු කළ නුඹටත් පිං මලේ.

    (වෙනදා වගේ පොස්ට් එක කියවලා විතරක් යන්න බැහැ නොවැ අද)

    ReplyDelete
  9. හරිම ලොකු දෙයක්.
    ඇය කරගෙන තියෙන්නේ ලොකු පිනක්.
    ඇයට හා ඇයට උදව් කල උඹට යන දෙපලටම ජය

    ReplyDelete
  10. අගය කල යුතු තවත් මේ බ්ලොග් ලෝකය තුල සිදුවිය යුතු වැඩක්... බොහොම පින් මාරයා අයියේ..

    ජය හා සතුට

    ReplyDelete
  11. බුද්ධි අයියගෙ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි.

    ඇත්තටම මේක ගොඩක් පින් සිද්ද වෙන වැඩක් ඒ අක්කට වගේම මාරයා අයියටත්.

    ReplyDelete
  12. ඒ දැරිවිව දැක්කම දුක හිතෙනවා වගේම උඹලගේ වැඩේ දැක්කම අප්‍රමාණ සන්තෝශ හිතෙනවා. මාරෙටත් අර සහෝදරිටත් මාගේ ප්‍රණාමය. බුද්ධි කියනවා වාගේ මේවා තමා බ්ලොග් හරහා කරන්න පුළුවන් නියම වැඩ.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ශා ...අගය කල යුතු හුගක් හොද වෑඩක් නේ කරලා තියෙන්නේ.....

    ReplyDelete
  15. බ්ලොග් ලියල අපිට ලැබෙන්නෙ ආත්ම තෘප්තියක් විතරයි.... මේවගේ වැඩකුත් කරන්න පුලුවන්නම් ඒ ආත්ම තෘප්තිය කොච්චරද... ???


    මාරම මාරයි මාරයියේ.... කියල වැඩක් නෑ... !!!

    උඹට මාගේ ප්‍රණාමය...!!!

    ReplyDelete
  16. අඩේ නියමයි බං . . . බ්ලොග් කෙරුවාවෙ මේ වගේ ප්‍රයෝජනත් තියනවිත්තිය හැමෝම දැනගන්න ඕනෙ . . .
    ඒ දුවටත්, උදවු කල උඹේ මිතුරියටත්, උඹටත් ජය වේවා!!!

    ReplyDelete
  17. අද කාලේ කරන්න ඕනා ඒත් වෙනවා අඩු දේවල් මේ

    ReplyDelete
  18. අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වන්නටපියවරගත් ඒ මැතිණියටත් වැඩේට පහසුකම් සැපයූ මාරයාටත් ඩබල් සැලියුට්...

    ReplyDelete
  19. බොහොම හොඳ වැඩක්...අර පින්තුරේ තියෙන්නේ බිත්තර රොටි ද නැත්නම් එළවලු රොටි ද?

    ReplyDelete
  20. මාරයා සහ හිතවතිය අතින් හොඳ වැඩ එකක් නෙමේ දෙකක්ම සිද්ධ වෙලා.
    1) අහිංසක දැරියට උපකාර කිරීම
    2) මේ ටිකේ ලජ්ජාවෙන් සැඟවී සිටි අයෙකු හුඹහෙන් එලියට ඇදීම -))

    ReplyDelete
  21. කතා කරන්න වචන නෑ..

    ReplyDelete
  22. තමන්ගේම චැනල් එකේ මුණ දමා නොගත්තාට, ලවුඩ්ස්පීකරෙන් නම නොකියවා ගත්තාට (තව ඉතින් කියන්න පුළුවන්), ඔය වගේ අය තමයි නියම දානපතියෝ..

    ඇයටත් උදවු කල මාරයියාටත් ආචාරය..

    ඒ දරුවාගේ සතුටු මුහුණ දකින කොට, ඒ දේට සම්බන්ධ වුනු ඔබලාට කොතරම් සතුටු වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  23. බොහොම හොඳ සත්කාරයක්... අනුග්‍රහය දක්වපු සහ සත්කාරය සංවිධානය කරපු ඔබට බොහොමත්ම පින්... සමාජ සත්කාරයක්.... මේ වගේ සත්කාරයකට සහභාගීවිමේ හැකියාවක් තියනවා නම් සතුටින් සම්බන්ධවෙනවා....ජය !!!!

    ReplyDelete
  24. //තමන්ගේම චැනල් එකේ මුණ දමා නොගත්තාට, ලවුඩ්ස්පීකරෙන් නම නොකියවා ගත්තාට (තව ඉතින් කියන්න පුළුවන්), ඔය වගේ අය තමයි නියම දානපතියෝ ///

    සිරාවටම .

    ReplyDelete
  25. ඇස් දෙකට කඳුලු ආවා අයියෙ, මටත් ඉන්නවා දෙක වසරෙ චූටි දුවෙක්, ඇත්තටම හදවතින්ම සුබ පතනවා, ඔය පින් අතේ වැඩේ කරපු නඟාටයි, ඔයාටය දෙන්නටම ........

    මේ මේ බ්ලොග් අවකාශෙන් ගන්න දේවල් බොහොමයි, කුණු ගොඩවලුත් නැතුවාම නෙවේ ........

    ReplyDelete
  26. නව වසරේ කල ඉතමාත් අගය කල යුතු දෙයක්. මගේ ප්‍රණාමය .

    ReplyDelete
  27. මේ උදව්ව කළ සහෝදරියටත්, ඒ සදහා කැප වූ මාරයාටත් බොහොම පිං.

    ReplyDelete
  28. බ්ලොග් අවකාශෙ මෙහෙම දෙයක් සිදු වීම මාරයා මූලිකත්වයෙන් සිදු වීම ඉතා වැදගත්. බොහෝ දේ බ්ලොග් අවකාශෙට ලබා ගන්න මූලික වුනු මාරයාගේ මේ වැඩේ නම් ඉස්තරම්. අපිටත් කියන්න හැකි ලෙස උදව් කරනවා. ඒ දියණිය ගැන සොයා බලන්න. ඔබ සමඟ අපිත් ඉන්නවා.

    ReplyDelete
  29. ඔබා මාමගෙ කතාවනම් මරු මමත් බලන් උන්නෙ කොල්ලා හොරගල් අහුලන්නෙ මොකද කියලා

    කොහොම නමුත් සම්බන්ධීකරනයකල මාරයාටත් මාරයා අර කියු නැගනියටත් තව තවත් ලැබී තව තවත් මෙවැනි පුන්‍යකර්ම වලට දායක වෙන්න ලැබෙවායි පතනවා !!

    ReplyDelete
  30. මගේ ප්‍රණාමය..ඉතාමත්ම අගය කල යුතු වැඩක්...සියල්ලන්ටම යහපතක්ම වේවා

    ReplyDelete
  31. බොහොම හොඳ වැඩක්...පුංචි දියණියගෙ හිතට සතුටක් එක්කරපු, අම්ම කෙනෙක්ගෙ බරක් යම් තරමකින් සැහැල්ලු කරපු මේ වගේ සත්ක්‍රියාවකට දායකවුන මාරයටත් ඒ සොයුරියටත් ගොඩක් පින්.
    මේ වගේ දේවල් ලිවීම හරහා අනික් අයවත් මෙවැනි කටයුතු වලට යොමුකිරීමක් සිද්ධ වෙන නිසා මාරයාට සත්තුවත්තක නම් ලිස්ට් එක නොලැබේවා කියලත් පතනවා..

    @***
    සුභ පැතුම්.....නිවාඩු දවසනෙ..ටිකක් වැඩිපුර නිදාගත්තා..

    ReplyDelete
  32. මේ වගේ දේවල් කරන්න මීටත් වඩා හැකියාවක් තියෙන අය නිකන් කරබාගෙන ඉන්න වෙලාවක අර සොයුරියත් ඒකට උදව් උපකාර කරමින් ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නු උඹටත් ගොඩක් පිං

    අපේ පවුලේ හැම දෙනාමත් මේ වගේ එකතුවෙලා හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසයේ මේ වගේම පින්කමක් කරනවා
    අපේ ගමේ දහම් පාසල් එන දරු දැරියන් හැමෝටම පොත් පත්, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි වගේ ඉගෙන ගන්න අවශ්‍ය උපකරණ ලබා දීල..
    ඒකෙන් ඒ ළමයි වගේම අපිත් ලොකු සතුටක් ලබනවා

    ReplyDelete
  33. පිං සිද්ද වෙනව මාරයියෙ. ඔන්න එහෙනං ඔයගොල්ලො කරගත්ත පින අපිත් අනුමෝදන් උනා.

    ReplyDelete
  34. බොහෝම පිං සිද්ධවෙන වැඩක් ගොඩක් සතුටුයි අයියේ මෙහෙම දෙයක් කරන්න ඉදිරිපත් වෙචිචි එක ගැන....මම මේ ලගදි තමයි දිළුම් අයියාගේ අවාසනාවන්ත ඉරණම ගැන දැනගත්තේ ඒ කාලේ බ්ලොග් ලියන කට්ටිය එකමුතුව වැඩ කරපු විදිය දැනගත්තාම මම දැක්කා ලොකු මනුස්සකමක්....දිළුම් අයියට අරමුදලක් රැස් කරා වගේ සුළු අරමුදලක් හරි ආරම්භ කලොත් මේ වගේ අසරණ මිනිසුන්ව නගා සිටුවන්න පුළුවන් වෙයි අවශ්‍ය උපකාරයක් හැකි උපරිමයෙන් කරන්නම් මේ විදියට දැනුම් දුන්නෝතින්....උදව් අවැසි අය වෙනුවෙන් බ්ලොග් ලියන අපි හැමදාම ඉන්නවා

    ReplyDelete
  35. සාධු , සාධු ... මමත් අනුමෝදන් උනා
    අලුත් වසර පටන් ගත්ත විදිය බොහොම අගෙයි.
    තවත් මෙවන් සද් කාර්යයන් බොහෝවක් ඔබ හරහා
    අසන්නට ලැබේවායි පතමි....

    ReplyDelete
  36. සතුටුයි සතුටුයි !

    ReplyDelete
  37. ආදර්ශමත් හොඳ වැඩක්... ඇයටත් ඔබටත් පිං...

    ReplyDelete
  38. බ්ලොග් අවකාශයේ මනුස්සකම පෙන්නපු හොඳම උදාහරණයක් මේ... මම හිතන්නේ මාරයා අයියගේ බ්ලොග් භාවිතය ගැන විවේචන තිබුණු උදවියටත් මේක හොඳ උත්තරයක් වේවි !

    මාරෙ අය්යේ... මේ වගේ පිං වැඩ තව තවත් කරන්නට උඹට ශක්තිය ලැබේවා... ආ.. අර පිටරට ඉන්න අක්කටත් පිං !!!

    ReplyDelete
  39. අගය කල යුතු දෙයක්. මගේ ප්‍රණාමය

    ReplyDelete
  40. ලැබු නව වසරෙ ඇසුන සිතට සතුට ඇතිවුන තොරතුරක් .....

    ReplyDelete
  41. Hey mate, that is a really nice work. We should do these stuff rather than wasting money for unnessory stuff. Hats off for your really good work. Sorry to write in English. I don't have Sinhala fonts.

    ReplyDelete
  42. මම මේ ඊයේ පෙරෙදා ඉදලයි මාර කතා කියවන්න ගත්තේ .
    ඔයා නම් මාරම මාරයි කියල තමයි කියන්න තියෙන්නේ .

    ReplyDelete