08 January 2012

මෝ‍ටර් සයිකල් චාරිකා අංක දෙක... යාපනේ...





මට මේ බ්ලොග් එකේ මොනවා ලිව්වත් මං එදිනෙදා ආව ගිය හැටි..කාපු බීපු හැටි එහෙම ලිව්වේ නැත්තං නිකං මොකක්ද වගේ...

මොකද මේක තමා මගේ සයිබර් දිනපොත... දිනපොතක් උනාම ඕන දෙයක් කුරුටු ගාතැකිනේ.. ඒත් අනුන්ගේ දිනපොතු කියවීම නරක පුරුද්දක් කියලයි කට්ටිය කතාවටනං කියන්නේ..ඒ උනාට මොකද ඔය කොයි කවුරුත් ටිකක් කැමතියි අනුන්ගේ දිනපොත් කියවන්න... ඒකත් හොරෙන් කියවන්න තමා වැඩිම මනාපය... ඒත් ඉතිං මගේ දිනපොත හැමෝටම විවෘතයි... දින‍පොත කියෝලා ඕනනං ඒකේම බලි කුරුටු ඇඳලා යන්නත් පහසුකං තියෙනවා...සයිබර් දින පොතක ඇති වෙනස ඒකයි...

ඉතිං දැන් ජීවත් වෙන හැටි කිව්වොත් වැඩට යනවා..රාජකාරිය කරන ගමන්ම මගේ කේන්දර වැඩ ටිකත් කරනවා.. ඇත්තටම මගේ බොසා හොඳ මනුස්සයා..උන්දෑ වෙලාවකට ඇවිත් බලනවා මං ලැප දිග ඇරගෙන වැඩ කරන දිහා.. ඒ විතරක් නෙවෙයි මේසේ පුරා දිග ඇරලා දාලා තියෙන පංචාංග පොත් කේන්දර සටහන් එහෙමත් හිනා වෙලා බලලා "කේන්දර බලනවා නේද..හා හා හොඳයි කරගෙන යන්නකෝ" කියලත් යනවා.. අන්න බොස්ලා... අදහන්ට වටින මිනිස්සු... ඒ විතරක් නෙවෙයි හැමදාම හවසට ගෙදර ඉඳන් කොල් එකක් දාලා මේක වැහුව වෙලාවල් ආගිය උදවිය ගැන එහෙමත් අහලා බලනවා... ඉතිං ඔයිට වඩා වෙන මොනවද..?

නිවාඩු දවසට ඉතිං රට වටේ කරක් ගහනවා..දකින්න නැතෑ කට්ටිය පහුගිය දවස්වල මං ගිය ගමන් බිමන් ටික...


ඉතිං මේ දවස්වල ආයෙම ප්ලෑනක් ගහගෙන යනවා තව දිහාවක යන්න..ඇත්තටම මේක මගේ ලොකු හීනයක්.. ඒ තමා යාපනේ යෑම.. ඒකත් බයික් එකේ... කලින් වතාවේ මං කතරගම ගියානේ බයික් එකේ..ඒත් මේ ගමන ඊට වඩා දුර වැඩියි...ඒ වගේම සුවිශේෂයි..මොකද මං කතරගම වෙන විදියට සෑහෙන වතාවක් ගිහිං තියෙන නිසා..බයික් වලින්..ත්‍රීවීල් වලින්..බස්..වෑන් වලින් ආදි වශයෙන්...

ඒත් යාපනේ මං තාම උපන්තේකට ගෙහුං නැහැ.. මේ හා හා පුරා කියලා යන්ට තනනවමයි..ඉතිං වැදග්තනේ නේද..?

ඒ හින්දා මේ ටිකේම ඒ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කර කර තමා ඉන්නේ...
මුලින්ම බයිසි මොටෝ එක... දන්නවනේ මගේ අස්ප පැටියා ඒ හැටි ලොකු එකක් නෙවෙයි... බජාජ් BYK-100 cc බයික් එකක්... ඒත් ඉතිං මට ඒ හොඳටම ඇති... පහුගිය ටිකේ ඒකේ ඉවර වේගන ආව රක්ෂණේ අළුත් කරලා..දුම් පරීක්ෂණේ කරලා..ලැයිසොමත් අළුත් කරලා... ෆුල් සර්විස් එකක් දුන්නා.. ඕකේ කාලයක් හිට තිබුන පොඩි පොඩි ලෙඩ ටික හැදුවා...
ඊට පස්සේ හයිකලා සයිඩ් එකෙන් අළුත් බක්කි කෑල්ලක්..බඩු මුට්ටු එහෙම දාගෙන යන්ට...
ඊටත් පස්සේ ගෙදර දී ගලෝලා සද්ද බද්ද එන තැන්වල ඇණ මුරිච්චි තද කරලා අනවස්සය දේවල් අහක් කරලා බයිසි මොටෝ එක ගානකට ගත්තා.. ඊයේ දවසින් ඒ රෙපෙයාර් අහවරයි..දැන් යාළුවා ගමනට සූජානං...


ඊ ළගට නැවතීම්.. ඒ ගැනත් හොයලා බලලා යාපනෙන් නවතින්න තැනක් හොයා ගත්තා..කතා බහ කරලා කාමරයකුත් බුක් කොලා...

ඊට පස්සේ සිතියම් සකස් කිරීම...ගූගල් දෙයියගේ පිහිටෙන් ඒවත් දැන් හරි...

ඊ ළග අවුල නිවාඩු කේස් එක... එතන තමා පාඩි කොස්සක් තියෙන්නේ..මොකද මං කලින්ම මගේ සගයා එක්ක කතා බස් කරලා දින දාගත්තා 11 රෑ ඔෆ් වෙලා 15 රෑ වැඩට එන්න... ඒත් දැන් පොඩි අවුලක්.. ඒ මනුස්සයගේ පවුල ටිකක් අසනීප ගානෙන් ඉන්නේ මේ දවස්වල... ශල්‍යකර්මයක් කරන්න නියමිත වෙලා..ඒකට දින වැටෙන්නේ කවදද කියලා නොදන්න හින්දා දැන් ටිකක් ගමනේ දින එහෙ මෙහෙ වෙයිද මංදා.. ඒ කොහොම උනත් දින දැන ගත්ත ගමන් ඔය යොදාගත්ත දිනේ බැරි උනොත් තව ටිකක් එහාට කරලා හරි මේ මාසේම ඔය ගමන යන්නනං ඕන...

ඉතිං මේ ගමන යෑම ගැන දැන ගත්ත වෙලේ ඉඳන් මට වචනයෙන් හරි දිරි දුන්න හැමෝටම බොහෝම ස්තූති වන්ත වන අතරේ... මෑතකදී යාපනේ චාරිකාවක් ගෙහුං ඇවිත් තියෙන අපේ ගිම්හානිත් මට සෑහෙන්න තොරතුරු ලබා දුන්නා ඇයටත් ඒ වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි...

ඒ වගේම බයික් එකේ යනවටත්..තනියම යනවටත් හෙනට බර බරේ දාන ගමන්... සිතියම් සකස් කිරීම..මුද්‍රණය කිරීම් නිතරක් නෙවෙයි හදිසියකදී මගේ තොරතුරු දැනගත හැකි විස්තර සහිත කාඩ් සකස් කිරීමේ සිට.. නවාතැන් සකස් කර දීමත්.. යා යුතු බැළිය යුතු තැන් වගේම ඒ ඒ තැන්වලට යන හැටි සොයා දෙමින් මටත් වඩා වෙහෙසක් ගත්ත කෙනාටත් ඉස්තූති නොකර කොහොමද..?

ඉතිං තවත් යාපනේ ගමන් ගැන මෑත කාලීන අත්දැකීම් ලැබුව අය ඉන්නවනං ඒ ඒ අය දන්න කියන විස්තර සොයා සපයලා දෙනවනං මගේ ගමන තව දුරටත් පහුසු වේවී කියලා මං හිතනවා... මොකද අනිත් තැන්වල වගේ නෙවෙයි යාපනේ ගැන දැන ගන්න තියෙන මාර්ග අඩුයි... ඒ හින්දා නිතරම කලින් ගිය අයගේ තොරතුරු හුගක් වටිනවා මේකෙදී... එහෙමනං එහෙම දන්න කියන අය ඒ ගැනත් මට ටිකක් විස්තර කරන්න..විශේෂයෙන්ම නැවතුන තැන්..ඒවෑ මිල ගණන් හා පහසුකම්... වගේම යා යුතු තැන්..නැරඹිය යුතු තැන් හා ඒවාට ළගාවිය හැකි පහසු මාර්ග.. එතනින් ගියාම වැදගත් වන සුළු සුළු කරුණු..එහිදී අනුගමනය කල යුතු දේවල් ගැන එහෙමත් දන්වනවනං ලොකුම උපකාරයක් මට කරන...

ඒ වගේම තමා මං ගිහිං ආවමත් නොවැරදීම ගමන ගැනත් එහි විස්තරත්..ආයේ යාපනේ යන කෙනෙකුට උපරිම විස්තරත් ඇතුලත් ලිපියක් හෝ කිහිපයක් ලියනවයි කියලත් මතක් කරන්න ඕන නැහැනේ.. එහෙමනං ඉතිං මගේ මේ දවස්වල ජීවිතේ ඔන්න ඔහොමයි... ගෙවෙන්නේ හරිය..?

16 comments:

  1. අනුරාධපුරේ ටවුන් එකටත් එනවද?නැත්තම් මිහින්තලෙන් හරවලා යනවද?

    ReplyDelete
  2. සුභ ගමන්,, මතක ඇතුව ෆොටෝ අරන් එන්න. අපි දන්න කෙනෙකුත් යාපනේ ගිහින් ෆොටෝ අරන් තිබුණා. ඒ යාපනේමද කියලා බලා ගන්නත් පුලුවන්නේ,

    ReplyDelete
  3. මිහින්තලෙන් හරවලා යන එක තමා පහසු.මම 4ර 5ස් වතාවක්ම යාපනේ ගියා,මම ගියපු හෑම පාරම වගේ නෑවතුනේනේ තිනකරන් කියලා හොටලෙක නල්ලුර් කෝවිල ගාව තියෙන්නේ,තෑන නම් හොදයි කෑමත් හොදයි,021-2226476(45Chetty street lane,nallur,jaffna).ඕක තමයි ස්පොට් එක,යාපනේ ඉදලා කයිට්ස් වලට යද්දි තියන්වා කශුරීනා කියලා බීච් එකක් මාරම ලස්සනයි,පුලුවන් නම් එහෙත් යන්න.නාගදිපේ යන පාරෙන් යද්දි මගින් හෑරිලා යන්න තියෙන්නේ,හමුදාවේ අය දිගටම ඉන්නවා එයාලගෙන් ඇහුවාම දෑනගන්න පුලුවන් යන විදිය,

    ReplyDelete
  4. ඇත්තටම හොඳ ගමන් කලාවක්..මටත් අදහසක් තියෙනව..ඒත් බයික් වල ගියෑම කේස් නේ..බයිසිකල් එකක් ගන්න හිතන් ඉන්නෙ...ගත්තම බයිසිකල් එකෙන් රට වටේ යන්න හිතන්න ඕනි..ඔය කිව්වට ඉතින් .බයිසිකල් එකක් ගැනීම මේ ආත්මෙට කෙරෙන වැඩක් නොවෙන්නත් පුලුවං..

    ReplyDelete
  5. දෑනට යාපනේ ඉන්න මගේ යාලුවෝ කීප පලක්ම ඉන්නන්වා අයියට ඒ අයව කොන්ටෑක් කරලා දෙන්නම්,ඇවිදින්නම යන නිසා යන්න ඔඈන තෑන් ගෑන අහලා දෑන ගන්න,අනිවා පුලුවන් නම් ඩෙල්ෆ් වලට යන්න ඒකත් නියම ගමන,මට නම් මුලින්ම යාපනයට ගිපු වෙලේ ඇතිවුනේ ඉන්දියාවට ගියා වගේ හෑගීමක්,අනිත් එක බොහොම පරිස්සමෙන් බයික් එකේ නින්ද යන්න ඉඩ තිටයනව,මොකද වංගු අඩු තනි කෙලින් පාර මොකෝ ආයි ටෑර්ෆික් කියලයෑ,පාරත් මග තාම හදනවා,මුහමලේ හරියෙන් යද්දි බලන්න ලස්සන තල් යායක්ම තියනව කරටි නෑති.

    ReplyDelete
  6. දැන් හයිවේ එක තියන නිසා ඉක්මනට යන්න පුළුවන් නේද.ආ..ඒත් බයික් වලට යන්න බැහැනෙ...අම්බලන්ගොඩ ඉඳන් කිලෝමීටර් 10ක් විතර....හික්කඩුවට පොඩ්ඩක් මෙහා....:P

    ප.ලි.
    සුභ ගමන්...පරිස්සමින් හොඳ සිහියෙන් ගිහින් වරෙන්..මගදි ඔය නරක වැඩ එහෙම කරලා පොලිසියට අහුවුනොත් අහවලාට කෝල් එකක් දෙන්න..

    ReplyDelete
  7. ඔයාට පොඩි ටැපලීමක් වෙලා. ඔය එල්ලගෙන තියෙන කූඩෙ, ඒක පයින් යද්දි අරන් යන එකක්. ඔය කූඩෙම ගහලත් තියෙන්නෙ පයින් කියලා :D

    පරිස්සමින් යන්ටකො. ගිගින් ඇන්ජෝයි කොරලා අපිටත් යන්න විස්තර එහෙම දැන ගෙන එන්ටකො, ඈ?!

    ReplyDelete
  8. එහෙනම් ගෙහින් ඇවිත් චාරිකාව ගැන අපිටත් කිවුවනම්.. මතක ඇතුව අයියා යාපනේ ඉන්න ෆොටො ගන්න..

    ReplyDelete
  9. සුබ ගමන් ලොකු අයියා..අලුත් වින්දනීය ක්‍රමවේදයක්..නරකම් නෑ

    ReplyDelete
  10. පරිස්සමෙන් ගිහින් එන්න අයියා..වැඩි වේගෙ නං හොඳ නෑ...බයිසි මොටෝ එකේ දුර ගමන් යද්දී...කිලෝමීටර් 50න් 50ටවත් බැහැල විවේක අරන් යන එක හොඳයි...දුර වැඩි හන්ද මහන්සිය ඇවිත් අවධානය අඩු වෙන්න පුළුවන්...යන්තං හරි තෙහෙට්ටු ගතිය එනව නං අනිවා නවත්තල විවේක ගන්න...යන්න හිතන් ඉන්න හින්ද ඔය ටික කිව්වෙ..නැත්තං මං නං පොඩ්ඩක්වත් කැමති නෑ කවුරුවත් ඔය දුර ගමන් බයික් වල යනවට..ගොඩක් අවදානම් කොච්චර පුරුදු උනත්...ආයෙත්..පරිස්සමෙන් ගිහින් එන්න

    ReplyDelete
  11. සුභ ගමන් මාරයියා

    ReplyDelete
  12. සුබ ගමන් මාරයෝ..
    පාරවල් වැරදු‍නොත් ගූගල්ට කෝල් කරහං.

    ReplyDelete
  13. ඔය උතුරු අර්ධද්වීපයේදි මොනාහරි ඕන උනොත් අමතපන්

    එච්චරයි

    ReplyDelete
  14. අයියා යන්න දඹුල්ල,කැකිරාව,මරදන්කඩවල,මිහින්තලේ,මැදවච්චිය,වව්නියාව,කිලිනොච්චිය,අලිමණ්කඩ හරහා යාපනය පරේ යන්න....අනුරාධපුරේ යන්න අවශ්‍යතාවයක් නෑ දඹුල්ල හරහා ආවොත්....යන්නම ඕනෙ නම් මරදන්කඩවලට පස්සේ තියෙන ගල්කුලම හංදියෙන් හැරිලා ඇතුලට යන්න ඕනේ.ඊටපස්සේ අනුරාධපුරේ යාපනය හන්දියෙන්(ටවුමේ කාගෙන් හරි ඇහුවොත් කියයි.)යාපනය පාරට දාලා රඹෑවට ගියාම ආපහු A9 පාරට වැටෙනවා.පාරවල් ගැන ගූගල් දෙයියා දන්නවනේ අපිට වඩා හොඳට....බයිසි මොටෝ එකේ පරිස්සමට යන්න....යුද්ධයේ නටබුන් එහෙමත් බලන්න පුළුවන් පරන්තන් වලින් ඇතුළට ගිහින්....පුළුවන් නම් ඒ චාන්ස් එකත් ගන්න.වෙලාව හරියට කළමණාකරණය කරගන්න...මොකද පාරේ අපි හිතනවට වඩා වෙලාව යනවා.මතක ඇතුව මුහුණු ආවරණයක් සහිත හෙල්මට් එකක් අරන් යන්න(සන්ග්ලාස් දෙකකුත් ගත්තට පාඩුවක් නෑ)...පාරවල් ඒ තරමට හොඳයි.වැස්ස කාලේ හින්දා දූවිලි නම් නැතුව ඇති.අව්ව තියන වෙලාවට සඟක් තියෙන එක ශේප්....අලිමංකඩ ඉඳලා යාපනයට යන කම් පාර දෙපැත්තේ සෙනග අඩුයි.යුද්දේ හින්දා...පාරේ ලයිට් එහෙමත් නෑ මට මතක විදියට.ඒ හින්දා රෑට යන කොට පරිස්සමෙන්.කැමරාව ගෙනියන්න මතක ඇතුව.අර විස්තර දාලා ළඟ තියාගන්න හදපු කාඩ් එකට ලේ වර්ගයත් ඇතුළත් කරන්න...බයිසිකලේ යද්දී පරිස්සමෙන් යන්න...මොකද බස් කාරයෝ ඉගිලෙනවා ඔය පාරේ.තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න.

    ReplyDelete
  15. ටිකක් අවදානං සහගත ගමනක්.. අවුලක් නෑ... කල්පනාවෙන් ගොහිං එන්නයි තියෙන්නෙ.

    ReplyDelete