08 January 2012

ආප්ප දාන්න..හදන්න.. කන්න බැරිනං වෙන ඕන එකක්...

රයිටෝ මෙන්න ගෙනාවා අළුත්ම කේෂ් එක...

"උඩිනුත් ගින්දර..යටිනුත් ගින්දර මැදින් සවුන්දර.." අහලා ඇතිනේ ඔය තේරවිල්ල... ආන්න ඒ තේරවිල්ලේ කියවෙන්නේ අද අපි මේ කතා කරන්න යන දේ ගැන තමා...

ඉතිං මේ ආප්ප හැදිල්ල ගැනනේ මං කියන්න යන්නේ..සමහරු ආප්ප හදනකොට තව සමහරු ආප්ප පුච්චනවා..ඒ අතරේ ආප්ප දාන අයත් ඉන්නවා...ඒ අස්සෙම ආප්ප බාන අයත් ඉන්නවා..මං ඔය කිව්වේ ඔය ආප්ප හදන විදිය ගැන එක එක්කෙනා කියන විදිය... ඔකේ හරි එක මොකක්ද මංදා..ඒ හින්දා කැමති අය ආප්ප පුච්චන්න..කැමති අය ආප්ප දාන්න.. ඕන දෙයක් කලාට අපේ මොකෝ...

ආප්ප කිව්වමත් නානා ප්‍රකාර ආප්ප තියෙනවා නෙව...
අපි එදා ඉඳින් දන්න සුදු ආප්ප..
බිත්තර ආප්ප..
පැණි ආප්ප...
ඒ විතරක්ද දැන් දැන් අහන්ට ලැබෙනවා කිරි ආප්ප මාළු ආප්ප වගේ දේවළුත්..අනේ මංදා මංනං එව්වා නොදනී... සුදු ආප්පයක් පැණි ආප්පයක් බිත්තර ආප්පයක් වගේ දේවල්නං ටිකක් විතර දනී.. දන්න දේ එපෑ කියන්ට.. ආප්ප ගැන විශේෂඥ දැනුම ඇති උදවිය ඉන්නවනං කියන එකයි ඇත්තේ ඒ ඒ ආප්ප දාන හැටි කොහොමද කියලා... බවලත් උදවිය එහෙම ඔව්වා දන්නවා නැතෑ හරි හරියට...

ඒ වගේමයි ආප්ප කන එකෙත් එක එක ඉට්ටැයිල් තියෙනවා... ලුණු මිරිස් එක්ක..හකුරු එක්ක.. කෙසෙල් එක්ක... මස් හෝ මාළු හොදි එක්ක... බටර් මාමයිට් වගේ තේ එක්ක ආදී වශයෙන්...

ඒත් මංනං ආසම උණු උණූ හොඳට වාටි කර වෙච්ච ආප්පයක් ඇඹුල් කෙසෙල් හරි හකුරු කෑල්ලක් එක්ක හරි කාලා හොඳට සීනි දාපු කෝපි කෝප්පයක් හරි ඉඟුරු යහමින් දාපූ ප්ලේන්ටියක් හරි ගහන්ට තමා... ආයේ ඉතිං රජ සැප...

දැන් ඉතිං අපි යමු මේක හදන හැටි ගැන කතා කරන්ට... ඉස්සර කාලේනං ආප්ප පුච්චනකොට උඩිනුත් ගිනි කබලක් තියනවා.. ඒ කියන්නේ ආප්ප හදන තාච්චියට උඩින් ගිනි අගුරු පුරවපු තවත් වළඳක් තියන එකටයි.. එතකොට ආ ආප්පේ යටින් වගේම උඩිනුත් හොදට රත් වෙලා මැද තියෙන සුදු පැහැති කොටස හොදින් තැම්බිලා උඩට ඉල්පිලා පදමට කරවෙලා එනවා.. මං පොඩි කාලේ අපේ ගෙදරත් ඔහොම ආප්ප හදන හැටි මට තාම මතකයි.. ඒත් කාලෙත් එක්ක ඒක දැන් කෙරෙන්නේ නැහැ.. ඒ උඩින් තියන ගිනි කබලේ කතාව හින්දා තමා අර මං මුලින් කියාපු උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදින් සවුන්දර කතාව ඇවිත් තියෙන්නේ...ඒත් ඉතිං ඒවා දැන් කතන්දර විතරයි...

හරි අපි බලමු ආප්ප හදන්න ඕන කරන දේවල්... මෙතනදී අපිට ක්‍රම දෙකක් තියෙනවා.. එකක් තමා ලේසියටත් පහසුවටත් කල හැකි හොඳම දේ..කඩෙන් ගත්තා ක්ෂණීක ආප්ප පිටි පැකට් එකක්... ඒක කියලා තියෙන විදියට හැදුවා...

එහෙම නැත්තං පරණ විදියට හාල් දියේ දාලා කොටලා සාම්ප්‍රදායික විදියට හැදියෑකි...

මාත් ඇත්තටම ඔය දෙකෙන් පළවෙනි එක තමා කරන්නට යෙදුනේ... ඒක පහසුයි.. ඒත් හොඳම දේ නොවන වගනං කිව යුතුයි.. ඒකට හේතුව තමා ඔය ආප්ප පිටි මිශ්‍රණ පැකට් වල අඩංගු ද්‍රව්‍ය කියන ලේබලය කියෙව්වාම දකින්න ලැබෙන දේ.. ඒවෑ පාන් පිටිත් අඩංගුයි..ඉතිං හිතා ගත්තෑකිනේ නියම ආප්පයක රසය සුළු වශයෙන් හෝ වෙනස් වෙනවා කියලා.. මොකද ආප්පනං හාල් පිටි විතරයි අඩංගු වෙන්න ඕන...හැබැයි ඉතිං පහසුයි ලාබයි... ග්‍රෑම් හාරසීයේ පිටි පැකට් එකක් රුපියල් 85ක් වගේ වෙන්නේ...

ඉතිං මං පිටි මිශ්‍රණය දෙවිදියෙන්ම හදා ගන්න විදිය කියන්නම්...

අංක 1... ක්ෂණීක ක්‍රමය...

හරිස්චන්ද්‍ර හෝ වෙනත් කුමන හෝ ඔබ කැමති වර්ගයක ආප්ප පිටි මිශ්‍රණ පිටි පැකට්ටුවක් ගෙන (400gms) එයට දිය කිරි කෝප්ප දෙකක් එකතු කොට තරමක් උකු මිශ්‍රණයක් සාදා ගන්න...
ඔය තියෙන්නේ එහෙම හදාගත්ත මිශ්‍රණය...

ඊට පස්සේ ඒ මිශ්‍රණය හොදින් වසා අවම ලෙස පැය කාලක් පමණ වේලාවක් තබන්න..ඒත් පුළුවන්නං පැය බාගෙකට වඩා ටිකක් තිබ්බනං හොඳට පිපෙනවා... ඊට පස්සේ එයට මිටි කිරි කෝප්ප එක හමාරක් පමණ එකතු කර තවත් පැය කාලක් හෝ විනාඩි 30ක් පමණ තැබුවාම ඔබේ ආප්ප පිටි මිශ්‍රණය සූදානම්.. ඒ වගේම නිතරම පොල් කිරි කෝප්ප බාගයක් විතර තියා ගන්න වෙනම..මොකද මේ මිශ්‍රණය ආප්ප උයන අතරේ උකු උනොත් නැවත දියාරු කර ගැනීම පිණි... ඔය පහළින් තියෙන්නේ දිය කරගත්ත පිටි මිශ්‍රණය...
ඔය පිටි මිශ්‍රණය හොඳට දියාරු උනාට කමක් නැහැ..ඒ වගේම කලටි පොල් නැතිව හොඳින් පැසුණු පොල් කිරි තියෙනවනං ඕකෙන් හදන ආප්ප බොහෝම රසවත් කියලත් කියන්න ඕන...

අංක 2... සාම්ප්‍රදායික ක්‍රමයට පිටි මිශ්‍රණය...

මේක කරගන්නේ මෙහෙමයි... හොඳින් සෝදා ගත් කැකුළු හාල් ග්‍රෑම් පන්සීයයක් පැය 4ත් 6ත් අතර කාලයක් දියේ දාලා තියලා ඒක පෙගුනම අරගෙන හොඳින් කොටලා හලා ගන්න ඕන... අපේ පැතිවලනං හාල් මෝල් තියෙන හින්දා ඕක කර ගතෑකි.. නැත්තං වංගෙඩියේ කෙටුවත් හරි..ඒත් ඔයාලාට පහසුයි බ්ලෙන්ඩරේ කොටා ගන්න එක.. එහෙම කොටනවනං හොඳටම දිය හිඳිලා හාල් තෙත නැතිවම යනකල් ඉඳලා බ්ලෙන්ඩර් කරන්න.. ඒ වගේම හොඳින් පෙනේරෙකින් හලලා සිනිදු වෙච්ච පිටි විතරක් ගන්න බලන්න...

හරි එහෙම හදාගත්ත හාල් පිටිවලට සීනි තේ හැන්දක්..ලුණු කුඩු තේ හැදි එක හමාරක්.. ආප්ප සෝඩා/ඊස් හෝ බේකින් පවුඩර් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් එකතු කරන්න... ආප්ප සෝඩානං ඉස්සර කඩවල තිබුනා..ඔය පිටි ප්‍රමාණයට එයින් තේ හැදි බාගයක් විතර ඇති මයෙ හිතේ... බේකින් පවුඩර්නං තම තමුන්ගේ දැනුමේ හැටියට තමා එකතු කරන්න ඕන ඊ්ස් එකතු කරනවනං ඉතාමත් ස්වල්පයක්.. ඒ කියන්නේ ගම්මිරිස් ඇටේක විතර ප්‍රමාණය එකතු කලාම ඇති.. ඔය පිපුම් කාරක කොව්වා උනත් වැඩි උනොත් ආප්පවල ඇඹුල් ගතිය වැඩි වෙනවා... එහෙම ඕන නැහැනේ...

ඊට පස්සේ ඔය පිටි මිශ්‍රණයට අපි එකතු කරන්න ඕන දිය කිරි කෝප්ප එක හමාරක් දෙකක් විතර... එහෙම එකතු කරලා ඒක තරමක් උකුවට අනාගන්න ඕන... ඔතනදී ඔහොම කිව්වට මං කියන්නං තව හොඳ ක්‍රමයක්... දිය කිරි ඕන නැහැ අනන්න හොඳට පැහිලා වේලෙන්න කිට්ටු පොල් ගෙඩියකින් ගත්ත පොල් වතුර... ආයේ ඕකට අර කිව්ව පිපුම් කාරක ඕනත් නැහැ... කෙලින්ම පොල් වතුරෙන් ඕක ඇනුවා වහලා තිබ්බා පැය හයක් විතර.. ඒ කියන්නේ උදේ ආප්ප කන්නන් ඕක හදන්න ඕන රෑට... පැය හයට වඩා තිබුනට අවුලක් නැහැ ඒ හින්දා රෑ හතට අටට හරි පිටි ටික උකුවට අනලා තියලා පහුවදා උදේට ආප්ප හැදියෑකි.. පොල් වතුරට ඕක හොඳට පිපිලා එනවා...

ඊට පස්සේ ආප්ප හදන්න සූදානම් වෙලා ඕකට හොඳින් මිරිකාගත් මිටි කිරි කෝප්ප දෙකක් එකතු කරන්න..දැන් පදමට එයි පිටි ටික... දැන් හරිනේ ඒ මිශ්‍රණෙත්.. ඕක මං කිව්වේ තනිකරම මගේ මතක පොත ඇසුරෙන්... ඉස්සර තාත්තා රෑට පිටි අනලා තියන හැටි මට තාම මතකයි...

හරි දැන් කොයි විදියට හරි අපිට ආප්ප පිටි මිශ්‍රණය ලෑස්තියි.. ඊ ළග දේ තමා තාච්චිය... මමනං ඕකට ගත්තේ නොන්ස්ටික් තාච්චියක්..ඒක හරිම පහසුයි.. ඔය නොන්ස්ටික් තාච්චි කේස් එක ගැන මට ඔත්තුව ලැබුනේ අපේ "අකුරු" බ්ලොග් එක ලියන බීටල් කොළුවගෙන්.. බීටලෙත් ඔය ආප්ප හැදිල්ලට හෙන දස්සයා..ඒ ගැනනං ඔය ගූගල් බස් පදින උදවිය සාක්කි දෙයි ඕන තරං...

ඒත් නොන්ස්ටික් නැති අයට සාමාන්‍ය තාච්චියකින් මේක කරගතෑකි..ඒත් ගෙදර අනිත් ඉවුම් පිහුංවලට ගන්න තාච්චිනං මේකට ලේසි නැහැ..ආප්ප හදන්න ඒකටම වෙන් කරපු තාච්චියක් ගන්න එක තමා වඩා හොද..ඒ වගේම එහෙම ගන්න තාච්චිය රත් කරලා බාගෙට කැපුව ලොකු ළුණු ගෙඩියක් අතුල්ලලා සකස් කරගත්තාම අඩිය අල්ලනවා අඩුයි.. ඒ වගේම වෙනම තෙල් පීරිසියක් වගේම ඒ තෙල් තාච්චියේ ආලේප කරන්න පොඩි රෙදි පොට්ටනියක් එහෙමත් ඕන...

ආප්පයක් දාන්න කලින් ඒ තෙල් පොට්ටනියෙන් තාච්චිය ලාවට පිස දැමීම කල යුතුයි. ඒ වගේම තවත් පොඩි වැඩක් තමා ආප්ප පිටි මිශ්‍රණයට බිත්තරයක් කඩලා දාලා හොඳින් කලවම් කරගත්තමත් ආප්ප අඩිය අල්ලන්නේ නැතිව සකස් කරගන්නත්..ආප්පවල රසය වැඩි කරගන්නත් පුළුවන්.. ඔන්න කරන්න පුළුවන් මම දන්න හැම දේම කිව්වා..ඔයිට අමතරව ඉතිං තාච්චියේ රස්නය පාලනය කර ගැනීම හුරුවෙන්නේ ආප්ප දෙකක් තුනක් දාපුවට පස්සේ තමා... ආප්පයක් අඩිය ඇල්ලුවනං ඒක හොඳින් අහක් කරලා තාච්චිය හොඳටම නිවෙන්න තියලා ළුණු සාත්තුව දීලා ආයේ රත් කරලා පටන් ගන්න.. ආප්ප දැමීමේ ගොඩ යෑම තියෙන්නේ තාච්චිය පදම් වීම මත තමා...නැත්තං දුක තමා..ඒත් නොන්ස්ටික්නං කිසිම ගේමක් නැත..තෙල් ගාන්න උවමනා නැත..බොහෝම සරලයි...

ඉතිං පිටි මිශ්‍රණයත් ලෑස්තිනං..තාච්චියත් පදමට රත් වෙලානං තව මොනවද කරන්න තියෙන්නේ හොඳ බොකුටු හැන්දකින් ගත්තා ආප්ප පිටි මිශ්‍රණය.. දැම්මා තාච්චියට කැ‍රකෙව්වා හොඳින් වටයක්... තිබ්බා ලිපේ..වැහුවා පියනෙන්තත්පර තිහකින් විතර ඇරලා බැළුවා..එතකොට තේරෙනවා තව කොච්චර තියෙන්න ඕනද කියලා.. ආප්ප කර කරලා කැමති අය හොඳට කරවෙනකල් ඉඳලා ආප්පේ ගැලෙව්වම හරි.. නැත්තං කර නොවී ගලවන එකයි ඇත්තේ..මංනං ඉතිං උපරිම කර වෙච්ච වාටි එක්ක ආප්ප කන්න තමා මනාප... ඒත් ඉතිං කඩවල ආප්ප එහෙම කර වෙන්න දෙන්නේ නැහැනේ... ඒ හින්දා මං කොහොමටත් කඩෙන් ආප්ප කනවා හරිම අඩුයි...



හරිනේ එහෙනම් ඔය විදියට වැඩේ කරගෙන යන්..හදලා බලලා අඩු පාඩු ගුණ දොස් කියන්ට බලන්ට...

අහ් අමතක වෙනවා තව පොඩ්ඩෙන්..ඇයි යකෙඩෝ බිත්තර ආප්ප...

ඒකත් අර වගේම ආප්ප මිශ්‍රණය දාලා කැරකෙව්වා..පියන වැහැව්වා තත්පර දහයකින් විතර ඇරලා බිත්තරේ කඩලා දාලා ඒකත් හොඳට වටේ කැරකෙව්වා ඉස්සා ගම්මිරිස් කුඩු..ලුනු කුඩු ටිකක්..හොඳින් වහලා තැම්බෙන්න ඇරියා එච්චරයි...



ඇත්තටම මේක මෙහෙම දැම්මට මං මේ පොටෝ ගත්තේ දවස් දෙහෙකදී..ඒ කියන්නේ පළවෙනි වතාවේ වැඩේ කරන්නයි පොටෝ ගහන්නයි දෙකක් අමාරු හින්දා පොටෝ ගැහිල්ල ටිකක් මඟ ඇරුනා..ඒත් ඊ ළග පාර වැඩේට වගේම පොටෝ ගැහිල්ලටත් මූලිකත්වය දීලා වැඩේ කලා.. ඒත් මේ ලිපිය සකස් කරන කො‍ට අර කලින් වතාවේ ගත්ත ඒවත් මේකට එකතු කර ගත්තා...

එහෙනං වැඩේ අහවරයි... ඔන්න ආප්පත් හරි...





38 comments:

  1. යා යා මාරයි....

    ReplyDelete
  2. මේවට මොනවත් නොකියත් බෑ..කියලත් බෑ..අනේ මන්දා..ඕන එකක්..

    ReplyDelete
  3. මම නං ආප්ප හදන්න ට්‍රයි නොකරමි. බිත්තර ආප්ප ඇරුණම කැමති ආප්පෙ වාටියට.:) ආප්ප කඩවල ආප්ප දාන එවුන් දැන් අලුත් විදියකට හදන්නෙ. තාච්චියට පිටි දාන්නෙ තාච්චිය ඇලකරල. ඊට පස්සෙ වටේට රවුමක් දෙකක් කැරකුවම හරි. හැබැයි ගෙදර හදන ආප්ප වල වගේ "මැද" නැහැ ඒවයි. පිටි ඉතිරි කරගන්න හොද ක්‍රමේ.

    ReplyDelete
  4. කඩේට ගියා ගත්තා කෑවා.. බිත්තර ආප්ප එකයි , ප්ලේන් ආප්ප පහයි.උම්බලකඩ සම්බෝල එකයි. අතුරුපසට පැණි ආප්ප එකයි !

    හදන දවසක් දන්නවනම් , ගියා මාරෙගෙ ගෙදරට බලෙන්ම කෑවා ආප්ප.. ආවා ! මොකද කියන්නෙ ලකියො ?

    ReplyDelete
  5. එළ..එළ....වෙනි අයියා හොඳ අදහස....හැබැයි ඉතින් වේලපහ කියල යන්න වෙයි...
    ප.ලි.
    මම ඉතින් හිටපු ගමන්නෙ කඩාපාත් වෙන්නෙ..මෙච්චර කාලෙකට මූ මගෙන් තේ එකක් බොමුද කියලාවත් අහල නෑ...:D

    ReplyDelete
  6. ඔය විදිහට වඩා මම කැමති අනිත් විදිහට හදපු බිතර ආප්ප වලට....

    ReplyDelete
  7. ආප්ප හදන්න දන්න නිසා. ලිපිය බැලුව කියල කියන්නම්කො. නොදන්න අයට දැනගන්න හොඳ පැහැදිලි කිරීමක්. ඒත් නොදන්න දෙයක් දැනගත්ත තාච්ච්යේ ලූණු ගෙඩියක් ගාන එක. අපි කරන්නෙ බිත්තරයක් බදිනවා මුලින්ම.

    ReplyDelete
  8. ඊයේ රෑත් කැවා. බොලාගේ ෆේස්බුකි ස්ටේටස් එක දැකලා :)

    ReplyDelete
  9. අපෝ නන්ස්ටික්ද....??? හියැක් හූ...

    ReplyDelete
  10. තාප්පයකට හේත්තු වෙලා ආප්පයක් කන්න ඇත්නම්. ෂා මාරයී.
    ආ අමතක වුනානේ ඒක පැණි ආප්ප නම් සුපර්.

    ReplyDelete
  11. පුහ්... ආප්ප... ඔන්න අපේ නෝනිත් දත කාලා පදම අල්ලගෙන... දැන් තුන්වේලම ආප්ප... හැක් !!! :P

    ReplyDelete
  12. මම මාරයියගෙ පෝස්ට් කියෙව්වට කොමෙන්ට්ස් දාන්නෙ නැහැනෙ....ඔන්න අද ඉඳන් ඒක කරන්න හිතුන..මොකද මන්ද..එතකොට අර ඉස්සර අපි කන්නෙ බිත්තරත් දාල පැණිත් දාල හදන ආප්ප..?ඒවට කියන්නෙත් බිත්තර ආප්පනෙ....

    ReplyDelete
  13. මිශ්‍රණයට සීනි හැන්දක් දාන්න. එතකොට නැවෙන්නෙ නැතිව කෙලින් තියෙනවා

    ReplyDelete
  14. ආ තව එකක් මාරි බිස්කට් එකක් දෙකක් විතර කුඩු කරලා දාන්න. වර්ණයත් රසයත් වෙනස් වෙනවා

    ReplyDelete
  15. ගියේ සතියේ කාපු ආප්ප මතක් උනා..

    ReplyDelete
  16. තාච්චියේ පදම ගන්න අපේ අම්ම නං තල තෙල් ටිකක් ගානවා. එතකොට ආප්ප ගැලවෙන එක සුවර්ලු.
    තව පැණි ආප්ප හදන්නේ මිටි කිරි දාල හදාගත්ත මිශ්‍රනේ ටිකක් පැත්තකින් තියල ඉතුරු ටිකට සීනි කර කරලා දානවා. එතකොට ඒක චොකලට් පාටයි. ඊට පස්සේ රත් වුන තාච්චියට ඉස්සෙල්ලම දාන්නෙ අර සුදු මිශ්‍රනෙන් ටිකක්. ඒක පොඩි වෙලාවක් ඉදෙන්න ඇරලා අර සිනි කර කරලා දාල චොකලට් පාටට හදාගත්ත මිශ්‍රනෙන් හැන්දක් දාල අර විදියටම උයාගන්නවා.

    ReplyDelete
  17. අපේ හාමිනේ නම් ආප්ප මිශ්‍රණය හදලා දවස් දෙකක් තියනවා පිපෙන්ට. ඉරිදාට ආප්ප කන්න ඕනනම් සිකුරාදා හවසට තමයි අනලා තියන්නේ...මේ දවස්වල අධික සීතල හින්දා පිපෙන්න කල් යනවා..

    ReplyDelete
  18. අපේ අම්මත් හෙට උදේ ආප්ප හදන්න..අද රෑ අනනව..එතකොට හොඳට පිපෙනවාලු..අනන්නේ පොල් වතුරෙන්..කොහොම උනත් ආප්ප රසයි..හැබැයි සමහර හෝටල් වල ඒවා නම් සතෙක්ටවත් කන්න බෑ.

    ReplyDelete
  19. හ්ම්ම් මම අදමයි දැනගත්තේ මේ උඩිනුත් ගින්දර සීන් එක අහලා තිබුනට කොහොම දකින්නද අප්පා වැඩේ නම් මරු මාරයියා....මම කවදහරි බැදපු දවසකට කෙල්ල ස්‍ට්‍රයික් කලොත් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ හි හි මේ පෝස්ට් තියෙනකන් කොල්ලා ගොඩ....

    ReplyDelete
  20. බවලත් උදවිය එහෙම ඔව්වා දන්නවා නැතෑ හරි හරියට... - hint 1kda maraya ayya! :D :D

    ReplyDelete
  21. මරු අප්පා... ආප්ප
    පිංතුර ටික දකිනකොට කටට කෙල උනනවා...

    ReplyDelete
  22. මම නම් ආප්ප කන්න කැමති උම්බලකඩ එහෙම දාල හදාපු සැර ලුණු මිරිසක් එක්කයි එහම් කාල කට පිච්චෙන සයිස් ඉඟුරු තේ එකක් හකුරු කෑල්ලක් එක්ක බොනකොට මොන සොමිද අප්පා ?

    ReplyDelete
  23. නන්ස්ටික් භාජන පාවිච්චියේදී ලෝහ වලින් තැනූ හැඳි භාවිතය සුදුසු නොවේ. මාරයනං මොකෙං ගැලෙව්වද දන්නෑ..

    කොහොම උනත් අර බිත්තර ආප්පෙනං මරු.
    දැන් ඉතිං පැණි ආප්ප හදන හැටිත් දාපං.

    ReplyDelete
  24. ආප්ප චිකන් හොදි එක්ක මරු

    ReplyDelete
  25. අපෝ නන්ස්ටික්ද ?

    ඕවා අඩුකුලේ ආප්ප.................

    ReplyDelete
  26. කිරි ආප්ප මගේ ප්‍රියතම... හදන හැටි නොදනී... මලේ පැත්තෙ මිනිස්සු හදනවා...

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. අපි නොදන්න ආප්ප [ඔබී ආප්ප එක්ස්පර්ට්]

    ලකී කිව්වත් වගේ දෙපාරක් ගියා ලංකාවට ආපු වෙලාවෙ, සොරි තුන් පාරක්, තේ එකක් වත් දුන්නෙ නෑ තමා.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. ම් ම්... රසයි රසයි.....

    ReplyDelete
  31. අපිත් හදනවා . මෙහෙ මට හම්බ වුනා හාල් ජාතියක් අපේ කැකුළු වගේ . මන් නම් කරන්නේ තෙත පිටින්ම ක්‍රීම් එකක් එන විදියට බ්ලෙන්ඩර් එකේ අඹරනවා යිස්ට් පොඩ්ඩක් එක්ක . සිනි ටිකක් ලුණු ටිකක් එකතු කරන්නත් ඕනේ . පැය කාලෙන් පොල් කිරි දාල විනාඩි පහක් තියල ආප්ප හදන්න හැකි . කඩේ තියෙන බැදපු නැති හාල් පිටි වුනත් හොඳයි . ඉන්දියන් අය හදනවා [ අප්පම් ] පොලුයි හාලුයි සේරම එකට අඹරලා . මමත් හදා බැලුවා . පොඩ්ඩක් කෑලි හැපෙනවා..ඒත් වරදක් නැහැ . ලේසියි .

    තාච්චියේ ලුණු අතුල්ලන එක නම් අදයි දැන ගත්තේ . අපේ අම්ම නම් ඔය ෂෝර්ට් කට් වලට අකමැතියි . ඉස්සර කෙසෙල් කැනක් ඉදුනම අපේ දිහා ආප්ප හදනවමයි . ලොකු ප්‍රොජෙක්ට් එකක් . වංගෙඩියේ පිටි කොටා ගෙන තමයි හැදුවේ .

    ReplyDelete
  32. මරු මරු මමත් දන්නවා හදන්න ආප්ප...

    ReplyDelete
  33. කෝ උඹ ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාල නෑනෙ බොල...

    ReplyDelete
  34. බොහොම ඉතුති කරනවා මේ වැඩේ ගොඩක් වටිනවා පි දෙයක ඉගෙන ගතට ගොඩක් පින් ඔන්න

    ReplyDelete