05 February 2012

මාරයාගේ ඩෙල්ෆ් ගමන...බයිස්මොටෝවෙන් යාපනයට...

ලියන්න කියල හිතං හිටියට දවසින් දවස කල් ගියා..ඒත් මේවා අමතක වෙලා යන්න ඉස්සර ලියලා ඉවර කරන එක හොඳයි කියලා හිතුන හින්දා කොච්චර කම්මැලි උනත් ඔන්න ලියන්න හිතුවා...

මම 12 වැනිදා උදේ නිට්ටඹුවෙන් පිටත් වෙලා එදා රාත්‍රියේ යාපනයට ඇවිත් ලැගුම් අරං..පහුවදා උදේම ඩෙල්ෆ් යන්න ගිහින් ඒක වැරදිලා ආපහු ඇවිත් කඳුරුගොඩ විහාරය..කීරමලේ..නිලාවර ලිඳ..පේදුරු තුඩුව..යාපනය පැරණී දුම්රියපල ආදී තැන්වල ඇවිදලා අවසානෙදී රියෝ එකෙන් අයිස්ක්‍රීම් කාලා ගෙහුං වැටිලා නිදාගත්තා නෙව...

පහුවදානං ඕන්න පාන්දර පැයින්ම අවදි වෙලා දඩි බිඩි ගාලා ලක ලෑස්ති වෙලා දිව්වා ඩෙල්ෆ් යන්න කියලා..දැන් ඒ හැටි බයක් තිබුනේ නැහැ මොකද කලින් දවසෙත් ජැටිය දක්වා ගෙහුං ඇවිත් පාර හොඳට දන්න හින්දත්..හරියටම බෝට්ටුව පිටත් වෙන වෙලාව දැනං උන්නු හින්දත්..ඉතිං උදේ වේල යාපනයේ කඩයකින්ම සප්පායං වෙලා..දවාලට එහෙ ගෙහුං ගිලින්න කියලා පානුයි පොල් සම්බෝලයි ටිකක් එතනින්ම පාර්සල් කරව ගත්තා... ඇත්තටම මේ ලෝකේ විදියකට සිංහල බැරි උනත් පුදුම ලෙන්ගතු වයස අවුරුදු හැටකට විතර ආසන්න වෙච්ච මනුස්සයෙක් තමා ඒ හැම දේම හොයලා බලලා කරලා දුන්නේ... ඔහුට ‍සිංහල හෝ..මට දෙමළ හෝ නුපුළුවන් වීම ලොකු අවාසනාවක්.. නැත්තං ඒ ලෙන්ගතු කමත් එක්ක හුගක් දේවල් කතා බස් කරන්න තිබුනා..සිංහල බැරිව උනත් උන්දෑ මං කොහෙන් කඩං පාත් වෙච්ච එකෙක්ද කියලා ඇහැවුවා..පුරුද්දට ඉතිං මට කියවෙන්නේ කොහේ ගියත් "ගම්පහ" කියලනේ.. එහෙම කිව්වම කට පුරා හිනා වෙලා තව මොන මොනවද අහන්න ගත්තත් කොහේද ඉතිං මට තේරෙන්නේ.. කොහොම හරි පාන් ටිකත් වතුර බෝතලේකුත් එල්ලගෙන ඔන්න ඉතිං දැන් ජැටියට යන්න පිටත් උනා...

පෙර දින වගේම අදත් බොහොම සුන්දර කිලෝමීටර විසි ගණනක් ගෙවාගෙන පෙරදා පැමිණ ආපසු හැරී ගිය ජැටිය වෙත ආවත් බයිසිකලයත් අරං ඩෙල්ෆ් යෑමේ මගේ සිහිනය බොඳ උනේ බයිසිකල් ගෙනියන ‍බෝට්ටුවක් එදින එහි නොතිබීම හේතුවෙනුයි... ඉතිං බයික් එක ජැටියේ මෙහා තියෙන වාහන නැවතුම් පලෙන් තියලා හෙල්මට් එකත් එතන කඩයකට බාර දීලා මං මගේ ගමන් මල්ලයි කෑම ටිකයි අරං ගිහින් බෝට්ටුවට නැගෙන්න සූදානම් උනා...

ජැටිය.. බොහෝම කලබලකාරී පරිසරයක් තියෙන තැනක් ඒ වෙලාවට.. උදේ පාන්දර ඉඳන්ම එතන සෙනග පිරිලා ඉන්නේ නයිනතිව් දූපතට යන බෝට්ටු සේවය හරහා එහි යන්න..නයිනතිව් කියන්නේ අපි දන්නා නාගදීපය කියන දූපතම තමා.. ඒක ඒ හැටි ඈතක් නැහැ මේ ජැටියේ ඉඳන්... බොහෝම ලග ලග පේන තැනක්.. බෝට්ටුවකින් විනාඩි දහයක පහලවක ගමනක් පමණයි.

ඒත් මගේ ගමන යෙදුනේ නාගදීපයට නෙවෙයි නෙව..ඩෙල්ෆ් වලටනේ..

නාගදීපේ යන්නනං පැය කාලෙන් කාලෙට වගෙත් බෝට්ටු තියෙනවා උනාට ඩෙල්ෆ්වලට උදේ නවයට තියෙන බෝට්ටුව වැරදුනොත් ආයේ තියෙන්නේ දවල් එකොලහමාරට පමණ බෝට්ටුවක් පමණයි... ඒ හින්දා මං බොහෝම සිරුමාරුවට ඩෙල්ෆ්වලට යන බෝට්ටුවට ගොඩ වෙන්න තියෙන පෝලිමට එකතු උනා...

නාගදීපේ යන්න තරමට පොරකෑමක් නැති උනත් ඩෙල්ෆ්වලටත් යන්න සෑහෙන පිරිසක් හිටියා.. ඒ සංචාරකයින්ම නෙවෙයි..වැඩි පිරිස එම දූපතේ ජීවත් වන උදවිය... ඒ අතරේ විදේශිකයින් තිදෙනෙකුත්.. දේශීය සංචාරකයින් කිහිපදෙනෙකුත් හිටියා..වයසක ආච්චි අම්මලා දෙන්නෙකුත් එම පිරිස අතර සිටීම බොහෝම වැදගත් කාරණයක්..උන්දලත් හැරමිටි ගහගෙන තමන්ගේ පවුල්වල උදවියත් එක්ක මේ බෝට්ටු ගමනට එකතු වෙලා තිබුනා..ඊට අමතරව නිවාඩු අවසන් වූ නාවික හමුදා සෙබළුන් හා පොලිස් නිලධාරීන්...

කොහොම හරි සීයයකට ආසන්න පිරිසක් බෝට්ටුවට එකතු උනාට පසුව හරියටම උදෑසන නවයට බෝට්ටුව ජැටියෙන් පිටත් උනා... මේ බෝට්ටුව 120ක පමණ පිරිසකට යා හැකි තරමේ එකක්..ඒත් කලින් දවසේ නම් එයට 135ක් පමණ පිරිසක් ගොඩ කර යැවූ වග එහි සිටියකු කියා සිටියා... මේ දිනවල උදෑසනට මුහුද එතරම්ම රළු නොවන හෙයින් එසේ වැඩි පිරිසක් යැවීම ගැටළුවක් නොවුනත් රළු වේලාවට එය අනතුරු දායක බවත් දැන ගන්නට ලැබුනා.. ඇත්තටම උදේ මුහුද බොහෝම නිශ්චලයි...බෝට්ටුව සීරු මාරුවට ඉදිරියට ඇදෙනවා... නිකමටවත් මුහුදේ රළු කමක් ගැන ඔය වෙලේනං හිතාගන්නවත් බැරි උනත් හවස ආපසු එනකොට තමා තේරුනේ ඒකේ රඟ...

නාගදීපේ යන නඩ වලට ජීවිත ආරක්ෂක කබා පළඳවා හැර බෝට්ටුවට ගොඩ නොකලත් ඩෙල්ෆ් බෝට්ටුවේ එහෙම නැහැ..එහි මගීන් නිදහසේ යන ආකාරයකි තිබුනේ..ඒත් ඕන උනොත් ගන්න බෝට්ටුව ඇතුලේ ආසන තිබෙන කාමරවල ජීවිතආරක්ෂක කබා ඔණ තරම් තිබෙනවා..කැමතිනං ඒකක් දාගෙන ගියත් අවුලක් නැහැ... සාමාන්‍යයෙන් පිහිණීම පිළීබඳව මට ගැටළුවක් නැති හින්දා කොහොමටවත් ඕකක් දාගෙන යන්න උවමනාවක් ඇති උනේ නැහැ.. ටික වෙලාවක් පහත මාලයේ ආසනයක වාඩි වී සිටියත් විනාඩි පහක් පමණ යන විට මට ඒක ඇති උනා...ඉතිං ඔන්න නැග්ගා උඩ තට්ටුවට... හප්පා එතනනේ නියම ගමන...
මුහුදු හුළං වැදි වැදි.. හතර වටේම ඇති මහ මුහුද දිහා බලාගෙන යන ගමන හරිම සුන්දරයි... බෝට්ටුව පිටුපසින් අප පිටත්ව ආ ජැටිය සහිත භූමියත් දකුණු පසින් නයිනතිව් දූපතත් ඉදිරියේ ඈතින් යාන්තමට වගේ පෙනෙන ඩෙල්ෆ් දූපතත් බලමින් යන ගමන වගේම බෝට්ටුවේ ඉන්නා අයගේ ක්‍රියාකාරකම්.. ආදියත් බලාගෙන යන ගමන කිසි සේත්ම අමතක වන ගමනක් නම් වෙන්නේ නැහැ...

බෝට්ටුවේ ඉදිරිපස තට්ටුව මත දූපතට ගෙනයන ආහාර ද්‍රව්‍ය ගොඩ ගහලා.. අල..ළුණු..පලාවර්ග..පොල්...එළවළු..එහෙම...
ඔය පේනවනේ..ඔන්න එහොම කෑම බීම ආදියත් පුරවගෙන..හීනියට හුළං වැදි වැදි අපේ යාත්‍රාව ඩෙල්ෆ් බලා ගියා..

ඩෙල්ෆ්වල ජැටියෙන් බැස්සට පස්සේ දූපත ඇතුලට මීටර්විස්සක් තිහක් යනකොටම දකුණු අත පැත්තේ නාවික හමුදා කඳවුර..ඒ හරියේ හිටිය නාවික සෙබලෙකුගෙන් තොරතුරු ඇහුවාම තේරුනේ මේක ඇතුලේ පයින් ඇවිදින්න දවසකින් බැරි විත්තිය..මං මුලින් හිතං ගියේ කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙන්නේ කියලා දූපත වටේම යන්න..ඒත් එහෙදී කිව්ව විදියට කිලෝමීටර් හතලිහකට ආසන්න දුරක් තියෙනවා හරියට ගියොත්.. දූපතටම තියෙන්නේ බස් දෙකයි..ඒකත් අපිට ඒන විදියට අල්ලගන්න නැති හින්දා බස් වලින් ගිහින් බලන ගමන පහසු නැහැ..එතකොට තියෙන්නේ එකම විසඳුමයි.. ඒ තමා ජැටිය අසල නවතා තිබෙන පුංචි බට්ටා ලොරි දෙක....ඒවායේ පිටි පස්සේ ආසන සකස් කරලා වටේට ආවරනයක් ගහලා වට පිට බලං යන්න පුළුවන් ආකාරයට තමා හදලා තියෙන්නේ...

මුළු දූපතේම ඇවිද්දවන්න එක බට්ටා ලොරියකට 2500 ක්විතර ඕනයි කියලා කිව්වත් 2000කට කතා කර ගන්න පුළුවන්.. ඒ වගේම අපහසුවකින් තොරව අට දෙනෙකුට පමණ එහි නැගී යා හැකි බැවින් පිරිසක් සමග කතා බස් කරලා හවුලේ යන්න දා ගත්තාම ඒ හැටි ගණනක් නොවෙන විදියට ඒකත් සකස් කරගන්න අපහසු වන්නේ නැහැ..ටිකක් හිර වෙලා වගේනං දහයක් උනත් ගියෑකි..

ඉතිං ලොරියට ගොඩ වෙලා මුළු දූපතේම කරක් ගැහැවුවාම මට බලා ගන්න පුළුවන් උන තැන් තමා ඔය පහතින් දාලා තියෙන්නේ...
ඩෙල්‍ෆ් තැපැල් කාර්යාලය...පොලිසිය...ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලකුත් තියේ...මාර්ග පද්ධතිය නරකම නැහැ..ඒත් වලවළුත් ඇත..බලන්න තාප්පය දිහා..ඩෙල්ෆ්වල ඇති සුවිශේෂම අංගයක්..තනිකරම කොරල් වලින් නිර්මිත තාප්ප..බදාම මොනවත්ම නැහැ..කොරල් කැබලි එක මත එක තබා සකස් කල අපූරු නිර්මාණ...ඉපැරණි චෛත්‍යයක නටඹුන්...ආදම්ගේ පාදයයි හැදින්වෙන පොළවට කිඳා බැස්ස පාද සලකුණ...අනිත් පාදෙනං ඉතිං මගේ තමා..ඕං...වතුර මැද්දෙත් ළීඳක්..මං හිතන්නේ දැන් මුහුදු මට්ටම උඩට ඇවිත් වෙන්න ඕන...ඩෙල්ෆ්වල තියෙන්නේ බොහෝමයක් දුරට ඕලන්ද යුගයට අයත් නිර්මාණ හා නටඹුන් තමා..මේ එයින් වැදගත්ම තැන..ඕලන්ද කොටුව...මේ එතකොට ඕලන්ද යුගයට අයත් පැරණි අශ්ව ගාලක්..අශ්වයින් විශාල සංඛ්‍යාවක් මෙහි හිටියයි කියලා හිතන්න පුළුවන්..ඒ තරමටම මේක හුගාක් දිගයි...මට බලන්න පුළුවන් හරිය මීටර් 200ක් විතර තිබුනට මං හිතන්නේ ඒක එයිටත් වඩා දිගට තිබිලා තියෙනවා..මේ අශ්ව ගාලේ ඇති වැදගත්ම දේ තමා මං ඊ ළගට පෙන්නන්නේ..ඩෙල්ෆ්වල සුන්දරත්වය හා ආකර්ශණය වැඩි කරවන දූපතේ වසන පෝනියන්..එහෙමත් නැත්තං වල් අස්වයින් ..මෙතන ඉන්නේ ටිකක් උනාට දූපතේ සුවිශාල තණ බිමක මුං තැනින් තැන රංචු රංචු ඉන්නවා..බොහෝම ලස්සන දසුනක්..ගිහින්ම බලන්න ඕන කියලා මං හැමදාම කියන්නේ මෙහෙම ඒවා නිකං මෙහෙම බලලා වැඩක් නැති හින්දයි...

ඕලන්ද යුගේදී අතැරලා දාලා ගිය අශ්වයින් මෙහිදී ඉබේ බෝවෙලා කාලයත් සමගම උන්ගේ හීලෑ ගති නැති වෙලා දැන් ඔහේ නිදැල්ලේ හැසිරෙන සත්ව කොට්ඨාශයක් විදියට මේ වල් අස්ව රෑන දූපත පුරා සරනවා...

මෙතනදී මං කියන්න ඕන තව එකක් තියෙනවා..ඒ තමා මට එදා දූපතේ බලන්න බැරිව ගිය තැනක් ගැන..ඇත්තටම එදා ඒ කොටසට යන්න හැකියාවක් තිබුනේ නැහැ..ඒ කියන්නේ ඕලන්ද ජාතිකයින් පණිවිඩ හුවමාරුව පිණීස ඇති කල පරවියන් සහිත කූඩුව නැරඹිම තමා මට අතෑරුනේ.. කිව්ව හැටියට අදටත් පරවියන් සෑහෙන ප්‍රමාණයක් එහි සිටිනවා.. සිය ඕලන්ද ජාතික ස්වාමියන් දූපත හැරදා ගිය පසුව අස්වයින් මෙන්ම පරවියන්ද නිදැල්ලේ නිවහල්ව අදටත් දූපතේ ජීවත් වෙනවා...
වැඩෙන ගල නොහොත් තවමත් උස යමින් පවතින බැව් කියවෙන දූපතේ ඇති සුවිශේෂ කොරල් ගලක්.. ඒ ඉදිරිපිට පහන් දල්වා තිබෙන ආකාරයෙන් පෙනෙන්නේ දූපතේ කවුරුන් හෝ එම ගලත් වන්දනා මාන කරනා බවයි...
ලංකාවට ආවේණීක ගමක් නොවන අලි ගහ..මට මතක හැටියටනං මේකට "ඩැන්ඩිබ්" වගේ නමකුත් තියෙන්න ඕන..ඒත් හරියටම මතක නැහැ..ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං විස්තරයක් කියන්න..මං ඕක ගැන දන්නේ අර ජැක්සන් ඇන්තනී උන්නැහේ පුත්තලමේ හරි කල්පිටියේ හරි ගිය වෙලාවක පෙන්වපු දර්ශන හරහා පමණයි... මේකත් විශාල ගහක්..ඇතුලත බෙනයේ හත් අට දෙනෙකුට හිටියැකි කරදරයක් නැතිව...

ඉතිං ඔය ටික තමා බලන්න උනේ...

ඩෙල්ෆ් ගමනේ විස්තර කියනවට වඩා හොඳම දේ තමා පුළුවන්නං එක පාරක් ගිහිං බලන්න කියන එක... විශේෂයෙන්ම යාප‍නයේ යනවනං එක දිනයක් හරි වෙන් කර ගන්න මේ සඳහා..යාපනයේ ගමනේ සුවිශේෂිම මතක සටහන බවට මෙම ගමන පත් වේවී..ආයේ ඒකේ දෙකක් නැහැ... මුළු දූපතේම සෑම නිර්මාණයකටම අරගෙන තියෙන්නේ කොරල්..මේ බලන්න...ඔය කොටුව බැඳලා තියෙන්නේ කොරල් ගල් වලින්..බදාමය ලෙස යොදාගෙන තිබෙන දේත් මට පේන විදියට කොරල් හෝ හුණූ ගල් කුඩු කර හදා ගත් මිශ්‍රණයක් වෙන්න ඕන...ඔය කණුව දිහා බැළුවත් පේනවා ඇති..ඔය අතීතයනේ.ඒ විතරක් නෙවෙයි වර්තමාන ගොඩනැගිලිත් කොරල්වලින්ම නිර්මාණය උන ඒවා වැඩි හරියක් ඇති බව තමයි පේන්න තියෙන්නේ..ඇත්තටම ඩෙල්ෆ්වල කළු ගල් නැහැ..ඉතිං තියෙන එකම දේ වෙච්ච කොරල් කැබලි ඔවුන් විසින් හරි අපූරුවට යොදාගන්නවා තමුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩ නගා ගන්න...

අන්තිමට ඇවිත් ගෙනිච්ච පාන් එහෙමත් කාලා ජැටියට ආසන්නයේ වෙරලේ හෙවනක ඉටි කොලයක් එළාගෙන ටිකක් නිදා ගත්ත මම ආපහු ඇවිත් හවස තුනට පමණ තිබුණ බෝට්ටුවෙන් ආපහු එන්න පිටත් උනා...

විශේෂයෙන් කියන්න ඕන ඩෙල්ෆ් යන්න හිතන අයට... එහි භාෂා ප්‍රශ්නය තදින්ම තියෙනවා.. ඒ කියන්නේ ඩෙල්ෆ්වල අයට සිංහල අකුරක්වත් බැහැ... ඉංග්‍රීසිත් පුළුවන් අය හොයාගන්න නැහැ... ඔවුන් දන්නේ දෙමළ පමණයි... ඒ හින්දා කඩේකින් බඩුවක් ගන්න ගියත් ලේසි නැහැ...මිනිස්සුනං එහෙත් බොහෝම හොඳයි..ඒත් භාෂා ප්‍රශ්නේ නිසා ගැටළු මතු වෙනවා...හස්ත සංඥාවලින් ඇර ඔවුන් කියන මෙලෝ දෙයක් අපටවත්..අප කියනා මෙලෝ දෙයක් ඔවුනටවත් තේරුම් ගන්න පහසු නැහැ...

ඒ වගේමයි කෑම බීම ආදිය..මං හිතන්නේ ඩෙල්ෆ් යන්න කලින් දවල් කෑමට මොනවා හරි අරංම යනවනං හොඳයි..එහෙ ගිහිං කෑම හොයන්න යන එක කරදරයක්.. බොහෝම පොඩි කඩ පේලියක් තිබුනත්..පාන් ගෙඩියක් වඩයක් වැනි දේකට එහා උණු උණුවේ පිසූ ආහාර වැනි දේ හොයා ගන්න ටිකක් කරදරයි... ඒ ගැනත් සැලකිලිමත් වෙන්න..අනික දූපතේ ගිහින් ඉන්න පැය කිහිපයට කෑම කියන දේ ලොකු බාධකයක් වෙන්නේ නැහැ..

ඒ වගේමයි එහි නැවතීමේ පහසුකම් නැහැ..කාට හරි ඕනනං කතා කරලා එහි ඇති ගෙදරක නැවතිය හැකියි..එහෙම තැන් උනත් ඒ හැටි පිළීවෙලක් ඇති තැන් නොවන නිසා ඒ තීරණයත් ඒ හැටිම හොඳ එකක් නොවන බවයි බැළු බැල්මටනම් කියන්න තියෙන්නේ..ඒත් කට්ටක් කාලා වෙනමම අත්දැකීමක් ගන්න කැමති කෙනෙකුටනං කිසිම වරදක් නැහැ..

බෝට්ටු ගමන සම්පූර්ණයෙන්ම නොමිලේ වගත් කියන්න ඕන..ඩෙල්ෆ් දක්වා යාමටත් ඒමටත් මුදල් අය කරන්නේ නැහැ..සම්පූර්ණම නිදහස් ගමන් පහසුකම් ලබා දෙනවා.. ඒක හොඳ ආරංචියක් නේද..?

හැබැයි තව එකම එක දෙයක් කියන්න ඕන... යනකොට වගේ නෙවෙයි ආපසු ඒමේදීනං බෝට්ටු ගමන සෙල්ලං නැහැ... උදේ තිබුන නිසසල මුහුද වෙනුවට හවස් වෙනකොට තියෙන්නේ එහෙං පිටිංම වියරු වැටුන මුහුදක්..බෝට්ටුව දැන් පෙරලෙයි..දැන් පෙරලෙයි කියලා හිතන තරං බය හිතෙන විදියට ඉහල පහල යනවා..මමත් තව පොලිස් නිලධාරියෙකුත් හොඳින් අල්ලාගෙන බෝට්ටු තට්ටුව මත ගමන් කලා උනත් ඒකත් සෑහෙන බිය උපදවන ගමනක්.. ඇතුලත සිටින මගීන් හූ හඩ තියන තරමට බෝට්ටුව උඩ ගිහින් නැවතත් දියඹට පතිත වෙනවා..ඇතත්ටම ඒ ආපසු ආව පැය ඇතුලත මං හිතපු දේවල් හුගාක් තියෙනවා..එයින් එකක් තමා ඇයි මාළු මේ තරං ලාබ කියන එක... එක පැයක අවදානම මෙහෙමනං..මාස ගනන් මුහුදු යන අය මොන විදියට මැරි මැරි උපදිනවා ඇතිද..අනික මේ සාමාන්‍ය තත්වයක් යටතේ... සුළි කුණාටු වැනි තත්වයක් යටතේ කොයි තරංනං මුහුදු ගමන බියකරු වෙන්න හැකිය කියලා හිතන්නවත් බැරි තරං..

කොහොම හරි මට ආපසු ගමනේදී සෑහෙන දුරක් එනකල් පොටෝ එකක් ගහන්නවත් ෆෝන් එක එළීයට ගන්න විදියක් තිබුනේ නැහැ.. යන්තං හරි අත අතෑරුනොත් මුහුදට විසි වෙනවා..බෝට්ටුව ඉදිරිපසින් එන රළ පහර මාවත් නාවගෙන අනිත් පැත්තෙන් මුහුදට වැටෙනවා..ලුණු වතුරෙන් මමත් මා පිටුපස සිටි පොලිස් නිලධාරියාත් නැහැවිලා යනවා....ඔහු මේ සේරම අස්සේ මට ඔහුගේ උතුරෙ රාජකාරි දිවිය ගැනත් එහි පරිසරය හා මිනිසුන් ගැනත්..යුද්ධය හා බැදුනු කරුණූත් රැසක්ම කියනවා.. හරි අපූරු මනුස්සයෙක්...

කොහොමින් කොහොම හරි ගමනින් බාගයක්පමණ ගෙවලා ඩෙල්ෆ් දූපත අවට මුහුදෙන් ඈත් උනාට පසුව බෝට්ටුව යම් තරමකින් නිශ්චලව ඇදෙන්න උනා..එයින් පස්සේ තමා යන්තං සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්තේ..ඒ තරමට ඒ මුහුදු ගමන ඇත්තටම අමුතුම අත්දැකීමක් උනා... මීට පෙර තුන් හතර වතාවකදී මුහුදු ගිහින් තිබුනා උනත්..මේ ගමන මෙන් ඒ කිසිම වතාවක මුහුද බියකරු වෙලා තිබුනේ නැති නිසා..මගේ ජීවිතේ ආසම කරන අමතක නොවන මුහුදු ගමන හැටියට එය හැමදාමත් රැදේවි...

ඉතිං ඔන්න ඔහොම කාලයක් තිස්සේ හීන මව මව හිටිය මගේ ඩෙල්ෆ් දූපත් චාරිකාවත් නිමා වෙලා මං යාපනය ජැටියට පය ගැහැවුවා...

වැඩිදුරටත් ඡායාරූප බලන්න ඕන අයට මෙන්න තියෙනවා පාර..මෙතනින් ගිහින් චායාරූප 89ක් පමණ බලන්න හැකියාව ඔබට ලැබෙනවා...

58 comments:

  1. මේකනම් මාරම මාර චාරිකාවක්...උඹගෙ මාර චාරිකා වලින් මම කැමතිම එකක් මේක. අර මූනු පොතේ දාලා තියන පොටෝ ටිකේ වටිනාකමනම් කියලා නිම කරන්න බැහැ. අපේ රටේ මෙහෙම දේවල් තියනව කියල දන්නෙත් කීයෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ලකී... හුග දෙනෙක් දන්නෙත් නැහැ තමා.. ඒ වගේම හුගක් අය යන්න හිතන්නෙත් නැහැ..ඇත්තටම එකම ජැටියෙන් නැගදීපේ යන්න බෝට්ටුවලට පොරකන අතරේ මම කිසි කරදරයක් නැතිව තියෙන එකම බෝට්ටුවේ ඩෙල්ෆ් යනවා..මං හිතන්නේ යාපනේ චාරිකාවල යන අය දවසකට දහක් දෙදහක් නාගදීපේ යනවා..ඒත් ඩෙල්ෆ්වලට චාරිකාවේ යන අය විස්සක් තිහක්වත් නැහැ... අපරාදේ ඩෙල්ෆ් පෙනි පෙනී මේ අය නාගදීපේට විතරක් ගොඩවෙලා එන එක...

      Delete
  2. මචෝ මම හිතන්නේ අර ගහ බවෝබැබ් වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ හෝඩුවාවක්..මට මතකේ තිබුනේ අරෙහෙමනේ.. බලමු තව ඕක ගැන දන්න අය ඇති..ඔය බැ යන්නනං කොහේ හරි තිබුනා කියලා මතකයක් තියෙනවා... බොහෝම ස්තූතියි ඒ දැනුවත් කිරීමට...

      Delete
    2. බයොබැබ් ගස

      http://en.wikipedia.org/wiki/Adansonia

      Delete
  3. යන්න ඕනෙ.... යන්න ඕනේ.... මෙහෙම කියෙව්වටම බෑ. මාරෙ අයියට අර එද්දි හම්බවුන පොලිස් නිළධාරියා ගැන කියද්දි මටත් මතක් වුනේ මගෙත් ඔය වගේ දුෂ්කර පාළත් වල ඇවිදින්න ගිය අවස්ථාවල මුණගැහුන පොලිසියේ ඈයො ගොඩදෙනෙක් ළඟ මනුස්සකම තිබ්බා. ඒ මිනිස්සු හැමදාමත් දුක් කරදර එක්ක දුෂ්කර ජීවිත ගෙවන හින්දද මන්ද? අර ටවුංවල ඉන්න ඈයො ළඟ තියන ගෙම්බර් නෑ......

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත...ඒ මනුස්සයා දැන් පැන්ෂන් යන්න කිට්ටුයි..උතුරේ රාජකාරියටත් අවුරුදු බර ගානක් වෙනවා... කාස්ටක වෙලා ගිහින්... ඒත් පුදුම මනුස්සකමක් තියෙනවා ලග..හුගාක් විස්තර කිය කිය ආවේ..ඇත්තටම ගමනකදී එහෙම අයගෙන් තමා වටිනාම දේවල් අපට හම්බ වෙන්නේ.. ඒ මනුස්සයම තමා මට කිව්වේ ඔය දූපත් අතර දුර ගැන විස්තර..යාපනයේ ජැටියේඉදන් පැයක ගමන ඩෙල්ෆ්වලට..දුර කිලෝ මීටර් 12යි.. ඩෙල්ෆ්වල ඉඳන් පැයයි කච්චතිව් වලට..දුර කිලෝමීටර් 12යි..කච්ච තිවු ඉඳන් පැයේ ගමන..ඉන්දියාවට..දුරු කිලෝ මීටර් 12යි... ඒ කියන්නේ අපි ගිය වේගේට පැය තුනක් ගියානං කෙලින්ම ඉන්දියාවේ.. කිලෝමීටර් 36යි උපරිම දුර...

      Delete
  4. අනේ ඉතින් අපිත් ගියේ නාගදීපෙ තමයි. ඩෙල්ෆ් යන්න බැරි උනා. ඊලඟ වතාවෙ යන්න ඕන. බොට්‍ටුවේ ගියේනම් පණ ගැහි ගැහී. යනකොට වගේ නෙමේ එනකොට මූද හරිම සැරයි. ඒ මදිවට නියමිත ගානට වැඩිය පටවලා.

    ReplyDelete
    Replies
    1. ඔව් පොල් පටවන ගානට පටෝනවනං තමා..ඒත් කට්ටියටම ලයිෆ් ජැකට් අන්දනවා නේද..?

      Delete
  5. ඇත්තම කියනවානම් මමත් ටික දවසකින් මේ පැත්තේ කියවන එක පොඩ්ඩක් මග හැරිලා තිබුනේ එක එක දේවල් නිසා..

    මම මාරයාගේ හොරාවෙන් කියවපු හොදම හිතට දැනෙන අමුතුම හැගිමක් හිතට දැනුනු පොස්ට් එක මේක කියලා බය නැතුව කියයනවා..

    ෆොටෝ ටික බලන්න නම් යන්න ඔනා.. අනිවා මේ අවුරුද්දේ කොහොමහරි යාපනේ යන්නම හිතුනා දැන් නම්.. අපි නොදැකපු නොදන්න දේවල් නම් කොයි තරම්ද?

    ගොඩාක් ස්තුතියි අය්යේ මේවා ගැන කිවාට

    ReplyDelete
  6. ම්ම්ම් මේකත් මන් යන්න හිතාගෙන ඉන්න ගමනක්. බොහොම ස්තුතියි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. මලයා මේක යන්ට හිතං ඉන්නවා..මං මලයල ගිය බත්තලංගුණ්ඩු යන්ට බලං ඉන්නවා..

      Delete
  7. හොඳ විස්තරයක් මාරයෝ.. ස්තූතියි..

    අර ගහ ගැන ජැන්සන් ඇන්තනී හොඳ විස්තරයක් කරනවා මහා සන්චාරයේ... ඕකෙ නම බ්යෝ බැබ්, ලන්කාවේ අලි ගහ කියලත් කියනවලු.. Up side down tree කියලත් කියනවා කියලා ජැක්සන්ම තමයි කිව්වේ.. මොකද ඒ ගහ නිකන් පේන්නේ මුල් උඩට ඇවිත් කඳ යටට හිටුවලා තියනවා වගේ හින්දා..

    ඕවා අප්‍රිකාවෙත් තියනවාලු.. සලන්හන්තේදිත් ඔය ගහක් ගැන පෙන්නුවා මට මතකයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් යන්තං මතකයි ජැක්සන් ගොයියා ඔය ගහ ගැන විස්තර කරනවා..ඒත් මට ඔය නම හරියට මතක නැතිව හිටියේ...දැන් ඔය යාළුවෝ ටික මතක් කරලා දුන්නේ යස අපූරුවට...

      Delete
  8. අර ලකී කියල තියෙනව වගේ මේක තමයි උඹේ නියම චාරිකාව.
    කුෂ් කියල තියෙන ගහේ නමත් හරි.
    ඔය මාලු අල්ලන්න යන අය විඳින දුක ගැනනං කතා කරල වැඩක් නෑ.

    දැන් උඹ ඊගාව පාර බෝට්ටුවෙන් ඉන්දියාවෙ යන්නද හදන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ඊ ළග අරමුණ තියෙන්නේ බත්තලංගුණ්ඩුවට.. ඊට පස්සේ කච්චතිවු...

      Delete
  9. අර ගහ තමයි බඕබැබ් (baobab) අනේ මන්දා හරියට කියන්න බෑ..

    මෙන්න ලින්ක් එකක් ලිපියකට ඒ ගැන තියෙන.. හැබැයි කඩ්ඩෙන්..මන්නාරමේ තියෙන ගහ ගැනයි කියන්නෙ..

    ලොරියෙ මාරයියා විතරද ගියෙ..?
    බෝට්ටුව ගැස්සෙද්දි බ්ලොගිය මතක් වුනේ නැද්ද? මෙච්චර දුරක් ගෙවලා බලාපු දේවල් ගැනකියන්න ලැබෙයිදෝ කියලා හිතුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ..ඕක ගැස්සුනාට මං මොකට කලබල වෙනවද.. අවුලක් උනානං බෝට්ටුවට යට නොවී මුහුදට පැනලා පීනනව මිස.. පුළුවන්නං තව එකෙක්ගේ කෙහෙවල්ලෙනුත් ඇදගෙන...

      ලොරියේ හවුලට ගියේ මලයා...තව ඇවිදින්න යන කට්ටිය හිටිය නෙව...

      Delete
  10. මම නම් ඇත්තටම වැඩක්ම නෑ. යාපනේ ගිහින් නෑ කියලා කියමුකෝ. ඒත් බෝට්ටුවකත් ගිහින් නෑ කියලා කියන්න සිද්ධ වුනානේ. හැබැයි කෙසෙල් කොටන් බෝට්ටු වලනම් ගිහින් තියෙනවා.
    ඇත්තමයී ඉස්කෝලෙන් සාම්ප්‍රදායිකව යන නුවර නුවරඑළි , බදුළු බණ්ඩාරවෙළ තමයි ගිහින් තියෙන්නේ. අපේ තාත්තගේ මල්ලී කෙනෙක් ඉන්නවා මඩකලපුවේ. කෝ ඒත් ගිහින් නෑ. එයාලා ආවට අපිට යන්න වෙන්නේ නෑ. අක්කනම් ගිහින් තියෙනවා ලංකාවේ හැම තැනම. එයා ලොක්කිනේ. අත්තම්මා එක්ක යනවා. අපරාදේ මම බාලයා වුනේ.
    අයියගේ ෆොටෝ ටිකවත් බලලා හිත හදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටනං ඉතිං කඩදහි ඔරුවක උනත් යන්ට පුළුවන්නේ..

      Delete
  11. මාර සංචාරේ.... මේ අර කලින් කියපු පාර හරහා ඉන්දියාවටම යන්න පහසුකන් තියෙන්වද මරයියෙ.. ??

    ReplyDelete
    Replies
    1. පාරක් නැහැ පොඩ්ඩා..බෝට්ටුම තමා..ඒත් ඩෙල්ෆ්වලින් එහාට පොදු ප්‍රවාහන පහසුකම් නැහැ දැනට..කලින් නම් පොඩි නැවක් තිබිලා තියෙනවා..ඒත් දැන් ඒක වැඩ නැහැළු.. ආයේ වංගියක ගියාම මමත් හිතං ඉන්නේ මොකේක හරි එල්ලිලා කච්චතිවුවලටත් ගිහිං ඉන්දියාව බලාගෙනවත් එන්න...

      Delete
    2. කච්චතිවු යන්න ඕනෙ නෑ මාරයියා තලෙයි මන්නාරමට ඉන්දියාව පේනවලු..

      Delete
    3. ඔව් ඔව් මං ඒ ගැනත් අහලා තියෙනවා..වෙලාවක ඒ පැත්තෙත් ගිහින් බලන්න ඕන

      Delete
  12. මම නම් ආසම අර පොනියෝ ඉන්න එකට. ලංකාවේ එහෙම ඉන්නවා කියල හිතාගන්නවත් බෑ.

    ReplyDelete
  13. මම නම් ආසම අර පොනියෝ ඉන්න එකට. ලංකාවේ එහෙම ඉන්නවා කියල හිතාගන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පෝනියෝ තමා මුළු ඩෙල්ෆ්වලම තියෙන හොඳම වටිනාකම...

      Delete
    2. අපරාදෙ ඩිමෝ බට්ටෙක් හයර් එකට ගත්තෙ...උඹට තිබුනෙ පෝනියෙක්ගෙ පිටේ නැගලා ඩෙල්ෆ්ට් දූපත වටේ ඇවිදින්න.....

      Delete
    3. ඔටුවෙක් හිටියනං ඒක කරනවා දෙපාරක් නොහිතා...

      Delete
  14. දාල තියෙන ෆොටෝ ටිකනම් පට්ටයි ඈ.අයියා කියපු විදියට නම් මටත් යන්න ආස හිතුනා.

    ReplyDelete
  15. මිළ කල නොහැකි ට්‍රිප් එකක්. මගෙන් සිය පාරක් විතර තෑන්ක්ස් ඔන්න ගිහින් ඇවිත් අපි හැමෝම වෙනුවෙන් විස්තර සහ පින්තූරු දැමුවට. අයේ යමු කට්ටියක් සෙට් වෙලා. මුහුද කැලඹි තියෙන වෙලාවක ගමන තමයි අව්ල. ඔය වගෙ දෙයක් මටත් වෙලා තියෙනවා මෙහෙදී. මම හිතුවෙ ඒ මගේ ජීවිතේ අවසාන දවස කියලා :)

    ReplyDelete
    Replies
    1. කොච්චර බයානක උනත් මංනං ආසම හරිය තමා ඒ ටික... ආයේ යනවනං යන්නම ඒන එහෙම මුහුද අවුල් වෙච්ච වෙලාවකම තමා..මාර ගති...

      එන්නකෝ ලංකාවට..කට්ටියම සැට් කරං යං...

      Delete
  16. බොහොම ලස්සන තෙඅන් කීපයල කරක්ගහන්න ලැබිච්ච මාරේ අයියා නම් හෙන වාසනාවන්තයි . හැබැයි ඉතින් කොහොම වුණත් ගජරාමෙට වියදම් නම් ඇති . බලමු දවසක අපිටත් චාන්ස් එකක් ලැබේවි උතුරුකරේටත් ගිහින් මේ කියාපු දේවල් බලලා හොයලා එන්ඩ


    ReplyDelete
    Replies
    1. වියදම සැරටමනං නැහැ මලේ..හැබැයි මූලික වියදම සැරයි..ඒ කියන්නේ බයික් එක හොඳට හදාගත්තනේ ගමන හින්දම..ඒක තමා සැරට ගිය වියදම..ඒ නැත්තං ඒ හැටි අවුලක් නැහැ..කොහොමත් මං අවසානෙදී විය හියදං ගැන දානවා..

      හිටිං ඊ ළග වංගිය නැගෙනහිර පැත්තේ...

      Delete
    2. අඩා වරෙං අයියා උඹව තොරං ගහලා පිළිගන්නේ මම

      Delete
  17. මුහුදු ගමන් යන සමහර අයට වමනයට එනවා නේද මාරයියේ,,ඉතින් යන අය ඒ ගැනත් සැලකිලිමත් වෙන එක හොදයි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..සමහරුන්ට මුහුදු යන්නම බැහැ නේන්නං...හොඳ කාරණෘවක් මතක් කලේ...

      Delete
  18. දැන් ඩෙල්ෆ්ට් ගියා වගේ, මුණු පොතේ පින්තුරත් බැලුවම, වැඩේ හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. එහෙමනං අයියා අන්න කෑම බීමවලත් පොටෝ ඇති බුකියේ..ඒවා බලලා නොකත් හිටු..:D:D:D

      Delete
    2. උඹේ කෑම කෑවොත් මහ ඉස්පිරිතාලෙන් මෙහා නවතීද ?

      Delete
    3. බය වෙන්න එපා..ආයේ ඉස්පිරිතාලේ ගෙනියාමක් වෙන්නේ නැහැ..ඒ ගැන සහතිකයි...

      Delete
  19. මාර ට්‍රිප් එකක් නේ.....පෙට්‍රෝල් කීයක ගැහුවද ගිහිල්ලා එන්න......

    ReplyDelete
    Replies
    1. 2800/=ක වගේ..තව ටිකක් ඉතිරිත් වෙලා තිබුනා... ඔක්කෝම කිලෝ මීටර් 1200ක් විතර දුවලත්...

      Delete
    2. එළ එළ බයිසිමොටෝව තමා නියම වාහනේ ඔය වගේ ගමන් වලට...වෙන වාහනේක ගියානං තව බින්දු එකතුකරන්න වෙනවා...මමත් එක පාරක් යාළුවෝ එක්ක මාතර,දෙනියාය,ඇඹිලිපිටිය,රත්නපුර පැත්තේ වටයක් දැම්මා C90 එකක...

      Delete
    3. ඒක ඇත්ත... ගමන් වියදම අඩුම ක්‍රමේ මේක තමා..අනික මේක හෙන නිදහස් ගමන...

      Delete
  20. දූපතේ වතුර තියෙනවද? ලිඳක් එහෙම දැක්කේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වතුර තියෙනවා මරේ..ලිඳවළුත් තියෙනවා මං දැක්කා..මම එකකනං පොටෝත් දාලා ඇති බුකියේ..පොඩ්ඩක් බලහං...

      Delete
  21. මාරයාගෙ ගමනෙ විස්තරයක් එකතුකරන්න කැමතියි.යන කෙනෙකුට වැදගත් කියල හිතෙනව, ඇත්තටම ඩෙල්ෆ්ට් ලස්සන දුපතක්.ඒකට යන්න තියෙන්නෙ බෝට්‍ටු 03ක් විතරයි.ඒවත් ඩෙල්ෆ්ට් සමුපකාර ප්‍රවාහන සේවයට තමා අයිති.වැදගත්ම දේ තමා නිවාඩු දවසට මේවයින් 01 ක් විතරයි වැඩකරන්නෙ.ආරම්භය උදේ10:00 ට පුන්කුඩුතිව් ජැටියෙන්.ඩෙල්ෆ්ට් වලින් හවස 2:00.මේ බෝට්‍ටුවකට රු.50.00 ක මුදලක් අය කරනව.බොහොම සාදාරන ගානක්.අනෙක අව්වෙ යන්න අමාරු අය යනවනම් ඔලුවේ බදින්න ලේන්සුවකුත් අරන් යන එක තමා හොද.මොකද ඩෙල්ෆ්ට් සමුපකාරෙ තියන එක් බෝට්‍ටුවක් පහසුකම් අඩු එකක්.ඒකෙ යද්දි හොදට අව්ව ඔලුවට වැටෙනව.(ඩෙල්ෆ්ට් වාසින්ට නම් මේකත් සුපිරි පන්නයේ වාහනයක්).ඒවගේම මුහුද සැරනම් අනිවාර්යයෙන්ම සේෆ්ටි ජැකට් අදින්න ඕන.නේවි එකෙන් තමා ඒක චෙක් කරන්නෙ.ඇත්තටම ඩෙල්ෆ්ට් ගියකෙනෙකුට අමතක නොවන දුපතක්.(ඩෙල්ෆ්ට් යද්දි මතක ඇතිව කෑම වතුර අරන් එන්න.කෑමවලට ලුනු,මිරිස් අඩුවෙන් තමා දාන්නෙ.බඩුවල මිල ගත්තොත් හැම දෙයක්ම රු.10.00-15.00 අතර වැඩිකමක් තියෙනව)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෑහෙන කරුණු රැසක් ඉදිරිපත් කලාට..ඒත් එක කරුණක් නිවැරදි කරන්න ඕන..ඒ තමා දැන් අර කලින් අය කරුපු රුපියල් 50 හ අය කරන්නෙත් නැහැ ඩෙල්ෆ් යන්න..සම්පූර්ණයෙන්ම ඒ ගමන නොමිලේ...අනිත් හැම දේම ඔබ කියා ඇති විදියම තමයි...

      Delete
  22. අර කොරල් වලින් බඳින තාප්පයක් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. ගිය දවසක බලන්න නංගි..මුළු දූපත පුරාම කොරල් තාප්ප විතරයි තියෙන්නේ..ඒ වගේම තාප්ප නැති තැනක් නැහැ..යන යන අතට දිගින් දිගටම කොරල් තාප්ප හැම තැනම පුදුම ලස්සනයි...

      Delete
  23. යකෝ බයික්කුව දාලා වල් අස්සයෙක් පිටේ නැඟල ආව නං ඉවරනේ..

    ReplyDelete
  24. නියමයි නියම කරුණු ටික සම්පුර්ණ අදහසක් ගන්න පුලුවන්

    ReplyDelete