16 March 2012

අහක යන කතාවක්...

බ්ලොග් එක..ඔව් ඔය තියෙන්නේ මොකක්ද වගේ වැනි වැනි...
හිටි හැටියේ අස්පයට පැස්ටෝල් ගහලා වගේ ඇරලා යනවා..ආයෙම කාලෙක ඔහේ නාකි බල්ලෝ කොළඹ යන්නැහේ ඇදි ඇදි යනවා..මේ දවස්වලත් එහෙමම තමා... ඒකට හේතු කාරණානං මට කියන්ට තේරුමකුත් නැහැ..කොහොම උනත් ලියන වේගේ අඩු වෙලා...

මේ ළගදි දවසක මාව හම්බ වෙන්ට මං දැන් ඉන්න වැඩ පොලට ආවා මං කලින් වැඩ කරපු පැක්ටේරියේ හිටිය ගෑණු මනුස්සයෙක්...ආවේ තනියම නෙවෙයි තවත් කෙනෙක් එක්ක..මේ ගැණු මනුස්සයට දැන් වයස අවුරුදු 44ක් විතර වෙනවා...ඒ එක්කලා ආව කොලුවට වයස අවුරුදු 24ක් වගේ තමා... ඔය ගෑණු මනුස්සයා ගැනත් මං කලින් ලිපියක ලියලා තියෙනවා... දන්න අයටනං පටස් ගාලා කියනකොටත් සිහි වෙයි කවුද කෙනා කියලා.. මේ කොල්ල ගැනනං මං ලියලා නැතිව ඇති..ඒ හින්දා පොඩ්ඩක් කිව්වට කමක් නැහැ...

අපි ඔය කලින් වැඩ කරපු තැන මාස කිහිපයක් ඉන්නකොට තමා මේ කොලුවා මගේ යටතේ රාජකාරියේ යොදවන්න කියලා මගේ ආරක්ෂක ආයත‍නයේ ඉහල නිලධාරී තැන මට එවලා තිබුනේ.. කොලුවා රජරට පැත්තේ... කළු හීන්දෑරි තරමක් ගිලුන ඇස් ඇති.. මොනවදෝ කල්පනාවකින් නිතරම ඉන්න..පුළුවන් හැම වෙලේම සිගරැට් එකක් මට හොරෙන් බොන්න ඈත මෑත බලන..පවරන වැඩේ නූලටම කරන කෙනෙක්... ඒ වගේම කවි නිසදැස් ආදියත් ලස්සන අත් අකුරුවලින් කොල කෑලිවල සටහන් තබන පුරුද්දක් මේකාට තිබුනා..ඒ වගේමයි කේන්තියත්..හොස්ස ලගින් මැස්සා යන්න බැහැ...

කොහොම උනත් මට මේකගේ වැඩ කිරීමේ හැකියාව හොද හින්දා කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ..සිගරැට් බීම ආරක්ෂක සේවයේ නීතිවලට විරුද්ධ හින්දා මං තදින් හිටියත් මූ ඒක කරන්නේ හැම වෙලේම හැංගිලා හින්දා මං ඒකත් යන්තමින් හරි දැක්කත් සද්දේ වහලා හිටියා...ඒ ඇර ටික කාලයක් යනකොට මෑන් මට තරමක් හිතවත් උනා..ඒකට හේතුව උනේ මං අනිත් අය වගේ අනවශ්‍ය රාජකාරි වලට මෑන්ව යවන්නේ නැති හින්දා.. සාමාන්‍යයෙන් ආරක්ෂක අංශවල ඉන්න ඕ අයි සීලා ඒ ඒ ආයතන වල ඉන්න ලොක්කන්ගෙන් එක දාගන්න ඒ අයට මුට්ටි ඇල්ලීම කරනවා..ඒත් එයාලා මුට්ටි අල්ලන්න යන්නේ තමුන්ගේ යටතේ ඉන්න සුළු නිලධාරීන් මඟින්...

ලොක්කන්ගේ වාහනවලට බඩු පටවන්න... ඒ අයට වැස්සට කුඩ අල්ලන්න... කඩේ යන්න එහෙම තමුන්ගේ යටතේ ඉන්න අයව යැවීමෙන් තමුන්ට එක දාගන්න යන හුග දෙනෙකුට ඒ හරහා අර සුළු නිලධාරියගේ මානසික තත්වයට වෙන්නේ මොකක්ද කියලා නිකමටවත් හිතන්නේ නැහැ. කොහොමටත් මං කිසිම තැනක රාජකාරි කරද්දී රාජකාරියට පිටින් කිසිම දෙයක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි.මං අකමැතිනං තව එකෙක්ගේ කාර්වලට බඩු පටව පටව ඉන්න මං කොහොමද මගේ යටතේ ඉන්න එහෙකුට කියන්නේ උඹ පටවහං කියලා.. මගේ රස්සාව කාර්වලට බඩු පටවන එකනං මං ඒක කිසි අවුලක් නැතිව කරනවා.. එහෙම නැතිව මට අදාල නැති දේවල් කාගෙවත් හිත හොඳ කරන්න කරන්න යන්නේ නැහැ. ඕක ලොක්කොත් දන්න හින්දා මං ගාඩ් රූම් එකේ ඉන්න වෙලාවට වැරදිලාවත් මගේ උන්ට කතා කරන්නේ නැහැ උන්නැහේලගේ පක්කලි සර්විස් වලට..

මේ මං කියන කොලුවත් කෙනෙකුට ඔළුව පාත් කරන්න කැමති එකෙක් නෙවෙයි..ඉතින් මෑන්ට ඔය වගේ වැඩ හින්දා මාත් එක්ක රාජකාරි කරන්න කිසි අවුලක් තිබුනේ නැහැ..මෑන් අනිත් ශිෆ්ට් එකේ ඕ අයිසී එක්ක ඉන්න කිසිම කැමැත්තක් නැහැ. ඔය වගේ කරණා එක්ක කොල්ලා මට හිතවත්ව හිටියා.. මේකත් තමුන්ට බාර දෙන දේ නූලටම කරන එකෙක් හින්දා මටත් ඇත්තටම පහසුයි එහෙම අය එක්ක වැඩ කරන්න..

මෙහෙම ටික දවසක් යනකොට තමා තේරුනේ අර මං මුලින් කී ගෑණු මනුස්සයා මේකත් එක්ක හොඳට හිතවත්.. ඒත් ඒක මගෙන් හංගන්න හදනවා කියලා... මට හංගන්න හැදුව එකේ කිසිම අවුලක් නැහැ.. මොකද ආයතන නීති යටතේ අපිට ආයතනයේ සේවකයොත් එක්ක වැඩි පයුරු පාසානමක් තියා ගන්ට බැහැ. විශේෂයෙන්ම ඒ අය ආයතනයෙන් පිටතට යද්දි එයාලව චෙක් කරන ගේට්ටුවල ඉන්න අයට කොහොමවත්ම කතාවක් බැහැ... ඒත් අර ගෑණු මනුස්සයා මේ කොල්ලට කන්න ටික.. බොන්න තේ වතුර එක හිටං අදින වග දැනගත්තම මං ඒ ගැන හොයලා බැලුවා.. බැලින්නං මේකා වැඩට එන්නේ ඒ ගෑණු මනුස්සයගේ ගෙදර ඉඳන්... ඉතින් මට හංගන්න එපෑ...

තව ටිකක් හොයලා බැළුවම දැනගත්තේ මටත් හොරෙන් තමුන්ගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ව රස්සාවට දාලා දෙන්න කියලා අපේ අනිත් ඕඅයිසී ලවා මේ කොල්ලව අර ගෑණු මනුස්සයමයි අපේ ආරක්ෂක සේවා ප්‍රධාන කාර්යාලයට යවලා මේ රස්සාව අරං දීලා තියෙන්නේ.. කට්ටිය ඕක වහං කරං ඉන්න හැදුවත් අර ගෑණූ මනුස්සයගේ වැඩි සැලකිල්ල හින්දා බොහෝම ඉක්මනට හැම දේම මාට්ටු උනාට පස්සේ මං පොතේ හැටියටම කටයුතු කලා.. ඒ කිව්වේ ‍කොච්චර හොදින් රස්සාව කලත් මට මේ කොල්ල ගැන ඉහලට කියන්න උනා.. එහෙම නොකලනං ඒක මගේ බරපතල වරදක්.

කොහොම හරි අවසානයේදී මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබියදී අර ගෑණු මනුස්සයා ඒ ආයතනයේ පාලනාධිකාරියට කියලා යන්තම් පොඩි සහනයක් ලබා ගත්තා... එයිට පස්සේ මගෙන් අදහස් විමසුවේ කොල්ලව තියා ගතෑකිද බැරිද කියන එක ගැනයි..රාජකාරියට අනුව එහෙම ආයතනයට සමීප සම්බන්ධකං ඇති කෙනෙක්ව සේවයේ යොදවා ගැනීම ඒ අයට ප්‍රශ්නයක් නෙවෙයි නම් හා කොහොමත් කොල්ලා වැඩට හොඳ හින්දා මාත් ඒ වෙලාවේ කොලුවට මා යටතේ තව දුරටත් රස්සාව කරන්න ඉඩ දුන්නා...

ඔය ප්‍රශ්නෙදී කොල්ලවත් අර කිව්ව ගෑණු මනුස්සයවත් මාත් එක්ක අමනාප උනේ නැහැ..මොකද ඒ වෙනකොට ඒ අය මං ගැන තේරුම් අරං හිටියේ. වගේම රාජකාරියට අනුව මට මේ දේ කරන්න වෙන වග මං මුලින්ම දෙන්නටම කියලත් තිබුනේ... ඕක මං නොකියා වෙන මාර්ගෙකින් ඉහලට යන එක නවත්තන්න විදියක් නැහැ වගේම.. ඒ ගිය වෙලාවට ස්ථානභාර ජේෂ්ඨ නිලධාරියා විදියට මුලින්ම තොණ්ඩුව වැටෙන්නේ මට වගත් මං පැහැදිලි සිංහලෙන් කියා දුන්නා.. හැබැයි හැම දේම දැන දැන අයථා විදියට රැකියාවක් ලබා දීමට උදව් කල අනිත් ඕ අයිසීට නම් ඒක ටිකක් පාඩුවකට හිටියා.. ඒ වනකොටත් ආයතනයේ සේවකයින් එක්ක එකතු වෙලා පොඩි පොඩි වංචාවන් කිහිපයක් කරලා මාට්ටු වේගන ඇවිත් තිබුන හින්දා මේ කේස් එකත්..තවත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකගේ ප්‍රශ්නයකුත් හරහා මෑන්ට ගෙදර යන්න උනා.

ඉතිං වැඩි කාලයක් නොයා මට තව දෙයක් මාට්ටු උනා කොල්ලා ගැන... මෑන් මහණ වෙලා හිටිය පොරක්.. පන්සලේ හිටිය මට ඒක අහුනොවී තියෙන්න බැහැනේ... කන්න බොන්න යනකොට කතා බහ කරනකොට ටික ටික සැකේ ඇවිත් තිබුන අතරේ එක දවසක් මොනවා හරි කතාවක් අස්සේ කියඋන දේකින් පස්සේ මම මෑන්ට තනියම කතා කලා...

"කොච්චර කාලයක් සිවුරේ හිටියද..?"

ප්‍රශ්නේ අහපු ගමන්ම කොල්ලා උඩ බිම බලන්න ගත්තා...

"කොහොමද සර් දැන ගත්තේ..?"

"යකෝ මාත් හිටිය එකෙක්..තෝ හැරෙනකොට මට කියන්න බැරිද..?"

කොහොම හරි මෑන් ජීවිත කතාව සාරාංශ කරලා ඇද්දා එළීයට..දුප්පත් පවුලක ළමයි රොත්තකින් ළමයි දෙන්නෙක්ම මහණ උන හැටිත්..පසුව දෙදෙනාම සිවුරු හැර ගොස් හමුදා සේවයට එකතු උන හැටිත්..තමුන්ගේ බාල සොයුරා යුද්ධයෙන් මිය ගිය පසුව තමා සේවය අතැර ආ හැටිත්.. දැන ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.

කොහොමත් හමුදාවේ ඉදලා සිවුරට ගිය මට සිවුරේ ඉදන් හමුදාවට ගිය එකා ගැන පොඩි අනුකම්පාවක් තිබුනා... ඔය දෙතැනම අතෑරලා දාලා ආව එහෙකුට සමාජයෙන් විඳින්න වෙන කරදර හිරිහැරවල තරම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ හින්දා ඇත්තටම එයින් පස්සේ මං කොල්ල ගැන ටිකක් හොයලා බැලුවා උපදෙස් දුන්නා... ඌට පන්තියකට යන්න ඕන විදියට නිවාඩු එහෙම හදලා දුන්නා.. රාජකාරි අස්සේත් පාඩම් වැඩක් කරගන්න අවස්ථාවක් ලැබෙන තැන්වලට ඩියුටිය දාලා දුන්නා වගේ වැඩ කෙරුණා...

ඔය අතරේ නොකියවුන කතාවක් තිබුණා.. ඒ තමා අර කියපු ගෑණු මනුස්සයා මේ කොල්ලට තියෙන සම්බන්ධය... ඒ දෙන්නා විසින් කියන්නට යෙදුනේ දුරින් නෑදෑ වෙන මල්ලි සහ අක්කා කියලා උනත් විවහා වෙච්ච දරුවන් දෙනෙක් හිටිය මනුස්සයා දාලා ගිය ගෑණු කෙනෙක්ගේ ගෙදර පදිංචියට හිටි හැටියේ කඩං පාත් වෙච්ච තරුණයා ගැන කයි කතන්දර ගංවල දුවන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ... ඒත් ඒවයින් මට ඇති වැඩක් නැති හින්දා ඒ ගැන කවදාවත්ම අහන්න ගියේ නැහැ.

ඉතිං ඔහොම ඉන්න අතරේ කොල්ලා ආයේ හමුදාවට යන්න කියලා සේවයෙන් ඉවත් වෙලා ගියත් ඒ හමුදාවට යෑම සිද්ධ උනේ නැහැ.. ඒත් ඒ වෙනුවට එම ආයතනයේම සේවකයකු හැටියට රස්සාවක් හොයලා දෙන්න මේ මල්ලිගේ අක්කා සමත් උනා. දෙන්නා ඉතිං ඔහොම ඉන්න අතරේ තමා මං මාරුව හදං මෙහෙට ආවේ... කොහොම හරි කොල්ලා මගේ යටතේ හිටිය රස්සාවෙන් අයින් උනාට පස්සේ ඔය කිව්ව දෙන්නම මට හිතවත් උනා. ඒකට හේතුව උනේ උන් දෙන්නගේ නෑදෑකං ගැන කවදාවත් අහන්න නොගිය අයට හිටියේ මං විතරක්ම වීම වෙන්නත් ඇති.

ඉතිං කොහොම හරි කාලෙකට පස්සේ ජෝඩුවම මාව හම්බ වෙන්න ආවේ අර ගෑනු මනුස්සයගේ හිතවත් කෙනෙකුට උවමනා වෙලා තිබුන ජ්‍යෝතිෂ කාරණාවක් සම්බන්ධව... කොහොමත් ඔය ගෑණු මනුස්සයගේ දෙ‍විදියක චරිත ලක්ෂණ තිබුනා... මොනවට හරි තරහා උනානං ඉතිං උන්දෑ කාලි අම්මා වගේ තමා..කොටින්ම ඔය මං ඒ ආයතනයේ හිටිය අවස්ථා කිහිපයකම මගේ ජොබ් එකට කෙලවන්න දගලපු කෙනෙක් තමා උන්දෑ..ඒ ඔය නීති තදින් ක්‍රියාත්මක කිරීම හරහා ඇති උන ගැටළු... ඒත් පස්සෙන් පහු මගේ හැටි සොබාවය තේරුම් ගත්තට පස්සේ උන්දෑ මට එදිරිවාදිකං කරන එක අතෑරලා දැම්මා.. පස්සෙන් පහු කාලයක අර කොලුවට මං ඉගෙනගන්න උදව් උපකාර කරන වැඩ එහෙම හින්දා කලින් තිබුන තරහා මරහා අතෑරලා ලෙඩට දුකට බලන්න උනත් ඉන්න මට්ටමට හිතවත් උනා... මේ ආවෙත් ඒ වගේම තමුන්ගේ හිතවත් අයකුගේ වැඩක් කරවගන්න...

මගේ කලින් ගෑනු ළමයා එහෙමත් ඔය මනුස්සයා දැකලා තිබුනා... ඒ සම්බන්ධේ කැඩිලා ගියාට පස්සේ මං කාලයක් නන්නත්තාර වෙන්න බිබී හිටිය වගත් දැනං හිටියා වගේම අන්තිමට මං කවුරුවත් නැති එකෙක්ය කියලා දැනගත්තට පස්සේ අම්මා කෙනෙක් වගේ පිහිට උපකාර උන අවස්ථාත් තිබුනා. කන්න දෙයක් උයාගන්න බැරි වෙලාවට හරි යන්තං කෝල් එකක් දුන්න ගමන් කොලුවා අත බත් පාර්සලයක් එවන්න... මොනවා හරි විශේෂ කෑමක් බීමක් හැදුව වෙලාවට මගේ පංගුව වෙන්කරලා එවන්න වගේ වැඩ සිද්ධ උනා.. දැන් ඔය මං කිව්ව දවසේ මේ ඩබල ඇවිත් තිබුනෙත් පත සයිස් කළු දොදොල් කුට්ටියකුයි සුද්ධ කරලා ලුණු ගම්මිරිස් එහෙම යහමින් දාපු වරකා පාර්සලයකුයි උස්සගෙන තමා...

කොහොම හරි මේක ලියන්න හේතු උන කතාව උනේ ඒ ඇවිත් ගියාට පස්සේ...එයින් දවසකට පස්සේ මට දුරකථනයෙන් කතා කරලා මේ ගෑණු මනුස්සයා හෙන අදෝනාවක් කියාගෙන ගියා.. ඒ අර කොල්ලා ගැන...

එදා උන්දෑ ඒ දෙන්නා අතර තියෙන ඇත්තම සම්බන්ධය මොන වගේද කියලා..දැන් කොල්ලා අර ආයතනයටම ආව කෙල්ලෙක් එක්ක යාළු වෙලා තියෙන වගත්.. දැන් ඒ කෙල්ලවත් මේ ගෙදරටම ගේන්න උවමනා බවත් කියන්නට උනා... කොහොම හරි මේ වෙනකොට මේ කොල්ලා වෙනුවෙන් උන්දෑ සෑහෙන්න වියදම් කරලා තියෙන බව මම විතරක් නෙවෙයි ආයතනයේ හුග දෙනෙක් දැනං හිටිය කාරණාවක්.. එයිට අමතරව මේ උන්දෑ අර කොල්ලගේ වයසක අම්මා තාත්තටත් මාසෙකට යම් කිසි මුදලක් යවමින් ඉන්නේ.. කොල්ලට බයික්.. කම්පියුටර් වගේ දේවලුත් අරං දීලා... එහෙම තියෙද්දිම මේකා තව එකක් එක්ක යාළු වෙලා දැන් දෙන්නම ඕන කියනවා...

මං ගාවත් ඕකට දෙන්න උත්තර තිබුනේ නැහැ... කොහොමවත්ම කොල්ලව අතාරින්න මේ මනුස්සයා කැමති නැහැ වගේම කොල්ලට එක එක දේවල් අරං දෙන්න ගිහින් දැනටම උන්දැ ලක්ෂ දෙක තුනක ණය අරං තියෙනවා.. ඉතිං ඒ හැම දෙයක් එක්කම ‍කොල්ලව අල්ලං ඉන්න ඕනකමත් උන්දැට තියේ... මේ වෙනකොටත් දේවාල ගානේ එහෙමත් ගිහින් තිබුනා... කොහොම හරි අවසානෙදී ඒ කෙල්ලව ගෙදර අරං එන්න ඉඩ දෙනවාය කියන මට්ටමට මේ මනුස්සයා හිත හදාගත්තා..ඇත්තටම ඒ කෙල්ලත් මේ හුටපටේ හොඳටම දන්නවා..ඒත් ආණමඩුව පැත්තේ කාස්ටක වෙච්ච ගෑණු ළමයෙක් උන ඒ කෙල්ලටත් මොකෙක් හරි එකෙක් එක්ක පැටලිලා මෙහෙම ඉන්න තියෙන උවමනාව හින්දා දැන දැන මේ මගුල පටලෝගෙන තියෙන්නෙත්..ඉතිං එහෙවු එකේ බෙදාගත්ත පිගාන කාලම බලන්න ඉඩ අරිනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මේ ගැන කොල්ලා තවම මා එක්ක කතා කලේ නැහැ..ඌට ලැජ්ජා ඇති ඒවා කතා කරන්න... ඒත් උන්ගේ ජීවිතවල හෙට දවස කොයි අත යාවිද කියන්නනං මං දන්නේ නැහැ... ඒ කොහොම උනත් මෙහෙම සිදුවීම් අපේ සමාජයේ අහු මුළුවල ඕන තරම් තියෙන වගත් කියන්න ඕන...

මේක ලියන්න ඕනයි කියලා ඕනකමක් තිබුනේ නැතත් මොනවා හරි ලියන්න කියලා හිතුව හින්දා ඔන්න ඔහේ ලියලා දැම්මා..කොහොමත් කලින් හිටිය ආයතනයේදී සිදු වෙච්ච හුගක් දේවල් තියෙනවා තාම මම ලියපු නැති.. ඉස්සරහට ඉඩ තියෙන හැටියකට ඒ මගුල් සක්වල ගැනත් ලියලා දාන්නම්...

කට්ටියට දැක බලා සතුටු වෙන්න පුළුවන් ලිපියක් මෙතන තියෙනවා ඒකත් බලන්න...

29 comments:

  1. Replies
    1. ඔය ගං වල ඉඳල ආපු කොල්ලො කෙල්ලො අතර ඔය වගේ දුරදිග හොයන්නැතිව කරගන්න ඔය වගේ දේවල් ඕනතරං තියෙනව. ඒ අතරෙ ඒ වගේ දේවල් අවුලක් නැතිව ඉදිරියට යන අවස්ථාත් නැතිවම නෙමෙයි.
      අපේ පැත්තෙ වඩුවැඩ කරන එකෙකුත් කොළඹදි ඔය වගේ එකක් කරගෙන දැන් මාතලේ පැත්තට වෙලා වඩු වැඩ අමතක කරල ගොවිතැන් කරගෙන හොඳට ජීවත් වෙනව. හොඳ වෙලාවට ඒ කෙල්ලගෙ පැත්තෙන් ඉඩ කඩං එහෙම තිබුණ.

      Delete
  2. නියම ඕපාදුප පාරක්.. හැබැයි ආයාසයක් නැතුව කියෙව්ව. ඉස්සරහට සිද්ධ වෙන්න යන දේ නං තුන් දෙනාටම සතුටුදායක වෙයි කියල හිතන්න බෑ. මේ අර චිකන් කරිය එහෙම රසට උයන අම්මණ්ඩිද ?

    ReplyDelete
  3. අපිට නැහැ නේ ඔහොම සුයිප් ඇදෙන්නේ :-D

    ReplyDelete
  4. මාරයා නැවත් ඉපදී ඇත. ඔය වගේ කේස් මැද පෙරදිග ඉන්න අපේ අය අතරේ ඕන තරම් තියෙනවා. සමහර විට අවසානය මිනීමැරුමක්.

    ReplyDelete
    Replies
    1. කෙල්ල ගෙදරට ගෙනාවොත් ඒක වෙයි.

      Delete
  5. නොසිතා කරන දේවල් වල ඵල විපාක. අර ගෑනු මනුස්සයත් දැන ගන්න එපැයි ඕක.

    ReplyDelete
  6. මම හිතන්නේ අපිට චිකන් ඩෙවල් හදලා දුන්න රමණි ගැන වෙන්න ඕන මේ කථාව...

    තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා බලාගෙන ඉන්ඩ තමා තියෙන්නේ....

    ReplyDelete
  7. අප්පා...මාර සම්බන්දතානෙ.කොහෙන් කෙලවර වෙයිද මන්දා....

    අර ආරංචියනම් ඇත්තටම සංතෝස හිතෙන ආරංචියක්..:))

    ReplyDelete
  8. කියෝගෙන ගියා. හැබැයි ගන්න දෙයක් නම් නෑ :P

    ReplyDelete
  9. අර ආරංචියටනං ගොඩක් සතුටුයි.

    ReplyDelete
  10. මිනී පෙට්ටි තුනක්...

    ReplyDelete
  11. වැදගත් කතාවක්...සමාජයේ පහල ස්ථර වල ජීවිත ගැන යම්තාක් අවබෝධයක් ගන්න මේ වාගෙ ලිපි වැදගත් වෙනවා. අපේ පුවත් පත් කතුවරුන් බෝමයක් ඉන්නෙ එකම ස්ථරයක බොහෝ පුවත් පත් ලිපි එකම අච්චුවෙ වගේ පේන්නෙ ඒ නිසා..ඔබ වැඩකරන්නේ නිතරම පහල මිනිසුන් සමග එකට ගැටි නිසා ඔබට ඒ ජීවිත වල ඇතුල ගැන මනා අවබෝධයක් තියෙනවා..වැදගත් ලිපියක්..
    ඔබේ මතය අඩුවෙන් සහ වුන සිද්ධිය වැඩියෙන් කියන්න ගිහිපු එකත් වැදගත් දෙයක්..

    ReplyDelete
    Replies
    1. පැදුරෙ ඉඳල අපි කොහොමද බිමට වැටෙන්නේ...!!! ;-))

      Delete
  12. ඔව්ව කොහෙන් කෙලවර වෙයිද මන්දා ? අන්තෝජටා.. බහීජටා...

    ReplyDelete
  13. මේ ඩෙවල් ඇන්ටි තමා මතක විදිහට,කොහොම උනත් ලොකු ප්‍රශ්න ජාලාවකට මුල වගේ 3නාම

    ReplyDelete
  14. ඇන්ටිලා තමා ඇන්ටිලා..

    ReplyDelete
  15. මිනිස්සු වැරදි කරන්නේ නෑ උන්ට වරදිනවා !! මේ කිං ලා වගේ ඉන්න අපිටත් වරදින්න යන්නේ තත්පරයක වෙලාවක් විතරයි . ඔය ඩයල් එකටත් පොඩ්ඩක් ජීවිතේ වැරදිලා .

    ඉස්සර මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්ත කාලේ කතාවක සුවඳ ආයෙමත් ආවා ඔන්න ..

    ReplyDelete
  16. මේ වගේ සම්බන්ද වල අවසානය කොහොම ලිය වෙයිද කියන එක තමයි ඉතින් ප්‍රශ්ණේ..

    ReplyDelete
  17. මම නොදන්න බොහෝම කරුණු දැනගත්තේ අද ලිපියෙන්....මේ අර අදින්නේ මිනී පෙට්ටි තුනක් වෙන් කරගන්නවත්ද කියලා මට හිතුනා අනේ මන්දා අයියේ....ලියලා තියෙන විදිය උපරිමයි

    ReplyDelete
  18. අකුරක් නෑර කියෙව්වා මාරයෝ ලියලා තියෙන විදියට මඟදී නවත්තන්න හිතෙන්නේ නෑ....ඔය ඇන්ටී කේස් ඔහොම තමා...ඒම නෙමේ අරූ සිවුරේ හිටියා කියලා කොහොමෙයි දැනගත්තේ...

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගෙඩි එහෙම කටින් කඩන් නැතුව අතින් කඩා කෑම
      වගේ පොඩි පොඩි සීන් තියෙනවා ... දන්න කෙනෙක්ට බඩු මාට්ටු...
      :)

      Delete
    2. හප්පටසිරි ඔව් නේන්නං....එළ එළ....

      Delete
    3. පාතිමොක්ඛ සංවර ශීලයේ එන කරුණු
      ඇඟට උරා ගත්තට පස්සසේ ටිකක් අමාරුයි ආයි ගිහි වෙස ගන්න
      මෙතෙන්ටම ගිහිල්ල බලා ගත්තනම් කෙටියෙන් .... :)
      http://en.wikipedia.org/wiki/Patimokkha

      Delete
  19. හ්ම්ම්.... මිනිස්සුත් ජීවිතේ හොයාගෙන එල්ලෙන්නෙ මහ අමුතුම ජාතියෙ වැල් වල. ඒකට හේතුව වෙන විසඳුමක් ඇතැයි කියල නොතේරෙන කමම නෙමෙයි. වඩාත් කැමති අත ලඟම තියන විසඳුම බාරගන හිත වැඩිපුරම කැමති නිසා වෙන්න ඇති.

    ReplyDelete
  20. ඩුබායි වල ඉන්න සමහර හවුස්මේඩ් අක්කලා අහ් නෑ අවුරුදු හැටේ චූටි නංගිලගේ ලව් ඉස්ටෝරියක් වගේ අප්පා . . .

    ReplyDelete