17 March 2012

එක්තරා ගැහැණියක්...

පෙර කී කතාවට කලින් කල යුතු හැඳින්වීමක් ලෙසින් මෙය ලියමි... කියවන්නට කම්මැලි සිතෙන්නට පුළුවන..එහෙත් ලියලා දැම්මාට කම් නැති හෙයින් ලියමි.

ඇයගේ කුඩා කාලය ගෙවුනේ දහසක් දුෂ්කරතා රාශියක් සමඟිනි...පවුලේ වැඩි මහළු ගැහැණු ළමයා වූ ඇයට වඩා බාල සොයුරි සොයුරියන් රාශියක් විය... පියා ගමේ සිටි තරමක් ඉඩ කඩම් තිබූ නාහෙට නාහන අන්දමේ චරිතයකි..තමාට වඩා තරමක් ලාබාල ගැහැණීයක් සහේට ගෙනවිත් සිටියත් අහල පහල ගෑණුන් සමඟ තිබූ සබඳතාවලත් කෙලවරක් නොමැත. සෑම දෙයම ඔහුගේ චණ්ඩිකමින් වසාගෙන ජීවත් වීම එතරම් අපහසුවක් නොවිණි.

ඉඩ කඩම් ඇතත් ස්ථීර රැකියාවක නිරතවීම කිසිදා නොකල ඇගේ පියා.. වැඩි හරියක් කාලය ගත කලේ සූදු පිටිවලත්... කසිප්පු ගුබ්බෑයම් වලත්ය..කුඹුරු කාලයට තමන්ගේ කුඹුරු වගා කරන ඔහු අනිත් කාල වලදී සුළු වෙළඳාම් ආදියත් ඉදහිට කරනු ලැබීය.එයට අමතරව කිරි හරක් හා මී ගවයින් කිහිපදෙනෙකුද සන්තකව තිබිණි...

වත්ත පිටියේ වැඩ පලත්..හරකුන්ගේ වැඩත්..තමාට වඩා බාල සහෝදරාදීන්ගේ වැඩත් නිසා ඇගේ අධ්‍යාපන ගමන හයේ පන්තියෙන් එහාට නොගියේය...

කුඩා කල සිටම තාත්තාගේ උවමනාවෙන් අම්මා විසින් වදනු ලබන උන් ඇති දැඩි වූයේ මැගේ අතේය... අඩි හතළිහ පණහා උස පොල් ගසකට බඩ ගෑමත්.. මීහරක් බානක් බැඳි නගුල මෙහෙයවා කුඹුරක් සී සෑමත් අවුරුදු දොළහ දහතුන වන විටම හොඳින් කල හැකි වූ ඇයට අහල පහල සම වයසේ උන් කොල්ලන්ද අධික ලෙසින් බියපත්ව සිට ඇත.

කාලයත් සමග පියාගේ මිතුරකු ලෙසින් නිවසට එන උසාවියක සේවය කල තරුණයකු මැගේ අම්මා සමඟ හුටපටයක් සාදා ගන්නා අතර ඔහුට දාවද සිය මව විසින් දරුවන් වදයි...පෙර ලෙසින් චණ්ඩිකම් කිරීම අපහසු වූ පියා ලෙඩ ඇදට වැටෙද්දී නිවසේ රජකම් කල උසාවි තරුණයා අම්මාගෙන් දුවට මාරු වෙන්නේ ඔය කාලයේදීය. වයස දහ හතරක් පහලවක් වද්දීම මහ ගෑණියෙක් වූ ඇය..දහසය වැනි විය ලබන විටම එක් දරුවකුගේ මවක් වී තිබූ අතර...අම්මාගේ හොර මිනිහා දුවගේ නීත්‍යානූකූල සැමියා බවට පත් වේ. කෙසේ හෝ උසාවි තරුණයා නිසා මවට දරුවන් කිහිප දෙනෙකුම උපදින අතරම දුවට ලැබුණ වැඩි මහළු දියණියටත් බාල දරුවන්ද මවට සිටී... ඒවායේ නෑදෑ කම් හරි හැටි පැහැදිලි කිරීම පහසු නැත.

දියණීයට වයස අවුරුදු විසි හතරක් පමණ වද්දී දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර ගබ්සාවීම් කිහිපයකටද මුහුණ දී සිටියාය.

කාලයත් සමග මහළු මිනිසාගේ මරණයත්..නව යුවලේ වෙන්ව විසීමත් සිදු වූ අතරම අම්මාටත් දුවටත් දෙදෙනාටම පොදු වූ පුරුෂයා වෙනත් ගැහැණියක් සමඟ අනියම් විවාහයකට එළඹීමත් සිදු විණි. දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය ඔහුටත්..වැඩි මහළු එකිය මවටත් ආදී ලෙසින් බෙදා ගන්නා ලදි..දික්කසාදයට අපගේ කතා නායිකාව අකමැති වූ බැවින් විසඳුම් රහිතව එය ඇදි ඇදි යන නඩුවක් ලෙසින් මෑතක් වන තෙක්ම පැවතියේය...

තමා භාරයට පත් වූ දියණියත් සාමාන්‍ය පෙල විභාගය පමණක් ලියා තරුණයකු සමඟ පැන ගිය අතර සිය පවුලෙන්ද වෙන්ව රැකියාවක් කරමින් සිය ජීවිතය නඩත්තු කරනා අතරම අහල පහල දන්නා කියන ඕනම කෙනෙකුට උදව් පදවු කරමින් තනිකඩ ජීවිතයක් ගෙවන්නට ඇය හුරු වූවාය...

රැකියාව ලෙසින් අහල පහල ආයතනයක සුළු සේවිකාවක වූවද එහි ෆෝමන්වරයකුගේ අයුතු යෝජනාවකදී ප්‍රසිද්දියේම ඔහුට පහර දී පසුව එම ආයතනයේ වෙනත් අංශයකට ඉල්ලාගෙනම මාරු වී ගියාය..ඒ පවිත්‍රතා සේවිකාවක ලෙසින්ය.. පසුව නිලධාරීන් සඳහා තේ සෑදීමට ඇයට හැකි වූ අතර..තමාට අදාල ටික පමණක් නොව ආයතනයේ හැම දේම තමාගේ කරගෙන වැඩ කරමින් ජීවත් වූ ඇය තමා කුලියට ගෙන නැවතී සිටි නිවසේ එක් කොටසක ඈත පළාත්වලින් පැමිණි තරුණ තරුණියන් කිහිපදෙනෙකුද කුලියට නවත්වා ගත්තාය..එයට අමතරව ඔවුන්ට කෑම සැපයීමෙන් පටන් ගත් සේවය ආයතනය දක්වාම පැතිර ගිය අතර..රැකියාව අතරතුරේදී බත් පාර්සල් සැපයීමත් අද දක්වාම කරගෙන එනු ලබයි...

වැඩි මහළු දියණිය පැන ගියායින් පසුව තනි වූ ඇයට ආයතනයේ සේවය කල තවත් අසාර්ථක විවාහයකට මැදි වූ රියදුරකු සමීප වන අතරම එම රියදුරා හිටි හැටියේ තදබල ලෙසින් අසනීපව මාස ගණනාවක් රෝහල්ගතවූ විට මැය තම රැකියාවත්..බත් සැපයීමත් කරනා ගමන්ම ලෙඩාට සාත්තු කිරීමත් බාර ගෙන දාහක් වැඩ කරමින් ඔහුව සුවපත් කල පසුව ඔහු වෙනත් ගැහැණීයක හා යන්නට යන ලදි...

එයින් පසුවත් රැකියාවේ කටයුතු නොපිරි හෙලා කරගෙන යන අතරම කුලියට නවත්වාගෙන සිටි ළමුන්ට වෙනත් බෝඩිම් සොයා දී එම කර්මාන්තය අතැර දැම්මාය..එහෙත් බත් සැපයීම සැමදාමත් සිදු කෙරිණි...මෙම කාලයේදී ඇය මත්පැනට යොමු වූ බවත් ඇය විසින් මා හට පවසා ඇත..ඇයව එම තත්වයෙන් ගලවාගන්නට සමත් වූයේ මා පෙර කතාවේ කී තරුණයාය...

කෙසේ හෝ එම තරුණයා ජීවිතයට ආ පසුව තරමක් සතුටෙන් පිරුනු ආකාරයකින් ඇය ජීවිතය ගෙවූ වග දකින්නට තිබුණි..එයත් සුළු කාලයකි...ඒ අතර තවත් හෙන ගෙඩියක් ඇයට පාත් විය... ඒ ඇගෙ බාල දියණිය සම්බන්ධවය... ඒ වන විට වයස 16ක් පමණ වූ ඇය සිටියේ සිය පියාගේ භාරයේය... ඒ සිටිනා අතරතුරදී ඇය ගැබ් ගෙන සිටින ලදි...

දියණියගේ කුසට ආ දරුවාගේ පියා ඇගේම පියා වූ බව මුලින් සඳහන් වූවත් කෙසේ හෝ අවසන එයට වගකියන්නට අහල පහල කොල්ලෙකු හමු වී තිබිණි..එහෙත් සැකය කොයි අතට හරියටම යා යුතුදැයි අදටත් මා නොදණිමි.

වැලහින්නියක සේ ඇය නැවතත් එහෙට මෙහෙට දුව පැන බාල දියණියත් තමා ලගට ගෙනවුත් අදාල තරුණයාව කනෙන් ඇදගෙන මෙන් පැමිණ ඔහුට දියණිය පවරා දුනි..එහෙත් නීත්‍යානූකූලව එම විවාහය සිදු කෙරුනේ තවත් කල් පසූ වීය..ඒ වයස් සම්පූර්ණ නොවීමේ හේතුව මතයි... මේ වන විට එම දියණීයත් අවුරුදු කිහිපයක දරුවකු සිටින අම්මා කෙනෙකි.. ඇය විවාහා කරගත් තරුණයාද හරි හමන් රැකියාවක් නොකරන රස්තියාදුවට යොමු වූ අයෙකි. ඒ අතරතුරදී එම විවාහය තුලත් සෑහෙන ගැටළු මතු වී තිබුණි. විශේෂයෙන්ම එම තරුණයාගේ අස්වාභාවික ලිංගික හැසිරීම් නිසා තදබල ලෙස රෝගී වූ බාලවයස්කාර දියණිය ඔහුගේ නිවසේ විසීමට යෑමට අකමැති වීම හේතුවෙන් මේ වන විට එම යුවලත් වසන්නේ අපගේ කතානායිකාවත් සමඟින්ය...

මේ සෑම දේම අතරතුරදී ඇයට මා පෙර කී කතාවේ තත්වයට මුහුණ පෑමට සිදුව තිබේ...ඒත් අදටත් ඇය තමාව පිළිකුල් කරනු ලබන සොයුරු සොයුරියන්ටත්..අහල පහල දන්නා අඳුනන අයටත්..තමා හැර ගිය රියදුරු පෙම්වතාටත්.. එකසේ උදව් පදවු කරනු ලබයි.ඒ හැර ඇගේ මව අදටත් සිය වයසට වඩා තිරිහන්ව විනෝදකාමී ජීවිතයක් ගෙවමින් කොළඹ ප්‍රදේශයේ වාසය කරනු ලබයි. තව කියන්නට කතා සෑහෙන ඇතත් කියා අවසන් කල නොහැකි කතා ගොන්නක් ඇති හෙයින් එාවාට නොයමි.

මේ සුරංගනා කතා හෝ..අස්වාභාවික කතා නොව සැබෑම කතාවන්ය... මේ වන විට මෙම සිද්ධින් වල චරිත දෙකක් මිය ගොස් ඇත..ඒ ඇගේ පියා සහ ස්වාමියා වූ උසාවියේ සේවකයායි...

අදටත් තම දරුවාගේ පවුලත් නඩත්තු කරමින්..රැකියාවත් බත් සැපයීමත් කරමින් ආදර හුටපටයක පැටලවී ජීවිතයම කුණාටුවකට හසුව ඇය ගමන් කරයි... උපන් දා සිට මේ වන තෙක්ම ලැබූ සැපතක් නැති ඇය හැමදාමත් අනන්ත වූ දුක් විඳිමින් සිටින්නීය...

නමුත් කිව යුතු එක් දෙයක් ඇත... මා මාගේ ජීවිතයේ දුටු ධෛර්ය සම්පන්නම ගැහැණුන් කිහිප දෙනා අතර මැයත් එක් අයෙකි..එසේම තරහා කරගත් කල කාලි අම්මා හා සමඟ තරහා වූවාක් මෙන්ම හිතවත් වූ පසුව මැයට වඩා හිතවතියක් මේ ලෝකයේ කිසිවකුට හමු නොවන බවත් කිව යුතුය.. ඒ තරමටම ඇය පරිත්‍යාගශීලීය... අන් අයගේ දුක් තමාගේ කරගෙන වැඩ කරන වෙනත් ගැහැණීයක් මා මෙතුවක් දැක නැත. එසේ කරනා අයට කියනා "ගොන් බඳින කනුවක්" යන වචනයටද ඇය සුදුසුය. එතරම්ම බඩ බැඳගෙන උදව් කරන තැනැත්තියකි.

ඇගේ චරිතය කලුද සුදුද කියා කීමට මට නොහැක.එය කිසිවකු හෝ තීන්දු කිරීමටද අවශ්‍ය නැත.. ඒ සඳහා සුදුසුකම් ලබන්නට තරම් ඔබ හෝ මාද සුදු හෝ කලු යැයි පැහැදිලි චරිත ඇත්තන් නොවන බැවිනි...

මේ තරම් මා ඇය ගැන දැන සිටින්නේ කෙසෙදැයි කිසිවකුට පැනයක් ඇති විය හැක.ඒ වෙන කිසිවක් නිසා නොව ඇය විසින් සිය කේන්දරය පරීක්ෂා කිරීමේදී ඇති වූ සාකච්ඡාවකදී මගිනි. ඇයත් මාගේ මව මෙන්ම වෘශ්චික ලග්න හිමි කාන්තාවකි... පොදුවේ වෘශ්චික ලග්න හිමි කාන්තාවන්ගේ ජීවිත කතා ගැන මා තරමක් කරුණූ රැස් කරමින් සිටිමි.ඒ එවන් බොහෝ අයගේ ජීවිත කතාවල සෑහෙන දුක් කන්දරාවක් ඇති හෙයිනි.

එසේම මගේ මවගේ කතාව කවදා හෝ ලියන්නට අවසර ගෙන ඇති ආකාරයෙන්ම මම මැයගෙන්ද ඇගේ කතාව කෙදිනක හෝ මගේ කටයුත්තකට යොදා ගන්නට අවසර ගෙන සිටිමි.එහෙයින් මෙසේ ලියන්නට හැකියාව ලැබිණි.. මේ ලියන්නට යෙදුනේ ඇගේ කතාව අඩිය අඟලට තැලීම වැනි ආකාරයකින් බවත්..සැබෑ සිදුවීම් මෙයට වඩා බොහෝ සේ වේදනාකාරී බවත් ලියා තබමින් මෙය අවසන් කරමි..
අපහසුවෙන් හෝ කියවූ ඔබට ස්තූතියි

31 comments:

  1. වැදගත් කතාවකි මුල සිට අගට අකුරක් නෑර කියෙව්වෙමි...නවකතා වලට වඩා ආතල් එකක් තියෙනවා ඇත්ත කතා වල..

    ReplyDelete
  2. //වෘශ්චික ලග්න හිමි කාන්තාවන්ගේ ජීවිත කතා ගැන මා තරමක් කරුණූ රැස් කරමින් සිටිමි.ඒ එවන් බොහෝ අයගේ ජීවිත කතාවල සෑහෙන දුක් කන්දරාවක් ඇති හෙයිනි.//

    1/12 ජීවිත වල දුක් කන්දරාවල් තියනවා ...

    හැබැයි මම දන්න ඔය ලග්න කාන්තාවක් ඉන්නවා බොහොම සතුටින් සාමයෙන් ජීවත් වෙන

    ReplyDelete
  3. මට හිතුනේ උඹ මේ ෆිල්ම් එකක ස්කිරිප්ට් එකක් ලියාගෙන යනවා වගේ. හ්ම්ම්.... ගොඩක් ගැඟීම් බර කතාවක්.
    නොදනිමි කාගේ දොසා.....!

    ReplyDelete
  4. කියවන ලදී.
    සිද්ධි මාලාව තේරුම් ගැනීමට හතර පස් පාරක්වත් කියවන්න වෙයි වගේ.

    ReplyDelete
  5. මේක කියෙව්වට පස්සෙ මොනව කියන්නද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
  6. මේ වගේ ඇත්ත කථා තියෙන බව අහළ තිබුනට, තමන්ම හරියට දන්න මෙවැනි ඇත්ත කථාවක් කියනව ඇහුව පළවෙනි වතාවද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ඇම්ඩා ලියන්නෙ සෙට් එකක්..

      Delete
  7. කරදර වලින් වැලකිලා ඉන්න තරමක උගත් කමකුත් තියෙන්න ඔ්නේ... හැබැයි අසරණ කමට මොකද කරන්නෙ

    ReplyDelete
  8. කියවන්න නොහිතෙන තරම් දුක්බර එකක් වේවිද මන්දා මේ කථාව

    ReplyDelete
  9. මිනිස්සු තමන්ගෙම ජීවිත කොහොම වන්ස ගත්තත් කමක් නැහැ, ඒකෙ වගකීම තමන්ම ගන්නවනම්. ඒත් හදන්නන් වාලෙ ළමයි නොහදා ඉන්නවනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත කොච්චර දහිරිය තිබ්බත් අන්තිමේදී ළමයි තමා දුක් විදින්නේ.

      Delete
  10. හරිම කණගාටුදායක කතාවක්..මේවට මොනව කියන්නද ?


    ප.ලි.

    මූ ළගදිම කොහෙන් හරි කනවා වෘශ්චික ලග්න හිමි කාන්තාවන්ගෙ දුකසැප අහන්න ගිහින්....:D:D

    ReplyDelete
  11. ඇත්තටම සංවේදි කතාවක්..

    ReplyDelete
  12. මේ හුඟක් දේවල් නූගත් කම සහ දුර දිග නොදැකීම නිසා සිදු වූ දේවල් හැටියට තමා මටනම් හිතෙන්නේ..

    සමාජය මෙතරම් පිළිකුල් සහගතද කියලත් හිතෙනවා මේවා දැක්කම. අවුරුදු 2600 ක් තිස්සෙ අදහපු ( ඇදහීමක් මිස පිළිපැදීමක් සිදුකොට නැති බව තමා පෙනෙන්නේ ) බුදු දහමින් අපේ මිනිස්සු මොනවද අරන් තියෙන්නේ ?

    ReplyDelete
  13. ''ඇගේ චරිතය කලුද සුදුද කියා කීමට මට නොහැක.එය කිසිවකු හෝ තීන්දු කිරීමටද අවශ්‍ය නැත.. ඒ සඳහා සුදුසුකම් ලබන්නට තරම් ඔබ හෝ මාද සුදු හෝ කලු යැයි පැහැදිලි චරිත ඇත්තන් නොවන බැවිනි...''

    මෙන්න මන් ඔබට ගරු කරන තැන .

    වෘශ්චික ලග්න යේ අය ගැන එහෙම නිගමනය කරනනම් එක හරිද මන්ද .

    ReplyDelete
  14. kiyanna wachana na ayye...mehema katha sahenna ahala tibunat okkoma dewal ekkenekta wela tiyenawa ahuwamai...lagadi belle wala dammawapu kello dennai kollai matak una jeewithen panala yanne natiwa mewa daragena jeewat wena eka sahenna watinawa....

    වෘශ්චික ලග්න tiyena aya duk widina eka sapekshai kiyala mama hitanne...ehema nemeida???

    sahenna sanwedi siddiyak adiya agalata talapu eka hodai kiyala hithuna mokada mewa kiyawaddi sahenna tarahak danenawa me wada karana kaalakanni ekka

    ReplyDelete
  15. //අපහසුවෙන් හෝ කියවූ ඔබට ස්තූතියි//

    කිසිම අපහසුවක් දැනුනෙ නෑ අයියා.කතාව හොදට ලියලා තිබුනා.ඇත්ත බව හිතා ගන්න අමාරු තරමට කරදර ඇවිත් නෙ ඒ කෙනාට. ඇත්තටම හරිම දිරියවන්ත කාන්තාවක්.

    ReplyDelete
  16. මෙහෙම ඇත්තියො ඉන්නව නොවැ.. මාරයා මේ ටිකේ එල පෝස්ටු දැම්ම නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. අන්න උඹ මට රාහුල තෙරනුවන්ව මතක් කළා..

      Delete
  17. මේ වගේ කතා ඕනා තරම් සමාජයේ වෙනවා. මේවා නවත්තන්නවත්,ඉවර වෙන්නෙවත් නෑ මම හිතන්නේ

    ReplyDelete
  18. පිස්සු හැදිල ආයෙත් හැදෙනව නේද ??

    ReplyDelete
  19. ඉස්සෙල්ලා පෝස්ට් එක වගේම මේකත් අකුරක් නෑර කියෙව්වා මාරයෝ.සමාජේ උඩින් පේනවට වඩා කොච්චර දේවල් හැංගිලා තියෙනවද.මේකත් පොඩි උදාහරනයක්..සමහර වෙලාවට හිතාගන්නත් බෑ හරියට හින්දි ‍ෆිල්ම් එකක් වගේ....මේ දවස් ටිකේම සිරා පෝස්ට් නේ දාන්නේ.....ආයි සිවුරටවත් යන්න...එක්කෝ ඕනේ නෑ...

    ReplyDelete
  20. සමාජයේ අපිට නොපෙනෙන අහුමුළු වල මොන තරම් දේ සිද්ධ වෙනවද...
    මෙච්චර දේවල් වෙලත් ඒ මනුස්සය ඉහ ගහගෙන ඉන්න එකෙන්ම පේනවා ඒ මනුස්සයාගේ හිතේ හයිය.

    මමත් කවදාවත් කෙනෙක්ගේ සුදු කළු බව මනින්න යන්නේ නැහැ
    උඹ කිව්වා වගේම හැමෝම තනිකර සුදුත් නැහැ හැමෝම තනිකර කළුත් නැහැ
    අපි අනුන්ව මනින්න යන්න අවශ්‍ය නැහැ කියන මතය මමත් පිළිගන්නවා

    ReplyDelete
  21. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ :(

    ReplyDelete
  22. හොඳ කතාවක් අයියේ ...
    ඇත්ත තමයි , මමත් දන්නා කීප දෙනෙක් ම ඉන්නවා වෘශ්චික කට්ටිය.
    (මගෙත් ඉතින් රිසර්ච් ටොපික් එක නොවැ)
    පොදු ලක්ෂණය තමයි අධික රාඝාධික බව හා ඒ සමග බැඳිලා එන ජීවිතයේ
    නිමක් නැති කම් කටොලු. හැබැයි එන කරදර ඔක්කොම තනියම කාගෙන අදිනවා.
    සංසාරේ පුරුදු කරන් ආපු හැටි තමයි..... ^_^

    ReplyDelete
  23. අපි නොදන්නා කොච්චර දේවල් නම් ලෝකේ වෙනවද. ඇත්තමයි කතාව ලස්සනට කියල තියනවා අන්තර්ගතය දුකක් වුනත්.

    ReplyDelete
  24. ''ඇගේ චරිතය කලුද සුදුද කියා කීමට මට නොහැක.එය කිසිවකු හෝ තීන්දු කිරීමටද අවශ්‍ය නැත.. ඒ සඳහා සුදුසුකම් ලබන්නට තරම් ඔබ හෝ මාද සුදු හෝ කලු යැයි පැහැදිලි චරිත ඇත්තන් නොවන බැවිනි...''

    වෙන කතා කිසිවක් අවැසි නැත....

    ReplyDelete
  25. හිතා ගන්න බෑ බන් මේක හැබෑ කතාවක්ද කියලත් . . . මාව උස්සලා පොලොවේ ගැහුවා වගේ . . ..

    ReplyDelete
  26. නවකතා කිහිපයක කරුණු එක පොස්ට් එකකට දල. මෙච්චර දේවල් වෙලත් ජිවිතයට මුණ දෙන මිනිස්සු ඉන්න රටක, පෙම් සම්බන්ධතාවක් පොඩ්ඩක් එහාට මෙහාට වුනාම දිවිනසාගන්න මිනිස්සුත් ඉන්නවනේ.

    ReplyDelete
  27. මල්ලියේ මේ කතාව නවකතාවක් කරලා ලියාපන්.. දිරිය උනත් මෝඩ ගැහැනුන් එක දිගට දුකට හෙලන සිදුවීම් ගොන්නක් එක්ක මේ කතාව නවකතාවක් උනොත් බොහොම ජනප්රියවේවි..

    ReplyDelete