22 March 2012

පොඩි කාලේ ලොකු ඒවා...

අපි පොඩි උන් ඒ දවස්වල...

මුළු ලෝකෙම අළුත්... බලන බලන අත තිබුනේ පුදුමාකාර දේවල්... දකින හැම දේකම මොනවා නමුත් වැදගත්කමක් තිබුනා.. අද මගේ ඇහැට පේන කිසිම දේක මහ අමුත්තක් නැහැ.. මොකද ඒවා ගැන සෑහෙන දුරකට මම දන්න නිසා...

අහසේ යන ගුවන් යානාවක්.. එහෙම නැතිනම් පොළවේ දුවන ඕනෑම වර්ගයක වේගවත් වාහනයක්.. මුහුදේ යාත්‍රා කරනු ලබන කුඩා ඔරුවේ සිට මහා නෞකා පමණක් නොව දිය යටින් යන සබ්මැරීනයක් වැනි දෙයක් උනත් පුදුම උපදවන දේවල් නෙවෙයි.. අඩුම ගානේ ජනමාධ්‍ය හරහා මිස පියවි ඇසින් නොදුටුවත් අභ්‍යවකාශ යානාවක් උනත් අද වෙනකොට ඒ හැටි දෙයක් නෙවෙයිනේ...

ඒත් කාලයක් තිබුනා විල් බැරෝවත් මාව පුදුමයට පත් කරවන කාලයක්.. ඒ විතරක්ද..?

බේබි අයියලගේ බරබාගේ කියන්නේ මට ඒ කාලේ දකින්න තිබුන සුපිරිම වාහනයක්.. මං හරි ආස කලා කවදා හරි දවසක ඒ බරබාගේ යට එල්ලලා තියෙන ගෝනි පඩංගුවේ නැගලා යන්න..ඒත් කවදාවත්ම ඒ අවස්ථාව මට උදා උනේ නැහැ..ඒත් කරත්තේ නැගලා යන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තියෙනවා.. ඒවා ජීවිතේට මට අමතක වෙන දේවල් නෙවෙයි...

පල්ලෙහා යස උන්නැහේගේ කමතේ ගොයම් පාගන්න ගෙනාව මහ ටැට්ටරේ නැගලා කැකුලාවල අයියා ගොයං කොලේ උඩ ඉස්සරහට විතරක් නෙවෙයි හිටි හැටියේ ආපස්සටත් යකා වැහිලා වගේ වේගෙන් එලොපු හැටි මතක් වෙද්දි අදටත් ඇගේ හිරි ගඩු පිපෙනවා... දැන් පෙරලෙයි.. දැන් පෙරලෙයි.. කියලා බයේ මං එතැනින් ඈතට වෙලා ඉන්නේ අතේ ඇගිලි කටේ දාගෙන...

කොළඹින් කිලෝමීටර් විසි දෙකක් විසි තුනක් දුරින් හිටියත් අපි පුංචි කාලේ ඒ හැටි වාහන ගමේ තිබුනේ නැහැ... කන්දේ ගෙදර මහත්තයගේ කාර් එකයි..මෝලේ කඩේ ටැට්ටරයයි..පාන් අදින බයිසිකල් දෙක තුනයි ඒ ෆෝටියයි ඇරුනම මතක ඇති වාහනයක් තමා ටැක්සි පොඩි මහත්තයගේ මොරිස් මයිනර් එක...

ටැක්සි පොඩි මහත්තයා ගමේ ආවේ සතියකට දවසක් දෙකක් වගේ තමා.. මනුස්සයා නිකං සුද්දා වගේ... පෙනුමෙන් කතාවෙන් උනත්... මගේ හොදම යාළුවගේ තාත්තා උන හින්දා උන්දෑ ගමේ ආවම ඔය කාර් එක වටේ රවුමක් දාලා බලන්න මටත් ලැබෙනවා... ඒක ටැක්සියක්... කොලඹ කොටහේනේ නැවතිලා සතියේ දවස්වල හයර් කරලා පොඩි මහත්තයා මාමා සෙනසුරාදා රෑට ගෙදර එනවා.. ඉරිදට ළමයි ටිකත් අල්ලං කාර් එක හෝදලා කරලා සඳුදා පාන්දරම ආයෙමත් කොළඹ යනවා.. ඒ යන්නෙත් පට්ට පාන්දර..

මාත් කොළඹ ඉස්කෝලේ යන්න උනාට පස්සේ බයිසිකලේ කැඩුන දාට පාන්දර හතරාමාරට විතර තාත්තත් එක්ක පයින්ම නුවර පාරට මංගච්චනකොට අහම්බෙන් වගේ පරක්කු වෙලා කොළඹ යන්න පිටත් උන පොඩි මහත්තයා මාමාගේ ටැක්සිය අහු වෙලා උන්දෑ මාව ඒකේ නග්ගගෙන කඩවතින් බස්සං ගියපු අවස්ථා දෙක තුනක් තියේ... එතකොටනං ඉතිං කාර්වල ලොකු අරුමයක් මට තිබුනේ නැහැ.. ඒත් පුංචිම කාලෙනං ඔය ටැක්සිය හරි ලොකු වාහනයක් අපිට...

අහ් මතක් නොකරම බැරි වාහනයක් තමා මහප්පගේ බැන්ටම් එක...

ඒ ගැන කියන්න මට වඩා දන්න කෙනෙක් මේ බ්ලොග් එක කියවන අය අතරේ ඉන්නවා උනත් ඒක අපි දැක්ක විදිය කියන්න එපැයි... ඒක පත සයිස් බයිසිකලයක්... වරුවක් විතර තල්ලු කලාම ඉස්ටාට් වෙන වෙලාවලුත් තිබුනා..:D
කිසි අවුලක් නැතිව පළාතෙම ඉන්න මදුරුවෝ ටික හැතැම්ම ගානක් එලෝලා දාන්නත් අහල ගං හතකට ඇහෙන තරමට සද්දේ පිට කරන්නත් ඒකට තිබුනේ පුදුම හැකියාවක්... මං හිතන්නේ ඒකට පෙට්රල් විතරක් නෙවෙයි ලාම්පුතෙලුත් කලවමට දාලයි මහප්පා පැද්දේ... ඒ දවස්වල හුගක් බයිසිකල්වලට ලාම්පුතෙල් කලවංකරනවා... ඒක අරුමයක් නෙවෙයි... ඉඳ හිට දවසක ඕක දහ අතේ තල්ලු කරලා ඉට්ටාට් කරං මහ සද්දෙන් හුටු පුටු ගාගෙන මහප්පා ඕකේ නැගලා ගියාට මට ඒකේ යන්න උනේ මහප්පලගේ ලොකු පුත්තරයා දවසක් ඕක ඉට්ටාට් කරන්න මගෙන් තල්ලු දම්මගත්ත දවසක තමා..

වරුවක් තිස්සේ එහෙට මෙහෙට තල්ලු කරලා යන්තං ඒකට පණ එනකොට මගේ හොද පණ ගෙහුන් තිබුනේ... කොහොම හරි ඒකා මාවත් දමාන බොට බොට ගාගෙන එහෙ මෙහෙ ගියා..ඒ යනකොටත් අතර මගදි දෙතුන් විඩක් ඇංජිම හිට්ටා.. එතකොට තමා මේකේ නැගලා ආව කරුමේ කියලා මට හිතුනේ.. වෙනදට අපිව පයිසෙකට ගණන් නොගන්න එකා එදා මාව මේකේ දමාන ගියේ මට ඇති ආදරේකට නොවෙන වග තේරුනේ ආයෙම ගිනි කාස්ටකේ ඕක තල්ලු කොරන්ට උනාම තමා...

කොහොම උනත් ඒ දවස්වල මටත් බයිසිකලයක නැගලා යන්න තියේනං කන්න බොන්න ඕනත් නැති හින්දා ඒ බැන්ටම් ගමනත් නරකම නැහැ... දැන් සමහර විට කවුරු හරි එක්කෙනෙක් ඇවිත් කියන්න පුළුවන් ඒක තමා ලොකේ තිබුන සුපිරිම භාණ්ඩේ කියලා.. ඒත් ඒකට වඩා අපේ තාත්තගේ පුස්බයිසිකලේ හොදයි කියලා මං බය නැතිව කියා හිටිනවා..එහ්නං...

තාත්තට තිබුණ රෝද දෙකේ පාපැදිය මට විශ්මය ජනක වස්තුවක්.. ඒ හැම දේටමත් වඩා රෝද දෙකක් උඩ සමබරව සිටිමින් මාව බයිසිකලයේ ලැගිජ් එකෙත්.. මල්ලිව බයිසික‍ලයේ ‍ඉස්සරහා පොල්ල උඩ තියාපු කුඩා කොට්ටය මතත් වාඩි කරවගෙන පැත්තකට ඇද වැටෙන්නේ නැතිව පැදගෙන යාම මට අදහ ගන්නත් බැරි වීර ක්‍රියාවක් වෙලා තිබුනා... ඇයි දෙයියනේ කොහොමද මේක පැත්තකට පෙරලෙන්නේ නැතිව තියෙන්නේ..මං පුදුම බයකින් හා කුතුහලයකින් බයිසිකලේ ලැගේජ් එකේ වාඩි වෙලා තාත්තා වාඩි වෙලා යන සීට් එකේ පිටි පස්සේ තිබුන කොයිල් ස්ප්‍රින් දෙකෙන් අල්ලගෙන යන ගමන් හිතනවා.. ඒ විතරක් නෙවෙයි සමහර තැන් වලදී තාත්තා අපහසුවෙන් පදිනවා කියලා දැක්කම මං ලැගෙජ් එකේ වාඩිවෙලා ඉන්න ගමන්ම සීට් එක තල්ලු කරමින් තාත්තට උදව් දෙන්න හදපු අවස්ථාත් අනන්තයි.. මං හිතං හිටියේ එහෙම කරාම ඇත්තටම බයිසිකලේට තල්ලුවක් ලැබෙනවා කියලයි... අද ඒවා මතක් කරද්දී ඒක තේරුමක් නැති වැඩක් කියලා තේරුනත් ඒ වයසේදී එහෙම හිතුව එක ගැන හිනා යනවා කියලා කියන්නත් බැරි තරං... තාත්තා වයසක මනුස්සයා... අපි දෙන්නෙකුත් දාගෙන පදිනකොට පොඩි පොඩි කඳු අහුවෙනකොට එහෙමවත් උදව් නොකර ඉන්නේ කොහොමද..? ඒක හිනා යන්ට කාරණයක් වෙන්නේ නැත්තේ ඒකයි...

පස්සෙන් පහුකාලෙක මටම කියලා බාගේ බයිසිකලයක් ලැබුනට පස්සේ යන්තං අමාරුවෙන් ඒක පැදලා හුරු වෙනකල්ම මට ඔය රෝද දෙකක් උඩ බැලන්ස් කරං පදින වැඩේ මැජික් එකක් වගේ වැඩක් තමා...

එදා ඒ දේවල් කොයි තරං අපිව පුදුමයට පත් කලත් අද ඒවා අපිට මහ ලොකු දේවල් නෙවෙයි..ඒත් නිකං ඉන්න ගමන් ආයේම කල්පනා කරලා පොඩි කාලේ හිතපු විදිය මතක් කරන කොට අද අපි ලොකු දේවල් කියලා දකින දේවල් අනාගතේ දවසක කොයි තරං පුංචි දේවල් වෙන්න පුළුවන්ද..?

36 comments:

  1. ආයෙමත් පුංචි කාලෙට ගියා වගේ දැනුනෙ.

    ReplyDelete
    Replies
    1. මාත් නිතර නිතර ඔය පුංචි කාලෙට ගෙහුන් එනවා..ඒ එන ගමන් මොනවා හරි අරං ‍එන වෙලාවට තමා මේවා ලියවෙන්නේ...

      Delete
  2. ඒ කතාවනම් සහතික ඇත්ත මාරයියේ.. ඒ දවස් වල හිතේ තිබුන ප්‍රෙහෙලිකා කාලයක් යද්දි විසදෙද්දි මේවත් ප්‍රශ්නද කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට තමා හිතෙන්නේ ඒ දවස්වල මේක මේ තරං ලොකු කරගෙන විදෙව්ව මෝඩකං කියලත්...

      Delete
  3. "කොහොම හරි ඒකා මාවත් දමාන බොට බොට ගාගෙන එහෙ මෙහෙ ගියා..ඒ යනකොටත් අතර මගදි දෙතුන් විඩක් ඇංජිම හිට්ටා.. එතකොට තමා මේකේ නැගලා ආව කරුමේ කියලා මට හිතුනේ.. වෙනදට අපිව පයිසෙකට ගණන් නොගන්න එකා එදා මාව මේකේ දමාන ගියේ මට ඇති ආදරේකට නොවෙන වග තේරුනේ ආයෙම ගිනි කාස්ටකේ ඕක තල්ලු කොරන්ට උනාම තමා..." මේ කොටසට මට හොඳටම හිනා ගියා :D :D

    "ඒ විතරක් නෙවෙයි සමහර තැන් වලදී තාත්තා අපහසුවෙන් පදිනවා කියලා දැක්කම මං ලැගෙජ් එකේ වාඩිවෙලා ඉන්න ගමන්ම සීට් එක තල්ලු කරමින් තාත්තට උදව් දෙන්න හදපු අවස්ථාත් අනන්තයි.." මේ කොටසටනම් "අනේ" යන හැඟීම ඇති උනා. :)

    අද දවසත් මහ ලොකු දවසක් නොවුනට යම්කිසි කාලේක මෙයත් අතීතයට යනවා. එදාට අපේ පුංචි කාලේ අතීතයටම අදත් ගිහින් හේත්තු වෙලා අනාගතයට කියන්න දෙයක් එකතු ක‍රයි.

    ReplyDelete
    Replies
    1. ඩී.
      +++++++++++++++++++++++

      Delete
    2. අනිවාර්යයෙන්ම ඉස්සරහා දවසකදි අද ගැන හිතෙනකොට ඔය කිව්ව දේවල් වෙලා තියෙයි තමා...

      Delete
  4. අපි ලෝකෙ දකින කෝණය වයසත් එක්කම වෙනස් වෙනවා තමා.

    ඔය බැන්ටම් කියන්නෙ BSA බයික් එකක්නෙ. අපේ තාත්තටත් තිබ්බා BSA C15 Star Model කියන එක. සද්දෙ හෙන ගාම්භීරයි. ගියර් තියෙන්නෙ දකුණු කකුලට, බ්‍රේක් තියෙන්නෙ වම් කකුලට. යන්නත් පුලුවන් ලෙලදෙන්න.

    පිටකො‍ටුව හරහා අර මිනිස්සු ගොඩේ එක මිනිහෙකුගෙ ඇ‍ඟේ හැපෙන්නෙ නැතුව බස් එකක් එලවගෙන යන්නෙ කොහොමද කියන එක මට හෙන මැජික් එකක් පොඩිම කාලෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අන්න හරි හෙන්රි අයියා බී ඇස් ඒ තමා..ඒත් බැන්ටම් කියලා තමා නිතර කියඋනේ...ඒකක් පැදලා දැන් තියෙන එකක් පදින්න ගියොත් හක්ක පයිනවා...

      යකෝ අයියේ..පොඩි කාලේ නෙවෙයි මට දැනටත් පිට කොටුවෙදි ඔය ප්‍රශ්නේ තියෙනවා...බස් ඒන නැහැ මේ අපේ පුංචි බයිසි මොටෝ එක ගෙනියන්නෙත් අමාරුවෙන්..:D:D:D

      Delete
  5. මං මේ උඹත් එකක් තියෙන අරෝවකට එහෙම නෙමෙයි මේ අහන්නේ..... අර උඹට පොඩි කාලේ බරබාගේ යට එල්ලලා තියෙන ගෝනි පඩංගුවේ නැගලා යන්න හිතුනැයි කි‍ව්වනේ..... උඹට නිකමටවත් ආසාවක් ආවේ නැද්ද හොඳ බරබාගයක් ඇදගෙන යන්ඩ ඕන කියලා.... අඩුම ගානේ දැන්වත් එහෙම ආසාවක් නැද්ද...?

    ReplyDelete
    Replies
    1. අම්මප මචං එදාට මමතමයි බෝං ලීයෙ නැගල කෙවිටෙං මාරයගෙ කිරිජ්ජපල්ල කිතිකවන්නෙ

      Delete
    2. දෙන්නම ඉවසලා ඉඳහල්ලා..මං දැන් හිතං ඉන්නේ බර බාගේ තියෙද්දී බර කරත්තයක්ම ගන්න..ඇයි යකෝ බානක්ම ඉද්දි මොකට ලත වෙනවද..?

      Delete
  6. කවුද බං අර ටැක්ටරේ එලෝපු කැකුලාවල අයිය.
    බොට හිතෙන්නෙ නැද්ද මේ බ්ලොග් ලියන එකත් මැජික් එකක් කියල.

    ReplyDelete
    Replies
    1. මේකත් හෙන මැජික් එකක් තමා බොල වෙලාවකට...

      අපේ ගමේ ඉන්න උන්ගෙන් සීයට හැටකට වඩා කැකුළාවලලා තමා ප්‍රසන්න... ඉතිරි සීයට හතලිහ තමා අනිත් පරම්පරාවල් ඉන්නේ..හිතා ගතෑකිනේ කොහොමද වැඩේ කියලා...
      ඒත් ඒ අතරින් කැකුලාවල කිව්වම ඒක නම හැටියට භාවිතා වෙන එකම එකයි ඉස්සර හිටියේ..ඒ කැකුලාවල අයියා..පොර වැඩි හරියක් හි‍ටියේ පිටරට..ගමේ ඉන්න කාල වලට ටැට්ටර් එලවනවා...

      Delete
  7. දැන් බලමුකෝ ඔය ටෙලිෆෝන් එක.. කවුද හිතුවේ ඔය මගුල ඉනේ ගහන පොල් කඩන කොලු පැටියට ගස් නගින්න පුළුවන් වේවි කියාලා..

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ ගැනනං කුමන කතා...

      Delete
  8. මේ හලෝ අපේ තාත්තගේ බැන්ටම් එක නිකන් ෆ්ලියිට් එකක් වගේ හොදේ.. එකට නොන්ඩි දන්නා අවොත් නම් ඉතින් දන්නවනේ මට හරියට කේන්ති යනවා හොදේ.. ඒ වගේම මම හරි වසයි.. හැබැයි එක කතාවක් නම් ඇත්ත.. තාත්ත කඩේ ගෙදර දේවල් හරියේ එනකොට අපි දන්නවා තාත්ත එනවා කියල...

    ReplyDelete
    Replies
    1. හෑ . . . මේ චතූෂ කැකුලාවලගෙ ඥාතියෙක්ද ???

      Delete
    2. හික් හික්... කඩේ ගෙදර හරියෙන් නෙවෙයි නුවරපාරෙන් හරවනකොට උනත් ඇහෙයි පොඩ්ඩක් සද්ද බද්ද අඩු වෙලාවකදිනං...

      ඔව් ඔව් ඕනයා..මේ මගේ නංගි

      Delete
    3. අර්ර් ... දැන්නම් මට හොදටම කේන්ති ගිහින් ඉන්නේ හොදේ.. ( ඉතින් බය වෙනවකො හිනා වේවි බලන් ඉන්නේ නැතුව.. තේරෙන්නේ නැද්ද මට කේන්ති ගිහින් ඉන්නේ කියල ඈ....) මොන කරන්නද ඉතින් මෙයා මගේ අයිය වෙච්චි..

      Delete
  9. //අද අපි ලොකු දේවල් කියලා දකින දේවල් අනාගතේ දවසක කොයි තරං පුංචි දේවල් වෙන්න පුළුවන්ද..?//

    සහතික ඇත්ත...:)

    ReplyDelete
  10. පැරණි දේවල් පැරණි මතක ගැන සතුටු වෙන්න පුළුවන් උනත්, ..... අනාගතේදී වර්තමානය ගැන එහෙම හිතලා සතුටු වෙන්න පුළුවන් වෙයිද කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙමම වෙන්නත් බැහැ..අතීතෙදි මං හිතුවේ නැහැ කවදාවත් මේ තරං ලස්සනට ඒ දවස් ගැන දකින්න පුළුවන් වෙයි කියලා.. ඒ වගේ ඉස්සරහටත් අපිට පුළුවන් වෙයි.

      Delete
  11. පොඩි කාලෙ දකින ලෝකය මොන තරම් විසිතුරුද?

    ReplyDelete
  12. අනේ ඇත්තට ඉස්සර ලොකුවට හිටපු අලි දැන් කොච්චර චූටිද ?

    ReplyDelete
    Replies
    1. දැක්කමත් දුකයි..නාටු ගැහිලා...කවදනං ආයේ ලොකු වෙයිද මංදා..?

      Delete
  13. මමත් ටීවී එකෙන් දැකපු කොම්පීතරව ඇස් දෙකෙන් දකින්න ගොඩක් ආසා කලා,,කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙට 99 කොම්පීතර කෙනෙක් ආවා,,ඒ වෙලේ තමා මම ඕක ඇස් දෙකෙන් දැක්කේ...

    ReplyDelete
    Replies
    1. උඹලා වාසනාවන්තයි..මං කොම්පීතර කෙනෙක්ව හරියට දැන්නේ 2001දී වගේ..ඒත් අතපත ගාන්න උනේ 2006දී වගේ

      Delete
  14. කියවගන යනකොට හිතුනෙම දැං ඉන්න එවුවොන්ට කොහෙද මෙහෙම ඒවා කියලා....

    ReplyDelete
  15. සහතික ඇත්ත .. පොඩි කාලේ මහම මහා ලොකු ගොඩක් දේවල් අද අපිට එහෙම නෙවෙයි. සමහර වෙලාවට ඒ දේවල් ගැන අපි හිතන් හිටිය හැටි මතක් වෙද්දී හිනත් යනවා ...

    ReplyDelete