27 March 2012

රුපියල් ඩොලර් යුරෝ එක්ක ඇන් ඇම්...

අපේ තාත්තගේ ලෝකේ එක එක වීරයෝ හිටියා... ඒ අතරින් අංක එකේ හිටියේ කතා දෙකක් නැතිවම ඇස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහත්තයා. ඔය ගැන මට ඒ දවස්වල සෑහෙන්න ප්‍රශ්න තිබුනා.. ඒකේ අවසානය සනිටුහන් උනේ බණ්ඩාරණායක මහත්තයගේ අගනා සිත්තමකට මගෙන් සෑහෙන අලාභයක් උනාට පස්සේ තමා.. එයින් පස්සේ තාත්තාගේ බණ්ඩාරනායක වන්දනාව අපිට කරදරයක් වෙන තරමට කරන්නේ නැතිව එයාගේ පාඩුවේ කර ගත්තා.

ඊ ළගට විජය කුමාරණතුංග.. කොබ්බෑකඩුව මහත්තුරු දෙන්නම.. සරත් මුත්තේට්ටුවේගම.. අනිල් මුණ සිංහ.. ඩීබී ජයතිලක.. අනගාරික ධර්මපාල.. කොල්වින් ආර් ද සිල්වා.. ඩඩ්ලි සේනානායක..

ඔය වගේ චරිත කිහිපයක් ගැනම නිතරම පැරණී කතා කීම තාත්තාගේ පුරුද්දක්... ඔය අතරට සර් ජෝන් කොතලාවල හා බැඳුන කතාත් තිබුනා.. තාත්තා තරමක් අකමැති උනත් විජයානන්ද දහනායකගෙත් හොඳ වැඩ ගැන ඉඳ හිට කතා කලා...

ඔය හැම දේම අතරේම හිටිය තවත් චරිතයක් තමා ඇන් ඇම් පෙරේරා කියන්නේ...

තාත්තලා සේවය කල ප්‍රවාහන අංශය ඇතුළු බොහෝ ආයතන රැසක් ජනසතු කිරීම හරහා එයට මුල් වූ චරිත අතර මුල් පෙලේම හිටිය ඇන් ඇම් තාත්තලගේ ලෝකයේ වීරයෙක් උන එක අරුමයක් නෙවෙයි. ඔය ජනසතු කිරීමත් සමඟින්ම බැදුන බොහෝමයක් කතා ඒ දවස්වල තාත්තා අපිට කියනවා මට මතකයි..ඒ අතරින් එකක් තමා බස් ජනසතු කිරීමෙන් පසුව පලමුවැනි දිනයේ ලබන ආදායම හරියටම කියන්නට ඇන් ඇම් සමත් උනා කියන කතාව වැනි කතා. ඔවායේ ආරළු බූරළු ඇති..ඒත් ඇන් ඇම්ට බොහෝ දෙනාට දැකිය නොහැකි ඉදිරි දැක්මක් තිබුනාය කියන කාරණාව මට පසු කාලයේ හමු වූ පක්ෂ විපක්ෂ බොහෝමයක් දෙනෙක් කියලා තියෙන කතාවක් තමයි.

මේ ඊයේ පෙරේදත් අපේ යාළුවෙක් මූණු පොතේ ඇන් ඇම්ගේ කතාවක් ඉස්සර කරගෙන ලියවිල්ලක් දාලා තිබුනා.. ඒකෙන් කියන්න උත්සහ කලේ නම් විධායක ජනාධිපති ධූරය හරහා මහින්ද රාජපක්ෂ කරන වැඩවල වැරදි උනත් එයට යටින් කියඋනේ ඇන් ඇම් වැනි බුද්ධිමතුන්ගේ විරෝධතා නොසකලා හරිමින් ජේ ආර් විසින් ලාංකීය දේශපාලනයට කල හූනියම කියන එක මගේ යාළුවට අමතක වෙලා තිබුන හෝ දැකලා තිබුනේ නැහැ කියලත් මට හිතුනා.. ඒත් මේ විධායක ජනාධිපතිකම ගේන අවස්ථාවේ ඇන් ඇම් එහි ඇති අනාගත විපත හොඳින්ම දැකපු බවවත් අපේ යාළුවා දැනගත්ත එක මදෑ... ඇන් ඇම් කියපු දේ එදා හිටිය යූ ඇන් පී පාක්ෂිකයින් අගය කලානං අද මේ වෙනකොට නාහෙන් අඩ අඩ ඉන්න උන්දලගේ පුත්තුන්ට වෙන්නේ නැහැ.. ඒත් ඒ වෙලාවේ දෑස් වැහිලා හිටිය පාක්ෂිකයින්ගේ වැරදිවලට අද ඔවුන්ගේම පුත්තු දෙස් දෙවොල් තියන එකත් එක අතකින් හරි අපූරු වැඩක්... ඒත් ඉතිං ඒක තමුන්ගේ පැත්තේ ලොක්කා අතේ තියෙනකල්ම උන්දලට ඔය වැරදි එකක්වත් පෙනුනේ නැති එකයි වැරැද්ද.. ආයේ ඕක ලැබුනත් මෙන්න කියලා අහක් කරයි කියලනේ බය... කොහොම උනත් ඕක අහක් කරන්න පුළුවන්නං කාටත් හොඳයි... මොකද අද නැතත් තව අවුරුදු විස්සකින් තිහකින් පස්සේ හරි අපිටත් නැත්තං ඕක ගැන අඩ අඩ ලියන්න වෙන්න බැරි නැහැ...

ඒ විධායක ජනාධිපතිකම ගැන පමණක් නෙවෙයි අනිකුත් බොහෝමයක් අංශ ඇන් ඇම්ගේ අනාගත ඇහෙන් බලන්න තිබුන විශ්මිත හැකියාව හින්දා වාමාංශිකයින් හවුල් කරවාගෙන හැදුන සභාග රජයන් හරහා ඇන් ඇම්ගේ විශිෂ්ඨ සේවය මේ රටේ පොදු ජනයාට ලබා දුන් බව තාත්තා නිතර දෙවේලේ කිව්ව දෙයක්තමයි.

ලෝකයේ හොඳටම හොඳ හෝ නරකම නරක චරිත නැහැ වගේ ඇන්ඇම්ලගේ වාමාංශික දේශපාලනය ඇතුලෙත් ඔවුන් විසින් තමන්ගේ පන්ති බේදය යම් දුරකට හෝ තබා ගත්තාය කියලා එල්ලවන චෝදනාව යම් තරමක ඇත්තක්ය කියලා මටත් හිතුනේ පසු කාලීනව කේ ජයතිලකයන් විසින් ඇන් ඇම් සමඟ ඔහුගේ අත්දැකීම් පිළිබඳව කියවපුවාමයි...

ලංකාවේ කම්කරුවන්ගේ හා පීඩිත මිනිසුන්ගේ රජයක් කවදාවත් බිහි නොවුන එකේ හේතුවත් ඕකම තමයි...කම්කරුවන් නියෝජනය කරමින් බලයට එන්න දගලන හුගාක් නායකයින් ඇත්තටම කවදාවත්ම කම්කරුවන් සමඟ එකට කන්න බොන්නවත් ලෑස්ති නැහැ. ඔය දේ යම් පමණකට තේරුම් ගත්ත පීඩිතයින් තමුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලන කම්කරු නායකයින් වෙනුවට සුපුරුදු වළව් පෙලැන්තියේ නායකයින්ම තෝරා ගැනීමේත් එක අතක වරදක් කිව නොහැකි කාරණයක්. තමන්ව විකුණගෙන තමන්ගේ කරෙන් ඉහලට ගිහින් තමුන්ට කොකා පෙන්නන කම්කරු නායකයින් වෙනුවට තමන්ට වැඩිය විපතක් නොකරන හාමුලට චන්දේ දීම ඇර දුප්පත් පීඩිත මිනිහට තෝරාගත හැකි පැහැදිලි විකල්පයක් අදටත් ‍තියෙනවයි කියලා මම හිතන්නේ නැහැ. ලංකාවේ චන්ද දිනන්නේ හොඳ එකා කෝකද කියන පදනම යටතේ නෙවෙයි.. නරක අඩු එකා කෝකාද කියන පදනම යටතේයි.

ඔය කියනකොට මට මේ ඊයේ පෙරේදා හම්බඋන මනුස්සයෙක් කියපු කතාවක් මතක් උනා...

මෑන් කඩල රටකජු විකුණන හාදයෙක්... මමත් ගියේ කඩල ටිකක් ගන්න..ඒ යනකොට එතකන හිටිය තොරොම්බල් බඩු විකුණන මුස්ලිම් මනුස්සයෙක් එක්ක පොර දේශපාලන විග්‍රහයක..මාත් ඉතිං මගේ වැඩේ කරගන්න අතරේම හිනා වෙවී මේ කතාව අහගෙන හිටියා... දෙන්නත් එක්ක දේශපාලන පක්ෂවල නායකයින් ගැනයි කතාව කරගෙන ගියේ.. එහෙම වෙලාවක තමා මේ කඩලකාරයා මෙන්න මේ ටික කිව්වේ...

"මචං පිඟන් හෝදන එකා අතින් මිස බුදියං ඉන්න එකා අතින් පිඟන් බි‍දෙන්නේ නැහැ... බුදියං ඉන්න එකා කලින් පිගන් හෝදන්න අරං දවසට දෙකට බින්ද පිඟන්වල හැටි බලනකොට මාසයක් හමාරක් පිඟන් හේදුවනං කොහොම බිඳිල්ලක් බිඳීද කියලා දෙයියෝ තමා දන්නේ. ඒ බින්ඳ බිඳිල්ල මතක් වෙනකොට දැන් පිඟන් හෝදන්න ගිහින් පිඟන් බිඳින එකා බිඳින එක ඉවසං ඉන්න වෙනවා. එහෙම නැතිව මූ පිඟන් බිඳිනවා කියලා තද වෙලා අර බුදියං ඉන්න එකාට මේක බාර දුන්නොත් පිඟන් නෙවෙයි ගෙදර හට්ටි මුට්ටිත් බිඳලා වංගෙඩි මෝල් ගස් අහල පහලට විකුණලයි නවතින්නේ."

හරි ඒ කතාවින් වැඩක් නැහැ මං මේක ලියන්න ගත්තේ ඔව්වා කියන්නයෑ...මං ලියන්න ගියේ තාත්තගේ වීරයෝ ගැනනේ.. ඒත් ඒවා ලියන්න හිතුනේ ඇත්තටම ඇන් ඇම් ගැන අද හවහා මට මතක් උන හින්දයි..ඒකත් අපේ යාළුවෙක්ගේ බ්ලොග් පෝස්ට් එකක් දැකීම නිසයි.

තාත්තා වංගියක් කිව්වා ඇන් ඇම් එක පාරක් කරපු අපූරු වැඩක් ගැන.. ඒ තමයි එවකට භාවිතයේ තිබුණ රුපියල් පණහේ නෝට්ටුව අහෝසි කරපු එක ගැන කතාව...

එක පාරක් ඇන් ඇම් මුදල් ඇමති වෙලා හිටිය වංගියක හිටි හැටියේ රුපියල් පණහේ නෝට්ටුව අහෝසි කරලා ඒ වෙනුවට අළුත් පණහේ නෝට්ටුවක් නිකුත් කලා.. මේ හරහා එතෙක් කලක් බැංකුවක තැන්පත් කිරීමක් හෝ කිසිම විදියකින් ආයෝජනයක් නොකරමින් අට්ටි පිටින් ගෙවල්වල හංගගෙන හිටිය විශාල මුදලක් එළියට අඳින්නටත් ඒ හරහා මුදල් සංසරණය යහපත් කරවීමත්..ආදායම් බදු නොගෙවා සිටි අය කොටු කර ගැවීමත් වැනි කාරණා කිහිපයක්ම ඉටු කර ගැනීමට ඇන් ඇම් සමත් වූ බවත් කියන්නට යෙදුණා. කොහොම කිව්වත් ඔය වැඩ පිළීවෙලෙත් හිල්නං තියෙන්න ඇති. ඒත් ඇත්තටම ඒ කාලෙත් එක්ක හිතලා බැලුවම එවැනි දේවල් ඇත්තටම තරමක් අළුත් වැඩ.

මං කල්පනා කරන්නේ දැන් මේ දවස්වල මේ හිටු කියලා පාවෙන්න ඇරලා තියෙන රුපියල හරහා ඩොලර්..යුරෝ ඇතුළු විදේශ මුදල් වටිනාකම ඉහල යෑමත් එක්ක හිටි හැටියේ නැවත රුපියල කලින් තිබුනා වගේ ස්ථාවර වටිනාකමකට ගෙනාවොත් ඒක මොන මොන අතට බලපායිද කියලයි. මේ දවස්වල විදේශගත හුග දෙනෙක් මේ රුපියල පාවිල්ල ගැන ඇස් ගහගෙන ඉන්නවා කියන එක බොරුවක් නෙවෙයිනේ. සමහරු වැඩිම වටිනාකමක් එද්දි විදේශ මුදල් මාරු කිරීමත්.. තවත් සමහරු ගණන් යන දෙයක් කියලා හිතලා විදේශ මුදල් එක් රැස් කිරීමත් කියන වැඩ දෙකම කරන බවක් පේන්න තියෙනවා..ඕක කොයි අතට කැරකෙයිද කියලා මං දන්නේ නැහැ..ඒත් හිටි හැටියේ ආයම ඕක ස්ථාවර ගානක කෘතිමව හිර කලොත් කොයි අතට කැරකෙයිද..?

ඔව්ව ඉතිං මට ඔය නිකමට හිතුනට මං දන්න ආර්ථික විජ්ජාවක්වත්..දේශපාලන විජ්ජාවක්වත් නැහැ... ඒත් ඔය ගැන දන්න උදවිය මේ සයිබර් අවකාශයේ නැතිවා නෙවෙයිනේ. කරුමේ කියන්නේ මේ උන්දලට විහිළුවටවත් ඕවා හිතෙන්නේ නැද්ද.. නැත්තං හිතුනට මේ මං වගේ ඔහේ යන උළුවස්සකින් පල කියලා නොකියනවද මංදා... ඒත් ඉතිං සමහර විට මගේ මෝඩකමට මං ඔය කටට එන හැම එකම කෙලලා ඇරියට බුද්ධිමත් උදවිය එහෙම නැහැනේ... මගේ වැරැද්ද...

55 comments:

  1. හෙහ් හතර වටේටම නෙලලා තියෙන්නේ...

    මටනම් හිතෙන්නේ දැන් පිඟන් හෝදන එකා නිදන් ඉන්න එකාගෙ රෙකෝර්ඩ් කඩන්ඩද මංදා යන්නේ.. ඒත් ඉතින් මෙන්න මේක හෝදපන් කියලා දෙන්ඩ එකෙකුත් නැහැ.. මොකද නිදන් ඉන්න එකා ආයෙ වැඩ පටන් ගත්තොත් මුල ඉඳලම බිඳිනවා කියලා ශුවර්..

    මක්කැයි ඉතින් ඕකට කොරාන්නේ... ??

    ReplyDelete
    Replies
    1. මොම් මොකක්..හතර වටේට නෙළුවා..කෝ කොහේද..?
      අනේ මං අහිංසකයි...

      Delete
  2. මූටත් ඕනේ නැති මඟුලක් නෑ.... දැන් ඉතින් හෙට කියපන්කෝ අර සයිට් එකේ උඹට දෙන උත්තර ටික...

    ReplyDelete
    Replies
    1. ආ ඒක තාම ලියනවා... එළි වෙනකොට ලැබෙන්න සලස්සන්නං..:D

      Delete
  3. හොඳ ලිපියක් මාරෙ අයියා.. අර කඩල විකුණන මෑන් කිව්ව කාරණාව ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙ නැතුවද, තේරුම් අරන් තේරුනේ නෑ වගේ ඉන්නවද කියන එක නම් ප්‍රශ්නයක්...

    ඩොලර් කතන්දරේ ගැන කියනව නම් සාතන්ගෙ යාළුවො සෑහෙන ප්‍රමාණයක් ඔය ඩොලර් එක උඩ යන එක ගැන වැරදි කිය කිය ඉන්නෙ නැතුව හම්බුකරගත්ත... ගලන ගගෙන් දිය දේතක් ගත්තට වරදක් නෑනෙ...

    අනික් අතට ඩොලර් එක කෘතිමව තියාගන්න කාරනේ මාරෙ අයිය නොදැන කිව්ව කියල නම් පිළිගන්න අමාරුයි... ඔය වැඩිවීම පටන්ගන්න කලිනුත් ඒක ස්ථාවරව තියන් හිටියෙ කෘතිම විදිහට :)

    කවුද දන්නෙ නේද?... ඔය ඇමතියො ටිකක් පිස්සු කෙලියට මේ වෙද්දි ගහල තියෙන ගේම දකින සාතන්ට නම් හිතෙන්නෙ නෑ මහ රජා ගොනෙක් මීහරකෙක් කියල...

    ReplyDelete
    Replies
    1. ගලන ගගෙන් දිය දෝතක් ගන්නවම නෙවෙයිනේ ඉතිං මහන්සි වෙලා හම්බ කරපුවා වෙන්න ඇතිනේ මේ වෙලාවේ ටිකක් පැටවු ගහලා එන්නේ.. ඒ හින්දා වරදක් කියන්න බැහැ..තව කොහේ කොහේ තියෙන ඒවා මේ දවස්වල මාරු වෙනවද කවුදෑ දන්නේ...නේද..?

      අනේ මේ මංනං ඔය කුරිතම කතන්දර දන්නේ නැහැ ඕං... එව්වට තමා විශේෂඥ බ්ලොග් තියෙන්නේ...සමහර විට හෙට උදේට එයින් එක අඩවියක ඔය ගැන හරියටම යයි..:D

      අවසාන කාරනාව ගැන කියනවනං මල්ලි කියන්න තියෙන්නේ ඔතනට යනකල් ඔළුව බේරගෙන යන්න පුළුවන්නං ආයේ ඌට උගන්නන්න අපිට පුළුවන්කමක් නැහැ කියන එකයි මොන දේ දැන ගත්තත්...

      Delete
    2. රස්සා කරල ගත්තු ඩෙලර්ම නෙමෙයි බන් අයියෙ... උඩ යන්න යනව කියල තේරුන ගමන් 114 -115 ගනන් වලින් ගත්ත.. 120 දුන්න.. ආපහු 117 විතර ගත්තා.. පහුගිය දවස් වල 130-132නෙ ගියෙ නේද :)

      Delete
  4. රුපියල පාවෙන්නේ ඝනත්වය අඩු නිසාය.... උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තට..මං හිතං හිටියේ හුලං පිරිලා කියලා..:D

      ඇත්ත කියහං මේ දවස්වල හිටු කියලා මාරු කලා නේද..? මං ඇහුවේ මේ ඩොලර්...

      Delete
  5. මමත් මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බන්,,, මේ සැරේ නොහිතපු විදිහට මේ ගාන උඩට ගියේ,,කොහොමත් අවුරුද්දකට සැරයක් මෙහෙම ගනන් උඩ යනවා ඒත් මේ වගේ ගිහින් නෑ... මගේ ඔලුවට එකක් වැටහෙනවා,,අපේ රටේ මුදල් හුවමරුව කරන්න වැඩි පුරම මුස්ලිම් රත්තරන් බඩු කඩ මුදලාලිලා ... උන් ඒ සල්ලි වලට මොනා කරනවද මන්දා,, අවුරුද්දේ පුරාම එකතු කරලා මේ වගේ කාලෙකට ප්‍රයෝජනය ගන්නවද එයාලා ඒ සල්ලි වලට කරන දේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නෑ.. මිනිස්සු මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලට වැඩි රුපියල් ගානක් ගන්න ආසයි බන් රටට මොනා වෙලා උනත්,,ඒ ගන්න සල්ලි ඉක්මනින් වියදම් වෙනවා උනත්.. අර වෙලේට හම්බෙන සල්ලි ගොඩට තමා ආස..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ලිපියට පදනම උඹේ ලිපිය තමා ඩිලා..ඒක දැක්ක ගමන් මගේ ඔළුවට ආව ටික ඒකේ කමෙන්ට් එකක් හැටියට කොටන්න ගිහින් වෙච්ච දෙයක් තමා මේ...
      ඒකට කමෙන්ට් එකක් දාන්න යන්න ඕන දැන්වත්...ඒක හොඳ ලිපියක්...

      Delete
  6. එන්.එම්. පෙරේරා කියන්නේ මේ රටේ නිල නොලත් අගමැති වරයෙක් කියලයි මටනම් හිතෙන්නේ. අපි ඉස්කෝලේ ගිය කාලේදී තමයි එතුමා අර රුපියල් 50 සහ 100 නෝට්ටු අවලංගු කිරීම කලේ. ඒ කාලේ රාජ්‍ය රහස් කොච්චර හොඳට රැකුනද කියන එකට හොඳම උදාහරණයක් එක. නැත්නම් මහ එවුන්ගේ කළු සල්ලි කලින්ම මාරු කරගෙන පොඩි එවුන්ට විතරක් කෙලවන්න තිබුනා. මට මතකයි ලොකු මුදලාලිලා ඇවිත් බැංකු වල පෝලිමේ ඉන්න අතරේ අපට කියනවා, පුතේ අපි වෙනුවෙන් පෝලිමේ හිටියොත් සත 25 ක් දෙනවා සත 50 ක් දෙනවා කියලා. අපිත් හොඳ ගානක් හෙව්වා. එන්.එම්. පෙරේරා මහතා තමයි ආනයනය නවත්තලා දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩිකිරීමේ ආර්ථික සැලසුම් බණ්ඩාරනායක මැතිනියටත් කියාදුන්නේ. අර හාල් පොලු මිරිස් පොලු දැම්මේ (1974 - 75 විතර කාලේ) නරක අදහසින් නෙවෙයි. මිනිස්සු මල්පෝච්චි වල තිබුන මල් පැල ගලවලා මිරිස් වැව්වා. ගෙවත්තක් නැතත් ලොකු මිදුලක්වත් තියන මිනිස්සු මයියොක්කා ගස් දෙකක් වත් හිටවාගත්තා. අපේ රටේ යුනික් රේඩියෝ, මැස්ඩා, උපාලි ෆියට් කාර් හදන්න පටන්ගත්තා. ඇත්තටම රට දියුණුවට යන්න පටන් ගත්තා. නමුත් අපේ රටේ මිනිස්සුන්ට රටට වඩා බඩ ලොකුවීම එදත් අද වගේම තිබුනා. ඒ නිසා බණ්ඩාරනායක මැතිනිය එතුමාව කපලා දැම්මා කේලම් අහලා. මම රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන් විදිහට කටයුතු කරපු කාලේ එතුමා මුදල් ඇමති. මුදල් ඇමතිතුමා දවසක් අපේ පිට්ටනිය හරහා, සරම දෙකට නවලා ඔඩොක්කුව බැඳගෙන, කමිසයක් හෝ සෙරෙප්පු දෙකක්වත් නැතුව, තුවායයි සබන් කෑල්ලයි ගත්ත පොඩි කොලුවෙකුත් එකක යනවා කැළණි ගඟට නාන්න. මම ශිෂ්‍යභට කණ්ඩායම පුහුණු කරවමින් හිටියේ. එතමා ලන්වෙද්දී මම කණ්ඩායම සීරුවෙන් සිටින් කියලා අනදීලා ගුඩ් ආෆ්ටර්නූන් සර් කිව්වා. එතුමා සිනාවී නැවතී මගෙන් ඇහුවා එතුමාගේ ලස්සන වචනයකින් දැන් පුහුණුව කොච්චර කම්මුතුද? කියලා. මම විස්තර කිව්වා. එතුමා අර කොලුවාගේ කනට කුටු කුටු ගාලා මොනවද කියලා කොලුවව ආපහු යවලා තනියම ගඟට ගියා නාන්න. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සේ රුවන්වැල්ලේ ප්‍රියන්ත හෝටලෙන් අපට එනවා ටී බනිස් සහ කිරි තේ. මුදල් ඇමතිතුමා ගානේ. අනේ දැන් ඉන්න හාල් පාරුවෝ ඒ වගේ උත්තමයන්ගේ අපාන වාතයක් තරම්වත් වටිනවද?

    ReplyDelete
    Replies
    1. මගේ පෝස්ට් එකට වඩා දහස් ගුණයක් මට වටිනවා මේ කමෙන්ට් එක...එයිට වඩා කියන්න දෙයක් නැහැ...

      Delete
    2. දවසේ කොමෙන්ට් එක

      Delete
    3. ඇත්තටම උබෙ පොස්ට් එකට කොමෙන්ට් එකකට වඩා වටින එකතු කිරීමක්

      Delete
    4. වටිනා කොමෙන්ට් එකක්

      Delete
    5. විචාරක,
      ඔබ ගැන මටත් ඉතා පහන් හැගීමක් ඇති වුනා මේ කමෙන්ට් එකෙන්. ඔබ ලඟ ඇති කථා පෙට්ටිය ඉක්මනින් දිග හරින්න මිතුර.

      Delete
    6. අද අපේ රටේ දේශපාලුවෝ ඉන්දියාවෙන් පොල්, පැපොල් ගෙන්වන්නෙත් අපිට කියල කිසි දෙයක් හරියට නැති ජාතියක් විදියට අපි විඳවන්නෙත් එදා අපිට කලින් පරම්පරාවට බඩ ලොකු වුන නිසා තමයි. කාන්තාරවල ඉන්න එවුනුත් උන්ට පුළුවන් විදියට එළවළු පළතුරු වවනවා. උන්ට මොනවද තියෙන්නේ තෙලුයි වැලියි විතරයි. අපිට නැතුව තිබුණෙ තෙල් විතරයි, ඒකත් ඡන්ද කාලෙට මතුවෙලා යට යනවා. අපේ දැන් ඉන්න ගොන් හැතිකරේ ගිරි පුප්පගෙන කෑගහන එක විතරයි කරන්නේ.. උන් හිතන්නේ උන් ඇර ලංකාවේ ඉන්න හැමෝම බිංකුණ්ඩෝ කියලා...

      Delete
    7. මෙන්න විචාරක මහත්තයගෙ බ්ලොග් එකට යන පාර

      http://jangun.wordpress.com/

      කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කලාට, හොඳ හරබර ලිපි තියනවා එතන. :-)

      Delete
  7. විචාරක අයියා ගාවත් අපිට දැන ගන්න ලොකු කතා ගොඩක් තියනවා මාරයියා...

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඒ වගෙයි...

      Delete
  8. අයියා කියපු කතාව ඇත්ත.. දැන් ඉය පා වෙන්න දීලා තියෙන එක කොහොමත් එක පාරම ස්ථාවර කරනවා.. කලින් වතාවකත් ඔහොම පා කරපු වෙලාවේ යුරෝ එක 175ට විතර ගියා.. මාසෙකින් විතට ආයෙම ස්ථාවර කලා එතකොට 140ට විතර ආවා.. මේ පාර උනත් ඒ දේම වෙයිද කියන්න බෑ.. ඒකෙන් ඉතින් පොඩි අවාසියක් අපි වගේ අයටනම් නැත්තෙමත් නෑ..

    ReplyDelete
  9. ආර්ථික විජ්ජා දන්න උනුත් පිස්සු කෙලිනකොට උබලා අපි වගෙ එව්වෝ මොක්කුද

    ReplyDelete
  10. හලේ... සංදුක්කේ ... මේ රුපියල පා වෙච්ච එකෙන් මට නම් කනගාටුවේ බැරුවා... පහුගිය අවුරුදු දෙකම දරු පවුල ලංකාවෙ හිටිය... ඕක එකසිය අටෙන් උඩට ගියෙ නැතුවා... දැන් කට්ටිය මෙහේ ආව විතරයි .. ඔන්න...

    ..........

    දැන් ඉන්න හොර ආචර්ය ලත් එක්ක බලනකොට.... ලංකාවෙ දේශපාලන කරලිය ඇත්තම ආචාර්ය උපාධි දෙකක් පාස් කරපු ඇන් ඇම් ල වගේ උගත්තු හිටපු තැනක් නේද කියලත් දුකක් හිතෙනව...

    ReplyDelete
  11. පරම්පරාවෙන් ආ නිසා පිලිගන්නට එපා යැයි බුදු බනෙහිද තිබුනද බොහෝ දෙනා ඇන් ඇම්, බණ්ඩාරනායක වැනි චරිත වලට ආශක්ත වන්නේ පවුලෙන් එන දෘෂ්ටිවාද වල ආභාෂය නිසා මිස වෙන දෙයක් නිසා නොවේ.( මගේ මවද පියාද ආතා මුත්තාද මේ බණ්ඩාරනායක 56 ලබ්දිකයන්ය වාසනාවකට මේ පවුල්වාදයෙන් මා ගැලවිනි ) කලාපයේ අනෙකුත් සියලු රටවල් විදුලි වෙගයෙන් ආර්ථික හිනි පෙත්තේ ඉහල නගිද්දී අපි තාමත් මඩ වගුරක එරී දගලන්නේ මා දකින විදියට නම් මේ පනස් හයේ කස්ටිය රටට කරන ලද කොඩි විනය නිසාය. පරමාණු බෝම්බ දෙකක් දමා බිමට සමතලා කරන ලද ජපානය අද ඉන්නේ කොතැනද? දකුණු කොරියාව දිහා බලන්න.සිංගප්පුරුව දිහා ඇස් ඇර බලන්න. මේ රටවල් දියුණු උනේ 56 ප්‍රථිපත්ති ක්‍රියා කොට ජනසතු කොටද? මේ උන්නැහෙලාගේ අදූරදර්ෂී වැඩ නිසා අද අපේ තරුණයන්ට උරුම වී ඇති එකම දෙය නම් කොරියාවේ කුලී වැඩට යාම වැනි දේයි. දැන් වත් ඇස් ඇර බලන්න ඇමරිකාව අපිට පරමාණු බෝම්බ ගැහුවා කියා ජපනා ඉරානයේ මුල්ලා වරුන්ගේ කරට අතදාගත්තේ නැත. ඇමරිකාවෙන් ගතහැකි හොඳ දෑ ගෙන කෙටි කලකින් රට දියුනු කර ගත්තේය.අපි තාමත් ඇන් ඇම්ලාගේ වංශේ කබල් ගාමු.

    ReplyDelete
    Replies
    1. මම කියන්න හිටියෙත් ඔය ටික තමයි ,ඉන්දියාවත් ඔය සංවෘත ආර්ථික ක්‍රමයේ වහල්ලු වෙලා තමයි හිටියෙ 90 දශකය වෙනකන් , 89 කාලෙදි සංවෘත ආර්ථිකය නිසා ඉන්දියාව හිටපු තත්වයත් ඒ වෙනකොට විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ දශකය කටත් වැඩිය අත්විඳල තිබුනු ලංකාවේ තත්වයත් අතර වෙනස චානුක වත්තේගම මහත්තයක ලිපියක බොහොම අපුරුවට විග්‍රහ කරල තියනවා , ඇන් ඇම් ලව වන්දනා මාන කරන උන් අමතක කරන වැදගත් කාරණයක් තමයි කෙවින් මතුකරලා තියෙන්නේ

      ඇන් ඇම්ලගේ ක්‍රමේ දිගටම ගියා නම් අර ඇම්බැසඩර් වගේ එක කාර් මොඩල් එකයි , එක ටිවී චැනල් එකයි , එක ටෙලිපෝන් කොම්පැනියයි තියන රටක් තවමත් , මාරයාත් , මමවත් බ්ලොග් ලියනවා තියලා එහෙම මගුලක් ගැන අහල වත් නොතිබෙන්න පුලුවන්

      Delete
  12. http://www.lankabusinessonline.com/fullstory.php?nid=1775880020

    ReplyDelete
  13. ඇන්. ඇම්. ගැන කියවෙන චරිතාපදානයක් කියෙව්වා කාලෙකට කලින්.. ඒකෙන් තමයි ඇන්. ඇම් ගැන ගොඩක් දේ දැන ගත්තෙ.. මොකෝ අපි ඒ කාලෙ හිටියෙ නෑනෙ..

    "ලංකාවේ චන්ද දිනන්නේ හොඳ එකා කෝකද කියන පදනම යටතේ නෙවෙයි.. නරක අඩු එකා කෝකාද කියන පදනම යටතේයි." මේක නම් වැරදියි. නරක අඩු නෙමෙයි නරක අඩුවෙන් පෙන්නන. අනික ලංකාවෙ මිනිස්සුන්ගෙ මනාපය පළකරන නිර්නායක දිහා බැලුවම හිනා යනවනෙ ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒ ගැන නම්..

    අනිත් මම දැකපු ජරාම දෙයක් තමයි තමුන් ඡන්දෙ දීපු එකා කරන නරක වැඩක් වුනත් මහ ඉහළින් වර්ණනා කරන එවුන්.. "අපේ මහත්තයා හොර ඡන්ද දාලා හරි ඕක දිනාගන්නවා" කිය කිය ඒවගේ වැඩත් මහ උජාරුවෙන් කියන්න තරම් සමහර මිනිස්සු මෝඩයි..

    අවලංගු කොළේ 100 නේද? ඔය හාල් පොලු මිරිස් පොලු නිසා අපේ පැත්තෙ සමහර මිනිස්සු තාමත් ඔය සමඟි පෙරමුණත් එක්ක හිටපු අය එක්ක තරහයි.. ඒ මිනිස්සු කියන්නෙ මිනිස්සුන්ට එහෙම බ්ලොක් කරලා මැතිණිය කෑවෙ බාස්මතී කියලා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම .. මිනිස්සුන්ට වවාගෙන කන්න කියලා මැතිනි ඇතුල් නායකයො සැප වින්ඳා , ඔය මහ ලොකු කම්කරු නායකයො කියාගන්න රදල ඇන් ඇම් ලත් එහෙම තමා .

      Delete
  14. රුපියල බලහත්කාරයෙන් රඳවා ගැනීමේ විපාක තමයි ඔය දැන් අසීමිතව ඉහල යන්නේ , පිස්සු හරකෙක්ව මහ බැංකු අධිපති කලාම ඔහොම තමා , ජයසුන්දර මහත්තා කියන විදිහට 120-125 අතර ගානකට රුපියල ස්ථාවර වේවිලු ,

    ReplyDelete
  15. ඔය පරණ සහ අලුත් වාමාංශික දේශපාලනඥයින් ගැන හෝ පොදුවේ ඔක්කොම දේසපාලුවන් ගැන මගේ නම් ඇත්තේ පිළිකුලක්.. එත් ඇත්ත කියනවා නම් මුදල් ඇමතියෙක් හැටියට තනිවම බජට් එක හදපු එකම ඇමති එන එම් පෙරේරා කියන එක නම් සහතික ඇත්ත.. අනිත් ඔක්කොම කලේ කරන්නේ භාණ්ඩාගාරේ ලොක්කගේ ලියවිල්ලට ටින්කරින් ටිකක් කරලා කොලේට නම දාගන්න එකයි..

    ReplyDelete
  16. ඔබ කිව් චරිත අතරින් අනගාරික ධර්මපාල තුමා හා සර් ඩී. බී. ජයතිලකයන් හැර මෙරටට සේවයක් කළ අය කිසිවෙක් මම නම් දන්නේ නැහැ. අනෙක් අය හැමගෙම තිබුනේ අවස්ථාවාදය සහ බලයට කෑදරකම පමණයි. නවීන නායකයන් ගැන මම කියන්නේ නැහැ හේතුව මුන්ට වඩා උන් දහස් ගුණයක් හොද නිසා. (පැරැන්නන් කිසිත් නොකලත්,) ඒත් ඇන්. ඇම්. කියන්නේ මටත් සුවිශේෂී පුද්ගලයෙක්. මා සිතන්නේත් විචාරක කියූ පරිදි ඔහු තමයි හරියට ගියා නම් ඩී බීගෙන් පසු මෙරටට එන්න හිටි හොදම නායකයා. නමුත් අපේ කරුමෙට එහෙම වුනේ නැහැ. මම මේ රටේ නායකයො විය යුතු පිළිවෙල ලියනව නම් ලියන්නේ,
    1. ඩී. බී. ජයතිලක.
    2. ඇන් ඇම් පෙරේරා
    3. ගාමිණී
    4. ඇතුලත් මුදලි
    මේ පිළිවෙලටයි එහෙම වුනානම අද අපි ඉතා වෙනස් තැනක සිටින්නේ.
    මේ අතර අපේ ජාතියේ පියා විදියට මම සලකන්නේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අනගාරික ධර්මපාල තුමා. එතුමාගේ වරද ජාතිවාදී වීමයි. නමුත් අපේ රටට අපට සිටි ඉතාම වටිනා ජාතික නායකයෙක්.

    කරුමෙට මේ හැම සැබෑ නොවූ සිහිනම පමණයි.

    ReplyDelete
    Replies
    1. සැබෑ නොවූ සිහින ලැයිස්තුව

      1. බණ්ඩාරනායක මහතා ඝාතනය වීම.

      2. එන.එම්. පෙරේරා මහතා අගමැති නොවීම.

      3. රට ජනරජයක් කල බණ්ඩාරනායක මැතිනිය දේශපාලන වශයෙන් නොමග යාම.

      4. ජේ. ආර්. ගෙන් පසු ඇතුලත්මුදලි හෝ ගාමිණි දිසානායක ජනාධිපති නොවීම.

      5. ජෙනරල් කොබ්බෑකඩුව හමුදාපති නොවීම.

      6. ජෙනරල් සිරිල් රණතුංග ආරක්ෂක නියෝජ්‍ය ඇමති නොවීම.

      7. ජෙනරල් ෆොන්සේකා ජනාධිපති නොකිරීම...... නොකිරීම...... නොකිරීම.

      Delete
    2. 4. ජේ. ආර්. ගෙන් පසු ඇතුලත්මුදලි හෝ ගාමිණි දිසානායක ජනාධිපති නොවීම

      මේක සිද්ධ නොවුන එක නම් රටට බරපතල පාඩුවක් !

      Delete
  17. වටිනා පොස්ට් එකක් සහ වටිනා කොමන්ට් ටිකක්. විචාරකගේ කොමන්ට් එකෙන් වගේම කෙවින් පෙරේරාගේ ජපන්-ඇමරිකා සම්බන්දෙ ගැන විස්තරෙනුත් ඔලුවට ගන්න ගොඩක් දේවල් තියනවා.

    ReplyDelete
  18. //ඇන් ඇම් කියපු දේ එදා හිටිය යූ ඇන් පී පාක්ෂිකයින් අගය කලානං අද මේ වෙනකොට නාහෙන් අඩ අඩ ඉන්න උන්දලගේ පුත්තුන්ට වෙන්නේ නැහැ//
    ඔව විදියට නාහෙන් අඩන උදවිය අනාගතයේත් ඇතිවේවි.(දැං යන විදිය බැලුවම)

    //ලංකාවේ චන්ද දිනන්නේ හොඳ එකා කෝකද කියන පදනම යටතේ නෙවෙයි.. නරක අඩු එකා කෝකාද කියන පදනම යටතේයි.//
    සම්පූර්ණ වැරදියි. මාරය ගම්පහ දිස්ත්‍රික්කයට නේද අයිති. දෙපැත්තෙන්ම දිනපු ලිස්ට් එකේ ඉන්නෙ වැරදි අඩු අයද? පැරදුනු අය වැරදි වැඩි අයද? නෑ නේද? :)

    පිගන් හේදිල්ල ගැන නං කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැන් පිගන් හේදිල්ලක් සිද්ධ වෙන්නෙ නෑ. පිගන් බිදීමක් සිද්ධ වෙන්නෙත් නෑ. පිගන් හෝදන එකා පිගන් දුසිං පිටින් ගිලිනව. ගිලල වෙන තැනක වමාරනව :P

    ReplyDelete
  19. අපි කියන්නේ ඇන් ඇම් අන්කල් කියලා. මගේ බාප්පා හිටියේ බොරැල්ලේ ගේ පිටිපස්සේ ගෙදර. මෙයාගෙත් වීරවංශගෙත් මම දකින් එකම වෙනස පංති බේදය විතරයි. මේ ඇන් ඇම්ලා කොල්වින්ලා හිටපු ආන්ඩුවෙන් තමයි සිංහල ජාතීවාදය වපුරන 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙනාවේ. මුන් ඔක්කොම හැදුවේ පරණ වැඩ වසම් ක්‍රමයට රට ගෙනියන්න. ඒකට බොරුවට වමේ සළු පිළි පොරව ගත්තා. ජේ ආර් ගේ ව්‍යවස්ථාව විවේචනේ කරණ කොටත් තිබුන ව්‍යවස්ථාවෙන්ම කැපිලා උන්නේ. එතකොට හොඳින්ම පේනවා ඒක ව්‍යවස්ථාවේ වැරද්දක් නෙමෙයි කියලා. මැතිනි ෆීලික්ස් එක්ක පවුල ගෙනිච්චෙත් විධායක ජනපති ක්‍රමේම තමයි. මෙයාලා දවල්ට නිර්ධන පංතියත් එක්ක විප්ලව. හැන්දෑවට විස්කි බ්‍රැන්ඩී බීලා බෝල් රූම් ඩාන්ස් දාලා බඩුවක් ගහලා ධනපති කරන ඔක්කෝම වැඩ කරනවා. මාරයගේ තාත්තා වගේ අහිංසක මිනිස්සු මූං චේලා කියලා හිතාගෙන ගරු කරනවා, වඳිනව. මෙයාලා ගැන හොඳට දන්න අය ඒවා දැකලා හිනා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මෙයම තමයි‍. මේ ඇන්.ඇම්. පෙරේරා මහත්මයා වැනි එදා දේශපාලකයන් අද සිටින ගිරිය පුප්පගෙන හැම එකටම විජාතික බලවේග, බටහිර කුමන්ත්‍රණ කියල කෑගහන, ඇමරිකානු බඩු වර්ජනය කරන්න කියන දේශපාලනයේ සංවේදී ස්ථාන වලින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජන ගන්න පාලකයන්ට වඩා හොදයි. ඒත් අද මේ රට මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඇන්.ඇම්. පෙරේරා මහත්මයා පවා වගකිව යුතුයි. ඔවුන් නිහතමානී ලෙස හැසිරෙන්නට ඇති. ඒත් මෙරට දියුණුවට මීට වඩා කල්පනාකාරීව ගතයුතු තීන්දු තීරණ අවශ්‍ය අවස්ථාවල නොගත් බව තමයි මගේ නම් මතය. අනෙක් කරුණ තමයි වාමාංශික දේශපාලනය කියන්නේ ලංකාවේ දියුණුව ආපස්සට හරවපු බලවේගයක් කියලයි කණගාටුවෙන් වුවත් කියන්නට වෙන්නේ. සමාජවාදය යනු දුප්පතුන්ට සිහින ලෝකයක් මැවිය හැකි දේශපාලන ක්‍රමයක්. රටේ නායකයන් විසින්ම දුගී දුප්පත් බව 100% තුරන් නොකර එය තමන්ගේ බලය පවත්වාගෙන යන්නට තබාගෙන සිටින විට එයින් මුදවාලීමට හොදම ක්‍රමය සමාජවාදය යයි බොරු සිහින ලෝකයක් මවන්නට වාමාංශික නායකයන් ක්‍රියා කල බවයි අවංකවම පෙනෙන්නේ. එය හොදට පේනවා සභාග ආණ්ඩුවකට වාමාංශික පක්‍ෂත් හවුල්වූවිට කිසිදු අඩුවක් නොමැතිව සියළු වරප්‍රසාද බුක්තිවිදින ආකාරයෙන්ම. මිනිස්සුන්ට සංවේදී කරුණු කාරණා අවුස්සමින් බොරුවට බටහිර නිෂ්පාදන වර්ජනය කරන්නට ගිරිය යටින් කෑගහන පැරණි විප්ලවවාදී පක්‍ෂවල සිටි නායකයන් කරන්නෙත් එයයි. මෝඩකමට ඉන්දියානු නිශ්පාදන පවා වර්ජනය කරන්නට පිඹුරු පත් සකසන මෙම නායකයන්ට තෙරෙන්නේ නැද්ද උදාහරනයක් ලෙස අඩුම තරමින් ප්‍රවාහණ ක්‍ෂෙත්‍රයේ අද වැඩි තැනක් ගෙන ඇත්තේ ඉන්දියානු නිශ්පාදන බව. ඉන්දියානු නිශ්පාදන වර්ජනය කලොත් TATA, Ashok Lealend, Muruthi, bajaj, TVS, Mahendran ව‍ගේ ලංකාවේ ප්‍රවාහණ අංශයේ වැඩි දායකත්වයක් අ‍රගෙන තිබෙන වාහන වලට අමතර කොටස් ගේන්නේ කොහෙන්ද? ලංකාවේ ඒවා හදන්නද අදහස් කරගෙන සිටින්නේ? ඇමරිකාවු Google, Gmail, blogger, Dell, Appple, HP වගේ නිශ්පාදන වර්ජනය කලොත් තොරතුරු තාක්‍ෂනයේ හිනිපෙත්තටම රට නග සිටුවනවා යයි ‍කියන මහ ප්‍රචාරක වැඩ පිළිවෙලවල් ඉටුකරගන්නට හැකිවේද? එදා සමාජ වටපිටාව අනුව මේ ඇන්.ඇම්. මහත්වරුනුත් කරේ ඒ දේ අද සිටින චේගුවේරා රැවුල තියෙන මහත්වරුත් කරන්නේ ඒ දේමයි...

      Delete
    2. මට ඔබ සමග එකඟ වෙන්න අමාරුයි මාතලන්. මම එන්.එම්, කොල්වින්, කේනමන්, එස්.ඒ. වික්‍රමසිංහලාගේ දේශපාලනය දැකලා අත්විඳලා තියනවා. එයාලගේ අතවැසියෝ තමයි අද ඔය පිස්සු කෙලින අතාවුද සෙනෙවිරත්න, දැනට ජීවතුන් අතර නැති ධනපාල වීරසේකර, තේමිස් සිල්වා, වගේ අය. එන්.එම් ට ලෝකයේම පිළිගැනීමක් තිබුනා. ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිදිබඳ පී.එච්.ඩී උපාධිධරයෙක් (ඩබල් ඩොක්ටර් කියලා කිව්වේ ඒ කාලේ) ඔහු අනුගමනය කල සමාජවාදී ක්‍රමය, චීන, රුසියන්, හෝ කියුබා ක්‍රමයේ කාබන් කොපියක් නෙවෙයි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ අය ජීවත් වෙන්නේ අර බටහිර බෝල්රූම් පාටියේ සිට සියලුම 'වාන් පාටි' දක්වා යමින්. නමුත් එන්.එම්. යම් සීමාවක් ඇතුව ඒවා කලේ සාමාන්‍ය මිනිහාත් ජාත්‍යන්තරයත් හැකිතරම් සමබරව තියාගන්නයි. ඔහුගේ අර ෛවරී දේශපාලනය තිබුනේ නැහැ. මට මතකයි 1970 මහා මැතිවරණය දවසේ මහ රෑ මිනිස්සු ගිහින් කෑගල්ලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වටකරගෙන බලාගෙන හිටියා. පොලීසියෙන් 10 ක් ඉන්න ඇති. කිසි කෙනෙක් ගේට්ටුවෙන් ඇතුලට ගියේ නැහැ. පොලිසිය කියනදේ මිනිස්සු හොඳට අහනවා. (කෑගල්ලේ කාර්මික විද්‍යාලය) මමත් පාසල් ශිෂ්‍යයෙක් හැටියට ගිහින් කට ඇරගෙන බලා හිටියා. එතන වෙන දේවල්. පාන්දර පහට විතර ඩඩ්ලි සේනානායක මහතා (එවකට අගමැති) තරග කල දැදිගම ආසනයේ ප්‍රතිපලය කිව්වා. එතුමා ආසනය දිනුවත් චන්දයෙන් පරාදයි. දිනුවේ බණ්ඩාරනායක මැතිනිය. එතුමා ආවා කාර්මික විද්‍යාලයේ හුඩ් එක යටට. එන්.එම්. පෙරේරා මහතාත් ආවා එතනටම. (ඔහු එවෙලේ යටියන්තොට ආසනය ජයගෙන හිටියේ) ඩඩ්ලි සේනානායක මහතා සමග ඉංග්‍රීසියෙන් සුබපතාගත්තා. ඩඩ්ලි සේනානායක මහතා තම දුම්කොළ පයිප්පය කටේ තබා ගත්තම එන්.එම්.පෙරේරා මහතා සිය සාක්කුවෙන් ගත් ගිනිපෙට්ටියෙන් කූරක් ගසා එය දැල්වූවා. ඩඩ්ලි සේනානායක මහතා තනියම තම කාරයට නැග එය එලවාගෙන යන්න පිටත් වුනා. මිනිස්සු කීප දෙනෙක් හූ කිව්වා. එතුමා කාරය නවත්වා බැස ආවා. 'තමුන්නාන්සේලා තමුන්නාන්සේලාටම හූ කියාගන්න දිනය වැඩි ඈතක නොවේ' කියලා ආපහු ගියා. පසු කාලයේදී එහෙම අපි අපිටම හූ කියා ගත්තාද නැද්ද යන්න අපිම සිතා බැලිය යුතුයි. කොල්වින් තමයි 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ. ඒ ව්‍යවස්ථාවෙන් අපි අපේ නිදහස පූර්ණත්වයට ගෙනාවා. අපි ජනරජයක් වුනා. නැත්නම් අපි තවමත් බ්‍රිතාන්‍ය කොලනියක්. ඔබ දන්නවාද අපි පාසල් ශිෂ්‍ය භටයන් හැටියට දිවුරුවේ බ්‍රිතාන්‍ය මහ රැජිනට පක්ෂපාත වන බවටයි. 1971 දී විජේවීරලාට නඩු දැම්මේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ යටත් විජිතයක් වූ ලංකාව එතුමිය බිය වද්දා පැහැර ගැනීමට තැත් කළා කියලයි. ඉතින් ඒ උගුලෙන් එලියට ආව එකම මදිද. 1972 ව්‍යවස්ථාවෙන්. 1972 ව්‍යවස්ථාවේ තියන ලොකුම විහිලුව තමයි අගමැති විසින් ජනාධිපති පත් කිරීම සහ ජනාධිපති විසින් අගමැති පත් කිරීම. දිනේෂ් දීපාල් ඔබටයි මෙටික එන්.එම්. බබෙක් වගේවත් වීරවංශ වගේ ජෝකරයෙක් විදිහටවත් හැසිරුනේ නැහැ. ඔහුගේ හර්තාල් ව්‍යාපාර වලින් ඔහු ආණ්ඩු දණ ගැස්සුවා. ඔහුගේ තර්ක නොබිඳිය හැකි නිසා ආගම් බේද කුලමල ඇදලා ඔහුට අපහාස කළා. ඊයේ පෙරේදා මම දැක්කා සරත් අමුණුගම වලව්වේ හාමු කියනවා පොලිසියට මිනිහෙක් කිතුල් ගහක් මැද ගත්තම අල්ලන්න එපා කියලා. එදා එන්.එම්. එක පනතකින් පාර්ලිමේන්තුවට ගෙනාවම තොටළඟ රෑ මාටියා කියලා අපහාස කළා. කමෙන් එක දිග වැඩි නිසා මෙතනින් නවතිනවා.

      Delete
    3. // ඉතින් ඒ උගුලෙන් එලියට ආව එකම මදිද. // මොකක්ද ඕකේ තියන මහ ලොකු දේ ? අපි බ්‍රිතාන්‍යයට යටත් නෑ කියල පොඩි ස්වයං ආතල් එකක් ගන්නවා මිසක් ඊට වඩා දෙයක් තියනවද , බ්‍රිතාන්‍ය කිරිටයෙන් නිදහස් වුනා කියලා ලංකාව සුරපුරයක් වගේ දියුණු වුනාද ? හොංකොං මෑතක් වෙනකන් බ්‍රිතාන්‍යය යටතේ තිබුනේ මොකුතු අඩුපාඩුවක් වුනේ නැහැනේ එහෙම තිබුනා කියලා

      ජෝකරයෙක් වගේ හැසිරුනේ නැත්තේ උගතෙක් නිසා වෙන්න පුලුවන් , නමුත් දෙදෙනාගේ ප්‍රතිපත්ති වල මුලික හරය "කැලේ පැනිල්ල " තමා ..ජේ.ආර් කැලෙන් එලියට ගන්න උත්සහ කලත් බහුතරයක් උන් තාමත් ගල් යුගේට යන්නයි සුදානම , රටේ අනෙන්‍යතාවයද කොහෙද ඒක

      Delete
    4. ඒක ලේසි පහසු එලියට ඒමක් නෙවෙයි. කටුනායක ගුවන් හමුදා කඳවුර ත්‍රිකුණාමලේ නාවික කඳවුර ඇත්තටම අපිට අයිති වුනේ ඉන්පස්සේ. ටිකක් හිතලා බලන්න, ඒ කාලේ බ්‍රිතාන්‍යය වෙන රටක් එක්ක යුද්දෙකට පැටලුනානම් එයාලගේ ගුවන් හා නාවික බලයෙන් කොටසක් මෙහෙ ගේනවා. එයාලගේ සතුරු රටවල් අපිටත් එක්ක දීලා අදිනවා. ජනරජයක් වුනත් අපි දියුණු නොවුනේ කිසිදු දර්ශනයක් නැතුව පස් අවුරුදු සැලැස්ම, දස අවුරුදු සැලැස්ම, බබාගේ තාත්තගේ සංකල්පය, අහවලාගේ බාප්පාගේ චින්තනය, කියමින් බොරු විකාර කිරීම නිසයි. මම කියන්නේ එන්.එම්. සර්වකාලීන විසඳුම කියලා නෙවෙයි. අපි අපේම ශක්තියෙන් පළමුවෙන්ම නැගීසිටිය යුතුයි කියන සංකල්පයයි ඔහු ගෙනාවේ. ඒ සඳහා මුලින් බලු දුක් විඳිය යුතුයි. චීනය, උතුරු කොරියාව, කියුබාව, එහෙම තමයි ඔලුව ඉස්සුවේ. ඔබ කියන හොංකොං දේශය අපිට වඩා කලාපීය සංග්‍රාමික හා වාණිජ වටිනාකමකින් වැඩිව තිබුණු නිසාත්, ඒ මිනිස්සු නිදහසට වඩා ජීවිත සටනේ යෙදී සිටිය නිසාත්, බ්‍රිතාන්‍යය ඔවුන් තනිකරම බටහිර ක්‍රමයට හැඩගස්වා තිබුන නිසාත් ගැටළු මතුවුනේ නැහැ. සුද්දා අපිට දකුණු ඉන්දියාවෙන් දෙමල ජනතාව ගෙනත් නැති ප්‍රශ්න ඇති කළා. බෙදා වෙන්කළ පාලන සංකල්පය වර්ධනය කළා. පොඩ්ඩ පොඩ්ඩ හරි අපි තවමත් සුද්දට ගැතියි. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව හොඳින් ගැඹුරින් අධ්‍යයනය කරන්න. එහි තිබෙන්නේ හැමදාම සිංහලයාට පමණක් ජනාධිපති වියහැකි, හරියට කලොත් යූ.එන්.පී. ඒක විතරක් සදා බලයේ ඉන්න ක්‍රමයක්. කරුමෙට හෝ රටේ වාසනාවට ඊට පස්සේ ආව යූ.එන්.පී. නායකයන්ට ඒ බව තේරුනේ නැහැ. තේරුනත් ඔවුන්ගේ පවුද්ගලික අරමුණු නිසා ජේ.ආර්. ගේ සංකල්පය කඩා වැටුනා. 17 වාරයක් සංශෝධනය කරලත් ඉවරයක් නැහැ. එන්.එම්. අර වගේ ජෝකරයෙක් නොවුනේ ඔහුගේ සටන්වල න්‍යාය, (Theoritical Aspect) හරය (Core Issue) ආදිය සාධාරණ වීම නිසයි. ඒ අතින් බූරුවංශ රූකඩයක්.

      Delete
    5. ඔබ ඔලුව ඉස්සුව රටවල් විදිහට ගන්න උදාහරණ වලින්ම පේනවා ඔබ තවමත් වාමාංශික චින්තනයේ හිරවෙලා ඉන්න කෙනෙක් බව , ඔය කියන රටවලින් චීනය හැර අනික් රටවල් දෙකම දියුණු රටවල් නෙවෙයි ලෝකයෙන් හුදකලා වුනු තමන්ගේම ක්‍රමයක හිරවෙලා ඉන්න අය , උතුරු කොරියානුවන් අන්තර්ජාලයට හෝ සම්බන්ධ නැති බව දන්නවා ඇතිනේ , චීනයේ විශාලත්වය සහ ලාභ ශ්‍රමය නිසා සීඝ්‍ර සංවර්ධනයක හිටියත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර චීනයේ සංවර්ධනයත් මම නම් පෞද්ගලිකව අගය කරන්නේ නැහැ , ලංකාවට ආර්ථික ක්‍රමෝපායන් පිලිබඳ ආදර්ශ ගන්නවා නම් සිංගප්පූරුව මැලෙසියාව ජපානය සහ උතුරු කොරියාව වගේ සැබවින්ම දියුණු (සංවර්ධිත ) රටවල් උදාහරණයට ගන්න හැකියාව තියෙයි . ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදි රාමුව සහ ලංකාවට බොහෝ සෙයින් සමාන වටපිටාවක ආර්ථික සංරචක කලමණාකරනය කරගැනීම පිලිබඳ නූතන ඉන්දියාවෙනුත් ගත හැකි ආදර්ශ බොහොමයි

      Delete
    6. බ්‍රිතාන්‍යය සංග්‍රාමික බලවතාගේ භුමිකාවෙන් ඈත්වෙලා බොහොම කල් , වර්ථමානයේ ඒ භුමිකාවේ ඉන්න ඇමරිකාව(බ්‍රිතාන්‍ය කරන්නෙ සහයට ඩැනී පාට් එක විතරයි ) . ඇමරිකන් කොලනි නොවුනාට ඇමරිකාවට හිතවත් බොහොමයක් රාජ්‍ය වල ඇමරිකානු යුධ උපකරණ රඳවලා තියනවා , පකිස්ථානය හැරුණු විට ඇමරිකාවට සංග්‍රාමිකව උදව් කරපු කිසිම රටක ඔය විදිහට ඇමරිකානු සතුරන්ගේ ප්‍රහාරයට ලක්වුනේ නැහෑ

      Delete
    7. තව දෙයක් , චීනය අද සිටින තැනට ඔලුව ඉස්සුවේ චීන දේශීය නිෂ්පාදනයන් නිසා කියන එකත් සම්පූර්න සත්‍යයක් නෙවෙයි , චීනයේ ගහපු කසි කබල් බඩු නිසා නෙවෙයි බටහිර සමාගම් වල නිෂ්පාදන ලාභදායිව නිපදවීම හරහා තමයි චීනය සුපිරි ආර්ථික වර්ධනයක් අත්කරගන්නේ , ඒ සඳහා චීනයත් 1978 න් පස්සේ කරපු ආර්ථික ප්‍රතිසංසකරණ තමයි මූලිකම බලපැම කලේ , ඒ ප්‍රතිස්ංස්කරන හරහා තමයි විදේස් ආයෝජනයන්ට ආර්ථිකය විවර කලේ , නිදහසේන් පස්සේ දශක හතරක් සෝවියට් කඳවුරට රිංගගෙන ආච්චිට හාල් ගරපු ඉන්දියාවත් අලු ගහලා නැගිටින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පස්සේ , ඉන්දියාවේ හදපු කසිකබල් ඇම්බැසඩර් කාර් තඩි සුද්දන්ට විකුනලා නෙවෙයි , මෘදුකාංග සහ අනෙකුත් සේවාවන් සුද්දන්ට විකුනලයි ඔවුන් සාර්ථක ගමනක් යන්නේ

      Delete
    8. බුවා මම 1971 දී ජේ.වී.පී. කළා. මගේ පන්තියේ 11 ක් මැරුණා. මාව මගේ දෙමවුපියන් බේරාගත්තේ අක්කලාගේ ගවුම් අන්දලා කෙල්ලෙක් විදිහට තියාගෙන. ඉන් පස්සේ අද වෙනතුරු මම කිසිම දේශපාලනයක් කරලා නැහැ. ඡන්දේ දීලා තියෙන්නේ දෙවතාවයි. 1977 ජේ.ආර්. ට. 1994 චන්ද්‍රිකාට. මම කියන්නේ නැහැ අපි තනිකර සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි කියලා. අපි හදාගතයුතු ක්‍රමය කොහොමද හදාගන්නේ. එකෙක්වවත් විස්වාස කරන්න බැහැ. අද වාමාංශික ව්‍යාපාරයක් නැහැ. වාසුදේව, වික්‍රමබාහු, තිස්ස විතාරණ, දිනේෂ්, ජේ.වී.පී.නඩේ, විකල්ප ජේ.වී.පී. නඩේ, මේ ඔක්කොම එක වගේ ජෝකර්ලා. මට අවශ්ෂ්‍ය මේ වගේ හොඳ ෆෝරම් එකක් ගොඩ නගන්නේ කොහොමද කියන එක කියන්නයි. ඒ කියන්නේ අතීතය අධ්‍යයනය කරලා වර්තමානය අවබෝධ කරගනිමින් අනාගතය සැලසුම් කරන පිරිසක් ගොඩ නගන්නයි. වර්තමාන පරපුර ඉතා කනගාටුදායක ලෙස දේශපාලනයෙන් ඈත් වෙනවා. එයට හේතුව ලාංකික දේශපාලනයේ වර්තමානයේ තිබෙන කුනුවීමයි. නමුත් ඒ හේතුව නිසා වර්තමාන පරපුර දේශපාලනයෙන් ඈත් වුනොත් ජිල්මාට් කාරයෝ, රනිල් වගේ දේශපාලන නපුංසකයෝ, මර්වින් සිල්වා වැනි අපරාධ කාරයෝ රජ වෙනවා. මම කියන්නේ බුවා, මිශ්‍ර ආර්ථික ක්‍රමයකට යාමට අතීතයෙන් ගතහැකි පාඩම් අමතක නොකළ යුතුයි කියලා. එහිදී ඩී.එස්. සේනානායකගේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා කාල පරාසය වැදගත්. එන්.එම්, කොල්වින්, සී .පී. ද සිල්වා, ෆිලිප් ගුණවර්ධන, ඇම්.ඩී. බණ්ඩා, ඩී.බී. ජයතිලක, වගේම, චෙල්වනායගම්, මරික්කාර්, වගේ අන්‍ය ජාතීන්වල දේශපාලකයන්ගේ දර්ශනද (අදට ගැලපෙන දේවල්) අවධානයට ගත යුතුයි. අපි කවදාවත් කාගේවත් අච්චුවකට හෝ කාල සටහනකට හෝ යාම මුලාවක්. බොහොමයක් පොහොසත් රටවල් (ධනවාදී හෝ සමාජවාදී) කරන්නේ දුප්පත් රටවලට දීමට වඩා දීලා ඇදීමක්. ඒ නිසයි අපි මේ කුණු දේශපාලකයෝ අයින් කරලා, අපි හිතන විදිහේ වෙනස ගොඩනැගීම දැන් ඉන්න බුද්ධිමත් පරපුරට බාරදිය යුත්තේ. ඔවුන් ඒ සඳහා පෙළඹවිය යුත්තේ.

      Delete
    9. විකල්පයක අවශ්‍යතාවයක් මමත් දකිනවා කොහොම වුනත් ඒ සඳහා තිබෙන ප්‍රධානතම බාධකය ලිබරල් ආර්ථික ක්‍රමයේ දුර්වලතාවය නෙවෙයි , ඔබ ඉස්මතු කරන පරිදි අපේ දේශපාලුවන්ගේ වැරැද්ද කියලයි මම හිතන්නේ. මොන තොරම් හොඳ ක්‍රමවේදයක් වුනත් පාහර දේශපාලකයින් තමන්ගේ වාසියට මිසක් රටේ සමස්ථ යහපතට යොදාගන්නේ නැහැ

      Delete
  20. ඒක කියවලා දේශපාලන පඹ ගාලක පැටලුනා.
    මේ ඊයෙ පෙරේදා US$ එක රු 150ට ගියා කියලා ආරංචි වුන එක ඇත්තක්ද? මොකද ඊට පස්සෙ දවස් ගානක්ම ලංකාවෙ එක්ස්චේන්ජ් රේට් පෙන්නන සයිට් වල පත්තර වල හෙම 23දා රේට් එක පෙන්නගෙන හිටියා මිසක් අප්ඩේට් කලේ නෑ නෑ
    henryblogwalker the Dude

    ReplyDelete
  21. අනේ අපිට කොහේ තියෙන ඩොලර් ද?
    අලුත් රුපි‍යලේ කාසියත් ඇහැට පේන්නෙ නැති ගානට පොඩි කරල.

    ReplyDelete
  22. අපේ රටේ දැන් ඇන්.ඇම්. වගේ කෙනෙක් වත් හිටියා නම් මොකක් හරි වැදගත් ට්‍රයි එකක්වත් දායි ..... පොඩ්ඩක් හරි ගොඩ ගන්න.
    දැන් ඉන්න උදවිය කරන්නේ හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා වගේ වැඩනේ ...

    ReplyDelete