02 April 2012

අපි නොදන්න මොණරතැන්න...සහ මං නොදන්න මොණරතැන්න...

"අහිං..සා... පන්ති යන්න එනවා නේද...?"

බස් එකෙන් බැස්ස පාසල් නිල ඇඳුමින් සැරසුන කුඩා දරු දැරියන් අතර හිටිය එක් කුඩා දැරිවියක් තවත් දැරිවියකගෙන් කෑ ගහලා ඇහුවා... ඒ වන විට ඒ දැරිවිය එහෙම නැත්තං "අහිංසා" හිටියේ පාර මාරුවෙමින්...

"පන්ති යන්න සල්ලි නැහැ කියලා අම්මා කිව්වා"

කුඩා දැරිය කිසිම පැකිලීමකින් තොරව අර අනිත් දැරිවියට කෑ ගහලා කිව්වා...ඒක කිව්වේ කුඩා දුක් මුසු පෙනුමක් මුහුනේ තවරගෙන වග පෙනෙන්නට තිබුනා... ඒත් එක්කම අහිංසා එක්ක හිටිය පුංචි මල්ලිලා දෙන්නගෙන් තරමක් හුරු බුහුටි දඟකාර පෙනුමක් තිබුන කොලුවා විසින්

"ඔය අම්මගෙ පච ඕයි..සල්ලි නැත්තේ නැහැ"

යැයි කීම මේ ජවනිකාවට තරමක් අමුතු ස්වරූපයක් ගෙන දෙන්නට සමත් උනා...

...................................

මම හිටියේ පාසිකුඩා හා පොලොන්නරුව අතර මැද තැනක නැවතිලා... පාසිකුඩා ගිහින් මුහුදේ නාලා ආපහු පොලොන්නරුවට එන ගමන්... මෙතන නැවතුනේ කාරණා දෙකක් උඩ..එකක් තමා බයික් එකට ඔරොත්තු නොදෙන තරමේ වේගයකින් ආවා කියලා මටම තේරුණ හින්දා එන්ජිමට පොඩි සිසිල් වීමේ කාලයක් ලබා දෙන එක... අනිත් දේ තමා මේ නැවතිලා ඉන්න තැනේ පොඩි විශේෂත්වයක් තිබීම...

මේ තැන මගේ ඇහැ ගැහුනේ මම උදේ පාසිකුඩා පැත්තට යමින් සිටියදී...ඒත් එක පාරටම දැක්කත් මගේ ගමනට බාධාවක් වන නිසා එතැන නොනැවතී මං ඉදිරියටම ගියා උනත් මගේ හිතේ මේ තැන ගැන පුංචි සටහනක් දාගෙන ගියා..."එනකොට බලමු" කියලා...
....................................

බොහෝමත්ම ඉස්සර කාලේ අපේ රසවින්දනයට තිබුණ ලොකුම මාධ්‍යයක් උනේ ගුවන් විදුලිය..ඒක පස්සෙන් පහු රූපවාහිනියට හැරඋනා...ඒත් ගුවන්විදුලියට අපේ පුංචි හිත්වල තිබුන තැන කවදාවත් මැකිලා නැහැ...

ඉස්සර සඳුදා රෑ අට හමාර වෙනකොට කුප්පි ලාම්පු එළියෙන් පොත් පත් කියවමින් ඉන්න අපි ඒවා නවත්තලා දාලා ගුවන් විදුලියට කන් දෙන්න පටන් ගන්නේ "මුවන් පැලැස්ස" ගුවන් විදුලි නාටකය අහන්නයි... කෝරළේ මහත්තයා..පිනා..කදිරා..මැණිකේ..ජන්තු..බිනර මලීලා එක්ක ගෙවෙන පැය බාගේ අවසානෙදී හැමදාමත් තාත්තා එයාගේ අතීතේ දිග හරිනවා...ඒ වෙලාවට ඔය මුවන් පැලැස්ස ගැන වගේම කියැවෙන තවත් කතාවක නමක් තාත්තා මතක් කරනවා...

ඒ කතාවේ හිටිය පිරිසම යම් යම් වෙනස්කම්වලට ලක්වෙලා මුවන්පැලැස්ස කතාවට මුල් උන වගකුත් කියනවා මට මතකයි.. කොහොම උනත් මුවන්පැලැස්ස වගේම ඒ කියන නමත් ඔය හින්දා මගේ අතීත මතකේ තිබුනා...ඒත් එහෙම ඇත්තම ගම් තියෙනවද කියලවත් මං දැනං හිටියේ නැහැ..පස්සෙන් පහු කාලෙක මුවන්පැලැස්ස කියලා ගමන් ඇඹිලිපිටිය හම්බේ ගමුව පැත්තේ තියෙන වග අහන්න ලැබුනා උනත් තාත්තා කිව්ව අනිත් කතාවේ ගම ගැනනං මට අහන්න ලැබුනේ නැහැ...

.............................

පාසිකුඩා පැත්තට යද්දි එක පාරටම මගේ ඇහැ ගැටුනේ මෙන්න මේ බෝඩ් එක තමා...


ඉතිං හිතාගතෑකිද..?

ඔව් මේ තමා මොණරතැන්න..අපේ තාත්තා කිව්ව ඒ අතීත කතාව...වෙඩික්කාරයාගේ ගම...
ආයේ දෙපාරක් හිතන්න තිබුනේ නැහැ මං තීරණය කලා මොණරතැන්නටත් ටිකක් ඔළුව දාලා එන්න...එහෙම හිතලා තමා ඔතන නැවැත්තුවේ...

බයික් එක නවත්තලා හෙල්මට් එක එහෙම ගලවලා පොඩ්ඩක් ඉන්නකොටම ආව බස් එහෙකින් ඉස්කෝලේ ළමයි රොත්තක් බැස්සා...එයින් කිහිප දෙනෙක් එතනම තිබුන පුංචි කඩේ පිටිපස්සට ගියේ ඒ එයාලගේ ගෙදර වග මට පැහැදිලි කරවමින්.. ඒත් එක්කම තවත් ළමයි තුන්දෙනෙක් පාරෙන් අනිත් පැත්තට පැන්නා.. මොණරතැන්න පැත්තට යන්න.. ඒ අතරින් හිටිය ලොකුම ළමයා තමා මං කලින් කිව්ව අහිංසා... ඔය මං දාපු පින්තූරේ එයා ඉන්නවා..අර සුදු ඇඳුමින් ඉන්න පුංචි ගෑණු ළමයා තමා "අහිංසා"..එයා එක්ක ආව පොඩි උන් දෙන්නා අර පේන කඩේට දිව්වා වතුර බොන්න...

මේ සිද්ධීය මගේ ගමනට අඳාළ නැති උනත් අර පුංචි කෙල්ල පන්ති යන්න සල්ලි නැහැයි කියපු දුක්මුසු විලාසයත්... පුංචි කොළුවා ඒකට කියපු දඟකාර කතාවත් මොන හේතුවක් හින්දා හරි මගේ හිතට වැදුනා කවදාවත් අමතක නොවන විදියටම... නොදන්නා පළාතක ගිහින් වෙස්සන්තර වගේ වැඩ කරන්න ගිමින් අහල පහල උන් මට අල්ලං නෙලන්න බැරි නැති හින්දා එයින් එහාට ඒ ගැන මං මුකුත්ම කලේ නැහැ...

මං බයික් එකත් පණ ගන්වගෙන ගියා මොණරතැන්නට...
................................
පාර කිලෝමීටර් තුනයි...සම්පූර්ණ පාරම අළුතින් තාර දාලා... වැඩිය ගෙවල් දොරවල්නං නැහැ... බොහෝම පාළුයි..ප්‍රධාන පාරෙන් ඇතුලට පුංචි අඩි පාරවල් තියෙනවා කැලෑව ඇතුලට..මං හිතන්නේ ඒවා ගෙවල්වලට යන පාරවල්...
පාරට කිට්ටුවෙන් පුංචි ඇලක් වගේ එකකුත් යනවා වගේ පේන්න තිබුණා..කොහොම හරි කිලෝ මීටර් තුන අවසන් වෙන තැනදී මෙන්න මෙහෙම හිටි හැටියෙම කැලෑවක් ගාවින් පාර අවසන් උනා බහිරවය ගිල්ලා වගේ...
එතන නැවතුන මට කැලෑව පැත්තෙන් මොණරු කෑ ගහන සද්දෙනං බොහෝම ලං ලංව ඇහුනා..ඒ කියන්නේ තැමත් මොණරතැන්නේ මොණරු අඩුවක් නැතිවම ඉන්නවා කියන එකයි...

ඔය වෙලාවේ තමා මට පුංචි යාළුවෝ තුන් දෙනෙක් හම්බ උනේ..මං බයික් එකේ මේ පැත්තට එනවා දැකලද කොහේද මේ තුන් දෙනාම මේ බයික් එකේ නැගලා පාගලා ආවා මං ඉන්න පැත්තට.. ඉතිං ඒ අයත් එක්ක මං ටික වෙලාවක් කතා බහ කර කර ඉඳලා පොටෝවකුත් අරගෙන ආපහු එන්න පිටත් උනා... කොහොම හරි මට දැන් මොණරතැන්නෙත් යාළුවෝ ඉන්නවා ඕං...දැන් ඉතිං මොකාට බැරි උනත් මට පුළුවන් ඕන තැනක කට ඇරලා බය නැතිව කියන්න...
"මං නොදන්න මොණරතැන්න" කියලා... හෙහ් හෙහ්..."

29 comments:

  1. Replies
    1. උඹනං මාරයෙක්ම තමයි. නැත්තං මේ වගේ ගමන් යන්න පුලුවං කාටද?
      ඔය වගේ දුෂ්කර ගොඩක් පැතිවල පාර අයිනෙ ගෙවල් හදල නෑ. වත්ත ඇතුලට වෙන්න තමයි ගෙවල් හදල තියෙනව මාත් දැකල තියෙන්නෙ.

      අර පොඩි උං තුන්දෙනා උඹට අල්ලගෙන නෙලුවනං තමයි වැඩේ :D

      'අපි නොදන්න මොණරතැන්න' පුහ්.....

      Delete
    2. අපි නොදන්න නෙවෙයි බං..මං නොදන්න..හුහ්...

      Delete
  2. Replies
    1. පෙරේදා මම යූටියුබයෙන් හම්බෙලා "මුවන් පැලැස්ස බැලුවා ඕං.
      කදිරාආආආආආ! මටත් ලාවට මතකයි ගුවන් විදුලියෙ එහෙන් මෙහෙන් ඔය කතාව.

      මොනවා උනත් ඔය පැති වලට මම නම් හරි ආසයි. සතා සිව්පාවා උන්නත් භයානක.

      Delete
  3. හෙහ් හෙහ්... අපි නොදන්න මොණරතැන්න කියන එක අපිට දාන්න පුළුවන් වුනාට මාරෙ අයිය කොහොමද දැන් එහෙම දාන්නෙ?... වහාම වෙනස් කරන්න වෙයි මං දන්න මොණරතැන්න කියල...

    ReplyDelete
  4. උඹත් මාර වැඩනේ කරන්නේ. ඉස්සර රේඩියෝ එකේ ගිය මොණරතැන්න, දශක ගානකට පස්සේ බලන්න ගිය එකනම් සිරා. පොඩියට හරි විස්තරයක් දාපු එක වටිනවා. අර පොඩි එවුන්ගේ මුණු දැක්කම දුක හිතෙනවා. යකෝ ඔය නන්නාදුන පාළු ගම්වල රිංගන්නේ බලාගෙන, ග්‍රීස්යකා කියල නෙළයි.

    ReplyDelete
  5. ෂා ඔයත් යන්නේ මාර ගමන්නේ

    ReplyDelete
  6. යාලුවන්ගෙ ටැලිපෝං අංක ටික ලියාගත්තද ?

    ReplyDelete
  7. බඩඉරිඟු කෑවෙ නැද්ද. අලුත්ම බඩඉරිඟු තියෙනවා පාරවල් අයිනෙ ලොකු මුට්ටිවල තම්බ තම්බ.

    ReplyDelete
  8. අර බයික් එකටත් ඔරොත්තු නොදෙන වේගය කියන එකනම් හොඳ දෙයක් නොවෙයි, මොනවා උනත් නියමිත වේග සීමා පිලි පදින්න, එක උබේ විතරක් නෙවෙයි පාරේ යන අහිංසා වගේ තවත් අහිංසක අයගේ ජිවිත වලට හොදයි,

    ReplyDelete
  9. මචං පාරවල් ටික නං එළට තියෙනවා වගේ නේද?

    ReplyDelete
  10. බලාගෙන, බලාගෙන!!! ග්‍රීස් යක්කු ගැන මතකය අමතක වෙලා නැතිව ඇති ඔය ගම් වල මිනිස්සුන්ට.

    henryblogwalker the Dude

    ReplyDelete
  11. මොණරතැන්න ලස්සන ගමක් වගේ . අපිනම් තාමත් නොදනී . අගෝස්තුවේ වගේ යන්න ඉන්නේ .

    ReplyDelete
  12. පාර ඉවර වුන හැටි තමා නියම..:D

    ReplyDelete
  13. මමනම් ගිහින් නැහැ

    ReplyDelete
  14. මොණරතැන්න, මුවන් පැලැස්ස මතක් වෙනකොටත් සුන්දරයි ; මොණරතැන්නේ පාර ඉවර කරලා තියෙන්නේ චන්දෙදවසට පහුවෙනිදා වගේ ?

    ReplyDelete
  15. කොහොම සුන්දර මතකයක්ද ඇඳුනෙ මේ ගුවන් විදුලි නාට්‍ය දෙක හරහා..අහලා තිබ්බට මේ ගම දැකලා තිබ්බෙ නම් නෑ..

    ReplyDelete
  16. මොණරතැන්න ටෙලි නාට්‍යකටත් නැගුනා නේද මේ මෑතකදි..මමත් කොටස් කීපයක් බැළුවත් ඒක මග හැරුනා.. මොණරතැන්නේ තව විශේෂ තොරතුරු නැද්ද අයියේ??

    ReplyDelete
  17. මට මතක විදියට මොනරතැන්න කියන රේඩියෝ නාට්‍යයේ ගම දකුණු පලාතේ එකක්. කතා බහෙත් ඔහේ, බාංවැල්ගැට වගේ වචන තිබුණා.

    චිත්‍රපටියකුත් ආවා නේද? ඒකනං මං බැලුවේ නෑ.

    ReplyDelete
  18. මං හිතන්නේ මොනරතැන්නට වඩා ඒ කාලේ ජනප්‍රිය වුනේ මුවන්පැලැස්ස. මේ පැලැස්සවල් ඔක්කෝම තියෙන්නේ ඇඹිලිපිටිය, වැල්ලවාය, තණමල්විල පැත්තේනේ. මටත් මගේ රාජකාරි ගමන් වලදී මේ පැති පහු කරන්න නවතින්න ලැබුනා. ඒත් ඒ කාලේ (95-2009) ඒවා ගැන ලියන්න බ්ලොග් ෆේස්බුක් වගේ තැන් තිබුනෙත් නෑ. ක්ෂණිකව ඡායාරූප ගන්න කැමරා ෆෝන් තිබ්බෙත් නෑ. ඉදිරියෙදිත් ඒ වගේ යන්න අවස්ථා ලැබෙයි පුළුවන් වෙලාවට මාරයගේ කොම්පැනියට වැටෙන්නම්. පහුගිය කාලේ ගිය අවස්ථා වල ගත්ත පොටොස් ටිකකුත් ඇති දාන්නම්. ගුවන්විදුලියෙන් නාට්‍ය වලට සවන් දුන්න කාලය නම් කියල වැඩ්ක් නෑ. ඒ කාලේ තිබ්බ තව නට්‍යක් තමයි හන්දියෙ ගෙදර. ඒ කාලේ හැම දෙයක්ම අපේ හිතේ මවා ගෙන තමයි මේවාට ඇහුම්කන් දුන්නේ. මේවා මතක් කරල දුන්නාට මාරයට තුති.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹත් හන්දියේ ගෙදර ඇහුවද? මතක ඩූ ලිට්ල්. එතකොට ඉරිදා හවසට ගිය ඉනිස්පෙක්ටර් ඩග්ලස් පෙරේරා හිටපු 'අපි දෙන්නයි පාළු ලොවයි' ඇහුවේ නැද්ද?

      Delete
    2. ඉරිවේරිස් අයියාව මතක නැද්ද එතකොට? මොකද අප්පේ නැත්තේ ඒ කාලේ රේඩියෝවේ ගිය හැම එකම ඇහුවා. සිංහල පලවෙනි සේවෙයි, දෙවෙනි සෙවෙයි විතරනේ ඒ කාලේ තිබ්බේ.

      Delete
  19. හරි අහිංසක පාට ළමයි. පව්.

    ReplyDelete
  20. මාරයා වගේමයි යාළුවො ටිකත් හිහි.තනිකඩ ජීවිතයේ සැප තමා නෙහ් අයියා නිදහස.

    ReplyDelete
  21. මේක මගේ පලවෙනි කොමෙන්‍ටුව මාරයා අය්යෙ. පොලොන්නරුවේ තියෙනවා මොනරතැන්නවල් 3ක්. ඔයා ගියපු පාරේ තිබුනු1 තමයි ඔය. අපේ ගෙවලුත් ඒ ලගමයි :)

    ReplyDelete
  22. //බයික් එකට ඔරොත්තු නොදෙන තරමේ වේගයකින් ආවා කියලා මටම තේරුණ හින්දා ///

    මේක තමයි මම මේ පොස්ට් එකේ ආසම තැන...

    ReplyDelete
  23. මාරයා අයියට තියෙන්නේ යකාගේ බයික් එකක් නැත්තම් මේ දෙන දස වද වලට බයික් එක දමලා ගහලා තනියෙන් යනවා හැන්ඩ්ල් එක හැරෙන අතේ... අර කෙල්ල ගැන නම් පව් කියලා හිතුනා උදව් නොකර එන්න හිතිච්ච හේතුව අතිශය සාධාරණයි

    ReplyDelete
  24. එක මොණරෙක්වත් හිටියද....

    ReplyDelete