02 April 2012

රිලා ප්‍රහාර මැද මාර චාරිකා...

කලින් පාසි කුඩා ගිය වගත්..එයින් පස්සේ එන ගමන් මොණරතැන්න බලන්න ගිය හැටිත් ලිව්වට පස්සේ දැන් ලියන්න තියෙන්නේ ඉතිරි විස්තරේ තමා...

කොහොම හරි ඔන්න එදා දවාලේ එක විතර වෙද්දී මං ආයෙමත් ‍කඳුරුවෙල දුම්රිය ස්ථානෙට ආවා..කඳුරුවෙල කියන්නේ පොලොන්නරුවේ ඉඳන් කිලෝමීටර් හතරක් විතර එහායින් තියෙන නගරයක් උනත් පොලොන්නරුවට අයිති දුම්රිය ස්ථානේ තියෙන්නේ කඳුරුවෙල තමයි ඕං...

ඉතිං ආයෙම නවාතැනට ඇවිත් නාලා කරලා පොඩි නින්දක් දැම්මා...ආ මට කියන්න බැරි උනානේ..දවල්ට මං වාලච්චේන නගරය පහු කරලා එනකොට හම්බ උන නගරයෙන් බත් කෑවා..ඒකේ නම මට හරියටම මතක නැහැ මරිඩ්ඩවඩ්ඩි වගේ නමක්.. කොහොම හරි ආන්න ඒ නගරයේ මුස්ලිම් කඩේකින් දවල්ට හොඳට බත් කෑවා..ඔහොම දුර ගමන් ගියාම ඒ ඒ පැතිවල සාමාන්‍ය මට්ටමේ කඩයකින් කෑවොත් තමා ඒ පළාතේ කෑම බීම ගැන අදහසක් ගන්න පුළුවන්..එහෙම නැතිව සුපිරි මට්ටමේ ඒවට ගියාම ඒ කෑමෙයි කොළඹ කෑමෙයි වෙනසක් හොයන්න බැහැ...
කොහොම උනත් තරමක් පොල් කිරි අඩු..තෙල් හා මිරිස් සැර වැඩි විදියට උයපු බෝංචි.. රතු අල.. පරිප්පු.. බටු ආදී වෑංජන එක්ක ගිනි පිටවෙන සැරට උයපු මස් එක්ක තරමක් ඇට ලොකු හාලක බතක් තමා තිබුනේ... මෙහෙ කඩවල්වල වගේ සම්බා හාලනං නෙවෙයි.. ඒක ටිකක් මිල්චාට් හාලට කිට්ටුවෙන් යන හාලක්.. කිරි රසයි.. අර මිරිස් සැරත් එක්ක මේ කිරි රහ හොඳට ගැලපුනා.. කොහොම හරි මං බුරිය උල් වෙන්නම කාලා ආව හින්දා ආව ගමන් නාලා නිදා ගත්තා ටිකක්...

ඊට පස්සේ හවස දෙක හමාරට විතර ආයේ හිමිං ලෑස්ති වෙලා ගියා පොලොන්නරුවේ කෞතුකාගාරේ බලන්න...ඒක තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට ගොඩ වෙන තැනම දකුණු අත පැත්තේ... එතනට ගිහින් බයික් එක එහෙම පාක් කරලා රුපියල් හතළිහක ටිකට් එහෙකුත් අරං ගියා ඒක ඇතුල බලන්න...

බොහෝම වටිනා කියන බැලිය යුතුම කෞතුකාගාරයක් හැටියටයි මේ පොලොන්නරු කෞතුකාගාරේ හඳුන්වන්න පුළුවන්... මං ඔය තැන් තැන්වල තියෙන ප්‍රාදේශීය කෞතුකාගාර කිහිපයකටම ගිහින් තියෙනවා..ඒත් ඒවායේ ඇත්තටම බලන්න කියලා මහ ගොඩක් දේවල් ඇත්තෙත් නැහැ..ඒ මදිවට වැඩි හරියක් තියෙන්නේ වෙන වෙන පළාත්වලින් ගෙනාව දේවල් මිස ඒ පළාතේ වටිනාකම දැක්වෙන දේවල් නෙවෙයි.. හොඳම උදාහරනේ තමා වව්නියාවේ කෞතුකාගාරේ..ඒකේ තියෙන්නේ අනුරාධ පුරේ සහ නිකවැරටිය පැත්තෙන් ලැබුන දේවල් මිස වෙන දෙයක් නෙවෙයි... ඒත් පොලොන්නරුව කෞතුකාගාරය එහෙම දුප්පත් නැහැ... පොලොන්නරුවෙන් ලැබුන කෞතුක වස්තු වගේම ඉතාමත් වටිනා මිල කල නොහැකි මට්ටමේ ඡායාරූප රාශියක්ම මෙහි තියෙනවා..ඒවායින් වැඩිපුරම හිතට ඇල්ලුවේ අද හුගාක් හොඳින් සංරක්ෂණය කරලා තියෙන පුරාවිද්‍යා බිම් ඒවා එක්දහස් අටනවසිය බර ගණන්වල..ඒ කිව්වේ මුල් කාලේ සොයා ගැනීමේදී ගත් කළු සුදු ඡායාරූප..හා ඒත් සමඟින්ම ඇති අද තත්වය පෙන්වන ඡායාරූප...

ඒ පින්තූර දිහා බැළුවම පුරා විද්‍යා ස්ථාන අද අපිට ඇහැට දකින්න තියෙන තත්වයට පත් කරන්න මොන තරම් මහන්සියක් අරගෙන තියේද කියලා හොඳටම පැහැදිලි වෙනවා... පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කියන්නේ දැළි පිහියෙන් කිරි කන එකේ අනික..කොහොම කලත් බැනුං අහන්න වෙන කටයුත්තක්.. එහෙව් එකේ මේ තරම් මේ යුග දෙකේ වෙනස ඡායාරූප හරහා පෙන්වනකොට හිතට එන්නේ පුදුම හැඟීමක්..ඒක මං කිව්වට වැඩක් නැහැ..ගිහිල්ලාම බලන්න ඕන දෙයක්...

එයිට අමතරව තවත් හිත ගිය දෙයක් තමා එහි තිබුණ ආකෘති...

පොළොන්නරුවේ වටිනාම සංකේත දෙක හැටියට දකින්න පුළුවන් වටදාගේ වගේම..පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගාව එදා තිබුණා යැයි සිතිය හැකි අන්දමට ආකෘති සකස් කර තියෙන අන්දම දැක්කම ඇස් දෙක එතැනින් ගැලවිල්ල ලේසි නැහැ..කොටින්ම මං වට දාගේ ආකෘතිය ගාවම පැය බාගයක්වත් කැරකෙන්න ඇති... ඒත් කරුමෙට ඒවා පොටෝ ගන්න තහනම් හින්දා මං බොහෝම අමාරුවෙන් ඉවසං හිටියා...

ඔය විදියට හැම දේම බලලා එළියට ආවේ කෞතුකාගාරේ ගාවින්ම ඇතුලට ගියාම බලන්න යන්න තියෙන දීප උයන බලන්න යන්නයි... මෙතනදී මං වැදගත්ම ස්තූතියක් කරන්න ඕන... ඒ මට මේ ගමන් සැලසුම් සකස් කර දුන් කෙනාට...

මං පොළොන්නරු ගියේ හදිසියේම හින්දා බලන්න ඕන තැන් එකක්වත් වෙනදා වගේ ගූගල් දෙයියගේ පිහිටෙන්...(මං හිතන්නේ විමල් අයියා මගේ බ්ලොග් එක බලන්නේ නැහැ..නැත්තං උන්දෑගෙන් මට දොස් අහන්ටත් වෙනවා) සිතියම් හදාගෙන යන්න උනේ නැහැ..කොටින්ම මං පොළොන්නරු ගියා විතරයි...යන්නේ කොහේද බලන්නේ මොනවද මට කිසිම ප්ලෑනක් තිබුනේ නැහැ..ඒත් මං බය නැතිව ගියේ පොළොන්නරුව අතැඹුලක් සේ දන්නා කියන සංචාරක උපදේශිකාවක් මට හිටිය හින්දා... කොහොම හරි එයාලව දාලා මං තනියම ගිය සතුට හේතුකරගෙන බයිසිකලේ කැඩියං මාව හැප්පියං වගේ සුභ පැතුම් එකතු කරන ගමන්ම බලන්න ඕන තැන් එකක් නෑර විස්තර කරලා දුන්නා..ඒ මදිවට සිතියම් විස්සක් තිහක් විතර හදලා ෆේස් බුක් මැසේජ් හරහාත් එව්වා..කරුමෙට වගේ ඒ මැප් එකක්වත් මගේ ෆෝන් එකෙන් බලන්න බැරි උන එක වෙනම කතාවක්..ඒත් අපරාදේ කියන්න බැහැ ගමරාළ දිව්‍යලෝකේ විස්තරේ ලයිව් දුන්නා වගේ මෙයා මට අගලෙන් අගලට යන හැටි කියා දුන්නා... කොටින්ම පොලොන්නරුව ඇස් ඉස්සරහා මවලා පෙන්නුවා කිව්වොත් හරි...

ඉතිං මං ඒ විස්තරත් සිහියට නගාගෙන ආයෙම වංගියක් මගේ බයිසිකලේ නවත්තලා තිබුන තැන හරහා ගියා දීප උයනට යන්න.. කිරි අප්පට බල්ලෝ පැනපි... නැහැ දෙයියනේ මාරයාට රිලවු පැනපි... මෙ බලහල්ලාකෝ...

උන්ට සෙල්ලං බඩුවක් අහුවෙලා වගේ...ඒත් උන්ට බාධා නොකර මං පොටෝ ටික ගත්තා..පස්සේ බලද්දී මට සෑහෙන අලාභයක් යාළුවෝ ටික කරලා... බයික් එකේ සීට් එක දෙපොලකින්ම කාලා..එක තැනක වලක් හාරලා... මොනවා කරන්නද තවත් දාහකට හමාරකට තට්ටුවෙන වැඩක්..ඒත් ඉතිං උන්ගේ රාජ්ජේ නෙව..මං බයිසිකලේ අරං ගිහින් සෙනග ටිකක් ඉන්න පැත්තකට දාලා ඇවිත් මගේ ගමන ගියා...

දීප උයන පටන් ගන්න තැනම තියෙන්නේ අලංකාර ජල උද්‍යානයක්..ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය අසබඩම තියෙන නිශ්ශංක මල්ල රජුගේ මාළීගාවත්..රාජ සභාවත්..සෙල් ලිපියකුත්.. තව හඳුනා නොගත් සත් මහල් ප්‍රාසාදයක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක් වගේම වැව අයිනටම දූපතකි වගේ හඳාපු ගිම්හාන මාළීඟාවක නටඹුන් වගේම ඈතින් පේන වැව මැද පිහිටි සීත මාළිඟාවේ නටඹුන්වල දර්ශනයත් මෙතනට හොඳින් පේනවා...

මෙතන තියෙන වැදගත්ම දෙයක් තමා සිංහාසනය...

අපි හුඟක් වෙලාවට සිංහාසනය කිව්වම හිතන්නේ ලොකු පුටුවක් ගැනනේ..ඒත් මෙතන තියෙනවා නියම සිංහාසනයක්.. ඒ කියන්නේ සිංහ+ ආසනයක්... රජතුමා සිංහාසනාරූඬ වෙනවයි කියලා ලොකු කැටයං පුටුවක වාඩිවෙනවා කියලා හිතුවට මේක කළුගලින් නෙලාපු සිංහ රූපයක්..ඒ මත්තේ වාඩි වෙන්ට ඇහැකි විදියටයි සකස් වෙලා තියෙන්නේ...
දැක්කනේ ඒක කොයි තරම් අපූරු නිර්මාණයක්ද කියලා... මීට වඩා හුඟාක් ඡායා රූප බලන්න ඕනනං මෙන්න මේ ලින්ක් එක දිගේ යන්න... එතන මම ගත්ත දීප උයනේ ඡායාරූප යම් ප්‍රමාණයක් ඇතුලත් කරලා තියෙනවා ඒත් එක්කම එම චායාරූපවලට පොඩි හැඳින්වීම් එහෙමත් කරලා තියෙනවා...

ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමා මං දන්නවා මේ චාරිකා සටහන් කියවීම හුග දෙනෙකුට කම්මැලි වැඩක් කියලා..ඒත් ගණන් ගන්න එපා.. මේවා මෙහෙම දාන්නේ කාටම හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා... මොකද මාත් මීට කලින් එක වංගියක් ගියා පොලොන්නරු..ඒ පොඩි වයසකදිත් නෙවෙයි මං මහණ වෙලා හිටි සංදියේ..ඒත් ඒ ගියේ වන්දනා නඩයක් එක්ක..උපාසක අම්මලාට දකින දකින ස්ථූපේ ගාවදී මල් පූජා කරන්න ඕන..ඉතිං ගාථා කියව කියව උන්දලත් එක්ක ඔහේ ගියා මිසක මට හිතේ හැටියට මේ කිසිම දෙයක් බලන්න උනේ නැහැ... මං මේ ගමන ගිය වෙලෙත් මට හම්බ උනා ගම්පොල බාලිකාවක ළමයි ටිකක් ඇවිත් තිබුනා එක දවසක චාරිකාවක්..එයාලා මට හම්බවෙනකොට හවස හයට කිට්ටුයි...ඒත් ඒ වෙනකොටත් ඒ ළමයි පරාක්‍රමබාහු රජතුමාගේ මළීගාවවත් බලලා නැහැ..මං දන්නේ නැහැ එයාලා මොනවා බැළුවද කියලා උදේ ආව වෙලේ ඉඳන්...මට හම්බ උනේ පොත්ගුල් විහාරේ ගාවදී... ළමයි එක්ක ඇවිත් හිටිය ගුරුවරයට ඇවටිලි කරනවා අනේ සර් මාළිගාව බලන්න යමුකෝ කියලා..ඒත් ඒක ඒ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. ඉතිං ඒ ළමයි ආපහු ගම්පොල් යන්නේ පොලොන්නරුවට ඇවිත් මිසක් පොළොන්නරුව හරියට දැකලා නෙවෙයි..ඔය දේම කී දෙනෙකුට සිද්ධ වෙනවා ඇද්ද...

ආන්න ඒක හින්දා පොලොන්නරු දහ පාරක් ගිය කෙනෙකුට උනත් හැම දේම බලන්න ලැබෙයිද කියන එක ගැටළුවක්... අනික මහ දවල් කට්ට අවුවේ මේවා බලන එකත් පහසු නැහැ..මං හවස් අතේ සහ පහුවදා උදේම බලපු හින්දා අවුවෙන් සෑහෙන දුරකට ආරක්ෂා උනත් මට උනත් දවල් වෙද්දී පුදුම අමාරුවක් දැනුනේ..ඉතිං පොඩි උන් කොහොමස කට්ට අවුවේ ඒවා බලන්නේ...

මට උනත් අතෑරුණ ඒවා තියෙන්න ඇති..ඒත් මගේ සංචාරක උපදේශිකාවගේ පිහිටෙන් හැකි උපරිම විදියට මේ දේවල් බලා ගත්තා.. ඇයට නැවතත් ස්තූතිවන්ත වන අතරේම මේ ලිපි සහ චායාරූප මෙහෙම දාන්නේ කාට හරි ඉගෙන ගන්න ළමයෙකුට පුංචිම හරි දෙයක් මෙයින් ගන්න තියේවි කියලා හිතලයි... ඒ හින්දා කම්මැලි දීර්ඝ සංචාරක සටහන් කෙරෙහි අන් අය උරණ නොවෙත්වා...

ආ ඒත් එක්කම බැලිය යුතු තවත් හොඳ බ්ලොග් අඩවියක් අද මට අහු උනා... මෙන්න ඒක... බලන්න වටින ඉසව්වක්...

මෙන්න ඒකට ලින්ක් එක...බලලා කරලා හොඳයිද කියලා එන්න...


එහෙමනං මං කැපුනා...

29 comments:

  1. පොළොන්නරු ගොහින් නෑදෑයොත් බලාගෙන ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  2. මෙහෙම චාරිකා විස්තර මට නම් අගනේය, අපිත් ගිය වෙලාවෙ අව්ව නිසා වැඩි යමක් බලුව නොබලුව ගානයි, දැන් නම් ඒ අව්ව මොනවද කියලා තමයි හිතෙන්නෙ

    ReplyDelete
  3. පොඩ්ඩක් වත් කම්මැලි හිතුනෙ නෑ චාරිකා විස්තරය කියවන්න..හැබැයි දෙයියො ගැන කීවහම ඇඟ සීතල වෙලා ගියා..හිකිස්...ආ ගූගල් දෙයියො නෙ මේ..ඔය විස්තර චාරිකා ටික ආයිමත් නිවී හැනහිල්ලෙ කියවන්න ඕනි..

    ReplyDelete
  4. පොළොන්නරුව කෞතුකාගාරය නම් බැලිය යුතුම තැනක්.... පොළොන්නරුවට ගිහින් ඒකම බලලා ආවත් කමක් නෑ.... එච්චරකට වටිනවා.. විදේශිකයින් කියන විදිහට එය ජාත්‍යාන්තර ප්‍රමිතියෙනුත් ඉහලයි...

    උඹ ඔය බත් කාපු කඩේ තියෙන්නේ වාලච්චේන පැත්තේ ඉඳන් එද්දි පාලමක් පැන්න ගමන් වම් පැත්තේ ලොකු ගහක් යටනම් කෑම පට්ට සුපිරි... ඒකෙත් ඔය විදිහටමයි දෙන්නේ....

    ReplyDelete
  5. ෆොටෝ ටිකත් සේරම බැලුවා. වටිනා කම කියලා නිම කරන්න බෑ. කෞතුකාගාරේ ෆොටෝ ගන්න දුන්නෙ නැද්ද?
    පොලොන්නරුවෙ රිලවු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මාව එලවලා මගෙ වතුර බෝත්ලේ ඇරලා කට තියලා බිවුවා...

    ReplyDelete
  6. කලින් එක කියවලා කමෙන්ට් එකක් දාන්ඩ කියලා ඉන්නකොට මෙන්න තව පෝස්ට් එකක් ! අර සොෆ්ට් වෙයාර් එකෙන්ද ලියන්නෙ ? දැන් බයිසිකලේ යන ගමනුත් ලියනවා වගේ..

    ඔන්න මේක නොකියවම කමෙන්ට් එකක් දැම්මා.. පස්සෙ කියවලා එන්නම්..

    ReplyDelete
  7. ගොඩාක් ප්‍රයෝජනවත් විස්තරයක් මාරයියෙ....

    ReplyDelete
  8. "ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමා මං දන්නවා මේ චාරිකා සටහන් කියවීම හුග දෙනෙකුට කම්මැලි වැඩක් කියලා.."

    මාර අයියා පිශ්ශු කතා කරනවා... මේවගේ එව්වා කියවන්න මම ගොඩක් කැමතියි.. මාරයියගෙ යාපන් සංචාරෙ විස්තර එකතු කරන් ළඟදි ඒ පැත්තෙ යන්නත් ඉන්නෙ...

    ReplyDelete
  9. කියවන්න කම්මැලි හිතුනේ නැහැ පොළොන්නරු නොගියට පින්තූර ටිකවත් බලගත්තැහකිනේ.

    ReplyDelete
  10. මාර චාරිකා.....නිකන් ගියා වගේ තමා...

    ReplyDelete
  11. රිලව් ටික දැනගෙන... උන්ගේ ලොකු අයියා ඇවිත් කියලා...

    ReplyDelete
  12. මෙච්චරයි කියන්න තියෙන්නේ..

    "විදන්න තියෙන ජීවිතේ විදින මාරයෙක් උඹ"

    මේ හිරවෙච්ච ජීවිතෙන් මිදිලා රට වටේ යන්න පිං නැහැ බං අපිට..

    ReplyDelete
  13. මම කියන්ඩ හිටපු එක සෑමා කියලා.. අවංකවම ඊරිසියාවේ බෑ..

    හරිම ආසාවෙන් කියවපු සටහනක්.. කෑම ටික දැක්කම නම් බඩිගින්න දෙගුණ වුණා.

    ReplyDelete
  14. නෑදෑයන්ට සතුටු ඇති

    ReplyDelete
  15. මේ චාරිකා සටහන් කොයි වෙලේ හරි අපිට ප්‍රයෝජනවත් වෙයි මේවා කිසිම විදිහකින් අහක යන්නේ නෑ

    ReplyDelete
  16. මේ චාරිකා සටහන් වලට මමනම් කැමතියි.. පොළොන්නරුත් මම දෙවතාවක් ගිහින් තියෙනවා.. එකක් නම් ඔය කිවුවා වගේ ඉස්කෝලේ ට්‍රිප් එකක්.. එදා නම් ඇත්තටම මොනා බැළුවද කියලා මතකත් නෑ.. දෙවෙනි සැරේ ගෙදරින් ගිය දවස් දෙකේ ගමනෙදි නම් මේ ගොඩක් තැන් බැළුවා..

    ReplyDelete
  17. ම්ම්ම්ම්.....කව්ද මේ උපදේශිකාව......

    ReplyDelete
  18. හෆොයි මේ දවස්වල කවුතුකාගාරවල් තියෙන දේවලට ප්‍රසිද්දිය දෙන්න එපෝ. !

    ReplyDelete
  19. රිලවා [සීටි එක පහුරු ගාමින්..]

    "නුඹෙ 'හිතේ' සුවඳ මට අරන් යන්න හිත..."

    ReplyDelete
  20. මාත් පොලොන්නරු ගියේ අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක. ගොඩක් දේවල් බලාගන්න පුලුවං උනා.
    දැන් හිටු කියල පෝස්ට් දාන්නෙ බුද්ධියගෙ අර ගැජට් එකට පිං සිද්ධ වෙන්න වෙන්න ඇති.:D
    මොන කම්මැලිද බං මේව කියවන්න. තව ලියහං.

    මම 21

    ReplyDelete
  21. පංකාදු විස්තරේ .. කියවන්න කිසිම කම්මැලිකමක් නැතෝ
    පිටරට ඉන්න අපි වගේ අයට නිකන් ලංකාවට ඇවිල්ල ගියා වගේ හැඟීමක් ඇතිවෙන්න තියෙන
    මේවගේ විස්තර නම් තව තව දුරු පහේ දාල ලියපු තරමට‍ රහයි ..
    බොහොම පින් හිතෙන් හරි මේ වගේ තැන් වලට අපිව එක්ක යනවට මාරෙ අයියට... :)

    ReplyDelete
  22. පොළොන්නරුව කෞතුකාගාරය බලන්න ඕන ඊළඟ පාර ගියාම....

    ReplyDelete
  23. මාත් පොලොන්නරුවේ ගිහින් තිබුනට මෙච්චර විස්තරාත්මකව කිසි දෙයක් බලා කියාගන්න ලැබුනේ නෑ...අනුරාධපුරේ ගියත් එච්චරයි.... මාරයා අයියා රිටිගල ගිහින් දාලා තිබුනු ෆොටෝ වගේ හෙන ෆොටෝ සෙට් එකක් දැම්මනම් මාරම ගති... ආ මේවා කියවන එක කම්මැලි නෑ එලම තමා්

    ReplyDelete
  24. අලුත් යෙදුමක් ඉගෙනගත්තා."බුරිය උල්වෙන්නම කාලා..." කොපිරයිට් තියෙනවද?
    කවුද බං කියන්නෙ ගමන් ගිය විස්තර කියවන්න අපි කම්මැලියි කියලා. මම නම් හරි ආසයි මම ගිහින් තියෙන තැනකට වුනත් කෙනෙක් ගිහින් කරන විස්තරය අහන්න කොහොමද එකම තැන තව කෙනෙක් දකින්නෙ කියලා. Travel Writer කියන්නෙ වෙනම genre එකක්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  25. මාරයා මල්ලිට බොහොම ස්තුතියි මගෙ බ්ලොග් එකට ලින්ක් එකක් දුන්නට. හුඟ දෙනෙක් කැමැත්තෙන් බලලා තිබුනා.

    මම ඉන්නෙ ගිරිතලේ ඇලහැර පාරේ ජාතික වනජීවි පුහුණු කේන්ද්‍රයේ. (ගිරිතලේ වැව හන්දියේ ඉඳලා කිමී 2 යි). ආයෙත් පොලොන්නරුව පැත්තෙ ආවොත් එන්න. හොඳ වනජීවී කෞතුකාගාරයක් තියෙනවා. දුලබ සත්තු හුඟක් ඉන්නවා (පුරවා සකස් කල ආදර්ශ).

    ගිරිතලේ ඉන්න අපිටනම් රිලව් ගෙදර කට්ටිය වගේ. හැබැයි ඉතින් පොඩ්ඩ බැරි උනොත් ඉනේ තියෙන රෙද්දත් ගලවගෙන යනවා.

    යන එන ගමන් ආයෙත් ගොඩ වෙන්නම්.

    ReplyDelete
  26. ආ මාර සන්තොසයි ඇ. මාරයත් මම වගේ byk කාරයෙක් ඇ.මගේ එක තද කොළපාටයි.පිටි පස්සේ පෙර්‍ටටියක් තියනවා.තවමත් හොදට පෙර්‍ටරල් වැඩකරනවා.(35)ක් වීතර.එන්ජීන් ඔයිලුත් හොදට වැඩ (මාසයකට ඔයිල් ලීටරයයි) නරකනැ නේද.එහෙම තියද්දිත් එක එකා විකූනනවද අහනවනේ.ඇත්තටම හොද බයික් එකක් තමයි.තවම මාව අතරමන් කරලා නැ.දෙකක් දැර්‍මමත් ඔටෝ ෆයිලර්‍ට දැර්‍මමා වගේ කොල්ලා ගේදර.

    මාරයො මටත් ආසයි ර්‍බලොග් එකක් කරන්න. උදවුකරනවාද.මට ටීකක් කීයලා දෙනවනර්‍ම නොදන්න දෙවල් ලොකූ පිනක්.මාරයගේ හොරාව කියවලා තමයි මට මෙ අසනීපය හැදූනේ.

    මෙන්න ලීන්ක් එක බලනවද ඔයාට ර්‍වෙළාවක් ලැබුනම.

    http://atampahura.blogspot.com

    * සයිබර් අවකාෂයේ අපේ පන්තිය නියොජනය කිරිම වෙනුවෙන් මාරයාට මගේ උපහාරය *

    ReplyDelete
  27. චතූෂ වාලච්චේන පහුකරලා කෑම කෑව මුස්ලිම් ටවුම මරිඩ්ඩඩ්ඩි නෙවේ ඔට්ටමාවඩි :)

    අර පොලොන්නරු කෞතුකාගරෙට බර ගාණක් අය කරනවා විදේශිකයන්ගෙන් . බන්ග්ලාදේශ් යාලුවො දෙන්නෙක් සිංහල අය වගේ ශේප් එකේ ලෝකල් ගාණ ගෙවල ඇතුලට එක්ක ගිහින් බාගයක් විතර බලද්දී කරුමෙට ඔය පුරාවස්තු ගැන අපි වැඩියෙන් ඉන්ග්‍රිසි කෑලි දොඩන්න ගිහින් නඩේ ගුරා වෙච්චි මමයි ඒ දෙන්නයි එලියට විසිවුනා කෞතුකාගාර නිලධාරින්ගේ පිහිටෙන් -:)හික්ස් lolz . ඩොලර් දහයක් ගෙවලා විදේශිකයෙක්ට ඒ වගේ තැනක් බලන්න දෙනවනම් ලොකේ කෞතුකාගාර එක්ක සැසඳුවහම තව වැඩි දියුණු කලයුතු දේ එමටයි එතන

    පරාක්‍රම සමුද්‍රේ දිගේ හොටෙල් කෝපරේෂන් කොනේ ඉඳන් පරාක්‍රම ප්‍රතිමාව ඇති අනික් කොනට උදේට හවසට ඇවිදින්න මාත් ආසයි .දැන් අවුරුදු තුනකට විතර කලින් එහෙම උදේ හයට විතර දීප උයනෙයි පරාක්‍රම ප්‍රතිමාව පැත්තෙයි කැරකුන හැටි පොටෝ ගැහුව හැටි මතක්වුනා මේක කියවලා :)

    ReplyDelete
  28. අෆ්ෆා.. මමත් මේ පොලොන්නරු ගමනක් ප්ලෑන් කොරද්දියි මේක දැක්කෙ... තෑන්ක්ස් වේවා කිව්ව ඕන්....

    ReplyDelete