11 May 2012

නායක හිමිගේ අපූරු දේසනාව...කලින් කතාවේ 2...

හරි මං කලින් ලිපියේ කිහිප දෙනෙක්ගේ චරිත කතා කෙටියෙන් කිව්වනේ.. මෙන්න සීන් එක...

ඕං ඉතිං දවසක් දා මංතුමා..ඒ කිව්වේ ඒ කාලෙනං මං උන්නාන්සේ පන්සලේ ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා..මොනවා හරි ලියමින් උන්නා... හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තියා ගන්න පුළුවන් විදියේ අඩිදෙක හමාරක් විතර දිග..අඩියකට තරමක් වැඩි තරමේ පළල අපූරු ලෑලි කෑල්ලක් මං හොයාගෙන තිබුනා ඒ දවස්වල...

ඉතිං උදේ වරුවේ වැඩ රාජ කාරී නිමා වෙලා නවයට විතර ලොකු තේ කහට එහෙකුත් හදාගෙන ඔතනින් වාඩි උනාම එකොලහ විතර වෙනකල් ලියන කියන වැඩ පාඩං වැඩ එහෙම බොහෝම නිවී හැනහිල්ලේ කරගෙන ගියෑකි... සමහර වෙලාව ලියුමක් ටයිප් කරන්න උවමනා උන වෙලාවටත් මං පරණ බඩු කඩේකින් අරගෙන ඇවිත් පිළිසරක කොරගෙන තිබුන ටයිප් රයිටරෙත් ඒක උඩින්ම තියාගෙන ටක ටොකොස් ගගා ලියුං ටයිප් කොරන්නෙත් ඔතනම තමා... ඔය වැඩ පිළිවෙලට පොඩි බාධාවකට තිබුනොත් තියෙන්නේ ඉතිං කවුරු හරි මොනවා හරි උවමනාවකට ආවොත් තමා..ඒත් ඉතිං ඒ එන කෙනත් එතනම ඉස්සරහ තියෙන සිමෙන්ති පඩියේ වාඩි වෙලා කතා බස් කොරලා ආපහු යන හින්දා ඒ හැටිම කරදරයකුත් නෙවෙයි..

කුඩා කඳු මුදුනක පන්සල තියෙන නිසා ඔතනට අවට පරිසරේ බොහෝම හොඳටත් තරමක් ඈතටත් පේනවා... වම් අත පැත්තෙන් ගම මැදින් දුවන කන්දේ පාරත්... දකුණු අත පැත්තෙන් පන්සල් වත්තත්... ඉස්සරහින් පන්සල් ඉඩම හා එයිට එපිටින් දුවන පාරත් පාරට එපිටින් ඈත ගම් මණ්ඩියත් පේනවා...

ඒ වගේම හරි සනීප තැන... පන්සල් වත්තේ ගහ කොල පිහගෙන එන බොහෝම හීල් හූලඟක් නිතරම තියේ... කල්පනාවක් දාගෙන පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ඔයිට වඩා වෙන මොනවද... තනි නොතනියට පන්සලේ හිටිය බලු තුන් කට්ටුව ඉන්නවා...මම ඔතන වාඩි උනානං උන් ටිකත් බණ මඩුවේ ඉඳන් හිමිහිට ගාට ගාට ඇවිත් ඒ අහල පහල මිදුලේ වක ගහගෙන දපනවා... උනුත් කැමති මිනිස් හෙවනැල්ල වැටෙන අහකම ඉන්ට තමා...

ආන්න එහෙම ඉන්න දවසක තමා ඔය විමල් අයියා ආවේ මාත් එක්ක කතා බහ කොරන්ට කියලා... උන්දැගේ වගා බිමේ වැඩ කොරලා දාඩිය මුගුරු පෙරාගෙන ඇවිත් මා ඉස්සරහා තිබුන සිමෙන්ති පඩියේවත් වාඩි නොවී කෙලින්ම සිමෙන්ති පොලවෙම වාඩි වෙලාහොඳට අත පය දිග ඇරගෙන මහන්සි අරිමින් කතා කරන්න සූදානම...

ඔය වගේ වෙලාවට ඉතිං රටේ ලෝකේ තොරතුරු වගේම පන්සල්වල තොරතුරුත් හුවමාරු වෙනවා... උන්දෑ විමලරතන නායක හාමුදුරුවන්ගේ රියදුරු වගේම හොඳම ගිහි ගෝලයා හින්දා අවට පන්සල් කොයිකෙත් වගේ හොඳ පිළිගැනීමක් වගේම දැන හැඳුනුම්කම් තිබුනා. ඉතිං මහණ නොවුනට මොකද සංඝ සමාජේ කොයි කොයි දේ ගැනත් අපිට වඩා හොඳට දැනුං තේරුං ඇතිව වැඩ කිරීමේ හැකියාවකුත් තිබුනා... කොටින්ම යම් යම් ප්‍රශ්නවලදී හාමුදුරුවරු හැසිරෙන විදිය ගැන උනත් යහපත් උපදේශ දීමේ හැකියාවත් අපූරුවට පිහිටලා තිබුන හාදයා... වැදගත්ම දේ තමා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒ ගැන කතා කලාම මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා බල නොකර ඔය වගේ ප්‍රශ්නෙකදී එක එක්කෙනා වැඩ කරන හැටි ගැන විස්තර කරන ආකාරය...

"පොඩි හාමුදුරුවනේ ඔය දේම අහවල් හාමුදුරුවන්ට උන වෙලේ උන්වහන්සේ මෙන්න මෙහෙමයි කලේ..හැබැයි ඒකෙන් හොඳ වගේම නරකත් උනා... ඒ දේම වෙච්ච වෙලේ අර අහවල් හාමුදුවෝනං ඔය කිසිම දෙයක් නොකර පාඩුවේ හිටියා..මාසයක් හමාරක් යනකොට ඒ හැම දේම හොඳ විදියට විසඳුනා.."

ඔන්න ඔය වගේ උදාහරණ කිහිපයක් දීලා අවසානෙදී ඇහුවොත් විතරක් එහෙම දේකදී කල යුතු හොඳම දේ මොකක්ද කියලා තමුන්ට හිතෙන ආකාරය කියනවා ඇර කිසිම වෙලාවක පැනපු ගමන් "හා ඕක මෙහෙම කරපං අරෙහෙම කරපං" කියන පුරුද්ද උන්දැට නැහැ...

සාමාන්‍යයෙන් මැදි වයසෙන් මහණ උන මං වගේ උදවියට ටික දවසක් යනකල් සංඝ සමාජේට පෑහෙන්න වැඩ කරන්න අමාරුයි... පන්සල්වල උනත් එක එක ආකාරයේ චරිත ලක්ෂණ ඇති අය ඉන්නවා නෙව.. ආන්න ඒ හින්දා මේ විමල් අයියගේ ආස්සරේ තවත් අතකින් මට ප්‍රයෝජනවත් උනා... ඒ තමා පළාතේ ඒ ඒ හාමුදුරුවරුන් සමඟ කටයුතු කල යුත්තේ මොන ආකාරයෙන්ද කියලා ඉගෙන ගැනිල්ල...

විමල් අයියා‍ට ඒ සම්බන්ධවත් හොද අවබෝධයක් තිබුනා..කිසිම හාමුදුරු කෙනෙක්ව තරහා කර නොගෙන ජීවත් වෙන්නනං ඒ ඒ අය ගැන පුංචි හරි අවබෝධයක් උවමනා කරනවා... එතනදී විමල් අයියගෙන් ලැබෙන දැනුම කියලා නිම කරන්න බැරි තරං...

ඉතිං එදත් වෙනදා වගේම අපි දෙන්නා ආ ගිය තොරතුරු කතා බස් කර කර ඉන්න අතරේ හිටි හැටියේ කන්ද පාර පැත්තෙන් මහ ඝෝෂාවක් ඇහෙන්ට තියා ගත්තා...අපි දෙන්නා කර කර හිටි කතාව පැත්තක දාලා ඒ පැත්තට සුළු වේලාවක් කන් දුන්නා...

රනිල් වැඩ පටන් අරං...උදේ පාන්දරම සෙත් පිරිත් දේශනාව...මුළු ගමටම ඇහෙන විදියට කාට හරි බැණ අඩ ගහනවා...

"වරෙවු ඕන ප** වරෙවු... අම්මට හු*** වරෙවු.. ඔය එක කැ**යෙක්වත් මං ගණන් ගන්නේ නැහැ. තොපි පොලිසි නෙවෙයි ඕන හු** පලයව්. ගිහිං මට කොරයි තොපි. වල් බල්ලෝ.. කැ* වේ** පුතාලා තොපි එකෙකුටවත් මං බය නැහැ යකෝ...වරෙවු අම්මට *කන්න වරෙවු..මේ ගමේ ඕන එකෙක් වරෙවු..ගමේ බැරිනං රටේම උන් හරි වරෙවු.. අම්මට *කන්න වරෙවු"

එකම ගෝරණාඩුවාවයි...

විනාඩියක් විතර අහං ඉන්නකොට තේරුනා කවුරු හරි රනිල්ට ගහලා තමා කියන එක... කොහොමත් සතියකට වතාවක්වත් රනිල් කාගෙන් හරි ගුටි කනවා... එහෙම වෙලාවට ඇඳන් ඉන්න සරමත් දාලා දුවන හාදයා... තමුන්ගේ වත්ත හතර සීමාවට පැන්න ගමන් ඔය විදියට චණ්ඩි පාට් එක දාන්න ගන්නවා...

ඉතිං කොහොමින් කොහොම හරි ඕක අහගෙන හිටිය විමල් අයියා හීනියට හිනා වෙලා මගෙන් අහනවා...

"රනිල් නේද..? අම්මට සැපක් දෙන්න ගමේ උන්ට කතා කරන්නේ..කොච්චර හොඳ පුතෙක්ද...? තාත්තට බැරි හින්දා වෙන්න ඇතිනේ ඔය ගමේ උන්ට කතා කරන්නේ.. ගමේ බැරිනං රටේම අයට හරි කතා කරලා අම්මට සලකෝගන්න හදන හොඳ පුතෙක් නේද..?" කියලා...

ඒ අහපු විදියට මට ආව හිනාව නවත්තගන්න තරමක වෙලාවක් ගියා.. ඒ අතරෙම විමල් අයියා කතාවකට මුල පිරුවා... ඒ ඔය අම්මට අහවල් එක කරන්න කතා කිරීම ගැන...ඒ කතාව රනිල්ගේ මාමා එහෙම නැත්තං රනිල්ගේ අම්මගේ මල්ලි වෙච්ච විමලරතන නායක හාමුදුරුවන් ගැනයි...ඒ කතාව මෙහෙමයි...

ඔන්න මං කලින්ම කිව්වනේ විමලරතන හාමුදුරුවන්ට ගෝලයෝ හැට හුට හමාරක් හිටියාය කියලා..ඔය ගෝලයෝ හැදිල්ලත් ලේසි පහසු වැඩක් නෙවෙයි.. කොටින්ම හිතලා බලන්නකෝ මේ එක අම්මගේ කුසෙන් මෙලොවට ආව දරුවෝ දෙතුන් දෙනෙක් එක දවසක් ඇතුලත කී පාරක්නං රණ්ඩු සරුවල් හදාගන්නවද එක ගෙදරක ඉන්න ගියාම... එතකොට මේ ලංකාවේ හතර දිග්බාගයෙන් මදිවට අර වෙන රටක් වෙච්ච බංගලි දේසෙන් ආව උදවියත් ඇතුළුව එක්කෙනාට එක්කෙනා වෙනස් පරිසරයන් හී හැදුන වැඩුන..ඒ ඒ අම්මා තාත්තට අනුව..නෑදෑයින්ට අනුව..පළාත්වලට අනුව හැදුන අය අතරේ කොයි තරං වෙනස්කං තියේද..? මරා ගන්නේ නැතිව ඉන්නවනං මදෑ...

ඉතිං මේ ගෝලයෝ හැට හුට හමාර අතරෙන් දවසකට වතාවක් විසඳන්න ඕන පුරස්සන රාසියක් නායක හාමුදුරුවන් ගාවට එනවා... ඉතිං ඒ වගේ වෙලාවට උන්වහන්සේ දෙන තීන්දූ තීරණ වලට උරණ වෙන අයත් නැතිවා නෙවෙයිනේ..මේ කියන දේත් ආන්න එහෙම දෙයක් වෙච්ච දවසක්...

මොනවාම හරි කාරණයකදී නායක හාමුදුරුවන් විසින් දුන්න අවවාදයක් එක තරුණ පහේ හාමුදුරුනමකට විස වෙලා තියෙනවා.. උන්වහන්සේ මොකද කලේ... නායක හාමුදුරුවන් ගාවදී ඔහේ සද්දේ වහලා ඔළුව වන වන ඉඳලා දංගේ පැත්තට යන ගමන් තමන්ගේ කේන්තිය වචන වලට හැරෙවුවා...

"නායක හාමුදුවන්ගේ අම්මට *කන්න.. මං තමා වැරදි..අනිත් උන් ඔක්කෝම හරි.."

කියාගෙන ගොහිං තියේ... මේ තරුණ හිමිනම ඒ වෙනකොට ‍බොහෝම ප්‍රශ්නවලට පැටලිලා හිටිය කෙනෙක්..ඒත් නායක හාමුදුරුවෝ ඔය කිසිම කෙනෙක්ව පන්සලෙන් ලේසියකට පන්නන්නේ නැහැ... හදා ගන්න බලනවා මිස... ඒ වෙනකොටත් විශ්වවිද්‍යාලය කියන සාසන නාශක ආයතනයේ ඉගෙනුම ලබමින් හිටිය හින්දා ඔය තරුණ හාමුදුරුවන්ගේ කිව්වා නාහන ගති ලක්ෂණ බොහෝමයක් තිබුනා...

කොහොම උනත් මේ කතාව නායක හාමුදුරුවන්ට ඇහුනා... ඒ උන්වහන්සේත් ගෝලයාට උපදෙස් දීලා ඉවරවෙලා දංගේ පැත්තට වැඩිය හින්දයි.. කොහොම උනත් මේක අහපු නායක හාමුදුරුවෝ ටිකක් හයියෙන් හිනා උනා... එතකොට තමා ගෝලයට තේරුනේ වැඩේ වැරදුනා..තමුන් කියපු දේ අහු උනා කියලා... අහල පහල හිටිය අනිත් හාමුදුරුවරු ටිකත් බොහෝම බය උනා අදනං වැඩේ ලේසි වෙන එකක් නැහැ කියලා...

කොහොම උනත් නායක හාමුදුරුවෝ කිසි කලබලයක් නැතිව දංගෙට වැඩලා ගිලන්පස මොනවත් නැද්ද කියලා අහන ගමන් ආසනේක වාඩි වෙලා තියෙනවා... එක හිමිනමක් උන්වහන්සේට වළඳන්න ගිලන්පස ගේන්න යන අතරේ අනිත් අය මොනවයින් මොනවා වෙයිද නොදැන තක්බීර් වෙලා බලං ඉන්නවා... දංගෙයි වැඩට හිටිය වයසක උපාසක උන්නහෙ කෙනෙකුත්..විමල් අයියත් පැත්තකට වෙලා බලා ඉන්නවා...

නායක හාමුදුරුවෝ හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා එහෙම කතා කලා කට්ටියටම...

"පොඩි උන්නාන්සේලා ඔහොම වාඩි වෙමු ඉස්සරහින් ඉඩ තියෙන හැටියකට..."

කට්ටියත් ඉස්සරහින් බිම වාඩි උනා... ඒත් අපේ අර තරුණ හිමිනම තාම හිටගෙන...

"හා හා තමුනුත් මෙතනින් වාඩි වෙනවා..."

කියලා තමුන් වහන්සේගේ ළඟම පෙන්නුවා...ඔන්න උන්වහන්සේත් අර මොකාද වගේ ඇඹරිලා නායක හාමුදුරුවන්ගේ පාද අසලින්ම වාඩි උනා...

"කට්ටියටම අහෙන්න ඇතිනේ නේද අපේ උන්නාන්සේගේ කතාව...? මට ඇහුනනං ඉතිං අනිත් අයට නෑහෙන්න කොහොමද..මං වගේ වයසක අයයෑ මේ අය..."

කියලා වට පිට බලලා හිනා වෙලා අර තරුණ හිමියන් දිහා බලාගෙන ආයෙමත් කතාව කරගෙන යන්න තියා ගත්තා...

"අනේ සුදින්න උන්නාන්සේ..තමුන් ඒකට ඇත්තටම මනාපද..? එහෙම මනාපයක් තියේනං මගේ කිසි අමනාපයක් නැහැ.. තමුන් ඒක කොරගන්නවා... කොහොමටත් දැන් ඔය දහම්පාසලේ උගන්නන්න එන කෙල්ලොන්ටයි... පන්සලට එන තරුණ උපාසක අම්මලටයි ඇස් දිග්කරගෙන හිතින් ඒවා කර කර ඉන්නවට වඩා ඒක හොඳයි... තමුන් කැමතිනං ඒක කොරගන්නවා මයේ මොකද.. හැබැයි අපේ අම්මා දැන් වයසයි... උන්දැට දැන් පාරේ යන්න පණ නැහැ... කීප වතාවක්ම අංසබාගෙට ඇවිත් ‍බොහෝම අමාරුවෙන් ගොඩදාගෙන තියෙන්නේ ඒ හින්දා මං හිතන්නේ නැහැ උන්දෑ කෑමති වෙයි කියලනං..ඒත් තමුන් අහලා බලලා උන්දෑ මනාපනං කැමැත්තක් කරගන්නවා... මොකද අම්මට උනත් නිදහසක් තියේනේ තමන් කැමැත්තක් කොරන්න... මං ඒ අයිතියට බාධා කරන්නේ නැහැ... ඕනනං එයිට පස්සේ මට බැරියෑ මේ උන්නාන්සේට බාප්පේ කියන්න... හා නැද්ද මං අහන්නේ...?"

වාඩි වෙලා ඉන්න අනිත් ගෝලබාලයෝ මේ කතාවට හිනා වෙනවද නැද්ද කියලා හිත යටින් කල්පනා කරමින් අන්ද මන්ද වෙලා ඉන්න අතරේ අර තරුණ ගෝලයා කර කියා ගන්න දෙයක් නැතිව බිම බලාගෙන ඉන්නවා...

"සුදින්න තමුන්ගේ වරදකට පිළියමක් කිව්වම ඒකට කේන්ති ගියානං ඒකට අල්ලගන්න ඕන මාවයි..එහෙම නැතිව අර මැරෙන්ඩ දවස් ගාණක් කියන්න බැරිව පැත්ත වැටිලා ඉන්න මගේ අම්මා නෙවෙයි... ඒත් ඉතිං මේක මටත් හොඳ පාඩමක්... මං කරන දේවල්වලට අවසානය දක්වාම අපේ අම්මා වචන අහනවා... මේ නාකි වයසෙත් තමුන් වගේ උදවිය උන්දැට අහවල් එක කරන්න දත කනවා... මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලවත්.. ඈ සුදින්න තමුන්‍ දැන් කරන කියන දේවල්වලට ගමේ මිනිස්සු තමුන්ගේ අම්මත් එක්කත් ඕකම කරන්න ලෑස්ති උනොත් තමුන් මොකද කරන්නේ..? කියනවකෝ බලන්න මට තමුන්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න..."

සුදින්න හිමි නෙවෙයි වචනයක් කියන්නේ... කඳුළු පෙරාගෙන නායක හාමුදුරුවන්ගේ කකුල් අල්ලගෙන අඩන්න තියාගත්තා... නායක හාමුදුරුවෝ ගෝල නමක් විසින් ගෙනාව ගිලන්පස කෝප්පේ හීන් සීරුවට වළඳලා සුදින්න හිමියන්ගේ පිටට තට්ටුවකුත් දාගෙන තමුන්ගේ ආවාසේ පැත්තට යන්න ගියා...අනිත් අයත් තම තමුන්ගේ වැඩට යොමු උනා.. විමල් අයියා කතාව අහගෙන ඉඳලා ඒ මාමාගේම බෑණා තමුන්ගේ අම්මට අහවල් එක කරන්න රටටම ආරාධනාපත්‍ර බෙදන වෙලාවේ ඒ කතාව මතක් කරලා මට කිව්වා.. මං ඒක ඔහෙලට කිව්වා.. එච්චරයි.. කතාව නිමි...

අම්මලා දරුවෝ හදද්දීත් දරුවෝ සමාජයේ ජීවත් වෙද්දීත් හිතන්න දේවල් බොහෝමයක් තියෙනවා...

73 comments:

  1. Replies
    1. නායක හාමුදුරුවොත් ගානට රිටර්න් එක දීල ‍තියෙනව.

      දැන් එහෙම මාරය ඔය හාන්සි පුටුවෙ හිටියනං ලැප් එක තමයි ලෑල්ල උඩ තියාගෙන ඉන්න වෙන්නෙ. :D

      Delete
    2. නායක හාමුදුරුවන්ගේ තව හොඳ කතා තියේ..ඒත් කියන්න හැටියක් නැහැ...අපේ උන් බලං ඉන්නේ වැරදි පැත්තම අල්ලගන්නනේ...

      ලැප් එක කෙසේ වෙතත් තාමත් එහෙනං මං ඔය වගේ කතා අහ අහ ඉන්නවා...

      Delete
  2. ගොඩක් එවුන්ගෙ වැරදි වලට බැනුම් අහන්නෙ අම්මලා. පවු අහිංසක මිනිස්සු.....

    ReplyDelete
    Replies
    1. සමහරක් අය පව්..සමහරක් අය ඒවාට සුදුසුයි...

      Delete
  3. සංසාරේ...සංසාරේ කිව්වලු... විමල් අයියනම් මරු...

    ReplyDelete
    Replies
    1. විමල් අයියට වඩා රනිල් අයියා මරු... වෙලාවක ආයේ බුවා ගැන ලියන්න ඕන...

      Delete
  4. හ්ම්............කථාව ඇත්ත. වැඩේ කියන්නෙ මචං වැරද්ද කරන එකා නෙමේ උගෙ අම්මා තමයි ඕකට අහු වෙන්නෙ.
    “....විශ්වවිද්‍යාලය කියන සාසන නාශක ආයතනයේ......“ මෙයට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. අපේ හාමුදුරුවරු එතනට ගියාම ගිහියන්ට අන්ත වෙනවා. සේරම එපා කියලා මහණ වෙලා අයිතීන් ඉල්ලනවා. මේවා කියනකොට මළ පනියි. ඒත් ඉතින් ඇත්ත ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. හුගාක් වෙලාවට වෙන්නේ හැම එහෙකටම අම්මලව අහු වෙන එක..ඒත් ඇතැම් වෙලාවල්වලදීනං ළමයි එහෙම හැදුව අම්මලට බැන්නට වරදක් කියන්නත් බැරි තරං...

      විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිසා සාසනේට අහිමිවන ගණන අති විශාලයි... ඒත් ඉතිං මානුෂික හේතු මත ඕකට එක එල්ලේම දෝෂයක් කියන්නත් බැහැ... උදාහරණයක් හැටියට අද වෙන කොට දුප්පත් ළමයින්ට හම්බවෙන ශිෂ්‍යත්වයක් වගේ තමා මහණ වීම... එතනදී අරමුණ ඉන්නකල් සාසනේ හොඳට ඉඳලා ඉගෙනගෙන යන අහක යන්නේ නැතෑ කියලා..ඒත් ඉන්න ටිකෙත් සාසනේ කාලා එළියට ගිහිල්ලත් පාලනයක් නැති කොටසක් හැටියට ඉන්න අය ඔතනින් බිහි වෙනවා වැඩියි...

      Delete
    2. මහණ කාලේ ගන්න සහතික උපාධි මහණකමින් බැහැර වුනාම අදාල නෑ මම දන්න තරමට.මොකද අපේ මාමාත් මහණ වෙලා ඉගෙන ගෙන හොඳට සමත් වුනත් ඊට පස්සේ මහණකමින් බැහැර වුනා.දැන් ඒ සහතික ප්‍රයෝජනයක් ගන්න බෑලු...

      Delete
  5. මොනා කරන්නද ඔය අම්මට කියන කතාව මුලු ලෝකෙම තියන දෙයක් මොන කරන්නද ඉතින්

    ReplyDelete
    Replies
    1. ඕක ඉතාලිවලින් කියන හැටිත් කියහං බලන්න..:D

      Delete
  6. මිනිස්සු කරන හැම වරදටම බැනුම් අහන්නේ අම්මයි.. මං ඉස්සරහ අපේ අම්මට එහෙම බැන්නේ එක්කෙනයි එත් ඉස්කෝලෙදි.. එයා හැබැයි ඩෙස්ක් දෙකක් උඩින් යාත්‍රා කරලා හොම්බෙන් ගියා. හැමවෙලාවෙම සාමෙට කතාකරන සරතාට තරහ ගියාම වෙනදේ එදා තමයි මගේ මිත්‍රයෝ දැක්කේ.. මං ඉතින් හාමුදුරු කෙනෙක් නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..අන්න ඒක තමා මං ඔය මොකාට මොනවා කිව්වත් නොකර සද්දෙන් ඉන්න උන් එක්ක ගනුදෙනු පරවේසමට කොරන්නේ... ඕකුන්ලාට කේන්ති ගියාම අති බිහිසුණුයි..:D

      Delete
  7. අතිෂයින්ම කාලොචිත අපුරු උත්තරයක් නායක හාමුදුරුවො..තැනට ගැලපෙන්න තිතට තක්කෙටම දීල..ඕකට තව දෙකක් කිව්වට වඩ අර සුද්දින්න හාමුදුරුවන්ට ඇඩෙන්න වදිනව නේ එ කිවිල්ලෙන්..මිනිහට වැරද්දත් තෙරෙනව..ඕකට වෙන කැකොස්සන් ගැහුව නම් ඌ තව සිය පාරක් අර කියපු කතාවම කියනව නෙ අම්මට..

    අනේ මාරයියෙ ඉතුරු කතා ටිකත් කියමු බන්..අපිටත් ඔහොම් සීන් වුනාම දැන් ගේම ඉල්ලන්නෙ නැතුව මේ උදාහරන වලින් දෙන්න පුලුවන් රිටන් එක, බොම වටිනව

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මලේ... දාන්න පුළුවන් දෙයක් ඇත්නං මතක් කරලා දාන්න...

      Delete
  8. අන්න හාමුදුරුවරු

    ReplyDelete
  9. නියම අනුශාශනවා

    ReplyDelete
  10. බොහොම ආදර්ශමත් කතාවක් .
    …සමහරුන්ට කේන්ති ගියාම කරන්නෙ කියන්නෙ මොනාද කියල එයාලම දන්නේ නෑ ..පස්සෙ තමා තේරෙන්නේ කේන්ති නිව්නාම .

    ReplyDelete
    Replies
    1. කොටින්ම කිව්වම මටත් වෙලාවකට ඔහොමමයි...කේන්ති ගියාම උන්නා මලා පේන්නේ නැහැ..:D

      Delete
  11. ඕක සාමාන්‍ය තත්වයක් නේද? වැරදි කරපු එකාට නෙමෙයි කට්ටිය බනින්නේ! සමහර වෙලාවට කිසිම වරදක් නැතිවත් ඇඟට ගොඩ වෙනවා සමහරු! :D

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඔහොම තමා පුස් මලේ.. ගණන් ගන්ට හොඳ නැහැ...

      Delete
  12. ම්...ඇත්තතමා මොනාඋනත් අර පරණ හාමුදුරු උරුව තවම යස අගේට තියෙනව..හරියට බනක් දෙසනව වගේ නොවෙද මාරයියේ

    ReplyDelete
    Replies
    1. කල පුරුද්ද..දැක පුරුද්ද කියන දේවල් එහෙම ආවට ගියාට නැතිව යන්නේ නැහැ නෙව...

      Delete
  13. අම්මට සිරි! ආතල් කෝටියයි නෙවැ.
    අතුරු ප්‍රශ්නයක්, මාරය බ්ලොග් ලියන්න සෙට්වුනේ කොහොමද? උඹේ බ්ලොග් එක ඔක්කොම වගේ කිය්‍වේවත් මේ කාරණාව තිබුනෙ නෑ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් තියන ප්‍රශ්නයක් අනේ මාරයෝ ඊලග පොස්ට් එක එ ගැන ලියපන්කො.

      Delete
    2. යකඩෝ මේ රාජ්ලා දෙන්නම එකට එන්නේ කොහොමද..? ඒකට උත්තරයක් දීලා හිටු අනිත්වා කියන්න කලියෙන්...

      Delete
    3. අපි දෙන්න නිවුන්නු බං. ඒකයි එකට එන්නෙ. කියෙවල නැද්ද "කෝර්සිකානු සහෝදරයෝ" පොත.

      Delete
    4. මටත් ආපු ප්‍රශ්ණයක් තමයි ඇයි සිවුරු හැරියෙ කියන එක.

      Delete
    5. ඕකට දීර්ඝ කතාවක් සහිත උත්තරයක් තියෙනවා..ඒත් ඒක දෙනවට වඩා ඔය ප්‍රශ්නේ අහන අයට ඕන උත්තරේ දුන්නම ලේසියි වචන බර ගානක් නාස්ති කරනවට වඩා...

      ගෑණියෙකුට හිත ගියා මල්ලි..ඉතිං එතන ඉන්නේ නැතිව ආවා.

      එහෙම හොඳයි නේද..?:D

      Delete
  14. සෑහෙන ඇත්ත කථාවක්. අසරණ අම්මල කොතෙක් නම් අවලන් පුත්තු නිසා බැනුම් අහනවද.ඒත් කිසිම අම්මෙක් තමන්ගේ පුතාට ඔය වගේ වනචර කථාවක් කියලා බනිනවද? අන්න ඒක නිසා තමයි අපි අම්මට අම්ම කියන්නේ. දරුවන් හැදූ සියළුම අම්මලාට තමන්ගේ අම්මට වගේම එක වගේ ආදරේ කරන්න ඕනෙ අපි.

    ReplyDelete
    Replies
    1. හැම තැනදීම නැති උනත් ඇතැම් තැන්වලදී නම් අම්මලා දරුවන් හැදීමේදී ඒ අයට පොවන විස හින්දාම දරුවෝ වැරදි කරනකොට අම්මලාට නොබැනත් බැහැ...

      Delete
  15. අපේ දුමින්ද අමතිතුමා සිංගප්පුරුවෙ ඉස්පිරිතාලෙකනේ....
    එතුම අම්ම කියල කොලකෑල්ලක ලිව්හම ඉතිරිය ලියන්න කලිං කවුදෝ ගිහිං කොලේ ඇදල ගත්තලු...

    ReplyDelete
    Replies
    1. ආ ආ ඒකනං මමත් දැක්කා කොහේ හරි තියෙනවා...

      Delete
  16. ඔව්වා කිව්වට පව් නැති උනුත් ඉන්නවා.පාවිච්චි කරන්න ඔන සුදුසු තැනුත් තියනවා.ඒ කාලයේ මාරයගේ ජීවිතය නිදහස් සුන්දර එකක් වගේ.අපේ එවුන් වැරදි කොනින් අල්ලගන්නවා කියපු එකට මමත් එකගයි.

    ReplyDelete
    Replies
    1. කතාව හරියටම අල්ල ගත්තට සංතෝෂයි...

      Delete
  17. බංගලි හාමුදුරුවරු සිංහල දන්නවාද?
    පාලියෙන්ද කතා කරන්නේ? පාලි ඉගෙන ගන්න වෙන්නැති නෙ ්එන්න ඇත්තේ.
    නැත්තං ඉංගිරිසිද?

    ReplyDelete
    Replies
    1. "පාලි ඉගෙන ගන්න වෙන්නැති නේ එන්න ඇත්තේ"

      නැහැ කතන්දර ඒ අය එන්නේ ජීවිතේ රැක ගන්න... මං ඒ ගැන ලියන්නං මං දන්න දේවල්...

      Delete
    2. ජීවිතේ රැකගන්න කියලා උඹ කියපු එකෙන් අදහස් කලේ ඇත්තටම තමන්ගෙ ජීවිතේ රැකගන්න වෙන්ටැති.. මොකද මං දන්න තරමින් නම් බංගලිදේසේ කියන්නෙ ඉස්ලාම් අන්තවාදීන් අතින් බෞද්ධයෝ අමු අමුවේ ඝාතනය වෙන (ආණ්ඩුවේ පූර්‍ණ අනුදැනුම ඇතිව) රටක්.. මේකට විරුද්ධව තමා 'ශාන්ති භාහිනී' සංවිධානය බිහිවෙලා තියෙන්නෙ..

      Delete
    3. ඔව් බුරා ඒක තමා කතාව..මං දන්න බංගලි හාමුදුරුවරුන් මට කියලා තියෙන විස්තර ටිකක් මං ලියලා ඇති..ඒ ටික හදලා කරලා පෝස්ට් කරන්න හිතං ඉන්නේ...

      ඒ කතා අහන කොට තමා කොයිතරං අපි පොර ටෝක් දුන්නත් ආගමික සමඟිය කියලා..අන්තවාදී බෞද්ධ කියලා ලේබල් ගහන අනගාරික ධර්මපාල තුමාල වගේ උදවියට මල් තියලා වඳින්න ඕන කියලා...

      Delete
    4. අපේ අම්මා ඉන්න ගමේ පන්සලේත් බංගලි හාමුදුරුවරු ඉන්නවා. දානෙට, පාංශුකුලෙට ඬැඩියාට කතාවක් නෑනේ. සිංහල දන්නවා විය යුතුයි.

      සිංහල කෙසේ වෙතත් පාලි සහ බුද්ධාගම ඉගෙනගන්න පිටරටින් අය ලංකාවට එන්නේ අද ඊයේ නොවේ.

      ආගම් ප්‍රශ්ණ ගැන කියනවා නම් - බුද්ධ ධරමයේ තියෙන එක හොඳම කාරණයක් තමයි අවිහිංසා සංකල්පය සහ වෛරයෙන් වෛරය නොසංසිදේ කියන ධම්මපද ගාථාව.

      Delete
    5. වෛර කිරීම සහ ආත්මාරක්ෂාව කියන්නෙ දෙකක් නොවෙයිද කකා..!!??

      Delete
  18. ඕක තමයි Ultimate කුණු හබ්බෙ.
    මාරේ, අර ගිය පාර චරිත හඳුන්වලා පටන් ගත්ත විදියට මේ පෝස්ට් එකෙන් නතර වෙන්න විදියක් නෑ පංසල් කතා, හරි?

    henryblogwalker the Dude

    ReplyDelete
  19. මාරය උන්නාන්සෙ පංසලේ ඉස්තෝප්පුවෙ ඉඳගෙන, ෆැමිලි ජුවෙල්ස් කහ කහ දහම් පාසලේ ටීචර් කෙනෙකුට ලව් ලෙටර් එකක් ලියනව, මැවිල පෙනුන.

    ReplyDelete
    Replies
    1. ඔබාට හිතෙන්නේ ඉතිං ඔහොම දෙයක් ඇර වෙන මොකක්ද.. අම්මපා තාමත් ඔය ගතිය ඇරෙන පාටක් නැද්ද..?:P

      Delete
  20. හික්ස්...තරු පෙනෙන්න කියල තියන කතාටික නං මරු.
    මොනව වුනත් ආයෙත් මාරයා පන්සල් කතා ටිකක් ලියන එකනං හොඳයි..

    ReplyDelete
    Replies
    1. ටික ටික හරි මේවා උඩට ගන්න හේතුව උඹ තමා ලකී...

      Delete
  21. විශ්වාස කරපන් මාරයියේ මගේ ඇස් දෙක තෙමුනා මේ කතාව කියවලා.. ඒ ඇයි කියන්ඩ මට තේරෙන්න්නෑ..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්වට ඇස් තෙමා ගන්න ගියොත් ඇස් තෙමෙන කතාවලට මොනවද තෙමා ගන්නේ.?

      Delete
    2. අනේ මංදා.. ඒත් එහෙම වුනා... මමත් තාම කල්පනා කරනවා ඇයි ඒ කියලා..

      Delete
    3. මටත් හිතාගනන්න බෑ මෙතන දුක හිතෙන දෙයක්. මට නං දුකම කතා තමයි තාත්තලා මැරෙන කතා.

      මාරයා ගේ කතන්දරවලින් මට දුක හිතෙන්නේ අම්මා නැතුව පොඩි එවුන් ජීවත්වෙන බව කියවෙන කතාවලටයි.

      කාගේ කාගේත් වීක් පොයින්ට්ස් තියෙනවා!

      Delete
  22. කවුරු හරි කරන වැරැද්දකට ඒකගෙ අම්මට බනිනව නම් ඒ කියන්නෙ ඒ බනින එකා බයයි ඇත්තටම වැරැද්ද කරන එකාට..ඒකනෙ කොහෙවත් ඉන්න වෙන කෙනෙකුට බයින්නෙ..මේ කතාව නිසා නෙවෙයි..මටත් කවුරු හරි කෙනෙක් අම්මට කියලා ඔය කතාව කිව්ව කීප වෙලාවකම මමත් කියලා තියේ..තාත්තා කැමති නම් ඉතින් කොරහන්කො ගිහින් කියලා..දැන් නම් කියන්නෙ සොරි බන් අම්මා මැරුනනෙ කියලයි..

    ReplyDelete
    Replies
    1. පොඩි වරදක් තියේ බං ඒ කියමනේ...තාත්තා කැමති උනාට එහෙම කරන එක අම්මාගේ අයිතිවාසිකං උල්ලංඝනය කිරීමක්...:D:D:D

      බොලා කාන්තාවන්ගේ අයිතියට අභියෝග කරනවා කියලා කෙල්ලෝ වලියට ආවොත් මං නැහැ ඔන්න...

      Delete
  23. ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් දීම නම් කියල වැඩක් නෑ. අර පොඩි හාමුදුරුවන්ට මොනවා හිතෙන්න ඇත්ද.

    ReplyDelete
    Replies
    1. මොනවා හිතුනද කියලා තමා හරියටම දන්නේ නැත්තේ... ඒත් ටික කාලයක් යනකල් අවුලක් නැතිව ඉඳලා තියේ...

      Delete
  24. ඇත්ත.. ඕනම රණ්ඩුවකදි ඉස්සෙල්ම ඇහෙන වචනේ ඕකනේ.. ඇත්තටම ඒක කොච්චර වැරදිද.. ලොකු හාමුදුවෝ හොද අනුශාසනාවක් කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නායක හාමුදුරුවෝ ඔව්වට දස්සයා...

      Delete
  25. මේක නං අර ජපන් සෙන් කතාවක් වගේ බං.. ලොකුහාමුදුරුවො බොහොම ලස්සනට කිවයුතු පාඩම කියාදීලා තියෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. ලිව්වට පස්සේ තමා මටත් කතාව ගණනකට ඇවිත් තියෙන වග පෙනුනේ..බොහෝම ස්තූතියි බුරා...

      Delete
  26. අම්මප ඕන එකකට අපේ උන් කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියලදාන අසික්කිත වචනයක්. හරියට මුං අම්මගෙ බඩෙන් ආපු නැති උන් වගේ

    නායක හාමුදුරුවො නියම විදියට පුරුසයව දමනය කොරල තියනවා..
    පොඩි හාමුදුරුවො මත්තේන් මතු ඔය අළුගුත්තේරු කතාව කියන්නැතුව ඇති මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ටික දවසකටනං දමනය වෙලා හිටිය කිව්වා..ඒත් කොහෙද වලිගවල ඇද අරින්නේ...

      Delete
  27. බංගලි හාමුදුරුවරු සිංහල දන්නවාද?
    ,,පාලියෙන්ද කතා කරන්නේ? පාලි ඉගෙන ගන්න වෙන්නැති නෙ ්එන්න ඇත්තේ.
    නැත්තං ඉංගිරිසිද?,,

    ,,නැහැ කතන්දර ඒ අය එන්නේ ජීවිතේ රැක ගන්න... මං ඒ ගැන ලියන්නං මං දන්න දේවල්...,,
    හැබැයි මාරයියේ,මටමෙහෙදි හම්බුනා බංගලි/කාම්බෝජ කොල්ලොදෙන්නෙක්.අපිළඟඅපිකියන දේවල්අහංඉඳං අන්තිමට මුන්දෙන්නඅහනව ලංකාවේකොහෙදකියල?මොලේකොලොප්පන් උනා,බලනකොට උන්දෙන්නම ලංකාවේඅව්රුදු හයහතක් මහණවෙලා ඉඳල..අපිටවැඩිය හොඳටසිංහල කථාකරනව..

    ReplyDelete
  28. අන්න බුද්ධිමත් හාමුදුරු කෙනෙක් .[ ලොකු ] . සමහරු කටේ දිවේ නොගෑවී ඔය වගේ කතා කියනවනේ . මෝඩ කම

    ReplyDelete
  29. ඔයවගේ කතා කියන උන්ට ඔහොම තමයි කරන්න ඕනෙ.. ඉස්සර ඒ ලෙවල් කරන කාලෙ ගමේ හිටපු යාලුවෙක් එක්ක පොඩි ප්‍රස්නයක් වෙලා මූ ඔය අම්මට අහවල් වැඩේ කරන්න සෑහෙන්න ආරාදනා කරා අපේ ගේ ඉස්සරහට ඇවිත් මමත් පොල්ලක් කඩාගෙන එලියට බහින්න හැදුවත් නංගියි ආච්චියි අඩ අඩා මගේ ඇගේ එල්ලුනා එලියට යන්න නොදී මට... ( ඒ වෙලාවෙ හෙදර ඉදියෙ නංගියි ආච්චියි මායි විතරයි )

    පස්සෙ මම උන්ගෙ තාත්තට කෝල් එකක අරගෙන කිවුවා.. අංකල් ඔහේගෙ පුතා කියනව මට ඇවිත් ඇන්ටිට අහවල් වැඩේ කරන්න කියල පුතත් කැමතියි මාත් කැමතියි වැඩේට අංකලුත් කැමතිනං මම ඇන්ටිගෙන් ගිහින් අහන්නං කියල..

    වැඩේ ශේප් උනේ පොලීසිත් ගිහිල්ලයි... :D :D :D

    ReplyDelete
  30. මේ ලියන ශෛලියට මම හරි කැමතියි. බොහොම ලස්සනයි. අර්ථවත්. අනික මේ කතාවල (ප්‍රබන්ධ නොවුනත්) නවකතාවක කොටස් වගේ දැනෙන ගතියක් තියෙනවා. කියවන්න දුන්නට ස්තුතියි.

    ReplyDelete
  31. ලියන ස්ටයිල් එක මරු ..

    ReplyDelete
  32. සමහර වී.විද්‍යාල වල අම්මට කුණුහරප කියන එක තහනම්.

    ReplyDelete