05 May 2012

අඹ කොට...

වෙසක් පෝය... ඉස්සරනං..ඒ කිව්වේ කොල්ලා කාලේ..(දැන් ඉතිං ඒ කාලේ ඉවරයි කියලා හිත පිළි අරං ටික දවසක් වෙනවා..) ඉතිං ඒ කාලේනං අවුරුද්දට වගේම වෙසක් පොසොන් දෙකටත් සැලසුම් ඇ‍ඳෙන්නේ අවුරුදු නැකැත් පහු උන ගමන්ම තමා...

"මේ පාර කොහේද යන්නේ..?
මොනවද හදන කූඩු..?
ගෝල් ෆේස් යනවද..?
සමන් සාන්තලගේ ලොකු නඩෙත් එක්ක බයිසිකල්වල අනුරාධපුරේ යනවද..?
උන් අපිව එකක් යයිද..?
පයින් කොළඹ යංද..?
ප්ලේන් එකක් හදනවද..?"

ප්‍රශ්න කෝටියයි..තොහොම කොහොම හරි වෙසක් ලං වෙනකොට කූඩුත් හදලා..බයිසිකල් වලට අණ්ඩ දාලා එව්වත් යං කිසි තත්තෙකට අරං අපි වෙසක් සමරන්න ලෑස්ති වෙනවා.. ඒ අපේ වෙසක්... පස්සෙන් පහු කාලෙක තමා වෙසක්වල වෙන වෙන අරුත් තේරෙන්න ගත්තේ.. ඒත් ඉතිං කොලු කාලෙට අරෙහෙම නොකරනවනං ඇති වැඩේ මොකක්ද.. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල්...

කොහොම උනත් දැන්නං අනිත් දේවල් වගේම වෙසකුත් පණ අදිනවා..ඒ අපේ ජීවිතවල..ඒත් අදටත් ගං රටවල කොල්ලෝ කුරුට්ටන්ට එදා අපිට වගේම කැසිල්ලක් හැදෙනවා ඇති..හැබැයි අපිට තිබුන නිදහස උන්ට නැති හින්දා ඒ කාලේ කෙලි දැන් කරන්න ඉඩක් අම්මලා තාත්තලා දෙයිද කියන එකයි පුරස්නේ..දැන් හැදෙන්නේ ළමයි නෙවෙයිනේ මල්නේ.. එව්වා ඉතිං ඒ ඒ මල්වල අයිතිකාරයින්ට ඕන හැටියට විතරමයි පිපෙන්නේ..වැනෙන්නේ... සෝමාරි පාට වෙලා ඔහේ හිර උන ළමාකාලය...අම්මලා තාත්තලාට මුල මතක නැති හැටි හා උන්ගේ ආත්මාර්ථකාමී ලෝකය.. ළමයි යනු දින හතළිස් පහේ කුකුළු පැටවු වැනිය...පව්.

පොඩි කාලේ අපි කොහොම හිතුවත් ලොකු වෙනකොට මිනිස්සු සෑහෙන්න වෙනස් වෙනවා..ඒකට හොඳම උදාහරණේ අපේ ගෙදරින් මට ලැබෙනවා...

මේ ඊයේ පෙරේදා දවසක මං ගෙදර ගියා.. ඒ ගියේ නිකං නෙවෙයි මල්ලිගේ ලොකු කොලුවට බයිසිකලයක් ගෙහුං දෙන්ට... ඌ බයිසිකලේකට ආසාවෙන් ඉන්න වග දැන් ටික දවසකට කලියෙන් අපේ මෑණීයැන්දෑ කියලා තිබුනා.. ඌ ආස නොවී තියෙයියෑ.. මාත් ඒ දවස්වල කොයි තරං හීන දැක්කද... අම්මට තාත්තට බයිසිකලයක් අරං දෙන්න ඇති හැකියාව අල්පයි කියලා දන්න හින්දා නොකර සද්දෙන් හිටියට ඉඳ හිට කං කෙඳිරි ගෑවෙනවා.. ඔය අස්සේ අපේ අම්මාගේ නංගි කෙනෙක් හිටියා බැඳලා ඒත් ළමයි ලැබෙන්න පරක්කු උන.. ඒ පුංචි ඉතිං ඒ දවස්වල මට ටිකක් ආදරෙයි.. ඔන්න වංගියක් උන්දෑ පොරොන්දු උනා මට ටිකක් ලොකු උනාම බයිසිකලයක් අරං දෙනවා කියලා..මාත් ඉතිං අද ලොකු වෙයි හෙට ලොකු වෙයි කියලා හිතාගෙන ඔහේ හිටියා දත කට මැදගෙන..ම්හූ..මං ලොකුවට හැදුනෙත් නැහැ..බයිසිකලේ ලැබුනෙත් නැහැ.. කොහොම හරි පස්සෙන් පහු ඒ පොරොන්දුව අමතක පොතටම ඇරියත් මට අදටත් ඒ පොරොන්දුව ගැන හිත හිත හීන මැව්ව හැටි හොඳට මතකයි.

අන්තිමට මට බයිසිකලයක් හම්බ උනේ සිස්සත්වේට ඔන්න මෙන්න කියලා තියලා...

තාත්තා කොහොම හරි මට සිස්සත්තේ පාස් උනොත් එකක් අරං දෙන්නං කියලා තිබුනා.. ඒ වගේම උන්දෑ ඒ වචනේ දීපු දවසේ ඉඳන් බයිසිකලයක් හෙව්වා..මොකද සිස්සත්වේ කියන්නේ මට ඒ හැටි කජ්ජක් නෙවෙන වග දැනං හිටිය හින්දා..අන්තිමට සිස්සත්වෙට ටික දවසකට කලියෙන්ම රුපියල් 500 කට ගත්ත පාවිච්චි කල බාගේ බයිසිකලයක් මට හම්බ උනා... ඒක රෙපෙ‍යාර් කරලා අරං මං පාවිච්චි කලා..එතකොට මට වයස 10ක්... ඒ බයිසිකලෙන්ම තමා මං බයිසිකල් පැදිල්ල හුරු උනෙත්...

කොහොම හරි එතනින් පටන් ගත්තට පස්සේ අපිට සයිකල් එක්ක ලොකු කතා ගොඩක් තිබුනා...හැම තැනම ඉතිං ඕකෙන් තමා ගමන.. නොගිය තැනක් නොකරපු දෙයක් නැති තරං... ඒ මං විතරක් නෙවෙයි අපේ මල්ලිත් එක්කම තමා.. අපි දෙන්නා හැම දේම එකට කරපු උන්... ඒ කියන්නේ මං කරපු ටිකම ඌත් කලා...ඒත් අද...

බයිසිකලේ ලොකු කොළුවට ගෙහුන් දීලා ඒ එක්කම මල්ලිට කියලා ඒක මස් කරවලා අළුතින් ග්‍රීස් කෙරෙව්වා මං ඉන්න තැනම..නැත්තං ආයේ ඔක නොකෙරන බව දන්න හින්දා...අළුතින් එන බයික්වලට ඔය සාත්තුව දෙන්න එපෑ..ඒක මස් කරං වැඩේ කෙරෙන අතරේ මෙන්න මූ පටන් ගත්තා කොළුවට නීතී මාලාව පැහැදිලි කරන්න...ඒ අනුව ඌට වත්තෙන් පිට තහනං... කොල්ලා අහනවා කඩේ ගියෑකිද කියලා.. මල්ලි නළල රැළි කරනවා..

අන්තිමට මට හිනා ගියා...අනේ බං උඹ මොනවා කිව්වත් ඕකා තව දවස්දෙක තුනකින් ඔය හැම තැනම යනවා.. උඹයි මමයි එකතැනක හිටි උන්ද කියලා.. ඒ පාර මලය මා දිහාත් කොල්ලා දිහාත් බලලා කල්පනා කරනවා...අපේ අම්මයි.. නෑනයි හිනා වෙනවා... පොඩි එකාට තාම වයස අවුරුදු පහයි..ඌ උඩ බිම බලනවා...
තාත්තලා උනාම මුංට සිද්ධ වෙන විපරියාස... එදාට වඩා අද රට ලෝකේ අමාරු වග ඇත්ත..ඒත් අපේ තාත්තලාගේ ළමා කාලෙත් එක්ක අපේ කාලෙ වෙනකොටත් ඒක කොච්චර අමාරු කාලයක්ද කියලා තාත්තලා දැනං හිටියට අපි දැනං හිටියේ නැහැනේ... ඒත් අපි ඒ කාලෙත් ඔය හැම නඩලමක්ම නැටුවේ...අත පය හතර බේරගෙන ආපහු එන විදිය කියා දෙනවා ඇර කොල්ලොන්ව අල්ලලා බැඳලා දාන්නයෑ.. ඒත් ඇත්තම තත්වේනං අද ඉන්න උන්ට ළමා කාලායක් නැහැ..උන්ගේ අම්මලා තාත්තලා ළමයින්ගේ ළමාකාලේ කනවා.. ඒ කන ගමන් එව්වට නිදහසට කරුණුත් හදා ගන්නවා... ඔව්වා ඔහොම තමා...

මං කොතනද හිටියේ.. ආ හරි වෙසක්වල...

ඉතිං අද වෙසක්...උදේ වැඩ‍ එද්දී පාර පාළුයි..දන්සැල් දෙන්න හදන තැන්වලනං එක්කෙනෙක් දෙන්නෙක් හිටියා.. පාරවලුත් ටිකක් විතර සරසලා... වැඩ පොලත් පාළුයි... මායි ජයරත්න අයියයි විතරයි..ආ ඊට අමතරව පූස් පැටියෙකුයි.. කිරල්ලු දෙන්නයි.. ලේන් ඩබලයි ඉන්නවා...

ඉතිං පැයකට දෙහෙකට වරක් මං යනවා මේක වගේ පරීක්ෂා කොරලා බලන්න...ඒ යන්නේ නිකං නෙවෙයි..පොඩි පිහියකුත් අරගෙන...

මොකද හිතුවේ ආරස්සාවට කියලද..? අපොයි නැහැ..අඹ කන්න..වත්තේ තියෙන අඹ ගස් හයෙන් පහකම ගෙඩි හැදිලා... ඒත් බේරගන්න බැහැ වැඩ කරන දවස්වලට මේකේ ඉන්න උන්දලා ගස් හොල්ල හොල්ල ගැට හිටං බිම දානවා... කොහොම හරි මෙහෙම නිවාඩු දවසක් අහු උනාම තමා ගස්වලට නිවාඩුවක් ලැබෙන්නේ.. ඉතිං මං කරන්නේ දැන් අඹ හොය හොය ඇවිඳිනවා... ලොකු වැස්සක් හරි හුළඟකින් පස්සේ ගස් යට ඉඳුන අඹ ගෙඩි එකක් දෙකක් තියෙනවා... සමහර එව්වයේ පැත්තකින් පොඩි දත් පාරවල්..ඔව් ඒ අපේ ලේන් ඩබලේ වැඩ.. උන්ගේ වැඩේ ගෙඩි මාක් කර කර යන එක...උන් මාක් කලානං ඒ ගෙඩිය දවසින් ඉ‍ඳෙනවා...

කොහොම හරි ඔය අතරේ තියෙන හොඳම දේ තමා අඹ කොට... ඒ කියන්නේ කුරුල්ලෝ කාලා ඉතිරි වෙච්චා...උන් පැත්තකින් කෑවම ඒකේ අනිත් පැත්ත පරිස්සමට කපලා අරං කන එක නියම වැඩේ...ඒවා තමා හොඳටම ඉඳිලා තියෙන්නේ...

ඉස්සර අපි පොඩි උන් කාලේනං උදේට ගස් යට අඹ කොට ඇහිදිල්ල සරුවටම උනා... රෑට වවුල්ලු කාලා දාපු අඹවල හැම වෙලේම එක පැත්තක් ඉතිරියි.. වවුලා නොකාපු පැත්ත කපලා අරං කන එක තමා කරන්න තියෙන්නේ...අපි කොච්චර කලත් එහෙම අඹ කොට තරං අනිත් අඹ රස නැහැ. ඒක දන්නේ කාපු උන්ම තමා... ඒත් දැන්නං ඕකට සමහරු රටේ නැති කතා කියයි..සෞඛ්‍ය සෞඛ්‍ය කියලා..අනේ රෙද්ද තමා... දැන් ඔය කන අනිත් එව්වෑ තියෙන වස විසවල හැටියට අඹ කොටයක් කෑවට මැරෙනවයෑ...

කොටින්ම නෝනා මහත්තුරු හරි පිරිසිදුවට කඩෙන් අරං කන අඹ ඉඳවන්න ගහපු බේත් එක්ක බැළුවම මෙව්වා මොනවද..ඒත් ඒවා ගැන වගේ වගක් නැති උදවිය අඹ කොටයක් කන එක ගැනනං දහපාරක් හිතයි...ඒත් අත්දැකීමෙන් කියන්නේ..දන්න උන් සාක්කි දෙයි..අඹවල නියම රස තියෙන්නේ අඹ කොටවල මිස අනිත්වෑ නෙවෙයි...ඒ හින්දා ඒ රසෙත් විඳලා බැළුවට නරකක් නැහැ...හැබැයි කොයි දේත් පමණ දැන..මඳ පමණින්...සිහි නුවණින්...

අඹ කෑම ගැන කතා කොයි තරං තියේද..?කෑම විතරක්ද ඇයි බීම.. බීම කිව්වම මතක් වෙන්නේ ඔය බ්ලෙන්ඩර් කරලා බීමනේ..නැහැ නැහැ මේ ඒක නෙවෙයි...මං කියන්නේ අඹ ඉරිල්ල...ඔය අඹ ඉරිල්ලත් පංකාදු වැඩක් නෙව.. ඉල්ලලා අඹ ගන්නවා වගේම එහෙම ඉල්ල ගත්ත අඹ ඉරිල්ලත් එක්තරා කලාවක්...

අහ් අඹ ඉරිල්ල කිව්වම මුලින්ම මතක් උනේ..ජුමාව...

එක දවසක් අපේ ජුං අලයා උන්ගේ ගේ ඉස්සරහා අඹ ගහෙන් වැටුන ඉඳුන අඹයක් හොඳට පොඩි කරලා කරලා යටින් පොත්ත සිදුරු කරලා උරලා බීපී...කොටින්ම අපි මූට ඕක කපලා බෙදා හදාගෙන කමු කිව්වම අපිට ලොකු ටෝක් බර ගාණක් දීලා තමා තනියම ඔය ඉරිල්ල කලේ...ඒත් අන්තිමට...උනේ මොකක්ද..?

මේකා අර අඹ ‍ගෙඩිය උරලා උරලා හපේ කලාට පස්සේ අපේ එකෙක් නිකමට වගේ ඒකේ පොත්ත ඉරලා බැළුවා...සංසාරේ..සුදු පාට පණුවෝ පිරිලා...අපි ඒ දිහා බලලා ඈක්කා කියනකොට ජුමා තැඹිලි ගහ අල්ලං වමනේ දානවා... ඒ අස්සෙන් මෙහෙමත් ඇහෙනවා...

"කිරි රහකුත් දැනුනා තමා බංස්ලා..."

30 comments:

  1. Replies
    1. හ්ම්. ළමයින්ට ඉර හඳ දෙන්නං කියලා බොරු පොරොන්දු දෙන වැඩිහිටියන්නම් ඕනෙම නැහැ.
      අපේ වත්තෙත් ඉස්සර දවසකට ගෙඩියක් දෙකක් බිම වැටෙන උස අඹ ගහක් තිබුණා. මමත් වරුවකට සැරයක්වත් ගිහින් ඕක යට බලලා, අහුලගෙන ඇවිත්, ගෙදර සේරටම පොඩි කෑලි කපලා බෙදනවා. පස්සෙ මිදුලෙ අඹ ගහේ ගෙඩි හුඟක් හැදුණත් ඒවා අර ගිරා අඹ විතර රස නැහැ.
      දැන් මේ ජුමා කළායයි කියන්නෙ තමන් කරපු වැඩක් නේද?

      Delete
  2. මාරය අඹ ගෙඩිය ඉරුවට පස්සෙ ජුමා ඒක කපල බැලුවලු. ඒක තමයි එතන සිද්ද වෙලා තියෙන්නෙ.

    කුරුල්ලො කාපුව කාල කුරුලු උණ හැදෙයි බං. :D

    ReplyDelete
  3. චැහ් උදේට කාපුවත් උගුරට ආවා :-(

    ReplyDelete
  4. හොඳට ඉදුණු අඹ තරම් රස කෑමක් තවත් නෑ.... ඒවා ගොඩක්ම රහ වෙන්න නම් අල්ලපු වත්තෙන් හරි, දහම් පාසල් ගිය ගමන් පංසල් වත්තෙන් හරි පොල්ලක් දෙකක් ගහලා කඩා ගන්න ඕනෙ හාමුදුර්වන්ට හොරෙන්. දහම් පාසල ඉවරවෙලා තව පැයක් හමාරක් පංසලේ ඉඳලා, හාමුදුරුවො දවල්ට කාලා සැතපෙන්නෙ ගිය ගමන් තමයි ගේමට බහින්නෙ....! කළුබෝවිල සුනන්දාරාමෙ හොඳ අඹ ගස් දෙකතුනක් වගේම තව දිවුල් ගස් එහෙමත් තිබුනා....! හැබැයි ඉතින් ඔය එක ගෙඩියක්වත් ඉදෙනකං තියෙන්නෙ නෑ....! අමු දිවුල් ගෙඩියකුයි, අමු අඹ ගෙඩියකුයි පොලු ගහලා කඩාගෙන, ගෙදරින් හොරෙන් අරගෙන ගිය ලුණු කුඩු ටිකක් එක්ක ගම්මිරිස් කුඩු දාගෙන කනවා තරම් ජොලියක් කොහෙද....! ඒත් එක්කම්ම බලන්න ඕනෙ වේලපහින් නැගිටලා හාමුදුරුවො සිවුරත් උස්සගෙන දොරේ කිතුල් පොල්ලත් අරගෙන එනවද කියලත්.....!

    ReplyDelete
  5. අඹ දිවුල් විතරක් නෙවෙයි ... හොරෙන් කන කොයිකත් රහයි... සිද්දිනම් එමටයි...වැඩේ තියෙන්නේ දුමි අය්යාලා මාර අය්යලා දුකා අය්යලා වගේ ඕව රහකොරල ලියන්න බැරි එකනේ

    අර අඹ උරන ටික කියවද්දි දැනගත්ත අන්තිම ටික ... කියන්න ලැජ්ජ නෑ ඕං ඔහොම උරන වැඩේට හොඳම අබ ජාතිය ඇටබ (මම දන්න විදියට ) පුංචි ගෙඩි ගහට නැගල අතු හෙල්ලුවහම ඉදිච්ච වැටෙනවා.. ඔහොම හග හොල්ලලා ඇටබ කාපු දවසක මටත් මාරය අය්යට වෙලා ජුංගෙ එකවුන්ට් එකට දාපු සන්තෑසියම උනා... වමනෙනම් ගියේ නෑ.. මෙහෙම කෑවෙ නැත්තන් අයෙ වෙනවිදියකට පනුවෙක් කන්න බෑනේ කියල ශේප් උනා

    ReplyDelete
  6. ඇයි අර වවුල්ලු පොත්ත හපකරපු කොට්ටම්බා,ඒකත් මරු. වවුල්ලු කාපු අඹ කොට තරම් රස අඹ නම් කොහෙවත් නෑ කියනෙකනම් දන්නේ කාපු අපිම තමයි. උරපු අඹේ පොතුගහල බලන්නේ නෑ කියල අපිම වාරණයක් දාගෙන තිබ්බනිසා කාපු පනුවන්ගේ වගතුග නෑ . අපිට තිබ්බ පොඩිකාලේ අපේ ළමයින්ට දෙන්න වෙන්නේ සීමාවල් දාලම තමයි. මුන්ගේ තුවාලෙක කෙළවලින් කුරුම්බැට්ටියක් ගලගාල ගෑවොත් ...? etc

    ReplyDelete
  7. හිතන්ඩ දේවල් ගොඩයි.. මට නම අදටත් මගෙයි කියලා බයිසිකල් කටුවක්වත් නෑ.. එක පාරක් තාත්තා එකක් අරන් දුන්නා.. පස්සෙන් පහු ඒකත් මල්ලිටම සින්න වුනා..

    ඇත්තටම අද අපි කන වහ කන්දරවා ගැන හිතපුවම.. අඹ කොටනම් මොනවද.. මට නම් ඕවා ගැන තිබුන එකම බය සරපයි හොට දාලා ඇති කියන එක තමා...

    ජයම පතමි !!!

    ReplyDelete
  8. අපොයි අපොයි මට එපා...
    බිම වැටි පලතුරු එපා...
    කෑවොත් ඉන් වන විපා...
    දනිමි දනිමි මට එපා...

    ReplyDelete
    Replies
    1. පළතුරු ඇති බිම වැටී..
      ඇහිද කෑම හොද නැතී..
      සෝදාලා හරි හැටී..
      කෑමට ගැනුමට වටී..

      Delete
  9. අපේ ගෙදරත් අඹ ගස් දෙකේම ගෙඩි ඉදිලා වැටි වැටි යනවා කියලා ඕං කිවුවා.. දුකේ බෑ බං, මං මෙහෙ ඉදං හූල්ලනවා.. :(

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර අඹ ගස් වල මම වෙනුවෙන් ගෙඩි කිහිපයක් හරි ඉතුරු කරගන්න හැදුවට දෙන්නේම නෑලු. අපේ වඳුරෝ නෑයෝ ටික. ඕවා අහගෙන මාත් හූල්ලනවා තමයි.

      Delete
    2. අපි බැඳලා ගියාට පස්සෙත් අම්ම අඹ ඉදුනම අපි කාටත් ගෙනත් දුන්න . අපේ නැන්දම්මලගේ දිහාත් අඹ ගස් තියෙනවා . අපේ ලොක්කි පොඩි කාලේ හරියට කෑවා. හැබැයි වඳුරෝ තමයි අපිට වඩා කන්නේ . දැන් ගෙදර අය සිල් ගන්න හින්දා උන්ව එලවන්නෙත් නැහැ . අනික පරිස්සන් කලත් කන්න කෝ ළමයි

      Delete
  10. අතීතයට ගියා නිකන්ම..:)
    ඔය දේවල් දැන් නැති උනාට ඒ කලේ හැමෝම වගේ කලා මම හිතන්නේ...

    ReplyDelete
  11. අපිට කොයින්ද බයිසිකල් කටු !!
    අපි ඉතින් පයින්ම කොළඹට අදිනවා. ආයෙම එද්දිත් පයින් !!!

    ReplyDelete
  12. හම් හම්....දැන් ළමයින්ට ළමා කාලයක් කියලා දෙයක් ඇත්තෙම නැනේ.....ඉස්කෝලේ, ටියුශන්....ගෙදර ආවත් ඒත් පොතම තමා.....

    අපේ අම්මලා ඒ දවස්වල කරපුවා රස කර කර කියද්දි මායි මල්ලියි කීවොත් ඔයාලා අපිට එහෙම කරන්න දෙන්නේ නැනේ කියලා එයාලා කියන්නේ එදා තිබුණ සමාජේ නෙමේ දැන් තියෙන්නේ කියලා...කාට කියන්නද...?

    අඹ නම් ඇතිවෙන්න කැවා....කාලා හොඳටම ලෙඩත් වෙලා ඉන්නේ දැන්....:D

    ReplyDelete
  13. දැන් හැදෙන එවුන් වෙසක් කියලා දන්නේ දන්සැල් වලින් කන්නයි, තොරන් තියෙන තැන්වලට ගිහිං පිස්සු කෙලින්නයි විතරයි. කිහිප දෙනෙක් විතරක් තාමත් පන්සල් යනවා... කූඩු හදනවා වගේ දේවල් කරනවා. ඒත් දැන් කූඩු හැදිල්ල වෙනුවට රෙඩි මේඩ් තියෙන නිසා කූඩු හැදිල්ලත් නැතිවෙලාම යයි ඉක්මනටම...

    අඹ ගැන නම් වැඩි දෙයක් දන්නේ නෑ... ඉල්ලලා අඹ සීන් එක නම් ලාවට වගේ මතකයි...!

    ReplyDelete
  14. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  15. අපිට පොඩි කාලේ බිමට වැටිච්ච ඒවා කන්න තහනම්. කුරුල්ලෝ කාපු ඒව නම් කාලම නෑ. මම හිතන්නේ සර්පයෝ හෙමත් කන හින්දා වෙන්න ඕනේ කාලා නෑ. ඒ වුනාට අපේ කිරි අම්මලගේ ගෙදර අපි වෙනුවෙන්ම වී පෙට්ටියේ අඹ ගෝනියක් ඉදුනා. ගමේ ගෙදර කොච්චර අඹ තිබුනත් අර අඹ විතරයි මට තාමත් රහ දැනෙන්නේ.
    දැන් නම් ආශාවටවත් ලංකාවට ආවම අඹ කන්න වෙන්නේ නෑ. කඩේ තියෙන ඒවා නම් බෙහෙත් ගහලා හින්දා කන්නෙ නෑ. එක පාරක් ඇඹිලිපිටියේ ගිහින් අඹ ගත්තා. එහේ කොළඹට වඩා ගණන්. දඹුල්ලේ මේ පාර මට අඹ වික්කෙ ගෙඩිය රුපියල් පනහටද කොහෙද. මොනවා කරන්නද අඹ වතු තිබිච්ච අපි අද අඹ ගෙඩියක් කන්න මොන තරම් හීන මවනවද?

    ReplyDelete
  16. ළමා කාලය ගැන කිය උන කොටස සම්පූර්ණ ඇත්ත.. එක එක නීති තිබ්බට අපේ පොඩි කාලේ අපිට ඕන නිදහස තිබ්බා.. ඒත් දැන් ළමයි බිත්ති හතරට කොටු වෙලා..

    කිරි රහෙත් අමුතු රහක් තියේ.. :)

    ReplyDelete
  17. ඔබේ කතාවට එකඟයි. අපේ කාලයේ ළමයින්ට තිබුනු ළමාඅ කාලය දැන් ළමයින්ට නැහැ තමයි. උන් ළමයි නෙමෙයි මල් තමයි. අනේ මන්ද ? මුන්ට බල්ලෙක් පැන්නුවොත් දුවා ගන්නවත් තරම් දැණුමක් අපේ දමව්පියෝ දෙන්නේ නැහැනේ මල්ලියේ. ඉතිං තව මොන බයිසිකල්ද අප්පා.

    ReplyDelete
  18. පිට කැසිල්ලක් වගේ යමෙකුට පෙනුනත් මේ පෝස්ට් එකෙන් ජීවන සුවඳ වෑහෙනවා කියලා නොකිව්වොත් මම කුහකයෙක්.

    //අපි දෙන්නා හැම දේම එකට කරපු උන්... ඒ කියන්නේ මං කරපු ටිකම ඌත් කලා...ඒත් අද...!!!//
    ඉතින් ඇයි ඌ කරපු ටික උඹ නොකලෙ කියලා මට නිතරම හිතුනත් දැන් බලා යන කොට මග නතර වුනේ උඹද ඌද කියලා අලුතෙන් හිතන්න වෙනවා මේක කියෙව්වාම.

    ලිපියෙ අන්තර්ගතයෙ සමහර දේ ගැන උඹත් එක්ක ටිකක් පැටලෙන්න හිතුනත් එක්කො ඕනෙ නෑ! වෙසක් සතියනෙ? උඹට තෙරුවන් සරණයි!

    henryblogwalker the Dude

    ReplyDelete
  19. කියන්න දේ ගොඩායි...කොහෙන් පටන් ගන්නද මන්දා . අපිත් අඹ කොට්ටම්බා අහුලන් කාපු පරම්පරාවෙනේ. නවම් කිව්වා වගේ ඇටඹ තමයි සුප්පු කරන්න හොඳ . අපේ ගමේ වෙනිවැල්ගැට ඔන්චිල්ලාව බැන්දේ ඇටඹ ගහක . මේ පරණ මතක පෝස්ට් තුනක්ම ලිව්වා . අද නම් කම්මැලියි . මාරයා කියෙව්වේ නැද්ද කොහෙද . බැන්නත් මට මොකෝ ඔන්න ලින්ක් එක දැම්ම .[අද වෙසක් සතියේ නිසා බනින එකක් නැහැ ]
    http://nelumwila.blogspot.com/2012/04/blog-post_24.html


    බයිසිකල් නම් අපේ අය්යයි මල්ලියි ගොඩක් ලොකු වුනහම තමයි එයාලට බයිසිකලයක් ලැබුනේ . මට නම් ඕකට එච්චර ආසාවක් තිබුනේ නැහැ කවදත් . අද අපි ලොක්කිට ලොකු බයිසිකලයක් ගැනීම ගැන කතා වුනා . සුද්දන්ගේ ළමයි නම් බය නැතුව මේ පිස්සුවෙන් වගේ මෝටර් සයිකල් යන පාරවල බයිසිකල් පදිනවා . ආසියාවේ අපි විතරද බියගුළු පරම්පරාවක් බිහිකරන්නේ . මාත් බයිසිකල් පදින්න ඉගෙන ගන්න ඕනේ

    ReplyDelete
  20. මම හිතන්නෙ මම අහුවුනේ ඔය නිදහස් පරම්පරාවෙං නිදහස අහිමි පරම්පරාවට සමාජය මාරුවෙන සංක්‍රාන්ති සමයට.හැමදේම කළා හැබැයි ටික ටික.

    ReplyDelete
  21. අවුරුදු කාලේ බයිසිකලේ පාරට දාන්නේ අරමුණක් ඇතිව නෙවෙයි... 99 අවුරුද්දෙ උදේ 9ට පාරට දාපු බයිසිකලේ රෑ අටට විතර බලද්දි තිබ්බේ අනුරාධපුරේ.... සොඳුරු මතක...

    ReplyDelete
  22. සහතික ඇත්ත,...ටියුශන් කතා එව්ව මෙව්ව වෙසක් බැලිලි ඔවට තියෙන තහංචි අමතක කරමුකො..

    අඹ ගහම ගමුකො..ඉස්සර වැටිච්ච අඹ හොදල කැවෙ මොකාද ? මොකෙක්වත් නැ ..දැණ් ඒත් ටිවි එකෙ ඇඩ් දාල දාල අඹ අස්සෙ පනුවො මවල කාටුන් වලින් පෙන්නල දැන් කාලෙ පොඩි එකෙක්ට අපි අඹයක් දුන්නත් ඌ අහන්නෙ මේක හෙදුවද කියල..සත්තු කාපු අඹ ගැන ඉතින් කියන්නම දෙයක් නැ..ඉස්සර අපි දන්නෙ නැ උලව් වවුලා ක්ශිරපායි ඒක හින්ද ඌට පිස්සු බලු ලෙඩෙ හැදෙනව කියල..උ බල්ලෙක් නෙවෙ හින්ද ඌට එක හැදෙන්න බැ කියල අපි හිතුවෙ..ඒත් දැන් පොඩි එවුන අපි සතෙක් කාපු අඹයක් කන්න ගත්තත් අපොයි කන්න එපා රේබීස් හැදෙයි කියල අපිට කියනව.ඇගෙ මවිල් කෙලින් වෙනව..උන් දැන් පිස්සු බලු ලෙඩෙ විද්‍යාත්මක නමෙන් අපිව අමතන්නෙ..

    හැබයි බයිසිකල් පාරෙ පදින එකනම් මාර අයියෙ දැණ් ඉස්සර වගේ නෙවෙ..ඉස්සර අපි බයිසිකලේ පාරට දාල හැන්ඩල් එකෙ වාඩි වෙල එහා ගමට ගිහින් ආවත් වාහන දෙකක් වත් හම්බ වෙන්නෙ නැ..ඒවට පාර අබලන් හින්ද අපිට වඩා හෙමින් එන්නෙ..ඒත් දැන් පාර ෆුල් කාපට් එක්කො කොන්කීට්..විනාඩියකට ත්‍රීවීල් ම සියක් විතර යනව අනික එකෙක් වත් බයිස්කල් පදින පොඩි එකෙක් මයිම් කොරන්නෙ නැ..ඒ හින්ද ඉස්සර අපි පැදපු පාරවල් වල අද පොඩි එවුන්ට බයිසිකල් පදින්න නම් දෙන්න හොඳ නැ..

    ReplyDelete
  23. මම නම් පොඩි කාලෙ ඉදන්ම අඹ පෙරේතියෙක්.තාමත් එසේමයි.දැන් කාලෙ සමාජයත් එක්ක ඒ කාලෙ තිබුන නිදහස එහෙමම දෙන්න දෙමව්පියෝ බය ඇති.ඒකයි වෙලා තියෙන්නෙ.

    අර අන්තිම කතාවනම්.... ඊයා........................ කාපුවා ආපහු ආපු නැති එක විතරයි..

    ReplyDelete
  24. ම්ම්ම්ම්ම්ම්ම්.......අඹ නේද?

    ReplyDelete
  25. මී අඔ,කොහු අඹ,ඇටඹ,...නා..නා ප්‍රකාර අඹ..
    අම්මෝ... මතක් වෙන කොටත් කටට කෙල පනිට්‍ටුවක් ආවා..
    ඔය කාලෙට තව සෝක්... ජාතියක් මතක් වෙනවා..."රඹුටන්":....
    අන්තිමට ඌශ්ණෙට ඇඟේ..බිබිලි දානවා...
    ඊළඟට...ඉතින්.. දොලේ පැනල නානව.දවසට 6 පාරක් විතර...
    (ආච්චිලගේ ගෙදරදි...අපිට කොයින්ද..? .දොලවල්...)
    නියම පෝස්‍ටුව..අපිව අතීතයට අරන් ගියාට ස්තුතියි..
    ජය වෙවා...!

    ReplyDelete