10 June 2012

ගෑණු පන්නන තලල්ලේ හිමියන්ගේ මංතරේ...

"අනේ උපාලි මෙන්න මේ ගෑණිට කියනවකෝ පන්සලේ කන්න දෙයක් නැහැ කියලා..මං කොච්චර කිව්වත් අහන්නේ නැහැ..."

සිවුරු පොට සකස් කර ගනිමින් ආවාසයේ ඇතුලට ගමන් කරනා ගිරිතලේ නායක හාමුදුරුවෝ පන්සලේ පිටුපස එතෙක් වේලා හබරල ගාලක් සුද්ද කරමින් හිඳ පන්සල ඉදිරිපසින් ඇසෙන කතා බහ කුමක්දැයි විපරම් කිරීමට ඇඳ සිටි අඳනය පිටින්ම දිගු කැත්තත් රැගෙන පැමිණි තලල්ලේ හිමියන්ට පවසනා ලදි...

"ඇයි ඇයි මොකද ආමුදුරුවෝ..?" යැයි නැවත විමසූවද ගිරිතලේ හිමියන් එයට වඩා කිසිවක් නොකියාම ආවාසයට යන ලදි...

---------------------------------------------

ගිරිතලේ ලොකු හාමුදුරුවෝ ගිරිතලේ නායක හිමියන් වූයේ සිය නිකායේ මහ නායක හිමියන් විසින් දුන් නායක පට්ටමකින් නොවේ...ගොඩ වෙල පන්සලේ ලොකු හාමුදුරුවන් වූයේ "ගිරිතලේ ආනන්ද" හිමියන්ය...වයසින් අවුරුදු 45ක් පමණ වූ ලොකු හාමුදුරුවන්ට නායක පට්ටමක් ලැබී තිබුනේ නැත. එහෙත් දන්නා කියන කවුරුත් පාහේ උන් වහන්සේ ඇමතුවේ නායක හිමියන් කියාය... එයට හේතු වූයේ උන්වහන්සේ සැබෑ නායකයෙක් වූ නිසාය.. පට්ටම් කිසිවක් නොලදත් අවට සිදුවන ඕනෑම දේකදී මුල් වී කටයුතු කරන උන් වහන්සේට වැඩි මහළු හාමුදුරුවරුන් පවා ගරු සැලකිලි දැක් වූයේ ගිරිතලේ හිමියන් සතු වූ මනා කලමනාකාරීවයත්..සංවිධාන ශක්තියත් මෙන්ම අසාමාන්‍ය මතකය නිසාය...

අවුරුදු හතලිස් පහක් පමණ වන විටම උන් වහන්සේ ලබා ඇති මතක සම්භාරය ඇතැම් විට අසූ වයස් පිරූ මහ නායක තෙරුන්වහන්සේලාවටත් නොවිණි. එහෙත් උන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය මිස උපාධිදාරියකු නොවේ... පාලි සංස්කෘත හා සිංහල යන භාෂාවන් පරතෙරට උගත් හිමියන්ට ත්‍රිපිටකය කට පාඩම්ය... ඉතිහාසය අද ඊයේ වූ දේ මෙන් මතකයේ ඇත. වැදගත්ම දේ නම් අංක ගැන වූ මතකයයි.. කුමන හෝ සිදුවීමක් ගැන කියද්දි එය සිදු වූ දවස පැහැදිලිව කියන්නටත් සිදූ වූ වේලාවක් තිබුණි නම් එයත් අඩු නැතිව සඳහන් කරන්නටත් උන්වහන්සේට හැකිය...

උන්වහන්සේගේ තවත් හැකියාවක් වූයේ ඇවිදින දුරකථන නාමාවලියක් වීමයි... ලංකාවේ ඕනෑම පන්සලක දුර කථනයක් ඇත්නම්.. ඒ අංකය එක් වරක් හෝ දැනගෙන උන්නේ නම් ඕනෑම වෙලාවක අහන පරක්කුවට ඒ අංක කීමේ හැකියාවක් උන්වහන්සේ සතු විය... කොටින්ම කිව හොත් කවුරුන් හෝ හිමි නමකගේ දුරකථන අංකයක් විමසූ වි‍ට.. කලින්නං තිබුනේ මේක.. ඊට පස්සේ මෙන්න මේ අංකෙට මාරු උනා.. දැන්නං තියෙන්නේ මේක.. යැයි කියමින් අංක කිහිපයක්ම වූවත් මතකයෙන් කියන්නට සමත්ය... අවට පන්සල් වල සිටි අප කවරුත් පාහේ කොහේ හෝ පන්සලක වේවා..බුද්ධ සාසන අමාත්‍යංශයේ වේවා.. කුමන හෝ අයුරකින් පන්සල්වලට සම්බන්ධ දේකදී දුරකතන අංකයක් සොයා ගැනීමට උවමනා වූ විට ටෙලිෆෝන් නාමාවලි පෙරලන්නට කම්මැලි නම් කෙලින්ම ගිරිතලේ හිමියන්ට ඇමතුමක් දී...

"නායක හාමුදුරුවනේ මට අහවල් කෙනාගේ අංකේ කියන්න බැරිද..?" යැයි විමසීමයි.. ඒ කියනා පරක්කුවෙන් "ආ..ලියා ගන්නවකෝ" යයි අද්දමින් කතා කොට සට පට ගා අංකය කියයි...

නිතරම විනෝදයෙන් සිටි නායක හිමියන් අළුත් අළුත් දේට කැමැත්තක් දැක්වීය... කුඩා මයික්‍රෆෝන්.. විදුලියෙන් ක්‍රියා කරන කුඩා උපකරණ... නිවි නිවි බල්බ් පත්තුවන උපකරණ වැනි සුළු පරිමාණයේ විදුලි උපකරණ වලට ඇති කැමැත්ත නිසා උන් වහන්සේව දැන සිටි දායක හිතවතුන් අතර සිටි විදේශගතව සිට පැමිණෙන අය හා විදෙස්ගත ඥාතීන් සිටිනා අය නිතරම උන්වහන්සේට එවැනි දේ ගෙනවිත් දෙන ලදි. ඒවැනි දෙයක් ලද විගස බොහෝ සතුටට පත්වන හිමියන් එතැන් සිට දින කිහිපයක් වනතුරුම එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරයි...ඇතැම් විට කෑලි කෑලි ගලවා බලයි. කවුරුන් හෝ පන්සලට ගිය විට තමා උගත් දේ ඔවුන්ටද විස්තර කරයි... ඒ අතරින් කිසිවකු..

"අනේ නායක හාමුදුරුවනේ ඕක මට දෙන්න බැරිදැ"යි කිවූ විට ඇස් ලොකු කර ඒ කිවූ තැනැත්තා දිහා විහිළුවට රවා බලා ගොරෝසු කට හඩින්...

"ඈ යකෝ තොපිලටත් ඕන මට ලැබෙන එකමද.." යි අසයි... උන්වහන්සේව නොදන්නා අයකු නම් මෙයින් අසීමිතව බය වෙනවාට සැකයක් නැති.

එහෙත් දන්න කියන එකෙක්වත් නම් ඒ රැවිල්ලට හා බොරු සද්දයට හසු නොවෙයි...

" හා හා දෙන්න බැරිනං මොකද.." යැයි කියූ විට

"කවුද යකෝ දෙන්න බැහැ කිව්වේ ආ අරං පලයං.. ආයේ එහෙම මං තොට මොනවත්ම පෙන්නන්නේ නැහැ" යැයි හිනා වෙමින් පවසමින් එතෙක් වේලා තමා ආසාවෙන් ඒ මේ අත පෙරලමින් සිටි උපකරණය එය ඉල්ලු තැනැත්තාට දෙයි.. ආයේ ඒ ගැන විහිළුවටවත් අසන්නේ උන් වහන්සේ නෙවෙයි...

පන්සලට හම්බ වෙන සෑම දෙයම වියදම් කොට පන්සල නඩත්තු කරනා අතරම වර්ෂයකට දෙවතාවක් පමණ සියක් නමකට පමණ දානයක් සූදානම් කොට එය ඉතා ඉහලින් ඉටු කොට සතුටු වන අතරම අහල පහල සිටින දුප්පත් ළමුන් විශාල පිරිසකට ඉගෙනුම අවශ්‍ය දේ සපයා දෙමින් කටයුතු කරයි... පිළිතුරු නැති ප්‍රශ්න උන් වහන්සේට නැත... කුමන ගැටළුවක් රැගෙන උන් වහන්සේ ලගට ගියත් එයට ඇවසි පිළිතුර නායක හිමියන් සතුය...උන් වහන්සේගේ ලැබීමත් එසේමය...

මා දැක ඇති කුඩාම පන්සලක උන් වහන්සේ වැඩ සිටියේය... එම පන්සලට අයත් ඉඩ කඩම්ද නැත.. පැරණි පන්සලක් වූවද එයට හිමිව තිබූ දේපල පරපුරේ වෙනස් පන්සල්වල අය විසින් අත්පත් කර ගෙන ඇති හෙයින් උන්වහන්සේ ඒවා සෙවීමට කවදාවත් ගියේ නැත. එහෙත් උන්වහන්සේට හොඳ දායකයින් පිරිසක් සිටින ලදි... උදේ සවස විත් සැප දුක් සොයා බලන අය මෙන්ම පුරුද්දක් ලෙසින් මාසිකව යම් මිල මුදලක් ගෙන විත් පූජා කර යන්නෝද එමටය... තැපැල් කන්තෝ‍රුවේ විශ්‍රාම වැටුප් ගෙවනා දිනයට උන් වහන්සේටද වැටුප් ලැබේ.. ඒ උන් වහන්සේ කල රජයේ රාජකාරියකට නොවේ... එදිනට විශ්‍රාම වැටුප් ගන්න වයසක උපාසක උපාසිකාවන් සිය වැටුප ගත් වහාම අසල ඇති පන්සලට ගොඩ වැදී කීය කීය හෝ හිමියන්ට පිරිනමා යන්නට හුරුව සිටි හෙයිනි. එවැනි දිනක අප පන්සලට ගිය විට "ආ අද මගේ පැන්ෂන් දවස" යැයි කියා සිනාසෙයි.

ලොකු කුඩා ඕනෑම අයකු සමඟ විහිළු තහළු කිරීමට හුරුව සිටි ගිරිතලේ නායක හිමියන්ට වැඩි හිටි උපාසක අම්මලා සිය දරුවකුට මෙන් ආදරේ කරයි.. ඒ උන් වහන්සේ ඉතා කුඩා කල මෙම පන්සලේ පැවිදිව මේ වන විට වයසට ගොස් සිටින උපාසක උපාසිකාවන්ගේ ආදරය මැද හැඳී වැඩුනු නිසාය.. අදටත් උන් වහන්සේ බලන්නට එන වයසක උපාසක අම්මලා ඇතමෙක් කොලයක එතූ විස්කිරිඤ්ඤ දෙකක්.. ටොපී කිහිපයක් රැගෙන එයි...ඒ පෙර පුරුද්දටය... ඔවුන් නායක හිමියන් තවමත් එදා සිටි ටොපි කන්නට ආස පුංචි හාමුදුරුවෝය... නායක හිමියනුත් එසේ තමා බැලීමට එන වයෝ වෘද්ධ අය දුටු විගසම "කෝ අද මට ටොපි ගෙනාවේ නැතෙයි" කියා අසන්නට හුරු වී තිබේ... මෙය පිටතින් බැළු විට සරල දෙයක් මෙන් පෙනුනද ඒ අම්මලා තාත්තලාට ඒ වදන් පෙල මහ මෙරටත් වඩා වටින්නේය.. ඒ හරහා ඔවුන් අතර කාලාන්තරයක් තිස්සේ ඇති බැඳීම සිහිපත් කරවයි... ඇතැම්හු එවැනි වේලාවට දෑසේ කඳුළු පුරවා ගන්නේ කුමක් හෝ කැවිල්ලක් ගෙන එන්නට නොහැකි වී ඇති විටය...

"අනේ හාමුදුරුවනේ අද මේ වෙන ගමනක් යන ගමන්නේ ආවේ... අපොයි මට මොනවත් ගේන්න බැරි උනානේ යැයි" දුකින් කියයි...

එවිට බොරු තරහක් මවා ගන්නා හිමියන්

"ඔහොම තමා දැන් අපිට සලකන්න උපාසක අම්මලට මතක නැහැ ලොකු ලොකු හාමුදුරුවරු ඉන්නවනේ දැන්" යැයි කියයි...

"අනේ එහෙමත් වෙනවද දෙයියනේ..ඔබ වහන්සේව අමතක වෙනවද මට මගේ ළමයි අමතක උනත්.."

"හා හා එහෙමනං කමක් නැහැ..එහෙනං අද මං මොනවා හරි දෙන්නංකෝ" යැයි කියා ඒකකාසු කොට ගෙන ගොස් පන්සලේ ඇති කැවිලි මොනවා හෝ කන්නට දී තේ බොන්නට දෙයි... ඉන් පසුව ආ ගිය කතා කතා කොට පිටව යන උපාසක ඇත්තන් යන්නේ ආවාටත් වඩා බැඳීමක් උන්වහන්සේ පිළිබඳව ඇති කරගනිමිනි.

මෙවැනි ගති සිරිත් හරහා උන්වහන්සේට ගිහි සහෝදර සහෝදරියන් රැසකි. ඒ පෙර කී උපාසක ඇත්තන්ගේ දූ දරුවන්ය.. ඔවුන්ද හිමියන්ට සලකන්නේ සිය සහෝදරයකුට මෙන්ය... කොහේ ගියත් උන් වහන්සේට යමක් ගෙනවිත් දෙන්නට ඔවුන් අමතක නොකරයි. එවැනි දේ නිසා උන්වහන්සේට ලැබීමෙන් අඩුවක් නැත. ඒ ලැබීම මෙන්ම උන්වහන්සේගේ දීමේ අඩුවක්ද නැත. එය හරියට දහස් ගණන් දෙනා දිනපතා ජලය ගන්නා පිරිසිදු ළිඳක් වැනිය... දිය ගන්නට ගන්නට නැවත නැවතත් උනන්නා සේය...

එහෙත් එවැනි වූ හිමියන්ටත් එදා අබග්ගයක් සිදුව තිබේ...

එම කාලය වන විට පන්සලට නුදුරු පාලු පොල් ඉඩමක කොහේදෝ සිට පැමිණි අහිකුණ්ඩිට නඩයක් සිය තාවකාලික නැවතුම් පලක් තනාගෙන තිබිණි. වැඩි දිනක් එක තැනක නොරැදෙන ඔවූහූ පැමිණි පසුව නැවතී ගත් තැන උයා පිහා කමින් ඒ අවට ප්‍රදේශය පුරා ඇවිද මිල මුදල් හාල් වැනි දේ එක්කාසු කරයි. ඒ නිකම් නොව මොනවා හෝ ඔවුන් දන්නා සාස්තරයක් පෙන්වාය.. ඇතමකු රිලවු නටවද්දී ගැහැණු උදවිය අත බලා සාස්තර කියමින් ඇවිදියි...

කෙසේ හෝ මේ කාලය වන විට අපගේ හිත මිත්‍ර ඔබ කවුරුත් මේ වන විට හොඳින් දැන හඳුනන "තලල්ලේ හිමියන්"ද ගොඩවෙල පන්සලේ වැඩ සිටි කාලයකි. ගිරිතලේ හිමියන් සිය පන්සලේ තවත් බංගලිදේශ හිමිවරුන් හතර පස් නමක් නවතාගෙන සිටි අතර කොහේ හෝ සිට පැමිණි තලල්ලේ හිමියන්ද ඒ ගොඩටම වැටී පන්සලේ වැඩ සිටින ලදි. ගිරිතලේ නායක හාමුදුරුවන්ද තලල්ලේ හිමියන්ට තරමක් කැමති අයෙකි.. ඒ

"තලල්ලේ ඉන්නවනං පන්සල සුද්ද පවිත්‍ර කරන එක ගැන මට බලන්න දෙයක් නැහැ" යැයි කියමිනි.

තලල්ලේ හිමියන්ගේ ගිහි කල රැකියාව වූ කොළඹ නගර සභාවේ සුපවයිසර් තනතුරටම ගැලපෙන ලෙසින් පන්සලේ සිටින බංගලි හිමිවරුන් අල්ලාගන වත්ත වටේ සුද්ද කරවීම කරයි. හෙතෙමද නිකං ඉන්නේ නැත දැඩිය මුගුරු හලාගෙන ඒ වැඩට හවුල් වෙයි.. මේ කියනා දිනත් බංගලි හිමි වරුන් දෙතුන් දෙනෙකුත් එකතු කොටගෙන ආවාසය පිටුපස ඇති හබරල ගාලක් සුද්ධ කරමින් තලල්ලේ හිමියන් සිටිනා ලදි.

ගිරිතලේ හිමියන් සිටියේ ආවාසය ඉදිරි පිට හාන්සි පුටුවේ වාඩි වී හවස් අතේ තමා බැලීමට පැමිණි ජයතිලක උපාසක සමඟ කතා බස් කරමිනි. ජයතිලක උපාසක යනු පළාතේ හාමුදුරුවරුන් අතර ප්‍රසිද්ධ දායකයෙකි. කිසිදා විවහා නොවුන ඔහු සිය නැගණියගේ දරුවන්ට උගන්වා ලොකු මහත් කොට සිය වත්ත පිටිය බලා කියාගෙන සිටි මැදි වයසේ අවිවාහකයෙකි. පන්සලේ කුමක් හෝ පින්කමක් නම් දින ගණනාවක්ම පන්සලේ වැටී හිඳ ආව තේව කරයි.. පින්කම් වලදී ගිරිතලේ හිමියන්ට සිටින ලොකුම ශක්තිය ජයතිලක උපාසකයි... ගිරිතලේ හිමියන් හා ජයතිලක උපාසක යනු ගජ මිතුරන් දෙනෙක් වැනිය...

එදිනත් දෙදෙනා මෙසේ කතා බස් කරමින් සිටි තැනට පන්සල ඉදිරියෙන් ගිය අහිකුණ්ටික ගෑණු දෙදෙනෙකු පැමිණ ඇත...

"ෂාමී...කන්න මොකුත්.."

ඒ වන විට වේලාව සවස හතරට ආසන්නව තිබී ඇත... දහවල් දානය අවසන්ව තිබූ අතර මොනම හෝ කරුමයක් නිසා කෑමක් බීමක් පන්සලේ තිබී නැත... කොතෙකුත් අනුනට කන්න බොන්න දෙන ගිරිතලේ හිමියන් දැඩි අපහසුතාවයකට ලක්විය.. නෑ යැයි කියා පුරුදු නැති හිමියන්ට එදා වැඩේ වැරදුනේය...

"අනේ ජයතිලක බලනවකෝ අද මෙලෝ දෙයක් නැහැනේ දාන ශාලාව පැත්තේ..මොනවද මුංදලට දෙන්නේ දැන්..?"

ජයතිලක උපාසක තැන ගැහැණු දෙදෙනා දෙසට හැරී...

"අද පන්සලේ ඔහෙලට දෙන්න දෙයක් නැහැ.. හාමුදුරුවෝ දානේ වළදලා හුග වෙලාවක්නේ" යැයි කියා ඇත... එහෙත්

"අනේ ෂාමී...කන්න දෙයාක්..."

"දැන් කිව්වේ ඒක තමා දෙයියනේ..අද පන්සලේ මොනවත් කෑම නැහැ"

"අනේ ෂාමී...කන්න දෙයක්.."

ජයතිලක උපාසක කොතෙක් පැහැදිලි කලත් ගැහැණුන් දෙදෙනා එකම වාදනය කරනු ලබයි.. බැරිම තැන ගිරිතලේ හිමියන්ද මෙය පැහැදිලි කර දෙන ලදි..

"අනේ උපාසක අම්මලා..අද මොනවත්ම දෙයක් නැහැනේ ඔහෙලට දෙන්න..තිබුණනං මං නොදී ඉන්නවද..?"

"අනේ ෂාමී..කන්න දෙයක්.."

ගිරිතලේ හිමියන් සතු දුර්වලතා කිහිපයක් වෙයි.. එයින් එකක් නම් අධික කේන්ති යාමයි.. එසේ කේන්ති ගිය විට කට හඩ දසත පැතිරෙන ලෙසින් වැඩි වී යන්නේ උන් වහන්සේටත් නොදැනුවත්මය... එසේම කිසිවකු හෝ තරහා වූවහොත් වූවාමය.. ආයේ මූණට හමු උනත් මහනායක හිමියන් එක්ක වූවද කතා කරන්නේ නැත. මේ බව දන්නා කිසිවකුත් උන්වහන්සේව කේන්ති ගස්සන්නේ නම් නැත...

එහෙත් ඒ වග නොදන්නා මෙම ගැහැණුන් දෙදෙනා දිගින් දිගටම "ෂාමී කන්න..ෂාමී කන්න" යැයි පුනරුච්ඡාරණය කරති... ඉතිං ෂාමිට තද නොවෙයිද.. ෂාමිට තද උනා පින්වතුනි...

"මොන මගුලක්ද යකෝ මේ.. කියන දෙයක් මේ ගෑණූන්ට තේරෙන්නේ නැද්ද..?" යැයි මහ හඩින් කියැවිණි... ආවාසය පිටුපස සිටි තලල්ලේ හිමියන්ට මෙම කට හඩ ඇසුනේ මෙවිටය.. කතාවේ උස් හඩින්ම කුමක් හෝ දේකට නායක හිමියන්ට කේන්ති ගොස් ඇති වග දැන ගත් තලල්ලේ හිමියන් හැඳ සිටි අඳනය පිටින්ම ආවාසය ඉදිරියට දිව ආවේය...

ඒ වන විටත් නායක හිමියන්ගේ උස් හඩටද බිය නොවූ ගැහැණු දෙදෙනා

"ෂාමී..කන්න දෙයාක්..." යැයි කියමින් සිටින ලදි...

සිදු වූ දේ තේරුම් ගත නොහැකි වූ තලල්ලේ හිමියන් ජයතිලක උපාසකගේ මුහුණ බැලීය...

"නැහැ උපාලි හාමුදුරුවනේ..මේ ගෑණු දෙන්නා ඇවිත් කන්න ඉල්ලනවා... අද මොනවත් දෙන්න දෙයක් නැති හින්දා මං ඒ වග කිප වතාවක්ම කිව්වා..ඒත් අහන්නේ නැහැ..පස්සේ නායක හාමුදුරුවොත් කිව්වා... ඒත් අහන්නේ නැහැ එකම ටික කිය කිය ඉන්නවා... අන්තිමේදී නායක හාමුදුරුවන්ට කේන්ති ගියා...ඇහුනනේ සද්දේ..?"

උපාලි හිමියන්ට කතාව පැහැදිලි විය... හේ වහාම අහිකුණ්ටික ගැහැණු දෙදෙනා දෙසට හැරිණි...

"අඩේයි උත්තිලා දෙන්නා.. මේක පන්ෂලක් යකූ... දන්ෂැලක් නෙවී... දූපියවු උත්තියෝ..."

යැයි එක් වරක් පමණක් කියනා ලදි... මෙතෙක් වේලා කොතෙක් කියූවත් තේරුම් නොගත් ගැහැණු දෙදෙනා ඇසිල්ලකින් පන්සල් වත්තෙන් පිටවී දුවන්නට වූයේ ජයතිලක උපාසක හිඳ සිටි බංකුවෙන් බිමට වැටී සිනාසෙන අතරේය...

පසුව මෙම ගෑණු එළවීමේ මංතරය ගැන ජයතිලක උපාසක විසින් නායක හිමියන්ටද..නායක හිමියන් විසින් අපටද පවසන ලදින් ටික දිනකින්ම අවට පන්සල් වල සියල්ලන්ම තලල්ලේ හිමියන්ගේ අපූරු මංතරේ ගැන දැන ගන්නා ලදි... මේ කතාව ඇසූ තවත් අසල පන්සලක නායක හාමුදුරු කෙනෙක් කියා තිබුනේ...

"තලල්ලේට විතරයි අහිකුණ්ටික භාෂාව තේරෙන්නේ..ගිරිතලේ දන්න පාලි සංස්කෘත උන්ට තේරෙනවයෑ" යනුවෙනි...

73 comments:

  1. apooruwata charithaya wisthara karala thiyenawa maaraiye.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ තරිඳු ඇවිත්!
      දැක්ක එකම සතුටක්!

      Delete
    2. තරිදුගෙ බ්ලොග්එක කියෙව්වෙ ආකයිව් වලින්. අපරාදෙ ලිවිල්ල නැවැත්තුවෙ.

      Delete
    3. අඩේ තරිඳුවො කොහෙද මෙච්චරකල් හිටියෙ.

      Delete
    4. comment nokalata api ithin blog thama kiyawanawa. :D
      amathaka una ne kiyanna "Ada mama eka !!!"

      Delete
    5. "Ada mama eka !!!"
      හැබෑමයි! තරිඳු බ්ලොග් කියවනව. :)

      Delete
  2. තලල්ලේට විතරයි අහිගුන්ටික භාෂාව තේරෙන්නේ ... ගිරිතලේ දන්නා පාලි සංස්කෘත උන්ට තේරෙනවයැ .....
    අයියෝ සල්ලි ....

    ReplyDelete
  3. දැන් නේ කතාව තේරුනේ. හික්ස් :)
    අපටත් තේරෙන්නේ නෑ නෙව ඔය බාසාව !!

    ReplyDelete
  4. මදෑ.. මන්තරේ. ඔය මන්තරෙන්නම් හුඟක් ඇයො නොඑන්නම එලවතෑකි :D

    ReplyDelete
  5. මාත් තව ඩිංගෙන් ඉදගෙන හිටපු පුටුවෙන් බිමට වැටෙනවා හිනා වෙලාම...

    ReplyDelete
  6. කමෙන්ට් මොඩරේට් කරන්නේ කම්පියුටර් ජිල්මාට් දාලා එක වෙන උන් වෙනස් කරන්ඩ නේද..?

    කොටස් සේරම අසාවෙන් කියෙව්වා... මේ වගේ කතා දිගටම ලියවෙනවම් මරු...

    ReplyDelete
  7. බඩත් කොරවෙලා අප්පා හිනා වෙලාම. මේක මරු මන්තරේ නෙ........

    ReplyDelete
  8. ++++++
    Kaalekata passe liyavuna hodhama post eka..

    ReplyDelete
  9. ++++++
    Kaalekata passe liyavuna hodhama post eka..

    ReplyDelete
  10. මට මතක් වුනේ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      ඉත්තිය නෙමේ ඉට්ඨිය

      Delete
  11. හිකිස්....පව් යකඩෝ උත්තිලා දෙන්නා.... :-)))))

    මං අහන්නේ, ඔහොමත් කියනවද මූණටම ඈ.....

    ReplyDelete
  12. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්..කියන එක උපාලි හාමුදුරුවො හොඳටම දැනන් ඉඳලා තියෙනවා..

    ReplyDelete
  13. උඹේ කෑම කෙසේ වෙතත් උඹේ පංසලේ කතා නම් පුදුම විදිහටම රසයි.....!

    ReplyDelete
  14. කියන්න දෙයක් නෑ මාරයියේ උපරිමයි..... නායක හාමුදුරුවන් ගැන සෑහෙන්න පැහැදීමකින් කතාව කියෝගෙන ගියේ ලස්සනටම විස්තර කරලා තියෙනවා.ඒකෙන්ම තේරෙනවා කොයිතරම් පැහැදීමක් තියෙන්න ඇතිද කියලා හැමෝටම...

    ඊට පස්සේ ඉතින් පායලා පායලා වැස්සා වගේ තමා හිනා සාගරයයි.. මරු ඈ..

    ReplyDelete
  15. අඩෝ උත්තා.. මේ කතාව නං මරු ඕයි..

    ReplyDelete
  16. අද තමා මෙ සීරියස් එකේ පට්ටම කථාව....

    උපාලිගෙ සීන් ඉවරයි මයෙ හිතේ

    ReplyDelete
  17. ගිරිතලේ හාමුදුරුවන්ගේ විස්තර කියවලා ඇස්දෙකට කඳුලුත් ආවා. අපේ ලොකු හාමුදුරුවොත් ඔයවිදියමයි. හැබැයි කේන්ති යන්නේ නම් නෑ. පොඩි එකා වගේ විසිතුරු දේවල් එකතු කරනවා. ඒවගේම ඉල්ලන ඕන කෙනෙකුට කහටක් නැතුවම දීලත් දානවා. අපූරු කතාව මාරයා.

    ReplyDelete
  18. හරිම ලස්සන කතා මාලාව . තව කොතරම් රස කතා ඇතිද නොලියවුනු .

    ReplyDelete
  19. නියම කතාව මචෝ මම 3 පාරක්ම කියෙව්වා.. නායක හාමුදුරුවෝ තාම ඉන්නවද?

    ReplyDelete
  20. මේ වගේ කතා නං අනිවා කියෝනවා...!

    ReplyDelete
  21. පන්සල්වල වෙන කතා සාමාන්‍ය සමාජේ වෙන කතාවලටත් වඩා අපූරුයි. ඒත් ප්‍රශ්නේ ඒ කතා එලියට එන්නේ නැති එක. හාමුදුරුවරු ඔය කතා කියන එකක්යැ....

    අනික මේ වගේ කතා කියන එකෙන් භික්ෂුන්ට අපහාසයක් වෙනවා කියලත් සමහරු කියනවනේ.

    මාරයියලා වගේ ගිහි, පැවිදි ජීවිත දෙක ගැනම අත්දැකීම් තියෙන උන්දැලා මේ කතා සමාජගත කරන වගකීම ගන්න ඕනේ :)

    ReplyDelete
  22. ගිරිතලේ ලොකු හාමුදුරුවෝ ගැන අපූරු විස්තරයක් තියනව නෙව. ඇත්තටම උන්නාන්සෙ ගැන ඔය හැඳින්වීම තිබු‍ණෙ නැත්නම් කතා රසයට ඒක බාධාවක්. අපූරුවට ලියල තියෙනව. උපාලි උන්නාන්සෙගෙ මන්තරෙත් මරු. අපේ ගමට එහා ගමේ පන්සල් තුනක් තියනව. ඒ එක පන්සලකත් හිටිය ඔය වගේ තදවුණාම කුණුහරුපෙන් බණින හාමුදුරුවො කෙනෙක්. අවුරුදු 70 - 75 ක් විතර වෙන පණ්ඩිත හාමුදුරුවො කෙනෙක්. උන්නාන්සෙ 2004 සුනාමියට අහුවෙල අපවත් වුණා.

    ReplyDelete
  23. කතාව කියවලා උදේම ලේ ටික පිරිසිදු කරගත්තා..!!!!!

    දැනගත යුතු මන්තරයක් නෙ අප්පා මේක....

    ReplyDelete
  24. "අඩේයි උත්තිලා දෙන්නා.. මේක පන්ෂලක් යකූ... දන්ෂැලක් නෙවී... දූපියවු උත්තියෝ..."
    මාර මන්තරයක් තමයි, අපිටත් වැදගත් වෙන්න පුළුවන් පාඩම කරලා තිය ගන්න ඕන. මන් හිතුවේ මාර අයියට අමතක වෙලා ගිරිතලේ හාමුදුරුවන්ගේ කතාව විතරක් ලියාගෙන යනවා කියල.

    ReplyDelete
  25. මාර මන්තරයක් තමයි, අපිටත් වැදගත් වෙන්න පුළුවන් පාඩම කරලා තිය ගන්න ඕන. මන් හිතුවේ මාර අයියට අමතක වෙලා ගිරිතලේ හාමුදුරුවන්ගේ කතාව විතරක් ලියාගෙන යනවා කියල.

    ReplyDelete
  26. ගිරිතලේ වර්ණනාව මරු. පුලවන්නං තව ටිකක් මේවගේ ඒව ලියපං මචං. බොහොම ආසාවෙන් කියවතෑකි.

    ReplyDelete
  27. පට්ටම පට්ටයි

    ReplyDelete
  28. 'සිදු වූ දේ තේරුම් ගත නොහැකි වූ තලල්ලේ හිමියන්' මෙය උපාලි හිමියන් ලෙස නිවැරදි විය යුතු නොවේද?

    කොහොම උනත් නියම කතාවක් තමයි.

    ReplyDelete
    Replies
    1. නෑනේ ප්‍රසන්න අයියා, හාමුදුරුවොන්ගෙ නම තලල්ලේ උපාලි කියල කලින් කිව්වෙ.

      Delete
    2. හුටා... ගිරිතලෙයි, තලල්ලෙයි පැටලිලානෙ.

      Delete
    3. අහෝ ප්‍රසන්න නොදිටි මොක්පුර ....:P

      Delete
  29. හෙහේ ... දැන් නේ දන්නේ එ සාස්තරේ... මරු..

    ReplyDelete
  30. යකෝ අද නං ඇත්තටම කඳුලු පනින්න හිනා උනා බොල...බඩත් රිදෙනවා හිනා වෙලාම :D :D... පස්ට කතාව..... බිපෙසි :D

    ReplyDelete
  31. මන්තර වලට අපේ ගැනු ලමයි හරි ආසයි වගේ...

    ReplyDelete
  32. හපොයි.............. පණ ගියා හිනාවෙලා..........

    ReplyDelete
  33. හයියෝ ශාමි !!!

    ReplyDelete
  34. මේ මන්තරෙන් අහිකුණ්ඨක ගෑනු විතරක් නොවෙයි ඕන ගෑනියෙක් එලවතෑකි.

    ReplyDelete
  35. නියමයි... අහිකුන්ඨික භාෂාවත් මරුනේ....

    ReplyDelete
  36. මාරේ අයියේ මාරු කතාව .

    ReplyDelete
  37. කොයි උත්තලටත් ඕම කිවොත් තමා තේරෙනවා

    ReplyDelete
  38. ගිරිතලේ හාමුදුරුවෝ ගැන විස්තරේ නම් මරු. අපරාදේ මාරයාට තිබුනේ උපාලි හාමුදුරුවන්ව ටික කාලෙකට හරි පන්සලේ නවත්ත ගන්න. එහෙනම් ඔය වගේ රස කථා ගොඩක් අපිට කියවන්න තිබ්බා.

    ReplyDelete
  39. තව පොඩ්ඩෙන් අපිත් හිනාව වැඩි වෙලා වැටෙනවා.. උපාලි හාමුදුරුවෝ නියමයිනේ...

    ReplyDelete
  40. කතාවෙ පටන් ගන්න තැනය ඉවර වෙන තැනයි අතරෙ පොඩි අවුලක්, පරස්පර විරෝධීතාවයක් තියෙනව කාටවත් පෙනුනෙ නැද්ද? මුලින් කියන විදිහට නෙවෙයි අන්තිමට ඉවර වෙලා තියෙන්නෙ. ඒ උනාට හිනා වෙලාම මැරෙන්න ගියා මේක කියවල ඉවර වෙන කොට නං. :D :D

    ReplyDelete
  41. ව්හිලුවට මැද්දෙන් පෙනෙන මනුස්සකමට මන් බොහොම කැමතියි මාරයෝ !

    ReplyDelete
  42. ප්ස්ස්.. දැන් උත්තල කාචය කියන එකත් කුණුහරපයක් වගේ ඇහෙන්නෙ ඒ ගමන මාරයා කරපු වැඩෙන්...
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හැබෑමයි. තවම ඉස්කෝලෙයන ළමයි එහෙම මෙතන ඉන්නව නම් පරිස්සම් වුනොත් හොඳා ඕක කියවන කොට. මම ඒ/ලෙවල් කරන කාලෙදි අපිට නිතරම ත්‍රිකෝණමිතික අනුපාත යොදන්න වුණා. මම බොහොම පරිස්සමට ටීච ඉස්සරහදී sec x කියල කියවන්නෙ. වචනෙ වැරදුනොත් වස නෝන්ඩිය.

      Delete
  43. හොදින් කියලා බෑ ගෑණු මට්ටු කරන්න...

    ReplyDelete
  44. මාරයියගෙ පන්සලේ කතා සෙට් එක නම් මරේ මරු

    ReplyDelete
  45. අපොයි...මාරා මන්තරයක්...

    ReplyDelete
  46. මාරයාගේ බ්ලොගේ එදා මෙදා තුර කියවූ හොඳම පෝස්ට් එක කියලයි හිතෙන්නේ...

    ReplyDelete
  47. නියම කතාව හිනා වෙලා පන නෑ.

    ReplyDelete
  48. වරෙල්ලකෝ මීට පස්සේ කන්න ඉල්ලන්න. දෙන්නම් මන්තරෙන් දුවන්ඩ් . ස්තුතියි මාරයා....

    ReplyDelete
  49. මේක මං මර බ්ලොගේ කියෙව්ව හොඳම කතාව. හැම රසයක්ම පත අට එකට හින්දලා දීල.. ජය..

    ReplyDelete
  50. ආසාවෙන් කියෙව්වා.....

    හිනාත් උනා...

    ජීවිතේට පාඩම් ටිකකුත් ගත්තා....

    තව මොනාද බන්...............:)

    ReplyDelete
  51. කඳුළුයි හිනාවයි දෙකම එක පාර එන්න පුලුවන් විදිහට ලියන්න පුලුවන් උඹට විතරයි ඒකත් මේ පන්සල් කතා වලම තමයි . . නියමයි බන්

    ReplyDelete
  52. උත්තිලට හොදටම තේරිලා වගේ නේද?

    ReplyDelete
  53. අම්මප, මේ මංතරේ මම දැනගෙන හිටියෙ නෑනෙ. සාත්තර් කියන්න කියලා ඇවිත් වත්තම සුද්දේ දෙන අම්මන්ඩිලා ආවදෙන්කෝ ඊලඟ පාර, මේ මංතරේ කෑ ගහලා මතුරනවා උන් දුවනකන්ම.

    ReplyDelete
  54. ammoooo mge ila atath adunada manda

    ReplyDelete