19 July 2012

"සිරකරුවෝද මනුෂ්‍යයෝය"... සුන්දරේගේ සුන්දර හිත...

සියල්ල එතැනින් නිමා වූයේ නැත... එය ආරම්භය පමණි. සියල්ල සිදු වූයේ ඉන් පසුවය...

උදෑසනින්ම අවදි වී ගත් තාත්තා බිමට එළිය වැටෙද්දීම පුට් බයිසිකලය පැදගෙන පිටත් වූයේ පොලිසියට යාමටයි... නිවසේ සිට කිලෝමීටර් 06 පමණ දුරින් තිබූ පොලිසියටත් එතැන් සිට තවත් කිලෝ මීටර් 08 ක් පමණ දුරින් පිහිටි අම්මාගේ මහ ගෙදරටත් ගොස් නැවත පැමැණියේ තරමක් දවල් වූ පසුය...

පොලිසියට පැමිණිල්ලක් ලෙසින් සිදු වූ දේ ඉදිරිපත් කර තිබූ අතර පිහියෙන් ඇන්නේ අම්මා නිසා තාත්තාව අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබුනේ නැත. අනිත් පැත්තෙන් තවමත් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූනේද නැත.

කෙසේ හෝ රෝහල් පොලිසිය මගින් තුවාල කරුවන් විසින් කරනු ලැබූ පැමිනිල්ල පොලිසියට ඒ වන තෙක්ම ලැබී තිබුනේ නැත. එහෙත් සවස් භාගයේදී එක්තරා පුද්ගලයෙක් තාත්තාව සොයාගෙන නිවසට ආවේය... ඒ වෙනෙකෙකු නොව තාත්තාගේම එක කුස උපන් මල්ලි නැතිනම් අපේ බාප්පාය... ඒ වන විට ඔහු ග්‍රාම සේවකවරයකු ලෙසින් අපේ ගමට කිලෝ මීටර් හය හතක් ඈත වසමක සේවාව කරන ලදි...

ග්‍රාම සේවක මල්ලී මේ මොහොතේ පැමිණිම තාත්තාගේ හිතට විශාල හයියක් විය... එහෙත් සිදු වූයේ අනිකකි... තාත්තා කල පැමිණිල්ල ගැන තොරතුරු අසා බලා ආයෙමත් පොලිසියට යමු යැයි යෝජනා කල හෙතෙම තාත්තාවත් රැගෙන නිවසින් පිටත් විය...එහෙත් නැවත ආවේ ඔහු පමණි. තාත්තා ආවේ නැත. ඒ වන විට වේලාව සවස 6ට ආසන්න වී තිබුණි.

තාත්තාව කැටුව ගොස් පොලිසියට බාර දී ඔහු අප මිදුලට විත් අන්න ******ව (තාත්තාගේ නම) කූඩුවට දැම්මා යැයි කියා යන්නට පිටත් වූ පසු ආයේ කාලයකට ඔහුව දැක්කේ අප නොවේ...

සීයා නැති වූ පවුලේ බර කරට අරගෙන රැකියාවට ගොස් වියදම් කොට තම මලයාට උගන්නන්නට වෙහෙසුන අයියාට ඔහු යුතුකම මැනවින් ඉටුකොට තිබුණි.සහෝදරකං පිළිබඳව යස පාඩමක් සිය වැඩිමහළු සහෝදරයාට ඉගැන්වූ අධමයා එයින් මත්තට අපේ අම්මාට අද වන තුරුත් හරියකට මුහුණ දෙන්නේ නැත. පෙරදී නම් දැඩි කේන්තියකින් සිටිය මුත් මේ වනවිට අම්මා එම කාරණා අමතක කර දමා සිටියත් ඔහු කෙසේ සිය හෘදය සාක්ෂියට වග උත්තර බඳින්නේදැයි මා නොදනිමි. ඇත්ත වශයෙන්ම කිවහොත් මෑතකදී බාප්පා අසනීපයෙන් හුන් වග මා දැන සිටියද මේ වන විට ජීවතුන් අතරද නැද්ද යන වගවත් මෙහි සටහන් කිරීමට මා හට මතකයක් නැත. ඔහු එතරමටම අප හට වැදගත් අයකු නොවීය... නෑදෑයන් යනු කුමන ආකාරයේ අයද යන්න ඒ දින කිහිපයේ අප මැනවින් හැඳින ගතිමු. තාත්තාගේ සහෝදරයින් කිසිවකු හෝ තාත්තා වෙනුවෙන් උදව් කිරිමට ආවේ නැත. එහෙත් ඔවුන් ගේ දරුවන් වූ අක්කා කෙනෙකුත් අයියාත් අප ගැන බැළුවා මතකයේ ඇත. ඒ ඔවුන් එවකට ළමා වයස්වල සිටි හෙයිනි.. ළමුන් වූ ඔවුන්ගේ සිත් මහ ඈයින්ගේ මෙන් නරක් වී නොතිබිණි...

එතැන් සිට උදා වූයේ ජීවිතයේ අමාරුම දින කිහිපයයි...

නිවසේ ඒ හැටි මුදලක් තිබුනේ නැත.. තාත්තා ගණුදෙනු කලේ වැඩි මුදලක් අතේ තබාගෙන නොවේ... බඩු විකිණෙන හැටියට තව තව අඩුපාඩු ගෙනැවිත් කඩයට දමා ඒවා ණයට විකිණු පසුව එම මුදල් ලැබෙන තෙක් මාසය අවසන් වන තෙක් බලා සිටිය යුතු විය. ගම්වල සිල්ලර කඩ කෙරුවාව යනු ලෙහෙසි පාසු කටයුත්තක් නොවීය... අම්මා වෙළදාම ගැන එතරම් දැනුමක් ඇතිව සිටියේ නැත..සෑම දේම කෙරුනේ තාත්තාගේ මතකයට අනුවය...

අම්මාගේ බාල නැගණිය එවකට පාසල් අධ්‍යාපනය නිම කොට රැකියා සොයමින් සිටි කාලයයි..තාත්තා පොලිසියට ගොස් පැමිණෙන අතර ඇයවද ගෙදර කැඳවාගෙන සිටි මුත් දින දෙකකට පමණ පසුව ඇයවද කැටුව යන්නට මහ ගෙදරින් කටයුතු යොදා තිබුනි. අම්මා තනි විය... නොදන්නා ගමක..නොදන්නා මිනිසුන් කැලක් මැද.. ඥාතීන් අතරින් කිහිප දෙනෙකු හැර සියල්ලන්ම සතුරුකම් කරනා කලක ඇය කිරි බොන දරුවකු හා යන්තම් ඇවිද ගන්නට හැකි කොලුවකුත් සමග තනි විය...

පසුවදා සිට අම්මාට තාත්තා බැලීමට සිරගෙදරට යාමට විය.. ඒ පොලිසියෙන් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබූ හෙයිනි. කුඩා දරුවකු වූ මා රැගෙන යාමට ඇයට අපහසු නිසා මාව බලා ගැනීමට කාට හෝ බාර දී යායුතුව තිබිණි.. බොහෝ විට මාව බලා ගැනීමට බාර ගත්තේ දෙවන මහප්පාගේ බාල දියණිය වූ පොඩි අක්කා විසිනි. මාව ඇයට බාර දෙන අම්මා..මල්ලීවත් වඩගෙන බත් මුලකුත් බැඳගෙන උදේ අටට පමණ ගෙදරින් පිටත්ව යන්නේ තවත් අපගේ ඥාති නිවසක දියනියක වූ පත්මශීලි අක්කා සමඟය... එවකට අවුරුදු දහසයක් දා හතක් වැනි වයසක පසු වූ..ඇතැම් විට එපමණවත් නැති පත්මශීලී අක්කා අම්මාත් සමඟින් පයින්ම තාත්තා බලන්නට ගෑටුවේය... බන්ධනාගාරයට අපගේ නිවසේ සිට කිලෝ මීටර් 10ක් පමණ සැමදාම ගෑටුවාය... බන්ධනාගාරයට බස්වලින් යන්නට නම් කිලෝ මීටර් 16ක් පමණ යා යුතු වූවත් කැලෑ පාරවල් වලින් ගියහොත් කිලෝ මීටර් 10 කින් පමණ යාගත හැක. නිතර බස් වැඩ නොකල අපගේ ගෙවල් පාරේ බසයක් සොයා ගැනීමට නම් කොහොමටත් කිලෝ මීටර් 4ක් වත් පයින් යා යුතුය.. එසේ යෑමටත් අම්මා අත මුදල් තිබුනේ නැත...

ඒ දින වල අම්මා උදේම නැගිට මල්ලිත් මමත් දෙදෙනාම බලාගෙනම වඩේ බැද්දාය... එවකට පාසල් යන කොලුවකු වූ සරත් අයියා පැමිණ වඩේ ටික කඩවලට දමා සවසට මුදල් ගෙනැවිත් අම්මාට දුන්නාය... සියල්ලම කල යුතු වූයේ ඒ මුදලිනි...

-----------------------------------------------
මෙය අතුරු කතාවකි.. ඇත්තෙන්ම මා හට එය එතරම් තබා කොහොමටවත් නිනව් නැත. එහෙත් අම්මා විසින් පසු කාලයකදී දෙතුන් විටක්ම කියා ඇති හෙයින් මතකයේ ඇත. අම්මා ඒ කතාව ඇද ගන්නේ මට හොඳක් කියන්නට උවමනා වූ විටක පමණි...

දිනක් සවස් වන විට අම්මා අත කිරිපිටි ගෙන ඒමට මුදලක් තිබී නැත.. කඩයේ වූ බඩු අතරද කිරි පිටි තිබී නැත. මල්ලී ඒ වන විට අම්මාගේ කිරි බිවූ අතර මා පිටි කිරිවලට හුරු වී තිබිණි. එහෙත් පසුවදාට හදන්නට කිරි නැති කල අම්මා හඩමින් ඒ බව මා හට කියා ඇත...

"පුතේ හෙට මොකද කරන්නේ උඹට දෙන්න කිරි නැහැ"

එවකට මාගේ වයස අවුරුදු පහක් පමණ විය... පොඩි කොලුවකු වූ මා තතනමින් කියා ඇත්තේ

"අම්මේ අපි තේ කහට බීලා ඉමු මට කිරි එපා" යනුවෙනි...

මේ කතාව කියනා හැම විටම අම්මා එය අවසන් කරන්නේ "උඹට පොඩි කාලේ ඉඳලම ගෙදර නැති බැරිකං තේරුන එකා" කියමිනි.
------------------------------------------------------------

එකල අප විඳි දුක කොතරම්දැයි කීමට මෙවැනි කතාවක් වූවද සෑහේ යැයි මට සිතේ... කොතරම් නැති බැරිකම් ආවත් අම්මා සටන අත හැරියේ නැත. එකම එක් දිනක් අම්මා මාවද රැගෙන සිරගෙදරට ගියාය... එදා මා වඩාගෙන ගියේ අපගේ අයියා කෙනෙකු විය යුතුය.. මට ඒ කවුරුදැයි හරියටම නිච්චි නැත. එහෙත් ඒ දෙවැනි මහප්පාගේ පුතා වූ මාගේ අයියා හෝ සරත් අයියා විය යුතුය... බන්ධනාගාරය අසල කඩයකින් හෝ කැන්ටිමකින් වැනි තැනකින් ප්ලේන්ටි බොනවා මතකයේ ඇත. එහි ඉස්කෝලවල මෙන් කොටු දැල් ගසා තිබුනාත් මතකය... එහෙත් තාත්තා දුටු ආකාරය මට හරියටම සිහියේ නැත.

කෙසේ වූවද තාත්තාගේ තත්වය යම් තරමකින් යහපත් විය.. එයට හේතුව වී තිබුනේ "සුන්දරේ අයියාය..."

සුන්දරේ අයියා යනු එවකට ගමේ සිටි තරමක මැර චරිතයක් විය... ගහ මරාගැනීම් වලට මෙන්ම සොරකම් හා මංකොල්ල කෑම් වලටත් සම්බන්ධ වූ හෙතෙම වරින් වර මිනීමැරුම් චෝදනාවලටද ලක් වූ බව මා දනිමි. උසින් අඩි හතකට ආසන්න වූ සුද්දෙක් වැනි පෙනුමක් තිබූ සුන්දරේ අයියා ඇත්තටම පෙනුමින් සුන්දර මිනිසකු විය... එහෙත් ඔහුගේ දාමරිකකම් නිසා ඒ සුන්දරත්වය වැසී ගොස් තිබිණි...

නෑදෑ කමින් සුන්දරේ අයියාට අපේ තාත්තා බාප්පා විය... ඒ තාත්තාගේ නැන්දණියකගේ දරුවකුගේ දරුවකු වීම හරහාය... තාත්තා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිනා කල සුන්දරේ අයියාද එම බෝඩිමේම සිට ඇත... තාත්තාට මෙන් නොව සුන්දරේ අයියාට සිර ගෙය යනු සිය නිවසට වඩා හුරු පුරුදු තැනකි... එසේම හිරගෙදර හොඳ කකුලකි... තාත්තා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සති දෙකක් හෝ තුනක් වැනි කාලය තුලදී තාත්තාට කිසිදු අඩුවක් වීමට සුන්දරේ අයියා ඉඩ තබා තිබුනේ නැත... නා ගන්නට වතුර පනිට්ටු කිහිපයක්... මස් මාළු නොකන තාත්තාට ඊට සරිලන කෑම වේලක් මෙන්ම බීමට බීඩියක් දෙකක් පවා සැපයීමට හේ වග බලාගෙන තිබුනි. ඒ වැනි තත්වයක් යනු සිරගෙයක සෑහෙන තරමක පහසුවකි. සුන්දරේ අයියා නොවන්නට තාත්තා වැනි මිනිසකුට සිර ගෙය කුමන තැනක් වේ දැයි සිතා ගැනීමටවත් නොහැක.

තාත්තා මියෙන තුරුම විටින් විට සුන්දරේ අයියා ගැන සිහිපත් කලේ එහෙයිනි...

සමාජයට හොරෙක් මංකොල්ලකාරයෙක් චණ්ඩියකු වූ සුන්දරේ අයියා තුල සමාජයේ වැදගත් යැයි සැලකෙන ග්‍රාම සේවකයකුට වඩා සුන්දර හදවතක් තිබුණි...

"සිරකරුවෝද මනුෂ්‍යයෝය"

61 comments:

  1. අපේ අම්මා ඔච්චර කට්ටක් කෑවෙ නැති උනත් අපිව හදන්න ලොකු කට්ටක් කෑවා.ඒත් මමනං මාරයෝ මාරයා වගේ පවුලේ දුක හරියට තේරුම්ගත්ත එකෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් තේරුම් ගත්තමත් ජීවිතේ අමාරුයි... ඒත් එහෙම කියලා කොහොමද..?

      Delete
    2. ඒකට මං මාරයා එක්ක 200%ක් එකගයි. මොකද තේරෙන එකා අමාරුවෙන් අරපිරිමහනකොට තේරෙන් නැති නැති නාස්ති කරගෙන විනෝද වෙනවා.

      Delete
    3. බොලේ රජරට කොලුවට දාපු කොමෙන්ටුව දැන් දැක්කේ.එහෙනං බොලේ ඔන්න මම අද එක උනෝ..........................commentsවලින් 1st දිනුක

      Delete
    4. සමහරවිට මගේ ආත්මාර්ථකාමීකම වෙන්ඩ ඇති.එහෙම නැත්තං තාත්තත් අයියත් නාස්තිකරපුවා දැකලා ඇතිවෙච්ච තරහට වෙන්ඩ ඇති මම සමහර අවස්ථාවලදි නොතේරුණා වගේ ඉන්ඩ ඇත්තේ.ඉස්තූතියි මාරයියේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට.ඇත්තටම සත්‍යය ප්‍රබන්ධයට වඩා පුදුමාකාරයි.

      Delete
  2. Replies
    1. "සමාජයට හොරෙක් මංකොල්ලකාරයෙක් චණ්ඩියකු වූ සුන්දරේ අයියා තුල සමාජයේ වැදගත් යැයි සැලකෙන ග්‍රාම සේවකයකුට වඩා සුන්දර හදවතක් තිබුණි..."

      ඒක ගොඩක් වෙලාවට එහෙමම තමා...

      දෙමාපියනුත්, තමනුත් ඇරෙන්න වෙන කවුරුවත් සම්පුර්ණයෙන් විස්තර කරන්න එපා කියල කතාවක් අහල තියෙනවා. දැන් යන හැටියට තමුන්වත් විශ්වාස කරන්න බෑ වගේ කියන එක තවත් කතාවක්.

      (දෙවන ස්ථානය ගත්තත් පොඩි එකීගේ බාධා කිරීම් නිසා මේ කමෙන්ටුව පරක්කු වුනා)

      Delete
    2. තමුන්ට තමන්ව විස්වාස කරවන එක තමා මංනං හිතන්නේ අමාරුම වැඩේ...

      (දෙවැනි එක පරක්කු උනාට අද කොහොම හරි දෙක වෙලානේ..ඒකත් මදෑ... නැත්තං අදත් දෙවැනි එක මැකෙන කමෙන්ට් එක වෙනවා..:D)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "අම්මේ අපි තේ කහට බීලා ඉමු මට කිරි එපා" . යන්තමට ඇවිදගන්න පුළුවන් පොඩි එකෙග්ගේ ඔය වචන ටික ඒ අසරණ අම්මට මොන තරම් හයියක් වෙන්න ඇද්ද? ඇස්වලට කඳුළු ආව බං. උඹේ දැන් තියන ඔය අරපිරිමැස්ම, බහ තොරණ කාලෙ ඉඳම්ම ආව එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං... අමාරු කාලේ පුරුදු අතාරින එක ලේසි දෙයක් නෙවෙයි...

      Delete
  5. kathawa dekkama 2,3 daapu 1 moda kamak kiyala hithuna. aiya godak duk vidala thiyenawa aiye. prarthana karanawa aiyage mulu jeevitha kalema sathutin inna kiyala a venuwata a ammatath salakagena

    ReplyDelete
    Replies
    1. අනේ ඒවෑ අවුලක් නැහැ බං... උඹලා ඔය සත දෙක දාන්නේ හිතවත් කමට හිතේ සතුටින් මිස හිත්වල කුණු තියාගෙන නෙවෙයිනේ... ඒ හින්දා ආයේ ඒවායේ වරදක් නැහැ...

      Delete
  6. සමාජයට හොරෙක් මංකොල්ලකාරයෙක් චණ්ඩියකු වූ සුන්දරේ අයියා තුල සමාජයේ වැදගත් යැයි සැලකෙන ග්‍රාම සේවකයකුට වඩා සුන්දර හදවතක් තිබුණි...

    ReplyDelete
  7. මේ කතාව කියද්දි මටත් අපේ බාප්පව මතක් වුනා.. තාත්තාම වැඩ කරන තැනට අරන් ගිහින් රස්සාව අරන් දීලා.. වැඩ උගන්නලා.. පස්සෙ කාලෙකදි අනික් වුන් සමඟ එකතුව 'අපි ඔක්කොම එකම වැඩේ කරනවානම් අහවලාට විතරක් වැඩි පඩියක් ඇයි' කියා පෙත්සම් ගහපු බාප්පාව..

    සියලුම මිනිසුන් 100%ක් හොඳත් නැත 100%ක් නරකත් නැත..

    ReplyDelete
  8. මට උඹේ අකුරු , වචන වාක්‍යය , ඡේද ඇතුලෙන් පේන්නෙ උඹේ කතාව නෙවෙයි මල්ලි .. මේ තියෙන්නෙ මන් රමීශාගෙ බ්ලොග් එකේ ඒ පෝස්ට් එකට දින ගන්නාවකට උඩදි මම දමපු කමෙන්ට් එක.. ඒක මෙතන ගැලපෙනවා කියලා හිතෙනවා..අපි අපේ ජීවිත ඇතුලේ විඳලා තියෙන දේවල් අඩු වැඩි වශයෙන් උනත් සමානයි.

    \\අම්මා ඔව් මට මතකයි, අම්මගේ හීන සේරම හන්ගන් අපේ හීනෙ ඇත්ත කරන්නයි දැඟලුවෙ..අම්මගෙ ජීවිතෙන් මට පෙන්නුවෙ ජීවිතේ සතුට සහ සිනහව ඇර වෙන කිසිම දෙයක් නෑ කියලයි. තුනේ පන්තියෙන් ඉස්කෝලෙ එහාට නොගිය අම්මා කීවෙ උගත්කමයි සතුටයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ කියලයි. සල්ලි වෙච්ච ලෝකෙක ළමයි හතර දෙනෙක් හදන්න අතේ තඹ දොයිතුවක් නැතුව ඒ වෙලාවෙ කරන්න පුළුවන් දහඩිය මහන්සිය හලලා ඉගැන්නුවෙ සල්ලියි සතුටයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ කියලයි. දිගු කාලීනව අසනීප වෙච්ච තාත්තවත් බලාගෙන ඒ ලෙඩේටම ගොදුරුවෙච්ච තමන්ගෙ ලොකු පුතාවත් බලාගත්තෙ ලෙඩ දුක් සහ සතුට කියන්නෙ සම්බන්ධයක් ඇති දෙයක් නෙවෙයි කියලයි. කන්ඩ දෙයක් නැති වෙනකොට ලුනු වෙනුවට කඳුලු දමලා සතුට එකතු කරලා තම්බලා දෙන දෙල් ගෙඩියක්, කොස් ගෙඩියක් තරම් රහ දෙයක් තිබුනෙම නෑ..එහෙම කරලා අපිට පෙන්නුවෙ සතුටින් සිටීම ඇර වෙන උතුම් දෙයක් මේ ලෝකෙ නෑ කියලයි..
    මට යමක් කරන්න පුළුවන් වෙන කාලෙ වෙනකොට යමක් අරන් විඳගන්න බැරි විදියට අම්මා එකතැන් වෙලා..ඒත් ඈ තමන්ගෙ ජීවිතයෙන්ම කියලා දීලා තිබ්බෙ ඔය සේරටම වඩා සතුට තමයි වැදගත්..සිනාව තමයි වැදගත් කියලයි..අඬන්න ඕනි තැනදිත් නොහඬා හිටපු අම්මා මාව දාලා ගියත් මන් අඬන්නෙ නෑ මට අම්මා වෙනුවෙන් කරන්න තිබුනු දේ කරන්න බැරි උනා කියලා.. මොකද අම්මා තමන්ගෙ ජීවිතෙන් කියලා දුන්නෙ වැදගත් සතුට සහ සිනහව තමයි කියලයි..මන් හිනාවෙලා සතුටින් ඉන්නවා..අනුන්ව සතුටින් තියන්න දඟලනවා ඒකයි මට කරන්න පුළුවන් එකම දේ අම්මගේ හීනෙත් ඒකනෙ..අම්මා ඔච්චරම දුක් වින්දෙ මාව සහ අපිව සතුටින් තියන්න නම් මන් ඇයි දුකින් ඉඳලා අම්මගේ ඒ නොකා නොබී ගත්තු උත්සාහයට අගෞරව කරන්නෙ ?\\

    ReplyDelete
    Replies
    1. ඒ හැම දුක් කඳුළක්ම අද වෙනකොට මුතු කැට වගේ වටිනවා වෙනී අයියේ..අපි කාටත්...

      Delete
    2. ++++++++++++++++++ මාරේ පොලවෙ පය ගහලා ඉන්නෙ එවුවා නිසා තමා

      Delete
    3. අම්මා ගැන ලියවුනු ලිපි තුනකින් මගේ දෑසට කඳුලු එක කලා එකක් උපුල් ශාන්ත සන්නන්ස්ගල අම්ම ගැන කියපුවා,දෙක මාරයාගේ මේ ලිපි, තුන වෙනියාගේ මේ කමෙන්ට් එක. මේ හැම මොහොතකම මම කරන්නේ අම්මට කෝල් කරන එක. අපේ අම්මත් ඇතුලු ලෝකයේ බොහෝ අම්මලා තමන්ගේ ළමයින්ගේ සතුට වෙනුවෙන් නිරාහාරව, කඳුලු බිබී, අනන්ත දුක් විඳලා තියෙනවා.

      Delete
  9. සියලු හැලහැප්පීම් නැත්නං ජී‍විතේ විදින්න බැරිවෙනවා කියලයි දැං හැරිලා බැලුවාම හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද..? එහෙමනං මං අද මොනවද ලියන්නේ..?:D

      Delete
  10. ආත්මාවර්ජනයක යෙදීම හොඳ සම්භාවනාවක්. එයින් යලි යලිත් විවිධ චයිතසිකයන් කාලීනව විග්‍රහ කරගැනීමට අවස්ථාව උදා වෙනවා. එක කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මේ සිත් අමනාපකම් ඊළඟ පරම්පරා වලට යන්නට ඇති ඉඩකඩ හැකිතරම් අහුරන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. තාත්තලගේ පරම්පරාවලින් මේ කතා ඉවර උනා.. ඒත් මතකය කියන එක නැති වෙලා නෙවෙයි... දරුවෝ පලි නැහැ දෙමාපියන්ගේ කතා වලට... දරුවන් උනත් පසු කාලීනව දෙමාපියන් බවට පත් වෙද්දී වෙනස් වෙන අය ඉන්නවා...එහෙම උනා..ඒත් අපි කිහිප දෙනෙක් අදටත් හිතවත් කමින් ඉන්නවා... ඒ පවුල් වලින් අතෑරුන වගේ උන් ටිකක්...

      Delete
  11. ඒ පොඩි කොලු පැටව් දෙන්නා ගැන සිහි වෙලා කඳුලු ආවා. විශේෂයෙන්ම අවුරුදු 5 කොලුවව.
    ඒ වගේ ජීවිතයට මුහුණ දෙන අය අදත් කොච්චර ඇතිද නේද අපිට නොපෙනෙන?!

    සී ටී ගේ අම්මව බලන්න මම දවසක යනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ මේ පාර බලන්න තිබුනා...

      Delete
  12. මම දැක්කා දවසක්...
    ගෝල් ෆේස් පිට්ටනියේ...
    මහත්තැන් කෙනෙක් කාපු කෑම දිරවන්න දුවනව හති දාගෙන....
    බාටා දෙකම හිල්වෙච්ච කොටහේනෙ 'සුන්දර්' දුවනව ඒ මහත්තයා පස්සේ....
    කෑම දිරවන්න නෙමේ....උදේට කන්න, පොඩි එකාට මොනව හරි ගන්න...
    කාසියක් දෙකක් ඉල්ලගන්න......
    මහත්තයාගේ එරවුමයි...වේගේ වැඩිකමයි...'සුන්දර්' ව පහු කලා....
    කකුල නැති පොඩි සිරාට...ඊයෙ රෑ 'නානා' ගේ කඩෙන් දුන්න 'චිකන් කොත්තුව',
    සුන්දර්ගේ මල්ලට වැටුනා....
    ඒ කොත්තුව තාම උණුයි...හරි රහයි...පොඩි එකා කිව්වා....

    ReplyDelete
    Replies
    1. meka thama samaja yatharthaya

      Delete
    2. මම ඔය වාක්‍ය ටිකම වගේ දැක්කා කොහේ හරි..මතක නැහැනේ හරියට...

      Delete
    3. මේක නම් මම මේ ඇත්තටම දැක්ක සිද්ධියක්..නම් ගම් විතරයි මට දැන් හිතුන වෙලාවේ ආදේශ කලේ. හැබැයි මේක 'අරුමයක් හෝ අහම්බයක්' නෙමේ.

      කොහොම වුනත් මාරයියට වෙච්ච සිද්ධියට බොහොම සමාන සිද්ධියක් මගේ මාමණ්ඩිට සිද්ධ වෙලා තියනවා. තාමත් සිද්ධ වෙමිනුත් පවතිනවා. හැබයි මේ කථාව වගේම ඒ ගැන වෙනී අයියා දාපු කමෙන්ට් එකත් අපි ජීවිතය ගැන ආයෙත් හිතන්න දේවල් මතක් කරනවා. ඒකට බොහොම ස්තුතියි.

      Delete
  13. ජීවන අත්දැකීම්....
    සමාජ විශ්ව විද්‍යාලයෙන් විතරක්ම ඉගෙන ගන්න පුළුවං පාඩම්...
    ජීවිතේ ජීවත් කරවන්නේ ඕවා තමා...

    ජය වේවා!!!

    ReplyDelete
  14. කඳුලු එනවා අයියෙ.

    මගෙ හිතට වැඩියෙන්ම දැනුන කොටස //එහෙත් ඔවුන් ගේ දරුවන් වූ අක්කා කෙනෙකුත් අයියාත් අප ගැන බැළුවා මතකයේ ඇත. ඒ ඔවුන් එවකට ළමා වයස්වල සිටි හෙයිනි.. ළමුන් වූ ඔවුන්ගේ සිත් මහ ඈයින්ගේ මෙන් නරක් වී නොතිබිණි...//

    ReplyDelete
  15. ඇස් වලට කඳුලු එනව මාරෙ..මටත් මගෙ පුංච් කාලෙ මතක් වුනා...

    දෙමව්පියො දරුවො වෙනුවෙන් මොනතරම් දේ කරනවද ?

    ReplyDelete
    Replies
    1. හා හා පිහ දාගනින්...

      (ඈ බං උඹේ පුංචි කාලේ මතක් උනාම අඩන්න ඕන උඹද..අහල පහල ගෑල්ලමයි ටිකද..?)

      Delete
    2. සික්...තෝ කොටියම කාපිය...මෙතන සීරියස් කොමෙන්ට් දානවට මටත් හොඳ පාඩම...:D:D

      තව එක වචනයක් කතාකරනවා නෙවෙයි :P

      Delete
    3. හික් හික්..කරන්න දෙයක් නැහැ බං..උඹව දුටු තැන පජාත කරන්න කියලා ඉහලින් ඕඩරයක් ලැබිලා තියෙනවා...

      (විහිළුවක් කරන්න පුළුවන් එකාට එපෑ යකෝ කරන්න)

      Delete
  16. මාරේ , ග්‍රාම සේවක කලේ ඔහුගේ රැකියාව නෙවෙයිද ? සිද්ධියේ අගක් මුලක් දැක නැති ඔහු අවස්ථාවේ හැටියට පුද්ගලික දැන හැඳුනුම් කම් ඉවත දමා රැකියාව හරියට කල නිසා , ඤාති සංග්‍රහ නොකළ නිසා ඔහු ජඩයෙක් ලෙස ගැනීම හරිද ?

    ReplyDelete
    Replies
    1. ඒක මේහෙමයි...

      බාප්පාට අපේ වසම අදාල වසමක් නෙවෙයි... ඔහු පැමිණියේ ඥාතීත්වය මත මිස රාජකාරි ගමනක් නෙවෙයි.. එහෙම ඥාති පදනමින් ආවනං ඔහුට රාජකාරිය ගැන කතාවක් නැහැ.. ඒක පැත්තකින් තියමු..ඒත් පිහියෙන් ඇන්නේ අම්මා කියලා දැන දැනම තාත්තා දාපු පැමිණිල්ල වෙනස් කරවලා ඒ වරද තාත්තා පිට දාලා ‍ලියවීම රාජකාරියක්ද..?

      අම්මා මේක කලා කියලා ලියඋනානං අනිත් පැත්තට ‍ලොකු ගැටළුවක් වෙනවා ඇයි ගැහැණියකගෙන් ඇනුම් කෑවේ කියන තැනට එද්දී.. ඒත් දැන් ඇනලා තියෙන්නේ පිරිමියෙක්.. ඔය කේස් එක හින්දා නඩුව ඇදුනා කල්ප කාලාන්තරයක්...

      බාප්පා එතනදී රජයේ නිලධාරියෙක් විදියට රාජකාරිය හරියට කලානම් ඒකේ අවුලක් නැහැ..ඒත් සත්‍ය වෙනස් කරවලා තාත්තා ලවා පැමිණිල්ල වෙනස් විදියකට දාලා තාත්තාට වරද බාර කරවීම හරහා ඔහු කලේ අමු අමුවේම නීතිය නොමග යැවීමක් වගේම ඔහුව විශ්වාස කරලා වරද බාර ගන්න ගිය තාත්තාව අමාරුවේ දැමීමක් සහ ඒ හරහා නඩුවේ අපේ පැත්තට තිබුණ වාසිය නැති කරවීමක්...

      ඔයිට පස්සේ කාලෙක මං බාප්පාව ආස්සරේ කලා..ඒත් ඔහු කල දේ ගැන අදටත් මගේ හිතේ තියෙනවා වගේම ඔහුට හිතේ ඇති තැන අධමයෙක් ජඩයෙක් කියන තැනින් උඩට එන්නේ නැහැ.

      අඩුම ගානේ ඔය ඔක්කෝම උනාට පස්සේ එකම එක පාරක්වත් තාත්තාව බලන්නවත් ගියානං...?

      Delete
    2. තේරුණා සහෝ , නමුත් .....
      අම්ම වරදට පැටලුනානම් මවු කිරි බොන දරුවෙන් හාමත් වෙනවා
      තාත්ත දරු දෙන්නෙක් එක්ක තනි වෙනවා
      යමක් කරගන්න පුළුවන් පිරිමියෙක් වෙනුවට ගැහැණියෙක් පොලිසි , උසාවි , සිර ගෙවල් ගානේ රස්තියාදු වෙනවා , සමහර විට නිලධාරීන් අතින් දුෂණය වෙන්න පවා පුළුවනි
      තාත්තට , සහ ග්‍රාම සේවකට පොලිසියට යන ගමන් අවස්ථාවේ හැටියට ගන්න පුළුවන් හොඳම තීරණය , පවුලක වගකීම නේද ඒ අවස්ථාවේ අරගෙන තියෙන්නේ මේ පේන විදියට ?

      පවුලට අපහසු අවස්ථාවේදී උපකාරයක් නොකිරීම ... ඒක නම් අන්ත ජඩ පාපතරයෙකුගේ වැඩක්. හැබැයි ඒ වගේ ජඩයෝ ලංකාවේ ඕන තරම් ....

      Delete
    3. අර කියලා තියෙන කරුණු ටික ඇත්ත..නමුත් ඔතනදී සෑහෙන සහනයක් අපිට ලැබෙන්න තිබුනා එහෙම උනානං... ඒත් ඒ සහනය ලැබීම වැලැක්වීම තමා අරුන්දැගේ අරමුණ වෙලා තිබුනේ.. මොකද ඒ වෙනකොට ආච්චි අම්මා තාත්තාට ඉඩම් කොටසක් දීම ගැන අමනාපෙන් හිටිය කිහිප දෙනාගෙන් අයෙක් ඔහු. උන්දැට ඔතනදී කිසිම යහපත් චේතනාවක් තිබුනේ නැහැ.. අනික තාත්තා කලින් කල ප්‍රකාශය වෙනස් කරවීම හරහාත් අපට නඩුවේදී සෑහෙන කරදර උනා... ඒ වගේ දෙයක් නොවෙයි කියලා නොදැන කලා වෙන්න බැහැනේ විශේෂයෙන්ම නීතිය ගැන අවබෝධයක් ඇති එකෙක්. පවුලක වගකීම් ගැනීම නෙවෙ උනේ... කරදරයක් වෙලෙත් තරහා පිරි මැහීමක්...

      Delete
    4. "කරදරයක් වෙලෙත් තරහා පිරි මැහීම" ... Welcome to Srilanka .... LOL
      ඔබට ජය ... සුභ දවසක්

      Delete
  17. මේ සැරේ නම් කතාව ඇදුනේ නෑ ඉක්මනින් ගියා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා මේක ඉක්මනට ඉවරයක් කරන්න ඕන...

      Delete
  18. තාත්තලාගේ නැයෝ කොහෙත් ඔහොම්මමයි බං අර ඉන්නේ අපෙත් සෙට් එකක්ම

    දෙල්ගොඩ පාරේ මහකඩේ හන්දියට ඇවිත් පුෂ්පාරාම පාරෙන් කඩවතට , කඩවතින් ගනේමුල්ලපාරේන් මහරනුගේගොඩට , මහර නුගේගොඩින් දෙල්පේ හන්දිය පාරෙන් තාත්තා බලන්ඩ ගියේ මහරටද

    තාත්තා නයිට් ඩියුටි දවසට මම උදේට දොදොල් දාන්ඩ, හවසට සල්ලි ගන්ඩ.පාන් ගන්ඩ, පත්තරය බලන්ඩ ඔය දැල් ගහපු කැන්ටිමට යනවා.මාරයට මතකද හිර ගෙදර ඉස්සරහා තිබුන කේතූආකාර ලස්සන හික ගස් ටික දැන් එව්වත් කපලා

    අපි තාම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ආහ් මේ අපේ පැත්තේ පාරවල් ගැනනේ කියලා තියෙන්නේ :)

      Delete
    2. පාරේ මුල කොටසේ පොඩි වෙනසක් වෙන්න ඕන අටම්... ඇල්දෙනිය හරහා ගිහිල්ලයි ගනේමුල්ල පාරට වැටෙන්නේ...

      ඇත්තටම මම ජීවිතේ එකම එක පාරයි ඔය කැන්ටිම දැක්කේ.. මට තාමත් හීනෙන් වගේ මතකයි ඔය දැල් ගහපු ටික... එතන හරියට මිනිස්සු හිටියා ඒ වෙලාවේ.. වාඩි වෙන්නවත් තැනක් තිබුනේ නැහැ..මට මතකයි අපි ප්ලේන්ටි බිව්වේ සිමෙන්ති බැම්මක්/පේමන්ට් එකක් වගේ තැනක බිම වාඩි වෙලා... ඒ හැර ගස් ගැන ඒ හැටිම සිහියක් නැහැ බං... පොඩි එකානේ...

      Delete
  19. හිතට වදින කතාවක්..
    නෑයෝ ගැන නං කියලා වැඩක් නෑ..ඔහොමම තමා..
    මාර අම්මා සෑහෙන දිරිය කාන්තාවක්නේ...!!!

    ReplyDelete
  20. රිමාන්ඩ් එකේදි අර වගේ මනුස්සයෙක් හම්බ උනේ තාත්තගෙ වාසනාවට වෙන්න ඇති.

    කොහොම උනත් බොලාගේ නෑදෑයින්ට වැඩිය මිනීමරුවෙක් උනත් ඒ මනුස්සය වැදගත් මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. වැදගත්දත් අහනවා..ඔය මනුස්සයා ඇත්තටම කාට නැතත් අපිට හොඳ මනුස්සයෙක්..පහු කාලීනව උනත් අපිව පාරෙදි දැක්කත් හිනා වෙලා මල්ලියේ කියලා කතා කරලා යන හාදයා..අපි එතකොට ගණන් ගන්න ඕන තරමේ උන් නෙවෙයි හෙන හිච්චි උන්...

      Delete
  21. අපි නරකයි කියල හිතන ගොඩක් අය ලඟ , හොඳයි කියන අය ලඟ නැති මනුස්සගති තියෙනව- කලුවලාවෙත් රීදි රේඛාවක් තියෙනවලුනේ

    ReplyDelete
  22. නෑයෝ වේයෝය........
    හොඳ හිත් තියන මනුස්සයෝත් අසරණ කමට ඔය වගේ දේවල් කරලා හිරේ යනවානේ. සුන්දර් අයියත් එහෙම වෙන්න ඇති....

    ReplyDelete
  23. ගෙදරක් හම්බ කරන මනුස්සය නැති වෙනවා කියන්නෙ.

    හ්ම්ම්ම් ලේසි නෑ.....................................

    ReplyDelete
  24. මේ ලිපිය බලල බොහෝ අයගේ දෙනෙත් තෙත් වෙන්න ඇති . ඒතම්ම සංවේදී කතාවක් .
    …මේ හැම අත්දැකීමක්ම ජීවිතේ හරියාකාරව ඉදිරියට ගෙන යාමට ලොකු පිටුවහලක් .
    …පුදුමයි ඒත් ඇත්තයි නේද ?

    ReplyDelete
  25. මට මේක බලලා ඇඬුනේ මගේ සංවේදී කම නිසාම නොවෙයි, අඩු වැඩු වශයෙන් අපේ ජීවිත වලත් මේ වගේ දේවල් අත් දැකල තියෙන නිසා. මාරයාගේ ප්ලේන්ටි කතාවෙන් නිතරම මට මගේ සිඟිති දියණිය සිහිපත් වෙනවා. මගේ හිතේ තාමත් අකුරු කරන්න අදහසක් නැති ලොකු කතාවක කොටසක් මේ. වාසනාවකට මටනම් බොහෝ විට නෑදෑයන් පිහිටටමයි හිටියේ.

    ReplyDelete