30 July 2012

කහට...

ගාඩ් රූම් එකේ සීනි අහවර වෙලා... කොහොමත් මාසේ කම්මුතුයිනේ... හෙට තමා ආයේ සීනි ගන්න වෙන්නේ... ඒත් කවදාවත් නැතිව මට අද ඕන්න තේ එකක් බොන්න හිතුනා.. මං ඉතිං තේ බොනවා කියන්නේ ප්ලේන්ටියක් ගහන එකට තමා..කිරි තේ කියන්නේ මං ඒ තරං ආස දෙයක් නෙවෙයි. පිටි කිරි කලවං කරපුවා නැතිව එළ කිරි තේ එකක්නං අවුලක් නැහැ..මට පිටි කිරි අරහං...

මං සාමාන්‍යයෙන් තේ බොනවා අඩුයි. ඒත් ඉඳ හිට තේ එකක් බොන්න හිතුනම කම්මැලි නැතිව හදං බීලා දානවා.. අද වැඩ පොලේ වැඩ රාජකාරිත් සෑහෙන්න අහවර එකේ වේලාසනම නාලා කරලා තේ එකක් හදන්න හිතුනමයි දැක්කේ සීනි නැත කියන කාරණේ... ඒත් ඉතිං හිතුනම කොහොම හරි බොන්න එපෑ... ඔන්න වැක්කෙරුවා තේ කහට එකක්... හීරුවා සීනි බෝතලේ..හැන්ද අගට අහු උන සීනි ටික දමා ගත්තා අල්ලට..දැන් හරි..කකුල් දෙක බංකුව උඩට අරං පුටුව ඇල කරලා බිත්තියට තියං හාන්සිය දාගෙන තේ කහට එක බස්සනවා උගුරෙන් පහලට...දිව අගිස්සට යන්තම් සීනි කැට දෙක තුනක් තැවරෙන්න ඇරලා ඒ සීනි ඇට ටික දෙපාරක් විතර විකලා කටට දැනෙන පැණි රසත් එක්කම කහට උගුරක් ඇදලා අරිනවා... හරි සනීප වැඩේ...

දැන්නං ඔහොම තේ පෙවෙනවා අඩුයි මට නෙවෙයි හුඟ දෙනෙකුට... ඒත් අපි පොඩි කාලේ ඕක මහ අරුමයක් නෙවෙයි. හුඟාක් තැන්වල ඔය විදියට තමා අපි තේ බිව්වේ. ශ්‍රම දානයකට ගියාම උදේ වරුවේ හම්බ වෙන බනිස් ගෙඩියක් වගේ දෙයක් කාලා දාලා ඊ ළගට හම්බ වෙන තේ කහට ඩිංග කෝප්පයක දමා ගත්තට පස්සේ තේ බෙදන කෙනා විසින් අත්ලට හලන සීනි ඇට ටික හප හප තේ බොන එක කාගෙත් සිරිත... ඇයි ගොයං කයියකට ගියාම.. උදේ ඇඹුලට කියලා ඉතිං වැඩි හරියක් හම්බ වෙන්නේ පාන් ඉඳි ආප්ප වගේ දේවල්නේ... ලුණු ඇඹුල් පදමට දාපු මිරිස් ගලේ අඹරලා හදාපු පොල් සම්බල් එක්ක තැටි පාන් කෑල්ලක තෙල් වාටියෙන් කෑල්ලක් කාලා එයින් පස්සේ එන කට දැවිල්ලට තේ කහට උගුරක් සීනි කකා බොනවා තරං සුවයක් තව කොයින්ද...?(ඇයි ඊට පස්සේ දත්වල ඇලිලා තියෙන රතු පාට පැල්ලං..මිරිස් කෑලි දිවෙන් සුද්ද කරන එක..)

තේ කහටත් එක්ක තියෙන තව අපූරු මතකයන් කිහිපයක් තියෙනවා...

මුලින්ම වැව හදන කාලෙට ගියෑකි... ඒ වෙනකොට මං සාමාන්‍ය පෙල අවසන් කරලා..ගමේ ඇවිද ඇවිද ඉන්න කාලේ.. ගමේ තිබුන වැව පිළිසකර කරන්න ගත්තා රජයේ වියදමින්... වැවේ සොරොව්ව තමා කැඩිලා තිබුනේ. ඒක කොහොම කොයි විදියට තිබුනද කියලා මං කවදාවත් දැකලා තිබුනේ නැහැ..මොකද සොරොව්ව කැඩිලා වැව පාළු වෙලා තියෙන්නේ ආදි කාලයේදී... අපේ තාත්තානං ඒ සොරොව්ව දැකලා තියෙන වගක් කියලා තිබුනා...

කොහොම හරි අන්තිමේදී ගමේ ගොවි සමිතිය මඟින් මේ කොන්තරාත්තුව ගත්තා... දැන් වැවේ වැඩේ නැගලා යනවා... එක පැත්තකින් වැව් බැම්ම උස් කරමින් පස් දාලා තලන අතරේ වැවේ ඇතුල් පැත්තේ වැව් කන්දට ගල් පතුරු අල්ලනවා.. පිට පැත්තට තණ කොළ පිඩලි අල්ලනවා.. පිඩළි කපන්නේ වැව් පතුලෙන්මයි... ඒ ගමන්ම වැව හෑරෙනවා.. ඒ පස් වැව් කන්ද උඩට...

ඒ වැඩ ටික යන අතරෙම කඩං ගිහින් හායි කියලා කට ඇරිලා තිවුන වැවේ සොරොව්ව අළුතින් කොන්ක්‍රීට් යොදලා හදාගෙන යනවා.හුඟාක් ගැඹුරට වල වගේ හාරලා ඉංගිරිසි එච් අකුරේ හැඩේට පාදමේ ඉඳන් උඩට කොන්ක්‍රීට් කිරිල්ල පහසු නැහැ... සම්පූර්ණ පතුලේ ඉඳන් අඩි12ක් විතර කොන්ක්‍රීට් කරන්න වෙනවා. සිමෙන්ති කොට්ට 50ක් විතර කොන්ක්‍රීට් ඇනුවම දවසකට අඟල් 4ක් විතර බැම්ම ඉස්සෙනවා.. අනන කොන්ක්‍රීට් වලට මොනවා වෙනවද මංදා බහිරවයා ගිලින්නැහේ..දානවා දානවා ඉවරයක් නැහැ... මුලින් මුලින් පිඩලි ඇද ඇද ඉඳලා පස්සේ කොන්ක්‍රීට් ඇනීමේ පැත්තට පැන්නේ ලොකු කමටමයි.. කාටද ඇහැකි ගෑණු පරාණ එක්ක පිඩලි ඇද ඇද ඉන්න කියලා..ඒත් සවල අල්ලං වෙව්ල වෙව්ල කොන්කිරිට් අනන කොටයි..කොන්කිරිට් තාච්චි අල්ලලා අතේ ඇඟිළි දහයම හිල් වෙලා හැන්දෙන් බත් කන්න වෙනකොටයි තමා මේ උලව් කොන්කිරිට් එකේ අගලක් හරි ඉක්මනට උස යන එකේ අගේ තේරුනේ...

අපි පොඩි උන් හින්දා මුලින්ම ගත්තේ වැවේ පිඩලි ඇල්ලිල්ලට... දවසට රුපියල් 125යි කුලිය. සතියක් වැඩ කලාමයි ගණු දෙනු පියවන්නේ.. ඇයි ඒ විතරක්ද..? වැවේ වැඩ දෙන්න නං වරුවක් ශ්‍රමදාන මට්ටමෙන් සහභාගී වෙන්න ඕන.. නැත්තං වැඩ නැහැ.. ඉතිං සතියක් වැඩ කලාම වරුව කපලා දින හය හමාරක සල්ලි තමා අතට හම්බ වෙන්නේ.. එයිනුත් තව රුපියල් විසි පහක් කපනවා තේ වලට කියලා... ආන්න ඒ තේ එක තමා තේ එක...

වැඩේ යන අතරේ උදේ නවයට විතර දෙන්නෙක්ව නිදහස් කරනවා තේ හදන්න කියලා... වැව් ඉවුරෙම ගස් හෙවනක ලිපක් බැඳලා ඒකේ වතුර මුට්ටියක් රත් කරලා ඒකටම තේ කොල දාලා තැම්බීගෙන ආවම පෙරලා අරං වැවේ වැඩ කරන අයට බෙදාගෙන යන එක තමා අර තේ හදන්න දාපු දෙන්නට තියෙන්නේ... කොහොමත් දවසකට ඔතන පනහක් විතර වැඩ කරනවා... ඉතිං ඒකත් ලේසි නැහැ..සමහරු නං තේ හදන්න දුන්නම ගෙදර ගිහින් තේ වක්කරගෙන ඇවිල්ලා බෙදන්නත් පුරුදු වෙලා හිටියා.. කොහොම හරි කමක් නැහැ පැයෙන් තේ ඕන එච්චරයි නීතිය... කාස්ටක අවුවේම ඇලෙන් අත හෝද ගත්තා නොගත්තා ඇදන් ඉන්න කලිසමේම අත පිහදාගෙන එක අතකින් ප්ලාස්ටික් කෝප්පෙයි අනිත් අතට සීනි හැදි බාගෙයි අරං වැව් බැම්මටම පස්ස ඇනගෙන පිච්චි පිච්චි දුම් රහ යන්තමින් දැනෙන කහට උගුර බොන්නේ හරියට අමෘතේ ලැබුනා වගේ... එහෙවු කාලයක්...

තව ටිකක් අතීතෙට දුවන කොට ආයමත් මට කහට තේ ගැන මතකයක් එනවා.. හැබැයි ඒ කහට තේ එක මං බිව්ව එකක් නෙවෙයි.. එතකොට අපි තුන වසරේ ළමයි... මං ගිය ගමේ ඉස්කෝලේ කෑලි දෙකකට තිබුනේ.. එකක් කණිෂ්ඨය..අනික මහ විද්‍යාලය.. කණිෂ්ඨයේ තියෙන්නේ ගොඩ නැගිලි දෙකයි..ඒවෑ තියෙන්නේ 1/2/3 පන්ති විතරයි. අනිත් පන්ති තියෙන්නේ මහ විද්‍යාලේ.. කණිෂ්ටේ ඉඳන් මහ විද්‍යාලයට මීටර් හාරසීයක් විතර තිබුනා..දැන්නං ඒක ලොකු දුරක් නොවුනට ඒ කාලේ ඒක අපිට සෑහෙන දුරක්... ඒ විදියට ඉස්කෝල දෙක අතර තිබුන දුර හින්දා ඒ ඉස්කෝලෙයි මේ ඉස්කෝලෙයි අතර සම්බන්ධකං අඩුයි.

කණිෂ්ඨයේ උගන්නන්න ගුරුවරු හිටියේ හතර දෙනයි. බාලංශයේ..එහෙම නැත්තං එකේ පංතියේ හිටිය කඩේ ගෙදර ටීචයි(අම්මෝ සැර... එයත් නෑදෑනං තමා..ඒත් විහිළු බැහැ).. දෙකේ පන්තියේ හිටිය කුමාරි හාමි ටීචයි(මගේ සුදු ලස්සන ගුරුතුමී.. උඩරට කුමාරිහාමි කෙනෙක්..මට අදටත් ඇහැලෙපොල කුමාරිහාමි කිව්ව ගමන් මතක් වෙන්නේ උන්දැව..සීදේවි ටීචර් ඒ වගේම ළමයින්ට කරුණාව...)... තුන බී පන්තියේ භද්‍රා ටීචයි(ඕනම නැහැ..)..තුන ඒ පන්තියේ දයාවතී නැන්දයි... ඔව් දයාවතී ටීචර් තමා..ඒත් ඒ අපේ නැන්දනේ..

ගෙදරදී නැන්දා කියලා ඉස්කොලෙදී ටීචර් කියන්න ලේසි නැහැ.. ඒත් නැන්දා කියලා තියෙන්නේ ටීච කියලා කතා කරන්න ඉස්කොලෙදි කියලා..ඒත් ඉතිං මට කොහේද එහෙම පුරුදු... මොකද මොනවා කලත් උන්දෑ මට ගහන්නයෑ... මාමා ඉන්නවනේ නඩු අහන්න... අම්මපා උන්දෑ උන්දැගේ දරුවෝ එකොලොස් දෙනා කොහොම හදාගත්තද මංදා... ඔව් උන්දැට ළමයිම එකොලහක් ලේසිද වැඩේ අද කාලේ අම්මලානං හදයි මේං කියලා..අනික ගුරුවරියකුත් වෙලා... මාමත් විදුහල් පති කෙනෙක් වෙච්ච හින්දා උන්දැටත් නිවාඩු නැතිව කොහොම ගේමක් දෙන්න ඇද්ද... ඉතිං උන්දැට දරුවෝ හැදිල්ල වගේම දරුවෝ ආංබාං කිරිල්ලත් ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි. අදටත් උන්දෑ බොහෝම සනීපෙන් කල් අරිනවා.. මාමානං දැන් ජීවතුන් අතර නැහැ.. මාමා කියන්නේ මට හිටිය වෛද්‍යවරයා... අදටත් මං ඇවිදින්නේ උන්දෑ හදපු කකුල් දෙකෙන්.. ඒ වගේම පත පොත ලෝකය බලන්නේ උන්දෑ සනීප කරලා දුන්න ඇස් දෙකෙන්... සිංහල වෙදකම කියලා ආයුර්වේදයයි අරකයි මේකයි පටලගෙන දඟලන මේ යුගේ එහෙම වෙද්දු හොයන්න අමාරුයි...

හා හා ආයෙම මං පරණ පුරුදු තත්වෙට වැටීගෙන එනවා යන්නේ කොහෙද මල්ලේ පොල්...

ඉතිං අපි හිටියේ පොඩි ඉස්කෝලේ නෙව... ඔන්න මමත් දැන් තුන වසරේ ලොකු ළමයෙක්..දැන් අපි තමා කණිෂ්ඨෙ ඉන්න ජේෂ්ඨ සිස්සයෝ... (නැන්දනං කියන්නේ සිස්සයෝ නෙවෙයි යස්සයෝ කියලා) ඉතිං දැන් අපිට හෙනට වැඩ රාජකාරි... එතනින් ලොකුම ඩියුටිය තමා හරියටම නැන්දා පන්තියේ උගන්නන ගමන් අපිට කියන වෙලාවට දුවලා ඔපීසියට ගිහින් එකේ මේසේ උඩ තියෙන අර ලොකු සීනුව අරං ඒක අත් දෙකින්ම අල්ලගෙන කකුල් දෙක මැද්දෙන් ඉස්සරහ පස්සට වැනෙන විදියට හොලෝන එක...ඒක හිතන තරං ලේසි නැහැ.. ඕකට හොඳට පල පුරුද්ද ඕන.. ආවට ගියාට කරන්න ගෙහුන් ඒක හොලවන්න ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.

ටිලිං ටිලිං ටිලිං...... ආන්න ඒ සද්දේ ලස්සනට එන්න ඕක හොලවද්දී...

අනිත් රාජකාරිය තමා ඉන්ටබෙල් එකට..(ඒ කාලේ තිබුනේ එහෙම එකක් දැන්නේ ඔය ඉන්ටවල්ද මොකක්ද එකක් ඇවිත් තියෙන්නේ) "ඇදිහැස" විස්කෝතු බෙදිල්ල... එකාට අටයි.. බෙදන දෙන්නටයි.. විස්කෝතු පෙට්ටිය කාමරෙන් උස්සං එන දෙන්නටයි ඒ අටට අමතරව කොන් කෑලි ටිකයි... අම්මපා බලං ගියාම මේ කොමිස් ගැහිල්ල අපිට හුරු වෙලා තියෙන්නේ ඉස්කොලෙන්මද මංදා...

ඔය රාජකාරි වලට අමතරව තියෙන වැදගත්ම රාජකාරියක් තියෙනවා.. ආන්න ඒක තමා මේ තේ කහට කතාව...

පොඩි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉදන් මීටර් පනහක් විතර දුරින් හිටියා වයසක ජෝඩුවක්.. ගිරි ගෝරිස් ආතයි..ආච්චියි.. ආතා වඩු බාස් කෙනෙක්..ඒත් ඒ කාලේ වෙද්දී උන්දැට එහෙම වැඩ කරන්න හයි හත්තියක් තිබුනේ නැහැ. කොයි වෙලෙත් ඉස්සරහා බිත්ති කණ්ඩියක වාඩි වෙලා කෙදිරි ගගා ඉන්නවා ඇරුනු කොට... ආච්චිනං ටිකක් විතර එහෙ මෙහෙ වෙවී වැඩ කරනවා. අපිට තියෙන ඩියුටිය තමා උදේ ඉන්ට බෙල් එක දෙන්න ඔන්න මෙන්න කියලා දෙන්නෙක් එක්ක ගෙහුන් ආච්චි උණු කරලා දෙන කහට පෝච්චිය උස්සං එන එක.

සමහර දවසකට අපි යද්දිත් ආච්චි කුස්සියේ බිම ඇණ තියාං ළිපට පොල් කොල දදා පිඹිනවා... අපිත් ඉතිං ගෙහුන් උන්දැට ලිප ගිනි මොලවන්න උදව් දෙනවා... පරණ කලු ගැහුණ චීනච්චට්ටි තේ පෝච්චියට උන්දෑ වතුර තියලා ඒක පැහීගෙන එද්දී ඒකටම පුංචි ටින් එහෙකින් අරං තේ කොල හැන්දක් දානවා... ඒ කරලා රෙදි කෑල්ලකුත් එක්ක අපිට දෙනවා "පරිස්සමට අරං පලයල්ලා පුතේ" කියලා.. අපි ඉතිං අර රත් උන පෝච්චිය රෙදි කෑල්ලෙන් අල්ලං ඒකත් අරං ඇවිත් ගුරු විවේක කාමරය හා ඔපීසිය හැටියට පාවිච්චි කල කාමරේ මේස උඩ තියලා තියෙන දරණුව උඩින් ඕක තියනවා.. එච්චරයි...අපේ කාරිය අවසන්... උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙලා ඉන්න ගුරුවරු හතර දෙනාම එයින් පස්සේ ඇවිත් ගෙනාව දෙයක් කාලා අර දැළි පෝච්චියෙන් කහට වතුර කෝප්ප වලට හෙමිහිට පෙරං සීනි ඇබින්දකුත් අල්ලට හලං තේ කහට බොනවා...ඒ තමා අපේ ගුරුවරු ඒ කාලේ තේ බීව හැටි...

දැකලා තියේද අර උපේක්ෂා..ඔව් ඔව් අර පබා බබා තමා..උන්දෑ හිතේ කහට නැතිව සුදෝ සුදු කෝප්ප වලට තේ වක්කරලා තේ බෙදන දැන්වීම... අනේ අපේ ටීචර්ලා...

92 comments:

  1. Replies
    1. කහට කිව්වම අදටත් මට හැමතැනම හදන තේ බොන්න බෑ. හේතුව හැමදාම බොන තේ කොල මාරු වුනාම එන අමුතු රසට මම අකමැති නිසා. අනික මටනම් වැඩිය කහට දාල තේ බොන්න බෑ. බොරු මොටද, අපි නම් අවුරුදු ගානක් තිස්සෙ බොන්නෙ ‘හිතේ තියෙන හොඳම කහට‘ තේ කොල. හැබැයි සමහරුන්ට ඒක දිරවන්නෙ නෑ, කහට මදි කියල.

      Delete
    2. මෙච්චර හොද තේ තියන රටේ,ඉන්දියන් කාරයන්ගේ හිතේ තියන ජරා කහට තමයි ඔය තියෙන්නෙ. කඩේකින් කිරල දෙන තේ කොළ ටිකක් ගන්න ( තද දුඹුරු, සුවද තේ ගන්න )

      Delete
    3. නෑ මචං, මම කිව්වෙ සමහරුන්ට නම් ඕක දිරවන්නෙ නෑ කියල. මට ඒක පුරුද්දට ගිහින්. දැන් අතාරින්න අමාරුයි.

      Delete
  2. වැව හදාගෙන යද්දී නිධන් එහෙම මතුවුනේ නැද්ද :D

    ReplyDelete
    Replies
    1. පෙනේද මුගේ ටෝක් එක. අහුවෙයන්කෝ මේ පැත්තෙදි. මට පේන්නේ රහස්පොලිසියේ අවධානය මේකට යොමුවෙන්ට ඕන.

      Delete
    2. අර කටුගෙයි වැඩෙත් හරි ගියෙ නෑ නෙ නේද? :D

      Delete
    3. හසිතගෙ ඉතිහාසය හැදෑරිල්ලෙ රහස මේකයි එහෙනම්.......

      Delete
    4. ඉතිහාසය..!!?? බුවා පුරාවිද්‍යාඥයෙක් වෙන්න යනවයි කියන්නෙ.. :P

      Delete
  3. කිලෝ මීටර් හාරසීයක් ????

    ReplyDelete
    Replies
    1. කණිෂ්ඨ හරි මහා විද්‍යාලෙ හරි දෙකෙන් එකක් තිබිල තියෙන්නෙ ඉන්දියාවෙ. ඒකයි කිලෝ මීටර් හාරසීයක වෙනසක්.

      Delete
  4. මහ විද්‍යාලයට කිලෝ මීටර් හාරසීයක් විතර තිබුනා..දැන්නං ඒක ලොකු දුරක් නොවුනට ඒ කාලේ ඒක අපිට සෑහෙන දුරක් aaaaaaa

    ReplyDelete
  5. මමත් අල්ලේ සීනි කාලා තේ බොනවා . මමත් ගමේ කොල්ලෙක් :)
    ජය!!!!!!!

    ReplyDelete
  6. හිතේ කහටක් නෑ ආසාවෙන් කියෙවුවා...අපූරු ගැලිල්ලක් තමයි

    ReplyDelete
  7. //ඇදිහැස විස්කෝතු // කාලා තියෙන්නේ හෙන විජාතික බිස්කට් නේ

    ReplyDelete
  8. Replies
    1. 1. වැව හදපු එක ගැන තව විස්තර ඕනෑය...අර වැව් දහසෙ වැඩෙන් ඕක ගොඩ කලාද කියලත් දැනගන්න කැමතිය.

      2. හරි පුදුම ඉස්කෝල :D:D....උඹට ඉඳල හිටල හරි මෙහෙම අකුරක් වරදින එක මාර ආතල් වැඩක්ය.

      3. පොඩි කාලේ බිස්කට් වලින් ගහපු කොමිස් එක එසේ මෙසේ එකක් නොවේ,,එය ජාත්‍යන්තර මට්ටමේ එකකි...ඒ අතින් උඹලාගෙ ඉස්කෝලය මාර දියුණුය..

      Delete
  9. සිනි දිය කරෝල බොනෝට වඩා අල්ලේ කාලා බොන තේ එක රහයි

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා මකලා....:D:D

      ඒත් පොඩි ප්‍රශ්නයක් ..මොනාද මේ " සිනි දිය කරෝල " ???..මොකක් වුනත් කියන තරම් රහ එකක් වෙන්න බැහැ :D:D

      (සුදා මල්ලි විහිලුවක් හොඳේ )

      Delete
  10. කිලෝමිටර හාරසීයේ කථාව නම් මාරයියට වැරදීමක් වෙන්න ඕන. හැබැයි මේ ලිපියෙන් මතකය හරි ලස්සනට අතීතයට ගෙනියනවා.

    අපේ පොලි ඉස්කොලෙත් ඉන්ටබල් එකට මට තිබුණ රාජකාරිය මතක් වුනා. තේ නෙමේ, අපේ උප විදුහල්පති හිටපු විමල් හාමුදුරුවන්ගේ දානේ පන්සලට ගිහින් ගේන එක. පන්සලට කි.මි. බාගයක් විතර තියනවා. ඉතින් යන්නයි එන්නයි කිලෝ මිටර එකයි. (පොඩි කාලේ පුරුද්දට ලොකු උනාම දවසම කට් කලා). ඇයි බොලේ පන්සලෙන් අපිට හම්බෙන ආනමාලු, ලැවරියා එහෙම. ඒව මතක් වෙනකොට තමා හිතෙන්නේ ඒ කාලේ කොච්චර සැහැල්ලුද කියල.

    ReplyDelete
    Replies
    1. හික් හික් ... අපේ ගමේ තිබුණු මහා විද්‍යාලෙත් විදුහල්පති හාමුදුරුනමක්. උන්නාන්සෙට දානෙ ගේන්න යන්නෙත් ඉස්කෝලෙ ළමයි දෙන්නෙක්. ගෙනැත් ගුරු නිවාසෙ තිව්වම හාමුදුරුවො වෙලාවට ගිහින් වළඳනව. මම අහල තියෙන හැටියට පන්සලෙන් මාළු කෑලි කීපයක් එහෙම දාල දුන්නම මගදි ඒව අඩු වෙනවළු. ගියපු කොල්ලොම තමා කිව්වෙ. දානෙ හොරෙන් කන එක පවු උනාට ඒ කාලෙ ඔව්ව හිතන්නෙ නෑ නේ. තව දවසක් හාමුදුරුවො වැරද්දක් කරපු කොල්ලො දෙන්නෙක්ට දඬුවමක් විදියට දෙකක් ගහල ඔෆිස් එකේ දන ගස්සල තියල. ඉන්ටවල් එකේදි අනිත් ගුරුවරු ඔක්කොමල ගුරු විවේකාගාරෙට යනව තේ බොන්න. හාමුදුරුවන්ට ගිලන්පස එක ගුරු නිවසෙන් හදල ඔෆිස් එකට එවනව. හාමුදුරුවො නැත්නම් තේ එක මේසෙ උඩ තියල පීරිසියෙන් වහල යනව ඒක ගෙනාපු ළමය. එදත් හාමුදුරුවො කොහාට හරි ගිහින්. ඉන්ටවල් එකේ ඔෆිස් එකේ කවුරුත් නැති නිසා ගුටි කාල තරහෙන් දන ගහගෙන හිටපු අරුන් දෙන්න කලබලෙන් අර තේ එක ටිකක් බීල මේසෙ උඩින් තියල වහල, කරුමෙට එතකොටම හාමුදුරුවො එකපාරම දොරෙන් ඇතුළට ඇවිත්. උන් කරපු වැඩේ දැකල කිව්වළු “හා ... හා ... ඉතිරි ටිකත් බොනව“ කියල. ඊට පස්සෙ “පන්තියට යනව“ කියල කොල්ලො දෙන්නව එවල.

      Delete
    2. එළ...එළ...ඕක කිව්වහම මටත් මතක් උනේ...අපේ ගෙදර තිබ්බේ පන්සලයි ඉස්කොලෙයි අතරේ, දවසක් දානේ අරගෙන එන ගමන් මම ගිය අනිත් එකත් එක්ක අපේ ගෙදරටත් ගිහින් කාල බීල සප්පායම් වෙලා ඉස්කෝලෙට ගිහින් හාමුදුරුවන්ට් කිව්ව දානෙ ගේන්න පරක්කු උනා කියල. ඒ වෙනකොට 12 පහුවෙලා. හාමුදුරුවන්ට ගුරු නිවාසේ හිටපු අපේ ලොකු ටීචර් දානෙ දීලා.

      අපේ ඉස්කෝලෙ නම් බෙල් එකට තිබ්බේ පරණ වෑන් රිම් එකක්. යකඩ පොල්ලකින් මේකට තඩිබාන්නේ 5 වසරේ අයියා කෙනෙක්. ඌ ඒ දවස් වල අපිට හෙන වීරයා. මම මුලින් හිතා ගෙන හිටියේ මූට ඕන වෙලාවට තමා ඉන්ටබල් දෙන්නෙ කියල.

      Delete
  11. මාරයත් පොඩී දේකින් ලොකූ පෝස්ට් මවන හැටි කල්පනා කලේ!! මේක වෙන්න ඇති කොටම මාතෘකාව.
    මාරෙ මල්ලි අර ඉස්කෝල දෙක අතර දුර නම් කිලෝමීටර් වෙන්න බෑ නේ? මීටර් වෙන්නැති.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. මාරෙ මල්ලි පෝස්ට් එක පොඩි අකුරෙනුත් කමෙන්ට් ලොකු අකුරෙනුත් ගහන එකම බ්ලොගර් උම වෙන්නැති නේ?
    henryblogwalker the Dude

    ReplyDelete
  13. අර උත්තිට(#$%&...?)විස්කිරින්ච්නිය්...බෑ..බෑ...ගුරුන්ගෙ අවුල....

    ReplyDelete
  14. වතුර වගේ කතාව තේ වතුර ගැන

    ReplyDelete
    Replies
    1. ඝන්ඨාර ඝට්ටනය හරි අවදානම් නේද ?

      Delete
    2. ඉස්කෝල වල බෙල් ගැන කියනකොට අර මේසෙ උඩ තියන පුංචි බෙල් එකක් සහ පිංසිබොල් කෙනෙක්ගෙ ඝන්ඨාර ඝට්ටනය ගැන මේ කතාව අහලා තියෙනවද?
      henryblogwalker the Dude

      Delete
  15. මෙන්න එල කතාවක්...

    මටත් මතකයි ඉස්සර අපේ ගෙදර සීනි දාලා තේ එකක් බිව්ව නම් ඒ කියන්නෙ එදාට ගෙදර ආර්ථිකේ සරුයි කියන එක..

    කිව්වත් වගේ ලුණුමිරිස් එක්ක තෙල්වාටි කෑල්ලක් කාලා හාස් හුස් ගගා උණු උණුවෙ කහට එකක් බස්සනකොට දැනෙන ආතල් එක ඔය මොන තරු හෝටලයකින්වත් ගන්ඩ පුලුවන්ද ?

    ReplyDelete
  16. වැව හදපු හැටි තමා පට්ට

    ReplyDelete
  17. මම නම් තාමත් කහට බොන්නෙ සීනි නැතුව. එතකොට තමයි නියම කහට රසේ දැනෙන්නෙ

    ReplyDelete
  18. අපේ ඉස්කෝලේ නම් තිබ්බේ ලොකු ලනුවක හයි කරපු බෙල් එකක් ,අපි පොරකනව ඕක ගහන්න යන්න .

    ReplyDelete
  19. ඉස්සර ආත්තම්මා පොල් කොල දාලා කේතලේ ලිප තියන්න දෙන්නේ නෑ..තේ වතුර ඇල් රහක් එනවා කියලා, ඒ තරමට රස කර කර තමයි තේ කහට බිව්වේ....ඒකට දැං......

    ReplyDelete
    Replies
    1. පොල් කොල දාලා කේතලේ ලිප තියල වතුර උණුකලාම නිකන් දුම් රහක් වගේ එකක් එනව. ඔය රෙපයාර් වගේ එව්වට මුළු දවල් දවසෙම කරන්ට් එක කැපුවම ඉස්සර අපේ ගෙදරත් තේ හදන්න වතුර උණු කළේ ලිපේ. අපේ අම්මත් එතකොට පොල්කොල දාන්නෙ නෑ. අපි හොරාට දැම්මම තමා අර දුම් රහ එන්නෙ. එතකොට තේ බොන්න බෑ අප්පිරියයි වගේ. හැබැයි දැන්නම් ආසත් හිතෙනව ඒ වගේ තේකක් බොන්ට.

      Delete
  20. තැන් දෙහෙක වැරදිලා තිබුනා නෙව..ආන්න ඒවා හැදුවා..වැරැද්ද අල්ලලා දුන් අයට ස්තූතියි...

    ReplyDelete
  21. ඔය සුන්දර ළමා කාලේ අපේ කාලේ වෙද්දී ටිකක් අඩු වෙලා උනත් අපේ ළමයින්ගේ කාලේ වෙද්දී නැත්තටම නැතිවෙලා යයි. මොනවා කරන්නද? දෙයක් ගන්න නම් දෙයක් කැප කරන්න එපායේ?

    ReplyDelete
  22. 'වැඩ රාජකාරිත් සෑහෙන්න අහවර එකේ වේලාසනම නාලා කරලා'
    වැඩ ඉවර උනාම නාන එක හරි. ඒත් මොකක්ද මේ 'කරලා' කියන්නේ??

    තේ තමයි තේ. ඕකත් ඉතිං සුද්දොම ගෙනත් දීපු එකක් නෙව.ජේම්ස් ටේලර් ලොක්කාගෙ තේ වත්තට ගියානං ඔන්න තේ බොනකොට තවත් රහ දැනෙයි ඕං

    ReplyDelete
  23. සීනි කාල බොනවද සීනි දාල බොනවද? ජීවිත කාලය ඇතුලත මේ ප්‍රශ්ණය කවුරු හරි තේ එකක් දෙන්න ඉස්සෙල්ල අහල තියනවද?

    ReplyDelete
  24. දැනට උනත් අපේ ගෙවල් වලනම් සීනි අතට අරන් තේ බොනවා

    ReplyDelete
  25. මම ළඟදි ඉඳන් බෙලි මල් බොන්න ආසා වුණා. යාළුවො එක්ක දකුණු පළාතෙ ඇවිදපුවගෙ ප්‍රතිඵල තමයි

    ReplyDelete
  26. මාරයා මාරයි අත්දැකීම් කරත්තයක්ම තියෙනවා වගේ

    ReplyDelete
  27. තේ බොන එක කොච්චර හොඳයිද... ඒත් මෙහෙමත් තේ බොනවද ?

    දැන් කාලේ තබ්ලා පදත් තියෙන්නෙ මෙහෙමනේ,

    "බොමු බොමුද තේ.... බොමු බොමුද තේ....." කියලා....

    ReplyDelete
  28. බත් කාලා සීනි අහුරක් ලෙවකකා ඉදගත්තා මේතනින්
    මෙතනත් අල්ල කන කතාවක්

    "ඇදිහැස" විස්කෝතු බෙදිල්ල... එකාට අටයි..
    ඒ විස්කෝතූ රස දැන් එක විස්කෝතූ වර්ගයකවත් නැ
    බඩඉරිගූ පිටිත් කලවං කරලා හදලද මන්දා

    ඉස්සර මාරිවිස්කෝතූ උනත් කොච්චර රසද නේද

    ReplyDelete
  29. "අම්මපා උන්දෑ උන්දැගේ දරුවෝ එකොලොස් දෙනා කොහොම හදාගත්තද මංදා... ඔව් උන්දැට ළමයිම එකොලහක් ලේසිද වැඩේ අද කාලේ අම්මලානං හදයි මේං කියලා..අනික ගුරුවරියකුත් වෙලා... මාමත් විදුහල් පති කෙනෙක් වෙච්ච හින්දා උන්දැටත් නිවාඩු නැතිව කොහොම ගේමක් දෙන්න ඇද්ද..."

    ඉතින් ඒ කාලෙ ටැලිවිසෝං ඉන්ටැර්නැට් එහෙම තිබ්බේ නෑ නේ මෙයා. හෙහ් හෙහ් හෙහ්!


    මම තේ බොන්න කැමති උණු උණුවෙ, හකුරුත් එක්ක :)

    ReplyDelete
  30. මේ දැන් ඔය කහට බීපු කාලේ ගියා,පොස් මිනිස්සු බොන්නේ ගිරින් ටී

    ReplyDelete
    Replies
    1. ගිරින් ටී නං මතක් කරන්න එපා. එක වංගියක් නිකං ආසාවට බිව්ව. මෙලෝ රහක් නෑ. මට හිතෙන විදිහට මිනිස්සු හිටු කියල ග්‍රීන් ටී බොන්නෙ පරාණ බයටද කොහෙද?

      Delete
    2. Wall-E, ග්‍රීන් ටි වර්ගත් ගණනාවක් තියෙනවා. ඇතැම් වර්ග වල මිල ඒ බරටම රත්තරන් වලට වඩා වැඩියි. ජපන් හරි චීන හරි හොඳ ජාතියකින් අරන් බිව්වොත් නරකමත් නැහැ. ලංකාවේ විකුණන ඒවා නම් ඉතින් නොබී ඉන්න තරමට හොඳයි .... :)

      Delete
    3. ග්‍රීන් ටි බ්ලැක් ටී දෙක සසදන්න එපා, ඒ රස දෙකක , ක්‍රම දෙකකට හදන තේ වර්ග දෙකක්.අනික ග්‍රීන් ටී පවුඩර් විදිහට තියන ඒවා රස නෑ. පොඩි කැට වගේ තියන ඒව රසයි.ග්‍රීන් ටී කිලෝ එකක් බ්ලැක් ටී කිලෝ එකකට වඩා රුපියල් 100 විතර ගණනින් අඩුයි.( තොග මිල )

      Delete
    4. //පොස් මිනිස්සු බොන්නේ ගිරින් ටී//හරියට හරි පුතා.

      ග්‍රීන් ටී පවුඩර් mocha powder කෑම වලට දාන්නෙ බොහෝ විට. ලංකාවෙත් තියෙනවා දැං.

      http://www.breadtalksrilanka.com/products-bread#

      බලන්න කොලපාටට තියෙන පාං පෙත්ත.

      Delete
    5. හපොයි කවි කාරි එකේ පාන් පෙත්තකුත් රුපියල් 100 ක් විතර වෙනවා :)

      Delete
    6. එහෙනං ඒ ගානට පාං කන අය වෙන්ටැ අර උතුරල ඉන්නෙ ඒකෙ. දැං කාලෙ ළමයි ඔව්ව බලන්නැහැ. කීය උනත් කනව.

      Delete
    7. ඩිලාන්... මේ ග්‍රීන් ටී කතාව මෙහෙම නෙමෙයි ඕහි. මගේ ඩොකා මගේ කනෙන් ඇදලා කිව්වා දවසකර දෙපාරක් ග්‍රීන් ටී බොන්න නැතුව මේ ප්‍රෙසර් කියාගෙන එන්න එපා කියලා.
      ඉතින් එදා ඉඳන් මම ග්‍රීන් ටී ලවර්. ඒකෙ කිසි පොශ් ගතියක් නෑ අප්පා.

      Delete
  31. හෙ මාර භාතරෙ,ඉදානීම් දිවසෙ අහං විසෙස කම්මං ආරම්බයී.තථාපි අහං කරුනා පුබ්බ හදයෙන තව ආරාධනං ච කරොමි.වානිජ විරොචනං පන මම විසෙස කම්මං.මෙ කාරුඤ්ඤ්ං කත්වා උපදෙසං ච කාර්‍ය වෘද්ධිංච ආගමාමි.

    ReplyDelete
    Replies
    1. :)
      මාරය අයියට රහස් මැසේජ් එකක් ...

      Delete
    2. මේක රාවනා දාපු කොමෙන්ට් එකක්ද දන්නෑ.

      Delete
  32. ගාඩ් රූම් එකේ සීනි නැති උන පාර කතාව ගිය දුරක් නේද? කොහොම උනත් රසවත් කතන්දර ටිකක් අහ ගත්ත. මමනම් තාම කොත්තමල්ලි බොන්නෙ අතට සීනි අරගෙන .

    ReplyDelete
  33. ඇදිහැස ද මොකක්ද මංදන්නෑ ඔය විස්කෝතු මමත් කාල තියෙනව. මාර රහක් තමයි ඒවයෙ තිබුණෙ. දැන් තියෙන මෙලමයින් දාපු විස්කෝතු වගේ නෙමෙයි.

    අපේ ඉස්කෝලෙත් ඉස්සෙල්ල වරු දෙකට තිබුණෙ. අපි තමයි අපේ ඉස්කෝලෙ බාලාංශ පන්තියෙ ඉඳල ආපු අන්තිම සෙට් එක. අපෙන් පස්සෙ ඒ පන්ති හැලිල වෙනම ප්‍රාථමික ඉස්කෝලයක් පටන් ගත්ත. (ඒ කියන්නෙ අපි ඉස්කෝලෙන් 1/3 ක්ම කාගෙන ඇවිල්ල තියෙන්නෙ. :D)

    පහළ පන්තිවලදි සීනුව හෙලෙව්වට ඊට පස්සෙ තිබුනෙ පරණ බස් රිම් එකකට යකඩ මිටියකින් ගහන එක. උසස්පෙළ ඉන්දැද්දි තමයි මම ඒක ගහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මෙලමයින්ට වැඩිය එලමයින් දාලා හදපු කාලෙ හරිම ශෝයි... අපරාදේ...ආයෙ ඒ කාලෙ එන්නෙ නෑ දැන් ඉතින්. සිහ්!

      Delete
    2. ඔයා කුලරත්නෙද රාහුලේද එතකොට?

      Delete
  34. තේ කිව්වමත් මට මතක් උනේ අපේ මාමණ්ඩිව... උන්දැට සීනි තේ හැදි 6ක් වත් ඕනේ කහට වැඩි තේ එකට.... සීනි තේ හැන්දෙන් හතර දෙනෙක්ට තේ හදන අපේ ගෙදර පුරුද්දට මගේ අත වෙව්ලනවා මෙහෙ තේ හදද්දි..... මං කරන්නේ අහුවුන තැනකින් කිතුල් හතුරැ කිලෝ 2 3 ක් අරං එන එක. එතකොට ලේසියි... හැබැයි මාමාණ්ඩි හැමදාම මගේ තේ කහට එකට නං ලකුණු සීයෙන් සීයම දෙනවා........

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් එක කහට එකට සීනි හැඳි 6ක් ඔන මනුස්සයා එක්ක හකුරු කිලෝ 23ක්වත් නැතුව පිරිමහගන්න අමාරුයි තමා.....(Joke එකක්- සිරාවට ගන්න එපා)

      Delete
    2. හයියෝ.... මේ සිංහල ටයිප් කරද්දි ඕවගේ ලෙඩ වෙනවා නේ..... ඉරක් ගහන්න අමතක උනා... ඇත්තටම ඒකත් මදි තමා... හි හි

      Delete
  35. මේ කතාවෙ "මම" මම ම වෙලා කියෙව්වා......

    ඇදිහැස බිස්කට් රසය තාම මතකයි....(මංචි එකේ උපත නේද..?)

    ReplyDelete
    Replies
    1. ඔය බිස්කට් වල රස මගේ ළමයින්ටත් මම නිතරම කියනවා. හැබැයි ඇදිහස කියන නම දැනගත්තේ අදමයි. ඕකෙ තේරුම මොකක්ද ?

      Delete
  36. ලුණු ඇඹුල් පදමට දාපු මිරිස් ගලේ අඹරලා හදාපු පොල් සම්බල් එක්ක තැටි පාන් කෑල්ලක තෙල් වාටියෙන් කෑල්ලක් කාලා එයින් පස්සේ එන කට දැවිල්ලට තේ කහට උගුරක් සීනි කකා බොනවා තරං සුවයක් තව කොයින්ද...?

    මේ ටික කියවනකොටනම් කටෙන් කෙලත් බේරුනද මංද

    ReplyDelete
  37. සීනී ගොඩක් දාගන්න පොඩි කාලෙ අල්ල ලොකු මදි නිසා අපිනන් පත්තර කොළ කැල්ලක් අල්ල උඩ තියල ඒකට තමයි සීනී දාගන්නේ. ඉස්සර තිබුන කැට ලොකු සීනී වගයක්. පෙරේත කමට දිව තුඩින් එක ඇටේ, ඇටේ අරන් කන කොට තමයි රහ වැඩි.

    ReplyDelete
  38. ඉහින් කනින් දාඩිය පෙරාගෙන වැඩ කරලා හෙවනක ඉඳගෙන අක්ල්ලට සීනි ටිකක් අරන් බොන කහට තේ එකක් වගේමම උඹේ කතාව රසයි බං.. බලහන් ආයිත් ගුගලය මට කෙලලානේ. අප්ඩේට් වෙන්නේ නැහැ..

    ReplyDelete
  39. තේ වලට වැඩිය මට නම් කෝපි තමා.

    ReplyDelete
  40. බත් නොකෑවත් මට තේ නම් ඕන..:) :)

    ReplyDelete
  41. මාරෙ, මොකක්ද බං ඔය ඇදීහැස කියන එකේ තේරුම? ඕකට ඉංගිරිස් වලින් කිව්වෙ CARE කියලා. ඕකෙ තේරුම දන්න ගුරුවරයෙක්වත් මට හමුවෙලා නෑ. මේ මම දැනගෙන උම දන්නවද කියලා චෙක් කරනවා හෙම නෙවෙයි.. මමත් දන්නෙ නෑ කොටාබාලා තිබ්බට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. raigama said, on දෙසැම්බර් 25, 2011 at 1:34 පෙ.ව.

      මා දන්නා විදිහට ඇදීහැස කියන්නේ “ඇමෙරිකන් දීමනා හැමට සමසේ” කියන එකයි!

      (උපුටා ගැනීම අරුණි ශපීරෝගේ බ්ලොග් ලිපියකින්)

      Delete
    2. නෑ බන් ඕකෙන් කියන්නෙ ඇමරිකන් දිවියලොකෙන් හැම සම්නලයටම කියල.

      Delete
    3. CARE International කෙයාර් කිව්වේ ඇමරිකන් බේස් ඉන්ටර්නැශනල් ඩිවලොප්මන්ට් ඒජන්සි එකක් .ඔවුන් ඇමරිකන් රජයේ ආධාර සහිතව ලංකාවේ පාසල් වල දියත්කල මිඩ් ඩේ මීල් ප්‍රොග්‍රැම් එකක් තිබුණා ඒකෙන් තමයි අපිට ඔය මතක හිටින ඇදිහැස බිස්කට් ලැබුණේ . මේ කාලේ මේක ලංකාවේ රජයෙනුත් අනුග්‍රහය දුන්නු වැඩසටහනක් . මේ නිසා තමයි අද අපි සිලෝන් බිස්කට්ස් කම්පනි ලිමිටඩ්- CBSL එහෙම නැත්නම් කවුරුත් දන්න මංචි සමාගමේ ආරම්භය වුනේ .මංචි සමාගමේ වෙබ් සයිට් එකෙත් මේක තියෙනවා . මුලින්ම මංචි බිස්කට් සමාගම බීහිවෙන්නේ මේ මිඩ් ඩේ මීල් ප්‍රොග්‍රැම් එකට බිස්කස්ට් නිෂ්පාදනයට .ඔය තමා මූලික කාරණා ඇදිහැස ගැන එහි තේරුම ඇමරිකන් දීමනා හැමටම සමානයි .මේ වැඩසටහන මහාපරිමාණ වසර කීපයක් දියත් කල එකක් වුනා .අදටත් ලංකාවේ සමාජ සංවර්ධන උදාහරණ වලදී මේ මිඩ් ඩේ මීල් ප්‍රොග්‍රැම් ගැන පසසනවා . මුල් යුගයේ රජය ( කංනංගර මහතාගේ කාලේ ) සම්පූර්ණ බරපැන දැරුවත් හැත්තෑව දශකය අග ඉඳන් ලංකාව වෙනත් ජාත්‍යන්තර ආයතන වල සහය ගත්තා එය ක්‍රියාත්මක කරන්න . නමුත් ඔය මූලික කරුණු ඇනලයිස් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඕනේම වෙනත් විදියකට මේක ගැන අර්ථ නිරූපණය කරගන්න පුලුවනි :)

      Delete
  42. කතාවනම් පියෝ සිලෝන් ටී එකක් වගේ රසයි, තේ රස විදගන්න නම් අල්ලට සීනි අරන් බොන එක තමා හොදම විදිහ. කලවම් නොකරපු හොද තේ ටිකක් බොන්න තියන අවස්ථාව මේ කොම්පනි කාරයෝ කොක්ටේල් පැකට් දාල වනසල

    ReplyDelete
  43. මෙච්චර බණ දහම් දන්න එකාත් “මට පිටි කිරි අරහං“ කීවම ඉතිරි ටික බලන්නත් හිත නැතිව ගියා... :(

    උදේට ගෙදර ඉන්න දාකටනම් උදේ කාල හැමදාම අල්ල ලෙව කකා කහට තමා... බොරුනම් මේ...
    http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/522847_3948592238396_1132668351_n.jpg

    ReplyDelete
  44. සිනුව ගැහිල්ල නං ලේසි නෑ. සීනුවේ මැද කෑල්ල හරියට දෙපැත්තෙ වදින්න ගහන්න ඕනේ. ඒකට හරියට වනන්න ඹ්නේ. පොඩ්ඩක් එහා මෙහා උනොත් මැද කෑල්ල සීනුව වටේ දුවනවා. එතකොට ටිලිං ටිලිං නෙමේ මහ වරත්තු සද්දයක් එන්නෙ... ඉස්කෝලෙ යන කොල්ලෙක්ට ඊට වඩා නව නිංගිරාවක් නෑ මම හිතන්නෙ....

    තේ එක අමෘත්තෙ වගේ කියද්දියි මතක් උනේ. කුරුලු හමුදාවේ පුහුණුව කාලේ මමයි කොල්ලෙකුයි ටී කෑන් එක අරගෙන එද්දි ඒක කන්දෙන් පල්ලෙහාට වැටුනා කියහංකෝ..... පුහුණුව අතරතුර ලැබෙන ඒ ටී එකේ වටිනාකම උඔට තේරුං කරන්න ඕන්නෑනේ.

    අපිට දෙලෝ රත් උනා. කරන්න දෙයක් නෑ. කෑන් එකේ යාන්තම් මන්ඩි ටිකක් තිබුනා. ඒකයි තව ටී කැන් එක වැටෙද්දි අතරමග ගස් වල කොලවල තණ කොල උඩ රැදිව්ව තේ ටිකකුයි එක්කහු තරලා ඉන්ස්ට්‍රක්ටර්ලාට දුන්නා. අරුන්ට නොවදිනා වැදුම් වැන්දා මේක ඉන්ස්ට්‍රක්ටර්ලාට ලීක් කරන්න එපා කියලා. උන්ගෙන් අහපු බැනුම් මතක් වෙද්දි පනිෂ්මන්ටට් හොදයි කියලා හිතුනා. ඕං තේ එකේ නියම වටිනාකම දැනුනු තැනක්.

    ReplyDelete
    Replies
    1. ෂෙහ්ඃ ..... මූ අහුවෙන්ට තිබ්බෙ. අපිට තව රස කතාවක්වත් කියවන්න තිබුණා.

      Delete
    2. ඔය සීනු ගහන වැඩේ මාර ජොලි වෙන්ටෑ කියලා මාත් සිහින මවලා මවලා බොහොම අමාරුවෙන් ඒ තනතුරට ආවා 9 පංතියෙදි.
      කියලා වැඩක් නෑ: මැද කෑල්ල සීනුව වටේම දුවනවා. මුල් කාලෙදි මදි නොකියන්න සාටර් උනා පින්වතුනි. :D :D

      Delete
    3. ඩීඩිටි,
      ඉන්ට්‍රක්ටස්ලාට අහුනොවෙන්න වැඩක් කරන්න පුලුවන් නං එහෙමත් එකෙක්ට තමා. මේක පූරුවෙ පිනකට වෙච්චි දෙයක්.... හේ...
      .........

      ඩී,
      ඔන්න නියම අද්දැකීම විදපු පින්වන්තයෙක්!

      Delete
  45. මමත් පොඩි කාලෙ ඉඳන්ම කහට බොන්න කැමැතියි... ඒ වෙන මොකකටවත් නෙමෙයි හකුරු කෑලි දෙක තුනක් කොටා බාන්න...

    හැබැයි අපි දැනුත් කහට බොනව... මෙහේ තියන හකුරු නම් සීනි උනුකරල හදපුව..

    ReplyDelete
  46. මාරයාටත් කොටහක් මෙතන තියේද බලන්න

    ReplyDelete
  47. සීනි අහුරක් ගිය දුර.....

    ReplyDelete
  48. රදාවානේ පැත්තේ වැවක් ගැන ඇහැව්වාමයි!

    ReplyDelete
    Replies
    1. රදා+වාන වානක් තිබුනනම් වැවකුත් තියෙන්න ඇති කියල හිතමු කතන්දර.

      Delete
  49. අපිත් පොඩි එවුන් කාලේ ඉස්කෝලේ පිට්ටනිය හදන ශ්‍රමදාන කීපයකට සහභාගී වුනා මතකයි. ඒ ශ්‍රමදාන තිබුනේ රාත්‍රී කාලයේදී. ඉතින් ශ්‍රමදාන කොහොම වෙතත් තාත්තලා වැඩ කරන අතරේ අපි ඇති වෙනතුරු සෙල්ලම් කල බවත්, බනිස් කාලා තේ බීපු බවත්, පොලොස් ඇඹුල්, කරවල හොදි, අල බැදුම්, පරිප්පු එක්ක සුවඳ ගහන බත් කාපු බවත් මතකයි.
    අපි ඉස්කෝලේ යන කාලේදී බනිස් එකක් සහ කිරි වීදුරුවක්‌ ලැබුනා හැම ලමයටම. ඉන්ටිබල් එකේදී. හැබැයි මමනම් ඒ කිරි බිව්වේ නැහැ. මහා අමුතු ගඳක් තිබුණා. ඒ කිරි ලැබුනේ අර ඔයා කියන 'ඇදීහැස' සංවිධානයෙන් තමයි. ඒ කිරි ආවේ අඟල් 6 x 6 දිග පළල සහ අඟල් 12 ක් තරම් උස පෙට්ටි වල. අපි ඒ කාලේ පොරකෑවේ ඒ පෙට්ටිය ඇතුලේ කිරි පිටි දාලා එවන පොලිතීන් කවරේ ගන්ඩ. ඒවා ඒ කාලේ දකින්න නැති දෙයක්. (1960 විතර) ඒ කවරේ තමයි ළමයි වැඩි දෙනෙකුගේ ස්කූල් බෑග් එක වුණේ.
    'ඇදීහැස' කියන්නේ ඇමරිකානු දීමනා හැමට සමව කියලා ඒ කාලේ අපට කියලා දුන්නා මතකයි. ඒ කිරිපිටි පෙට්ටිවල ඇමරිකානු කොඩිය සහ CARE යන අකුරු තිබුණා. (CARE = Cooparative for Assistance and Relief Ewerywhere)සෑම ඇමරිකානු සොල්දාදුවන් 10 දෙනෙකුගේ කෑම වලින් ටික ටික අඩුකරලා, ඒ වියදම එකතු කරලලු ලෝකයේම දුප්පත් රටවලට ආධාර කලේ.
    අපි ඉස්කෝලේ හිටිය හොඳම ළමයි කාලේ බෙල් එකට හොඳට සලකනවා. අපේ ඉස්කෝලේ තිබුණා ඇති විශාල පිත්තල බෙල් එකක්. එක කාර්යාලය ළඟ බිම තියලා තියෙන්නේ. ඉස්කෝලේ පියන් තමයි බෙල් එක ගහන්නේ. එකේ අර ඇතුලේ තියෙන්නේ අර. . අර. . අන්න හරි ඒක වගේ කෑල්ල බුරුල්. අපි කරන්නේ හොරෙන්ම ඒක ගලවලා එතන තියන කුණු පෙට්ටියට දානවා. කාල පරිච්ඡේදයක් ඉවර වෙලා පියන් ඇවිත් බෙල් ඒක ගැහුවම . . . . . . .!!!!!!!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  50. කතා ගොඩාරියක් කියෙව්වා . අපිත් පොඩි ඉස්කෝලෙදි ඔය බිස්කට් කෑවා. ගෙදරත් ගෙනාවා එකක් දෙකක් .
    ලොකු ඉස්කෝලෙට ගියහම ඒවා දුන්නේ නැහැ . එතකොට මාරයා කියන වයස ගැන මට සැකයි . D . කොළඹට දීපු කිරි සහ බනිස් මතකද . බල්ලන්ට ගල් ගහන්න හොඳ තත්වයේ තිබ්බ බනිස් .

    ReplyDelete
  51. ලංකාවෙදි මගේ ප්‍රියතම පානය තේ.
    (අපෝ පොඩි කාලේ නම් තේ කියලා දෙයක් බීවෙම නෑ. ) දැනටත් මම තේ බොන දිහා බලන් ඉන්න සමහර අය කියන්නේ මුන්ට පිට රටකට යන්නම ඕනේ තේ එකක් බොන්නවත් ඉගෙන ගන්න කියලා.
    කිරි සීනි නැති ලොකු කෝප්පෙකට තේ දුන්නේ නැති ඕනම කඩේක එවුන් මගෙන් අහගන්නේ එසේ මෙසේ බැනුම් හෙමත් නෙමෙයි. මමනේ දන්නේ ඔච්චර තේ තියෙන රටේ සීනි කිරි නැති කෝප්පයක් පිරෙන්න තේ එකක් ඉල්ල ගන්න තියෙන අමාරුව.

    අර බිස්කට් සීන් එක මටත් මතකයි. ඒත් මම හිතන්නේ අපිට එක අවුරුද්දක් විතර තමයි ඒවා කන්න ලැබුනේ. ඊට පස්සේ ආවේ බනිස් හා කිරි නේද? ඊටත් පස්සේ ඇට වර්ග තම්බලා දුන්නා වගේ මතකයක් තියෙනවා.
    ඒ උනාට අර කීව වගේ ඔය ශ්‍රමදාන වලට විස්කිරිඥ්ඥා හා පොල් කෑලි කපලා කන එක නම් අපිටත් හුරුයි. ශ්‍රමදාන වලට නොගියට ළමයි විදියට ඒවා කන්න අයිතිවාසිකම් අපිට ලැබුනා.
    ඒ විතරක් නෙමෙයි තව සව්බොරෝ බිස්කට් එක්ක තේ බොන එක. ඒ ඉස්සර රහ මතක් වෙන හැම පාරකම මම කරන්නේ මෙහෙට එන කාව හරි අතේ සව්බෝරො ගෙන්න ගෙන කන එක. මේ ඊයෙ පෙරේදා ආපිකෝ එකේ රවුමක් ගහලා අතීත රහ මතක් වෙන හැම කෑමක්ම උස්සන් ආවා. හිටි ගමන් තේ එකක් එක්ක ඒ විඳීම ලබනවා.

    ReplyDelete
  52. "උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙලා ඉන්න ගුරුවරු හතර දෙනාම එයින් පස්සේ ඇවිත් ගෙනාව දෙයක් කාලා අර දැළි පෝච්චියෙන් කහට වතුර කෝප්ප වලට හෙමිහිට පෙරං සීනි ඇබින්දකුත් අල්ලට හලං තේ කහට බොනවා...ඒ තමා අපේ ගුරුවරු ඒ කාලේ තේ බීව හැටි..."

    මේ ටිකටනම් මං ආසයි. මොකද මගේ ඉස්කෝලෙත් මෙහෙමයි. වෙනසකට තියෙන්නෙ අපි වතුර ටික රත්කරගන්නෙ හීටරේකින්. ඒත් බොන්නෙ කහට. ඉන්නෙ ගුරුවරු 7 දෙනයි. මොනමොනවහරි රසකැවිල්ලක් එක එක්කෙනා ගේනවා. ඉඳහිට ළමයෙක්ගෙ ගෙදරක දානයක් වෙනත් උත්සවයක් තිබ්බොත් ළමයින්ගෙ අම්මලා අපිටත් කැවිළි පාර්සලයක් එවනවා. සීනිත් වෙන රසකැවිල්ලක්වත් නැතුව වුණත් ඒ වෙලාවට කහට බීල දාන්න පුළුවන්. උගුරට හරි සනීපයි. ඇත්තටම කහට බොන එක හරිම ආශ්වාදනීය දෙයක් :-D

    ReplyDelete
  53. තේ කෝප්පයක් බොනකොට දැනෙන හැඟීම වෙන දෙකින් ගන්න බැහැ නමුත් මොකක්ද ඔය ඉස්කෝලේ බිස්කට් බෙදන කතාව ඒක පැහැදිලි නැහැ.

    ReplyDelete