12 July 2012

ඇගේ විලාපය..අපේ විනාශය වූ හැටි...

"තාත්තාව කූඩුවට දැම්මත් ඇත්තෙන්ම පිහියෙන් ඇන්නේ අම්මාය. නමුත් පිහි ඇනුම් කෑ උන් පැමිණිල්ල දමා තිබුනේ තාත්තාට එරෙහිවය. අම්මා පිළිබඳව වචනයකුදු නොකීමට ඔවුන් ප්‍රවේශම් වී තිබිණි. අපගේ ජීවිත උඩු යටිකුරු කල ඒ බිහිසුණු රැයෙහි සිදු වූ දෑ හොඳින්ම දන්නේ පිහියෙන් ඇන්න අම්මා ඇතුළුව අප නිවසේ අයත්.. පිහි ඇනුම් කෑ පාර්ශවයේ වූ හත් අට දෙනාත් පමණි... මේ ඒ කතාවයි..."

---------------------------------------

මෙතුවක් කලක් මා වටින් ගොඩින් කියාගෙන ආ‍ අපේ කතාව පිළිබඳව මේ වන විට කියවූ ඔබ සැමට යම් කිසි අවබෝධයක් ඇතැයි සිතමි. විටෙක අති වේගයෙන් ගලාගෙන යන ආකාරයට පුවත් කෙටි කොට කියූවද ගත යුතු සාරංශය ඒ තුල විනැයි මා සිතමි. මෙම බ්ලොගය නිතර දෙවේලේ කියවන අය හට නම් ඒ පිළිබඳව අමුතුවෙන් සඳහන් කල යුතු නැතිව ඇතැයි මා සිතන්නේ මෙම කතාවට එකතු විය යුතු බොහෝ අතුරු කතා මා විසින් වරින් වර වෙනත් කතා ඇතුලත ලියා ඇති බැවිනි. එහෙත් අතරින් පතර කියවා ඇති අයට නම් තරමක් අගක් මුලක් නැති කතාවක් වීමටත් හැකියාව ඇත. නමුත් අපේ කතාව යන ලේබලය යටතේ ඇති කතා කිහිපය කියවන්නට හැකියාවක් ලැබුනි නම් එම නොතේරුම් කමත් යම් තරමකට මඟ හරවා ගත හැකියැයි මා සිතමි.

මේ වන විට මාගේ පියාගේ මෙන්ම මවගේද ජිවිත කතාව වෙන් වෙන්ව කෙටියෙන් නමුත් මා විසින් ඉදිරිපත් කර ඇත. එහිදී පියාගේ කතාව ඔහු සමඟ ගෙවුන ළමාකාලය තුලදී උදේ හවහා දැන අසා ගත් කරුණු මත ගොනු කොට ලියා ඇති අතරම මව ගැන කතාව ගොඩ නැංවුනේ ඇය විසින්ම රචිත කුඩා සටහන් පොතක කරුණු ඇසුරෙනි... ඇත්තෙන්ම ඒ පොත ගැනත් වචනයක් ලිවිය යුතුය... ඇය අපගෙන් වෙන්ව ගෘහ සේවිකාවක ලෙසින් ජෝර්දානයේ දිවි ගෙවූ වසර දෙකක කාලය තුලදී මෙම පොත ඇය විසින් ලියන්නට යෙදුණාය. ඒ මතු යම් දවසක අපට කියවීමට දීමේ රිසියෙනි. එම පොත කෙටි කතා පොතක විලාසයක් ගති. එකම ගැහැණියක් වටා විවිධ නම් වලින් ලියවී ඇති කෙටි කතා ගොන්නකි..වරෙක එහි "යසෝමා" වන ඇය..තවත් වරක "සරෝජිනී" වන්නීය... කෙසේ නමුත් වෙන් වෙන්ව ලියන ලද කතා සියල්ලම එක් අයකු සම්බන්ධව ගෙතී ඇති ආකාරයක් දැනුනද ඒ මාගේ මවගේ කතාව යැයි මා දැන නොසිටියෙමි.. නමුත් එක්තරා දවසක තාත්තා මා හට යම් කිසි කතාවක් කියනා ලදි...

කරුණාකර මා කෙරෙහි අමනාපයක් නොසිතා මේ දී ඇති දිගුව තුලින් ඒ කතාව කියවන්න...


එම සිදු වීමෙන් පසුව මා එයට කලකට පෙර මා අත පත්ව අම්මාගේ නිර්මාණ යැයි කියා කිය වූ පොතේ තිබූයේ ඇගේම ජීවිත කතාව යැයි තේරුම් ගතිමි. මෙහිදී තවත් කරුණක් කිව යුතුය... අද වන විට මා යම් තරමකින් හෝ අකුරු ටිකක් අමුණාගත හැකි තත්වයක ඇත්නම් ඒ මගේ මවගෙන් ලද ආභාෂයක් විය හැකි යැයි එකී පොත ගැන සිහි වන අවස්ථාවලදී මා හට දැනුන කාරණාවකි... එය එසේ තිබියාවේ.. නැවත කතාවට...

දෙතැනක හැදී වැඩි වෙන වෙනම කතා දෙකක අයිතිකාරයින් වූ මගේ මවත් පියාත් කුමන හෝ දෛවොපගත හමුවක් තුලින් එක්ව හැඳින විවාහ වී අවසන එක් දරුවකු ලැබී තිබියදී අනිකා උපදින්නට ආසන්න වද්දී ඔහුගේ රැකියාව නැතිවී නැවතත් ගමට ආ වග මා කලින් කතාවේ කියා ඇත... මේ එතැන් සිටයි...
..................................................

තාත්තාගේ පියා හට එනම් මාගේ ආතාට අක්කර පහක පමණ බිමක උරුමය තිබිණි.. ඒ අනුව එයින් යම් කිසි කොටසක් මගේ තාත්තාටද උරුම වන මුත් ආතා කුඩා කලම මිය ගිය හෙයින් මහ ඉඩම බෙදා වෙන්කර තිබුනේ නැත. කෙසේ හෝ එය වෙන් කර ගත් තාත්තාගේ සොයුරන් එහි පදිංචිවන කාලය වන විට තාත්තා ගමේ සිටියේත් නැත. කිසිදා විවහා නොවනු ඇතැයි සිතූ සොයුරාට ඉඩම් පංගු වෙන් කිරීම ගැන ඒ හැටි අවධානයක් ඔවුන් විසින් යොමු කොට තිබුනේ නැති සේය... කෙසේ හෝ ගමට එන විට තාත්තාට ගමේ ඉඩම් අඟලක්වත් නොදෙන තරමට සොයුරන් සැහැසි වී තිබුණි. ඒවාට අයිතිය කී ඔප්පු තිරප්පු ඔවුන් සතු විය.

එක් වතාවක් බැංකු ණයක් ගැනීමට යැයි කියා එක් සොයුරකු විසින් ඉඩම් ඔහුගේ නමට පැවරෙන ලියවිල්ලකට අත්සන් ගෙන තිබූ බව තාත්තාට මතක තිබිණි. එහෙත් එම ලියවිල්ලෙන්ම තාත්තාගේ උරුමය නැති වෙන තරමටම කටයුතු යොදා තිබිණි. අවසන දරු දෙදෙනෙකු සමඟ ජීවිතේ ආරම්භ කරන්නට පැමිණි තාත්තාට පිහිට වූයේ ආච්චි අම්මාය.. ඒ ඇය සතුව ඒ වන විට තිබූ බිම් කොටසින් පර්චස් හතළිහක පමණ ප්‍රමාණයක් තාත්තාට ගෙයක් සාදා ගැනීමට දීමෙන්ය.. එහෙත් ජීවිතේ අවසන් මොහොත වන තුරුම ඇයටත් ඒ ගැන අවලාද නැගූ දරුවන් වූහ... කෙසේ මුත් අවසන තමාට හිමි වූ ඉඩම් කට්ටියේ අත තිබූ මුදල් සියල්ල යොදවා කුඩා නිවහනක් තනා ගන්නට තාත්තා සමත් විය...

‍ගේ සාදා පදිංචි වූවාට මට මතක ඇති ඒ කුඩා කාලයේ අප සැමදාම සිටියේ රණ්ඩු සරුවල් මැදය... නිතරම පැල ඉනි වැටට රණ්ඩු සරුවල් වන අම්මාත්.. තාත්තාගේ සොයුරනුත් අතර වූ නොනවතින යුද්ධය සාමාන්‍ය දසුනක් වන තරමටම නිතර සිදු විණි. අනිත් අතින් ආර්ථික යුද්ධය..

මා මෙයට පෙර කතාවල කියා ඇති පරිදි තාත්තා ගේ ඉස්සරහා කෑල්ලේ සිල්ලර කඩයක් දමා ගත්තේය... රෑට පිටි තම්බා උදේට ඉඳි ආප්ප තැම්බුවේය.. තෝස හැදුවේය..කඩයප්පං සහිතව උදේට කුඩා තේ කඩයක් සිල්ලර කඩයත් සමඟින්ම කරගෙන යන ලදි. කාඩ් බඩු සාදා හැතැම්ම ගණන් බයිසිකල් පැද ඒවා විකිණුවේය... රෑට පොඟවන ලද පරිප්පු කොටා සකස් කොට වඩේ බැඳ අවට කඩ වලට දැම්මේය... බයිසිකල් හුළං පොම්පයකුත් යකඩ ලීවර් දෙකකුත් අඩුවක් යතුරු කිහිපයක් සොලිසන් ටින් එකක් හා වැලි කඩදහියක් ආදී උපකරන කිහිපයක් තබා ගනිමින් මිදුලේ අඹ ගහේ කම්බියක් දමා බයිසිකල් එහි එල්ලා පැච් දමමින් වින්කල් වැඩද කලේය.. බුලත් පාත්ති දැම්මේය...බිත්තර පිණිස ගම් කිකිළියන් කිහිපදෙනෙකු ඇති කලේය.. කරන්නට හැකි සෑම දෙයක්ම කරමින් ජීවිතය ගැට ගසා ගන්නට අනන්ත දුක් වින්දේය...

මෙම වෙහෙසකර ජීවිත රටාව මට අදද හොඳින්ම මතකයේ ඇත.. එවකට මා අවුරුදු පහකට ආසන්න කුඩා එකෙකු විය.. ජීවිතය පිළීබඳ මුල්ම මතකයන් ඇත්තේ ඒ කාලය තුලදීය...එම මතකයන් අතරින් මුලටම ඇති මතකය අති බිහිසුණුය... එය අරඹුණේ එක්තරා කාලකණ්නි දවසක සැඳෑ යාමයේය...

එදා උදේ පටන් ගෙදර තත්වය තරමක් කලබල කාරී විය... එයට හේතුවක් තිබිණි.. එය නම් පෙරදින රාත්‍රියේ අපගේ නිවසේ ඇතිකල කුකුළකු හා කිකිළියන් කිහිප දෙනෙකු අතුරු දන් වී තිබීමයි. හොඳින් වසා තිබූ කුකුළු කූඩුවේ දොර හැර උන්ව ගෙන ගොස් තිබුණු ආකාරය සිතා ගත නොහැකි තරම් විය... කෙසේ වෙතත් දවල් වන විට අහල පහළින් ආරංචි ලැබී මේ ගැන ‍දැන ගැන්මට නොයෙක් දෙනා පැමිණි වගත් මා හට මතකය.. පැමිණි අය විසින් නොයෙක් ආකාරයේ කතා කියන්නට විය... අවසන හරි හමන් ඔත්තුවක් යැයි සැලකිය හැකි කිසිවක් තාත්තාට ලැබී තිබුණි...

එනම් අපගේ කුකුළන් ගෙන ගියේ "වෙනුර අයියා" ඇතුළු නඩය බවයි...

"වෙනුර අයියා" යනු එකල වන විට අප‍ගේ පවුලට සමීපව සිටි තරුණ වියේ වූවෙකි. නිතර දෙවේලේ රස්තියාදු ගසමින් සිටි ඔහුත් ඔහුගේ සොහොයුරන් හා හිත මිතුරන් කිහිප දෙනෙකුත් උදේ සවස කඩයට ගොඩවී තාත්තා සමඟ කතා බහ කොට පිටව යන්නට පුරුදුව සිටියහ. එහෙයින් තාත්තාද ඔවුන්ට හිතවත්ව සිටියේය.

වෙනුරට සහෝදරයින් හය හත් දෙනෙකු පමණ සිටියේය. ඔවුගේ පවුලේ සහෝදරයින් ගමේ ප්‍රසිද්ධව තිබුනේ එක් කාරණයක් මූලික කොට ගෙනය.. එනම් ජේවීපී කාරයෝ යන්නයි. අපගේ ගම්වල ශ්‍රී ලංකා කාරයෝ බුරුතු පිටින්ද එයට මඳක් අඩුවෙන් වූවද යූ ඇන් පි කාරයෝද සිටියාට ජෙප්පෝ සිටියේ නැති තරම්ය... එසේ සිටියා නම් සිටියේ මේ කියනා වෙනුර ඇතුළු නඩයයි. ඔවුන්ගේ සහෝදරයින් සියළු දෙනාම පාරේ ජේවීපීයේ යාව ජීව සාමාජිකයින් වූහ. පසු කාලීනව ඒ අතරින් එකෙක් දෙන්නෙකු ‍මුදලාලිලා බවට පත් වී ජේවීපිය අතැර දමන්නට යෙදුනද අදත් ඔවුන්ගේ පවුලේ ජේවීපියටම කැප වූ පවුල් දෙක තුනක් තිබේ... මෑතකදී මා ගම්පහ දුම්රිය පාලම මතින් යන විට හුරු පුරුදු සුන්දර යුවතියක් කැටයක් සොලවමින් මා ඉදිරියට ආවාය.. දුටු ගමන්ම ඈ හඳුනා ගත් මම "මේ නිලූකා අක්කා නේද?" යැයි ඇසුවේ විමතියට පත් වෙමිනි. ගමේ හිටිය ලස්සනම කෙල්ලන් කිහිප දෙනාගෙන් එකියක වූ ඇය අමතක කල හැකි හෝ අමතක වන හෝ අයකු නොවේ. පෙනුමින් සිංහල පෙනුමකට වඩා බර්ගර් වැනි පෙනුමක් හිමි වීම නිසා ඇය කැපී පෙනෙන ලක්ෂණක් ඇති කෙල්ලක වූවාය... ඇයත් පෙර කී පවුලේ දියණියකි. ඇත්තෙන්ම එදා ගෙදර ආ පසුවත් මා කල්පනා කලේ ඔවුන් පරම්පරාවෙන්ම ජේවීපියත් කරුමයත් උරුම කරගෙන ඇති ආකාරයයි.යම් තරමකට අධ්‍යාපනයට දක්ෂ වූ ඇය එසේ පාරේ සිඟන්නියකගේ තත්වයට වැටිය යුතු කෙනෙකු නොවූවාය...

කෙසේ හෝ එකී ජේවීපී වීම නිසා තරමක් වෙනස් ආකාරයෙන් ඔවුන් ගමේ හැසිරුන අතර ගමේ අයද එතරම්ම මිත්‍රශීලී ලෙසින් ඔවුන්ට සැලකුවේ නැති තරම්ය... අද වගේම එදාත් ගම්වල ජෙවීපී කාරයින් යනු විශ්වාසය තැබිය නොහැකි අමුතුම සත්තු ටිකක් විය.එයට හේතු තිබිණි. ඔවුන්ගේ දර්ශනයට අනුව ගමේ කාගෙ වත්තක තිබුනද ඒවා පොදු දේපල සේ සලකා ඔවුන්ට භුක්ති විඳිය හැකි යැයි සලකා කටයුතු කිරීම වැනි දේවල් හරහා ඔවුන් පිළීබඳව තරමක් සැකයෙන් බැලීමට වැඩි දෙනා පෙළඹී සිටියහ.

අවසන කෙසේ හෝ ආරංචියට අනුව පෙරදින රාත්‍රියේ අපගේ කුකුළු කොටුවට පැන ඇති පිරිස අතර වෙනුරත් ඔහුගේ යහළු වන් කිහිපදෙදෙනකු හා සොයුරකුත් සිට ඇත. වෙනුරලගේ ගෙවල් පිහිටියේ අපගේ ගෙදරට බස්නාහිර දිශාවේ පිහිටි කැලෑ බඳ ගම්මණ්ඩියක වූ අතර එහි වෙසෙන වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වූයේ කසිප්පු පෙරීමයි.. එය එකල සිදු කරනු ලැබූවේ රාත්‍රී කාලයන්හිදීය... අපගේ කුකුලන්ද එසේ වූ කසිප්පු පෙරන තැනකදී අවසන් ගමන් ගොස් ඇති බව දැන ගත් පසුව තාත්තා පසු වූයේ තරමක කේන්තියකිනි. එහෙත් එය කිසිවකුටත් දැනගන්නට තරම් කේන්තිය පිට කරන අයකු නොවූ ඔහු ගේ ඇතුලේ වන කතා බහින් පිටට එය යන්නට නොදුණි. එහෙත් එසේ පරිස්සම් නොවූ කොලුවෙකු නිවසේ වූ වග මොහොතකටවත් තාත්තාට සිතුනේ නැත...

වේලාව සවස තුනත් පහත් අතර වාගේය... ගෙට නැගෙන හිර දිශාවෙන් වූ මහ පාර පැත්තේ සිට බඩු මල්ලක් හිස තබා ගත් මැදි වයස ඉක්මවාලූ ගැහැණියක පැමිණියාය...

ඒ අපගේ කඩය පසු කොට බස්නාහිරින් පිහිටි ගම්මණ්ඩියේ වූ ඇයගේ ගෙදරට යාමටය... මේ වන විට ගමේ එහෙ මෙහෙ කතාවන ආරංචිය මගදීම අසන්නට ලැබී තිබුණු ඇය එය හරියටම දැන ගැනීමට මෙන් යනෙන ගමන්ම කඩයටද ගොඩ වූවාය...

"ඈ බං මල්ලියේ මොකද උනා කියන්නේ..?"

ඇය අසනු ලැබීය.. මෙතෙක් වේලා කේන්තියෙන් සිටියද තාත්තා මඳක් සිනාසී

"නැහැ අක්කේ මේ අපේ කුකුල්ලු ටිකක් ඊයේ රෑ නැති වෙලා" යැයි කියන ලදි...

"කවුද මල්ලියේ ගෙනිහින් තියෙන්නේ..?" නැවතත් ඇය අසන ලදි...

"තාම හොයනවා අක්කේ" තාත්තා නැවතත් කෙටියෙන් පිළිතුරු දෙන ලදි...

කොලුවා නැති නම් මම ක්‍රියාත්මක වූයේ ඒ මොහොතේය... මෙච්චර වෙලා හොරු කවුද යැයි කතා උන නමුත් තාත්තා මොන බම්බුවක් කරනවාද දන්න දේ නොකියා... මම ඉස්සරහට පැන්නෙමි...

"කවුද කියන්නේ..? ඔයාලගේ වෙනුර අයියලා තමා අපේ කුකුල්ලු අරං ගිහිං මරලා කාලා තියෙන්නේ"

බට කැලයට ගිනි ඇවිලුනි... ගැහැණිය බඩු මල්ලත් ගෙන වහාම යන්නට වූවාය... එතැනදී කිසිවක් නොකීවත් මඟ දිගට ඇය හඩ හඩා ගිය වග පසු කාලීනව දැන ගන්නට ලැබුණි... මේ වෙන කිසිවකු නොවීය..වෙනුර ඇතුළු ඉහත කී සහෝදරයින්ගේ මවය... ඥාතීත්වයෙන් ඇයගේ ස්වාමියා මගේ පියාට දුරින් සහෝදරයකු විය...

කෙසේ හෝ තම පුතුන් ගැන ලැබුන නරක ආරංචියෙන් කෝපයටත් ශෝකයටත් පත් වූ ඇය නිවසට ගොස් තිබුනේ මහ හඩින් විලාප දීගෙනය... එම විලාපය අපගේ පවුලට විනාශය ගෙන ආවේ කෙසේද..? ඒ බිහිසුණු රැය ගැන පසුවට...

69 comments:

  1. කතාව කියෙව්වට පස්සේ කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරි වුනත් මුකුත් නොකියා යන්න හිතෙන්නේ නෑ....

    මට මතකයි මාරයියාගේ පුක නැතිවුනු හැටි කතාව... ඒකට මම කොමෙන්ටුව දැම්මේ රට රැකියාවලට යන හැමෝම වැරදිකාරයෝ කියන හැඟීමෙන්....

    නමුත් ඒක එහෙම නෙමෙයි කියලා දැන් මට හිතෙනවා.... මාරයා යනු ජීවිතේ සෑහෙන්න වින්ද විඳෙව්ව කෙනෙක් බව මට හිතුනේ මේ කියවපු පෝස්ට් වලින්.... මාරයියගේ අම්මා හොඳ හැකියාවකින් යුක්තව ඉන්න ඇති ලිවීම සම්බන්ධයෙන්.... නමත් පිස්සු හැදෙනවනේ....

    ඉතුරු කොටස එනතුරු මග බලමින් ඉන්නේ....

    ජය වේවා අයියේ....
    එල හරකයි මී හරකයි වගේ කොමෙන්ටුවට සමාව දෙන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි දිග කොමෙන්ටුවක් උදේ පාන්දර ලිව්වට...

      ඇත්තටම අම්මට හොඳටම නැති උනත් හොඳින් කතා ‍ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුනා... ඒ වගේම කවුරුවත් කරන්න හිතන්නේ නැති විදියට එයා එයාගේම අඳුරු ජීවිතේ ගැන පොතක් ලිව්වා අපිට කියවන්න... ඒක සෑහෙන්න වෙනසක් අපි දකින චරිත අතරේ...

      Delete
  2. පුදුම ජීවිතයක් මාරයියෙ. වෙලාවකට අපිව හිනස්සන ඔයා, වෙලාවකට කියන්නෙ අඬන්න හිතෙනව දේවල්. ඒ එක්කම පුදුම සතුටක් ආඩම්බරයකුත් දැනෙනව ඔයා ගැන

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි නියමම කොමෙන්ටුව....

      Delete
    2. හ්ම්ම්..

      Delete
    3. ස්තූතියි සිඳූ නංගි... ඔහොම තමා ජීවිතේ හැටි... මගේ විතරක් නෙවෙයි හුඟ දෙනෙකුගේ..ඒත් මෙහෙම ලියනකොට ඇර නිකං ඔහේ තිබුනට ඒ දේවල් පැහැදිලිව පේන්නේ නැහැ තමන්ට උනත්...ජීවිතේ කියන්නේ සම්පූර්ණ සතුටවත්..සම්පූර්ණ දුකවත් කියන එක නෙවෙයි.. ඒ දෙකේ කලවමක්...

      Delete
    4. මට එක දෙයක් කියන්න පුළුවන්. මාරයා කියන්නේ ජීවිතය තේරුම් ගත් පුද්ගලයෙක් කියලා.

      Delete
  3. meka hari keliyakne yako... kochchara try kalath eka wenna bene... adath 3 weniya wage....anyway......

    charitha godananwanna wagema vikashanaya karannath marayata thiyena hekiyawa ithin kiyala wedak ne :D

    ReplyDelete
    Replies
    1. හපොයි තරිඳු... මේ දෙගොඩහරි ජාමේවත් ඕක බැරිව ගිය හැටි... මොනවා කරන්නද අර ගැමියා පැල් රකින දවස්නේ..ඉතිං රෑටත් ඇහැරිලා.. මොකෙක් හරි එහෙං මෙහෙං ගිය ගමන් කොමෙන්ට් කරනවා නෙව...

      සිඳූ අද නයිටක් අදිනවද කොහේද... ලෙඩ්ඩු අරහේ කෑ ගහනවා උන්දෑ මෙහෙ බ්ලොග් බලනවා..ඉතිං කොහේද මලයා එක වෙන්නේ...?

      මෙනවා උනත් ආයෙමත් තරිඳු පේන්න ඉන්න එක ගැන සතුටුයි.. හැබැයි ආයෙම අර නවත්තපු තැනින් බැරිනං වෙන හරියකින් හරි කතාව පටන්ගන්නවනං තවත් සතුටුයි.

      Delete
    2. මම අච්චර පත කොමෙන්ටුවක් ගැහුවේ පළවෙනියා වෙන අදහස අතෑරලා.... ඒක ගහලා පබ්ලිෂ් කරාට පස්සෙයි මම දැක්කේ මම එක වෙලා තියෙනවා....කරුමෙට හරි මුලින් දාපු කාගෙ හරි කොමෙන්ටුවක් ස්පෑම් වෙලාද දන්නෑ කියලයි කෑ නොගහා බලාගෙන හිටියේ....

      සිරාවටම මම එක වෙලානේ බොලේ... සන්තෝසයි සන්තෝසයි.එහෙනං මාත් එක වුනා.... ජය වේවා ජය වේවා...

      අපිටත් 1 වෙන්න රෑ ජාමේ පෝස්ට් දැම්මට තැන්කිව් ඈ...

      Delete
  4. මාරයෝ පිස්සු හැදෙනවා.ජීවිත අත්දැකීම් ගොන්නක් උරුමකරගන්න එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි.කොච්චරක්නං කැප කිරීම් කරන්ඩ වෙනවද?

    ReplyDelete
    Replies
    1. නිකංම ගලාගෙන යනවට වඩා මෙහෙම උනාම ඒකෙත් හෙන ගතියක් තියෙනවා..හැබැයි ඒ මොහොතේ නෙවෙයි පසු කාලීනව...

      Delete
  5. මේ මදුරු උගුල් ලටපට කුණුගොඩවල් වලට මේක තියාගෙන අපේ කතාව ගනින්කෝ වෙන බ්ලොග් එකකට...

    ReplyDelete
    Replies
    1. ඒකට නම තියහන් කිනීහිරය සහ පන්නරය කියලා

      Delete
    2. මචං බීටලේ... මගේ ජීවිතේ කියන්නේ මේ වගේ කතා වගේම මඳුරු උගුල් වගේ පොඩි පොඩි කෑලිත් පිරුන එකක්... මගේ කතාව ඇතුලේ මෙහෙම කතා වගේම ඔය පොඩි පොඩි විහිළු කෑලි.. සින්දු කෑලිත් තියෙනවා.. මේ බ්ලොග් එක කවදා හරි කියවන එකෙකුට මේ හැම දේම අහු වෙන්න ඕන... අන්තිමට කියවන එකාට මා ගැන තීරණයක් දෙන්න අපහසු උනා නම් ඒක තමා වැදගත්ම දේ...

      මූ ගොංපාට් කාරයෙක්ද..? නැත්තං දෙකයි පණහේ ජෝකර් කෙනෙක්ද..? තිරිසනෙක්ද..? සද්ගුණවත් උත්තමයෙක්ද..? හෙන සීරියස් පොරක්ද..? නැත්තං මෙලෝ හරයක් නැති වැදගැම්මකට නැති එකෙක්ද..? ඔය තීරණ අතරේ පැටලිලා අවසන් තීන්දුවක් දෙන්න බැරි තත්වෙට එහෙම කෙනෙක් පත්වෙනවටයි මං කැමති. මොකද ඔය එක දේකවත් මනුස්සයෙක් හිටින්න බැහැ.. ඌ වෙලාවෙන් වෙලාවට ඔය කියන හැම තත්වෙටම පත් වෙනවා. ඒකයි ජීවිතය ගලාගෙන යන ක්‍රමය...

      උඹ කියන දේ මට තේරෙනවා.. ඒත් මං මේක වෙන බ්ලොගයකට ගත්තොත් ඒක විතරක් කියවන කෙනා කවදාවත් මාව දකින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ බ්ලොග් එක කියවන කෙනෙක් මාව දකින්නෙත් නැහැ... ඒ හින්දා ඔය මැන්ටල් කෑලි අස්සෙම මේවත් දකින එක තමා හොඳම දේ...

      උඹට බොහෝම ස්තූතියි මේ ගැන හිතලා දුන්න උපදේසෙට..මං හිතන්නේ උඹට මාව තේරුම් ගන්න පුළුවන් වෙයි...

      @අටම්පහුර...

      නමනං හොඳයි...

      Delete
    3. සම්පුර්ණයෙන්ම එකඟයි . ජිවිතේ කියන්නේ පොඩි සිදුවීම් ලොකු සිදුවීම් වලින් සැදෙන එකක් . කොයික වැදගත්ද කියල වෙන් කරන්න බැහැ . මන් හිතනවා හැම අටමගලයක්ම මේකෙම අත්හරින එක හොඳයි . මේ තියෙන බ්ලොග් කන්දරාවත් එක්ක තව එකක් වැඩි වුනොත් මග ඇරෙන්න පුළුවන්

      Delete
    4. මමත් හිතන්නෙ ඒක ඇත්ත

      Delete
  6. ඉතිරි කොටස හිතා ගන්න පුළුවන්.. බ්ලොගෙන් එලියට යා යුතු ලිවීමක්‌. වෙන මාර්ගයක් තෝරා ගත්තනම් ඇත්තම මාරයෙක් වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. බ්ලොගෙන් එළියට ගියොත් ඉතිං මූණු පොත තමා..:D:D:D

      Delete
    2. මුණු පොතෙනුත් එලියට ගිහින් සාමාන්‍ය පොත් ලියන්න බැරිද ?

      Delete
    3. අයියා ලියනවනං මුළු සයිබර් අවකාශෙම ෆුල් සප් එක දෙනවා ඒක ෂුවර්.... මොකද කියන්නේ මාරයියේ... ලියමුකෝ.

      Delete
  7. හ්ම්ම්ම්ම්! කතාව පටන් ගත්ත විධියෙන් හිතෙන්නේ කවදාවත්ම සිදු නොවිය යුතු නොඇසිය යුතු කතාවක් වගේ!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඒවා වෙලා දසක තුනකට ආසන්නයි...

      Delete
  8. මම ටක්කෙටම කියන්නේ මාරයියේ උබ මේකේ ඉතුරු කොටස දාන්නේ තව කාලයක් ගියාට පස්සේ,,පහු ගිය කතාවල අත්දැකීම් වලින් මේ කියන්නේ,, මගේ කතාවේ කොටස් යන හැටියට මේ මුලු බ්ලොග් එකම කියෝලා ඉන්න ඕනා ඔය කතාව තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. ඩිලා නොදන්නවයෑ මගේ වග... ඇත්තටම මුල ඉඳන් හැම එකම කියවපු..කියවන උඹයි තව ඒ වගේ රොත්තකටයි මේක ඒ හැටි හිතන්න අමාරු කතාවක් නෙවෙයි... මේකේ අතුරු කතා ඔය හැම අස්සකම වගේ තියෙන හින්දා..සහ උඹලා ඒවා බලලා මතක තියෙන හින්දා.. ඒකමයි මං අර විදියට කිව්වේ නැත්තං අග මුල නැති කතාවක් විදියට ගොඩක් අළුතින් කියවන අයට හිතෙන්න පුළුවන් නිසා... ස්තූතියි ඩිලා...

      Delete
  9. කතාව නම් හදවතට වදින එකක් වගේ, කිව්වත් වගේ ඒක වෙනම පිටුවක දැම්මනම් අගෙයි. අනෙක ගන්න තියෙන ආදර්ශයක් තමයි වැඩිහිටියන්ගෙ දේවල වලට ළමයි කටදාන්න එපා කියන එක, ඒකෙන් කියවෙන්නෙ නෑ අර කස්ටිය කරපු එක හරි කියල.

    ReplyDelete
    Replies
    1. අර ආදර්ශේනං ඇත්තටම හරි.. ඒත් ඔය වයස වෙනකොට මං මහ කිව්වා නාහන දඟකාර කොල්ලෙක්..හෙන ඇට්ටරයි..කේන්තිකාරයි... අනික ඔක්කෝටම වඩා මං ළමයෙක්... ඉතිං මොකදෑ කරන්නේ..?

      Delete
    2. හැම රටේම ළමයින්ට ළමයි වෙන්න බැහැ,
      ළමයින්ට විතරක් නොවේ නොදරුවන්ටත් නොදරුවො වෙන්න බෑ.
      ගෑනූන්ට ගෑනු වෙන්න බෑ.
      පිරිමින්ට පිරිමි වෙන්න බෑ
      කොල්ලන්ට කොල්ලො වෙන්න බෑ.
      කෙල්ළන්ට කෙල්ලො වෙන්න බෑ..

      ඒව නීතියෙන් රක්ශා වෙන්නා ඕනෙ,

      ලංකාවෙ දැන් බල පවත්වන සින්තටික් නීතියෙන් නම් නොවේ....
      ඔබට එකක්,
      මට තවෙකක්.
      එහෙම නොවෙයි

      කාලයක් තිබිල තියෙනව තරුනියකට උතුරෙ සිට දකුණට රෑට තනියෙන් පයින් ඇවිද ගෙන යන්න පුලුවන්,

      අන්න ඒ නීතියෙන්.....

      Delete
  10. මාරයා
    උඹ කියන කතාවෙ හැටියට ඒ මාරයාගේ හෝරාව කියවන්න අපිට ටිකක් අමාරු වේවි වගේ. කමක් නෑ. ඒකත් කියවන්නං. මේ වගේ අත් දැකීම් එක්ක ගෙවන ජීවිත ගැන අද ඉන්න දරුවොන්ට හිතන්නත් අමාරු වේවි. උන්නට සියළු සැප පහසුකම් දීලත් ජීවිතේ ගොඩ නගාගන්නෙ නෑ.
    මාරයාට ජය වේවා (මේ ප්‍රාර්ථනාව හොඳයිද කියලත් හිතෙනව වෙන මොනව කරන්නද.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයියා...

      මං දකින ලොකු අඩුවක් තමා දැන් හැදෙන ළමයින්ට දෙමවුපියෝ ජීවත් වෙන්න දෙන්නේ නැහැ. සියළු සැප පහසුකම් කියලා හිතලා එයාලා ළමයින්ට දෙන්නේ කම්මැලිකම..නාස්තිකාරකම... ලෙඩ රෝග වගේ දේවල්... උන්ටත් කියලා ජීවිතයක් තියෙනවා කියලා නොහිතා කුකුල් පැටවු හදලා කොහොමද දයියා ළමයි ජීවිත ගොඩනගාගනී කියලා හිතන්නේ... අවාසනාවන්ත මතු පරපුර..උන්ට දෙයියන්ගේම පිහිටයි...

      Delete
  11. දුක සැප අතරේ පෙරළෙන අපේ ලෝකය....

    ප.ලි.

    රාවණා නැගිටලා එන්න ඉස්සර ඉතුරු ටික ලියපං මාරෙ..

    ReplyDelete
  12. බොඳ වූ අකුරු මට කිසිවක් සිතා ගන්නට නොදෙයි. එසේනම් මා කුමන කමෙන්ට් එකක් ලියන්නද? ඉක්මනට ඉතිරි ටිකත් ලියන්න. තව දෙයක් ඔබ අදහන්න වටින මිනිහෙක්නෙ. මෙච්චර දෙයක් හිතේ තියාගෙන ඉන්න අපූරුව. මෙහෙම හරි මේක කියන එක වටිනවා. ජය!!

    ReplyDelete
  13. මාත් කියෙවුවා...

    ReplyDelete
  14. මාරයියට වයසට වඩා ගොඩාරියක් අත්දැකීම් ලැබිලා කියල හිතෙනවා... වෙලා තියෙන දේවල් වල හැටියට දැන් ඔහොම ඉන්න එක ලොකු දෙයක් නේද!

    කොහොම නමුත් ඉතිරිය බලලම බැරියැ හරියකට කමෙන්ට් කරන්න...

    ReplyDelete
  15. මාරය කියල නම දාගෙන ඉන්නෙ නිකංයැ.

    ReplyDelete
  16. එළ............................!

    ඔය ලියල තියෙන කතාවට නෙමෙයි කිව්වෙ උඹට................!

    ReplyDelete
  17. තෝරා බේරා ගත දේවල් ලියන අපි අතර මාරයා නිර්භීත මිනිහෙක් .

    ReplyDelete
  18. මාරයියේ,
    උඹේ අපේ කතාවේ ඊළග කොටසත් එනකම් බලාගෙන ඉන්නවා,
    හැබැයි අයියේ, අර තිත්ත ඇත්ත කතාවේ උඹෙ කොමෙන්ට් 1 වගේ වැඩක් නම් කරන්න හිතන්න එපා පුතෝ

    ReplyDelete
  19. ජීවිතය නම් මෙය විය.........

    ReplyDelete
  20. ඩිලා ගේ කතාවට සම්පූර්ණයෙන් එකග වෙමි...... මාරයා මේකෙ ඊලග කොටස කවදා දායි ද කියල මාරයවත් දන්නේ නෑ ......... පන්සල් කතා..., අතරමග නවත්තපු බණ කතා ....,ජුංගේ කතා..., වගේ දහසකුත් එකක් දේවල්..... මාරයාගේ හෝරාවෙ තියෙන විශේශයත් මේකයි.... හැබැයි මාරයෝ කවදා ඔය කතා වල ඊලග කොටස දැම්මත් කියවන අපි අප් ටූ ඩේට් අප්ඩේට් තමයි ඕන්...

    ReplyDelete
  21. "කවුද කියන්නේ..? ඔයාලගේ වෙනුර අයියලා තමා අපේ කුකුල්ලු අරං ගිහිං මරලා කාලා තියෙන්නේ"

    මට හිතාගන්න පුළුවන්.. මොකද අපේ ගෙදරත් ඔය කියන වයස පහු කරගෙන යන කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා.. මේ පේළිය කියවද්දිම මට මතක් උනේ මයෙ ලොක්කිව.. ඔය විදියමයි.. තව ටික වෙලාවක් ඒ මනුස්සයා උඹලගෙ කඩේ උන්නනම් ඒ මනුස්සයාගෙ ඔළුවෙ තිබ්බ බඩු මල්ලත් උඹ බිමට ඇදල දායි..

    ඒත් මේ කාලෙ නම් වෙනස්ම චරිතයක් වෙලා..

    දුක තුලින් පන්නරය වුණ ජීවිතයක නවෝදය ළඟදිම උදාවේවා මල්ලියේ!!

    ReplyDelete
  22. දුෂ්කරයි කියලා ජීවිතේ අත අරින්නයැ.

    ReplyDelete
  23. මොනව කියන්නද කියල හිතාගන්න බෑ.
    ඒකාලෙ දැන් නෑ වගේම දැන්කාලෙ ඉස්සරහටත් නෑ.අනිච්චේ දුක්ඛේ.

    ReplyDelete
  24. මාරයගෙ වයස කීයද කියල මම තාම දන්නෙ නෑ. පින්තූර වල දැක්ක විදියටනම් වයස අවුරුදු 35 ක් විතර ඇති. ඒ වුණත් අවුරුදු 65 ක විතර ඇත්දැකීම් තියෙන බව පේනව. ඒවත් බොහොම අමිහිරි අත්දැකීම් වීමනම් කණගා‍ටුදායකයි. නමුත් ඒවා නොපැකිලව අපිත් එක්ක බෙදා ගැනීමෙන් ඔබ කරන්නේ ලොකු සේවයක්. හරිම ලස්සනයි කියල ඉඹින්න යන නෙළුම් මල් තුළ විශඝෝර බඹරු සිටින බව මේ ලිපි කියවාගෙන යන විට වැටහෙනව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉස්සෙල්ලා ටැපලුනා......

      අපේ අයියට ඔයතරම් වයස නෑ. යන්තම් මේ දයසය පැන්න කොල්ලා වගේ මොටෝ බයිකෙන් රවුම් ගහද්දි ඔහොම වයසට යවන්න හොදයැ මං අහන්නේ......
      රාවණා සිද්ධම්.....

      (විහිළුවක් ඇ)

      Delete
  25. හ්ම්ම්ම්..... අයියගේ ජීවිතේ කොහොම එකක්ද කියලා මේක අනාගතේ කෙනෙක් කියෙව්වොත් නම් අනිවා නවකතා කාරයෙක් කියලා හිතනවා.

    ඩිලාන් අයියා කිව්වත් වගේ මේකේ ඉතුරු කොටස දාන්නේ මේ රැදිලා ඉන්න උදවිය මාරු වෙලා අළුත් කට්ටියක් පය තිබ්බම තමා.
    අර...... නෑ එක්කො ඕනිනැ. නිශ් අයිය, දෙමළ ණ යනු අයියයි කියලම එපා වෙලා ඇති. මං ඒ නිසා කියනවා

    මාරයියේ අනික් ඒවා වගේම මේකත් ඉක්මනට ලියලා ඉවරයක් කරන්න........ අනේ අනික් අය වගේ අතරමඟ නවත්තනවට මං ආ....සම නෑ....... හික්ස්.....

    ReplyDelete
  26. ජීවිතේ කවියක්.........................

    ReplyDelete
  27. ජීවත් වෙන එකත් සෙල්ලමක් නෙමේ එත අතකින් බලද්දි

    ReplyDelete
  28. මල්ලි, වානේ පන්නරය ලබන්නෙ ගින්නෙන් ගිනියම් වෙලා බොර වතුරෙනුත් නෑවිලා... ඒත් අමු යකඩෙට වඩ පදම්වෙච්ච වානේ වල හයිය බොහොම ඉහලයි...

    ReplyDelete
  29. මේ කෑල්ල අපේ ගෙදරින්...

    //කොටසක් මගේ තාත්තාටද උරුම වන මුත් "ආතා කුඩා කලම මිය ගිය හෙයින් "//

    මොකක්ද අයියෝ මේ කතාවෙ තේරුම..

    ReplyDelete
  30. ගංගාවක් කෙලින් ගලාගෙන ගියානම් ලස්සනයිද? කඳු මුදුනකින් පුංචියට පටන් අරන් ගලාගෙන එනවා. වෙලාවකට මඩ වෙනවා. වෙලාවකට ඔහේ ගලාගෙන යනව. තැනකදි පලල්, තැනකදී පටුයි. වටපිට එන හැම කුණු කන්දලයකට කර ගහනවා. වෙලාවකට දිය ඇල්ලක් වගේ කඩා වැටෙනවා. තැනක ගැඹුරුයි. තැනක ඉතාම ලස්සනයි. පිවිතුරුයි. වෙලාවකට පිටාර යනව. අපේ ජීවිතත් අඩු වැඩි වශයෙන් මේ වගෙයි. ඒත් මේ ජීවන චක්‍රයේ අපට හිමි තැනදී කම්පා නොවී ජීවත් වෙන්න මාරයාට හැකි වෙලා තියෙන්නේ කලක් බුද්ධ පුත්‍රයෙක් වී සිට ලැබූ ශික්ෂාව නිසා විය යුතුයි.

    ReplyDelete
  31. උඔත් එක්ක - අපි මොක්කුද!

    ReplyDelete
  32. ඉතිරි ටිකත් බලලම ඉමු!

    ReplyDelete
  33. අර අම්මා ලියපු කෙටි කතා ටික පොතක් හැටියට පිට කලොත් හොද නැද්ද ? එහෙමත් නැත්තන් ඔය ජීවිත කතාව ම නව කතාවක් විදිහට මුද්‍රණය කරන්ඩ ......

    ReplyDelete
  34. ජිවිතය කවියක්
    ආදරය එහි සොදුරුතම වදනක්
    කදුලැලි බිදක්
    හසරැලි පොදක්
    එකට එක් වු විට දැනේ පෙර නොවිදි රසයක්. . .

    http://sinhala-lyrics.com/get_lyric.php?lid=1184

    ReplyDelete
  35. පොළොවේ පය ගහලා ජීවත් වෙන එකෙක්ගේ කතාවක් කියවන්න කියවන්න ආස හිතෙනවා අයියා.

    ReplyDelete
  36. මේ බ්ලොගට 'මාරයාගේ හෝරාව'ට වඩා 'මාරයාගේ ජීවන තක්සලාව' නම වඩා උචිත යයි යෝජනා කරමි.'
    henryblogwalker the Dude

    ReplyDelete
  37. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ මාර අයියේ. තාත්තා ගැන පුදුම දුකකුත් ලොකු ආඩම්බරයකුත් ඇති උනේ. ඒ වගේම ඇත්ත කියන්න ලැජ්ජ වෙන අපේ මිනිස්සු අතරේ මාර අයියා කොච්චර නිර්භීත, අවංක චරිතයක්ද කියලා දැනුනා.

    ReplyDelete
  38. කෙනෙක්ගෙ ජීවිතේ හැඩගස්වන්නෙ ඒ කෙනා මුහුණ දීපු අත්දැකීමුයි ඒවට මුහුණදීපු හැටියි කියල කියනවනෙ...

    ReplyDelete
  39. ඔන්න ඕක තමා කියන්නේ 6-4 නොතේරෙන පොඩි උන් ඉස්සරහා මොනම දෙයක් වත් කියන්න එපා කියලා. මොකද පොඩි උන් ගොඩක් අවංකයි..

    ReplyDelete
  40. ලස්සනයි, රසයි, සුවඳයි, කන්ඩ අතට ගත්ත අඹ ගෙඩිය..මට හරි සතුටුයි මේක මන් ළඟ නිසා..මේ ලස්සන, රස , සුවඳ දෙන්න කොයිතරම් නම් දේවල් අඹ ගහේ මුල් දිගේ උරා ගන්න ඇත්ද ? මන් ඒවා එකින් එක කල්පනා කරනවා..

    ReplyDelete
  41. අනිත් කොටසත් කියවලම ඉමු :)

    ReplyDelete
  42. අනිත් කොටසත් කියවලම ඉමු :)

    ReplyDelete