ඉස්සර.. ඒ කිව්වේ එක්දහස් නවසිය බර ගණන්වල අග බාගේ...
මං කලිනුත් කියලා තියෙනව නෙව අපිට කුඹුරු තිබුනේ නැහැ... ඉතිං කුඹුරු තියෙන උදවිය අපි වගේ අයට හරි ආදරෙයි... කුඹුරු වපුරන කාලෙට... ගොයම් කැපෙන කාලෙට පුදුම ආදරෙන් කතා කරලා කියන්නේ
"මල්ලියේ අනිද්දා අපේ ගොයං කැපෙනවා..උදෙන්ම වරෙං ඈ..."
කුඹුරු තියෙන උන්දලට කතා කලා වගේ නෙවෙයි ආයෙමත් උන්දලගේ අත්තමටත් යන්ට එපෑ.. ඉතිං කුඹුරු නැති අපි වගේ උන් ටිකක් සෙට් උනාම කන්න බොන්න දෙන දෙයක් දුන්නා එතැනින් කතාව ඉවරයි... අපිටත් ඉතිං වගේ වගක් නැති කාලෙනේ.. අර කතාවකුත් තියෙන්නේ පිස්සන්ට හැතැම්ම නැහැ කියලා... අපිටත් එහෙමම තමා.. කොතැනද මරණයක්..මඟුලක්..දානයක්.. පිංකමක්..සංගීතයක් තියෙන්නේ අපි එතැන... ගොයං කයියක් කිව්වමත් ඉතිං ඒ සංතෑසියම තමා...
ආසාවට පැනගෙන ගියා වගේ නෙවෙයි ඕකත් ලේසි වැඩක් නෙවෙයි.. උදේ පාන්දරින්ම කුඹුරට බැහැලා පලවෙනි ගොයම් අහුර කපලා ඒක උඩින් දෑකැත්ත තියලා වැඳලා කරලා පටන් ගත්තම කොහොම හරි බලන්නේ අවුව සැර වෙන්න කලියෙන් හැකි තරමක් කපලා අහවර කරන්ට තමා.. ඒත් ඉතිං ඔය දේ කර ගන්න පුළුවන් ඔය වී කාර්තුව දෙක වපුරන උන්දලගේ කයියකදී තමා.. බුසලක් හමාරක් කැපිල්ල මද්දහනට කලියෙන් ඉවර කර ගන්නනං විස්සක් වත් ඉන්ට ඕන... ඒ තරං කට්ටියක් ඔය කාලෙට එක්කාසු කොරගන්න ලේසි නැහැ... මොකද හැම තැනම කුඹුරු කැපෙනවා හිටු කියලා.. මිනිස්සු හැම තැනම බෙදිලා ගිහින්... ඉතිං එහෙමත් කයියකට තමා දා පාලොහක් හොයා ගන්ට ඇහැකි වෙන්නේ..
ගංවල කයියකට අඩු නැතිව කට්ටිය එකතු වෙන තැන් තියෙනවා.. ඒ ඉතිං කයියේ අයිතිකාරයගේ හොඳ කමට තමා.. අනිත් ඈයින්ගේ අත්තමට මඟ නොහැර යන එන... පාරකදී තොටකදී දැක්කම හිනා වෙලා කතා කොරලා යන..මගුලකට මරණයකට දැන ගත්ත ගමන් ඇවිත් කර ගහලා වැඩ පල කරලා දෙන උන්දලට මිනිස්සුන්ගේ හිඟයක් නැහැ.. ඒත් ඉතිං එහෙම නැතිව තමුන්ගේ වැඩට විතරක් උනන්දු වෙන ඈයින්ට වී බුසල කපා ගන්ට හතර දෙනෙක් හොයා ගන්ට නැති තැනුත් එමටයි...
මුලදී මුලදිනං මාත් එහෙම උදවියගේ ගොයං කයිවලට උනත් දෙපාරක් නොහිතා ගියා තමා... ඒත් පස්සෙන් පහු තේරුං ගත්තා මුංට කඹුරලා ඇති පලක් නැති වග.. කොටින්ම කුඹුරු කලෙන් පස්සේ පාරකදී දැක්කත් කතා නොකර යන ජාතියේ උන්දලට මොකට කඹුරනවද..?
ආ ඔය කිව්වම මට මතක් උනේ තව කතාවක්...
මං මුලින්ම කුලියට ගොයං කැපුව කතාව..ඒ අපේ ගමේම හිටිය අපිටත් තරමක් නෑදෑයෝ වෙන පවුලක තමා... එක් වංගියක් දෙකක් ඔහේ ගෙහුන් මාත් කුඹුර කැපුවට මොකද මුංදලා අනිත් කාලෙට අපිව සලකන්නේ දහයියා ගානට... ඕක එක වතාවක් හොඳටම තේරුං ගියේ අපි කට්ටියක් එක්කාසු වෙලා මොනවා නමුත් පොදු වැඩකට ආධාර පත්තරයක් එක්කාසු කොරන්ට ගිය වෙලේ... මං හිතන්නේ දන්සැලක් හරි ක්‍රීඩා සමාජේ වැඩකට හරි... ඔය කියන ගෙදර උන්නැහේ.. උන්නැහේ කිව්වේ ගෙදර පුතණ්ඩියා ආධාරයක් කරනවා තියා අපිත් එක්ක කතා කරන්නත් අකමැත්තෙන් වගේ මොනවද කියලා ගේ ඇතුලට ගියා ගියාමයි ආවේ නැහැ එළියට..බලං ඉඳලා බැරිම තැන අපි යන්න ගියා...
මෙන්න එයින් මාස හත අටකට පස්සේ හවහක මං පාරේ එනකොට ගේට්ටුව අරගෙන පාරට පැනලා මල්ලියේ කියලා කට පුරා හිනා වෙලා කතා කරලා
"හෙට අනිද්දා අපේ කුඹුරේ ගොයං කැපෙනවා ඕං මේ පාරත් වරද්දන්නේ නැතිව එන්ට ඕන ඈ.." කියපි...
"අනේ තොගේ අම්මට" කියලා හිතිං කියන ගමන් මං "බලමු අයියේ මේ දවස්වලනං වැඩ වැඩී පුළුවන් උනොත් එන්න බලන්නං" කියලා එන්න එනකොට "අනේ එහෙම කියලා කොහොමද ඔන්න එන්නම ඕන ඈ.." කිව්වත් මං නෙවෙයි ආයේ පැත්ත පළාතේ ගියේ.. එක දවසක් උදේ වරුවේ මෙන්න මුංදෑ බයිසිමොටෝ එකේම නැගලා ඇවිත් මාව එක්කහු කරං යන්නම...
උදේ පාන්දරම පලකෝ කඹුරන්ට.. මං වෙන වැඩක් පිට දාලා නිකං හිටියා.. මෙන්න හවස් අතේ අයේ ඇවිත් හොයන්ට..බැලින්නං එදා එන්ට කියපු එකෙක්වත් ඇවිත් නැහැ ගොයං කැපිල්ලට මෑන් තනියම බලං හිටලා... ඉතිං ගොයං කැපිල්ල හබක්... හවස එනවා නිකං හුළං බැහැපු බැලුම වගේ ඇකිලිලා...
ඒ වෙනකොට මං දන්නවා කතාව.. මොකද දවාලේ තව තැනක ගොයං කැපිල්ලක් වෙන අතරේ ඔය හාදයාගේ ගොයං කැපිල්ල ගැන කතා වෙලා හිටියේ අපි ඒ වෙනකොටත්... අන්තිමට මෑන් ඇවිත් වෙච්ච හරිය කියනකල් ඉඳලා මං කෙලින්ම කිව්වා අනිත් උන් කියාපු කාරණාව... මේ පාර අත්තමට නොයන උදවියගේ ගොයං කුලියට මිස නිකං කපන්න කට්ටිය හොයා ගන්න බැරි වග... අන්තිමට අපි හතරදෙනෙක් ඒ ගොයම කැපුවා කුලියට... ගොයම කපන්න විතරයි කුලිය කිව්වේ.. මෑන් හිතුවේ අපේ රුදාවට ඒක ඇදලා පාගලා දීලත් යයි කියලා.. ඒත් ඒ එකක්වත් එහෙම උනේ නැහැ..කපලා ඉවර වෙලා අපි යන්න යනකොට මෑන් කියනවා අනේ මල්ලිලා තරහා නැතිව ඔය ටික වත්තට ඇදලා යමු නේද..මහ ගොඩක් නැහැනේ කියලා... මොන විකාරද..? එව්වා හදේ..අන්තිමට ඇදිල්ලටත් ගානක් පොරොන්දු වෙලා ඒකත් ඇදලා තමා අපි යන්න ගියේ... එහෙම මිනිස්සුන්ට එහෙම නොකර කොහොමද..?
ආ තව කතාවක් ඔන්න ඒ අස්සේ මතකෙට ආවා.. ඒත් මෑන්ස්ලා ගැනම තමා ඒ ඇවිල්ලා මල බතක් ගැන කතාවක්...
මල පත කියන්නේ මොකක්ද කියලා නොදන්න අය නැහැනේ.. ගෙදරක මරණයක් උනාම මිනිය උස්සනකල් ආයේ ඒ ගෙදර කෑමක් බීමක් හැදෙන්නේ නැහැ..කොටින්ම ලිප ගිනි මෙලවිල්ලක් නැහැ... දවසක් දෙකක් මිනිය ගෙදර තියාගෙන එයින් පස්සේ අවසන් ආගමික වතාවත් එහෙම කොරලා අහවර වෙලා මිනිය සොහොන් බිමට ගෙනියන්ට ඉස්සුවයින් පස්සේ තමා ආයේ ඒ ගෙදර ලිපක් පත්තු කොරන්නේ... මුලින්ම ගේ හෝදලා අර මිනිය තිබුන තැන තාවකාලිකව ලිපක් හදලා එතන කිරි මුට්ටියක් උතුරෝලා ඒ කිරි මුට්ටියටම කහ ටිකක් යහමින් දාලා ගේ පුරා ඒ කහ වතුර ඉහලා තමා ආයේ ගෙදර වැඩ පටන් ගන්නේ... ඒත් ඔය මිනියේ ආගමික වතාවත් කෙරෙන අතරේම වගේ ගෙයින් පිටත කොහේ හරි ලිප් ගල් බැඳගෙන තමා මල බත උයන්නේ...
පළාතෙන් පළාතට ඔකේ වෙනස්කං තියෙන්ට ඇහැකි..ඒත් අපේ පැතිවල මල බත සකස් වෙන්නේ මෙහෙමයි...
බත්... ඒකටනං ඉතිං සුදු බත් රතු බත් කියලා භේදයක් නැහැ.. මල ගෙදර අයට කුඹුරු තිබුනනං තියෙන කොයි හාල උනත් උයනවා.. වැඩි හරියක් ඉතිං තම්බපු සුදු නාඩු හාල් තමා.. එහෙමත් තැනක රතු හාලුත් ඉදෙනවා...ඒත් කලාතුරකින්... මල බතට කඩෙන් හාල් ගේනවා අඩුයි සාමාන්‍යයෙන්.. ගෙදර කුඹුරු නොකෙරෙනවනං අහල පහළ හරි කුඹුරු කෙරෙන ගෙදරකින් කුඹුරු හාල් ටිකක් ඇන්න එනවා.. කුඹුරු හාලේ තියෙන පුසුඹ කඩේ හාල්වල නැහැ...
වට්ටක්කා මාළුව... මේක අනිවාර්ය අංගය.. ඒකනේ ඉතිං මල ගෙයක් උන ගමන් ඔන්න වට්ටක්කා ඩාන්ස් එකක් කියලා කියන්නත් සමහරු පුරුදු උනේ...
කරවල හොද්ද.. මේකටනං ගන්නේ කට්ටා කරවල තමා...කට්ටා කරවල ඉව්වම ඒ හොද්දේ සුවඳ පළාතේම පැතිරෙනවා... කූලිවල මස් ගතිය ටිකක් අඩුයි..කටු තමා වැඩි.. ඒත් හොද්ද ගෑවුන තැන කතහැකි...
ඇඹුල් කෙහෙල් මාළුව... දැන් ඔය අපි අළු කෙහෙල් මාළුවට උයලා කන්නේ ආන්න එහෙමම උයාපු ඇඹුල් කෙහෙල් මාළුවකුත් මේ මල බතට අනිවාර්යයි...
ඔන්න ඔය ජාති ටික තමා අපේ පැතිවල මල බතේ අනිවාර්ය අංග වෙන්නේ...ඒත් මෙන්න මේ කියාපු මල ගෙදරදී ගමේ පළවෙනි වතාවට වෙනසක් උනා.. ඒ තමා මල බතට අඳාල කෑම වලට අමතරව ලූණු සම්බෝලයක් පැමිණීම...
කොහේ ගියත් මල බතකට මුලින්ම වාඩි වෙන්නේ ගමේ කොල්ලෝ ටික.. ඒ කියන්නේ අපි තමා... ආයේ ඉතිං ලැජ්ජා වෙවී පැත්ත ගහලා ඉන්නේ නැහැ.. වාඩි වෙනවා වගේම තමා මදි නොකියන්ට නෙලනවා... ගෙවල්වල මිනිස්සුත් ඔය වෙලාවට ඉන්නේ බොහෝම හිතේ කණගාටුවෙන් හින්දා උන්දලත් අර මලගිය ඇත්තට පින් සිද්ධ වෙන්ට කියලා දෙන පලවෙනි කෑම වේල නෙව මේ.. ඉතිං ඒක අපි හිතේ මනාපෙන් හොඳ හැටි භුක්ති විඳිනවා බලන්ට ඒ කවුරුත් කැමතියි.. දැන්නං ඉතිං මල බත කන එකත් හෙන ලැජ්ජාවට කාරණයක් වගේ සලකන යුගයක්නේ.. ඒත් ඒ දවස්වල ඕක බොහෝම වැදගත් චාරිත්තරයක්...
මිනිය තියාපු සාලෙම බිම පැදුරු එළලා ඒකේ අයින දිගට වාඩි උනාට පස්සේ අත හෝදන්න වතුර එකක් අල්ලං යනවා..අත හෝදා ගත්තට පස්සේ හැමෝම ඉස්සරහින් ලොකු කෙහෙල් කොලයක් එළං යනවා... එයින් පස්සේ ලොකු බේසමකට දාගෙන ආව බත් එකක් දෙන්නෙක් විහින් අර කෙහෙල් කොලෙට බෙදාගෙන යනවා... ඊ ළගට කට්ටා කරෝල හොද්ද... වට්ටක්කා..ඇඹුල් කෙහෙල් වෑංජනේ.. පිළිවෙලට බෙදං යනවා.. එයින් පස්සේ තවත් කෙනෙක් පන්කොල වට්ටියකට කෙහෙල් කොලයක් එලලා ඒක අල්ලං යනවා ඉස්සරහින්.. කෑමට වාඩි උන උදවිය අර බත් පතෙන් හොඳට අනාපු බත් කටක් ඒකට දානවා... එයින් පස්සේ තමා වැඩ ඇල්ලිල්ල...
බත් බෙදනවා.. හොදි බෙදනවා.. හොදි වැඩි වෙනවා ආයේ බත් බෙදනවා..බත් වැඩි වෙනවා හොදි බෙදනවා... ඒකේ අහවරයක් නැහැ... හොඳට මස් තියෙන කරෝල කටු කීපයක් බත් පතට වැටුනම ඉතිං හතර මහා නිධානේ පහල උනා වගේ... කොහොම හරි ගංවල කොල්ලන්ගේ කෑමේ ශක්තිය හොඳින් විදහා පාන තැනක් තමා මල බතට වාඩි විල්ල... වට තුන හතරක්වත් බත් බෙදන්න ඇරලා කෑවනං ගොඩම තමා... ටික වෙලාවක් යනකොට ගෙදර උදවියත් හිතේ තිබුන සාංකාව අතෑරලා කොල්ලෝ තරගෙට වගේ බත් කන හැටි බලං ඉන්නවා... ඕවා ඉතිං අපි සුළුවට හිතුවට ඒ වගේ වෙලාවක ගෙවල්වල උන්දලට හිතට හරි සැහැල්ලුවක් දෙන වැඩ...
ඉතිං මං කියන්ට ගියේ ඒක නවෙයිනේ.. අර මල ගෙදරදී මල බතට අළුත් අංගයක් එකතු වීම ගැනනේ... වෙනදා වගේම අඩු වැඩිය බෙදං යන අතරේ මෙන්න ගෙදර උන්දෑ කෙනෙක් දුවගෙන ඇවිත් ලොකු වීදුරු භාජනේක දමාන තක්කලියි ලූණුයි දාපු සම්බෝලයක් බෙදං යන්ට තියා ගත්තා... හැම කෙනාම ටිකක් අමුතු උනා... කට පියං ඉන්න බැරි කමට එකෙක් ඇහුවා ඇයි අක්කේ මේ ළුණු සමබෝලයක් කියලා... ගෙදර අක්කණ්ඩි හිමිහිට වගේ කියනවා අනේ අපේ වැඩ කරන තැන්වල අයත් ඇවිත් ඉන්නවනේ... නිකංම නිකං විදියට මල බත බෙදුවම හරි මිදිනේ.. ඒ හින්දා මොනවා හරි වැඩි යමක් දෙන්ට කියලා තමා මේක කලේ කියලා...
ඇත්ත කතාව අක්කගෙයි අයියගෙයි වැඩ පොලවල ඈයෝ කිහිප දෙනෙක් ඇවිත් හිටියා තමා... හැබැයි උන්දලාගෙන් වැඩි හරියක් ආවා ගියා...සමහරු මල බතට වාඩි වෙන්න කිව්වම මග ඇරලත් ගියා..අන්තිමට ඒ ආපු උදවිය මල බතක් කෑවේ නැහැ.. ඒත් අමුතු තත්වයක් හදාගන්න මෙවුන්දලා මල බත මොඩ් කරලා... පවුලේ වග විභාග හොඳින්ම දන්න හින්දා කට්ටිය මූනෙන් මූණ බලා ගත්තා විතරයි.. කිසි කතාවක් නැතිව මල බත කෑවා..හැබැයි වෙනදා වගේ දෙතුන් පාර කෑමක් නැහැ..එක පාරින් අත් හෝදගෙන නැගිට්ටා... ලූණු සම්බෝලේ කෙහෙල් කොලේ පැත්තකට වෙන්න ඉතිරි වෙලා තිබුනා... එච්චරයි...
ඒ තමා අපේ ගමේ මුල්ම සම්ප්‍රදායෙන් පිට පැන්න මල බත... හැබැයි එයින් පස්සේ කාලෙක වෙන වෙන තැන්වලත් ඕකට පරිප්පු..බෝංචි වගේ දේවල් එකතු වෙන්න ගත්තා... කොහොමත් එකෙක් එකක් කලාම අනිත් උන් දෙකක් කරන්න හදන එක සාමාන්‍යයිනේ.. හැබැයි ඒ වෙනස්වීම් එක්කම ඉස්සර වගේ මල බතට හරි බරි ගැහිලා වාඩි වෙන කොලු පිරිස නැති වෙලා ගියා... දැන්නං මලබතක් කාපු කාලයක් මතක නැහැ... සමහර විට දැන් ඕක දෙනවා ඇත්තේත් කේටරින් සර්විස් හරහා බුෆේ ක්‍රමයට වෙන්න ඇති... ඒත් අර ඉස්සර තිබුන මල බත වගේ ගෙවල්වල මිනිස්සුන්ගේ හිත් වල සාංකාව දුරු කරන්න ඇහැකි විදියට මල බතට වාඩි වෙලා මල ගිය පරාණකාරයට පින් දීලා බඩ පුරා මලබත ගිලින උදවිය ඉන්නවදත් මංදා...
මදෑ මං ලියන්න ගත්තේ වෙනම කතාවක්..ඇත්තටම මේ දවාලේ නින්ද ගැනයි මේක ලියන කොට මගේ හිතේ තිබුනේ.. ඒත් අන්තිමට වෙන වෙන අත්වල කතාව ගියා.. ඒ නින්ද ගැන ඊ පස්සේ ලියමු දැනට මේ ඇති...
1
ReplyDeleteහප්පේ..පොඩිකාලෙ ඕක කන්න භය උන තරමක්..ඒත් පස්සෙ පස්සෙ හුරුඋනේ කොහොමද කියල මතක නෑ.මිනිය ඉස්සුවත් පෙට්ටියෙ වාර්නිෂ් ගඳයි,එතන බිම පොල්තෙල් පාන ළඟ පොල්තෙල් වැටිල,ඒ සුවඳයි එක්ක මටනම් දැනුනෙ මළගිය ප්‍රාණකාරය ළඟ ඉන්නව වගේ.අව්රුදු අටකින් විතර කන්න නොලැබුනත් මොකෝ,කියවල කටට ආපු කෙලටික...අය්යෝ වට්ටක්ක ඩාන්ස්....
ReplyDeleteඒ විතරක්ය...හත්දවසේ බණ දවසටත් මිනිය තිබුන තැන පැදුරු එලුවත් වාඩිවෙන්න බයයි නෙව.!
Deleteමම නම් මළ බත් තියා දානෙකටවත් කන්න යන්නෙ නෑ පුරුද්දක් වශයෙන්ම. දානෙට කලින් දවසෙ බණට ගිහින් යුතුකම කරල එනව මිස. හැබැයි අපේ පැත්තෙ ඔය විදියෙ මළ බත් දීමක් ගැන නම් මම දන්නෙත් නෑ. පොඩි මුට්ටියකටද කොහේද මෙහේ ඕක උයන්නෙ.
ReplyDeleteකෝ කලින් දාපු කමෙන්ට් එක. ඒක මැකුවෙ ඇයි? මම නම් ඔය සමහරු ඒ ගැන නෝක්කාඩු කියන නිසාමයි ‘1‘ දාන්නෙ, නැතුව වෙන අහවල් එහෙකට නෙවෙයි ඕං.
Deleteඅනේ නැහැ මකලා නෙවෙයි..මං මේක පෝස්ට් කරලා කෙලින්ම ගියා රෑට කෑම කන්න... දැන් තමා ආවේ.. ඔන්න ස්පෑම් ගොඩට ගිහින් තිබිලා හරි ගැස්සුවා...
Deleteමල බතක් කාපු කාලයක් මටත් මතක නැහැ
ReplyDeleteඅබුද්දස්ස කාලේනේ මේකේ එහෙම එකේ ඕකත් වෙනස් නොවී කොහොමද?
දැන් සමහරු කලින් කරන්න වැඩක් පලක් කරල, කනත්තට ගිහින් එහෙම්ම යනව මිසක් මල බතට එනව අඩුයි නේ. ඒ වගේම තමයි දානෙටත්, කලින් දවසෙ බන අහන්න එනව මිසක් දානෙට සහබාගී වෙනව අඩුයි. මලබතට, දානෙට ඉන්න එක ලැජ්ජාවක් වෙලා.
ReplyDeleteඔය සිද්දිය වුනේ කොයි කාලෙද කියන්න මම හරියටම දන්නෙ නැති උනත් 77 න් පස්සේ අපේ රටේ සන්ස්කෘතිය සහ එහි සියුම් අන්ගයන් වාණිජ ලෝකයට ගැළපෙන පරිදි වෙනස් වුනා. මළ බත වෙනස් වීම වාණිජ ලෝකයට ගැලපෙන පරිදි මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්වීම හරහා සන්ස්කෘතියේ සියුම් අන්ගයන් වෙනස් වීම පිළිබද කතාවක් ද වෙනවා.
ReplyDelete77කතාව කොහොම උනත් මමනම් ඕක දැක්කෙ 98 දි වගේ..(මාරයා කිව් විදියට, තක්කාලි සම්බෝලෙ)දැන්නම් කොහොමද දන්නෙ නෑ..
Deleteරතු රජරට එක්ක එකඟයි
Deleteඅත්තමට වැඩ කරනව කියන්නේ බොරුවට හොඳහිත තියාගෙන කරන්න පුලුවන් දෙයක් නෙමේ
දැන් ඉතින් ඒ කාලේ වැපුරුණු දේ ඵල නෙලන කාලේ
නියමයි මාර අයියේ මේකෙන් අපේ ගම් වල තිබ්බ ඉදි ක්‍රමයක් ගැන දැන ගත්තා,
ReplyDeleteඅපේ පැත්තෙත් (කොත්මලේ) ඔය විදිහටම නොවුනත් යම් යම් චාරිත්‍ර වාරිත්‍ර තිබ්බ මළ ගෙවල් එක්ක බැදිලා, හැබැයි ඒවත් දැන් අඩුවෙගෙන යනවා,
නුවර පැත්තෙනම් සියල්ල මොඩ් වෙලා තියෙන්නේ, කේටරින් සර්විස් එකේ වැඩ තමයි එදාට
දැන් නම් ගොයම් කපන්නේ සුනාමියෝ, භූතයෝ, පිශාචයෝ, කුම්භාණ්ඩයෝ නේ. මට එක වරටම ඒ අතීත වී ගොවිතැන් සම්ප්රදායේ අප දුටු ජවනිකා රැසක් මතකයට ආවා. මම උපන් කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු මීහරකුන් යොදා හානකොට මඩ පෝරුවේ නැගලා ගියහැටි. පෝරු ගෑවම කුඹුරට එන අලංකාරවත් පෙනුම. මහා උස ගොයම් ගස්. ලස්සන නෙලුම් කවි කියමින් නෙලන කාන්තාවෝ. රාත්‍රියේ පෙට්රොමක්ස් ලාම්පු එළියෙන් අපි කොලගොන් ගහපු හැටි. කුරුණි පෙට්ටියේ එන ඇඹුල බඩ පැලෙන්න දෙසා බාපු හැටි. ඒ හීනය මතක් කලාට ස්තුතියි.
ReplyDeleteඒ කාලේ අපේ ඉස්කෝලෙට කුඹුරක් තිබුනා. ලොකු අයියලා වැඩ කරන්නේ. අපි අතවැසියෝ. ගොයම් කපන්න බාලිකා විද්‍යාලයේ දැරියනුත් එනවා රෙද්ද හැට්ටේ ඇඳලා. ගොයම් කපලා මිටි බැඳලා ගෑනු ළමයින්ගේ හිස මතට ගොයම් මිටිය තියන අයියලා, හෙමින් ගොයම් මිටියෙන් අදිනවා. එතකොට අර ළමයා ඒ අයියගේ ඇඟටම එනවා. අයියා එහෙමම බිම වැටුනම අර ළමයා එයාගේ ඇඟ උඩ. අනේ ඊළඟ අවුරුද්දේ ඒ ළමයි ගොයම් කපන්න ආවේ නැහැ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ආව් ආව් අම්මේ ඒ කතාවේ රහ
Deleteදැන්නම් මලබතට ඉන්න සමහරු අදිමදි කරනවා තමා ....
ReplyDeleteමම නම් මළ බතක් කන්න ලැබුනොත් මිස් කරන්නෙ නම් නෑ.ලිපිය දිග උනාට ආසාවෙන් කියෙව්වා මාර :)
ReplyDeleteමළ බතට ලූණු සම්බෝලයක් නැද්ද ?
ReplyDeleteමාරයා කියන විදිහට ඔය චාරිත්‍ර වල මාර වෙනස්කං තියනව එක එක පලාත්වල,
ReplyDeleteමාරයා කියන පැත්තට හැතැම්ම පහලවක් නැති කැන්දලියද්දපාළුවේ මළබතට ඉස්සෙල්ලම වාඩීවෙන්නේ මිනීවළ කපපු කට්ටිය,
ඊලගට ඉතින් මළගෙදරට වැඩිපුර මැරිච්ච කොල්ලෝ තමා
ඒක අපේ පැත්තෙන් හුඟක් වෙලාවට සිද්ධ වෙනවා. අපේ පැත්ත කිව්වේ වෙන්නප්පුව පැත්තේ. හුඟක් වෙලාවට ඉස්සර වෙලාම මළ බතට වාඩි කරවන්නේ පිටියේ වල කපන්න උදව් වෙච්ච අයව.
Deleteදැන් කාලේ මළ බත කෙසේ වෙතත් මළගෙවල්වල රෑට තනි රකින්න කොලු පරාණයක් හොයා ගන්න තියෙන අමාරුව!
ReplyDeleteමල බත ගැන කථාව කලින් කියලා තියෙනවා මාරයෝ.
ReplyDeletehttp://ctkumara.blogspot.com/2011/08/blog-post_13.html
මොකෝ නිකං එකම සිංදුව දාන්නේ.. සිංදු ඉවර වෙලාද? :P
මල බත කන්න තියා මිනියෙ පාළු කපන්න නයිට ගහන්න කොල්ලො දෙතුන් දෙනෙක් හොයා ගන්න හෙන කට්ටක් කන්න ඕනනේ
ReplyDeleteඅනේ බං උඹලටත් දෙන දෙයක් කාල එන්න බැරි හැටි හැබෑටම......! ඇයි උඹලට ලූණු සලාද ටිකක් කෑවා කියලා ආපහු අර මැරිච්ච එකා ඇවිත් රෑට බෙල්ල මිරිකනවද ?
ReplyDeleteමම අන්තිමට මල බතක් කෑවෙ ගිය අවුරුද්දේ නිවාඩුවට ආපු වෙලාවෙ. ඇත්තටම මල බත් දෙකක් කෑව එක ලඟ දවස් දෙකකදි. එහේ ඉන්න යාළුවෙක්ගේ නැන්දම්මයි තව යාළුවෙක්ගේ තාත්තයි නැති උනා. තාත්තා නැතිවෙච්ච යාළුවා කතෝලික. ඔය ඇළකන්ද පැත්තේ. ඒ බතටත් ලූණු සලාදෙකුයි, කොස් මැල්ලුමකුයි, කරෝල හොදි සහ වට්ටක්කා තිබුනා. මොනවා උනත් පුදුම රහක් අප්පා ඔය මළ බත් වල තියෙන්නේ නම්.
හැබැයි මම කවදාවත් උඹ කියන විදිහට බිම වාඩිවෙලා නම් කෑවේ නෑ. ෂෝක් එකට මේසෙකට ඇරලා තිබුනු කෑම මේසෙකින් බුෆේ ක්‍රමේට බෙදාගෙන එලියේ තියෙන පුටුවක හරි බරි ගැහිලා තමයි වැඩේ දුන්නේ.
මාරයියේ උඩ තියෙන ඡන්දයේ, බ්ලොග හොදායි කියල දාන්න ඔප්ෂන් එකක් නැහැනේ බොල..
ReplyDeleteකොහෙද එහෙම එකක් තියෙන්නෙ. හැබැයි ඒක ඉවර වෙනකොට මේකට ගැලපෙන විදියටම චන්ද ටික හම්බවෙලා තිබුණ.
Deleteඅපේ පැත්තේ ඔය වගේ සීන් නෑනේ.මිනිය තියෙද්දිම වෙන ගෙදරක කන්න දෙනවා එච්චරයි
ReplyDeleteමොකද බං උඹ පරන තැටි ආයෙ වාදනය කරන්නෙ.
ReplyDeleteකොහෙද බං මේකෙ දවාලෙ නින්දක් ගැන කියල තියෙන්නෙ. දැන්නං උඹට මොනවහරි පාවිච්චි කරන්න වෙනව මේක ලියන්න. :D
පොඩි කාලෙනම් මල බත කන්න මම හරිම බයයි . මොනව නිසා එහෙම බය උනාද කියන්න මතකයක් නෑ . දැන්නම් අවස්ථාවෙ හැටියට කාල එනවා . ඒත් උනු උනුවෙන් තිබ්බොත් විතරයි කන්නෙ . අපේ පලාතෙනම් කෙසෙල් මාලුව හදන්නේ නෑ . වට්ට්ක්කා හා කට්ට් කරවල හොදිත් . ඔබ කිව් ආකාරය තක්කලි සම්බලයකුත් අලුතින් එකතු වෙලා .
ReplyDeleteපොඩි කාලෙදි නම් මල බත කාල තියෙන්නෙ ලඟම ඥාතියෙකුගෙ මල ගෙදරකදි විතරයි. අපේ පැත්තෙනම් ඔහොම කෙහෙල් කොලේ එලල බත් දෙන්නෙ වල කපපු අයට විතරයි. අනිත් අයට බේසම් වල දාල බෙදාගෙන කන්න දෙනව. වැඩියෙන්ම මල බත් කාල තියෙන්නෙ කැම්පස් එකේ ඉන්නැද්දි. මාරය කිව්ව වගේ අමුතු කෑම ජාති මල බතට තියනව දැක්කෙ එහිදි තමයි. එක එක පලාත්වල එක එක විදියට ඕක දෙන හින්දා, අලුතෙන් එකතු වෙච්ච ඒව මොනවද මන්ද.
ReplyDeleteකැම්පස් එකක ලමයෙක්ගෙ ගෙදරක මලගෙයක් උනොත්, ගෙදර මිනිස්සුන්ට උයල ඉවරයක් නෑ. රැයක් දවාලක් නෑ. අහල පහල උදවියට කෑම දීල පිරිමහන්න බෑ කෝකියො දම්මල උයවන්න වෙනව. සමහර වෙලාවට හිතෙනව දුකෙන් ඉන්න ගෙදර අයට මොන කරදරයක්ද මේ කරන්නෙ කියල.
අම්බලන්ගොඩ හෙම නම් මල බත ක් කියල එකක් නැත! මරණයක් උනා කියල ගෙදර ඉවිලි නතර වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ට දවල්ට කන්න දෙනවා මිනිය උස්සන්න කලින්. ඊට පස්සේ සොහොනට ගිහින් ආවාම දෙන්නේ තේ.
ReplyDeleteඑක එක පළාත් වල සිරිත් තමයි. :)
අම්බලන්ගොඩ පැත්තෙ, මිනිස්සු මැරුනාම නැකතුත් බලනවා නේද?... මිනිය උස්සන්නත් නැකතක් බලනවා.... ආදාහනය කළාට පස්සෙ අළු එකතු කරලා මුට්ටියක දාලා මුහුදෙ පා කරනවා.... තවමත් එහෙමද මන්දා....
Deleteආච්චි, සීයා ගේ මරණ ගෙවල් වලදී අපේ ගෙදර නම් නැකත් බැලුවේ නැහැ. අළු පා කරන එක නම් කරා ...
Deleteඔව් මාත් දන්න විදියට අම්බලන්ගොඩ සමහර අය නැකැත් වලට තමයි දෙන(මිනිය) උස්සන්නෙ.
Deleteඅපේ පැත්තේ නම් අළු කෙසෙල්වත් ඇඹුල් කෙසෙල්වත් දෙනවා මන් දැකලා නැහැ
ReplyDeleteවට්ටක්ක, තක්කලි සම්බෝල සහ කරෝල හොද්ද දැණ් බෝංචි පරිප්පුත් දෙනවා. මන් නම් අන්තිම දවසේ මළගෙදරක ගියොත් මළබත නොකා නම් ආපහු යන්නේ නැහැ. ඔය මළබත් කියන එකෙන් ගෙනියන්න පාර්සල් ඔතාගෙන ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක එතන ඉඳන් කනන් ඕනේ කියලා සිරිතක් තියෙනවා.
මළ බතේ චාරිත්‍ර අදයි මම දැන ගත්තෙ....හැම මළ ගෙදරම වගේ අවසන් වතාවත් කරනකොට මළ බතට ආරාධනා කළාට එහෙම විශේෂයෙන් කියලා ගිහින් නෑ.... අපේ අත්තම්මල, සීයලගෙ මළ ගෙවල් තිබුනට මට ඒවා කොහොම කළාද කියල මතකයක් නෑ....
ReplyDeleteඅපි පුංචි කාලෙ නම් මිනිය තියෙද්දිම අහල පහල ගෙවල්වල තමයි කෑම ලැහැස්ති කලේ.... මේසෙට ඇරලා තියෙනවා බෙදාගෙන කන්න.... පස්සෙ කාලෙකදි අහළ පහළ ගෙවල් වලින් ගෙනැත් මළ ගෙදරම කෑම දෙන තැනුත් තිබ්බා.... ඒත් ඒවා 'මළ බත' කියන එක නෙවෙයි නේද? ඒවයෙත් වට්ටක්කායි, කරවල හරි හාල්මැස්සො හරි හොදියි තමයි තිබුණෙ ප්‍රධාන වශයෙන්ම.... තව තැන්වල මයියොක්කා හෙමත් තිබ්බා.... පහුවෙනකොට මස් ජාති හැරුනම අනිත් හැම දෙයක්මත් තිබ්බා....
කොමෙන්ට් කියැව්වේ නැහැ. තව අය කියලා තියෙනවද දන්නෙත් නැහැ. නැත්තං මං හිනෙන් දැකලද දන්නෙත් නැහැ. ඔයා මළබත ගැන වෙනම පෝස්ට් එකක් කලින් ලිව්වා නේද? අර කවුද වගේ ඒකට කෙලින් රූට් ලිංක් එකක් නොදා ආයෙම ටයිප් කලාද ඈ? නැත්තං දවල්ට කාලා බුදිමත වැඩිකමට ටයිප් කරන්න කම්මැලි හිතිලා එතැනින් කොපි කරලා මෙතැනට ගත්තද ඈ? :D :D :D
ReplyDeleteදැන් නම් මල මිනිය තියෙද්දී ගෙදර මිනිස්සුන්ට කෑම හදන්න වෙනවා එන අයට දෙන්න. ඉතින් වෙනම තැනක් හදලා උයන්න කෝකියෙක් දෙන්නේ දාන්න වෙනවා. ඊට හපන් බොන්න දෙන්න වෙන එක. මල ගෙදරක් ඉවර උනාම මුළු පවුලම හාන්සි ..
ReplyDeleteඒක තමයි. මගුලක් වගේයෑ මළ ගමක්. ප්ලෑන් කරලා වෙන්නේ නැහැනේ. ඉතිං යන හැමෝ ම කන්න බලාගෙන ගියහම ලොකු ලෙඩක් තමයි.කෑම දුන්නේ නැත්තං බැන බැන එන හැටියක් දැන් උදා වෙලා තියෙන්නේ. අපේ අම්මලාගේ ගමේ නං මරණාධාර සමිති විවිධාකාර එව්වා තියෙනවා. සල්ලි දෙන, හාල් දෙන, උයන පිහන භාජන ආදී බඩු මූට්ටු දෙන, ඒ විතරක් නෙමෙයි උයලා දෙන්න මහිලා සමීතිය ඉන්නවා. ඉතිං ඒ අතින් නං ඕවාට බැඳුනා නං ගමේ අයට එච්චර අමාරු නැහැ මළ ගෙයක් වුනහම. අපේ ආච්චි කෙනෙක් ගිය අවුරුද්දේ වගේ නැති වුනා. එයාගේ දරුවෝ රට වටේ ට කසාඳ බැඳලා ඉන්නේ. ඒ ගම් වල සෙනඟත් බස් පිටින් ආවේ. ඒ වෙලාවේ මහිලා සමිතියේ කාන්තාවෝ ටික උයලා පිහලා බෙදලා අවසානෙට සියලුම දේවල් හෝදලා වැඩ අවසන් කරලා තමයි ගියේ.
Deleteළුණු සම්බෝලේ ආවට ඇයි කට්ටිය ඔච්චර අකමැති වුනේ?
ReplyDeleteමට මේ පෝස්ට් එකේ 'කරවල'කියන වචනය සෑහෙන කැපී පෙනුනා.ඒ තරමට මම කරවල කන්නට ආසද?_සිතමින්_
ReplyDeleteමාරෙ, මම නම් අහලා තියෙන්නෙ වට්ටක්කයි, බල කරවලයි මළ බතට දෙන්නෙ කියලා. ඇයි තව මැල්ලුමක් හරි ලූණු සලාදයක් හරිත් තියෙනවා නේද? මට මතක එහෙමයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මල බතකට සලාද කියන ඒවා ගැලපෙන්නේ නෑ. විශේෂයෙන්ම ළූණු සලාද. ඔය ළූණු වල තියෙනවා විෂබීජ උරාගන්නා විශේෂ ගුණයක්. දෙය්යන්ගේ ලෙඩ කියල අපි කියන ලෙඩ හැදුනම සමහරු ළූණු පෙති කපල පීරිසියකට දාල තියෙනවා ටික වෙලාවක් යද්දී කපපු ළූණු පෙති නිල් පාට වෙනවා ඒ ළූණු වලට උරාගත් විෂබීජ නිසා (ඕක ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නන කියන්න එපා කාලෝ ෆොන්සේකා මහත්තයල වගේ ) එනිසා තමා කොල්ලෝ ටික නැගිටලා ගියේ මම හිතන්නේ.
ReplyDeleteමළගෙයක් කියන්නේ විෂබීජ ආකාරයක් කියල ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? එහෙව් එකේ ළූණු සම්බල කන්න කවුද කැමති වෙන්නේ මලගෙදරකින්.. තව අපේ කට්ටිය කරන වැරද්දක් තමා මල ගෙවල් වලට පිළියෙළ කරනලද බීම වර්ග වලින් සංග්‍රහ කරන එක. මල ගෙදරකදී ඒ වගේ බීමකට විෂබීජ එකතු වෙන්න තියෙන ප්රවනතාවය වැඩි.පෞද්ගලිකව මමනම් කැමති නෑ මල ගෙදරකින් එහෙම හම්බ වෙන බීම බොන්න. ඒ නිසා තමා ඉස්සර ඉඳලම ඔරේන්ජ් බාර්ලි බෝතල් ඕකට යොදාගත්තේ.
ReplyDeleteමේ අදහස නම් හරියට හරි. මළ ගෙදරක් කියන්නෙ විෂ බීජ හුඟාක් තියෙන තැනක්. ඒ වෙලාවට ඒ අහළ ඉඳගෙන කෑම බීම ගන්න එක නම් එතරම් හොඳ දෙයක් නෙමේ.
Deleteමලික් මම දැකලා තියනවා එක ගෑණු කෙනෙක් ලෙඩ වෙලා මැරූණ ගෑණු කෙනෙකූගේ මූණ අතගගා අඩ අඩා ඉදලා කූස්සිය පැත්තට ඇවිත් පාන් පෙති වලට ජෑම් ගානවා.
Deleteඅටම්පහුර....... උඹ ඒ ගැණු කෙනා ගැන විශේෂ අවදානයකින් නේද ඉඳල තියෙන්නේ.. නැත්නම් කොහොමද ඔච්චර සීන් එකක් මීටර් වෙන්නේ හි හි
Deleteනැ උන් දැ හරි ලස්සනට ඇඩුවා ඒකයි මම බැලුවේ.( රහසින් උඹත් දැක්කද මම උන්දැ දිහා බලනවා.
Deleteඅපේ ගම් පලාත්වල ඔහොම නැතත්. කැළණිය පැත්තේ තියෙන්නේ ඔය ක්‍රමේ තමයි. දැන් නම් හයි ෆයි ගෙවල්වල මැරුණ වෙලාවේ ඉඳලා වලදාන දවසේ රැ වෙනකන් කේටරින් මස් මාළු ඔක්කෝම එක්ක මගුල් ගේ වගේ. එහෙම දන් දුන්නට "මිය ගියේ ඔබ නොව අපයි" කියලා ඒක මැරිච්ච එකාට දැන ගන්න බැනර් එකක් දානවා. ගොක්කොලයක් එල්ලන්න තැනක් නෑ. බැනර්. වෛශ්‍යාවන්ගේ සංගමයෙන් හැර අනික් හැම සංගමයෙන්ම දානවා.
ReplyDeleteමේ ළඟදි යාලුවෙක්ගේ තාත්තා මැරිලා මළ ගෙදර ගියා. කනත්තට ගිහින් ආදාහන කලැයින් පස්සේ දුක තුනී කරගන්න යාළුවෝ ටික රෙස්ටුරන්ට් එකකට ගොඩ වෙලා දිව්‍ය අවුසදේ පොඩ්ඩක් පානය කලා ඩෙවල් පෝක් එක්ක. ඉතින් ඒ පෝක්ටත් පින්දීලා කට්ටිය යන්න සෙට් වෙලා එකෙක් කිව්වා මචන් මළ ගෙදරට ගිහින් මළ බතත් කාලා යමු නේද කියලා. ඒ පාර කස්ටියම මළ ගෙදර ගියා. මාර කේස් එක ටෙන්ට් ඔක්කොම ගලවලා ගේට්ටුවත් වහලා. ගෙදර ලයිටුත් නිවලා. ඒ පාර අපි ගෙදර ගියා.
මේ කතාව ඔයාගේ කලින් පොස්ට් 1 ක තිබ්බනේ
ReplyDeleteගොයම් කපනකොට දෙන බතේ රසනම් කියල වැඩක් නෑ..ඒතරම් රසයි....කුඹුරෙ තියෙන මඩ,ගොයම් ඉපනැල්ල,මැඩුවම්.......මේ සියල්ල එක්කැකතු උන පුසුඹ නිසා ද මන්දා පුදුම රසක් තියෙන්නේ..!
ReplyDeleteළඟදීම මල බතක් කන්න ලැබේවා ...
ReplyDelete(අව කැපෙන කතාවක්ද මන්දා )
:)
ඔන්න මමත් ගොඩක් කලෙකට පස්සෙ මරයගෙ හොරවට ගොඩ උන...... මම නම් මල බත කන්න තිය මල ගෙදරකට යන්න බයයි. මලමිනිය හිනෙන් පෙන නිස රෑට .......කොහොම නමුත් වෙනස් වෙන ලොකෙ ඩෙන් මල බතත් වෙනස් වෙල.
ReplyDeleteමාරයාට ගොයම් කවි අමතක වුණාද?
ReplyDeleteමං හිතන්නෙ ගොයම් කවි ගොයමෙ ඉඳන් අහපු අන්තිම පරම්පරාවත් අපි වෙන්න ඇති. මම පොඩි කාලෙ අපේ ගොයම් කපද්දි වයසක ගෑණු අය ගොයම් කවි කියනවා. ඒත් හිටිවන කවි නෙමේ කලින් අහල කට පාඩමේ තියන ඒවා.