09 November 2012

වැල්.. මුල් සහ පෙති...

උදේ ගෙදරින් එන්න පිටත්වෙද්දිම නහය ටිකක් දුක දෙන්න පටන් ගත්තා... සාමාන්‍යයෙන් මට වැස්සට තෙමුණට පිනී බෑවට සෙම් ඇවිස්සෙන ගති..නහය බුරුල් වීම වගේ දේවල් වෙන්නේ නැහැ. ඒත් දුවිල්ල... ඔව් දූවිල්ල තමා..පොඩ්ඩක් හරි දූවිල්ල වැදුනොත් සංසාරෙට ඕන නැහැ... ඇස් දෙක මුල නහයේ උඩ හරියෙන් හීනියට කිතියක් වගේ එහෙකින් පටන් අරං ටික වෙලාවක් යද්දී පටන් ගන්නවා ටැප් එක ඇරියා වගේ... ඔය හින්දා මං කාමරේ අස් කරද්දී.. මකුළු දැල් කඩද්දී වගේම දූවිල්ල ඇවිස්සෙන මොනයම්ම හෝ දේක නිරත වෙන්නේ දෙයියෝ බුදුන් සිහි කරගෙනම තමා... ඉස්සරනං ඔය වෙලාවට ලේන්සු දහයක් විතර තියා ගන්න ඕන... මං ජීවිතේ වැඩිම දුකක් වින්දේ ඔය ලෙඩෙන්... 

ඒත් ඔහොම ඉද්දී තමා දවසක් අම්මා මට බෙහෙත් පෙත්තක් හදුන්වලා දුන්නේ... පුංචි කහපාට පෙත්තක්... අම්මා මට එයින් බාගයයි දුන්නේ... වැඩේ හරි ගියා.. මට ලොකු නිදි මතක් ආවා... ටික වෙලාවක් නිදා ගෙන ඇහැරුනත් හරි නහය බොහෝම වියළියි... අර තිබුන කරදරේ ඇත්තේම නැහැ.. පස්සේ මං ඒ පෙත්තට හුරු උනා... ලෙඩේ හැදීගෙනම එද්දී එයින් බාගයක්.. වැඩේ නිමයි... ඒත් කාලයක් යද්දී පෙති බාගේ මට මදි වගේ... ඒ හින්දා පෙත්තක් ගන්න පුරුදු උනා... 

එහෙම කාලයක් යද්දී පෙත්තක ප්‍රමාණයත් අහන්නේ නැති ගානට ආවා... ඒ කාලේ වෙද්දී මට දවසකට එක පෙත්තක්වත් ගන්න වෙනවා..මොකද හැමදාම වගේ ඔය ලෙඩේ හැදෙන දවස්... වැඩ නොකර ඉන්න බැහැනේ... ඉතිං හැදීගෙන එද්දිම පෙත්තක් බීලා පැය කාලක් ඇල වෙලා ඉදලා වැඩ පටන් ගන්නවා...අන්න එයින් පස්සේ මට නිතර ‍ඔය ඇතිවෙන අසනීප තත්වය නැති උනා... සතියක් දෙකක් අල්ලලා හිටිනවා... ඔය වෙනකොට මේ ගැන අනතුරු අඟවපු අයත් හිටියා... ඇට දිරනවා... වැඩිය හුරු වෙන්න එපා... එක පාර ගොඩක් බිව්වොත් මැරෙනවා... මං ඒකත් පිළිගත්තා... කොහොමත් බෙහෙතක් කියන්නේ ඒ හැටි හොඳ දෙයක් වෙන්න බැහැනේ... අනික මට උවමනාවක් නැත්තං ගන්න ඕන නැහැනේ...

-----------------------------

මළ ගිය ඇත්තෝ... සරත්චන්ද්‍රයන්ගේ ප්‍රසිද්ධ කතාව... මං මුලින්ම කියෙව්වේ මට වයස අවුරුදු 13ක් විතර වෙද්දී... ඒ කියවලා එයින් ටික දවසකට පස්සේ ඒකෙම දෙවැනි කොටස උන මළවුන්ගේ අවුරුදු දාත් කියෙව්වා... හැබැයි මට ඒ කතාව ඒ හැටි මතකයක් තිබුනේ නැහැ.. ඒත් මං ආසම පොත් අතරටනං එකතු උනා... ලංකාවෙන් ජපානෙට ගිය සිවුරු හැරිය පුද්ගලයකුගේ කතාවක්... එහිදී හමුවන තරුනියක හා ගලා යන කතාවක්... ඒ හැටි හොඳ අවසානයක් නොතිබුන කතාවක් කියලා මං තේරුම් ගත්තට ලොකු මතකයක් තිබුනේ නැහැ...

ඊයේ පෙරේදා ආයේම මට හම්බ උනා "මළ ගිය ඇත්තෝ" ආයෙම කියෙව්වා... එදාට වඩා සිහි කල්පනාවෙන්... යම් තරමක අවබෝධයෙන්...

මේ වෙනකොට මාත් සිවුරු ඇරිය පුද්ගලයෙක්... දෙවොන්දරා සං යනුවෙන් හදුන්වපු කෙනාගේ නම මං හිතන්නේ දේවේන්ද්‍ර වෙන්න ඕන... සමහර විට පැවිදි නාමය දේවානන්ද වගේ තියෙන්නත් ඇති... කොහේ දේවානන්දද..? ලංකාවේ කොහේ හරි ගමක නමක් ඒ මුලට යෙදෙන්න ඇති... ඒකෙන් කමක්  නැහැ... ගිහියෙක් වෙලා ඉදලා පැවිදි උනාට පස්සේ අපේ මුල් කැපෙනවා... ඒ වෙනකල් තිබුන ගෙදර දොර එක්ක සම්බන්ධය හිතාගන්න බැරි තරමට ඈත් වෙනවා... ආයේ සිවුරු ඇරලා ගෙදර ආවත් අර කලින් තිබුන තරමට අපේ මුල් ගෙදරට..ගෙදර පරිසරයට.. නෑදෑ හිතවතුන්ට සම්බන්ධ වෙන්නේ නැහැ... නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ... එක අතකට බොහෝම නිදහස්.. අනිත් අතින් අයාලේ යන්න පුළුවන්...

සිවුරු ඇරලා ඇවිත් ඒ ගමන්ම කසාඳයක් බැඳ ගත්ත අයනං තමුන්ගේ මුල් ගෙදරට නැතත් තමන්ගේ අළුත් කුටුම්භය ඇතුලේ අළුතින් මුල් ඇඳ ගන්නවා... ඒත් එහෙම නොවුන අය ආතක් පාතක් නැතිව තමුන්ගේ මුල් කිසිම තැනක අදින්න දෙන්නේ නැතිව ඔහේ පාවෙනවා...

දෙවොන්දරාත් එහෙම තමුන්ගේ මුල් ගැලවුන කෙනෙක්... අවුරුදු 13 දී කියෙව්වට වඩා සිවුරට ගිහින් මුල් හිඳගෙන.. සිවුරෙන් ඇවිත් මුල් නැතිව පාවෙන කොට මිනිහව තේරුං ගන්න පහසුයි...  එක අතකින් බැඳීම් නැතිවීම හරි පහසුවක්... ඒ තුල තියෙන විඳීම මං හිතන්නේ නැහැ ලෝකේ කිසිම දේකින් විඳින්න පුළුවන් කියලා... හැබැයි එහෙම ඉද්දී මොන යම්ම හෝ හේතුවකින් අපිට බැඳීමක් ඇති උනොත් ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන බැඳීමකට වඩා අසීරුයි... පිටතින් බලද්දී ඒක නිකං තීරණයක් ගන්න බැරිව දෙපැත්තට වැනෙන එකෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා... මුලදී මං දෙවොන්දරා සංව දැක්කා වගේ... ඒත් ඒක ඇතුලට ගියාම තේරෙනවා ඇයි එහෙම වෙන්නේ කියන දේ...

ලෝක දෙකක් අතර මහ ගැටීමක්... එක ලෝකයක් ලස්සනයි... හිත් ඇඳගන්නවා... ඒත් ඒකට යටින් තියෙන්නේ මහා බැඳීම් ගොඩක්... අර මතුපිටින් තියෙන සිත් අලවන ස්වභාවයම දවසක තමුන්ට දුක් ගොන්නක් ගේනවා කියලා පැහැදිලිව පේනවා... බැඳීම්වල දුක මිසක් වෙන දෙයක් නැහැ කියන දේ වටහාගෙන ඉන්න කෙනෙකුට ඒක ලේසි නැහැ...

අනිත් ලෝකේ ඒ තරං ලස්සන නැහැ... තනිකම පාළුව වගේ දේවල් නිතරම තමා අවට සරනවා... ලෝකේ කෝටි ගණන් මිනිස්සු සත්තු හිටියත් එහෙම ලෝකවල ඉන්නේ එකම කෙනයි.. ඒ තමා විතරයි... කාත් කවුරුවත් නැතිව... ඇලීමක් බැඳීමක් නැතිව ජීවිතේ දවසක් ගෙවීම හිතන තරම්ම පහසු නැහැ. මනුස්ස සිත හැදිලා තියෙන්නේ නිතර බැදෙන්න...ඇලෙන්න... ඒකයි ස්වභාවය... එහෙම නොවුන තැන හුගක් අසීරුයි ජීවත් වීම... තත්පරයක් තත්පරයක් ගානේ කාලය ගෙවෙනවා කියන එක හොඳට දැනෙනවා... සමහර විට විනාඩියක් ගෙවා ගැනීමත් මහා වදයක් වෙන්න පුළුවන්... පිටින් කරදර නැහැ..ඒත් තමන්ගේ සිතත් එක්කම මහා යුද්ධයක් කරන්න ඕන... එහෙම ඇලෙන්න බැදෙන්න හිත නොදුවන තාක් කල් මේ ලෝකේ හරිම නිහඩයි..ශාන්තයි.. සැනසීමයි... හෙට මොකද වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි... මැරෙනවා කියන එක බියකරු දෙයක් නෙවෙයි... 

කලින් කිව්ව ලස්සන ලෝකේ ඉද්දී මැරෙනවා කියන දේ අති භයංකරයි.. දාලා යන්න තියෙන දේවල් දැක්කම මරණය ගැන හිතන්නවත් හිතෙන්නේ නැහැ... තමන් හොයා සපයා ගත්ත ගේ දොර..වතු පිටි..යාන වාහන... තමුන්ගේ නෑදෑයෝ... විශේෂයෙන්ම දූ දරුවෝ.. එයාලා දාලා යන්න වෙනවා කියලා හිතෙනකොටත් හිතින් මැරි මැරි උපදින්න වෙනවා නිතර නිතර... ඒත් දෙවැනි ලෝකේ මරණය එයිට වඩා සුන්දරයි...  මරනින් මත්තට යන තැන ගැන හරි වගකීමක් තියෙනවනං ඒක තවත් සුන්දරයි... ඒත් කරුමෙට වගේ ඒ කාරනේ දැන ගන්න තරං හිත දියුණු නොකරපු කෙනෙකුට සර්ව සම්පූර්ණත්වයකින් මැරෙන්න වෙන්නේ නැහැ.. ඒත් එයින් කියැවෙන්නේ නැහැ මරණය නරකයි කියලා... එහෙම තත්වයකින් උනත් මරණය අර කලින් ලෝකෙට වඩා සිය දහස්ගුණයකින් සුන්දරව පේනවා...

----------------------------

දෙවොන්දරා සං එක මොහොතකදී තමා සන්තකව තියෙන නිදි බේත් ගුලි වගයක් ගිලිනවා... මරණය අපේක්ෂාවෙන්... මට ඔය කෑල්ල මතක තිබුනේ නැහැ... ඒත් මමත් එක් වතාවකදී මං කලින් කියපු බේත් පෙති වලින් ඒ වෙනකොට මං ගාව තිබුණ ප්‍රමාණය.. විසි ගානක් ගිල දානවා... ඒත් මරණය අපේක්ෂාවෙන්...

අපි දෙන්නම ඒ දේ කලේ එකම පසුබිමක් මතද කියන්න මට තේරෙන්නේ නැහැ.. හැබැයි ඒ වෙද්දී මං මට කරන්න පුළුවන් උපරිමය කරලා තිබුනේ... ඒ මොහොතේ මරණය මා කරා ආවනං එයින් පසුව මගේ අතින් සිද්ධ වෙන්න තිබුන වැරදි හුගාක් නවතිනවා... ඇත්තටම ඒක පිරිසිදු මොහොතක්... කාටවත් වරදක් නැති.. මට වරදක් කල අයටත් මුළු හිතින්ම සමාව දීපු...  අමුතුවෙන් දිනාගන්න දෙයක් නැති... ආයේ කිසිම දෙයක් ඕනත් නැති.. ඒ වගේම තව දුරටත් කියලා කරන්න කිසිත් නැති මොහොතක්... ජීවීතේ ඊ ළග තත්පරේ මට උවමනා නැති මොහොතක්... මිනිහෙකුට මැරෙන්න එහෙම මොහොතක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ...

ඒත් දින එකහාමාරකට පස්සේ මම නැගිටිනවා වලංගු නැති අතපයත් එක්ක... ඒ තත්වයෙන් මිදෙන්න දවසක් විතර ගියා... එයින් පස්සේ මම ආයෙත් ජීවත් වෙනවා... හැබැයි වැරදි ගොඩක් එක්ක... බාගෙට කරපු වැඩ ගොන්නකුත් එක්ක... කරනවනං තව ඕන තරං දේ තියාගෙන... නොකරපු එහෙත් කල යුතු දේ තියාගෙන... කිසිම ආකාරයකින් සම්පූර්ණයි කියලා කියනන් බැරි ජීවිතයක් ගෙවමින් මම දැන් ජීවත් වෙනවා... පොඩි වෙනසකුත් එක්ක.. ඒ තමා දැන් මට අර අසනීප ගතිවලට එක පෙත්තක් මදි වීම.. දැන් මාත්‍රාව පෙති දෙකයි...

මළ ගිය ඇත්තෝ බලාගෙන යද්දී මේ අවස්ථාව දැකපු වෙලේ තමා කල්පනාවට ආවේ මට ‍මේ සිද්දිය හරියටම මතක නැති උනත් ඒක කොයිම ආකාරයකින් හරි මට බලපෑවද කියන දේ... සමහර විට ඒක එහෙම වෙන්න ඇති... නොවෙන්නත් ඇති... ඒත් ඒ කතාවෙයි මේ කතාවෙයි දෙකේදීම ‍වෙච්ච දේට මං කැමති නැහැ... ඔහුට ඔහුගේ අවසානයත්..මට මගේ අවසානයත් ඒ මොහොතේදී හිමි උනානං අපි දෙන්නටම ඒක සැනසීමක් වෙයි කියලා විතරක් මං දන්නවා...

මොකද එයින් පස්සේත් ඔහු සතුටින් හිටියේ නැහැ... එක එක දේ නිසා දිගින් දිගටම විදෙව්වා... එතකොට මම..?

අද වෙනකොට මමත් මුල් නැති ගහක් වගේ ඔහේ පාවෙනවා... එහෙ මෙහෙ තියෙන අහක යන වැල් ඉදහිට මගේ ඇගේ දැවටෙනවා.. සමහර විට මං විසින්ම ඒවා අස්සෙන් ගිහින් පටලව ගන්නවා.. ඒත් වැල් කියන්නේ මුල් නෙවෙයි කියලා ටික දවසක් යද්දී තේරෙනවා... සමහර විට වැල් විසින්ම ඒ දේ අපිට තේරුම් කරවලා දෙනවා... අපි වැල්වලින් මුල් හොයන්න යෑම විහිළුවක්... අවසානෙදී වෙන්නේ වැල් අතාරින්න වෙන එකයි... එතැන් පටන් වැලුත් නැති මුලුත් නැති ජීවිතේ ගෙවීම ඒ හැටිම පහසු වෙන්නේ නැහැ... අපිටත් නොදැනී අපි අර  හිටිය නිහඩ පාළු නිස්කලංක ලෝකයෙන් අහකට පැනලා... ඒත් අර පිටතින් ලස්සන ලෝකේට පනින්න තරං ඒ පනින පිම්ම දිගු වෙලත් නැහැ... එතකොට වෙන්නේ  දෙලොවටම නැති ජීවිතයක් ගෙවන්න...

---------------------------------

උදේම අදත් බෙහෙත් පෙති දෙකේ මාත්‍රාව ගන්න උනා... ඒකට ලෙඩේ හොඳ වෙනවා වගේම හිත මත් වෙලා යනවා... බලාගත්ත අතේ බලාගෙන ඔහේ හිටියැකි.... ඒ අත‍රේ ලියන්න ගත්තම ඔහේ ලියැවෙනවා... ලිව්වේ මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ බෙහෙතේ පවර් එක ගියාට පස්සේ තමා...

මිය ගියාට පස්සේ මොටද 
ආයෙත් අවුරුදු එන්නේ...
මිය ගිය වුන් මිය ගියාවේ 
නැහැ ආයෙත් මෙහි එන්නේ...

58 comments:

  1. Replies
    1. දැකපු ගමන් 1 ගැහැව්වට කියවන්න වුනේ දැන්. කියවන්න කලින් වෙන රාජකාරියකට යන්න වුනා. :)

      මාරයියා ආයෙනම් පෙති අහුරු ගිලින එකක් නැහැ , අපට පේන දේ අනුව මහා ජීවිතේ ගැන ගොඩක් පරිණත විදියට හිතන කෙනෙක් නේ. ඕනි කට්ටක් කන්න පුළුවන් කෙනෙක්. අපේ ජීවිත වල තියෙන කලබල, කරදර, අවිවේකී ගතිය නිසා මාර ජීවන රටාවට ඇත්තටම ඉරිසියා හිතෙනවා. එහෙමයි කියලා හැමෝටම තනියෙන් ඉන්නත්, කාටවත් හැමදාම තනියෙන් ඉන්නත් බෑනේ.

      කොහොම වුනත් මැරෙන්න වුනත් ඔය ඉලවු පෙති නම් ගන්න එපා. තමන් තමන්ට වරදක් කරගෙන තිබ්බත් තමන්ටම දඬුවම් දී ගන්නේ මොකටද ?

      මාත් වතාවක් මැරෙන්න හැදුවා. (අ)වාසනාවට ඒ ක්‍රමේ හරි ගියේම නැහැ

      Delete
  2. ඔය දූවිල්ලට සෙම ඇවිස්සෙන ලෙඩේ මටත් තියෙනවා... මකුලු දැල් වල තියෙන දුවිලි සහ අනෙක් විෂ දූව්‍ය නිසා ඕක වෙනවා කියලා අම්මා කියන්නේ. .. කොහොමත් පොඩ්ඩක් හරි මකුල් දැල් කැඩුවොත් උගරේ මකුළු දැල් බැදිලා වගේ කැස්සක් ඇවිල්ලා ඊට පස්සේ සතියක් විතර නවතින් නැතුව හෙම්බිරිස්සාව.. පුදුම දුකක්...

    හැබැයි මම කවදාවත් කිසිම විදියේ පෙත්තක් අරගෙන නෑ ඕකට.. නහයට ලේන්සුවක් බැඳගෙන ඒ වැඩේ කරනවා.. ඉවර වෙලා කුණු ටික අතුගාපු ගමන් ඉක්මණට නානවා.. එතකොට ඔය අවුල වෙන්නෙ නෑ...

    බෙහෙතේ පවර් එකට උනත් ලියවිලා තියෙන දේ ඇත්තයි. මුලක් නැති උනාම ගහකට වගේම තමයි.. ජීවිතේකට මුල්, වැල් වගේම පතරංග ගසුත් ඕනේ වෙනවා... බැඳීම් තමයි... දුකක් තමයි.. ඒත් ඒවා නැති උනාම ජීවිතේ පාවෙනවා හරියට අර කැස්පර් කාටූන් එකේ භුතයා වගේ...

    ඔය පොත ගැන නම් කිසි දෙයක් කියන්න තේරෙන්නේ නෑ... මෙච්චර පොත් කියෝන මට හිත තද කරගෙන ඔය පොත කියවන්න හිතෙන්නෙම නෑ....

    ReplyDelete
    Replies
    1. මොනවා හිරුවා පෙත් බොන්නෙම නෑ. අර ගේ පිටිපස්සේ පැකට් ගනං තියෙන්නේ එතකොට මොන පෙතිද අප්පේ.

      Delete
    2. // ඔය දූවිල්ලට සෙම ඇවිස්සෙන ලෙඩේ මටත් තියෙනවා... මකුලු දැල් වල තියෙන දුවිලි සහ අනෙක් විෂ දූව්‍ය නිසා ඕක වෙනවා කියලා අම්මා කියන්නේ //

      ‍‍මේක නම් මේ මකුළු දැළ් කැඩිල්ලෙන් නිදහස්වෙන්න මේකි ගහපු හොර ප්ලෑන් එකක් බව තතු දන්නෝ කියනවා.. :P

      Delete
  3. Weniwel tikak thambalaa bonna malli oya pethi honndha nae...!

    ReplyDelete
  4. Dukbara sathya kathawak..jiwithe hati thama maraya aiye.apita wada aiyandi dannawane anithya duka gana.ada marunath hitha nidahas..

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මට මේකෙ එක වෙන්න ඕන නැහැ... දෙක වෙන්න ඕනත් නෑ... ඒව මහ බොළඳ වැඩ.... මම දැකලා තියෙනවා කට්ටිය එක වෙන්න දෙක වෙන්න මරා ගන්නවා...
    ඒක නෙවෙයි මම කියන්න යන්නෙ...
    නමුත් කාලෙකට පස්සෙ මාරයා හිතන්න දෙයක් ලියලා තියෙනවා....
    ඇත්තෙන්ම බැඳීම් නැතිව ඉන්නකොට හරිම නිදහස්... ඒත් අනිත් අතට හිතත් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා තනිකම මකා ගන්න...

    හොඳ ලියමනක්.... වැදගත්, හිතට යමක් ගන්න තියෙන ලියමනක්...

    ReplyDelete
    Replies
    1. 1 දාන එක තේරුමක් නැති වැඩක් තමයි. ලිපියේ කියවෙන දේට කරන අසාධාරණයක්. ඒත් පුරුද්දට ගිහින් නොවැ.හැදෙන්න උත්සාහ කරන්නම් :) මමනම් කරන්නේ කවුරුවත් කමෙන්ට් කරල නැතිනම් 1 දාල ඊට පස්සේ තමා පෝස්ට් එක කියවලා කමෙන්ට් කරන්නේ.. අද වුනේ 1 දාල පෝස්ට් එක කියවන්න වෙලාවක් ලැබුනේ නැහැ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇල්කෙමියෝ.. උඹ එකම කොමෙන්ටුව තුන් පාරක් දාල, අර එක වෙන්න හදන එකාට අනංමනං කියන එක හැරි නෑ නෙව... එක නැතුවට 6, 7, 8 ඔක්කොම උඹේ.. :D

      Delete
    2. කොහෙද මේ බ්‍රව්සරේ ලෙඩ දුන්නා... මම හිතුවෙ කොමෙන්ටුව ගියේ නෑ කියලා... ඉතිං ආයෙම දැම්මා යනකං.......
      තේරුණාද මන්දා.....

      Delete
  9. උඹේ බ්ලොග් එක මුල ඉදන්ම කියවෙන එකෙක් මම, උඹ බ්ලොග් එක ඔඅටන් ගද්දි දාපු සමහර සටහන් තාමත් මතකයි උඹේ කලින් ජීවිතය ගැන.

    මම උඹට තාම පරක්කු නෑ කියලා උඹ හොදටම දන්නවා, අස්තීර වැල් ගැන නොහිතා හොද තැනකට මුල් බහින්න උඹට තාම පුළුවන්. රාජ කුමාරිකාවො නැති වුනත්, ඔය උබලා ඉන්න වැඩපළකට ඈත පිටිසරින් එන ලස්සන හොද කෙල්ලෝ ඉන්නේ.

    උඹ කොච්චර කිව්වත් බැදීම් නෑ කියලා, පරණ මතකයන්ට එහෙම් පිටින්ම බැදිලා.

    ඔය බෙහෙත් බොන වැඩේ නම් එච්චර හොද දෙයක් නෙවෙයි බන්,

    ReplyDelete
  10. අද වෙනකොට මමත් මුල් නැති ගහක් වගේ ඔහේ පාවෙනවා... එහෙ මෙහෙ තියෙන අහක යන වැල් ඉදහිට මගේ ඇගේ දැවටෙනවා.. සමහර විට මං විසින්ම ඒවා අස්සෙන් ගිහින් පටලව ගන්නවා.. ඒත් වැල් කියන්නේ මුල් නෙවෙයි කියලා ටික දවසක් යද්දී තේරෙනවා... සමහර විට වැල් විසින්ම ඒ දේ අපිට තේරුම් කරවලා දෙනවා... අපි වැල්වලින් මුල් හොයන්න යෑම විහිළුවක්... අවසානෙදී වෙන්නේ වැල් අතාරින්න වෙන එකයි..

    මාරයගෙ හෝරාව උනත් හිතට සෑහෙන්න වදින්න මේ ටික නම් ලියල.

    ReplyDelete
  11. අයියා බොන්නෙත් පිරිටන් වෙන්න ඇති නේද? අපේ තාත්තත් චීත්ත පස්රියනක් පොගවනවා උදේ වෙද්දී.

    ReplyDelete
  12. මේකටනං මොනවා කියන්නද කියල හිතාගන්නත් බෑ.මළගිය ඇත්තෝ පොත හා ඔබේ දිවිය සංසන්ධනයෙන් ඔබ වඩාත්ම පරිනත තත්ත්වයකට පත්වෙලා කියලයි මට හිතෙන්නේ.මෙහි ඉතිරිකොටසින් ඒ කියන්නේ මළවුන්ගේ අවුරුදු දා පොතෙන් කියැවෙනවා.

    ReplyDelete
  13. හැම වැලක්ම අහක යන වැල් නෙමෙයි වෙන්න පුලුවන් මාරයා. පිළිල වෙන්නෙ නැත්නම්, වැලක් රූස්ස ගහක් වටේ එතුනට ප්‍රශ්නයක් වෙන්න නැතිවෙයි නේද? හැම වැලකටම මුලක් තියනවා, ඒක අමතක කරන්න එපා...

    ReplyDelete
  14. මට දැනගන්න ඕන උඹ මේක ලියන්න පටන් ගද්දි ලියන්නෙ මොනව කියලද හිතුවේ.. ලියලා ඉවර වුනාට පස්සේ ලිව්වේ මොනාද කියලද හිතුවේ...

    ReplyDelete
  15. චතූශ පිරිටන් බීලා සනීප කරගන්න ලෙඩේ වෙනි අයියා වෙනී අයියා සනීප කරගන්නෙ වෙනිවැල්ගැට ටිකක් බීලා..දෙන්නටම විකල්ප තියෙද්දි තමන් කැමති දේ තෝරගන්නවා..
    චතූශට පිරිටන් වලට වඩා හොඳට වෙනිවැල්ගැට අල්ලල යන්නත් පුලුවන්...වෙනී අයියා පිරිටන් බොන්න ගත්තොත් ඒක වැඩිය හොඳයි කියන්නත් පුලුවන්...හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්...

    ඒත් ඉතින් වෙනිවැල්ගැට පිරිටන් තියා බොන්න වතුර උගුරක් නැතිව හාමතේ මැරිලා යන මනුස්ස ජීවිතත් තියන මේ ලෝකෙ අපි කොච්චර වාසනාවන්තද ?

    ReplyDelete
    Replies
    1. මටත් පිරිටන් බොන්න වෙයි වගේ ආන්...එක කමෙන්ට් එක දෙපාරක්ම දාලා ලකියො !

      Delete

  16. වැල් කියන්නෙ මුල් නොවෙයි කීම වැරදිය

    හොඳ මුල් ඇති වැල් ඕන තරම් ඇත.

    එවැනි වැල් මුල් නැති ගසක් වුව තදින් බැඳ තබා ගනිමින් පාවි යන්නට නොදී තබා ගනියි.
    අවාසනාවට නුඹට තාම එවැනි වැලක් හමු වුනේ නැත.
    කලින් වැලක් හමුවුන මුත් එය බලහත් කාරයෙන් වෙන ගසක පැටළු බව දනිමි.

    ReplyDelete
  17. දූවිල්ලට ඇලජික් ප්‍රශ්නෙ මටත් තියෙනවා.. මට නම් දවසක් යනකොට හොදයි.. මගේ යාලුවෙකුත් ඔය වගේ පෙත්තක් බොනවා අපි කියන්නේ හච්චිං පෙති කියලා..

    මළවුන්ගේ අවුරුදුදා කියවල තියෙනවා. ඒත් මට ඒ පොත තේරෙන්නෙ නෑ.. වෙනමුකුත් කියන්න මට තේරෙන්නෙ නෑ..

    http://bandarammsl.blogspot.com/2012/11/blog-post_8.html
    අපේ පැත්තෙත් ටිකක් ගොඩ වෙමු..
    ජය වේවා.

    ReplyDelete
  18. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා නියම පොත් දෙක... පොත් දෙක අවුරුදු දෙකකදි උපන්දින වලට ගෑණු ළමයෙක් තෑගි දුන්න... උඹට කියන්න අයියෙ දැන් අවුරුදු 3ක් 4ක් වෙනව පළවෙනි පොත ලැබිල, තාම පිටු 100ක් කියවල නැතුව ඇති... දෙවනි එක නම් දිගඇරියෙත් නෑ...

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල උඹට දෙන්නම් ඕන නම්... මෙතුවක් කාලෙකට මට කියවන්න එපාම වෙච්චි පොත් දෙකක් තමා...

    ReplyDelete
    Replies
    1. +++++++++++ :D
      මළ උන් ගැන කියවන්න ඕන නම් කියවන්න පන පිටින් නරකාදියට හා නරළොව හොල්මන්

      Delete
    2. නොදකිං විතරක්! එහෙව් පොත් කියවන්න නං පින තියෙන්න ඕන. ලැබිලත් කියෙව්ව නෑ කියන්නෙ..... අනේ මං දන්නෙ නෑ. :)

      Delete
    3. කියෝපු ටික ඇති ඒක කියවන්න පින් නොතිබුන එක සතුටු වෙන්න... ඒක හෙනම නෙගටිව් අයිඩියා එකක් තියෙන පොතක් (මම දකින හැටි.)

      කොහොමත් මට ගොඩක් උදවිය මහා ලොකු නිර්මාණ කියන ඒවගෙ මෙලෝ රහක් නෑ... මම කැමති සරලව, කියවගෙන යන්න ආස හිතෙන විදිහට හිතන්න දෙයක් තියල ලිව්ව ඒවට... :)

      මාරෙ අයියට ඔය පොත් දෙක දෙනව කිව්ව හින්ද රාජ් මම උඹට දෙන්නම් විරාගය... ;)

      Delete
    4. හනේ සංසාරේ කියා වැඩක් නැත සාතන්
      මමත් ඔය දෙකම කියවන්න හදල එහෙම්මම අල්ලලා දැම්මා
      අනේ මන්ද සිත්තරපටියත් බැලුවේ නෑ ඒකම නිසා...
      එකම තැන කාල්ගානව කියල හිතුන.. කථා දෙකම..
      හෙතුවක් කියන්න තේරෙන්නේ නෑ - නමුත් රසයක් දැනුනේ නෑ..

      Delete
  19. ඔය සෙමට මරු වෙදෙක් ඉන්නවා පැලවත්ත පැත්තේ. බොන්ඩ තියෙන බේත් ජාති නම් සෑහෙන්ඩ අඩුයි. ඒත් ඇවතුම් පැවතුම් කරන්ඩ ගියහම පන යනවා.

    ReplyDelete
  20. මට පේන්නේ ආයේ පාරක් සංසාරේ වගේ මහණ වෙයි වත්ද කියලා..

    රත්තරනේ බඳිනවනං බැදපං උඹට වඩා දුප්පත් කෙල්ලෙක්. මොකෝ උඹ අපි වගේ නෙමෙයි හරි සෙන්සිටිව් පොරක්.

    ReplyDelete
    Replies
    1. මොනාද බං කියන්නේ.. ආයෙත් පොරොන්දුව කඩ කරන්නද හදන්නේ. අපි ගාව සාක්ෂි තියෙනවා හරිය...

      Delete
  21. ඉක්මනින් ගිය තරමට ඉක්මනින් ආ හැක ..

    සෑහෙන්න දුක වගේම අමතක නොවෙන පොතක් . මට නම් පිරිටන් බිව්වම නිදා ගත්තහැකි මලා වගේ දවස් දෙකක් . මොන බ්ලොග්ද . වෙලාවට අපි යන ක්ලිනික් එකේ දෙන්නේ නැහැ .

    මටත් දුවිල්ල නම් ඉතින් අරහන් .

    හරි එව්වා පැත්තකින් තියමු.

    අද ලිපිය නම් සැහෙන්න වැදගත් . අපි සමහර නිර්මාණ වලට කැමති ඒවායේ චරිත සිදුවීම් තුල අපේම අත්දැකීම් වලට යම් යම් සමානකම් තියෙන නිසා . එක්කෝ අපේම දුක තව එකෙක් විඳීම ගැන යටි හිතේ සතුටකුත් ඇති වෙනවා ඇති .

    එහෙම නැත්නම් ඒ ඒ අත්දැකීම් අපිට වුනොත් කොහොමද කියල හරි හිතල බලන්න අපි කැමතියි .

    සිවුරු ඇරපු කෙනෙක්ගේ ජිවිතේ අත්දැකීම් ඉතින් කියවන්නේ මෙතැනින්ම තමා .

    අපේ තාත්තගේ මාම සිවුරු ඇරලා කසාද බැඳලා කවියෙකුත් වෙලා අන්තිමට මන්ත්‍රී කෙනෙකුත් වෙලා මියගියේ . හොඳ දරු මුනුබුරු පරම්පරාවකුත් ඇති කරලා .

    තමන්ගේ කැමැත්ත . වැල් ගස් වලට හේත්තුවක් දැම්මට ඒවාට මුල් තියෙනව . පිළිල වලට ඇරෙන්න .

    ReplyDelete
  22. බැඳීම් කියන්නෙ ඉමක් නැති කොණක් නැති දුක් කාන්දරාවක් කියන එකනම් ඇත්ත. ඒක වැටහෙන්න බැඳිම් ඇති වෙලා දුක දැනෙනකොට. එතකොට ප්‍රමාද වැඩී. සමහරක් බැඳීම් තියෙනවා එව්වා වගකීම්. බුදු හාමුදුරුවො ගේ දෝර දරු මල්ලො අත හැරලා ගියාට අපිට එහෙම යන්න පුළුවන්ද, අප අපවම නිදහස් කරගත යුතුයි කියලා?!?!

    මනුස්ස ජීවිතය පටන් ගන්නෙ සැහැල්ලු විදිහට, ඊට පස්සෙ බැඳිම් සහ වගකීම් පටන් ගන්නවා. වැල් මුල් වල පැටලි පැටලි යන ගමනක් දැන් තියෙන්නෙ. ගොඩක් දැඟලුවොත් මෙව්වා ලෙහා ගන්න, වෙන්නෙ තව තවත් පැටලීමක් මිස ලෙහීමක් නෙමේ. ඒත් අවසානෙ අපි යන්නෙ මේ හැම දේකින්ම මිදිලා. වැඩි දැඟලීමක් නැතුව හිමි හිමීට සංසාරෙන් එගොඩ වෙන්න බලාගෙන ජීවත් උනාම හරි කියලා මට හිතෙන්නෙ. සම්පූර්ණ ජීවිතයම දුකක් වෙන්න ඉඩ හරින්න ඕනා නෑ.

    ReplyDelete
  23. මං මේ කල්පනා කොරේ මාරයා තමන්ගේ බ්ලොගේ පටන් ගන්න කොට හිටිය තත්වෙයි.. කල්පනාවයි එක්ක දාපු නම “මාරයාගේ හෝරාව“ ඒ කියන්නේ මරණය සුන්දරයි කියල තිබුන හිතේ හැගිම නෙව. සමහර විට ඒ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන්නත් ඇති. හා කියහං බලන්න මං වැරදිද කියලා.. බුදු සන්තෝ දැන්නං ආයි මුලට යන්න එපා. ඔහේට තේරෙන්නේ නැද්ද ඔහේගේ ගහේ මුල් වලටය කියල අපිව නෙව අරගෙන කන්නේ.

    ReplyDelete
  24. ලංකාවෙ කියවියයුතු පොත් පරණයි. අළුතෙන් ලියවෙන්නෙ නැති තරම්. වැදගත් දෙයක් කියවන්න කියල ගත්තම තියෙන්නෙ වල්පල්. අළුතෙන් හිතල ලියනවනම් පොත් කියවන ගාන ලංකාවෙ තවත් වැඩිවෙයි.

    ReplyDelete
  25. ඇති යන්තන් මාරයා පෙත්ත අරගෙන.....!

    ReplyDelete
  26. මාර අයියේ මේක සිරාවටම ලියපු පෝස්ට් එකක් ද.. උබේ පෙත්තේ පවර් එක අඩු උනාම පොඩ්ඩක් පෝස්ට් එකේ විස්ත‍රේ කිවන්න...

    ReplyDelete
  27. anee maraya aiye ube petthe nama kiyahanko, api mulak velak gena set vela katha karamu pethi deka thunak aragena :D

    ReplyDelete
  28. මාරයාගේ ගොඩක් පොස්ට් කියවනවා.මුල ඒවා නං ඇත්තටම කියවලා නැ.එත් කමෙන්ට් එකක් ලියන්න හිතුන සිරා පොස්ට් එකක් මෙක. මට ගහක එතිලා මුල් හොයාගන්න තව ඕනේ නං අවුරුදු 8 ක් 10 ක් ඉන්න පුළුවන්.එත් මට හිතෙන්නෙත් ඔය මාරයාට හිතෙන විදිහටමනේ...පාවෙන්නමයි හිතෙන්නේ.. බැඳීම් කියන ඒවා දුකක් කියලා තේරෙන්නේ බැඳීම් තියන කොට වඩා ඒවගෙන් මිදුනාම.

    //අවසානෙදී වෙන්නේ වැල් අතාරින්න වෙන එකයි... එතැන් පටන් වැලුත් නැති මුලුත් නැති ජීවිතේ ගෙවීම ඒ හැටිම පහසු වෙන්නේ නැහැ... අපිටත් නොදැනී අපි අර හිටිය නිහඩ පාළු නිස්කලංක ලෝකයෙන් අහකට පැනලා... ඒත් අර පිටතින් ලස්සන ලෝකේට පනින්න තරං ඒ පනින පිම්ම දිගු වෙලත් නැහැ... එතකොට වෙන්නේ දෙලොවටම නැති ජීවිතයක් ගෙවන්න...//

    මේ ටික නං මාරම ඇත්ත.එත් ඒ ජිවිතේ පහසුයි.දැන් ඔය මාරයා ඉන්න දෙලොවක් අතර නැති මෝඩ් එක වගකීමෙන් තොරයි. මත කැමතියි ඔය පෙති බීල ඔය විදිහට ඉන්න. එහෙම නැති කොට මරණයට මාර පෙරේතකමක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. මලක් හරි ඩස්ට් එක හරි ගත්තනම් වැඩේ හරි.

      Delete
    2. Ecstasy මල්ලි Ecstasy, පහසුයි, ලේසියි, ඉක්මන්, පොලිසියට මාට්ටු වෙන්නෙත් නෑ.. :)

      Delete
    3. හහ්!!! දුමින්ද අය්යාගෙන් ඉල්ලුවා... මතක නැ කිව්වා.. ලි බෝනික්කා ගාව තියනවා නං මට එවන්නකො..

      Delete
  29. කියන්න දෙයක් නැත මාරයියේ ...

    ReplyDelete
  30. දුහුවිලි නිසා ඇතිවන අසත්මිකතාවයන්ට පිරිටන් ගැනීමම අවශ්‍ය නැත. පිරිටන් වල බොහොම අතුරු අබාධ ඇති නිසා නිතර ඇතිවන අසත්මිකතාවයන්ට හොඳ නැත. පරණ බෙහෙතකි. දැන් අලුත් ඊට වඩා කාර්යක්ෂම ඔෂධ ඇත. මෙන්න ලිස්ට් එකක් (දොස්තර නෝනා පරික්ෂ කර නිවැරදි බව සහතික කරනවා නම් හොඳය )... 

    • Allegra (fexofenadine)
    • Dimetane (brompheniramine)
    • Claritin, Alavert (loratadine)
    • Tavist (clemastine)
    • Chlor-Trimeton (chlorpheniramine)
    • Zyrtec (certirizine)

    අසාත්මික තත්වයන්ට හේතුවෙන සාධක වලට නිරාවරණය වීම අවම කරගත් විට සැම විටම  ඔෂධ ගැනීම අවශ්‍ය නොවේ. 


    ReplyDelete
    Replies
    1. වටින විස්තරයක්

      Delete
    2. මේක නම් වටින විස්තරයක් තමා - සතූතියි මහසෝනෝ..!!

      cetricine නම් පිරිටන් වාගේ පසුවදාට නිදිබර ගතියක් ඇතිකරන්නේ නැතිබව අත්දැකීමෙන් දනිමි

      Delete

    3. මේ විස්තරයට පිං..
      නහය පිහදාන්න ලේන්සු දහයක් විතර හොයන්නෙ නැතුව මාරයටත් තියෙන්නෙ එක ලේන්සුවකින් නහය වැහෙන්න මාස්ක් එකක් විදිහට ගැටගහගන්න එකනෙ‍....

      Delete
    4. මටත් මේකට පොඩ්ඩක් එකතු කරන්න ඕන... මේ සමහර බෙහෙත්වල සාන්‍ද්‍රණය වැඩියි... ඒ නිසා මුලින් සැර අඩු බෙහෙත් පාවිච්චි කරන්න.
      සැර වැඩි එකකට පුරුදු වුනොත් පසු කාලීනව ප්‍රශ්න ඇති වෙන්න පුළුවනි.
      දූවිල්ලට හොඳම බෙහෙත තමයි තෙත රෙදි කෑල්ලකින් දූවිලි පිසදැමීම. ඒ වගේම තෙත රෙදිකඩක් මුව වටා බැඳ ගැනීම...

      Delete
  31. දේව රක්ඛිත බටුවන්තුඩාවේට පුලුවං උනා ලොකු පරපුරක් ඇති කරන්ට.හතර කේන්දරෙත් පාලුවටලු තිබුනෙ

    ReplyDelete
  32. මාරයියා මාරයි ආ...
    වැල් වැල්ම තමා මුල් නෙවේ කතාවනං සිරාම සිරා...

    ReplyDelete
  33. බොහොම දුකයි මල්ලි...
    මේ ‍වගේම නොවුනත් ජීවිතේ විඳින්නෙ උත්සාහ කරල කවදාවත් පිලිතුරක් නොලැබෙන ප්‍රශ්න කන්දරාවක් හිස මත දරාගෙන දුක් විඳින මිනිස්සු අප්‍රමානයි මේ ලෝකේ..ඒත් නුඹට සතුටුවෙන්න කාරනා ගොඩක් තියෙනවානෙ..ටිකක් හිතල බලන්න...නුඹට ආදරය කරන විශාල පිරිසක් නුඹ වටේ ඉන්නවා මේ බ්ලොග් ලෝකය තුල... සසරේ යහපත් තැනක යලි රෝපනය කරන්නට එකතු කරගත්තු ජීවිත අත්දැකීම් රාශියක් එක්ක නුඹ පරිනත වෙලා ඉන්නවා...නුඹේ ලියවිලි කියවපු කෙටි කාලය තුල මම ‍තේරුම්ගත්තු මේ කාරනා වලට අමතරව නුඹෙ හදවත තව බොහෝ දේ දන්නවා ඇති....

    හැබැයි මේ ලිපියේ මම අකමැතිම කොටස මේ....
    //උදේම අදත් බෙහෙත් පෙති දෙකේ මාත්‍රාව ගන්න උනා... ඒකට ලෙඩේ හොඳ වෙනවා වගේම හිත මත් වෙලා යනවා... බලාගත්ත අතේ බලාගෙන ඔහේ හිටියැකි.... ඒ අත‍රේ ලියන්න ගත්තම ඔහේ ලියැවෙනවා... ලිව්වේ මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ බෙහෙතේ පවර් එක ගියාට පස්සේ තමා...//

    හැබැයි පුතෝ අසනීපය නැතුව පෙති අරගෙන ඒ මතේට ඇබ්බැහිවෙන්න නම් හිතන්න එපා ඕන්....

    ReplyDelete
  34. කථා කරල තියන විදිහට මට නම් තේරෙන්නේ මේ දෙකේම ඉඳන් කථා කරන්නේ භෞතික බැඳීම් ඇති නැති එක ගැන කියලයි

    "කවුද ආවේ කවුද ආවේ
    ඔබට හොරා ඔබ හදේ රැඳී උන්
    මිනිස් රුවයි ආවේ..."

    ReplyDelete
  35. මමත් ඔහොම හිතාගෙන හිටපු කාලයක් තිබුණ්..ඒත් මේ අවුරුද්දේ ඒක වෙනස් උනා.අපි ඕනවට වැඩිය දැඩි තීරණ් වල ඉන්න ඕන නෑ මාරේ.අපි වෙනස් වීම් වලට ඉඩදෙන්න ඕන.ආයම ආදරය කරන්න පටන් ගනින් ටිකක් බොලද වෙය0....

    ReplyDelete
  36. ඔය පොත් ගැනනං මම නොදන්නෙමි.
    හැබැයි ඔය ‍විදියට පෙති බීල ළගදිම දෙකක් මදිවෙලා තුනක් බොන්න වෙයි ව‍ගේ.

    ReplyDelete
  37. පුළුපුළුවන් හැටියට බැඳීම් අඩුවෙන් තියාගෙන ඉන්න එක තමයි හොඳ. නැති වෙන්නෙ ඇති වුණු දෙයක් නෙව. තිබුණෙ නැත්නම් නැති වෙන්න දේකුත් නැහැ. බැඳීම් නැතිව ඉන්න කෙනාට කොහොමත් දුක අඩුයි. එකම දේ, මුහුණ දෙන්නට තියෙන ගැටළු, අර බැඳීම්වලින් හිර වෙලා ඉන්න අයට වඩා වෙනස්. ඒ වෙනස හින්දම බහුතරයක් අයට තේරෙන්නෙ නැහැ බැඳීම් නැතුව ඉන්න මනුස්සයව, ඒ කෙනාගෙ හිතේ සැනසීම හෝ ගැටළු. නිවන් දකින එක ගැන නොහිතුවා වුණත්, වගකීම්වලින් නිදහස් වෙලා පා වෙවී ඉන්න එකේ තියෙන අපූරුකම දන්නෙ ඒක විඳින කෙනෙක්ම විතරයි.
    පිරිටන් බීමේදි කරුණාකර නියමිත මාත්‍රාව පිළිපදින්න. :P
    ඔය chlorpheniramine කියල තියෙන්නෙත් පිරිටන්ම තමා. නමුත් cetirizine වගෙ බෙහෙත් වර්ගවල නිදිමත ඇති වීම වගෙ අතුරු ආබාධ අඩුයි. අපි වගෙ දූවිල්ල අවුස්සගන්නෙ නැතුව ඉන්න එක සේරටම වඩා ගුණයි. :D

    ReplyDelete
    Replies
    1. නලිනි , මේක හොඳම කතාවක්. මේ ගැන කියන්න හදල නොකිය හිටියේ දිග වැඩි වෙන හින්ද කම්මැලි කමට. බේත් වට්ටෝරුවක් දාල ශේප් වෙන්න හැදුවේ. දැන් ඉතින් මාව අවුස්සා ගත්ත.

      වගකීම් රහිත බැඳීම් නොමැති ජිවිතයේ චමත්කරත්වය අපුර්වයි. කිසිවෙකුට බැඳීමක් නැති සිතු දෙයක් කිරීමේ නිදහස , කිසි කෙනෙකුට යටත් නොවී අදීනව සිටීමේ හැකියාව ඒකෙ තියෙනවා. නමුත් එක වින්දනය කරන්න හැමෝටම බැහැ. ඒකට බොහෝ දියුණු මනසක් අවශ්‍යයි සියලුදෙනාම වගේ කැමති දැල වියල මැදට වෙලා ඉන්න මකුලුවගේ චරිතය රඟපාන්න. වගකීම් නමැති බැඳීම් වරපටවල් වලින් බැඳිලා වියගහේ බැඳී ගවයන් මෙන් කඹුරමින් ගෙවන ජීවිතය ඔවුන්ට සැපයි. එසේ නොකරන කෙනා මෝඩයා. එසේ නොකරන කෙනාගේ මනසින් වින්දනය කරන නිදහස ඔවුන්ට පෙනෙන්නේ නැහැ.

      නමුත් මනසට සැම විටම ආහාර අවශයි. ගෘහ ජීවිතය ගෙවන කෙනා ගේ මනස හැම විටම ඒ සම්බන්ධයෙන් නියුක්ත වෙන නිසා මනස ට ඒ ආහාර ලැබෙනවා. නමුත් වගකීම් රහිත බැඳීම් නොමැති ජිවිතයක් ගත කරන කෙනාගේ මනස බොහෝ කොට පාවෙමින් යනවා. මාරයා චාරිකා යන්නේ , බ්ලොග් , කවි , ලියන්නේ ඒ මනසට ආහාර ලබාදීමට. හරි හැටියට නොකඩවා මනස පෝෂණය නොකරොත් ඒ කෙනාට පාළුව , තනිකම , අසහනය අනාගතය ගැන බිය ඇතිවෙන්න පුළුවන්. දිගටම එහෙම උනාම දුවල ගිහිල්ල වැලක ටැපලෙනවා.

      එක නිසා පිල්ලියේ අදහස නම් , එකචාරී ජීවිතය උත්තමයි. විවේකය අගයන බුද්ධාදී උත්තමයන් විසින් පසස්නා ලද්දක්. නමුත් ඒ එකචාරී ජිවිතයට වුවත් නියුක්තවීමට සමාජයට හෝ පෞද්ගලිකව තමන්ට යහපත් වෙන කිසියම් හෝ දිඝකාලින කාර්යයක් තිබිය යුතුයි. නැත්නම් සිංහලෙන් කියනවා වගේ ඩිප්රෙෂන් ඇති වෙනවා. තමන් ගෙවන ජීවිතය ගැන සැක සංකා ඇති වෙනවා. මේ වගේ බ්ලොග් පොස්ට් ලියවෙනවා ...

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete