ඊයේ කොළඹ ගෙහුං එන්ට රෑ උනා...
ආ මුලින්ම කියන්ට එපෑ... අර උසාවියක් හමුවේ වැරදිකාරයෙක් වෙන සීන් එකට පොඩි කොමාවක් දාන්ට උනා... ඒක පස්සේ දවසක වෙයි වෙන මොකක් හරි සීන් එහෙකින්... වැටිලා තිබුන නඩුව ගොඩ ගියා... ඒකත් අපේ බ්ලොග් ලියන කියන හාදයෙකුට පිං සිද්ධ වෙන්ට... “ඒ පිළිබඳ වැඩි දුර විස්තර කියන්ට එපා තෝ මරනවා“ කියලා තදින් තර්ජනය කරපු හින්දා ආයේ මොටද එච්චර උදව්වක් කරපු එකාව නිකං මිනී මරුවෙක් කරන්නේ... ඒ හින්දා කෙටියෙන්ම කියන්ට තියෙන්නේ උන්නැහේට පිං සිද්ධ වෙන්ට නඩු බලවන්නේ නැතිව බේරුනා... (බලං ගියාම බ්ලොග් ලියන කියන එකෙත් සෑහෙන වටිනාකමක් තියේ නේද..?) මේ කරගත්තා වූ කුසල බල මහිමයෙන් ඒ උන්නැහේටත් සසර වසනතුරු නිවන් දකිනතුරු අඩුවක් නැතිව නඩු බලවන්ට වාසනාව උදා වේවා..!
ඉතිං කොහොමින් හරි ඊයේ ඒ වැඩේ ගොඩ දාගෙන ලැයිසොමත් අරගෙන තව තව ගමන් කිහිපයකුත් ගෙහුං ගෙදරට කඩං පාත් වෙද්දී ටිකක් රෑ උනා... රෑ නිදාගන්ට යද්දිම හිතාගත්තා අද උදේ උයන්නේ නැතිව වැඩට ගෙහුං මගේ සුපුරුදු ආහාර සපයන්නා වන නන්දේ අයියගෙන් කෑම එකක් අරං කනවා කියලා... ඒ ඉතිං කොළඹ ගෙහුං ආව මහන්සියට ටිකක් දවල් වෙනකල් නිදියන්ට එහෙම හිතං නෙවෙයි... ගේ හරියේ උයන්න කියලා දේවල් තිබුනේ නැහැ කියලා දන්න හින්දා.. මොකද ඊයේ හෙනහුරාදා.. අද ඉරිදා... ඉරිදා කියන්නේ මං පොලේ යන දවස නෙව... ඉතිං කොහොම හරි පොලේ යන්න දවස සෙට් වෙද්දී ගෙදර තියෙන සමහර උයන පිහන කලමනා ගානට අහවර වේගන ඇවිත් තියෙන්නේ...
ඒ අනුව අද උදේ උයන්න පොල් තිබ්බෙත් නැහැ..එලෝලු මුකුත් තිබුනෙත් නැහැ... එළවළු වට්ටියේ කරපිංචා රතුළුණු සුදුළුණු ඇරුනම එකම එක අමු මිරිස් කරලක් තිබුනා... එහෙම තියෙද්දි මොකට උයනවද... අල්ලලා දාලා පැය බාගයක් විතර වැඩියෙන් නිදාගෙන..එයින් පස්සේ පොලේ ගෙහුං බඩු මුට්ටු ටික ගෙනත් දාලා වැඩට යනවා කියලා තමා කල්පනා කරගත්තේ...
ඒත් වෙච්ච කෙලිය කියන්නේ... මං ඔන්න හය හමාරට එලාම් එක තියලා නිදා ගත්තා... ඒත් ටිකක් වැඩියෙන් නිදා ගන්නවා කියලා හිතන හැමදාමත් වෙනවා වගේ අදත් එලාම් එකට කලින් ඇහැරුනා... අපරාදේ කියන්න බැහැ වෙනදා පුරුද්දට කෙලින්ම ගිහින් හාල් ටික හෝදලා රයිස් කුකර් එකට දාලා කරන්ට් එකටත් ගහලා ගියා මූන කට හෝදගන්ට.. ඒ ගෙහුන් කල යුතු වැඩ පල කොරගෙන එද්දි තමා මෙන්න එළාම් එක වදින්න ගත්තේ...
කෙලලා තියෙන්නේ තාප්පෙටම.. යකෝ එතකොටයි මතක් උනේ මං මේ එළාම් එක වෙනදා වගේ උදේ හයට නොතියා හය හමාරට තිබ්බේ අද උයන්නේ නැතිව ඉන්න නේද කියලා... දැන් මොකද කරන්නේ.බත් එක ඉදීගෙන එනවා... පොලේ යන්නත් ඕන... අද පොලේ නොගියොත් පොල් ටිකක් එහෙම ගේන්ට වෙන්නේ නැහැ අඩුවට... මේ දවස්වල පොල් ගණන් නෙව.. කඩවලින් පොල් ගන්නවට වඩා පොලෙන් ගන්න කොට සෑහෙන ලාබයක් තියේ... එහෙමයි කියලා බත් එක අහක දාන්නයෑ...
වැඩිය කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැනේ.. බලද්දී ඔන්න පරිප්පු ටිකක් තිබුනා... පට පට ගාලා ඒක හෝදලා වතුර ටිකකින් ලිපේ තියලා ඒක රත් වෙන ගමන්ම තමා අනිත් කලමනා ඒකට එකතු කලේ... කොහොම හරි අන්තිමට පරිප්පු හොද්දක් මිරිසට හදා ගත්තා... ආයේ තව තව දේවල් හදන්න වෙලාව මදි
මං ගියා පොලේ... ඒ ගෙහුන් කරවල.. පොල්.. අල.. ඇතුළුව මං පොලෙන් ගන්න බඩු සැට් එක අරං දුවලා ආවා ගෙදර.. අර උයලා තිබුන බත් එකයි පරිප්පුවයි බෙදලා උදේට එකයි දවල්ට එකයි බත් පාර්සල් දෙකත් බැදලා.. හට්ටි මුට්ටි හෝදලා..මාත් නාගෙන කොරගෙන... ලැප් එක තියෙන මල්ලයි... පොත් පත් මල්ලයි බත් පාර්සලුයි.. බයික් එකේ සයිඩ් බොක්ස් දෙකට ඔබං දුවලා ආවා හරියටම අට වෙද්දී වැඩ පොල ඇතුලේ... මොනවා කලත් වෙලාවට වැඩ කරන්ට එපෑ...
අද ඉරිදා කියලා නැහැ අපේ පැට්ටේරිය වැඩ.. මේ ටිකේ හදිසි ඕඩර් වගයක් ඇවිත්... ඒ හින්දා සනිපෙට ඉන්ට තිබුන නිවාඩු දවස් ටිකත් වැඩ කරන්ට වෙලා කස්ටියට... ඉතිං අදාල උදවිය ආවම පැට්ටේරියේ දොරවල් එහෙම ඇරලා දීලා මං ඇවිත් කෑම එක කාලා වැඩ අල්ලන්ට ගත්තා...
පරිප්පුයි බතුයි...
--------------------------------------
පහුගිය කාලේ මං බොහෝම ආසාවෙන් කියෝපු පොත් වගයක් තිබුනා... ඒ ඔක්කෝමෙ වගේ පරිවර්ථනය කරලා තිබුනේ අපිට හිටිය බොහෝම දක්ෂ පරිවර්ථීකාවක් වෙච්ච “චින්තා ලක්ෂ්මී සිංහආරච්චි“ මැතිණිය විසින් තමා... ඇය වංග භාෂාවෙන් ලියැවී තිබුන පොත් රාශියක් සිංහලට හරවලා බෙංගාල ජීවිතය අපිට හදුන්වා දෙන්න සමත් උන කතුවරියක්...
මාවතේ ගීතය.. අපරාජිත ජිවිතයක්..අපුගේ ලෝකය.. කියන පොදුවේ අපූ ත්‍රිත්වය යනුවෙන් හදුන්වන පොත් තුන...
ගෝ දානය... අරණකට පෙම්බැඳ..වගේ පොත් හැම එකම වගේ මං දැකපු... නැහැ දැකපු නෙවෙයි බලපු කිව්වනං වැඩියම හරි... මං ඉතිං ඔය මොන පොත පත කියෙව්වත් ඒවයේ එන කෑම බීම සංස්කෘතිය ගැන ටිකක් වැඩියෙන් බලන කෙනානේ... ඉතිං මේ පොත්වලත් තිබුන.. ඒ වගේම මං උනන්දුවෙන් බලපු දෙයක් තමා එම පොත් ලියැඋන කාල වකවානු අනුව බෙංගාලයේ දුප්පත් මිනිස්සු කෑව බිව්ව හැටි...
ඉන්දියාවේ ආහාර සංස්කෘතිය බොහෝම විවිධත්වයක් තියෙන එකක් නෙව... ඒකට හේතු ගොඩක් තියේ... ආගම් බර ගානකුයි.. ගෝත්‍ර බර ගානකුයි..විවිධ දේශගුණ තත්වයන් යටතේ ඇති ප්‍රදේශ ගණනාවකුයි... එකතු උනාම ඒ ඒ දේවල්වලට අනුව කෑම බීමේ උනත් සෑහෙන්න වෙනස්කම් සිද්ධ වෙනවා නෙව... ලංකාව සෑහෙන පුංචි රටක් වෙලත් උතුරු කොනෙයි දකුණු කොනෙයි සෑහෙන තරමක වෙනස්කම් මේ ආහාර වල තියෙනවා නෙව... ඒත් පොදුවේ ගත්තම අපේ රටේ එහෙම වෙනස් වෙච්ච ආහාර සංස්කෘති බර ගානක් නැහැ... ඕක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වැනි ජාතීන් කීහිපයකට අනුවයි..ප්‍රධාන වශයෙන් දුප්පත් පොහොසත් කියන කාණ්ඩ දෙකයි අනුව තමා වෙනසක් වෙන්නේ... එයිට අමතරව ආගමික වශයෙන් තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් විතරයි... කෙටියෙන් කිව්වොත් මුස්ලිම් අයට ඌරා.සහ හින්දු අයට හරකා වගේ... අපිටනං ඉතිං ඔය කෝකත්...
ඒත් ඉන්දියාවේ එයිට වඩා ලොකු වෙනස්කම් තිබුන බව පොත පත කියවද්දී තේරෙනවා... මං කියාපු පොත්පත්වල වැඩි හරියක් විස්තර වෙන්නේ දුප්පතුන්ගේ ආහාර පාන ගැන තමයි... අතරින් පතර තැනක පෝසතුන්ගේ ආහාර වට්ටෝරු ගැන ලියඋනත් ඒවයෙත් ඇති මහා අරුමයක් නැහැ.. එකම දේ දුප්පතුන් යන්තමින් කන ටිකම පෝසතුන් ගොඩ ගොඩවල් කාලා දාන එකයි...දුප්පතුන් වරකට එකක් හෝ දෙකක් වශයෙන් ගන්න කෑම..පෝසතුන් වරකට වර්ග හත අට කාලා දාන එකයි... ඒ ඇරුනම දුප්පතුන්ගේ ගෙවල්වල උත්සව අවස්ථාවකට විතරක් අසීරුවෙන් හදන රස කැවිලි වගේ දේවල් පෝසතුන්ගේ ගෙවල්වල එදිනෙදා හැදෙන එකයි... මේ කියන්නේ බටහිර බෙංගාලය ආශ්‍රිතවයි...
මේ පොත් හැම එකකටම වගේ අනුව බෙංගාල දුගී මනුස්සයා ජීවත් උනේ කොහොමද කියන එකත් පුදුමයක්... බත් කියන දේ ඔවුන්ට නිතර කන්න ලැබෙන දෙයක් නෙවෙයි... බත් ටිකක් උයාගන්න ඉදහිට හාල් ටිකක් ලැබුනත් ඒ හාලත් බොහොම රළු හාලක්... රොටී වර්ග..අල වර්ග.. ඇට වර්ග වගේ දේවල් තමා එදිනෙදා කෑම වෙලේ වැඩි පුර තිබුනේ... සමහර තැන්වල කියැවෙනවා අපූ කල්කටාවේ ජීවත්වෙන කාලෙත් කන්න නැතිව ජිවත් වෙන හැටි.. උයාගෙන කන්න පටන් ගත්තා උනත් බත් කන්න වෙන්නේ අමුමිරිස් වගේ දේවල් එක්ක... පරිප්පු හොද්දක් වගේ දෙයක් එක්ක බත් ටිකක් කන එක සෑහෙන තරමේ දෙයක් අපූට...
අරණකට පෙම්බැඳ කතාවේ වගේම අපූගේ කතාවලත් කියැවෙන තවත් අපූරු දෙයක් තමා කුලය අනුව පහත් කුලවල අය උයන දේත් උසස් කුල වල අය නොකන එක... සමහරක් වෙලාවට අන්ත දුප්පත් උනත් කුලය බ්‍රාහ්මණ වීම නිසා අඩු කුලයේ කෙනෙක් අතින් උයන දේ කන්න වෙන්නේ නැහැ... එහෙම පැත්තකට ගියාම බ්‍රාහ්මණය සිද්ධ වෙනවා අර අඩු කුලයේ කෙනා දෙන අමු ආහාර වර්ග අරං..තමන් විසින්ම උයා පිහාගන්න... වැරදිලාවත් අර අඩු කුල වල මිනිස්සු බ්‍රාහ්මණ අයට දෙයක් උයලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ... ඒ අය ඒක දකින්නේ පාපයක් විදියට... බ්රාහ්මණයොම හදපු නීතී වලින් බ්රාහ්මණයොම බැට කන අවස්ථා නැතිවමත් නෙවෙයි කියලා ඒ වෙලාවට හිතෙන්නේ...
ඔන්න ඔහොම පොත් ටික කියවපුවාම මට මතක් උනේ මං දන්න කියන හාමුදුරු කෙනෙක් හිටියා බොහෝම ඉන්දියාවේ සංචාරය කරපු... උන්නාන්සේ මට ඒ දවස්වල විස්තර කියනවා ඉන්දියාවේ ඈත පලාත්වල මිනිස්සු අදටත් ජීවත් වෙන විදිය ගැන... මේ පොත් බලද්දී තමා තේරුනේ උන්නාන්සේ අද ඒ මිනිස්සු ජීවත් වෙන විදිය කියලා කියපුවාම තමා මේ පොත් ලියවෙන කාල වලදීත් ඒ මිනිස්සු ජිවත් වෙලා තියෙන විදිය වෙලා තියෙන්නේ... තමන් දාඩිය මහන්සිය වගුවරලා හිටෝපු දේත් ඉඩං අයිතියටයි.. ණය ගෙවිල්ලටයි හිලවු කලාම ඒ මිනිස්සුන්ට කන්න දෙයක්වත් ඉතිරි වෙන්නේ නැති තරං...
අපිත් පුංචිකාලේ ඉදන් දුප්පත්කමේ අඩියේ හිටියා උනත් වත්ත වගේ කොස් දෙල් තියෙනකල්.. වත්ත පහල කජු ගස් ටික..කොහිල වල තියෙනකල්...ගේ වටේ තිබුන හරි හමන් විදියේ කෙහෙල් කනක් නොවැටුනත්... කෙහෙල් මුහ හරි හැදුන කනාටු කෙසෙල් ගස් ටික තියෙනකල්... ගම පුරාම තිබුන කෑලෑ මණ්ඩිවල තියෙන කොල පලා තියෙනකල්... දෙයියනේ කියලා හිටෝන දේ පැල කරගන්න වැස්ස වැටෙනකල්... බඩගින්නේ ඉන්නනං උනේ නැහැ... බටහිර බෙංගාලි දරුවන්ට වගේ කබලේ බැද ගත්ත කවුපි විතරක් හෝ...එහෙම නැත්තං කඩල පිටි ටිකක් වතුරෙන් අනලා පුළුස්ස ගත්ත රොටී කෑල්ලනේ පමණක් හෝ මාස ගණන් ජීවත් වෙන්න උනේ නැහැ... ඇත්තටම ලංකාව ජීවත් වෙන්න බොහෝම හොද රටක් කියලා නොකියා කොහොමද..? (මේක තවත් හොඳ වෙන්න තිබුනා දේශපාලුවෝ කියන කාණ්ඩේ නොහිටියානං....)
-----------------------------
නැහැ හිත නරක් කර ගන්න දෙයක් නැහැ... අනිත් එකා අපිට අන්තයි කියලා හිතලා හිත හදාගන්න සීන් එකක්මත් නෙවෙයි... අප්‍රිකානු දරුවෝ පාන් පිටි කැඳ (පාප්ප) වලින් ජීවත් වෙද්දී... බෙංගාල දරුවා රොටී කෑල්ලෙන් පණ ගැට ගහගද්දී... පරිප්පුයි බතුයි කෑහම මක් වෙනවද..?
කාහං පරිප්පු...
ඔය පොත් ටික කියවද්දි මටත් ඔය ටික හිතෙනවා ඉස්සර.. ඒ ජීවිතයේ තියෙන කටුක දුෂ්කර බව වැඩි වෙන්නේ ඔය ආහාර රටාව සහ කුල ප්‍රශ්නේ නිසා කියලා මට හිතෙනවා... මොනවා උනත් ලංකාවේ කුල ප්‍රශ්නේ විවාහ වලට විතරක් සීමා වෙලා තියෙන හින්දා හොඳයි... නැන්නම් ඔය මොනවා තිබ්බත් ඉන්දියාව වගේම වෙලා තියෙයි...
ReplyDeleteමම දකින තව දෙයක් තමයි ඒ පැත්තට, කාලයට අවශ්‍ය විදියට ආහර රටාවක් ස්වාභාව ධර්මයෙන්ම දීලා තියෙනවා කියලා... දැං ඔය ඉන්දියාවේ ග්‍රීෂ්ම කාලයට තැම්බිලා වැටෙන අඹ ගැට මිරිකලා හදන බීමක් නේද ඒ කාලෙට පැතිරෙන ලෙඩ රෝග වලට හොඳම බේත කියලා සලකන්නේ...
ආව්... මේ මොකෝ.. මං පළවෙනියා වෙලා... හි හි.. වෙනදට කමෙන්ට් එක පටං ගන්නකොට මං පළවෙනියා වෙලා හිටියට, ඒක දානකොට දෙතුන් දෙනෙක් මං එක කියලා... හි හි
Deleteචෙහ්..එතකොට අපිට හිරේ ලැගපු කතා සීරීස් එකක් කියවන්න ලැබෙන්නෙ නැතෙයි ???
ReplyDeleteඅපි මිනීමරුවො කරනවා බොලාගෙ ඔය යාළුවො නම් දවසක..ඇයි යකෝ අපි කොයිතරම් බලන් හිටියද බොලා හිරේ විලංගුවෙ වැටෙනකම් !
++++++++ අනිවා වෙනි අයියේ මේ මමත් හිටියේ පාන් ගෙඩියයි කිරි පැකට් එකයි අරන් මාර තුමාට විසිට් එකක් දාන්න යන්න සික් ඉතලක් එකෙත් හැටි ...:D
Deleteකන්නෙම පරිප්පු තමයි කොහෙ ගියත් ..
ReplyDeleteමාරයිය පැය 2කකට සෑහෙන වැඩ කොට්ස්සක් කරනවනෙ බොලේ .. මං මෙ කල්පනා කලේ කොහොම කරනවද කියල එච්චර වැඩ ඔය කාලෙ ඇතුලත
කොළඹ ඉද්දි දවසේ එක වේලකට හරි පරිප්පු සුවර්
ReplyDeleteමම බයේ හිටියේ ගෙදර ඇවිල්ලා තුවාල උනොත් ලේ වෙනුවට පරිප්පු හොදි එයිද කියලා
මරු කතාව!!!
Deleteඅපේ රටේ විප්ලව කරන්න බැරි ඕකනේ මාරයෝ. ඇත්තටම මේ රට වාසනාවන්ත රටක්. පාලකයෝ තමයි අවාසනාව....
ReplyDeleteසිරිමාවෝ මැතිණියේ පාලන සමයේ අවසන් හරිය හොද උදාහරණයක් ..
Delete++++
Deleteඔන්න මම වැටක් ගැහුවා !
අයියේ ඔය චින්ත ලක්ෂ්මි සිංහආරච්චි මහත්මියගේ අපූ ට්රිත්වයම මම කියවල තියෙනවා අයගේ අනෙකුත් සඳහන් කරලා තියෙන පොතුත් සමග හරිම අපූර්වත්වයක් තියෙන්නේ ඒ පොත්වල. බොහොම ස්තූතියි මතක් කරලා දුන්නට. මේ හැබෑවටම පරිප්පුයි බතුයි කන්නපුලුවන්ද බොල??????
ReplyDeleteඋඩ කියවපු පොත් ටික නම් නියමම තමයි මාරේ. නඩුව බලවන්නේ නැතිව ශේප් වු එකනම් හොදා.අනික පරිප්පුයි බතුයි වුණත් තමංගේ දේ නේ බං ඒක බුරියානියකට වඩා වටිනවා.
ReplyDeleteපරිප්පු නැති හෝටලේ බණ්ඩා නැති පොලිසිය වගේ කියන්නේ නිකමටද :D
ReplyDeleteඅපරාදෙ උඹට හිරේ ගිහිල්ල ඒ අත්දැකීම ගන්න තිබ්බ අවස්ථාව මිස් වෙලානෙ.
ReplyDeleteජේ ආර් ගෙ කාල ඉන්දියාවත් ලංකාවට පරිප්පු උඩිං දැම්මෙ උංට පරිප්පු වැඩිවෙලා වෙන්න ඇති.
කාහං පරිප්පු....
ඇයි බං පරිප්පු ටික තෙල් ජුංඩක් දාල...කරෝල කෑල්ලක් තෙලේ බැදල ගත්තනම්...සුපිරි කෑමක්නේ..බං..!
ReplyDeleteමාරයා කියල තියෙන පොත්වල රහ මාත් උපරිමයෙන් විඳල තියෙනවා. පුළුවන් නම් රායි කරපු ෆිල්ම් තුනත් බලන්න.(අපූ ත්‍රිත්වය ඇසුරෙන්)
ReplyDeleteමදැයි මාරයා හිරේ යනකම් හිටියා...
ReplyDeleteඔය පොත් තුන නම් මමත් මාරම ආස පොත්.....මට මැවිල පේනව අපූ පොඩි එකාව කරේ තියන් ඉබාගාතේ ඇවිදින සීන් එක..ඒවගේම පරිවර්තනයක් නේද අපි කවුරුත් දන්න බැද්දේගම...ඒකෙ සිලිදු වක ගහගෙන බලා ඉද්දි කැළෑව ඇවිත් ගම ටිකෙන් ට්ක ගිල ගන්න හැටි ...ආන්න පොත්.
ReplyDeleteඔය පොත් නම් කියවන්න බැරි උන. හැබැයි රායි ගේ ෆිල්ම්ස් 3 නම් ඉතා විශිෂ්ටයි. (පතාර් පංචාලි තමයි මම කැමතිම)
ReplyDeleteඅපි ඉතින් කොහොමත් කන්නේ පරිප්පු තමයි මාරයෝ
මම සමහරක් දවස් වලට ආසාවටම පරිප්පුයි බතුයි කනවා. අනිත් ඒවා එක්ක කලවම් වෙනවට වඩා ඒක හොඳයි.
ReplyDeleteඅර පොත් ටික නම් පංකාදුයි. සමහර වෙලාවට දෑහට කඳුළු එනවා කියවගෙන යත්දී.
Deleteඔය කියාපු වගේ පොතක් උබට ලියන්න තිබුන එකනේ .....නැතිකලේ.කොහොමද සුදු උන්නැහෙල එහෙම අපේ මාරෙගේපොත ට්‍රාන්ස්ලේට් කොරනකොට...:D
ReplyDeleteඇයි රුසියන් පොත් වල තියෙන විදිහට එහෙ දුප්පත් එවුන් කන්නෙ පාන් කෑල්ලක් විතරයි... පරිප්පුත් නෑ...
ReplyDeleteහැබැයි මේ බ්ලොගේ බන්ධුල මහත්තය දැක්කොත්, පොර 2500 කතාව, 1500 විතර බස්සන්න බැරි නෑ.
මමත් දැන් ශාක බක්ෂක නිසා සමහර දවස්වල රෑට පරිප්පුයි බතුයි තමා. ඒ වෙලාවට පිහිටට එන්නෙ වයිෆ්ගෙ රතු ලූනු සමබෝලෙ තමා.
ReplyDeleteපරිප්පුයි බතුයි සුපිරිනේ..
ReplyDeleteබත් ඇටයක් දවස් ගානකින් නොදැකපු පොඩි උන් හොයන්න ඉන්දියාවෙ යන්න ඕන නෑ. ලංකාවෙම කොච්චර ඉන්නවද .. අයිස්චයිර්යනේ..
ජපන් ආහාර සංස්කෘතිය ගැන මම කියෙව්වා මෙහෙම...සාමාන්‍යයෙන් ඔබ රාත්‍රී ආහාරයක් සදහා ජපන් නිවසකට ගොඩ වැදුන හොත් ඔබට කෑමට බත්ද “මිසො” නමින් හදුන්වනු ලබන සෝයා බෝංචි පිටි වලින් සාදන ලද සුප් වර්ගයක්ද, මස් හෝ මාළුද අච්චාරුද දෙනු ලබයි. “ෂෝයු” නමින් හදුන්වන සෝයා සෝස්ද “වසබි” නමින් හදුන්වන කොළ පැහැති රාබු වර්ගයක්ද “නොරි” නමින් හදුන්වනු ලබන වේලන ලද මුහුදු පාසිද ජනප්‍රිය කෑම රසකරණයන් වේ.නියමයි නේද? හතරක් පහක්මස තියේ වලඳන්ට..
ReplyDeleteෂික්....මදැයි මාරයියා (නඩු බලවන) හැටි බලන්න හිටියා....
ReplyDeleteකට උත්තර නැති වෙන්නම කියල තියෙනවා බන්..
ReplyDeleteහැබෑට උබලට මතකද අප්‍රිකාවේ ළමයි කන්න නැතිව මැරිච්ච අම්මගේ
පපුවට තුරුල් වෙලා ඉන්න හැටි ? මෙහෙත් පහු ගිය කාලේ ඔහොම ඒවා
උනා.
අනික් හුඟක් දේවල් වගේම ආහාරත් බෙදිලා යන්නෙ නොගැලපෙන විදිහකට. චින්තා ලක්ෂ්මි මැතිණියගෙ පොත් මමත් හුඟක් ආසාවෙන් කියෙව්වෙ. මුල් කෘතියෙ රස නොනසා, ඒ සංස්කෘතිය අපට පිටස්තර නොකර, ඒ සංස්කෘතිය අපේ සංස්කෘතිය තුළ ගිල්වන්නෙත් නැතුව ඉදිරිපත් කිරීමේ අපූරු හැකියාවක් තිබුණා ඇයට. ඊට සමාන පරිවර්තන හැකියාවක් මම දැක්කෙ දැ වි රුද්‍රිගුගෙන් විතරයි.
ReplyDeleteඇයි පරිප්පු විතරක් කෑහම මොකද? :P
අපි බඩගින්නට කොස් ඇට පුච්චන් කාපු වෙලාවලුත් තිබිලා තියෙනවා අයියා ඒත් අසල්වැසියෝ කියන සද්ගුණවත් මිනිස්සු දවසකට දෙකකට වඩා අපිට කොස් ඇට කන්න ඉඩ තිව්වේ නැහැ ඒ කාලේ.
ReplyDeleteජීවිතේ එක්තරා අමිහිරි දවස්ටිකක් මට නැවත මතක්විය මාරයාගේ පරිප්පු කතාවෙන්
ReplyDeleteදැන්වත් මාර හාමිනේ කෙනෙක් ගෙනාවොත් නරකද ?
ReplyDeleteඔය අපුගේ ලෝකය මමත් කියවල තියේ .අන්න පොත් නම් පොත්
ReplyDeleteමමත් ඉතින් දවසට තුන් වේලම පරිප්පු කනවා .කඩෙන් කනකොට ඉතින් පරිප්පු අනිවාර්ය දෙයක් නේ .නැත්තන් බත් ටික උගුරෙන් පහලට යන නෑ නොවැ
අපි කන හැටි ලිපා දනී කියුවලු
ReplyDeleteපරිප්පු ජාතික ආහාරය වෙලානේ.. ඔන්න ඔහේ කමු මාරයියේ..
ReplyDeleteKaahan parippu..
ReplyDeleteඅපූ ත්‍රිත්වය ඇතුළු චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මහත්මියගෙ සියලුම පොත් මමත් කියවල තියෙනව. එතුමිය කෙලින්ම වංග භාෂාවෙන් සිංහලට පරිවර්තනය කල නිසා තමයි ඒ කතා ඒ තරම් අපූරුවට රස විඳින්න පුළුවන් වෙලා තියෙන්නෙ. එතුමිය වංග භාෂාව ඉගෙන ගත්තෙ ස්වෝත්සාහයෙන් කියලත් දැන ගන්න තියනව. අවාසනාවට ඇය ඉතා ඉක්මනින්ම ජීවිතයෙන් සමු ගත්ත.
ReplyDeleteලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ ලිට්ල් හවුස් කතා මාලාවෙත් ඇමෙරිකානු ගොවියන්ගේ ආහාර සංස්කෘතිය ගැන (මට මතක විදිහට 1800 ගණන් වල) ලොකු විස්තරයක් තියනව.
මමත් එකඟයි රන්වන්, ලක්ෂ්මී වගේම දැදිගම වී. රුද්රිගුත් කෙලින්ම මුල් භාෂාවෙන් පොත් පරිවර්තනය කරපු අය. ඒ පොත්වල මුල් ජීවගුණය රැඳිලා තියෙන්නේ ඒ නිසා. හොඳට විකිනෙන ඉංග්‍රීසි පොතක් හොයාගෙන එක රැයින් පරිවර්තනය කරලා ආප්ප බානවා වගේ පල කරපු පොත් නෙමෙයි ඒවා.
Deleteඇත්ත. දැන් තියන සමහර පරිවර්තන කියවද්දි ගත්ත මෝඩකම කියල හිතෙනව. ඒ තරමටම නීරසයි.
Deleteරුසියන් පරිවර්තන කිව්වොත් ඉතින් දැදිගම වී. රුද්‍රිගු මහත්තය තමයි. ළමා කතා වල ඉඳන් විශිෂ්ට නවකතා දක්වාම හරිම ආසාවකින් කියවන්න පුළුවන්.
ඔව් ඉතිං එහෙමවත් සැනසෙමු නේ......
ReplyDelete