29 December 2012

ගොරකා කෙල්ල...

ඊයේ රෑ මේ අපේ බ්ලොග් ලියන අර වල් හාවා...ඔව් ඔව් අර තඩි හාවා තමා.. ආන්න ඌ මේ ගොරකා කෑල්ලක් අල්ලං බුකියේ දාලා තිබුනා මෙන්න මෙහෙම...

I HATE ගොරකා!! :X

ඉතිං ඒක දැක්කම මටත් නිකං ඉන්න බැහැනේ.. මොකද ඔය හාවා එක්ක වලියක් දාගෙන සාමෙන් ඉන්න එක මගේ බොහෝම හොඳ විනෝදාංශයක්. කොහොමටත් මේ බ්ලොග් අවකාසේ ඉන්න හොඳටවිහිළු තේරෙන හිත හොඳ කොල්ලෙක් තමා ඔය වල් හාවා... ඉතිං මාත් අතෑරියේ නැහැ... මාත් යටින් ලිව්වා “අයි ලයික් ගොරකා“ කියලා...

ඒ කතාව එච්චරයි... ඒත් ඇත්තටම මම ගොරකා වලට කැමතියි තමා... උයන පිහන කොට ඇඹුල් රසය ගන්න අපි හොදි මාළු පිනිවලට දාන දේවල් අතරින් ප්‍රධානම දෙයක් නෙව ඔය ගොරකා කියන්නේ... තව ඉතිං දෙහි/නාරං/බිලිං/තක්කාලි/සියඹලා ඒ විතරක් නෙවෙයි විනාකිරි වගේ කෘතිම දේවලුත් අපි ඔය ඇඹුල් සඳහා යොදා ගන්නවා... සමහර වෙලාවට දෙහි වලින්ම හදන ලුණු දෙහි වගේ දේවල්..එතකොට මොනවයින් හදනවද කියලා අපි නොදන්න... ඒත් හදන උන්නං දෙහිවලින්මයි කියලා හත් පොලේ දිවුරන ලයිමෝල් වගේ කෘතිම දේවලුත් තියේ...

හැබැයි ඔය අතරින් ගොරකා වලට ලැබෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්..විශේෂයෙන්ම මසක් මාළුවක් වගේ දෙයක් උයන්න ගියාම ගොරකා වලින් ලැබෙන තල්ලුව අපමණයි... දැන්නං ඉස්සර වගේ ගොරකා වලට වැඩි සැලකීමක් නැති උනත් මට හොඳට මතකයි ඒ දවස්වල අපේ තාත්තා මූදු මාළු ටිකක් ලැබුනම ගේ පිටිපස්සේ තියෙන මිරිස් ගලේ තියලා ගොරකා කෑලි හත අටක් බොහෝම සියුම්ව අඹරා ගන්න හැටි... ඒ ගොරකා ඇඹුලටම ගම්මිරිස් සුදුළුණුත් අඹරලා අරං හොඳට බොර වෙන්න ඒදලා ලිපේ තියන මාළු හට්ටිය ටික වෙලාවක් යද්දී පළාත පුරාම විහිදෙන විදියට සුවඳ ගහන්ට ගන්නවා... ඒ සුවඳත් එක්ක පාන් ගෙඩියක් දෙකක් කතෑකි... ඒ තරම්ම අපූරු සුවදක් තමා එන්නේ... දැන්නං ඉතිං කාලෙකින් එහෙම මුදු මාළු හට්ටියක් ඉදෙන සුවඳ විඳින්ට ලැබිලා නැහැ... ගලේ අඹරනවා වගේ බ්ලෙන්ඩර් කලාට හෝ කඩෙන් ගන්න තියෙන ගොරකා ක්‍රීම් එකේ ගතියක් නැහැ...

මාත් ඉස්සරනං ගොරකා කෑලි හැපෙනවට ඒ හැටි කැමැත්තක් තිබුනේ නැහැ... ඒත් කාලයක් තිබුනා ගොරකා කෑල්ල හිටං හපලා කාපු... ඒ තමා හමුදා පුහුණුවට ගිය කාලේ... පුහුණුව අතරේ දෙන කෑම ඩිංග බඩට දැනෙන්නේවත් නැති හින්දා ගොරකා කෑල්ල..කුරුඳු පොත්ත විතරක් නෙවෙයි කරපිංචා කොලේ පටන් කන්න ඇහැකි පිගානේ තියෙන හැම දේම කාලා දාපු කාලයක් තමා ඒ... එහෙම වෙලාවට ගොරකා කෑලි දෙක තුනක් උනත් පිගානට වැටිලා තිබ්බට වැඩියක් නැහැ...

ඇත්තටම එහෙම නැතිවනං නිකංම ගොරකා කෑල්ලක් හපලා කන්න හිතෙනවා අඩුයි... ඒත් මට ඔය ගොරකා ගැන මතකය ඇදෙද්දී හැමදාමත් මතක් වෙන චරිතයක් තියෙනවා...

ඒ තමා “අමරක්කා“

අමරක්කා කියන්නේ අමරපාල මහප්පගේ එකම දු...

මං කවදාවත්ම මගේ කතා ලියද්දී ඒ ඒ කතාවලට සම්බන්ධ අයගේ සැබෑ නං කෙලින්ම ලියන්නේ නැහැ... ලියපු කතාවල අංශුමාත්‍රයක්වත් වෙනස් නොකර ඇත්තම කතා ලිව්වා උනත් නම් ගම් තරමක් වෙනස් කරලා තමයි ලියන්නේ... ඔය හාමුදුරුගොල්ල ගැන ලියන කතා උනත් එහෙමයි... උදාරහණයක් හැටියට අර එක පාරක් ලිව්ව ගිරිතලේ හිමියන්ගේ කතාව... එතනදී ගිරිතලේ හිමියන් කියලා මං ලිව්වත් ඒ හාමුදුරුවෝ ගිරිතලේ නෙවෙයි... එයිට අහල පහලම.. ඒ වගේම උච්ඡාරනය කල හැකි ප්‍රදේශයක නමක් තමා උන්නාන්සෙට තිබුනේ...

ඒත් මේ නම් දෙකනං ඇත්තම ඇත්ත නම්... එහෙම ලියන්නෙත් එක හේතුවක් ඇතිව... සමහර විට අද වෙද්දී අමරක්කාගේ දු දරුවෝ ලොකු මහත් වෙලා බ්ලොග් කියවනවා වෙන්ට ඇහැකි... එහෙම කාගේ හරි මේ ලිපිය ඇහැ ගැටුනොත් ආයේ අපිට දැන ඇදුනුංකං හදා ගතෑකි හින්දා... මොකද අමරක්කා අපෙන් ගිලිහුන ඒත් අමතක කල නොහැකි කෙනෙක්... මෙහෙම එකක් හරහාවත් අමරක්කා ආයේ හොයා ගන්න ඇහැකි උනොත් ඒකත් වටිනවා...

මේ අමරපාල මහප්පා කියන්නේ මගේ තාත්තගේ ඥාති සහෝදරයෙක් වෙන කෙනෙක්... උන්දැට බාල තව සහෝදරවරු කිහිප පොලක්ම හිටියා... ඒ හැමෝම තාමත් අපේ ගම අවට ජිවත් උනත්..මොකක් හෝ හේතුවක් හින්දා අමරපාල මහප්පා තරුණ සංදියේදිම ගම හැර ගොහිං රාජාංගනය මැදවච්චිය වගේ පැත්තක ගොයිතැන් බත් කරං ඉන්ට හුරු වෙලා තිබුනා... අමරපාල මහප්පා ගැන අහලා තිබුනට මං කවදාවත්ම දැකලා තිබුනේ නැහැ...

ඒ වෙද්දී මයේ වයස අවුරුදු නවයක් දහයක් වගේ වෙන්ට ඇති... සිස්සත්තේ ලියන කිට්ටුය පාත...

මං මෙයිට කලිනුත් කියලා ඇතිනේ අපේ අම්මා අපි පොඩි කාලේ රට හිටිය හින්දා අපි හැදුනේ වැඩුනේ පේමක්කලගේ ගෙදර කියලා... පේමක්කා කියන්නේ අර මං ලියාගෙන යන බඩා කතාවේ බඩා එක්ක පැනලා ගිය සුමුදු අක්කාගේ අම්මා... ඉතිං අපිත් ඒ කාලේ ඔහේ වැටිලා හිටිය ගමන්ම තමා... මමයි පේමක්කාගේ පොඩි දූයි... ඉස්කෝලේ යන්නේ එන්නේ එකටනේ.. එක දවසක් අපි දෙන්නා ඉස්කෝලේ ගෙහුන් ආපහු එද්දී පේමක්කලගේ ගෙදර නාඳුනන දෙන්නෙක් ඉන්නවා...

පෙනුමෙන් අවුරුදු පණහක් හැටක් වගේ වයසක් තිබුන..උස අඩි පහමාරකට වඩා ටිකක් විතර වැඩි උන හිස මැදින් තට්ටය පෑදුන..වටේ කෙස් කොටට කපලා සරමක් අත් කොට බැනියමක් ඇදලා... කම්බි ලේන්සුවක් උරහිසේ දමාගෙන බොහෝම තේජාන්විත බැල්ලමකින් යුක්ත හිනාවෙද්දී බොහෝම සුදුවට පෙනෙන දත් දෙපළක් තිබුන කලු හීන්දෑරි මනුස්සයෙක් එක්ක... දිග සායක්..අත් කොට බ්ලවුස් එකක් ඇදලා තනි කරලට කොණ්ඩේ ගොතපු නිතඹ හරියට පමණ දිග කොණ්ඩයක් සහිත... බොහෝම කුලෑටි... අපිව දැක්කම හැංගෙන්න වගේ හදන වයස අවුරුදු විස්සක විසි පහක විතර තරුණියක්...

කොහොම හරි මේ දෙන්නා එහෙට මෙහෙට වෙනකල් ඉදලා අපි පේමක්කගෙන් ඇහුවා ඒ කවුද කියලා...

“ආ ඔය ඉන්නේ අර ඉන්ද්‍රපාල බාප්පගේ අයියා..අමරපාල මහප්පයි.. එයාගේ දුව අමරාවතීයි“

ඔන්න ඔහොම තමා අපි මුලින්ම මේ අමරපාල මහප්පවයි අමරාවතී එහෙම නැත්තං අමරක්කවයි දැන හදුනා ගත්තේ...

අමරපාල මහප්පා බොහෝම තරුන වයසේදී ගමෙන් ගිහිල්ලා අනුරාධපුරේ පැත්තේ හේන් කොටනවා කියලයි අපි දැනං හිටියේ... කොහොම හරි ගමේ තිබුන ඉඩකඩං ගැනවත් අයිතියක් නොහොයා.. ඈත පළාතක මහ පොළවත් එක්ක ඔට්ටු වෙච්ච මේ මනුස්සයා ඒ පැත්තෙන්ම දීගයක් එහෙමත් කරගෙන තිබුනා.. ඒ දීගෙන් ලැබුන දරුවා තමා මේ අමරක්කා... ඒත් අමරක්කාගේ මෑණියැන්දෑ අමරක්කවයි මහප්පවයි දාලා පරලෝ යන්ට යෙදීලා තිබුනේ අමරක්කා බාල සංදියේදීම වගේ තමා... එයින් පස්සේ මේ තාත්තයි දූයි තමුන්ගේ පාඩුවේ ජිවිත ගත කරලා තිබුනා...

කොහොම හරි මේ වෙද්දී ලොකු ලමිස්සියෙක් වෙච්ච අමරක්කට තමුන්ගේ නෑදෑ සනුහරේ පෙන්නලා යන්ට තමා මේ අමරපාල මහප්පා ඇවිත් තිබුනේ... කොහොම උනත් ඒ ඇවිදින් සති දෙකක් විතර ඉඳලා උන්දෑ ආපහු ගම රට බලා ගියේ ගොයිතැන් කටයුතුවලට පාඩු වෙන හින්දා... ඒත් පේමක්කලාගේ ඉල්ලීම මත අමරක්කාව එහෙ නවත්තලයි ගියේ...

අම්මා නැති දරුවාට හරි හමන් තැනකින් විවාහයක් කරලා දෙන්නත්... ගමෙන් ඈතට ගිය මේ අයව නැතව ගමේම නවත්තගන්නත් පේමක්කා කැමති උනා... මොනවා උනත් එක ලේ තියෙන නෑදෑකං තියෙද්දී මේ එක කෙල්ලෙකුයි ඒකිගෙ අප්පයි අර පට්ට වනාන්තරයක දුක් විදිනවා බලන්න පේමක්කා නෙවෙයි අපේ තාත්තලා උනත් කැමැත්තක් තිබුනේ නැහැ... ඒත් මහ පොළවත් එක්ක ඔට්ටු වෙලා එයින්ම පදං වෙලා හිටිය අමරපාල මහප්පා ආයේම ගමට ගියේ උන්දැට දැන් ඒ පලාත අතෑරලා එන්ට හිත නොදෙන හින්දා... ඒත් උන්දෑ උනත් කැමති උනා අමරක්කා මෙහෙ නවත්තලා යන්ට..ඒ වගේම මේ පැත්තෙන්ම දීග යනවට.. මොනවා උනත් තමුන්ගේ කියලා නෑදෑයෝ ටිකක් ඉන්නේ මෙහෙනේ... අමරක්කාව උන්දෑ බොහෝම කැමැත්තෙන් තියලා ගියා මෙහෙන් හොඳ දෙයක් කරන්ට හොයලා බලන්ට කියලා...

එයින් පස්සේ ඉතින් අමරක්කත් අපේ ගැන්සියේම එකියක් බවට පත් උනා... මායි මල්ලියි.. පේමක්කගේ දූරු හතර පස් දෙනයි.. අමරක්කයි... පේමක්කලාගේ ගෙදර වැඩට හිටිය දෙමළ කොලුවා වෙච්ච රාජයි...

කොහොම උනත් අමරක්කා අපි හැමෝටම වඩා තරමක් වෙනස් කෙනෙක් කියලා අපිට තේරුනේ ටික දවසක් යද්දියි... උන්දෑ මොනවා කලත් බොහෝම කුලෑටියි... පොඩි විහිළුවක් හුගාක් ලැජ්ජාවෙන් ඇඹරෙන... තරහා ගියාම ඇස් රතුකරගෙන තනියම කුටු කුටු ගාලා ගොරවන... මිනිස්සු ඉස්සරහට එන්න පස්ස ගහන... කුස්සියෙන් එපිට ලෝකයක් නැති අමරක්කා මෙහෙ හිටියට තාමත් හිතිං ඉන්නේ තමුන්ගේ ගමේ කියන වග ටික දවසක් යද්දීම අපි කාටත් තේරුනා...

පේමක්කා තමුන්ගේ දූරුන්ට වගේම ලස්සනට හැඩට ඇදුම් ආයිත්තං මහලා කරලා දුන්නත් අමරක්කා වැඩි විච්චූරණ වලට කැමැත්තක් නැහැ... තමුන්ට හුරු පුරුදු දිග සාය හැට්ට තමා පාවිච්චිය... කොණ්ඩේ ටිකක් මෝස්තරයක් කරලා ගන්න හැදුවත්..ඒවට නෙවෙයි ඉඩ දෙන්නේ.. පොල්තෙල් අල්ලක් ගාලා හොඳට පීරලා තනි කරලට ගොනනවා ඇර..අඩුම ගානේ කරල් දෙකට කොණ්ඩේ ගොතනවටවත් එයා නෙවෙයි මනාප...

ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.. ඒ අතරේ තමා ඔය ගොරකා සීන් එක එළියට ආවේ...

මුලින් මුලින් මේක  අපි දැනං හිටියේ නැහැ.. ඒත් පේමක්කා දැකලා තිබුනා අමරක්කා උයාපු පිහාපු හොද්දට හැන්දක් දාලා අමරක්කා මොනවා හරි හොයනවා.. බැලින්නං එයා මේ ගොරකා හොයනවා... හොද්දට පින්නට දාපු ගොරකා කෑලි ටික හොයාගෙන ඒවා කන්න අමරක්කා බොහෝම කැමතියි... මුලින් මුලින් මේක අපිට විහිළුවට කාරණාවක් උනාට අමරක්කා නෙවෙයි සැලුනේ... මුලින් කාටවත් නොදැනෙන්න කලත් පස්සේ හැමෝම දැන ගත්ත හින්දා එයා කිසි අවුලක් නැතිව පිගානට බෙදාගෙනම ගොරකා කන්න ගත්තා... අපිත් ඒ කාලේ අපිට පෙන්නන්න බැරි ජාතියක් වෙච්ච ගොරකා කෑලි බොහෝම කෑමැත්තෙන් අමරක්කාට පරිතයාග කලා... අමරක්කා ඇස් හීනී කරගෙන එයාගේ අර ලස්සන හිනාවෙන් අපිට සංග්‍රහ කරන ගමන් ගොරකා කෑලි ටික අරගෙන කෑවා... ටික දවසක් යද්දී ඒක අපි කාටවත් කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් බවට පත් උනා...

ඔන්න ඔහොම ඉද්දී දවසෙන් දවසම අමරක්කා තමුන්ගේ තාත්තා ගැන කිය කිය හූල්ලන්න ගත්තා... අන්තිමේදී නිතර නිතර අඩන තත්වෙටත් ආවම පේමක්කා පණිවිඩයක් යවලා අමරපාල මහප්පව ගෙන්න ගත්තා... උන්දැත් බොහෝම කණගාටුවෙන් දුවගෙන ආවා... තාත්තා දැක්ක දූටයි.. දූ දැක්ක තාත්තටයි ඇති උන සංතෝෂය අපිට වචන වලින් කියලා පහදන්න බැහැ... කොහොම උනත් අන්තිමට අමරපාල මහප්පා අමරක්කව ආයේ ගමට එක්ක ගියා...

එයින් පස්සේ අස වෙනකල් ඒ දෙන්නට උනේ මොකද කියලා මං දන්නේ නැහැ... සමහර විට දැන් අමරපාල මහප්පානං මිය පරලෝ ගිහින් ඉන්ටත් ඇහැකි... මොකද මං දකින කාලේ උන්දැට පෙනුම පණහක් හැටක් අනාට ඒ වෙද්දී උන්දෑ වයස හැත්තෑවට ආසන්න මනුස්සයෙක්... අතේ පයේ හයි හත්තියෙන් පොළවත් එක්ක හරි හරියට ඔට්ටු වෙලාම උන්දෑ තමුන්ගේ වයසට වඩා බොහෝම තරුණ පෙනුමකින් හිටියා... ඒත් මේ වෙද්දී උන්දැගේ සහෝදරවරු හැමෝම වගේ මිය පරලොව ගිහින්... උන්දෑ විතරක් ඉන්ට හැටියක් නැහැ... ඒත් අමරක්කානං දැන් දූ දරුවෝ හදාගෙන කොහේ හරි ඈතක ජීවත් වෙනවා ඇති... අදටත් හොද්දට පින්නට දාන ගොරකා කෑල්ල හැන්දට අරං කනවා ඇති... ඒ කන ගමන් සමහර විට තමන්ගේ තරුණ කාලේ එක වංගියක් මාස කිහිපයක් තමුන්ගේ තාත්තගේ ගම් පළාතට ගෙහුං නැවතිලා හිටිය කාලේ ගැන සිහි කරනවත් ඇති... මොකද උන්දැටත් ඒක අමතක නොවන අත්දැකීමක් වෙන්ට ඕන හින්දා... 

උදේ හවහා උයන පිහන කොට ගොරකා කෑල්ලක් සෝදලා හොද්දට දාන කොට... බත් එක කද්දී ගොරකා කෑල්ල බේරලා පිඟානේ පැත්තකට කරන කොට උන්දැව සිහි වෙන එදා පොඩි එකෙක් වෙච්ච එකෙක් තාමත් මෙහෙ ඉන්න හින්දා... අමරක්කට වගේම අපිටත් ඒක අමතක නොවන අත්දැකීමක්...

32 comments:

  1. මාරයියගේ තට්ටේ පලන්න හිතෙනවා.....

    ReplyDelete
    Replies
    1. කලින් දාපු කමෙන්ට් එක මතක නෑ. දැං...

      Delete
  2. ගොරකා දාල ඒදල ගන්න මාලු හොද්ද නම් මාරේ තාම මතකයි. ඒ තරම්ම පංකාදුයි නොවැ. ඒ වගේම තමා කරපිංච නම් හපල කන එක බොහොම හොදා කියල තමා කස්ටියම කියන්නේ

    ReplyDelete
  3. සිරා හිච්චි එකා සන්දියෙ වත්ත පහල සෑහෙන උස ගොරකා ගහේ මුදුනටම බඩගානවා ගොරකා ගෙඩි කඩන්න... දැන් ඒ සෙල්ලම් බෑ..බඩ ගෙඩිය තැලෙනවා ගස් නගින්න ගියොත්...ආහාර කල්තබා ගන්න ගොරකා පාවිච්චි කරනවා නේද....

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ සිංහල බ්ලොග් අවකාශයෙ ජනප්‍රියම ‘බඩ‘ තියෙන්නෙ අපේ සිරාට. හි හි ... කාටද ආඩම්බර?

      Delete
    2. ඇයි බං මාත් ඔහොම බඩගාල තුනටිය කඩාගත්ත හැටි ලිව්ව බොලව්..!

      Delete
    3. Hඅපොයි බඩ පරිස්සන් කොරගනින් සිරෝ ...

      Delete
  4. සාමාන්‍යයෙන් ඇඹුල් රසට එච්චර කැමති නැති වුණත් හොද්දෙ තියන ගොරක කෑලි වලට මාත් මනාපයි. චිකන් හොද්දේ හරි මාළු හොද්දේ තියන ගොරක කෑලි තමයි රසම.

    ReplyDelete
  5. //ගොරකා කෑල්ල..කුරුඳු පොත්ත විතරක් නෙවෙයි කරපිංචා කොලේ පටන් කන්න ඇහැකි ..//

    මේවා ඔක්කොම හොඳ දේශීය ඖෂධ බොලව්

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත. මේ හැම දෙයක්ම හොඳ ඖෂධ. අපේ පැ‍රැන්නෝ බොහොම දුරදිග හිතල තමයි කෑම ගත්තෙ. ඒ කාලෙ දැන් වගෙ දියවැඩියාව, ප්‍රෙශර්, කොලෙස්ට්‍රෝල නැහැනෙ.

      අනික තමයි ගොරක කියන්නෙ ආහාර කල්තබා ගැනීම සඳහා යොදන දෙයක්. ගොරක දාල හදන කෑම එහෙම නොදා හදන දේට වඩා කල් තියාගත හැකියි (පිළුනු නොවී)

      Delete
  6. ගොරක කොහොමද අනේ කන්නෙ. පොලොස් එහෙම උයනකොටත් දානවනේ තක්කාලි හරි ගොරක හරි. තක්කාලි කෑලි නම් කනව, ගොරක කෑලි විසිකරනව. මොන රහකට කනවද මන්ද, පොඩි කාලෙදි ගොරක ගෙඩියෙ මදේ තිබුනු සුදුපාට බික් වගයක් නම් කෑව මතකයි දෙතුන් පාරක්, අපේ තිහගොඩ නැන්දලගෙ අහදියි, දෙනිපිටියෙ ආච්චිලගෙ ගෙදරයි ගිහිපු වෙලාවක.

    ReplyDelete
    Replies
    1. අප්පේ.. ඇති යන්තම්.. තක්කාලි කනවා නේ.... හි හි

      Delete
    2. තක්කාලි නොකා කොහොමෙයි අනේ ...

      Delete
  7. අපේ ගෙදරත් තියෙනව ගොරක ඇතිවෙන්න උඹට ඕනද මාරයා..!!

    ReplyDelete
  8. අපේ පැත්තේ සීයා කෙනෙක් ඉන්නවා. උන්දැට කොලොප්පම් කරන්නෙ " ගොරකයා " කියලා. අප්පේ..ඒ වෙලාවට උන්දැගේ කටින් පිටවෙන වචන...

    ReplyDelete
  9. අඩේ ඔය වගේ සමහර කෑම දැක්කහම පරණ සිද්ධි මතක් වෙනවා නේන්නම්. තරහ වෙන්න එපා මේක ඇත්තම සීන් එකක්...මම තාමත් කඩල පරිප්පු කන්නේ නෑ..මොකෝ දන්න කියන පොඩි එකෙක් පොඩි කාලේ දොට්ට පිලට ගියහම ඒ වගේමයි කියල මට තාම මතකයි.

    ReplyDelete
  10. කරපිංච, කුරුඳු වගේ දේවල් කන්න පුලුවං උනාට ගොරක කන්නෙ කොහොමද, අනේ මංද?

    ReplyDelete
  11. ඉදුන ගොරකා මද කන්න මම ආසයි. ඉස්කෝලෙ යන කාලෙ ඒ අසල ගම් වලින් එන ළමයි අරන් එනවා. එව්වල මද මැංගුස් වගේනෙ.

    අම්මා ගොරකා කෑල්ලක් දෙකක් දාලා සාලයෝ සූඩයො තෙල්දාලා රසට කන්න දුන්න කාලෙත් සිහි වෙනවා. අම්මා දැන් ලෙඩින්. ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ.

    ReplyDelete
  12. ගොරකා නැතුවම බෑ උයන්න අපේ බෝඩිමේ උන් ගොරකත් එක්ක ජන්ම තරහයි

    ReplyDelete
  13. දඩමස් කියල හිතාන කනවද මංද

    ReplyDelete
  14. මමත් ආස ගොරකා මද කන්න.... ඉස්සර අපි කැලේ ගිහින් ගොරකා කඩාගෙන ඇවිත් මද කාලා ගොරකා වේලනවා...

    ඉස්සර කොල්ලෝ හඳට පොලු ගහන්න ගොරකා පොලු පාවිච්චි කළේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නව නං කියමු බලන්න....

    ReplyDelete
  15. අපෝ....මං නම් ගොරක වලට කැමති නැත.....

    ReplyDelete
  16. අපිනම් හැම ඉරිදාම දහම්පාසල් ගියාම පන්සලේ රතුපාට කහපාට බල්බ් දාලවගේ තියෙන ගොරක ගහට නැගලා ගෙඩි කඩන් ලොඳ කනවා ,පන්සලේ දේවල් කෑවම ලබන ආත්මේ කාක්කෝ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වට අපේ උන් ඒවාට සැලුනේ නැහැ ,දිගටම වැඩේ දුන්නා ගොරක ගහට

    ReplyDelete
  17. පොඩි පොඩි දේවල් පස්සෙ තියන ලොකු ලොකු මතක නම් කියලා වැඩක් නැතිය... වැඩක් නෑ කිව්වට නැත්තේමත් නැතිය.... අයි ලයික් ගොරකා ටූයැ ... හව්එවර් වේවා, අමරක්කා එහෙඤං මේක දකීවා.....

    ReplyDelete
  18. ගොරක ගෝනියක්ම දාල තැම්බුවත් මාරයා නම් හදන්න බැරිය.......

    ReplyDelete
  19. ගොරකා වලින් නම් තාම අඩුවක් නොමෙත..... ලියු පැතුම ඉටු වේවා..... (අමරක්කා මුණ ගැසේවා...) කෝ මාරයියේ..... මාමා බලන්න යැම පාර්ට් 2

    ReplyDelete
  20. අමරක්ක හම්බුනා කියහන්කෝ අපිට එහෙනං

    ReplyDelete
  21. ගොරක කොලෙස්ටරෝල් වලට හොඳයි. මම දන්නා එකෙක් ඉන්නවා හමුදාවේ හිටිය. ඌත් බත් පින්ගානේ මාළු කටු මස් කටු ආදී සියල්ල අවසන් කරනවා.

    ReplyDelete
  22. අමරක්කාගෙ දූ දරුවො කවුරුහරි කෙනෙක් බ්ලොග් කියවන අය අතර හිඳීවා කියල ප්‍රාර්ථනා කරනවා. උඔ ගැන කවුරු මොනදේ කිව්වත් උඔ හරි සංවේදී මනුස්සයෙක් මලයා.අතීත මතකයන් එහෙම පිටින්ම වචනවලට හරවන විලාශය මොනතරම් අපූරුද?

    ReplyDelete
  23. ගොරක ගහේ ඉන්නවලුනේ ගොරක යකා!

    ReplyDelete
  24. ලබන අවුරුද්දෙ එහෙනම් ගොරකා කෙල්ලව මුණ ගැහෙන්න කියලා පතනවා. ලෝකෙ පුංචියි. ඇය හඳුනන කෙනෙකුට මේක ඇහැ ගැහෙයි.

    ReplyDelete