29 February 2012

චිත්තරපටි පිස්සුව...

සිරිත් පරිදිම එදිනත් කාඩ් බඩු පෙට්ටියත් පාපැදියේ බැඳගෙන වෙළදාමේ ගිය තාත්තා සුපුරුදු වේලාවට වඩා තරමක් පමා වී පැමිණී මුත් එහි වෙනසක් මා හට නොදැණිනි..ඒ ඇතැම් දවස්වලත් මෙසේ සුපුරුදු වේලාව ඉක්මවා ඔහු නිවසට පැමිණෙන බැවිනි..එවිට ඒ සඳහා කියන්නට ඔහුට හේතු කාරණා ඇති බව කුඩා එකකු වූ මාහට වැටහී තිබූ නිසාවෙනි...

"අද ටිකක් දුර පදින්න උනා..
අතරමගදී වැස්සක් කඩං පාත් වෙලා කඩේකට වෙලා හිටියා..
අළුත් පාරක් ඇල්ලුවා...
කලින් දාපු බඩු වගයක සල්ලි එකතු කරන්න ගියා.."

මේ ආදී කරුණු නිසා මෙසේ ඉඳ හිට ප්‍රමාද වන බැවින් එදිනත් සිදු වූ ප්‍රමාදයෙහි මහ වෙනසක් මටවත් ඒ වන විට වයස අවුරුදු දෙක හමාරක් පමණ වූ කුඩා මලණුවන්ට හෝ නොදැණිනි..එහෙත් අම්මාගේ යම් වෙනසක් දක්නට ලැබිණී... ඇය වෙනදාට වඩා යම් නොයිවසිල්ලකින් සිටින බැව් තේරුණත් ඒ කුමක් නිසාදැයි නොවැටහිණී... කෙසේ හෝ තාත්තා පැමිණ පැයක් පමණ ගත වූ පසුව අම්මා වෙනදාට වඩා අමුතු යමක් කරන ලදි...

"අද අපි තාත්තාගෙන් කතාවක් අහ ගමු...මම හැමදාම කතා කියනවනේ.."

සීම දිනකම සවස හය හය හමාරවන විට තියෙන දෙයක් රෑට කා වළං පිඟන් සෝදා අවසන රාත්‍රී හත හත හමාර පමණ වන විට අප දෙදෙනාට කතන්දර කියා දීම අම්මාගේ සිරිතය..ඒ සඳහා ඇගේ කතන්දර මල්ලෙහි නිමා වොන කතා දහස් ගණනක් තිබිණී...අද එකින් එක වෙන්කොට සිහියෙහි නැති මුත් එකම කතාව නැවත නැවත නොව හැමදාම ඇය සතුව අප හට දීමට අළුත් කතාවක් තිබිණී... ඇත්තෙන්ම ඒ අතින් ගත් කල අප කොතරම් හිස්දැයි වැට‍හෙන්නේ එසේ දරුවකුට කතා කියා දීමට තරම් කතා රැසක් අප සතුව ඇද්දැයි සිතනා විටදීය..මගේ මලයාටත් දැන් වයස අවුරුදු 4ක පමණ කුඩා එකෙකු සිටී..ඒ අතින් ඔහු තවමත් වාසනාවන්තය.. ඒ අපේ අම්මාගේ කතා මල්ල අද නැවතත් ඔහු වෙනුවෙන් විවෘතව ඇති බව දන්නා නිසාය... පොඩි එකා උගේ දෙමාපියන්ට වඩා සිය ආච්චි අම්මා‍ගේ ඇගේ එල්ලී ගත් ගමන්මය...පසු කාලයකදී සද්ධම්මරතනාවලිය..ථූපවංශය..හිතෝපදේශය ආදී කතා පොත් කියවන්නට මා හට ලැබුණු විට අම්මාගේ කතා පෙට්ටියේ රහස මා හට විවෘත වූ මුත් එවැනි කතා රැසක් ඇය මතකයේ තබා ගත්තේ කොහොමදැයි මට තවමත් පුදුමයට කාරණාවක්ය..

එදින් කවදාවත් නැති ආකාරයට අම්මා අපට කතා කීම වෙනුවට තාත්තාට කතන්දර කීමට අවස්ථාව දීම තරමක් පුදුමයක් වූවත් එයට එකඟ වූ අප තාත්තා බිම පැදුරක් එලා ඒ මත විසුරවා ගත් නොයෙකුත් කලමනා එකතු කර ගනිමින් කාඩ් බඩු පැකට් කරමින් සිටි තැනට ගොස් එහිම පැත්තකින් වාඩි වූ අතර තාත්තාගෙන් අම්මා කල ඉල්ලීම පරිදි තාත්තා එදා අපට කතාවක් කියන්නට විණී...

තාත්තාට කතා කියා හුරු නැත.එහෙත් ඔහු තරමක් අසීරුවෙන් හෝ කතාව කියන්නට ඉදිරිපත් විය...

"ඔන්න කොල්ලෙක් ඉන්නවා...අපි හිතමුකෝ ඒ කොල්ලා විජය කුමාරතුංග කියලා.."

කියමින් එතැන් පටන් කතාවට අපත් දන්නා නළු නිළීයන් කිහිප දෙනෙකු එකතු විය..කතාව නළු නිළීයන්ගේ අනුසාරයෙන් ඇදී යන්නට විය...කෙසේ හෝ දිග කතාවක් අවසානයේ සතුටු වූ සිතින් යුතුව අප නින්දට ගියෙමු...

එයින් සති දෙකකට පමණ පසුව අම්මා අපට චිත්‍රපටයක් පෙන්වීමට රැගෙන ගියාය... අම්මාත් කුඩා උන් වූ අප දෙදෙනාත් උඩහ ගෙදර අක්කාත් අපේ නඩයට අයත් විය..තාත්තා එදින කාඩ් බඩු වෙළඳාමේ නොගොසින් කඩේ නතර විය...

කෙසේ හෝ ගම්පහ පබ්ලික් හෝල් සිනමා හලට එදා ගිය ගමන එවකට මා ගිය අති දීර්ඝ ගමන් වලින් එකක් බැව් හොඳින් මතකය..මල්ලීව වඩාගෙන යායුතු වූ අතර මා අක්කාගේ අතේ එල්ලී ගියෙමි..අක්කාගේ අනිත්අතේ අම්මා විසින් රැගෙන ගිය ලොකු බෑගය විය...ඒ බෑගයට තාත්තා කෑම බීම ජාති දමා දුන් බව හොඳින් දැන සිටි හෙයින් මා සිටියේ කුමන හෝ මොහොතක එම මල්ල විවෘත වන තුරුය.

කෙසේ හෝ විශාල පෝලිමක දාඩිය පෙරාගෙන සිට අවසන අපි සිනමා ශාලාවට ඇතුළු වීමු... කරුමෙක මහත මා හට අසුනක් නොවීය..එවකට අවුරුදු පහකට ආසන්න වූ මා හට ටිකට් නොගත් හෙයින් හෝ කුමන හෝ හේතුවක් මත චිත්‍රපටය නරඹන්නට සිදු වූයේ අම්මාටත් අක්කාටත් අතර මැද වූ පුටු ඇන්ද මත වාඩි වීගෙනය...අතුරු සිදුරු නැතිව සෙනග පිරී ඉතිරී ගිය සිනමාශාලාවේ අතරින් පතර වූ විදුලිපංකා එහි තුල සිටින්නන්ගේ දාහය පළවා හැරීමට සමත් නොවීය..කෙසේ වෙතත් නවතම අත්දැකීමක් වූ මෙය මා ඉතා ආසාවෙන් මෙන්ම කායික පීඩාවන්ගෙන් යුතුව අත්විඳිමින් සිටියෙමි.

මහ හඩින් දමා තිබූ ජෝතිපාල හා ඇන්ජලීන්ගේ ගීත කිහිපයක් අවසන සීනු හඩවල් කිහිපයකටත් පසුව සිනමා තිරය වසා තිබූ තිරපට විවෘත වී වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය වූ පසුව චිත්‍රපටය ඇරඹිණ... මා පුටු ඇන්ද මත වාඩි වී අපහසුවෙන් යුතුව ඉදිරිපස වූවන්ගේ උරහිස් අතරින් අපහසුවෙන් චිත්‍රපටය නැරඹූවෙමි...

කතාව ඇඳී යන්නට විය..සිනමාව මා හට අළුත් අත්දැකීමක් වූවද මෙම සිනමාපටය මා හට යම් හුරුපුරුදු ආකාරයක් දැනුණි...එක්වරම කතාවට විජයගේ රූපය ආ විට ඒ කුමක්දැයි මට අවබෝධ උනි...මේ මීට සති දෙකකට පමණ පෙරදී තාත්තා විසින් අපට කියා දෙනු ලැබූ කතාව විය...

ඒ එක්දහස් නවසිය අසූව දශකයේ තිරගත වූ විජය කුමාරණතුංගයන් රඟ පෑ කුමන හෝ සිනමාපටයක් එදා අප විසින් නැරඹුවෙමි..එහි නම මා හට මතකයක් නැත..සමහර විට එය මමයි රජා හෝ වෙන කුමක් හෝ විය හැක...එහෙත් නිච්චියටම මතකයක් නැත...මාළු පාන් කමින් ඔරෙන්ජ් බාර්ලි බොමින් පුටු ඇන්ද මත වේදනාවෙන් හිඳිමින් එදා චිත්‍රපටයක් නැරඹූ බවත්..එය එයිට කලියෙන් තාත්තා විසින් තනියම ගොස් නරඹා පැමිණ පසුව අපටත් එය බලන්නට යන්නට සැලැස්වූ වගත් පමණක් මතකයේ ඇත...

ඇත්තෙන්ම ඒ දවස්වල පවුලේ ආදායම ගෙන ආ ප්‍රධාන ආදායම් මාර්ගය වූ සිල්ලර කඩය දිනක් හෝ වසා දමා පවුල පිටින් සිනමාපටයක් නැරඹීමට යාමට හැකියාවක් නැති හෙයින් තාත්තා කලිනුත්..පසුව අපත් එය නැරඹූ බව පමණක් මට පසු කාලයක අවබෝධ විය...එය එතරම්ම දුෂ්කර කාලයක් විය.එහෙත් ඒ සියළු දුෂ්කරතා මැද සිනමා පටයක් නැරඹීමට තරම් උණක් අම්මාටත් තාත්තාටත් තිබීම ගැන ඇත්තෙන්ම මා අද සතුටු වෙමි...

එයින් පසුව සිනමාවත් සමඟ බැඳුන කතා කිහිපයක්ම මාගේ ඇත..ඒ අතර අමතක නොවන සිදුවීම් බොහෝ ඇත..ඒ අතර තුර මෙවැනි කතාද ඇත...ඒ කෙසේ වෙතත් අදටත් සිනමා ශාලාවකට ගොස් බැල්කනියේ ඉදිරිපසම පෙලෙහි වාඩි වී ඉදිරියේ ඇති සිමෙන්ති බැම්මට කකුල් තබා ගෙන රට කජු හපමින් සිනමාපටයක් නැරඹීමට මා අදත් බොහෝ කොටම ආසා කරමි... පළමු සිනමා අත්දැකීමේ ඇති වේදනාව මතකයේ ඇති නිසා හැකි සෑම විටම මෙම ස්ථානය තෝරා ගන්නේ පහසුවෙන් සිනමාපටය නැරඹිය හැකි හොඳම තැන මේ බැව් දන්නා නිසාය... සිනමාව ගැන මතකය හිටි හැටියේ අවදි වූයේ ඊයේ දිනයේ අන්තර්ජාලය හරහා බා ගත කොටගෙන නැරඹු සිනමාපටයක් නිසාය...

මේ එම සිනමාපටයයි...මහා උසස් යැයි ලේබල් ඇලවීමට මා සුදුස්සකු නොවන මුත් හිතට අල්ලලා ගිය නිර්මාණයක් ලෙස හැදින්විය හැකි කතාවකි...



බැළුවට පාඩු නැහැ

26 February 2012

යන අතක පල...

වචනයක් ඇමුණුමත් මහා වදයක් වෙලා..
හිස් වෙලා හිස් වෙලා මගේ හිත හිස් වෙලා..
කලක් මෙහි තිබු හැඟුම් කොහේදෝ පා වෙලා..
අද නැතේ කිසි දෙයක් හදවතම හිස් වෙලා..

දුකින් පිරි සිහිනයක රැඳී උනි පෙර දිනක..
ඒ දුකත් කාලයා විසින් ඇත නසා අද..
හදවතේ කිසිත් නැත..හිස් කමක් පිරී ඇත..
ඒ නමුත් දුකක්නැත..ජීවිතේ හිස්ය අද..

හෙට දිනක් ගැන සිතා පලක් නැත වෙහෙසිලා..
මොන දෙයක් වූ නමුත් පෙර දිනේ ගත වෙලා..
පෙර දිනත් හෙට දිනත් මට පලක් නැත තවත්..
අද දිනේ දිවි ගෙවමි හෙටක් ගැන නොම සිතමි...

23 February 2012

අමරණීය වීමේ රහස දැන හුන් පුද්ගලයා...

"හාමුදුරුවනේ මං මේ ලෝකෙට පහළ උනේ මිනිස්සු මරණයෙන් මුදවන්න..මල මිනී වලට පණ දෙන්න...ඒක මට පුළුවන් වැඩක්...හරිනං මට ආණ්ඩුවෙන් මේකට අවස්ථාව දෙන්න ඕන..මං විතරයි ඒ රහස දන්නේ...ඒත් කෝ මට කවුරුවත් අවස්ථාවක් දෙන්නේ නැහැනේ..මට ඔය ලංකාවේ මැරෙන මිනිස්සුන්ගේ මිනී ටික එකතු කරලා දෙන්න. ඒවා තියා ගන්න තැනක් දෙන්න..මං සති දෙකෙන් ඒ අයට ආයෙම පණ දෙනවා. මේවා බොරු නෙවෙයි.හැබැයි ඒ මිනී එම්බාම් කරන්නේ නැතිව ඕන..එහෙම දෙනවනං මං කියා දෙන්නං ඒ රහස..දොස්තරලටත් කියා දෙන්න මට පුළුවන්..."

ඉඩක් දුන් ගමන් ඔහු කියවාගෙන යයි... මා අසා සිටිමි..වැදගත් වැඩක් පලක් නැති වේලාවකට මෙම කතාව අසා සිටීම එතරම් අපහසුවක් නැත..අතර මැදින් උවමනා නම් ප්‍රශ්නද නැගිය හැක. නමුත් ඒවාට ඔහු විසින් දෙනු ලබන පිළීතුරු මා විශ්වාස කරනවා යැයි ඔහුට ඒත්තු ගැන්විය යුතුය..නොඑසේ නම් ස්වල්ප වේලාවකින් ඔහුගේ ස්වරය උච්ච වේ.. එවිට ඔහු කියනවාට වඩා අණ කරනවාක් වැනි ගතියක් පැහැදිලිව දක්නට ඇත..

මේ මා විස්තර කරනු ලැබුවේ මල මිනිසුන්ටත් පණ දිය හැකි යැයි කියනු ලබන අයකු පිළීබඳවයි.. හෙතෙම මා අවසාන වතාවට දුටුවේ මීට වසර 3කට හෝ හතරකට පමණ ඉහතදීය...ඔහුව මා හට මුණ ගැසුණේ මීට වසර 8කට පමණ පෙරදීය... මේ ඔහුගේ කතාවයි...

එවකට මා නිවස හැර පියා ගොස් පන්සලේ ජීවිතය ගත කරමින් සිටි කාලයයි.. එම විහාරස්ථානය වැඩි කල එළීයක් නොමැති ජන ශූන්‍ය ස්ථානයක් වූ බැවින් ඉඳ හිට හෝ එයට ගොඩ වදිනා අය පිළීබඳව මතකය බොහෝ තදින් මතකය වැළද ගන්නා බව අමුතුවෙන් කිය යුතු නොවේ..මෙම පුද්ගලයාද එවැන්නෙකි...

එවකට වයස අවුරුදු විසි පහක් තිහක් අතර පමණ වේ යැයි සිතිය හැකි පෙනුමක් තිබූ ඔහු දැක්මට ප්‍රසන්නය.. සිහින් කෙසඟ සිරුරත්..නිතරම තෙත් ගතියෙන් යුතු තෙල් ගානා ලද කැරළී ගැසුන කොණ්ඩයත්..තළෙලු ගතිය ඉක්මවා යන්නා වූ මඳක් සුදු පැහැ ශරීරයත්..නිහඬ සන්සුන් පෙනුමත් ඔහු සතුය... එක් වරක් දුටු විටම සිතක යම් පැහැදීමක් ඇති කරවීමට ඔහුගේ මෙම බාහිර ගති ස්වභාවය ඉවහල් වේ..

කිසි දිනක ඔහු සුදු පැහැ කමිස හැර අන් පාටක් පාවිච්චි කරනවා මා දැක නැත... කඩා හැලෙන දුහුල් සුදු කමිසයත් කළු කලිසමත් හම් පටි සහිත පාවහන් යුගලයත් ඔහුගේ නිල ඇඳුම වැනිය... නිතරම පිරිසිදු පෙනීමක් සහිත මෙම තරුණයා පන්සලට එන්නේ දහවල් කාලයේ ඉර මුදුන් වන්නට ආසන්න වද්දීය... ඒ පැමිණී විගස කිසිවකු හා කතා බහක් නැතිව පාවහන් යුගල පන්සලට ඇතුළු වන තැන තණ කොල බිස්ස මත ගලවා දමා බිමට හැරවුන දෙනෙතින්, සන්සුන් ගමනින් බෝ මළුව කරා ඇවිද යන අතර වැරදීමකින් හෝ අප කිසිවකු ඉදිරියට පැමිණයේ නම් හිස ඔසවා බලා මඳ සිනහවක් පා නැවතත් හිස පාත් කොටගෙන ඉදිරියට ඇදෙයි.

පන්සලට පැමිණී පසුව පැයක් දෙකක් පමණ වේලාවක් ඔහු බෝ මළුවේ රැඳී සිටියි..පළමුව බෝ මළුව ඉදලක් ගෙන අමදින ඔහු කිසිදු දිනක බෝ මළුවෙන් පිටත පෙදෙසක් ඇමදීමට උත්සහ කරනවා මා දැක නැත. ඔහුටම අයිති ප්‍රදේශයක් මෙන් සලකුණූ වූ බිම් කඩ මැනවින් අතු පතු ගා දමා එතැන් පටන් වට කිහිපයක් දොහොත් මුදුන් තබාගෙන බෝධිය වටා පැදකුණු කරනු ලබයි..ඉන් අනතුරුව බෝ මළුව අයිනේ පිහිටා ඇති විහාරගෙයි බැම්මට පිට දී බිම වාඩි වී සෑහෙන වේලාවක් බෝධිය දෙස බලාගෙන නිසොල්මනේ සිටිනු ලබයි.. අනතුරුව කිසියම් මොහොතක එයින් හිටි හැටියේ නැඟී සිට නැවතත් සිය පාවහන් යුවලත් පැළඳගෙන පිටව යයි.

මසකට තුන් හතර වතාවක්වත් මෙම තරුණයා දැක්මට හැකියාව ඇතත් ඔහු කාගේ කවුදැයි කියා අප කිසිවකුත් දැන සිටියේ නැත.. දිනක් අහම්බෙන් මෙන් විලී අයියා පන්සලට පැමිණ සිටි දිනක මොහුව දැක ඔහු පිළීබඳව යම් විස්තරයක් කරනා ලදි...

"පන්සල් ආවට හාමුදුරුවනේ ඔය ළමයා ආගමේ.. ඒත් මං හිතන්නේ පල්ලි යන්නේ නැහැ. ඉස්සර බස් හතරක් පහක් හිටං තිබුණා.. පස්සේ කසාඳත් බැන්දා..එයින් පස්සේ මොනවා හරි අවුලක් උනා..දැන්නං බසුත් නැහැ..මොනවා නමුත් කරදරයක් වෙලා"

එයින් එහාට යමක් විලී අයියා දැන සිටියේත් නැත. අප සොයන්නට ගියේත් නැත. පන්සලක් යනු ඕනෑම කෙනෙකුට ක්ෂේම භූමියක් විය යුතු තැනකි. මා පවා එම ක්ෂේම භූමියේ සරණ ලැබූවෙක්මි. එහෙයින් මොහුටද එයට බාධාවක් නොවීය... මෙසේ වසර කිහිපයක්ම ගෙවී ගියත් ඔහු හා අප අතර කතාවක් නොවීය...

කලකට පසුව මා විසින් පන්සලේ චෛත්‍යය ගොඩනැංවීමේ කර්තව්‍යයට අත ගසා සිටියදී බෝ මළුවේ යම් කිසි ප්‍රදේශයක් එම කාර්යයට යොදා ගැනීමට සිදු වීම නිසා එම දිනවල බෝ මළුවත් තරමක් හැඩි වී තිබුනේ චෛත්‍ය කර්මාන්තයට පැමිණී අය විසින් එයට ඇවසි උණ දඩු හා ලී කැබලි වැනි දේද එම අවට ප්‍රදේශයේ විසුරවා දමා තිබූ බැවිනි.. එසේ වූ දවසක නැවතත් මා පෙර කී තරුණයා පන්සල් පැමිණියේය...

තමාට හුරු පුරුදු වතාවත් කිරීමට තරම් අවට පරිසරය යෝග්‍ය නොවන බව තේරුම් ගත් ඔහු වෙනදා මෙන් මළුව ඇමදීමක් නොකොට ටික වේලාවක් බෝ මළුවේ සිට ආවාසය පැත්තට එන්නට විය..එවිට මා සිටියේ ආවාසය ඉදිරි පිට මට හුරු පුරුදු හාන්සි පුටුවේ වාඩි වී හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තබා ගත් ලෑල්ලක තබාගෙන මොනවා හෝ නමුත් ලිපියක් සකස් කරමින්ය... කවදාවත් නැතිව මෙම නිහඩ තරුණයා ආවාසය කරා එනු දුටු පසුව කරමින් තිබූ වැඩය පසෙක තබා ඔහු වෙත අවධානය යොමු කලෙමි.

කිසිදු චකිතයකින් තොරව එක එල්ලේ මා වෙත පැමිණ දණ බිම තබා වැඳ නමස්කාර කොට නැවතත් සිටගෙන දෑත් ඉදිරිපසට කොට බැඳගෙන සිටි ඔහුට මා විසින් වාඩි වීමට යැයි ඉදිරිපස වූ කෙටි බැම්ම පෙන්වන ලදි..පන්සලට එන කවුරු නමුත් මා හා සමඟ සාකච්ඡා කරනුයේ මෙම ස්ථානයේ සිටයි..ඔහුත් ඒ ආකාරයෙන් එහි වාඩි වී කතා කරන්නට පටන් ගත්තේය...

"හාමුදුරුවනේ පන්සලේ අළුත් චෛත්‍යයක් හදනවා වගේ නේද..?"

"ඔව් මහත්මයා..කාලෙක ඉඳන් කරන්න තිබුන දෙයක් පහු වෙලා පහු වෙලා කොහොම හරි දැන් කරන්න කියලා පටන් ගත්තා..මේ මහත්තයා..." යැයි තරමක් දීර්ඝව අදිමින් කතා කලේ ඔහු හට කතාවට අවස්ථාව දෙමිනි..එම අවස්ථාව ඔහු විසින් ලබා ගන්නා ලදි..

"හාමුදුරුවනේ මං මේ ළග ගමක..හුග කාලෙක ඉදන් මෙහෙ එනවා. මගේ හිත හරි නැති වෙලාවට මෙහෙ ඇවිත් ටිකක් හිටියම හිතට හරි සැහැල්ලුයි..මට හුගක් දේපල තිබුණා කලින්..වාහන හත අටක්..වී මෝල්... එහෙමත් තිබුණා..දැන් කාලෙකට කලින් මං බැන්දා..ඒ මාත් එක්ක යාළු වෙලා අවුරුදු පහක් විතර හිටිය ගමේ දුප්පත් ගෑණූ ළමයෙක්ව..ඒත් හාමුදුරුවනේ මට පොඩි අසනීපයක් තිබුනා... අන්තිමේදී ඒ ගෑණු කෙනා මාව දාලා ගියා..අන්තිමට මං දවසින් දවස වැටුනා..පස්සේ මගේ වාහන හැම දේම විකුණන්න උනා..දැන් තේ කොල බිස්නස් එකක් කරනවා මේ බලන්න මගේ කාඩ් එක.."

යැයි කියා හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවෙන් කොල පැහැති කාඩ් පතක් ගෙන මා අතට දී නැවතත් කියවාගෙන යන්නට විය.මා එම කාඩ්පත පරීක්ෂා කර බැළු අතර එය ඔහුගේ තේ කොල ව්‍යාපාරයට අදාලව මුද්‍රණය කරන ලද්දක් බව පැහැදිලි විය...

"බලන්න හාමුදුරුවනේ මං අවුරුදු ගාණක් යාළු වෙලා හිටියේ..ඔය කෙල්ලව බැන්දා කියලා මගේ නෑදෑයෝ හැමෝම මාත් එක්ක තරහා උනා..ඒත් මං ඒකිව අතෑරියේ නැහැ..ඒත් පස්සේ මගේ කරුමෙට මට මේ ලෙඩේ හැදුනා..මට ලිංගික අප්‍රාණිකත්වය හාමුදුරුවනේ... ඒකට බෙහෙත් ගත්තා..ඒත් හොද වෙන්න පරක්කු උනා..අන්තිමට මේ ගෑණී මාව දාලා ගියා..මට කවුරුවත් නැතිව ගියා..."

මෙසේ කියා ගෙන යන්නට වූ ඔහු කතාව අවසන් කොට මාගේ අතේ තිබූ කාඩ්පත නැවත ලබා ගන්නා ලදි... වේලාවේ හැටියට මා ඔහු හට හිත හැදෙන ලෙස කරුණු කිහිපයක් කියන්නට යෙදුණ අතර ඕනෑම මොහොතක පැමිණ පන්සලට වී වතාවත් කර ගන්නා හැටියටද පවසන ලදි...

එදා පිටව ගිය ඔහු නැවත ආ දිනක දාන වේලාව ආසන්න වූ අතර කෑම කාලාදැයි ඇසූ විට "නැහැ හාමුදුරුවනේ" කී හෙයින් පන්සලේ සිටි අයකු ලවා කෑම කන්නට අවස්ථාව සැලසූ අතර එයින් පසුව වෙනදාට වඩා ලග ලග ඔහු පන්සල‍ට ඇදෙන්නට විය..එසේම මා නැතත් පන්සලේ සිටින අයකු ලවා කෑම ඉල්ලාගෙන කන්නටත් පුරුදු විය. එයින් කිසිවකුටත් කරදරයක් නැති හෙයින් කිසිවකුත් ඒ ගැන කිසිවක් කීවේද නැත..

මෙසේ ගතවද්දී මොහු නිතරම මා සමඟ හෝ පන්සලට පැමිණ සිටින අය සමඟත් කතා බහට වැටෙන්නට වූ අතර ඔහුට ඇති අසනීපය ගැන සැම දෙනා හටම කියන්නටද පටන් ගෙන තිබුණි.එය දැන ගත්තේද අහම්බෙනි.. දිනක් දහම් පාසලේ උසස් පන්තිවල සිටි පිරිමි ළමෝ කිහිප දෙනෙක් මොහු සමඟ කතා බස් කොට සිට මා කරා පැමිණ තරමක් අමුතු ආකාරයෙන් සිටිනු දක්නට ලැබුනු නිසා "මොකද කට්ටිය නිකං හොරගල් අහුලන්නේ" යැයි විමසූ විට තරමක් පසු බාමින් මෙන් කියා සිටියේ..

"හරි වැඩේනේ හාමුදුරුවනේ අර අයියා එක්ක කතා කරකර හිටියා එයා කියන්නේ එයාට නගි*** නැහැයි කියලා... ඉතිං අපි මොනවා කරන්නද..ඒකම කිය කිය ඉන්නවා... අපි මාරුව දාලා ආවා..." ඔවුන් කියනු ලැබුවේ තරමක් කුහුලත්..සිනාවත් මුසු ස්වරයකින් වූ නිසා ලෙඩෙකුට සිනහ වීම හොද මදි බව පමණක් කියා ඔවුන් පිටත් කොට පෙර කී තරුණයාට කතා කොට තමාට ඇති අසනීපය හැමෝටම කිය කියා ඇවිදින්න ඕන නැති බවත් එය නූවමනා දෙයක් බවත් පැවසූ විට

"ඉතිං හාමුදුරුවනේ මං කිව්වේ ඇත්තනේ..මට නගි** නැහැනේ"

"හරි මහත්මයා ඒකට වෛද්‍යවරුන්ට කියලා බෙහෙත් කරනවා ඇර මේ හැම කෙනාටම කිව්වට වැඩක් නැහැනේ..ඒ හින්දා එහෙම කරන්න ඕන නැහැ" යි කියා සිටිය මුත් වෙනදාට වඩා ඔහුගේ අමුත්තක් දක්නට ලැබිණ...

පසුව එන්න එන්නම මොහුගේ තත්වය වෙනස් වූ අතර මා නැති අතරතුර වේලාවල්වලදී පැමිණ බලෙන් මෙන් ආහාර ඉල්ලීමටත්..ඔහුගේ කතාව පන්සලේ සිටින අයට කිය කියා සිටින්නටත් වී තිබිණි.

පසුව වේලාවක් බලා කිසිවකුත් නැති මොහොතක ඔහුට කතා කොට මේ සම්බන්ධව කියා එසේ නොකරන ලෙසත් සමහර දින වල පන්සලේ කෑම නැති වේලාවල්වලදී කරදර නොකරන ලෙසත් දන්වා ඔහුට අවශ්‍ය නම් දන්නා හඳුනන වෛද්‍යවරයකු මුණ ගස්සවා දෙන්නටත් කතා කලෙමි.

පුද්ගලයා කෝප වූ සෙයක් පෙන්වන්නට විය..

"හරි මගුලක්නේ..මටනේ අසනීපේ තියෙන්නේ...අනික මට කන්න දෙන එක කොච්චර පිනක්ද..මට නගි** නැහැනේ... බුදු හාමුදුරුවන්ට කන්න දෙනවට වඩා මට දෙන එක පින් සිද්ධ වෙන වැඩක්..අනික මං මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ නිකං නෙවෙයි මේ ලෝකේ බේරා ගන්න..ඕනම මැරෙන මිනිහෙකුට පණ දෙන්න මට පුළුවන්... හාමුදුරුවෝ හරිනං මට උදව් කරන්න ඕන ඒකට..අර දන්නවා කිව්ව දොස්තරට කියලා මට ඉස්පිරිතාලවල මැරෙන මිනිස්සු ටික ඉල්ලලා දෙන්න..මං ඒ අයට පණ දෙනවා.."

යැයි අළුත් කතා රාශීයක් කියන්නට විය.පසුව කෙසේ හෝ තරමක් ඔහුව සන්සුන් කොට පිටත් කර හැරි අතර එයින් පසුව ඔහු සමඟ කතාව තරමක් ප්‍රවේශමෙන් කරන්නට සිතා ගතිමි.

එයින් පසුවද වරින් වර මා සොයාගෙන පැමිණ ඔහුගේ අළුත් දහම මා හට දේශනා කරන්නට ගත් අතර ඔහුට රිසි දෙයක් කියා ගන්නට ඇර මා නිහඩව සිටින්නට ගත්තේ ඔහුට එයින්වත් යම් සහනයක් ලැබේ යැයි සිතූ බැවිනි.. මේ කතාව බහ ඇර වෙන කිසිදු බාහිර වෙනසක් ඔහු තුලින් විදයාමාන නොවීය... සාමාන්‍ය හැසිරීම ඉතාමත් සන්සුන් වූ අතර..දින දෙක තුනකට සැරයක් පමණ පැමිණ මා වෙත දේශනා කරනු ලබන අමරණීය දහම මා අසා සිටියේ නම් එය අවසන ඔහු සන්සුන්ව පිටත්ව යයි.. කුමන හෝ කරුණක් නිසා මට ඔහු හා සමඟ කතා කරන්නට ඉස්පාසුවක් නොවිණි නම් ඔහු පන්සලේ සිටින වෙන කිසිවකු සොයා ගොස් තම දහම දේශනා කරනු ලබයි..එහෙත් එහිදී ඔහුගෙන් පෙරලා නැගෙන ප්‍රශ්න නිසා කෝපයට පත්වන ඔහු අවට සිටින්නවුන්ට බැණ පිටත්ව යයි..

දිනක් මා කුමන හෝ වැඩක යෙදී සිටියදී මොහු පැමිණ දාන ශාලාව පැත්තේ ගෝරණාඩු කරනවා ඇසී එහි ගිය කල විලී අයියා සමඟ පැටලී සිටියේය... ඒ වන විට දාන ශාලාවෙහි කන්නට කිසිවක් නොතිබූ බව මා දැන සිටියෙමි. එහෙත් ඔහු කෑම ඉල්ලා විලී අයියාටත් එහි සිටි කුඩා හිමි නමකටත් තර්ජනය කරයි...

"මම තමයි බුදු හාමුදුරුවෝ.. කෝ මට කන්න නැද්ද මේ පන්සලේ..මං එන්න කලින් ඇයි අනිත් අය කෑවේ.." ආදී වශයෙන් කතා කියන්නට වූ අතර විලී අයියා මා දෙස බලා
"හාමුදුරුවෝ තමයි මේ නැති ලෙඩ දාගෙන තියෙන්නේ" යැයි කියා මා හට කියා
"මං මේක බලාගන්නං හාමුදුරුවෝ යන්න ගිහින් වැඩ ටික බලා ගන්න" යැයි කියූ පසුව එහි නාස්ති කිරීමට තරම් වේලාවක් නැති හෙයින් මා එයින් ඉවතට ගියෙමි...

පසුව වේලාවක මා හට මොහු ගැන සිහිපත් වී සොයා බැළුවද ඔහු පන්සලට ආ වගක් නොදිටිමි..එහෙයින් අන් අයගෙන් විමසා සිටින ලද කල්හී විලී අයියා විසින් මොහුගේ නෑදෑයින්ට පනිවිඩයක් යවා මොහුගෙන් ඇති කරදරය ගැන දන්වා ඇති අතර ඔවුන් විසින් මොහුව ප්‍රතිකාර සඳහා යවා ඇති වග පමණක් දැන ගන්නට ලැබිණී..එයින් පසුව මේ වන තෙක් ඔහු මා හට හමු වී නොමැත... එහෙත් ජීවිතේ හමු වූ අමතක නොවන චරිත අතරට මෙම අමරණීය රහස දැන හුන් තැනැත්තාත් එකතු වී ඇත...

22 February 2012

බලු වැඩ

video

ඔන්න අපේ උන්ගේ වැඩ..කොහොම හොඳට සැලකුවත් බල්ලෝ කරන්නේ බලු වැඩම තමා...

18 February 2012

බ්ලොග් ලියන එකත් හරියට මේ වගෙයි...

බ්ලොග් ලියන එකත් හරියට කොයි වගේද කියලා කිව්වොත් ඒකත් හරියට කළුගල් බැම්මක් බඳිනවා වගේ වැඩක්...

කළු ගල් බැමි දැකලා ඇතිනේ කවුරු කවුරුත්..නැත්තං ගිහිං හොයාගෙන බලන්ට...

සාමාන්‍යයෙන් දැන් ඔය අපි ගෙයක් දොරක් හදන්න යනකොට එකේ අත්තිවාරම එහෙමත් නැත්තං සිංහල වචනේ මං හිතන්නේ ෆවුන්ඩේෂන් එක බදින කොට වගේම පස් කඩා වැටෙන අනාරක්ෂිත ස්ථානවල එම තැනෙහි ආරක්ෂාව සඳහාත් කළු ගල් බැමි බැදෙන වෙලාවල් තියෙනවා.

ඉතිං ඔය පුරාණ පන්සල්වල.. බලකොටුවල..රජමාළිගාවල එහෙමනං කළුගල් බැමි බැඳපුවා දකින්න තියෙනවා සමහරක්.. එවානං බැඳලා තියෙන්නේ හතරැස් කොරපු ගල් කුට්ටිවලින්..ඒ දවස්වල හොඳ ගල් කැපුං කාරයො හිටියට දැන් ඉන්නේ කියුං කාරයෝ මිසක් එහෙමට කැපුං කාරයෝ නොවෙන හින්දද කොහේද අද කාලෙක එහෙමත් තැනක තමා ඔය වගේ හතරැස් සුමට කළු ගල් බැම්මක් බැ‍ඳෙන්නේ.. නැත්තං ඉතිං කොහේත් බැමි බැ‍‍ඳෙන්නේ ගානකට මිම්මකට නැති රළු මුහුනත් තියෙන කළු ගල්වලින්ම තමා... මං මේ කියන්ට යන්නේ අන්න එහෙම ගල් බැඳීම ගැනයි...

මං කියන්ට ගියේ මේ නිර්මාණ කාරියත් හරියට ඔය ගල් බැඳිල්ල වගේ කියලයි.. ඇයි එහෙම කියන්ට හේතුව කළු ගල් බැම්මක් බඳිද්දී ඒකට ‍ලොකු ලොකු ගල් වගේම පොඩි පොඩි සක්ක ගලුත් ඕන කරනවා... ලොකු ගල්වලින් ඉක්මනට බැම්ම බැදෙනවා වගේම ලක්ෂන ගතියත් සවි ශක්තිමත් පෙනුමත් ඇති කෙරෙනවා..පුංචි පුංචි බොරළු කැට වගේ දේකින් ඒ වගේ ශක්තිමත් ස්වභාවයක් අපිට පේන්නේ නැහැ..ඒත් අපි නොහිතන කාරණයක් තමා ඔය ලොකු ලොකු ගල් සවිශක්තියට පිහිටවා ගන්න උපකාරී වෙන්නේ සක්ක ගල් කියන එක...

සක්ක ගල් කියන්නේ පොඩි පොඩි ගල් පතුරු කෑලිවලට... නියමිත හැඩයක් තැනි ලොකු කළු ගලක ටිකක් හරි සමතල පැත්තක් තෝරගෙන ඒක බැම්මේ පිටතට පේන පැත්තට තියලා බැම්ම බඳිනකොට ඒ ගල නියමිත ආකාරයට රඳවගන්නවෙන්නේ සක්ක ගල් ගහලා..එහෙම නොවුනොත් ඒ ගල පෙරලිලා වැටෙනවා.. ඉතිං පොඩි පොඩි ගල් වලින් සක්ක ගහලා තමා අන්තිමට බඳාම හැන්දක් ගහලා අර ලොකු ගල සක්ක ගලුත් එක්කම බැම්මට සවි කර තබන්නේ.මේ බදාම පාරත් ගල් අතර ඇති හිඩස් හොයාගෙන ඒ අස්සට හොදින් කැවුනම තමා බැම්මේ සවි ශක්තිය නියමිත ආකාරයට රඳා පවතින්නේ... ඒ අනුව නියම විදියට බැම්මක් බැ‍ඳෙන්න නම් ලොකු ගල්..සක්ක ගල් වගේම හොඳින් බඳාම කැවීමත් වැදගත්...ඒක ඉතිං හොඳට කෙරෙන්නේ ඒ ඒ බාස්ගේ හැටියට තමා...

බ්ලොග් ලිවිල්ලත් ඒ වගේ තමා...

සාමාන්‍යයෙන් ලොකු කළු ගලකට පොඩි පොඩි සක්ක ගල් රාශියක් එකතු උනාම හයියට හිටිනවා වගේ ඉතාඋසස් නිර්මාණ..ලිපි අතරට සාමාන්‍ය මට්ටමේ නිර්මාණ තියෙන්නත් ඕන.. ඒවයින් වෙන්නේ අර සමස්ථ බ්ලොග් එකම එක්තරා අන්දමක ස්ථාවර තත්වයකට පැමිණිමයි..ඒ අතරට කමෙන්ට් කරුවන්ගෙන් වදින බඳාම පාරවලුත් ආවම බැම්ම සම්පූර්ණයි.

ලොකු ලොකු ගල් හැටියට බොහෝම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන ලිපි වගේම... සක්ක හැටියට ඔය සාමාන්‍ය ලිපිත්..ඒ අතරට බදාම වගේ සවිවන කමෙන්ටුත් එකතු උනානං වැඩේ සාර්ථකයි..ඒක තමා බ්ලොග් එකක් දීර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි හොඳම විදිය.

අපිට කාටවත්ම කවදාවත්ම බැහැ සීයයට සීයක් හොඳම නිර්මාණ විතරක් ඉදිරිපත් කරන්න... ලෝක ඉතිහාසයේ හිටිය ඕනම නිර්මාණ කරුවෙක්ට ප්‍රශස්ථ වගේම දුර්වල නිර්මාණ ගැනත් අතීතයක් තියෙනවා..ඒ සාමාන්‍ය ස්වභාවය... වැදගත්ම දේ ඒ හැම දෙයක් අතරින්ම තමන්ගේ ගමන යෑමයි..එහෙම නැත්තම් බැම්ම බැඳිමයි...

එහෙම නැතිව මං ලියන්නේ හොඳම හා ප්‍රබුද්ධ ලිපි පමණයි කියලා හිතුවොත් ඒක ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..සක්ක නැතිව ලොකු ලොකු ගල්වලින් විතරක් බැමි බැන්දොත් එහි ශක්තිය අඩුයි වගේම එක්තරා උසකදී බැම්ම පෙරලෙන්න තියෙන හැකියාව වැඩියි.. මොකද අපි හොඳම ඒවා කියලා විතරක් ලිය ලිය ඉඳලා කොයි වෙලේ හරි අපි හොඳයි කියලා හිතං මහන්සිවෙලා ලියන දේකට නිසි ඇගයීමක් නැති උන දවසට අර මෙච්චර දවසක් ලියං ඇවිත් හදාගත්ත හැම දේම නැති උනා වගේ දෙයක් තමුන්ට දැනෙන් පුළුවන් නිසා...

එහෙම නොවෙන්නනං හොඳ වගේම සරල ලිපිත් ලියවෙන්න ඕන..එතකොට ඒ දෙවර්ගෙටම ලැබෙන ප්‍රතිචාර දිහා බලලා වැඩිය ඇගට නොගෙන තමන්ගේ ගමන යන්න හැකියාව ලැබෙනවා...තමුන්ගේ ලේඛන හැකියාව හොඳින් පවතින කාලවලදී වගේම යම් යම් ආකාරයකින් දුර්වල වෙලා තියෙන කාලවලදිත් වැඩි අපහසුවක් නැතිව වැඩේ ඇදගෙන යන එක එහෙම උනාම ඒ හැටි දෙයක් නෙවෙයි...

හොඳ නිර්මාණ පවුරක් බැඳීමත් කළු ගල් බැම්මක් බැඳිමත් දෙකම එක වගේ වැඩක්ය කියලා මට හිතුනේ ඔන්න ඔය හින්දයි...
.........................................

සැලකිය යුතුයි. ගඩොල් හා බ්ලොග් ගල් බඳින්නන්ට අඳාල නොවේ..:D

.........................................

තවත් පුංචි කතාවක් කියන්නං...

විවිධ දේවල් කරන පිරිසක් ගෙන්වලා එකම කාරයක් බාර දුන්නා කියලා හිතන්න..උදාහරණයක් හැටියට පිළිරුවක් හදන්න කිව්වා කියලා...

ලී වඩුවා එය ලී කොටයකිනුත්..ගල් වඩුවා ගලෙනුත් හදන කොට පාන් බක්කරේ ඒකම පිටි මෝලියෙනුත් කරනවා...අන්න ඒ වගේ මං දන්න දේට අනුව එපෑ මගේ උපහැරණත්...දැන් කියහල්ලාකෝ අවලං කතා..:D:D:D

15 February 2012

මගේ කරුමෙද..මුගේ කරුමෙද.. සංවේදී දසුන් නැරඹිය නොහැකි අය නොබලනු මැනවි.

ඊයේ පෝස්ට් එක දාලා හැරෙන්නවත් උනේ නැහැ..මේ දැන් උනා වැඩක්... මට කියන්න දේකුත් නැහැ..කරන්න දේකුත් නැහැ.. පින්තූර ටික බලපුවම තේරෙයි...මොන කරුමයක්ද මේ..?



14 February 2012

මාරයාට පෙනි පෙනි නැවතත් ගුවන් අනතුරක්..ජීවිත හානි නැත...

මේවා ලියන්න ගියාම බලන අය හිතයි යකෝ මූ ඉන්න හරියෙන් යන එක හෙන බයානකයිනේ කියලා..ඒත් මං මොනවා කරන්නද දෙයියනේ.. මෙව්වා රිපෝට් කරන්න මටම වෙන එකයි කණගාටුවට කාරණාව..ඒත් අකමැත්තෙන් උනත් මගේ මාධ්‍ය මෙහෙවර කරන්න මට වෙලා තියෙනවා...

කවුරුත් දන්නවනේ මං මේ වෙනකොට සියැසින්ම ගුවන් අනතුරු දෙකක් දැක ගන්න ලැබුන පුද්ගලයෙක් කියලා.. එයින් එකක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ධාවනපථය තුලදීම සිද්ධ වෙච්ච පුහුණුවීම්වල යෙදුණ ප්‍රහාරක යානයක්..අනිත් අවස්ථාව මේ මෑතකදී වෙච්ච යක්කල ගුවන් අනතුර..මොන හේතුවකටද මංදා ඔය දෙකම දෑසින් දැක ගන්න මට සිද්ධ උනා..ඒ අස්සේ තමා මේකත් උනේ...හැබැයි මේ වතාවේ අනතුරින් කාටවත් හානියක් උනේ නැහැ.. සිද්ධිය උනේ මෙහෙමයි...

වේගයෙන් පියඹා ආව යානයන් දෙකක් මගේ අවට ගුවනේ කිහිප විටක්ම ගුවන් කරණම් ගසමින් එකිනෙකට ළඟින් පියාසර කලා... සාමාන්‍යයෙන් මේ හරියේ ඕක නිතරම සිද්ධවෙන සුළභ දසුනක් හින්දා මං ඒ හැටි ගණන් ගත්තේ නැහැ.. ඒත් ඉතිං කවුද අකමැති ඔය පියසර සරඹ බලන්න..ඉතිං මාත් මුර කුටියේ මගේ ආසනේ වාඩි වෙලා ඉන්න ගමන්ම ඕක දිහා බලං හිටියා..ඒත් එක පාරටම නොසිතූ යමක් සිද්ධ උනා...

ඒ වෙලේ යානා දෙකම පොළවට බොහෝම සමීපයෙන් පියාසර කරමින් තිබුණේ..එක් වරම ඇඳි ආව යානා දෙකෙන් එකක් අතරමග තිබූ බාදකයක් හඳුනා ගත නොහැකිව වේගයෙන් විත් එම බාදකයේ ශබ්ද නගමින් හැපී ඇඳ වැටෙනවාත් සමඟම පිටු පසින් ආව යානාව කෙසේ හෝ වේගය පාලනය කර ගනිමින් බාධකයේ නොහැපී ආපසු හරවාගෙන ගොස් බේරුනා..

මං වහාම බැළුවා හැුන යානාවට මොකද උනේ කියලා...මේ තියෙන්නේ ඒක...
අවුලක් නැහැ බොහෝම තදින් හුස්ම අල්ලනවා..මං හිතන්නේ ආව වේගෙට පපුවමයි වැදෙන්න ඇත්තේ..ඒ හින්දා මං ලං වෙන්න ගියේ නැහැ..මං ළං උනොත් මේකා තවත් බය වෙලා හෘද ස්පන්දන වේගය දරාගන්න බැරිව මැරෙන්න පුළුන් නිසා මං මගේ පාඩුවේ හිටියා...

කොහොම හරි එහෙම පැය බාගයක් විතර හිටිය කුරුල්ලා පස්සේ පැත්තකට ඇදිලා ගිහින් මුල්ලක හැංගිලා හිටියා..මේකත් එක්ක කරණම් ගගහා හිටිය අනිකා ගාඩ් රූම් එක ඉස්සරහා ෆැෂන් වැලේ ඉඳගෙන මං දිහාත්..මෙයා හැංගුන තැනත් දිහා මාරුවෙන් මාරුවට බලං හිටියා...

ඇත්තටම උන් දෙන්නම මටවත් මාත් එක්ක රාජකාරි කරන අනිත් කෙනාටවත් ඒ හැටි බයක් නැහැ.. උන් දෙන්නා දැන් කාලෙක ඉඳන් මේ ඉස්සරහ ෆැෂන් වැල් ගාලේ කූඩු හද හද ඉන්න ජෝඩුවක්... උන් කූඩු හදනවා.. මෙතන ඉන්න ලෙනෙක් ඒ කූඩුව කඩනවා.. එකම වලියයි... ඒ ලේනා එහෙම කරන්නත් හේතුවක් තියෙනවා.. ඒ තමා මෙච්චර කාලයක් අපි ඌට කන්න දුන්නා..ඒත් දැන් මේ කුරුළු ජෝඩුව ආවට පස්සේ උගේ බත් පංගුවට තවත් හවුල් කාරයෝ දෙන්නෙක් ආව කේන්තියට තමා ඌ මුං දෙන්නට ගේම දෙන්නේ... ඉතිං අපේ වැඩේ ඔය වලිය බේරන එකයි... කුරුල්ලෝ දෙන්නා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා ලේනා දුවං ඇවිත් කූඩුව හප කරනවා.. ඒක දැක්කොත් උන් දෙන්නා ඇවිත් පිහාටු පුම්බගෙන ලේනා වටේ කැරගෙනවා..අපි ඉතිං හීන් කෝට්ටක් තියං ලේනව එලෝනවා..ඌත දන්නවා මලාට ඌට ගහන්නේ නැහැ කියලා..ඉතිං ඌ අපිව තඹේකට ගණන් ගන්නේ නැහැ.. කොහොමද අප්පා මේවා බේරන්නේ...
ඔය උඩිං ඉන්නේ ලේන් යාළුවා තමා...ඌටත් උඩින් පේනවාද වැහි කුරුළු කූඩුවක් තියෙනවා.. පේන්නේ නැත්තං පහළ පින්තූරේ බලන්නකෝ...
පේනවද..ඒ තමා වැහි කුරුළු කූඩුව..අර තක්කඩි ලේනා ඒක ඇතුලටත් රිංගලා ඉන්න හැටිත් පේනවනේ... මූ එක්ක කිසිම දෙයක් බේරගන්න බැහැ...ඔය වැහි කුරුළු කූඩුවේ හිටිය යාළුවන්ටත් ඒ දවස්වල මේකා හරියට කෙනෙහිළිකං කලා..දැන්නං උන් නැහැ..ඉතිං මූ ඒකෙත් අයිතිකාරයා වගේ තමා...

හප්පා මං කියන්න ආවේ මොනවද..අන්තිමට කියන්න උනේ මොනවද නේද..මගේ රාජකාරි ස්ථානේ තියෙන සුන්දර පරිසරය ගැන රචනාවක් ලියන්නයි වෙන්නේ මෙහෙම ගියොත්.. ඒ හින්දා දැන් ඒක නවත්තලා මෙන්න මං යනවා.. ආ ඊට කලින් ඔන්න පහළීන් දැම්මා අර යාළුවා හැප්පුන බාදකය.. ඒ තමා මගේ කාමරේ ඇතුලේ වීදුරු ජනේලය...මූ හැප්පුනේ ගාඩ් රූම් එක ඇතුලෙමනේ... ඉතිං හිතා ගතෑකිනේ මුං අපිව ගණන් ගන්නේ නැහැ කියලා..කොයි වෙලෙත් මේක ඇතුලෙත් පියාඹනවා...එහෙම ගිහින් තමයි දඩොස් ගාලා ඔන්න ඔකේ වැදුනේ...

හැබැයි බය වෙන්න එපා..පැය දෙහෙකට විතර පස්සේ ඌත් පියාඹලා ගියා... දැන් ඕක වෙලා සතියක් විතර ඇති..ඒත් මං නොදා හිටියේ..බලන අය හිතයිනේ මං ඉන්න හරියේ අහස හෙන බයානකයි කියලා..ඒත් ඊයේ මගේ සීමාවෙන් පිට අනතුරක් උන විත්තිය දැන ගත්තට පස්සේ තමා බය නැතිව මේක දාන්න හිතුවේ...

11 February 2012

යාපනේ ගමනේ පසු කතා සහ ගමනට ආරක්ෂාව දුන් පලවෙනි දෙයියා...

මට යාපනේ යන්න හිතුනේ අද ඊයෙක නෙවෙයි..මං පුංචි කාලේ පාඩං පොතක ආඩියා ළිඳ ගැන දාලා තිබුන පාඩමක විස්තරයි..යාපනේ අය වතුර අපතේ නොයවා ඒවා කානු දිගේ යන්න සලස්සලා වගාවන් කල හැටි ගැන කියෙව්ව දවසෙමයි..ඒත් එතකොට මං හිච්චි එකා.. ඉතිං කවුද මාව යාපනේ අරං යන්නේ..ඒ මදිවට යුද්දේ...

එහෙම යටපත් වෙලා තිබුනට අතරින් පතර කියවන්න ලැබුන පොත්පත්වල යාපනය ගැන කියවෙද්දී ආයෙමත් ඒ ආසාව වරින් වර උත්සන්න උනා..ඒ වගේම සමහර සිනමාපට නැරඹීමේදීත් ඔය අමාරුව ඔළුවට ගැහැවුවා..මට නම මතක නැති ගාමිණී ෆොන්සේකා දෙමළ වැසියෙක් විදියට රඟපාපු..විමල් කුමාරද කොස්තා බොක්කෙන්ම උන්නැහේව ආරස්සා කොරපු සීන් ටිකක් එහෙම ගිය සිනමා පටයක් මට යාන්තමට වගේ මතකයි..ඒක දැක්කමත් ආයේම යාපනේ ගැන මගේ හීන නලියන්න ගත්තා..ඒත් ඒ එකක්වත් හරියන දේවල් නොවී තිබුනේ යාපනේ යුද්දේ හින්දා ආයේ එහෙ යන්න විදියක් කවදාවත්ම නොලැබෙයි කියලා හිතෙන තරමටම යුද්දේ දවසින් දවස වැඩි උන හින්දයි...

ඔය අතරේ එක වංගියක් රනිල් උන්නැහේ අගමැති වෙච්ච වෙලාවේ කොහොම හරි ගිවිසුම් පොජ්ජක් මංදෝ කරලා අපේ අයට යාපනේ යන්න ඉඩ පාදලා දුන්නා..අපේ අයත් හෝ ගාලා ඒ දවස්වල ගියා..ඒ අතරේ මටත් කිහිප දෙනෙක්ම කතා කලා යාපනේ යන්න..එතකොටනං මං හිච්චි එකෙක් නෙවෙයි..ඉතිං මං යාපනේ යන්න හිතා ගත්තා..ඒත්... යාපනේ ගිහින් ආව උදවිය ඕමන්ත මුර පොලවල්වල රස්තියාදුවයි.. හරියට වෙනම රටකට යන විදියට තමුන් උපන් රටේම ඔළු පාත් කරං ගිහින් ඇවිත් ඒ ගැන වේදනාවෙන් කතා කල හැටියි දැක්කම ආයෙමත් මගේ ඒ ගමනේ සිහිනය මං අමතක කරලා දැම්මා... මොකද ඊට වර්ෂ කිහිපයකට කලින් මං බම්බල පිටිය වැල්ලවත්ත හරියේ රාජකාරි කරපු කාලයක් තිබුනා...

ඩග්ලස් දේවානන්ද..සිද්ධාර්ථන් ආදී උදවියගේ ගෙවල් වලින් චපාති කාලා ඒ ගෙවල්වලම පැදුර එළාගෙන වැටිලා නිදාගෙනත් තිබුණා.. කොළඹදී ඔවුන් හිටියේ අපිට දෙවෙනි වෙලා නෙවෙයි..ඇත්තටම කිව්වොත් කොළඹදිත් අපි කලේ ඔවුන්ව ආරක්ෂා කරපු එකයි.. ඒ වගේම වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් ඉන්නා සාඩම්බර විලාසයට අපිටවත් කොහේවත් ඉන්න පුළුවන්ද කියලා හිතෙන තරමට ඔවුන් සිංහලයින් අතරේ නිදහස භුක්ති වින්දා.. ඔවුන්ට තිබුන එකම කරදරය කොටි විතරයි... අපිට වෙලා තිබුනේ ඔවුන්ව කොටින්ගෙන් ආරක්ෂා කරන්න...

ඒත් ඒ නිදහස අපිට නැත්තං උතුරුකරේ ඇවිදිද්දී.. හරියට නිකං හොරු ටිකක් වගේ ඒ පැත්තෙදී ඔළුව පාත් කරං ගමන් කරන්න වෙනවනං... සිරිපාදේ ගියාම වගේ..එහෙම නැත්තං කතරගම ගියාම වගේ කට පරිස්සං කරගෙන පේ වෙලානං ගමන් කරන්න වෙන්නේ මං මොකටද එහෙම ගිහිල්ලා... ඉතින් ඒ ගමනත් එතනින් හබක්...

ඒත් යාන්තං පහුගිය කාලේ දෙකට නැවුන සාමයක් නැතිව බයක් හැකක් නැතිව උතුරුකරේ යන්න පුළුවන් තත්වයක් ආයෙමත් අපිට උදා කරවලා දුන්නා..එයින් පස්සේ තමා මගේ යාපනය ගමන ගැන උනන්දුව දවසින් දවස වැඩි උනේ... ඉතින් යාපනේ යනවා උනත් තියෙන දුරයි..ඒ කට යන වියදමයි බැළුවම පොඩි වැටුපක් ගන්න මං වගේ උන්නැහේ කෙනෙකුට ඒක ලේසි නැහැ.. ඒ හින්දා අඩුම වියදමකින් මේ ගමන යන්නත්.. පුළුවන් උපරිම තරමින් ඒ ඒ තැන් බලන්නත් මේ ගමන සැලසුම් කරන්න ඕන උනා... එතනදී මං දැක්ක ලාබම විදිය තමා මගේ බයිසි මොටෝවෙන් මේ ගමන යෑමේ ඇති වාසිය...

කොහොමටත් මට බයිසිකල් පැදීමේ උණක් හැමදාමත් තිබුන හින්දා දුර කොච්චරද කියන එක ඒ හැටි වැදගත් නැහැ... ඇත්තටම දුර ගමන් වලදී බයික් එකේ යෑම මං බොහෝම ආසාවෙන් කරන දෙයක්.. හුගක් අය මේක අපහසු කටයුත්තක් විදියට දැක්කා උනත් මට මේ තරම් පහසු ගමනක් තවත් නැහැ... හොඳට හුළං වැදි වැදි.. පාරේ ඉදිරිය වගේම දෙපස දර්ශනත් පැහැදිලිව දර්ශනය වීම... කැමති ඕනම තැනක නැවතිලා යෑමට හැකි වීම ආදිය හරි අපූරුයි.. විශේෂයෙන්ම ලොකු පිරිසක් එක්ක වාහනයක යෑමේදී ඒ ඒ අයගේ අවශ්‍යතා මත අපිත් හැඩ ගැහෙන්න ඕන..ඒත් මෙහෙම යද්දී මට ඕන තැනක නැවතිලා ඕන දෙයක් කන්න පුළුවන්..ඒ කන දේ ගැන සෞඛ්‍ය පරීක්ෂණ..ගුණාගුණ බලන්න කවුරුවත් නැහැ... ආස හිතුන දේ අරගෙන කෑවා..

ඒ විතරක්ද ඇයි ගමනකදී විදින්න වෙන ලොකුම අපහසුව..මුත්‍රා බර.. අනේ අම්මෝ..එහෙම දුකක් තවත් නැහැ..පිරිසක් එක්ක ගියාම වගේ නෙවෙයි මෙහෙම ගියාම ඔය පොඩ්ඩක් පාළු පැත්තක් අල්ලලා නවත්තලා හිතේ හැටියට බර සැහැල්ලු කරං යන්න තියෙන එක තමයි මං දකින ලොකුම පහසුව.. බස්වල එහෙමනං දුර යන්න මං ආසම නැත්තේ ඔය අපහසුව නිසයි...

ඒ විතරක්ද ඇයි වියදම... බොහෝම අඩුයි නෙව... ඔයාලට කියන්න මේ ගමනට මට බයිසිකලේට තෙල් ගහන්න උනේ රුපියල් 2800ක විතරයි... එයිනුත් සීයයක විතර තෙල් ඉතිරි වෙලා තිබුනා... ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 1200ක්.. ඒ කියන්නේ කිලෝ මීටරයට රුපියල් 2 යි සත 34ක් වගේ තමා උපරිම ගිහින් ති‍යෙන්නේ..ඒ වගේම ලීටරයකට කිලෝ මීටර් 60ක් වගේ වැඩ කරලත් තියෙනවා.. කොහොමත් යනකොට යන්න පුළුවන් තැන්වල 80ත් 90ත් අතරේ වගේ වේගෙකින් ගිය හින්දා තෙල් පිච්චෙනවා වැඩියි මිසක නැත්තං මගේ බයිසි මොටෝ පැටියා ලීටරයකට 70ක් විතර වැඩ කොරනවා...ඉතිං මේ ගිය වේගෙත් එක්ක ඔය ගාන ඇති හොඳටම...

එහෙම බැළුවම බයිසිමොටෝව තරං තව වෙන මොකක්ද ඕකට හරියන වාහනේ..?

ඉතිං කොහොම හරි මං බයිසි මොටෝවෙම යාපනේ ගියා..බොහෝම නිදහසේ..සැහැල්ලුවෙන්... හැබැයි ඒ වගේම අවධානයෙන්...බයිසිමොටෝවක යනකොට වට පිට සිරි නරඹනවා වගේම පාර ගැනත් අනිත් වාහන ගැනත් අවධානය හොඳින් තියාගෙන ය්නන ඕන..මොකද අනිත් වාහනවලට වඩා අනතුරකදී විය හැකි අලාභ හානි අනිවාර්යයෙන්ම වැඩි නිසා... ඉතිං අවධානමට පෙර අවධානය තියාගත්තම හොඳටම හොඳයි...ඉතිං මාත් බයික් එකේ යාපනේ ගියා හීන මව මව හිටිය විදියටම...

ඉතිං ගමන් වියදම වගේම කෑම බීමටත් ඒ හැටි වියදමක් ගියේනං නැහැ...

12 වෙනිදා උදේට නිට්ටඹුවෙන් (බුෆේ) කෑවා..රුපියල් 100 යි...
දවල්ට අනුරාධ පුරෙන් ප්‍රයිඩ් රයිස් කෑවා..රුපියල් 200 යි
රෑට යාපනෙන් කොත්තු කෑවා 250 යි

13 උදේ පුන්කුඩු තිවු වලින් වඩේ කෑවා..රුපියල් 30 යි
දවල්ට යාපනෙන් තෝස කෑවා.. රුපියල් 60 යි
රෑට රියෝ එකෙන් රෝල්ස් කාලා අයිස් ක්‍රීම් කෑවා...මං හිතන්නේ 300ක් වගේ යන්න ඇති..රෝල්ස් 3යි අයිස් ක්‍රීම් තුනයි වගේනේ...

14 උදේ යාපනෙන් පානුයි පරිප්පුයි කෑවා..රුපියල් 60යි
දවල් ඩෙල්ෆ් ගිහින් යාපනෙන්ම අරං ගිය පානුයි පොල් සම්බෝලයි එක්ක ඩෙල්‍ෆ් වලින් ගත්ත උළුඳු වඩේ කෑවා..රුපියල් 80 යි
රෑට ආයෙමත් රියෝ එකෙන් කලින් දවසේ වගේම රෝල්ස් සහ අයිස්ක්‍රීම්..ඒකටත් රුපියල් 300ක් වගේ තමා..

15 උදේ කිලිනොච්චියෙන් ඉදි ආප්ප.. පරාට බිත්තර ආදියට රුපියල්150 යි
දවල් බත් කන්න තරං බඩ ගින්නක් ආවේ නැහැ උදේ පරාට කෙටුව කෙටිල්ලට..අතර මගදී නැවතිලා ෂෝටීස් කාලා තේ බිව්වා...රුපියල් 80 යි

ඔය ටිකට අමතරව අතර මගදී ගත්ත වතුර බෝතල්..බඩ ඉරිගු..පලතුරු..තේ..වගේ දේවල් එක්ක ගත්තම ඔක්කෝම වියදම 1800ක් විතර යන්න ඇති... දවස් හතරකට...

ඊ ළගට නවාතැන්..මෙන්න මේක තමා බරපතල වියදමකට එන්නේ..මොකද ලංකාවේ බොහෝමයක් නවාතැන් පොලවල්වල අපි වගේ තනිකඩ සංචාරකයින් ගැන ඇති අවධානය අඩුයි... යන යන තැන තියෙන්නේ ඩබල් රූම්... ඉතිං අපි තනියම ගියත් ඩබල් රූම් එකක ගාස්තුව දරන්න වෙනවා..මං නැවතුන උදයන් ලැගුම් හලේ උනත් එහෙමයි..හැබැයි එතන බොහෝම පිරිසිදුයි.. ඒ වගේම සුහදශීලී තරුණ මහත්මයෙක් හිටියා සිංමල හොඳින් කතා කල හැකි... මං කල් ඇතිවම තැන හොයාගෙන කතා කරලා ගිය නිසා නවාතැන් සම්බන්ධ ගැටළුවක් ආවේ නැහැ.. එක් අයකු ගියත්..දෙදෙනෙකු ගියත් ඔවුන් දෙන්නෙත් ඩබල් රූම් එකක් තමයි..එහි පැය 24කට ගාස්තුව 1500යි..ඒත් එක්කම සේවා ගාස්තු හැටියට තවත් සියයට දහයක් එකතු වෙනවා..ඒ කියන්නේ 150ක්..එතකොට දවසකට කාමරයට රුපියල් 1650ක් වෙලා...

ඒ වගේම එහි තිදෙනෙකුට නැවතිය හැකි කාමරවල මිල පැය 24කට සේවා ගාස්තුත් සමග 2425ක් වෙනවා..
පස් දෙනෙකු සඳහා වූ කාමරයක් පැය 24ක් සඳහා සේවා ගාස්තු ඇතුලත්ව 3300 ක් පමණ වෙනවා... මේ ටික අසා දැන ගෙන ඉදිරිපත් කලේ යන කෙනෙකුට දැනුවත් වීම සඳහායි...

ඉතිං මං යාපනේ දවස් තුනක් හිටිය හින්දා මගේ ගාන 1650X3= රුපියල් 4950 යි... බලමුකෝ ඒකෙත් හැටි නේද..? කන්න බොන්න යන්න එන්න යන ගානට වඩා යනවා නවතින්න.. ඒ කොහොම උනත් පොදුවේ ගත්තම නවාතැන් (4950)... ප්‍රවාහන(2800)... කෑම(1800) ට ඩෙල්ෆ් ගමනේ ලොරියේ හවුලත් ආවම සම්පූර්ණ රුපියල් 10000/=ක් විතර තමා උපරිම ඔය ගමනට වියදං උනේ...

සම්පූර්ණ දවස් 4ක ගමනක් හින්දා දවසකට කොහොමත් රුපියල් 2500ක් විතර වියදං වෙලා තියෙනවා... ඔන්න එහෙං පිටිංම විස්තරේ...

එතකොට මං ගමන ගැන කියන්න ඕන හැම දේම කියලා ඉවරයි නේද..?තව ඉතිරි පුංචිම පුංචි දෙයයි.. ඒ තමා ස්තූති කිරීම්...

බයක් හැකක් නැතිව යන්න එන්න පුළුවන් විදියට වාතාවරණය සකස් කර දීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකයින්ටත්... අරක්ෂක ලේකම් තුමා ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා.. පොලිස්පතිවරයා හා සිවිල් ආරක්ෂක බලකා අණදෙන නිලධාරී වරු ඇතුළු සියළුම ආරක්ෂක අංශ සාමාජිකයින්ටත්... යුද්ධය දිනවීම පිණිස එක වදනයකින් හරි ආධාර අනුබල දීපු.. ඒ වෙනුවෙන් කැපවීමෙන් සහය පල කල සියළුම රට වැසියන්ටත් බෝහෝමත්ම ස්තූතියි...

ඒ වගේම මෙම ගමන සඳහා ලක ලෑස්ති වෙන අවස්ථාවේ පටන් ආපහු ගිහිං එනකල්ම හොයා බැළු වචනයකින් හරි දිරිමත් කරවපු.. සියළු දෙනාටමත්.. වගේම තොරතුරු සොයා සපයා දීපු බ්ලොග් හිතවතුන් සියළු දෙනාටමත් ස්තූතියි.. ඒ අතරින් සියළුම සිතියම් සකස් කර දීමෙන් හා නැරඹිය යුතු තැන් පිළිවෙලින් යොදා ගමන් මාර්ගය සකස්කල.. නවාතැන් සොයා සපයා දීම ආදී දහසකුත් එකක් වැඩ මෙන්ම බයිසිමොටෝවේ යෑම ගැන උරණව දෙ‍ස් දෙවොල් තැබූ කෙනාටත්... යාපනය ගමන රසවත් කල රියෝ අයිස්ක්‍රීම් ගැනත් තවත් නවාතැන් පලවල් පිළීබඳවත් දැනුවත් කල ගිම්හානි සොයුරියටත් විශේෂයෙන්ම ස්තූති කල යුතුමයි..

ඒත් සමගින් අවසාන වශයෙන් මෙතෙක් ඔබ නොදත් යමක් හෙළී කල යුතුමයි...

මේ ළගදී තවත් මා පිළීබඳව ආදරයෙන් කටයුතු කරන හිතවත් බ්ලොග් අඩවියකින් හෙළිදරවු කර තිබූ ආකාරයට මෙම ගමනට ජනාධිපතිතුමාගේ හෝ ආරක්ෂක ලේකම් වරයාගේ හෝ විශේෂ ආරක්ෂාවක් නොලැබුන මුත් ඇත්තටම මුළු ගමනටම ආරක්ෂාව සැපයූ එක් අයකු සිටියා.. අන්න ඒ ආරක්ෂාව පිළීබඳව සහතිකය මතයි මෙම ගමනම බයක් හැකක් නැතිව ගෙහුන් එන්ට ලැබුනේ..ඒත් ඒ ආරක්ෂාව පිළීබඳව සහතිකය මට ලැබුනේ ගමන යන්න කලින් දවසේ රාත්තිරියේ තමා...

"හලෝ..කවුද මේ.."

"ආ මල්ලි මං මේ පලවෙනි අයියා"

"අහ් මොකද අයියේ හදිසියේ.."

"නැහැ මල්ලි දැන් හෙට උඹ අර ගමන යනවා නේද..?"

"ඔව් අයියේ යන්න තමයි හදන්නේ.."

"හරි මල්ලි මං මේ හදිසියේ කතා කලේ මේ ටික කියන්න..උඹ බය නැතිව පලයන් මල්ලි..මගදී මොනවම හරි අවුලක් උනොත් පටස් ගාලා පලයන් ළගම තියෙන රජයේ කාර්යාලයකට හරි..හමුදාවේ හරි පොලිසියේ හරි කෙනෙක් ඉන්න තැනට.. ගිහින් කියහං මගේ නම..අහවල් දේවස්ථානයේ වැඩ ඉන්න අහවලා ගේ යාළුවෙක් කියලා.. උඹට ඕන තැනකින් සප් එක ලැබෙයි..ඕන වෙලාවක මට කෝල් කරහං...ඔය හැම තැනම ඉන්නවා මාව දන්න අය..උඹට ඕන තැනක බය නැතිව පලයං..කිසිම අවුලක් නැහැ.."

අප්පද බොල එහෙමත් ආරක්ෂාව ගැන සහතිකයක් ලැබේනං මොකට බය වෙනවද..? මාත් ඉතිං හිතේ ෆිට් එකෙන් ගමන ගෙහුං ආවේ ඔන්න ඔය පලවෙනි අයියාගේ හයිය අරං තමා.. ඇත්තටම ඌනං අයියෙක් නෙවෙයි දෙයියෙක්... මෙහෙම බලගතු අයියලා ඉන්නවනං තවත් මොනවද..?

ඕවා නොදන්න උන් එක එක කතා කිව්වට මං මක්ක කොරන්නද නේද ආයිබෝං...එහෙනං ගෙහුන් එඤ්ඤං..ඊ ළග ගමනෙදි ආයේ හම්බවෙමු මාර චාරිකා සමඟින්...

පසු සටහනකි...
බයික් එකේ සයිඩ් බොක්ස් ගැන තොරතුරු ලබා දුන් ඕනයටත් ගමනේදී දුරකථනයේ බැටරිය ආරෝපණය කර ගැනීමට අවශ්‍ය උපකරණය ලබා දුන් ලකිටත් විශේෂ ස්තූතිය...

07 February 2012

මාරයාගේ බයිසිමොටෝ චාරිකාවේ අවසානය අරාලි තුඩුවෙන් යාපනය කොටුවට...

0-යාපනය කොටුව
1-කඳුරුගොඩ
2-කීරමලේ
3-නිලාවර ළිඳ
4-පේදුරු තුඩුව
5-පුන්කුඩුතිව් ජැටිය
6-ඩෙල්ෆ්
7-අරාලි තුඩුව

කොළ පැහැති තිත-නල්ලූර් කෝවිල/නවාතැන්පල/රියෝ අයිස්ක්‍රීම්...

----------------------------------------------
ඉතින් දැන් කියන්න ඉතිරි වෙලා තියෙන්නේ ගමනේ අවසන් කොටස පමණයි... ඩෙල්ෆ් ඉඳන් ආපසු බෝට්ටුවේ පැමිණ නැවතත් පුන්කුඩුතිව් ජැටියට පය ගහන විට වේලාව සවස තුන හමාරට පමණ ආසන්නයි... නැවතත් යාපනයට පැමිණ සූදානම් වී ආපසු ඒමට වේලාව මදි වෙන බව තේරුණ නිසා එදා රෑත් යාපනේම ඉන්න තීරණය කරලා හෙමි හෙමින් ආපසු බයික් එකේ නැගලා අවට සිරි බලමින් එන විට අතර මගදී හම්බ වෙන හතරමං හන්දියක් තිබුනා..එයින් දකුණු පසට හැරී ආවොතින් යාපනයටත්..වම් පසට හැරුනොත් කයිට්ස් බලාත් යා හැකි අතර කෙලින්ම ගියහොත් අරාලි තුඩුවටත් යා හැකියි..

අරාලි තුඩුව... නම කියූ විට ඔබට යම් කිසි සිදු වීමක් යන්තමින් වගේ සිහියට නොනැගෙනවා නම් ඒ ඔබ අනූව දසකය ආසන්නයේ උපන් අයකු විය හැකියි...එහෙත් අඩුම තරමේ 1986 වසරටවත් කලින් උපත ලද අයකුට යම් මතකයක් නැගෙන්නේ නැත්නම් එය අවාසනාවක්...

"මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව..."

මෙයින් දශක දෙකකට ඉහතදී මුළු මහත් ජාතියක් නෙත් දල්වාගෙන බලා සිටි වීර චරිතය... උතුරුකරය පුරාවට ගිනි ඇවිලී සිටි සමයක එම ගින්න මැඩපවත්වා යුද්ධය දිනා රට සාමකාමී තත්වයකට ගෙන ආ හැකියැයි සියළුම ශ්‍රී ලාංකිකයින් විසින් විශ්වාසය තබා තිබූ මනුස්සකමින් පිරි චරිතය... බිය ගැන්වීමෙන්..අණ කිරීමෙන්නොව ආදරයෙන් හා විශ්වාසයෙන් සුළු සෙබලාගේ පවා සිත දිනාගෙන ඔවුන්ව පෙරට මෙහෙය වූ කොබ්බෑකඩුව සෙනෙවියා අවසන් ගමන් ගිය ස්ථානය හැටියට අරාලි තුඩුව ආසන්න ප්‍රදේශය වැදගත් ස්ථානයක් බව සිහිකටයුතුයි...

1992 අගෝස්තු මස 08 වැනිදා දිනයෙහි ඔහුත් ඇතුළුව තවත් ආරක්ෂක හමුදා සාමාජිකයින් දස දෙනෙකු ලක් මාතාවට අහිමි කරවන ලද එම ස්ථානයට යෑමට නම් මා ගමන් කල යුත්තේ එම ඉදිරියටම වැටී ඇති මාර්ගය ඔස්සේයි... රාත්‍රිය යාපනයේම ගෙවන්නට නියමිත බැවින් එම ස්ථානයත් දැක බලා ගැන්මට සිතා කෙලින් පාරේම ගිය මට කිලෝ මීටර් කිහිපයක් යද්දීම එම සිදුවීම වෙනුවෙන් ගොඩ නංවා ඇති ස්මාරකයත්..
එම සිදු වීමෙන් පසුව අඳාළ බෝම්බ පිපිරවීම ගැන පරීක්ෂණ පැවැත්වීම පිණීස පුපුරවා හරින ලද ආදර්ශ රථයන්හී සුන් බුනුත් දැක බලා ගන්නට හැකි වූ මුත් මේ එම ඛේදවාචකය සිදු වූ ස්ථානයම නොවන බව දැන ගන්නට ලැබිණී.. නියම තැන තව දුරින් පිහිටා ඇති බවත් තවමත් එහි යෑමට මාර්ගය සකස් වී නැති බවත් විශේෂයෙන්ම බෝක්කු කිහිපයක්ම විනාශ වී ඇති නිසා ඒ දක්වා යා නොහැකි බවත් දැනගෙන ආයෙමත් හැරුනා යාපනේ කොටුව ටිකක් බලා ගන්න හිතාගෙන...

ඒ එන අතර මගදී කලපුවේ මට පිටු පසින් හිරු බැසගෙන යමින් තිබූ දර්ශනයත් බොහෝම සුන්දර දසුනක් උනා.. මට පුළුහං හැටියකට ඒකත් පොටෝ කිහිපයකට එක්කාසු කරගෙන ඇවිත් තමා මේ පොටෝව හැදුවේ..මං ඉතිං පොටෝ සාප්පු වැඩ ඒ හැටි නොදන්න හින්දා වැඩි වැඩ නොදා පොටෝ ටික කපලා මෙන්න මෙහෙම බට් කලා.. බලන්න ඒ පරිසරය යන්තමින්වත් හිතේ ඇඳ ගතෑකිද කියලා...
ඉතින් ඒවා බලාගෙන ආපහු එනකොට හොඳටම කරුවල වැටිලා..ඒ කළුවරේම යාපනය කොටුවටත් රිංගලා බැළුවා උනත් එහිදී ගත්ත පොටෝනං කිසිම පැහැදිලි ගතියක් නැහැ...ඒත් යන්තං තියෙන එකක් දෙකක් ඔන්න තියෙනවා බලා ගන්න...


ඉතින් ඊට පස්සේ සුපුරුදු විදියට නවාතැනට ඇවිත් නාලා කරලා කලින් දවසේ වගේම ගියා "රියෝ" එකට..උණු උණු එළවළු රෝල්ස් සමග අයිස්ක්‍රීම් කන්න... ඒ ගැන අමුතුවෙන් ලියන්න ඒන නැහැනේ.. මං කලින් රියෝ එක ගැන දාපු පෝස්ට් එකෙන් ඒ හැම දේම කිව්වනේ...

එදා ඉතින් හොඳට වැටිලා නිදා ගත්තා.. පහුවදා පාන්දරම නැගිටලා ආපහු එන්න පිටත් උනා... හවස් වෙද්දී මම ආපහු මගේ නවාතැනේ.. ඔන්න එහොමයි මගේ සුන්දර යාපනය චාරිකාව නිමා කලේ...

උඩින්ම තියෙන්නේ මගේ යාපනය ගමනේ ගමන් මාර්ගය... පැහැදිලියි නේද..? එහෙමනම් තවත් ලිපියකින් මම මේ ගමන ගැන කෙටි සමාලෝචනයක් ගෙන ඇවිත් මේ චාරිකාව සම්බන්ධ සටහන අවසන් කරන්නම්.. ඔබට දැන ගත යුතු විශේෂ යමක් ඇත්නම් අහන්න මම ඒ ගැනත් ඊ ළග ලිපියෙන් කරුණු දක්වන්නම්...

05 February 2012

මාරයාගේ ඩෙල්ෆ් ගමන...බයිස්මොටෝවෙන් යාපනයට...

ලියන්න කියල හිතං හිටියට දවසින් දවස කල් ගියා..ඒත් මේවා අමතක වෙලා යන්න ඉස්සර ලියලා ඉවර කරන එක හොඳයි කියලා හිතුන හින්දා කොච්චර කම්මැලි උනත් ඔන්න ලියන්න හිතුවා...

මම 12 වැනිදා උදේ නිට්ටඹුවෙන් පිටත් වෙලා එදා රාත්‍රියේ යාපනයට ඇවිත් ලැගුම් අරං..පහුවදා උදේම ඩෙල්ෆ් යන්න ගිහින් ඒක වැරදිලා ආපහු ඇවිත් කඳුරුගොඩ විහාරය..කීරමලේ..නිලාවර ලිඳ..පේදුරු තුඩුව..යාපනය පැරණී දුම්රියපල ආදී තැන්වල ඇවිදලා අවසානෙදී රියෝ එකෙන් අයිස්ක්‍රීම් කාලා ගෙහුං වැටිලා නිදාගත්තා නෙව...

පහුවදානං ඕන්න පාන්දර පැයින්ම අවදි වෙලා දඩි බිඩි ගාලා ලක ලෑස්ති වෙලා දිව්වා ඩෙල්ෆ් යන්න කියලා..දැන් ඒ හැටි බයක් තිබුනේ නැහැ මොකද කලින් දවසෙත් ජැටිය දක්වා ගෙහුං ඇවිත් පාර හොඳට දන්න හින්දත්..හරියටම බෝට්ටුව පිටත් වෙන වෙලාව දැනං උන්නු හින්දත්..ඉතිං උදේ වේල යාපනයේ කඩයකින්ම සප්පායං වෙලා..දවාලට එහෙ ගෙහුං ගිලින්න කියලා පානුයි පොල් සම්බෝලයි ටිකක් එතනින්ම පාර්සල් කරව ගත්තා... ඇත්තටම මේ ලෝකේ විදියකට සිංහල බැරි උනත් පුදුම ලෙන්ගතු වයස අවුරුදු හැටකට විතර ආසන්න වෙච්ච මනුස්සයෙක් තමා ඒ හැම දේම හොයලා බලලා කරලා දුන්නේ... ඔහුට ‍සිංහල හෝ..මට දෙමළ හෝ නුපුළුවන් වීම ලොකු අවාසනාවක්.. නැත්තං ඒ ලෙන්ගතු කමත් එක්ක හුගක් දේවල් කතා බස් කරන්න තිබුනා..සිංහල බැරිව උනත් උන්දෑ මං කොහෙන් කඩං පාත් වෙච්ච එකෙක්ද කියලා ඇහැවුවා..පුරුද්දට ඉතිං මට කියවෙන්නේ කොහේ ගියත් "ගම්පහ" කියලනේ.. එහෙම කිව්වම කට පුරා හිනා වෙලා තව මොන මොනවද අහන්න ගත්තත් කොහේද ඉතිං මට තේරෙන්නේ.. කොහොම හරි පාන් ටිකත් වතුර බෝතලේකුත් එල්ලගෙන ඔන්න ඉතිං දැන් ජැටියට යන්න පිටත් උනා...

පෙර දින වගේම අදත් බොහොම සුන්දර කිලෝමීටර විසි ගණනක් ගෙවාගෙන පෙරදා පැමිණ ආපසු හැරී ගිය ජැටිය වෙත ආවත් බයිසිකලයත් අරං ඩෙල්ෆ් යෑමේ මගේ සිහිනය බොඳ උනේ බයිසිකල් ගෙනියන ‍බෝට්ටුවක් එදින එහි නොතිබීම හේතුවෙනුයි... ඉතිං බයික් එක ජැටියේ මෙහා තියෙන වාහන නැවතුම් පලෙන් තියලා හෙල්මට් එකත් එතන කඩයකට බාර දීලා මං මගේ ගමන් මල්ලයි කෑම ටිකයි අරං ගිහින් බෝට්ටුවට නැගෙන්න සූදානම් උනා...

ජැටිය.. බොහෝම කලබලකාරී පරිසරයක් තියෙන තැනක් ඒ වෙලාවට.. උදේ පාන්දර ඉඳන්ම එතන සෙනග පිරිලා ඉන්නේ නයිනතිව් දූපතට යන බෝට්ටු සේවය හරහා එහි යන්න..නයිනතිව් කියන්නේ අපි දන්නා නාගදීපය කියන දූපතම තමා.. ඒක ඒ හැටි ඈතක් නැහැ මේ ජැටියේ ඉඳන්... බොහෝම ලග ලග පේන තැනක්.. බෝට්ටුවකින් විනාඩි දහයක පහලවක ගමනක් පමණයි.

ඒත් මගේ ගමන යෙදුනේ නාගදීපයට නෙවෙයි නෙව..ඩෙල්ෆ් වලටනේ..

නාගදීපේ යන්නනං පැය කාලෙන් කාලෙට වගෙත් බෝට්ටු තියෙනවා උනාට ඩෙල්ෆ්වලට උදේ නවයට තියෙන බෝට්ටුව වැරදුනොත් ආයේ තියෙන්නේ දවල් එකොලහමාරට පමණ බෝට්ටුවක් පමණයි... ඒ හින්දා මං බොහෝම සිරුමාරුවට ඩෙල්ෆ්වලට යන බෝට්ටුවට ගොඩ වෙන්න තියෙන පෝලිමට එකතු උනා...

නාගදීපේ යන්න තරමට පොරකෑමක් නැති උනත් ඩෙල්ෆ්වලටත් යන්න සෑහෙන පිරිසක් හිටියා.. ඒ සංචාරකයින්ම නෙවෙයි..වැඩි පිරිස එම දූපතේ ජීවත් වන උදවිය... ඒ අතරේ විදේශිකයින් තිදෙනෙකුත්.. දේශීය සංචාරකයින් කිහිපදෙනෙකුත් හිටියා..වයසක ආච්චි අම්මලා දෙන්නෙකුත් එම පිරිස අතර සිටීම බොහෝම වැදගත් කාරණයක්..උන්දලත් හැරමිටි ගහගෙන තමන්ගේ පවුල්වල උදවියත් එක්ක මේ බෝට්ටු ගමනට එකතු වෙලා තිබුනා..ඊට අමතරව නිවාඩු අවසන් වූ නාවික හමුදා සෙබළුන් හා පොලිස් නිලධාරීන්...

කොහොම හරි සීයයකට ආසන්න පිරිසක් බෝට්ටුවට එකතු උනාට පසුව හරියටම උදෑසන නවයට බෝට්ටුව ජැටියෙන් පිටත් උනා... මේ බෝට්ටුව 120ක පමණ පිරිසකට යා හැකි තරමේ එකක්..ඒත් කලින් දවසේ නම් එයට 135ක් පමණ පිරිසක් ගොඩ කර යැවූ වග එහි සිටියකු කියා සිටියා... මේ දිනවල උදෑසනට මුහුද එතරම්ම රළු නොවන හෙයින් එසේ වැඩි පිරිසක් යැවීම ගැටළුවක් නොවුනත් රළු වේලාවට එය අනතුරු දායක බවත් දැන ගන්නට ලැබුනා.. ඇත්තටම උදේ මුහුද බොහෝම නිශ්චලයි...බෝට්ටුව සීරු මාරුවට ඉදිරියට ඇදෙනවා... නිකමටවත් මුහුදේ රළු කමක් ගැන ඔය වෙලේනං හිතාගන්නවත් බැරි උනත් හවස ආපසු එනකොට තමා තේරුනේ ඒකේ රඟ...

නාගදීපේ යන නඩ වලට ජීවිත ආරක්ෂක කබා පළඳවා හැර බෝට්ටුවට ගොඩ නොකලත් ඩෙල්ෆ් බෝට්ටුවේ එහෙම නැහැ..එහි මගීන් නිදහසේ යන ආකාරයකි තිබුනේ..ඒත් ඕන උනොත් ගන්න බෝට්ටුව ඇතුලේ ආසන තිබෙන කාමරවල ජීවිතආරක්ෂක කබා ඔණ තරම් තිබෙනවා..කැමතිනං ඒකක් දාගෙන ගියත් අවුලක් නැහැ... සාමාන්‍යයෙන් පිහිණීම පිළීබඳව මට ගැටළුවක් නැති හින්දා කොහොමටවත් ඕකක් දාගෙන යන්න උවමනාවක් ඇති උනේ නැහැ.. ටික වෙලාවක් පහත මාලයේ ආසනයක වාඩි වී සිටියත් විනාඩි පහක් පමණ යන විට මට ඒක ඇති උනා...ඉතිං ඔන්න නැග්ගා උඩ තට්ටුවට... හප්පා එතනනේ නියම ගමන...
මුහුදු හුළං වැදි වැදි.. හතර වටේම ඇති මහ මුහුද දිහා බලාගෙන යන ගමන හරිම සුන්දරයි... බෝට්ටුව පිටුපසින් අප පිටත්ව ආ ජැටිය සහිත භූමියත් දකුණු පසින් නයිනතිව් දූපතත් ඉදිරියේ ඈතින් යාන්තමට වගේ පෙනෙන ඩෙල්ෆ් දූපතත් බලමින් යන ගමන වගේම බෝට්ටුවේ ඉන්නා අයගේ ක්‍රියාකාරකම්.. ආදියත් බලාගෙන යන ගමන කිසි සේත්ම අමතක වන ගමනක් නම් වෙන්නේ නැහැ...

බෝට්ටුවේ ඉදිරිපස තට්ටුව මත දූපතට ගෙනයන ආහාර ද්‍රව්‍ය ගොඩ ගහලා.. අල..ළුණු..පලාවර්ග..පොල්...එළවළු..එහෙම...
ඔය පේනවනේ..ඔන්න එහොම කෑම බීම ආදියත් පුරවගෙන..හීනියට හුළං වැදි වැදි අපේ යාත්‍රාව ඩෙල්ෆ් බලා ගියා..

ඩෙල්ෆ්වල ජැටියෙන් බැස්සට පස්සේ දූපත ඇතුලට මීටර්විස්සක් තිහක් යනකොටම දකුණු අත පැත්තේ නාවික හමුදා කඳවුර..ඒ හරියේ හිටිය නාවික සෙබලෙකුගෙන් තොරතුරු ඇහුවාම තේරුනේ මේක ඇතුලේ පයින් ඇවිදින්න දවසකින් බැරි විත්තිය..මං මුලින් හිතං ගියේ කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙන්නේ කියලා දූපත වටේම යන්න..ඒත් එහෙදී කිව්ව විදියට කිලෝමීටර් හතලිහකට ආසන්න දුරක් තියෙනවා හරියට ගියොත්.. දූපතටම තියෙන්නේ බස් දෙකයි..ඒකත් අපිට ඒන විදියට අල්ලගන්න නැති හින්දා බස් වලින් ගිහින් බලන ගමන පහසු නැහැ..එතකොට තියෙන්නේ එකම විසඳුමයි.. ඒ තමා ජැටිය අසල නවතා තිබෙන පුංචි බට්ටා ලොරි දෙක....ඒවායේ පිටි පස්සේ ආසන සකස් කරලා වටේට ආවරනයක් ගහලා වට පිට බලං යන්න පුළුවන් ආකාරයට තමා හදලා තියෙන්නේ...

මුළු දූපතේම ඇවිද්දවන්න එක බට්ටා ලොරියකට 2500 ක්විතර ඕනයි කියලා කිව්වත් 2000කට කතා කර ගන්න පුළුවන්.. ඒ වගේම අපහසුවකින් තොරව අට දෙනෙකුට පමණ එහි නැගී යා හැකි බැවින් පිරිසක් සමග කතා බස් කරලා හවුලේ යන්න දා ගත්තාම ඒ හැටි ගණනක් නොවෙන විදියට ඒකත් සකස් කරගන්න අපහසු වන්නේ නැහැ..ටිකක් හිර වෙලා වගේනං දහයක් උනත් ගියෑකි..

ඉතිං ලොරියට ගොඩ වෙලා මුළු දූපතේම කරක් ගැහැවුවාම මට බලා ගන්න පුළුවන් උන තැන් තමා ඔය පහතින් දාලා තියෙන්නේ...
ඩෙල්‍ෆ් තැපැල් කාර්යාලය...පොලිසිය...ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලකුත් තියේ...මාර්ග පද්ධතිය නරකම නැහැ..ඒත් වලවළුත් ඇත..බලන්න තාප්පය දිහා..ඩෙල්ෆ්වල ඇති සුවිශේෂම අංගයක්..තනිකරම කොරල් වලින් නිර්මිත තාප්ප..බදාම මොනවත්ම නැහැ..කොරල් කැබලි එක මත එක තබා සකස් කල අපූරු නිර්මාණ...ඉපැරණි චෛත්‍යයක නටඹුන්...ආදම්ගේ පාදයයි හැදින්වෙන පොළවට කිඳා බැස්ස පාද සලකුණ...අනිත් පාදෙනං ඉතිං මගේ තමා..ඕං...වතුර මැද්දෙත් ළීඳක්..මං හිතන්නේ දැන් මුහුදු මට්ටම උඩට ඇවිත් වෙන්න ඕන...ඩෙල්ෆ්වල තියෙන්නේ බොහෝමයක් දුරට ඕලන්ද යුගයට අයත් නිර්මාණ හා නටඹුන් තමා..මේ එයින් වැදගත්ම තැන..ඕලන්ද කොටුව...මේ එතකොට ඕලන්ද යුගයට අයත් පැරණි අශ්ව ගාලක්..අශ්වයින් විශාල සංඛ්‍යාවක් මෙහි හිටියයි කියලා හිතන්න පුළුවන්..ඒ තරමටම මේක හුගාක් දිගයි...මට බලන්න පුළුවන් හරිය මීටර් 200ක් විතර තිබුනට මං හිතන්නේ ඒක එයිටත් වඩා දිගට තිබිලා තියෙනවා..මේ අශ්ව ගාලේ ඇති වැදගත්ම දේ තමා මං ඊ ළගට පෙන්නන්නේ..ඩෙල්ෆ්වල සුන්දරත්වය හා ආකර්ශණය වැඩි කරවන දූපතේ වසන පෝනියන්..එහෙමත් නැත්තං වල් අස්වයින් ..මෙතන ඉන්නේ ටිකක් උනාට දූපතේ සුවිශාල තණ බිමක මුං තැනින් තැන රංචු රංචු ඉන්නවා..බොහෝම ලස්සන දසුනක්..ගිහින්ම බලන්න ඕන කියලා මං හැමදාම කියන්නේ මෙහෙම ඒවා නිකං මෙහෙම බලලා වැඩක් නැති හින්දයි...

ඕලන්ද යුගේදී අතැරලා දාලා ගිය අශ්වයින් මෙහිදී ඉබේ බෝවෙලා කාලයත් සමගම උන්ගේ හීලෑ ගති නැති වෙලා දැන් ඔහේ නිදැල්ලේ හැසිරෙන සත්ව කොට්ඨාශයක් විදියට මේ වල් අස්ව රෑන දූපත පුරා සරනවා...

මෙතනදී මං කියන්න ඕන තව එකක් තියෙනවා..ඒ තමා මට එදා දූපතේ බලන්න බැරිව ගිය තැනක් ගැන..ඇත්තටම එදා ඒ කොටසට යන්න හැකියාවක් තිබුනේ නැහැ..ඒ කියන්නේ ඕලන්ද ජාතිකයින් පණිවිඩ හුවමාරුව පිණීස ඇති කල පරවියන් සහිත කූඩුව නැරඹිම තමා මට අතෑරුනේ.. කිව්ව හැටියට අදටත් පරවියන් සෑහෙන ප්‍රමාණයක් එහි සිටිනවා.. සිය ඕලන්ද ජාතික ස්වාමියන් දූපත හැරදා ගිය පසුව අස්වයින් මෙන්ම පරවියන්ද නිදැල්ලේ නිවහල්ව අදටත් දූපතේ ජීවත් වෙනවා...
වැඩෙන ගල නොහොත් තවමත් උස යමින් පවතින බැව් කියවෙන දූපතේ ඇති සුවිශේෂ කොරල් ගලක්.. ඒ ඉදිරිපිට පහන් දල්වා තිබෙන ආකාරයෙන් පෙනෙන්නේ දූපතේ කවුරුන් හෝ එම ගලත් වන්දනා මාන කරනා බවයි...
ලංකාවට ආවේණීක ගමක් නොවන අලි ගහ..මට මතක හැටියටනං මේකට "ඩැන්ඩිබ්" වගේ නමකුත් තියෙන්න ඕන..ඒත් හරියටම මතක නැහැ..ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං විස්තරයක් කියන්න..මං ඕක ගැන දන්නේ අර ජැක්සන් ඇන්තනී උන්නැහේ පුත්තලමේ හරි කල්පිටියේ හරි ගිය වෙලාවක පෙන්වපු දර්ශන හරහා පමණයි... මේකත් විශාල ගහක්..ඇතුලත බෙනයේ හත් අට දෙනෙකුට හිටියැකි කරදරයක් නැතිව...

ඉතිං ඔය ටික තමා බලන්න උනේ...

ඩෙල්ෆ් ගමනේ විස්තර කියනවට වඩා හොඳම දේ තමා පුළුවන්නං එක පාරක් ගිහිං බලන්න කියන එක... විශේෂයෙන්ම යාප‍නයේ යනවනං එක දිනයක් හරි වෙන් කර ගන්න මේ සඳහා..යාපනයේ ගමනේ සුවිශේෂිම මතක සටහන බවට මෙම ගමන පත් වේවී..ආයේ ඒකේ දෙකක් නැහැ... මුළු දූපතේම සෑම නිර්මාණයකටම අරගෙන තියෙන්නේ කොරල්..මේ බලන්න...ඔය කොටුව බැඳලා තියෙන්නේ කොරල් ගල් වලින්..බදාමය ලෙස යොදාගෙන තිබෙන දේත් මට පේන විදියට කොරල් හෝ හුණූ ගල් කුඩු කර හදා ගත් මිශ්‍රණයක් වෙන්න ඕන...ඔය කණුව දිහා බැළුවත් පේනවා ඇති..ඔය අතීතයනේ.ඒ විතරක් නෙවෙයි වර්තමාන ගොඩනැගිලිත් කොරල්වලින්ම නිර්මාණය උන ඒවා වැඩි හරියක් ඇති බව තමයි පේන්න තියෙන්නේ..ඇත්තටම ඩෙල්ෆ්වල කළු ගල් නැහැ..ඉතිං තියෙන එකම දේ වෙච්ච කොරල් කැබලි ඔවුන් විසින් හරි අපූරුවට යොදාගන්නවා තමුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩ නගා ගන්න...

අන්තිමට ඇවිත් ගෙනිච්ච පාන් එහෙමත් කාලා ජැටියට ආසන්නයේ වෙරලේ හෙවනක ඉටි කොලයක් එළාගෙන ටිකක් නිදා ගත්ත මම ආපහු ඇවිත් හවස තුනට පමණ තිබුණ බෝට්ටුවෙන් ආපහු එන්න පිටත් උනා...

විශේෂයෙන් කියන්න ඕන ඩෙල්ෆ් යන්න හිතන අයට... එහි භාෂා ප්‍රශ්නය තදින්ම තියෙනවා.. ඒ කියන්නේ ඩෙල්ෆ්වල අයට සිංහල අකුරක්වත් බැහැ... ඉංග්‍රීසිත් පුළුවන් අය හොයාගන්න නැහැ... ඔවුන් දන්නේ දෙමළ පමණයි... ඒ හින්දා කඩේකින් බඩුවක් ගන්න ගියත් ලේසි නැහැ...මිනිස්සුනං එහෙත් බොහෝම හොඳයි..ඒත් භාෂා ප්‍රශ්නේ නිසා ගැටළු මතු වෙනවා...හස්ත සංඥාවලින් ඇර ඔවුන් කියන මෙලෝ දෙයක් අපටවත්..අප කියනා මෙලෝ දෙයක් ඔවුනටවත් තේරුම් ගන්න පහසු නැහැ...

ඒ වගේමයි කෑම බීම ආදිය..මං හිතන්නේ ඩෙල්ෆ් යන්න කලින් දවල් කෑමට මොනවා හරි අරංම යනවනං හොඳයි..එහෙ ගිහිං කෑම හොයන්න යන එක කරදරයක්.. බොහෝම පොඩි කඩ පේලියක් තිබුනත්..පාන් ගෙඩියක් වඩයක් වැනි දේකට එහා උණු උණුවේ පිසූ ආහාර වැනි දේ හොයා ගන්න ටිකක් කරදරයි... ඒ ගැනත් සැලකිලිමත් වෙන්න..අනික දූපතේ ගිහින් ඉන්න පැය කිහිපයට කෑම කියන දේ ලොකු බාධකයක් වෙන්නේ නැහැ..

ඒ වගේමයි එහි නැවතීමේ පහසුකම් නැහැ..කාට හරි ඕනනං කතා කරලා එහි ඇති ගෙදරක නැවතිය හැකියි..එහෙම තැන් උනත් ඒ හැටි පිළීවෙලක් ඇති තැන් නොවන නිසා ඒ තීරණයත් ඒ හැටිම හොඳ එකක් නොවන බවයි බැළු බැල්මටනම් කියන්න තියෙන්නේ..ඒත් කට්ටක් කාලා වෙනමම අත්දැකීමක් ගන්න කැමති කෙනෙකුටනං කිසිම වරදක් නැහැ..

බෝට්ටු ගමන සම්පූර්ණයෙන්ම නොමිලේ වගත් කියන්න ඕන..ඩෙල්ෆ් දක්වා යාමටත් ඒමටත් මුදල් අය කරන්නේ නැහැ..සම්පූර්ණම නිදහස් ගමන් පහසුකම් ලබා දෙනවා.. ඒක හොඳ ආරංචියක් නේද..?

හැබැයි තව එකම එක දෙයක් කියන්න ඕන... යනකොට වගේ නෙවෙයි ආපසු ඒමේදීනං බෝට්ටු ගමන සෙල්ලං නැහැ... උදේ තිබුන නිසසල මුහුද වෙනුවට හවස් වෙනකොට තියෙන්නේ එහෙං පිටිංම වියරු වැටුන මුහුදක්..බෝට්ටුව දැන් පෙරලෙයි..දැන් පෙරලෙයි කියලා හිතන තරං බය හිතෙන විදියට ඉහල පහල යනවා..මමත් තව පොලිස් නිලධාරියෙකුත් හොඳින් අල්ලාගෙන බෝට්ටු තට්ටුව මත ගමන් කලා උනත් ඒකත් සෑහෙන බිය උපදවන ගමනක්.. ඇතුලත සිටින මගීන් හූ හඩ තියන තරමට බෝට්ටුව උඩ ගිහින් නැවතත් දියඹට පතිත වෙනවා..ඇතත්ටම ඒ ආපසු ආව පැය ඇතුලත මං හිතපු දේවල් හුගාක් තියෙනවා..එයින් එකක් තමා ඇයි මාළු මේ තරං ලාබ කියන එක... එක පැයක අවදානම මෙහෙමනං..මාස ගනන් මුහුදු යන අය මොන විදියට මැරි මැරි උපදිනවා ඇතිද..අනික මේ සාමාන්‍ය තත්වයක් යටතේ... සුළි කුණාටු වැනි තත්වයක් යටතේ කොයි තරංනං මුහුදු ගමන බියකරු වෙන්න හැකිය කියලා හිතන්නවත් බැරි තරං..

කොහොම හරි මට ආපසු ගමනේදී සෑහෙන දුරක් එනකල් පොටෝ එකක් ගහන්නවත් ෆෝන් එක එළීයට ගන්න විදියක් තිබුනේ නැහැ.. යන්තං හරි අත අතෑරුනොත් මුහුදට විසි වෙනවා..බෝට්ටුව ඉදිරිපසින් එන රළ පහර මාවත් නාවගෙන අනිත් පැත්තෙන් මුහුදට වැටෙනවා..ලුණු වතුරෙන් මමත් මා පිටුපස සිටි පොලිස් නිලධාරියාත් නැහැවිලා යනවා....ඔහු මේ සේරම අස්සේ මට ඔහුගේ උතුරෙ රාජකාරි දිවිය ගැනත් එහි පරිසරය හා මිනිසුන් ගැනත්..යුද්ධය හා බැදුනු කරුණූත් රැසක්ම කියනවා.. හරි අපූරු මනුස්සයෙක්...

කොහොමින් කොහොම හරි ගමනින් බාගයක්පමණ ගෙවලා ඩෙල්ෆ් දූපත අවට මුහුදෙන් ඈත් උනාට පසුව බෝට්ටුව යම් තරමකින් නිශ්චලව ඇදෙන්න උනා..එයින් පස්සේ තමා යන්තං සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්තේ..ඒ තරමට ඒ මුහුදු ගමන ඇත්තටම අමුතුම අත්දැකීමක් උනා... මීට පෙර තුන් හතර වතාවකදී මුහුදු ගිහින් තිබුනා උනත්..මේ ගමන මෙන් ඒ කිසිම වතාවක මුහුද බියකරු වෙලා තිබුනේ නැති නිසා..මගේ ජීවිතේ ආසම කරන අමතක නොවන මුහුදු ගමන හැටියට එය හැමදාමත් රැදේවි...

ඉතිං ඔන්න ඔහොම කාලයක් තිස්සේ හීන මව මව හිටිය මගේ ඩෙල්ෆ් දූපත් චාරිකාවත් නිමා වෙලා මං යාපනය ජැටියට පය ගැහැවුවා...

වැඩිදුරටත් ඡායාරූප බලන්න ඕන අයට මෙන්න තියෙනවා පාර..මෙතනින් ගිහින් චායාරූප 89ක් පමණ බලන්න හැකියාව ඔබට ලැබෙනවා...