28 March 2012

මාරයා කසාඳ බැඳි වගයි...

ඇත්තම කියනවනං මේ බ්ලොග් එක පටන් ගත්තත් හරි අද තමා මට අමාරුම ලිපිය ලියන්න වෙලා තියෙන්නේ.. ඇත්තටම මේක මං පහුගිය දවස්වල හංගං හිටිය කතාවක්.. ඒත් අද මට ඒක කියන්න වෙලා තියෙනවා.. මේක ලියන්නේ නැතිව හංගං හිටිය එක වැරදියි තමා.. ඒත් එහෙමයි කියලා හැම දේම ඩොග් ගාලා එළියට දාලත් බැහැනේ. ඒ හින්දා ඕක මං පහුගිය කාලේ නොකියා හිටියා උනත් අද හදිසියේම ඇති උන තත්වයක් මත මූණු පොතේ ගෲප් මැසේජ් එහෙකදී මගේ කටින් මේක පැන්නා. එයින් පස්සේ ඒක හංගං ඉඳලා තවත් වැඩක් නැහැනේ ඒ හින්දා අන්තිමේදී මං තීරණය කලා ඒක කියලා දාන්න.

දැන් මේක අහලා මගේ බ්ලොග් එක කියෝන පැංචියෝ ටික.. නගාලා ටික අදින් පස්සේ මේ බ්ලොග් එක බලන්නේ නැතිව යයි කියලත් මං මේක ලියනවයි කියලා කිව්වම මගේ හිතවතුන් කිහිප දෙනෙක්ම මට අනතුරු ඇගෙව්වා... සමහරු වහ ‍බොයි කියලත් කිව්වා.. ඒත්... මොනවා කරන්නද මං අසරණයි... මට මේක දැන් නොකියා බැරි තැනට වැඩ සැලැස්සිලා තියෙන්නේ... සමහර විට කවුරු හරි හිතන්න පුළුවන් මේක මේ කෙප්පයක් කියලා.. ඒත් මං කියන්නේ ඒක ඇත්තක්.. මං කසාඳ බැන්දා.. ඒක තවදුරටත් රහසක් නෙවෙයි... ඒක උනේ මෙහෙමයි...

ඇත්තටම මේක සිද්ධ උනේ මගේ නොතේරුම් කමටයි අපේ අම්මගේ ඉල්ලීමටයි තමා...

දැන් කියන්න තියෙන්නේ කාවද බැන්දේ කවදද බැන්දේ කියලනේ.. බැඳලනං දැන් ටික කාලයක් වෙනවා බැන්දෙනං මගේ නෑනව.. ඔව් මගේ ඇවැස්ස නෑනව.. මේක සිද්ධ උනෙත් අපේ දෙපාර්ශවයේම වැඩිහිටි කැමැත්ත ඇතිව..විශේෂයෙන්ම අපේ අම්මගේ...

මගේ තාත්තාගේ ඥාති සහෝදරියකගේ දූරු දෙන්නෙක් හිටියා දෙන්නා නිවුන්නු... අපි ඉතිං නමක් කියලා කතා කරන එකක්යෑ.. දෙන්නගෙන් එක්කෙනෙක් ලොක්කි.. අනිත් කෙනා පොඩ්ඩි.. එහෙම තමා මුළු ගමම ඒ ළමයි දෙන්නව හඳුනගෙන තිබුනේ.. හැබෑම ලස්සන ගෑණු ළමයි දෙන්නා... හිනා උනත් ඇති ගමටම සිරියාවයි...

ඉතිං ඔය දෙන්නා ඇඳුම් මහගන්න එතකොට ‍කොහේ හරි යන්න සාරියක් අන්දගන්න එහෙම ආවේ අපේ අම්මා ලගට තමයි.. ඔය ආව වෙලාවට එයාලගේ මිම්ම ගන්න ටේප් එක අල්ලන්න.. එතකොට සාරි අන්දන්න කටු ගහන්න.. පොට හදන්න එහෙම උදව් කරන්න මටත් සිද්ධ උනා.. ඇත්තටම ඒ දවස්වල මං ඔය නෑනා මස්සිනා කතාවක් දැනං හිටියෙත් නැහැ.. මම ඔය සාරි අන්දවන්න උදව් කරන්න ලැජ්ජාවෙන් වගේ ඉද්දී අම්මම තමා කිව්වේ මේ පිට කවුරුවත්යෑ උඹේ නෑනලා දෙන්නනේ මොකට ලැජ්ජා වෙනවද කියලා.. ඒ විතරක්නං බැරියෑ කවද හරි උඹ තමා නෑනලව බඳින්න ඕන කියලා.. ඒක කිව්වම මාව කරකෝලා අතෑරියා වගේ උනත් කෙල්ලෝ දෙන්නටනං කිසිම ගානක් තිබුනේ නැහැ.. උන් දෙන්නම කැමතියි මාව බඳින්න...

මොනවා උනත් අම්මගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන කියලා හිතුන හින්දා අන්තිමේදී මං බැන්දා..හැබැයි ඒ වෙලාවේ තව ප්‍රශ්නයක් ආවා.. ඒ තමා මේ නිවුන්නු දෙන්නාම මාව බඳින්න දඟලපු එක.. ඒත් කොහොම හරි අම්මා මගෙන් අහුවා ලොකු පුතේ උඹට ඕන ලොක්කිවද පොඩ්ඩිවද කියලා..?

මං හුගක් කල්පනා කලා.. දෙන්නම එක වගේ..ඒත් ලොක්කි ටිකක් රතුයි පොඩ්ඩිට වඩා... පොඩ්ඩිගේ හීනියට වගේ වස පාටක් තිබුනා.. ඒත් ලොක්කි එහෙම නැහැ.. ඒ විතරක්යෑ හිනා වෙද්දි කම්මුලුත් වල ගැහෙනවා.. පෙනුම නිකං දෙළුම් ගෙඩියක් වගේ... ඒ විතරක් නෙවෙයි මං හොඳටම දන්නවා ඒ වෙනකොටත් ඒකි මටත් හුගක් ආදරෙයි කියලා... මාව අහු උනාම මගේ ඔළුව අත ගානවා හිටි හැටියේ මූණ ඉඹිනවා... ඉතිං මං කොහොම හරි ලොක්කිව බඳින්න තීරණය කලා..ඉතිං තීන්දු කලාට පස්සේ ආයේ කල් යවන්න ඕන නැහැනේ.. ඉක්මනටම අපේ මඟුල පොඩි චාරිත්‍ර වාරිත්‍ර කිහිපයකින් පසුව කෙරුණා...

අන්තිමේදී මහන්න ආව ගවුම්වල වැඩ ඉවර වෙලා අළුත බැඳපු මනමාලයවත් වඩාගෙන මනමාලි ගියා... ගිහින් මාමලගේ ගෙවල් ගාවදී මනමාල මහත්තයව ඒ කියන්නේ මාව බිමින් තිබ්බා.. මම ඒ වෙනකල් එයාව මං බැදලා තිබුන පුංචි කොහු ලණුව ඉනෙන් ලෙහාගෙන "මං යනවා ලොක්කියේ" කියලා ආපහු ගෙදර ආවා... උන් දෙන්නා හිනා වෙවී ගෙට ගියා...ඔන්න ඔච්චරයි ඒ කසා‍ඳේ වග... දැන් හරිනේ..ඔන්න මං ඇත්තම කිව්වා එක අකුරක් නෑර...

27 March 2012

රුපියල් ඩොලර් යුරෝ එක්ක ඇන් ඇම්...

අපේ තාත්තගේ ලෝකේ එක එක වීරයෝ හිටියා... ඒ අතරින් අංක එකේ හිටියේ කතා දෙකක් නැතිවම ඇස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහත්තයා. ඔය ගැන මට ඒ දවස්වල සෑහෙන්න ප්‍රශ්න තිබුනා.. ඒකේ අවසානය සනිටුහන් උනේ බණ්ඩාරණායක මහත්තයගේ අගනා සිත්තමකට මගෙන් සෑහෙන අලාභයක් උනාට පස්සේ තමා.. එයින් පස්සේ තාත්තාගේ බණ්ඩාරනායක වන්දනාව අපිට කරදරයක් වෙන තරමට කරන්නේ නැතිව එයාගේ පාඩුවේ කර ගත්තා.

ඊ ළගට විජය කුමාරණතුංග.. කොබ්බෑකඩුව මහත්තුරු දෙන්නම.. සරත් මුත්තේට්ටුවේගම.. අනිල් මුණ සිංහ.. ඩීබී ජයතිලක.. අනගාරික ධර්මපාල.. කොල්වින් ආර් ද සිල්වා.. ඩඩ්ලි සේනානායක..

ඔය වගේ චරිත කිහිපයක් ගැනම නිතරම පැරණී කතා කීම තාත්තාගේ පුරුද්දක්... ඔය අතරට සර් ජෝන් කොතලාවල හා බැඳුන කතාත් තිබුනා.. තාත්තා තරමක් අකමැති උනත් විජයානන්ද දහනායකගෙත් හොඳ වැඩ ගැන ඉඳ හිට කතා කලා...

ඔය හැම දේම අතරේම හිටිය තවත් චරිතයක් තමා ඇන් ඇම් පෙරේරා කියන්නේ...

තාත්තලා සේවය කල ප්‍රවාහන අංශය ඇතුළු බොහෝ ආයතන රැසක් ජනසතු කිරීම හරහා එයට මුල් වූ චරිත අතර මුල් පෙලේම හිටිය ඇන් ඇම් තාත්තලගේ ලෝකයේ වීරයෙක් උන එක අරුමයක් නෙවෙයි. ඔය ජනසතු කිරීමත් සමඟින්ම බැදුන බොහෝමයක් කතා ඒ දවස්වල තාත්තා අපිට කියනවා මට මතකයි..ඒ අතරින් එකක් තමා බස් ජනසතු කිරීමෙන් පසුව පලමුවැනි දිනයේ ලබන ආදායම හරියටම කියන්නට ඇන් ඇම් සමත් උනා කියන කතාව වැනි කතා. ඔවායේ ආරළු බූරළු ඇති..ඒත් ඇන් ඇම්ට බොහෝ දෙනාට දැකිය නොහැකි ඉදිරි දැක්මක් තිබුනාය කියන කාරණාව මට පසු කාලයේ හමු වූ පක්ෂ විපක්ෂ බොහෝමයක් දෙනෙක් කියලා තියෙන කතාවක් තමයි.

මේ ඊයේ පෙරේදත් අපේ යාළුවෙක් මූණු පොතේ ඇන් ඇම්ගේ කතාවක් ඉස්සර කරගෙන ලියවිල්ලක් දාලා තිබුනා.. ඒකෙන් කියන්න උත්සහ කලේ නම් විධායක ජනාධිපති ධූරය හරහා මහින්ද රාජපක්ෂ කරන වැඩවල වැරදි උනත් එයට යටින් කියඋනේ ඇන් ඇම් වැනි බුද්ධිමතුන්ගේ විරෝධතා නොසකලා හරිමින් ජේ ආර් විසින් ලාංකීය දේශපාලනයට කල හූනියම කියන එක මගේ යාළුවට අමතක වෙලා තිබුන හෝ දැකලා තිබුනේ නැහැ කියලත් මට හිතුනා.. ඒත් මේ විධායක ජනාධිපතිකම ගේන අවස්ථාවේ ඇන් ඇම් එහි ඇති අනාගත විපත හොඳින්ම දැකපු බවවත් අපේ යාළුවා දැනගත්ත එක මදෑ... ඇන් ඇම් කියපු දේ එදා හිටිය යූ ඇන් පී පාක්ෂිකයින් අගය කලානං අද මේ වෙනකොට නාහෙන් අඩ අඩ ඉන්න උන්දලගේ පුත්තුන්ට වෙන්නේ නැහැ.. ඒත් ඒ වෙලාවේ දෑස් වැහිලා හිටිය පාක්ෂිකයින්ගේ වැරදිවලට අද ඔවුන්ගේම පුත්තු දෙස් දෙවොල් තියන එකත් එක අතකින් හරි අපූරු වැඩක්... ඒත් ඉතිං ඒක තමුන්ගේ පැත්තේ ලොක්කා අතේ තියෙනකල්ම උන්දලට ඔය වැරදි එකක්වත් පෙනුනේ නැති එකයි වැරැද්ද.. ආයේ ඕක ලැබුනත් මෙන්න කියලා අහක් කරයි කියලනේ බය... කොහොම උනත් ඕක අහක් කරන්න පුළුවන්නං කාටත් හොඳයි... මොකද අද නැතත් තව අවුරුදු විස්සකින් තිහකින් පස්සේ හරි අපිටත් නැත්තං ඕක ගැන අඩ අඩ ලියන්න වෙන්න බැරි නැහැ...

ඒ විධායක ජනාධිපතිකම ගැන පමණක් නෙවෙයි අනිකුත් බොහෝමයක් අංශ ඇන් ඇම්ගේ අනාගත ඇහෙන් බලන්න තිබුන විශ්මිත හැකියාව හින්දා වාමාංශිකයින් හවුල් කරවාගෙන හැදුන සභාග රජයන් හරහා ඇන් ඇම්ගේ විශිෂ්ඨ සේවය මේ රටේ පොදු ජනයාට ලබා දුන් බව තාත්තා නිතර දෙවේලේ කිව්ව දෙයක්තමයි.

ලෝකයේ හොඳටම හොඳ හෝ නරකම නරක චරිත නැහැ වගේ ඇන්ඇම්ලගේ වාමාංශික දේශපාලනය ඇතුලෙත් ඔවුන් විසින් තමන්ගේ පන්ති බේදය යම් දුරකට හෝ තබා ගත්තාය කියලා එල්ලවන චෝදනාව යම් තරමක ඇත්තක්ය කියලා මටත් හිතුනේ පසු කාලීනව කේ ජයතිලකයන් විසින් ඇන් ඇම් සමඟ ඔහුගේ අත්දැකීම් පිළිබඳව කියවපුවාමයි...

ලංකාවේ කම්කරුවන්ගේ හා පීඩිත මිනිසුන්ගේ රජයක් කවදාවත් බිහි නොවුන එකේ හේතුවත් ඕකම තමයි...කම්කරුවන් නියෝජනය කරමින් බලයට එන්න දගලන හුගාක් නායකයින් ඇත්තටම කවදාවත්ම කම්කරුවන් සමඟ එකට කන්න බොන්නවත් ලෑස්ති නැහැ. ඔය දේ යම් පමණකට තේරුම් ගත්ත පීඩිතයින් තමුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලන කම්කරු නායකයින් වෙනුවට සුපුරුදු වළව් පෙලැන්තියේ නායකයින්ම තෝරා ගැනීමේත් එක අතක වරදක් කිව නොහැකි කාරණයක්. තමන්ව විකුණගෙන තමන්ගේ කරෙන් ඉහලට ගිහින් තමුන්ට කොකා පෙන්නන කම්කරු නායකයින් වෙනුවට තමන්ට වැඩිය විපතක් නොකරන හාමුලට චන්දේ දීම ඇර දුප්පත් පීඩිත මිනිහට තෝරාගත හැකි පැහැදිලි විකල්පයක් අදටත් ‍තියෙනවයි කියලා මම හිතන්නේ නැහැ. ලංකාවේ චන්ද දිනන්නේ හොඳ එකා කෝකද කියන පදනම යටතේ නෙවෙයි.. නරක අඩු එකා කෝකාද කියන පදනම යටතේයි.

ඔය කියනකොට මට මේ ඊයේ පෙරේදා හම්බඋන මනුස්සයෙක් කියපු කතාවක් මතක් උනා...

මෑන් කඩල රටකජු විකුණන හාදයෙක්... මමත් ගියේ කඩල ටිකක් ගන්න..ඒ යනකොට එතකන හිටිය තොරොම්බල් බඩු විකුණන මුස්ලිම් මනුස්සයෙක් එක්ක පොර දේශපාලන විග්‍රහයක..මාත් ඉතිං මගේ වැඩේ කරගන්න අතරේම හිනා වෙවී මේ කතාව අහගෙන හිටියා... දෙන්නත් එක්ක දේශපාලන පක්ෂවල නායකයින් ගැනයි කතාව කරගෙන ගියේ.. එහෙම වෙලාවක තමා මේ කඩලකාරයා මෙන්න මේ ටික කිව්වේ...

"මචං පිඟන් හෝදන එකා අතින් මිස බුදියං ඉන්න එකා අතින් පිඟන් බි‍දෙන්නේ නැහැ... බුදියං ඉන්න එකා කලින් පිගන් හෝදන්න අරං දවසට දෙකට බින්ද පිඟන්වල හැටි බලනකොට මාසයක් හමාරක් පිඟන් හේදුවනං කොහොම බිඳිල්ලක් බිඳීද කියලා දෙයියෝ තමා දන්නේ. ඒ බින්ඳ බිඳිල්ල මතක් වෙනකොට දැන් පිඟන් හෝදන්න ගිහින් පිඟන් බිඳින එකා බිඳින එක ඉවසං ඉන්න වෙනවා. එහෙම නැතිව මූ පිඟන් බිඳිනවා කියලා තද වෙලා අර බුදියං ඉන්න එකාට මේක බාර දුන්නොත් පිඟන් නෙවෙයි ගෙදර හට්ටි මුට්ටිත් බිඳලා වංගෙඩි මෝල් ගස් අහල පහලට විකුණලයි නවතින්නේ."

හරි ඒ කතාවින් වැඩක් නැහැ මං මේක ලියන්න ගත්තේ ඔව්වා කියන්නයෑ...මං ලියන්න ගියේ තාත්තගේ වීරයෝ ගැනනේ.. ඒත් ඒවා ලියන්න හිතුනේ ඇත්තටම ඇන් ඇම් ගැන අද හවහා මට මතක් උන හින්දයි..ඒකත් අපේ යාළුවෙක්ගේ බ්ලොග් පෝස්ට් එකක් දැකීම නිසයි.

තාත්තා වංගියක් කිව්වා ඇන් ඇම් එක පාරක් කරපු අපූරු වැඩක් ගැන.. ඒ තමයි එවකට භාවිතයේ තිබුණ රුපියල් පණහේ නෝට්ටුව අහෝසි කරපු එක ගැන කතාව...

එක පාරක් ඇන් ඇම් මුදල් ඇමති වෙලා හිටිය වංගියක හිටි හැටියේ රුපියල් පණහේ නෝට්ටුව අහෝසි කරලා ඒ වෙනුවට අළුත් පණහේ නෝට්ටුවක් නිකුත් කලා.. මේ හරහා එතෙක් කලක් බැංකුවක තැන්පත් කිරීමක් හෝ කිසිම විදියකින් ආයෝජනයක් නොකරමින් අට්ටි පිටින් ගෙවල්වල හංගගෙන හිටිය විශාල මුදලක් එළියට අඳින්නටත් ඒ හරහා මුදල් සංසරණය යහපත් කරවීමත්..ආදායම් බදු නොගෙවා සිටි අය කොටු කර ගැවීමත් වැනි කාරණා කිහිපයක්ම ඉටු කර ගැනීමට ඇන් ඇම් සමත් වූ බවත් කියන්නට යෙදුණා. කොහොම කිව්වත් ඔය වැඩ පිළීවෙලෙත් හිල්නං තියෙන්න ඇති. ඒත් ඇත්තටම ඒ කාලෙත් එක්ක හිතලා බැලුවම එවැනි දේවල් ඇත්තටම තරමක් අළුත් වැඩ.

මං කල්පනා කරන්නේ දැන් මේ දවස්වල මේ හිටු කියලා පාවෙන්න ඇරලා තියෙන රුපියල හරහා ඩොලර්..යුරෝ ඇතුළු විදේශ මුදල් වටිනාකම ඉහල යෑමත් එක්ක හිටි හැටියේ නැවත රුපියල කලින් තිබුනා වගේ ස්ථාවර වටිනාකමකට ගෙනාවොත් ඒක මොන මොන අතට බලපායිද කියලයි. මේ දවස්වල විදේශගත හුග දෙනෙක් මේ රුපියල පාවිල්ල ගැන ඇස් ගහගෙන ඉන්නවා කියන එක බොරුවක් නෙවෙයිනේ. සමහරු වැඩිම වටිනාකමක් එද්දි විදේශ මුදල් මාරු කිරීමත්.. තවත් සමහරු ගණන් යන දෙයක් කියලා හිතලා විදේශ මුදල් එක් රැස් කිරීමත් කියන වැඩ දෙකම කරන බවක් පේන්න තියෙනවා..ඕක කොයි අතට කැරකෙයිද කියලා මං දන්නේ නැහැ..ඒත් හිටි හැටියේ ආයම ඕක ස්ථාවර ගානක කෘතිමව හිර කලොත් කොයි අතට කැරකෙයිද..?

ඔව්ව ඉතිං මට ඔය නිකමට හිතුනට මං දන්න ආර්ථික විජ්ජාවක්වත්..දේශපාලන විජ්ජාවක්වත් නැහැ... ඒත් ඔය ගැන දන්න උදවිය මේ සයිබර් අවකාශයේ නැතිවා නෙවෙයිනේ. කරුමේ කියන්නේ මේ උන්දලට විහිළුවටවත් ඕවා හිතෙන්නේ නැද්ද.. නැත්තං හිතුනට මේ මං වගේ ඔහේ යන උළුවස්සකින් පල කියලා නොකියනවද මංදා... ඒත් ඉතිං සමහර විට මගේ මෝඩකමට මං ඔය කටට එන හැම එකම කෙලලා ඇරියට බුද්ධිමත් උදවිය එහෙම නැහැනේ... මගේ වැරැද්ද...

22 March 2012

ඔබේ බ්ලොගය මගේ ඇසින්..මාර කොමෙන්ට්ස්...

මේක ලියන්න පටන් අරං දැන් සෑහෙන කලක් වෙනවා..ඒත් මොන මොන හේතු හින්දා හරි පබ්ලිෂ් කලේ නැහැ..ඒත් අද හිතුනා ඔන්න ඔහේ යන "හිත"කින් යන්න ඇරලා දානවා කියලා... මේ ඉතිං ඔබ තමුන්නාන්සේලාගේ බ්ලොග් කියවද්දි මගේ හිතට නැගුන අවංක අදහස් තමා ඕං...කලින් ලියලා තිබුන විස්සකට තවත් පහලවක් එකතු කරලා 35ක් වෙන්න ලිව්වා... තවත් 15ක් වගේ තියේ ලියන්න..ඒ ටික පස්සෙන් පහු ලියඤ්ඤං..තරහක් අමනාපයක් ගන්න උවමනාවක් නැහැ... ඒත් බනින්න ඕනනං බැන්නට කමක් නැහැ..මං මගේ නෙවේ වගේ ඉඤ්ඤං... ඒත් හැමෝගේම බ්ලොග් ගැන ලියවිලා නැතිව ඇති..මට මේ ඒ ඒ වෙලේට සිහියට ආව ඒවා තමා...


මූ ගැනයි..මුගේ ලිපි ගැනයි කියන්න වචන නාස්ති කරන්න ඕන නැහැ..මුල ඉදන් මේ වෙනකල්ම දවසින් දවස දියුණු වෙන ලිවීමක් තියෙන කොල්ලෙක්... අපේ ජාතියෙම ගමේ බයියෙක්.ඒත් ඒ ගමේ කම ලිවීමට ආභරණයක් කරගෙන..දුක සතුටක් කරගෙන අකුරු කරන අදට වඩා හෙට ලෝකයේ තැනක් තියෙන එකෙක්...සිංහල බ්ලොග් හරහා සාමාන්‍ය ජන සමාජයට යන පලවෙනි ලේඛකයා වෙන්න ඉඩක් ඇති කොල්ලෙක්...


මේකත් ඉතිං අහු වෙච්ච දවසේ ඉදන් කියවගෙන යන එකක් තමා... තාම මේ වෙනකල්නං නරකයි එහෙමත් නැත්තං මෙලෝ රහක් නැහැ කියලා කියන්න ලිපියක් අහු උනේම නැති..සෑම සටහනකින්ම වෙනම ලෝකයකට කියවන එකාව කුදලගෙන යන්න ඇහැකි බ්ලොග් එකක්... ඇබ්බැහිවන සුළු බ්ලොගයක්...


කියවන්න මෙලෝ දෙයක් නැතිව හිටිය කාලේ මේක අහු උනාම ඉතිං දවස ගානේ කියවන්න මොනවා හරි ලැබුනේ මෙතනින් තමා... කාලෙකට ලියවෙන ලිපි බොහෝම රසවත් වගේම හිටි හැටියේ කාලයක් තිස්සේ මං කියවන්න උනන්දු නොවන ආකාරයේ ලිපි යනවා උනත් පොදුවේ ගත්තම සිංහල බ්ලොග්වල සුවිශේෂම ලකුණක් ඇති බ්ලොගයක්...


මේ බ්ලොග් එක කියවපු මුල් දවසේ ඉඳලා ‍අද මේ වෙනකල්ම මගේ වැඩිම කැමැත්ත දිනාගත්ත බ්ලොග් එක කියලා නොකිව්වොත් ඒක පට්ටපල් බොරුවක්... ම‍ට කවදහරි සිංහල බ්ලොග්වලින් මං කැමතිම එක තෝරන්න කිව්වොත් කතා දෙකක් නැහැ මේක තමා ඒ.


මේ මෑතකදී තමයි මේක කියවන්න සෙට් උනේ. වයස හා අත්දැකීම් එක්ක එන පරිණත බව හරහා සුපිරියටම ලියැවෙන බ්ලොග් එකක්...


දැන් වැඩිය ලියවෙන්නේම නැති උනත් වටින කියන බ්ලොග් එකක්... පණ්ඩිත වදන් නැති සරල වදනින් ලියඋන කියවා තේරුම් ගත හැකි..රස විඳිය හැකි බ්ලොගයක්...


අනිවාර්යයෙන්ම කියවනු ලබන තවත් බ්ලොග්යක් තමා. මේක ලියන උන්දැට කාලෙන් කාලෙට එක එක පිස්සු හැදෙනවා. එතකොට ඒ ඒ කාලෙට අදාල ලිපි තමා යන්නේ..ලිපි කියෙව්වම තේරුම් ගතෑකි මේ දවස්වල තත්වේ කොහොමද කියලා. කොහොම උනත් එක තැනක පල් නො‍වී ලියන අය අතරින් එකෙක්.

චිත්තරවලට ඇති අසමාන හැකියාවෙන් පරයෝජන අරං ලියන ටොපේ ටොප් එකක් තමා.. පොඩි කාලේ අපි වගේම අණ්ඩපාලයෙක් වෙච්ච සමකාලීන සගයෙක්.ඒ වගේම ඌටත් මටත් පොදු වෘත්තීය අත්දැකීම් ටිකක් තියෙන හින්දා කියවන්න අමතක නොකරන එකක් තමා


මං මේකට කැමති උනේ ටිකක් විතර වෙනස් සමාජ අත්දැකීම් ඇති එකෙක්ගේ බ්ලොගයක් නිසා. ගම් බයියෙක් කොළඹ ඇවිත් ඊට පස්සේ කොළඹට හැඩ ගැහිලා කොළඹ උන්ටත් වඩා කොළඹ ගති ලක්ෂණ ආරෝපණය කරගෙන ලෝකේ වටේ අත්දැකීම් ඇතිව කියං යන කතන්දර කියවනකොට ඒකේ තියෙනවා අමුතුම ගතියක්...
(හුටස් මූ බ්ලොග් එකත් වහලද කොහේද..ඌටත් ජයසිරි මංගලං..:D)


මේකට මං කැමති උනේ ඒ කාලේ ගිය කතාවක් හින්දා..."එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" ඒක තමා කතාව..සුපිරිම කතාවක්...ඒත් දැන් කාලෙකින් එහෙම ලිපි ඌ ලියලා නැහැ.ඒත් තාමත් පුරුද්දට කියවනවා.ආයේ කවදා හරි ඒ වගේ ලියයි කියලා හිතාගෙන...


මේක කියවන්නේ මොකටද කියලා මටත් හිතා ගන්න බැහැ..ඒත් ඉතිං මොන කරුමෙකට හරි මං මේකත් කියවනවා..දැන් ඕනනං ඕකා කියයි මං ඕක කියවන්නේ උගේ කරුමෙට කියලා...


මේ බ්ලොග් එකට මං කැමති මේකිත් මගේ රටාවට සමාන රටාවකින් ලියන හින්දා..ඒකෙත් නැති කුණු හරපයක් නැහැ..කලවං බ්ලොග් එකක්...


තාක්ෂණික කරුණු ගැන හොඳම ලිපි ලියැවෙන බ්ලොග් එකක්...ඒත් ඉඳහිට ඌ ආදරේ ගනයි වෙන වෙන බහු බූතයි ලියන්න යනවා..එව්වා කියවන්නං ටිකක් අමාරුයි..ඒත් තාක්ෂනික ලිපි ලිවීමේදීනං මෙච්චර හොදට පැහැදිලිව ලියන්න හැකි එකෙක් නැති තරං...


පරක්කු වෙලා කියවන්න යන බ්ලොග් එකක්...ඒකට හේතුව ලිපිය විතරක් කියවලා මදි වීම නිසයි. මේක ලියන බින්දි හොඳට දක්ෂයි ගිනි තියන්න..උන්දැ ඇවිත් පිදුරු ටික ලං කරනවා..ඊට පස්සේ එතනට එන එවුවෝ හොදට ගිනි තියනවා..ගින්නේ රඟ හොඳටම බලන්නනං ටිකක් පරක්කු වෙලා යන්න ඕන..නැත්තං අතරමැදින් ගිහින් අපිත් ගින්නට මැදි උනොත් ලේසියෙන් දාලා එන්න බැරි වෙනවා..එහෙට මෙහෙට ගිනි පිඹ පිඹ ඉන්නවා ඇර. මේක වැඩි හරියක්ම අධ්‍යාපනික වටිනාකමක් ඇති බ්ලොගයක්.


එකේ නමවත් මට හරියට මතක නැහැ..මට මතක හිටින්නේ ඔහොම තමා..මං ඉස්සර ඉඳලම ආස වැඩක් තමා මල ගෙවල්වල එක්කාසු වෙන පරණ සීයලා කියන පුරසාරං කතා අහං ඉන්න එක... අපරාදේ කියන්න බැහැ ඔබා අයියත් ආන්න ඒ වගේ..අතේ පැල කරලා පණ පිහිටුවලා පඳුරු වටේ තලලා කියන්න දන්නවා..ඒක කියවන එකත් නිකං මල ගෙදරක නයිටක් ගහනවා වගේ වැඩක්...එපා වෙන්නේ නැහැ...


පුදුමාකාර දිරියවන්ත පුංචි නංගි කෙනෙක්ගේ බ්ලොගයක්. කියෙව්වොත් තේරෙනවා කොහොමද කියලා...


මේකත් මෑතකදී ආරම්භ උන පර්යේෂණාත්මක බ්ලොග්යක්..ඌ ලියනවට වඩා අපිව උගේ මානසික පරීක්ෂණ වලට යොදාගන්න බලනවා. කාට හරි ඕනනං පර්යේෂණාගාර මීයෙක්වගේ වෙන්න..අන්න තැන ගිහින් උගේ කූඩුවේ ලැග්ගැකි.


මේත් වයසට වඩා පැසුණු ලිවීමේ ලක්ෂණ ඇති කෙල්ලෙක් ලියන කියවිය හැකි හොඳ බ්ලොගයක්..ඒත් ඒ කෙල්ලටත් වෙච්ච දෙයක් නැද්ද මංදා...


මේකත් ටිකක් විතර බින්දිගේ නෙළුම් විල වගේ. අධ්‍යාපන සාගරයක්. ඒත් බින්දිගේ තරම් පසු කතා ගොඩ නැගෙනවා මදි.ඒකට හේතුව සමහර විට මේක ලියන දිනේශ් ටිකක් තදින් ඉන්න එක කියලයි මට හිතෙන්නේ.


තොපිට ඕනනං බලපියවු ජාතියේ බ්ලොගයක්... මේක ටිකක් විතර හිතේ තියෙන ආසාවල් ලිවීම හරහා තෘප්ත කරගන්නා ආකාරයේ ලිවීමක් දකින්න පුළුවන් බ්ලොගයක්...


මුං දෙන්නගේම ලිපිවලට මං ආස උනත් කියවනවා අඩුයි.ඒකට හේතුව ඒ බ්ලොග් දෙකම මොන හේතුවකටද මංදා ලොඩ් වෙන්නේ සෑහෙන්න වෙලා අරං... අරූගේ මාළු ටැංකියේ ගැජට් බැජට් වැඩියි..පූසගේ වීදුරු ගෙයිනං වෙන මොකක් හරි ලෙඩක් තියේ..අනික ඒකට ගිහිං කියවන්න බැළුවම වැඩි හරියක් වෙලාවට තියෙන්නේ කවියක් ලියපු පොටෝවක්... මලාට ඕකේ පොටෝ මට එක පාර පෙන්නේ නැහැ...තුන් හතර පාරක් දගලලා තමා බලා ගන්න ඒන..ඉතිං කණගාටුවෙන් උනත් අත ඇරෙන අවස්ථා වැඩියි.


මේකත් කියවන බ්ලොග් එකක්..ඒ වෙන මොකටවත් නෙවෙයි ඒ ඒ කාලෙට රනිල් මහත්තයගේ ගෝලයෝ සෙට් එක හිතන කල්පනා කරන හැටි පොඩ්ඩක් දැන හැදිනගන්න..ඉස්සරනං ලංකාදීපේ ගුරුදා විග්‍රහය කියෙවුවා..දැන් මේක කියෙව්වමත් ඒ අත්දැකීම ගතෑකි.


මේකත් ඉස්සර එක දිගටම කියෙව්වා.ඒත් දැන් දැන් මේකි ලියන ඒවා තේරුම් ගන්න මං වගේ එහෙකුට අමාරුයි. ඒ තරමටම මේකි බර බර වචන ලියනවා... ඒ හින්දා ඒක කියවන එක ඔළුව මඤ්ඤං වෙන වැඩක්. ඒත් අතරින් පතර ඔළුව දාලා බලනවා අදවත් සිංහලෙන් ලියලා තියේද කියලා බලන්න...එහෙම නැති කොට ආපහු එනවා.


නැගලම ගිය බ්ලොග් එකක්... ඒත් ලියාගෙන ආව ටිප් ටොප් කතාවක් හදිසියට ඉවර කරලා කැලේ පැන්නා පැන්නමයි වෙච්ච දෙයක් නැහැ.


හැකි හැම වෙලේම කියවනවා..ඒත් අර වර්ඩ්ප්‍රෙස් බ්ලොග්වල තියෙන මැන්ටල් ගති ලක්ෂණ හින්දා රතුහාලේ බත් කනවා වගේ අමාරුවෙන් කියවන්න වෙලා තියෙන්නේ.හැබැයි හිතට වදින්නම ලියන්න දන්න එකෙක් මේකත්.


හප්පා එහෙමත් වටින කියන අධ්‍යාපනික බ්ලොගයක්..නොබලා කොහොමද..?


මේක ලියන බීටලයටත් අකුරු හොඳට ලියන්න පුළුවන්.මූටත් ටිකක් විතර අර ලියන්නගේ ලෙඩේ තියෙනවා.


ආවට ගියාට කවුරුවත් කියන පලියට නෙවෙයි අත්දැකිම් එක්ක ලියන මනුස්සයෙක් වග පේන හින්දා කියවන්න හිතෙන බ්ලොග් එකක්.


මේකට බ්ලොග් හැට හුට හමාරක් තියෙන හින්දා කෝකද කියලා කියන්න මටවත් මතක නැහැ.ඒත් පණ පිහිටුවලා ලියන්න හොඳට හැකියාව තියෙන එකෙක් තමා. හිටි හැටියේ ඉඳලා හිටලා අපබ්‍රංශ වචනයක් දෙකක් තියෙනවා උනත් ඒවා මග ඇරලා කියවගෙන ගියාම අවුලක් නැහැ...


සරත් අයියා..වයසක වගේම පැහුණ නිවුන මනුස්සයා... නිවිහැනහිල්ලේ කියවන්න වටින බ්ලොග් එකක්...


මේ තුන්දෙනාම හොඳ පරණ ගීත ගැන ලියන්න දක්ෂතාවයක් ඇති අය...තුන්දෙනාට තියෙන්නේ ආර තුනක්...


‍මේ බ්ලොග් එක ගැනත් කියන්න තියෙන්නේ අර සරත් අයියගේ එතකොට හෙන්රි අයියගේ දයිල් බතී ගේ වගේ වයසත් එක්ක ලබාපු අත්දැකීම් මත පන්නරය ලබපු අයගේ ඇති සුවිශේෂ ලක්ෂණ සහිත ලිවීමේ හැකියාව හොඳින්ම පිහිටලා තියෙන අයෙක්...

පොඩි කාලේ ලොකු ඒවා...

අපි පොඩි උන් ඒ දවස්වල...

මුළු ලෝකෙම අළුත්... බලන බලන අත තිබුනේ පුදුමාකාර දේවල්... දකින හැම දේකම මොනවා නමුත් වැදගත්කමක් තිබුනා.. අද මගේ ඇහැට පේන කිසිම දේක මහ අමුත්තක් නැහැ.. මොකද ඒවා ගැන සෑහෙන දුරකට මම දන්න නිසා...

අහසේ යන ගුවන් යානාවක්.. එහෙම නැතිනම් පොළවේ දුවන ඕනෑම වර්ගයක වේගවත් වාහනයක්.. මුහුදේ යාත්‍රා කරනු ලබන කුඩා ඔරුවේ සිට මහා නෞකා පමණක් නොව දිය යටින් යන සබ්මැරීනයක් වැනි දෙයක් උනත් පුදුම උපදවන දේවල් නෙවෙයි.. අඩුම ගානේ ජනමාධ්‍ය හරහා මිස පියවි ඇසින් නොදුටුවත් අභ්‍යවකාශ යානාවක් උනත් අද වෙනකොට ඒ හැටි දෙයක් නෙවෙයිනේ...

ඒත් කාලයක් තිබුනා විල් බැරෝවත් මාව පුදුමයට පත් කරවන කාලයක්.. ඒ විතරක්ද..?

බේබි අයියලගේ බරබාගේ කියන්නේ මට ඒ කාලේ දකින්න තිබුන සුපිරිම වාහනයක්.. මං හරි ආස කලා කවදා හරි දවසක ඒ බරබාගේ යට එල්ලලා තියෙන ගෝනි පඩංගුවේ නැගලා යන්න..ඒත් කවදාවත්ම ඒ අවස්ථාව මට උදා උනේ නැහැ..ඒත් කරත්තේ නැගලා යන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තියෙනවා.. ඒවා ජීවිතේට මට අමතක වෙන දේවල් නෙවෙයි...

පල්ලෙහා යස උන්නැහේගේ කමතේ ගොයම් පාගන්න ගෙනාව මහ ටැට්ටරේ නැගලා කැකුලාවල අයියා ගොයං කොලේ උඩ ඉස්සරහට විතරක් නෙවෙයි හිටි හැටියේ ආපස්සටත් යකා වැහිලා වගේ වේගෙන් එලොපු හැටි මතක් වෙද්දි අදටත් ඇගේ හිරි ගඩු පිපෙනවා... දැන් පෙරලෙයි.. දැන් පෙරලෙයි.. කියලා බයේ මං එතැනින් ඈතට වෙලා ඉන්නේ අතේ ඇගිලි කටේ දාගෙන...

කොළඹින් කිලෝමීටර් විසි දෙකක් විසි තුනක් දුරින් හිටියත් අපි පුංචි කාලේ ඒ හැටි වාහන ගමේ තිබුනේ නැහැ... කන්දේ ගෙදර මහත්තයගේ කාර් එකයි..මෝලේ කඩේ ටැට්ටරයයි..පාන් අදින බයිසිකල් දෙක තුනයි ඒ ෆෝටියයි ඇරුනම මතක ඇති වාහනයක් තමා ටැක්සි පොඩි මහත්තයගේ මොරිස් මයිනර් එක...

ටැක්සි පොඩි මහත්තයා ගමේ ආවේ සතියකට දවසක් දෙකක් වගේ තමා.. මනුස්සයා නිකං සුද්දා වගේ... පෙනුමෙන් කතාවෙන් උනත්... මගේ හොදම යාළුවගේ තාත්තා උන හින්දා උන්දෑ ගමේ ආවම ඔය කාර් එක වටේ රවුමක් දාලා බලන්න මටත් ලැබෙනවා... ඒක ටැක්සියක්... කොලඹ කොටහේනේ නැවතිලා සතියේ දවස්වල හයර් කරලා පොඩි මහත්තයා මාමා සෙනසුරාදා රෑට ගෙදර එනවා.. ඉරිදට ළමයි ටිකත් අල්ලං කාර් එක හෝදලා කරලා සඳුදා පාන්දරම ආයෙමත් කොළඹ යනවා.. ඒ යන්නෙත් පට්ට පාන්දර..

මාත් කොළඹ ඉස්කෝලේ යන්න උනාට පස්සේ බයිසිකලේ කැඩුන දාට පාන්දර හතරාමාරට විතර තාත්තත් එක්ක පයින්ම නුවර පාරට මංගච්චනකොට අහම්බෙන් වගේ පරක්කු වෙලා කොළඹ යන්න පිටත් උන පොඩි මහත්තයා මාමාගේ ටැක්සිය අහු වෙලා උන්දෑ මාව ඒකේ නග්ගගෙන කඩවතින් බස්සං ගියපු අවස්ථා දෙක තුනක් තියේ... එතකොටනං ඉතිං කාර්වල ලොකු අරුමයක් මට තිබුනේ නැහැ.. ඒත් පුංචිම කාලෙනං ඔය ටැක්සිය හරි ලොකු වාහනයක් අපිට...

අහ් මතක් නොකරම බැරි වාහනයක් තමා මහප්පගේ බැන්ටම් එක...

ඒ ගැන කියන්න මට වඩා දන්න කෙනෙක් මේ බ්ලොග් එක කියවන අය අතරේ ඉන්නවා උනත් ඒක අපි දැක්ක විදිය කියන්න එපැයි... ඒක පත සයිස් බයිසිකලයක්... වරුවක් විතර තල්ලු කලාම ඉස්ටාට් වෙන වෙලාවලුත් තිබුනා..:D
කිසි අවුලක් නැතිව පළාතෙම ඉන්න මදුරුවෝ ටික හැතැම්ම ගානක් එලෝලා දාන්නත් අහල ගං හතකට ඇහෙන තරමට සද්දේ පිට කරන්නත් ඒකට තිබුනේ පුදුම හැකියාවක්... මං හිතන්නේ ඒකට පෙට්රල් විතරක් නෙවෙයි ලාම්පුතෙලුත් කලවමට දාලයි මහප්පා පැද්දේ... ඒ දවස්වල හුගක් බයිසිකල්වලට ලාම්පුතෙල් කලවංකරනවා... ඒක අරුමයක් නෙවෙයි... ඉඳ හිට දවසක ඕක දහ අතේ තල්ලු කරලා ඉට්ටාට් කරං මහ සද්දෙන් හුටු පුටු ගාගෙන මහප්පා ඕකේ නැගලා ගියාට මට ඒකේ යන්න උනේ මහප්පලගේ ලොකු පුත්තරයා දවසක් ඕක ඉට්ටාට් කරන්න මගෙන් තල්ලු දම්මගත්ත දවසක තමා..

වරුවක් තිස්සේ එහෙට මෙහෙට තල්ලු කරලා යන්තං ඒකට පණ එනකොට මගේ හොද පණ ගෙහුන් තිබුනේ... කොහොම හරි ඒකා මාවත් දමාන බොට බොට ගාගෙන එහෙ මෙහෙ ගියා..ඒ යනකොටත් අතර මගදි දෙතුන් විඩක් ඇංජිම හිට්ටා.. එතකොට තමා මේකේ නැගලා ආව කරුමේ කියලා මට හිතුනේ.. වෙනදට අපිව පයිසෙකට ගණන් නොගන්න එකා එදා මාව මේකේ දමාන ගියේ මට ඇති ආදරේකට නොවෙන වග තේරුනේ ආයෙම ගිනි කාස්ටකේ ඕක තල්ලු කොරන්ට උනාම තමා...

කොහොම උනත් ඒ දවස්වල මටත් බයිසිකලයක නැගලා යන්න තියේනං කන්න බොන්න ඕනත් නැති හින්දා ඒ බැන්ටම් ගමනත් නරකම නැහැ... දැන් සමහර විට කවුරු හරි එක්කෙනෙක් ඇවිත් කියන්න පුළුවන් ඒක තමා ලොකේ තිබුන සුපිරිම භාණ්ඩේ කියලා.. ඒත් ඒකට වඩා අපේ තාත්තගේ පුස්බයිසිකලේ හොදයි කියලා මං බය නැතිව කියා හිටිනවා..එහ්නං...

තාත්තට තිබුණ රෝද දෙකේ පාපැදිය මට විශ්මය ජනක වස්තුවක්.. ඒ හැම දේටමත් වඩා රෝද දෙකක් උඩ සමබරව සිටිමින් මාව බයිසිකලයේ ලැගිජ් එකෙත්.. මල්ලිව බයිසික‍ලයේ ‍ඉස්සරහා පොල්ල උඩ තියාපු කුඩා කොට්ටය මතත් වාඩි කරවගෙන පැත්තකට ඇද වැටෙන්නේ නැතිව පැදගෙන යාම මට අදහ ගන්නත් බැරි වීර ක්‍රියාවක් වෙලා තිබුනා... ඇයි දෙයියනේ කොහොමද මේක පැත්තකට පෙරලෙන්නේ නැතිව තියෙන්නේ..මං පුදුම බයකින් හා කුතුහලයකින් බයිසිකලේ ලැගේජ් එකේ වාඩි වෙලා තාත්තා වාඩි වෙලා යන සීට් එකේ පිටි පස්සේ තිබුන කොයිල් ස්ප්‍රින් දෙකෙන් අල්ලගෙන යන ගමන් හිතනවා.. ඒ විතරක් නෙවෙයි සමහර තැන් වලදී තාත්තා අපහසුවෙන් පදිනවා කියලා දැක්කම මං ලැගෙජ් එකේ වාඩිවෙලා ඉන්න ගමන්ම සීට් එක තල්ලු කරමින් තාත්තට උදව් දෙන්න හදපු අවස්ථාත් අනන්තයි.. මං හිතං හිටියේ එහෙම කරාම ඇත්තටම බයිසිකලේට තල්ලුවක් ලැබෙනවා කියලයි... අද ඒවා මතක් කරද්දී ඒක තේරුමක් නැති වැඩක් කියලා තේරුනත් ඒ වයසේදී එහෙම හිතුව එක ගැන හිනා යනවා කියලා කියන්නත් බැරි තරං... තාත්තා වයසක මනුස්සයා... අපි දෙන්නෙකුත් දාගෙන පදිනකොට පොඩි පොඩි කඳු අහුවෙනකොට එහෙමවත් උදව් නොකර ඉන්නේ කොහොමද..? ඒක හිනා යන්ට කාරණයක් වෙන්නේ නැත්තේ ඒකයි...

පස්සෙන් පහුකාලෙක මටම කියලා බාගේ බයිසිකලයක් ලැබුනට පස්සේ යන්තං අමාරුවෙන් ඒක පැදලා හුරු වෙනකල්ම මට ඔය රෝද දෙකක් උඩ බැලන්ස් කරං පදින වැඩේ මැජික් එකක් වගේ වැඩක් තමා...

එදා ඒ දේවල් කොයි තරං අපිව පුදුමයට පත් කලත් අද ඒවා අපිට මහ ලොකු දේවල් නෙවෙයි..ඒත් නිකං ඉන්න ගමන් ආයේම කල්පනා කරලා පොඩි කාලේ හිතපු විදිය මතක් කරන කොට අද අපි ලොකු දේවල් කියලා දකින දේවල් අනාගතේ දවසක කොයි තරං පුංචි දේවල් වෙන්න පුළුවන්ද..?

19 March 2012

යුරේකා...හිත තියෙන්නේ කොතැනද..?

මේක මං හොයා ගත්තා කියලා මේවෙනකොට දන්න කිහිප දෙනෙක් ඉන්නවා..ඒත් හැමෝටම මගේ මේ පණ්ඩිතභාවය ප්‍රදර්ශනය කරන්න ඕන හින්දා මං මේක බ්ලොග් එකේ දාන්න හිතුවා..:D
නැත්තං කට්ටිය හිතන්න පුළුවන් මං මෙලෝ දෙයක් නොදන්න මැට්ටෙක්ය කියලා..කරුමෙට වගේ මගේ මේ සොයා ගැනීම වෙන එකෙක් කලින් කරලනං මට ඒකට කරන්න දෙයක් නැහැ..අම්මපා මං මේක අළුතෙන්මයි හොයා ගත්තේ ඔන්න..බොරු නැහැ වංචා නැහැ හරිය..?

ඉතිං මං මේක මූණු පොතේ මගේ යාළුවන්ට පැහැදිලි කරලා දීපු විදියම මෙතනත් දාන්නංකෝ..ආයේ මොකටද මේක ලිය ලිය ඉන්න තවත් කාලේ නාස්ති කරලා මං වගේ පණ්ඩිතයෙකුට මේ වාගේ හිතන්න තියෙන වෙලාව නාස්ති කරන්නේ..ඒක ජාතික අපරාදයක් නෙව...

මේ කතාව අපේ යාළු මිත්තරයෝ එක්ක ඇති උනේ වෙන කතා ගොඩක් මැද්දේ..ඒ කතා මැද්දේ මේකට හේතුව උනේ අපි කවුරුත් වැසිකිලි ගියාම අනිත් වෙලාවල් වලට වඩා හිතේ සැහැල්ලුවකින් ඉන්නවාය කියන කාරණය තමා...ඉතිං මෙන්න මාර පණ්ඩිතගේ අති උත්කුරුස්ට සොයා ගැනීම...


"සාමාන්‍යයෙන් අංශබාග රෝගීන්ට ඉබේ මල පහවෙනවා... ඒකට හේතුව එයාලට ශරීරය පාලනය කර ගන්න බැරි වීමඑහෙම නැත්තං අපි කොයි වෙලෙත් අපේ ශරීරය පාලනය කරගෙනයි ඉන්නේඒ කියන්නේ අපි නිදාගත්තත් අපි අවධියෙන්.. නැත්තං නියම ක්‍රමේට ගත්තම අපිට නිදා ගත්තමත් මල පහ වෙන්න එපෑ.. නිතරම ඒත් ඉඳහිට විශේෂ රෝගී තත්වයක් මත හෝ හීනෙන් කරන දෙයක් නිසා හෝ..(උදාහරණ=** සහ කොස් ගස) එහෙම උනත්සාමාන්‍යයෙන් අපි හැම දේම හිර කරං පාලනය කරං ඉන්නේඒක කවුරුත් දන්න දෙයක්නේඒත් අපිටත් නොදැනී ඒ පාලනය යටතේ අපේ හිතත් හිර වෙලා ඇත්තේ වැසිකිලි ගිහින් ගුද මාර්ගයේ පේශි ලිහිල් කිරීමත් එක්කම අපි කාගේ උනත් හිතටත් පුදුම සැහැල්ලුවක් ලැබෙනවාඒ හින්දා මං මේ දැන් හොයා ගත්තා අපේ හිත තියෙන්නේ කොතනද කියලා...ඔව් හිත තියෙන්නේ පුකේ"

දැන් මේක බලලා සමහරු කියයි නැහැ අපේ කෙසේ වෙතත් මාරයගේ මොලේ තියෙන්නෙත් එතනය කියලා...ඒකට අවුලක් නැහැ...දැන් මං හොයා ගත්ත විදියට හිත තියෙන්නේ ඔතන හින්දා එහෙම හිත් තියෙන උදවිය හිතන දේවල් ඔහොම තමා...:D:D:D

පසු සටහන...

** සලකුණෙන් දක්වා ඇත්තේ අපේ සහෝදර බ්ලොග්කරුවකු වන අතර ඔහුගේ ඉල්ලීම පරිදි නම ඉවත් කරන ලදි..ඒත් ඉතිං ඔය කොස් ගස් හීනෙන් පෙනීම සම්බන්ධ බ්ලොග්කරුවා සහ ඔහුට ඉන් සිදුවන දේ දන්නෝ දනිති

17 March 2012

එක්තරා ගැහැණියක්...

පෙර කී කතාවට කලින් කල යුතු හැඳින්වීමක් ලෙසින් මෙය ලියමි... කියවන්නට කම්මැලි සිතෙන්නට පුළුවන..එහෙත් ලියලා දැම්මාට කම් නැති හෙයින් ලියමි.

ඇයගේ කුඩා කාලය ගෙවුනේ දහසක් දුෂ්කරතා රාශියක් සමඟිනි...පවුලේ වැඩි මහළු ගැහැණු ළමයා වූ ඇයට වඩා බාල සොයුරි සොයුරියන් රාශියක් විය... පියා ගමේ සිටි තරමක් ඉඩ කඩම් තිබූ නාහෙට නාහන අන්දමේ චරිතයකි..තමාට වඩා තරමක් ලාබාල ගැහැණීයක් සහේට ගෙනවිත් සිටියත් අහල පහල ගෑණුන් සමඟ තිබූ සබඳතාවලත් කෙලවරක් නොමැත. සෑම දෙයම ඔහුගේ චණ්ඩිකමින් වසාගෙන ජීවත් වීම එතරම් අපහසුවක් නොවිණි.

ඉඩ කඩම් ඇතත් ස්ථීර රැකියාවක නිරතවීම කිසිදා නොකල ඇගේ පියා.. වැඩි හරියක් කාලය ගත කලේ සූදු පිටිවලත්... කසිප්පු ගුබ්බෑයම් වලත්ය..කුඹුරු කාලයට තමන්ගේ කුඹුරු වගා කරන ඔහු අනිත් කාල වලදී සුළු වෙළඳාම් ආදියත් ඉදහිට කරනු ලැබීය.එයට අමතරව කිරි හරක් හා මී ගවයින් කිහිපදෙනෙකුද සන්තකව තිබිණි...

වත්ත පිටියේ වැඩ පලත්..හරකුන්ගේ වැඩත්..තමාට වඩා බාල සහෝදරාදීන්ගේ වැඩත් නිසා ඇගේ අධ්‍යාපන ගමන හයේ පන්තියෙන් එහාට නොගියේය...

කුඩා කල සිටම තාත්තාගේ උවමනාවෙන් අම්මා විසින් වදනු ලබන උන් ඇති දැඩි වූයේ මැගේ අතේය... අඩි හතළිහ පණහා උස පොල් ගසකට බඩ ගෑමත්.. මීහරක් බානක් බැඳි නගුල මෙහෙයවා කුඹුරක් සී සෑමත් අවුරුදු දොළහ දහතුන වන විටම හොඳින් කල හැකි වූ ඇයට අහල පහල සම වයසේ උන් කොල්ලන්ද අධික ලෙසින් බියපත්ව සිට ඇත.

කාලයත් සමග පියාගේ මිතුරකු ලෙසින් නිවසට එන උසාවියක සේවය කල තරුණයකු මැගේ අම්මා සමඟ හුටපටයක් සාදා ගන්නා අතර ඔහුට දාවද සිය මව විසින් දරුවන් වදයි...පෙර ලෙසින් චණ්ඩිකම් කිරීම අපහසු වූ පියා ලෙඩ ඇදට වැටෙද්දී නිවසේ රජකම් කල උසාවි තරුණයා අම්මාගෙන් දුවට මාරු වෙන්නේ ඔය කාලයේදීය. වයස දහ හතරක් පහලවක් වද්දීම මහ ගෑණියෙක් වූ ඇය..දහසය වැනි විය ලබන විටම එක් දරුවකුගේ මවක් වී තිබූ අතර...අම්මාගේ හොර මිනිහා දුවගේ නීත්‍යානූකූල සැමියා බවට පත් වේ. කෙසේ හෝ උසාවි තරුණයා නිසා මවට දරුවන් කිහිප දෙනෙකුම උපදින අතරම දුවට ලැබුණ වැඩි මහළු දියණියටත් බාල දරුවන්ද මවට සිටී... ඒවායේ නෑදෑ කම් හරි හැටි පැහැදිලි කිරීම පහසු නැත.

දියණීයට වයස අවුරුදු විසි හතරක් පමණ වද්දී දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර ගබ්සාවීම් කිහිපයකටද මුහුණ දී සිටියාය.

කාලයත් සමග මහළු මිනිසාගේ මරණයත්..නව යුවලේ වෙන්ව විසීමත් සිදු වූ අතරම අම්මාටත් දුවටත් දෙදෙනාටම පොදු වූ පුරුෂයා වෙනත් ගැහැණියක් සමඟ අනියම් විවාහයකට එළඹීමත් සිදු විණි. දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය ඔහුටත්..වැඩි මහළු එකිය මවටත් ආදී ලෙසින් බෙදා ගන්නා ලදි..දික්කසාදයට අපගේ කතා නායිකාව අකමැති වූ බැවින් විසඳුම් රහිතව එය ඇදි ඇදි යන නඩුවක් ලෙසින් මෑතක් වන තෙක්ම පැවතියේය...

තමා භාරයට පත් වූ දියණියත් සාමාන්‍ය පෙල විභාගය පමණක් ලියා තරුණයකු සමඟ පැන ගිය අතර සිය පවුලෙන්ද වෙන්ව රැකියාවක් කරමින් සිය ජීවිතය නඩත්තු කරනා අතරම අහල පහල දන්නා කියන ඕනම කෙනෙකුට උදව් පදවු කරමින් තනිකඩ ජීවිතයක් ගෙවන්නට ඇය හුරු වූවාය...

රැකියාව ලෙසින් අහල පහල ආයතනයක සුළු සේවිකාවක වූවද එහි ෆෝමන්වරයකුගේ අයුතු යෝජනාවකදී ප්‍රසිද්දියේම ඔහුට පහර දී පසුව එම ආයතනයේ වෙනත් අංශයකට ඉල්ලාගෙනම මාරු වී ගියාය..ඒ පවිත්‍රතා සේවිකාවක ලෙසින්ය.. පසුව නිලධාරීන් සඳහා තේ සෑදීමට ඇයට හැකි වූ අතර..තමාට අදාල ටික පමණක් නොව ආයතනයේ හැම දේම තමාගේ කරගෙන වැඩ කරමින් ජීවත් වූ ඇය තමා කුලියට ගෙන නැවතී සිටි නිවසේ එක් කොටසක ඈත පළාත්වලින් පැමිණි තරුණ තරුණියන් කිහිපදෙනෙකුද කුලියට නවත්වා ගත්තාය..එයට අමතරව ඔවුන්ට කෑම සැපයීමෙන් පටන් ගත් සේවය ආයතනය දක්වාම පැතිර ගිය අතර..රැකියාව අතරතුරේදී බත් පාර්සල් සැපයීමත් අද දක්වාම කරගෙන එනු ලබයි...

වැඩි මහළු දියණිය පැන ගියායින් පසුව තනි වූ ඇයට ආයතනයේ සේවය කල තවත් අසාර්ථක විවාහයකට මැදි වූ රියදුරකු සමීප වන අතරම එම රියදුරා හිටි හැටියේ තදබල ලෙසින් අසනීපව මාස ගණනාවක් රෝහල්ගතවූ විට මැය තම රැකියාවත්..බත් සැපයීමත් කරනා ගමන්ම ලෙඩාට සාත්තු කිරීමත් බාර ගෙන දාහක් වැඩ කරමින් ඔහුව සුවපත් කල පසුව ඔහු වෙනත් ගැහැණීයක හා යන්නට යන ලදි...

එයින් පසුවත් රැකියාවේ කටයුතු නොපිරි හෙලා කරගෙන යන අතරම කුලියට නවත්වාගෙන සිටි ළමුන්ට වෙනත් බෝඩිම් සොයා දී එම කර්මාන්තය අතැර දැම්මාය..එහෙත් බත් සැපයීම සැමදාමත් සිදු කෙරිණි...මෙම කාලයේදී ඇය මත්පැනට යොමු වූ බවත් ඇය විසින් මා හට පවසා ඇත..ඇයව එම තත්වයෙන් ගලවාගන්නට සමත් වූයේ මා පෙර කතාවේ කී තරුණයාය...

කෙසේ හෝ එම තරුණයා ජීවිතයට ආ පසුව තරමක් සතුටෙන් පිරුනු ආකාරයකින් ඇය ජීවිතය ගෙවූ වග දකින්නට තිබුණි..එයත් සුළු කාලයකි...ඒ අතර තවත් හෙන ගෙඩියක් ඇයට පාත් විය... ඒ ඇගෙ බාල දියණිය සම්බන්ධවය... ඒ වන විට වයස 16ක් පමණ වූ ඇය සිටියේ සිය පියාගේ භාරයේය... ඒ සිටිනා අතරතුරදී ඇය ගැබ් ගෙන සිටින ලදි...

දියණියගේ කුසට ආ දරුවාගේ පියා ඇගේම පියා වූ බව මුලින් සඳහන් වූවත් කෙසේ හෝ අවසන එයට වගකියන්නට අහල පහල කොල්ලෙකු හමු වී තිබිණි..එහෙත් සැකය කොයි අතට හරියටම යා යුතුදැයි අදටත් මා නොදණිමි.

වැලහින්නියක සේ ඇය නැවතත් එහෙට මෙහෙට දුව පැන බාල දියණියත් තමා ලගට ගෙනවුත් අදාල තරුණයාව කනෙන් ඇදගෙන මෙන් පැමිණ ඔහුට දියණිය පවරා දුනි..එහෙත් නීත්‍යානූකූලව එම විවාහය සිදු කෙරුනේ තවත් කල් පසූ වීය..ඒ වයස් සම්පූර්ණ නොවීමේ හේතුව මතයි... මේ වන විට එම දියණීයත් අවුරුදු කිහිපයක දරුවකු සිටින අම්මා කෙනෙකි.. ඇය විවාහා කරගත් තරුණයාද හරි හමන් රැකියාවක් නොකරන රස්තියාදුවට යොමු වූ අයෙකි. ඒ අතරතුරදී එම විවාහය තුලත් සෑහෙන ගැටළු මතු වී තිබුණි. විශේෂයෙන්ම එම තරුණයාගේ අස්වාභාවික ලිංගික හැසිරීම් නිසා තදබල ලෙස රෝගී වූ බාලවයස්කාර දියණිය ඔහුගේ නිවසේ විසීමට යෑමට අකමැති වීම හේතුවෙන් මේ වන විට එම යුවලත් වසන්නේ අපගේ කතානායිකාවත් සමඟින්ය...

මේ සෑම දේම අතරතුරදී ඇයට මා පෙර කී කතාවේ තත්වයට මුහුණ පෑමට සිදුව තිබේ...ඒත් අදටත් ඇය තමාව පිළිකුල් කරනු ලබන සොයුරු සොයුරියන්ටත්..අහල පහල දන්නා අඳුනන අයටත්..තමා හැර ගිය රියදුරු පෙම්වතාටත්.. එකසේ උදව් පදවු කරනු ලබයි.ඒ හැර ඇගේ මව අදටත් සිය වයසට වඩා තිරිහන්ව විනෝදකාමී ජීවිතයක් ගෙවමින් කොළඹ ප්‍රදේශයේ වාසය කරනු ලබයි. තව කියන්නට කතා සෑහෙන ඇතත් කියා අවසන් කල නොහැකි කතා ගොන්නක් ඇති හෙයින් එාවාට නොයමි.

මේ සුරංගනා කතා හෝ..අස්වාභාවික කතා නොව සැබෑම කතාවන්ය... මේ වන විට මෙම සිද්ධින් වල චරිත දෙකක් මිය ගොස් ඇත..ඒ ඇගේ පියා සහ ස්වාමියා වූ උසාවියේ සේවකයායි...

අදටත් තම දරුවාගේ පවුලත් නඩත්තු කරමින්..රැකියාවත් බත් සැපයීමත් කරමින් ආදර හුටපටයක පැටලවී ජීවිතයම කුණාටුවකට හසුව ඇය ගමන් කරයි... උපන් දා සිට මේ වන තෙක්ම ලැබූ සැපතක් නැති ඇය හැමදාමත් අනන්ත වූ දුක් විඳිමින් සිටින්නීය...

නමුත් කිව යුතු එක් දෙයක් ඇත... මා මාගේ ජීවිතයේ දුටු ධෛර්ය සම්පන්නම ගැහැණුන් කිහිප දෙනා අතර මැයත් එක් අයෙකි..එසේම තරහා කරගත් කල කාලි අම්මා හා සමඟ තරහා වූවාක් මෙන්ම හිතවත් වූ පසුව මැයට වඩා හිතවතියක් මේ ලෝකයේ කිසිවකුට හමු නොවන බවත් කිව යුතුය.. ඒ තරමටම ඇය පරිත්‍යාගශීලීය... අන් අයගේ දුක් තමාගේ කරගෙන වැඩ කරන වෙනත් ගැහැණීයක් මා මෙතුවක් දැක නැත. එසේ කරනා අයට කියනා "ගොන් බඳින කනුවක්" යන වචනයටද ඇය සුදුසුය. එතරම්ම බඩ බැඳගෙන උදව් කරන තැනැත්තියකි.

ඇගේ චරිතය කලුද සුදුද කියා කීමට මට නොහැක.එය කිසිවකු හෝ තීන්දු කිරීමටද අවශ්‍ය නැත.. ඒ සඳහා සුදුසුකම් ලබන්නට තරම් ඔබ හෝ මාද සුදු හෝ කලු යැයි පැහැදිලි චරිත ඇත්තන් නොවන බැවිනි...

මේ තරම් මා ඇය ගැන දැන සිටින්නේ කෙසෙදැයි කිසිවකුට පැනයක් ඇති විය හැක.ඒ වෙන කිසිවක් නිසා නොව ඇය විසින් සිය කේන්දරය පරීක්ෂා කිරීමේදී ඇති වූ සාකච්ඡාවකදී මගිනි. ඇයත් මාගේ මව මෙන්ම වෘශ්චික ලග්න හිමි කාන්තාවකි... පොදුවේ වෘශ්චික ලග්න හිමි කාන්තාවන්ගේ ජීවිත කතා ගැන මා තරමක් කරුණූ රැස් කරමින් සිටිමි.ඒ එවන් බොහෝ අයගේ ජීවිත කතාවල සෑහෙන දුක් කන්දරාවක් ඇති හෙයිනි.

එසේම මගේ මවගේ කතාව කවදා හෝ ලියන්නට අවසර ගෙන ඇති ආකාරයෙන්ම මම මැයගෙන්ද ඇගේ කතාව කෙදිනක හෝ මගේ කටයුත්තකට යොදා ගන්නට අවසර ගෙන සිටිමි.එහෙයින් මෙසේ ලියන්නට හැකියාව ලැබිණි.. මේ ලියන්නට යෙදුනේ ඇගේ කතාව අඩිය අඟලට තැලීම වැනි ආකාරයකින් බවත්..සැබෑ සිදුවීම් මෙයට වඩා බොහෝ සේ වේදනාකාරී බවත් ලියා තබමින් මෙය අවසන් කරමි..
අපහසුවෙන් හෝ කියවූ ඔබට ස්තූතියි

16 March 2012

අහක යන කතාවක්...

බ්ලොග් එක..ඔව් ඔය තියෙන්නේ මොකක්ද වගේ වැනි වැනි...
හිටි හැටියේ අස්පයට පැස්ටෝල් ගහලා වගේ ඇරලා යනවා..ආයෙම කාලෙක ඔහේ නාකි බල්ලෝ කොළඹ යන්නැහේ ඇදි ඇදි යනවා..මේ දවස්වලත් එහෙමම තමා... ඒකට හේතු කාරණානං මට කියන්ට තේරුමකුත් නැහැ..කොහොම උනත් ලියන වේගේ අඩු වෙලා...

මේ ළගදි දවසක මාව හම්බ වෙන්ට මං දැන් ඉන්න වැඩ පොලට ආවා මං කලින් වැඩ කරපු පැක්ටේරියේ හිටිය ගෑණු මනුස්සයෙක්...ආවේ තනියම නෙවෙයි තවත් කෙනෙක් එක්ක..මේ ගැණු මනුස්සයට දැන් වයස අවුරුදු 44ක් විතර වෙනවා...ඒ එක්කලා ආව කොලුවට වයස අවුරුදු 24ක් වගේ තමා... ඔය ගෑණු මනුස්සයා ගැනත් මං කලින් ලිපියක ලියලා තියෙනවා... දන්න අයටනං පටස් ගාලා කියනකොටත් සිහි වෙයි කවුද කෙනා කියලා.. මේ කොල්ල ගැනනං මං ලියලා නැතිව ඇති..ඒ හින්දා පොඩ්ඩක් කිව්වට කමක් නැහැ...

අපි ඔය කලින් වැඩ කරපු තැන මාස කිහිපයක් ඉන්නකොට තමා මේ කොලුවා මගේ යටතේ රාජකාරියේ යොදවන්න කියලා මගේ ආරක්ෂක ආයත‍නයේ ඉහල නිලධාරී තැන මට එවලා තිබුනේ.. කොලුවා රජරට පැත්තේ... කළු හීන්දෑරි තරමක් ගිලුන ඇස් ඇති.. මොනවදෝ කල්පනාවකින් නිතරම ඉන්න..පුළුවන් හැම වෙලේම සිගරැට් එකක් මට හොරෙන් බොන්න ඈත මෑත බලන..පවරන වැඩේ නූලටම කරන කෙනෙක්... ඒ වගේම කවි නිසදැස් ආදියත් ලස්සන අත් අකුරුවලින් කොල කෑලිවල සටහන් තබන පුරුද්දක් මේකාට තිබුනා..ඒ වගේමයි කේන්තියත්..හොස්ස ලගින් මැස්සා යන්න බැහැ...

කොහොම උනත් මට මේකගේ වැඩ කිරීමේ හැකියාව හොද හින්දා කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ..සිගරැට් බීම ආරක්ෂක සේවයේ නීතිවලට විරුද්ධ හින්දා මං තදින් හිටියත් මූ ඒක කරන්නේ හැම වෙලේම හැංගිලා හින්දා මං ඒකත් යන්තමින් හරි දැක්කත් සද්දේ වහලා හිටියා...ඒ ඇර ටික කාලයක් යනකොට මෑන් මට තරමක් හිතවත් උනා..ඒකට හේතුව උනේ මං අනිත් අය වගේ අනවශ්‍ය රාජකාරි වලට මෑන්ව යවන්නේ නැති හින්දා.. සාමාන්‍යයෙන් ආරක්ෂක අංශවල ඉන්න ඕ අයි සීලා ඒ ඒ ආයතන වල ඉන්න ලොක්කන්ගෙන් එක දාගන්න ඒ අයට මුට්ටි ඇල්ලීම කරනවා..ඒත් එයාලා මුට්ටි අල්ලන්න යන්නේ තමුන්ගේ යටතේ ඉන්න සුළු නිලධාරීන් මඟින්...

ලොක්කන්ගේ වාහනවලට බඩු පටවන්න... ඒ අයට වැස්සට කුඩ අල්ලන්න... කඩේ යන්න එහෙම තමුන්ගේ යටතේ ඉන්න අයව යැවීමෙන් තමුන්ට එක දාගන්න යන හුග දෙනෙකුට ඒ හරහා අර සුළු නිලධාරියගේ මානසික තත්වයට වෙන්නේ මොකක්ද කියලා නිකමටවත් හිතන්නේ නැහැ. කොහොමටත් මං කිසිම තැනක රාජකාරි කරද්දී රාජකාරියට පිටින් කිසිම දෙයක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි.මං අකමැතිනං තව එකෙක්ගේ කාර්වලට බඩු පටව පටව ඉන්න මං කොහොමද මගේ යටතේ ඉන්න එහෙකුට කියන්නේ උඹ පටවහං කියලා.. මගේ රස්සාව කාර්වලට බඩු පටවන එකනං මං ඒක කිසි අවුලක් නැතිව කරනවා.. එහෙම නැතිව මට අදාල නැති දේවල් කාගෙවත් හිත හොඳ කරන්න කරන්න යන්නේ නැහැ. ඕක ලොක්කොත් දන්න හින්දා මං ගාඩ් රූම් එකේ ඉන්න වෙලාවට වැරදිලාවත් මගේ උන්ට කතා කරන්නේ නැහැ උන්නැහේලගේ පක්කලි සර්විස් වලට..

මේ මං කියන කොලුවත් කෙනෙකුට ඔළුව පාත් කරන්න කැමති එකෙක් නෙවෙයි..ඉතින් මෑන්ට ඔය වගේ වැඩ හින්දා මාත් එක්ක රාජකාරි කරන්න කිසි අවුලක් තිබුනේ නැහැ..මෑන් අනිත් ශිෆ්ට් එකේ ඕ අයිසී එක්ක ඉන්න කිසිම කැමැත්තක් නැහැ. ඔය වගේ කරණා එක්ක කොල්ලා මට හිතවත්ව හිටියා.. මේකත් තමුන්ට බාර දෙන දේ නූලටම කරන එකෙක් හින්දා මටත් ඇත්තටම පහසුයි එහෙම අය එක්ක වැඩ කරන්න..

මෙහෙම ටික දවසක් යනකොට තමා තේරුනේ අර මං මුලින් කී ගෑණු මනුස්සයා මේකත් එක්ක හොඳට හිතවත්.. ඒත් ඒක මගෙන් හංගන්න හදනවා කියලා... මට හංගන්න හැදුව එකේ කිසිම අවුලක් නැහැ.. මොකද ආයතන නීති යටතේ අපිට ආයතනයේ සේවකයොත් එක්ක වැඩි පයුරු පාසානමක් තියා ගන්ට බැහැ. විශේෂයෙන්ම ඒ අය ආයතනයෙන් පිටතට යද්දි එයාලව චෙක් කරන ගේට්ටුවල ඉන්න අයට කොහොමවත්ම කතාවක් බැහැ... ඒත් අර ගෑණු මනුස්සයා මේ කොල්ලට කන්න ටික.. බොන්න තේ වතුර එක හිටං අදින වග දැනගත්තම මං ඒ ගැන හොයලා බැලුවා.. බැලින්නං මේකා වැඩට එන්නේ ඒ ගෑණු මනුස්සයගේ ගෙදර ඉඳන්... ඉතින් මට හංගන්න එපෑ...

තව ටිකක් හොයලා බැළුවම දැනගත්තේ මටත් හොරෙන් තමුන්ගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ව රස්සාවට දාලා දෙන්න කියලා අපේ අනිත් ඕඅයිසී ලවා මේ කොල්ලව අර ගෑණු මනුස්සයමයි අපේ ආරක්ෂක සේවා ප්‍රධාන කාර්යාලයට යවලා මේ රස්සාව අරං දීලා තියෙන්නේ.. කට්ටිය ඕක වහං කරං ඉන්න හැදුවත් අර ගෑණූ මනුස්සයගේ වැඩි සැලකිල්ල හින්දා බොහෝම ඉක්මනට හැම දේම මාට්ටු උනාට පස්සේ මං පොතේ හැටියටම කටයුතු කලා.. ඒ කිව්වේ ‍කොච්චර හොදින් රස්සාව කලත් මට මේ කොල්ල ගැන ඉහලට කියන්න උනා.. එහෙම නොකලනං ඒක මගේ බරපතල වරදක්.

කොහොම හරි අවසානයේදී මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබියදී අර ගෑණු මනුස්සයා ඒ ආයතනයේ පාලනාධිකාරියට කියලා යන්තම් පොඩි සහනයක් ලබා ගත්තා... එයිට පස්සේ මගෙන් අදහස් විමසුවේ කොල්ලව තියා ගතෑකිද බැරිද කියන එක ගැනයි..රාජකාරියට අනුව එහෙම ආයතනයට සමීප සම්බන්ධකං ඇති කෙනෙක්ව සේවයේ යොදවා ගැනීම ඒ අයට ප්‍රශ්නයක් නෙවෙයි නම් හා කොහොමත් කොල්ලා වැඩට හොඳ හින්දා මාත් ඒ වෙලාවේ කොලුවට මා යටතේ තව දුරටත් රස්සාව කරන්න ඉඩ දුන්නා...

ඔය ප්‍රශ්නෙදී කොල්ලවත් අර කිව්ව ගෑණු මනුස්සයවත් මාත් එක්ක අමනාප උනේ නැහැ..මොකද ඒ වෙනකොට ඒ අය මං ගැන තේරුම් අරං හිටියේ. වගේම රාජකාරියට අනුව මට මේ දේ කරන්න වෙන වග මං මුලින්ම දෙන්නටම කියලත් තිබුනේ... ඕක මං නොකියා වෙන මාර්ගෙකින් ඉහලට යන එක නවත්තන්න විදියක් නැහැ වගේම.. ඒ ගිය වෙලාවට ස්ථානභාර ජේෂ්ඨ නිලධාරියා විදියට මුලින්ම තොණ්ඩුව වැටෙන්නේ මට වගත් මං පැහැදිලි සිංහලෙන් කියා දුන්නා.. හැබැයි හැම දේම දැන දැන අයථා විදියට රැකියාවක් ලබා දීමට උදව් කල අනිත් ඕ අයිසීට නම් ඒක ටිකක් පාඩුවකට හිටියා.. ඒ වනකොටත් ආයතනයේ සේවකයින් එක්ක එකතු වෙලා පොඩි පොඩි වංචාවන් කිහිපයක් කරලා මාට්ටු වේගන ඇවිත් තිබුන හින්දා මේ කේස් එකත්..තවත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකගේ ප්‍රශ්නයකුත් හරහා මෑන්ට ගෙදර යන්න උනා.

ඉතිං වැඩි කාලයක් නොයා මට තව දෙයක් මාට්ටු උනා කොල්ලා ගැන... මෑන් මහණ වෙලා හිටිය පොරක්.. පන්සලේ හිටිය මට ඒක අහුනොවී තියෙන්න බැහැනේ... කන්න බොන්න යනකොට කතා බහ කරනකොට ටික ටික සැකේ ඇවිත් තිබුන අතරේ එක දවසක් මොනවා හරි කතාවක් අස්සේ කියඋන දේකින් පස්සේ මම මෑන්ට තනියම කතා කලා...

"කොච්චර කාලයක් සිවුරේ හිටියද..?"

ප්‍රශ්නේ අහපු ගමන්ම කොල්ලා උඩ බිම බලන්න ගත්තා...

"කොහොමද සර් දැන ගත්තේ..?"

"යකෝ මාත් හිටිය එකෙක්..තෝ හැරෙනකොට මට කියන්න බැරිද..?"

කොහොම හරි මෑන් ජීවිත කතාව සාරාංශ කරලා ඇද්දා එළීයට..දුප්පත් පවුලක ළමයි රොත්තකින් ළමයි දෙන්නෙක්ම මහණ උන හැටිත්..පසුව දෙදෙනාම සිවුරු හැර ගොස් හමුදා සේවයට එකතු උන හැටිත්..තමුන්ගේ බාල සොයුරා යුද්ධයෙන් මිය ගිය පසුව තමා සේවය අතැර ආ හැටිත්.. දැන ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.

කොහොමත් හමුදාවේ ඉදලා සිවුරට ගිය මට සිවුරේ ඉදන් හමුදාවට ගිය එකා ගැන පොඩි අනුකම්පාවක් තිබුනා... ඔය දෙතැනම අතෑරලා දාලා ආව එහෙකුට සමාජයෙන් විඳින්න වෙන කරදර හිරිහැරවල තරම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ හින්දා ඇත්තටම එයින් පස්සේ මං කොල්ල ගැන ටිකක් හොයලා බැලුවා උපදෙස් දුන්නා... ඌට පන්තියකට යන්න ඕන විදියට නිවාඩු එහෙම හදලා දුන්නා.. රාජකාරි අස්සේත් පාඩම් වැඩක් කරගන්න අවස්ථාවක් ලැබෙන තැන්වලට ඩියුටිය දාලා දුන්නා වගේ වැඩ කෙරුණා...

ඔය අතරේ නොකියවුන කතාවක් තිබුණා.. ඒ තමා අර කියපු ගෑණු මනුස්සයා මේ කොල්ලට තියෙන සම්බන්ධය... ඒ දෙන්නා විසින් කියන්නට යෙදුනේ දුරින් නෑදෑ වෙන මල්ලි සහ අක්කා කියලා උනත් විවහා වෙච්ච දරුවන් දෙනෙක් හිටිය මනුස්සයා දාලා ගිය ගෑණු කෙනෙක්ගේ ගෙදර පදිංචියට හිටි හැටියේ කඩං පාත් වෙච්ච තරුණයා ගැන කයි කතන්දර ගංවල දුවන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ... ඒත් ඒවයින් මට ඇති වැඩක් නැති හින්දා ඒ ගැන කවදාවත්ම අහන්න ගියේ නැහැ.

ඉතිං ඔහොම ඉන්න අතරේ කොල්ලා ආයේ හමුදාවට යන්න කියලා සේවයෙන් ඉවත් වෙලා ගියත් ඒ හමුදාවට යෑම සිද්ධ උනේ නැහැ.. ඒත් ඒ වෙනුවට එම ආයතනයේම සේවකයකු හැටියට රස්සාවක් හොයලා දෙන්න මේ මල්ලිගේ අක්කා සමත් උනා. දෙන්නා ඉතිං ඔහොම ඉන්න අතරේ තමා මං මාරුව හදං මෙහෙට ආවේ... කොහොම හරි කොල්ලා මගේ යටතේ හිටිය රස්සාවෙන් අයින් උනාට පස්සේ ඔය කිව්ව දෙන්නම මට හිතවත් උනා. ඒකට හේතුව උනේ උන් දෙන්නගේ නෑදෑකං ගැන කවදාවත් අහන්න නොගිය අයට හිටියේ මං විතරක්ම වීම වෙන්නත් ඇති.

ඉතිං කොහොම හරි කාලෙකට පස්සේ ජෝඩුවම මාව හම්බ වෙන්න ආවේ අර ගෑනු මනුස්සයගේ හිතවත් කෙනෙකුට උවමනා වෙලා තිබුන ජ්‍යෝතිෂ කාරණාවක් සම්බන්ධව... කොහොමත් ඔය ගෑණු මනුස්සයගේ දෙ‍විදියක චරිත ලක්ෂණ තිබුනා... මොනවට හරි තරහා උනානං ඉතිං උන්දෑ කාලි අම්මා වගේ තමා..කොටින්ම ඔය මං ඒ ආයතනයේ හිටිය අවස්ථා කිහිපයකම මගේ ජොබ් එකට කෙලවන්න දගලපු කෙනෙක් තමා උන්දෑ..ඒ ඔය නීති තදින් ක්‍රියාත්මක කිරීම හරහා ඇති උන ගැටළු... ඒත් පස්සෙන් පහු මගේ හැටි සොබාවය තේරුම් ගත්තට පස්සේ උන්දෑ මට එදිරිවාදිකං කරන එක අතෑරලා දැම්මා.. පස්සෙන් පහු කාලයක අර කොලුවට මං ඉගෙනගන්න උදව් උපකාර කරන වැඩ එහෙම හින්දා කලින් තිබුන තරහා මරහා අතෑරලා ලෙඩට දුකට බලන්න උනත් ඉන්න මට්ටමට හිතවත් උනා... මේ ආවෙත් ඒ වගේම තමුන්ගේ හිතවත් අයකුගේ වැඩක් කරවගන්න...

මගේ කලින් ගෑනු ළමයා එහෙමත් ඔය මනුස්සයා දැකලා තිබුනා... ඒ සම්බන්ධේ කැඩිලා ගියාට පස්සේ මං කාලයක් නන්නත්තාර වෙන්න බිබී හිටිය වගත් දැනං හිටියා වගේම අන්තිමට මං කවුරුවත් නැති එකෙක්ය කියලා දැනගත්තට පස්සේ අම්මා කෙනෙක් වගේ පිහිට උපකාර උන අවස්ථාත් තිබුනා. කන්න දෙයක් උයාගන්න බැරි වෙලාවට හරි යන්තං කෝල් එකක් දුන්න ගමන් කොලුවා අත බත් පාර්සලයක් එවන්න... මොනවා හරි විශේෂ කෑමක් බීමක් හැදුව වෙලාවට මගේ පංගුව වෙන්කරලා එවන්න වගේ වැඩ සිද්ධ උනා.. දැන් ඔය මං කිව්ව දවසේ මේ ඩබල ඇවිත් තිබුනෙත් පත සයිස් කළු දොදොල් කුට්ටියකුයි සුද්ධ කරලා ලුණු ගම්මිරිස් එහෙම යහමින් දාපු වරකා පාර්සලයකුයි උස්සගෙන තමා...

කොහොම හරි මේක ලියන්න හේතු උන කතාව උනේ ඒ ඇවිත් ගියාට පස්සේ...එයින් දවසකට පස්සේ මට දුරකථනයෙන් කතා කරලා මේ ගෑණු මනුස්සයා හෙන අදෝනාවක් කියාගෙන ගියා.. ඒ අර කොල්ලා ගැන...

එදා උන්දෑ ඒ දෙන්නා අතර තියෙන ඇත්තම සම්බන්ධය මොන වගේද කියලා..දැන් කොල්ලා අර ආයතනයටම ආව කෙල්ලෙක් එක්ක යාළු වෙලා තියෙන වගත්.. දැන් ඒ කෙල්ලවත් මේ ගෙදරටම ගේන්න උවමනා බවත් කියන්නට උනා... කොහොම හරි මේ වෙනකොට මේ කොල්ලා වෙනුවෙන් උන්දෑ සෑහෙන්න වියදම් කරලා තියෙන බව මම විතරක් නෙවෙයි ආයතනයේ හුග දෙනෙක් දැනං හිටිය කාරණාවක්.. එයිට අමතරව මේ උන්දෑ අර කොල්ලගේ වයසක අම්මා තාත්තටත් මාසෙකට යම් කිසි මුදලක් යවමින් ඉන්නේ.. කොල්ලට බයික්.. කම්පියුටර් වගේ දේවලුත් අරං දීලා... එහෙම තියෙද්දිම මේකා තව එකක් එක්ක යාළු වෙලා දැන් දෙන්නම ඕන කියනවා...

මං ගාවත් ඕකට දෙන්න උත්තර තිබුනේ නැහැ... කොහොමවත්ම කොල්ලව අතාරින්න මේ මනුස්සයා කැමති නැහැ වගේම කොල්ලට එක එක දේවල් අරං දෙන්න ගිහින් දැනටම උන්දැ ලක්ෂ දෙක තුනක ණය අරං තියෙනවා.. ඉතිං ඒ හැම දෙයක් එක්කම ‍කොල්ලව අල්ලං ඉන්න ඕනකමත් උන්දැට තියේ... මේ වෙනකොටත් දේවාල ගානේ එහෙමත් ගිහින් තිබුනා... කොහොම හරි අවසානෙදී ඒ කෙල්ලව ගෙදර අරං එන්න ඉඩ දෙනවාය කියන මට්ටමට මේ මනුස්සයා හිත හදාගත්තා..ඇත්තටම ඒ කෙල්ලත් මේ හුටපටේ හොඳටම දන්නවා..ඒත් ආණමඩුව පැත්තේ කාස්ටක වෙච්ච ගෑණු ළමයෙක් උන ඒ කෙල්ලටත් මොකෙක් හරි එකෙක් එක්ක පැටලිලා මෙහෙම ඉන්න තියෙන උවමනාව හින්දා දැන දැන මේ මගුල පටලෝගෙන තියෙන්නෙත්..ඉතිං එහෙවු එකේ බෙදාගත්ත පිගාන කාලම බලන්න ඉඩ අරිනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මේ ගැන කොල්ලා තවම මා එක්ක කතා කලේ නැහැ..ඌට ලැජ්ජා ඇති ඒවා කතා කරන්න... ඒත් උන්ගේ ජීවිතවල හෙට දවස කොයි අත යාවිද කියන්නනං මං දන්නේ නැහැ... ඒ කොහොම උනත් මෙහෙම සිදුවීම් අපේ සමාජයේ අහු මුළුවල ඕන තරම් තියෙන වගත් කියන්න ඕන...

මේක ලියන්න ඕනයි කියලා ඕනකමක් තිබුනේ නැතත් මොනවා හරි ලියන්න කියලා හිතුව හින්දා ඔන්න ඔහේ ලියලා දැම්මා..කොහොමත් කලින් හිටිය ආයතනයේදී සිදු වෙච්ච හුගක් දේවල් තියෙනවා තාම මම ලියපු නැති.. ඉස්සරහට ඉඩ තියෙන හැටියකට ඒ මගුල් සක්වල ගැනත් ලියලා දාන්නම්...

කට්ටියට දැක බලා සතුටු වෙන්න පුළුවන් ලිපියක් මෙතන තියෙනවා ඒකත් බලන්න...

15 March 2012

කුස පබා ගැන මගේ විචාරය...

ඔන්න ඉතිං මට ඊයේ හරි වැඩේ උනේ...

දවල් හිටි හැටියේ වතුර කැපුවා නෙව මේ පැත්තේ... ඒ හින්දා උයන එකත් කොට උඩ..ඒ පාර දවල්ට කඩේකින් කෑම එකක් කන්න ගියා..ඒක කාලා එනකොට අසූ හාර දහට දාඩිය දාලා..දැන් ඉතිං ඇග නාගන්නවත් විදියක් නැහැ..ඇගේ දාඩිය පිටින් නින්දක් දාන්නත් බැහැ... ඉතිං මං තීරණය කලා චිත්තර පටියක් බලන්න යන්න... එහෙං මෙහෙං හොයලා බැළුවා..මට කිට්ටුව පාතම තියෙන හෝල් එක තමා ඉතිං වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාව..කොහොම හරි ඕකේ පෙන්නන්නේ මොකක්ද කියලා හිතලා අන්තර් ජාලයේ කරක් ගැහුවට මොකද කියන්න සංතෝසයි හරි හමන් එක සයිට් එකක් නැහැ විස්තරයක් දැන ගන්න..කොටින්ම කිව්වොත් චිත්තරපටි සංස්ථාවේ වෙබ් එකත් නමට විතරයි ඒකේ මෙලෝ මල දානයක් නැහැ..ඒක වැඩ කරන්නෙත් නැහැ..

ඉතිං අන්තිමට අපේ ‍බ්ලොග් සගයෙක් වෙච්ච රුචා මල්ලිගේ උපදෙස් මත පත්තරේකින් බලන්න කියලා හිතුවට අද ඊයේ ගෙනාපු පත්තරත් ගෙදර නැහැ.. ඒ පාර පට්ට පරණ ලංකාදීපයක් හොයා ගත්තම එකේ තිබුනා සීගිරි සිනමා ශාලාවේ ටැලිපෝං අංකේ... ඒ පාර කතා කලා ඒකට..හරි ඒක වැඩ...

"මොනවද අද පෙන්නන්නේ...?"

"කුස පබා.."

"කීයටද තියෙන්නේ..?"

"දෙකයි තිහට.."

"ටිකට්වල ගණන් කොහොමද..?"

"යට 125 යි උඩ 175යි.."

හරි ඒ ටිකත් හරි..ඔන්න මං දඩි බිඩි ගාලා ගියා..බත් කාලා ආපහු හැරුණ අතට ආයේ මොනවත් කන්න බැරි උනත් යමින් ගමන නිට්ටඹුවෙන් රුපියල් පණහක රට කජුත් අරං ගියා...

යනකොට බල්ලෙක්වත් එළීයේ නැහැ...මං ඉතිං රුපියල් 10ක් ගෙවලා බයිසිකලෙත් පාක් එකට දාලා ඇතුලට කඩාගෙන ගියා... ඇද්දා පන්සීයේ කොලයක්..

"දෙන්න බැල්කනි ටිකට් එකක්.."

කවුන්ටරේ හිටිය හිච්චි කොලුවා දුන්නා ටිකට් එකක්..ඉතිරි තුන්සීයකුත් එක්ක..ඇහ්..

"මල්ලි කීයද බැල්කනි...?"

"දෙසීයයි"

ඔව් මේකේ ගහලත් තියෙනවා 200යි කියලා..මං හිතන්නේ මම ගෙදර ඉඳන් මෙතනට එන ටිකට සිනමා ගාස්තු වැඩි වෙලා..හා ඒකත් කමක් නැහැ කියමුකෝ..මං ගියා උඩට..අතර මගදී පොරක් මගෙන් ටිකට් එක ඉල්ලගෙන ඒකෙන් කෑල්ලකුත් ඉරා ගත්තා... ඉතිං මං ගිහින් කොහොම හරි දොරත් ඇරගෙන ඇතුලට ගියා..

බුදු අම්මේ පට්ට කරුවල..ඒ මදිවට ක‍ට හඩවලුත් ඇහෙනවා බර ගානක්..මං එක පාරට අන්ධකාරෙට ගිය හින්දා මට මොන මල දානයක්වත් පේන්නේ නැති උනාට මෙච්චර වෙලා කරුවලේ හිටිය උන්ගේ ඇස් දැන් අඳුරට හුරු වෙලා ඇති හින්දා උන්ට මාව පේනවා ඇති එකසිය ගානට කියලා හිතලා..මාත් අයියා වගේ හිමි හිමිං ඉස්සරහට ගියා...පුටු අතපත ගාන්න යන්නත් බැහැ කලුවරේ මොනවා අහු වෙයිද කියලා කවුද දන්නේ..ඒත් මං දන්නවා බැල්කනියේ ඉස්සරහට වෙන්න කවුරුවත් වැඩිය නැහැ කියලා..හැම එකාම ඔකේ පිටිපස්සට රිංගන එකනේ වැඩේ... ඉතිං මං ඉස්සරහටම ගිහින් සැකෙන් සැකෙන් වගේ දකුණු පැත්තේ සීට් එහෙක වාඩි උනා ඕන මගුලක් ඕන ඔඩොක්කුවක් කියලා..

හරි අවුලක් නැහැ මං වාඩි උන තැන කවුරුවත්ම නැහැ..ඉතිං අතේ තිබුන හෙල්මට් එකත් හිමිහිට අනිත් සීට් එකෙන් තිබ්බා..ඒකත් හරි ඒකෙත් මොකෙක්වත් නැහැ...ඔය ටික කලේම එස් අකුර තොල් දෙකේ හිර කරගෙන..ඒ කිව්වේ සොරි කියන්න බලාගෙන...කවුද දන්නේ එකපාරට අනිත් පැත්තේ කවුරු ඉඳිද කියලා..නිකමටවත් නොදකින් කුපාඩියා..අවලමා වනචරයා වගේ වචන ඇහුනොත් එහෙම.. ඉතිං කොහොම හරි මං ඔන්න දැන් සිනමා ශාලාවේ හරි බරි ගැහිලා වාඩි උනා..එහෙම වාඩි වෙලා චිත්තරපටිය බැළුවා..ඒත් හත් ඉලව්වේ මෙතනත් පට්ට රස්නෙයි..නිකමටවත් ෆෑන් එකක් කැගෙන හඩක්වත් නැහැ..ඒත් ඉතිංමොනවා කරන්නද දුක සේ අදුරෙම චිත්තර පටිය බලන්න ගත්තා..කොහොම කොහොම හරි පලවෙනි හමාර ඉවර වෙලා ඉන්ටවල් එකත් ආවා කියමුකෝ..ඔන්න එක පාරට හතර අතින් ලයිට් පත්තු උනා..හත් ඉලව්වේ කෝ මේ කන ගාව කතා කරනවා වගේ සද්ද ඇහුන සෙනග..?

බලු බල්ලෙක් පේන්න නැහැ..ඔළුව හැම තැනම කරකවගෙන යනකොට මෙන්න මගේ පිටි පස්සේ ඈත කෙලව‍රේ එකම එක ජෝඩුවක් ඉන්නවා බිරංතට්ටු වෙලා...උන් ඉන්න තැන එක ෆෑන් එකක් වැඩ..උන් හිටිය පැත්තට විරුද්ධ පැත්තෙත් එකක් ඔහේ කැරකෙනවා.. ඒ පාර මං ඒ ෆෑන් එක යටට ගිහින් හෙල්මට් එක එහෙම තියලා ගියා වතුර බෝතලයක් ගේන්න එළියට...

උඩ තට්ටුවේ පොඩි ආපනශාලාවක් තිබුනට ඒකේ කවුරුවත්ම නැහැ...ඉතිං මං පහලට බැස්සා..ඒ බහිනකොට වයසක මනුස්සයෙක් ඉදලා කැන්ටිමට යන්නනං මේක මැද්දෙන් යන්න කියලා..ඉතිං මං හෝල් එක මැද්දෙන් අනිත් පැත්තට මාරු උනා..අප්පේ මෙන්න එතනනං සෙනග ඉන්නවා..ඔඩීසී එකේ කට කපලා සෙනග... සෙනග කිව්වට ඉස්කෝල ළමයි යුනිෆෝම් වලින්ම අවිත් බර ගානක්.. තව ඉතිං එක එක ජාතියේ අය..ඔඩීසී එක ඇර දෙවෙනි පංතිය පලවෙනි පන්තියේ එහෙමනං මැස්සෙක්වත් නැහැ..ඉතිං මං ගිහින් වතුර බෝතලයකුත් ඇන්න ඇවිත් තව වෙලා තියෙන හින්දා මගේ යාළුවෙකුටත් කෝල් එකක් එහෙම අරං ආයේ බැල් ගහන හඩ ඇහිලා දිව්වා ඇතුලට..කොහොම හරි එතැන හිටන්නං දාඩිය නොදා චිත්තර පටිය බැළුවා...

කුස පබා කොහොමද..? ඕක ඉතිං හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ..ඉතිං මාත් චිත්තරපටිය බලපු පැය ගානේදී මට හැගුන..හිතුන දේවල් ටික කියලා දාන්නං...

"රට කජුවල තෙල් ගතියනං ටොප්..ඒත් ලුනු ටිකක් වැඩියි වගේ..වතුර තිබහා වෙනවා ඉක්මනට.. හැබැයි හොදට බැදුන කරපිංචා කොල ටිකකුත් යහමින් දාලා තිබුන හින්දා හොඳ ටේස්ට් එකක් තියේ... නරකම දේ තමා මේ උරේ යට එකතු වෙන පොතු..මිරිස්කුඩු ලුනු කුඩු එහෙම අතේ ගෑවෙන එක...

ඇත්තටම ඇයි මේවා තවරලා ඉවර වෙලා වැඩි හරිය අහක් කරන්නේ නැත්තේ..?"

අහ් හුටා මං මේ කියවන්නේ මොනවද..? ඒත් ඉතිං ඇත්තටම කුස පබා ගැන විචාරය කියලා මට ලියන්න තියෙන්නේ ඔහොම තමා... ඒකට වඩා රටකජු ගැන විචාරයක් ලියන්න පුළුවන්...

ඔය අතරේ මගෙන් අපේ මල්ලි කෙනෙක් ඇහුවා "අයියේ කොහොමද පබාගේ බුරිය" කියලා...?
ඒකට කියන්න තියෙන්නේනං මෙච්චරයි.. මේවා බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන්න හදන චිත්තරපටි මල්ලියේ.. අපි ඒක දිහා බලන්න ඕන බෝධිසත්ව චරිත දිහා බලන විදියට... යසෝදරා දේවිගේ පූර්ව ආත්මවල බුරිය දිහා බලන්න යන්න හොද නැහැ...

සුනිල් ආරියරත්න ගොයියා යසෝධරා දේවීගේ පෙර භවයේ චරිතේ උන්දැගේ මෙලෝ රහක් නැති සින්දු කෑලිවලට නැටෙව්වට මට ඇහැකිද එහෙම කැතට බලන්න..සික්...

අනික ඒක පේන්න තිබුනෙත් නැහැ... ඇඳුම් නිර්මාණ ශිල්පියා මොනවා නැතත් ඒක වැහෙන විදියට තමා වැඩි හරියක් ඇඳුම් නිර්මාණය කරලා තිබුනේ..ඉතිං යන්තං පෙනෙන අවස්ථා ආවත් අපි කරන්න ඕන හිත සංවර කරගෙන සර්ධාවෙන් යුතුව චිත්තර පටිය බලන එක තමා..ඒ හින්දා මල්ලියේ එහෙම දේවල් අහන්න එපා හොඳද..?

ඔන්න ඔහොමයි ඔය ගැන මට කියන්න තියෙන්නේ...

පසු සටහන...

වීනා ජයකොඩිව පබාට ගත්තනං ජැක්සන්ට නියම විදියට ගැලපෙන වගනං නොකියා බැහැ... රවීන්ද්‍රව කුසට ගත්තනං ජැක්සන්ට වඩා ගැලපෙන වගත් නොකියා කොහොමද..? මං හිතන්නේ මුළු චිත්‍රපටියටම චරිත දෙකයි හරි අයට දීලා තිබුනේ..ජයම්පතී කුමාරයට හිටිය රොෂාන් රණවකයි.. කුදීට හිටිය චාන්දනී සෙනෙවිරත්නයි...අනිත් හැම දේම කෝලං විතරයි...
තව එකම එකයි සඳහන් කල යුත්තේ..ඒ තමා නාමාවලිය යද්දි යන ගීතය..ඒක කියන්නේ එඩ්වඩ් ජයකොඩි... සින්දු කතන්දර කරන්න දන්න උදවිය බොහෝමයක් අතරේ කතන්දරයක් සින්දුවක් කරන එකනං ටිකක් විතර අපූරු වැඩක්..

අවුලක් නැහැ...
ටිකට් එක 200යි
බයික් පාකින් 10යි
රටකජු 50යි
වතුර බෝතලේ 40යි
ඔක්කෝම 300යි...

ඔන්න සිංහල සිනමාවේ අභිවෘද්ධියට මාත් දායක උනා ඈ...

14 March 2012

කිසිදා හෙලි නොකල මගේ ආදර හුටපට...

ඇත්තටම ඒ කාලේ කොයි තරම් සුන්දරද..? එයාව දකිනකොට මට ඒ දවස්වල කරන්ට් එකක් වදිනවා වගේ..මට තේරුමක් නැහැ මොනවා වෙනවද කියලවත්... ඒත් මං දැනං හිටියා මම එයාට හෙනට කැමතියි කියලා...ඇත්තටම ඒක කිසිම නරක අදහසකින් ඇති උන කැමැත්තක් නෙවෙයි... එදා විතරක් නෙවෙයි අදටත් ඒ රූපේ ඉඳ හිට දකින දවස් තියෙනවා...ඒ දැක්කමත් මට උන් හිටි තැන් අමතක වෙනවා... ඇත්තටම මං එයාට ආදරේ කලා... මට ඕන උනා ලොකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න මම එයාට ආදරෙයි කියලා..ඒත් ලෝකයා මට මොනවා නොකියාවිද... අද වගේනං මං ඒ ගැන ඒ හැටි හිතන්නේ නැහැ... ඒත් ඒ දවස්වල මං පුංචි කොල්ලෙක්... ඔය වගේ දෙයක් බය නැතිව කියනවා තියා ඒ ගැන හිතනකොටත් ඇග හීතල වෙලා යනවා..

කොටින්ම මං ඒ දවස්වල එයිටත් කලින් තව එක කෙල්ලෙකුට ආදරේ කලා..මට ඒක කියා ගන්න කෙනෙක් නැති හින්දා මම කලේ කොපි පොතක පිටුවක් පුරාවටම "*** මම ඔයාට ආදරෙයි" කියලා ලියලා ඒ පොත් පිටුව චූටියට නවලා සිලි කොල කෑල්ලක ඔතලා අපේ ගේ ඉස්සරහා ළිඳ ගාව තිබුන හාතවාරියා වැල් ගාලට පොඩ්ඩක් එහායින් වලක් හාරලා අර සිලි කොලෙන් එතුව කොලේ තියලා ඊට උඩින් හිල් නැති පොල් කටුවක් තියලා වහලා පොල් කටුව වැහෙන්නම පස් දාලා තද කරපු එකයි..සමහර විට ඒක තාම එතන තියේද දන්නේ නැහැ...ඉතිං ඔන්න ඔහොම කාලෙක මං කොහොමද මේ ආදරේ ලෝකෙටම ඇහෙන්න කියලා කෑ ගහන්නේ.. ඉතිං මං සද්ද නැතිව හිටියා...

ඒත් මං අදනං කියනවා කියලම හිතුවා...ඕන එකෙක් ඕන මගුලක් හිතපුවාවේ... මේ ඉන්නේ එයා...
කොහොමද දැක්කත් හිත පිරෙනවා නේද..?ඔව් මේ තමා

"හින්දි සිනමාවේ කඳුළු බින්දුව විරුදාවලී ලත් නර්ගීස්..."

සමහර විට ඔයාලා අඳුරනවත් ඇති..සමහර අයනං අහලවත් නැතිව ඇති... හරියටම කිව්වොත් හින්දි නළු "සංජය දත්"ගේ මව.."සුනිල් දත්"ගේ බිරිඳ...

ඉතිං රට්ටු මොනවා නොකියාවිද අනුන්ගේ ගෑණියෙකුට ආදරේ කරනවයි කිව්වම..ඊටත් ලොකු ළමයිත් ඉන්න අම්මා කෙනෙකුට..ඒත් කමක් නැහැ කියමුකෝ හිච්චි කොළුවෙක් වෙච්ච මං ඒ වෙනකොටත් මිය පරලව ගිහින් හිටිය ගෑණු පරානෙකට ආදරෙයි කිව්වම..ලෝකයා මොනවා නොකියයිද... ඒත් ඒක ඇත්ත...


ඇත්තටම මං මෙහෙම පෝස්ට් එකක් ලියන්න නෙවෙයි හිටියේ..ඒත් අද හදිසියේ වෙනත් වැඩකට දෙයක් හොය හොය ඉන්නකොට මට හම්බ උන පින්තූර කිහිපයක් නිසයි මේ මතකය අවදි උනේ... ඒ පොටෝව තමා මේ පහතින් තියෙන්නේ...
කවුද මේ...මේ තමා යුගයක් වශී කල ඒ අසහාය නිළීය "වහීඩා රෙහෙමාන්" ඔය වයසක අම්මා කොහොම යුගයක් වශී කරන්නද කියලා හිතුවට බලන්න පහත පින්තූර ටික...


ඒ කාලේ හිටිය අග්‍රගණ්‍ය නිළියක්..ඒත් දැක්කා නේද අද ඒ රූපයේ ස්වභාවය...ඒත් එක අතකින් හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ ඉන්න කෙනා දිහා බැළුවම තමා...
දැක්කම නිකං බය හිතෙනවා වගේදත් මංදා...ඒත් ඔය ඉන්නේ දසක කිහිපයක් හින්දි තිරය දෙවනත් කල අසහාය නිළීයක්... භාරත ගී වින්දර ගෙන එන රංජිත් එදිරිසිංහ මහත්මයා අදටත් ඔය නිළීය ගැන කියනකොට ඇස්වලට කඳුළු උනනවා...ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"එදා රිදී තිරය දෙවනත් කල හින්දි සිනමාවේ ගිනි සිළුව...වෛජන්තිමාලා..."

මං හිතන්නේ හුග දෙනෙක් දේව්දාස් බලලා ඇති... ඒත් අළුත් නිශ්පාදනය..එකේ මධුරි ඩික්සිත්ගේ චරිතය පැරණී දේව්දාස් චිත්‍රපටයේ රඟන්නේ වෛජයන්තිමාලා තමයි... ඒ විතරක් නෙවෙයි පැරණි හින්දි රසිකයින් අදටත් ආදරයෙන් සිහිපත් කරන මධුමතී වගේ සිනමා පටවලත් වෛජයන්තිමාලාගේ ගිනි පුපුරු විසිවෙන නැටුම් බලන්න පුළුවන්...මේ ඉන්නේ එදා වෛජයන්තිමාලා...


කොහොමද වෙනස..කාලය මැවු වෙනසක අරුමේ තමා නේද..?එහෙම බැළුවම නර්ගීස් එක අතකින් සුවිශේෂයි... ඇය මිය ගියේ අඩු වයසින්... ඒ හින්දා ඇයගේ රූපය තවමත් හිත්වල රැඳී තියෙන්නේ එදා විදියටම තමයි...

බලන්න මේ පහතින් තියෙන පින්තූරේ...ඇය තවමත් තරුණයි...

09 March 2012

ආදරනීය මහින්ද අයියේ...

සමහරු කියන විදියට උඹ මගේ බ්ලොග් කටුව බලනවාය.ඒක එහෙමයැයි මටනං විස්වාස කොරන්නට බැරිය.ඒත් උඹ වැරදිලාවත් මේක බලනවානං කියා සිතා මෙසේ ලියමි.

අමුතුවෙන් කියන්ට ඕනෑ නැතිය..මේ බ්ලොග් අවකාසේ මගේ හෑල්ල කියවන උන් මං උඹට මනාප විත්තිය සහ සුද්දෙන්ම දන්නවාය.එයට කේන්ති ගත් උන් මට පළු යන්නට බනිනවාය.ඒත් කම් නැත.එවුන්ගෙන් වැඩි හරියක් බනින්නේ හිතේ ඇති කේන්තියට වගත් මං හොඳටම දන්නවාය.උන්ගේ කේන්ති යන්ට බොට බනින්ට බැරිනං මට හරි බැනලා හිත් සුද්ද කරගන්නවානං මං මනාපය.අනික් අතින් එහෙම බැන්නට මගේ ඇගේ පතේ වදින්නේ නැති නිසා මටද කාරියක් නැතුවාය..ඒත් මේක ලියන්ට හිතුනේ නොලියාම බැරි නිසාය.

අයියේ උඹ තෙල් ගණන් ඇරිය එක මේ මලයාටත් නොදැනුනා නොවේය..ඒත් එය ඉවසාදරාගත හැකිය.මං මගේ මහන්සියෙන් හම්බ කොරං කන එකාය.තව ඩිංගක් මහන්සි වෙලා කීයක් හරි වැඩිපුර හොයා ගත්තාම මට ඒ වැඩි උන වියදම හොයා සපයා ගැනීම ඒ හැටි දෙයක් නෙවෙය.මට එසේ වූවාට අනිත් උදවියට එහෙම යැයි සිතන්නට බැරිය.උන්ට ගෑණු දරුවෝ ඉන්නවාය.කන්න අදින්නට දෙන්න අය ඉන්නවාය.උන් ගෙවල් හදන්නට ඕනෑය.වාහන ගන්නට ඕනෑය.ඒ අතරේ කීයක් හරි ඉතිරි කරන්නට ඕනෑය.එහෙයින් රට්ටු අඩන එකේ වරදක් නැතිය.ඒ හින්දා ඒ ගැන හොයා බලන්නට ඇහැකිනං හොඳය...

හැබැයි අයියේ මේ බ්ලොග් අවකාසයේ මතේ බලලා උඹ ඕනෑවට වඩා බය වෙන්ටත් උවමනාවක් නැත.මේකත් අපේ කාලගුණ දෙපාර්තමෙන්තුව වගේය.කාලගුනේ කට්ටිය වහිනවා කිව්වනං එදාට කට්ටෙට පායනවාය..පායනවා යැයි කිව් දවසට කුඩයක් නැතිව එළීයට බැහීම පට්ට මෝඩ කමකි..ආන්න එකේම අනික මේකය... මෙතන මතේ උඹට බර වැඩි වෙච්ච දාට උඹ අම්බානකට බය වෙන්ට ඕනෑය..ඒ කියන්නේ සිංහල සයිබරය බොට පක්ෂ වූ දාට ගම් ගොඩවල්වල උන්ට උඹ තිත්ත කඳුරු ගානට වැටී ඇති බව හොඳින්ම දැන ගත යුතුය.ඒ හැර මේ සයිබරය දිහා බලා උඹ වෙන ආකාරයකට බයක් හැකක් ඇති කර ගන්ට ඕනෑ නැතිය.

මං දන්න මනුස්සයෙක් හිටියේය.උන්නැහේ නිතරම චන්දේ දුන්නේ හන්දියේ කඩේ චූටි මහත්තයා චන්දේ දෙන පැත්තට විරුද්ධවමය.එයට හේතුව ඇසූ විට උන්දෑ මට කිව්වේ..

"අනේ පොඩි එකෝ මුදලාලිට හොඳ ආණ්ඩුවක් ආවොත් එදාට එදා වේල හම්බ කරං කන අපි නට්ටං වෙනවා..මුදලාලි දෙන්නේ උන්දැට අපිව හූරං කන්ට පුළුවන් එවුන්ට මිස වෙන අයට නෙවෙයි..ඒ හින්දා වෙන මොනවා නැතත් චුටී මහත්තයා දෙන පැත්තට විරුද්ධ පැත්තට දුන්නම හොඳටම ඇතිය"

කියාය..ආ‍න්න ඒ තියරිය සිහියේ තබා ගත්තාට කමක් නැත.මං මුදලාලි කෙනෙක් නෙවෙය..අහක ඉදන් මෙතනට කඩං පාත් වෙච්ච ගං කබරයෙක්ය.එහෙයින් මගේ මතය සයිබරයේ ජනප්පිරිය මතය නොවේය. ඒ හින්දා ඒ මතයයි මගේ මතයයි දෙකක් වග සිහියේ තියා ගං...

ඉතිං අයියේ මං මේක ලියන්ට හිතුවේ වෙන කරණාවක් නිසා නොවේය..පොඩි කාරණාවක් මතක් කොරලා දෙන්ටය...අයියේ උඹ තෙල් ගණන් ඇරියම මං හිතුවේ මේ පැතිවල අනිත් හැම දේම හිටු කියලා ඉහල යයි කියාය..බස් ගාස්තුත් පාන් ගෙඩියත්..විදුලි බිලත් ඉහල ගියේය..එව්වා ටිකක් පහල දාන්ට පුළුවන්නං හොදය...ඒත් මේ කාරණාව ඊටත් වඩා වැදගත්ය..

අයියේ එලොළු හිටු ගාලා බහිනවාය...අනේ බුදු අයියේ පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන යමක් කොරනවානං හොදය... ගිනි ගණන්වලට එලොලු කන්නට මෙන්ම ලාබෙටම එලොලු කන්නටත් මට බැරිය.ඒ මං ලාබෙට කෑවා වගේ නෙවෙ..එව්වා දුක් මහන්සියෙන් හිටෝලා අපට කන්ට ටික ‍සරි කොරලා දෙන ගොයි මහත්තුරු ගැන සිහිපත් වෙන නිසාය.

අයියේ මොන මගුලක් හරි කරලා මෙව්වටත් සාමාන්‍ය මිල පරාසයක් හදුන්වලා දෙන්ට කටයුත්තක් කලොත් හොදාය.නැත්තං අහිංසක ගොයියන්ට වහ කන්නට වෙනවාය..වැරදීමකින්වත් ඒකටනං ඉඩ තියන්ට හොද නැතිය.අයියට කලින් හිටිය චන්දිරිකා නෝනාට වස් වැදුනෙත් වී ගොයියෝ මැහි තෙල් බී කනේරු ඇට ගිල මිය යෑම මිස වෙනකක් නොවේ යැයි මට සිතේ... උපන් පොලවට ණය නැති ගොයියන්ට ගින්දරක් දෙන එක යුතු නැතිය.අතරමැදි මුදලාලිලා ටික ආණ්ඩු මට්ටු කොට ගොයියන්ට යන ගාත පිලිවෙලක් කොරන්ටත් අපිට සාධාරණ ගානකට එලෝලු ගන්ටත් තිබුනානං බොහොම හොදය.

ආයෙමත් කියන්නේ අයියේ ගොයි මහත්තුරුන්ට විපතක් වෙන්ට තියන්ට එපාය..වී ගොයියයි..එලෝලු ගොයියයි අනිකුත් බව බෝග වවන උනුයි දෑහ මෙන් බලා ගැනීම උඹේ වගකීමයි...මක් නිසාද කියනවනං අද උඹ ඔතන ඉන්නේ අන්න ඒ මිනිස්සුන්ගේ ආශීර්වාදයෙන් මිස මේ බ්ලොග් අවකාසයේ ආශීර්වාදයෙන් නොවන නිසාය..මේකේ ආශීර්වාද ලත් උන් කවදාවත් චන්දෙකින් දිනන්නේ නැත..ඒ හින්දා මෙතන ආශීර්වාද නැතිවාට කමක් නැත..අන්න ඒ මිහි පිට දෙවිවරු ටික බලා ගනින් මගේ අයියා... එහෙමනං මං මෙතනින් නවතින්නං ටිකක් හොයා බලා කටයුතු කොරහං උඹට සියළු දෙයි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි...

මට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ පිහිට ආරස්සාවත් මදි වේය...

06 March 2012

කොමෙන්ටුවක් ණයයි...

මේ දවස්වල මාත් එක්ක රාජකාරිය කරන ගුණේ අයියගේ පවුලට සනීප නැති හින්දා ගුනේ අයියා ලොකු කට්ටක් කනවා.පහුගිය මාසෙන් බාගයක්ම වගේ උන්දැගේ පවුලව රාගම නවත්තලා හිටියේ. ඉතිං මං එක දිගටම ඩියුටි හිටියා.ඒ ගෑණු මනුස්සයගේ වකුගඩුවල ගල් වගයක් හැදිලා ඒවා නහරයකට ඇතුල් වෙලා මොකක්ද මංදා අවුලක්..ඉතිං ඒ හින්දම සෑහෙන තරමක ශල්‍යකර්මයකුත් කරන්ට උනා..එයිටත් එහා ඒ වෙනුවෙන් කල පරීක්ෂණ ටික...

කොහොම හරි මේ හින්දම ගුණේ අයියට එක දිගට වැඩ කරන්න විදියක් තිබුනේ නැහැ..පහුගිය පෙබරවාරි මාසේ පලවෙනිදා ඉදන් හත් වෙනිදා වෙනකල්ම එක දිගටම මං ඩියුටි ඇදලා ඊට පස්සේ අර මනුස්සයගේ තත්වේ සාමාන්‍ය අතට හැරුනට පස්සේ මම දහවල් කාලෙටත් ගුනේ අයියා රෑ කාලෙටත් ආදී වශයෙනුත් පුළුවන් විදියට රාජකාරිය කලා..කොයි තරං වැඩ තිබුණත් මං ඒ එකක්වත් නොකියා ගුණේ අයියට ඕන විදියටම ඩියුටිය ඇද්දා..මෙහෙම වෙලාවකට නැත්තං අයේ මොන වෙලාවකටද එහෙමවත් උදව්වක් කරන්න වෙන්නේ..

එයින් පස්සේ මට ඕනනං එක දිගට මාසේ අන්තිමට නිවාඩුවක් අරගන්න පුළුවන්කම තිබුනා උනත් එහෙම ගත්තනං අර මනුස්සයට පවුලට සාත්තු සප්පායම් කරන්න වෙන්නේ නැති හින්දා ඒ අදහසත් අතෑරලා දාලා උන්දැට පහසු වෙලාවල් හැම එකම ඩියුටි දීලා මං අතරින් පතර ඇවිත් ඩියුටිය කඩලා දුන්නා..නැත්තං මාසේ අන්තිමට ගුණේ අයියට පඩිත් නැහැනේ..ඔය දෙකම කොහොම හරි බැලන්ස් කරන්න ගියාම මට නිවාඩුත් නැහැ අන්තිමට...නැත්තං හිතං හිටියේ මේ මාසේ අග කොහේ හරි දුරක ඇවිදින්න යන්න නෙව..ඒ හැම දේම පැත්තකට දාලා ඉන්න උනා..

එහෙම තියෙද්දි ආයේ වංගියක් ඊයේ ගුණේ අයියගේ පවුලව ඉස්පිරිතාලේ නවත්තන්න කියලා තිබුන හින්දා මම ඊයෙත් වැඩට හිර උනා. නැත්තං කල් ඇතිවම මං හිතං හිටියේ ඊයේ වෙන දෙයක් කරන්න..ඒත් ඒක හබක් උනා..

.............................

මීට වසර අටකට පමණ කලියෙන් මාර්තු මාසේ මං හිටියේ පන්සලට හිර වෙලා..එතකොට මහණ වෙලා නැහැ..ඒත් පන්සලේ හිටිය හාමුදුරුවරු හැමෝම වගේ ඒ මේ අත ගියාම මං මාසයක් දෙකක් විතර එක දිගටම පන්සල බලා කියාගෙන එතන මුර කොරං හිටියා.. එහෙම ඉදලා අන්තිමට පස්සේ මැයි මාසේ වගේ දවසක මට අපේ ගමේ ගෑණු ළමයෙක්ව හම්බ උනා..ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ එයිට ටික දවසකට කලියෙන් තාත්තා මිය ගොහිං කියලා..මං හිටිය තැන දැනං හිටියත් ඒ වගක් මට දැනුම් දෙන්න අම්ම කටයුතු කලේ නැහැ..සමහර විට මල්ලිගේ බලපෑම හින්දා වෙන්නත් පුළුවන්..කොහොම හරි මං අදටත් දන්නේනැහැ තාත්තව වල දාපු තැනවත්...

අපේ ගමේ කනත්ත අක්කර දහයකට වඩා වැඩියි..ඒ අතරින් අපේ සීයව වල දාපු ඉසව්ව මට යන්තමට වගේ කියන්ට අදටත් පුළුවන්..උන්දෑ මැරිලා තිබුනේ එක්දහස් නවසිය හතලිහේ දසකේ..ආච්චි අම්මා මලේ අසූව දසකයේ..ඒත් මට උන්දෑ වල දාපු තැනත් යන්තම් මතකයි.. අපේ දෙවැනි මහප්පාගේ වලනං සුටුස් ගාලා හොයා ගන්ට පුළුවන්..ඒක සිමෙන්තියෙන් බැඳලා තියෙන්නේ...උඩ කොන්කිරිට් ලෑල්ල කළු ගැහිලා එහෙ මෙහෙ වෙලත් තිබුනා...ඒ මරනේ වෙලා තියෙන්නේ හැත්තෑව දසකයේ අග භාගයේ.. ලොකු මහප්පා නැති උනේ අනූව දසකයේ..කනත්තේ මැදට වගේ වෙන්ට තිබුන කජු ගහට ඩිංගක් මෑතින් තමා උන්දැව වල ලෑවේ..මට ඒ තැනත් මතකයි..ඒත්..අපේ තාත්තා ඒ කනත්තෙම කොතැන වලලෑවද කියලා මං අදටත් දන්නේ නැහැ...

කොහොම හරි ඊයේ හිතං හිටියේ මොනවා හරි දෙයක් උන්දෑ සිහි කොරලා කොරන්නට කියලා..මොකද ඊයේ තමා තාත්තා මිය ගිය දවස යෙදිලා තිවුනේ..මාර්තු පස් වැනිදා...ඒත් රාජකාරියට කොටු උනායින් ඒක කරන්ට උනේ නැහැ.. ඒ අවු අස්සේ තමා තිස්ස අයියා උන්දැගේ තාත්තගේ උපන් දිනේ සැමරුම සිහි කොරලා තිබුනේ..ඒ ලිපිය කියවන කොට මං හිටියේ හුගක් දේවල් ගැන හිත හිත..

අර මනුස්සයගේ පවුල අසනීප වෙලා ඉද්දී මට කියන්ට විදියක් තිබුනේ නැහැ අද මං නිවාඩු ගන්නවා කියලා..ඒ හින්දා මං ඔය වගක්වත් නොකියා හිටියේ. මොනවා උනත් ජීවත් වෙලා ඉන්න කෙනෙක් ගැන හිතන්ට එපෑ මල ගිය උදවිය වඩා... ඉතිං මං සද්දේ වහලා උන්නා...ඒත් අර ලිපියත් එක්ක මගේ හිතත් කොයි කොයි අතේනං දිව්වද..? ඒ මදිවට තිස්ස අයියගේ අප්පච්චිත් මගේ තාත්තත් අතර කියන්ට ගැලපිලි රාසියයි.. ඒ විතරක් නෙවෙයි ඒ පොස්ට් එකේ දාලා තිබුන පොටෝව වගේම පොටෝවක් අපේ ගෙදරත් තියෙනවා තාත්තා තරුණ කාලේ ගත්ත එකක්..එකම පෙනුමේ..එකම ඉට්ටැයිල් එකේ..එකම විදියේ ඩබලක්..ඔය ඔක්කෝමත් එක්ක ලියන්ට දේවල් දාහක් හිතේ ඇති උනත් දෙතුන් වතාවක් දගලලත් මට ඒක කරන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ..

ඉතිං ඊයේ හවස ගෙදර ඇවිත් අද දවසම නිවාඩු හින්දා ලොකුවට නැතත් බත් මුල් තුනක් විතර බදින්න ලක ලෑස්ති කොලා... ඒත් ලොකු දේවල් නෙවෙයි..අලයි කීරමින් තොණ්ඩයොයි තක්කලියි එකට දාලා තාත්තා උයන විදියටම හොද්දක් හදලා..ඊයේ හවස කඩං ආව මඤ්ඤොක්කා කොල මැල්ලුං හදලා..බිත්තර තම්බලා...මාළු බැද්දා... කොහොම හරි දවාලේ කොළඹ යන්ටත් තිබුන හින්දා ඒ ගෙනියන්ට ඕන කලමනාත් හරි ගස්සං.. බත් මුල් තුනත් අරං ගෙහුං නිට්ටඹුවේ ඩිපෝව කිට්ටුව හිටිය සුදුසුයි කියලා හිතුන කෙනෙකුට දුන්නා ගෙදර අයත් එක්ක කන්ටය කියලා... එයිට වඩා ලොකු දේවල් කොරන්න මට පුළුවන් කොමක් නැහැ. ඊට පස්සේ කොළඹ ගියා..ඒ ගෙහුං ඇවිදින් දැන් තමා නාලා බත් කාලා මෙතන වාඩි වෙලා දවසේ කියවන්ට තිබුන දේවල් කියවලා අහවර කොරලා මේක ලියන්ට ගත්තේ.. දැන් ඒ ඔක්කෝම හරි...

තිස්ස අයියේ ඔන්න ඕකයි කතාව... ඉතිං කියහංකෝ කොහොමද උඹ කිව්වට මං කොමෙන්ටු ලියන්නේ කියලා...මේ ඒ ණය කොමෙන්ටුවට හිලව්වට ලියපු එකක් හරිද..?