ඒත් ඉතිං දැන් යන එන අය දන්නවද ජුං ගැන.. ඒ හින්දා කෙටියෙන් කිව්වොත් අපේ කාලයේ ඇම්ඩන් තමා මේ...
ජුංට හිටියේ අම්මයි තාත්තයි මල්ලියි..මල්ලි තමා රතනයා..ඌ අනිත් එකා..රට කන්න උපන්න එකෙක්.. කොහොම හරි මේ දෙන්නට වයස අවුරුදු 12ක් 13ක් විතර වෙද්දි මුංදලගේ තාත්තා නැති උනා... තාත්තා නැති උනා කියලා කිසිම අඩුවක් වෙන්ට අහල පහල හිටිය ජුංලගේ නෑදෑයෝ කිසිම ඉඩක් තිබ්බේ නං නැහැ... තාත්තා ඉන්නකොට උනත් මෙවුන් දෙන්නා තුන් වේලම කෑවේ බිව්වේ වැඩි හරියක් අල්ලපු ගෙවල්වල ලොකු අම්මලගෙන් පුංචි අම්මලගෙන්..අපරාදේ කියන්න බැහැ වෙලාවකට මුං දෙන්නා රස පරීක්ෂකලා වගේ..ගෙවල් හත අටක කෑම පරීක්ෂා කරලා බලනවා... හොඳ නැත්තං බැණ අඩගහනවා..ඒ තරමට මෙවුන් දෙන්නට බලයක් තිබුනා... හේතුව තමා ඉතිං පරපුරටම හිටිය කොල්ලෝ දෙන්නා මුං දෙන්නා වීම...ඉතිං හෙන සැලකිල්ල...
තාත්තා නැති වෙනකොටත් මෙවුන් දෙන්නට ඒ හැටි ගානක් තිබුනේ නැහැ.. අන්තිම දවස්වල තාත්තා ඒ කියන්නේ අපේ මහප්පා කෙනෙක් වෙච්ච යසේ මහප්පා රාගම ඉස්පිරිතාලේ ඇදක් උඩ ඉද්දී ලග එකම එක දවසක් තනියට හිටෝපු පොඩි එකා වෙච්ච රතනයා උදේ බලද්දී ලෙඩාව පැත්තකට කරලා ඇඳ මැද්දේ බුදි.. යසේ මහප්පගේ මල ගෙදර කැරම් බෝඩ් එකෙන් නැගිට්ටවන්න බැරිව හිටියේත් මෙවුන් දෙන්නම තමයි.. පොඩි වයස හින්දා තාත්තා නැති උනාය කියලා දැනුමක් තේරුමක් තිබුනේ නැහැ වගේම පස්සෙන් පහුවත් එහෙම දෙයක් දැනුනද කියලා සැක හිතෙන තරමටම කොල්ලෝ දෙන්නට හැමෝම සැලකුවා... ඒකට හේතු උනේ මෙවුන් දෙන්නගේ මෑණියන්ටත් හරි හමන් සනීපයක් නොවීම..උන්දෑ හිටියේ දන්න කාලේ ඉඳලම ඉහේ තෝන්තුවාවෙන්... ඉතිං මේ ජුං අලයයි රතනයයි පොඩි කාලේ ඔය අහල පහල හැම අම්මගෙන්ම වගේ මව් කිරිත් බීලා තමා ලොකු මහත් උනේ..උන්දලගේ මෑණියන්ට කිරි දීමක්වත් කරන්ට හැකියාවක් තිබිලා නැහැ... ආන්න ඒ හින්දා අහල පහල හැමෝම මුං දෙන්නට අම්මලා උනා වගේම මුං දෙන්නත් ඒ හැමෝටම දරුවෝ උනා..
ඒ දවස්වල වැරදිලාවත් අපිට මුං දෙන්නා එක්ක රණ්ඩුවකට යන්න ඉඩක් නැහැ..අම්මලා පෝලිමක් එනවා වස්තර කරේ තියං... ඒ තරමට දෙන්නට සැලකිල්ල...ඒ ගැන කතා එමට තිබුනත් කියන්ට ඇහැකි දේවල්යෑ හැම එකක්ම නැද්ද මං අහන්නේ...
ඉතිං කොහොම හරි ඔය විදියට හැදෙද්දී මෙවුන් දෙන්නා කලේ කෙරුවේ ආයේ ලේසි පාසු වැඩ නෙවෙයි..ඒකටම හරියන අපි වගේ සද්ගුණවත් මිත්තරයෝ ටිකකුත් එක්කාසු උනාම ආයේ කොයි තරං හොඳට කොල්ලෙක් හික්මෙනවද කියලා අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ ආයිබෝං... කොල්ලෝ දෙන්නා අපේ අවවාද අනුශාසනා මැද මල් වගේ හැදුනා ඕං...
ඉතින් මං කලින් ලිපිවල මේ ජුංගේ බාල සංදියේ කතා කිහිවයක්ම කියලා තිබුනා..එයින් පස්සේ කොල්ලා වැඩිහිටියෙක් වෙනකොට සුරාවෙන් මත් වෙලා කොරපු නාඩගං වගේම හා හා පුරා කියලා කොටුවක් පනින්න ගෙහුන් වෙච්ච විපත්තියත් කියලා තිබුනා...
ඉතිං මේකත් මේ කොටු පැනීමක අහු කොනක් තමා..දැන් ජුං නැඩ ඉලංදාරියෙක් වේගන එන වයස..ඔහේලා දන්නවා නේද අර ගේල් කොළුවා.. ඔව් ඔව් අර ක්‍රිස් ගේල් කොළුවා..ආන්න ඌ තමා... මේ අපේ ජුමත් ඇරපු අතක් නැහැ ඒ පෙනුම..උසයි පැතලියි..කළුයි...
ඒ ඉතරක්යෑ ඉතිං අර ගමේ වචනෙන්ම කියනවනං දැන් මේ නැට්ටට කිරි උනාගෙන එන වයස...
ඉතිං ඔය කාලෙට කොල්ලන්ට තියෙන දාංගලේ අමුතුවෙන් කියන්න ඕනද..? ඒක ඉතිං ඒ වයස පහු කොරපු කොල්ලෝ සහ කොලු තාත්තලා වගේම එහෙම කොල්ලන්ගේ ඇල්මට බැල්මට ලක්වෙලා ගණන් උස්සගා ගස්ස ගස්ස ගිය කෙල්ලෝ වගේම කෙලි අම්මණ්ඩිලත් දන්නවා නෙව... කොටින්ම කිව්වොත් වැලක චීත්තයක් පෙනුනත් ඇති...
ඉතිං අර මං කලින් වංගියේ කිව්ව විදියට කොටුවක් පනින්න ගිහින් වැඩේ ගැස්සිලා හිටිය ජුං දැන් කොයි වෙලෙත් තමුන්ගේ ගැටවර වයසේ හැගීම් පිට කොරගන්න ආතක් පාතක් බල බල හිටිය දවස්... පාරේ යන්නේ කොයි ආකාරයේ උනත් තමුන්ගේ වයසට ගැලපෙන ගෑණු දැරිවියන් ගැන වගේම ඇහැට කනට පේන අක්කලා දිහා උනත් හොඳවිමසිල්ලෙන් බල බල තමයි කාලේ ගෙවෙන්නේ... ඒත් ඉතිං කරුමේ කියන්නේ තාමත් නැහැ කොල්ලට කිසිම ආකාරයේ චෑන්ස් එකක්... කොටින්ම මල්සරා මූ දිහා බලන පාටක් ඇත්තේම නැහැ...
ඒත් ඉතිං එහෙමයි කියලා පුළුවන්ද..අපි වගේ කල්‍යාණ මිත්තරයෝ ටිකක් ඉන්නකොට..අපි දැන් කර ගහලා මූට සප් එක දෙනවා මොකක් හරි දෙයක් සැට් කොරගන්න... ඕන්න ඔහොම ඉද්දී තමා අර දෙමළ ගෑණු දැරිවි සීන් එකට එන්නේ...
මේ ජුං අලගේ ගෙදරට ටිකක් එහායින් පාරෙන් අනිත් පැත්තේ තිබුනා ටිකක් ඉතර හයි ෆයි ගෙයක්..වත්ත වටේට වැටක් ගහලා..ටික දුරක් තාප්පේ බැඳලා.. පත ගේට්ටුවක් දාපු ගෙයක්..මේ ගෙදර හිටියේ පරණ ගම්මුලාදෑනියෙක්ගේ ලොකු පුත්තරයා... උන්දෑනං ඒ හැටි ලොක්කෙක් නෙවෙයි..ඒත් උන්නැහේ බැඳපු ඉස්තිරී පරාණේ ටිකක් ඉතර ලොක්කෙක්..ඒ තමුන් වැඩ කොරපු ආයතනට..ඉතිං ඒ ලොකු කොමට සරිලන විදියට තත්තේ මේන්ටේන් කොරගෙන තමා උන්දලා හිටියේ.. ඒ කියන්නේ ඉතිං අහල පහල කා එක්කවත් කතා බහක් සිනා පොදක් නැති විදියට..ඒකට මොකද නේද..? මොකද අපි කන්න බොන දෙන එකක්යෑ... ඒත් පොඩි අවුලකට තිබුනේ අර අනිත් උන්දලා ලවා රාළහාමි..නෝන මහත්තයා වගේ ආමණ්ත්‍රණය කොරව ගන්න තිබුන පොඩි කැමැත්ත තමා.. ඔව්වා ඉතිං අපිට ටිකක් තේරුණ ගමන් ඒකට හරියන්න වැඩේ කොරනවා.. ඒ කිව්වේ ආධාර පත්තරයක් වගේ වෙලාවට මහ රජ්ජුරුවෝ හරි කියලා කතා කලාම ටිකක් විතර ලොකු ගානක් ලියවෙනවා.. ඔය කොහේදී හරි හම්බ උනාම අක්කේ අයියේ මචං තමා... ආයේ අර ලොකු පට්ටං දෙන්න යන්නේ නැහැ..ඉතිං වැඩි කතාවක් නැතිවම මාරුව දාලා උන්නැහේලා යනවා...
ඉතිං මෙන්න මේ ගෙදරට ඔන්න ඔය කාලේ ආවා ගෑණු ළමයෙක්... ළමයා දෙමළ..වයස අවුරුදු 17ක් 18 විතර ඇති... හුරු බුහුටියි හැඩකාරයි... ගස්ස ගස්ස පාරේ යයි...
ජුමා ඒ වෙනකොට අවුරුදු 15ක් 16ක් විතර ඇති..ඒත් ඉතිං පෙනුම අපිට වඩා මෝරලා හින්දා 20ක් කියලා උනත් කිව්වැකි... කොහොම හරි ඉතිං ටික දවසක් යනකොට අපිට තේරුනා කොලුවා අසල්වැසියාට ප්‍රේම කිරීම පොතේ හැටියටම කරගෙන යන හැඩක්...
කොල්ලා ඉස්සර වගේ නෙවෙයි..උදේ හවා නානවා..කුණු අතුල්ලනවා..රෙදි හෝදලා අදිනවා..දවල්ටත් කමිසයක් අදින්න එහෙම බලනවා... පාර පැත්තට එනවා..අර ගේ පැත්තම බලාගෙන ඉන්නවා.. අපි හිමිං කතා කරද්දිත් ඌ හයියෙන් හයියෙන් වගේ කතා කොරනවා..අපි කොයි පැත්ත හැරුනත් ඌ අර පැත්ත හැරෙනවා.. අර කෙල්ල කඩේ යන වෙලාවල් ටික පොතේ මාක් කොරලා වගේ කට පාඩං කොරගෙන සිහියේ තියං ඉදලා ඒ වෙලාවට පාර අයිනට ඇදෙනවා..එක විකාරයයි...
මුලින් මුලින් ඉතිං මූ ඇහුවට අපිටත් කොලේ වැහුවා... ඒත් ඉතිං මේ අමාරිස්ලත් එක්ක කොහේද ඒ *කාරිස්...කොහොම හරි ඔන්න දැන් අපිත් ෂීන් එකට ඇන්ටොර්...
දැන් අපි බැහැලා සප් එක මූට.. කොහොම හරි කෙල්ලත් දැන් දැන් හුරතල් වෙනවා වැඩී...ගේට්ටුවෙන් එළීයට ආව වෙලේ ඉඳලා ඇස් දෙක මේ පැත්තට අලෝගෙන කෙල්ල අනිත් පැත්තට යනවා... අර යසට නිදං ඉන්න ගෙදර හිටිය බබාව වඩාගෙන කට්ට අව්වේ මිදුලේ ඇවිදිනවා..පොඩි එකා අවු රස්නෙට මර හඩ දීලා කෑ ගහනවා.. මේකි පාර පැත්ත බලං මොනවද බාසාවකින් සින්දු කියනවා..කොල්ලා අඩනවා.. ජුං අල නැලවෙනවා... ඔන්න එහොමයි කතාව දැන්...
ඉතිං හැමදාමත් ඕක ඔහොම වෙන්න දිදී ඉඳලා හරියනවද... කොහොම හරි අන්තිමේදී මේ කාරණාව එකලාසයක් කරන්න මංතුමා බාර ගත්තා... හතර වටින් අපේ උන් මුරකාවල් දාගෙන ඉන්න සුභ මොහොතකින් මං බේකරිය ගාවින් පාරට පැනලා කෙල්ලව කතාවට අල්ල ගත්තා...
හනුමා එනකොට සීතා දන්නවා එන්නේ රාමගේ පණිවිඩේ අරං තමා කියලා.. ඉතිං කොහොම හරි ඔන්න දන්න කියන විදියට වැඩේ සැට් කොලා... දැන් තියෙන්නේ මේ අභිනව යුවලගේ මංගල හමුව යොදා ගැනීම...ඒත් ඒක ඒ හැටිම ලේසි දෙයක් උනේ නැහැ...
එපිටින් වලව්වේ උන්දලාගේ ආධිපත්‍යයෙන් කෙල්ල මුදෝ ගන්න ඕන.. මෙපිටින් අම්මලා හැට හුට හමාරකගේ උකුසු ඇස් වලින් බේරලා කොල්ලා සීන් එකට දාන්න ඕන..ඉතිං අපි කට්ටිය සාකච්ඡා කොලා..කොලා..කොලා... එහෙම කොරලා කොරලා අන්තිමට එහෙට මෙහෙට පණීවිඩ කිහිපෙකුත් හුවමාරු කරලා අන්තිමේදී අමාවක දවසක රාත්තිරි දහයට විතර අපේ මේ සුභ නැකත යොදා ගත්තා... ඒකටත් හේතු ඇත...
පාර අයිනේ තියෙන මර්කරි බලුප් එකනං පැයකට දෙහෙකට ඕෆ් කරන එක ඒ හැටි අවුලක් නැහැ..කොහොමත් ඕවා පැයකට හමාරකට සැරයක් ඕෆ් වෙන හින්දා ඒ ගැන ඒ හැටි අවධානයක් යන්නේ නැහැ..ඒත් හඳ එළිය..දැන් අපේ සැලසුමේ හැටියට අපේ ජුමා වීර වික්‍රමාන්විත ලීලාවෙන් පාර පැනලා..අර වත්තේ ලග ලග ගහපු කටු කම්බි හත් පොටට උඩින් පැනලා වත්ත ඇතුලට පනිනකොට එළියක් පහලියක් තිබ්බොත් වැඩේ මාට්ටු වෙන්න පුළුවන්නේ.. ඉතිං අමාවක රැයක් වගේ සුන්දර රැයක් තවත් තියෙයිද මේ කුළුදුල් ප්‍රේමවන්තයින්ට ලෝකෙට හොරා හමුවෙන්න..ආන්න ඒ හින්දා අමාවක දවස යොදා ගත්තා උනත්..පොඩි අවුලක් නොතිබුනාම නෙවෙයි...
ඇයි හත් ඉලව්වේ මුං දෙන්නම පට්ට කළුයි නෙව... කළුවරේ යද්දි හැප්පුනත් අපිට පේනවයෑ.. ඉතිං දෙන්නට දෙන්නා හඳුන ගන්නේ කොහොමද කොහේ ඉන්නවද ගියලා.. ඒත් ඉතිං අන්තිමේදී අපි ඒකටත් විසඳුමක් දුන්නා..ඒ තමා සෑම විනාඩියකට වරක්ම දසන් දක්වා සිනාසෙන්නට දෙදෙනාම දැනුවත් කිරීම... කළුවර අහසේ ඇදෙන විදුලි එළියක් වගේ ආන්න ඒ දර්ශන මාත්‍රයෙන් දෙන්නාට දෙන්නා ඉන්න ඉසවු බලාගෙන ගොහින් හම්බු වෙන්න ඕන... කොහොමද ප්ලෑන හොඳයි නේද...?
ඉතිං අවසානේදී ඒ සුන්දර රාත්‍රිය උදාඋනා..පරිසරේ අලංකාරේ ගැන මට වර්ණනාවක් කරන්න විදියක් නැහැ පින්වතුනි..මොකද අවට කට්ට කරුවලයි..ඒත් ඉතිං ඕනමනං ඔය සිහිල් සුළං රැල්ලක් ගත දැවටීගෙන යද්දී රෑ බඳුල්ලන්ගේ මිහිරියාව මැදින්...බල්ලන් උඩු බුරලන සොඳුරු නිමේශයකදී කියලා හිතා ගන්නකෝ..ආන්න එහෙම මොහොතක අපි කොහොම හරි ජුං අලයව වැට පැන්නෙවුවා...
ඉතිං දැන් මොහොතින් මොහොත ගලාගෙන යනවා..අපි කීප දෙනෙක් වැටට මෙපිටින් පාරට මෙහා පැත්තේ අකුලක් පාමුල වැතීරීගෙන කට්ට කරුවලේ ඔහේ බලං ඉන්නවා... හිටි හැටියේ අර එහා පැත්තේ වත්තෙන් සිහින් රිදී රේකාවන් විදුලි එළී කෙටෙනවා...දැන් මේ වෙනකොට ඔහේලා දන්නවනේ ඒ මොනවද කියලා...
ඉතිං කල්පයක් වගේ දැනුන විනාඩි හත අටකින් පස්සේ කබරයෙක් අගලේ දඟලනවා වගේ ඇහුන හින්දා අපි නැගිටලා බලද්දී මෙන්න ආයෙමත් අර විදිලි කෙටීමක්..හරි ඒ කියන්නේ කොල්ලා සිය මංගල ප්‍රේම චාරිකාව නිමා කරලා ලෝක යුද්ධයක් දිනාගත්ත සෙනෙවියෙක් වගේ එනවා තමා...
අපි කරුවලේම ඌවත් අල්ලගෙන දුවලා ගියා උන්ගේ ගේ ඉස්සරහා වින්කලේ මිදුලේ අඹ බංකුව උඩට...
"මොකද මොකද මචං උනේ..?"
"කෙල්ල මොකද කිව්වේ..?"
"කෙල්ල හොඳයිද මචං..?"
"ඇත්ත කියහං උඹලා මොකද කලේ..?"
"ඇයි යකෝ මෙච්චර ඉක්මනට ආවේ අර හාමුවා ආවද..?"
අපෙන් ප්‍රශ්න වැලයි... ඒත් කොල්ලා නිහඩයි.. ඌ වැටෙන් පනිද්දි වැටේ පැටලිලා බිමට වැටෙද්දී බිම ඇනුන වැලමිටිවල පස් පිහ දාන ගමන් දුක්බරව කල්පනා කරනවා...
"මොකද හු** උනේ..?"
"වැඩක් නැහැ බං...ඒක හරියන මගුලක් නෙවෙයි..."
"ඇයි බං...ඒකි දෙමළ හින්දද?"
"නැහැ බං ඒකිගේ කට සැමන් ගඳයි..."
"ඇහ්..උඹ කටේ සුවඳ බලන්න ගියේ කොහොමද..ඇත්ත කියහං මොකද කලේ..?"
"මං මොනවත්ම කලේ නැහැ බං..ඒකිම කලා..මං බොහෝම අමාරුවෙන් කට ගලෝගෙන දුවලා ආවා"
වෙලා තියෙන මගුල මොක උනත් අපි කට්ටිය මහ රෑ එකොළහට කිට්ටුව ගමටම ඇහෙන්න හූ හඩ තියලා බඩවල් අල්ලං හිනා උනා..
හත් දෙයියනේ අරකි අපේ අහිංසක ජුමාගේ හිරි ඔතප් බිඳලා..!