හරි මං කලින් ලිපියේ කිහිප දෙනෙක්ගේ චරිත කතා කෙටියෙන් කිව්වනේ.. මෙන්න සීන් එක...
ඕං ඉතිං දවසක් දා මංතුමා..ඒ කිව්වේ ඒ කාලෙනං මං උන්නාන්සේ පන්සලේ ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා..මොනවා හරි ලියමින් උන්නා... හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තියා ගන්න පුළුවන් විදියේ අඩිදෙක හමාරක් විතර දිග..අඩියකට තරමක් වැඩි තරමේ පළල අපූරු ලෑලි කෑල්ලක් මං හොයාගෙන තිබුනා ඒ දවස්වල...
ඉතිං උදේ වරුවේ වැඩ රාජ කාරී නිමා වෙලා නවයට විතර ලොකු තේ කහට එහෙකුත් හදාගෙන ඔතනින් වාඩි උනාම එකොලහ විතර වෙනකල් ලියන කියන වැඩ පාඩං වැඩ එහෙම බොහෝම නිවී හැනහිල්ලේ කරගෙන ගියෑකි... සමහර වෙලාව ලියුමක් ටයිප් කරන්න උවමනා උන වෙලාවටත් මං පරණ බඩු කඩේකින් අරගෙන ඇවිත් පිළිසරක කොරගෙන තිබුන ටයිප් රයිටරෙත් ඒක උඩින්ම තියාගෙන ටක ටොකොස් ගගා ලියුං ටයිප් කොරන්නෙත් ඔතනම තමා... ඔය වැඩ පිළිවෙලට පොඩි බාධාවකට තිබුනොත් තියෙන්නේ ඉතිං කවුරු හරි මොනවා හරි උවමනාවකට ආවොත් තමා..ඒත් ඉතිං ඒ එන කෙනත් එතනම ඉස්සරහ තියෙන සිමෙන්ති පඩියේ වාඩි වෙලා කතා බස් කොරලා ආපහු යන හින්දා ඒ හැටිම කරදරයකුත් නෙවෙයි..
කුඩා කඳු මුදුනක පන්සල තියෙන නිසා ඔතනට අවට පරිසරේ බොහෝම හොඳටත් තරමක් ඈතටත් පේනවා... වම් අත පැත්තෙන් ගම මැදින් දුවන කන්දේ පාරත්... දකුණු අත පැත්තෙන් පන්සල් වත්තත්... ඉස්සරහින් පන්සල් ඉඩම හා එයිට එපිටින් දුවන පාරත් පාරට එපිටින් ඈත ගම් මණ්ඩියත් පේනවා...
ඒ වගේම හරි සනීප තැන... පන්සල් වත්තේ ගහ කොල පිහගෙන එන බොහෝම හීල් හූලඟක් නිතරම තියේ... කල්පනාවක් දාගෙන පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ඔයිට වඩා වෙන මොනවද... තනි නොතනියට පන්සලේ හිටිය බලු තුන් කට්ටුව ඉන්නවා...මම ඔතන වාඩි උනානං උන් ටිකත් බණ මඩුවේ ඉඳන් හිමිහිට ගාට ගාට ඇවිත් ඒ අහල පහල මිදුලේ වක ගහගෙන දපනවා... උනුත් කැමති මිනිස් හෙවනැල්ල වැටෙන අහකම ඉන්ට තමා...
ආන්න එහෙම ඉන්න දවසක තමා ඔය විමල් අයියා ආවේ මාත් එක්ක කතා බහ කොරන්ට කියලා... උන්දැගේ වගා බිමේ වැඩ කොරලා දාඩිය මුගුරු පෙරාගෙන ඇවිත් මා ඉස්සරහා තිබුන සිමෙන්ති පඩියේවත් වාඩි නොවී කෙලින්ම සිමෙන්ති පොලවෙම වාඩි වෙලාහොඳට අත පය දිග ඇරගෙන මහන්සි අරිමින් කතා කරන්න සූදානම...
ඔය වගේ වෙලාවට ඉතිං රටේ ලෝකේ තොරතුරු වගේම පන්සල්වල තොරතුරුත් හුවමාරු වෙනවා... උන්දෑ විමලරතන නායක හාමුදුරුවන්ගේ රියදුරු වගේම හොඳම ගිහි ගෝලයා හින්දා අවට පන්සල් කොයිකෙත් වගේ හොඳ පිළිගැනීමක් වගේම දැන හැඳුනුම්කම් තිබුනා. ඉතිං මහණ නොවුනට මොකද සංඝ සමාජේ කොයි කොයි දේ ගැනත් අපිට වඩා හොඳට දැනුං තේරුං ඇතිව වැඩ කිරීමේ හැකියාවකුත් තිබුනා... කොටින්ම යම් යම් ප්රශ්නවලදී හාමුදුරුවරු හැසිරෙන විදිය ගැන උනත් යහපත් උපදේශ දීමේ හැකියාවත් අපූරුවට පිහිටලා තිබුන හාදයා... වැදගත්ම දේ තමා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒ ගැන කතා කලාම මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා බල නොකර ඔය වගේ ප්‍රශ්නෙකදී එක එක්කෙනා වැඩ කරන හැටි ගැන විස්තර කරන ආකාරය...
"පොඩි හාමුදුරුවනේ ඔය දේම අහවල් හාමුදුරුවන්ට උන වෙලේ උන්වහන්සේ මෙන්න මෙහෙමයි කලේ..හැබැයි ඒකෙන් හොඳ වගේම නරකත් උනා... ඒ දේම වෙච්ච වෙලේ අර අහවල් හාමුදුවෝනං ඔය කිසිම දෙයක් නොකර පාඩුවේ හිටියා..මාසයක් හමාරක් යනකොට ඒ හැම දේම හොඳ විදියට විසඳුනා.."
ඔන්න ඔය වගේ උදාහරණ කිහිපයක් දීලා අවසානෙදී ඇහුවොත් විතරක් එහෙම දේකදී කල යුතු හොඳම දේ මොකක්ද කියලා තමුන්ට හිතෙන ආකාරය කියනවා ඇර කිසිම වෙලාවක පැනපු ගමන් "හා ඕක මෙහෙම කරපං අරෙහෙම කරපං" කියන පුරුද්ද උන්දැට නැහැ...
සාමාන්‍යයෙන් මැදි වයසෙන් මහණ උන මං වගේ උදවියට ටික දවසක් යනකල් සංඝ සමාජේට පෑහෙන්න වැඩ කරන්න අමාරුයි... පන්සල්වල උනත් එක එක ආකාරයේ චරිත ලක්ෂණ ඇති අය ඉන්නවා නෙව.. ආන්න ඒ හින්දා මේ විමල් අයියගේ ආස්සරේ තවත් අතකින් මට ප්‍රයෝජනවත් උනා... ඒ තමා පළාතේ ඒ ඒ හාමුදුරුවරුන් සමඟ කටයුතු කල යුත්තේ මොන ආකාරයෙන්ද කියලා ඉගෙන ගැනිල්ල...
විමල් අයියාට ඒ සම්බන්ධවත් හොද අවබෝධයක් තිබුනා..කිසිම හාමුදුරු කෙනෙක්ව තරහා කර නොගෙන ජීවත් වෙන්නනං ඒ ඒ අය ගැන පුංචි හරි අවබෝධයක් උවමනා කරනවා... එතනදී විමල් අයියගෙන් ලැබෙන දැනුම කියලා නිම කරන්න බැරි තරං...
ඉතිං එදත් වෙනදා වගේම අපි දෙන්නා ආ ගිය තොරතුරු කතා බස් කර කර ඉන්න අතරේ හිටි හැටියේ කන්ද පාර පැත්තෙන් මහ ඝෝෂාවක් ඇහෙන්ට තියා ගත්තා...අපි දෙන්නා කර කර හිටි කතාව පැත්තක දාලා ඒ පැත්තට සුළු වේලාවක් කන් දුන්නා...
රනිල් වැඩ පටන් අරං...උදේ පාන්දරම සෙත් පිරිත් දේශනාව...මුළු ගමටම ඇහෙන විදියට කාට හරි බැණ අඩ ගහනවා...
"වරෙවු ඕන ප** වරෙවු... අම්මට හු*** වරෙවු.. ඔය එක කැ**යෙක්වත් මං ගණන් ගන්නේ නැහැ. තොපි පොලිසි නෙවෙයි ඕන හු** පලයව්. ගිහිං මට කොරයි තොපි. වල් බල්ලෝ.. කැ* වේ** පුතාලා තොපි එකෙකුටවත් මං බය නැහැ යකෝ...වරෙවු අම්මට *කන්න වරෙවු..මේ ගමේ ඕන එකෙක් වරෙවු..ගමේ බැරිනං රටේම උන් හරි වරෙවු.. අම්මට *කන්න වරෙවු"
එකම ගෝරණාඩුවාවයි...
විනාඩියක් විතර අහං ඉන්නකොට තේරුනා කවුරු හරි රනිල්ට ගහලා තමා කියන එක... කොහොමත් සතියකට වතාවක්වත් රනිල් කාගෙන් හරි ගුටි කනවා... එහෙම වෙලාවට ඇඳන් ඉන්න සරමත් දාලා දුවන හාදයා... තමුන්ගේ වත්ත හතර සීමාවට පැන්න ගමන් ඔය විදියට චණ්ඩි පාට් එක දාන්න ගන්නවා...
ඉතිං කොහොමින් කොහොම හරි ඕක අහගෙන හිටිය විමල් අයියා හීනියට හිනා වෙලා මගෙන් අහනවා...
"රනිල් නේද..? අම්මට සැපක් දෙන්න ගමේ උන්ට කතා කරන්නේ..කොච්චර හොඳ පුතෙක්ද...? තාත්තට බැරි හින්දා වෙන්න ඇතිනේ ඔය ගමේ උන්ට කතා කරන්නේ.. ගමේ බැරිනං රටේම අයට හරි කතා කරලා අම්මට සලකෝගන්න හදන හොඳ පුතෙක් නේද..?" කියලා...
ඒ අහපු විදියට මට ආව හිනාව නවත්තගන්න තරමක වෙලාවක් ගියා.. ඒ අතරෙම විමල් අයියා කතාවකට මුල පිරුවා... ඒ ඔය අම්මට අහවල් එක කරන්න කතා කිරීම ගැන...ඒ කතාව රනිල්ගේ මාමා එහෙම නැත්තං රනිල්ගේ අම්මගේ මල්ලි වෙච්ච විමලරතන නායක හාමුදුරුවන් ගැනයි...ඒ කතාව මෙහෙමයි...
ඔන්න මං කලින්ම කිව්වනේ විමලරතන හාමුදුරුවන්ට ගෝලයෝ හැට හුට හමාරක් හිටියාය කියලා..ඔය ගෝලයෝ හැදිල්ලත් ලේසි පහසු වැඩක් නෙවෙයි.. කොටින්ම හිතලා බලන්නකෝ මේ එක අම්මගේ කුසෙන් මෙලොවට ආව දරුවෝ දෙතුන් දෙනෙක් එක දවසක් ඇතුලත කී පාරක්නං රණ්ඩු සරුවල් හදාගන්නවද එක ගෙදරක ඉන්න ගියාම... එතකොට මේ ලංකාවේ හතර දිග්බාගයෙන් මදිවට අර වෙන රටක් වෙච්ච බංගලි දේසෙන් ආව උදවියත් ඇතුළුව එක්කෙනාට එක්කෙනා වෙනස් පරිසරයන් හී හැදුන වැඩුන..ඒ ඒ අම්මා තාත්තට අනුව..නෑදෑයින්ට අනුව..පළාත්වලට අනුව හැදුන අය අතරේ කොයි තරං වෙනස්කං තියේද..? මරා ගන්නේ නැතිව ඉන්නවනං මදෑ...
ඉතිං මේ ගෝලයෝ හැට හුට හමාර අතරෙන් දවසකට වතාවක් විසඳන්න ඕන පුරස්සන රාසියක් නායක හාමුදුරුවන් ගාවට එනවා... ඉතිං ඒ වගේ වෙලාවට උන්වහන්සේ දෙන තීන්දූ තීරණ වලට උරණ වෙන අයත් නැතිවා නෙවෙයිනේ..මේ කියන දේත් ආන්න එහෙම දෙයක් වෙච්ච දවසක්...
මොනවාම හරි කාරණයකදී නායක හාමුදුරුවන් විසින් දුන්න අවවාදයක් එක තරුණ පහේ හාමුදුරුනමකට විස වෙලා තියෙනවා.. උන්වහන්සේ මොකද කලේ... නායක හාමුදුරුවන් ගාවදී ඔහේ සද්දේ වහලා ඔළුව වන වන ඉඳලා දංගේ පැත්තට යන ගමන් තමන්ගේ කේන්තිය වචන වලට හැරෙවුවා...
"නායක හාමුදුවන්ගේ අම්මට *කන්න.. මං තමා වැරදි..අනිත් උන් ඔක්කෝම හරි.."
කියාගෙන ගොහිං තියේ... මේ තරුණ හිමිනම ඒ වෙනකොට බොහෝම ප්‍රශ්නවලට පැටලිලා හිටිය කෙනෙක්..ඒත් නායක හාමුදුරුවෝ ඔය කිසිම කෙනෙක්ව පන්සලෙන් ලේසියකට පන්නන්නේ නැහැ... හදා ගන්න බලනවා මිස... ඒ වෙනකොටත් විශ්වවිද්‍යාලය කියන සාසන නාශක ආයතනයේ ඉගෙනුම ලබමින් හිටිය හින්දා ඔය තරුණ හාමුදුරුවන්ගේ කිව්වා නාහන ගති ලක්ෂණ බොහෝමයක් තිබුනා...
කොහොම උනත් මේ කතාව නායක හාමුදුරුවන්ට ඇහුනා... ඒ උන්වහන්සේත් ගෝලයාට උපදෙස් දීලා ඉවරවෙලා දංගේ පැත්තට වැඩිය හින්දයි.. කොහොම උනත් මේක අහපු නායක හාමුදුරුවෝ ටිකක් හයියෙන් හිනා උනා... එතකොට තමා ගෝලයට තේරුනේ වැඩේ වැරදුනා..තමුන් කියපු දේ අහු උනා කියලා... අහල පහල හිටිය අනිත් හාමුදුරුවරු ටිකත් බොහෝම බය උනා අදනං වැඩේ ලේසි වෙන එකක් නැහැ කියලා...
කොහොම උනත් නායක හාමුදුරුවෝ කිසි කලබලයක් නැතිව දංගෙට වැඩලා ගිලන්පස මොනවත් නැද්ද කියලා අහන ගමන් ආසනේක වාඩි වෙලා තියෙනවා... එක හිමිනමක් උන්වහන්සේට වළඳන්න ගිලන්පස ගේන්න යන අතරේ අනිත් අය මොනවයින් මොනවා වෙයිද නොදැන තක්බීර් වෙලා බලං ඉන්නවා... දංගෙයි වැඩට හිටිය වයසක උපාසක උන්නහෙ කෙනෙකුත්..විමල් අයියත් පැත්තකට වෙලා බලා ඉන්නවා...
නායක හාමුදුරුවෝ හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා එහෙම කතා කලා කට්ටියටම...
"පොඩි උන්නාන්සේලා ඔහොම වාඩි වෙමු ඉස්සරහින් ඉඩ තියෙන හැටියකට..."
කට්ටියත් ඉස්සරහින් බිම වාඩි උනා... ඒත් අපේ අර තරුණ හිමිනම තාම හිටගෙන...
"හා හා තමුනුත් මෙතනින් වාඩි වෙනවා..."
කියලා තමුන් වහන්සේගේ ළඟම පෙන්නුවා...ඔන්න උන්වහන්සේත් අර මොකාද වගේ ඇඹරිලා නායක හාමුදුරුවන්ගේ පාද අසලින්ම වාඩි උනා...
"කට්ටියටම අහෙන්න ඇතිනේ නේද අපේ උන්නාන්සේගේ කතාව...? මට ඇහුනනං ඉතිං අනිත් අයට නෑහෙන්න කොහොමද..මං වගේ වයසක අයයෑ මේ අය..."
කියලා වට පිට බලලා හිනා වෙලා අර තරුණ හිමියන් දිහා බලාගෙන ආයෙමත් කතාව කරගෙන යන්න තියා ගත්තා...
"අනේ සුදින්න උන්නාන්සේ..තමුන් ඒකට ඇත්තටම මනාපද..? එහෙම මනාපයක් තියේනං මගේ කිසි අමනාපයක් නැහැ.. තමුන් ඒක කොරගන්නවා... කොහොමටත් දැන් ඔය දහම්පාසලේ උගන්නන්න එන කෙල්ලොන්ටයි... පන්සලට එන තරුණ උපාසක අම්මලටයි ඇස් දිග්කරගෙන හිතින් ඒවා කර කර ඉන්නවට වඩා ඒක හොඳයි... තමුන් කැමතිනං ඒක කොරගන්නවා මයේ මොකද.. හැබැයි අපේ අම්මා දැන් වයසයි... උන්දැට දැන් පාරේ යන්න පණ නැහැ... කීප වතාවක්ම අංසබාගෙට ඇවිත් බොහෝම අමාරුවෙන් ගොඩදාගෙන තියෙන්නේ ඒ හින්දා මං හිතන්නේ නැහැ උන්දෑ කෑමති වෙයි කියලනං..ඒත් තමුන් අහලා බලලා උන්දෑ මනාපනං කැමැත්තක් කරගන්නවා... මොකද අම්මට උනත් නිදහසක් තියේනේ තමන් කැමැත්තක් කොරන්න... මං ඒ අයිතියට බාධා කරන්නේ නැහැ... ඕනනං එයිට පස්සේ මට බැරියෑ මේ උන්නාන්සේට බාප්පේ කියන්න... හා නැද්ද මං අහන්නේ...?"
වාඩි වෙලා ඉන්න අනිත් ගෝලබාලයෝ මේ කතාවට හිනා වෙනවද නැද්ද කියලා හිත යටින් කල්පනා කරමින් අන්ද මන්ද වෙලා ඉන්න අතරේ අර තරුණ ගෝලයා කර කියා ගන්න දෙයක් නැතිව බිම බලාගෙන ඉන්නවා...
"සුදින්න තමුන්ගේ වරදකට පිළියමක් කිව්වම ඒකට කේන්ති ගියානං ඒකට අල්ලගන්න ඕන මාවයි..එහෙම නැතිව අර මැරෙන්ඩ දවස් ගාණක් කියන්න බැරිව පැත්ත වැටිලා ඉන්න මගේ අම්මා නෙවෙයි... ඒත් ඉතිං මේක මටත් හොඳ පාඩමක්... මං කරන දේවල්වලට අවසානය දක්වාම අපේ අම්මා වචන අහනවා... මේ නාකි වයසෙත් තමුන් වගේ උදවිය උන්දැට අහවල් එක කරන්න දත කනවා... මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලවත්.. ඈ සුදින්න තමුන් දැන් කරන කියන දේවල්වලට ගමේ මිනිස්සු තමුන්ගේ අම්මත් එක්කත් ඕකම කරන්න ලෑස්ති උනොත් තමුන් මොකද කරන්නේ..? කියනවකෝ බලන්න මට තමුන්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න..."
සුදින්න හිමි නෙවෙයි වචනයක් කියන්නේ... කඳුළු පෙරාගෙන නායක හාමුදුරුවන්ගේ කකුල් අල්ලගෙන අඩන්න තියාගත්තා... නායක හාමුදුරුවෝ ගෝල නමක් විසින් ගෙනාව ගිලන්පස කෝප්පේ හීන් සීරුවට වළඳලා සුදින්න හිමියන්ගේ පිටට තට්ටුවකුත් දාගෙන තමුන්ගේ ආවාසේ පැත්තට යන්න ගියා...අනිත් අයත් තම තමුන්ගේ වැඩට යොමු උනා.. විමල් අයියා කතාව අහගෙන ඉඳලා ඒ මාමාගේම බෑණා තමුන්ගේ අම්මට අහවල් එක කරන්න රටටම ආරාධනාපත්ර බෙදන වෙලාවේ ඒ කතාව මතක් කරලා මට කිව්වා.. මං ඒක ඔහෙලට කිව්වා.. එච්චරයි.. කතාව නිමි...
අම්මලා දරුවෝ හදද්දීත් දරුවෝ සමාජයේ ජීවත් වෙද්දීත් හිතන්න දේවල් බොහෝමයක් තියෙනවා...