29 May 2012

රේල් බසයෙන් මඩකලපුවට...


රේල් බස් දැකලා තියේද..? මෙන්න මුළින්ම දැකලා නැති අයට බලා ගන්න...
හරිද..බලා ගත්තද..ඔන්න ඕක තමා රේල් බස් එක කියන්නේ... ‍ඔය රේල්ලු ගැන වැඩි විස්තර දන්නේ අපේ කෝච්චියා නොහොත් ගෙහාන් චන්දික මලයා තමා.. ඌට තියෙන්නේ රේල් උණක්.. කොටින්ම කිව්වොත් මං මේ ගමන යනකොටත් මෙන්න මේකා ඉන්නවා කැකිරාව ස්ටේසොමේ රේල් පීලි උඩ ඇවිද ඇවිද කොච්චියකට කැමරාවෙන් කුරුමානං අල්ල අල්ල...

ඉතිං මං කියන්ට ගියේ ඒක නෙවෙයි නෙව...

ඔන්න පහුගිය දවසක මාත් ගියා ආයෙම රේල්ලුවෙන් චාරිකාවක්..ඇත්තටම යන්න හිතං හිටියේ කිරිගල්පොත්ත කන්ද නගින්ට..ඒත් ඒ ගමන ඔන්න මෙන්න කියලා වැස්ස කඩං වැටුන නෙව.. ඒ පාර ගමන යන්න හිතං හිටිය දවසට කලින් දවසේ රාත්තිරියේම තීරණය කොලා කිරිගල්පොත්ත අතෑරලා වැස්ස නැති පැත්තකට යන්න කියලා... අන්තිමට තීරණය උනේ මඩකලපුවට කෝච්චියෙන්...

ඒත් කෙලින්ම එක පාරින්ම මඩකලපුවට කෝච්චියෙන් නොයා පළමුවන දවස පොලොන්නරුවට ගොහින් එහෙ නැවතිලා පහුවදා උදේ හතයි කාලට තියෙන රේල් බස් එකෙන් මඩකලපුවට යන්න තමා ප්ලෑන ගැහුවේ..මෙයිට කලියෙන් පොලොන්නරු ගිය වෙලාවේ මේ කියන රේල් බස් එක දැකලා තිබුනා උනත් මේකේ යන්න අවස්ථාවක් ලැබිලා නැති හින්දා ඒ අත්දැකීමත් අර ගන්න හිතලා තමා ගමන මෙහෙම දෙකට කඩා ගත්තේ...

මේ රේල් බසය ගල්ඔය ඉඳන් මඩකලපුව දක්වා දිනපතා ධාවනය වෙනවා..ගල් ඔයෙන් උදෙන්ම පිටත් වෙන මේක උදේ හතයි කාලට පොලොන්නරුව ස්ටේසමට එනවා..එතැන ඉදන් හැම තැනම නවත්ත නවත්ත මේක කොහොම හරි උදේ දහයට විතර මඩකලපුවට ගියා.. මේක හදලා තියෙන්නේ බස් දෙකක් දෙපැත්තට මුහුණ ලා බද්ධ කරලා.. ඒ කියන්නේ දෙපැත්තටම එන්ජින් තියෙනවා.. ඕන අතකට එළවන්න ඇහැකි.. ඒ වගේම ඩැයිබර් උන්නැහේලත් දෙන්නෙක් ඉන්නවා... එක පැත්තකට යද්දී පිටිපස්සේ එන්ජිමේ ඉන්න ඩැයිබර මහත්තයා කොන්දොස්තර රාජකාරියට බහින්න ඕන...

මොකක් කොන්දොස්තර..? රේල්ලුවට...?

ඔව්...

මේකට කොන්දොස්තර කෙනෙක් ඕන කරනවා...ඇයි මේකට අත දාලා නවත්තලා නැග්ගහැකිනේ.. අර අපි දන්න කෝච්චි වගේ ස්ටේෂන් වල ඉතරක් නවත්තන එකක් නෙවෙයි මේක.. ඕන කෙනෙකුට අතර මැදදී අත දාලා බස් එකක් නවත්තන්නැහේ මේක නවත්තලා නැග ගතෑකි.. ඒ වගේම බෙල් කරලා ඕන තැනකින් බහින්නත් ඇහැකි... ඒ හින්දා අතර මගින් නගින අයට ටිකට් දෙන්න එපෑ..ඒකටයි කොන්දොස්තර කෙනෙක් ඕන කරන්නේ.. මෙන්න බලමුකෝ මේ රේල් බස් එකෙන් දෙන ටිකට් එකක්..මම බස් එකට ගොඩ වෙච්ච මනුස්සයෙකුගෙන් ඉල්ලගෙන පොටෝවල් ගත්තා ඔහෙලට පෙන්නන්ට හිතාගෙන...
දැක්කා නේද..?

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම මාත් ගියා රේල් බස් එකෙන් මඩකලපුවට...
ඔය තියෙන්නේ මනංපිටිය පාලම මැද්දෑවෙන් යද්දී ගත්ත එකක්...

මේ පහතින් තියෙන්නේ එක පැත්තක රියදුරු අසුනක්...
ඔය ඉන්නේ මමත් නිකං මේකේ අයිතිකාරයා වගේ...

---------------------

හදිසියේ ගියා උනත් ගිය ගමන් අතරින් වටිනම ගමනක්..ඒ වගේම මං මගේ ජීවිතේල ලංකාවේ දැක්ක ලස්සනම දරුශනය දැක්කේ මේ ගමනෙදි තමා..ඒ මඩකලපුව ලයිට් හවුස් එකේ උඩටම නැගලා ඒ අවට ප්‍රදේශය දැකපු එක.. එච්චර ලස්සන හරියක්නං මේ කපේට දකින්න ලේසි නැහැ... තාම ඒ පැත්තට සංචාරකයින් එන පාටක් නැහැ..මං හිතන්නේ තාම ප්‍රසිද්ධ කරලා නැතිව ඇති..තාම තැනින් තැන සංවර්ධන කටයුතු කෙරෙමින් තියෙන හින්දා...ඒත් හදලා ඉවර උනාම සහ සංචාරකයින්ට අහු උනාට පස්සේ සල්ලි උල්පතක් වෙන බවටනං කිසිම සැකයක් නැහැ... වැඩි දවසක් නොයා අපට මඩ කලපුව නෙවෙයි ඒකට කියන්න වෙන්නේ රත්තරං කලපුව කියලානං තමා ඕං...

මඩකලපුව පැත්තේ යන අයට උදව් විය හැකි සටහනක් උවමනානං පල කරන්න පුළුවන් නවතින්න පුළුවන් තැන් ගැන හා දුරකථන අංක සහිතව... ඒ ගැන උනන්දුවක් තියෙන අය හිටියොත් ඒක කරන්නං...

මෙන්න ඒ ලස්සනෙන් ටිකක් ඔයාලට බලා ගන්න..වැඩි පුර පින්තූර වෙනදා වගේම මූණු පොතෙන් බලාගතෑකි...
හිතා ගන්නවත් පුළුවන්ද මේ ලංකාව කියලා...

මඩකලපු නගරය වටා...
ළමා උයන්...
ප්‍රධාන බස් නැවතුම්පොල...
මඩකලපුව දුම්රිය ස්ථානය...
කල්ලඩි පාලම අසල කලපුවේ සිටින ජෙලි ෆිෂ්...
මඩකලපු ද්වාරය...

එහෙමනං ගිහින් බලන්න...මඩ නැති ඒත් "මඩකලපුව"

25 May 2012

හරියන්නේ නැහැ වෙන එහෙකට පයින්න ඕන...

"ලොකු හාමුදුරුවෝ.. ගස් ලබු ටිකක් කඩා ගන්නද..?"

ආවාස ගෙය පිටුපස දාන ශාලාව අසල ගස් ලබු ගස් කිහිපය පරීක්ෂා කර පැමිණ බලා "ධම්මපාල" හිමියන් මා විමසයි...

එයට හිස සලා අනුමැතිය දුන් විට ධම්මපාල හිමියනුත් ඔහුගේ හිතවත් අනිත් තරුණ භික්ෂූන් වහන්සේත් එකතුව කොහෙන් හෝ රිටක් සොයාගෙන විත් අමු ගස් ලබු කැඩීමට පටන් ගනී...

පැසුණු හෝ ඉඳුනු ගෙඩිවලට අත නොතබා ගැට තත්වයේ ඇති ගස් ලබු කඩන විට කාරණා නොදන්නා අයකු නම් සිතන්නට ඉඩ ඇත්තේ මේ දෙන්නා සිංහල අච්චාරුවක්වත් දාන්න හදනවද කොහේද කියා මිස අනෙකක් නොවේ... එම ගැට ගස් ලබු හරියන්නේ අච්චාරු දැමීමට මිස වෙන කිසිවකට නොවේ..එහෙත්...

මේ ඔවුනගේ ප්‍රියතම ආහාරයකි. අමු ගස් ලබු පොතු ඉවත් කොට සිහින් තීරුවලට කපා එයට ලුණු හා කහ යොදා වතුරෙන් තම්බා සාදන හොද්දක් වැනි දෙයක් සමඟ ඔවුන් බත් කති..නැත වළඳිති...

අධික ලෙසින් කහ යොදා ඇති එම ගස්ලබු වෑංජනය කෑමට තබා ඒ පිළිබඳ සිතීමත් පහසු නැතත්..ඔවුනට එය රාජ භෝජනයකි. ඒ ඔවුනගේ පළාතේ ඔවුනට ලැබෙන ආහාර සමඟ සසඳා බැලීමේදීය...

මෙසේ කී විට ඔබ ලංකාවේ නොයෙක් පළාත් ගැන කල්පනා කොට බලන්නට පෙළඹිය හැක...

"කොහේද යකෝ එහෙම ගස් ලබු ගැට හොද්ද රාජ බෝජන ගානට වැටෙන පළාත..?"

එහෙත් මේ කියන පළාත ඇත්තේ මේ පුංචි ලංකාව තුල නොවේ...ලංකාවෙන් පිටත දේශයකය... ඇත්තෙන්ම අප පුංචිකාලේ මේ කියනා දේශය ගැන කවි සින්දුද කිය උන වගක් සිහියේ ඇත...

"බංගලි දේශය..."

බෞද්ධයින්ට මරණයේ සෙවනැලි වැටී ඇති අවාසනාවන්ත බංගලි දේශය... මේ ඔවුනගේ රටයි... එහි කඳුකර පළාතක් වූ චිතගොං(මගේමතකයේ හැටියට) පළාතේ ඉතිරිව ඇති අසරණ ‍බෞද්ධයින්ගෙන් පැවත එන.. හැදෙන්නට නොව රැකෙන්නට මෙරටට වැඩම කල පිරිසගේ කතාවෙන් මා දන්නා ස්වල්පයයි...

බංගලි ගුවන් තොටකින් පණ බේරාගෙන ඒමට ඇති අවස්ථාව සීමිත බැවින් පා ගමනින්ම දේශ සීමා තරණය කොට ඉන්දියාව හරහා මෙරටට ඔවුන් පැමිණෙන්නේ ජීවිතය කොසේ හෝ රැක ගැනීමේ පමණක් අරමුණ ඇතිවය... මෙරටට පැමිනි පසුව කොහේ හෝ පන්සකල නැවතීමට පිළියෙල කරගත යුතුය. එයින් පසුව ශිෂ්‍යයින් ලෙසින් කොහේ හෝ භික්ෂූ අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි විය යුතුය..නැති නම් පළාතේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හිමියන් හමු වී කතා කොට හය මාසයකට සැරයක් වීසා දිගු කර ගැනීමට අවශ්‍ය අනුමැති ලිපිය ලබා ගැනීමට පිළිවෙලක් යොදා ගත යුතුය... එයින් පසුව තමා නැවතී ඇති පන්සලේ සිටිමින් ලැබෙන විදියකට වළඳා දාන මාන ආදී පින්කම්වල ගණපූර්ණය පිරවීමට එකතු වෙති.

---------------------------

පෙරදී බෞද්ධ රටක් වූ බංගලි දේශය මේ වන විට මුස්ලිම් බලය සහිත රටක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය කුමන ආකාරයෙන් වූවදැයි මා දන්නේත් නැත. කෙසේ වෙතත් මා දන්නේ එහි එක්තරා කඳුකර පළාතක තවමත් ඉතිරිව ඇති බෞද්ධ පවුල් වලින් මහණ වූ පිරිස සිය ජීවිත බේරා ගැනීමට මෙරටට එන බව පමණි. විහිළුවක් නේද..? මෙහෙ ඉන්න උන් ඔස්ට්‍රේලියා යනවා.. අරුං මෙහෙ එනවා...ඒත් ඒක තමා ඇත්ත කතාව... වරක් කැළණිය විශ්ව විද්‍යාලයීය උපාධි අපේක්ෂක හිමි නමක්ව සිට පසුව සිවුරු හැර ගිය අයකු එසේ සිවුරු හැරීමට පෙර මොවුන් කිහිප දෙනෙකු සමඟ ගොස් දේශසීමාව පැන එන තවත් කිහිප නමක් එකතු කරගෙන පැමිණි අතර ඒ ගමනේදී ලද අත්දැකීම් නිසාම එයින් පසුව ඉතාම උනන්දුවෙන් තව තවත් බංගලි හිමිවරුන්ට මෙරටට එන්නට උදව් කරන්නට වූ අතර පසුකාලීනව ඒ හිමියන් දැන හදුනා ගැනීමෙන් පසුව මා විසින්ද එම ක්‍රියාවට හැකි තරමක් උදව් උපකාර ලබා දෙන ලදි. එහිමියන් අතින් දැනගත් කරුණු වලට අනුව ඔවුන් මෙරටට පැන එන්නේ හුදු දේශපාලන රැකවරණ යන තේමාව යටතේ පැමිණ මෙහි සැප විඳින අරමුණින් නොව.. ඇත්තෙන්ම පණ කෙන්ද බේරා ගැනීමටය.. එහෙත් ඔවුන් ආ පසුව ඔවුනගේ පවුල්වලට අත්වන තත්වය ගැන කිසිවකුටත් සිතාගත නොහැක.

සිවුරක් දරාගෙන බංගලි ගුවන් තොටකින් පිට වීමට පැමිනීමත් මරුට අතවැනීමකි..වැරදීමකින්වත් සිවුරක් දරාගෙන එම ගුවන් තොටකින් නැවත ගොඩ බැස සිය පළාතට යන තෙක් යෑම එයට වඩා අනිවාර්ය මරණයකට හේතුවක් විය හැක. ඒ ගුවන් තොට තුලම ඇති ඔත්තුකරුවන්ගෙන් ලැබෙන ඔත්තු හරහා එ‍සේ යන හිමියන් අන්තවාදී මුස්ලිමුන්ට හසුව තලා පෙලා..කපා කොටා මහ මග මරා දැමීමේ හැකියාව නිසාය... එබැවින් එක්කෝ සිවුරු හැර පැමිණ මෙහිදී නැවත සිවුරු දරන්නටත්..නැත්නම් දේශසීමාව හරහා පැන ගොස් වෙනත් රටක් හරහා මෙරටට පැමිණිමත් කල යුතුව ඇත.

ඇතමුන් මෙහි පැමිණ අවුරුද්දකින් පමණ නැවත ජීවිත පරදුවට තබා සිය රටට ගොස් පැමිණෙන අවස්ථාද ඇත.ඒ එන්නේද හිස් අතින් නොව..තවත් තමා වැනිම වූ කිහිප දෙනෙකු හෝ කැඳවාගෙනය...

අද ලංකාවේ බොහෝ විහාරස්ථානවල මෙම බංගලි හිමිවරුන් වැඩ සිටින අතර එයින් ඇතමෙකුට තරමක් හොඳින් සිංහල හැසිරවීමටත් හැකියාව තිබේ..එහෙත් සිංහලෙන් ධර්මදේශනයක් වැනි යමක් කරන්නට සමත් අයකු නම් දකින්නට නොලැබුනත් ඇතැම් විට සිටිනවා විය හැකිය...

ඔවුන් ගැන සිහියට එන කතා පිළිවෙලකට පෙල ගැස්වීමට අද එතරම් කාලයක් නොමැත..හෙට උදෑසනම යොදාගත් ගමනක් ඇති හෙයින් යන්නට කලියෙන් වචන දෙකක් කොටා යන්නට සිතුන බැවින් මෙය ලියන්නට ගතිමි.

කෙසේ වෙතත් මේ වන විට ලාංකීය බුදු දහමත් අවසන් වේගන යන බැව් කිව යුතුය... ඉන්න ටිකත් පිස්සු කෙලින අතරේ..අළුතින් මහණ වන්නට අය නැති වීමත් ගැටළුවකි. එයට පිළියම ලෙසින් ‍පොඩි ඈයෝ මහණ කෙරුණද එය තවත් සසුන අනතුරේ හෙලන්නට පාර කැපීමකි. කල හැකිව ඇත්තේ එක් දෙයකි..හැකි ඉක්මනින් වෙනත් ආගමක් වැළඳ ගැනීම පමණි..නැතිනම් හෙට අනිද්දාට අපේ අයටත් වන්නේ මහ මග බෙල්ල කපා හලාල් වීමටය... මේවා කිව්වොත් ජාතිවාදීය..එබැවින් කිය කිය ඉන්නවට වඩා බේරෙන්නට පොටක් පාදා ගැනීම වඩා හොඳය..මක් නිසාද යත් අපිට කෙලවෙන දවසට අනිත් පැත්තට බණ කියන්නට දැන් අපට බණ කියන සර්ව ආගමික උතුමන්ලා එදාට හොයාගන්නටවත් නැතිවන නිසාය...

ජේ ආර් කිව්වේ තමතමුන්ගේ ආරක්ෂාව තමතමුන් සලසාගත යුතුයි කියාය... ආගමත් එක්කම දේශපාලන රුචි අරුචිකනුත් මාරු කරගත යුතුය..එහෙයින් ජේ ආර් කිව්ව දේවල්වලට ගරු කරන්නටත් හුරු විය යුතුය..

"අනේ වාසනාවන්..මාරයෝ තෝ දැන් තමා මනුස්සයෙක් වෙන්න හදන්නේ..."

__________________

පසු සටහන...

බංගලි හිමිවරුන්ට එහිදී ලැබී ඇති නම් මා පෙර කී ආකාරයේ ධම්මපාල ආදී නම් නොවේ... එම නම් අප හට උච්ඡාරනය කිරීමට අපහසු නිසා එම නම්වල තේරුම්වලට සරිලන ආකාරයේ සිංහල නම් සකස් කර ගැනීම ඔවුන් විසින් මෙහි පැමිණ පසුව කර ගනිති. ඒ සඳහාම දක්ෂයකු වූ නායක හිමිනමක් අප පළාතේ සිටි අතර එම කාරිය නිසාම උන්වහන්සේ "රෙජිස්ටාර් හාමුදුරුවෝ" යන නමට උරුමකම් කී බවත් කිව යුතුය...

21 May 2012

ෆොන්සේකා මහත්තයට මගෙනුත්...

ආයේ ඉතිං කොහේ හරි යන හට්ටියක් මුට්ටියක් දැක්කොත් දූවලා ගිහින් ඒකට ඔළුව අල්ලන්න මගේ තියෙන පුරුද්ද අතෑරගන්න බැරි හින්දම ඔන්න මේකත් ලියන්න හිතුවා...

ඕන්න ෆොන්සේකා මහත්තයා නිදහස් කරලා... දැනගන්න තියෙන විදියට ප්‍රජා අයිතිය ආදී සියළුම දේ ඇතිවයි ඒ නිදහස ලැබිලා තියෙන්නේ.. ඒ කියන්නේ ජයන්ත කැටගොඩ උන්නහේ දැනට දරණ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයත් ආපහු දරන්න උනත් පුළුවන්කමක් ලැබේවී..ඒත් ඒ සඳහා ඇති නීතිමය ගැටළු තියේද කියලා මං හරියටම දන්නේ නැහැ.. කොහොම හරි ඒකත් ලැබෙනවනං හොඳයි...

හරි මෙච්චර දවසක් මහින්දට කඩේ ගිය එකා මේ හදිසියේම මොකද ෆොන්සේකා උන්නැහේට මුක්කු ගහන්න හදන්නේ කියලා කාට හරි හිතෙන්න ඇහැකිනේ..හපොයි නැත.. කොයි තරං ඇඳගෙන නෑවත්.. කස්ටිය මට වට කරගෙන නෙළුවත් මං තාමත් පරණ ගොඩේම තමා... ඒත් ඉතිං මේ වගේ අවස්ථාවක මගේ හිතට එන ඒවත් ලියල නොදා කොහොමද.. කොහොමත් මේ බ්ලොග් එක මං අටෝ ගත්තේ මගේ හිතේ ‍තියෙන දේවල් කියන්න මිස වෙන අහවල් එහෙකටයෑ...

මහින්දලා එක්ක එක පෙලට හිටගෙන හිටිය ෆොන්සේකා උන්නැහේ හිටි හැටියේ අනිත් පැත්තේ හිටිය මංගලලා එක්ක දීග ගොහින් අන්තිමට නැවතුනේ හිරේ... හිරේ ඉද්දීත් කට වැහුන නැති ෆොන්සේකා උන්නැහේ ඔන්න දැන් ආවා එළියට.. දැන් මෙතැන ඉඳලා මොකද වෙන්නේ...

කවුරු කොහොම කිව්වත් දේශපාලනේට බැස්ස එකා ආයේ ඒ මඩ වලෙන් ගොඩ ගන්න මේ සම්මජ්ජාතියේ බැහැ... දැන් ඉතිං මුන්නැහේටත් ඒ ටිකම තමා අපි කොහොම කිව්වා උනත්...

ඉතිං දැන් මේ බැස්ස මඩ වලේ නිකංම නොහිට යන්න එන්න අතක් හොයන්න එපෑ...

බුදු හාමුදුරුවෝ බුදු වෙලා ලෝකයාට නිවන් මාර්ගය පෙන්නන්ට ඕන කියන තීරනේට ආවට පස්සේ මුලින්ම හොයා බැළුවේ කාගෙන්ද ඒක පටන් ගන්නේ කියලා... එතනදී ක්‍රමයෙන් බලාගෙන ගියේ තමන්ට ඒ දන්වා මාර්ගයට එන්න උදව් උපකාර කල යාළු මිත්‍රයෝ..ගුරුවරු ආදිය ගැන.. කොහොම හරි ඒ ඒ ගුරුවරු කාලක්‍රියා කරලා කියලා දැනගත්තම අන්තිමේදී නැවතුනේ පස්වග තවුසන් ගාවින්..

දැන් ෆොන්සේකා උන්නැහෙත් තමන්ට මෙතනට එන්න උදව් කල අය ගැන පිළීවෙලින් බලාගෙන යන්න එපෑ...

ජේවීපීය...

උන්නැහේ එළියේ ඉන්නකොට තිබුන ජේවීපිය නෙවෙයි අද තියෙන්නේ..ඒක කෑලි දෙකක් වෙලා.. ඒකෙන් උන්නැහේ කලින් ආස්සරය කල ගොඩේ හිටිය ලාල්කාන්ත උන්නැහේ වේලපහම කියලා දැම්මා ෆොන්සේකා උන්නැහේට ඇහැකි දේශපාලනයක් නැති වග.. මේ ඊයේ පෙරෙදා අනුර දිසානායක ගොයියත් ඒ ටිකම වෙන විදියකට කියලා දැම්මා..කොටින්ම ෆොන්සේකා උන්නැහේලගේ කෑල්ලක් නෙවෙයි... ඒ යාළුවෝ දැන් ෆොන්සේකාට ලොකු උදව්වක් කරයි කියලා හිතන්න බැහැ තැනකට එන්න..ඕනනං ගියපාර වගේම ආයේ හිරේට යන්නනං ක්‍රමයක් හොයා දෙයි සිය කැමැත්තෙන්ම...

යූ ඇන් පීය...

එකෙත් තත්වේ හොඳ මදි... ඇතුලේ තියෙන සුනඛ පොරය නිමා වෙනකල් ගමේ රටේ ඉන්න පාක්ෂීකයින්ටත් එල්ලෙන්න වැල් නැතිව බලං ඉන්නවා... රනිල් උන්නැහේ කොහොමටවත් බෙදාගෙන කන හාදයෙක් නෙවෙයි... ෆොන්සේකා උන්නැහෙත් එහෙමම තමා.. ඒ දෙක යාදෙක නොරත රත...

සජිත් ගොයියා කොහොමත් අනිත් අයව බිල්ලට දෙන්න දෙයියා.. කරූට කොරපු ටිකම ෆොන්සේකාට නොකර ඉන්න පුතයෙක් නෙවෙයි උන්දෑ... තමුන්ට පක්සේ නායකයා වීමත් එයින් පස්සේ රටේ නායකයා වීමත් කියන හීන දෙක හැබෑ කරගන්න ඕන දෙයක් ඔට්ටුවට තියයි..එහෙම උනොත් ෆොන්සේකා උන්නැහේට වෙන්නේ ආයෙම දංගෙඩියට බෙල්ල තියන්න...

දැන් එතකොට තව කවුද ඉන්නේ..?

මට පේන හැටියටනං කලින් හිටිය සෙට් එකේ එකෙක්වත් මුන්නැහේව බාරගන්න ලෑස්ති නැහැ... රනිල් කතා කරන්නේ එයාගේ යටතේ තවත් හෙංචයියෙක් වෙන්න.. සජිත් කතා කරන්නේ කරූ වගේ බිල්ලට යවන්න... ජේවීපිය කතා නැහැ...


ඒත් රටේ යූ ඇන්පී පාක්ෂිකයෝ බහුතරයකුත්.. ජේවීපීයේ දෙතුන් දෙනෙකුත් නිදහස්මතධාරී මධ්‍යස්ථ ජන්දදායකයින්ගෙන් කොටසකුත් බලං ඉන්නවා තමුන්ට හරි හමං මාර්ගයක් නැතිව...ෆොන්සේකා මහත්තයට ඒ කොටසට නායකත්වය දෙන්න පුළුවන්..ඒත් ඒකටත් හරි හමං වැඩ පිළිවෙලක් තියෙන්න ඕන...ගිය පාර වගේ කිසිම සැලැස්මක් නැතිව මං ආවොත් දහ දහක් දෙනවා වගේ නොකියා උන්නැහේ දැන් කරන්න ඕන හමුදා දිවියේ ඉන්නකොට හොයා නොබලපු සාමාන්‍ය සමාජය දිහා බලලා ඒක අවබෝධ කරගෙන ඊ ළගට රටේ තත්වය දැන් තියෙන හැටි හොදින් සොයා බලා.. ඒ තත්වය යටතේ කල හැකි දේ ගැන සැලැස්මක් හදලා ඒකට එකතු කරගත හැකි ප්‍රයෝජනවත් මිනිස්සු ටිකක් එකතු කරගන්න එක... ආන්න ඒ විදියට කරගන්නවනං උන්නැහේටත් දේශපාලනයේ ගමනක් යන්න බැරි වෙන එකක් නැහැ... හැබැයි දවල් වැටුනු වල මග ඇරලා යන්න තරං සිහි කල්පනාවක් තියෙන්න ඕන...

උන්නැහේට කලින් ලං කරං හිටිය සෙට් එක ආපයට පාර පෙන්නන්න මිස වෙන එහෙකටනං සහයක් දෙන සෙට් එකක් නෙවෙයි.. ඒ හින්දා මේ පාරවත් තමුන්ට ගොඩයන්න පාරක් පෙන්නන අය එක්ක එකතු වීමයි වැදගත්...

ඔන්න මං කැමතිම තැන.. කස්ටියට බනින්න පොයින්ට් එක...

සරත් ෆොන්සේකා මහත්තයෝ පුළුවන්නං අල්ලන්න හෙළ උරුමේ...අන්න තමුන්ට හරියන නියම සෙට් එක... යුද්ධේ වෙලාවෙත් තමුන්ව උඩ දැම්මේ වැඩියෙන්ම ඒ අය තමා..ඒ වගේම ෆොන්සේකා මහත්තය වගේ සිංහල ජාතිවාදී කියන ලේබලේට එක පෙලට හිට ගන්න ඇහැකි අය තමා ඒ...දැන් ආණ්ඩුවේ හිටියා උනත් හරි විදියකට කතා කලොත් ඒ අයගේ සහය ටිකෙන් ටික තමුන්නැහේට දිනාගන්න බැරිවෙන එකක් නැහැ..ඒ හින්දා උත්සහ කරන්න ආන්න ඒකට... චම්පික රණවකලා රතන හාමුදුරුවෝ වගේ අයත් එක්කනං එකට හිට ගන්න තමුන්නැහේට බැරි වෙන එකක් නැහැ...

එහෙම නැත්තං ආයේම ආණ්ඩුවට..?

චී චී එහෙම හිතන්නවත් එපා... තමුන්නාන්සේව කර උඩ තියාගෙන හිටිය උන් තමුන්නැහේව මරං කයි... මේ අපි වගේ නෙවෙයි උන්දලා දෙන්න ගියාම දෙනවා නැති වෙන්නම...ඒ හින්දා ආණ්ඩුවටනං එන්න හිතන්නවත් එපා... අර කිව්ව එක ගැන හිතා බලන්න...

(අර කටුකන කතා හින්දා ටිකක් බයේ හිටියා උනත් ඇහැකිනං විමලුත් නරක නැහැ තමුන්නැහේට..එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ..මතකනේ..)

19 May 2012

අත්තනගල්ලේ හොල්මන‍් ගැහැණිය මාරයාගේ කැමරාවට හසු වේ...

මෙන්න පොට් එක... බලන්න හොඳට හොල්මන පේනවද කියලා...

මේ තමා පහුගිය දවස්වල අත්තනගල්ල පැත්තෙන් ආරංචි උන හොල්මන නිතර ගැවසෙන තැන...

ඔය හොල්මං කතාව සරුවට නැගලා යන හින්දා මාත් ගියා පහු ගිය දවසක ඒ පැත්තේ..ඇයි යකෝ ජීවිතේට ඔහොම එකක් බලාගන්න ලැබෙනවයි කියලයෑ... මං ගියේනං රෑ දහයට විතර..පැත්ත පළාතේ බලු බල්ලෙක් නැහැ..ඒත් ඉඳ හිට වාහනයක් දෙකක් යනවා.. ඒ යන්නෙත් නැට්ටට පාගලා..මං හිතන්නේ හොල්මං කතාව දන්න හින්දා වාහනේට ගොඩ වෙයි කියලා... හැබැයි ඔහොම යද්දි යන්තං සුදු පාටක් දැක්කත් ඇති බය වෙලා ගිහින් කාගේ හරි තාප්පයක් ඉඹ ඉඹ ඉන්න...
මේ හොල්මං කතාව තියෙන්නේ ගොරකදෙණිය පාරේ..බොනෑගල ආසන්න ප්‍රදේශයේ..හරියටම කිව්වොත් අර කෆීර් දෙක වැටුනේ..ආන්න ඒ කිට්ටුව..තමුන්නැහේලා දන්නවනේ මං ඉස්සර හිටියේ ඔය හරියේනේ..ඒකනේ කෆීර් දෙක වැටුන වෙලේ මං හිටු කියලා ඒ පොවුර්තිය ගෙනාවේ...

හොඳට බලා ගන්න මෙන්න මැප් එක...
ඔය රතුපාට පුංචි තිත් දෙක තියෙන්නේ කෆීර් දෙක වැටුන තැන්..එතකොට ලොකු රතු තිත තමා හොල්මන යැයි සැක කරන අයගේ ගේ පිහිටි හරිය...රෝස පාටින් දැක්වෙන්නේ මං කලින් හිටිය ගේ... එතකොට කොල පාට පුංචි රවුම තමා ඔය උඩින් තියෙන බස් නැවතුම..මගේ වැඩ පොලත් හොයාගන්න පුළුවන් වෙයි මං හිතන්නේ හොඳට බැළුවොත්.. එතකොට පින්තූරේ තරමක් තද පැහැයෙන් දැක්වෙන්නේ මේ හොල්මන සක්‍රීය ප්‍රදේශය තමා..හරිනේ ඔන්න සිතුවම් සහිත හොල්මං වාර්ථාකරණය...හැමදාම නැහැ හැමතැනම නැහැ...

ඉතිං ඔය කියන හොල්මන ගැවසෙනවාය කියන බස් නැවතුම අසල ප්‍රදේශයේ ටිකක් ඇවිදලා බලන්න ඕන කියලා මට හිතුනේ ඔය හරියේ මමත් නිතර ගැවසුන හින්ද තමා... මං උදේ හවා වැඩට යන එන තැනනේ ඔය..ඔය කියන ගෑණු ළමයත් හැමදාම වැඩට යන්න බස් එකට නැග්ගේ ඔය බස් නැවතුමෙන් තමා..මං දැකලත් ඇති..ඒත් හරියටම නිච්චියක් නැහැ..දන්නවනේ ඉතිං මං ඔය බස් හෝල්ට් ගානේ ඉන්න ගෑණු ළමයි දිහා බල බල යන කෙනෙක්යෑ ආයිබෝං..හා නැද්ද හා...

ඉතිං මේ හොල්මං කතාව නැගලා යනකොට අහල පහල දන්න අය වෙච්චි අපි එපෑ හොයලා බලන්න..ඉතිං මාත් අදහස් කොලා මේකත් හොයලා බලන්න.. ආන්න එහෙම හිතලා මං කරුණු රැස් කලා..ඒකට හොඳම කෙනා තමා රමණි අක්කා..දන්නවනේ ඒ කවුද කියලා..දන්නේ නැත්තං මෙතනින් බලා ගන්න කවුද ඒ කියලා..

ඉතිං මේ හොල්මං කතාව ගැන හොයාගන්න ඕන වෙලා මං දවාලේ රමණි අක්කට කෝල් කලා..උන්දෑනං කිව්වේ දැකපු අය ඉන්නවා උනත් තාම උන්දැටනං හම්බ උනේ නැහැ කියලයි... හැබැයි හැම එකාම පාරේ යන්නේ පරාණ බයේ හින්දා දැන් උන්දැටවත් හවහට කඩේකට යන්න හැටියක් නැහැ කියලා... කොටින්ම මේ ළගකදී පොලිසියේ දෙන්නෙකුත් බයික් එහෙක නැගලා කතාවක් දාගෙන ඇවිත් එක පාරටම රමණි අක්ක වංගුවෙන් මතු වෙලා දැක්ක පාර හොල්මන මතක් වෙලා මෙන්න යකෝ අර ගෑණි කියාගෙන ඇරලා දාලා ගිහිං..ටික දුරක් යද්දී ආයෙම තේරිලා බයික් එක ස්ලෝ කරලා හිනා වෙවී ගිහින්...

ඉතිං කොහොම හරි මේක යට තියෙන්නේ අර මෙයිට ටික දවසකට කලියෙන් නුවර එළියේදී මිය ගිය යුවළගේ කතාව තමා..මතකනේ අර කාමරේ හීතල නැති වෙන්න බාබකිවු උඳුනක් කාමරෙන් තියාගෙන ඉඳලා ඒකේ දුම විෂ වෙලා මලයි කිව්වේ.. ආන්න ඒ ජෝඩුවේ ගෑනු ළමයා තමා මේ හොල්මන් කරන්නේ කියලයි කියන්නේ..හැබැයි ඒ කතාවට හරියන්න තව හුගක් කතා තියෙනවා උනත් කාටවත් අපහාස කරන්න ඕන කමක් නැති හින්දා ඒවා ලියන්න විදියක් නැහැ. කොහොම උනත් ගෙදරට යා ගන්න බැරි හින්දා ඒ අවටම සරනවා කියලයි කියන්නේ...

ඉතිං මාත් රෑ ජාමේ ගියා අහම්බෙන්වත් මටත් හම්බ උනොත් කියලා හිතං... ඉතිං දහයට කිට්ටුව ගිහින් එකොලාමාර විතර වෙනකල් ඒ හරියේ එහෙට මෙහෙට කැරකිලා ආයේම ඇවිත් ඔය කියන බස් හෝල්ට් එක අහලත් බලං උන්නා උන්නා..ම්හූ.. මං හිතන්නේ එදා නිවාඩු දවසක්ද කොහේද..? බැරිම තැන මං එතන පොටෝ එකක් ගහං ආපහු ආවා... ඒත් ඇවිත් බලද්දිනේ දැක්කේ මේ පොටෝ එකේ හොල්මන ඉන්නවනේ.. ඔයාලා හොඳට බලන්න... පේනවද කියලා...

18 May 2012

නළු නිළියන් උවමනා කර ඇත...


අද උදේ ගෙදර ගියාම එක පාරට හිතුනා කොහේ හරි යන්න ඕන කියලා... උදේ උයන්නත් කම්මැලියි වගේ වේල පහම දැනිලා තිබුන හින්දා එන ගමන්ම අරං ආව තෝසේ තුන බඩ‍ට දාලා ප්ලේන්ටියකුත් හදං බීලා... ටිකක් වෙලා නෙට් එකෙත් සැරිසරලා අන්තිමට දහය පහුවේගන එද්දි නැගිටලා කැමරා පොජ්ජත් උස්සං ගියා යන්න...

කෙලින්ම අස්ගිරියට...

අස්ගිරිය කිව්ව ගමන් හිතන්න එපා නුවර කියලා..මේ අස්ගිරිය තියෙන්නේ ගම්පහ.. ඒ ගැන පොටෝ ටිකක් ඇති බුකියේ...මේ කියන්න ගියේ ඒ ගැන නෙවෙයිනේ...

කොහොම හරි ආපහු එන ගමන් නයිවලයි උඩුගම්පොලයි අතර මැද හරියෙදී පාර අයිනේ වෙළඳාම කරං යන මනුස්සයෙකුගෙන් ගත්ත කුරක්කන් කැඳ වීදුවකුත් නෙලුවා..ඒකේ රස හින්දමයි මෙහෙම හරි ලියන්න හිතුනේ.. ඉතිං ඒකත් බීලා..වේයන්ගොඩට ඇවිත් දවල්ට කාලා... අයිස් පලමකුත් ‍නෙලලා ගියා සීගිරියට...

හෝව් හෝව් අර අස්ගිරිය නුවර නෙවෙයි ගම්පහ වගේ මේ සීගිරයත් අර දඹුල්ල කිට්ටුව එක නෙවෙයි..වේයන්ගොඩ සීගිරි...

ඒ කිව්වේ සීගිරි සිනමා ශාලාවට...

ටික වෙලාවක් හෝල් එකේ මිදුලේ ෂෝ ටික එහෙම බලලා ගෙඩි රුපියල් එක සියට පණහක්ම පූජා කොරලා ටිකැට්ටුවකුත් ඇන්න ගොහින් වාඩි උනේ හෝල් එකේ හරි බරි ගැහිලා...

චිත්තර පටිය තමා "සුපර් සික්ස්"... ඊයේ තමා ඒක මෙහෙට ආවේ... ගිය පාර අර කුස බබා බලන්න ගිය වෙලේ මේකේ කෑලි දැම්මම මට මේක බලන්න හිතුනා..ආයේ වෙන එකක් හින්දා නෙවෙයි සවුන්ඩ් හින්දා... එදා අර කුස බබා ‍බල බල නිදි මරගාතේවගේ හිටිද්දී ඉන්ටෝල් එකේදී මේකේ කෑලි දැම්මා විතරයි පීකර් දෙදරන්න උනා... මට ටින් ටින් මතක් උනා... දෙදරන සුළං...

ඇත්තටම ඒ සවුන්ඩ් වල වෙනස බලන්න හිතුන හින්දම ගියා..නැත්තං හිතන්න එපා අර රශී කෙල්ලගේ කකුල් දෙක බලන්න ගියා කියලා..ආයේ එකේ ඇති බලන්න දෙයක් ඇතෑ...

කොහොම හරි ජාතික ගී දාලා දැන්වීං දාලා..සිගරට් එපා කොරෝලා..ඊ ළගට එන්න තියෙන චිත්තරපටිවල කෑලි දාලා අන්තිමට මේක පටන් ගත්තා...

අඩේ දුං විසිවෙන නැටුං ටිකක්... මෙතුවක් කාලෙකට මං සිංහල චිත්තර පටියක එහෙම සිංදුවක් දැකලා තිබ්බේ නැහැ...ඒ තරමට මරු නැටුං ටික...මට මතක් උනේ අර සායිෆ් අලී ඛාන් එක්ක දීපිකා පදුකෝන් උන්න Love aj kal ෆිල්ම් එකේ සිංදු කෑල්ලක්... ඒ තරමට නැටුං ටික නැගලා යනවා..කවදාවත් අපේ නිළියොන්ට ඔච්චර ඇඟපත හෙල්ලිල්ලක් කොරන්න බැහැ කියලා මං දන්න හින්දා ටිකක් ඇස් දෙක පිහදාලා බැළුවා කවුද මේ අළුත් හිංගල කෙල්ලෝ ටික කියලා මෙහෙම නටන..හුටා...

මේත් සුද්දියෝ ටිකක්නේ.. මදෑ මං හිතුවා දැන් අපේ උන්ටත් නැටියැකි කියලා..උන්ට තාමත් ඉස්සර වගේමයි.. යන්තං සරීර කූඩුව හොල්ලන්න විතරයි පුළුවන්.. අර සුද්දියෝ ටික හිටු කියලා වැඩ දාන අස්සේ මේ අපේ උන් ටික අතරින් පතර පෙනිලා යනවා..හැබියි ඒ පෙන්නන වෙලාවට කැමරාව අතේ තියං හිටිය එකා හෙල්ලිලාද කොහෙද..අපේ උන් ඉන්න තැන් වලදී උන් නටනවා වෙනුවට කැමරාකාරයා නටලා පින්තූර හෙල්ලෙනවා...

එයිට හපං නළුවෝ ටික..රොෂාව් රණවක..ඌ හොඳා අර ආනන්ද වික්‍රමගේගේ පුතා මොකාද..මට උගේ නම මතකත් නැහැ..ආන්න ඒකා එක්ක බානට බඳින්න...උන්ට රඟපාන්නත් බැහැ..ගහගන්නත් බැහැ..විහිළුවක් කරන්නත් බැහැ..අඩුම ගානේ නටාගන්නවත් බැහැ..උන්ට නළුවෝ හැටියට පුළුවන් අහවල් එකද කියලා හිතනවා ඇර‍ වෙන මක්ක හිතන්නද..?

අනේ ඒත් ඒ අස්සේ එක පාරට අපේ එකෙක් සුද්දියෝ එක්ක අතාරින්නේ නැතිව එකම එක කෑල්ලක් නටනවා.. අකලංක ගනේගම... අන්න බුවානං එක තැන නවනවා... ඒත් කරුමෙට ඌ චිත්තර පටියේ සුළු චරිතයක්..හැබැයි ඌ ඉන්න පුංචි පුංචි කෑල්වල කිසි අමුත්තක් නැතිව රඟපාන වග කියන්න ඕන..අර පුස් ඌරෝ ටිකට ලොකු චරිත දීලා මේකාට කොනක් දීලා...

මුල ඉඳන්ම මං බැළුවේ මේකේ කතාවක් තියේද කියලා.. බොහෝම අමාරුවෙන් හොයා ගත්තා එහෙම කතාවකුත් ඔය අහක යන ජෝකි කෑලි අතර මැදින් ගියා... හරියට අර වෙළඳ දැන්වීම් අස්සේ වැරදිලා ටෙලි නාට්ටිය පෙන්නනවා වගේ...

ඔන්න කතාව මෙච්චරයි... ක්‍රිකට් ටීම් එකක් ඉන්නවා..ඒකේ ඉන්න උන් හෙන ක්‍රිකටර්ලා වගේ පෙන්නන්න හැදුවට උන් නිකංම නිකං අර කජුවත්ත එක්සත් වගේ ටීම් එකක්... ඒකට අර ගීතා කාන්ති‍ගේ දුව ඉන්නවා අගල් 5ක ජංගියක් ඇඳගත්ත ගමන් හැම වෙලේම... ඔන්න ඔන්න දැන් කට්ටිය දුවන්න හදයි ඒක බලන්න..නිකා හිටහල්ලා බං..ඒකට වඩා හොඳ එව්වා ඔය නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි..

මුං ගහන ගහන මැච් එක පරාදයි වගේ තමා පේන්න තියෙන්නේ..කොහොම හරි මුංව කොයි වෙලෙත් පරද්දන ටීම් එකක් තියෙනවා අන්න එකේ අර සාරංග කොලුවා ඉන්නවා..පඩ ෂෝ කෝටියයි...

කොහොම හරි ඌ ගෙවල් මාරු කිරිල්ලක් හින්දා මොරටුවට යනවා..අර කිව්ව ටීම් එක ඉන්නේ මොරටුවේ..අන්තිමට සාරංගයා ඒ ටීම් එකට බැඳිලා අර කලින් ඌ සෙල්ලං කරපු ටීම් එක පරද්දන එක තමා කතාව...

ඉතිං ඒක අහවල් එකක්යෑ නේද.. මාත් අහන්නේ ඒකම තමා..

කෝටි ගණනක් වියදං කරලා හැදුවා කිව්වනේ මේක.. ඒ කෝටි ගාන වියදං කරලා තියෙන්නේ මේ නළු නිළියෝ ටිකක් පිටරට එක්ක ගිහින් සිංදු ටිකක් කැමරාකරගෙන එන්න විතරයි..ඒ ඇර වෙන වැඩක් වෙච්ච පාටක්නං නැහැ... රශී පබෝදයි.. අරුනු රාජපක්ෂයි..තවත් නිකං ලොන්තපෝල් කෙල්ලෙකුයි තමා හැම සින්දුවටම ඉන්නේ... උන් ටිකව අරං ඩිරෙක්ටරුයි කැමරාකාරයයි තව ඕනම කීප දෙනෙකුයි නිශ්පාදකගේ සල්ලි වලට විදලා රට සවාරි ගහලද කොහේද...

ලංකාවේ සිනමාවේ අහෝසිම කරලා දාන තරමට හොඳ අංගේ තමා ඔය මෙලෝ කලාවක් නැති සින්දු..ඒත් මේ ගල් බමුණෝ ඒවටමයි වැඩිය වියදං කරන්නේ...

කොහොම හරි මේකේ රඟ පෑමක් කියලා දෙයක් ඇත්තේම නැත.. ගත යුතු කතාවකුත් නැත. පිටපත බලු සරිය... විහිළු හැමදාම තියෙන එව්වමය..පයිට් දිහා හොඳට බැළුවොත් පේනවා දුෂ්ඨයෝ නිකං වැටෙනවා මිසක් නළුවා ගහලා නෙවෙයි වග...

අරුනි රාජපක්ෂගේ කකුලුයි..රශි පබෝධගේ කකුලුයි අර අනිත් නොදන්න එකියෙකුගේ බුරියයි පෙන්නනවා ඇර නිළියංගෙන් ඇති වැඩක්ද නැත... නළුවන්ගේ ගත යුත්තක්ම නැත. අර කිව්ව කෝටි ගාණ වියදං කල තැන හොයා ගත්තොත් ඒක බලනවා මීට හොඳය...

පසු සටහන...
ලව් ආජ් කල් හී නිළිය ප්‍රියංකා චොප්රා ලෙසින් සටහන් වී තිබුනි..එය දීපිකා පදුකෝන් විය යුතු අතර ඒ ගැන මුලින්ම දන්වා සිටි සමාරා නංගීටත් මෙහි කමෙන්ට් අතරෙහි ඒ බව සටහන් කල බුවාටත් ස්තූතියි...

13 May 2012

අවුරුදු සීයාගේ නික්ම යෑම...ඔබා අයියේ ඔබට නිවන් සුවයම හිමි වේවා..!


පහු ගිය අළුත් අවුරුද්ද දවසේ වැඩ පොලට වෙලා අවුරුදු නැතිව වේලී වේලී ඉන්න නියමිතව ඉන්නකොට උදේ පාන්දරම මාව හොයං ඇවිත් දෝත පුරා අවුරුදු කැවිලි පෙවිලි තෑගි බෝග උස්සං ඇවිත් වතුර එකක්වත් නොබී පැය කිහිපයක්ම කතා කර කර ඉඳලා හිනා වෙවී ඉඳලා යන්න පිටත් උනේ ආයේ ලබන අවුරුද්දේ එන්න මාරයා මල්ලි කියාගෙන.. ඒත් ආයේ ලබන අවුරුද්දක අපට එකතු වෙලා කතා කරන්න වෙන්නේ නැති බව ඒ වෙලාවේ අපි දෙන්නම හිතුවේ නැති උනත්... දැන් ඒක එහෙම වෙලා තියෙනවා...

මරණය මට අමුතු දෙයක් නෙවෙයි... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නිසා දුකක් හිතේ තිබුනත්..ජීවිතේ හැම දේම හරි විදියට විඳලා ඒ ජීවිතේ දුකක් නැතිව අවසන් කරන්න ලැබෙන අල්පයක් වූ පින්වන්තයින් අතරට එකතු වීමත් ලේසියෙන් කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි.. ඒ අතින් ගත්තහම අයියේ උඹ පින්වන්තයි.. ඒ වගේම පැරදුන එකෙක් නෙවෙයි... අන්තිම කාලේත් කොල්ලෙක් වගේ ජීවත් උන..හැම එකාටම පුළුවන් හැටියට උදව් කරගෙන සතුටින් ඉඳලා දුකක් නොවිඳ ඔය ගිය ගමන ගැන තැවෙන්න දෙයක් නැති තරං...

කියන්න දේවල් කොතෙක් ඇතත් දැන් ඒකට වෙලාව නෙවෙයි...

හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!


පසු සටහන...

දැනට දැන ගන්නට ඇති පරිදි ඕස්ට්‍රේලියාවේදී අද දින (2012/05/13) උදෑසන ව්‍යායාමය පිණිස ඇවිඳිමට ගොසින් සිටියදී සිය වැඩිමහළු දියණියගේ නිවස අසලදීම හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් සනත් (ඔබ්සවර්) අයියා.. අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ සොයුරිය විසින් දැනුම් දෙන ලදි... අවසන් කටයුතු පිළිබඳව වැඩි විස්තරයක් දැනට නැතත් එය එරටටදීම සිදු කරනු ඇතැයිද ගම්පහ පිහිටි සොයුරියගේ නිවසේදී ඒ වෙනුවෙන් පින්කමක් යෙදෙනු ඇතැයිද දැනට කිව හැක... ඒ පිළිබඳව පවුලේ ඥාතීන් විසින් බ්ලොග් හිතවතුනටත් දැනුම්දීමක් කරන්නට හැක...


12 May 2012

මාත් හදනවා ළමයෙක්...

මාත් හදනවා ළමයෙක්..
මාත් හදනවා ළමයෙක්..

ඒ මොකටද..?

මොකටද කියලා අහන්නේ..?
මේ ලෝකෙට සේවය කරන්න නෙව..

ආ ඒක හොඳයි...
එතකොට ඒ ළමයා ලොකු වෙලා
ලෝකෙට සේවයක් කරයි...


ඔව් ඔව් ඔව්..
මාත් හිතන්නේ එහෙමයි..
ඔහු ලෝකෙට පහනක් වෙයි..
ලෝකෙට හරි එළියක් වෙයි..
බොහොම හොඳට ඉගෙන ගනී..
ලොකු රස්සාවකුත් කරයි...
ලොකු පඩියක්..
ගේ දොරවල්..
යන්ට එන්ට කාර් එහෙම...

හනේ වාසනාවන්...
එහෙම ළමෙක් හැදුම හොඳයි...
එතකොට ඒ ළමයා ලෝකෙට සේවයක් කරයි..
පාරේ යන හඩු බල්ලන් අල්ලාගෙන නාවයි ඔහු..
පාර දිගේ හොඳ හෙවනට ගස් වැල් හිටවන්නෙ නැතෑ...
ගෙවල් පාරේ කානු එහෙම සුද්ද කරලා තියා ගනී..
අහල පහල අයට නිතර කන්න බොන්න හෙමත් දේවී..
ලොකු පඩියක් ගන්නව නෙව...
නිතර නිතර දොල දන්දෙයි..
යාන වාහනත් ඇති එකේ
ලෙඩට දුකට පිහිටක් වෙයි..
ඔය ළමයගේ කාර් එකේ ලෙඩ්ඩුන්ටත් ආ ගිය හැකි..

මොම් මොම් මොම්..මොන පිස්සුද..
කාර් එකේ කුණු ගෑවෙයි..
පාරේ කානු සුද්ද කෙරුම
ඔහු හට හිමි දේ නොම වෙයි..
කුණු බල්ලන් නාවන්ට
හිතුවද හෙම පිස්සු කියලා...
ගස් වැල් හිටවන්නට නෙව
ආණ්ඩුවක් අපට ඇත්තේ..
මගේ පුතා ඔය වාගේ වැඩ කරන්න
පිස්සු හැදිලා නැහැ නෙව තව..
පාරේ යන එන උන් හට කන්න දෙන්න
ඒ අහවල් එහෙකටදෑ..
කානු කපන එක ලැජ්ජයි..
එව්වා ළමයට අකැපයි...

හා..ඒකත් එහෙමද..?
එතකොට ඔය ළමයට උගන්වන්න ලේසි නැහැනේ..
නම ඇති හොඳ පාසලකට දාන්න එහෙමත් වෙයි නෙද..?
ඒත් ඉතිං මේ කාලේ එව්වා ලේසිත් නැහැනේ..

එහෙම කියලා කොහොමද මම..
මම හදනා මැණික් පහන..
බොරු ඇඩ්රස් දාලා..
පගාව හෙම දීලා..
මොන විදියෙන් හරි ළමයා..
දාගන්නව ගන්නවමයි...

අගෙයි අගෙයි හරිම අගෙයි...
අන්න එහෙම කෙරුම වටියි..
ලෝකේට සේවයක් කරන
ළමයගේ ඉගෙනුම ඇරඹුම
ඔය කිව් විදියටම යසයි...
ඉතිං ඉතිං තව විස්තර
කියමුකො ඔය මැණික් පහනේ...

කියන්නනං කොයි තරංද
මං හදනා මැණික් පහන...
ලෝකෙට ඇති ලොකුම එළිය...
අහස උසට මාළිඟාව...
අතට පයට දැසි දස්සෝ...

ආ ආ ආ.. ලෝකෙට වැඩ කරන්න දැන්
එහෙම නැතිව කොහොමද දැන්..
මාළිඟාව තිබිය යුතුයි..
දැසි දස්සොත් සිටිය යුතුයි...
මාළිඟාව ලස්සන ඇති...?

ඔව් ඔව් ඔව් නැතිව නැතිව...
එය හදාවි ඉස්තරම්ව..
හොඳම විදියේ ලී යොදාලා..
වටින වටින ගලින් බැඳලා..
උඩට යටට වියන් බැඳලා..
ගේ වටේට තොරණ් ගහලා...

එහෙම ගෙයක් හදන්න දැන් ලේසි නැහැනේ මේ කාලේ..
කොහේ තියෙන ලී දැඩු දැයි හිතන්නවත් බැහැ රාලේ...

එහෙම කියල කොහොමද අපි...
ගේ තියෙන්න ඕන යසට..
ඕනමනං හොර පාරෙන්
කැලෑ කපල ලී ගෙනේවී..
ඒවා දාලා ගේ හදාවි..
අනිත් ටිකත් එහෙම තමයි..
කොහොමින් හරි එහෙම ගෙයක්
නැතිව හැකිද අපේ දරුවට...

ඒක ඇත්ත ඒක ඇත්ත..
ලෝකේට ඇති මැණික් පහන..
හොඳ ගේකම ඉන්න ඕන..
කැලේ තියෙන ගහක් කොලක්
කැපුවා කියලා මොන පාඩුද..?
නිකං තියෙන ගගේ වැල්ල
හෑරුවාට මොන දෝෂද..?

අන්න අන්න ඒක ඇත්ත...
ළමය යසට හැදෙන්නෝන..
කවදා හරි අපේ දේපල
මේ වාගෙම රකින්නෝනේ...
එහෙම ළමෙක් හදන අපිට
රට්ටුන් වැඳ පුදන්නෝනේ...

ලෝකෙට සේවය කරනා
අරමුණ මිස අපේ යහපත
නෙවෙයි ඔන්න බලන්නෙ අපි...
අපේ දේපල රැකීමවත්...
තව තව ගොඩ ගැහීමවත්...
අනුන් හූර කෑමටවත්...
ලොකු කං කියවන්නටවත්..
එහෙම නෙවෙයි මේ වෑයම...
ලෝකෙට සේවය කරනා
වටින ළමෙක් හැදුමටමයි...
යසයි යසයි බොහොම යසයි..
ඔහොමම කරගෙන යං දැන්..
ලෝකෙට වැඩි කලක් නොයා
ලොකු සේවය වෙයි නියමෙට..
ගස් වැල් ටික කපලා..
ගංගා හින්දවලා...
අනිත් එකා කපලා..
වස්තුව ගොඩ ගහලා..
හොද තැනකින් බැඳලා..
ඌත් හදයි තව දරුවෙක්..
වෙන මොකටද...
ලෝකෙට සේවය කරන්න...


11 May 2012

නායක හිමිගේ අපූරු දේසනාව...කලින් කතාවේ 2...

හරි මං කලින් ලිපියේ කිහිප දෙනෙක්ගේ චරිත කතා කෙටියෙන් කිව්වනේ.. මෙන්න සීන් එක...

ඕං ඉතිං දවසක් දා මංතුමා..ඒ කිව්වේ ඒ කාලෙනං මං උන්නාන්සේ පන්සලේ ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා..මොනවා හරි ලියමින් උන්නා... හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තියා ගන්න පුළුවන් විදියේ අඩිදෙක හමාරක් විතර දිග..අඩියකට තරමක් වැඩි තරමේ පළල අපූරු ලෑලි කෑල්ලක් මං හොයාගෙන තිබුනා ඒ දවස්වල...

ඉතිං උදේ වරුවේ වැඩ රාජ කාරී නිමා වෙලා නවයට විතර ලොකු තේ කහට එහෙකුත් හදාගෙන ඔතනින් වාඩි උනාම එකොලහ විතර වෙනකල් ලියන කියන වැඩ පාඩං වැඩ එහෙම බොහෝම නිවී හැනහිල්ලේ කරගෙන ගියෑකි... සමහර වෙලාව ලියුමක් ටයිප් කරන්න උවමනා උන වෙලාවටත් මං පරණ බඩු කඩේකින් අරගෙන ඇවිත් පිළිසරක කොරගෙන තිබුන ටයිප් රයිටරෙත් ඒක උඩින්ම තියාගෙන ටක ටොකොස් ගගා ලියුං ටයිප් කොරන්නෙත් ඔතනම තමා... ඔය වැඩ පිළිවෙලට පොඩි බාධාවකට තිබුනොත් තියෙන්නේ ඉතිං කවුරු හරි මොනවා හරි උවමනාවකට ආවොත් තමා..ඒත් ඉතිං ඒ එන කෙනත් එතනම ඉස්සරහ තියෙන සිමෙන්ති පඩියේ වාඩි වෙලා කතා බස් කොරලා ආපහු යන හින්දා ඒ හැටිම කරදරයකුත් නෙවෙයි..

කුඩා කඳු මුදුනක පන්සල තියෙන නිසා ඔතනට අවට පරිසරේ බොහෝම හොඳටත් තරමක් ඈතටත් පේනවා... වම් අත පැත්තෙන් ගම මැදින් දුවන කන්දේ පාරත්... දකුණු අත පැත්තෙන් පන්සල් වත්තත්... ඉස්සරහින් පන්සල් ඉඩම හා එයිට එපිටින් දුවන පාරත් පාරට එපිටින් ඈත ගම් මණ්ඩියත් පේනවා...

ඒ වගේම හරි සනීප තැන... පන්සල් වත්තේ ගහ කොල පිහගෙන එන බොහෝම හීල් හූලඟක් නිතරම තියේ... කල්පනාවක් දාගෙන පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ඔයිට වඩා වෙන මොනවද... තනි නොතනියට පන්සලේ හිටිය බලු තුන් කට්ටුව ඉන්නවා...මම ඔතන වාඩි උනානං උන් ටිකත් බණ මඩුවේ ඉඳන් හිමිහිට ගාට ගාට ඇවිත් ඒ අහල පහල මිදුලේ වක ගහගෙන දපනවා... උනුත් කැමති මිනිස් හෙවනැල්ල වැටෙන අහකම ඉන්ට තමා...

ආන්න එහෙම ඉන්න දවසක තමා ඔය විමල් අයියා ආවේ මාත් එක්ක කතා බහ කොරන්ට කියලා... උන්දැගේ වගා බිමේ වැඩ කොරලා දාඩිය මුගුරු පෙරාගෙන ඇවිත් මා ඉස්සරහා තිබුන සිමෙන්ති පඩියේවත් වාඩි නොවී කෙලින්ම සිමෙන්ති පොලවෙම වාඩි වෙලාහොඳට අත පය දිග ඇරගෙන මහන්සි අරිමින් කතා කරන්න සූදානම...

ඔය වගේ වෙලාවට ඉතිං රටේ ලෝකේ තොරතුරු වගේම පන්සල්වල තොරතුරුත් හුවමාරු වෙනවා... උන්දෑ විමලරතන නායක හාමුදුරුවන්ගේ රියදුරු වගේම හොඳම ගිහි ගෝලයා හින්දා අවට පන්සල් කොයිකෙත් වගේ හොඳ පිළිගැනීමක් වගේම දැන හැඳුනුම්කම් තිබුනා. ඉතිං මහණ නොවුනට මොකද සංඝ සමාජේ කොයි කොයි දේ ගැනත් අපිට වඩා හොඳට දැනුං තේරුං ඇතිව වැඩ කිරීමේ හැකියාවකුත් තිබුනා... කොටින්ම යම් යම් ප්‍රශ්නවලදී හාමුදුරුවරු හැසිරෙන විදිය ගැන උනත් යහපත් උපදේශ දීමේ හැකියාවත් අපූරුවට පිහිටලා තිබුන හාදයා... වැදගත්ම දේ තමා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒ ගැන කතා කලාම මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා බල නොකර ඔය වගේ ප්‍රශ්නෙකදී එක එක්කෙනා වැඩ කරන හැටි ගැන විස්තර කරන ආකාරය...

"පොඩි හාමුදුරුවනේ ඔය දේම අහවල් හාමුදුරුවන්ට උන වෙලේ උන්වහන්සේ මෙන්න මෙහෙමයි කලේ..හැබැයි ඒකෙන් හොඳ වගේම නරකත් උනා... ඒ දේම වෙච්ච වෙලේ අර අහවල් හාමුදුවෝනං ඔය කිසිම දෙයක් නොකර පාඩුවේ හිටියා..මාසයක් හමාරක් යනකොට ඒ හැම දේම හොඳ විදියට විසඳුනා.."

ඔන්න ඔය වගේ උදාහරණ කිහිපයක් දීලා අවසානෙදී ඇහුවොත් විතරක් එහෙම දේකදී කල යුතු හොඳම දේ මොකක්ද කියලා තමුන්ට හිතෙන ආකාරය කියනවා ඇර කිසිම වෙලාවක පැනපු ගමන් "හා ඕක මෙහෙම කරපං අරෙහෙම කරපං" කියන පුරුද්ද උන්දැට නැහැ...

සාමාන්‍යයෙන් මැදි වයසෙන් මහණ උන මං වගේ උදවියට ටික දවසක් යනකල් සංඝ සමාජේට පෑහෙන්න වැඩ කරන්න අමාරුයි... පන්සල්වල උනත් එක එක ආකාරයේ චරිත ලක්ෂණ ඇති අය ඉන්නවා නෙව.. ආන්න ඒ හින්දා මේ විමල් අයියගේ ආස්සරේ තවත් අතකින් මට ප්‍රයෝජනවත් උනා... ඒ තමා පළාතේ ඒ ඒ හාමුදුරුවරුන් සමඟ කටයුතු කල යුත්තේ මොන ආකාරයෙන්ද කියලා ඉගෙන ගැනිල්ල...

විමල් අයියා‍ට ඒ සම්බන්ධවත් හොද අවබෝධයක් තිබුනා..කිසිම හාමුදුරු කෙනෙක්ව තරහා කර නොගෙන ජීවත් වෙන්නනං ඒ ඒ අය ගැන පුංචි හරි අවබෝධයක් උවමනා කරනවා... එතනදී විමල් අයියගෙන් ලැබෙන දැනුම කියලා නිම කරන්න බැරි තරං...

ඉතිං එදත් වෙනදා වගේම අපි දෙන්නා ආ ගිය තොරතුරු කතා බස් කර කර ඉන්න අතරේ හිටි හැටියේ කන්ද පාර පැත්තෙන් මහ ඝෝෂාවක් ඇහෙන්ට තියා ගත්තා...අපි දෙන්නා කර කර හිටි කතාව පැත්තක දාලා ඒ පැත්තට සුළු වේලාවක් කන් දුන්නා...

රනිල් වැඩ පටන් අරං...උදේ පාන්දරම සෙත් පිරිත් දේශනාව...මුළු ගමටම ඇහෙන විදියට කාට හරි බැණ අඩ ගහනවා...

"වරෙවු ඕන ප** වරෙවු... අම්මට හු*** වරෙවු.. ඔය එක කැ**යෙක්වත් මං ගණන් ගන්නේ නැහැ. තොපි පොලිසි නෙවෙයි ඕන හු** පලයව්. ගිහිං මට කොරයි තොපි. වල් බල්ලෝ.. කැ* වේ** පුතාලා තොපි එකෙකුටවත් මං බය නැහැ යකෝ...වරෙවු අම්මට *කන්න වරෙවු..මේ ගමේ ඕන එකෙක් වරෙවු..ගමේ බැරිනං රටේම උන් හරි වරෙවු.. අම්මට *කන්න වරෙවු"

එකම ගෝරණාඩුවාවයි...

විනාඩියක් විතර අහං ඉන්නකොට තේරුනා කවුරු හරි රනිල්ට ගහලා තමා කියන එක... කොහොමත් සතියකට වතාවක්වත් රනිල් කාගෙන් හරි ගුටි කනවා... එහෙම වෙලාවට ඇඳන් ඉන්න සරමත් දාලා දුවන හාදයා... තමුන්ගේ වත්ත හතර සීමාවට පැන්න ගමන් ඔය විදියට චණ්ඩි පාට් එක දාන්න ගන්නවා...

ඉතිං කොහොමින් කොහොම හරි ඕක අහගෙන හිටිය විමල් අයියා හීනියට හිනා වෙලා මගෙන් අහනවා...

"රනිල් නේද..? අම්මට සැපක් දෙන්න ගමේ උන්ට කතා කරන්නේ..කොච්චර හොඳ පුතෙක්ද...? තාත්තට බැරි හින්දා වෙන්න ඇතිනේ ඔය ගමේ උන්ට කතා කරන්නේ.. ගමේ බැරිනං රටේම අයට හරි කතා කරලා අම්මට සලකෝගන්න හදන හොඳ පුතෙක් නේද..?" කියලා...

ඒ අහපු විදියට මට ආව හිනාව නවත්තගන්න තරමක වෙලාවක් ගියා.. ඒ අතරෙම විමල් අයියා කතාවකට මුල පිරුවා... ඒ ඔය අම්මට අහවල් එක කරන්න කතා කිරීම ගැන...ඒ කතාව රනිල්ගේ මාමා එහෙම නැත්තං රනිල්ගේ අම්මගේ මල්ලි වෙච්ච විමලරතන නායක හාමුදුරුවන් ගැනයි...ඒ කතාව මෙහෙමයි...

ඔන්න මං කලින්ම කිව්වනේ විමලරතන හාමුදුරුවන්ට ගෝලයෝ හැට හුට හමාරක් හිටියාය කියලා..ඔය ගෝලයෝ හැදිල්ලත් ලේසි පහසු වැඩක් නෙවෙයි.. කොටින්ම හිතලා බලන්නකෝ මේ එක අම්මගේ කුසෙන් මෙලොවට ආව දරුවෝ දෙතුන් දෙනෙක් එක දවසක් ඇතුලත කී පාරක්නං රණ්ඩු සරුවල් හදාගන්නවද එක ගෙදරක ඉන්න ගියාම... එතකොට මේ ලංකාවේ හතර දිග්බාගයෙන් මදිවට අර වෙන රටක් වෙච්ච බංගලි දේසෙන් ආව උදවියත් ඇතුළුව එක්කෙනාට එක්කෙනා වෙනස් පරිසරයන් හී හැදුන වැඩුන..ඒ ඒ අම්මා තාත්තට අනුව..නෑදෑයින්ට අනුව..පළාත්වලට අනුව හැදුන අය අතරේ කොයි තරං වෙනස්කං තියේද..? මරා ගන්නේ නැතිව ඉන්නවනං මදෑ...

ඉතිං මේ ගෝලයෝ හැට හුට හමාර අතරෙන් දවසකට වතාවක් විසඳන්න ඕන පුරස්සන රාසියක් නායක හාමුදුරුවන් ගාවට එනවා... ඉතිං ඒ වගේ වෙලාවට උන්වහන්සේ දෙන තීන්දූ තීරණ වලට උරණ වෙන අයත් නැතිවා නෙවෙයිනේ..මේ කියන දේත් ආන්න එහෙම දෙයක් වෙච්ච දවසක්...

මොනවාම හරි කාරණයකදී නායක හාමුදුරුවන් විසින් දුන්න අවවාදයක් එක තරුණ පහේ හාමුදුරුනමකට විස වෙලා තියෙනවා.. උන්වහන්සේ මොකද කලේ... නායක හාමුදුරුවන් ගාවදී ඔහේ සද්දේ වහලා ඔළුව වන වන ඉඳලා දංගේ පැත්තට යන ගමන් තමන්ගේ කේන්තිය වචන වලට හැරෙවුවා...

"නායක හාමුදුවන්ගේ අම්මට *කන්න.. මං තමා වැරදි..අනිත් උන් ඔක්කෝම හරි.."

කියාගෙන ගොහිං තියේ... මේ තරුණ හිමිනම ඒ වෙනකොට ‍බොහෝම ප්‍රශ්නවලට පැටලිලා හිටිය කෙනෙක්..ඒත් නායක හාමුදුරුවෝ ඔය කිසිම කෙනෙක්ව පන්සලෙන් ලේසියකට පන්නන්නේ නැහැ... හදා ගන්න බලනවා මිස... ඒ වෙනකොටත් විශ්වවිද්‍යාලය කියන සාසන නාශක ආයතනයේ ඉගෙනුම ලබමින් හිටිය හින්දා ඔය තරුණ හාමුදුරුවන්ගේ කිව්වා නාහන ගති ලක්ෂණ බොහෝමයක් තිබුනා...

කොහොම උනත් මේ කතාව නායක හාමුදුරුවන්ට ඇහුනා... ඒ උන්වහන්සේත් ගෝලයාට උපදෙස් දීලා ඉවරවෙලා දංගේ පැත්තට වැඩිය හින්දයි.. කොහොම උනත් මේක අහපු නායක හාමුදුරුවෝ ටිකක් හයියෙන් හිනා උනා... එතකොට තමා ගෝලයට තේරුනේ වැඩේ වැරදුනා..තමුන් කියපු දේ අහු උනා කියලා... අහල පහල හිටිය අනිත් හාමුදුරුවරු ටිකත් බොහෝම බය උනා අදනං වැඩේ ලේසි වෙන එකක් නැහැ කියලා...

කොහොම උනත් නායක හාමුදුරුවෝ කිසි කලබලයක් නැතිව දංගෙට වැඩලා ගිලන්පස මොනවත් නැද්ද කියලා අහන ගමන් ආසනේක වාඩි වෙලා තියෙනවා... එක හිමිනමක් උන්වහන්සේට වළඳන්න ගිලන්පස ගේන්න යන අතරේ අනිත් අය මොනවයින් මොනවා වෙයිද නොදැන තක්බීර් වෙලා බලං ඉන්නවා... දංගෙයි වැඩට හිටිය වයසක උපාසක උන්නහෙ කෙනෙකුත්..විමල් අයියත් පැත්තකට වෙලා බලා ඉන්නවා...

නායක හාමුදුරුවෝ හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා එහෙම කතා කලා කට්ටියටම...

"පොඩි උන්නාන්සේලා ඔහොම වාඩි වෙමු ඉස්සරහින් ඉඩ තියෙන හැටියකට..."

කට්ටියත් ඉස්සරහින් බිම වාඩි උනා... ඒත් අපේ අර තරුණ හිමිනම තාම හිටගෙන...

"හා හා තමුනුත් මෙතනින් වාඩි වෙනවා..."

කියලා තමුන් වහන්සේගේ ළඟම පෙන්නුවා...ඔන්න උන්වහන්සේත් අර මොකාද වගේ ඇඹරිලා නායක හාමුදුරුවන්ගේ පාද අසලින්ම වාඩි උනා...

"කට්ටියටම අහෙන්න ඇතිනේ නේද අපේ උන්නාන්සේගේ කතාව...? මට ඇහුනනං ඉතිං අනිත් අයට නෑහෙන්න කොහොමද..මං වගේ වයසක අයයෑ මේ අය..."

කියලා වට පිට බලලා හිනා වෙලා අර තරුණ හිමියන් දිහා බලාගෙන ආයෙමත් කතාව කරගෙන යන්න තියා ගත්තා...

"අනේ සුදින්න උන්නාන්සේ..තමුන් ඒකට ඇත්තටම මනාපද..? එහෙම මනාපයක් තියේනං මගේ කිසි අමනාපයක් නැහැ.. තමුන් ඒක කොරගන්නවා... කොහොමටත් දැන් ඔය දහම්පාසලේ උගන්නන්න එන කෙල්ලොන්ටයි... පන්සලට එන තරුණ උපාසක අම්මලටයි ඇස් දිග්කරගෙන හිතින් ඒවා කර කර ඉන්නවට වඩා ඒක හොඳයි... තමුන් කැමතිනං ඒක කොරගන්නවා මයේ මොකද.. හැබැයි අපේ අම්මා දැන් වයසයි... උන්දැට දැන් පාරේ යන්න පණ නැහැ... කීප වතාවක්ම අංසබාගෙට ඇවිත් ‍බොහෝම අමාරුවෙන් ගොඩදාගෙන තියෙන්නේ ඒ හින්දා මං හිතන්නේ නැහැ උන්දෑ කෑමති වෙයි කියලනං..ඒත් තමුන් අහලා බලලා උන්දෑ මනාපනං කැමැත්තක් කරගන්නවා... මොකද අම්මට උනත් නිදහසක් තියේනේ තමන් කැමැත්තක් කොරන්න... මං ඒ අයිතියට බාධා කරන්නේ නැහැ... ඕනනං එයිට පස්සේ මට බැරියෑ මේ උන්නාන්සේට බාප්පේ කියන්න... හා නැද්ද මං අහන්නේ...?"

වාඩි වෙලා ඉන්න අනිත් ගෝලබාලයෝ මේ කතාවට හිනා වෙනවද නැද්ද කියලා හිත යටින් කල්පනා කරමින් අන්ද මන්ද වෙලා ඉන්න අතරේ අර තරුණ ගෝලයා කර කියා ගන්න දෙයක් නැතිව බිම බලාගෙන ඉන්නවා...

"සුදින්න තමුන්ගේ වරදකට පිළියමක් කිව්වම ඒකට කේන්ති ගියානං ඒකට අල්ලගන්න ඕන මාවයි..එහෙම නැතිව අර මැරෙන්ඩ දවස් ගාණක් කියන්න බැරිව පැත්ත වැටිලා ඉන්න මගේ අම්මා නෙවෙයි... ඒත් ඉතිං මේක මටත් හොඳ පාඩමක්... මං කරන දේවල්වලට අවසානය දක්වාම අපේ අම්මා වචන අහනවා... මේ නාකි වයසෙත් තමුන් වගේ උදවිය උන්දැට අහවල් එක කරන්න දත කනවා... මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලවත්.. ඈ සුදින්න තමුන්‍ දැන් කරන කියන දේවල්වලට ගමේ මිනිස්සු තමුන්ගේ අම්මත් එක්කත් ඕකම කරන්න ලෑස්ති උනොත් තමුන් මොකද කරන්නේ..? කියනවකෝ බලන්න මට තමුන්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න..."

සුදින්න හිමි නෙවෙයි වචනයක් කියන්නේ... කඳුළු පෙරාගෙන නායක හාමුදුරුවන්ගේ කකුල් අල්ලගෙන අඩන්න තියාගත්තා... නායක හාමුදුරුවෝ ගෝල නමක් විසින් ගෙනාව ගිලන්පස කෝප්පේ හීන් සීරුවට වළඳලා සුදින්න හිමියන්ගේ පිටට තට්ටුවකුත් දාගෙන තමුන්ගේ ආවාසේ පැත්තට යන්න ගියා...අනිත් අයත් තම තමුන්ගේ වැඩට යොමු උනා.. විමල් අයියා කතාව අහගෙන ඉඳලා ඒ මාමාගේම බෑණා තමුන්ගේ අම්මට අහවල් එක කරන්න රටටම ආරාධනාපත්‍ර බෙදන වෙලාවේ ඒ කතාව මතක් කරලා මට කිව්වා.. මං ඒක ඔහෙලට කිව්වා.. එච්චරයි.. කතාව නිමි...

අම්මලා දරුවෝ හදද්දීත් දරුවෝ සමාජයේ ජීවත් වෙද්දීත් හිතන්න දේවල් බොහෝමයක් තියෙනවා...

07 May 2012

නායක හාමුදුරුවන්ගේ අම්මට ...01

මේක මේ පොඩි කතාවක් ඒත් මේ කතාවට අඳාල චරිත කිහිපය ගැන කෙටි සටහනක් මුලින්ම කරලා හිටියම මට ලේසියි...

විමලරතන නායක හාමුදුරුවෝ...

වයස හතළිස් පහක්/පණහක් අතරේ ඇති... අඩි හයක් විතර උස උසටම හරියන මහත... පින් පාට..ඔව් ඔව් අර උඩුවේ හාමුදුරුවෝ වගේ බැබලෙන පාට..හැබැයි මේකපු නැහැ..හරිය...
වයස හතලිස් පහක් වෙද්දී නායක පට්ටං හම්බ වෙන උදවිය බොහෝම අඩුයි..ඒත් මේ කියන නායක හාමුදුරුවන්ට නායකකං දරන්න සුදුසුකං ඇත්තටම තිබුනා..කොටින්ම පළාතේ වැඩිහිටි හාමුරුදුවරු උනත් විමලරතන පොඩි හාමුදුරුවෝ කියන දෙයක් අහක දාන්නේ නැහැ ඒ තරමට විමලරතන හාමුදුරුවෝ දැනුං තේරුං ඇති..හිතලා බලලා වැඩ කරන..තැනේ හැටියට ඇනේ ගහන්න දන්න කෙනා...
අඩු පාඩු නැතිවා නෙවෙයි..ඒත් තමුන්ගේ චරිත ලක්ෂණ කවදාවත් පන්සල් පාලනයේදී දුර්වලකං හැටියට එළියට පනින්න නොදී වැඩ කරන්න හොඳ සමතා...

මහණ වෙලා තිබ්බේ අවුරුදු පහළවක විතර කාලෙදී..එදා ඉඳන් හොඳට බණ දහං හදාරලා පණ්ඩිත පට්ටං එහෙම ගහලා තමා හිටියේ... මහණ කමට උවමනා බෝහෝ දේවල් අඩු නැතිවම පිහිටලා තිබුනා...

මං මේ කියන කාලේ අපේ නායක හාමුදුරුවන්ට ගෝල බාලයෝ බර ගණනක් හිටියා... උන්නාන්සේගේම ගෝලයෝ හැටියට මහණ කරවපු ගෝලයින් විස්සක් තිහක් විතර හිටියා..හැබැයි මං කියන කාලේ වෙද්දී එයින් ඉතිරි වෙලා හිටියේ අට දෙනෙක් වගේ තමා.. එයිට අමතරව වෙන වෙන තැන්වල මහණ වෙලා පස්සේ ඇවිත් නායක හාමුදුරුවන්ගේ ගෝලකම ගත්ත අයත් ඒ කාලේ හත් අට දෙනෙක් හිටියා... එයිට අමතරව උන්වන්සේගේ පන්සලේ ඕනෑම දවසක හාමුදුරුවරු විස්සක් තිහක් හිටියා... ඒ අතරේ බංගලිදේශයෙන් ආව අයත් නොහිටියා නෙවෙයි... එන ඕනම කෙනෙකුට තමුන් ගාව නවාතැන් දීලා දරුවෝ වගේ හදා ගන්න නායක හාමුදුරුවෝ කවදාවත් පස්ස ගැහුවේ නැහැ... ඒවට උවමනා තරං ශක්තියක් උන්වහන්සේට තිබුනා...

උන්වහන්සේගේ පන්සල වගේ නියම විදියට හතර පේරුවක් තියෙන පන්සලක් වෙන මම දැකලා නැති තරං.. දැන් අස්සක් මුල්ලක් ගානේ පොඩි පොඩි පන්සල්නේ..ඒත් අදටත් මේ නායක හාමුදුරුවන්ගේ පන්සලේ ඉපැරණි දායක සීමාව එහෙමම රැකිලා තියෙනවා... ඉතිං දායකයින්ගෙන් අඩුවක් නැහැ... ඒ වගේම පන්සල් වත්තේ ආදායං උනත් නරක නැහැ..රජ මහා විහාරයක්නේ... පන්සලට අයිති ගම්වර තාම එහෙමමයි...ඕනම වෙලාවක කතා කරලා අපේ මහත්තයෝ මට මෙන්න මේ වැඩේ කෙරෙන්න ඕන කියලා කියන පරක්කුවෙන් ලක්ෂ ගණන් ගෙනත් උන්නාන්සෙගේ පාමුල තියන්න සැදී පැහැදීගත් ධනවත් සැදැහැවත් අය එමටයි...
ඒ වැඩි හරියක් උන්වහන්සේගේ උදව් උපකාර ලබපු උදවිය...

එහෙමම තමා හැකියාවත්... පිරිතක් වෙලාවකට පිරිත පුරන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන... එහෙම අයට භික්ෂු සමාජයේ හොඳ ඉල්ලුමක් වගේම පිළිගැනීමක් තියේ... අපේ නායක හාමුදුරුවොත් මේ පිරිත් පිරිල්ලට වගේම ධම්ම චක්කෙටත් කප් ගහපු කෙනෙක් තමා... ඇත්තටම උන්වහන්සේ සූත්‍රයක් ඇදලා පැදලා කියනකොට අහං හිටියැකි ඕන තරං වෙලාවක්... මුතු කැට වගේ දිලිසෙන කිසිම අඩුවක් නැතිව පිහිටලා තියෙන දත් පේලි පේන විදියට හොඳින් මුව විවර කරමින් නියම විදියට හුස්ම අල්ලමින් කරන පිරිත් සජ්ඣායනාව බොහෝම අපූරුයි... ඒ වගේමයි බණක් කියන්න ගියාම උනත්...

අනිත් අතින් කේන්දර වැඩ..සෙත් කවි..යන්තර මන්තර වැඩ ඔය හැම දේමත් දැනගෙන හිටියා... උවමනා වෙලාවල් වලදී ඒ ඒ දෙයින් පල පරයෝජනනත් ගත්තා...

නායක හාමුදුරුවෝ බොහොම ප්‍රසිද්ධ උන්වහන්සේගේ කට හින්දා... උන්වහන්සේගේ කට හඩ බොහෝම ඉහලයි..හිමිං කතා කරන්න බැරි තරං... ඒ වගේමයි කියුං... ඕනම හරුපයක් දිවට තොලට නොදැනී කියලා දාන්නත් දන්නවා... හැබැයි කාවවත් අමනාප නොවෙන විදියටත් ඒක හරි අපූරුවට කියලා දානවා... මේ කතාවත් එහෙමම එකක් තමා...

හරි අපි යං තව චරිතෙකට...

විමල් අයියා...

ටිකක් ඈත පළාතක දුප්පත් පවුලක දරුවන් හත් අට දෙනෙක් හිටිය පවුලක ඉපදිලා යන්තං සාමාන්‍ය පෙල දක්වා ඉගෙනගෙන උසස් පෙල ලියන්න හැකියාවක් නැතිව ඉද්දී මොන විදියකින් හරි අර මං කිව්ව නායක හාමුදුරුවන්ගේ පන්සලට ආව කොලු ගැටයෙක්... ඒ එන කාලේ පන්සලේ නායක හාමුදුරුවෝ මං ලියාපු විමලරතන නායකහාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ.. එතකොට විමලරතන හාමුදුරුවෝ තරුණයි.. කොහොම හරි මේ දෙන්නම එකට පන්සලේ හැදුනා..ඉතිං බොහෝම හිතවත්කමක් දෙන්නා අතරේ තියේ.. විමල් අයියා පස්සෙන් පහුකාලෙක විමලරතන නායක හාමුදුරුවන්ගේ රියදුරු විදියට රස්සාව කරන ගමන්ම නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම මත වගාවට බැහැලා අද වෙනකොට වාහන කිහිපයක් තියෙන තරමක් සල්ලිය බාගේ ඇති කෙනෙක්... වයස අවුරුදු තිස් අටක් විතර ඇති මයෙ හිතේ... පන්සල කිට්ටුව පාතම ගෙදරකින් කසාඳයක් බැඳගෙන එහෙම බින්න බැස්සා...

මට විම‍ල් අයියා හම්බ වෙන්නේ ඔය වගා කටයුත්තක් හින්දම තමා... මම පන්සල් ජීවිතේට බහින කාලෙදි මං නැවතුන පන්සල ගාව ඉඩමකුත් මෙවුන්දෑ වගා කලා..ඉතිං කොයි වෙලෙත් දාඩිය මුගුරු හලාගෙන වැඩ කරලා මහන්සිය නිවා ගන්න පන්සලට එනවා යනවා.. මාත් ඉතිං අපි දෙන්නටම තේ කහට ටිකක් ‍එහෙම හදාගෙන කයියට වැටෙනවා... පන්සල්වලම ඉඳලා හින්දා පන්සල් ගැන හොඳ කතා රාසියක් විමල් අයියාගේ මතක පොතේ තිබුනා.. ඒ හැම එකම මෙව්වයේ ලියන්න බැහැනේ...


හරි මෙන්න අනිත් චරිතේ...

කාන්ති අක්කා...

අක්කා කිව්වට වයස පණහකට වැඩී... අර මං කලින් කිව්ව නායක හාමුදුරුවන්ගේ වැඩි මහළු අක්කා... කසාඳ බැඳලා හිටියේ මගේ පන්සල පේන නොපෙනෙන මානේ... දරුවෝ තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්..මං කියන කාලේ වෙද්දී උන්දෑ ආච්චි අම්මා කෙනෙක්... තමුන්ගේ මල්ලි මහණ වෙලා හිටිය හින්දා අපිටත් මල්ලිට තියෙන කරුණාවෙන්ම සලකපු උන්දෑ කෙනෙක්... අඩුවල් පාඩුවක් ඇත්තං ඕන වෙලාවක හොයාලා බලලා කරවලා දෙනවා.. හැබැයි ඉතිං උන්දෑ එකතු වෙච්ච පවුල තරමක් පිරිහුණ පවුලක්... ඒ පරම්පරාව පන්සල් ආස්සරේ කොරන අය නෙවෙයි... තරමක් කිව්වා නාහන පරණ ගරා වැටුන වලව් පරම්පරාවක්...

රනිල්...

මේ කාන්ති අක්කගේ ලොකු පුතා... හරියකට ඉගෙන ගෙන නැහැ... අඩි හය හමාරකට වඩා උසයි... කෙසගයි... කොයි වෙලෙත් බීගත්ත ගමන්... හමුදාවෙන් පැනලා ඇවිත් හිටියේ..කසාද බැඳපු ගෑණි මේකවයි ළමයි දෙන්නවයි දාලා පැනලා ගියා ඉවසන්න බැරිම තැන.. මොනවා හරි අණ්ඩපාල වැඩකට ගිහින් කකුලකුත් කඩාගෙන කොර ගගහා තමා ඇවිද්දේ කලේ... අම්මයි තාත්තයි මේකගෙන් බේරෙන්න බැරි තැන ඉඩං කෑල්ලක් විකුණලා ත්‍රීවීල් එකක් එහෙමත් අරං දීලා තිබුනා...උගේ වැඩේ ඒක හැම තැනම හප්ප හප්ප ඉන්න එක තමා... හැබැයි අපරාදේ කියන්න බැහැ මං කොහේ හරි යන්න කතා කලානං මිනිහා කිසිම සද්දයක් නැතිව ඇවිත් ඉන්නවා වගේම ඒ දවස්වලට බොන්නෙත් නැහැ...එහෙම නැත්තං දවසේ කොයි වෙලේ බැළුවත් බීගෙන කුණු හරප වපුර වපුර දිග කැත්තකුත් අරං පාර දිගේ යන එක තමා කාරිය... වැරදිලාවත් ඒ අස්සේ මාව හමුබ උනානං පටස් ගාලා සරම දිගා අරගෙන කැත්ත ඇග පිටිපස්සට කරගෙන හිනාවෙලා බීපු වගක්වත් නොදැනෙන් කතා කරන්නත් දන්නවා.. ඒ වෙලාවට කියන කතා තමා හොඳම හරිය...

"ආ අපේ හාමුදුරුවනේ දැක්ක කල්..මං මේ පන්සල පැත්තේ එන්න කියලත් හිටියේ..ඈතකද වඩින්නේ..?"

"නැහැ රනිල් අයියේ මං මේ අර දිසානායක රාළහාමිලාගේ පැත්තේ යන්ට කියලා පිරිත් ටිකක් කියලා එන්න..උන්නැහේට සනීප මදී කියලා පණිවිඩයක් ලැබුනා"

"ආ ඇත්තද හාමුදුරුවනේ... මාත් මේ ලෙඩෙකුට බෙහෙත් හොයන්න යන ගමන්... ගස් පොතු ගහන්න කියලා කැත්තත් අරං යන්නේ"

කියන ගමන් කැත්ත පැත්තකින් දාලා මහ පාරෙම වැටිලා වඳින එකත් සාමාන්‍ය දෙයක්... ආයේ ඉතිං මේකා බීලා කියලා කොහොම කියන්නද..? එහෙම කතා කරලා මම ඊ ළග වංගුවෙන් නොපෙනී යනකොටම මෙන්න ආයෙමත් පටන් ගන්නවා.. නිකං නෙවෙයි...

"මට ඔය පන්සල් ලොකු නැහැ යකෝ.. මං නාලාගිරියා වගේ... අපේ මාමාත් ගණයා...මං බය වෙයිද ඕකුන්ට" කියලා... හිතාගත්තැකිද කොහොමද පුතයා කියලා...

හරි චරිත කතා ඉවරයි..ඊ ළඟට කතාව... ඒක ඊ ළග ලිපියෙන්...

05 May 2012

අඹ කොට...

වෙසක් පෝය... ඉස්සරනං..ඒ කිව්වේ කොල්ලා කාලේ..(දැන් ඉතිං ඒ කාලේ ඉවරයි කියලා හිත පිළි අරං ටික දවසක් වෙනවා..) ඉතිං ඒ කාලේනං අවුරුද්දට වගේම වෙසක් පොසොන් දෙකටත් සැලසුම් ඇ‍ඳෙන්නේ අවුරුදු නැකැත් පහු උන ගමන්ම තමා...

"මේ පාර කොහේද යන්නේ..?
මොනවද හදන කූඩු..?
ගෝල් ෆේස් යනවද..?
සමන් සාන්තලගේ ලොකු නඩෙත් එක්ක බයිසිකල්වල අනුරාධපුරේ යනවද..?
උන් අපිව එකක් යයිද..?
පයින් කොළඹ යංද..?
ප්ලේන් එකක් හදනවද..?"

ප්‍රශ්න කෝටියයි..තොහොම කොහොම හරි වෙසක් ලං වෙනකොට කූඩුත් හදලා..බයිසිකල් වලට අණ්ඩ දාලා එව්වත් යං කිසි තත්තෙකට අරං අපි වෙසක් සමරන්න ලෑස්ති වෙනවා.. ඒ අපේ වෙසක්... පස්සෙන් පහු කාලෙක තමා වෙසක්වල වෙන වෙන අරුත් තේරෙන්න ගත්තේ.. ඒත් ඉතිං කොලු කාලෙට අරෙහෙම නොකරනවනං ඇති වැඩේ මොකක්ද.. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල්...

කොහොම උනත් දැන්නං අනිත් දේවල් වගේම වෙසකුත් පණ අදිනවා..ඒ අපේ ජීවිතවල..ඒත් අදටත් ගං රටවල කොල්ලෝ කුරුට්ටන්ට එදා අපිට වගේම කැසිල්ලක් හැදෙනවා ඇති..හැබැයි අපිට තිබුන නිදහස උන්ට නැති හින්දා ඒ කාලේ කෙලි දැන් කරන්න ඉඩක් අම්මලා තාත්තලා දෙයිද කියන එකයි පුරස්නේ..දැන් හැදෙන්නේ ළමයි නෙවෙයිනේ මල්නේ.. එව්වා ඉතිං ඒ ඒ මල්වල අයිතිකාරයින්ට ඕන හැටියට විතරමයි පිපෙන්නේ..වැනෙන්නේ... සෝමාරි පාට වෙලා ඔහේ හිර උන ළමාකාලය...අම්මලා තාත්තලාට මුල මතක නැති හැටි හා උන්ගේ ආත්මාර්ථකාමී ලෝකය.. ළමයි යනු දින හතළිස් පහේ කුකුළු පැටවු වැනිය...පව්.

පොඩි කාලේ අපි කොහොම හිතුවත් ලොකු වෙනකොට මිනිස්සු සෑහෙන්න වෙනස් වෙනවා..ඒකට හොඳම උදාහරණේ අපේ ගෙදරින් මට ලැබෙනවා...

මේ ඊයේ පෙරේදා දවසක මං ගෙදර ගියා.. ඒ ගියේ නිකං නෙවෙයි මල්ලිගේ ලොකු කොලුවට බයිසිකලයක් ගෙහුං දෙන්ට... ඌ බයිසිකලේකට ආසාවෙන් ඉන්න වග දැන් ටික දවසකට කලියෙන් අපේ මෑණීයැන්දෑ කියලා තිබුනා.. ඌ ආස නොවී තියෙයියෑ.. මාත් ඒ දවස්වල කොයි තරං හීන දැක්කද... අම්මට තාත්තට බයිසිකලයක් අරං දෙන්න ඇති හැකියාව අල්පයි කියලා දන්න හින්දා නොකර සද්දෙන් හිටියට ඉඳ හිට කං කෙඳිරි ගෑවෙනවා.. ඔය අස්සේ අපේ අම්මාගේ නංගි කෙනෙක් හිටියා බැඳලා ඒත් ළමයි ලැබෙන්න පරක්කු උන.. ඒ පුංචි ඉතිං ඒ දවස්වල මට ටිකක් ආදරෙයි.. ඔන්න වංගියක් උන්දෑ පොරොන්දු උනා මට ටිකක් ලොකු උනාම බයිසිකලයක් අරං දෙනවා කියලා..මාත් ඉතිං අද ලොකු වෙයි හෙට ලොකු වෙයි කියලා හිතාගෙන ඔහේ හිටියා දත කට මැදගෙන..ම්හූ..මං ලොකුවට හැදුනෙත් නැහැ..බයිසිකලේ ලැබුනෙත් නැහැ.. කොහොම හරි පස්සෙන් පහු ඒ පොරොන්දුව අමතක පොතටම ඇරියත් මට අදටත් ඒ පොරොන්දුව ගැන හිත හිත හීන මැව්ව හැටි හොඳට මතකයි.

අන්තිමට මට බයිසිකලයක් හම්බ උනේ සිස්සත්වේට ඔන්න මෙන්න කියලා තියලා...

තාත්තා කොහොම හරි මට සිස්සත්තේ පාස් උනොත් එකක් අරං දෙන්නං කියලා තිබුනා.. ඒ වගේම උන්දෑ ඒ වචනේ දීපු දවසේ ඉඳන් බයිසිකලයක් හෙව්වා..මොකද සිස්සත්වේ කියන්නේ මට ඒ හැටි කජ්ජක් නෙවෙන වග දැනං හිටිය හින්දා..අන්තිමට සිස්සත්වෙට ටික දවසකට කලියෙන්ම රුපියල් 500 කට ගත්ත පාවිච්චි කල බාගේ බයිසිකලයක් මට හම්බ උනා... ඒක රෙපෙ‍යාර් කරලා අරං මං පාවිච්චි කලා..එතකොට මට වයස 10ක්... ඒ බයිසිකලෙන්ම තමා මං බයිසිකල් පැදිල්ල හුරු උනෙත්...

කොහොම හරි එතනින් පටන් ගත්තට පස්සේ අපිට සයිකල් එක්ක ලොකු කතා ගොඩක් තිබුනා...හැම තැනම ඉතිං ඕකෙන් තමා ගමන.. නොගිය තැනක් නොකරපු දෙයක් නැති තරං... ඒ මං විතරක් නෙවෙයි අපේ මල්ලිත් එක්කම තමා.. අපි දෙන්නා හැම දේම එකට කරපු උන්... ඒ කියන්නේ මං කරපු ටිකම ඌත් කලා...ඒත් අද...

බයිසිකලේ ලොකු කොළුවට ගෙහුන් දීලා ඒ එක්කම මල්ලිට කියලා ඒක මස් කරවලා අළුතින් ග්‍රීස් කෙරෙව්වා මං ඉන්න තැනම..නැත්තං ආයේ ඔක නොකෙරන බව දන්න හින්දා...අළුතින් එන බයික්වලට ඔය සාත්තුව දෙන්න එපෑ..ඒක මස් කරං වැඩේ කෙරෙන අතරේ මෙන්න මූ පටන් ගත්තා කොළුවට නීතී මාලාව පැහැදිලි කරන්න...ඒ අනුව ඌට වත්තෙන් පිට තහනං... කොල්ලා අහනවා කඩේ ගියෑකිද කියලා.. මල්ලි නළල රැළි කරනවා..

අන්තිමට මට හිනා ගියා...අනේ බං උඹ මොනවා කිව්වත් ඕකා තව දවස්දෙක තුනකින් ඔය හැම තැනම යනවා.. උඹයි මමයි එකතැනක හිටි උන්ද කියලා.. ඒ පාර මලය මා දිහාත් කොල්ලා දිහාත් බලලා කල්පනා කරනවා...අපේ අම්මයි.. නෑනයි හිනා වෙනවා... පොඩි එකාට තාම වයස අවුරුදු පහයි..ඌ උඩ බිම බලනවා...
තාත්තලා උනාම මුංට සිද්ධ වෙන විපරියාස... එදාට වඩා අද රට ලෝකේ අමාරු වග ඇත්ත..ඒත් අපේ තාත්තලාගේ ළමා කාලෙත් එක්ක අපේ කාලෙ වෙනකොටත් ඒක කොච්චර අමාරු කාලයක්ද කියලා තාත්තලා දැනං හිටියට අපි දැනං හිටියේ නැහැනේ... ඒත් අපි ඒ කාලෙත් ඔය හැම නඩලමක්ම නැටුවේ...අත පය හතර බේරගෙන ආපහු එන විදිය කියා දෙනවා ඇර කොල්ලොන්ව අල්ලලා බැඳලා දාන්නයෑ.. ඒත් ඇත්තම තත්වේනං අද ඉන්න උන්ට ළමා කාලායක් නැහැ..උන්ගේ අම්මලා තාත්තලා ළමයින්ගේ ළමාකාලේ කනවා.. ඒ කන ගමන් එව්වට නිදහසට කරුණුත් හදා ගන්නවා... ඔව්වා ඔහොම තමා...

මං කොතනද හිටියේ.. ආ හරි වෙසක්වල...

ඉතිං අද වෙසක්...උදේ වැඩ‍ එද්දී පාර පාළුයි..දන්සැල් දෙන්න හදන තැන්වලනං එක්කෙනෙක් දෙන්නෙක් හිටියා.. පාරවලුත් ටිකක් විතර සරසලා... වැඩ පොලත් පාළුයි... මායි ජයරත්න අයියයි විතරයි..ආ ඊට අමතරව පූස් පැටියෙකුයි.. කිරල්ලු දෙන්නයි.. ලේන් ඩබලයි ඉන්නවා...

ඉතිං පැයකට දෙහෙකට වරක් මං යනවා මේක වගේ පරීක්ෂා කොරලා බලන්න...ඒ යන්නේ නිකං නෙවෙයි..පොඩි පිහියකුත් අරගෙන...

මොකද හිතුවේ ආරස්සාවට කියලද..? අපොයි නැහැ..අඹ කන්න..වත්තේ තියෙන අඹ ගස් හයෙන් පහකම ගෙඩි හැදිලා... ඒත් බේරගන්න බැහැ වැඩ කරන දවස්වලට මේකේ ඉන්න උන්දලා ගස් හොල්ල හොල්ල ගැට හිටං බිම දානවා... කොහොම හරි මෙහෙම නිවාඩු දවසක් අහු උනාම තමා ගස්වලට නිවාඩුවක් ලැබෙන්නේ.. ඉතිං මං කරන්නේ දැන් අඹ හොය හොය ඇවිඳිනවා... ලොකු වැස්සක් හරි හුළඟකින් පස්සේ ගස් යට ඉඳුන අඹ ගෙඩි එකක් දෙකක් තියෙනවා... සමහර එව්වයේ පැත්තකින් පොඩි දත් පාරවල්..ඔව් ඒ අපේ ලේන් ඩබලේ වැඩ.. උන්ගේ වැඩේ ගෙඩි මාක් කර කර යන එක...උන් මාක් කලානං ඒ ගෙඩිය දවසින් ඉ‍ඳෙනවා...

කොහොම හරි ඔය අතරේ තියෙන හොඳම දේ තමා අඹ කොට... ඒ කියන්නේ කුරුල්ලෝ කාලා ඉතිරි වෙච්චා...උන් පැත්තකින් කෑවම ඒකේ අනිත් පැත්ත පරිස්සමට කපලා අරං කන එක නියම වැඩේ...ඒවා තමා හොඳටම ඉඳිලා තියෙන්නේ...

ඉස්සර අපි පොඩි උන් කාලේනං උදේට ගස් යට අඹ කොට ඇහිදිල්ල සරුවටම උනා... රෑට වවුල්ලු කාලා දාපු අඹවල හැම වෙලේම එක පැත්තක් ඉතිරියි.. වවුලා නොකාපු පැත්ත කපලා අරං කන එක තමා කරන්න තියෙන්නේ...අපි කොච්චර කලත් එහෙම අඹ කොට තරං අනිත් අඹ රස නැහැ. ඒක දන්නේ කාපු උන්ම තමා... ඒත් දැන්නං ඕකට සමහරු රටේ නැති කතා කියයි..සෞඛ්‍ය සෞඛ්‍ය කියලා..අනේ රෙද්ද තමා... දැන් ඔය කන අනිත් එව්වෑ තියෙන වස විසවල හැටියට අඹ කොටයක් කෑවට මැරෙනවයෑ...

කොටින්ම නෝනා මහත්තුරු හරි පිරිසිදුවට කඩෙන් අරං කන අඹ ඉඳවන්න ගහපු බේත් එක්ක බැළුවම මෙව්වා මොනවද..ඒත් ඒවා ගැන වගේ වගක් නැති උදවිය අඹ කොටයක් කන එක ගැනනං දහපාරක් හිතයි...ඒත් අත්දැකීමෙන් කියන්නේ..දන්න උන් සාක්කි දෙයි..අඹවල නියම රස තියෙන්නේ අඹ කොටවල මිස අනිත්වෑ නෙවෙයි...ඒ හින්දා ඒ රසෙත් විඳලා බැළුවට නරකක් නැහැ...හැබැයි කොයි දේත් පමණ දැන..මඳ පමණින්...සිහි නුවණින්...

අඹ කෑම ගැන කතා කොයි තරං තියේද..?කෑම විතරක්ද ඇයි බීම.. බීම කිව්වම මතක් වෙන්නේ ඔය බ්ලෙන්ඩර් කරලා බීමනේ..නැහැ නැහැ මේ ඒක නෙවෙයි...මං කියන්නේ අඹ ඉරිල්ල...ඔය අඹ ඉරිල්ලත් පංකාදු වැඩක් නෙව.. ඉල්ලලා අඹ ගන්නවා වගේම එහෙම ඉල්ල ගත්ත අඹ ඉරිල්ලත් එක්තරා කලාවක්...

අහ් අඹ ඉරිල්ල කිව්වම මුලින්ම මතක් උනේ..ජුමාව...

එක දවසක් අපේ ජුං අලයා උන්ගේ ගේ ඉස්සරහා අඹ ගහෙන් වැටුන ඉඳුන අඹයක් හොඳට පොඩි කරලා කරලා යටින් පොත්ත සිදුරු කරලා උරලා බීපී...කොටින්ම අපි මූට ඕක කපලා බෙදා හදාගෙන කමු කිව්වම අපිට ලොකු ටෝක් බර ගාණක් දීලා තමා තනියම ඔය ඉරිල්ල කලේ...ඒත් අන්තිමට...උනේ මොකක්ද..?

මේකා අර අඹ ‍ගෙඩිය උරලා උරලා හපේ කලාට පස්සේ අපේ එකෙක් නිකමට වගේ ඒකේ පොත්ත ඉරලා බැළුවා...සංසාරේ..සුදු පාට පණුවෝ පිරිලා...අපි ඒ දිහා බලලා ඈක්කා කියනකොට ජුමා තැඹිලි ගහ අල්ලං වමනේ දානවා... ඒ අස්සෙන් මෙහෙමත් ඇහෙනවා...

"කිරි රහකුත් දැනුනා තමා බංස්ලා..."

03 May 2012

දෛවයේ සරදම්... අහෝ යූ ඇන් පී...

මෙයට තිස් එක් වසරකට(1981) ඉහතදී ‍මැයි මාසයේදී කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලන නායකයකු පෙරටු කොට ගත් කණ්ඩායමක් උතුරුකරයට යන ලදි...උඩරට නියෝජනය කල ප්‍රභල නායකයකුගේ මග පෙන්වීම මත තමා විසින් රැගෙන ගිය මැර කණ්ඩායම යොදවා යාපනයේ පුස්තකාලයට ගිනි තබා මහා අකුසලකර්මයක්ද..ජාතීන් අතර වෛරය වැඩි දියුණු කොට මහා යුද්ධයකට පාර කපන්නටද ඔවුහූ හවුල් වූහ... ඒ එදාය...

අද ඔහු එදා තමා නියෝජනය කල පක්ෂයේ උසස්ම තැනක වැජඹෙයි.. ඔහු නැවත යාපනයේ ගියේය..ඒ මෙම වසරේ මැයි මාසයේය.. ඒ අදින් තිස් එක් වසරකට පළමුව තමා කල මහා වීර ක්‍රියාව සමරන්නට නොවේ... ජාතීන් අතර එකමුතුව වර්ධනය කරන්නටය...කොතරම් අපූරුද..?

කතාව එතැනින් නිම කල හැකි වූවානං යහපති..ඒත් අතුරු කතාද ඇත.

ජාතීන් අතර සහයෝගය වර්ධනය කරන තැනදී මතු වූ ත්‍රස්ථවාදී කොඩි ප්‍රදර්ශනය කල වුන් පිළිබඳව තීන්දු දීමටද අද සිදුව ඇත්තේ ඔහුටය... එදා කල පව් මැකීමටදෝ මෙදා ඔහු අත පත් වූ නීති විරෝධී ක්‍රියාවන් කල අයට අවවාද කොට මුදා හරින ලදැයි කියැවේ...

කාලය මැවු වෙනසක අරුමේ...

පසු සටහන...

එදා එසේ නොකලේ නම් ද්‍රවිඩයින්ට මෙරට හිමි යැයි දැක්වෙන සාක්ෂි සහිත පොත් පත් එහි වූ බැවින් එම ක්‍රියාව ඉතා සාධාරණ යැයි කියන්නෝද ඇත.

එහෙත් එසේ සාධාරණ අයිතියක් ඔවුනට තිබුණි නම් එය දීමට ක්‍රියා නොකොට අද වන විට ඔවුනට හිමි අයිතිය දීමට රජයට බල කරන්නේද ගිනි තැබු අයම වීම කුමන නම් අපූරුවක්ද...

අහෝ... වසර 31ක් තුල සිදූ වී ඇති වෙනසක මහිම...

(2012/05/31 වන දිනට යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 31කි)