ගොඩ වෙල පන්සලටත් පිටි වෙල පන්සලටත් මැදින් පිහිටි මැදවෙල පන්සලේ විහාරාධිපති හාමුදුරුවෝ උනේ අපි කාගෙත් හිතවත් හිඹුටුවැල්ගොඩ විමලධම්ම ලොකු හාමුදුරුවන් වහන්සේයි.. පළාතේ කිසිම කෙනෙක් එක්ක තරහක් අමනාපයක් නැති හාමුදුරුකෙනෙක් හිටියනං ඒ තමා මැදවෙල හාමුදුරුවෝ... ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ කොයි කවුරුත් උන්වහන්සේට ආදරෙයි.. උන්වහන්සේත් එහෙමමයි... යකෙක් එක්ක උනත් සමගියෙන් ඉන්න දන්නවා... ඒ ගැන දන්න කවුරු උනත් කිව්වේ
"මැදවෙල හාමුදුරුවෝ පුංචි හාමුදුරුවොත් එක්ක ඉන්න ටිකම මදෑ ආරවුලක් නැතිව"
කියලයි..
මේ පුංචි හාමුදුරුවෝ කිව්වේ මැදවෙල හාමුදුරුවන්ගේ පැවිදි සහෝදරයා.. දෙන්නම වයසින් සමානයි.. ලොකු හාමුදුරුවන්ට වඩා පුංචි හාමුදුරුවෝ ඕනනං අවුරුද්දක් බාල ඇති. හැබැයි පෙනුමින්නං එයිට වඩා ලොකු පරතරයක් තියෙනවා.. ඒ දවස්වල දෙන්නම හිටියේ හතලිහේ දසකයේ අග බාගයේ..ඒත් ලොකු හාමුදුරුවන්ට පෙනුම හැටකට කිට්ටුයි.. ඒකට හේතු තිබුනා... එකක් දියවැඩියාව... මේ කරුම ලෙඩේ උන්නාන්සෙට සෑහෙන කාලෙක ඉඳන් වද දුන්නා.. ඒ විතරක් නෙවෙයි දිවා රෑ නොබලා හැම තැනම පින්කංවලට යාම... උන්වහන්සේට සතියකට දවස් තුනක්වත් පන්සලට වෙලා නිවී හැනහිල්ලේ නිදා ගන්න උනේම නැති තරං... රට වටේ තියෙන තරං පිරිත්වලට උස්සගෙන යනවා... (උන්නාන්සේ යනවනං ඉතිං මාත් පංගාර්තුකොරගෙන යන හින්දා මටත් ඒ සෙතේම තමා... මං හිතන්නේ ඒ හරියේ හිටිය අයගෙන් මාසෙකට වැඩිම පිරිත් ගානක් අදින්න උනේ අපි දෙන්නට...)
ඉතිං කොයි වෙලෙත් නැහෙන නැහිල්ල හින්දාම බලං ඉද්දි දිරලා යනවා මිස හැදීමක්නං වෙයි කියලා හිතන්න අමාරුයි... හැබැයි පුංචි හාමුදුරුවෝ කන්ට්‍රි ඩොක්ටර්... උන්නාන්සේව පිරිතකට එක්ක යන්න කාට හරි පුළුවන් උනානං එදාට මහ පෑවිල්ලක් මැද උනත් අනෝරා වැහි තමා.. ඒ එක්ක ගියත් මහ පිරිතෙන් පස්සේ හමාර දේශනාවකටවත් ආයෙම මණ්ඩපේට වඩම්මන්න ඇහැක් උනොත් එදාට සුනාමි තමා... ආන්න එහෙමයි උන්නාන්සේ... හැබැයි ඉතිං ඒකටත් එක්ක උන්නාන්සේ දහම්පාසලට බැහැලා වැඩ... එයිට අමතරව පළාතේ තියෙන ඔය සංවර්ධන සභා රැස්වීම්වලට..උත්සව වලට එහෙම පන්සල නියෝජනය කරන්නේ උන් වහන්සේ තමා...
හරියටම කිව්වොත් ලොකු හාමුදුරුවෝ කොට අදිනකොට..පුංචි හාමුදුරුවෝ ලස්සනට පෙරහැරේ යනවා... පෙරහැරේ යන අලි කොහොමත් ලස්සනයිනේ.. ඉතිං මේතන තත්තෙත් එහෙමම තමා ඕං...නායක හාමුදුරුවෝ වැල් වෙනවා..පුංචි හාමුදුරුවෝ ලියලනවා...
මට තියෙන ගැටළුවක් තමා මේ පන්සල් කෙරුවාව ලියන්න ගියාම ඒවා හුගක් දීර්ඝ වෙන එක..දැන් මං හරිනං මෙතනදී ලොකු හාමුදුරුවෝ ගැන දීර්ඝ විස්තරයක් ලියන්න ඕන.. ඒ වගේමයි පුංචි හාමුදුරුවොත්.. හරියට ලිව්වොත් මැදවෙල පන්සලේ කාර් කටුව එලෙව්ව චුට්ටා මල්ලි ගැනත් ලියන්න ඕන..එහෙම නැතිනං නිකං මේක අසම්පූර්ණයි වගේ.. ඒත් අද මට ඒකට වෙලාව මදි.. ඒ හින්දා ඒ කතා පස්සේ දවසක පුළුවන් උනොත් කියඤ්ඤං..අදට අපි කතාවට යමු...
මං කිව්වනේ මැදවෙල හාමුදුරුවෝ දියවැඩියාවෙන් පෙලුනා කියලා.. එව්වට ඉතිං හේතුවත් උන්නාන්සේගේම කිරියාකාරකංම තමා... පැණි රස දෙයියා... සීනී තුන්සීයට හාරසීයට නැගලා තිබුනත් පැණි රසක් ලැබුනම අපිටත් හිනාවක් දාලා දායක මහත්තුරුන්ටත් හිනාවක් දාලා උන්නාන්සේගේ නෙවෙයි වගේ වළඳන්නේ.. හැබැයි ඉතිං සමහර වෙලාවට දායක උන්නැහේලා උන්නාන්සෙට මතක් කරනවා
"හාමුදුරුවනේ සීනී"
කියලා... ඒ වෙලාවට උන්නාන්සෙත් අරින්නේ නැහැ...
"කෝ.. කොහේද..?"
කියන ගමන්ම අතට අහු උන දේ කටට දාගන්නවා... ඒ පොඩි හිනාවක් එක්ක..
"ඇයි හාමුදුරුවනේ ඔය දැන් වැළඳුව කැවුං ගෙඩියේ තමා.."
"අහ්..එහෙම කියන්න එපෑ..සීනි කිව්වා මිස කැවුං කිව්වේ නැහැනේ උපාසක.."
"අනේ මේ නායක හාමුදුරුවන්ට කියන කට හොඳයි බිම උලා ගන්නවා"
කියමින් දායක උන්නැහෙත් හිනා වෙවී නිකං ඉන්නවා...ඒ නායක හාමුදුරුවන් ගැන දන්න හින්දා...කොච්චර වයස ගියත්..දැනමුතුකං තිබුනත් තාම පොඩි දරුවා වගේ තමා... ඒකට තවත් පෝර වැටුනේ උන්නාන්සේගේ තාත්තණ්ඩි අතින් තමා... මැදවෙල ලොකු හාමුදුරුවන්ගේ තාත්තණ්ඩි ඒ කාලේ වෙද්දී වයස අවුරුදු 90කට විතර කිට්ටු මනුස්සයා.. ඒත් තනියම පාරේ බස් එකේ නැගලා තමුන්ගේ ගෙදර ඉඳන් හැතැම්ම තිහ හතලිහක් ඈතින් තිබුන මැදවෙල පන්සලට බස් තුනකින් විතර මාරු වෙලා එන්න යන්න හැකියාව තිබුන කෙනෙක්... නිතරම බස්තමකුත් අරගෙන බෝතල් අඩි කණ්නාඩියත් දාගෙන සුදු සරම ඇඳලා පරණ කෝට් බෑයත් දාගෙන යන එන මේ මනුස්සයා දකින්න ආස හිතෙන තරමේ සිරියාවන්ත තැනැත්තෙක්...
මාසෙකට දවසක්වත් උන්නැහේට තමන්ගේ මහණ වෙලා හිටිය පොඩි පුතා නොබලා ඉන්න බැහැ.. ඉතිං බාරියාවට කියලා බත් මුලකුත් බන්දවගෙන... කොහොම හරි ඇවිත් දවස් දෙක තුනක් පන්සලේ ඉඳලා තමා යන්නේ... ඒ විතරක් නෙවෙයි පන්සලට එන්න ඔන්න මෙන්න කියලා තියෙන කඩ මණ්ඩියට ගොඩ වෙලා තමුන්ගේ පුතණ්ඩියට ටොපි චොකලට් ගේන්නත් මේ තාත්තා අමතක කලේ නැහැ. ඒ ගේනකොට ගේන්නේ පුතාට විතරක් නෙවෙයි පන්සලේ ඉන්න පුංචි හාමුදුරුවන්ටයි..චුට්ටෙටයි.. එක්කත් එහෙම තමා... තව ඉතිං සැකේකට වගේ හිතුනොත් තව කවුරු හරි ඉඳි වගේ කියලා තව වැඩිපුරත් අරං එනවා...
ආව ගමන් ලොකු හාමුදුරුවන්ට වැඳලා කරලා කබා සාක්කුවෙන් ඇදලා අරං චොකලට් එක ලොකු හාමුදුරුවන්ට දෙන්නේ පුදුම දරු සෙනෙහසකින්... ඒ විතරක්නං මදෑ දවසක් දෙකක් පන්සලේ නැවතිලා ඉඳලා ආපහු යන දවසට යන්නෙත් නායක හාමුදුරුවන්ට රුපියල් සීයක් දෙසීයක් අත මිට මොලෝලා...අඩුම ගානේ අම්මට දෙන්න කියලවත් දෙයක් උන්දෑ අතේනං යවන්න බැහැ.. ඒ තරමට සාංඝිකේ කන්න බයයි..පන්සලේ ඉන්න ටිකෙත් කන බත් ටිකට හිලවු වෙන්න කියලා බෝ මළුවයි බණ මඩුව වටෙයි වැවීගෙන එන තණකොල උගුල්ලන එක තමා වැඩේ... ඔව්වට ඉතිං කොහොම කිව්වත් වෙනසක් වෙන්නේ නැති හින්දා ලොකු හාමුදුරුවොත් කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ..තාත්තගේ කැමැත්තක් කියලා නිකං ඉන්නවා මිසක්...
ඉතිං මේ වැඩේ උනේ මේ අපූරු තාත්තයි පුතාටයි තමා...
මේ තාත්තගේ පුරුද්දක් තිබුනා නිතරම දිනුං අදින ලොතරැයි ගන්න... කොහේ ගියත් සුවිප් ටිකට් කාරයෙක් දැක්කොත් අඩ ගහලා ලොතරුයියක් දෙකක් ගන්න එක ගන්නවම තමා... ඉතිං දවසක් උන්නැහේ පන්සල පැත්තේ එන ගමනුත් මෙහෙම ලොතරැයියක් අරගෙන ඇවිත් තිබුනා... ඒ ඇවිත් කබාය එහෙම නායක හාමුදුරුවන්ගේ කාමරේ එල්ලලා උන්දෑ වෙනදා වගේම පාඩුවේ හිටියා
මේ කතාව උනේ පහුවදා...
පහුවදා හවස් ජාමේ මෙන්න තාත්තණ්ඩි පන්සල කිට්ටුව කඩමණ්ඩියට ගෙහුන් පත්තරේකුත් අරං ආපහු ආවා.. ඒ ඇවිත් මොකද කලේ නායක හාමුදුරුවන්ට කබා සාක්කුවෙන් ඇදලා දුන්නා ලොතරැය්යක්... ඒත් එක්කම තව තුණ්ඩු කෑල්ලකුත් දුන්නා... දීලා
"ඔන්න ඕක ටිකක් බලන්න මට කණ්ණාඩි දෙක නැතිව කියවන්න බැහැ"
කියලා උන්දෑ ගියා පන්සල ඇතුලට...
හරි දැන් ඔන්න නායක හාමුදුරුවෝ අර ලොතරැයිය ගත්තා අතට... අර තුණ්ඩු කෑල්ලේ අංක ටිකක් ලියලා තියෙනවා ලස්සනට... වෙනදටත් එහොමයි.. තාත්තා කාට හරි කියලා දිනුං අංක ලියවගෙන එනවා... ඉතිං ඔන්න දැන් නායක හාමුදුරුවෝ ගලපනවා...
"හ්ම්ම්...පලවෙනි අංකේනං තියෙනවා... ඒ කියන්නේ සුවිප් එකේ ගාන බේරුං... ආ ආ..දෙවෙනි අංකෙත් තියෙනවනේ බොලේ... නරකම නැහැ සීයක් විතර ගතෑකි... තව බලමු..දෙයියනේ මෙන්න තුන්වැනි අංකෙත් ටක්කෙටම ගැලපිලා...නායක හාමුදුරුවෝ වාඩි වෙලා හිටි හාන්සි පුටුවේ කෙලින් වෙලා වාඩි උනා... බැළුවා අන්තිම අංකේ... සීවරං දෙයියනේ අංක හතරම හරි... බලනවනං තව තියෙන්නේ ඉංගිරිසි අකුර විතරයි... ඒකත් බලපි..කෙලලා තියෙන්නේ තාප්පෙටම..අකුරත් එක්කම ඇවිත්... ඒ කියන්නේ සුපිරි ජය මල්ල...කෝටි ගානක්..."
නායක හාමුදුරුවෝ ආයේ වතාවක් ඇස් දෙක කාරිය පිහ දමලා මුල ඉඳන් අගටම බැළුවා... නැහැ නැහැ කිසිම වරදක් නැහැ..ඇදිලම තමා... අනේ පිංවත් තාත්තා... අවුරුදු ගානක් ඉඳන් ලොතරැයි කාරයින්ට පිදුව මුදල පොලිත් එක්කම ඇවිල්ලා.. උන්දැගේ මේ ලොතරැයි පිස්සුවට කොයි තරංනං අනිත් අය එක එක දේවල් කිව්වද..? ඒත් අන්තිමට හරි තාත්ත හොයාගෙන ජය මල්ල පන්සලටම ඇවිල්ලා.. ඒ විතරක්යෑ.. ඒ තාත්තට ආයේ ඔය සල්ලි දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නැහැ ලොකු හාමුදුරුවෝ ඇර... දෙකක් නැහැ ඕනනං දඹදිව වන්දනාවකට කියලා කීයක් හරි ගත්තොත් ඇර අනිත් හැම සතේම ලොකු හාමුදුරුවන්ට තමා...
"ආයේ ඉතිං දායකයින්ට කරදර කරන්න දෙයක් නැහැ පන්සල් හැදිල්ලට.. අත්තිවාරං දාලා කාලයක් තිස්සේ බලං ඉන්න දාන ශාලාව මාසෙන් හැදියැකි.. පුංචි නමටත් දහං පාසල වැඩි දියුණු කරගන්න කීයක් හරි දෙතෑකි. චුට්ටෙ කොල්ලට පුංචියට හරි ගෙයක් දොරක් හදෝලා දෙන්න ඕන..ඌට අකුරු සාත්තරේ උගන්නපු එකේ ගුනේ තියන්න ඒකා හැමදාමත් පන්සලේම වැටිලා වැඩ කර කර ඉන්නවා.. අප්පේ කරන්න ජාතිද නැත්තේ...?"
නායක හාමුදුරුවෝ ටිකට් එකයි තුණ්ඩුවයි අරගෙන දැන් කල්පනා කරනවා.. මේක කොහොමද තාත්තට කියන්නේ කියලා... උන්දෑ දැන් හුගක් වයසයි... සංතෝසේ දරාගන්න ඇහැක් වෙයිද මංදා... ඒත් නොකියා කොහොමද..? හැරෙන තෑපෑලට මේක ලොකු හාමුදුරුවන්ට තියා ගන්න කියලා කිව්වා උනත් මේක උන්දැගේ දිනුමනේ... ලොකු හාමුදුරුවෝ කල්පනා කලා..විනාඩි දෙක තුනක් නෙවෙයි..පැය ගානක්.. අන්තිමේදී දවසක්ම ගිහිල්ලත් මේක එක පාර කියන්න බයේ ලත උනා... රෑ වෙලා තාත්තට නින්ද ගියාට පස්සේ මේ කතාව ලියන මටත් කෝල් එකක් දීලා කතාව කිව්වා.. කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා... මං ඉතිං කිව්වේ ඕක පුංචි හාමුදුරුවන්ට කියලා විහිළුවෙන් විහිළුවෙන් කියෝමු කියලා..අන්තිමට ඒක ඒහෙමම තීන්දු උනා...
ඔන්න පහුවදාට එළිය වැටුනා..උදේ දානෙන් පස්සේ පැයක් දෙකක් ගෙවිලා ගියාට පස්සේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් උඩ පුංචි හාමුදුරුවෝ කිට්ටු කලා තාත්තා ගාවට... ලොකු හාමුදුරුවොත් අහල පහලට වෙලා කන්දීගෙන ඉන්නවා.. චුට්ටේ කොල්ලත් කාර් එක ඉට්ටාට් කරන්න බලං ඉන්නවා හදිසියක්වත් උනොත් කියලා... එතකොට මම... ආ නැහැ මං ඔතනට ගියේ නැහැ..මං එතකොට මගේ පන්සලේ වැඩක්... ඒත් මට ටික වෙලාවකින් කෝල් එකක් එනවා ආයෙමත්... කාගෙන්ද ලොකු හාමුදුරුවන්ගෙන් මිසක්...
"හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්..."
ලොකු හාමුදුරුවෝ එක දිගට හිනා වෙනවා..කිසිම දෙයක් කියන්නේ නැහැ.. මං කල්පනා කරනවා..
"යකඩෝ මේ මනුස්සයට පිස්සුවත් හැදුනද මේ ලොතරැයිය ඇදිලා.."
ඒත් ඉතිං එහෙමම ඇහියැකියෑ..මාත් හිමීට අහං ඉදලා අර අට්ටැට්ටරේ ඉට්ටාට් කලා වගේ ගිය හිනාව ටිකක් අඩු වෙනකල් ඉඳන් ඇහුවා..
"මොකද ලොකු හාමුදුරුවෝ උනේ..තාත්තට අවුලක් නැහැ නේද.."
"තාත්තට..හොහ් හොහ්...තාත්තට නෙවෙයි ඕයි..තව ඩිංගෙන් මටයි අවුලක් වෙන්නේ... හැබැයි පුතෝ කොච්චර දියවැඩියාව තිබුනත් මට පපුවේ අමාරුනං නැහැ...ඒක දැන ගත්තේ අදයි...හොහ් හොහ්..හෙහ් හෙහ්.."
"ඇයි ඇයි මොකද උනේ... එහෙං පිටිංම දිනුම ලොකු හාමුදුරුවන්ට ගන්න කිව්වද.."
"නැහැ උන්නාන්සේ... තාත්තා වෙනදා වගේ පත්තරේ තියෙන අංක ලියලා ගෙනත් නෙවෙයි... ලොතරැයිය අරං ගිහින් එළියට අදින්න හොඳ නැහැ කියලා හිතලා පන්සලේ ඉඳන් කඩේට යද්දි කොලේක ලොතරැයියේ අංක ටික ලියං ගිහිං... පත්තරේ අරං ආවට උන්දෑ ඒක බලලා නැහැ..මට ලොතරැයිය දීලා තියෙන්නේ පත්තරෙන් බලන්න.. අංක ලියං ගිය කොල කෑල්ලත් ඒක එක්කම දීලා.. මං හොයන්නේ බලන්නේ නැතිව තාත්තම කොලේ ලියපු ලොතරැයි අංක වලට ලොතරැයියෙම අංක ගලපලා... මදැයි කොලා.. පපුවේ අමාරුවක් තිබුනනං මං දෙපාරක් මැරිලා.. ඇයි හිටි හැටියේ ලොතරැයියක් ඇදුන.. මං ඒත් ඉවසුවා.. හරියටම දවසකට පස්සේ කෝටි ගානක දිනුම නැති වෙලාම ගියා... අරකෙන් බේරුනත් මේකෙන් බේරුනා මදිද..? හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්... මදැයි ඕයි.. මං තමුසෙලා කට්ටියවත් එක්කගන දඹදිවත් යන්න හිටියේ.. ඔය කොලේ..හොහ් හොහ්..."
"ෂිහ් අපරාදේ දඹදිව ගමන ගහලා ගියා.."
එහෙම කිව්වා නෙවෙයි මට කියැඋනා...
"හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්..."