29 June 2012

මෙන්න මෙහෙමයි ඒක උනේ...

අනුරාධ පුරයේ ඉඳන් නිට්ටඹුවට එන්න ලේසි පාරවල් දෙකක් තියෙනවා.. එකක් තමා දඹුල්ල කුරුණෑගල හරහා...

අනික තලාව පාර..ඒ කියන්නේ තඹුත්තේගම හරහා පාදෙණිය හන්දියටත් එතනින් වාරියපොලටත් ඇවිත් කුරුණෑගලට එන්න තියෙන පාර...

මම ඔය පාරවල් දෙකින් වැඩිය කැමති තලාව පාරට..මොකද පාර කෙටියි.. හොඳයි... ට්‍රැෆික් නැහැ... දඹුල්ල හරහා එනකනං ඕනෙම නැහැ..දුරයි..පාරත් තැනින් තැන සවුත්තුයි... ට්‍රැෆික් වැඩියි...

තලාව පාරෙන් ආවමත් මං පුරුදු වෙලා තියෙන්නේ කුරුණෑගලට යන්නේ නැතිව වාරිය පොලින් කලු ගමුව හරහා නාරම්මල ගිරි උල්ල හරහා ආපහු එන්න...
ඒ කියන්නේ ඔන්න ඔය පාරේ...ඒත් ඔය පාරට අමතරව තව පාරක් තියෙනවා ඒ තමා කලුගමුව පැත්තෙන් නොයා හලාවත පාරේ ගිහින් රඹෑව හන්දියෙන් වමට හැරිලා කටුපොත/කඩහපොල හරහා නාරම්මලට එන පාර..
ඒ කිව්වේ ඔන්න ඔය පාර... ඕක ගූගල් මැප්වලින් දැකලාතිබුනට මං ඕකේ ඇවිත් නැහැ කවදාවත් ඉතිං මන්නාරං ගිහින් ආපහු එන අතරවාරයේ මට හිතුනා කෝකටත් හොඳයි පාර බලාගන්නත් එක්ක ඒ පාරෙන් එන එක කියලා... ඉතිං වැඩිය හිතන්නේ නැතිව මං හැරෙවුවා හලාවත පාරට...

අර අභීත කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලදී කියපු දේම මටත් උනා... ඒ කියන්නේ රඹෑව හන්දිය මග ඇරුනා..මං කෙලින්ම ගියා... ටික දුරක් යද්දී මට තේරුනා දැන්නං උවමනාවටත් වඩා ඉස්සරහට ඇවිත් තමා කියන එක... ඒත් තව ඩිංගක් යමු කියලා හිතලා ගියා.. එහෙම ගිහින් මං නැවතුනේ කොහේද..?
දෙයියනේ පඬුවස් නුවර...

පොතේ පතේ දැකලා තිබුනට මං කවදාවත් පඬුවස් නුවර තියෙන්නේ කොතනද කියලා දැනං හිටියෙත් නැහැ... හොයන්න වෙලාවක් අහු උනෙත් නැහැ.. එක පාරට පාරේ දකුණු පැත්තේ තිබුන පැරණී නටඹුන් ස්ථානයක්
දැක්ක හින්දා කෝකටත් ගෙහුන් එතන බලද්දී තමා වැඩේ අහු උනේ.. ඒකට පින් සිද්ද වෙන්න ඕන ඒ වෙලාවේ එතැන සුද්ධ පවිත්‍ර කරමින් හිටිය මනුස්සයට.. උන්දැගෙන් ඇහුවම මේ කොහේද කියලා ඔන්න කියපි මේ තමා පඬුවස්නුවර.. මෙතැන විතරක් නෙවෙයි අර පේන සෙන්ට්‍රල් එක ලඟින් හැරිලා ගියාම තව නටඹුන් හුඟාක් බැලියැකි කියලා...

මයි කාර්.. ඔහ් නැහැ.. මයි බයික් මයි පැට්‍රෝල් කිව්වළු.. පාර වැරදුනත් මොකද කවුරු දකින්නද කවුරු බලන්නද.. ඒ පාර තීරණේ ගෙදර යන එක කල් දාලා පඬුවස් නුවර නටඹුන් බැලීම...
කියලා වැඩක් නැහැ..පලවෙනි පරාක්‍රම බාහු රජු විසින් තනාපු සුවිශාල රජ මාළිඟය..
අර පොලොන්නරුවේ තිබුන වෛජන්ති ප්‍රසාදයේ නිවුන් සහෝදරයා වගේ ඇති... ඒ අස්සේම අපේ සෙල් ලිපි යාළුවා... නැහැ නැහැ වර්ග පූර්ණිකාවේ ජයරත්න නෙවෙයි... නිශ්ශංක මල්ල රජ්ජුරුවෝ..ආන්න උන්දැ විසින් මෙතනට ඇවිත් මෙතනත් තියලා ගිය උන්දැගේ හඳුනාගැනීමේ සලකුණ..සෙල් ලිපිය..
රජ මාළිඟාවත් අවට රාජකීය උයනත් වට කොට බැඳි ප්‍රාකාරය..එයිට පිටින් වූ දිය අගල... තනිකරම සීගිරීයේ දිය අගලත් පිටත ප්‍රාකාරයත් සිහියට නඟනවා..සීගිරියටත් වඩා හොදින් දිය අගල හා ප්‍රාකාරය වටා සම්පූර්ණයෙන්ම වටයක් යන්න ඇහැකි... එයින් පිටත තවත් පුරාවිද්‍යා භූමියක ඉපැරණි වෙහෙර විහාර නටඹුන්...
ඒ ටික සෑහෙන වෙලාවක් බලලා අන්තිමට ගියා හොයාගෙන වටිනම දේ බලන්න..උන්මාද චිත්‍රාවන්ගේ එක්ටැම් ගේ බලන්න...

කලින් ස්ථාන වගේ නෙවෙයි එතැනට යන්න තියෙන්නේ පන්සල් භූමියක් හරහා..හැබැයි කිසිම කරදරයක් නැතිව ගියෑකි... ගිහින් බැළුවම මෙන්න තියෙනවා පොට් එක...කියලා වැඩක් නැහැ හෙන විසාල තැනක්...
හැබැයි මෙහෙම බෝඩ් එහෙකුත් එක්ක...
ඉතිං අන්තිමේදී ‍පාර වැරදුනත් දෙයියනේ කියලා ඔරුවේ පෙරළුන පිට ෂෝක් කියලා හිතං මං පැය ගානක් පඬුවස් නුවර නටඹුන් එහෙමත් හිතේ හැටියට බලලා කොරලා හවස් වෙන්න වගේ ගෙදරට පත බෑ උනා... කොළඹ අව‍ට ඉන්න උදවියට දවසින් ගෙහුන් එන්ට ඇහැකි බොහෝම අපූරු තැනක් තමා ඒ... පාර වැරදුනාම මොකද ඔහොමනං නේද..? මන්නාරනුත් ගිහින් පඬුවස් නුවරත් බලං ආවා කියන්නේ ආන්න එහෙම ගමන්වලට තමා...

ඉතිං ඔන්න ඔය විදියට අති සාර්ථකව මගේ මන්නාරං ගමනත් නිමා උනා.. ගියේ මේ පාරේ..
ආවේ මේ පාරේ...
හොඳම වැඩේ ඒක නෙවෙයි.. ඔච්චර දුර ගෙහුන් දෙයියනේ කියලා ඇවිත් මං පහුවදා උදේ වැඩට ගියා.. එයිටත් පස්සේ දවසේ මං ගෙදර එන්න බලද්දී මෙන්න බොලේ බයික් එකේ පිටිපස්සේ රෝදේ හුළං නැහැ...බැලින්නං කම්බියක් ඇනිලා පැච් එකක්... දෙයියනේ කියලා ලගම තිබුන ටයර් කඩෙන් ඒක හදා ගෙන ගෙදර ආවා... කොහොමද විල්පත්තුව මැදදී ඕක උනානං තියෙන ෂනීපේ කියලා හිත හිත...

28 June 2012

ගමන දිග්ගැස්සුනේ කොහොමද..?

ටිකක් පරක්කු උනත් ඉතිරි හරියත් කියලම ඉවර කරන්ට එපෑ...

යද්දි ගැස්සි ගැස්සි ගිය හින්දයි..ගිය පාරෙම ආපහු එනවට වඩා වෙනසක් ගන්ටත් එක්කලා ඔන්න ආපහු එන්ට පිටත් උනේ විල් පත්තුව අතෑරලා මන්නාරම මැද වච්චිය පාරෙන් තමා.. අර කලින් ලිපියෙදී අපේ ඩිලාන් ඒ පාර ගැන කියලත් තිබ්බා නෙව..මං ඉතිං එතනදී සද්ද නැතිව හිටියේ මේ ලිපියෙන්ම ඒ වග කියන්ට බැරියෑ කියලා හිතං..

කොහොම හරි මං හිතං හිටියේ දවස් දෙකක් මන්නාරමේ නැවතිලා ඉන්ට උනත් දෙවැනි දවසෙත් මන්නාරමේ රෑ ගත කරන එකේ තේරුමක් නැහැ කියලා හිතුවේ දෙවැනි දවසේ දහවල් වෙද්දී බලන්ට තියෙන සෑහෙන හරියක් බලලා අහවර කරපු හින්දයි.. ඒ පාර නවාතැන් පොලෙන් දවාලට කෑම බීමත් අරං ගනන් හිලවු එහෙමත් පියවලා හවස් අතේ අනුරාධ පූරේ පැත්තට එන්ට කියලා පිටත් උනා...

ඒ එන අතර මගදී මන්නාරමේ ඉඳන් කිලෝ මීටර් 18ක් විතර එනකොට මාර්ගයේ වම් පැත්තෙන් පිහිටිය යෝධ වැව බලන්ටත් ගියා..
හැබැයි මේ වෙනකොට යෝධ වැව බොහෝම දුප්පත් වෙලා තිබුනේ...වතුර මට්ටම බොහෝම දුක්ඛිත තත්වයක තමා තිබුනේ..ඒ පැත්තට තදින් පෑවිල්ල නෙව... ඒත් හිතා ගන්නට බැරි තරං යෝධ වැව විශාලයි... අර කවුද කලින් කියලත් තිබුනා වගේ මේ යෝධ වැවේ වැව් කන්ද සෑහෙන්න දිගයි.. මෙයිට කලින් මම කවුඩුල්ල වැව බලන්න ගිහින් තිබුන හින්දා මිස නැත්තං මේක තමා දැකපු දිගම වැව් කන්ද කියලා උනත් කියන්න හැකියාව තිබුනා.. ඒත් මං හිතන්නේ කවුඩුල්ලත් මෙයිට දෙවැනි නැහැ... අනික තමා කවුඩුල්ල ඇත්තටම මෙයිට වඩා ලස්සන වගේම බොහෝම පෝසත් වැවවක්.. ඒත් මේකත් වතුර පිරිලා තිබුනනං අර වගේම තැනක් වෙන්ට තිබුනා...

එයින් පස්සේ හම්බ උනේ මඩු පාර... ඒත් මං මඩු පල්ලිය බලන්ට ගියේ නැහැ.. මොකද ඒ වෙනකොට ටිකක් හවස් වෙලා තිබුන හින්දත්... කෝවිල් පල්ලි බලන්ට යන්න වගේම පැරණී දේවල් බලන්ට නැතිනං අළුත් පන්නේ පන්සල් බලන්ටවත් මං ගමන් වලදී කාලය වෙන් කරනවා අඩුයි... ඒ හින්දා කෙලින්ම ආවා මැදවච්චි දිහාවට.. ඒ එනකොට මග දිගටම දැකපු විශේෂම දේ තමා අළුතින් හදාගෙන යන රේල් පාර.. මං හිතන්නේ තව වැඩි කලක් නොයා කතෝලික බැතිමතුන්ට මඩු වන්දනාවේ රේල්ලුවෙන් යන්ට හැකියාව ලැබෙයි වගේ.. ඒතරම් වේගයෙන් වැඩ කටයුතු කෙරෙන විත්තිය පේන්ට තිබුනා... පාරේ වම් පැත්තෙන් සංවර්ධනයේ ලක්ෂණය බොහෝම හොඳින් පේන අතරේ දකුණු පැත්තේ එක තැනකදී තරමක් නරක ලක්ෂණයකුත් පේන්ට තිබුනා.. ඒ තමා තවමත් පිරිස රඳවා සිටින බව පේන්නට තිබුණ සරණාගත කඳවුර...මට මතක විඳියට "මැණික් ෆාම්"... ඒ කඳවුර තාම තියෙනවා... ආ ගිය ගමන් වලදී දැකපු එකම තැන... ඒකත් ඉක්මනටම අහක් වෙලා ඒ මිනිස්සු ටිකත් පදිංචි කරවලා ඉවර උනානං ලොකු දෙයක්.. ඒ ඇරුනාම නං දැනට ඒ පැත්තේ තත්වය සෑහෙන දුරට හොඳයි යුද්ධයක් තිස් අවුරුදු යුද්ධයකට පස්සේ...

කොහොම හරි ඔන්න ඔහොම ඇවිත් මැද වච්චියට නොයා එයිට අතර මගින් දකුණු පැත්තට තිබුන තන්තිරිමලේ පාර දිගේ මං ආවා..හප්පට හුඩු ඒකත් දැන් කාපට් කරලා... හැබැයි වැඩේ හොඳට නොකෙරුන තැනුත් තියෙන ගති තැනින් තැන පේන්ට තිබුනා... මං හිතන්නේ ඔයා මඩුව දැයට කිරුළ වෙනුවෙන් හදපු දඩි බිඩි පාරක්... ඩඩ්ලි උන්නැහේට කුඹුරු කියලා මාන යායවල් පෙන්නපු.. ප්‍රේමදාස ගොයියට පාරවල් අළුතින් තාර දැම්මා කියලා පේන්න උණු තාර වලින් පාරවල් පාට කරපු උන් ඉන්න රටේ ඕක ඔහොමම තමා... කොහොම උනත් තන්තිරිමලේ පන්සල හරියට එනකොටනං පාර හොඳටම හොඳයි..ඒ පාර දිගේ ඇවිත් මං කෙලින්ම අනුරාධ පුරේට ඇවිත් රෑ නැවතුනා දුම්රිය නැවතුම් පලේ විවේක කාමරයක.. ඒ පහුවදා උදේ ආපහු එන බලාපොරොත්තුවෙන්... හොඳම වැඩේ උනේ පහුවදා තමා ඉතිං...

ඇත්තම කිව්වොත් මට එදා පාර වැරදුනා...

සාමාන්‍යයෙන් මං ගමන් යද්දී ගූගල් දෙයියගේ සිතියං පොජ්ජ හොඳට මංදෝ කරලයි යන්නේ.. එතකොට ඉතිං ආයේ අම්මේ මුත්තේ කිව්වත් මට පාරක් වරදිනවා බොරු..ඒත් මේ පාර මං ගියේ මේ පැත්තෙන් එන්න හිතං නෙවෙයිනේ...

කොහොම හරි උසේ හයාමාරට විතර අනුරාජපුරෙන් පිටත් උන මංතුමා අතර මගදී නැවතිලා පැය බාගයක් විතර කලා ඔය ගාව නැවතිලා කුරුල්ලන්ව පොටෝ ගගහා හිටියා..


ඒ කරලා තව තැනක නැවතිලා බඩ ඉරිඟු කාලාත් ආවා... ආ එයිට කලින් අනුරාධ පුරෙන්ම කිරි කෝපි පාරකුත් දාලයි ආවේ..ඔය ඔක්කෝම කරලත් උදේ අට හමාර වෙද්දි මං වාරිය පොලට ආවා... ඒ කියන්නේ හරියට බැළුවොත් තව පැය එක හමාරක් ඇතුලත (උදේ 10 වෙද්දී) කොල්ලා ගෙදරට එන්න ඕන..ඒත් එදා මං ගෙදර එද්දී හවස දෙකයි කාලයි... ඒ අතරතුර කාලය තුලදී කොල්ලට මොකද උනේ..? අන්න ගැටළුව...

24 June 2012

පරණ කතාවක් සහ අළුත් කතාවක්...

ඔන්න මං කතන්දර දෙකක් කියන්න හදන්නේ..මේ දෙකම එකකට එකක් සම්බන්ධයි..මෙයින් පැරණි කතාවනං හුග දෙනෙක් අහලත් ඇති.. ඒත් අළුත් එකනං හුග දෙනෙක් දන්නේ නැහැ... ඒත් ඔය පැරණි දේවල් අපිට කොයිතරනං වැදගත් වෙනවද කියලා තේරුං ගන්න මේක හොඳ අවස්ථාවක්...


පැරණි කතාව...



ඔන්න එකමත් එක ගමක හිටියා ටිකක් විතර මැදි වයස පැනගෙන යන උපාසක උන්නැහේ කෙනෙක්.. උන්දෑ ඉතිං ගමේ කොයි දේටත් කර ගහලා වැඩ කරන කෙනා වෙච්චි... ගමන් බිමන් බහුලයි...


දන්නවනේ ඉතිං ඔය පැරණි උදවිය ගාව තියෙනවනේ එක එක පුරුදු.. ගති ලක්ෂණ.. ආන්න ඒ වගේ මේ උන්නැහේ ගාවත් එකක් පුරුද්දක් තිබුනා යන යන තැන කුඩයක් ඇන්න යන්ට...( දැන් උනත් එහෙම නැතිවා නෙවෙයි... එහෙම කෙනෙක් ගැන හිතා ගන්ට බැරිනං මයේ කලින් ලිපිය බලන්ටකෝ)

තමුන්නැහේලා දන්නවා නෙව අර පරණ කපු මහත්තුරු එහෙම අරං යන දිග කලු කුඩ..ආන්න එයින් එකක්...මේක නැතිව අපේ මේ උපාසක උන්නැහේ ගෙයින් එළියට බහින්නේ නැහැ කොටින්ම කියනවනං...

ඒත් එක වංගියක් මේ උපාසකට ලොකු අකරතැබ්බක් උනා... ඒ කියන්නේ කුඩේ නැති උනා... මෑන් කොහේ හරි මේක දාලා ඇවිත්..ඒත් කරුමේට ඒ කොහේද කියලා සිහි කල්පනාවට එන්නේම නැහැ... දැන් ඉතිං උන්දෑ නයා මැරිච්ච පණික්කියා වගේ දුක සේ තමා ගමන බිමන... මොන දේ කලත් කල්පනාව තමුන්ගේ නැති උන කුඩේ ගැන...එයිට එහා කරදරේ උනේ යන යන තැන දකින දකින එකා අහන්නෙත් කුඩේ ගැනමයි..ඇයි ඉතිං කුඩේ නැතිව උපාසක ගමන් යන එන එක ගමට අරුමයක් නෙව...

කොහොමින් කොහොමින් හරි එක දවසක් හරි අපූරු වැඩක් උනා...

ගමේ පන්සලේ පින්කමක්... රෑ වෙන්ට ඔන්න මෙන්න තියලා බණකුත් කියන්ටයි සූදානම..උපාසකත් ඉතිං කුඩේ නැතිවම හරි මේකට ගියා... කොහොමින් කොහොමින් හරි ඔන්න දැන් බනට වෙලාව හරි... පන්සලේ ලොකු හාමුදුරුවෝ ධර්මාසනයේ වැඩ ඉන්නවා... උපාසක ඇත්තන් බණ මඩුවෙයි..පන්සල් වත්තෙයි තැනින් තැන තැන්පත් වෙලා බණ අහන්ට සූදානම..අපේ මේ උපාසකත් වෙනදා පුරුද්දටම හාමුදුරුවෝ අහලින්ම වාඩි වෙලා දොහොත් මුදුන් තියාගෙන උන්නා...

ඔන්න දැන් හාමුදුරුවෝ කට්ටියට නමස්කාරය එහෙම තුන්වතාවක් කියලා පන්සිල් දෙන්ට තියා ගත්තා...

පාණාතිපාතා...වේරමණී...සික්ඛා..පදං සමාදියාමි..........
අදින්නා දානා....වේරමණී...සික්ඛා..පදං සමාදියාමි..........
කාමේසු....මිච්ඡා චාරා...........


සාධු සාධු...සාධු.... හිටි හැටියේ සාධුකාරයක් නැගුනා...

සාමාන්‍යයෙන් පිරිස සාධුකාර දෙන්නේ පන්සිල් දීලා ඉවර උනාම උනත් දැන් මෙන්න තුන්වැනි සිල්පදේ මගක් යනකොටම සාධුකාරයක් එනවා..බණ අහන උදවිය වගේම බණ කියන ලොකු හාමුදුරුවොත් ටිකක් කලබල වෙලා බැළුවා කොහෙන්ද මේ සාධුකාරය නැගෙන්නේ කියලා... මෙන්න ඉන්නවා හාමුදුරුවෝ ඉස්සරහා දණ ඔබාගෙන වැඳගෙන අපේ උපාසක..උන්දෑ තමා මේ සාධුකාරේ දීලා තියෙන්නේ... සාධුකාරය දීලා මිනිහා නිකං හිටියේ නැහැ...


"පින්සිද්ධ වේවා ලොකු හාමුදුරුවනේ මං මේ එලෝ මෙලෝ නැතිව හිටියේ මගේ කුඩේ කොහේද දාලා ආවේ කියලා..ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්ට ඒක මතක් උනා"

කියලා උපාසක වැඳලා කරලා නැගිටලා තකහනි ගමනෙන් පිටත් උනා...

එයින් පස්සේ පහුවදා ඉඳන් ඔන්න ආයෙමත් උපාසක සහ කුඩේ එකට ගමනේ යනවා...


පැහැදිලියි නේද කතාව... පැහැදිලි නැත්තං චෝක් එකට කොසු ‍මිටෙන් ඇනලා බලන්ට..එහෙමත් නැත්තං ඉස්ටාටරේ එහෙට මෙහෙට කරකෝලා බලන්ට...

.........................................

හරි මෙන්න දෙවැනි කතාව...

අපි කවුරුත් හඳුනන්නේ නැති..බ්ලොග් ලියන්නේ නැති... සිංහල බ්ලොග් අවකාසයේ පරණම කකුලක් නොවන..දැවැන්ත බ්ලොග් කරුවකු නොවන කෙනෙක් ගැන තමා මේක...

ඔන්න අර උපාසකට වගේ මේ උන්නැහේටත් පොඩි අකරතැබ්බක් වෙලා... උන්දැගේ ජීවිතකාලය පුරාවටම එකතු කරගත්ත සහතික ටික... (වැඩි හරියක් හොර කච්චේරිවලින් කොපිය රුපියල් දෙසීය ගානේ ගත්තුවා උනත් මොකද තමුන්ගේ දේ තමන්ට වටිනවා නෙව) ඉතිං මෑන්ගේ මේ සහතික තිබුන ෆයිල් එක අස්ථානගත වෙලා... මෑන් මේ ඊයේ පෙරේදා ලංකාවේ හිටලා ආපහු කලින් සේවය කොර කොර හිටිය ඔටු දේසෙටම ආයෙම ගියා විතරයි... ඉතිං කොහොම හරි කලබල වෙච්ච හාදයා ඉක්මනටම කතා කරලා තමුන්ගේ ඇඹේණියට මේක කිව්ව ගමන් කවදත් පුතණ්ඩියගේ හැටි සොබාව දන්න ගෙදර ඇත්ති කියලා තියෙන්නේ ඔය ගිය තැනක දාලා ඇවිත් ඇති කියලා තමා... ගෙදර උන්දැනේ ඉතිං කොහොමත් ඔය ගතිගුණ ගැන වැඩිය දන්නේ.. හා නැද්ද මං අහන්නේ..?

ඉතිං අපේ යාළුවත් කල්පනා කරලා කරලා බැරිම තැන මෑන්ගේ දුක කිව්වා මෙන්න මෙහෙම...

"මගේ සර්ටිෆිකේට්ස් ඔක්කෝම තිබුනු ෆයිල් එක නැති වී ඇත.පවුල කියන්නේ මම ගිය තැනක අමතක කර එන්න ඇති කියාය.අයියෝ මට ඒක හොයා ගන්න උදව් කරන්නෝ. . . !!!"

දුක හිතෙනවනේ පින්වතුනි..නේද..?

ඉතිං මේක දැක්ක ගමන් මගේ හිතත් උනු උනා...අපි ඉතිං අනුන්ගේ දුක් ගන්නේ නැති එක හැබෑව..එහෙත් එහෙම එකෙක්ට මෙහෙවු වෙලාවක උදව් නොකරනවනං ඒක අපි මේ පැවත එන හෙළ රාවණ යක් පරපුරටත් එක්කම කරන මහා නවනිංගිරාවක්..හා හොඳයි නැද්ද...?

ඉතිං මාත් පටන් ගත්තා මේ සහතික මෙහෙයුම..ආන්න ඒ වෙලාවේ තමා පින්වතුනි මට අර පරණ කතාව සිහියට ආවේ... මොනවා උනත් ඔය වගේ කතා අපේ පැරණ්ණෝ කට කහනවට කිව්වා වෙන්ට බැහැනේ..ඉතිං මාත් ඒ අනුවම ගමන් කලා...

ඔන්න මං දැන් ඒ ආකාරයට මේක හොයමු කියලා..පන්සිල් පද මතක් කරනවා... මෑනුත් දැක්කා නොදැක්කා වගේ උනත් ඒ ගැන අවධානයෙන් ඉන්නවා...මාත් කිව්වා...

පාණාතිපාතා.....

ම්හූ..නෝ ආන්සර්...

අදින්නාදානා..........

ඒත් සද්දයක් නැහැ...

එහෙමනං ඉතිං උපසකගේම කෙරුවාව තමා කියලා හිතලා මං කිව්වා තුන්වැනි පදෙත්...

කාමේසුමිච්ඡා චාරා....

මල කෙලියයි මෙන්න මේකා කියනවා
"නැහැ බං නැහැ"කියලා...

ඒ පාර ඉතිං මොනවා කරන්නද මං ඊළග එකත් කිව්වා...

මුසාවාදා............

ඒත් නැහැනේ ........

මොනවා කරන්නද ඔන්න අන්තිම එක කිව්වා...

සුරාමේරය...මජ්ජපමා දට්ඨානා.......

------------------------------

එතැනින් කතාව ඉවරයි... ඒක අවසානයක් නැති කතාවක් නේද..? ඔව් ඒත් ඒකට මෙහෙම කෑල්ලක් එකතු උනොත් කොහොමද...?

අතන පස්වැනි සිල්පදෙත් අහගෙන සද්ද නැතිව හිටිය අපේ මෑන් පට ගාලා නැගිටලා කෝල් එකක් ගන්නවා.. ඒ තමුන්ගේ යාළුවෙකුට..යාළුවා ඉන්නේ දැන් ලංකාවේ නිවාඩුවකට ඇවිල්ලා...



"මචං උඹ කවදද ආපහු එන්නේ...?"


යාළුවා ඉතිං කියනවා


"ලබන මාසේ 13 දිහාවේ තමා ඇයි බං..උඹට මොනවා හරි ගේන්න ඕනද මෙහෙන්..?"


"නැහැ නැහැ උඹ ආපහු ආවනං මට ඒ ඇති"


යාළුවා ටිකක් කල්පනා කරනවා.. ඇයි යකෝ ළමයා ගමනක් ගියාම අම්මා ගේ දොරකඩට වෙලා බලන් ඉන්නැහේ මූ මොකටද මං ආපහු එනකල් බලං ඉන්නේ... වැඩි සෙනේ ගුණ නැත කියලා...ඒත් ඉතිං ඒක එක පාරට කියන එක හරි නැහැනේ.. ලංකාවේ ඉන්න යාළුවා කියනවා



"හරි හරි උඹ බය නැතිව හිටිං අපි පරිස්සමට එන්නං..ඔච්චර අපි ගැන හිතන්න ඕන නැහැ බං.."



"මගුලක් කියනවා උඹලා කොහොම ආවත් මට කමක් නැහැ..ඒත් ඉක්මනට වරෙවු..මට උඹලගේ ගෙදර දොර ඇරගන්න ඕන..."


"ඇහ්..උඹට මොකටද අපේ ගෙදර දොර ඇරගන්න තියෙන උවමනාව.."



"නැහැ බං අර උඹලගේ සැටිය යට මගේ ෆයිල් එකක් තියෙනවා ඒක ගන්න.."



හනේ සංසාරේ මේ මෑතකදී අපේ මෑන් අර යාළුවගේ ගෙදර ගිහින් ලිමිට් පැනලා සැටිය උඩ වැටිලා හිටිය පොටෝ එහෙම කොහේවත් තියෙනවා අපි දැක්කේ නැහැ...
කතාව ඉවරයි.... ඔන්න බලන්න පැරණී කතා වලින් අදටත් ගත හැකි පරයෝජන..නේද හා..?
--------------------------------
මේ කතාව තේරෙන්නනං ඉතිං මේ සයිබර් ලෝකේ සිද්ධ වෙන කොයි කොයි දේ ගැනත් ටිකක් හරි අවධානයෙන් ඉඳලා තියෙන්නම ඕන... එහෙම නැතිනං ඉතිං චෝක් එකට කොසු වලින් නෙවෙයි රාත්තල් පහේ කුළු ගෙඩියෙන් ගැහුවත් ගොඩ යෑමක්නං නැහැ...
---------------------------

කෙලින් කරගන්න මංකඩේ ගිය වැල අයියා...කල හොඳ පෂ්ෂෙන් එලෝනෝ...

"මල්ලියේ මේ කැලෑ පාරේ යද්දි හුගක් බයිසිකලේ ගැස්සෙනවා නේද..?"


"ඔව් අයියේ ඇයි අමාරුද වාඩි වෙලා යන්න..?"



"ඔව් බං මල්ලියේ..ටිකක් විතර කොන්දට අමාරුයි.. මේක මේ හුග කාලයක් ඉඳන් තියෙන කොන්ද අමාරුවක්..වැල ගහකින් වැටිලා ඒ දවස්වල..බෙහෙත් කලාට මොකද තාමත් විටින් විට මතු වෙනවා.."



"ඒ මොනවා කරන්න ගිහින්ද බං වැල ගහෙන් වැටුනේ..?"



"මේ වැලක් බලන්න ගිහින් සෝමේ...අහ් නැහැ වැල කන්න ගිහින් සෝමේ අයියා කියලා කෙනෙක් බැන්නා ගහෙන් බැහැපිය කියලා... හදිසියට පැන්න පාර වැටුනා ගහ පල්ලේ... ඒ අමාරුව තමා මේ... කොහොමටත් එයිට කලිනුත් කජු ගහක ඉඳන් සරම අල්ලගන්න වැටුන පාර කොන්ද ඇමැට්ටි වෙච්ච එකත් තියෙද්දිනේ අරෙහෙම උනේ..ඉතිං අමාරුයි..කාලෙක් කාලෙට වැඩි වෙනවා.."



"ඕකට අයියේ හොඳට තෙල් සාත්තුවක් කෙරුනනං හරියනවා..කලේ නැද්ද හරි හමන් වෙදකමක්..."


"කලා මල්ලියේ සැරින් සැරේ ඒත් කෝ ගුණයක් නැහැනේ...ඒක නෙවෙයි නැද්ද මේ පැත්තේ හොඳ සිංහල වෙද මහත්තුරු ඔය වගේ ඒවට..?"

"ආයේ නැතිව මොකද..? අයියට පේනවනේ මේ පැත්ත පට්ට කැලේ කියලා.. දැන් අපි ඔය ආව මලගෙදර කොල්ලා කිව්වට මේක හෙන ටවුම කියලා බලහංකෝ කොයි තරංනං කැලේටද අපි මේ රිංගුවේ කියලා.. ඉතිං මේ වගේ කැලෑ පැතිවල නැද්ද වෙද්දු..ඔය වගේ අද වෙච්ච කොන්දවල් නෙවෙයි ඕන එකක් කෙලින් කරලා දෙයි..එහෙම වැඩ කාරයෝ ඉන්නවා මේ කැලෑ පැතිවල.."

"අනේ මල්ලියේ ඔය ඇත්තමද..? මටත් මේක කෙලින් කොර ගන්න බැරිව තමා මං මේ කාලයක් තිස්සේ කල්පනා කරන්නේ..දැන් වයසත් එක්කනේ මල්ලියේ... ඉස්සර වගේ නැහැ...ඉස්සරනං ඔය අඹ දෙන්න කියලා කතා කරලා නංගිලා ආවම වැඩේ නිකංම කෙරෙනවා..දැන් එහෙම නැහැනේ.. මං කොයි තරංනං ඕකට හරියයි කියලා හිතෙන තැන් තැන්වල ගියාද..? බම්බල පිටිය පුරාම..සුපර්මාකට් පුරාම... හොඳයි කියලා හිතෙන තැන් හැම එකටම යනවා..කෝ..කිසිම වෙනසක් නැහැ.. ඇත්තටම මල්ලියේ කොහොමද ඔය කියන වෙද මහත්තුරු ඕක කරන්නේ..ගුලි වලින්ද..? නැත්තං තෙල් වලින්ද..?"

"නැහැ අයියේ තනිකරම තෙල් වලිනුයි තැවිල්ලෙනුයි..පත්තුවෙනුයි..."

"ඇහ් මාරයිනේ..අනේ මල්ලියේ මේ අහලක තියෙන එහෙම තැනක් කියහංකෝ.."

"ඇයි අයියේ යන්නකෝ මංකඩේ වෙද මහත්තයා ලගට..මේ කැලෑවෙන් එපිට කැලෑවේ...එහෙම නැත්තං කිරිනැලියේ වෙද මහත්තයත් හොදයි... ඒකනං හැබැයි කැලෑවෙම නෙවෙයි කෑලෙන් එලියේ අර මං වැඩ කරපු ඩිපෝව තියෙන ටවුමේ..පරණ ඩිපෝ එක ඉස්සරහමයි... ඔය කොතැනත් හොඳයි.."

"අනේ මල්ලියේ මං අද හෙටම යනවා..උඹට බොහෝම පිං මේ ඔත්තුව දුන්නට.."

----------------------------------------------
ටික දිනකට පසු....
----------------------------------------------

"හලෝ මේ මාරයාද කතා කරන්නේ..?"

"ආ ඔව් ඔව් මේ කවුද..?"

"ආ තෝද පරයා...%^$%$$%$$^%^^$%^$^% %^$%^& @$@@%$@%&*$%$@"

"ඇහ් මේ මොකද මේ කුණු හරප වැලක් කියාගෙන යන්නේ..?"

"ඈ යකෝ තෝ මට එදා කිව්වා නේද අර කෙලින් කරන වැඩේට මංකඩ වෙද මහත්තයා හොඳයි කියලා... නොදකින් පරයා... තව පොඩ්ඩෙන් මේක පොට්ටනියෙන් තවලා තෙල් ගාලා ඇදලා පත්තුව දාන්න ගිහින් මට ලොකු චූවෙක් ගන්න ගිහින් තියෙන කොස් ඇටෙත් දාලා පිච්චිලා යනවා.."

"ඇහ් මේ ** අයියා නේද..? යකෝ මොකක්ද ඒ ලොකු චූවගේ කතාව..තෝ මගෙන් අහුවේ කොන්ද කෙලින් කරගන්නනේ..ඉතිං ගියාද මංකඩේ වෙද මහත්තයා ලගට..?"

"ගියාද..? හුහ්..මං කියන්නේ නැහැ.."
--------------------------------------
ඇමතුම විසන්ධිවන ලදි...අර බයිසිකලේ යද්දී අඹ ගන්න ආව නංගිලයි..සුපර්මාකට්වල දර්ශනයි ගැන කිව්ව කතා ඒ වෙලාවේ මං ඒ හැටි කල්පනා නොකලට ඔන්න දැන් තමා මීටර් උනේ...
--------------------------------------

පසු සටහන...
_____________
දැන් යන ක්‍රමයට අනුවම කියතහොත් මෙම සිද්ධියට කිසිදු බ්ලොග්කරුවකු සම්බන්ධ නැත..කොටින්ම කිව්වොත් කොන්ද කෙලින් කරගන්න වෙදෙක් ඇහුවම ඒකට හරියන කෙනෙක් ගැන කිව්වම තමුන්ට තියෙන වෙන වෙන දේවල් කොදු කෙලින් කරන ක්‍රමයටම කෙලින් කරගන්න ගිහින් කෙලවගෙන ඒ කේන්තියට බ්ලොග් පෝස්ට් වලින් මඩ ගහන කෙනෙක් ගැනනං මේ ලිපියේ ලියාම නැත. මේක මේ කල හොඳ පස්සෙන් එලවීම ගැන පමණක්ම ලිවුව එකකි.

21 June 2012

මන්නාරම මෙන්න මේහෙමයි...

කොහොම හරි මන්නාරමටත් ගියයි කියමුකෝ... කල් වේලාසනම නවතින්න තැන බුක් කොරලා ගියපු හින්දා නවාතැන් පහසුකං ගැනනං බය වෙන්ට කාරියක් තිබුනේ නැහැ...

මන්නාරම ටවුමේ ඉදන් තව කිලෝ මීටර් 8ක් විතර තලෙයි මන්නාරම පාරේ ඉස්සරහට යද්දී හම්බවෙන එරුක්කිලම්පිඩ්ඩි හරස් මාර්ගයෙන් වම් පැත්තට හැරිලා මීටර් තුන්සීයක් විතර ගියාම හම්බ වෙනවා පැරණි දුම්රිය පොලක්.. ආන්න ඒ දුම්රිය පොල අසලම තියෙන Fourtees Rest එකේ තමා මගේ නවාතැන්... බොහෝම හොඳ තැනක් වගේම බොහෝම හොඳ පාලකයෙක් තමා ඒකේ ඉන්නේ... A.ලෝරන්ස් මහත්මා.. ද්‍රවිඩ ජාතිකයෙක් බොහෝම හොඳ මනුස්සයෙක්... හැබැයි යාළුවට සිංහල බැහැ..ඒත් කැඩිච්ච ඉංගිරිසි ටිකක් තිබ්බම ඇති එයත් එක්ක කතා කරන්න...
මේ නවාතැන් පොල ගැන කියනවනං කියන්න තියෙන්නේ බොහෝම හොඳ තැනක් කියලා තමා... වැඩි විස්තර ඕනනං මෙන්න මේ අඩවිය හරහා දැන ගතෑකි...


තව දුරටත් මෙතැන විස්තර කියනවනං ඇදන් 3නේ සහ ඇඳන් 4රේ කාමර තමා තියෙන්නේ..ඒසී නොකරපු ඇඳන් 3නේ කාමරයක් රුපියල් 1500කුත් ඇඳන් 4රේ කාමරයක් රුපියල් 2000කුත් වගේ වෙනවා.. ඒ වගේම ඒසී කරපු ඇඳන් 4රේ කාමරයකුත් මෙතන තිබුනා..ඒක රුපියල් 3000ක් වෙනවා...

කෑම බීම ගැන කියනවනං එතනින්ම කෑම ගන්නත් පුළුවන් කම තියෙනවා... සාමාන්‍යයෙන් කෑම වේලකට රුපියල් 150 හේ ඉඳන් 300ක් වගේ වෙනවා... මට උදේ කෑමට රුපියල් 150කුත් දවල් හා රාත්‍රී කෑමට වේලකට 250 ගානෙත් වගේ වැටිලා තිබුනා... කෑමත් නරක නැහැ රසට තියෙනවා..ඒ වගේම ඕන දෙයක් කියලා හදව ගන්නත් පුළුවන්...
කවුරු හරි යනවනං බය නැතිව කතා කරලා කාමර වෙන් කරවගෙන යන්න... බොහෝම මිත්‍රශීලී අහිංසක හිත හොඳ මනුස්සයෙක් තමා ලෝරන්ස් කියන්නේ... ඒ ගැන සීයට දෙසීයක් සහතික වෙන්න පුළුවන්...

---------------------

ඊ ළගට අපි බලමු මන්නාරමේ මොනවද බලන්න තියෙන්නේ කියලා...

පැරණි මන්නාරම් කොටුව හා පැරණි පාලම...

බයෝ බැබ් ගස(අලි ගස)...

විනාශ වූ මන්නාරම දුම්රිය ස්ථානය හා දුම්රිය පාලම...

තලෙයි මන්නාරම් ජැටිය සහ නාවික හමුදාවෙන් කරගෙන යන වැලි පර(ආදම්ගේ පාලම) නැරඹීමේ බෝට්ටු චාරිකාව...

මන්නාරම් බූරුවෝ...

වල් අස්සයෝ...

කුරුළු වි‍ශේෂ...

මේ දේවල් සෑම එකක්ම බලන්න පුළුවන් කම තියෙනවා... හැබැයි මේ කාලේ ටිකක් විතර කුරුල්ලන් විශේෂ අඩුයි..ඒත් නැතිවම නෙවෙයි...
මන්නාරම් කොටුවත් පැරණි පාලමත් එක ලග තියෙන්නේ..
මන්නාරමට ඇතුළු උන ගමන්ම දකුණු අත පැත්තේ ‍තියෙන්නේ..

එයිට තව ඩිංගක් ඉස්සරහ‍ට ගියාම බයෝ බැබ් ගස බලන්න යන්න පුළුවන්
විනාශ කර ඇති දුම්රිය පාලම බලන්නනං ලගටම යන්න අමාරුයි...
ඒත් ඒක පැහැදිලව ඒ අවටට පේනවා... මම ඒක ලගට යන්න ගියාම ගිහින් නැවතුනේ පැරණි දුම්රිය ස්ථානයේ.. එතන ඉදන් පයින් රේල් පාර දිගේ ගියානං පාලම ගාවට යන්නත් පුළුවන්...
තලෙයි මන්නාරම් ජැටියට ගියාම මට පුළුවන් උනා එතැන තියෙන නාවික හමුදා කඳවුරෙන් පවත්වාගෙන යන බෝට්ටු සේවය මගින් වැලි පර බලන්න යන්න අවස්ථාව උදා කරගන්න...
ඒ බෝට්ටු සේවාව ගැන කියනවනං මෙහෙමයි...

උදේ හත හමාරේ ඉඳන් හවස හතර විතර වෙනකල් එම බෝට්ටු සේවාව ඔවුන් පවත්වාගෙන යනවා..ඒත් හවස් අතේ සුළං වැඩි වීමත් එක්ක මුහුද බොහෝම කරච්චල් හින්දා වේලපහ යන එක තමා හොද... ඒ වගේම හුගක් මුහුද අවුල්නං එයාලම හවස ගමන් අතෑරලා දානවා...
බෝට්ටුවේ යන්න එකකෙනෙක්ට රුපියල් 600යි..හැබැයි 6 දෙනෙක් ඉන්න ඕන... ඒ කියන්නේ බෝට්ටුවේ ගාන 3600යි එහෙම කට්ටිය නැත්තං තනියම 3600ක් දීලා උනත් යන්න බැරි කමක් නැහැ... මේ සේවාව නාවික හමුදාවෙන් බොහෝම හොඳට කරගෙන යනවා.. සෑම මගියෙකුටම පුංචි ආහාර මල්ලකුත් ලබා දෙනවා ඒකේ පොඩි ස්නැක් පැකට් එකක්.. චොකලට් එකක් වගේම මයිලෝ කිරි පැකට් එකක් අඩංගුයි. සම්පූර්ණ ගමන කිලෝ මීටර් 20ක් විතර වෙනවා.. ඒ කියන්නේ යන්න 10යි..එන්න 10යි.. අපිව එයාලා බෝට්ටුවෙන් එකක් යනවා වැලි පරයේ තියෙන දෙවන දූපත දක්වා... එතැන පැය බාගයක් විතර ඔහේ නිදහසේ ඇවිදලා ආයේම එන්න පුළුවන්...





මතක තියා ගන්න මේ ගමන පොඩි ළමයින්ට යන්න දෙන්නේ නැහැ..අවම උස අඩි 3ක්වත් තියෙන්න ඕන... ඒ නැතත් එහෙම යන්න ලේසිත් නැහැ..බෝට්ටුව යනවා හිටු කියලා... ඒ යන වේගෙට රල වල හැපෙන හැපිල්ලට හෘදය වස්තුව කඩං වැටෙනවා... ඒක ලේසි ගමනක්නං නෙවෙයි.. ඒත් ආතල් එක උපරිමයි... කැමැත්තෝ යත්වා...

මන්නාරං පෝනියෝ මම යනකොට දැක්කට පස්සේ පොටෝ ගහන්න හිතං ගියා..ඒත් ආයෙම එනකොට උන් පාර අයිනේ හිටියේනැහැ..ඈත විල්ලුවේ හිටියා... හැබැයි උන් අර මං කලින් ගිය ඩෙල්ෆ්වල උන්ට වඩා හොඳ සරුසාරයි..ලස්සනයි... ඉතිං මේ හැම දේම බලන්නනං එක පාරක් හරි මන්නාරං යන්නම ඕන... ඉපදිලා මැරිලා යන අතරේ ජීවත් වෙන කාල සීමාවේ දවස් දෙකක් හොයා ගන්න බැරිනං මෙහෙම ගමනක් යන්න මොකට ජීවත් වෙනවද නේද..? ආන්න ඒ හින්දා ඔය කරන් කියන රැකි රක්ෂා..විභාග අභාග පැත්තකට දාලා ජීවිතෙන් සුළු වේලාවක් මෙහෙම දේකටත් වෙන් කරන්න... කවදා හරි මතක තියං සතුටු වෙන්න පුළුවන් අපි කරපු පිනුයි මේ වගේ සුන්දර ගමනුයි තමා.. එහෙම නැතිව මං වැඩට ගියා..ගෙදර ආවා..වැඩට ගියා ගෙදර ආවා..පඩි ගත්තා ගෙදරට දුන්නා කියලා හිතලානං නෙවෙයි...එහෙමනං අදට මේ විස්තර ඇති...

ආ තව එකක් කියන්න බැරි උනා නේද...? ඒ තමා මන්නාරං බූරුවෝ...අවුලක් නැහැ බූරුවොනං හැම තැනම...මෙහෙ වගේම තමා...

ආ මෙන්න දැනට බුකියේ ඇති ඇල්බම් වලට පාරවල්...



20 June 2012

මහින්ද අයියා අලි නරකයි...

මම රැවටුනා අයියේ... මං හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා... මං ඉස්සරහට අඩිය තිබ්බේ උඹ ගැන විස්වාස කරලා..දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන... මම ප්‍රාර්ථනා කලේ සැප පහසු ලස්සන ගමනක්..ඒත්...

අන්තිමට මට උරුම උනේ කටු කැලෑ මැදින් යැවෙන පාරක බොහෝම දුෂ්කර ගමනක්... ඇයි මෙහෙම උනේ... මං හිතුවේ මේ වෙනකොට අයියා මට යන්න පාර කපලා කියලා..ඒත් මම හීනෙකින්වත් නොහිතුව විදියට ඒක එහෙම වෙලා තිබුනේ නැහැ..ඇත්තටම මට හිතාගන්නත් බැරි උනා මේ මොකද උනේ කියලා... කොටින්ම මාව උස්සලා පොලොවේ ගැහුවා වගේ... ඇත්තටම උස්සලා පොලොවේ ගැහුවා නෙවෙයි..උස්ස උස්ස පොලොවේ ගගහා ගියා වගේ.. ඒ තරමට වේදනාවයි බං අයියේ...

එක අතකින් අයිය‍ටම වැරදි කියන්නත් බැහැ..මේ වෙච්ච දේට හුග දෙනෙක් වගකියන්න ඕන... අපේ උන් දෙන තරමක් දෙන්නේ ලනු උනාට මේ කාරණාවෙදි මං හිතන්නේ නැහැ උන් මට ලනු දුන්නා කියලා...කොටින්ම අපේ මල්ලි පවා මට කිව්වේ

"ආ බය වෙන්න දෙයක් නැහැ පාර පැහැදිලියි..ටිප් ටොප්" කියලා...

ඌත් කිව්වම මං විස්වාස කලා... තව කීදෙනෙක් කිව්වද ඔය යන පාර පැහැදිලියි කියලා... ඒත් මට පස්සේ තමා තේරුනේ... මුං එකෙක්වත් හරියට දැනගෙන කියපු කතා නෙවෙයි එක එකාගෙන් අහපු කතා කිව්වේ කියලා..එහෙමත් නැත්තං උන්ට මං අහපු දේ හරියට තේරුනේ නැහැ..එහෙම බලනකොට වැරදි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය...

ලංකා සිතියම හරියකට නොදැකපු උන් ඉන්න රටක් අයියේ මේක... ඉගෙන ගන්න කාලේ අපිට තොග පිටින් අර ප්‍රමේය මේ ප්‍රමේය..අර වගුව මේ වගුව කිය කියා හැට හුට හමාරක් උගන්නවා.. අර සූත්තරේ මේ සූත්තරේ උගන්නවා.. ඒත් ඒ දේවල් වලින් සීයට දහයක්වත් ජීවිතේට පාවිච්චි කරන්න වෙන්නේ නැති සීයට අනූවක් මිනිස්සු ඉන්න රටක් මේක... ඒත් සීයට සීයක්ම නැතත් අනූනවයකට විතර මුළු ජීවිත කාලෙන් වැඩි හරියකට උවමනා වෙන ප්‍රජනනය හා ලිංගික අධ්‍යාපනය කියන පාඩම උඩින් පල්ලෙන් පැය බාගෙන් උගන්න රට මේක... එහෙව් රටේ උන්ට ලංකාවේ සිතියම ගැන අවබෝධයක් නැති එකේ වරද තමා මට මේ ගෙවන්න උනේ...

උඹට මඤ්ඤං වගේ ඇති නේද මේ මොකක්ද මූ කියන්නේ කියලා.. ‍බොලං මහින්ද අයියේ... බොලා රට වටේම පාරවල් හද හද යන හින්දා මං හිතුවා පුත්තලමේ ඉදන් මන්නාරමට මුහුද අයිනෙන් වැටිලා තියෙන පාරත් හදලා ඉවර ඇති කියලා... ඒ විතරක්යෑ ඕක ගැන අහන අහන උන් කිව්වේ

"අපොයි ඒක දැන් හදලා ටොප් එකට" කියලා...

කීදෙනෙක්නං කිව්වද..? අනේ මාත් ගිය සතියේ උඩදාගෙන මන්නාරං ගියා අයියේ හැම එකාම කියන ඔය අළුත් පාරේ හැත්තෑවට අසූවට තියලා පාගලායන්න..(එයිට වඩා වේගෙන් යන්න මගේ බයිසිමොටෝ එකේ බැහැ බං...)

කෙලලා තියෙන්නේ තාප්පෙට...පුත්තලම පැන්නා කියමුකෝ..එතනට යනකල් අවුලක් තිබුනේ නැහැ..
මෙන්න පුත්තලමෙන් මන්නාරං පාර පටන් ගත්තා.. හපොයි ඒක කැඩුන තාර පාරක්... ඉස්සරහට හම්බ උන හාදයෙක්ගෙන් මම ඇහුවා

"දිගටම පාර මෙහෙම කැඩිලද..?"

ඒ මනුස්සයත් කිව්වා..

"ආ නැහැ මේ ටික ඔහොම උනාට ඉස්සරහා හදලා තියෙන්නේ"

හරිනේ ඔන්න මාත් දාහක් බලාපොරොත්තු තියාගෙන ගියා..ගියා...ගියා...අනේ අයියේ මට ඇඩුනා යකෝ..අර කැඩිච්ච පාරේ පුත්තලමේ ඉදන් එළුවන්කුලමට යනකල් කිලෝ මීටර් 24 ක් විතර ගෑටුවට පස්සේ මෙන්න හම්බ උනා මාර්ග බාධකයක්... හත් ඉලව්වේ එතැන ඉදන් නිකංම නිකං ඩෝසර් කරපු පරණ පාරක් විතරයි... ඉතිං අර බාධකේ හිටිය උන්නැහේ කෙනෙක්ගෙන් ඇහුවම කොච්චර විතර මෙහෙම පාර අබලන්ද කියලා...

"කිලෝ මීටර් 40 ක් යනකල් මෙහෙම තමා..එයිට පස්සේ සිලාවතුරේ ඉඳන් පාර හොඳයි"

හරි අයියේ ඉවසන දනා අර මොකටද ජය කොඩිය කියලා මාත් ගියා... අයියේ පෂ්ෂ පැත්ත හිරි වැටෙනවා බං..ඩෝසර් කරපු පාරේ ගැස්සි ගැස්සි ගිහිල්ලා...ඒ මදිවට තැනින් තැන වැලි ගොඩවල්..කොයි වෙලේ ලිස්සලා ගිහින් පෙරලෙයිද දන්නේ නැහැ... මාත් ඉතිං පෝක් අතක් ගිලපු එකා වගේ හැන්ඩ්ල් එක හිර කරලා අල්ලගෙන පාර දිගේම ඇස් දෙක අලවගෙන ගියා... අහක බැලුවොත් ලොක්කා බිම...
ඔය යන අතරේ ලස්සන තැන්නං තිබුනා තමයි..ඒත් පාරේ තියෙන අවුල හින්දා වට පිට බලන්නනං ඉතිං නවතින්නම වෙනවා...
එහෙමත් ගියා කියමුකෝ ඔය යන අතරවාරයේ ඔන්න හම්බ උනා "කුවේනි මාළිගාවට" යන පාර... බලහංකෝ අයියේ එතන හිටිය නේවි එකේ පෝරිසාදයෙක් කිව්වනේ ඒ පැත්තට යන්න තහනං කියලා... යනවනං වනජීවී එකෙන් අවසර අරං.. අර රෝද 4ම ඇන්ජිමෙන් කරකවන්න ඇහැකි වාහනයකුත් එහෙංම අල්ලගෙන යන්න ඕන කියලා...

යකෝ අයියේ අපි දුප්පත් මිනිස්සු..යන්තං පැස්ටෝල් ටිකක් ගහගෙන මේ බයිසි මොටෝ එකේ එහෙ මෙහෙ යන්නේ ඇවිදින්න තියෙන ආසාවට මිසක් එක එකාට පුදන්න සල්ලි තියෙන කමට නෙවෙයි.. එහෙවු එකේ තව ඔව්වට ගෙවන්න කොහේද තියෙන්නේ... බලංහං අයියේ ලංකාවේ උපන්න අපටම ලංකාවේ හතර මායිං බලන්න ගෙවන්න වෙන හැටි... ඔන්න කුවේණි මාළිගාවත් අර සත්තු වත්ත වගේ ආණ්ඩුවේ වියදමින් හැදුව එකක්නං කීයක් හරි දීලා ගියත් කමක් නැහැ..යකෝ ඒක හැදුවේ කුවේණිගේ කවුරු කවුරු හරි වෙන්න එපෑ... ඒකට මොකටද වන ජීවී එකට ගෙවන්නේ...? ඒ කියන්නේ දුප්පත් අපිට එව්වා බලන්න අකැපයි...

හරි අයියේ ඒක අතෑරලා දාමුකෝ.. එතනනං ඔන්න අර නේවි එකේ පොයින්ට් එකක් තිබුන හින්දා මං අල්ලලා දාලා ගියා... එයිට මීටර් දෙසීයක් යනකොට ඔන්න ආයේ තියෙනවා කැලෑ පාරක් විජය කුමාරයා ගොඩ බැහැපු තම්බපණ්ණි වෙරළට යන්න... තහනම ගියාවේ බල්ලට කියලා මං හැරෙවුවා අයියේ... ඒත් අමාරුවෙන් කිලෝ මීටර් දෙකක් විතර ගියාට පස්සේ පාර තනිකරම වැලි ගොඩ... ඒකේ ගියානං මං අනාථ වෙනවා..ඒ ගමන ඒ බැලිල්ලත් පැත්තකට දාලා මං ආපහු හරවං ආවා... කුවේණිටත් සොරි ඩොට් කොම්..විජයටත් එමම ඩොට් කොම් කියලා...

ඉතිං අයියේ කොහොම හරි බයිසිකලේ කෑලි ටිකයි..මගේ කෑලි ටිකයි කොටස් කොටස් වශයෙන් ගැහි ගැහි යාන්තං සිලාවතුර මුර පොලට ආවා..කිලෝ මීටර් 40ක් දුර ගෙවාගෙන...එතනදී නං ගං ලියලා ඉස්සරහට යන්න හදන ගමන් මං ඇහුවා හිටිය හාදයෙකුගෙන්..

"ඉස්සරහට පාර හොඳයි නේද..?"

ඒ හාදයා මට නක්කලේට හිනා උනා අයියේ.. හිනා වෙලා කිව්වා...

"මොන හොඳක්ද..? ඔය ආවා වගේම තව කිලෝ මීටර් 30 ක් තියෙනවා"

අයියේ උඹම කියහං ඇඩෙන්නේ නැද්ද හා..?

ඒත් ඉතිං දැන් ආපහු යන්නයෑ..මං ඒ 30ත් ගියා දෙදර දෙදර... අන්තිමට කොහොම හරි මන්නාරම පෙනී පෙනී තමා යන්තං පාර හොඳ උනේ... ඒ වෙනකොට මං සිලාවතුර පහු කරලා ඇවිත් අර ෆෙඩ්රික් නෝත් ආණ්ඩු කාරයා අරිප්පුවල මුහුද අයිනේම හදලා තියෙන ලොකු මාළිගාව වගේ එක බැළුවා...
ඒකට කියන්නේ "ඩොරික් හවුස්ය" කියලා කියන්නේ..හේතුව ඒ ගෘහ නිර්මාණ ක්‍රමයළු..මං දන්නවෑ ඔව්වා..
කොහොම හරි ඒ ඩොරික් හවුස් එකයි එතනම තියෙන අර මුහුදු යන උන්දලාට සලකුණක් විදියට හදලා තියෙන උස කණුවයි බැළුවා..
එතන හෙන හුළං අයියේ... ගහගෙන නොයා බේරුනේ බොහෝම අමාරුවෙන්... ඔය අහල පහල මුහුදේ ඉස්සර සරුවටම මුතු තිබුනළු නෙව.. ඒවා ගොඩ දාන එක ඇහැ ගහගෙන ඉන්න තමා කියන්නේ ෆෙඩ්රික් කාරයා ඔය මාළිගාව හදාගත්තේ.. ඇත්ත අයියේ හතර වටේම පේනවා ටොප් එකට.. මං උඩටත් නැගලා බැළුව නෙව.. ටොප් ප්ලේස් එක.. දැන්නං මං හිතන්නේ බෙහෙතකට මුතු කැටයක් නැතිව ඇති ඒ හරියේ...

ඉතිං ඒකත් බලලා එතැනින් කිලෝ මීටර් බාගයක් විතර යද්දි හම්බ වෙන අරිප්පු කොටුවත් බලා කියා ගත්තා..
ඒකනං කොටුවක් කිව්වට නිකං පොඩි පොට් එකක්... ඒත් ඉතිං බලන්න ගිය එකක් හින්දා ඒකත් බැළුවා...

ඒ ටික බලලා ඉවර වෙලා කොහොම හරි ටික දුරක් යද්දි යන්තං ඔන්න ආයෙම තාර පාරක් අහු උනා...
අයියට කියන්න අයියේ.. කොළොම්බස් ගොයියට ඇමරිකාව හම්බ උන වෙලාවේ උන්දැට ඇති වෙච්ච සතුටට වඩා මට අර තාර පාර දැක්කම ඇති උන සතුට වැඩියි කියලා බයක් හැකක් නැතිව කිව්වැකි. ඒ තරමට සනීපයක් හිතට ආවේ.. කොහොම හරි අයියේ යාන්තං ඒ තාර පාර දිගේ මං ඉස්සරයට ගියා.. කෙලලා තියෙන්නේ අයියේ... මාර විදියට හුළං සැරයිනේ.. ඒ විතරක්යෑ.. දෙපැත්තේම කලපුව වගේ තිබුන හරිය වේලිලා කරකුට්ටං වෙලා... තනිකරම කාන්තාර.. හීනි වැල්ලයි.. ලුණු කුඩුයි... අර හුළං පාරට කුණාටු වගේ ඇවිස්සිලා පාර හරහා යනවා...
වෙච්ච දේවල්වල හැටියට මට තව වෙන්න විපතක් තිබුනේ නැති හින්දා ඒ වැල්ලත් කාගෙනම ගියා ඉස්සරහට... කටෙන් එකයි අයියා වැලි... චිරි චිරි ගාලා හැපෙනවා... මං ඉතිං ඔය කොයිකටත් හිත හදාගන්න එකානේ.. මං හිතුවා වැලි කියන්නේ ඛනිජයක්නේ.. ලුණු කියන්නේ ලවණනේ.. ඔන්න ඔහේ කනවා... ඇගට හොඳයිනේ කියලා.. ඇයි අපිට කියා දීලා තිබුනනේ ඉස්සර සෞඛ්‍ය පාඩං වලට ඛනිජ ලවණ ඇගට ඕන කියලා... කොහොම හරි අවුරුදු ගානකට ඇති වෙන්න ඛනිජ ලවන මගේ කටේ...

කොහොම හරි එහෙම ගිහින් අන්තිමට මන්නාරම ඔන්න මෙන්න කියලා දැවැන්ත කාපට් පාරකුයි... දෙපැත්තේ ලස්සන කලපු තීරයකුයි අහු උනා... අන්න අයියේ දෙයියෙක් දැක්කා වගේ සංතෝසෙන් මං මන්නාරමට ඇතුළු උනා...
ඒත් අයියේ ඒ වෙනකොට මං පැය ගානක් ඇතුලත විඳින්න තියෙන හුගාක් කරදර විඳලයි තිබුනේ... අයියට කියන්න උදේ අට හමාරට විතර නිට්ටඹුවෙන් ගිය මට මිනුවන්ගොඩ කටාන හරහා දළුවකොටුව හන්දියෙන් මීගමු පාරට දාලා පුත්තලමට යන්න ගියේ පැය තුනක් විතර... ඒ අතර මග නැවතිලා කලා බීලා එහෙම... ඒත් පුත්තලමේ ටිකක් නැවතිලා දොලහට මන්නාරං පාරට දාපු මං මන්නාරමට යද්දී හවස හයට කිට්ටුයි... අයියේ ගෙදර ඉදන් පුත්තලමට තිබුන කිලෝ මීටර් 167 පැය තුනෙන් ආව මට ඉතිං කිලෝ මීටර් 122 යන්න පැය හයක් ගියා... අර කිව්ව ඩොරික් හවුස් එකයි..අරිප්පු කොටුවයි..ආ තව මන්නාරං පාරට පුත්තලමෙන් දාලා කිලෝ මීටර් 15ක් විතර එද්දි එක පාරටම දැක්ක "මල්විල නටඹුන්" කියන බෝඩ් එක හින්දා
හරවං ගිහින් ඒ නටඹුන් බලන්නත් එක්කම අර කිව්ව පැය හයෙන් පැය දෙකක් යන්න ඇති...
ඒත් අයියේ පැය හතරක් කියන්නේ මට පැයට කිලෝ මීටර් 30ක වේගෙන්වත් එන්න වෙලා නැහැ...

අනේ අළුතෙන් හදපු කාපට් පාරක අසූවට අනූවට ඇරලා එන්න හිතපු මට වෙච්ච දේ... බොට මෙච්චර කල් ගියේ ඇයි මේක හදලා ඉවර කරන්න... මං යන එන දිගට හිතුවේ එහෙම... උඹ හරි නරකයි අයියේ..උඹට වගේම නරකයි මට ඔය පාර හදලා තියෙන්නේ කියලා කිව්ව උන් ටික... උන් දන්න පාරවල් කිවිල්ල...
හරි අයියේ ඔන්න හිතේ දුක යන්න මේ ටික කිව්වා.. ගමනේ ඉතිරි කොටහ බොට කියලා වැඩක් ඇතෑ.. මං ඒක අනිත් උන්ට කියඤ්ඤං...

(උන්ට ඇති වැඩකුත් නැහැ තමා..මොකද ඔය කොහොම කිව්වත් ගමනක් බිමනක් යන උන්යෑ... ගේ හතර මායිමේම කැරකි කැරකි වැට ඉනි තද කොරනවා මිසක්..)

16 June 2012

ලොතරැයියක් ඇඳුන හාමුදුරු පුතා...

ගොඩ වෙල පන්සලටත් පිටි වෙල පන්සලටත් මැදින් පිහිටි මැදවෙල පන්සලේ විහාරාධිපති හාමුදුරුවෝ උනේ අපි කාගෙත් හිතවත් හිඹුටුවැල්ගොඩ විමලධම්ම ලොකු හාමුදුරුවන් වහන්සේයි.. පළාතේ කිසිම කෙනෙක් එක්ක තරහක් අමනාපයක් නැති හාමුදුරුකෙනෙක් හිටියනං ඒ තමා මැදවෙල හාමුදුරුවෝ... ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ කොයි කවුරුත් උන්වහන්සේට ආදරෙයි.. උන්වහන්සේත් එහෙමමයි... යකෙක් එක්ක උනත් සමගියෙන් ඉන්න දන්නවා... ඒ ගැන දන්න කවුරු උනත් කිව්වේ

"මැදවෙල හාමුදුරුවෝ පුංචි හාමුදුරුවොත් එක්ක ඉන්න ටිකම මදෑ ආරවුලක් නැතිව"

කියලයි..

මේ පුංචි හාමුදුරුවෝ කිව්වේ මැදවෙල හාමුදුරුවන්ගේ පැවිදි සහෝදරයා.. දෙන්නම වයසින් සමානයි.. ලොකු හාමුදුරුවන්ට වඩා පුංචි හාමුදුරුවෝ ඕනනං අවුරුද්දක් බාල ඇති. හැබැයි පෙනුමින්නං එයිට වඩා ලොකු පරතරයක් තියෙනවා.. ඒ දවස්වල දෙන්නම හිටියේ හතලිහේ දසකයේ අග බාගයේ..ඒත් ලොකු හාමුදුරුවන්ට පෙනුම හැටකට කිට්ටුයි.. ඒකට හේතු තිබුනා... එකක් දියවැඩියාව... මේ කරුම ලෙඩේ උන්නාන්සෙට සෑහෙන කාලෙක ඉඳන් වද දුන්නා.. ඒ විතරක් නෙවෙයි දිවා රෑ නොබලා හැම තැනම පින්කංවලට යාම... උන්වහන්සේට සතියකට දවස් තුනක්වත් පන්සලට වෙලා නිවී හැනහිල්ලේ නිදා ගන්න උනේම නැති තරං... රට වටේ තියෙන තරං පිරිත්වලට උස්සගෙන යනවා... (උන්නාන්සේ යනවනං ඉතිං මාත් පංගාර්තුකොරගෙන යන හින්දා මටත් ඒ සෙතේම තමා... මං හිතන්නේ ඒ හරියේ හිටිය අයගෙන් මාසෙකට වැඩිම පිරිත් ගානක් අදින්න උනේ අපි දෙන්නට...)

ඉතිං කොයි වෙලෙත් නැහෙන නැහිල්ල හින්දාම බලං ඉද්දි දිරලා යනවා මිස හැදීමක්නං වෙයි කියලා හිතන්න අමාරුයි... හැබැයි පුංචි හාමුදුරුවෝ කන්ට්‍රි ඩොක්ටර්... උන්නාන්සේව පිරිතකට එක්ක යන්න කාට හරි පුළුවන් උනානං එදාට මහ පෑවිල්ලක් මැද උනත් අනෝරා වැහි තමා.. ඒ එක්ක ගියත් මහ පිරිතෙන් පස්සේ හමාර දේශනාවකටවත් ආයෙම මණ්ඩපේට වඩම්මන්න ඇහැක් උනොත් එදාට සුනාමි තමා... ආන්න එහෙමයි උන්නාන්සේ... හැබැයි ඉතිං ඒකටත් එක්ක උන්නාන්සේ දහම්පාසලට බැහැලා වැඩ... එයිට අමතරව පළාතේ තියෙන ඔය සංවර්ධන සභා රැස්වීම්වලට..උත්සව වලට එහෙම පන්සල නියෝජනය කරන්නේ උන් වහන්සේ තමා...

හරියටම කිව්වොත් ලොකු හාමුදුරුවෝ කොට අදිනකොට..පුංචි හාමුදුරුවෝ ලස්සනට පෙරහැරේ යනවා... පෙරහැරේ යන අලි කොහොමත් ලස්සනයිනේ.. ඉතිං මේතන තත්තෙත් එහෙමම තමා ඕං...නායක හාමුදුරුවෝ වැල් වෙනවා..පුංචි හාමුදුරුවෝ ලියලනවා...

මට තියෙන ගැටළුවක් තමා මේ පන්සල් කෙරුවාව ලියන්න ගියාම ඒවා හුගක් දීර්ඝ වෙන එක..දැන් මං හරිනං මෙතනදී ලොකු හාමුදුරුවෝ ගැන දීර්ඝ විස්තරයක් ලියන්න ඕන.. ඒ වගේමයි පුංචි හාමුදුරුවොත්.. හරියට ලිව්වොත් මැදවෙල පන්සලේ කාර් කටුව එලෙව්ව චුට්ටා මල්ලි ගැනත් ලියන්න ඕන..එහෙම නැතිනං නිකං මේක අසම්පූර්ණයි වගේ.. ඒත් අද මට ඒකට වෙලාව මදි.. ඒ හින්දා ඒ කතා පස්සේ දවසක පුළුවන් උනොත් කියඤ්ඤං..අදට අපි කතාවට යමු...

මං කිව්වනේ මැදවෙල හාමුදුරුවෝ දියවැඩියාවෙන් පෙලුනා කියලා.. එව්වට ඉතිං හේතුවත් උන්නාන්සේගේම කිරියාකාරකංම තමා... පැණි රස දෙයියා... සීනී තුන්සීයට හාරසීයට නැගලා තිබුනත් පැණි රසක් ලැබුනම අපිටත් හිනාවක් දාලා දායක මහත්තුරුන්ටත් හිනාවක් දාලා උන්නාන්සේගේ නෙවෙයි වගේ වළඳන්නේ.. හැබැයි ඉතිං සමහර වෙලාවට දායක උන්නැහේලා උන්නාන්සෙට මතක් කරනවා

"හාමුදුරුවනේ සීනී"

කියලා... ඒ වෙලාවට උන්නාන්සෙත් අරින්නේ නැහැ...

"කෝ.. කොහේද..?"

කියන ගමන්ම අතට අහු උ‍න දේ කටට දාගන්නවා... ඒ පොඩි හිනාවක් එක්ක..

"ඇයි හාමුදුරුවනේ ඔය දැන් වැළඳුව කැවුං ගෙඩියේ තමා.."

"අහ්..එහෙම කියන්න එපෑ..සීනි කිව්වා මිස කැවුං කිව්වේ නැහැනේ උපාසක.."

"අනේ මේ නායක හාමුදුරුවන්ට කියන කට හොඳයි බිම උලා ගන්නවා"

කියමින් දායක උන්නැහෙත් හිනා වෙවී නිකං ඉන්නවා...ඒ නායක හාමුදුරුවන් ගැන දන්න හින්දා...කොච්චර වයස ගියත්..දැනමුතුකං තිබුනත් තාම පොඩි දරුවා වගේ තමා... ඒකට තවත් පෝර වැටුනේ උන්නාන්සේගේ තාත්තණ්ඩි අතින් තමා... මැදවෙල ලොකු හාමුදුරුවන්ගේ තාත්තණ්ඩි ඒ කාලේ වෙද්දී වයස අවුරුදු 90කට විතර කිට්ටු මනුස්සයා.. ඒත් තනියම පාරේ බස් එකේ නැගලා තමුන්ගේ ගෙදර ඉඳන් හැතැම්ම තිහ හතලිහක් ඈතින් තිබුන මැදවෙල පන්සලට බස් තුනකින් විතර මාරු වෙලා එන්න යන්න හැකියාව තිබුන කෙනෙක්... නිතරම බස්තමකුත් අරගෙන බෝතල් අඩි කණ්නාඩියත් දාගෙන සුදු සරම ඇඳලා පරණ කෝට් බෑයත් දාගෙන යන එන මේ මනුස්සයා දකින්න ආස හි‍තෙන තරමේ සිරියාවන්ත තැනැත්තෙක්...

මාසෙකට දවසක්වත් උන්නැහේට තමන්ගේ මහණ වෙලා හිටිය පොඩි පුතා නොබලා ඉන්න බැහැ.. ඉතිං බාරියාවට කියලා බත් මුලකුත් බන්දවගෙන... කොහොම හරි ඇවිත් දවස් දෙක තුනක් පන්සලේ ඉඳලා තමා යන්නේ... ඒ විතරක් නෙවෙයි පන්සලට එන්න ඔන්න මෙන්න කියලා තියෙන කඩ මණ්ඩියට ගොඩ වෙලා තමුන්ගේ පුතණ්ඩියට ටොපි චොකලට් ගේන්නත් මේ තාත්තා අමතක කලේ නැහැ. ඒ ගේනකොට ගේන්නේ පුතාට විතරක් නෙවෙයි පන්සලේ ඉන්න පුංචි හාමුදුරුවන්ටයි..චුට්ටෙටයි.. එක්කත් එහෙම තමා... තව ඉතිං සැකේකට වගේ හිතුනොත් තව කවුරු හරි ඉඳි වගේ කියලා තව වැඩිපුරත් අරං එනවා...

ආව ගමන් ලොකු හාමුදුරුවන්ට වැඳලා කරලා කබා සාක්කුවෙන් ඇදලා අරං චොකලට් එක ලොකු හාමුදුරුවන්ට දෙන්නේ පුදුම දරු සෙනෙහසකින්... ඒ විතරක්නං මදෑ දවසක් දෙකක් පන්සලේ නැවතිලා ඉඳලා ආපහු යන දවසට යන්නෙත් නායක හාමුදුරුවන්ට රුපියල් සීයක් දෙසීයක් අත මිට මොලෝලා...අඩුම ගානේ අම්මට දෙන්න කියලවත් දෙයක් උන්දෑ අතේනං යවන්න බැහැ.. ඒ තරමට සාංඝිකේ කන්න බයයි..පන්සලේ ඉන්න ටිකෙත් කන බත් ටිකට හිලවු වෙන්න කියලා බෝ මළුවයි බණ මඩුව වටෙයි වැවීගෙන එන තණකොල උගුල්ලන එක තමා වැඩේ... ඔව්වට ඉතිං කොහොම කිව්වත් වෙනසක් වෙන්නේ නැති හින්දා ලොකු හාමුදුරුවොත් කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ..තාත්තගේ කැමැත්තක් කියලා නිකං ඉන්නවා මිසක්...

ඉතිං මේ වැඩේ උනේ මේ අපූරු තාත්තයි පුතාටයි තමා...

මේ තාත්තගේ පුරුද්දක් තිබුනා නිතරම දිනුං අදින ලොතරැයි ගන්න... කොහේ ගියත් සුවිප් ටිකට් කාරයෙක් දැක්කොත් අඩ ගහලා ලොතරුයියක් දෙකක් ගන්න එක ගන්නවම තමා... ඉතිං දවසක් උන්නැහේ පන්සල පැත්තේ එන ගමනුත් මෙහෙම ලොතරැයියක් අරගෙන ඇවිත් තිබුනා... ඒ ඇවිත් කබාය එහෙම නායක හාමුදුරුවන්ගේ කාමරේ එල්ලලා උන්දෑ වෙනදා වගේම පාඩුවේ හිටියා

මේ කතාව උනේ පහුවදා...

පහුවදා හවස් ජාමේ මෙන්න තාත්තණ්ඩි පන්සල කිට්ටුව කඩමණ්ඩියට ගෙහුන් පත්තරේකුත් අරං ආපහු ආවා.. ඒ ඇවිත් මොකද කලේ නායක හාමුදුරුවන්ට කබා සාක්කුවෙන් ඇදලා දුන්නා ලොතරැය්යක්... ඒත් එක්කම තව තුණ්ඩු කෑල්ලකුත් දුන්නා... දීලා

"ඔන්න ඕක ටිකක් බලන්න මට කණ්ණාඩි දෙක නැතිව කියවන්න බැහැ"

කියලා උන්දෑ ගියා පන්සල ඇතුලට...

හරි දැන් ඔන්න නායක හාමුදුරුවෝ අර ලොතරැයිය ගත්තා අතට... අර තුණ්ඩු කෑල්ලේ අංක ටිකක් ලියලා තියෙනවා ලස්සනට... වෙනදටත් එහොමයි.. තාත්තා කාට හරි කියලා දිනුං අංක ලියවගෙන එනවා... ඉතිං ඔන්න දැන් නායක හාමුදුරුවෝ ගලපනවා...

"හ්ම්ම්...පලවෙනි අංකේනං තියෙනවා... ඒ කියන්නේ සුවිප් එකේ ගාන බේරුං... ආ ආ..දෙවෙනි අංකෙත් තියෙනවනේ බොලේ... නරකම නැහැ සීයක් විතර ගතෑකි... තව බලමු..දෙයියනේ මෙන්න තුන්වැනි අංකෙත් ටක්කෙටම ගැලපිලා...නායක හාමුදුරුවෝ වාඩි වෙලා හිටි හාන්සි පුටුවේ කෙලින් වෙලා වාඩි උනා... බැළුවා අන්තිම අංකේ... සීවරං දෙයියනේ අංක හතරම හරි... බලනවනං තව තියෙන්නේ ඉංගිරිසි අකුර විතරයි... ඒකත් බලපි..කෙලලා තියෙන්නේ තාප්පෙටම..අකුරත් එක්කම ඇවිත්... ඒ කියන්නේ සුපිරි ජය මල්ල...කෝටි ගානක්..."

නායක හාමුදුරුවෝ ආයේ වතාවක් ඇස් දෙක කාරිය පිහ දමලා මුල ඉඳන් අගටම බැළුවා... නැහැ නැහැ කිසිම වරදක් නැහැ..ඇදිලම තමා... අනේ පිංවත් තාත්තා... අවුරුදු ගානක් ඉඳන් ලොතරැයි කාරයින්ට පිදුව මුදල පොලිත් එක්කම ඇවිල්ලා.. උන්දැගේ මේ ලොතරැයි පිස්සුවට කොයි තරංනං අනිත් අය එක එක දේවල් කිව්වද..? ඒත් අන්තිමට හරි තාත්ත හොයාගෙන ජය මල්ල පන්සලටම ඇවිල්ලා.. ඒ විතරක්යෑ.. ඒ තාත්තට ආයේ ඔය සල්ලි දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නැහැ ලොකු හාමුදුරුවෝ ඇර... දෙකක් නැහැ ඕනනං දඹදිව වන්දනාවකට කියලා කීයක් හරි ගත්තොත් ඇර අනිත් හැම සතේම ලොකු හාමුදුරුවන්ට තමා...

"ආයේ ඉතිං දායකයින්ට කරදර කරන්න දෙයක් නැහැ පන්සල් හැදිල්ලට.. අත්තිවාරං දාලා කාලයක් තිස්සේ බලං ඉන්න දාන ශාලාව මාසෙන් හැදියැකි.. පුංචි නමටත් දහං පාසල වැඩි දියුණු කරගන්න කීයක් හරි දෙතෑකි. චුට්ටෙ කොල්ලට පුංචියට හරි ගෙයක් දොරක් හදෝලා දෙන්න ඕන..ඌට අකුරු සාත්තරේ උගන්නපු එකේ ගුනේ තියන්න ඒකා හැමදාමත් පන්සලේම වැටිලා වැඩ කර කර ඉන්නවා.. අප්පේ කරන්න ජාතිද නැත්තේ...?"

නායක හාමුදුරුවෝ ටිකට් එකයි තුණ්ඩුවයි අරගෙන දැන් කල්පනා කරනවා.. මේක කොහොමද තාත්තට කියන්නේ කියලා... උන්දෑ දැන් හුගක් වයසයි... සංතෝසේ දරාගන්න ඇහැක් වෙයිද මංදා... ඒත් නොකියා කොහොමද..? හැරෙන තෑපෑලට මේක ලොකු හාමුදුරුවන්ට තියා ගන්න කියලා කිව්වා උනත් මේක උන්දැගේ දිනුමනේ... ලොකු හාමුදුරුවෝ කල්පනා කලා..විනාඩි දෙක තුනක් නෙවෙයි..පැය ගානක්.. අන්තිමේදී දවසක්ම ගිහිල්ලත් මේක එක පාර කියන්න බයේ ලත උනා... රෑ වෙලා තාත්තට නින්ද ගියාට පස්සේ මේ කතාව ලියන මටත් කෝල් එකක් දීලා කතාව කිව්වා.. කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා... මං ඉතිං කිව්වේ ඕක පුංචි හාමුදුරුවන්ට කියලා විහිළුවෙන් විහිළුවෙන් කියෝමු කියලා..අන්තිමට ඒක ඒහෙමම තීන්දු උනා...

ඔන්න පහුවදාට එළිය වැටුනා..උදේ දානෙන් පස්සේ පැයක් දෙකක් ගෙවිලා ගියාට පස්සේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් උඩ පුංචි හාමුදුරුවෝ කිට්ටු කලා තාත්තා ගාවට... ලොකු හාමුදුරුවොත් අහල පහලට වෙලා කන්දීගෙන ඉන්නවා.. චුට්ටේ කොල්ලත් කාර් එක ඉට්ටාට් කරන්න බලං ඉන්නවා හදිසියක්වත් උනොත් කියලා... එතකොට මම... ආ නැහැ මං ඔතනට ගියේ නැහැ..මං එතකොට මගේ පන්සලේ වැඩක්... ඒත් මට ටික වෙලාවකින් කෝල් එකක් එනවා ආයෙමත්... කාගෙන්ද ‍ලොකු හාමුදුරුවන්ගෙන් මිසක්...

"හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්..."

ලොකු හාමුදුරුවෝ එක දිගට හිනා වෙනවා..කිසිම දෙයක් කියන්නේ නැහැ.. මං කල්පනා කරනවා..

"යකඩෝ මේ මනුස්සයට පිස්සුවත් හැදුනද මේ ලොතරැයිය ඇදිලා.."

ඒත් ඉතිං එහෙමම ඇහියැකියෑ..මාත් හිමීට අහං ඉදලා අර අට්ටැට්ටරේ ඉට්ටාට් කලා වගේ ගිය හිනාව ටිකක් අඩු වෙනකල් ඉඳන් ඇහුවා..

"මොකද ලොකු හාමුදුරුවෝ උනේ..තාත්තට අවුලක් නැහැ නේද.."

"තාත්තට..හොහ් හොහ්...තාත්තට නෙවෙයි ඕයි..තව ඩිංගෙන් මටයි අවුලක් වෙන්නේ... හැබැයි පුතෝ කොච්චර දියවැඩියාව තිබුනත් මට පපුවේ අමාරුනං නැහැ...ඒක දැන ගත්තේ අදයි...හොහ් හොහ්..හෙහ් හෙහ්.."

"ඇයි ඇයි මොකද උනේ... එහෙං පිටිංම දිනුම ලොකු හාමුදුරුවන්ට ගන්න කිව්වද.."

"නැහැ උන්නාන්සේ... තාත්තා වෙනදා වගේ පත්තරේ තියෙන අංක ලියලා ගෙනත් නෙවෙයි... ලොතරැයිය අරං ගිහින් එළියට අදින්න හොඳ නැහැ කියලා හිතලා පන්සලේ ඉඳන් කඩේට යද්දි කොලේක ලොතරැයියේ අංක ටික ලියං ගිහිං... පත්තරේ අරං ආවට උන්දෑ ඒක බලලා නැහැ..මට ලොතරැයිය දීලා තියෙන්නේ පත්තරෙන් බලන්න.. අංක ලියං ගිය කොල කෑල්ලත් ඒක එක්කම දීලා.. මං හොයන්නේ බලන්නේ නැතිව තාත්තම කොලේ ලියපු ලොතරැයි අංක වලට ලොතරැයියෙම අංක ගලපලා... මදැයි කොලා.. පපුවේ අමාරුවක් තිබුනනං මං දෙපාරක් මැරිලා.. ඇයි හිටි හැටියේ ලොතරැයියක් ඇදුන.. මං ඒත් ඉවසුවා.. හරියටම දවසකට පස්සේ කෝටි ගානක දිනුම නැති වෙලාම ගියා... අරකෙන් බේරුනත් මේකෙන් බේරුනා මදිද..? හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්... මදැයි ඕයි.. මං තමුසෙලා කට්ටියවත් එක්කගන දඹදිවත් යන්න හිටියේ.. ඔය කොලේ..හොහ් හොහ්..."

"ෂිහ් අපරාදේ දඹදිව ගමන ගහලා ගියා.."

එහෙම කිව්වා නෙවෙයි මට කියැඋනා...

"හොහ් හොහ් හොහ්..හෙහ් හෙහ් හෙහ්..."