30 July 2012

කහට...

ගාඩ් රූම් එකේ සීනි අහවර වෙලා... කොහොමත් මාසේ කම්මුතුයිනේ... හෙට තමා ආයේ සීනි ගන්න වෙන්නේ... ඒත් කවදාවත් නැතිව මට අද ඕන්න තේ එකක් බොන්න හිතුනා.. මං ඉතිං තේ බොනවා කියන්නේ ප්ලේන්ටියක් ගහන එකට තමා..කිරි තේ කියන්නේ මං ඒ තරං ආස දෙයක් නෙවෙයි. පිටි කිරි කලවං කරපුවා නැතිව එළ කිරි තේ එකක්නං අවුලක් නැහැ..මට පිටි කිරි අරහං...

මං සාමාන්‍යයෙන් තේ බොනවා අඩුයි. ඒත් ඉඳ හිට තේ එකක් බොන්න හිතුනම කම්මැලි නැතිව හදං බීලා දානවා.. අද වැඩ පොලේ වැඩ රාජකාරිත් සෑහෙන්න අහවර එකේ වේලාසනම නාලා කරලා තේ එකක් හදන්න හිතුනමයි දැක්කේ සීනි නැත කියන කාරණේ... ඒත් ඉතිං හිතුනම කොහොම හරි බොන්න එපෑ... ඔන්න වැක්කෙරුවා තේ කහට එකක්... හීරුවා සීනි බෝතලේ..හැන්ද අගට අහු උන සීනි ටික දමා ගත්තා අල්ලට..දැන් හරි..කකුල් දෙක බංකුව උඩට අරං පුටුව ඇල කරලා බිත්තියට තියං හාන්සිය දාගෙන තේ කහට එක බස්සනවා උගුරෙන් පහලට...දිව අගිස්සට යන්තම් සීනි කැට දෙක තුනක් තැවරෙන්න ඇරලා ඒ සීනි ඇට ටික දෙපාරක් විතර විකලා කටට දැනෙන පැණි රසත් එක්කම කහට උගුරක් ඇදලා අරිනවා... හරි සනීප වැඩේ...

දැන්නං ඔහොම තේ පෙවෙනවා අඩුයි මට නෙවෙයි හුඟ දෙනෙකුට... ඒත් අපි පොඩි කාලේ ඕක මහ අරුමයක් නෙවෙයි. හුඟාක් තැන්වල ඔය විදියට තමා අපි තේ බිව්වේ. ශ්‍රම දානයකට ගියාම උදේ වරුවේ හම්බ වෙන බනිස් ගෙඩියක් වගේ දෙයක් කාලා දාලා ඊ ළගට හම්බ වෙන තේ කහට ඩිංග කෝප්පයක දමා ගත්තට පස්සේ තේ බෙදන කෙනා විසින් අත්ලට හලන සීනි ඇට ටික හප හප තේ බොන එක කාගෙත් සිරිත... ඇයි ගොයං කයියකට ගියාම.. උදේ ඇඹුලට කියලා ඉතිං වැඩි හරියක් හම්බ වෙන්නේ පාන් ඉඳි ආප්ප වගේ දේවල්නේ... ලුණු ඇඹුල් පදමට දාපු මිරිස් ගලේ අඹරලා හදාපු පොල් සම්බල් එක්ක තැටි පාන් කෑල්ලක තෙල් වාටියෙන් කෑල්ලක් කාලා එයින් පස්සේ එන කට දැවිල්ලට තේ කහට උගුරක් සීනි කකා බොනවා තරං සුවයක් තව කොයින්ද...?(ඇයි ඊට පස්සේ දත්වල ඇලිලා තියෙන රතු පාට පැල්ලං..මිරිස් කෑලි දිවෙන් සුද්ද කරන එක..)

තේ කහටත් එක්ක තියෙන තව අපූරු මතකයන් කිහිපයක් තියෙනවා...

මුලින්ම වැව හදන කාලෙට ගියෑකි... ඒ වෙනකොට මං සාමාන්‍ය පෙල අවසන් කරලා..ගමේ ඇවිද ඇවිද ඉන්න කාලේ.. ගමේ තිබුන වැව පිළිසකර කරන්න ගත්තා රජයේ වියදමින්... වැවේ සොරොව්ව තමා කැඩිලා තිබුනේ. ඒක කොහොම කොයි විදියට තිබුනද කියලා මං කවදාවත් දැකලා තිබුනේ නැහැ..මොකද සොරොව්ව කැඩිලා වැව පාළු වෙලා තියෙන්නේ ආදි කාලයේදී... අපේ තාත්තානං ඒ සොරොව්ව දැකලා තියෙන වගක් කියලා තිබුනා...

කොහොම හරි අන්තිමේදී ගමේ ගොවි සමිතිය මඟින් මේ කොන්තරාත්තුව ගත්තා... දැන් වැවේ වැඩේ නැගලා යනවා... එක පැත්තකින් වැව් බැම්ම උස් කරමින් පස් දාලා තලන අතරේ වැවේ ඇතුල් පැත්තේ වැව් කන්දට ගල් පතුරු අල්ලනවා.. පිට පැත්තට තණ කොළ පිඩලි අල්ලනවා.. පිඩළි කපන්නේ වැව් පතුලෙන්මයි... ඒ ගමන්ම වැව හෑරෙනවා.. ඒ පස් වැව් කන්ද උඩට...

ඒ වැඩ ටික යන අතරෙම කඩං ගිහින් හායි කියලා කට ඇරිලා තිවුන වැවේ සොරොව්ව අළුතින් කොන්ක්‍රීට් යොදලා හදාගෙන යනවා.හුඟාක් ගැඹුරට වල වගේ හාරලා ඉංගිරිසි එච් අකුරේ හැඩේට පාදමේ ඉඳන් උඩට කොන්ක්‍රීට් කිරිල්ල පහසු නැහැ... සම්පූර්ණ පතුලේ ඉඳන් අඩි12ක් විතර කොන්ක්‍රීට් කරන්න වෙනවා. සිමෙන්ති කොට්ට 50ක් විතර කොන්ක්‍රීට් ඇනුවම දවසකට අඟල් 4ක් විතර බැම්ම ඉස්සෙනවා.. අනන කොන්ක්‍රීට් වලට මොනවා වෙනවද මංදා බහිරවයා ගිලින්නැහේ..දානවා දානවා ඉවරයක් නැහැ... මුලින් මුලින් පිඩලි ඇද ඇද ඉඳලා පස්සේ කොන්ක්‍රීට් ඇනීමේ පැත්තට පැන්නේ ලොකු කමටමයි.. කාටද ඇහැකි ගෑණු පරාණ එක්ක පිඩලි ඇද ඇද ඉන්න කියලා..ඒත් සවල අල්ලං වෙව්ල වෙව්ල කොන්කිරිට් අනන කොටයි..කොන්කිරිට් තාච්චි අල්ලලා අතේ ඇඟිළි දහයම හිල් වෙලා හැන්දෙන් බත් කන්න වෙනකොටයි තමා මේ උලව් කොන්කිරිට් එකේ අගලක් හරි ඉක්මනට උස යන එකේ අගේ තේරුනේ...

අපි පොඩි උන් හින්දා මුලින්ම ගත්තේ වැවේ පිඩලි ඇල්ලිල්ලට... දවසට රුපියල් 125යි කුලිය. සතියක් වැඩ කලාමයි ගණු දෙනු පියවන්නේ.. ඇයි ඒ විතරක්ද..? වැවේ වැඩ දෙන්න නං වරුවක් ශ්‍රමදාන මට්ටමෙන් සහභාගී වෙන්න ඕන.. නැත්තං වැඩ නැහැ.. ඉතිං සතියක් වැඩ කලාම වරුව කපලා දින හය හමාරක සල්ලි තමා අතට හම්බ වෙන්නේ.. එයිනුත් තව රුපියල් විසි පහක් කපනවා තේ වලට කියලා... ආන්න ඒ තේ එක තමා තේ එක...

වැඩේ යන අතරේ උදේ නවයට විතර දෙන්නෙක්ව නිදහස් කරනවා තේ හදන්න කියලා... වැව් ඉවුරෙම ගස් හෙවනක ලිපක් බැඳලා ඒකේ වතුර මුට්ටියක් රත් කරලා ඒකටම තේ කොල දාලා තැම්බීගෙන ආවම පෙරලා අරං වැවේ වැඩ කරන අයට බෙදාගෙන යන එක තමා අර තේ හදන්න දාපු දෙන්නට තියෙන්නේ... කොහොමත් දවසකට ඔතන පනහක් විතර වැඩ කරනවා... ඉතිං ඒකත් ලේසි නැහැ..සමහරු නං තේ හදන්න දුන්නම ගෙදර ගිහින් තේ වක්කරගෙන ඇවිල්ලා බෙදන්නත් පුරුදු වෙලා හිටියා.. කොහොම හරි කමක් නැහැ පැයෙන් තේ ඕන එච්චරයි නීතිය... කාස්ටක අවුවේම ඇලෙන් අත හෝද ගත්තා නොගත්තා ඇදන් ඉන්න කලිසමේම අත පිහදාගෙන එක අතකින් ප්ලාස්ටික් කෝප්පෙයි අනිත් අතට සීනි හැදි බාගෙයි අරං වැව් බැම්මටම පස්ස ඇනගෙන පිච්චි පිච්චි දුම් රහ යන්තමින් දැනෙන කහට උගුර බොන්නේ හරියට අමෘතේ ලැබුනා වගේ... එහෙවු කාලයක්...

තව ටිකක් අතීතෙට දුවන කොට ආයමත් මට කහට තේ ගැන මතකයක් එනවා.. හැබැයි ඒ කහට තේ එක මං බිව්ව එකක් නෙවෙයි.. එතකොට අපි තුන වසරේ ළමයි... මං ගිය ගමේ ඉස්කෝලේ කෑලි දෙකකට තිබුනේ.. එකක් කණිෂ්ඨය..අනික මහ විද්‍යාලය.. කණිෂ්ඨයේ තියෙන්නේ ගොඩ නැගිලි දෙකයි..ඒවෑ තියෙන්නේ 1/2/3 පන්ති විතරයි. අනිත් පන්ති තියෙන්නේ මහ විද්‍යාලේ.. කණිෂ්ටේ ඉඳන් මහ විද්‍යාලයට මීටර් හාරසීයක් විතර තිබුනා..දැන්නං ඒක ලොකු දුරක් නොවුනට ඒ කාලේ ඒක අපිට සෑහෙන දුරක්... ඒ විදියට ඉස්කෝල දෙක අතර තිබුන දුර හින්දා ඒ ඉස්කෝලෙයි මේ ඉස්කෝලෙයි අතර සම්බන්ධකං අඩුයි.

කණිෂ්ඨයේ උගන්නන්න ගුරුවරු හිටියේ හතර දෙනයි. බාලංශයේ..එහෙම නැත්තං එකේ පංතියේ හිටිය කඩේ ගෙදර ටීචයි(අම්මෝ සැර... එයත් නෑදෑනං තමා..ඒත් විහිළු බැහැ).. දෙකේ පන්තියේ හිටිය කුමාරි හාමි ටීචයි(මගේ සුදු ලස්සන ගුරුතුමී.. උඩරට කුමාරිහාමි කෙනෙක්..මට අදටත් ඇහැලෙපොල කුමාරිහාමි කිව්ව ගමන් මතක් වෙන්නේ උන්දැව..සීදේවි ටීචර් ඒ වගේම ළමයින්ට කරුණාව...)... තුන බී පන්තියේ භද්‍රා ටීචයි(ඕනම නැහැ..)..තුන ඒ පන්තියේ දයාවතී නැන්දයි... ඔව් දයාවතී ටීචර් තමා..ඒත් ඒ අපේ නැන්දනේ..

ගෙදරදී නැන්දා කියලා ඉස්කොලෙදී ටීචර් කියන්න ලේසි නැහැ.. ඒත් නැන්දා කියලා තියෙන්නේ ටීච කියලා කතා කරන්න ඉස්කොලෙදි කියලා..ඒත් ඉතිං මට කොහේද එහෙම පුරුදු... මොකද මොනවා කලත් උන්දෑ මට ගහන්නයෑ... මාමා ඉන්නවනේ නඩු අහන්න... අම්මපා උන්දෑ උන්දැගේ දරුවෝ එකොලොස් දෙනා කොහොම හදාගත්තද මංදා... ඔව් උන්දැට ළමයිම එකොලහක් ලේසිද වැඩේ අද කාලේ අම්මලානං හදයි මේං කියලා..අනික ගුරුවරියකුත් වෙලා... මාමත් විදුහල් පති කෙනෙක් වෙච්ච හින්දා උන්දැටත් නිවාඩු නැතිව කොහොම ගේමක් දෙන්න ඇද්ද... ඉතිං උන්දැට දරුවෝ හැදිල්ල වගේම දරුවෝ ආංබාං කිරිල්ලත් ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි. අදටත් උන්දෑ බොහෝම සනීපෙන් කල් අරිනවා.. මාමානං දැන් ජීවතුන් අතර නැහැ.. මාමා කියන්නේ මට හිටිය වෛද්‍යවරයා... අදටත් මං ඇවිදින්නේ උන්දෑ හදපු කකුල් දෙකෙන්.. ඒ වගේම පත පොත ලෝකය බලන්නේ උන්දෑ සනීප කරලා දුන්න ඇස් දෙකෙන්... සිංහල වෙදකම කියලා ආයුර්වේදයයි අරකයි මේකයි පටලගෙන දඟලන මේ යුගේ එහෙම වෙද්දු හොයන්න අමාරුයි...

හා හා ආයෙම මං පරණ පුරුදු තත්වෙට වැටීගෙන එනවා යන්නේ කොහෙද මල්ලේ පොල්...

ඉතිං අපි හිටියේ පොඩි ඉස්කෝලේ නෙව... ඔන්න මමත් දැන් තුන වසරේ ලොකු ළමයෙක්..දැන් අපි තමා කණිෂ්ඨෙ ඉන්න ජේෂ්ඨ සිස්සයෝ... (නැන්දනං කියන්නේ සිස්සයෝ නෙවෙයි යස්සයෝ කියලා) ඉතිං දැන් අපිට හෙනට වැඩ රාජකාරි... එතනින් ලොකුම ඩියුටිය තමා හරියටම නැන්දා පන්තියේ උගන්නන ගමන් අපිට කියන වෙලාවට දුවලා ඔපීසියට ගිහින් එකේ මේසේ උඩ තියෙන අර ලොකු සීනුව අරං ඒක අත් දෙකින්ම අල්ලගෙන කකුල් දෙක මැද්දෙන් ඉස්සරහ පස්සට වැනෙන විදියට හොලෝන එක...ඒක හිතන තරං ලේසි නැහැ.. ඕකට හොඳට පල පුරුද්ද ඕන.. ආවට ගියාට කරන්න ගෙහුන් ඒක හොලවන්න ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.

ටිලිං ටිලිං ටිලිං...... ආන්න ඒ සද්දේ ලස්සනට එන්න ඕක හොලවද්දී...

අනිත් රාජකාරිය තමා ඉන්ටබෙල් එකට..(ඒ කාලේ තිබුනේ එහෙම එකක් දැන්නේ ඔය ඉන්ටවල්ද මොකක්ද එකක් ඇවිත් තියෙන්නේ) "ඇදිහැස" විස්කෝතු බෙදිල්ල... එකාට අටයි.. බෙදන දෙන්නටයි.. විස්කෝතු පෙට්ටිය කාමරෙන් උස්සං එන දෙන්නටයි ඒ අටට අමතරව කොන් කෑලි ටිකයි... අම්මපා බලං ගියාම මේ කොමිස් ගැහිල්ල අපිට හුරු වෙලා තියෙන්නේ ඉස්කොලෙන්මද මංදා...

ඔය රාජකාරි වලට අමතරව තියෙන වැදගත්ම රාජකාරියක් තියෙනවා.. ආන්න ඒක තමා මේ තේ කහට කතාව...

පොඩි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉදන් මීටර් පනහක් විතර දුරින් හිටියා වයසක ජෝඩුවක්.. ගිරි ගෝරිස් ආතයි..ආච්චියි.. ආතා වඩු බාස් කෙනෙක්..ඒත් ඒ කාලේ වෙද්දී උන්දැට එහෙම වැඩ කරන්න හයි හත්තියක් තිබුනේ නැහැ. කොයි වෙලෙත් ඉස්සරහා බිත්ති කණ්ඩියක වාඩි වෙලා කෙදිරි ගගා ඉන්නවා ඇරුනු කොට... ආච්චිනං ටිකක් විතර එහෙ මෙහෙ වෙවී වැඩ කරනවා. අපිට තියෙන ඩියුටිය තමා උදේ ඉන්ට බෙල් එක දෙන්න ඔන්න මෙන්න කියලා දෙන්නෙක් එක්ක ගෙහුන් ආච්චි උණු කරලා දෙන කහට පෝච්චිය උස්සං එන එක.

සමහර දවසකට අපි යද්දිත් ආච්චි කුස්සියේ බිම ඇණ තියාං ළිපට පොල් කොල දදා පිඹිනවා... අපිත් ඉතිං ගෙහුන් උන්දැට ලිප ගිනි මොලවන්න උදව් දෙනවා... පරණ කලු ගැහුණ චීනච්චට්ටි තේ පෝච්චියට උන්දෑ වතුර තියලා ඒක පැහීගෙන එද්දී ඒකටම පුංචි ටින් එහෙකින් අරං තේ කොල හැන්දක් දානවා... ඒ කරලා රෙදි කෑල්ලකුත් එක්ක අපිට දෙනවා "පරිස්සමට අරං පලයල්ලා පුතේ" කියලා.. අපි ඉතිං අර රත් උන පෝච්චිය රෙදි කෑල්ලෙන් අල්ලං ඒකත් අරං ඇවිත් ගුරු විවේක කාමරය හා ඔපීසිය හැටියට පාවිච්චි කල කාමරේ මේස උඩ තියලා තියෙන දරණුව උඩින් ඕක තියනවා.. එච්චරයි...අපේ කාරිය අවසන්... උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙලා ඉන්න ගුරුවරු හතර දෙනාම එයින් පස්සේ ඇවිත් ගෙනාව දෙයක් කාලා අර දැළි පෝච්චියෙන් කහට වතුර කෝප්ප වලට හෙමිහිට පෙරං සීනි ඇබින්දකුත් අල්ලට හලං තේ කහට බොනවා...ඒ තමා අපේ ගුරුවරු ඒ කාලේ තේ බීව හැටි...

දැකලා තියේද අර උපේක්ෂා..ඔව් ඔව් අර පබා බබා තමා..උන්දෑ හිතේ කහට නැතිව සුදෝ සුදු කෝප්ප වලට තේ වක්කරලා තේ බෙදන දැන්වීම... අනේ අපේ ටීචර්ලා...

29 July 2012

ඔන්න ආවා...


කලින් දැනං හිටියේ නැහැ..උදේ ඉරිදා පොල ගාවට යද්දි මෙන්න ගමට හැරෙන පාර ගාව කටවුට් වලින් ගහපු තොරණක්... හවස දෙකටයි කිව්වා අමතන්නේ... මං ඉතිං කලින් දාගත්ත ගමනක් යන්න තිබුන හින්දා ඒක ගියා... ඒත් මෙන්න හවස 4ට විතර ඒ ගමන ගිහින් එද්දී වාහන ටික ආවා... 2ක 4 වෙලා.. ඔව්වා අවුලක් නැහැ..මේක අත්තනගල්ල ආසනේ නෙව... ආයේ ඉතිං මෙහෙ හිටිය ලොකු මැඩොංගේ ක්‍රමේටම තමා මෙහෙ අනිත් අයත් වැඩ කරන්න ඕන...

කොහොම හරි මං වාහන වලින් කට්ටිය බැහැලා යන හැටි දඩ බඩ ගාලා පොටෝ ගහගෙන මගේ ගමන ගියා.. ඒ ගෙහුන් ආයේ හවස 5ට විතර එතැනින්න යද්දිත් සද්දේ ඇහෙනවා..මං ටිකක් ස්ලෝ කරලා අහලා බැළුවා.. කවුද කතා කරන්නේ කියලා.. නැහැ මං හිතුව කෙනා නෙවෙයි.. වෙන කවුද හාදයෙක්.. ඒ ගමන මට තේරුනා 2ට කිව්වට 6ට තමා අමතන්නේ කියලා..මං ඉක්මනට ගෙදර දුවලා ඇවිත් ඇතුලු උනා සාලාවට...අන්න එත‍කොට තමා අපූරු වැඩක් උනේ.. මෙන්න සාලාවේ දොරකඩ ලග ඇතුළු වෙන අයව පරීක්ෂා කරනවා..

ඒක විහිළුවක් වෙන්නේ ඇයි කියලා දැන් කස්ටිය හිතයි.. යක‍ඩෝ ඉස්සෙල්ලා මං මේ හෙල්මට් එහෙකුත් දාගෙන පාරේ හිටිය ගමන් බයික් එක පැත්තකට දාලා දුවන් ඇවිත් පොටෝ ගගහා අදාල පුද්ලගයා අත ගාන්න හැකි මට්ටමට ආවා තත්පර තිහක් වගේ වෙලාවක් ඇතුලත... එහෙම හැකියාවක් මට තියෙනවා කියන්නේ උන්නැහේට අතුරු ආන්තරාවක් කරන්න ඕන කෙනෙකුට කිසිම බාධාවක් නැහැ කියන එකයි... එහෙම තිබිලා දැන් මේ සාලාවේ ඇතුලට යනකොට විතරක් චෙක් කරන්නේ අහවල් එහෙකටද..? හරි ඒක අල්ලලා දාමුකෝ.. මං ලියා කෙලින්ම බැල්කනියට.. එතනට හොඳට පේනවා...

ඇත්තටම ඔන්න සෙනග ගොඩක් හිටියා..ආයේ මොකට බොරු කියනවද... සාලාවේ යට තිබුන පුටු පිරෙන්නයි.. බැල්කනියේ පුටු ටික පිරෙන්නයි හිටියා... විස්සක් තිහක් හිටගෙනත් හිටියා වටේට... මං හිතන්නේ සාලාව ඇතුලේ ඔක්කෝම පුටු තියන්න ඇහැකි 400 ක් 500ක් විතර... ඉතිං ඒ කියන්නේ එයිටත් වඩා කට්ටිය මං යද්දී හිටියා...

ඔන්න මං දැකලවත් නැති නම අහලවත් නැති මෑන් කෙනෙක් වේදිකාව දෙදරන්න කෑ ගහනවා... හැබැයි ඒකේ වැඩි හරියක් තමුන් ගැන වරුණාව... ඒකේ සාරංශය ඇවිල්ලා.. "මං වැඩක් කරපු හාදයා..හිටියේ හූ ඇන් පීයේ.. හැබැයි අපේ ලොක්කෝ මං ගැන හොයන්නේ නැහැ.. ඒත් මේ මහත්තයා මං ගැන හෙව්වා බැළුවා.. ඒ හින්දා මං මීට පස්සේ මේ මහත්තයා සරණ යමි." කොහොමහරි ඒ කතාව ඉවරයි..

මං ඉතිං බිත්තියකට හේත්තු වෙලා පොටෝ කෑල්ලක් දෙකක් අල්ලන ගමන් ලෑස්ති උනා ප්‍රධාන දේශනය අහන්න..මොන...

මෙන්න ඒ පාර අපූරු යාළුවෙක් මතු උනා...

සුප්‍රසිද්ධ අගවිනිසුරුතුමාණෝ...හිටපු...

ඔන්න හෙන ෆයිල් එහෙකුත් ඇන්න ඇවිත් පටන් ගත්තා... මෑන් මැරිලා ඉපදිලා... අතීතය අමතකයි... අර දුමින්දගේ ලෙඩේමයි... පොරට අනුව පොර මහත් වූ වැර වීරියෙන් තැනූ නිතීයේ මොකක්ද මාළිගාවට දැන් බෝම්බ වැදිලලු... මෑන් බබා... මෑන්ගේ කාලේ එහෙං පිටින්ම අමතක වෙලා.. හා ඒකත් කමක් නැහැ කියමුකෝ..වයසක හාදයානේ...

හැබැයි මෑන්ගේ කතාව ඉවර වෙද්දී මට සීට් එකක් හම්බ උනා... හේතුව දන්නවනේ...

ඒ ධර්මදේශනය අවසනවත් කතාව අහන්න කියලා සෙට් වෙනකොටම මෙන්න අර හිටිය නළු මහත්තයා...

කඩුවෙල කැටගොඩ... හුටා..ද සිල්වා හොඳයි... මෙයා හිටිය සෙනගින් සෑහෙන පිරිසක් ආපහු ඇරියා... මට දැන් අල්ලපු සීට් එකත් අයිතියි..හොඳට හරි බරි ගැහුනා ප්‍රධාන දේශනය අහන්න... හත් ඉලව්වේ.. මේන් තෙවරක් පෙර පෙර ආව කෙනෙක් ඒ පාර දුන්නා ටෝකක් ගිනි විසි වෙන්න... කොටින්ම මෑන් කියන්නේ මෑන් නිතර හිරේ යන කෙනෙක්ය..ඉතිං හිරේ හැටි දන්නවය..එහෙවු හිරෙ හිටිය හින්දා අර උන්නැහේට බොක්කෙන්ම ෆිට්ය කියලා...

ඒ කතාව අවසන කවුරුවත්ම හිටගෙනත් නැත..පුටු අතරිනුත් අතරින් පතර හිස්ය..බැල්කනියේ හිටි අයගෙන් බාගයක්වත් නැත... හොඳ වෙලාවට කූල් කැප්ටන් නොහිටියේ..ඒ හිටියනං ඔය ටිකත් නැතිව ලොකු උන්නැහේට කතා කරන්න වෙන්නේ හිස් පුටු ටිකට තමා...

ඔන්න ය‍න්තං දේශනය පටන් ගත්තා... වෙලාව හයාමාරයි...

බොහෝම පැහැදිලිව නිරවුල්ව කතාව කෙරුනා... ඉස්සර අපි දැකපු ‍ආවේගශීලී කතා නැත. බොහෝම සංවරව කතාව කෙරුනා. අළුතෙන් ගන්න දෙයක්නං තිබුනේ නැහැ. අර මේ දවස්වල නිතර කියන කාමරතුනේ ගෙවල් හැදීම ගැන එහෙමත් කිව්වා..හැබැයි ඒ කතාවේ අවසාන බාගය වෙච්ච අර කඩුවෙල හදන ඇමති නිවස ගැන කියන්න අමතක උනාද අමතක කලාද කියලා මට තේරුනේ නැහැ..කොහොම හරි ඒ ගැන වචනයක්වත් කිව්වේ නැත.

බොහෝම පිළිවෙලට කතා බහ කරලා අවසානේදී සබා තොමෝ සතුටින් විසිර ගියා.. මාත් එන්න ආවා...

කොහොම උනත් දැන් උන්නැහේ අර ආවා වගේ නැතිව ටිකක් පිළිවෙලට ගමනක් යන හැඩක් පේන්න තියෙනවා... අඩුවකට තියෙන්නේ තමන්ටම කියලා සැලැස්මක් නැති එක තමා. රට දියුණු කිරීම ගැන නිතර කිව්වත් ඒක කරන හැටි හෝ එයට අදාල වැඩ කටයුතු ගැන පැහැදිලි කිරීමක් නැහැ. මං හිතන්නේ ඒක රහසක් වෙන්න ඇති. ඒකත් හා කියමුකෝ.. හැබැයි මට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක නෙවෙයි..

ඒක ඇත්තටම මගේ ලොකු ප්‍රශ්නේ නෙවෙයි...උන්නැහේටම ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක්.. ඒ තමා තාමත් ලං කරං ඉන්න අය හින්දා එකෙක් දෙන්නෙක් හරි අහිමි කරගන්නවා කියන දේ... ඒත් අදත් ඇස් පනා පිටම පෙනුනා.. උන්නහේ එද්දී හිටිය කොටසින් බාගයක් අවසානෙදී හිටියේ නැහැ. ආන්න ඒ ටික තේරුං ගන්න පුළුවන් කමක් ලැබුනනං උන්නැහේ හැබෑවටම දිනනවා.. එච්චරයි මට කියන්න තියෙන්නේ... වටේ ඉතිරි වෙලා ඉන්න හාල් කෑලි ටිකත් හලලා..හරි හමන් දැනුමක් තියෙන අය කිහිප දෙනෙක් ලං කරං හොඳ රටට ගැලපෙන පාලන සැලසුමකුත් හදාගෙන ආවනං දුර ගමනක් යන්න තාමත් උන්නැහේට පාර විවෘතයි කියන එකයි අවසානෙදි මට කියන්න තියෙන්නේ...

28 July 2012

තරු පෙනෙන ලයිට් කැපිල්ල...

පළමුදා රෑ...

හරියටම රෑ අටයි එකොළහයි... කැපුවා ලයිට්..හරිනේ දැන් බඩුම තමා...නොදැන හිටියානං නෙවෙයි..දැනං හිටියා..ඒත් පත්තරේ තිබුන වෙලාව නෙවෙයි... හා ඒකෙන් කමක් නැහැ..දැන් මොකද කරන්නේ..දවලුත් ලයිට් කැපුවා ඒ පැය දෙක හමාරකට... ෆෑන් එක නැතිව ටිකක් දාඩිය දානවා තමා..ඒත් අවුලක් නැහැ කියලා හිතලා ගිහින් ඇඟ හෝදං ඇවිත් වැටිලා නිදා ගත්තා... ඔහොමවත් උනේ නැත්තං කොච්චර ඇහි පිල්ලං ගැහුවත් මං දැන් දවල් නිදියනවා අඩුයිනේ..ඉන්න බැරිම මට්ටමට ආවොත් වාඩි වෙලා ඉන්න පුටුවේ ඇන්ද දිග ඇර ගත්තා එකේම විනාඩි දහයක් කුකුලා ගැහුවා...

දැන් රෑත් ලයිට් නැත... මේකනං විනාඩි හතළිස් පහයිනේ..ඒත් තත්පරෙන් තත්පරේ රස්නය වැඩි වෙන හැටි මට දැනෙන්න ගත්තා... ඒකත් කමක් නැහැ කියමුකෝ... කූං... සුපුරුදු හඩ... ෆෑන් එක නැති වෙච්ච ගමන් ඔය සුමිහිරි ගායනය ඇහෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ... පහුගිය දවසක මදුරු උගුලකුත් හැදුවා..ඒකට මේ වෙනකොට අහු වෙලා තියෙන්නේ කැරපොත්තෝ හතරකුයි මඳුරුවෝ තුන් දෙනෙකුයි විතරයි... එයිට අමතරව තවත් හදුනා ගත නොහැකි කෘමියෙකුත් හිටියා... ඊස් පැකට් එකට වියදං කල රුපියල් 35ටත් පාඩුයි... ඔන්න අන්තර්ජාලයෙන් දෙන හඳුන්වාදීම් කරන්න ගියාම වෙන ප්‍රතිඵලේ...

අවසානෙදි මං තීරණය කලා එළියට යන්න... ඇඳන් හිටි සරම තද කරලා ඇඳ ගත්තා..මෙච්චර වෙලා ඒක තිබුනේ ඔහේ ඇගේ දැවටිලා විතරයි නෙව... තුනී ටී ෂර්ට් එහෙකුත් දාගත්තා..කෝකටත් කියලා..ඇයි ඉතිං කලුවරේ ඔහේ එළියට වෙලා ඉන්නකොට පාරේ යන අය මේ මොකාද කියල ටෝච් එකක්වත් ගහලා බැළුවොත් උන්ට හරි මදිනේ..මටනං අවුලක් නැහැ... කරුවලේම අතපත ගාගෙන ඉස්සරහා දොර හොයාගෙන යද්දි අතර මගදී මතක් උනේ යකෝ ටෝච් එකක් තිබුනා නේද ඇදේ කොනක තියලා කියලා... ඒත් ඉතිං ආයෙමත් ඕක හොයන්ට ගෙහුන් මහන්සි වෙන වෙලාවේ මේ ටිකත් ඔහොමම යං කියලා දොර හොයං කළුවරේම එළියට ගියා...

මේ ළගකදී මං ගියා නෙව ග්‍රහලෝකාගාරයට... ඔය ගියා ගියාමයි... පොඩි කාලේ සත්තු වත්ත බලන්න කටුගේ බලන්න එහෙම ගෙහුන් තිබුනට ග්‍රහලෝකාගාරේට ඔය ගියාමයි... හැබැයි පොඩි කාලේ යන්න වෙනවට වඩා මේ කලේ ඒකට ගිය එක හොදයි කියලා මට තේරුනේ හවස දෙකේ ෂෝ එක බලලා ඉවර උනාමයි.. ඒක පැයක දර්ශන වාරයක්... බොහෝම වටිනවා.. ඉස්කෝලවල පොඩි උන් පිරිලා හිටියා... ඒත් උන්න මොනවා තේරුනාද මංදා... ඈත පළාත්වල ළමයි වගේ පෙනුමෙන්..හිච්චි කොල්ලෝ කෙල්ලෝ ටිකක්... මං හිතන්නේ වැඩි හරියක් උන්ට පුටු උඩම නින්ද යන්න ඇති..මටත් එහෙම නින්ද යන්න ආවා මුලදිම... උදේ ඉඳන් බස්වල ඇවිත් තෙහෙට්ටු වෙලා හිටිය පොඩි උන්ට කොහොම අමාරුවක් ඇද්ද..අනික පාන්දරම ඇහැරවගෙන දක්කන් එන්න ඇත්තේ... බොඩි කාලේ නොගිය එකමයි කාරිය කියලා හිතලා මං තරු බැළුවා...

ඔයිට කලින් මං ග්‍රහලෝකාගාරය බලන්න ගිය අයගෙන් වරින් වර විස්තර ඇහුවා ඒක කොහොම එකක්ද මොනවද බලන්න තියෙන්නේ කියලා.. ඒ හැමෝම කිව්වේ අහස පෙන්නනවා ග්‍රහලෝක පෙන්නවා කියලා විතරයි...උන්දලා කියපු විස්තර වලට අනුව මට තේරුං ගන්නත් බැරිව තිබුනේ මේක කොහොම තැනක්ද කියලා.. ඒත් අන්තිමට මේක බැළුවම මටත් තේරුං ගන්න බැරිව ගියා කොහොමද ඒ ගැන කාටවත් හරියටම විස්තර කරලා දෙන්නේ කියලා...

ඒක හරියට පොල් කට්ටක් යටට ගිහින් පොල් කටුව ඇතුලේ වටේට රවුමට තියලා තියෙන හාන්සි පුටුවක වාඩි වෙලා ඉන්නවා වගේ වැඩක්..මට ඉහළින් ගෝලාකාරව තියෙන සුදු පොල් කටුව අඳුරු කරලා ඒකට තරු රටාවන්...හ්ම්ම්..ඒකට කියන වචනේ මොකක්ද..ප්‍රක්ෂේපණයද..? මං දන්නේ නැහැ මොකක් හරි එහෙම වචනයක් වෙන්න ඕන..අර පොල් කටුව මැද තියෙන මැෂින් එකකින් එල්ල කරනු ලබන ඇහැට නොපෙනෙන කිරණ ධාරාවක් මඟින් සම්පූර්ණ අහසේ තරු රටා මවනවා.. ඒක ඇත්තටම රෑ කාලේ වළාකුල් නැති.. සඳ පායා නැති දවසක අහස වගේමයි... කට්ට කළුවර අහසේ තරු දිදුලනවා... ඒවා ගමන් කරනවා... පසුබිම් කථනයක් මගින් ඒ ඒ තරු අපට හඳුන්වා දෙනවා.. හුගාක් විස්තර කෙරෙනවා... අතීතයේ ඕනම නිශ්චිත දවසක අහස වගේම අනාගතේ දවසක අහසත් මේ ආකාරයි කියලා පෙන්නුම් කල හැකියි. දවසේ විස්තරයට ගන්නේ එදා රෑ හතට විතර අහස පේන හැටි මෙහෙමයි කියලා පෙන්නලා... ඒ තරු ගමන් කරන හැටි පෙන්නලා දෙනවා... හරි අපූරු විස්තරයක්... පුංචිම උන්ට ඒක හොඳ විසිතුරු ගමනක්..ඒත් වැඩියම වටින්නේ ටිකක් ලොකු ළමයින්ට කියලයි මංනං හිතන්නේ..වැඩිහිටියන්ටනං ඇත්තටම සුදුසුයි. ලෝක බෝලේ ඇතුලේ ඔහේ ඉන්න ගමන් හෙන ලොකුවට අපි ගැන හිතං හිටියට.. විශ්වය දිහා බලාගෙන ඉන්නකොට අපිට අපි මොක්කුද කියලා තේරෙන්න ගන්නවා...

කොහොම හරි එළියට ආවා..හැබැයි එදා වැහි බර අහස... පැත්තකින් කලා දෙක තුනක් පිරුනු සඳත් බොහෝම අමාරුවෙන් වළාකුල් අස්සෙන් මතු වෙනවා ආයේ නොපෙනී යනවා... ඉතිං තරු කොහේ පේන්නද... ඒත් මං බලා හිටියා...

ටික වෙලාවක් යනකොට මට තරු පේන්න ගත්තා... අතරින් පතර...ඒත් ඒ පේන එකෙන් දෙකෙන් තරු හඳුනා ගැනීමේ අවස්ථාව අඩුයි... ඒත් මං බලං හිටියා... අහස දිහා බලාගෙන මං කල්පනා කලා.. අපි පොඩි කාලේ තරු බැළුව හැටි...

ඇත්තටම ටීවී නැතිව ගෙවුන ළමාකාලයේ රෑකට අපිට කරන්න දේවල් ගොඩක් තිබුනා... අම්මා හිටිය කාලෙනං රෑට කවි කතන්දර බොහොමයි.. ඒත් තාත්තා කතා දැනං හිටියේ නැහැ ගොඩක්..දන්න කතා දෙක තුන හැමදාම පට්ට ගැහුවා.. ඒත් ටික කාලයක් යනකොට තාත්තා කතා වෙනුවට පරණ දේශපාලන කතා කියන්න ගත්තා... ඒවා සුරංගනා කතා වලට වඩා අපූරුයි... අම්මා කියා දුන්න දුටු ගැමුණුලා පණ්ඩුකාභය කුමාරයා යට ගිහින් ඇන් ඇම්ලා..කොල්වින්ලා වීරයෝ උනා...

එහෙම කතන්දර විතරක් නෙවෙයි හොඳට අහස පැහැදිලි දවස්වලට අපි තුන්දෙනාම ඉස්තෝප්පුවට ඇවිත් සිමෙන්ති‍ කණ්ඩිය අයිනේ බිම වාඩි වෙලා අහස බලනවා...

දුක දුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා... වැනි කවිපදයක් කියමින් තාත්තා අපට සඳ හා තරු පෙන්වයි... තමා දන්නා තරමින් තරු අතරින් බ්‍රහස්පතී හා අගහරු පෙන්වයි... එයිට අමතව බදාදා රෑ නවයට පමණ අපගේ ගෙට ඉදිරියෙන් වූ ගස් ගොන්නක් මැදින් ගෙට මඳක් පැත්තකින් තිබූ "ළියඟු" ගසට ඇදෙන දේවතා එළිය පෙන්නීමත් බොහෝ විට කෙරෙන දෙයකි... එය නිල්පාට ආලෝකයකි. ඇස් රිදෙන තුරා බලන් සිටින විට එක් ඇසිල්ලකින් ගස් මට්ටමේ සිට ඇඳී යන්නකි... සෑම බදාදාම නැතත් මාසයකට දවසක් හෝ අප බදාදාට දේවතා එළිය බලන්නට අමතක නොකලෙමු. ඒ සෑම විටම නැතත් වර්ෂයකට දෙතුන් වතාවක්වත් මෙම ආලෝකය තත්පරයකට පමණ දකින්නට අපට හැකි විණි.. කතා කරන්නට තහනම් කොට ගස් ගොන්න දෙස බලා සිටින්නට යාමෙන් බොහෝ විට අප දෙදෙනා නින්දට වැටීම හේතුවෙන් බොහෝ විට එම දර්ශනය අපට මග හැරුනු බව කිව යුතුය...

ලයිට් එන්නට තව වෙලා තිබේ... අතීතය මතක් කරමින් අල්පයක් වූ තරු දෙස බලමින් සිතන්නට වීමී... අහල පහලක කිසිවකුත් ඇති වගක් හැගෙන්නේ නැත... මේ මිනිස්සු මොනවා කරනවා ඇද්ද.. ගෙවල් ඇතුලට වී ඉටි පන්දම් හෝ වෙනත් ආලෝක මැද ඔහේ මේ කෙටි කාලය ගෙවනවා ඇතිද..? මේ ගෙවල්වල පොඩි උන් නැතුවාද...? උන්ට අහසේ අසිරිය උරුම නැතිද..?

ලයිට් කැපීම මහා අලකලංචියකි. බොහෝ මිනිසුන්ගේ වැඩ අවුල් කර දමන්නකි..එහෙත් දිනපතාම හෝ මෙවැනි සුළු කාලයක් ලැබෙන්නේ නම් මට හැමදාම අහස බලා ඉන්නට තිබුනි... තරු රටි හදුනා ගන්නට තිබුනි. අතීතයේ සිට මුතුන් මිත්තන් විසින් තණ බිම්වල.. ගොවි බිම්වල සිට බලා සිටි..ඔවුන් දෙස බලා සිටි තරුකා මා දෙසත් බලා සිටින්නට පුළුවන..මටත් මගේ මුතුන් මිත්තන් දුටු මිතුරන් දෙස බලා සිටින්නට තිබිණි. එහෙත් හැමදාමත් ලයිට් කපන්නේ නැත... ලයිට් ඇති දිනවල පැහැදිලිව අහස බැලීමට අපහසුය... ඒ අවට ඇති විදුලි ආලෝක ධාරා ඇසට වැටීමෙන් ඇති වන පීඩාව හේතුවෙනි.

දැන් මිනිසුන් කුමන හෝ හේතුවක් මත ඔවුන්ගේ පැරණි මිත්‍රයින් අමතක කොට ඇත. ඔවුන්ගේ දරුවන්ට සිය දීර්ඝ කාලීන මිතුරන් හඳුන්වා දෙන්නට උත්සහ නොගනී... තව දුරටත් දරුවන්ට හඳ මාමා කෙනෙක් නැත. ඇත්තේ තවත් එක පෘතුවියේ උප ග්‍රහයකු පමණකි. කිරි පැණි ගැන කුමන කතාද..?

මෙව්වා මෙහෙම වන විට දරුවන් රොත්තක් වටකොට ගෙන ඔවුන්ට කතා කියා දෙමින් සඳ තරු පෙන්වමින් කාලය ගෙවන්නට ඇත්නම් යැයි සිතේ... එහෙත් මා වටා කුමන දරුවන්ද... අනුන්ගේ දරුවන්ට කතා කියන්නට යෑම කල නොහැක.. එසේ නම් මටම කියා දරුවන් සිටිය යුතුය.. එහෙම දරුවන් හදන්නට ගියහොත් සිදුවන්නේ රෑ පැයක් දෙකක් අහසේ තරු බැලීමටත්..ඉතිරි කාලය මුළුල්ලේම මට තරු පෙනීමත්ය... මට මහා බියක් දැණිනි... ඒ තරු බැලීමෙන් කමක් නැත.. මා ආපසු හැරුණි... එක්වරම ආලෝකය පහල විය...

ලයිට් ආවා...

25 July 2012

මාරයා ඔබා අයියාගෙන් මුදල් ගත්තාද..?

අහක යන ටිංකිරි ගාගන්න කැමැත්තක් නැතත් දිගින් දිගටම ඇදිලා යන කතා අතරේ යන අදාල නැති මඩ පාරක් දැක්කම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනද නැද්ද කියලා සෑහෙන්න හිතුවා.ඒත් අපේ බ්ලොග් කියවන අය අතරේ සමහරක් ඉන්නවා කිසිම දෙයක් හරියාකාරව අවබෝධ කරගන්න බැරි මට්ටමේ අය... හොඳම උදාහරණේ තමා මේ දවස්වල නැගලා යන වර්ගපූර්ණිකාවට සීරියස් කමෙන්ට් දාන උදවිය... කිසිම දෙයක් හොයා නොබලා දෙන දේ ගෙඩිය පිටින්ම ගිලින අය ඉන්න තැනක සුළු හෝ පැහැදිලි කිරීමක් නොකරන එක අවසානෙට බොරුවක් ඇත්තක් බවට පත් කිරීමක් වෙන්න පුළුවන් කියලා හිතෙන හින්දා අකමැත්තෙන් උනත් මේ ටික කියන්න සිද්ධ වෙනවා.

මේ දවස්වල බ්ලොග් අතරේ ඇනෝනිමස්ලා වැහි වැහැලා වගේම මඩ ලොරි ගානට එහෙ මෙහෙ වෙන්නේ.. ඕවා නොදන්න අය නැහැනේ.. හැබැයි ඊයේ වෙනකොට ඇනෝ කෙනෙක් හැටියට නැතිව බ්ලොග් කරුවෙක් පැහැදිලි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තිබුනා තවත් බ්ලොග් කරුවෙකුට. මේ තියෙන්නේ ඒ ලිපියට පාර...


ඔය ලිපිය ගැන නෙවෙයි මං මේ කතා කරන්න යන්නේ.. ඔය ලිපිය ගැන තවත් අළුත් මඩ බ්ලොග් එකක් වන කබ්බන්ගේ ලෝකය යන අඩවියේ අද පල උන පොස්ටුවක් ගැනයි...


ඔකේ තියෙනවා කොටසක් මෙන්න මෙහෙම...

"මට මෙහි මාරයාගේ ස්ථානය ගැන මා හට කිසිම වැටහීමක් නැත.ඔබා ව ATM යන්ත්‍රයක් කරගත් අංක එකේ තක්කඩියා විසින් අභීත ගැන ලියන්නේ කෙසේදැයි මට ප්‍රහේලිකාවකි.අභීතයා සල්ලි ගත්තේ දුක කියා නයටය.මාරයා සල්ලි ගත්තේ දුක කියා පිනටය."

මට කියන්න ඕන ඔන්න ඔය කෑල්ල ගැන විතරයි...

මම මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් දැන් අවුරුදු තුනකට ආසන්නයි..මේ කාල සීමාව ඇතුලතදී මම බ්ලොග් ලියන කියවන බොහෝමයක් පිරිස දැන හඳුනා ගත්තා... ඒ අය අතරින් සමහරු බොහෝම සමීපව ආස්සරය කරන්නත් ගත්තා... සමහරුන්ව ටික දවසක් ආස්සරය කරලා ටිකක් ඈත් කරලත් දැම්මා.. තවත් අය එදා ඉදන් අද වෙනකල්ම ආස්සරය කරනවා.

හැබැයි පුතෝ ඔය ඇසුරු නිසුරු කරන අයගෙන් වවාගෙන කන්නවත්.. කඩාගෙන කන්නවත් ගිය එකෙක් නෙවෙයි මේ උන්දෑ... ආන්න ඒක පැහැදිලිව කියන්න ඕන.

මට මෙතනදී කියන්න අයිතියක් නැහැ මම බ්ලොග් කරුවන් සමඟ ගනු දෙනු කරන්නේ නැහැ කියලා.. හැබැයි ඒ මම දැනට සුළු ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන කේන්ද්‍ර බැලීමට සම්බන්ධවයි. එයට අදාලව මං ආරම්භ කරලා තියෙන බ්ලොග් එකේ සඳහන් පරිදි බොහෝම නිරවුල්ව ගනුදෙනු අද වෙනතෙක් කරලා තියෙනවා. ඒ කියන්නේ මට යම් කිසි කෙනෙක් අදාල කාර්යයට මුදල් ගෙවා ඒ බව තහවුරු කර ගත්තට පස්සේ අනිවාර්යයෙන් පොරොන්දු කාලය ඇතුලත ඒ වැඩේ කරලා දීලා තියෙනවා.. ඒ වගේමයි මේ වෙනකල් එකම ගණු දෙනු කාරයෙකුටවත් පොලු තියලා නැහැ. සල්ලි අරං මඟ ඇරලැ නැහැ.. දෙනවයි කිව්ව දවසට වැඩේ නොදී ඉදලත් නැහැ... මොනවාම හරි අවුලක් හින්දා මට එයාලා ඉල්ලන දවසට වැඩේ දෙන්න බැරි වෙන තත්වයක් තියේනං එයාලා මට කතා කරනකල් නොයිද මංම කල් ඇතිව තියෙන අපහසුතාවය පැහැදිලි කරලා දීලා දවසක් හෝ දෙකක් කල් අරං ඒ දේවල් විස්වාසය ආරක්ෂා වෙන විදියට කරලා දීලත් තියෙනවා. ඒ ව්‍යාපාරය අංශයෙන්..

අනිත් අතින් මම එක ගනුදෙනුවක් කරලා තියෙනවා බ්ලොග් අවකාශ තුල දැන හඳුනාගත් අයකු සමඟින්.. (මගේ ව්‍යපාරය ආරම්භ කරන මොහොතේ) හැබැයි ඒ ඔබා අයියා නෙවෙයි... මාව දන්න හුග දෙනෙක් දන්නවා ඒ කා එක්කද කියලා.. මට උන්නැහේගෙන් අහන්නේ නැතිව මෙතන නම දාන්න විදියක් නැහැ.. ඒත් උන්නැහේම ඇවිත් මෙතන කමෙන්ටුවක් හැටියට හරි ඒ ගැන කියනවනං මං බොහෝම සතුටුයි.

ආන්න ඒ ගනු දෙනුව ඇර කිසිම ආකාරයෙන් පෞද්ගලිකව මුදල් ගනුදෙනුවක් මංතුමා එක්ක වෙන කාටවත් නැහැ.

එයට අමතරව මගේ ගිණුමට ලක්ෂ ගණන් මුදල් එවපු අය හිටියා. හැබැයි ඒ මට නෙවෙයි අපි සමූහයක් එකතු වෙලා කරපු පොදු වැඩවලට. ඒ ගැන විස්තරත් ඕනනං මට පෙන්නිය හැකියි කිසිම ගැටළුවක් නැතිව... එහෙම පොදු වැඩ වලට මට මුදල් එවපු අය අතරින් කවුරු හරි මට කියනවනං ඒ ගැන පැහැදිලි කරන්න කියලා මං ඒ ටිකත් මෙතන පෙන්වන්නං... බොහෝම නිරවුල්ව කෙරුණ සමාජ සේවා කටයුතු ටිකක් ඒ...

එතකොට ඔබා අයියාට මං ණය නැද්ද..?

ඔබා අයියාට මං ණයයි..ඇත්තටම ඒ මනුස්සකමේ ණය විතරයි.. ඒ තරමට අදහාගන්න බැරි තරමේ මනුස්සකමක් ඔබා අයියා මට දුන්නා.. ඒ ගැන මං අවුරුදු දවසේ ලියපු පෝස්ටුව කියවන කෙනෙකුට දැන ගන්න පුළුවන්. දැන හඳුනාගත් දවසේ පටන් නිතරම මට කතා කරපු මනුස්සයෙක්... ලංකාවට ආවනං කොහොම හරි ඇවිත් මාත් එක්ක කතා කරලා යන මනුස්සයෙක්... නිතරම මගේ ගැන හොයා බලපු මනුස්සයෙක්... ඇතත්ම කිව්වොත් මං ව්‍යාපාරය ආරම්භ කරන්න හදන වග දැනගෙන මගෙන් කතා කරලා මට උදව් කරන්න ලෑස්ති වෙච්ච මනුස්සයෙක්.. එහෙම උදව් කරන්න හදන වෙලෙත් මට ඔබා අයියගෙන් උදව් ගන්න ඕන උනේ නැත්තේ මං කලින් කිව්ව මම ගනුදෙනුවක් කල එකම කෙනා මට ඒ වන විටත් උදව් කරලා තිබුන නිසයි. ඔය තමා ඇත්තම කතාව...

හැබැයි ඔබා අයියා බ්ලොග් අවකාශය තුල කා එක්ක ගනුදෙනු කලාද..? ඒ කරපු ගණුදෙනු ආයෙමත් ඔබා අයියට ලැබුනද නැද්ද..? ඒවායේ වටිනාකම් කොහොමද..? කියන කරුණු මං ඉතාමත් හොඳින් දන්නවා. මොකද අවසානය දක්වාම ඔබා අයියා මාත් එක්ක කතා බහ කල හින්දා... මේ කතාවත් කියන්න ඒනම දෙයක්.. ඒ තමා ඔබා අයියගේ අන්තිම පෝස්ටුව වෙච්ච "සත්තයි කුණුහරප නෙවේ" කියන පෝස්ට් එක... ඒ පෝස්ටුවට ඒ නම උන්දෑ දැම්මේ මට පේන්න..දාලා මට අන්න බලපං කියලා කිව්වේ විහිළුවට... ඒකට හේතුව උන්දෑ මාව බලන්න අවුරුදු දවසේ ආව වෙලේ අපි බ්ලොග් ගැන කියව කියව ඉන්න කොට මං කියපු දෙයක්... කොටින්ම කිව්වොත් නොකියා කියන කුණුහරප පැත්තටම නැතිව ටිකක් අතීත පඳුරු තල තලම ලියහං අයියේ කියන වචන ටික... ඊට පස්සේ අපි දෙන්නා ඔය ගැන හිනා වෙවී කතා කර කර හිටියා.. අන්තිමට ඔය වගේ ලිපියක් ලියලා මට පෙන්නලා ඔබා අයියා ආයේ නොයෙන්නම ගියා.. ඒ තමා ඇත්ත කතාව... ඒ විතරක් නෙවෙයි අන්තිම වතාවට ලංකාවට ඇවිත් පිටත් වෙලා ගියාට පස්සේ මට කතා කරපු වෙලේක මේ පාරවත් උන්දැගේ ගනුදෙනු පියඋනාද කියන කාරණාව ගැනත් මට සම්පූර්ණ විස්තරයක් කිව්වා කියන කාරණාවත් කියන්න ඕන... කවුරු කාව රැවැට්ටුවත් ඇත්ත කතාව මොකක්ද කියලා කතාවේ ඉන්න නළුවෝ ටික දන්නවා...

ඇත්තටම මේක ලියලා දාන එක මෝඩකමක්... ඒත් තැනින් තැන ඔපාදූපයක් හැටියට නැති කතාවක් ඇදි ඇදි ගිහින් ටික කලක් යනකොට ඕක සම්පූර්ණ ඇත්තක් විදියට සමාජගත වෙනවා. ඒ හින්දා මං කියන්න ඕන දේ නොකියා ඉඳිම තේරුමක් නැති වැඩක් හින්දා මේ ටික අකුරු කරන්න හිතුවේ...

කොටින්ම කියනවනං ඔබා අයියට මං ණයයි..හැබැයි ඒ මුදල් නෙවෙයි.. ඔහුගෙන් මට ලැබුන මනුස්සකම විතරයි...

24 July 2012

පන්සල් සූදුව...

"තොපි මොකටද නිතරම අරුන් එක්ක කන්දේ බඩ ගාන්නේ... ආයේ එහෙම යනවා නෙවෙයි... මං දන්නේ නැද්ද ඕකුන්ගේ හැටි... අන්තිමට තොපිත් නවතින්නේ පන්සල් සූදුවට ඇබ්බැහි වෙලා..."

තාත්තාට තදින් කේන්ති ගොස් ඇත. ඔහු එක දිගට බැන වදිමින් යන විට නිකුත් වූ මේ අමුතුම වචනය ගැන එක් වරම මාගේ අවධානය යොමු විය...

"පන්සල් සූදුව"... ඒ කුමක්ද..?

---------------------------------
තාත්තා රැකියාව කලේ සබරගමු පලාතේ වීම නිසා එහිදී උපත ලැබූ මා පසුව වසර දෙකක් පමණ කාලයකින් අනතුරුව ජීවත් වූයේ තාත්තාගේ ගම් පියස වූ සියනෑ කෝරළයේ තරමක් ප්‍රසිද්ධ ගමකය.. මගේ කුඩා කාලය ගෙවී ගියේ මෙම ගම් පියසේ වූ අතර වයස අවුරුදු දහයෙන් පසුව ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ජාතික පාසලකට ඉගෙනුම සඳහා ගියෙමි. එහෙත් කිසිදාක කොළඹ නවාතැන් නොගත් අතර දිනපතා නිවසේ සිට පාසල් යාම නිසා මට ගම අතහැරුනේ නැත. වරින් වර කාල වල දින කිහිපයක් කුමන හෝ බාහිර උපකාරක පන්තියකට දැමූවත් ඒ කිසිදු පන්තියකට මා මාසයක්වත් එක දිගට නොගිය තරම්ය... පාසලෙන් උගන්වනු ලැබූ දෙයින් පමණක් යැපෙමින් අධ්‍යාපනය ලැබීම හරහා සෑම දිනයකම සවස් භාගය ගමේ ගොඩේ ඇවිද නැටීමට ඇති අවස්ථාව මා වෙතින් ගිලිහී ගියේ නැත.

උදෑසන හතරට..හතර හමාරට ආසන්න වේලාවට අවධි වී පාසල් යෑමත් නැවත සවස තුන හමාර හතර වන විට නිවසට පැමිණීමත් අතර කාලය තුල හැර අන් සියළු කාලය මා හට ගමේ ජීවිතය විඳින්නට අවස්ථාව ලැබී තිබුණි. ඉරිදා සෙනසුරාදා දිනවල මෙන්ම පාසල් නිවාඩු කාලයද සැබැවින්ම මා හට නිවාඩු කාල විනා පන්ති යන්නට හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට සිදු වී කාල නොවේ... එහෙයින් මා සම්පූර්ණයෙන්ම ගම්බද ජීවිතයේ අසිරිය විඳි අයකු බව කිව හැක...

ගැමි පරිසරයත්.. ගැමියන්ගේ ජීවිත රටාවනුත් ගැන බොහෝ පොත් පත්.. ලිපි ලේඛන රාශියක් මේ කාලය තුල මා කියවා ඇත. මා සිතන්නේ මා පමණක් නොව බොහෝ අය එවැනි දේ කියවා ඇති වගට සැකයක් නැත. එසේ කියවන ලිපි හා පොත් ආස්‍රයෙන් අපගේ සිත් වල ඇඳී ඇති ගම්මානයක යම් කිසි ස්වරූපයක් ඇත. එය මා හට මෙන්ම අන් අයටද විවිධ ආකාරයෙන් මැවී ඇති චිත්‍රයක් බඳු දෙයක් විය හැක...

ගමක් ගැන මුලින්ම අදහසක්..චිත්‍රයක් මාගේ සිතෙහි පහළ වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ලියන ලද ගම් පෙරළිය කියවීමෙන්ය.. පසුව බැද්දේගම කියැවීම හරහා මුලින් සිතේ ඇඳි ගමේ ස්වරූපයට යම් යම් දේ එකතු විණි... ඒ අතරතුර කාලයේදී නොයෙක් ආකාරයේ පොත් කොතෙක් කියවූවද ඒ සෑම ගමකම රටාවෙහි වැඩි වෙනසක් නොවිණි.

කේ ජයතිලකයන් විසින් ලියනා ලද පොත් ගොන්නකම ගමක් ගැන ඇති සිතුවම් බොහෝය... එහෙත් ඇත්ත වශයෙන්ම මා ගමක් ගැන වෙනස්ම ආකාරයක චිත්‍රයක් පැහැදිලිව දුටුවේ සයිමන් නවගත්තේගමයන්ගේ පොත් තුලිනි. සුද්දිලාගේ කතාව කියවීමෙන් පසුව ගමක ඇති පිටතට විවර නොවනා බොහෝ පැති ගැන යම් අවබෝධයක් ලැබිණි.. එහෙත් මුල්ම වකවානුවෙහි මා සිතූවේ මේ කතාවල වැඩි හරිය අතින් දමා ඇති ඒවා යන වගයි. එහෙත් මා ඒවා කියවීමට යම් කිසි රුචිකත්වයක් දැක්වීය. හේතුව ඒවායේ තිබූ ලිංගික චර්යාවන් උලුප්පා ලිවීමේ ගතිය නිසා වන්නට හැක. ලිංගිකත්වය ගැන කිසිදු අත්දැකීමක් හෝ... අදහසක් නොතිබුනද.. ඒවායේ ඇති යම් කිසි රසයක් ගැන ස්වභාවයෙන් ඇදෙන ගතියක් මා තුල නොවුනා යැයි කීව හොත් එය අසත්‍යකි. ගැහැණුන් හා මිනිසුන් අතර කෙරෙනා රහසිගත ක්‍රියාදාමයන් ගැන සිතේ ඇති වන කුහුල දිනෙන් දින වැඩෙනා සමයක එවැනි පොත පතට සිත ඇඳී යාම අරුමයක් යැයි මා සිතන්නේ නැත.

මෙකී පොත් පත් බොහෝමයක් මා කියවන ලද්දේ වයස අවුරුදු දහයට ආසන්න කාලයේ බවද කිව යුතුය..එනම් වයස අවුරුදු නවයේ සිට අවුරුදු දොළහා වැනි කාලයකය... එය තරමක් අමුතු යැයි කෙනෙකුට සිතෙන්නට හැකියාවක් ඇතත් පොතට පතට කුඩා කල සිටම ඇලුන උදවිය ඒ පිළිබඳව දන්නවා ඇත. කියවන්නට හැකියාව හා ආසාව තිබියදී අතට හසුවන කුඩා පත්තර කැබැල්ලේ සිට ජාතක කතා පොත දක්වා වූවද එක හුස්මට කියවන්නට හැකි කාලයකි එය... මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියවන විට මට වයස අවුරුදු 10 කි. පාලම යට නවකතාව කියවන ලද්දේත් එවැනිම කාලයකදීය... පොඩි එකෙකුට ඒවා බර වැඩි යැයි කිසිවකුට සිතුනද පොඩි එකාට එහෙම සිතෙන්නේ නැති නම් කුමක් කරන්නද..?

මෙසේ කියවන ලද පොත් අතරින් හමුවන්නට වූ ගැහැණු පිරිමි ලිංගික සම්බන්ධතා ගැන සම්පූර්ණයෙන් නොවුනද යම් කිසි අදහසක් ලැබ ගැන්මේ හැකියාව මා තුල විය... එහෙත් සත්‍ය වශයෙන්ම ගත් කල පිරිමි පිරිමි සබඳතා හෝ ගැහැණු ගැහැණු අතර සබඳතා නැත්නම් සම ලිංගිකයින් ගැන අදහසක් පොත් පත් වලින් දැන ගැනීමට මට හැකියාවක් ලැබී තිබුනේ නැත.

ඒ එවැනි දේ ගැන ලියැ වී ඇති පොත් පත් නැති වීම හෝ..එවැනි පොත් මා හට නොලැබීම..හෝ එසේත් නැතිනම් පොත් පත්වල තිබූ එවැනි කාරණා අවබෝධ කර ගැන්මට මා හට නොහැකි වීම වන්නට හැකි යැයි සිතමි. විශේෂයෙන්ම කේ ජයතිලකයන් විසින් රචිත "චරිත තුනක්" පොතෙහි යම් තැනක සමලිංගිකත්වය ගැන කියැවෙන බව මෑත කාලීනව මා කොතැනකදී හෝ කියැවී තිබියදී කියවන ලදි. එහෙත් කුඩා කල එම පොත කියවන වේලෙහි මා හට එය ස්පර්ශ වූවා යැයි මා හට සිහියක් නැත. එසේ වන්නට ඇත්තේ එම කාරණාව තේරුම් ගැනීමට තරම් මගේ හැකියාව මෝරා නොතිබීම වන්නට හැකිය.

කරුණු මෙසේ හෙයින් ඇත්ත වශයෙන්ම සමලිංගිකයින් ගැන හෝ සමලිංගක සේවනය ගැන කිසිදු අවබෝධයක් වයස අවුරුදු එකොලහක් පමණ වන තෙක්ම මා සතුව තිබුනේ නැත.

එහෙත් එක් දිනක් තාත්තා කෝපාවිෂ්ඨව කියනා ලද කතාවක් නිසා ඒ ගැන යම් කුහුලක් සිත තුල උපදින්නට ගති... එය සිදු වූයේ මෙසේය...

මමත් මල්ලීත් අතර වයස් පරතරය අවුරුදු දෙක හමාරකි. ඒ අනුව මෙම කතාවට අදාල කාලය වන විට මා හට වයස අවුරුදු එකොලහක් පමණත් මල්ලීට අටක් නවයක් වැනි වයසකුත් විය. අප දෙදෙනාම මා පෙර කී ලෙසින් හැදුනේ වැඩුනේ ගමේ ගහ කොල අතරය... කුඩා කල සිටම අප හට සරුංගල් උණ වැළඳී තිබිණි... මල්ලීට සරුංගල් සෑදිය නොහැක. එයට හැකියාව තිබුනේ මා හටය..එහෙයින් මල්ලී නිතරම මා නැති වේලාවල්වලදීද සරුංගල් අරින අනිත් කොල්ලන් සමග එහෙ මෙහෙ කරක් ගැසීම සාමාන්‍ය දෙයක් විය.

සරුංගල් ඇරීමට අපගේ ගෙවල් ආසන්නයේ ප්‍රධාන තිප්පලවල් දෙකක් විය. එයින් එකක් වූයේ අප ගෙවල් පහළීන් පිහිටි වෙල් යායේය... අනිත් තැන නම් ගෙට උඩහින් වූ කන්දේ ගලේය... මෙයින් පලමු තැනට වඩා අප නිතැතින්ම කැමැති වූයේ කන්දේ ගලටය.. මන්ද යත් එහි සිට සරුංගල් යැවීම ඉතා පහසු වූ හෙයිනුත්.. හොඳින් හමන සුළඟත්.. ගස් වැල් වල නොපැටලී සරුංගල් යැවීමේ හැකියාවත්... සරුංගලය උඩ යවා ගල උඩ වැවී තිබූ කුඩා පඳුරක එය ගැට ගසා ගල උඩම වූ ගස් හෙවනක හෝ ගල් පියස්සක සෙවනෙහි සිට අවට නරඹමින් නිදහසේ සිටීමට හැකි වීම ආදියත් එයට හේතු වී තිබිණ...

එහෙත් කන්දේ ගලට යාමට විශාල බාදාවක් තිබිණි.. ඒ තාත්තාගේ අකමැත්තයි... ගෙට පහල වෙලේ උදේ සිට රෑවන තුරු සරුංගල් ඇරියාට හෝ කෙලි සෙල්ලම් කලාට කිසිවක් නොතියන තාත්තා කන්දේ ගලට අප යෑම එතරම් රිස්සුවේ නැත. ඒ අකමැත්තට හේතුව ගලකින් වැටී අප අත පය කඩා ගනීවී යැයි කියා ඇති වූ බියක් ලෙසින් මා මුලදී සිතා සිටියෙමි. එහෙත් ඒ පිළිබඳව ඔහු තුල වූ අකමැත්තට සැබෑ හේතුව එය නොවන වග අප දැන ගත්තේ මෙම සිදු වීමෙන් පසුවය...

පහළ වෙලේ සරුංගල් යැවීමට මමත් මල්ලීත් තනියම යන මුත් කන්දේ ගලට සරුංගල් යැවීමට අප දෙදෙනා පමණක් යන අවස්ථා නැත. එයට හේතු තිබිණ.. කන්දේ ගල පිහිටි වත්ත තරමක් විශාල නිතර මිනිසුන් නොගැවසෙන තරමක් පාළු පෙදෙසක් වූ නිසාත්... කන්දේ ගල එහා පැත්තේ ඇති වල් දෙල් ගහේ කලකට ඉහතදී මිනිසකු එල්ලී මැරී තිබූ හෙයින් ඒ පිළීබඳ තිබූ හොල්මං කතාවත්... අප කුඩා උන් සන්ධියේදී ඇස් දෙකින්ම දැක ගත් දැවැන්ත පිඹුරාගේ මතකයත් එයට හේතු විණි.(පිඹුරා ගැන කතාව පසුව කිව හැක)

එසේ හෙයින් කන්දට යන්නට නම් නිතරම නඩයක් ඇවැසි විය. කුඩා උන් වූ අප දෙදෙනාත්... තවත් අපගේ සම වයස් මිතුරන් වූ ඔබ කවුරුත් මේ වන විට හොඳින් දන්නා හදුනන ජුංඅල හා රතනත්... තවත් කිහිප දෙනෙකුත් වූ අතර අපට වඩා වයසෙන් තරමක් වැඩි මහළු එහෙත් සරුංගල් යැවීමට හුරු වූ ගැටවරයින් දෙතුන් දෙනෙකුද එසේ සරුංගල් ඇරීමට කන්දේ ගලට යන නඩයට එකතු වී තිබිණි.

තාත්තා මෙම අපට වඩා වයසෙන් වැඩි කිහිප දෙනා සමඟින් අප එක්කාසු වීම ගැන එතරම් කැමැත්තක් නොදක්වන ලදි. එහෙත් එයට හේතුව මේ යැයි කියා කියා තිබුනේ නැත.

දින කිහිපයක්ම ඔවුන් සමඟ කන්දේ යන්නට එපා යැයි අප හට කීවද එය ඇසුවේ අප නම් නොවේ.. කෙසේ හෝ තාත්තාගේ ඇස වසා සරුංගලුත් රැගෙන කන්දට යන අප සවස් වී පැමිණෙන විට තාත්තා මග රැක සිට තරවටු කරයි. එහෙත් වෙලේ සරුංගල් යැවීමට වඩා කන්දේ ඇති පහසුවත් එහි ඇති විනෝදයත් නිසා අපි කන්දේ යෑම නිතර කලෙමු.

එහෙත් දිනක් තාත්තාගේ කේන්තිය ඉහ වහා ගොස් තිබිණි... තාත්තා කන්ද පාමුලට විත් කෑ ගසා අපට අඩ ගසන හඩ ඇසුනේ මද වේලාවක් යෑමෙන් පසුවය... එයින් පසුව ඉක්මනින් සරුංගල් බිමට බා පහලට දිව ආ පසුව තාත්තා විසින් මග දිගට බැන අඩ ගසමින් ගෙදර ගෙන යන ලදි.. ගෙට ඇතුළු විගසම තාත්තාගේ මුවින්

"තොපි මොකටද නිතරම අරුන් එක්ක කන්දේ බඩ ගාන්නේ... ආයේ එහෙම යනවා නෙවෙයි... මං දන්නේ නැද්ද ඕකුන්ගේ හැටි... අන්තිමට තොපිත් නවතින්නේ පන්සල් සූදුවට ඇබ්බැහි වෙලා..."

යයි පිට වූ අතර ඒ කිවූ දෙය තේරුම් ගත නුහුණු අප දෙදෙනාම

"පන්සල් සූදුව..ඒ මොකක්ද ඒ..?" යැයි විමසන ලදි...

අප එසේ සැහැල්ලුවෙන් විමසූවත් එයට උත්තර දීමට හැකියාවක් ඇත්තේ දෙමාපියන් අතරින් කීයෙන් කී දෙනෙකුටද..? මෙය කියවන ඔබට හැකියාවක් ඇද්ද එම කාරණාව පැහැදිලිව දරුවකුට කියා දීමට..?

23 July 2012

එන්න හිඟා කන්න...

මෙන්න මේක ලියන්න ගිහින් තමා මගේ අතින් කලින් ලිපිය ලියඋනේ.. ඒ හින්දා වැඩි ආරළු බූරළු නැතිව පට පට ගාලා මේක කියලා දාන්නං...

මං කලින් කිව්වනේ "සිළුමිණේ" දැන්වීම් බැලීම ගැන... මේක උනෙත් දැන්වීමක් බලන්න ගිහින් තමා...

හරියටම කිව්වොත් පන්සලේ ජීවිතේ අවසාන කරන්න තීන්දුවක් ගත්තට පස්සේ ගමේ දායක ඇත්තන්ට එන්නය කියලා තව මාස තුනකින් මං වහන්සේ මෙතැනින් පිටත් වෙලා යන වග දැන්නුවට පස්සේ...

දැන් ඉතිං ගිහින් කරන්න රස්සාවක්..ඉන්න තැනක් එහෙම හොයා ගන්න එපෑ... ඉතිං කවදත් වගේ මං මට විශ්වාසවන්ත අතරමැදියා මේකට උදව් කරගන්න තීරණය කලා.. ඒ තමා සිළුමිණ ලුහුඩු දැන්වීම් තීරය...

ඉන්න තැනක් හොයා ගත්තා... කිසිම අවුලක් නැතිව... දුම්රිය ස්ථානයක් ලග පිහිටි බෝඩිමක්..වැඩි ගානක් නැහැ මාසෙකට රුපියල් 2000 යි... අත්තිකාරම් අනං මනං කියලා මාස ගණන් සල්ලි ගන්නෙත් නැහැ.. එතැනට කෝල් කරලා අයිතිකාරයගේ බෑන්ක් එකවුන්ට් නම්බර් එක ඉල්ලං ඒකට සල්ලි දාලා මාස තුනකට කලින්ම තැන වෙන් කරා.. දැන් ඉන්න තැනක් තියෙනවා... රස්සාවකුත් හොයන්න එපෑ...

ඔන්න ඉතිං මං කෙරවලක ඉඳන් හොයනවා මට හරියන විදියේ එකක්... අතේ තියෙන්නේ උප්පැන්න සහතිකෙයි... ගිහි කාලෙම ගත්ත ත්‍රීවීල් ඩ්‍රයිවින් ලැයිසොමයි පාසල හැර යාමේ සහතිකෙයි විතරයි.. අඩුම ගානේ ඕ ලෙවල් සැටිපිකට්ටුවවත් මං ලග නැහැ.. එව්වා ගුවන් හමුදා බාරයේ... අයිඩෙන්ටිය නැති අඩුවනං ලැයිසොමෙන් පිරිමහගන්න හැකි හින්දා දැන් මේ තියෙන තත්වය යටතේ හරියන රැකියාවක් හොයන්න එපෑ...

ඉතිං පලමුකොටම ආරක්ෂක සේවා ඇබෑර්තු... එතැනින් ගිහාම තුන්රෝද රථාචාර්ය තනතුරු... තව ඉතිං ඔය වගේ සුළු පන්නෙට වැටෙන දේවල් ගැන හොය හොය පත්තර පිටු පීරන වෙලාවේ ඔන්න මාට්ටු උනා අමුතු පන්නේ දැන්වීමක්...

"නිවේදන කටයුතු වලට හැකියාව ඇති. සංචාරක රථවල රැකියාව කල හැකි අය උවමනා කර තිබේ... කෑම බීම නවාතැන් නොමිලේ... වැටුප 15000 සිට ඉහලට... දිරි දීමනා සහිතයි. හැකියාව ඇති දක්ෂයින්ට වැඩි ඉපයීම්...දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි."

හරිනේ යකෝ.. මේ තියෙන්නේ ෂෝක් වැඩක්... නැවතිලා කාලා බීලා පාලොස්දාහකුත් අරං වැඩ කරන එක මේ ඉන්න තත්තේ හැටියට හොදටම හොදයිනේ... අනික නිවේදන කටයුතු කිව්වම ඕක මහ කජ්ජක්යෑ මට.. පන්සලට එන්ට කලියෙන් වෑන් කටුවල එල්ලිලා යකඩ කටෙන් දේසපාලන ප්‍රචාරක වැඩ කර කර ගිහින් තිබුන පල පුරුද්ද විතරක්යෑ.. අවුරුදු 5ක් තිස්සේ බණ පිරිත් කිය කිය කලෙත් සංනිවේදන වැඩම නේන්නං...

මාත් ගත්තා කෝල් එකක්...

ඔන්න ඉතිං කවුද මංදා පිරිමි හාදයෙක් කතා කලා... මං ඇහුවා විස්තර... ආයේ බොරු මොටද..මං ඇත්තම කිව්වා.. මං මෙහෙම කෙනෙක් ලගදී මෙතැනින් පිටත් වෙන්ටයි අදහස..එයිට කලියෙන් හරියන රස්සාවක් හොයනවා... මං ගාව අනං මනං සහතික එහෙමනං නැහැ... හැබැයි ඔය ඉල්ලලා තියෙන සුදුසුකංනං අවුලක් නැතිව තියෙනවා කියලා...

අනිත් පැත්තෙන් කතා කරපු කෙනා ඒ ටික අහං ඉදලා... කවදා ඉදලද එන්ට ඇහැකි කියලා අහපි... මං ඉතිං කිව්වා තව මාස තුනක් මට කල් තියේ කියන වගත්... මොනවද රස්සාව හැටියට මට කරන්ට තියෙන්නේ කියලත් ඇහුවා..නැතිව බැහැනේ ඉතිං...

"ආ අපි මේ ප්‍රචාරක රථවලට නිවේදකයෝ ගන්නේ අපේ බිස්නස් වලට..."

"කොහොම බිස්නස් එකක්ද..?"

"ආ ඒක මේ සමාජසේවා කටයුතු එක්ක සම්බන්ධ දෙයක්...වැඩි විස්තර මෙහෙම කියන්න බැහැ..දැන් ඔය කොයි පලාතේද ඉන්නේ..?"

"මම දැනට ඉන්නේ අහවල් පලාතේ අහවල් හරියේ..."

"ආ ආ එහෙමනං අපේ එක වෑන් එකක් අද හෙට ඔය ලග ටවුමට එන්න ඉඩ තියෙනවා..මං එයින් ළමයෙකුට කියන්නං ඔහාට ඇවිත් කතා කරන්න කියලා..."

ඔන්න ඔහොම විස්තර ටික අහගෙන ඒ සංවාදය නිමා උනා...

මෙන්න දවස් කීපයකට පස්සේ අවුරුදු විසි පහක විතර තරුණ හාදයෙක් ආවා මාව හම්බ වෙන්න ෆයිල් කවරෙකුත් රෝල් කරගෙනම... ඇවිත් කිව්වා අහවල් තැනින් තමා මට කිව්වේ මෙහෙට ගොඩ වෙලා බලන් යන්නය කියලා...

මාත් ඉතිං ඒ ආව කෙනා එක්ක කතා බහ කරලා ඔන්න රස්සාවේ විස්තර අහ කියා ගත්තා...

මේක හරි අපූරු රස්සාවක් නෙව... වැඩි දෙයක් නැහැ කරන්න තියෙන්නේ සුළු දෙයයි.. මෙන්න මෙහෙමයි වැඩ කෙරෙන්නේ...

මුදලාලි ලග වෑන් දහයක් පාලොහක් විතර තියෙනවා.. ඒ හැම වෑන් එහෙකම ශබ්ද විකාශන යන්ත්‍ර හයි කරලා රියදුරු මහත්තයා සමඟින් හය දෙනෙක් අට දෙනෙක් වගේ කණ්ඩායමක් යොදවලා තියෙනවා... රියදුරු මහත්තයා කලින් දෙන මාර්ග සටහනකට අනුව වාහනය ගෙන යනවා..අවශ්‍ය තැන් වලදී නවත්තනවා.. ඉදිරි පස අසුනේ ඉන්න නිවේදක මහත්තයා හෝ මහත්තැනිය (හරි නේද ස්ත්‍රී ලිංගේ) ඔන්න පටන් ගන්නවා එයාගේ රාජකාරිය...

"ආදරණීය අම්මේ තාත්තේ... අද මේ අපි ඔබගේ පලාතට පැමිණ තිබෙන්නේ..."

ආදි වශයෙන් පටන් ගන්නවා යාතිකාව... කියන්න තියෙන්නේ කලින් දුන්න විස්තර සටහනකට අනුව යම් කිසි රෝගියකුගේ විස්තර... රෝගියාට මොනවා හෝ සැත්කමක් කරන්න මුදල් ආධාර දෙන්න කියන එක තමා කරන්න තියෙන්නේ... ඒක ඉතිං මිනිස්සු ඇඩෙන විදියට කරන්න ඕන වැඩක්..

ආන්න එහෙම ප්‍රචාරේ යන අතරේ වෑන් එකේ පසු පස ආසන වල ඉන්න සෙට් එක තම තමුන්ගේ අතේ තියෙන ෆයිල් කවර.. ටිකට් පොත් උස්සගෙන මාර්ගය දෙපස බෙදාගෙන යම් කිසි සැකැස්මකට අනුව පටන් ගන්නවා ආධාර එකතු කරන්න... ඔච්චරයි කතාව...

හැමෝටම ටාගට් එකක් තියෙනවා.. ඒ ටාගට් එක අනිවාර්යයෙන්ම පැන්නිය යුතුයි. ඊ ළගට පොදුවේ කණ්ඩායම් ටාගට් එකක් තියෙනවා.. ඒකත් පැන්නිය යුතුයි. ඒ ටික කර ගත්තනං අකුල ගත්තා ආපහු ගියා... හැමෝටම මාසේ පඩියයි.. තමුන්ගේ ඉලක්ක ඉක්මවා යෑම නිසා හිමිවන දීමනායි ලැබෙනවා... පැහැදිලිනේ...

ඔය ටික අහගත්තට පස්සේ ඒ රස්සාවෙන් මට කමක් නැහැ කියලා හිතාගන්න ගමන්ම මං තව විස්තර ටිකක් ඇහුවා කොහොමද එතකොට ඔය ආධාර එකතු කරන ඒවට ඕන කරන වෛද්‍ය සහතික එහෙම හොයා ගන්නේ කියන කාරණයත්... අන්න එතකොට ආව උන්නැහේ කිව්වා කිසි අවුලක් නැහැ මේක සම්පූර්ණයෙන්ම ඇත්තම ලියකියවිලි එක්ක කෙරෙන වැඩක් ‍බොරුවට එකතු කරනවා නෙවෙයි..හැබැයි කවුරු හරි රෝගියකු මේ ආධාර නඩේ මුදලාලිට තමුන්ගේ අවශ්‍යතාවය කිව්වම මුදලාලි විසින් එයට අදාල සියළුම වෛද්‍ය සහතික ඒ රෝගියාගෙන් ලබාගන්නවා. රෝගියාට පොරොන්දු වන මුදල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් ඉක්මවා සොයා ගත් පසු ගණු දෙනු පියවනවා... ඔන්න සිද්ධ වෙන ආකාරය...

වෑන් එකක යන්න අදාල රෝගියා එනවනං ඒවට වැඩි ගෙවීමක් කරන්නත් නැත්තං සාමාන්‍ය විදියට වැඩේ කෙරෙන්නත් වගේවැඩත් කෙරෙන වග තමා දැන ගන්නට ලැබුනේ.. ඒ වගේමයි ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් විසින්ම ඇතැම් රෝගීන්ව ‍මුදලාලිට යොමු කරවන වගත් මාව දැනුවත් කරන්න ආව උන්නැහේ විසින් කියා දුන්නේ ඒ වෙනකොට මං උන්නැහේට කන්න බොන්න දීලා කතාවට ෆිට් කරගෙන හිටිය හින්දා...

කොහොම හරි ඔය විස්තර ටික අහගත්තට පස්සේ මං පස්සේ දන්නන්නං කියන පණී‍විඩෙත් එක්ක මෑන්ව පිටත් කරලා හැරියා... ආයේ ඉතිං මොන දැන්නිලිද..? පලකෝ හිඟා කන්න...

මේ කතාව ලියන්න හේතු උනේ "සිඳූ" විසින් ලියපු "හිඟන කතාව" කියන එකත් මතක් කරන්ට ඕන...

තවත් එකක්... එක අතකට හිඟා කනවා හොදා... සමහරු කරන සමහර වැඩ වලට වඩා...හා නැද්ද හා..?

22 July 2012

ඇඩ් වලින් හම්බ කරමුද..? එන්න පාර කියා දෙන්න...

ඔබත් රැකියා විරහිත තරුණයෙක්ද/තරුණියක්ද? එසේනම් එකතු වන්න අප හා... කෑම බීම ඉඳුම් හිටුම් සමඟින් ආර්ෂණීය වැටුපක්... අමතන්න අදම...

.................................................................









ඕක මහ අමුතු දැන්වීමක් නෙවෙයිනේ.. හුග දෙනෙක් ඔහොම ඒවා දැකලා ඇති ඕන තරං... රස්සාවල් නැතිව ගෙදර ඉන්නකොට.. හෝ ගාලා රස්සා හොයනකොට..අහල පහල උන්..යාළු මිත්තරයෝ කොහොම කොහොම හරි මොන මොනවට හරි පැන ගන්නකොට... මුලින් මුලින් නැතත් ටික දවසකින් අම්මගෙන් පටන් අරං ගෙදර හැම එකාම කං කෙදිරි ගාන කොට අතට අහුවෙන ඕන මගුලක් කරනවා කියලා හිතීගෙන එද්දි කරන්න තියෙන හොඳ වැඩක් තමා පත්තරේ දැන්වීමක්වත් බලලා රස්සාවක් හොයන එක...

පත්තර කිව්වට ඉතිං ඕවටත් හරියන එක එක පත්තර තියෙනවා.. ඉංගිරිසි පත්තර ගන්න අය කොහොම උනත් සිංහල පත්තර ගන්න අයනං ඔතනදී වැඩි නැඹුරුව "සිළුමිණ" පත්තරේට තමා... ඇත්තටම ඉතිං හුග දෙනෙක් සිළුමිණ ගන්නෙත්..අදටත් සිළුමිණ ලංකාවේ හොඳින් අලවි වන්නෙත් ඔන්න ඔය දැන්වීම් වලට සිළුමිණේ ඇති ප්‍රසිද්ධියම තමයි... කොල්ලට රස්සාවක්..කෙල්ලට කසාඳයක්.. අම්මට පරණ මැෂිමක්..තාත්තට ලොරි කට්ටක්..ඔය ඕන එහෙකට උත්තර සිළුමිණේ තියෙනවා... කොටින්ම දැන්වීම් ඇරුනම එකේ වෙන ඇති කෙං ගෙඩියක් නැති තරං...අනිත් පත්තරවල ඉටු පිට ලහි පිට කියලා කොච්චර ලුහුඬු දැන්වීම් ගැහුවත් අදටත් සිළුමිණේ දැන්වීම් නැගලා යනවා.

ආ දැන්වීම් කිව්වම මතක් උනේ මාත් ඉස්සර සිළුමිණෙන් හම්බ කලා... පත්තරේකින් හම්බ කරන්න නං ඉතිං එක්කෝ පත්තරේට ලියන්න ඕන... නැත්තං පත්තර කන්තෝරුවේ මොකක් හරි රස්සාවක් කරන්න ඕන..එහෙමවත් නැත්තං පත්තර විකුණන්න ඕන.. ඒත් මං සිළුමිණෙන් හම්බ කලේ එහෙම නෙවෙයි... මං හම්බ කලේ දැන්වී‍ම් කියවීමෙන්...

ගූගල් ඇඩ් සෙන්ස්... කවුරුත් අහලා ඇතිනේ... මුලින්ම මේ බ්ලොග් කියවන්න ආපු කාලේනං මේ ඉසවු වලත් ඔය ඇඩ් සෙන්ස් පිස්සුව හෙනට තිබුනා... සෑහෙන කට්ටියක් අපිට ගෙදරටම වෙලා හම්බකරලා දෙන්න කතා කර කර මේවායේ අස්සක් මුල්ලක් නෑර හිටියා.. පස්සේනං උන් ටික මක බෑ උනාද කොහේද.. මං හිතන්නේ උන් ඒවයින් හම්බ කරලා දැන් කෝටිපතියෝ වෙලා ඇති.. ඒකයි සද්ද නැත්තේ... මට ඉතිං ඒ කාලේ ඔය ඇඩ් සෙන්ස් වලින් හම්බ කරන හැටි කිව්ව ගමන් මතක් වෙන්නේ මමත් ඇඩ් වලින් හම්බ කරපු හැටි.

එතකොට මං සාමාන්‍ය පෙල ආසන්නයේ හිටිය කාලේ... ඒ කියන්නේ මං ඒ වෙන කොට කීය කීය හරි හොයන එකා... අතට අහුවෙන්නේ මොකක්ද..? හොරකමක් නෙවෙයිනං ඒක කලා ගාන ගත්තා... ඒක අත්උදව් දීමක්ද.. මජං වැඩක්ද.. කුලියට ගොයං කැපිල්ලක්ද.. එව්වා අදාල නැහැ... ඉතිං ඔහොම ඉන්න අස්සේ තමා මට මේ ආදායමත් පෑදුනේ...

දන්න අය දන්නවනේ මං ඉතිං අද කඩේ ගියාට ඒ දවස්වල ඉදන්ම පොලේ යන්න දස්සයා කියලා... ඉතිං හැම ඉරිදටම උඩුපිල ඉරිදා පොලට යන එක මගේ අනිවාර්ය රාජකාරියක්... පුටාර් එකේ නැගලා ගෝනියයි එළවළු ගේන මල්ලයි අරං හැතැම්ම දෙකක් විතර පැදලා මං පොලේ යනවා... ඒ ගෙහුන් පුටාර් එක කඩයක් අයිනෙන් දාලා ලොක් එක එහෙම දාලා ගොනියයි මල්ලයි කිහිලි ගන්නගෙන මාත් ඔන්න ඇදෙනවා මහ එකා වගේ පොල පැත්තට... ඔව්වා ඉතිං ඔක්කෝම තාත්තගේ කොපි.. උන්දෑ කරන විදියටම තමා මගේ පොලේ යෑමත්...මුලින්ම යන්නේ එලෝලු වෙලෙන්දෝ මැදින් ගණන් අහ අහ කරෝල වෙලෙන්දෝ ඉන්න පැත්තට... ගණන් අහ අහ ගියාට කිසිම වෙලාවක හදිසි වෙලා එළෝළු මුලින් ගැනීමක් වෙන්නේ නැහැ... මුලින්ම ගන්න ඕන කරවල... ඉතිං කරෝග විකුණන අය ඉන්න කෑල්ලේ එහෙ මෙහෙ හක්කලං කරලා කරෝල ජාති දෙක තුනකුත් ඇන්න..ආයේ අර කලින් ගනන් අහං ගිහින් හොදයි කියලා හිතේ ලකුණු කරං ගිය තැන් දෙක තුනකින් එලෝලුත් අරං... අන්තිමට හාල් ටිකකුත් අරං ගෝනියට දාං මං එනවා පොලෙන් එළියට... ඒ ඇවිත් තමා රට කජු ගන්නේ... ගෙදර හැමෝටම රුපියල් 5හේ කවරේ ගානේ...

ඔය ඔක්කෝමත් කරං අහවර වෙලා අවසානෙට යන්නේ පත්තර ලෑල්ලට... ගන්නවා සිළුමිණ... ඒක තමා අපේ සතියේ පත්තරේ... මොනවා කලත් තාත්තට සිළුමිණක් ගෙනිහිං දුන්නම පහුගිය සතියේම තිබුනු ඇනුං බැනුං මරා ගැනිලි ඉවරයි...

ඔහොම සල්ලි දීලා සිළුමිණ අරං ආව මට අන්තිමට සිළුමිණ නිකං ගන්න සෙට් උනේ ඔය මං පොලට යන පාර අතරමග හිටිය අයියා කෙනෙක් හින්දා.. උන්දෑ ටිකක් විතර වියාපාරිකයා... වාහන හිමියා... හොඳ කියුං කාරයා.. පණ පිහිටෝලා ඕනම දෙයක් කියන්න දස්සයා... මෑන් දවසක් මං පොලේ යනකොට මට කියලා සිළුමිණක් ගෙන්න ගත්තා.. හැබැයි එදා මං පොරට පත්තරේ දෙනකොට මාත් සිළුමිණක් ගෙනියනවා දැකලා මට කියපි "ඇයි බං මල්ලියේ මේ තව සිළුමිණක් අපරාදේනේ කිව්වනං මගේ පත්තරේ දෙනවනේ" කියලා... බැලින්නං මෑන් පත්තරේ බලන්නේ ලුහුඩු දැන්වීම් විතරයි...

මෑන් සිළුමිණට දාලා තිබුන නම තමා "රුපියල් දහයේ බ්‍රෝකර්.."

ඉතිං එයින් පස්සේ මෑන්ට පත්තරේ ගෙනත් දුන්නම මට තියෙන්නේ ලුහුඩු දැන්වීම් කෑල්ල මෑන්ට දීලා මං අනිත් ටික ගන්න එකයි.. පස්සෙන් පහු තව කොන්තරාත්තුවක් මෑන් මට පංගාර්තු කොලා ඒ තමා දැන්වීම් කියෝලා මෑන්ට ඕන කරන දේවල් හොයා දෙන එක... මොනවද ඒ දේවල්...

කොට මොඩල්.. සෙල් මොඩල්...රුක්මණී මොඩල්.. දිග මොඩල් මහේන්ද්‍රා... කනේ මයිල් මොඩල්...සමනළ මූණු... ජේ ආර් මූණූ... රවුං ලයිට්... ඔන්න ඔහොම විශේෂණ සහිත එක එක මාදිලියේ පරණ වාහන ගැන.. මට තියෙන්නේ දැන්වීම් අතිරේකේ කියෝලා පෑනකින් ඒවා ටික රවුං කොරලා දෙන එක... ඒක පුරුදු උනාට පස්සේ තව වැඩක් දුන්නා...

ඒ තමා අඩු මිලට ගණන් දාලා තියෙන වාහන ටික මාක් කරලා.. ඔය ලුහුඬු දැන්වීම් අතිරේකේම තියෙන "ඕනෑ කර තිබේ" තීරුවේ ඇති වාහන හොයන අයගේ අවශ්‍යතාවයන්ට හරියන වාහන අර අඩු මිල ඒවා අතරේ තිබුනද කියලා මැච් කිරිල්ල... මං ඉතිං ඒකත් කලා...

දැන් මොකද මෑන් කරන්නේ..මෑනුත් සල්ලි දීලා ඔය පරණ වාහනයක් උස්සං ඇවිත් ගානක් අතේ තියං විකුණන ගමන්..සමහර විටක එහාට මෙහාට කෝල් දෙක තුනක් දාලා අර එකම පත්තරේ තිබුන වාහන දැන්වීම් අතරේ ගණු දෙනු කතා කරලා වාහනයක් ඒනෑ කර තිබූ කෙනෙකුට පත්තරේම තිබුන වාහනයක් සෙට් කරලා ගානක් තියා ගන්න එක... ඒ දවස්වල අද වගේ හෑන්ඩ් ෆෝන් වත් කමිනිකේෂන්වත් තිබ්බේ නැහැ..ගෙදර ටෙලිපෝන් නැත්තං තැපැල් කන්තෝරුවෙන් තමා කෝල් කරන්න ඕන.. කොහොම උනත් මේ කියන හාදයා ඕකට දස්සයා.. ඉතිං කොහොම හරි මාසෙකට දෙහෙකට වංගියක් මටත් ඔය සුළු ගානක් අත මිට මෙලෙවෙනවා අර දැන්වීම් කියෝනවට... ඒ ඉතිං මෑන්ට හොඳ බිස්නස් එකක් කෙරෙන වෙලාවල් වලට තමා... ඉතිං ඔන්න ඔය ආකාරයට තමා පත්තරෙත් නිකං අරං.. අතටත් ගානක් හම්බ කරගත්ත විදිය...

හැබැයි ඉතිං ඔය කෝකටත් කටයි කට්ට කමයි පිහිටලා තියෙන්න ඕන...

හැබැයි ඔය ඇඩ්සෙන්ස් කෙලිය වගේ නෙවෙයි මෙව්වා ෂුවර් ෂල්ලි... කැමතිනං අත්හදා බලන්න පුළුවනි...

ඇත්තටම මං මේක ලියන්න පටන් ගත්තේ මේ මගුලක් ගැන ලියන්න නෙවෙයි..අද දං වෙනදා වගේ නැතිව මුලින්ම මාත්තුරුකාවත් මුලින් දාලා හිටියා "එන්න හිඟා කන්න" කියලා.. ඒත් ඒක ලියන් මුල අල්ලද්දී මේක වෙන අතක ගියා... ඒ හින්දා ඒ කතාව ඊ ගාවට කියලා දාන්න හිතං මේ කතාව කියලා දාන්න හිතුවා... කොහොම උනත් මොකද... ලියන්න දෙයක් නැතිව ගිනි අවුලනවට වඩා ඔය යාං හෑල්ලකින් හරි බ්ලොග් පෝස්ට් ලිව්ව කියලා කාටවත් වරදක් වෙන එකක්යෑ... හා නැද්ද..හා..?

20 July 2012

අපේ කතාව මෙයින් නිමා විය...

මෙතෙක් කල් වරින් වර මා විසින් ගෙන ආ අපේ කතාව මෙයින් නිම කිරීමට සිතා සිටිමි... සැබැවින්ම එය නිම කල හැකි කතාවක් නොවේ..ඒ අද වන තුරුත් අප ජීවත් වන බැවිනි... එනම් අපේ කතාව අදටත් ලියැවෙමින් පවතී...

දින ගණනාවක රිමාන්ඩ් බන්ධනාගාරගත වීමකින් පසුව තාත්තා ඇප පිට නිදහස්ව ගෙදර පැමිණියේය. බන්ධනාගාරගත වූ තාත්තාට ඇප ලබා දීම තරමක් ප්‍රමාද වීමට හේතු වූයේ පිහි ඇනුම් කෑ දෙදෙනාගෙන් එක් අයකු මාරාන්තික අවස්ථාවේ සිටීම නිසාය. ඒ කැඩුනු පිහි තල කෑල්ල මුත්‍රා බොක්කට ආසන්නයේ රැඳී තිබූ කෙනාය... ඔහුගේ මාරාන්තික තත්වය යහපත් අතට හැරුණු පසුව තාත්තාට ඇප ලැබිණි.. නමුත් තවත් මාස ගණනාවක්ම පෙර කී ඇනුම් කෑ අය රෝහල්ගතව සිට ඇත.

එතැනින් පසුව තිබුනේ උසාවි සමයකි.. මාස කිහිපයකට වරක් තාත්තා ලිපි ගොනුවක්ද රැගෙන උදෑසනින් ගොස් සවස් අතේ ගෙදර එන්නේ

"අදත් කල් ගියා" කියමිනි...

නඩු කීමට වියදම් කිරීම හරහාත් තාත්තා බන්ධනාගාරගත වීම නිසා කඩා වැටුන වෙළඳාම නැවත පෙර තත්වයට සකස් කර ගැනීම අපහසු වූ නිසාත්... රටේ ආර්ථික තත්වයත් එන්න එන්නම අපහසු වීමත් මත අප පවුල පත්ව සිටියේ බරපතල අවුලකටය... අවසානයේ නිවස පිහිටි ඉඩම තාත්තා විසින් ගම්පහ හඳුනන අයකුට උගස් තබා යම් මුදලක් ගැනීමට යෙදුණි...

ජීවන බරට තවත් බරක් එකතු කරමින් ණය ගෙවීමත් පොලී ගෙවීමත් කරන්නට සිදු උනි.. ඈත මෑත කොහේ බැලුවත් සහනයක් නොවුණි...

අවසන අම්මාත් තාත්තාත් වරින් වර කොහේ හෝ හැඳ පැළඳ පිටත්ව ගියේ පුංචි අම්මාට එනම් අපගේ මවගේ බාල නැගණියට අප දෙදෙනා බලා ගැනීමට බාර දීමෙන් පසුය.. මෙසේ දින කිහිපයක ගමනින් පසුව දිනක් රාත්‍රී කාලයේ අම්මා හොඳින් හැඳ පැළඳ ගත් අතර සූදානම් කල ඇදුම් බෑගයකුත් රැගෙන අපවත් වෑන් රථයක නංවාගෙන යන ලදි...

ඒ අම්මා ගේ ප්‍රථම විදේශ ගමනයි... ගුවන්තොටේදී තාත්තා අතට මල්ලීව දී ඇය පිටත්ව ගියාය.. ඉන් පසුව අපි ගෙදර පැමිනියෙමු... කාලය ගත විය...

එයින් මාස කිහිපයකට පසුව මාගේ පාසල් ගමන ඇරඹුනි..මා හා හා පුරා කියා පාසල් යනවා බැලීමට අම්මා නොවුනි.. තාත්තාට වැඳ.. අනතුරුව බිත්තියේ වූ අම්මාගේ පොටෝවකට වැඳ මගේ පාසල් ගමන ආරම්භ කෙරුනේ පුංචි අම්මාගේ අනුදැනුම මතය...

කලකට පසුව අපගේ ඉඩමට යාබදව පිහිටි බාප්පාගේ ඉඩම විකුණන්නට යනවා යැයි ආරංචිය ලද තාත්තා ඒ වග අම්මාට කියා යවන ලදි... අම්මා විසින් කෙසේ හෝ එම ඉඩම ගැනීමට වසරක කාලයක් දෙන මෙන් ඉල්ලා සිටියද බාප්පා තාත්තාගේ ඉල්ලීමට කන් දුන්නේ නැත..ඔහුට කුමක් හෝ මුදල් හදිසියක් තිබුණා වන්නට හැක... එවර තාත්තා විසින් ඉඩමට ගැණුම් කරුවකු සොයා දී ඒ මිලදී ගත් අයගෙන් මුදල් ගෙවා ගේ අයිනෙන්ම වූ පර්චස් 8ක කැබැල්ලක් මිලදී ගත්තේ ඒ මොහොතේ එයට වඩා යමක් අපට කල නොහැකි වූ නිසාවෙනි.

තාත්තා විසින් අප දෙදෙනාවත් බලා කියාගෙන හැකි පරිදි තේ කඩයක් හා සිල්ලර කඩයක්ද දමාගෙන ජීවත් විය... කඩය ඇර තබන කාලවලට වඩා වසා දමන කාල වැඩිය... ඒ ණය කරුවන් නිසාය... අම්මා කීයක් හෝ එවා කඩයට බඩු දැම්මෙව්වද තාත්තාගෙන් කනි පින්දම් කියා ණයට බඩු රැගෙන යන අය පසුව වෙන කඩවලින් ගණු දෙනු කරන ලදි.. සැමදා පාඩු වූ කඩ කෙරුවාව කලකදී නැත්තටම නැතිව යන ලදි...

පලමු වර ජෝර්දානයේ සිට අම්මා එන විට මල්ලීට වයස අවුරුදු 5ක් පමණ විය... මමත් තාත්තාත් කුස්සිය පැත්තේ බිම සුද්ද කරමින් සිටි අතර එක් වරම මල්ලී හඩාගෙන දිව ආවේය...

"තාත්තේ තාත්තේ...කවුද ගෑණියෙක් ඇවිත් මට පුතේ කිව්වා..මාව අල්ල ගන්න හැදුවා..." යැයි බෙරිහන් දෙමින් හඩන්නට විය... තාත්තා උදැල්ල පසෙකින් තබා ගෙයි ඉදිරියට අපත් සමඟ යන විට අම්මා මිදුලේ සිටිනු දක්නට ලැබුනි...
------------------------------------------------------
ජෝර්දානයේ වසර දෙකක් ගත කොට පැමිණි අම්මා නැවත ටික කලක් නිවසේ සිංගප්පූරුවට පිටත්ව යන ලදි..එතැන් පටන් වසර දෙක තුනකට වරක් සති කිහිපයකට පැමිණ නැවත පිටත්ව යමින් මා හට වයස 16ක් පමණ වන තෙක්ම ඇයගේ විදෙස්ගත වීම හමාර වූයේ නැත.
-------------------------------------------------------
ඒ තාවකාලිකව නිමා වූයේ අපේ කතාවයි...

මෙම කතාව කීමට මා පෙළඹවූ බනී මලයාට මාගේ විශේෂ ස්තූතිය.. බනී මල්ලියේ මේ දවසක් උඹ උඹේ කැමරා සිහිනය ගැන කිව්ව කතාවකින් පටන් ගත්ත කතාවක්... මට මේ ටික අකුරු කරන්නට උඹ දුන් ශක්තියට පින් සිද්ධ වේවා..! උඹේ අරමුණ වූ කැමරාව අරං දෙන්නට නුඹේ පියාට හැකියාව ලැබේවා...! ස්තූතියි...

19 July 2012

"සිරකරුවෝද මනුෂ්‍යයෝය"... සුන්දරේගේ සුන්දර හිත...

සියල්ල එතැනින් නිමා වූයේ නැත... එය ආරම්භය පමණි. සියල්ල සිදු වූයේ ඉන් පසුවය...

උදෑසනින්ම අවදි වී ගත් තාත්තා බිමට එළිය වැටෙද්දීම පුට් බයිසිකලය පැදගෙන පිටත් වූයේ පොලිසියට යාමටයි... නිවසේ සිට කිලෝමීටර් 06 පමණ දුරින් තිබූ පොලිසියටත් එතැන් සිට තවත් කිලෝ මීටර් 08 ක් පමණ දුරින් පිහිටි අම්මාගේ මහ ගෙදරටත් ගොස් නැවත පැමැණියේ තරමක් දවල් වූ පසුය...

පොලිසියට පැමිණිල්ලක් ලෙසින් සිදු වූ දේ ඉදිරිපත් කර තිබූ අතර පිහියෙන් ඇන්නේ අම්මා නිසා තාත්තාව අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබුනේ නැත. අනිත් පැත්තෙන් තවමත් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූනේද නැත.

කෙසේ හෝ රෝහල් පොලිසිය මගින් තුවාල කරුවන් විසින් කරනු ලැබූ පැමිනිල්ල පොලිසියට ඒ වන තෙක්ම ලැබී තිබුනේ නැත. එහෙත් සවස් භාගයේදී එක්තරා පුද්ගලයෙක් තාත්තාව සොයාගෙන නිවසට ආවේය... ඒ වෙනෙකෙකු නොව තාත්තාගේම එක කුස උපන් මල්ලි නැතිනම් අපේ බාප්පාය... ඒ වන විට ඔහු ග්‍රාම සේවකවරයකු ලෙසින් අපේ ගමට කිලෝ මීටර් හය හතක් ඈත වසමක සේවාව කරන ලදි...

ග්‍රාම සේවක මල්ලී මේ මොහොතේ පැමිණිම තාත්තාගේ හිතට විශාල හයියක් විය... එහෙත් සිදු වූයේ අනිකකි... තාත්තා කල පැමිණිල්ල ගැන තොරතුරු අසා බලා ආයෙමත් පොලිසියට යමු යැයි යෝජනා කල හෙතෙම තාත්තාවත් රැගෙන නිවසින් පිටත් විය...එහෙත් නැවත ආවේ ඔහු පමණි. තාත්තා ආවේ නැත. ඒ වන විට වේලාව සවස 6ට ආසන්න වී තිබුණි.

තාත්තාව කැටුව ගොස් පොලිසියට බාර දී ඔහු අප මිදුලට විත් අන්න ******ව (තාත්තාගේ නම) කූඩුවට දැම්මා යැයි කියා යන්නට පිටත් වූ පසු ආයේ කාලයකට ඔහුව දැක්කේ අප නොවේ...

සීයා නැති වූ පවුලේ බර කරට අරගෙන රැකියාවට ගොස් වියදම් කොට තම මලයාට උගන්නන්නට වෙහෙසුන අයියාට ඔහු යුතුකම මැනවින් ඉටුකොට තිබුණි.සහෝදරකං පිළිබඳව යස පාඩමක් සිය වැඩිමහළු සහෝදරයාට ඉගැන්වූ අධමයා එයින් මත්තට අපේ අම්මාට අද වන තුරුත් හරියකට මුහුණ දෙන්නේ නැත. පෙරදී නම් දැඩි කේන්තියකින් සිටිය මුත් මේ වනවිට අම්මා එම කාරණා අමතක කර දමා සිටියත් ඔහු කෙසේ සිය හෘදය සාක්ෂියට වග උත්තර බඳින්නේදැයි මා නොදනිමි. ඇත්ත වශයෙන්ම කිවහොත් මෑතකදී බාප්පා අසනීපයෙන් හුන් වග මා දැන සිටියද මේ වන විට ජීවතුන් අතරද නැද්ද යන වගවත් මෙහි සටහන් කිරීමට මා හට මතකයක් නැත. ඔහු එතරමටම අප හට වැදගත් අයකු නොවීය... නෑදෑයන් යනු කුමන ආකාරයේ අයද යන්න ඒ දින කිහිපයේ අප මැනවින් හැඳින ගතිමු. තාත්තාගේ සහෝදරයින් කිසිවකු හෝ තාත්තා වෙනුවෙන් උදව් කිරිමට ආවේ නැත. එහෙත් ඔවුන් ගේ දරුවන් වූ අක්කා කෙනෙකුත් අයියාත් අප ගැන බැළුවා මතකයේ ඇත. ඒ ඔවුන් එවකට ළමා වයස්වල සිටි හෙයිනි.. ළමුන් වූ ඔවුන්ගේ සිත් මහ ඈයින්ගේ මෙන් නරක් වී නොතිබිණි...

එතැන් සිට උදා වූයේ ජීවිතයේ අමාරුම දින කිහිපයයි...

නිවසේ ඒ හැටි මුදලක් තිබුනේ නැත.. තාත්තා ගණුදෙනු කලේ වැඩි මුදලක් අතේ තබාගෙන නොවේ... බඩු විකිණෙන හැටියට තව තව අඩුපාඩු ගෙනැවිත් කඩයට දමා ඒවා ණයට විකිණු පසුව එම මුදල් ලැබෙන තෙක් මාසය අවසන් වන තෙක් බලා සිටිය යුතු විය. ගම්වල සිල්ලර කඩ කෙරුවාව යනු ලෙහෙසි පාසු කටයුත්තක් නොවීය... අම්මා වෙළදාම ගැන එතරම් දැනුමක් ඇතිව සිටියේ නැත..සෑම දේම කෙරුනේ තාත්තාගේ මතකයට අනුවය...

අම්මාගේ බාල නැගණිය එවකට පාසල් අධ්‍යාපනය නිම කොට රැකියා සොයමින් සිටි කාලයයි..තාත්තා පොලිසියට ගොස් පැමිණෙන අතර ඇයවද ගෙදර කැඳවාගෙන සිටි මුත් දින දෙකකට පමණ පසුව ඇයවද කැටුව යන්නට මහ ගෙදරින් කටයුතු යොදා තිබුනි. අම්මා තනි විය... නොදන්නා ගමක..නොදන්නා මිනිසුන් කැලක් මැද.. ඥාතීන් අතරින් කිහිප දෙනෙකු හැර සියල්ලන්ම සතුරුකම් කරනා කලක ඇය කිරි බොන දරුවකු හා යන්තම් ඇවිද ගන්නට හැකි කොලුවකුත් සමග තනි විය...

පසුවදා සිට අම්මාට තාත්තා බැලීමට සිරගෙදරට යාමට විය.. ඒ පොලිසියෙන් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබූ හෙයිනි. කුඩා දරුවකු වූ මා රැගෙන යාමට ඇයට අපහසු නිසා මාව බලා ගැනීමට කාට හෝ බාර දී යායුතුව තිබිණි.. බොහෝ විට මාව බලා ගැනීමට බාර ගත්තේ දෙවන මහප්පාගේ බාල දියණිය වූ පොඩි අක්කා විසිනි. මාව ඇයට බාර දෙන අම්මා..මල්ලීවත් වඩගෙන බත් මුලකුත් බැඳගෙන උදේ අටට පමණ ගෙදරින් පිටත්ව යන්නේ තවත් අපගේ ඥාති නිවසක දියනියක වූ පත්මශීලි අක්කා සමඟය... එවකට අවුරුදු දහසයක් දා හතක් වැනි වයසක පසු වූ..ඇතැම් විට එපමණවත් නැති පත්මශීලී අක්කා අම්මාත් සමඟින් පයින්ම තාත්තා බලන්නට ගෑටුවේය... බන්ධනාගාරයට අපගේ නිවසේ සිට කිලෝ මීටර් 10ක් පමණ සැමදාම ගෑටුවාය... බන්ධනාගාරයට බස්වලින් යන්නට නම් කිලෝ මීටර් 16ක් පමණ යා යුතු වූවත් කැලෑ පාරවල් වලින් ගියහොත් කිලෝ මීටර් 10 කින් පමණ යාගත හැක. නිතර බස් වැඩ නොකල අපගේ ගෙවල් පාරේ බසයක් සොයා ගැනීමට නම් කොහොමටත් කිලෝ මීටර් 4ක් වත් පයින් යා යුතුය.. එසේ යෑමටත් අම්මා අත මුදල් තිබුනේ නැත...

ඒ දින වල අම්මා උදේම නැගිට මල්ලිත් මමත් දෙදෙනාම බලාගෙනම වඩේ බැද්දාය... එවකට පාසල් යන කොලුවකු වූ සරත් අයියා පැමිණ වඩේ ටික කඩවලට දමා සවසට මුදල් ගෙනැවිත් අම්මාට දුන්නාය... සියල්ලම කල යුතු වූයේ ඒ මුදලිනි...

-----------------------------------------------
මෙය අතුරු කතාවකි.. ඇත්තෙන්ම මා හට එය එතරම් තබා කොහොමටවත් නිනව් නැත. එහෙත් අම්මා විසින් පසු කාලයකදී දෙතුන් විටක්ම කියා ඇති හෙයින් මතකයේ ඇත. අම්මා ඒ කතාව ඇද ගන්නේ මට හොඳක් කියන්නට උවමනා වූ විටක පමණි...

දිනක් සවස් වන විට අම්මා අත කිරිපිටි ගෙන ඒමට මුදලක් තිබී නැත.. කඩයේ වූ බඩු අතරද කිරි පිටි තිබී නැත. මල්ලී ඒ වන විට අම්මාගේ කිරි බිවූ අතර මා පිටි කිරිවලට හුරු වී තිබිණි. එහෙත් පසුවදාට හදන්නට කිරි නැති කල අම්මා හඩමින් ඒ බව මා හට කියා ඇත...

"පුතේ හෙට මොකද කරන්නේ උඹට දෙන්න කිරි නැහැ"

එවකට මාගේ වයස අවුරුදු පහක් පමණ විය... පොඩි කොලුවකු වූ මා තතනමින් කියා ඇත්තේ

"අම්මේ අපි තේ කහට බීලා ඉමු මට කිරි එපා" යනුවෙනි...

මේ කතාව කියනා හැම විටම අම්මා එය අවසන් කරන්නේ "උඹට පොඩි කාලේ ඉඳලම ගෙදර නැති බැරිකං තේරුන එකා" කියමිනි.
------------------------------------------------------------

එකල අප විඳි දුක කොතරම්දැයි කීමට මෙවැනි කතාවක් වූවද සෑහේ යැයි මට සිතේ... කොතරම් නැති බැරිකම් ආවත් අම්මා සටන අත හැරියේ නැත. එකම එක් දිනක් අම්මා මාවද රැගෙන සිරගෙදරට ගියාය... එදා මා වඩාගෙන ගියේ අපගේ අයියා කෙනෙකු විය යුතුය.. මට ඒ කවුරුදැයි හරියටම නිච්චි නැත. එහෙත් ඒ දෙවැනි මහප්පාගේ පුතා වූ මාගේ අයියා හෝ සරත් අයියා විය යුතුය... බන්ධනාගාරය අසල කඩයකින් හෝ කැන්ටිමකින් වැනි තැනකින් ප්ලේන්ටි බොනවා මතකයේ ඇත. එහි ඉස්කෝලවල මෙන් කොටු දැල් ගසා තිබුනාත් මතකය... එහෙත් තාත්තා දුටු ආකාරය මට හරියටම සිහියේ නැත.

කෙසේ වූවද තාත්තාගේ තත්වය යම් තරමකින් යහපත් විය.. එයට හේතුව වී තිබුනේ "සුන්දරේ අයියාය..."

සුන්දරේ අයියා යනු එවකට ගමේ සිටි තරමක මැර චරිතයක් විය... ගහ මරාගැනීම් වලට මෙන්ම සොරකම් හා මංකොල්ල කෑම් වලටත් සම්බන්ධ වූ හෙතෙම වරින් වර මිනීමැරුම් චෝදනාවලටද ලක් වූ බව මා දනිමි. උසින් අඩි හතකට ආසන්න වූ සුද්දෙක් වැනි පෙනුමක් තිබූ සුන්දරේ අයියා ඇත්තටම පෙනුමින් සුන්දර මිනිසකු විය... එහෙත් ඔහුගේ දාමරිකකම් නිසා ඒ සුන්දරත්වය වැසී ගොස් තිබිණි...

නෑදෑ කමින් සුන්දරේ අයියාට අපේ තාත්තා බාප්පා විය... ඒ තාත්තාගේ නැන්දණියකගේ දරුවකුගේ දරුවකු වීම හරහාය... තාත්තා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිනා කල සුන්දරේ අයියාද එම බෝඩිමේම සිට ඇත... තාත්තාට මෙන් නොව සුන්දරේ අයියාට සිර ගෙය යනු සිය නිවසට වඩා හුරු පුරුදු තැනකි... එසේම හිරගෙදර හොඳ කකුලකි... තාත්තා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සති දෙකක් හෝ තුනක් වැනි කාලය තුලදී තාත්තාට කිසිදු අඩුවක් වීමට සුන්දරේ අයියා ඉඩ තබා තිබුනේ නැත... නා ගන්නට වතුර පනිට්ටු කිහිපයක්... මස් මාළු නොකන තාත්තාට ඊට සරිලන කෑම වේලක් මෙන්ම බීමට බීඩියක් දෙකක් පවා සැපයීමට හේ වග බලාගෙන තිබුනි. ඒ වැනි තත්වයක් යනු සිරගෙයක සෑහෙන තරමක පහසුවකි. සුන්දරේ අයියා නොවන්නට තාත්තා වැනි මිනිසකුට සිර ගෙය කුමන තැනක් වේ දැයි සිතා ගැනීමටවත් නොහැක.

තාත්තා මියෙන තුරුම විටින් විට සුන්දරේ අයියා ගැන සිහිපත් කලේ එහෙයිනි...

සමාජයට හොරෙක් මංකොල්ලකාරයෙක් චණ්ඩියකු වූ සුන්දරේ අයියා තුල සමාජයේ වැදගත් යැයි සැලකෙන ග්‍රාම සේවකයකුට වඩා සුන්දර හදවතක් තිබුණි...

"සිරකරුවෝද මනුෂ්‍යයෝය"

17 July 2012

අම්මා.. කාලි අම්මා වූ හැටි...

"චටාස්..පටාස්..."

එක්වරම ඇසුනේ කස පුපුරන්නාක් බඳු හඩකි.. ඒත් සමඟින් කිසිවකු වේදනාවෙන් මොර දෙන හඩත් පැහැදිලිවම ඇසුනි...

මෙතෙක් වේලා මල්ලිට කිරි පොවමින් ඇදේ වැතිර සිටි අම්මා මල්ලීව පසෙක තබා වහා නැගිට සිටියාය.. පිරිමින්ට වඩා ගැහැණුන්ට ඉව තිබෙන්නා සේය.. මා හට හිතා ගත නොහැකි තරමේ වේගයෙන් ඇය ක්‍රියාත්මක වූවාය...

"මල්ලි බලාගන්න පුතේ"

අම්මා කීවේ එපමණකි... මෙසය මත තිබූ යමක් අතට ගෙන ඇය එළියට දිව ගියාය...

තත්පර කිහිපයකින් කෑකෝ ගසන හඩවල් කිහිපයක්ද පෙරට වඩා උස් හඩකින් ලතෝනි දෙන හඩක්ද නැගුණි... සියල්ල සිදුවීමට මිනිත්තුවකට හෝ දෙකකට වඩා ගියේ නැත...

"දඩාං..."

යන මහ හඩින් නිවසේ ඉදිරිපස දොර වැසුනි...

තාත්තා වේදනාවෙන් මිරිකෙමින් ඇතුළු කෑල්ලට පැමිණි අතර අම්මා ඔහු පිටුපසින් පැමිණියේය...

"ආයෙත් එයිද දන්නේ නැහැ.."

"නැහැ ආයේ එයි කියලා හිතන්න බැහැ...ඒත් කෝකටත් ඇහැරලා ඉමු"

එසේ කී අම්මා මා නිදි කරවන ලදි... එයින් එහාට මට සිදු වූවක් මතක නැත.. මා දන්නේ පසුවදා එළිවනවා පමණි... එහෙත් පහුවදා උදේ වන විට නිවසට යන එන අය බොහෝ වූ අතර ඔවුන් කතා බස් කල දේ හරහා කතාව පැහැදිලි විය...

සවස් යාමයේ මාගේ වදන් කන වැකුණු ගැහැණිය අඩා වැලපෙමින් සිය නිවසට ගොස් ඇත්තේ "තොපි වගේ දරුවෝ හදං මට අහන්න වෙලා තියෙන කතා" යැයි කියමිනි... නිවසට ගොසින්ද වැලපෙන්නට වූ ඇ‍ගේ වදනින් විමසිලිමත් වූ දරුවන් කතාවේ අග මුල අසා දැනගෙන පිස්සු බල්ලන් සේ වියරු වැටී ඇත... එවෙලේම අප නිවසට එන්නට කැති පොලු අරගෙන සූදානම් වූවද එක් අයකු විසින් සැලසුම වෙනස් කරවා ඇත...

"ඔහොම කරලා හරියන්නේ නැහැ හොඳ පාඩමක් උගන්නමු...අරූට ගහලා ගෑනි උස්සමු..."

සැලැස්මට අනුව සූදානම් වූ සහෝදරයින් අතරින් සිව් දෙනෙකු හෝ එයට වැඩි පිරිසකුත් යහළු නඩයෙන් කිහිප දෙනෙක්ද ඇතුළුව අට දෙනෙකුගේ පමණ නඩයක් රාත්‍රී වන විට අප නිවස ආසන්නයට ආවේ කුලියට ගත් පරණ කාර් කබලක්ද ඇතිවය... කාරය නිවසට ඉහලින් පාරේ නවතා එතැන දෙදෙනකු මුර කරනා අතරේ.. තවත් දෙදෙනෙකු ගේ පහලින් පාර රැක ඇත.. ප්‍රධාන කටයුත්තට පැමිණියේ සිව් දෙනෙකි...

ගෙවත්තට ඇතුළු වූ සිව් දෙනාගෙන් එක් අයකු දොරට ගසා ඇත.. තාත්තා දොර අසලට පැමිණෙන විට සෙමින් කතා කොට ගිනි පෙට්ටියක් ගැනීමට යැයි කියා දොර විවෘත කරවාගෙන ඇත... දොර විවෘත කරනවාත් සමඟින් වහා ක්‍රියාත්මක වූ පිරිස තාත්තාගේ අත පය සොලවන්නටවත් බැරි ලෙසින් අල්ලාගෙන මිදුලට ඇදගෙන එකෙකුගේ බඳ පටියක් ගලවා එයින් තාත්තා හට කස‍යකින් මෙන් තලා ඇත... එතැන සිටි වැඩි දෙනා නෑදෑ කමින් තාත්තාට වූයේ ඥාති පුත්‍රයින්ය... එසේ වූ නෑදෑ පුතුන් කිසිදු අනුකම්පාවකින් තොරව එවකට හතලිස් හතක පමණ වයස් වූ අඩි පහයි අගල් දෙකක් උසැති කාටවත් ගහනවා තබා ලේසියෙන් බනින්නටවත් නොයන තාත්තාට පහර දෙන විට උසුලාගත නොහැකි වේදනාවට කෑ ගැසුනු හඩත් එක දිගට කස පුපුරන්නා වැනි වූ බඳ පටිය තාත්තාගේ ඇඟ පුරා වැදෙන ශබ්දයත් ඇසූ පමණින් සිදු වන දේ ගැන තේරුම් ගත් අම්මා එළියට දුවා තුබුනේ හිස් අතින් නොවේ...

ඇයගේ අතට හසු වී තිබුනු එකම අවිය වූ මේසය මත වූ පාන් කපන පිහියත් රැගෙනය... එම පිහිය අප නිවසට ලැබී තිබුනේද ඊට දින කිහිපයකට පෙරදීය.. ඒ විදෙස්ගතව සිට පැමිණි අම්මාගේ නැඟණියක විසින් දුන් ත්‍යාගයක් ලෙසින්ය... එය තලය අගල් අටක් පමණ වූ සාමාන්‍ය තරමේ පිහියකි...

මිදුලට බසිද්දීම ඇයව දුටු එකෙක්

"මුගෙන් වැඩක් නැහැ ඔය එන්නේ අපිට ඕන කෙනා අල්ලලා දාගං කාර් එකට" යැයි කියා ඇය වෙත එක පිම්මේ පැන ඇත.. එහෙත් ඔවුන් සිතුවා වැරදිය... අහිංසකයෙකුට තලා ඔහුගේ අඹුව උස්සාගෙන යාමට පැමිණි ඔවුන් සිතූ තරමට එය පහසු වූයේ නැත...

තමා ඉදිරිපිටම සිය සැමියාට පහර දෙන අධමයින් රැල දුටු ඇය වියරු වැටුනාය... පළමුව තමා ඉදිරියට පැන්න එකාගේ ඇළපත හරහා පළමු පිහි පහර එල්ල විය... ක්ෂණිකවම දෙවන පහරත් ඒ සමඟින්ම එල්ල විය... සිදු වූ දෙය සිතා ගත නොහැකි වූ නරුමයා විලාප දෙද්දී දෙවැනියාත් ඇයට ලං විය... පලමු වැන්නාට වූ දෙය කුමක්දැයි ඔහුට සිතාගත නොහැකි විය... ඔහුටත් පෙර සන්තෑසියමය... අගල් අටක් දිගැති පිහිතලය සිය උදර පෙදෙසට ඇතුළු වනවාත් සමඟින් ඔහුද විලාප දෙන්නට විය... අම්මා දෙවැනි වතාවටත් පහර දීමට පිහිය ඇද්දද අතට ආවේ පිහියෙන් කොටසක් පමණි... පිහිතලය කැඩී තිබුණි... එහි කැබැල්ල ඇනුම් කෑ එකාගේ සිරුරේ තිබියදීම අතැති පිහි කොටයෙන් අනිත් උන්ට ඇනීමට උන් පස්සේ එලවන්නට විය..පිහි ඇනුම් කෑ උන් දෙදෙනාත් අනිත් උනුත් හිස් ලුලූ අත දිව ගොස් තිබිණි.. අම්මා වහාම ආපසු හැරී තාත්තාවත් ගෙට දමාගෙන දොර වසා දමන ලදි...

එයින් පසුව සිදු වූ දේ බොහෝය.. මෙතෙක් වූ දේ කියූ ආකාරයටම ඒ කතාද අනිවාර්යයෙන්ම කියන්නට සිතා සිටිමි. කෙසේ වෙතත් එදා රැය අපගේ ජීවිත වෙනස්ම මඟකට ගෙන ගිය බව කිව යුතුමය... එහෙත් ඒ සියල්ලට මුල් වූ මාගේ වචන කිහිපය ගැන.. එනම් අර කී ගැහැණියට කී ඇයගේ පුතුන් අපගේ කුකුළන් කෑ කතාවට අද මේ වන තෙක්ම අම්මාවත් තාත්තාවත් මා හට දොසක් වචනයක් කියා නැත... පසු කාලීනව ඔවුන් එය සිහි කලේ සිනහා වෙමින් මිස කිසිඳු ආකාරයක චෝදනාත්මක ස්වරූපයකින්ද නොවේ...

එමෙන්ම එදා රාත්‍රියේ තත්පර ගානක් ඇතුලතදී ක්‍රියාත්මක වී අතට හසු වූ ආයුධයෙන් විදුලියක වේගයෙන් එහෙ මෙහෙ පැන දෙදෙනෙකු හට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කොට තාත්තාවත්.. අපවත් ඇයවත් බේරා ගත් අම්මා ගැන කෙසේ විස්තර කරන්නදැයි මා දන්නේ නැත... කෙසේ වෙතත් ගැහැණියක සතුව ඇති විවිධ ස්වරූපයන් අතරින් කාලි අම්මාගේ ස්වරූපයත් එකක් යැයි මා හොඳින්ම දන්නේ ඇය එදා ක්‍රියා කල ආකාරය දන්නා නිසාය...

සත්‍යය ප්‍රබන්ධයට වඩා අපූරුය යන්න මා අදහමි...

අපූරු බාප්පාගේ කෙරුවාව මී ළගට...