31 August 2012

පෝයට කෙටියෙන්...

ඔන්න ඒ කාලේ..ඒ කාලේ කිව්වේ ඉතිං අපේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ තමා.. ඉතිං ආන්න ඒ කාලයේ සැවැත් නුවර හිටියා එක්තරා උපාසකයෙක්..උන්නැහේගේ නම තමා "අතුල". ඉතිං මේ අතුල උපාසකටත් ඔය දැන් කාලේ සමහර උපාසක වරුන්ට වගේ හිටියා ගෝල බාලයෝ පිරිසකුත්..එක්කෙනෙක් දෙන්නෙක්නං නෙවෙයි පන්සීයයක් විතර පිරිස හිටියා කියලයි කියවෙන්නේ..

ඉතිං මේ අතුල උපාසක උන්නැහේ තමුන්ගේ පිරිසත් එක්කගෙන දවසක්දා යනවා බණ අහන්න කියලා හිතං හාමුදුරුනමක් හොයාගෙන..ආන්න එහෙම යද්දි මේ කට්ටියට හම්බ වෙනවා "රේවත" හාමුදුරුවෝ කියලා හාමුදුරුකෙනෙක්... ඒත් ඉතිං ඒ වෙනකොට උන්වහන්සේ දවමල දානය එහෙම වළඳලා ටිකක් විවේක පාඩුවේ හිටිය වේලාව.. ඒ හින්දා බණ කියන්න ගියේ නැහැ... ඕනං ඉතිං අතුල උපාසකටයි ගෝලයෝ පිරිසටයි ටිකක් කේන්ති ගොහින් යනවා තව හාමුදුරුකෙනෙක් හම්බ වෙන්ට...

අන්න මේ පාර නං හම්බ වෙනවා ඒකට හරියන කෙනෙක්..ඒ තමා "සැරියුත් මහ තෙරුණ්නාන්සේ". ආයේ ඉතිං මොනවද දම් සෙනවි තනතුර දැරුව "සැරියුත් හාමුදුරුවෝ" බොහෝම දීර්ඝ ලෙසින් දහම් කාරණා පැහැදිලි කොරලා බොහෝම දිග බණක් කිව්වා... ඉතිං දැන් මොකදෑ උනේ..?

අතුල උපාසකටයි ගෝලයොන්ටයි ඒක දිග වැඩි බණක්...උන්නැහේලා බණ අහවර උනාම "ඒකනං බොහෝම හොඳ බණක් තමා..හැබැයි ඉතිං අපිට වඩා දැන උගත් සිහි කල්පනාව තියෙන අයට තමා ඒක හොඳ" කියලා එතැනිනුත් පිටත් වෙලා ගියා...ඔන්න මෙදා පාර උන්නඅහේලට හම්බ වෙන්නේ ධර්මභාණ්ඩාගාරික ධූරන්ධර "ආනන්ඳ හිමියන්". හරිනේ ඔන්න දැන් ඇහුවා ආනන්ඳ හිමියන්ගේ බණකුත්.. ආනන්ඳ හිමියන් කිව්වමත් එසේ මෙසේ වැඩ කොටසක් පැවරුණ කෙනෙක්යෑ.. බුදු හාමුදුරුවන්ගේ උපස්ථාන කටයුතුයි..තව එතැනින් ගියාම බුදු හාමුදුරුවන්ගේ නිය‍මයෙන් ඔය වැඩි හරියක් රජ මාළිඟාවල සිටු ගෙවල්වල ඇත්තටන්ට නිතර බණ කියන්න පැවරුණ කෙනෙක්‍ නෙව.. ඉතිං උන්වහන්සේ වෙලාවේ හැටියට ගැලපෙන ආකාරයෙන් කෙටියෙන් බණක් කියන්ට යෙදුණා...

දැන් මොකදෑ වෙන්නේ.. අතුල උපාසකයි ගෝලයෝ පිරිසයි සෑහීමකට පත් උනාද..? නැහැනේ... ඇයි මෙදා පාර මොකක්ද අවුල.. ඔව් මේ බණ උන්නැහේලට කෙටි වැඩියි...

අන්තිමට මේ බණ චාරිකාව අවසන් කරලා උන්නැහේලා යනවා බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙන්ට කියලා.. ඒ ගෙහුන් නිකං හිටියේ නැහැ.. කිව්වා විස්තරේ...

"ඕං බලන්ට භාග්‍යවතුන් වහන්ස මමයි මේ මගේ ගෝල පිරිසයි අද මේ බණ ටිකක් අහන්ට කියලා හිතලා බැස්සා පාරට..මුලින්ම අපි ගියා රේවත හාමුදුරුවෝ මුණ ගැහෙන්ට..කෝ උන්නාන්සේ මොන බණක්වත් කිව්වේ නැහැනේ... ඒ පාර  අපි ගියා සැරියුත් හාමුදුරුවන් ගාවට.. හප්පා එහෙමත් දිග බණක්..අපිට තේරුං ගතෑකිද ඔව්වා... ඔයිට වඩා ටිකක් කෙටි කරලා කිව්වනං මොනවා වෙනවද..? ඒ පාර අපි ගියා ආනන්ඳ හාමුදුරුවෝ හම්බුවෙන්ට.. උන්නාන්සෙට මොන හදිසියක්ද මංදා බොහෝම කෙටියෙන් බණ අහවර කලා.. තව ටිකක් දිගට කිව්වනං කොයි තරං අපූරුද..? ඔන්න බලන්න අපිට අද බණ අහන්න ගිහින් වෙච්ච දේ.."

අන්න ඒ වෙලේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම...

"පොරාණ මේතං අතුල
නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හීමාසීනං
නින්දන්ති බහු භාණීනං
මිතභාණී නම්පි නින්දන්ති
නත්ථී ලෝකේ අනින්දිතෝ"

"න චාහු න ච භවිස්සතී
න චෙතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝ පෝසෝ
ඒකන්තං වා පසංසිතෝ"

කියලා..ඔකේ තේරුම කෙටියෙන් ගත්තොත් 
"ඔය නින්දා කිරීමයි ප්‍රසංශා කිරීමයි යන දෙකම අතීතයේ ඉඳන් පැවත එන්නක්.අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි.ඒ වගේමයි ලෝකේ නින්දා නොලබන කෙනෙකුත් නැත.කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..එහෙම වෙද්දී කොහොම කලත් නින්දා නොලබන කෙනෙක් මේ ලොකේ නැත. ඒ වගේමයි අතීතයේවත්  අනාගතයේදීවත්  අදවත් නින්දාවටම හෝ ප්‍රසංසාවටම  හෝ භාජනය වෙච්ච කිසිවකුත් නැත.. ඔය දෙකම..එනම් නින්දාව හා ප්‍රසංසාව යන කාරණා දෙකම අපි හැමෝටම විඳින්න වෙන දේවල්"යන්නයි...

ආන්න ඒ ටික අතුල උපාසකට කියා දීලා එයින් පස්සේ බුදු හාමුදුරුවෝ මෙන්න මේ ගාථා දෙකත් අතුල උපාසකට හා ගෝල පිරිසට කියා දෙනවා...

"යං චෙ විඤ්ඤෑ පසංසන්ති
අනු විච්ච සුවෙ සුවෙ
අච්ඡිද්ද  වුත්තිං මේධාවිං
පඤ්ඤා සීල සමාහිතං"

"නෙක්ඛං ජම්බොනදස්සේව
කො තං නින්දිතුමරහති
දෙ වා පි නං පසංසති
බ්‍රහ්මුනා පි පසංසිතො"

ඒ කියන්නේ...

"නුවණැති පුද්ගලයින් විසින් නිතර සිල් රැක්මෙහි යෙදෙන, සීලයෙහි අඩු පාඩු වන්නට ඉඩක් නොතබන්නා වූ සිල්වතුන්ව  නිරන්තරයෙන්ම සෑම කල්හිම ප්‍රසංසාවට ලක් කරති.එසේ පිරිසිදු රත්තරන් මෙන් වූ සිල්වතුන්ට නින්දා කරන්නේ කවුරුන්ද.. දෙවියන් හා බ්‍රහ්මයින්ද එසේ වූ සිල්වතුන්ව ප්‍රසංසාවට ලක් කරති."

ඔන්න ඔය ආදී වශයෙන් සීලයත්..එය රකිනා අයගේ වටිනාකමත් ගැන පැහැදිලි කරලා දීලා එවැනි අයට නින්දා කිරීම සුදුසු නොවන බව පහදා දීලා අපේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව අහවර කරන්න යෙදුණා...

29 August 2012

ඔන්න ඔහොමයි මේ දවස්වල...

යන්ට හිටියෙ අද කැලයක් බලන්නට..
ඒත් උනේ ගේ ඇතුලේ දපන්නට..
එළියේ වහිනවා අද පළු පැලෙන්නට..
මේක ලිව්වේ මෙහි පාළුව මැකෙන්නට..

කම්මැලි කමක් ගහලා මගෙ ඉහ මත්තේ..
අකුරක් ලියන්නට අම්මප හිත නැත්තේ..
උයනා පිහන වැඩ විතරයි කල යුත්තේ..
නැත්තං ඉතිං මං කෝමද කෑ යුත්තේ..

ඇද්දා ඩියුටි මාසය මුල ඇති වෙන්ට..
ලැබුනා නිවාඩුත් මාසය අන්තිමට..
කොල්ලා හිදියි මේ දිනවල රජ සැපට..
හෙව්වා බැළුව අය ඒ වග දැන ගන්ට..

තිබුනා උනත් ලියනට දේ ගොඩ ගැහිලා..
කම්මැලි කමට ඒ හැම දේ යට ගැහිලා..
ආයෙත් වැඩට‍ ගිය පසු දානව ලියලා..
එතකල් ඉතිං මං ඉන්නව ගුලි ගැහිලා..

---------------------------------------------
එහෙං මෙහෙං විපරං කරලා බැළුව උදවියට බොහෝම ස්තූතියි... කොලුවා යහතිං සිටී...
(හා දැන් අල්ල ගනිවු කවුද කොලුවා කියන කෑල්ල)

17 August 2012

මටත් දියවු හැඳුනුම් පතක්...!

මොන හු**ක්ද ඕයි මේ...?

එක පාරක් අල්ලං ගිහිං බර කිරුවා දිග මැන්නා පොටෝ ගත්තා... සමහරු වීඩියෝ කලා.. උස්සලා බැලුවා..අතගාලා බැලුවා... කරන්න තියෙන ඔක්කෝම කලා... යන්තං බේරුනා...

හිටිය තැනම හිටියොත් ආයේ මාට්ටු වෙයි කියලා හිතලා ටිකක් ලොකේෂන් එක මාරු කලා... නෙද්දකින් මේ වේ*ගේ පුතාලා ටික ආයේ අල්ලගත්තා... දැන් ආයේම බර කිරනවා දිග මයිනවා පොටෝ ගහනවා... වී‍ඩීයෝ කරනවා...

එක එකා ඇවිත් උස්සලා බලනවා අතගාලා බලනවා... මේ රෙද්දේ ඉවරයක් නැද්ද ඕයි...

මොන කරුමයක්ද..? මටත් දියවු හැඳුනුම් පතක්...

-මීට පිඹුරා...

15 August 2012

අංකල් "ජා"

පුළුන් වට්ටියක් වගේ සුදෝ සුදු කොණ්ඩය... බෙහෙතකටවත් කලු කෙස් ගහක් හොයා ගන්ට නැහැ... ඒකත් හොඳ පිළිවෙලකට කපාපු මල් පඳුරක් වගේ බොහෝම පිළිවෙලයි... මතකද ප්‍රේම් ජයන්ත්... ඉස්සර හිටිය හොඳ නළුවෙක්... ගිනිකූරු කට් උඩු රැවුල.. දැන් මං කියන්නේ අංකල් ප්‍රේම් ජයන්ත් වගේ කියලා නෙවෙයි... ප්‍රේම් ජයන්ත්ගේ වගේ ගිනිකූරු කට් උඩු රැවුල... පරණ ඉට්ටැයිල් එකනේ... දැන් කොහේද ඒවා...

වැඩිය උස නැහැ..අඩි පහයි අඟල් දෙකක් විතර ඇති.. හැබැයි හොඳ සනීපෙන් හිටිය මනුස්සයා... කියන්න තරං අසනීපයක් එහෙම තිබුනේ නැහැ... උසේ තරමට සරිලන සිරුර... ලියන වෙලාවට විතරක් කණ්ණාඩි යුවලක් පාවිච්චි කලා... එතකොටනං අපේ රතු විතාන මහත්තයාගේ පෙනුම වගේ...

අංකල්ව මුලින්ම මට නෙවෙයි හම්බ උනේ.. මගේ ගෝලයින්ට... මම නිවාඩු දවසක තමා අංකල් ඇවිත් තිබුනේ.. පහුවදා මට අංකල් ගැන කිව්වේ සරත්... ඔව් සරත් කියන්නේ මගේ සුවච කීකරු ගෝලයෙක්... වයස 50කට කිට්ටුයි.. උස අඩි පහක් විතර ඇති.. ටිකක් මහතයි..බෝලේ වගේ... හොඳ කොටු පැනීමේ සූරයෙක්.. ඒ වයසේ කෙනෙක්ගෙන් එච්චර හැකියාවක් දකින එක ලේසි නැහැ.. පුදුම කරුණාවන්ත මනුස්සයා.. අදටත් මාසයකට සැරයක් විතර මං දැන් ඉන්න තැනට ඇවිත් මාව බලලා යනවා... "සර් හින්දා තමා පොත් පත්වල වැඩ පිළීවෙළකට කරන්න ඉගෙන ගත්තේ..මට හැමදාම ඒවා මතක් වෙනවා" කියලා ආ ගිය තොරතුරු කතා බහ කරලා යනවා... ඒ දවස්වලත් ගෙදර මොනවා හරි කෑමක් හැදුවම මට පංගුවක් උස්සං එනවා... තනි‍යෙන් ඉන්න සර්ට කොහෙන් කියලා හම්බ වෙන්නද ඔන්න මං පංගුව ගෙනාවා කියාගෙන... සරත්ගේ පවුල මං දැකලා නැහැ.. හැබැයි උන්දෑ කවරු උනත් රසට උයන්න පිහින්න ඇහැකි කෙනෙක්... හරි අපි සරත් ගැන පැත්තකින් තියමු.. ඒ වා පස්සේ කාලයක කතා කරන්න පුළුවන්..සරත් කියන්නෙත් කතා උල්පතක්...

සරත් තමා මට කිව්වේ "සර් දන්නේ නැහැනේ.. ඊයේ ටොප් බඩුවක් ආවානේ රස්සාවක් හොයාගෙන"...

ඒ දවස්වල අපි ඇත්තටම අමාරුවෙන් දිව්වේ.. පොයින්ට් එකට 8 දෙනෙක් ඕන වෙලා තියෙද්දී 6ක් වගේ හිටියේ. ඉන්න ටික එහෙට මෙහෙට කරකව කරකව ගේම ගෙනියන එක ලේසි නැහැ..හැම මිනිහටම ප්‍රොබ්ලම්... එක්කෝ ගෑණිට ලෙඩ.. නැත්තං ළමයින්ගේ ප්‍රශ්න... එහෙමත් නැත්තං වෙන මොකක් හරි මඟුලක්... මට විතරයි කියන්න දෙයක් තිබුනේ නැත්තේ... මං නිවාඩුවක් ඕන උනාම කෙලින්ම කියන්නේ මං හෙට එන්නේ නැහැ ගෙදරට වෙලා කාලා බීලා බුදිය ගන්නවා.. කියලා විතරයි... නැතිව වෙන මොකක් කියන්නද..?

"කවුද සරත්..?"

මට වඩා සෑහෙන වයසැති සරත්ට මං නම කියලා මිස නෑදෑකං කියන්න ගියේ නැහැ කවදාවත්... සරතුත් සර් කියලා මිස මල්ලියේ කියලවත් කියන්නේ නැහැ අදටවත්.. ඒත් මිනිහා මට හුගක් ලෙංගතුයි.. මට උනත් ජීවිතේට හම්බ උන මිනිස්සු අතර අමතක නොවන මනුස්සයෙක්...

"අංකල් කෙනෙක්..වයසනං හැටක් විතර ඇති.. ඒත් කොල්ලා වගේ.. කලින් සිකුරිටි කරලා තියෙනවළු... මෙහෙ ෆැක්ට්‍රියේ රස්සාවක් හොයන්න ඇවිත් තියෙන්නේ.. ඒත් මං කතා කරලා හෙඩ් ඔෆිස් එකට යැව්වා... අපිටත් කට්ටිය නැති වෙලාවනේ... ඕන දෙයක් පුළුවන් කිව්වා.. කිව්වා වගේම පුළුවන් කියලත් හිතෙනවා සර්.. හරි පිළීවෙලයි.. හැබැයි මුස්ලිම්"

"හරි මං බලන්නං හෙඩ් ඔෆිස් එකට කතා කරලා.."

කිව්ව වගේම කතා කලාම මට හෙඩ් ඔෆීස් එකෙන් කිව්වා අංකල් කෙනෙක් ආවා හෙට ඉඳන් එවන්නං කියලා... පහුවදා මං වැඩට යනකොට ගාඩ් රූම් එකේ ඉන්නවා වාඩි වෙලා වයසක පහේ කෙනෙක්.. ඒ තමා මං කලින් කිව්ව අංකල්... මං ගාඩ් රූම් එකට ඇතුල් වෙනකොටම සරත් "ගුඩ් මෝනින් සර්" කියන ගමන්ම "මේ තමා අර කිව්ව කෙනා" කියලා මට අංකල්ව පෙන්නුවා... සරත්ගේ කතාව ඇහුන පරක්කුවට දඩ බඩ ගාලා පුටුවෙන් නැගිට්ට අංකල් කඳ සීරුවට අරං කෙලපි සැලියුට් එකක්... පළවෙනි හැසිරීමම සිත් ගන්නා සුළුයි... ඒ කියන්නේ මෑන් ආරක්ෂක අංශවල වැඩ කරලා තියෙනවා... කවදාවත් හමුදාවක පොලිසියක නොහිටපු අයගෙන් වැඩ ගැනීම පුදුම අමාරු වැඩක්... විනය ගැන අණ හා පාලනය ගැන උගන්නන්න පුළුවන්ද උන්දලට... ඒත් මෙහෙම අය වැඩි අවුලක් නැහැ...

කෙටි ප්‍රශ්න කිහිපයක්...?

"යුනිෆෝම් ලැබිලා නේද.. කොහොමද හිරද..නැත්තං අවුලක් නැද්ද..?අද ඉඳන්ම වැඩ කලෑකිද..?"

ප්‍රශ්න වලට උත්තර ලැබුනා අංකල් රාජකාරියට ලෑස්තියි... සාමාන්‍යයෙන් මට මාසෙකට ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක්වත් පුහුණු කරන්න වෙනවා.. එන උන් සමහරු දාලා යනවා දවසෙන් දෙකින්.. සමහරුන්ට පඩි මදි.. තමත් සමහරුන්ට නිවාඩු මදි... ඒ අස්සේම තවත් උන්ට මා එක්ක වැඩ කරන්න බැහැ... තුන් වෙනි කාරණාවත් තදින්ම බල පෑවා... ඒත් කියන දෙයක් නාහන..උනන්දුවක් නැති උන් ඉන්නවට වඩා යන එක හොඳයි... ඒ අතරට ටිකක් තලත්තෑනි උනත් පිළිවෙලක් ඇති මිනිහෙක් දැක්කම සතුටක් දැනෙනවා හිතට...

කොහොම හරි එදා ඉඳන් අංකල් අපිත් එක්ක රාජකාරී කලා... අවුරුද්දකුත් මාස ගානක්... අංකල්ව අහක් කරන්න කියලා කම්පැනියෙන් දන්වන තුරුම... කම්පැනියෙන් කිව්වොත් කෙනෙක්ව අහක් කරන්න කියලා ඒක නොකර බැහැ. නැත්තං වෙන්නේ අපිටත් යන්න තමා... ඒ අනුව අංකල්ව මාරු කලා.. බියගමට... ඒත් අංකල් ගියේ නැහැ බියගම..අංකල් ගියා ගෙදර... එයින් පස්සේ අද වෙනකල් මං දන්නේ නැහැ අංකල්ට කොහොමද කියලා... ඒත් අංකල් හිටිය දවස්වල කියාපු කරාපු  දේවල් තාම මතකේ තියෙනවා... අංකල්ගේ ජීව්තෙත් ලස්සන පොතක් වගේ.... මුස්ලිම් කියලා අපි හිතුවට අංකල් "ජා" වරුන්ගෙන් පැවැත එන්නෙක්... මුලින් මුලින් සිකුරාදා පල්ලි යන්න නිවාඩු ගත්ත අංකල් පස්සේ පස්සේ නිවාඩු ගත්තේ නැහැ... 

අංකල්ගේ ජීවිත කතාවත් අපි කෙටියෙන් කියලා දාමු ඊ ළග ලිපියෙන්... එතකොට මං කියන්නං තමාගේම කියලා ලොකු ව්‍යාපාරයක් හිමිව තිබු අංකල් කොහොමද දුප්පත්කමට වැටුනේ කියලා...

12 August 2012

දවාලේ නින්ද මල බතෙන් කෙලවර උනා නෙව...

ඉස්සර.. ඒ කිව්වේ එක්දහස් නවසිය බර ගණන්වල අග බාගේ...
මං කලිනුත් කියලා තියෙනව නෙව අපිට කුඹුරු තිබුනේ නැහැ... ඉතිං කුඹුරු තියෙන උදවිය අපි වගේ අයට හරි ආදරෙයි... කුඹුරු වපුරන කාලෙට... ගොයම් කැපෙන කාලෙට පුදුම ආදරෙන් කතා කරලා කියන්නේ 

"මල්ලියේ අනිද්දා අපේ ගොයං කැපෙනවා..උදෙන්ම වරෙං ඈ..."

කුඹුරු තියෙන උන්දලට කතා කලා වගේ නෙවෙයි ආයෙමත් උන්දලගේ අත්තමටත් යන්ට එපෑ.. ඉතිං කුඹුරු නැති අපි වගේ උන් ටිකක් සෙට් උනාම කන්න බොන්න දෙන දෙයක් දුන්නා එතැනින් කතාව ඉවරයි... අපිටත් ඉතිං වගේ වගක් නැති කාලෙනේ.. අර කතාවකුත් තියෙන්නේ පිස්සන්ට හැතැම්ම නැහැ කියලා... අපිටත් එහෙමම තමා.. කොතැනද මරණයක්..මඟුලක්..දානයක්.. පිංකමක්..සංගීතයක් තියෙන්නේ අපි එතැන... ගොයං කයියක් කිව්වමත් ඉතිං ඒ සංතෑසියම තමා...

ආසාවට පැනගෙන ගියා වගේ නෙවෙයි ඕකත් ලේසි වැඩක් නෙවෙයි.. උදේ පාන්දරින්ම කුඹුරට බැහැලා පලවෙනි ගොයම් අහුර කපලා ඒක උඩින් දෑකැත්ත තියලා වැඳලා කරලා පටන් ගත්තම කොහොම හරි බලන්නේ අවුව සැර වෙන්න කලියෙන් හැකි තරමක් කපලා අහවර කරන්ට තමා.. ඒත් ඉතිං ඔය දේ කර ගන්න පුළුවන් ඔය වී කාර්තුව දෙක වපුරන උන්දලගේ කයියකදී තමා.. බුසලක් හමාරක් කැපිල්ල මද්දහනට කලියෙන් ඉවර කර ගන්නනං විස්සක් වත් ඉන්ට ඕන... ඒ තරං කට්ටියක් ඔය කාලෙට එක්කාසු කොරගන්න ලේසි නැහැ... මොකද හැම තැනම කුඹුරු කැපෙනවා හිටු කියලා.. මිනිස්සු හැම තැනම බෙදිලා ගිහින්... ඉතිං එහෙමත් කයියකට තමා දා පාලොහක් හොයා ගන්ට ඇහැකි වෙන්නේ.. 

ගංවල කයියකට අඩු නැතිව කට්ටිය එකතු වෙන තැන් තියෙනවා.. ඒ ඉතිං කයියේ අයිතිකාරයගේ හොඳ කමට තමා.. අනිත් ඈයින්ගේ අත්තමට මඟ නොහැර යන එන... පාරකදී තොටකදී දැක්කම හිනා වෙලා කතා කොරලා යන..මගුලකට මරණයකට දැන ගත්ත ගමන් ඇවිත් කර ගහලා වැඩ පල කරලා දෙන උන්දලට මිනිස්සුන්ගේ හිඟයක් නැහැ.. ඒත් ඉතිං එහෙම නැතිව තමුන්ගේ වැඩට විතරක් උනන්දු වෙන ඈයින්ට වී බුසල කපා ගන්ට හත‍ර දෙනෙක් හොයා ගන්ට නැති තැනුත් එමටයි...

මුලදී මුලදිනං මාත් එහෙම උදවියගේ ගොයං කයිවලට උනත් දෙපාරක් නොහිතා ගියා තමා... ඒත් පස්සෙන් පහු තේරුං ගත්තා මුංට කඹුරලා ඇති පලක් නැති වග.. කොටින්ම කුඹුරු කලෙන් පස්සේ පාරකදී දැක්කත් කතා නොකර යන ජාතියේ උන්දලට මොකට කඹුරනවද..? 

ආ ඔය කිව්වම මට මතක් උනේ තව කතාවක්...

මං මුලින්ම කුලියට ගොයං කැපුව කතාව..ඒ අපේ ගමේම හිටිය අපිටත් තරමක් නෑදෑයෝ වෙන පවුලක තමා... එක් වංගියක් දෙකක් ඔහේ ගෙහුන් මාත් කුඹුර කැපුවට මොකද මුංදලා අනිත් කාලෙට අපිව සලකන්නේ දහයියා ගානට... ඕක එක වතාවක් හොඳටම තේරුං ගියේ අපි කට්ටියක් එක්කාසු වෙලා මොනවා නමුත් පොදු වැඩකට ආධාර පත්තරයක් එක්කාසු කොරන්ට ගිය වෙලේ... මං හිතන්නේ දන්සැලක් හරි ක්‍රීඩා සමාජේ වැඩකට හරි... ඔය කියන ගෙදර උන්නැහේ.. උන්නැහේ කිව්වේ ගෙදර පුතණ්ඩියා ආධාරයක් කරනවා තියා අපිත් එක්ක කතා කරන්නත් අකමැත්තෙන් වගේ මොනවද කියලා ගේ ඇතුලට ගියා ගියාමයි ආවේ නැහැ එළියට..බලං ඉඳලා බැරිම තැන අපි යන්න ගියා...

මෙන්න එයින් මාස හත අටකට පස්සේ හවහක මං පාරේ එනකොට ගේට්ටුව අරගෙන පාරට පැනලා මල්ලියේ කියලා කට පුරා හිනා වෙලා කතා කරලා

"හෙට අනිද්දා අපේ කුඹුරේ ගොයං කැපෙනවා ඕං මේ පාරත් වරද්දන්නේ නැතිව එන්ට ඕන ඈ.." කියපි... 

"අනේ තොගේ අම්මට" කියලා හිතිං කියන ගමන් මං "බලමු අයියේ මේ දවස්වලනං වැඩ වැඩී පුළුවන් උනොත් එන්න බලන්නං" කියලා එන්න එනකොට "අනේ එහෙම කියලා කොහොමද ඔන්න එන්නම ඕන ඈ.." කිව්වත් මං නෙවෙයි ආයේ පැත්ත පළාතේ ගියේ.. එක දවසක් උදේ වරුවේ මෙන්න මුංදෑ බයිසිමොටෝ එකේම නැගලා ඇවිත් මාව එක්කහු කරං යන්නම...

උදේ පාන්දරම පලකෝ කඹුරන්ට.. මං වෙන වැඩක් පිට දාලා නිකං හිටියා.. මෙන්න හවස් අතේ අයේ ඇවිත් හොයන්ට..බැලින්නං එදා එන්ට කියපු එකෙක්වත් ඇවිත් නැහැ ගොයං කැපිල්ලට මෑන් තනියම බලං හිටලා... ඉතිං ගොයං කැපිල්ල හබක්... හවස එනවා නිකං හුළං බැහැපු බැලුම වගේ ඇකිලිලා...

ඒ වෙනකොට මං දන්නවා කතාව.. මොකද දවාලේ තව තැනක ගොයං කැපිල්ලක් වෙන අතරේ ඔය හාදයාගේ ගොයං කැපිල්ල ගැන කතා වෙලා හිටියේ අපි ඒ වෙනකොටත්... අන්තිමට මෑන් ඇවිත් වෙච්ච හරිය කියනකල් ඉඳලා මං කෙලින්ම කිව්වා අනිත් උන් කියාපු කාරණාව... මේ පාර අත්තමට නොයන උදවියගේ ගොයං කුලියට මිස නිකං කපන්න කට්ටිය හොයා ගන්න බැරි වග... අන්තිමට අපි හතරදෙනෙක් ඒ ගොයම කැපුවා කුලියට... ගොයම කපන්න විතරයි කුලිය කිව්වේ.. මෑන් හිතුවේ අපේ රුදාවට ඒක ඇදලා පාගලා දීලත් යයි කියලා.. ඒත් ඒ එකක්වත් එහෙම උනේ නැහැ..කපලා ඉවර වෙලා අපි යන්න යනකොට මෑන් කියනවා අනේ මල්ලිලා තරහා නැතිව ඔය ටික වත්තට ඇදලා යමු නේද..මහ ගොඩක් නැහැනේ කියලා... මොන විකාරද..? එව්වා හදේ..අන්තිමට ඇදිල්ලටත් ගානක් පොරොන්දු වෙලා ඒකත් ඇදලා තමා අපි යන්න ගියේ... එහෙම මිනිස්සුන්ට එහෙම නොකර කොහොමද..?

ආ තව කතාවක් ඔන්න ඒ අස්සේ මතකෙට ආවා.. ඒත් මෑන්ස්ලා ගැනම තමා ඒ ඇවිල්ලා මල බතක් ගැන කතාවක්...

මල පත කියන්නේ මොකක්ද කියලා නොදන්න අය නැහැනේ.. ගෙදරක මරණයක් උනාම මිනිය උස්සනකල් ආයේ ඒ ගෙදර කෑමක් බීමක් හැදෙන්නේ නැහැ..කොටින්ම ලිප ගිනි මෙලවිල්ලක් නැහැ... දවසක් දෙකක් මිනිය ගෙදර තියාගෙන එයින් පස්සේ අවසන් ආගමික වතාවත් එහෙම කොරලා අහවර වෙලා මිනිය සොහොන් බිමට ගෙනියන්ට ඉස්සුවයින් පස්සේ තමා ආයේ ඒ ගෙදර ලිපක් පත්තු කොරන්නේ... මුලින්ම ගේ හෝදලා අර මිනිය තිබුන තැන තාවකාලිකව ලිපක් හදලා එතන කිරි මුට්ටියක් උතුරෝලා ඒ කිරි මුට්ටියටම කහ ටිකක් යහමින් දාලා ගේ පුරා ඒ කහ වතුර ඉහලා තමා ආයේ ගෙදර වැඩ පටන් ගන්නේ... ඒත් ඔය මිනියේ ආගමික වතාවත් කෙරෙන අතරේම වගේ ගෙයින් පිටත කොහේ හරි ලිප් ගල් බැඳගෙන තමා මල බත උයන්නේ...

පළාතෙන් පළාතට ඔකේ වෙනස්කං තියෙන්ට ඇහැකි..ඒත් අපේ පැතිවල මල බත සකස් වෙන්නේ මෙහෙමයි...

බත්... ඒකටනං ඉතිං සුදු බත් රතු බත් කියලා භේදයක් නැහැ.. මල ගෙදර අයට කුඹුරු තිබුනනං තියෙන කොයි හාල උනත් උයනවා.. වැඩි හරියක් ඉතිං තම්බපු සුදු නාඩු හාල් තමා.. එහෙමත් තැනක රතු හාලුත් ඉදෙනවා...ඒත් කලාතුරකින්... මල බතට කඩෙන් හාල් ගේනවා අඩුයි සාමාන්‍යයෙන්.. ගෙදර කුඹුරු නොකෙරෙනවනං අහල පහළ හරි කුඹුරු කෙරෙන ගෙදරකින් කුඹුරු හාල් ටිකක් ඇන්න එනවා.. කුඹුරු හාලේ තියෙන පුසුඹ කඩේ හාල්වල නැහැ...

වට්ටක්කා මාළුව... මේක අනිවාර්ය අංගය.. ඒකනේ ඉතිං මල ගෙයක් උන ගමන් ඔන්න වට්ටක්කා ඩාන්ස් එකක් කියලා කියන්නත් සමහරු පුරුදු උනේ...

කරවල හොද්ද.. මේකටනං ගන්නේ කට්ටා කරවල තමා...කට්ටා කරවල ඉව්වම ඒ හොද්දේ සුවඳ පළාතේම පැතිරෙනවා... කූලිවල මස් ගතිය ටිකක් අඩුයි..කටු තමා වැඩි.. ඒත් හොද්ද ගෑවුන තැන කතහැකි...

ඇඹුල් කෙහෙල් මාළුව... දැන් ඔය අපි අළු කෙහෙල් මාළුවට උයලා කන්නේ ආන්න එහෙමම උයාපු ඇඹුල් කෙහෙල් මාළුවකුත් මේ මල බතට අනිවාර්යයි...

ඔන්න ඔය ජාති ටික තමා අපේ පැතිවල මල බතේ අනිවාර්ය අංග වෙන්නේ...ඒත් මෙන්න මේ කියාපු මල ගෙදරදී ගමේ පළවෙනි වතාවට වෙනසක් උනා.. ඒ තමා මල බතට අඳාල කෑම වලට අමතරව ලූණු සම්බෝලයක් පැමිණීම...

කොහේ ගියත් මල බතකට මුලින්ම වාඩි වෙන්නේ ගමේ කොල්ලෝ ටික.. ඒ කියන්නේ අපි තමා... ආයේ ඉතිං ලැජ්ජා  වෙවී පැත්ත ගහලා ඉන්නේ නැහැ.. වාඩි වෙනවා වගේම තමා මදි නොකියන්ට නෙලනවා... ගෙවල්වල මිනිස්සුත් ඔය වෙලාවට ඉන්නේ බොහෝම හිතේ කණගාටුවෙන් හින්දා උන්දලත් අර මලගිය ඇත්තට පින් සිද්ධ වෙන්ට කියලා දෙන පලවෙනි කෑම වේල නෙව මේ.. ඉතිං ඒක අපි හිතේ මනාපෙන් හොඳ හැටි භුක්ති විඳිනවා බලන්ට ඒ කවුරුත් කැමතියි.. දැන්නං ඉතිං මල බත කන එකත් හෙන ලැජ්ජාවට කාරණයක් වගේ සලකන යුගයක්නේ.. ඒත් ඒ දවස්වල ඕක බොහෝම වැදගත් චාරිත්තරයක්... 

මිනිය තියාපු සාලෙම බිම පැදුරු එළලා ඒකේ අයින දිගට වාඩි උනාට පස්සේ අත හෝදන්න වතුර එකක් අල්ලං යනවා..අත හෝදා ගත්තට පස්සේ හැමෝම ඉස්සරහින් ලොකු කෙහෙල් කොලයක් එළං යනවා... එයින් පස්සේ ලොකු බේසමකට දාගෙන ආව බත් එකක් දෙන්නෙක් විහින් අර කෙහෙල් කොලෙට බෙදාගෙන යනවා... ඊ ළගට කට්ටා කරෝල හොද්ද... වට්ටක්කා..ඇඹුල් කෙහෙල් වෑංජනේ.. පිළිවෙලට බෙදං යනවා.. එයින් පස්සේ තවත් කෙනෙක් පන්කොල වට්ටියකට කෙහෙල් කොලයක් එලලා ඒක අල්ලං යනවා ඉස්සරහින්.. කෑමට වාඩි උන උදවිය අර බත් පතෙන් හොඳට අනාපු බත් කටක් ඒකට දානවා... එයින් පස්සේ තමා වැඩ ඇල්ලිල්ල...

බත් බෙදනවා.. හොදි බෙදනවා.. හොදි වැඩි වෙනවා ආයේ බත් බෙදනවා..බත් වැඩි වෙනවා හොදි බෙදනවා... ඒකේ අහවරයක් නැහැ... හොඳට මස් තියෙන කරෝල කටු කීපයක් බත් පතට වැටුනම ඉතිං හතර මහා නිධානේ පහල උනා වගේ... කොහොම හරි ගංවල කොල්ලන්ගේ කෑමේ ශක්තිය හොඳින් විදහා පාන තැනක් තමා මල බතට වාඩි විල්ල... වට තුන හතරක්වත් බත් බෙදන්න ඇරලා කෑවනං ගොඩම තමා... ටික වෙලාවක් යනකොට ගෙදර උදවියත් හිතේ තිබුන සාංකාව අතෑරලා කොල්ලෝ තරගෙට වගේ බත් කන හැටි බලං ඉන්නවා... ඕවා ඉතිං අපි සුළුවට හිතුවට ඒ වගේ වෙලාවක ගෙවල්වල උන්දලට හිතට හරි සැහැල්ලුවක් දෙන වැඩ...

ඉතිං මං කියන්ට ගියේ ඒක නවෙයිනේ.. අර මල ගෙදරදී මල බතට අළුත් අංගයක් එකතු වීම ගැනනේ... වෙනදා වගේම අඩු වැඩිය බෙදං යන අතරේ මෙන්න ගෙදර උන්දෑ කෙනෙක් දුවගෙන ඇවිත් ලොකු වීදුරු භාජනේක දමාන තක්කලියි ලූණුයි දාපු සම්බෝලයක් බෙදං යන්ට තියා ගත්තා... හැම කෙනාම ටිකක් අමුතු උනා... කට පියං ඉන්න බැරි කමට එකෙක් ඇහුවා ඇයි අක්කේ මේ ළුණු සමබෝලයක් කියලා... ගෙදර අක්කණ්ඩි හිමිහිට වගේ කියනවා අනේ අපේ වැඩ කරන තැන්වල අයත් ඇවිත් ඉන්නවනේ... නිකංම නිකං විදියට මල බත බෙදුවම හරි මිදිනේ.. ඒ හින්දා මොනවා හරි වැඩි යමක් දෙන්ට කියලා තමා මේක කලේ කියලා...

ඇත්ත කතාව අක්කගෙයි අයියගෙයි වැඩ පොලවල ඈයෝ කිහිප දෙනෙක් ඇවිත් හිටියා තමා... හැබැයි උන්දලාගෙන් ‍වැඩි හරියක් ආවා ගියා...සමහරු මල බතට වාඩි වෙන්න කිව්වම මග ඇරලත් ගියා..අන්තිමට ඒ ආපු උදවිය මල බතක් කෑවේ නැහැ.. ඒත් අමුතු තත්වයක් හදාගන්න මෙවුන්දලා මල බත මොඩ් කරලා... පවුලේ වග විභාග හොඳින්ම දන්න හින්දා කට්ටිය මූනෙන් මූණ බලා ගත්තා විතරයි.. කිසි කතාවක් නැතිව මල බත කෑවා..හැබැයි වෙනදා වගේ දෙතුන් පාර කෑමක් නැහැ..එක පාරින් අත් හෝදගෙන නැගිට්ටා... ලූණු සම්බෝලේ කෙහෙල් කොලේ පැත්තකට වෙන්න ඉතිරි වෙලා තිබුනා... එච්චරයි...

ඒ තමා අපේ ගමේ මුල්ම සම්ප්‍රදායෙන් පිට පැන්න මල බත... හැබැයි එයින් පස්සේ කාලෙක වෙන වෙන තැන්වලත් ඕකට පරිප්පු..බෝංචි වගේ දේවල් එකතු වෙන්න ගත්තා... කොහොමත් එකෙක් එකක් කලාම අනිත් උන් දෙකක් ‍කරන්න හදන එක සාමාන්‍යයිනේ.. හැබැයි ඒ වෙනස්වීම් එක්කම ඉස්සර වගේ මල බතට හරි බරි ගැහිලා වාඩි වෙන කොලු පිරිස නැති වෙලා ගියා... දැන්නං මලබතක් කාපු කාලයක් මතක නැහැ... සමහර විට දැන් ඕක දෙනවා ඇත්තේත් කේටරින් සර්විස් හරහා බුෆේ ක්‍රමයට වෙන්න ඇති... ඒත් අර ඉස්සර තිබුන මල බත වගේ ගෙවල්වල මිනිස්සුන්ගේ හිත් වල සාංකාව දුරු කරන්න ඇහැකි විදියට මල බතට වාඩි වෙලා මල ගිය පරාණකාරයට පින් දීලා බඩ පුරා මලබත ගිලින උදවිය ඉන්නවදත් මංදා...

මදෑ මං ලියන්න ගත්තේ වෙනම කතාවක්..ඇත්තටම මේ දවාලේ නින්ද ගැනයි මේක ලියන කොට මගේ හිතේ තිබුනේ.. ඒත් අන්තිමට වෙන වෙන අත්වල කතාව ගියා.. ඒ නින්ද ගැන ඊ පස්සේ ලියමු දැනට මේ ඇති...

09 August 2012

හෙළ පානයක් නිවසේදීම... පුරුෂ පාර්ෂවයට පමණි.18+

හොඳයි කාලෙකින් මාර සරණියට ලිපියක් දැම්මෙත් නැති හින්දා මං තීරණය කලා කාලේ හැටියට බොහෝම දෙනෙකුට පරයෝජනවත් දෙයක් කියා දෙන්ට.. අනිත් කාරනේ තමා මට මේ පුරුෂ පාර්ෂවයෙන් හෙන චෝදනාවක් තිබුනා හැමදාම ගෑණු ළමයින්ට උයන හැටි කියා දෙනවා මිසක් එයාලට හරියන දෙයක් කියා නොදෙනවයි කියලා.. ඉතිං මෙන්න මං ඒකට උත්තරයක් දෙන්ට යන්නේ.. ඒ වගේමයි දැන් මේ රාවණා හිට් වෙලා අපේ කොල්ලෝ ටික හෙළු ප්‍රබෝධය කරට අරං ඉන්න වෙලාව.. ඉතිං එහෙම කාලෙක අපි අපේ ඉපැරණී දේසීය හෙළ කරම වේද ආදියට මුල් තැන දෙන්ට ඕන.. නැද්ද මං අහන්නේ...?

ආන්න ඒ කොයිකත් හිතලා මතලා තමා ‍මං මේක දාන්ට හිතුවේ...

අපිට මේකට මූලික වශයෙන් උවමනා කරනවා මෙන්න මේ දේවල් ටික...

ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

ලොකු හැළියක්

අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

පාන් පිටි කිලෝ බාගයක්

පුනීලයක්

බූලියක් හෝ එයට සමාන භාජනයක්

අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

හුඹස් මැටි ටිකක්


 හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...



ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...




හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...

ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?

හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට... අපි අද ජාතියක් හැටියට දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇතිව ඉන්නේ මේ පර සුද්දා දෙන රසායනික එකතු කරපු දහ ජරාවල් බීලනේ.. ඔය කෝඩියල්ය අරකය මේකය කියලා අපි කෙලින්නේම වහනේ හා නැද්ද..?

ඉතිං එහෙම දහ ජරාව නොබී.. මෙන්න මෙහෙම දේශීය අවුසදීය පානයක් හදාගෙන බිව්වම ඇගට වගේම ආර්ථිකේටත් හොඳ නැද්ද මං අහන්නේ.. මෙව්වා හරිනං රජයේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත කල යුතු දේවල්.. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ.. ඒත් හිතවතුනි හැමදාමත් ඔබලාගේ "මාරයා" වන මං තුමා මෙවා ඔබලාට කියා දෙන්න කැමතියි.. අපි එහෙමයි... සමාජ සේවයටමයි හිත...

ඉතිං ඔයාලටත් දැන් පුළුවන් මේ විදියට මේ උපකරණය සකස් කරගෙන.. නිවසේදීම සුමිහිරි පානයක් සකස් කරගෙන බීලා බලන්න... ඕනනං කැමති කෙනෙකුට ස්වයං රැකියාවක් හැටියට උනත් කරන්න පුළුවන් දෙයක් මේක.. ඇත්තම කිව්වොත් අපේ ගමේ මේක හොඳ ස්වයං රැකියාවක්..ගමේ ඉස්මත්තේ එක හරියක මේක ඉතාමත් හොඳින් කෙරුන ස්වයං රැකියාවක්... බලන්න ජාතික ආර්ථීකේට නේද ඒකෙත් වාසිය.. දේසීය දේ අගය කරන ගමන් අපි රට ගොඩ ගන්න මෙහෙම වැඩ පිළීවෙලවල් වලට යන්න ඕන නැද්ද මං අහන්නේ...

මෙව්වා මෙහෙම කියා දෙනවට හරිනං ඔහේලා මට සම්මාන දෙන්ට ඕන..එහෙනං...
---------------------

නිකංම යන එක හරි නැහැනේ.. මෙන්න ලෙහෙසි පහසු පැනයක්...එකක් නෙවෙයි දෙකක්ම...මෙයට පිළිතුරු දී හුරු බුහුටි අසෝක වීදුරු දෙකක් ‍දිනා ගන්න ඔබටත් අවස්ථාව..

1.මෙහි අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවෙන් එක් දෙයක් භාවිතා කරනා අන්දම සටහන් කොට නොමැත.. ඒ කුමක්ද..?

2.එම ද්‍රව්‍යය භාවිතා කරනවා ඇත්තේ කුමකට කියා ඔබ සිතනවාද..?

---------------------------------------
පසු සටහන...

එක *රියෙක් හරි (නරියෙක්) ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට ඊස් කලවං කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්...

පසු සටහනටත් පසු සටහන...
එපා කියද්දීම හොරෙන් බැළුව කාන්තාවෝ ටිකටයි මේ ඔත්තුව.. ඔබට ඔබේ සුවාමි පුත්තරයාගෙන්..පෙම්වතාගෙන් වැඩි ආදරයක් හිමි කර ගැනීමට මෙම උපකරණය හා පානය උදව් කර ගැනීමට හැකිය... උත්සහ කොට බලන්න...

07 August 2012

"Z ස්කෝරය" සිල්වා තුමාණෝ කියන කතාව හරිද වැරදිද..?

මේක මට අහන්න ලැබුනේ පහුගිය දොහේ අර එකතුමෙක් මංතුමා ඉන්න පැත්තේ ආව වෙලේ... මං එදා කිව්වනේ ඒ තුමාට කතා කරන්න කලින් බොහොම කට්ටියක් එතන කතා කර කර ඒ ඒ අයගේ කතා කියෙව්වා කියලා... මේකත් එයින් එකක්...

කථිකයා අපි කවුරුත් දන්න  නඩු බලවපු අග තැන්පත් ඇස් ඇන් ද සිල්වා උන්නැහේ (හිටපු) තමයි.

උන්නැහේ තමුන්ගේ කතාවෙදී කාරණා කිහිපයක් කිව්වා..එයින් එකක් තමා මේ ළගකදී ගෝල් ෆේස් පිටියේදී තරුණයෙක්ව අත් අඩංගුවට ගත්ත කතාව...

තව එකක් තමා එයා වෙර වී‍රියෙන් කැපවීමෙන් කටයුතු කරලා ගොඩ නංවපු ලංකාවේ නීති ක්ෂේත්‍රය එයා නැති උන ගමන් කඩා වැටුනා කියන එක...

ආයේ කිව්වා සුදු අස්සයෙක්ගේ පිටේ නැගලා අර තුමා දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුවත් ලෙලව ලෙලව එන හැටි තව තුමෙකුට හීනෙන් පෙනෙනවාය කියලා කතාවකුත්...

ඔය අස්සේ කියාපු මෙන්න මේ කතාව තමා මට හිතට අල්ලලම ගියේ... ඒ තමා මේ දවස්වල කාගෙත් කටගැස්මට හොඳ කාරණාවක් උන "Z ස්කෝර් අවුල"

ඉතිං අපේ හිටපුතුමාණෝ කියනවා මෙන්න මෙහෙම...

"දැන් මේ 'Z ස්කෝර් අවුල' බලන්නකෝ.. මේක මහ අවුලක්නේ.. කවුද මේක හැදුවේ.. මේක හදන වෙලාවේ මං කොයි තරංනං විරුද්ධ උනාද මේක ගේනවට..ඒත් කවුරුවත් ඇහුවේ නැහැ.. අන්තිමට ගෙනාව Z ස්කෝර් කියලා එකක්.. මේක හැදුවේ ඒ කාලේ තිබුන විෂ්‍ය ධාරාවල්වල තිබුන වෙනස්කම් සමාන කරන්න... ඔය සමහර විෂයන් තිබුනා ලකුණු සෑහෙන ප්‍රමාණයක් පහසුවෙන් ගන්න පුළුවන්.. ඒ අතරෙම තිබුනා ලකුණු ගන්න අමාරු..වැඩිය කට්ටිය තෝරා නොගන්නා විෂයන්.. දැන් අර ලකුණු ගන්න පහසු විෂයන් වැඩි දෙනෙක් තෝර ගත්තම එයාලට අර අමාරු විෂයන් කරන අයට වඩා අවස්ථාව වැඩියි සරසවියට යන්න.. ආන්න ඒක හින්දා තමා ඔය Z ස්කෝර් එක ගෙනාවේ. ඒ හරහා අර අසීරු විෂයන් කරන අයට සාධාරණයක් උනා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ..? දැන් මේක පරණ නිර්දේශයකටයි නව නිර්දේශයකටයි පටලෝගෙන හත් පොලේ ගාගෙන තියෙන්නේ...

බුදු දහමේ තියෙනවා (අපි කවුරුත් දන්න විදියට උන්නැහේ ධර්මධර කෙනෙක්..ඔය පෝයට බණ කියන්නත් යනවනේ එහෙ මෙහෙ) යම් කිසි ගැටළුවකදී එහි ඵලයට නොව හේතුවට පිළියම් කරන්න කියලා.. හොඳයි දැන් මොකද වෙලා තියෙන්නේ..දැන් මේ වන කොට අර කලින් කිව්ව පහසු විෂයන් විෂය මාලාවන්ගෙන් අහක් වෙලා තියෙනවා.. තියෙන විෂයන්වත් කවුරුවත් තෝර ගන්නේ නැහැ..ඔය ග්‍රික්....(මොනවදෝ මංදා විෂයන් දෙකක් හෝ තුනක් කිව්වා මට මතක මුලට ග්‍රීක් කෑල්ලක් තිබුන බව විතරයි) වගේ විෂයන් දැන් ඇත්තෙත් නැහැ..ඒත් අපේ අය තාමත් මේ Z ස්කෝර් එක පවත්වාගෙන යනවා... (කතාව නවතා මහ හයියෙන් හිනා වෙමින් වට පිට බලයි) මේක හරි විහිළුවක්නේ.. දැන් හේතුව නැහැ..ඒත් ඵලය තියෙනවා..ඔන්න මේක කෙරෙන හැටි.. මේ අවුල විසඳන්න කරන්න තියෙන්නේ එකම දෙයයි.. ඔන්න ඔය Z ස්කෝර් එක අල්ලලා විසි කරලා ඒ ඒ විෂයන් වලට ලැබෙන ඉහල ලකුණු වලට අනුව සරසවි වරම් දෙන එක විතරයි... (නැවතත් කතාව නවතා සිනාසෙයි)

ඒක නොකර මේ Z ස්කෝර්ක් බදාගෙන ඉන්න හින්දනේ මේ හැම අවුලම."

ඒ කතාවෙන් තව කතාවකට පැන්නා... හරි අපිට ඕන ටික දැන් ඇවිත් තියෙන්නේ...

දැන් මෙතුමා කියාපු මේ කතාව ඇත්තද..? මං මේකේ අගක් මුලක් දන්නේ නැහැ.. ඒත් මෙච්චර පහසු තීරණයක් නොගෙන ආණ්ඩුව මොන ලබ්බක් කරනවද කියලා මටත් ලොකු කේන්තියක් ආවා.. ඇයි යකෝ බැණුං අහනවා කියන එකේ නිමක් නැහැනේ..ඒ අස්සේ මෙච්චර සිම්පල් කේස් එහෙකටත් මොකට බැනුං අහනවද අර ඇමතිල දෙන්නාට බැනුං ඇහීමේ දොලදුකක් තියේද..?

ඉතිං ඔය ගැන දන්න කියන අයගෙන් අහනවා මිසක් Z තියලා ඉංගිරිසි හෝඩියේ අකුරක් තියෙනවා කියලා විතරක් දන්න මං කොහොම තීරණය කරන්නද..? මොකක්ද හැබෑට මේකේ ඇත්ත කතාව..?

03 August 2012

අතීත ගී පොත...


ලියන්න ගත්තට ලියන්නේ මොනවද කියලා තාමත් කල්පනා කරනවා. එක අතකට ලියන්න දෙයක් තියෙන්නම ඕන නැහැනේ ලියන්න. හිත කියනවනං මොනවා හරි කුරුටු ගාපං කියලා ඔන්න ඔහේ කුරුටු ගාන්නයි තියෙන්නේ.. මොකද අපි කරන හැම වැඩේටම හේතුවක් තියෙන්නම ඔන නැහැනේ.. කොහොම උනත් මේ කුරුටු ගෑම හිතට ලොකු සහනයක් ගෙන දෙනවා. හේතුවක් ඕනමනං ඒ එකම එක හේතුවත් ඇති මේක ලියන්න හිත හදාගන්න.

සාමාන්‍යයෙන් මිනිස්සු හිතේ සහනය වෙනුවෙන් හුගාක් දේවල් කරනවා. සමහරු ඒ වෙනුවෙන් ඉගෙන ගන්නවා.. දිගින් දිගටම විභාග ලියනවා..සමත් වෙනවා..තව දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා... තවත් අය සල්ලි හම්බ කරනවා... එක එක ආකාරයට ක්‍රම උපයෝගී කරලා මුදල් පස්සේ දුවනවා... ඒ අතරේ තවත් අය වාහන.. එකතු කරනවා..තවත් අය ඉඩ කඩම් අයිතිකරගන්නවා.. ඔය මං කිව්වේ මහා පරිමාණ දේවල්.. ඒ නැතත් තවත් අය හිතේ සහනය වෙනුවෙන් කාසි එකතු කරනවා..මාළු ඇති කරනවා... ක්‍රිඩා කරනවා.. එක එක ජාතියේ වැඩ. ඒ අස්සේ මම ලියනවා... එකම අරමුණකට... මං කලින් හිතං හිටියේ සල්ලි එකතු කිරීම හරි දේපල රැස් කිරීම හරි ඉගෙනීම වගේ කාරනා වලින් හිතේ සහනය අත් කරගන්න එක කවදාවත් අවසානයක් නැති වැඩක් කියලා.. ලියන එක එයිට වඩා සාර්ථක ක්‍රමයක් කියලා..ඒත් ඒකත් එහෙමම නෙවෙයි. මේකෙත් අවසානයක් නැහැ... නැත්තං මෙච්චර ලියාපු මං ආයේ තව අහවල් එහෙකටද මේක ලියන්න ගන්නේ... අද දවසට මේ වෙනකොට වචන 4000කට කිට්ටු වෙන්න ලියලා තියෙනවා. හැබැයි ඒ වචන ලිවීමෙන් හිතට ලොකු සහනයක් හම්බ වෙන්නේ නැහැ. ආර්ථිකේට සහනයක් මිසක. ඒත් මෙතන ලියන වචන කිහිපය එයිට වඩා හිතට ලොකු සහනයක් ගේනවා. ඉතිං මං ලියනවා...

මං මේ උඩ ටික ලියං යනකොට මට මතක් උනේ ඔය කාසි එකතු කිරීම මුද්දර එකතු කිරීම වගේ දේවල්ම නැති උනත් මාත් එක එක කාලෙට එක එක වැඩ කලා නේද කියලා ඒ වගේ... එයින් එකක් තමා ගීත එකතු කිරීම... එක කාලයක් තිබුනා පොත් පිරෙනකල් ගීත එකතු කරන්න... කොහෙන් හරි සින්දුවක් අහු උන ගමන් ඒක මතක තියං ඇවිත් කොපි පොතක ලියනවා. පත්තර කෑල්ලක සින්දුවක් තිබුනොත් ඒ පත්තර කෑල්ල ඉල්ලං ඇවිත් ඒක කොපි කරගන්නවා.

ඒ අතරින් අමාරුම වැඩේ උනේ රේඩියෝවේ යන සිංදු ලිවීම.. මොකද කැසට් පීස් වල යන ඒවානං රිවයින් කර කර අහන ගමන් වචන අල්ලං ලිවුවැකිනේ..(එහෙම ලියන්න කියලා රිවයින් කරලා මං කොච්චර කැසට් පීස් තොගයක් විනාස කරලා තියේද...? ඇයි කැසට් යන්තර..එව්වටත් ඒ සෙතේම තමා) ඒත් රේඩියෝවේ යද්දි එහෙම බැහැනේ..එක පාරින් වචන අල්ල ගන්න ඕන.. ඉතිං මං කරන්නේ කොල කැල්ලක් තියං ඒ ඒ වෙලාවට යන සින්දුවේ වචන පුළුවන් තරමට ලියා ගන්න එකයි..ලියා ගන්න බැරි උන තැන්වල හිස් තැන් තියලා දානවා.. ආයේ දවසකට දෙකකට පස්සේ ඒ සින්දුව විකාශය වෙද්දී පටස් ගාලා අර අතෑරුන කෑලි ටික ලියනවා.. ඔහොම ලියද්දී සමහර සින්දු සම්පූර්ණ කරන්න මාස ගානක් ගිය වෙලාවලුත් තිබුනා.. තවත් ඒවා කවදාවත්ම සම්පූර්ණ උනේ නැහැ..

ඒ අතරේ තවත් සින්දුවල සමහර වචන තිබුනා කොච්චර කිව්වත් හරියටම පැහැදිලි නොවන... අර "සිරි සඟ බොධි මාලිඟාවෙදී..මා- දැක ප්‍රාණේ හානි වෙන්ට බැට දෙම්.." කියන සින්දුවත් එහෙම එකක්.. අදටත් එකේ එක තැනක් මට පැහැදිලි මදි. එකේ එක තැනක් තියෙනවා "ධර්මෙ ශීලේ රක්නා රාජා නාමේ ......." කියලා තැනක්..ඔතැනින් එහාට තියෙන වචන ටික අදටත් මට පැහැදිලි නැහැ... ඉතිං එහෙම සින්දු කියන්න ගියාම ඔය තාලෙට හරියන මොනවා හරි වචන ටිකක් දමලා දීලා අදිනවා ඇර වෙන මොනවා කරන්නද..?

ආ පොඩ්ඩක් හෝව් තියෙනවා වැඩක් කරන්න...

හරි ඔන්න ඒක කලා.. මෙන්න බඩු.. තාමත් මං ගාව ඒ කාලේ ලියාපු පොත් දෙකක් තියෙනවා...

ඔන්න ඒවා...

ඒ දවස්වල මට සුනිල් සෙට්ටි මේනියාව තදින් ඉහට ගහලා තිබුනේ... මොහොරා ෆිල්ම් එකේ වැරැද්ද වෙන මොකවත්ම නෙවෙයි...:D ඔය පේන හාට් දෙක ගෑල්ලමයෙක්ගෙන් ලැබුන එකක්... එයාගේ නාට්‍ය හා රංගකරණය පොතේ තමා ඒක තිබුනේ.. පස්සේ ඒක මේ පොතට ආවා...
බර බර එව්වා වගේම...
නන්ස්ටොප් කෑලිත් එක සමානව තිබුනා...
කොහොමද වැල් බයිලාව...
පේනවනේ පොත අවසන් කල දවස...



කොහොමද වැඩේ... අවුරුදු 15කට විතර කලින් කරපු වැඩ තමා ඔය... ඒත් ඒ කාලේ හැටියට හිතේ සැහැල්ලුවට කරපු දේවල්.. මොකද ඒ දවස්වල බ්ලොග් තිබුනයෑ... ඔය පොත් ලිව්වා කියලා හිට් වදිනවා කියලද..? කමෙන්ට් වැටෙනවා කියලද..? ඒත් ඒ කාලෙත් ලිවීමෙන් මොනවා හරි සැහැල්ලුවක් තිබුන හින්දා තමා ලිව්වේ.. දැන් ඉතිං මෙහෙම ලිව්වා කියලා ආයේ මොන අවුලක්ද... සන්තුට්ඨී පරමං ධනං...