30 September 2012

අධ්‍යාපනයේ මාරයා 2වෙනි කොටස...


මං මුලින්ම කිව්වනේ අපේ අය හරි පුදුම මිනිස්සු කියලා... කතාව කියලා අහවර කරන්නත් කලියෙන් අර ඉංගිරිසි ටීචර් පටලෝගෙන වැඩේට..හා හා ඒකෙන් කාරි නැහැ..අර කිව්වත් වගේ අපේ මිනිස්සු පුදුම ජාතියක් තමා...

කොහොමින් හරි කොළඹ ගියා කියමුකෝ... ඒක පට්ට වාත කේස් එකක්.. උදේ හතර හමාරට විතර ඇහැරගෙන මහ පාන්දරින්ම බස්වල ගාටගෙන ගිහිල්ලා ආයේ හවස හතරට විතර ගෙදරට කඩං පාත් වෙන සීන් එකක් තමා මට සෙට් උනේ... මුල්ම මාස කිහිපය පාසල් වෑන් රථයක ගියා උනාට ඒ වියදම තාත්තට දරන්න අමාරුයි කියලා තේරුන හින්දම මං ඉක්මනටම බස්වලට හුරු උනා... ඊ ළගට සීසන් එක තියං සීටීබී එනකල් අහසට වැඳ වැඳ හිටිය කාලේ... ඒවා ගැන කතා කරන්න ගියොත් තව කියන්න ජාති අපමණයි... සීසන් ටිකැට් එකත් නිදහස් අධ්‍යාපනයේම කෑල්ලක් කියලයි මට හිතෙන්නේ.. එහෙම බැළුවම අර මේ ටිකේ කෑ ගහන විමල් ගොයියා කියන්නැහේ ඔය සීයට ගානින් මනින්න බැරි කොච්චර දේවල් තියේද..? හැබැයි ඉතිං සීසන් එකක් අරං ප්‍රයිවට්වල යන්න වීමේ අභාග්‍යත් ඒ හා එක්කම එන කතාවක්... අපි ඒවා අල්ලලා දාමු...

දුප්පත් දරුවෙක් හැටියට මටත් රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව ආධර මුදල ලැබුනා... මුල්ම කාලේ ඒක රුපියල් 100යි... මේ කියන්නේ 1989 වගේ... ඒ කාලේ සීසන් එකත් රුපියල් 57යි.. ඒ කියන්නේ රුපියල් සීය ගත්තම සීසන් එකනං ගත්තෑකි... ඒත් අවුලකට තිබුනේ ඔය 100වත් හම්බ වෙන එකේ පිලිවෙලක් තිබුනේ නැති කමනේ... මාසයක් ගානේ ඕක නියම විදියකට හම්බ වෙනවනං ඒකේ පොඩි හරි සහනයක් තියෙනවා.. ඒත් ඒක හම්බ වෙන්නේ අවුරුද්දක් විතර එකට එකතු උනාම...සමහර විට එයිටත් වඩා කාලෙකින්.. ඔහොම ගිහිල්ලා අවුරුදු තුන හතරකින් විතර ඔය ආධාර මුදල වැඩි උනා රුපියල් 60 කින්.. ඒ කියන්නේ රුපියල් 160ක් උනා... ඒ රුපියල් 60 වැඩි කලේ ප්‍රේමදාස මහත්තයා විසින්... ඒත් එයින් පස්සේ අර කාලෙකින් හම්බ වෙවී තිබුන මුදලත් නැති උනා... ඔය අස්සේ ප්‍රේමදාස උන්නැහේ මැරුණා..විජේතුංග උන්නැහේ ආවා... ආධාර මුදල් තාමත් නැහැ...අන්තිමට ආවා මැඩොං... බඩුම තමා 160 මුදල කෙලින්ම 240ක් කලා... මුලින්ම අර පරණ එකතු වෙලා තිබුන හිග මුදලෙන් බාලයක් විතර ලැබුනා.. එයින් පස්සේ ටිකක් විතර ඕක ක්‍රමවත්ව ගෙවුනා උනත් තවත් අවුරුද්දක විතර සල්ලි මට එන්න තියෙනවා මං හිතන්නේ.. ඒ තමා නිදහස් අධ්‍යාපනයෙන් මට හිමි උන ශිෂ්‍යාධාර වල කතාව... 

ඊ ළඟට පාසල් ගාස්තු..පහසුකම් ගාස්තු.. සහ අමතර මුදල් එක්කාසු කිරීම්... මේ ගැනනං මං අමුතුවෙන් කියන්න ඕන නැහැ..මගේ පාසලට ගිය අය වගේම කොළඹ පාසල් ගිය බොහෝමයක් දරුවන්ට ඒ ගැන අවබෝධය ඇති... ගමේ ඉස්කෝලෙදී අවුරුද්දටම රුපියල් 3ක් වගේ ගෙවුව මට එක පාරටම අවුරුද්දකට රුපියල් සීයකට එහා ගිය පහසුකම් ගාස්තුව වගේම මාසයක් ගානේ මොන මඟුලකට හරි කියලා එකතු කරන රුපියල් පණහ හැට ආදී වියදං දරාගන්න එක් ලේසි උනේ නැහැ... බාටා දෙක දාං ඉස්කෝලේ ගිය මට කොළඹ යද්දී එහෙම පුළුවන් උනේ නැහැ කියන එකයි ඒ හැම දෙයක්ම සල්ලි කියන එකයි අමුතුවෙන් කියන්න ඕනයෑ...

ඔය කාලේ වෙද්දී අපේ පවුලේ ස්ථීර ආදායම උනේ අම්මා රට ඉඳන් එවන රුපියල් 2500 තමා... ඒකෙන් අපි තුන් දෙනෙක් කාලා ඇදලා ඉන්න ගමන් නඩුවක් කියන්නත් තිබුනා... තාත්තට අමුතුවෙන් කීයක්වත් හොයන්න යන්න විදියක් තිබුනේ නැහැ අපි දෙන්නෙකුගේ වැඩත් එක්ක... එහෙම තියෙනකොට මාසෙකට සැරයක් මොන හේතුවක් හරි කියලා ඉස්කෝලෙන් මුදල් ඉල්ලනකොට ඒකේ අමාරුව දන්නේ අපි විතරයි... 

අපේ ඉස්කෝලේ හය වසරේ ඉඳන් ඉහලට එක් වසරක් සඳහා පංති දහයක් විතර තිබුනා... ඒ පංති වැඩි හරියක්ම පහේ ශිෂ්‍යත්වෙන් සමත් වෙලා ආව ළමයි හිටියේ... අපේ පංතියේ හිටිය ළමයි 40 හම එහෙම අය... ඒ 40න් ළමයි තුන්දෙනයි හිටියේ ශිෂ්‍යාධාර මුදල් ලැබෙන.. එයින් එක ළමෙක් අපි තරමට අමාරු පවුලක නෙවෙයි.. ඒ හින්දා ඒ හැටි ගානක් නොදැනුනත් මටයි අනිත් ළමයටයි පුදුම දුකක් විඳින්න වෙලා තිබුනේ මේ එකතු කරන අමතර මුදලත් එක්ක... පංතියේ හිටිය අමතර පංතියකට නොගිය එකම ළමයි දෙන්න උනෙත් අපි දෙන්නා... ඒ වගේම කාලෙකට ටික කාලෙකට පස්සේ ඉස්කොලේ සමාජසේවා අංශයෙන් ආධාර ලබන ගොඩටත් ගියේ අපි දෙන්නා... සමාජ සේවා අංශය මගින් සීසන් එක ගන්න සල්ලි දෙන්න ගත්තම ඒකෙන් මට ලැබුනේ තරමක සහනයක්... සපත්තු ගන්න මුදල් දෙන කතාවක් කිව්වත් ඒකනං ලැබුනේ නැහැ... අර සීසන් එකේ සල්ලි ගන්නත් දෙතුන් වතාවක් රස්තියාදු වෙන්න උනා... සමාජ සේවා අංශය නැතත් අඩුම ගානේ අපි වගේ ශිෂ්‍යත්වය සමත් වෙලා ආධාර යටතේ ඉගෙන ගන්න පාසල් එන දරුවන්ගෙන් පාසල් ගාස්තු පහසුකම් ගාස්තු වැනි අමතර මුදල් එකතු නොකරන තත්වයකටවත් පාසලේ ප්‍රතිපත්තියක් තිබුණනං කොයි තරං හොඳද කියලා මට ඒ දවස්වලත් හිතුන දෙයක්.. අඩුම ගානේ මේක ලිව්වට පස්සෙවත් ඒක දකින කවුරු හරි පාසල් සංවර්ධන සමිතියකදී හරි ඔය ටික කියලා අදටත් මගේ මට්ටමේ ඉඳන් ඉගෙන ගන්න දරුවන්ට ඒක ලොකු උදව්වක් වෙයි...

මා නොදැක්ක ඒ පුර හඳ උන්ට හරි දකින්න බැරියෑ...

ඇත්තටම එක එක වියදං කියාගෙන එන මුදල් එකතු කිරීම් වල හැටියට පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයද කියලා දහ පාරක් හිතන්න මට වෙලා තිබුනේ... මට හොඳට මතක තියෙන අවස්ථා කිහිපයක් තියෙනවා ඔහොම එකතු කරපු මුදල් ගෙවන්න හැටියක් නැතිව මං ඉස්කෝලේ නොගිහින් හිටිය දවස් ගැන... එයින් හොඳටම මතකයක් තියෙන එකක් තමා එක පාරක් පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෙක්ගේ මල්ලි අසනීප වෙලා ඒ වෙනුවෙන් සිදුකල සැත්කමක් වගේ දේකට හැමෝගෙන්ම මුදල් එකතු කරපු අවස්ථාව... ඒක ගෙවාගන්න විදියක් නැතිව මං දවස් දෙකක් පාසල් නොගිහින් හිටියා... ඒත් එක්කම ආවේ සති අන්තය හින්දා දවස් හතරකින් පස්සේ බොහෝම අමාරුවෙන් හොයා ගත්ත රුපියල් පණහත් අරං ගිහිං තමා යංතං බේරුනේ...  ඒවා පිං අතේ වැඩ තමා... මං ඒකට මොනවත් කියන්නේ නැහැ..ඒත් ඒ මුදල හොයා ගන්න ඒ වෙලේ තිබුන අමාරුව දන්නේ මමනේ... ඒ මුදලින්වත් ඒ මල්ලිව බේරගන්න උනේ නැහැ... මල්ලිට වියදං කරලා ක්‍රිඩකයාගේ පවුලේ අයත් ඇත්තටම හුඟක් අමාරුවේ වැටිලා හිටියේ.. දැන්නං දෙයියනේ කියලා මෑන් හොඳ තත්වෙකින් ඉන්නවා.

ඊ ළඟට කියන්න තියෙන්නේ මං සෞන්දර්ය විෂය හැටියට සංගීතේ තෝරාගත්ත කතාව...

මට උපතින්ම චිත්‍ර ඇඳීමේ හැකියාවක් ආසාවක් තිබුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි... සංගීතේ ගැන එහෙම ආසාවක් මට තිබුනේ නැහැ... නැටුම්වලට කිසිම හැකියාවක් තිබුනේත් නැහැ... කොහොම හරි මට හය වසරෙදි තෝරගන්න තිබුනා සෞන්දර්ය විෂයක් හැටියට ඔය විෂයන් තුනෙන් එකක්... මං කල්පනා කලා...

නැටුම්...මලාට කරන්න ඇහැකි දෙයක් නෙවෙයි..මට කවදාවත් තාලෙකට පාදයක් තියන්න හැකියාවක් තිබුන එකෙක් නෙවෙයි... ඒක අදටත් එහෙමයි... නැටුමට ඕන කරන රිද්දමයක් මං ගාව නැහැ... සංගීතේ ගැන ඒ හැටි උනන්දුවක් ඇත්තෙත් නැහැ... සිංදුනං කියනවා උනාට ඒවා ටිකක් විතර කතන්දර මිසක් තාලයක් ඇති ඒවා නෙවෙයි කියලත් මං දන්නවා... අනිවාර්යයෙන්ම කැමැත්ත චිත්‍ර තමා..ඒත්... විෂයන් තුනෙන් වැඩිම වියදම දරන්න වෙන්නේ චිත්‍රවලට... මාසයකට චිත්‍ර පොත් කීයක් ඉවර වෙයිද..? දිය සායම්...? පාට කූරූ... පින්සල්...චිත්‍ර අදින පැන්සල්...? ඕවා ඒ හැටි දේවල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්..ඒත් ගෙදර ආර්ථිකේ ගැන මට තිබුණ අවබෝධෙත් එක්ක මං දන්නවා ඕක ගෙදරට ලොකු බරක් කියන එක... අවසානෙදී මං තීරණය කලා සංගීතේ කරන්න... කොපි පොතක් අරං සංගීත කාමරේට ගියාම ඔය දෙන නෝට් එකක් ලියං..කියන සිංදුවකට අග අල්ලං ඉන්න බැරියෑ... ඔහොමයි මං සංගීතෙට යොමු උනේ...

ඊ ළඟට ටියුෂන්...

මං කොළඹ ඉස්කෝලෙට යද්දි කිසිම විදියකින් ටියුෂන් ගියේ නැහැ කියලා මං මුලින්ම කිව්වනේ... අමාරුවෙන් හරි යන්න හදපු ඉංග්‍රිසි පංතියේ දොරත් මට වැහුනු කොට ආයේ මට වෙන යන්න පංතියක් ඒ අහල පහලක තිබුනේ නැහැ... එක අතකින් මං යන එන වෙලාවල්වලට අනුව මට ටියුෂන් යන්න වෙලාවක් නැහැ... එක හමාරට ඉස්කෝලේ ඇරිලා සීසන් එක හින්දා සීටීබී එනකල්ම තැපලා අන්තිමට ගෙදර එද්දී හවස තුන හමාර හතර වෙලා හැමදාම... ඔය වෙලාවට කොහේද පංති...? තිබුණත් මට කෝ සල්ලි..?

ඒත් පංතියේ හිටිය හැමෝම වගේ පංති ගියා... අර මං කිව්ව මගේ ගොඩේම හිටිය ළමයයි මමයි විතරයි ටියුෂන්වලින් තොර ජීවීන් දෙන්නෙකුට හිටියේ අපේ පංතියේ... අඩුම ගානේ ඉංග්‍රීසි සහ ගණිතයටවත්... කෙනෙක් කියන්න පුළුවන් ටියුෂන් නැතිවට මොකද..ඉස්කෝලේ උගන්නන දෙයින් බැරියෑ කියලා ඉගෙන ගන්න.. බම්බුව තමා... අපිට පාඩමක් කියා දෙන්න ගුරුවරුන්ට ඕන උනෙත් නැහැ.. එහෙම ඕන උනත් ටියුෂන් ගිය එවුන් අපිට වඩා කඩාගෙන ඉස්සරහට යද්දී හැලිලා ඉන්න අපිව අරං ඉස්සරහට යන්න ගුරුවරුන්ට පුළුවන්කමක් තිබුනෙත් නැහැ.. ගුරුවරුත් ටියුෂන් වලින්ම අපි ගොඩ යනකල් බලං ඉන්නවා වගේ ඔහේ ඇවිත් පාඩං වැඩ කරගෙන ගියා... අපි දෙන්නා පංතියේ ඔහේ වැටිලා හිටියා.. මෙලෝ දෙයක් නොතෙරෙන ඉංග්‍රිසි පීරියඩ් එකේ හැමදාම නිදාගත්තා... ඒ මදිවට කොපි කිරිල්ල... මං මට පුළුවන් හැටියකට අච්චු පොත් කියෝලා විභාග ලියන්න ගියත් කොපි කරනවා කියන එක මට හුරු ‍වැඩක් නෙවෙයි... ඒත් මුළු පංතියේම උන් විභාගේ දවසට එහෙං පිටිංම කොපි කරනවා ඉවරයක් නැතිව...

විස්වාස කරන්න... මං මහා පාවාදීමක් කල එකෙක්... ඒ හතේ පංතියේදී... මං විභාග කීපයක්ම කොපි නොකර කොහොම කොහොම හරි ලිව්වත් හැමදාම පංතියේ විසි පස් වැනියගෙන් එහාට වැටුනා... ඒත් මං දන්නවා ඒ මගේ උපරිමය වගේම සාධාරණ ලකුණු කියන එක... අන්තිමට මට කොපි කරන උන් එක්ක පුදුම තරහක් තිබුනේ..ගුරුවරු උනත් ඒ ගැන ඒ හැටි උනන්දුවකින් හෙව්වේ නැහැ... මේක කියවන අය අතරේ උනත් මං හිතන්නේ නැහැ කොපි නොකල උන් ඇති කියලා... ඒ හින්දා මේ කතාවෙදී මං කොපි කර අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඒ හැටි සලකන්නේ නැහැ..මොකද ජාතියක් හැටියට අපි මහා කොපි කාරයෝ වෙලා ඉද්දී එයින් පිටස්තර එකෙක්ගේ කතාවට එකඟ නොවෙන්න පුළුවන් හින්දා...

අවසානෙදී මට ඉවසලා ඉන්න බැරිම තැන එක විභාගයකදී මං පංතියේ උන්ට කිව්වා කොපි කරන්න එපා කියලා... ඒත් මං වගේ ඇඹිටිල්ලන් එකෙක් කියන කතාව කවුද අහන්නේ... උන් පොත් ඩෙස් යට තියං ලියන්නේ... වෙනම සංවිධාන ජාලයක්... බැරිම තැන මං එක දවසක් ඒ පාවාදීම කලා... විභාගේ උත්තර ලියලා ඉවර වෙන්න යද්දී මං අල්ලලා දුන්නා ‍එහෙම පොත ඩෙස් එක යට හංගං උත්තර ලිව්ව ‍එකෙක්ව... මුළු පංතියම වගේ මාත් එක්ක කේන්තියෙන් හිටියේ..එකෙක් දෙන්නෙක් හැර.. ඒ එකා දෙන්නත් මගේ ජාතියේම කොපි නොකරන කිහිප දෙනෙක් විතරයි...

අන්තිමට අහු උන ළමයගේ ලකුණු ටිකක් අඩු කලා ඇර වෙන කිසිම දෙයක් වෙනස් උනේ නැහැ... හැමදාමත් කොපි කිරීම එහෙමම තිබුනා... වරදකදී එයට හරියන දඩුවම නොලැබුනාම කවදාවත් ඒ වරද හදන්න බැහැ. ඒ වගේමයි ගොඩ දෙනෙක් වැරදි කරද්දී එයින් තැලෙන අපි වගේ හාල්මැස්සන්ට හඩක් නැහැ..කරන්න තියෙන එකම දේ අර ගොඩටම එකතු වෙලා යන අතට මැස්ස ගහන එක විතරයි... කාලයක් තිස්සේ පංතියේ වැඩි දෙනෙකුගේ වෛරයට මං ලක්වීම හැර කවදාවත් කොපි කිරීම නැවතුනේ නැති කොට සහ කොපි කිරීම් වලක්වන්න  ගුරුවරු කිසිම උනන්දුවක් නොදක්වන කොට මං විතරක් කුමන කතාද...?

පස්සේ කාලෙක මං දහම්පාසල් ගුරුවරයෙක් හැටියටත් ප්‍රධානාචාර්ය වරයෙක් හැටියටත් වැඩ කරද්දී විභාගයකදී කොපි කරන්න උදව් කරන ගුරුවරු දහම් පාසලෙන් එලෝ ගත්තා වගේම ළමයින්ටත් ලෝභ නැතිව බින්දුව දීලා ප්‍රසිද්ධියේ අවවාද කිරීම් වගේම දෙමාපියන් දැනුවත් කිරීමත් සිද්ධ කලේ එකෙක්ගේ මානසික තත්වය කියලා වරදට දඩුවම් නොකලම අනිත් උන්ට වෙන අසාධාරනේ වලක්වන්න මට ඇත්තටම උවමනාවක් තිබුන හින්දයි... ඒත් මං අවබෝධ කරගත්ත දෙයක් තමා දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් උවමනාව තියෙන්නේ තමුන්ගේ ළමයි.. ගෝලයෝ..කොපි කරලා හරි උඩට එනවා බලන්න... ඒ හරහා තමන් කැපී පේන්න කියන කාරණය... ඒ හින්දා අම්මලා තාත්තලා වගේම ගුරුවරුත් මාත් එක්ක වෛර බැන්ඳා කියන එකත් මං දැනං හිටියා... ඒත් මට කරන්න පුළුවන් දේ නොකර ඉන්න මගේ කැමැත්තක් තිබුනේ නැහැ... සීයක් තරහා උනත් මට මොකද..? අද උනත් මේ බ්ලොග් අස්සේ මං මේ කියන වචනයක් ගානේ තරහා කාරයෝ ඇති වෙනවා මිස ඇති වෙන දෙයක් නැහැ කියලා දැන දැන උනත් මේ ටික උනත් ලියන්නේ ඒ වෙනුවෙන්...

ඔය වගේ කාරණා ගොඩක් උඩ ඇත්තටම ඉගෙනීම කියන දේ මගෙන් බොහෝම ඈතට ගියා කිව්වොත් හරි.. ඕවා ඔහොම වෙද්දී තව තවත් ප්‍රශ්න හින්දා ඉගෙනීමෙන් ඈත් වෙලා ඉගෙන ගන්න අතරෙම කීය කීය හරි හොයන්න යන මට්ටමට මම හුරු උනා අන්තිම කාලෙදී මංම හොයලා ගෙදරටත් දීලා මට පුළුවන් හැටියකට ඉස්කෝලේ ගියා හැර වෙන දෙයක් උනේ නැහැ... මේ ටික මෙහෙම ලිව්වේ..කාගෙන්වත් "අනේ පව් ඔයා" කියන ටික අහගන්න නෙවෙයි... මං මුහුණ දීපු තත්වය කණගාටු දායකයි තමයි.. ඒත් අවසාන ප්‍රතිඵලයට මම දැන් කැමතියි. මිනිස්සුන්ගේ දෛවය එකම පාරක ලියැවෙන්න ඕන කියලා මං හිතන්නේ නැහැ... සමහර විට ආර්ථික තත්වය හොඳ වීම මත හෝ... එළව එළවා පස්සෙන් දක්කන්න අය හිටියනං හෝ.. නිදහස් අධ්‍යාපනය සැබෑ නිදහස් හා සැමට සාධාරණ අධ්‍යාපනයක් උනානං හෝ අද වෙනකොට මාත් හුඟ දෙනෙක් ගමන් ගන්න කැමති හා උත්සහ දරණ මාවතේ ගමන් කරන්න තිබුණා... හැබැයි එහෙම උනානං මං දන්නවා මං මෙච්චර දවසක් ගමන් කල මාවතේ ගමන් කරන්න මට කවදාවත් වෙන්නේ නැහැ... මටත් හුග දෙනෙකුට වගේ පොදු කතාවක් තියෙන්න තිබුනා... ඒත් ඒ පොදු කතාවට වඩා අදටත් අයා‍ලේ යන මේ ජීවිත ගමනට මං කැමතියි... එහෙම උන හින්දයි අදටත් මේ බ්ලොග් එකක් හරහා මං ලියන්න ටිකක් හරි එකතු කරං ඉන්නේ... කොටු වෙච්ච ජීවිතයක් ඇතුලේ නැතිව..සීමා වෙච්ච ලෝකයක් නැතිව මට ජීවත් වෙන්න හැකියාව තියෙන්නේ ඔය හැම දේම ඔය ආකාරයට සිද්ධ උන හින්දා... තව ඉස්සරහට මට ලැබෙන්න තියෙන දේ අපමණයි.. මං ඒ දේවල් කරා යනවා ඇර ඔය දේවල් ඇතුලේ හිර වෙලා නැහැ... ඒ හින්දා කිසිම ආකාරයකින් කාගේවත් අනුකම්පාවක් උවමනාවෙන් ලියන සටහනක් නෙවෙයි මේ... මොකද උවමනාවක් තියේනං මට දැන් උනත් පරක්කුවක් නැහැ උසස් අධ්‍යාපනයට... ඒත් මගේ පාර වෙනස් හින්දා ඉන්නවා මිස කාගෙවත් "අනේ අපොයි" බලාගෙන ඉන්නවා නෙවෙයි මේ...

ඒත් ඔය කොටුව ඇතුලේ හිර වෙන්න කැමති.. ඒ සඳහා දෙමාපියන්ගෙත් උවමනාව ඇති.. ආර්ථික ශක්තියක් නැති ඒත් හැකියාව ඇති දූ දරුවෝ රැසක් අදත් හෙටත් ඔය පාරේ යන්න බලං ඉන්නවා කියන දේ මං හොඳින්ම දන්නවා... මං නොගියට ඒ ළමයින්ට පාරක් තියෙන්න ඕන... ඒත්...

මේ සීයට හය ඒ සඳහාද කියන තැනයි මං ඉන්නේ... උසස් අධ්‍යාපනයට කලින් ප්‍රාථමික අධ්‍යාපනයේ වැට කඩුළු අහක් කරන්න කවුද සූදානම් වෙලා ඉන්නේ.. කෝ මට පේන.. මං වින්ඳ බාධක වලට උත්තර ඔය සීයට හය ඇතුලේ... උසස් පෙළ පාස් කරගන්නවා කියන්නේ ඇත්තටම ඒ වෙද්දී දරුවෙක් ශාරීරික මානසික වශයෙන් එක්තරා මට්ටමකට වර්ධනය වෙලා ඉන්නේ.. අම්මලා තාත්තලාගේ කිරි බබාලා නොවන ඕනම කෙනෙකුට ඒ වෙද්දී කීයක් හරි හම්බ කරන ගමන් ඉගෙන ගන්න බැහැයි කියලා හිතනවනං ඒක අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් සහ කකුල් දෙක හරියට පොළවේ ගහලා හිටගන්න බැරි දූදරුවන්ගේ ප්‍රශ්නයක්... රස්සාවල් කරන ගමන් මහන්සියෙන් ඉගෙන ගත්ත මිනිස්සු මං කියන කතාව තේරුම් ගනී... මගේ යටතේ සිකුරිටි ජොබ් කරන ගමන් කැළණි කැම්පස් එකේ ඉගෙන ගත්ත ළමයි හිටිය හින්දා මං දන්නවා උවමනාව ඇත්නම් ඒවා ඒ හැටි ගැටළු නොවන බව... එහෙම ඉගෙන ගත්ත එකා කිරි බබාලට වඩා ඉහළට යන වග උනත් මං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ...



සීයට හය නෙවෙයි සීයට සීයක්ම දුන්නත් මට ඇති ගැටළුවක් නැහැ..ඕනනං මේක කෘෂිකාර්මික හෝ කාර්මික රටක් නෙවෙයි අධ්‍යාපනික රටක් කියලා නම් කරලා හැම රටකටම උගතුන් බෙදා හරින්නවත් බැරියෑ...


සීයට හය පැත්තකින් තියලා කතා කලොත්...

ලංකාවේ ඇති ටියුෂන් කෙලිය නිදහස් අධ්‍යාපනයට බාධාවක් නෙවෙයිද..? 

ඒකෙන් නැති බැරි ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද..?

ඒක එහෙම නෙවෙයිනං පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විතරක් ඇයි මේ කට්ටිය ඔය තරම් විරුද්ධ වෙන්නේ..?

පාසල්වල කොපි කිරීම් හා විභාග වංචා ගැන ඇයි ගුරුවරුන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ..? 
එයින් අසාධාරණයක් වෙන්නේ නැද්ද..?

ඇයි ඔය සීයට හය ඉල්ලන උත්තමයින්ට එක පාරක්වත් ඔය ටියුෂන් කෙලියට එරෙහිව කතා කරන්න පණ නැත්තේ..තමුනුත් ඒකෙන් ගොඩ ගිය හින්දා ඒ ක්‍රමයේ ඇති වරද පේන්නේ නැතිවවද්ද..? 

සීයට හය හම්බ උනාම ඔය අහපු ප්‍රශ්නවලට විසඳුමක් එහෙම ලැබෙනවද..?එහෙම නැත්තං ඕක දිනුවට පස්සේ ආයේ වතාවක් තව කට්ටියක් යන්න ඕනද පෙළපාලි ප්‍රාථමික අධ්‍යාපනයටත් සීයට 6ක් දියවු කියාගෙන..?

උසස් අධ්‍යාපනය ලබන්න මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ගොඩ දාං ඉන්න එපැයි...

------------------------
පලි....

කෙටියෙන් කිව්වොත්...

ටියුෂන් තියෙනකල් පාසල් අධ්‍යාපනය හරියාකාරව සිදු නොවන වගත්. ටියුෂන් යන්නට හැකියාවක් නැති දරුවන්ට එතැනින්ම වරදින බවත්.. ඒ හරහා ටියුෂන් නැති කොට පාසල් අධ්‍යාපනය බල ගැන්විය යුතු බවත් අදහස් කර ඇත. මේ ටික මෙහෙම දැම්මේ ඔය කියන ටිකත් පටලෝගන්න අපේ "සම හරක් උගත් නූතන බබාලාට" බැරි වෙයි කියලා හිතුන හින්දා...

28 September 2012

නිදහස් අධ්‍යාපනයේ "මාරයා"

අපේ රටේ මිනිස්සු හරි පුදුම ජාතියක්... ඒ අය හරි වෙනස්.. ඔන්න ඔහොම ඇඩ් එකක් යනවා දං දැකලා තියෙනවා... හැබැයි ඒ මොකක් විකුණන්නද කියලනං හරි මතකයක් නැහැ.. මොකද මං ටී වී බලනවා හරි අඩු හින්දා... හේතුව මට ටීවී එකක් නැති වීම... ඒත් ඉතිං ඔය බැංකුවක පෝලිමක ඉන්න වෙලාවට බල බල ඉන්න එයාලා දාලා තියෙන ටීවී එහෙම ඉඳ හිට පේනවා.. ඒ වගේමයි සමහර කඩවලට ගියාම ඒවෑත් ටීවී තියෙනවා නෙව යන එන අයට බලන්න.. ආන්න එහෙම වෙලාවටත් ඒවා බැලෙනවා... එහෙම නැතිව පැය ගණන් බල බල ඉන්න ටීවී මට නැහැ... 

ඔය අයිටී එන් එකෙයි ජාතික රෑපවාහිනියෙයි නිව්ස් බලලා මං කතා කියනවා කියලා හිතං ඉන්න උදවියට කියන්න තියෙන්නේ ඔය එක රෙද්දක්වත් මට බලන්න වෙන්නේ නැහැ කියන එකයි... අයි ටී එන් එකේ නිව්ස් බලලා නැතිව ඇති මං හිතන්නේ අවුරුදු ගාණකින්.. අර මහින්ද අබේ සුන්දර ලොක්කා ලියන විමසුම පිටපත ගැන උනත් කියන්න තියෙන්නේ එච්චරයි... 

එතකොට සිළුමිණ..දිණමිණ... දිණමිණනං මං කියෙව්වා.. හැබැයි ඒ මෙයිට අවුරුදු පහලොහකට විතර ඉස්සර... ඒ මං දිණමිණ බලන්න ඇති ආසාවකට නෙවෙයි.. මං ඒ දවස්වල වැඩ කරපු විංකලේ කරගෙන ගිය බොහෝම දුරින් මහප්පා කෙනෙක් වෙ උන්දෑ  ගත්තේ දිණමිණ පත්තරේ වීම නිසා... ඒත් මුල තියෙන කාටුන් එකයි.. අන්තිමට තියෙන ක්‍රිඩා විස්තරෙයි කියෙව්වට පස්සේ ඒකේ තියෙන චිත්‍රකථාව බැළුවම මගේ දිණමිණ බැලීම අවසන්... මේ මෑතකදී දිණමිණ බැළුවේ දැනට අවුරුද්දකට විතර කලින් අපේ ඔබා අයියා මට එවපු ලින්ක් එකක් දිගේ ගිහින්... ඔබා අයියට දිණමිණේ ගිය නිව්ස් එකක් ගැන කාරණා වගයක් හොයා ගන්න ඕන වෙලා මට ඒ ලින්ක් එවලා තිබුන හින්දා ඒ ලිපි කිහිපය කියෝලා මං දන්න ටික හොයලා ඔබා අයියට කිව්වා එතැනින් ඒ දිණමිණ බැලිල්ලත් අහවරයි... 

හැබැයි තාමත් මං සිළුමිණක් නං ගන්නවා මාස හත අටකට සැරයක්... හැබැයි ඒ වෙන එහෙකට නෙවෙයි මොනවා හරි දැන්වීමක් හොයා ගන්න ඕන උනාම...  දැනට මාසෙකට විතර කලිනුත් එකක් ගත්තා.. ඒ ගත්තේ මගේ යාළුවෙකුට ගෙයක් හොයා ගන්න ඕන උන නිසා.. ඒකට උදව් කරන්න ඕන වෙලා... දැන්වීම් අතිරේකේ කියෙව්වට පස්සේ පත්තරේ අනිත් කෑලිවල තිබුනේ මොනවද කියලා මං තාම දන්නෙ නැහැ... ඒ මගේ සිළුමිණ කියවිල්ල...

ඔන්න ඔය වගේ කේස් හින්දා ආණ්ඩුවේ මාධ්‍ය කියන දේවල් අහන්න බලන්න මට වෙන්නේ නැහැ ඇත්තටම... ඕක තමා ඇත්ත තත්වේ..ඒත් හුඟ දෙනෙක් හිතන්නේ මං කතා කරන්නේ අයි ටී එන් එකෙන් ජාතිකෙන් නිව්ස් බලලා... මහින්ද අබේසුන්දරගෙන් බණ අහලා සිළුමිණ දිණමිණ  කට පාඩං කරලා කියලා හිතලා නෙව... මොනවා කරන්නද..? අපේ රටේ මිනිස්සු වෙනස් නෙව...

.............................................

මං මුළින්ම ඉගෙන ගත්තේ අපේ ගමේ තිබුණ ඉස්කෝලෙන්... දැන්නං ඒක ටිකක් ලොකු ඉස්කෝලයක් වගේ පේන්න තිබුණත් මං යන කාලේ බාලාංශ පංතියේ ඉඳලා එකොළහ වසරටම (ඒ දවස්වල උසස් පෙළ පංති තිබුනේ නැහැ එකේ..දැන්නං ඇති කියලා හිතෙනවා..ඒත් දන්නේ නැහැ) ළමයි හිටියේ පන්සීයකටත් අඩු ගානක්...  මුලිම කාලේ මට මතකයි පහසුකම් ගාස්තු කියලා අවුරුද්දකටම රුපියල් තුනක් වගේ ගාණක් තමා අය කලේ අපෙන්... ඒකනං ඒ හැටි ගාණක් උනේ නැහැ... බාලාංසේ ඉඳන් ඉහළට පංති එකින් එක සමත් වෙවී මං ඉගෙන ගත්තා... හැමදාම පංතියේ පළමුවැනියා... නිකං නෙවෙයි දෙවෙනියා එක්ක අති විශාල පරතරයක් තියාගෙන.... විභාගයකදී ගත යුතු මුළු ලකුණ ප්‍රමාණය අටසීයක් වෙද්දී මං එයින් හත්සිය හැටක් පන්නලා ගන්න මට්ටමේ හිටියා... දෙවෙනියා හැටියට හාමදාම ලකුණු ගත්තු ළමයා කොහොමත් ලකුණු හයසීයක් පන්නන්නේ නැහැ.. තුන් වැනියා හතර වැනියාගෙන් පස්සේ ඕනම ලමෙකුගේ ලකුණු ප්‍රමාණය තුන්සීයට අඩු වෙනවා... මේ කියන ටික කෙනෙකුට තේරුම් ගන්න අපහසු ඇති කියලා මං හිතන්නේ නැහැ...

ඔහොම ඉගෙන ගෙන යද්දී බාලාංසේ/පළමු වසර/දෙවැනි වසර/තුන්වැනි වසර හා හතර වැනි වසර කියන පංතිවල කවදාවත් අමතර පංති කියලා ජාතියක් අපිට තිබුනේ නැහැ... පස්වැනි වසරට එද්දී රටේ කල කෝලාහල තිබුණ කාලයක්...මතක ඇතිනේ ජේවීපී එකේ අයියලා පීඩිත පංතිය වෙනුවෙන් කල මහා අරගලය... ඒ අරඟළය එයාලා කලේ අපි වගේ දුප්පත් ළමයින්ගේ ජීවිත වඩා යහපත් කරවන අරමුණෙන්.. ඉතිං ඒ අරමුණ සාක්ෂාත් කරවමින් අපේ පැතිවලට වැඩි කරදරයක් නොවුනත් ඉඳ හිට පාසල වැහෙන්නනං ගත්තා.. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය කටේ තියාගෙන... ඒ ගමන අපේ පංති භාර ගුරුතුමිය වෙච්ච ගණිතය ගුරුතුමියයි... සිංහල විෂය උගන්නපු ගුරුතුමියයි අපේ පංතියේ හිටිය ළමයි හැමෝටම එයාලගේ ගෙදරට එන්න කියලා නොමිලේ ඉගැන්නුවා... කවදාවත් තඹ සතයක්වත් අපෙන් අය නොකර... එහෙම ඉගෙනගෙන ඔන්න යංතං සිස්සත්වේ ලිව්වා... අපේ පාසලෙන් ඒ වෙනකොට දන්න කාලෙකින් කිසිම ළමයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා තිබුණේ නැහැ... එයිට කලින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ළමෙක් සමත් වෙලා තිබුනා කියලා මුලින් කතාව තිබුනට පස්සේ ආරංචි උන විදියට ඒ ළමයා පහේ ශිෂ්‍යත්වේ ලිව්වට පස්සේ දෙමවුපියන් විසින් අස් කරගෙන ගිහින් ප්‍රධාන න‍ගරයක විදුහලකට ඇතුලත් කරවලා තිබුණා.. ඒ හින්දා ප්‍රචාරය ගිහින් තිබුනේ සිස්සත්වෙන් ගියා කියලා උනත් ඒක වෙලා තිබුනේ ඔය ආකරයටයි කියලා පස්සේ ආරංචිය ලැබුනා... 

ඒත් මං ඒ අවුරුද්දේ ගමේ ඉස්කෝලෙන් විභාගේ ලියලා සිස්සත්තේ සමත් උනා... හරියටම කිව්වොත් අපේ ගමේ ඉස්කොලෙන් නියම විදියට සිස්සත්වේ සමත් වෙච්ච පළමු වැනියා වෙමින්...

ඔය සිස්සත්ව විභාගය ලියලා අහවර උනාට පස්සේ ආයෙත් ටික කාලයක් මං ගමේ ඉස්කෝලෙටම ගියා... ඒ විභාගේ ප්‍රතිඵල ලැබෙනකල් සහ ප්‍රතිඵල ලැබිලා හරියට ඉස්කෝලයක් ලැපබෙනකල්... විභාග ප්‍රතිඵල ලැබිලා මම සමත් වෙද්දී අසමත් උන අනිත් ළමයි ටික අතරින් කිහිප දෙනෙක් ඒ ඒ අයගේ දෙමාපියන් විසින් අස්කරගෙන තම තමන්ගේ පුළුවන්කම් වලට අනුව කොළඹ ඉස්කෝලවලටත් දාගත්තා.. ඒ ගොඩ දෙනෙක් නෙවෙයි ළමයි දෙතුන් දෙනෙක්... අනිත් ළමයි ටික සුපුරුදු විදියට ගමේ ඉස්කෝලෙම නැවතුනා... ඔය අතරෙදි තමා මුලින්ම මට ටියුෂන් කතාව අහන්න ලැබෙන්නේ... ඒ තමා අපේ පාසලේම හිටිය ඉංග්‍රිසිගුරුතුමිය විසින් පවත්වාගෙන ගිය ටියුෂන් පංතිය ගැන...

ඇය තරමක් අමුතු පන්නේ ගුරුවරියක්.. ගමේ පාසලේ සිටිය අනිකුත් ගුරුවරුන්ට වඩා තරමක් කැටයම් වැඩි.. උඩඟු ගති ලක්ෂණ පෙන්නුම් කරපු අයෙක්... ඇයගේ විෂය වූ ඉංග්‍රිසිය මැනවින් ඉගැන්වීමට දක්ෂ අයකු වූවත් පාසලේදී ඇය ඉගැන්වූයේ එපා වාහෙට හොඳි බෙදන සිල්ප ක්‍රමයකට අනුවයි... ඇගෙන් ඉගෙන ගන්නනං ඇයගේ පෞද්ගලික උපකාරක පංතියේ සිසුවෙක් විය යුතුමයි... එහෙම අයට හොඳින් කතා බස්කර උගන්වන ඇයම.. අනිකුත් අයට සලකන්නේ හොද්දේ තියෙන කරපිංචා ගානට... කොටින්ම සිය පාඩම ආරම්භ කරන විටම පංතියේ සිසුන්ට දුන්න ගෙදර වැඩ ඉස්කෝලෙදී බලන මට්ටමේ වැඩ ඇගේ තිබුනේ... අනිත් ළමයි ඉතිං කට ඇරං බලං ඉන්න ඕන මේ සිද්ධවෙන දේ දිහා... ඔය හින්දා අපේ තාත්තත් අමාරුවෙන් හරි කීයක් හරි දීලා මාවත් ඒ පංතියට යවන්න උත්සහ කලා.. ඒත්...

ඒත් නොයෙකුත් හේතු කියමින් ඇය ඇගේ පංතියට මාව ඇතුලත් කරගත්තේ නැහැ... මුලින්ම කිව්වේ ඒ පංතියට නිකං ඇතුළු වෙන්න බැහැ විභාගයක් තියලා ගන්නේ කියලා... අපේ තාත්තා මං ගැන දන්න හින්දා ආ ඒකට කමක් නැහැ කිව්වත් ඒත් එක්කම කියලා තියෙන්නේ මේ වෙනකොට පංතියේ සිසුන් ඕන ප්‍රමාණය බඳවගෙන අවසන්ය කියලා... ඔය වගේ ජිල්මාට් දාලා කොහොම හරි ඇය ඇගේ පංතියේ මට ඉඩක් දෙන්නේ නැති තැනට කටයුතු කලා.. ඇයි එහෙම උනේ... ඒකට හේතුව තමයි ඇගේ බාල දියණිය මට වඩා වසරක් බාල උනත් පොඩි කාලේ ඉඳන්ම අපේ පංතියට දාලා ඉගැන්වීම... ඇය වගේම තවත් එවැනිම ගුරුවරියකගේ දියණියක් නිසි වසරට අවුරුද්දක් කලින් ඉඳලා අපේ පංතියේ ‍ඉගෙන ගත්තා.. ඒ අනිත් ගුරුවරිය තමා අපිට සිංහල කියා දීපු ගුරු මැණියෝ... 

ඒ ගෑණු ළමයි දෙන්නම ඇත්තටම ඉගෙන ගන්නත් දක්ෂයි.. ඒත් කිසිම ආකාරයකින්වත් දෙන්නටම පංතියේ පළමුවැනියා වෙන්න කවදාවත් බැරි උනේ මං හින්දා... සිංහල ගුරුතුමිය මේ ගැන කවදාවත් හිත නරක් කරගත්තේ නැහැ වගේම ඇය අපි හැමෝටම එක වාගේ සැලකුවත් මේ කියන ඉංග්‍රිසි ගුරුතුමිය මාත් එක්ක තද වෛරයකින් සිටියා කියන එක පුංචි උනත් මගේ හිතට තේරිලා තිබුනේ... ඔය පංති වැඩෙන් ඒක සහ සුද්දෙටම තේරුනේ..මට ඉඩ නොතිබුණ පංතියේ මටත් පස්සේ තව සිසුන් ඇතුලත් කරගෙන සිටීම හරහා...

ඉතිං ඔය දේ හින්දා මට මූලිකම තැන් වලින් ඉංග්‍රිසිය අතෑරුනා කිව්වොත් නිවැරදියි...

එයින් පස්සේ කතාව මං මීළග කොටසින් කියන්නං... අමතක කරන්න එපා මේ ලිපියත් ලියැවෙන්නේ දැන් ප්‍රධාන මාතෘකාව වන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 6% කියන කාරණයත් එක්ක කියන එක... මං කතා කරන්නේ ආණ්ඩුවේ මාධ්‍ය එක්ක නොවන බවත් මට කතා කරන්න වෙලා තියෙන්නේ මං අත් විඳපු දේ හරහා කියන එකත් උගත් මහත්තුරුන්ට ජුංඩක් හරි අවබෝධ කරවන්න ඕන නිසා කියන එකත් සිහි කරන්නයි මේ ලියන්නේ...

26 September 2012

අංකල් පල්ලි ගිය හැටි...


"දිගටම නයිට් ටික මං අඳින්නං සර්..ඩේ ඩියුටි උනත් කවර් කලෑකි..හැබැයි මට සිකුරාදා දවල්ට ඩියුටි දාන්න එපා... පල්ලි යන්න තියෙනවනේ..."

"හරි අංකල් එහෙම කරමු..."

ස්ථාන භාර නිලධාරීන් දෙන්නයි... විශේෂ ආරක්ෂක නිලධාරීන් දෙන්නයි... කණිෂ්ඨ ආරක්ෂක නිලධාරීන් තිදෙනයි.. කාන්තා ආරක්ෂක නිලධාරිනියයි ආදී වශයෙන් අට දෙනෙකුගෙන් සැදුම් ලත් ආරක්ෂක නඩේ දෙකට බෙදලා දවසක් ඇර දවසක් ඩියුටිය අදින්න ඕන..

ඒ කියන්නේ එක දවසක දවල් කාලයට ස්ථාන භාර නිලධාරියයි... විශේෂ ආරක්ෂක නිලධාරියයි.. කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියයි.. කාන්තා ආරක්ෂක නිලධාරිනියයි.. ඔතනින් ස්ථාන භාර නිලධාරී වරයා ආරක්ෂක මුර කුටිය තුල ලිපි ලේඛන කටයුතු හා අනිකුත් නිලධාරීන් මෙහෙයවීමත් කල යුතු අතරම කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියා ගේට්ටුව භාරව කටයුතු කරනවා... ගේට්ටුව ඇරීම.. වැසීම..පරීක්ෂා කර බලා වාහන හා පුද්ගලයින් ඇතුලට ගැනීමත් පිටතට යැවීමත් ඒ ගැන කෙටි සටහනක් පවත්වා ගෙන යාමත් ඔහු අතින් සිද්ධ වෙනවා...  විශේෂ ආරක්ෂක නිළධාරියා යවන්නේ කොටස් දෙකක් වශයෙන් පවත්වාගෙන යන ආයතනයේ එක් කොටසක භාණ්ඩ පැටවුම් හා බෑම් පරීක්ෂා කිරීම සඳහා... ඒ පැත්තේ වාහන හතරක් අනිවාර්යයෙන්ම උදේ වරුවේ භාණ්ඩ පටවා ආයතනයෙන් එළීයට යැවිය යුතුයි... ඒ හින්දා ඒ වාහන හතරටම ප්‍රධාන ගබඩා වලින් පටවනු ලබන නිශ්පාදන ද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි සටහන් තැබීම සඳහා පොත් හතරක් නිකුත් කරලා තියෙනවා... ඔහු විසින් එම පැටවුම් සඳහන් කරලා වාහනයත් සමඟින් ආරක්ෂක මුර කුටිය අසලට ගෙනත් බාර දුන්නම ඒ වාහනයට අදාල ගේට්ටු අවසර පත් හී සඳහන් දේට පොතේ සටහන් භාණ්ඩ සමානදැයි සසඳලා බලලා ඒවාට පිටතට යාමට අවසර ලබා දීම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් කරනු ලබන්න ඕන... එතකොට කාන්තා අරක්ෂක නිලධාරිනිය අනිත් කොටසේ භාණ්ඩ පැටවුම් බෑම් පරීක්ෂා සඳහා සඳහා යෙදවෙනවා.. ඒත් අර කිව්ව ආකාරයටම තමා.. ඒ පැත්තේ තියෙන්නේ වාහන දෙකයි... එයිට අමතරව සේවක සේවිකාවන් උදේට ඇතුලට එන වෙලාවටත් හවසට පිටව යද්දිත් කාන්තා ආරක්ෂක නිලධාරිනිය හා විශේෂ කාර්ය බාර නිළධාරියාත් ගේට්ටුව අසල පිරිස පරීක්ෂාවට කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියට සහය වෙනවා... ඔය තමා දහවල් කාලයක වැඩ කෙනෙ හැටි...


දවල්ට එහෙම ඇදලා රෑට සුළු වෙනසක් සිද්ධ වෙනවා.. ඒ තමා කාන්තා ආරක්ෂක නිලධාරිනිය ඔ‍ෆ් වෙලා යන අතරේ කණිෂ්ඨ ආ‍රක්ෂක නිලධාරියෙක් රාජ කාරියට එකතු වෙන එක...රෑට ඉතිං පැටවීම් බෑම් සිද්ධ වෙන්නේ ඉඳ හිටලා තමයි.. ඒත් පැයෙන් පැයට එක් ආරක්ෂක නිලධාරියකු ආයතනය වටා වූ කිලෝ මීටරයකට ආසන්න දුර පා ගමනින් බරීක්ෂාවෙහි යෙදෙමින් ගමන් ගන්න ඕන... ඒ අතර මග ඇති වේලාව සටහන් යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් ඔය වටය ගිහිං එන්නම පැය බාගෙකට වඩා කාලය යනවා... වටයක් ගිහිල්ලා ඇවිත් අදාල සටහන් තබා වතුර ටිකක් එහෙම බොන කොට ඊ ළග පැයේ ගමනට කාලය හරි... හවස හයේ සිට පසුවදා උදේ හය වෙනකල්ම පැයෙන් පැයට යන මේ ගමන තුන් දෙනාට බෙදලා දෙන්න ඕන...එක් කෙනෙක් හවස හයේ සිට රෑ දහය වෙනකල්... දෙවැන්න රෑ එකොළහේ සිට සිට පාන්දර දෙක වෙනකල්.. තුන් වැන්නා එතැන් සිට උදේ හය වෙනකල් ආදී වශයෙන්... ඒ වගේම අද පළමු වැනි වරය ගත්ත කෙනාට ඊ ළග දිනයේදී දෙවැනි වාරය හිමි වෙන්නේ.. එහෙම ආරක්ෂක මුර තුන දින තුනකදී තුන් දෙනාට සම සමව බෙදිලා යන්නයි සකස් කරලා තියෙන්නේ...

සාමාන්‍යයෙන් ස්ථාන භාර නිලධාරියයි.. විශේෂ කාර්ය භාර නිලධාරියයි.. ගේට්ටුවේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියයි යන තුන් දෙනා සම්පූර්ණ සේවා මුර දෙකක් එක දිගට අදිනවා.. ඒ කියන්නේ අද උදේ 7ට වැඩට ආවොත් පහුවදා උදේ 7 වෙනකල්... පැය දොළහේ මුර තමා තියෙන්නේ...එයින් දෙකක් අදිනවා කියන්නේ තනිකර දවසක්... කාන්තා ආරක්ෂක නිලධාරිනිය උදේ 7 සිට සවස 7 දක්වා.. එයින් පස්සේ තව එක් කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රෑ 7ට වැඩට ඇවිත් පහුවදා උදේ 7ට ඔෆ් වෙන විදියටයි ක්‍රමේ හදලා තිබුනේ...

ඉතිං ඔය කලින් කියපු පැය 24ක් එක දිලට අදින තුන් දෙනා වගේ නෙවෙයි මේ රෑට විතරක් වැඩට එන ආරක්ෂක නිලධාරියාගේ කොටස... ඕකට හුග දෙනෙක් අකමැතියි.. මොකද හැමදාම රාත්‍රි රාජකාරි විතරක් කරන්න පුළුවන් කාටද..? අනික පැය 12ක සේවා මුරයකට එනවා කියන්නේ නිතර නිතර යන්න එන්න වීම නිසා ගමන් වියදම් වැඩි වීමක්... ඒ තමා නරක පැත්ත.. අනිත් පැත්තෙන් ගත්තම ඕකේ වාසිත් තියෙනවා.. ඒ තමා හැමදාම ගෙදරින් කෑම ගේන්න හැකි වීම..සාමාන්‍යයෙන් පැය 24ක් කරන කෙනෙකුට එක වේලක් හරි කඩෙන් කන්න වෙනවා.. ඒක ටිකක් අධික වියදමක්..ලැබෙන වැටුපත් එක්ක බැළුවම...  නයිට් විතරක් කරන කෙනාට එහෙම වියදමක් නැහැ... අනිත් පැත්තෙන් වැඩ අඩු වීම.. දහවල් කාලෙකට ආයතනයේ වැඩ අධිකයි.. සමහර වෙලාවට උදේට කෑම එක කන්න ඉස්පාසුවක් ලැබෙන්නේ දවල් 11හ විතර වෙද්දී තමා.. ඒ තරමට වැඩ... රෑට විතරක් එන කෙනාට ඒ කචල් නැහැ ආවා මුර තුනෙන් එකක් වටේ ගියා... ඊට පස්සේ ස්ථාවරව මුරට දාලා තියෙන තැනක පැත්ත වැටිලා නිදි කිර කිර හිටියැකි.. කොයි වෙලේ හරි ස්ථාන භාර නිලධාරියා  ඇවිත් බැළුවොත් ඇර වෙන වෙන්න කරදරයක් නැහැ...

සමහරු ඔය නයිට් කෙරුවාවට බොහෝම කැමතියි වගේම සමහරු පුදුම අකමැතියි... ඔය හින්දා මං ක්‍රමේ හදලා තිබුනේ නයිට් විතරක් කරන්නේ නැතිව කණිෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ ඩියුටියත් කැරකෙන ක්‍රමයකට.. ඒ කියන්නේ සති දෙකක් පැය 24හේ ෂිෆ්ට් කලොත්..ඊ ළගට සතියක් නයිට් වැටෙන විදියට.. එතකොට කට්ටියටම සාධාරණව ඕක බෙදිලා යනවා...

ඒත් මේ ක්‍රමය දවසක් දෙකක් බලලා තේරුං ගත්ත අපේ අංකල් මට යෝජනාවක් කලා.. ඒ තමා උන්දෑ දිගටම නයිට් විතරක් අදින්නං කියලා... එතකොට මාසෙට තියෙන නයිට් ෂිෆ්ට් 30ම අංකල් තනියෙන් කලාම හරි... අංකල් කල්පනා කලේ වැඩ අඩුවෙනුත් ගෙදරින් කෑම එක අරං ඇවිත් කාලා වියදං නැතිව යෑමේ පහසුවත්... තමා..  ඒ විතරක් නෙවෙයි අංකල්ට කලින් තිබුන ක්‍රමය නිසා සිකුරාදා පල්ලි යන්න බැරි වෙන විදියට ඩියුටි වැටෙනවා කියලා සිකුරාදාවකට දවල් ඩියුටියක් තිබුනොත් කල් ඇතිවම රෝස්ටරේ බලලා අඩන්න ගන්නවා.. මුලදි මුලදී කොහොම හරි එහෙං මෙහෙං වෙනස් කරලා අංකල්ට සිකුරාදා නිවාඩ හදලා දුන්නා උනත් කල් යද්දී මේක සෑහෙන කරදරයක් වෙලා තිබුනේ... අනිත් අයගේ මොන උවමනාවකටවත් මේ සිකුරාදාව අංකල්ගේ කැමැත්තට පිටින් වෙනස් කරගන්න අමාරුයි... මාත් එක්ක විසඳගන්න බැරි උනාම කෙලින්ම හෙඩ් ඔෆිස් එකට කතා කරලා ඔපරේෂන් මැනේජර්ට කං කෙඳිරි ගානවා... එතකොට උන්නැහේ මට කෝල් කරලා මෙන්න මේක මොනවා හරි කරන්න බලන්න කියනවා... ආයේ ප්‍රශ්නේ මං ගාව...

මිනිස්සු උනත් හැමදාම මෙහෙම දුවන්න කැමතියෑ.. අනික කාගේ හරි මගුලක් මරණයක් වගේ දෙයක් අපිට ඕන හැටියටම යෙදෙන්නේ නැහැනේ... ඒත් ඉතිං අංකල්ගේ මේ පල්ලි යෑම හින්දා වෙන කෙනෙකුට මලාට සිකුරාදාවක දවල්ට නිවාඩුවක් ගන්න පැරි මට්ටමේ අවස්ථා යෙදෙනවා... ඔහොම යද්දී තමා අනිත් අයටත් අංකල්ගේ පල්ලි කතාව ඇණයක් වේගන ආවේ...ඉතිං අංකල් සදා නයිට් අදින්න අහන පරක්කුවට මං කැමැත්ත දුන්නේ පුදුම සංතෝසෙකින්... ඇයි ඉතිං දැන් ආයේ කරදරයක් නැහැනේ...

ඔහොම ඉතිං ටික දවසක් ගියා... ඇත්තටම අංකල්ට නයිට් ඇදිල්ල ගේමක්ම නැහැ... හොඳ සනීපෙට ඕක කරං ගියා... හැබැයි ඔය අතරේ තව දේකට අංකල් ඉව ඇල්ලුවා.. ඒ තමා වැඩිපුර ඩියුටි ඇදිල්ල....

සාමාන්‍යයෙන් කවුරු හරි තමන්ගේ රාජකාරි දවසකට නිවාඩුවක් ගත්තම ඒක කවර් කරන්න වෙන්නේ වෙන කෙනෙකුට... සමහරුනං අනුන්ගේ ඩියුටියක් ඇදලා පස්සේ තමනුත් ඒකට හරියන්න නිවාඩුවක් ඇදලා අර කලින් නිවාඩු ගත්ත කෙනාට තමාගේ ඩියුටිය හුවමාරු කරලා දීලා මාසේ අන්තිමට ඩියුටි බැලන්ස් කර ගන්නවා.. ඒත් අපේ අංකල් කාරයා අනුන්ගේ ඩියුටියක් ඇද්දොත් මලාට ආයේ වෙන කෙනෙකුට ඒක හිලවු වෙන්න තියන්නේ නැහැ... නිවාඩු නැතිවම අදිනවා... ඔය කාරණාව හින්දා අපේ අය කැමැති උනේ නැහැ තමන් ගන්න නිවාඩුව අංකල් කවර් කරනවට... මොකද ආයේ ඒ ඩියුටිය වෙනුවට අංකල් නිවාඩුවක් අරං තමුන්ට වැරදුන ඩියුටිය කවර් කර ගන්න දෙන්නේ නැති හින්දා....

අපේ  "සරා" (සරා ගැන මං ටිකක් කලින් කියලත් ඇති.. ඉඳිරියේදී තව කියතහැකි..) තමා මුලින්ම අංකල්ට ඕක ගැන බකට් එක ඇඳගෙන හිටියේ...  "සරා" ට මොනවා හරි එහෙකට සිකුරාදාවක් නිවාඩු ඕන වෙලා තිබිලා අංකල් නෙවෙයි ඒකට පුංචි හරි හුවමාරුවක් දාගන්න කැමති උනේ... ඔය සිද්ධියෙන් පස්සේ  "සරා"  අංකල් ඉන්න තැන කතාවක් ඇඳුනොත් ඇදලා ගන්නවා සිකුරාදා පල්ලි යෑම ගැන... එතකොට නෝම්බි ඇල්ලිල්ල ගැන... මොකද අංකල් වගේම  "සරා" ත් අවුරුදු ගාණක්ම සවුදියේ වැඩ කරලා ආව මෑන්... හොඳට එහෙ තොරතුරු දන්නවා... අංකල් වෙලාව අහු උන ගමන් පටන් ගන්නවා යහපත් මුසල්මානුවාගේ පාට් එක රඟ දක්වන්න..  "සරා"  පටන් ගන්නවා ඒක පතුරු ගහන්න...

"අනේ යන්න අංකල් යන්න.. අපි නොදන්න ඔයාලගේ නෝම්බි... ඒ දවස්වල අපේ කාමරවලට ඇවිත් තමා නෝම්බි අල්ලන උන් ඔක්කෝම කන්නේ..කෑම ටික බේරගන්න විදියක් නැහැ...අනික තමා මෙහෙ ඉද්දී පල්ලියක් පළෘතේ නොයන උන් එහෙ ගිය ගමන් තොප්පි කෑල්ලකුත් දාං නෝම්බි කාලෙට ගිහින් පල්ලිවලට වෙලා නිදා ගන්න එක්.. උන් වැඩ නොකර ඉන්න මිසක් වෙන එහෙකට පල්ලි යනවා නෙවෙයි..."

ඔය වෙලාවට ඉතිං අංකලුත් අරින්නේ නැහැ... තමුන්ගේ භක්තිවන්ත ආගමික ඇඳහීම කෙරෙන හැටි ප්‍රකාශ කරනවා... සරත් ඒ වෙලාවට අරින්නේ නැහැ..හැරෙන තැපෑලට කියනවා

"හා බලමුකෝ අංකල් ඔයාගේ ඔය සිකුරාදා පල්ලි යෑමත් කී දවසද කියලා..?"

" හා බලමු..."

අංකලුත් සෙකන්ඩ් වෙන්නේ නැහැ...

හැබැයි ටික දවසක් යද්දී "සරා" නිවාඩුවක් ගන්නවනං ගන්නේ සිකුරාදාම අල්ලලා මිස වෙන දවසක  එහෙම නෙවෙයි... මාත් කොහොම හරි අනිත් උදවියගෙන් කවර් කරලා ඒ නිවාඩුව දෙනවා... හැබැයි දැන් අංකල්ගේ හිතට හොඳ මදි මේක...

මොකද මෑන්ට කාගේ හරි ඩියුටියක් වැඩිපුර ඇඳ ගන්න විදියක් නැහැ.. මොකද  "සරා"  විතරක් නෙවෙයි "සෙනා"ත් (සෙනා ගැනත් කතා තියෙනවා පෝලිමක් ඉස්සරහට ඒවා කියඤ්ඤං) එහෙමම කරන්න ගත්ත හින්දා... දැන් කවුරුවත් සිකුරාදා ඇර වෙන දවසක නිවාඩුවක් නොගන්නම තරං.. ඒ කියන්නේ අංකල්ගේ ගොඩ වැඩි වීම වෙන්නේ නැහැ...

ඔහොම ඉන්නකොට දවසක් අංකල්ම මට කිට්ටුව දාලා කියනවා...

"සර්... මටත් ඔය වැඩිපුර වැටෙන කවුරු හරි නිවාඩු ගත්තම වැටෙන ඩියුටියක් දාන්න.."

"හා අංකල් මං බලන්නංකෝ... මේ අනිද්දත් එකක්නං තියේ.. ඒත් ඒක අංකල්ට දාලා බැහැනේ..."

"ඇයි ඇයි.. මොකද මට දාන්න බැරි..දාන්න දාන්න ඒක මට දාන්න..."

"දාන්නනං පුළුවන් අංකල්.. ඒත් ඉතිං සිකුරාදා අංකල්ගේ පල්ලි දවසනේ.. ආයේ ඕකට බාධා කරන්න හොඳ නැහැනේ..."

"ආ..ආ... සිකුරාදා නේද..?"

ටිකක් කල්පනා කරලා එහෙ මෙහෙ බලපු අංකල්...

"ඔන්න ඔහේ දාන්න සර්..මං ඊ ළග සිකුරාදා පල්ලි යන්නං.."

"කමක් නැද්ද අංකල්..?"

"කමක් නැහැ සර් කමක් නැහැ..."

මාත් ඉතිං කියපු විදියට වැඩේ කලා.. හැබැයි ඊ ළඟ සෙනසුරාදා දවල් වෙද්දී සරා අංකල් අහු උන ගමන් කිව්වේ...

"ඈ අංකල් දැන් සිකුරාදා පල්ලි නිවාඩුද..?"

අංකල් නෙවෙයි ඒවට උත්තර බඳින්න ගියේ...එයින් පස්සේ අංකල්ගේ සුප්‍රසිද්ධ සිකුරාදා නිවාඩුව නැත්තටම නැති වෙලා ගියා... වැඩට ඇවිල්ලා මාස හතරක් පහක් විතර සිකුරාදට පල්ලි යනවා කියලා වැඩට ආවේ නැති මනුස්සයා එයින් පස්සේ රස්සාවෙන් අස් වෙනකල් අවුරුදු දෙකක් විතර දෙයියනේ කියලා සිකුරාදනං නිවාඩු ගත්තේ නැහැ... අපූරුවට ඩියුටි ඇඳ ඇඳ හිටියා... සල්ලි ලගදී දෙයියොත් අමතකවෙන එක ඒ හැටි අරුමයක් නෙවී නෙව...

---------------------------------
ආගමකට  අපහාසයක් කලා නොව... ආගම අදහන්නකුගේ විපර්යාසයක් විස්තර කලා පමණි...

25 September 2012

6% දෙනු... මාරයත් හුටා සටනේ...

අවසානෙදී ඔන්න මාත් තීරණය කලා මේකට සහය දෙන්න... මේක මේ අපේ දුප්පත් ගමේ ගොඩේ ළමයින්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසාම බොහෝම හිතලා මතලා කරන යෝජනාවක්නේ... ඉතිං ඕකට විරුද්ධ වෙලා නිකං මොකටද ගොනා ගොං මාරයා කියලා අහගන්නේ..? අනික උගත් කියාගෙන ඔය සීයට හය වෙනුවෙන් පෙනී ඉන්න අයගේ උගත් ශ්‍රී මුඛ වලින් ඔය ගොනා බල්ලා මී හරකා වගේ කතා කියවන්න ඕනයෑ...මටනං ඉතිං කමක් නැහැ උපන් ගෙයි ගොනා නෙව... ඒත් ඒක හරි මදිනේ උන්දලාගේ උගත් කමට... 

ඒ හින්දා ඔන්න මෙතැන් සිට මාත් කියන්නේ 6%ට දියවු...  

සීයට හය දීලා විතරක් මදි..වහාම ක්‍රියාත්මක වෙන විදියට ලංකාව පුරාම ඇති ටියුෂන් කඩත් වහනු... 6%කුත් දීලා අධ්‍යාපනේ නැංගුවට පස්සේ මොන ලබ්බටද ආයේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න යන්නේ... නිදහස් අධ්‍යාපනේට ජය වේවා..!

ඔය ටියුෂන් මුදලාලිලා ටිකට එයින් පස්සේ කරන්න රස්සාවල් ටිකක් හොයා ගන්න එකයි ඇත්තේ... 

ටියුෂන් විතරක් නෙවෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලත් හකුලා ගනිවු... 

ආයේ මොටද ඒවා නේද...? මෙච්චර වියදං කරලා රජයේ විස්ස විජ්ජාල සුපිරි තත්වයකට ගත්තම.... එව්වත් වහලා ඒවයේ ඉන්න ආචාරිය මහචාරියලත් ගෙදර යවනු....

ආ එතකොට ඉන්ට නැසනල් ඉස්කූල් ඕනත් නැහැ.. එව්වත් වහනු... මෙච්චර නිදහස් අධ්‍යාපනේට වෙන් උනාට පස්සේ ඔව්වත් ඕන නැහැ.. ළමයි ටික අස් කරලා ආණ්ඩුවේ එව්වටම දාමු... 

පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි.. අර සීයට හයත් එක්ක එන විස්ස විජ්ජාල ඇදුරන්ගේ ළමයින්ට නැෂනල් ඉස්කූල් යැවීමට දෙන දීමනාවට මොකද කරන්නේ..? ආ... ඒකනං මක්කා කොරගන්න බැරිද නේද..?

....................................................

පුළුවන්නං ටියුෂන් තහනම් කරන්නත් යෝජනාවක් ඔය ලිස්ට් එකටම දාන්න... (පෞද්ගලික විස්ස විජ්ජාල තහනං කරන්න බෙරිහං දෙන එකේ මේක කිව්වට වරදක් නැහැනේ.. දෙකම මුදල් ගෙවා ඉගෙන ගැනීමක් නේ... සීයට හයක් දුන්නොත් මොකටද ආයේ සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ...
-------------------------------------------

ඔය දෙන 6% ආවරණය වෙන්නත් දිහාවක් එපෑ.. මං යෝජනා කරනවා  අර පෝර මිටිය 350ට දෙන එක නවත්තන්න කියලා... නිකං අපරාද සල්ලි... හිටෝන එකනං මොකාට කරගන්න බැරිද...?  පිනට කන උන්... කෙලින්නමයි තියෙන්නේ පෝර මිටියට... තව ඕනනං නග්ගමු තෙල් ටිකකුත්...

-------------------------------------------

ඔන්න දැන්නං මට මාර ගොනා කියන්ට  ලේසි නැහැ.. මාත් ඉල්ලුවා 6%යි තව කෝඳුරු තෙල් පොඩ්ඩකුයි...ආ අර උඩ මාත්තුරුකාව ලියද්දී මට වැරදිලාද කොහේද..ෆුටා හුටා වෙලා...

පන්සලට ආ බාප්පාගේ කතා වස්තුව...

මෙයාව මට හම්බ උනේ මං මහණ වෙලා හිටි සංදියේදි තමයි... එදා සතියේ දවසක් වෙන්ට ඕන..ඒකනේ උදේ වරුවේ පන්සලේ කවුරුවත්ම හිටියේ නැතිතේ.. ඉරිදා උදේක වගේනං දහම් පාසලේ ළමයි..ගුරුවරු.. දෙමාපියෝ එහෙම හිටිනවා නෙව... සෙනසුරාදා උදේකනං හෙනහුරු අපල ගෙවන්ට කියලා බෝධි පූජා තියන අය කිහිප දෙනෙක් හරි අනිවාර්යයෙන්ම ඉන්නවා.. ඒ නැතත් ඉස්කෝල නිවාඩු හින්දා කොල්ලෝ කුරුට්ටෝ කිහිප දෙනෙක් හරි ඉන්ට ඕන... ඉතිං එහෙම කවුරුවත් නැහැ කියන්නේ සතියේ දවසක් වෙන්ට ඕන...

සාමාන්‍ය දින චරියාවට අනුව උදේ නැගිටපු වෙලේ ඉඳන් කරන වැඩ ටික.. ඒ කිව්වේ මූණ කට හෝදලා... ආවාසය අතු පතු ගාලා... හීල් දානේ බාර අරං පින් පමුණෝලා.. එයින් පස්සේ මිදුල් එහෙම ඇමදලා ගෙහුන් උදේම නාලා කොරලා හීල වළදලා.. තේ කහට ජෝග්ගුවකුත් හදං ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා පොත් පත් බලන.. ලියන කියන වෙලාව... 

දන්නවනේ ඉතිං හාන්සි පුටුවේ ඇදි දෙක හරහාට මං අඩියක් විතර පළල අඩි දෙක හමාරක් විතර දිග හොඳ ලෑලි කෑල්ලක් හදං හිටිය කියලා ඔය ලියන කියන වැඩ වලට... තේ කහට කෝප්පේ හාන්සි පුටුවේ ඇන්දේ ඈතින් වෙන්න තියං ඒකෙන් උගුරක් එහෙම ලතාවට බොන ගමන් අවට පරිසරේ නිස්කාන්සුව විඳින ගමන් වැඩ කරන මේ වෙලාව තමා මං දවසේ කැමතිම කාලය ... තව ඉතිං තනි නොතනියට හාන්සි පුටුව යට හෝ එයින් ඩිංගක් ඈතට වෙන්ට පේමන්ට් එකේ කලුවත් ඔහේ වැටිලා බලං ඉන්නවා... ඌ කැමති පිරිත් අහන්ට... නිකං හරි උගුර පාදලා පිරිත් ටිකක් කියන්ට ගත්තොත් කොහේ හිටියත් දුවං ඇවිත් ළඟින් වාඩි වෙන සතා...

ඔන්න ඔහොම ඉන්න වෙලාවට ඉතිං කවුරු හරි පන්සල පැත්තේ ආවොත් කෙලින්ම ඇවිත් ඉස්සරහා තියෙන කෙටි බැම්ම උඩින් වාඩි වෙලා මාත් එක්ක කයියක් ගහන් ඉන්න එකත් ඉඳ හිට සිද්ධ වෙන දෙයක්... සාමාන්‍යයෙන් ඔහොම වාඩි උනාට පස්සේ වැඩිය නැගිටින්න කරන්න මං කැමැති නැහැ.. මොකද  අර ලෑල්ල උඩ තියෙන පොත් පත් එක්ක සීරුමාරුවට ඒක උස්සගෙනම හිටගෙන ආයේ ඒක පුටු ඇන්ද උඩින් තියලා යන්ට එහෙම වෙන එක ටිකක් කරදර වැඩක්... ඒත් ඉතිං ඔය දානයක් මානයක් වගේ දේකට ආරාධනා කොරන්න එන උදවිය එහෙම ආවම උන්දලට උවමනා දෙයක් හොයා සපයා දෙන්ට නැගිටින්ට වෙන්නේ නැතිවමත් නෙවෙයි... එව්වා ඉතිං පන්සලත් එක්ක මට පැවරිච්ච රාජකාරි නෙව... එහෙම නැතිව නිකං ඇවිත් යන්ට ආව කෙනෙක් නං ඔහොමම වාඩි වෙලා පැයක් දෙකක් හෝ කයිවාරුවක් ගහලා තමා යන්නේ.. සමහරුනං ආව වැඩේ කිව්වා ආපහු හැරිලා ගියා... 

ඉතිං ඕං ඔහොම මං හාන්සි පුටුවේ තප්පලා දාලා ඉන්න අවු අස්සේ තමා මේ යාළුවා මතු උනේ පන්සල ඉස්සරහින්... ආවාසයේ ඉදිරිපිට ඇති පෝටිකෝ කෑල්ලේ නෙව දැන් මං මේ වාඩි වෙලා ඉන්නේ... හරියටම මං වාඩි වෙලා ඉන්න තැනින් අඩි තිහක් විතර දුරින් තමා පන්සලට පිවිසුම් මාර්ගය තියෙන්නේ... අනිත් පැත්තෙනුත් පඩි පේලිය තියෙන මාර්ගයක් තිබුනත් ඒ පැත්තෙන් වාහනයක් උඩහට ගන්න බැහැ... පන්සල තියෙන්නේ තරමක කඳු ගැටයක් මත... කඳු ගැටයේ මුදුන පිට්ටනියක් වගේ සකස් කරලා තමා පන්සල් සීමාව සකස් කරලා තියෙන්නේ... ඒක තරමක ලොක් පිට්ටනියක් වගේ... ඉතිං මේ කියන පිවිසුම් මාර්ගය බොහෝම බෑවුම් මාර්ගයක්... මං දැන් මේ වාඩි වෙලා ඉන්න තැනට ඒක දිගේ එන කෙනෙක්ගේ  මුලින්ම පේන්නේ හිසේ මුදුන.. එයින් පස්සේ තමා ටිකින් ටික මුහුණ කට කඳ බඩ මතු වෙලා සම්පූර්ණ සරීරේ පේන්න ගන්නේ...

ඉතිං ඔන්න මට එක පාරට ඔය කිව්ව ආකාරයට හිස් මුදුනක් පේන්න ගත්තා... ඔතන ඉඳන් දැකලා ඇති පුරුද්දටම මට ඔය වෙනකොට හිස් මුදුන දකින කොටම ඒ කෙනා කවුද කියලා කියන්න හැකි තරමේ අවබෝධයක් ඒ වෙනකොට තිබුණා උනත් මේ හිස මං දන්න කියන හිසක් නෙවෙයි... ඉතිං මං ටිකක් උනන්දුවෙන් බලාගෙනම හිටියා මුහුණ කට මතු වෙනකල්... හිස කෙහෙ බාගෙට බාගයක් සුදු වෙලා තිබුන මුහුණේ දිගැටි ගතිය වැඩියි... පැතැලි උස් මුහුණක්..තරමක් හතරැස් ගතිය ඇති... පළල් උරහිස්... හුම්ම්..බොහෝම උස මනුස්සයෙක් නෙව... අඩි හයක්වත් ඇති... උස වැඩි කම‍ටදෝ උරහිස් තරමක් පාත් වෙලා කොන්ද කුදු වෙච්ච ගතියකුත් තියේ... ආවේ පුට් බයිසිකොලයක් තල්ලු කොරගෙන...අත් දිග කමිසයක් ඇඳලා...අත් දෙක මැදක් වෙන්න නවලා... තරමක් කල් යෑම නිසාම පාට හේදුණ ගතියේ සුදු පැහැයකට ළඟින් යන අළු පාට සරමක් ඇඳලා...

මං බලාගෙන ඉන්නවා දැකපු උන්නැහේ මාත් එක්ක හිනාවක් පාන ගමන්ම බයිසිකලේ අහල තිබුන තැඹිළි ගහකට හේත්තු කොරලා  ඇඳන් හිටිය ඇඳුම එහෙම සකස් කර ගන්න ගමන් උඩ සාක්කුවෙන් ගත්ත පොඩි පනාවකින් හිස කෙස් ටිකත් පස්සට කරලා පීරගෙන එහෙම ඔන්න ආවා ආවාසේ පැත්තට...

මාත් ලිය ලිය හිටිය පෑන ලෑල්ල උඩින් පැත්තකට වෙන්න තියලා කඳ ටිකක් කෙලින් කොරලා බලං උන්නා... ඔන්න උන්නැහේ ඇවිත් ඉණ ගාවින් අංශක අනූවකට ආසන්න කෝණයක් අරගෙන හිටගෙනම වැන්දා... චන්ද්‍රිකා මොඩල් වැඳීමක්... චන්ද්‍රිකා නෝනා වඳින වැඳිල්ල දැකලා ඇති නේද මේ උදවිය... ආන්න ඒ මොඩල් වැඳීමකට කියන්නේ චන්ද්‍රිකා මොඩල් වැඳීම කියලා... සාමාන්‍යයෙන් අංග ලක්ෂණ ධුත ලක්ෂණ අනුව පුද්ගලයින් වර්ගීකරණය කරන්න ඇහැකි නෙව... ඔය වැඳිල්ලේ හැටියෙනුත් සාමාන්‍යයෙන් පන්සලට එන යන අයව තරමක් දුරට තේරුං බේරුං කොරගන්න ඇහැකි... වඳින්නේ මට නෙවෙයි නෙව... සම්බුද්ධ සාසනේ නියෝජනය කොරන උතුං චීවරේට නෙව... ඉතං ඒ චීවරේට වඳින ආකාරයෙන් ඒ ඒ ඈයින්ගේ ස්වභාවය හඳුනා ගැනීම ඒ හැටිම අමාරුවක් නැහැ...

ඕං වැඳලා කරලා කොන්ද කෙලින් කොලාට පස්සේ මං අතින් පෙන්නුවා ඉස්සරහා කෙටි බැම්ම.... ඒක අඩියක් විතර උස බැමි කෑල්ලක්... හොඳ පළලට බැඳලා තියෙන්නේ කෙනෙකුට පහසුවෙන් වාඩි වෙන්ට ඇහැකි අකාරයටම තමා... හතර දෙනෙකුට උනත් කරදරයක් නැතිව එක පෙලට වාඩි වෙලා කතා බහ කොරත හැකි... ඉතින් උන්නැහෙත් එතැනින් වාඩි උනා...

"ම්ම්ම්.... මේ මහත්තයා කවුදෑ..? මං මෙයිට කලින්නං දැකලා පුරුද්දක් නැහැ..."

"ආ හාමුදුරුවනේ හාමුදුරුවෝ මාව දැකලා නැතිව ඇති තමා..මං ටිකක් විතර ඈතින් ඉන්නේ අර එගොඩ වෙල හරියේ..."

එගොඩ වෙල කියන්නේ පන්සලෙන් තරමක් ඈත..ඒ කිව්වේ කිලෝ මීටර් දෙකක් විතර දුරින් පිහිටි හරියක් තමා... කිලෝ මීටර් දෙකක් කියන්නේ ඒ හැටි දුරක් නොවුනට පන්සලට ගිණිකොන දෙසින් පිහිටි එගොඩ වෙල පැත්තේ ඒ හැටි දුරකට පන්සලේ දායක සීමාව පැතිරුනේ නැහැ... ඒකට හේතුව එගොඩ වෙල කතෝලික බල ප්‍රදේශයක් වීම... තරමක පල්ලියක් එහෙමත් ඒ අහ තිබුනා... පන්සලේ ඉඳන් ගිණිකොන පැත්තට මීටර් හත්සීයක් විතර යද්දී තරමක් කැලෑ ප්‍රදේශයක් අහු වෙනවා.. ඒ කැලෑවත් මීටර් පන්සීයක් විතර දුරයි.. එයින් පස්සේ තමා එගොඩ වෙල සීමාව තිබුනේ..ඉතිං ස්වාභාවික වෙන් වීමත්..ආගමික වෙන්වීමත් අනුව ඔය පැත්තේ උදවිය එක්ක ඒ හැටි දැන ඇඳුනුංකං මගේ තිබුනේ නැහැ... කතොලික පවුල් වලට දීග ආව බෞද්ධ කාන්තාවෝ කිහිප දෙනෙකුත්... කතෝලික පවුල් වලින් දීග අරං බින්න බැහැපු ‍බෞද්ධ උන්නැහේලා දෙතුන් දෙනෙකුත් දැන අඳුරන් හිටියට අමතරව රාත්තිරි කාලයේ අට නවය පැන්නට පස්සේ හොරෙන් වගේ ඇවිත් කේන්දර වැඩ කරං ගිය කතෝලික උදවිය කිහිප දෙනෙකුත් මං හැඳුනගෙන හිටියත් එයින් එහාට වැඩි යමක් ඒ අහ එක්කලා තිබුනේ නැහැ...

"ආ ආ..ඒක තමා..මං කලින් දැකලා නැතිව ඇත්තේ.. ඉතිං මේ මහත්තයා මොකද මේ පැත්තේ..."

"නැහැ හාමුදුරුවනේ මං තමා ******ගේ බාප්පා..."

****** කියන්නේ ඒ කාලේ වෙනකොට ලංකාවේ කිරිකැට් කණ්ඩායමේ හිටිය ප්‍රභල කිරීඩකයෙක්... ඉරියව් කීපයකින්ම දක්ෂතා දක්වපු හාදයෙක්...

"ආ ඇත්තද..? ඉතිං මොකදෑ මේ පැත්තේ..."

"නැහැ ඉතිං මං මේ නිකං ආවේ... ****** පුතාව නොදන්න කෙනෙක් නැහැනේ රටේ.."

"ඔව් ඔව් ඒක හරි... කවුද නොදන්නේ උන්නැහේව..."

අපේ උන්නැහේ මොකාට එනවද කියලා මට තාමත් තේරුං ගන්න බැරි උනත් පන්සල් වන්දනාවක ආව වගක්නං පේන්නට නැති වග මේ වෙනකොට මට දැනීගෙන යමින් තිබුනේ...

"ඒකනේ හාමුදුරුවනේ.. මංනං දැන් ටිකක් අපේ මහ පවුල් වලින් අහක් වෙලා ඉන්නේ.. මං මෙහෙන්නේ බැඳලා ඉන්නේ.. ඒත් ****** පුතා ඉඳ හිට මාව බලලා යන්නත් එනවා.."

"හා හොඳයි හොඳයි... එහෙම වෙන්න එපෑ ඉතිං වැඩිහිටියන්ව බලලා යන එක හොඳයිනේන්නං.."

"ඔව් ඔව් හාමුදුරුවනේ මේ ළගදී අර ටුවර් එක යන්න කලිනුත් ඇවිත් මට කතා කරලා ගියේ..."

"හ්ම්ම් ඇත්තද..හොඳයි හොඳයි..."

"අ‍පේ ඔය ****** පුතා ඇවිල්ලා හාමුදුරුවනේ ඉස්සර ඉඳන්ම ක්‍රිකට් වලිට පුදුම දක්ෂයිනේ... ක්‍රිකට් විතරක් නෙවෙයි හුඟක් දේවල්වලට බොහෝම දක්ෂයි..."

"හා හා හොඳයි..."

මේ වෙනකොට මට මොන වගේ දේවල් හිතෙනවද කියලා අමු.ුවෙන් කියන්ට ඕන නැහැනේ... ඒත් ඉතිං මං හිතේ තියෙන දේවල් එළියට නොදා කියන දේකට හුම් මිටි තියලා අහං උන්නා... ඔහොම ටික වෙලාවක් මෙයා තමුන්ගේ ****** පුතාගේ වරුණාව කියෝ කියෝ හිටියා.. ඒ අස්සට පුතා තමන්ට කොයි තරං ආදරේද.. සලකනවද වගේ දේවලුත් අතර මැද්දට ඔබන්ට ගත්තා... මාත් දැන් අර මොකේටද අහු උන මොකාද වගේ හුං හුං ගගා අහ අහ ඉන්නවා... ඔහොම ගිහිං අවසානෙදී උන්නැහේට ****** පුතාගේ තොරනේ විස්තරේ කියලා වචන අහවර  උන වගක් පේන්ට ආවම මං ආයේ කට අවදි කොලා...

"ඉතිං මහත්තයා පන්සලටත් ආව එකේ ගෙහුං බුදුන් වැඳලා එහෙම ආවනං හොඳයි නේද..?"

"දැන් අවුව සැර වැඩියි වගේ හාමුදුරුවනේ... මං ආයේ වෙලාවක එන්නංකෝ බුදුන් වඳින්න.."

එහෙම කියාගෙන පන්සල් වත්ත වටේ ඇස් දුවවන ගමන් උන්නැහේ නැගිට්ටා... 

"ආ මහත්තයා යන්ටද..හොඳයි එහෙමනං..."

"යන්ටත් ඕන හාමුදුරුවනේ... මං වෙලාවක අපේ ****** පුතා මේ පැත්තේ එක්ක එන්නංකෝ.."

"අනේ මහත්තයෝ පන්සල ඕන වෙලාවක ඇරලා... බුදු හාමුදුරුවොත් ඕන වෙලාවක වැඩ ඉන්නවා... මහත්තයා බැරිනං මහත්තයගේ ඔය කිව්ව ****** පුතාට උනත් පන්සලට ඕන වෙලාවක යන්න එන්න ඇහැකි... එහෙම නැතිව මටනං ඉතිං ඔය කියන ****** පුතාව මුණ ගස්සන්ට ඒ හැටි මහන්සි වෙන්ට ඕන නැහැ... කොහොමටත් ඔය පත්තර වල ටීවී වල දකින කෙනානේ...ආයේ ඉතිං අමුතුවෙන් හම්බ උනා කියලා ඇති දෙයක් ඇතෑ..."

ටිකක් වෙලා පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලං හිටිය ******ගේ බාප්පා ආයෙමත් අර අංශක 90වේ වැඳීමත් නැතිවම බයිසිකලෙත් තල්ලු කරං යන්ට ගියා... එයින් පස්සෙනං මං ආයේ ******ගේ බාප්පාව දැක්කේ නැහැ...
-------------------------------------------------------------
පසු සටහන...

උන්නැහේගේ තොරණේ විස්තරේ අහං ඉඳලා එපාම වෙලා හිටිය මං එහෙම කිව්වා නෙවෙයි කියැඋනා.. කොහොමටත් මගේ කට ඒ හැටි හොඳ නැහැ නෙව... ඉවසනවා කියලා ඔහොමත් ඉවසියෑකියෑ... බාප්පා මදිවට තව පුතත් එක්ක එන්න හදන්නේ... මේ කාලේ වෙනකොට මට ඔය වගේ උදවිය කිහිප දෙනෙක්ම සෙට් වෙලා හිටියේ... වෙලාවක් කලාවක් නොබලා ඇවිත් ඔහේ පම්පෝරි දොඩව දොඩව ඉඳලා යන... උන්නැහේලට ඇති වැඩකුත් නැහැ මට ඇති වැඩකුත් නැහැ.. මට පොතක් පතක් බලා ගන්න තියෙන වෙලාව නාස්ති කරනවා වගේම උන්නැහේලට මෙලොවට පරලොවට වැඩක් ඇති දෙයක් ගැන උනන්දු වෙන්නෙත් නැති... බණක් දහමක් ගැන කතාවකටවත් නැතිව ආ ගිය කතා කිය කිය ඉන්න කැමැත්තෙන් පන්සලට ඇදෙන උදවිය... සමහර විට ගෙවල්වල පාළුව කාන්සිය හින්දා වෙන්න ඇති.. ඒත් එහෙම පාළුව කාන්සිය යන්න කතා කරන අනිත් කෙනාගේ රුචි අරුචිකත්වය ගැන හෝ වැඩ කටයුතු ගැන හෝ නොබලා තමුන්ගේ කතාව ඇඳ ගෙන යන මේ ජාතියේ උදවිය හින්දා අනිත් අයට වැඩ පාළු වෙන එක ගැන තඹේක අවධානයක් යොමු කරන්නවත් මේ වර්ගයේ අය හිතන්නේ නැහැ... 

ඔහොම එන්න ගත්ත සමහරුන්ට මං එනකල් ඉඳලා සරල බණ පොත් හිටං අතට දීලා ටිකක් කියවලා බලමුකෝ කියලා කියවීමට උනන්දු කරවන්න හදලත් තියේ.. මොන පොත්ද.. ටික වෙලාවක් යද්දී පොත පැත්තක තියලා ආයේ කියවනවා... ඔයින් එක්කෙනෙක් හින්දා මට උපසම්පදාවට පාඩං කරන දවස්වල බොහෝම කරදරයක් ඇති වෙලත් තිබුනා.. හරියටම උන්දෑ එන්නෙත් මං පන්සලේ වැඩ ටික අහවර කරලා පොත අතට ගන්න කොටම තමා... ඉවසලා ඉවසලා බැරිම තැන කෙලින්ම කියලත් උන්දෑ නෙවෙයි ගමන නවත්තන්නේ... අවසානෙදි ලොකු හාමුදුරුවන්ට කියලා උන්නාන්සේ කිව්වටත් ඒ හැටි ගාණක් නැතිව ගිය හින්දා උන්නැහේගේ ගෙදරට පණිවිඩයක් යවලා කාරණාව පැහැදිලි කොරලා දීලා තමා යන්තං පාඩං කරන්න වෙලාව හදා ගත්තේ... එයින් පස්සේනං බහුජන හිතාය කියලා වල් පල් කියවන්න එන උන්දලා කරේ දාගන්න එක මං වහන්සේ එහෙං පිටින්ම නැවැත්තුවා...එහෙම එපා වෙලා හිටිය කාලෙකම තමා මේ බාප්පා ආවේත්.. ඉතිං නියපොත්තෙන්ම කඩනවා ඇර වෙන මොනවා කොරන්ටද..?

ඔය ටික කිව්වේ කවුරු හරි වැරදියට කතාව තේරුං ගනී කියලා හිතුව හිංදා ඕං...

23 September 2012

බෝටි ඇස් ඇම් හරහා එළියට එන ඇත්ත තත්තේ...

මාරයාතුමා වන මංතුමා හැමදාම නාගන්නේ දේශපාලනේ කතා කොරන්ට ගෙහුන් නෙව... ඒත් ඉතිං සිංහලෙන් අන්තර් ජාලෙට එකතු වෙන උන්දලා අස්සේ මහින්ද අයියට සපෝට් කරන්න ඉන්න සැට් එක අල්පයක් වෙච්ච එකේ ඒ පැත්ත නියෝජනය කරන්න කවුරු හරි ඉන්ට එපෑ..හා නැද්ද මං අහන්නේ..? කස්ටිය මහ ලොකුවට කතා කරන්නේ පොරජාතන්තරේ ගැන උනත් මහින්ද අයියට සපෝට් කරන්න තියෙන අයිතිය පොරජාතන්තරේට අයිති නැති සීන් එකක් හින්දද කොහේද මංතුමාට මහින්ද අයියා කියලා ලියන්න ම යන්න ලියද්දිම සමහරු කලබොල වෙලා අහවරයි... 

රනිල් අයියට හරි අපේ ෆොන්සේකා මහත්තයට හරි මුක්කුවක් ගහං උන්නනං මේ කරදර මොනවත් නැහැ අපිටත් හුරේ දාන්න හෙන සැට් එකක් හිටිනවා... රටේ ලෝකේ තත්තේ කොහොම උනත් අන්තර්ජාලේ තත්වේ එහෙමයි... ඒක නෙව මූණු පොත් පොජ්ජේ චන්දයක් තියන පරක්කුවට මහින්ද අයියා දෙකේ කොලේට වැටිලා රනිල් අයියලා ‍අපේ ෆොන්සේකා මහත්තයලා එකෙන්ම දිනන්නේ... :D

කොහොමත් බලයේ ඉන්න කෙනෙකුට පක්ෂව ලියන එක ලේසි නැහැ.. මොකද උන්දලා නෙව වැඩ කරන්නේ.. වැඩ කොරන එකා අතින් තමා වැරදි සිද්ධ වෙන්නෙත්... ගෙදරට වෙලා බුදියන එකා අතින් කොහොමද වැරදි සිද්ධ වෙන්නේ.. ඕනනං නින්දෙන් අධෝ වාතයක් එහෙම යයි ඒවා කවුද ගණන් ගන්නේ නේද..?

වෙලාවකට මට හිතෙනවා රනිල් අයියා හරි අපේ ෆොන්සේකා මහත්තයා හරි දිනලා මහින්ද අයියා ගෙදර උන්නනං මට කොච්චර පහසුද කියලා.. එහෙමනං මටත් වෙන මොනවා නැතත් අත දිගෑරලා ලියන්ට තිබ්බා ලිවිල්ලක් පලු යන්ටම... ඔහෙලට කියන්ට මටත් ඔය ඕන මගුලක් ඕන පැත්තකින් අල්ලගෙන ලියන්ට හැකියාව තියේ කබරයි තලගොයි කරලාද..තලගොයි කබරයි කරලාද.. ගොරකා දඩමස්ද..දඩමස් ගොරකාද ආදී වසයෙන් හරෝලා... ඔව්වා මොන සිම්පොල් වැඩද.. ඒත් ඉතිං ඒ විදියට ලියන්ටනං ආණ්ඩුවට කඩේ ගෙහුන් බැහැ විරුද්ධ පස්සේම ඉන්න ඕන... මොකද ආණ්ඩුවට කඩේ යන ගමන් ලියන්ට වෙන්නේ විපස්සේ වැරදිනේ.. ඒත් ඉතිං ‍‍ගෙදරට වෙලා බුදියං ඉන්න විපස්ස නායකයෙක් ගැන මොන උලව්වක් ලියන්ටද..? ඔන්න මෑන් පාරට බැහැලා මොනවා හරි වැඩක් කරනවනං මටත් තිබුනා අම්මා මෝ නැතිව ලියලා අරින්ට... ඒත් ඉතිං අපේ විපස්සනායක තුමා තමුන්ට වසරකට හිමිවන විමධ්‍යගත අරමුදල් වලින් කරන කියන දෙයක්වත් පේන්ට තියෙන එකක්යෑ... ඇත්තටම දැන් විපස්සයේ මංතිරිලාට විමධ්‍යගත අරමුදල් නොලැබෙනවාදවත් මංදා...

හා ඒකෙන් කාරි නැහැ ආයේ නාගන්න බලං කියන්ට ආව ටික කියලා දාමුකෝ...

කවුරුත් දන්නවනේ මේ දවස්වල උතුරු මැද පළාතේ හෙන ගේමක් යනවා කියලා... ඒ තමා මහ ඇමටි යුද්ධේ... උතුරේ යුද්ධේ අහවර කොලාට හපන් මේක අහවර කොරන එක... එක පැත්තකින් බෝටි අයියා... අනිත් පැත්තෙන් ඇස් ඇම් චන්දරේගේ මල්ලි... දෙපැත්තම තකට තක...

ඔතනින් බෝටි අයියා ගැන කිව්වොත් මෑන් වටින කියන හාදයෙක් සංධානේ පැත්තෙන් ගත්තම..මොකද අපිටත් මතකයි ඉස්සර උතුරු මැද පළාතේ අනුරාධ පුරේ දිස්තිරික්කේ උනත් සිරිලංකා පස්සේ ඇතුළු නඩේට දිනන්ට ලේසි නැහැ... ඒත් කොහොමින් හරි ඒ පැත්තේ බලේ අල්ල ගත්තායින් පස්සේ කාලයත් එක්කම ඒ පැත්තත් හරියට මේ අපේ දිස්තිරික්කේ වෙච්ච ගම්පහ දිස්තිරික්කේ වගේ සිරිලංකා එකට බර දිස්තිරික්කයක් බවට පත් කොරන්ට බෝටි අයියා සමත් උනා... එහෙම බැළුවම සිරිලංකා කාරයින්ට වගේම සංධානේ උන්දලාටත් බෝටි අයියාගේ කෙරුවාව අමතක කොරන්ට බැහැ... හැබැයි උන්දෑ ටිකක් විතර මහින්ද අයියට වඩා හිටපු මැඩොංට මුක්කුව ගහං හිටිය කතාවක් තියෙන හින්දා අපේ ලොකු අයියට මෑන් ගැන ඒ හැටිම විස්සාසයක් නැහැ වගෙත් පේන්ට තියෙනවා..විස්සසා පරමා ඥාති කියනවනේ...

අනිත් පැත්තෙන් ඇස් ඇම් ගොයියා... දන්න තරමින් මෑන් ලෝක අණ්ඩයා... ඒත් මහින්ද අයියට පස්සේ උදවියගෙන් මෙලෝ සපෝට් එකක් නැතිව ඉද්දී හුග‍ දෙනෙක් මැඩොංගේ සාරි පොටේ එල්ලිලා ඉඳන් මහින්ද අයියගේ කකුලෙන් අදිමින් තිබුන වෙලාවක මහින්ද අයියා වෙනුවෙන් කතා කරන්ට හිටිය හා මැතිවරණ වලට මුදලින් ආධාර කොරන්ට හිටිය සැට් එකේ ඔය ඇස් ඇම් අයියත් හිටියා නෙව... ඔය සැට් එකේ හිටිය තව කිහිප දෙනෙක් තමා නිර්මල කොතලාවල..උපාලි ගුණරත්න..අළුත් ගමේ...සරණ ගුණවර්ධන.. වගේ උදවිය... මුලින්ම ජනාධිපතිවරණයට එන වෙලේ බර ගණනින් මහින්ද අයියට මුදල් ආධාර කල හා පක්ෂය ඇතුලේ කම්මෝ ගෝ චිකාගෝ කියලා කතා කරපු අය තමා ඒ... ඒ කාලේ ඔය බම්බු සිරිසේන අයියා එහෙම හිටියේ නැට්ට දෙපරැන්දේ ගහං..දැන්නං ඉතිං උන්නැහෙත් ලොරි ටෝක් දෙනවා තමා.. ඒත් ඒ දවස්සල මහින්ද අයියා කොහොමද රිලේ එක දිව්වේ කියලා දන්න කියන අපිට ඔව්වා මතකයි... ඉතිං මැඩොංට බයේ අනිත් උන්දලා ඉන්න කාලේ නිර්මල කොතලාවල වගේම ඇස් ඇම් ගොයියත් මහින්ද අයියා වෙනුවෙන් සිරි සඝ බෝ රඟ දක්කපු උදවිය... එහෙම බැළුවම ඇස් ඇම් කාරයා අණ්ඩයා උනත් මහින්දට මෑන්ව නොසලකා හැරලත් බැහැ...

ඔහොමයි දෙපැත්තේ තත්තේ... ඒත් මෙතැන තියෙන වැදගත්ම දේ තමා ‍බෝටි අයියගේ මස් රාත්තල ඉල්ලීමේ කලාව.. පේනවනේ මේ දවස්සල උන්දෑ දෙන ටෝක්... "මහ ඇමති කම නොදුන්නොත් මං පයිනවා අනිත් පැත්තට.." ඔන්න පොරගේ ටෝක... ආන්න ඒ ටෝක තමා මංතුමාට වැදගත් උනේ...

ඔන්න කවුරු කොහොම කිව්වත් ලංකාවේ තියෙන නියම දේසපාලන මෙව්වා එක...

ලංකාවේ මේ තියෙන සිස්ටොං එකේ බලේ ගන්න එකනං ටොයිස් වැඩක්... හරියට උවමනාවක් නැති හින්දා මිස රනිල් අයියට හෙට උනත් ආණ්ඩුව තමන් අතට ගතෑකි... ඒත් සතියක් ආණ්ඩුව වැටෙන්නේ නැති වෙන්න ගෙනියනවා කියන එකනං පස්ට අමාරු කේස් එකක්... ඇයි එහෙම වෙන්නේ... එහෙම වෙන්නේ ඔන්න ඔය කියන මස් රාත්තලේ කතාව හින්දා...

මට මතක ඇති කාලේ ඒ කියන්නේ පේරේමදාස අයියා රජකරන කාලේ ඉදන් මැඩොං රජ කරපු කාලෙත් තොණ්ඩමොංගේ කොංග්‍රසෙයි අස්සොරොප්ගේ කොංග්‍රසෙයි දෙකට ඕන හැටියට තමා ආණ්ඩු නැටුවේ... ඒකට ඒ දවස්සල මිනිස්සු කිව්වේ නැට්ට විසින් බල්ලා නැටවීම කියලා... මොකද උන් දෙගොල්ල පැත්ත මාරු කලොත් ඕන ආණ්ඩුවක් වැස්ටියෑකි... ඒත් මහින්ද අයියා ආවට පස්සේ තමා ඒ තත්තේ ටිකක් වෙනස් උනේ.. කොටින්ම මහ තොණ්ඩොමොංගේ මුණුපුරු තොංඩොමොංට "අන්න දොර ඇරලා යනවනං එහෙමයි ඉන්නවනං එහෙමයි" කියන තත්තෙට කතා කරන්න මහින්ද අයියට පුළුවන් උනා... හකීම්ට උනත් ඒ සංතෑසියම තමා...

හැබැයි දැන් ආයෙමත් හකීම් කාරයා අඩව් අල්ලනවා එහෙං මෙහෙං... දැක්කනේ නැගනහිර කේෂ් එක... ඇත්තටම එහෙම බලේ ගන්නවට වඩා මංනං කැමති උනේ ටී ඇන් ඒ එකටම පළාත් සභාව කරගෙන යන්න දීලා ටිකක් බලං ඉන්න එකට... පුළුවන්නං හකීම් එක්ක දීග කාලා පෙන්නන්න කියලා ටී ඇන් ඒ එකේ ලොක්කට කියලා බලං හිටියනං අවුරුද්දක් ඇතුලත වැඩේ තරම බලා ගන්න තිබුනා... ඒත් ඒක කොලේ නැහැ නෙව.. එහෙමත් නැත්තං යූ ඇන් පී එකේ දයා ගමගේට කතා කොරලා ගනිං මහ ඇමතිකම කියලා හවුලකට ගියානං ඒකත්  ඔය හකීම් කාරයා එක්ක දීග කනවට වඩා දාහෙං සම්පතයි... රනිල් අයියයි තිස්ස ගිරවනායක අයියයි ඉන්නකල් එහෙම වැඩක් ඇති වැඩක් කරන්න ලේසි නැහැ නෙව... උන්දලා දෙන්නා නෙව සුළු ජාතික කිය කිය පිස්සු නටලා තමුන්ට හිටිය මහ ජාතියේ චන්ද ටික හෝදං යන්ට ඇරලා බලං ඉන්නේ... මං හිතන්නේ නැහැ මං ඔය කිව්ව ආකාරයේ හවුලකට නැගනහිරදී ගියානං යූ ඇන් පීයට චන්දේ දුන්න නැගෙනහිර මිනිස්සුවත් ඒකට අකමැති වෙයි කියලා... ඒකෙන් මේකෙන් යූ ඇන් පියට උනේ ජාතික මට්ටමේ උන්න දයා ගමගේ වගේ දේසපාලකයෙක් ආයෙම පළාත් මට්ටමට ඇදලා දාපු එක විතරයි... අපරාදේ අම්පාරේ චන්ද ටික...

ඉතිං ආයෙම ප්‍රධාන කතාවට ආවොත්... පේනවා නේද දැන් බෝටි අයියාගේ නාඩගම... උන්දෑ මේ කරන්නෙත් අර මං කලින් කිව්ව තොන්ඩොමොං අස්රොප් මොඩල් එකේ ගේමක්... "මට නුදුන්නොත් මං පයිනවා..." ඔච්චරයි කතාව... හැබැයි ඔය පොඩියට තිබුනට ඕක තමයි ආණ්ඩුව ඇතුලේ තියෙන හැබෑ කතාව... බෝටි අයියා විතරක් නෙවෙයි ඔය හුගාක් අයියලා ඉන්නේ ඔය මතේම තමා.. හෙට දෙන්නකෝ බලන්න මැරවින් අයියට පුකට පයින් පාරක්..අනිද්දා උදේ වෙනකොට මැරවින් අයියා නැද්ද කියලා බලන්න සිරිකොතේ මුරකාර අයියා ගේට්ටුව අරිනකල් පාරට වෙලා බලං... අනිත් අයියලත් බර ගාණක් ඔහොම තමා... අනික වැඩි හරියක් ඉන්නෙත් දෑත් සත්තිමත් කරන්න කියලා යූ ඇන්පියෙන් ආව උන්දලනේ... උන්දලා ඔක්කෝටම ඕන නැහැ එයින් එහෙකුට පස්සට පයින් දුන්න ගමන් අනිත් වාහෙලත් ඒ පහර තමුන්ට දුන්න සිග්නල් එකක් හැටියට බාර ගන්නවා ආයේ ඒකේ දෙකක් නැහැ... ඉතිං එහෙම තියෙනකල් මහින්ද අයියට ඕන හැටියට ඔය කියන තරමටම වංචාව දූසනය නැති කොරන්න ඇහැකිද...? හ‍ඳේ තමා ඉතිං...

අනික මෙහෙං එලෝන පරක්කුවට රනිල් අයියා බාර නොගෙන ඉන්නවද මෙහෙං පන්නන ඈයින්ව... මොන විකරද උන්දෑ මලුත් පුදලා ගන්නේ ඇතුලට... අද ඔය "අරූ හොරා මූ හොරා" කියලා කෑ ගැහුවට හෙට උදේට සිරිකොත ගාවට ආවොත් ඔය හොරු ඔක්කෝම නාවන්නෙත් නැතිව ගෙට ගන්නේ උන්දෑ... එතකොට ඔය දැන් මේවයේ හෝ ගාලා "අරකා මේකා හොරා" කියලා බයින උන්දලා රනිල්ට බනීද "හපෝ ඔය හොරු ගන්න එපා ඇතුලට " කියලා... වස්තරේ තමා.. ඔන්න එතකොට උන්දලා පටන් ගන්නවා පැන්න උන්දලගේ රෙදි අපුල්ලන්න...

වැඩිය ඕන නැහැ දැන් ඔය පස්ට යන්ට බැනුං අහන ඇස් බී සහ බන්ධුල ඩබල ගන්නකෝ... උන්දලා දෙන්නා හෙට පැන්නා කියමු විපස්සෙට... ආන්න එතකොට මොකද අපේ බුවාලා කියන්නේ...

"හප්පා ඇස් බී වගේ පරිණත දේශපාලන බුද්ධියකින් හෙබි නායකයෙක් තවත් ඉන්නවද රටේ..? එතකොට බන්ධුලගේ ආර්ථික විජ්ජා දැනුමට අබියෝග කල හැකි ගොබිලෙක් මේ ලෝක ධාතුවෙ වත් ඉන්නවද..?"

එදාට ඉතිං අපිට තියෙන්නේ ට්‍රයි කරලා කරලා කොහොම හරි පෂ්ෂ පැත්තෙන් හිනා වෙන්න තමා... ඔය වංගියක් විපස්සේ ඉඳලා බන්ධුල ගොයියා මේ පැත්තට පැනලා අර වෙළඳ ඇමටි කමද කොහේද අරං හෝ ගාලා අර සූත්තර මේ සූත්තර දදා බැනුං අහ අහ ඉන්න දවස්වලත් මං ඔහොම හිනා වෙන්ට සෑහෙන්න ට්‍රයි කොලා... ඇයි යකෝ මේකමනේ විපස්සේ ඉන්න කොට හෝ ගාලා ආර්ථික දර්ශන දැම්මේ අරක මෙහෙමහි මේක අරෙහෙමයි කිය කිය.. ඒත් මහින්ද අයියා මෑන්ටම අඩ ගහලා වැඩේ බාර දුන්නට පස්සේ මෑන්ට උන හරිය දැක්කම කාටද හිනා නොයන්නේ..? එව්වා තමා ආතල්ම වැඩ... දැන් අර ඒ වගේම කෑ ගහන හර්ෂ ගොයියටත් කතා කොරලා ඔය වගේ දෙයක් දෙන්න ඇහැකිනං ගන්න පුළුවන් ආතල් එක අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්කවන්න බැහැ පිංවතුනි ඈ...:D:D:D

ඉතිං ඔන්න ‍ඔහොම තත්තයක් තියෙන සිරිලංකාවේ දේසපාලනය ගැන ලොරි ටෝක් නං දෙන්න බැරි කාටද..? කොහොම ටෝක් දුන්නත් බලේ ගත්තට පස්සේ ඔය කෝකත් එකයි.. අනික ඉතිං බලේ ගන්නෙත් හදෙන් ඇවිත් නෙවෙයිනේ..මේ අපි එක්කම ඉන්න උන්දලානේ... අපි නොදන්නවද අපේ උන්දලාගේ තරම... බලේ නැතිව ඉන්නකල් අවංකකම ගැන... පිරිසිදු කම ගැන කතා කරන කෝකා උනත් බලේ ගත්ත ගමන් කරන්නේ තමුන්ගේ ගෝනිය පුරෝන එක මිසක් වෙන දෙයක් නෙවෙයි... හා එහෙම නැතිව තමුන්ට කොරගන්නෙත් නැති... තමුන්ගේ හත්මුතු පරම්පරාවට කොරගන්නෙත් නැති.. තමන් යටතේ ඉන්න උන්ට පිල්ලි ගහන්න තියන්නෙත් නැති.. මලාට හොරයක් බොරුවක් වංචාවක් නොකරන... මේ රට හදන්නේ මෙහෙමයි කියලා පැහැදිලිව කියන්ට හැකි සහ ඒ කියන විදිය අවුලක් නැතිව කිරියාත්මක කොරන්ට ඇහැකි කොරමයක් වන අවංක දේසපාලඥයෙක් ඉන්නවනං එක නමක් කියමු බලන්න...

 කණගාටුයි පින්වතුනි... මගේ දැනීමේ හැටියට එහෙම උන්නං නැහැ... මේ කොරමේ වෙනස් කරන්න ඔය තියෙන විදියෙන්නං බැහැ... මොකද මොකා ඒක කලත් එන්න වෙන්නේ චන්දෙන්නේ... කවුද ඉතිං තමුන්ට දෙයක් කොරලා දෙන්නේ නැති... තමුන්ගේ ළමයා හොර පාරෙන් ලොකු ඉස්කෝලෙකට දාගන්න තල්ලුවක් දෙන්නේ නැති... තමුන්ට ටෙන්ඩරයක් හොරාට පාස් කරලා දෙන්නේ නැති... සුදුසුකම් නොබලා ආයතනයක උසස් වීමක් දෙන්නේ නැති... තමුන්ගේ ළමයින්ට සුදුසුකම්වලට වඩා ඉහල රස්සාවක් දෙන්නේ නැති... තමුන් දැනට ඉන්න ආයතන වල කරගෙන යන හොර වංචාවලට ඉඩක් දෙන්නේ නැති එහෙකුට චන්දේ දෙන්නේ...?

එහෙම කරන පිස්සෝ ලංකාවේ ඉන්නවද... ඒකටත් කියන්න ‍තියෙන්නේ මෑණියන්ගේ වස්තරේ කියලා තමයි... අපේ උන්දලා තමුන්ට කරන්න පුළුවන් ඔක්කෝම හොරකං කර කර අනිත් උන්ව හදන්න බණ කියන එවුවෝ වෙච්චි උන් පත් කරගන්නේ එහෙම නායකයෝ මිස අර තාම මෙලොවට පහල වෙලා නැති තුසිතයේ දිව සැප විදින බෝධිසත්ත නායකයින්වනං නෙවෙයි...

චන්දෙකින් ඒවා කරන්න බැහැ.. හැබැයි කරන වෙන විදියක්නං තියෙනවා... ඒකත් කියන්නද.. ඒ තමා විප්ලවේ... අර චන්ද නැතිව බලාත්කාරයෙන් ආණ්ඩුව අල්ලන කොරමේ... අර 71යි 89යි කොලේ.. ආන්න ඒක... හැබැයි ඒකෙන් මේක අල්ලන්න ඒකට මුල් කොර ගන්න පුළුවන් උන්දලා ගැන හිතන කොට ටිකක් හිනා යනවා නේද පින්වතුනි..?

හා දැන් තියේනං බාල්දි පනිට්ටු සබන් එහෙම අරං එන්ටලා... :D:D:D

මේකත් හොඳ විනෝදාංශයක්...

මේකත් මගේ තියෙන විනෝදාංශ අතරින් උඩින්ම තියෙන එකක් තමා... තව කාටද මේ අමාරුව තියෙන්නේ..? ඒ වගේම කාටද පුළුවන් මේවා හඳුනගන්න...?













22 September 2012

කයියේ පද බැඳුනේ මෙහෙමයි...

ටුඩේ මෝනින් ඒ කියන්නේ අද උදේ... මං රාජකාරි... ඒ කියන්නේ අඛණඩ රාජකාරි... අකණ්ඩ කියන්නේ ඉතිං කන්ටිනිව් රාජකාරි.. ඩියුටි කන්ටිනිව් කියන්නේ ඉතිං කන්ටිනිව්..ෂරිය... ඉතිං උදේට කන්ට මොනවා හරි ගේන්ට ඕන හින්දා ජයේ අයියට ටිකක් බලා ගන්ටය කියලා මං ගියා පාර පැත්තට මොනවා හරි ගේන්ට කියලා...

උදේ හයයි හතළිස් පහ වෙද්දී ඉතිං හැම කඩේම ඇරලත් නැහැ..ඇරලා තිබුනත් ඒ හැටි දෙයක් ඇත්තෙත් නැහැ.. ඒ හින්දා රෑං ගාලා ගියා සුවර් එකටම ඇරලා තියෙන කඩේ වෙච්ච හොස්සපිටැල් එක ඉස්සරහා කඩේට... බයිසිමෝටෝව නවත්තලා කඩේට ඇතුළු වෙන ගමන් ඇහැ ගියේ හොස්ස පිටල් එක පැත්තේ ඒ කියන්නේ පාරේ අනිත් පැත්තේ තිබුණ බස් නැවතුමට... උදේ වැඩි හින්දා බස් හෝල්ට් එකත් නිකං පාළු වෙලා වගේ... නැත්තං දවල් වෙද්දී ඔතන නිකං තොරණ වගේ ප්ලේස් එක.. හප්පා ඇෂ් වල පොට යනවා හරියට බලන්න ගියොත්... ලෂ්ෂන දේවල් බලන්ට හම්බ උන දෑෂ් දෙකට ලෂ්ෂන දේවල් දකින්ට දෙන්ට එපායෑ.. හා නැද්ද මං අහන්නේ..? මේ දෑෂ මගේ පිංවංතයි... ෂෙහ්..මොන... වයසක ගැහැණු මනුස්සයින් දෙන්නෙක් සහ එක ලමිස්සියක් හිටියා... දෑෂ ටිකක් විතර බාල පින් කරලාද කොහේද..?

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවා නෙව.. ඉතිං අර හිටිය ලමිස්සි දිහා බැලෙන එක අහන්ටත් දෙයක්යෑ... ඒත් පොඩි අවුලකට තිබුනේ පේන්ට තිබුනේ මුහුණු පොඩිය විතරයි... ඒ කියන්නේ කලුම කලු ලෝගුවකින් සරීරය වැහිලා.. ඒත් මුහුණ රවුමට පේනවා... ලස්සන ළමෙක්... ඇස් දෙක ඔක්කෝටම වඩා ලස්සනයි... කඩේ මුදලාලි බර ගණුදෙනුවක... ඒ හින්දා  හිටිය ගෝලයෙකුගෙන් අහුවා තැටි පාන් බාග ගෙඩි තියේද කියලා.. හරි බඩු තියෙනවා.. උදේට රස්නේ පිටම තැටි පාන් කෑල්ලක් හොඳි ටිකක් එක්ක බඩට බස්සන්න හිතං ආව එක කර ගතෑකි වගේ... දැම්මා ඕඩරේ...

පාන් බාගේ ගෙඩියයි.. පරිප්පු එකයි පාර්සල්... ගෝලයා ගියා ඇතුලට... මං ආයෙම බලන් ඉන්නවා ඇහැට පේන්ට තියෙන එකම දැක්ම දිහා... අර ළමයගේ ඇස් දෙක... හප්පච්චියේ පුදුම කලබල දෑසක් ඒක... එහෙ මෙහෙ දුවනවා... මං ඉතිං බලං ඉන්නවා... මොනවද මෙයා මෙච්චරට ඇස් කරකව කරකව බලන්නේ කියලා... ළඟ ඉන්න වයසක ගෑණු කෙනෙක් මෙයාගේ භාරකාරයෙක් වගේ පේන්න තියෙන හින්දා උන්දැට හොරෙන් කොල්ලෝ දිහා බලනවද කියලයි මට මුලින්ම හිතුනේ.. ඒ තරමටම ඇස් දෙක චංචලයි... ඒත්...

ටික වෙලාවක් යනකොට මට තේරුනේ මෙයාගේ ඇස් දුවන්නේ වෙන දිහාවක කියලා... ඒ වෙනකොට හතට කිට්ටුයි... කලාපේ වැඩට යන ගෑනු ළමයි හතට කලින් කාඩ් එක ගහන්න කලබලෙන් මෙතැනින් ඇඳිලා යන වෙලාව... මෙයාගේ ඇස් දුවන්නේ ඒ ගෑණු ළමයින් පිටි පස්සේ... කලාපේ නංගිලා උදේට පාරට බහිනවා කියන්නේ අමුතුම ෆැෂන් ෂෝ එකක් නෙව.. ඒ ඒ කාලෙට එන හැම විලාසිතාවම ඔය වෙලාවට දැක බලා ගතෑකි... ඈත ගං රටවල ඉඳන් ආව බොහෝමයක් ළමයි තමුන්ට ඇහැකි උපරිම ආකාරයෙන් ලස්සනට සැරසිලා යන එන එක බලං ඉන්න වටින සුන්දර දර්සනයක් නෙව...

සාමාන්‍යයෙන් කොල්ලෙක් ගෑල්ලමයි දිහා බලනවා වගේ මේ ළමයත් පාරේ යන එන ගෑණු ළමයි දිහා ඇස් උළුක් කරගෙන බලං ඉන්න ගමන් තමුන්ගේ ලෝගුව අස්සෙන් අත් දෙක පුළුවන් තරමට එළියට ගන්න උත්සහ කරන ගතියක් මං මුලින්ම දැක්කේ... ළඟ ඉන්න ගෑණු කෙනාට නොපෙනෙන්න වගේ හොරැහින් උන්දෑ දිහා බලලා හිමිහිට ලෝගුවේ අත් දෙක උඩට අදින ගමන් ලෝගුවට යටින් උස්සලා ටිකක් පස්සට ඇඳලා තමුන් දාගෙන හිටිය රෝස පාට ලස්සන සෙරෙප්පු දෙකත් එක්ක සුදු පැහැති පාද යුග්මය යාන්තමින් එළියට පේන විදියට හදලා ඒ දිහා බලලා තමුන්ටම හිනා වෙලා ආයෙමත් පාරේ යන ගෑණු ළමයි දිහා බලං ඉන්න ආකාරය මට තත්පර ගානකදී මීටර් උනා...

ඉතිං ඔය ටික දැක්ක ගමන් කඩේ ඉඳලම මගේ හිතේ කයි පඳ බැඳූනා කියලා කියන්නත් දෙයක්ද... ඒත් ලියන්න කොලයක්වත් පැන්සල් කොටයක්වත් නැති හින්දා හිතට නැඟුන පඳ එහෙමම මුමුණ මුමුණ මං හිටියා.. ඒ එක්කම තමා කඩේ ගෝලයා...

"පාන් බාගයයි..පරිප්පු එකායි...ආ මෙන්න" 

කියලා මට දික් කලේ.. ඉතිං ඒක අතට අරං සල්ලි ගෙවලා මං බයිසි මොටෝවත් ඉට්ටාට් කොරං ආයෙම ආවේ අර නංගිට හිනාවකුත් දාලා... මොනවා උනත් විනාඩි කිහිපයකින් මට ලොකු කතාවක් කිව්ව කෙනෙක් නෙව...  ළමයත් ඔහේ හිනා වේගන ආවත් එක පාරටම තමුන්ගේ අහලින් ඉන්න ගෑණු කෙනා දකියිදෝ කියලා වගේ බයෙන් ඒ හිනාව හංග ගන්නවත් මං බලාගෙන... එච්චරයි කතාව... මම එන්න  ආවා.. උදේම රස්නේ පිටම දුම් දාන පරිප්පු හොද්දත් එක්ක රස්නේ පාන් කෑල්ලක් කාලා ප්ලේන්ටියකුත් හදං බීලා කොම්පීටර් උන්නැහේව ඇහැරෝගෙන එච්චර වෙලා හිතේ බැඳි බැඳි තිබුන කයියේ පඳ ටික ස්ථීරසාරව බැඳලා දැම්මා.. ඔන්න ඔහොමයි කයියේ පඳ බැඳුනේ... 

ඇස් දෙකක් දුටිමි මම...

ලෝගුවෙන් වැසුන ඇස්..
සොයයි මොන මොනවදෝ...
නැති වෙච්ච දෙයක් වද..?
නොලැබිච්ච දෙයක්වද..?

බස් නැවතුමේ රැඳී.. 
සිටින්නේ මඟ බලා..
බස් රථය එන තෙක්ද..?
වෙන යමක් වෙනුවෙන්ද..?

අකීකරු නුඹෙ දෑස.. 
බොහොම ලොකු කතාවක...
අවට බලමින් නිතොර..
පෙම්බරෙකු සොයනවද..?

මෙතෙක් සමු නොවී ඇතී..
සෙනෙහසක් පතනවද..?. 
සිතන්නේ කුමක්දැයි..
සිතා ගනු නොහේ මට...

ඒ නිසා මම බලා.. 
සිටිමි ඔය ඇස් දිහා...
නිතර ඇස් දිවවෙනා.. 
ඉසවු දෙස සොය සොයා..

මගෙ ඇසුත් දිව ගියා
නුඹේ බැල්මත් සමඟ..
අවසනදි වැටහුනා.. 
බලන්නේ කුමක්දැයි..

නේක වෛවර්ණයෙන්..
දුහුල් සළු පිළි ඇඳන්..
මෝස්තර කැටයමින්.. 
සියොලගම සරසවා..

පාර දිග ඇඳී යන..
නුඹ වගේම තරුණියන්..
දෙස බලා නුඹ හිඳින..
වග මෙමට වැටහුනා...

උපතින්ම සිර කෙරූ.. 
මායිමෙන් කොටු කෙරුන..
කයක් ඇති මුත් නුඹට..
සිතට සිර ගෙයක් නැත..

කයින් මිදිලා දුවන..
සිතින් නුඹ අවට ලොව..
දකින්නට සැරසෙනා..
අයුරු ඇත පෙනෙන්නට...

ඒ නමුත් සිර ගෙයම..
උරුම බව දැනෙද්දී..
සිත යටින් වැලපෙනා..
ඇස් දෙකක් දුටිමි මම...

ලෝගුවෙන් වැසී ඇති..
මුත් ලොවට විවර වූ..
පැතුම් දැල් වී ඇතී..
ඇස් දෙකක් දුටිමි මම...

----------------------------------
පාන් බාගයයි පරිප්පු එකායි...ආ මෙන්න

21 September 2012

බ්ලොග් මැරතන්...

‍කාටද දැන් මතක බ්ලොග් මැරතන්..?

මටනං මතකයි... ඕක ඉස්සර සිංහල බ්ලොග් කියවනය මඟින් සිංහලෙන් බ්ලොග් ලියන අයව උනන්දු කරවන්න කරාපු වැඩ සටහනක්... මට මතක හැටියට පැය 24ක් විතර එක දිගට තියෙන වැඩක්...

කරන්න තියෙන්නේ මුලින්ම සිංහල බ්ලොග් කියවනයේ ඇති බ්ලොග් මැරතන් තරඟයට ඉදිරිපත් වීමේ පෝරමය පුරවා ඒකේ රෙජිස්ටර් වීමද කොහේද..? මං මුලින්ම බ්ලොග් කියවන්න ආව දවස්වල හැම තැනම ඔය බ්ලොග් මැරතන් එක ගැන කතාව.. එතකොට කොහේද ඉතිං අපිට බ්ලොග්... අපි ඒ දවස්වල ජබොග්... රෙජිස්ටර් උනාට පස්සේ මං හිතන්නේ ඔය බැනර් කෑල්ලකුත් හම්බු උනාද කොහේද තම තමුන්ගේ බ්ලොග්වල එල්ලා ගන්ට... ඒ දවස්වල යන යන තැන බ්ලොග්වල මැරතන් දුවන්න ලෑස්තිය...

කට්ටියම වැඩේට සෙට් උනාට පස්සේ අඳාළ තරගේ තියෙන දවසට ඉතිං තියෙන්නේ පණ දාගෙන මැරතන් දුවන්න තමා... ඒ කියන්නේ විනාඩි පහලොවෙන් පහලොහටද කොහේද පෝස්ට් එකක් දාන්න ඕන.. එක දිගට පැය විසි හතරක් ඇතුලත සෑම පැයකටම පෝස්ට් හතරක් විතර වැටෙද්දී තරගේ අහවර කරනකොට පෝස්ට් සීයකට ආසන්න ගානක් නිකංම වැටිලා...

මං ඉතිං ඒ කාලේ මැරතන් දුවනවා තියා බ්ලොග් එකක් ලියා ගන්නවත් නොදැන හිටිය හින්දා කොහොම හරි මුලින්ම මැරතන් එකක් දුවන හැටි බලං හිටියා... හප්පා වැඩේ යනවා ගජරාමෙට... ඒක හරි අපූරු වැඩේ... පස්සෙන් පහුනං එක මැරතන් එකක් වෙලාවේ මාත් ටිකක් විතර වතුර ගැහුවා වගේ මතකයි... වතුර ගහනවා කියන්නේ කමෙන්ට් කිරිල්ලට... ඒ පාර මං වගේම මට මතකයි අපේ හා පැටික්කිත් වතුර ගැහුවා හෝ ගාලා... තරඟ කරපු අය හුග දෙනෙක්ව හරියටම මතක නැතත් අපේ ප්‍රවීණ බ්ලොග් කරුවකු වන "බිඟුවා" (දැන්නං බිඟුවාව නොදන්න අයත් ඇති.. ඒත් ඒ දවස්වල බිඟුවා සහ දුකා කියන්නේ අළුත් උන්ගේ බ්ලොග් හොය හොය ගිහින් කමෙන්ට් කරපු අත හිත දීපු උන් දෙන්නෙක්...බිඟුවා නොගිය තැනක් හොයා ගන්න අමාරුයි ඒ කාලේ.. දැන්නං මෑන් සද්දේ වහලා...) එහෙම වැඩේ කරට අරං කරගෙන ගියා කියලා මතකයි... ඒ එක්කම නීනුවා නොහොත් දැන් අර පස් වෙනි මණ්ඩලයේ පෝස්ට් ලියන නෙරංජියාත් ඒ දවස්වල ඕකේ හෙන කකුලක් වෙලා හිටියා වගේ මතකයක් තියෙනවා.. හැබැයි මැරතන් එකෙන් පස්සේ ඒකි තව කවුරු හරි කොලුවෙක් එක්ක...(මට මතක හැටියට තිමිර වෙන්න ඕන...) මහා බ්ලොග් වලියක් දාගෙන හිටියා වගෙත් මතකයි...

දැන්නං මතක ඇති කාලෙක බ්ලොග් මැරතන් එකක් දිව්වේ නැහැ... ඒ දවස්වල ඉතිං දැන් වගේ බ්ලොග් ගොඩක් තිබුනෙත් නැති හින්දා මැරතන් එකෙන් ලොකු තල්ලුවක් ලැබුනා බ්ලොග් ලිවීමට... ඒ විතරක් නෙවෙයි අපි වගේ උන්ට බ්ලොග් පටන් ගන්නත් ඒක උත්තේජනයක් උනා... 

ඔය බ්ලොග් මැරතන් එකෙන් සිද්ධ වෙන තව දෙයක් තමා තමුන්ගේ බ්ලොග් ලිපි ගාන හිටු කියලා ඉහල යන එක... හරියට තරඟ කලොත් කලින් දවසට වඩා පෝස්ට් 100ක් විතර වැඩියෙන් තමා පහුවදාට බ්ලොග් එක තියෙන්නේ.. ඒත් මං දන්න සමහරු මැරතන් එකෙන් පස්සේ ඒ ලිපි සෑහෙන හරියක් මැකුවා.. මොකද විනාඩි ගාන අතරේ ලියන්න ගියාම දිග පෝස්ට් නැහැ.. වැඩි හර බර ගතියක් ඇත්තෙත් නැහැ... සමහරු කවි ලිව්වා..සමහරු අහලා තියෙන කතන්දර ලිව්වා... ඔය අස්සේ මට මතකයි බිඟුවා හරි කවුරු හරි ජ්‍යොතිෂ කවි පොතකින්ද කොහේදත් කවිය කවිය දාන්න ගත්තා... එහෙම බැළුවම තමන්ගේ බ්ලොග් එක අනවශ්‍ය ලිපි ගොඩකින් පිරිලා යන එක තමා වෙන්නේ.. හැබැයි ඉතිං මොක හකුරත් හකුරක්නේ කියලා හැම පෝස්ට් එකක්ම පෝස්ට් එකක්නේ කියලා හිතලා නොමකා හිටියොත් තමුන්ගේ ලිපි ගාන නිකංම ඉහළට ගිහිල්ලා... ලේසි වැඩක්යෑ ඒකත්... අද ලිපි සීයක් තියෙන කෙනෙක් මේ තරගෙට එකතු උනොත් හෙට පුළුවන් දෙසීයයි කියලා සැමරුමකුත් දාන්ට...

හැබැයි ඔය දේ හින්දම සමහරු තමුන්ගේ ස්ථීර බ්ලොග් එකෙන් නැතිව තාව කාලිකව අටෝ ගත්ත බ්ලොග් වලිනුත් වැඩේ ඇදගෙන ගියා... ඒ කොහොම කලත් ඇත්තටම ඒ කාලේ මේ මැරතන් හරහා බ්ලොග් ලියන කියවන දෙපාර්ශවයටම ලොකු සතුටක් ලැබුනා කියලනං කියන්ට ඕන...

ඒත් දැන් වෙද්දී බ්ලොග් මැරතන් එකක් තිබුන කාලයක් මතක නැහැ... එව්වට මොනවා උනාද කියලා දන්නේ දෙයියෝ තමා... එක අතකින් දැන්නං ඉතිං අමුතුවෙන් උනන්දු කරේ නැතත් ලියන්න කට්ටිය ඕන තරං ඉන්නවා වගේම කියවන්නත් ඉස්සරට වඩා විශාල පිරිසක් ඉන්නවා නෙව...

හදිසියේම මැරතන් එකක් ගැන මතක් උනේ මගේ ලිපි ගාන බලනකොට ඒක නොදැනිම හයසිය පණහත් පන්නගෙන ගිහින් කියලා දැක්ක හින්දා... බ්ලොග් මැරතන් එකක් තිබුනනං දවසින් ඕක හත්සිය පණහා පයිනවා නේද කියලා හිතුන හින්දයි මැරතන් මතක් උනේ... ඒ දවස්වල ආසාවෙන් හිටියට මැරතන් එකක් දුවන්න ඒක කවදාවත් කරන්න උනේ නැහැ නෙව... ඔන්න ඕකයි මැරතන් මතක් වෙන්න හේතුව...