31 October 2012

බඩු බාර ඇමතිට ජල සම්පාදනයත්...

කලින් පෝස්ට් එක දැම්ම වෙලේ කීප දෙනෙක්ම කියලා තිබුනේ මූ හිනාවෙන්ට දන්නේ නැහැ කියලනේ... ඔන්න ඉතිං ඒ හින්දා මයේ රටක් වටින කැකිරි පැලෙන ටිකිරි හිනාව...



දැක්කනේ... ආයේ එහෙම කියන්ට එපා අපි හිනා වෙන්ට දන්නේ නැහැ කියලා... (ඒත් මං වැඩිය කැමති රවං ඉන්ට.. )

හරි එහෙමනං අපි දෙවැනි දවසට යමු... දෙවැනි දවසේ අපේ අරමුණ වෙලා තිබුණේ ලංකාවෙන් දෙවැනියට උසම කන්ද කියලා කියන "කිරිගල් පොත්ත කන්ද"ට බඩ ගාන එක තමා... ඒ සඳහා උදේම යන්ට හිතං හිටියත් ටිකක් පරක්කු උනා... අපේ උන්දලා ඇහැරවලා නාවලා පව්ඩර් දාලා ගන්ට වෙලා යනවනේ.. මංතුමානං ඉතිං උදේම නාලා කරලා වාහනේ තෙල් වතුර එහෙම බලලා අස් පස් කොරං ලෑස්ති උනා.. කොහොම හරි අනිත් අය ලෑස්ති වෙනකල් මමයි සංචාරක ඇමතියි දෙන්නා නුවර එළිය ටවුමට ගොහින් අපිට උවමනා කෑම එහෙමත් ගත්තා... උදේ කෑමට පොල් රොටී... ලුණු මිරිස් එක්ක පරිප්පු වඩේ... දවල්ට පාන්.. පාන් කන්න පරිප්පු හොඳි... ඔය උදේ පාන්දර වෙන දෙයක් ගන්ට හැටියක් නැහැ නෙව... එහෙම අරං තව බිස්කට් එහෙමත් අරං අපි ආයේ එද්දිත් අරුං ටික ලෑස්ති නැහැ.. කොහොම හරි එහෙං මෙහෙං කරලා උන්දලවත් දාගෙන ඔන්න ආයෙමත් යන්ට පිටත් උනා... එහෙම ගොහින් උදෑහනට කොටා බාන්ට කියලා මෙන්න මෙතන නැවතුනා කියමුකෝ...



උදේට වෙන් කරපු රොටී ටික එහෙම කාලා අහවර වෙලා වට පිට බලද්දී මෙන්න බොලේ වාහනේ  යටින් වතුර පාරක් ගලා ගලා යයි... ආයේ ඉතිං අමුතුවෙන් බලන්ට දෙයක් තිබුනේ නැහැ..රේඩියේටරේට දාලා තිබුන කූලන්ට් එකේ කොල පාට අඳුරන්න බැරිවයෑ... බඩුම තමා..ඉක්මනට බොනට්ටුව ඇරලා රේඩියේටරේ ඇරියා.. හුටා..වතුර නැහැනේ... දැන් පැයකට කලියෙන් මංමනේ මේකේ වතුර බැළුවේ... ඒ වෙනකොට කට මට්ටමට අඟලක් විතර අඩු වෙලා තිබුන හින්දා මංමයි ඒ ටික පිරෙන්න වතුරත් දැම්මේ... දැන් මොන යකාට කියන්නද...?

අපි කට්ටිය දැම්මා සාකච්ඡා වටයක්... ඒකත් අර දිය රකුස්ලගේ චව් චව්ලගේ සාකච්ඡාවක් වගේ... රේඩියේටරේට මොකද උනේ කියලා අපි විද්වත් කමිටුවක් හරහා හොයා බලද්දී අපිට හොයාගන්න පුළුවන් උනා මෙයිට කලින් වතාවක වාහනේ වෙන මොකක් හරි රෙපෙයාර් එහෙකට දාපු වෙලාවක ඒ ගරාජ් එකේ මකබාස්තුමා නියනකින් ඇනලා රේඩියේටරේ හිල් කොරලා ආයේ එයාම ඒක හදලා දුන්න වගක්... ඒ වගේම දැනට මාස කිහිපයකට කලිනුත් මේ ආකාරයෙන්ම එක පාරම වතුර නැතිව ගිහින් වාහනේ මග හිටිය බවත් එයින් පසුව නැවත වතුර පිරවූ පසුව කිසිම අවුලක් නැතිව ගිය බවත්... ඒ අනුව අපි අන්තිමේදී තීරණය කලා අපි ළග තිබුන වතුර වලින් රේඩියේටරේ පුරවගෙන ගමන පටන් ගන්න... එන ඕනෑම තත්වයකට මුහුණ දෙන්ට සූදානමින් කස්ටිය දැන් ගමනේ යා...

කොහොම හරි ඕං පට්ටිපොල ඉස්ටේසම පාස් කොරලා ආවා අර පහළ තියෙන දිය පාර ගාවට... දැන් මෙතන වතුරත් තියෙන එකේ වාහනේ නවත්තලා ටිකක් නිවෙන්න ඇරලා ඇරියා රේඩියේටරේ මූඩිය.. හුටා..වතුර අඩු වෙලා.. ඒ කියන්නේ මේ පාර ලෙඩේ හොඳ වෙලා නැහැ...ආයේ පිරෙව්වා වතුර..නැග්ගා කන්ද... ඔය විදියට ටික දුරක් යනවා..වතුර බලනවා.. අඩුව පුරෝනවා... ආයේ යනවා.. එහෙම ගෙහුන් අන්තිමට අපේ කිරිගල් පොත්ත චාරිකාව ආරම්භ කොරනකොට උදේ නවය හමාරත් පහු වෙලා තිබුනේ... අපි බලාපොරොත්තුවෙන් හිටියේ උදේ හත හමාර වෙද්දිවත් මේ ගමන ආරම්භ කොරන්ට උනත් මෙතනදීම අපිට පැය දෙහෙක සුනංගුවක් වෙලා තිබුනා...

කිරිගල් පොත්ත නගින්න තනියම එහෙම යන්න දෙන්නේ නැහැ කියලා දැන ගන්ට ලැබුනා.. ඒකත් හරි.. මොකද ඒක ලේසි ගමනක් නෙවෙයි.. අනික කාත් කවුරුවත් යන්නේ නැති හරිය... හෝට්න් තැන්නේ කාර් පාක් එක පිරෙන්න වාහන එදා තිබුනා උනත් ඒ දවසටම කිරිගල් පොත්ත නැග්ගේ බැස්සේ අපි කට්ටිය විතරයි.. ඉතිං හිතා ගතෑකිනේ ඒ පැත්තට යන්න අනිත් අයගේ උනන්දුවක් නැති වග... ඒ හින්දා පාළු කැලෑ පාරක දුරකථන සංඥාවත් නැතිව හදිසියකදී ආධාරයක් ගන්න කිසිම විදියක් නැතිව තනියම කෙනෙක් යවන එක අවදානං නෙව... ඒ හින්දා පිරිසක් නැතිව මේ ගමනට බහින එක හොඳ දෙයක් නෙවෙයි...අනික මෙන්න මේවා... 


මේ ගෝනකුගේ හෝ වඳුරෙකුගේ කියලා හිතන්න අමාරුයිනේ...නේද..? බල්ලෙක් හෝ බළලෙක් මෙහෙ නැහැ... හැබැයි කොටි පවුලට අයත් සත්තු ඉන්නවා... එහෙම තියෙද්දී තනියම යන එක ගැන තහංචි දැමීම වරදක් කියලා කියන්ට හැටියක් නැහැ...


කිරිගල් පොත්ත කන්ද නගින්න කිලෝ මීටර් හතක් (එව්වත් රබර් කිලෝ මීටර්... ) සහ ආපහු එන්න කිලෝ මීටර් 7ක් වශයෙන් සම්පූර්ණ කිලෝ මීටර් 14ක් ගමන් කරන්න ඕන..(පැය 7ත් 8ත් අතර ගමනක්..) ඒ අතරේදී අතර මඟ කඳු කිහිපයක් නඟින්න බහින්න වගේම..කැලෑ දෙක තුනක් අතරින් යන්නත්... වගුරු වැනි තැනි තලා හරහා යන්නත් තියෙනවා... එරෙන ගතිය ටිකක් අඩු උනත් එක තැනකදී මගේ කකුලත් අඩියකට වඩා එරුනා.. ඒ හින්දා කල්පනාවෙන් බලාගෙන යන්න උවමනා වෙනවා...අනික ලිස්සනවා... දන්න කියන අය කියලා තියෙන්නේ කිරිගල් පොත්ත නැගීමට නුසුදුසුම කාලය ඔක්තෝබර් කියලයි... (ගිහින් ආවට පස්සේ තමා සංචාරක ඇමතිවරිය ඒවා කියන්නේ...) ඒත් අපි ඒ වගක් නොදැන (සංචාරක ඇමතිවරිය හැර) මේ පට්ට කැලෑවක් මැද්දේ වැස්ස කාලේ ගියේ... පාරවල් හැම එකම දිය පාරවල් වෙලා... හැම තැනම ලිස්සන සුළුයි... හැබැයි පුදුම ලස්සනයි... වේලිලා කර උන ගතිය නැති කොල පාටින් පිරුන ගස් කොළං අතරින් ගමන් කිරීම පුදුම සුන්දර අත්දැකීමක්...

                                       
ගමනේ පළමු කිලෝ මීටර් එක හමාර යන්න තියෙන්නේ තැන්නක් හරහා... එහිදී හමුවන ආක්‍රමණික ශාකයක් වන කටු පඳුරු වර්ගයක් නිසා සෑහෙන්න දුකක් විඳින්න වෙනවා... (මගේ කකුලේ ඇඟිල්ලකුත් හිල් වෙලා ගියා... කොහොමත් එදා උදේ බලද්දී මයෙ යටි පතුල පැලිලා ඇවිදින්න බැරි ගානට තිබුනේ... එහෙම ති‍යං යන්න අරං මෙහෙම හිල් උනාම ඌයියානේ අප්පා..) ඒ කිලෝ මීටර් එක හමාරක වගේ දුර ගියාම අපිට හම්බ වෙනවා දිය පහරක්.. ඒක තරමක් පළල් ඇළක්.. (පසුව දැනගත් ආකාරයට ඒ බෙලි හුල් ඔය.."ළු") ඒක තරණය කලාම එතැනින් පාර දෙකට බෙදෙනවා... අපි තෝරාගන්න ඕන දකුණු පසට යොමු උන මාර්ගය... එච්චරයි... එතැනින් එහාට පැරණි මාර්ග සලකුණු ඔස්සේ ගමන ගියෑකි...හැබැයි සමහර තැන්වලදී මාර්ගයක සලකුණක්වත් නැති තැනුත් පේනවා.. ඒත් ටිකක් හෝදිසි කලාම පාර පාද ගතෑකි...






ආන්න එහෙම බොහෝම අමාරුවෙන් අපි ගමන් කොලා...පැයක්.. දෙකක්.. දෙක හමාරක්... මේ අතරේ ඈතින් අපිට කන්ද පෙනිලා ආයේ නොපෙනී යනවා... හිතන තරං ළඟ ඇති කන්දක්නං නෙවෙයි... ඒත් කොහොම හරි යන්ට එපෑ... මේ වෙද්දී අපේ සංස්කෘතික ඇමති තුමා හොඳටම ඥාව් වෙලා හිටියේ... පූස් හා පූසී ඇමතිවරියනං ඔහේ මල් කඩ කඩ බර උස්සගෙන එනවා... (උන්නේ බඩු බාර ඇමතිවරු) මට ඒ හැටි බරක් උස්සං යන්න තිබුනේ නැහැ... කොහොමටත් දැනට අවුරුදු බර ගානකට කලියෙන් හමුදා පුහුණු කාලේ වෙච්ච අනතුරක් හින්දා මයේ වම් දණ හිසට කෙල වෙලා තිබුණ හින්දා වැඩි බරක් අරං යෑම මට කරන්න අමාරුයි කියලා දන්න හින්දා වැඩි කැටයං නොදා මම ගියා.. අපේ සංචාරක ඇමතිවරිය එයාට අදාල එකම දේ වෙච්ච සංචාරය කිරීම වෙනුවෙන් විතරක් කැප වෙලා අත පය වන වන ඔහේ ගියා... ඉතිං අනිත් තුන් දෙනාට වඩා අපි දෙන්නට ගමනේ පහසුවක් තිබුනා... ඒ මහන්සිය හින්දා පැය දෙක හමාරකට පමණ පස්සේ සංස්කෘතික ඇමතිවරයා හා පූස් ඇමති ජෝඩුව  හාංචිපයිස් ගහන තත්වයට ඇවිත් තිබුනේ... ඒ හින්දා උන් තුන් දෙනාව තරමක් ඉඩ කඩ ඇති තැනක නවතින්න ඇරලා අපි දෙන්නා විතරක් තව ඉස්සරහට යන්ට තීරණය කලා... ඒත් කොහොම උනත් දවල් 12.30 වෙද්දී ආපහු හැරිලා එනවා කියන පොරොන්දුව උඩ...




එහෙම අපි තව ඉස්සරහට ගියා... අවසානෙදී අපිට ඔන්න කිරිගල් පොත්ත කන්ද පාමුලට එන්ට ලැබුනා... හැබැයි ඒ වෙද්දිත් 12.30 යි.. හරිනං අපි ආපහු හැරෙන්ට ඕනෑ උනත් කන්ද පෙනි පෙනී නිකංම එන්න මොකක්ද වගේ හින්දා ටිකක් හරි නැගලා එමු කියලා තීරණය කරලා කන්ද උඩට දුවන්න තියා ගත්තා... කොහොමින් කොහොම හරි කිරිගල් පොත්ත කන්ද  මුදුන පෙනෙන නොපෙනෙන සීමාවේදී පරිසර තත්වයත් සෑහෙන්න වෙනස් වෙලා වැස්ස මෝදු වෙන්ට වගේ ලෑස්ති උනා... එතකොට වෙලාව 1ට කිට්ටුයි.. වැඩි කතාවක් නැතිවම අපි තීරණය කලා ආපහු යමු කියලා.. කලින් දවසේත් රෑ වෙලා පාර හොයාගෙන යන අමාරුව දැනං හිටිය හින්දත්.. වැස්සේ අර ආපු පාරවල්වල යන්න තියා හිතන්නවත් බැරි වග තේරුම් අරං හිටිය හින්දත්.. ඒ ඔක‍්කෝටමත් වඩා අබලන්ව ඇති වාහනයකින් තද බෑවුම් පාරක කිලෝ මීටර් විසි පහකට වැඩිය දුරක් ගෙවාගෙන නුවර එළියට යන්න තියෙනවා කියන මතකයත් එක්ක අපිට අවදානම් තීරණයක් ගන්න පුළුවන්කමක් තිබුනේ නැහැ... ඒ හින්දා තව උපරිම පැය කාලක..විනාඩි විස්සක  විතර ගමනක් තිබියදී අපි ආපහු හැරුනා... දෙන්නම නොකිව්වට දෙන්නටම බොහෝම හිතට අමාරුයි... ඒත් මොනවා කරන්නද.. හැරුන පරක්කුවට ආපහු දුවලා ආවා අනිත් සගයෝ තුන් දෙනා දාලා ගිය තැනට.. ඒ වෙනකොටත් උන්දලා බය වෙලා...

කොහොම හරි එතනට ඇවිත් බිස්කට් එකක් කාලා වතුර ටිකක් බීලා අපි ආයෙම එන්න පිටත් උනා... අර කලින් පාරෙම... හැබැයි ගියාට වඩා පොඩි පහසුවක් එද්දී තිබුනා.. මං හිතන්නේ ඒ වෙද්දී අපිට පාරවල් හුරු හින්දා වෙන්න ඇති... ගමනත් ටිකක් වේගවත්... අවසානෙදී අර කලින් කියාපු බෙලිහුල් ඔය ගාවට ආවම තමා කට්ටියටම හිතට සැහැල්ලුවක් දැනුනේ... එතැනට ඇවිත් ආපහු හැරිලා බලද්දී අපි පහුකරං ආව කඳු යායටම වැස්ස වැටෙන හැටි පේන්න තිබුණා... ඒත් අපි හිටිය හරියට හොඳට අවුව පායලා... ඒ  වෙද්දී හවස දෙක හමාරත් පහුවෙලා හින්දා උදේ ගෙනාව පාන් කාලම යන්න හිතුවා.. මලා.. පාන් අවුලක් නැහැ..පරිප්පු නරක් වෙලා... මොනවා කරන්නද... ඉතිරි බිස්කට් ටික කාලා වතුර බීලා... ගෙනිච්ච තේ වතුර ටික බෙදා හදාගෙන බීලා එන්ට ආවා... 

මේ ගමනේදී අපි තීරණය කල දේ තමා වැඩි බඩු ගෙන යෑම අනවශ්‍යයි... එක් අයකු සඳහා වතුර ලීටර් බාගයක පමණ වතුර බෝතලයකුත් මාළු පාන් දෙකක් වැනි කෙටි කෑමක් හෝ කුඩා ක්‍රීම් ක්‍රැකර් එකක් ගෙනිච්චත් ඇති කියන එක... එයිට එහා කිසිම දෙයක් නැතිව යන තරමට ගමන සැහැල්ලුයි..වේගවත්... අනික රබර් සෙරෙප්පු... ආසාවටවත් කූඩැල්ලෙක්නං හිටියේ නැහැ... සපත්තු දාං ගිහිං අර ගොහොරු වලින් යන්න ගියාම කරදරයි...කැමරාව ආරක්ෂා කර ගන්න උවමනා සීල් කල හැකි ඉටි බෑගයක් වැනි දෙයක් ගෙනියන්න ඒ ඇති... අපිනං ටිකක් තෙමුනට මොකද.. වහින්නේ වතුර මිස ඇසිඩ්යෑ...?

කොහොම හරි එහෙම ඇවිත් වාහනේට ආයේම වතුර දාං එන්න පිටත් වෙලා කිලෝ මීටර් දෙකක්වත් යන්න උනේ නැහැ පටන් ගත්තා හෝට්න් තැන්නටත් මහ වරුසාව... වැහි බිංදු නෙවෙයි පොල් ගෙඩි... අපි තව විනාඩි දහයක් පරක්කු උනානං අපිට එදා අත් වෙන්න තිබුනේ අන්ත දුක්ඛිත තත්වයක්...

කොහොම හරි වැස්සෙම ඇවිත් මම වාහනේ එක තැනක අයිනට කලා කට්ටියයට එතැනින් පේන ලස්සන තැනක් පොටෝ ගන්න කියලා... ඒ පොටෝ අරං ආයේ යන්න ගත්තා විතරයි..මගේ ඇගේ වතුර..අහ් නැහැ ලේ... වතුර උනා...

කාර් එකේ බ්රේක් නැහැ... අපි හිටියේ ලොකු පල්ලමක... බ්රේක් පැඩ්ල් එක පැගුවට ඒක ගල් ගෙඩියක් වගේ... කාර් එක ඇදිලා යනවා පල්ලමට... කාර් එක පාර මැද්දට කපන ගමන් මං හෑන්ඩ් බ්රේක් එකේ එල්ලුනා... යන්තං ඒ පාර වාහනේ හිටියා... ඇන්ජිමේ හීට් එක නප්පියට නැගලා... එහෙමම පාර මැදම ඇන්ජිම නිවා දාලා කුඩ ඉහළං ආයේම වතුර දාලා ඇන්ජිම නිවාගෙන එන්න පිටත් උනේ ටික වෙලාවක් ඉඳලා.. එතැන් පටන් සෑම කිලෝ මීටර් හත අටකට සැරයක්ම වාහනේ නවත්තලා රේඩියේටරේ ඇරලා වතුර පුරෝ පුරෝ යාන්තං නුවර එළියට ආවා... නුවර එලීයේදී වාහනේ ගරාජයකට දමනවාද යන ගැටළුව ආවත් ඒකට මගේ කැමැත්තක් තිබුනේ නැහැ... හෙට දවල් වෙද්දී අපි ආපහු කොඹළ යන්න උවමනායි... අද මේක ගැලෙව්වොත් හෙට නෙවෙයි සතියකටවත් යන්නනං වෙන්නේ නැහැ... අනික කොළඹට කිට්ටු වෙන්න වගේ නෙවෙයි දුර ගියාම මං හොඳටම දන්නවා ගරාජ්වල ඉන්න උදවියගේ තාක්ෂණික දැනුම කාලයත් එක්ක අප්ඩේට් වෙලා නැහැ... ඔය දේවල් හින්දා මම පූස් ඇමතිවරයා එක්ක සාකච්ඡා කරලා දිගටම වතුර දදා එමු කියන තීරණයට ආවා..



අපරාදේ කියන්න බැහැ පූස් ඇමතිවරයා දිගින් දිගටම වතුර සප්ලයි කරමින් වාහනේ කොළඹට ගේන්න උදව් උනා..(අන්න එහෙමයි ඌ බඩු බාර ඇමති කමෙන් ජල සම්පාදන ඇමති බවට හැරඋනේ..) ඒ පහුවදා.. ඒ කියන්නේ 27 වෙනිදා උදේ... කොහොම හරි ඒ විදියට එද්දී කෑගල්ල හරියට එද්දී අපි දහ පාලොස් වතාවක් රේඩියේටරේට වතුර පුරෝලා තිබුනා... හැබැයි කෑගල්ල පහු වෙද්දී වතුර ලීක් වෙන එක නැවතුනා... මොකද උනේ කියලා හිතාගන්න බැරි තරමට පුදුමයි... අපිට දුක දෙන්නම හැදුන ලෙඩක්ද කොහේද...?

ඒත් මෙහෙම වාහනේ යවන එක හරි නැති හින්දා කස්ටියව මං කඩවතට ආවට පස්සේ බස් එහෙකට නග්ගවලා මං වාහනේ අරං අපේ ගෙදර ගියා... කඩවත ඉඳන් ඩිංග දුරනේ.. එයිට කලින් මං මල්ලිට කතා කරලා මේක ගලවන්න කටයුතු යොදා ගත්තා... අපරාදේ කියන්න බැහැ ඒකගේ උදව් ඇතිව වාහනේ ළග ගරාජයක නවත්තගෙන ගලෝලා රේඩියේටරේ අරං ගෙහුන් ලීක් එක වහලා ගෙනල්ලා ආයෙම හයි කොර ගන්න ඇහැකි උනා..ඕක නුවර එළියේදී කරන්න ගියානං දවස් දෙකක්වත් ගන්නවා... ඒ වෙද්දී රෑ හතට විතර ඇති... අන්තිමට මං ගෙදර ගියේ බාගෙට මැරිලා... වෙනදනං ගමනක් ගිහින් ආව ගමන් කෙලින්ම නාලා කාලා ඇදටනේ... මේ පාර ගමන් මහන්සියත් එක්කම ගරාජ් එහෙක... පහුවදා උදේ වෙද්දී මට හොඳටම උණ...

ඔන්න ගමනේ අවසානය සෝචනීය වෙච්ච හැටි... ඒත් අපි ආයෙත් ළගදීම යනවා අර බැරි වෙච්ච ඉතිරි ටික සම්පූර්ණ කොරන්න... එහෙම නැති උනොත් තමා වැඩේ හුඟක්ම සෝචනීය වෙන්නේ...හා නැද්ද හා..?

මේ පාරනං වැඩිය පින්තූර අප් ලෝඩ් කරන්න හැටියක් නැහැ.. මේ වෙද්දී මට ඩයලොග් මාමලා මාසෙකට දෙන 3GB ඩේටා ප්‍රමාණය අහවර වෙලා තියෙන්නේ... මේ ටික ලියලා පබ්ලිශ් කරගන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනවා.. ඒ හින්දා මං දෙන්නං ඔයාලට ලින්ක් එකක්... එතැනින් පුළුවන් මගේ මූණු පොතේ ඇති මේ ගමනේ ඇල්බම් එක බලන්න...


30 October 2012

අවසානය සෝචනීය වූ මාරයාගේ නුවර එළි චාරිකාව...

මේ පහු ගිය විසි පස් වැනිදා..ඔව් ඒ කියන්නේ ගිය බුරහස්පතින්දා ඔන්න ආයෙම වංගියක් මං රට තොට බලන්ට ගියා... මෙදා පාරනං තනියම එහෙම නෙවෙයි ගියේ තව සගයෝ සහ සගිච්චියෝ හතර දෙනෙකුත් එක්කලා... ඒ කියන්නේ අපි ඔක්කෝම පස් දෙනයි... පස් දෙනෙක් ඉතිං බයිසිමොටෝ එකේ යන්ටයෑ.. ඒ හින්දා කාර් පොඩ්ඩක තමා ගමන යන්ට සූජානං උනේ... 

කොහොම හරි ගමන පිළිබඳ අමාත්‍ය ධූර ප්‍රධානය කිරීමේදී මට හම්බ උනේ ආහාර හා පෝෂණය පිළිබඳ අමාත්‍ය ධුරය.. ඒත් අවසානෙදී ගමනාගමන ඇමති කමත් මට බෝනස් එකක් හැටියට ලැබුනා... සංචාරක අමාත්‍ය ධූරය දරපු කෙනානං කලේ කාර් එකේ වාඩි වෙලා යන ගමන් මට වංගු කෙලින් කරන හැටියි බ්රේක් ගහන හැටියි පිලිබඳව දිගින් දිගට උපදෙස් දීමම තමා.. කොටින්ම මං ඩැයිබර් සීට් එකේ වාඩි වෙලා උන්නට මොකද ඇක්ස්ලේටරෙයි බ්රේක් එකයි සුක්කානමයි තිබුනේ සංචාරක අමාත්‍ය වරිය අතේ තමා... පොඩ්ඩ බැරි වෙනකොට රැවුම් ගෙරවුම් සහ ඇනුං බැනුං මැද මං මගේ ගමනාගමන අමාත්‍ය ධුරය හොබවං ගියා... මොනවා කරන්නද විධායක බලතල තියෙන අය යටතේ ඇමතිකං කරන්න ගියාම ඔහොම තමා...

අපේ ගමන යෙදිලා තිබුනේ කොඹළින් ආරම්භ වෙලා නිස්ටඹුව/ඌරාපොල/රුවන් වැල්ල/කරවනැල්ල/ගිනිගත්හේන/හැටන් හරහා නුවරඑළියට... කොඹළින් පිටත් උන තුන් දෙනා මහරින් අපේ හතර වැනි සඟයවත් වාහනේට දමං කෙලින්ම ආවේ නිස්ටඹුවට.. ඒ ඉතිං ගරු ආහාර ඇමති මංතුමාව දක්කං යන්ට.. ඒත් පින්වතුනි කියන්න කණගාටුයි... ආව ගමන්ම මංතුමාගේ උදහසට අර හතර දෙනාම ලක් උනා.. ඒකටත් එක්තරා හේතුවක් තිබුනා.. ඒ තමා සන්නිවේදනයේ දුර්වලතාවය..

ඒ කියන්නේ මං කලින් දවසේ මෙවුන්දලට කියලා තිබුනා "තොපි කොළඹින් පිටත් වෙද්දිම මට කෝල් එකක් දියවු" කියලා.. ඒත් ඇත්ත වශයෙන්ම කියනවනං මට එහෙම කෝල් එකක් ආවේ නැහැ... අන්තිමට මෙයාලා පරක්කු මොකද කියලා බලන්න මං කෝල් එකක් දෙද්දී මෙන්න මෙයාලා නිස්ටඹුවට කිට්ටු කරලා... මට යක්ෂයා ආරූඬ වෙන්නේ නැද්ද පින්වතුනි...

ඔහෙලම හිතලා බලන්ට ගරු ආහාර ඇමති වශයෙන් මං මගේම ප්ලෑනකට අනුව වැඩ කරගෙන ගියේ... එදා උදේ කෑමට මං දෙන්ට තීරණය කරලා තිබුනේ පාන්... පාන් කිව්වට නිකං පාන් නෙවෙයි රෝස් පාන්... ඉතිං රෝස් පාන් නිකං ගිල්ලවන්ට ඇහැකියෑ.. ඒ හින්දා මං රෝස් පාන් කන්ට හැදුවා හාල් මැස්සන් හොද්දක්... ඒකටම අල ගෙඩි දෙහෙකුත් කපා දාලා තක්කාලිත් යහමින් දාලා හොඳට හොඳ්ද තියලා ඉවුවා... එහෙම උයලා කලින් මං ගෙනාව ග්‍රොසරි බෑග් වලට මේව්වා දාලා කටවල් ගැට ගැහුවා..ඕකේ අමාරුම වැඩේ හොඳි පැකට් පහම එක සමාන වෙන්න බෙදන එකනේ.. මං ඒකත් කොහොම හරි කොලා...

එයින් පස්සේ දවාලට කෑම පාර්සල් පහක් බඳින්න ඕන... ඒකට මං කලින් දවසේ රෑම ඕන කරන දේවල් සූදානං කරලා මාළු වෑංජනේ එහෙම හදලම තිබ්බා... මගේ අදහස තිබුනේ සම්බා බතට තලපත් මාළු මිරිසට හදලා..අලයි බෝංචියි ටිකක් කිරට උයලා හින්දවලා... මුගුණු වැන්න මැල්ලුමක් හදලා බිත්තර තම්බලා... බත් එක බඳින්ට... ඒත් මගේ මෙනු එක කියවං යද්දී ඒක අහපු සංචාරක ඇමතිවරිය ටිකක් විතර නාහෙන් අඩන ගතියක් පේන්ට තිබුන හින්දා උදේම මං තව පරිප්පු ටිකකුත් උයන්ට තියා ගත්තා මෙයාලා පරක්කු වෙයි කියලා හිතලා... 

ඒත් මෙන්න මං බත් ටික බෙදලා බිත්තර සුද්ද කර කර ඉද්දිම කට්ටිය ඇවිත් දොරට ගහනවා... තද වෙන්නේ නැද්ද ආයිබෝං... මගේ කේන්ති කට්ට උපරිම අංශක ගානට නැග්ගා... මං නෙවෙයි ඇරියේ දොර.. හිටපියවු තොපි එළියෙම කියලා මං තව බිත්තරේක කට්ට අහක් කරන්න ගත්තා... ඒත් අන්තිමට මට හිතුනා දැන් ඉතිං ආව උන්ගෙන් වැඩ ගත්තනං හරි.. මං තව නාගන්නත් එපෑ කියලා.. එහෙම හිතලා ඔන්න දොර ඇරියා...අපරාදේ කියන්ට බැහැ ඕං මට තද වෙලා කියලා දැන ගත්ත සංචාරක ඇමතිතුමිය ස්වකැමැත්තෙන්ම බිත්තර ටික සුද්ධ කරන්න බාර ගත්තා... එතුමිය කොහොමටත් ඔය ඉවුං පිහුං අංසෙට පුදුම කැමැත්තක් තියෙන කෙනෙක් නෙව...

අනිත් ඇමතිවරු.. ඒ කියන්නේ ප්‍රවාහන (බඩු භාර) ඇමති වරයා උන ගරු පූසා මැතිතුමා සහ උන්දැගේ වෙන්න ඇඹේණීය වෙච්ච විනෝද කටයුතු පිළීබඳ ගරු ඇමතිවරිය උන හොර පූසි මැතිතුමියත්... සංස්කෘතික හා සදාචාරය පිළීබඳව ඇමතිවරයා (ඌ තමා පූසා මැතිතුමා සහ පූසී ඇමතිතුමිය සදාචාරයට හානි වෙන අන්දමින් හැසිරීම පාලනය කිරීමට පත් කල ඇමතියා..) වූ ගරු ඉබ්බා ඇමතිතුමා යන තුන් කට්ටුව මාත් එක්ක කතා නොකර මාරුව  දාලා හිටියා... (උන් දැන් දන්නවා මට මූලග්ගින්න කියලා... ටිකක් හිටියම හරියනවා කියලත් දන්නවද කොහේද... ඒ හින්දා ටික වෙලාවකින් වලියක් නැතිව වැඩේ ෂේප් උනා...) කොහොම හරි මං නාගෙන ඇවිත් බත් පාර්සල් ටිකත් අනිත් අය එක්ක එකතු වෙලා බැඳලා අහවර කරලා ඔන්න ගමන යන්ට පිටත් උනා...

එහෙම ගෙහුන් ඔන්න අපි නිස්ටඹුව කිඳීරිවැල මාර්ගයේ ගමන් කොරලා ඌරා පොල හන්දියෙන් වමට දාලා ගියා රුවන් වැල්ල පාරේ... මේ පාර බොහෝම ලස්සනයි.. මං බොහෝම ප්‍රිය මනාප පාරක්... ඉස්සර අපි ගමේ ඉද්දිත් ඉඳ හිට මේ පාරේ එනවා.. ඒ වෙන එහෙකට නෙවෙයි රුවන් වැල්ලට මෙහා තියෙන "ගෝනගල් දෙණිය" ඔයෙන් නාන්ට... ඒක හරි අපූරු තැන... ඉතිං මේ පාරේ ගොහින් ටිකක් වෙලා යද්දී කස්ටියටම සුදහගින්දර ආව හින්දා උදේට කන්ට අපූරු තැනක නැවැත්තුවා... එතන පාරේ ඉඩ ඇති තැනක වාහනේ නවත්තලා කෑම මළු ටිකත් අරං පාර අයිනේ තිබුණ ඇලපාර මැද ඇති ගල් තලාවට ගොඩ වෙලා සීරු මාරුවට හොඳි පාර්සල් දිග ඇරගෙන ගෙනාව රෝස් පාන් ටික ගිලලා.. ඉබ්බා මහත්මාගේ මෑණීයන් විසින් යහමින් ඉඟුරු එහෙම දාලා හදලා තිබුන තේ කහටත් සංචාරක ඇමතිතුමිය විසින් ගෙනාව කිරි තේත් බෙදා හදාගෙන බිව්වා... 
   






එයින් පස්සේ ආයේම පාර තොටේ සිරි නරඹමින් අපි ඉදිරියට ඇදුනා... කාර් එකේ පිටිපස්සේ ආසනවලින්  වරින් වර එක එක සද්ද ඇහෙන හින්දා ටිකක් හැරිලා බැළුවම පේන්න තිබුනේ ගරු සංස්කෘතික ඇමතිතුමා සදාචාරය රකින්න ගන්නා අනඟි උත්සහය.. අපරාදේ කියන්න බැහැ ඇමතිතුමා කොච්චර හොඳට වැඩේ කලාද කිව්වොත් පූස් ඇමතියාට පූසී ඇමතිවරියගේ අතින්වත් අල්ලන්න ඌ නෙවෙයි ඉඩ තිබ්බේ.. (ඒ වෙනුවට ඌ පූසි ඇමති වරියගේ අතින් අල්ලං ගියා කියලයි හරියටම සිද්ධිය දැකපු සංචාරක ඇමතිවරියනං කිව්වේ.. අනේ මංදා ඔව්වා..) කොහොම හරි ඔය වගේ සංසිද්ධි මැද අපි තව දුරටත් ඉදිරියට ගමන් කලා... ඒ කියන්නේ රුවන් වැල්ල නගරයෙන් දකුණු පසට හැරිලා කිලෝ මීටර් තුනක් විතර ගොහින් කරවනැල්ල නගරයටත්..එතැනින් වම් පසට හැරිලා ගිනිගත්හේන පාර දිගේ හැටන් බලාත් ගියා... හැටන්වලට යනකල් පාරනං කිසි කරදරයක් නැහැ..වාහනත් අඩුයි බොහෝම සුවපහසුවට අපි ගමනේ ආරම්භයේ සිට හැටන් දක්වාම ආවා..

ඒත් හැටන් වලදි අපිට කෙල උනා පින්වතුනි... ඇත්තම කිව්වොත් අපි හැටන් නගරයට යා යුතුව තිබුනේ නැහැ..නඟරයට තරමක් මෙහායින් තමා අපි වම් පසට හැරෙන්න තිබුනේ.. ඒත් හැරෙන තැන හොයාගන්න බැරිව අපි ගියා කියහංකෝ හැටන් ටවුමත් පාස් කොරලා කිලෝ මීටර් දෙක තුනක්... ඒත් ටිකක් යද්දී පාර වැරදුනා කියලා තේරුන හින්දා ආයේ හොයලා බලලා ආපහු හැරිලා ආවා... ආයෙමත් හැටන් නගරය පාස් කොරලා ආව පාර දිගේම එද්දි මෙන්න තියෙනවා හැරෙන තැන.. හප්පා එතැන අළුතින් පාර කාපට් කොරනවා... හැරෙන තැන කියලා මලාට හොයන්න බැහැ..ආව පාරම දෙකට බෙදිලා වගේ නෙව... බොහෝම අමාරුවෙන් යන්තං ඒ පාරට දාගත්තා.. එතැන ඉඳලනං තත්වය සෝචනීයයි... එක දිගටම පාර අබලන්... හැම තැනම අළුතින් පාර පළල් කරලා හදන්න කඩාගෙන... මොනවා උනත් මට මහින්ද අයියට බයින්න හැටියක් නැහැනේ දෙයියනේ... මෙව්වා හදපුවාම අපිටමනේ ඒවා උඩින් කරදරයක් නැතිව යන්න ඇහැකි... ඒත් අනිත් ඇමතිවරු හතරදෙනා මහින්ද අයියට එව්වා මෙව්වා කියනවා... මං දන්නවා උන් මේ කතා කියන්නේ මහින්ද අයියට නෙවෙයි මට කියලා... මං නෙවෙයි මීක් කිව්වේ... සද්දේ වහලා ඔහේ හිටියා... මොනවා කරන්නද..?



කොහොම හරි ඔය අතරේ අපි ලංකාවේ තියෙන සුන්දරම දිය ඇළි දෙහෙකුත් බලා කියා ගත්තා... එකක් ඩෙවෝන් ඇල්ල.. අනික සෙන්ට් ක්ලෙයාර් ඇල්ල... (සුද්දන්ගේ නං වලට මේවා ගිය එකනං මට කාලා ඉවසන්ට අමාරුයි ඕං... ඒ හින්දා මට ඇහැකි උන දවසක ඔය ඇලිවලට සිංහල නං දාන්ටත් මං හිතා ගත්තා...)


එයින් පස්සේ අපි නුවර එළිය නගරයට ආසන්න වෙනකොට වෙලාව හවස දෙකට කිස්ටුයි... ඒත් අපි කෙලින්ම නුවර එළී නොයා මීපිළිපාන හරහා අඹේවෙල ..පට්ටිපොළ හරහා කෙලින්ම හෝට්න් තැන්නට ගමන් කොලා... ඒ හෝට්න් තැන්නේ ඇති ලෝකාන්තය ආදී සුන්දර තැන් බලා කියා ගන්ට හිතාගෙන... 



අඹේවෙලදී පාර අයිනේ නවත්තපු අපි ‍කාල වේලාව මදි හින්දා වාහනේ තියාගෙනම දවල් බතත් කොටා බෑවා... එහෙම කොරලත් අන්තිමේදී අපි හෝට්න් තැන්නට ඇතුළු වෙද්දී වෙලාව හවස තුන හමාර විතර උනා නෙව...


 ඒ  පොරමාදේ හින්දා අපිට සිද්ධ වෙච්ච දුක්ම සීන් එක තමා පුංචි ලෝකාන්තය සහ ලෝකාන්තය දෙක හොඳින් නැරමුවට බේකර්ස් ඇල්ල ගාවට යද්දී රෑ උන එක... හැබැයි අපරාදේ කියන්ට බැහැ ලෝකාන්තය හා පුංචි ලෝකාන්තය කියන තැන් දෙකමනං හිතේ හැටියට ඇති පදමට බලා කියා ගන්ට හැකියාවනං ලැබුනා.. ඒ වෙන එකක් හින්දා නෙවෙයි එදා සතියේ දවසක් හින්දා කට්ටිය කවුරුවත් හිටියේ නැති හින්දා...




 ඒ තැන් දෙකේදිම අපිට කාගෙන්වත් අවහිරයක් නැතිව සිරි නරඹන්න වගේම පින්තූර ගන්නත් හැකියාව උදා උනා... එයින් මෙයින් අපි බේකර්ස් ඇල්ලට යද්දී ඉර බැහැලා ගියා අපිව දාලා... මෙන්න මෙහෙම...

එතැන ඉඳන් තිබුනේ අන්ධකාරේ ගමනක්... අපි සතුව විදුලි පන්දං දෙකක් තිබුනා උනත් ඒවා වාහනේ දාලා ඇවිත්නේ තිබුනේ..කවුදෑ හිතුවේ මෙහෙම වෙයි කියලා.. අන්තිමට පාරක් තොටක් නොපෙනී දිය පාරවල් ඔස්සේ කලුවරේම පාර වෙන්න ඇති කියලා හිතං ඔහේ හිතේ හෝදිසියට ආවා... ටික වෙලාවක් යද්දි යාන්තමට හඳ එළියත් වැටුන හින්දා පොඩි පහසුවක් උනා... ඒත් අවසානෙදී යාන්තමට ඈතින් එළියක් පෙනුනම අපිට පාර වැරදිලා නැහැ කියලා දැනුනා.. කොහොමින් හරි රෑ හතත් පහුවෙලයි අපිට අපේ වාහනේ ගාවට එන්ට උනේ...‍අපේ පැතිවලට වගේ නෙවෙයි ඒ හරියට හවස පහ මාර වෙද්දිම කලුවරයි... හත වෙනකොට කලුවර වගේම හොඳ තරමට හීතලත් පැතිරිලා... අපි ඒ කලුවරේම හීතල විඳගෙන නුවරඑළියට එන්න ගත්තා.. ඒ අපේ නවාතැන් පොල හොයාගෙන... නවාතැන හොයාගන්න කෑව කට්ට ගැන කියන්න වදන් නැත.. රෑ අට හමාර නවය වෙද්දී නුවර එළීයේ පාරක බල්ලෙක්වත් නොමැත... පාර අහන්නට මංමුලා වූ සමනළියන්ද නැත... දුක්ඛිතය... අවසානයේ රාත්‍රී නවයත් පහු උනාට පස්සේ දහ අතේ රවුං ගහලා තැන හොයා ගත්තා... ඒත් ඒ කාපු කට්ට හොඳා කියලා හිතුනේ පහුවදා උදේ තමා...

24 October 2012

සීගිරියට හෙන... රාවණාට ඉඩ... රහස මෙන්න...

මේක දැකපු ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් "හයියෝ මේ මොන අපරාදයක්ද?" කියලා... සීගිරියට හෙන වැදුනා කිව්වම ඒක ලේසි වැඩක්යෑ... අනික ඒ හෙනය පාත් වීමෙන් ආරංචියේ හැටියට එක සිංහ පාදයකට බරපතල හානියක් වෙලා තියෙනවා... ඕනනං බලන්නකෝ මං මේ ගොසිප් සයිට් එහෙකින් අමු අමුවේ උස්සපු පින්තූරේ...




පේනවා නේද..? උන්දලා කියන හැටියට අඩි අටක් උසට..අඩි හයක් පළලට මේ කඩා වැටීම සිද්ධ වෙලා තියෙනවා... එහෙම ගත්තාම මේක බරපතල හානියක්... ඒත්...

ඇයි මං ඒත් කියලා නැවැත්තුවේ... ඒ කියන්නේ මේක හානියක් හැටියට මම දකින්නේ නැති හින්දයි... 

"දෙයියනේ හෙනම ගහපං මේ මාරයට.."

"මූට පිස්සුද යකෝ මෙච්චර හරියක් උනාම හානියක් නැහැ කියලා කියන්නේ.."

"හෙන වදින්න ඕන එකා හිටියදී වෙන තැනකටනේ හෙනේ වැදිලා තියෙන්නේ.."

"මූට අමු කැවිලද යකෝ මේ හෙන ගහන කතා කියන්නේ.."

දැන් තමුන්නාන්සේලා එහෙම නේද කියන්නේ..

හා හා කලබල වෙන්ට එපාලා ආයිබෝං... එහෙම එක පාරට කට ඉස්සර කොර ගන්ට එපා...
ඔය කොයි කොයි දේත් කියන්ට කලියෙන් මේකේ ඇති හොඳ පැත්ත ගැනත් අපි කල්පනා කොරන්ට එපෑ.. අර කවුදත් කියලා තියෙන්නේ ඕනෑම දේක දෙපැත්තක් ඇත කියලා... දැන් අපි මෙතැනදිත් මේකේ අනිත් පැත්ත මතු කරගන්ට ඕන... ඒත් මං දන්නවා ඔහෙලට ඉතිං මට වගේ විශිෂ්ඨ මෙව්වා එකක් නැහැ කියලා එහෙම පැත්තක් මතු කොරගන්ට.. මේ හැකියාව තියෙන්නේ මේ මං වගේ තව හෙළුව වනන කිහිප දෙනෙකුට විතරයි... එක අතකින් ඔහේලා දුක් වෙන්ට ඕන එහෙම මෙව්වා එකක් ඔහේලට නැති එක ගැන.. අනිත් පැත්තෙන් ඔහේලා සතුටු වෙන්ට ඕන එහෙම එකක් නැති වීම ගැන...

ඇහ්.. ඒ මොකටද සතුටු වෙන්නේ කියලා ඇහුවා..? 

ඇයි මල වදේ මං කලිනුත් කිව්වේ ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියලා.. ඉතිං මේකටත් එහෙමම තමා.. අර මට තියෙන මෙව්වා එක තමුන්නාන්සේලාට නැති වීම ගැන දුක් වෙනවා වගේම ඒකේ අනිත් පැත්ත එැටියට සලකලා සතුටු වෙන්ට ඕන නැද්ද.. පැහැදිලියිනේ... අන්න මගේ විශිෂ්ඨ මෙව්වා එක පැහැදිලි වෙන තවත් අපූරු උදාහරණයක්...

හරි දැන් අපි මේ සීගිරියට හෙන වැදුන එකේ නරක පැත්ත අතෑරලා ඒකේ හොඳ පැත්ත මතු කර ගමු... හැබැයි රජෝ..ඒක මේ හිතන තරං ලේසි නැහැ... සෑහෙන්න අත පය කැක්කුම හැදෙන වැඩක්...

දැන් කට්ටිය අහයි නේද ඒ කොහොමද අත පය රිදෙන්නේ කියලා... ඒක වෙන්නේ මෙහෙමනේ ... දැන් අපිට තියෙනවා ලොකු වැඩක්.. ඒ කියන්නේ අර පෙරලිලා තියෙන ගල් ගොඩයි.. පස් ගොඩයි අහක් කොරන්න ඕන.. ඒ විතරක්ද ඔය පෑදිලා තියෙන කට හරහා ගල් ඉනි.. උදළු කටු එහෙම පාවිච්චි කොරලා හාරන්ට ඕන ලොකු උමඟක්... ඉතිං ඒක අත පය කැක්කුං අල්ලන වැඩක් නෙවෙයිද හා..?

හරි ඊ ළඟ ප්‍රශ්නය...

"මොන ලබ්බටද අපි ඔතන උමඟක් හාරන්නේ...?"

කල බල වෙන්ට එපා ඒකටත් මං දෙන්නං උත්තරේ...

ඔහේලා මේ අන්තර් ජාලේ පාවිච්චි කොරන අයනං මේ වෙනකොටත් දන්නවා ඇති සීගිරිය ගැන මේ අන්තර් ජාලේ එහෙ මෙහෙ ගිය ලිපි ලේකන ගැන එහෙම.. ඒ අතරින් අර අපේ මහා විද්වත් "සූරිය ගුණසේකර" උන්නැහේ එහෙම මුල් වෙලා හෙළි දරවු කොරපු අර සීගිරිය අවට ගම්මානෙක හිටිය වයසක ආතාගේ කතාව...

දැකලා නැත්තං මෙන්න මේක බලන්නකෝ...


හරි දැන් පැහැදිලියි නේද මං මේ මොකක්ද කියන්න යන්නේ කියලා...?

ඔන්න පුතේ වෙලාව... වැරදිලාවත් ඔය සූරිය ගුණසේකර උන්නැහේගේ කතාව විස්වාස කොරලා සිංහ පාදය ගාව හාරන්න ගියානං රටේ ඉන්න තරං උදවිය දෙස් තියයි... කොහේවත් නැති කතාවක් හින්දා මේ යසට තිබුන සිංහ පාදෙට හානි කොරලා ඒක විනාස කොරනවා කියලා... සමහර විට ඒකත් මහින්දගේ ගිණුමටම යයි.. ඔන්න ඒ පාර කාශ්‍යප රජ්ජුරුවන්ගේ කඩුවත් ඕන වෙලා කියලා...

ඒත් දැන් කිසි අවුලක් නැහැ.. පේනවනේ විවරයේ උස පලල.. උස 8යි.. පළල 6යි.. ඔය මදෑ ගින්නක් නැතිව වැඩේ කරගෙන යන්ට... දැන් තියෙන්නේ පිළිවෙලකට උමඟක් හාරං ඇතුලට යන්ට තමා... ඒක කරන්ට දස්සයෝ හොයාගන්ට පුරාවිද්‍යා එකට බැරිනං මට කියන්ට මං වැලිකඩින් හරි කළුතරින් හරි බැරිනං බෝගම්මබරින් හරි සෙට් එක හොයලා දෙන්නං.. එහෙ ඉන්නවා ඔය උමං හාරන්ට දස්ස උදවිය ඕන තරං.. ඒත් ඒ හැකියාවට අවස්තාවක් නොදී උන්දලට මුර දාන හින්දා සද්ද නැතිව හිටියට... අන්න අපේ නියම හෙළු යක්කු... පැවත එන්නේ උම්මග්ග ජාතකේ මහෞෂධ පණ්ඩිතයින්ගේ ගෝල බාලයින්ගේ පරම්පරා වලින්... ඔය උමග හාරන එක සිම්පල් කේස් එකක් එයාලට...

ආන්න එහෙම කොරලා උමඟ හාරලා කෙලින්ම අර පර සුද්දා.. ඇච් සී පී බෙල් කාරයා කොන්කිරිට් දාලා වහපු තැන හොයලා ඒකත් හාරලා.. කොන්කිරිට් හාරන එක ඉස්සර අමාරු උනාට දැන් තාක්ෂණෙත් එක්ක සුළු දෙයක්නේ... ඒක කරන්ට දැන් තියෙන තාක්ෂනේටත් බැරිනං කියන්ට මං ඒකටත් රාවණා යුගේ බෙහෙතක් දෙන්නං.. දාපු ගමන් කොන්කිරිට් එක වාස්ප වෙනවා... බෙල් කාරයා හිතන්න ඇති කොන්කිරිට් දාපුවම හැමදාටම වහන්ට ඇහැකි වෙයි කියලා..හුහ් සුද්ද කැලේ... එව්වා හ‍ඳේ...

එයින් පස්සේ අපිට ආයෙමත් දැක ගන්ට ඇහැකි අපේ අති උත්තම රාවණ ශ්‍රී රාජෝත්තමයාණන් විසින් කුවේරයා පළවා හැරලා අයිතිකරගත්ත සිහගිරියේ සැබෑ ශ්‍රී විභූතිය.. සුද්දා බය වෙලා කොන්කිරිට් වලින් වහලා හංගන්න හදපු හෙළු යක්කුන්ගේ විස්සකර්ම වැඩ ටික... වැඩිය ඕන නැහැ අර කර්කටක යන්ත්‍රයේ කෑලි බෑලි ටික හොයා ගත්තත් මදිද මං අහන්නේ...?

ඕවා මතු කරගත්ත ගමන් මුළු ලෝකෙම අපිට දණ නවයි නේද ආයිබෝං... පිස්සු හැදෙනවනේ.. මට නිකං දැනටමත් කිචි කිචි වගේ... සුද්දෝ අපිට වඳින්න එනකොට අපි ආඩම්බරෙන් උන් දිහා බලලා "චිප් චිප්" කියන හැටි... ෂෙහ්..දැනෙන ෂනීපයක්... හෙළ යකෙක් උනේ හොඳ වෙලාවට අප්පා...

අන්න දැන් ඔහෙලට තේරෙනවා නේද මේ වැදුන හෙනේ කොයි තරං හොඳද කියලා... මෙහෙම අවස්ථාවක් එහෙමත් ලේසියෙන් ලැබෙනවද අපිට... එහෙමනං දැන් අර මුලින් මට අනං මනං කියලා හිතෙන් හරි බැන්න උන්දලා වහාම මගෙන් සමාව ගන්ට ඕන... ඔව් ඔව්.. නැත්තං ඉතිං ඔහෙලටත් ලේසි වෙන්නේ නැහැ...
---------------------------------

හරි එහෙමනං තව එක කාරණාවක් කියලා මේක අවසන් කරන්නං... ඒ තමා ඔය වැදුනේ නිකංම නිකං හෙණයක් කියලනේ කට්ටිය හිතං ඉන්නේ.. නැහැ ආයිබෝං.. ඒක මේ හෙළු යක්කු වෙන අපි කිහිප දෙනෙක්ම විතරක් දන්න රහසක්.. ඔය වැදුනේ රාවණා සරයක්.. ඒක එව්වේ හදේ ඉඳලා... (තාම එහෙ හංගලා තියෙනවා අපේ ඉන්ද්‍රජිත් කුමාරයගේ ලේසර් තුවක්කුව) අහම්බෙන් වැදුන හෙනයක් නෙවෙයි ඔය... නැත්තං මෙච්චර බලගතු ඉපැරණි හෙළු ආරක්ෂක සිස්ටම් එකක් තිබුන තැනට මේ කොහේවත් යන දෙකයි පණහේ හෙන ගෙඩි පාත් වෙන්න ඇහැකිද..? ඕක මේ රාවණා රජ්ජුරුවන්ගේ අවදිවීමට පෙර උන්නාන්සේගේ ආම්පන්න ටික ගොඩ ගන්න ඕන හින්දා කරපු වැඩක්... ඒවා ටික තියෙන්නෙත් ඔය කියාපු බෙල්ගේ කොන්කිරිට් එක යට..එව්වාට අත තියන්න බෙල් ලොක්කට ලැබුනේ නැහැ... ඒවා තාමත් එතන... දැන් හෙට අනිද්දට තව  රාවණ සර දෙක තුනක් එවලා ඕක පාදලා ආයුධ ටිකත් අරං රාවණා රජතුමා කල එළි බහිනවා... එතෙක් ඔබට රාවණ සිද්ධම්...


(හැබැයි පුතෝ මේවා කියපුවාම මේවට හිනාවෙන බණින උඹලට එදාට මං උන්නාන්සේ එක්ක එකතු වෙලා දෙන්නං බැටේ...)
-------------------------------------------
(ජාතින ව්‍යසනයකදී එය සැහැල්ලුවට ගැනීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

22 October 2012

බඩා හැර ගිය ඈ...(4)

තාත්තා පාඩුවේ කඩයේ බඩු කිරයි... ගැහැණියක විත් මොන මොනවාදෝ මිලදී ගන්නා අතර තාත්තාගෙන් කුමක් හෝ විමසයි...

"අනේ මං දන්නේ නැහැ ඕවා..." තාත්තා ඕනෑවට එපාවට උත්තර බඳී...

"අයියානං නොදැන ඉන්න විදියක් නැහැ.. කොහෙද ඉතිං අපිට කියන එකක්යෑ.." තාත්තාගේ උදාසීන පිළිතුරෙන් විරසක වූ ගැහැණිය නෝක්කාඩු හඬින් කියයි...

"මොකක්ද තාත්තේ..?" මට කට පියාගෙන ඉන්නට බැරිය...

"මොනවත් නැහැ බං..ඔන්න ඔහේ හිටහං.."

"මොනවත් නැතිව වෙන්නේ කොහොමද..? අර සුමුදු ආං බඩාව දාලා පැනලා ගිහින්ළු... උඹලයේ ‍තාත්තා ඕක නොදැන ඉන්න විදියක් නැහැනේ පුතේ.." ගැහැණිය මගේ ගැටළුව විසඳයි... ඇය මට රුස්සන එකියක නොවේ.. එහෙයින්  මම වැඩි කතාවට නොයමි.. එහෙත් ඇය ගිය පසුව තාත්තා විමසීමේ අදහසින් නිහඩව සිටියෙමි...

ඇය පිටත්ව ගිය වහාම මා අසන්නටත් ප්‍රථමව තාත්තා උත්තර බඳී... 

"ඊයේ සුමුදු ළමයත් අරං යන්න ගිහින්... අර ගෑණි ඒක ගැන ඇහුවේ... මං ඒවෑ අග මුල දන්නේ නැහැ... මේ ගෑණුන්ටත් ඕන නැති උලව්වක් නැහැ.." සුමුදු අක්කාගේ දෙවන වරට පැන යාම සටහන් වූයේ එලෙසිනි.. ඒ පැන ගියේ තනිවම නොවේ.. මාස ගණනක් වයසැති බිළිඳු දියණියද රැගෙනය... එදා එසේ පැන ගිය ඇය නැවත මා හට හමු වූයේ එයින් වසර දාහතකට පමණ පසුවය... ඒ ඇය හමුවීමටම කියා ඒ වන විට ඇය සිටි ඇගේ නිවසටය... ඇය එහි සිටියාය.. එපමණක් නොව එදා රැගෙන ගිය දියණියද නිවසේ උඩු මහලේ සිටි අතර පහළට කැඳවා මා හට මුණගස්වන ලදි... ඇය ඇගේ පුංචි අම්මා වැනිය... මා සමඟ සිනහා වූ දැරිය අත තිබූ පොත කියවන්නට විය...


"ඇයි හදිසියේ මාව හොයං ආවේ..?මම ඉන්නවා කියලා කවුද කිව්වේ" පැනය සුමුදු අක්කාගෙනි...

"බඩා අයියා කිව්වේ... එයා දැන් මා ළඟ ඉන්නේ.."

"මොනවා..පන්සලේ..මේ බඩා..?" ඇය විමතියට පත් වේ...

"ඔව්... අර ඉන්නේ අපූරුවට වත්ත පිටිය සුද්ධ කරගෙන.. දැන්නං බොන්නේ හෙමත් නැහැ..."

"ඒකනං වෙන්න බැහැ හාමුදුරුවනේ... බඩා නොබී හිටියොත් ඒක ලෝක පුදුමයක්.. ඊටත් පන්සලේ..." ඇයට සිනහා යන්නට විය... බඩා ගැන හොඳින්ම දන්නා මටද සිනහ යෑම නවත්වා ගන්නට නොහැකි විය... 

"හාමුදුරුවන්ට කොහොමද බඩා හම්බ උනේ..?"

"මං ගෙදර ගිය වෙලාවක... බඩා අපේ ගෙදර ආවා... ගේ ළඟින් යන ගමන්... එක පාරට මාව දැක්ක ගමන් ඇවිත් සාලේ මැද්දේ බිම පෙරළිලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කරලා අඩන්න තියා ගත්තා... මාත් එක්ක එන්න ඇහුවා... මං අම්ම දිහා බැළුවම අම්මත් කිව්වා එක්ක යනවනං එක්ක යන්න..හැබැයි මං වග කියන්නේ නං නැහැ.. කොහොමත් මෙහෙ හිටියොත් මල්ලිගෙන් මැරුං කනවා කියලා... බැලින්නං ඒ වෙනකොටත් මල්ලි බඩාට තුන් හතර වතාවක්ම පාරෙදී අල්ලං ගහලා හොඳටම... මේ යකා බීලා කුණු හරප කියං  ඒ හරියෙන් යද්දී.."

"මොනවා මේ ඔයාලගේ සමන් මල්ලි..?"

"ඔව් ඌ තමා.. ඉස්සර වගේ නෙවෙයි දැන් උගේ අහිංසක ගති නැහැ... මං වගෙත් නෙවෙයි හයයි හතරේ එකා... අම්මට නඩු බේරලා ඉවරයක් නැහැ... බඩා විතරක් නෙවෙයි තව කීප දෙනෙක්ටම ඌ ගහලා... දැන් ඒ හරියේ ඉස්සර හිටිය චණ්ඩි නැහැ... බඩා උනත් කන්ද උඩහදිම සද්දේ වහලා ආයේ සද්දේ අරින්නේ වෙල පහු උනාම තමා.. බඩාම තමා ඕවා කියන්නේ... කට ඇරියොත් අරූ පාරට පැනලා මහ පාර මැද්දේ පෙරලං ගහනවා කියලා.. බඩා ඉස්සර හෙන වෙරි පාට් එකෙන් අපිට සද්ද දැම්මට ඌ බොරු වෙරියෙන්ම තමා ඉඳලා තියෙන්නේ.. දැන් ඔය දෙක වදිද්දී අපූරුවට සද්දේ වහලා යන්න දන්නේ.. කොහොම හරි බඩා ගමේ හිටියොත් කොයි වෙලේ හරි මල්ලිගෙන් ගුටි කාලා මැරෙයි කියලා බයට මම එක්ක  යනවට කැමති උනා.. ඉතිං මං එක්ක  ආවා.. මටත් මොකද මොන යකා උනත්.."

"ඒත් ඔය මනුස්සයා හාමුදුරුවන්ටත් ඔහේ ඉන්න නැති කරයි..."

"එව්වනං කොහේද මාත් එක්ක... ඒවට ආවොත් මට බලා ගතෑකි... කොහොම හරි කමක් නැහැ සුමුදු අක්කේ ..මනුස්සයා අන්න මං ගාව කාලා වැටිලා ඉන්නවා... මිනිහම තමා මට කිව්වේ අක්කා ඇවිත් ඉන්නේ කියලා... දුවත් ගෙදර ඇති..ඒත් එයාට පෙන්නන්නේ නැහැ කියලා කිව්වා... මං ආවේ ඒකයි..."

"ඔව් මං දැන් ඇවිත් මාස ගාණක් වෙනවා.. දැන් මාස ගානකට කලින් බඩා ඇවිත් මේ ගෙදරත් ගේට්ටුව කඩන්න හැදුවා..බීගෙන මහ හයියෙන් කුණුහරප කිය කිය කෑ ගැහුවා.. බැරිම තැන තමා මං ගේට්ටුව ගාවට ගිහින් බැන්නේ.. ඒ පාර මගෙන් කීයක්ද මංදා  ඉල්ලං යන්න ගියා..."

"ඔව් මට ඒ විස්තරයක් කිව්වා.."

"මල්ලි..අහ් වැරදුනා..හාමුදුරුවෝ... මට පැටලෙනවා අප්පා..." ඇය හිනා වෙමින්ම කියයි.. ඇයට මා දරා සිටි චීවරය නිසා කතා කිරීමේදී නිතරම මල්ලි හා හාමුදුරුවෝ යන වචන දෙකම මාරුවෙන් මාරුවට කියැවෙයි... එයට වරදක් කියන්නට නොහැක... මෙයට අවුරුදු දාහතකට දහඅටකට පෙර ඇමතූ විලාසයෙන් එක් වරම වෙනස් වීමට ඇයට නොහැකි සේය...

"හාමුදුරුවෝම දන්නවනේ..ඔය මනුස්සයා හින්දා මං වින්ද දුකක්.. මං විතරද..? අපේ මුළු පවුලම නැති උනේ ඔය මනුස්සයා හින්දා... මං ඔය මනුස්සයව දාලා යන්න ගියේ ඉවසලා ඉවසලා බැරිම තැන... ආතා තමයි මාව ඒ අපායෙන් ගලෝ ගත්තේ...(ඇය ආතා කියන්නේ මගේ පියාටය..) මං කන්න නැතිව හාමත් වෙලා ළමයට දෙන්න කිරි නැතිව ඉද්දී ආතා කාටත් හොරෙන් ඇවිත් කන්න ටික දීලා හැංගි හැංගි යන්නේ.. බඩා යංතං හරි දැක්කනං ආතාටත් මොනවා කරයිද දන්නේ නැහැ... සතෙක් වගේ එකෙක්... මං මොන දුකක් වින්ඳද ඔය යකා හිරේ ඉද්දී... ඒ කලබල කාලේ... පාරේ බස් නැහැ... මං ගමේ ඉඳන් ‍වැලිකඩට පයින් බඩ ගෑවා.. ඒ ගියාමත් මාව කන්න හදනවා මිසක් මං කන්නේ බොන්නේ කොහොමද කියලා අහන්නේ නැහැ... මල්ලි දන්නවනේ අපේ අම්මලා මාව හැදුව විදිය... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... එහෙම හිටිය මං හරියට අදින්න දෙයක් නැතිව වැරහැලි ගවුමකුත් ඇදන්.. මේ අත දරුවෙකුත් කර පින්නං තියෙන විදියකට බත් එකක් උයං වැලිකඩ ගියාම මේ මනුස්සයා මාව කන්න හදනවා මිස අපි ගැන කිසි දෙයක් අහන්නේ නැහැ.. එහෙම ඉඳලා ගෙදර ආවට පස්සෙත් තුන් වේලට මට ගුටි විතරයි... ඒකා කසිප්පු බීලා මට ගහනවා.. ගුබ්බෑයං අස්සේ ඉන්න ගෑණු එක්ක නිදියනවා... මට අම්මලත් නැහැ..මිනිහත් නැහැ... අන්තිමට ආතා හරහා තමා අම්මලා මාව ගෙදරින් අරං ගිහිං කොළඹ නැවැත්තුවේ.. දුවව බලා ගන්න තැනකට දීලා මාව රට ඇරියා... දුව ඉස්කෝලේ යන කාලේ වෙද්දී කොළඹම නවත්තලා ඉගැන්නුවා... දැන් ඒ ළමයා සාමාන්‍ය පෙළත් කරලා ඉවරයි... දෙයියනේ කියලා පාඩුවේ ඉගෙන ගන්නවා... දැන් තමා මං යන්තං ටිකක් හුස්ම අරං ජීවත් වෙන්නේ.. කාලයක් තිස්සේ පිටරට නොවිඳිනා දුක් විඳලා යන්තං මේ ආවා විතරයි.. ආයෙම එනවා අපිව කන්න..." ඇය කඳුළු සිර කරගත් දෑසින් කියයි...

දීර්ඝ විස්තරයකින් පසුව මා නැවතත් කට හඬ අවදි කරන්නට උනෙමි...

"සුමුදු අක්කා කියනකල් මං දැනං හිටියේ නැහැ තාත්තයි සුමුදු අක්කව අරං ගියේ කියලා.."

"ආතා කවදාවත් ඔයාලට කියන්නේ නැහැ මල්ලියේ.. ඒ මනුස්සයා ඒ හැම දේම කලේ පුදුම පරිස්සමට... දන්නවනේ ඒ වෙනකොටත් බඩා මිනීමරුවෙක් කියලා... එහෙම එකේ ආතා ඒ කල දේවල් දැන ගත්තනං ඔය යකා ආතවත් මරනවා... ඒත් ආතා ඒ හැම දේම තියෙද්දී අපේ අම්මාගේ පණිවිඩ අරං හිමිහිට ඇවිත් හොයලා බලලා ගියා... අන්තිමට මාව එතනින් බෙරගත්තා උනත් ඔයාලට කියන්න නැතිව ඇති.. ආතා එහෙම මනුස්සයා... මට පුදුම ආදරෙයි..."

ඒ හරියනං මම දනිමි... තාත්තා අපේ පවුලට මෙන්ම ඇයගේ පවුලටද හිතවත් බව අමුතුවෙන් කිව යුතු නොවේ... ඔවුන් අපව ඔවුන්ගේ පවුලේ අය මෙන් සැලකුවාක් මෙන්ම අපේ තාත්තාද ඔවුන්ට එසේම සලකන වග අමුතු දෙයක් නොවේ... ඒත් එදා මා ඇසූ විටවත් ඒ දේට ඔහුගේ ඇති සම්බන්ධය කිවේ තාත්තා නම් නොවේ... ඒ දේවල් මා දැන ගන්නා විට තාත්තා මෙලොව නොවේ...

"හරි දැන් හාමුදුරුවෝ මොකද කරන්න හදන්නේ..?"

"සුමුදු අක්කා ඇවිත් බඩාට කතා කරන්න කැමති නැද්ද එක පාරක්...?"

"ආයේ මොනවා කතා කරන්නද හාමුදුරුවනේ...? ඒත් ඔයා කියනවනං මං එක පාරක් කතා කරන්නං.. හැබැයි දුවවනං ආයේ මං පෙන්නන්නේ නැහැ ඔය මනුස්සයට..."

"හරි ඒවා පස්සේ බලමුකෝ... අක්කා කතා කරන්නකෝ එක පාරක් මං කියනවට..මං බඩාව බලා ගන්නං..."

එයින් සතියක් ඉක්ම යන්නට මත්තෙන් ඇය සිය වැඩිමහළු නැගණියත් සමඟින් මා සිටි පන්සලට පැමිනියාය.. ඒ බඩා හමු වීමටය...

ඉතිං දැන් මදෑ... ආයුබෝවන්..!

මේක හීනයක් කියලා හිතලා මං නැගිටින්න උත්සහ කලා.. ඒත්  මට තේරෙනවා මට නැගිටින්න බැහැ කියලා... මං නිදං හිටියේ බිම එළපු පැදුරක... මේක ඒ හැටිම පහසු දෙයක් නොවුනත් මට ඒක දැන් හුරු වෙලා හින්දා ගානක් නැහැ.. ඒත් පොළවේ ඇති තද ගතිය නිතරම වගේ දැනෙනවා.. ඒත් දැන් මට ඒක දැනෙන්නේ නැහැ... මට පහසුවක් හෝ අපහසුවක් දැනෙන්නේ නැහැ... අත පය තියෙනවා වගේ උනාට ඒවා පාලනය කරන්න පුළුවන් කමක් දැනෙන්නෙත් නැහැ... හැබැයි මට පේනවා මගේ ශරීරය තියෙන ආකාරය... ඒක පැත්තට හැරවිලා තියෙන්නේ... අත් දෙක නවාගෙන බෙල්ල හරියේ ගුලි කරං... දණ හිස් මඳක් නැවිලා... හැබැයි මං නිදං හිටිය ඇදුම නෙවෙයි මට දැන් පේන්නේ... මං මම කැමතිම නිල් පාට ටී ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳන් ඉන්නේ... කොහොමද මේක උනේ...?

මුලින්ම මං දැක්කා මම දොම්පේ යනවා.. මට ලොකු පාරක් හදනවා පෙනුනා.. මං ඒක බැළුවා... ඒ දොම්පේ කියලයි මට මතක... කොහොම හරි මං ඊ ළඟට හිටියේ ලා දුඹුරු පාට පෙට්ටියක.. ඒක මිනී පෙට්ටියක්... ඇතුල කුෂන් කරලද නැද්ද මංදා... ඒත් මං එකේ ඉන්නකොටම මට මාව පේනවා එයිට උඩ ඉඳන්... කීප දෙනෙක් මිනී පෙට්ටිය උස්සලා අර ගත්තා... මල්ලිත් එතන ඉන්නවා... ඌ අඩනවා මං කවදාවත් දැකලා නැති තරං බෑඟිරි ගගහා.. ඒ මදිවට මගේ මූණ අත ගානවා.. මට මේක මහ වදයක්..මං ඌට කිව්වා "ඕක නවත්තපං... මට කරදර නොකර ඉඳපන්" කියලා... ඒත් ඌ අඩනවා මොකෙක්ද එකෙක් වගේ... ඌට මං කියන දේ ඇහෙන්නේ නැද්ද..? මූ කවද්ද මෙහෙම ඇඬුවේ..? මූට පිස්සුද..?

මං හිටියේ ලොකු මේසයක් වගේ එකක් උඩ ඇල වෙලා.. පෙට්ටිය තිබ්බා ඒ අසලම මොකක් හරි එකක් උඩ.. මට එතන පේනවා... පෙට්ටිය අල්ලන්න හිටිය උන් කිසිම පිළිවලකට වැඩක් කරන්න දන්න උන් නෙවෙයි... උන් අඩමානෙට වැඩ... මට තේරුනා මේක දැන් පෙරලෙන්න යන්නේ කියලා.. මං උන්ට කියා දුන්නා මේක කරන්න ඕන විදිය... "උඹ අර මුල්ල අල්ලපං.. මේ පැත්ත අනිකා අල්ලපං... හරියට මැදට වෙන්න බැලන්ස් වෙන්න තියපං... ඔය ඔය.. ඔන්න ඉතිං පැත්තට ඇල වෙන්න යනවා.. යකෝ ඕක මැදින් අත තියපං පෙරලෙයි.." එහෙම කිව්වේ මල්ලිට... ඒත් ඌට අඩනවට වඩා දෙයක් නැහැ.. මං හිතුවා හරි.. වැඩේ වැරදුනා..පෙට්ටිය බිම... පියන අස්සෙන් මාව මාව බිම වැදුනා... මට හිනා ගියා.. මුං කවදාවත් වැඩක් හරියට කරන්න ඉගෙන ගන්න උන් නෙවෙයි... ආයෙම පෙට්ටිය හරි අතට හරෝලා මාව ඇතුලට දැම්මා.. මල්ලි ආයෙත් මූණ අත ගගා අඩනවා... මට හිනා යනවා...

මං කොහොමද මේක ඇතුලට ආවේ..මටම තේරෙන්නේ නැහැ.. හැබැයි මං මේ ඉන්නේ මැරිලා නේද... එකෙනේ මුංට මාව ඇහෙන්නේ නැත්තේ... කමක් නැහැ මැරෙන එක මං හිතං හිටිය තරං වරදක් නැහැ.. වෙනදට නිතර දැනෙන ඇගේ පතේ තෙහෙට්ටුව දැන් නැහැ.. වැසිකිලි කැසිකිලි යන්න වෙන උවමනාවන් දැනෙන්නේ නැහැ.. වැඩේ සැහැල්ලුයි.. එකම දේ මුංට මං කියන දේවල් නොතේරෙන එක... ඒ මදිවට කෙලින්නේ පිස්සු... මං පිළිවෙලට වැඩ කරනවට කැමතියි... මුං දන්නේ අඩන්න විතරයි.. අනිත් හැම දේම අනාගන්නවා... මට බැරි උනා මුංට පිළිවෙලට වැඩක් කරන හැටි කියා දෙන්න... කමක් නැහැ දැන් මං මැරිලා..ආයේ මට කාවවත් හදන්න උවමනාවක් නැහැ... ඔන්න ඕක වළලලා හරි පුච්චලා හරි දාලා අහවරයක් කරපියවු...

මට අවදිවෙන්න සෑහෙන අමාරු උනා.. ඒත් එක පාරටම සෑහෙන වෙලාවකට පස්සේ මට තේරුනා මං නැගිටලා කියලා... මැරෙන එක ඒ හැටි දෙයක් නෙවෙයි... ඇත්තටම බයක් හෝ දුකක් හිතුනේ නැහැ.. හැබැයි ටිකක් කේන්ති ගියා අනිත් උන් පිළිවෙලට වැඩ නොකරන එක දැකලා.. ඒත් පස්සේ මටම හිනා ගියා... මං මලත් පිළිවෙල හොයනවා නේද කියලා...

කොහොම උනත් කියන්න තියෙන්නේ ඕනම දෙයක් කරන නියමිත පිළිවෙලක් හා කාලයක් තියෙනවා... ඒ කල් මැනීමට අනුව පිළිවෙලට වැඩේ කලොත් වැඩේ හොඳම විදියට කෙරෙනවා.. නැත්තං වැඩේ අඩු පාඩු හිටිනවා... ඒ හින්දා හදිසියට වඩා පිළීවෙල බලනවනං හොඳයි.. නැත්තං උඹල මගේ පෙට්ටිය අතෑරියා වගේ හැම එකම අනා ගනී...

සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට...  ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි... හැමෝටම ආයුබෝවන්...! හා හා මට පෙරළා ආයු බෝන් එපා... මගේ ආයු අහවරයි...

21 October 2012

දිග වැඩි උන කොමෙන්ටුව...


මොනවා ලියන්නද කියලා බං කල්පනා කලේ... හරියටම කියනවනං රටක හොඳ විපක්ෂයක් තිබිය යුතුයි. එහෙම නොවුනම මහ ජනතාවගේ මුර බල්ලා නැති උනා වගේ තමා. හැබැයි දැනට ඉන්න විපක්ෂයේ කිසිම නායකයෙක් ඒ දේට සුදුසු මට්ටමේ අය නෙමෙයි. මෙහෙම කිව්වම සෑමට තද වෙන්න පුළුවන් ඇයි ෆොන්සේකා මහත්තයා ඒකට සුදුසු නැද්ද කියලා... ඒත් ටිකක් කල්පනා කරලා බැළුවොත් සෑම්ට තේරෙයි උන්නැහේ දේශපාලනයට ගැලපෙන ආකාරයේ විදියේ කෙනෙක් නොවන වග... ඒක තේරුම් ගන්න තරමක් හමුදාමය අත්දැකීම් තියෙන කෙනෙකුට පුළුවන් උනත් පිටස්තර කෙනෙකුට එක පාරට තේරෙන්නේ නැති හින්දා කොච්චර කිව්වත් වැඩක් නැහැ... ෆොන්සේකා උන්නැහේ නෙවෙයි ගෝඨාභය උනත් ඒ අතින් ඒ වැඩේට සුදුසු නැහැ. මේ මෑතකදී රජයට සම්බන්ධ තීන්දු තීරණ ගන්න කෙනෙක්.. (එයා කවුද..? මං දන්නේ කොහොමද කියන ඒවා උවමනා නැහැ..ඒත් යම් කිසි විදියකින් මගේ ගනුදෙනු කරුවෙක් කිවුවම මදෑ) කතා කර කර ඉන්න වෙලාවක කිව්වේ ඊ ළගට ගෝඨා කියලා... ඒත් මං එයාට ඒ වෙලේ පැහැදිලි කරලා දුන්නා (මට තේරෙන තරමින්) ඒක සුදුසු නැත්තේ ඇයි කියන එක... ගෝඨලා ෆොන්සේකලා හොඳ උඩින් කෙනෙක් ඉද්දී ක්‍රියාකාරීව වැඩ කරන්න... මොකද හමුදාමය තීන්දු ගත්තොත් ගත්තා... ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා කිසිම අවස්ථාවක ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ.. ඒකට අවස්ථාවක් ඇත්තෙත් නැහැ... හැබැයි වැඩේ කෙරෙනවා..ඒක හොඳ උනත් නරක උනත්... 

රටක් පාලනය කරද්දී ටිකක් සංවේදී වෙන්න ඕන... (මහින්ද ඕනවට වඩා සංවේදීයි..:D ) අපි හිතමු රජයේ සේවක ප්‍රශ්නය කියලා... (ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මෙලෝ වැඩක් නැති තනතුරු හරහා පින් පඩි ගන්න පිරිස රටට ලොකු බරක් කියලා තමා.. ඒ කෙටියෙන්...) ඕක විසඳන්න ගියොත් එක රැයින් තීන්දුවක් ගන්න පුළුවන්... රජයේ සේවකයින් බඳුවා ගැනීම කප්පාදුව සහ දැනට ඇති අය ඉවත් කිරීම වගේ... ඒත් එතනදී අමතක කරන්න බැහැ ලංකාවේ හුග දෙනෙකුට මේ රජයේ සේවකයින් ඥාතීන් කියලා... තමන්ගේ අයට.. තමන්ගේ ඥාතීන්ට විරුද්ධව තද තීරණයක් ක්‍රියාත්මක වෙන්න ගියොත් මිනිස්සු ඔය සීයට හයේ ප්‍රශ්න... පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න වලට වඩා ඇවිස්සෙනවා... ඒක නවත්තන්න අමාරුයි.. අර අර්ථසාධක ප්‍රශ්නයට වඩා ඒක නැගලා යනවා.. ඒත් හමුදාවට සම්බන්ධ කෙනෙක් පාලකයා උන තැන කැරළි ඇති වීම ප්‍රශ්න නෙවෙයි.. උත්තර දරුණුවට ලැබෙන්න පුළුවන්... අන්තිමට වෙන්නේ රට ගිනි ගොඩක් වෙන එක විතරයි... අන්තිමට පිටින් අයට මේකට අත දාන්න පාර හැදිල්ලක් විතරයි ඒ හරහා වෙන්නේ... මං ෆොන්සේකටත් ගෝඨාභයටත් විරුද්ධ වෙන්න ඕක එක ප්‍රධාන හේතුවක්... ටිකක් ඒ ගැන හිතන්න කැමති කෙනෙකුට පාකිස්ථානය සහ මුෂාරෆ් ගැන කල්පනා ‍කලාට වරදක් නැහැ... 

රනිල් ගැන මොනවා හරි කිව්වවොත් බුවාට මාතලංට තද වෙන්න ඇහැකි.. ඒත් ඉතිං පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමන් පත් කරලා ඒ හරහා තමන් සදා කාලික නායකයා කරගෙන පක්ෂය තුල ඇති වෙන ප්‍රශ්න තිස්ස අත්තනායකත් එක්ක තමන්ට ඕන ඕන අතට විසඳන.. පුංචි මිනිස්සුන්ගේ සහ පක්ෂයේ පහළ මට්ටමේ මිනිස්සු කියන්නේ..ඉල්ලන්නේ මොනවද කියන එක ගැන වගේ වගක් නැතිව ඉන්න කෙනෙක් හරි හමන් පාලනයක් අහු උනාම හැසිරෙන විදිය ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ.. අඩුම ගානේ අගමැති උන ටික දවසේ ගහපු සාම ගිවිසුමවත්..ඒ දේවල් කොහොම කෙරෙනවද කියලා පක්ෂයේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වත් නොදැන හිටිය හැටියට වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා හිතලා බලන්නත් වටිනවා... අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.. කොටින්ම අද බ්ලොග් ලියන බුවාට/ සෑම්ට තියෙන නිදහස එදාට මට නැති වේවී... 

ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...

මහින්දගේ අඩු පාඩු ඕන තරං තියෙනවා..නැතිවා නෙවෙයි... ඒත් මේ ක්‍රමය යටතේ මේවා මෙයිට වඩා හොඳ අතට හැරෙයි කියලා කොහොමද හිතන්නේ..? තියෙන වැරදි වලට එරෙහි වෙන්න ඉන්නේ එයිටත් වඩා පෝරිසාදයෝ නං මිනිස්සු කාගැනද විස්වාසය තියන්නේ...? විපක්ෂයේ ඉඳන් කෑ ගහන උන් බලං ඉන්නෙත් තමන්ව දැනටත් වඩා හොඳින් හූරන්න කියලා දන්න හින්දා මේ තත්වය යටතේ මිනිස්සුන්ව පාරට ගන්න ඔය ඉන්න පතෝල නායකයින්ට මේ කපේට බැහැ... සජිත් ගැන ‍පහළ මට්ටමේ යූ ඇන් පී කාරයින් අතර ලොකු විශ්වාසයකුත් කැමැත්තකුත් තිබුනා.. ඒත් ඒක එයාම නැති කර ගත්තේ තමන්ගේ සගයින් වෙනුවෙන්වත් පෙනී නොසිට ඔවුන්ව පාවා දෙන තරමේ නරුමයෙක් කියලා දැන ගත්තට පස්සේ... 

තියෙන විපක්ෂ මූණු අතරේ ඉන්න හැමෝම කතා කරන්නේ මහින්දට විරුද්ධව මිස මේ ක්‍රමයට විරුද්ධව නෙවෙයි... ඔය කාටවත් ඕන නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න... හැමෝම බලං ඉන්නේ ඉන්න එකා අහක් කරලා තමන්ටත් ඒකට පැන ගන්න විතරයි... උන් මිනිස්සුන්ට කතා කරන්නේ තමන්ව එතනට ගෙනියන්න මිස වෙන කෙහෙම්මලකට නෙවෙයි... මිනිස්සුත් ඒක දන්න හින්දා අනේ උන්ගේ විරෝධතා කියලා නිකං ඉන්නවා මිසක් ඒ දේවල්වලට කර ගහන්නේ නැහැ... හුගක් බ්ලොග් ලියන දේශපාලන විචාරකයෝ මහ ජනයා කියන්නේ ගොන්නු ටිකක් කියලා සටහන් කලාට ඒ ගොන්නුන්ට මේ දේවල් නොතේරෙනවා නෙවෙයි... ඒත් විපක්ෂයේ ඉන්න උන්වත් විචාරකයිනුත් ඒක තේරුං අරං නැති එකයි අවුල... රජය හදන්න කලින් විපක්ෂය හරියට හැදෙන්න ඕන... තමුන් එකතු වෙන්න ඕන මොකක් වෙනුවෙන්ද කියලයි එයාලා මුලින් තීරණය කරන්න ඕන... 

මං එක දෙයක් කියන්නං.. ඒක මගේ හිතිවිල්ලක්... ප්‍රායෝගිකව මේකට කරන්න බැරි කරුණු මතු වෙයි.. ඒත් ඒකට තමා මිනිස්සු සාකච්ඡා කරන්න ඕන.. මේක කරන්න ඇයි බැරි සහ ඒ බැරි හේතු හදුනාගෙන ඒ හේතු නැති කරන්න ක්‍රම සෙවීමයි වෙන්න ඕන... එහෙම නැති මාරයට පිස්සු.. උගේ හරක් මොලේට ඕවා තේරෙනවද කියලා තම තමුන්ගේ වගාඩම්බර ගහන එක නෙවෙයි..ඒත් අවාසනාවට සිද්ධ වෙන්නේ ඒක.. ඒ හින්දා හැමදාමත් කට්ටිය ඔතනම තමා...

මෙන්න මගේ යෝජනාව... විපක්ෂය මේ වෙලාවේ ඉල්ලන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය හා පවතින දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් (ව්‍යවස්ථාමය) කිරීම... ඒකෙන් ප්‍රධාන දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම... අනතුරුව ඇමති වරු සීමිත ගණනක් පමණක් පත් කල හැකි... වැඩිපුර තනතුරු අරවා මේවා නැති බර අඩු පාලන තන්ත්‍රයක් ඇති කිරීම ගැන ක්‍රමයක් ඇති කිරීම... මේක කෙරෙන්න ඕන ජනමත විචාරණයකින්... මං දන්න තරමින් විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයකට පුළුවන් වෙන්න ඕන... මොකද ඕක ගෙනාවෙත් එහෙමම වීම නිසා... ජනමත විචාරණයක් නිකං හම්බ වෙන්නේ නැති හින්දා මූලිකව විපක්ෂ මංත්‍රීවරු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන ජන මත විචාරණයක් තැබිය යුතුයි කියන යෝජනාව.. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඕන රහස් චන්දයකින් කියන කරුණත් ඇතිව... එහෙම උනොත් පක්ෂ විපක්ෂ භේධයකින් තොරව සාධාරණ තීන්දුවක් ලැබේවි... මොකද පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකගෙම හීනේ විධායක ජනාධිපතිකම දවසකට හරි තමන්ට ගන්න උනත්..ඒක ලොකු හීනයක් කියලා දන්න හින්දා තමුන්ට නැති එක අනුන්ට මොකටද කියලා හිතලා ඕකට විරුද්ධව අත උස්සන්න කෙසේ වෙතත් රහස් චන්දයක් දෙන්න ඉඩ තියෙනවා.. එහෙම උනොත් රටේ ජන මත විචාරණයක් තියලා මේක ඕනද එපාද කියලා අහලා තීරණයක් ගතෑකි... ඒ තීන්දුව හරියට ලැබුනොත්..(මගේ මතේට අනුව තීරණය ලැබෙයි ඕක අහෝසි කරන්න ඕන කියන තැනට..) එයින් පස්සේ පාර්ලිමේන්තුව හරහා අළුත් ක්‍රමයක් හදා ගන්න පුළුවන්... ‍ඒක දෙවැනුව විය යුතු වැඩක්.. ඒ ගැනත් මගේ අදහස් තියෙනවා උනත් මේක දිගින් දිගට ලියන්න කම්මැලි හින්දා දැනට ඇති...

ඔය විදියේ දේකට මිනිස්සු එකතු කර ගන්න අමාරු වෙයි කියලා මං හිතන්නේ නැහැ... මොකද තියෙන ක්‍රමයට මිනිස්සු කැමැත්තක් නැති හින්දා.. ඒත් විධායකය අහෝසි කිරීම වෙනුවට වෙන එකෙක් මාරු කරන තැනටනං අපේ මිනිස්සු ගෙන්න ගන්න තව දශකයක්වත් බලං ඉන්න වෙයි මහින්ද උපරිම පිස්සුවක් කෙලියොත් ඇර... 

එහෙම නැතිව විපක්ෂයේ උන් හැමදාම ඔහොම බෙලි කපා ගන්නයි බල්ලෝ වගේ පොරකන්නයි ගියොත් වෙන්නේ උඹලා වගේ පාක්ෂිකයෝ ටික හැමදාමත් අනාථ වීම සහ පොදුවේ රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට උනත් පවතින පක්ෂයට නිරායාසයෙන්ම හැකියාව ලැබීම... ඒවට රජයට විතරකි දොස් කියලා වැඩක් නැහැ.. කොහොමත් හැන්ද තියෙන එකා බෙදා ගන්නම තමා බලන්නේ... අනිත් උන් දැන ගන්න ඕන අරූ වැඩියෙන් බෙදා ගද්දී ඒකට එකතු වෙලා විරුද්ධ වෙන්න.. එහෙම නැතිව අනේ මටත් ටිකක් බෙදපං කියලා සද්දේ වහ ගන්න නෙවෙයි....

ඔය බත් කන හරකෙක් වෙන මගේ අදහස... ඔය ටික කිව්වේ බොහෝම මැදිහත්ව... මේ දවස්වල කට්ටිය වැටිලා ඉන්න වෙලේ පෙරළගෙන ගහන්න උවමනාවක් නැති හින්ද පේන්න තියෙන දේවල් විවෘතව කතා කලාට අවුලක් නැහැනේ... (නැත්තං උඹලා ගිරවු කියෝනවා වගේ කියෝන කොට අපිත් එව්වට උත්තර දෙන්න ඕන ඒ විදියටමනේ.. හා නැද්ද..?)

(ඔය පහළ තියෙන පින්තූරේ හින්දා පෝස්ට් එක සම්පූර්ණ උනාට ඒක අහක් කරහං බං... ඒකෙන් උඹගේ ෆොන්සේකා උන්නැහේටයි අවනම්බුව.. අර යෝධයට නෙවෙයි...)

---------------------------
මේක මේ සෑම්ගේ අද පෝස්ට් එකට දාපු කොමෙන්ටුවක් විතරයි.. කොටලා අහවර වෙද්දී  අකුරු හාරදහස් ගානක් කියලා එක පාර පල කරන් බැහැ කිව්වම ඒක කොපි කරං ඇවිත් මෙතන සේව් කරලා ආයේ තුනට කඩලා ඒකේ දැම්මා... ආයේ මේක මකන්නත් හිතලා මෙච්චර දිගට ලිව්ව වචන ටික මොකටද නිකංම අහක යවන්නේ කියලා ඕන එකක් කියලා මෙතනත් පබ්ලිෂ් කරලා දාන්න හිතුනා.. ආයේ වතාවක් කියවද්දී තව තවත් පැහැදිලිව ලිය වෙන්න ඕන තැන් පෙනුනත් (උදා:- රාජ්‍ය සේවය ලංකාවට උවමනාවට වැඩි බරක් වීම ගැන වගේ) කිසිම දෙයක් වෙනස් නොකරම දාන එක වඩා සුදුසුයි කියලා හිතලා ඔන්න මේ ඇමුණුම විතරක් යොදලා පබ්ලිෂ් කරනවා...

19 October 2012

Sorry sir... අපිට ලැජ්ජා නැහැ...


වේලි වේලි හිටිය අපිට කොස් ඇට බාවන්ට හොඳ පූසෙක් නැතිව හිටිය වෙලේ... සෑර් දෙයියෙක් වගේ පහළ උනා... පහළ උනාට වඩා පහළ කර ගත්තා කිව්වොත් හරි... ඒකට මල් තියලා වඳින්ට ඕන අපේ මංගල සෑර්ට... මංගල සෑර් ටිරාන් සෑර් එක්ක සැට් වෙලා ලොකු සෑර්ව හිටිය තැනින් එළියට ඇදලා අරං කොන්ඩේ කපලා ඇඳන් හිටිය ඇඳුං ගලවලා මංගල සෑර්ලට ඕන ඕන විදියට කපලා මහපු ඇඳුමත් ඇඳන් අපි ඉස්සරහා දෙයියෙක් වගේ පෙනී හිටියා... දේවාලෙට අරක් අරං ඉන්න අර වල් ඌරු තඩි.. බුරුසු රැවුල්... කාලකණ්නි..හොර දෙටු..(තව වචන එනවා අප්පා ඒකට බයින්න තියේනං අපිට වෙන කිසිම ජොලියක් නැති උනාට කමක් නැහැ සෑර්..) ලොකු දෙයියා පන්නලා අපේ තාලේ දෙයියෙක් දේවාලේ මහ පුටුවේ වාඩි කරවන්නයි අපිට ඕන වෙලා හිටියේ... ඒත් අපිට ඒ වෙනකොට හිටියේ අල්ප දයන්න වගේ හැලපේනිස් දෙයියෙක් ඉතරයි... ඒ දෙයියා පිස්සු නටනවා ඇර දේවාලේ පැත්ත පළාතේ යන්නවත් හිතන දෙයියෙක් නෙවෙයි‍. ඒත් ඉතිං අපි ඒ හැලපේනිස් දෙයියට හරි මනාපයි.. මොකද ඒකා දේවාලෙට රිංගගත්තොත් හරියට අපි රිංගුවා වගේ තමා සෑර්...

ඉතිං අපි බැළුවේ සෑර්ව ඉස්සරහට දාලා දැන් ඉන්න අර වල් දෙයියව එලෝලා... එයින් පස්සේ සෑර්ටත් මොනවා හරි බාල්දියක් ඉහේ නවලා අපේ පරණ පුරුදු හැලපේනිස් දෙයියවම පුටුවට නග්ගන්න තමා... ඒ දවස්වලනං අපි ඕවා කියන්න ගියේ නැහැ සෑර්... ඒත් දැන්නං කිව්වට කමක් නැහැ..මොකද සෑර්ටම උනත් දැන් තේරෙනවා ඇතිනේ අපි සෑර්ව කරට ගත්තේ සෑර්ට ඇති ආදරේකට නෙවෙයි කියලා... මොනවා කරන්නද සෑර් අපිව වරදවලා තේරුං ගත්තට... සෑර්ට බලය දෙන්න අපිට පිස්සුද සෑර්.. අපි බැළුවේ සෑර්ව මෝරා කරලා අපේ හැලපේනිස්ට තැනක් අරං දෙන්න බලන්න... අර ගංකබර නාකි රතු අංකල්ටයි ගෝලයෝ රොත්තටයිත් එහෙමම තමා උවමනාව තිබුනේ.. උන්ට වැලේ වැල් නැතිව යන වෙලේ සෑර්ව ඉස්සරහට දාලා ගැලවෙන්න යන වස්තරේ යන්තං බේරගන්න මිස සෑර්ට දේවාලේ පුටුව දීලා සෑර් ලවා ඉල්ලා‍ගෙන වළඳන්න උන් කොහොමටවත් හිතං හිටියේ නැහැ...

කොහොම හරි ඒ හැම දේම දැන් අතීතෙට ගිහින් සෑර්... අපි සෑර්ව දැන් බිම තියලා තියෙන්නේ.. මොකද සෑර් හිර ගෙදර නිවාඩුව අහවර කොරලා ආවයින් පස්සේ අපේ කරේ නැතිව සෑර්ට ඕන විදියේ ගමනක් දුවන්න හැදුවනේ.. අපි හිතං හිටියේ සෑර් ඇවිත් අපේ හැලපේනිස්ට වැඳලා පක්ෂ සාමාජිකත්වය අරං ඔය පක්ෂයේ වැඩ ටික කරං කාලා බීලා පාඩුවේ ඉන්න ගමන් අර ලොකු එකාට බැණ බැණ හිටී කියලා.. කෝ ඒක එහෙම උනේ නැහැනේ.. සෑර්ට ඕන උනානේ අපේ හැලපේනිස් ලොක්කට වඩා ඉහළින් යන්න... ඒවට එන්න දෙන්න බැහැනේ සෑර්...

ඉතිං දැන් මං මේක ලියන්න ගත්තේ වෙන කෙංගෙඩියකට නෙවෙයි... හොරෙංවත් ඇවිත් සෑර්ට සොරි කියලා යන්න.. ඉස්සරනං අපිත් සෑර්ගේ ගුණ වයලා ලිව්වා කිව්වා තමා සෑර්.. ඒත් දැන් නං ඒවා කරන්න බැහැ..රට්ටු අපිට හිනා වෙයි.. ඒ හින්දා අපිත් සෑර්ව අඳුරන්නේ නැති ගානට ඔය අනං මනං ටිකක් ලියනවා..සෑර් ඒකට හිත අමනාප කරගන්න එපා... අපිත් ෂේප් එකේ ඉන්න එපෑ සෑර්... නැතුව අපිට ඇහැකිද අපිට වැරදුනා..එහෙමත් නැත්තං අපි වැරදි මිනිහට මුක්කු ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියලා පීචං වෙන්න... අනේ බැහැ සෑර්..අපිට බැහැ ඒම කරන්න... ඒ හින්දා අපි දැන් ලියන්නං අපි සෑර්ව දන්නේවත් නැති ගානට.. ඕනන සෑර්ට වැරදුනේ මේ මේ හින්දයි කියලත් ලියන්නං මල් හතට... මොකද අපේ අතින් පයින් යනවෑ සෑර්..නේද..?

ඒත් සෑර් අවංකවම ගත්තොත් අපි දන්නවා අපිම තමා සෑර්ව අමාරුවේ දැම්මේ... අපේ තියෙන අවලං කොමට... අද ආරංචියක් ආවා සෑර්ගේ නෝනෙත් ඔන්න ඔහේ කොහේද යනවා කියලා.. වෙන්ට ඇති සෑර්.. ඊයේ හවහා නෝනෙටත් තේරෙන්න නැතෑ දැන් තත්වේ හරියටම කොහොමද කියලා.. තව දුරටත් මෙහෙ ඉදන් පීචං වෙනවට වඩා දරුවන්ගේ වැඩක් බලං ඉන්නවා සැපයිනේ සෑර්... ඒ හින්දා ඒ ඇත්තිට වරදක් කියන්න බැහැ... සෑරුත් ඔන්න ඔහේ සෑර්ගේ අතක් බලා ගන්න සෑර්... හැබැයි සෑර් වැරදිලාවත් අර මහ එකා ගාවටනං යන්න හිතන්න එපා.. ඕං නොකිව්වා කියන්න එපා..එහෙම උනොත්නං අපි සෑර් කියලා බලන්නේ නැහැ..අපි අන්දපු සරමයි බැනියමයි අපිම ගලෝනවා සෑර්ගේ ඔළුවෙන්... කලින් සෑර් ඇඳන් හිටිය අර ගාම්භීර ඇඳුම සෑර්ටත් නොදැනී ගලෝපු අපිට ඔව්වත් වැඩද සෑර්... අනික අර පජාති මාරයා වගේ ලොකු එකාට කඩේ යන උන් අපේ රෙදි ගලවයි සෑර් එහෙම උනොත්.. ඌ බලං ඉන්නේ එහෙම එකක් වෙනකල් අපේ රීරි මාංසේ කන්න... ඌටනං ආතල් ගන්න දෙන්න තියන්න එපා සෑර්... ඒ හින්දා ඒ වැරැද්ද විතරක් නොකර වෙන ඕනම දෙයක් කරං පාඩුවේ ඉන්ට සෑර්... අපිත් එක්ක අමනාප වෙන්ට එපා.. මේ අපේ හැටි... ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න ලැජ්ජා හින්දයි මෙහෙම ෂේප් එකේ ආවේ... සොරි සෑර්...

මෙයට මැරිලා උපන්න සෑර්ට කඩේ යමින් ලිපි ලිව්ව එකෙක්...

18 October 2012

අන්තිම බස් එක...

කැඳවා පෙරට අන්දාලා යස රඟට..
උන්නා ළඟින් ඒ දිනවල බදාගෙන...
දෙයියා නුඹයි නුඹමයි නැහැ සැකක් හෙම..
කියමින් වටේ සැරි සැරුවා නිරන්තර...

යන්නේ වැරදි පාරේ බව කිව්වාම..
නුඹ කර තියං ගිය උන් බැන්නා අපට..
නිලැඳුම ගලවලා සුදු රෙදි අන්දාන...
උන් දැක්කුවා නුඹ හරකෙක් විලාසෙන..

මහ වැසි මැදින් හෝදාගෙන යන කලට...
ළඟ හුන් නරින් අද කොයි දැයි බලනු මැන..
කෙලවා සොඳින් වින කැටි නරි කැල මෙදින..
බේතකටවත් අද නැත තනි නොතනියට...

දුර දිග නොපෙනුනේ පෙර කල කරුමයට..
මිතුරන් අතැර එක් වූයේ නරි කැලට...
ඒ නරි නුඹව අත හැරියේ වන මැදට...
දැන්වත් කැලෙන් එනු මැන හරි පාරකට...


13 October 2012

ෆුටා හුටා වීම සහ බත් කන හරකෙකුගේ උම්බෑ කීම...

හරි දැන් ෆුටා ඉවරයි. හරි හරි දැන් කෑ ගහන්න එපා ෆුටා ඉවර නැහැ ඒක ලොකු ජයග්‍රහණයක්ය..  ඒක හරහා ලොකු මතවාදයක් ඇති උනාය.. මේක දිගින් දිගටම යන සටනක්ය කියලා... ඒ කතා කොහොම කිව්වත් මේක ලංකාව... මේකේ ඉන්නේ අමුතු මිනිස්සු..හරිනේ... මේ උදවියට ඔයිට වඩා ලොකු දේවල් උනත් අමතක කරන්න ඒ හැටි කල් නොගිය එකේ මේ ෆුටා වගේ එකක් අවුරුදු ගණන් මතක තියාගෙන සටන් කරන පුරුද්දක් ඇත්තේ නැහැ. එහෙම වෙනවනං ඒ වෙන රටක... 

"ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..." එහෙම කියන්නේ මං නෙවෙයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා උන්නැහේ... තිස් අවුරුද්දක යුද්ධයක් තිබුනා කියලවත්... ඒ කාලේ කොළඹ බුරුතු පිටින් මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට මරලා දාන බෝම්බ කියලා පුපුරන ජාතියක් තිබුනාය කියලවත් මතක නැති එකේ මේ ෆුටා එකක් ගැන මතක තියා ගන්න අපේ අයට උවමනාවක් ඇති කියලා කවුද කියන්නේ... (ඕනනං ‍ෆුටා සැමරුම කියලා ලබන අවුරුද්දේ පොඩි පාටියක්නං දාතෑකි...) කවුරු හරි එහෙම කියනවනං ඒ කෙනාට මං කියනවා මේහෙම...

"අනේ යන්න ලොක්කා යන්න... අපි නොදන්න මොණරතැන්න..." (ඔය ටික මං කිව්වට තමුන්නාන්සේලා අහන්න ඕන අර පොඩි ළමයා හෙවත් දීපාල් සිල්වගේ වොයිස් එකෙන් හරිය.. එතකොට තමා හිතට වදින්නේ...)

ෆුටා එකට හුටා වීම ගැන මං කතා නොකලට ඔය හැම තැනම දැන් ඒකේ විලාප ඇහෙනවනේ... ඉතිං මං අමුතුවෙන් මොනවත් ඒ ගැන කියන්න ඕන නැහැ... බත් කන හරක්ගේ අදහස් මේ රටේ උගත් උදවියට වැඩක් නැහැනේ... උන් ඉන්නේ බත් කාලා මැරීගෙන වැඩ කරන්න.. එහෙම වැඩ කරලා වෙර වීරියෙන් හොයා ගන්න හැම සතෙන්ම ආණ්ඩුවට බදු ගෙවන්න... එතකොට ආණ්ඩුවේ ඉන්න උන්ටයි.. රටේ ආර්ථිකේ හසුරවනවා යැයි කියන මහා පරිමාණයේ වියාපාරිකයින්ටයි... ආණ්ඩුවේ නිලධාරී පැලැන්තියටයි... එතැනට යන්න දත කන උන්ටයි පැලියාවට කන්න දෙන්න... එහෙම නැතිව බත් කන හරක්ට ඔය වෙන වෙන කතා වැඩක් නැහැ. ඒ ඒ කතා බලා ගන්න උගත් බුද්ධිමත් සුළු කොටසක් මේ රටේ ඉන්නවා නෙව... උන් ඒක බලා ගනී... ඕකනේ කතාව... ඉතිං මොටද මගෙ අදහස් ෆුටා ගැන... මාත් මේ රටේ ඉන්න බහුතරයක් බත් කන හරක් කරනවා වගේ බත් කාලා ඔහේ මාගේ රස්සාව කරගෙන ඉන්නං... රට හදන එක උගත් බුද්ධිමත් ඈයින්ට  බාරයි...

ඒත් කරුමෙට වගේ මගෙත් කට කහනකොට ඔය මොනවා හරි ගොං කතාවක් කියවෙනවමයි නෙව.. මොකද හරක්ට කාලා නිකං ඉන්නම බැහැනේ පොඩ්ඩක් හිමින් හරි උම්බෑ නොකිව්වොත් නිකං මොකක්ද වගේ... ඉතිං මාත් ඔය හිටි හැටියේ ටිකක් හිරි ඇරලා මොනවා හරි කියලා දානවා... මොකද අතක් පයක් යනවා කියලයෑ.. නිකං තියෙන වචනනේ... දැන් ඔය අන්තර්ජාලය හරහා රටේ නායකයින් හදන.. ආගමික ප්‍රබෝධය හදන උන්දලා උනත් ඒ ටික කරන්නේ අත පය හොලවලා පාරට බැහැලෑ... නැහැනේ... කොහේ හරි කොම්පීටර් කට්ටක් ඉස්සරහා වාඩි වෙලා අකුරු වලින් කොටලා නෙව... ඒකනේ අන්තර්ජාලයෙන් හදන නායකයෝ පොලෝ මට්ටමට එද්දී ලොවෙත් නැති වෙන්නේ... හා නැද්ද හොඳයි... (හා හා හිනා වෙලා වට පිට බලන්න උවමනාවක් නැහැ..අපි කවුරුත් එහෙම තමා..ඕකට ලැජ්ජා වෙන්න ඕනයෑ ආයිබෝං... අපි එහෙම තමා...)

ඉතිං ඒ හින්දා මගෙත් නිකං තියෙන වචන වලින් මොනවා හරි දමලා අරින්න එපෑ...

ෆුටා හුටා වීම ගැන මාරයාට ජොලිද කියලා එකෙක් මයෙන් අහපි... නැහැ ඇත්තටම දුකයි... හැබැයි ඒ ෆුටා එකේ හිටිය උන්දලා ගැන නෙවෙයි... රටේ කෙරෙන්න ඕන දේ තිබියදී මේ එක කොනක් අල්ලගෙන ඒකෙන් ප්‍රශ්න විසඳන්න හදන උන්දලා රටේ ඉන්න උන් බත්කන හරක්ය කියලා හිතං ඕක කරේ තියං ගිය එක ගැන... රටක අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීම මට ගැටළුවක් නෙවෙයි... මටනං ළමයි නැහැ තමා.. මගේ නිදහස් අධ්‍යාපන කාලෙත් ඉවරයි තමා.. ඒත් මට නැති උනාට අඩුම ගානේ මගේ සහෝදරයට ඉන්න කොලු පැටවු දෙන්නා හරි ඉගෙන ගන්න ඕන ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන්ම තමා... අපි කවුරුත් බයිලා ගැහුවට අපි හැමෝම බලන්නේ ප්‍රශ්නයක තමාගේ පැත්තම තමා... ඉතිං මටත් නිදහස් අධ්‍යාපනය නැති වීමත්.. ඒක දුර්වල වීමත් ප්‍රශ්නයක් තමා.. හැබැයි එහෙමයි කියලා සීයට හයක එල්ලිලා ඔහේ යන්නං වාලේ යෑමෙන් රටේ නිදහස් අධ්‍යාපනයට සේවයක් වෙනවයි කියලා කරුමෙට වගේ මට හිතෙන්නේ නැහැ...

පෙන්නන්න හැදුව අය කොහොම පෙන්නුවත් උඩ තියෙන අයිසිං ටික යටින් පේන්න තිබුන කේක් එක හුග දෙනෙකුට පෙනුනා... මොකද ඒක උස්සං ගිය උන්දලා ටික ගැන ර‍ටේ සාමාන්‍ය ජනයාට යම් තරමක අවබෝධයක් තිබුන හින්දා... 

මෙතුවක් කාලයකට රටේ තියෙන ප්‍රශ්න තමුන්ට ප්‍රශ්නයක් නොවුන ඒ ඒ අයගේ ලෝකවලම හිර වෙලා ඉන්න එක්තරා පෙලැන්තියක් වගේ උන ආචාර්යවරු පිරිසක් ඒ ඒ අයගේ පඩිය වැඩි කරගැනීමේ පෞද්ගලික සටනක් පොඩි සීනි තැවරුමකින් ලස්සන කරලා රටේම ප්‍රශ්නයක් හැටියට පෙන්නන්න හැදුව එක විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනේ...

හා සොරි වේවා... මට අයිතියක් නැහැ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා කියන කොට්ඨාශය මේක දකින එක මෙහෙමයි කියලා කියන්න..  මං දන්නේ මගේ අවට සමාජයේ ඉන්න උදවිය එදි නෙදා කතා කරන දේවල් විතරයිනේ... මගේ අවට සමාජයේ ඉන්නේ වැඩ පොලේ සේවකයෝ... පොලේ වෙළදාං කරන උදවිය කිහිප දෙනෙක්.. (හැමෝම නෙවෙයි මං නිතර බඩු ගන්න සහ පොලේ ගියාම ටිකක් කයියක් ගහන ගමන් බඩු ගන්න අය කිහිප දෙනෙක්) එතකොට කොළ කැඳ විකුණන උදවිය.. වඩේ කරත්ත කාරයෝ... ගරාජ් දෙක තුනක උදවිය.. ටයර් කඩවල සේවකයෝ... හෝටල් දෙක තුනක වේටර්ලා... එළවළු ලෑල්ලක් දාං බිස්නස් කරන  එකෙක් දෙන්නෙක්... ෆෝන් කඩයක් කරන එකෙක්... ගාමන්ට් කෙල්ලන්ට බෝඩිං කාමර දෙන උන්දලා දෙතුන් දෙනෙක්... මෑන් පවර් (ආයතන වලට දවස් පදනමට කුලියට සේවකයින් සපයන්නන්) කාරයෝ ටිකක්... අහල පහල ඉන්න මං වගේම සිකුරුටි කාරයෝ කාරියෝ ටිකක්... ලියවන පට්ටල් කාරයෝ ටිකක්... පොඩි පහේ සිල්ලර කඩ කරන මුදලාලිලා ටිකක්... ඔන්න ඔය වගේ ඈයෝ ටිකක් විතරයි...(අතරින් පතර තව තව උන් ටිකක් ඉන්නවා) ඒ හින්දා මට කියන්න පුළුවන් ඒ අයගෙන් මතු වෙන අදහස් විතරයි.. ඒ ඇරුනු කොට පොදු සාමාන්‍ය ජනතාව කියන බරපතල කොටස මට නියෝජනය කරන්න විදියක් හෝ අයිතියක් නැහැනේ.. ඒ නිසා සමා වෙන්න ඕන... මං ඔය සාමාන්‍ය ජනයා කියලා කොතැනකදී හරි කිව්වොත් ඒ කියන්නේ ඔය මං කිව්ව උන්දලා ගැන කියලා මතක තියා ගන්ට... නැත්තං මං පවුනේ...

ඉතිං මං දකින හැටියටනං ඔය කියන ෆුටා එක අන්තර් ජාලයට හා රටේ සීමිත කොටසකට මහා ප්‍රශ්නයක් උනාට අනිත් වැඩි දෙනෙකුටනං ඕක පරණ පුස්නාම්බුවකට රසයි වගේ පෙනෙන අයිසින් සීනි තැවරුමක් වගේ තමා පෙනුනේ... උන්දලා වැඩි දෙනෙක්ගෙන් 

"කොහොමද සීයට හය..නැගලා යනවා නේද..?" කියලා ඇහුවම මගෙන් අහන්නේ 

"ඔය කියන්නේ අර විස්ස විද්‍යාල ගුරුවරු ටික පඩි වැඩි කරන්න ඉල්ලන එක නේද..?" කියලා මිස රටේ අධ්‍යාපනයකට සීයට හයක් වෙන් කිරීම පිළීබඳව වූ යුගයේ මුළු මහත් ලාංකීය සමාජය උඩු යටිකුරු කරන ලද මහා උද්ඝෝෂනය ගැනනං නෙවෙයි... ඒ අර මං කියන සාමාන්‍ය ජනතාව ඕක දකින හැටි තමා...

දැන් කෙනෙකුට කියන්න පුළුවන්.. මාරයා ආස්සරේ කරන්නෙත් ඌ වගේම බත් කන හරක් ටිකක්නේ කියලා... ඔව් ආයිබෝං ඒකනං එහෙම තමා... මොනවා කරන්නද අහල පහල මං ගැවසෙන තැන්වල උදවිය මිස මට හම්බ වෙනවෑ ලෝක ප්‍රකට උගත්තු... මෙහෙ ඉන්නේ ඉතිං සුද්දන්ට ජංගි මහන්න ඇවිත් කීයක් හරි හම්බු කරං ගමට යන කොල්ලෝ කෙල්ලෝ ටිකක් නෙව.. ඒ ඇරුනම උන්ට කන්න දීලා..බෝඩිං දීලා අනිකුත් අඩු වැඩිය විකුණලා ජීවත් වෙන උදවිය... උන් දන්නවෑ ඔය කියන ලොකු ලොකු දේවල්...

ඉතිං උන්ට මොන අයිතියක්ද ඔය නොදන්න දේවල් ගැන කතා කරන්න.. නේද..? ඕවා කතා කරන්න ඕන ඔය දැන උගත් උදවිය විතරයි නෙව... කොටින්ම උපාදියක් තියෙන්න හරි..හෙට අනිද්දා ලැබෙන්න හරි නැත්තං ඌ කොහොමද රටේ විස්ස විජ්ජාල ගැන කතා කරන්නේ නේද..? ඒකනං එහෙම තමා ආයිබෝං.. ඒත් කරුමෙට වගේ මේ බත් කන හරක් දන්නවා උගත් උදවිය විතරක් කතා කල යුතුයි කියන ඔය සීන් කෝන් එක කොහොම උනත් අවසානෙට ඒ කෙලි හමාර වෙන්නේ තමුන් ජංගි මහලා... බත් තම්බලා... කාමර කුලියට දීලා... කැඳ වීදුරුවක් විකුණලා හම්බ කරන තුට්ටු දෙකට තව බද්දකින් කීයක් හරි වැඩි වෙලා කියන කාරනේ... මොකද ආණ්ඩුව සල්ලි මවලා ඕවා දෙනවා නෙවෙයිනේ... අනික මක් කොරලවත් ආණ්ඩුවේ දැන් ඉන්න සහ..අනගතේ ආණ්ඩු කරවන්න බලං ඉන්න ඔය එක ගොබිලෙක්වත් තමුන්ගේ කුට්ටිය අඩු කරගෙන ඔය කියන සීයට හය අධ්‍යාපනේට දෙයි කියලෑ...

අඩු ගානේ ඔය පෙළපාලි යන්න එක්කාසු උන රනිල් මහතැන් හෙට රජ උනානං දෙයිද සීයට හයක් "මේං පුතේ" කියලා...? එව්වා ඉතිං තම තමන්ගේ පපුවට තට්ටු කොරලා තම තමන්ම විසඳගන්න ඕන පුරස්න.. මං කිව්වට බැහැ... ඒ මදිවට අර වික්‍රමබාහු උන්නැහෙත්.. හා හා ඒ යෝධයා ගැන කතා නොකර ඉමු... මොකටද නේද..?

මං මේ කල්පනා කොරේ ඒක නෙවෙයි ආයිබෝං..තමුන්ට ප්‍රශ්නයක් උනාම විතරමයිනේ අපිට වෙන වෙන අය ගැන හිතෙන්නේ නේද..? දැන් බලමු මේ ආචාරිය මහාචාරියලටත් එහෙමමනේ උනේ... ඉතිං මේ බත් කන හරක් වෙච්ච අපිටත් ප්‍රශ්නයක් ආවොත්නං ඔන්න ඔය කියන උද්ගෝෂණ වලට සම්බන්ධ වෙන්න තිබුනා.. එහෙම නැතිව කාගෙවත් පඩි වැඩි කොරන්න කියලා ටෝක් දෙන්න ගිහිං අපි අපිටම කෙලවගන්නේ මොකටද ආයිබෝං... ඔන්න අපිටත් මොකක් හරි සම්තිං එකක් එන විදියකට යෝජනාවක් ඔය ෆුටා එක අස්සට දැම්මනං අපිත් බොක්කෙන්ම සප් එක දෙන්න තිබුනා.. අර ළමයි ඉන්ටනැෂනල් ඉස්කූල් යවන දීමනා... අර දීමනා මේ දීමනා වගේ... කෝ එකක්වත් නැහැනේ ඒක අස්සේ අපිට හරියන එකක්... බත් කන හරකුන්ට නොමිලේ මාසයකට හාල් මුට්ටයක්වත් කියලා තිබුනනං අපිත් අරින්නේ නැහැ ආයිබෝං... බෙල්ල කඩාගෙන තමා අපි එහෙමනං මේ අධ්‍යපනයට සීයට 6 කියලා මරාගන්නේ... හාල් මුට්ටයක් දෙනවනං අධ්‍යාපනේ හරි වැදගත් දෙයක්නේ නේද මං අහන්නේ...? නිකමටවත් අපිට පුරස්නයක් නැති එකේ අඩු පාඩුව..නැත්තං ඔය ෆුටා එකේ මහතැන්ලට තිබුනා අපේ ප්‍රශ්නෙත් ඔය ලිස්ට් එකටම දාලා අපිවත් ඕකට ඇදලා ගන්න.. කෝ අපිට හරියන ප්‍රශ්නයක් නැහැනේ... ඔන්න වැඩේ...

හප්පට උඩු ඒ කිව්වමයි මතක් උනේ‍‍...
බත් කන හරක් වෙච්ච අපි හුඟ දෙනෙකුටත් ප්‍රශ්නයක් තියෙනවා නෙව... මට ඒක අමතක උනා... ඒක මේ ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පුංචි පහේ එකක්... කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... ඒත් ඉතිං මොනවා හරි කෙහුරක් කියලා දැම්මම හිත සුද්දයි නෙව...

අපේ පුරස්නේ තමා මේ ක්‍රමේ වෙනස් වෙන්නේ කවදද කියන එක... ඔන්න බලන්න ආයිබෝං... අපිම චන්දේ දීලා යවනවා කට්ටියක් ඉහලට... උන් මොකද කරන්නේ ගිය ගමන් උන්ගේ පඩිය වැඩි කර ගන්නවා... අපිට කෙලෝනවා...

එතකොට තව ටිකකට අපි හම්බු කොරන දේ වියදං කරවලා උගන්නලා යවනවා ඉහලට.. උන් මොකද කරන්නේ.. ඉහලට ගිය ගමන් පහල තියෙන ඉනිමගට පයින් ගහනවා... ආයේ අපේ එකෙකුට ඒ දිගේ උඩට යන්න බැහැ... ඒ විතරක්යෑ...එතැන් පටන් උන් පටන් ගන්නවා උන්ගේ කුට්ටිය ලොකු කරන්න කියලා කෑ ගහන්න... උනුත් වැඩි කරගන්නවා.. ඒක උන් වැඩි කරගන්නේ සීට්ටු කොරමෙට... ඔන්න එක කොටසක් පටන් ගත්තමා අපිට වැඩි කුට්ටිය දියවු කියලා... ඒක දෙනවා ආණ්ඩුව.. මොකද උන්ට ‍අතින් පයින් යනවෑ... ඒක දීලා අහවර වෙද්දීම අනිත් පැත්තෙන් ටික දෙනෙක් පටන් ගන්නවා..උන්ට අච්චරනං අපිට මෙච්චර දියවු කියලා... දැන් ඉතිං ඒකත් දෙනවා.. ඒක දකින අනිත් උන් ටිකකුත් කෑ ගහනවා දිපියවු අපිටත් මස් රාත්තලක්ම කියලා.. අනේ ඉතිං උන් එය ඔය විදියට බෙදාගන්නවා... බත් කන හරක් වෙච්ච මේ පැට්ටේරියක කඹුරන අපි මොනවා කියලද කෑ ගහන්නේ... අද කෑ ගැහුවොත් හෙට දොට්ට... ඕනනං අපිත් එක්ක කෑ ගහන්න රනිල් අයියා හරි වික්‍රමබාහු හරිත් එයි... ඒත් ඒ ඇවිත් මල්ල පුරවං ගිහිං පහුවදාට අර ටිකම කරයි... අපිට මොන ආශ්චර්යද..?

මොන දේ කොහොම උනත් අපිට මේ ක්‍රමේ වෙනස් වෙන්නේ නැති එක ගැනනං ලොකු පුරස්නයක් තියෙනවා... ඇත්තටම කිව්වොත් මේක වෙනස් කරන කොරමයක් ගැන හිතා ගන්න බැරි එක තමා අපේ පුරස්නේ... ඒක එක රැයින් විසඳන්නනං එන්න අපිත් එක්ක පා ගමන් යන්න.. විරෝධතා කරන්න කියලා කියන්නනං ඕන තරං කට්ටිය ඉන්නවා... ඒත් ඔය කෑගහන එක උත්තමයෙක්වත් වෙනස් කරපියවු කියලා කෑ ගැහුවට ඒක කරන විදියක් කියන්නේම නැහැ නෙව... හරියට අර රතුපාට කට්ටිය වගේ... (උන්දලත් ඉල්ලනවා විතරයිනේ.. කරන හැටි රහසක්නේ...)

එහෙම කෑ ගහන්නනං මේ බත් කන හරක් වෙච්ච අපිටත් බැරියෑ... ඒත් අපිට නැති ඔය උගත් වියත් මහාචාරියලට ඇහැකි නේද මේකට ටක්කෙටම හරියන විසඳුමක් හදලා කියන්න.. නිකං මහින්ද අයියා පළාත් සභා චන්ද තියන්නැහේ අතන එකයි මෙතන එකයි සැරෙන් සැරේ තිය තිය ඉන්නවා වගේ ඒ ඒ අයගේ කුට්ටිය වෙනුවෙන් විතරක් කෑ මොර දෙන එක නවත්තලා පොදු වැඩකට එන්න... මොකද දැන් ඔය තියෙන වියවස්ථා අරක මේක අණ පනත් හැදුවේ අපිද..? අර පාර්ලිමේන්තුවට අපි දක්කපු උන් එක්ක එක්කාසු වෙලා ඕවා හැදුවෙත් ඔය උගත් මහත්තුරුම නේද..? අපිට ඉතිං දක්කන්න ඉන්න එකම හරක් සෙට් එකක් හින්දා ඒ ඒ කාල වලට අවුලක් නැහැ කියලා හිතෙන සැට් එක යවනවා ඇර මොකද තාම අර කියන දියසේන කුමාරයවත් ඇවිත් චන්දේ ඉල්ලුවෑ.. අඩු ගානේ රාවණවත්.. හම්මේ...රාවණා...මට කිය කිය හිටිය ඒවත් අමතක උනා...

කරුණාකරලා පින් ඇති උගත් වියත් මහත්තුරුනේ... ඔබ තමුන්නාන්සේලා අරකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා කෑලි වෙන් කර ගන්න දඟලන්නේ නැතිව මුළු රටටම හරියන වැඩ පිළිවෙලක් හදන්න... ඒක හදද්දී දැනට තියෙන ක්‍රමය අස්සෙන්ම උඩට ඇවිත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ඒක හදන්න.. හරියට අර මඩ යට ඉඳන් ඒ මඩ එක්කම සටන් කරගෙන මතු වෙලා දිය හරහා ඇවිත් දිය මතුපිට පිපෙන නෙළුමක් වගේ දෙයක්.. එහෙම නැතිව පැරිෂුට් ක්‍රමයක් නෙවෙයි... දැන් කෙනෙක් කියයි අහවලාට දෙන්න එයා ඇවිත් විධායක කොරමේ වෙනස් කරලා අපිට දෙයි මඟුල් මේසේ ඇරලා කියලා... අපි නොදන්නවෑ ඒවෑ තරම... අර එක්කෙනෙක් දහ දාහකින් පඩි වැඩි කොරන්නත් කතා කලේ එක වංගියක්... ඒත් ඉතිං ඒ දහදහාට වඩා අනිත් පැත්තෙන් දෙන්න හදපු එයින් බාගෙටද කොහේද රට ගියේ නිකංයෑ... 

ඒ වගේ මූ වෙනුවට අරූ කියලා ක්‍රම නැතිව හිතලා බලලා කල්පනා කරලා හදමුකෝ ක්‍රමයක් මේ තියෙන කොරමේ තුලින්ම මතු කරලා අරං ක්‍රමය වෙනස් කරවන අර පරිගණක වෛරස් එකක් වගේ තියෙන පද්ධතිය කාලා දාලා අළුතින් ලියවෙන එකක්... මට ඕවා වැඩිය පැහැදිලි කොරන්ට තේරෙන්නේ නැහැ ආයිබෝං..බත් කන හරකෙක් මෙහෙමවත් කතා කොරනව මදෑ නේද..?

අපිට ඕන දැන් තියෙන එක එකාට උවමනා විදියට ඒ ඒ කාල වලට වෙනස් කරන ක්‍රමය නැතිව කවදත් මොකා ආවත් වෙනස් කල නොහැකි හිල් නැති පාලන කොරමයක්... ඒකේ ඇතුලේ අසීමිත බලතල තියෙන නායකයෝ ඕන නැහැ... බුරුතු ගණන් ඇමතිලා ඕන නැහැ... අත්සන් ගහන්න විතරක් ඉන්න නිලධාරී ඕන නැහැ... කොටින්ම බත් කන හරක් විසින් නඩත්තු කරන පිං ගොන්නු නැති ක්‍රමයක්... දැන් වෙලා තියෙන්නේ ඒකනේ... දේසපාලුවගේ ඉදලා ආණ්ඩුවේ රස්සාවල් කරන හුග දෙනෙක්ගේ තත්වේ අපෙන් ණයට කන පිං ගොන්නු වගේනේ... උන් උන්ට හිතු හිතු වේලාවට වැඩ වර්ජනය කරලා අරක දියවු මේක දියවු කියලා කෑ ගහන්නේ උන්ට උගන්නන්න දහදිය හලපු අසරණ මිනිස්සුන්ව උගසට තියලනේ.. උන් ඔය කෑ ගහන්නේ තවත් අපේ තුට්ටු දෙකට කෙලවන්න මිස අපිට දෙයක් දෙන්නයෑ... 

දැන් ඔය ෆුටා එකෙත් කට්ටිය අරක මේක ඉල්ලුවා උනාට ඒ දේවල් ලැබුනොත් එයාලා විසින් දැනට කරනවට වඩා මිනිස්සු වෙනුවෙන් කරන වැඩ ගැන තිබුනද ආයිබෝං..? එහෙම නැත්තං වෙනදා වගේම ඔහේ සුපුරුදු චරියාවන් ටික කරගෙන යනවට තව වැඩියෙන් දෙන්න කියලා කිව්වද..? ඇත්තටම මං දන්නේ නැහැ... ඒකයි අහන්නේ... නැත්තං ඉතිං වෙන්නේ එයාලා පඩි වැඩි කරගනී... එයින් පස්සේ එයිට පහල උනුත් ඒකම කර ගනී... ඕනනං දැන් සීයට හයක්ම තියෙන එකේ තව රස්සාවල් ටිකක් දෙමු කියලා අර කලා උපාධි කරලා අවුරුද්දෙන් බාගයක් පාරේ කෑ ගගහා යනවා මිස තමන් ගත්ත උපාධියෙන් වෙන කරන්න දෙයක් ඇත්තේම නැතිව වගේ හැසිරෙන උදවියට අධ්‍යාපන අංශයේ රස්සා ටිකක් මවලා හරි දෙන්න ඇමතියා ලෑස්ති වෙයි.. 

ඇයි රස්සා කියන්නේ තමන්ගේ උන් ටික ගොඩ දාන්නත් තව කීයක් හරි හොයා ගන්නත්..චන්ද ගොඩ වැඩි කරගන්නත් පොටක්නේ.. ඕනනං ඔය "අධ්‍යාපන සංවර්ධන සමෘද්ධි නිලධාරී" වගේ ලේබලයක් ගහලා අතිරේක/නියෝජ්‍ය/ සහකාර වගේ එක එක අනං මනං සුකුරුත්තං ටිකක් ගහලා කට්ටිය ගන්න බැරියෑ... එහෙම ගත්තත් ඒ ටිකත් යන්නේ සීයට හය ඇතුලේමනේ... ඔව්වනං කියන්න බැරියෑ ගමකට... ආන්න ඒ වගේ කෑලි කුට්ටි ක්‍රමයක් නැතිව රාජ්‍ය සේවය වැඩක් ඇති මට්ටමකට ගේන ක්‍රමයක් හදමුකෝ... එතනදී රාජ්‍ය සේවකයා විරුද්ධ නොවී එකඟ වෙන මට්ටමට යෝජනා හරි ගස්සන්න මතක තියා ගන්නත් ඕන.. නැත්තං ඕවා කොහොම හැදුවත් කිරියාත්මක වෙන්නේ නැහැනේ...

ඔය උගත් උන්නැහේලා පුළුවන්නං කරන්න ඔය කියන දේ... ඒ කියන්නේ අපිටත් පිළිගත හැකි... පක්ෂ දේශපාලනයට යටත් නොවුන පොදුවේ හැම කොටසකටම අසාධාරණයක් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.. ඒක කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට බාධා කල නොහැකි අන්දමේ නීති මාලාවක් ඇතුළුව හිල් නැති සිස්ටම් එකක් අපිට දෙන්න... 

ඒක අර ජී ඇල් පීරිස්ගේ මහප්‍රාණ නැතිව සරලව සාමාන්‍ය මිනිස්සුන්ට කියවා තේරුම් ගත හැකි කොරමයක් වෙන්න ඕන... පැහැදිලිවම ඒ හදන ක්‍රමය ක්‍රියාත්මක නොකර බැරි තත්වෙට එන විදියට ඒක නිර්මාණය කරන්න... එහෙම කරලා මේ බත් කන හරක්ට ඉදිරිපත් කරන්න... එදාට බත් කන හරක් ඒකට එකතු වෙයි.. එහෙම නැතිව අරයගේ අර කෑල්ල කඩා ගැනීමේ සටනටයි.. මෙයාගේ මේ කෑල්ල කඩා ගැනීමේ සටනටයි මේ හරක්ට කතා කරන්න එපා... අපිට ඒවට වෙලාව නැහැ.. අපිට තියෙනවා අපි බත් කන ගමන් ඔහෙලටත් බත් කවන්න හම්බු කොරන්න... ඒ අස්සේ ඔය විහිළු කර කර ඉන්න අපිට වෙලා නැහැ...

අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ එහෙම අපිවත් අරං ගොඩ යන වැඩ පිළිවෙලක් හදන්න කියලයි... එහෙම අපි ඔක්කෝම ගොඩ ගිය දවසකට ඔහෙලට ඔහෙලගේ වටිනාකමට ගෙවන්න අපි විරුද්ධ වෙන්නේ නැහැ... ඒ වටිනාකම හදාගන්න එක ඔහෙලගේ අතේ තියෙන දෙයක්... කැමතිනං කරන්න... අකමැතිනං නිකං ඉන්න.. අපිට බත් වෙනුවට පිදුරු කව්වන්න එන්නේ නැතිව... ඒ හරක් අපි විකුණලා හුඟක් කල්...

හා මං නැවතුනා... ෆුටා හු‍ටා බැරිනං ඕන වෙඩිමක් වෙද්දෙං... අපිට පාංද..? නැහැ අපිට පාංවත් නැහැ...