31 December 2012

හොඳ අවුරුද්දක නිමාව....ස්තූතියි...

2012 අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්ට තව තියෙන්නේ පැය දහයකට වගේ ආසන්න කාලයක්... මෙච්චර දවස් ගානක් ගෙවිලා ගිය වේගේ හැටියට ඔය පැය ගාන යයි සුටුස් කියනකොට...

කොහොම උනත් ගෙවිච්ච අවුරුද්ද ගාන ආයෙමත් කල්පනා කලොත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ මගේ ජිවිතේ ගෙවුණු අවුරුදු වලින් හොඳම අවුරුද්දක් විදියටයි...

ජිවිතේ හැමදාමත් බලාපොරොත්තු උන නිදහස උපරිමයෙන්ම විඳපු අවුරුද්දක්... පුංචි කාලේ ඉදලා හිතේ තිබුණ ලොකුම ආසාවක් උනේ කවදා හරි දවසක බයිසි මොටෝ එහෙක නැගලා රට වටේ කරක් ගහන එක... අපේ දෙවැනි මහප්පගේ පුතණ්ඩියා..එහෙමත් නැත්තං අපේ අයියා කාරයගේ බයික් එකේ පිටි පස්සේ එල්ලිලා මං මුලින්ම කතරගම ගියේ මට වයස අවුරුදු 15 ක් විතර ඇති කාලේ වෙන්ට ඕන.. ඒ වගේමයි ඒ ගමන කවදාවත් අමතක නොවෙන්න අපි දෙන්නටම අපූරු සිද්ධියකට මුහුණ දෙන්ටත් උනා.. ඒ තමා මාතර පෙනී පෙනී බයික් එක අනතුරකට ලක් වීම...

අපි ගියේ අයියගේ 125 ට්‍රේල් බයික් එකේ... ඌත් හිමිං යන්න දන්නෙම නැහැ... විසි වෙලා යයි කියලා තියෙන බයට ඌව දෝත බදලා අල්ලං ඉන්න ගමන් මගේ ඇස් දෙක නිතර නවතින්නේ මීටර් කටුව උඩ... ඒක සීය පැනලා යද්දි පුදුම ආතල් එකක් මට තිබුනේ... කොහොමටත් ගමනෙන් වැඩි හරිය ඕක තිබුනේ 120 හරියේම තමා... ඒත් ඇත්තටම ඌ ගැන මට තිබුණ විස්වාසේ හින්දම වේගේ වැඩි උනා කියලා මට අවුලක් තිබුනේ නැහැ... කොහොමත් හයියෙන් යන්ට මං බොහොම කැමතියි... ඉස්සර බස් එහෙකට නැගලා ඒක කොටනකොට මට ඩැයිවර්ගේ අම්මා අප්පා සිහි වෙනවා... හිටි හැටියේ කඩි කුලප්පුව හැදිලා වගේ කඩාගෙන බිදගෙන රේස් එකක් යන්ට ගත්තම දැනෙන සංතෝසේ... අම්මේ ඒ වෙලාවට දෙයියන්ට කියන්නේ අතර මග හෝල්ට් වල බහින්ට කට්ටිය නැති වේවා කියලා... එහෙම හිටියොත් ඒ අයට බහින්ට බස් එක නවත්තන්ට වෙනවනේ... ඒකයි...

කොහොම හරි මාතර නගරයට කිට්ටුවදී අපි වේගයෙන් යද්දි මාතර පැත්තේ හිටං අපි ඉන්න පැත්තට ආව කොලපාට තුන්සක් රියක් ඒකේ ආව කාව හරි පාරේ අනිත් පැත්තේ බස්සලා එක පාරටම රවුමක් කරකෝලා හැරෙව්වේ නැද්ද ආපහු මාතර පැත්තට.. කෙටියෙන්ම කිව්වොත් මූ පාර හරහා කැපුවා හිටි හැටියේම... අයියා කාරයට කර ගන්න දෙයක් තිබුනෙම නැති තරං... ලොක්කෝ අල්ල ගනින් හොදට වගේ කියනවා මට මතකයි... මෑන් අතේ පයේ තියෙන උපරිම ශක්තිය දාලා ගැහුවා බ්‍රේක්... කොහොම හරි අපි හැප්පුනේ නැහැ... ඒත් ගිය වේගයට බ්‍රේක් ගැහුවට බයික් එක පැත්තට ඇල වෙලා විසිවෙලා ගියා... මට මතක මාව බඹරයක් වගේ කැරකිලා ගිය එක තමා... මගේ පිටේ ලොකු බෑග් එහෙක දෙන්නගෙම රෙදි අනං මනං දාලා තිබුනේ... ඉබ්බෙක්ගේ කටුව පැත්ත හරවලා කැරකුවා වගේ මමත් බඹර චක්‍රයක් වගේ කැරකිලා ගිහින් කෙලින් විසි උනේ පාර අයිනේ කොන්ක්‍රිට් කානුවට.. කොහොම හරි එදා අතක් පයක් නොකැඩී බේරුනා.. බයික් එකත් මාතර උයන් වත්ත හරියේ තැනකින් සුළු සුළු රෙපෙයාර් එහෙම කරගෙන අපි ආයෙම කතරගම ගියා... ඒක මට අමතක නොවෙන ගමනක්... ඒ වගේම පුංචි උන් එක්ක ගමන් යන්න අකමැති..පුංචි උන්ව ගමන් ගෙනියන්න අකමැති උන් අතරේ අපේ අයියා කාරයා මාවත් දාං ඔය ඕන අහක යන්ට කැමති වීමම මට ලැබුන ලොකු චෑන්ස් එකක් උනා...  අපරාදේ කියන්න බැහැ අපේ තාත්තත් පරිස්සං වෙන්ට කියලා දෙන්නටම කිව්වා ඇර කවදාවත් මාව නවත්ත ගත්තේ නැහැ..ඌත් එක්ක යන්ට ඇරියා...

එහෙම ගමන් ගිය මට දිගින් දිගටම ඇවිදින්ට ආසාව තිබුනත්.. ඒ ආසාව ඉතාමත් හොදින් ඉස්ට කරගන්ට උනේ ගිය අවුරුද්දේ තමා... තව ඉතිං එහෙම ඇවිදින්ට යන්ට උවමනා ගමන් වලින් කිහිපයක් තමා ඉතිරි වෙලා තියෙන්නේ... එහෙම බැළුවම මටනං මේ ගත උන අවුරුද්ද අන්තිම හොදයි... හොඳට කාලා බීලා ජොලියේ ගත වෙලා ගිය අවුරුද්දක්.. ඒ වගේම අවුරුදු 16 දී 17දී වගේ කාලෙදි බැලුවට පස්සේ වැඩිම චිත්තර පටි ගානක් හෝල් වලටම ගොහින් බලාපු අවුරුද්දත් මේකම තමා... මේ අන්තිම මාස දෙකක විතර කාලෙට සැවොයි එකේම ත්‍රීඩී ෆිල්ම් 3ක්ම බැළුවා කියහංකෝ.. ඊයේ තමා අන්තිම එක බැළුවේ... හොබිට්... ඒකත් ගති කතාව...

ඒ වගේම කාලෙක ඉදන් තිබුන කැමරාවක අඩුව සපිරුන..අවුරුද්දත් මේකම තමා...ඇති පදං ගමන් බිමන් යන්ටයි..පොටෝ අල්ලන්ටයි... ලැබුන මේ අවුරුද්ද කෑමෙන් බීමෙන් හා අනික්තු සෑම දෙයින්ම වගේ සපිරුන සුභ අවුරුද්දක් උනා... ඒ වගේම ඒ ඒ ගමන් බිමන් වලට හවුල් වෙන්ට කැමති ඕන අහක යන්ට බය නැති යාළුවෙකුත් මේ අවුරුද්ද පුරාවටම හිටියා... ඒකත් අමතක කරන්ටම බැහැ...

ඒ දේවල්වලට අමතරව මම බොහෝම සතුටෙන් කරගෙන යන මේ බ්ලොග් කෙරුවාවටත් මේ අවුරුද්ද ඉතාමත් හොදයි... බ්ලොග් එක පාළුවට යන්ට නොදී වසරේ මුල පටන් අග දක්වාම ලියන්ට මොනවාම හරි මට ලැබුනා... ඒ වගේම ඒ ලියාපු හැම එකම කියවලා කතා බස් කරලා යන්ට හොඳ යාළු මිත්තරයෝ ටිකකුත් මේ අවුරුද්ද පුරාවටම හිටියා... ඒ හැම කෙනෙකුටම බොහෝමත්ම ස්තූතියි කියලා කියන්ටත් මේක හොද අවස්ථාවක්...

බොහෝමත්ම ස්තූතියි හිත මිත්‍රයිනි...

ඉතිං එළඹෙන අවුරුද්ද ජයද නැද්ද කියන එකට වඩා ගෙවුන..ගත කරපු අවුරුද්ද කොයි තරම් හොඳද කියන කාරණය ගැන සිහිපත් කරමින්ම මම මේ වර්ෂයට සමු දෙනවා... එළඹෙන වර්ෂය කොයි විදියට මගේ ජීවිතේට ආවත්.. ගත උන අවුරුද්දේ සතුට ගැන හිතමින් සංතෝෂයෙන්ම මේ අවුරුද්දට සමු දෙනවා...

ලබන්නා වූ නව වසර සියළුම බ්ලොග් ලියන කියවන ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා...!

ආයුබෝවන්....

29 December 2012

බැඳීමෙන් මිදුන හොත්...

නොමැති කල බැදීමක්..
රැඳීමක් රිදීමක්..
ජීවිතය සිහිනයක්..
එහි නැතේ හැගීමක්..

ඒ නමුත් බැදීමෙන්
මීදීමත් විඳීමක්...
සිහිනයෙන් මිදීමත්..
එක්තරා සහනයක්...

ඇති නමුත් ආ මගක්..
යායුතු වූ මගක් නැත..
අද මෙන්ම හෙට දිනෙත්
හිරු නැගී එයි එහෙත්...

උදාවන නව දිනේ..
කුමක් කල යුතු දැයි කියා
නැත කිසිත් හැගීමක්..
හෙට දිනය හීනයක්...





ගොරකා කෙල්ල...

ඊයේ රෑ මේ අපේ බ්ලොග් ලියන අර වල් හාවා...ඔව් ඔව් අර තඩි හාවා තමා.. ආන්න ඌ මේ ගොරකා කෑල්ලක් අල්ලං බුකියේ දාලා තිබුනා මෙන්න මෙහෙම...

I HATE ගොරකා!! :X

ඉතිං ඒක දැක්කම මටත් නිකං ඉන්න බැහැනේ.. මොකද ඔය හාවා එක්ක වලියක් දාගෙන සාමෙන් ඉන්න එක මගේ බොහෝම හොඳ විනෝදාංශයක්. කොහොමටත් මේ බ්ලොග් අවකාසේ ඉන්න හොඳටවිහිළු තේරෙන හිත හොඳ කොල්ලෙක් තමා ඔය වල් හාවා... ඉතිං මාත් අතෑරියේ නැහැ... මාත් යටින් ලිව්වා “අයි ලයික් ගොරකා“ කියලා...

ඒ කතාව එච්චරයි... ඒත් ඇත්තටම මම ගොරකා වලට කැමතියි තමා... උයන පිහන කොට ඇඹුල් රසය ගන්න අපි හොදි මාළු පිනිවලට දාන දේවල් අතරින් ප්‍රධානම දෙයක් නෙව ඔය ගොරකා කියන්නේ... තව ඉතිං දෙහි/නාරං/බිලිං/තක්කාලි/සියඹලා ඒ විතරක් නෙවෙයි විනාකිරි වගේ කෘතිම දේවලුත් අපි ඔය ඇඹුල් සඳහා යොදා ගන්නවා... සමහර වෙලාවට දෙහි වලින්ම හදන ලුණු දෙහි වගේ දේවල්..එතකොට මොනවයින් හදනවද කියලා අපි නොදන්න... ඒත් හදන උන්නං දෙහිවලින්මයි කියලා හත් පොලේ දිවුරන ලයිමෝල් වගේ කෘතිම දේවලුත් තියේ...

හැබැයි ඔය අතරින් ගොරකා වලට ලැබෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්..විශේෂයෙන්ම මසක් මාළුවක් වගේ දෙයක් උයන්න ගියාම ගොරකා වලින් ලැබෙන තල්ලුව අපමණයි... දැන්නං ඉස්සර වගේ ගොරකා වලට වැඩි සැලකීමක් නැති උනත් මට හොඳට මතකයි ඒ දවස්වල අපේ තාත්තා මූදු මාළු ටිකක් ලැබුනම ගේ පිටිපස්සේ තියෙන මිරිස් ගලේ තියලා ගොරකා කෑලි හත අටක් බොහෝම සියුම්ව අඹරා ගන්න හැටි... ඒ ගොරකා ඇඹුලටම ගම්මිරිස් සුදුළුණුත් අඹරලා අරං හොඳට බොර වෙන්න ඒදලා ලිපේ තියන මාළු හට්ටිය ටික වෙලාවක් යද්දී පළාත පුරාම විහිදෙන විදියට සුවඳ ගහන්ට ගන්නවා... ඒ සුවඳත් එක්ක පාන් ගෙඩියක් දෙකක් කතෑකි... ඒ තරම්ම අපූරු සුවදක් තමා එන්නේ... දැන්නං ඉතිං කාලෙකින් එහෙම මුදු මාළු හට්ටියක් ඉදෙන සුවඳ විඳින්ට ලැබිලා නැහැ... ගලේ අඹරනවා වගේ බ්ලෙන්ඩර් කලාට හෝ කඩෙන් ගන්න තියෙන ගොරකා ක්‍රීම් එකේ ගතියක් නැහැ...

මාත් ඉස්සරනං ගොරකා කෑලි හැපෙනවට ඒ හැටි කැමැත්තක් තිබුනේ නැහැ... ඒත් කාලයක් තිබුනා ගොරකා කෑල්ල හිටං හපලා කාපු... ඒ තමා හමුදා පුහුණුවට ගිය කාලේ... පුහුණුව අතරේ දෙන කෑම ඩිංග බඩට දැනෙන්නේවත් නැති හින්දා ගොරකා කෑල්ල..කුරුඳු පොත්ත විතරක් නෙවෙයි කරපිංචා කොලේ පටන් කන්න ඇහැකි පිගානේ තියෙන හැම දේම කාලා දාපු කාලයක් තමා ඒ... එහෙම වෙලාවට ගොරකා කෑලි දෙක තුනක් උනත් පිගානට වැටිලා තිබ්බට වැඩියක් නැහැ...

ඇත්තටම එහෙම නැතිවනං නිකංම ගොරකා කෑල්ලක් හපලා කන්න හිතෙනවා අඩුයි... ඒත් මට ඔය ගොරකා ගැන මතකය ඇදෙද්දී හැමදාමත් මතක් වෙන චරිතයක් තියෙනවා...

ඒ තමා “අමරක්කා“

අමරක්කා කියන්නේ අමරපාල මහප්පගේ එකම දු...

මං කවදාවත්ම මගේ කතා ලියද්දී ඒ ඒ කතාවලට සම්බන්ධ අයගේ සැබෑ නං කෙලින්ම ලියන්නේ නැහැ... ලියපු කතාවල අංශුමාත්‍රයක්වත් වෙනස් නොකර ඇත්තම කතා ලිව්වා උනත් නම් ගම් තරමක් වෙනස් කරලා තමයි ලියන්නේ... ඔය හාමුදුරුගොල්ල ගැන ලියන කතා උනත් එහෙමයි... උදාරහණයක් හැටියට අර එක පාරක් ලිව්ව ගිරිතලේ හිමියන්ගේ කතාව... එතනදී ගිරිතලේ හිමියන් කියලා මං ලිව්වත් ඒ හාමුදුරුවෝ ගිරිතලේ නෙවෙයි... එයිට අහල පහලම.. ඒ වගේම උච්ඡාරනය කල හැකි ප්‍රදේශයක නමක් තමා උන්නාන්සෙට තිබුනේ...

ඒත් මේ නම් දෙකනං ඇත්තම ඇත්ත නම්... එහෙම ලියන්නෙත් එක හේතුවක් ඇතිව... සමහර විට අද වෙද්දී අමරක්කාගේ දු දරුවෝ ලොකු මහත් වෙලා බ්ලොග් කියවනවා වෙන්ට ඇහැකි... එහෙම කාගේ හරි මේ ලිපිය ඇහැ ගැටුනොත් ආයේ අපිට දැන ඇදුනුංකං හදා ගතෑකි හින්දා... මොකද අමරක්කා අපෙන් ගිලිහුන ඒත් අමතක කල නොහැකි කෙනෙක්... මෙහෙම එකක් හරහාවත් අමරක්කා ආයේ හොයා ගන්න ඇහැකි උනොත් ඒකත් වටිනවා...

මේ අමරපාල මහප්පා කියන්නේ මගේ තාත්තගේ ඥාති සහෝදරයෙක් වෙන කෙනෙක්... උන්දැට බාල තව සහෝදරවරු කිහිප පොලක්ම හිටියා... ඒ හැමෝම තාමත් අපේ ගම අවට ජිවත් උනත්..මොකක් හෝ හේතුවක් හින්දා අමරපාල මහප්පා තරුණ සංදියේදිම ගම හැර ගොහිං රාජාංගනය මැදවච්චිය වගේ පැත්තක ගොයිතැන් බත් කරං ඉන්ට හුරු වෙලා තිබුනා... අමරපාල මහප්පා ගැන අහලා තිබුනට මං කවදාවත්ම දැකලා තිබුනේ නැහැ...

ඒ වෙද්දී මයේ වයස අවුරුදු නවයක් දහයක් වගේ වෙන්ට ඇති... සිස්සත්තේ ලියන කිට්ටුය පාත...

මං මෙයිට කලිනුත් කියලා ඇතිනේ අපේ අම්මා අපි පොඩි කාලේ රට හිටිය හින්දා අපි හැදුනේ වැඩුනේ පේමක්කලගේ ගෙදර කියලා... පේමක්කා කියන්නේ අර මං ලියාගෙන යන බඩා කතාවේ බඩා එක්ක පැනලා ගිය සුමුදු අක්කාගේ අම්මා... ඉතිං අපිත් ඒ කාලේ ඔහේ වැටිලා හිටිය ගමන්ම තමා... මමයි පේමක්කාගේ පොඩි දූයි... ඉස්කෝලේ යන්නේ එන්නේ එකටනේ.. එක දවසක් අපි දෙන්නා ඉස්කෝලේ ගෙහුන් ආපහු එද්දී පේමක්කලගේ ගෙදර නාඳුනන දෙන්නෙක් ඉන්නවා...

පෙනුමෙන් අවුරුදු පණහක් හැටක් වගේ වයසක් තිබුන..උස අඩි පහමාරකට වඩා ටිකක් විතර වැඩි උන හිස මැදින් තට්ටය පෑදුන..වටේ කෙස් කොටට කපලා සරමක් අත් කොට බැනියමක් ඇදලා... කම්බි ලේන්සුවක් උරහිසේ දමාගෙන බොහෝම තේජාන්විත බැල්ලමකින් යුක්ත හිනාවෙද්දී බොහෝම සුදුවට පෙනෙන දත් දෙපළක් තිබුන කලු හීන්දෑරි මනුස්සයෙක් එක්ක... දිග සායක්..අත් කොට බ්ලවුස් එකක් ඇදලා තනි කරලට කොණ්ඩේ ගොතපු නිතඹ හරියට පමණ දිග කොණ්ඩයක් සහිත... බොහෝම කුලෑටි... අපිව දැක්කම හැංගෙන්න වගේ හදන වයස අවුරුදු විස්සක විසි පහක විතර තරුණියක්...

කොහොම හරි මේ දෙන්නා එහෙට මෙහෙට වෙනකල් ඉදලා අපි පේමක්කගෙන් ඇහුවා ඒ කවුද කියලා...

“ආ ඔය ඉන්නේ අර ඉන්ද්‍රපාල බාප්පගේ අයියා..අමරපාල මහප්පයි.. එයාගේ දුව අමරාවතීයි“

ඔන්න ඔහොම තමා අපි මුලින්ම මේ අමරපාල මහප්පවයි අමරාවතී එහෙම නැත්තං අමරක්කවයි දැන හදුනා ගත්තේ...

අමරපාල මහප්පා බොහෝම තරුන වයසේදී ගමෙන් ගිහිල්ලා අනුරාධපුරේ පැත්තේ හේන් කොටනවා කියලයි අපි දැනං හිටියේ... කොහොම හරි ගමේ තිබුන ඉඩකඩං ගැනවත් අයිතියක් නොහොයා.. ඈත පළාතක මහ පොළවත් එක්ක ඔට්ටු වෙච්ච මේ මනුස්සයා ඒ පැත්තෙන්ම දීගයක් එහෙමත් කරගෙන තිබුනා.. ඒ දීගෙන් ලැබුන දරුවා තමා මේ අමරක්කා... ඒත් අමරක්කාගේ මෑණියැන්දෑ අමරක්කවයි මහප්පවයි දාලා පරලෝ යන්ට යෙදීලා තිබුනේ අමරක්කා බාල සංදියේදීම වගේ තමා... එයින් පස්සේ මේ තාත්තයි දූයි තමුන්ගේ පාඩුවේ ජිවිත ගත කරලා තිබුනා...

කොහොම හරි මේ වෙද්දී ලොකු ලමිස්සියෙක් වෙච්ච අමරක්කට තමුන්ගේ නෑදෑ සනුහරේ පෙන්නලා යන්ට තමා මේ අමරපාල මහප්පා ඇවිත් තිබුනේ... කොහොම උනත් ඒ ඇවිදින් සති දෙකක් විතර ඉඳලා උන්දෑ ආපහු ගම රට බලා ගියේ ගොයිතැන් කටයුතුවලට පාඩු වෙන හින්දා... ඒත් පේමක්කලාගේ ඉල්ලීම මත අමරක්කාව එහෙ නවත්තලයි ගියේ...

අම්මා නැති දරුවාට හරි හමන් තැනකින් විවාහයක් කරලා දෙන්නත්... ගමෙන් ඈතට ගිය මේ අයව නැතව ගමේම නවත්තගන්නත් පේමක්කා කැමති උනා... මොනවා උනත් එක ලේ තියෙන නෑදෑකං තියෙද්දී මේ එක කෙල්ලෙකුයි ඒකිගෙ අප්පයි අර පට්ට වනාන්තරයක දුක් විදිනවා බලන්න පේමක්කා නෙවෙයි අපේ තාත්තලා උනත් කැමැත්තක් තිබුනේ නැහැ... ඒත් මහ පොළවත් එක්ක ඔට්ටු වෙලා එයින්ම පදං වෙලා හිටිය අමරපාල මහප්පා ආයේම ගමට ගියේ උන්දැට දැන් ඒ පලාත අතෑරලා එන්ට හිත නොදෙන හින්දා... ඒත් උන්දෑ උනත් කැමති උනා අමරක්කා මෙහෙ නවත්තලා යන්ට..ඒ වගේම මේ පැත්තෙන්ම දීග යනවට.. මොනවා උනත් තමුන්ගේ කියලා නෑදෑයෝ ටිකක් ඉන්නේ මෙහෙනේ... අමරක්කාව උන්දෑ බොහෝම කැමැත්තෙන් තියලා ගියා මෙහෙන් හොඳ දෙයක් කරන්ට හොයලා බලන්ට කියලා...

එයින් පස්සේ ඉතින් අමරක්කත් අපේ ගැන්සියේම එකියක් බවට පත් උනා... මායි මල්ලියි.. පේමක්කගේ දූරු හතර පස් දෙනයි.. අමරක්කයි... පේමක්කලාගේ ගෙදර වැඩට හිටිය දෙමළ කොලුවා වෙච්ච රාජයි...

කොහොම උනත් අමරක්කා අපි හැමෝටම වඩා තරමක් වෙනස් කෙනෙක් කියලා අපිට තේරුනේ ටික දවසක් යද්දියි... උන්දෑ මොනවා කලත් බොහෝම කුලෑටියි... පොඩි විහිළුවක් හුගාක් ලැජ්ජාවෙන් ඇඹරෙන... තරහා ගියාම ඇස් රතුකරගෙන තනියම කුටු කුටු ගාලා ගොරවන... මිනිස්සු ඉස්සරහට එන්න පස්ස ගහන... කුස්සියෙන් එපිට ලෝකයක් නැති අමරක්කා මෙහෙ හිටියට තාමත් හිතිං ඉන්නේ තමුන්ගේ ගමේ කියන වග ටික දවසක් යද්දීම අපි කාටත් තේරුනා...

පේමක්කා තමුන්ගේ දූරුන්ට වගේම ලස්සනට හැඩට ඇදුම් ආයිත්තං මහලා කරලා දුන්නත් අමරක්කා වැඩි විච්චූරණ වලට කැමැත්තක් නැහැ... තමුන්ට හුරු පුරුදු දිග සාය හැට්ට තමා පාවිච්චිය... කොණ්ඩේ ටිකක් මෝස්තරයක් කරලා ගන්න හැදුවත්..ඒවට නෙවෙයි ඉඩ දෙන්නේ.. පොල්තෙල් අල්ලක් ගාලා හොඳට පීරලා තනි කරලට ගොනනවා ඇර..අඩුම ගානේ කරල් දෙකට කොණ්ඩේ ගොතනවටවත් එයා නෙවෙයි මනාප...

ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.. ඒ අතරේ තමා ඔය ගොරකා සීන් එක එළියට ආවේ...

මුලින් මුලින් මේක  අපි දැනං හිටියේ නැහැ.. ඒත් පේමක්කා දැකලා තිබුනා අමරක්කා උයාපු පිහාපු හොද්දට හැන්දක් දාලා අමරක්කා මොනවා හරි හොයනවා.. බැලින්නං එයා මේ ගොරකා හොයනවා... හොද්දට පින්නට දාපු ගොරකා කෑලි ටික හොයාගෙන ඒවා කන්න අමරක්කා බොහෝම කැමතියි... මුලින් මුලින් මේක අපිට විහිළුවට කාරණාවක් උනාට අමරක්කා නෙවෙයි සැලුනේ... මුලින් කාටවත් නොදැනෙන්න කලත් පස්සේ හැමෝම දැන ගත්ත හින්දා එයා කිසි අවුලක් නැතිව පිගානට බෙදාගෙනම ගොරකා කන්න ගත්තා... අපිත් ඒ කාලේ අපිට පෙන්නන්න බැරි ජාතියක් වෙච්ච ගොරකා කෑලි බොහෝම කෑමැත්තෙන් අමරක්කාට පරිතයාග කලා... අමරක්කා ඇස් හීනී කරගෙන එයාගේ අර ලස්සන හිනාවෙන් අපිට සංග්‍රහ කරන ගමන් ගොරකා කෑලි ටික අරගෙන කෑවා... ටික දවසක් යද්දී ඒක අපි කාටවත් කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් බවට පත් උනා...

ඔන්න ඔහොම ඉද්දී දවසෙන් දවසම අමරක්කා තමුන්ගේ තාත්තා ගැන කිය කිය හූල්ලන්න ගත්තා... අන්තිමේදී නිතර නිතර අඩන තත්වෙටත් ආවම පේමක්කා පණිවිඩයක් යවලා අමරපාල මහප්පව ගෙන්න ගත්තා... උන්දැත් බොහෝම කණගාටුවෙන් දුවගෙන ආවා... තාත්තා දැක්ක දූටයි.. දූ දැක්ක තාත්තටයි ඇති උන සංතෝෂය අපිට වචන වලින් කියලා පහදන්න බැහැ... කොහොම උනත් අන්තිමට අමරපාල මහප්පා අමරක්කව ආයේ ගමට එක්ක ගියා...

එයින් පස්සේ අස වෙනකල් ඒ දෙන්නට උනේ මොකද කියලා මං දන්නේ නැහැ... සමහර විට දැන් අමරපාල මහප්පානං මිය පරලෝ ගිහින් ඉන්ටත් ඇහැකි... මොකද මං දකින කාලේ උන්දැට පෙනුම පණහක් හැටක් අනාට ඒ වෙද්දී උන්දෑ වයස හැත්තෑවට ආසන්න මනුස්සයෙක්... අතේ පයේ හයි හත්තියෙන් පොළවත් එක්ක හරි හරියට ඔට්ටු වෙලාම උන්දෑ තමුන්ගේ වයසට වඩා බොහෝම තරුණ පෙනුමකින් හිටියා... ඒත් මේ වෙද්දී උන්දැගේ සහෝදරවරු හැමෝම වගේ මිය පරලොව ගිහින්... උන්දෑ විතරක් ඉන්ට හැටියක් නැහැ... ඒත් අමරක්කානං දැන් දූ දරුවෝ හදාගෙන කොහේ හරි ඈතක ජීවත් වෙනවා ඇති... අදටත් හොද්දට පින්නට දාන ගොරකා කෑල්ල හැන්දට අරං කනවා ඇති... ඒ කන ගමන් සමහර විට තමන්ගේ තරුණ කාලේ එක වංගියක් මාස කිහිපයක් තමුන්ගේ තාත්තගේ ගම් පළාතට ගෙහුං නැවතිලා හිටිය කාලේ ගැන සිහි කරනවත් ඇති... මොකද උන්දැටත් ඒක අමතක නොවන අත්දැකීමක් වෙන්ට ඕන හින්දා... 

උදේ හවහා උයන පිහන කොට ගොරකා කෑල්ලක් සෝදලා හොද්දට දාන කොට... බත් එක කද්දී ගොරකා කෑල්ල බේරලා පිඟානේ පැත්තකට කරන කොට උන්දැව සිහි වෙන එදා පොඩි එකෙක් වෙච්ච එකෙක් තාමත් මෙහෙ ඉන්න හින්දා... අමරක්කට වගේම අපිටත් ඒක අමතක නොවන අත්දැකීමක්...

27 December 2012

ජුංඅල මාරයාට නඩු දමයි...

“මහ මාරයෝ... මහ මාරයෝ... කෝ මහ මාරයා...“

තාත්තා දුවලා පාරට ගියා මොකද මේ වින්කලේ ලොකු අම්මා බෙරිහං දෙන්නේ කියලා බලන්න...

“ඇයි අක්කේ..මොකද..?“

“හුහ්..මොකද තමා... උඹලයේ කොල්ලෝ දෙන්නා අර අපේ අහිංසකයගේ අත කඩලා...“

“මොකක් අක්කේ...? කාගෙද..? කවද්ද..?“

“කාගෙද ඉතිං අපේ ජුංඅලගේ මිසක්... කවද්ද කියන්නේ මේ අද..දැන් ටිකකට කලින්..“

“ලොකු එකෝ..මෙහෙ වරෙං... මොකක්ද මේ කතාවේ තේරුම..ඇත්ත කියාපිය... තෝ ජුංඅලගේ අත කැඩුවද..?

මෙච්චර වෙලා කතාව අහං හිටිය මායි මල්ලියි දිවුවා මිදුලට...

“ජුංඅලගේ අත අපි කැඩුවේ කොයි වෙලේකද..? මේ දැන් තාත්තා අපිට බත් කන්න එක්ක එනකොටත් අර හිටියේ ඕවිටේ කුන්දිරා ගහ ගාව..ඇයි රතනයත් හිටියනේ... අපි අතක් කැඩුවනං තාත්තා දකින්න එපෑ.. තාම බත් කාලා කොහේවත් ගියායෑ...“

“හැබෑවටම අක්කේ..ඔව්නේ... මං මුං දෙන්නා කන්න එන්න පරක්කු හින්දා ගිහින් කෑගහලා එක්ක එද්දිත් ජුංඅලයි රතනයි හිටියා නේන්නං හොඳට ඕවිටට වෙලා... එහෙම අතක් කඩලා තිබුනනං එවෙලේ කියන්න එපෑ..“

“මොකක්... එහෙම වෙන්න බැහැනේ..දැන් ජුංඅලගේ තාත්තා  අහන කොට කොහොමද අත කඩා ගත්තේ කියලා ජුංඅලමනේ කිව්වේ මාරයා තල්ලු කරලා අත කැඩුනා කියලා... පොඩ්ඩක් හිටහංකෝ මං ආයේ ගෙදර දුවලා එන්න..“

ලොකු අම්මා රෙද්ද කරට අරං ආපහු හැරිලා ගියා... මෙන්න ටික වෙලාවකින් එනවා පෙරහැරම... ජුං අලයි.. රතනයයි..ජුංඅලගේ තාත්තයි..වින්කලේ ලොකු අම්මයි කට්ටියම... (වින්කලේ ලොකු අම්මා කියන්නේ ජුංඅලයලගේ තාත්තගේ අයියා ගේ පවුල..ජුංගේ අම්මට ඒ හැටි සිහි කල්පනාවක් නැති හින්දා දන්න කාලේ ඉදන් ජුංඅලයි රතනයි ගැන උන්දෑ හොයලා බලනවා... උන් දෙන්නත් ලොකු අම්මට අම්මේ කිව්වා මිස වෙන නෑකමක් කියන්න ගියේ නැහැ..) ඒ මදිවට අහල පහල ගෑණු දෙන්නෙකුත් ඇවිත් නඩුව අහනවා බලන්න...

“මොකද අයියේ වෙලා තියෙන්නේ... ජුං අල මොකද කිව්වේ...?“

අපේ තාත්තා මිදුලට බහින ගමන් ඇහුවේ ජුංගේ තාත්තගෙන්...

“මේකා අත උළුක් කරංනේ බං... මං ඇහුවම කිව්වේ උඹලයේ ලොකු කොල්ලා ඔවිටෙන් පහලට තල්ලු කරපු කතාවක්.... ඈ බං කොල්ලෝ මොකද උනේ..?“

ඒ පාර පසයාල මහප්පා.. ඒ කිව්වේ ජුංඅලගේ තාත්තා මං දිහාට හැරිලයි ප්‍රශ්නේ ඇහුවේ... ඉතිං මං එපැයි උත්තර දෙන්න...

“අනේ මංනං දන්නේ නැහැ මහප්පේ... මායි මල්ලියි ඕවිටේ කුන්දිරා ගහේ පොල් අතු පැද පැද හිටියා... ජුං අලයි රතනයි බලං හිටියා... ජුං අලත් පොල් අතු පදින්න ඉල්ලුවට මමනේ අත්ත පාත් කරගත්තේ.. ඒ හින්දා මට ඇති වෙනකල් පැදලා මල්ලිට දුන්නා මිස මං ජුංඅලට පොල් අත්ත දුන්නේ නං නැහැ..පස්සේ තාත්තා ඇවිත් කෑ ගැහැවුව හින්දා අපි පොල් අත්ත පදින එක දාලා ගෙදර ඇවිත් බත් කෑවා.. ඒ අතරේ තමා වින්කලේ ලොකු අම්මා මෙහෙ ආවේ...“

කට උත්තරේ දෙන හැටි හොදට බලං හිටිය ජුංගේ තාත්තා වැට අයිනේ තිබුන ගහකින් හොඳ කෝට්ටක් කඩලා එකේ තිබුන කොල ටික එහෙම හූරලා අරං හැරුනා රතනයගේ පැත්තට...

“පොඩි එකෝ... තෝ දකින්න ඇතිනේ මොකද උනේ කියලා..කියහං බලන්න ඇත්තම කතාව...“

කෝට්ට අතට ගත්තා කියන්නේ අනිවාර්යයෙන් ගුටි කෑමක් බව තේරුන රතනයා හිටිය තැනින් පස්සට පැන්නා.. ඒ පැනලා දුවන්න බලාගෙන දුන්නා කට උත්තරේ...

“තත්.. තාත්තේ..අනේ මංනං නෙවෙයි..අයියා තමයි කිව්වේ එහෙම කියන්න කියලා... මාරයා අයියලා කන්න යනකල් ඉදලා අපි දෙන්නා පොල් අතු පදින්න ගත්තා... මා..මාරයා අයියල එන්න කලින් පොල් අත්ත ගලවමු කියලා අයියා හයියෙන් පදින්න ගිහින් අත්තත් එක්ක කඩාගෙන බිම වැටුනා... එහෙමයි අත කැඩුනේ... තා තාත්තා ගහයි කියලා බයට තමා මටත් කිව්වේ මාරයා අයියා තල්ලු කලා කියන්න කියලා... අනේ මටනං ගහන්න එපා.. මූටම ගහන්න..මං නෙවෙයි එහෙම කිව්වේ...“

කියන ගමන් රතනයා කලිසං කොටෙත් අතකින් අල්ලං දුවන්න උනා... ජුංඅලට කර කියා ගන්න දෙයක් තිබුනේ නැහැ... කට අරින්නත් කලින් කොටු පාරවල් දෙකක් පුක හරහා වැදිලා ඉවරයි... වින්කලේ ලොකු අම්මයි අපේ තාත්තයි පැනලා අල්ල නොගන්න ජුංගේ පස්ස පළු යන්න තිබුන වෙලාවක් ඒක...

ආයේ ඉතිං මොකටද බොරු කියන්නේ.. පොඩි කාලේ ඔය දැන් තරං අපි හිතන්නෙත් නැහැ..උං හිතන්නෙත් නැහැ... අපිත් ලොකු කමට පාත් කරගත්ත පොල් අත්ත තනි සම්බුත්තියට පැද්දා මිස අරුංට දුන්නේ නැහැ.. උනුත් අපි යනකල් ඉදලා ඒකේ වාඩුව ගන්න පොල් අත්ත ගලවන්න ගිහින් අත කඩාගෙන ඒක ගෙදරට කියන්න බයට ඇරියා අපේ කරේ... එහෙම වෙලා බොරුව මාට්ටු වෙලා ජුංඅල ගුටි කද්දී අපි දුක් උනා කියලා හිතනවද පින්වතුනි..?අපොයි නැහැ...   දැන් ජුමා ගැන පවු කියලා හිතුනට එදානං එහෙම හිතුනේ නැහැ කියලා ඇත්තම කියන්න එපෑ... මායි මල්ලියි උඩ පැන පැන හිනා වෙවී බලං හිටියා... ඇයි..තව ටිකක් එහෙ මෙහෙ උනානං ඔය විදියට කන්න නියමිත වෙලා හිටියේ අපිනේ... එහෙම උනානං ඌත් අර අපි පැන්නා වගේම උඩ පැන පැන හිනාවෙනවට කිසි සැකයක් නැහැ... ඒ විතරක්නං මදෑ.. එහෙම ගුටි කන්න උනානං මේක මෙහෙම ලිව්වැකිද රෙදිත් අදගෙන... මේක කියවන බොලාලත් උඩ පැන පැන හිනා වෙන්නේ මටමනේ... අපි අහු වෙයි ඕවට...

------------------
ලියලා අහවර උනාට පස්සේ කල්පනාවට ආවේ.. පොල් අතු පැදිල්ල ගැන නොදන්න අය නැහැනේද..? මං හිතන්නේ පොල් අතු පැදලා ඇති කවුරු කවුරුත් දවසකට හරි...

-------------------
කතාව ලියන්න ගත්තේ ජුං අලගේ මේ වගේ කෙටි කතා තුනක් ලියන්න හිතං..ඒත් මේ දවස්වල නෙට් කොනෙක්සොම ස්ලෝ හින්දා දිගට ලියලා පබ්ලිෂ් කරන්න ගියාම පැයක් විතර දගලන්න වෙනවා... කලින් ලියාපු මාමලගේ ගෙදර කතාව ලියන්න පැයයි..පබ්ලිෂ් කරන්න විනාඩි හතලිස් පහයි.. ඒ කට්ට අදත් කන්න ඕන නැහැනේ...

26 December 2012

පෙණ නඟින ජිවිතය...




බියර් නොමැති ජීවිතයක් කුමක් වැනි...
රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී...
බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

පසෙකින් සිහිල් සුළගින් පිරි ෆෑන් එක...
අනිත් පසින් බෝල වඩේ පීරිසිය...
ඒ මැද්දෙන් බැදපු මිරිස් කරල් ඇත...
මෙයිට වඩා තව සැපයක් කොයි ඇද්ද...

දුක සැප කුමක් වූවත් නිති ලගින් සිටී..
මිතුරන් ලෙසින් සැමදා තනි රැකිය හැකි..
දුක මෙන් සැපෙත් කිසිදා අත් නොම හරිතී..
නුඹ වන් තවත් කිසිවෙක් මේ ලොවම නැතී..

කලකින් සිහි උනේ නුඹගේ මිතුරු දම...
ලගින් සිටිය අය මට පිටු පාපු කල...
දුක සැප දෙකෙහි සැමදාටම ජීවකය.
බියර් වඩිය නුඹමය මගේ ජීවිතය...


25 December 2012

මාරයා මාමා බලන්න ගොහිං... වෙච්ච දේ 2...

“මේ ඔන්න මං දැන් එනවා..ගෙවල් ගාව පාර අයිනේ ඉන්නේ... බල්ල ලෙහලා නං බැදලා දානවා... තමුසෙලගේ තාත්තට කියනවා වතුර වීදුරුවට මල් ටිකක් දාලා පෙරමගට එන්න කියලා...“

“ඔයාට පිස්සුද අනේ... මෙච්චර උදේ පාන්දර එන්න... තාම වෙලාව හතයි... මං මේ නැගිටින්න හිතුවා විතරයි... “

“මල මගුලක්නේ.. යකෝ වැදගත් වැඩකට යද්දී උදේම යන්න කියලනේ අපේ මහ උන්දලා කියලා තියෙන්නේ මං ඉතිං උදේම ආවා... ඒක නෙවෙයි තාත්තා බැදලාද..?“

“මොකක්..තාත්තා බැදලද..? තාත්තා බැන්දේ නැත්තං මං ඉන්නේ කොහොමද..? අපේ අක්කා ඉන්නේ කොහොමද..? මල්ලි ඉන්නේ කොහොමද..? ඔයා හිතුවද අපේ අම්මා තාත්තා වැද්දෝ කියලා කසාද නොබැද ළමයි හදන්න..?“

“සොරි සොරි..වැරදුනා මෙයා..ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. මං ඇහැවුවේ බල්ලා ගැන...මට පොඩ්ඩක් ටැපලුනා...“

“චික් විතරක්..ඔයාට බල්ලත් එක්ක මාරු වෙන්න අපේ තාත්තා ඇර වෙන කෙනෙක් හිටියෙම නැද්ද..?“

“හරි හරි වදේ මං කිව්වනේ ටැපලුනා කියලා.. අනික ඉතිං මාරු වෙන්න උනත් තාත්තයි මල්ලියි ඇර වෙන වැදගත් කෙනෙක් නැහැනේ ගෙදර... ඒ හින්දා ඕකට සමාව භාජනය කරලා ඇහැවුව ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ... නැත්තං උදේ පාන්දරම බල්ලට කියලා ඊටින් කරගන්න වෙන්නේ මට...“

“අනේ මේ අපේ බල්ලට ඔයාව ඊටින් කරන්න ඕන නැහැ ඌට හොඳට කන්න බොන්න දේවල් මෙහෙ තියෙනවා... ඔයා බය නැතිව එන්න ඌ මේ වෙලාවට පාර පැත්තේ ඇවිදින්න ගිහින් ඇති.. තව පැයකට  දෙකකට එන්නේ නැහැ...“

“ඇහ්..බල්ලා උදේම ඇවිදින්න යනවද... ඌ මරු බල්ලෙක්නේ... බල්ලා පාන්දරම ඇවිදින්න යනවා..කෙල්ල බුදි..අනේ මංදා..මං මේ ගන්න යන තීරණේ හරි එකක්ද කියලා... බල්ලෙක් හැදුවනං මීට හොඳා වගේ කියලත් හිතෙනවා...“

“මගේ යකා අවුස්සන්න එපා මේ උදේ පාන්දර... එනවනං එනවා..ගේට්ටුව ඇරලා ඇත්තේ... තාත්තා ඇති ටීවී බල බල... මං එන්නං ඉස්සරහට...“

“හා හරි හරි එහෙමනං ඔන්න මං ෆෝන් එක තිබ්බා...“

------------------------

“ආනේ මේයා උදෙන්ම ඇවිත්...අපි දන්නෙවත් නැහැ... තාත්තේ.... ටිකක් එන්නකෝ මෙහෙට...“

“ඇයි අප්පා මං දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වේ එනවා කියලා... මේ ඩිංගට අමතක උනාද..?“

“කෑ නුගහ ඉන්නවා බූරුවෝ..තාත්තට ඇහෙයි..“

“හරි හරි..ආන්න එහෙම නම කියලා කතා කලානං මං තේරුං ග්නනවනේ.. මේ ඒක නෙවෙයි ඔයා අද හරි වෙනස්නේ... අදුරන්නත් අමාරුයි..ඇත්තටම කතා නොකලනං මං අදුරනොගන්නත් තිබුනා... වෙනදට දකිනවා වගේ නෙවෙයිනේ.. මූණත් නිකං කලු වෙලා... කොණ්ඩෙත් අවුල් වෙලා... ඇයි යට මලානික වෙලා.. ඒ මදිවට මූනේ තිබුන උපන් ලපෙත් නැහැ නේද..? මේ.. ඇත්තටම ඔයා ඔයාම නේද..?“

“අනේයි..... වද දෙන්න එපා අනේ උදේ පාන්දරම.. මං තාම මේ නැගිට්ටා විතරයිනේ... ඉන්නකෝ මං මූණ කට හෝදං මේකප් පාර දාං එනකල්..“

“එක අතකින් උදේම ආව එකත් හොඳයි... බඳින්න කලින්ම සැබෑ තත්වය දැක බලා ගන්න ලැබුන එකත් වටිනවනේ...“

“අනේ මේ...“

“ඇයි පොඩි දූ කෑ ගැහැවුවේ... ආ..මේ කවුද මේ...?“

“අංකල් මං මේ...“

“තාත්තේ මං අර පෙරේදා කිව්වේ මගේ යාළුවෙක් මෙහෙ එනවා කියලා.. මේ එයා..“

“ආ..ආ.. යාළුවෙක් කිව්වම මං හිතුවේ ගෑණු ළමයෙක් කියලනේ... මෙයාද ඒ..“

“ඔව් ඔව් මෙයා තමා ඒ... තාත්තේ මේ මාරයා... මාරයියේ..මේ අපේ තාත්තා..“

“මොකක් මාරයා... යකෝ තොට පිස්සුද යක්කු පෙරෙතයෝ මාරයෝ එක්ක දැන ඇදුනුංකං තියා ගන්න..“

“නැහැ නැහැ අංකල් මගේ නම ඒක නෙවෙයි..ඒත් ඉතිං මෙයා මාව අදුර ගත්තේ ඔය මාරයා කියන කෑල්ලෙන්නේ..“

“ආ ආ ඒක මිසක්... මං හිතන්නේ ඔය ලමයගේ වාසගම මාරසිංහ වෙන්ට ඇති..“

“නැහැ අංකල්..මාර සිංහ නෙවෙයි..ඕක මේ මං බ්ලොග් ලියන්න දාගත්ත නමනේ..“

“බ්ලොග් ලියන්න..? දැන් බ්ලොග් ගල් ලියනවද..? මං දැනං හිටියේ බ්ලොග් හදනවා කියලා විතරයිනේ... ඒත් ළමයෝ වියාපාරෙකට දාන්න හොඳද ඔය වගේ නමක්.. මාරයා බ්ලොග් ගල් කිව්වම මිනිස්සු සල්ලි දීලා ගනීද තමුන් හදන ගෙයකට..?“

“අනේ තාත්තේ.. බ්ලොග් කියන්නේ ඔය උලවු ගලකට නෙවෙයි.. ඒවා මේ ඉන්ටනෙට් එකේ කෙරෙන දෙයක්... මාරයියා බ්ලොග් ලියන කෙනෙක්... කොහේද මං කිව්වට තාත්තා කොම්පියුටරේ ටිකක්වත් ඉගෙන ගන්න එකක්යෑ...නැත්තං දැන ගන්න තිබුනා බ්ලොග් ගැන.. මාරයියා හෙනට ප්‍රසිද්ධයි බ්ලොග් ලියන අය අතරේ..“

“අනේ මං දන්න බ්ලොග් ගලක් නැහැ... ප්‍රසිද්ධයි කිව්වට කෝ අපි කවදාවත් අහලා නැහැනේ මෙහෙම නමක්...“

“දැන ගන්න තාත්තා බ්ලොග් කියවනවද.? නෙට් යනවද..? ෆේස් බුක් එකේ ඉන්නවද..? එහෙම ඉන්න එපෑ මාරයියා ගැන දැන ගන්න..“

“අනේ මේ උඹ මගෙන් උදේ පාන්දරම අහගන්නේ නැතිව ගිහින් මුණ කට හෝදං හිටහං..බලපං හැටි විතරක්... කුණු කෙල බේරෙනවා..“

“ඊ ඊ ඊ.. තාත්තා හරි නරකයි... මේ මාරයියා ඉන්න තැන මට ඔහොම කියනවද..? මං යනවා... මාරයියේ ඔයා තාත්තත් එක්ක කතා කර කර ඉන්න.. අරක ගැනත් කියන්න..“

“ඈ ළමයෝ මොකක්ද ඒ අපේ ළමයා කියලා ගිය අරක..“

“ආ ඒ ගැන කතා කරගන්න තමා අංකල් මං මේ අද ආවෙත්... එයාම තමා කිව්වේ කෙලින්ම ඇවිත් ගෙදරින් අහන්න කියලා..“

“හ්ම්ම්. කියමුකෝ බලන්න..“

“මෙහෙමයි අංකල්.මායි සුදු නංගියි දැන් අවුරුද්දක‍ දෙකක කාලයක විතර ඉඳන් දැන අඳුරනවා.. ඇත්තම කිව්වොත් මං එයාට කැමතියි.. එයත් එහෙම තමයි.. ඉතිං එයා කියනවා හැමදාම මෙහෙම ඉන්න බැහැ බඳින්න ඕන කියලා.. ඒකයි මං මේ ආවේ ඒ ගැන අංකල්ලට කියලා අවසර අර ගන්න..“

“මොකක්.. යකෝ මේකි මේ ගෙදර ඉන්නේ දෙකට ගැන ගන්න බැහැ වගේනේ... මෙච්චර හරියක් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඇස්වහලා කොලානං මේකි මේකිගේ අම්මගේම දූ තමා... ආ ආ ඒ කතා මෙතනට ඕන නැහැ ඒ කාලෙට ඉතිං ඒවා එහෙම තමා.. හරි හරි අපි කාරණේට එමුකෝ... කොහොම උනත් ඔය ළමයා කෙලින්ම ඇවිත් මේ ගැන අහපු එක හොඳයි... ඉතිං. මේ ළමයා ගැන විස්තරයක් අපි දන්නේ නැහැනේ... කියමුකෝ බලන්න කොයි පළාතෙද කියලා..“

“ආ අංකල්..මම උපන්නේනං සබරගමු පළාතේ...“

“ආ... සබරගමුව කිව්වා.. එහෙමනං මැණික් මුදලාලිලා වෙන්න ඇති... මේ...ඒයි..ඇහුනද.. මේ ළමයෙක් ඇවිත් ඉන්නවා.. තේ එකක් හදං එමුකෝ...“

“හපොයි නැහැ අංකල්.. මං සබරගමුවේ උපන්නට මොකද මගේ අම්මා තාත්තා බස්නාහිර පළාතේ අය..“

“ආ ආ ඒ කියන්නේ සබරගමුවේ ඉඩකඩං ඇති... ඒකයි මේ ළමයා සබරගමුවේ උපන්නේ.. බස්නාහිරත් නරක නැහැ.. ඒත් සබරගමුවේ ඉඩ කඩං තියෙද්දී බස්නාහිර ඉන්නේ මොකටද.. ඒ වෙන්න ඇති ඔය ළමයින්ගේ දෙමව්පියෝ සබරගමුවේ පදිංචියට යන්න ඇත්තේ..“

“අංකල් විකාර කියවනවනේ... සබරගමුවේ ඇති ඉඩමක් නැහැ... තාත්තාට සබරගමුවට මාරුවක් ලැබුන හින්දා ගියා මිසක්..“

“ආ.. එහෙමද... මාරුවිම් තියෙන්නේ ඉතිං රජයේ රැකියාවලනේ.. ඒ කාලේ රජයේ රැකියාවක් කියන්නේ ඉතිං බොහෝම ලොකු තනතුරක් තමා... ඉතිං ඉතිං තාත්තා මොන දෙපාර්ථමේන්තුවේද..?

“දෙපාර්ථමේන්තුවක් නෙවෙයි අංකල්.. මේ සීටීබී එකේ..“

“ඈ..එහෙමද.. හුම් හුම්.. මේ...ඒයි ඇහුනද... ඔය ප්ලේන්ටි දෙකක් හැදුවනං ඇති... පිටි බොන්න හොඳ නැහැ මෙලමයින් තියෙනවා...“

“ඉතිං අංකල් මං දැන් පදිංචියනං බස්නාහිර.. හැබැයි අම්මලා තාත්තලා එක්ක නෙවෙයි තනියම තමා... රස්සාව කරන්නේත් බස්නාහිරම තමා...“

“ආ ඒක හොඳයි.. දැන් රටේ වැදගත් රස්සාවල් තියෙන්නේ කොළඹට සිමා වෙලානේ... ඈත පළාත්වල ඉතිං කුඹුරු කොටන්න තමා තියෙන්නේ.. ඉතිං මේ ළමයා ආණ්ඩුවේ රස්සාවක්ද කරන්නේ..?

“නැහැ අංකල් ප්‍රයිවෙට්..“

“ආ දැන් ඉස්සර වගේ නෙවෙයි රජයේ රස්සාවල් වලට වඩා පෞද්ගලික අංශවල පඩි හොදයි... ඉතිං කොහේද රස්සාව කරන්නේ. කොම්පියුටර් අත පත ගානවා කිව්ව හින්දා ඒ සම්බන්ධ රස්සාවක් වෙන්න ඇති කරන්නේ..?

“අනේ නැහැ අංකල් කොම්පියුටර් අත ගාන්නේ රස්සාවටනං නෙවෙයි... මං මේ සිකුරිටි ජොබ් එක්ක කරන්නේ..“

“මොම් මොකක්...සිකුරිටි... ඒයි මේ ඇහුනද...? තේ එපා...තේ බොන්න තාම උදේ වැඩියි වගේ...“

“ඔව් අංකල්... සිකුරිටි...“

“අනේ අම්මපා දැන් හැදෙන කෙල්ලෝ... කොහෙන් හොයා ගන්නවද මංදා මේ මගුල්... පොඩ්ඩී..මෙහෙ වර...“

“නංගි බාත් රූම් එකේ තාත්තේ... එයාට ඒකෙන් එළියට එන්න තව වෙලා යයි.. ආනේ මේ කවුද මේ...“

“මේ උඹලගේ නංගි හොයාගෙන තියෙන මනමාලයා... එයා තමා මේ එන්න කියලා තියෙන්නේ මගුල් කතා කරගන්න..කෝ එතකොට අම්මා.. මං දැන් වරුවක් තිස්සේ කතා කරනවා...“

“අම්මා මල්ලිව ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට ගෙනිච්චානේ උදේම... ඇයි තාත්තට කිව්වේ නැද්ද..?“

“එයාට කොහේද මට ඕවා කියන්න මතක තියෙන්නේ යකෝ ඉරිදටවත් අර පොඩි එකාට නිදා ගන්න දෙන්නේ නැද්ද මේ යෝධි...“

“නැහැ නැහැ මල්ලිනං ගියේ නිදාගෙනම තමා..අම්මා තමා මල්ලිව වඩාගෙන ගියේ.. පිට්ටනිය ගාවදී අම්මා මලිල්ව ඇහැරවයි.. “

“මේ සුදු නංගිගේ අක්කා වෙන්න ඇති...“

“ඔව් ඔව් මං අක්කා තමයි... ඔයා දැක්ක ගමන් අදුරගත්තා නේද..? කොහොමත් අපි දෙන්නම එක වගේනේ.හැමෝම කියනවා. සමහරුනං මං එයාගේ නංගි කියලත් රැවටෙනවා...“

“නැහැ ඉතිං එයා වගේම හින්දා නෙවෙයි උදේ පාන්දරම මූණේ පාප්ප වගයක් ගාගෙන එළියට එද්දී මං අදුරගත්තා.. සුදු නංගි මට කියලා තියෙනවා අක්කාට අහුවෙන ඕන දෙයක් උරච්චි කරලා මූනේ උලා ගන්නවා කියලා... ඉතිං දැක්ක ගමන් ඇදුරුවා..“

“තාත්තේ... මේ බලන්නකෝ.. නංගි මෙහෙමත් නාදුනන අයට අපේ විස්තර කියනවද..? හිටපියකෝ මං අද ඕකි තියන්නේ නැහැ... “

“හා හා ලොකු දූ කොහේද ඔය දුවන්නේ... උදේ පාන්දරම නංගි එක්ක රණ්ඩු අල්ලන්නේ නැතිව ඉන්න.. මේ ළමයත් හරි පුදුම එක්කෙනෙක්නේ.. පොඩි දූ කිව්වා උනත් ඕවා දන්න වග එක පාරට කියනවද..? දැන් ඉතිං අද අක්ක නගෝ කෙහෙ වළු පටල ගත්තම අපිට ගෙදර ඉන්න වෙන්නේ නැහැ...“

“තාත්තේ... මේ අක්කා මට ගහනවෝ... අනේ... මාව බේරගන්ඩෝ..“

“අර අර..දැක්කද... මං හිතුවා හරි.. අද මේකේ විසුමක් වෙන්නේ නැහැ... ලොක්කී..අතෑරපං ඔය නංගිව...“

“අතාරින්න.. අතාරින්න තමා... මං තාම බදින්න හිතලවත් නැහැ... ඒත් මේකි ගෙදරට මිනිස්සු ගෙන්න ගන්නවා මදිවට ඒ අයට මං ගැන බොරුත් කියනවා... ඒකි බලන්න එන අය මාව දැකලා ඒකිව අතාරියි කියලා ඊරිසියාවටද කොහේද..? ඉහි ඉහි මටනං මේ ගෙදර ඉඳලා තිත්ත වෙලා.. මං යනවා ඔළුව හැරුන අතේ...“

“හා හා යනවනං ඔය මූණ හෝදන් පලයං දුවේ...පාරේ යන උන් බය නොකර...“

“හුහ්..තාත්තත් මට ඇදේටමයි කතා කරන්නේ... මං යනවා..ඉහි ඉහි...“

“හම්මේ ඇති යන්තං ගියා නේද ඇතුලට... මං හිතුවේ අද දවසම විනාසයි කියලා.. ඔයින් ගියා මදෑ... මේ පොඩි දූ මෙහෙ එනවා..“

“ඇයි තාත්තේ... මං තව හරියකට ලෑස්ති උනෙත් නැහැ...“

“ඔය ලෑස්ති උනා මදෑ.. මොකද අදම පෝරුවේ කටයුතු කරන්නද.. මෙහෙට වර..“

“ආ ඔන්න දැන්නං ඔයා ඔයා වගේ... දැන් තමා හරියම අඳුරගත්තේ.. උපන් ලපෙත් මතු වෙලා තියෙන්නේ..“

“තාත්තා ඉන්න තැනවත් විකාර නොකියා ඉන්න බැරිද..? ඇයි තාත්තේ කතා කලේ...?“

“ඈ බං පොඩ්ඩියේ.. මේ ළමයව කොහෙන්ද හොයා ගත්තේ.. බලහං හරි හමන් රස්සාවක්වත් නැහැ... ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් තියෙනවද මංදා..“

“ ආ ඉන්න තැනක් තියෙනවා අංකල්.. මං කුලියට ගෙයක් අරං ඉන්නේ... ඒක දෙන්නෙකුට ඉන්න ඇති.. පස්සේ කාලෙක ඕනනං තව ටිකක් ලොකු ගෙයක් කුලියට ගන්න බැරියෑ...“

“මොකක් කුලියට... හනේ බං පොඩ්ඩියේ... ඉන්න කියලා තමන්ගේ තැනක් නැහැ... අම්ම තාත්තා නැහැ... හරියකට රස්සාවක් නැහැ... උඹලා ජීවත් වෙන්නේ කොහොමද..?“

“ඒවා ඒ හැටි ප්‍රශ්න නෙවෙයිනේ තාත්තේ.. මෙයාට බ්ලොග් එකක් තියෙනවා... ඒක හුගක් හිට්ස් තියෙන බ්ලොග් එකක්.. අම්මෝ දවසකට වැටෙන කොමෙන්ට් ගොඩ...“

“මොකක්..මොකක් බං... කොමෙන්ට්..හිට්ස්..බ්ලොග්..ඒවා කතෑකිද බං බඩ ගින්නට...  ඒක තියෙන්නේ තමන්ගේම තැනකද..?“

“නැහැ තාත්තේ ඒක තියෙන්නේ ඉන්ටනෙට් එකේනේ... මං මෙයාව අදුරගත්තෙත් එහෙමනේ.. හම්මේ ඒකේ මෙයාට තියෙන තැන... තාත්තලා දන්නවනං තාත්තත් හැමදාම මෙයාගේ බ්ලොග් එක කියවයි..කමෙන්ට් කරයි... මමත් බ්ලොග් එකක් පටන් ගත්තේ ඒක දැකලා... දැන් මගේ බ්ලොග් එකටත් ටිකක් කට්ටිය ඉන්නවා.. හැබැයි මෙයිට වඩා කට්ටිය කලින් ආවා.. ඒත් මාරයියා එක්ක යාළු උනාට පස්සේ ඒක ප්‍රසිද්ධ කලාම කලින් ආව අයියලා දැන් කමෙන්ට් කරන්නේනං නැහැ... මොකද මංදා..?..“

“මං දන්න බ්ලොග් එකක් නැහැ.. දැන් ඒකෙන් හම්බ කලෑකිද..? ඔය කිව්ව හිට්ස්ද මොනවද සල්ලිවලට හැරෙවුවැකිද..?..“

“පිස්සුද තාත්තේ ඒවා එහෙම කරන්න බැහැ.. ඒත් මෙයා ඒ බ්ලොග් එකෙන් කරන්නේ එසේ මෙසේ වැඩ නෙවෙයි.. කෙලින්ම ආණ්ඩුවේ ලොකු ලොකු අය ගැන ලියන්නේ... ඒ අය මෙයා ගැන දන්නවා  හුගක්.. ඒකත් මදෑ..“

“ආ ආණ්ඩුවේ අය එක්ක ඇඳුරුංකං තියේද..? එහෙම කියන්න එපෑ කලින්... මේ දුවේ මේ ළමයට තේ එකක් හදං වරෙංකෝ... අම්මත් ගෙදර නැහැ...ඉතිං ඉතිං ළමයෝ... ඔය ළමයා ය කියන එකේ ලියන්නේ ආණ්ඩුවේ කොයි කොයි අය ගැනද..? ..“

“හරි හරි මං හදන් එන්නං...මං වතුර එකත් ලිපේ තියලා ආවේ...“

“ ආ අංකල් මංනං වැඩියම ඒකේ ලියන්නේ අපේ මහින්ද අයියා ගැන තමා... “

“මහින්ද කිව්වේ අර මහින්ද විජේසේකරද..? හ්ම්ම් ඒකත් නරක නැහැ..ලෙඩා දුකා උනත් පරණ සම්බන්ධකං ඇතිනේ... ඒවත් නරක නැහැ...“

“නැහැ අංකල් ඒ මහින්ද ගැන නෙවෙයි..“

“ආ එහෙමනං මහින්ද සමරසිංහ ගැන වෙන්න ඇති... හප්පා විජේසේකර ගොයයා එක්ක බැළුවම සමරසිංහ ඇමතිතුමාට මොනවා කරන්න බැරිද...බොහෝම හොඳයි...“

“නැහැ නැහැ අංකල් මං මේ මහින්ද අයියා කිව්වේ... ජනාධිප....“

“හම්මපා... යකඩෝ එහෙම කියන්න එපෑ... කවුද දන්නේ එච්චර හරියක්...  මේ පොඩ්ඩියේ... නිකංම නිකං තේ හදන්නේ නැතිව අර නෙස්ටමෝල්ට් ටිකක්වත් දාලා හදහං හොඳ රසට තේ එක... ඉතිං ළමයෝ ඔච්චර සම්බන්ධකං තියාගෙන ඇයි මේ මුර රස්සාවක් කරන්නේ... ආ හරි හරි සමහර විට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා ඇති ඔය ළමයට... ඔය වගේ තැනක ඉදන් මුර කරන ගමන් රටේ තොටේ සිද්ධ වෙන දේ ගැන හොයලා ලියනවට... එහෙමත් නරක නැහැ තමා...

“අනේ නැහැ අංකල්.. එහෙම ගෙවිමක්නං නැහැ.. මේක මං මේ කැමැත්තෙන් කරන දෙයක්... කොටින්ම මහින්ද අයියා දන්නෙවත් නැහැ මං මෙහෙම කරනවා කියලා...“

“පොඩ්ඩියේ... පරක්කු වෙනවනං ඔය නෙස්ට මෝල්ට් නැතිවට කමක් නැහැ.. නිකං කහට ටිකක් හරි අරං වරෙං...“

“ආ මං තේ හදලා ඉවරයි... නෙස්ට මෝල්ට්නං දැම්මේ නැහැ මෙයා කැමති ප්ලේන්ටිවලට හින්දා ප්ලේන්ටිම හැදුවා..“

“ඈ බං මෙච්චර මේ කාලයක් තිස්සේ උඹ ගෙදර ඉන්නවා.. මේ මං කැමති මොනවටද කියලා දන්නේ නැහැ.. ඒකටත් එක්ක වෙන අය කැමති ප්ලේන්ටිද අරකද මේකද කියලා දන්නවා... අනේ මෙහෙමත් ළමයි හැදුවනේ අපිත්... ඒක නෙවෙයි මොකක්ද මේ හොයං තියෙන්නේ... මේ ළමයා ආණ්ඩුවේ ලොකු ලොකු තැන් දැනං හිටියට කිසිම වාසියක් අරං නැහැනේ... මෙහෙමත් පුළුවන්ද ජීවත් වෙන්න... අද මං විතරක් ගෙදර හිටිය හින්දා හොඳට ගියා.. බැරිවෙලාවත් අර අම්මණ්ඩි ගෙදර හිටියනං මෙතන වසලා හමාරයි... උඹලා හොයා ගත්තට අපිට එහෙම ආවට ගියාට කැමැත්ත දෙන්න බැහැ.. අඩුම ගානේ ඔය දන්න කියන ලොක්කෙක්ගෙන් ආණ්ඩුවේ රස්සාවක්වත් ඉල්ලගෙන ආවනං මට මේ ගැන අම්මා එක්ක කතා කරන්නවත් තිබුනා.. දැන් මං කොහොමද මේ ගැන උන්දැ එක්කවත් කියන්නේ... මෙන්න කලින්ම කිව්වා..මටනං මේ ගැන මොනවත්ම වචනයක් කියන්න බැහැ.. උඹලා දෙන්නා කතා වෙලා කොහොම හරි මුලින් මේ ළමයව මනුස්සයෙක් කරගෙන හිටහං.. එයින් පස්සේ ඇවිත් අම්මත් ඉන්න දවසක මේ කාරනේ කියමු... එහෙම නැතිව මේක උන්දෑ එක්ක කියන්න මට බැහැ... ඔන්න මං කල් ඇතිවම කිව්වා.. දැන් ඔය ළමයා ඔය තේ එකත් බීලා  ගිහින් එන්ට.. මං යනවා පොඩි වැඩක් කරන්න...“

“හරි අංකල්...“

“මේ මොනවද අනේ අපේ තාත්තා එක්ක ඔයා කිව්වේ... ඔයාටනං පිස්සුද මංදා... දැන් මොකද අපි කරන්නේ... අනේ මංදා තාත්තා කියන කතාත් ඇත්ත.. ඔයා ඔහොම ඉන්නේ නැතිව ඔය ආණ්ඩුවේ අඳුරන අයට කියලා මොනවා හරි කර ගන්නකෝ... ඕක ලොකු දෙයක්යෑ... අනික හැමදේම සල්ලිවලට යන කාලේ... නිකං මොකටද එක එක්කෙනාට කඩේ යන්නේ... ගිහිං ඕක ලියනවට ගානක් ඉල්ල ගන්නකෝ..“

“මේ විකාර නොකියා ඔන්න ඔය තේ එක මෙහෙට දෙනවා... උදේ ඉදන් වතුරවත් නැහැ... යකෝ මගුල් කතා කරන්න එන්න කියලා මල මගුලකනේ මං පැටලුනේ...“

“ඉහි ඉහි... එයාටනං මොකද..මං එපෑ ගෙදර අයගෙන් බැනුං අහන්න.. දැන් අම්මා ආවම අක්කා මොන ජල්ලියක් අල්ලයිද දන්නේ නැහැ.. අදනං මට ගුටි කන්න වෙන්නේ අම්මගෙන්... අඩුම ගානේ තාත්තා කියනවා වගේ පිළිවෙලක් තිබුනනං අම්මා ටිකක් හරි ෂේප් කරගන්න තිබුනා.. කොහෙද මෙයාට තේරෙනවෑ ඕවා... මංම එපෑ හැමෝගෙන්ම බැනුං අහන්න...ඉහි ඉහි...“

‘හා හා අඩන්න කලින් තේ එක මෙහෙ දෙනවා... නැත්තං ඒකත් ලුනු රහ වෙයි... හරි හරි අඩන්නේ නැතිව ඉන්නවා.. මං ගිහිං මොකක් හරි පිළිවෙලක් කරං එන්නං.. ඕවා ඒ හැටි වැඩ නෙවෙයි... මං මේ උවමනාවක් නැතිව හිටියා මිසක්.. මං හෙට නැත්තං අනිද්දා අරලිය ගහ මන්දිරේ පැත්තේ ගිහිං පිළිවෙලක් කරං එන්නං.. දැන් හරිනේ...“

“හී හී.. ආ තේ එක.. හොද ළමයා..ආන්න එහෙම එන්න එපෑ... අනේ පරක්කු කරන්න එපා හොදද..? කවද්ද ඔයා එහෙ යන්නේ..?“

“හරි මං ලබන බ්‍රහස්පතින්දා දිහාවේ ගිහිං එන්නංකෝ... එතකොට කතාව ඉවරයිනේ..“

“හොද ළමයා..හී හී...“

“මේ එහෙනං මං ගිහින් එන්නං...තාත්තටයි අක්කටයි කියන්න මං ගියා කියලා...“ 

“හා..තාත්තටනං කියන්නං..ඒත් අර හෝන්තුවටනං කියන්න මට බැහැ...පරිස්සමින් යන්න.. ටටා...“

“ටටා...ඔයින් ගියා මදෑ...

----------------------------------

මතු සම්බන්ධයි...

23 December 2012

කාහං පරිප්පු...

ඊයේ කොළඹ ගෙහුං එන්ට රෑ උනා... 

ආ මුලින්ම කියන්ට එපෑ... අර උසාවියක් හමුවේ වැරදිකාරයෙක් වෙන සීන් එකට පොඩි කොමාවක් දාන්ට උනා... ඒක පස්සේ දවසක වෙයි වෙන මොකක් හරි සීන් එහෙකින්... වැටිලා තිබුන නඩුව ගොඩ ගියා... ඒකත් අපේ බ්ලොග් ලියන කියන හාදයෙකුට පිං සිද්ධ වෙන්ට... “ඒ පිළිබඳ වැඩි දුර විස්තර කියන්ට එපා තෝ මරනවා“ කියලා තදින් තර්ජනය කරපු හින්දා ආයේ මොටද එච්චර උදව්වක් කරපු එකාව නිකං මිනී මරුවෙක් කරන්නේ... ඒ හින්දා කෙටියෙන්ම කියන්ට තියෙන්නේ උන්නැහේට පිං සිද්ධ වෙන්ට නඩු බලවන්නේ නැතිව බේරුනා... (බලං ගියාම බ්ලොග් ලියන කියන එකෙත් සෑහෙන වටිනාකමක් තියේ නේද..?) මේ කරගත්තා වූ කුසල බල මහිමයෙන් ඒ උන්නැහේටත් සසර වසනතුරු නිවන් දකිනතුරු අඩුවක් නැතිව නඩු බලවන්ට වාසනාව උදා වේවා..!

ඉතිං කොහොමින් හරි ඊයේ ඒ වැඩේ ගොඩ දාගෙන ලැයිසොමත් අරගෙන තව තව ගමන් කිහිපයකුත් ගෙහුං ගෙදරට කඩං පාත් වෙද්දී ටිකක් රෑ උනා... රෑ නිදාගන්ට යද්දිම හිතාගත්තා අද උදේ උයන්නේ නැතිව වැඩට ගෙහුං මගේ සුපුරුදු ආහාර සපයන්නා වන නන්දේ අයියගෙන් කෑම එකක් අරං කනවා කියලා... ඒ ඉතිං කොළඹ ගෙහුං ආව මහන්සියට ටිකක් දවල් වෙනකල් නිදියන්ට එහෙම හිතං නෙවෙයි... ගේ හරියේ උයන්න කියලා දේවල් තිබුනේ නැහැ කියලා දන්න හින්දා.. මොකද ඊයේ හෙනහුරාදා.. අද ඉරිදා... ඉරිදා කියන්නේ මං පොලේ යන දවස නෙව... ඉතිං කොහොම හරි පොලේ යන්න දවස සෙට් වෙද්දී ගෙදර තියෙන සමහර උයන පිහන කලමනා ගානට අහවර වේගන ඇවිත් තියෙන්නේ...

ඒ අනුව අද උදේ උයන්න පොල් තිබ්බෙත් නැහැ..එලෝලු මුකුත් තිබුනෙත් නැහැ... එළවළු වට්ටියේ කරපිංචා රතුළුණු සුදුළුණු ඇරුනම එකම එක අමු මිරිස් කරලක් තිබුනා... එහෙම තියෙද්දි මොකට උයනවද... අල්ලලා දාලා පැය බාගයක් විතර වැඩියෙන් නිදාගෙන..එයින් පස්සේ පොලේ ගෙහුං බඩු මුට්ටු ටික ගෙනත් දාලා වැඩට යනවා කියලා තමා කල්පනා කරගත්තේ...

ඒත් වෙච්ච කෙලිය කියන්නේ... මං ඔන්න හය හමාරට එලාම් එක තියලා නිදා ගත්තා... ඒත් ටිකක් වැඩියෙන් නිදා ගන්නවා කියලා හිතන හැමදාමත් වෙනවා වගේ අදත් එලාම් එකට කලින් ඇහැරුනා... අපරාදේ කියන්න බැහැ වෙනදා පුරුද්දට කෙලින්ම ගිහින් හාල් ටික හෝදලා රයිස් කුකර් එකට දාලා කරන්ට් එකටත් ගහලා ගියා මූන කට හෝදගන්ට.. ඒ ගෙහුන් කල යුතු වැඩ පල කොරගෙන එද්දි තමා මෙන්න එළාම් එක වදින්න ගත්තේ...

කෙලලා තියෙන්නේ තාප්පෙටම.. යකෝ එතකොටයි මතක් උනේ මං මේ එළාම් එක වෙනදා වගේ උදේ හයට නොතියා හය හමාරට තිබ්බේ අද උයන්නේ නැතිව ඉන්න නේද කියලා... දැන් මොකද කරන්නේ.බත් එක ඉදීගෙන එනවා... පොලේ යන්නත් ඕන... අද පොලේ නොගියොත් පොල් ටිකක් එහෙම ගේන්ට වෙන්නේ නැහැ අඩුවට... මේ දවස්වල පොල් ගණන් නෙව.. කඩවලින් පොල් ගන්නවට වඩා පොලෙන් ගන්න කොට සෑහෙන ලාබයක් තියේ... එහෙමයි කියලා බත් එක අහක දාන්නයෑ...

වැඩිය කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැනේ.. බලද්දී ඔන්න පරිප්පු ටිකක් තිබුනා... පට පට ගාලා ඒක හෝදලා වතුර ටිකකින් ලිපේ තියලා ඒක රත් වෙන ගමන්ම තමා අනිත් කලමනා ඒකට එකතු කලේ... කොහොම හරි අන්තිමට පරිප්පු හොද්දක් මිරිසට හදා ගත්තා... ආයේ තව තව දේවල් හදන්න වෙලාව මදි

මං ගියා පොලේ... ඒ ගෙහුන් කරවල.. පොල්.. අල.. ඇතුළුව මං පොලෙන් ගන්න බඩු සැට් එක අරං දුවලා ආවා ගෙදර.. අර උයලා තිබුන බත් එකයි පරිප්පුවයි බෙදලා උදේට එකයි දවල්ට එකයි බත් පාර්සල් දෙකත් බැදලා.. හට්ටි මුට්ටි හෝදලා..මාත් නාගෙන කොරගෙන... ලැප් එක තියෙන මල්ලයි... පොත් පත් මල්ලයි බත් පාර්සලුයි.. බයික් එකේ සයිඩ් බොක්ස් දෙකට ඔබං දුවලා ආවා හරියටම අට වෙද්දී වැඩ පොල ඇතුලේ... මොනවා කලත් වෙලාවට වැඩ කරන්ට එපෑ...

අද ඉරිදා කියලා නැහැ අපේ පැට්ටේරිය වැඩ.. මේ ටිකේ හදිසි ඕඩර් වගයක් ඇවිත්... ඒ හින්දා සනිපෙට ඉන්ට තිබුන නිවාඩු දවස් ටිකත්  වැඩ කරන්ට වෙලා කස්ටියට... ඉතිං අදාල උදවිය ආවම පැට්ටේරියේ දොරවල් එහෙම ඇරලා දීලා මං ඇවිත් කෑම එක කාලා වැඩ අල්ලන්ට ගත්තා...

පරිප්පුයි බතුයි...

--------------------------------------
පහුගිය කාලේ මං බොහෝම ආසාවෙන් කියෝපු පොත් වගයක් තිබුනා... ඒ ඔක්කෝමෙ වගේ පරිවර්ථනය කරලා තිබුනේ අපිට හිටිය බොහෝම දක්ෂ පරිවර්ථීකාවක් වෙච්ච “චින්තා ලක්ෂ්මී සිංහආරච්චි“ මැතිණිය විසින් තමා... ඇය වංග භාෂාවෙන් ලියැවී තිබුන පොත් රාශියක් සිංහලට හරවලා බෙංගාල ජීවිතය අපිට හදුන්වා දෙන්න සමත් උන කතුවරියක්...

මාවතේ ගීතය.. අපරාජිත ජිවිතයක්..අපුගේ ලෝකය.. කියන පොදුවේ අපූ ත්‍රිත්වය යනුවෙන් හදුන්වන පොත් තුන...
ගෝ දානය... අරණකට පෙම්බැඳ..වගේ පොත් හැම එකම වගේ මං දැකපු... නැහැ දැකපු නෙවෙයි බලපු කිව්වනං වැඩියම හරි... මං ඉතිං ඔය මොන පොත පත කියෙව්වත් ඒවයේ එන කෑම බීම සංස්කෘතිය ගැන ටිකක් වැඩියෙන් බලන කෙනානේ... ඉතිං මේ පොත්වලත් තිබුන.. ඒ වගේම මං උනන්දුවෙන් බලපු දෙයක් තමා එම පොත් ලියැඋන කාල වකවානු අනුව බෙංගාලයේ දුප්පත් මිනිස්සු කෑව බිව්ව හැටි...

ඉන්දියාවේ ආහාර සංස්කෘතිය බොහෝම විවිධත්වයක් තියෙන එකක් නෙව... ඒකට හේතු ගොඩක් තියේ... ආගම් බර ගානකුයි.. ගෝත්‍ර බර ගානකුයි..විවිධ දේශගුණ තත්වයන් යටතේ ඇති ප්‍රදේශ ගණනාවකුයි... එකතු උනාම ඒ ඒ දේවල්වලට අනුව කෑම බීමේ උනත් සෑහෙන්න වෙනස්කම් සිද්ධ වෙනවා නෙව... ලංකාව සෑහෙන පුංචි රටක් වෙලත් උතුරු කොනෙයි දකුණු කොනෙයි සෑහෙන තරමක වෙනස්කම් මේ ආහාර වල තියෙනවා නෙව... ඒත් පොදුවේ ගත්තම අපේ රටේ එහෙම වෙනස් වෙච්ච ආහාර සංස්කෘති බර ගානක් නැහැ... ඕක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වැනි ජාතීන් කීහිපයකට අනුවයි..ප්‍රධාන වශයෙන් දුප්පත් පොහොසත් කියන කාණ්ඩ දෙකයි අනුව තමා වෙනසක් වෙන්නේ... එයිට අමතරව ආගමික වශයෙන් තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් විතරයි... කෙටියෙන් කිව්වොත් මුස්ලිම් අයට ඌරා.සහ හින්දු අයට හරකා වගේ... අපිටනං ඉතිං ඔය කෝකත්...

ඒත් ඉන්දියාවේ එයිට වඩා ලොකු වෙනස්කම් තිබුන බව පොත පත කියවද්දී තේරෙනවා... මං කියාපු පොත්පත්වල වැඩි හරියක් විස්තර වෙන්නේ දුප්පතුන්ගේ ආහාර පාන ගැන තමයි... අතරින් පතර තැනක පෝසතුන්ගේ ආහාර වට්ටෝරු ගැන ලියඋනත් ඒවයෙත් ඇති මහා අරුමයක් නැහැ.. එකම දේ දුප්පතුන් යන්තමින් කන ටිකම පෝසතුන් ගොඩ ගොඩවල් කාලා දාන එකයි...දුප්පතුන් වරකට එකක් හෝ දෙකක් වශයෙන් ගන්න කෑම..පෝසතුන් වරකට වර්ග හත අට කාලා දාන එකයි... ඒ ඇරුනම දුප්පතුන්ගේ ගෙවල්වල උත්සව අවස්ථාවකට විතරක් අසීරුවෙන් හදන රස කැවිලි වගේ දේවල් පෝසතුන්ගේ ගෙවල්වල එදිනෙදා හැදෙන එකයි... මේ කියන්නේ බටහිර බෙංගාලය ආශ්‍රිතවයි...

මේ පොත් හැම එකකටම වගේ අනුව බෙංගාල දුගී මනුස්සයා ජීවත් උනේ කොහොමද කියන එකත් පුදුමයක්... බත් කියන දේ ඔවුන්ට නිතර කන්න ලැබෙන දෙයක් නෙවෙයි... බත් ටිකක් උයාගන්න ඉදහිට හාල් ටිකක් ලැබුනත් ඒ හාලත් බොහොම රළු හාලක්... රොටී වර්ග..අල වර්ග.. ඇට වර්ග වගේ දේවල් තමා එදිනෙදා කෑම වෙලේ වැඩි පුර තිබුනේ... සමහර තැන්වල කියැවෙනවා අපූ කල්කටාවේ ජීවත්වෙන කාලෙත් කන්න නැතිව ජිවත් වෙන හැටි.. උයාගෙන කන්න පටන් ගත්තා උනත් බත් කන්න වෙන්නේ අමුමිරිස් වගේ දේවල් එක්ක... පරිප්පු හොද්දක් වගේ දෙයක් එක්ක බත් ටිකක් කන එක සෑහෙන තරමේ දෙයක් අපූට...

අරණකට පෙම්බැඳ කතාවේ වගේම අපූගේ කතාවලත් කියැවෙන තවත් අපූරු දෙයක් තමා කුලය අනුව පහත් කුලවල අය උයන දේත් උසස් කුල වල අය නොකන එක... සමහරක් වෙලාවට අන්ත දුප්පත් උනත් කුලය බ්‍රාහ්මණ වීම නිසා අඩු කුලයේ කෙනෙක් අතින් උයන දේ කන්න වෙන්නේ නැහැ... එහෙම පැත්තකට ගියාම බ්‍රාහ්මණය සිද්ධ වෙනවා අර අඩු කුලයේ කෙනා දෙන අමු ආහාර වර්ග අරං..තමන් විසින්ම උයා පිහාගන්න... වැරදිලාවත් අර අඩු කුල  වල මිනිස්සු බ්‍රාහ්මණ අයට දෙයක් උයලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ... ඒ අය ඒක දකින්නේ පාපයක් විදියට... බ්‍රාහ්මණයොම හදපු නීතී වලින් බ්‍රාහ්මණයොම බැට කන අවස්ථා නැතිවමත් නෙවෙයි කියලා ඒ වෙලාවට හිතෙන්නේ...

ඔන්න ඔහොම පොත් ටික කියවපුවාම මට මතක් උනේ මං දන්න කියන හාමුදුරු කෙනෙක් හිටියා බොහෝම ඉන්දියාවේ සංචාරය කරපු... උන්නාන්සේ මට ඒ දවස්වල විස්තර කියනවා ඉන්දියාවේ ඈත පලාත්වල මිනිස්සු අදටත් ජීවත් වෙන විදිය ගැන... මේ පොත් බලද්දී තමා තේරුනේ උන්නාන්සේ අද ඒ මිනිස්සු ජීවත් වෙන විදිය කියලා කියපුවාම තමා මේ පොත් ලියවෙන කාල වලදීත් ඒ මිනිස්සු ජිවත් වෙලා තියෙන විදිය වෙලා තියෙන්නේ... තමන් දාඩිය මහන්සිය වගුවරලා හිටෝපු දේත් ඉඩං අයිතියටයි.. ණය ගෙවිල්ලටයි හිලවු කලාම ඒ මිනිස්සුන්ට කන්න දෙයක්වත් ඉතිරි වෙන්නේ නැති තරං...

අපිත් පුංචිකාලේ ඉදන් දුප්පත්කමේ අඩියේ හිටියා උනත් වත්ත වගේ කොස් දෙල් තියෙනකල්.. වත්ත පහල කජු ගස් ටික..කොහිල වල තියෙනකල්...ගේ වටේ තිබුන හරි හමන් විදියේ කෙහෙල් කනක් නොවැටුනත්... කෙහෙල් මුහ හරි හැදුන කනාටු කෙසෙල් ගස් ටික තියෙනකල්... ගම පුරාම තිබුන කෑලෑ මණ්ඩිවල තියෙන කොල පලා තියෙනකල්... දෙයියනේ කියලා හිටෝන දේ පැල කරගන්න වැස්ස වැටෙනකල්... බඩගින්නේ ඉන්නනං උනේ නැහැ... බටහිර බෙංගාලි දරුවන්ට වගේ කබලේ බැද ගත්ත කවුපි විතරක් හෝ...එහෙම නැත්තං කඩල පිටි ටිකක් වතුරෙන් අනලා පුළුස්ස ගත්ත රොටී කෑල්ලනේ පමණක් හෝ මාස ගණන් ජීවත් වෙන්න උනේ නැහැ... ඇත්තටම ලංකාව ජීවත් වෙන්න බොහෝම හොද රටක් කියලා නොකියා කොහොමද..? (මේක තවත් හොඳ වෙන්න තිබුනා දේශපාලුවෝ කියන කාණ්ඩේ නොහිටියානං....)

-----------------------------

නැහැ හිත නරක් කර ගන්න දෙයක් නැහැ... අනිත් එකා අපිට අන්තයි කියලා හිතලා හිත හදාගන්න සීන් එකක්මත් නෙවෙයි... අප්‍රිකානු දරුවෝ පාන් පිටි කැඳ (පාප්ප) වලින් ජීවත් වෙද්දී... බෙංගාල දරුවා රොටී කෑල්ලෙන් පණ ගැට ගහගද්දී... පරිප්පුයි බතුයි කෑහම මක් වෙනවද..?

කාහං පරිප්පු...


22 December 2012

මතක හිටින්න කෑව කෑමක්...


මේ කෑම එක දැක්කම ඒ හැටි දෙයක් හිතෙන්නේ නැහැ නේද..?ඒත් ඒකත් එක්ක තියෙනවා අපූරු කතාවක්... ආන්න ඒ කතාවත් එක්ක තමා මට ඔය කෑම එක රහ වෙන්නේ...

------------------------------------------

අද උදේ උය උය  ඉන්න ගමන්නං මට මේක මෙහෙම ලියන්න හිතක් තිබුනේ නැහැ.. ඒත් උයා ගත්ත එක බෙදාගෙන කෑවට පස්සේ තමා යකෝ මේ ගැන ලියන්න ඕනනේ කියලා හිතුනේ... ඒ අපූරු අතීත මතකයක් එක්ක මේ කැම සම්බන්ධ හින්දා...

ඇත්තටම මේ සීන් එක උනේ බොහෝම අහම්බෙන්...

මං කලිනුත් කියලා තියෙනවනේ ඔය ඉස්කෝලේ යන එක නැවතුනායින් පස්සේ අතට අහුවෙන එක එක ජාතියේ වැඩ කොර කොර කිය කිය හරි හොයා සපයාගෙන කාලේ ගත කරපු වග... ඒ විතරක් නෙවෙයි නිකං ඉන්න කාලෙට මිනිස්සු ගෙදරට ඇවිදින් කතා කරං එක්ක යන වග ගොයං වැඩ කාලෙට... (හරි හරි මඩවන්න තමා ඉතිං)

එහෙම එක එක්කෙනාට නිකං කඹුරද්දී කාලයක් යනකොට කුලියට ගොයං කපන වැඩත් සෙට් උන වග මං කියලා ඇතිනේ... මෙන්න මේක අනෙත් ආන්න එහෙම සංදියක තමා...

වැඩි හරියක් හිතවත්කමටයි.. ටික හරියක් කුලියටයි කුඹුරු කප කප ඉන්න අතරේ දවසක් දා හදිසියේම වැඩ කර කර හිටිය කුඹුරක් අහලට ආව "පියා" අයියා මට කතා කොලා...

"ඩිංගක් මෙහෙට වරෙංකෝ රකුස් මල්ලියේ.." කියලා... (ඒ දවස්වල කස්ටිය මාව ඇමතුවේ රකුසා කියලා... ඒක උනේ චතුෂ චස්ස වෙලා අන්තිමට කොහොම හරි චස්ස රකුස් උනා... අන්තිමට රකුසා... ඕක ඉතිං සිංහලෙන් යකෙක් උනාට නිකං රකුසා කිව්වම ජපන් නමක් වගේනේ..මයෙත් මොකද කියලා මං ඉවසා වදාරලා හිටියා..)

"ඇයි බං පියා අයියේ කියාගෙන මාත් කප කප හිටිය දෑකැත්ත කරේ එල්ලං උන්දෑ හිටිය ඇළ කණ්ඩිය අහලට ගියා..."

"මල්ලියේ හෙට පිංකං කැපිල්ලක් තියේ..උදේම අපේ පැත්තට වරෙං ඕං"

"පිංකං කැපිල්ලක්.. ඒ මොකක්ද බං..?"

"මේ ගොයං කැපිල්ලක්ම තමා බං..උඹ වරෙංකෝ මං කියනවට.."

එහෙම කියලා "පියා" අයියා යන්න ගියා...

මාත් පහුවදා උදේ පාන්දරම මූණ කට හෝදං ගියා "පියා" අයියලයි අහ....

"පියා" අයියා තිරිවීලරේ එලෝන මනුස්සයා... බොහෝම සරල හාදයා.. කාටවත් කරදරයක් නැති.. උදව්වක් උපකාරයක් ඉල්ලුවහම නැහැ බැහැ නොකියා උදව් උපකාර කරන එකා.. ඒ හින්දා ඌ කිව්වම අපිත් ඉතිං උගේ වැඩකට නොයා හිටියේ නැහැ... කොහොම හරි එදා උදේ වැඩි කට්ටියක් හිටියේ නැහැ... පියා අයියයි..මායි තව එකෙකුයි.. ඔක්කෝම අපි තුන් දෙනයි...

බැලින්නං මේ ලියදි කෑලි දෙකක කුඹුරක් කපලා දීමක් තියෙන්නේ...

කුඹුර අයිති බොහෝම දුප්පත් පහේ වයසක ජෝඩුවකට... දුවා දරුවෝ දීග ගෙහුන් රටේ තැන් තැන්වල ජිවත් වෙන හින්දා උන්දලට මේ ජෝඩුව බලන්ට එන්ට ඒ හැටි කාලයක් නැහැ.. මුංදලා දෙන්නත් එකාට මෙකාට නැවෙන්න යන්නේ නැතිව තියෙන හැටියට කාලා වැටිලා නිදියන ඩබල... ළමයින්ට තිබුනා කියලා උන් මෙයාලට කොරපු මහ කෙංඩියක් නැහැ වගේම උන්ගෙන් අරක මේක ඉල්ලන්න ගියෙත් මෙයාලනං නෙවෙයි...

මෙතුවක් කාලයක් මේ ලියදි දෙකේ කුඹුරු කෑල්ල මේ ජෝඩුව තමන්ට පුළුහං හැටියට තනියම වපුරාගෙන කොලේ කපාගෙන හිටියත් මේ කන්නේ කුඹුර වැපුරුවට පස්සේ මහ උන්දෑ තරමක අසනීප ගානේ වැටිලා... ආච්චි අම්මට පුළුහං හැටියට කුඹුරට අළු පොහොර.. ගොම පොහොර යොදලා... වල් ගලෝලා..වතුර බැඳලා... ගොයම පරිස්සං කරගෙන තිබුනා.. ඒත් උන්දැට උනත් මේක තනියම කපලා පාහලා ගෙට ගන්ට හැටියක් නැති තැන තමා "පියා" අයියට දුක කියලා තිබුනේ... ඒත් නිකං නෙවෙයි අතේ තියෙන හැටියට කීයක් හරි දෙන්න මේක කපලා වී ටික ගෙට අරං දෙන්න කියලා... පියා අයියා හිත හොඳ මනුස්සයා වෙච්චි අපිටත් මේ වග කියලා දැන් නිකංම ගොයම කපලා දෙන්නයි සූදානම... මෙහෙම වැඩකදී කවදත් කර අරින ගතියක් නොතිබුන හින්දා අපි දෙන්නත් මේකට සැට් උනා...

උදේම පියා අයියලගේ ගෙදරින් පානුයි පොල් සම්බෝලෙකුයි කොටා බාලා තේ කහටත් බීලා අපි ගියා දෑකැති තුනකුත් අරං කුඹුරු කෑල්ලට... ගිහිං අහ අහ ඉන්නේ නැතිව පටන් ගත්තා කැපිල්ල... මෙන්න ටික වෙලාවක් යද්දී අර ආච්චි අම්මා එනවා කුඹුර දිහාවේ...

"හනේ පුතේ උඹලා අද එන වගක් කිව්වේ නැහැනේ... මං හිතුවේ නැහැ ඊයේ කිව්ව පරක්කුවට උඹලා අදම මේකට අත ගහයි කියලා... දන්නවනං මං මොනවා හරි උදේට හදං එනවනේ.. හිටහල්ලා මං විගහට කන්න මොනා හරි අරං එන්න" 

කියලා ගේ පැත්තට යන්ට හදද්දී පියා අයියා උන්දැව නවත්තගෙන අපි උදේට කාලා තේ කහට බීලාම ආව වග කිව්වා... දවල්ටත් මොනවත් හදන්න එපාය කුඹුරු මණ්ඩිය කෙලවරෙන් පාරට ගොඩ වෙලා තේ කඩෙන් මොනවා හරි කාලා ඇවිත් වැඩේ කරලා දෙන්නංය කියලා...

ඒත් අරුංදෑ නෙවෙයි ඒකට මනාප උනේ...

"තොපිට පිස්සුද යකුනේ... මේ වැඩ කරනවා මදිවට තව කඩෙන් කන්න.හිටහං මං තියෙන හැටියට දවල්ට කෑම ඩිංගක් හදං එන්න" 

කියලා උන්දෑ පිටත් වෙලා ගියා.. ඒ ගෙහුං ආයේ ටිකකින් තේ කහට ජොග්ගුවකුයි... වතුර කලගෙඩියකුයිත් ගෙනත් තියපි...

අවසානේ දවල් ඉර  මුදුන් වෙද්දී මෙන්න  උන්දෑ බැරි බැරි ගානේ ලොකු පංකොල මල්ලක අඩුම කුඩුම වගයක් ඇන්න ඇවිත් අපිට දවල් කයියට කතා කලා... ඕවිටේ තිබුන ලිදෙන් අත පය හෝදං අපිත් උන්දැගේ පුංචි පහේ කයිය කන්න සෙට් උනා...

ඇත්තටම ගොයං කයියකට ගියාම සමහර කුඹුරු කාරයෝ උපන් ගෙයි තියෙන කුම්මැහි කමට සමහර වෙලාවට කයිය හදනවා උනත් වැඩි හරියක් ගොයි මහත්තුරු කයි බත කියන එක දෙනවා ආයේ උස්මුරුත්තාවට එන තරමට කන්න.. කොහොමටත් ඔය කයි බතයි.. මල බතයි තරං මට වෙන කිසිම බතක රහක් නැහැ නෙව... දාන ගෙවල් බතයි දන්සැල් බතයි තියෙන්නේ එයිට පහලින්.. මගුල් බත එයිටත් පහළින් ඒ තමා මගේ ලිස්ට් එක..

මේ වයසක උන්දෑ මහා විසාලෙට නැතත් තමන්ට පුළුහං හැටියට පුංචි පහේ කයි බතක් හරි ගස්සං ඇවිත් තිබුනා... තම්බපු කුඹුරු හාල් බතට... උන්දැගේ ගෙදර හැදුන වැලක තිබුන කැකිරි ගෙඩියක් පහේ බැදලා උයලා... කට්ට කරෝල කටු හොද්දක් එක්ක පපඩං බැදගෙන එන ගමන් ගේ අහල තිබුන කොච්චි ගහක් හූරලා කොච්චි කරල් අහුරකුත් ඇන්න ඇවිත් තිබුනා...


කියන්න වචන නැහැ.. අරුන්දැගේ හිතේ තිබුන හිතවත්කමයි ලෙන්ගතුකමයි මුහු වෙච්ච ඒ වගේ බතක් ආයේ කවදාවත්ම මට කන්න උනේ නැති තරං... එහෙමත් රහක්.. කැකිරි වෑංජනෙයි කරෝල කටු හොද්දයි එක්ක බත් කන්දක් අනාගෙන..පපඩං තීරුත් එක්ක කොච්චි කරල් හප හප දුං විසි වෙවී එදා කාපු ඒ බත් එකේ රහ අදටත් මේක ලියන කොට මට දැනෙනවා... ඒ මං හිතන්නේ කෑමේ රහත් එක්කම අරුංදැගේ අත් ගුනෙයි හිත් ගුනෙයි දෙකම එකතු වෙච්ච හින්දා වෙන්ට ඕන...

ඒ කෑම වේලේ රහ අදටත් දැනෙන හින්දා තමා ඒ විදියට උයාගෙන කාලා බලන්න තාමත් මට හිත් දෙන්නේ... මං කෑම ගලපන්නේ අපේ තාත්තගේ ක්‍රමයට උනත් මේ වගේ අමතක නොවන විදියේ කෑම වේල් දෙක තුනක් හින්දා ඉඳ හිට ඒ ඒ විදියටත් උයලා බලන එක ඉබේම වගේ සිද්ධ වෙන දෙයක්... මේත් එදා ඒ ආච්චි අම්මා අපිට දුන්න කයි බත හින්දාම මතකයේ තිබිලා උයන කෑම වේලක් තමා...

උන්දලානං දැන් ජීවතුන් අතර නැතිවත් ඇති... ඒත් ඒ මතකයන් හැමදාටමත් මේ මාරයාගේ හිතේ කොනක තියෙනවා... බොහෝම රසවත්ව....



21 December 2012

අපරාදේ...

දැන් ඉතිං හෙටත් වැඩට යන්න වෙනවා... ඉරිදට පොලේ යන්න වෙනවා... බයික් එක ඉදල හිටලවත් හෝදන්න වෙනවා. හප්පා රෙදි හෝදන්නත් ඕන... උයන්නේ නැතිව කන්න හැටියක් නැහැ... 

ඒ ඔක්කෝමත් හරි කියමුකෝ.. ඊයේ හවහා වැස්ස පෙනි පෙනි ඉක්මනට එන්න හදිසියට ගාලු පාරේ පේමන්ට් එක උඩින් බයික් එක පැදං ගිහින් පොලොසියට අහු වෙලා වෙච්ච කෙලිය... එක්කෝ ඌ දඩ කොලයක් දුන්නනං එකක්.. කෙලින්ම උසාවි... ලයිසම පොලීසියේ... අද මේක උනානං මම මැරෙන්නේ නීතිය ඉදිරියේ අච්චු නොකෙරුව මගේ ආදරුසමත් චරිතයත් ආරක්ෂා කරගෙන.. දැන් ඉතිං ජනවාරියේ ඉස් ඉස්සෙල්ලම හා හා පුරා කියලා ගෙහුං උසාවියක කූඩුවට නැගලා “වැරදිකරු සුවාමිනි" කියලා කියහංකෝ ලැජ්ජා නැතිව.. එයින් පස්සේ මමත් උසාවියක දඩුවමකට අහු වෙච්ච එකෙක්.. ෂික්.. ඒ හැම දේකින්ම නිදහස් වෙන්න තිබුන එක නේද මේ හේදිලා ගියේ...

දැන් ඉතිං ඒ ඔක්කෝම ඉවරයි...

හැමදේටම වඩා දුක වෙන එහෙකට නෙවෙයි..වැරදිලාවත් ඕකෙන් බේරිලා ඉතිරි උනානං... ඇදුම් ඇතිව හෝ නැතිව..ආතල් එකේ බිලී පිත්තකුත් අරං ඉතිරිවෙලා තියෙන කොහේ හරි දිය කඩිත්තකට බිලී කොක්ක දමාගෙන මහ හයියෙන් සිංදුවක් කියාගෙන ඉද හිට මාළුවෙක් අල්ලං අර පිහි දෙකෙන් එකක් අරං මාළුවාව සුද්ධ බුද්ද කොරලා..ගිනි ගලෙන් ගින්දර ටිකක් හදාගෙන රොඩු බොඩු ටිකක් අවුලවලා මාළුවාව පුළුස්සං කාලා හිතේ හැටියට ඇවිදලා..හිතුන තැනක වැටිලා නිදියලා පාඩුවේ ජිවත් වෙන්න තිබුන නේද කියලා හිතෙන එකනේ...

ඇයි දෙයියනේ දෛවය මේ තරං අකාරුණික...

මේ..ඒක නෙවෙයි ඔය මායා වරුන්ට අමතරව අර ඉන්කා වරු කියලා ජාතියක් හිටියා නේද..? නැද්ද උන්නැහේලවත් කොටාපු පරණ කැලැන්ඩර් එහෙම... අතර මගදී ගල අහවර හින්දා කොටන එක අතෑරලා දාපු...

නැහැ ඉතිං මං කියන්නේ අපිටත් කියලා හිත හදං ජීවත් වෙන්න මොනවාම හරි බලාපොරොත්තුවක් තියෙන්න එපෑ..නැද්ද මං අහන්නේ..?

20 December 2012

වෙච්ච දේ...

“ඒයි මේ.."

“ඇයි මොකද..?"

“පොල්ලෙන් ගහනවා වගේ අහන්නේ නැතිව ඇයි මොකද කියල අහන්නකෝ..."

“හුටා... මං ඒ පොල්ලෙන් ගැහුවද... හරි හරි සුදූඌඌඌ කියන්නකෝ බලන්න මොකද කියලා..."

“ආන්න එහෙම එන්නකෝ මෙයා.. මේ ඒක නෙවෙයි..."

“ඒක නෙවෙයිනං කෝකද..?"

“ඔය ආයෙමත් පොල්ලෙන් ගහනවා වගේ..."

“සොරි සොරි මෙයා... කෝකද වස්තුවේ...?"

“හී හී... හරි හුරතල්... මේකයි..දැන් මෙහෙම හැමදාම හිටියැකිද..?"

"කොහොමද..?" 

ඔය ආයෙමත්... අනේ මංදා ඔයා එක්කනං කතා කරන්න බැහැ..."

“වැරි සොරි මෙයා..ඒ මං අහන විදියනේ.. පොල්ලෙන් ගහනවා නෙවෙයි..ඉතිං කියාගෙන යන්නකෝ බලන්න..."

“දැන් අපිට හැමදාම මෙහෙම හිටියැකිද පිළිවෙලක් නොවී... ඒ හින්දා අපි දැන් පිළිවෙලක් වෙන්න ඕන නේද..?"

“මොම් මොකක්..පිළිවෙලක්.. ඇයි දෙයියනේ දැන් පිළිවෙලක් නැතිවයෑ.. මේ බලන්නකෝ... ඔයා ලස්සනට ඇදලා කරලා ඉන්නවා... හරි පිළිවෙලයි... පිටින් බැළුවම කිසිම දෙයක් පේන්නේ නැහැ.නරකක් හිතෙන්නෙම නැහැ.. ඉතිං ඔයිට වඩා කොහෙද පිළිවෙලක්.."

“හරි නරකයි... මං කිව්වේ ඒකක් නෙවෙයි අනේ... අපි කවද්ද බඳින්නේ.."

“හුටස්... ඉස්මොල්ලේ යන කතා කියන්න එපා සුදූ මේ යහතින් ඉන්න වෙලාවේ... මේ හදිසියේ මොන බැඳිළිද..?"

“ඔයාටනං හැම එකම විහිළු... අපේ අම්මලා තාත්තලා අහන ප්‍රශ්න වලට මං මොනවද කියන්නේ.. හැමදාමත් මට එයාලට පුප්ප පුප්ප හිටියැකිද මට ඕන නැති මඟුලක් නැහැ කියලා... ඔයාටනං මේවා තේරෙන්නේ නැහැ..ඉහි ඉහි..."

“මලා..පටන් ගත්තා නේද ටැප් එක අරින්න... හා හා නාඬා... මං අඬන්න දෙයක් කිව්වෑ... අම්මපා මේ කසාඳේ කියන මඟුල හොයා ගත්ත එකා මට අහු උනානං අර ඇපල් නිව්ටන් එක්කම එකට තියලා හිටුවා පස් ගහනවා මං..අම්මපා..ඇත්තමයි... අපරාදේ අර රටක් වටින ධාතුසේන රජ්ජුරුවොන්ට මුං හිටුවා පස් ගැහුවේ..මරන්න තිබුනේ ඔය අරකයි මේකයි හොයා ගත්ත උන්වනේ... මුං මැරිලත් අපිට නිවනක් නැහැ.. ෂික්.."

“ඒකත් විහිළුවට ගත්තා... මට දැන් ජීවිතේත් එක්ක එපා වෙලා තියෙන්නේ... හැමදැම අම්මටයි තාත්තටයි සැර දාලා මට දැන් ඇති වෙලා... මට ගෙදර ගියත් සැනසීමක් නැහැ.. අම්මලා මාව කතාවට අල්ලගෙන බඳින්නේ නැද්ද අහනවා... ඔයා එක්ක හිටියත් සැනසීමක් නැහැ..කිසි දේක බරක් පතලක් නැහැ මං කියන කිසි දෙයක් කනකට ගන්නේ නැහැ... වැඩට ගියත් සැනසීමක් නැහැ... එතන උනුත් කවද්ද අපිට කේක් කිය කිය කරදර කරනවා.. මං දවසින් දවස වයසට යනවා... අහල පහල උන් බැදලා ළමයි හදං නිකං ඉන්නේ නැතිව මටත් ළමයි හදන්න එනවා... මටනං  දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.."

“හප්පා... ඔහොම අදින්න එපා ළමයා.. අර අහල පහල යන උන්වත් ඇදිලා එයි නහය දිගේ... හරි හරි අපි බඳිමු..එච්චරයිනේ ප්‍රශ්නේ... අද බ්‍රහස්පතින්දා නේද..? කච්චේරිය ඇරලා ඇති නේද..? කාට හරි කෝල් කරලා ගෙන්න ගමු සාක්කියට... නැත්තං කච්චේරිය අහල පහල ඉන්න දෙන්නෙක් අල්ලගෙන අත්සනක් දම්මව ගමු.. හා නැගිටින්න..යං.."

“මොකක්.. දැන් බඳින්න... මෙහෙම..අද..?"

“ඔව්..ඇයි... එතකොට ඔයාගේ ප්‍රශ්න ඉවරයිනේ... මං කැමති නැහැ ඔයා එක එකාගෙන් කතන්දර අහනවට..යං යං දැන්ම යං..."

“අනේ ඔයාට පිස්සුද අනේ.. අම්මලටවත් නොකියා... මේ හදිසියේ... අම්මපා මේ වගේ මනුස්සයෙක්... මටත් පිස්සු..රටේ වෙන මිනිස්සු නැතිවා වගේ මෙයාගේ කරේ එල්ලුනා.."

“හෝව් හෝව්... ඒ පාර මේ මොකද..කලින් බඳින්න කතා කලා.. දැන් බැහැ කියනවා.. මොකක්ද වදේ මේකේ තේරුම..? ඇයි දැන් අපිට බඳින්න බැරි..?"

“එහෙම කොහොමද..? එයිට කලින් ඔයා අපේ ගෙදර ඇවිත් අපේ අම්මලගෙන් අහලා ඉන්න ඕන.. එයින් පස්සේ එයාලත් කැමති විදියකට ටිකක් පිළිවෙලකට වෙඩින් එක ගන්න එපෑ... මොකද මං කියලා අනාථ කෙල්ලෙක්ද..? මටත් කියලා නෑදෑයෝ..යාළුවෝ ඉන්නවා නේද..?"

“මල සේක..එච්චර හරියක් කරන්න ඕනද..? හා එහෙමනං යං ඔයාලගේ ගෙදර.. මං අහන්නං අම්මලගෙන් දූ මට දෙනවද කියලා.. එච්චරයිනේ..?"

“ඔයාට පිස්සුද හැබෑට.. එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරට ගිහින් අම්මලගෙන් එහෙමත් අහන්න... අනික එහෙම ගියාම එයාලා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර ඔයාට තියෙනවද..?"

“ඒවා බලාගන්නේ මමනේ... යකෝ මං මෙහෙම හිටියට දැනුම මිනුම තරඟ කීයකට ගිහින් තියේද... දිනුවේ නැති එක වෙනම කතාවක්... මේ ප්‍රශ්න ටිකකට මං බය වෙනවද..? යං දැන්ම යං.."

“ මේ එහෙම නෙවෙයි... අද එපා.. ඔයා ඉරිදට එන්න අපේ දිහා... හැබැයි මතක ඇතිව ඔය වගේ එන්න එපා.."

“මොකක්.. මේ වගේ එන්න එපා... එහෙමනං කොහොමද එන්නේ..හතරගාතෙන්ද..? අනේ මංදා කාලෙකින් අඩියක් ගැහුවෙත් නැහැ තමා.. ඒත් ඉතිං ඔයා කියනවනං එහෙම නොකර කොහොමද.. මේ එයිට නරකද මං මේ විදියටම ඇවිත් පස්සේ ඔයාලාගේ තාත්තා එක්කම සෙට් වෙලා මොනවා හරි කලොත්... මාමණ්ඩිත් ජොලියට බර හාදයා නේද.. ෂැහ් ඒකත් හොඳයි..මං මෙහෙම ඇවිල්ලා එහෙදි වෙනස් වෙන්නං...?"

“ඒ පාර මරු දොඩවනවා... ඔහොම එන්න එපා කිව්වේ හතරගාතෙන් එන්න කියලා නෙවෙයි වදේ.. ටිකක් පිළිවෙලකට එන්න කියලා... කලිසමක් කමිසයක් ඇදලා.."

“හුටා.. යකෝ මං ඇඳලා තියෙන්නේ සීතාම්බර සළුවද..? මට විතරක් පේන ඔයාලට නොපෙනෙන ඇඳුම්ද..හත් ඉලව්වයි.. මෙච්චර වෙලා ඔයාලා මාව දැක්කේ ඇඳුම් නැතිවද.. විලි ලැජ්ජාවයි.."

“නැහැ අනේ... ඔය ඇදලා ඉන්න විදියට පට්ට ගිය ඩෙනිමක් අඳින්නේ නැතිව ටිකක් පිළිවෙලකට සූට් එකක් ඇඳලා ඔය බාටා කෑලි දෙක දාං එන්නේ නැතිව සපත්තු දෙකක් දාලා ලස්සනට එන්නකෝ..ටයි එකක්නං නැතිවට කමක් නැහැ..."

“හරි මඟුලක්නේ යකෝ මේක..මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්නේ... මදෑ මේ නිකං ඉන්න බැරිවට ගෑණු පරාණයකට කර ගැහුවා... මට දැන් වෙලා  තියෙන්නේ මකන කෑල්ලක් අරං මාවම මකලා ආයේම පැන්සලකින් ඇඳ ගන්න.. කොරගත්තයින් කොරගත්තේ නැහැ මෙහෙම ගොංකමක්.."

“හරි හරි සුදූ..කේන්ති ගන්නේ නැතිව එහෙමනං ඔන්න මං කිව්ව විදියට මේ ඉරිදට අපේ දිහා එන්න... මතක ඇතිව එද්දී අත් දෙක වන වන එන්නේ නැතිව හොදවැයින් කේක් ගෙඩියක් හරි ලොකු කෙසෙල් ඇවරියක් හරි අරං එන්න... කිරි හට්ටිනං එපා... අක්කගෙන් බේරගන්න බැහැ අහු උන ගමන් මූණේ ගාගන්නවා..."

“හනේ කාලේ වනේ වාසේ... අම්මලා අක්කලා නංගිලා ඔක්කෝමත් එකයි... හරි හරි ඕන මඟුලක් මං කේක් බැරිනං රොක් කේක් එකක් හරි අරං එන්නං.. මටත් සල්ලිවලින් වෙන කරන්න වැඩක් නැහැ මේ දවස්වල ගංගාව උතුරනවා වගේ සල්ලි උතුරනවනේ...හා..හා.."
-----------------------------------------------

මතු සම්බන්ධයි... කෙල්ලගේ ගෙදර ගිහින් මාරයාට මොකද උනේ.. මී ළග කොටසින් බලාපොරොත්තු වෙන්න...