31 December 2013

ගිය අවුරුද්දට ටැංකිවු සමඟ.. ලබන වසරට සුභ පැතුං...

2014 ගැන කතාව පස්සට තියමුකෝ... ගත වෙච්ච 2013 අවුරුද්දනං ඉතිං කාට කොහොම උනත් මංතුමාටනං ඉතිං ජීවිතේ ගත වෙච්ච හොඳම අවුරුද්දක් තමා ඕං... ඒ හින්දා ඔන්න මුලින්ම මං කැමතියි 2012 අවුරුද්ද ගෙවිලා 2013 ලබන වෙලාවේ මට සුභ නව වසරක් වේවා කියලා සුභ පතපු හැමෝටම බොක්කෙන්ම ටැංකිවු පාරක් දාන්න.. මොකද කිව්වොත් ඒ අය කොරාපු ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉස්ඨ සිද්ධ වෙලා.. ගත වුන 2013 අවුරුද්ද මට බොහෝම සාර සුබාවට ජයම වෙච්ච අවුරුද්දක් උනා ඕං... ඒ හින්දා හැමෝටම ටැංකිවුලා ඈ...

ඔහෙලට කියන්න මේ ගෙවිච්ච අවුරුද්දේ තමා මං කාලයක් තිස්සේ කොර කොර හිටිය රස්සාව අල්ලලා දාලා කොළඹට පය ගැහුවේ හරි හමන් රස්සාවක්ය කියලා එකක් ගැන නොහිතා එන විදියකට අල්ලගෙන යන්න හිතාගෙන.. හැබැයි ඉතිං කිසිම අවුලක් නැති කොහොම හරි කාලේ ගත උනා.. මොන මොනවා හරි ඉගෙන ගත්තා... වෙනදා වගේම රටේ තොටේ ඇවිද්දා කලා... කොටින්ම කිව්වොත් සැපෙන් සනීපෙන්..ආතල් එකෙන් හිටියා... මං හිතන්නේ ගත උන ජීවිත කාලේ පුරාවටම මෙහෙම කිසි අවුලක් නැති අවුරුද්දක් කියලා කියන්න තිබුන එකම අවුරුද්ද 2013 අවුරුද්ද විතරක්මද මංදා... එහෙම බලද්දි ගත උන අවුරුද්දට මං ආයුබෝං කියන්නේ පුල් හැපී එකේ තමා ඕං...

හැබැයි ඉතිං මේ ලෝක ධාතුවේ අංග සම්පූර්ණ කිසිම දෙයක් නැහැ කිව්වැහේ.. ගත උන අවුරුද්ද මගේ මේ බ්ලොග් කටුවටනං ටිකක් විතර අපල දුන්න අවුරුද්දක් තමා... මේක කියනව බලන හැමෝටම ඒ ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැ නෙව... එයිට කලින් අවුරුදුවල හැටට හැටේ ලියං ගිය බ්ලොග් කටුව මේ ගත උන අවුරුද්දේ ගියේ පල්ලමටම නෙව... මක්කා කොරන්නද.. එක පැත්තක් උඩ යන කොට අනිත් මොකාක් හරි පැත්තක් පාත් වෙන්නම එපෑ.. මොකද මේ ජීවිතේ කියන එකත් හරියට තරාදියක් වගේ නෙව... ඒත් ඉතිං පහුගිය තිස් පස් අවුරුද්දක විතර කාලේ එක්කලා ගත්තම ජීවිතේ ඉස්සුන පාත් උන දේවල්වල හැටියට බ්ලොග් එක පාත් වෙලා විතරක් නැවතුන එක මදෑ වෙන මගුලක් නොවී.. හා නැද්ද හා...?

හරි එහෙමනං ඉතිං ඔන්න කොහොමින් කොහොම හරි අපි හැමෝම 2013 අවුරුද්දට ආයිබෝං කියන වෙලාවේ.. ඔය හැමෝමත් එක්කලාම එකතු වෙලා මාත් මේකට ආයිබෝං කියලා කියන්න කැමතියි... හැබැයි ඉතිං 2014 අවුරුද්දට අනිවාර්යයෙන්ම අමාරු වැඩ ටිකක් යෙදිලා තියෙන හින්දා  2013 වගේ ආතල් වර්ෂයක් වෙන එකක් නැහැ කියලා ටක්කෙටම කිව්වැකි... ඒ කොහොම උනත් අපි හැමෝටම එළඹෙන්නා වූ 2014 අවුරුද්ද පුළුවන් තරමේ හොද අවුරුද්දක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ අවසාන පෝස්ටුව හැටියට මේක දාලා මාත් කැපුනා...

සියළු දෙනාටම ලබන්නා වූ නව වසර කිරි පැණි කොහොම උනත්... ආදයම් සරු වෙන.. යහපත් සිතිවිලි ඇති වන.. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කොරගන්නට හම්බ වෙන... ඕන කේස් එකක් අවුලක් නොවී ගොඩ දාගන්න ලැබෙන... සාර්ථක වසරක් වේවා..!

(පොඩි ඉල්ලීමක්... හිතලා හෝ නොහිතා හෝ පත්තු කරන්න රතිඤ්ඤා ගෙනත් තියෙන උදවිය ඒවා පත්තු නොකර හිටිනවනං වඩා හොඳයි... අපිට ආතල් උනාට බල්ලෝ බළල්ලු ඇතුළු සත්තු පුදුම දුකක් විදිනවා මේ දවස් දෙක තුනේ... අපේ ආතල් වෙනුවෙන් අසරණයින්ගේ ආතල් නොකඩා ඉන්න බලමු... ඔය ඩෝං ඩෝං නැතිවට අපිට පාඩුවක් වෙන්නේ නැහැ නෙව... රයිටෝ.. ටටා බායි කිව්වා..)

13 December 2013

සේල් සේල්..!!!


ඔය කොළඹ අවට ඉන්න අය වගේම බෝඩිං වෙලා ඉඳන් රස්සාවල් වලට යන අපේ බ්ලොග් කාරයින්ට කාරියන්ට තමා මේ පණිවිඩේ...

තියෙන්නේ BMICH එක ඉස්සරහා සුදර්ශියේ...  බොහෝම ලාබෙට හොද තත්වයේ කලිසං ගතෑකි... මේක හැම අවුරුද්දෙම වගේ මේ කාලෙට තියෙනවා... ගිය වංගියේ ගත්ත කලිසමේ ඉස්තරං කොම හින්දම මේ පාර දුවලා ගෙහුන් කලිසං කිහිපයක්ම උස්සං ආවා... ආයේ ඉතිං කඩෙන් ගන්න ගියානං දෙදහකටවත් තට්ටුවෙන තරමේ කලිසං 500 ගානේ ගතෑකි... රට පටෝන බඩු... ආයේ මෙහෙ විකුණන්න දාලා තියෙන ඒවට වඩා හොඳටම හොඳා... 

මේ පාර කාන්තා පාර්සවේටත් කලිසං එහෙම තියේ... 350 ක් වගේ ඒවනං වෙන්නේ.. ගාන ගැන බලලා හිතන්න එපා බඩුවල කොලිටිය.. ගිහින්ම බලන්න.. මේ අපි වගේ හාල් කෑලි නෙවෙයි ලොකු ලොකු කස්ටිය ඇවිල්ලා බැහැලා බඩු ගන්නේ...

යන අයට දෙන්න තියෙන හොම අවවාදය තමා හරියටම තමුන්ගේ කඳ බඩ මැනගෙන යන්න... එතන තියෙන කලිසංවල ගහලා තියෙන සයිස් ගැන ඒ හැටි හිතන්න එපා.. එව්වා සුද්දන්ගේ අගල් අඩි වලින් තියෙන්නේ.. :D
එතැන ඉන්න අය ලව්වා කලිසම් මැනගෙන හරියන එකක් තෝරගන්න...
මංනං ඉතිං කිව්වම මොකද රෙදි මනින ටේප් එකක් අරගෙන ගියා... :D

ආ ඒ විතරක් නෙවෙයි ඇතුළු වෙන තැනම පොඩි පොඩි ඇදුම් කඩත් තියේ.. ඒවායේ නවතින්නේ නැතිව කෙලින්ම ඇතුලේ තියෙන ගාමිණී ෆොන්සේකා ශාලාවට යන්න.. මේක තියෙන්නේ එතැන... ඒ විතරක් නෙවෙයි තවත් ශාලාවක මේ ඉරිදා වෙනකල් විතරක් පිලිප්ස් එකෙන් කරන සේල් එකකුත් තියේ.. එතැනත් ඔය කරන්ට් බඩු අනං මනං ගැජට් ලාබෙට තියේ...

රයිටෝ ඉක්මන් කරන්ඩලා.. පස්සේ ඔන්න කිව්වේ නැහැ කියලා කියන්න විතරක් එපා.. හැමදාම උදේම යන තරමට බඩු හොදයි... ඇති වෙන්න තෝරතෑකි...
(අරූ මේකත් ගිනි තියන්න බැරි නැහැ.. ඒ හින්දා එයිට කලින් කර ගන්න දෙයක්... :D )

03 December 2013

නොදැවුණු ගසුත් ඉතිරිව ඇත ඒ හේනේ...


ඇත්තටම මේක ලියන්න ගත්තට මට ටිකක් විතර බයයි... මොකද මේක මට අයිති නැති.. ඒත් විසේසයෙන්ම අයිති එකෙක් ඉන්න කලාපයක කතාවක් හින්දා... ඒ අයිති එකාගෙන් අවසරයක් ගන්නේ නැතිව මේක ලිව්වා කියලා ඌ මට ගිනි.. නෑ මං කිව්වේ මට සෝලි තියයිද දන්නේ නැහැ... ඒත් ඉතිං ජීවිතේ ගැන ආසාව අතෑරලා... ගිනි තියවගෙන මැරෙන්න හරි හිත හදාගෙන මං ඔන්න මේක ලියනවා.. ඔන්න ඔහොමයි අපේ බ්ලොග් කෙරුවාව.. මැරෙන්න හරි සූජානමෙන් තමා මේක කොරගෙන යන්නේ.. එහෙවු අපිට මුංදලා සලකනවා මදි... හම්මපා...

ඊයේ දවාලේ මට මේ හදිසියේ වෙන කෙනෙකුගේ වැඩක් හින්දා යන්ට උනා මේ කියන පැත්තේ... ඒ ගිය ගමන මටත් ඉතිං කොරන්න වැඩක් නැති හින්දා මේ දවස්වල කොහේ යතත් එල්ලං යන කැමරාවත් එහෙට මෙහෙට මාන මාන පොටෝවක් දෙකක් ගන්න කොට තමා දැක්කේ ටිකක් විතර කට්ටිය මොකක් හරි බලන්න යනවා වගේ සීන් එකක්... ආන්න එතකොට තමා මට මතක් උනේ යකෝ ඒ කියන්නේ ගිනි ගත්තත් මේක තියෙනවා නේද කියලා...
-----------------------------------
හරි එහෙමනං මෙන්න මේකයි සීන් එක... මං ඊයේ ගියා BMICH එකට... ඒ ගිහින් ඉන්නකොට තමා අර නව නිපැයුම් ප්‍රදර්ශනේ ගින්නෙන් විනාස වෙලා (ඔය ගින්න ගැනනං හුගක් කට කතා තියෙනවා.. අයියා මලෝ දෙන්නෙක්ගේ කෙරුවාවක්ය.. එතකොට සංවිධායකයින්ගේ අවුලක්ය.. ඉස්තානේ සුදුසු නැති තැනක්ය වගේ.. ඒ අතරේ තව විසේස කතාවක් යනවා අර මං කලින් කිව්ව ප්‍රදේශය බාර නිල පොටෝ කාරයා වෙච්ච බ්ලොග් එහෙකුත් ලියන සුවිශේෂී කැඳ බොන අයියා කෙනෙකුගේ විශිෂ්ඨ ඡායාරූපකරණ අවශ්‍යතාවයට ගිනි තියාපු එකක්ය වගේ.. අනේ මංදා ඕවනං.. රට්ටු කියන කතානේ.. අපි ඕවා දන්නේ නැහැ...) සෑහෙන  නිර්මාණ කරුවන් පිරිසකගේ නිර්මාණ නැත්තටම නැති වෙලා තිබුනත් එදා ගින්නෙන් බේරුන කිහිප දෙනෙකුගේ ඒවත්.. පාසල් අංශයේ නිර්මාණත් තාම ප්‍රදර්ශනය කරන බව දැන ගත්තේ.. වැඩකුත් නැති එකේ ඉතිං මං ගියා ඒ පැත්තේ...

ආන්න ඒ ගිය වෙලේ තමා මට මේ නිර්මාණ කරුවා හම්බු උනේ... කෝට්ටේ හිටන් ආව සිරිල් මහත්තයා... ඒ මහත්තයගේ නිර්මාණේ තමා වඩු කර්මාන්තෙදී බොහෝම වැදගත් වෙන ලී පිරිද්දීමේ යන්ත්‍රය... 


මේක ක්‍රියා කරන හැටි කියන්න ගියොත්නං මට තව වචන තුන් හාර දාහක විතර සටහනක් ලියන්න වෙනවා.. ඒ හින්දා කෙටියෙන් කිව්වොත් මේක බොහෝම පල පරයෝජන ඇති භාණ්ඩයක්.. විසේසයෙන්ම පහුගිය විසි අවුරුද්දක විතර කාලේ මාත් ඔය සැරින් සැරේට කොරපු රස්සා අතරේ වඩු කර්මාන්තයටත් සම්බන්ධ රැකියා තිබුන හින්දා මං දන්නවා මේකේ ඇති වැදගත්කම.. විසේසයෙන්ම අපි ඔය ජනෙල් පියන් වල මුළු පුරුද්දන්න යද්දි එක ලීයක තුනී පැත්තෙන් කාලේ නියන උපයෝගි කොරගෙන අගල් දෙක තුනක් යටට බොහෝම මහන්සියෙන් හාර ගන්න හිලත්.. ඒකට සෙට් වෙන විදිහට අනිත් ලීයේ සාදන ලී කට්ටයයි (කෙටියෙන් කිව්වොත් මේල් ෆීමේල් කොටස් දෙක තමා) දෙකම හරියටම හරියන්න කිසිම ගේමක් නැතිව මේකෙන් කපා ගතෑකි.. විශේෂයෙන්ම අතින් කරන්න යද්දි සිද්ධ වෙන සෙලවීම්.. හිඩැස් තිබීම් වගේ දේවල් මේකෙන් වෙන්නේ නැහැ... හරියටම වාත්තු කලා වගේ හිටින්න පිරිද්දුම සකස් කර ගතෑකි... ඒ විතරක් නෙවෙයි අපි දෙන්නා ටික වෙලාවක් කතා කර කර හිටිය අතරේ මේක වැඩි දියුණු කරන්න පුළුවන් අංශ ගැනත් සාකච්ඡා කලා.. විසේසයෙන්ම ඔය කතාව අතරේ සිරිල් මහත්තයගේ හොඳ ගති ගුණ කිහිපයක් දැකපු හින්දයි මං මේක ලියන්න හිතුවෙත්...  එකක් තමා පුදුම කැමැත්තකින් හා ආසාවකින්.. මහන්සියක් නොබලා මේ නිර්මාණය ඉතාම සරලව එන අයට කියා දෙන්න තියෙන උනන්දුව... ඒ වගේම මේක  තව කොච්චර දුරට දියුණු කල හැකිද කියන කාරණය ගැන බලන්න එන අයගේ අදහස් බොහෝම සාවධානව අහං ඉදලා ඒවා කල හැකි අන්දම ගැන කතා කිරීම.. හරියටම කිව්වොත් අනිත් කවුරු හරි අදහසක් දුන්නොත් එවෙලෙම ඒක ගැන කල්පනා කරලා තව තවත් ඒ කෙනාගෙන් විස්තර අහලා.. ඒකට තමාටත් කරන්න පුළුවන් දේවල් එකතු කරලා මේක දියුණු කරන්න පුළුවන් හැටි ගැන තව තවත් හිතීම... ඉතිං ඒ විදියට කතා කරන කොට තමා මේකම කැටයං කපන මැෂිමක් හැටියට භාවිතා කල හැකි අන්දම ගැනත්... තව තව බොහෝමයක් වඩු කර්මාන්තයේදී අසීරු වැඩ පහසුවෙන් කිරීමට භාවිතා කිරීම ගැනත් කතා බහ කලේ... ඉතිං අපි බලමු මේකේ පොටෝ දෙක තුනක්...




  
හරි ඕක තමා මැසිම.. සිරිල් මහත්තයා කියන විදියට රුපියල් ලක්ෂයක් වටේ ගානකට මේක හදන්න වියදං වෙලා තියෙනවා.. මං හිතන්නේ ඒ මුල්ම නිර්මාණය වෙච්ච හින්දා වෙන්න ඇති.. මගේ කල්පනාවේ හැටියටනං එයින් අඩකටත් අඩුවෙන් උනත් මේක නිර්මාණය කරන්න පුළුවන් දෙවැනි නිශ්පාදනයකදී... 

කොහොම උනත් ගින්නෙන් බේරුනා උනත් මේ පාර මේක බලන්න සෙනග නැති වීම හින්දා මේ ඉතිරි වෙච්ච නිර්මාණ කිහිපය උනත් බලන්න අය නැති විමනං සෑහෙන අඩුවක්... මේ නිර්මාණ කරුවා උනත් මේක ගින්නෙන් පස්සේ ගෙදර ගෙනිහිල්ලා.. ඒත් අන්තිමට හැදුවේ පෙන්නන්නේ.. ගෙදර තියං හිටලා ඇති වැඩක් ඇතෑ.. එන කෙනෙකුට පෙන්නනවා කියලා හිතලා අයෙම වාහනේ දාං ගෙනත් මෙතන තියාගෙන ඉන්නවා... එහෙම ඉද්දි තමා ඉතිං මට හම්බ උනේ... කොහොම උනත් මේ මනුස්සයගේ මහන්සියට වටිනාකමක් මට පුළුවන් හැටියටවත් දෙන්න ඕන කියලා හිතුන හින්දා පොටෝ ටිකක් ගන්න ගමන්ම මං මට කරන්න පුළුවන් දේ කිව්වම බොහෝම සංතෝසෙන් පොටෝ ගන්න අවස්ථාව දුන්නා... ඒ වගේම මට කතාවෙදි තේරුන විදියට මේක කවුරු හරි කෙනෙක් නිෂ්පාදනය කරන්න කැමතිනං ව්‍යාපාරයක් විදියට... මේ මහත්තයත් කැමතියි සාධාරණ අයිතියක් ඇතිව එයට සහය දෙන්න... කතාවෙදි මට තේරුන දේ තමා මස් රාත්තලම ඉල්ලන ජාතියේ මනුස්සයෙක් නොවුන... තව තවත් නිර්මාණ කරන්න මිස එකම එකේ එල්ලිලා ඒකෙන්ම හම්බ කරන්න බලාගෙන ඉන්න ජාතියේ කෙනෙක් නොවෙයි කියන එක... ඒ ගති ගුණ හින්දයි මට පුළුවන් හැටියට මේ සම්මාදම දුන්නේ...

නිර්මාණ ගිනිබත් උන අය ගැන කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම.. ඉතිරි වී ඇති කිහිප දෙනාට පුළුවන් හැටියකට දිරියක් දීමට හැකි හැම කෙනෙක්ම කටයුතු කරත්වා...

කාට හරි සිරිල් මහත්මයාට කතා කරන්න උවමනා උනොත් මෙන්න අංකය...

------------------------
පලි...
අනේ මේ කලාපය බාර අර බ්ලොග් ලියන අයියා මට සමාවෙන්න ඕන මේ අවසරයක් නැතිව පැනලා කොරපු දේට.. හනේ මටනං ගිනි තියන්න එපා.. මං අහිංසකයි...

පපලි........

යන්ත්‍රයේ නිර්මාණකරු වන සිරිල් මහත්මා විසින්ම ඒ ගැන හොඳ පැහැදිලි කරීමක් කරලා තියෙනවා.. මෙන්න ඒ කමෙන්ටුව පෝස්ට් එකටම එකතු කරනවා...



//මෙම යන්ත්‍රය බහු කර්ය ලී වැඩ යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැක. ප්‍රධානම වූත් පළමුවටම වැදගත්වූත් කාර්ය්‍යය වශයෙන් කුඩුම්බිය කැපීම හෙවත් දොර ජනෙල් රේගල් වැද්දීම කළහැකි අතර රව්ටර් කිරීම,තට්ටුව ඇරීම (ෆින්ගර් ජොයින්ට්, ඩව්ටේල් ජොයින්ට් කැපීම, ලාච්චුසෑදීමේදී අවශ්‍ය වන අංගයකි), ලාච්චු ලිස්සා යාමට අවශ්‍ය රේලින් පහසුවෙන් කැපිය හැක. පනෙල් කැපීමද කළ හැකිය.උලූවහු කුඩුම්බි කැපීම සහ තට්ටු බේරීම සඳහා අවශ්‍ය තාවයට පමණක් යන්ත්‍රය වඩා දිගුකළ හැකි අන්දමට සාදා ඇත.
අද මෙවැනි වැඩ සියල්ල කල හැකි යන්ත්‍රයක් වෙළඳපොලෙහි තිබේදැයි නොදනිමි. කෙසේවෙතත් එවැනි යන්ත්‍ර මිල අධිකය. ලක්ශ දහයක් පමණ වේ.

මෙම විස්තරය දැමූ හිතවත් මල්ලීට මාගේ ස්තුතිය පළ කරමි.//

30 November 2013

බටකොල ටිකක් නැතුවත් මගෙ හිතට මදී...

උන්නා මතකයිද ඔබ මා අත් නොහැර..
දහ නව වසක් රැක හිදිමින් මා අසල..
යන්නට ගිහින් ගෙවුනා සත් වසරක්ම...
එන්නේ කවදාද ආයේ හමු වෙන්න...

ළඟ උන් කලදි මෙතරම් නොදැනුනි අගය...
ගිය අළුතමත් ඒ හැටි ගානක් නොවින..
එනමුත් දැන් තමයි ඔබගේ වටිනකම..
මා හට දැනෙනුයේ දිනයක් පාසාම...

දුන් ගින්දරේ නිම නැත ඒ දවස්වල...
ඉන්න හිටින්නට දුන්නේ නැත මෙමට...
ඇහුව බැනුම් නින්දා කෙලවරක් නැත...
කන්න ගත්ත දේ වූවත් රහක් නැත...

කොතරම් දුක් දෙතත් ඒ දිනවල අගය..
වැටහෙන්නේ මේ වගෙ ඉන්නා විටය..
මෙලෝ රහක් නැහැ දුක් නැති ජීවිතය..
දුක් යනු ජීවිතේ පන නල හා සරිය...

පාරක් තොටක් ගානේ රස්තියාදුවේ...
කෑමක් නැතත් ඇවිදීමයි මං කෙරුවේ..
කීයක් උනත් අහු උන විදියෙන් හෙව්වේ..
ඒ කල තමයි පණ ඇති දිවියක් ගෙව්වේ..

අජ්ජාපනේ ගිය මුත් මගෙ බල්ලාට..
අඩුවක් දැනුනෙ නැහැ ඒ කල කොල්ලාට...
අවුලක් නැති දිනක් ගෙවුනේ නැහැ හොඳට..
අයියෝ ඒ  උනත් ආතල් තිබුනි මට...

ඔබ ගිය පසුව ජීවිතෙ පිළිවෙලක් උනා...
හැපෙමින් පෙරලෙමින් ගිය මග නිමා උනා...
ආයෙත් ඉගෙන ගන්නත් වැඩ සිදු කෙරුනා..
ඒ මුත් ඔබ නැති අඩුව අඩු නැතිවම දැනුනා...

දුකට අධිපතිය.. වයසක ගතිය ඇතී...
තරුණ කැලට නිති කරදර දුක් දෙවතී..
ඒ මුත් හරි ලෙසින් බැළුවොත් ඔහුගෙ ගතී...
සෙනසුරු තමයි දිවියක රස දෙන්නෙ නිතී...

බටකොල කැවුව විෂ්ණුට දහ නව වසරක්...
බලවත් සෙනසුරා යනු මටනං දැනුම පොතක්...
බල්ලෙකු හට මෙන්ම දුන්නත් සුපිරි දුකක්..
බයිනට කිසි විටක මට නැහැ දෙන්නෙ සිතක්..

දැන් ගෙවෙනුයේ බුධ හට හිමි දසාවය...
සද්ද බද්ද නැති සන්සුන් කලක්මය..
කරදර බාධක අවහිර එහි නැතිය..
ඒ නැති කමත් දැන්නං මට අඩුවක්ය...

දැන් ගෙවනා දිවිය මට කිසි දුකක් නැතී..
ඒ මුත් හිත් කොනේ අඩුවක් රැඳී ඇතී..
ඒ මොන එකක්දැයි බැලු විට සොයා ගතී..
බට කොල කන්න මට ආයෙත් ඇතේ හිතී...

19 November 2013

මල සේක... පැන්නා නෙව...

මේ කේස් එක වගේම කේස් එකක් මට මෙයිට කලින් උනේ දැනට අවුරුදු හයකට විතර කලියෙන්... ඒ පාරත් මේ වගේම වෙන වෙන වැඩ වලට ටැපලිලා හිටලා මටම සීන් එක අමතක උනා. මේ එකේ අනිත් එක... මුල් කාලේනං මලාට මෙහෙම දෙයක් උනේ නැහැ නෙව... කොයි හැටියෙන් හරි සිහි කල්පනාවට ආවා... ඉතිං මක්කා නමුත් විකාරයක් ඒ වෙනුවෙන් කොලා..

ඔය කලින් වතාවේ පැන්න වෙලේ මට ඕක මතක් කලේ අපේ මෑණියන් වහන්සේ... උන්දැ එක පාර එදා හවසම මට කතා කොරලා සිහිපත් කරද්දී තමයි මට කාරණාව මතක් උනේ.. ඒ වෙද්දී මං හිටියේ මගේ ප්‍රධාන දායක මහතැන් කෙනෙක් එක්කලා උන්නැහේගේ වාහනේම ගොඩ වෙලා ඒ දවස්වල වැඩ අවසන් වෙමින් පැවතුන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වටේ පිළිම ගෙවල්වල තැන්පත් කොරන්ට බුදු පිළිම වහන්සේලා වඩම්මගෙන එන්ට යන ගමන්... ඉතිං ඒ රාජකාරි අස්සේ මට ඕක අමතක උනා කියන්නේ අරුමයක්මත් නෙවෙයි... මං මේ කිව්වේ වෙන මොකවත් නෙවෙයි මගේ උපන් දිනේ... 

මෙලෝ මනුස්සයෙකුට ලේසියෙන් වෙන දෙයක්යෑ ඕක... හැබැයි ඉතිං ඔන්න ලව් කොරන කාලේ තමුන්ගේ ගෑණු ළමයට කිඹුහුමක් ගියානං ටිකක් තදේට.. ඒකත් මතක තියං හිටලා ඊ ළග අවුරුද්දේ ඒක සමරන තරමට සිහි කල්පනාව හොද උනත් අවසානෙදි බැදලා කොරලා හත් අට අවුරුද්ද යද්දී අර ගෑණු මනුස්සයට කිඹුහුං ගිය දවස්.. උපන් දින.. ඒ විතරක් නෙවෙයි අන්තිමට බැඳපු දවස පවා අමතක වෙන එක සාමාන්‍ය කාරණයක් වග තමා ඔය අපේ බැඳලා කොරලා ඉන්න යාළු මිත්තරයින්ගේ කතා බහෙන් මටනං වැටහිලා තියෙන්නේ.. ඒත් ඉතිං තමුන්ගේ උපන් දිනේනං එහෙමකට අමතක වෙන්නේ නැහැ නෙව මලාට මෙලෝ යකෙකුට... ඒත් ඉතිං ඒකත් මට එක වංගියක් ඔන්න ඔය කියාපු ආකාරයට අමතක වෙච්චි...

එතකොට මෙදා වංගියේ මොකක්දැ අමතක වෙච්ච දේ...

ඒ තමා මගේ මේ බ්ලොග් ජීවිතේට අවුරුදු හතරක් පිරීම කියන අවස්ථාව...  ඇත්තටම කියන්ට මට මේක දැනුත් මතක් උනේ නැහැ.. අපේ මේ දෙමළ ණයන්නේ හාදයා.. එහෙමත් නැත්තං කවුරුත් දන්න විදියට කියනවනං ත්‍රිභාෂා ප්‍රසන්න ගොයියා මේ දැන් ටිකකට කලියෙන් මට මූණු පොතේදී සිහිපත් කොලාම තමා මීටරේට ආවේ.. යකෝ හැබෑටම අමතක උනා නේද කියලා..

අනාථ නාථ වෙලා... පුල් හින්දුස්තානි වෙලා.. ඔහේ ජීවිතේ ගෙවාපු සමයක... ජීවිතේ දුකට සැපට හැම දේකටම මාත් එක්ක ඒ කාලේ හිටිය මගේ මේ බ්ලොග් රාජයාට අවුරුදු හතරක් පිරුණ එක අමතක වෙනවා කියන්නෙත් ඉතිං මයේ උපන් දිනේ අමතක වෙනවා කියන එකේ අනිකම තමා...

කොහොම උනත් මුලින්ම මේක ලියන්න එන වෙලාව වෙද්දි බොහෝමයක් දේවල් නැති වෙලා.. නැති කරගෙන.. කිසිම දෙයක ආසාවක් උවමනාවක් නැති මට්ටමට වැටිලා... ගෙදර ඉන්න හැම දවසෙම හොදට අඩියක් ගහගෙන ඔහේ ගෙවාපු කාලයක්... ඇත්තටම මේ බ්ලොග් එකේ ලිපි වලින් බාගෙකටත් වඩා.. වෙරි පිට ලියාපුවම තමා... විශේෂයෙන්ම කවි ලියාපුවා... ඒ ඇර මුල් කාලේ නොබී ලියාපු එකම එක පෝස්ට් එකක්වත් නැද්ද මංදා.. ඒ තරමට මමයි.. අරක්කුයි.. මේ බ්ලොග් එකයි කියන තුනම එකක් වෙලා තිබුන කාලයක්...

ඒත් දැන් අවුරුද්දක දෙහෙක ඉදලා බීම අඩු වෙලා ගිය හින්දා අවසානෙදි බ්ලොග් ලිවිල්ලත් මෙලෝ රහක් නැති වැඩක් වගේ උනා... ඔය දැන් මේක ලියවෙනවා හොර වෙන්නත්.. කොමෙන්ට් වලට උත්තර බැදිලා වැගේ වැඩ නැත්තටම නැති වෙලා යන්නත් හේතුව ඕකම තමා... දෙකක් දාගෙන මේක ඉස්සරහා වාඩි උන කාලේනං.. හිනා වෙවී ඔය හැම එහෙකටම උත්තර ලිය ලිය උන්නට... අමුවෙන් හිටං ඒ කාරිය කොරන එක ලේසි නැහැ... මං මේ කියන්නේ බොරුවක්ද කියලා ඕනනං ඔය කෙන්ජි ලොක්කගෙන් වගේ ඇහුවත් කමක් නැහැ.. ඔය යෝධයත් පිකප් වෙන්නේ මට පේන හැටියට දෙකක් නමා ගත්තමම තමා.... :D

කොහොමින් කොහොමින් හරි ඒකට කෙල වෙද්දි මේකටත් කෙල උනා කියලා තමයි කියන්න වෙන්නේ.. නැත්තං ඉතිං ඒ ලියං ගිය වේගෙට ලිව්වනං දැන් පෝස්ට් එක දහස් පන්සීය පයින නොපයින ගානේ වෙන්ට ඕන... එහෙවු එකේ මේකේ සංවත්සොරේ අමතක වීමත් ඒ හැටි දෙයක් නෙවෙයි...

මොනවා උනත් මේ බ්ලොග් එක හින්දා අළුත් යාළු මිත්තරයෝ රාසියක් දැන හදුනා ගන්න ලැබීමත්... ඒ අය අතරින් කිහිප දෙනෙක් අදටත් බොහෝම සමීපව ඇසුරු නිසුරු කිරීමත් වගේම එයින් කිහිපයක් හින්දා ජිවිතේ සෑහෙන්න අංශ වෙනස් වීමත් වගේ දේවල් රාශියක් නිසා මේ බ්ලොග් කෙරුවාව සෑහෙන් තදින් මගේ ජීවිතේට බලපෑවා කිව්වොත් ඒකත් වැරදි නැහැ...

ඒ වගේම ඒ දැන ඇදින ගත්ත අය අතර ඉතාමත් සුන්දර මිනිසුන් වගේම නයි පොලොංගු වගේ උන්දලත් සෑහෙන්න හිටියා... පය ගහලා ජීවත්වන සමාජයේ වගේම මේ සයිබර් අවකාසෙත් කිසිම වෙනසක් නැහැ කියලා මට කියා දුන්නේ ඒ හොඳ..නරක ඈයොම තමා... කොහොම උනත් මට මේ බ්ලොග් අවකාසේ ජිවත් වෙන හැටි ගැන වටිනාම කතාව අහන්න ලැබුනේ අපේ දුමී අයියාගෙන්... ඒක අකුරක් ගානේ පිළිවෙලකට කියන්න මතක නැති උනත්. දුමී අයියා කියන්නේ මෙහෙම කතාවක්...

“අපි මේකට එන්නේ ජීවිතේ සෑහෙන ප්‍රශ්න කරදර තියෙද්දි.. ඒවා අමතක කරලා ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.. එහෙම ඇවිත් තව මෙතනත් ප්‍රශ්න කරදර හදාගන්නේ මොන එහෙකටද..?“

ඔය ටික තමා මං මේ බ්ලොග් ලෝකෙදි දැකපු වටිනාම කතාව... ඇත්තටම කාට උනත් බ්ලොග් එකක් ලියනවනං.. බ්ලොග් කියවනවනං.. බ්ලොග් ලියන කියවන අය ඇසුරු කරන්න යනවනං ඕක හිතේ තියාගෙන වැඩ කිරීම හරහා සෑහෙන්න ප්‍රශ්න අඩුවෙන් මේක කරං ගියෑකි...

හරි ඒ කතා දැන් මොකටද.. කොයි විදියෙන් හරි ඔන්න මාත් බ්ලොග් කරණයේ අවුරුදු හතර පැන්නුවා.. (පන්නලා දවස් දහයක් විතර වෙනවා.. ඒක වෙනම කතාවක්.. :D ) යාන්තං ලිපි අටසීය පන්නලා ලියාගෙනත් තියේ... තව ඉස්සරහට ඉහේ පණ කෙන්ද තිබුනොත් ලියන්ටත් ඇහැකි වේවි... ආ ඒ කිව්වම මතක් උනේ... මේ ඊයේ පෙරේදා අපේ දිනේෂ් මලයත් බ්ලොග් පෝස්ට් පන්සීය පන්නලා තිබුනා... තනිව ලියන සිංහල බ්ලොග් අතරින් පන්සීයේ සීමාවට යන්න පුළුවන් උන කිහිප දෙනා අතරට එකතු උන දිනේෂ් මලයට ආයමත් සුභ පතන්නත් ඕන... මොනවා උනත් අපි හැමෝම එකතු වෙලා ලියන කියවන දෙයින් තමා මේක දුවන්නේ... පන්සල්වල තියෙන ත්‍රිපිටක පොත් වලින් ඒවා පරිස්සං කරන හැම හාමුදුරුවොම දෙයක් ගන්නේ නැති උනත්... එහෙම හරි පරිස්සං කිරිල්ලේ ලොකු වටිනාකමක් තියෙනවා... ඒ.. මොන විදියෙන් හරි පරිස්සං කරලා තිවිල්ල හින්දා උවමනාව ආව තැන.. උවමනාව තියෙන කෙනෙකුට කවදා හරි වැඩක් ගන්න ඒවා පරිස්සං වෙලා තයෙන හින්දා.. ආන්න ඒ වගේ අපිත් මේ ලියන කියවන දේවල් වලින් අද අපි වැඩක් ගත්තා නොගත්තා.. හෙට දවසේ මේකට එකතු වෙන කෙනෙක් හරි මොනවාම හරි වැඩක් ගනිවී... ඒ අයත් මේකට තව යමක් එකතු කරලා යාවී... අවසානයේ අපි හැමෝගෙම එකතුවෙන් මේ බ්ලොග් අවකාශය තව තවත් කරුණු කාරණා රාසියක් පිරුන.. දැනුම..විනෝදය.. අධ්‍යාපනය.. අත්දැකීම් රැසක් ගෙන දෙන අපූරු තැනක් බවට අදටත් වඩා හෙට දවසේදී පත් වේවී... එදාට නංගං නොකියවුනත් අපි හැමෝගෙන්ම පුංචිම හරි දායකත්වයක් මේකට තිබුනා නේද කියලා හිතන සතුට අපි කාගේ කාගෙත් හිත්වල තියේවී.. හිතේ සතුටට වඩා වෙන මොනවද ලොකු නේද...?

සන්තුට්ඨී පරමං ධනං කිව්වළු...

එදා සිට මේ දක්වා මෙහි ආව ගිය.. කතා බහ කල.. දැන හදුනාගත්ත... සියළු දෙනාටම ස්තූති වේවා... මේක කරං යන්න පහසුකං සපයා දුන් ගූගල් දෙයියාටත්... තාක්ෂණීක සහය හරහා සිංහලෙන් වැඩ කරන් යන්න හැකියාව ලබා දුන් ලාංකිය සහෘදයින්ටත්... හැමෝටම ස්තූති වේවා..!

සිංහල බ්ලොග් අවකාශය තව තවත් කල් රැකේවා.. දිනේවා..!

ස්තූතියි.........

18 November 2013

කුකුල් මස තදට.. පෝය පන්නලා...

හුග දවසකින් ආයමත් රට තොට ඇවිදින්න ඇහැකි උනා නෙව... පහුගිය සිකුරාදා උදේ හතට විතර ගෙදරින් පිටත් වෙලා මාළඹේ.. පාදුක්ක.. ඉංගිරිය..රත්නපුරය..උඩවළව..තණමල්විල හරහා තිස්ස මහාරාමෙට ගියේ එදා හවස යෝධ කණ්ඩිය වැව අහල කොහේ හරි නවාතැන් අරං පහුවදා උදේ සිතුල් පව්ව බලන්න යන්න කියලා හිතං.. ඒත් අන්තිමට තිස්සට යද්දි හිතුව තරං හවස් උනේ නැහැ... (මොනවද ඉතිං ලොකු අයියගේ පාරවල් හැදිල්ලේ හොඳ කොම තමා... :D)

ඒ පාර හවස් අතේම ගියා සිතුල් පව්වට..ආයේ යෝධ කණ්ඩියේ නැවතිල්ලක් නැතිවම... ඒ ගෙහුන් අදුර වැටෙන්න ඔන්න මෙන්න තියා ආපහු එන්න එනකොට ගිය පාරෙම නෑවිත් කතරගමට තියෙන කැලෑ පාරෙන් එන්න හිතුවේ ඔය පාරේ නිතරම සත්තු එහෙම යහමින් ඉන්නවා කියලා කලින් වතාවක බයිසිමොටෝ එකේ ගිය සංචාරයක අත්දැකීම් තියෙන හින්දා... හැබැයි ඒ පාර පාරනං කිසිම විදියකින් හොද තත්වේ තිබුනේ නැහැ වැහි කාලෙක මං ගිය හින්දා.. ඒත් මේ පාරනං හොඳට පායලා වගේම පාර සෑහෙන්න හොද තත්වෙකින් සකස් කරලා තිබුන හින්දා පරිස්සමට යා ගන්න පුළුවන් උනා...

ඒ කියද්දී මතක් උනේ.. දැන්නං ඒ පාරේ කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුළුවන් උනාට මං කලින් යන කාලේ කොටි කරදර එහෙම තිබ්බා නෙව... කතර ගම පැත්තෙන් මං යාල හරහා සිතුල් පව්වට එන්න බයිසි මොටෝව හරවලා ටික දුරක් ආවම හම්බ උන මුර පොලකින් මට දුන්න උපදේසේ උනේ...
“කිසිම විදියකින් අතර මග නවත්තන්න යන්න එපා.. වාහනේ කැඩුනොත් ඒක හද හද ඉන්නවත් මහන්සි වෙන්නේ නැතිව ගිය දුරේ හැටියට වැඩියම ලග මේ පැත්තටනං අපහු හරි.. සිතුල් පව්ව පැත්තටනං ඒ පැත්තට හරි දුවලා හරි යන්න“

ඒත් මගේ හොද වෙලාවට ඒ පාරනං එහෙම කරදරයක් උනේ නැහැ.. හැබැයි ඉතිං මහ මඩ වලවල් හින්දා පාර මග ඇරලා කැලේ අයිනෙන් දාගෙන නං යන්න උනා තැන් කිහිපයකදීම... මේ පාරනං දෙයියන්ගේ පිහිටයි.. කිසිම අවුලක් නැහැ වගේම සෑහෙන හොදින් මොනරු..මුවෝ..වල් ඌරෝ.. කුරුළු වර්ග කිහිපයක්ම ඇතුළුව සතුන්ගේ දර්ශනයත් හොඳින් ලබාගෙන එන්ට ඇහැකි උනා...

කතරගමින් එළියට ඇවිත් තෙල් ටිකක් එහෙම වාහනේට පුරෝගෙන කෙලින්ම ආවේ කල මැටියට කිට්ටුව පාත නවාතැන් ගන්ට හිතාගෙන... මොකද ගමනේ දෙවැනි අංගය උනේ කල මැටියේ කුරුල්ලන් නැරඹීම... ඒකට ඉතිං උදේම හරි හවසම හරි මිස දවල් කාලයක් හරියන්නේ නැති හින්දා කලින් හිතං හිටියේ දෙවැන් දවසේ උදේ සිතුල් පව්ව බලලා හවස කලමැටියේ යනවා කියලා උනත් දැන් සිතුල් පව්ව බලලා අහවර හින්දා පහුවදා උදේම කුරුල්ලෝ බලන්න හිතා ගත්තා.. කොහොම හරි අන්තිමට අම්බලන්තොට තමා රෑ ලැගුම් ගත්තේ.. ඒකේ හොඳම හරිය තමා හම්බන්තොට පහු කරලා ඒම.. ඒ හරියෙන් එද්දී රෑ අටට විතර ඇති.. මගෙ අම්මේ... කොළඹ මොන ලස්සනක්ද.. හම්බන්තොට නෙව රෑට ලස්සන...පාරවල් ටික හොයාගෙන හම්බන්තොට පාස් කරන එක බය හිතෙන අත්දැකීමක්.. යකෝ ගාලු/කටුනායක හයිවේ පරාදයි හම්බන්තොට නගරේ මැදින් දාලා තියෙන සුපිරි මාර්ග ටික... බලන්ට ලස්සනේ බැහැ... කොහෙන් ගිහින් කොහෙන් නවතීද දන්නේ නැතිව..ටිකටුත් නැතිව හයිවේ එහෙක ගියා වගේ සංතෝසෙන් යන්තං අවුලක් නැතිව මාතර පැත්තට හරෝ ගත්තට පස්සේ තමා සැනසීමක් ලැබුනේ.. මං බයේ හිටියේ පාර මාරු වෙලා සූරිය වැව පැත්තේ යන්ට වෙයිද කියලා...

ඒ කරලා පහුවදා උදේ වරුවේ කල මැටියට ගෙහුන් කුරුල්ලොත් බලං.. ඒ අහලම තියෙන බොහෝම අපූරු තැනක් වෙච්ච උස්සන්ගොඩ භූමියත් බලලා..දවාලේ හුම්මානෙටත් ගෙහුන්.. හවස් වෙද්දි මාතර...ගාල්ල හරහා ඇවිත් හයිවේ එකෙන් කොස්ටාවට පාත් වෙලා ගෙදරට ඒ ගන්න ඇහැකි උනා.. දවස් තුනකට ප්ලෑන් කොල ගමන කේස් එකක් නැතිව දෙකෙන් හමාර උනා... මට ඉතිං ආපහු එද්දි මතක් උනේ අපි පුංචිකාල වල වන්දනා නඩත් එක්කලා පාන්දර හතරට විතර පිටත් වෙලත් කතරගමට යද්දී හවස හයට විතර වෙන හැටි... ඒ හැටියට දැන් කොයි තරම් දේවල් ඉක්මනින් වෙනවද..?

හරි.. මේක ලියන්න ගත්තේ මේ ගිය ගමන ගැන ලියන්ට නෙවෙයි.. අපේ සහන් උන්නැහේ කලින් ලිපියකදී මගෙන් අහලා තිබුන පුරස්නයකුත්.. ඒකට කෙන්ජි උන්නැහේ උත්තරයක් දෙන්න කියලා පටන් අරං අතර මගින් කඩාපු පෝස්ටුවකුයි දැක්කට පස්සේ වැඩිය දිගට නැති උනත් කෙටියෙන් හරි මං දන්න තරම ලියා දාන්ට කියලයි.. කෙටියෙන් ලියන්ට ගත්තට මොකද අන්තිමට උඩ හරියට වෙලා තියෙන දේ පේනවා නෙව.. :D

රයිටෝ වැල් බයිලා අහවරයි.. දැන් අපි බහිමු කුකුල් මස් ගැන අවුලට...

ඇත්තටම මං ඒ හැටි මස් මාංස කාපු එකෙක් නෙවෙයි නෙව පොඩි කාලේ... ඔය මස් මාංස කෑමට මං හුරු උනේ රස්සාවල් කොරන්න පාරට වැටිච්ච තැනේ හිටලා තමා.. ඒත් ඉඳ හිට දවසක පොඩි කාලේ කුකුල් මස් කෑල්ලක් කැවුනු දවස් තිබුනා.. ඒ ඉතිං වැඩි හරියක්ම අපේ පුංචි අම්මලා එහෙම නෑගං ආවම උන්දලා මට බලෙන් වගේ ඕවා උයලා කවද්දී තමා.. හැබැයි ඒ කාලේ ෆාම් කුකුල්ලු.. එහෙමත් නැත්තං මේ බ්‍රොයිලර් කුකුල්ලු කියලා ජාතියක් තිබුනේ නැහැ ගං වල... කොටින්ම කඩවල්වල සීත පෙට්ටි කියලා ජාතියක් තිබුනෙත් එහෙමත් එහෙක විතරයි... ඒවෑ දාගෙන මල කුණු විකුණනවා කියලා දෙයක් කරන්න උන්දලා හිතලවත් තිබුනෙත් නැහැ...

කාට හරි කුකුළු මසක් කන්න උනාම වැඩිහරියක්ම උනේ අහල පහල ගං කුකුලෙක් සල්ලිවලට අරං මරාගෙන කෑම තමා... මරන වැඩේට දක්ෂ උදවියත් ගංවල එහෙං මෙහෙං හිටියා... ඒ වගේම කුකුලා මරන්න ගිහින් බෙල්ල කැපුවම හිස සුන් කුකුළු කද පියාඹලා ගිහින් ගස්වල වහන කතා එහෙම බොහෝමයක් ගංවල නිතර අහන්නත් තිබුනා... ඒ කෝම උනත් මං කියන්න ගියේ ඒ කාලේ කුකුළු මස් කියලා කන්න තිබුනේ බ්‍රොයිලර් නොවන ගංවලම හැදුන කුකුළු නාම්බන්ගේ මස්ය කියන එකයි.. ඔය ගං කුකුළු මස බොහෝම හයියයි... හරියට නිකං රබර් කන්නැහේ... රසේ උනත් අමුතු වෙනසක් තියේ... 

පස්සේ කාලෙකට මස් කන්න ගත්තට පස්සේ තමා මට තේරුනේ ඔය දෙකේ වෙනස.. ඒ කිව්වේ අපි අද කුකුළු මස් කියලා කන බ්‍රොයිලර් මසේ ඇති දිය ගතියත්.. පොල් කන්නැහේ ඔහේ කාගෙන කාගෙන යන්ට ඇහැකි ගතියත්... ඉස්සර කාපු ගං කුකුළු මසේ තිබුන රසයත්... එහි ඇති තද බවත් යන දේ... විසේසයෙන්ම කාපු අය දන්නවා ගං කුකුළු මසේ වැඩියම රස හරිය තමා කලින් දවසේ උයලා.. ඒකේ ඉතිරි කොටහා පහුවදා උදේට රත් කලාම එන හොඳි බොරේ... ආන්න ඒකත් එක්කලා පාන් කන එක වගේ වැඩක් දැන් තියෙන බ්‍රොයිලර් මසත් එක්කවත්.. ඒ හොදි බොරේ එක්කවත් කොරන්න බැහැ... කොටින්ම කිව්වොත් මෙලේ රහක් නැහැ...

ඔය මස් මාංසවල තද ගතිය ගැනත්.. මස් ඉවිල්ල ගැනත් කතා කරද්දී ඒ ඒ මසට අදාලව ඇති ගති ලක්ෂණ ගැන වෙනස්කං වගේම උයද්දි කරන වෙනස් කනුත් තියෙනවා...

ඒ කිව්වේ ඉස්සර කාලේ මස් උයද්දි මස් ටික බුරුල් වෙන්න ඉවිල්ල තමා කෝකියගේ දස්ස කම උනේ... විසේසයෙන්ම ඔය හරක් මාංසේ එහෙම බොහෝම තදයි නෙව.. ගං කුකුළු මස උනත් එහෙමයි.. ඉතිං ඒ කාලේ ඕවා උයද්දී මස් බුරුල් වීම පිණිසය කියලා මුරුංගා පොතු.. අමු ගස් ලබු.. ඇතැම් වෙලාවක කංසා ටිකක් එහෙමත් පාවිච්චි වෙන තැන් තිබුනා..  ඒ වගේම බුරුල් මසක් හම්බ උනාම ඒක ටිකක් තද කරලා උයන්නත් ඇඹුල් වර්ග පාවිච්චි කරන පුරුද්දක් ගංගොඩවල්වල තිබුනා...

දැන් මේ සහන් උන්නැහේ අහන්නේ ආන්න ඒ කොරමේ ගැන තමා...

දැන් තියෙන කුකුළු මසේ මෙලෝ තද ගතියක් නැති හින්දා ඒක ටිකක් තදින් හපන්න ඇහැකි විදියට උයා ගන්න පරණ තාලෙට මස් කාලා තියෙන කවුරු උනත් අකමැති වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ... 

හැබැයි දැන් හෝටල් වලත්.. ඔය මගුල් ගෙවල්වලත් කුකුළු මස් උයද්දි කරන කරන දේ තමා මුලින්ම මස් ටික ගැඹුරු තෙලේ බදින එක... එහෙම බැදලා මස් ටිකේ ජලය ප්‍රමාණය සෑහෙන්න ඉවත් වෙලා..මස් ටික හැකිලිලා පිට පැත්ත රත්තරන් පාට හෝ තද දුඹුරු වර්ණය හෝ එන විදියට බැදුනම ඒ මස් ටික තුනපහ දාලා උයන එක...

හැබැයි කාට උනත් තේරෙන්න ඕන ඔහොම ඉව්වම මස් එකේ හොද්ද රහ නැහැ කියන දේ.. මොකද මස්වල සාරය හොද්දට උරන්න හැකියාවක් බැදුනු මසේ නැහැ... ඒ වගේමයි තෙල් අධිකයි... කුකුළු මසේ තියෙන තෙල් මදිවට පිටතින් එකතු වෙන තෙල් ප්‍රමාණයත් අධිකයි.. කොටින්ම ඒ විදියට උයන මස් නිතර කෑවොත් තව අවුරුදු පහක් හයක් ජීවිත කාලෙන් අඩු කොරගන්න බොහෝම පහසුයි...

ඒ වගේමයි ඉස්සර අපේ ගෙවල්වල කුකුළු මස් උයද්දී පොල් කිරි පාවිච්චි උනා.. දැන් කාට හරි පොල් කිරි දාලා කුකුළු මස් උයනවා කිව්වොත් “ඈක්කා“ කියයි.. මොකද දැන් හෝටල්වල මස් උයන්න පොල් කිරි දැමිල්ලක් නැහැ.. තනිකරම වතුරයි.. තෙලුයි..මිරිසුයි තමා... කිරි දාලා උයන හරි හමන් මස් කරියක් කාලා නැති කෙනාට ඒ ගැන පහදලා දෙන එක ලේසි නැහැ කියලා අවස්ථා දෙක තුනකදීම මට පැහැදිලි උනා... ඒත් ඇත්තටම ගං කුකුළු මස් උයද්දී පොල් කිරි දැමිල්ලෙන් පුදුම ප්‍රණිත රසයක් වගේම රසවත් හොඳි බොරයක් සකස් කර ගන්න පුළුවන් කම තිබුනා...

හරි ආයෙම මං යන්නේ වත්ත හතර වටේ නේද..?

ඒත් තවත් එකක් කියන්න එපෑ.. වත්තේ තුන් මුල්ලක් පැගුව එකේ මේ මුල්ලත් පාගං ගියා කියලා මොන වරදක්ද..?

ඔය සහන් වගේ හයියට කුකුල් මස් කෑල්ලක් කන්නේ කොහොමද කියලා කවුරු හරි ඇහුවම කට්ටිය වැඩියම දෙන උත්තරේ තමා කරි චිකන්.. එහෙමත් නැත්තං පේරන්ට්ස්ලා කියලා කට්ටිය හදුන්වන බිත්තර පිණිස ඇති දැඩි කරන ෆාම් කුකුළු මස් ගැන කතාව... ඇත්තටම මෑතක් වෙනකල් මං උනත් ඕක තමා කිව්වේ... කරි චිකන්.. ඇත්තටම සෑහෙන හොද විසදුමක්.. ඒ සත්තු බ්‍රොයිලර් කුකුලන්ට වඩා කලක් ජීවත් වෙලා තියෙන හින්දා මස හයියයි... විශේසයෙන්ම සතෙකුගේ මස් හයිය වෙන්න නම් වැඩි වයසක් වගේම සතා ටිකක් ඇවිදලා දුවලා කරලා මාංශ පේශි තද වෙලා තියෙන්න ඕන.. ඒකයි හරක් මස එහෙම ඔය තරං හයිය.. ඒත් බටහිර සූප සාස්ත්‍රයට අනුව ඒ ඒ රටවල් වල සකස් කෙරෙන හරක් මස අපේ වගේ හයිය නැහැ... හේතුව අවුරුදු එක හමාරට වඩා වයස සතුන් මස් පිණිස නොගැනීම.. හැකි තාක් මස් බුරුල් වන ලෙසින් සතුන් සෑදීම... අපේ රටේ තියෙන හරක් මසෙන් බටහිර කෑම හදන්න ගියාම කෙලවෙන තැනක් තමා ඔය කාරණාව... මලාට කාගන්න බැහැ... මොලොක් මසෙන් හදන දේ මේ ගල්ටික් වෙච්ච මස්වලින් කොහොම හදන්නද..?

හරි එහෙමනං අපි ප්‍රධාන කාරණාවට බහිමු.. කොහොමද කරි චිකනුත් නොවන... ගං කුකුළු මසුත් නොවන... සාමාන්‍යෙයන් වෙළද පොලේ ඇති බ්‍රොයිලර් චිකන් කෑල්ලක් තදට හැපෙන්න උයා ගන්නේ....

ඕක දුවන්නේ ඇඹුල් වැද්දීම කියන කොටස උඩයි...

ඒ කියන්නේ මස් ටික මුලින් හෝදලා කපාගෙන... (ආන්න ඒ කැල්ල මතක තියා ගන්න.. මස් ටික කපලා හෝදන එකයි... හොදින් සුද්ද කරගත්ත මස් කුට්ටිය සෝදා පසුව කෑලි කර ගැනීමයි කියන්නේ දෙකක්.. පලවෙනි ක්‍රමයට අනුව මස්වල රසය අඩු වෙනවා.. දෙවැනි ක්‍රමයෙන් රසය ආරස්සා වෙනවා... නැත්තං හොද්දෙදි දිය වෙන්න ඕන දේවල් වතුරට දිය වෙලා සින්ක් එකෙන් බැහැලා යන එක තමා වෙන්නේ.. :D

ඉතිං මස් ටික හෝදලා කපා ගත්තට පස්සේ ඒකට අපි එකතු කරන්න ඕන මේ කියන දේවල්...

ලුනු
ගම්මිරිස්
කහ
විනාකිරි
ගොරකා

පැහැදිලියිනේ... ඔතන මුලින් කියාපු තුන ඇරුනම අනිත් ජාත දෙකම ඇඹුල්නේ කියලා කියයි කවුරු හරි.. ඒත් ඇත්තටම ඕක තමා වෙන්න ඕන... හරක් මසට විනාකිරි එකතු කලාම හරක් මස බුරුල් වෙනවා.. ඒත් කුකුළු මසට විනාකිරි එකතු කලාම ඕක හයි වෙනවා... වෙන්නේ කොහොමද කියලනං අහන්න එපා මං දන්නේ නැහැ.. ඒත් වැඩේ වෙනවා... හැබැයි ගොරකත් අවශ්‍යයි... :D 

(මං හිතන තරමින් ඔතනදී වෙන්නේ හරක් මස් වලට විනාකිරි වගේ දේවල් දැම්මම ඒවා මසට අල්ලනවා.. මෙතනදී වෙන්නේ කුකුල් මස්වල අයිට වඩා අධික වතුර ගතියක් ඇති නිසා ඒවෑ තියෙන වතුර විනාකිරි හේතුවෙන් ඉවත් වෙන්න ගන්නවා... ආන්න එහෙම සිස්ටොං එකක්..)

ඔය ඉවිල්ලෙදි එකතු කරන ඇඹුල් වර්ග වලින් වෙන වෙනස්කං ගැන මට කවියකින්ම පැහැදිලි කරලා දුන්නේ අපේ  රමණී අක්කා තමා.. රමණි අක්කා ගැන මං හිතන්නේ මගේ බ්ලොග් එක කියවන පරණ උදවිය දන්නවා... මගේ කතා දෙක තුනකම උන්දෑ ගැන ලියවිලා තියෙනවා නෙව... හැබැයි මට දැන් ඒ කවිය මතක නැහැ.. එකෙන් කියැවෙන්නේ මාළු වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. සියඹලා වතුර එකතු කලාම මොකද වෙන්නේ.. මස් වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. ආදී වශයෙන් කරුණු වගයක්...

සාමාන්‍යයෙන් ඔතනදී කරන්න ඕන හරිම විදිය තමා මස් පදං වෙන්න දාන කොට ඒකට ගොරකා කෑල්ලක් දෙකක් එකතු කරලා තියලා.. මස්වලට දාන විනාකිරිවලත් ආධාරයෙන් ගොරකා කෑලි ටික මෙලෙක් කරං.. අවසානයේදි ඒ ගොරකා වලට ගම්මිරිස්..සුදු ළුණූ.. අමු ඉගුරු එහෙම එකතු කරලා මිරිස් ගලේ සියුම්ව අඹරාගෙන ඒ මිශ්‍රණය මස් ටික උයන කොට එකතු කිරීම... ඒත් ඉතිං දැන් හැම තැනම මිරිස්ගල් නැහැ නෙව.. ඒ හින්දා කරන්න වෙන්නේ නිකංම හොද්දට දාලා හොද්දේ පදමට ඇඹුල් අල්ල ගත්තට පස්සේ ගොරකා කෑලි අහක් කරලා දාන එක...

හරි දැන් මුලින් කිව්වා වගේ මස්වලට ගොරකා/ විනාකිරි/ගම්මිරිස්/ලුනු/කහ යන දේවලා දාලා හොදට අතගාලා පැයක් දෙකක් තියන්න ඕන.. ඔතනදී පැය තුන හතරක් තිබ්බත් අවුලක් නැහැ.. හැබැයි මතක ඇතිව මැටි හට්ටියක වගේ තමා තියන්න ඕන.. මොකද ඇඹුල් වර්ග වැඩි හින්දා.. එහෙම තියන්න තියන්න ඔය මස්වල තියෙන වතුර ගතිය බවත් වෙලා මස් සෑහෙන පදමකට හයි වෙන්න ගන්නවා... එයින් පස්සේ ඇතිලියක් රත්වෙන්න තියලා ඒකට තෙල් ඇබින්දක් දාලා.. තෙල් ටික රත් වෙද්දි පහේ කුඩු ටිකක් දාලා බැදෙන්න අරිනවා... පරණ ක්‍රමේටනං පහේ කුඩු ගන්නේ නැහැ.. සූදුරු/මාදුරු/කොත්තමල්ලි ටිකක් කබලේ කර කරලා අරං ඒකත් එක්කලා කරාපු නැටි එනසාල් කුරුඳු පොතු එහෙම අඹරලා අර ගොරකා ඇඹරුව එකත් එක්කම හොද්දට පදම බලලා යොදා ගන්නවා.. දැන් ඉතිං ඒවා අමාරු හින්දා තියෙන හැටියට එපෑ ගොඩ දාගන්න... ඒ හින්දා පහේ කුඩු ටිකක් බැදෙන්න ඇරලා ඒක කලු වෙන්න ඔන්න මෙන්න තියා මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා ඒක බැදෙන්න නොදි නිකං කලවං කරන ගමන්ම හීනියට කපා ගත්ත මිරිස් කරලක් (කොච්චි කරලක්නං සෝක්) රතු ළුණු ගෙඩියක්.. තලා ගත්ත අමු ඉගුරු සුදු ළුණු ටිකක් කරපිංචා කොල ස්වල්පයක්.. තියෙනවනං සේර කෑල්ලක්.. රම්පේ කොල කෑල්ලක් කරාබු නැට්ටක්..එනසාල් ඇටයක්..කුරුඳු පොත්තක් එහෙමත් එක්කම අර පදං කර ගත්ත මස් ටිකත් ගොරකා කෑලිත් එක්කම හනික එකතු කරලා පරිස්සමට ඒ මේ අත පෙරල ගන්න ඕන.. ඔතනදී වැඩේ ඉක්මනට කර නොගත්තොත් පහේ කර වීම.. මස් ටික පිච්චීම.. වගේ අති භයංකර ප්‍රතිපල අත් වෙනවා... ඒ හින්දා අත ඉක්මන් කරගන්න ඕන... 

අන්න එහෙම කලවං කරගෙන මස් ටිකයි..පහේ ටිකයි.. අනිත් කලමනායි හොදට මිශ්‍ර උන ගමන් භාජනය හොදට පියනකින් වහලා..ලිපේ ගින්දර අඩු කරලා මස් එකෙන්ම උනන වතුරෙන් තැම්බෙන්න අරින්න ඕන.. විනාඩි දෙකකට විතර සැරයක් පියන ඇරලා මස් ටික පැත්ත පෙරලලා හනික වහන්න ඕන... හැකි තාක් මස්වලින්ම උනන වතුරෙන් ඕක උයා ගන්න එක තමා දස්ස කම... සාමාන්‍යෙයන් විනාඩි දොළහක් විතර යනකල් වෙනම වතුර එකතු නොකර වැඩේ ඇදගන්න පුළුවන් නම් වැඩේ අති සාර්ථකයි.. ඒ කියන්නේ මස් ටික හොදට හයියට හිටින්න හදා ගතෑකි... එහෙම කරං යද්දි මස් ටික පිච්චෙන්න.. වතුර ගතිය නැති වෙලා කර වෙන්න බලනවනං ඉතා ස්වල්ප ප්‍රමාණ හැටියට වතුර ටික ටික එකතු කරගනිමින් තමා වැඩේ කරන්න වෙන්නේ... කොහොම හරි අවසානෙදි මස් ටික හොදින් තැම්බිලා.. ලස්සන දුඹුරු මිශ්‍ර පහේ තැවරුන කලු ගතියකට ආවම හොඳ උකුවට තියෙන පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕන...ඒ ගමන්ම මදි පාඩු බලලා ලුනු ටිකකුත් එකතු කලාම හරි... පොල් කිරි එකතු කරනවා කියලා පනිට්ටු ගානට එකතු කරන්න යන්න එපා.. භාජනයේ තියෙන මස් වැහෙන්න නොදී.. යන්තට සෙන්ටි මීටරයක් විතර මස් වල උඩ කොටස් පේන ගානට එකතු කලානං පදම ඇල්ලියෑකි.. එහෙම කිරි එකතු කරලා තවත් විනාඩි දහයක් විස්සක් අතර කාලයක් උයා ගත්තම හරි ගානට එනවා.. හැබැයි වඩාත් හොද ක්‍රමය තමා මුල් විනාඩි පහ වගේ ප්‍රවේසමට හැදි ගාමින් අඩු ගින්දරේම උයාගෙන පුළුවන් තරං ගින්දර උපරිමයෙන් අඩු කරලා පැයක් විතර මස් හට්ටියට රස්නේ වැදි වැදි තියෙන්න අරින එක.. ඕවා ඉතිං දර ලිප්වල කලාට මේ උලව් ගෑස් ලිප්වල කරන්න අමාරු එකයි කාරිය... දර ලිපේ ගිනි අගුරු රස්නෙන් උයන්න පුළුවන්නං ආයේ ඉතිං සුපිරි...

ඔය විදියට උයා ගත්තම අවසානේ අපිට බොහෝම රසවත් හොඳි තාවරයක් සහිත.. (තාවරයක් කියන්නේ උකු ඒ කිව්වේ තික් ග්‍රැවි එකක් ඈ.. එහෙම තමා මට ඕන පැහදිලි කරන්න පුළුවන් උපරිමේ... ) හොදින් සවිමත් උන... මස් කෑල්ලේ පිටත වගේම කටුවට යනකල්ම ඇතුලතත් හොදින් තැම්බී ඇති.. (දැකල ඇතිනේ බ්‍රොයිලර් උයලා තියෙන හුගක් තැන්වල උඩ බැදිලා..මැද සුදුම සුදුවට අමුවට තියෙනවා..සමහර විට අමු ලේ පාටටත් තියෙනවා මං දැකලා තියෙනවා.. මස් එපා වෙන්නේ එහෙම වෙලාවට..) ආයේ ඉතිං සුවඳත් එක්ක පාන් ගෙඩියක් කෑහැකි... තාවරේ ගෑවුන ගෑවුන තැන බත් හැලියක් කෑහැකි හොද මස් හට්ටියක් හදා ගතෑකි... ප්‍රවේසමට උයා පිහාගෙන කැමති කෙනෙක් කාලා බලලා කියන එකයි ඇත්තේ...

හැබැයි ඔන්න කිව්වා මස් ටික පදං කර ගන්න වේලාව... හොඳින් ගින්දර හැසිරවීම... පාවිච්චි කරන අමුද්‍රව්‍ය හොඳ තත්වයේ තිබීම වගේ දේවල්.. හරිම වැදගත්.. විශේෂයෙන්ම ගෑස් ලිපේ.. යකඩ හට්ටිවල මේක කරන එක ලේසි නැහැ.. දර ලිපක.. මැටි හට්ටියකනං ආයේ ඉතිං ලොවෙත් නැහැ.. ඒ වගේමයි.. අර මං කියලා තියෙන විදියට අමු ඉගුරු/ගොරකා/ගම්මිරිස්/කුරුදුපොතු/සුදුළුණූ/කරාබු නැටි/එනසාල්... සූදුරු/මාදුරු/කොත්තමල්ලි වගේ දේවල් ගලේ අඹරලා සියුම් තලපයක් හදාගෙන පාවිච්චි කරලා... උයා ගන්න පුළුවන්නං ආයෙමත් මීට අවුරුදු විස්සකට තිහකට එපිට කාලේ අපේ ගං ගොඩවල් වල කුකුළු මස් උයාපු විදියටම ඕක කර ගතෑකි... දැන් තියෙන විදියටනං ඒ තරමටම ගොඩ දමා ගැනීම බැරි උනත්..සහන් අහපු විදියට මස් ටික හයිය හිටින්න උයා ගතෑකි...

--------------------

ප/ලි...

ලියලා ඉවර උනාමයි කල්පනා කලේ.. අද පෝයක් එහෙම නැහැ නේද..? නැත්තං ඉතිං කුණු බැනුං අහන්න වෙයි... හැබැයි ඉතිං එහෙමමත් නැති වෙයි.. මොකද හරක් මරනවා තරං කුකුල්ලු මරන එකේ පවු නැහැ කියලා පව් සූත්තරේ තියෙනවා නෙව... ඒකනේ කට්ටිය කුකුල් මස් ගිලින ගමන් හරක් මරන්න විරුද්ධ වෙන්නේ... (ඒ සූත්තරේ කොහේද තියෙන්නේ කියලා මගෙන් අහන්න එපා.. ඒකත් අර බමුණෝ ගිනි තියාපු හෙළු පොත් පත් අතර තිබිලා විනාස වෙලා.. )

ප/ප/ලි...

තාප්පෙටම කෙලලා තිබුනයි කියහල්ලාකෝ.. ඔහොම පලියකුත් එක්ක ලියලා දාලා මේක ඊයේ පෝස්ට් කලාටත් පස්සේ පාර පැත්තෙන් ටිකක් සද්දෙට බණක් ඇහෙන්න ගත්තා.. කෝකටත් කියලා ලිත අරං බැළුවාම බඩුම තමා... පෝයනේ... සුටුස් ගාලා ඇවිදින් මේක ආයෙම හංගලා ගියා... තව පොඩ්ඩෙන් ඊයේ කනවා කෑමක් මං නැති වෙන්නම.. :D

13 November 2013

ගෑණිව දෙනවද යාළුවට ගෙනියන්න..?

මේකත් මේ බ්ලොග් එක සඳහා ලිව්ව එකක් නෙවෙයි... මූණු පොතේ කමෙන්ටුවක් හැටියට කොටාපු එකක්... ටිකක් දිගට ලිය වෙච්ච හින්දා සහ පොදුවේ කිව හැකි කතාවක් හින්දා කෝකටත් තෛලේ වගේ තියෙන බ්ලොග් එකෙත් අලෝලා දාන්න හිතුවා...

මේකට අදාල නිමිත්ත උනේ අපේ හිතවත් බ්ලොග්කරුවෙකුගේ උවමනාවක් මත දවස් කිහිපයකට කැමරාවක් හොයා ගන්න දාපු ස්ටේටස් එකක්... මං ඕකට පැටළුනේ අපේ තවත් බ්ලොග්කරුවකු වන ගිනිගෝරිස් කෙනෙක් මාව ඒකට ටැග් කරලා තිබුන හින්දා...

ඉතිං මේ ස්ටේටස් එකට අපි කාගෙත් හිතවත්  මල්ලි කෙනෙක් කියලා තිබුනා මෙහෙම කතාවක්...


//මංනම් හිතන්නැ අයියෙ හම්බෙයි කියලා. ඔනිමනම් Camera Lk එකෙන් බද්දට අරන් යන්න. ඒක ලාබයි + හිතටත් හොඳයි//


හැබැයි ඒ කියලා ටිකකින් ස්ටේටස් එක දාපු මල්ලියට තවත් බ්ලොග් ලියන සහෝදරියක් විසින් කැමරාවක් දෙන්න පොරොන්දු වෙලා තිබුනා.. එයිටත් පස්සේ තමා අපේ ගිනිගෝරිසා නිකං ඉන්න බැරිවට මාවයි අර මේ දවස්වල අසනීපෙකට කටු පිටින් කොහිල කකා ඉන්න නියම වෙච්ච වෙනී අයියවයි පටලෝලා මෙහෙම කියලා තිබුනේ..


// මාරයා අළුතින් එකක් අරන්... **** අයියා ගාවත් තියෙනවා.. ණයට ඕන නෑ... තියා ගන්නම ගන්න.... චතුෂ තුෂර කුමාර **** ****//


එයින් පස්සේ ඉතිං ගිනිගෝරිස් අයියගේ විහිළුවට මං මෙහෙම කිව්වා...
//අඩේ XXX අයියා..අයියා සෝයි.. ලබන පාර අපේ ගමේ දන්සලක් තියේ.. අයියා එන්ටකෝ දානේ බෙදන්න...//

විහිළුවට ඉතිං විහිළුවෙන්ම එපෑ උත්තර දෙන්න... ඒත් ඒ කරලා ආයෙම මට පස්සේ හිතුනා මුලින්ම ස්ටේටස් එක දැක්ක වෙලේ හිතට ආව එකම ලියලා දාන්න ඕන කියලා.. මොකද විහිළු තහළු පැත්තක තියෙද්දී මෙහෙම අවස්ථාවක අපි හැමෝම පත්වෙන තත්වේ බොහෝ දුරට පොදු අත්දැකීමක් වෙන හින්දා... මේ තියෙන්නේ එයින් පස්සේ මං කොටාපු කොමෙන්ටුව... ආයේ ඉතිං මහන්සි වෙලා යුනිකෝඩ් තොග ගානට කොටපුවා නිකංම නිකං මාක් සකරබරග්ගේ කාලයේ වැලිතලාවට යට වෙලා යන්න නොදී මෙහෙම හරි ඉතිරි කර ගන්න එපෑ හදිසියකදී හොයා ගන්න...

-----------------
-----------------

XXXගේ කොමෙන්ටුව විහිළුවක් හින්දා ඒක පැත්තකට දාමු... ** අයියට අර්ෂශ් හින්දා ඒ කියන කතාත් පැත්තකට දාමු.. :D


ඒත් මේ කාරණාව ගැන තව වචනයක් ලියන්න ඕන කියලා හිතුනේ මුලින්ම @@ගේ කොමෙන්ටුව දැක්ක වෙලේ තමා.. ඒත් පහළට එද්දී XXX අපිවත් ගාවලා දාලා තිබුන කොමෙන්ටුව හින්දා මං කියන්න ගිය දේ නොකියා නිකං හිටියා... ඒත් දැන්නං හිතෙනවා මුලින් හිතපු දේ කිවුවට වරදක් නැහැ කියලා...

මේක මේ  ###  මල්ලිට පෞද්ගලිකව කියන දෙයක් නෙවෙයි.. සාමාන්‍යයෙන් රටේ තොටේ පවතින තත්වේ අනුව මං දකින විදිය...

කැමරාවක් නෙවෙයි වෙන ඕනම දෙයක් උනත් තවත් කෙනෙකුට දෙනකොට ඒකේ අයිතිකාරයාට හිතන්න දේවල් සෑහෙන්න තියෙනවා... මං හිතන්නේ මං ඒවා එකින් එක අරං පැහැදිලි කරන්න උවමනා වෙන එකක් නැහැ.. ජීවිත කාලෙදි එකම එක වතාවක් හෝ කාට හරි බඩුවක් මුට්ටුවක්.. ණයක් තුරහක් දීලා මට්ටු නොවිච්ච එකෙක් ඉන්නවනං ඔහු හෝ ඇය ඉතාමත් වාසනාවන්ත කෙනෙක්... ඒත් කරුමෙට අපි වැඩිහරියටකට තියෙන්නේ ඕකේ නරක අත්දැකීම... ඒ කියන්නේ දුන්න දේ වෙලාවට ආපහු නොලැබීම... ගත්ත දේට හානි කරලා අන්තිමට සමහර විට කෑලි ටික විතරක් ලැබීම... වගේ දේවල් වීමේ අත් දැකීම හරිම සාමාන්‍ය දෙයක්... ඔකේ හොඳම ආතල් එක තමා සමහර විට දුන්න දේ කඩලා ආපහු දෙනවා මදිවට බැනලත් යනවා කැඩිච්ච එකක් දුන්නා හරි කැඩෙනවා කියලා දැන දැන දුන්නා හරි කියලා.. බොහෝම වෙලාවට යාළුකමත් එතැනින්ම ඉවරයි... ඔය වගේ අත්දැකීම් හින්දා  ගෙදර එහෙකුටවත් දෙයක් දෙද්දී ඒකේ ආසාව අතෑරලා මිසක් දෙන්න ලේසි නැහැ...

කැමරාවක් කියන්නේ අපි බහුතරේකට සරල දෙයක් නෙවෙයි... බොහෝම අමාරුවෙන් සල්ලි එකතු කරලා.. අතේ තියෙන මුදලට ගත හැකි උපරිම තරමේ එකක් කල් යල් බලලා පෙරුම් පුරලා ගත්ත උන් තමා වැඩියෙන් ඉන්නේ... එහෙම දෙයක් එක පාරට දීලා දාන්න මං හිතන්නේ නැහැ කැමරාවකට ආදරේ කරන එකෙකුට ලේසියෙන් පුළුවන් කියලා... තමනුත් යන ගමනකදී හෝ.. තමුන් ලග තියෙන් හොදම එක ඇර දෙවැනියට තියෙන එකක් වගේ එකක්නං හිත හදාගෙන දෙන්න පුළුවන් වෙයි.. ඒත් සන්තකේටම තියෙන එක එහෙම දෙන්න පුළුවන්නං ඒක සෑහෙන ලොකු හිතේ හයියක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්.. මෙතනදී +++ගේ ඉදිරිපත්වීම ගැන සෑහෙන්න ප්‍රශංසා කරන්න පුළුවන් වෙන්නේ එහෙම තත්වයක් තියෙන හින්දා.. නමුත් පොදුවේ ගත්තම @@යගේ කියමන තමා යථාර්ථය වෙන්නේ...

පෞද්ගලිකව ගත්තොත් මංනං ඇත්තටම කිසිම කෙනෙකුට මං පාවිච්චි කරන දෙයක් ආසාව අතෑරලා දෙන්න පුළුන්නං මිස දෙන්නේ නැහැ... ඒ මට ජීවිත කාලෙදි ලැබුන අත්දැකීම් හින්දා... මං ඔය දවස් දෙක තුනකට කලින් ගත්ත කැමරාව ගන්න මහන්සි වෙච්ච තරමේ හැටියට.. (ඒක ලොකු ගානක් නොවුනත් මගේ හැටියට ඒක ලොකු ගානක්) මට ඒක කරන්න හිතෙන්නෙවත් නැහැ.. මොකද ඒකට කෙල උනොත් මං දන්නවා තව අවුරුද්දකටවත් මට එහෙම දෙයක් ගැන හිතන්න වෙන්නේ නැහැ කියලා... පහුගිය ටිකේ මං ඇවිදින්නවත් ගියේ නැත්තේ ලග තිබුන කැමරාවෙන් එක දිගට පොටෝ ගහන්න බැරි තත්වේ දෝෂයක් ආව හින්දා.. හැබැයි දැන් මේක තියෙන හින්දා අර කලින් එකේ ආසාව අතාරින එක ලොකු දෙයක් නෙවෙයි... ඒ හින්දා කැමරාව ගෙනත් මුලින්ම ඒකේ පැකින් කඩන්නත් කලින් මුලින්ම කල වැඩේ තමා කැමරාවක් නැති.. ඒත් මං වගේම ඇවිදින්න කරන්න කැමති... ෆෝන් කට්ටේ ආධාරයෙන්  පොටෝ අල්ල අල්ල යන හිතවත් මල්ලි කෙනෙකුට ඒක දෙන්නං තියෙන දෝෂය හදා ගනින් කියලා දැනුම් දීලා හිටිය එක... එහෙම තමන්ට උවමනා නැති දේ තව කෙනෙකුට ආසාව අතෑරලා දීලාම දාන එක ප්‍රශ්නයක් නොවුනට කොහොමද බංස්ලා බොහොම අමාරුවෙන් පරිස්සමට තියං ඉන්න දෙයක් ආ මේං කියලා දීලා දාන්නේ..?

ඕවා කියං යද්දි මට මතක් වෙන්නේ ජීවිතේ අවස්ථා දෙකකදී මට අහන්න ලැබුන කතාවක්... අවස්ථා දෙක තමා පොලිසියේ සහ ගුවන් හමුදාවේ යන දෙකේම අවි පුහුණුවට කලින් ලැබුන දේශනාවේ කොටසක් වෙච්ච තමන්ගේ පුද්ගලික අවිය රැක බලා ගැනීම ගැන කියද්ද අනිවාර්යයෙන්ම කියන කෑල්ල...

 “තොපේ ගෑණිව තොපි දෙනවද එක එකාට ගෙනියන්න.. අල්ලලා බලන්න... දවසක් තියා ගන්න.. ගමනක් ගිහින් එනකල් තියාගෙන ආවම දෙන්න කියලා... එහෙම දෙනවනං තමන්ගේ අවියත් කාට හරි දුන්නට කමක් නැහැ.. එහෙම දෙන්නේ නැත්තං මතක තියා ගනිල්ලා මේකත් එක එකාට දෙන්න යන්න එපා... මේ තමා අද ඉදන් උඹලගේ ගෑණි.. ගැණී එක එකාට දීලා අන්තිමට කෙලවගෙන එන්න එපා“

කැමරාව කියන්නේ තුවක්කුවක් නොවුනත්.. තමන්ගේ ගෑණි නොවුනත් ඒ ක්ෂේත්‍රයට ආදරේ කරන එකාට ගෑණි වගේම වටින දෙයක්... ඒක තමා අවසානෙට කියන්න තියෙන්නේ...

(ආයෙමත් කියන්නේ මේක ### ට පෞද්ගලිකව ගන්න කියාපු දෙයක් නෙවෙයි... මේ වගේ තැනකදී මිනිස්සුන්ගේ පැති ගැන සාමාන්‍ය සරල තත්වය ගැන ලියපු සටහනක් විතරයි..)

10 November 2013

මයෝනීස්...

මෙව්වානං ලියන එකත් පාඩුයි.. ඒත් කවුරුම හරි මොනවා හරි දෙයක අනිත් පැත්ත ඉගෙන ගන්නේ නැතෑවත් කියලා හිතලා තමා ලියන්නේ...

කෑම බීම හදන හැටි දැමිල්ලෙන් ඉතිං මං බලාපොරොත්තු වෙන්නේ තවත් කවුරු හරි කෙනෙක් ඒක බලලා මොනවාම හරි යමක් හදන්ට ඉගෙන ගනී.. එහෙම කරලා කෑමක් රහට හදාගෙන කාවී.. තව කෙනෙකුට කන්ට ටිකක් හදලා දේවී.. වගේ දේවල් තමා.. ඒත් මේ අද කියා දෙන්නේ නං කෑමක් එපා කරවන සීන් එකක්... ඒ තමා මයෝනීස් සෝස්...
(ගූගල් මාමාගේ ආධාරයෙනි)

ඇත්තටම මේක ලියන්න හිතුනේ අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුල් පුරුක් අතරේ හිටිමින් තාමත් ඉඳ හිට ලියන.. විශේෂයෙන්ම මගේත් බ්ලොග් ගුරෙක් හැටියට මං නිතරම මතක් කරන අපේ ඉන්ද්‍රනාම මලයගේ අළුත් පෝස්ට් එක දැකලා.. මේ තියෙන්නේ ඒක...  ඉන්දරේ මල්ලි අද ලියලා තියෙන්නේ අපූරු සළාදයක් හදා ගන්න විදිය.. ඒක එතනින් බලා ගතෑකි...

ඒක කියෝපුවාම තමා මට හිතුනේ ඒකේ සළාදයට යොදා ගන්නා මයෝනීස් ගැන ලියන්න ඕන කියලා...

මයෝනීස් සෝස් එක අද වෙළඳ පොලේ ගන්න තියෙනවා බෝතල් හැටියට.. කවුරුවත් ඕක හදන්නං මහන්සි වෙන්නේ නැහැ.. ඒ හින්දම හුග දෙනෙක් දන්නෙත් නැහැ මේකේ මොනවා තියෙනවද කියලා... ඒ හින්දා මං හදන විදිය දාන්නං...

උවමනා ද්‍රව්‍ය...

බිත්තර කහ මද 2යි
විනාකිරි මේස හැන්දයි
අබ ක්‍රීම් තේ හැදි කාලයි
තෙල් ලීටර් කාලයි 
ලුනු/ගම්මිරිස්...

ඔතනදී ගන්න තෙල් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.. මූලිකවම පොල්තෙල්/පාම් තෙල් වගේ දේවල් හරියන්නේ නැහැ... හොඳම දේ තමා ඔලිව් තෙල්.. නැත්තං එළවළු තෙල්.. සූරියකාන්ත තෙල් වගේ ඒවා.... ගම්මිරිස් සුදු ගම්මිරිස් වීමෙන් පැහැය ආරක්ෂා කරගන්න පුළුවන්... 

ක්‍රමය...

ටිකක් ඉඩකඩ ඇති බෝල් එහෙකට බිත්තර කහමද දෙක දා ගන්න.. ඒකටම විනාකිරි ටිකයි.. අබ ක්‍රීම් ටිකයි එකතු කරන්න.. ලුනු ගම්මිරිසුත් ටිකක් වෙන්න දාගන්න... එයින් පස්සේ තියෙන්නේ ඉතිං බීට් කිරිල්ලක් තමා.. වැදගත්ම දේ තමා බීට් කරන එක නවත්තන්න බැහැ අවසානය වෙනකල්ම... ඒ කියන්නේ මෙතනදී උදව්වට තව කවුරු හිටීම වැදගත් වෙනවා.. ඒ තමා තෙල් එකතු කිරීමට...

දැන් මේක බීට් කරන ගමන්ම ඒකට අර තෙල් වලින් ස්වල්පය බැගින් එකතු කරන්න ඕන.. ඒ කියන්නේ මුලින්ම තෙල් මේස හැන්දක් පමණ... ඒ ටික හොඳට බිත්තර කහ මදය එක්ක මුසු වෙලා ක්‍රීම් ගතියට ආවම තත්පර තිහකින් විතර තව මේස හැන්දක් ආදි වශයෙන්... කවුරු හරි ළගට වෙලා තෙල් එකතු කරන අතරේ තවත් කෙනෙක් එක දිගටම බීට් කරං යන එකෙන් වැඩේ අවුලක් වෙන්නේ නැති වෙන්න ගොඩ දාගතෑකි.. හොදටම හුරු උනාමනං තනියම කලෑකි.. ඒත් ඔලිව් තෙල් කාලක් අහක යවනවා කියන්නේ හෙන ගහන අපරාදයක් හින්දා කවුරු හරි ලග තියං වැඩේ කිරීම ලාබයි...

ඔහොම දිගින් දිගටම බීට් කරං ගියාම තෙල් අවසාන වන තැනදී අපේ මයෝනී සෝස් එක හැදිලා ඉවර වෙනවා.. හරියට වැඩේ කෙරුනනං අවසානයේදී බොහෝම ලස්සන ලා ඇත්දල පාටක් වැනි සුදක් හිමි ලස්සන සෝස් එකක් අපිට ඉතිරි වෙනවා... දැක්කම කන්න ආසා හිතෙන විදියේ...

ඒත්....

හොඳට කල්පනා කලොත් දැන් තේරෙන්න ඕන ඕනෑම කෙනෙකුට මයෝනි කියන්නේ බිත්තර කහමදයෙන් අල්ලාගෙන ඉන්න තෙල් ගොඩක් විතරයි කියන එක... ඇත්තටම කිව්වොත් ඔය බිත්තර කහ මද දෙකට තෙල් බෝතලයක් උනත් අවුලක් නැතිව අල්ලං ඉන්න පුළුවන්.... එකම දේ බීට් කිරිල්ල හොදින් වෙන එක විතරයි...

දැන් මං ඔය කිව්වේ ගෙදරදී අපිට නියම විදියට ඕක හදාගන්න විදිය.. එහෙම හැදුවත් තෙල් ගොඩක් වෙන සෝස් එක ව්‍යාපාරයක් හැටියට කරන අය හදනකොට තව මොන මොනවා එකතු කරනවා වෙන්න පුළුවන්ද...?

දැන් හිතෙනවද මයෝනී සෝස් කන්න කාට හරි...? :D

රයිටෝ එතකොට ඉන්දරේ කියන සළාදේ කන්නේ කොහොමද..?

ගන්න එක එක රස වර්ග නැති පොඩි යෝගට් එකක්.. ඒකට දාන්න ලුනු ගම්මිරිස්.. තියෙනවනං ලියාගත්ත පාස්ලි ටිකක් හෝ නැතිනම් කරපිංචා දළු ටිකක්... අබ ක්‍රීම් තියෙනවනං එයිනුත් ඇබින්දක් එකතු කරන්න.. අබ රසයට කැමති නැත්තං නිකං ඉන්න.. හොදට බීට් කරලා සළාදෙට එකතු කරන්න... හරි සරළයි... මයෝනී වගේ තෙල් ගොඩක් නැතිව ඔය සළාදේ රසට කෑහැකි...

--------------
කෑමක් එපා කරවන්න මේ පෝස්ට් එකක් ලිව්වමයි.. :D
මං හදාපු පොටෝ නැති එක ගැන සමාවෙන්න... පුරුදු වෙන්න හැදුවට ගෙදරදිනං හදන්න කල්පනාවක් ඇත්තේම නැත...

02 November 2013

කලකදි ලෙඩ..කලකදි රජ...


ඉස්සර මං බාල සංදියේ උණක් හෙම්බිරිස්සාවක් අසනීපයක් වෙලා පැත්ත දාලා හාන්චි පයිස් වෙලා ඉද්දී ඉතිං මුලින්ම තාත්තගෙන් ලබෙන සාත්තුව තමා කිරිං කැකර් විස්කෝතු පැකට් එකක් එක්කලා ලැබෙන කිරිං සෝඩා බෝතලේ... ඔය දෙක මුලින්ම හම්බ වෙද්දී මං දන්නවා මට බරපතලෙට අසනීප වේගන එනවාය කියන එක... එතකොට ඉතිං මට තියෙන්නේ ඇදේ බිත්තිය පැත්තට හැරිලා ඔළුවේ හිටං පොරොවාගෙන දොයියන්න තමා.. වැරදිලාවත් ඇදෙන් නැගිටලා නටන්න හැදුවොත් ඔන්න දෝස් මුරේ...

හැබැයි ඉතිං ඔය කිව්වට එහෙමට නැගිටලා නටන්න කොරන්න තරං ඇගට සනීපෙකුත් නැහැ ඔය වෙද්දී... ඉතිං ඔන්න කිරිං කැකර්..කිරිං සෝඩා වලින් පස්සේ මට හම්බ වෙනවා තාත්තත් එක්කලා බයිසිකලේ නැගලා පොඩි ටුවර් එකක් යන්ට... තාත්තා බයිසිකලේ පදින ගමන් ලැගේජ් එකේ කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙලා ඉන්න මං හොඳින් ඉන්නවද කියලත් සැරින් සැරේට විපරං කොරලා බලනවා.. එක්කෝ පරණ කතාවක් මොකක් හරි කිය කිය යනවා.. ඒ මං නිදා වැටෙයි කියලා බයට.. කොහොමින් කොහොම හරි ඉතිං අපේ ගමනාන්තේ වෙන්නේ උඩුපිල ග්‍රාමීය රෝහල තමා...

හැබැයි රෝහල කිව්වට මේ යන්නේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්ට නෙවෙයි.. ඉස්පිරිතාල ඉඩමේම පැත්තක තිබුන කුවාටස් එකේ හිටිය ලොකු දොස්තර මහත්තයාගේ බෙහෙත් ගන්ට.. උන්නැහේ හවස් අතේ පිටස්තරින් එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කොරලා කීයක් හරි හොයාගන්නවා.. හැබැයි ඉතිං ඒ ගිනි කන ගණන් නෙවෙයි ඒ කාලේ හැටියට බොහෝම සරල සාධාරණ ගානක්.. මුදලටත් වඩා උන්නුහේ ඒක විනෝදාංසයක් වගේ තමා කලේ... ආගිය තොරතුරු කතා කොර කොර... එහෙම තමා බෙහෙත් හේත් කෙරුනේ... ඒ දවස්වල ඉතිං කොතැන ගියත් එහෙමයි... බාබර් සාප්පුවට ගියත්.. ටේලර් හම්බ වෙන්න ගියත්.. රෙදි නැන්දලයි අහ ගියත්... ඔය කවුරු උනත් ගම හතර වටේ හැම දෙනාවම බොහොම හොදට දැන අදුරං හිටිය හින්දා වග විස්තර කතා කර කර හරියට ගෙදර එහෙකුට සලකන්නැහේ වැඩ කොලේ.. ඔය කියාපු දොස්තර මහත්තයත් එහෙමම හොඳ මනුස්සයා... අපේ මල්ලිටනං ඔය මනුස්සයා දැක්කම ලෙඩ හොඳ වෙන සීන් එහෙකුත් තිබුනා.. :D

උඩුපිල ලොකු දොස්තර මහත්තයා නැති කාල වලට ඉතිං අපි යනවා කන්ද කපාපු හන්දියේ ඩිස්පැන්සරියට.. එහෙමත් නැත්තං වැලිවේරිය පැත්තේ දොස්තර මහත්තයෙකුත් හිටියා තරමක් ප්‍රසිද්ද... ඔය කොහේ ගියත් ඉතිං අර මං කලියෙන් කිව්වා වගේ පුට් බයිසිකලේ තමා ආවේ ගියේ.. ඔය මං කියන කාලේ තිරිවීල් එහෙම ඇහැට දැකලා තිබුනෙත් නැහැ... ටැක්සි පොඩි මහත්තයාගේ මයිනර් එක තමා ඉතිං මොනවට හරි ලොකු ගමනක් යනවනං අහල පහල තිබුන ලොකුම වාහනේ... 

කොහොමින් හරි ඔය යන ගමනින් පස්සේ සුදු පාට කවර දෙක තුනකට හම්බ වෙන එක එක ජාතියේ පෙති ටිකකුයි.. ගෙදරින් ගෙනියන වීදුරු බෝතලේකට රතුපාට මහ කෂඩ රහක් තියෙන බෙහෙත් වතුරකුයි හම්බ වෙනවා.. ඔය අසනිප වෙන සීන් එකේ තියෙන එකම අවුල ඔය කියන මල ජරා බෙහෙත් වතුර එක තමා.. නැත්තං අනිත් ඔක්කෝම අවුලක් නැහැ..:D හැබැයි ඉතිං සමහර දවසකට ඔය කියන බෙහෙත් වතුරට අමතරව කොල පාට වතුර බෝතලේකුත් ලැබෙන අවස්ථා තියෙනවා.. ආන්න එදාටනං ඉතිං මල් මසුරං.. ඒක ඇවිල්ලා බෙහෙත් පැණියක්... පස්සේ කාලෙක මං තේරුං ගත්තා මේක දෙන්නේ කැස්ස හැදුනාම තමා කියලා.. ඒ හින්දා ඉතිං බෙහෙත් දෙන්න කිට්ටු වෙද්දී මට ටිකක් කැස්ස වැඩි වෙනවා... :D කරුමෙට ඉතිං දොස්තර මහත්තයා ප්‍රශ්න අහන වෙලාවට මට කහින්න අමතක වෙනවා... ඉතිං නැවතත් අර රතුපාට වහ වතුර එක විතරයි.. ඇඩෙනවා...

ඉතිං කොහොම හරි ඔයින් පස්සේ දවස් දෙක තුනක් යනකල් අයියෝ.. අම්මේ... අම්මේ.. අයියෝ.. ගගා සනීපෙට කෙඳිරි ගගා බුදියෑමක් තියෙන්නේ.. සනීපෙට කිව්වට ඉතිං මුළු ඇගම තලා දාලා වගේ... නිදාගෙන නිදාගෙන දැන් නින්ද යන්නෙත් නැහැ... මහ රෑට ඇහැරිලා පැය ගානක් ඉන්න වෙද්දි පුදුම අමාරුවක් තියෙන්නේ... ඔය අතරෙත් ඉතිං කිරිං සෝඩා..කිරිං කැකර් තමා ප්‍රධාන ආහාරේ.. හැබැයි ඒ වෙද්දි ඒවත් එපා වේගන එනවා.. ඒ වගේමයි කිසිම රහක් දැනෙන්නේ නැහැ..කට කල් කදුරු තිත්තයි...

ඔන්න ඉතිං අවසානෙදී කොහොම හරි යාන්තං දාඩිය දාලා උණ බැහැලා යන අවස්ථාව ආවම තමා අමාරුම සංගරහය තාත්තගෙන් මට හම්බු වෙන්නේ.. ඒ තමා ලුණු මිරිසුයි බතුයි... රතුළුණු..උම්බලකඩ යහමින් දාලා.. දෙහි ඇඹූල් රහ හොදට වද්දලා හදන ලුණු මිරිස් එක්ක බත් කෑහැකි වෙන වෙලාවකනං.. ඒත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ ඒකත් මරන්නැහේ වැඩක්.. කොහොම හරි එහෙම වේල් දෙකක් විතර පැන්නට පස්සේ ඔන්න මං කැමතිම වේල හම්බ වෙනවා..

ඒ තමා ටිකක් විතර බෙරි වෙන්න උයාපු සුදු බතුත් එක්ක වැටකොළු හොද්ද... වෙනදට වැටකොළු උයනවට වඩා එහෙම දවසට වැටකොළු එකට දාලා තියෙන සුදුළුනූ ප්‍රමාණය එහෙම වැඩියි.. මං ඉතිං බොහෝම ආසාවෙන් වැටකොළු වෑංජනෙත් එක්කලා බත් කන්න පටන් ගන්නවා.. ආන්න ඒ වේල ගත්තට පස්සේ තමා මට දැනෙන්නේ “ඔන්න මට දැන් සනීපයි“ කියලා.. :D

ඔය ලෙඩ වෙලා කෙලින් කටින් වෙද්දී හම්බ වෙන වැටකොළු මාළුවට තියෙන ආසාව හින්දම මගේ කෑම ලයිස්තුවේ වැටකොළු වලට ඒ කාලේ තිබුනේ අංක එකේ ඉස්තානේ තමයි... අසනීපයක් නැති වෙලාවට උනත් තාත්තා වත්ත පිටියේ වැවුව වැටකොළු මැස්සකින් කඩාගත්ත කොළම කොළ පාට ළපටි වැටකොළු උයලා කරවල කෑල්ලක් තෙල් දාලා හදලා දෙන බත් පිඟාන ආයේ ඉතිං මට රාජ බෝජනයක්ම තමා.. ඕකට ඉතිං ආයේ ඔය වෙන වෙන සුකුරුත්තං ඕන නැහැ.. ලුනුයි දෙහියි වගේ ඔය දෙක කැපෙනවා තකට තක...

අද ඉතිං ඔය වැටකොළුව මතක් උනේ වැටකොළු මාළුවක් උයන්න වෙච්ච හින්දම තමා...

මේ ඊයේ පෙරේදා දවසක මට හදිසියේම පිළියන්දල පැත්තට ගෙහුන් එන්න උනා.. ඒ එද්දිඅර පිල්ලෑවද කොහේද කියලා පන්සලක් තියන හරියේ පාර අයියේ කරත්තයක අළුත ගෙනත් බාපු කුරුම්බා වළු වගයක් දැකලා කුරුම්බයක් ගැන පහළ වෙච්ච ආසාව සංසිඳුවාගන්න කියලා එතැනට මංගච්ඡපුවාම තමා දැක්කේ යකෝ එතැන සෝක් එලෝලු ටිකක් තියෙනවා කියලා... හැමදාම පිටෝටුවෙන් හරි එලෝලු ලෑල්ලකින් හරි එලෝලු ගන්නකොට හම්බ වෙන මැරෑටී එළවළු නෙවෙයි. බොහෝම සනීපෙට හැදුන අපූරු එලෝලු ටිකක්... කොහේ හරි කොරටුවකින් කඩං ඇවිත් වග බැලු බැල්මටම පේන්න තිබුනා.. මාත් ඉතිං කුරුම්බා දෙකකුත් අරං අහවර වෙලා හොඳවයින් වැටකොළු කරල් දෙහෙකුත් අර අරගත්තා...

ඉස්සරම ගෙදරදී තාත්තා වත්තේ හදලා උයලා දෙන වැටකොළු වගේ කඩවල් වලින් ගන්න වැටකොළු හරි නැහැ.. කොච්චර නාරටි කඩලා.. පොතු හූරලා.. නැටි මිරිකලා දන්න සිල්ප දාලා ගෙනාවත් ඒ හුගක් ඒවෑ මැද්දෑවේ කොස්ස මෝරලා.. කන්න බැහැ... ඒ හින්දා මං ඔය වැටකොළු කෑම අතෑරලා දාලා තිබුන ගානයි පහුගිය කාලේ...

හැබැයි ඉතිං අපරාදේ කියන්ට බැහැ.. මෙදා පාරනං නියම වැටකොළු ටිකක් හම්බු වෙලා තියෙන්නේ... ගෙනාව දවසෙම රාත්තිරියේ එක කරලක් උයාන කාලා.. අද මේ දෙවැනි එක තමා ඔය උයලා කාලා අහවර වෙලා පොටෝවකුත් දැම්මේ... ඉස්සර ඉතිං ලෙඩ කෑම කියලා කිව්වට දැන්නං මේවා රජ කෑම...

31 October 2013

දුක තමයි...

හනෙ හම්මේ අපේ උන්දලා වගේ ජාතියක්... ඔන්න මං පෙරේදා රාත්තිරියේ කන්ට කියලා බත් ඩිංගක් උයන ගමන් මට එක පාරට සිහියට ආවා මේ දවස්වල එක දිගට බුකියේ එහෙ මෙහෙ යන “දුක යනු“  එහෙම නැත්තං “සතුට යනු“ කියලා දාන පින්තුර කෑලි ගැන.. ඕකත් කල්පනා කර කර මං පොල් ටිකක් ගාන අතරේ ඉතිං ඇත්තටම දුක කියන දේ ගැන බුද්ධ දේශනාව නැති උනානං අපි කොහොම තේරුං ගනීද කියලා හිතන්න පටන් ගත්තා.. එහෙම උනානං බුදු නොවුනත් තව මොන මොන නමින් හරි ඔය වගේ දේවල් ගැන හිතන කල්පනා කරන අය හිටිවී නේද කියලත් සිහියට ආවා...

ඔන්න ඔහොම හිතාගෙන හිතාගෙන හිතාගෙන යනකොට තමා මට ඔය දාර්ශනිකයාගේ කතා වස්තුව හිත ඇතුලේම නිර්මාණය කරගන්න පුළුවන් උනේ.. ඕක නිර්මාණය කරගත්තා කිව්වට ඕකට මේ ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.. හිරමනේ හෝදලා... පොල් බෑය ගාලා ආයෙම හිරමනේ සුද්ද කොරලා හෝදලා දාන කොට කතාවේ දඝ සටහන හිතේ ඇදිලා අහවරයි... ඉතිං මං උයලා කොරලා අහවර වෙලා දවසේ වැඩ අහවර උනාට පස්සේ තමා මේ හිතට ආව එක ඕන එකක් කියලා බ්ලොග් එකේ කොටලා දාන්න ගත්තේ.. හැබැයි ඉතිං ඔය වගේ කතා අනං මනං එක දවසකදී සිය දාස් ගානක් මගේ හිතේ ඇතිවෙලා නැති වෙලා යනවා උනත් එදා සෑහෙන හිතේ සැහැල්ලුවෙන් හිටිය දවසක් හින්දා මට ඕක කොටලා දාන්න හිතුනා...

ඇත්තටම ඕක අවසානයේ මං කල්පනා කොලේ මං ලියන ඔය කොයිකටත් වගේ දේසපාලනේ ඇදිලා යන හින්දා කවුරුම හරි මගෙන් අහන්ට පුළුවන් නේද..“ඈ බං උඹ ඔය දන්න දෙයක් වෙනුවෙන්ද... මහන්සි වෙන්නේ.. කැපවෙන්නේ... පෙනී හිටින්නේ.. කොටින්ම කිව්වොත් තෝ මහින්දගේ මොකක් දැනගෙනද ඌට කඩේ යන්නේ“ වගේ සිරා ප්‍රශ්නයක් අහන්න ඇහැකි නේද කියලා... :D

එහෙම හිතලාම තමා කෙනෙකුට උවමනා නම් ගනින් චෑන්ස් එක කියලා ඕක අවසානෙදී ප්‍රශ්නයකුත් අහගෙනම ගියේ...

හත් ඉලවුවේ.. මෙන්න පස්සේ බැලින්නං මුංදලා මේක වවාගෙන.. කොටාගෙන... බිං පෙරලාගෙන... අස්වද්දාගෙන... අස්වැන්න නෙලලත් හමාරයි... හැබැයි ඉතිං මං ඒකෙන් තේරුං ගත්ත දේවල් බොහෝමයි.. අපේ උන්දලා ඕනම දේකින් දකින්නේ තමුන්ට කැමති ටිකම තමා කියන එක... ඒ වගේම අර ලොකු හාමුදුරුවෝ ගෑණු ළමයව කරේ තියං මඩෙන් එතෙර කලත් පොඩි හාමුදුරුවෝ ළමයව හිතින් කරේ තියං පන්සලටත් ගෙනිච්චා වගේ මේ උන්දලා මං ලියලා කොරලා මලවලා අහක් කොරාපු දේවලුත් තාමත් හිත හිත ඉන්නවා කියන එක.. :D ඒකට ඉති කෙනෙක් මුල ඇල්ලුවාම ඇති.. කස්ටිය ඇදගෙන යනවා ලෙසටම.. විසේසයෙන්ම අපේ සහන් උන්නැහේ කොතැනදීත් වගේ උන්නැහේට හිතෙන මොක හරි කමක් නැහැ ඔහේ කියලා ඇරිය ගමන් වැඩි හරියකට මං ලියාපු එක මොකක්ද කියන එක කල්පනා කරනවටත් වඩා තමුන් කැමති පාරේ වේගයෙන් යන්න ඇති වෙන ආසාව ඔස්සේ ගමන් කලා හිටු කියලා... 

හැබැයි ඉතිං ඒකෙන් මේකෙන් උනේ.. මං බලාපොරොත්තු උන විදියට ඒ ලිපියේ දෙවැනි එක ලියලා තේරුමක් නැහැයි කියලා මට බොහෝමත්ම හොඳින් අවබෝධ උන එක... ඒ කිව්වේ ඕකෙම දෙවැනි කතාව හැටියට මං ඔය ලිපිය ලියන අතරතුරේදි හදා ගත්ත “සතුට කියන්නේ මොකක්ද“ කියන කෑල්ලට අදාල කතාව මං ලියන එක අතෑරලා දැම්මා... ඔයාකාර නහින්න ඕනෑ මේකක් ලියන්න.. ඔය කටට එන වචන දෙක තුනක් ලියලා දාලා පාඩුවේ හිටියම ඇති නෙව... ඒ ඒ අරමුණු ඇත්තෝ ඒ ඒ අයගේ අරමුණු ඔස්සේ කතාවක් හදාගන්නේ නැතෑ.. මං මොකට මහන්සි වෙනවැයි.. :D
ඕං ඔහොමයි දැන් කාරණා කාරණා සිද්ධ වෙන්නේ...

හැබැයි මං තව දෙයක් තේරුං ගත්තා.. අපේ අය හුග දෙනෙක් හිතන්න බයයි කියන එක... තව කවුරු හරි හිතපු දෙයක් ඔස්සේ හිතන්න හරි ඒ ගැන උඩින් පල්ලෙන් කියලා ඇග බේරගන්න හරි මිස කිසිම දෙයක් ගැන බරපතලෙට හිතන්න උනොත් ෂෝට් කට් එකක් හොයලා එතැනින් පනිනවා...

හරියටම බැළුවොත් මං උනත් වැඩි හරියක් කරන්නේ ඒකම තමා. මොකට ඔයාකාර මහන්සි වෙන්නද...? කොහොමටත් ඔය දාර්ශනික කතා ගැන වැඩි විච්චූරණ ලියන්න.. කතා කරන්න ගියොත් අපේ දාර්ශනිකකං නැති වෙලා ගිහින් අනිත් උන්ට අපිව පේන්න ගත්තොත් විලි ලැජ්ජා හතයි නෙව.. හා නැද්ද හා..?

30 October 2013

දුක යනු... දාර්ශනිකයාගේ කතා...

එක්තරා මනුෂ්‍යයෙක් බොහෝම වෙහෙසින් යුක්තව තරමක් ප්‍රසිද්ධ දාර්ශනිකයකු වෙත ගියා... ඔහු වෙහෙසට පත් වෙලා තිබුනේ තමා හට නොතේරෙන කාරණාවක් පැහැදිලි කර ගැනීම වෙනුවෙන් හැමතැනම ඇවිදලා.. එම කාරණාවත් ඔහුගේ සිතින්ම උපන්නක් නොවෙයි.. තවත් අයකු ඔහුගෙන් ඇසූවක්... ඒ තමාගෙන් පැනය ඇසූ කෙනාත් ඒ වගේම තවත් අයකු අතින් එකී පැනය අසා තිබුනා...

කෙසේ හෝ අවසානයේදී මෙම පුද්ගලයා මෙම දාර්ශනිකයා වෙත ගියේ ඔහුගෙන් මෙම පැනයට නිසි පිළිතුරක් ලැබේවියැයි අපේක්ෂාවෙන්... අවසානයේ කෙසේ හෝ මනුෂ්‍යයා දාර්ශනිකයා වෙත එළඹ තම පැනය විමසනවා...

“දුක කියන්නේ මොකක්ද..?“

දාර්ශනිකයා තරමක් විමසිල්ලෙන් මනුෂ්‍යයා දෙස බලා ඔහුගෙන් නැවත මෙසේ ඇසුවා..

“ඔබ ඔය පැනය අසන්නේ ඔබ වෙනුවෙන්මද..?“

“නැත.. මෙම පැනයම මා වෙතින් තවත් අයකු විමසුවා... එයට නිසි පිළිතුර නොදන්නා හෙයින් මා එය සොයමින් තැන තැන ගියා.. අවසානයේදී ඔබ වෙත පැමිණ මෙසේ විමසන්නට සිතුණා“

දාර්ශනිකයා තරමක මදහසක් මුවට නගාගෙන මෙසේ පැවසූවා...

“දුක කියන්නේ නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් පෙනී සිටීමයි...“

එතෙකින් නොනැවතුන දාර්ශනිකයා අදාල මනුෂ්‍යයා වෙත මෙසේද පැවසූවා...

“යන්න.. ආපසු යන්න..ගොස් ඔබගෙන් ය පැනය විමසූ අය වෙත යන්න.. එසේ ගොස් ඔහුගෙනුත් එම පැනය විමසූ අයෙක් වෙත්නම් ඔහු වෙතත් යන්න... ඔබ අවසානයේ පැනය ඇති වූ තැන සොයා ගනු ඇත... එසේ නොවුනහොත් ඔබත් මේ විඳ ඇත්තේ දුකක් පමණයි.. ඔබ නොදන්නා දෙයක් වෙනුවෙන් කැප වී සිටිනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසී තිබෙනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන පෙනී සිට තිබෙනවා.. ඒ දුක නැති කරගන්න ඒ වෙත යන්න..එසේ ගොස් ඔබ විදි දුක නැති කරගන්න..එතෙකින් නොනැවතී එහි  ගොස් තවදුරටත් විමසන්න මෙකී දුකටත් වඩා යමක් තියෙනවාද කියා...“

ඒ පැවසූ ලෙසින්ම පෙර කී මනුෂ්‍යයා ආපසු ගියා.. ඔහුගෙන් පැනය විමසූ කෙනා හමු වූවා.. ඔහුගේ තොරතුරු අනුව එයට පෙර පැනය විමසූ කෙනා හමු වූවා.. මේ ආකාරයෙන් බොහෝ දෙනෙකු වෙත යාමට මේ මනුෂ්‍යයා හට සිදු වූවා.. අවසානයේ දිනක ඔහු නැවතත් අර දාර්ශනිකයා වෙත පැමිණියා... ඒ පැනය ඇති වූයේ වෙන කිසිවකුගෙන් නොව දාර්ශනිකයාගෙන්ම බව දැන ගැන්මට ලැබිමෙන් පසුවයි.. එසේ දෙවන වතාවටත් දාර්ශනිකයා හමු වූ මනුෂ්‍යයා විසින් තමාගේ අළුත්ම පැනය විමසා සිටියා...

“නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීම..වෙහෙසීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම කියන දුකටත් වඩා දුකක් තිබේද..“

දාර්ශනිකයා සිනාසී මෙසේ පිළිතුරු දුන්නා...

“ඔව්.. ඒ එකම දේ වෙනුවෙන් දෙපාරක්ම වෙහෙසිමයි.. කැපවීමයි.. ඒ වෙනුවෙන් පෙනි සිටීමයි.. ඔබ නැවතත් වින්දේ ඒ දුකමයි...කලින් ඔබ නොදැන විදි දුක මෙවර ඔබ දැන දැනම විඳිනු ලැබුවා.. මෙයයි බලවත්ම දුක වන්නේ... එනම් නොදැන විදිනා දුකටත් වඩා බලවත් දුක වන්නේ දැන දැන විදිනා දුකයි..“

---------------------------
හරි කතාව අදට අවසන්... මෙම කථාවෙන් අපහට උගත හැක්කේ කුමක්ද..? 

26 October 2013

සදාචාරය පැත්තකට දාලා... මෙන්න තොරණේ විස්තරේ...


හරි මෙන්න කතාව...

මේක ගෙඩිය පිටින් එළියට නොදා හිටිය එකට මට හේතු කිහිපයක් තිබුනා...

1-පට්ටපල් බොරුවක් උනත් සීයට බින්දුවයි දසම බින්දුවයි එහෙක හරි ඇත්තක් මේකේ තිබුනොත් මං කරන්නේ ලොකු අපරාදයක් වීම...

2- ආවට ගියාට මට එවාපු මේලයක් ප්‍රසිද්ධියේ දැමීම සදාචාරයට හොඳ මදි වීම...

3- මේක එව්වේ පට්ටපල් බොරුකාරයෙක්ය කියලා ටක්කෙටම කියන්න ඒ වෙද්දී පුළුවන්කමක් නොතිබීම...

ඒත්... මේ වෙද්දී ඒ ගැටළු අමතක කරන්න තරං මටත් හේතු තියෙනවා...
1- කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මේක එවපු කෙනා විසින්ම තමුන් කිසිම තැනක නොගිහින් ගියා වගේ ලිව්වාය  කියලා ප්‍රසිද්ධියේ පිළි ගැනීම... ඒ හරහා මෙම මේලයේ ඇති ගමනද ඔහුගේ හිතළුවක් ඇර වෙන යමක් නොවන බව තහවුරු වීම...


සමහරක් තැන් පුටුව උඩ ඉඳගෙන තමයි WMK , ඇත්තටම එහෙම වුනත් මම කියපු කරුණු සම්පුර්ණ ඇත්ත. අවිස්වාසයක් ඇතිකරගන්න එපා මම ඔබව බොරුවෙන් මුලා කළා කියල(ඔබ එය කියෙව්වා නම්) , මම මගේ බ්ලොගේ ඉදිරිපත් කරපු කරුණු සේරම ඇත්ත.ඒවා මේ ලෝකේ තවමත් ජනතාව අතර පවතින එව්ව. ප්‍රශ්නේ තිබුනේ මම එහෙ නොගිය එක විතරයි...

//ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...//
බොරුව කිව්වේ ඇතුලත් කරුණු නොවෙයි මාරය. ඔබ පොත් පත් වල සොයාබලන්න මම කියපු දේවල් කොච්චර සත්‍යද කියල. ප්‍රශ්නේ වුනේ මම ගියේ නැති එක විතරයි...
මම කාවවත් දැනුමෙන් මුලා කළේ නැහැ !//


2- මං එහෙම නොකලත් කලින් දැම්ම ලිපියට උත්තරයක් හැටියට අදාල පුද්ගලයා විසින්ම තමාට තවෙකෙකු (DDT) එවනු ලැබූ මේලයක් කිසිම ඇහැල්ලකින් බැලිල්ලකින් තොරව ප්‍රසිද්ධ කිරීම නිසා අදාල මේලය එවූ අය (DDT) විසින් මං මේ මේලය ප්‍රසිද්ධ කිරීමේ ඇති වරද ගැන අසා තිබුනද.. එයට පිළිතුරක් බ්ලොගය හිමිකරුවා විසින් පැහැදිලිව දී නොතිබීම... හා මෙය නොදැමීම මේ වන විට අන්ද මන්ද වි සිටින පාඨකයින්ට කරනා අසාධාරණයක් විම... (මේලය එවූ කෙනාට සාධාරණයක්ද නැද්ද කියලා දැන් හොයන එකේ තේරුමක් නැහැ)

3- මේල් එක කියවලා බලලා... මේ වෙනකල් මං දාපු පෝස්ටුවට හා කමෙන්ට් ටිකත්.. ඔහු දාපු පෝස්ටුව හා කමෙන්ට් ටිකත් කියවපුවාම මං හිතන්නේ මේකට උත්තර ලැබෙයි... උදාහරණයක් හැටියට මං මේක විතරක් පෙන්වන්නම්.. මේ මේලයේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්..

//උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල (මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග)//


මම ඔහු තැන තැන යනවා කියලා දැනගත්තේ ඔහුගේ බ්ලොගයෙන් වගේම.. ඔහුගේ මේ ඉහතින් දක්වා ඇති කමෙන්ට් එකෙන් දැන ගත්තේ ඔහු එහෙම ඇවිදලා නැහැ කියලා.. ඉතිං මේ කියන ගමන කොහොම ඇත්තක් වෙන්නද..?

ඉතිං ඒ නිසා මේ වෙද්දී මට මේ මේලය පල කරන්න බැරි තරමේ අවුලක් පේන්නේ නැහැ... ඒ වගේමයි මං බලාපොරොත්තු උනා පලමු පෝස්ටුවෙන් පසුව කාරණා දෙකක් වෙයි කියලා.. එකක් තමා විදුර තව දුරටත් බොරු නොකර ඇත්තම කියලා සමාව ඉල්ලීම හා අනිත් අයටත් හෙලි කිරීම තමන් කල වරද ගැන.. 

අනික තමා තව දුරටත් තමා වැරදි නැති බව කියමින් දගලන්නේ නැතිව අඩුම ගානේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගනිමින් සිටීම.. නමුත් ඒ දෙකම සිද්ධ උනේ නැහැ... දිගින් දිගටම මට වරදක් කලේ නැහැ කියන කතාව කියනා ගමන් තව දුරටත් මේ මේලය ඇත්තක් යැයි මට හගිස්සවන්නට කමෙන්ට් කර කර හිටිය එක විතරයි කලේ...

අවසාන වශයෙන් මේ මේලය කියවද්දී ඔබට වැටහෙන්න ඕන මුලින් කියන්නේ මගෙන් උපදෙස් වගයක් ගන්න ඕන හින්දා මේක මට කියනවා කියන මුත් ඔහුට උවමනා කිසිම උපදේශයක් ගැන අවසානය වන විට කිසිදු සදහනක් හෝ නැති අතර මේක කියවලා විස්වාස කරනවනං තව තවත් ඔහුගේ සුරංගනා කතාව ඇසීමට මා හට කරන ආරාධනයක් පමණක්ය යන වග... තව ඉතිං මෙහි ඇති අභව්‍ය තැන් ගැන සිතා ගැන්ම ඔබ සියළු දෙනාට බාරයි...

ඉතිං තව දුරටත් වැල් වටාරං උවමනා නැහැ.. මෙන්න පාඨකයින් හට ඇති අයිතියට ඉඩ දෙමින් අදාල මේලය...

X අකුරුවලින් යොදා ඇති කොටස පමණක් මා විසින් සංස්කරණය කර ඇත.. එහි ඇත්තේ තවත් අපගේ බ්ලොග් කරුවකු ගැනයි.. ඔහු මෙයට අදාල නොවන නිසා ඉවත් කර ඇත.
------------------------

විකාරරූපී සිදුවීමක් සම්බන්ධයෙන්...


ඉතින් මාරය මම උඹව මිට ටික කාලෙකට කලින් තමයි දැනගෙන හිටිය... 

ඒත් මම දැනට මාස කීපෙකට  කලින් තමයි "මාරයාගේ හෝරාව" කියවන්න පටන් ගත්තෙත්. මේකයි මාරය මම මේ කියන කතාව උඹ කොයිතරම් දුරට විස්වාස කරයිද මන්ද...  එත් විස්වාස කරනවා නම් බොක්කෙන්ම විස්සාස කරපං...
මොකද මේ සිද්ධිය ගැන කියන්න වෙන මම දන්න කෙනෙක් නැහැ...

උඹ ගැන මම මිටකලින් පොඩි විමසීමක් (ඊ මේලය ලබාගන්න) කළාXXXX XX ලියන XXX ගෙන්. ඉතින් මම දැන් උඹට කියන්න යන කතාව තරමක් දුරට XXX දන්නව.ඒ ඇර මගේ බිරිඳ විතරයි මේක ගැන දන්නෙ.ඒ වගේම මමත් විස්වාස කරනවා උඹ මේ සිද්ධිය ගැන රහසිගතභාවය ආරක්ෂා කරයි කියල... මම උඹව මේ විදිහට මුණගැහෙන්න හිතුවෙත් මේ සිද්ධිය ගැන මට තිබෙන විකාර රූපී ගතිය ගැන පොඩි උපදේශයක් ලබාගන්න.....


ඒක පටන් ගත්තේ මෙහෙමයි.

උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල(මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග).ඉතින් මාරය මම හිතන්නේ ඒ සිද්ධිය සිදුවුනේ 2011 වෙන්න ඕනේ.
මම  වෘත්තියෙන් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, වැඩ කරන්නෙ සෝවියට් සංගමේට. ඉතින් සෝවියට් සංගමයේ උපකාර වලින් ආරම්භ කරන බලාගාර අවුල් වුනාම එව්ව හදන්න ඒ රටවල් වලට අපිට යන්න සිදුවෙනව.ඒත් ඒක මම තැන් තැන් වල ඇවිදින එකට අදාල දෙයක් නෙවෙයි.මොකද ඇවිදින වැඩේ මම පිලිවලට සැලසුමක් ඇතිව කරන දෙයක්.

ඉතින් මම දවසක් ගියා ඉන්දියාවේ කුඩන්කුලම් කියන පලාතට ඒ බලාගාරේ යුරේනියම් ලීක් එකක් වෙලා ඒක නවත්තන්න හිටපු අයට උදව් දෙන්න.ඒ වුනත් මම යනකොට ඒ අය ගානට වැඩේ කරලා වැඩේ ගොඩදාගෙන තිබුන,
ඉතින් මට ඒ වෙනකොට කරන්න වැඩක් නොතිබුණ නිසාත් මම හිතුව මගේ බොහොම  හිතවත් හිමිනමක් විසුව  පන්සලක් පිහිටලා තිබුණු හිමාචල් ප්‍රන්තේ පැත්තට යන්න. ඉතින් ඒ පන්සලට ගියාම මට තව හිමිනමක් හම්බ මුණගැහුන.එතුමාගේ නම මම දන්නේ නැතිවුනත් එතුමා බ්‍රහ්මවංසෝ කියන පරම්පරාවේ හිමිනමක්. ඉතින් කලින් සඳහන් කරපු හිමිනම මාව බොහොම හොඳින් අඳුරන නිසාත් , මම සිංහල නිසාත් දෙවෙනි හිමිනම මට හිමාලය වැටියේ එක තැනක පිහිටලා තිබුණු පුජාවක් නරබන්න යන්න කතා කළා. ඒත් මම/ලෝකයා  ඒ පුජාව ගැන දැනගෙන හිටියේ නැහැ මාරය.ඒක ඒ තරම්ම රහසිගතයි!

ඉතින් සති දෙකක් ඇතුලත පුජාභාන්ඩ එකතු කරගෙන අපි හිමාලය වැටියට පිටත් වුනා.
ඒ පුජාව පැවැත්වුවේ  හිමාලය කඳුවැටි දුර්ගයක පොලෝ මට්ටමෙන් මීටර් 3000 ක් විතර උසින් පිහිටලා , කන්ද හාරල නිමකරපු එක්තරා භූගත පන්සලක් ඇතුලත. ඒ පන්සලේ හිටපු සේරම නේපාල , භුතාන , රුසියානු (දකුණු) , මැලේසියානු , සිංහල හිමිවරු.ඔවුන්ගේ ඉගැන්වීම් ශැවොලින් නිකායික  ස්වරුපෙකට ආසන්න සම්ප්‍රදායක් මත පිහිටලා තිබුන එකක්.ඒ වගේම ඔවුන්ගෙන් සමහරක් යම් ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත් උදවියක්.මොකද අපි හිමාලය නගිද්දී එක් තැනක මම සිතියමක් දිගෑරගෙන  අපි හිටපු තැන ගැන පොඩි සංසන්දනයක් කළා.එතැනදී මගේ අතේ තිබුන ඩිජිටල් මාලිමාව මගේ අතින් වැටිල තියෙනව.  පන්සල ඇතුලට  ගිහින් ඉවරවුනායින් පස්සෙ ඔවුන් අගන්තුකයාගේ සේරම බඩු භාණ්ඩ ඔවුන් සන්තකේට ගන්නව.මොකද ඒ පන්සල ගැන කිසිම සාක්ෂියක් ඔවුන් පිටවෙනවට විරුද්ධ නිසා.ඒ වගේම ඔවුන් භාහිර සමාජෙන් වසන් වෙලා ඉන්න නිසා.ඉතින් ඒ වෙලාවේ  මගේ බඩු භාණ්ඩ බාරගත්තු හිමිනම මට කිව්ව, "පුතා ඔබ ඔබේ ඉලක්කන් වැටෙන  මාලිමාව නැතිකරගෙන කියල".. ඇත්තටම මම පුදුම වුනා. ඒ වගේම බය වුනා මාරය...

දීර්ඝ සාකච්ඡා කීපයක් අතරෙ ඔවුන් මට කිව්ව විදිහට ඔවුන් හිත දියුණු කරන්නෙ භාවනාවෙන් නෙවේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි අතහැරීමෙන්.ඒක තමයි බුදුන් වහන්සේ අනුගමනය කරපු නියම මැදුම් පිලිවත(ඔවුන් කියපු විදිහට මමත් දැකපු විදිහට).ඔවුන් මටත් ඒ ක්‍රමය පුරුදු කළා මාරය.එත් ඉතින් මම එච්චර සමතෙක් නෙවෙයි.මොකද මම ඒක පස්සෙ කළේ නැහැ.ඒ තරමටම ඒක අපහසු දෙයක්.

ඉතින් පුජාවටත් පටන් ගත්ත. මම මුලින් හිතුවේ ඒ බුදුහාමුදුරුවන්ට කරන පුජාවක් කියල. ඒත් ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒ පුජාව කරන්නෙ විශේෂ කුටියක මුද්‍රා විවෘත කරන වෙලාවට.ඒ කුටියේ තිබුනේ අපේ රටේ ඉස්සරම හිටිය රාවණා රජු පාවිච්චි කරපු පුස්තකාලය.

පන්සලේ හිටපු සිංහල හාමුදුරුවරු කියපු විදිහට රාවණා පැරදුනාට පසු ඒවා ආරක්ෂා සහිතව ලංකාවෙන් හිමාලයට රහසේ ගෙනාපු එව්ව.ඒවා කලින් තිබිල තියෙන්නෙ ලාමා හිමිවරු අතේ.නමුත් පසු කාලෙක ඒ පොත් වල ආරක්ෂාවට ප්‍රශ්නයක් වුනු නිසා එව්ව මේ විදිහට තැන්පත් කරලා තිබෙනව. හැම අවුරුදු තිහකටම සැරයක් මේ කුටි විවෘත කරන්නෙ පොත් පත් පරික්ෂා කරලා ඒවා සංරක්ෂණය කරන්න.

ඉතින් මටත් විනාඩි විස්සක විතර කාලයක් නායක හාමුදුරුවන්ගෙන් ලැබුන පොත්පත් අල්ලල බලන්න.ඒවා බහුතරේක පිටකවර රත්තරන් ආලේපිත එව්ව. ලියල තිබුන භාෂාව මම ජීවිතේට දැකල තිබුන එකක් නෙවෙයි. ඒ වගේම එව්ව ලියල තිබුනේ සංස්කෘත වලිනුත් නෙවෙයි. 
මම බලපු සමහරක් පොත් තාක්ෂණික කරුණු තිබුන එව්ව.සමහරක් පොත් යම් සංස්කෘතික (කවි මගේ හිතේ) දේවල් තිබුණු පොත්. තාක්ෂණික කරුණු තිබුන පොත් වල තිබුන පින්තුර මට අදහගන්නත් බැරිවුනා මාරය.  අපි මේ බටහිර ලෝකෙට සාපේක්ෂව දකින එව්ව මෙව්වා මොනවද කියල හිතුන ඒව දැක්කහම....

ඉතින් මට හාමුදුරුවරු කියපු විදිහට ඉස්සර මේ පොත් ගෙනාපු අලුතම  ඉදිරිය දැකපු හාමුදුරුවරුන්ගේ යෝජනා අනුව පොත් ලියවිලා තියෙනව මේ කරුණු වර්තමාන ලෝකයෙන් වසන් කරන්න.අපි හොඳටම දන්න භගවත් ගීතාව (රාමායනය ඇර) වගේ ග්‍රන්ථ ඉදිරි ලෝකයෙන් පෙර ලෝකයේ තාක්ෂණික කරුණු වසන් කරන්න ලියවුනු එව්ව. :) ඒත් ඒවා බොහොම සුක්ෂම ග්‍රන්ථ , මොකද ඒවගෙන් ඉතිහාසය ගැන ඇත්ත හෙළිකරන අතරෙ , තාක්ෂනය වගේ එව්ව ගැන පොඩි පොඩි බොරු කියනව.
අපි දන්න විමාන නෙවෙයි ඒවා. නියම විමාන වල පින්තුර ඕනේ නම් මම කියවපු පොත් දකින්න වෙනව...

ඉතින් තව ගොඩක් දේවල් මම ඒ හාමුදුරුවරුන්ගෙන් දැනගත්ත. උඹ උනන්දු නම් මම කියන්නම්..

මම උඹව මුලින්ම දැක්කෙ , මීවනපලානේ ජයරත්න ලියපු "වරිගපුර්නිකාව" බ්ලොග් එකේ. මම දන්නේ නැහැ ඒවගේ ලියල තියෙන ඒවා ගැන නං,, ඒ වගේම මීවනපලානේ ජයරත්න ගැන.එයාගේ කතා ගැන...
එත් ඉතින් මම හිතුව උඹ නාලන්දාවේ සහෝදරයෙක් නිසා උම්බට මේක ගැන කියන්න...

මම ගැන වැරදියට හිතන්න එපා මාරය ,, මට වරිග පුර්නිකාව බ්ලොග් එකේ ලියපුවා ජෝක් එකක්ද එහෙමත් නැත්තන් ඇත්තද කියල අඳුරගන්න බෑ.. :) ඒකයි මම අරෙහෙම කිව්වේ...

හැබැයි මම එක දෙයක් දන්නව ,,, මම ගිය පන්සලේ හාමුදුරුවරු එව්ව පන නහගෙන ආරක්ෂා කරන්නෙ වෙන දෙකට නෙවේ. අපහු ඒවා රවනාටම දෙන්න !    :)

උඹට ජය!
---------------------
උපුටා ගැනීම අවසානයි...

දැන් ඉතිං මේක කියවලා ඉවර වෙද්දී මං මොන වගේ තත්වයකට පත් වෙන්න ඕනද..? පහු ගිය කාලේ මීවන පලානේ ජයරත්නයන් විසින් කල “වර්ගපූර්ණිකාව“ බ්ලොගයට හැකි සෑම අයුරකින්ම සහය දක්වමින්.. කවුරුවත්ම හරියට නොදන්නා එහෙත් උඩදාගෙන මාකට් කරපු රාවණා රැල්ල උපහාසයට ලක් කල මට.. මෙහෙම එකක් ඇත්ත නම් කියන සිතිවිල්ල ආවම මං කල ක්‍රියාව ගැන පසුතැවිමක් එන්න බැරිද..?

කල වරද හරිගස්සන්න බැරි උනත් තියෙන හැම දෙයක්ම පැත්තක දාලා ඉන්දියාවට ගිහින් මේ කාරණාව ගැන හොයන්න යන්න මං වගේ (සයිබීරියාව හරහා අර විදියට යන්න බැරි උනත්.. ඔහේ මොකාද වගේ ඇවිදින) එහෙකුට නොහිතෙයිද..?

වැරදිලාවත් එහෙම වෙලා මං ඒ තීරනේ ක්‍රියාත්මක කලානං.. (ඇත්තටම මං ඒ තීරනේ අරං හිටියා පැය බාගයක් වගේ වෙලාවකට.. යාළුවෝ දෙන්නා නොහිටියනං) මොන මගුලක් වෙයිද..? ඒ හැම දෙයක්ම මං විස්වාස කරන්න ගියේ බ්ලොගය ඇත්ත බව හිතුව නිසා උනත් මොහොතකින් එය පරික්ෂා කරන්න හිතුනේ නැත්තං හෙම...????????????

එපමණයි...