11 January 2013

උසාවි..සිරගෙවල්..දඩුවම්..සමඟින් බඩාට සිදු වූ දේ...

“ඔව්වට සාක්කි දෙන්න යන්න පුළුවන්ද..? මේ රටේ නීතිත් එක්ක අන්තිමට සාක්කි දෙන්න ගිය අපිටයි කරදර වෙන්නේ... ඊට පස්සේ අපි මේ ගංවල ඉන්නත් ඕන... අනික දෙපැත්තෙම උන්ගේ වැරදි තියෙද්දී අපිට පැත්තක් අරං ගිහිං සාක්කි දෙන්න පුළුවන්ද..අන්තිමට වැරැදි කාරයා සනීප වෙලා එයි.. අර පවුලට කන්න අදින්න දීපු එකා හිරේ යයි... මොනවා උනත් ඌ ඕක කරන්න ඇත්තේ සහෝදර කැක්කුමට මිස ඌට අර යකාව මරන්න උවමනාවකට වෙන්න බැහැ.. ඒත් ඔය උසාවි පොලිසිවල වැඩ අපි දන්නේ නැද්ද..? අවුරුද්දකින් දෙහෙකින් අරුං නිදහස් වෙලා ආවට පස්සේ මුලින්ම මරන්නේ අපිව... එදාට ඔය එකෙක්වත් නැහැ අපිව බේරගන්න.. අපිත් දරු පවුල් කාරයෝ..“

එදා රාත්‍රියේ සිදු වූ දේ ගැන ඇසින් දුටු අයකුගේ කතාවයි ඒ... මෙය කියනා විට අසා සිටි මාගේ පියාද අද වන විට ජීවතුන් අතර නැත... ඇත්තේ ඔහු විසින් මෙසේ කියනා ලදයි කුඩා එකෙකු වූ මා විසින් අසනු ලැබූ මතකය පමණි...

පොඩි මුදලාලි බාප්පාව මරන්නට ගෙදර තිබූ පොරවත් රැගෙන කුණුහරප කියමින් දිව ගිය බඩාට සිය ඉලක්කය සපුරාගත නොහැකි විණි... කර දඩු උස් මහත් වූ කොල්ලන් දෙදෙනෙකු හා එයිට වඩා තව ටිකක් වයසින් අඩු වූවද ඇගේ පතේ හයිය හත්තිය ඇති කොල්ලන් දෙදෙනෙකුද වශයෙන් කොල්ලන්ම හතරදෙනෙකුගේ පියා වූ පොඩි මුදලාලි බාප්පාවට කොටන්නට ඔහුගේම නිවසට දෙවැට පාර දිගේ දිව ගිය බඩාට සිදු වූයේ එකී කොල්ලන් හතරදෙනාගේ අතින් දැඩි ප්‍රහාරයකට ලක්වන්නටය... ඔහු විසින් ගෙන ආ පොරවෙන්ම බඩාගේ ඇගේ මාංසය ඉරී යද්දී ගෙදර තිබූ මෝල් ගස් උදළු මිටි ආදිය පවා බඩාගේ ශරීරය චප්ප කරමින් පැවතිණ... උදෑසන වන විට මල සිරුරක්යැයි සිතා පිටි ගොනියක තබා පොලිස් ජිප් රථයට විසි කරන ලද බඩාගේ සුන් බුන් වූ සිරුරෙහි ඒ බඩාමදැයි හදුනාගත නොහැකි තරමට තැලුම් පාරවල් තිබිණි... අදටත් බඩාගේ උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් ඇත්තේ ස්වල්පයකි.. ඒද හක්කට ආසන්නවය... ඉදිරිපස දත් සියල්ල පොඩි මුදලාලි බාප්පාගේ මිදුලේ පස් හා මුහුව ගොස් තිබිණි...

එසේ නම් පොඩි මුදලාලි බාප්පා මිය ගියේ කෙසේද..?

සිය කරදරකාර වැඩිමාළු සොයුරා වූ බඩා අසල්වැසි බාප්පාව මරන්නට යැයි කියා සිය පියාගේ පොරෝ කෙටිය උස්සාගෙන දුවන කල ඒ කකා හිටි බත් පත පසෙක දමා ඉඳුල් පිරි අතත් සමගින් ඔහු පසු පසු දිව ගියේ බඩාට බාල සොයුරා වූ සනත්ය.. පවුලේ බරට අඩු වයසෙන්ම කර ගැසූ සනත් ඒ වෙනුවෙන්ම සිය අධ්‍යාපනය පවා කැප කරනු ලැබූ පවුලට ලැදි අයකු විය... තාත්තා සමගින්ම ගොස් දැව කර්මාන්තයට හුරු වූ සනත්ද උදේ සිට සවස්වනතුරු ගස් කුට්ටි සමඟ ඔට්ටු වී දවසේ ගතමනාව හොයා ගත් අතර මේ වන විට පවුල් කාරයකු වූ බඩාගේ ඇඹේණිය හා දියණියගේ වියදම්ද දරන්නට සිදුව තිබුනේ සනත්ටය... මොන තරම් නාස්තිකාර ජිවිතයක් ගත කලද බඩා ගැනද ඔහු තුල වූ සහෝදර කැක්කුම අඩුවක් නොවීය... බීමතින් ආයුධයක්ද රැගෙන දිව යන බඩා පසුපස දිව ගියද සනත් යන විට සිදුවිය යුතු දේ සිදු වෙමින් පැවතිණ... පොඩි මුදලාලි බාප්පාගේ මිදුල මැද බඩා වටකරගත් කොල්ලන් රැලක් විසින් බඩාට ඌරෙකුට තලන්නා සේ තලමින් සිටියහ... නිරායුධව ඉදුල් වැකි අතින් පමණක් පැමිණි සනත්ට කල හැක්කක් නොවීය.. ඔහු වහා තම නිවසට දිව ගියේය... දවල් තිස්සේ දෑතේ කරගැට එනතෙක් අල්ලාගෙන ගස් කොලං මට්ටු කල පොරව හැරුනු කල වෑයක්ද එහි තිබිණි... ගෙට ගිය විගස අතට හසු වූ වෑයත් රැගෙන නැවතත් පොඩි මුදලාලි බාප්පාගේ නිවස දෙසට දිව ගිය සනත්ට එහි යන්නට කලින් අතර මගදීම කරුමක්කාරයා හමු විය.. එනම් එදා රැයේ මාරයාට කැප වූ කෙනාය...

ඒ පොඩි මුදලාලි බාප්පාය...

තමාට කොටන්නට පොරවත් රැගෙන ආ බඩාට සිය දරුවන් විසින් ක්ෂණිකව එල්ල කල ප්‍රහාරය නිසා ඇති වූ මාරාන්තික තුවාල දැක සතුරාටත් අනුකම්පා කල පොඩි මුදලාලි බාප්පා අසීරුවෙන් හෝ දරුවන් මෙල්ල කර බඩාට කෙරුණු ප්‍රහාරය වලක්වා ඇග මස තැලී..දත් හැලී... කැපුම් කෙටුම් මැද පණ අදිමින් සිටි සිටි බඩාව කෙසේ හෝ බේරාගන්නටයැයි සිතා නැවත පාර පැත්තට දිව ගියේ බඩාව රෝහලකට ගෙන යාමට වාහනයක් සොයාගෙන එන අටියෙනි... එහෙත් ඔහුගේ ඒ යහපත් චේතනාවම ඔහුට මරු කැඳවීය...

වාහනයක් සොයන්නට පාරට දිව ගිය පොඩි මුදලාලි බාප්පාට හමු වූයේ කලුවරේම දිව එන සනත්ය... කතාව එතැනින් නිමා විණි...

පසුවදා උදේ පොලිසියෙන් පැමිණෙන විට දෙවැට පාරේ පොඩි මුදලාලි බාප්පා දරුණු කැපුම් පහරක් සමගින් මැරි වැටී තිබුණි.. බඩා බාප්පාගේ පිළිකන්නේ වැටී සිටියේය... කතාව එසේ නිම විය... මේ සිදු වීමත් සමඟ නැගුණු කෑ කෝ ගැහීමට වතු මැදින් බලන්නට ආ කිහිප දෙනෙකුම සිදු වූ දේ අඩු වැඩි වශයෙන් අන්ධකාරය මැද හෝ දැක තිබුණි.. අයෙක් දැක තිබුනේ බඩාට පහර දෙන බාප්පාගේ දරුවන්ය... තවත් අයකු දුටුවේ බඩා රෝහල් ගත කරන්නට වාහන සොයන්නට දුවන ලද පොඩි මුදලාලි බාප්පාය... තවත් අයකු දැක තිබුනේ ලේ වැකුණු වෑයත් රැගෙන නිවසට දුවන සනත්වය... කිසිවෙකු සිදු වූ සම්පූර්ණ සිද්ධීය දැක නොතිබුණි.. දුටු දුටු දේ ගලපාගෙන කතාව සම්පූර්ණ කරගන්නට හැකියාව තිබුනත් ඒ කිසිවකු සාක්කි දීමට ඉදිරිපත් වී තිබුනේ නැත...

බඩා මාස ගණනක් දැඩි සත්කාර ඒකකයේ සිට එතැනින් බන්ධනාගාර රොහලටත් එයින් පසුව බන්ධනාගාරයටත් යවන ලදි... සැක පිට අත්අඩංගුවට ගත් සනත්ද මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට නිවසට පැමිණියේය... පොඩි මුදලාලි බාප්පාගේ දරුවන් අතරින් වැඩිමලාද රිමාන්ඩ් බන්ධනාගාර ගති විණි... සියල්ලෝම වසර කිහිපයක්ම නඩු කියන ලදි... අවසන සිදු වූ දෙයක් නැත...

බඩා නැවතත් ගම පැමිණියේය... සනත් අද වන විට යුධ හමුදා සේවයට එක්ව විවාහයක් කරගෙන ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරනු ලබයි... පොඩි මුදලාලි බාප්පාගේ දරුවන් අතරින්ද වැඩිමලා ඇරුනු කල අන් සියල්ලන්ම පාහේ කෙසේ හෝ දියුණු පමුණු විය... මෙකී සිද්ධියට පෙර ඉතාමත් යහපත් දරුවකු වූ වැඩිමලා ටිකෙන් ටික නිවසින් ඈත්ව රස්තියාදුකාරයන්ගේ ගොඩට වැටී තරමක් අසීරු ජීවිතයක් ගෙවන ලදි.. ඇතැම් විට මේ වද්දී සහෝදරයින් විසින් ඔහුව එම ආගාධයෙන් ගොඩ ගෙන ඇති බව සිතිය හැකිය... මක් නිසාද යත් එකී සිදු වීමෙන් පසුව එම සහෝදරයින්ගේද එකමුතුව දිනෙන් දින වැඩි වුවා මිස කිසිදු අඩුවක් නොවී බැවිනි...

බඩා හැරුනු කල බඩාගේ අනිකුත් සහෝදරාදින්ද අද වන විට දියුණුවට පත්ව ඇත... බඩාට එයින් පසුව වූයේ කුමක්ද..?

20 comments:

  1. අප්පොච්චියේ යන්තම් ඇති ඉතුරුටික බලාගන්න කොච්චරනම් පෙරුම්පිරුවද? ඔන්න ඕකයි එහෙනම් සිද්දවුනේ..

    ReplyDelete
  2. බඩාට ඉන් පසු සිදුවූයේ කුමක්ද..?? ඩිං..ඩිං...ඩිං..

    ReplyDelete
  3. මෙන්න් මෙයාට බඩාව මතක් වෙලා හිටි හැටියේ.. හි හි..

    ReplyDelete
  4. අන්න හරි....අපිට ඕන බඩා තමා.

    ReplyDelete
  5. අනේ....යාන්තන් අහිංසක බඩාව මතක් වෙලා..මේ පාර කලබලෙන්ද මන්දා ලිව්වේ....

    ReplyDelete
  6. කතාව මතු සම්බන්දයි නේද ..?

    ReplyDelete
  7. හදිසියෙන්ම නේද ලිව්වෙ ඉවරකරන්න

    ReplyDelete
  8. බඩා වැඩ පෙන්නන්න ගිහින් බඩත් පලාගෙන..පේනවද ඒකගෙ තරම...ඔන්න කාලෙකට පස්සෙ බඩා ගැන කියෙව්වා..

    ReplyDelete
  9. මොකෑ, අද අනික් පැත්තෙන්යැ නැගිට්ටේ. දැක්ක ගමන් ලොකු සතුටක් දැනුනා. ආයෙමත් බඩා ආව නිසා, ඒත් කියවල ඉවර වෙනකොට පට්ට දුකයි. තව අවුරුද්දක් විතර බලා ඉන්න වෙනවනේ ඒකයි.

    මාරයියෙ දැන් නම් ගම් වල ඔහොම දේවල් වෙනව අඩුයි කියලයි මට නම් හිතෙන්නෙ. මට මතකයි මං පොඩිකාලේ අපේ ගමෙත් හැමදාම වලි. නැතත් බීපු පොරක් කුනුහරුප කියාගෙන හරි යනව පාරේ. ඒත් ඒ ප

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ පරම්පරා ඉවර වෙනවත් එක්කම ඒවත් නැවතුනා. අලුත් පරම්පරාව බිව්වත් නොබිව්ව වගේ ඉන්නයි ට්‍රයි කරන්නේ

      Delete
  10. //බඩාට එයින් පසුව වූයේ කුමක්ද//

    අඩෝ ඒක තමා ඩෝ අපිත් අහන්නේ , කනපලාගන්නේ නැතුව කියපං ඉක්මනට ලියපං ඩෝ

    ReplyDelete
  11. ත්‍රාසය , භීතිය , කුතුහලය , සතුට , දුක ඔක්කොම තියෙනවා නෙව.
    මැලේ අච්චාරුවක් වගේ :D

    ReplyDelete

  12. …මේ වගේ ගමක ඉඳලා ඔයා මේවට පැටලෙන්නෙ නැතිව එක බේරිලා ආපු එක ලොකු දෙයක් .

    ReplyDelete
  13. ඉන්පසු බඩාට සිදුවූයේ කුමක්ද?
    ඒකත් ඉක්මනට දාපං ඩෝ.....

    ReplyDelete
  14. 'එනම් එදා රැයේ මාරයාට කැප වූ කෙනාය... '

    මේ සිද්ධිය පිටිපස්සේ තවත් කෙනෙක් ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. මාරයා අය්යත් ඒ අස්සෙන් අඩව්වක් අල්ලලා වගේ

      Delete
  15. පළමු කොටස අමතක වෙනකම් හිටිය නේද දෙවැන්න දාන්න...

    ReplyDelete
  16. ඔය කොටස ලියනකන් මම කොයිතරම් කාලයක් බලා හිටියද මාරයියේ.. දෙවැනි කොටසට කල් ගියා වැඩි වගේ..
    දුක්බර කථාවක්නේ බලාගෙන යනකොට

    ReplyDelete