13 February 2013

ඉල්ලලා නෙවෙයි අහුලලා අඹ ගන්න... ආසයි මටත් ඔන්න...

චන්දරපේම බාප්පලගේ ගේ පිටි පස්සේ තමා මං දන්න හොඳම අඹ ගහ තිබුනේ.. ඒක මී අඹද ඇටඹද කියන්නනං මං දන්නේ නැහැ.. හැබැයි අඹ පොකුරු පොකුරු... අඹ ගෙඩියක් පොඩි බිත්තරයකට වඩා ලොකු නැහැ..බොහෝම ඇඹින්දං... හැබැයි එක පොකුරට අඹ තිහක් හතලිහක් තියෙනවා.. ගහත් උසයි..මලාට නැගලනං කඩන්න බැහැ... මහ විසාල කද..පහතට වෙන්න අතු ඉති ඇත්තේම නැති ගානයි... ඒ හින්දා අර දාර දාර මතු උන ගොරෝසු මතු පිටක් සහිත ගස් කඳ බදං ඉහලට යන එක ලේසි නැහැ.. ඉතිං ලේසිම වැඩේ තමා පොලු පාරක් දෙන එක.. නැත්තං ගලකින් ගහන එක... කම්මැලි නැත්තං ගිහිං පුංචි අම්මගෙන් ගේ පිටිපස්සේ දාලා තිබුන උණ ලී කෙක්ක අරං ඇවිත් ගහේ අත්තකට දාලා හොලවන්න උනත් පුළුවන්.. ඒත් පුංචි උන් උන අපිට ඒ කෙක්ක උස්සං එන්න ලේසි නැහැ... ඒ ගෙනාවත් එකේ මුල කොහේ හරි ගස් මුලකට හේත්තු වෙන්න තියලා කෙක්කේ බලට්ට තියෙන පැත්තේ ඉදන් කෙලින් කරං ඇවිත් කෙක්ක උස්ස ගන්න එක මලාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි... ඒ හින්දා පලවෙනි ක්‍රම දෙක තමා වැඩි භාවිතයට යෙදුනේ...

ඒත් අමාරුවෙන් හරි අර කියාපු කෙකි සෙල්ලම කරගත්තොත්නං කල්ල මරේ... මොකද හැමදාම උදේට ඔය අඹ ගහ යට ඉදුන අඹ දහයක් විස්සක් වැටිලා තිබුනට ගහ යටට එකතු වෙන අයගේ හැටියට අපිට එහෙම උදේට ඉදුන අඹ හම්බු වෙන්නේ දෙක තුනක් විතරයි... මේ හැදෙන වැඩෙන හිච්චි උන්ට අඹ ගෙඩි දෙක තුනක් කියන්නේ මොන හූණු බිජ්ජක්ද..? හැබැයි අර කිව්වා වගේ කෙක්ක කෙලින් කොර ගත්තොත්නං අතු හොල්ලද්දී ඉදුනු අඹ වැස්සක් වහිනවා... එදාට ඉතිං රෑට අඹ ගහට එන වවුල් මස්සිනාලට හුළං තමා... හැමදාම උදේට අපිට කන්න හොද අඹ විස්සක් විතර බිමට වැටෙද්දී වවුල් මචාලා බාගෙට කාලා ගිහින් වැටුන අඹ කොට තිහ හතලිහක් ගහ යට... අපි ඉතිං දුක සේ අර වවුල් කොට දිහා බල බල හොද අඹ දෙක තුන කාලා..පස්සේ ඉවසා ගන්ට බැරිම තැන වවුල් කොටත් එකතු කොරලා වවුල්ලු කාපු පැත්ත පිහියකින් කපලා දාලා හොද කෑලි ටිකත් කනවා.. මොනවා කොරන්නද නැති බැරි කොමට... ඒත් අපිට කෙක්ක අහු උන දාට වවුල්ලුන්ට වෙන්නේත් අපිට වෙන එකේම අනික තමා... පව්නං තමා.. මොකද උන් කියලා අඹ කඩෙන් අරං කන්නයෑ... ඒත් ඉතිං පොඩි උන් වෙච්ච අපිත් පවුනේ යකෝ...

ඔය අඹ ගහේ අඹවල රසයට මී පැණි පරාදයි... මං මේ වෙනකල්ම එහෙවු අඹ රසයක් කවදාවත්ම විදලා නැහැ... ඒ රසයත් විඳින ක්‍රම දෙකක් තිබුනා අපිට... එකක් උලා කෑම.. අනික උරා බීම... 

ඌරන්ට මොන සවුක්කියද.. ආන්න එහෙම හිතලා අඹේ නැට්ට පැත්තෙන් දත් ගහලා පොඩියක් තුවාල කරලා එතැනින් අල්ලලා අමේ හම ගහනවා.. ඒක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි... කෙසෙල් ගෙඩියක් ලෙලි ගහනවට වඩා ලේසියෙන් ඒක කලෑකි.. එතකොට අතේ ඉතිරි වෙන්නේ බිත්තර කහ මදයක් වගේ කහ පාටට ඉදුන සුවඳ ගහන අඹ ගුලියක්..ඒක එක පාරට කටේ ඔබා ගන්න ලොකු වැඩි නැති උනත්.. කටට පොඩි පහසුවක් දෙන්න ඕන හින්දා එකෙන් මාංසේ යහමින් තියෙන පැත්තකින් ටිකක් උලා කනවා... එයින් පස්සේ   ඒක කෙලින්ම තනි කටට කටේ ඔබා ගන්නවා...විනාඩි දෙකක විතර ඇඹරුම් කිරියාවලියකට පස්සේ කටෙන් අහකට එන්නේ විඳින්න තියෙන දස වද ඔක්කෝම විදලා අහවර වෙච්ච අඹ ඇටයක්.. එකේ ආයේ කූඹියෙකුට උලා ගන්න තරමේ දෙයක් ඉතිරි වෙලා නැහැ.. ඒ තරමට කටේදීම ඇටේ පොලිස් වෙලා තියෙන්නේ... (ඕන නැති රෙද්දවල් එහෙම හිතනවා නෙවෙයි ඕං..) ඉදුන අඹ මාංසේ රස නහර සනසවානෙ ආමාසෙට බහිනකොට මොන තරං අපූරුද...?

දෙවැනි කොරමේ තමා අඹ බොන එක... හැබැයි මේ බොන්න ගන්න අඹ ගැන අපි ටිකක් දැනං ඉන්න ඕන..ආයේ මලාට පණුවෝ නොගහන හොඳ අඹ ගහක අඹයක් මිස නොදන්න ගස්වල අඹ උරා බොන්න ගියොත් කෙලවෙනවා... අර දවසක් මං කිව්වේ අපේ ජුං අලයටත් ඔය අඹ බිලා වෙච්ච කෙලියක්... එහෙම පණු අඹයක් අහු උනොත් ඉතිං අබ සරණයි...එහෙම නැති හොද විස්වාස ගහක අඹයක් උරලා බොන්න කිසිම වෙලාවක බය වෙන්න ඕන නැහැ... ඉතිං අඹේ බොන්න කලින් හොඳට ඉදුන අඹ ගෙඩිය අතින් හොඳට පොඩි කොරන්න ඕන... එහෙම පොඩි කරද්දී කිසිම විදියකින් අඹේ ලෙල්ලට හානි නොවෙන්න වැඩේ කරගන්න දැන ගන්න ඕන... හොදින් අඹය පොඩිවෙලා ඇතුල චුරු උනාට පස්සේ අඹ ගෙඩියේ පහලම කොනින් දත ගහලා පුංචි සිදුරක් හදා ගන්නවා. එයින් පස්සේ ඉති තියෙන්නේ සුරුස් ගාලා අඹ ගෙඩිය උරලා බොන එක තමා... හප්පච්චියේ එහෙමත් අමාරසයක්... ඔය බෝතල් කොරපු අරවා මෙව්වා දාපු අඹ සුවඳ කවාපු ඇසිඩ් වතුර වගේ නෙවෙයි..පුදුමා කාර රසයක් ඒක... 

ගහකින් ඉඳිලා වැටෙන අඹයක් රසය.. සුවඳ කිසිම දවසක කඩේ තියෙන කොයි තරං හොද කොලිටියේ අඹයකින් උනත් හොයන්න හම්බ වෙන්නේ නැහැ... ඒ හින්දා මං තාමත් කැමතියි කොහේ හරි ගහක් යට වැටිලා තිබුන අඹයක් දැක්කොත් අහුලං ඇවිත් කන්න... ඒක සමහර විට කෙනෙකුට ටිකක් ලැජ්ජ හිතෙන කාරණයක් වෙන්න පුළුවන්... ඒත් මං ලැජ්ජ බිමින් තියලා හරි ඒ වැඩේනං කොරනවාමයි... ඇයි යකෝ මංනේ දන්නේ ඒකේ රසේ... අදටත් මං අඹ අහුලන තැනක් තියෙනවා වැරදිලා හරි ඒ පාරෙන් ගියොත්.. ඒ තමා මාළිගාතැන්න පන්සල පාර යක්කල පාරට වැටෙන තැනට කිට්ටුව තියෙන අඹ ගස් කිහිපය යට.. උදේකට ගියොත් අඹ ගෙඩියක් දෙකක් පාරට වැටිලා තියේ.. තාර පාරට වැටෙන අඹනං තැලෙවා.. ඒත් පාර අයිනට වැටෙන අඹ ගස් කොලං වල වැදිලා යහතින් පොලවට පාත් වෙනවා... ඒ අඹ හැබෑ රසයි... පහුගිය කාලේ වැඩ පොලේ අඹ ගස් හත අටට පින් සිද්ධ වෙන්න පට් අඹ උනත් සෑහෙන රසයකින් ගහේ ඉදුන අඹ කන්න ලැබුනා... 

අද මේ අපේ හැලපයියගේ පරණ පොස්ට් එහෙකට අටං පහුරා දාලා තිබුන කොමෙන්ටුවක් දැක්කම මට කෙලින්ම මතක් උනේ මේ අඹ ගහ... ගහක් යටට වෙලා..ඔය අනං මනං සවුක්කිය පුරස්න බල්ලට දාලා... හිතේ හැටියට බඩ කට පුරා සුවද හමන රස ඉතිරෙන අඹ කොටා බාන්න අද කාලේ ළමයින්ට කෝ වාසනාවක්... උන්දලට හම්බ වෙන්නේ ඉදෙන්න තියා පැහෙන්නවත් නොදී යන්තං ගැට සංදිය පැන්න ගමන් බලහත්කාරෙන් අතු ඉති සූරලා කඩා දාපු ඇඹ ගැට වලට කාබයිඩ් ගහලා කහ පාට වෙන්න තම්බලා ගෙනත් දෙන මල හෝන්තු අඹනේ... එව්වෑ පාට විතරයි.. ඒකත් මහ හෝන්දු මාන්දු පාටක්.. සුවඳ..ඈක්කා... මහ වහුකුණු සුවඳක්.. රහ..තුක් ඉතරක්..මහ වහතු රසක්... අනේ අනාගත පරපුර... මොන තරං ලෝකේ දියුණු උනත්...  මොන තරං අළුත් තාක්සනේ ලෝකෙට ආවත්... මොන තරං වස්තුව දේපල තිබුනත් කෝ උන්ට මේ ලෝකේ තිබුන හැබෑ රස... උන්ට ඉතිරි වෙන්නේ දියුණු කරපු ලෝකේ කෘතිම රස විතරයි... ඒවා ඇත්තටම රසද..?  ඒ ප්‍රශ්නෙට උත්තරේ අටමා හැලපයියාට දාපු කොමෙන්ටුවේ මෙන්න මෙහෙම තිබුනා...
--------------------------------------

දවසක් මම බයික් එකේ යනකොට පාරට රට අඹ ගෙඩියක් වැටුනා. ලැජ්ජාව පැත්තක තියලා හරවගන ගිහින් අහුලගන ආවා අඹ ගෙඩිය.ගෙනල්ලා දුන්නා අපේ ලොක්කිට. කෙල්ල අඹ ඇටයේ එක කෙන්දක් නැතිවෙන්න උලා කාලා 

අඹ ඇටය අරගන ගිහින් මල් පෝච්චියක වැලලුවා

''තාත්තේ වෙනදට ගේන එවා එපා මේ අඹ ජාතියම ගේන්න''

--------------------------------------
පුදුම දුකක් ඇති වෙන්නේ මේවා දැක්කම... අසරණ ළමයි... කාගේ වැරදිද මේවා... දියුණුව කියන වචනය අපි පාවිච්චි කොරන හැටි හරියටම හරිද.. දියුණුව කියන්නේ ඇත්තටම මොකක්ද..? මංදා මටනං තේරෙන්නේ නැහැ... 
---------------------------------------------------

කොහොම උනත් තියෙන වැඩ පැත්තක දාලා හරි ලියන්න හිතෙන තරමට මාව අවුස්සාපු කොමෙන්ටුවක් දැම්මට අටමටත් බොහෝම ස්තුතියි... ඒ වගේම මගේ බාල කාලය වර්ණවත් කරාපු සුවිශේෂි දෙයක් උන චන්දරපේම බාප්පලගේ අඹ ගහටත් දෙපාරක් ස්තූතියි... ඒ මගේ ලස්සන පුංචි කාලය ලස්සන කරන්න උදවු උනාටයි... ඒ මතකයෙන් බින්දුවක් හරි සටහනක් කරගන්න මට උදවු උනාටයි...

48 comments:

  1. :D :D :D
    "වවුල් මචාලා"
    "ඒ තරමට කටේදීම ඇටේ පොලිස් වෙලා තියෙන්නේ..."
    මතක් වෙන්න වෙන්න හිනා යනවා :D

    අපේ ගෙදරත් ඉස්සරහින් කර්තකොළොම්බන්
    එහා පැත්තෙ රට අඹ.. පිටි පස්සෙ මී අඹ...
    යම් යම් :D

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්පා.. මං එකනේ! :D

      Delete
    2. යකෝ උඹ හෙන වාසනාවන්ත කොල්ලෙක්

      Delete
  2. ඇත්තටම දැං උං කඩෙං ගන්න පළතුරු යුෂ වල රස විතරයි දන්නෙ. ඕනනං ඔය පිටිසර ගමක හැදෙන එකෙකුටනං ඔය වාසනාව අදත් උදාවෙන්න පුලුවං. ඇත්තටම දුකක් තමා ඇතිවෙන්නෙ මේව ගැන හිතනකොට.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතිං වත්තක් තියෙද්‍දි ගෙදර අඹ ගහක් හිටවගන්නෙ නැතිව කඩෙං අඹ ගේන එකනං මහඋංගෙ වැරැද්ද.

      Delete
    2. පර්චස් අටේ මොන ගස්ද අයියා

      Delete
  3. චන්දරපේම බාප්පලගේ අඹ ගහ කියන්නේ ආයේ ඇරපු අතක් නෑ උඩහමුල්ලේ නැන්දලගේ ගෙදර තිබ්බ අඹ ගහ වගේම ගහක්. වෙනසකට තියෙන්නේ ඒ අඹ ගහ තියෙන්නේ ගේ ඉස්සරහ වෙච්ච එක. ඔය අඹ ගහට පොලු ගහන්න ගිහින් නැන්දලගේ උළු වහලෙට අනන්වත් පොලු ගහලා තියෙනවා.
    අද වෙන මොන පළතුරක් කඩෙන් අරන් කෑවත් අඹ නම් කන්නම බෑ. දිය රහයි.

    ReplyDelete
  4. මාරයියා ඔහොම කියන‌කොට මට මතක් උනේ අපේ ගෙදර තිබ්බ පේර ගහ... අඹ ගහකුත් තිබ්බා.. ඒත් ඒක පාරට කාණු කපද්දි කැපිලා ගියා ගෙඩි හැදෙන්න කලින්ම...

    මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ පේර ගහ දිහා බලාගෙන... බත් එක කාපු ගමන් යනවා පේර ගහ යටට.. හොඳට ඔලුව කරකෝලා බලනවා පැහිච්ච ගෙඩි.. මට ඒවා ටක් ගාලා අඳුරගත්තෑකි... නඟිනවා ගහට.. ආයිත් බහින්නේ පුළුවන් තරම් කාලා, ඉතුරු ටික කඩාගෙන... කිසි දවසක වතුර රහක් නැති පැණීම පැණි රහ පේර ඒවා... මතක් වෙනකොටත් කටට කෙළ උනනවා..

    ඒක පුංචි පේර හැදෙන ගහක්.. ඒ කිව්‌ෙව් ඔය දැන් තියෙන අලි පත පේර නෙවෙයි.. පේර වැඩි පුර හැදෙන කාලෙට මායි අම්මයි නඟිනවා අපේ මාමාගේ ගෙදර කොන්ක්‍රිට් එක උඩට.. ඒ ගේ බාගෙට හදලා අතෑරලා තිබ්බේ.. එතන ඉඳලා පේර ගහ සුද්ද කරතෑකි.. අපි දෙන්න ප්ලාස්ටික් බේසමකින් එකක් පේර කඩාගෙන වටේම ගෙවල් වලට බෙදනවා..

    පුදුම මතකයන් ඒවා....

    ReplyDelete
    Replies
    1. අඹ කියන්නේ ජෑම් පේර ගහක් ගැන

      Delete
  5. මාත් පුදුම ආසයි ඉල්ලලා අඹ ගන්න.....

    ReplyDelete
    Replies
    1. ඒ උඹනේ බන් කොල්ලන්ට ඉන්න දෙන්නේ නැත්තේ...

      Delete
  6. කථාවේ අභ්‍යයන්තර මොකද්ද?
    ඒ කෙසේ වෙතත් මගේ දැනුමට ඔබේ බ්ලොග් එක මට වටි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  7. Ape waththa maayima wen une amba gas walin ...karume dhen mehe kaden kanawaa

    ReplyDelete
  8. ඔය අඹ ගහ හැර වෙන අඹ ගස් තිබුණෙ නැද්ද?

    ReplyDelete
  9. අඹ කන්න අඹ ගහක් හිටවගන්න එපායැ.. (පොඩි අඹ පැල ගෙනැල්ල හරි යන්නේ නේ සරියා) එතකොට හැකියි ඕන ඕන විදියට කන්න.. ඉල්ලලා, නොයිල්ලලා, බදලා, නොබදලා, පැනලා, නොපැනලා, ඕන විදියකට. අපි නං අඹ කන්න හෙන ආආආආසයි.... අනේ...

    ReplyDelete
  10. මාරයෝ ඔය චාන්ස් එක තාම නං අපේ පැතිවල තියනවා.. මේ කියන්නේ වලුඅඹ වෙන්න ඕන. ඇටඹ කියන්නේ යටින් කඩලා සුප්පු කරන ඒවටනේ.

    ReplyDelete
    Replies
    1. මු කියන්නෙත් ඇටඹ ගහක් ගැන නලියා. ඔය කියලා තියෙන්නේ ඇටය සුප්පපු විදිහත්

      Delete
  11. මගෙත් ප්‍රියතම පළතුරක් අඹ කියන්නේ.. බොහොම රස ගෙඩි හැදෙන අඹ ගස් දෙකක්ම ගෙදර තිබ්බත් පහු කාලේ ගෙවල් එහෙ මෙහෙ කරන්න ගිහින් ඒවා කපලා දැම්මා. ලොවි, ජම්බු, රඹුටන්, අඹ, ඇඹරැල්ල, බිලිං, සියඹලා මේ ඔක්කොම ගස් කාලෙකදි කැපිලා ගියා. ඔය කියපු දියුණුව නිසා තමා.

    ඊට පස්සෙ ඉතිං කාලයක් වියළි කලාපයේ හිටිය නිසා දිවුල් වගේ ජාති කෑවා ඇතිවෙන්න. නුවර හිටපු කාලේ ආයෙත් අඹ කන්න ගත්තා බෝඩිමේ ගහෙන්.

    අර කිව්වට දේස දීපංකරේ ගිහිනුත් මුලිංම හිටිය ගේ ගාව අඹ ගහක්... මෙහෙ කස්ටිය ගහේ අඹ කන්නෙ නෑ, කඩෙන් අරං විතරයි කන්නේ... ඉතිං අර ගහේ අතිං කඩන ගාණට අඹ... ඒවත් හොඳ රහට තිබ්බා... මම නං කාල තියන රසම අඹ අර ලාවට රතු වෙලා ඊට පස්සෙ කහ වෙන පොල් ගෙඩි සයිස් අඹ... හැබැ‍යි කඩෙන් අරං තමා කෑවෙ...

    ReplyDelete
  12. අපි ඉස්සර හැම නිවාඩුවට බිබිලේ නැන්දලාගේ ගෙදර යනවා. එහෙ අඹගස් දහයක් විතර තියනවා. උදේ පාන්දරම ගස් යටට ගියාම අඹ ගෙඩි පනහක්, හැටක් අහුලාගත හැකි. පැයකින් විතර ඒ ටික ඉවර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ රැ වෙනකම්ම අඹ ගස්වලට පොලු ගැසීම. මුළු නිවාඩු කාලයම කරන්නේ ඕක. ඔය පුරුද්දට ලඟදි දවසක් අඹ ගහකට පොලු ගහන්න හැදුව. මොන? එතන හිටපු පොඩි එවුන් මට කොචොක් එකට හිනාවුණා.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් - මමත් මෑතකදි ජොලියට වගේ අඹයකට පොල්ලක් ගහන්න ට්‍රයි කලා...මොන, අතත් උලුක් උනා වගේ. වැරදිච්ච අහස්කූර වගේ බිම දිගේ ගියෙ නැතෑ :D

      Delete
  13. මම ජිවිතේටම කාපු රසම අඹය කෑවෙ දහම් පාසල් යන කාලෙ හතේ පන්තියෙදි...හාමුදුරුවන්ට හොරෙන් අපේ පන්සලේ අඹ ගහට හොරෙන් පොල්ලක් ගහලා... පැණි රස බේරෙන අඹ වර්ගයක්...මී අඹද කොහෙද...

    එක වල්ලෙ ගෙඩි 30 ක් 40 ක් තියෙන ඒවට නේද වලු අඹ කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. පන්සලෙ දේ හොරෙන් කාපුවාම පෙරේතයෙක් වෙනවා සිරෝ !! හෆෝයි..

      Delete
    2. ගමේ අහිංසකයෙක්ට, පොඩි එකෙක්ට නොදී ඔක්කොම බදාගෙන තනියම වළඳන උන්නාන්සෙලත් පෙරේතයෝ වෙනවා මම හිතන්නේ.

      Delete
    3. හයියූ එහෙම වෙනවද....ඉදලා හමාරයි...

      Delete
    4. පෙරේතයෝ වෙන්න කලින් අවීචීමහා නරකාදියෙත් යනවා

      Delete
  14. අපි නම් ඉතිං පේර කෑවෙ නැට්ට ගහෙ තියෙද්දී. අඹ කෑවෙ ගහ යටදිමයි,.. පොල්ලෙන් අඹ වල්ලට ගහලා වැටෙන අඹේ බිමට වැටෙන්න කලින් අල්ලගන්න පුලුවන් එකෙක් අපෙ නඩේ හිටියා උපතිස්සයා. ..එක දවසක ගෙඩියක් උගේ උරහිසට වැටිලා මාසයක් විතර වෙදකම් කලා. පවු අපේ පොඩි උන්.. මගෙ කෙල්ලට නම් එහම අඩුවක් උනේ නෑ. අපි දෙන්න අඹ ගහ යට ඉඳගෙන අඹ ගෙඩි දහයක් විතර එක දිගට පොලිශ් කලේ..

    ReplyDelete
  15. " පුදුම දුකක් ඇති වෙන්නේ මේවා දැක්කම... අසරණ ළමයි... කාගේ වැරදිද මේවා... දියුණුව කියන වචනය අපි පාවිච්චි කොරන හැටි හරියටම හරිද.. දියුණුව කියන්නේ ඇත්තටම මොකක්ද..? මංදා මටනං තේරෙන්නේ නැහැ... "

    මම නම් මාරයියගෙ මේ කථාවට සම්පූර්ණ එකඟයි.
    දවසක් අවුරුදු 20ක විතර කොලු පැටියෙක්ට මම බට තුවක්කු ගැන කියලා දෙන්න ගියා.ඒ පාර මූ අහපි බට තුවක්කුව කියන්නෙ මොකද්ද කියලා.පුළුපුළුවන් විදිහට රූප සටහන් එහෙම ඇඳලා කියලා දුන්නා.මම කිව්වා කොල තෙම්මලා එහෙම බුලට් වලට පාවිච්චි කරන්න පුළුවන්.ඒ වගේම අමු දං ගෙඩි එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා.ඊට පස්සෙ අහනවා දං කියන්නෙ මොන වගේ ජාතියක්ද කියලා.අනේ මම ඇඳලා පෙන්නන්න කියලද?මගේ අනික් සඟයා කිව්වා මචං ඕකට දං වෙනුවට කිරිල්ල ගෙඩිත් දාලා තියන්න පුළුවන් කියලා.ඊට පස්සෙ මේ යකාට කිරිල්ල ගෙඩි කියන්නෙ මොනවද කියලා පැහැදිලි කරලා දීපල්ලකො... අන්තිමට මටම හිතුනා මේ බටතුවක්කුවක් ගැන කියන්න යන්නෙ නැතුව කට පියාගෙනම ඉඳියනම් ඉවරයි කියලා....

    ReplyDelete
  16. අපි පොඩි කාලේ හිටපු ගෙදර වත්ත පහල ගිරා අඹ ගහක් තිබ්බා.

    ඒකත් උස නිසා නගින්න බැරි ගහක්.

    ගෙඩියක් වැටෙන සද්දෙට අපි තුන්දෙනා ගහ පාමුල. උදේට නැගිටිනා කෙනා වාසනාවන්තයා වෙන දවස් තිබ්බා.

    අහුලපු කෙනාට වැඩිපුර ලැබෙන්නේ ඇටේ විතරයි අනෙක් හැම එකම හරියටම තුනට බෙදෙන්නේ අක්කා අතින්.

    උඹ කිව්ව ක්‍රමේට ලෙලි ගහලා කනන් වෙන්නේ මාස තුන හතරකට සැරයක් තාත්තා ගෙදර එද්දී ඒ ඒ කාලේ වාරෙට තියෙන පලතුරු වලින් අඹ වාරෙදි ගේන අඹ වලින් තමා.

    අපි හිටපු ඒ වත්තේ පලතුරු ගැන තියෙන අත්දැකීම් ඇත්තෙන්ම වෙලාවක මේ වගේ පෝස්ට් එකකින්ම ලියනන් ඕන බන්.

    පොඩි කාලේ කාපු රස අඹ වලට පස්සේ රසම රස අඹ කෑවේ ඩුබායි වලදී.

    මගේ අම්මේ මෙහේ තියෙන පකිස්තාන් අඹ වල තියෙන රස. නදීෂයි මායි කතාවෙනවා ඇතුලට සීනි ඉන්ජෙක් කරලද කියලා . . ඒ තරම් රසයි.

    නිවාඩු එන එන සැරේ ට්‍රයි කරලා බලනවා ඩුබායි වලදී කාපු ජාතියේ ඒවා තියෙයිද කියලා . . ම්ම්හූ

    ReplyDelete
  17. ඔය විදිහට අඹ කාපුවාම ඊළඟ වැදගත් ක්‍රියාවලිය තමයි දත් අස්සේ හිර වෙච්ච කෙඳි අයිං කරන එක.අඹ කනවට වඩා ආතල් පැය ගාණක් තිස්සේ දිවෙන් තල්ලු කර කර හිටපු කෙන්දක් අයින් උනාම තියෙන සැප.

    ReplyDelete
  18. දැන් අපි සල්ලි වලට ගන්න අඹ මෙලෝ රහක් නෑ. අමු අඹ ඉඳවලා. ඉස්සර අඹ ගස්වල එල්ලීගෙන ගහෙන් කඩන් කාපු අඹ වලටත් ගිය කල. දැන් නම් ගෙදර වත්තේ බට් අඹ ග්ස දෙකක් හිටවලා තියෙනවා. ගෙඩි හැදුනට අපිට කන්න නෑ. අපිට කලින් වවුල්ලු ඒවට අගේට වග කියනවනේ..

    ReplyDelete
  19. අතීත මාවත් දිගේ සැරිසැරුවා මේ පොස්ට් එක දැකල. මම දැන් ඉන්න ගෙදරට ඉස්සරහ ගෙදර හිටියා පොඩි කෙල්ලෙක්(දැන් ලොකුයි). ඒ දවස් වල රේඩියෝ එකේ යන සින්දු පාඩම් කරන් කියනවා. වචන පටලවලා සින්දු කියනවා. දවසක් කිව්වා මෙහෙම එකක්

    "ඔරවන් මට හිඟ කරගෙන කනේ ඉදන් අඹ කනවා මිට්ට ඩෝගියා" කියලා
    මට තවමත් හිනාව නවත්වා ගන්න බෑ මේක මතක් වෙත්දී.

    ReplyDelete
    Replies
    1. එ ළමයා එක්ක ටික ටික ලොකු වෙච්ච හැටි . ඒ ළමයා ලොකු ළමයෙක් උනාට පස්සේ , යුග ගී ගයපු හැටි . එව්වාගැන පෝස්ට් එකක් දැම්මොත් නරකද බැංකු මහත්තයා

      Delete
  20. දෙන්නන්කෝ අඹ ගමටම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. අපිත් අඹ උරලා කාලා තියෙනවා ඇත්තට ලඟදි නම් හම්බවුනේ නැහැ එහෙම කන්න.ඇත්ත තමා දැන් අඹ නම් තුහ් විතරක්.

    ReplyDelete
  22. මාරෙගෙ පෝස්ටුවෙන් මම අතීත මතක මංපෙත් දිගේ අතරමං වුණා.අපේ වත්තෙ තිබ්බ බෙට්ටි අඹ ගහ එතකොට රට අඹ ගහ රෑ කෑමෙන් පස්සෙ අම්ම කුස්සියෙ ඉඳගෙන අඹ කපල දෙනකොට අපි වටවෙලා කාපු හැටි ඔක්කොම චිත්‍රපටියක් වගෙ මතක් වුණා.
    අපේ ළමයින්ට අපි කාපු විදියට අඹ කන්න නෑනෙ. හැබැයි අප්‍රියෙල් විතර වෙද්දි මෙහෙට එනවා පකිස්තාන් අඹ පුදුම මීපැණි රහක්.ඒව නං ඇරල දානව පුතා පෙට්ටි ගණං.

    ReplyDelete
  23. පිට රටක ඉන්න නිසා ඔය චාන්ස් නෑ උනාට,අදත් අපි ගෙදර ගිහාම ඔය දේවල් විදිනවා බන් අමු අඹ කෑලි කපලා වංගෙඩියේ කොටලා අච්චාරුවත් මරු

    ReplyDelete
    Replies
    1. දාන්ඩ ඕන රතු සීනි. ආයේ ඉතින් ලොවෙත් නැ

      Delete
    2. උඹට ගානක් දෙනවද මේ මාරයා, ඒකා නොකරන ලිප්ලයි කිරීම උඹ කරනවට...

      Delete
    3. අටං මාරයගෙ එකවුන්ට් එක හැක් කරන්නද කොහෙද හදන්නෙ.

      Delete
    4. අඩෝව්.. අටමට අනං මනං කියන්නේ නැහැ හරිය...

      උඹ සැලෙන්න එපා අටං.. උඹ මොකද මං මොකද... ඔය විදියට දිගටම කරගෙන පලයං මයෙ දෙයියා...

      (යකෝ මට මේ වෙලාවක් නැතිව ඉද්දී මූ හරි ඇවිත් උත්තර බැදලා යන එක නවත්තන්නද තොපි හදන්නේ... :D )

      Delete
  24. සුන්දර මතකයන් මාරයා ගින්දර වගේ අවදි කරන්නේ එළකිරි ...

    ReplyDelete
  25. //ඌරන්ට මොන සවුක්කියද..//
    අපිත් පොඩි කාලේ හිටිය හැටි මතක් වෙනවා. ඒ කාලේට ආයේ යන්න තිබෙනවානම් කියා විටෙක සිතෙනවා.
    මා සහ යහලුවන් එම කාලයේ අඹ ඇහිලූ ගස අද නැහැ. අපෙන් පසුව කවදාහරි අපේ දරුවන්ට ඒ සුද්දර පරිසරය නොලැබේයැයි කියා සිතනවා. මා එසේ කියනුයේ දැනටත් මාගේ අයියාගේ පුතාටද ඒ සොඳරු පරිසරය අහිමි වී ගියා දෝ කියා සිතෙන බැවින්.

    ReplyDelete
  26. ආහ් මටත් මතක් වෙනවා මම ලංකාවෙ උන්න කාලෙ. ගේ ඉස්සරහට වම් පැත්තෙන් රට අඹ, මැදට බෙට්ටි අඹ කියලා (අපි කියපු) එකක්. දකුනතින් තවත් නම නොදන්න කොහෙවත් නොතිබ්බ රස අඹ ජාතියක්. තව පිටි පස්සට වෙන්න පොල් අඹ, ඊට පස්සෙ රෝස අඹ (අඹේ රෝස පාටයි මදේ) මගේ ෆේවරිට් එක රට අඹේ. ඔයා ඔය ලියලා තියෙන ක්‍රම වලට මාත් රස විඳලා තියනවා. රට ගහ හොඳ නිසා සුවර් අර බොන සීන් එකට. ඒත් ඉඳ හිටලා පණුවො ඉන්න සැක සහිත ගෙඩිත් පරික්ශා කරලා ඒවා නොසුදුස්යි කියලා කියන්න තරම් අපි පොඩි කාලෙ දක්ශයි. අඹ කාලෙට ඉසේ ඉඳලා ගෙඩි එනකල් කනවා. කෝක කන්නද කියන තරමට අඹ පිරිලා. ඒත් රට අඹ අඩු වේගෙන එනකොට තමයි මම අනික් එව්වට බහින්නෙ. අපේ පැත්තෙනම් අදටත් හැම ගෙදරකම වගේ අඹ ගහක් තියෙනවා. චූටි ඉඩක් තියෙන අය පවා අඹයක් සෙවනටත් එක්ක හදාගන්නවා, බට් එකක් හරි. අපි පොඩි කාලෙ වත්ත පළතුරු වලින් පිරිලා. ඒ හැම එකකින්ම උපරිම වින්දා. දැන් කන්න වෙලා තියෙන්නෙ සුපර්මාකට් එකෙන් අරන් කන්න ඕනා නිසා මෙලෝ රහක් නැති පළතුරු එළවලු. මක්කා කොරන්ටද?! ඒත් සතුටු වෙනවා අර වගේ කාලෙකුත් තිබ්බ එක ගැන.

    ReplyDelete
  27. උඹ මේ කතාව පටං ගන්නකොටම මට මතක් වුනේ ජුං අලයගෙ පණු අඹ කොටේ කතාව. ඈක්කා!
    ඔය අටමගේ දෝණි කියන කතා කීපයක්ම මම අහලා තියෙනවා. අටමට කට උත්තර නෑ.

    ReplyDelete