24 March 2013

ඇයි දැන් එපා වෙලා...

ඒ දවස්වල.. ඒ කිව්වේ හිච්චි එකා කාලේ... හරියටම කිව්වොත් ඉතිං ඔය යන්තං කල්පනා සත්තිය එහෙං මෙහෙං ලබන කාලේ හිටං තමා... ඒ වයස හරියටම කීයද කියලා කියන්න අමාරුයි.. සමහර විට අවුරුදු තුනක් හතරක් විතර ගෙවුනෑයින් පස්සේ වෙන්ටෑ...

ඉතිං ආන්න එහෙම යන්තමට මතක් කොරගන්න ඇහැකි ලමා ලපටි සංදියේදී ඇපල් කියන්නෙත් හෙන වටින දෙයක් තමා... එයිනුත් ඇපල් කියලා මං දැනං හිටියේ අර රතුම රතුපාට දිස්නේ ගහන ඇපල් තමා.. මොකද යන්තං ටෙලිවිසොන් පෙට්ටියේ යන කාටුන් බලන්න ඇහැකි උනෑයින් පස්සේ ඒවෑ පෙන්නන්නෙත් අර කිව්ව රතු පාට ඇපල් මිසක් වෙන මොකවත් ‍නෙවෙයිනේ... ඉතිං දැනං හිටිය එකම ඇපල් වර්ගය වෙච්ච ඔය කියාපු රත්ම රතුපාට පොත්ත දිස්නේ ගහන ඇපල්වලට මම විතරක් නෙවෙයි අපේ මලයා උනත් බොහෝම මනාපයි... හැබැයි ඒ කාලේ ඔය ගස් ලබු වගේ පලතුරු අපි නෙවෙයි පයිසෙකට ගණන් ගත්තෙත්... ගේ පිටි පස්සේ හෙන ගහපු ලබු ගහේ කද දෙකට බෙදිලා...හෝව් හෝව්... මං ඒ හෙන ගැහිල්ල ගැන කලින් කියලා තියේ නේද..? ඒ කිව්වේ අර මගේ පුක නැතිවෙන්නම වැදුන හෙනේ තමා...

ඉතිං ඒ හෙනේ මං කිව්වත් වගේ මගේ පුකට නෙලාගෙන යන්න ගියේ ගේ පිටුපස්සේ දොරෙන් නෙව... ඒ ගිය පාර නිකං නෙවෙයි ගෙහුං තිබුනේ... හරියටම ගේ පිටිපස්සේ තිබුන දොන්ත පතං ගස් ලබු ගහත් කඳ මැඳින් කඩා දාලා... ඒ ගස් ලබු ගහත් ආයේ එසේ මෙසේ ගහක් නෙවෙයි... ඒ කිව්වේ මෙසේ එසේ ගහක්... අඩි පහලොශක් විතර උස වට අඩි තුනක් විතර තිබුන හොද සරුවට ගෙඩි හැදුන ගහක්... ඒකේ හැදෙන ගෙඩිත් එහෙමම තමා මී පැණී වගේ රසම රසයි... ඒත් ඔය කියාපු හෙනේ වැදිලා ගහට බඩු හම්බ උනා..අන්තිමට ඉතිරි උනේ පොළවේ ඉඳන් අඩි තුනක් විතර වෙච්ච ගස් ලබු කොටේ විතරයි... ඒකත් ගලවලා දාන්න කියලා හිටියට තාත්තට ඒක කරන්න වෙලාවක් අහු උනේ නැහැ... ඒත් ටික දවසක් යද්දී මෙන්න මේ කැඩුන කොටෙන් අතු දාන්න ගත්තා... ඒ අතු අතරිනුත් අතු දෙකක් අනිත් අතු පරද්දගෙන කදේ දෙපැත්තෙන් අහසට නගින්න උනා... මාස කිහිපයක් ගිය තැන අර තිබුන එක ගස්ලබු ගහ වෙනුවට ඒ වගේම ලොකු ගස් ලබු ගස් දෙකක්ම අපිට ලැබුනා අර හෙන වැදුන ලබු කොටෙන්... ගෙඩිත් හැදෙනවා ඕසෙට... කලින් තිබුනටත් වැඩියි...

හැබැයි අර මුල්ම කාලේ වගේ නෙවෙයි ඒවෑ හැදුන ගෙඩිවල පැණී රස නැති වෙලා  ගියා... ඒ වෙනුවට දිය රහක් තිබුන ගස් ලබු තමා ඒ අතු දෙකෙන්ම අපිට ලැබුනේ... හැබැයි ඒකට හේතුව මගෙයි මල්ලිගෙයි ගහට වතුර දැමීමද කියලත් කියන්න බැහැ... ඒ මොකද කියනවනං ඔය ගස් ලබු කොටේ දෙපැත්තෙන් විසාලෙට අතු දෙකක් ඉහලට යද්දී ගස් ලබු කොටේ මැද වලක් වගේ හෑරිලා තිබුනා... ඒකේ වැස්සට වතුර එකත් වෙලා තියෙන්ටත් ගත්තා... පස්සෙන් පහු මායි මල්ලි චූ බරක් හැදුන ගමන් ගිහින් මීයා ඉලක්ක කරන්නේ ඔය කියාපු ලබු කොටේ තිබුන වතුර වලට... ඉතිං ආයිබෝං ලුනු රස නැතිව දිය රහටවත් ලබු හැදුන එක මදෑ නේද...?

හුටා කියන්න ආවේ වෙන උලව්වක් දැන් කියවෙන්නේ වෙන උලව්වක් නේද..? හා හා යං මාත්තුරුකාවට... කන්නේ ඇපල් මල්ලේ පැපොල් කතා නැතිව.

ඉතිං ඒ කාලේ ඔය රතු පාට ඇපල් වලට ආසා උන මංතුමාට කාලයක් යද්දී වෙන වෙන පාට ඇපල් එහෙමත් හම්බු වෙන්ට ගත්තා... ඒත් ඒ ඇපල් වලටත් වඩා අර රතු පාට දිස්නේ ගහන ඇපල් තමා ඒ වෙද්දිත් අපේ කැමැත්ත දිනාගෙන තිබුනේ...

හැබැයි ඉතිං තව දෙයක් කියන්ට ඕන... ඒ කාලේ ඉතිං ඇපල් ගෙඩියක් ගෙදරට ලැබෙනවා කියන්නේ හාවා හඳ දකින්නැහේ කේස් එකක්... ආයේ ඉතිං නෑයෝ කියලා වේයෝ ජාතියක් හිටියට උන්දලා එන්නේ අපේ වත්තේ පිටියේ හැදෙන කජු නාඹරයක් හරි උයවලා කාලා යන්ට මිස අපිට වෙරළු ගෙඩියක තරම දෙයක් ඇන්නනං නෙවෙයි... තාත්තා ඉද හිට කොළඹ එහෙම ගිය දවසට ඔය කියන රතු පාට ඇපලක් අරං එන දවස් තිබුනා.. ඉතිං ඒ ඇපල් ගෙඩියත් බොහෝම සීරුවට කෑලි තුනකට කපලා එයින් කොටහා කොටහා මටයි මල්ලිටයි දීලා අපි දෙන්නා ඒක බොහෝම ආසාවෙන් කනවා දැක්කම අතේ තියෙන ඉතිරි ඇපල් කෑල්ලත් ආයෙම තුනට කපලා එයිනුත් කෑලි දෙකක් අපේ අතේ තියලා ඉතිරි වෙන හීනි ඇපල් තීරුව තමා තාත්තා කන්නේ... ඒ තරමට බොහෝම දුර්ලභ දෙයක් තමා අපිටනං ඒ දවස්වල ඇපල් කියන්නේ... ඒත් ඒ අඩුව ඒ හැටිම නොදැනුනේ වත්ත පිටියේ තිබුන අනිත් පලතුරුවලින් ඒ හැටි අඩුවක් නොවුන හින්දා... අඹ..වෙරළු... පේර... නමිනං...කජු පුහුලං... කටු ආත්තා... වගේ දේවල් හින්දා පලතුරුවල හිගයක් ඒ හැටිම දැනුනේ නැහැ.. ඒත් ඉතිං නැති දේමනේ ලොකු.. ඒ හින්දා ඇපල්වලට තිබුනේ බොහෝම ගරු සරු සහිත කැමැත්තක්... ඒත් ඉතිං අපිට මොකා ගෙනත් දෙන්නද ඇපල්..? ඒ අතින් අපේ මල්ලිගේ පොඩි කොල්ලෝ දෙන්නාට ඉඳහිට හරි ගෙදර කඩං පාත් වෙද්දී එහෙම දෙයක් ගෙනත් දෙන්න මහප්පා කාරයෙක්වත් ඉන්නවා..‍. ඒ අතින් උන්ට අපේ බාල කාලෙට වඩා ටිකක් හරි හොඳයි...

හා හා මං මේ කියන්න ගියේ ඒක නෙවෙයි... අර කිව්වා වගේ පොඩි කාලේ රතු ඇපල්වලට කැමති උන..අනිත් ඇපල් වලට ඒ හැටි කැමැත්තක් නොදැක්කුව මංතුමා මේ වෙද්දී රතු ඇපල් මලාට කන්නේ නැති තරමට පත් වෙලා... ඒත් අර කොල පාට යන්තමට ඇඹුලක් තියෙන පුංචි කොලපාට ඇපල් වලට දැන් මං කැමතියි... ඒ කාලේ ඔහොම එකක් දුන්නනං මලාට කන එකක් නැහැ...

මං මේ කියන්නේ කාලයත් එක්ක අපිව මොනතරං වෙනස් කරනවද..? පොඩි කාලේ බලං ඉන්නේ කොයි වෙලේද සීනි බෝතලේට අත දාන්නේ කියලා... පැණී රසනං ඕන කෑමක් කයි... ඒත් යන්තමට මිරිස් ටිකක් ගෑවිලා තිබුනොත් ඒක මලාට කන්නේ නැහැ... ඒකටත් එක්ක දැන්... පැණි රහට ඒ කාලේ වගේ පස්සෙන් එලවීමක් ඇත්තේම නැහැ... ඒ වෙනුවට සැරට තියෙන මුරුක්කුවක් වඩේ එකක් වගේ සැර කෑමක් කන්න ඕන වෙලාවක රෙඩී... ඔන්න වෙනස් විල්ලේ තරම... ඒ කාලේ ඕන උන දේවල් දැන් මලාට කන්නේ නැහැ... දැන් ආසාවෙන් කන දේවල් ඒ කාලේ මලාට කෑවේ නැහැ...

මං හිතන්නේ මට විතරක් නෙවෙයි මේක හුග දෙනෙකුට පොදු කාරණයක් වෙන්න ඕන... බාල කාලේ තියෙන අධික සීනි කෑමට ඇති ආසාව වෙනුවට දැන් හොයන්නේ බදින ලද යහමින් මිරිස් යොදන ලද ගිනි පිටවෙන කෑම ජාතිම නෙව... කලින් කැමති උන බොහෝම දේවල් දැන් වෙද්දී අකමැති වෙලා තියෙන්නේ ඇයි..? අනේ මංදා..අයි ඩෝන්ට් නෝ වයි..?

30 comments:

  1. දැන් පරිණත පුර්ෂයෙක් නේ....පරමාදර්ශී වෙන්න ඕනෑ...

    (එහෙම කියලවත් හිත හදා ගන්න)

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ උත්තරෙත් හොඳයි තමා...

      Delete
  2. කෙල්ලො පොඩිකාලෙ කැමති ලස්සන බාබි බෝනික්කන්ට ... කොල්ලො පොඩිකාලෙ කැමති හල්ක්ලට...

    දෙගොල්ලො ලොකුවෙනකොට මේක මාරු වෙන්නෙ ඇයි...

    අයි ඩෝන්ට් නෝ වයි...

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒකම මූත් කියලා.. :D

      Delete
    2. යකෝ මුං දෙන්නම විනාඩියක් ඇතුලත නේද එකම එක කියෝලා තියෙන්නේ..?

      Delete
  3. මාරෙ උඹ අහලා ඇතිනෙ, පොඩි කාලෙ කොල්ලො වීරයන්ට කැමතියි, කෙල්ලො බෝනික්කන්ට කැමතියි.. ලොකු වුනාම කොල්ලො බෝනික්කන්ට කැමතියි, කෙල්ලො වීරයන්ට කැමතියි..

    ඉතින් ඇපල් ගැන මොන කතාද :D

    ReplyDelete
    Replies
    1. හනේ මං දන්නේ නැහැ..අයි ඩෝන්ට් නෝ වයිම තමා...

      Delete
  4. // බාල කාලේ තියෙන අධික සීනි කෑමට ඇති ආසාව වෙනුවට දැන් හොයන්නේ බදින ලද යහමින් මිරිස් යොදන ලද ගිනි පිටවෙන කෑම ජාතිම නෙව... //

    අමූලික ඇත්ත අයියා, ඔව්වට ඉතිං වෙන වෙන කාරණාත් බලපානව නොවැ.

    ReplyDelete
    Replies
    1. වෙන වෙන කාරණා කිව්වේ..?

      Delete
  5. මං මේ කල්පනා කරන්නේ ඒ දවස්වල සතියකට පෝස්ට් දෙක තුනක්වත් අඩුම ගානේ වැටිච්ච, ලියන්න දෙයක් නැතුව ඉන්නකොට නයියෙක් හරි ඇවිත් සපෝට් එකක් දීපු මාරයගේ හෝරාවට මේ වැදිච්ච හෙනේ මොකද්ද කියලා....

    දන් බ්ලොග් ලිවිල්ල එපා වෙලා තියෙන්නේ ඊට වැඩිය ආස හිතෙන වැඩක් හම්බුවෙලාද... ( රතු ඇපල් එපා වෙලා ඇඹුල් ඇපල් වලට ආස වෙලා තියෙනවා වගේ....හි හි)

    අයි ඩෝන්ට් නෝ වයි........

    ReplyDelete
  6. අපෝ කොළ පාට ඇපල් වලටනම් මගේ කිසිම මනාපයක් නෑ . ඔය පැණි රස කතාවට මමත් එකගයි .දැන් තේ එකකට සීනි වැඩි උනත් බොන්න හිතෙන නෑ .ඒ තරමට පැණි එපා වෙලා . ලකියාද ඩෝන්ට් නෝ වයි

    ReplyDelete
    Replies
    1. කොළපාට ඇපල් සෝක්... නිකං කන්න බැරිනං කපලා අරං ලුණු ගම්මිරිස් ටිකක් දාලා කමුකෝ බලන්න..කොහොමද ආතල් එක කියලා...

      Delete
  7. දුරට ඇපල්, ළඟ පැපොල් :D

    ReplyDelete
    Replies
    1. ඔහොමම තමා අපිට උනොත්නං...

      Delete
  8. මාරය ඇපල් කනව කියන්ට ගොහින් තියන දුරක්.....

    හැබැයි අයියෙ උඹැහැ සීනි නොකන්නෙ නම් සීනි අමාරුව හැදෙයි කියල බයට.

    ReplyDelete
    Replies
    1. සීනි අමාරුව ගැන මට තියෙන්නේ වෙනම කේස් එකක් බං..මගේ සීනි කොයි වෙලෙත් අඩුයි මිස වැඩි නැහැ... සමහර දවස්වලට නිකං හෝන්දු මාන්දු සීන් ආවම පටස් ගාලා කෙසෙල් ගෙඩියක් දෙක්ක කාලා වැඩි සීනි ප්ලේන්ටියක් ගහන්න ඕන සීනි නග්ග ගන්න...

      Delete
    2. හැබෑවටම සීනි අඩු උනාමත් ලෙඩේ තමයි.

      Delete
  9. අන්න ඒකට අපි,තාම කන්නේ සීනි,මිරිස් මටනම් අඩුවුන තරමට තමා කන්න කැමති.ඔන්න ඕකයි කියන්නේ මුල අමතක කරන්න එපා කියලා.මිනිස්සු මුල අමතක කරන්නේ ඇයි ?

    අයි ඩෝන්ට් නෝ වයි ?

    ReplyDelete
    Replies
    1. ආ එතකොට මේක මේ මුල අමතක වීමේ කේෂ් එකක්ද..? මලානේ මහරජ... මට ඒක මීටර් උනේ නැහැ නෙව...

      Delete
  10. තව ටිකක් කල් යනකොට ඔය දේවල් ආයිමත් මාරුවෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න බැහැ..සමහර වැඩිහිටියෝ හොය හොයා පැණී රස ආසාවෙන් කන හැටි දැක්කම සමහර විට ආයෙමත් මේක වෙනස් වෙන්නනං පුළුවන්... නලින් අයියාටත් දැන් එහෙම හිතෙනවද..?
      (ඕක අපේ වෙනී අංකල්ගෙන් අහලා බලන්න ඕන...මෑන්නං අත්දැකීමෙන්ම කියයි..)

      Delete
    2. වෙනී අංකල් මේ දවස්වල වැජිටේරියන් වෙලාලු ඉන්නෙ. බත් පීරිසියක් විතර කන්නෙ. පවු අහිංසකය. :P

      Delete
  11. තව ටිකක් වයස යන කොට, අවුරුදු 60න් විතර පස්සේ ආයෙමත් සීනි සහ පැණි රසට ආස වෙයි.

    ReplyDelete
  12. //කලින් කැමති උන බොහෝම දේවල් දැන් වෙද්දී අකමැති වෙලා තියෙන්නේ ඇයි//

    මේ කාලේ මාර මීයා එල්ල කරන්නේ මොකේටද බං

    ReplyDelete
    Replies
    1. චී ..මෙන්න අටම් වනචර කතා කියනෝ

      Delete
  13. පොඩි කාලෙ ඔය ඇල්කොහොල් කළවං ජාති පාවිච්චි කරන්නෙ නෑනෙ. ඒව පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඔය රතුපාට ඇපල් හරියන්නෙ නෑ බයිට් එකට. කොළපාට ඇපල්, ගිනි පිටවෙන කෑම ජාති තමයි ඒ අදාල දේවල්වලට හරියන්නෙ. මං හිතන්නෙ හේතුව ඕකයි.

    උඹලැයි අර පැපොල් ගහේ තිබ්බ වලට ඒ දේ කළේ නැත්තං ශුවර් එකට ඩෙංගු කීටයො ඉන්නව කියල අල්ලනව.

    ReplyDelete
    Replies
    1. බලාන යනකොට ත්‍රි භාෂා අයියත් අමු බෙබෙක්

      Delete
  14. ඔය කොල පාට ඇපල් අපි කන්නෙ පෙති කපල , ලුනු කුඩු ටිකක් ඉහල , ගම්මිරිස් ටිකක් දාල පෙන දාන බීර වීදුරුවක් එක්ක.. මරු බයිට් එක..

    ReplyDelete
  15. මමත් පැණිරස කෑම අතහැරියේ ලේ වල සීනි මට්ටම වැඩි බවට වෛද්‍ය අවවාද ලැබුනට පස්සෙයි. සැර ජාති කනවා සැර බීම බොනවා. :D :D ඒ වෙලාවට ලේ වල සීනි මට්ටම පැත්තකින් තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete