26 March 2013

ගෝවා වගේද අල..? වැඩේ අල කරන්නේ මෙහෙමයි...



සුපුරුදු විදියට ඊයෙත් මංතුමා ගියා ඔටුව පැත්තේ බඩු මුස්ටු ටිකක් ගේන්ටය කියලා. ඒ ගෙහුන් අවුරුද්දට ගෙවල් පැත්තේ ගෙනියන්ට ඕන කරන ඇදුං පැළදුං එහෙමත් අරං උයන්න පිහන්න ඕන කරන ජාතිත් ටිහිකුත් ඇන්න ආවා.

මං හිතං හිටියේ අවුරුදු කිස්ටු වෙද්දී බඩු ගණන් යන හින්දා ඊයේ වෙද්දි ආයෙමත් එලෝලු පහේ ගණන් ගෙහුන් තියේවි කියලා... මොකද පහුගිය සුමාන දෙක තුනක ඉදන් සුළු සුළු වැඩීවීම් වගයක් කෙරීගෙන ආව හින්ද.. ඒත් ඊයේ බලද්දී ආයෙම එලෝලු ජාතිවල පිටෝටුවේ මිල අඩු වේගන යන බවක් පෙනුනා.. ඒත් සමහර විට ලබන සතිය වෙද්දී ආයේ ගණන් යයිද මංදා... කොහොම උනත් මාත් ඉතිං මට ඕන කරන ජාති ඇන්න ආවා... ඒ අතරේ නුවර එළිය අල වලින් කිලෝ එකක්මත් තිබුනා... 

වැලිමඩ පැත්තේ අල ඇත්තටම හරිම සෝක්..  අර පොතු ගැලවෙවී යන ස්වභාවයේ අල ජාතිය.. අන්න මරු අල... උයද්දී අලවල පිටි ගතිය හොද්දට දිය වෙලා යනවා.. පුදුම රසයි.නුවර එළීය වර්ගය ටිකක් කහ පාටයි පොත්ත අර වගේ ගැලවෙන්නේ නැහැ... ඒත් නරකම නැහැ. හැබැයි මේ දෙකම ටිකක් ගණන්... 

ඔය අතරේ අර ඉන්දියාවෙන් පකිස්ථානයෙන් එන අල තියෙනවා නේද..? තූ නොදකින්..එව්වා කනවට වඩා හොඳා අල නොකා ගෝවා කනවා... 

ඔය වර්ග වල මිල ගණන් වලින්ම කිව්වොත් මේ දවස්වල අර හොඳම වැලිමඩ අල එක එන්නේ නැහැ. මං හිතන්නේ අවාරේ වෙන්ටෑ. හැබැයි නුවර එළීය අල එනවා..ඒක කිලෝ එක රුපියල් සීයයි ඔටුවේ... මේ කියන්නේ හොඳ මහත දෙහෙත ලොකු අල කිලෝවක මිල. එකේම පොඩි අල එනවා කිලෝව හැටක් විතර වෙන්නේ. ඉන්දියන් අල කිලෝවම රුපියල් පනහයි කියහංකෝ... ඒත් කෑහැකියෑ මල ජරාව. ඒ අතරේ මං ඊයේ දැක්කා අර කුණු අලත් මාකට් එකට ඇවිත් තියෙනවා.. අතරින් පතර පුස් කාපු ගතිය හොදටම පේනවා... කිලෝව හතළීහයි... හෝටල් කාරයෝ තමා ඉතිං ඒවට වග කියන්නේ.

මම ඉතිං නුවර එළිය අල වලින් පොඩි සයිස් එකේ අල කිලෝවක් ගෙනාවා... දැන් ඕක ඉතිං ගෙදර තිබුනා... ඊයේ ඉතිං වෙන වෙන වැඩ හින්දා දවල්ට හරි හමන් විදියට ඉවුවෙත් නැහැ. රෑට උයන්න කිට්ටු වෙද්දී තමා ඔය අල ටිකට ඇහැ ගියේ. ගෙනාවනං කන්නත් එපෑ. බත් උයන්නත් කම්මැලියි... ඉතිං හිතුවා අල රොටී හදන්න... ආන්න ඒ වෙද්දී තමා මට කාකාගේ පෝස්ටුව මතක් උනේ.

මේ ඊයේ පෙරේදා අපේ කතන්දරතුමා රොටී වගයක් හදපු වගක් රීඩරෙන් දැක්කා... කොහෙන් දැක්කත් කෑමක් බීමක් ගැන ලිපියක් දැක්කම ඒක කියවන එක මගේ පුරුද්දක් නෙව. ඒක බොහෝම හොදට පැහැදිලි ඇතිව දාලා තිබුන පෝස්ටුවක්.. ඒ කියන්නේ රොටී හැදීම ගැන කිසිම ගැටළුවක් නැහැ දැන් අපේ අයට.. ආන්න ඒ හින්දා මං කල්පනා කලා මමත් උයං කන ගමන්ම ළමයින්ට රොටී වල ඇඩ්ඩාන්ස් කෝස් එකක් කොරවන්ට කියලා.. ඔව් ඔව් මෙයිට කලින් මං එලෝලු රොටී එහෙම හදන හැටිත් කියලා  තියෙනවා තමා... එව්වත් ඇඩ්ඩාන්ස් කෝස් තමා.. මේකත් එයින් එකක්... මේ ඇවිල්ලා අල රොටී...

මං කෙටියෙන් කියන්නංකෝ...

ගත්තා හොඳවැයින් අල ගෙඩි කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා.. අල ටික තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා... ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී අල ටික  තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට අල ටික පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා... අලවල රස්නෙට බටර් දිය වෙලා හොදින් මේක පල්ප් එකක් බවට පත් වේගන එද්දී ඕකටම පාන් පිටිත් එකතු කරන්න ඕන... සාමාන්‍යෙයන් අල වල ප්‍රමාණයටම වගේ පිටි එකතු කරලා ගත්තම හරි... ඒත් මංනං පිටි ප්‍රමාණය අල ප්‍රමාණයට වඩා අඩු වෙන් දැම්මා... මොකද අල ලාබයි පිටි ගණන්.. :D ඒ නැතත් අල රොටී හදනවනං අල රොටී හදනවා මිස මොකටද ඔයාකාර පාන් පිටි. (සමහරුනං මේකට ගසාගත්ත බිත්තරයකුත් එකතු කරනවා.. මංනං කොලේ නැහැ.. ගෙදර තියේනං බේකින් පවුඩර් කන් හැන්දක් විතර එකතු කරාට වරදක් නැහැ. නැතත් අවුලකුත් නැහැ.)

රයිට් දැන් ඔන්න අපිට බොහෝම මෘදු පිටි මිශ්‍රණයක් තියෙනවා...



දැන් ඉතිං තියෙන්නේ මේ මිශ්‍රණයෙන් කුඩා බෝල හදලා අරං ඕක නොඇලෙන සුළු මතුපිටක් මත තියලා රොටිය වඩන එකයි...
 

එයින් පස්සේ රත් කල තැටියක් මත තියලා පුළුස්සා ගන්න ඕන දෙපැත්තම... පොල් රොටී වගේ තද ගතියක් මේ රොටිවල නැහැ.. බොහෝම මෘදුයි.. පිලිස්සෙන කොට හොඳට සුවඳ ගහනවා.. උණු උණුවෙන් නිකංම උනත් කාලා දෑතැකි...





හැබැයි මං කෝකටත් කියලා ඔය අස්සේම කෙලවල්ලන් මාළු කෑලි ටිකක් බැදෙන්න ඇරලා ඒ ටික මිරිසට උයලා ගත්තා... රොටි කන්නනං හොඳම දේ තමා කෙලවල්ලන් හෝ හුරුල්ලන් මාළු මිරිසයට උයලා... 

ඉතිං දැන් හරි... කන්න තමා තියෙන්නේ...

ඔක්කෝමත් හරි මේවා ඔක්කෝම කලාට පස්සේ කතන්දරටනං උම්මා දෙකක්ම හම්බ උනාළු... අනේ ඉතිං අපිට..?

47 comments:

  1. ම්ම්ම්ම් රහ ඇතී නේද...අද හදන්න ඔනේ හිටුකෝ

    ReplyDelete
  2. පෝස්ට් එක කියෝගෙන එනකොට අහන්න හිතාපු එක උඹ යටිංම දාල තියෙනවනෙ. :D

    එහෙනං ඒ වැඩෙත් අල කළා ‍නේද?

    ReplyDelete
  3. මාරතුමා හෝටල් පාසලට යන්නේ ගුරෙක් හැටියට ද ?

    ReplyDelete
  4. උම්මා තමා එතකොට ප්‍රශ්නේ නේද :P

    ReplyDelete
  5. පට්ට කෑමක්නේ මාරේ අයියා...කලේකට පස්සේ මේ පෑත්තට ගොඩ වෑදුනෙ...මේදවස්වල කුකරි කලාස් එකක් වගේ නේ බ්ලොග් එක මරු ඇ...

    ReplyDelete
  6. කැරට් ලූනු එහෙම දාලා බබාලට හදලා දෙනව රහයි එහෙමත්

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකට තමයි මේ පුරුදු වෙන්නෙ. :D

      Delete
  7. අතරින් පතරින් කඩ්ඩ කෑලිත් විසික් වෙනව නේද දැන්? :D

    ReplyDelete
    Replies
    1. ඒක නෙව මාත් බැලුවේ :)

      Delete
  8. උම්ම වෙනුවට දැතේ කරුමාන්තයක්වත් කරල නිදියගනිං බං.. මේ රොටී වැඩේ නං කරලා බලනවා.

    ReplyDelete
  9. උම්මා දෙක තුනකුත් තිබුනනං කෑම වේල සම්පූර්ණයි නේද..??

    ReplyDelete
  10. "ඊයේ බලද්දී ආයෙම එලෝලු ජාතිවල පිටෝටුවේ මිල අඩු වේගන යන බවක් පෙනුනා"
    කණ්ණාඩි දෙක ගෙනියන්ඩ අමතක උනා නේද?

    අපි ජීවන කුසලතා කරද්දිත් සමබර අහාර වේලක් කියලා ඔය වගේ එකක් හැදුවා.. ඒකට ගොටුකොළ ටිකකුත්, කැරට් ටිකකුත්, බිත්තරයකුත් එකතු කළා වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම තමා හිතුනේ හරියෝ. මෙච්චර එළවළු ගනන් එකේ මාරයට විතරක් එළවළු ලාබ වෙනවා පේන හැටි..

      Delete
    2. සුපර් මාකට යන අයට මේ මිල ගනන් හරියන්නේ නැ. මේ කියන්නේ පිට කොටුවේ මිල ගනන්.

      Delete
    3. අපි නම් සුපර් මාර්කර්ට් වලින් ගන්නෙ නෑ. හන්දියේ එළවළු ලෑල්ලෙන් තමා. නලින් අයියා බඩු ගන්නෙත් පිටකොටුවෙන්ද ?

      Delete
    4. ඔය ලෑල්ලෙයි සුපර්මාකට් එකෙයි ගාන එක සමානයි.පොලේ එළවලු තමයි ලාභ.ඔය එළවලු/මාළු ලෑල්ලට බඩු එන්නෙ පිටෝටුවෙන්/පෑලියගොඩින්.

      Delete
  11. ඕක අනනකොට පොල් ටිකකුත් දැම්මොත් වැඩේ චකබ්ලාස් වෙයිද?

    ReplyDelete
  12. මට මතක් උනේ කිලිනොච්චියේදි කාපු මසාලා තෝසේ. එව්වගෙ අල තියෙන්නේ ඇතුලට දාල රෝල් කරලනේ.

    මාරයටත් උම්ම දෙකක් ඉක්මනටම ලැබේවා, ටොකු හතරකුත් එක්කම

    ReplyDelete
  13. කෑම හදල දීලා උම්මා ගන්න එකත් නරකම නෑ එහෙනං.

    ReplyDelete
  14. ඉවුම් පිහුම් හොඳහැටි දන්නා ස්වාමිපුරුශයෙක් වීමට කැමති මම සුදුසු සහකාරියක් සොයමි කියලා මේකෙ ලිපියක් දැම්මා නම් උම්මා කිලෝ ගනන් දෙන්න පුලුවන් අය ඉල්ලුං පත්තර දාවි මලේ..

    ReplyDelete
  15. ඇත්තටම පට්ට රහයිද බං

    ReplyDelete
  16. උඹට වැරදුනා..."බටර්" නෙමෙයි එක්කාසු කොරන්නේ, "බච...." ඕකටම තම්බපු තම්බපු මස් කෑල්ලක් එකතු කලාම. ......

    හොදි ඕනෙම නෑ... උඹ එදා පොල් රොටි පොටෝ දාලා මාතලිගෙන බැනුන්ත් අහගෙන කට්ට සම්බලුයි පොල් රොටියි කෑවා.. අදත් බැනුම් අහගන්න තමයි වෙලා තියෙන්නේ. තව දෙයක් කියන්නම් ඕන අපේ කාකා ඉංජෙක් වෙලත් රවුම හරියට ගන්න බෑ. අටපට්ටං වගේ. ඒත් කොහොමෙයි මාරෙගෙ රොටිය.

    ReplyDelete
    Replies
    1. මගේ රොටී ෆොටෝ දැකපු ඔෆීසියේ ඉංජිනේරුවරියක් කිව්වා එයැයි නං කරන්නේ රවුම් අව්වුවකින් හරි රවුමට කපා ගන්න එකයි කියලා.

      කෑලි කඩලා බඩට බස්සන එකට මොන ෂේප් එකෙන් තිබුණාම මොකෝ. ඔව රවුං කරන්නත් කාලය ගත කළාම ගියාම අර ඵලදායීතාවයට මක්කැයි වෙන්නේ?

      Delete
    2. අම්මපා ඒකත් ඇත්ත.. හැබයි රවුමට හැදුවනම්.. තව උම්මා දෙකක් හම්බ වෙයි ෂුවර් එකට...

      Delete
    3. ලොකුම ලොකු පෝසිලෙන් පිගානක අනිත් පැත්ත හරවලා පිගානේ අඩියේ තියෙන දාරේ පාවිච්ච් කරලා රොටිය වැඩුවනම් හරියට රවුම ගන්න පුළුවන් රෝලර් එකක් පාවිච්චි කරානම් ආය නිකම් මැෂින් කට් එකක් වගේ..

      Delete
    4. මට ඕන කරන විසදුම ලැබුන.ස්තුතිය් ඔබට kkroxc.දැන් ළමයි දෙන්නට හද රවුම් රොටි දෙන්න පුළුවන්.

      Delete
  17. ඕකටම තම්බාපු කුකුළු මස් ටිකකුත් එකතු කලාම තවත් රසයි..

    ReplyDelete
  18. ශා කියම කෑමක්.... රෝටි මම කැමතිම - අල රොටි කෝම වෙයිද කියලා කාලම බලන්න ඕනැ

    ReplyDelete
  19. ආ මුලින් දාපු පොටෝ එක කපලා තියෙන හැටි මරු! හරියට "නෙට්" එකෙන් ගත්තා වගේ

    ReplyDelete
  20. වැඩේ "අල" වෙයිද ?????

    ReplyDelete
  21. ඒ ගෝවා වගේ නෙමේනේ බං මේවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. ඉන්දියාවෙදි කාපු 'අලූ චපාති' මතක් උනා.

    ReplyDelete
  23. සැක් මුන් රොටි හදනවා අපි එපෑ කෙළ ගිල ගිල ඔව්වා දිහා බලන් ඉන්න :(

    ReplyDelete
  24. අලේ...කොහේ හදන්නද...? අල ගණන් නේ! :D

    ReplyDelete
  25. මේකනම් කරන්නම ඕනෙ වැඩක්. අල තම්බනකොට මටත් ගෙඩියක් තම්බනවා නිකං කන්න. මම මාර ආසයි.

    ReplyDelete
  26. ඕකට කොචිචි හරි මිරිස් කෑලි ටිකක් හරි දැම්මනම සුප්පා තමා

    ReplyDelete
  27. අනිව මාරයෝ මමත් අදම ගෙදර ගිහිල්ල පොර වගේ හදනව.... කටට කෙල ඉනුවනේ... පටස් ගාල වතුර ටිකක් බිවුවා...

    ReplyDelete
  28. උදේට කන ගමන් බැලුව නිසා කෙල ටික ගිලුනේ නැහැ ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ReplyDelete
  29. වැලිමඩ අය බිජ වලට ගන්න අලය් නුවරඑළියේ කට්ටිය ගන්න එකය් දෙකම එකය්. නමුත් රස වෙනස් මම නම් එකට හේතු දෙකක් දකිනවා

    1. වැලිමඩ දේශගුණය අල වගාවට වඩා හිතකරය් (අල වලට විතරක් නෙවෙය්. නුවරඑළියේ ට්‍රිප් එකක් යනවනම් නිදගන්න යන්න හොදම තැන තමය වැලිමඩ. සීතල තද නැහැ ඇගට සුව දයකය්)
    2. වැලිමඩ අල ඉක්මනින් ගලවනවා. ඒ කිව්වේ උපරිමය මස 2 ය් දින 15 y. නුවරඑළියේ ටිකක් මොරනකන් ඉන්නවා. වැලිමඩ මිනිස්සු බලන්නේ එක ඉවර කරලා තව දෙයක් වවන්න මිනිස්සු අවුරුද්දකට තුන් වතාවක් කුඹුරු වල වවනවා (අල, ගොයම් සහ එළවලු වර්ගයක්). ඊට අමතරව කදු වලත් අල සහ එලවලු වවනවා

    ReplyDelete
  30. උඩම තියන පින්තූරෙ නම් මාරයි... cookery පොත් වල තියන එකක් වගේ. අනාගතේ No1 කුක් කෙනෙක් උනාට පස්සෙ රෙසිපි පොතක් ගහන්නත් බැරියැ මේ පින්තූර හෙම දාල.

    ReplyDelete
  31. අද හදල බලන්න ඕනැ මාරයො

    ReplyDelete
  32. මෙවුවනම් අපිටත් හදන්න ලේසියිනේ.. ඉරිදට ට්‍රයි කරලා බලන්න ඕන..

    ReplyDelete
  33. Pol roti nam 1 wasare indan hadanawa. Heta withara ala rotiyakuth hadanna one!

    ReplyDelete
  34. මාරේ, උඹේ රෙසිපියට අනුව මේක හදාගෙන මේ දැන් කෑවා. මරු බං. අපි ඔය මිශ්‍රනය හදලා පෑන් කේක් හදලා තියෙනවා.

    ReplyDelete
  35. මාරයාට පින් සිද්ද වේවා.අද ඔය රෙසිපියට හදාගෙන අම්බානකට දුන්නා .එල .

    ReplyDelete