28 April 2013

ලේ...

උදේ පාන්දරම ගියා අපේ ඔබා අයියා සිහි කොරලා උන්දැට පින් පිණිස අර අන්තිම පේලියේ එව්වෝ ටික සංවිධානය කොරලා තිබුන ලේ දන් දීමට... ඒක තියෙන්නේ වැල්ලවත්ත ජ්‍යාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කියලා තැනක.. ඒ කිව්වේ පන්සලක්... හොයා ගන්න අමාරුවක් නැහැ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ අර සබ්මැරීන් කියන දිග බනිස් විකුණන ඩයිනමෝ කඩේ පාස් කොරලා තව ඩිංගක් කොල්ලුපිටිය පැත්තට නෙවෙයි අනිත් පැත්තට යන්න තියෙන්නේ...

ගියාට මොකද පොඩි කාරණා දෙකක් හින්දා වැඩේ හරියට කෙරෙයිද කියලා හිත හිත තමා ගියේ... එකක් තමා ගේ බර අඩු වීම... මංතුමා මේ වෙද්දී සෑහෙන වාරයක් ලේ දීලා තිබුනා උනාට පහුගිය වාරේ වතුපිටිවල ඉස්පිරිතාලෙට ගිය වෙලාවක මගේ ලේ බර මදි කියලා ගන්න බැහැ කිව්වා නෙව... ඔය ලේවල බර කියන්නේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රතිශතය අඩු වැඩි වීමද කොහේද.. මං දන්නේ නැහැ ඔව්වා... ඒවා දන්නේ දොස්තරලා නෙව... ආ ඒ කිව්වම මතක් උනේ... මේ ගිය වෙලේ මට ඔය ප්‍රශ්නේ අහන්න සුදුසු කෙනෙක් හම්බ උනා... ඒ අපේ බ්ලොග් ලියන වෙද මහත්තයා..නොහොත් මහ වෙදනා... මං ඇතුලට යද්දිම මෑන් ඉන්නවා පන්සලේ දායක මහත්තයා වගේ... බොහෝම සාංතදාන්ත විදියට... මං ඉතිං මුලින්ම මගේ පලවෙනි ප්‍රශ්නය පුද්ගලයට ඉදිරිපත් කලා...

“වෛද්‍යතුමනි... මා හට ලේ දිම සම්බන්ධව ගැටළුවක් ඇත... මෙයට පෙර වතාවේදී ලේ බර අඩු වීම යන ගැටළුව මත මා හට ලේ දීමට නොහැකි විය.. මෙයට හේතුව කුමක්ද..?“

ඔව් දැන් වෛද්‍යතුමා පිළීතුරු දෙනවා මෙහෙම...

“මල්ලි.. ලේවල හිමොග්ලොබින් අඩු වෙලා.. ඕක මේ ලංකාවේ හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්...“ ඔන්න ඔහොම කියලා මොනවද මංදා විස්තරයක් කියං ගියා.. ඕවා මට මීටර් වෙන එකක් කියලෑ.. මං ඒ පාර තව ප්‍රශ්නයක් ඇහුවා...

“ගරු වෛද්‍යාචාර්යතුමනි... මට ඇති තවත් ගැටළුවක් වන්නේ... මෙයට පෙර මා විසින් පස් හය වතාවක් ලේ දන් දී ඇති අතර එම වකවානූන් තුල මා විසින් යහමින් සැර බීම වර්ග පානය කරන ලදි.. එහෙත් එහිදී ලේ දීමට කිසිදු ගැටළුවක් ඇති වී නොමැත.. එහෙත් සැර බීම පානයෙන් වැලකී සිටි කාලයේ ලේ දෙන්නට ගිය විට මෙම ගැටළුව ඇති වේ.. මෙයට හේතුව කුමක්ද..?“

හරි වෛද්‍යාචාර්යතුමා කොර.... :D

මං ගියා බර කිරන්න... තව පොඩ්ඩෙන් අතේ තිබුන හෙල්මට් එකත් අරං නගින්නේ තරාදියට. හොද වෙලාවට අපේ දන්තනාරායන මල්ලි ඉඳලා..(මොකක් ඒ මල්ලිව දන්නේ නැහැ කිව්වා.. නිකමට දත් වලට ප්‍රසිද්ධ බ්ලොග් ලියන මල්ලි කවුද කියලා හොයලා බලන්න.. නැහැ නැහැ අයියා නෙවෙයි මල්ලි... :D අනික මේ මල්ලි හරි අහිංසක දරුවෙක්... මේ කියන්නේ ඒ දත් ගැන නෙවෙයි... :D) හෙල්මට් එක ඉල්ල ගත්තා.. හරි කිලෝ 61ක් තියේ... එක කිලෝ එකක් අඩු වෙලා යකෝ.. මගේ සාමාන්‍යයෙන් උපරිම බර කිලෝ 62යි කවදත් තියෙන්නේ... ඕක වැඩිම අඩු වෙන්නේ 58ට... කිසිම හේතුවක් නිසාවත් ඔය පරාසය වෙනස් වෙන්නේ නැහැ දැන් අවුරුදු දහයක විතර වෙලේ ඉඳන්...

එයින් පස්සේ කොලයක් පුරවන්න උනා.. ඕක නිකං මට කට පාඩං කොලේ නෙව... සිටි සිටි ගාලා පුරෝලා දැම්මා... එයින් පස්සේ ඕකත් අරං ගියා ලේ දෙන අයව පරීක්සා කොරලා බලන දොස්තර නෝනා ගාවට... හරි සීදේවී දොස්තර නෝනා... හිනා කටයි..මල් දෝතයි... කොහොමත් ඔය ලේ මධ්‍යස්ථානවල සේවයට වැඩි හරියක්ම දාන්නේ සීදේවී දොස්තර මහත්තුරු දොස්තර නෝනලා.. අර ගිය ගමන් ඇගට ගොඩ වෙන අය දාන්නේ මං හිතන්නේ හදිසි අනතුරු අංස වලට වෙන්න ඕන... ඉතිං මේ නෝනත් හොදට හිනා වෙලා කතා කරලා කලින් ලේ දීලා තියෙනවා නේද කියලා බලලා මුකුත් අවුලක් නැහැ නේද කියලත් අහලා.. මගේ ප්‍රෙෂර් එහෙම චෙක් කොරලා බලලා.. අර දොස්තර නලාව එහෙම එහෙට මෙහෙට තියලා බලලා ඇහුවේ නැද්ද මහ කඩප්පුලි ප්‍රශ්නයක්..

“ගණිකා ඇසුරක් එහෙම නැහැ නේද ළඟකදී..?“

හනෙ හම්මපා මට කටට ආව ජාති... :D යකෝ අහන්න ප්‍රශ්න නැතිවටද ඕක අහන්නේ අච්චර  අර කොලේ එහෙම එකක් නැහැ කියලා දාලා තියෙද්දිත්...

ඒත් ඉතිං මගෙන් අහපු ප්‍රශ්නේ හොදයි කියලා හිතුනේ එයිට ටික වෙලාවකට පස්සේ අපේ “අන්සතු දිනපොත“ ලියන අමිල චතුරංගගෙන් අහලා තිබුන ප්‍රශ්නේ දැන ගත්තට පස්සේ... ඒකගෙන් අහුවළු නෙව “ඔය ළමයා සමලිංගික සේවනයේ එහෙම යෙදෙනවද..?“ කියලා... හත් ඉලව්වේ... :D

එයින් පස්සේ ඔන්න මට තිබුන දෙවැනි ප්‍රශ්නයත් දොස්තර නෝනාම අහලා දැම්මා...
“ඊයේ රෑ කීයටද නිදා ගත්තේ..?“

“රෑ එකත් පහු උනා...“ ඔන්න මට දැන් පේනවා නෝනා නළල රැළි කරං මා දිහා බලනවා... සාමාන්‍යයෙන් නිදි මරලා ගියාමත් ලේ ගන්නේ නැහැ.. ලේවල බරත් අඩුවෙන සීන් එකක් තියෙනවා... ඊයේ රෑ හදිසියේම වෙන වැඩකට ගිය ගමන් සංගීතයක් බලන්න අහු  උනානේ... ඒකයි නිදා ගන්න පරක්කු උනේ... කොහොම හරි ඔන්න තවත් ප්‍රශ්නයක්...

“කීයටද නැගිට්ටේ...?“

“උදේ අට හමාරට...“ හම්මේ දොස්තර නෝනට හිනා ගියා... “ආ එහෙනං කමක් නැහැ..“

කොහොම හරි ප්‍රෙෂර් චෙක් කොරලා අනං මනං කොරලා කොලේ අත්සන් කොරලා මාව යැවුවා ලේ පරීක්ෂා කරන තැනට... ඒ යන්න ඉද්දී මෙන්න එකෙක් එනවා අත පය විසි කර කර අඹර අඹරා... මොනවද කාපු මොකාද වගේ... බැලින්නං මේ අපේ “මගේ සඳ“ බ්ලොග් එක ලියන පසන් මල්ලි... මං අහන්නත් කලින්ම මල්ලි ඇඹරෙන්න දගලන්න හේතුව කියලා දැම්මා...

“ප්‍රෙෂර් මදිළුනේ අයියේ... මං මේ ප්‍රෙෂර් නග්ගනවා...“

මල මගුලයිනේ..සිංහල බ්ලොග්කරුවෙක් වෙලත් ප්‍රෙෂර් නැත්තං වැඩක් ඇතෑ... ඒක බ්ලොග් සංසදේටම ලැජ්ජාවක්නේ.. මං මල්ලිට කිව්වා “වහාම ගිහින් ලොග් වෙලා බ්ලොග් පෝස්ට් දෙක තුනක් කියවලා වරෙං නිකංම ප්‍රෙෂර් නගී“ කියලා... හා නැද්ද හා..? :D

කොහොම හරි ලේත් පරීක්ෂා කරලා අන්තිමට ගියා ලේ දෙන්න.. මෙන්න ලේ දෙනකොට ඇද වට කරගත්තා කැමරාකාන්ලා ටික... අර වයසක අංකල්..ඔව් ඔව් අර දිග මෙව්වා එකක් තියෙන එක්කෙනා තමා... ඒකයි.. තව නං නොදන්න මල්ලිලා ටිකකුයි... අර අවුරුදු උත්සවේ කුජීත කුමාරයා වෙච්ච “අනන්තය“ බ්ලොග් එක ලියන පනුරාධ නානායක්කාර මල්ලියි... මුං ටික හරියට මෙයිට කලින් ලේ දෙනවා දැකලා නැහැ වගේ... ලේ දෙන උන්ට වැඩියි එතන පොටෝ අල්ලන උන්දලා... හැබැයි ඉතිං වෙන කරන්න දේකුත් නැහැනේ... අපි මේ ඌ පස්සේ දෙන්නං කියපු සල්ලි කොලවලට රැවටිලා ඌව අවුරුදු කුමාරයා කලාට මොකද ලේ දෙන්න තියා කට්ටක් ගහන්න තරංවත් ඇගක් තියෙන එකෙක් නෙවෙයි නෙව.. එහෙවු එකේ ඒකත් හා කියහංකෝ... (පොරොන්දු උන ගාන දුන්නනං උඹ මේ ටික අහගන්නේ නැහැනේ.. තාම ප්‍රමාද නැහැ..)

එතකොට අර දඩ රැවුල් අංකල්...? හා හා ළමයි ඒ හාදයටත් ලේ දෙන්න හැටියක් නැහැ... අති මානුසීය හේතුවක් මත... ඒවා මගෙන් අහන්න එපා... මං කියන්නේ නැහැ..මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙනවා... තමුන් නොදැන කරන වැරදි වලින් ඒවා හදාගත්තා උනත් එහෙම තත්වෙකට පත් උනාට පස්සේ අපි මිනිස්සුන්ට බනින්න නාකයි... ඒ හින්දා ඒ මනුස්සයාටත් ලේ දෙන්න බැහැ ඕං.. ඉතිං පොටෝවත් අල්ලපුවාවේ.. :D

ඔන්න ඉතිං කෙහොමින් හරි ලේ දීලා අහවර වෙලා කෙලින්ම යන්න තිබුනේ සංග්‍රහ අංසෙට... ඒ යද්දී මගේ හොද වෙලාවට එක කැමරාකාරයෙක්වත් ඒ අහලක නැහැ.. මං ඉතිං ඒ වසරෙන් සුටුස් ගාලා මාළු පාන් ගෙඩියයි..කේක් කෑල්ලකුයි ගිලලා මදි පාඩුවට කෙසෙල් ගෙඩියකුත් කොටා බාලා උගුර හේදෙන්න කිරි පැකට් එහෙකුත් ගහලා දැම්මා... අනේ අර අපේ අවුරුදු කුමාරි නංගි ඇවිත් ඒ වෙලේ සූට්ටං කවරෙකුත් දුන්නා කියහංකෝ... ඒක මේ සුළු සිහිවටනයක්... 

ඉතිං කාලා බීලා අහවර වෙද්දිම අර රැවුල් පොටෝ අංකල් දුවං ආවා කැමරාව අල්ලන්න..එතකොට ප්‍රමාද වැඩී.. මං ගේම අහවර කරලා හිටියේ...

ඉතිං ඔන්න ඔහොම වැඩේ අහවර කොරලා මං විගහට ගෙදර ආවා.. තව කොරන්න වැඩ තියෙන හින්දා... ඒ ඇවිල්ලා මේක ලියන්න හිතුවේ තාම වැඩේ යන හින්දා මේ කොළඹ අහල පහලක ඉන්නවනං මේක කියවන කවුරු හරි දුවලා ගෙහුං අපේ ඔබා අයියට පින් සිද්ද වෙන්න කියලා ලේ බිංදුවක් දීලා එන්න... අන්තිම පේලියේ උන් ටික වැඩේ සුපිරියටම සංවිධානය කරලා තියෙනවා.. ආයේ ඉතිං මට බයින්න කියලවත් දෙයක් මුං ඉතිරි කොරලා නැහැ... දුකේ බැහැ.. මං මේ හිතං ඉන්නේ සිංහල සාහිත්‍යයටයි... ජන සමාජයටයි පට්ට සේවයක් කරන්න කියලා... ඒකට ඉතිං මට කරන්න පුළුවන් දේ තමා දුටු තැන හැම දේකටම බැණ අඩගහන එක... එහෙම බැණ අඩගහන තරමට තමා අපෙන් සේවයක් ඔය කියාපු දේවල්වලට වෙන්නේ.. ඒත් මුං මට එහෙම කොරන්න දෙයක් මෙතන තියලා නැති එක ගැන මට පට්ට දුකයි කියලනං කියන්න ඕන...

කොහොම උනත් වැඩේ තාම යනවා... හැකි කෙනෙක් ඉන්නවනං යන්න... නැත්තං දන්න කෙනෙක්ව යවන්න... වැඩේ ඇති වටිනාකමයි.. ඔබා අයියා ගැනයි.. ලේ දන් දීමේ වැදගත්කමයි මං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බ්ලොග් ලියන කියවන උදවියට... එහෙනං ඕං ඉක්මං කොරන්න...


49 comments:

  1. මල මගුලයිනේ..සිංහල බ්ලොග්කරුවෙක් වෙලත් ප්‍රෙෂර් නැත්තං වැඩක් ඇතෑ... ඒක බ්ලොග් සංසදේටම ලැජ්ජාවක්නේ.. මං මල්ලිට කිව්වා “වහාම ගිහින් ලොග් වෙලා බ්ලොග් පෝස්ට් දෙක තුනක් කියවලා වරෙං නිකංම ප්‍රෙෂර් නගී“ කියලා... හා නැද්ද හා..? :D

    සිරාම සිරා කතාව මාරයියෙ.. :D :D :D

    ReplyDelete
  2. මටත් ඔය හිමොග්ලොබින් අඩුයි . ඒ හින්දා ලේ දීලම නැහැ . පින් තියෙන්න ඕන ඒවටත් ..නැද්ද

    ReplyDelete
  3. pin sidda wechchawe..! api ithin dura behera udawiyane :)

    ReplyDelete
  4. “වහාම ගිහින් ලොග් වෙලා බ්ලොග් පෝස්ට් දෙක තුනක් කියවලා වරෙං නිකංම ප්‍රෙෂර් නගී“ මෙන්න දවසේ කතාව

    ReplyDelete
  5. උඹ ලේ දුන්නට පස්‍සෙ අච්චර කෑවෙ අර අඩුවිච්ච කිලෝ එක හදාගන්නද?

    තව ටික දවසකින්නං ප්‍රෙෂර් නග්ගගන්න ඕන උංට තියෙන්නෙ ලයිට් බිල බලන එක විතරයි. හැබැයි ඉතිං ඊට පස්සෙ ලේ වෙනුවට වතුර තමයි ගන්න වෙන්නෙ.

    ReplyDelete
  6. එල එල මාර අයියා ..........ඔබා මාමා වෙනුවෙන් සංවිධානය කරපු වැඩේ නම් මල් හතයි.සහභාගී වෙන්න බැරි වුන එකට නම් පට්ට දුකයි.....
    මාරයියේ උඹට තියෙන්නේ බඩක්ද ? නැත්නම් කාමරයක් වගේ එකක්ද?
    කොහේ ගියත් මු හතර දෙනෙක්ගේ ඒවා කාලනේ එන්නේ ....... :)

    ReplyDelete
  7. ඉඳල හිටල හරි පිනක් කියල කොරගන්නෙ ලේ ටිකක් දෙන එක විතරක් වෙච්චි එකේ මමත් ඕන මගුලක් කියල ආවා...

    ගණිකා ඇසුරක් තියෙනවද කියල මගෙනුත් ඇහුවා බන්... මට ෂුවර් නැතුව මොකක්ද ඇහුවෙ කියලත් ඇහුවනෙ...

    මේක කියවද්දි තමා මතක් වුනේ මගේ බර කිරුවෙ නෑනෙ...

    වෙනී අයිය නම් අපරාදෙ කියන්න බෑ එක දිගට පොටෝ අල්ලනව. මනුස්සයා ටිකක් ෆ්‍රී වුනහම කතා කරනව කියල බලන් හිටිය හිටිය මොන... නතරවෙන පාටක් නෑ... පස්සෙ ගිහිල්ල පොටෝ ඇල්ලිල්ල නතර කරන්නෙම නැද්ද කියල අහල කතාවට වැටුනෙ...

    ReplyDelete
  8. අමිලයනම් කට කැඩිච්ච කතාවක් කියන්නැති දොස්තර
    නෝනට ..කොහොමත් ඕක එක විදිහක් නෙව ..


    මාත් දවසක් උවමනාවකට බෙහතක් ගන්න දොස්තර නෝනෙක්
    හම්බෙන්න ගියා ..ඒ දොස්තර නෝනටත් වැඩිම උනොත් 28 ක්
    ඇති . මේ මනුස්සයා බය වෙලා මට " පුතා " කියල කිව්වා

    " පුතා අද කව්රුත් පිරිමි අය නැහැ , වෙන දවසක එන්න කියලා "

    මමත් හා කියල ආව ..වෙන මොනවා කරන්නද ..:P


    ReplyDelete
  9. Mata ithin me awrudde owa ba.. Keti dura dhaawana katayuthu witharayi August pahu wenakal..

    ReplyDelete
  10. ඔතන ලේ ගන්න උන්ට වඩා ඉන්නේ පොටෝ කාරයොද?

    ReplyDelete
  11. හොදට ප්‍රොග්‍රැම් එක තිබුනා...ලේ ගන්න දෙන්න නංගිලා ඇවිල්ලා සිටියා...
    නර්ස් නෝනලාත් සැලකිය යුතු තරම් ලක්ෂණයි...

    ලාස්ට් රෝ නංගිලාත් ලක්ෂණයි..(දැන් සාපාත් අඩියක් විතර උඩ යන්න ඇති)
    මොකුත් නොකර ඇවිද ඇවිද අතන මෙතන කතාන්දර කියපු ඕනයියා ත් මාරයි..

    අනිත් වයිප් එවපු අයියත් හොදයි...

    ඔබාඅංකල්ට ඒ පිණ සෙන්ඩ් වේවා....ඇත්තට ඔබාට එහෙ ගියාම ඔබා ඇට් තව්තිසා ඩොට් කොං කියලා හරි මේල් ඇඩ්ඩස් එකක් නැද්ද දන් නැහැ...

    ReplyDelete
    Replies
    1. //මොකුත් නොකර ඇවිද ඇවිද අතන මෙතන කතාන්දර කියපු ඕනයියා ත් මාරයි..// අනේ *කේ නන්නානේ

      //ලාස්ට් රෝ නංගිලාත් ලක්ෂණයි..// ඔය පෙන්නුවෙ සාම්පල් විතරයි

      Delete
  12. මාරයගෙ කතාව ලස්සනයි හොඳට ලියල තියෙනවා,බ්ලොග් බලලා ටක් ගාල ප්‍රෙෂර් නග්ගගන්න එක තමා සුපිරිම කතාව.

    ReplyDelete
  13. ඔබ ගොඩක් සැරයක් ලේ දැන් දීලා තියෙනවා. ඒක ලොකු පිනක් මමත් දෙසැරයක් විතර ලේ දැන් දීලා තියෙනවා. අවසාන වතාවට ගිය වසරේදී ලේ දැන් දෙන්න ගියාම කිව්වේ මගේ වයස වැඩි නිසා මම සුදුසු නැහැ කියල. මොනව කරන්නද ඒකටත් පිනක් තියෙන්න ඕනෑ.

    ReplyDelete
  14. මාත් ගිහින් 7වෙනි වතාවටත් දීලා ආව..බ්ලොග් සහෝදරයෝ දෙතුන් දෙනෙක්වත් දැකල කතා බහ කලා, අඳුර ගත්තා..ඕනයා ඇතුළු තෙලෙස්ට්‍රෝ කන්ඩායම වැඩේ හොඳට කරල තිබ්බා.. අවුරුද්දක් පාසාම මේක කරානම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. වැඩේ කන්ටිනිවු වෙනව පැතුම්. ලේ දන්දීමට සමගාමීව තවත් ප්‍රොජෙක්ට් එකක් තියෙයි ලබන අවුරුද්දෙ

      Delete
  15. දොස්තර: ගණිකා ඇසුරක් එහෙම නැහැ නේද ලගකදී...?
    මාරයා: ඒ කියන්නෙ ඩොක්ටර් ඒ දවස්වල පොලිස් පාර්ක් ඉස්සරහ හරස් පාරේ තිබිච්ච යටාරෝ එකෙත් වැඩ කලාද...?

    ReplyDelete
    Replies
    1. ගවර් වීදිය.....

      Delete
    2. අපි දෙන්න මුන ගැහිලවත් තියෙනවද මන්ද?????

      Delete
  16. මන් ඔය අනින කටුවලට බයයි නොවැ.ඒක නිසා ඔය වැඩේ නම් කොරන්න අමාරුයි.

    ReplyDelete
  17. සිහින උළෙලට ගිහින් ආවට වඩා මඩක් මේකෙන් ගහලනේ අයියා කට්ටියට?

    මට එන්ඩ වුනේ නැහැ මොකද මම මීට කලින් ලේ දීලා නැහැ අනික මම ඕවාට බයයි!

    ReplyDelete
  18. මෑණියෝ අසනීපෙනි. ඒ නිසා ආවේ නැත. අනික මංතුමාගේ බර ලේ දෙන්න අවශ්‍ය අවමයට වඩා කිලෝ දෙකක් අඩුය. ආවත් ඒ නිසා දෙන්න වෙන්නේ නැත. ඒනිසා ගිය උන්ගේ පින අනුමෝදන් වී ඉන්ට්‍රස්ට් එක්කම ඔබා මාමා වෙත යවමි.

    ReplyDelete
  19. පසන්ගෙ/අමිලයගෙ කතා දෙක නම් සිරා ඕයි.. :)

    අපි දැක්ක එවලෙම අප්ලෝඩ් වුන පොටෝව. දොස්තර නෝන පපුව අතගාන එක :)

    ජය !

    ReplyDelete
  20. Mara Ayye, Liyannako Dumindagamanaya Gena Post Ekaka. Rate wena dewal gena Post ekak liyanakan Godak kal indan Balan inne.

    ReplyDelete
  21. උඹලා වගේ උන් ලේ දීලා තමයි, දැන් කෙල්ලොත් බොන්න පටන් අරගෙන තියෙන්නේ..

    ReplyDelete
  22. කිව්වත් වගේ එතන නම් අඩුපාඩුවක් තිබිලාම නෑ වගේ.. නැත්තම් මාරයියට නම් ඔය මොකක්වත් මිස් වෙන්නේ නෑ නේ... හි හි...

    ප්‍රදිප්ගේ පෝස්ට් එකේ හොඳ විස්තරයක් තිබ්බ නිසා මේ බේත් බොන එක ඉවර උනාම ලේ බැංකුවටම ගිහින් හරි ලේ දීලා එන්න හිතං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දට ලේ දෙන්න ඉඩක් තියාගන්න

      Delete
  23. බොහෝම පින් මාරයා අයියේ !!!

    ReplyDelete
  24. ඔව්වා බොහොම පිං අතේ වැඩ. මටත් තියේ අර නාරහෙංපිට ලේ බෙංකුවෙං දීපු රතු පාට පොත් පිංචක් ලේ දීපුව ලියල තියෙන.

    ජය වේවා!

    ReplyDelete
  25. ඇත්තටම ගණිකා ඇසුරක් තිබ්බාම ලේ දෙන්න බැරි වුනාට සංවිධානය කොරන්න පුලුවන් නේද? අවංක පැට්ටා, ඕනයා දෙන්නම හිටියයි කිව්වද? :D

    ReplyDelete
    Replies
    1. මම ලේ දුන්න හරිද . . . .

      අපි ඉතා අහිංසක ළමයි

      Delete
    2. කොහොමද බං ගත්තේ? උක් අඹරන මැෂිමක් වගේ එකක් ගෙනත් තිබ්බද? :-O

      Delete
    3. ඕනමැන්ටල්
      උඹ ලේ දුන්න නං වැඩේ සාර්තකයි කියන්න ‍බෑ. හැබැයි ඔය ලේ වෙන වෙනම තියාගන්න නිසා අවුලකුත් නැතිවෙයි නේද? (කවුද බං අර ඩ්‍රයිවින් දුන්න ඇන්ටි, නම මතක නෑ:).

      Delete
  26. පිං අතේ වැඩක් කරල අනිත් අයවත් දැනුවත් කරපු එකත් ලොකුම ලොකු පිනක්නේ... අපිට ඉතින් පිං කරගන්නවත් පින නෑ.

    ReplyDelete
  27. මාරෙ

    ස්තුතියි මචං සහභාගීත්වයට සහ පෝස්ට් එකට.
    ඊලග වතාවෙත් ඒ සහයෝගය මේ ආකාරයෙන්ම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව

    ReplyDelete
  28. පිං අතේ වැඩක් මාරේ උපරිමේට ලියල තියනවා

    ReplyDelete
  29. මාත් ආසයි ලේ දන් දෙන්න..මං මේ හිත හිත ඉන්නේ මේ ආත්මෙ කවද බර කිලෝ 50ක් කර ගන්න ලැ‍බේද කියලා.

    ReplyDelete
  30. එහෙනං ජයට කෙරිල තියෙනවා අනේ සාදු..

    ReplyDelete
  31. පින් වැඩේ ගැන එළටම ලියලා තියෙනවා මාරඅයියේ....පස්ට ආ......

    ReplyDelete
  32. මම දැනට 03 පාරක් ලේ දීල තියෙනව.... නමුත් මට දුකයි අපේ ඔබා අයියා වෙනුවෙන් ලේ බිදක් දෙන්න බැරි උන එක ගැන.....

    ReplyDelete
  33. ඒ වුනාට මාරයා පොටෝ ගන්න වෙලාවෙනං නිකං ලේ නැතුව සිකනලා වගේ ඉන්නවා දැක්කා..අනේ මන්දා පොටෝ ඇත්ත කියනවද උඹ ඇත්ත කියනවද කියලා..කොහොම වුනත් මම ආවේ නැති නිසා අර නර්ස් නෝනා පාළුවෙන් කියලා විතරක් මට ආරංචියි

    ReplyDelete
  34. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  35. ඔබා අය්යා වෙනුවෙන් කෙරුණු පිංකම සාර්ථක වීම ගැන සතු‍ටුයි.

    දවසක් ලේ දෙන්න ගිහිල්ලා, මම වනජීවියෙක් කියලා කියපු ගමන් ඇහුවේ මැලේරියාව හැදිලා තියෙනවද කියලා. හත් අට පාරක් හැදිලා තියෙනවා කියලා කිව්වහම මාව එලව ගත්තා, පලාතෙ එන්න එපා කියලා.

    තව දවසක් අපේ ඔ‍ෆිස් එකේ කෙල්ලෙක් ලේ දෙන්න ගියහම කිව්වලු 'අපි ලේ විතරයි ගන්නෙ නංගී ... ඇටක‍ටු ගන්නෙ නෑ කියලා ...!

    ReplyDelete
  36. මම මුලින්ම ඔනයාට පොරොන්දු වුණා එනවා කියලා. ඒත් පස්සේ එක පාරටම මතක් වුනා අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක එදාට කියලා. මගේ දුවට යන්න බැරි අවදානමක් වගේ තිබුණා. ඇත්තටම දුවට යන්න බැරි වුනා නම් ට්‍රිප් එක අත ඇරලා මේකට එනවා. එක කමෙන්ට් එකක්වත් මගේ බ්ලොග් එකට දාල නැති වුනත් අහපු දේවල් වලින් ඔබා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මම දැනන් හිටියා. මේ සද් කාර්යට දායක වුන හැමට පින්. එන වතාවේ තියෙනවා කියලා අහන්න ලැබීම සතුටක්. මොන වැඩේ තිබුනත් දෙවෙනි තැනට දාලා එන්න ඔන්න මම පොරොන්දු වුණා.

    ReplyDelete
  37. අඩේ මම නම් මුලින්ම හිතුවේ මාරයට ඒඩ්ස් කියල හිකිස්.....

    ReplyDelete
  38. ලේ දෙන උන්ට වැඩියි එතන පොටෝ අල්ලන උන්දලා. mmmmmmm

    ReplyDelete